අපේ ගම්වල පැරැණ්නෝ ත්‍යාග හෙවත් තෑගි වලට කටවහරේ කියන්නේ "ටෑගි" කියාය.
එසේම මෙකල අප ලබන බොහො තෑගි අතරින් වැඩි මනත් ඒවා "ටෑගි" වන නිසාම මෙම පෝස්ටුවට "ටෑගි" යන සුරතල් නාමය යෙදීය.
ඊට තරහ අවසර . . !
කෙතරම් මහන්සි ගත්තත් ජීවිතයේ පළමු ටෑග්ග ලැබුනු ආකාරය මතක් කර ගැණීමට අපහසුය. ඊට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ රස්සාවක් කල මාගේ පියාට; අපිට තෑගි අරන් දෙනවාට වඩාබොහෝ බොහෝ කාරණා අප වෙනුවෙන් කරණ්නට තිබුනු නිසා විය යුතුය. කොටින්ම අපගේ ළමා කාලය ගෙවුනේ තෑගි වලින් තොර කාන්තාරයකය.
මාගේ මුල්ම පාසල වූයේ අවිස්සාවේල්ල ශාන්ත මරියා විදුහලයි. එකල අප ජීවත්වූයේ කුඩගම පාරේය. පාසල නිමවූ පසු පාර දිගේ නිවසට ඒමට හෝඩියේ පන්තියේ සිටි අපට එකල හැකියාවක් තිබුනි. ලංගමයේ, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ, තුනී ලෑලි සංයුක්ත මණ්ඩලයේ, ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ වැනි රජයේ වාහන එහා මෙහා ගිය කාලයක පුද්ගලික වාහනයක් ගියේ දුරා වාරයේය. මේ නිසාමදො; පොඩි එකෙකුට;; මහපාර අයිනෙන් ගමන් කිරීමට සුදුසු පරිසරයක් එකල නිර්මිතවී තිබුනි.
ශාන්ත මරියා විදුහලේ සිට ඉම්පීරියල් හෝල් එක අසල කන්ද නැග ගෙන එන අප එතැනින් වික්ටරි පොත් හල, චීන දත් සාප්පුව, යූනියන් හාර්වෙයාර් එක ඉදිරියෙන් ඇති වන්වේ පාරේ නොපිටට ගමන් කරයි.
එම කෙටි පාර අවසන් වෙන්නේ 83 ජාති ආලේදී මංකොල්ල කෑ; KNG තොග බඩු කඩය ලඟිනි.
කොළඹ සිට එන බස් රථ මා පෙරකී මාර්ගයේ ඉදිරියට ගොස් වටයක් ගසා බස් නැවතුම ඇතුලට පැමිණ නැවත ප්‍රධාන පාරට අවතීර්ණ වන්නේ මෙතැනිනි.
මෙම තුං මං හංදියේ වම් පසින් "නිමල්ස්" නමැති තොරොම්බල් කඩයක් තිබුනි. එහි ඉදිරියෙන්ම ගාල් කොට තිබුනේ පැදගෙන යා හැකි, තහඩු වලින් නිමිත කුඩා කාරයක් හා ලෑන්ඩ් රෝවර් ජීප් රථයකි. අප ඒ කාලයේ මේවාට කිව්වේ ලැං රෝල් ජීප්" කියාය.
මේවා නිමවා තිබුනේ එවන් සෙල්ලම් බඩු නිපදවීමට නම් දරා තිබුනු කඳානේ ලින්ටන්ස් ආයතනයෙන් විය යුතුය. එකල ගුවන් විදුලියේ දිග්විජය කල මුවන් පැලැස්ස හඬ නළුව ප්‍රචාරය වූයේ "ලින්ටන්ස්" අධිපති මුනිදාස ද සිල්වා මහතාගේ සාදර අනුග්‍රහයෙනි!
එම ජීප්පුවේ ඉදිරිපස ප්‍රධාන පහන් ලෙස මෝටර් රථයක පසු පසට යොදන ආකාරයේ කුඩා රවුම් පහන් දෙකක්ද සවි කොට තිබුනි. ඊට අමතරව ඉදිරිපස ෂෙල් ආදිය දක්වා තිබුනේ තහඩුව මත ස්ටෙන්සිල් එකක් යොදා පිංතාරු කිරීමෙන් ය.
