Showing posts with label දේශපාලන. Show all posts
Showing posts with label දේශපාලන. Show all posts

Wednesday, June 29, 2022

239 කල් බැලීම!

 


මිත්‍ර වරුනි;

අද වන විට අප සියළු දෙනාම අපගේ ජීවිත කාලතුල පමණක් නොව අත්ත මුත්තා කාලයේදිවත් මුහුණ දීමට සිදු නොවූ තරම් භයානක කාල පරිච්ඡේදයකට මුහුණ පා සිටින්නෙමු. අද ප්‍රධාන ව්‍යවසනය වන්නේ ඉන්ධන හිග වීම හා මිළ අහස උසට නැගීමත්ය. මෙයට ප්‍රධාන හේතුව මෙරටට අවශ්‍ය විදෙශ නිශ්පාදන ගෙන ඒමට තරම් ඩොලර් නොමැති හෙයින් බවත් ඊට හේතුභූතවූ කරුණු මොනවාදැයි කියා මා නොකීවාට ඔබ සැවොම හොඳින් දන්නා බව මා දනිමි!

මෙතුවක් කල් බලයට පත්වූ සෑම දේශපාලන පක්ෂයක්ම බලයට පැමිණියේ "මේ රට බේරා ගැනීමට ඇති අවසාන අවස්ථාව!" බව කියමින්ය.  මා එය එසේ වර නොනැගුවාට ඔබ සැමට; දැන්නම් එළඹී ඇත්තේ "අවසානම අවස්ථාව!" බව සැම තේරුම් ගෙන ඇතිවාට සැකයක් නොමැත.

පසු ගිය මැතිවරණයේදී හෝ මින් පෙර පැවති සෑම මැතිවරණයකදීම ඔබ මෙම පාලකයන් පත් කිරීම සඳහා ඔබගේ වටිනා ඡන්දය භාවිතා කොට ඇතැයි සිතමු. ඔබ ඒ ඡන්දය භාවිතා කලේ වඩාත් සුන්දර රටක් ඔබගේ දුවා දරුවනට ලබා දීමට හා ඔබට ලඟා කර ගැනීමටය. කොටින්ම එය සීයට සීයක්ම පවිත්‍ර චේතනාවකි! මෙම ලිපිය කියවන අය අතුරින් සීයට එකක් හෝ තම පුද්ගලික ලාභාපීක්ෂාවන් මුදුන් පත් කර ගැනීම සඳහා තම ඡන්දය මෙම පාලකයින් වෙත ලබා දුන්නා යැයි මා මොහොතකටවත් නොසිතන්නෙමු!

අප සෑම මොහොතකම කටයුතු කොට ඇත්තේ අපගේ මාතෘ භූමියේ දියුණුවත් අපගේත් අපගේ දරුවන්ගේත් මුළු මහත් සමාජයේම අනාගතය වෙනුවෙනි.

එහෙත් ගතවූ කාලය තුල රට ගතවන සෑම තත්පරයකදීම අගාධයට වැටෙමින් වී ඇත! අද අපට නැත්තේ; මුදල් අත ඇතත් ඉන්ධනය! හෙට වන විට මුදල් ඇතත් මිලදී ගන්නට ආහාර හා බෙහෙත් නොමැති වී යනු ඇත! මේ වන විට ඔබ සතු කෙතරම් අගනා නවීන මෝටර් රියක් තිබුනත් ඔබට එය පාවිච්චි කිරීමට නොහැකිවී ඇත. අප රටේ දෛනික අවශ්‍ය තාවය සඳහා ආහාර මෙරට නිපදවන්නේ නැත. පසුගිය වක වානුව තුල ඇරඹී මේවන විටදීවත් සාර්ථක ලෙස විසඳී නොමැති පොහොර ගැටළුව මගින් දේශීය ගොවිතැන වල පල්ලට ගොස් අවසානය. මේ වන විට පොහොර අධික ලෙස ඉහල ගොස් ඇති අතර; ගොවියා ගොවිතැනින් ඉවත්වී ඇත! මේ නිසාම විදේශ ණය සහන නොමැතිව තුන් වේල ආහාර ටික ලබා ගන්නට නොහැකි තැනකට අප තල්ලු වෙමින් යන්නෙමු.

මේ ව්‍යවසනයට පත්වන්නේ රතු, නිල් කොල, දම් යනුවෙන් කුලක වලට බෙදා නොව සමස්ථ ජනගහනයමය! ඔබ කෙතරම් ධනයකට හිමි කම් කීවද වෙළඳ පොලේ ඇතිවන උග්‍ර භාණ්ඩ හිගයට එදිරිව කිරීමට දෙයක් ඉතිරි වන්නේ නැත!

මෙම අර්ඹ්හූධකාරී තත්වයෙන් අත් මිදිමට මෙම දුර්දාන්ත පාලකයින් පලවා හැරිය යුතුවේ. මොවුන් පත් කිරීම සඳහා තමාගේ වටිනා ඡන්දය ඔබ පාවිච්චි කල අයෙකු වේ නම්; මොවුන් පලවා හැරීමටද ඔබ තරම් සුදුස්සෙකු නොමැත!

මේ නිසාම අප සියළු දෙනාම එකාවන්ව එකතු විය යුතු කාලය එළඹී ඇත. පැරණි දෙමළ කියමනක් මට මේ මොහොතේ මතකයට ඒ! "බෙල්ල තියෙන්නෝන තැල්ල බඳින්න!" එම වදන් පෙලයි. අපට; ජීවත් වෙන්න, දරුවන්ට උඅගන්වන්න, රැකී රක්ෂා කරණ්න, ගමනක් බිමනක් යන්න, දෙශපාලනය කරණ්න  මේ සියල්ලටම රටක් අවශ්‍ය වේ. ඒ නිසාමයි අප එකට එකතු විය යුත්තේ! මෙහිදී මෙම සටනට නායකත්වය කවුරුන් දුන්නද ඔබ ඔහුට හෝ එම පක්ෂයට සදා බැඳෙන්නට අවශ්‍ය නොවේ. ඔබට ඔබගේ දේශපාලනය කිරීමේ නිදහස ඉන් නැතිවන්නේ නැත. එහෙත් අප වෙන් වෙන්ව සටන් කලහොත් සතුරා අපව qවෙන් වෙන්ව විනාශ කරණු ඇත.

පුරාණ ලංකාවේ සිටි පැරණි රජ වරුන් තම විනෝදය පතා "අංගම්කෙටවීම" කර ඇත. මෙහි  ඇති භයානකම ඉසව්ව වන්නේ "ඌරා වලේ අංගම් කෙටීමයි!" ඌරා වල යනු; වැටුනු එකෙකුට ඉහල සිටියෙකුගේ උදව්වකින් තොරව එළියට පැමිණීමට නොහැකි වලකි. මෙම වලට සීරුවෙන් බස්සන අංගම් කරුවන් සටන් වදී. වලෙන් ගොඩට පැමිණීමට නම් තමා අනෙකා විනාශ කිරීම කල යුතුම වේ.

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද; අද වන විට අප මෙම පාලකයින් සමග "ඌරා වලේ අංගම් කෙටීමකට"; වැටී අවසානය. ඔබට මෙම වැටුනු තැනින් ගොඩ යාමට නම් සතුරා විනාශ කල යුතුම වේ.

එසේම ඔබ වෙනුවෙන් එම මෙහෙය ඉටු කිරීමට වෙනෙකෙකු නොමැත! ඔබගේත් ඔබගේ දුවා දරුවන්ගේත් අනාගතය වෙනුවෙන් මෙම "ඌරා වලේ අංගම් කෙටීමෙන්" ජය ගත යුතුම වේ!

දිනන සටනක අභිමාන්වත් කොටස් කරුවෙකු වන්න! නියමිත දිනයේදී එක් පෙරමුණක සටන් වදිමු! අනාගතය විසින් ඔබගේ නම සමරණු ඇත! මේ එළෙඹෙන්නේ සත්‍ය වශයෙන්ම "රට බේරා ගැනීමේ අවසාන අවස්ථාවටය්!" සත්තකින්ම මෙය නිදහස් සටනකි! එය එක් පක්ෂයකට, එක් වර්ණයකට, එක් පුද්ගල කණ්ඩායමකට අයිති සටනක් නොව මුළු මහත් ලාංකීය ජාතියේම සටනයි.

සූදානම්ව සිටින්න!


Monday, May 18, 2020

174. විජයග්‍රහණයෙන් දශක 1.1 ට පසු . . !

ගලේ කෙටූ දරු දුක . . !

තිස් අවුරුදු සිවිල් යුද්ධයකින් ලොව අතිශය ප්‍රභල ත්‍රස්ථ කණ්ඩායමක් වන එල්ටීටිය යටපත් කොට ශ්‍රී ලාංකික හමුදා විජයග්‍රහණය කොට අදට දශකයකුත් තවත් වසරක් කල් ගත වී ඇත.
කොරෝණා නොඑන්නට රජය හා බහුතර ජනතාව විසින් මෙම අවස්ථාව අතිඋත්කර්ශවත් භාවයෙන් යුතුව සැමරීමට ඇවැසි සියළු යටිතලයන් සැකසී ඇති මෙවන් දිනක් යලිදු ඒ දැයි සැක සහිතය.
මන්ද එදා යුද්ධයට සෘජුව සහභාගීවී සිටි බොහෝ පුද්ගලයින්   නැවතත් අපරටේ දේශපාලන කරළියේ ප්‍රභල චරිත බවට පත්වී ඇති හෙයින්ය.
එදා සේම අදත් රාජපක්ෂ රජයක්ද වික්‍රමසිංහ විපක්ෂයක්ද රටේ විද්‍යාමානවූ අවදියක් යලිදු ඇතිවී ඇත.

එහෙත් කණගාටුවට කරුණකි! 
යුධ ජයග්‍රහණයෙන් පසුව ගෙවුනු වසර එකොලහක කාල පරිච්ඡේදයෙන් වැඩි කාලයක් රට පාලනය කල රාජපක්ෂ ආණ්ඩුව; මෙම ජයග්‍රහණය පොදු ජයග්‍රහණයක් ලෙස සමස්ථ ශ්‍රී ලාංකිකයින් හට දැනෙන ආකාරයකට රට ගෙන ඒමට අපොහොසත් වී ඇත.
එය මුළු මහත් රටේම අභාග්‍යසම්පන්න බවකි.

මෙය ගැන අප ටිකක් කථා කරමු.

තිස් අවුරුදු යුද්ධය පැවති කාල සීමාව තුල මෙරට සිටි විවිධ පාලකයින් ගෙන් බහුතරයක් දෙනා තම තමන්ගේ නැණ නුවනේ තරමට මෙම ප්‍රශ්ණයෙන් ගොඩ ඒමට උත්සාහ කල බව මා විශ්වාස කරමි.
ආර්. ප්‍රේමදාස ජනාධිපති විසින් එල්ටීටියට අවි ආයුධ ලබා දුන් සිද්ධිය සත්‍යයක් යන මතයේ සිට කථා කලහොත්; එම සිද්ධිය හැරෙණ්නට අනෙක් සෑම කලෙකම සිටි මෙරට පාලකයින් මා පෙරකී ලෙසට මෙම ප්‍රශ්නයෙන් රට මුදා ගැනීමට තම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කොට ඇත.
උදාහරණයක් ලෙස; රනිල් වික්‍රමසිංහ විසින් ඇතිකල සාම ගිවිසුම තුලින්ද ඔහු උත්සාහ කර ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් එල්ටීටිය හුදෙකලා කිරීමට බව මා විශ්වාස කරමි.
එසේම එල්ටීටිය ඉතිහාසයේ ලබූ දැඩිතම මානසික පසුබෑම ලෙස මා විශ්වාස කරණ; කරුණා අම්මාන්ගේ ඉවත්වීමටද හේතු භූත වූයේ රනිල්ගේ තීක්ෂණ භාවය ලෙස මා දකිමි.
තමළණී ජෙයික්කුමාරන්ගේ "තියුණු අසිපතක සෙවන යට" පොතේ මෙම සිද්ධිය සමග එල්ටීටියේ මානසික ඇදවැටීම පිළිබඳව මනාව සඳහන් කොට ඇත.
මෙසේ සෑම සියළුම රාජ්‍ය නායකයින්; එල්ටීටිය පරාජය කිරීමට විවිධ උත්සාහයන් ගත්තද එහි විපුල ඵල නෙලා ගැනීමට අවස්ථාව ලැබුනේ මහින්ද රාජපක්ෂටය.

1994 දී චන්ද්‍රිකා අති බහුතරයකින් ජනාධිපති වනවිට එම බහුතරය තුල එක්තරා දෙමළ චන්ද ප්‍රථිශතයක්ද විය.
යාපනය දිස්ත්‍රික්කයේ භාවිතා කල ඡන්ද සංඛ්‍යාවෙන් 96% ක්ද වන්නි දිස්ත්‍රික්කයේ 85% ක් ද ත්‍රිකුණාමලයේදී 71% ක් හා මඩකාලපුවේදී 87% ක්ද ඇය දිනා ගත්තාය.

ඒ; චන්ද්‍රිකා මෙම ප්‍රශ්ණයට සාර්ථක විසඳුමක් දෙනු ඇතැයි ඔවුන් විශ්වාස කල නිසාය.

මහින්ද බලයට පැමිණෙන්නේ ජාතික ප්‍රශ්ණයට පැහැදිලි විසඳුමක් දෙන බව පවසමිනි.

