Showing posts with label පාරිභෝගික සේවාව. Show all posts
Showing posts with label පාරිභෝගික සේවාව. Show all posts

Tuesday, February 1, 2022

227. පැනි බේරෙන කොම්පැනි කථා 6


ඉහත වැකිය මට අහන්නට ලැබුනේ රත්නවීර සර්ගේ හඬිනි.  මෝටර් රථ ක්ෂේත්‍රයට අදාල කළමණකරණය හා අලවිය පිළිබඳව උගන්වද්දී ඔහු මෙය කීවා යැයි මට මතකය. නො එසේනම් ධම්මික කලපුගේ මහතාගෙන්ය! එය එක් අලෙවිකරණයේ උපායක් ලෙස ගැනේ! මින් අදහස් කරණුයේ යම්කිසි භාන්ඩයක් හෝ සේවාවක් සඳහා පාරිභෝගිකයින් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායයන් පටන් ගත යුත්තේ පාරිභෝගිකයින් ළමා හෝ තරුණ වයසේදීම බවයි! බොහෝ විට සිගරට් හා මත්ද්‍රව්‍ය වෙළෙන්දන් මෙය අකුටරම පිළිපදින මූළධර්මයකි! "දරුවන් හැඩ ගැස්වීම සඳහා ඔවුන්ගේ කුඩා අවදිය ඒ සඳහා යොදා ගන්න" යනුවෙන් කිසිවෙකු වර නැගූවද එහි විශාල වරදක් මා නොදකිමි!

මාගේ තිබෙන හා තිබුනු සූවිසි විනෝදාංශ අතර "වාහන පොත්" ලෙස පොදුවේ හඳුන්වන Vehicle Catalog එකතුව කුඩා කලක සිට කරගෙන යනු ලැබුවේය.  රථ වාහන අලෙවියේදී; අලෙවි කරුවන් විසින් පාවිච්චි කරණු ලබන්නේ මෙම පික්චර් කැටලොග් හෙවත් පිංතූර පොත්ය! මේවා වාහනයේ විවිධ මාදිලි හා විවිධ කෝණවලින් ගන්නා ලැබූ පිංතූර  හා වාහනයේ වර්ණ එන්ජිම හා වෙනත් යාන්ත්‍රික කොටස් පිළිබඳ කෙටි විස්තර වැනි දෙයින් සම්න්විතය.  




වාහනයක් මිළදී ගන්නා අයෙකු වෙත වාහනය සමග ලැබෙන පොත් පිංචක් වේ. එය Owner's Manual හෝ Driver's Manual  ලෙස දැක්වේ.  වාහනයේ එන්ජිම පන ගැන්වීමේ සිට හදිසි අවස්ථාවකදී රෝදයක් මාරු කිරීම ආදී කුඩා තාක්ෂණික උපදෙස් වලින් එය සමන්විත වේ. මීට කලකට පෙර මෝටර් රථ සඳහා ලබා දුන් එවන් Owner's Manual  වල ටැපට් සීරිමාරු කිරීම වැනි කරුණු පවා තිබුනි! 
ත්‍යාග ලෙස පිරි නැමූ; සමහර ඕනර්ස් මැනුවල්; මාගේ දයාද්‍රයන්ගේ වාහනවල් කබි හෝලයන්ගේ ග්ලව් බොක්ස් වල ගුලිවී තිබෙනු මා දැක ඇත! වාහනය පැදවීමට පෙර එය කියවා බැලීමට පුරුද්දක් අපරටේ නෝනලා හෝ මහත්වරුන්ට නැත! එහෙත් පොත ලබා ගැනීමට දක්වන්නේ ඉමහත් උනන්දුවකි! ඒ එය කබී හෝලයේ දමා ගැනීමට පමණි!


වාහනයේ අලෙවියෙන් පසුසේවා සපයන නියෝජිත වැඩහල් සඳහා Work Shop Manual නිෂ්පාදකයා විසින් ලබා දේ. මේවා බොහෝ විට එන්ජින් හා චැසි යනුවෙන් කාණ්ඩ දෙකකින් නිකුත්වේ. බොහෝ කාර්මිකයින් මේවා හඳුන් වන්නේ ෂොප් මැනුවල් හෝ මැනුවල් යනුවෙනි. මුළු වාහනයේම අළුත්වැඩියාවන් හා සේවාවන් සඳහා අවශ්‍ය උපදෙශනය ඇනෙන් ඇනේ මුරිච්චියෙන් මුරිච්චියට දැක්වෙන්නේ මේ මැනුවල් වලය.






අලෙවියෙන් පසු සේවා අතර අමතර කොටස් සැපයීමද අත්‍යවශ්‍ය අංගයකි. අමතර කොටස් අංශය සඳහා ලබා දෙනු ලබන්නේ Parts Catalog එකය. මුළුවාහනයටම අදාල සියළුම කොටස් හා ඊට අදාල අමතර කොටස් අනු අංකය හෙවත් Part Numberය දැක්වෙන්නේ මෙහිය.



මා පාසලේ හයවන ශ්‍රේණියේ උගෙන ගනිද්දී තාක්ෂණික විෂය ලෙස තෝරා ගත්තේ මෝටර් කාර්මික ශිල්පයයි. එකල එය අපට උගැන්වූයේ; රුක්මණී හයි ඒස් එකකින් පාසලට පැමිණි සුනිල් පියසිරි මහතාය. 83 ජූලි වර්ජනයෙන් රැකියාව අහිමි කරගත් හේ පසුකලෙක මාහට කටුණායක 18 කණුවේ ජයලත් සිනමාහල ඉදිරිපිටදී හමුවූයේ වෑන් රථ රියැදුරෙකු ලෙසින්ය!

මේ කථා කෙසේ වෙතත් එකල සිටම මා වාහන කැටලොග් එකතුකිරීම දිගින් දිගටම කරගෙන යනු ලැබීය. දැනට මාගේ කැටලොග්, මැනුවල් හා පාර්ට් කැටලොග් විශාල ප්‍රමාණයක් සතුව ඇත! එකල මා කැටලොග් එකතු කිරීම සඳහා ටොයෝටා - ෆෲඩන්බර්ග්, ඉසූසූ - සතොස, මර්සිඩීස් බෙන්ස් - ඩීසල් මෝටර් ඉන්ජිනියරිං, පර්ජෝ/ ෆොක්ස්වැගන්/මැස්ඩා - කාර් මාර්ට්, ලෑන්ඩ් රෝවර්/ ෆියට් - කොලෝනියල් මෝටර්ස්, මැසි ෆර්ගියුශන් - ට්‍රැක්ටර් සංස්ථාව, අයි එම් ටී - ෆාර්මර්ස්, නිසාන් - ඇසෝසියේටඩ් මෝටර්වේස්, මිට්සුබිෂි - රජයට පවරාගත් යුනයිටඩ් මෝටර්ස් සමාගම ආදී දැනට ඇති නැති ආයතන ගනනාවකට ගොස් ඇත්තෙමි. දැනට ෆොස්ටර් පටුමග අසල ඩයලොග් ගොඩනැගිල්ල ස්ථාපිත ස්ථානයේ ලැන්සියා බීටා හා ඇල්ෆා රෝමියෝ රථ ඒජන්ත වරයාගේ කාර්‍යාලය පිහිටා තිබුනි! 

මා යුනයිටඩ් මෝටර්ස් වෙත රැකියාව සඳහා පැමිණිම ඉබ්බා දියේ දැමීමක් විය! එහෙත් එකල මෙන් ජපානයේ මුද්‍රිත කැටලොග් වෙනුවට පැවතියේ  මෙරට මුද්‍රිත තරමක් බාල ගනයේ කැටලොග්ය! ඒ කෙසේ වෙතත් මා හැකි හැම අවස්ථාවකදීම කැටලොග් එකතු කිරීම කරගෙන යනු ලැබීය. සමහර වාහන වල මෝස්තරය හෝ කාණ්ඩය ඉකුත්වීමෙන් පසු; අලෙවි අංශයෙන්  කැටලොග් තොග ඉවත්කල අතර ඒවා මා ඉමහත් කෑදර සිතින් රැගෙන මාගේ කාර්‍යාල මේසය යට තබා ගැනීමට පුරුදුවී සිටියෙමි. ඒ අන් කිසිවක් සඳහා නොව තම පියා හෝ මව සමග ආයතනයේ වැඩ හල වෙත පැමිණෙන කුඩා දරුවන් වෙත ප්‍රධානය කිරීමටය! සත්තකින්ම එය ඉතාමත් සුන්දර අවස්ථාවක් විය. බොහෝ විට මා සමග සේවය කල ගිහාන් මල්ලී ඕෂධී වැනි අයට "ඔන්න බලා ගනිං අර පොඩි එකාගේ මූන!" කියා මා කුඩා කැටලොග් මිටියක් ඔවුන් වෙත "මෙන්න පුතා ඔයාට මගෙන්!" කියා පොර ටෝක් එකක් සමගින් ලබා දේ! දරුවාගේ මුහුණ දිළිසේය! කට කනේය!! ඇස් එළියට පනිමින්ය!!! කෙළ හැලෙමින්ය!!!! ඒ කොල්ලන්ගේ හැටිය! එය එසේ නොවේ නම් ඌව වහාම වෛද්‍ය වරයෙකු වෙත පෙන්විය යුතු යැයි මාහට සිතේ! (මා වැරදිද?)

පාර්භෝගික සේවා විධායක ලෙස මාගේ සේවා ස්ථානය සකසා තිබුනේ කාර්යලයේ පසුපසට වන්නටය! ඒ නිසාම ඊට ගොඩවදින හා රැඳෙන සියල්ලන් මා හට හොඳින් දර්ශණය වේ! දිනක් උදෑසනක මාගේ දෙනෙත් පැහැර ගත්තේ කුඩා හුරුබුහුටි කොළුවෙකි. තම පියා සමග ඔහු පැමිණ තිබුනේ පියාගේ මොන්ටෙරෝ රථයේ අළුත්වැඩියාවක් සඳහාය. රථය පිළිබඳව මාහට කියා පෑවේ ඔවුන් දෙදෙන රැඳී සිටි ස්ථානය ය!  ඔවුන් සිටියේ; දවස් දෙකයි! ළිං තිහයි!! තේ පණහක් හැටක් විතර . . !!!  යනුවෙන් ගංවතුරෙන් පසු ළිං ඉසීම පිළිබඳව මා ලියන ලද පෝස්ටුවේ කියැවෙන ඩෙමියන් රුක්ෂාන් ගේ මේසය ඉදිරි පිටය! ආයතනයේ මොන්ටෙරෝ  හදිසි අනතුරු අළුත්වැඩියාවන් භාරව කටයුතු කලේ ඩෙමාය!

සිරිත් පරිදි මා; මාගේ මේසය යටට හොස්ස පොවා කැටලොග් මිටියක් ගෙන දරුවා වෙතට කුරුමාණම් ඇල්ලුවෙමි.  ඔවුන් වෙත ළං වී; කැටලොග් මිටිය ඔහුට නොපෙනෙන සේ පසුපසින් තබා ගෙන මා ඔවුන් වෙත නැඹුරු උනෙමි!

"පුතා! ගුඩ් මෝර්නිං . . . !  ඩේමියන් අංකල් මොන්ටෙරෝ එක හරියට හදාගන්නවද කියලා බලන්නද ආවේ . . .?" දරුවා ඒමේ අත ඇඹරුන මුත් හඬක් පිට නොකලේය.

"අනේ මං එනවා කිව්වම නවත්තන්නම බැරි උනා නේ! එයාටත් එන්නම ඕනෑ කිව්වා!" දරුවාගේ තාත්තා ඔහු වෙනුවෙන් පිළිතුරු සැපයුවේය! 

"මෙන්න ඔයාට මගෙන්! ඔයා ආසයි නේද මේවාට?" මං එතෙක් සඟවා ගෙන තිබුනු කැටලොග් මිටිය ඔහු ඉදිරියේ පෑවේය! දරුවාගේ ඇස් දිළිසෙමින්ය. එකවරම තම පියාගේ මුහුණ දෙස බැලූ ඔහු තාත්තාගේ අවසරයෙන් කැටලොග් මිටිය මාවෙතින් ලබා ගත්තේය.