පාසැල් ගිය සෑම දවසකම පාසැල ඇරී එන විට එතැන නැවතී බලා කියාගෙන එන මා හවස ගෙදර එන පියාට ඒ ගැන දන්වා සිටින මුත් කිසිදාක එය තෑග්ගක් ලෙස මට ලැබුනේ නැත.
එකල තෑග්ගක් ලෙස මා ලැබූවේ ප්ලාස්ටික් වලින් නිමවා තිබුනු ඒසිං කාරයක අනුරුවකි. ඒවා ප්ලාස්ටික් කීවාට මේ කාලයේ මෙගා බෝතල් සාදන අමුද්‍රවය වලින් සාදන ලද එකැක් යැයි මා හට මතකය. නොබිඳේ! නො කැඩේ!!
එය නිමවා තිබුනේ අච්චුවක බ්ලෝ මෝල්ඩින් ක්‍රමයට විය යුතුය.
රථයද එහි රියැදුරාද එකටම මෝල්ඩ් කර තිබුනු එය මෙගා බෝතලයක් තරම්ම විය.
එය හරහා යවා තිබුනු යකඩ කූරු දෙක හතර කොනේ පෙර කොටස සකසා තිබුනු ද්‍රව්‍යයෙන්ම නිමාකල ගරාදි රෝද හතරක් විය.
පාටින් එය දම් පැහැති විය. එහි බිත්ති වල ඝනකම අඩු වැඩි වෙන ලෙසටම එහි වර්ණය දම් පැහැයත් සුදු පැහැයත් අතර දෝලනය විය!
මා ඉතා කුඩා කල මාගේ පියා වෙහෙස මහන්සියෙන් උපයා සපයා ගත් දෙයින් ලබා දුන් එම කුඩා ත්‍යාගය සේම තවත් වරක් ලබා දුන් කුඩා දොඹකර යන්ත්‍රය පිළිබඳව සිතේ ගැඹුරින්ම සනිටුහන් වී ඇත.
එය වර්ණයෙන් තද කොළ පාටය. නිමවා තිබුනේ ලී වලිනි. එහි මුහුනත එකල තිබුනු පැරණි ලේලන්ඩ් රථයක් ලෙසට ඉතා සියුම් ලෙස හැඩ ගන්වා තිබුනි.
මෙවන් නිමාවක් එහි විය!
එහි පිටුපස සවිකොට තිබුනේ දොඹකරයකි. දොඹකරය ක්‍රියා කරවීමට කුඩා කම්බි හැඬලයක් තිබුනා මතකය.
සම්පූර්ණ දිග පලල පාන් රාත්තකට වඩා ස්වල්පය්ක් දිගින් අඩුව ඇති.
එහි යටි පැත්තේ සුදු පැහැත් ලේබලයක කලු අකුරින් එය නිමවූ ආයතනයේ නම මුද්‍රණයකර අලවා තිබුනි.
එහි ලිපිනය අවසන් කර තිබුනේ තිබුනේ "පාන්දුර" යනුවෙනි!
ඒ වාගේම පොත් සාප්පුවකින් තාත්තා අරන් දුන් "හත් පෙති මල" ද එකල මට ලැබුනු අපූරු තෑග්ගක් විය!
මේ අපේ කථාවට වූ පරවේශයය. මෙම බ්ලොග් එකෙම වෙනත් තැනක මම අපේ පාසලේ විදුහල් පති තුමාට "කාර් තෑග්ගක්" ලභා දීමට ගිය බස් ගැමුණුවාගේ කථාව ලියා ඇත. එය මෙතැනින් කියවන්න. නාලන්දාවේ විදුහල්පතිව සිටි හේමන්ත ප්‍රේමතිලක මහතා පාසලෙන් ඉවත්ව යන විට ඔහුට ලභාදෙන ත්‍යාගය තීරණය කිරීමට හා එයට අවශ්‍ය මුදල් එකතු කිරීමට පැවැත්වූ වැඩසටහනක් මා වෙතින් අලවූ අයුරු මෙම කතාවේ ලියා ඇත.
එහිදී මා විසින් අවධාරණය කරණ්නට යෙදුනේ ත්‍යාගයක් යනු ලබන්නාගේ අවශ්‍යතාවය හා ලබා දෙන්නාගේ ඇති හැකියාව මත තීන්දුවිය යුතු දෙයක් මිස ලබා දෙන්නාගේ හැකියාව හෝ පහසුව මත ලභාදිය යුත්තක් නොවන බවය.
