Monday, April 24, 2023

256. බක් පෝදා බ්ලොග් හමුව! Behind the scene


Teepee the Campsite කඳවුරු බිමට හා හා පුරා කියා පැමිණි බ්ලොග්කරුවා වූයේ නිමල් දිසානායක හෙවත් නිදිය. කොටින්ම ටිපියට; බ්ලොගර්ස්ලාගේ ජේම්ස් කුක් වූවේ නිදීය! ඒ ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවන් සමග මීට මාස  ගණනාවකට එපිටදීය.

සිරිබිරිස්ගේ ලංකාවතරණය සිදුවූයේ ඒ ආසන්නයේදීමය. ඔහුහට බ්ලොග් ලියන්නන් කිහිප දෙනෙකු මුණගැසීමට වේදිකාව වූයේද    Teepee මය. එදින ප්‍රාජේ කොළොම්පුර අසංග, නමියාගේ වීදියේ නමියා , නිදහස් සිතුවිළි ලියන රවි, ඩ්‍රැකී යන අය එතැනට එක්විය.

එදින අප බ්ලොග් ගෙට්ටුවක් පිළිබඳව කථා කළෙමු!

ඉන්පසු මෙම කවයට එක්වූයේ සිරිල්ලා සමග සියල්ල වෙත එක්වූ කමියා හෙවත් කල්‍යාණමිත්‍ර ය. කමියාද එක් කරගෙන බ්ලොග් ගෙට්ටුවක් කිරීමට අප සෙමෙන් සෙමෙන් සූදානම් විය.

මා එහි ප්‍රථම පියවර ලෙස පෙබරවාරි 8 වන දින "බ්ලොග් හමුව 2023" යනුවෙන් වට්සැප් සමූහයක් නිර්මාණය කලෙමි.

එහි ආරම්භක පෝස්ටුව ලෙස සඳකඩපහන සින්ඩියේ පලවූ පෝස්ටුවක් එක් කලෙමි. මා එයට ඇනෝපිලිස්, අටමා, එළ ද බ්‍රා මෙන්ඩා, නමියා, සින්දු ඇනෝ, "රවිගෙ කොලම" ලියන දොස්තර රවි, "යාපනේ පෙම්වතී", "මග දිගට යාපනේ" ලියන විදුනි, වික්ටර්ගේ මල්ලී හැක්ටර්, ඩ්‍රැකී, ඉවාන්, කල්‍යාණමිත්‍ර, ප්‍රාජේ ආදිය එක් කලෙමි.

පැයෙන් පැය වැඩුනු එම සමූහයේ සියළුදෙනාම; Admin කරණ මෙන් කල කමියාගේ ඉල්ලීම පරිදි එය ඉටු කලෙන් එය මොහොතින් මොහොත පුළුල් විය.

ඊට සමගාමීව  මෙම බ්ලොග් හමුව සංවිධාන කටයුතු සඳහා කුඩා මෙහෙයුම් කමිටුවක් ලෙස "Drive Committee" නමින් තවත් කුඩා වට්සැප් සමූහයක්; මා නිර්මාණය කලෙමි. එහි සිටියේ ඩ්‍රැකී, අසංග. නමියා, කමියා හා මා පමණි. පසුව දැනගත් පරිදි; 2012දි ගම්පහ ගෙට්ටුව සංවිධානය කල සිරාගේ කාමරේ සිරාවද, සෑමා වද එක් කර ගත්තෙමි. ඒ; ඩ්‍රැකීගේ යෝජනාවක් පරිදි සිරාවද; සිරාගේ යෝජනාවක් පරිදි සෑමාවද යන ආකාරයටය.

පෙබරවාරි 9 වන දින අප යොදාගෙන තිබුනේ බ්ලොග් හමුව හෙවත් ගෙට්ටුව පවත්වන ස්ථානය පරීක්ෂා කිරීම සඳහාය. බොහෝ දෙනා ඒ සඳහා පිට්ටනියක් යෝජනා කලද මා සිටියේ; එය එළිමහනක් සහිත ශාලාවක පැවැත්විය යුතුය! යන අදහසේය. එයට ප්‍රධාන හේතුව වූයේ ඕනෑම දේශගුණික තත්වයක් අප බලාපොරොත්තු විය යුත් වන අතර; පිට්ටනියක් ඒ සඳාහා සූදානම් කිරීමට මහත්වූ පිරිවැයක් දැරීමට සිදුවීම අපට දැරිය නොහැකි වන හෙයින් ය.

මමත්, නමියාත්, අසංගත් කමියාත් මේ සඳහා දෙමටගොඩ දුමරිය ශලාව හෙවත් Railway Institute - Mount Mary බැලීමට ගිය අතර එය අප සියළු දෙනාගේම ප්‍රසාදයට පාත්‍ර විය. ආහාර ලබා ගැනීමටද ස්ථානයක් සොයා ගත් අතර එය රුපියල් 650 කට ලබා දෙන්නට ඔවුන් එකඟ විය.

මා ගොඩ නැංවූ වට්සැප් සමූහය කොතරම් වේගයෙන් හා සශ්‍රීකව වැඩුනා දැ‍යි කියනවා නම් පසු දින එනම් පෙබරවාරි 9 වන විට එය අපේ පාලනයෙන් ගිලිහෙමින් තිබුනි! මෙම පෝස්ටුව කියවන බොහෝදෙනා දන්නා පරිදි එම වට්සැප් සමූහය; කිහිප දෙනෙකු විසින් ආක්‍රමණය කරණා ලදී! එහි සිටි ඉතා අතලොස්සක් විසින් එහි ලියන ලද  හා පල කල දේ සමග කිහිප දෙනා සමූහයෙන් ඉවත් වන්නට පටන් ගෙන තිබුනි. එම සමූහය තුලට එක් එක් අය ඇතුලත් කල අය අතර ජීවිතයට බ්ලොගයක් ලියනු තබා කියවා වත් නැති අයද සිටි බව; මා හට දැනගන්නට ලැබුනි. සමහරු "මා බ්ලොග ලියා නැතෝ!" කියාද මොරගානු අප දුටුවෙමු!

