Showing posts with label යාපනයට සයිකලයෙන්. Show all posts
Showing posts with label යාපනයට සයිකලයෙන්. Show all posts

Tuesday, March 5, 2019

128. සයිකලයෙන් තල් අරණට ම . . .10


පෙ.ව 7.15 
දිනය පටන් ගෙන. නිල් අහස් කුස තුල ඉන්ද්‍රඛීලයක්සේ නැගිට ගත් තල් අරණ
එදින වැසි මන්දාරමකින් යාපන අර්ධද්වීපය වැසුනු දිනයකි. ප්රේමසර ඈපාසිංහයන් කියන්නාසේ "ක්රීඩාවට උචිත කාලගුණයක් " පැවතුනි. ක්රිකට් ක්රීඩාවට නොව සයිකල් පැදීමටය. අප මද විරාමයක් ගනු පිණිස බෝක්කු ගල මත වාඩි උනෙමු. අනෙකක් නොව; මා ට්රැක්ටරය පසුපස හඹා'විත් නැවතුනු ස්ථානයේය
එතැනට ආසන්නව බස් නැවතුමක් විය. එතැන සිටි තරුණියන් තිදෙන;  එකිනෙකා හා කතා කරමින් සිටි අපදෙස බලා සිටි මුත් අප නිකමටවත් ඔවුන් දෙස බැලුවේ නැත
හොඳටෝම වැරදුනා
"එකිනෙකා හා කතා කරමින් එතැන සිටි තරුණියන් තිදෙන දෙස අප බලා සිටි මුත් ඔවුන් නිකමටවත් අප දෙස බලුවේ නැත! "  යනුවෙන් එය නිවැරදි විය යුතුය!
අප විවේකය සඳහා නැවතුනු විට අනුගමනය කරණ; කාරණා කිහිපයකි.  අහරක් ගැනීම, වතුර බීම, බයිසිකලයේ ටයර මිරිකීම හෙවත් හුලං බැලීම යන කාරණා මින් ප්‍රධාන තැනක් ගනී.පිටුපස ඇති පැනියර සැකසීම. මේ කරුණුවලින් බොහොමයක් සෑම නැවතුමකදීම ඉටු කෙරේ. කෑමේදී හා ජලය පානය කිරීමේදී අනෙක් සගයන්ගෙන්ද විමසීම අනිවාරයයෙන්ම සිදුවන චාරිත්රයකි.
තමා රැගෙන වතුර බෝතලය සම්පූර්ණයෙන් තිබිය යුතුය. නැතහොත් බී අවසන් කලයුතුය යන න්‍යාය කාගේ සිත තුල නොවුනත් මගේ සිතේ තදින්ම කා වදී තිබුනු. එයට නිශ්චිත හේතුවක් නොමැත. 
මේක හදපු එක නොවෙයි පුදුමෙ - කවුද දන්නෑ හිටෙව්වේ?
අප එතැනින් පිටත්ව ටික දුරක් යන විට මෙම පලාතට අවේණික තොරණක් නැතහොත් වාහල් කඩක් හමුවිය. එහි අමු හිංගලෙන් ලියා තිබුනේ "පූනකරි නගරයට සාදරයෙන් පිළිගනිමු!" යන්නනය. මේ පූනරින් වලටම කේන්ති ගියවිට කියන නමක්දැයි අසා දැනගැනීමට කෙනෙකු අසල නොසිටි අතර අප ප්රශ්ණාර්ථයක් සමග එයින් ඇතුළු විය.
අප පසුකර පැමිනි මාර්ගයෙ පසෙක තිබූ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ප්රථිෂ්ඨාපනය කරණ්නට යෙදුනාවූ නාම පුවරුවල පවා සිංහලෙන් කටපුරා "පුනරින්" කීවාට ඉංග්රීසියෙන් ලියා තිබුනේ Poonakariයනුවෙනි. 
අප බොහෝ ස්ථාන වලින් නවතා විවේක ගෙන තවත් ටික වේලාවක් "අඹ කයියකට" සෙට් වෙද්දී නිශාන් කුමාර අපව දමා "සිකුරු ලියා" සේ ඉගිලෙයි. ඉන් පසු අප වෙනදා මෙන්ම ඔහු පසු පස ලුහු බැඳීම අරඹයි. පෙර ලියන ලද පෝස්ටුවක සඳහන් කල සේම අපෙන් විනාඩි 15 කට 20 කට පෙර ඉවත්ව යන හේ ඇල්ලීමට අපට බොහෝ කාලයක් ගත වේ. සමහර විට ඒ ඔහු සිතින් සිතා නැවතී අප එන තුරු රැඳී සිටිය හොත් පමණි.
පෙ.ව. 7.37
ලොකුවට හිටියාට ඔය තවත්  ගහක් - මීට තණකොල ගහ
පසු ගිය කාලය පුරා වට වැස්ස විසින් පරිසරය තුල මහත්වූ සුන්දරත්වයක් මවා තිබුනි. එම සුන්දරත්වය; ප්‍රදේශයට ආවේණික භූගෝලීය මෙන්ම දේශගුණික සධකයන් තමන් තුල සඟවාගෙන තිබුනි. දකින දකින දසුන තුලින් දිස්වූවේ පහත රට තෙත් කලාපීය පලාතක අසිරියය. ගමන් ගත් මග වැටී තිබුනෙ තල් අරණක් ඔස්සේ වුවද සිත තුල පොල් රුප්පාවක සිසිලසක් පැතිරී ගොස් තිබුනි. 
නිශාන් "වියෝග ප්‍රවේගයෙන්" ඉගිල ගොසිනි! ඔහු නැවත කොයි මොහොතේ දක්නට ලැබේ දැසි සිතිය නොහැක. මන්ද මා ට්‍රැක්ටරය පසු පස ලුහුබඳිද්දී; නිශාන් පැමිණ ඇත්තේ තරමක අසීරුවකිනි. එම මුළු දුර ප්‍රමාණයම ඔහු තද බල ලෙස සුළං ප්‍රථිරෝධයේ අරියාදුවට එදිරිවාදී කමට මුහුණදී තිබුනි. එම මුළු දුර ප්‍රමාණයම මධුෂාන් සයිකලය පැද තිබුනේ නිශාන්ව සුළඟින් ආවරණය වන පරිද්දෙනි!මොන තරම් හොඳ ගමන් සගයෙකුද ඔහු!?
මේ නිසාම නිශාන් සිටියේ තරමක තැති ගැනීමකිනි. නිශාන් යනු දැඩි ආත්ම ශක්තියකින් යුතු අයෙකු වූයේය. එහෙත්; අපගේ අවසාන ඉලක්කය වෙත ලඟා වීමට නොහැකි වේදෝ යි චකිතයක් බියක් සැක සංකාවක් විච්කිච්ඡාවක් ඔහු තුල  ගමනේ ආරම්ඹ්යේ සිටම තිබෙනු දක්නට ලැබුනි! එනිසාම ඔහු හැකි උපරිමයෙන් අප ඉදිරියෙන් පැද යනු චාරිකාව මුළුල්ලේම ඔහු තුලින් විද්‍යාමාණ විය. මෙය එසේ වන්නට හෙතු භූත වන කරුණු අතරින් දෙකක් ප්‍රධාන වශයෙන් මීට ඉවහල් වන්නට ඇතැයි මා සිතමි .
1. ඔහු තුල මෙවන් දීර්ඝ ගමනක් යෙදී නොතිබුනු පලපුරුද්ද.
2. අපගේ හැකියාව පිළිබඳව ඔහු තුල තිබුනු  අධිතක්සේරුව.
මෙනිසාම ඔහු හැකි හැම විටෙකම උත්සාහ කලේ අපට හැකි පමන ඉදිරියෙන් පැදයාමටය!
මෙනිසාම අප අතර ගමන පුරාවට සිදුවිය යුතුව තිබුනු අදහස්, හැඟීම්, සිතුවිළි, සිතුම්-පැතුම් සම්ප්‍රේෂනය සිදුවූයේ මාත් මධූත් අතර පමනකි. එනිසාම කණ්ඩායම අතර තිබිය යුතු මානසික බැඳීම යම් පමනකට සීමාවූ බවක් චාරිකාව මුළුල්ලේ මා අත් වින්දෙමි.
මමත් වසිකත් මධුෂානුත් පසු කලෙක පොළොන්නරුවට ගිය චාරිකාවේදී මවිසින් ඔවුන් දෙදෙනා වෙත එම අසාධාරණයම වන්නට ඇතැයි අද දිනයේ මට සිතේ. මන්ද එම ගමන පුරාවට මා ඔවුන්ට ඉදිරියෙන් පැදයාම කල බැවින්ය. එම ගමන සඳහා මා භාවිතා කලේ මීට මාසයකට පෙර මැද පෙර දිග වසන මහේෂ් මල්ලීට විකුණා දැමූ ඩ්‍රොප් ආම් චේන්ජරයය. එය මගේ හැකියාවට වඩා වැඩි වේගයක් මාහට ආරෝපණය කලේ මටද සිතා ගැනීමට නොහැකි පරිද්දෙනි!
එහෙත් මා "ගඟක් දිගේ" යන විට අප කණ්ඩායමේ සාමාජිකයින් හය දෙනා අතර නිරන්තර සංවාදයක් සිදු විය! බොහෝ විට සයිකල් චාරිකාවකදී; ගඟක් තරණයේදී මෙන් නිදහසේ එකිනෙකා සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් කිරීමට පාරේ ගමන් ගන්නා විනීත රියැදුරු මහතුන් ඉඩ තබන්නේද නැත. එසේම සයිකල් චාරිකාවක් තරමක වෙහෙස කාරී කට යුත්තකි!
පරිසර චමත්කාරය විඳීමේදීද වෙනයම් හැඟීම් දැනීම් තෙරුම් ගැනීමේදීද කතාබහක් ඇත්නම් එය ආශිර්වාදයකි! සුන්දර අත්දැකීමකි!!
පෙ.ව. 7.43
පත අට එකට සිඳ !
සෑම කිලෝමීටර 20 කටම වරක් අප නැවතී විරාමයක් ගැනීමට නියමිතව තිබුනද; කිලෝමීටර 20 ක් යන්නට මත්තෙන් නැවතීමට කුමක් හෝ කරුණක් යෙදීම බොහෝ විට සිදුවේ. අප එක් එක් අය හා සතු වතුර, ජිවනී හෝ වෙනයම් ආහාර අවශ්‍යතාවයක්, සයිකලයේ හෝ ඊට අනුබද්ධිත පැනියරයේ කුඩා සීරු මාරුවක්, ඡායා රූපයක් ගැනීමේ  උවමනාවක් ඒ කිසිසේත්ම නැතිනම්  විවේකයක් විරාමයක් ගැනීමට සුදුසු පරිසර පද්ධතියක්, සෙවන දෙන ගසක්, පාලමක්, බෝක්කුවක් වැනි යමක් මුණ ගැසීමද මෙයට හේතුවක් විය හැක. 