2004 ජනවාරි 23 ශ්‍රිලනිපය හා ජවිපෙ අතර අත්සන් කරණ එකඟතා ගිවිසුමෙන් පසු එළඹෙන 2004 අප්‍රේල් 5 මැතිවරණයෙන් එම සංධානය ජය ලබා ගන්නා අතර මහින්ද එම ආණ්ඩුවේ අගමතිවරයා වන්නේය.

මහින්ද ජනාධිපති වන්නේ 2005 නොවැම්බර් 17 පැවති ජනාධිපතිවරණයෙන්ය. එදා ඔහු ලබා ගන්නේ රනිල් වික්‍රමසිංහට වඩා වැඩි චන්ද 181,786 කි.
එම පදවි ප්‍රාප්තිය සමග ඔහුගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරයට කැඳවෙන අතර ගෝඨාභය විසින් සරත් ෆොන්සේකා තම හමුදාපති ධූරයේ රඳවා ගැනීමට කටයුතු කරයි.

මාවිල් ආරු සටන ඇරඹී කෙටි කලක් තුල 2006 අගෝස්තු 8 වනදින මාවිල් ආරු අමුණු දොරටු විවෘථ කරණු ලබයි.
2006 ඔක්තෝබර් 28 දින ජිනීවාහීදී පැවති සාම සාකච්ඡා බිඳ වැටේ.
ඉන්පසු දිගෙන් දිගටම ඇවිලී යන සටන් වලින් දිනෙන් දින පියවරෙන් පියවර ජය ලබන රජයේ හමුදාවෝ 2009 මැයි 15,16 සහ 17 යන දිනවල පැවති සටන් වලින් පසු මැයි 19 වන දින අළුයම ප්‍රභාකරන් ගේ මළ සිරුර සොයා ගනීමෙන් පසු සටන; සංග්‍රාමික ජයග්‍රහණයෙන් කෙළවර විය.

මම මෙසේ ගෙන හර දැක්වූයේ එම ඉතිහාසයේ ඉතා සියුම් අවස්ථා කිහිපයකි.
මෙම යුධ ජයග්‍රහණයෙන් පසු කෙරෙණ ජයග්‍රහනයේ ප්‍රකාශන වලදී එම ජයට ප්‍රධාන හේතුව ලෙස ගෙන රාජපක්ෂවරු ගෙන හැර දැක්වූ ජිවමාන සාධකය වූයේ සරත් ෆොන්සේකාවය.
වරෙක ඔවුන් ඔහුව හඳුන්වන්නේ ලොව සිටින හොඳම හමුදාපති ලෙසින්ය. 
සරත් ෆොන්සේකාද තමාගේ මෙහෙයුම් සඳහා මහින්ද ජනාධිපතිගෙන් හා ගෝඨාභයගෙන් ලැබුනු පිටුබලය සැමවිටම අගය කලේය.
එහෙත් මේ අගය කිරීම් සුන්දර කථිකාවත් පවතින්නේ ඉතා කෙටි කලෙකි.
2010 ජනවාරි 26 වෙනිදා පවැත්වීමට දින නියම කල ජනාධිපති වරණයට සරත් ෆොන්සේකා නාමයෝජනා දීම සමගම එම ගරුත්වය නැත්තටම නැතිවී ගියේය.
සරත් ෆොන්සේකාහට සේවා දිගුවක් ලබා දී ඔහුව නවතා ගැනීමට ගෝඨාභය තීන්දු තීරණ ගන්නේ; සරත් ෆොන්සේකා යනු; දිනන යුද්ධයක තීරණාත්මක සාධකයක් වන හෙයින් මිස වෙන කුමණ කරුණක් කරණ කොට ගෙනද?
එතෙක් හමුදාවේ ගතකල දශක ගනනාවක ජීවිත කාලය තුලදී තමාට විනාශ කල නොහැකිවූ ත්‍රස්තවාදී සංවිධානයක් විනාශ කිරීමට සරත් ෆොන්සේකාහට හැකියාව ලැබෙන්නේ, අවස්ථාව සැකසෙන්නේ; රාජපක්ෂ දෙබෑයන් විසින් සමස්ථ ත්‍රිවිධ හමුදාවට මෙන්ම රටටද නායකත්වය දුන් හෙයින් බව මාගේ විශ්වාසයයි.
මහින්ද හට එවන් ශක්තියක් ලැබෙන්නේ 2004 සිට ඔහුට සහය ලබා දෙන ජවිපෙ හා හෙළ උරුමය වැනි කුඩා එහෙත් ජනතාව තුල මතයක් ඇතිකිරීමට හැකි පක්ෂ එක්ව කටයුතු කල හෙයින්ය.
එසේම මෙම යුද්ධය පිළිබඳව කටමැත දෙඩවූ එජාපයේ රවී කරුණානායක, කිරිඇල්ල, රනිල් වැනි නායකයින් සිටියද සමස්ථයෙන් අති මහත් බහුතරයක් වූ එජාප පාක්ෂිකයින්ගේ ආශිර්වාදය ලැබුනේ රාජපක්ෂවරුන්හටය. ෆොන්සේකාටය. සමස්ථ ත්‍රිවිධ හමුදාවටය.
එහෙත් සරත් ෆොන්සේකා; මහින්ද සමගින් සටනට එළඹීමත් සමගම යුද්ධයේ ජයග්‍රහණය හුදෙක්  රාජපක්ෂවරුන්ගේ  ජයග්‍රහණයක් බවට පෙරළුනි.
මෙම තත්වයට රාජපක්ෂවරුන් පත්වීමට සරත් ෆොන්සේකාගේ ක්‍රියා කලාපයන්ද තුඩු දෙන්නට ඇත.

මෙයට උදාහරණ දෙන්නට පෙර සරත් ෆොන්සේකා චරිතය පිළිබඳව යාන්තමින් සිහියට නගා ගනිමු.
ඔබ හිතනවාද සරත් ෆොන්සේකා වෙනුවට; මනුෂ්‍ය කමින් පිරිපුන් ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි වචනයේ පරිසමාප්තියෙන්ම මහත්වරයෙකු සිටියානම් යුද්ධය දිනා ගත හැකිවෙයි කියා?
කෙක්කෙන් නැත්නම් කොක්කෙන් තමාට අවශ්‍ය ජයග්‍රහණය තනිව ලබා ගැනීමේ නොනිත් ආශාවෙන් පෙළුණු සරත් ෆොන්සේකා වෙනුවට; සොල්දාදුවන්ගේ රුධිරය, සොල්දාදුවන්ගේ මෑණිවරුන්ගේ කඳුළු පිලිබඳව අප්‍රමාණ වටිනාකමක් ලබාදෙන සෙනෙහෙබර පියෙකුට මෙම යුධ ජයග්‍රහණය නෙලා ගත හැකියැයි ඔබ සිතනවාද?

එනිසාම 2010 දී තමාගේ ප්‍රථිමල්ලවයා පරදා ජනාධිපති සටනෙන් ජය ලබා ගැනීමට ඔහු කුමක් නම් නොකරාවිද?
මා දකින්නේ එය ඔහුගේ ස්වභාවය කියාය.
එසේම ඔහු තුල පවතින සංග්‍රාමික ජීව ගුණය වන්නේද එයමය ය.
තුවක්කුවක වටිනාකම වන්නේ එය දරණ්නා විසින් එල්ල කරණු ලබන ඉලක්ක සුණු විසුනු කරණු විනා බටයෙන් මල් පොහොට්ටු, පැනි බූන්දි පිටවීම නොවේ.
තුවක්කුවට; තමා විසින් මරා දමනු ලබන්නේ තමාගේ අයිතිකරු වුවද කම් නැත.
සරත් ෆොන්සේකා චරිතය මා දකින්නේ උෂ්නත්වය හඹා යන රොකට් මුක්ත කරණ රොකට් ලෝන්චරයක් (Heat seeking rocket launcher) ලෙසය.
එය මුදා හැරිය පසු තමාගෙ අම්මා තමාට උයන බත් මුට්ටිය වුවද කම් නැත.
උෂනත්වය ගැලපේනම් එය සුනු විසුණු කොට දමනු ලබයි.

එහෙත් එම ජනාධිපති සටනේදී මහින්ද හා සරත් යන දෙදෙනාහටම; තම ප්‍රථි මල්ලවයන් වෙත දැඩි හානි ඇතිකිරීමට මෙන්ම තමාට ජයග්‍රහණය සඳහා තිබුණු සුදුසු කම වූවේ අන් කිසිවක් නොව යුධ ජයග්‍රහණය පමණක්ම විය.
මෙය කෙතරම් ඛේදණීය තත්වයක් වූවේද යත් යුධ ජයග්‍රහණය  තමාගේ තනි උත්සාහක් ලෙසත්; ජනපතිවරණයේ ප්‍රථිමල්ලවයන් එම ජයග්‍රණයේදී කකුලෙන් ඇද බාධා පැමිණවූවන් බවට දැක්වීමට තරම් දෙපාර්ශ්වයම සාහසික විය.
සරත් ෆොන්සේකා හට සහය දුන් එජාපය හා ජවිපෙ ඇතුළු සියල්ලන් විසින්ම එතෙක් තම හදවත් තුල පැවති යුධ ජයග්‍රහණයේ ආශ්චර්‍යමත් පොදු අයිතිය; රාජපක්ෂ වරුන් විසින් සාහසික ලෙස උදුරා ගත්තේ එය තමන්ගේත් තම පාක්ෂිකයින්ගේත්; පරවේණියෙන් භුක්තියට සවිවූ බූදලයක් ලෙස පෙන්වමින්ය.
2009 මැයි 19 වනදින කිරිබත් උයාගෙන රතිඥ්ඥා පත්තු කරමින් කොඩි බැඳගෙන සමරා ඇත්තේ තමන්ගේ ජයග්‍රහණයක් නොව වෙනත් කණ්ඩායමකගේ ජයග්‍රහනයක් බවට; රාජපක්ෂ වාදීන් නොවන රටේ ඉතිරි මිනිසුන්ගේ හදවත් තුල පැල පදියම් වී මේ වන විට  අවසානය.

වඩාත්ම ශෝක ජනක තත්වය වන්නේ සමාජ මාධ්‍ය මගින්ද; රාජපක්ෂ වාදීන් නොවන අන් සියළුම "කුහකයින්" හට මෙම යුධ ජයග්‍රහණය සැමරීමේ අයිතියක් නැති බව හුවා දැක්වීමයි.

යුද්ධය පටන් ගත් කාලයේ සිට මෙම යුද්ධයට සිංහල-බෞද්ධ තීන්ත ආලේප කර තිබුණි. හාමුදුරුවරු පවා රණ ගී ලියා යුද්ධයට සිංහල බෞද්ධ උප්පැන්නයක් ලබා දී තිබුණි. මේ නිසාම යුද්ධයෙන් මුස්ලිමුන් මෙන්ම සාමකාමී ද්‍රවිඩයන් ඉවතට තල්ලු වී ගියෝය.
අනුන්ගේ යුද්ධයකට එකතුවී මිය යාමෙන් පලක් නැති බව නිසා හෝ "අපි දෙමළ" යන පදනම නිසා හෝ හමුදාවට ද්‍රවිඩයින් එක් වූයේ නැති තරම්ය.
එසේම වතුකරයෙන් හෝ ද්‍රවිඩයින් හමුදාවට  එක් කර ගැනීමට උනන්දු නොවූයේ එය සංග්‍රාමික උපක්‍රමයක් ලෙසදැයි මා නොදනිමි.
එය එසේ සිදු නොවී එල්ටීටිය සමග කල සටන් වලදී ද්‍රවිඩ හමුදා සෙබළුන් මිය ගියා නම් මෙම යුද්ධ ජයග්‍රහනය පොදු ජයග්‍රහණයක් වීමට ඉඩ තිබුණි.

එදා දෙවරක්  හෝ අවම වශයෙන් එක් වරක් හෝ මහින්ද පත් කිරීම සඳහා තම ඡන්දය පාවිච්චිකොට මේවන විට එජාපයට, ජවිපෙට සහය ලබා දෙන සාමාන්‍ය පුද්ගලයෙකු පිළිබඳව හෝ එදා වෙනත් පක්ෂයක  පාක්ෂිකයෙකුව සිට හදවතින් යුද්ධයේ ජයග්‍රහණයන්හට ආශිර්වාද කල අයෙකුගේ තත්වය සිතා බලන්න.
යුද්ධයට සහභාගීවූ සොල්දාදුවන් අතර හා ඔවුන්ගේ පවුල් පසුබිම් සොයා බැලුව හොත් එම පිරිස් අතර වෙනත් පාක්ෂිකයින් කෙතරම් සිටින්නට ඇත්දැයි සාක්ෂාත් කර ගත හැක.
පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ හෝ ජේවීපී මව් පිය වරුන්ගේ දරුවන් යුද්ධයේදී මිය ගිය අවස්ථා නැතිද?
එදා ඔහු මහින්දව පත් කිරීමට ඡන්දය පාවිච්චි කලද අද වන විට රාජපක්ෂවරුණ්ගෙන් වියෝ වී ඇත්නම් ඔහුට යුද්ධ ජයග්‍රහණයේ ආශ්චර්‍යය නොවිඳිය යුතු එහි අයිතියක් නැති කුහකයින් විය හැකිද?
මේවා මොන තරම් අඳබාල කථාද?

මෙය සාධාරණ, යුක්ති යුක්ත ප්‍රකාශ හෝ අදහස්ද?

