Friday, March 18, 2022

231. මව්බිම වටා සයිකලයෙන් . . . 1

2022/03/13
නිශාන් සමගින්!
මාගේ සයිකල් චාරිකා පිළිබඳව ලියන ලද පොස්ටු කාණ්ඩ දෙක ඔබ කියවා ඇත්නම්; මගේත් මධුෂාන්ගේත් සයිකල් අළුත්වැඩියා කරණ සජිත් සඳරුවන් පිළිබඳව නැවතත් ලිවීම අනවශ්‍ය කාරණයකි. ඔහු සේවය කලේ පිටකෝට්ටේ Bianchi ෂෝරූම් එකේය. මෑතකදී ඔහු ගැන හොයන විට ඔහු එමිරේට්ස් බලා පියාසර කොට ඇති වගක් දැන ගන්නට ලැබුනේය. වසර ගනනාවක් සේවය කල Bianchiයෙන් ඔහුට කුමක් වූවාදැයි නිශ්චිත වශයෙන් දැන ගැනීමට නොහැකි වූ බවද මෙහිලා මතක් කරමි. Bianchi තබා මොනවා විකුණුවත් ඔවුන් තවත් මුදළාලිලා පිරිසක් පමණි!

Drop Handle
පසු ගිය කාලයේදී මා හට ඩ්‍රොප් හැන්ඩ්ල් දොල දුකක් හට ගත්තේය! මා ළැඟ තිබුනු Shimano ඩ්‍රොප් හැන්ඩ්ල් ටුවර් සයිකලය මා විකුණුවේ මාගේ බ්ලොග් පාඨක මහේෂ්හටය! මහේෂ්ව සම්මුඛවීමද වෙනමම කථාවකි. මහෙෂ් සේවය කලේ මැද පෙරදිගය. වරක් ඔහු ලංකාවට පැමිණීමට ආසන්නයේ මාගෙන් කුලී පදනම මත සයිකලයක් සොයා දෙන මෙන්  ඉල්ලා සිටියේය.

"කුලී පදනං ගැන මම දන්නේ නෑ! ඔයාට ඕන නම් මගේ Trek (Hybrid)  සයිකලය අරං ගිහිං පදින්න!" මම කීවෙමි. මිතුරු බව ඇතිවූයේ එලෙසය. මේ අප්‍රේල් 12 ඔහු මෙරටට ඒමට නියමිතය!

මාගේ ඩ්‍රොප් හැන්ඩ්ලයෙන් මම වරක් පොළොන්නරු එනම් කිලෝ මීටර 200 ක චාරිකාවක් ගියෙමි. ඒ වසික 2018 ලංකාවට පැමිණි අවස්ථාවේදීය. එවර මාගේ විශ්වාසවන්ත ගමන් සගයා වන Scott P6 Sportster (Hybrid) සයිකලය වසිකත්; මධුශාන් තම සුපුරුදු Giant Escape (Hybrid) එකත් පැද්ද අතර මා පැද ගියේ Shimano ඩ්‍රොප් හැන්ඩ්ල් ටුවරින් සයිකලයයි. පලමුවර මධුශාන් හා මා පොළොන්නරු ගිය ගමන් මෙන් නොව ඩ්‍රොප් හැන්ඩලයෙන් මා එම චාරිකාව ඉතාමත් සාර්ථකව නිමා කලෙමි.

කෙසේ හෝ වේවා ඩ්‍රොප් හැන්ඩලය විකුණූ පසු නැවත සයිකලයක් ලබා ගැනීමට ආශාවක් ඇතිවූයේ වසර ගනනාවකට පසුවය. ඒ සමගම මාගේ Trek සයිකලය විකුණා දැමීමට මා යුහුසුළු විය. එය විකිණීමට පෙර සම්පූර්ණ අළුත්වැඩියාවක් කලේ දෙල්ගොඩ සමීර මල්ලීය! සයිකලයට  බෙල්ල තැබූයේ "කොළඹ ගමයාගේ" අතිජාත මිත්‍රයෙක් වන මාගේ පාසැල් මිතුරෙකුවූ ජනක ලක්මල් කුමාරපේලීය!