තවත් පැය භාගයක් ගෙවී යද්දී කුඩා දරුවා හා ඔහුගේ පියා මාගේ මේසය ඉදිරියේ සිටියෝය. 

"ඉඳ ගන්න සර්!" මාගේ ආරාධනයෙන් ඔහු ඉඳගත්තේය. දරුවා පසෙකින්ය. කැටලොග් මිටිය ඔහුගේ අතේය!

"ඔයා ඇයි මගේ පුතාට මේ කැටලොග් ටික දුන්නේ?" ඔහු ඉතා සුහද ශීලී ලෙස මාගෙන් විමසීය.

"සර්! මමත් ඔය වයසේදී කැටලොග් එකතු කරණ්න තැනින් තැන ගියා! මට මේ වයසේ දරුවෝ දැක්කාම මගේ ඒ කාලෙ මතක් වෙනවා!"

"ඔයාට මම කථාවක් කියන්නම්! මමත් අයියත් පුංචි කාලේ මේවගේ පිංතූර පොත් වලට හරිම ආසයි! අපේ තාත්තා කොහෙන් හරි හොයාගෙන ඇවිත් අපිට වෙහිකල් මනුෆැක්චරස්ලා කීප දෙනෙක්ගේ එඩ්‍රසස්  අපිට දුන්නා; ලියුම් ලියන්නය කියලා! ඔයාට කියන්න අපි හතර පහකටම යැව්වත් අපිට උත්තරයක් එක්ක කැටලොග් මිටියක් එවලා තිබුනේ මිට්සුබිෂි කොම්පැනියෙන් විතරයි.  ඊට පොඩි කාලෙකට පස්සේ තාත්තා එච්චර කල් පාවිච්චිකල වාහනේ විකුණුවා! එදා ඉඳන් එයා මැරෙණ තුරුත් මම මගේ මේ ජීවිත කාලය ඇතුලෙත් අපෙ අයියාත් හැමදාම ගත්තේ මිට්සුබිෂි වාහන විතරයි! ඔයා කලේ එහෙම එකක්ද කියලා දැනගන්නයි මම මේ ඔයාව හොයාගෙන ඇවිත් කථා කලේ! මටත් මගේ පුංචි කාලේ මතක් උනා! කොහොම උනත් ඔයා කලේ හොඳ වැඩක්! අපි යන්නං! පුතා අංකල්ට බායි කියන්න!"

මට මගේ හැඟීම් සිරකරගෙන සිට ඔහුට හිස සොලවා ආචාර කරණවා හැරෙණ්නට වෙන කිසිවක් කථාකර ගන්නට නොහැකි තරම් හදවත බරවී තිබුණි.

තවත් මොහොතකින් දරුවා මට අත වනමින් ඉවතට යන රූපය බොඳවූ දෑස තුල චිත්‍රණය විය.

දෙයියනේ Catch them young! කියන්නේ මේකටනේ!? මම මටම කියා ගත්තෙමි!

පාරිභෝගිකයින්ගේ විවේකාගාරයේදී; 
කුඩා දරුවෙකුහට කැටලොග් පිරිනමනා අවස්ථාවක්; 
තඩි ගිහාන් හෙවත් මෙම බ්ලොගය සකසාදුන් මිත්‍රයා සටහන් කරගත් කරගෙන!!


Monday, August 30, 2021

212. පැනි බේරෙණ කොම්පැනි කථා 5


මා සේවය කල එක් ආයතනයක පරිපාලනය; විශ්‍රාමික හමුදා නිළධරයින් පිළිබඳව දැක්වූයේ මෙත් සිතුවිල්ලක්. බොහෝ අංශ ප්‍රධානින් උනේ එවන් නිළධාරීන්. හමුදා නිළධාරීන් විනය ගරුක, සෘජු ප්‍රථිපත්තියක් ඇති, විනිවිද භාවයකින් යුත්, නියමිත කලට වේලාවට වැඩ කරණ, පරිපාලනයේ දක්ෂ පිරිසක් කියලයි එයාලා හිතා හිටියේ! (හිනාත් යනවා නේද?) ලංකාවේ අති මහත් බහුතරයත් එසේ හිතපු එකේ ආයේ අපේ ලොක්කෝ ගැන කවර කථා ද නේද?

එහෙත්  අපගේ හිටපු වැඩහල් සාමාන්‍යධිකාරී  වන්නිආරච්ච්චි මහතා හා විකුණුම් අංශයේ සිටි  නානායක්කාර මහතා හැරුණු කොට ගෙන අන් අය ගැන  නම් කියන්න තියෙනනේ ඉතා දුක් බර මතකයන්  ගැන පමනකි!

එතෙක් කල් නාවික හමුදාව විසින් නතු කරගෙන තිබුනු අප සමගමට හදිසි ගුවන් ප්‍රහාරයක් එල්ලවන්නේ ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් සමන් මහතාගේ පැමිණීමත් සමග. ඉන් පසු ඒ පසුපසින් තවත් ගුවන් හමුදා නිළධරයෙකු වූ මෙන්ඩිස් මහතා පැමිණියා.

සමන්  මහතා ඇල් වතුර වීදුරුවක් බොන්නේ පීරිසියකට දමා විනාඩි දහයක් පමන පිඹිමින් නිවාගෙනයි. මෙන්ඩිස් මහතා ඊට හාත්පසින්ම වෙනස් ගති ලක්ෂණ දැරුවා. මෙන්ඩිස් මහතා දැරුවේ ඊට වෙනස්ම වූ ජීවන රටාවක්. ඔහු ඇවිද්දේද, ගියේද ආවේද, හැරුනේද, කථාකලේද , රඟ පෑවේද දැඩි සීග්‍ර තාවයකින් ය. ඇඟ පුරාම මොලේය. සැම සියල්ලන් හටම අමතන්නේ හමුදා උණෙනි. ඔහු ගැන හැඳින්වීමට වචන නාස්තිකලා මේ ඇතැයි මා සිතමි. ඒයට තව එක් කරණවානම් එක් කල යුතුව තියෙන්නේ පොලිටික්කෙකුට ද ඉතා ආසන්න නෑ කමක් පැවතීම ගැන කියන්නට පමණි.

කාලය ගෙවී ගියේය. ආයතනයට පැමිණි වහාම ඩෙමා සමග කොක්කක් ඇද ගත්තේය! මේ ආකාරයට වටේම ඉන්න එවුං සමග කොකු ඇද ගැනීම ඔහුගේ මාසික චක්‍රයේ එක් අනිවාර්‍යය ක්‍රියාවක්ය!

අපගේ වැඩහල් සාමාන්‍යධිකාරි විසින් පවත්වනු ලබන මාසික රැස්වීමක් විය. "මැරුන්නැත්තං එන්නෝන!" මේ සාමාන්‍යධිකාරි වරයාගේ හෙවත් ජී එම්ගේ  තීන්දුව, තීරණය, නියෝගය, අණ විය. ඒ නිසාම අපගේ යාපනයේ ශාඛාවේ සේවා උපදේශක වරයා පවා එයට සහභාගී වීමට අනෙකුත් හතර දිග්භාගයේ අය හා එක් විය. ජී එම් හෙවත් ජෙමා මෙම රැස්වීම හවස පහට පහමාරට පටන් ගෙන රාත්‍රී දහය එකොළහ වනතුරු ඇදගෙන යයි. ඒ ඔහුගේ ආතල් එක යැයි අපි විශ්වාස කලෙමු. "නා නා රූප නානා සංඥා" (විවිධ වූ අය විවිධාකාරවේ!) කියපු ශ්‍රී මුඛයෙන්ම "සබ්බේ පෘතග්ජනා උම්මත්තකා" (සෑම පුහුදුන් සත්වයෙක්ම උම්මත්තකයෙකි!) කියලත් තියෙන්නේ ආයෙ කට කහනවාටයෑ!?

විසල් මේසයක් වටා එක් වන මෙම රැස්වීමේදී ජී එම් අසලින්ම වාඩිවෙන්නේ මාය! මා වීරයෙකු යැයි නොසිතන්න. ඊට හේතු කාරණා රාශියකි. අංක එකටම ඇත්තේ බොහෝ විට ජෙමාගේ ඇහැ යන්නේ ඈත කෙලවරේ ඉන්නා එවුංට මිස අත ළඟ සිටින මා දෙස නොවේ! අංක දෙක වන්නේ; ඔහු කිසියම් දෙයකට බැන අඬ ගැහුවත් එය ඇසෙන්නේ මටත් තවත් ඉතා සීමිත පිරිසකටත් පමණි. ඈත ඉන්න එවුන් කන්නේ සියල්ල ඉදිරියේ රෙදි ගැලවෙන ලෙසය. අංක තුන වන්නේ ඕනෑම නිදහසට කාරණාවක් ඔහුට පමනක් ඇසෙන සේ පවසා වැඩක් ගොඩ දා ගැනීමට හැකිවීමය. අනෙක පංතියේ ඉස්සරහම පේළියේ ඉන්නේ වැඩ ටික කරපු එවුං යැයි ඕනෑම ගුරුවරයෙකු ඇන්දෙන බව මම දන්නා නිසාය. ඔවැනි කරුණු රාශියකි! මෙය කියවන ඔබට මතකද මන්දා මීට දශක දෙකකට තුනකට පමණ පෙර "අරවින්ද" නමැති චිත්‍ර කථා ශිල්පියා ඇන්ද එක් චිත්‍ර කථාවක ගුරුවරයෙකු හට සිසුන් පිරිසක් දමා තිබුනු නමක්, ඒය තමයි "කළාතුරයා!" එසේ එම ගුරුවරයාට පවසන්නට ඇති ආසන්නතම හේතුව වූයේ ඔහු පාසලට නොපැමිණෙන්නේ ඉතා කළාතුරකින් වන නිසාය! අපගේ ජෙමාද නොම්මර එකේ කළාතුරයෙකි. මොන දෙයක් උනත් ඔහු නියමිත දිනට රැස්වීමට පැමිණේ! 

රැස්වීම අවසාන වන්නේ අපට ඇනුම් යද්දීය. ඔහු වැඩහල පාලනය කල වසර පහක හයක කාලය තුල එක් දිනක් ඔහුට පැමිණීමට නොහැකි විය. ජෙමා නැති "සාමාණ්‍යධිකාරි රැස්වීම" යනු රෑට වසා තැබෙන "නයිට් කඩයකි"!  එදින රැස්වීම ගත්තේ සමන් මහතා වන අතර මෙන්ඩිස් ලොක්කා ඔහුගේ රැස් විහිදුවමින් විය. 

ලූලා නැති වලට කනයා පණ්ඩිතයා කියන්නාසේ මෙන්ඩිස් ලොක්කා එදින නිළ නොලත් ජෙමාගේ රෝල් එක සමන් මහතාගෙන් බලෙන් පවරාගෙන රඟන්නට විය. අර කිඹුල් කටු ඇනෙනවා ඉවසිය හැකි උනාට  කොහිල කටු ඇනෙනවා ඉවසන්න බැරි බව කියන්න ඕනෙ නැත! මීටිම පටං ගත් මොහොතේ සිට මෙන්ඩිස් ලොක්කාගේ රැඟිල්ල බලා සිටි මා සිටියේ ලේ රත් වී කන් රතු වී වෙව්ලමින්ය. රැස්වීම පැය භාගයකින් පමණ අවසන් කොට පිටත් වීමට අප සියල්ලෝම සූදානමින් සිටිය මුත් එකිනෙකා සමග කථා බහේ අඩුවක් නොවීය. ජෙමා සිටියද එකි නෙකා කථා බස් කරණ අපට මෙන්ඩිස් අවුලක්ම තිබුනේ නැත. රැස්වීම් ශාලාව තුල කාල ගෝට්ටියකි. සමහරුන් බොන්න යන්න කට්ටිය සෙට් කරමින්ය. තවත් අය එදින ජෙමාගේ නොපැමිණීම නිසා තමාට ලැබුනු "ගුටි නොකෑමේ" ආතල් එක අන් අය සමග බෙදා ගනිමින්ය! තවත් අය ගෙදර යාමට සෙට මෝල් වෙමින්ය. එතැන නොකෙරුණු එකම දෙය වූයේ මෙන්ඩිස් හට සවන් දීම පමණි! මෙන්ඩිස් හට ඒ වන විට සුපිරියටම මල පැන තිබුනි. මට එය ගෙන දුන්නේ නොම්මර එකේම ආතල් එකක් ය! 

