Thursday, December 15, 2022

247. අයියා . . !

අයියා ගැන මගේ මතකයට එන්නේ පාඩම් පොතක එන එක් "අයියා" නමැති කථාවක් සහ නවයුගය පත්තරේ පලවූ "දෙවියන්ගේ දානේ" නමැති කෙටි කථාවක් සමගින්.

මින් "අයියා" නමැති කෙටි කථාව කියැවෙන්නේ මල්ලී කෙනෙකු විසින්. අයියාගෙ ස්වාධීන ජීවිතය; තමාගේ කෙළිලොල් ජීවිතය සමග ගලපාගන්නට යන මල්ලී බොහෝ විට අයියා සමග ගැටේ. අවසානයේ එක් වෙසක් උත්සවයක් සඳහා අයියා විසින් සාදනු ලබන විශාල වෙසක් කූඩුව දැල්වීමට යද්දී මල්ලීගේ නොඉවසිලිමත් බව නිසා එය ගිනි ගනී. ඒ ගින්නට අයියාද අසුවී ඔහු රෝහල් ගත කෙරේ. අයියා මියයාවි යැයි බියෙන් මල්ලී අවසාන දිනයේ රෝහලට අයියාව බැලීමට යයි. තමා නිසා අයියා පත්වූ විපත කරණ කොට ගෙන මල්ලීට ඇඬුම් එයි. අයියා කටහඬ අවදි කරයි.

 "අඬන්න එපා මල්ලී! අපි ඊළඟ වෙසක් එකට ලොකු කූඩුවක් හදමු!"

"දෙවියන්ගේ දානේ" ඊට හාත්පසින්ම වෙනස්ව වූ කෙටි කථාවකි. ඒ කථාවේ සැකිල්ලද මා පහතින් ලියා තබන්නම්. 

මා කථා ද්විත්වයම කියැවූයේ වඩාත් කුඩා වයසක දීය. ඒ කථා කියවා අවසන් වූ අවස්ථා දෙකෙහිදීම මගේ සිත වඩාත් මෙළෙක්වී ගියේය; මාගේ අයියා මතක් වී. ඒ සෑම අවස්ථාවකදීම මගේ පුංචි හිතට වද දුන් ලොකුම ගැටළුව වූයේ; පෙර කී කථා වල  "අයියාට ඊට පස්සේ මොකද උනේ?" යන්නය.

මමත් අයියාත් අතර අවුරුදු 8 ක හිඩසකි. සොහොයුරිය සිටින්නේ ඒ හිඩස තුල මට අවුරුදු 6ක් ඈතිනි. මේ නිසාම අයියාත් අක්කාත් කුළුපග මිතුරන් විය. අයියා පිළිබඳ මාගේ පලමු මතකය අළුත්ගම;  ඉත්තෑපානේ මවගේ මහගෙදර තුල තැන්පත්වී ඇත. අම්මාගේ එකම මල්ලී වූ ලින්ටන් මාමාද ග්‍රේස් ලොකු අම්මාද ආච්චි අම්මා සහ සීයපප්පා සමග අයියා විසුවේය.  එකල අපි සිටියේ දැරණියගල; පොල්ගස්වත්තේය. ඒ අපගේ පියාගේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිවස්නයකය. අයියා කුඩා අවධියේ සිට අවුරුදු 15ක් පමණ ජීවත්වූයේ ඉත්තෑපානේය. ඊට හේතු වූ කරුණ මතබේධයට තුඩුදේ. ඔහුගේ උපන් වේලාව දෙමව්පියනට කිසියම් අපලයක් ගෙන දෙන නිසා ඔහුව ලොකු අම්මා භාරයේ තැබුවා යැයි මා අසා ඇත!

මෙම ආරංචිය අයියා නොදැන සිටියා යැයි මා නොසිතමි. බොහෝ විට එය ලින්ටන් මාමා ගෙන් ඔහුගේ කණට  යන්නට බොහො ඉඩක් තිබුනි. මේ නිසාමදෝ අයියා අපේ පවුලට දැඩි ලැදි කමක් දැක්වූ අයෙකු නොවීය. පසු කලෙක අප නුවරඑළියට සංක්‍රමණය වන විට ඔහු නුවරඑළිය ගාමිණී විදුහලටත් අවිස්සාවේල්ලේදී  කළු අග්ගල ජෝන් බොස්කෝ විදුහලට යොමුවී තිබුනි.  මේ 1972-73 වැනි ඈත කාලයක් විය. නුවරඑලියේදී ඔහු අපගේ පියාගේ දැඩි දණ්ඩනයට පාත්‍ර විය. 

වරක් ඔහු ගෙදරින් පැන ගියේය. එකල පිරිමි ලමයින් එසේ ගෙදරින් පැන යාම මාස කිහිපයකට වරක් අසන්නට ලැබෙන සුලභ ආරංචියක් විය! ඔහු තවත් මිත්‍රයින් දෙදෙනෙකු සමග අවිස්සාවේල්ලෙන් පිටත්වී හපුතලේට ලඟා වී තිබුනු අතර හපුතලේ පොලිස් භාරයේ සිට ඔහුව ගෙදරට කැටිව ආවේය. තාත්තාවත් අම්මාවත් ඊට කිසිදු දඬුවමක් ඔහුට දුන් බවක් මාහට මතක නැත!

එක් කලෙක මාත් අක්කාත් සෙල්ලම් පාටියක් දැම්මෝය! ඒ යටියන්තොටදිය. අපගේ ඥාති මිත්‍රාදීන් විවිධ ආහාර පාන ලබා දී අපගේ සෙල්ලම් සාදය උත්කර්ශවත්ව තිබුනි. අපට එනම් මටත් අක්කාටත් ඊළඟ ගැටළුව වූයේ ආරාධිතයෙකු සොයා ගැනීමයි. ඒවන විට නිවස ඉදිරියේ සෙල්ලම් තුවක්කුවක් සාදමින් සිටි අයියා අපගේ සිව් නෙත ගැටුණි. අපි අයියාට ඉන්වයිට් කලෙමු. තවත් නිමේශයකින් ඉතිරි වූයේ පාටියේ හිස් භාජන සමූහයක් පමණි. අයියා සුපිරියටම සාදය "අලෙවි" කොට තිබුනි!

වරක් අප දෙදෙන කුඩා කල රෝද හතරක කරත්තයක් හදන්නට යාමේදී; අයියා අත තිබුනු අත් කියතට මාගේ කුඩා අතේ මහපොට ඇඟිල්ල කැපී ගිය හැටි මතකය. මාගේ අතින් ලේ ගලා ගිය අතර අයියා ඊට බෙහෙවින් බියට පත්විය. එසේම දිනක් මා අත වූ වීසි කැත්ත අයියාගේ ඇස් වටයේ වැදුනු අවස්ථාවේදීද ඔහු නිහඬව වේදනාව විඳ දරා ගත්තේය.

