Monday, August 30, 2021

212. පැනි බේරෙණ කොම්පැනි කථා 5


මා සේවය කල එක් ආයතනයක පරිපාලනය; විශ්‍රාමික හමුදා නිළධරයින් පිළිබඳව දැක්වූයේ මෙත් සිතුවිල්ලක්. බොහෝ අංශ ප්‍රධානින් උනේ එවන් නිළධාරීන්. හමුදා නිළධාරීන් විනය ගරුක, සෘජු ප්‍රථිපත්තියක් ඇති, විනිවිද භාවයකින් යුත්, නියමිත කලට වේලාවට වැඩ කරණ, පරිපාලනයේ දක්ෂ පිරිසක් කියලයි එයාලා හිතා හිටියේ! (හිනාත් යනවා නේද?) ලංකාවේ අති මහත් බහුතරයත් එසේ හිතපු එකේ ආයේ අපේ ලොක්කෝ ගැන කවර කථා ද නේද?

එහෙත්  අපගේ හිටපු වැඩහල් සාමාන්‍යධිකාරී  වන්නිආරච්ච්චි මහතා හා විකුණුම් අංශයේ සිටි  නානායක්කාර මහතා හැරුණු කොට ගෙන අන් අය ගැන  නම් කියන්න තියෙනනේ ඉතා දුක් බර මතකයන්  ගැන පමනකි!

එතෙක් කල් නාවික හමුදාව විසින් නතු කරගෙන තිබුනු අප සමගමට හදිසි ගුවන් ප්‍රහාරයක් එල්ලවන්නේ ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් සමන් මහතාගේ පැමිණීමත් සමග. ඉන් පසු ඒ පසුපසින් තවත් ගුවන් හමුදා නිළධරයෙකු වූ මෙන්ඩිස් මහතා පැමිණියා.

සමන්  මහතා ඇල් වතුර වීදුරුවක් බොන්නේ පීරිසියකට දමා විනාඩි දහයක් පමන පිඹිමින් නිවාගෙනයි. මෙන්ඩිස් මහතා ඊට හාත්පසින්ම වෙනස් ගති ලක්ෂණ දැරුවා. මෙන්ඩිස් මහතා දැරුවේ ඊට වෙනස්ම වූ ජීවන රටාවක්. ඔහු ඇවිද්දේද, ගියේද ආවේද, හැරුනේද, කථාකලේද , රඟ පෑවේද දැඩි සීග්‍ර තාවයකින් ය. ඇඟ පුරාම මොලේය. සැම සියල්ලන් හටම අමතන්නේ හමුදා උණෙනි. ඔහු ගැන හැඳින්වීමට වචන නාස්තිකලා මේ ඇතැයි මා සිතමි. ඒයට තව එක් කරණවානම් එක් කල යුතුව තියෙන්නේ පොලිටික්කෙකුට ද ඉතා ආසන්න නෑ කමක් පැවතීම ගැන කියන්නට පමණි.

කාලය ගෙවී ගියේය. ආයතනයට පැමිණි වහාම ඩෙමා සමග කොක්කක් ඇද ගත්තේය! මේ ආකාරයට වටේම ඉන්න එවුං සමග කොකු ඇද ගැනීම ඔහුගේ මාසික චක්‍රයේ එක් අනිවාර්‍යය ක්‍රියාවක්ය!

අපගේ වැඩහල් සාමාන්‍යධිකාරි විසින් පවත්වනු ලබන මාසික රැස්වීමක් විය. "මැරුන්නැත්තං එන්නෝන!" මේ සාමාන්‍යධිකාරි වරයාගේ හෙවත් ජී එම්ගේ  තීන්දුව, තීරණය, නියෝගය, අණ විය. ඒ නිසාම අපගේ යාපනයේ ශාඛාවේ සේවා උපදේශක වරයා පවා එයට සහභාගී වීමට අනෙකුත් හතර දිග්භාගයේ අය හා එක් විය. ජී එම් හෙවත් ජෙමා මෙම රැස්වීම හවස පහට පහමාරට පටන් ගෙන රාත්‍රී දහය එකොළහ වනතුරු ඇදගෙන යයි. ඒ ඔහුගේ ආතල් එක යැයි අපි විශ්වාස කලෙමු. "නා නා රූප නානා සංඥා" (විවිධ වූ අය විවිධාකාරවේ!) කියපු ශ්‍රී මුඛයෙන්ම "සබ්බේ පෘතග්ජනා උම්මත්තකා" (සෑම පුහුදුන් සත්වයෙක්ම උම්මත්තකයෙකි!) කියලත් තියෙන්නේ ආයෙ කට කහනවාටයෑ!?

විසල් මේසයක් වටා එක් වන මෙම රැස්වීමේදී ජී එම් අසලින්ම වාඩිවෙන්නේ මාය! මා වීරයෙකු යැයි නොසිතන්න. ඊට හේතු කාරණා රාශියකි. අංක එකටම ඇත්තේ බොහෝ විට ජෙමාගේ ඇහැ යන්නේ ඈත කෙලවරේ ඉන්නා එවුංට මිස අත ළඟ සිටින මා දෙස නොවේ! අංක දෙක වන්නේ; ඔහු කිසියම් දෙයකට බැන අඬ ගැහුවත් එය ඇසෙන්නේ මටත් තවත් ඉතා සීමිත පිරිසකටත් පමණි. ඈත ඉන්න එවුන් කන්නේ සියල්ල ඉදිරියේ රෙදි ගැලවෙන ලෙසය. අංක තුන වන්නේ ඕනෑම නිදහසට කාරණාවක් ඔහුට පමනක් ඇසෙන සේ පවසා වැඩක් ගොඩ දා ගැනීමට හැකිවීමය. අනෙක පංතියේ ඉස්සරහම පේළියේ ඉන්නේ වැඩ ටික කරපු එවුං යැයි ඕනෑම ගුරුවරයෙකු ඇන්දෙන බව මම දන්නා නිසාය. ඔවැනි කරුණු රාශියකි! මෙය කියවන ඔබට මතකද මන්දා මීට දශක දෙකකට තුනකට පමණ පෙර "අරවින්ද" නමැති චිත්‍ර කථා ශිල්පියා ඇන්ද එක් චිත්‍ර කථාවක ගුරුවරයෙකු හට සිසුන් පිරිසක් දමා තිබුනු නමක්, ඒය තමයි "කළාතුරයා!" එසේ එම ගුරුවරයාට පවසන්නට ඇති ආසන්නතම හේතුව වූයේ ඔහු පාසලට නොපැමිණෙන්නේ ඉතා කළාතුරකින් වන නිසාය! අපගේ ජෙමාද නොම්මර එකේ කළාතුරයෙකි. මොන දෙයක් උනත් ඔහු නියමිත දිනට රැස්වීමට පැමිණේ! 

රැස්වීම අවසාන වන්නේ අපට ඇනුම් යද්දීය. ඔහු වැඩහල පාලනය කල වසර පහක හයක කාලය තුල එක් දිනක් ඔහුට පැමිණීමට නොහැකි විය. ජෙමා නැති "සාමාණ්‍යධිකාරි රැස්වීම" යනු රෑට වසා තැබෙන "නයිට් කඩයකි"!  එදින රැස්වීම ගත්තේ සමන් මහතා වන අතර මෙන්ඩිස් ලොක්කා ඔහුගේ රැස් විහිදුවමින් විය. 

ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කියන්නාසේ මෙන්ඩිස් ලොක්කා එදින නිළ නොලත් ජෙමාගේ රෝල් එක සමන් මහතාගෙන් බලෙන් පවරාගෙන රඟන්නට විය. අර කිඹුල් කටු ඇනෙනවා ඉවසිය හැකි උනාට  කොහිල කටු ඇනෙනවා ඉවසන්න බැරි බව කියන්න ඕනෙ නැත! මීටිම පටං ගත් මොහොතේ සිට මෙන්ඩිස් ලොක්කාගේ රැඟිල්ල බලා සිටි මා සිටියේ ලේ රත් වී කන් රතු වී වෙව්ලමින්ය. රැස්වීම පැය භාගයකින් පමණ අවසන් කොට පිටත් වීමට අප සියල්ලෝම සූදානමින් සිටිය මුත් එකිනෙකා සමග කථා බහේ අඩුවක් නොවීය. ජෙමා සිටියද එකි නෙකා කථා බස් කරණ අපට මෙන්ඩිස් අවුලක්ම තිබුනේ නැත. රැස්වීම් ශාලාව තුල කාල ගෝට්ටියකි. සමහරුන් බොන්න යන්න කට්ටිය සෙට් කරමින්ය. තවත් අය එදින ජෙමාගේ නොපැමිණීම නිසා තමාට ලැබුනු "ගුටි නොකෑමේ" ආතල් එක අන් අය සමග බෙදා ගනිමින්ය! තවත් අය ගෙදර යාමට සෙට මෝල් වෙමින්ය. එතැන නොකෙරුණු එකම දෙය වූයේ මෙන්ඩිස් හට සවන් දීම පමණි! මෙන්ඩිස් හට ඒ වන විට සුපිරියටම මල පැන තිබුනි. මට එය ගෙන දුන්නේ නොම්මර එකේම ආතල් එකක් ය! 

"ළමායි! ළමායි!! කෑ ගහන්න එපා . . . . . . . . !"

"ළමායි . . .! මේ ක ඉවර කරණ්න ඕනෙ නැද්ද අද . . .??!"

මෙන්ඩිස් ලොක්කා කිහිප වතාවක් "ළමායි!" ගාමින් අපිට කෑගසමින්ය. ඒ නිකංම නොවේය! මේසයට තඩි බාමින්ය! මට එයින් තවත් ජුවල්ය! තවත් විනාඩි 10 කින් පමණ රැස්වීම අවසන් විය!

"ගුඩ් නයිට් ඕල්!" මෙන්ඩිස් රැස්වීම අත් හිටුවමින් පවසා නැවත අතුරු ප්‍රශ්ණයක් නැගුවේය!

"ළමයින්ට මුකුත් කියන්න ප්‍රශ්නයක් නෑ නේද?"

මගේ අත එස වුනේ ඔටෝය! 

"තියෙනවා! අපිට ළමයි! ළමයි!! ගාන්න එපා!!! ඒකට මම කැමති නෑ! අපිට ළමයි ගෑවොත් අපි ඔයාට "මිනිහො" කියන්නම්! කමක් නැද්ද!?" මම කථාව අරඹා කියාගෙන යන විටම ශාලාව  සීයට පනහක් නිශ්ශබ්ධවී තිබුනි. මගේ වාක්කිය අවසන් වන විට මගේ කට හඬ ඇසෙන දුරින් සිටි සියල්ලෝම කොර වෙලාය!  මෙන්ඩිස් ලොක්කාට උතුර දකුණ අමතකව ගොස්ය!  කොටින්ම හිංගලත් අමතකව ගොස්ය!

Ok!  Extreamly sorry gentleman good night all!

හරි නේද මිස්ටර්!? කියා මාදෙස දෙස බලා ඇසුවේය! මම කිසි ගානක් නැතිව "හරි සර්!" කියමින් ගෙදර එන්න නැගිට්ටෙමි! රැස්වීම් ශාලාවෙන් පහලට බසිද්දී අපගේ ලොකු කුඩා මිතුරන් මා වට කොට ගෙනය. ඉතිරිය මා නොකීවාට ඔබටම සිතා ගත හැකිවනු ඇතැයි සිතමි. 

කථාව මෙය නොවේ. මේ මෙතෙක් කථාවය. නියම කථාව පටන් ගන්නේ දැන්ය!

මාගේ ආසනය තිබුනේ ඉදිරි කාර්‍යාලයේ පසු පස ඉමේය! මේ නිසා පාරිභෝගිකයින් පැමිණ අපගේ සොහොයුරන් සමග කිසියම් "ආදර බස්" හුවමාරු කිරීමක් සිදුවන්නේ නම් එය ඉක්මණින්ම දකින්නටත්  මා හට ඊට ඉක්මණින් ළඟා වීමටත් ඉන් හැකිවිය! සමන්  මහතාගේ ආසනය තිබුනේ මගේ ආසනයට ඉදිරියෙන්ය.  අපගේ මුළු වැඩ හල අක්කර හතක් වන අතර වැඩහල පිටුපස ඉමේ කොටස හැඳින්වූයේ අක්කර දෙක යන නමින්ය! මෙන්ඩිස් ලොක්කා මේ කාලයේ සේවය කලේ   අක්කර දෙකේය! දිනක් උදෑසන සමන්  මහතාගේ ආසනය   අසල එකම කාලගෝට්ටියකි. සමන් මහතා ඉදිරියේ ආසනයක පාරිභෝගික මහතෙකු සිට එකසිය ගානට විදිමින් විය. ඒ අසල අපගේ කථා නායක මෙන්ඩිස් ලොක්කාද හතර අතට ඇඹරෙයි! මෙන්ඩිස් ලොක්කා කවදාවත්ම නැතිව මෙසේ ඇඹරෙන්නේ ඇයි දැයි ඇන්ටනාව දමා බලන ලෙස මා සමග සේවය කල; මේ බ්ලොගය අටවා දුන් තඩි ගිහාන්ට පැවසුවෙමි. විනාඩි ගණනකින් තඩි ගිහාන් සිද්ධිය පැහැදිලි කලේය.

පෙරදින සවස් වරුවේ; අක්කර දෙක කොටසේ ඇති ලිහිසන සේවා කොටසට  පෙර කී පාරිභෝගිකයා තම අලුත් මෝටර් රථය ගෙනැවිත් ඇත්තේ එහි ප්‍රථම සේවාව වන කිලෝ මීටර 1000න් සිදු කරණ සේවාව ඉටු කර ගැනීම සඳහාය. එහිදී එක් සේවකයෙකු;  එම රථය එක් තැනක සිට තවත් තැනකට ගැනීමට පසු පසට ධාවනය කරද්දී එතැන තිබුනු යකඩ කනුවක වැදී රථයේ පසුපස මුළු මණින්ම හානි වී ඇත. පාරිභෝගිකයා ඕස්ට්‍රේලියාවේ පදිංචි අයෙකු වන අතර;  නිවාඩුවකට මෙරටට පැමිණි අවස්ථාවක තම නැගණියගේ රථය ස්වෙච්ඡාවෙන් සේවාව සඳහා අප ආයතනයට ගෙනැවිත් තිබුනි!

වැඩේ ක්‍රිමිනල්ය! ෆුල් සීරියස් ය!

වීදුරුව තුලින් හඬ නොඇසුනත් පාරිභෝගිකයාගේ කෝපාවිෂ්ඨ මුහුණ හා ඊට සමගාමීව මෙන්ඩිස් ලොක්කාගේ ඇඹරීම මාහට දිස්වුනි. මෙයට මැදිහත්වීමට හෝ නොවීමට මාහට පුළුවන! මන්ද කිසිවෙකු මේ සම්බන්ධයෙන් මා වෙත පැමිණිල්ලක් සිදු කොට හෝ මැදිහත්වන ලෙස දන්වා හෝ නොමැත! එහෙත් කිසියම් සිද්ධියකය අත පෙවීමට එය සුදුසු එකක්ද නැතිනම් නුසුදුසු එකක් දැයි තෝරා බේරා ගන්නා ආකාරය පිළිබඳව නිවැරදි වැටහීමක් අද මෙන්ම එදාත් මාතුළ නොතිබුනි. ඊට අමතරව සදාචාරාත්මකව ගත් කල පාරිභොගිකයෙකු කිසියම් ගැටළුවකට මැදිහත්ව සිටින විට කර ඇරීම මාහට තරම් නොවේ! මා ඉක්මනින්ම සමන්  මහතාගේ ආසනය වෙතට ගියෙමි. 

"නෑ සර් !  මේක අපි හිතලා කරපු දෙයක් නෙවෙයි! අපි තිබුනා වගේ හදලා දෙන්නම්! මේ වාහනේ ඩ්‍රයිව් කරලා තියෙන්නේ හැමදාම ඒ වැඩේ කරන කෙනා! හරිම කනගාටුයි . . . " මෙන්ඩිස් ලොක්කා කියාගෙන යයි.

