Tuesday, February 14, 2023

253. සෝමාවතියට බුදු පිළිමයක්!

අද ජීවිතේ අමතක නොවන දවසක්!

මීට කලෙකට පෙර එක් දවසක මාගේ බ්ලොගයේ කන්ටැක්ට් පෝරමය හරහා කුඩා පණිවිඩයක් ලැබුනි. එහි සඳහන් වූයේ ඊට දිනකට පෙර මවිසින් අවකාශයට මුදා හැරි "සිම්ප්සන් තරණය" පිළිබඳ පෝස්ටුවේ නාම පද දෙකක් නිවැරදි කිරීමට උපදෙසක් ය. තවත් ටික කාලයකට පසුව ඔහුම මා හට ඇමතුවේය. හේ අන් කිසිවෙක් නොව විට්ටර් ගේ මල්ලී වූ හැට්ටර්ය ය!

හැට්ටර් ජීවත්වූයේ අප රටින් කිලෝමීටර දහ හතර දහසක් එපිටින්ය. කාලය ගෙවී යත්ම ඔහු සති දෙක තුනකට සැරයක් මාහට පුරුද්දක් ලෙස ඇමතීම කලේය.

කැන්ගරු දේශයේ සිටි වසිකට රැකියාවක් සොයා දෙන්නට පවා වෙහෙසුනු ඔහු කෙටි කලෙකින් මාගේද වසිකගේද හොඳ මිතුරෙකු විය.

කාලය මෙසේ ගෙවී ගියේය. පසුගියදා මාහට ඇමතුමක් ලබා දුන් අපගේ හිතාදර කොමෙන්ට් කරු ප්‍රාජේ මා අමතා පැවසූවේ;  ටික දිනකින්; කෙටි නිවාඩුවක් සඳහා;  හැට්ටර් මෙරටට ගොඩ බසින බවය!

වසර ගනනාවකට පසු තම නෑසියන්  දැක බලා ගැනීමට සති තුනකට ගොඩ බැසි ඔහු මටත්, ප්‍රාජේටත්, නිදිටත් කුඩා උවත් වටිනා කාලයක් ලබා දී තිබුනි. ඒ එසේ මෙසේ තැනක නොව පයාගලදීය! 

පයාගලට ගිය ගමන ඇරඹුනේ කොට්ටාවෙන් වන අතර එතැනින් අධිවේගී මාර්ගයේ ගමන් කොට දොඩංගොඩින් එළියට විත්;  කැලෑ පාරක් ඔස්සේ තවත් කිලෝමීටර දහයක් දොලහක් ගමන් කොට දොඩංගොඩ හංදියෙන් ගාලු පාරට වැටී අනතුරුව පයාගල රේල් නැවතුම අසලට යනවිට හැට්ටර් සරමෙ එක කොනක් පසුපසින් ඔසවාගෙන අප එන තෙක් මග බලාගෙනය! 

හැට්ටර් හමුව වෙනමම ලියන්න ඕන කථාවක්ය!

අප දැක හැට්ටර් සරම පහත දමා!

මෙම පෝස්ටුව කියවන්නට පටන් ගත් මාගේ ආදරණීය පාඨකයින් හැට්ටර් සහ සෝමාවතියේ බුදු පිළිමය අතර සම්බන්දය කුමක්දැයි විපිළිසර වනු ඇත!
ඒ කථාව පටන් ගන්නේ අධිවේගයේ එන විට දුටු දර්ශණයක් මුල කර ගනිමින්ය! 

විටෙක අප ඉදිරියෙන් ගමන් කල ටිපර් රථයක පසු පස පටවා තිබුනේ සිවුරු දෙක තුනකින් ඔතන ලද බුදු පිළිමයක් විය. 

එය දුටු සැනින් මා ඉදිරිපස ආසනයේ වැඩම කල නිමල් දිසානායක අමතා "ඕන්න ඕක බලා ගන්න! මම පෝස්ටුවක් ලියන්නං!!" යැයි පැවසූවෙමි.

මෙන්න ඒ කථාව. 

ඇත්තටම මේ කථාව එන්නට සුදුසු මෙතැනට නොව වසිකයා පිළිබඳව මා ලියමින් සිටින "ම'පුතු වසික වෙත සෙනෙහසින්!" ලිපි පෙලටය. එහෙත් හැට්ටර් හම්බුනු ගැම්මටම මෙතැනම ලියා තියන්නෙමි. 

වසික පාසැල් ගිය කාලේ  එක් වක වානුවක ගණිතය විෂයට බොහෝ සෙයින් දුර්වල විය. ඔය කියන කාලේ අපේ ගෙවල් වලට නුදුරින් ගණිතයට ටියුශන් දෙන ගුරුවරයෙකුගේ පංතියක් තිබුනු අතර ඔහුගේ නම නානායක්කාර නම් විය.

නානායක්කාර සර් අමුතුම ආරක් ගත් අයෙකි! ලමයින් 500ක් පමණ සිටි පංතිය ඇමතීමට කිසිදු යන්ත්‍රයක් භාවිතා නොකල අතර  ඔහු කථාකලේ තම උස් හඬ උපයෝගී කරගෙනය. එසේම ඔහුගේ පංතිය තුල කිසිවෙකු කිසිදු හඬක් නොනැගීමට තරයේ වගබලා ගත්තේය.