කලක් අප කළු අග්ගල නෙළුවත්තුඩුව ගමේ කුලී නිවසක විසුවෙමු. පැය 24 පුරා "ඔන් ඩියුටි" රැකියාවක් කල තාත්තා ගෙදර එන වෙලාවක් කියන්නට තාත්තාටවත් නුපුළුවන් විය. ඊට අමතරව මිත්‍ර සමාගම් සමග ගැවසී මධුවිතක් තොලගා තාත්තා සමහර දවසට එන්නේ යක්කු ගහෙන් බිමට බහින වේලාවටය. ඒ මොහොත වන තුරු අම්මා රාත්‍රී ආහාරය නොගෙන මග බලා සිටීම සාමාන්‍ය තත්වයකි. දිනක් තාත්තා එන තුරු අම්මා බලා සිටිනා විටෙක අයියාට බඩ ගිනි සෑදුනි. ඔහු අම්මාගෙන් බත් ඉල්ලූ මුත් අම්මා පැවසූයේ "කුස්සියෙන් බෙදා ගන්නා!" ලෙසය. එයට පිළිතුරු ලෙස අයියා ඊට නුරුස්සනා වදන් වැලක් කියාගෙන ගිය අතර අම්මා මුළු බත් මුට්ටියම බත් දීසියකට හිස් කොට සියළු මාළු පිණි එයට බෙදා අයියාට දුන්නාය. අයියාද ඇරියේ නැත! අප පස් දෙනෙකු වෙනුවෙන් ඉදුනු බත මුළුමණින්ම ඔහු කා දැමුවේය. එවිට ඔහුට වයස අවුරුදු 16 - 17ක් වන්නට ඇතැයි සිතමි!

ඔහු උසස් පෙළ සඳහා තෝරා ගත්තේ කෘෂිකර්මය විෂය ධාරාවයි. ඔහු ඒ සඳහා තෝරා ගත් පාසල වූයේ වැලිමඩ මධ්‍ය මහා විදුහලයි.  කලක් විදුහලේ නේවාසිකාගාරයේ නැවතී සිටි ඔහු; තවත් නිවැසියන් පිරිසක් සමග ආහාර සඳහා හර්තාලයක් කිරීමේ මහිමෙන් ඉන් ඉවතට යෑමට සිදුවිය. ඉන් පසුව ඔහු වසරක පමණ කාලයක් ගතකලේ පිටස්තර ගෙවල් වලය! ඒ මාස දෙකෙන් දෙකට මෙනි! බෝඩිමක හොඳින් ආහාර පානාදිය ලැබෙන්නේ මුල් මාස දෙකෙහි පමණි!" ඒ ඔහුගේ නියමය විය!

වරක් ඔහු අපගේ මිතුරෙකු හට ලිපියක් ලිව්වේ ඔහුගේ නිවසේ සිට වැලිමඩ නගරයට බස් ගාස්තු පිළිබඳව විමසීමටය. ඒ වන විට සිටි බෝඩිමෙන් මිතුරාගේ නිවස අසල වෙනත් තැනකට යාමට පෙර; එහි සිට පාසලට ඒමට වැයවන මුදල දැනගෙන එය අපගේ නිවසින් ලබා ගැනීමටය. අයියාට බස් ගාස්තුවට වංගුවක් ගසා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා නියම මුදල දැන ගැනීමට අවශ්‍යතාවයෙන්පෙර ලිපිය ලියා තිබුනි.  "මචං බස් ගාස්තුව ලියන කොට 'සීයා මැරුනේ ........' කියලා ඒවපං. බස් ගාස්තුව කියලා දාන්න එපා!" ඒ අයියා මිතුරාට දුන් අවසාන අවවාදයයි. අයියා ඒ වෙලාවෙම අලුත් බෝඩිම ගැන පවසා තාත්තාටද ලිපියක් ලියා වැලිමඩින් තැපැල් කොට තිබුනි. අපරාදේ කියන්නට බැරිය. කිරිගහට ඇන්නැහේ යාළුවාට ලියන ලද ලිපිය තාත්තා අතට දින දෙක තුනකින් පත්විය!

කාලය ගෙවී යද්දී ඔහු අපගේ ජාතික වීරයා වී තිබුනි. අළුත් චිත්‍රපටි, සටන් නළුවන්, යාන වාහන, ක්‍රීඩා, විනෝදාංශ ආදී මෙකී නොකී දහසකුත් දේවල් දකිණ කවුළුව වූයේ ඔහුය. එකළ නිවාඩු කාලවලදී අප තිදෙන බෙන්තොට ලොකු අම්මලාගේ නිවසේ නිවාඩුව ගත කිරීමට ගිය විට; ලොකු අම්මලාගේ පුතාත් දුවත් සමගින්; මැද සාලයේ අපි සියල්ලෝම පැදුරු දමා නිදා ගන්නා විට එක් කෙළවරක සිටින්නේ ඔහුය. ඒ ඔහු අපගේ පරම්පරාවේ වැඩිමහළු පුද්ගලයා වූ බැවිනි. දන්නා කාලයේ සිට ඔහුට මල පනින අවස්ථාව ඔහුටවත් සිතා ගැනීමට නොහැක!

සැම වෙලාවේම ඔහු ගිණි කන පණින්නට සූදානම්ව සිටි අයෙකි. පවුලේ ඥාතීන් පමනක් නොව අපගේ පියා පවා ඊට හේතුව ලෙස ගෙන දැක්වූයේ ඔහුගේ නමේ ඇති වරදය! එනම් ඔහුගේ නම සනත් ගාමිණී  වූ අතර එකල අප සියල්ලන්ගේම නම් ලියැවුනේ මුලකුරු සමගිනි. ඊට අදාලව ඔහුගේ නම S. G. වූ අතර එය බෝර දොලහේ තුවක්කු වලට යොදන භයානක උන්ඩ විශේෂයක් හැඳින්වීම සඳහා දැක්වූ නාමයය! 

අපගේ නිවසේ දෙමව්පියන් ඇතුළුව සාමාජික සාමාජිකාවන් පස් දෙනෙකි. මා දන්නා කාලයේ සිට අපගේ නිවසේ සුවිශෙෂී රාත්‍රීන් වලදී බෝඩ් ක්‍රීඩා පැවැත්වුනි. බෝඩ් ක්‍රීඩා කීවාට ඒ අනෙකක් නොව පංච දැමීම හා ලූඩෝ ක්‍රීඩාවය. මෙහිදී එම බෝඩ් ඇන්දේද අපගේ අයියා විසිනි. ඒවා බොහෝ විඅට සෑම මසකම පාහේ අළුත් වේ! ඊට හේතුව මෙය කියවාගෙන යන විට ලියැවෙනු ඇත! ඔහු අඳින ලද පංච පෙතක් බොහෝ කලක් යන තුරු අපගේ නිවසේ තිබුනි.  එය ඇඳ තිබුනේ ෆයිල් කවරයක ඇතුළු පසය! මෙම ක්‍රීඩා දෙකම නිර්මාණය කොට ඇත්තේ ඉරට්ටේ සංඛ්‍යාවකට ක්‍රීඩා කල හැකිවන පරිද්දෙනි. ඒ නිසාම අපගේ නිවසේ වැසියන් දෙපිළකට බෙදුනේ අප පස් දෙනාට අමතරව "හුංගෙකු" ඇතුළු කර ගැනීමෙනි. "හුංගා" යනු අවකාශයේ සිටිනා චරිතයකි. ඔහු වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එම පිළේ ඌනෑම අයෙකු හට අවස්ථාවක් ලැබේ. බොහෝ ක්‍රීඩා අවස්ථාවලදී තාත්තාත් අක්කාත් එක් පිළකටත් අම්මාත් අයියාත් තවත් පිළකටත් බෙදේ. මමත් හුංගාත් සිල්ලරට බෙදී යයි. මෙම ක්‍රීඩා බොහෝ අවස්ථාවල කෙළවර වන්නේ අයියා මා සමග හෝ අක්කා සමග ගිණි කන පැනීමෙනි! ඒ සමග ඔහු ලුඩෝ බෝඩ් එක හෝ පංච පෙත ඉරා දමයි!  කිරීඩාව එතැනින් සමාප්ත වේ! මෙහි ඇති අති භායනකම ක්‍රියාව පටන් ගන්නේ ඉන් අනතුරුවය. ඒ අම්මාගේ විධානයට අනුව මමත් අක්කාත් අයියාගේ කකුල් දෙක අල්ලා වැඳ සමාව ගැනීමෙනි. මෙහිදී වරද කාගේද යන කාරණයට වඩා  අම්මා සොයා බලන්නේ අයියාගේ සීනියෝරිටිය ය! මීට ප්‍රධාන හේතුව ලෙස මා දකින කාරණා දෙකකි. ඉන් එකක් වන්නේ අයියාද අම්මාද එක පිළක වීමය! අනෙක දකුණේ ගැහැණියක වූ අම්මා "වරද" යන කාරණයට වඩා "තමන්ගේ" සහ "වැඩිහිටි" යන සංකල්පයට වැඩි බරක් තබන නිසාය! මෙය දකුණේ මිනිසුන් අතර දක්නට ලැබෙන ගුණාංගයකි. මේ රටේ අප අද දින අත් දකින බොහෝ දුක් ගැහැට වලට එක් හේතුවක් වන්නේද මෙම දකුණේ ගතිය ලෙස මා දකිමි!

