Showing posts with label මතක. Show all posts
Showing posts with label මතක. Show all posts

Monday, May 16, 2022

233. මගේ මතක පොත!

මොනවා උනත් මම සෑහෙන්න වාසනාවන්ත (අවාසනාවන්ත) පොරක්ය!~

1970 සමගි පෙරමුණු ආණ්ඩුව දිනා ලොරිවල පිටුපස නැග පෙළපාලි යන පිරිස් පිළිබඳ මාගේ යන්තම් මතකයක් ඇත! එවකට අපගේ පියාගේ රැකියාව කරණ කොටගෙන  අප ජීවත් වූයේ දැරණියගලටත් එහා පොල්ගස්වත්ත  නමැති අති දුෂ්කර පලාතකය. එවකට අවිස්සාවෙල්ලේ සිට බස් ධාවනය වූයේ නූරිය තෙක් පමණි.

එතැන් සිට පොල්ගස්වත්තට බොහෝදුරක් පයිංම ගමනක් විය. එම මාර්ගය දිවුනේ ගෝවල නමැති ගමකටය. එතැනින් ලක්ෂපානට ඉතා කිට්ටු පාරක් ඇත. මා මුලදී සඳහන් කල 1970 සමගි පෙරමුණු රජයේ පෙලපාලි ගිය ලොරියට ගොඩ වීමට සිදුවූයේ මෙම පා ගමන කෙටි කරගනු වස්ය.

1971 අප සිටියේ යටියන්තොට හක්බෙල්ලාවකය. කොළඹ හැටන් මාර්ගයෙන් දකුණු පස එනම් පාරෙන් පහළ අපගේ ආච්චි හා සීයාගේ පාරම්පරික නිවස පිහිටා තිබුණු අතර අපගේ නිවස මාර්ගයෙන් වම්පස එනම් ඉහලින් පිහිටා තිබුනි. 1971 අප්‍රේල් කැරැල්ල පටන් ගත්තු දිනය පිළිබඳව මතකයක් හරියට නැතත් ඒ වසරේ සිංහල හිංදු අලුත් අවුරුද්ද තියෙන දවස් වන විට වැඩේ පීක් එකේ තිබුනා කියලයි මට මතක. අලුත් අවුරුද්දට අපේ ආච්චිලාගේ ගෙදරට සියල්ල ඒක රාශි වී සිටිට දහවලක සිදුවූ සිදුවීමක් මට අද වාගේ මතකය. අපගේ තාත්තාගේ පවුලේ නව දෙනෙක් වූ බව මා වෙති අපගේ තාත්තා පිළිබඳ ලියැවුනු  "තාත්තා නොම්මර 1" ලිපි මාලාවේ ලියැවී ඇත.  එසේම එහිම අපගේ සීයා පිළිබඳවද ලියා තබා ඇත. ඔහු නොම්මර එකටම ඉංග්‍රීසි කථාකල නීතියට වැඩකල අයෙකි.  මම මේ ලියන සිද්ධිය සිදුවූ දිනයේ අප සැවොම දිවා ආහාරය ගෙන අවසන් වූවා පමණි. සෑම අලුත් අවුරුද්දකදී මෙන්ම එදිනද අප වෙනුවෙන් ගං කුකුලෙකු ජීවිතය පූජා කොට තිබූ අතර තාත්තා ඇතුලු බාප්පලා සහ සීයාද මධුවිත යම් පමණකට සප්පායම් වෙලා සිටින්නට ඇතැයි සිතමි. වෙලාව හවස 3.00 ට පමණ ඇති. එක වරම අප සියල්ලෝම සිටියේ ආච්චිලාගේ ගෙදරය. එකවරම කුමක් හෝ රථයක් වේගයෙන් පැමිණ මහපාරේ නැවැත්විය. එය ලෑන්ඩ් රෝවර් සීරිස් 1 රථයක් බව අද එම සිද්ධිය මෙනෙහි කිරීමේදී සිතේ. රිය අළු පැහැයට හුරු කොල පැහැයකි. එහි වහලක් පිහිටා නොතිබුනු අතර ඉදිරිපස වීදුරුවද පහත හෙලා තිබුනේය. එහි ඉදිරිපස ආසන දෙකේ දෙදෙනෙක්ද පසුපස හතර දෙනෙක්ද හමුදා සෙබලුන් අසුන් ගෙන සිටියෝය. ඔවුන් සියල්ල ගල් තොප්පි පැලැඳ සිටියෝය. ඒවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගල් තොප්පි විය. හරියටම අප ගොනුවී සිටි නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරියේ නවතා ලූ රථයේ සිටි සෙබලුන් වෙතින් කිහිප දෙනෙකු "දොරවල් වහපල්ලා! ඇතුලට පලයල්ලා!!" යැයි කෑගැසුවෝය. පොතේ පතේ දැනීමක් ඇති අපගේ සීයාට එය ඇල්ලුවේ නැත. කොළඹට ජපනා බෝම්බදාද්දී මාෂල් ලෝ කියවා විඳ තිබුනු සීයා එක වරම මිදුලට බැස වාහනය දෙසට ඉක්මන් ගමණින ගමන් කලේය. ඒ ගියේද නිකංම නොවේ! මාෂල් ලෝ හෙවත් යුධ නීතිය පිළිබඳ පාඩමක් කියා දෙමින්ය. එකවරම රථයේ සිටි සෙබලෙක් තමා අත තිබූ රයිෆලය සීයා දෙසට මානා එය වෙඩි තැබීමට සූදානම් කලේය. එකවරම මිදුලට පැනගත් අපේ අම්මාත් නැන්දාත් තව කවුරුන් කවුරුන් හෝ; සීයාව ගේ ඇතුලට ඇදගත්තෝය. "ඇඳිරි නීතිය" දාලාලු! කවුදෝ කියනු ඇසිනි. එය මාගේ කනේ වැකුනේ "අඳුනන නීතිය" ලෙසින්ය. එවකට කුඩා අවධියක සිටි මාහට එය ඒත්තු ගියේ අඳුනන්නේ නැති අයව අල්ලාගෙන යන නීතියක් ලෙසින්ය. තවත් මොහොතකින් කුහුඹුවන් මෙන් සියල්ලෝම කෑමට යම් යම් දේ එකතු කරණු මාහට මතකය. දැන් වාගේ ජල සැපයීම් යෝජනා ක්‍රම නොතිබූ ඒ අවධියේ ලොකු බාල්දි කිහිපයකට වතුර එකතු කරණු හා ළඟම වූ කඩයෙන් හෝ සමූපාකාරයෙන් සහල් විශාල ප්‍රමානයක් ගෙනැවිත් ගබඩා කරණු මතකය. ඊට යාබද දින ගෙවී ගියේ දොරගුළු වසා ගෙනමය. තාත්තා ගෙදර තිබුණු ඩ්‍රයි බැටරි ෆිලිප්ස් රේඩියෝව ක්‍රියාත්මක කලේ උදේ දවල් හවස යන තුන් වරු වලට පමණය! ඒ ප්‍රවෘථි වලට සවන් දීමටය. සිරිල් රාජපක්ෂ වැන්නවුන් ගැඹුරු හඬින් රටේ තත්වය යාවත්කාළීන කලෝය. ඒ සියල්ල අභිබවා කටකථාද පැතිර ගියේය. "කරවනැල්ල පාලම යටින් මිනී පාවෙනවා", "පාලම උඩට ගෙනල්ලලු වෙඩි තියන්නේ!" ලංකාවේ හමුදා හා පොලීසියට ස්ටර්ලිං සබ් මැෂින් තුවක්කු භාවිතයද ආවේ ඉන් පසුව බව මගේ වැටහීමය. එසේම ඉන්ටර්නැෂනල් හාවෙස්ටර් සයිඩ් ස්ටෙප් කැබ් රථද පැමිණියේ ඉන් අනතුරුවය!

1975 - 76 වසර වන විට සමගි පෙරමුණු ආණ්ඩුව ඉහළ ජනප්‍රියතාවයකින් තිබුනා යැයි මට සිතේ! (ඒ පිළිබඳව මාහට මතකයක් නොමැත!) එයට ප්‍රධාන හේතුව වූයේ වගා සංග්‍රාමය සහ වෙනත් වැනි සංවර්ධන යෝජනා ඇරඹීම හෝ ඒවා ක්‍රියාවට නැගීම විය යුතුය.  ගුවන් විදුලියෙන්ද ප්‍රචාරය වූයේ දේශාභිමාණී ගීය.  "සොඳුර මට සමුදෙන්න . . . . සමුදෙන්න . . .!", "සඳමඬලේ සිට තරු මඬලේ සිට දෙනෙත් හෙලන පුතුනේ . . . . .!" වැනි ගීත ප්‍රචාරය වූයේ ඊට සමගාමීවය.  එවකට අප සිටියේ; අවිස්සාවේල්ල, කුඩගම පාර, 874C යන ලිපිනයෙහිය. එවකට පාන් ලබා ගැනීමට නිල් - අළු පැහැති අඳුරු වර්ණයෙන් යුතු කාඩ් පතක් ලබා දී තිබුනි. එහි පහත වූ අඟල් දෙකක් පමණ උස අඟලක් පමණ පලල කොටුවක ලොකු අකුරින්  2 කේ ඉලක්කම ලියා තිබුනි. ඒ  අපගේ පවුලට හිමි පාන් කෝටාවය. සමූපාකාර අවන්හල් බිහිවිය. මිරිස් පොලු, හාල් පොලු පැමිණියේද මේ වකවානුවේය!   එකල මහත් අභිරුචියෙන් නැරඹූ  සංගීත සංදර්ශණ හැරුණු විට තවත් ඉසව් දෙකක් විය. ඒ වසරකට කිහිප වරක් පැවැත්වෙන බයිසිකල් රේස් හා මැයි දින පෙළපාලි ය!

එකල මා පාසැලට ගියේ අවිස්සාවේල්ල ශාන්ත මරියා විදුහලටය. එය පාලනය වූයේ රජයෙන් වුවද පල්ලියේ හුස්ම එයට නිබඳවම වැටුනි.  එම පාසලේ මා සිටියේ එක වසරක් හෝ දෙකක් පමණි. ශාන්තමරියා විදුහල පිහිටා තිබෙන්නේ අවිස්සාවේල්ල නගරය පසුකොට හැටන් පාරේ මද දුරක් ගිය විටය. පාසැල නිමවී අප මහ පාරේ කාලය රැගෙන ගෙදර පැමිණියේ දෙමව්පියන් හෝ වැඩිහිටියන් නොමැතිවමය! පාසලේ සිට නිවෙස වෙතට කිලෝ මීටර 3 කට ආසන්න දුරක් විය. එකල දුර මැන්නේ හැතැප්ම වලිනි. හැතැප්ම කිලෝමීටර වලට හැරුනේද මීට ආසන්න කාලයකය. එකල ලංගම බස් රථවල ඇතුලත අලවා තිබුනු; අඩි දෙකක් පමණ දිගැති පෝස්ටරයක් විය. එහි පලළ අඟල් 9ක් පමණ වන්නට ඇත. එහි  "ශ්‍රී ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි . . . !" කියා ලියා තිබුනි. ඊට යටින් කුඩා රවුම් තුනක් ඇතුලත රාත්තල - ග්‍රෑම් 500, හැතැප්ම - කිලෝ මීටරය, බෝතලය (හෝ ගැලුම) - ලීටර යන පරිවර්ථන පිළිබඳව කෙටි හැඳින්වීම් රූප සටහන් සමග එහි විය! එකලද සිටි නොසන්ඩාල එවුන් "ශ්‍රී ලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරෙයි . . . !" යන්නෙහි "හැ"  යන්න ඉරාදමා අලුත අදහසක් එක් කොට තිබුනි. බස් රථ තුල දුම්බීම එකල සුලභ දසුනක් විය!  "දුම්බීම තහනම්" යනුවෙන් සිංහලෙන් දෙමලෙන් හා ඉංග්‍රීසියෙන් ලියැවුනු පෝස්ටරයක්ද බස් වල සවිකොට තිබුනි. පෝස්ටරයක් කීවාට එය ඇලුමීනියම් තහඩුවක  කළු හා රතු පැහැයෙන් ස්ටෙන්සිල් එකක් භාවිතාකොට තීන්ත ස්ප්‍රේ කොට සකසා තිබුනි. එහි කළුපැහැයෙන් කුමක් හෝ රූපයක් ඇඳ තිබුනද කිසිදා එය කුමක්දැයි තෝරා බේරා ගැනීමට මාහට නොහැකි විය!

සංගීත සංදර්ශන පැවතියේ අවිස්සාවේල්ලේ UC පිට්ටනියේය. UC පිට්ටනිය යනු නගර සභා පිට්ටටියය. මේවන විට පෞද්ගලික බස් නැවතුම් පොල හා ඒ ආශ්‍රිත කඩ කාමර සාදා ඇත්තේ ඒ සුන්දර ක්‍රීඩාංගනය හාරාය!  ඒවාගේම විනාශ කල තවත් ක්‍රීඩාංගනයක් අවිස්සාවේල්ල කිට්ටුව පාත තල්දූව පිහිටියේය. ඒ  KV ග්‍රවුන්ඩ් ලෙස පරසිදු කැළණි වැලි ක්‍රීඩා පඉටියයි. ඊට දශක ගනනාවකට පෙර තුරඟ තරග පවා පැවැතුනා යැයි පැවසෙන එම ක්‍රීඩා භූමිය වැළඳුවේ ඒ මැදින් පොල්ලෙන් ගැසුවාක් මෙන් පාරක් දැමීමෙන්ය. KV පිට්ටනියේ මා දුටු අවසාන සැණකෙළිය වූයේ අලි රේස්, තිරික්කල රේස් ආදිය පැවැත්වුනු අවුරුදු සැණකෙළියක්ය. එම පිට්ටනියේ එක් පසක දෙමහල් පැවිලියනයක් හෙවත් ක්‍රීඩා ගාරයක් විය. යුරෝපීයයන් ක්‍රිකට්, රගර් ආදී ක්‍රීඩා තරග එහි පවත්වී යැයි පවසති. එකල සංගීත සංදර්ශන සඳහා ජෝතිපාල, ඇම් ඇස්, මිල්ටන්, බෙග් ආදී ගායක ගායිකාවන් අනිවාර්‍යය වූහ. මා පලමුවෙන්ම ජෑස් ඩ්‍රම් කට්ටලයක් දුටුවේ එවන් වේදිකාවකදීය. එකල ගෝල්ඩන් චයිම්ස්, සියැක් වැනි සංගීත කණ්ඩාම් සංගීතය සැපයුවේය.  

සයිකල් රේස් අවිස්සාවේල්ල, රත්නපුර පලාතට ඉතා කිට්ටු ක්‍රීඩා ඉසව්වක් විය. එකල අවිස්සාවේල්ලේ නගරයේ සැරි සැරූ කොණ්ඩය හා රැවුල වවාගත්; මහාචාර්‍ය සරත් කොටගම වැනි ඩෑල් එකක් සිටියේය. ඔහුගේ නම ආරීය!  ඔහුට රැවුල් ආරි කියාද කී අතර එකල මෙරට සිටි නොම්මර එකේ රනිං කමෙන්ටේටර් හෙවත් සයිකල් ධාවන තරග සමග ගමන් ගනිමින් විස්තර විචාරයේ යෙදුනු  අයෙක් විය. එකල අව්ස්සාවේල්ලටම සුවිශේෂවූ සයිකල් රැළියක් විය. එය නමින් "වටහත" ය. අවිස්සාවේල්ලේ සිට ඇහැලියගොඩට ගොස් එතැනින් පනාවල පාර හරහා දෙහිඕවිටට පැමිණ අවිස්සාවේල්ලෙන් අවසන් වන්නේ එක් වටයකි.  සුමනෙලා, සුගතෙලා, බොනිෆස්ලා හෙන්ඩර්සන්ලා සමග කරට කර පැද්ද සොහොයුරන් දෙදෙනෙකු එකල අවිස්සාවේල්ලේ කුඩගම පාරේ විසූහ! ඔවුන් නිවුන් සොහොයුරන් වූ අතර ඔවුන් දෙදෙනා වෙන් කොට හඳුනා ගැනීමට ඔවුන් දෙදෙනාට වත් නොහැකි යැයි කට කථාවක් එකල තිබුණි! ඔවුන් දෙදෙනාම සයිකල් රේස් පැද්ද අතර ඔවුන් දෙදෙන එකවර එකට තරග නොකලහ. එසේම එක් අයෙකු තරගය අරඹා තරගයේ ගමන් කොට පැයකට පසු අනෙකා ආපසු පැමිණීමද විශේෂයක් විය! ඔහුගෙන් ඒ පිළිබඳව විමසූ විට "මම් පැද්දේ නෑ! ඒ මල්ලී!!!" යනුවෙන් පවසනු මාහට මතකය! ඔවුන් දෙදෙනා තරගය කොටස් දෙකකට පැද්දාදැයි සැකයක් අදවන විට මාහට සිතේ! ඔවුන් නමින් ජයසේන යැයි යාන්තමින් මාහට මතකය!