මේ සියළු මුග්ධ ක්‍රියා වලින් පීඩාවට පත්වන්නේ යුද්ධයට සෘජුවම දායකත්වය දක්වූ සොල්දාදුවන් හා මිය ගිය සොල්දාදුවන්ගේ දෙමව්පියන් හා නෑ සියන්ය.
මන්ද අදද රාජපක්ෂ පාක්ෂිකයින්; යුද්ධ ජයග්‍රහණය "පොදු" සාධකයක් හෝ පොදු අයිතියක් බවට ජනසතු නොකොට එය රාජපාක්ෂිකයින්ගේ පරවේණී උරුමයක් සේ දකිමින්; ඔවුන් ගේ ප්‍රථිවාදීන් හට පහර දීමට භාවිතා කරණ පහසුම ආයුධය ලෙස භාවිතා කිරීමය.
යුධ ජයග්‍රහණය පිළිබඳව කණගාටුවන කුහකයින්සේ; තම ප්‍රථි මල්ලවයින් පිළිබඳ අර්ථකතනයන් ලබා දීමය.
එනිසා රාජපක්ෂ පාක්ෂිකයින්  හැරුණුකොට අන්සියල්ලම හා  සිංහල නොවන සියල්ලන්ම ගාල් කොට ඇත්තේ එකම තැනකටය.

මේ නිසාම ඔවුන්ද "උඹලගෙ නම් උඹලාම තියාගන්!" කියනවා හැරෙණ්නට එම ජයග්‍රහණයට අයිතිවාසිකම් කියන්නට එන්නේද නැත.

මේ සියල්ලෙන්ම හදවත් ඉරී යන්නේ රට වෙනුවෙන් දරුවන් දන්දුන් වන්දණීය පූජනීය අම්මා වරුන්ගේය. තාත්තලාගේය.
මේ සියලු කරුණු කාරණා සමග; සෑම නගරයකම; නො එසේනම් අවම වශයෙන් සෑම දිස්තිරික්කයකවත් ස්ථාපිත කල රනවිරු ස්මාරකයක් අභියස; අභිනවයෙන් ජීවිත අරඹන තරුණ තරුණියන් වෙතින් පූජෝපහාර ලැබීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය අයුරු!
රුසියාවේ එවන් සිරිතක් ඇති බව මා අසා ඇත.
අප පාසැල් යන කාලයේ කොළඹ මහජන පුස්ථකාල භූමියේ  පසෙක තිබෙන නන්නාඳුනනා සොල්දාදුවන් වෙනුවෙන් ස්ථාපිත කොට ඇති ස්මාරකය  වෙත බොහෝ වරක් මා ගොස් එහි අති ඵලකය කියවා ඇත!

"ඔවුන්; ඔවුන්ගේ හෙට දිනය අපගේ අද වෙනුවෙන් පුදකලෝය!" එහි ලියා ඇත!

මේ මව් වරුන් පිය වරුන් වෙනුවෙන්; යුධ ජයග්‍රහණයේ 12 වන සැමරුමට පෙර අප විසින් ඉටු කල යුතු එහෙත් අතිශය වැදගත් වූත් වටිනාකමකින් යුක්ත වූත්  වගකීමක් තිබේ.
මෙහි වැඩි වගකීමක් ඇත්තේ දැනට බලයේ පවත්නා දේශපාලකයින්හට හා පාක්ෂිකයින්ටය.

මෙම ජයග්‍රහනය ජනගත කරණ්න!
එහි පරම අයිතිය අත් හරින්න, එය තනි අයිතියක් නොවන බව හදවතින් හා බුද්ධියෙන් තේරුම්ගන්න!!
සෑම ශ්‍රී ලාංකිකයෙකුහටම එහි ඇති අයිතිය තහවුරු කරණ්න!!!
එහි ඇති වටිනාකම පහදා දෙන්න!!!!
සෑම ශ්‍රීලාංකිකයෙකුම මෙම ජයග්‍රහණය ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව වැළඳ ගන්න!!!!!

Friday, September 13, 2019

149. ගිණිහලට බැඳි පෙම . . !

ආමරියේ ප්‍රේමය . . . !

සිංහල ගීත සාහිත්‍යයේ එක් එක් කාල වකවාණු වල බිහිවී; පවතින ගීත ලියන ලද සුළු පිරිසක් වේ.
කලාව කලාකරුවාගේ භාව ප්‍රකාශණ මාධ්‍යය වන විට; ඔහු තුල එම භාවයන් බිහිවීමට හේතු භූත වන කරුණ මෙය යයි ලඝු කොට දැක්විය නොහැක.
තමන් ගේ හෝ අන් අයෙකුගේ  ජීවිත අත්දැකිම් හෝ තමා තුලම හට ගන්නා හැඟිමක් මිට හේතු විය හැක.
තමන්ට හෝ අන් අයෙකුගේ ජිවිත අත් දැකීමක් මෙන් නොව පුවතක් කවියක් ලෙසට උද්දිපණය වන්නේ කවිකොල යුගයේදීය.
එහෙත් පසුකාලීනව ඇන්ටන් ජෝන්ස් ගායකයා විසින්ද මෙරට - නොරට පුවත් සිද්දි සිදුවීම් මෙලෙස තම ගායනයට එක් කර ගත්තේය.
සමකාලීන ගීතරචකයින් සොඳුරු පුද්ගල ප්‍රේමය, විරහව වියෝව විප්‍රයෝගය තුල තම රචනා කොටු කර ගනිද්දී රත්නශ්‍රී විජේසිංහයෝ සියඹලාන්ඩුව කච්චේරිය මුල  ගොවි නැගිටීම තම ගීතයට ප්‍රස්ථූතය කර ගනිමින්  සාර්ථක ගීතයක් ලෙස බිහි කරයි.
හැත්තෑව දශකයේ එනම් ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේදී තරුණ ජවය පිළිබඳ ගොවිබිම් පිළිඹඳව මහපොලවට දහදිය හෙලන ගොවියා කම්කරුවා පිළිබඳව ලියැවුනු රචනාවන්ට පසුව ප්‍රේමයට එහා ගිය ගීතයේ නිම් වළලු පුළුල් කල රචනාවන් බිහි වූයේ ඉතා මන්දගාමීවය. 

සොඳුර මට සමු දෙන්න - සමුදෙන්න . . // - ඩී ඩී ගුණසේන / සමන් චන්ද්‍රණාත් වීරසිංහ / ප්‍රේමසිරි කේමදාස

අඳුරු කුටිය තුල - දොර ගුළු ලාගෙන . . - ටී එම් ජයරත්න / ප්‍රේමදාස ශ්‍රී අලවත්ත / ප්‍රේමසිරි කේමදාස

සඳ මඬලේ සිට - තරු මඬලේ සිට . . - මාළණී බුලත්සිංහල / සමන් චන්ද්‍රණාත් වීරසිංහ / ෂෙල්ටන් ප්‍රේමරත්න

පසු කාලීනවද . . . . . . . . ;

කරදිය ගැඹරේ - තුන් යම ගෙවුනේ . . එඩ්වඩ් ජයකොඩි / ප්‍රේම කුමාර ජයවර්ධන / රෝහණ වීරසිංහ

ළඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා . .  එඩ්වඩ් / කුමාරදාස සපුතන්ත්‍රී / රෝහණ වීරසිංහ

විවෘථ වෙළෙඳ පොලේ ඉල්ලුමක් නොමැති සංධර්භය තුල මාකට් කල නොහැකි ගීත ලියන්නන් බිහි වන්නේ කෙලෙසද?

අමරදේවගේ දුක්බර හඬට "සුදු පියුම" ලියන රත්නශ්‍රී; කපුගේ ගේ අඬහැරයට ලියන්නේ "බිම්බරක් සෙනෙඟ" ය!
මේ සියල්ල පුවත් හෙවත් නිව්ස් ය!
ලංකාදීප පත්තරේ පලවන; ප්‍රාදේශීය වාර්ථාකරුවකු විසින් සැපයුනු; හරි හමන් හෙඩිමක් පිංතූරයක් වත් නැතිව පලවූ නිව්ස් කෑලිය.

ගිතය; ලාලිත්‍යයෙන් පිරුණු කලා කටයුත්තක් වන තැන සේකර "මුනිසිරිපා සිඹිමින්නේ" ලියයි. 
එයට අමරදේව එක් කරණ්නේද පුළුන් රොදක් යාන්තමින් පාවයන සිහිල් පවන් පොදක් වන් සංගීත රාවයකි, නන්දා හා එක්ව සුමියුරු ගැයුමකි - කටහඬකි, තනුවකි!
එම ගිතයේම තවත් වරෙක අන්තරාවේදී ගැයෙන "ජාතික රණ දෙරණ මතේ කැපී වැටී මල මොහොතේ . . //" ගැයෙන විට එම කටහඬෙහි ඇති රණ කාමීත්වය!?
එය ගිතයට ලැබෙන්නේ කට හඬින් පමනක්ද?
නැවතත් මා ලියන්නම් වෙහෙස නොබලා.
තනිව ඔබම ගායනා කොට බලන්න ඒ වචන පෙල නැවතත්.

"ජාතික රණ දෙරණ මතේ කැපී වැටී මල මොහොතේ . . //"

එම රිද්මය, එම හඬ, එම අදීනත්වය, එම ප්‍රෞඩත්වය,එම සටන් කාමිත්වය එම වචන තුල සැඟව නොතිබේද?
"සුදු නෙළුම කෝ සොර බොර වැවේ . ." කියා රත්නශ්‍රී අප කැඳවා ගෙන යන්නේ; හේ ගිය ගොක් කොල වලින් දෙපස සැරසූ මගක බව මාහට දැනේ.
දියණියගේ වියෝව වෙනුවෙන් වත් හෙලීමට කඳුළු ඉතිරි නොවූ ඇස් කෙවෙණි වලින් මව අප එන මග බලා සිටියි.

මරණය ගීතය තුල චිත්‍රණය කල අවස්ථා අතර සනත් ගේ "එදා මෙදා තුර . ."ට හිමිවන්නේ මහත්වූ රසික ප්‍රසාදයකි.
කපුගේ "සුමනෝ . . " ගයන්නේ වෙස්සන්තර ජාතකේ කියන්නට කෙනෙකු සොයාගත නොහැකි වූ තැනද? එතරම්ම සෝචණීය හඬකි එය.
කලකට පෙර යොවුන් සිත් වසඟ කල නාමල් උඩුගමද මරණය ගීතය තුලට කැඳවාගෙන ආවේය. "නිසල වෙලා හද - නොසැලේ හසරැල් . . " ගීතය බිහිවන්නේ ඒ තුලිනි.
මේ සියළු ගීත අතර රත්නශ්‍රී ගේ තෙලි තුඩෙන් චිත්‍රණය වන "සිංහල සිංදු කියන . . නළලේ තිලක තියන කිරිල්ලී " ගීතය අතිශය ප්‍රේමයේ සුන්දරත්වය සනිටුහන් වන ශෝචනීය කථාවක්  අපට මතක් කර දෙයි.
වරෙක අන් පෝස්ටුවකට කඩදාසි කොලේ ලියන ලිඛිතා ලියන ලද කොමෙන්ටුවකට මා ලියන ලද මගේ අදහස ලෙසට මෙම ගීතය උදාහරණයකට ගතිමි.
"සකල සිරිණ් පිරි සිරි ලංකාවේ කඹුරුපිටිය නම් ගම සොබනා . . . " යනුවෙන් කවිකොලයකට නගන්නට තිබුනු අදහසක් රත්නශ්‍රී කවියා ප්‍රේමණීය පද ගෙත්තමක් බවට ආදරණීය වියමනක් බවට පත් කරයි.
ඒ ඔහු තුල ඇති වචනකෝෂයේ දිග පලල නිසා නොව තම සරල සුගම වදන් වලින් කෙරෙණ්නාවූ ගීතය නම් වූ දුම්බර පැදුර තුල දක්වන වදන් හැසිරවීමේ බුහුටි බව නිසාම බව මා සිතමි
ඒ නිසාමයි මා දක්වන්නේ ඔහු වෙතින් කෙරෙණ්නේ පද ගෙත්තමක් කියා!?
එම ගීතයේ ජාතක කතාව හෙවත් නිධානය අතිශයින් විචිත්‍ර වූ කතා පුවතකි. අපි ටිකකට ඔහු සමග දොඩමලු වෙමු.

"මට මතක හටියට නවසිය අනූ හතරෙ වගේ කාලේ මට රාත්‍රියේ කපුගේ ගෙන් ඇමතුමක් එනවා.
ඒ දවස් වල ගුණසිංහ මහත්තයා පලකල සඟරාවක් තිබුනනෙ සිව්දෙස කියලා. මේ සඟරාවේ පලවුනු ආර්ටිකල් එකක් ගැන මේ කියන්නෙ එයා.

මගෙන් අහනවා කියෙව්වද කියලා !

මම කියනවා නැහැ කියලා !

ඒ පාර එයා කියනවා හොයාගෙන කියවන්න.ඒකෙ තියෙනවා අළුත් දෙයක් කියලා.
සඟරාව හොයාගෙන කියවන කොට ඒකෙ තියෙනවා දකුණු පලාතෙ ඉඳලා කාන්තාවක්; පොලිස් නිළධාරිනියක් විදියට කොළඹ යනවා. 
කොළඹ දී එයා වැඩකරනවා කිරුළපනෙයි මිරිහානෙයි. 
කිරුලපනේදී එයාට හම්බෙනවා උතුරෙ ඉඳලා ආව ද්‍රවිඩ ජාතික පොලිස් නිළධාරියෙක්. 
ඒ දෙන්නා අතර දැන හැඳුනුම් කමක් ඇතිවෙලා  ඒක ප්‍රෙමයක් දක්වා වර්ධනය වෙනවා. . . . . . . . . !"