පංතියේ ඉන්දවූයේ කෙල්ලන් හා කොල්ලන් කලවමේය. ඒ නිසාම උනුන් අතර කථාබහක් නොවීය. සෑම දිනෙකදීම අවම වශයෙන් ලමයින් පහක් හයක් ගුටි කෑවෝය. තවත් දෙතුන් දෙනෙක් එලවූවේය. දයක පහලොවකගේ පොත් පියාසලා ඉගිල්ලුනේය. පංතියෙන් භාගයක් බැනුම් ඇසුවෝය. තවත් කිහිප දෙනෙක් හට උන් හිටි තැන් අහිමි වුනෝය.

සියල්ලම හරියටම තේරුණද මේ "උන් හිටි තැන් අහිමි කිරීම" නොතේරුණු බව මට ඉංතීරුවෙනම කිව හැක. ඒ; කලින් දැනුම් දී හෝ නොදී පෙරදින පන්තියට නොපැමිණි අය පංතියේ පසුපසම බංකුව වෙත යැවෙන කරණ ක්‍රම වේධයක්ද ඔහු භාවිතා කල බැවිනි.

ඔය කියනා කාලයේ වසික පාසලේ ක්‍රිකට්, මළල ක්‍රීඩා, පිහිනුම්, ශිෂ්‍ය භට ආදී මෙකී නොකී බොහෝ ඉසව් කල  බැවින් ඔහුට බොහෝවිට පංතිය තුල උන් හිටි තැන් අහිමි විය.

මෙම උන් හිටි තැන් අහිමි වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්හට නැවත ඉදිරි පෙළට පැමිණෙන ක්‍රම වේධයක්ද නානායක්කාර සර් හඳුන්වා දී තිබුනි. ඒ දෙන ගෙදර වැඩ හා පංතියේ හදන  ගණන් සියල්ල හරි ගිය විට පේලියක් දෙකක් ඉදිරියට ගෙනෙන විධික්‍රමයකි!

පෙර දින පංතියට නොපැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පසුදින පංතියට යායුත්තේ මව හෝ පියා සමගය. මේ  නිසාම නානායක්කාර සර්ගේ පංතියකට  හිතා මතා නොයා සිටීමට ධෛර්ය සම්පන්න  ඒ කාලයේ සොයා ගැනීම; මේ කාලයේ ආණ්ඩුවට නොබනින එකෙක් සොයනවා සේම අතිශය දුෂ්කර කාරණාවක් විය.

වරක් අපගේ පවුලේ සියළු දෙන මාගේ අයියා ගේ නිවසට නෑගම් ගියෝය. අයියා එකල සිටියේ පොළොන්නරුවේය. ගමන පිටත් වීමට ප්‍රථම වසිකගෙන් කොන්දේසිය පැනවිනි!

"කොහේ ගියත් කමක් නෑ ඉරිදා හවස හතරට මට ගෙදර ඉන්නෝන! නානායක්කාර සර්ගේ ක්ලාස්!" ඒ සියළු තහංචි වලට යටත්ව අප සියල්ලෝම ගමන පිටත් වූවෝය. කඩවත සිට පොළොන්නරුවට පැය තුනකින් ගමන් කොට මාගේ වාර්ථාවක් තිබුනි. වාර්ථාව පසෙක තබා පැය හතරකට ප්‍රථම අප පොළොන්නරුවෙන් පිටත් වූවෝය.

"තාත්ති හතරට ඉස්සෙල්ලා යන්න පුළුවන්නේ . . !?" වසික විටින් විට ඇසුවේය.

මමද හැකි උපරිමයෙන් එකල මා සතුව තිබුනු ටොයෝටා 106 කැබ් රිය පැදවූවෙමි.

කුරුණෑගල නගරයට ප්‍රවේශ වන විට පාර වාහන වලින් පිරී තිබුනි.

මා කුරුණෑගල නගරය මග ඇර රෝහල ආසන්නයට එන අතුරු මාරගයකට හරවාගෙන පැදවීමේ යෙදුනෙමි. අප; අලව්ව, අඹේපුස්ස, පසු කොට වරකපොළ නගරයටද පැමිණ එතැනින් ඉදිරියටම ඇදුනෙමු.

වේලාව දහවල් 2.00 පමණ වන්නට ඇත.

හතරට තව ඉතිරිව ඇත්තේ පැය දෙකක් පමණි. ඒ පැය දෙක මාහට; දෙපාරක් යාමට ඉඩකි. 

වරකපොළ නගරය පසු කොට ඉදිරියට එත්ම එත්ම මාර්ග තදබදය වඩ වඩාත් තීව්‍ර විය. පස්යාල ට කිට්ටු වෙද්දී හතරට විනාඩි තිහකටත් අඩුව ගොස්ය. වසිකගෙන් නෝක්කාඩු වැලකි. පස්යාල පසුකොට පල්ලම් බසින විට හතර පසුවී හමාරය.

තවත් මොහොතකින් අප ඉදිරියට ඉබි ගමනින් එන්නේ ලොරි තට්ටුවක නැගි මහන කණ්ඩායමකි. උන්නැහැලා තොර තෝචියක් නැතිව පිරිත් කෑගසති!

පසු පසින් උපාසක උපාසිකා පිරිසක් රැගත් වාහන පේළියකි. ඒ තරින් පතර යකඩ කටවල් වලින් සාදු! සාදු!! හඬ තලති

"මේ මොන මගුලක්ද?" මම මගෙන්ම අසා ගනිමින් තවත් ඉදිරියට කාන්දු උනෙමි.