මේ වන විට  "බ්ලොග් හමුව 2023" වට්සැප් සමූහය; බොහෝ දෙනාගේ සාකච්ඡා මණ්ඩපයක් වී තිබුනු අතර එතැන සාක්ච්ඡා නොවූයේ බ්ලොග් හමුව පිළිබඳව පමණි!

ඒවන විට සවස 4 පසුවී තිබුනි.අප පෙරකී ස්ථානයේ මිදුලේ සිට ශාලාව විවෘථ කර දෙන තෙක් සිටිනාතර තුර එක වරම මාගේ දූරකථනයේ තිරය මත; මා වෙනත් වට්සැප් සමූහයකට එක් කොට ඇති බව දැවෙන පණිවිඩය නෙත ගැටුනෙමි.

එය නමින් "බ්ලොග් ලියූ මධ්‍යකාලීන එකමුතුව" නමින් විය. එය නිර්මාණය කොට තිබුනේ ඇවිද්ද පය ලියන දිල්රුක් කන්නංගරය! ඒ සමගම දිල්රුක්ගෙන් මා වෙත දූරකථන ඇමතුමක් ලැබුනි. 

" . . . . . . . . . . . . . . . . . . . . . . . . "

"එළ!"

මෙම; එනම් දිල්රුක්ගේ "බ්ලොග් ලියපු මධ්‍ය කාලීනයෝ එකමුතුව" වට්සැප් එකතුවට; මුල් සමූහයෙන් එකා දෙන්නා එකතුවන්නට පටන් ගත්තේය. 

මේ අතර බ්ලොග් හමුව පවතින දිනය ලෙස අප අප්‍රෙල් 2 වන ඉරිදා තෝරාගෙන තිබුනි. සත්තකින්ම එය මා විසින් තෝරා ගත් දිනය විය. 

ඒවන විට පලමු හමුව වන "බ්ලොග් හමුව 2023" පිරිස  නැතහොත් නිළ නොලත් හසුරුවන්නන් විසින් ඔවුන්ගේ බ්ලොග් හමුව පවත්වන දිනය ලෙස අප්‍රේල් 2 වන දිනයම යොදා ගත් බව ප්‍රකාශයට පත් කලේය. ඩ්‍රයිව් කොමිටිය තුල පමණක් යෝජනා වුනු දිනය ඔවුන් වෙත දැනගන්නට ලැබුනේද එසේත් නැතිනම් අහම්භයක්ද කියා මා දන්නේ නැත!

"බ්ලොග් හමුවක්" පිළිබඳ ඉඟියක් හෝ නොමැති "කණාටු" කාලයක "හමුවක්" පැවැත්වීමට පළමු බිජුවට වපුල අපගේ කුඩා කණ්ඩායම; ඒ වන විට මුල් කණ්ඩායමෙන් හැලී ගොස් තිබුනි. ඔවුන්ගේ හමුව "සිහින බක් මහ උළෙල" නම් විය!  ඒ වන විට පළමු වට්සැප් සමූහය තුල සිටිය උවැසි උවැසියන් අතර; "තට්ටයා" කවුද? එයා ලියන බ්ලොගය කුමක්ද? කියමින් විපිළිසර වන බවමා දුටුවෙමි. "කුමක්ද?", "කෙසේද?", "කවදාද?" යන්න සොයනවාට වඩා මෙය සංවිධානය කරන්නේ  "කවුරුන්ද?" යන්නට වඩා වැඩි බරක් තබන බවක් මා එහිදී දුටුවෙමි.

"අවුලක් නැත දිල්රුක් ගේ කණ්ඩායම සමග අපට ගමනක් ඇත!" ඒ මා සිතපු ආකාරයයි. 

මේ වනවිට "බ්ලොග් හමුව 2023", "බ්ලොග් ලියපු මධ්‍ය කාලීනයෝ එකමුතුව" සහ අපගේ මෙහෙයුම් කමිටුව ඇතුලත් "Drive Committee" යනුවෙන් වට්සැප් සමූහ තුනක් පැවතුනු අතර එම සමූහ තුනේම දෙතුන් දෙනෙක් සාමාජිකයන්ව සිටියහ.

ඩ්‍රැකී, අසංග, කමියා, නමියා හා මා එම දෙතුන් දෙනාය. සිරා සහ සෑමාද එලෙස කණ්ඩායම් තුනේම සිටියා වාගේ මතකය!

ඊළඟ දිනය වනවිට දිල්රුක් ගේ කණ්ඩායමට 50ක් පමණ එක්වී සිටියහ. (නැතහොත් එක්කොට  තිබුනි!) එයට මා කිසිවෙකු හෝ එක් නොකල බව මට මතකය. (මාගේ මතකයේ පරිදි!) එතැනට එක්වූ එක්  එක් බ්ලොග් කරුවන්; වෙනත් බ්ලොග් කරුවන්ව යෝජනා කලෝය! එම යෝජනා  එළිදැක්වූයේ පෞද්ගලිකව නොව  වට්සැප් සමූහය තුලමය! මේ හේතුව කරණ කොට ගෙනම බොහෝ එවන් යෝජනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එක් කිරීම සිදුවුනි!