Trek සයිකලය ඉක්මණින් විකුණා දැමීමට හේතු වූයේ මාහට Giant SCR 1 ඩ්‍රොප් හැන්ඩලය මිලදී ගැනීමට ලැබුනු හෙයින්ය. එය මිළදී ගත්තේ සයිකල් පකීර් කෙනෙක් වන පැලහැළ රාළහාමි ගෙනි. පැලහැළ රාළහාමි පිළිබඳවද වචන කිහිපයක් ලියා තැබිය යුතුය. ඇන්තනි සීමන්ස් ගේ සිට ඊයෙ පෙරේදා ගුවන් සවාරිය දිනූ  අවිශ්ක මැඩොන්සා පිළිබන්දවද ඔහු නොදන්නා මගුලක් නොමැත. සුමනෙ, සුගතෙ, බොනියා, හෙන්ඩලා, එස් එච්ලා; මේ සියල්ලගෙම වංහුං, ආගත නාගත, පැටළිලි දිග ඇරිළි, කියුම් කෙරුම්, කිලෝ ගනට කියන්නට ඔහු දනී. පැදපු සයිකල් වල බරේ සිට පැවැත්වූ වේගයෙ පමණක් නොව උදෙට කාපු පාන් පෙති දෙක මැද්දේ තිබුනු දේ පවා කියන්නට ඔහු දනී. අහම්බයෙන් මුණ ගැසුණු ඔහු සතුව   සයිකලයක් පිළිබඳව ඉව වැටී එය බලන්නට යනවිට  එයතිබුනේ උස් වහලයක බාල්කයක එල්වාය. 



එය මිළදී ගෙන පැලහැළ රාළහාමිගේ පෙරැත්තයට ඔහුත් සමග දවල්ට බත් ජුංඩක්ද; කෑමට පෙර ඔහුගේම නිශ්පාදන වඩියක්ද බඩට දාගෙන ගෙදර පැමිණ පසුදාම එය  අළුත්වැඩියාව සඳහා යක්කල පොලීසිය ළඟ මහින්ද අයියාට භාර දුන්නද ඔහුට එහි බොටම් බ්‍රැකට් බෙයාරිං සොයා ගැනීමට නොහැකිවීම නිසා එයද නැවත ගෙන ගොස් භාර දුන්නේ දෙල්ගොඩ සමීර මල්ලී වෙතටය. කටානෙන් බඩු එන තුරු සයිකලය සමීර මල්ලීගේ ගෙවන වාට්ටුවේ ඇඩ්මිට් කොට ඇත.





සයිකලය ඔහුට භාර දෙන්නට ගිය අවස්ථාවේදී එතැනට ගෙනැවිත් තිබුනු දිරාපත් සයිකලය හා එය ගෙන ආ පුද්ගලයා දෙස මා සානුකම්පිතව බලා සිටිනු දුටු ඔහු මා අමතා පැවසූවේ "දැං සයිකල් කට්ටක් වත් නොතිබුනොත් ජීවත් වනවා බොරුය!" කියාය. 

මෙම ප්‍රකාශයේ වටිනාකම වැඩිවන්නේ ඒ මීට සතියකට පමණ පෙර වීමයි. ඩීසල් හා පැට්රෝල් මිළ ඉහල ගියේ ඊට දින 5 කට පමණ පසුවය!

ඔහු සයිකලය භාරදී ඉවත්ව ගිය පසු සමීර මල්ලී පැවසුවේ සයිකල් අළුත්වැඩියා කිරීමට මේ දිනවල වැඩි නැඹුරුවක් මේ දිනවල් ඇති බවය!