"ළමායි! ළමායි!! කෑ ගහන්න එපා . . . . . . . . !"

"ළමායි . . .! මේ ක ඉවර කරණ්න ඕනෙ නැද්ද අද . . .??!"

මෙන්ඩිස් ලොක්කා කිහිප වතාවක් "ළමායි!" ගාමින් අපිට කෑගසමින්ය. ඒ නිකංම නොවේය! මේසයට තඩි බාමින්ය! මට එයින් තවත් ජුවල්ය! තවත් විනාඩි 10 කින් පමණ රැස්වීම අවසන් විය!

"ගුඩ් නයිට් ඕල්!" මෙන්ඩිස් රැස්වීම අත් හිටුවමින් පවසා නැවත අතුරු ප්‍රශ්ණයක් නැගුවේය!

"ළමයින්ට මුකුත් කියන්න ප්‍රශ්නයක් නෑ නේද?"

මගේ අත එස වුනේ ඔටෝය! 

"තියෙනවා! අපිට ළමයි! ළමයි!! ගාන්න එපා!!! ඒකට මම කැමති නෑ! අපිට ළමයි ගෑවොත් අපි ඔයාට "මිනිහො" කියන්නම්! කමක් නැද්ද!?" මම කථාව අරඹා කියාගෙන යන විටම ශාලාව  සීයට පනහක් නිශ්ශබ්ධවී තිබුනි. මගේ වාක්කිය අවසන් වන විට මගේ කට හඬ ඇසෙන දුරින් සිටි සියල්ලෝම කොර වෙලාය!  මෙන්ඩිස් ලොක්කාට උතුර දකුණ අමතකව ගොස්ය!  කොටින්ම හිංගලත් අමතකව ගොස්ය!

Ok!  Extreamly sorry gentleman good night all!

හරි නේද මිස්ටර්!? කියා මාදෙස දෙස බලා ඇසුවේය! මම කිසි ගානක් නැතිව "හරි සර්!" කියමින් ගෙදර එන්න නැගිට්ටෙමි! රැස්වීම් ශාලාවෙන් පහලට බසිද්දී අපගේ ලොකු කුඩා මිතුරන් මා වට කොට ගෙනය. ඉතිරිය මා නොකීවාට ඔබටම සිතා ගත හැකිවනු ඇතැයි සිතමි. 

කථාව මෙය නොවේ. මේ මෙතෙක් කථාවය. නියම කථාව පටන් ගන්නේ දැන්ය!

මාගේ ආසනය තිබුනේ ඉදිරි කාර්‍යාලයේ පසු පස ඉමේය! මේ නිසා පාරිභෝගිකයින් පැමිණ අපගේ සොහොයුරන් සමග කිසියම් "ආදර බස්" හුවමාරු කිරීමක් සිදුවන්නේ නම් එය ඉක්මණින්ම දකින්නටත්  මා හට ඊට ඉක්මණින් ළඟා වීමටත් ඉන් හැකිවිය! සමන්  මහතාගේ ආසනය තිබුනේ මගේ ආසනයට ඉදිරියෙන්ය.  අපගේ මුළු වැඩ හල අක්කර හතක් වන අතර වැඩහල පිටුපස ඉමේ කොටස හැඳින්වූයේ අක්කර දෙක යන නමින්ය! මෙන්ඩිස් ලොක්කා මේ කාලයේ සේවය කලේ   අක්කර දෙකේය! දිනක් උදෑසන සමන්  මහතාගේ ආසනය   අසල එකම කාලගෝට්ටියකි. සමන් මහතා ඉදිරියේ ආසනයක පාරිභෝගික මහතෙකු සිට එකසිය ගානට විදිමින් විය. ඒ අසල අපගේ කථා නායක මෙන්ඩිස් ලොක්කාද හතර අතට ඇඹරෙයි! මෙන්ඩිස් ලොක්කා කවදාවත්ම නැතිව මෙසේ ඇඹරෙන්නේ ඇයි දැයි ඇන්ටනාව දමා බලන ලෙස මා සමග සේවය කල; මේ බ්ලොගය අටවා දුන් තඩි ගිහාන්ට පැවසුවෙමි. විනාඩි ගණනකින් තඩි ගිහාන් සිද්ධිය පැහැදිලි කලේය.

පෙරදින සවස් වරුවේ; අක්කර දෙක කොටසේ ඇති ලිහිසන සේවා කොටසට  පෙර කී පාරිභෝගිකයා තම අලුත් මෝටර් රථය ගෙනැවිත් ඇත්තේ එහි ප්‍රථම සේවාව වන කිලෝ මීටර 1000න් සිදු කරණ සේවාව ඉටු කර ගැනීම සඳහාය. එහිදී එක් සේවකයෙකු;  එම රථය එක් තැනක සිට තවත් තැනකට ගැනීමට පසු පසට ධාවනය කරද්දී එතැන තිබුනු යකඩ කනුවක වැදී රථයේ පසුපස මුළු මණින්ම හානි වී ඇත. පාරිභෝගිකයා ඕස්ට්‍රේලියාවේ පදිංචි අයෙකු වන අතර;  නිවාඩුවකට මෙරටට පැමිණි අවස්ථාවක තම නැගණියගේ රථය ස්වෙච්ඡාවෙන් සේවාව සඳහා අප ආයතනයට ගෙනැවිත් තිබුනි!

වැඩේ ක්‍රිමිනල්ය! ෆුල් සීරියස් ය!

වීදුරුව තුලින් හඬ නොඇසුනත් පාරිභෝගිකයාගේ කෝපාවිෂ්ඨ මුහුණ හා ඊට සමගාමීව මෙන්ඩිස් ලොක්කාගේ ඇඹරීම මාහට දිස්වුනි. මෙයට මැදිහත්වීමට හෝ නොවීමට මාහට පුළුවන! මන්ද කිසිවෙකු මේ සම්බන්ධයෙන් මා වෙත පැමිණිල්ලක් සිදු කොට හෝ මැදිහත්වන ලෙස දන්වා හෝ නොමැත! එහෙත් කිසියම් සිද්ධියකය අත පෙවීමට එය සුදුසු එකක්ද නැතිනම් නුසුදුසු එකක් දැයි තෝරා බේරා ගන්නා ආකාරය පිළිබඳව නිවැරදි වැටහීමක් අද මෙන්ම එදාත් මාතුළ නොතිබුනි. ඊට අමතරව සදාචාරාත්මකව ගත් කල පාරිභොගිකයෙකු කිසියම් ගැටළුවකට මැදිහත්ව සිටින විට කර ඇරීම මාහට තරම් නොවේ! මා ඉක්මනින්ම සමන්  මහතාගේ ආසනය වෙතට ගියෙමි. 

"නෑ සර් !  මේක අපි හිතලා කරපු දෙයක් නෙවෙයි! අපි තිබුනා වගේ හදලා දෙන්නම්! මේ වාහනේ ඩ්‍රයිව් කරලා තියෙන්නේ හැමදාම ඒ වැඩේ කරන කෙනා! හරිම කනගාටුයි . . . " මෙන්ඩිස් ලොක්කා කියාගෙන යයි.

"සර්! මම පර්සනලි බලලා වාහනේ හදලා දෙන්නම් දවස් දෙකකින්! එතකල් පාවිච්චි කරණ්න කම්පනි එකෙන් වාහනය සර් ට අරං දෙන්නම්!" සමන්  මහතා කියවයි.
"පිස්සු කියවන්න එපා! අළුත් වාහනයක් මම මෙතනට ගෙනත් මම මොකටද හැප්පුනු වාහනයක් අරගෙන යන්නේ!? මම ඔයාලගෙ CEO එක්ක ප්‍රශ්නෙ බේර ගන්නම්. ඔයාලගෙ සර්විස් එක හරිම Careless . . . . . !" පාරිභෝගික මහතා තනිවම තම ප්‍රහාරය එල්ල කරයි.
මෙසේ පාරිභෝගිකයෙකු තදින් උරණ වී සිටින අවස්ථාවක ඔහුට කථා කිරීමට (මා "දමනය" හෝ මෙල්ල කිරීම" යන වචනය භාවිතා නොකිරීමට පරිස්සම් වන්නෙමි!) අවස්ථාවක් එන තුරු සිටිය යුතුය. එය මාගේ උපක්‍රමයකි. ඔහු කියන කියන සෑම දෙයකටම අපද ගිරවුන් සේ වචන විදින්නට ගිය විට ඔහු වඩාත් කෝපවේ. එය මා දකින්නේ මෙලෙසය! පීඩාවට පත්වී පත්වී ඇත්තේ ඔහුය. ඔහුට තම පාඩුව කෝපය ආතතිය ගෙවා දැමීමට අවස්ථාවක්, පුද්ගලයෙක්, ස්ථානයක් ලබා දීම අප විසින් කලයුතු කට යුත්තකි. ඒ සඳහා අප විසින් ඔහුට වේදිකාවක් තනා දිය යුතුය! අප ඊට හරස් වීමෙන් ඔහුගේ කෝපය, ආතතිය ඔහු තුලින් පහව නොයයි. මේ නිසාම ඔහු සමග කිසියම් එකඟතාවයකට ඒමට අපහසු වේ! බොහෝ විට ඊට ඉඩ සැල සීමට ඔහුට සවන් දිය යුතුය! ඔහුගේ පාඩුව අප පිලිගත යුතුය!! ඔහු විඳින අපහසු තාවයේ අපද කොටස් කරුවෙකු විය යුතුය!!!

සමන්  මහතා අසල පිහිටි කුඩා ලිපිගොනු රාක්කය අසල මා සිට ගත් මා මෙන්ඩිස් ලොක්කාටත් සමන් කුමාර මහතාටත් "සර් අපි පොඩ්ඩක් මේ සර් කියන දේ අහමුකෝ!"  යැයි පවසමින්ම් පාරිභෝගිකයා වෙතට නැඹුරු උනෙමි. පරිභෝගිකයා  තමාගේ කථාව මුල සිට කියන්නට කැමැත්තක් නොදැක්වීය!
"මට කියන්න තියෙන්නේ මට හප්පලා හදපු වාහනයක් එපා!" මම  රිපෝර්ට් කරණවා Consumer Affairs Authority එකට! එච්චරයි!" කථාව ඔහු එක තැන ලඟම නැව්වේය!

ඕනෑම මිනිසෙකු සමග කිසියම් සමගි සංධානයක් ගොඩ නංවා ගැනීමට තමන් සහ ඔහු අතර කිසියම් හෝ සමාන බවක් සොයා ගත යුතුය. එකම විදියේ අදහස්, එකම පලාතක විසීම, එකම භාෂාවක් කථා කිරීම, එකම පාසලක ඉගෙන ගැනීම, එකම විනෝදාංශයන්හී යෙදීම වැනි සමාන බවක් ඇති කිරීමට කදිම අවස්ථාය! සමහරු සෙට මෝල් වන්නේ තනිව කෑම්පින් කරණ නිසා විය හැක! ඒ සඳහා ඔහු සමග කථා කරමින්ම ඊට අවශ්‍ය දත්තයන් සොයා ගත යුතුය! මා ඔහුගේ මුහුණ දෙස නොව ඔහුගේ දෙනයන මතම මාගේ ඇස් තබා ගෙනම ඔහු  තවත් දිගින් දිගට කරණා දෝශාරෝපනය අසා සිටිමින්ම ඔහු සමග සංධානගත වීමට මගක් සොයමින් විමි! 