තවත් විනාඩි කිහිපයකින් පසුපස හරවා ගත් යෝධ සමාධි පිළිමයක් පටවා ගත් ලොරි තට්ටුවක් මා ඉදිරියේය!

"සෝමාවතී පින් බිමට සමාධි පිළිමයක් වැඩම වීම!" මෙවැනි අදහසක් ගෙන දෙන බැනරයකින් ලොරිය අන්දලාය!

පිළිමයේ දණහිස් පොල්කටු ලොරි තට්ටුවෙන් එළියේය. පිළිමයට පුෂ්ප උපහාර පවත්වන පාර අයිනේ ජනයා හට; පිළිමය හා ගාටන උපාසක තාත්තලා හා උපාසක කොල්ලන් කුරුට්ටන් කැට පාති!

මේ සියල්ලෙන්ම නොම්මර එකේ ට්‍රැෆික් එකක් මාර්ගය මත පහළ කිරීමට මේ පිං බර ඇත්තන් සමත් වී තිබුනි!

"අම්මපා සෝමාවතියට මොකටද බුදු පිළිම! ඔය තියෙන්නේ ඕන තරං!?" මම කේන්තියෙන් මුරගෑවෙමි.

තවත් පැයක පමණ කාලයක් ගතකොට නිට්ටඹුව, යක්කල පසුකොට ජේ ආර් ගුටි කෑ ඉඹුල්ගොඩ දිහාට පැමිණි අප හවස හයේ කණිසමට ගෙදරට යාවත්කාලීන වූ වෙමු!

සතිය පියෑඹුවේය! ඊළඟ ඉරිදා කට උඩට ආවේය. 

"තාත්ති එන්න අද මාව පංතියට භාර දෙන්න - ඔන්න!" වසික මීයන් කෑ කිරි හට්ටියක් සේ මුහුණ හදාගෙන කෙඳිරි ගෑවේය.

"ඔන්න තාත්තිටත් බොරු කියන්න බෑ!" ඒ වෙන කිසිවක් නිසා නොව මා වසිකට කට කුඩා කල සිට පාඩම් කල එක් පාඨයක් නිසාය.

"පුතේ මොකද්ද ලෝකේ තියෙන ලොකුම වැරැද්ද?"

"බොලු කීන එක!"

"හරියට හරි!" 

ඒ; මම දරුවන් දෙදෙන ලොකු මහත් කරද්දී ඔවුන්ව ශික්ෂණය කිරීමට ගත් කුඩා උපක්‍රමයක් ය. බොරු නොකියන්නේ නම් සිදුවන, සිදුවෙන, හිතා මතා කරණ ඕනෑම වරදක් පිළිබඳව අසා දැන ගත හැක! එසේම සත්‍යය කියන්නට තමාට සිදුවන බව දන්නා දරුවා එසේ කීමට නොහැකි දෙයක් කිරීමට මැළි කමක් දක්වයි.

හවස හතරට පැය භාගයක් තිබියදී එනම් තුන හමාරට මා නානායක්කාර සර් අභිමුව සිට ගත්තෙමි.

නානායක්කාර සර් බඩ ගින්නට කෑවේ සිගරට් ය. ඔහු දිනකට විස්සේ පැකට් තුනක් හෝ හතරක් කා දැමුවේය. කෑමෙන් පසු බීවේ තවත් සිගරට් දෙක තුනකි.

අදාල දිනයේද දුම් කුටියක් තුලින් නානායක්කාර සර් මතුවිය.

"මොකද?" ගැඹුරු දැඩි හඬින් ඔහු එක එල්ලේ මා වෙත දවා හළු කරවන තියුණු බැල්මක් හෙලුවේය.

වසික පසෙකින් ය.

"මොකද?" කියා අසන්නේ පෙර සතියේ පංතියට නොපැමිණි කාරණය කුමක්දැයි කියාය. මොන දෙයක් වුවද දරුවා ඉදිරියේ මාහට බොරු කීමට බැරිය. මා ඔහුට දිනපතාද දවසකට දෙතුන් වතාවක්ද වන පොත් දෙන වරද ඔහු ඉදිරියේ කිරීම යනු කලිසම පමණක් නොව පිරි වැස්සද ගැලවී යාමකි!

"සෝමාවතියට බුදු පිළිමයක් වැඩම කලා!" මා දැහැමි නිවුනු පිංබර මුහුනක් ආරූඪ කරගෙන ඇසෙන නෑසෙන හඬින් කීවෙමි!

"බොහෝඕ..ම හොඳයි! ඒවා හොඳ වැඩ!!" නානායක්කාර සර්ගේ මුහුණද බැති බරින් පෙඟී ගියේය.

"යන්න පංතියට!" කොලුවාට අවසර ලැබුනි.

වසික එදින හවස ගෙදර පැමිණියේ සිරිත් පරිදි කැදැලි ගත වීමට නොව තාත්තාව අල්ලා ගැනීමටය!

"තාත්තිනං තාත්ති හරිම කපටියි!"

"ඉතිං මයෙ පුතේ මම බොරුවක් කිව්වයැ? ඇත්තටම පංතියට එන්න බැරිවුනේ සෝමාවතියට බුදු පිළිමයක් වැඩම කල නිසානේ!?"