ආදරය ප්‍රේමය යන කාරණාවන් හට ජාති බේධයක් නොමැත. එය සංගීතය වැනිම වූ විශ්ව ධර්ම තාවයකි. නඩේසන් තරුණවියේ කඩවසම් නිළධරයෙකු විය. ඔහු තරුණයෙකු සේ  පොලිස්ථානයට එන විට ඔහුට කොලඹ නුහුරු පරිසරය තුල හිතෛශී අයෙකු ලඟ පාතක නොමැති විය. වැල්ලවත්ත කිට්ටුව සිටින ද්‍රවිඩ ජනතාව අසලදී පමණක් ඇසෙන කනට හුරු පුරුදු බස පොලීසියේදී නොඇසුනේය.

ඔහුගේ දෙසවනට හුරු හඬක් පොලීසිය තුලදී නොඇසුනද හදවතට හුරු පුරුදු දසුනක් පොලීසිය තුලදීම දක්නට ලැබෙන්නේ කාලය සමගය. දෙමළ නඩේසන් දෙනෙතින් කෙරෙණ ආමන්ත්‍රණයට; සිංහල විනීතා දෙනෙතින්ම කෙරුණු පිළිතුරු කියවාගන්නට නඩේසන්හට සිංහල දැනුමක් අවශ්‍ය නොවන්න්නට ඇත. නඩේසන්ගේ ප්‍රේමණීය ස්වරය ඇයට ආත්මීය හඬක් විය.

"දිව නුහුරු බසින් පෙම් කවි කී - කුරුල්ලාට වශී වී  . . . . . . . //"

රත්නශ්‍රී ගේ ගෙත්තම වියැවෙන්නට පටන් ගත්තේය.

මීට දශක ගනනාවකට පෙර භාරතයේ ශාන්ති නිකේතනයට සංගීතය හදාරණ්නට හෙළයේ සිට පිවිසෙන සූර්‍යය කුමාර් මොල්ලිගොඩ තරුණයා පෙමින්වෙලෙන්නේ හින්දු භක්තික සුන්දරාවියකටය. 
ඔවුන් ආදරය කරණ්නට ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් වන්නට ඇතැයි මට සිතේ.
ඇයට අනිවාර්‍යයෙන්ම යුරෝපීය බස තම පියා වන ජ්වහල්ලාල් නේරු විසින් උගන්වන්නට ඇතැයි සැකයක් නැත.
ඇය ඉන්දිරා ගාන්ධි නමින් පසු කලෙක; අගමැතිනිය ලෙසින් භාරතය පාලනය කලාය!

මාගේ මතකය නිවැරදිනම් ගායන වාදන විශාරද ටී ෂෙල්ටන් පෙරේරාද විවාහ වූයේ ඉන්දීය තරුණියක් සමගය.

පෙම්වතා හා පෙම්වතිය එකම රටක එකම බසක් හුරුවූ අයවළුන් වූවද පළමුව කෙරෙණ්නාවූ ආමන්ත්‍රණය  කෙරෙණ්නේ දෙනයණෙනි!

සනත් නන්දසිරිට ගීතයක් ලියන කරුණාරත්න අබේසේකරයන්;
"ආයාචනාත්මක බැල්මෙන් - ආයාචනාත්මක කැල්මෙන්
ගොළු හදවත තුල ගොනුවුනු සිතුවිළි
අපමණ තෙරපෙන බව වැටහේ . . //"
කියා ලියාදෙන්නට ඇත්තේ මෙනිසා විය යුතුය

ප්‍රේමය හා ගීතය අතර ඇත්තේ ඉතා කිට්ටු සබඳතාවයකි. 
ඒ අති බහුතරයක් ගීතයනට ප්‍රේමය පස්ථූතය වන කාරණාව නිසා නම් නොවේ. 
ගීතයක් කියන්නට හැකි නොහැකි ඕනෑම  මවක තම දරුවා නළවා ගන්නට නැලවිළි ගීතයක් ගයන්නාසේ ආදරයෙන් බඳුණු පසු තරුණයෙකු කිසිවෙකුට නොඇසෙන සේ හෝ ගීත  මිමිණීම කරණු ලබයි! 
බොහෝ විට පෙම්වතුනට ගීත ඇසෙන්නේ තමා වෙනුවෙන් ලියැවුණු කියැවුනු සේය.
නඩේසන්ද දෙමළ ආදර ගීත විනීතාට ඇසෙන්නට ගයන්නට ඇත. ඒවා තේරුම් ගන්නට ඇත්තේ බුද්ධියෙන්න් භාෂා ඥානයෙන් නොව හදවතිනි. ඇයට එම ගීත තේරුම් යන්නට ඇති; තමාට නුහුරු බසකින් කියැවුනත්.
තමාගේ හදවතේ ගැඹුරින්ම ලියලා වැඩුණු ප්‍රේමය පිළිබඳව නඩේසන් ගයද්දී විනීතා දෑස් දල්වා බලා සිටින්නට ඇත. තාල අල්ලන්නට ඇත. සෙමෙන් ඔහුගේ උරහිසට බරවන්නට ඇත.
මේ සියළු ප්‍රේමණීය සිහින අතර එක් බියකරු සිහිනයක් දැක ඔවුන් තිගැස්සී අවදි වෙයි. කොළඹ නගරයේ බොහෝ ස්ථාන වලින් අහසට නැගුණු පුළුටු ගඳැති දුම් රොටු නඩේසන් හට තමාගේ ප්‍රෙමය කෙතරම් අස්තීර දැයි මතක් කරදෙන්නට විය.
තමා ප්‍රේම කරණ්නේ තමාගේම ඥාතීන් සිය ගනනක්; දෙමළුන් වූ පමණට; අමුවේ මරා දැමුණු ජාතියකට අයත් එකියකට නොවේද? කළු ජූලිය සිංහල අන්තවාදීන්ගේ පමණක් නොව සමහර  පොලීස් නිළධරයන්ගේ පවා පක්ෂග්‍රාහී පිළිවෙත නඩේසන්හට පෙන්වා දුන්නේය.
"ඉතින් මා යා යුතුය! මා මගේ නිජබිම වෙතට යායුතුය!! මාහට ආරක්ෂාව ඇත්තේ උතුරේ විනා දකුණේ නොවේ. මා එහි ගොස් තරුණයන් හා එක් වන්නෙමි!!!! ඇය කුමක් කරයිද? " නඩේසන් දවල පුරා මෙන්ම රාත්‍රිය පුරාද අනුලෝම ප්‍රථිලෝම වශයෙන් තමා දිනාගත් සිංහල ප්‍රේමය ගැනත් තම නිජ බිම ගැනත් සිතන්නට විය.

"මම යාපනේ යෙනවා . . ! පොලීෂියෙනුත් යෙනවා . . . !!"

"යාපනේට යනවා . . ? තනියෙමද . . ? එතකොට මං . . . !?'

" නේ . . .නේ!  යේක තනියෙම නෙවෙයි . . !! ඔයාත්  තෙක්ක!!! ඔයා යෙනවා නේද . . ?

කිසිවෙකුට නොඇසෙන සේ ඔහු ඇයව තම මතයට එක් කර ගන්නට ඇත. එක වරම ඇය වචනයක් නොකීවත් දින ගනනාවක් නඩේසන් කරණ්නට වුනු කනපිංඳුන් වල ප්‍රථිපලයක් ලෙස ඇය පලා යන්නට එක්වන්නට ඇත.
නඩේසන් කිසිදාක; ඇය තමා සමග තල් අරණට ඒ යැයි මොහොතකට වත් නොසිතුවේය. ඇය ඊට එකඟ වීම ඔහුට අදහා ගත නොහැකි විය.

මේ සම්බන්ධය ගැන විනීතාගේ ගෙදරට යාන්තම් ඉවක් වැටුනු දින සිට ඇයව මාතර පොලීසියට අනුයුක්ත කරගැනීමට ඇයගේ දෙමව්පියන් සියළු වෙහෙස මහන්සි දැරුවාය!

"ඔය්යා දාසක මාව දාලා අම්මා අප්පා ගෙදර යයි.  . . . . .!"

නඩේසන් එහෙම කී අවස්ථාවලදී විනීතා පළමුව තරහක් පෙන්නුවේය. 

"ඔයා හැම තිස්සෙම කියන්නේ ඕකමනේ! කියනකොට කියන කොට ඕකම වෙයි!! ඔයාට කර ගන්නට ඕනත් ඒකමනේ . . .!!! නඩාට තෙරුණත් නොතෙරුණත් ඒ ගැන කිසිදු තැකීමකින් තොරව විනීතා කියවාගෙන ගියාය.
පසුව හිස පහත් කර ගත්තීය.
මහත් වෑයමෙන් නඩේසන් ඇගේ හිස ඔසවා බැලූ විට ඇයගේ දෙනෙත් කඳුළින් පිරී තිබෙනු දැක නඩේසන් හට සතුටක් මෙන්ම දැඩි දුකක්ද ඇති විය.
 එදිනම ඇය ව වැල්ලවත්ත කෝවිලට එක් කරගෙන ගොස් ශිව - පාර්වතී ඉදිරියේ වැඳ නළල මත තිලකයක් තැබුවාය.

"සිංහල සිංදු කියන - නළලේ තිලක තියන කිරිල්ලී . . ."

විනීතාගේත් නඩාගේත් විවාහය ඉතාමත් චාම්ව කෙරිණි. චාරිත්‍රයක් ලෙස කෙරුණේ කෝවිලට පය තැබීම පමණි. විනීතාගේ වත් නඩා ගේ වත්  නිවස් වලින් කිසිවෙකු පැමිණ සිටියේ නැත.
විවාහට ටික කලකට පෙර දිනක් උදෑසන ඔවුන් දෙදෙන කෝවිලට ගියෝය. කොවිලෙන් එලියට පැමිණ සයිවර් කඩයකට  ඔවුන් ගොඩ වැදුනි. සුදු වේට්ටියකින් සැරසී කඩේ කෑම බෙදන මැදිවියේ සේවකයා පැමිණ  හැරුණේ විනීතා දෙසටය.

"උංගලක එන්න් සාපාඩ කොණ්ඩු වරුනම් . ?"

විනීතාට එක වරම හිනා ගියේය. කොණ්ඩයේ පැළඳි මල් මාලාව හා නළලේ තැබූ තිලකය ඇය දෙමළියක් කර ඇත. ඇය එක වරම නඩේසන්ගේ උරහිස අල්ලා සිනහ වීය.

" ඉවල් සිංගල පිල්ලෙයි . . ! නාන් කලියානම් මුඩික්ක ඉරුප්පද අන්ද පිල්ලෙයි . . . . !! "

නඩේසන් කඩේ සේවකයා හට තත්වය පැහැදිළි කර දෙන්නට ඇතැයි විනීතාට සිතුනේ එම සේවකයා ඉතාමත් විනීත ලෙස තමා දෙස බලා සිටිය අයුරිණ්ය.

"ඒ මනුස්සයාවත් මේ යක්කු මරලද දන්නේ නෑ!" විනීතාට සිත්විය. එම කඩය අළුගොඩක් වන්නට ඇති. ඇය තනිවම සිතුවාය. මෙහේ පමණක් නොව උතුරද ගිණිගෙන ඇත. ත්‍රස්තවාදීන් කුඩා කණ්ඩායම් ලෙස රජයේ හමුදාවට හා පොලීසියට පහර දෙන්නට පටන් ගෙන ඇත. නඩේසන්හට දුන් පොරොන්දුවේ බරපතල කම  විනීතාට සිහිවිය.

"මං සිංහල කියලා යාපනේ මිනිස්සු මාව මරලා දායි . . !"

"ඉෂ්ශෙල්ලා මාව මරණ්න වෙයි එයාලට . . ! නේ! නේ!! අපිලගෙ අම්මා ඔයාට ගොඩාක් ආදරේ වෙයි!"

කුමන දෙයක් කීවත් ඇය යාපනයට යන්නට පය ඔසවන්නේ දහසකුත් එකක් දුක් කම්කටොළු  කරපින්නා ගෙනය. තමා මෙතෙක් කල් ලොකු මහත් කල අම්මා තාත්තා සියල්ල යලිත් කිසිදු දිනෙක දකින්නට වත් නොහැකි වනු ඇත.

"සිංහල සින්දු කියන නළලේ තිලක තියන  කිරිල්ලී . . . . . 
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී . . . . . ."

රත්නශ්‍රීගේ කවීත්වය හිස් කරදාසිය පුරා රටා මවමින්ය.

ඇය තල් අරණ වෙත යන ගමන  සීමා මායීම් රාශියක් හරහා යෙදුනු එකක් විය. 
ඇය අළුත ගෙනා මනාළියකි. හුළවාලි චිත්‍ර පටියේ ආරම්භක ගීතය ලෙස බන්ධුල විජේවීරයන් ගයනා සේම; දුම්බර මැණිකක් නොවුනත් කුළගෙදරින් කැන්දාගෙන එන කුළ කතකි.
එහෙත් ඇය ඔසවන පියවරක් පියවරක්  පාසාම ගමට, හැදුනු පරිසරයට, දෙමාපිය සෙනෙහසට තිබුනු ඇල්ම , බැඳීම ටිකින් ටික තුනී වී යනවා වෙනුවට තව තවත් ඝන වීමක් වනු ඇයට දැනුනි.
ගතවන සෑම මොහොතක් මොහොතක් පාසාම ඇයට ඇසුණු කතා බහ ටිකින් ටික නොතේරී යමින් විය.
ඇය නඩේසන් වෙතට තව තවත් තෙරපිනි.
ඒ හිත වෙලා ගනිමින් තිබුනු තනිකම බිය පත් බව අසරණ කම නිසාමය. 
ජීවිතේ කිසියම් දිනෙක සුවඳ මලින් සැදුම් ලත් මල් කළඹක් දෝතින් ගෙන සුදු සේලයකින් සැරසී දෙමාපිය ආශිර්වාදය මැද; අෂ්ඨක, ජයමංගල ගීත ගායනා ගයද්දී පෝරුවක් මත දෑඟිලි පටලා ගැනීමට ඇය සිතා සිටියාය.