මා ජීවිතයේ ලැබූ වටිනාම ත්‍යාගයක් ලෙස අදටත් මෙනෙහි කරණ එක් ත්‍යාගයක් වන්නේ; කිර්තිමත් හමුදා නිළධරයෙකු වූ නිල් කමල් උදයරත්න විසින් මා වෙත ලබා දුන් කාලතුවක්කු උන්ඩ; හිස් පතරොම් කොපු දෙකය!
එයට වඩාත් වැඩි වටිනාකමක් ලැබෙන්නේ මා කලක සිටන් එවන් Empty Shells දෙකක් ලබා ගැනීමට පෙරුම් පුරමින් සිටි නිසාමය.
වරක් මාගේ බිරිඳගේ පියා කැංගරු දේශයට යන අවස්ථාවක මගෙන් ඇසුවා "ඔයාට මොනවද ඕන?" කියලා.
"මට ගේන්න Hunting Knife එකක් . . !"
කිව්වා වාගේම උන්නැහැ ඒක ගෙනත් තිබුනා සුපිරි Winchester Large Bowie Knife එකක්.
ඒ ගෙනත් එයා ඒක නිකංම දුන්නේ නෑ.
"කෝ ඔයා මට රුපියලක් දෙන්න . . !"
"ඒ මොකටද . . ?"
"සාමාන්‍යයෙන් ආයුධ තෑගි දෙන්නේ නෑ; විකුණනවා මිසක්. ඔයාට මම මේක විකුණනවා රුපියලකට . . . !
ඉතින් මම රුපියලක් දීලා ඒ අනර්ඝ වස්තුව මගේ කර ගත්තා.
Winchester Large Bowie Knife එක
එවන්ම වූ ත්‍යාගයක් වරක් මට මාගේ පියාගෙන් ලදිමි. ඒ විශාල කොටි දතකි! එය පසු කාලෙක මාගේ ගෙල සරසමින් තිබුනද එය නැතිවී ගියේ නිවසේ ලාච්චුවක රඳවා තිබියදීය. මා සන්තකයේ තිබුනු වෙනත් කුඩා කොටි දතක් සහ කොටි නියපොත්තකින් සාදන ලද පෙන්ඩන්ට් දෙකක් වසිකටත් කල්මලීටත් පසු කලෙක ලභා දුන්නේ ඒවාද මා අතින් නැතිවී යනු ඇතැයි සිතා ය.
අපගේ ආදරණීය පාඨකයා "ප්‍රාජේ" - ප්‍රදීප් ජයතුංග විසින් ඔහු ලියන ලද පොත් දෙකක් ඔහුගේ අත්සනින් යුතුව මා හට ලබා දුන්නේය. එයද ආදරණීය මතකයකි.
වෙළඳ පොලේ වටිනාමට වඩා වැඩි වටිනා කමක් පොතට එක්වූ තැන!
වරක් මා කැන්ගරු දේශයේ සිට පියමං කරද්දී වසික විසින් මා හට ලබා දුන් Leatherman Tool - සාක්කු පිහියද මා ජීවිතයේ ලද වටිනා ත්‍යාගයන්ගෙන් එකකි. එහි ඇති මූල්‍ය වටිනාකමට වඩා එයට වඩා වැඩි වටිනාකමක් ලැබුනේ; එය මාහට ලබා දෙන මොහොතේ ඔහු මතක් කල අතීතය නිසාය. "අනේ අපේ තාත්තාට ඒකාලේ සල්ලි නැති හිංදා අපිට අරං දුන්නා මේ වගේ Duplicate Chinese Pocket Knives වගේ ඒවා. ඒවා අරං ටික කාලෙකින්ම පිහිය මිටට කෙලිං හිටින්නැතිව ටොක් ගාලා මෙම පල්ලෙහාට වැටෙනවා!"
එයා ඒ කථාව කිව්වේ එයාගෙ දබරැඟිල්ල මූන කෙලින් ඔසවා පහලට නවන ගමන්මයි! ඒවා සියල්ල ඇස් කෙවෙනි තෙත් කරවන මතක!