ජලය කොපමන තිබුනද ජීවනී උගුරක් පානය කිරීමට ඇවැසිව එය සමන්විත බෝතලය ගෙන බැලූ විට එය හිස්ව ගොස් ඇත්නම් හෝ එහි ඇති ප්‍රමාණය අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවන්නේ නම් තැන නොතැන නොබලා ජීවනී හදා ගැනීමට කුඩා ඉසිඹුවක් ගැනීම සිදුවිය. 
නියමිත ඉලක්කයක් හැරුනු විට නියමිත නිශ්චිත නොවෙනස් විය යුතු කාල සටහනක් අවසන් දිනය වන විට අප අතර ඉතිරිව නොමැති විය. අප තිදෙන මහත්වූ නිදහසක් භුක්ති විඳිමින් විය. සාමාන්‍ය ජීවිතය තුල අත් දකින, නොවැලැක්විය හැකි, ඇඟේ හැප්පෙන අවශ්‍යතා, වගකීම්,යුතුකම්, නීති රීති වලින් බැහැරව;  අප අපගේ සාමාන්‍ය ජන ජීවිත වලින් ඈත්ව මහත්වූ අස්වැසිල්ලකින් යුතුව ගත කල දින තුනක කාලයක අවසාන දිනයට පිළිපන්ව ඇත.
එක් අයෙකුගේ; පෙර සඳහන් කල පරිදි ඕනෑම හෝ එපාම නො එසේනම් අවශ්‍යා අත්‍යාවශ්ය  හෝ අනවශ්‍ය කරුණක් වෙනුවෙන් අප සියළු දෙන මුවින් නොබැන; තැන නොතැන නොබලා නැවතුනෙමු. "නැවතුනෙමු" කීවාට එය "නැවතුනෙමි!" හෝ "නැවතුනේය!" යනුවෙන් වෙනස් විය යුතුය. මන්ද බොහේ විට මේ කිසිදු අලකලංචියකට මුහුන දිමට නිශාන්ගේ මුහුන ඒ අසල විය නොවීය. 
ඔහු "වියෝග ප්‍රවේගයෙන්" අපට නොපෙනෙන තරම් දුරිණ පදිමින් වන්නට ඇත!
පෙ.ව. 7.53
බෝඩ් ලෑලට තියෙන ආදරේ !
හිරු වළා සේදයන්තුල සැඟව ගොස් ය. තවත් මහා වැස්සක පෙර නිමිත්තක් වත්ද? අහස තුලින් විඩා බර සේයාවක් දිස් විය. විඩා බර කීවාට වඩා ගැබ්බර සෙයාවක් කීවනම් වඩා හොඳ වාගේය. ඇය සිටින්නේ මහා වැස්සක් ප්‍රසූත කරණ්නට වත්ද? 
මා කලින් දිනක කීවා සේ වාහන තදබදය සයිකල් පදින්නන් හට මොනතරම් අන්තරායකරී වූවද පාරේ වහන එහෙම් පිටින්ම හෝදා පාළුවූ දවසට සයිකල් පැදීම බිහෝසෙයින් විඩා බර කට යුත්තකි. මන්ද එදිනට සයිකල් පැදීමට එරෙහිව නැගී සිටින සුළං ප්‍රවාහයට මුහුණ දෙන්නට වන්නේ හුදෙකලාවමය. තනිවමය. කිසිදු අන් හව්හරණක් නොමැතිවය.  
කොල්ලා ගෙදර සිටින විට මැවෙන්නේ මහා කං කරච්චලයකි.එහෙත් ඌ නැති වෙලාවට දැනෙන්නේ මහා පාළුවකි. කාන්සියකි. තනිකමකි. මෙයද එවැනිම හැඟීමකි දැනීමකි. 
හිරු නැතිවීමද හිතට ගෙන එන්නේ කාන්සියකි. කම්මැළි කමකි. අලස බවකි. මෙසේ පැදයාමේදී හමුවන මං සළකුණක් ග්‍රාම නාම පුවරුවක් හිතට ගෙන එන්නේ "අප ඉදිරියට යමින් වන්නෙමු!" යන සිතුවිල්ලය. 
අප ගාළුපාර දිගේ දකුණු ලකට ගමන් කිරීමේදී දැනෙන හැඟීම අධිවේගී මාර්ගයේ ගමන් ගනිද්දී නොදැනෙන්නේ මන්දැයි සිතන්න. අප කොළඹ කොටුවෙන් ගමන් ඇරඹුව කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන,කටුබැද්ද, රාවතවත්ත, මොරටුව යනාදී වශයෙන් ගමින් ගම, හංදියෙන් හංදිය පසු කරණු පෙනෙයි,දැනෙයි, හැඟෙයි. 
එහෙත් අධිවේගී මාර්ගයේදී එසේ දැනෙන හැඟෙන ක්‍රම වේදයක් ඇත්තේ; මාර්ගයෙන් පිටවීමකදී-පිවිසුමකදී හා වැළිපැන්න කඩ මණ්ඩියේදී පමණි! 
එසේම අපගේ මේ ගමනේදීද අප ගමන් ගන්නේ මහත්වූ ජන ශූන්‍ය පෙදෙසක් හරහා වන අතර එහෙයින්ම අප පසුකරණ බොහෝ කිලෝමීටර වලට නාම පදයක් නොවීය! ඒවා හුදෙක් කිලෝමීටර දුර වල් ම විය. එසේ බොහෝ දුරක් ගමන් කිරීමෙන් ඉක්බිතිව හමුවන ගමේ නමද කඩයක බෝඩ් ලෑල්ලක ලියා තිබුනේ දෙමලෙන් හෙවත් දමිලෙන් හෙවත් ද්‍රවිඪ භාෂාවෙන්ම පමනක් විය. අප තිදෙනාම දැන සිටියේ සිංහල හැරුණුවිට "අණ්ඩර දෙමල" පමණි. එනිසාම පසුකල කිලෝමීටර වලට නමක් දීමට අපට නොහැකි විය. තවත් දුරක් ගමන් ගනිත්දී හමුවන බෝඩ් ලෑල්ලෙ ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් ලියා තිබුනත් ඒ කිසිදා හීනෙන් වත් අසා නොතිබුනු ගමක් වීමෙන්ද වුනු සෙතක් නොමැත. 
එහෙත් අතරිණ් පතර හමුවන අප පසුගිය තිස් අවුරුදු යුද්ධයේදී කෙරුණු  බෝම්බ පිපුරුණු තැන් වල මතක හිටින නමක් සඳහන් පුවරුවක් දුටු විට හිතට ගලා එන්නේ මහත් වූ සතුටකි. ඒ පිපුරුණු බෝම්බ නිසා නොව දන්නා කියන, අසා ඇති කියවා බලා ඇති පලතකට පැමිණ ඇතැයි සිතට දැනෙන අහිංසක ආඩම්බරය නිසා ඇති වන්නක් විය යුතුය.
පරන්තන් පිළිබඳ මගේ මතකය වසර ගනනාවක් නොව දශක ගනනාවක් ඈතට ගමන් ගනී. ඒ කුඩා කල පාසැලේදි; ශ්‍රී ලංකාවේ එක් එක් ප්‍රදේශ වලට ආවේණික; නො එසේනම් ප්‍රසිද්ධ  නිශ්පාදන, කර්මාන්ත හෝ සම්පත් සඳහන් ලැයිස්තුවේ "රසායනික ද්‍රව්‍ය" යන්නට ඉදිරියෙන් වූයේ "පරන්තන්" යන්නය. රසායනික ද්‍රව්‍ය යනු හකුරුයි පොලුයි වැනි කෑමක්ද කියා නොදන්නා ළපැටි අවධියේදි පවා පරන්තන් අසා සුපුරුදු ගමක් විය.
එසේම අපගේ ගමන් මගේ ඊළඟ අසා පුරුදු ගම හෝ නගරය වූයේ "පූනරින්" ය. ඒ පසුගිය යුධ කාලයේදී එම නම බොහෝ සේ කන වැකුණු එකක් වූ නිසාය!
පූනරින් බෝඩ් ලෑල්ල අපට මහත්වූ අස්වැසිලක් විය.
අපි යාපනේට කිට්ටු කරලා !
පූනරින් යනු සංග්‍රාමික වශයෙන් වැදගත් ස්ථානයක් බව තේරුම් ගෙන තිබුනෙ වර්ථමානයේ පමනක් නොවේ.වර්ෂ 1658 වැනි ඈත කාලයකදි ලංදේසීන් විසින් එතෙක් පෘතුගීසීන් අත පැවති බලකොටුව අත්පත් කරගෙන ඇත. එය පෘතුගීසීන් විසින් ස්තාපිත කලයක් පිළිබඳව විස්තර සොයා ගැනීම අපහසුව ඇත.
ලංකාවේ සිටි පෘතුගීසි යුගය පිළිබඳ මහා ප්‍රාඥ්ඥයා වූ කොළඹ ලංකා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය නැසීගිය ටිකිරි අබයසිංහයන්ගේ "පෘතුගීසීන් හා ලංකාව" ග්‍රන්ථයේ හෝ පූනරින් බලකොටුව ගැන කිසිවක් ලියැවී නොමැත. 
පෘතුගීසීන් සතු ව තිබූ සියල්ල ලන්දේසීන් විසින්ද; ලන්දේසීන් සතුවූ සියල්ල ඉංග්‍රීසීන් විසින්ද ඩැහැ ගැනීම ලක්දිව ඉතිහාසය තුල ඉතා සාමාන්‍ය කාරණාවක් වන අතර පූනරින් බල කොටුවටද සිදුවී ඇත්තේ එයමය ය.
මෑත භාගයේදී මෙම ස්ථානය පිළිබඳව කතා බහට ලක් වන්නේ 1998 නොවැම්බර් 11 දින් එහි වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ කඳවුරට එල්ලවූ එල්ටීටීඊ ප්‍රහාරය හේතු කොටගෙනය. හමුදා සෙබළු 600 කට වඩා වැඩි පිරිසකට ජීවිත අහිමි කල මෙම ප්‍රහාරය නිසාම "පූනරින්" යන නම සමග සිතට ගලා එන්නේ කිසියම් හිස් බවක් වීම නොවැලැක් විය හැකි විය. මුළු මහත් ඉතිහාසය පුරා රුධිරයෙන් පෙඟුනු එම බිම  එතෙක් අප හැර ගොස් සිටි නිශාන් නැවත අප සමග එක් කිරීමට සමත් විය. 
පෙ.ව. 8.13
පුනරීන් හංදිය  !