"මේ මනුස්සයා මං කොහේදි හරි දැකලා තියෙනවානේ! කවුද මේ !? ගෙවල් පැත්තෙ බුවෙකුත් නෙවෙයි . . . ! වැඩ කරපු තැනක එකෙකුත් නෙවෙයි!?" මම ඔහුව හොඳින් ස්කෑන් කරමින් ඩෙටා බේස් එක පීරමින්ය! තවත් විනාඩි ගානක් යන විට මගේ මතකය ස්පාක් විය! "අම්මට සිරි මේ යකා අපේ ඉස්කෝලෙ මගේ පංතියේ මට පේලි දෙකක් ඉස්සරහින් හිටපු සද්ද බද්ද නැති ඩයල් එක නේද?" 

මම ඔහු වෙත තවත් නැඹුරු විය! "එක්ස්කියුස්මී සර්! සර් "අහවල්" ඉස්කෝලේ නේද?"

"ම්ම්ම්ම්ම් . . . . . . .මචං උඹ මේ  . . . .?" 

"ඔව් සර් එයා තමයි . . .!"

"සර් මේ වර්ක් ෂොප් එකේ මෙහෙම ප්‍රශ්නයක් උනාම මම තමයි ඒකට මැදිහත් වෙන්නේ. මට තේරෙණවා සර් ගේ ප්‍රශ්නෙ. සමහර විට සර්ට සර්ගේ නංගිට මෙහෙම දෙයක් උනා කියලා කියන්නවත් බැරුව ඇති! සර් මේ ඉස්සරහ යාඩ් එකේ තියෙන බ්‍රැන්ඩ් නිව් වාහන ඔක්කොම තියෙන්නේ මගේ භාරයේ. සර් මට හෙට දවස දෙන්න. අනිද්දා මම සර්ගෙ වාහනේ ඉස්සරහ තියෙන බ්‍රැන්ඩ් නිව් එකක් එක්ක තියලා පෙන්වන්නම්! සර් මට පොඩි හරි වෙනසක් පෙන්නුවොත් මම සර්ට බ්‍රැන්ඩ් නිව් එක ගෙනියන්න දෙන්නං! මාව විශ්වාස කරණ්න. මම පර්සනලි ඉන්වෝල්ව් වෙලා වැඩේ කරලා දෙන්නම්!"

සමන් මහතාද මෙන්ඩිස් ලොක්කාද පාරිභෝගිකයාද තිදෙනාම මා දෙස බලා ගෙනය! තවත් මිනිත්තුවක් නිහඬව ගෙවුනි. ඊළඟ මිනිත්තුවේ පාරිභෝගික මහතා කට හඬ අවදි කලේය!

"හරි මචං! උඹ වැඩේ බලලා කරල දියං!  උඹ හින්දා මම මේ යන්නේ!' ඔහු ආසනය පසු පසට තල්ලු කොට පිටව ගියේය. 

"ඒයි කොල්ලෝ  රිඩ්ලි නිර්මාල් පොඩි සීන් එකක් වැඩේ දියං අද හවසට මට වාහනේ ඕනේ!" මම  වැඩේ බොඩි රෙපයාර් අංශයේ සේවා උපදෙශක "මචං" කෙනෙකුට භාර දුන්නේය. 

පසුදින උදෙම මම වාහනය බැලීමට යන අතර මගදී මෙන්ඩිස් ලොක්කා මුණට මුහුණ මුන ගැසුනේය. රැස්වීම් ශාලාවේ සිදුවූ සිද්ධියෙන් පසු  ඒවන තුරා කිසිදු ඇයි හොඳැයියකින් තොරව සිටි මා ඔහු දෙස නොබලා යන්නට විමි.

"ගුඩ් මොර්නිං . . . !" මෙන්ඩිස් ලොක්කා මාහට උදෑසන සුභ පතමින්ම නැවතුනි!

"ගුඩ් මෝර්නිං සර්!"

"මං හිතුවේ නෑ ඔයා කවදාවත් ඊයේ වගේ මට උදව්වක් කරයි කියලා!?"

"පිස්සුද සර් මං කවදාවත් මැරිච්ච සිංහයා ව අපයෝජනය කරන කෙනෙක් නෙවෙයි!" (ගැලපෙන වචන දෙකක් යොදා ගන්න!)

මෙන්ඩිස් ලොක්කා හිස සොලවමින් කාර්‍යාලය පැත්තට ගියේය. එදින උදේ වරුවේ පාරිභෝගිකයා වෙත වාහනය මගේ අතින්ම භාර දී ගේම ක්ලෝස් කර ගත්තෙමි!

වැඩේ සුපිරිම ප්‍රථිඵලය ආවේ තව මාස ගණනාවකින්ය!

ඒ ඉදිරි වසර සඳහා වැටුප් වර්ධක සහ පාරිතෝෂිත දීමනා සඳහා පෝරම කොල පිරවීම හා සම්මුඛ පරීක්ෂණයට මා  සමන්  මහතා ඉදිරියේ පෙනී සිටියෙමි. සාමාන්‍යයෙන් පෝරමය අප විසින්  පුරවා අංශ ප්‍රධානින් අතට පත් කල යුතුව තිබෙන අතර සම්මුඛ පරීක්ෂණයේ දී; පෙර එහි අප යෝජනා කොට ඇති අපගෙ  "අගැයීම්" ඔවුන් විසින් පිළිගැනීමට හෝ අභියෝගයට හෝ ලක් කිරීම කරණු ලබයි. එදින; "විනය" සඳහා ලැබී තිබුනේ අඩු ලංසුවක්ය. මා කිසි විටෙක එය අපේක්ෂා නොකල දෙයකි!

"ඇයි සර් මේ!"

" ඇයි  මතකද  දවසක් මිස්ටර් මෙන්ඩිස්  බෝඩ් රූම් එකේදී ළමයි කිව්වා කියලා ඔයා ඒකට  . . . . . . . .!?" තතනමින් වචන එකතු කරණ්නට විය.

කථාව සම්පූර්ණ කරණ්නට මත්තෙන් සිද්ධිය මට පැහැදිලි විය. 

"අනේ ! අවුලක් නෑ සර් කැමති ලකුණක් දාගන්න!" මා ඔහු අත තිබූ පෝරමය රැගෙන යටින් අත්සන් කොට දුන්නෙමි. ඉන් පසු මා ආයතනයේ සේවය කල කාල සීමාව තුල සිදු කෙරුණු කිසිදු ඇගයීම් සම්මුඛ පරීක්ෂනයක් සඳහා පෝරම පිරවූවේ නැත! මා කලේ හිස් පෝරමයට අත්සන් කොට සමන් කුමාර මහතා අතට පත් කිරීමය!  කවුරු නැතත් සමන්  මහතා තවමත් ජීවතුන් අතරය! ඔහු මේ සියල්ලටම සාක්ෂි දරණවා ඇත. 

මිත්‍රවරුණි මීට පෙර පෝස්ටුවේ දක්වා තිබූ මහේෂ් රණවීර මහතාගේ මිත්‍රයෙක් පසු ගිය සතියේ බ්ලොගයකට මුල්ගල් තියලා වැඩ ඇරඹුවා. එතුමා වෙදැදුරෙක්. එයට පිවිස කියවන්න. හැකිනම් කොමෙන්ටුවක් යොදා ඊට දිරි දෙන්න! ඊට මෙතැනින් පිවිසෙන්න.

Monday, August 23, 2021

211. පැනි බේරෙණ කොම්පැනි කථා 4



මම මේ කියන කථාව උනේ මීට අවුරුදු 13 කට 14 කට කලින්.  ඒ කියන්නේ  මම යුනයිටඩ් මෝටර්ස් ගිය අලුත! මම යුනයිටඩ් මෝටර්ස් ආයතනයට යන්නේ මම අර "207. පැනි බේරෙණ කොම්පැනි කථා 2" පෝස්ටුවේ සඳහන් කල ආශික් ලෆීර් මහත්තයා හින්දමයි. මම මුලින්ම යන්නේ හයිඩ් පාර්ක් කෝනර්; ඒ කියන්නේ අපේ ප්‍රධාන කාර්‍යාලයේ තිබුනු කුඩා වැඩපොලට. එතන තිබුනු ලිහිසි සේවා අංශය බලා කියා ගත්තේ මම. එතෙනට මා යන්නට කලින් වැඩ කලේ පානදුර පැත්තේ කෙනෙක්. උන්නැහැ අපෙ ආයතනයෙන්ම පුහුණුවක් සඳහා ජපානයට ගියාම එහේම ගල් වෙලා.  උන්නැහැගේ පාලන ක්‍රමවේදය හෙවත් මැනෙජ්මන්ට් සිස්ටම් එක මගෙ ක්‍රියා පටිපාටිය සමග එකට පෑහුනේම නැත! ඒ නිසාම කෙටි කාලයක් යන විට එතැන සිටි සේවක මහත්වරුන් මා සමග අකුරට වැඩ කරණ තැනට පත් විය!
මා එහි ගොස් මාසයක් පමණ ගත වෙද්දී දිනක්  දවල් වරුවේ සේවාව ලබා ගැනීම සඳහා "අන්වර් අලී සහ සමාගමේ" මොන්ටෙරෝ රථය එහි රියැදුරු රාජා විසින් ගෙනාවේය. ඔහුගේ රථය  තෙල් මාරු කරමින් යට හෝදමින් වැඩ කටයුතු කෙරෙමින් තියෙන විට තවත් මොන්ටෙරෝ කිහිපයක් වැඩ නිමවී සේවා ස්ථානයෙන් එළියට අදාල වාහන හිමියන් හෝ රියැදුරන් විසින් රැගෙන ගියෝය. එදින දිනය නිමා වූයේ අන්වර් අලී - රාජාගේ වාහනයෙන්.

සියල්ල නිමවා බිල් පත් ගෙවා අවසන් කොට රාජා පැමිණි පසු මාහට තව දුරටත් ඉතිරිව තිබුනේ වාහනයේ යතුර භාර දී ගෙදර එන්නට ය.

රාජා බිල් ගෙවා පැමිණියේය.

සේවා නිමකරණ වාහනවල යතුරු එල්ලා  තැබෙන්නේ  කුඩා හැඟරයකය.   රාජා සමගම එය අසලට ගිය මම යතුර ගන්නට බැලුවෙමි.

කෝ යතුර!? එහි අදාල එහි  යතුර නැත!

වාහනයක් පැමිණි පසු පසෙක ගාල් කොට තැබෙන විට එහි යතුර  තැබෙන්නේ යතුරු කටේමය. ඉන් පසු පිළිවෙලින් යට සේදීමටත් , තෙල් ෆිල්ටර් මාරු කොට ග්‍රීස් ගැසීමටත් එතැනින් බොඩිය සේදීමටත් අවසානයේ රථයේ ඇතුලත පිරිසිදු කිරීමටත් බොඩිය පිසදා ඔප මට්ටං කොට සියළු ආලවට්ටං දමා ඇන්දවීමටත් යොදවයි.

පෙර කී සියළු කටයුතු සඳහා වෙනත් වෙනත් ස්ථාන කරා වාහනය යොමුකර වීමට සිදු කල යුතු ආකාරයට ඉතාමත් ප්‍රාථමික ආකාරයක පැවති හයිඩ්පාර්ක් සේවා ස්ථානය වෙත යොමු කරණ වාහනයක යතුර ඉන් අවසන් වතාවට පිටතට ගැනෙන්නේ ඒය අවසාන අදියරයට පැමින නැවැත්වූ පසුය. එවිට යතුර ගෙන පෙර කී හැඟරයේ එල්ලා තැබේ.

මේ ලෙසට බැලූ කල අවසාන අදියරයට පැමින  පිටත් කොට යැවීමට සූදානම්ව ඇති අන්වර් අලී මොන්ටේරෝවේ යතුර වාහනය තුල හෝ හැඟරයේ තිබිය යුතුය!

එහෙත් එය නැත!

මා වහාම අවසාන අදියරේ සේවය කරන සේවකයින් දෙතුන් දෙනාව කැඳවා යතුර පිළිබඳව විමසූ අතර ඔවුන්ගෙන් කිසිදු හෝඩුවාවක් නොලැබුනි.

"සර්!  වාහනෙන් අද  හවසට අපේ මහත්තයාව අරං එයා පෝර්ට් එකට යන්න තියෙනවා! නැත්තං මම වාහනේ දාලා යනවා. හෙට ඇවිත් යතුර හොයාගෙන වාහනේ අරං යන්නත් තිබුනා. යතුර ඔය කොහේ හරි දාලා ඇති!" රාජා; වලිගය ගිනි ගෙන හතර වටේ ඇවිදමින් සිටින මා හට ඇහෙන්නට කීවේය.