මා සයිකලයෙන් රැකියාව බලා ගියේ දැනට සෑහෙන කලකට පෙරය. එහෙත් සයිකල් පැදීම  පසුගිය වකවාණුව තුල මහත් සේ ප්‍රචලිතව ගියේය. ඒ සමගම බොහෝ සයිකල් සමාජ බිහි විය. එහෙත් එම සමාජ තුල සයිකල් පදින ලද බොහොමයක්; ගමන් මග වෙත පැමිණියේ සයිකලය තම SUV රථයේ පසුපස එල්ලා ගෙනය. ඔවුන් බොහෝ විට පැද්දේ ද ලෝකය පුරා නමක් දිනාගත් සයිකල්ය. බොහොමයක වටිණාකම ඉලක්කම් 5 ක මිළක් විය!

මේ සමගම වාර්ශික ඉසව් කිහිපයක් බිහිවිය. එවායේ මුදුන් මල්කඩ වූයේ  Around the Perl  ලෙස නම් කල ලක්දිව වටා කිලෝමීටර 1400 කර ආසන්න ප්‍රමාණයක් ගෙවමින් පැවැත්වෙන  සයිකල් රැලියයි. 

සාමාන්‍යයෙන් මේ සඳහා දින දොලහක් වැය වන අතර දින 10 ක පැදීම හා දින දෙකක විවේක  මීට ඇතුලත්ය!