පෙ.ව. 8.14
පංසල් 1/2 ක් !

පෙ.ව. 8.16
සාමයේ පරවියා ඉගිල ගත නොහැකිව ගල් වී !


ලේ වැකුණු බිමක සංසුන් බව !

ඔන්න පෙරේරලාගේ සිල්වලාගෙ මෙන්ඩිස් ලගෙ වැඩ !

ගලේ කෙටූ සාමය !


පූනරීන් නගරයක් නොව මං සංධියකි. රජයට අයත් ගොඩනැගිලි කිහිපයක් හා කුඩා කඩ කිහිපයක් ඇති එම කඩමණ්ඩිය කිසියම් විවෘථ බවකින් යුක්ත විය. වෙනත් ගම් වල පිහිටි කුඩා කඩමණ්ඩි කිසියම් අඳුරු බවක් ගස් කොලන් වලින් ආවරණය් වූ බවක් දක්නට ලැබුනත්; එවන් වාතාවරණයක් මෙහි දක්නට නොලැබුනි. නගර මාධ්‍යයේ පිහිටි වට රවුම මැද ස්ථාපිත  සුදු පරවියා පෙන්නුම් කිරීමට උත්සාහ කලේ "සාමය" විය යුතුය. සත්තකින්ම පූනරින් හැරුණුකොටගෙන සුදු පරවියාට ලැග සිටින්නට වෙනත් සුදුසු ස්ථානයක් ලක්දිව තව ඇත්දැයි ඉතිහාසය පිරික්සීමේදී සිතෙයි.
සාමය ගැන අප මොනතරම් කතා කලත් ඇත්තෙන්ම සාමය අවශ්‍යව තිබුනේ කාටදැයි විවිධ වරනැගීම් තුලින් කතා කල හැක. තිස් අවුරුදු යුධ සමය තුල දකුණේ අපට ජීවත් වීමට යම් වටා පිටාවක් නොතිබුනේ යැයි කිසිවෙකුට කීමට නොහැක. එහෙත්; තිස් අවුරුද්ද පසෙකින් තබා මාවිල් ආරු සොරොව්ව වසා දැමූ 2006 ජුලි 21 සිට නන්දිකඩාල් හීදි ප්‍රභාකරණ් මරා දැමුනු 2009 මැයි 19 අතර අවුරුදු තුනක කලය තුල එල්ටීටීඊ පාලන ප්‍රදේශය තුල සිටිය වුනට සාමයේ අවශ්‍යතාවය කෙතරම් දැනෙන්නට ඇත්දැයි සිතා ගත හැකිද? 
එල්ටිටීඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමිළිනී විසින් කොටි සංවිධානය හා සම්බන්ධ තම රහසිගත ක්‍රියාකාරකම් හා බිහිසුනු අත්දැකීම් විවරණය කෙරෙණ "තියුණු අසිපතක සෙවණ යට" නමැති කෘතියේ; අතීතයේ දී මෙන් මේ රටේ රුධිර ගංගාවන් ගලායාමේ බිහිසුණු, අමිහිරි, වේදනාකාරී තත්වයන් තවදුරටත් ඇති නොවේවා යන උත්තුංග පරමාර්ථය පෙරදැරි කරගනිමින්  සිය යුධ අත්දැකීම් පිළිබඳව තූලනාත්මක විවරණයක යෙදෙමින් මෙසේ පවසන්නීය.
"එයට පසුව අපව දෙණියාය ප්‍රදේශයට කැඳවාගෙන ගියේය. එය තේ,රබර් වතුවලින් යුතු සුන්දර කඳුකර ප්‍රදේශයකි.හරිතවත් බවත්,ශීතලත් හමායන කඳුකර සුළඟත් සළ සල හඬින් ගලා යන කළු ගඟත්,කුමන අන්දමේ චිත්ත තුවාලයක් වුව සුව කිරීමට සමත් ස්වභාව ධර්මයෙහි මහඟු ඔසුය යන සත්‍යය අපට පසක් කලේය. පසුව සිංහල ගමක ජනතාව විසින් අපව පිළිගැනීමේ වැඩ සටහනක් පවත්වන ලදී. වැඩිහිටි සිංහල මාතාවන් සිංහල සංස්කෘථියට අනුව අපව බුලත් දී පිළිගත් අතර සිංහල ළමුන් විසින් අපට මල් පොකුරු දී පිළිගන්නා ලදී. ඇත්තෙන්ම එම වැඩ සටහන දේශපාලන අරමුණක් සහිතව සංවිධානය කර තිබුනත්, අප වට කර ගෙන සිනාමුසුව අප පිළිගත් ජනතාවගේ සහ අපේ සිත්වල ඇතිව තිබූ සැහැල්ලු බවද ඇස් කොන්වල මතු ව තිබූ කඳුළු බිඳු ද මිනිස් සිත් තුල සැඟවිය නොහැකි සැබෑ හැඟීම්වල ප්‍රකාශනයන් ලෙසින් හැඳින්විය හැකිය. සියවස් කාලයක දේශපාලන එදිරිවාදීකම් මෙවැනි සම්බන්ධතාවන් එකකින් දෙකකින් නැති කළ නොහැකි බව සත්‍යයකි. එහෙත් භාෂාව, ආගම යනාදිය පසු කර ගොස් මිනිස් සම්බන්ධතාවල ආදරය බෙදා හදා ගත යුතුය. එවැනි පුළුල් මානසික  යෝග්‍යතාවක් මිනිසුන් තුළ අති වුවහොත් ලෝකය සාමය සහ සැලැසුම පිරුණු ස්වර්ගයක් වනු ඇත. එහෙත් කළ හැක්කේ කුමක්ද? ලෝකයේ ආයුධ වෙළෙන්දෝ සුදු පරවියන් පියඹා යවන විට සාමයද ඒ සමඟ එක්ව පියාඹා නොපෙනී යයි. අපි ගිය චාරිකාවේ මුළු වැඩසටහන්වලින් මගේ සිත පිරී ගියේ එම ගමේ ජනයාගේ ආදරයෙන් පමණි."
(235 පිටුව - තියුණු අසිපතක සෙවණ යට) 
පෙ.ව. 8.37
පුනරීන් හංදියෙන් ඊසාන දෙසට විහිදී ගොස් ඇති  මාර්ගය යාපනය හා අප සම්බන්ධ කරණ රේඛාවයි. පුනරීන් හංදියේ සිටුවා ඇති මාර්ග දැක්වෙන පුවරුවේ යාපනයට කි.මි 36 කියන වචන පෙලට වඩා සිත් අදී ගියේ "සංගු පිටිය / සන්ගුපිඩි පාලම 9 කි.මි."  කියන පෙලටය.
මන්ද දැක- නොදැක  සංගුපිටිය පාලමට මා සිත තුල මහත් ඇල්මක් ඇතිවී තිබුනි.
වෝටර්ලූ සටනින් පරාද වීමෙන් පසු නැපෝලියන් බොනපාට් එල්බා  දූපතට පිටුවහල් කිරීමට පෙර ඔහු විසින් පැවසූ වැකියක් යැයි මාගේ සීයා වන දොන් විල්ෆ්‍රඩ් පෙරේරා විසින් නිතර පවසන වැකියක් විය. "Able was I ere I saw Elba!" එහි ආසන්නතම සිංහල අදහස වන්නේ "එල්බාව දකින්නටත් පෙර එය මගේය!" යන්නයැයි මට සිතේ. එම වැකිය වමේ සිට දකුණට හෝ දකුණේ සිට වමට කියවිය හැකි එකම වැකිය ලෙස මාගේ සීයා මට පවසා ඇත!  සංගුපිටිය පාලමත් මට එසේමද?
 මාගේ සොහොයුරු මීට වසර ගනනාවකට පෙර මනම්පිටිය පාලම ගැන පැවසූ විශ්මිත කරුණ නිසා එයද දැක ගැනීම මාගේ සිතේ කලක සිට තිබුනු ආශාවක් විය. එම විශ්මිත කරුණ වූයේ එකම පාලමක් මතින් මහා මාර්ගයද දුම් රිය මාර්ගයද  වැටී තිබීමය. එහෙත් මහා මාර්ගයේ දිවෙන රථ වාහන නවතා දුම්රියට ඉඩදී පසුව දුම් රිය ගිය පසු එම මගෙහිම සාමාන්‍ය රථ වාහන සඳහා ඉඩ දෙනු මා හට කිසිදා දැකීමට නොහැකි විය.අද වන විට අළුතින් සාදන පාලම නිසා නැවත කිසිදා මහ මග මැද ගම්න් ගන්නා දුම්රියක් දකින්නට කිසිදා කිසිවෙකු හට නොහැකි වනු ඇත.
ඔන්න කෝච්චියක් එනෝ ! 
- මනම්පිටිය පැරණි පාලම් රැජින
  
මනම්පිටිය පැරණි පාලම - කොහොමද ජීවය ?

සදා යොවුන්සොඳුරු කල්ලඩි !
මෙසේම මඩකලපුවේ කල්ලඩි පාලම දැකීමද කලක සිට සිතේ තිබුනු අශාවක් විය.
ඈතින් පෙනෙන තල් ගස් හැරුණු කොට වෙනයම් ගහක් කොලක් නොමැති පරිසරය වෙනස් වී කලපුවක් හරහා ගමන් ගන්නා ආකාරයකට හැරුණි. දෙපස වූයේ යාන්තමින් රැළි නගන නොගැඹුරු ජල තලාවකි.ඒ මැද තැනින් තැන විල්ලු සේ තන කොළ පිරුණු බිම් කඩවල් පෙනෙන්නට විය. මයා රන්ජන්ගේ "දිගාමඩුල්ලේ ආශ්චර්යය" පොතේ නෙල්ලි කැලේ ගැන කියන විස්තරයේද මෙවන් පරිසරයක් ගැන වර්ණනාවක හේ යෙදේ. තණ පිටි අතර ඇති කැලෑ කුට්ටි ඔහු දකින්නේ දූපත් මෙන්ය! තැනින් තැන ඉහලට එසවුණු බිම් කඩවල් අළු පැහැයක් ගෙන තිබුනි. ඒවා සැදී තිබුනේ ලුනු  වලින් මෙනි. ඇත්තෙන්ම ඒ ලුනුද? ලුනු ලේවායක් මැදින් ගමන් ගන්නා අයුරක් දැනිනි. දිය කඩ  නො එසේනම් දිය තලාව මැදින් මාර්ගය තද කළු පැහැයෙන් ඇදී ගොස්ය.
පීත්ත  පටි  හා ලිප් ලයින් !
මා ගමන පිටත් වන්නේ Go-Pro කැමරාවද රැගෙනය. එය මාහට ලැබුනේ මාගේ අතිජාත දොස්තර මිත්‍රයෙකු වෙතින්ය. ලෝභයාගේ දේ කූඹි කනවා කියා ඇත්තේ කුමන සංසිද්ධියක් මුල් කර ගෙන දැයි මාහට සිතා ගත නොහැක. එය මා අසා ඇති මුත් අක් මුල් සොයන්නට වෙහෙස නොවීමි. කැමරාව තිබුනද එය ප්‍රයෝජනයට ගෙන තිබුනේ අනුරාධපුරයට ඇතුළු වන විටය. එහෙත් පසුව බලනා විට එය පටිගතවී නොතිබුනි! මේ හා සමාන සිදු වීමක් පොළොන්නරු ගමනෙදීද මටත් මධූටත් සිදුවිය. මධූගේ අදහසට අනුව දීර්ඝ කාලයක් පාවිච්චි නොකර තිබීමෙන් එහි බැටරියට වැඩේ සිදුවී ඇති බවය. මේ ගමනට මා එය ගෙන ආ අතර එය සවි කිරීමට පාලම ආසන්නයේදී අප කටයුතු කලෙමු. සංගු පිටිය / සන්ගුපිඩි පාලම හරහා දිවෙන මාර්ගය ඔස්සේ වීඩියෝ සටහනක් ලියා තබා ගැනීම මගේ අදහස වුනු අතර එය ක්‍රියාවට නැගීම භාර වූයේ මධූ හටය.
වැඩකට නැති ඇටවීම !

පෙ.ව. 8.47
මොනවා කියලා ලියන්නද?

අමුනා ගත් කැමරාව සහිතව මධූද මමද පදින්නට පටන් ගත්තෙමු. මාර්ගය දෙපස ක්ෂිතිජය තෙක් දිවෙන දසුනක්ය. අහස අළු පැහැයට හුරු නිල් පැහැයක් ගෙනය. අහසෙ පැහැයට නෑකම් කියන වර්ණයකින් නිසල මුහුද සෙමෙන් නලියයි. කලපුව හරහා හමන දැඩි සුළඟ ඒකාකාරව හමා යයි. එප ප්‍රථිරෝධය හමුවේ මමත් මධූත් සෙමෙන් සෙමෙන් ඉදිරියට පදිමින්ය. නිශාන් අප කැමරාව අමුනද්දී අප පසුකොට අනියත බිය හා එක්ව යන්නට ගොස් ය! සිහින් දිය බිඳු ගොන්නක් විටෙන් විට මුහුනට කඩා වැටේ. එය දෙතොලට සිහින් ලවන රසයක් මතු කරයි. මාර්ගය ඊ ගහක් සේ ඈතින් ඈතට විහිදී ගොස්ය. ඈත පෙනෙන තෙක් පානයට දිවෙන මාර්ගය දිගේ ගමන් ගත හැකි තරම් දුර දිවයන ඇස නොපැහැදිලි දසුනක් සමග ආපසු හැරේ! තවත් විනාඩි 15 ක පමන කාලයක් ගත වන විඅට අප දෙදෙන සංගුපිටිය පාලම අභියස විය. අප එහි යන විටත් නිශාන් එහි ලඟාවී සිටියේය. හරියටම විනාඩි 15 ක දුරක් යනු කිලෝමීටර 5 ක පමන දුරකි. ඔව්! සත්තකින්ම මාගේ මතකය නිවැරදිනම් එය එක දිගට තනි කෙලින් දිවුනු කිලෝ මීටර 5 කට ආසන්න මගකි!  පාලමට පලමුව පිලිපන්නේ මම විය යුතුය. පාලම සකසා තිබුනේ අරුක්කුවක් විලසිනි. එතෙක් සමතලා දිවෙන මග පාලම සමග අඩි 30 ක් පමන ඉහලට නැගෙයි. ඒ ඊට යටින් බෝට්ටු ඔරු වැනි යාත්‍රා ගමන් කිරීමට ඉඩ සැලසීමටය. මා පාලම පතට පැමින නැවතුනි. පාලමින් පහත මුහුද බුබුළු නගමින්ය. පතුල නොපෙනෙන කොල - නිල් මිශ්‍ර වර්ණයකින් හෙබි කර දිය කුඩා රැළි නංවමින් තිබුනි.
ඔබ බලන්නට මා පැමිනි දුර ඔබ දන්නවා නම් !?
සංගු පිටිය / සන්ගුපිඩි පාලම


පාලම උඩ ! පාලම යට !