දිනක් ඇයට කලකට පෙර නැරඹූ "සරුංගලේ" චිත්‍ර පටය  මතක් විය. 
ඒ සමගම ඇය ඉදිරියේ "ඉසුරු දෙවිඳු - උමයාංගන සේ පෑහෙන්නයි . . "  ගීතයේ රූපරාමු සිහිනයක් සේ පෙනෙන්නට විය. ඇත්තටම අපිටත් ඒවගේ දෙවිදියටම මගුලක් ගන්නට අත්නම් . . !" ඇය සිතීය. 

ඊළඟ දිනයේ පොලීසියේ ආපන ශාලාවේදී නඩේසන් හමුවූ විඅට පලමුව විනීතා පවසුවේ එම අදහසය. නඩේසන් අහිංසක ලෙස සිනහ වුනා පමණි..
ඔහුගේ පවුලෙන් මෙම සම්බන්ධයට තහංචියක් නැතත් තමන්ගේ ගෙදරිණ් කිසිදු ලිහිලක් නැතිබව නඩේසන් දන්නා නිසා එසේ සිනහවකින් පිළිතුරු දුන් බව විනීතාට රහසක් නොවීය.

"කවදා හරි අපිට අපේ අම්මලා ඉඩ දෙයි නඩා . . එතකල් අපි වෙනස් නොවී ඉම්මු . . !"

ටිකින් ටික විනීතා හට තල් ගසින් පිරුණු යාය යන් දර්ශණ පතයට එක්වෙමින් විය. 
ඇය පැතූ සුදෝ සුදු සුවඳවත් මල් කලඹ ඇයගෙන් මිදී විසිරී ගොසිනි. 
ටිකෙන් ටික අවිළෙණ ජාති වාදයේ ගිනි දල් සමග ඇය අත රැඳුනු මල් පොකුර පිළිබඳව රත්නශ්‍රී මෙසේ දකිමින්ය.

"දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
ගිනි මලින් තනුව මල් පොකුරක් අතට ගත්ත මනාලී
මදු සමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී . . . . "

මේ පටන් ගනිමින් වී ඇති ගිණි දැල් සමග ඇයගේ මධු සමය කෙසේ විය හැකිද?
යුධ සෙබළුනට මෙන්ම ගරිල්ලා සටන් කාමීන් හට ප්‍රේමය අකැප මාතෘකාවක්ද? ප්‍රේමය සියල් සතුන් ගේම සිත් සතන් තුල හට ගන්නා සුන්දර හැඟීමකි. 
එල් ටී ටී ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමළිණී ජෙයක්කුමාරන් විසින් ලියැවුනු ස්ව්‍යං චරිතාපදානය - "තියුණු අසිපතක සෙවන යට" පොතේ; යොවුන් ගරිල්ලා සෙබලියන්ගේ පුද්ගල ප්‍රේමය ගැන යාන්තමින් ලියවී ඇත. 

"කාන්තා සාමාජිකාවන්ගේ විවාහයන් සහ විවාහයට පසුව ඔවුන්ගේ අඛණ්ඩ ක්‍රියාකාරකම් පිළිබඳව බොහෝ ප්‍රශ්න අතිවිය. ස්ංවිධානය තුළ සටන්කාමී ස්ත්‍රී පුරුෂ ප්‍රේම සම්බන්ධතා සහ විවාහ සම්බන්ධතා ඇතිවිය." 

" දහ අට වියෙහි දී තම ආයුධ සන්නද්ධ අරගලකාරී ජීවිතය ආරම්භ කල විදූෂා අවසන් යුද්ධයේ ආරම්භක අවස්ථාවේ දී හතළිස් වන වියට ආසන්නව උන්නාය. 'අපිට විතරක් ඇයි බං, මේ වගේ ජීවිතයක්?"

යාපන අර්ධද්වීපයේ දිවියට ඇය ඉක්මනින්ම පුරුදු පුහුණු වෙමින්ය. උතුරට පය තැබූ පළමු මොහොතේ පටන් නඩේසන් තරුණ සටන් කාමීන් හා එක් විය. 
තමා සේම හිරිමල් වයසේ උන් බොහෝ තරුණියන් ගිනි අවි සමග පෙමින් වෙලී සිටියෝය.
කුමනහෝ දෙශපාලනයක් විසින් ඔවුන්ගේ යොවුන් විය සොරා ගනිමින් විය. 
එය කඳුළු කථාවකි.
කඳුළු වලට ජාතියක් නොමැත.
ඒවා ගලන්නේ ඇස් කෙවෙනිවළිණි ඇස් දෙමළ උනත් සිහල උනත්! 
ඒවා ලුණු රසය කුම ජාතියකට අයත් වුවත්.
එහෙත් ඒ කඳුළු කථාව විනීතාට හොඳින් තෙරුම් යන්නට ඇත. 
කාලය විසින් කඳුළු හෙලූවන්ද; එම කඳුළු කථාව අපට තේරුම් කර දෙන්නට සිටි විනීතාද ඇගේ ආදරණීය නඩේසන්ද අපෙන් ඈත් කොට හමාරය.
එහෙත් විනීතාගේත් නඩේසන්ගේත්  සුන්දර මෙන්ම ශෝචණීය වූ කථාව අපට ඉතිරිවී ඇත. ඒ කපුගේගේ දුක්බර හඬිනි.
ඒ හඬ මැවෙන්නේ මා කලින් "ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ . ." ගීත කණ්ඩය ගෙන හැර පෑ ලෙසින්ම රත්නශ්‍රීගේ පද ගෙත්තම මත සිටය.
විනීතාගේත් නඩේසන්ගේත් ප්‍රේමයට කුමණ අර්ථකතන සැපයුනද ප්‍රේමයට සීමා මායිම් නොමැත.

"ප්‍රේමය නම් අසෙණිය කුසුමක්වේ
රිසි වූ කෙනෙකුට පූජා කරන්ට
ලෝබ සිතින් තොර පිදුවමනා වේ
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්" 

යැයි  එදිරිවීර සරච්චන්ද්‍රයන්  පැවසුවේ එනිසා විය හැක!


"සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
ගිනි මලින් තනුව මල් පොකුරක් අතට ගත්ත මනාලී
මදු සමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුනු විහඟ සෙනඟ හඬාවී
ඒ කඳුළු සිංහලට නඟන්න නුඹට හැකිය පියාවී
ආදරේ නුඹට බාරයි රැක ගන්න දේවතාවී "

නඩේසන්

 කපුගේ 












                                                                                                                                                                                                                                                            රත්නශ්‍රී                                                                                                                                                 


                     මෙම සුන්දර ගීතය අකුරුකල රත්නශ්‍රී ගීතය ගැන කියන කතාව

"මට මතක හටියට නවසිය අනූ හතරෙ වගේ කාලේ මට රාත්‍රියේ කපුගේ ගෙන් ඇමතුමක් එනවා.
 ඒ දවස් වල ගුණසිංහ මහත්තයා පලකල සඟරාවක් තිබුනනෙ සිව්දෙස කියලා. මේ සඟරාවේ පලවුනු ආර්ටිකල් එකක් ගැන මේ කියන්නෙ එයා.
මගෙන් අහනවා කියෙව්වද කියලා !
මම කියනවා නැහැ කියලා !
ඒ පාර එයා කියනවා හොයාගෙන කියවන්න.ඒකෙ තියෙනවා අළුත් දෙයක් කියලා.
සඟරාව හොයාගෙන කියවන කොට ඒකෙ තියෙනවා දකුණු පලාතෙ ඉඳලා කාන්තාවක්; පොලිස් නිළධාරිනියක් විදියට කොළඹ යනවා. 
කොළඹ දී එයා වැඩකරනවා කිරුළපනෙයි මිරිහානෙයි. 
කිරුලපනේදී එයාට හම්බෙනවා උතුරෙ ඉඳලා ආව ද්‍රවිඩ ජාතික පොලිස් නිළධාරියෙක්. 
ඒ දෙන්නා අතර දැන හැඳුනුම් කමක් ඇතිවෙලා  ඒක ප්‍රෙමයක් දක්වා වර්ධනය වෙනවා.
හැබැයි මේ ප්‍රේමයට දෙපැත්තෙම නෑයො බර පතල විදියට විරුද්ධ වෙනවා.
විශෙෂයෙන් කාන්තාවගෙ පැත්තෙන් ලොකු විරෝධයක් එනවා. 
ඔවුන් දෙන්නා ඒ විරෝධය නොතකා විවාහ වෙනවා. 
විවාහ වෙලා ඉන්න කොට තමයි 83 ජූලි කලබල පටන් ගන්නේ.
 ඒ කළබලවලදි සිද්ධවෙන දේවල් ගැන කළකිරෙණ මනමාළයා පොලිස් සේවයෙන් ඉවත් වෙනවා. 
ඉවත් වෙලා තමන්ගෙ අළුත් මනමාළිත් එක්ක තමන්ගෙ ගමට යනවා.
ප්‍රේමය කියන එක  ඇත්තටම මම විශ්වාස කරණ විදියට ඇත්තටම ජාති කුළ ගෝත්‍ර ආගම් වර්ණ ආගම් ආදී සියල්ල ඉක්මවා පවතින මානව ධර්මයක්! 
ඒකෙදි එකක් වත් අදාල වෙන්නේ නෑ ප්‍රේමය විතරමයි!
සටන් විරාම කාලයේදි; ලක්බිම පත්තරේ එක මාධ්‍යවේදියෙක් උතුරෙ ගියා.
ගියාම ඉස්සෙල්ලා පොලිස් පති පස්සෙ දෙශපාලන අංශයේ නායක නඩේසන් හමුවෙලා තියෙනවා. 
මට මතක හැටියට රමේෂ් වරල්ලගමද කොහෙද!? 
එයා කියනවා ඔයා දන්නවද ඔයාල ගැන සිංදුවක් තියෙනවා කියලා සිංහලෙන්? 
නඩේසන් අහනවා ඇයි අපිට බැනලද කියලා!?
නෑ! නෑ!! සිංදුව මම එවන්නම් කියලා පොරොන්දුවෙලා එයා එනවා.
සතියකට පස්සෙ එයා අහන කොට පහුවෙනිදාම නඩේසන් සිංදුව කොළඹින් ගෙන්නගෙන අහලා!  දෙන්නගෙ දුවට ඒ සිංදුව ලස්සනට කියන්න පුළුවන්ලු! 
ඇය විනීතා සමරසිංහ ගුණසේකර.ඇත්තටම ඔය විවාහයට අස්සන් කරලා තියෙන්නේ වාසු!
ඔය නඩේසන් නව සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක්! 
කොහොම හරි අවසන් සටනෙදි ඔය දෙන්නාම මැරුනා කියලා තමයි ආරංචිය!
රත්නශ්‍රී ශෝකී හඬින් පැවසීය.

මෙයට පෙරද මෙම ගීතය ගැන ලියැවුනු බ්ලොග් සටහනක් හමුවිය: වැඩි දෙනාගේ පහන් සංවේගය වෙනුවෙන් එහි ලින්කුවද මෙහිම බහා ලමි!


Thursday, April 25, 2019

136. ජාතිය රණ් විමනක් වේ !


සියළුම මිනිසුන් හොමෝ සෙෆියන්ස් සෙෆියන්ස් වූවාට  එක් එක් ප්‍රභේධයන් ගේ  සමේ වර්ණය, භාහිර ස්වරූපය, කථා කරණ භාෂාව වැනි කරුණු මත පිහිටා එක් එක් ජාතීන් බිහිවී ඇත.
මෙයට; පොදු ඉතිහාසයක්, භූමි ප්‍රදේශයක්, සංස්කෘථියක්, සිරිත් විරිත්, ගති පැවතුම් වැනි බොහෝ සමාන ලක්ෂණ එක් විය හැක.

කිසිවෙකු මොන යම් ආකාරයක වෙහෙසක් ගත්තද ජාතීන් අතර එකිනෙකාට ඇති අනන්‍යතාවය නැතිකල නොහැක. එසේම එසේ කිරීමට කිසිවෙකුට හෝ සාධාරණ අයිතියක්ද නැත්තේය.

රට දැය සමය යනු රටත් ජාතියත් ආගමත් යන ත්‍රිවිධ කාරණාය. පසුගිය කාලය පුරාවට සමාජ මාධ්‍ය ඔස්සේ පට්ට ගැසූ මේ ත්‍රිවිධ කාරණා ගැන නව මාණයකින් බැලීමට කරුණු කාරණා අද වන විට යෙදී ඇත.

එක් එක් පුද්ගලයාට අනන්‍යවූ රටක්ද ජාතියක්ද ආගමක්ද ඇති බව එක්සත් ජාතීන්ගේ ප්‍රඥ්ඥප්තියෙන්ම පිළිගත් සාධකයකි. ඒ තුලින්ම ලෝකයේ ඕනෑම පුද්ගලයෙකු හට තමාටම වූ රටක්ද තමා අයත්වූ ජාතියක්ද  තමා අදහනවා හෝ පිළිගන්නවානම් ආගමක්ද ඇත්තේය.