"සර්! මම පර්සනලි බලලා වාහනේ හදලා දෙන්නම් දවස් දෙකකින්! එතකල් පාවිච්චි කරණ්න කම්පනි එකෙන් වාහනය සර් ට අරං දෙන්නම්!" සමන්  මහතා කියවයි.
"පිස්සු කියවන්න එපා! අළුත් වාහනයක් මම මෙතනට ගෙනත් මම මොකටද හැප්පුනු වාහනයක් අරගෙන යන්නේ!? මම ඔයාලගෙ CEO එක්ක ප්‍රශ්නෙ බේර ගන්නම්. ඔයාලගෙ සර්විස් එක හරිම Careless . . . . . !" පාරිභෝගික මහතා තනිවම තම ප්‍රහාරය එල්ල කරයි.
මෙසේ පාරිභෝගිකයෙකු තදින් උරණ වී සිටින අවස්ථාවක ඔහුට කථා කිරීමට (මා "දමනය" හෝ මෙල්ල කිරීම" යන වචනය භාවිතා නොකිරීමට පරිස්සම් වන්නෙමි!) අවස්ථාවක් එන තුරු සිටිය යුතුය. එය මාගේ උපක්‍රමයකි. ඔහු කියන කියන සෑම දෙයකටම අපද ගිරවුන් සේ වචන විදින්නට ගිය විට ඔහු වඩාත් කෝපවේ. එය මා දකින්නේ මෙලෙසය! පීඩාවට පත්වී පත්වී ඇත්තේ ඔහුය. ඔහුට තම පාඩුව කෝපය ආතතිය ගෙවා දැමීමට අවස්ථාවක්, පුද්ගලයෙක්, ස්ථානයක් ලබා දීම අප විසින් කලයුතු කට යුත්තකි. ඒ සඳහා අප විසින් ඔහුට වේදිකාවක් තනා දිය යුතුය! අප ඊට හරස් වීමෙන් ඔහුගේ කෝපය, ආතතිය ඔහු තුලින් පහව නොයයි. මේ නිසාම ඔහු සමග කිසියම් එකඟතාවයකට ඒමට අපහසු වේ! බොහෝ විට ඊට ඉඩ සැල සීමට ඔහුට සවන් දිය යුතුය! ඔහුගේ පාඩුව අප පිලිගත යුතුය!! ඔහු විඳින අපහසු තාවයේ අපද කොටස් කරුවෙකු විය යුතුය!!!

සමන්  මහතා අසල පිහිටි කුඩා ලිපිගොනු රාක්කය අසල මා සිට ගත් මා මෙන්ඩිස් ලොක්කාටත් සමන් කුමාර මහතාටත් "සර් අපි පොඩ්ඩක් මේ සර් කියන දේ අහමුකෝ!"  යැයි පවසමින්ම් පාරිභෝගිකයා වෙතට නැඹුරු උනෙමි. පරිභෝගිකයා  තමාගේ කථාව මුල සිට කියන්නට කැමැත්තක් නොදැක්වීය!
"මට කියන්න තියෙන්නේ මට හප්පලා හදපු වාහනයක් එපා!" මම  රිපෝර්ට් කරණවා Consumer Affairs Authority එකට! එච්චරයි!" කථාව ඔහු එක තැන ලඟම නැව්වේය!

ඕනෑම මිනිසෙකු සමග කිසියම් සමගි සංධානයක් ගොඩ නංවා ගැනීමට තමන් සහ ඔහු අතර කිසියම් හෝ සමාන බවක් සොයා ගත යුතුය. එකම විදියේ අදහස්, එකම පලාතක විසීම, එකම භාෂාවක් කථා කිරීම, එකම පාසලක ඉගෙන ගැනීම, එකම විනෝදාංශයන්හී යෙදීම වැනි සමාන බවක් ඇති කිරීමට කදිම අවස්ථාය! සමහරු සෙට මෝල් වන්නේ තනිව කෑම්පින් කරණ නිසා විය හැක! ඒ සඳහා ඔහු සමග කථා කරමින්ම ඊට අවශ්‍ය දත්තයන් සොයා ගත යුතුය! මා ඔහුගේ මුහුණ දෙස නොව ඔහුගේ දෙනයන මතම මාගේ ඇස් තබා ගෙනම ඔහු  තවත් දිගින් දිගට කරණා දෝශාරෝපනය අසා සිටිමින්ම ඔහු සමග සංධානගත වීමට මගක් සොයමින් විමි! 

"මේ මනුස්සයා මං කොහේදි හරි දැකලා තියෙනවානේ! කවුද මේ !? ගෙවල් පැත්තෙ බුවෙකුත් නෙවෙයි . . . ! වැඩ කරපු තැනක එකෙකුත් නෙවෙයි!?" මම ඔහුව හොඳින් ස්කෑන් කරමින් ඩෙටා බේස් එක පීරමින්ය! තවත් විනාඩි ගානක් යන විට මගේ මතකය ස්පාක් විය! "අම්මට සිරි මේ යකා අපේ ඉස්කෝලෙ මගේ පංතියේ මට පේලි දෙකක් ඉස්සරහින් හිටපු සද්ද බද්ද නැති ඩයල් එක නේද?" 

මම ඔහු වෙත තවත් නැඹුරු විය! "එක්ස්කියුස්මී සර්! සර් "අහවල්" ඉස්කෝලේ නේද?"

"ම්ම්ම්ම්ම් . . . . . . .මචං උඹ මේ  . . . .?" 

"ඔව් සර් එයා තමයි . . .!"

"සර් මේ වර්ක් ෂොප් එකේ මෙහෙම ප්‍රශ්නයක් උනාම මම තමයි ඒකට මැදිහත් වෙන්නේ. මට තේරෙණවා සර් ගේ ප්‍රශ්නෙ. සමහර විට සර්ට සර්ගේ නංගිට මෙහෙම දෙයක් උනා කියලා කියන්නවත් බැරුව ඇති! සර් මේ ඉස්සරහ යාඩ් එකේ තියෙන බ්‍රැන්ඩ් නිව් වාහන ඔක්කොම තියෙන්නේ මගේ භාරයේ. සර් මට හෙට දවස දෙන්න. අනිද්දා මම සර්ගෙ වාහනේ ඉස්සරහ තියෙන බ්‍රැන්ඩ් නිව් එකක් එක්ක තියලා පෙන්වන්නම්! සර් මට පොඩි හරි වෙනසක් පෙන්නුවොත් මම සර්ට බ්‍රැන්ඩ් නිව් එක ගෙනියන්න දෙන්නං! මාව විශ්වාස කරණ්න. මම පර්සනලි ඉන්වෝල්ව් වෙලා වැඩේ කරලා දෙන්නම්!"

සමන් මහතාද මෙන්ඩිස් ලොක්කාද පාරිභෝගිකයාද තිදෙනාම මා දෙස බලා ගෙනය! තවත් මිනිත්තුවක් නිහඬව ගෙවුනි. ඊළඟ මිනිත්තුවේ පාරිභෝගික මහතා කට හඬ අවදි කලේය!

"හරි මචං! උඹ වැඩේ බලලා කරල දියං!  උඹ හින්දා මම මේ යන්නේ!' ඔහු ආසනය පසු පසට තල්ලු කොට පිටව ගියේය. 

"ඒයි කොල්ලෝ  රිඩ්ලි නිර්මාල් පොඩි සීන් එකක් වැඩේ දියං අද හවසට මට වාහනේ ඕනේ!" මම  වැඩේ බොඩි රෙපයාර් අංශයේ සේවා උපදෙශක "මචං" කෙනෙකුට භාර දුන්නේය. 

පසුදින උදෙම මම වාහනය බැලීමට යන අතර මගදී මෙන්ඩිස් ලොක්කා මුණට මුහුණ මුන ගැසුනේය. රැස්වීම් ශාලාවේ සිදුවූ සිද්ධියෙන් පසු  ඒවන තුරා කිසිදු ඇයි හොඳැයියකින් තොරව සිටි මා ඔහු දෙස නොබලා යන්නට විමි.

"ගුඩ් මොර්නිං . . . !" මෙන්ඩිස් ලොක්කා මාහට උදෑසන සුභ පතමින්ම නැවතුනි!

"ගුඩ් මෝර්නිං සර්!"

"මං හිතුවේ නෑ ඔයා කවදාවත් ඊයේ වගේ මට උදව්වක් කරයි කියලා!?"

"පිස්සුද සර් මං කවදාවත් මැරිච්ච සිංහයා ව අපයෝජනය කරන කෙනෙක් නෙවෙයි!" (ගැලපෙන වචන දෙකක් යොදා ගන්න!)

මෙන්ඩිස් ලොක්කා හිස සොලවමින් කාර්‍යාලය පැත්තට ගියේය. එදින උදේ වරුවේ පාරිභෝගිකයා වෙත වාහනය මගේ අතින්ම භාර දී ගේම ක්ලෝස් කර ගත්තෙමි!

වැඩේ සුපිරිම ප්‍රථිඵලය ආවේ තව මාස ගණනාවකින්ය!

ඒ ඉදිරි වසර සඳහා වැටුප් වර්ධක සහ පාරිතෝෂිත දීමනා සඳහා පෝරම කොල පිරවීම හා සම්මුඛ පරීක්ෂණයට මා  සමන්  මහතා ඉදිරියේ පෙනී සිටියෙමි. සාමාන්‍යයෙන් පෝරමය අප විසින්  පුරවා අංශ ප්‍රධානින් අතට පත් කල යුතුව තිබෙන අතර සම්මුඛ පරීක්ෂණයේ දී; පෙර එහි අප යෝජනා කොට ඇති අපගෙ  "අගැයීම්" ඔවුන් විසින් පිළිගැනීමට හෝ අභියෝගයට හෝ ලක් කිරීම කරණු ලබයි. එදින; "විනය" සඳහා ලැබී තිබුනේ අඩු ලංසුවක්ය. මා කිසි විටෙක එය අපේක්ෂා නොකල දෙයකි!

"ඇයි සර් මේ!"

" ඇයි  මතකද  දවසක් මිස්ටර් මෙන්ඩිස්  බෝඩ් රූම් එකේදී ළමයි කිව්වා කියලා ඔයා ඒකට  . . . . . . . .!?" තතනමින් වචන එකතු කරණ්නට විය.

කථාව සම්පූර්ණ කරණ්නට මත්තෙන් සිද්ධිය මට පැහැදිලි විය. 

"අනේ ! අවුලක් නෑ සර් කැමති ලකුණක් දාගන්න!" මා ඔහු අත තිබූ පෝරමය රැගෙන යටින් අත්සන් කොට දුන්නෙමි. ඉන් පසු මා ආයතනයේ සේවය කල කාල සීමාව තුල සිදු කෙරුණු කිසිදු ඇගයීම් සම්මුඛ පරීක්ෂනයක් සඳහා පෝරම පිරවූවේ නැත! මා කලේ හිස් පෝරමයට අත්සන් කොට සමන් කුමාර මහතා අතට පත් කිරීමය!  කවුරු නැතත් සමන්  මහතා තවමත් ජීවතුන් අතරය! ඔහු මේ සියල්ලටම සාක්ෂි දරණවා ඇත. 

මිත්‍රවරුණි මීට පෙර පෝස්ටුවේ දක්වා තිබූ මහේෂ් රණවීර මහතාගේ මිත්‍රයෙක් පසු ගිය සතියේ බ්ලොගයකට මුල්ගල් තියලා වැඩ ඇරඹුවා. එතුමා වෙදැදුරෙක්. එයට පිවිස කියවන්න. හැකිනම් කොමෙන්ටුවක් යොදා ඊට දිරි දෙන්න! ඊට මෙතැනින් පිවිසෙන්න.

Monday, August 23, 2021

211. පැනි බේරෙණ කොම්පැනි කථා 4



මම මේ කියන කථාව උනේ මීට අවුරුදු 13 කට 14 කට කලින්.  ඒ කියන්නේ  මම යුනයිටඩ් මෝටර්ස් ගිය අලුත! මම යුනයිටඩ් මෝටර්ස් ආයතනයට යන්නේ මම අර "207. පැනි බේරෙණ කොම්පැනි කථා 2" පෝස්ටුවේ සඳහන් කල ආශික් ලෆීර් මහත්තයා හින්දමයි. මම මුලින්ම යන්නේ හයිඩ් පාර්ක් කෝනර්; ඒ කියන්නේ අපේ ප්‍රධාන කාර්‍යාලයේ තිබුනු කුඩා වැඩපොලට. එතන තිබුනු ලිහිසි සේවා අංශය බලා කියා ගත්තේ මම. එතෙනට මා යන්නට කලින් වැඩ කලේ පානදුර පැත්තේ කෙනෙක්. උන්නැහැ අපෙ ආයතනයෙන්ම පුහුණුවක් සඳහා ජපානයට ගියාම එහේම ගල් වෙලා.  උන්නැහැගේ පාලන ක්‍රමවේදය හෙවත් මැනෙජ්මන්ට් සිස්ටම් එක මගෙ ක්‍රියා පටිපාටිය සමග එකට පෑහුනේම නැත! ඒ නිසාම කෙටි කාලයක් යන විට එතැන සිටි සේවක මහත්වරුන් මා සමග අකුරට වැඩ කරණ තැනට පත් විය!
මා එහි ගොස් මාසයක් පමණ ගත වෙද්දී දිනක්  දවල් වරුවේ සේවාව ලබා ගැනීම සඳහා "අන්වර් අලී සහ සමාගමේ" මොන්ටෙරෝ රථය එහි රියැදුරු රාජා විසින් ගෙනාවේය. ඔහුගේ රථය  තෙල් මාරු කරමින් යට හෝදමින් වැඩ කටයුතු කෙරෙමින් තියෙන විට තවත් මොන්ටෙරෝ කිහිපයක් වැඩ නිමවී සේවා ස්ථානයෙන් එළියට අදාල වාහන හිමියන් හෝ රියැදුරන් විසින් රැගෙන ගියෝය. එදින දිනය නිමා වූයේ අන්වර් අලී - රාජාගේ වාහනයෙන්.

සියල්ල නිමවා බිල් පත් ගෙවා අවසන් කොට රාජා පැමිණි පසු මාහට තව දුරටත් ඉතිරිව තිබුනේ වාහනයේ යතුර භාර දී ගෙදර එන්නට ය.

රාජා බිල් ගෙවා පැමිණියේය.

සේවා නිමකරණ වාහනවල යතුරු එල්ලා  තැබෙන්නේ  කුඩා හැඟරයකය.   රාජා සමගම එය අසලට ගිය මම යතුර ගන්නට බැලුවෙමි.

කෝ යතුර!? එහි අදාල එහි  යතුර නැත!

වාහනයක් පැමිණි පසු පසෙක ගාල් කොට තැබෙන විට එහි යතුර  තැබෙන්නේ යතුරු කටේමය. ඉන් පසු පිළිවෙලින් යට සේදීමටත් , තෙල් ෆිල්ටර් මාරු කොට ග්‍රීස් ගැසීමටත් එතැනින් බොඩිය සේදීමටත් අවසානයේ රථයේ ඇතුලත පිරිසිදු කිරීමටත් බොඩිය පිසදා ඔප මට්ටං කොට සියළු ආලවට්ටං දමා ඇන්දවීමටත් යොදවයි.

පෙර කී සියළු කටයුතු සඳහා වෙනත් වෙනත් ස්ථාන කරා වාහනය යොමුකර වීමට සිදු කල යුතු ආකාරයට ඉතාමත් ප්‍රාථමික ආකාරයක පැවති හයිඩ්පාර්ක් සේවා ස්ථානය වෙත යොමු කරණ වාහනයක යතුර ඉන් අවසන් වතාවට පිටතට ගැනෙන්නේ ඒය අවසාන අදියරයට පැමින නැවැත්වූ පසුය. එවිට යතුර ගෙන පෙර කී හැඟරයේ එල්ලා තැබේ.

මේ ලෙසට බැලූ කල අවසාන අදියරයට පැමින  පිටත් කොට යැවීමට සූදානම්ව ඇති අන්වර් අලී මොන්ටේරෝවේ යතුර වාහනය තුල හෝ හැඟරයේ තිබිය යුතුය!

එහෙත් එය නැත!

මා වහාම අවසාන අදියරේ සේවය කරන සේවකයින් දෙතුන් දෙනාව කැඳවා යතුර පිළිබඳව විමසූ අතර ඔවුන්ගෙන් කිසිදු හෝඩුවාවක් නොලැබුනි.

"සර් වාහනෙන් අද  හවසට අපේ මහත්තයාව අරං එයා පෝර්ට් එකට යන්න තියෙනවා! නැත්තං මම වාහනේ දාලා යනවා. හෙට ඇවිත් යතුර හොයාගෙන වාහනේ අරං යන්නත් තිබුනා. යතුර ඔය කොහේ හරි දාලා ඇති!" රාජා; වලිගය ගිනි ගෙන හතර වටේ ඇවිදමින් සිටින මා හට ඇහෙන්නට කීවේය.