පෙ.ව. 9.02
නිශාන් කලකට පසු !
පාලම මතට පැමිනි මා සෙල්ෆියකට මුහුණ දුන්නෙමි! පසුව මධූ ගේත් නිශාන්ගේත් සංගුපිටිය / සන්ගුපිඩි තරණය මාගේ ෆොනයෙන් වීඩියෝ ගත කලෙමි. පාලමේ මෙහා ඉවුරේ දුර පලාතකින් පැමිණි සංචාරක පිරිසක් රැඳී සිටියෝය.ඔවුන් අප දෙස බලා සිටි මුත් කිසිවක් නොඇසුවෝය. පාලම අසල මොහොතක් රැඳී සිට නැවත ගමන ඇරඹුවෙමු.
තරමක දුරක් ගමන් ගන්නා විට මග ගම තුලට විහිදුනි. එතෙක් කලපුවක් මාධ්‍යයේ ගමන් ගත් මාර්ගය ඉන් පසු නැවත නිල්වන් කෙත්වතු මැදට වැදහොත්ය. තවත්  පැයක පමන දුරක් ගමන් ගෙන ලද විරාමයකදී කෙත්වතු මැදින් ගමන් ගන්නා දැක පුරුදු දසුනක් දිස්විය.
 ඒ අන් කිසිවක් නොව ගම බලා දිවෙන දුම්රියකි. දුම්රියේ දිගින් එය දුර සේවාවක් සඳහා යොමුවූවක් යැයි අප අනුමාණ කලෙමු. 
මීට කලකට පෙර මධූ මාසමග කී කතාවක් මාහට මතකයට එන්නේ නිතැතිනි. කොළඹදි; පොළොන්නරුව බස් එකක් දැක්කාම ඔක්කෝම දමලා ගිහින් ඒකෙ එල්ලිලා ගම යන්න හිතෙනවායි හේ වරක් මා සමග කීවේය. සත්තකින්ම එය ගමේ අක්මුල් සිඳ බිඳ නොගත් ඕනෑම පෘතග්ජන මිනිසෙකුට හැඟෙන දැනෙන සිතුවිල්ලකි. හැඟීම් සමුදායකි. 
වරක් කළණ හට මා ලියන කොමෙන්ටුවකට පිළිවදන් සපයමින් "ලංකාවේදී කෝච්චියක් දැක්කාම ඉස්සෙල්ලාම බලන්නේ මොකක්ද ඒකෙ  ඇන්ජිම කියලයි!" කියන්නේද මීට සමාන හැඟීමක් එලි දක්වමින්ය. 
සේකර "හඳ හා නිව්යොර්ක් නුවර" කවියෙන් කියන්නේද මේ අදහසමය!
සත්තකින්ම රැකියාව සඳහා සයිකලයෙන් පැමිණෙන සෑම දිනෙකදීම මා කැළණි ගඟ දෙස බලමි. හැකි බොහෝ අවස්ථාවල එහි ඡායා රූපයක්ද ගනිමි. "ඔව් මේ දින දෙකකට පෙර හක්බෙල්ලාවකින් ගලා ආ ගංගාවම නොවේද?" මගේ සිතට නැගෙන සිතු විල්ලය. 
ගීත කලාව තුල මේ හා සමාන හැඟීමක් ගැන කියැවුනු අවස්ථා දෙකක් මගේ මතකයට ඒ! ඉන් එකක් වන්නේ ටී එම් ජයරත්න ගයන "පාවී පාවී මේ එන්නේ - අතීතයේ සිට එන සුළඟයි . . ." ගීතයයි. 
අනෙක වන්නේ සේකර අතින් ලියැවුනු අමරදේවයන්ගේ ලයාන්විත ස්වරයෙන් ගැයුනු "රත්නදීප ජන්ම භූමි- ලංකා දීප විජය භූමි . ." ගීතයයි. කවිය තුල ගීතය තුල පමණක් නොව හැඟීම් දැනීම් තුල පවා අජීව වස්තුවකට ජීවයක් පිඹීමට ඉඩ අවකාශයක් පවතී.

පෙ.ව. 9.54
ගම මතක් - වෙන දසුන !
සුනිල් එදිරි සිංහයන් ගයන සුන්දර ගිතයක් මගේ මතකයට එයි. 

"අනේ යාල් දේවි - නෑ ගමන් ගියේ නෑ බෝ කලෙකින්
හිස පළඳනාවේ  තිබුනා ලියලා - කන්කසන්තුරේ කියලා"

යාල් දේවි යනු හුදෙක් දුම්රියක්ම පමනක් නොවීය. එය දෙරටක් එක් කල පාලමක් විය. ජාතීන් දෙකක්, ආගම් දෙකක්, භාෂාවන් දෙකක් එක් කල බැඳීමක් විය. ත්‍රස්තවාදීන් විසින් උතුරු දුම්රිය මර්ගය දෙකඩ කිරීමෙන් වෙන් වූයේ යකඩ රේල් පීලි, සිල්පර කොට පමනක් නොව. ජාතීන් දෙකක් අතර තිබුනු අවබෝධය සහජීවනය ද සුනු විසුනු වී ගියේය. 
යාපනය කොළඹ දුම් රිය මාර්ගය බිහිවන්නේ 1884 තරම් ඈත අතීතයකදී බව පැවසේ.යාපනයේ සිට කොළඹට දුම් රියක් පැමිනෙන්නේ 1905 දීය. ඒ පැය 13 කුත් මිනිත්තු 20 ක් ගෙවා බව පැවසේ. 
1956 දී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට පත්වන නව සාමාන්‍යාධිකාරී ඩී.බී රම්පාල මහතා යාල්දේවි සීග්‍රගාමී දුම් රිය සේවාව පටන් ගනිමින් එය පැය 7 කින් නිම කිරීමට පුරෝගාමී විය. 1990 දී එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් දුම්රිය මග පුපුරවා හැරීමත් සමග නැවතුනු මෙම උතුර දකුණ එක් කල රන් හුය නැවත ඇරඹෙන්නේ 2014 වසරේදීය! 
ඒ සමගම ශ්‍රී ලංකාවේ විවිධ මූල්‍ය ආයතන හා වෙනත් ආයතන මගින් ඒ වන විට අබලන්ව පැවති දුම්රිය ස්ථාන පිලිසකර කිරීම හා නැවත සෑදීම සඳහා මූලය පිටු බලය සැපයූ අතර නාවක්කුලිය දුම්රිය ස්ථානය සෑදීමේ බර කරට ගත්තේ සම්පත් බැංකුව මගිනි. 
එහෙත් කණගාටුවට කරුණවන්නේ මේ පිළිබඳව විස්තරයක් අන්තර් ජාලයේ සොයා ගැනීමට නොහැකි වීමය. සම්පත් බැංකුව මගින් මුදල් යෙදවුවද ඒ සඳහා දායක වූවන් වන්නේ ප්‍රධාන වශයෙන් දකුණේත්, උතුරේත් කුඩා මිනිසුන් වන හෙයින් දුම්රිය දෙපාර්තමේන්තුවට නැතත් සම්පත් බැංකුවටවත් මෙම අභිමානවත් මෙහෙය පිළිබඳව ඉතිහාසයේ සඳහන් කොට තැබීම යුක්ති යුක්තය! 
පෙ.ව. 10.10

එතැන් සිට නිශාන් අප සමග එකට පැද යාම දක්නට ලැබුනි. අපගේ සැලසුමට අනුව තල් අරණට පැදයාමක් විනා පැද ඒමක් නොමැති විය. නිශාන් සේවය කල DSI Bike ආයතනයට අනුබද්ධිත DSI  සමූහයේ යාපනය නියෝජිත මහතා අපගේ සයිකල් තුන නැවත නිරුප්ද්‍රිතව කොළඹට ගෙන ඒම භාර ගෙන තිබුනි. එතැන් පටන් අප නිශාන් ව පොළඹවන්නට වූයේ එම වෙළෙඳ නියෝජිත මිත්‍රයාව ඉක් මනින් සම්බන්ධ කර ගන්නා ලෙසිනි. එහෙත් එතැන් පටන් බොහෝ දුරක් යනතුරු ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ යේ අප සැම තරමක අවිනිශ්චිත තත්වයකට හෙලමිනි.තවත් දුරක් පැද යාමේදී වෙල් යායක් මැද පිහිටා තිබුනු  පිළිසකර කරමින් තිබුනු කුඩ පාලමක් හමුවිය. එම පාලමේ දකුණු පසින් දක්නට ලැබුනේ අඩ කවයක්ව පිහිටි සොරොව්වකි. 
පෙ.ව. 10.16
නැමි පනා හොරොව්ව !
අප පසු කල සෑම ප්‍රධාන නගරයකටම පාහේ ඇතුළුවීමට කිලෝ මීටරයක දෙකක සීමාව තුල නගරයේ නම සඳහන් පුවරුවක් දක්නට ලැබුනි. අප පූනරීන්, නාවක්කුලිය පසු කල පසු මාර්ගයේ දෙපසට ඉව ඇල්ලුවේ "යාපනය" අකුරු හතර දැක ගැනීමට දෑස් දල්වා ගෙනය. එහෙත් යාපනය, "යාල් පානම්" තබා JAFFNA කියා වත් බෝඩ් ලෑල්ලක් දක්නට ලැබුනේ නැත. ඒ තර තුර අපට පාර අයිනේ සිටි කිහිප දෙනෙකුගෙන්
"යාල්පානම් . . . . . ?"
කියා විමසද්දී
"නේරා පොංග . ! නේරා පොංග . . .  !!"
කියා අප පැද යන මගම පෙන්වා සිටිමුත් යාපනය බෝඩ් ලෑල්ලක් මග දෙපස දුටුවේ නැත. ටික දුරක් පැදයාමේදී A9 පුවරුවක් පසෙක විය. එය සිරිලක අපට හොඳින් දන්නා කියන අංකයකි. ගෙදරය යන මාර්ගයේ අංකය නිවැරදිව නොදන්නා මුත් A9 කුමක්දැයි කියන්නට අප සියල්ලෝම දන්නෙමු. 
සත්තකින්ම A9 යනු නුවර - යාපනය මාර්ගයයි. අප මෙතෙක් පැමිණියේ යාපනය - මන්නාරම  A32 මගෙහිය. කොයි මොහොතේ කුමන ඇසිල්ලක අප A32 න් A9 මගට වැටුනාදැයි නොදන්නෙමු. ඒ කෙසේ වෙතත් A9 හමුවීම සේකරට නිව්යොර්ක් නුවරදී පුන් සඳ හමුවූ හැඟීමම ගෙන දීමට සමත්විය. දැන් අප ගමන් ගන්නේ දන්නා කියන පාරකය. තවත් කිලෝ මීටර කිහිපයක් පදිමින් සිටින විට අපගේ හිසට ඉහලින් H යකඩින් නිර්මිත යෝධ පුවරුවක් පෙනෙනට විය.
"යාපනය නගරයට ඔබව සාදරයෙන් පිළිගනිමු !"
පෙ.ව. 10.18
සිමෙන්ති මුදලාලිගේ පිළිගැනීම !
ජීවිතයේ තවත් එක් කඩ ඉමක් මෙසේ නිමාවමින් පවතින මොහොතක සිතට දැනෙන සිතුවිළි මොන වගේදැයි මේ ලියන මොහොතේ මතකයේ නැත! 
ගමන ඉවර උනා ඉක්මන් වැඩි දැයි සිතුනා මතකය. 
ඔව් අප සයිකලයෙන් තල් අරණට ආවෙමු! 
හදවත අමතා කීවෙමි. 
නොගියොත් හොඳ ප්‍රවෘථියක් . . !
ගියොත් හොඳ පෝස්ටුවක් . . . . . . .!!
කොහොම උනත් මේක හදවතට දුන් පොරොන්දුවක් . . . !!!
ඔව් පොරොන්දුව ඉටු කලෙමි.
ජීවිතයේ අවසන මියෙන මොහොත තෙක් මතකයේ රැඳෙනු ඇත 
මේ කල කී දේ ! 