මෙය මා දකින්නේ තෝරාගත් කුඩා කණ්ඩායමකට කිසිවෙකු පැවත්වීමට බලාපොරොත්තුවන භෝජන සංග්‍රහයක් සඳහා; ඇරයුම් ලත් අයෙකු විසින් තවත් අයෙකු ප්‍රසිද්ධියේ යෝජනා කිරීම  සේය. එවිට එය සංවිධානය කරණ අයට ඔහුට ඇරයුම් කිරීමටහෝ ප්‍රථික්ෂේප කිරීමට නොහැකි අසීරු අවස්ථාවකට මුහුණ දීමට සිදුවේ. යෝජනා කරණ අයගේ පෞද්ගලික හිතවත්කම; පවත්වන්නාගේ අභිලාශයන් යටපත් වීම මෙයින් සිදුවිය හැක. 

මෙම කණ්ඩායම එකතු කල දිල් රුක් එය කිසියම් ප්‍රමිතියකට සිදුකල බවක් මා හට දැනුනි, ඒනිසාම මම ඊට වෙන්ත් අය එක් කිරීමේදී වඩාත් විපිළිසර වූයේ නම් සුභදායක බව අදටත් සිතමි. කොහොමත් අනුන්ගේ මගුල් ගෙවල් වලට; මාගේ පෞද්ගලික හිතවතුන් රැගෙන යාම මාගේ ක්‍රමය නොවේ!

පෙබරවාරි 10

පසුව එසේ එක් කල එක් බ්ලොග් කරුවෙකු; එතෙක් අප සමග සිටි "සිරා" වෙත පහත් අන්දමේ පහර දීමක් හා විවේචනයක් කිරීමට පටන් ගත්තේය. එය සත්‍ය වශයෙන්ම ඔහුතුල සිරා කෙරෙහි තිබුනු විරෝධය මත සිදු වුනිද නො එසේනම් මෙම කණ්ඩායම අසමතුලිත කිරීමේ අරමුණින් සිදු කලේද යන වග මාහට අදටත් සිතා ගත නොහැක. ඔහු පහර දුන්නේ සිරාට පමණක් නොව රාජ් සහ කතන්දර කාරයා යන දෙදෙනාටත් එක්කමය. ඔවුන් එනවා නම් තමා නො එන බව ඔහු ප්‍රකාශ කර සිටියේය. තම විරෝදය සඳහා භාවිතාකොට තිබුනේද ග්‍රාම්‍ය නොසරුප් වදන් ය! පසුව එම කථිකා කමියා විසින් මකා දමා තිබුනි.


එයට පිළිතුරු ලෙස මා මෙම වගන්තිය ලියා පලකලෙමි.

 10/02/2023 පෙරවරු 7.48

"මොකා නිසා මොකා ආවේ නැතත් අන්තිමට මේක පටන් ගත්තු උන් දෙතුන් දෙනා සමග හමුව පැවැත්වෙනු ඇත. සංඛ්‍යාව අදාල නොවේ! එය බොහෝ දුරට අප්‍රේල් 02 සිදුවේ. මෙය හමුවක් විනා උළෙලක් නොවේ. උළෙලක් සඳහා පිරිසක් ඇවැසි උවත් හමුවක් සඳහා එසේ නැත!"

එතැන් පටන් සිරා සහ අදාල බ්ලොග්කරුවා අතර දැඩි වාග් ප්‍රහාර මාලාවක් දියත් වූ අතර; අවසානයේ සිරා විසින් තම Admin බලතල පාවිච්චි කර අදාල බ්ලොග් කරුවා උදෑසන 9.00 වන විට දිල්රුක්ගේ වට්සැප් සමූහයෙන් ඉවත් කලේය! මේ වන විට මෙම සමූහයේද "බ්ලොග් හමුව පවත්වන්නේ කෙසේද?" යන්න හැර අන සියළු දේ කථාවට ගැනුනි. 


12/022023 10.03

කමියා තම හඬ අවදි කලේය. ඒ අජිත් ධම්ම විසින් අපගෙ බ්ලොග් ගෙට්ටුව පිළිබඳව අසා සිටි පැණයකට පිළිතුරු ලෙසය. කමියා විසින් දිනය වේලාව සහ පැවැත්වෙන ආකාරය පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කර තිබුනි. 

එදිනම සවස 5.35 වන විට කමියාගේ අදහස වෙනස්වී තිබුනි.

"අප්‍රේල් 2 පැළවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී . . . .
සයිබර් සිහින උළෙල
2023 අප්‍රේල් 2
මේ මං උඩින් අදහස් කල අපි සළසුම් කල ගෙට් එක නොවේ.
අභීතල මේක කරනවානම් අගේන්ස්ට් එකට වගේ අපිත් එදාම තව එකක් නොකර අපේ අදහස අකුල ගෙන පුලුවං උන් ඒකටම සෙට් වෙමුද? පස්සට දාමුද? නැත්නම් ෆැන්සි ගතිය අඩුකරලා අපි වෙනම සෙට් වෙමුද? 
සංවාදයට විවෘතයි."

මේ කමියාගේ අදහසය. 

බ්ලොග් ගෙට්ටුව අපේ අදහසකි.
ඒ සඳහා කණ්ඩායමක් එක් කිරීමට ක්‍රියා කලේ අපය!
එය අපගේ පාලනයෙන් ගිලිහී ගිය පසු නැවත; අලුතින් කණ්ඩායමක් එක් කොටගෙන ගමන ඇරඹුවේ අපය.
දිනය පළමුවෙන් ප්‍රකාශයට පත් කලේ අපය.
දැන් එදිනට මුල් කණ්ඩායම ගෙට්ටුවක් පැවැත්වීමට යොදා ගත් පසු; "මොකද කරණ්නේ අපි ඒකට යමුද නැද්ද අපි එදාට කරණවද නැද්ද? අපි අපේ එකේ සැර බාල කරලා කරමුද?" කියා  අපගේ ඩ්‍රයිව් කොමිටියේ සාමාජිකයෙකු ප්‍රසිද්ධියේ අපෙන්ම අසයි!