"ඔයා අද ආපු ඔක්කෙම වාහනවලට කෝල් කරලා බලන්න . ඔය වාහනේක  යතුර ගිහිං ද දන්නේ නෑනේ!" තෙල් ඉස්ටෝරුවේ පාලක පරිණත සේවකයෙකු වූ පෙරේරා ඔහුගේ අදහස ගෙනහැර පෑවේය!

සත්තකින්ම එය කල යුතුම දෙයකි. ආයතනය තුල යතුර ඇතැයි සිතිය හැකි හැම අස්සක් මුල්ලක්, දුමක් අටුවක්,ලාච්චුව  රාක්කයක් පෙට්ටගමක්, හෙප්පුවක් පඩික්කමක් ආදී එකී මෙකී නොකී සෑම තැනකමත්; අප සියළු දෙනා අපගේ සාක්කු ඉන ඉහ ආදිය පරීක්ෂා කල පසු කල යුතුව ඉතුරුව තිබුනේ එයම පමණකි!

වාහනයක් සේවාව සඳහා පැමිණි වහාම ඒ සඳහා වැඩ පතක් හෙවත් ජොබ් කාර්ඩ් එකක් නිමාණය කල යුතුය. ඒ සඳහා වාහන හිමියාගේ නම හා දූරකථන අංකය ලබා ගනී. එහෙත් පලමු සේවාවෙන් පසු වාහනයේ අංකයට අදාල හිමිකරුගේ නමත් ලිපිනයත් දූරකථන අංකයත් පරිඝනකය විසින් වමාරයි.

ඒ කෙසේ වෙතත් එදින පැමිණි වාහන සියල්ලටම අදාල නමක්, ලිපිනයක් හා දූරකථන අංකයක් පරිඝනකය තුලින් ලබා ගැනීමේ හැකියාවක් තිබුනි.

මා කොනක සිට පැමිණි වාහන සියල්ලටම ඇමතීමට පටන් ගත්තෙමි. බොහෝ අංක වලින් පැවසුනේ එවන් යතුරක් ඔවුන්ගේ වාහනය තුල නොමැති බවය. තවත් අංක කිහිපයක් අක්‍රියය. තවත් කිහිපයක නොම්මර වැරදියය! ඔය සියල්ල මෙසේ සිදුවද්දී නැවතත් රාජා මා හමුවට පැමිණියේය.

"සර්! අපේ මහත්තයා ළඟ තව යතුරක් තියෙනවා! සර් කථා කරලා වෙලා තියෙන දේ කියන්න. එයා මට කිව්වොත් මම ටුක් ටුක් එකක ගිහින් යතුර ගේන්නම්. මහත්තයා හෙට යතුර හොයලා තියන්න!" සත්තකින්ම එය ඉතා හොඳ යෝජනාවකි. 

මම අපගේ ආයතනය තුල අංක එකේ නම් දරාපු පාරිභෝගික සේවා සැපයීමේ සේවකයාය. එය මා මෙසේ ලිඛිතව ලියා තබන්නේ එතරම්ම විශ්වාසයෙනි. වාහන සේවා සපයන ස්ථානයක පාරිභෝගිකයා හෙවත් කස්ටර්මර් වන්නේ වාහන අයිති කරු පමණක් නොවේ. ඔහුගේ බිරිඳ වාහනයේ පැමිණ සිටියහොත් ඇය ද ඔවුන්ගේ දරුවන් වුවහොත් ඔවුන්ද ඔවුන්ගේ මිතුරන් වුවහොත් ඔවුන්ද සැලකෙන්නේ පාරිභෝගිකයා හෝ ඔහුගේ කණ්ඩායම ලෙසින්ය. එසේම වාහනය රැගෙන පැමිණියේ රියෙදුරෙක් නම් ඔහුවද සැලකෙන්නේ පාරිභෝගිකයා ලෙසින්මය. මෙය මාගේ හිතළුවක් නොව එය එසේම විය යුතුය! මේ නිසාම මා වාහන අයිති කරුවන්ට සේම රියැදුරන් හටද සම මෙත දැක්වූවේය! ඔවුන්ට පොර ටොක් දීම හෝ ලොකු සීන් දැමීම මා වෙතින් කිසිදා සිදු නොවන්නට බලා කියා ගත්තෙමි.

තේ බොන වෙලාවක ඔවුනට තේ එකක් පිරිනැමීම, ගෙදර වැඩකට කළු තෙල් ලීටර පහක් ලබා දීම, ගේට්ටුවේ කිරි කිරි ගෑම නැවැත්වීමට ග්‍රීස් පොඩිත්තක්; කාටත් හොරෙන් සිලි කවරෙක උංඩි කොට දීම, හදිසියේ කොළඹ මැදදී සිදුවන කුඩා කුඩා ආපදා වලදී මැදිහත්වීම, කාක්කන්ගෙ හදිසි ගුවන් ප්‍රහාරයකට ලක්වී වින්ඩ්ස්ක්‍රීනයට වතුර පොජ්ජක් අල්ලා ගැනීමට සපෝට් එකක් දීම වැනි  පුංචි පුංචි උදව් හා සේවා; මා වෙතින් ඔවුන් වෙත කෙරුණු තෙල් ෆිල්ටර් මාරු කිරීමට අමතරව කෙරුණු කටයුතු විය!

ඔව්! දැන් මට තියෙන්නේ අලී මහතා ඇමතීමටයි! දැන් ඇමතුවහොත් මා හට කථාකරණ්නට හා සමබර කර ගන්නට ඇත්තේ යතුරක් නැතිවූ පාරිභෝගිකයෙක්වය. තවත් පමා වී ඔහුගේ එයා පෝර්ට් ගමන පරක්කුවූ පසු මා හට අමතන්නට සිදුවහොත් මා හට කථා කරණ්නටත් සමබර කරණ්නටත් සිදුවන්නේ වාහනය පරක්කුවී කෝපාවිෂ්ඨවූ පාරිභෝගිකයෙක්වය. මා දෙවරක් නොසිතා අලී මහතා ඇමතුවෙමි.

ඔහුගෙන් ලැබුනු ප්‍රථිචාරය එතරම් යහපත් එකක් නම් නොවීය. කොටින්ම එය මාගේ පසුම්බිය හිල්වන ආකාරයේ එකකි!

"හරි මම මගේ ඩුප්ලිකේට් කීස් ටික එවලා වාහනේ අරගන්නං. හැබැයි ඔයාට ඒක හොයලා දෙන්න බැරි උනොත් මුළුවාහනේම කී බැරල්ස් ටිකයි ඉග්නීශන් ස්විච් එකයි ඔයාගෙ වියදමෙන් මාරු කරලා දෙනවා කියලා මට ඉන් රයිටිං එවන්න ඕනෙ!"

බලාගෙන ගියාම ඔහුගේ ඉල්ලීමේ ලොකු අසධාරණයක්ද නොමැත. අපගේ ගෙයක, අල්මාරියක නැතිනම් කුඩා ලාච්චුවක යතුරක් නැතිවුවහොත් ඒක්ෂණයෙන් අපට සිතෙන්නේ කිසිවෙකු හෝ එම යතුර අහුලා ගෙන හෝ සොරාගෙන අපගේ ගෙයට ඇතුළු වෙයි, අල්මාරිය ඇර එහි ඇතිදෑ පැහැර ගනී නැතහොත් ලාච්චුව ඇර එහි ඇතිදෑ සොරකම් කරතැහැකි යැයි කියාය. රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමකින් යුත් ඔහුගේ වාහනයේ යතුර අප විසින් අස්ථාන ගත කිරීම පිළිබඳව ඔහුට දැනෙන්නට ඇත්තේත් ඊළඟ මොහොතේ ඔහුගේ වාහනය කිසිවෙකු විසින් හෝ පැහැර ගනීවි යැයි බියය!

වාහනයක යතුරෙන් අගුළු දැමෙන හා විවෘථවන ස්ථාන හයක් වේ. දොරවල් පහ සහ සුක්කානම එම උපාංගයෝය. මෙම ස්ථාන වල පිහිටි යතුරු කටවල් තුලින් යතුරක් ඇතුළු කොට කරකැවීමේදී එය තුල ඇති ලොක් බැරල් නැතහොත් කී බැරල් මගින් අගුළු වැටීම හා විවෘථ වීම සිදුවේ. වාහනයක යතුරක් මාරු කිරීමේදී මෙම කී බැරල් පහම සහ ඉග්නීශන් ස්විච් එක හෙවත් වාහනය පන ගැන්වීමේ ස්විච්චය යන සියල්ල මාරු කල යුතු වන අතර නවීන තම වාහන වල යතුර අදාල වාහනය සමග බද්ධ වීමට ප්‍රෝග්‍රැම් කල යුතු වන්නේය.

මා වහාම අපගේ අමතර කොටස් අංශයට කථා කොට ය්තුරු හා ලොක් බැරල් ඉග්නීශන් ස්විච කට්ටල ඇති දැයි තහවුරු කර ගත්තෙමි. එහි මිළ එකල එක්සක්ෂ අසූ දහසකට ආසන්න විය! වෙන කලයුත්තක් නොමැත! මොනවා උනත් කල යුතු දේ කල යුතුය! කල් මැරීමට කාලයක් නොමැත!මා වහාම A4 කොලයක් ගෙන ලිපියක් ලියා රාජා අත තැබුවෙමි. රාජා ටුක් ටුක් රියකින් හෙවත් ත්‍රීවිලරයක නැගී නොපෙනී ගිය අතර; අද දින පැමිණි ඉතිරි වාහන වලට ඇමතීමට මා පටන් ගතිමි.

මා එකින් එක කථා කරගෙන යන අතරතුර අවසානයේ එක වාහනයකට කථා කිරීමට යාමේදී මහා  අල කලංචියකට මුහුණ දීමට සිදුවිය! 

වාහනයේ අයිතිය ලෙස දකවා තිබුනේ කොහුවල කාර් සේල් එකක නොම්මරයකි. එයට ඇමතූ විට එතැනින් පැවසූවේ වාහනය ඔවුන් වෙනත් අයෙකු හට විකුණා ඇති බවත් දැනට ඔහු බාරයේ ඇති බවත් ඔහුගේ අංකයක් තමන් අත නොමැති බවත් ය. මාගේ ඊළඟ ප්‍රශ්නය වූයේ වාහනය  එනම් මොන්ටෙරෝව ඔවුන්මිළදී ගත් අයගේ අංකය ලබා දෙන මෙන්ය. මන්ද එයින් වත් කිසියම් හෝඩුවාවක් සොයා ගැනීමට හැකිවේදෝ යන්න මාගේ අවසාන බලාපොරොත්තුව විය.  ඇඹිළිපිටියේ නොම්මරයක් ලැබුණු අතර ඔවුන් වෙත කථා කල සැනින් ඔවුන් මහත්වූ කලබලයට පත් වීමටත් පුර්වපර නොගැලපෙන මුසාවාද දෙසීමටත් පටන් ගත්තෝය.  ඒ වන විට රජයේ බලපත්‍ර විකිණීම මහා අපරාදයක් සැලසෙන අවධියකි. මා අමතා ඇති වාහනයේ පෙර අයිතිකරු පලා බබෙකි! ඔහු තම බලපත්‍ර වාහනය අත යට විකුණා ඇති අතර ඒ පිළිබඳව මා විමසන විට වැඩේ සී අයි ඩී කරණය වී ඇතැයි ඔවුන් සිතුවා විය හැක!

එතැනින් පොටක් පාදා ගැනීමට නොහැකිවූ තැන මා නැවත කොහුවල කාර් සේලයට ඇමතුවෙමි.

කාර් සේලයේ එක් සේවකයෙකු පැවසුවේ කුඩා ඉඟියකි. 

"ඔය වාහනේ කළුබෝවිල පීරිස් පාරට යනවා කොළඹ ආවොත්! දැනට තියෙන්නේ දෙනියායේ. පාට රතු පාට!"