Around the Perl

1. කොළඹ සිට මිරිස්ස                                       146.20

2. මිරිස්ස සිට කතරගම                                      136.40

3. කතරගම සිට පොතුවිල්                                  136.10

4. පොතුවිල් සිට පාසිකුඩා                                  147.80

5. පාසිකුඩා සිට ත්‍රිකුණාමළය                             126.51  

6. ත්‍රිකුණාමළය සිට මුලතිව්                                100.70

7. මුලතිව් සිට යාපනය                                       132.30

8. යාපනය සිට මරිච්චුකඩ්ඩි                                163.80  

9. මරිච්චුකඩ්ඩි සිට මීගමුව                                  164.00

10. මීගමුව සිට කොළඹ                                        54.00


මෙම රැලිය සංවිධානය කිරීම සඳහා එක් අයෙකුගෙන් 150,000 කට ආසන්න මුදලක් අය කරණ අතර එයට ආහාර නවාතැන් පහසුකම් ආදිය සියල්ල ඇතුලත්වේ!
මීට අමතරව ලක්දිව වටා සයිකලයෙන් ගමන් කල තවත් අය වේ. තවත් අය කීවාට එය අතලොස්සකි. 
සත්තකින්ම එය; මාගේ බකට් ලිස්ට් එකට දා ගැනීමට බැරි තරම් විශාල ඉලක්කයකි! ලක්දිව වටා යන්නට හැකියාවක් තිබුනද ඒ සඳහා විශාල මුදලක් වියදම් කිරීමටද මාහට අපහසු කරුණකි. ඒ සියල්ලටම වඩා සහයක රථ සමග ගමන් ගැනීම පිළිබඳවද ඇත්තේ උද්දච්ච අසතුටකි. එසේනම් මෙය කරණවානම් කලයුතු වන්නේ තනිවම හෝ කුඩා කණ්ඩායමක් ලෙස විනා මහා රැලියක් පරිදි නොවේ.  එය කාගේවත් නියමයක් නොව හුදෙක් අපගේ කුඩා කණ්ඩායමේ; එනම් මධුශාන්ගේත් නිශාන්ගේත් මගේත් අදහසක් විය!  මේ ගමන සඳහා හොඳ සයිකලයක් තිබිය යුතුය. මුල සිටම මාගේ අදහස වූයේ මේ සඳහා ඩ්‍රොප් හැන්ඩ්ල් ටුවර් සයිකලය වඩාත් ගැලපේ! යන්නය. එහෙත් පසුව ගමනේ ඇති අති දීර්ඝ බව සහ මාර්ග ස්වභාවයන් ගැන සැළකිල්ලට ගෙන සිතූ විට මේ ගමන සඳහා වඩාත් ගැලපෙන වාහනය වන්නේ හයිබ්‍රිඩ් සයිකලයක්ම වන බව මාහටද ප්‍රථ්‍යක්ෂ විය. දැනට මා සතුව ඇති එකම හයිබ්‍රිඩ් සයිකලය වන්නේ; මාගේ විශ්වාසවන්ත ගමන් සගයා වන Scott Sportster P6 සයිකලයය.  එය දැනට ධාවන තත්වයෙන් ඉවත්ව ඇත.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මම මේ ඉලක්කයට ඉව අල්ලමින් සිටියේය. ඒ සඳහා  දරාගැනීමේ ශක්තියක් සහිත නිරෝගී සිරුරක්, නොපසුබස්නා ධෛර්‍ය සම්පන්න දැඩි සිතක්, හොඳ යන්ත්‍රයක්, අත්‍යවශ්‍ය වේ. හොඳ කණ්ඩායමක් වෙත්නම්  අමතර වාසියකි! වසරකට ආසන්න කාලයක සිට හිත තුල මේරුණු අදහස ගිය මාසයේ අවසාන සතියේ නිශාන් හට කීවෙමි. මධුශාන් වෙතද පැවසුවේය. මධුශාන් හට රැකියාවේ නිවාඩු ලබා ගැනීම අවුලක් වූවද කෙසේ හෝ පැමිණෙන කථාවක් කීවේය. අවසාන වශයෙන් නිශාන් හට මා පැවසුවේ කවුරු ආවත් නැතත්; මෙවර මා වෙතින් මා වෙතට පිදෙන උපන්දින ත්‍යාගය ලෙස මෙම කාර්‍යය තෝරා ගෙන අවසන් බවයි. මන්ද පසුගිය වසරේ මා වෙතින් කිසිදු උපන් දින ත්‍යාගයක් මා වෙතට ලබා දීමට කොරෝණාව ඉඩක් නොතැබූ බැවිනි. ඒ වෙනුවට ගිය මස පෙබරවාරියේ කොරෝණා විසින් මාහට දින 14 ක නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාවක් ලබා දී තිබුනි.
"හරි! හරි!! ඔයා තනියම යන්න එපා!  මමත් එනවා අයියේ . . !" නිශාන් මල්ලී ස්ථිර සාරව පැවසීය. "ඔයාට ඔයාට ඔයාගෙ උපන් දිනයට කලින්නේ මේක කරණ්න ඕනෙ ? අපි අළුත් අවුරුදු නිවාඩුව අල්ලලා යමු. මොකද කියන්නේ අප්‍රේල් 10 ?" නිශාන් තවත් වැඩේ ස්ථිර කලේය.
"එළ . . !"
වැඩේ කථාකර ගන්නට තවත් දින කිහිපයකින් අප තිදෙන හමුවීමට යොදාගෙන තිබුනත් පෙබරවාරි 22 දින මධුශාන්ගේ පියා එනම් මාගේ එකම සොහොයුරා මෙලොවින් සමු ගත්තේය! මධූ ගේ පැමිණීම මේනිසාම අවනිශ්චිත විය!
පසුගිය කාලය පුරාවට Trek සයිකලයම පමණක් මා පාවිච්චි කල අතර එනිසාම Scott සයිකලය භාවිතාවෙන් ඉවතට විසිවී තිබුනි. වැඩේ කරණවානම් එය; ඒ සඳහා සුදුසුම සයිකලය විය. කොළොම්තොට සිට තල් අරණටද; දෙවරක් පුලතිසි පුරවරයටද තවත් වරක් දෙනියායටද එය ගමන් කොට තිබුනි. සත්තකින්ම එය විශ්වාසවන්ත ගමන් සගයෙකුම විය!  පසු ගියදා සයිකලය ලොරි පොඩ්ඩාගේ පටවාගෙන සමීර මල්ලි හමුවන්නට ගොස් එයට අළුතින්ම කොග් වීල් සෙට් එක, ෆ්‍රී වීල් සෙට් එකක් හා චේන් එක යොදා මුළුමණින්ම සර්විස් කර ගත්තෙමි.
මාස 4 කට පමණ පසු මා නැවත සයිකලයේ සැඩලයට ගොඩවිමි!
සුපුරුදු පරිදි කිලෝමීටර 40 පුහුණු සැසි සෑම දිනෙකම යෙදුනෙමි. ඒ අතර මේ සතියේ මුල කඩවතින් වැලිවේරිය මාලිගාතැන්න ඌරාපොල වතුපිටිවල හොරගොල්ල හරහා කිලෝමීටර 69 ක ගමන් චාරිකාවක් ගියෙමි. ඒ "මම; දැන ගන්න ඕන "මම" කවුද කියලා!" කියන අදහස ඇතිවය. ඒ සමගම මාගේ හදවත මාගේ ශක්තිය දුටුවේය! 
අප්‍රේල් 10 ට තව දින කිහිපයකි ඇත්තේ. 
ගමන ගැන අසන බොහෝ අය අසන පොදු පැනයකි!
 "බය නැද්ද!" 
වසික මගෙන් ඒ පිළිබඳව එවන් පැනයක් නොඇසුව මුත් ඔහුටත් කල්මිටත් මා කල ප්‍රකාශය මා එවිට ඔවුන් ඉදිරියේ තැබුවෙමි.
"මේ මට; මැරෙණවානම් මැරෙණ්න ලැබෙන හොඳම චාන්ස් එක! හැබැයි මෙහෙන් පිටත් වෙලා දෙහිවල හරියෙදි මලොත් නම් වැඩක් නෑ! අඩු ගානේ පොතුවිල් පහු කරලා ඔය ආරුගම්බේ පැත්තෙදි මැරෙන්න තියේ නම් එළනෙ! මල ගෙදරට එන එවුංට කතා කරණ්නවත් දෙයක් තියෙන්න එපායැ!? මොකද පාර පනින කොට කඩවත ටවුමෙ කහ ඉර උඩත් මැරෙන්න පුලුවං නෙ . . . . . . . . !?"