මිනිසෙකු; තම ළමා කාලය තුල කණ්ඩායම් ක්‍රීඩාවක නිරත විය යුතුය! ඒ ඉවසීම, කණ්ඩායම් හැඟීම වැනි බොහෝ කාරණා ඉගෙන ගන්නේ ඒවා තුලිනි. මෙවන් කිසිදු ක්‍රියාකාරකමක් නොකල අය තුලද එවන් ගුණාංග තිබිය හැකි නොවේදැයි ඔබ මා සමග සංවාදයකට එළඹෙනු ඇත! සත්තකින්ම එය එසේ විය හැකිය. එහෙත් මා පවසන්නේ උණුවතුර බීමට පුරුදු වීම වැනි කාරණයකි. එනම් එම ජලයේ විශබීජ තිබුනද නැතිවද කම් නැත! වතුර උණු කොට බීමෙන් හානියක් සිදු නොවේ!  මේ නිසාම ඔහුගේ ජීවිතයේ අවසාන කාලය දක්වාම එම නොඉවසිලිමත් භාවය මා දුටුවෙමි. 

පෙර සඳහන් කල පරිදි පවුලේ සාමාජිකයින් ගනන ඔත්තේ වූ හෙයින්ම කිසියම් දෙයක් බෙදා හදා ගැනීමට ගිය විට ඇතිවන්නේ තරමක ගැටළුකාරී තත්වයකි. පසැඟිල්ලන්, කාමරංගා වැනි පහෙන් බෙදෙන දේවල් අපට ලැබුනේ නැති තරම්ය! අඹ ආදී පලතුරක් ලැබුනු විට එය පහට බෙදීම සිදුවූයේ අයියා අතිනි. ඒ දෙපැත්ත හතරට කපා කොටස් හතරක් ලෙසද ඇටය හා ඒ ආශ්‍රිත කොටස තවත් අයෙකුට ලෙසය. අයියා අඹ ආදිය කැපීමේ රුසියෙකුවූවා සේම ඇටය ගැනීමට අකමැත්තක් තිබුනේ නැත! කිසිවෙකු උනන්දු නොවන ඇටයට ඔහු ලොභ බඳින්නේ ඔහු අඹ ගෙඩිය කපනා අවස්ථාවලදීය! ඇටය වඩාත් පෝෂණය කිරීම කපන්නාගේ අතේ හුරුව මත ඇති කටයුත්තක් බව තේරුම් ගන්නා විට බොහෝ කල් ගතවී ගොස් තිබුනි!


උසස් පෙල විභාගය දෙවරක් උත්සාහ කල මුත් ඔහුට සරසවි යාමට නොහැකිවිය. තවත් බොහෝ කළක් ඔහු රැකියාවක් නොමැතිව නිවසේ රැඳී සිට පසුව මාගේ පියා සේම වන සංරක්ෂන දෙපාර්ත මේන්තුවට සහ සම්බන්ධ විය. මා දන්නා පරිදි ඔහු දැන උගත් නිළධාරියෙකු විය. උසස් පෙළ උද්භිද විද්‍යාව සඳහා සම්මාන සාමාර්තයක් ඇතිව සිටි එකම ආධුනිකයා ලෙස ඔහු ත්‍රිකුණාමලයේ වන විදුහලට ඇතුලත් විය. ඔහු ප්‍රිය මනාප පුද්ගලයෙකු වුවද ජනප්‍රිය පුද්ගලයෙකු නොවීය. ඔහු කිසිදු දිනෙක මධුවිත පානය නොකලේය. දුම්වැටි භාවිතාවක් නොවීය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොබොන එකෙක් යනු නියුඩ් කෑම්ප් එකකට ටයිකෝට් ඇඳන් ගිය එකෙකු වාගේය! එයද ඔහු ජනප්‍රිය චරිතයක් නොවීමට හේතුවක් වන්නට ඇත. එහි වඩාත්ම අන්තගාමී භාවය වූයේ ඔහු එවන් ස්ථානවලද නොරැඳීම හා එවන් අයගෙන් පවා ඈත්වීමය!