මොන්ටෙරො සාමාන්‍යයෙන් ලංකාවේ අලෙවි වන්නේ කළු , සුදු හා අළු පැහැය වැනි වර්ණයන්ගෙන්ය. රතු පැහැය යනු ඉතා අඩු වර්ණයකි. මෙරූන් පාට එනම් ලොවි රතු පැහැය තිබුනත් රතු පැහැය බෙහෙවින්ම දුර්ලභය. එදින රතු පැහැති මොන්ටෙරෝ රථයක් පැමිණි බව මාහට හොඳින්ම මතකය. රථය ගෙන ආවේ ඉතා වයස් ගත රියැදුරෙකි. වාහනයේ සේවාව අවසන් වූයේ දහවල් 1.30 ට 2.00 ට පමණය. ඔහුගේ වයස් ගත භාවය නිසාම ඔහුගේ දිවා ආහාරය පිළිබඳව මා විමසුවේය.

"සර් දැං දවල්ට කෑමක් නෑ! අපේ මහත්තයා කියලා තියෙන්නේ කොහෙවත් නවත්තන්න එපා කියලා. ඉඳුරුවේ මහත්තයා දන්න හෝටලයක් තියෙනවා. එහේට යනකල් කෑමක් නෑ!" ඔහු පැවසුවේය. මට එය මගේ හදවතේ පතුලේම ඇනුනි. 

"පොඩ්ඩක් ඉන්නකෝ!" මම එසේ කියා අපගේ කැන්ටිමට ඉගිළුනි. ඒ වන විට අපගේ හවස තේ එක සෑදෙමින් විය! මා ඔවුන්ට සිද්දිය සැකෙවින් පවසා කිරි තේ එකක් හදා ගැණීමට හැකිවිය. මා මහළු රියැදුරා පිටත් කලේ කිරි තේ එකකින් සප්පායම් කොටය! කෘතඥ්ඥ පූර්වක බැල්මක් හෙලා ඔහු මගෙන් සමුගෙන පිටත් විය. සෑම සියළු දෙනා හටම මා යතුරු භාර දුන්නේ "පරිස්සමින් යන්න! මොනවා හරි අවුලක් නම් මට කථා කරණ්න!! දෙවියංගෙ පිහිටයි ගිහිං එන්න!!!" කියාය. එහි වැදගත් පණිවිඩයක් මා ඔහු වෙතට සම්ප්‍රේශනය කරන්නෙමි. ඒ වෙන කිසිවක් නොව අපේ එවුං මොනවා හරි පිස්සුවක් කෙළලා මොකක් හරි අවුලක් උනොත්; ආයතනයේ මාව කන්න බලන්න සිටින උන්ට නොකියා මටම කියාපිය! මම වැඩේ ගොඩ දාලා දෙන්නං!" කියන එකය!

මේ සියළු ආශිර්වාද, සුභාසිංශන, අවවාද, ප්‍රාර්ථනා මැද ගිය මහළු රියැදුරාගේ වාහනය තුල; අන්වර් අලී  වාහනයේ යතුර පවතීවිද නැතිද යන්නද සීයට පණහක සම්භාවිතාවක් පවතින කාරණාවක් පමණි. ඇත්තටම එය තුල තිබේද? රියැදුරාගේ දූරකථන අංකය මා නොදනී. වාහනයේ අයිතිකරුගේ අංකය ලෙස අපගෙ ලේඛණ තුල ඇත්තේ ඔහුට වාහනය විකුණූ කාර් සේලයේ අංකය පමණි. දැනට ඇති එකම හෝඩුවාව වාහනය කළුබෝවිල පීරිස් පාරට යන බවත්, රතු පාට බවත්, දෙනියායේ වාහනයක් බවත් පමණි.

ඒවන විට හැන්දෑවේ 6.30 ට පමණි. මා හයිඩ්පාර්ක් කෝනරයෙන් පිටත් වී කළුබෝවිල පැමිණියෙමි. පීරිස් පාර පිහිටියේ රෝහල ඉදිරියේය. එතැනම ත්‍රීවීල් පාර්ක් එකක්ය. මා ත්‍රී වීලරයකට හිස හොවා මගේ වාහනය ගැන විමසුවෙමි.

"අයියේ මේ පාරට එනවද රතු පාට මොන්ටෙරෝ එකක්! SPKD -XXXX කියලා!?"

"ආ මල්ලි අර වංගුවට ඉස්සෙල්ලා දකුණු පැත්තේ කෙළවරේ තියෙන ගෙදරට තමයි එන්නේ! රතු පාට එකක් නේ!?  හරි හරි එහේට තමයි!!!!" ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා සේ හෝඩුවාව හරියටම කිව්වේය!

මා අඩියට දෙකට නිවසේ ගේට්ටුව ඉදිරියේ විය. ගේට්ටුවට කිහිප වරක් තට්ටු කරත්ම කාන්තාවක් පැමිණ ගේට්ටුව විවෘථ කලාය. මාගේ දුක්බර කථාන්දරය මුල සිට අගටත් අග සිට මුලටත් කිහිප වරක් පැවසූ පසු; අමෙරිකාව හොයාගන්නට යන්නට ඔන්න මෙන්න තියා ක්‍රිස්ටෝපර් කොලොම්බස් ගෙන් ඔහුගේ කසද පවුල ඇසූ ආකාරයේ  තවත් අතුරු ප්‍රශ්න දුසිමක් පමණ ඇසූ පසු ඇය දෙනියායේ මහේෂ් මහත්තයාගේ අංකය ලබා දුන්නීය.  ඇයගේ කුතුහලයද ඉතා සදාරණය! යතුර නැතිවී ඇත්තේ එක් වාහනයකය! දැන් හොයන්නේ වෙනත් වාහනයක්ය! ඔහු මෙම නිවසට එන බව හොයා ගත්තේ කෙසේද? ඒ බව මා දැනගත්තේ කෙසේද? එය මට කීවේ කවුරුන්ද? ඔවුන් ඒ බව දන්නේ කෙසෙද? මා මෙම නිවස සොයා ගත්තේ කෙසේද? හිතා ගන්නකෝ ඇය කුමන පඹ ගාලක පැටලෙන්නට ඇත්දැයි කියා!?

මා මිදුලේ සිටම මහේෂ් මහතා ඇමතීය! කථාව නැවත මුල සිටම පැවසීය!

ඔහුගේත් පලමු ප්‍රශ්නය වූයේ "මම කළුබෝවිල ඔය ගෙදරට එන බව ඔයා කොහොමද දන්නේ?" කියාය! ගැටළුව ලිහා දුන් පසු ඔහු කටහඬ අවදි කලේය.  "වාහනේ තාම දෙනියායේ ආවේ නෑ! තාම මග! ඩ්‍රැයිවර්ව කන්ටෑක්ට් කරණ්න විදියක් නෑ. එයා ලඟ ෆෝන් එකක් නෑ. වාහනේ තිබුනොත් මම අරං තියන්නම්!"

කරණ්නට තියෙන හැමදේම සිදු කොට ඇත! මාගේ පාලනය තුල පවතින කල හැකිව ඇති එකම දෙය වන්නේ අන්වර් අලී සහ සමාගමේ වාහනේ ඉග්නීශන් ස්විච් එක සහ ලොක් බැරල් පහ  දැමීමට යන මුදල සොයා එය සපයා ගන්නා ආකාරයක් සොයා ගැනීමය.

මා එතැනින් කළුබෝවිල හංදියට පැමිණ කොහුවල, නුගේගොඩ, කිරුළපන, බේස්ලයින් පාර ඔස්සේ බොරැල්ලට පැමිණ එතැනින් පෑලියගොඩ හරහා කඩවතට පැමිනියෙමි! මා නිවසට පය තබනවාත් සමගම දුරකථනය නාද විය!

"Mahesh Dheni" තිරයේ ලියැවී තිබුනි!

"හෙලෝ ඔව් සර් කියන්න!" මා දූරකථනයට ඇමතුවෙමි.

"ඔයා බය වෙන්න එපා! යතුර තියෙනවා. ඒක ඩ්‍රැයිවර්ගෙ පැත්තේ ඩෝ පොකට් එකේ තියෙනවා! දැං කොහොමද ඒක ඔයා ගන්නේ?"

"අනෙ  ලොකු දෙයක් සර්! මම අද නැත්නම් හෙට රෑ බස් එකෙන් දෙනියාට එන්නම්."

"හරි මම ලබන සතියේ ආපහු කොළඹ එනවා! මම එවන්නම්!"

"අනේ එච්චර කාලයක් ගන්න බෑ සර්! මම ඒ වාහනේට ලියුමක් දීලා තියෙනවා වාහනේ ලොක් බැරල් ටිකයි ඉග්නීශන් කී ස්විච් එකයි මාරු කරලා දෙනවා කියලා. වැඩේ පරක්කු වෙලා මෙහේට කම්ප්ලේන් කලොත් ලෙඩක් සර්! අවුලක් නෑ හෙට රෑට මම එන්නම්!"

"හරි! අපි මොනවා හරි කරමුකෝ!"

පසු දින මා නැවත වැඩ හලට ගියේ නැවුම් ආරංචියක් සමගය! ඒ යතුර හොයා ගැනීමේ ප්‍රවෘථිය ය! මා සාමාන්‍ය පරිදි වැඩ කරගෙන යමින් විය. සවස  දෙනියායේ යාමට ඇති බව සිහිකරමින් පා සේවයේ ය!

උදේ 9.00 පමණ වන විට මා වෙතට නොදන්නා අංකයකින් ඇමතුමක් ලැබුනි!

"ඔයාට දෙන්න කියලා යතුරක් තියෙනවා පොඩ්ඩක් ආර්පිකෝ කාර් පාක් එකට එන්න පුළුවංද!?"

ආර්පිකෝ කාර් පාක් එක යනු අපගෙ වැඩ හලේ සිට මීටර 100 කටත් අඩුවෙන් ඇති ස්ථානයකි. මා ඉගිළුනෙමි! පෙර දින මා වෙතින් නික්ම ගිය රතු පැහැති මොන්ටෙරෝව අනෙකුත් වාහන අතර මාහට සොයා ගැනිම අපහසු නොවීය! මා රියැදුරු අසුන වෙතට ලඟා වෙත්දී එහි හොඳින් ඇඳ පැළඳ ගත් අයෙකු සිටියේය. මා මාගෙ අනන්‍යතාවය ඉදිරිපත් කලෙමි.

"ආ! ඔයාද!? මම තමයි මහේෂ්!"   ඔහු පැවසූ දෙය ඒ ආකරයෙනම පැවසීමට මාහට; වසර ගනනාවක් ගියත් අදටත් මතකය මතකය!  " මට අපේ ඩ්‍රයිවර් කිව්වා ඔයා ඒ මනුස්සයා බඩ ගින්නේ එනවා කියලා නවත්තගෙන කිරි තේ එකකුත් හදවලා දීලා එව්වා කියලා! මට කියලා ඔයාට බොහොම පිං දුන්නා!  ඔයා මගේ ඩ්‍රයිවර්ට සලකපු විදියට ඔයාට කරදරයක් වෙන්න මට ඉඩ තියන්න බෑනේ! මෙන්න ඔයාගෙ යතුර!!  ඔයාට  මම තේ කොල පැකට් දෙකකුත් ගෙනාවා! මේවා අපේ ෆැක්ටරියේ ඒවා! මම එතනට ආවේ නෑ හොඳද දන්නේ නැහැනේ!?"

මගේ දැස් කෙවෙණි තෙත් විය! දෙයියනේ තේ කොප්පයකට මේ තරම් වටිනා කමක්! 

"බොහොම පිං සර්!" මා ආපසු හැරුණෙමි.


( මේ කථාවේ සියළු නම් ගම් සත්‍යයය!)

Monday, August 2, 2021

208. පැනි බේරෙණ කොම්පැනි කථා 3

ඕනෑනම් ඕනෑම සිංහයෙකුව ළඟ නවා ගත හැක!