මෙවන් දේ ගැන ලියන්නට හෝ කථා කිරීමට මා නොදනිමි. මා මාගේ සෑම කටයුත්තක්ම පාහේ ඉටු කරණ්නේ " සතුට; තමාගේ සාර්ථකත්වය මණින මිනුම කරගන්න!" යන වැකිය පෙරදැරි කරගෙනය!
මේ ගෙට්ටුවද, බ්ලොග් ලිවීමද එසේ ජනිත වූ දේවල් විනා වෙනත් ව්‍යාපාර නොවේ! මාගේ කඳවුරු බිමට පැමිණි අයෙක් වේනම්; එම ව්‍යාපාරයද දිවෙන්නේ මෙම ඉහත දැක්වූ වැකියට අනුකූලව බව සාක්ෂි දරාවි!

"අප වෙනත් දිනයක් යොදා ගන්නේ ඇයි?
අපි එම සමූහයෙන් ඉවත්වී වෙනත් වට්සැප් කණ්ඩායමක් සකසා ගත්තේ නම් අපි නැවතත් ඔවුන්ගේ ගෙට්ටුවක් පිළිබඳව සැළකිල්ලට ගත යුතු වන්නේ ඇයි?
තමාගේ අතට ගත් අරක්කු වීදුරුවට; ඉදිරියේ සිටිනා අය එකතු කරගන්නා තරමට වඩා වැඩියෙන් සෝඩා එකතු කරගෙන සැර භාල කර ගත යුතු වන්නේ නිව්ටන්ගේ කුමණ නියමයකට අනුවද?"

මේ මම මගෙන්ම ඇසූ පැණයන්ය!

"මේ සියල්ලටම වඩා මේ මගුල කතා කරණ්න ඕණෑ මේ වගේ Open Forum එකකද? අපිට මේ වගේ දේවල කතා කරන්නට නොවෙද Drive Commitee කණ්ඩායම පිහිටුවා ගත්තේ? අපිට කලින් බ්ලොග් ලියූ පමණට ඔවුන් අපේ ජේෂ්ඨයන් වන්නේ කෙසේද? මෝටර් රථය ලෝකයට සොයා දුන් කාල් බෙන්ස්ගේ ඇවැමෙන් මේ වනවිට මාරගයන්ගේ දිවෙන බෙන්ස් කාර එකකට ඉස්සර කිරීම මරුටියකට නොවටිනා දෙයක්ද? මොනවද මේ කථා?'  මේ මට අවශේෂ වශයෙන සිතුණු කරුණුය!

මෙවන් ගැටළු සහගත අවසථාවලදී මා කටයුතු කරණ සිල්ලර ක්‍රම වේදයක් වේ. 
ඒ එම අවස්ථාවෙන් ඉවත් වීම හෝ පලා යෑමය!
එය මාගේ දුර්වල ගුණාංගයක් විය හැක! එහෙත් මෙවන් කටයුතුවල දිගින් දිගටම හැපෙමින් තැවෙමින් තැලෙමින් පෙරෙළෙමින් සිටීමට මට වේලාවක් නොමැතිවාසේම ඉන් ලැබෙන සතුටක්ද නැත! 
සතුටක් නොදැනෙන කිසිදු කරුණක් ඉටු කිරීමට මා මැළිවෙමි. බ්ලොග් හමුව යනු "භාරයක් ඔප්පු කිරීමක්" නොව හුදෙක් සතුට පතා මා කරණ්නට උත්සාහ ගත් ක්‍රියාවකි. එයින්ම මාගේ සිත වෙද්දල් ඔද්දල් වනවා නම් මා ඉන් ඉවත් වීම හැර කරණ්ණට දෙයක් වෙත්ද? 

මා එයට පිළිතුරක් ලීවෙමි.

12/02/2023   21.24
"මම මගේ 247. අයියා කියන පෝස්ටුවේ; අයියාට අහේතුකව මළ පැන්න පසු එය අම්මා විසඳූ අසාධාරණ හා අසමතුලිත ක්‍රම වේධය පිළිබඳව ලියා ඇත. 
ඒ අයියා වැඩිමහළු හෙයින් අප අයියාට වැඳ සමාව ගත යුතු වීමය.
එසේම අප්‍රේල් 2 හමුව පවත්වන බව පලමුව ප්‍රකාශයට පත් කලේ අපගේ කණ්ඩායම වෙනුවෙන් මම ය. එම දිනයම අනෙක් කණ්ඩායම විසින් යොදාගත්පසු අප අපේ දිනය වෙනස් කල යුතු යැයි හා ඔවුන්ගේ හමුවට අපිත් යමු දැයි සමහරු යෝජනා කරති.
මෙහි සාධාරණත්වය කුමක්දැයි මා නොදනී.
මේවාට උත්තර දීමට මට අපහසුය!"

12/02/2023 21.28
"මම මේ සියළු දෙයින් ඉවත්වෙමි! වැරදී ඇත්තේ මටය!"

ම විසින් සම්පාදිත වට්සැප් සමූහ දෙකකින් හා දිල්රුක් ගේ වට්සැප් සමූහයෙන් මා එක මොහොතකින් ඉවත් උනෙමි. සිතේ සතුටක් ඇති නොවනනා කිසිදු රජකමකින් මට වැඩක් නැත!
මේ දේවල් මෙසේ සිදුවද්දී මාහට මතක් වූ වකියක් විය.
ඒ: "කවුරු ආවත් නැතත්; අපි අප්‍රේල් 2 හෝ ආසන්න දිනෙක බ්ලොග් හමුව පවත්වනවා!" යනුවෙන් කල කට මැත දෙඩවිල්ල හෙවත් පොර ටෝක් ජනගත කිරීමය!
මම සයිකලයෙන් යාපනේ යන්නට පෙරද මව් බිම වටා පැදයන්නට ප්‍රථමයෙන්ද මෙවන්ම කයිවාරුවක් ගැසුවෙමි. එලෙසින්ම කලෙමි. එහෙත් වාසනාවකට; මාගැන අනුකම්පාවෙන්දෝ තවත් එකෙක් දෙන්නෙක් වැඩේට සෙට් විය!