මේ සියල්ල මෙසේ සිදුවෙමින් ඔහු ජීවිතය ඉදිරියට ගෙන ගියේ සෑම සියළු කටයුත්තක්ම අභියෝගයක් කරගනිමිනි. ඔහු රැකියාවට අමතරව නොකලේ නයි නැටවීම, මිරිස් ගල් කෙටීම හා කැලේ කැපීම පමණකි.  කුඹුරු බදුගෙන වැව්වේය. මිරිස් වැව්වේය. මී රා මැද්දුවේය. ගඩොල් කැප්පුවේය. වී මැන්නේය.  .............! තවත් බොහෝ දෑය! ඒ සියල්ලම කලත් ඔහුගේ දිවියට එළියක් වැටුනේ ප්‍රියන්ති අක්කා මුණ ගැසීමත් සමගය.
ප්‍රියන්ති අක්කා එකල සේවය කලේ පොළොන්නරුව හෝ කදුරුවෙල ලංකා බැංකුවේය. අපගේ ලින්ටන් මාමා පදිංචි වූයේ ජයන්තිපුරය. මේ නිසාම ලින්ටන් මාමාගේ හා ඔහුගේ බිරිඳ වූ ලලණි ඇංටීගේ මදිහත්වීමෙන් ප්‍රියන්ති අක්කාත් අපේ අයියාත් මුණ ගැසුනෝය. එය දෙදෙනාගේ විවාහය දක්වාම ඇදී ගියේය.  ඇය එකකුස උපන් සහෝදරියක්සේ වඩා අපට; හැකි උපරිමයෙන්ම බෙහෙවින් ලෙංගතු විය. 
අයියාට දරුවන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් මා සමග තල් අරණටත් පොළොන්නරුවටත් සයිකල් පැද ගිය මධුෂාන්ය. අනෙකා ඇගේ සොයුරිය වූ මධුෂානි හෙවත් ස්වීට්ය! දරුවන් ලැබීමෙන් පසු ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ගෙවී ගියේ ඔවුන්ගේ අධ්‍යාපනය හා අභිවුර්ධිය වෙනුවෙන්ය. ඔහු කෙරෙන් ඈත්වී ගිය උසස් අධ්‍යාපනය තම දරුවන් වෙත ලබා දීමට ඔහු හැම උත්සාහයක්ම හැම අවස්ථාවේදීම ගත්තේය. ඔහුට පළමුවෙන්ම අවශ්‍ය වූයේ පොළොන්නරුවේ සිටි ඔහුගේ දරුවනට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමටය. ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක්වූ ප්‍රියන්ති අක්කාගේ මව ඔවුන් හා විසීම අයියාගේ සිහිනයට අත්තටු සැපයීය. දරුවන් බහ තෝරණ වයසේ සිට නිවසට පැමිණෙන අමුත්තන් ඔහු පෙරා ගත්තේය. දරුවන් බොහෝ විට ජීවත්වූයේ ඉංග්‍රීසි ලෝකයක් තුලය. මේ නිසාම ඔහුගේ දරුවන් ඉතා කුඩා කාලයේ සිට ජාත්‍යන්තර භාෂාව හොඳින් හසුරුවන්නට පටන් ගත්තේය. ඊට අමතරව ඔහු දරුවන් වැල්ලවත්තේ කොතලාවල පටුමගේ එලකියුෂන් පංති ගෙනාවේය. ඒ කාලයේ ඔහු රැකියාව කලේ අම්බලන්තොට වූ අතර සති අන්තයේ  පිටත්ව පොළොන්නරුවට පැමිණ දරුවන් පොළොන්නරුවේ සිට කොළඹට පැමිණ හවස් වරුවේ දරුවන්ව පොළොන්නරුවට ඇරලවා නැවත සේවා ස්ථානයට යයි. මේ කැපවීම මධුෂාන් මොරටුව විශ්ව විද්‍යාලයට යන තෙක්ම අකණ්ඩව නොවෙනස්ව පැවතුනි!
කිසියම් කාර්‍යයක් ඉටු කිරීමේදි  ඔහුට තිබුණු වීර්‍යය පිළිබඳව ලියන්නට අකුරු නැත.  ජීවිතයේ සියළු අරමුණු ඒකාග්‍ර කරමින් තම ඒකායන ප්‍රාර්ථනය මුදුන්පත් කර ගැනීමට ඔහු කටයුතු කිරීමට හේ කවදත් වෙහෙසේ. ගමනට රැයක් දවාලක් නැත. තම දරුවන්ගේ හා පවුලේ කටයුතු ඉටු කිරීමේදී කිසිදු වෙහෙසක් මහන්සියක් ඔහුට නොදැනේ. කොටින්ම ඔහුගේ පවුලේ; තිර පිටපත, අධ්‍යක්ෂණය, සංගීතය, සටන් පුහුණුව සියල්ල ඔහුගේය. ප්‍රියන්ති අක්කා නිශ්පාදනයෙන් සහය වූ අතර  ඔහු හැර සියළු සාමාජිකයින් ඔහුගේ ප්‍රධාන චරිතයට අනිකූලව රඟපාන සහයක නළු නිළියෝ වූහ!
මාගේ පුතු වසික පාසල් සමයෙදීම හෝ ඉන් පිටවූ නුදුරේදීම මත්පැන් බොනු ඇතැයි මා තුල සැකයක් පැවතුනි. බොහෝ විට එය පාසැල් මහා තරඟයේදී වීමට වැඩි ඉඩකඩක් තිබිය හැකි බැවින් ඔහු කරදඬු උස් වූ පසු එවන් දිනයකදී ඔහු මගහැර; එනම් නිවස මග හැර මා ඇතුළු පවුලේ සෙසු සාමාජිකයින් එදිනට ඔහුට නිවස පවරා යා යුතුයැයි මා එකල සිතා සිටියේය! ඒ එදිනට නිවසට පැමිණ ඔහුට රිසි සේ නිවසේ නිදහසේ සිට පසුවන දින අප නිවසට පැමිණෙන විට ප්‍රකුර්ථියෙන් සිටීමට අවශ්‍ය ඉඩ කඩ සලසා දීමේ අදහසිනි. මන්ද එවිට ඔහු හෝ අප කිසිවෙකු අපහසුතාවයට පත්නොවීම හා රාත්‍රිය වෙනයම් අනාරක්ෂිත ස්ථානයක ගත නොකොට නිවසේ සිටීමට ඔහුට හැකිවීම පිණිසය. මෙම අදහස සිතට ආ ඒ කාලයේ මා දිනක් අයියාගෙන් පැනයක් විමසීය.
"කවදා හරි දවසක ඔයාගේ පුතා අරක්කු ටිකක් බීලා ගෙදර ආවොත් ඔයා මොකද කරණ්නේ?" ඔහුගෙ දරුවා මාගේ දරුවාට වඩා වසර දහයකින් පමණ වැඩි මහළු බැවින් මා එසේ ඇසීය. ඔහු ටික වේලාවක් අහස පොලොව ගැටලන්න සේ ඔබ මොබ බලමින් සිට පිළිතුරු දුන්නේය.
"මගේ පුතා කවදාවත්ම එහෙම කරණ්ණේ නෑ!" එම පිළිතුර හා ඔහු එවන් ගැටළුවකට ප්‍රවිශ්ඨ වූ ආකාරය පිළිබඳව මා හට විවිධ මත පැවතියද මධුෂාන් අදටත් මධුවිතෙන් ඈත්වී සිටියි.
මා මගේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට වඩා ඔවුන්ගේ විෂය භාහිර ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කල අතර ඔහු දරුවන්ව අධ්‍යාපන පීල්ලේම ඉදිරියට ඇදගෙන ගියේය.
ඔහුගේ "චන්ද්‍රිකා" පවුල හා ඒ සමග සංකේන්ද්‍රණය වූ ජීවන රටාව නිසාම ඔහුට පෞද්ගලික ජීවිතයක් හෝ විනෝදාංශයක් නොතිබූ තරම්ය. සතියේ ඉරිදා පුවත් පත් කියැවීම හැරුණු කොට ගෙන ඔහු තම මනස පිනැවීමට යමක් කලා දැයි මා හට මතකය නොමැත. 
ඉලන්දාරි වයසේදී බෙහෙවින් චිත්‍රපට බැලීමට හේ මහත් අභිරුචියක් දැක්වුවද පසුව එයද ඔහුගෙන් අත්හැරී ගිය සේයාවකි. සමහර විට පසු කලෙක ඔහු චිත්‍රපටයක් නැරඹුවද ඒ සිය පවුල සමග කල කටයුත්තක් වන්නට ඇත. (බොහෝ විට මේ කරුණ නිසාම සම්භාව්‍ය හෝ කලාත්මක සිනමාව ඔහු කෙරෙන් ඈත්වන්නට ඇත!) 
ඔහු ශ්‍රී ලංකා වන විදුහලට ගිය අලුත ගීතයක් ගායනා කිරීමට උගෙන තිබුනි. ඒ ටී එම් ජයරත්නගේ "කුරහන් යායේ - සඳ උතුරාගෙන - සිතට දුකක් ගලනා මොහොතේ . . " ගීතයයි. එකල ඔහු අවස්ථා කිහිපයකදී මෙම ගීතය ගායනා කරණු මා අසා ඇති අතර ඉන් පසු කවර කලෙකවත් ඔහු ගීතයක් ගායනා කරණු තබා ගීතයක් රස විඳිනු මා දැක නැත. ඔහු මිලදී ගත් පලමු මෝටර් රථයට ෆියට් 1100 රථ්යට ෆිලිප්ස් කැසට් රෙකෝඩරයක් සවිකල බව හා එහි කැසට් වාදනය වූ බව යාන්තමින් මට මතකය.
ප්‍රියන්ති අක්කා; අයියාව බඳින්නට පෙර දක්ෂ කිවිඳියකි. එසේම ඇගේ මව හිටිවන කවි මඩු වල පවා කවි ගායනා කොට ඇති බව මා අසා ඇත. ප්‍රියන්ති අක්කාත් අයියාත් කසාද බැඳ නුදුරේ ඇය විසින් අපගේ  අම්මාට කවියෙන් පබදන ලද ලිපියක් එව්වා මට මතකය. එහි ලියා තිබුනු සමහර පැදි කොටස් තවමත් මාහට යාන්තමින් මතකය. 
කවි දහයකින් දොළහකින් පමණ සමන්විත වූ එම කවි පන්තිය අරඹා තිබුනේ "නිල පැරකුම් සයුර . . . " යනාදී වශයෙනි.  පොළොන්නරුවේ පිහිටි බැංකු කාර්‍යාලයේ සිට ලියන බව ඇය ලිවීම අරඹා තිබුනේ එසේය. එකල අපගේ තාත්තා සේවය කලේ තනමල්විල විය යුතුය. තාත්තා නිවසට පැමිණෙන්නේ සති අන්තයේ හෝ සති දෙක කට වරක්ය. එක් කවියක අවසන් පේලිය වූයේ "සති අන්තයේ තාත්ති විත් යන්න ඇතී . . " යනුවෙනි. කවි පන්තිය අවසාන කොට තිබුනේ "ලේලිය නොවේ අම්මේ මා ඔබෙ දියණී . . " ලෙසිනි. මේ සියල්ල වසර හතලිහක පමණ මතකයන්  ය! එහෙත් අයියා සමග විවාහ වීම සමගම ඇය තුල සිටි කිවිඳිය ඇයට ගිලිහී ගියේ ඉතාමත් අකාරුණිකවය. සමහර විටෙක "කවි පබැදීම" යනු "සිල්ලර" වැඩක් යැයි අයියා සිතා කටයුතු කිරීම හෝ එය අගරු වී යන තැන්කට ඉඩ හැඊම ඊට හේතු වන්නට ඇතැයි මා සිතමි. සේකර ගේ එක් කවියක "කවි ලිවීම" පිළිබඳව පොදු මහජන මතය පිළිබඳව ලියා ඇත්තේ එය "නොහොඹිනා" වැඩක් ලෙසට බව මට මේ මොහොතේ මතක් වේ.