ඒ කාලයේ මතක අතර තවම සිතෙහි තිබෙන ඊළඟ කාරණාව වන්නේ මැයි පෙළපාලි ය! "මැයි පෙළපාලි" කීවාට මා එකල දුටු පෙළපාලියක් නොවීය. දුටුවේ මැයි පෙළපාලි සඳහා කොළඹ බලා යන බස් පෙළපාලිය. මාගේ මතකය නිවැරදිනම්; එකල මැයි පෙළපාලි සඳහා ලංගම බස් රථ නොමිලේ හෝ අඩු මුදලකට ලැබුනි. ඒ නිසාම අවිස්සාවේල්ලට හැටන් නාවල පිටිය ගම්පොල පැත්තෙන්ද කෑගල්ල බුලත්කොහුපිටියාඟුරුවැල්ල රුවන් වැල්ල යටියන්තොට පැතිවලින්ද රත්නපුර ඇහැලියගොඩ බදුල්ල බණ්ඩාරවෙල  පැතිවලින්ද එන බස් එකතු විය. "අපි යන්නේ කොයි පාරේ - අග මැතිනිය ගිය පාරේ", "මැතිණි අපිට කියනවනම් - පිදුරු උනත් අපි කන්නම්", " මැතිනිගෙ මැද මාවතේ - දාසගෙ කිරි බෝතලේ", "ගන්නනම් ජය ගන්නනම් - පිදුරු ඕනෑ ටොන් ගනන්" ආදී එකී නොකී මෙකී සටන් පාඨ කියමින් බස් උදේ සිට කොළඹ දෙසට ඇදී යාම  මැයි දිනයේ සුලභ දර්ශණයක් විය. බොහෝ බස් වල පිටිපස හදිසි දොරටුව විවෘථ කොට ඒ මත දෙතුන් දෙනෙකු ඉඳගෙන ගියහ. හුඩ් රැක් සවි කොට තිබුනු බස්  රථවල එහිද කිහිප දෙනා කොඩි වනමින් යනු මා දැක ඇත! මේ සියල්ල දකින්නට එකල තාත්තා මාවත් අයියාවත් කැටුව කුඩගම හංදියට එන්නේය. කුඩගම හංදිය යනු කොළඹ මල් ශාලාව හා අවිස්සාවේල්ල බස් ඩිපෝව අසල පිහිටි තුංමං හංදියයි. එකල ඒ ආසන්නයේ සේන ලියනමහත්තයාගේ තේ කඩය විය. එහි පැවතියේ වඩේ හා ප්ලේන්ටී පමණි. කලකට පෙර මා නවයුගය පත්තරේ නව මගක් ගත් කතාවක් යටතේ කියැවූ "නිමාලිට ඉඟුරු තේ" නමැති කෙටිකතාව කියවද්දී මාගේ හිතේ මැවුනේ මෙම සේන ලියනමහත්තයාගේ "සේන ටී රූම්" තේ කඩයයි. කන්නට බොන්නට එහෙමට දෙයක් නැතත් සේන ලියනමහත්තයාගේ රස බර කථා අසන්නට එතැන බොහෝ දෙනා එක් රොක් විය.

1972 ජනරජ ව්‍යවස්ථාව සමග ශ්‍රී ලංකාව ජනරජයක් වීමද යාන්තමින් මතකයේ ඇත. එය වඩාත් මතකයේ රැඳුනේ; අපගේ නිවසට යාබද ඉඩම මිලට ගෙන තිබූ ලංගම බස් රියැදුරු මහතෙක් එම දිනයේ සුභ මොහොතින් ගෙපලක් කැපීම ඇරඹීමයි. වසර ගනනාවක් ගියද එම ඉඩමේ ගෙයක් තබා අත්තිවාරමක් වත් දමා ගැනීමට ඔහුට නොහැකිවිය. ජනරජ නැකතේ තරම! ජනරජයදා නිකුත්කල "ජනරජ මුද්දරය" සහිත ලියුම්; පසුකලෙක තාත්තාගේ නමට නිවසට ලැබෙනු මතකය.

1973 වසරේදී ඩඩ්ලි සේනානායක මහතා අභවප්‍රාප්තවිය. ඔහුගේ මල ගෙදරට අපගේ පවුලේ අය සහ තව නෑදෑ හිත මිතුරන් කිහිප දෙනෙකු කොළඹ පැමුණුනා මතකය! පැමිනුනෙමු. මලගෙදරට ප්‍රවිශ්ඨ වීමට දිගු පෝලිං විය. ඒවායේ බොහෝ වේලා රැඳී සිටි ජනයාහට තැන තැන තිබුණු කුඩා දන්සැල් වලින් ආහාරපාන සැපයුවේය. එලිෆන්ට් හවුස් ආයතනයෙන්ද එවන් දන්සැලක් පවත්වා ජනයා හට පහසුකම් සැලසුවේය. එම ගමනේදීම කොළඹ වරාය නැරඹීමටත් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව ඉඳිකිරීමේ වැඩ බිම  බැලීමටත් ගියෙමු. 

1976 වසරේ දැඩි ලෙස මතකයේ රැඳුනු සිද්ධීන් දෙකකි. ඉන් පලමු වැන්න මහවැලි ව්‍යාපාරයට අයත් පොල්ගොල්ල වේල්ල විවෘථ කිරීමය. මාගේ මතකය නිවැරදිනම් ඒ සමග උකුවෙල ජල විදුලි බලාගාරයද ජනතා අයිතියට පැවරූ ලෙසය. එම ජලය බෝවතැන්න දක්වා ගමන් කල බවද මතකයක් ඇත. අද මෙන් රූපවාහිණී නාලිකා නොතිබුනු ඒම යුගයේ මෙම අවස්ථාව රට පුරා සිටින ජනතාව අතරට ගෙන ගියේ ගුවන් විදුලියයි. එදින නමෝවිත්තියෙන්; අමරදේවයන් වෙතින් ගැයුණු "මහවැළි" ගීතයට මා අදත් මහත්සේ රුචි වෙමි. අදද එම ගීතය අසද්දී දැනෙන්නේ ඉතා ආදරණීය සිතුවිල්ලකි. "මහ වැව් බැඳි හෙළ රජ දරුවෝ - ඔබ ගෙන් යලි නව පන ලැබුවෝ . . " යන්න අදටත් කෙතරම් මිහිරි සිතුවිල්ලක්ද?

දෙවැන්න සිද්ධියක් නොව සිද්ධි දාමයකි. ඒ 1976 අගෝස්තුවේ; පුරා දින තුනක් පුරා මෙරට මුළු දුන් නොබැඳි ජාතීන්ගේ සමුළුවයි. නමින් නොබැඳි ජාතීන් උනත් එහි සිටි බොහෝ නායක නායිකාවන් සෝවියට් කඳවුරට වැඩි ළෙංගතු කමක් දැක්වූ අය වූහ. සමුළුවට මාස ගනනාවකට පෙර සිට දිනමිණ පුවත් පතේ පලවූ ලිපි පෙලකි. ඉන් එකක් වූයේ සමුළුවට සහභාගීවන රට වල් පිළිබඳ කුඩා විස්ථරයක් දැක්වෙන ලිපියකි.  අනෙක වූයේ සහභාගීවන රාජ්‍ය නායකයින්ගේ A4 ප්‍රමාණයේ පමණ ඡායා රූපයකි. මෙම ඡායා රූප පලවූයේ තෝරාගත් අයගේ පමණක් දැයි මාහට සිතේ. එකල එම ඡායා රූප අතුරින් ගඩාෆිගේ රූපයට ලැබුනේ ඉහල වටිනාකමකි. බාබර් සාප්පුවල, පොත් කඩ වල; හෝටල් වල තේ බොයිලේරුව පිටුපස  එම රූපය කපා අලවා තිබෙනු මා දැක ඇත! ලංකාවට 6 ශ්‍රී පර්ජෝ 504 කාර් පැමිණියේද එම කාලයේම බව මාගේ විශ්වාසයයි. එසේම හෝල්ඩන් ස්ටේට්ස්මන් වර්ගයේ රථද මෙරට පැමිණියේ ඒ සමගය! එකල අවිස්සාවේල්ල නගරය සිසාරා දැව පටවා ගත් ගමන් ගත් දැවැන්ත කෙන්වොත් ට්‍රක් රථය! ඒවා දිවුනේ කොස්ගම සාලාවේ තුනී ලෑලී කර්මාන්ත ශාලාව වෙතය!

1977 වන විට සිරිමවො බණ්ඩාරනායකගේ රජය කැබැලිවී දැඩි  අපකීර්තියට ලක්වී තිබුනු කාලයකි. 1977 වසර ලක් ඉතිහාසයේ ලියැවෙන්නේ එක්සත් ජාතික පක්ෂය දිග් විජය කල නව ව්‍යවස්ථාවක් ඇති කල වසරක් ලෙසය. 1977 මහමැතිවරණයෙන් යූඇන්පිය ලැබූයේ විශාල ජයග්‍රහණයකි. ඒ සමග සිදුවූයේ දැඩි විනාශකාරී කාලයකි. විරුද්ධ පාක්ෂිකයින් සතු දෙපල මංකොල්ල කමින් ගෙවල් දොරවල් ගිණිබත් කරමින් යූඇන්පී මැරයන් ගම් දෙවනත් කලහ. යටියන්තොට නගරයේ හයර් දිවීම සඳහා පැවති නවතම රථය වූයේ 5 ශ්‍රී ෆෝඩ් එස්කොට් රථයකි. එය අයිතිව තිබුනේ වැලිහෙලතැන්නේ ලොකුමහත්තයා නම් වූ අය හටය. ඔහු වාමාංශික අදහස් දැරූ අයෙකි. මෙම රථය ඇතුලත, ඩිකියේ පමණක් නොව වහලය මත සවිකර තිබුනු හුඩ් රැක් එකේ පවා දාමරිකයින් පුරවා ගෙන දින ගනනාවක් නගරය හා අවට ගම් වල සැරි සැරූහ. එකලද අද මෙන්ම පිරවුම් හල අයත්ව තිබුනේ සමූපාකරයටය. එම පිරවුම් හලෙන් බලහත්කාරයෙන් ලබා ගන්නා ඉන්ධන මගින් රජයේ හා විරුද්ධ වාදීන්ගේ රථ වාහන රැගත් යූඇන්පී මැරයන් ඒ දිනවල සුලභ දසුනක් විය! මාගේ පියාගේ බාල සොහොයුරා ලලිත් සුනිලාල් හෙවත් ශාන්ත බාප්පා එකල සේවය කලේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව හෙවත් PWD එකේය. මාර්ගයන්ගේ කැඩුනු බිඳුනු තැන් පිළිසකර කිරීම ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය විය. එවකට ඔහු එහි ඔවර්සියර් කෙනෙකු හෙවත් වැඩ නියාමක වරයෙකු ලෙස කටයුතු කලේය. ඔහු සේවය කලේ යටියන්තොට පිහිටි කාර්‍යාලයේය. එහි පෙට්රෝල් ඉන්ටර්නැෂනල් හාවෙස්ටර් ටිපර් රථයක් විය. මෙය රැගෙන පලාත පුරා දාමරිකයින් පුරවාගෙන  අපගේ බාප්පාද ගමන් කරණු මා දුටුවෙමි.  

වරක් අපගේ ආච්චිලාගේ නිවස පිටුපසින් කිසියම් නාදයක් ඇසුනු විට එය කුමක්දැයි විපිළිසරවූ අපට දකින්නට ලැබුනේ අසල නිවසක ජීවත්වූ බී ඇල් ආරියපාල නම්වූ අයෙක් බිත්ති ඔරලෝසුවක් කර තබාගෙන යන අයුරුය. 1977 දී තම උපන් බිම් අතහැර දමා වෙනත් පලාත් වලට සංක්‍රමණය බොහෝ අය නැවත නොපැමිණි බව තාත්තා නිතර කියනු මා අසා ඇත. දේශපාලන දාමරිකයින් තමන් කොල්ල කා ගත්දේ තුට්ටුවට දෙකට විකිණීමද පසු කලෙක සිදුවිය. එකල කිසියම් ඇති හැකි කමක් තිබුනු අපගේ නිවසටද එසේ; යම් යම් දේ රැගෙන පැමිණි අවස්ථාවලදී අපගේ අම්මා දොස් පවරමින් පිළිකුලෙන් එලවා දැමුවාය. පසු කලෙක ඇය එම සිද්ධීන් වීරාභිවන්දනයෙන් යුතුව අන් අය හා පැවසුවාය! බොහෝ ව්‍යාපාර ස්ථාන ගිණිබත් කල අතර නිවැසියන් කැලෑ වැදී දිවි ගලවා ගත්හ. මීට සමීප සිද්ධියක් පසු කලෙක මා බිංගිරියේදී ඇසුවෙමි. එසේ තම නිවස මංකොල්ල කෑමටත් ගිණි ලෑමටත් එන බව ආරංචිවූ එක් ව්‍යාපාරිකයෙකු තම පවුලේ සියල්ලෝම වෙනත් ගෙදරකට ඇරලවා ඩබල් බැරල් තුවක්කුවට පතුරම් දෙකක්ද දමාගෙන බලා සිටියේලු. ආරංචි ප්‍රකාරව මහත් පිරිසක් ගේ ආක්‍රමණය කිරීමට දිව ආ අතර ව්‍යාපාරිකයා තම ඩබල් බැරලයේ එක් කානුවක් වූ පතරොම; පිරිසේ ඉදිරියෙන්ම දිව එන දාමරිකයා බලා මුදා හැරියේය. වෙඩි පහර කෑ තැනැත්තා හැර අන් සියල්ල හිස් ලූලූ අත දිව ගියේය. ව්‍යාපාරිකයා; බිම වැටී හුන් දාමරිකයා අසලට ගොස් ඔහු ජීවිතය යදිද්දීම දෙවෙනි කානුවේ තිබුනු පතරොමද මුදා හැර පොලීසියට භාර වූවේලු! 