"ඔයා අද ආපු ඔක්කෙම වාහනවලට කෝල් කරලා බලන්න . ඔය වාහනේක  යතුර ගිහිං ද දන්නේ නෑනේ!" තෙල් ඉස්ටෝරුවේ පාලක පරිණත සේවකයෙකු වූ පෙරේරා ඔහුගේ අදහස ගෙනහැර පෑවේය!

සත්තකින්ම එය කල යුතුම දෙයකි. ආයතනය තුල යතුර ඇතැයි සිතිය හැකි හැම අස්සක් මුල්ලක්, දුමක් අටුවක්,ලාච්චුව  රාක්කයක් පෙට්ටගමක්, හෙප්පුවක් පඩික්කමක් ආදී එකී මෙකී නොකී සෑම තැනකමත්; අප සියළු දෙනා අපගේ සාක්කු ඉන ඉහ ආදිය පරීක්ෂා කල පසු කල යුතුව ඉතුරුව තිබුනේ එයම පමණකි!

වාහනයක් සේවාව සඳහා පැමිණි වහාම ඒ සඳහා වැඩ පතක් හෙවත් ජොබ් කාර්ඩ් එකක් නිමාණය කල යුතුය. ඒ සඳහා වාහන හිමියාගේ නම හා දූරකථන අංකය ලබා ගනී. එහෙත් පලමු සේවාවෙන් පසු වාහනයේ අංකයට අදාල හිමිකරුගේ නමත් ලිපිනයත් දූරකථන අංකයත් පරිඝනකය විසින් වමාරයි.

ඒ කෙසේ වෙතත් එදින පැමිණි වාහන සියල්ලටම අදාල නමක්, ලිපිනයක් හා දූරකථන අංකයක් පරිඝනකය තුලින් ලබා ගැනීමේ හැකියාවක් තිබුනි.

මා කොනක සිට පැමිණි වාහන සියල්ලටම ඇමතීමට පටන් ගත්තෙමි. බොහෝ අංක වලින් පැවසුනේ එවන් යතුරක් ඔවුන්ගේ වාහනය තුල නොමැති බවය. තවත් අංක කිහිපයක් අක්‍රියය. තවත් කිහිපයක නොම්මර වැරදියය! ඔය සියල්ල මෙසේ සිදුවද්දී නැවතත් රාජා මා හමුවට පැමිණියේය.

"සර්! අපේ මහත්තයා ළඟ තව යතුරක් තියෙනවා! සර් කථා කරලා වෙලා තියෙන දේ කියන්න. එයා මට කිව්වොත් මම ටුක් ටුක් එකක ගිහින් යතුර ගේන්නම්. මහත්තයා හෙට යතුර හොයලා තියන්න!" සත්තකින්ම එය ඉතා හොඳ යෝජනාවකි. 

මම අපගේ ආයතනය තුල අංක එකේ නම් දරාපු පාරිභෝගික සේවා සැපයීමේ සේවකයාය. එය මා මෙසේ ලිඛිතව ලියා තබන්නේ එතරම්ම විශ්වාසයෙනි. වාහන සේවා සපයන ස්ථානයක පාරිභෝගිකයා හෙවත් කස්ටර්මර් වන්නේ වාහන අයිති කරු පමණක් නොවේ. ඔහුගේ බිරිඳ වාහනයේ පැමිණ සිටියහොත් ඇය ද ඔවුන්ගේ දරුවන් වුවහොත් ඔවුන්ද ඔවුන්ගේ මිතුරන් වුවහොත් ඔවුන්ද සැලකෙන්නේ පාරිභෝගිකයා හෝ ඔහුගේ කණ්ඩායම ලෙසින්ය. එසේම වාහනය රැගෙන පැමිණියේ රියෙදුරෙක් නම් ඔහුවද සැලකෙන්නේ පාරිභෝගිකයා ලෙසින්මය. මෙය මාගේ හිතළුවක් නොව එය එසේම විය යුතුය! මේ නිසාම මා වාහන අයිති කරුවන්ට සේම රියැදුරන් හටද සම මෙත දැක්වූවේය! ඔවුන්ට පොර ටොක් දීම හෝ ලොකු සීන් දැමීම මා වෙතින් කිසිදා සිදු නොවන්නට බලා කියා ගත්තෙමි.

තේ බොන වෙලාවක ඔවුනට තේ එකක් පිරිනැමීම, ගෙදර වැඩකට කළු තෙල් ලීටර පහක් ලබා දීම, ගේට්ටුවේ කිරි කිරි ගෑම නැවැත්වීමට ග්‍රීස් පොඩිත්තක්; කාටත් හොරෙන් සිලි කවරෙක උංඩි කොට දීම, හදිසියේ කොළඹ මැදදී සිදුවන කුඩා කුඩා ආපදා වලදී මැදිහත්වීම, කාක්කන්ගෙ හදිසි ගුවන් ප්‍රහාරයකට ලක්වී වින්ඩ්ස්ක්‍රීනයට වතුර පොජ්ජක් අල්ලා ගැනීමට සපෝට් එකක් දීම වැනි  පුංචි පුංචි උදව් හා සේවා; මා වෙතින් ඔවුන් වෙත කෙරුණු තෙල් ෆිල්ටර් මාරු කිරීමට අමතරව කෙරුණු කටයුතු විය!

ඔව්! දැන් මට තියෙන්නේ අලී මහතා ඇමතීමටයි! දැන් ඇමතුවහොත් මා හට කථාකරණ්නට හා සමබර කර ගන්නට ඇත්තේ යතුරක් නැතිවූ පාරිභෝගිකයෙක්වය. තවත් පමා වී ඔහුගේ එයා පෝර්ට් ගමන පරක්කුවූ පසු මා හට අමතන්නට සිදුවහොත් මා හට කථා කරණ්නටත් සමබර කරණ්නටත් සිදුවන්නේ වාහනය පරක්කුවී කෝපාවිෂ්ඨවූ පාරිභෝගිකයෙක්වය. මා දෙවරක් නොසිතා අලී මහතා ඇමතුවෙමි.

ඔහුගෙන් ලැබුනු ප්‍රථිචාරය එතරම් යහපත් එකක් නම් නොවීය. කොටින්ම එය මාගේ පසුම්බිය හිල්වන ආකාරයේ එකකි!

"හරි මම මගේ ඩුප්ලිකේට් කීස් ටික එවලා වාහනේ අරගන්නං. හැබැයි ඔයාට ඒක හොයලා දෙන්න බැරි උනොත් මුළුවාහනේම කී බැරල්ස් ටිකයි ඉග්නීශන් ස්විච් එකයි ඔයාගෙ වියදමෙන් මාරු කරලා දෙනවා කියලා මට ඉන් රයිටිං එවන්න ඕනෙ!"

බලාගෙන ගියාම ඔහුගේ ඉල්ලීමේ ලොකු අසධාරණයක්ද නොමැත. අපගේ ගෙයක, අල්මාරියක නැතිනම් කුඩා ලාච්චුවක යතුරක් නැතිවුවහොත් ඒක්ෂණයෙන් අපට සිතෙන්නේ කිසිවෙකු හෝ එම යතුර අහුලා ගෙන හෝ සොරාගෙන අපගේ ගෙයට ඇතුළු වෙයි, අල්මාරි ඇර එහි ඇතිදෑ පැහැර ගනී නැතහොත් ලාච්චුව ඇර එහි ඇතිදෑ සොරකම් කරතැහැකි යැයි කියාය. රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමකින් යුත් ඔහුගේ වාහනයේ යතුර අප විසින් අස්ථාන ගත කිරීම පිළිබඳව ඔහුට දැනෙන්නට ඇත්තේත් ඊළඟ මොහොතේ ඔහුගේ වාහනය කිසිවෙකු විසින් හෝ පැහැර ගනීවි යැයි බියය!

වාහනයක යතුරෙන් අගුළු දැමෙන හා විවෘථවන ස්ථාන හයක් වේ. දොරවල් පහ සහ සුක්කානම එම උපාංගයෝය. මෙම ස්ථාන වල පිහිටි යතුරු කටවල් තුලින් යතුරක් ඇතුළු කොට කරකැවීමේදී එය තුල ඇති ලොක් බැරල් නැතහොත් කී බැරල් මගින් අගුළු වැටීම හා විවෘථ වීම සිදුවේ. වාහනයක යතුරක් මාරු කිරීමේදී මෙම කී බැරල් පහම සහ ඉග්නීශන් ස්විච් එක හෙවත් වාහනය පන ගැන්වීමේ ස්විච්චය යන සියල්ල මාරු කල යුතු වන අතර නවීන තම වාහන වල යතුර අදාල වාහනය සමග බද්ධ වීමට ප්‍රෝග්‍රැම් කල යුතු වන්නේය.

මා වහාම අපගේ අමතර කොටස් අංශයට කථා කොට ය්තුරු හා ලොක් බැරල් ඉග්නීශන් ස්විච කට්ටල ඇති දැයි තහවුරු කර ගත්තෙමි. එහි මිළ එකල එක්සක්ෂ අසූ දහසකට ආසන්න විය! වෙන කලයුත්තක් නොමැත! මොනවා උනත් කල යුතු දේ කල යුතුය! කල් මැරීමට කාලයක් නොමැත!මා වහාම A4 කොලයක් ගෙන ලිපියක් ලියා රාජා අත තැබුවෙමි. රාජා ටුක් ටුක් රියකින් හෙවත් ත්‍රීවිලරයක නැගී නොපෙනී ගිය අතර; අද දින පැමිණි ඉතිරි වාහන වලට ඇමතීමට මා පටන් ගතිමි.

මා එකින් එක කථා කරගෙන යන අතරතුර අවසානයේ එක වාහනයකට කථා කිරීමට යාමේදී මහා  අල කලංචියකට මුහුණ දීමට සිදුවිය! 

වාහනයේ අයිතිය ලෙස දකවා තිබුනේ කොහුවල කාර් සේල් එකක නොම්මරයකි. එයට ඇමතූ විට එතැනින් පැවසූවේ වාහනය ඔවුන් වෙනත් අයෙකු හට විකුණා ඇති බවත් දැනට ඔහු බාරයේ ඇති බවත් ඔහුගේ අංකයක් තමන් අත නොමැති බවත් ය. මාගේ ඊළඟ ප්‍රශ්නය වූයේ වාහනය  එනම් මොන්ටෙරෝව ඔවුන්මිළදී ගත් අයගේ අංකය ලබා දෙන මෙන්ය. මන්ද එයින් වත් කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමට හැකිවේදෝ යන්න මාගේ අවසාන බලාපොරොත්තුව විය.  ඇඹිළිපිටියේ නොම්මරයක් ලැබුණු අතර ඔවුන් වෙත කථා කල සැනින් ඔවුන් මහත්වූ කලබලයට පත් වීමටත් පුර්වපර නොගැලපෙන මුසාවාද දෙසීමටත් පටන් ගත්තෝය.  ඒ වන විට රජයේ බලපත්‍ර විකිණීම මහා අපරාදයක් සැලසෙන අවධියකි. මා අමතා ඇති වාහනයේ පෙර අයිතිකරු පලා බබෙකි! ඔහු තම බලපත්‍ර වාහනය අත යට විකුණා ඇති අතර ඒ පිළිබඳව මා විමසන විට වැඩේ සී අයි ඩී කරණය වී ඇතැයි ඔවුන් සිතුවා විය හැක!

එතැනින් පොටක් පාදා ගැනීමට නොහැකිවූ තැන මා නැවත කොහුවල කාර් සේලයට ඇමතුවෙමි.

කාර් සේලයේ එක් සේවකයෙකු පැවසුවේ කුඩා ඉඟියකි. 

"ඔය වාහනේ කළුබෝවිල පීරිස් පාරට යනවා කොළඹ ආවොත්! දැනට තියෙන්නේ දෙනියායේ. පාට රතු පාට!"

මොන්ටෙරො සාමාන්‍යයෙන් ලංකාවේ අලෙවි වන්නේ කළු , සුදු හා අළු පැහැය වැනි වර්ණයන්ගෙන්ය. රතු පැහැය යනු ඉතා අඩු වර්ණයකි. මෙරූන් පාට එනම් ලොවි රතු පැහැය තිබුනත් රතු පැහැය බෙහෙවින්ම දුර්ලභය. එදින රතු පැහැති මොන්ටෙරෝ රථයක් පැමිණි බව මාහට හොඳින්ම මතකය. රථය ගෙන ආවේ ඉතා වයස් ගත රියැදුරෙකි. වාහනයේ සේවාව අවසන් වූයේ දහවල් 1.30 ට 2.00 ට පමණය. ඔහුගේ වයස් ගත භාවය නිසාම ඔහුගේ දිවා ආහාරය පිළිබඳව මා විමසුවේය.

"සර් දැං දවල්ට කෑමක් නෑ! අපේ මහත්තයා කියලා තියෙන්නේ කොහෙවත් නවත්තන්න එපා කියලා. ඉඳුරුවේ මහත්තයා දන්න හෝටලයක් තියෙනවා. එහේට යනකල් කෑමක් නෑ!" ඔහු පැවසුවේය. මට එය මගේ හදවතේ පතුලේම ඇනුනි. 

"පොඩ්ඩක් ඉන්නකෝ!" මම එසේ කියා අපගේ කැන්ටිමට ඉගිළුනි. ඒ වන විට අපගේ හවස තේ එක සෑදෙමින් විය! මා ඔවුන්ට සිද්දිය සැකෙවින් පවසා කිරි තේ එකක් හදා ගැණීමට හැකිවිය. මා මහළු රියැදුරා පිටත් කලේ කිරි තේ එකකින් සප්පායම් කොටය! කෘතඥ්ඥ පූර්වක බැල්මක් හෙලා ඔහු මගෙන් සමුගෙන පිටත් විය. සෑම සියළු දෙනා හටම මා යතුරු භාර දුන්නේ "පරිස්සමින් යන්න! මොනවා හරි අවුලක් නම් මට කථා කරණ්න!! දෙවියංගෙ පිහිටයි ගිහිං එන්න!!!" කියාය. එහි වැදගත් පණිවිඩයක් මා ඔහු වෙතට සම්ප්‍රේශනය කරන්නෙමි. ඒ වෙන කිසිවක් නොව අපේ එවුං මොනවා හරි පිස්සුවක් කෙළලා මොකක් හරි අවුලක් උනොත්; ආයතනයේ මාව කන්න බලන්න සිටින උන්ට නොකියා මටම කියාපිය! මම වැඩේ ගොඩ දාලා දෙන්නං!" කියන එකය!

මේ සියළු ආශිර්වාද, සුභාසිංශන, අවවාද, ප්‍රාර්ථනා මැද ගිය මහළු රියැදුරාගේ වාහනය තුල; අන්වර් අලී  වාහනයේ යතුර පවතීවිද නැතිද යන්නද සීයට පණහක සම්භාවිතාවක් පවතින කාරණාවක් පමණි. ඇත්තටම එය තුල තිබේද? රියැදුරාගේ දූරකථන අංකය මා නොදනී. වාහනයේ අයිතිකරුගේ අංකය ලෙස අපගෙ ලේඛණ තුල ඇත්තේ ඔහුට වාහනය විකුණූ කාර් සේලයේ අංකය පමණි. දැනට ඇති එකම හෝඩුවාව වාහනය කළුබෝවිල පීරිස් පාරට යන බවත්, රතු පාට බවත්, දෙනියායේ වාහනයක් බවත් පමණි.

ඒවන විට හැන්දෑවේ 6.30 ට පමණි. මා හයිඩ්පාර්ක් කෝනරයෙන් පිටත් වී කළුබෝවිල පැමිණියෙමි. පීරිස් පාර පිහිටියේ රෝහල ඉදිරියේය. එතැනම ත්‍රීවීල් පාර්ක් එකක්ය. මා ත්‍රී වීලරයකට හිස හොවා මගේ වාහනය ගැන විමසුවෙමි.

"අයියේ මේ පාරට එනවද රතු පාට මොන්ටෙරෝ එකක්! SPKD -XXXX කියලා!?"

"ආ මල්ලි අර වංගුවට ඉස්සෙල්ලා දකුණු පැත්තේ කෙළවරේ තියෙන ගෙදරට තමයි එන්නේ! රතු පාට එකක් නේ!?  හරි හරි එහේට තමයි!!!!" ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා සේ හෝඩුවාව හරියටම කිව්වේය!