ප්‍රියන්ති අක්කා තුල සිටි කිවිඳිය වෙනුවට තම පවුල ඉදිරියට පෙරළාගෙන යන තම සැමියාට දිරිය දුන් දිරිය කතක් බවට කාලය විසින් ඇයව පත්කොට තිබුනි. ඒ කිසිවකින් ඇය පීඩාවට හෝ කලකිරීමකට, කණගාටුවකට පත්වූ බවක් ඇය කෙරෙන් මා දැක නැත! ඒ  වෙනුවට නිරන්තරයෙන් තම සැමියාගේ අප්‍රතිහත් ධෛර්‍යය හා පවුල වෙනුවෙන් වූ කැපවීම ගායනා කිරීම කරගෙන යනු ලැබීය. මා දුටු පරිදි ප්‍රියන්ති අක්කා ඉතා ප්‍රියමනාප හා සමාජශීලී කාන්තාවකි. අයියාගේ දැඩි පාලනය හමුවේ තම සමාජශීලී බව ඇය විසින්ම හකුලා ගන්නට ඇත. මා බෙහෙවින් විශ්වාස කරණ සත්‍යයක් මෙහිදී ඉස්මතුවේ. එයද මා දුටුවේ කාන්තාවකගේ ලිවීමක් තුලමය. "ලාංකික පිරිමියා වඩත් ඇලුම් කරණ්නේත් ආකර්ශණය වන්නේත් කැපී පෙනෙන කාන්තා චරිත වලටය. එහෙත්  විවහ කර ගත්තාට පසුව ඇය ගතානුගතික ගැහැනියක් විය යුතුය!" සමහර විටෙක ප්‍රියන්ති අක්කා අයියාට පෙම් කවි ලියන්නට ඇති. ඒවා අයියා විසින් අගයන්නටත් ඇත. එහෙත් ඇය බිරිඳ වූවාට පසු එයට එතරම්  උත්කර්ෂයක් නොවන්නට ඇත!
කාලය විසින් අයියා තරග දුවන්නෙකු බවට පත්කොට තිබුනි. ඔහු තමා අවට සිටි සැවොම තමාගේ තරග කරුවන් කරගත් සේයාවක් මා දුටුවේය. ඔහු ස්වකීය විය හියදම් අකුරටම ශතයටම ගණන් හැදුවේය. ඒ ගණන් බැලීම් ඉක්බිතිව හැකි හැම ශතයක්ම ඉතිරිකලේය. ඔහුට ලැබෙන රුපියල් නවසීයට තවත් සීයක් එක් කොට ඝන පූර්ණයට පත් කොට බැංකුවේ ස්ථාවර තැන්පතුවකට යට කිරීමට ඔහු සැබෑ දක්ෂයෙකි. එහෙත් ඔහු ලෝභයෙකුද නොවීය. 
මේ සියල්ල අතරදීම වරක් ඔහුගේ රැකියාව නැතිවිය. රැකියාව නැති වුවද ඔහුට "වැඩ" නැති නොවීය. දුවා දරුවන්ගේ වැඩ, නිවසේ වැඩ, කඩවතින් මිළදී ගත් නිවසේ අලුත් වැඩියා සිදුකිරීම් ආදී අටෝරාසියක් වැඩ ඔහු තම කර මතට ගෙන තිබුනි. මේ සෑම කටයුත්තකදීම ඔහුගේ දැඩි කැපවීම හා නොපසුබස්නා බව දර්ශණය විය. 
මධුෂාන්ගේත් මධුෂානිගේත් ආවාහ විවාහ ඉතාමත් විචිත්‍රව පැවැත්වුනි. දරුවනට ඉඩ කඩම් යාන වාහන දායාද සේ ලැබුනි. එම උත්සව දෙකෙදීම; පවුල වෙනුවෙන් මංගල සභාව ඇමතීමට මට අවස්ථාව ලැබුනි. එම අවස්ථා දෙකේදීම මා පියවරු දෙදෙනෙක් පිළිබඳව මෙනෙහි කලෙමි. ඒ මාගේ මාමණ්ඩිය හා මාගේ අයියාය. ඔවුන් දෙදෙන තරම් ස්වකීය දරුවන් වෙනුවෙන් කැපවූ පියවරුන් මා කිසි කලෙක සාමාන්‍ය සමාජය තුල දැක නැත. 
මධුෂාන්ගේ විවාහයේදී නව යුවල ඉදිරියේ අයියා ඉකිබිඳ ඇඬූ අයුරු මාහට කිසිදු දිනෙක අමතක නොවනු ඇත. හේ ලේන්සුවකින් මුහුණ වසාගෙන ඇඬුවේය. ඒ ඇඬුවේ දුකටද නො එසේනම් සතුටටටද එසේත් නැතිනම් ස්වකීය පුත්‍රයා මෙම ස්ථානයට ගෙන ඒමට හේ කල කී දෑ මතක් වීමෙන්දැයි මාහට සිතා ගත නොහැක.
වසර ගනනාවකට පසුව අයියාට නැවත රැකියාව හිමිවිය. ඔහු ගේ නව රැකියා ස්ථානය වූයේ වව්නියාවය. රැකියාව තුල ඉතාමත් නීති ගරුක හා විනය ගරුක සේවකයෙකුවූ ඔහුව වන සංරක්ෂණ දෙපාරතමේන්තුවට බරක් විය. පසුව ඔහුව එම සේවා ස්ථානයෙන් ඉවත් කොට විශ්‍රාම ගන්නා තුරු වව්නියාව අඩවි වන කාර්‍යාලයේ පුටුවක හිඳුවා තැබීමට ඔවුන් කටයුතු කලෝය. 
විශ්‍රාම යෑමට ඉතා ආසන්න කාලයකදී; කාර්‍යාලයේදී; අයියා රෝගාතුරවී වව්නියාව රෝහලට ඇතුළු කර තිබුනි. මා ඔහුව බැලීමට වව්නියාවට ගිය අතර ඔහුගේ කතාවේ කිසියම් වෙනස් බවක් මාහට දැනුනි. තවත් ස්වල්ප කාලයකදී අයියා විශ්‍රාම ගියේය. ඔහුගේ රැකියාවේ අවසන් දිනයදා අයියාට උළුඳු වඩයක් සමග ප්ලේන්ටියක් වත් ලබා දීමට කාර්යාලයේ ඇත්තන්හට උවමනාවක් තිබී නැත. මීට කලකට පෙර මවිසින් ලියන ලද "193. සමුගැනිමේ සාද . . . . !" නම් බ්ලොග් පෝස්ටුවේ අයියාගේ රැකියා ස්ථානයේ අවසන් දිනය පිළිබඳව ලියා ඇත. 
ඉන් ඉක්බිතිව ගෙවී ගිය සෑම දිනයකදීම අයියා වඩ වඩාත් රෝගී බවට පත්විය. මධුෂාන් - ස්වකීය පුත්‍රයා හා දියණිය ඔහුගේ නිරෝගී බව වෙනුවෙන් නොකල දෙයක් නොගිය තැනක් නොමැත. අයිය දිනෙන් දින ඔත්පලවිය. කථා කිරීමට නොහැකිවිය. කෑමට බීමට බැරි විය කොටින්ම ඔහුගේ මස්තිෂ්කය අකර්මන්‍යවී ඇඳටම සීමා විය. එම කාලය තුල ප්‍රියන්ති අක්කා අයියාව ඉතාමත් ආදරයෙන් බලා කියා ගත්තාය.
මා දුටු සෑම මොහොතකම ඔහු අභිනවයෙන් තමාට කථා කිරීමට බැරි බව කියමින් ඇඬුවේය. ඒ නිසාම මා හැකි පමණ ඔහුව මග අරින්නට විය. ඔහුගේ ඇඬීම මා හට දරා ගත හැකි දෙයක් නොවුනි. ඔහුව තව දුරටත් ජීවත් කරවිය හෝ සුව කිරීමට නොහැකි බව මාහට දැනුම් තේරුම් ගිය දිනේ සිට; මා ඔහුට සුවදායික ඉක්මන් මරණයක් ප්‍රාර්ථනා කලෙමි. ඒ ඔහු දුක් විඳීම දකින්නට බැරිවාටත් වඩා ජීවිතයේ බොහෝ දුක්ක්ඛ දෝමනස්සයන්හටත් කටුකත්වයටත් මුහුණ දී තිබුනු ප්‍රියන්ති අක්කා හව දුරටත් අයියා මත්තේ වෙහෙසීමෙන් ඇයද රෝගී වේ යැයි තිබූ බය නිසා මය. 