"ඉතිං අපි යැ?"

"ඉතිං මම "අපි කලා!" කිව්වයැ?


පසුගිය මාසයේ ගනේමුල්ල පාරේ සුදු කොඩි වැලක් යටින් ඔහුට අවසන් ගෞරවය දැක්වීම යද්දී මාහට මේ කථාව යලිත් මතකයට ආවේය.

ඔව්! ලමුන් දස දහසකට පමණ ගණිත විශයට A සාමාර්ථ ලබාදු නානායක්කාර ගුරු පියා අප අතරින් සිගරට් දුමක් සේ මැකී ගියේය!


Monday, February 6, 2023

252. සිරිල්ලා සමග සියල්ල

හක්බෙල්ලාවක හා ඒ අවට ජීවත්වන හා වූ සිරිල්ලා තිදෙනෙකි. ඉන් එක් අයෙක් වූයේ  ශ්‍රී ලාල් රංජිත් පෙරේරා හෙවත් සිරිල් අයියාය. සිරිල් අයියා නොම්මර එකේ යූ ඇන් පී කාරයෙකි. දැන් මෙන් නොව මේ කියන්නේ ඩී ඇස් ගෙන් පටන් ගෙන ඩඩ්ලිගෙන් පසු අභාවපාප්ත වූ ඔරිජිනල් යූ ඇන්පිය ගැනය! 

සිරිල් අයියා එකල ලංකාවේ ප්‍රසිද්ධ වොලිබෝල් ක්‍රීඩකයෙකි. ඔහු මා දන්නා ශක්ති සම්පන්නම අයගෙන් එකෙකි. ඔහු වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටිනා කාලයේ කෝට් එකේ ඕනෑම ස්ථානයක තබන ලද ලේන්සුවක් මතට බෝලය පතිත වනසේ ඩැෂ් ප්‍රහාරයක් එල්ල කිරීමට හැකිව තිබූ බව මා අසා ඇත. එසේම ඔහුට ප්‍රහාරය එල්ල කිරීමට බෝලය උස්සා දෙන සහෝදර ක්‍රීඩකයා "ඔන්න සිරා!" කියන විට; දැලෙන් ඉහලට ඊ ගසක් සේ ඉහල යන සිරිල් අයියා තම අප්‍රමාණ ශක්තියෙන් හෙලන අකුණු පහරින්; බෝලය ප්‍රථිවාදීන් සියල්ල අභිබවා පිට්ටනියේ ගැටෙන්නේ දුවිලි විදහාලමින් බව මා හට පැවසූවේ පාලින්දගේ පියාවූ සේන අශෝක පෙරේරා හෙවත් සිරිල් අයියාගේ බාල සොහොයුරාය.

 "ඔන්න සිරා කියලා බෝලෙ උස්සල දුන්නාම; සිරිල් අයියා යනවා දැලේ උඩ කෙළවර මේ ං මෙතනට එන්න!" කියලා රත්නසිරිගෙ අප්ප කඩේ ගාව ඉඳන් ඉනට අත්දෙක තියලා පෙන්නුවේ.

මීට දශක ගනනාවකට පෙර සමස්ථ ලංකා තරග වලදී ඔහුගේ කණ්ඩායම දෙවැනි වී ඇත්තේ ගම්පහ සිරාගේ කණ්ඩායමට පමණි. එම වසරේ ජනතා පුවත් පතේ ක්‍රීඩා පුවත් අතර සිරිල් අයියාගේ පින්තූඅය පල කොට තිබුනේ "තුන් කෝරළයේ වීරයා" යන හෙඩිම සමගින්ය.

අත මිට මෙලවූ පසු පිට අත්ල වටා දිවෙන රුධිර නාල වලල්ලක් සමහර අය සතුය. පැරැන්නන් මෙයට "නයි පෙනය" යැයි කියති. එසේම මෙම නයි පෙනය සහිත අතින් පහරක් නොකෑමට ඔවුන් වග බලා ගනිති. ඒ එම අතින් හෙලන පහරක් එතරම් ප්‍රභල හෙයින් යැයි ඔවුන් විශ්වාස කල හෙයින්ය. 

කැළණියට ප්ලාස්ටික් බෝතලයකින් වැඩම කල නාගයා නිසා මුළු මහත් නාග ගෝත්‍රයම පදිරිවී ගියද සිරිල් අයියාගේ අත් දෙකේම නයි පෙන පිහිටා තිබුනි. එය මා දෑසින් දැක ඇත.

 ඔහුගේ මව සතුව ගව ගාලක් තිබූ අතර ඔහු ඕනෑම ගවයෙකු ආං බාං කරගන්නේ අතින් පහර දීමෙන්ය. ඔහු කෙවිටක් භාවිතා කරන්නේ නැත. වරෙක   අලසව නිදා සිටි ගොන් නාම්බෙකු කර බැඳි ලනුවෙන්ම ඇද නැගිටවීමටත් එසැනින් ලනුව පසෙකට ඇද නැවත බිම දමන වාත් මා කුඩා කල දැක ඇත.

දැනට අපගේ Teepee Boatyard එක පවත්වාගෙන යන හක්බෙල්ලාවක කැළණි ගඟ අසබඩ ඉඩම මා වෙත ලැබුනේ සිරිල් අයියාගේ ඇවෑමෙන්ය!