77 යූඇන්පිය බිහිවූයේ වසර හතක් බලා සිටීමෙන් පසුවය. එම කාලය පුරාවට තැන තැන කුඩා සිද්ධීන් සිදුවූ අතර ජේ ආර් වරක් හෝ දෙකක් සත්‍යග්‍රහ වැඩසටහන් කලේය. හත්වසක සාපය නමින් පොතක් මුද්‍රණය කොට බෙදා හැරිමද සිදුවිය. සිරිමා ආණ්ඩුවෙන් ඇන් ඇම් ආදීන්ගේ වෙන් වීම සමග ෆීලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායක කරළියට ආවේය. ඒ සමග සමගි පෙරමුණු රජයේ බහින කලාවට මුල පෑදුනු බව මාගේ විශ්වාසයයි. එකල ශ්‍රීලනිපය සමග බොහෝ සහ සම්බන්ධකම් පැවැත්වූ චින්තන ජයසේන ඔවුන්ගේ පුවත්පතේ කතුවරයා විය. චින්තන අයියා පවසන ආකාරයට මැතිනිය සමග එක මේසයේ ආහාර ගැනීමට ඔහුට බොහෝ කලක් බලා සිටින්නට වී ඇත. ඒ අන් කිසිවක් නිසා නොව "ජයසේන" වාසගමේ කිසියම් අඩුවක් ඔවුන් දැක; එළඹී තිබුනු පූර්ව නිගමනයක් කරණ කොටගෙනය. 

එසේම අද වාගේම මැතිණියද බොහෝ සෙයින් මිත්‍යා විශ්වාස මත යැපුණු අයෙක් බව චින්තනගේ පසුකාලීන ලියැවිලි කියැවීමේදී තේරුම් යන සත්‍යයකි. හදි හූනියම්, ශාන්ති කර්ම, පුද පූජා මේ සියල්ල; පසුව බලයට පත්වන ප්‍රේමදාස, මහින්ද, ගෝඨාභය සේම මැතිනියය ප්‍රමුඛ ඇය වටා සිටි බොහෝ දෙනා විශ්වාස කල බවද ඒවා මත පිහිටුවා තීන්දු තීරණ ගත් බවද ප්‍රසිද්ධ රහසකි!  

77 බලයට පැමිණීමත් සමග ජේආර් අගමැතිවී ප්‍රේමදාස සභානායක විය. ඒය ඔසී දියලගොඩ නමැති කාටුන් ශිල්පියා ඇඳ තිබුනේ ඇතෙකුගේ පිට නැගි ජේආර් හා ප්‍රේමදාස ගමන් කරණ අතර ඉදිරියේ සිටින ජේආර් හට ප්‍රේමදාස කුඩයක් අල්ලාගෙන සිටින අයුරුය. ජේ ආර් ජානාධිපති පදවියට පත්වූ දිනයේද එවන්ම වූ කාටූනයක් පුවත් පතක පලවිය. ඒ කඩුළු පනින  මළල ක්‍රීඩකයෙකු ලෙස සැරසුනු ජේ ආර්; විපක්ෂ නායක, අගමැති, ආදී කඩුළු මතින් පැන විත් ජනාධිපති කඩුල්ල මතින් පනින අවස්ථාවකි. 1977 රජය බලයට පත්වීම සමගම ගාමිණී, ලලිත්, රනිල් වැනි නව මුහුණු රාශියක් කල එළි බැස්සෝය. ඉන් ගාමිණී දිසානායකට හිමිවූයේ අද්විතීය ස්ථානයකි. ඔහුට හිමිවූයේ මහවැළි යෝජනා ක්‍රමය කඩිනමින් අවසන් කිරීමේ කාර්‍යයයි. පෙර පැවති රජයෙන් වසර 30 කදී අවසන් කිරීමට යෝජනා කොට තිබූ මහවැළි යෝජනා ක්‍රමය ඒ සමග සීග්‍ර ගමනකට පිළිපන්නේය. 

77 රජයේ රාජාසන කථාවද (මාගේ මතකය නිවැරදි නම් එය රාජාසන කථාව විය යුතුය) අමරණීය එකකි. එහිදී ප්‍රේමදාස විසින් මතු කල අදහසක් අපගේ රටේ අනාගතයේ දිශානතිය වෙනස් කලේ යැයි මා සිතමි. ලංකාවේ සිරිමාවෝ බලයෙන් අතු ගෑවීගිය මැතිවරණයට සමකාලීනව ඉංදියාවේ පැවති මැතිවරණයෙන් ඉන්දිරා ගාන්ධිගේ පක්ෂය අන්ත පරාජයක් ලැබුනි. ගාන්ධි පවුල හා බණ්ඩාරනායක පවුල අතර කිට්ටු සබඳ කමක් තිබුනු අතර සමානාත්මතාවයන් කිහිපයක්ද තිබුනි. සිරිමාවෝ සමග අනුර මෙරට දේශපාලනය කල අතර ඉන්දියාවේ ඉන්දිරා හා සන්ජේ එම කටයුතු වල නිමග්න විය. මේ පිළිබඳව ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැවසුවේ ලංකාවේ එළදෙනට වස්සාට සිදුවූ පරාජයම ඉංදියාවේ එලදෙනට හා වස්සාට අත්වූ බවය. ඉංදියාව; ප්‍රේමදාස කෙරෙන් ඈත්වන්නට මේ ප්‍රකාශය හේතුවන්නට ඇති.  මෙම කථාවේදී හෝ ඊට ආසන්න කාලයකදී  කුඩා ප්‍රේමදාස ලැවරියා විකුණූ කථාවද මැතිසභයේදී ප්‍රේමදාස විසින්ම මතුකලේය. ඒ කෙසෙල්වත්තේ ලැවරියා විකිණීම හා වලව්තුල සිදුවන අවජාතක සිදුවීම සංසන්ධනය කිරීමෙන්ය. එකල පාරිමේන්තුවේ නිතර කියැවුණු වචන යුගලයක් විය. ඒ "කන්ටේනර් පර්යන්ත" යන්නය!

1978 වසරෙදී අපරට සොයා පැමිණි විදේශිකයා අපට අමතක නොවන පාඩමක්, මතකයක් ලබාදී ගියේය. ඒ සුළිසුළඟය. සුළිසුළඟෙන් වඩාත්ම හානිදායක වූ ප්‍රදේශය සමන්තුරේ විය. මාගේ මතකය නිවැරදිනම් සමන්තුරේ මැතිවරණ කොට්ඨාශ අංක 100 ය ය! 1977 මැතිවරණයේදි ගුවන් විදුලියෙන් ප්‍රකාශයට පත්වූ මුල්ම චන්ද ප්‍රථිපලය වූයේ "අංක 100 - සමන්තුරේ" යැයි මා හට මතකය. මේ කාලය වනවිට මාගේ පියා සේවය කලේ හබරන හතරැස් කොටුවේය. හතරැස් කොටුව පිහිටා ඇත්තේ හබරණ ත්‍රීකුණාමළය පාරේ කිලෝමීටර 10 ක පමණ දුරින්ය. සුළිසුළඟ හමාගියේ 1978 නොවැම්බරයේ වූ අතර  දෙසැම්බරයේදී පාසල් නිවාඩුව මාගත කලේ හතරැස් කොටුවේ තාත්තාගේ රාජකාරි නිවස්නයේය. නිවස්නයේ පියස්සේ අගුව හෙවත් පැන්නුමට හානි පමුණුවාගෙන විශාල කළුවර ගසක් පත බෑවී තිබුනේය. පසුව මුළු කළුවර ගසම තාත්තා දරට ගත්තේය. කළුවර; සුපිරියට ඇවිලෙන දර විශේෂයකි. 

1980 වන විට ජේ ආර් පාලනයට එදිරිව රට පුරා රජයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සඳහා වැඩකරන ජනතාව පෙළ ගැසුනි. එම වැඩ වර්ජනය පාලනය කිරීමට ජේ ආර් ගත් පියවර වන්නේ "සේවයට වාර්ථා නොකරන සියළුම සේවකයින් රැකියාව අත හැර ගියාසේ සලකා රැකියාවෙන් නෙරපීමය! එම සේවකයින් ගෙන් කිහිප දෙනෙකු පසු කලෙක සිය දිවි නසා ගත් අතර ඔවුන් බොහෝ සමාජ හා ආර්ථික ගැටළුවලට මුහුණ දුන් අතර පසුව පත්වූ කිසිදු රජයක් ඒ පිරිස සම්බන්ධයෙන් සාධාරණ පියවරක් ගත් බවක් මාහට මතක නැත!

පසු කලෙක මා කොටුවේ මධ්‍යම බස් නැවතුම් පලෙන් බසයකට ගොඩවී එය පිටත් වන තෙක් එහි රැඳී සිටිනා විට එයට කිසියම් පුද්ගලයින් දෙදෙනෙකු ගොඩ විය. ඉන් එක් අයෙකු පිරිස ඇමතීම පටන් ගත්තේය. 

"නෝනා වරුණි මහත්වරුණි! අපි අසූවේ වැඩවර්ජනයට අසුවූ අය. අප මෙතනට පැමිණියේ ඔබලාගෙන් පොඩි ආධාරයක් බලා පොරොත්තුවෙන්. අපි දැන් ඔබට පෙන්වනවා තිප්පිලි මාළුවෙක් සහ චිම්පන්සියෙක්. ඔය මහත්වරු මගේ මේ යාළුවාගේ මුහුණ දෙස බලා ඉන්න!" සභාව ඇමතූ අයට පිටු පසින් සිටි ඔහුගේම වයසේ අනෙකා තම මුහුන බුම්බමින් ඇස් නෙරවමින් අභිරූපනයෙන් තිප්පිලියෙකු මැවීමට උත්සාහ කලේය.

වැඩ වර්ජනයට පෙර දින දක්වාම කිසියම් කාර්‍යාලයක ලිපිකරු ශ්‍රේණියේ සේවය කල ඒ මිනිසුන් හට තම රැකියාව අත් හැරුණු පසු; තම දුවා දරුවන් රැක බලා ගැනීමට කිරීමට වෙනත් කර්මාන්තයක හුරුවක් නොතිබුනි.  සත්තකින්ම එය අදටත් මාගේ හදවතේ පතුලටම ඇනුනු කටුවකි; මතක් වන සෑම අවස්ථාවකදීම රිදුම් දෙන!

77 ආණ්ඩුවේ විවෘථ ආර්ථික ප්‍රථිපත්ති පිළිබඳව අද බොහෝ දෙනා විවිධ මත ඉදිරිපත් කලද එකල තිබුනු බොහෝ දේශීය කර්මාන්ත හා ව්‍යාපාර වලට කණ කොකා හැඬීම එමගින් සිදුවිය. ඒ සමගම උතුරේ තරුණයින් සන්නද්ධ අරගලයකය අවතීර්ණ වන ලකුණු පහල විය! කලකට පෙර යාපාපටුනට ගිය මැතිනියව රතු මිරිස් කරල් වලින් සාදන ලද මල් මාලයකින් පිළිගත් උතුරේ වැසියන්ගේ ආදායම් තත්වය නව ආර්ථික ක්‍රම වේධ සමග බොහෝ සෙයින් දුර්වල වීමද උතුරේ තරුණයින් අවි දැරීමට හේතු වන්නට ඇත. මේ  සියල්ලෙහිම කූටප්‍රාප්තිය ලෙස 1983 ජුලි මස යාපනයේ මුර සංචාරයක යෙදුණු 13 දෙනෙකුගෙන් යුතුවූ හමුදා පිරිසකට කල ප්‍රහාරයද එම මලසිරුරු අගනුවරට ගෙන ආදා ලංකාව පුරා දියත්වූ ජාතිවාදී අරගලද ගෙන හැර දැක්විය හැක.

වසර 1983 විය! සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි පාසලේ  උසස් පෙල පංති පටන් ගෙන කෙටි කලකි. මම පිට කෝට්ටේ සිට 168 නුගේගොඩ බස් රියෙන් පැමිණ බොරැල්ලට අවතීර්ණ වූවා පමණි. මුළු බොරැල්ලම යකුන් නැටූ පිටියක් මෙනි. බොරැල්ල නගරය පුරා තැනින් තැන තිබුණු ද්‍රවිඩ ව්‍යාපාරිකයින් සතුව තිබුණු කඩ සාප්පු සියල්ල කඩා බිඳ දමා සුන්නත් දූලි කර තිබුනි. මම පාසලට ගියා දැයි මතක නැත. කෙසේ හෝ එම ස්ථානය්යේදී මාගේ මිත්‍ර ටී ජී එස් කේ කමල් කුමාරද හමුවිය. එතැන් සිට අප දෙදෙන බොරැල්ලේ ඔබ මොබ රස්තියාදු වෙමින් "අසිරිය" වින්දෙමු. පසුව මම නැවතත් පිටකෝට්ටේ බලා පසු බැස්සෙමි. පිටකෝට්ටේ එපිට මුල්ල පාරේ පදිංචිව සිටි දෙමල මිනිසුන්ට අයිතිව තිබුනු නිවාස කඩා බිඳ දමා මංකොල්ල කා තිබුනි. බොහෝ නිවාස ගිණිබත් කොටය! මේ පිළිබඳව ජේ ආර්ගෙන් විමසූ විට ඔහු බොරැල්ලේ සිදුවූ කලබලය පිළිබඳව දැන නොසිටි බව පැවසීය. ඔහු සිටියේ බොරැල්ල මංසංධියට මීටර 500 ක දුරකින් වෝඩ් පෙදෙසේය! එතැන් සිට රට යතා තත්වයට පත්වූවා යැයි සිතූවද ගැටුම එන්න එන්නම උඩු දුවන්නට විය. කළු ජූලිය; ජාත්‍යන්තරය තුල  සිංහල ජාතිය පිළිබඳ වැරදි චිත්‍රයක් ඇතිකල අතර ද්‍රවිඩ ජාතිය කෙරෙහි වඩ වඩාත් අනුකම්පාවක් ලබා දීමටත්; උතුරේ අවිගත් තරුණ කණ්ඩායම් වෙත වඩාත් තරුණ ආකර්ශණයක් ලැබීමටත් හේතුවිය.

මේ සම්බන්ධයෙන් ජේ ආර් ගත් පියවර වූයේ  ලසසපය, කොප, නසසප, ජවිපෙ ඇතුළු බොහෝ වාමාංශික ව්‍යාපාර හා පක්ෂ තහනමකට ලක් කිරීමය. එතැනින් යටිබිම් ගත වන ජවිපෙ යලි එලිදකින්නේ 1989 වසරේදීය.

මේ සියළු කාරණා සිදුවනාතරතුර  මා යොමුවන්නේ විපලවීය දේශපලනයටය. ධනපති ක්‍රමයටද, ජාතිවාදයටද එරෙහිවූ ව්‍යාපාරය ලෙස මා දකින්නේ නව සමසමාජ පක්ෂයයි. එවකට එහි ඡායාරූප ශිල්පියා, "හරය" පුවත් පතේ කතු මඩුල්ලේ සාමාජික හා මධ්‍යම කාර්‍ය සභික චන්දන කීර්ති බණ්ඩාර  ඊට පාර කැපුවේය. චන්දන කීර්ති බණ්ඩාර මාගේ සොහොයුරියගේ පාසැල් මිතුරෙකුවන අතර ඔහුත් මාත් අතර එකල විශ්වාසණීය මිතු දමක් විය! හරය පුවත් පතේ මුද්‍රණාලය පිහිටියේ කොලොන්නාවේ ඛණිජ තෙල් ගබඩාවට මදක් ඉහලට වෙන්න පාරේ වම්පස පිහිටි කඩ කාමරයකය. එහි පුවත් පතේ සංස්කාරක කොතලෙ හෙවත් කොතලාවල සහෝදරයාද, ගාමිණී සහෝදරයාද චන්දන අයියාද  නිත්‍ය පදිංචි කාරයින් මෙන් සිටියහ. නලීන් මහේෂ් පෙරේරාද එහි කතු මඬුල්ලේ සැලකිය යුතු තැනක සිටියේය. පිටකෝට්ටේ සිට ඔබේසේකර පුර හරහා කොලොන්නාවට සයිකලය පැදගෙන පැමිණ එහි කාලය ගත කොට ලියන කියන දේ ද අකුරු ඇමිණීම හා මුද්‍රණයේ වැඩ කිඩද බලා කියාගෙන මා ආපසු පිට කෝට්ටෙට පල්ලම් බසී. මෙය සතියකට දෙකකට වතාවක් සිදුවන සාමාන්‍ය චර්‍යාවක් විය.