මෙසේ සියල්ල හැරපියා යටබිම් ගත වූ පසු ඩ්‍රැකී මා ඇමතූවෙමි.
"මාත් යන්නේ නෑ! මං කියන්නේ මීට හොඳයි ටිපියෙ සෙට් වෙලා අපි දෙන්නා තුංදෙනා රා කට්ටක් බිව්වානං!" මට මතක විදියට පෙළගැස්වූ වචන ඩ්‍රැකීගේය!

මටත් හිතට ආවේ සුපිරි ගැම්මකි!

"හරි එකෙන්ම කරමු! මම රවි අයියාටත් කතා කරණ්ණම්!" මම වැඩේ පටන් ගන්නට හිතා ගත්තෙමි.

"සිතුවිල්ලකට තණ පතක් හෝ සෙලවිය නොහැකිය!" යනුවෙන් පැවසුවේ ලෙනින් උන්නැහැ විය යුතුය.

හරියටම පෙබරවාරි14 වෙනිදා මම තවත් වට්සැප් කණ්ඩායමක් ගොඩ නැංවූයෙමි. (විළි ලැජ්ජා නැතිකම මහ මුදළි කමටත් ඉහලයි කියන්නේ නිකංද?) 
එම සමූහයේ සිටියේ මමත් ඩ්‍රැකීත් සිරාත් පමණි!
සෑමා එකතු කරගත්තේ ඉන් ඉක්බිතිව  15 වෙනිදා සෑමාව එක් කර ගත්තේය. "නිදහස් සිතුවිළි" ලියන රවි අයියා අප එකතුවන දිනෙක එහි එන බව ශපත කලේ මේ අතරමය. 

ප්‍රාජේට ඇමතුවත් ඔහු ස්තිර වචනයක් කීවේ නැත්තේ දිනය පිළිබඳව ඔහුට තිබුනු දෙගිඩියාව නිසා විය යුතුය. 
ඩ්‍රැකී හරහා සම්බන්ධවී සිටි සඳකඩපහන සින්ඩිය මේ වන විට බ්ලොග් හමු පිළිබඳව විස්තර සොයා ඩ්‍රැකී ඇතුළු කිහිප දෙනෙකු වෙත පණිවිඩ එවා තිබුනද ඒ පිළිබඳව කිසිදු විස්තරයක් ලබා දීමට නොහැකි තත්වයක සොයල්ලෝම සිටියහ.
එසේම අපගේ කුඩා එකතුව පිළිබඳ කිසිදු ආරංචියක් පිටස්තර අයෙකු හට දැන ගැනීමට ඉඩ නොතැබීමටත් අප උත්සාහ ගත්තෙමු.

පෙබරවාරි22 වන විට "යාං හෑල්ලේ" සුරංගද පැමිණීම තහවුරු කර තිබුනි. මාර්තු 28 වන දින රවි වීරසිංහ, රන්දිල්, කටුස්සා, ඇනෝපිලිස් හා සජ්ජා සමූහයට එක් කලෙමි. ඔවුන් එක් කලේද "තිලක සිත" එක කල ආකාරයෙන්ම ඇමතුමකින් පසුවය.
මාර්තු 29 වන විට තරු රසී ඇයට සහභාගී වීමට නොහැකි බව දන්වා එවා තිබුනි.
තිලකසිරි ඒකනායක ඔහුගේ පැමිණීම තහවුරු කල අතර ඉයන් ලින්තොට හා ප්‍රාජේද මෙයට සහභාගී කරවීමට ඔහු උත්සාහ ගන්නා බව පැවසීම මාගේ ඉහේ මලක් නොව පල් පෝච්චියක් තැබීමක් විය!
එදිනම "නමියාගේ වීදියේ" නමියාවද "කොලොම්පුරේ" සමූහයට එක් කලෙමි.  එදින වන විට "කැලේට පිපෙන මල්" ලියනා වත්සලා මෙන්ම "අවන්හලේ" මහියාටද අපගේ බ්ලොග් හමුව පිළිබඳ දන්වා තිබුනි.
අප යොදාගෙන සිටි පරිදි අප්‍රේල් 2 වන දින; බොහෝ දෙනාගේ (විශේෂයෙන්ම ඩ්‍රැකීගේ අපහසුතාවය ඉල්ලීම පරිදි) අප්‍රේල් 5 පෝය දිනය තෙක් ඈත් කර ගැනීමට සමූහය එකඟ වී තිබුනි.
ඒ සමග අපගේ සමූහයේ නම "බක් පෝදා - බ්ලොග් හමුව" ලෙස වෙනස් කොට තිබුනි. 
එදිනම කමියාට මා පෞද්ගලිකව කථා කොට බ්ලොග් හමුවට ආරාධනා කල අතර හැකියාවක් ලදොත් සහභාගී වන බව මාහට දැන්වූ අතර එය මා සමූහයේ පල කලෙමි.

තවත් විනාඩි ගණනකික් අප සමග මුල සිට එකට සිටි සිරා සමූහයෙන් ඉවත්වූයේ මා පුදුමයට පත් කරවමිනි. 

එදින ලත් සතුටු දායකම ආරංචියක් වූයේ දෙමළ 'න' යන්න හෙවත් ප්‍රසන්න බ්ලොග් හමුවට සහභාගී වන බව ඩ්‍රැකී දැන්වීමය!
එදින රාත්‍රීය එළඹෙත්ම ඉයන් ලින්තොට තමාගේ පැමිණීම තහවුරු කලේය.
එදිනට කොලොම්පුරේට භාහිර පංතියක් සෙටමෝල් වී පැමිණීම අස්ථිර බවක් දැන් වූයේ ඔය අල්ල පනල්ලේමය!