***********************************************************************************************

දෙවන සිරිල් වන්නේ මාගෙ සමකාලීනයෙකු වන සිරිල් විජේසෙකර හෙවත් විජිතය. හක්බෙල්ලාවක එතෙක් පැවති රදල පවුල් සංස්ථාව සමග තනිව ගැටුනු ඔහු එනිසාම 88-89 සමයේ ජවිපේ ක්‍රියාකාරිකයෙකු විය. 

එකල ගඟෙන් එගොඩ පිහිටි පැලැල්ලේගම ගම ලෝකයට සම්බන්ධ කලේ හක්බෙල්ලාවක තොටුපොළින් ඒ මේ අතට පැදෙන ඔරුවෙනි. එම ඔරුවේ පමණක් නොව තොටුපොළ පිහිටි ඉඩමේද අයිතිය; සයිමන් අප්පුහාමි හෙවත් මුදලාලි මහත්තයාගෙ ඇවැමෙන් ඔවුන්ගේ දරුවන් වූ දයානන්ද හෙවත් කඩේ මහත්තයා හා ඔහුගේ අවශේෂ සොහොයුරන් සතු විය. 

ඔරුව පැදීම සිදුකලේ දයානන්ද මහතාගෙන් පඩි ලත් ඔරු කාරයෙකුය. හක්බෙල්ලාවක තොටුපොළ එනම් කොළඹ හැටන් මහා මාර්ගය අසල පිහිටි විශාල සිල්ලර බඩු කඩය පවත්වාගෙන ගියේ දයානන්ද මහතා විසිනි. පෙකිණි වැල කැපූ තිඹිරි ගෙයි සිටම යූඇන්පී පවුලක්වූ ඔවුන් මුළු මහත් හක්බෙල්ලාවක පමණක් නොව ඒ අසල මෙගොඩ පිහිටි තනකොළවත්ත, බදුල්ලවල හා එගොඩ පිහිටි පැලැල්ලේගම, හුඹහපිටිවත්ත, දොඩංගස්තැන්න ආදී  ගම් කිහිපයක නිළ නොලත් අයිති කරුවන්, පොල්මඃකරුවන්, උරුමක් කරුවන්, කිරුළු නොපලන් රජුන් විය. මේ නිසාම කැළණි ගඟෙන් එගොඩ පිහිටි ගම් බිම් වල ජීවත් වූ සියල්ලන්ගේ දෛනික අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට මෙම සිල්ලර කඩයේ ණය පොත හෝ ඔරුව අනිවාර්‍යයෙන්ම අවශ්‍ය වූ කාරණාවක් විය. 

පෙරකී ගම් බිම් පුරා පැතිරී තිබුනු රබර් හා තේ ඉඩම් වල සේවය කිරීම බොහෝ ගම් වැසියන්ගේ රැකියාව හා යැපීම් මාර්ගය වූ එකල එම අධිපතිවාදයට තනිව අභියෝග කලේ සිරිල් හෙවත් විජිතය! 

එකල ඔරුව පැදවුනේ ඔරු කාරයටත් කඩේ දයානන්ද මහතාටත් අවශ්‍ය වූ විටෙක හෙයින් දයානන්ද මහතාට හෝ ඔහුගේ ගුරුකුළයට අභියෝගකල කිසිවෙකු හට අවශ්‍ය විටෙක  ලෝකය හා සම්බන්ධ වීමට ඔරුවේ සේවය නොලැබුනි. ලඟම නගරය වූ යටියන්තොටට, ආසන්න රෝහලවූ තැලිගම ස්ප්‍රිතාලයට පාසැලට යෑමට; පැලැල්ලේගම, දොඩංගස්තැන්න, හුඹාපිටිවත්ත ගම් වල ජීවත්වූ අයට ඔරුවෙන් තොර වෙනත් ක්‍රම වේධයක් නොවීය. හවස ගෙවී රාත්‍රිය උදාවෙත්ම ඔරු සේවය නැවතී ඔරුවට විලංගු වැටෙන අතර පසුදා පහන් වනතුරු එගොඩ සිටින්නවුන්ගේ ජීවිත ස්ව‍යංක්‍රීයව අකර්මණ්‍යවේ. දුර බැහැරක ගිය අයෙකුහට රාත්‍රිය මෙගොඩ ගෙදරක පිලක පහන් කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයක්ව පැවතුනි. 

මෙම පැවති හා පවතින ක්‍රමයට එලිපිටම ගේම ඉල්ලූ  සිරිල් හෙවත් විජිත;  88-89 අවසානයේදී මතුගම පැලවත්තේ රැඳවුම් කඳවුරක් කියා ගත් වදකාගාරයක ජීවිතය බේරා ගනිමින් සිට ආනමඩුවෙන් පිටවී නිදහස් ලෝකයට පා තබා ඉවාන් පාවුළුශාගේත් මගේත් වත් පොතේ සරමින් සාර්ථක ජීවිතයක් ගත කරණ්නේය. මෙවර කුළුගෙඩියෙන් ඡන්දය ඉල්ලන්නේය!

***********************************************************************************************

අවසාන සිරිල්ට අවසාන ඇමතුම දෙන්නේ 3 වෙනිදා උදැහැනැක්කේය. එයත් අහම්බෙන් මතක් වීමෙන්ය.