මා අඩියට දෙකට නිවසේ ගේට්ටුව ඉදිරියේ විය. ගේට්ටුවට කිහිප වරක් තට්ටු කරත්ම කාන්තාවක් පැමිණ ගේට්ටුව විවෘථ කලාය. මාගේ දුක්බර කථාන්දරය මුල සිට අගටත් අග සිට මුලටත් කිහිප වරක් පැවසූ පසු; අමෙරිකාව හොයාගන්නට යන්නට ඔන්න මෙන්න තියා ක්‍රිස්ටෝපර් කොලොම්බස් ගෙන් ඔහුගේ කසද පවුල ඇසූ ආකාරයේ  තවත් අතුරු ප්‍රශ්න දුසිමක් පමණ ඇසූ පසු ඇය දෙනියායේ මහේෂ් මහත්තයාගේ අංකය ලබා දුන්නීය.  ඇයගේ කුතුහලයද ඉතා සදාරණය! යතුර නැතිවී ඇත්තේ එක් වාහනයකය! දැන් හොයන්නේ වෙනත් වාහනයක්ය! ඔහු මෙම නිවසට එන බව හොයා ගත්තේ කෙසේද? ඒ බව මා දැනගත්තේ කෙසේද? එය මට කීවේ කවුරුන්ද? ඔවුන් ඒ බව දන්නේ කෙසෙද? මා මෙම නිවස සොයා ගත්තේ කෙසේද? හිතා ගන්නකෝ ඇය කුමන පඹ ගාලක පැටලෙන්නට ඇත්දැයි කියා!?

මා මිදුලේ සිටම මහේෂ් මහතා ඇමතීය! කථාව නැවත මුල සිටම පැවසීය!

ඔහුගේත් පලමු ප්‍රශ්නය වූයේ "මම කළුබෝවිල ඔය ගෙදරට එන බව ඔයා කොහොමද දන්නේ?" කියාය! ගැටළුව ලිහා දුන් පසු ඔහු කටහඬ අවදි කලේය.  "වාහනේ තාම දෙනියායේ ආවේ නෑ! තාම මග! ඩ්‍රැයිවර්ව කන්ටෑක්ට් කරණ්න විදියක් නෑ. එයා ලඟ ෆෝන් එකක් නෑ. වාහනේ තිබුනොත් මම අරං තියන්නම්!"

කරණ්නට තියෙන හැමදේම සිදු කොට ඇත! මාගේ පාලනය තුල පවතින කල හැකිව ඇති එකම දෙය වන්නේ අන්වර් අලී සහ සමාගමේ වාහනේ ඉග්නීශන් ස්විච් එක සහ ලොක් බැරල් පහ  දැමීමට යන මුදල සොයා එය සපයා ගන්නා ආකාරයක් සොයා ගැනීමය.

මා එතැනින් කළුබෝවිල හංදියට පැමිණ කොහුවල, නුගේගොඩ, කිරුළපන, බේස්ලයින් පාර ඔස්සේ බොරැල්ලට පැමිණ එතැනින් පෑලියගොඩ හරහා කඩවතට පැමිනියෙමි! මා නිවසට පය තබනවාත් සමගම දුරකථනය නාද විය!

"Mahesh Dheni" තිරයේ ලියැවී තිබුනි!

"හෙලෝ ඔව් සර් කියන්න!" මා දූරකථනයට ඇමතුවෙමි.

"ඔයා බය වෙන්න එපා! යතුර තියෙනවා. ඒක ඩ්‍රැයිවර්ගෙ පැත්තේ ඩෝ පොකට් එකේ තියෙනවා! දැං කොහොමද ඒක ඔයා ගන්නේ?"

"අනෙ  ලොකු දෙයක් සර්! මම අද නැත්නම් හෙට රෑ බස් එකෙන් දෙනියාට එන්නම්."

"හරි මම ලබන සතියේ ආපහු කොළඹ එනවා! මම එවන්නම්!"

"අනේ එච්චර කාලයක් ගන්න බෑ සර්! මම ඒ වාහනේට ලියුමක් දීලා තියෙනවා වාහනේ ලොක් බැරල් ටිකයි ඉග්නීශන් කී ස්විච් එකයි මාරු කරලා දෙනවා කියලා. වැඩේ පරක්කු වෙලා මෙහේට කම්ප්ලේන් කලොත් ලෙඩක් සර්! අවුලක් නෑ හෙට රෑට මම එන්නම්!"

"හරි! අපි මොනවා හරි කරමුකෝ!"

පසු දින මා නැවත වැඩ හලට ගියේ නැවුම් ආරංචියක් සමගය! ඒ යතුර හොයා ගැනීමේ ප්‍රවෘථිය ය! මා සාමාන්‍ය පරිදි වැඩ කරගෙන යමින් විය. සවස  දෙනියායේ යාමට ඇති බව සිහිකරමින් පා සේවයේ ය!

උදේ 9.00 පමණ වන විට මා වෙතට නොදන්නා අංකයකින් ඇමතුමක් ලැබුනි!

"ඔයාට දෙන්න කියලා යතුරක් තියෙනවා පොඩ්ඩක් ආර්පිකෝ කාර් පාක් එකට එන්න පුළුවංද!?"

ආර්පිකෝ කාර් පාක් එක යනු අපගෙ වැඩ හලේ සිට මීටර 100 කටත් අඩුවෙන් ඇති ස්ථානයකි. මා ඉගිළුනෙමි! පෙර දින මා වෙතින් නික්ම ගිය රතු පැහැති මොන්ටෙරෝව අනෙකුත් වාහන අතර මාහට සොයා ගැනිම අපහසු නොවීය! මා රියැදුරු අසුන වෙතට ලඟා වෙත්දී එහි හොඳින් ඇඳ පැළඳ ගත් අයෙකු සිටියේය. මා මාගෙ අනන්‍යතාවය ඉදිරිපත් කලෙමි.

"ආ! ඔයාද!? මම තමයි මහේෂ්!"   ඔහු පැවසූ දෙය ඒ ආකරයෙනම පැවසීමට මාහට; වසර ගනනාවක් ගියත් අදටත් මතකය මතකය!  " මට අපේ ඩ්‍රයිවර් කිව්වා ඔයා ඒ මනුස්සයා බඩ ගින්නේ එනවා කියලා නවත්තගෙන කිරි තේ එකකුත් හදවලා දීලා එව්වා කියලා! මට කියලා ඔයාට බොහොම පිං දුන්නා!  ඔයා මගේ ඩ්‍රයිවර්ට සලකපු විදියට ඔයාට කරදරයක් වෙන්න මට ඉඩ තියන්න බෑනේ! මෙන්න ඔයාගෙ යතුර!!  ඔයාට  මම තේ කොල පැකට් දෙකකුත් ගෙනාවා! මේවා අපේ ෆැක්ටරියේ ඒවා! මම එතනට ආවේ නෑ හොඳද දන්නේ නැහැනේ!?"

මගේ දැස් කෙවෙණි තෙත් විය! දෙයියනේ තේ කොප්පයකට මේ තරම් වටිනා කමක්! 

"බොහොම පිං සර්!" මා ආපසු හැරුණෙමි.


( මේ කථාවේ සියළු නම් ගම් සත්‍යයය!)

Sunday, August 22, 2021

210. අවියක් ලෙස කවියක්!





 මේ ලියන්නේ මතක් උනු ගමන්මයි.

මම දේශපාලනය ගැන ලියන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඒය මාගේ අඩුවක් ලෙසිනුයි මා දකින්නේ. ඒ; "මිනිසා දේශපාලනමය සත්වයෙක්ය!" කියා ඇරිස්ටෝටල් කී නිසා නොව. සාමාන්‍ය ජීවිතයේදී බොහෝ ෆෝරමයන් තුල තම දෙශපාලන දර්ශණය වෙනුවෙන් පෙනී සිටින්නෙකු නිසාමය!

මේ දිනවල අපගේ මව් බිම අන් කවරදාකවත් නොවූ තරම් අඝාදයකට වැටී ඇත. එය කොරෝණා නිසා සිදුවූ දෙයක් යැයි සිත රවටා ගත්තද; ඊට වග කිව යුත්තේ මේ රට මෙතැනට ගෙන ආ පාලකයින් විසින් යැයි මා පැවසුවහොත් කිසිවෙකු මා හට අභියෝග කරයිද?

මේ  වෙලාවේ අප ලිවිය යුතුය!

මේ වෙලාවේ අප කතා කල යුතුය!!

මේ වෙලාවේ අප කුමක් හෝ කල යුතුය!!!

ඒ කොරෝණාවෙන් බේරීමට වඩා මේ දෙශපාලන ගොහොරුවෙන් රට; වඩා යහපත් තැනකට පත් කිරීමටය!

මෙය ලියන්නේ ඉතා හදිසියෙනි. අදහස් එන්නේද අකුරු කොටන්නේද වදන් ගලපන්නේද එකසිය ගානටය! එහෙත් ඒ අදහස් වලින් කිසිවක් මා කිසිදා වෙනස් කරාවි යැයි මාහට නොසිතේ.

මීට දශක කීපයකට පෙර මා තවත් කිහිපදෙනෙකු සමග අතින් ලියන ලද පත්තරයක් කලෙමි. ඒ හක්බෙල්ලාවක සිටියදීය. මේ පිළිබඳව මා 96.  සුගත් , කුලසිංහ හා මම  ! පෝස්ටුවේ යාන්තමින් ලියා තිබේ. එම පුවත් පතට කවියක් ලිය්යන්නැයි මා එවකට හක්බෙල්ලාවක තැපැල්ස්ථානාධිපති යසරත්න පැලැල්ලේගම මහතාගෙන් කල ආරාධනයට පිළිතුරු ලෙස මා වෙත  කුඩා කවි පොතක්; එහි පිටුවක් හා කවියක් තෝරා ලබා දුනි. ඒය විපුල හේවා වලිමුනි සහ සුනන්දා රණසිංහ විසින් ලියන ලද "පහන් දොර" නමැති කාව්‍ය සංග්‍රහය ය. (ප්‍රථම මුද්‍රණය 1987)

මේ පහතින් දැක්වෙන්නේ එහි 36 වෙනි පිටුවේ දැක්වුනු විපුල හේවා වලිමුනි ලියන ලද "ශල්‍ය කර්මය" නම් වූ කවිය ය.

මෙම පෝස්ටුව සම්පාදනය කලේ මෙම කවිය සමාජගත කරණු රිසියෙන්ය!


"ශල්‍ය කර්මය"

ඉගෙන ගනිල්ලා සහෝදරවරුනේ "දොස්තරකම"

කට පාඩම් නොකර වට්ටෝරු

කිඳා බැහැපල්ලා සර්වාංගය තුළට


බලාපල්ලා

රෝගියාට අසාධ්‍යය මරණාසන්නය

මානව පෙරේමයේ නලාව තබා ලයමත

අසා සිටියේද ලබ් ඩබ් ලබ් ඩබ්

ලබ් ලබ් ලබ් ඩබ් ල් . . . . . 

රිද්මය අවුල්වී පැටලී තිබෙනවා නොවේද?


ලියුකේමියා රෝගියෙකුගේ මෙන්

ලේ පිළිකාවක් මෙන්, නරක් වී ඇත සියලු රුධිරය

රතු පැහැ නැත ලේ නහර

නිල්වී ඇත ඇතැම් නහර

කුණු ලේ ගැස්සි ගැස්සී දුවයි ඒවා තුලින් රිංගා ගෙන

භයද - සංත්‍රාසයද මුරුගසං වරුසා වසීයි

ගොම පැහැවී ඇත ඇතැම් නහර

රෝග බීජ පිරී විෂ ලේ දුවයි ඒ තුල


සිත වසා මතුවෙයි කණගාටුව

දෑස උතුරා කඳුළු වාන් දමයි

එහෙත් කණගාටුව ඖෂධයක් නොවේ

කඳුළු වලින් සෑදිය නොහැක බෙහෙත්

භය ද සන්ත්‍රාසය ද නොගැනේ අනුපාන ලෙසට වත්


නරක් වූ ලේ ඉවත් කර අලුත් ලේ දීමට සූදානම

නුඹලා නාස්ති කරති අගනා රුධිරය

ගබ්සා කරති

ලේ දන්දුන්නවුන් ගේ බලාපොරොත්තු කලලය


නුඹලා ඉසින්නාහුය සුවඳ පිනිදිය

ගවර විලක් මතට

සොරුන් හා කැටිව යන තවුසාට

පිරිය හැකි වේද තවුස්දම් මනාව

මහ සයුරට වන් ගං දිය

මිරිදියව පවත්නේ කී නිමේෂයකටද


සත්‍යයේ සැත් අවි ගෙන

විෂබීජ නස්නා දෘෂ්ඨියේ දියේ බහා

කපාපල්ලා මේ පිට පොත්ත

එය විදුරුසේ ඝන යැයි

ඇදහුවෙමු අපි ලදරු කල සිටම

තුනී තැන් බල බලා ඉතා ප්‍රවේසමෙන් කපාපල්ලා

විවර කරපල්ලා ලය මඬල


නරක්වී තිබෙනවා නොවේ ද මුලු හෘදය වස්තුවම

රතු පාට නැහැ නොවේද එය

ගොම පාටවී බොහෝ තැන්

නිල්වී ඇත තැනින් තැන


සොයාපල්ලා අලුත් හෘදය වස්තුවක්

මහලු මැහැලියන්ගේ නොව

ඒවායේ කපාට නොගැලපේ මේ නහර වලට


කලින් සිටි දොස්තරලා පුරුද්දාලූහ එබඳු හදවත්

ලෙඩ දුන්හ ඒවා මුල සිටම

ඒ ලෙඩද වවාගෙන කෑහ දොස්තරු

උන් හිලව් කර ගත්හ අපේ මුලු සේසතම


තව තවත් අසාධ්‍ය විය රෝගය

අපි හැඬුවෙමු;

තහනම් විය හැඬීම්

අණ කෙරුනි සිනා සෙන ලෙස

අපි සිනාසුනෙමු

පුහු පොල්ගෙඩි ද්හෙකට පැලුවා සේ


මේ තරුණ නුඹලාගේ වාරයයි

පැද්දෙන්නට නොදී අල්ලාගනිල්ලා තදින්

ඔරලෝසු බට්ටා

සවිකරපල්ලා 

බට්ටා නැතිව වෙලාව තිතට දුවන ඔරාලෝසුවක්


මේ ශරීරයේ

මස්. මස් පිඩු, ස්නා‍යු, තන්තු, ඇට, ඇට මිදුළු, 

සියල්ලටම ගැලපෙන

නිරෝගී තරුණ හෘදය වස්තුවක් සොයා ගනිල්ලා

ඉවත්කර විනාශකර දමල්ලා

හෘදය වස්තුවක් යයි කී මේ විෂබීජ ගබඩාව

වායු ගෝලයට විෂබීජ මුහු කරන්නට පෙරාතුව

බද්ධ කරපල්ලා සොයාගත් තරුණ හදවත


ඒ සැනින් ඉවත් කර දමල්ලා

නහර වැල් පුරා පිරි කුණු ලේ

පොම්ප කරපල්ලා

ජීවය පිරි අළුත් ලේ, ප්‍රේමය පිරි අලුත් ලේ


සෙවිල්ලෙන් සිටිල්ලා නිරන්තර

කොතැන වරදක් මතුවේද

කොතැන කපාටය නොගැලපේ ද

විසිහතර පැයම අවදියෙන් සිටපල්ලා

Thursday, August 19, 2021

209. නොරත රථ . . . . ! (13)

වස්ගමුව 2001 - 2002

32-0865 ගැන නේ අපි අන්තිමට කථා කලේ! ඇත්තටම ඇය අපිව බොහෝ තැන් වලට රැගෙන ගියාය!
ආගිය තැන් බොහෝ ඇතත් ඡායාරූප සමග මතකය ඇවිස්සීමට පුළුවන් චාරිකා තුනක් ගැන පමනක් ලියන්නම්.
එකල පරණ  බාසුන්නැහැලා ලොරියක එන්ජිමක් සම්පූර්ණයෙන්ම අළුත් වැඩියා කල පසු එන්ජිම රනින් ඉන් (Braking-in / Brake in / Running - in / Run -in)  එකේ නැතිනම් පදම් දිවුමේ දිනක් පමන කාලයක් තබා; අවසානයේ ලොරිය මුදලාලි හට භාර දෙන්නට මත්තෙන් කතරගම හෝ අනුරාධපුර යෑමේ පුරුද්දක් තිබිනි. කතරගම් ගොස් ආපසු පැමිණීම තෙක් බොහෝ විට වාහනය පැදවූවේ බාසුන්නැහැ විසින්ම හෝ පලපුරුදු රියැදුරෙකු විසිනි. එම සම්පූර්ණ ගමන පුරාවට වාහනය ඉතා මෘදු ලෙස ධාවනය කරවා අවසන් වන විට එන්ජිම නියමාකාරයෙන් පදම් වී තිබුනා යැයි දිනක් පරණ පහේ බාසුන්නැහැ කෙනෙකු මා සමග කීය.
ෆෝ වීල් රථයක් මිළදී ගන්නා ඕනෑම අයෙකුගේ  ඊළඟ සිහිනය වන්නේ කැලෑ ගත වීමයි. තමන් වැද්දෙකු උවත් අළුතින් වාහනයක් ගත් විට නැවත පැරණි මං පෙත් වල හෝ ගමන් කිරීමේ ආශාවක් ඇතිවීම අරුමයකි. සාමාන්‍ය වාහන ගන්නා අය අළුතින් වාහනයක් ගෙන කතරගම යෑමේ පුරුද්දක් එකල තිබුනි. කැලෑ ගත වීම කතරගම යෑමේම තවත් එක් කුඩා වෙනසකි. 
32-0865 කැලෑ ගත කිරීම සඳහා මා තෝරා ගත්තේ වස්ගමුව ජාතික වනෝද්‍යානයයි. සෑහෙන කලයක් එයට මිඩංගු කොට වෙහෙස මහන්සි වී "වවුල් ඇබේ" බංගලාව හෙවත් නිවස්නය  මේ සඳහා වෙන් කර ගතිමි.