බ්ලොග් හමුවට ඇත්තේ දින හයක් අදත් හමුව පැවැත්වෙන දිනයත් අත් හල විට දින හතරකි.
නිළ වශයෙන් පැමිණීම තහවුරු කොට ඇත්තේ හතර පස් දෙනෙකු පමණි.

Teepee the Campsite  කඳවුරු බිම කොටස් දෙකක් ලෙස පවතී. ඉන් එකක් කැළනි ගඟ අසබඩ බස් පාරට මායිම්ව ඇතත් අනෙක් කඳවුරු බිම පිහිටා ඇත්තේ ඉන් කිලෝමීටර 3 ක් ඔබ්බෙන්  වන රොදක් ආසන්නයේය. එන ඕනෑම පිරිසකට; පාර අසල කඳවුරු බිමේ ඕනෑම පහසුකමක් සැලසිය හැකි වුවද වන රොදේ පවතින කඳවුරු බිමේ සෙල්ලං නොමැත!

එන පිරිස නිවැරදිව දැන ගැනීමෙන් පසුව ආහාර ලබා ගන්නේ අවට පිහිටි එදිනෙදා ආහාර සපයන නිවෙස් වලිනි. කලින් කරණු ලබන දැනුම් දීමකින් තොරව හදිසියේ ආහාර ලබා ගැනීම අපහසු කටයුත්තකි!

එළ ද බ්‍රා මෙන්ඩා, හයේ හතරෙ දමිත් ගුණවර්ධන, දෙශකයා සහභාගී කරගැනීමට කල සියළු උත්සාහයන් අසාර්ථක විය.

අප්‍රේල් 2 වන දින ගෙවී ගියේය!

පෙර දින සාර්ථකව අවසන් වූ "බ්ලොග් පුරෝගාමීන්ගේ බ්ලොග් හමුවේ " ඡායාරූප දෙකක් අපගේ සමූහය තුල සංසරණය විය! ඉන් එක් පිංතූරයක මුහුණ පුරා රැවුළ වවාගත් පුරෝගාමියෙකුගේ පිංතූරක්ද අසෝක වීදුරු තුනක්; අරක්කු බෝතලයක් සහ භාගෙට කෑ ඔම්ලට් එකක දර්ශණයක් විය!

ඕනෑ දේකට 'සූදානං සරීරේ' කියා මා අප්‍රේල් 2 වන දින ටිපියට වාර්ථා කොට කඳවුරු බිම් දෙකම තණකොළ කපා පිරිසිදු කොට සූදානම් කලෙමි.

අප්‍රේල් 3 වන දින කොලොම්පුරේ සිය පවුල සහ නමියාගේ පැමිණීම තහවුරු කලේය.

අප්‍රේල් 4 වන විට යාංහෑල්ලේ සුරංගව සමූහයට එකතු කොට තිබුනි.
කමියා අවසාන දවසට පෙරදින වනතෙක්ම අවස්ථාවට සහභාගී වීමට අවංක උත්සාහයක් ගත් බවක් දැනුනි. එහෙත් නොවැලැක්විය හැකි හේතුවක්; සහභාගීත්වය වැලැක්වීමට හේතුවක් වීමෙන් ඔහුව අපට මග හැරී ගියේය!

සිරිත් පරිදි රවි අයියා පෙරදින එනම් 4 වනදා හවස් වරුවේ ටිපියට වැදහොත්ය! ඒ මිතුරු හමුවකට ඇවැසි අඩුවැඩියද රැගෙනය!

***********************************************************************************************

ශාන්ති දිසානායක යනු නොම්මර එකේ ලේඛිකාවකි. ඇය සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළවරකය. ඇගේ ගමේ සිට අනුරාධපුරයට කිලෝමීටරම 30කි! මීට මාස කිහිපයකට පෙර; මාලන් බ්‍රැන්ඩෝ විසින් ඔස්කාර් සම්මානය ප්‍රතික්ශේප කිරීම පිළිබඳව; මුහුනු පොතේ පලවූ පෝස්ටුවකට ඇය විසින් කමෙන්ටුවක් දමා තිබුනි. තමන්ටද එසේ ප්‍රථික්ෂේප කිරීමට තිබූ අවස්ථාවක් ගිලිහී ගිය බවක් සහ ඒ පිළිබඳව තමා කණගාටුවට පත් වන බවත් එයින් ප්‍රකාශ වී තිබුනි. 
ඕනෑම දේකට "එල්ලෙන" මම ඊට පිළිතුරු ලෙස; "තමන්ට සම්මානයක් ලැබීමේ ආරංචිය ලැබුනු විගස ෆැන්ටසියක අතරමං වී පසුව පශ්චාත්තාප වීමෙන් වැඩක් නැත!"  යන්න ලියා දැම්මේය. 
මාගේ උට්ටලං කථාවට උරණ නොවී ඇය ඉතාමත් නිරහංකාරී ලෙස ඊට පිළිතුරු ලෙස ඒ  පිළෛබඳ තමා තවමත් කණගාටු වන බව තවදුරටත් පවසා සිටියාය!
පසුව මා ඇගේ නිරහංකාර බවෙන් දමනය වී "ඔබ සමග කතා කිරීමට මා කැමතියි!" යනුවෙන් ලියා පලකල කමෙන්ටුවට
"කතා කරමු!" යනුවෙන් ඇ‍යගේ දූරකථන අංකය දක්වා තිබුනි.