"අම්මට සිරි රවි අයියේ අරූට කෝල් එකක් දෙන්න බැරි උනා" පහල ඇඳේ නිදා සිටි රවි අයියාට පැවසූවේමි.

"එහෙනං ඉක්මනට ගනිං! ඩ්‍රැකියා 7 විතරයි නේද ගේනවා කිව්වේ!" රවි අයියා ඇඳේ සිටම කිව්වාද?

කොහොමත් ඩ්‍රැකී එක්ක මට ගනුදෙනුවක් ඇත. ඌ කියන්නේ කොත්මලේ විමලෙ වැඩ්ඩා කියාය. මම කියන්නේ කිත්ල්ගල සිරිල් අයියා වැඩ්ඩා කියාය. සිරිල් අයියා ඇඹරුනොත් වැඩේ කෙළවීම සක් සුදක්මය!

"හෙලෝ සිරිල් අයියේ මම අර . . . . . . " මගේ කෙඳිරිය උන්නැහැට දැන් සාමාන්‍ය දෙයකි...!

"අ . හරි හරි මහත්තයා නමයාමාරට දායට විතර එන්නකෝ . . . . "

වැඩේ හරිය!

නියමිත වේලාවට ප්‍රාජේ, සිරිබිරිස්, නමියා, අසංග හා නිදි ආදිය එතැනය. තවත් විශේෂ අමුත්තෙකුද පෙර දැරි කරගෙන! 

ඒ අපේ ආදරණීය ***! 

ඌව මම මීට පෙර දැකලා තිබුනේ එකෝම එක වතාවයි. ඒ කොළඹ ගමයාගේ පොතක් එළිදැක්වීමක්දි! ඒත් කථා කරණ්නට ලැබුනේ නෑ. මොකද එදා ඌට තිබ්බා මහ හුඟක් රාජකාරි! කාලය එක්කම ඌ ගැන මට කාන්දුවෙලා තිබුනු ආරංචි වල හැටියට ඌ එළ පොරක් වගේම බොක්කක්! ඊයේ රෑ මම  රවි අයියාත් එක්ක Kayak Pavilion එකේ  ගල් බෝතලයක් එහා මෙහා කරද්දී ඇම්මට වගේ හැමෝටම කෝල් ගත්තා. ඒ අතරෙ ***ටත් කථා කිරීම අමතක කලේ නැත. 

"මචං උඹ හෙට එනවා නේද?"

ඌ උගේ බැරි අමාරු කම කිව්වේය.

"පිස්සු කෙළින්න එපා බං! උඹ හින්දමයි හෙට අපි සෙට් වෙන්නේ!"

පස්සෙ වදෙන් පොරෙන් මූ ඇවිත්නෙ යකෝ! 

"උඹ ආපු එක මට ලොකු දෙයක් මචං !"


පෙර දින මා හක්බෙල්ලාවකට පැමිණියේ මහ පාන්දරය. ඒ පාන්දර 2.30 ට පමණය. උදේ හයේ සිට Boatyard එක ඇණ්දවීම පටන් ගත්තේ තට්ට තනිවමය. කොහොමත් මා හට මේ කපේදී "කොන්ඩ තනිවම" කල නොහැක! එදින එනම් 2 වනදා හවස් වන විට Boatyard එකේ Sandbed එකද Pavilion එකද; ගඟ අයිනේ Club House එකද ඕනෑම අවශ්‍යතාවයක් සඳහා සකස් කොට අවසාන විය. එන පිරිසේ සංඛ්‍යාව, රුචි අරුචි කම හා කාලගුණික තත්වය මත තොරා ගැනීමට ස්ථාන හතරක් මා පිළියෙල කොට තිබුනි.

පොලොව අතුගා අනවශ්‍ය ගස් හා අතු ඉවත් කොට පසු දින සඳහා සියල්ල නිමකොට තිබුනි.  Club House එකට පෙර පැවත; රිලවුන් විසින් විසංධි කොට තිබුනු ජල සැපයුම යාවත් කාලීන කලෙමි. පසුගිය කාල පරිච්ඡේදය පුරාවට දොඩංගස්තැන්නේ; අරඹෙ ඔය අසබඩ Campsite එක සමග හරඹ කල නිසාම මෙම බිම පැවතුනේ හදිසි අවශ්‍ය තාවයක් සඳහා උපයෝගී කර ගැනීමට නොහැකි ආකාරයට ජරා ජීර්ණවී ය!

පිරිස පැමිණ කෙටි වේලාවකින් ඇමතුමක් ලදිමි. තවත් පැය කාලකින් කමියා වංගුවෙන් මතුවිය! මහ පාරේම මම ඌව සෙනෙහසින් වැලඳ ගත්තෙමි. 

"යකෝ උඹත් ආපු එක කොයි තරම් දෙයක්ද!?

උදෑසන කෑමෙන් පසු මමත් සිරිබිරිසුත් ප්‍රාජේත් සිරිල් අයියා සොයා කිතුල්ගල බලා පියාසර කලෙමු.


මීට කලෙකට පෙර ඉතා කුඩාවට ව්‍යාපාරය කල සිරිල් අයියාගේ නිවස ඉදිරි පිට මේ වන විට කුඩා කැන්ටිමක්ද, නිවසට හැරෙන ස්ථානයේ කුඩා බෝර්ඩ් ලෑල්ලක්ද සවිකොට තිබුනි.