Sunday, March 13, 2022

230. නැකත


1985 - ජුනි "කල්පනා" සඟරාවේ කවරයේ කථාව වූයේ "ජාතිය තුනට බෙදූ ප්‍රශ්නයක් ගැන සංවාදයක්" යන්නයි. එහි නිදාන කථාව වූයේ එම වසරේ "සිංහල අළුත් අවුරුද්ද" වෙනුවෙන් වැඩ ඇල්ලීමට නියමිත නැකත රාහුකාලයට අසුවීමය!

මේ පිළිබඳව විවිධ මත පලකල නැකැත් කරුවන් කණ්ඩායම් තුනකට බෙදී විවිධ මතයන් පල කිරීමෙන් පසුව සිංහල බෞද්ධයෝ කොටස් තුනකට බෙදී එම වසරේ නැකත් තුනකට එනම් වෙලාවන් තුනකට ආහාර අනුභව කිරීමය!

ඒ කථාව සිදුවී අදට වසර 37 කුත් ඉක්ම යන්නට ඔන මෙන්න. අප පිළි ගත්තත් නැතත් පසුගිය දශකයක දෙකක කාලය තුල; මෙරට ජනතාව වෙනදාට වඩා බොහෝ සෙයින්; අන්ධ විශ්වාස,  නැකැත්, පුද පූජා ආදී ගුප්ත කරුණු කාරණා වෙතට බොහෝ සෙයින් නැඹුරු වී ඇතැයි මා පෞද්ගලිකව විශ්වාස කරමි. මීට දශක කිහිපයකට පෙර රාජකීය දෛවඥ්ඥයින් සිටියේ නැත. සිටියද ඒ ඉතා අප්‍රසිද්ධියේය. මේවන විට; ඥානක්කාගේ සිට තිරුපති දක්වා ලොකු කුඩා විජ්ජා කාරයින් රාජ්‍ය යන්ත්‍රණයට රිංගා හමාරය! මහින්ද වරක් ඇන ගත්තේද සුමණදාස උන්නැහැගේ නැකතකට අනුව වැඩ කිරීමට ගොසිනි.