මම වහාම ඇයගේ නොම්මරය "ශාන්ති දිසානායක" යනුවෙන් ගබඩා කර ගත්තෙමි. 
මේ සියල්ල සිදුවී මාස දෙකකටත් වැඩිය.
අප්‍රේල් 1 වන දින වන විට අපගේ දුප්පත් බ්ලොග් හමුව තරමක් අලු ගසා දමා කෙළින් වී තිබුනි.
පෘතග්ජනයින්ගේ හැටි!
මා හට ඇවැසි උනේ;  අපගේ බ්ලොග් හමුව අභිමානවත් ආකාරයකට පැවැත්වීමටය.
ඒ සඳහා "ආරාධිත අමුත්තෙක්" ඉන්නවානං වැඩේ එළම කිරිය!

ශාන්ති දිසානායක වැනි බුවියක් මෙතැනට බැස්සවිය හැකි වුවහොත් වැඩේ එකෙන්ම ගොඩය! 

මම හිමින් සීරුවේ ඇයගේ නොම්මරය සොයාගෙන  ඇය ඇමතීය!
"ම්හු!"
ඇයගේ දූරකථනය දිගටම නාද වුවද ඇය එයට සම්බන්ද්ධ නොවුනි.
වැඩේ පටං ගත් තැනම අල විය!
පැය භාගයකින් පමණ  මම දූරකථනය පිරික්සද්දි එහි මිස් කෝල් දෙකක් සනිටුහන් වී තිබුනි.
ඒ අන් කාගෙන් වත් නොව ශාන්ති දිසානායක ගත් කතු වරියගෙන් ය!
මම සීරුවෙන් ඇය ඇමතීමි!
"හෙලෝ මේ ශාන්ති දිසානායක මිස් ද?'
"ආ ඔව් මල්ලී! කියන්න!"
".........................................................."
"........................................................................."
"................................................"
"අක්කේ අපේ පොඩි බ්ලොග් හමුවක් තියෙනවා! අක්කාට එන්න පුළුවන්නම් ලොකු දෙයක් අපිට!" මම අවශ්‍ය තාවය කිව්වෙමි.

එතැන සිට සිදුවූ දේ මා ඇයගේම වචනයෙන් මෙතැනින් කියවන්න!
ඇය අප්‍රේල් 2 දින වන විට පැමිණීම තහවුරු කලාය. 

මා මේ ගැන දැන්වූයේ ඩ්‍රැකීට පමනි. රවි අයියා ගෙන ආ අඩු වැඩිය; අඩු පාඩුවකින් තොරව සප්පායම් වන විට මාගේ දැඩි සිත මෙලෙක් වීමට පටන් ගති. එහි ප්‍රථිපලයක් ලෙස එතෙක් මමත් ඩ්‍රැකීත් අතර තිබුනු රහස රවි අයියාගේ කනේද තැබීමට මාහට සිත් විය.
"අම්මට සිරි! ශාන්ති දිසානායක කියන්නේ මේ කාලේ ඉන්න සුපිරිම ලේඛිකාවන් දෙන්නගෙන් එක්කෙනෙක්. අනිත් එක්කෙනා සුනේත්‍රා රාජකරුණානායක!" රවි අයියා හුස්මක් නාල්ලාම කියාගෙන ගියේය.

මට මේ අල්ල පනල්ලේ තවත් එළු මගුලක් සිහියට ආවේය. (මොලේ නරක්වූ විට හිතට එන දේවල්!?) 
මම ඩ්‍රැකියාට කෝල් එකක් ගත්තෙමි.
මේ වනවිට වේලාව රාත්‍රී 8.30 ට අපමන වන්නට ඇත. දිනය අප්‍රේල් 4. හෙට ගෙට්ටුව!

"හෙලෝ මල්ලී!"
"කියන්න ලොකු අයියේ!"
"හෙට අපේ ගෙට්ටුවට එන එවුංට මොකක් හරි සමරුවකුත් දුන්නානං ගින්දර නේද?"
"ගින්දරනං තමයි! ඒත් අපි කොහොමද කරණ්නේ? අපි එකතු කරණ්නෙත් එකෙක්ගෙන් රුපියල් 1000යි නේ?"
"හරි මගේ ඔලුවෙ පොඩි අයිඩියාස් එකක් තියෙනවා! මං ගාව සල්ලි නෑ! උඹට පුළුවංද මට හෙට රුපියල් 5000ක් දෙන්න - ණයක් විදියට!?"
"හරි අවුලක් නෑ . . . !"

මම හැරෙන තැපෑලෙන් ශාන්ති අක්කාට ඇමතීමට සිග්නල් සොයා කළුවරේම හක්බෙල්ලාවක සම්පකාරය දෙසට ඇදුනෙමි.

"අක්කෙ පොඩි සීන්ස් එකක්! මට අක්කගෙ පොත් ටිකක් ඕනේ එන අයට සමරු විදියට දෙන්න!? මොකද කරණ්නේ?"
"මල්ලී පොත් කීයක් විතරද?'
"දහයක් දොළහක් විතර!"
"අනේ මල්ලී ගෙදර හරියෙම තියෙන්නේ පොත් 6ක් 7ක් විතර! හරි කමක් නෑ මම මොනවා හරි කරණ්නම්කෝ!"

ඒ වැඩෙත් හරි ය! මම රවි අයියා දෙසට හැරුනෙමි.
"අයියේ හෙට අපිට souvenirs විදියට දෙන්න ශාන්ති දිසානායක පොත් ටිකක් ගේනවා . . . . . . .!" කතාව ඉවර කරණ්නට ලැබුනේ නැත.

"යකෝ ඒ මනුස්සයට එන්නත් කියලා; උඹ  තව පොතුත් ඉල්ලුවාම හරිද බං? හරි! කමක් නෑ! මම ඒ පැත්ත බලා ගන්නං කෝ!" රවි අයියා වැඩේට බෙල්ල තිබ්බේය!