සදා නොමැකෙන පොසිටිව්
මේ වස්ගමුව යන අතර මගදී කඩුගන්නාව ගල විදපු ස්ථානයේදී ගත් ඡායා රූපයක්. 
වාහනයේ 27-8338 ලෙස දක්වා ඇතත් මේ 32-0865ම වේ.
ඒ ගැන ඉදිරියේ ලියන්නම්!
2001-2002 අතර කාලයකදී අප සමග වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සැරීමට මාගේ සොහොයුරියගේ පවුලේ පිරිසද එකතු වූවෝය. ඔවුන් වස්ගමුව පාක් එක අසලට පැමිණි ඔවුන් සතු  නිසාන් මාච් රථය ගාල් කොට පසුව අප සමග වනෝද්‍යානය තුල මා වෙන් කරගෙන තිබුණු වවුල් ඇබේ බංගලාව කරා ගියේ පැට්රෝලයෙන්ය. 
අප වස්ගමුව කරා ලඟා වීමට භාවිතා කලේ; අදටත් ලංකාවේ සුන්දරතම මාරගයක් ලෙස මාගේ මතකයේ රැඳී ඇති නුවර මාතලේ රත්තොට මාර්ගයයි. කඩවතින් උදෑසනින් පිටත්වූ අප; ළාහිරු නැග එද්දී  මාතලේ පසු කරමින් සිටියෙමු.

කෑම කාමරයක දර්ශණයක්!
ම විසින් නවීකරණය කරන ලද වහල, හා පසුපස දොර මෙවන් ගමන් වලදී මහත් සේවයක් පහසුවක් විය. පහත් කර දම්වැලෙන් එල්ලුනුදොර මේසයක හෝ බංකු ලෑල්ලක පහසුව සලසා දුන්නේය.
සතුට රැඳී පැවතියේ මිළ මත නොව! අද වන විට බොහෝ SUV රථ වල පසු පස දොරවල් දෙපසට හෝ ඉහලට අරින්නට සකසා තිබුනද මෙවන් පහතට ඇරිය හැකි දොර පලුවක තිබෙන වටිනාකම ඒවායේ නැත. වන්ඩිය වැව් බන්ටෙකක නවතා මෙම දොර භාගය මත තෙලේ බදින ලද පාසි බට්ටෙකු, ලූලෙකු, කාවයියෙකු තබා යාළු වතුර බිඳක් තොල ගෑමේ සතුට ශැන්ග්‍රිලාවේ කැපිටල් බාර් ඇන්ඩ් ග්‍රිල් එකේ සිසිල් බීර වීදුරුවක් පානය කිරීමෙන් වත් ලැබේ දැයි සැක සහිතය!
එකල ගමන් බිමන් ගෙනයාම සඳහා ප්‍රයෝජනයට ගත් ප්ලාස්ටික් පෙට්ටි හෙවත් ක්‍රේට් කිහිපයක් විය. පහත ඡායා රූපයේ; එක මත එක තැබූ නිල් පැහැති ක්‍රේට් දෙකට වම් පසින් රතු පැහැති රෙද්දකින් වසා ඇත්තේ අමතර රෝද දෙකකි! රට වටේ ගමන් ගත්තද වාහනයේ ටයර පැවතියේ අන්තිම දිළිඳු තත්වයකය, එබැවින් සෑම ගමනක් බිමනක් සඳහාම අප සමග කැටුව ආ අමතර රෝද දෙකක් විය!
"තාත්තෙ මං මෙතනිං බහින්නද?"
"#$5&* &%^&$ **7% @$%#$%&%!"
රථයේ වහලය දෙපසින් මෙන්ම පසුපසින් ඇකිලිය හැකිවිය. එසේ හතර වටින්ම පිටතට නිරාවර්ණය කල රථය වසිකටත් කල්මලීටත් සුන්දර අත්දැකීම් එක් කිරීමට සමත් වන්නට ඇත. වායු සමීකරණය හෝ බල සුක්කානම් පද්ධතියක් එනම් පවර් ස්ටියරිං සිස්ටම් එකක් නොමැති වුවද; ගමනක ආශ්වාදය නොමසුරුව අපට ලබා දීමට 32-0865 සමත් විය. අළුත්වැඩියා කල එන්ජිම හා වේග පහේ ගියර පෙට්ටියෙන් සමන් විතවූ එයට; පාරේ හමුවන ඕනෑම වාහනයක් සමග කරට කර සටනක් දීමට හැකියාව මා වෙතින් ලැබුනි.

රියැදුරු අසුනේ කැප් තොප්පියකින් විළි ලැජ්ජාවට  කොන්ඩය ආවරණය කරගෙන සිටින්නේ තට්ටයාමය!
අවම පහසුකම් පැවතුනු අටසිය හැටපහේ ඇතුලත බැලූ බැල්මට එහි තත්වය ඔබට සිතා ගත හැකිවේවි. ගියර් ලීවරයේ යට කෙළවරින් වාහනය තුලට ගලා එන දූවිලි  නවතා ලීමට එය වටා එතුනු ඇඳ ඇතිරිල්ල ඡායා රූපයේ පෙනේ. ඒකෙසේ වෙතත් එහි ගමන් කිරීමෙන් ලැබූ තෘප්තිය කෙතෙක් දැයි කුඩා දියණිය කල්මිගේ මුහුණේ ඇඳී ඇත!

ම්ම්ම්ම්ම්ම් . . . . .කොහේදි හරි දැකල තියෙනවා . . . .? ඔයා ටීවී එකේ ඉන්නව නේද  . . . . ??
දහවල් වන්නට පෙර වස්ගමුවට ලඟාවූ අප මාගේ සොහොයුරිය පැමිණෙන තෙක් එහි රැඳී සිටියෙමු. එකල රූපවාහිනී මාධ්‍යය තුල පෙල ගැසී දිග ඇරුණු "සැරිසර" හා "වයිල්ඩ් ඒෂියා" යනුවෙන් වැඩසටහන් දෙකක් ලක්දිව සොභාදහම පිළිබඳව රූපමය සටහන් ප්‍රේක්ෂකයා වෙත ගෙන එමින් ප්‍රචාරය වුනි. මාගේ මතකය නිවැරදිනම්  එයින් " වයිල්ඩ් ඒෂියා" වැඩසටහන ගෙන ආවේ අරූන් ඩයස් බණ්ඩාරනායකය. 
අරූන් ඩයස්
ඉන් එක් වැඩ සටහන් පෙලක් සකසා තිබුනේ වස්ගමුව ජාතික වනෝද්‍යානය ඇසුරෙන් වන අතර ඒ සඳහා ඔහු භාවිතා කල කහ පැහැති මිට්සුබිෂි ජීප් රථය අප යන විට පාක් එන්ට්‍රන්ස් එක හෙවත් උද්‍යාන ප්‍රවේශය අසල නවතා තිබුනි.
කාන්තාවන් හට සාරි පිළිබඳව ඇත්තේ පුදුමාකාර මතකයකි. තමා සතු ඇඳුම් පිළිබඳව පමනක් නොව තමා වටා සිටිනා අනෙක් අය සතු දේ ගැනද මෙම මතකය ඇත. "එයා එදා ඇන්ද සාරිය තමයි ඊට වසර 5 කට පස්සේ අදත් ඇඳලා තියෙන්නේ!" කියන්නට ඔවුන්ට හැකියාවක් ඇත.
පිරිමින්ට මේ හා සමාන මතකයක් ඇත්තේ වාහන සම්බන්ධයෙනි. "අපෝ ඕක මචං මීට අවුරුදු පාකට ඉස්සෙල්ලා කුරුණෑගල විකුණන්න දාලා තිබ්බේ හෙන අඩුවට. දැන් ඔය වටේට කෑලි ටිකක් අන්දලා තිබ්බට ඕකෙ තර්ඩ් එක පනිනවා. ක්ලච් එකත් තිබ්බේ උඩ. බ්‍රේක් ගැහුවාම පැත්තට අදිනවා. මං කියන්නේ බොරු නම් බලහං එන්ජිමේ ඔයිල් කූරෙ උඩ ගුන්ඩුවට පිත්තල තියලා ඇති!" ඔය විදියේ විස්තරයක් කියන්නට වාහන ප්‍රේම වන්තයින් දනී. සමහර වාහන ගැන මටද එහෙම කියන්නට හැකි මතකයක් එකල තිබුනි.
40 ශ්‍රී කහ පැහැති මිට්සුබිෂි ලොන්ග් වීල් ජීප් රිය දුටු වනම එය; අරූන් ඩයස් වයිල්ඩ් ඒෂියා වස්ගමුව එපිසෝඩ් එකේ පාවිච්චි කල වාහනේ බව මට මතක් විය. ඒ සමගම ජීප් පිස්සුව මතුවී එය අසලින් මාගේ පැට්රෝලය නවතා පිංතූරයක් ගත්තෙමි.
වසික! වනය මැද තනිවී!!!
පළමු දින හවස් වරුවේ තරමක දුරක කෙටි චාරිකාවක් අපට ලැබී තිබුනු මග පෙන්වන්නා විසින් රැගෙන ගියේය. එදින  රාත්‍රිය; වන මැද බංගලාවේ ගතකල අප දෙවෙනි දින උදෑසනින්ම සංචාරය සඳහා පිටත්වුනෙමු. මාගේ සොහොයුරියගේ පවුලේ වැඩිහිටියන් දෙදෙනාත් මග පෙන්වන්නාත් සමග වැඩිහිටියන් පස් දෙනෙකුත් කුඩා දරුවන් තිදෙනෙකුත් ඇතුළුව අටදෙනෙක් සමග නිසාන් පැට්රෝලය වස්ගමුව උද්‍යානයේ රළු මං මාවත් වල ගමන් කොට අවසානයේ මහවැලි ගඟ සමීපයේ පිහිටි "මහවැළි" නිවස්නය අසලින්  ගඟට බැස්සෙමු. මාගේ "ගඟක් දිගේ ගිය ගමනක් 16" හි  කයාක නවතා එහි උන් පිරිසක් සමග පෑහෙන්නට උත්සාහ කල ස්ථානය මෙම ස්ථානයයි. එතැනින් නා කියාගෙන ආපසු කැලය මැද්දෙන් වවුල් ඇබේ බංගලාවට පැමිණ පසුදිනද කැලයේ හතර අත ඇවිද ගෙදර ආවෙමු!
ගිය තැන නෑම - මීට වසර විස්සකට පෙරද 
මා ජීවිත ආරක්ෂාව පිළිබඳව උනන්දු වී ඇති බවට 
සාක්ෂිය දකුණු පස!

තනි කෑල්ලට එන්නයි හදන්නේ! 
(මතක ඇතුව ඔය ස්පෙයා වීල් එක දා ගනිං!)


විල්පත්තු 2002 
එකල  මා සේවය කල පානදුර පිංවත්තේ තිබූ පර්ෆෙක්ට් ෆිට් නම්වූ ඕස්ට්‍රේලියානු සමාගමේය. එකල එහි සිටි කාංචන සබරගමුව, විද්‍යා යකන්දාවල, සංජීව කළුගල්දෙනිය, නලින්ද ප්‍රේමරත්න, ඕසෝන්, ධම්මික, රිෂාන්, හර්ෂ ගයාන්  අතුළු ජීප් ගැන්සිය විල්පත්තු චාරිකාවක් සංවිධානය කලහ. කාංචන සබරගමුව සතුව තිබුනු සුසුකි ජිම්නියද විද්‍යා යකන්දාවල සතුව තිබුනු නිසාන් පැට්රෝල් දෙවන පරම්පරාවේ G60 ද සංජීව කළුගල් දෙනිය විසින් කර ගසා සිටි මහේන්ද්‍රාවද මාගේ 865 ද ඇතුළුව ෆෝ වීල් රථ  හයක් හෝ හතක්   ගමනට සහභාගී විය. මෙම රථ අතර මිට්සුබිෂි ජීප් රථයක් හෝ දෙකක්  ද තිබුනු බව මතකය.

නිසාන් G60 කිරි ටොයියෙක්!

අප එකතු වූයේ අනුරාධපුර කාංචනගේ මහ ගෙදරට වූ අතර එතැනින් නොච්චියාගම හරහා විල්පත්තුවට ලඟා උනෙමු. ගමනේ සියළු සංවිධාන කටයුතු මෙහෙය වූයේ කාංචන සබර ගමුව හා ඔහු වටා සිටි සගයන් කිහිප දෙනෙකි. අප යන්නේ කීයටද? නවතින්නේ කොහේද? කන්නේ මොනවාද? මේ සියළු ප්‍රශ්න මා තුල තිබූ අතර ඒවාට  සාර්ථක හෝ අසර්ථක පිළිගත හැකි හෝ අභව්‍ය පිළිතුරු තිබුනේ ඔවුන් අතය. අපට තිබුනේ කලට වේලාවට මුදල් ලබා දි තමන්ගේ වාහනයෙන් නියමිත දිනයේදී නියමිත තැනට යාම පමණකි.  
ගමනට දින දෙක තුනකට පෙර අපගේ ඊ තැපෑල තුල සංසරණය වූ ලිපියකි. ඒ අයිටිනරිය හෙවත් ගමන් විස්තරයය. එහි අන්තරයෙන් බා ගත් ක්ලිප් ආර්ට් කිහිපයකින් සැරසුණු  පොඩි විස්තරයක් විය!
අනුරාධපුරෙන් පිටත්වී අපි අපගේ ෆෝ වීල් රථ  සමග පිරිස 15 ක් පමන විල්පත්තුවට ඇතුළු උනෙමු. සිය පවුල පිටින් එක්වී සිටියේ මා පමණි. වසිකත් කල්මලීත් කුඩා දරුවන්ය! ගමන් විස්තරයේ පරිදි අප පලමුව යා යුත්තේ පණික්කවිලටය! පණික්කවිල යනු  විල්පත්තුවේ පිහිටි වනගත බංගලාවලින් එකකි.
උද්‍යාන ප්‍රවේශයේ
පණික්කවිල බංගලාව  පිහිටියේ උද්‍යාන ප්‍රවේශයේ සිට කිලෝමීටර 30-40 ක පමණ දුරකින් වනාන්තරය තුලය. ප්‍රවේශයේදී පළමු රථයට ගොඩවූ මගපෙන්වන්නා සමග අප පැයකට ආසන්න ගමනකින් පසුව වැවක් අභියස පිහිටි නටබුන්වූ ගොඩ නැගිල්ලක් අභියසට පැමිණියෙමු.
"මෙතන තමයි පණික්කවිල බංගලාව. හරි! බහිමු!!" කාගේදෝ හඬය.
"අම්මට සිරි! මේ මොකද්ද?"
"මේ පණික්කවිල බංගලාව නෙවෙයි! බංගලාව තිබ්බ තැන වෙන්න ඕන!" එකෙක් කීය.
"හරි! හරි!! බැහැපල්ලකෝ!"
සත්තකින්ම එය ජරා ජීර්ණවූ ගොඩනැගිල්ලකි.
කලකට පෙර එය හොඳින් තියෙන්නට ඇති! එහෙත් අදවන විට එහි ඇත්තේ නටබුන් ගොඩක් පමණි. බිත්ති පුරා;  බොහෝ නම් ගම් අඟුරෙන් ලියා තිබිනි. 
"අම්මට සිරි! මේක කොටින්ගෙ තිප්පොලක් වගේ!"
"ඔව් කොටි මෙවායේ ඉඳලා තියෙනවා! දැන්නම් ඈත  තමයි ඉන්නවා කියන්නේ!" මග පෙන්වන්නා එල් ටී ටී සාමාජිකයින් පිළිබඳව තමන් දන්නාන් කරුණු ගෙන හැර දැක් වීය!