කාලය ගෙවී උසස් පෙලින් පසුව මා නැවත යටියන්තොටට ගාල් වන අතර 1988 පෙබරවාරියේදී විජය කුමාරතුංග ඝාතනය සිදුවේ. ඒවන විට විජයගේ මහජන පක්ෂය, ලසසපය, කොප හා නසසපය එක්ව කටයුතු කරමින් සිටි අවධියක් විය. විජය යාපනයට පවා ගොස් උතුර දකුණ එක් කරණ දේශපාලනයක යෙදී සිටි අවධියකි. විජයගේ ඝාතනය සමග මා අපගේ නිවස ඉදිරිපිට හැටන් කොළඹ  මාර්ගය හරහා විශාල බැනරයක් එල්වීය. "විජය කුමාරතුංග සොයුරාට අපගේ විප්ලවීය ආචාරය - නසසප"! 1977න් පසු එවන් බැනරයක් යටියන්තොට මැතිවරණ කොට්ඨාශයේ කොතැනක හෝ එල්ලුනාදැයි මාහට සැක සහිතය! මෙම බැනරය මාගේ දේශපාලනය අපගේ අසල් වැසියන්හට අඬගා කීමක් විය. පසුව යටියන්තොට පාර්ලිමේන්තු මංත්‍රී කේ වින්සන්ට් පෙරෙරා මාගේ පියාටත් මටත් ඔහුගේ නිවසට කැඳවා ඔහුගේ දේශපාලනය හා එක්වන මෙන් පැවසීය. කාලය මෙසේ ගමන් කරද්දී ජවිපෙ යටිබිම්ගත දේශ පාලනය මෙරට දේශපාලනයේ පෙරළිකාර පක්ෂයක් ලෙසින් හිස ඔසවමින් විය. රාජ්‍ය ත්‍රස්ථවාදය විසින් ජවිපෙ මර්ධනය සඳහා තෝරා ගත්තේ දැඩි මර්ධනකාරී ක්‍රියා පිලිවෙතකි. දිනක් මා හක්බෙල්ලාවක සිට රුවන්වැල්ල - අඟුරුවැල්ල දෙසට පැමිණ මාගේ මිතුරන් හා එක්ව මීවිතක් තොලගාමින් සිට මහා රාත්‍රිය පසුවන තෙක් සිට ආපසු ගෙදර එන්නට හැරුණි. එකල හැටන් දෙසට දිවෙන අවසාන බසය කොළඹ කොටුවෙන් පිටත්වන්නේ හවස 6.50 ටය. එම බස් රිය 9.00-9.30 පමණ වන විට කරවනැල්ල පසු කොට ගමන් ගනී. රුවන් වැල්ල - අඟුරුවැල්ල දෙසින් පැමිණෙන අයෙකු යටියන්තොට හක්බෙල්ලාවක දෙසට ගමන් ගන්නට කරවනැල්ල මං සංධියට පැමිණිය යුතුය. ඒවන විට රාත්‍රී 12.00 පමණ වී ඇති අතර කරවනැල්ලේ බලු බල්ලෙකු නොසිටියේය. කොළඹ දෙසින් පැමිණි ලොරියක එල්ලී මා පාන්දර ජාමේ හක්බෙල්ලාවක මාගේ නිවසට පැමිණියෙමි. මේ කියන වකවාණුව වන විට මාගේ මව මියගොස් සිටි අතර පියා සේවය කලේ අලව්වේය. නිවසේ සිටියේ මා පමණි. පාන්දර නිවසට ඇතුළුවූ මා ඉදිරිපස කාමරයට වැදී නිදා ගත්තෙමි. පසුදා උදෑසන 7.00 ට පමණ අවධි වී මා නිවෙසින් එළියට පැමිණියෙමි. මාගේ නිවසට ඉදිරියෙන් ප්‍රධන පාරෙන් අනෙක් පස පිහිටි නිවසේ සිටි මාගේ ඥාතියෙකු මිදුල අතුගාමින් සිටියාය.

"පුතේ ඔයා ඊයේ රෑ මෙහේ නෙවෙයිද හිටියේ?" ඇය මගෙන් ඇසුවාය.  පසුව විමසීමේදී පෙරදින රාත්‍රියේ හමුදාවෙන් පැමිණ ගේ වැටලූ බව දැනගතිමි.  කිසිවෙකු නිවස වටලා මාගේ කාමරයේ විවෘථව තිබුනු ජනේලයකින් ඇතුලත විදුලි පන්දමක මාර්ගයෙන් විමර්ශණය කෙරුවානම් ඔහුට පලමුව දර්ශණය වන්නේ මාගේ පොත් රාක්කයේ තිබුනු "ලෙනින්ගේ තෝරාගත් කෘථි වෙළුම් 12", "දේශපාලනයේ මූලධර්ම",  "උනුහිම", "සැබෑ මිනිසෙකුගේ කථාවක්", "අම්මා" . . . . . . . .ආදී  පොත් රැසකි. එකල මෙවන් දේශපාලනික පොත් නොව "සෝවියට් දේශය" සඟරාවක් තිබීම පවා තරුණයෙකු හට මරණ වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට හේතුවිය!  මේ වන විට මාගේ මරණ වරෙන්තුව ලියැවී හමාරය! හක්බෙල්ලාවක ගමෙන්ම මා පිළිබඳ ඔත්තුවක් ලැබීමට හේතු ඕනෑ තරම් තිබුනි. හමුදාවට නසසප හා ජවිපෙ යනු එකක් මිස දෙකක් නොවේ. "රතු" අරහංය! එපමණකි!! මා වහාම පලා යා යුතුය! මා කිසිදු කලබලයකින් තොරව නිවසට පිවිස  ඇඳුම් කිහිපයක් මල්ලකට ඔබා ගත්තෙමි. විනාඩි ගණනකින් මා හක්බෙල්ලාවකින් කොළඹ බසයකට ගොඩවිමි. බසය හක්බෙල්ලාවකින් නික්මී යටියන්තොට නගරයට පිවිස බස් නැවතුමේ නැවැත්විය. යටියන්තොට යනු යූඇන්පී බලකොටුවක්ය. බස් නැවතුමෙන් බසයේ සිටි බොහෝ දෙන බැස ගිය අතර මා පිටතට නිරාවරනය විය. මම හනික මාගේ සාක්කුවට අත දමා මාරු කාසි පොදියක් ගෙන අතපසුවීමකින් මෙන් බිම අත හැරිමි.  ඊළඟ මොහොතේ  මා බසයේ දණ ගසාගෙන කාසි එකතු කරණ්නට විය. බසය  නගරයෙන් පිටත්වන තෙක් මා දණින්ය! මා සුවසේ කොළඹ නගරයට සැපත් උනෙමි. 

මා එතැනින් පිවිසුනේ කොළඹ 02, කොම්පඤ්ඤ වීදිය, කිව් පාර ලිපිනයටය. ඒ නසසප පක්ෂ කාර්‍යාලයටය. අද මෙන් දේශපාලණික හොරිකඩයෙකු හා දේශපාලණික නපුංසකයෙකුවී නොසිටි වාසු හා බාහු සමග ජීවත්වීම ඇරඹූවෙමි. කඩවත රැස්වීමෙදී වික්‍රමබාහු කරුණාරත්න හට වෙඩි වැදුනු අතර දේව බණ්ඩාර සේනාරත්න මියගියේය. වික්‍රමබාහු ගෙන ආවේ ආරක්ෂාව පතා රැගෙන ආවේ ඩර්ඩන්ස් රෝහලටය. ඔහුගේ ආරක්ෂාව භාර වූයේ ඔලිවර්ටත්, අඟුරුවැල්ලේ අජන්තටත් මටත් ය. දින 22 ක් පුරාවට අප ඔහුව ආරක්ෂා කලෙමු. අප අත ආමිනියස් හා කෝල්ට් වර්ගයේ .38 රිවෝල්වර තිබුනු අතර හදිසි අවස්ථාවක් සඳහා ප්‍රයෝජනයට ගැනීමට තවත් යාන්ත්‍රික ගිණි අවියක් විය! 

1989 පැවති ජනාධිපතිවරණයේදී අප උදව් කලේ ඔසී අබේගුණසේකරටය. ඔහු ඉන් පරාදවිය. ඒ සමගම දියත්වූ දැඩි මර්ධන කාරී ක්‍රියා පිළිවෙත ඉදිරියේ ජවිපෙ විනාශවීම ඇරඹුනි. ඔසීගේ පරාජයත් සමග ජනාධිපති බවට පත්වූයේ ආර් ප්‍රේමදසය. ඔහුගේ දැඩි මර්ධනකාරී පිලිවෙත ඉදිරියේ ජවිපෙ දෙවන කැරැල්ලද වියැකී ගියේය. ඒ රෝහණ විජවීර අත් අඩන්ගුවට ගෙන මරාදැමීමත් සමගය. ප්‍රේමදාසගේ අවසානය 1993 මැයි 1 වෙනිදා ආමර් වීදියේදී සනිටුහන් වූයේ අනපේක්ෂඉත අයුරිනි. එකල මා කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවය කලෙමි. පෙරදින පිටකෝට්ටේ සොයුරියගේ නිවසට පැමිණි මා මැයි පලමු වෙනිදා හවස් වරුවේ නැවත කටුනායක බලා පිටත් වීම සඳහා ගෙදරින් එළියට බැස; බස් නැවතුම වෙත ඇවිදගෙන ආවෙමි. අසල මිතුරෙකු හා ඔහුගේ පියා මිදුලේ විය.

"යූ ඇන් පී මැයි පෙළපාලියට බෝම්බ ගහලා! ප්‍රේමදාසත් ඉවරයි වගේ!!" දෙවෙනි වගන්තිය ඔහු කීවේ වටපිට බලා පහත් හඬිනි.

තවත් පැයක් හමාරක් යන විට ප්‍රේමදාසගේ අවසානය පිළිබඳව ප්‍රවෘථි ලැබෙමින් විය. ඒ සමගම දසත රතිඥ්ඥා හඬින් ගිගුම් දුන්නේය. 

ඩී. බී. විජේතුන්ග රජවිය! 1994 චන්ද්‍රිකා බලයට පත්විය.  මංගලගේ සුදු නෙළුම් ව්‍යාපාරය හරහා ජාතීන් අතර සමගියක් ඇතිකිරීමට ගත් උත්සාහය තොට ළඟදී චන්ද්‍රිකාට එල්ලවූ බෝම්බය සමගින් අවසන් විය. මේ අතර ගාමිණී දිසානායකද කොටි බෝම්බයට බිළිවිය. දෙවෙනි වරටද චන්ද්‍රිකා බලයට පත්විය. ඉන් ඉක්බිති බලයට පැමිණියේ මහින්දය! එතැන් සිට ගතවූ කාලය තුල 2004 සුනාමි ඛේදවාචකයට රට මුහුණ දුන්නේය. සෑම නත්තල් නිවාඩුවක්ම අප ගත කලේ මාගේ ලොකු අම්මාගේ බෙන්තොට දෙද්දූව පිහිටි නිවසේය. සුනාමි දිනට පෙරදින අප කොළඹින් බෙන්තොට බලා යන්නට පිටත් විය. එදින මා තරමක මධුවිතින් සප්පායම් වී සිටියද ගමන පසුදිනට කල් තැබීමට උවමණාවක් නොවීය! එකල මා ළඟ තිබුනේ 32-0865 නිසාන් පැට්‍රෝල් රථයය. මා ගමන පිටත් විය. පසුදින යාමට කල් තැබුවේනම් අප සියල්ලෝම මුහුදට බිළිවෙන්නට ඉඩ තිබුනි.

එතැන් සිට ගෙවුනු කාලය පුරාවට දෙහිවල, කොටුව, සීටීඕ, මරදාන සිට කැබැතිගොල්ලෑව දක්වා බෝම්බ පුපුරණු දුටුවෙමි.

තිස් වසරක යුද්ධය මේජර් ජනරාල් සරත් ෆොන්සේකා විසින් අවසන් කරණ ලදී. පසුව සිදුවුනු අප්‍රසන්න සිද්ධීන් ලියන්නට අවශ්‍ය නොමැති බව මාහට සිතේ. ඒ මෑත ඉතිහාසය ලියන්නට අප සැවොම දන්නා කරුණු වලින් යුක්තය! එහි කාලකණ්නිතම අවාසනාවන්ත සිදුවීම ලෙස පාස්කු ප්‍රහාරය ලෙස මා දකිමි. එවන් සංවිධානාත්මක ම්ලෙච්ඡත්වයක් පිළිබඳව සිතිය නොහැක. මේ සියල්ල ඇසින් දුටු මාහට #Gota Go Home අරගලයද - එයට එදිරිව නැගුනු කෲරත්වයද එය පරයා නැගි මහජන රැල්ලද දකින්නට අවස්ථාව ලැබුනි. 

ජීවිතය තව කෙතරම් දුර දිවේදැයි සිතන්නට නොහැක! ඉක්මණින් ලියා තැබිය යුතුය. වරද කරුවනට දඬුවම් ලැබෙනු බලා මියෙන්නට ඇත්නම් එය ආත්මයට එකම සැනසීම කොට සලකමි!

අරගලයට ජයවේවා!

Thursday, October 14, 2021

219. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි . . . !



මේ දිනවල අපේ බ්ලොග් ලියනා නෝනා මහත්තුරු ගුවන්විදුලිය ගැන ලියති. මා තුල තිබෙන මතක මාත්‍ර එක් එක් බ්ලොග් පෝස්ටු යටින් කමෙන්ටු සේ එල්ලා ඇති අතර අද අළුතින් එවන් පෝස්ටුවක් ලියන්නට ගියේ අනුරුද්ධ වැළිගමගේ සොහොයුරාගේ "රූපවාහිණී ළමා ගී" පෝස්ටුව යටින්ය! මෙතැනින් එතෙනට ගොඩවන්න. එහෙත් කමෙන්ටුව ලියන්නට මතකය පෙල ගස්වද්දී එය කමෙන්ටුවක් ලෙසට යෙදී මට තරමක ලෝභ කමක් උපදිනි. අපි පෘථග්ජනයෝ නොවැ? ඒ නිසාම ඒක පොඩ්ඩක් දිගේලි කරලා ලියන්න හිතුනා.

මේ මාගේ රේඩියෝ මතක!

අපි අතින් ගෙවලා ලයිසමක් අරං රේඩියෝ අහපු පරපුරක අය! දැන් වාගේ වෛවාරණ රෙඩියෝ චැනල් ඒකාලේ තිබ්බෙත් නෑ! තිබ්බත් ඒ වායෙන් අහන එවුංට පගාව දුන්නෙත් නෑ "අපේ රෙඩියෝ එක ඇහුවොත් සල්ලි තමා!" කියලා.