ලිපිය ආරම්භයේ මා පැවසූ "දෙවියන්ගේ දානේ" කථාවේ සැකස්ම මා මෙතැන ලියන්නම් පොරොන්දු උනා සේම. කුඩා අයියා දැඩි සේ රෝගාතුර වේ. දරුවන් කිහිප දෙනෙකු සහිත දැඩි දුෂ්කරතාවයකින් පෙළෙන එම මවට කිසිවක් කර කියා ගත නොහැකිව දුක්ඛිතව පසුවේ. කුඩා දරුවන් හාමතේය. කුඩා දරුවා අම්මාට කොඳුරයි.

"අම්මේ අයියා මැරෙයිද?"

"ඇයි පුතේ . . ?"

"නෑ එතකොට අපිට පල්ලියෙන් දෙයියන්ගෙ දානේ ලැබෙයිනේ . . !?"

එම කෙටි කථාවේ හරය විය. 

අයියාගේ පවුලේ සියළු දෙන පැය 24 පුරාවටම වෙහෙසුනු මුත් කිසිවකින් ඔහුගේ ගමන නවතා ලීමට කිසිවෙකුටත් නොහැකිවිය. 

මීට මාස ගනනාවකට පෙර ඔහු; රාගම රෝහලෙදී අප අතරින් වෙන්ව ගියේය. මාගේ මතකය නිවැරදිනම්  ලියෝ ටෝල්ස්ටෝයිගේ "මිනිසාට ඉඩම් කොපමණ උවමාණාද?' කෙටිකතාවේ  අසරුවා සේ මාගේ ආදරණීය අයියා මුළු දිවිය පුරාවටම වේගයෙන් අසරුවා පැදවූවේය. ඔහු කාලය අභිබවා වේගවත් විය. එහෙත් ජීවිතය අවසන් වූයේ ජීවිත කාලයට පෙරය. එහිදී මරණය; ඔහුගේ  ජීවිතය පසුකර දිව ගියේය. 
දුම් පානය නොකල, මත්පැන් කටේ නොතැබූ, සීනි කොලෙස්ට්‍රෝල් තබා ඉහෙන් බහින රෝගයක් නොතිබූ ඔහු වයස අවුරුදු  63 දී මියගියේය. ඔහුගේ ජීවිතය අපට අපූරු පාඩමක් කියා දේ! එය මෙසේ ලිවීමට නොහැක. මන්ද තම තමාට ගැලපෙන තැනින් තම තමන්හට ගලපා ගත හැකි කොටස් ඔහුගේ ජීවිතයේ වූ බැවිනි.
 "අයියේ! මම ඔයාට කියන්නට තිබූ බොහෝ දේ කියන්නට බැරි උනා ඔයාගේ දැඩි අදහස්, අධිෂ්ඨානය, හඹායෑම ඉදිරියේ. මම සමහර අවස්ථාවලදී ඒ ගැන පැවසූවද මගේ වචන ඔයාට තේරුම් ගැනීමට බැරි උනා. එදා සන්ධ්‍යාවේ අපෙන් සදහටම වෙන්වී යන මොහොතේ  ඔයාගේ "තාත්තා" භූමිකාව ගැන මම කියන්නට හිතාගෙන හිටියත් එය සංවිධානය කල අයට මාව අමතක වන්නට ඇති. ඒත් හිතේ මහා දුකක් නම් නෑ. මොකද; ඔයා ජීවත්ව ඉඳිද්දීම හතර වරිගය ඉදිරියේ මා දෙවරක්ම ඔයා ගැන වීරාභවන්දනයෙන් යුතුව කතා කොට ඇත. සත්තකින්ම ඔයා වීරයෙක්. ඒත් මැරෙණ්න තිබුනෙ මෙහෙම නෙවෙයි!"

Tuesday, December 13, 2022

246. පද්මන් වන්නිආරච්චි

 

මම යුනයිටඩ් මෝටර්ස් ආයතනයට සේවයට ගියේ අදින් වසර 13 කට පමණ පෙර යැයි මාහට සිතේ . ඊට වැඩි මිසක් අඩුවක් නම් වන්නට ඉඩක් නැත. පලමු සම්මුඛ පරීක්ෂණය පැවැත්වුනේ කුමාර් එදිරිසිංහ මහත්තයයි චන්දිම කුරුප්පු හෙවත් චන්දිම අයියයි ඉදිරියේ. ඥානරත්න මහත්තයත් හිටියාද මංදා! ඒ කාලේ කුමාර් එදිරිසිංහ මහත්තයයි ඥාන රත්න මහත්තයයි දෙන්නා නියෝජ්‍ය සාමාන්‍යධිකාරි වරුන් හෙවත් තේරෙණ සිංහලෙන් කියනවා  නම්  AGM ලා, චන්දිම අයියා ට්‍රක් ඇන්ඩ් බස් සෙක්ශන් එකේ බොස්! චන්දිම අයියානම් ඉන්ටර්වීව් එකේදී කෙළ කරණ්න ප්‍රශ්ණ ඇහුවේ නැති බව නම් මතකයි. නමුත් අවසාන පරීක්ෂණයට මුහුණ දුන්නේ එවකට වැඩහලේ සාමාන්‍යධිකාරී හෙවත් GM Workshop පද්මන් වන්නිආරච්චි මහත්තයා සමග. වැඩහලේ සාමාන්‍යාධිකාරී හෙවත් GM කිව්වාම මගේ හිතේ ඇඳිලා තිබ්බේ හයේ හතරෙ ඩයල් එකක්. ඥානරත්න මහත්තයත් හෙන කඳයා වගේ හිටපු නිසා මට එහෙම හිතුනු එකේ ලොකු වැරැද්දකුත් නැහැ. ඒත් එතුමාගේ කුටියට ගියාමයි වැඩේ හරියටම තේරුණේ. 

