ලෑන්ඩ් කෲසර්යේ චැසියට දුනු මිටි හතර සමග ඇක්සල දෙක අමුනා එන්ජිම හා ගියර්පෙට්ටියද සවිකොට එය මත බොඩිය තබා අවසානයටම තද කලේ කුමන ඇනය දැයි මාහට මතක නැත. බොහෝ විට එය Propeller Shaft ප්‍රොපෙලර් ෂාෆ්ට හෙවත් අවරපෙති කඳන් වීමට බොහො සෙයින් ඉඩ ඇත.
ප්‍රොපෙලර් ශාෆ්ට සවිකිරීමේදී එක් රෝදයක් ඉහල ඔසවා ගත් විට වැඩේ පහසුය. එසේම එහිදී සිහි නුවණින් යුතුව දෙකෙළවර ඇති යෝක් එකම ඉරක තිබෙන පරිදි සවි කර ගත යුතුවේ. ප්‍රොපෙලර් ෂාෆ්ට එකක් ඒකාකාර වේගයෙන් වෘථාකාරව ගමන් කරණ්නේ නැති වග; මෙය කියවන වැඩි දෙනා දන්නවා ඇතැයි සිතමි. එය භ්‍රමණය වන්නේ අංශක අනූවක් වේගයෙන් ද අනෙක් අංශක අනූව සෙමෙන්ද යලිත් ඉතිරි අංශක අනූව වේගයෙන්ද අන්තිම අංශක අනූව සෙමෙන් යන ආකාරයටය.
ඒකාකාර වේගයෙන් භ්‍රමණය වන එන්ජිමක්ද එයට බද්ධ වූ ක්ල්ච් හා ගියර පෙට්ටියේ සියළුම දැති රෝදද; අවසානයේ ගියර පෙට්ටියෙන් එලියටද ඒකාකාර භ්‍රමණයක් ලබාදෙන්නේ නම් කොහෙවත් නැති අවර පෙති කඳක් හෙවත් ප්‍රොපෙලර් ශාෆ්ටයක් පමණක් හිතු මතේ තමාට ඕනෑවට අතර මග රස්තියාදු වෙන්නේ අහවල් කාරණයකටදැයි මෙය බලන බොහෝ දෙනා හට සිතෙනු ඇත. එය එසේ වන්නේ මන්දැයි; ලියා තබනවාට වඩා පිංතූරයක් සහ රූප රාමු පෙලක් අමුනා තැබීම යෙහෙකි බව ඔබටම තේරුම් යනවා ඇති.
අවරපෙති කඳ හෙවත් ප්‍රොපෙලර් ෂාෆ්ටයේ මෙම සන්ධිය යුනිවර්සල් ජොයින්ට් ලෙස ඉංගිලිසියෙන් දැක්වෙන අතර එකල එය සිංහලට හරවා තිබුනේ සර්ව ලෝක පූට්ටුව නමිනි. එහෙත් 1960 වසරේදී අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් සිංහලට පරිවර්ථනය කරණ්නට යෙදුනා වූ අන්තර්ජාතික කම්කරු කාර්‍යාලය මගින් ප්‍රකාශිත "මෝටර් රිය නඩත්තුව සහ අළුත් වැඩියාව" ග්‍රන්ථයේ මීට නැවුම් වචන ද්විත්වයක් ඇතුලත් කොට තිබුනි. ඒ "දසත මූට්ටුව" යන්නයි.
ගියර පෙට්ටියෙන් කෙරෙණ ඝූර්ණය; එක් දසත මූට්ටුවක් තුලින් කමන් කරද්දී; මා මුලින් ලියා ඇති පරිදි එය "සෙමෙන් - වේගයෙන් - සෙමෙන් - වේගයෙන්" ලෙසට විකෘථි වුවද නැවත පසු පසින් ඇති දෙවන දසත මූට්ටුව තුලින් ගමන් ගනිද්දී "වේගයෙන් - සෙමෙන් - වෙගයෙන් - සෙමෙන්" චලනයක් සමග ඒකාබද්ධ වූ විට අවසාන එළවුම වන්නේ ඒකාකාර භ්‍රමණයකි! ඝූර්ණයකි!! එම නිසා මේ සර්ව ලෝක පූට්ටුවේ පිස්සු කෙළීම වාහනයට නොදැනේ. මාරයි නේද?
කෙසේ වෙතත් එය පන ගන්වා ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිය අයුරු නම් මාහට හොඳ හැටි මතකය. වාහනය නිවසේ සිට සෙමෙන් සෙමෙන් මාර්ගයට ගෙන සෙමෙන් පිකප් කලෙමි. වාහනයේ එන්ජිමේ කන්කළු තේජාන්විත ඩීසල් බර හඬ යටින් ඉතා සියුම්ව ඇතිල්ලෙන හඬක් ඉන් නැගුනි.