අපේ ගෙදර තිබ්බේ ෆිලිප් රේඩියෝ එකක්. රේඩියෝ එක මෙච්චර විතර ඇති! රෙඩියෝ එක තියලා තිබ්බේ ගෙදර තිබ්බ තාත්තාගේ ෆයිල් කැබිනට් එක උඩ. රේඩියෝ එක තිබ්බාම කබර්ඩ් එකෙන් ඉතිරි උනේ අඟල් හතරක විතර තීරුවක් විතරයි. ඒ තීරුවේ තිබ්බේ මොකක්ද දන්නවාද? නිල් පාට "බෙරෙක්" ඩ්‍රයි බැටරිය!බෙරෙක් ඩ්‍රයි බැටරිය ආවරණය කරලා තිබ්බේ කාඩ්බෝර්ඩ් කවරයකින්. ඒකෙ තරම ඇති A4 එකක් තරම්. එහෙ මෙහෙ උනානම් ඒ අඟල් භාගයකින් විතර! මේ කවරෙ එක තැනක රවුමක් ලකුණු කරලා තිබ්බා අඟල් දෙකක විතර විෂ්කම්භය ඇතිව. අළුතින් බැටරියක් ගෙනාවාම මේ රවුම වටේට ඉරාගෙන ගියාම මතුවෙනවා; රෙඩියෝ එකේ ඉඳන් එන; මගේ මතකයේ හැටියට පින් හතරක ප්ලග් එක අමුනන හිල් හතර හෙවත් ප්ලග් බේස් එක! මේ බැටරිය කිලෝ තුනක විතර බරක් තිබ්බා! දැන් හිතා ගන්නකෝ මෙච්චර විතර රේඩියෝ එකේ ඇත්තම සයිස් එක!? රෙඩියෝ එකේ පිටිපස්ස වහලා තිබ්බේ කලු පාට; තද හාඩ් බෝඩ් එකකින්. රෙඩියෝ එක තද දුඹුරු පාටයි. පසුපස කාඩ් බෝඩ් එක ගැලෙව්වාම ඒක උඩයි යටයි තට්ටු දෙකකට බෙදලා තිබ්බා! උඩ තට්ටුවේ තිබ්බේ තඩි පීකරයක් හෙවත් ස්පීකර් එක. යට තටුව ගැලෙව්වාම ඒක විසිතුරු ලෝකයක්! ඒකේ තිබ්බේ තැනින් තැන දිළුණු වීදුරු බල්බ! ඒවාට කිව්වේ වැල්ව් කියලා. රෙඩියෝ එක හදිසියේ අසනීප උනාම පිටු පස කවරය ගලවා බැලුවාම එක වැඇල්වයක් නිල් පාට වී ඇති බව පෙනුනොත් එය ගලවාගෙන ගොස් රේඩියෝ හදන එකෙක් ගෙන් ඒ වෑල්වයක් ගෙන සවිකල විට රෙඩියෝව නැවත පන ගසා නැගිට එයි! ඉදිරි පසින් රේඩියෝවේ දෙපසින් කරකැවීමට එක උඩ එක රවුං දෙක බැගින් දෙකක්ද ඉදිරි පසින් දත් සැට් එක වැනි සුදු පැහැති බොත්තං හයක්ද දකුණු පස උඩ කෙළවරේ කුඩා ලයිට් එකක්ද තිබුනි!

අපේ ලක්ෂ්මන් බාප්පාගේ ගෙදර තිබුනේ PYE වර්ගයේ රේඩියෝ එකකි. එයාලගේ රේඩියෝ ලයිසමේ "වරිගය" ලියන පේලියේ අමු හිංගලෙන් "පයි" කියා කළු පෑනකින් ලියා තිබුනු අතර රේඩියෝ ලයිසම ගන්න මේ වචනෙත් එක්ක යන්න ලැජ්ජා හිතුණු අපේ ඉංදු ඇංටි එයට ඉස්සරහින් නිල් පෑනකින් කොම්බුවක් දමා "පෙයි" කරගෙන තිබුනු හැටි මට අද වාගේ මතකය! මටත්  මතක හිටින්නේම ඔවැනි අවලං කථාමය!

රේඩියෝ ගැන කථාවේදී මාගේ මතකයට එන පැරණි කථාවකි.  "දෝන කමලාවතී", "බයිසි මොටෝ එක", "මුළු හදින් මම ඇයට පෙම් කොට", "බයිසි මොටෝ එක" වැනි නවකතා රචනා කල ගුලී හෙවත් ගුණදාස ලියනගේ ගේ නිවසේ තිබී ඇත්තේ "එකෝ" නම් ලත් නො එසේනම් ඒම වරිගයේ රෙඩියෝ පොඩ්ඩෙකි. එයට ගුලී කෙතරම් ඇළුම් කලේද කියනවානම් ; එය හැඳින්වූයේ "පොඩි එකෝ" කියලා ලු!

මේ ඊයේ පෙරේදා ඉන්න් බැරි කඩි ගායට ඔක්කම්පිටියේ ගිහින් එමින් ගමන් අපේ කුරුණාගල යකඩ ලියවන පල්ලියගුරු මල්ලි කීවේ; එයාලගෙ සීයා සතුව තිබුනු පරම්පරා ගනනක් පැරණි ගෘන්ඩිග් ජර්මානු රේඩියෝව සීයාගෙන් ඉල්ලාගෙන ඇවිත් එහි පීකරේ ගලවා එය වටේ තිබුනු කාන්දම් වලල්ල  තමා සතු කරගත් අනුවේදණීය කථා පුවතකි!

මේ සියල්ල කිව්වේ රේඩියෝ එකේ යාන්ත්‍රික වටා පිටාවය. එහෙත් අසන්නන් අතින් ගෙවා රෙඩියෝව ක්‍රියාත්මක කලේ මෙම යාන්ත්‍රික වට පිටාව පිළිබඳව පතල මහා කරුණාවකින් නොව; එයින් ප්‍රචාරයට පත්වූ වැඩ සටහන්, ඒවා නිශ්පාදනයකල නිශ්පාදකයින් හා ඉදිරිපත් කල නිවේදක නිවේදකයින්ගේ කලාත්මක හා බහුසෘත වපසරිය නිසාය! 

"කාබාසිනියාතුමෙකු" වූ අපේ තාත්තාගේ ප්‍රියතම වැඩ සටහන් තුන හතර වූයේ උදෑසන, මධ්‍යහන ප්‍රවෘති, සන්ධ්‍යා ප්‍රවෘත්ති හා රාත්‍රී නමයට ප්‍රචාරය වූ රාත්‍රී ප්‍රවෘත්ති! එකල වැඩිපුරම ප්‍රවෘති කීවේ සිරිල් රාජපක්ෂය. ඔහුගේ ගැඹුරු හඬටම ගැලපී යන පළමු ප්‍රවෘත්තිය අසන්නන්ගේ මවිල් කෙලින් සිටුවීමට සමත් විය! දැන් වාගේ අර උන්නැහේ පංසල් ගිය ඒවාත් අනිත් උන්නැහීට අතීසාරය සෑදීමත් ප්‍රවෘති නොවූ එකල පෙර වාදනය යද්දීම ගෙදරක, කඩයක් පිලක සිටිය වුන් අමුඩ තද කරගෙන සවන්දීමට සැරසෙන්නෝය! සිරිල් රාජපක්ෂට අමතරව, අමරබන්දු රූපසිංහ, ප්‍රේමකීර්තිද අල්විස්,  වැනි අය ප්‍රවෘත්ති විද්දේය!  එදා ඒ හඬ පෞර්ෂය හා උක්ත ආඛ්‍යාත ගැලපුනු වැකි වලින් කියන්නට ගැලපුනු නිව්ස්ද තිබුනේය. අද තිබෙන "බල්ලා රට ගියා - රට බල්ලට ගියා" වැනි වැකි එදා තිබුනේ නැත!

පෙර වාදනයට දෙශපාලනයක් තිබුනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ සමගි පෙරමුණු ආණ්ඩුවබලයට පත්වූ කාල්යේදී වාදනය වූයේ "ඩඩ්ලි ඩඩ්ලි දැන් කොහොමද" අනුවාදනය වනාතර යූ ඇන් පිය බලයට පැමිණි වහාම වාදනය වූයේ "ඇන් ඇම් ට පුළුවංද - හත් හවුළ පෙරළන්න" අනුවාදනයයි.