පෙ.ව. 11.10
මධූත් නිශානුත් මගේ  අපි  අත් අල්වා ගත්තෝය.
"...................................!"
මහත්වූ සෙනෙහසකින් නල්ලූර් කෝවිල් බිමේදී 
මා 
ඔවුන් වැළඳ ගත්තෙමි. 
-සමාප්තයි-

Wednesday, January 9, 2019

121. සයිකලයෙන් තල් අරණට . . . . 9


සියල් සතහට සෙවන සදමින් - නොවේ වෙනසක් ජාති ආගම්
දකුණින් ආවත් උතුරේ සිටියත්

ආනා රෙස්ට් පිහිටියේ A 9 මාර්ගයේ වම් පසය. එය පිහිටියේද තරමක හුදෙකලා පෙදෙසකය. මාර්ගයට සාපේක්ෂව තරමක උස් බිමක එය පිහිටා තිබුනේය.අපගේ කාමරය තිබුනේ එහි වම්පස කොටසේය. ආනා රෙස්ට් පිහිටියේ A 9 මාර්ගයේ වම් පසය. එය පිහිටියේද තරමක හුදෙකලා පෙදෙසකය.  අපට  ලැබී තිබුනේ කොරිඩෝරයකට මුහුන ලා; මුල් කෙලවරේ පිහිටි විශාල කාමරයකි. එහි තිදෙනෙකු හට සුව පහසුවෙන් ගත කිරීමට අවශ්‍ය සියළු දේ සකසා තිබුනි.යාබද  නාන කාමරයද හදිසි අවශ්‍යතාවයකදී ඩබල් ඇඳක් වුව දැමීමට හැකිතරම් ඉඩ පාඩුව සාදා තිබුනි. පලමුව නා  ගැනීමට එහි ගිය මාහට එහි සුවිශාලත්වය මහත් සේ අසීරුවක් විය. එය  දැනුනේ ගෙදරක සාලය මැද නිරුවතින්  සිටිනවා වැනි හැඟීමකි!

Tuesday, December 4, 2018

118. සයිකලයෙන් තල් අරණට . . . . 8

චෙච්නියාවට ගිය සතුටට නොදෙවෙනි සතුටක් - වව්නියාව!


අප මේ වන විට කිලෝ මීටර 200 සීමාව පසු කර තිබුනි! දළ වශයෙන් කිලෝ මීටර 240 කට ආසන්න දුරක් ගමන් කොට තිබුනත්; ගමනේ අවසානය කෙළවර වන්නේ යාපනයෙන් බව හිතට දැනෙන්නේ වව්නියාවේ මෙම කොන්ක්‍රීට් තොරණෙන් ඇතුළු වීමත් සමගය.විශේෂ අනුහසක් හෝ වෙනයම් ආශ්චර්‍යයක් එහි නැතත් එම තොරණින් ඇතුළුවෙන්නේ අළුත් පලාතකට වෙනත් දේශයකට බවක් දැනෙයි. එය තිස් අවුරුද්දක් තිස්සේ හිත තුල ඇතිකල හැඟීමක්දෝ කියා විටෙක මට සිතේ. එය දනවන්නේ පුරාණයේ රාජධානියකට ඇතුළුවන වාහල්කඩක ස්වරූපයකි. 

අන්න වචනය! එය තොරණක් නොව වාහල්කඩකි.අළුතින් එයින් ඇතුළු වන ඕනෑම අයෙකු හිස ඔසවා ඉහල බැලීම කෙරෙණු ඇත. මෙය දුම්රියක් පාලමක් මතින් ගමන් ගනිද්දී සිල්පර කොට අතරින් ජල තලය දෙස ඇස් යොමා බැලීම  වැනි සාමාන්‍ය තත්වයකි. එසේ වව්නියාවේ වාහල් කඩ දෙස බලන විට එය නිල් පැහැති අහසේ තැඹිළි දුඹුරු මිශ්‍ර වර්ණයකින් වැජඹෙනු දක්නට ලැබුනි.එම තොරණේ සිට දිවෙන්නේ සරළරේඛීය ගමන් මගකි.
හිරු හිසට ඉහළින් ගිනිගෙන දැවෙයි. අප වියළි පරඬැල් සේ ය. අප; මුහුණු හිස වටා ඔතා ගත් රෙදි වලින් වසාගෙන පදිමින්ය. නිරාවරණය වූ දෙපා උනුවතුරින්න් පිලිස්සුනු කලෙක මෙන් වේදනා දේ!

බස් වල බෝඩ් එක දැක්කත් ඇඟ කිලිපොලා යන නගරයක් මැද!

අප ටිකින් ටික ජනා කීර්ණ පෙදෙසකට අවතීර්ණ වුනෙමු. වව්නියාව හුදෙක් වානිජ නගරයක් පමනක්ම නොව එය පරිපාලන නගරයක්ද වන්නේය. එසේම එය ප්‍රධාන මාර්ග කිහිපයක් එකිනෙකට හමුවන මසංධියක්ද වන්නේය. මේ සියළු සාධකයන් ගේ එක්වීමෙන් සැදුම ලද්දේ මහා නගරයකි. නගරයට; අපගේ ප්‍රවිෂ්ඨ වීම අමුත්තක් ගෙන දුන් කරුණක් නොවීය. දැඩි හිරු රැසින් පීඩා විඳිමින් තම තමන්ගේ ජීවිතය සරි කරගන්නට නො එසේනම් එදිනෙදා අවශ්‍යතා පිරිමසා ගැන්මට කඩියන් සේ කලබලයෙන් නගරය හරහා දදිය මුගුරු හලා ගෙන ඔබ මොබ දිව ගිය මිනිසුන් හට අපගේ මේ "පිස්සුවට" වඩා හිතකය යෙදවීමට ඕනෑ තරම් දේවල් තිබුනි. අප කෙමෙන් කෙමෙන් නගර මාධ්‍යයට ඇතුළු වෙමින් තිබුනි. 
අප දෙස නෙත් යොමා සිටියේ විජෙයි පමණි. ඒ ද අවඥ්ඥාවෙන් මුහුණ පුරවා ගෙනය.  සාමාන්‍යයෙන් ඌරන් හාරණ්නේ රාතෘයට පමනක් යැයි විශ්වාසයක් පවතී. ඒනිසාම පැරණ්නන් අතර "විසේ ඇති ඌරෝ රෑ දවල් දෙකෙහිම හාරති!" යැයි කියමනක් පවතී. විජෙයි අපදෙස බලා හිටියේද එවන් හැඟීමක් පෙරදැරි කරගෙනය.



අනේ ඉතිං . . !

පලමු දිනය ගල්ගමුවේ ගතකල අප දෙවන දිනය ගත කරණ්නට යොදාගේන සිටියේ කනගරගන්කුලමේය. 
ඒවන විට  කනගරාගයන්කුලම හරහා හයවතාවක් මා ගමන් කොට තිබුනද එය කලු ද සුදුද කියා මතකයක් මාහට නොවීය. මන්ද එය ඒ තරම් කුඩා නගරයක් කඩ මණ්ඩියක් වීම හේතු කොට ගෙනය. එය අවිස්සාවේල්ල -  නුවර එලිය නො එසේනම් කොළඹ-හැටන්  A7 මාර්ගයේ පවතින හක්බෙල්ලාවක පිළිබඳ මතකයක් බොහෝ දෙනා හට නැතිවා හා සමානය. 
මධුෂානුත් මමත් Google Street  ඔස්සේ මෙම කුඩා නගරය සිසාරා ඔබ මොබ ගොස් බැලූවද මෙම නගරය තුලින් අවම වශයෙන් ජීවනී පැකට්ටුවක් වත් ලබාගත හැකි ස්ථානයක් දක්නට නොහැකිවිය! මේ නිසාම පසුදා අපගේ පරිභෝජනයට ඇවැසි පෙති කල පාන්, ජෑම්, ජීවනී, රට ඉඳි, මුද්දරප්පලම්, ග්ලූකෝස්, ඕට්ස්, වැනි බොහෝ දෑ ලබාගන්නට තිබුනු එකම හා අවසාන නගරය වව්නියාව බව අප හඳුනාගෙන තිබුනු කාරණයක් විය. මෙහි වඩාත්ම ගැටළු සහගත තත්වය වූයේ පරන්තන් සිට A 57 - සංගුපිටිය මාර්ගය ඔස්සේ යාපනය තෙක්ද මධුෂාන් ගූගල් ස්ට්‍රීට් ඔස්සේ සංචාරය කොට; එම පෙදස ජනශූන්‍ය පෙදෙසක් ලෙස මා වික්ෂිප්ත කොට තිබුනු නිසාය! 

මේ ලංකාවේ එහෙම පලාත් තිබිය හැකිද? මා මගෙන්ම පමනක් නොවේ මධූ ගෙන්ද; ගමනේ සැලසුම් සකස් කරණ විට විමසීය.
 "මොකද නැත්තේ !? බාප්පි එන්නකෝ පොළොන්නරුවෙම මම පෙන්වන්න කිලෝමීටර 20ට 30ට එක කඩයක් තියා ගෙයක් දොරක් වත් නැති තැන්. ආ! වැඩිය ඕනෙ නෑ හබරණ - මොරගස් වැව ඉඳන් මින්නෙරියේ ආමි කෑම්ප් එක ලඟට කඩ තියෙනවද? හබරණ ඉඳන් ට්‍රින්කො පාරෙ හතරැස්කොටුවට වෙනකල් කඩ තියෙනවද ? එතකොට . . . . . ."
"ඇති! ඇති!! . . .ඇත්ත තමයි"

ඔහු කියන දෙය සත්‍යයක් වීමේ සම්භාවිතාවක් පවතින බව මටම ප්‍රථයක්ෂ විය.
මා කලින් ඔබට කීවාසේ වව්නියාව මහා වානිජ නගරයකි. කොළඹ පවතින පාර්ලිමේන්තුව, ටවුන්හෝල් එක, කෞතුකාගාරය, කොටුව, පිට කොටුව හැරෙණ්න අන් සියල්ල පැවතුනි! කොටින්ම කාර්ගිල්ස් සාප්පුවක්ද එහි වැජඹුනි. මෙවන් ගමන් වලදී සුපිරි වෙළෙඳ සැල් දැකීම නෙතට ප්‍රිය දසුනකි!
 මෙතෙක් ගස් ගල් වලට මුවාවී කල කී ශරීර සුවතා කටයුතු කාමරයක් තුල දොරක් වසා පුද්ගලිකත්වය, රහස්‍යභාවය, සභ්‍යත්වය හා සංස්කෘතිය රැකෙන අයුරින් ගුටි කෑමේ හා කට කැඩිච්ච කතා ඇසීමේ අපල උපද්‍රවයකින් තොරව නිදහසේ නිවහල් සුව භුක්ති විඳිමින් ක්‍රියාවට නැගීමේ ප්‍රීතිය හා සතුට  විඳීම මෙහි ප්‍රධාන හේතුව විය!
දෙවනුව මෙතෙක් ගිණි ගහන කූඨකේ පිලිස්සුනු සිරුරට සිසිල් සුළං දහරක පහස විඳින්නට ඉඩ අවකාශය සැලසීමය.
ඊට අවශේෂ වශයෙන් අවශ්‍ය කළමණා සියල්ල එකම වහලක් යට පමනක් නොව එකම සිවිලිමක් යටදී යට මිළදී ගෙන සුන්දර යුවතියකට මුදල් ගෙවා "තැන්ක් කියු . .!" කියා අසන්නට ලැබීමය! (ගුටි කන්නට වෙයිදෝ මංදා!?")

මෙකී නොකී සියළු කරුණු පෙරදැරි කරගත් අප කාර්ගිල්ස් සාප්පුව දුටු සැණින් කිසිදා නොපැදි වේගයකින් එය කරා ලඟාවිය. සාප්පුව අසල සයිකල් ගාල් කල අප ඊළඟ නිමේශයේ එය තුලට වැදහොත්ය.

මාර්කටින් !

ඒ 2017 වසරේ නත්තල් දිනට පෙර දිනයයි! සාප්පුව ජනයාගෙන් පිරී පැවතුනි. ඔවුන් අපදෙස එක එල්ලේ නොබැලුවේ අපගේ භාහිර ස්වරූපයේ තිබුනු ප්‍රසන්න භාවය නිසා විය හැකිය. එහෙත් ඈත සිට අප දෙස; වික්ෂිප්තව බලා සිටිනු දැක ගත් හැකිවිය! අප වෙළෙඳ සැල තුල ඒ මේ අතට රස්තියාදු වෙද්දී  මගේ නෙත ගැටුනේ කාලයක් තිස්සේ හොඳින්ම දන්නා කියන අයෙකි. ඒ ශාන්ත නොකොලස් ක්‍රිස් ක්‍රින්ගල් තුමා හෙවත්, සැන්ටා හෙවත් නත්තල් සීයාය.


(ලොවම) දන්නා කියන කෙනෙක් !