ඔහු සිරිරෙන් ඉතා කුඩා මිනිසෙක්. මුහුන පුරා නැතත් යට දාරයට වෙන්න එහෙන් මෙහෙන් සුදු වුනු රැවුලක් තිබුනා. හරියටම ඉස්සර ගෝල් ලීෆ් පැකට් එකේ ජෝන් ප්ලේයර් ලොක්කා වගේ. ඒ කිව්වාමයි මතක් උනේ පද්මන් මහත්තයා නාවුක හමුදාවේ කලකට පෙර සේවය කරපු ගිණි සීනියර් පොරක්. ඔය වග මට කිව්වේ පසු කලෙක අපි එක්ක වැඩ කරපු නානායක්කාර මහත්තයා. 

පද්මන් මහත්තයාගේ මුල් ගම් වේයන්ගොඩ පැත්තේ. පද්මන් මහත්තයාගේ වැඩක් තිබ්බා කතා කරණ්නේ අමු සිංහලෙන් . ඉංග්‍රීසියෙන් නම් ඒත් එහෙමයි. එතුමාගේ දින චරියාව උනේ උදේ 6.00 විතර වෙන කොට වැඩට ඇවිත් පලවෙනියෙම්ම මුළු වැඩහල පුරා විදුලි වේගයෙන් ගමන් කිරීම. ඒ ගමනේදී මුළු අක්කර හත පුරාවට තියෙන තිබුනු සියළුම වාහන වල විස්තර ටික ස්කෑන් කර ගන්නවා. දොරවල් ඇරලා තිබුනු ඒවා, යතුරු කටේ තියලා හවසට ගෙදර ගිය වාහන, වැරදි තැනක නවත්තලා තිබ්බ ඒවා මේ හැම එකක්ම ස්කෑන් කරගෙන ඇවිත් තමයි තමංගෙ කාමරේට රිංග ගෙන දත් කූරු කන ගමං බත් එක කන්නේ. එක කාලා ඉවර වෙලා සිස්ටම් එක ඔන් කරගෙන රාජකාරි පටං ගන්නවා. 

අපේ රැකියාව පටං ගන්නේ උදේ 8.30ට. කැන්ටිමට ගිහිං පරටා තුනක් කාලා හොරෙං ගෙනාපු සිගරට් එකක් තියේ නම් ඒකත් බෝ ගහ අයිනෙ ඉඳන් ගහලා ඩෙමාලා එක්ක පොඩි වච වචයක් දාලා තමයි සෙක්ශන් එකට එන්නේ. ඔය එන ගමනේදී තමයි යම රජ්ජුරුවන්ගෙන් කෝල් එක එන්නේ. මොබයිලයේ තිරේ මත "GM" කියලා දකින කොටම කාපු බීපුවා පිච්චිලා ගිහිං ඉවරයි. 

"ගූඩ් මෝනිං සර්" අපි කතාව එහෙම පට ගන්න ඉස්සෙල්ලම පදමන් මහත්තයා හෙමිං ඇහෙන නෑහෙන ගානට "පද්මන්!" කියලා තමංව හඳුන්වා දෙනවාත් මට මතකයි. එතැණ් පටන් එක දිගට පෙර වැරදිවලට පද්මන් මහත්ත්යා වචන දමා වෙඩි තැබීම අරඹනවා! ඒත් එයාගේ තිබුනා හොඳ ගතියක්. මොන තරං කේස් එකකට කතා කලත් එයා අහන පලමු ප්‍රශ්ණය උනේ "කතා කරන්න පුළුවං තැනකද ඉන්නේ?" කියන එක! අපිට ඉඩක් තිබුනා පසුව කතා කරණ්න තැන අවුල් නම්.

ඒ කාලේ යුනයිටඩ් මෝටර්ස් වැඩහලේ ඔහුගෙන් බැනුම් අහපු නැති කෙනෙක් හිටියා නම් මං හිතන්නේ ඒ බෝතලේ ජයවර්ධන මහත්තයා විතර වෙන්න ඇති. මේක දැක්කම ජයවර්ධන මහත්තයා ඒ ගැන හරියටම කියයි. ඒ වගේම ඔහුගෙන් තරම්; අම්ම තාත්තගෙන්වත් බැනුම් ඇහුව බවක් මටනම් මතක නැහැ. හැබැයි එකක් මොකක් හරි අවුලක් උන ගමන් එයාගේ කාමරේට අඬ ගහලා එක දිගට ප්‍රශ්ණ කිරීම පටන් ගන්නවා. දෙයියනේ කියලා එයා අහන අහන එකට "ඔව් සර් කිව්වා!", "ඔව් සර් කලා!", "ඔව් සර් ඇහුවා!" කියන්න පුළුවන්නම් ඒ කියන්නේ අපේ පැත්තෙන් අපි පිළිවෙලටම වැඩේ කරලා. ඒක එහෙම උනෝතින් "අනේ එයාට සරුංගලයක් ඇරගන්න කියන්න!" කියලා වැඩේ භාර දෙනවා අදාල අංශයේ AGM ට. බොහෝ විට ඕකට අහුවෙන්නේ කුමාර් එදිරිසිංහ මහත්තයා. "කුමා අනේ පොඩ්ඩක් බලන්න අර කොහෙද යන පිස්සෙක් මෙයාට කම්ප්ලේන් එකක් කරලා!" එහෙමයි වැඩේ කෙළවර වෙන්නේ.

කරුමෙටවත් අපි පොටක් වරද්දගෙන තිබ්බොත් දෙයියන්ගේම පිහිටයි. ඒ කාලයේ අපට වාහනයක් රෙපයාර් එකට ආවාම ඒක හදන්න කලින් ඇස්ටිමේට් එකක් වාහනේ අයිතිකරුට ඉදිරිපත් කොට ඊට අදාල අනුමැතිය ලැබුණු පසුවයි වැඩේ පටන් ගන්නට පුළුවන් වෙන්නේ. සමහර අවස්ථාවලදී වැඩහලට වාහනය ගෙනෙන රියැදුරුගෙන් අප විමසා වැඩේ පටන් ගන්නවා. ඒ අයිතිකරු සම්බන්න්ධ කර ගැනීමට අපහසුව හෝ අතපසු වීම නිසා වෙන්න ඕන! සීයට අනූවක්ම කිසි අවුලකින් තොරව වැඩේ කෙරුනත් සමහර අයිති කරුවන් සමහර වෙලාවට ඒකට ලෙඩේ ඇදීම වෙලාත් තියෙනවා. බොහෝ වේලාවට රියැදුරු; තමන් අනුමැතිය දුන් බවක් කියන්නෙත් නෑ අපි කීවාට පිළිගන්නෙත් නෑ. එයාලා ඒ අයගේ පශ්චාත් භාගය බේරා ගන්නවා "මට කිව්වේ නෑ!" කියලා. මෙවැනි අවස්ථාවලදී පද්මන් මහත්තයා ප්‍රශ්ණ කරණ්නේ ඔහුගේ සුපුරුදු වාග් ශෛලියෙන් මෙන්න මේ විදියටයි.