ගුවන් විදුලියේ ස්වර්ණමය අවදිය ලෙස සැලකෙන්නේ රිජ්වේ තිලකරත්න යුගයයි. ගුවන්විදුලියේ සුපිරි ගනයේ නිවේදකයෙකුවූ කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේ සේකර, නාට්‍ය ශිල්පී හෙන්රි ජයසේන, ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, හා දොස්තර ගුණදාස අමරසේකර ඔහුගේ නාලන්දාවේ සමකාලීනයෝ වූහ. බොහෝ නව නිර්මාණාත්මක වැඩසටහන් බිහිවූ මෙතුමාගේ යුගය සමකල හැක්කේ ලංගමයේ අනිල් මුණසිංහ, රේල්ලුවේ ඩී. බී. රම්පාල යුගයන්ටය!
මාගේ මතකය නිවැරදි වේනම් ටී. එම්. ජයරත්න ගායනා කරන "ඔබ හා මෙමා අතිනත් අරන්" ගීතය ලියා ඇත්තේද රිජ්වේ තිලකරත්න මහතා විසින් වන අතර එම පදමාලාව ටී එම් හට භාරදී ඇත්තේ "මෙන්න මේ කවුද සිංදුවක් එවලා තියෙනවා! හොඳනං කියන්නකෝ!" කියාය!
තිලකරත්න මහතා ගැණ කථා කරන කොට කරුණාරත්න අබේසේකර පිළිබඳව කියැවුනු නිසා එතුමා ගැනත් ඇති මතකය මෙහිම දිග අරිණ්නම්. ඔහු පිළිබඳ මාගේ මතකය නැවතී ඇත්තේ දාස සමූහ ව්‍යාපාර වෙතින් ප්‍රචාරය වූ "පිබිදෙන ගායක පරපුර" වැඩසටහනෙනි. ඔහු එය   ඇද පැද; උත්කර්ශවත් හඬින් "පිබිදෙන . . . .ගායක . . . .පරපුර . . . " කියන අයුරු අදත් සවනේ රැව්දේ! ලංකාවේ වැඩිම ගීත ගනනක් ලියා කප් ගසා සිටින මෙතුමා ගීතයක් ලියන්නට පෙර සරස්වතී දේවියට පොල්තෙල් පහන් හඳුන්කූරු දල්වා පූජාවක් කල බව මාහට පැවසූවේ පත්තර ලොවේ පෙරළි කාර චරිතයක් වූ චින්තන ජයසේනයන් විසින්ය. දිනක් චින්තන අයියා මුණ ගැහුනු අවස්ථාවක "අඩියක්"ගැසීමට "සීගිරියට" එන ලෙස කරුණාරත්න අබේසේකර ආරාධනා කලේලු. සීගිරිය යනු කාෂ්‍යප බලකොටුව නොව; පුංචි බොරැල්ලේ සිරිධම්ම මාවතේ ගෝතමියට යන පාරේ (සැලස්කි පෙදෙස නේද නම?) අද එතුමාගේ නමින් හැඳින්වෙන පටු මාවතේ පැවති  ඔහුගේ නිවෙසයි. චින්තන අයියා යනු හිටගෙන ගල් අරක්කු බෝතලය; "බත් කා කට දනවාට බොන" පන්නයේ බෙබේ බී බොතේජුවෙකි! එසේම ඔහු මධුවිතට ආලය කලේ; ඔහුගේත්; ටයිටස් තොටවත්තයන්ගේ හඳයාහි "සූප්පුවාට" පන පෙවූ කිත්සිරි මෙවන් ජයසේනගේත් අම්මාට තාත්තට මෙන්ය! එදින ඉක්මණින් කණ්තෝරුවෙන් පැනගත් චින්තනයාණන් පාටියක් විඳීමේ අධිටනින් යුතුව සීගිරියට කිට්ටු කලේය. ඉතාමත් ආදරයෙන් සාදරයෙන් හා ගෞරවයෙන් යුතුව චින්තන අයියාව පිලිගත් කරූ ඔහුව සාලයේ කෙළවරක; කනප්පුවක් ඉදිරියේ  අසුන් ගන්වා ලයන් ලාගර් බෝතලයක් හා වීදුරු දෙකක් ගෙනැවිත් කනප්පුව මතින් තැබුවේලු. "වෙහෙර ගිල්ල යකාට අග්ගලාවත් කජ්ජක්ද?" කීවා සේ චින්තන අයියා බීර වීදුරුවකින් සංතෘප්තවී ගේට්ටුවෙන් එළියට ඇවිත් කඩප්පුලි භාෂාවෙන් කුණුහරුපෙන් බැන බැන කොලෝනියල් එකට ටැක්සියකින් ගියාලු.
ගුවන් විදුලියට අදාල නොවුනත් චින්තන අයියා කියපු තවත් රසවත් කථාවක් පවසන්නට තරහ අවසර! 
හෙළයේ මහා ගත්කරු;මාර්ටින් වික්‍රමසිංහයන් මධුවිත ඔෆර් කරණ්නේ ඔහුගේ පොත් ගුල තුලදීලු. පොත් රාක්කයේම පසෙක තිබුනු කුඩා කබර්ඩ් එක තුලින් බෝතලය ගෙන වීදුරු වලට  වත් කොට නැවත කබර්ඩය තුලට දමා යතුරු ලන්නේලු. ඒම මදුවිත වඩිය සියල්ලෝම බී අවසන් වූ විට නැවතත් කබර්ඩ් එක ඇර වීදුරු පුරවා නැවතත් පෙර පරිදිම යතුරු ලන්නේලු! ඔය මදෑ ඒ ගැන කිව්වා!
ඉතින් කරුණාරත්න අබේසේකරද ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රකාශ කල බව මා අසා ඇත! ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රචාරයේ මුදුන් මල්කඩ වූයේ පාලිත පෙරේරා සහ ප්‍රෙමසර ඈපාසිංහයන්ය. ක්‍රිකට් ක්‍රීඩාව ගම් නියංගම් වලට ගෙන යෑමේ ගෞරවය කරපින්නාගෙන සිටින්නේ ගුවන් විදුලියත්, පාලිතත් ඈපාත්ය. ඔවුන් පලමුවෙන්ම විස්තර විචාරය කොට ඇත්තේ "ආනන්ද - නාලන්දා සුලෝහිත මහා සංග්‍රාමය" ලෙස විරුදාවලිය ලැබූ මහා ක්‍රිකට් තරගය පිළිබඳවයි. ක්‍රිකට් ක්‍රීඩාවට උචිත බොහෝ වචන සෑදීමටද කරුණාරත්න අබේසේකර මැදිහත්වී ඇත!
ඇපාසිංහ විසින් ඉදිරිපත් කෙරුණු තවත් අගනා වැඩසටහනක් වූයේ "බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු" වැඩසටහනයි. මාගේ මතකය නිවැරදිනම් එය ප්‍රචාරය වූයේ ඉරිදා රාත්‍රී 8.15 ටය! දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සිදුවූ නවතම ආරංචි රැගෙන;  "ගෙවී ගිය සතියේ ක්‍රීඩා ලෝකය තුල . . " යනුවෙන් පටන්ගෙන කට කම්මිස්සිරියාවක් නැතිව වේගයෙන් සියළු ක්‍රීඩා විස්තර කියා පා ඈපාසිංහ හුස්මක් ගන්නේ "යලිත් ලබන සතියේත් බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු සමගින් හමුවන බලා පොරොත්තුවෙන් ඔබෙන් සමු ගන්නේ ප්‍රේමසර . .ඈපාසිංහ ආයුබෝවන්!" කියාය. ඔහුගේ තිබුනු "කඩදාසි ලිපේ දැම්මාසේ" පවසන වේගවත් වචන තුලින් අසන්නන් තුලද ජවයක් ඇතිකර ලීමට සමත් විය. ඔහු වචන; පිටපතට ලෝඩ් කොට රේඩියෝවෙන් වෙඩි තැබීය! ඔහුගේ වෙඩි මුරය අවසන් වූ වහාම 8.30ට පටන් ගැනෙන්නේ මොණරතැන්න ය. ජේ. එච්. ජයවර්ධනයන් එහි පන පෙවූ "රජ්ජුරුවො" චරිතය තවමත් මතකයේ ඇති අය සිටිති. බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු සඳහා අනුග්‍රහය දැක්වූයේ සිලෝන් ටුබේකෝ ආයතනය වන අතර මොණරතැන්න ගුවන් ගත්වූයේ ජයතිස්ස ඉන්ඩස්ට්‍රීස් හට පින් සිදු වන්නටය.
සඳුදා රාත්‍රියේ ප්‍රචාරය වූයේ වික්ටර් මිගෙල්ගේ නව මුවන් පැලැස්සය. මුවන් පැලැස්ස පසුව නව මුවන් පැලැස්ස වී ඇති අතර එහි පලමු රචකයා වූයේ මුදලිනායක සෝමරත්න වූ අතර පසුව එය වික්ටර් මිගෙල් විසින් රචනා කරණා ලදී. එහි ප්‍රධාන චරිතය වූ කදිරාගේ චරිතයට පන පෙව්වේද විටර් මිගෙල්ය. මාහට මතක ඇති කාලයේ එය ප්‍රචාරය වූයේ කඳානේ "ලින්ටන්ස්" ආයතනය අනුග්‍රයෙනි. මුවන් පැලැස්ස ගැන වැඩි දුර මෙතනින් කියවන්න! මේන්න මෙතනත් තියෙනවා හොඳ විස්තරයක් ඒකත් බලන්නකෝ! 1964 මාර්තු 12 වනි දින ඇරඹි මෙම ගුවන් විදුලි නාටකය ලොව දෙවෙනි වන්නේ 1951 ජනවාරි 1 වන දින එංගලන්තයේදී ප්‍රචාරය ඇරබි "ආර්චර්ස්"  නාට්‍යයට පමණි. මුවන්පැලැස්ස සමග තරග වැදුනු අනෙකුත් නාට්‍ය වූයේ ධර්ම ශ්‍රී මුණසිංහයන්ගේ මොනරතැන්නය! මීට අමතරව "ගජ මුතු", "වජිරා" වැනි නාට්‍යය වටාද ශ්‍රාවකයින් රොද බැඳ ගත්හ.
රේඩියෝ නාට්ටි හෙවත් ගුවන් විදුලි නාට්‍යය පිළිබඳව කතා කෙරෙණ විට අමතක කල නොහැකි නාට‍යයක් සමන් ආතාවුද හෙට්ටි අතින් ලියැවුනි. ඒ අන් කිසිවක් නොව සෙනසුරාදා උදේ වරුවේ  ප්‍රකාශය වූ "ලන්දේසි දූපත" නමැති ළමා රහස් පරීක්ෂක කථාවයි. සත්තකින්ම අදද ඒ නාට‍යය ඇසීමට ඇත්නම් යැයි මට සිතුණු වාර අනන්තය. එහි ප්‍රධාන චරිතයක් වන රොන්ජන්හට පණ පෙව්වේ සමන්ම වන අතර ජිල්ජෝන් හා වැන්දබෝනා චරිත ද්විත්වයෙන් එකකටද ඔහු හඬ මුසු කලේය. අනෙක් චරිතය පනපෙව්වේ කොළඹ නගර සභාවේ පරාක්‍රම පෙරෙරාය. එකල නිරංජලා සරෝජනී හා රෝහණ සිරිවර්ධන වැනි අයද හඬ නළුවන් විය. අංක එකේ කාන්තා ලාලිත්‍යය වූයේ නම් කුසුම් පීරිස්මය! එය ඒතරම්ම හැඟීම් දැනවූ හඬකි!
නෙතලී නානායක්කාර, වොලී නානායක්කාර, ශ්‍රීනිමල් පද්ම කුමාර, ඇග්නස් සිරිසේන, විජේරත්න වරකාගොඩ, වැනි බොහෝ අය; රේඩියෝ චරිත ජීවත් කර වූවේය. වරක් මුවන් පැලැස්සේ උක්කු බණ්ඩාට හා නාමලීට පන පෙවූ වොලී නානායක්කාර හා නෙතලි නානායක්කාරගෙ ඇඩ්‍රස් නැතිකරේ නාට්‍යානුසාරයෙන්මය! 
මීට අමතරව විනෝද සමය, හංදියේ ගෙදර වැනි වැඩ සටහන් වලින් සැමුවෙල්, බර්ටි, ඇනර්ස්ලි, ඇලෝ පෙරෙරා, මර්සි, ගැමුණු වැනි අයද අපගේ ඉළ ඇට සම්භාහනය කලෝය. හංදියේ ගෙදර්ට රෙඩියෝ නාට්ටියේ; ප්‍රවීණ ගායක බන්ධුල විජේවීරයන්ද හඬ කැවූ බව යාන්තම් මතකය. එහි "කල්කදුරු තිත්තගේ ගල්නෝමිස් ඉරිවේරිස්" නම් චරිතයක්ද තිබුනු බව මතකය. සැමුවෙල් ගේ "අමාරිස් අයියා" චරිතයද ඇනර්ස්ලිගේ හාමු මහත්තයා චරිතයද "නාමෙ නොදිරණා - කුණු කය දිරණා" යන ගීත කණ්ඩයට අරුත් සැපයූවේය!
ගුවන් විදුලියේ තම හඬ පෞර්ෂයෙන් ආමන්ත්‍රණය කල අමරබන්දු රූපසිංහ, ලලිත් එස් මෛත්‍රීපාල, ප්‍රේමකීර්තිද අල්විස් පිළිබඬව ඇත්තේ සුපහන් මතකයකි. මෙම තිදෙනාම ප්‍රවෘති ප්‍රකාශයටද සහභාගී විය. මින් වැඩහටහන් සම්පාදකවරයෙකු ලෙස ඉමහත් කීර්තියට පත් ප්‍රේම්ගේ ශනිදා සාදය දුහුනන් සඳහා විවරවූ වැඩ සටහනකි. එසේම රේඩියෝ සඟරාවද (සෙනසුරාදා සවස 4.00) ඔහුගේ වැඩ කිඩ වලින් ඔපවත් උනා යැයි මාහට මතකයක් පවතී. වැඩසටහන අවසානයේ " . . . . . . . .  හි පදිංචි  . . . . .ගේ දොන් ප්‍රේමකීර්තිද අල්විස් වන මා විසින් කොළඹ හතේ  . . . . .ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී . . . . . . . ." යනාදී වශයෙන් අවසන් කලේ රේඩියෝ සඟරාව යැයි මාහට මතකයක් පවතී. 
නිවේදක නිවේදිකාවන් ගැන කථා කරණ විට බණ්ඩාර කේ විජේතුංගය පිළිබඳව අමතක වුවහොත් එය විසල් අඩුපාඩුවකි.මා ගේ මතකය නිවැරදි නම් ඉරිදා දහවල් 1.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ "සිනමා පුවත්" වඩසටහන ගුවන් ගත විය. මීට කලකට පෙර ඉන්දියානු චිත්‍රපට ශ්‍රී ලංකාව තුල ජය කෙහෙළු නංවමින් තිරගත වූ කාලයේ ඒ පිළිබඳ හඳුන්වා දීමේ වැඩසටහන මෙහෙය වූවේ බණ්ඩාරය. "ඔවුන් දෙදෙන එක් කලේද සංගීතයයි - වෙන් කලේද සංගීතයයි දෙවෙනි අභිමානවත් මාසයේ අභිමාන්" ඔහුගේ වදන්ය! "ළඳුනි මා ඔබට ද්‍රෝහි වූවා නොවේ! පියෙකු නැති දරුවෙකුට පියෙකුවූවා පමණි!", "එක මලයි බඹරු දෙන්නයි!" මේ ඔහුගේ යෙදුම්ය. මේව්වා කියැවුනේ ඔහුගේ ගැඹුරු ස්වරයෙනි. එවන් හඬක් මා කිසිදා අසා නැත! "ඉන්දීවරියේ අඬනු එපා" - සනත් නන්දසිරි,  "දිනෙන් දින ඔබ මා කෙරෙන්" - සනත් නන්දසිරි වැනි රසාලිප්ත ගීත රචනා ගනනාවක් පබැදූ ඔහු අකාලයේ මීවිත සමගම අපෙන් වෙන්ව ගියේ හයිකු කවියෙකු ලෙසද ඔහුගේ මුද්‍රාව අපගේ හදවතේ ගැඹුරුම තැන ස්ථාපිත කරමින්ය!
එසේම පැණ විසඳුම් වැඩ සටහන් වන "පුළුවන්නම් දිනාගන්න", "ඕවල්ටීන් පැන පොඩි", වැනි බොහෝ වැඩ සටහන් වලින් ගුවන් කාලය පිරීතිබුනි. ඊට අමතරව කේ ජයතිලක මහතාගේ ප්‍රිය බිරිඳව සුමනා ජයතිලක නැන්දා; සෑම සතියකම සිකුරාදා සවස 5.00 ට ලැම්බර්ට් පෙම්මාවඩු මාමා සමග එක්ව ගෙන ආ හඳ මාමා වැඩ සටහන පොඩිත්තන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. එහි තේමා ගීතය; "ලොව ඝනඳුරු දුරු කරන්න . . . . . කියමින් පටන් ගෙන හඳ මාමට සවන් දෙන්න . . " යනුවෙන් කරටියෙන් ගැයූවේ ජේ ඒ මිල්ටන් පෙරෙරා විසින්ය.
සෑම උදෑසනකම 5.30 ට පටන් ගන්නා විකාශය තුල පන්සිල්, සෙත් පිරිත්, ධම්ම චින්තා, දවසේ සිතුවිලි, ජාතික ශරීර සුවතා වැඩසටහන, අරුණ කිරණ, ප්‍රවෘත්ති, අසන්නන්ගේ ඉල්ලීම්, ලෝක ප්‍රවෘත්ති, නිවේදක තෝරයි වැනි වැඩ සහන් වලින් දිනය ඇරඹීය. ඉක්බිති ගීතමය වැඩසටහන් ලෙස සරල ගී, ශාස්ත්‍රීය ගී, චිත්‍රපට ගී. සමූහ ගී, කණ්ඩායම් ගී, ලමා ගී, පැරණි ගී, දිවා ගී, බයිලා ලෙසින් සෘජුව ප්‍රචාරය විය. ඊට අමතරව නිවේදක තෝරයි, ස\ස්කාරක තේරීම්, රංග තරංග, අසන්නන්ගේ ඉල්ලීම්, කාන්තා ඉල්ලීම්  අඟහරුවාදා සවස 5.00 ට නොවරදවා ප්‍රචාරය වන "ලේ පරිත්‍යාගශීලීන්ගේ ඉල්ලීම්" වැනි වැඩ සටහන් වලින්ද  උතුරු ඉන්දීය සංගීතය, ශාස්ත්‍රීය සංගීතය, හිංදි චිත්‍රපට ගීත වැනි වැඩ සටහන් වලින්ද පිරී පැවතුනි.
ඉරිදා දහවල් 2.00 ට; ජර්මන් තානාපති කාර්‍යාලයේ අනුග්‍රහයෙන් ප්‍රචාරය වූ ප්‍රචාරය වූ ජර්මන් ජන හඬ වැඩ සටහනේ සිට ශ්‍රී ලංකා පොලීස් දෙපාර්තමේන්තුවෙන්; සෑම දිනකම ඉරමුදුං සමයට ප්‍රචාරයවූ "පොලීසියෙන්" ,  සිට  විනෝද මේළා -ඔව් නෑ බෑ  (ඩී. පී මොරවක), සාරභූමි (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව), මව සහ ළදරුවා (ජේ එල් මොරිසන්ස්), පුෂ්පාංජලී (ජයරත්න මල් ශාලාව), පහන්සිළුව (ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස්), සෞඛ්‍ය ගැටළු (ජා ඇල වෛද්‍ය දිනපාලද සිල්වා - ජා ඇල) විනාඩියක් පමණයි (නිකාඩෝ), ජය ලලිතා රත්තරන් පැතුම් (ජයලලිතා ජුවලර් හෙට්ටිවීදිය), වජිරා (ගුරුගේ මැණික්), පුළුවන්නම් දිනාගන්න (ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව), ගීත කතන්දර (ලෙච්චමී ජුවර්ලර්ස්), හංදියේ ගෙදර (ද ෆිනෑන්ස්), කුසුම් රේණු (කොළඹ මල් ශාලාව), ඊ. එච් ගීත ධාරා (ඊ එච් කුරේ) වාසනා උදාව (සෙන්ට් ඇන්තනීස් සමූහ ව්‍යාපාර), වැනි රසාලිප්ත වැඩ සටහන් රාශියක් ඒවායේ අනුග්‍රහකයින් සමග මතකයේ ඇත! 
මෙවන් අතීතයක් විඳි අපගේ ගුවන් විදුලිය මේ වන විට පන අදිමින්ය. එහි අවසන් කටයුතු සඳහා මේ දිනවල ආයතන පාලකාධිකාරිය සූදානම් වෙනවා ඇති! කාලයක් අප සමග සිටි නෑදෑයෙක් හිත මිතුරෙක් වෙනුවෙන් තවමත් හිතේ දුකක් ඇත!  මළ ගෙදරටවත් යන්නෝන!

ප.ලි. :- ලැම්බර්ට් පෙම්මාවඩු පිලිබඳව සොයා යාමේදී තවත් බ්ලොගයක් හමුවිය. එයට මෙයින් පිවිසෙන්න!


Monday, September 10, 2018

110. බස් . . .Buzz . . . . !

බණ්ඩාරනායක බෙන්ස් !

අද අප බොහෝ සැහැල්ලුවෙන් කතා කොට අමතක කොට දැමූවද 1956 බණ්ඩාරනායක මහතා බලයට පත්වීමත් සමග මේ රට තුල සිදුවූ ධනාත්මක වෙනස් වීම් කිහිපයක්ද වේ.  
ප්‍රවාහණ ක්ෂෙත්‍රයේ සිදුවූ දැවැන්ත පෙරළිය ඉන් එකක් සේ පෙන්වා දිය හැක. 
එතෙක් කොප්ම්ප්‍රදෝරු ධනපති ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු අත තිබුණු මගී ප්‍රවාහණය විධිමත් ක්‍රමවේදයකට සකස් වූයේ ඉන් පසුවය. 
මාගේ "සැම්සන් හා විල්සන්" පෝස්ටුවේ හා "තාත්තා නොම්මර . .1(II)"පෝස්ටු වල ලියා ඇති පරිදි ඉතා අවිධිමත් ලෙස පැවති මගී ප්‍රවාහන ජාවාරම සේවයක් බවට හැරුණේ1956 න් පසුවය. 
බස් ජන සතුවෙන් පසු ප්‍රථම බස් රථය පදවගෙන යන ලෙස බණ්ඩාරනායක මහතා ගෙන් අදාල ඇමතිවරයා හෝ නිළධරයා ආරාධනා කල විට ඔහු පවසා ඇත්තේ තමාට "බස් ලයිසන්" නැති වගය! දැන් වගේ "ගලි බව්සරයක්" වුවද විවෘත කිරීමට යන මාදිළියේ දෙශ පාලුවන් එකල සිට නැත. 

අද සත දහයට විකිණුනද?

ලංකා ගමනා ගමන මණ්ඩලය බිහිවන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසය. මෙනිසාම එම බස් බෞතීස්ම ලැබූවේ ලංගම බස් ලෙසය.
මීට කලකට පෙර පුද්ගලික බස් රථයක් ලංගම බසයක් හරස් කොට ලංගම රියැදුරාහට බැන වදින්නත් තර්ජනය කරණ්නත් විය. 
සියල්ල අසා සිටි වයසක පහේ ලංගම රියැදුරා පැවසුවේ
“මල්ලි උඹව ලැබෙන්න උඹගෙ අම්ම ඉස්පිරිතාලෙට යන්න ඇත්තෙත් ලංගම බස්සෙකක මිසක් ප්‍රවිවෙට් එකක නෙවේ කියන එක මතක තියාගං …!” කියාය.
මෙම ප්‍රකාශය මගේ කන වැකෙත්ම එය නිකම්ම නික වාග් ප්‍රහාරයකට වඩා එහා ගිය ගැඹුරකින් යුත් ප්‍රකාශයක් බව මා හට පසක් උනේ මා අසල සිටි නන්නාඳුනන අනෙක් මගියා මා දෙස බලා එම ප්‍රාශය අනුමත කරණ්නාසේ හිස සැලීමත් සමගය !
බුදුන් දවස ලක්දිව ලංගමය පැවතුනි නම් එදා පඨාචාරාවට බුදුරජුන් වදාලන්නේ කිසිවෙකු නොමල ගෙයකින් අබැටක් ගෙන එන්න කියා නොව "ලංගම බසයකට ගොඩ නොවුනු කෙනෙක් සිටිනා ගෙදරකින් ලුනු අහුරක් ගෙන එන" ලෙසය.!