ලියා මග දමා ආ "හය වන ඇන් ඇක්සිඩන්ට් එක!", "ම'පුතු වසික වෙත සෙනෙහසින් හය වැන්න!", "නොරත රථ (13)!", "තාත්තා නොම්මර එක 4" වැනි බොහෝ කථා කැරළි රාශියක් තිබුනත් ඒ සියල්ල පසෙකින් තබා "පැණි බේරෙන කොම්පැනි කථා" තවත් කිහිපයක් මා ලියන්නට සිත් උනෙමි.

එයට ප්‍රධාන කාරණා දෙකකි. 

1.රසික ජන මනෝරංජනය (මෙය කරුණාරත්න අමරසිංහයන්ගෙන් මා නයට ඉල්ලාගෙන භුක්තියට සවිකර ගත් යෙදුමකි. ) 

2.මෙම සිදුවීම් මාහට ලියා තැබීමට ඇවැසි වීම අනෙකය.

යුනයිටඩ් මෝටර්ස් ආයතනයේ මා ගත කල වසර දොලහකට ආසන්න කාලයෙන් වැඩි කාලයක් මා සේවය කලේ එහි පාරිභෝගික සේවා විධායක ලෙසය. දිවයින පුරා කොළඹ, ඔරුගොඩවත්ත, නුවර, කුරුණෑගල, නුවර එළිය (පසු කලකදී මෙය වසා දමන ලදී), රත්නපුර, මාතර, යාපනය යන නගරයන්හී පිහිටා තිබුනු අප සමාගමේ වැඩහල් සියල්ල තුලින්ම අළුත්වැඩියාවන් හා සේවාවන් ලබාගන්නා පාරිභෝගිකයින් එදිනෙදා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විමසා බලා කටයුතු කරණ්නට වැටුප් දී මා  පත් කොට  තිබුනි.

පාරිභෝගික සේවාව යනු හුදෙක් බොක්කෙන්ම එන්නට උවමනා අවශ්‍යතාවයකි. ආයතනයක ඉදිරි පෙල නිළධරයන්, සේවකයින් (Front Desk) හට එය උත්පත්තියෙන් ලැබිය යුතු ගුණාංගයක් හෝ උගැන්විය යුතු හා පුහුණු කල යුතු විෂයකි.

මා අදටත් පිළිගන්නා ආකාරයට ඉදිරි පෙල සේවකයකු තුල; "පැසසුමක් ලැබීමේ අභිරුචියක්, කෑදර කමක්" තිබිය යුතුමය. පැසසුමක් ලැබීමට කැමති අයෙකු සෑම විටෙකම කටයුතු කරණ්නේ එය ලබා ගැනීමටය. ඔහු එවිට තමාගෙ හැකි උපරිමයෙන් පාරිභෝගිකයා සතුටට පත් කරවීමට උත්සාහ ගනී.  එවන් අයෙකු අප පුහුණු කල යුත්තේ පාරිභෝගික සේවා ආචාර ධර්ම  සහ විශේෂයෙන්; පාරිභෝගිකයෙකු වෙතින් පැසසුමක් නොලද අවස්ථාවකදි පවා ස්ව‍යං අභිප්‍රේරණයකින් යුතුව කටයුතු කිරීමටය!
ලියනවානම්  මේ පිළිබඳව පිටු පුරා ලියා තැබිය හැකි උවත් අපි ඉක්මණින්ම කථාවට බසිමු. යුනයිටඩ් මෝටර්ස් ආයතනයේ නවක සේවකයින්  සඳහා සහ ඔටෝ මිරාජ් ආයතනයේ සේවකයින් වෙනුවෙන් කරණ ලද වැඩ මුළු වලදී මා ගෙන හැර දැක්වූ රසවත් සිදුවීම් කිහිපයක් මෙතැන් සිට කියවමු.

මිට්සුබිෂි ෆූසෝ කියන්නේ අපි ගෙනාපු සුපිරිම ට්‍රක් එක එහෙම නැත්නම් ලොරි චැසිය.
කාලය ගෙවී මේ ෆූසෝ චැසිය ඉංදියාවෙන් එන්නට පටන් ගත්තා. 
ජපානෙන් ආපු වාහන වල වගේ නෙවෙයි මේවායේ පොඩි පොඩි අඩු පාඩු නොතිබුනාම නොවේ.
`
දවසක් මම දවල්ට කාලා කාරිය නිවිහැන්හිල්ලේ ඉන්නකොට ආවා කෝල් එකක් අපේ සේල්ස් ඩිපර්ට්මන්ට් හෙවත් විකුණුම් දෙපාර්තමේන්තුවෙන්.
"මචං පොඩි සීන් එකක්! කස්ටර්මර් කෙනෙකුට මල පැනලා! ඒ මහත්තයා කුලියාපිටියේ අපේ සිරාම බුවෙක් . . .රත්නායක මහත්තයා කියලා. ඒ පැත්තේ අපිට සෑහෙන්න උදව් තියෙන කෙනෙක් . . .වාහනේ අංකය . . . . . . .  ස්ටාර්ටර් මෝටරේ රේසර් හොයා ගන්න බැරිව. . . . . . මොනවා හරි කරපං! නැත්නම් කුරුණෑගල ආයේ ෆූසෝ විකුණලා බොරු.  . . . . ඌ වෙඩි කාපු ඌර වගේ ඉන්නේ  බලාගෙන ටෝක් කරපං!"
දූර කථනයේ එහා පැත්තෙන් මට වැඩේ භාර දුන්නා.
ඔය ඕන කේස් එකක් මම භාර ගන්න කොට; අර මොහමඩ් අලී දෙනවා වගේ පොඩි කයිවාරුවකුත් මම දෙනවා ආතල් එකට! ගැම්මට!!
"හරි! හරි!! මචං!!! කොහොමද දන්නවාද නාලාගිරියා දමනය කලා වගේ කස්ටා හෙට උදේට උඹට හොටු පෙරාගෙන අඬ අඬා කෝල් එකක් දෙන්න වැඩේ කරල දෙන්නං කෝ!" මමත් මිත්‍රයාට පොර ටෝක් එකක් දීලා කස්ටර්මර්ගේ  හෙවත් මල පැනපු පාරිභෝගික භවතාගේ නමයි ටෙලිෆෝන් නොම්මරේයි ඉල්ලා ගත්තා.
ටෝක් ඉෂූ කලා වාගේම දැන් වැඩේ පටන් ගත යුතුය.
මම දූරකථනය ගෙන නොම්මර කිහිපය එබුවෙමි.
"හලෝ . . . !? අනෙක් කෙළවරින් නොහික්මුණු හඬක් නැගිනි!
"හෙලො . .මේ  රත්නායක මහත්තයාද? "
"ඔ . ඔව්! ඔව්!! මොකද . . . . .!?"
"මහත්තයා මට මේ නොම්මරෙ දුන්නේ අපේ ප්‍රධාන කාර්‍යාලයෙන්. ඔබතුමාගේ ෆූසෝ ලොරියේ ස්ටාටර් මෝටරේ . . . . . . " මට කියන්න ලැබුනේ එපමණකි.
"මේ ඔයා කථා කරණ්න එපා. තමුසෙලා ආයේ මේ පොල් ත්‍රිකෝණෙ ලොරි විකුණලා ඉවරයි කියලා  හිතාගන්නවා!"
"හරි සමා වෙන්න මහත්තයා මට තේරෙණවා මොකක් හරි අවුලක් වෙලා ඇති. පොඩ්ඩක් මට කියන්නකෝ! මොකද මට අනිවාර්‍යයෙන්ම පුළුවන් ඔබ තුමාගේ ප්‍රශ්නෙ විසඳලා දෙන්න. පොඩ්ඩක් සමා වෙලා මොකද්ද  ඔබතුමා මුහුණ දුන් ගැටළුව කිව්වානං!?'
රත්නායක මහතාගේ මල නිවෙන තුරු පවන් ගැසීමෙන් අනතුරුව ඔහුගේ ගැටළුව මුළුමණින්ම මාවෙත පැවසීමට පොළඹවා ගැනීමට මාහට හැකිවිය!

සිද්ධිය සැකවින් මෙසේය:
කුලියාපිටියේ ව්‍යාපාරිකයෙකු ඔහු අප ගෙන් ෆූසෝ ලොරියක් මිලදී ගෙන ඇත.  මේ වන විට එහි වොරන්ටි කාලසීමාව ඉකුත්වී ඇති අතර එහි ස්ටාර්ටර් මෝටරයේ දෝෂයක් සඳහා ගලවා ඇති අතර ඒ සඳහා බෙයාරිං (රේසර්) අළුතින් යෙදීමට සිදුවී ඇත. නමුත් කුළියාපිටිය, කුරුණෑගල හෝ පංචිකාවත්තෙන් ඒ සඳහා නියමිත රේසර දෙක සොයා ගැනීමට නොහැකිවී ඇති අතර ඔහු ඒ පිළිබඳව විමසා ඇත්තේ  රථය විකුණූ අයගෙන්ය. ඔහු ආයතනයේ අමතර කොටස් අංශයේ අංකය පාරිභෝගිකයා වෙත ලබා දී ඇති අතර පාරිභෝගිකයා අමතර කොටස් අංශයට කථා කොට ඇත. එහිදී සිදුවූ බහින් බස් වීමක් සිද්ධියට මුල්වී ඇත.
ඔහුගේම වචනයෙන් කථාවේ අවසානය මෙසේය.
"ඔයාලගෙ හෙඩ්ඩොෆිස් එකේ සේල්ස් එකෙන් මම ස්පෙයා පාර්ට්ස් එකේ නොම්මරේ අරණ් ඒකට කථා කරලා ස්ටාර්ටර් මෝටරේ රේසර් දෙක තියෙනවාද ඇහුවාම ඒක ඇවිත් නෑ කියලා කිව්වා. මං  ඇහුවා මොකකද ඒකට කරණ්නේ කියලා. එතකොට එතන මනුස්සයා මට කියනවා ස්ටාර්ටර් මෝටරයක් දාගන්න තමයි තියෙන්නේ කියලා. මම නිකමට වගේ ඇහුවා මෝටරේ කීයද කියලා. ආයෙ ඇද නැතිව කියනවා එකයි අසූ පහයි කියලා. යකෝ මෝටරේ රේසර් දෙක වෙනුවට එකයි අසූපහක් වියදං කරලා මෝටරේම දාගන්න බූරුවෝ ඉන්නවද කියලා අහලා ඌට හොඳ කුණු හරුප දෙකක් කියලා මම ෆෝන් එක තිබ්බා! දැං ඔයා මේක විසඳනවාද?"
"මහත්තයා මට විනාඩි 15ක් දෙන්න මම ඔබ තුමාට ආයෙ කථා කරණ්නම්. මට හිතා ගත්තෑකි රේසර් දෙකක් වෙනුවට මෝටරේම දාන්න කිව්වාම මහත්තයාට හිතුනු දේ! ඒකට සමා වෙන්න!  මට කරණ්න පුළුවන් උපරීම දේ කරණවා. මහත්තයා මං ගැන විශ්වාසය තියන්නකො! මේ ගැන කවුරු හරි අපේ ආයතනයෙන් කතා කරලා ඇහුවොත් මම ඒක බලනවා කියන්න. මොනවා හරි තියෙනවානම් මා එක්ක කතා කරණ්න කියන්න!"
"හ්ම්ම්! හ්ම්ම්!!" නොසතුටෙන් රත්නායක මහතා ටෙලිෆෝනය විසන්ධි කලේය.