මීට කලකට මා ලියන ලද "ගඟක් දිගේ . ." පෝස්ටුවේද දැක්වූ පරිදි සෙකර;  නිව්යෝර්ක් නගරයේදී රාත්‍රියේ මුන ගැසුනු ; ගමේ වෙල් එළියෙදී මසකට වතාවක් දෙකක් හමුවන 'හඳ' සේම සැන්ටා හමුවීම මාහට ඇතිකලේ නන්නාඳුනන නගරයක් තුල මෙතෙක් අතරමං වී සිටි අපහට  දන්නා කියන කෙනෙකු හමුවීමේ ප්‍රීතිමත් සිතුවිල්ලමය! මෙය හුදෙක් වෙළෙඳ ප්‍රයෝගයක් බව හා මේ තවත් වෙස්වලා ගත් සේවිකාවක හෝ සේවකයෙකු ලෙස සිතන්නට සිත ඉඩ නොතැබීය.

 සුනිල් ආරියරත්නයන් විසින් පබැදූ නන්දා මාලණී ගෝකුළ විසින් ගැයුනු "මගෙ සඳ ඔබ මගේ සඳ ඔබ"  ගීතයේ ප්‍රකාරව සුන්දර ප්‍රේමය තුල ; සඳ යනු චක්‍රාවාට වලින් පිරුණු පය තැබූ කෙනෙකු සැණින් හුස්ම හිරවී මියයන අතිශය භයංකර වටා පිටාවක් පිළිබඳ මතකයක් හැඟීමක්  නොවේ. එය අතිශය සුන්දර සෞම්‍ය අප දෙස බලා සිටිනා සුන්දර යුවතියක හෝ යෞවනයෙකු ලෙසින්ය. "හිරුගෙන් අප කෙතෙක් ඵල ලැබූවද හිත බැඳෙන්නේ සඳ වෙතටය!" යැයි කියන්නේ නිකං ද?

සැන්ටා අපට ඇතිකලේ ඉතා මිත්‍ර ශීලී සහජීවනයක්ය. කාලය මොහොතකට සීමා වූවද ඔහු (හෝ ඇය!) අපහා සෙල්ෆියකටද මුණදීමට පැමිණියේය.(පැමිණියාය!) ඇවැසි දෑ මිළදී ගැනීම මධූ වෙතින් සිදුවිය! අපට කිරීමට ඉතිරි වූවේ ඔහු රාක්ක වලි තූරා බේරා ගන්න බඩු භාහිරාදිය අතින් කටින් ගෙන ඔහු පසුපසින් මුදල් ගෙවන කවුන්ටරය වෙතට එකා පසු පස එකා ඇදීම හා මුදල් ගෙවූ පසු සියල්ල එක් කොට ගෙන සාප්පුවෙන් එළියට පැමිණීමය!  තව ටික වේලාවකින් සියල්ල සීරුවට ගබඩා කරගත් අප පලමුව හැකි උපරිමයෙන්ම ජලය පානය කොට අන් සියල්ල සයිකල වල ගබඩා කර ගෙන එතැනින් නික් මුනෙමු.

දිලෙන අහස !

මේ වන විට වේලාව  12.33 වී තිබුනු අතර දිවා අහාරය ලබා ගැනීම ටික වේලාවක අප පමා කලෙමු. වව්නියාව නගරය පසු කලවිට එලඹෙන්නේ අතිශය උනුසුම් පරිසරයකටය. කාපට් ඇතුරූ මාර්ගය ගිනි කබලක් සේය. හමන්නේ උනුසුම් වාත ප්‍රවාහයක්ය. මාර්ගයට සෙව සදන ගහක් කොලක් වේ නම් ඒ බොහෝ දුර්ලභවය! සිරුරෙ විඩාව සං සිඳුවා ගැනීමට යාන්තම් හෝ සෘණ අනුක්‍රමණ, බෑවුම් හෙවත් පල්ලම් ආසාවටවත් නොමැත. ගෙවෙනා ගෙවනා මුළු කාලය පුරාවටම පැදිය යුතුය. 

අප සයිකල් සඳහා භාවිතා කරණ්නේ 700 X 35C ටයරයන්ය. මෙහි 700 යන්නෙන්  අදහස් කරණ්නේ ටයරයේ විෂ්කම්භය මිලීමීටර වලිනි.
 එවිට එහි අරය 700/2 = 350mm ය.




එවිට එහි පරිධිය හෙවත් වටේ දිග වනුයේ 2 X 22/7 X 350 mm ය.
එනම් 2200මිමි වේ.හෙවත් මීටර 2.2 කි.
සයිකලයේ උපරිම ප්‍රවේග අනුපාතය සැපයෙන ගියර සැකසුම මගින් ලැබෙන්නේ 3.38 ක පමන අනුපාතයකි.
 ඉන් අදහස් කරණ්නේ පැඩලය මුළු වටයක් දෙපයින් භ්‍රමනය කරවූ පසු රොදය වට 3.38 ක් භ්‍රමනය වන් බවයි. 
එවිට සයිකලය ගමන් ගන්නා මුලු දුර වනුයේ මීටර 2.2 X 3.8 = 7.4 මීටර වේ.
එනම් එක් කිලෝමීටරයක් ගමන් කිරීමට පැඩලය වාර  1000/7.4 =  135 වට 135 ක් භ්‍රමනය කල යුතුවේ.
 ඒ එක් කිලෝ මීටරයකටය!
 කිලෝ මීටර 10 කට මෙය 1350 කි!!
 කිලෝමීටර 100 කට 13500 කි.!!! කිලෝ මීටර 380 කට 51300 වතාවකි. මේ ගනනය කිරීම උපරිම ප්‍රවේග අනුපාතය සමගය. නමුත් සැබෑව වන්නේ සිරුර වෙහෙසට පත්වූ පසු මීට වඩා පහල ප්‍රවේග අනුපාතයක් ඔස්සේ තැනතලා ඔස්සේද කඳු හරහා ගමන් කරද්දී වඩාත් අඩු ප්‍රවේග අනුපාත ඔස්සේද ගමන් කරණා බවයි. ඒ නයින් ගත් කල  මෙම වට ප්‍රමානය 60000 කට පමන වැඩි විය යුතු යැයි මා සාධාරණ ලෙස අනුමාන කරණ්නෙමි! පෙරකී කටුක පරිසර පද්ධතිය හරහා සයිකල පැයකට කිලෝමීටර 15 ක පමන වේගයක් පවත්වා ගනිමින් ධාවනය කරණ්නට ඇත. ඒ පැයකට වට 2000 ක පමන වේගයක්ය!


ඩොටේ යන මඩූ . . !

තනි කෙලින් ඊ ගහ වන් මාර්ගයට වම් පසින් දුම්රිය මග දිවුනේය. පසුගිය කාල වකවානුව පුරා වට වැස්සෙන් දුම් රිය මගත් මහ මගත් අතර තැනින් තැන වූ විල්ලු නො එසේ නම් නොගැඹුරු කුඩා අගල් ජලයෙන් පිරී පැවතුනි. අප තිදෙන පරඬැල් සේ වේලුම් කෑවාට අප වටා තිබුනු නො එසේනම් අප පසුකරමින් පැද ආ පරිසරය මුළුමනින්ම හරිත වන් විය.සමහර විට එම හරිත පරිසර පද්ධතිය හා මා පෙර කී කුඩා දිය අගල් ; අපගේ දාහය නිවා දමන්නට කිසියම් මෙහෙයක් කරණ්නට ඇත.

 එහෙත් එය ; නුගේගොඩ රොටරියේ රසායන විද්යාව පංතිය කල දෙව් රුවන් අල්විස් ගුරුතුමා උගැන්වූ පරිදි ඇල්ෆා තරම් කුඩා අගයක් ගත් වෙනෙසකි. ඇල්ෆා කෙතරම් කුඩා දැයි කිව හොත් (1- ඇල්ෆාහී) අගයද 1 කම විය.එසේම ඇල්ෆා කුඩා නිසා ඇල්ෆා වර්ගය ඊටත් වඩා කුඩා විය. එනිසාම (1-ඇල්ෆා)/ඇල්ෆා වර්ගය එකටම සමාන විය.

ද හ ය  නොව   දා හ ය !

වට වැස්සෙන් පන ගසා නැගිට ගත් වෘක්ෂයෝ නෙතට ප්‍රිය දසුනක් එක්කලහ. එහෙත් ගතෙහි වූ දැඩි තෙහෙට්ටුව විසින් ඒ සුන්දර දසුන් නෙතින් සිතට ගෙන යාමට වැට කඩුලු බැඳ දැමුවේය.
ගමනේ තවත් කිලෝමීටර 5 ක් පමන ගෙවෙද්දී මහත්වූ බඩ ගින්නක් දැනෙන්නට විය. එය ඉතා සාමාන්‍ය ස්වභාවයකි. එය ; අත් දෙකෙහිම තෙල් ග්‍රීස් තැවරුණු විට නහය කසන්නට ගන්නවා වැනි අතිශය සාමාන්‍ය දෙයකි. බඩ ගින්න බොහෝ විට දැනෙන්නේ කන්නට නැති පරිසරයක් තුලය! මෙය කාගේ කුමන න්‍යාය දැයි දන්නේ උඩ ඉන්නා දෙවියන් පමනක් විය යුතුය,
"අපරාදේ අපිට වව්නියාවෙන් කන්න තිබුනේ . . .!'
"ඒක තමයි . .!"
ඉස්සරහට කඩ තියෙනවද දන්නෙත් නෑ . . .!"

මෙවැනි ප්‍රකාශ අප තිදෙනා අවට වාතලය  සිසාරා ඒ මේ අතට ගමන් කරණ්නට විය. එසේ නොකලේ ඇයි කියා අප කිසිවෙකුට කියන්නට තරම් පිළිතුරක් නොවීය.අප එකම මතයකට විත් වව්නියාවෙන් අහාර නොගන්නා බව හෝ දිවා ආහාරය වව්නියාවෙන් පිටතදී ගැනීමට හෝ  තීරණය කොට තිබුනි. එම මතයට එකඟ වූයේ   කතා කිරීමෙන් නොව නිහඬතාවය පල කිරීමෙන්ය.තවත් ලෙසකින් පවසනවානම් නොකර සද්ද සිටීමෙන්ය. කෙසේ වෙතත් අප කුඩා ගම්මාන පසුකරමින් ගිනි ගහන අව්වේම පැදගෙන යන විට මාර්ගයේ වම් පස කොල පැහැති පුවරුවක් ඈතදීම  මා දුටුවෙමි. 

ඔව්! ඒ අප බලාපොරොත්තු වූ දෙවොල විය!

එහි නම දුටු සැනින් බඩගිනි වෙලාවක මහ ගෙදර ගියා වැනි හැඟීමක් සිතට ගලා ආවේය. දවල් පෙර දින බත සරි කර ගත් භෝජනා ගාරයේ මෙන්ම මෙයටද තබා ඇත්තේ අපූරු නමකි!

අම්මා මතක් වුනු කෑමක්  !

"අම්මා හෝම් ටේස්ටි ෆුඩ් රෙස්ටූරන්ට්" ය.

අවුලක් නැත. බඩගින්නේ මෙතරම් දුරක් ඇවිත් ඇත්තේ අම්මාගෙන් බත් මිටක් කන්නටය.ඒ මොහොතේ මතකයට ආවද නොආවද මේ ලියන මොහොතේදී අම්මා රසට අනා කවන හැටි සිහිනයක් සේ සිතට ගලා ඒයි. දිනක් ඇය : මා කිසිදු දිනෙක කෑමට තබා පල නොරදන ගසක් දෙස වත් බැලීමට රුචිකත්වයක් නොදක්වන තිබ්බොටු කවපු හැටි මතකයට සීරුවෙන් ගලා එන්නේ නිරායාසයෙනි.

එම භෝජනා ගාරය තිබුනේ තරමක ජන ශූන්‍ය පෙදෙසකය. සිරිත් පරිදි මධුෂාන් තම ආහාර වේලට බිත්තර 4 ක් එක් කර ගත්තේය! ගෙවී ගිය පඨක කොටස් අළුත්වැඩියාව සඳහා ප්‍රෝටීන් අවශ්‍ය වේ. ඒත් මෙහෙමත් ප්‍රෝටීන් කෑමක්!ගමනේ මුලසිට මා නිර්මාංශිකයෙකු විමි. එයට ආසන්නතම හේතුව වූයේ ගමන කෙළවර නල්ලූර් කෝවිලට යෑමට මා අදිටන් කරගෙන සිටි බැවිනි.