"තාත්තා මේක පුළුවන් තරම් කල් පාවිච්චි කරලා කවදා හරි දවසක මගේ පුතාට දෙන්න තෑග්ගක් විදියට!" එයා ඉල්ලීමකුත් කලා!
හොඳම වැඩේ කියන්නේ ඒකේ ලියා තියෙනවා මගේ ආදරණීඅය නාමය - "Thattaya" කියලත්.
ඒවගේම තෑග්ගක් මට ලැබුනා වසිකගෙන්ම; ඒක Hip Flask එකක්. ඒ අපේ ඥාතියෙකුගෙන් මට ප්‍රසිද්ධියේ වූ අවමාණයක් මකා දැමීමට!
Hip Flask
ඒ වගේම මේ ළඟදි හමු උනා ඒ වගේම සුවිශේෂී ත්‍යාගයක් ඒක ලැබුනේ අපේ ආදරණීය බ්ලොගියක් වන රන්දිකා නංගී ගෙන්. ඒ මටත් වසිකටත් ටීෂර්ට් දෙකක්. ඒකෙ වටිනාකම උනේ එකේ ඉදිරිපස හා පසු පස මුද්‍රණය කරලා තිබුනු රූප දෙක නිසාමයි.
මේ ගැන මම බ්ලොග් එකේ කිසි තැනක ලියා නැති අතර අපි (ඇත්තටම මධුෂාන්) මේ ගැන ආකර්ෂණීය රූප රචනාවක් Youtube එකේ සටහන් කලා. අනිවා ඒක මෙන්න මෙතනින් බලා කියාගෙනම යන්න.
මෙවර උපන් දිනයට දින කිහිපයකට පෙර මාගේ අති ජාත මිත්‍ර නාරි වෛද්‍ය විශේෂඥ ප්‍රසාද් රණ්නුළු නේපාලය බලා පියාසර කරණවා.
"උඹට මොනවද ඕනේ?" එයා මගෙන් අන්තිම දවසෙ අහනවා.
"බොසා පුළුවන්නම් මට Kukri Knife එකක් ගේන්නකෝ . . . !" මම තොලේ කටේ නොගෑවී කියනවා. Kukri කියන්නේ Gurkhas සෙබලුන් අත ඇති සාම්ප්‍රදායික අවිය හෙවත් පිහිය.
"මං හිතුවා උඹ නොකිව්වත් උඹට එකක් ගෙනත් දෙන්න . . !"
මේ නේපාලයේ කුක්‍රි පිහි කඩේ ඉස්සරහ පිහිය අතැතිව - ප්‍රසාද් රණ්නුළු
මීට වසරකට දෙකකට පෙර කල්මී මෙල්බෝර්නයේ ඇන්ටික් කඩයකට ගොඩ වැදී කුක්රියක් මට අරන් දීමට අපමණ වෙහෙසක් ගත්තීය.
එහි ඇති මිළ අධික බව නිසාම ඇයට ඒ බර දැරීමට ඇරීමට මා තුල තිබූ දුක - කණගාටුව නිසාම මා පොළොවේ පස් කා ඈ නවතා ලීය!
මීට කලකට පෙර ඒ කියන්නේ අවුරුදු වලින් 15 කට විතර ඉස්සර මට කපිල තුෂාර - සුරංජි සාගරිකා විවාහ වන අවස්ථවේදී ඔවුන්ව මුණගැස්වීමේ සතුට වෙනුවෙන් කෘථ ගුණ දැක්වූයේ මෙවන් ගිටාරයක් තෑගි කරලා.
මේ ටෑගි ගැන ලියන්න උනු කථාව ලියන්නට පටන් ගත්තේ මේ ආදරණීය ත්‍යාග මතක් කරණ්නට නම් නොවෙයි. ඊට වඩා සුපිරි කථා කිහිපයක් මතක් කරණ්නට. මෙවර මා හට සුපිරි උපන්දින සාදයක් ලභා දීමට මගේ බිරිඳත් පුතාත් දුවත් අසල් වාසීනුත් ලඟම ඥාතීනුත් සැළසුම් කරගෙන තිබිලා ඇත්තෙන්ම ඒක කෙළවර උනේ නොම්මර එකේම සර්ප්‍රයිස් පාටියක් හෙවත් අම්බානක අහම්භ සාදයක් ලෙසින්!