වාහන්යේ වේගය වැඩිවෙත්ම ඇතිල්ලෙන හඬ වැඩිවී; පැයට කිලෝමීටර විස්සක තිහක වේගයේදී එය මුළු මහත් රථයම දෙදෙරවන හඬක් තරමට වැඩි වීමත් සමග වාහනය පසෙක නවතා; යට රිංගා බැලුව මුත් හොයාගන්නට වරදක් නොවීය.
වාහනය හරවා නැවත නිවසට ගෙනැවිත්; පසු පස එක් රෝදයක් ඔසවා; රථය පන ගැන්වූවෙමි. ඉතා කුඩා ඇතිල්ලෙන හඬක් නික්මුනි. පසුව සොයා ගත් පරිදි ගියර පෙට්ටියේ කම්පෑනියන් ෆ්ලාන්ජය Companion Flange (එනම් ගියර පෙට්ටියට ප්‍රොපෙලර් ශාෆ්ටය ඇන හතරකින් සවිවන ප්ලන්ජරය) චැසියේ ක්‍රොස් මෙම්බරයේ යාන්තමින් ගෑවේ.

කරණ්නට ඇත්තේ විකල්ප දෙකකි. ඉන් එකක චැසියේ ක්‍රොස් මෙම්බරය මාරු කිරීම හෝ එහි වක්‍රය වැඩි කිරීමය. දෙවැන්න ගියර පෙට්ටිය මිලී මීටර දහයක් පමන පහත් කිරීමය.
මෙහිදී ගියර පෙට්ටිය තරමක් පහත් කිරීම වඩාත් පහසු බව මා තේරුම් ගත්තෙමි.
එන්ජිමත් ගියර පෙට්ටියත් එක් ඒකකයක් ලෙස ගත් කල එන්ජිමේ දිග අනුව හරි මැදට තරමක් ඉදිරියෙන් එන්ජින් මවුන්ට් මගින් එන්ජිම චැසිය මත සවිකොට ඇත. එසේම ගියර පෙට්ටියේද හරි මැදට තරමක් පසුපසින් චැසිය හරහා දිවෙන ක්‍රොස් මෙම්බරයක් මත තබන ලද මවුන්ට් එකක් මගින් ගියර පෙට්ටිය රඳවා ඇත.
මෙම ගියර පෙට්ටිය රඳවා ඇති ක්‍රොස් මෙම්බරය චැසියට සවි කොට ඇත්තේ එල් හැඩයේ බ්‍රැකට් දෙකක් මගිනි. බ්‍රැකටයේ සිරස් අක්ෂය බෝල්ට් හතරකින් චැසියේ ඇතුල් පැත්තට සවිකොට එහි තිරස් අක්ෂය ඔස්සේ දිවෙන කොටස මත ක්‍රොස් මෙම්බරය තබා සවිකොට තිබුනි.
මෙම බ්‍රැකට් දෙක පහත් කල හොත්ගියර පෙට්ටිය මුළුමණින්ම පහත්වේ. එය සිදු කිරීමට පහසු හා අවම හානි ගෙන දෙන කාර්‍යය වන්නේ බ්‍රැකටයේ ඇන තව් ඕවල් කොට පහතට ගෙන ඒමය!
කොපමණ ප්‍රමානයක් ඇන තව්ව ඕවල් කල යුතුද?
එන්ජින් මවුන් එක නොසෙල්වී ගියර් බොක්ස් මවුන්ට් එක පමණක් පහතට ගෙන ඒමෙන් ඊටත් පසු පසින් ඇති ෆ්ලාන්ජය සෙන්ටි මීටර 10ක් පහතට ගෙන ආ යුතුය.
දැනට තිබෙන විච්ල්‍ය ලක්ෂ තුන හරහා ඇඳි රේඛාවේ ඉදිරි ලක්ෂය වන එන්ජින් මවුන්ට් එක වෙනස් නොකොට පසු පස පමනක් පහත් කල පසු හැදෙන නව ලක්ෂ දෙක හරහා ඇඳි රේඛාවත් මුල් රේඛාවත් එක් කොට ත්‍රිකෝණයක් සෑදේ. මෙම ත්‍රිකෝණයේ පසු පස පාදයේ දිග මිලී 10ක් විය යුතු නම් ඊට සමාන්තරව ගියර් පෙට්ටියේ මවුන්ට් එක හරහා ඇඳි රේඛාවේ දිග සොයා ගත යුතුය.