මා වික්ටර් හියුගෝ ගේ " මිනිසාට නැත්තේ ශක්තිය නොව  ආත්ම ශක්තියයි!' යන කියමන තරයේ විශ්වාස කරණා අයෙක්මි. එසේම අර්නස්ට් හෙමිංවේගේ "මහල්ලා සහ මුහුද" පොතේ තේමාව; යටි පෙල අරුත වන "මිනිසෙකු විනාශ කල හැක! එහෙත් පරාජය කල නොහැක!!" යන්නද මා විශ්වාස කරණ්නට කැමැත්තක් දක්වන කියමනකි. 

සඳ තරු ග්‍රහයන් හෝ දෙවියන් කෙරෙහි මහත්සේ එල්බගෙන සිටීම මාගේ පුරුද්දක් නොවේ. එසේම ගැලරිය පිනවීම පිණිස එවන් විශ්වාසයන් හෝ ආගමක් විශ්වාස නොකර සිටීමට හෝ කොඳු කැඩෙන්නට පහර දීමක්ද මා වෙතින් කෙරෙණ්නේ නැත. විපක්ෂයේ හා මාක්ස් වාදීන්ගේ ප්‍රධාන කාර්ය භාරය වනුයේ පවතින ආණ්ඩුව විවේචනය කිරීම නැතහොත් පට්ටා ගැසීම සේම බොහෝ බ්ලොග් ලියන්නන් හා මූනුපොතේ තීරු ලිපි රචකයන් බොහෝ විට ආගම් වලට ඇට්ටි හැලෙන්න වනනු දැකිය හැක. බොහෝ විට ඔවුන්ගේ පොදු මතයක් වන්නේ  ආගමක් ඇවැසි වන්නේ දුර්වල මිනිසුන්ට  බවය!


කුමන පහන කවුරු වෙතද?

මා සෑම සියළු ආගම් කෙරෙහි ගරුත්වයකින් කටයුතුකරන්නෙමි. එහෙත් මා කිසි විටෙක ආගමක වහලෙක් නොවන්නෙමි. සත්‍ය වශයෙන්ම මා ආගම ඇදැහීමේ සුන්දරත්වය විඳිමි. පල්ලියේ ගීතිකා වල සිට කෝවිලේ නාද ස්වරම් හඬ දක්වා සියළු ගායනා වල මිහිරියාව විඳිමි.
"අපිත් ඒවානම් විඳිනවා! ඒත් ආගමක් ඇදහීමක් කියන්නේ ඒකටද?" බොහෝ දෙනෙකු මගෙන් විමසාවි. නෑ මම ඒ ගායනා දෙක ගලපා ගන්නට උත්සාහ කලේ එම ගායනා වලින් ගැයෙන්නේ නෝ එසේනම් අගයෙන්නේ හෝ වන්දනා කරණ්නේ වෙනස්ම වූ ආගම් දෙකක්  වුවද ඒ සියල්ල එකසේ රසවිඳිමි! යන්න පැහැදිලි කිරීමටය. 
මා කිසිදු ගමනක් හෝ මෙවන් චාරිකාවක් යන්නට ප්‍රථමයෙන් කරණු ලබන පෙර සූදානමට භෞතික හේතු සාධක, උපකරණ, ආදී දේ ගැන විනා වෙනයම් නොපෙනෙන විශ්වාසයන් මුල්කරගෙන කටයුතු කරණ්නේ නැත. එහෙත් ගමන පිටත් වන්නට මොහොතකට මත්තෙන් හෝ ඊට ආගමික ස්පර්ෂයක් ලබාදීමකරණු ලබයි. එය විටෙක බුදු සරණින්ද තවත් විටෙක යේසුස් වහ්න්සේ කෙරෙණ්ද තවත් විටෙක සම්‍යක් දෘෂ්ඨික හෝ මිථ්‍යා දෘෂ්ඨික දෙවි කෙනෙකුගෙන්ද විය හැක. ඒ කුමකින් හෝ වේවා මා හා මගේ කණ්ඩායම අදටත් නිරුප්ද්‍රිථව!

නල්ලූර් කෝවිලට මා ඒවනවිට තෙවතාවක් පමණ ගොඩවී ඇත. වන්දනා මාන සිදුකොට ඇත. මෙම කෝවිලේ ඇති විශේෂත්වය වන්නේ ඊට ඇතුළුවන සෑම පිරිමියකුම උඩු කය නිරාවරණය කලයුතු වීමයි. මහින්දලා,සරත්ලා, රණිල්ලා තම ඕවාළු හැඩය ගත් සිරුර  මාධ්‍යය මගින් පූජා වට්ටියක් සමග විලිලජ්ජාවකින් තොරව ප්‍රදර්ශනය කරණු ලබන්නේ  නල්ලූර් කෝවිලේ ආශිර්වාදය ලබාගන්නට සූදානම්ව සිටිනා වෙලාවේදීය.

සමය යන් එක්ව රට මවන රටා හැඩ

 මාගේ සෑම ගමනක් සමග එවන් ආගමික ස්පර්ෂයක් එක් කර ගැනිම; මා නොදැනුවත්ම සිරිතක් වී ඇත. එහි කිසියම් අපූර්වත්වයක් මා විඳිමි. මාගේ යාව ජීව පාඨක මිතුරා "මද්දා" තම රෝද දෙකේ රස්තියාදුවක යෙදෙන්නට දිනකට දෙකකට කලින් මාහට ඇමතූ මොහොතක මෙවන් ආරම්භයක් පිළිබඳව යෝජනාවක් කලෙමි. ඔහු එයට අනුගතවූ බවක් පසුව ඔහු මාවෙත පවසා තිබුනා මට මතකය.
මා මහවැළි  ගඟ දිගේ යාත්රා කරද්දී පුල්ලෙයාර් ශාමි හට කොල අත්තක් එල්ලන්නට පසිඳු හට පැවසූ අයුරු ඔබට මතක ඇත. ගං දිය මත කරණා ඕනෑම කට යුත්තකදී මා අදාල ජල ධාරාවට,  ගරු කිරීමක්, වන්දනා කිරීමක්, ආමන්ත්රණයක් කරණු ලබයි. කිසිදු විටෙක මා මසුන් මැරීමට වචනයකින් වත් සහයක් ලබාදී නොමැත. ගංගාවකට ඇළකට දොලකට කෙළ පිඩක් හෝ හෙලීමට මා ඉඩ නොතබමි. ජල මූලාශ්රිත සමග පැවති අපගේ මුතුන් මිත්තන්ගේ ජන ජීවිතය සමග වැවට කරණු ලබන වන්දනාව, ගරු කිරීම එතැනින් නොනැවතී අම්බරුවන් හෙවත් මී ගවයන් වෙත කරණු ලබන ආදරණීය ඇමතීම දක්වා යොමුවී තිබුනි. අප;  වසරක් පුරා තම දිය පවස නිවාලූ   ළිඳ සමග පලමුවගනුදෙනු කොට කෘථගුණ සැළකා අළුත් අවුරුද්ද පටන් ගත් ජාතියක අවසන් පුරුක් වන්නෙමු කෙසේ හෝ වේවා මෙවර අපගේ ගමන සඳහා මා අධ්යාත්මික ස්පර්ෂය ලබා ගන්නට තෝරා ගෙන තිබුනේ සියල් මහා පුරුෂයන්ගේ උඩු කය නිරාවරණය කිරීමට තෙදැති නල්ලූර් කෝවිලය!


මධුෂාන් දිවා ආහාරය ගන්නා අතර . . . !

මධූගේ ප්රෝටීන් වලින් අනූන ආහාර වේලට සපේක්ෂව දුප්පත් බත් පතකින් සෑහුනු මමත් නිශාන් කුමාරත් අවන් හල නැතහොත් බත් කඩෙන් එලිමහනේ තිබුනු මේස ලෑල්ලකට පුටු තුන ලං කරගෙන දෂ්ඨ කිරීමට පටන් ගතිමු. දැඩි වෙහෙස මහන්සිය කරණ කොටගෙන  අන්නශ්රෝතය පමනක් නොව අභිජිඃවිකාව පවා වියලී ගොස් තිබුනි. "අම්මා" ගේ සාම්බාරු බාල්දිය අපේ පිහිටට ආවේ එවිටය. වම්බොටු පාවෙමින්, වට්ටක්කා අවලම්බන සේ රැඳෙමින්, බණ්ඩක්කා ගිලී පතුලේ තැන්පත්ව ආකිමිඩීස්ගේ ඉපිළුම්  නියමය සිහිගැන්වූ; ඉහල දෘශ්රාවිතාවයකින් යුතුවූ සාම්බාරුව අපගේ අහාර මාර්ග මුළුමනින්ම ලිහිසනය කිරීමට සමත්විය. තවත් කිලෝමීටර 50 කට අධික දුරක් පැදයාමට ඉතිරිව ඇතිබව කදුරුගොඩ දාගැබ් සිහිගැන්වූ බත් පිඟන් ත්රිත්වය මේසය මත මස්ථකාරූඩ වීමත් සමග අමතකව ගියේය

වසර 19 නිළ නොලත් සිරබත් කෑමකට ලක්ව සිට  1680 සැප්තැම්බරයේ රොබර්ට් නොක්ස් නැවත පෙරලා එංගලන්තයට ගිය පසු රොස්ට් කල හරක් මස් හා යොක්ශයර් පුඩින් රස බලන්නට ඇත්තේ යම් සේද ඒ හා සමාන ගිජු කමකින් අප  බත් පිඟන් තුන වැළඳ ගත්තෙමු! මෙතෙක් ඉතාමත් සැලකිල්ලෙන් අර පරෙස්සම් කරගෙන ආහර සම්ප්රදාය සාම්බාරුවේ දියවී උළුඳු වඩේ කෑල්ලකින් යටව ගිය අපූරුව!

දිවා ආහාරයෙන් පසු උපරිම වශයෙන් විනාඩි 10 පමන කාලයක් අප නිදහසේ ගත කරණ්නට ඇත.නැවතත් අප; අපගේ අශ්වයන් පිට නැග ගතිමු. වන විට වේලාව පස්වරු 2.00 ඉතා ආසන්න වෙලාය. එතැන් සිට අප හොඳ සුව පහසු රිද්මයකින් පැද ගියෙමු. "අම්මා" කැෆේ එක නුදුරේම කුඩා පල්ලියක් දක්නට ලැබුනි.





එය පින්තාරු කොට තිබුනේ අහස් නිලෙනි. එම පල්ලියේ සවභාවය; පල්ලිය අයත් නිකායේ වත් පොහොසත්කම් ගැන පමනක් නොව මෙම පලාතේ සාමාන් මිනිසුන්ගේ ජීවන තත්වයේ වපසරියත් නිහඬව කියා පෑවේය.









දෙපස සරුසාර කෙත්වතුය. ඒවා හරහා හමනා සුළඟේ කිසියම් සිසිලසක් රැඳී තිබුනි. එය ගොයම් කොලයේ කෙලවරෙහි පවතින හැඩය නිසා ඇතිවන භෞතික විද්යාත්මක සිද්ධාන්තයකි. 
නිල්ල වැදුනු කෙත්වතු මැදින් අප ගමන් ගතිමු !
වළාකුළු සපිරුණු අහස යටින් අප පැද ගියෙමු !!