කොහොමද ගැම්ම ?

ලංගම බිහි කිරීමේ දී ගුරු කොට ගෙන ඇත්තේ එවකට ලන්ඩන් ප්‍රවාහන ආයතනයේ සංයුතියය. ඒ ආනුභාවයෙන් ලද ඩබල් ඩෙකර් බස් රථ එකල කොළඹ නගරයේ සුලභ දසුනක් විය. එකල අග නගරය දැක්වෙන බොහෝ පින්තූරයක ඩබල් ඩෙකරයක් විරාජමානව වැඩ සිටිනු දක්නට ලැබුනේය. 
එය නුවර පෙරහැරේ ඡායාරූපයක මංගල හස්ථියා සිටිනු දක්නට ලැබෙනවා වැනි සුලභ දසුනක් විය.නුවර ඇත්තෝ ආඩම්බර නොවෙත්වා! එකල මා වෙත තිබූ; ලිප්ටන් වට රවුම අසල පැරණි පල්ලිය හෝ ඔසු හල ගොඩනැගිල්ල පසු බිමේ තිබුනු පින්තූර කාඩ් පතකද ඩබල් ඩෙකරයක් දක්නට ලැබුණු බව අද මෙන් මතකය. 
ඩබල් ඩෙකර් හා ලිප්ටන් වට රවුම සම්බන්ධ වූ ජනප්‍රවාදයක් එකල පැවතුනි. එය සැකවින් මෙසේය. 
ඩබල් ඩෙකර් බස් පැමිණි මුල් සන්දියේ යූනියන් පෙදෙස දෙසින් පැමිණි බසයක් ලිප්ටන් වට රවුමෙන් හැරවීමට යාමේදී එය පසෙකට ඇල වීම පිළිබඳව ඩිපෝවට පැමිණිළි කලේලු. එවිට එහි සිටි කිසියම් යුරෝපීය ඉංජිනේරුවරයෙක් එම වටය උපරිම වේගයකින් පදවා පෙන්වා ඇති අතර දේශීය රියෙදුරෙක් තමාගේ වාරයේදී එම වේගයෙන්ම පදවා පෙන්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය භාවය කෙසේ වෙතත්; සේවා,  නඩත්තු හෝ අළුත්වැඩියා කටයුතු සදහා ඩබල් ඩෙකර් රථ සාමාන්‍ය බස් රථ මෙන් ඉහලට ඔසවන්නේ නැති බව මා අසා ඇත. ඒ වෙනුවට සිදු කරණ්නේ පසෙකට ඇලකිරීමය. 
ඩබ්ලිව් එල් වයිට්ලිගේ "නූතන භෞතික විද්‍යාව" පොතට අනුව ඩබල් ඩෙකරයක් සැළකිය යුතු කෝණයකින් ඇල කිරීමට හැකියාවක් පවතී. එයට ප්‍රධාන හේතුව වන්නේ එහි ගුරුත්ව කේන්ද්‍රය ඉතා පහල මට්ටමක පැවතීමයි.එය ස්ථානගතවී ඇත්තේ රථයේ රේඩියේටර්යේ වසුන, පියන හෙවත් මූඩිය මට්ටමේ ය. ගුරුත්ව කේන්ද්‍රය හරහා පොලොවට ලම්භකව වස්තුවක බර ක්‍රියා කරයි. වස්තුවක් පෙරලීයාමට එති අවශ්‍යතාවය වන්නේ ඇල වීම අමග ඉවතට හැරෙණ බර ක්‍රියා කරණ රේඛාව වස්තුවේ අධාරකයෙන් ඔබ්බට යෑමයි. මේ නිසාම වස්තුවක් වඩාත් ස්ථායි වීම සඳහා අවශ්‍යතාවය විය යුත්තේ ගුරුත්ව කේන්ද්‍රය වඩාත් පොලොවට ආසන්නව සකසා ගැනීම හා / හෝ අධාරකය වඩාත් පුළුල් කිරීමය. ඩබල් ඩෙකරයේ මේ උපක්‍රම දෙකම මොනවට උපයෝගී කර ගෙන ඇත.
ස්ව්භාවයේ පවතින ඕනෑම වස්තුවක් වඩා ස්ථායි වන්නේ ගුරුත්ව කේන්ද්‍රය පොලොවට ආසන්න වූ විටය. එසේම සෑම වස්තුවක්ම උත්සුක වන්නේ, උනන්දුවන්නේ,කැමති වන්නේ ගුරුත්ව කෙන්ද්‍රය පොලොවට හැකි පමන ආසන්නයේ පවත්වා ගන්නටය. (සෑම "වස්තුවක්ම" මේ ආකාරයෙන් පොලොවේ පය ගහලා සිටීනම් එය කොයි තරම් අගනේ ද? අපේ ආච්චිලා සමහර ගෑනු ලමයි පිළිබඳව විස්තර කරද්දී "ඔය උඩැක්කිය යන්නෙ එන්නෙ පොලොවට අඟල් හයක් උඩින්! බලමුකෝ මොකද වෙන්නේ කියලා!!" යැයි පවසන්නේ ගුරුත්ව කේන්දරය ගැන සිතා විය යුතුය. මිනිසාගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ නාභිය අසලය. "අයිකිඩෝ" සටන් කලාව (කාටත් දන්නා විදියට කියනවා නම් ස්ටීවන් සීගල්ගේ සටන් කලාවේදී) ප්‍රථිවාදියා නවතා ලන්නේ ඔහුගේ නාභිය අසලින්ය! එවිට ඔහුගේම වේගය නැතහොත් ගම්යතාවය මගින් නාභිය අසල නවතුම් ලක්ශය හරහා ඝූර්ණයක් නොහොත් කර කැවීමකට භාජනය වේ! බොරුනම් ඇනෝපිලිස්ගෙන් අසා දැන ගත හැක!!!) 



 ප්‍රයිවෙට් බස් වල ක්න්දොස්තර මල්ලිලා මගීන් දන ගස්සන හැටි .
අයිකිදෝ පොඩ්ඩකුත් ඇඟට දාගෙනම කියවමු !

එම පොතේ 68 - 69 පිටු වල මේ කථාන්දරය මෙසේ ලියැවී ඇත. පුළුල් ආධාරකය පාදයක් ද පහත් ගුරුත්ව කේන්ද්‍රයක් ද ඇති විට ස්ථායි සමතුලිතතාව ගෙන දෙන බව ඉහත සඳහන් කරුණු වලින් පැහදිලිවේ. බස් රථ වැනි වාහන වල මෙ වැන්නක් අවශ්‍ය වේ. බස් රථයක්පැත්තට පෙරැළෙන්නට පෙර එය සෑහෙන කෝණයකින් ඇල කළ හැකි දැයි පරීක්ෂා කොට බලනු ලැබෙ. පරීක්ෂණයේ දී ඉහළ තට්ටුවේ ගෙන යන මඟීන්ගේ මුළු බරට සමාන බරක් ඉහළ තට්ටුවේ තබනු ලැබේ. පහළ තට්ටුවේ බර නොතබනු ලැබේ.බස් රථයක් ඇල වී පැත්තට පෙරැළී වැටීමේ විවිධ අවස්ථා 62 වැනි රූපයේ දැක්වේ.ගුරුත්ව කේන්ද්‍රය පහත් වූ තරමට බස් රථයට අනතුරක් නො වී ඇල වී සිටිය හැකි යි. මක්නිසා ද යත් ගුරුත්ව කේන්ද්‍රය ඉහළ ම ස්ථානයට නඟින්නේ බස් රථය සෑහෙන කෝණයකින් ඇල වූවාට පසු ව හෙයිනි.


මේ; ලංගමට සිදුවූ අභග්ගය නොව බසයක් පෙරළීමේදී එහි ගුරුත්ව කේන්ද්‍රය ඒ සමග විචලනය වීමත් එහි බර ක්‍රියා කරණ ආකාරයත් දැක්වෙන රූප සටහනකි!
( හරහට වැතිර වම් පස කියවන්න!)

මේ ගැන අපට භෞතික විද්‍යාව “භෞතික කලාව” ලෙස සුන්දරව පිළිගැන්වූ; කෝපාග්නියෙන් දැවුනු විට කලු ලෑලි සුනු විසුනු කල උපනන්ද සේනාරත්න ගුරු තාත්තා  (ගුරු පියාණන් යන්න මේ වන විට ලොං හැලී ගිය පද ද්විත්වයකි !); පීකර ගස් බැද බෙල්ලේ ඔතා ගත් මයික් වලින් නොව; ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහසක් ගාල කරවූ නුගේගොඩ රොටරි ශාලාවේ තම කට හඬින් උගැන්වූ අයුරු මතකය.
“තමුන්නාන්සෙලා ඩබල් ඩෙකර් බස් එකකට නැගලා උඩ තට්ටුවට ගිහින් ඒකෙ හිට ගෙන යන්නට උත්සාහ කරත් දී කොන්දස්තර තැන පහලට එලවන්නට හේතුව දැන් පැහැදිලිද ? අදාල ප්‍රමාණයට වඩා මගීන් ප්‍රමාණයක් උඩ තට්ටුවට ගොඩ වූ විට ඉහල තට්ටුව මත ක්‍රියා කරණ බර වැඩි වීමෙන් ගුරුත්ව කේන්ද්‍රය ඉහලට ගමන් කරණවා! ඒ සමග රියැදුරාට රථයේ ස්ථායිතාවය ඇති වී ගිය බව දැනෙනවා. මට මතකයි රියැදුරු මහත්වරු ඒ වෙලාවට කෑගහනවා උඩ හිටගෙන ඉන්න  අය පහලට ගන්න කියලා !” මේවා ඇසෙනවා ඇසෙනවා වාගේය.
 ලංගමේ කථාව යන දුර නේද ?

ආණ්ඩු පෙරලනවාටත් වඩා අමාරු බස් පෙරලිල්ල !

ඩබල් ඩෙකර් කතාවෙන් ඉවතට තල්ලු වීමට පෙර තව තාක්ෂණික කරුණු කිහිපයක් ලියා දමන්නම්. එකල ඩබල් ඩෙකර් සමන්විත වූයේ එපිසයික්ලික් පන්නයේ ගියර් පෙට්ටියකි. ඒවායේ ගියර මරු වූයේ ගියර පෙට්ටියේ වූ බ්‍රේක් බෑන්ඩ් තද කිරීමෙන්‍ය. මෙය සිදු කලේ සම්පීඩිත වායුවෙනි. මෙම වායු සම්පීඩනය සදහා වෙන මම වායු සම්පීඩකයක්; තේරෙණ භාෂාවෙන් කියනවා නම් එයාර් කම්ප්‍රෙෂරයක් පැවතුනි. රියැදුරා විසින් ගියරය මාරු කිරීම ලීවරයකින් සිදු කලද එම ක්‍රියාවට අදාල ගියරයට ගියර පෙට්ටියේ ගියර සැකසීම සිදු කලේ පෙරකී සම්පීඩිත වායුව අදාල බ්‍රේක් බෑන්ඩ් එකමත යොමු කිරීමෙන්‍ ය. එය සිදු කලේ ක්ලච් පාදිකය පෑගීමෙන්‍ය. කොටින්ම ක්ලච් එක පාගා ගියර දමනවා වෙනුවට සිදුකල යුතුව තිබුනේ ගියරය දමා ක්ලච් එක පෑගීමටය. මේ නිසාම ඉදිරියට ධාවනය වන විට පසු ධාවන ගියරය හෙවත් රිවර්ස් ගියරයට උවද ලීවරය මාරු කොට තැබිය හැකි බව; මෙම වර්ගයේ බසයක් ධාවනය කොට තිබූ මංගලදාස් ලක්ෂ්මන් පෙරේරා  මහට දිනක් පැවසීය මෙම එපිසයික්ලික් ගියර පෙට්ටි වලට ක්ලච් ප්ලේට් නොතිබුනි. ඒවාට තිබුනේ ටෝක් කන්වේටරයක් ය. කොටින්ම අද ඔබත් මමත් දකින ඔටෝ ගියර පෙට්ටියේ මීමුත්තා මෙම ගියර පෙට්ටියය!


ලියනවාට වඩා මෙහෙම පෙන්වන එක ලේසියි! 
මේ ඩෙකර් ගියර් පෙට්ටියේ දියුනු අවස්ථාව.


ලංගම පෝස්ටුව ඩෙකර් පෝස්ටුවක් වී අවසානයේ භෞතික විද්‍යා පාඩමක් වූ අපූරුව...නැවතත් සුපුරුදු වැඩසටහනට.....!

එකල බස් රියැදුරු මහතෙකු ඩෙකර් රථයක් පැදවුවහොත් දිනක වේථනයට රුපියලක් එකතු වෙනබව පැවසේ. 
ලංකා ගමනා ගමන මණ්ඩලයේ ස්වර්ණමය යුගය ලෙස හඳුන්වන්නේ අනිල් මුණසිංහ යුගයයි. https://en.wikipedia.org/wiki/Anil_Moonesinghe එකල එතුමාට කිසිදු පෙර දැනුම්දීමකින් තොරව;  සාමාන්‍ය මගියෙකු ලෙස බස් රථ වලට ගොඩ වැදී ගමන් කිරීමේ සිරිතක් එතුමාට තිබී ඇත. බොහෝ විට ඔහු බස් රථ වලට ගොඩ වදින බස් නැවතුම වී ඇත්තේ සුගතදාස ක්‍රීඩාංගනය අසලින් බව මා අසා ඇත.ඒ බස් වල කට මට්ටං සෙනග පිරෙණ හවස් යාමය; එනම් රාත්‍රිය ඔන්න මෙන්න තියෙන පස්වරු 5.30 - 6.00 යාමයේදීය. වරක් සභාපති තුමාගෙන් සල්ලි රැගෙන ටිකට් නොදී සල්ලි මාටියා ගහන ලද කොන්දොස්තර වරයෙකු පරධාන කාර්‍යාලයට කැඳවා අවවාද කල බවක්ද ප්‍රචලිතය. එකල මහනුවර කුරුණැගල වැනි ඩිපෝ වල ඉතාලියෙන් ගෙන්වන ලද FIAT දොර දෙකේ බස් රථ ධාවනය විය. එම බස් රථ ගෙන්වන ලද කාලයේ සභාපතිව සිටි අනිල් මුණසිංහ මහතාහට එම ආයතනයෙන් ලබා දුන් අත යට කොමිස් මුදල වෙනුවෙන් තනිදොරේ FIAT OM බස් රථ ගෙන්වා දුෂ්කර පලාත්වල යොදවන ලදී. අවිස්සාවේල්ල ඩිපෝවෙන් ක්‍රියාත්මක වූ  නූරිය, දැරණියගල, ගෝනගමුව වැනි දුෂ්කර පලාත්වල මගී ප්‍රවාහනය සඳහා මේ බස් රථ යෙදවුනි.