මම තරමක වේලාවක් කල්පනා කල පසු පාසලේදී උගෙන ගත් සමකෝණී ත්‍රිකෝණ පාඩම මතක් උනි. සමකෝණී ත්‍රිකෝණ නීතියට අනුව XZP හා XYO යනු සමකෝණි ත්‍රිකෝණ වේ.
මෙහිදී XZ පාදයට XY දක්වන අනු පාතයට සමාන අනුපාතයක් ZP ට YO දක්වයි.
XZ / XY = ZP / YO වේ.
මේ වනවිට ZP එනම් ගියර් පෙට්ටියේ කම්පෑනියන් ෆ්ලාන්ජය පහත් කර ගත යුතු දුර මිලී මීල්ටර 10 ක් පමනකි. XY එනම් එන්ජින් මවුන්ට් එකේ සිට ගියර් පෙට්ටියේ මවුන්ට් එක චැසියට සවිවන බ්‍රැකටයට ඇති දුර මැන ගත හැක. එසේම එන්ජින් මවුන්ටයේ සිට කම්පෑනියන් ෆ්ලාන්ජය තෙක් ඇති දුර XZ ද මැන ගත හැක ඒනයින් ඉහත සරළ සමීකරණයට අනුව YO හෙවත්; කම්පෑනියන් ෆ්ලන්ජය චැසියේ නොගෑවීමට මිලී මීටර 10 ක් පහත් කර ගැනීම සඳහා ගියර් පෙට්ටියේ මවුන්ට් එක සවි කොට ඇති ක්‍රොස් මෙම්බරය චැසියට සවි කර ඇති බ්‍රැකට් දෙක පහත් කල යුතු දුර පහසුවෙන්ම සොයා ගත හැකි වුනි.
එය මිලි 6 ක් වැනි ඉතා කුඩා ප්‍රමානයක් විය. කඩවත ඔක්සිජන් හවුසය වෙතර ගොස් රවුම් පීරක් ගෙන ඇවිත්; එක් පසෙකට ඇන තව් හතර බැගින් දෙපස ඇන තව් අටම ඵතට මිලී 6 බැගින් ඕවල් කර ගියර පෙට්ටිය එල්ලා බැලූ පසු කිසිදු ආපදාවක් නොවීය.
මෙම 31 ශ්‍රී 5460 මෙරට කොහේ හෝ මාර්ගයක අදටත් දුවනු ඇත. කිසිවෙකු එය සොයා බැලුවහොත්, පෙට්රෝල් චැසිය, එයට ඇන හා මුරිච්චි වලින් සවිකොට ඇති දුනු හැඟර් හා ශැකල්, පහතට ඕවල් කොට සවිකොට ඇති ගියර පෙට්ටිය සවීවී ඇති ක්‍රොස් මෙම්බරය එලෙසින්ම වනු ඇත.
වාහනය නිමකල පසු යෙදුනු එක් නිවාඩුවක අප නිවැසියන් හා මාගේ මිත්‍ර ෂානක හා ඔහුගේ පිරිස එක්ව දකුණු ලක සංචාරයක යෙදුනෙමු. අප ගියේ කොග්ගල බීච් හෝටලයේ දින දෙකක නිවාඩුවක් ගත කිරීමටය. එම ගමනේදී ෂානක පැදවූයේ ඔහුගේ; එකල නවීන වාහනයක් වූ නිසාන් FB14 රථයක්ය. ලෑන්ඩ් කෲසරය; නිසාන් මෝටර් රිය සමග කරට කර සටනක් යෙදුනේ අප දෙදෙනටම සිතා ගැනීමට නොහැකි පරිද්දෙනි.
කැබැලි කර නැවත එකලස් කල චැසිය සීයට සීයක්ම නිවැරදි එකෙල්ලක් රථයට ලබා දී තිබුනි. ගාන්ධි අයියාගේ උපදේශකත්වයෙන් මගේ හයියෙන් සැදූ එන්ජිම Zසී හඬ නැංවීය. පයාගල රේල් ගෙට්ටුව තෙක් සමුදුරට සඟවෙමින් ගමන් කල ගාලු පාර සමුදුර් සිප ගැනීමට තරම් ලං වෙමින් යලිත් දුරස් වෙමින් ගලා ගියාය. මුහුදු සුළඟ කපා ගෙන ඊ ගහක් සේ ලෑන්ඩ් කෲසරය ඇදෙමින් ය. වායු සමනය කර නොතිබුනු රථයේ වාකවුළු සිසාරා සුළඟ පාවී ඒ!
මුහුදු සුළඟ සමග නැහැයට ගෙන ආ පොල් රා සුවඳ . . . . ආ! මොන තරම් ආශ්වාද ජනකද?
හදවතත් සමග එකාත්මීය වෙමින් ඒවන් ගමනක් යන්නට ඇත්නම් . . . . !