අප වෙහෙසුනද අපගෙ යාවජීව යන්ත්‍ර කිසිදු ලෙසකින් වෙහෙසට පත්වූ බවක්, රෝගී තත්වයක්, අබල දුබල බවක් නොපෙන්වීය. එය මහත්ම වූ අස්වැසිල්ලකි. ගමන යෑමට පෙර නාවල බියන්කි  වැඩ හලෙහි සජිත්ගේ අතින් නිමැවෙන සයිකලය මගදී ලෙඩ වීමේ අත් දැකීමක් අප  මෙතෙක් ලබා නොතිබුනි.සජිත් සයිකලයේ දම්වැල ඇතුළු කොග් සෙට් එක හා ක්‍රෑන්ක් එක ලිහිසනය කොට තිබුනේ වියලි ලිහිසන-Dry Lubricant වලිනි. එහෙත් අපගේ ගමනට එය නොසෑහුනි. එන ගමනේදී අලව්වේ ඉන්ධන පිරවුම් හලෙන් 0 - W20 දුස්‍රාවිතාවයකින් යුත් ලිහිසන තෙල් දමා ගත්තෙමු.
වියළි ලිහිසන නො එසේනම් Dry Lubricant බයිසිකල් සඳහා භාවිතාකරණු ලබන්නේ එහි ඇති නොඇලවෙන සුළු භාවය නිසාය. බයිසිකල් චේන් නැතහොත් දම්වැල සඳහා  වාහන වලට යොදන එන්ජින් තෙල් හෝ මහන යන්ත්‍ර සඳහා යොදන තෙල් බොහෝ දෙනා පාවිච්චි කරති. එම තෙල් වර්ග යෙදීමෙන් පසු පරිසරයේ ඇති දූවිලි අංශු, කුඩා වැලි කැට යනාදිය දම්වැලේ හා දැති රෝද මත ඇලීමෙන් පසු එම ඝන ද්‍රව්‍ය වෙතින් දම්වැල කැපී යාමට, දැති රෝද ගෙවීයාමට පටන් ගනී. මෙම උපද්‍රවයෙන් වැලකීම සඳහා වියළි ලිහිසන භාවිතා කලද එය ඉක්මනින් වියලී යාමේ හා ලිහිසන ස්වභාවය නැතිවී යාමේ අවදානමක් පවතී.වියළි ලිහිසනභාවිතා කරණ්නේ නම්;   කිලෝ මීටර 100 කට වරක් වත් නැවත නැවතත් ලිහිසනය කල යුතුවේ. එහෙත් හදිසියේ දම්වැල හා ඒ හා බැඳුනු උපාංගයන් තෙමී ගියහොත්; වැස්සකට හසුවුවහොත් නැවත දම්වැල වියලෙන්නට හැර වියලි ලිහිසන මගින් ලිහිසනය කල යුතුවේ! එහෙත් තුනී එන්ජින් තෙල් හෝ මහන යන්ත්‍ර තෙල් ඕනෑම දේශගුණික සාදකයක් තුල නොසැලී සිටී.

ගමන පටන් ගෙන කිලෝමීටර 50 ක් ගෙවීයද්දී මාගේ සයිකලයේ දම්වැල ඈඟිරි ගාන්නට විය! එය මහත්වූ කරච්චලයකි. කුඩා දරුවකු කුස ගින්නේ කිරි ඉල්ලා අඬද්දී සිත් පිත් ඇති එකෙකුහට අසාසිටින්නට නොහැකි වනවා සේම සයිකලයකට ආදරය කරණ අයෙකු හට ඒ කෙඳිරිය අසා සිටින්නට නොහැක. ඒ කෙඳිරිල්ල ඇසෙද්දී; බියන්කි ක්ලීනික් එකේ වෛද්‍ය සජිත් මහතා මොනතරම් නිර්දේශ කර තිබුනත් එය පසෙක ලා ඇන්ජින් තෙල් ටිකකින් දම්වැලේ සා පවස නිවා දමන්නට පියෙකු ලෙස මට සිතේ! අලව්වේදී සිදුවූයේ එයය. එතැන තිබුනු ඉන්ධන පිරවුම් හලෙන් ඉවත දැමූ තෙල් කෑන් හෙවත් ලීටර පහේ බූලි වල රැඳී තිබුනු තෙල සීරුවට දම්වැල් මතට පතිත කර ගත්තෙමු. ඉදින් ඉක්බිති දම්වැල "මීක්!" ගෑවේ වත් නැත!
0-20W යනු නවීන වාහන සඳහා යොදන දුශ්ස්‍රාවිතාවයෙන් ඉතා පහල මට්ටමේ ඇති තුනී තෙල් කාණ්ඩයකි.එයින්  සිදුවිය හැකි හානිය යම් පමනකට හෝ අවම විය හැක.




හිරු සිරසට එක එල්ලේ නොවුනත් පසෙකින් රක්තතප්තව දිලේ! මීට පැයකට දෙකකට පෙර ශ්වේතතප්තව දිලුණු හිරු නිවෙන්නට පටන් ගෙනය. එහෙත් එයින් ඇති කල පීඩාවේ වෙනසක් නොමැත.එය; නිවසකට අඩි දහයක් උඩින් ගලන ගංවතුර අඩි දෙකකින් පහල බැස ගිය පමනින් එයට මැදි වූවනට ඇතිවන සෙතක් නොමැතිවා සේ ය!
දිවා ආහාරය ගැනීමට ගත් සුළු විවේකය මත තරමක් සිරුර හීල් වූවද එයින්  හානි පූර්ණය වී නොමැත.දිනයේ අඩකටත් වඩා කාලයක් දැඩිසේ වෙහෙස වී; සිරුරේ ශක්තිය බොහෝ සෙයින් සිඳි ගොස් සිටි අපගේ සිරුරු;  දාහය මගින් ඉතා ඉක්මනින් හා පහසුවෙන් නතු කර ගත්තේය. විඩා බර සිරුරට ඉක්මනින් ඉක්මනින්ම කුඩා විවේක-විරාම ඇවැසි විය. අප කිලෝ මීටර 5 න් 5 ට නැවතෙමින් විඩා නිවමින් පදින්නට පටන් ගත්තෙමු. මේ සඳහා කිලෝ මීටර කනු මතක තබාගෙන පදින්නට විය. අප 199 වන කණුව පසු කලෙමු. හරියටම තවත් කිලෝ මීටරයක් ගෙවී යද්දී ඇස ගැටුනේ A 9 මාර්ගයේ 200 වන කණුවයි. කිලෝමීටර 200 කණුව කිසිදු ආඩම්බරයකින් තොරව අප සමග සෙල්ෆියකට පෙනී සිටියේය!


මහනුවර සිට ද්විත්ව ශතකයක් !





200 කනුව තිබුනේ තට්ට තනි පංගලමේය.  අහල පහල වෙනත් කිලෝමීටර කණුවක් තබා ටැලිෆෝන් කණුවක්, ලයිට්කණුවක්, ගෙයක් දොරක්, ළිං ගැට්ටක්, බෝක්කුවක්,ගෙයක් දොරක් කඩමණ්ඩියක් තැපැල් පෙට්ටියක්, කාගිලිස් සාප්පුවක් වත් නොතිබුනි! ඒ පෙදෙස ජන ශූන්‍ය කැලෑ රොදක් බව යාන්තමින් මතකය! තවත් කෙටි දුරක් පැද ගොස් මහ පාරේම මොහොතක් ඇලවීමි. රත්වූ කාපට් පාර වෙතින් පිට තැවුනි. එහි කිසියම් ආශ්වාදයක් තිබුනි.පාප්ප ගා ඇලවුනු පරිද්දෙන් ඉන් ඉවත්වීමට හිත හදා ගැනීමට ඉඩක් නොතිබුනි. 


තාර පාර සුව යහනක් වේවා !

ඒ කෙසේ වෙතත් අප යා යුතුව ඇත! අපගේ ගමනාන්තයට තවත් දුර බැහැරක්පැදිය යුතුය. අපගේ දත්ත වලට අනුව කණගරායන්කුලම් හංදියට තිබිය යුත්තේ තවත් කිලෝමීටර 15-20 ක දුරක් පමණි. අප කිලෝ මීටර 5 න් 5 ට නැවතෙමින් පැද ගියෙමු. එකිනෙකා සමග කිසිදු කතා බහකින් තොර විය. අපට ගමනාන්තය ඉක්මනින් දැකිය යුතු විය. 


ස ර ක ස් !

"තව දුරයිද බං . . . . . . . . . . . . ?"

මම නිරණ්තරයෙන් මධූ ගෙන් ඇසීමි! මධූ තම අතෙහි වූ සටහන කියවා  දූරකතනය මගින් අන්තර්ජාලය පිරික්සා අවට වූ කිලෝමීටර කණුවලට ඉව අල්ලා සියල්ල එකට ගලපා . . . . . . .

"තව කිලෝමීටර 12  . . . . . .!" වැනි ඉලක්කමක් කියයි. 

ඇයි බං තාම පැද්දේ කිලෝමීටර 2 කද . . . . . . ?  තවත් කිලෝ මීටරයක් හමාරක් නිහඬව ගෙවීයයි. යළිත් පෙර පරිදිමය!

මෙසේ පැදයන අපට පාරේ වම් පස පුවරුවක් දිස් විය. කෙමෙන් කෙමෙන් ලංවත්ම ලංවත්ම අකුර අකුර කියවා ගෙන යන්නට හැකි විය!

"ක . .  . . . න . . . . ග . . . රා . . . කනගරායන්කුලම්!"

පස්වනක් ප්‍රීතියෙන් අප පිනා ගියෙමු.


ගමක නමක් සිතට ගෙනා සතුටු ගඟක් !

මෙදින රාත්‍රිය අප ගත කරණ්නට යොදාගෙන තිබුනේ කනගරායන්කුලමේ "ආනා රෙස්ට්" හෝටලයේය. මා ඒවන විට එයට 5-6 වතාවක් අමතා තිබුනි. 

අප එහි සිටම  ආනා රෙස්ට් නවාතැනේ සශී - 0779358597 ඇමතීමි. ඇමතූවෙමු!
"ආ යෙන්න ෂේර්! ඔක්කොම රෙඩි!"
අප අපගේ නවා තැන දකින්නට මත්තෙන් එය අපගේ යන හැඟිමකි හදවත් පිරී ගියේය!

වෝටර්ලූ සටනින් පැරදුනු නැපෝලියන් බොනපාට් එල්බා දූපතට පිටුවහල් කර; ඔහුව එහි ගෙනයන අවස්ථාවේ ඈත තියා දූපත දකින  ඔහුගේ මුවින්  කියැවුනු වැකියක් මාගේ සීයා එනම් දොන් විල්ෆ්‍රඩ් පෙරේරා මහතා නිතර කියනු මා අසා ඇත.

"ABLE  WAS  I  ERE  I  SAW  ELBA"

(මෙය 'රතුවතුර ' , 'වඩුමඩුව 'දෙපසටම කියවිය හැකි වැකියකි.)

එසේම "ආනා රෙස්ට්" නොහොත් ආනාව දකින්නටත් මත්තෙන් එය අපේ විය. ඒ එහි සිටි සේවක මහතාගේ ලෙංගතු බව නිසාමය

තවත් ස්වල්ප මොහොතකින් අප ආනා රෙස්ට් අභියස වීමු. අළුත නිමකල මධ‍යම ප්‍රමානයේ අවන් හලක් හා නවා තැන් පොලක් විය එය! අප එහි යන විට අපහා කතා කල  සශී එහි අප එන තුරු බලා සිටියේය. සුදු සරමක් සුදු කමිසයක් ඇඳ සිටි ඔහු හයේ හතරෙ ඩයල් එකක් විය. දකුනු ඉන්දියානු චන්ඩියෙකු වැනි ඔහු ඉතාමත් මිත්‍ර ශීලීව අප පිලිගත්තේය.

"ෂෙර් මොනවද් ඕන! ඉල්ලන්න !! ඕන දෙයක් තියෙනවා . . . . !?"

එය තුල අපාන හලක් පැවතුනි. එය මටත් නිශාන් හටත් මහත් අස් වැසිල්ලක් විය!

මා හට මුලින්ම නා ගැනීමට මාගේ මිතුරණ් අවස්ථාව ලබා දුන්නෝය. හොඳින් නාගත් මා එලියට එන විට වැඩි කහට කිරි තේ එකකි. තේ එක බී මොහොතක්; කාමරයේ වූ ඇඳෙහි ඇල වුනෙමි.

රාත්‍රිය ඉක්මනින් ආනාව වසා ගති. අප අපගේ කාමරය ඉදිරියේ වූ කොරිඩෝරයේ පහසු ඇඳි පුටු තුනක අසුන් ගෙන සිටියෙමු. අප තිදෙන අත පොවන මාණයේ කුඩා රවුම් මේසයකි. අප අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටිනා'තර අවන්හලේ පහසුකම් සලසන සොයුරෙකු අප ඉදිරියේ පෙනී සිටියේය. නිශාන් ඔහුව තම ලඟට කැඳවාගෙන අපගේ මිතුරු කවය තවත් පැය කිහිපයකින් ඉදිරියට ගෙන යාමට ඇවැසි ජවය ඇනවුම් කරණු; මොබයිලය මත අකුරු කරමින් සිටි මා ඡායාවක් සේ දුටිමි!



සුවය සදන සයන !


.

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...