"කිතුල් ආශ්‍රිත නිශ්පාදන, කලුකොහුතැණ්න, කිතුල්ගල" එහි දැක්විනි.

"සිරිල් අයියේ . . . . . මට කියන්නට අවස්ථාවක් ඉතිරි නොවුනි.

"මහත්තයලට මම ජාති හතරකින් දෙන්නම්! පොඩ්ඩක් බීලා බලලා ඕන එක කියන්න! මම ඒකෙන් දෙන්නම්!"

වැඩේ ෆුල් ආතල්ය.

"කොල්ලුපිටියේ ප්‍රේමසිරි එකේත් මෙහෙම කරණවා නම් කොච්චර හොඳද?!?"මම මගෙන්ම අසා ගත්තෙමි.


අප එන විට ඩ්‍රැකී කොත්මලේ විමලෙගේ නිශ්පාදන සමග හක්බෙල්ලාවකය.


වැඩේ පටන් ගත්තේ පෙරාගෙන ජැම් බෝතල් වලට දමා ගෙන පොර්ක් කරිය එලාගෙන මඥ්ඥොක්කා පෙරළගෙන සම්බෝල බෙදාගෙනය  නොව බදාගෙනය!

"මේ පෝර්ක් එක පොඩ්ඩක් රත් කර ගත්තානං කෝමද" යමෙකු ගැඹුරු හඬින් ඇසුවේය.


"හරි පොඩ්ඩක් ඉන්න!" (මගුලක් කියනවා!)


දුම් දමන පොර්ක් එකත් සමග වැඩේ පටන් ගත්තේය.


"උඹේ ගමනට ජයවේවා!"

"ඒ උඹ බොන්නැද්ද!?"

"යකෝ ශාක සාර!"

"මේවා වස විස නෙවෙයි!"

"ඇඟටත් හොඳයි!"


"හ්ම්ම් . . . . ! හ්ම්ම් . . . . !!"


කතන්දර කෝටියකි! ඌට නොබී ඉන්නවාට වඩා ගඟට පනින එක දාහෙන් සම්පතකි!


දෙවෙනි වටය ඇරඹීමත් සමග මම කොංගෝව ඔසවා නෙවිල් අයියාට දුන්නෙමි.


"අයියේ අර; 

රා ටික නං විස්කි වගේ - හරිම ප්‍රණීතයි 

- ගැහුවම හරිම විකාරයි

 සිංදුව ඔයාට මතකද?" 


"නෑනේ! . . . . . හරි මෙකෙන් පටන් ගනිමු!!"


"මගෙ සුදු මාමේ

මගෙ සුදු මාමේ

නෑ බෑ නොකියා

නෑ බෑ නොකියා

රා පොඩියක් දී මා සනසන්නේ

රා පොඩියක් දී මා සනසන්නේ . . . "

එතැනින් පටන් ගත් ගීත සාහිත්‍යය කැළණි ගං ඉවුරෙන් ගලා යන්නට විය. තව තවත් පෙරුනි. 


මිලටන් පෙරේරා එතැනට පැමිණි මුත් ෂෙල්ටන් පෙරේරාටවත් මර්වින් පෙරේරාටවත් කිසිවෙක් එන්න කියා නොතිබුනි.

ලතා නොපැමිණි මුත් සුජාතා දෙවරක් නැග්ගේය.

වික්ටර් එඩ්වර්ඩ් පැමිණියේ එක වරම වාගේය.

නමියාට නව පරපුරේ රවී කරුණානායක කැණ්දන මෙන් දෙතුන් වතාවක් යමෙකු ඇරයුම් කලද නමියා ඊට දැක්වූයේ; උදෑසන ගෙන ආ සම්බෝලයට දමන්නට මිරිකූ දෙහි බෑය සේ ඇඹරිලාය.

හරූන් කුමාර් ලන්ත්‍රා සුපුරුදු ලෙස වේදිකාවට ගොඩ වූයේ සීරුවෙන් දැහැමින් සෙමින්ය.


"මගෙ නාමලී බැඳි ආ...දරේ - මනමාළියයි මැණිකේ.....ඔයා

ඔරුවේ.... නැගී..... එහි පා......වෙවී........ - අමනා.....පයෙන් පිටවි.......ගියා.......

බැඳි ආ....දරේ...... සුකුමාළියේ....... - පෙම් පණිවිඩේ.......පා..... වේ....ගඟේ........."

"කොහොමත් ඔයාලා කිව්වා ලන්ත්‍රාට වඩා හොඳට . . ! මොකද ලන්ත්‍රා කිව්වා නං ඕක ඇහෙන්නේ නෑනේ . . .!" ප්‍රාජේ; වැටක් නොගසා කමෙන්ට් එකක්ම දැම්මේය.

බෙර කරුවන් දෙදෙනා වයති! ගායකයෝ දෙදෙනෙකු පමණ ගයති!! සෙස්සෝ සූකර මාංශය සමග මඥ්ඥොක්කා අතුරු දහන් කරවති!!! 
"මේ කිරි කවඩි . . . " රවි අයියා මඥ්ඥොක්කය බෞතීස්ම කලේය.
මේ සියල්ල අතරේ අසංග නාවික තෙමේ මඥ්ඥොක්කා නැව් ගත කරමින්ය.