තමාට නිවැරදිව පෙන්වීමට පියෙකු නොමැති වුවද පෙන්වීමට මවක් ඕනෑම අයෙකුට සිටියි. එම මවට ආදරය කිරීමට කිසිවෙකු හට කිසිවෙකු වෙත බල පෑමක් සිදු කර ලීමට සාධාරණ මෙන්ම සදාචාරාත්මක අයිතියක් නැතිවා සේම ඔහු හෝ ඇය තම මවට ආදරය කිරීම හෙලා දැකීමට හෝ එයට අකුල් හෙලීමට කිසිවෙකුට අයිතියක් නැත!

එසේම තමාගේ රටට, ජාතියට, ආගමට කිසිවෙකු ආදරය කරණ්නේ නම් අන් අයෙකු හට එය හෙලා දැකිය නොහැක.

තමා අවජාතක වූ පමණින්; අන් සියල්ලෝම අවජාතක නොවන සේම තමා ; තම රටට, ජාතියට හෝ ආගමට ආදරය නොකල පමණින් එය අන් අයද නොකල යුතුය යන මැයෙන් සිතුවද ප්‍රාකශ නිකුත් කිරීම කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැත!

රටට, ජාතියට හෝ තම ආගමට ආදරය කිරීම ගෝත්‍ර වාදයක් නො එසේ නම් දූපත් මානසික තත්වයක් සේ සමාජ මාධ්‍ය තුල ලියනු අප දැක ඇත.
මෙසේ ලියන බොහෝ දෙනා දැන සිටියද නැතුවද ලෝකයේ රටවල් 50 කටත් අධික සංඛ්‍යාවක් දූපත් වේ. ඒවා අතර එංගලන්තය, ජපානය, නවසීලන්තය, පිලිපීනය, තායිවානය,සිංගප්පූරුව, ෆිජි වැනි රටවල්ද අයත්වේ. ඔවුන් සියල්ලෝම ගෝත්‍ර මානසිකත්වයෙන් යුක්ත වුන්ද?

එක් එක් රටට හා ජාතියට හිමි වූ සංස්කෘථියක් වේ. සමහර රටවලට හිමි සංස්කෘථිය සැකසී ඇත්තේ එරට වෙසෙන ජාතීන් හෝ ආගම් කිහිපයක සම්මිශ්‍රණයක් තුළිණි. එම සම්මිශ්‍රණය සිදුවන්නේ කාලය සමගය. මෙසේ ආගම් කිහිපයක බල පෑම නිසා එක් ජාතියක හෝ ජන කොට්ඨාශයක නො එසේ නම් රටක සංස්කෘථිය සැකසී තිබිය හැක.

වරෙක මර්සිලීන් ජයකොඩි පියතුමා පවසන්නේ ශ්‍රී ලංකාව තුල වෙසෙන කිතුණුවන්ගේ ආගම ක්‍රිස්තියානි වුවද සංස්කෘථිය බෞද්ධ බවය.

බොහෝ වෙනත් රටවල ජාතීන් විසින් අපව අගය කරණ; අපගේ සිනහව, සහකම්පිත භාවය, ආගන්තුක සත්කාරය වැනි වටිනාකම් පරපුරකින් පරපුරකට ගලා යන්නේ එම සංස්කෘථිය තුලින්ය.

මේ කිසිවක් තුල වටිනාකමක් ගැඹුරක් නැතැයි කියා කිසිවෙකුහට තර්කයක් ගොඩ නැංවිය හැකි වුවත් එයින් සමාජ ප්‍රගමනයට වන්නාවූ යහපතක් නොමැත.
ආගමක් අවශ්‍යය නොවේ කියා කිසිවෙකුට තර්ක කල හැක. එහෙත් ආගමක් නැති කලෙක සමාජය වඩා සුන්දර වේය යැයි පෙන්නුම් කල නොහැක.

ආගමක් යනු කටු කම්බි වැටක් ලෙස වරදවා නොගන්න. එසේම සියළුම ආගම් තිබිය යුත්තේ "මනුෂ්‍ය ආගම"තුල බව සෑම ආගමකම සිටින්නවුන් ප්‍රථ්යක්ෂ කර ගතයුතු කරුණකි. මිනිසත් බවට නිගරු කරණ කිසිදු ආගමක්; "ආගමක්" නොවනු ඇත. මිනිසුන් සියල්ල දෙවියන් වහන්සේගේ නිර්මාණ ලෙස ඉගැන්වෙන ආගම් වලින්ද බොහෝ විට කරණුයේ අනෙක් ආගමිකයින් නො එසේනම් ජාතීන් වෙත බල පෑම් ඇති කිරීමයි.
මෙය ජාති වාදය හෙවත් "තම ජාතිය ඉදිරියේ අන් ජාතීන් දෙවෙනි " යන සිතුවිල්ලයි.

තමාගේ ජාතියට ආදරය කල පමණින් කිසිවෙකු ජාතිවාදියකු නොවේ. එසේම ජාතිවාදීන් ඉදිරියේ හෝ වෙනත් ජාතියක් ඉදිරියේ කිසිවෙකු ඊට  දණ නැමිය යුතුද නොවේ.

තම මව හා පියා තමා කෙරෙහි ආදරයකින් කරුණාවකින් මෙත් සිතින් කටයුතු කිරීම, කැපවීම මමත්වය ලෙස අර්ථ දැක්වෙන අවස්ථා දැකිය හැක.
එහෙත් දරුවකු වෙනුවෙන් සැබෑ වූ දාරක ප්‍රේමයකින් යුතුව; ඒ වෙනුවෙන් කැපවුනු දෙමව්පියන් ඇත්තේම නැතිද?

කිසිම රටක කිසිම ජාතියක් හෝ ආගමක් විසින් අන් ජාතියක් පෝෂණය කිරීමට උනන්දු වන්නේ වත්, වෙහෙස වන්නේ වත් නැත.ඔවුන් සෑම සියල්ලෝම වෙහෙසෙන්නේ තම ජාතිය වෙනුවෙන් විනා අන් ජාතීන් ගැන නොවේ.

බොහෝ විට ජාතිකත්වය රඳා පවතින්නේ භාෂාව මතය. නමුත් බොහෝ විට අප ජාතිය යන්න අර්ථ දැක්වීමට රට මූලික කර ගනු ලබයි. අමෙරිකානුවන්, බ්‍රිතාන්‍යයන් යනාධී වශයෙන්.

එවිට සිංහලයින් යනු කවුරුහුද?
 ඔවුන් ශ්‍රී ලාංකිකයින් වූ පමණින් ශ්‍රී ලාංකිකයින් සියල්ලෝම  සිංහලයින් නොවෙති. සමස්ථ කුලකය ශ්‍රී ලාංකිකයින් වූ පමණින් සියල්ලෝ සිංහලයින් නොවෙති.සිංහලයින් යනු සිංහල භාෂාව තම මව් භාෂාව ලෙස උසුරුවන පිරිස ලෙස අර්ථ දැක්විය හැක.

එවිට දෙමළුන් යනු දෙමළ කතා කරණ පිරිසද?

ලාංකික මුස්ලිම්වරු තම මව් භාෂාව ලෙස භාවිතා කරණ්නේ ද්‍රවිඩ භාෂාවය. ඒ නයින් ගත් කල ද්‍රවිඩ භාෂාව කතා කල පමණින් ඔවුන් ගේ ජාතිය දෙමළ වන්නේ නැත.

ඔබ් කිසියම් මුසල්මානුවෙකු වෙතින් "ඔබගේ ජාතිය කුමක්දැයි ?" විමසුවහොත් ඔහු ප්‍රාකාශ කරණ්නේ තමා මුස්ලිම් වන බවය. නමුත් මුස්ලිම් යනු රටක් හෝ භාෂාවක් නොවේ. එය ආගමකි.

බුද්ධාගම ලියැවී ඇති භාෂාව පාලි මෙන් මුස්ලිම් ආගම ලියැවී ඇත්තේ අරාබි භාෂාවෙනි. පාලි භාෂාව මල භාෂාවක් වුවද අරාබි භාෂාව අදද ජීවත්වන භාෂාවකි.

සිංහලයින් හා ද්‍රවිඩයින්  ජාතිය ලෙස භාෂාව සැළකුවද මුසල්මානුවන් ජාතිය ලෙස සලකන්නේ ආගමය. මෙය ලෝකයේ සෑම රටක් තුල ජීවත්වෙන මුස්ලිම්වරුන් තුලින් දැකිය හැක්කක් නොවනු ඇත. එහෙත් අපේ රටේදී එය එලෙසම වේ.

භාෂාවක් ජාතිය ලෙස ගත් පමණින් එය අන් ජාතියක් අතික්ක්‍රමණය කිරීමට නොයන මුත් ආගමක්  ජාතියක් ලෙස ගත් විට එමගින් අන් ජාතියක් අතික්‍රමණය කිරීමට ඇවැසි ඉන්ධන හා පිටුවහල සැපයේ.

යුරෝපියයන් රටවල් නතු කරගැනීමෙන් පසුව උත්සුක වන්නේ ඔවුන්ගේ ආගම ප්‍රචාරයට විනා භාෂාව ව්‍යාප්ත කිරීමට නොවේ. 
යුරෝපීයයො අපරට යටත් කර ගත් පසු මුහුදු බඩ පෙදෙස් වල ජීවත් වූ සාමාන්‍ය ජනතාව වහ වහා තම ආගමට බඳවා ගැනීමට වෙහෙස වූවාට ඉංග්‍රීසි භාෂාව ව්‍යාප්ත කිරීමට එතරම් වෙහෙසක් ගත් බවක් නොපෙනේ.

කතෝලික ආගම වැළඳ ගත්තවුනට තාන්න මාන්න දී ප්‍රථික්ෂේප කල වුන් හට තාඩන පීඩන හිරිහැර කලද;  ඔවුන්ගේ භාෂාව උගෙන නොගත් පමණින් කල බලපෑමක් ගැන අසන්නට ලැබෙන්නේ කළාතුරකිණි!

රටක් හෝ භාෂාවක් තම ජාතිය ලෙස සළකන ජන ප්‍රජාවක් ගත් කල ඔවුන්ගේ සංස්කෘථිය යනු වෙනයම් වූ කාරණයකි.  මන්ද රටක් විසින් හෝ භාෂාවක් විසින් ජන සමූහයා වෙත ඉගැන්වෙන උගන්වන දෙයක් නොමැති බැවින්ය.භාෂාවේ ව්‍යාකරණ රීතීන් විනා!

එහෙත් ආගමක් තම ජාතිය ලෙස පිළිගන්නා ජන ප්‍රජාවක් වෙත එකී ආගම හෝ දර්ශනය විසින් උගන්වන චර්යා රටාවක්, ක්‍රියා පිළිවෙතක්, විශ්වාසයන්,පිළිපැදිය යුතු හා අත්හල යුතු දෑ වැනි අටෝ රාශියක් කරුණු පවතී.
මේ නිසාම එම ජන ප්‍රජාව තමා අයත්වන ප්‍රාධාන කුළකය  වන රට හෝ භාෂාව අභිබවා යන පෞර්ෂයක් ආරෝපණය කර ගනු ලබයි.

මෙය එකම පාසැලකින් ඉගෙන එකම විශ්ව විද්යාලයකින් හදාරණ්නාවූ පාඨමාලා කරණ කොටගෙන තම චර්‍යා රටාව හා විඥ්ඥානයට සුවිශේෂී වූ ආරෝපණයක් ඇතිකර ගන්නා පිරිසක් මෙනි.
මෙනිසාම ඔවුන් සිතන පතන ආකාරයද හැසිරෙන ආකාරයද ගත කරණ ජීවන රටාවද සමස්ථ ධාරාවෙන් වෙනස් වේ.
"ජාතිය යනු ගෝත්‍ර මානසික තත්වයකි!" යන්න; ඔවුනට ඒත්තු ගැන්වීමට වඩා පහසුවෙන් රට හෝ භාෂාව පදනම් කරගෙන ජාතිකත්වයක් සකසා ගත් උන් වෙත පිළිගැන්වීමට හැකියාවක් ඇත.
මන්ද ඔවුන් හට තම ජාතිය යන සංකල්පය මගින් තමන් පිට පැටවුනු දෙයක් නොමැති බැවින්ය.
එනිසාම  "ජාතිකත්වය" යනු කිසිදු හරයක් නැති ගැඹුරක් නැති සංකල්පයක් ලෙස ඔවුනට දැක්විය හැක.
මෙම ප්‍රපංචය තුල දුර්වල වන්නාවූ ජාතිකත්වය යටපත් කරගැනීමට වෙනත් ජාතියකට පහසු වේ.
පෙරකී අන්දමේ ආගම මූලික කරගත් ජාතියක ඇති ආක්‍රමණශීලීත්වයට මෙවන් ජාතියක් පහසුවෙන් ගොදුරුවේ.
මෙතෙක් කලක් හෝ සිංහල ජාතිය හා ද්‍රවිඩ ජාතිය; ජාතීන් ලෙස කිසියම් අනන්‍යතාවයක් ඇතිව සිටින්නේ ඔවුන් බෞද්ධ, ක්‍රිස්තියානි හා හින්දු ආගම් වලින් ලබන පෝෂනයෙන් විය හැක.
ගෝත්‍ර මානසිකත්වයක් යනු එක් ජන ප්‍රජාවක් සතු අනන්‍යතාවය වෙනත් ජනප්‍රජාවක් වෙතින් යටපත් කර ගැනීම ලෙසද සිතිය හැක.
මෙනිසාම අදවන විට ශ්‍රී ලාංකික ජාතිකත්වය පසෙකින් තබා සිංහල හා ද්‍රවිඩ ජාතිකත්වය මුස්ලිම් ජාතිකත්වයෙන් බේරා ගැනීමට කාලය පැමිණ ඇත.
පසුගිය කාලය පුරාවට සිංහලයින්ගේ "ගෝත්‍ර වාදය" ගැන ලියූ දනා මේ වන විට තරමක හෝ ඉන් අපගමනය වී ඇති සේයාවක් පෙනෙයි.
එසේම මහා පොදු සාධකය තුල තම තමන්ගේ ජාතිකත්වය පිළිබඳ ජාතිවාත්සල්‍යයයෙන්යුත් පිරිසක් සිටි පමණින් එම රටට සිදුවන මහා හානියන් නොමැත. මන්ද ජාතිවාත්සල්‍යය යනු ජාතිවාදයට බොහෝ ඉහළින් පිහිටි හැඟීමකි.