ගුග්ලිමෝ මාර්කෝනි (හෝ ටෙස්ලා) සොයාගත් ගුවන් විදුලිය; අද ආරම්භ කරණ්නේ ග්‍රහ වෙළෙන්දන්ට මුල්තැන දීගෙනය!

ඒ කෙසේ වෙතත් අප සමග ඇසුරු කරන දොස්තරවරුන් ඉංජිනේරුවන් පවා නැකත් හා ග්‍රහයන්හට දක්වන්නේ ඉමහත් භය පක්ෂ පාත බවක්ය!

මාගේ එක් කිට්ටු ඥාතියෙක්: තමා අභිනවයෙන් සාදන ගෙය කළු ඉටිරෙදි වලින් මුළුමනින්ම ආවරණය කලේ "අසල්වැසියා; නිවෙසේ අත්තිවාරමට කිසියම් ආගන්තුක දෙයක් මතුරා එක්කරති" යන බිය හේතුකොට ගෙනය. ඔහු භෞතික විජ්ජාව, රසායන විජ්ජාව, ව්‍යවහාරික ගණිතය, ශුද්ධ ගණිතය හදාරා; කටුබැද්දෙන් එළියට ආ උපාධි ධරයෙකි!

මගේ එක් ඥාතියෙකුවූ දොස්තරවරියක; එක් ඩෙංගු රෝගොයෙකු සඳහා යෝජනා කලේ "ගස්ලබු ගහේ තුන්වෙනි දල්ල කථා නොකර කඩාගෙන ඇවිත්" මිරිකා දීමටය! ගස්ලබු යුෂ වල ඩෙංගු සමනය කිරීමේ ගුණාංගයක් තිබේද නැද්ද යන එක් කාරණයකි. එහි තුන්වෙනි දල්ලද ඉවසිය හැක! "කථා නොකර කඩා ගෙන ඒම" පිළිබඳව මාහට ඇත්තේ සැකයකි!

මේ සියළු කථා කියාගෙන ආවත් 'නැකැත්" ගැන කියනට ඇති සිරාම කථාව එය නොවේ. එය මෙසේය!

එකළ මාගේ පොඩි මස්සිනා හා නෑනා ඉගෙන ගත්තේ රුසියාවේ තිවේර් නගරයේ ය. ඔවුන් වසරකට වරක් හෝ ගෙන්වා ගැනීම මාමණ්ඩියගේ සිරිත විය. එසේම ඔවුන් මෙරටට පැමිණ ආපසු පිටත් වීමට වේලාව යොදා ගන්නේ ගුවන් යානය කටුනායකින් පිටත් වන වේලාවට ගැලපෙන ආකාරයට නොව ග්‍රහයන්ගේ එදින හැසිරීම මතය!

මාමණ්ඩිය නැකැත් බලන්නේ නුගේගොඩ ගණපති නම්වූ නැකැත් කරුගෙන්ය. තම පුතණුවන් හා දියණිය නැවතත් පෙරළා රුසියාවට යෑමට පිටත්වීමට කිට්ටු වන විට මාමණ්ඩිය නුගේගොඩට ගොස් පිටත් වීම සඳහා "වේලාවක්" බලා ඒම සිරිතකි.

එක් වසරක කුමණ හෝ අහේතුවකට ඔහුට එය කර ගැනීමට ඉඩක් නොමැතිවිය. 

අදාල දිනයට පෙර දිනයේ ඒ සඳහා යාමට සිදුවූයේ අහිංසක මා හටය! පසුදින ගුවන් යානය  කටුණායකින් පිටත්වීමට තිබුනේ මධ්‍යම රාත්‍රියට කිට්ටුව යැයි මාහට සිතේ. කෙසේ හෝ වේවා මා නුගේගොඩට ගොස් පොල පාරේ එනම් දුම්රිය ස්ථානය අසල  ගණපති ඉදිරියේ ප්‍රාණ භූත විය!