පණික්කවිල බංගලාව
බොහෝ අය රාත්‍රී වෙනත් ස්ථානයක නවාතැන් ගැනීමට යාමේදී තමන්ට නැතිවම බැරි දෙයක් හෝ කිහිපයක් රැගෙන යාම පුරුද්දක් කර ගනී. එහි අංක එක මාගේ වැඩි මහළු සොහොයුරාය. ඔහු සරමේ සිට ඇඳ ඇතිරිලි, කොට්ටා උර, තුවා ආදී මෙකී නොකී සියල්ල රැගෙනයයි. 
මාගේ පියා රැගෙන යන්නේ සරමක්, පාන් රාත්තලක්  හා පත්තරයක්ය. පත්තරය කියවීමට නොව හදිසි අවස්ථාවකදී බිම එළා නිදා ගැනීමටය! 
මා ගෙනයන්නේ කැනපියකි. කැනපියක් යනු කූඩාරමක් හෙවත් ටෙන්ට් එකකි. එය බොහෝ අවස්ථා වලදී මාහට මහඟු ප්‍රයෝජන ගෙනදී ඇත!
බංගලාවක නොව රජ ගෙදර නැවතීමට ගියද; මා මේ ගමනටද කැනපියක් රැගෙන ආවේය. පණික්කවිල  වනගත බංගලාව දුටු සැණින් මා හට කැනපියක් ගෙන ඒමට සිත්වීම මොන තරම් භාග්‍යයක් දැයි සිතිනි.
බංගලාවේ මිනිස් පුළුටක් නොමැත!
කොටින්ම එය කැලෑවෙන් වටවී පමණක් නොව අඩක් වැසී ගොසිනි. මුළුමණින්ම වැසී නොයෑමට එකම හේතුව ලෙස මා දකින්නේ විල්පත්තුවේ පවතින දැඩි වියළි ස්වභාවය කරණ කොට ගෙන කැලෑව වැවීම හෙවත් පැතිරීම සිදුවන්නේ ඉතා මන්දගාමී වීමය ය! වහලයෙන් අඩක් ගැලවී හෝ ගලවාගෙන  හෝ තිබුනි. කොටින්ම භාගයකට වහලයක් නොවීය!
ජලය ලබා ගැනීමට කිසිදු ක්‍රම වේදයක් නොවීය.  මා ගමනට පිටත් වීමට දිනකට පෙර ගෑස්පහ හංදියට ගොස් ලීටර විස්සේ බූලි හෙවත් කෑන් හතරක් ගෙනාවේය. නිසාන් පැට් රෝලයේ පසු පස එක පෙලට හරහට වතුර ලීටර 80ක්ද ඩීසල් ලීටර 25ක්ද රැගෙන ආවෙමි.
ඒ නිස ජලය කිසිසේත්ම ගැටළුවක් නොවීය! වැසිකිළි කැසිකිළි පහසුකම් සැපයුනේ බංගලාව අවට සිහින් වැලි සහිත පරිසරයෙන්ය!
එදින රාත්‍රී අන් අය තැන තැන වැටී හෝ තම තමන්ගේ වාහන තුල පහන් කරද්දී අප; වහලය නිරාවරණය වූ බංගලාවේ ඉදිරිපස කොටසේ ඇටවූ අපගේ කූඩාරම තුල ගත කලෙමු.
පසුදින උදෑසන වනාන්තරය තුල ගමන් ඇරඹුවෙමු! එතැන් සිට දුටුව සතුන් පිළිඹඳ නිනව්වක් නැත. මුළු විල්පත්තුවේ පාරවල් පුරා වාහන පැදවපු බව පමණක් මතකය. අප දිගින් දිගටම ගමන් කොට මෝදරගං ආරු හමුවට පැමිණියෝය. විසල් කුඹුක් වියනකින් සමන් විත කුඩා ගඟක් වූ එය තැනින් තැන බොහෝ ගල් පැවති ස්ථානයකි. එතැන බොහෝ වේලාවක් අප නැවතී සිටියෙමු. මුළු මහත් ගමන තුලදී අපට වෙනත් රථයක් හමු නොවීම ද විශේෂත්වයකි. 



මෙවන් ගමනක් යාමේදී සිතියමක් රැගෙන යාම මාගේ සිරිතයි!  මා විසින් සකසා ගත් ශ්‍රී ලංකා මාර්ග සිතියම හැරුණු කොට මාගේ සොහොයුරා සතුව පැවති; විල්පත්තුව පැරණි සිතියමක්ද මා රැගෙන ගියෙමි. එය පිරික්සීමේදී අප සිටිනා නිවස්නය ඇත්තෙන්ම පණික්කවිල දැයි කුහුලක් ඇතිවිය.  එසේනම් අප සිටින්නේ වෙනත් තැනකද? සිතාගත නොහැක! නාම පුවරුවක් හෝ වෙනයම් සටහනක් එහි තිබුනේ නැත! අවසානයේ  සිතියම අනුසාරයෙන් පණික්කවිල සොයා ගත්තෙමු.


32-0865

ගෙදර එන්න එන මොහොතේ!

අප සමග ගිය පිරිස තවත් දිනක් නැවතී එන්නට සැලසුම් කර තිබුනත් මා පසුදා ආපසු ඒමට සිතා ගත්තෙමි. ඒ මන්ද යැයි මට අදටවත් සිතා ගත නොහැකි කරුණකි! එදින උදෑසන අප ඉදිරියේ වූ විල්ලුවෙන් ඔබ්බේ වන සීමාවට මෙපිටින් වැව් තලාව මත දුලභ දසුනක් දුටුවෙමු.
ඊරියක් තම පැටවුන් සමග විල්ලුවේ මඩේ ලැග සිටියෝය. මොහොතකින් වනාන්තරයෙන් මෑත්වූයේ තරමක දිවියෙකි. ඊරිය සමග සිටි පැටවුන් මඩේ ඔබ මොබ දුවමින් කෙළිදෙලෙන් විය. අම්මාට ඈත්ව තමාට ලංවූ පැටියාට දිවියා කුරුමානම් අල්ලා පනින්නට පටන් ගන්නවාත් සමග ඊරියට එය ඉව වැටුනි! ඒ සමගම ඊරිය දිවියා වෙත විදුලි වේගයෙන් පැන ප්‍රහාරය එල්ල කරණ්නට පටන් ගත්තේය. ඔබ විශ්වාස කරණ්න; දිවියා නැවත වනය තුලට දිව ගොස් පන බේරා ගන්නා තුරු ඊරිය මීටර 50 ක පමන දුරක් ඇඹීය! 
එම දර්ශණයත් සමග අප එන්නට ආපසු හැරුනි. අප සමග තවත් එක් ජීප් රියක් උද්‍යානයේ ප්‍රවේශය වෙත පැමිනියේය.
අපගේ විල්පත්තු ගමනින් පසුව ඒ ආසන්නයේම වන සත්වාරක්ෂක දෙපාර්තමේන්තුවේ  කිසිවෙකු එල්ටීටීඊ ප්‍රහාරයකට ගොදුරුවූ බවක් මාහට මතකයේ ඇත. සතියක් පුරාවට ඒ පිළිබඳව සොයා බැලීමට ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ විය. විල්පත්තු ජාතික උද්‍යානයේ පාලක වශයෙන් සිට මියගිය වසන්ත පුෂ්පානන්ද මහතා ගැන හෝ විස්තරයක් අන්තර්ජාලයේ නොමැත! එල් ටී ටී ඊ යෙන් මියගිය පුද්ගල ලැයිස්තුවල ඇත්තේ පොලිටික්කන් පමණි! මේ පිළිබඳව වැඩි විස්තරයක් හෙට එනම් 2021 අගෝස්තු 20 වන දින සොයා දෙන බවට මාගේ මිත්‍ර පසිඳු අමරසිංහ පොරොන්දු වූවේය. ඒ ගැන සොයාගත් වහාම ලියාතබන්නම්!
පණික්කවිල බංගලාව 
අද!


අම්පාර 2004/12/18 - 19  


මම; මගේ "159. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? - Diving 1" ලිපියේ දක්වා ඇති ලෙසින්ම එකල මාගේ බොක්ක වූයේ ශානක රාජකරුණා නම් වූ ගුවන් හමුදා නිළධරයාය. එකම පාසලක එකම කාලයක අකුරු කල ඔහු මා හට වඩා වසර ගනනාවකින් අඩු වයසකින් යුතු වූ අයෙකි. මාගේ දරුවාගේ ප්‍රථම අමුත්තා වූ හේ ඔහුගේ රෝල් මොඩලය විය! එකල ඔහු සේවය කලේ අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ විය. ඔහු සේවය කල බොහෝ ගුවන් හමුදා කඳවුරු වලට අප චාරිකා කොට ඇති අතර දිනෙක ඔහු අපට ආරාධනා කලේ අම්පාරේ පැමිණෙන ලෙසය.
ඒ දින වල බේගාල බොක්ක හිල්වී මහ වැසි වසිමින් විය.  "මෙහේට වහිනවා උනාට එහේට වහින්නේ නැතිව ඇති!" කියන සිතට කල රැවටිල්ලත් සමග අප ගමනට සෙට මෝල් විමු. මහ ගමනට පෙර වාහනයේ ක්‍රියා කාරීත්වය පිළිබඳව සොයා බැලූ මා; වැස්සේම අසල තිබුනු විදුලි කාර්මික ශිල්පී ආයතනයකට; තේරෙණ හිංගලෙන් කියනවානම් ඉලෙක්ට්‍රිකල් ෂොප් එකකට ගොස් ඉදිරි පස සවි කොට තිබූ රැම්සේ 8000 වින්චියට; එතෙක් යොදා තිබූ තාවකාලික කේබල දෙක වෙනුවට වැඩි ධාරිතාවයකින් යුත් කේබල දෙකක් සවිකර ගෙන දහවල් 2.00 ට 3.00 ට පමන කඩවතින් පිටත් විය.
ගමන පිටත් වූයේද තරමක වැස්සේය. වායු සමීකරණය නොකල වාහනයේ ඇතුලතින් ජල වාෂ්ප ඉදිරිපස වාමුවාවේ හෙවත් වින්ඩ්ස්ක්‍රීනයේ බැඳීම අනිවර්‍ය තත්වයකි. මෙවන් වාහනයක ඉදිරිපස රියැදුරු අසුනට අමතරව තවත් අසුනක් සවිකොට එන්නේ මෙවන් අවස්ථාවලදී රෙදි කෑල්ලක් ගෙන වීදුරුව දමන අය හට වාහනයේ ගමන් කිරීමටයැයි එවිට මට සිතේ! 
කඩවතින් පිටත් වෙද්දී තිබුනු මහ වැස්ස මහ නුවර නගර සීමාව පසු කරන විට කුණාටුවක් බවට හැරී තිබුනි. 
පෙර මා 203. නොරත රථ . . . . . !(11) පෝස්ටුවේ සඳහන් කල පරිදි GPS නොතිබූ කාලයේ අප ගමන් බිමන් ගියේ; මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් පලකල මාර්ග සිතියමක් හා ලංකා මැප් පබ්ලිෂර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගමෙන් පලකල සංචරක සිතියමක් එකට තබා ලැමිනේටින් කරගත් සිතියම් ද්විත්වය බලා කියාගෙනය. සිතියමක් බලාගෙන කොම්පාසුවක් ලඟ තබාගෙන පාර හොයාගෙන යන එකෙත් පොඩි නිර්මානශීලී "ගතියක්" ඇත! මෙම සිතියම අනුසාරයෙන් හුන්නස්ගිරිය දෙසට හැරුනෙමු.  එතැනින් දහ අට වංගුව පසුකරමින් මහියංගනයට එන විට හොඳින් කරුවලවී තිබුනි. එදින මහියංගනය නගරයෙන් සපයා ගත් කුඩා නැවතුම් පොලක කාමරයක රාත්‍රී ගත කල අප පසුදා  උදෑසන  නැවතත් ගමනට බටහ. රාත්‍රිය මුළුල්ලේ වට වැස්සේ දිගුව උදෑසන විටත් නිම නොවී තිබුනි. එතැනින් අප පදියතලාව දෙසට හැරී ගමන් ගත්තෙමු. පදියතලාව ආසන්න වන විට පලාතේ තැනින් තැන ගස් කඩා වැටිලා තිබෙනු මතකය. තවත් ඉදිරියට යද්දී නගරයට ප්‍රවේශවෙන මාර්ගය හරහා මහා ගසක් කඩා වැටීමෙන් මුළුමණින්ම අවහිර වෙලාය.
ගස කපා ඉවත් කිරීමට බල කියත් කරුවන් හතර පස් දෙනෙකුම රිස්ස යනතුරු දහදිය හෙලති. කපන කපන අතු ඉවත් කිරීමට නිල් පැහැති ෆෝර්ඩ් ට්‍රැක්ටර දෙකක් කුංච නාද දීගෙන බර වැඩෙහි යෙදිලාය. කුඩා කුඩා අවශේෂ කාර්‍යයන් සඳහා කුඩා අත් පොරව ගත් පිරිසක්ද ට්‍රැක්ටර වලට ගස් අතු ගැට ගසන ලෙහන තවත් බොහෝ පිරිසක්ය. වඩාත්ම සිත්ගන්නා සුළු කාර්‍යය වූයේ මේ සියල්ලන් හටම නායකත්වය සැපයූ ඩෙනිමක් හා සුදු කමිසයකින් සැරසුනු මුහුණ පුරා රැවුළ වවා ගත් මිනිසාය.
කිසිවෙකුට හෝ මොහොතක්වත් කාලය කා දැමීමට ඉඩ නොදී මුළු ශ්‍රම හමුදාවම ඔරලෝසුවක දැතිරෝද සේ වැඩෙහි යෙදෙන්නේ එම නායකයාගේ උපදේශනයටය.
මහ කඳ කුට්ටි කිරීම ඒ වන විටත් දෙදෙනෙකු පටන් ගෙන තිබුනි. බල කියත්වල කැපුම් දම්වැල්; ගහ දෙකඩ කිරීමට කිසිසේත්ම සෑහීමකට පත් නොවීය. කියත් කරුවන් පලමුව කඳේ අල්ලුවක් කපා ඉවත් කොට ඒ තුල නැවත බල කියතෙන් කපන්නට පටන් ගත්තේය. එක් කියත් කරුවෙක් වෙහෙස වන විට තවතයෙකු කියත අතට ගනී. කොටින්ම එය මහා සංග්‍රාමයකි!
විෂ්කම්භය අඩි හයක් පමණ වූ ගසේ කඳ දෙකෙළවරින් කපා අවසන් කල පසු එය එක් ට්‍රැක්ටරයකට සම්බන්ධ  කල අතර එම ට්‍රැක්ටරය තවත් ට්‍රැක්ටරයකට සම්බන්ධ කොට කඳ අදින්නට පටන් ගත්තේය. ට්‍රැක්ටර් දෙක දුම් රියක් සේ එකින් එකට අමුනාය! විශ්වාස කරණ්න! ට්‍රැක්ටර දෙකම පසුපස රෝද මත හිට ගති. එහෙත් කඳ සෙලවීමටවත් නොහැකි විය. දෙවනුව ට්‍රැක්ටර දෙකම කඳ අසලටම පසුපසට ගෙන උපරිම වේගයෙන් ඉදිරියට යන්නට විය. ට්‍රැක්ටර පසුපසට ගැනීම නිසා හැකිලී තිබුනු දම්වැල එකවරම තද වී ගැස්සී කඳ තරමක් ඇදී ගියේය. මේ ආකාරයටම ට්‍රැක්ටර දෙක මගින් දම්වැල ගස්සමින් ඇද මාර්ගය ගමනා ගමනයට විවෘථ කර වීමට එම පිරිස සමත් විය! මා රථය ඉදිරියට පදවමින්ම අසල සිටි අයෙකුගෙන්; විජයභා කොල්ලයේ මහල්ලා දරුවාගෙන් ඇසූ පැනය ඇසුවෙමි! "කවුද අර සක් පිඹින්නාසේ සේනාව සංවිධානය කලේ!?"
"ආ ඒ අපේ ප්‍රාදෙශීය ලේකම් තුමානේ!"
සත්තකින්ම එය බලන්නට වටින; බලා ඉන්න එවුංට "හික්!" ගෑවෙන නායකත්වයකි!
එතැන් සිට අප ගමන් කලේ වැසි බර එහෙත් වැස්සෙන් තොර කාලගුණයක් යටතේය!  මහ ඔයට කිට්ටු කරණ විට බොහෝ ප්‍රදේශ යටවී තිබුනි. මහ ඔය හංදිය ආසන්න වන විට මාර්ගය මුළු මණින්ම යටවී ගොස්ය. ගැබ්බර අහස හිරු සඟවා ගෙන; "දෙන්නම්" කියාගෙන පලාතම වැහි බීරමෙන් යටත් කරගෙන සිටියේය. හයියෙන් උඩ පැන්නොත් අහස ඇල්ලිය හැකි තරමට වළාකුළු පහත් වී තිබුනි! පාර දෙපස කුඹුරු  හා පාර එකම ජල තලයකි. මෝටර් රථ හා වෑන් රථ එගොඩ යාමට නොහැකිව ගං වතුර දෙකෙළවරේ නවතා ගෙනය.  ට්‍රැක්ටර් හිමියෙක් නයිලෝන් ලනුවක් ලඟ තබා ගෙන තවත් තැරැව් කරුවන් සමගින් මෙගොඩ සිට එගොඩටත්, එගොඩ සිට මෙගොඩටත් මෝටර් රථ හා වෑන් ඇදගෙන යති එති! එය කුඩා ගෘහ කර්මාන්තයකි!!! 
ගංවතුර ඈත තියා දැක මෑත තියා නවතන අහිංසක රියැදුරු ප්‍රාන වෙත  ලඟා වෙන තැරැව්කරුවන් ගං වතුර භයානකත්වය පිළිබඳවත් දෙපස ඇති ගැඹුරත් පිළිබඳව නොමිලේ කුඩා පාඩමක්  පවත්වති. ඉන් ඉක්බිතිව වාහනය පන නොගන්වා ට්‍රැක්ටරයෙන් ඇද ගැනීමට රියැදුරා පෙළඹේ. එය ව්‍යාපාරයක් වුවත් එක අතකින් මහඟු සේවාවකි. එසේ වෙනත් වාහනයකින් නොඇද එන්ජිම පනගන්වා එම ගං වතුරේ යන්නට ගියහොත් වාහනයට අධික හානියක් සිදුවීමට හේතු විය හැක. මේ පිළිබඳවත් අදාල මෙම සිද්ධිය පිළිබඳව වත් මාගේ "199. ඊයේ ලියන්නට තිබුනු ලිපියක්!" පෝස්ටුවේ දක්වා ඇත.
මොනම හේතුවක් නිසාවත් නිසාන් පැට්රෝලය  මෙම ගංවතුර තත්වය හේතු කොටගෙන  වෙනත් වාහනයකින් ඇද එගොඩ කිරීමට මාහට තරම් නොවේ. මාගේ වාහනය අසලටත් පැමිණි බ්‍රෝකරයෙකු තම සේවා පිළිබඳව විස්තර කලේය.
"අවුලක් නෑ! මම යනවා!! බොහෝම ස්තූතියි අදින්න ඕනෙ නෑ!" මම ඔහුට කීවෙමි.
"මේවාට මොකද යන්න බැරි! ? මේවාට යන්න බැරිනම් වෙන යන්න වාහනත් නෑ තමයි!: අපගේ දෙබස අසාසිටි අයෙකු පැවසීය.
එම වචන කිහිපය මට ඇතිකලේ සුපිරි ගැම්මකි! ඔහුට කෘථවේදී සිනහවකින් සංග්‍රහ කල මා රථය පන ගැන්වූවේය! "අපිට යන්න පුළුවං වෙයිද?" බිරිඳ අනපේක්ෂිතව ඇසුවාය! "බලමු!" මම තනි වචනයෙන් උත්තර දී රථයේ ගියර සැකැස්ම ෆෝ වීල් ක්‍රියාත්මක වීමට සකසා පළමු ගියරයේ ඉදිරියට ගත්තෙමි. හදිසි අවස්ථාවක වාහනය කිසියම් බාධාවකට මුහුණ දුන්නොතින් එය පිටු දැකීම ෆෝ වීල් දමා ගැනීමේ අරමුණ විය!
ඉදිරියේ ඇදගෙන යන වෑන් රිය දෙස බලා ගං වතුරේ ගැඹුර පිළිබඳව හොඳින් වැට හීමක් ලබා ගත් මා ඔවුන්ගේ ධාවන පථය හොඳින් ග්‍රහණය කර ගත්තේමි. ඉමක් කොනක් වැටක් කිසිවක් නොපෙනෙන ගංවතුරේ ජල තලයට ඉහලින් පෙනෙන එකම වස්තුව ලයිට් කණු පේලිය පමණි! ලයිට් කනුවලට සාපේක්ෂව ගමන් පථය හිතේ ඇඳගත් මා 32-0865 නිසාන් පැට්රෝල් 160 ය ගං වතුරට ප්‍රවිෂ්ඨ කලෙමි! ලයිට් කනු වලට සිතෙන් මැනගත් දුරක් පවත්වා  ගනිමින් එතෙර වුනෙමු!
එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් අම්පාර දෙසට දිවෙද්දී කාලගුණය ටිකෙන් ටික වියළි බවට හැරී තිබුනි. අම්පාර නගරයට කුඩා දුරක් තිබියදී උහන ගුවන් හමුදා කඳවුරෙහි නාම පුවරුව පාරේ දකුණු පසින් තිබුනා වාගේ මතකය. අප එහි යන විට ශානකගේ බිරිඳත් දරු දෙදෙනාත් එහි විය! 
එදින විවේක ගත් අප පසුදා එතෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කර නොතිබූ රජගල නටබුන් බැලීමට ගියෙමු. එම සංචාරය සඳහා කඳවුරේ තවත් කිහිප දෙනෙකු ඩිෆෙන්ඩරයක්  සමග එක් විය!