අප අපගේ මවට ආදරය කල පමණින් අන් මවකට වෙන අසාධාරණයක් නොමැත;
සාධාරණයක්, අයිතීන් සුරැකීමක්, සහකම්පනයක් විනා!



Tuesday, April 23, 2019

135. මරු (පෙනි පෙනි කියූ) කියුම් . . . . . !








මේ ගැන කතා කිරීම ආච්චිට හාල් ගරනවා වැනි වැඩකි. මන්ද කටේ දත් නැති ආච්චිට හාල් ගරා වැඩක් නැත. එසේම හිතට එන අදහස් ලියා තැබීමට ගන්නා වෙහෙසක් විනා මෙහි කිසියම් හෝ හරයක් නොමැත!

ප්‍රවෘථි හෙවත් නිව්ස් ලියනා ක්‍රම වේධ දෙකක් වේ.
1. ආවෘථ පිරමීඩ න්‍යාය.
2. අනුපිළිවෙල න්‍යාය.

මම මේ ලියන්නේ ඉන් එකකටවත් අදාල නොවන මගේම න්‍යායකින් ය. එනම් "අපිළිවෙල න්‍යායයෙන්" ය! එනිසාම මෙහි එන චරිත මා පෙලගස්වා ඇත්තේද අපිළිවෙලට විනා කිසිදුහෝ ක්‍රමවේධයකට නොවේ.

මේ දිනවල බෝම්බයෙන් මියගිය ප්‍රමාණයටත් වඩා වැඩි සංඛ්‍යාවකින් මීඩියා සැණකෙළි පවත්වමින් ඇත. මේවා තුල කියැවෙන්නේ "මරු" කියුම්ය. "මරු" කියුම් යනු අගනා කියුම්ද, මරුවාගේ කියුම්ද, මරු දුටු විට කියවෙන කියුම්දැයි කියා මහාචාර්ය ජෙ බී දිසානායකගෙන් හෝ ජනප්‍රිය බණ්ඩාරගෙන්  ( මහාචාර්ය සරත් විජේසූරියගේ "මගේ නඩුව ඉවරයි" පොතෙ එන චරිතයක්.) අසා දැන ගත යුතුය.

1. මල ගෙදර ගෘහ මූලික අති උතුම් මැල්කම් රංජිත් පියතුමා: "මේ සිදුවීම කල කිහිපදෙනා පිටුපස සිටින බලවේග සොයාගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුයි. මේ ප්‍රහාරය පිළිබඳව කලින් ආරක්ෂක අංශ දැන සිටියා යැයි දැනගත් විට අපි ඔළුවේ අත් දෙක ගසා ගත්තා".

"ක්‍රිස්තියානු කටයුතු ඇමතිගේ ආරක්ෂක අංශය වත් ඔබ වහ්න්සේව දැනුවත් කලේ නැතිද? අවම වශයෙන් එම ඇමති වත්?"

2.හිටපු ජනධිපති,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ: "සියළුම ප්‍රභූ ආරක්ෂක අංශ මේ ප්‍රහාරය පිළිබඳව දැන සිටියා. කොටින්ම මගේ ආරක්ෂක ප්‍රධානී පවා! ඒත් මීට නිසි පියවරක් ගැනීමට "රජය" අපොහොසත් වුනා."
මාධ්‍ය වේදියෙක්: "ඔබගේ ආරක්ෂක ප්‍රධානි දැන සිටියා නම් ඇයි ඔබ ඊට පියවරක් නොගත්තේ?"
මහින්ද රාජපක්ෂ: "ඒයා මටත් හොරෙන් ඊට පිළියම් යොදලා! මටවත් කිව්වේ නෑ"

"තමාගේ සේවා දායකයාහට, විපක්ෂ නායකතුමාහට, හිටපු ජනාධිපතිට එවන් ප්‍රහාරයක් පිළිබඳව, අමානුෂික අතිශය භයංකර, ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව දැනුවත් නොකර සිටි වරදට ඔබගේ ආරක්ෂක ප්‍රධානිට එරෙහිව ඔබ කිසියම් ක්‍රියා මාර්ගයක් ගන්නේද? එසේ ඔහු එය රහසක්ව තබා ගත්තා යැයි අපට පිළිගන්නට ඔබට කිව හැකිද?"

3. විමල් වීරවංශ: රජය විසින් මෙහි  වගකීම බාර ගත යුතුයි. මෙම ප්‍රහාරයට සම්බන්ධ  ඊබ්‍රාහිම්; පසුගිය මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුනේ ජාතික ලැයිස්තුවට නම් කොට තිබූ අයෙක්.

"මෙම ප්‍රහාරය පිළිබඳව දැන සිටි රජයට මෙන්ම විපක්ෂයට සම්බන්ද අන් දේශපාලකයින් හට මෙහි වග කීමෙන් ඈත්විය හැකිද?"

4. විජිත හේරත්: මෙහිදී පටු දේශපාලන අරමුණු වලින් තොරව කටයුතු කල යුතුයි!

"අන් අය ලද ආරංචිය ඔබ දැන නොසිටියේද? ඊබ්‍රාහිම් පිළිබඳව ඔබ කිසියම් හෝ කරුණක් දන්නේද? ඔහු ඔබගේ පක්ෂයේ ජාතික ලැයිස්තුව තුල කවදාහෝ නම් කෙරී ඇතිද? එය එසේනම් ඒ ගැන කතා කිරීමට ඔබට සදාචාරාත්මක අයිතියක් නොමැතිද?"

5. කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න: "මේ ගැන රජයක් විදියට කණගාටු වන්නෙමු. මේ ගැන දැනුවත්ව සිට ඊට නිසි පරිදි කටයුතු නොකල පොලිස් පති ඉල්ලා අස්විය යුතුය!"

"දන්නා පරිදි ශ්‍රී ලංකා පොලීසිය පාලනය වන්නේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයෙන්වන අතර  එහි ඇමති වන්නේ රංජිත් මද්දුම බණ්ඩාර වේ. ඔහුට මෙය අදාල නොවන්නේද? රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන මින් ගැලවෙන්නේ කෙසේද?" 

6. වාසුදේව නානායක්කාර: "මේ ගැන අගමැති සැකයි. මේ ගැන කලින් දැන සිට ඇයි පියවරක් නොගත්තේ?"

"ඔබ  දැන නොසිටියාද? ප්‍රභූ ආරක්ෂක අංශවලට එවන ලද ලිපිය ඔබගේ ආරක්ෂක ප්‍රධානි හට පත් නොවුනා ද? ඒ ඇයි? ලැබුනා නම් ඔබ දැනුවත්ව සිටියාද නොසිටියාද? නොදැන සිටියානම් ඒ ඇයි? දැන සිටියානම් ඊට ඔබ ගත් පියවර කුමක්ද?"

7. ක්‍රිස්තියානු කටයුතු ඇමති ජෝන් අමරතුංග: "මට කිව්වෙ නෑ! මං දන්නේ නෑ!! මං හිටියේ මඩු පල්ලියේ!

"ඔබ දැන නොසිටියාද? ප්‍රභූ ආරක්ෂක අංශවලට එවන ලද ලිපිය ඔබගේ ආරක්ෂක ප්‍රධානි හට පත් නොවුනා ද? ඒ ඇයි? ලැබුනා නම් ඔබ දැනුවත්ව සිටියාද නොසිටියාද? නොදැන සිටියානම් ඒ ඇයි? දැන සිටියානම් ඊට ඔබ ගත් පියවර කුමක්ද?"

7. හරීන් ප්‍රනාන්දු: "තාත්තා කිව්වා! ඒ හින්දා මම පල්ලි ගියේ නෑ!"

"මෙය වගකීමකින් කල හැකි ප්‍රකාශයක්ද?"

8. කබීර් හශීම්: "වනාතවිල්ලුවෙන් අතඩංගුවට ගත් අය මේ ප්‍රහරය තුලත් එක් අයෙකු හෝ ඇති. ඒ අයව නිදහස් කලේ දේශපාලන හස්තයකින්. ඒ කවුදැයි හොයන්න ඕනෑ!"

"සැකකරුවන් නිදහස් කිරීමෙන් මෙපමන කලක් ඒ පිළිබඳව හෙළිදරව් නොකලේ මන්ද?"

"ප්‍රභූ ආරක්ෂක අංශ දැන සිටි මෙම ප්‍රහාරය පිළිබඳව ජනාධිපති ලෙසට මෛත්‍රීපාල සිරිසේන දැන නොසිටියේද? දැන නොසිටියානම් ඒ ඇයි? ඊට ඔබ ගන්නා පියවර කුමක්ද? දැන සිටියානම් ඒ පිළිබඳව පියවරක් නොගන්නේ ඇයි?"

Saturday, October 27, 2018

117. පුලතිසිපුර ටිකිරි මොළේ !





ඡන්දයෙන් වෙනසක් කල හැකි වේනම් කිසිදා එය ඔවුන් අපට භාවිතා කරන්නට ඉඩ තබන්නේ  නැත!
(ඊයේ මහ රාත්තිරියේ;නිදිමරගාතේ මධුශාන් ව පොළොන්නරු යන්නට 
 අක්කරපත්තුව බසයකට ගොඩකරණ්නට එන අතරදී ඔහු විසින් උපුටා දක්වන ලදී.)

ඊයෙ හවස හරි අපූරු වැඩක් සිදු වූවේය. ඒ මේ රටම දන්නා ඒත් මා එතෙක් නොදන්නා ආරංචියක් කිලෝමීටර 8000 ක් එහා සිටි වසික කථා කොට මගෙන් ඇසීමය.ඔහු ඇසූ වගන්තියේ ප්‍රශ්ණාර්ත ලකුණට ආසන්න වචන තුන වූයේ "එහෙම වෙන්න පුළුවන්ද?" කියාය.
ඇත්තටම "එහෙම වෙන්න පුළුවන්ද?" කියා අප කොරවී සිටියාට ඩී.බී. විජේතුංග ජනාධිපති වූ, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වූ රටක මෙහෙම දෙයක් නොවන්නට කිසිදු සාධාරණ හේතුවක් මානම් දකින්නේ නැත.
"දෙශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරණ් නොමැත!' කීවේ මෙය කියවන ඔබ හෝ මම නොවේ. එය ඩබල් ඩොක්ටර් ඇන්. ඇම්. පෙරේරා ගේ සුප්‍රසිද්ධ ප්‍රකාශයකි.

මෛත්‍රීව ජනාධිපති කරවූ  මැතිවරණයේදී  ඔහුට ලැබුණු යූඇන්පී ඡන්ද ඇරුණුවිට සෙස්ස මේ රටේ කිසියම් සාධාරණත්වයක් යුක්ති සහගත බවක් බලාපොරොත්තුවූ සුළුතරයේ කැමැත්තය. ඔවුන් අතුරිණ් අති මහත් බහුතරය එක් වරක් හෝ දෙවරක් මහින්ද ඉදිරියේ අත එසවූ අය වෙති. එහෙත් මහින්දගේ දෙවන වර පත්වීම සමග ඔහුගෙන් බලාපොරොත්තු වූ විනිවිද භාවය  නොමැතිවූ තැන රනිල්-මෛත්‍රී දෙස හැරුණු අය වූහ.
මෙසේ රනිල්-මෛත්‍රී දෙසට හැරුණු බොහෝ දෙනා අතර සිටි ජාතිකත්වය පිළිබඳව බරපතලව සිතන පිරිස මුල සිටම රනිල් දෙස විචිකිච්ඡාවෙන් බැලූවද "මෛත්‍රී ඉන්නවානේ!' කියා හිත හදාගෙන තම රබර් ඇහැ සඟවා ගත්හ. එය හුදෙක් ආත්ම වංචාවක් බව ඔවුන් දැන දැනම බලා සිටියහ. එහෙත් "වලිගය බල්ලා සොලවන" බව ඉතා ටික කලකින්ම ඡන්දය දුන් අය කෙසේ වෙතත් මෛත්‍රී හටම තේරුම් යන්නට ඇත.
1977 ව්‍යවස්ථාව පිළිබඳව ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා දුටු අනාගතය අපගේ කාලය තුල අප කිහිපවරක් පුනයනරාවර්ථනය වනු දුටුවෙමු. ජනාධිපති හා අගමැති පක්ෂ දෙකකින් පත්වීම ; ඕමි ගැසීමේදී එක අතකට වංස දෙකකින් බූරුවන් ලැබීම වැනිය්! එයින් සිදුවන්නේ බූරුවෝ දෙන්නාම පිටියේදී දෙපාරට බාල්දු වීමය!