මෙවන් ගැටළුවක් විසඳීමට යාමේදී පලමුව අප ඔහුගේ තත්වයට වැටී සිතීමට පටන් ගත යුතුය. "මම ඔහු නම්!?" ඔව් මම ඔහු නම් මේ මල පැනීම අන්තිම සාධාරණය! මේ වාහනය රැගෙන මේ වන විට වසරක පමණ කාලයක් පමණක් ඉකුත්වී ඇත. ස්ටර්ටර් මෝටරයේ රේසරයක් වත් නොමැති වේ නම් අනිකුත් අමතර කොටස් පිළිබඳ කුමණ කථාද? ඔහුට එසේ සිතෙනු ඇත.
වාහන විකුණුම් අංශය පලාත්බදව පවත්වනු ලබන විකුණුම් ප්‍රවර්ධන වැඩ සටහන් වලදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩසටහන පැවැත්වීමට නොමිලේම ඉඩකඩ ලබා දී ඇත්තේද  රත්නායක මහත්මයා මය. ඔහු ඒ සමග තමාගේ ව්‍යාපාරික සගයන් කිහිප දෙනෙකු හටම තවත් රථ කිහිපයක් විකිණීම සඳහා සෘජුව මැදිහත්වී ඇත! තත්වය වඩාත් දරුණුවී ඇත්තේ එබැවිනි.
පාරිභෝගිකයකු කිසියම් අසතුටු දායක තත්වයකට මුහුණ දුන් පසු ඔහු සමග දුක් වන ඔහු සමග එක්ව කේන්ති ගන්නා අයෙකු ඔහු මිතුරෙකු කර ගන්නට පෙලඹේ. සතුරාගේ සතුරා මාගේ මිතුරාවේ යන ලොජික් එක සාමාන්‍යයෙන් පුහුදුන් සත්වයින් ක්‍රියාත්මක කරණ්නාවූ ධර්මතාවයකි. එවිට ඔහුව හැසිරවීම වඩාත් පහසු කරයි. 
"මට හිතා ගත්තෑකි රේසර් දෙකක් වෙනුවට මෝටරේම දාන්න කිව්වාම මහත්තයාට හිතුනු දේ!" යනුවෙන් පවසා මා ඔහු හා එක් පාර්ශ්වයකට ගොනු උනෙමි. මන්ද ආයතනය හා අසතුටෙන් අවිශ්වාසයෙන් හා කලකිරීමෙන් සිටියදී ඔහු තවදුරටත් ආයතනයේ පාර්ශ්වයේ අයෙකු සමග ගනුදෙනු කරණ්නට එකඟ නොවේ.
එසේම ඔහු තුල තමා කෙරෙහි විශ්වාසයක් ගොඩ නගා ගත යුතුය. ඒ සඳහා සෘජු පිළිතුරු සැපයිය යුතුය. සෘජු ප්‍රකාශ කල යුතුය. කාර්‍යය ඉටු කිරීම සඳහා තමා කැපවන බව ඔහුට ඒත්තු ගැන්විය යුතුය.  "මට කරණ්න පුළුවන් උපරීම දේ කරණවා. මහත්තයා මං ගැන විශ්වාසය තියන්නකො! මේ ගැන කවුරු හරි අපේ ආයතනයෙන් කතා කරලා ඇහුවොත් මම ඒක බලනවා කියන්න. මොනවා හරි තියෙනවානම් මා එක්ක කතා කරණ්න කියන්න!"යනුවෙන් මා පවසන්නේ එම හැඟීම ඔහු තුල ඇති කරලීමටය. "මේ යකා නං මොනව හරි කරයි!" යන විශ්වාසය පාරිභෝගිකයා තුල ඇතිවූ සැනින් ඔහු සටන මොහොතකට නවතා ගිමන් හරී. ඒ අපට ඊළඟ පියවර ගැනීමට ඇවැසි කාලය යි.
මා වහාම පරිඝනකය ඔස්සේ වාහනයේ නොම්මරයට අදාල වාහනයේ චැසි අංකය ලියා ගතිමි.
පලමුව අමතර කොටස් අංශය වෙතින් එම අමතර කොටස පිළිබඳව සොයා බැලුවෙමි.
"නෑ අයියේ! ඒක ඕර්ඩර් කරලා තියෙන්නේ තාම ආවේ නෑ! අද උදේ එකෙක් අහලා මට කුණු හරුපෙනුත් බැනලා තිබ්බේ!!!"
 "ආ උඹද මිනිහා!" මම මටම හිතින් කියා ගනිමින් "ආ! එළ කොල්ලෝ!"කියමින් දූරකථනය විසංධි කලෙමි.
ඊළඟට ඔරුගොඩවත්ත ප්‍රධාන වැඩහලේ ට්‍රක් සහ බස් අංශයට කථා කොට බැලුවෙමි. හදිසියේ වත් ඔවුන් ලඟ ගලවා ඉවත් කල එකක් වත් ඇත්නම් අළුත් අමතර කොටස් එනතුරු පාවිච්චි කිරීමට වත් දෙන්න. එම අංශයේ සිටි සේවා උපදේශක හා ෆෝමන්වරයා කාලයක් ගෙන සොයා බලා පිළිතුරක් දුන්නේය.
"ම්හු!" ඒ පැත්ත පලාතේ නැත.
මේ වන විට රත්නායක මහතාගෙන් සමුගෙන විනාඩි 15 ට ඔන්න මෙන්නය! වහාම ඔහු ඇමතීමි. "රත්නායක මහත්තයා! මම රේසරේ හොයන ගමන්! මම විනාඩි 15න් කෝල් කරණවා කිව්ව නිසයි මම මේ කථා කලේ! මම වැඩේ ඉන්නේ. මට තව විනාඩි 15 ක් දෙන්න"
"හ්ම්ම්! හ්ම්ම්!! හරි හරි බලන්නකෝ!" රත්නායක මහතා තරමක විශ්වසණීයත්වයෙන් කථා කලේය!
ඊළඟට සෙවිය යුත්තේ වොරන්ටි දෙපාර්තමේන්තුවේය. හදිසියේවත් ආපදාවකට මාරු කල සටාටර් මෝටරයක් එම අංශයේ තිබුනුහොත් එහි රේසරය ගලවා ගත හැක. ඇමතුමක් ගත්තෙමි.
"මල්ලී පොඩි සීන්ස් එකක මේ  . . . . . . . .එකක් හොයා ගන්න පුළුවන්ද? උඹලා ගාව ගලවපු අළුත් ස්ටාටර් මෝටර් එකක් නැද්ද හොයා ගන්න!?"
"අනේ අයියේ තිබුනු ඔක්කොම ලොට් එක ඉන්ඩියා යැව්වානේ ගිය මාසේ!?"
"අම්මට සිරි දැන් මොකද කරණ්නේ? අව්ලක් නෑ පොඩි සීන් එකක් බං කුලියාපිටියේ  . . . . . . . . . . . . . . . . . . ." මම සිද්ධිය සැකවින් පවසා දූරකථනය තිබ්බෙමි.
"ඇත්තටම දැන් මොකද කරණ්නේ? කෙළියා නේද තාප්පෙටම!?" මම මගේ ආසනයේම ඇස් දෙක පියාන කල්පනා කලෙමි. රත්නායක මහතාගේ ලොරිය මේ වන විටත් කුලියාපිටියේ ගරාජයක ගලවා ඇත. මේ වන විට වේලාව දහවල් 2.15 ය. මෙතැන් සිට කුලියාපිටියට කිලෝමීටර 80ක් 90ක් ඇති. මෝටර් සයිකලයක් යන්න පැය දෙකක් වත් යයි. ස්ටාටර් මෝටරයක්  ෆිට් කරලා හයි කරණ්නත් පැය එක හමාරක් වත් යයි. ඔක්කොම පැය තුනහමාරයි. ඒ කියන්නේ දැන් හොයලා යැව්වොත් හවස හය වෙන කොට ලොරිය ගන්න පුළුවන්! තව පරක්කු උනොත් වැඩේ අවුල්!
එවිටම මාගේ දූරකථනය නාද විය. " වොරන්ටි ඩිපර්ට්මන්ට් එකෙන්!"  මම මටම කියා ගත්තෙමි.
"කොල්ලෝ මොකද බඩු තියෙනවද?"
"නෑ අයියේ බඩු නම් නෑ. ඒත් ඔය මොඩ්ල් එකේ අපි විකුණපු වාහන ඔක්කොම රී කෝල් කරලා (ආපසු කැඳවලා) ස්ටාටර් මෝටර් අළුතෙන් දැම්මා! සමහර ඒවා ආවා! සමහර ඒවා ඇවිත් තිබ්බේ නෑ. කොයි එකටත් ඔයා ඒ වාහනේ චැසි නොම්මරේ දෙන්නකෝ බලන්න අපි රී කෝල් කරලා අළුතෙන් දැම්ම එකක් ද කියලා බලන්න!"
"අම්මට සිරි ඒහෙමත් එකකද? ආ ලියා ගනිං  . . . . . . . . . . . . . . .. . . . . . . . ."
"හරි අයියේ බලලා කියන්නම්!"
තවත් විනාඩි 10 ක ගතවෙන්න ඇති උපරිමයෙන්.
මගේ දූරකථනය නැවත නාද විය.
"සඳා කියපං මල්ලී . . . . !" (වොරන්ටී ඩිපර්ට්මන්ට් එකේ ඉන්න තුන් දෙනාගෙන් එකෙක් සඳරුවන්!) 
"අයියේ ඒ ලොරිය අපේ රී කෝල් එකේදි ඇවිත් නෑ! අපිට පුළුවං අළුත් ස්ටාර්ටර් මෝටරයක් දෙන්න!"
"අනේ පලයං බං යන්න! අම්මපා ඇත්තද කොල්ලෝ!? උඹ වීළු කරණවද?" මම පුටුවෙන් නැගිටුනේ ඔටෝය!
"නෑ අයියේ සිරාවට!"
"මල්ලි වාහනේ තියෙන්නේ කුලියා පිටියේ. හෙට උදේම අපේ කුරුණෑගල වර්ක් ෂොප් එකට මම වාහනේ දාන්නම්! උඹට පුළුවංද දැම්ම ඒක ප්‍රොන්ටො එකට (කූරියර් සර්විස් එක) දාන්න හෙට උදේට කුරුණෑගලට ලැබෙන්න!"
"හරි අයියේ මම දැන්මම දාන්නම්. තාම 3.00 වෙලා නෑනේ!" (3.00 ට ප්‍රොන්ටො එකෙන් බඩු එකතු කරගෙන යනු ලබයි!)
මම හොඳින් අසුන් ගෙන රත්නායක මහතා ට කථා කරණ්නට පටන් ගත්තෙමි.
"හෙලෝ රත්නායක මහත්තයා ! ඔබතුමා අපේ සේල්ස් ටීම් එකට අපේ සේල්ස් කැම්පේන් වලදි කරල තියෙන සේවය නිසාම අපි ආයතනයක් විදියට තීරණය කලා ඔබ තුමාට අළුතින් බ්‍රෑන්ඩ් නිව් ස්ටාර්ටර් මෝටර් එකක් නොමිළේම හයි කරලා දෙන්න!"
" ෂහ්! නියමයිනේ!?  ඔව් ඔයගොල්ලන්ට මම ගොඩක් සපෝර්ට් කරලා තියෙනවා. අහන්නකෝ සේල්ස් එකෙන්!"
"ඒකනේ! ඒකනේ!! එහෙනං හෙට උදෙම වාහනේ පොඩි තල්ලුවක් දීලා ස්ටාර්ට් කරගෙන කුරුණෑගල අපේ වර්ක් ෂොප් එකට යවන්න! එතන ඉන්නවා පතිරණ කියලා එළ කොල්ලෙක්. ඔබ තුමාගේ රියැදුරු මහත්තයාට කියන්න ගිහින් එයාව හම්බෙන්න කියලා"
"ආ තැන්කිව් තැන්කිව්!! කුලියා පිටියෙ ආවොත් ඇවිත් යන්න එන්න!"
"එකෙන්ම රත්නායක මහත්තයා! මං වෙනුවෙන් පොඩි උදව්වක් කරණ්න! අර ඔබ තුමා කතා කරපු  අපේ  එකේ මහත්තයාට කථා කරලා වැඩේ කෙරුණු බව පොඩ්ඩක් කියන්න පුළුවංද?"
"අයියෝ මම කියන්නම් මේක තිබ්බ ගමං!"
ඊළඟට මම කුරුණෑගල පතිරණට කථා කොට වැඩේ උදේම කර දෙන මෙන් ඉල්ලා සිට උගේ ඕපාදූප අහද්දී දූරකථනයේ තවත් කෝල් එකක් නැවතී සිටින බව දුටුමි.
"පතිරණ මල්ලී මම මම දැං තියනවා! හෙට උදේට වැඩේ සුපිරියට දියං! හෙඩ්ඩොෆිස් එකේ සේල්ස් එකෙන් මට තව කෝල් එකක්!"

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...