සාදය රාත්‍රී වනතුරු දියවන්නාව මැද යාත්‍රාවක පැවැත්වී නිම විය. හොඳින් මධුවිත සප්පායම් උනු මා; පෙර දින ලැබුනු තෑගි සහ ටෑගි රථයෙන් එළියට ගත්තේත් පසුදින උදේ පැය කිහිපයක් ගිය පසුය. ඒවා එකින් එක ඉවතට ගන්නටත් දිග අරින්නටත් වූයේ බිරිඳ ඉදිරියේමය.
අනේ කියන්න සංතෝශයි මිත්‍රොරුනි! බොහොමයක් තිබුනේ අඳින්න බැරි කමිස සහ ටී ෂර්ට්!
ඒවායින් සමහරක් මා ළඟ තියෙනාම වර්ණ. උදාහරණයක් ලෙස කැලෑ කොල පැහැති ටී ෂර්ට් මා ලඟ තුනක්ම තිබියදි අනේ අපරාදේ කියන්න බෑ තවත් එකක් ලැබී තිබුනා.
"හරි! හරි!! ඕක පස්සෙ ඔයා අඳිනකෝ!" බිරිඳ මාව අස් වැසුවා!
තවත් සමහර ඒවා ඔය වගේ වෙනත් වෙනත් කුලක වලට එක් කරමින් වර්ගී කරණය කර ගෙන කරගෙන යනකොට;
ඇඳුම් හතරක් තිබුනා මක් කරලා වත් ගොඩ දාගන්න බැරි.
එකක් 2XL කමිසයක්. අනෙක මා සුදු පැහැති විශාල ටීෂර්ට් එකක්. ඔය වගේ තවත් දෙකක්.
දැන් තියෙන ලොකුම අවුල මේවා මාරු කරගන්නට අදාල බිලක් නොමැතිවීම.
අනෙක තමා ලබාදෙන තෑග්ගේ සැබෑ වටිනාකම ලබන්නාගෙන් සැඟවීමට ඒවායේ උත්පත්තිය හෝ ජාතකය හෙවත් ප්‍රයිස් ටැග්, ලේබල් ආදිය ආදිය ඉවත් කිරීම.
මේ සියළුම බාධක මැද්දේ ලැබුනු ටෑගි ටික භාවිතාවට සුදුසු ලෙසට සැකසීමට පටන් ගත්තා.
මේ අහම්භ සාදයේ මිතුරන්ගේ කෙළවර සංවිධානය කොට තිබුනු මගේ පැරණි මිතුරෙකුට කතා කොට එඑ ගැන විමසූ විට 2XL කමිසය රැගෙන ඇවිත් ඇත්තේ ඔහු විසින් බවත් එය කඩ සාප්පුවකින් ගත් එකක් නොවන බවත් එය ඔහුගේ නිවසේ තිබුනු එකක් බවත් පැවසීය.
"ආ! ඒක ලොකුද? එහෙනං වෙන කාට හරි ප්‍රසන්ට් කරපං!" තොලේ කටේ නොගෑවී ඔහු ඊට කල යුතු දේද මට කියා දුන්නේය!
මටත් වඩා දෙවරක් පමණ විශාල සිරුරක් ඇති ඔහු; ඵුටවත් අඳින්නට බැරි කමිසයක් මට රැගෙන ආ හේතුව අසන්නට නොගිය මා එය පසෙකින් තැබුවේ ඔක්තෝබරයේ එන ඔහුගේ උපන් දිනයේදී නැවත ඔහු වෙතටම ලබා දීමේ අදහසින්ය.
"මේක තියන්න ඕන ඌටම දෙන්න!" මම මගේ හිතේ තිබුනු කේන්තිය බිරිඳ ඉදිරියේ කියා පාද්දී
"හරි! හරි!! එහෙම කරණ්නෝන නෑ! හෙට අනිද්දා අපේ මැල්කාගේ බර්ත්ඩේ එකනේ. එයාට ඕක හරියටම හරි යයි!" මගේ කේන්තිය අඩු කලේය.
ඉතිරි ඇඳුම් අතරින් එකක් මිලදී ගෙන තිබුනේ කොල්ලුපිටියේ සුපිරි ඇඟළුම් සාප්පුවක් වන Deligans එකෙන් වූ අතර එදිනම එහි ගියේය.