මිතුරන්

මේත් මිතුරන්ම තමයි!

රජගල රජ ගමනක!

කල්මලී
කල්මලී

දින දෙකකට පසු වැහි බීරිම යටින් නැවතත් නිවෙස් බලා අප ආවෙමු. එන විට අප පැමිණියේ මිණිපේ රන්ටැඹේ රන්දෙනිගල හරහා වැටී ඇති මාර්ගයේය. පහතින් දැක්වෙන්නේ එන ගමනේදී; සටහන් කරගත් පිංතූර කිහිපයක් පහතින් එල්ලා ඇත.
හරියටම ඊළඟ සතිය එළඹුනේ වසරේ නත්තලය!  වසර ගනනාවක සිට සෑම නත්තලක්ම අප ගත කලේ බෙන්තොට දෙද්දූව පුස්සැල්බොක්ක වත්තේ මාගේ ලොකු අම්මාගේ ගෙදරය. නත්තල් දිනයේ එහි යාමට හැකියාව තිබුනද පෙරදින රාත්‍රියේ අප බෙන්තොට බලා ගියෙමු. පසුදින  දහවල එළඹෙමින් තිබියදී රූපවාහිණී තිරය මත කිසිදා නො අසා තිබූ ජපන් වචනයක් සමග උප ශීර්ෂ  යොදමින් රූප රාමු වැටෙන්නට විය. ඒ සුනාමියේය! අප සාමාන්‍යයෙන් නත්තලට බෙන්තොටට ගොඩවෙන්නේ දිවා ආහාරයටය. අප එම වර්ෂයේ එම සිරිත කඩ කිරීම සුනාමියට අසු නොවීමට එක් හේතුවක් විය! සුනාමියට පසුදා නැවත කොලඹ පැමිනියේ බේරුවලින් මතුගමට ගොස් රට මැදින්ය. ඒ සියළු ගමන් වලදී නිසාන් පැට්රෝලය විශ්වාසවන්ත ගමන් සගයෙකු විය!

ආපසු එන ගමනේ!


Monday, August 2, 2021

208. පැනි බේරෙණ කොම්පැනි කථා 3

ඕනෑනම් ඕනෑම සිංහයෙකුව ළඟ නවා ගත හැක!

ලියා මග දමා ආ "හය වන ඇන් ඇක්සිඩන්ට් එක!", "ම'පුතු වසික වෙත සෙනෙහසින් හය වැන්න!", "නොරත රථ (13)!", "තාත්තා නොම්මර එක 4" වැනි බොහෝ කථා කැරළි රාශියක් තිබුනත් ඒ සියල්ල පසෙකින් තබා "පැණි බේරෙන කොම්පැනි කථා" තවත් කිහිපයක් මා ලියන්නට සිත් උනෙමි.

එයට ප්‍රධාන කාරණා දෙකකි. 

1.රසික ජන මනෝරංජනය (මෙය කරුණාරත්න අමරසිංහයන්ගෙන් මා නයට ඉල්ලාගෙන භුක්තියට සවිකර ගත් යෙදුමකි. ) 

2.මෙම සිදුවීම් මාහට ලියා තැබීමට ඇවැසි වීම අනෙකය.

යුනයිටඩ් මෝටර්ස් ආයතනයේ මා ගත කල වසර දොලහකට ආසන්න කාලයෙන් වැඩි කාලයක් මා සේවය කලේ එහි පාරිභෝගික සේවා විධායක ලෙසය. දිවයින පුරා කොළඹ, ඔරුගොඩවත්ත, නුවර, කුරුණෑගල, නුවර එළිය (පසු කලකදී මෙය වසා දමන ලදී), රත්නපුර, මාතර, යාපනය යන නගරයන්හී පිහිටා තිබුනු අප සමාගමේ වැඩහල් සියල්ල තුලින්ම අළුත්වැඩියාවන් හා සේවාවන් ලබාගන්නා පාරිභෝගිකයින් එදිනෙදා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විමසා බලා කටයුතු කරණ්නට වැටුප් දී මා  පත් කොට  තිබුනි.

පාරිභෝගික සේවාව යනු හුදෙක් බොක්කෙන්ම එන්නට උවමනා අවශ්‍යතාවයකි. ආයතනයක ඉදිරි පෙල නිළධරයන්, සේවකයින් (Front Desk) හට එය උත්පත්තියෙන් ලැබිය යුතු ගුණාංගයක් හෝ උගැන්විය යුතු හා පුහුණු කල යුතු විෂයකි.

මා අදටත් පිළිගන්නා ආකාරයට ඉදිරි පෙල සේවකයකු තුල; "පැසසුමක් ලැබීමේ අභිරුචියක්, කෑදර කමක්" තිබිය යුතුමය. පැසසුමක් ලැබීමට කැමති අයෙකු සෑම විටෙකම කටයුතු කරණ්නේ එය ලබා ගැනීමටය. ඔහු එවිට තමාගෙ හැකි උපරිමයෙන් පාරිභෝගිකයා සතුටට පත් කරවීමට උත්සාහ ගනී.  එවන් අයෙකු අප පුහුණු කල යුත්තේ පාරිභෝගික සේවා ආචාර ධර්ම  සහ විශේෂයෙන්; පාරිභෝගිකයෙකු වෙතින් පැසසුමක් නොලද අවස්ථාවකදි පවා ස්ව‍යං අභිප්‍රේරණයකින් යුතුව කටයුතු කිරීමටය!
ලියනවානම්  මේ පිළිබඳව පිටු පුරා ලියා තැබිය හැකි උවත් අපි ඉක්මණින්ම කථාවට බසිමු. යුනයිටඩ් මෝටර්ස් ආයතනයේ නවක සේවකයින්  සඳහා සහ ඔටෝ මිරාජ් ආයතනයේ සේවකයින් වෙනුවෙන් කරණ ලද වැඩ මුළු වලදී මා ගෙන හැර දැක්වූ රසවත් සිදුවීම් කිහිපයක් මෙතැන් සිට කියවමු.

මිට්සුබිෂි ෆූසෝ කියන්නේ අපි ගෙනාපු සුපිරිම ට්‍රක් එක එහෙම නැත්නම් ලොරි චැසිය.
කාලය ගෙවී මේ ෆූසෝ චැසිය ඉංදියාවෙන් එන්නට පටන් ගත්තා. 
ජපානෙන් ආපු වාහන වල වගේ නෙවෙයි මේවායේ පොඩි පොඩි අඩු පාඩු නොතිබුනාම නොවේ.
`
දවසක් මම දවල්ට කාලා කාරිය නිවිහැන්හිල්ලේ ඉන්නකොට ආවා කෝල් එකක් අපේ සේල්ස් ඩිපර්ට්මන්ට් හෙවත් විකුණුම් දෙපාර්තමේන්තුවෙන්.
"මචං පොඩි සීන් එකක්! කස්ටර්මර් කෙනෙකුට මල පැනලා! ඒ මහත්තයා කුලියාපිටියේ අපේ සිරාම බුවෙක් . . .රත්නායක මහත්තයා කියලා. ඒ පැත්තේ අපිට සෑහෙන්න උදව් තියෙන කෙනෙක් . . .වාහනේ අංකය . . . . . . .  ස්ටාර්ටර් මෝටරේ රේසර් හොයා ගන්න බැරිව. . . . . . මොනවා හරි කරපං! නැත්නම් කුරුණෑගල ආයේ ෆූසෝ විකුණලා බොරු.  . . . . ඌ වෙඩි කාපු ඌර වගේ ඉන්නේ  බලාගෙන ටෝක් කරපං!"
දූර කථනයේ එහා පැත්තෙන් මට වැඩේ භාර දුන්නා.
ඔය ඕන කේස් එකක් මම භාර ගන්න කොට; අර මොහමඩ් අලී දෙනවා වගේ පොඩි කයිවාරුවකුත් මම දෙනවා ආතල් එකට! ගැම්මට!!
"හරි! හරි!! මචං!!! කොහොමද දන්නවාද නාලාගිරියා දමනය කලා වගේ කස්ටා හෙට උදේට උඹට හොටු පෙරාගෙන අඬ අඬා කෝල් එකක් දෙන්න වැඩේ කරල දෙන්නං කෝ!" මමත් මිත්‍රයාට පොර ටෝක් එකක් දීලා කස්ටර්මර්ගේ  හෙවත් මල පැනපු පාරිභෝගික භවතාගේ නමයි ටෙලිෆෝන් නොම්මරේයි ඉල්ලා ගත්තා.
ටෝක් ඉෂූ කලා වාගේම දැන් වැඩේ පටන් ගත යුතුය.
මම දූරකථනය ගෙන නොම්මර කිහිපය එබුවෙමි.
"හලෝ . . . !? අනෙක් කෙළවරින් නොහික්මුණු හඬක් නැගිනි!
"හෙලො . .මේ  රත්නායක මහත්තයාද? "
"ඔ . ඔව්! ඔව්!! මොකද . . . . .!?"
"මහත්තයා මට මේ නොම්මරෙ දුන්නේ අපේ ප්‍රධාන කාර්‍යාලයෙන්. ඔබතුමාගේ ෆූසෝ ලොරියේ ස්ටාටර් මෝටරේ . . . . . . " මට කියන්න ලැබුනේ එපමණකි.
"මේ ඔයා කථා කරණ්න එපා. තමුසෙලා ආයේ මේ පොල් ත්‍රිකෝණෙ ලොරි විකුණලා ඉවරයි කියලා  හිතාගන්නවා!"
"හරි සමා වෙන්න මහත්තයා මට තේරෙණවා මොකක් හරි අවුලක් වෙලා ඇති. පොඩ්ඩක් මට කියන්නකෝ! මොකද මට අනිවාර්‍යයෙන්ම පුළුවන් ඔබ තුමාගේ ප්‍රශ්නෙ විසඳලා දෙන්න. පොඩ්ඩක් සමා වෙලා මොකද්ද  ඔබතුමා මුහුණ දුන් ගැටළුව කිව්වානං!?'
රත්නායක මහතාගේ මල නිවෙන තුරු පවන් ගැසීමෙන් අනතුරුව ඔහුගේ ගැටළුව මුළුමණින්ම මාවෙත පැවසීමට පොළඹවා ගැනීමට මාහට හැකිවිය!