මෛත්‍රී ගොවි පුතෙකු වූවද ආරිය සිංහල සූට් එකට යටින් අමුඩය ඇන්දා කියා මා සිතන්නේ නැත. එහෙත් රනිල්, රවී මෙන්ම  බොහෝ දෙනා සිතා සිටියේ එලෙසය. ඩේවිඩ් කරුණාරත්නයන් එදා හෙළදිව නමින් මෙරටට පරිවර්ථනය කල රොබට් නොක්ස්ගේ ලංකා වාර්ථාවේ  "මඩ සෝදාගත්කල සිංහලයා රජකමට වුව සුදුසුය!' කියා අප පට්ට පතුරු ගහන වැකියේ වත් එවිට එතෙක් ඔහු ඇඳි අමුඩයට කලයුතු දෙ ගැන ලියා නොතිබුනි.
බලයට පත්වූ සැනින් මෛත්‍රී හට "රාජපක්ෂ" භීතිකාව නොදැනුනා කියන එක සමාන කල හැක්කේ; තමන්ගේ ගේ ඉස්සරහ පොලිස් ජීප් එකක් නතර කල විට "මටනම් භය හිතුනේ නැහැ , මොකද අපි වැරදි වැඩ කරණ මිනිස්සුයැ?" කියා බොරු පොර ටෝක් දෙන අයගේ සම්මප්‍රලාප වලටමය. රාජපක්ෂලාහට වෙඩි තබන්නට තුවක්කුව හා පතරොම් සියල්ල මේසය මතින් තබා "අපිට මොකද අපි අටසිරි උපාසක - ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට" කියාගෙන  සිල් අරණ් එන හොර උපාසකයෙකු ; ගිනි මැලයක් මත යටිකුරුව තබා පුළුස්සන ඉබ්බෙකු දැක කට තියාගෙන ඉන්නට බැරිව කී අයුරින් මෛත්‍රී සිටියේය.

තවමත් ආසාවට පියෙකු වන්නට නොහැකිවූ රනිල් හට බොඩි ලැංවේජ් පුළුවන් කමක් තිබේයැයි සිතන්නට හේතුවක් නොපෙනේ. තමා වටේ සිටින නාඹර කොල්ලන්ගේ විනා; වයසක මලික් සමරවික්‍රමගේ හැරුනුවිට වයසක තලත්තෑනි මෛත්‍රීගේ බොඩිලැංවේජ් ඔහුට තේරුම් නොගියේය. ඔහු ජනාධිපති මන්දීරයේ ඉස්තෝප්පුවේ කණප්පුව මත තබා තිබුනු පතුරම් පුරවන ලද බෝර දොලහේ රිපීටරය දුටු විට "ආනේ ටුවක්කුවක් නේද?"  කියා එයට ඈතින් ගියා මිසක ඒ දෙස කෙලින් බැලු වගක් වත් නොපෙනුනි.

මහින්ද විසින් කල කී දෑ දෙවෙනි වන්නට වැඩ පෙන්නූ යූ ඇන් පී අයියලාට එසේ  කිරීමට හැකිවූ එකම  සිද්දිය වූයේ මහ බැංකු මංකොල්ලය පමණි. අපරාදෙ කියන්නට නොහැකි වන පරිද්දෙන් A4  කොලයක හරස් අතට නොව දිග් අතටවත් ලියා අවසන් කල නොහැකි බිංදු ගනාවක් සහිත අංකයකින් එය සිදු කොට අවසන් කොට හැඳි ගෑරප්පු දෙපසින් තබා එතෙක් ගෙලෙහි රුවා සිටි ලේන්සුවෙන් කට දෙපැත්තද පිසදාගෙන හමාර වී ඇත. මීට කලකට පෙර මා කියවූ එල්.ටී.ටී ය විසින් අතුරුදහන් කලායැයි සැක කරණ මූ අරුක්ගොඩ සම්පාදිත "මනහර"  සඟරාවක පලවූ එක් ලිපියක දක්වා තිබුනේ ලෝකයේ විශාලතම සංඛ්‍යාව පිළිබඳවය. ලොව විශාලතම සංඛ්‍යාව ලෙස එහි හඳුන්වා දුන්නේ "ගූගෝලය" Google ය. එය සමන්විත වන්නේ 1 ඉලක්කමට පිටුපසින් බින්දු 197 ක් පෙල ගැස්වීමෙනි.(ඒක හරියට 1 ඉලක්කම පිටුපසින් බින්දු තුනක් පෙල ගස්වා එයට "දහස"කියනවා වැනිය!")  එම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබුනේ එම සංඛ්‍යාවත් විශාල මදි බැවින් ගූගෝල් ප්ලෙක්ස් Google Plex නමින් තවත්සංඛ්‍යාවක් හඳුන්වා දී ඇති බවත් එය සකසා ඇත්තේ ; 1 ඉලක්කමට පිටු පසින් බින්දු ගූගූලයක් පෙලට තබා කියාය. මෙවන් සුපිරි ගනයේ විජ්ජා කුමක් සඳහාද?, මේවා හිතෙන්නේ කාහටද?, මේවා කාගේ වැඩදැයි මාහට තිබූ සැක සංකා සියල්ල හිරු දුටු කදෝ පැණියන් සේ දුරු කර ලීමට ඇලෝසියස් තාත්තලා පුතාලා සමත්විය! ලොකු හොරකමක් කල විට තමා අත දැන් කියක් ඇත්දැයි ගනන් කිරීමට අපහසු විට හොරුන් කරන්නේ පසුදා උදෑසන දවසේ පත්තරය එලිදකිණ තුරු කල් මැරීමය!  ඇලෝසියස්ලාද තමන් කල කී දෑ පිළිබඳව නියමිත දිග පලල ; වපසරිය දකින්නට ඇත්තේද පත්තරෙණ් වීමට බොහෝ ඉඩ කඩක් ඇත!
මේ සියල්ල අතර පොඩි කාලෙ පොළොන්නරුවේ අල්ලපු ගෙදර යාලු මිත්තරයන් එක්ක "එළුවං කෑම" කල හැටි  මෛත්‍රීට සිහිවන්නට ඇත. එදා කොටියා විලස "එළුවන් කන්නයි මං ආවේ . . .//" යැයි තාලයට ගැයූ මෛත්‍රී හට ලැබුණු "එළුබෙටි කාපන් ගොන්දීරේ . . . .//" පිළිතුර රනිල්ගේ පිරිසෙන් ලැබුණු අයුරු මෛත්‍රී පමනක් නොව මහින්දද නුදුටුවා යැයි කාහට නම් කිව හැකිද?

අපගෙ උප්පැන්න සහතික වල අපගේ පියාගේ රැකියා ස්වභාවය ලියන්නට ඉඩක් වෙන්කොට ඇත. එසේම ජාතික හැඳුනුම් පතේද පාස්පෝට් එකේද ඉඩ කඩක් වෙන් කොට ඇත.  පාරේ එහා මෙහා අවිනීතව දුවන ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවර් කෙනෙකුගේ මේ ලියවිල්ලක් ගතහොත් එහි කොටුව පුරා "රියැදුරු" කියා ලියා තිබෙනු දක්නට ලැබෙනු ඇත. මෛත්‍රීගේ, මහින්දගේ, රනිල්ගේ මෙහි කුමක් ලියා තබා ඇතිද? බොහෝ අයගේ මෙම කොටුව තුල ලියා ඇත්තේ "දෙශපාලක" කියාද? නෝසේනම් එය හුදෙක් එය හිස් කොටුවක්මද? හිතන්න විමල් වීරවංස ගේ කුමක් ලියා ඇත්ද?

අප තෙරුම් ගතයුතු යථාර්තය වන්නේ එයයි.මා නොබෝදා වසර 11 සේවය කල ආයතනයෙන් ඉල්ලා අස්වීමි. දෑනට මා පෙරට වඩා වැඩි වැටුපකට සේවය කරමි. එසේ කිරීමේ සාධාරණ අයිතියක් මාහට ඇතැයි මා විශ්වාස කරමි. කිසිවෙකු ඊට අභියෝග කරණ්නේද නැත!අප අපගේ රැකියාව බේරා ගැනීමට කුමක්ද නොකරණ්නේ? උන්ද එසේමම ය! එයට සහතික ඕනෑ තරම්ය! රැකියාව ලෙස දේශපාලනය කරන තවත් පෘථග්ජනයෙකුගෙන් සාධාරණ, යුක්ති යුක්ත, අවංක, ප්‍රථිපත්තිගරුක වැඩ කිඩ බලාපොරොත්තුවීම තරම්  අමන කමක් තවත් වෙත්නම් ඒ පොලිමේ ගොස් ඡන්දය පාවිච්චි කිරීම පමනක්ම විය යුතුය!

තුවක්කුව තිබුනද එයින් වැඩක් නොගන්නා රනිල් බබෙක්ම නොවේ.  මහින්දට වෙඩි තබනවාට වඩා; සතුරා කොටස කර විනාශ කිරීම ඔහුගේ අභිලාශය වුනි යැයි මා විශ්වාස කරමි. තනි හමුදාවකට මුහුන දෙනවාට වඩා කුඩා කොටස් දමනය කරමින්, විනාශ කරමින්, සංග්‍රාම භූමිය ජය තහවුරු කර ගැනීම වඩා පහසු බව දන්නේ සරත් ෆොන්සේකා පමනක් නොවේ. රනිල්; මහින්ද මගින් මෛත්‍රීද, මෛත්‍රී මගින් මහින්දවද අවසානයේ මුලු මහත් ශ්‍රිලනිපයම හැඳිගාවා ගන්නට සිතා සිටියත්  පසුගිය පලාත් මැතිවරණයෙන් වූයේ අනෙකකි.එයින් වත් පාඩමක් උගෙන් නොගත් රනිල් කලේ තම න්‍යාය පත්‍රය තුලම පිටිය සකස් කිරීම ම පමනකි.

මෛත්‍රී මෙන් ආසාවට වත් මලගෙදරක ඕමි ගසා නොතිබුනු, හංදියේ කඩේ දාම් ඇද නොතිබුනු රනිල් විශ්වාසකලේ මෛත්‍රීගේ ආරිය සිංහල සූට් එක කිසියම් මොහොතක බිමට කඩා වැටී  යටින් තිබුනු අමුඩය දිස්වේ යැයි කියාය. මෛත්‍රී පසු ගිය කාලය පුරාවටම කලේ අමුඩය අමතක වූවත් සරමේ ගැටය හොඳින් තදකොට තබා ගැනීමටය. දිනෙන් දින තමාගේ ජනාධිපති සිහිනය වෙත ලංවෙනවා යැයි කටයුතු කල රනිල් වෙතින් රාජපක්ෂ දමනය සිදු නොවන බව දකින මෛත්‍රීගේ ටිකිරි මොළේට ; තව කෙටි කලකින් රාජපක්ෂවරයෙකු හෝ ඔවුන්ගේ අනුගාමිකයෙකු යටතේ බෝඩිං බත් නොකා සිටින්නට නම් කල හැකි හොඳම හා පහසුම කට යුත්ත ඊයේ රත්‍රියේ එළිදැක්වීය!

පැරණි එක් කතාවක් වේ. කතාවේ නිවැරදි අක් මුල් දැක්වීමට  කාලය මදිය. කතාව මෙසේය. රාජ කුමාරවරු දෙදෙනෙක් සමග පුරෝහිතයෙකු වනගත වූයේ සතුරන් ගෙන් බේරීමටය. ඔටුන්න හිමි කුමරා වැඩි මහල්ලාවූ අතර ඔහු රාජ්ය පාලනයේ දක්ෂයෙකු බව  පුරෝහිත නොදුටුවේය.  වඩාත් සුදුස්සා වූයේ බාල කුමාරයාය. වැඩි මහළු කුමරාගේ ගෙලේ තැල්ලක් විය. දිනක් පුරෝහිත බාල කුමරු කැඳවා නිදා හුන් වැඩිමහළු කුමරු පෙන්වා පවසූවේ "අයියාට නොඇහැරෙණ්න තැල්ල ගලවාගෙන ආවොත් මා ඔබට රජකම ලබා දෙන්නෙමි!" කියාය. බාල කුමරා වඩාත් ස්මාට් පොරක් වූවේය. ඔහු "සිම්පල්!" කියා එතැනින් නික්මී ගොස් එක් කඩු පහරිණ් තම අයියාගෙ ගෙල සිඳ තැල්ල ගලවාගෙන පැමිණ පුරෝහිතට පෑවේය.අපරාදේ කියන්න බැරිය. අයියා අහැරුණේම නැත. මල්ලී හට රජකම ලැබුනි. 

මේවා තිබුනේ "රඹෑවේ මුදළිහාමි මීටර සියය" දිව්ව හැටි තිබූ පෙළ පොත් කියැවූ අපේ කාලයේ පොත්වල මිසක ඔක්ස්ෆර්ඩ්, කෙම්බ්‍රිජ්, ටෙක්ස්ට් බුක්ස් වල නොවේ.පොළොන්නරුවේ සිරිසේන ජනාධිපතිතුමාද මෙය අනිවාර්යයෙන්ම කියවා තිබිය යුතුය!

අවසාන වශයෙන් රනිල්ට කියන්නට ඇත්තේ අවසාන වශයෙන් ගුත්තිලය සොයාබලා මේ කවිය කටපාඩම් කරගන්නා ලෙසයි.

                                           ඉඳ ඉඳ එක වෙහෙර
                                           විඳ විඳ දහම් මනහර
                                           සිඳ බිඳ දුක් සසර
                                           අහෝ දෙව්දත් නොදුටි මොක්පුර !

මා හේලිගේ වලගාතරුව පායන කාලයේ ජීවත් වූවෙක්මි. නැවත එය දකින්නට මා ජීවත්ව නොසිටින බව හේලිටත් වඩා මට විශ්වාසය.

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...