කිසිදු කරදරයකින් තොරව එය ආපසු ලභා ගත් අතර එම එම මුදලට වෙනත් ඇඟළුමක් හෝ අයිතමයක් ගැනීමට ඉඩක් ලැබුනි.
අනේ කියන්න සංතෝෂය! මුළු සාප්පුවේම බැලුවත් මට ගැලපෙන වා යැයි සිතට වැදුනු එකක් එහි නොවීය!
මීට ප්‍රධාන හේතු දෙකකි. එක මා සාමාන්‍යයෙන් ඇඳුම් මිළදී ගන්නේ එකම සාප්පුවකින් වන අතර ඉන් එහා මෙහා වෙනත් තැනකින් ගලපා ගැණීමට ඇති මානසික බාධාවය.
දෙවැන්න වන්නේ ඇඳුම ගලව ගලවා ගලපා ගැනීමට ඇති අතිශය කම්මැළි කමය!
අවසානයේ සිදු කලේ එම සති අන්තයේ උපන්දිනය සමරණ මාගේ මිතුරෙකුගේ පුතෙකුවූ "මල්ලාට" Crew Neck ටීෂර්ට් එකක් රැගෙන පිට වීමය!
මෙසේ ලැබුනු ටෑගි දෙකක් කෙසේ හෝ ගලපා ගත් මා හට ඊළඟට තවත් ටීෂර්ට් තුනක ප්‍රහේළිකාවක් අත ඉතුරුව තිබුනි.
ඉනුත් දෙකක් පිළිබඳව යාන්තමින් හෝඩුවාවක් සොයා ගැණීමට හැකිවූයේ තවත් මිතුරෙකු ඇමතීමෙන් අනතුරුවය. ඒ සන්නදහා කූල් ප්ලැනට් එකට යා යුතු විය.
ආසන්නයේම වූ Cool Planet ශාඛාව තිබුනේ මහරගමය.
මහරගමට යන විට තරමක් හවස් වෙලාය.
Cool Planet එකට රැගෙන ගිය ටීෂර්ට් දෙකට අදාල බිලක් නොතිබූ නමුත් කුඩා කඩදාසි ලේබලයක් පමණක් තිබුනි.
ආපසු ගෙනෙන ඇඳුම් හුවමාරු කිරීමේ කවුන්ටරයෙන් ඇඳුම් දෙක ලභා ගත් අතර ඊට අදාලව තුන්ඩුවක් ලැබුනි. තුන්ඩුවද සීරුවට පසුම්බියේ බහා ගත් මා මුළු සාප්පුව දෙවනත් කරමින් ඇඳුම් සොයන්නට විය.
මා ඇඳුම් සොයන්නේ අවශ්‍යතාවයකට නොව මුදල් නැතහොත් පසුම්බියේ ලූ තුන්ඩුව වියදම් කර දැමීමේ අවශ්‍යතාවයටය.
"ඔයා ඩෙනිමක් බලන්නකො!" බිරිඳ මා පසු පස ඒමේ අත දිවැවිත් හෙම්බත්ව පැවසුවාය.
"කොහේද ඩෙනිම් තියෙන්නේ?" මා සේවකයෙකුගෙන් විම සීය!
"උඩට යන්න සර්! . . . . . !"
මා උඩට ගොස් බැලීමි.
එහි වූයේ කකුල් දෙකේම කවුළු සහිත වූ නො එසේ නම් බාච්චු වැනි විශාල වූ ඒවාය. ඒවායේ විවිධ රූ රටාය.
ඒ කිසිවක් මට නොගැලපේ. පැරණි උනත් කෙතරම් හම ගියත් මා ඒවෙලාවේද ඇඳ සිටි; අවුරුදු හතරක් පහක් පැරණි Levi's 501 එකට ගහන්නට එකක් මට නැත. ටිකක් හෝ ලඟින් යන්නේ 504 එක පමණි!
ඒවායේ විසිතුරු නොමැත!
තදින් හෝදා හෝ හමගසා නොමැත.
වර්ණය ඉන්ඩිගෝ විය යුතුය!
එතැණ සිටි විකුණුම් සහයක කෙනෙකු ලඟට ළං වීය.
"මට පස්සෙ ඇවිත් මොනවා හරි ගන්න පුළුවන් නේද?"
"අනේ බෑ! අදම ගන්න ඕන!"
"අම්මට සිරි! ඒක හරි අසධාරණයි නේ!"