එකල කඳුකර සේවය සඳහා යෙදවුනේ Mercedes Benz  ජර්මානු බස් රථය. මුලින්ම LP 312 මොඩලයේ බස් චැසි භාවිතා කල අතර ඉන්පසු යෙදවූ LP 911 හා LP1113 මොඩලයන්ය.වාර්තාගත සේවයක් ඉටු කල හැටන්, නාවලපිටිය, බදුල්ල බණ්ඩාරවෙල වැනි ඩිපෝ වල සේවයෙ යෙදුනු මෙම බස් රථ; මගී ප්‍රවාහණ ඉතිහාසයේ විප්ලවීය සංධිස්ථානයක් සනිටුහන් කලේ ය. හැටන් ඩිපෝවෙන් ක්‍රියාත්මක වූ ලංකාවේ  "ඩ" අක්ෂරයෙන් පටන් ගන්නා එකම ගම විය හැකි ඩයගම - කොළඹ සීඝ්‍රගාමී බස් සේවාව සඳහා යෙදවුනේ 23ශ්‍රී 2444 දරණ මර්සිඩීස් බෙන්ස් රථය විය. සෑම දිනෙකම විනාඩි 5 ක කාල වෙනසක් මත නියමිත වේලාවට දිවුනු එම බස් රථය මත පිහිටා බිත්ති ඔරලෝසුවේ වෙලාව තබනු මා සියැසින් දැක ඇත.මෙයට කලකට පෙර හැටන් ඩිපෝවේ ස්වර්ණමය යුගය ගැන පලවු සවිස්තර ලිපියක එකල එහි සිටි ඩිපෝ ඉංජිනේරු වරයාගේ සේවය පසසා තිබුනි. 
පහත රට ප්‍රදේශ වල ධාවනය වූයේ එංගලන්තයෙන් ආනයනය කල Leyland Comet  බස් ය.
අප පාසල් ගියේ ලංගම බස් වලිනි. සීසන් ටිකට් එකක් ගත් පසු මුලු මාසෙම පාසල් ගිය ගැම්මක් සිතට දැනේ.එම බස් රථවල ඉදිරිපස දොරටුව තිබුනේ ඉදිරිපස රෝදයට පසුපසිනි. මෙම දොරටුවත් ඉදිරිපස වීදුරුවත් අතර බැටරි පෙට්ටිය සවිකොට තිබුනි. බසයේ සීට් එකක සුවපහසුව වාඩිවී යනවාට වඩා ආශ්වාදයක් මෙය මත වාඩිවීයන විට දැනේ, එහි ඉඳ ගෙන යන්නට ලැබෙන්නේ රියැදුරාගේ හෝ කොන්දොස්තරගේ කිට්ටු හිතෛශී අයෙකුට පමනි. එය වරප්‍රසාදයකි. එය මත වාඩි ගෙන රියැදුරා සමග කයිවාරුවකට සහ සම්බන්ධ වෙන අය හැරී බසයේ අනෙකුත් අවශේෂ මගීන් දෙස බලන්නේ ආඩම්බරයෙනි.
එකල බස් රියැදුරුට හා කොන්දස්තර වරයාහට නියමිත කාකි කමිසයක් තිබුනි. රැවුල මුළුමනින්ම මුඩු කිරීම හෝ උඩු රැවුල හැරුණු විට වෙනත් මල් කැටයම් තහනම් විය, කොන්ඩයට පවා ප්‍රමිතියක් තිබුනි.බස් රථයේ සීනුව එක් නැවතුමක නැවතීම සඳහා ඇදිය යුත්තේ එක් වරක් පමණක් බව මගීන් දැන සිටියහ. මගීන් බසයෙන් බිමට බැස අවසන් වූ පසු හෝ ගොඩවූ පසු සීනුව ඒ බව රියදුරු හට කොන්දොස්තර විසින් දැනුම් දෙන්නේ ආසන්න්යේ නාදකල සීනු හඬ දෙකකිනි. කිසියම් කාල පරාසයක් තබා සීනු හඬ තුනක් නාද කලහොත් ඉන් අදහස් කලේ නොනවත්වා ධාවනය කල හැකි හෝ / යුතු බවයි. බසයක් නැවැත්වූයේ බස් නැවතුමක පමණි. මගියකු හට බසයෙන් බැසීමට හෝ නැගීමට බස් නැවතුම අසලට බසය එනතෙක් සිටුය යුතු විය. සාමාන්‍ය මගීන් රියැදුරු හා කොන්දොස්තර ඇමතූවේ අගට උන්නැහැ යන ගෞරවාන්විත පදය එක්කරමිනි.අද එය තාමත් යාන්තමින් හෝ භුක්ති විඳින්නේ "බාසුන්නැහැ"ලා පමණි.සෑම බසයක්ම ධාවනය වූවේ නියමිත කාල සටහනකටය.ඒවා පාලනය සඳහා බස් නැවතුල් පොල වල වෙනමම නිළධරයෙකු සිටියේය.ජන වහරේ ඔහුට කීවේ ටයිං කීපර් (Time Keeper) කියාය.



දුර ධාවනය වූ බස් රථ වල වහලයේ පසුපසට වන්නට ගමන් බඩු ගෙනයාමට රාක්කයක් නොහොත් Hood Rack එකක් සවිකොට තිබුනි. කොළඹ සිට දුර පලාත් වලට මාළු ගෙන ගියේ බසයේ පසුපස එල්ලාය. යටියන්තොටට මාළු ගෙනාවේ තලංගම ඩිපෝවෙන් මස්කෙළිය බලා ධාවනය වූ බසයේය. බසය යටියන්තොට නගරයට සම්ප්‍රාප්ත වූ සැනින් ටවුමේ මාළු ලෑල්ල පමනක් නොව "බජාර්" එකම "රන්" කල "මාළු පොඩ්ඩේ" හෝ ඔහුගේ අයියා වන "ලොක්කේ" තම ගෝල බාලයින් මෙහෙයවා මාළු පෙට්ටිය බා ගන්නා අයුරු මට අදමෙන් මතකය.
එකල තලංගම, මට්ටක්කුලිය, මීතොටමුල්ල හා මහනුවර, කුරුණැගල ඩිපෝවල ධාවනය වුවේ ඉසූසූ රථය. අමතරව ඇඹිලිපිටිය වැනි තවත් ඩිපෝ වලට ඉසූසූ රථ අනුයුක්ත කොට තිබුනි. ජර්මානු බෙන්ස් රථ වල අවසන් කාලය සනිටුහන් වෙද්දී ඒ තැන ගත්තේ TATA Benz ය. ඒකාලේ ටාටා ලකුණ වටේ දෙපැත්තකින් තිබුනු වී කරල් දෙකට ඉහලින් TATA යනුවෙන්ද යටින් BENZයනුවෙන්ද ලියැවී තිබුනි. පසුව බෙන්ස් ගේ තැන අහිමිවී එතැනට Engineering  යොදා තිබුනි.




ටාටා බස් ලංකාවට හඳුන්වාදුන් කාලයේ සිදුවූ සිදුවීමක මතකයක් ඇත. මේ පිළිබඳව මා ඉදිරියේ කරුනු දැනගත් දිනෙක  එයින් මෙය පෝෂණය කරණ පොරොන්දුව මත මතක මාත්‍රය පමනක් ලියා තබන්නම්. හැටන් ඩිපෝවේ සිටි බොහෝ අදවිතීය රියැදුරණ් වූ ඩයගම බස් රියේ සිරිසේන, බගවන්තලාව - කතරගම බසය පැදවූ; දුනු කඩන බැවින් "දුනු රාජා" නම් අනවර්ථ නාමයෙන් හැඳින්වූ රාජපක්ෂ, ඉතිහාසයේ පළමුවතාවට ඩයගමට දොර දෙකේ බස් රියක් ගෙන ගිය;  හැටන් හා කොළඹ අතර ධාවනය සඳහා නිර්දේශිත කාලය වන පැය 4 1/2 පැය 3 1/2 කින්  අවසන් කල ලක්ෂ්මන්; කණ්නාඩි ජිනදාස වැනි චරිත අතර කිතුල්ගල ගම් පලාත කර ගත්   ප්‍රේමදාස නම් නිහඬ මිනිසෙකු සිටියේය. ඔහු ප්‍රසිද්ධ වූයේ ඒ නිහඬ බවට පමනක් නොව ඔහුට තිබුණු අධික "කිතිය" නිසාය. කිසිවෙකු ඔහුගේ ඉලපතට ඇඟිල්ලකින් ඇන්න විට කියවෙන සාරගර්භ දේශණය නිසාම ඔහුගේ අනවර්ථ නාමය වූයේ "හුකා පේමේ"ය. ඔහු ගේ බස් රියට වැරදීමකින් හෝ කොළඹ යන්නට කිසිවෙකු ගොඩවුවීමට කලින් බත් ගෙඩි දෙකක් හා ලබු කැටයකට වතුරද සූදානම් කර ගත යුතු විය. මන්ද ඔහු එතරම්ම "වේගයක්" පවත්වාගෙන යන බැවිනි. අභිනවයෙන් හැටන්ඩිපෝවට ගොඩ බෑ ටාටා බස් රියක් ඔහුටද ලැබුනු අතර ඔහු සිරිත් පරිදි කොළඹ යන්නටත් හැටන් යන්නටත් පටන් ගත්තේය. කාලය ගෙවී ගියේය. ඔහුගේ බස් රිය සමග ගෙන ආ අනෙකුත් බස් රථ වල එන්ජින් සම්පූර්ණ අලුත්වැඩියාවන් සඳහා ගැලවුනුමුත් පේමෙගේ බස් රිය කිසිදු නඩත්තුවකින් තොරව ධාවනයේය. (මාගේ මතකය හරස් වන්නේ මෙවිටය.) එන්ජින් නිෂ්පාදකයා විසින් නිර්දේශිත දුර ප්‍රමානය මෙන් දෙගුණයක දුරක් හෝ කිලොඅමීටර ලක්ෂයක වැඩිපුර ඔහු ධාවනය කොට තිබුනි! ඔහු එයට ඉන්දියාවෙන් සම්මානයට පාත්‍ර විය!! මෙහි සැබෑම විස්තර පසුව ලියන්නම්.                                           සමාජමය වශයෙන්ඉහල තැනෙක සිටි බොහෝ ලංගම රියැදුරෙකු හෝ කොන්දොස්තර වරයෙකු විවාහ දිවියට එළඹුනේ ගුරුවරියක සමගිනි. එවන් ඉහල පිළිගැනීමක් ඔවුනට විය.1970 දී පත්වන සමගි පෙරමුණ ආණ්ඩුව මැයි දිනය සඳහා ලංගම බස් රථ මුදා හැරීම මගින් එම සේවකයින් හා ආයතනය වෙත තිබුනු සමාජමය ගරුත්වයට හානි පමිනුනා යැයි මාහට සිතේ.සේවකයින් හට කෙසේ වෙතත් බස් රථ වලට තරමක  අලාභ හානි සිදුවිය. ඉන් පසු බලයට පත් එක්සත් ජාතික පක්ෂය ලංගමය පවත්වාගෙන ගියේ ඔවුන්ගේ දේශපාලන උදව්කරුවන්හට රැකියා සපයන ස්ථානයක් ලෙසය. ලංගමේ බසයක ඇනයකට එකා ගානේ සේවකයින් සිටිති යන්න සාමාන්‍ය ව්‍යවහාරයට ආවේ මේ සමගය. 1977 පත්වූ නව රජයෙන් නැවත මගී ප්‍රවාහනයට පුද්ගලික අංශයද සම්බන්ධ කර ගත්තේය.ඒ සමග පාරට වැටුනු ඉසූසු ජර්නි, මිට්සුබිශි ෆුසෝ හා රෝසා,නිසාන් සිවිලියන්, යූ ඩී නිසාන්, ටොයෝටා කෝස්ටර් බස් සමග තරග වැදීමට තරම් ශක්තියක් ලංගමයට නොමැති වුවද එකල සිටි ලංගමයට කැපවුනු රියැදුරණ් හැකි උපරිමයෙන් කරට කර සටනක් දුන්නෝය.ස්වභාවික මරණයකට පත්වනතෙක් කිසිදු නඩත්තුවකින් තොරව පැවතුනු ලංගම ඩිපෝ වල සමහර බස් රථ ධාවනයෙන් ඉවත් කොට තිබුනේ රුපියල් දෙතුන්සීයකින් ගොඩ දා ගත හැකි මට්ටමේ ආපදා වලට ලක් වීමේ හේතුවෙනි. එකල "ගර්හිත" බස් රථ වෙන්දේසියද ජයටම කෙරීගෙන ගියේය. දින දෙකකට පෙර වෙන්දේසියෙන් කුණු කොල්ලේට ඇදගෙන ආ බස් රථය තවත් දින දෙකකින් පුවක් මලක් ගසා ගෙන කතරගම ගිය අවස්ථා බොහෝ ඇත.

එතැන් පටන් පත්වූ සැම රජයක්ම පාහේ ලංගමය පිටුපෑවූය.පසුගිය කාලය පුරාවට ප්‍රමාණාත්මක වැඩිදියුනු කිරීම් වලට මුදල් යෙදවූවා මිස ලංගමයට ආදරයෙන් එය රැක  ගැනීමට කල මෙහෙයක් නොමැත.
අදවන විට පුද්ගලික බස් සමග සටන් වදින්නට සුදුසු තාක්ෂණයක් මෙන්ම තරුණ ලේ ලංගමට නැවත් ලැබී ඇත. එහෙත් එම නව පරම්පරාව සමග ලංගමයේ එතෙක් පැවති ජීව ගුණය බොහෝ සෙයින් පිරිහී ගොසිනි.මීට බොහෝ කලකට පෙර බස් රථ වල පසුපස ලියැවුනු වැකියක් විය. එයින් අසා තිබුනේ "බස් රියැදුරණ් හොඳ රියැදුරණ් වෙති! ඔබත් එසේද ?" කියාය. විලිලැජ්ජා නැතිකමේද සීමාවක් තිබිය යුතු නිසාදෝ දැන් එම වාක්‍යය දක්නට නොලැබේ. එකල හොඳම රියැදුරණ් සිටින්නේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ යැයි පිළිගැනීමක් විය. එකල බව්සර් රියැදුරණ් ලභා ගත්තේ ලංගමය හරහාය. අද ඒ රියැදුරණ් කොහිද?
1978 වන විට එය ලොව විශාලතම මගී බස් සේවාව විය.එකල එය සතු බස් රථ ප්‍රමානය 7000 ඉක්මවූ අතර 50000 සේවක සංඛ්‍යවක් එයට අන්ථර්ගත විය.මා කථාකරණ ලංගමේ ස්වර්ණමය යුගයේදී  ගමනා ගමන මණ්ඩලය මගින් ගුවන්විදුලියෙන්  ප්‍රචාරය කල "චාරිකා" නම් වැඩ සටහනක් විය. වරෙක එහි නිවේදකයා ප්‍රකාශකල අන්දමට එක් දිනක තුල මුළු මහත් ලංකාව තුල ලංගමය මගින් ධාවනය කරණ මුළු දුර ප්‍රමාණය පෘථිවියේ සිට හඳට ඇති දුර ප්‍රමාණය මෙන් තුන් ගුණයක් වේ. ගණිතය දත්තෝ ගනන් හදා වරදක් වේ නම් නිවැරදි කරණු මැන!(මේ සියල්ල මා ලියන්නේ මාගේ  මතකය තුලින් බැව් අවධාරණය කරණ්න!) 

මෙය ලියන මොහොතේ අන්තර් ජාලයෙන් ලබා ගත් දත්ත ඔබගේ හිත සුව පිණිස මා මෙහි බහා ලන්නම්.


http://www.transport.gov.lk/web/index.php?option=com_content&view=article&id=175&Itemid=114&lang=en

මෙම ලින්කුවෙන් දක්වන ප්‍රවාහන අමාත්‍යංශයේ දත්ත වලට දැක්වෙන පරිදි දිනකට ලංගමයෙන් දිවෙන සමස්ථ දුර ප්‍රමාණය කිලෝමීටර 12,24408 කි (12,24408 km).


https://www.space.com/18145-how-far-is-the-moon.htmlලින්කුව සෝදිසි කල විට පෘථිවියේ සිට සඳට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර 363104 (363104km) කි.


1224408 / 363104 =3.37 කි.

ලංගමට අපි සැලකුවා මදි නේද?



Bus Driver's are Good Drivers! Are You? 
ලංගම පෞද්ගලික සදාතනික ගැටුම

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...