ඩ්‍රැකී ඊශ්‍රාලයේ සිට පලස්තීනයට වෝටර් මෙලන් ප්‍රහාරයකය!

*** මේ සියල්ල මුදිතා ගුණ භරිතව විඳදරා ගනිමින්ය.

සිරිබිරිස්; නිහඬව සිනහ මුසු මුහුණින් යුතුව සියල්ල නරඹමින්ය!

කමියා සිටියේ මා අසලින්මය.
"කෝ මෙහාට වර් රෙං මගෙත් එක්ක සෙල්ෆියක් ගන්න!  යකෝ උඹට මම හරි කැමතියි බං!" පටල පටලා කීවෙමි. කමියාට හිනාය! මට මලය! "මොකෝ බං හිනා වෙන්නේ?"

"මේ මෙතනට අපි එන්න තව හේතුවක් තියෙනවානේ" අසංග  බ්ලොග් හමුව පිළිබඳව මතක් කලේය.

"අනේ මේ කියලා වඳින්නම් උඹලා තුන් දෙනා ආයේ ලියා පල්ලා!" මම හොටු පෙරා ගෙන පිං සෙන්ඩු වුනෙමි. සෙස්සෝ අත් වැල් ගායනයෙන් සහය විය.

"ඔව් අපි මේක කරමු! එන අප්‍රේල් වල වගේ . . .!" ඒ කමියා ය.


අවසානයේ සියල්ල විසිර යන්නට මත්තෙන් සිසිල් දියෙන් සිරුරු සතපවා ගත්හ.
සමහරුන් සුදු වෙන්නට සබන් උලනු දක්නට ලැබුනේය.

සියළු එක් වීම්; වෙන් වීමෙන් වෙන්වේ!
එහෙත් ප්‍රියයන් හා එක් වීම මිහිරි මතක හදවතේ ඉතිරි කරයි.
උඹලා ගේ පැමිණීම එවන් එකකි.

පොද වැස්සේ සීතලේ තෙමුණු අප උනුසුම් වූයේ වෙන් වීමේදී කල වැළඳ ගැනීම් වලිනි.
ස්තුතියි උඹලාට. (උඹලා කිව්වේ ආ..ද..රේ...ට....!)

*********************************************************************************************
දිනක් ගෙවී යද්දී කමියාගෙන් මට වට්සැප් පණිවිඩයක් ලැබුනි.
ඒ  මා ලඟ තියෙන පිංතූර දමන ලෙසය.
මම; ඌත් එක්ක ගත් පිංතූරය සමග තවත් මොන මොනවාදෝ යැව්වේය.
මම ඊට පිළිතුරක් යැව්වේමි!
"ස්තූතියි පැමිණියාට! ඩෝප් මරගාතේ කිව්වට දැං කියන්නෙත් ඒකම තමයි; මම උඹට කැමතියි!"
කමියා එය පිළිගෙන හෘද්යාංගම පිළිතුරක් ලියා එවා තිබුනි.

"හහ් හහ් හා . . හිනා ගියේ මගේ හිතේ තියෙන එකම කියුවට යකෝ."

තවත් ටික වේලාවකින් මට කමියාගෙන්  ලින්කුවක් ලැබුනි. 

අම්මට සිරි මෙන්න මූ ලියලා . . . . . ! සත්තකින්ම හතර පාරකට වඩා ඒක කියවන්න ඇති. උඹට ස්තූතියි මචං!

ගෙවී ගියේ තවත් දිනකි . .  . !

තවත් ලිවීමක් අවකාශයේ . . . . . . ඒ පිළිබඳව දැක්කේ මුහුණු පොතෙන්.
මුහුණු පොතේම මම ඊට කමෙන්ටුවක් කෙටුවෙමි.

"අම්මට සිරි උඹ වචනෙ තියලා! එළ කොල්ලෙක්නෙ!? උම්මා උම්මා උම්මා!!! ආදරෙයි . . . !"
ඊට පිළිතුරක් ඔහු ලියා තිබුනි . . . !

"උඹේ මහන්සියට මල් මිටක්. ආදරෙයි!"

ඔව් බං ඒක ඇස් කෙවෙණි තෙත් කරවන පපුව බර කරන පිළිතුරක්! ඒ මල් මිට; මට රටක් රාජ්‍යයක් මචං!

කමියාට මේ පිංතූරේ යවපුවාට පසු ඔහු මතක් කොට තිබුනා වසරේ දැවැන්තම අමතක වීම!

**** එක්ක මෙහෙම ෆොටෝ එකක් ගන්න බැරි උනා!

ඔව් කමියා අපට අපේ ජීවිත කාල්යේදී කිසිදාක එවන් පින්තූරය ගන්නට නොහැකිවේවි!

ඒත් අපේ හදවත් තුල ඒ පිංතූරය සදාකල් රැඳේවි.

කියන්නට ඇත්තේ එකම දෙයකි.

"බලමු!"

මෙම හමුවේ පිංතූර අවකාශයේ හැම අත . . !
ඒනිසාම පින්තූර  මෙයට නොඅමුනමි.
ඒ පිංතූර තවත් සිත පාරයි!
කැළණි ගං මිටියාවතේ ජන වහර තුල අරුත්බර කියමනක් ඇත! 
"එක් ගඟක් දකින්නට ලැබෙන්නේ එක් වරකි!" 
මන්ද නිමේශයකින් ගඟ අලුත්වේ!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...