"අපිට කරණ්න දෙයක් නෑ! අපිට අපේ මැනේජර් කියලා තියෙන්නේ එහෙම තමයි!"
"එන්න කියන්නකෝ ඔයාලගෙ මැනේජර්ට!?"
ටික වේලාවකික් කළමණාකරු මා ඉදිරියේ විය!
"බෑ සර් අපිට ඒක වෙන ස් කරණ්නට බෑ! ඔයා මොනවා හරි දැනට අරං යන්න! පස්සෙ ඒක මාරු කරලා ඔයාට ඕන එකක් ගන්න!"
"හරි! මම දැණ් මොනවා හරි අරං යන්නම්! ඒක තව මාසෙකින් දෙකකින් විතර මාරු කරණ්නට පුළුවංද?"
"සතියක් උපරිම සති දෙකක් ඇතුලත මාරු කරණ්නට ඕනෑ!"
අපි සිර වූයේ දිග ඇර ගැණීමට අපහසු ගැටේකටය. අවසානයේ ඉදිඋරියේ අවශ්‍ය තාවයක් පිළිබන්දව සිතා කුඩා දරුවෙකුට අවශ්‍ය ඇඟළුම් රාශියක් ඒ වෙනුවෙන් ගෙන එතැනින් පිටත් විය!
සියල්ල අවසන් නැත!
තවත් එක් රතු පැහැති විශාල ටීෂර්ට් එකක් අත ඉතිරිය. එය මා වෙත ප්‍රධානය කරණ්නට ඇත්තේ කවුරුන්දැයි සොයා මතක් කර ගත්තේ; සාදයට එන විට එක් එක් අය ගෙන ආ පාර්සල් සහ මළු මතක් කර ගැනීමෙනි.
එම සොහොයුරියට කතා කලෙමි.
"අනේ අයියා ඒක ගත්තේ Lady J එකෙන්!"
එහි රිසිට් පතක් බිලක් තුංඩුවක් ලේබලයක් කිසිවක් නොතිබුනි.
"ඉන්නකෝ මම මොනවා හරි කරං එන්නං කෝ!" මම බිරිඳව වාහන නැවතුමේ නවතා සාප්පුව වෙතට ගියෙමි.
"අනේ පුතා! පොඩි අවුලක් . . . . . . . . . " මගේ දුක් ගැනවිල්ල බඩු මාරු කරණ කවුන්ටරයේ සිටි දරුවාට ඉදිරිපත් කලෙමි.
ඔහු වචනයකුදු නොදොඩා එතැනින් ඉවත්ව මාගේ ටී කමිසයද රැගෙන අතුරුදහන් විය.
තවත් විනාඩි කින් පමන එතැනට පැමිණ තුංඩුවක් ලබා දුන්නේය. ඔහු මාගේ කමිසය රැගේන ඇඟළුම් පිරුණු ශාලාවට ගොස් එහි මිළ ප්‍රථ්‍යක්ෂ කරගෙන පැමිණ තිබුනි.
තුංඩුවද රැගෙන මා ඉහල මහළට ගියෙමි. ඒ හදිස්සියේ තුංඩුවට ගැලපෙන එකක් සොයා ගැනීමට නොහැකි වූ මුත් ඊට ආසන්න එකක් තෝරා ගත හැකි විය. හිග මුදලට මේස් ජෝඩු දෙකක්ද අහුලා ගත් මා මදි පාඩුවට රුපියල් එකසිය ගානක් ගෙවා ඉන් එළියට ආවෙමි!
උපන් දින සාදයේදී මා ලත් ටෑගි තෑගි බවට හරවා ගැනීමට මට මුළු දිනක් ගත විය. ඩීසල් ලීටර ගණනාවකි. මළ පැනීමේ කෙළවරක් නැත. කං කෙඳිරි ගෑම් බයාදු වීම් ඉල්ලීම් ගණනාවකි!
අවසානයේ මා සන්තක කර ගැනීමට හැකි වූයේ එක් ටීෂර්ට් එකක් හා මේස් ජෝඩු දෙකක් පමණක් විය.
වරක් මාගේ විදෙශයක දිවි ගෙවනා ඥාතියෙක් ලබා දුන්නේ "උඹලට මේවා මෙහෙන් ගන්න බෑ!" කියා බර ටෝක් එකක්ද ඉශූ කරමින් මේස් කුට්ටමක්ය!