සිද්ධිය සැකවින් මෙසේය:
කුලියාපිටියේ ව්‍යාපාරිකයෙකු ඔහු අප ගෙන් ෆූසෝ ලොරියක් මිලදී ගෙන ඇත.  මේ වන විට එහි වොරන්ටි කාලසීමාව ඉකුත්වී ඇති අතර එහි ස්ටාර්ටර් මෝටරයේ දෝෂයක් සඳහා ගලවා ඇති අතර ඒ සඳහා බෙයාරිං (රේසර්) අළුතින් යෙදීමට සිදුවී ඇත. නමුත් කුළියාපිටිය, කුරුණෑගල හෝ පංචිකාවත්තෙන් ඒ සඳහා නියමිත රේසර දෙක සොයා ගැනීමට නොහැකිවී ඇති අතර ඔහු ඒ පිළිබඳව විමසා ඇත්තේ  රථය විකුණූ අයගෙන්ය. ඔහු ආයතනයේ අමතර කොටස් අංශයේ අංකය පාරිභෝගිකයා වෙත ලබා දී ඇති අතර පාරිභෝගිකයා අමතර කොටස් අංශයට කථා කොට ඇත. එහිදී සිදුවූ බහින් බස් වීමක් සිද්ධියට මුල්වී ඇත.
ඔහුගේම වචනයෙන් කථාවේ අවසානය මෙසේය.
"ඔයාලගෙ හෙඩ්ඩොෆිස් එකේ සේල්ස් එකෙන් මම ස්පෙයා පාර්ට්ස් එකේ නොම්මරේ අරණ් ඒකට කථා කරලා ස්ටාර්ටර් මෝටරේ රේසර් දෙක තියෙනවාද ඇහුවාම ඒක ඇවිත් නෑ කියලා කිව්වා. මං  ඇහුවා මොකකද ඒකට කරණ්නේ කියලා. එතකොට එතන මනුස්සයා මට කියනවා ස්ටාර්ටර් මෝටරයක් දාගන්න තමයි තියෙන්නේ කියලා. මම නිකමට වගේ ඇහුවා මෝටරේ කීයද කියලා. ආයෙ ඇද නැතිව කියනවා එකයි අසූ පහයි කියලා. යකෝ මෝටරේ රේසර් දෙක වෙනුවට එකයි අසූපහක් වියදං කරලා මෝටරේම දාගන්න බූරුවෝ ඉන්නවද කියලා අහලා ඌට හොඳ කුණු හරුප දෙකක් කියලා මම ෆෝන් එක තිබ්බා! දැං ඔයා මේක විසඳනවාද?"
"මහත්තයා මට විනාඩි 15ක් දෙන්න මම ඔබ තුමාට ආයෙ කථා කරණ්නම්. මට හිතා ගත්තෑකි රේසර් දෙකක් වෙනුවට මෝටරේම දාන්න කිව්වාම මහත්තයාට හිතුනු දේ! ඒකට සමා වෙන්න!  මට කරණ්න පුළුවන් උපරීම දේ කරණවා. මහත්තයා මං ගැන විශ්වාසය තියන්නකො! මේ ගැන කවුරු හරි අපේ ආයතනයෙන් කතා කරලා ඇහුවොත් මම ඒක බලනවා කියන්න. මොනවා හරි තියෙනවානම් මා එක්ක කතා කරණ්න කියන්න!"
"හ්ම්ම්! හ්ම්ම්!!" නොසතුටෙන් රත්නායක මහතා ටෙලිෆෝනය විසන්ධි කලේය.

මෙවන් ගැටළුවක් විසඳීමට යාමේදී පලමුව අප ඔහුගේ තත්වයට වැටී සිතීමට පටන් ගත යුතුය. "මම ඔහු නම්!?" ඔව් මම ඔහු නම් මේ මල පැනීම අන්තිම සාධාරණය! මේ වාහනය රැගෙන මේ වන විට වසරක පමණ කාලයක් පමණක් ඉකුත්වී ඇත. ස්ටර්ටර් මෝටරයේ රේසරයක් වත් නොමැති වේ නම් අනිකුත් අමතර කොටස් පිළිබඳ කුමණ කථාද? ඔහුට එසේ සිතෙනු ඇත.
වාහන විකුණුම් අංශය පලාත්බදව පවත්වනු ලබන විකුණුම් ප්‍රවර්ධන වැඩ සටහන් වලදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩසටහන පැවැත්වීමට නොමිලේම ඉඩකඩ ලබා දී ඇත්තේද  රත්නායක මහත්මයා මය. ඔහු ඒ සමග තමාගේ ව්‍යාපාරික සගයන් කිහිප දෙනෙකු හටම තවත් රථ කිහිපයක් විකිණීම සඳහා සෘජුව මැදිහත්වී ඇත! තත්වය වඩාත් දරුණුවී ඇත්තේ එබැවිනි.
පාරිභෝගිකයකු කිසියම් අසතුටු දායක තත්වයකට මුහුණ දුන් පසු ඔහු සමග දුක් වන ඔහු සමග එක්ව කේන්ති ගන්නා අයෙකු ඔහු මිතුරෙකු කර ගන්නට පෙලඹේ. සතුරාගේ සතුරා මාගේ මිතුරාවේ යන ලොජික් එක සාමාන්‍යයෙන් පුහුදුන් සත්වයින් ක්‍රියාත්මක කරණ්නාවූ ධර්මතාවයකි. එවිට ඔහුව හැසිරවීම වඩාත් පහසු කරයි. 
"මට හිතා ගත්තෑකි රේසර් දෙකක් වෙනුවට මෝටරේම දාන්න කිව්වාම මහත්තයාට හිතුනු දේ!" යනුවෙන් පවසා මා ඔහු හා එක් පාර්ශ්වයකට ගොනු උනෙමි. මන්ද ආයතනය හා අසතුටෙන් අවිශ්වාසයෙන් හා කලකිරීමෙන් සිටියදී ඔහු තවදුරටත් ආයතනයේ පාර්ශ්වයේ අයෙකු සමග ගනුදෙනු කරණ්නට එකඟ නොවේ.
එසේම ඔහු තුල තමා කෙරෙහි විශ්වාසයක් ගොඩ නගා ගත යුතුය. ඒ සඳහා සෘජු පිළිතුරු සැපයිය යුතුය. සෘජු ප්‍රකාශ කල යුතුය. කාර්‍යය ඉටු කිරීම සඳහා තමා කැපවන බව ඔහුට ඒත්තු ගැන්විය යුතුය.  "මට කරණ්න පුළුවන් උපරීම දේ කරණවා. මහත්තයා මං ගැන විශ්වාසය තියන්නකො! මේ ගැන කවුරු හරි අපේ ආයතනයෙන් කතා කරලා ඇහුවොත් මම ඒක බලනවා කියන්න. මොනවා හරි තියෙනවානම් මා එක්ක කතා කරණ්න කියන්න!"යනුවෙන් මා පවසන්නේ එම හැඟීම ඔහු තුල ඇති කරලීමටය. "මේ යකා නං මොනව හරි කරයි!" යන විශ්වාසය පාරිභෝගිකයා තුල ඇතිවූ සැනින් ඔහු සටන මොහොතකට නවතා ගිමන් හරී. ඒ අපට ඊළඟ පියවර ගැනීමට ඇවැසි කාලය යි.
මා වහාම පරිඝනකය ඔස්සේ වාහනයේ නොම්මරයට අදාල වාහනයේ චැසි අංකය ලියා ගතිමි.
පලමුව අමතර කොටස් අංශය වෙතින් එම අමතර කොටස පිළිබඳව සොයා බැලුවෙමි.
"නෑ අයියේ! ඒක ඕර්ඩර් කරලා තියෙන්නේ තාම ආවේ නෑ! අද උදේ එකෙක් අහලා මට කුණු හරුපෙනුත් බැනලා තිබ්බේ!!!"
 "ආ උඹද මිනිහා!" මම මටම හිතින් කියා ගනිමින් "ආ! එළ කොල්ලෝ!"කියමින් දූරකථනය විසංධි කලෙමි.
ඊළඟට ඔරුගොඩවත්ත ප්‍රධාන වැඩහලේ ට්‍රක් සහ බස් අංශයට කථා කොට බැලුවෙමි. හදිසියේ වත් ඔවුන් ලඟ ගලවා ඉවත් කල එකක් වත් ඇත්නම් අළුත් අමතර කොටස් එනතුරු පාවිච්චි කිරීමට වත් දෙන්න. එම අංශයේ සිටි සේවා උපදේශක හා ෆෝමන්වරයා කාලයක් ගෙන සොයා බලා පිළිතුරක් දුන්නේය.
"ම්හු!" ඒ පැත්ත පලාතේ නැත.
මේ වන විට රත්නායක මහතාගෙන් සමුගෙන විනාඩි 15 ට ඔන්න මෙන්නය! වහාම ඔහු ඇමතීමි. "රත්නායක මහත්තයා! මම රේසරේ හොයන ගමන්! මම විනාඩි 15න් කෝල් කරණවා කිව්ව නිසයි මම මේ කථා කලේ! මම වැඩේ ඉන්නේ. මට තව විනාඩි 15 ක් දෙන්න"
"හ්ම්ම්! හ්ම්ම්!! හරි හරි බලන්නකෝ!" රත්නායක මහතා තරමක විශ්වසණීයත්වයෙන් කථා කලේය!
ඊළඟට සෙවිය යුත්තේ වොරන්ටි දෙපාර්තමේන්තුවේය. හදිසියේවත් ආපදාවකට මාරු කල සටාටර් මෝටරයක් එම අංශයේ තිබුනුහොත් එහි රේසරය ගලවා ගත හැක. ඇමතුමක් ගත්තෙමි.
"මල්ලී පොඩි සීන්ස් එකක මේ  . . . . . . . .එකක් හොයා ගන්න පුළුවන්ද? උඹලා ගාව ගලවපු අළුත් ස්ටාටර් මෝටර් එකක් නැද්ද හොයා ගන්න!?"
"අනේ අයියේ තිබුනු ඔක්කොම ලොට් එක ඉන්ඩියා යැව්වානේ ගිය මාසේ!?"
"අම්මට සිරි දැන් මොකද කරණ්නේ? අව්ලක් නෑ පොඩි සීන් එකක් බං කුලියාපිටියේ  . . . . . . . . . . . . . . . . . . ." මම සිද්ධිය සැකවින් පවසා දූරකථනය තිබ්බෙමි.
"ඇත්තටම දැන් මොකද කරණ්නේ? කෙළියා නේද තාප්පෙටම!?" මම මගේ ආසනයේම ඇස් දෙක පියාන කල්පනා කලෙමි. රත්නායක මහතාගේ ලොරිය මේ වන විටත් කුලියාපිටියේ ගරාජයක ගලවා ඇත. මේ වන විට වේලාව දහවල් 2.15 ය. මෙතැන් සිට කුලියාපිටියට කිලෝමීටර 80ක් 90ක් ඇති. මෝටර් සයිකලයක් යන්න පැය දෙකක් වත් යයි. ස්ටාටර් මෝටරයක්  ෆිට් කරලා හයි කරණ්නත් පැය එක හමාරක් වත් යයි. ඔක්කොම පැය තුනහමාරයි. ඒ කියන්නේ දැන් හොයලා යැව්වොත් හවස හය වෙන කොට ලොරිය ගන්න පුළුවන්! තව පරක්කු උනොත් වැඩේ අවුල්!
එවිටම මාගේ දූරකථනය නාද විය. " වොරන්ටි ඩිපර්ට්මන්ට් එකෙන්!"  මම මටම කියා ගත්තෙමි.
"කොල්ලෝ මොකද බඩු තියෙනවද?"
"නෑ අයියේ බඩු නම් නෑ. ඒත් ඔය මොඩ්ල් එකේ අපි විකුණපු වාහන ඔක්කොම රී කෝල් කරලා (ආපසු කැඳවලා) ස්ටාටර් මෝටර් අළුතෙන් දැම්මා! සමහර ඒවා ආවා! සමහර ඒවා ඇවිත් තිබ්බේ නෑ. කොයි එකටත් ඔයා ඒ වාහනේ චැසි නොම්මරේ දෙන්නකෝ බලන්න අපි රී කෝල් කරලා අළුතෙන් දැම්ම එකක් ද කියලා බලන්න!"
"අම්මට සිරි ඒහෙමත් එකකද? ආ ලියා ගනිං  . . . . . . . . . . . . . . .. . . . . . . . ."
"හරි අයියේ බලලා කියන්නම්!"
තවත් විනාඩි 10 ක ගතවෙන්න ඇති උපරිමයෙන්.
මගේ දූරකථනය නැවත නාද විය.
"සඳා කියපං මල්ලී . . . . !" (වොරන්ටී ඩිපර්ට්මන්ට් එකේ ඉන්න තුන් දෙනාගෙන් එකෙක් සඳරුවන්!) 
"අයියේ ඒ ලොරිය අපේ රී කෝල් එකේදි ඇවිත් නෑ! අපිට පුළුවං අළුත් ස්ටාර්ටර් මෝටරයක් දෙන්න!"
"අනේ පලයං බං යන්න! අම්මපා ඇත්තද කොල්ලෝ!? උඹ වීළු කරණවද?" මම පුටුවෙන් නැගිටුනේ ඔටෝය!
"නෑ අයියේ සිරාවට!"
"මල්ලි වාහනේ තියෙන්නේ කුලියා පිටියේ. හෙට උදේම අපේ කුරුණෑගල වර්ක් ෂොප් එකට මම වාහනේ දාන්නම්! උඹට පුළුවංද දැම්ම ඒක ප්‍රොන්ටො එකට (කූරියර් සර්විස් එක) දාන්න හෙට උදේට කුරුණෑගලට ලැබෙන්න!"
"හරි අයියේ මම දැන්මම දාන්නම්. තාම 3.00 වෙලා නෑනේ!" (3.00 ට ප්‍රොන්ටො එකෙන් බඩු එකතු කරගෙන යනු ලබයි!)
මම හොඳින් අසුන් ගෙන රත්නායක මහතා ට කථා කරණ්නට පටන් ගත්තෙමි.
"හෙලෝ රත්නායක මහත්තයා ! ඔබතුමා අපේ සේල්ස් ටීම් එකට අපේ සේල්ස් කැම්පේන් වලදි කරල තියෙන සේවය නිසාම අපි ආයතනයක් විදියට තීරණය කලා ඔබ තුමාට අළුතින් බ්‍රෑන්ඩ් නිව් ස්ටාර්ටර් මෝටර් එකක් නොමිළේම හයි කරලා දෙන්න!"
" ෂහ්! නියමයිනේ!?  ඔව් ඔයගොල්ලන්ට මම ගොඩක් සපෝර්ට් කරලා තියෙනවා. අහන්නකෝ සේල්ස් එකෙන්!"
"ඒකනේ! ඒකනේ!! එහෙනං හෙට උදෙම වාහනේ පොඩි තල්ලුවක් දීලා ස්ටාර්ට් කරගෙන කුරුණෑගල අපේ වර්ක් ෂොප් එකට යවන්න! එතන ඉන්නවා පතිරණ කියලා එළ කොල්ලෙක්. ඔබ තුමාගේ රියැදුරු මහත්තයාට කියන්න ගිහින් එයාව හම්බෙන්න කියලා"
"ආ තැන්කිව් තැන්කිව්!! කුලියා පිටියෙ ආවොත් ඇවිත් යන්න එන්න!"
"එකෙන්ම රත්නායක මහත්තයා! මං වෙනුවෙන් පොඩි උදව්වක් කරණ්න! අර ඔබ තුමා කතා කරපු  අපේ  එකේ මහත්තයාට කථා කරලා වැඩේ කෙරුණු බව පොඩ්ඩක් කියන්න පුළුවංද?"
"අයියෝ මම කියන්නම් මේක තිබ්බ ගමං!"
ඊළඟට මම කුරුණෑගල පතිරණට කථා කොට වැඩේ උදේම කර දෙන මෙන් ඉල්ලා සිට උගේ ඕපාදූප අහද්දී දූරකථනයේ තවත් කෝල් එකක් නැවතී සිටින බව දුටුමි.
"පතිරණ මල්ලී මම මම දැං තියනවා! හෙට උදේට වැඩේ සුපිරියට දියං! හෙඩ්ඩොෆිස් එකේ සේල්ස් එකෙන් මට තව කෝල් එකක්!"

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...