තවත් පැය භාගයකට පමණ පසුව නැකැත් වෙළෙඳ තැන; තම ලිපි ශීර්ෂයක ලියන ලද වෙලාවක් මා වෙත ලබා දෙන ලදී. එහි වෙලාවට අමතරව පිටත් වීමේදී බැලිය යුතු දිශාව තවත් ආගත නාගත කිහිපයක්ද යොදා; වේලාව "අයිසිං" කර තිබුනි!

වේලාව ලියන ලද කොල කැබැල්ල ලද සැණින් මා ඔහුගෙන් පැනයක් විමසීය!

"වෙද මහත්තයා අපි බොහොම දුර බැහැර ඉඳන් ආවේ! මේ වෙලාවට පිටත් වෙන්න බැරි උනොත් පිටත් වෙන්න තව වේලාවක් ඕකෙම ලියලා දෙනවාද?" දිනකට දෙකකට පෙර ගෙදරින් දොට්ට බැසීමට වේලාව දැනගෙන සිටියද සෑම වසරකදීම පාහේ මොවුන් නිවසින් එළියට බසින්නට සිදුවන්නේ දැඩි කළබලයකින් වීම ඊට හේතුව විය!

නැකැත් කරු මාදෙස ඉහලටත් පහලටත් හොඳින් බලා නැවත කොලය රැගෙන මේසයට නැඹුරු විය.

තවත් විනාඩි 15 කින් පමණ පසු ඔහු නැවතත් කොලය මා වෙත භාර කලේය! ඒ මෙසේ කියාගෙනමය.

"ඔන්න මම තව වෙලාවල් දෙකක්ම හොයලා ලිව්වා. එත කොට වැඩේ හරියටම කර ගත්තෑකි නේ!?"

වැඩේ සුපිරිය. එක වෙලාවක් ගන්නා සල්ලි වලට මා වෙලාවල් තුනක්ම ලබා ගෙන ඇත. මාගේ හිසේ මලක් පිපුණා මෙන්ය! මා හැරෙණ තැපෑලෙන් නැවත මාමණ්ඩියගේ නිවසට ගියෙමි.

මා නිවසට ගිය සැණින් මාමණ්ඩිය පැමින  "වෙලාව බලාගෙන ආවාද?" කියා මාව පිළිගත්තේය!

"ඔව් මෙන්න! වෙලාවල් තුනක්ම දුන්නා!" මා ජයග්‍රාහී ලෙස පැවසුවෙමි.

"තුනක් . . . . !?  ඒ මොකටද . . . . . . . . ????" එතෙක් මහත් උනන්දුවෙන් කිසියම් වැඩක දාඩිය මුගුරු දාගෙන යෙදී  සිටි ඔහු මා දෙස එක එල්ලේ බලා අසතුටෙන් විමසීය!

"එක වෙලාවක් දුන්නා! බැරි වෙලාවත් ඒ වෙලාවට පිටත් වෙන්න බැරි උනෝතින් කියලා තව දෙකක් ලියලා දුන්නා . . . .!" මා වැඩි ගානකට නොගෙන පැවසීය.

"ඒ මොන වෙලාවල් බැලිල්ලක්ද . . . . !?" ඔහු දැඩි අසතුටෙන් පැවසීය.

" මං දන්නේ නෑ! ඔය ගණපති කියන කෙනාම තමයි ඔය ලියලා දුන්නේ . . . . !" මෙම අමතර වෙලාවල් තුන මා ඉල්ලා ගත් එකක් බව කියන්නට නොගියෙමි!

"ඒ උනාට මේ ඉස්සෙල්ලාම එක තමයි හරි වෙලාව වෙන්න ඕන!" තමාටම කියා ගත් ඔහු පළමු වේලාවට තම පුතණුවන් හා දියණිය ගෙදරින් එළියට වැඩමවීමට සියල්ලන්වම "දක්කන්නට" පටන් ගත්තේය.

අමාරුවෙන් යමක් සිදු කිරීමට හේතු වීමම වඩාත් ප්‍රථිඵල දායක යැයි සිතන්නට ඔහු පෙළඹුනා විය හැකිය!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...