තවත් ඥාතියෙක් වරක් අපගේ නිවසට තෑගක් ලෙස ගෙනාවේ බෝට්ටුවක පාවිච්චි කරණ කොට්ටයකි. (ලැබුනු තෑග්ග ප්‍රයෝජනයට ගන්න නම් බෝට්ටුවක් මිළදී ගැනීම කල යුතු විය!)
මාගේ සාමාන්‍ය විශ්වාසය වන්නේ කිසිවෙකුහෝ තමාට මගුලකට හෝ උපන්දිනයකට ආරාධනා කල විට තෑග්ගක් ගෙන යාම අත්‍යාවශ්‍ය කාරණාවක් නොවිය යුතු බවයි!
මන්ද ඔහු හෝ ඇය අපට ආරාධනා කරණ්නේ ඔවුන්ගේ සතුටට බැවිනි. අප කල යුතු වන්නේ නියමිත වෙලාවට, නියමිත වේලාවට (මේක දෙවරක් ලිව්වේ වරදකින් නම් නොවේ), අදාල තැනට අදාල ලෙසට, ගැලපෙන ලෙසින් ගොස් ඔහුහෝ ඇයගේ සතුටට භාජනය වන ලෙස හැසිරී ගැවසී ආපසු පල්ලම් බැසීමය.
මේ කාලයේ හැටියට; යුවලකට වෙඩිමකට යෑමට අවම වශයෙන් සාමාන්‍ය පඩි කාලක් භාගයක් වැයවේ. අඳින්න ඇඳුම්, සපත්තු, සැලෝන් ගාස්තු, නිවාඩු, වාහන තෙල් ඉන්ධන මෙඑ සියල්ලටම වඩා එම දිනය හෝ වේලාව තුලදී තමා වෙතින් ඉටු විය යුතු දේ ගොඩ දා ගැනීමට කල යුතුවන වියදම හෝ වෙහෙස!
මේ සියල්ල ගත් විට ආරාධිතයාගේ සහභාගීවීමම එක්තරා විදියක ත්‍යාගයකි. කැපවීමකි. අගය කල යුත්තකි.
එවිට ඔබ මගෙන් අසාවි වඩාත්ම සුදුසු ත්‍යාගය වන්නේ කුමක්දැයි කියා.
එයට මට එක එල්ලේ පිළිතුරක් දීමට අපහසුය.
එහෙත් මුදල්, ත්‍යාග වවචර වැනි දේ ඇඳුමක් කැඩුමක් අරණ් දෙනවාට වඩා සාර්ථක යැයි මට සිතේ.
එය එසේ නොවනවානම් ත්‍යාගය ලබන්නාට ලබා ගැනීමට අපහසු, ඔහු කැමති උවද මුදලක් වියදම් කිරීමට මැළි වන, ඔහුගේ සිතට බොහෝ සෙයින් සමීප දෙයක් වනවා නම් එයට අමතර වටිනා කමක් ලැබෙනු ඇත!
ජීවිතයේ මා ලද මගේ සිත් ගත් ත්‍යාග කිහිපයක් පිළිබඳව ලියා තැබූවේ මතකයක් ලෙස තැබිය යුතු නිසාත් පෝස්ටුව විචිත්‍රවත් වන්නටත් මිස; "මට දෙනවා නම් මෙන්න තෑගි!" කියා දක්වන්නට යැයි වරදවා නොගන්න!
මේක බලලා කිසිවෙකු හෝ මට වචනයක් වත් නොකියවනු මැන!
එසේ ආඩපාලි කියාගෙන ආවෝතින් මට අහන්නට ඇත්තේ එකම් එක ප්‍රශ්ණයකි.
"කව්ද බං උඹලට තෑගි ගේන්න කිව්වේ?"
පසුව ලියමි . . . !
දුරාවාරයේ මාගේ පෝස්ටු කියවන මාගේ බිරිඳ කොයියම්ම හෝ මොහොතක මෙම පෝස්ටුව කියවා බලා "එතකොට මම සියඹලා ගෙනැල්ලම නැද්ද?" කියා අසනු ඇත!
ඇයි නැත්තේ මේ තියෙන්නේ ඔයා මට දුන්නු අග්‍රගන්‍ය තෑගි බාන:-