අප්‍රේල් 5 දා උදාවුනි!
මම උදෙන්ම නැගිට බතක් උයා බෝංචි කරල් ටිකක් තෙල්දමා කිරිදමා හින්දවා, ලූනු සම්බෝලයක් සෑදුවෙමි. අනතුරුව මාත් රවි අයියාත් හක්බෙල්ලාවක කඳවුරු බිමෙන් ලට පට පුටු මේස ආදිය පටවාගෙන දොඩංගස් තැන්න කඳවුරු බිම වෙත ගොස් එතැනට පොඩි පහේ මේකප් පාරක් දමා ආපසු පැමිණ පිරිස පිලිගැනීමට සැදී පැහැදී සිටියෙමු.
ශාන්ති අක්කාට උපදෙස් දී තිබූ පරිදිම මා වෙත නිරන්තරයෙන් පණිවිඩ එවා තිබුනි.පළමු පණිවිඩය වූයේ "බස් එකට නැග්ගා!" කියා පාන්දර 3.30ට එවනලද වැකියයි.
ඊළඟ පනිවිඩය වූයේ; ස්වකීය පුත්‍රයා සමගින්  වරකපොලින් කරවණැල්ල බසයකට ගොඩවූ බවයි.

මේ අතර වත්සලා විජේරත්න සොයුරිය සිය කුඩා පුතණුවන් සහ; නාන්නටම සැරසී පැමිණි තම සොයුරියත් සමග හක්බෙල්ලාවකින් බසයෙන් බැස්සේය.
අනතුරුව තිලක සිත ලියන තිලකසිරි අයියාද, ඩ්‍රැකීද නමියාද අසංගද ප්‍රසන්නද සුරංගද ඇතුළු පිරිස හක්බෙල්ලාවකට සේන්දුවිය.
තවත් කෙටි කාලයකින් අපගේ ප්‍රධාන අමුත්තිය ශාන්ති දිසානායක කඳවුරු බිමට පැමිණියාය.

එතැණ් සිට සිදුවූ දෑ මා ලියා පලක් නොමැත.

ඒ පිළිබඳව බොහෝ බ්ලොග් රචනා ලියැවී ඇත.

එදින සිදුවූ වැදගත්ම සිදුවීමක් වන්නේ ශාන්ති දිසානායක ගත් කතුවරිය බ්ලොග්කරණයට පිවිසීමේ ප්‍රධාන පියවර ගැනීමය. එයට ගිරිදේවි ලෙස නම තැබුවේ රවි අයියාය. තාක්ෂණික සහය ඩ්‍රැකීගෙන් ය. 

පරි කථා:- ශාන්ති අක්කා පැමිණි විගස මාහට දැන ගැනීමට ඇවැසි වූයේ; පොත් ටික ගෙන එන්නට පුළුවන් උනාදැයි කියාය!
"ඔව් මල්ලී! අහල පහල ගෙවල් වලට දීලා තිබුනු පොත් ටිකකුත් එකතු කරගෙන ආවා!"
අපගේ බ්ලොග් ලියන්නන් හා කමෙන්ට් කරුවන් දොළහක් එතැන සිටියහ.
ඩ්‍රැකී තම "ගිරි දේවි" පොත; ශාන්තී දිසානායකගෙන් අත්සනක්  ලබා ගැනීමට ගෙනැවිත් තිබුනි.
ශාන්ති අක්කාට ගෙනෙන්නට හැzකිව තිබුනේ පොත් දහයක් පමණි!
ඩ්‍රැකී ගෙන ආ සවකීය පොත සමගින් අප පොත් එකොළහක් ප්‍රධානය කලෙමු.

"අනේ මල්ලී ඔයාට පොතක් නෑනේ!?"
"නෑ අක්කේ ඒක තමයි සතුට! මට නැති උනාට කමක් නෑ! අනිත් හැමෝටම ලැබුනානේ!"

සත්තකින්ම; කුඩා වුවත්; අභිමානවත් බ්ලොග් හමුවක් අප පැවැත්වූයෙමු. ඒ සතුට තවමත් හිත පිරී ඇත.

"සතුට! ජීවිතයේ සාර්ථකත්වය මනින මිනුම කරගන්න!" යන්න මොනතරම් සාධාරණ ප්‍රකාශයක්ද?

අවසාන මොහොතේදීවත් මාගේ මිත්‍ර දිල්රුක් කන්ණංගරව සහභාගී කර ගැනීමට තබා ආරාධනා කිරීමටවත් නොහැකිවීමේ කණගාටුව හැරුණු කොටගෙන එය සතුටුදායක අවසානයකි!
බ්ලොග් හමුවට සපැමිණි ශාන්ති දිසානායක, ඇයගේ පුතු, ඩ්‍රැකී, ඩ්‍රැකියාණි, පුංචි රාළ, කොළොම්පුරේ, වාළම්පූරි සහ කොළුවන් දෙපල, නමියා, රවි අයියා, තිලකසිරි අයියා, වත්සලා, නංගි සහ කුඩා පුතු, සුර්ංග සහ සුරංගි හෙවත් චූටි මැණිකෙ සහ නයා ප්‍රසන්න, ඕල්ඩ් ඇරැක් බෝතල් හතරක් පෙර දැරි කරගෙන පැමිණි ඉයන් ලින්තොට සහ ඔහුට පාර පෙන්වූ ප්‍රාජේ සියල්ලන්හටම අවංක ආදර ස්තූතිය. ඩ්‍රැකී සහ රවි අයියා දුන් සහයෝගය අමතක නෑ! පොඩි පොඩි වැරදි හදාගෙන අපි ආයෙත් හමුවෙමු මීට වඩා පුළුල් සහභාගීත්වයකින් යුතුව.
මේ තිරෙන් ඇතුලත කථාව!

තිරයෙන් එළිපිට සිදුවූ දේ දැන ගන්න කියවන්න:-









23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...