"දැන් ඔයා මේ අලුත්වැඩියාවට මේ තරම් මුදලක් යනවා කියල්ලා පැහැදිලිව කිව්වාද?"

"කිව්වා සර්!"

"එහෙනම් මේ අයිතිකරු කියන්නේ එයා දන්නේ නෑ කියලා!"

"සර් මම කස්ටමර්ව කන්ටෑක්ට් කරණ්න දෙතුන් පාරක් ට්‍රයි කලා. එයාව කන්ටෑක්ට් කරගන්න බැරි උනාම ඩ්‍රැයිවර්ට කියලා . . . . "

"රියැදුරන්ට කියලා වැඩක් නෑ කියලා මම කී වතාවක් කියලා තියෙනවාද? ඔයාද මේකෙ CEO? ඔයාටයි මටයි මේ කර්මාන්තෙ කරණ්න බෑ. . . . . . . .!" එතැනින් එහාට කතා කොට පලක් නැත. බලු බැනුංය! නමුත් එක දෙයක් - ඔහු බැන වැදුනාට පසු වෙන කිසිවෙකුහට ඉන් පසුව අපට බැනුම් අහන්නට ඔහු ඉඩ නොතබයි! අහුවුනු හොරාට ගසා පොලීසියට භාර දීම ඔහුගේ ක්‍රමය නොවේ. ඔහු ගැහුවාට පසු පොලීසියට අත තියන්නට ඔහු ඉඩ නොදේ. ඔහු ඊට පිට දේ!

අපගේ වැඩහල පුරා ගැවසෙන දඩාවතේ යන බල්ලන් කිහිප දෙනෙකු සිටියේය. ඔවුන්ගේ ප්‍රථම රාජකාරිය වූයේ උදෑසන 8.30ට යකඩ කටින් කෑගසන ජාතික ගීයට; තගයට උඩු බුරලීමයි! වරක් වැඩහලට පැමිණි පාරිභෝගිකයෙකු අතින් එක් බල්ලෙකු යටවිය.

පදමන් මහත්තයාහට මෙය ඇසුණු සැණින් ක්‍රියාත්මක විය. පාරිභෝගිකයාව වහාම මුණ ගැසුණු ඔහු පාරිභෝගිකයා ඇමතීය!

"කරුණාකරලා ඔය මහත්තයා තමංගෙ වාහනේ අරං ඉක්මණින්ම පිටවෙන්න. බල්ලෙක්ව බේරගෙන වාහනේ එළවන්න බැරි ඔබතුමා මෙතන වැඩ කරණ මිනිහෙක්වත් යට කරයි!" ඔහු පාරිභෝගිකයාව වැඩහල් පරිශ්‍රයෙන් ඉවත් කලේ එසේය!

අපගේ ප්‍රධාන කාර්‍යාලයේ දිසානායක නම්වූ ඉහල රැකියාවක් කල පඬිතුමෙක් වාසය කලේය. ඔහු පාසල් කලේ ආනන්දයේය. එකල ඔහුව ඇමතූවේ "කටා" යන නමිනි. ඒතරම්ම අනගිභවනීය කටකට ඔහු හිමිකම් කීය. ඔහු සේවය කලේ වාහන විකුණුම් අංශයේ වන අතර දිනක් පැවැත්වූ සේල්ස් මීටිමකදී ඔහුගේ විකුණුම් පහත වැටීමට හේතුව ලෙස දක්වා තිබුනේ වැඩහලේ වැඩ කටයුතු වල  දුභල තාවය නිසා පාරිභෝගිකයින් අපගේ වාහන මිළදී ගැණීමට පැකිළෙන භවයි. 

මීටිම ඉවර වීමටත් ප්‍රථම පද්මන් මහතාට මේ බව ආරංචි විය.ඔහු වහාම වැඩහලේ ආරක්ෂක ප්‍රධානි ඇමතුවේය.

"අර . . . . .  දිසානායක ගේ වාහනේ කිසිම ගේට්ටුවකින් ඇතුලට ගන්න එපා! එයාට කියන්න එයාගේ වාහනේ හොඳ තැනකින් හදා ගන්න කියලා!" එවකට දිසානායකට ආයතනයෙන් වාහනයක් ලබා දී තිබුනෙය. එහි ලිහිසි සේවා හා අලුත්වැඩියාවන් සිදුවන්නේ අප වෙතිනි. පුරා වසරකට ආසන්න කාලයක් දිසානායකගේ වාහනයට අපගේ වැඩහල තහනම් ප්‍රදේශයක් විය. පසුව පද්මන් මහත්තයාගෙන් සමාවගත් පසුව යලිත් දිසානායකට වැඩහල විවරවිය! 

එකල මසකට හෝ දෙකකට වරක් වැඩහල් අංශයේ අප පද්මන් මහතා සමග කොහේ හෝ ගියෙමු. ශ්‍රමධානයක්ද මළ දානයක්ද පාටියක්ද මලගෙයක්ද කුමක් හෝ අවස්ථාවක් අප එක්වීමට යොදා ගත්හ. එවන් අවස්ථාවලදී අප සියල්ලන්ම එක් පවුලක් සේ එකට කාබී සුපිරි ආතල් එකක් ගත්තෙමු. පෙර දිනයේ බැනුම් අහපු කථා එදිනට අප සිහි කරණ්නේ ඉල අල්ලාගෙනය. රඟ පාමින්ය! දිනක් එවන් අවස්ථාවකදී මා පද්මන් මහතාට කිට්ටුවී "සර් අපි වැරැද්දක් කලාම එකසිය ගානට බණිනවා. ඒත් හොඳක් කලාට ඒකට කිසිම හොඳක් කියන්නේ නෑනේ!?" ඔහුගේ පිළිතුර ඉතා කෙටි විය. "ඒකට තමයි පඩි දෙන්නේ!?"

පසු ගිය ඉරිදා දිනයේ යුනයිටඩ් මෝටර්ස් ආයතනයෙන් ඉවත්ව ගිය පිරිස එක් රැස් විය. එදින කලකට පසුව පද්මන් මහත්තයා හමුවීමට අවස්ථාවක් ලදිමි.

"සර්ට මතකද ඒ කාලේ සර් අපෙන් ඇහුවාම ඔයා හෙට යනවද කියලා ඒකට අපි හෙට නම් යැවෙන්නේ නෑ කිව්වාම; යැවෙන්නේ නෑ? යැවෙන්නේ නෑ තමයි! යන්නෝන! කියලා කෑ ගහනවා. මම මේ ඊයේ පෙරේදා අපේ දුවත් මොකද්ද ඔය වගේ අනියමාර්තෙ උත්තරයක් දුන්නාම මළ පැනලා කිව්වා ඔයා වැඩ කලා නම් වන්නො ආරච්චි මහත්තයත් එක්ක ඔයාව ගෙදර එළවලා කියලා කිව්වා"

"ඒ ගොල්ලො කොහොමද මාව දන්නේ?"

"ඇයි සර් සර් අපිට බැන්නාම අපි ගෙදර ගිහිං කියනවානේ?"

පද්මන් මහත්තයාට හිනාය!

මා යුනයිටඩ් මෝටර්ස් ආයතනයෙන් ඉවත්ව ඔටෝ මිරාජ් ආයතනයට එක්වී; ඔටෝ මිරාජ් ආයතනයේ විශාලතම මුදල් ඉපැදවීම කල ශාඛාව කළමණාකරණය කරද්දී පද්මන් මහතාගෙන් උගත්දෑ අත්දුටු දේ බොහෝ සේ උපකාරී වුනු බව මා ඔහුට එහිදී පැවසීය.

එකල භාවිතයේ පැවති මිට්සුබිෂි පමනක් නොව නිසාන් ටොයෝටා හා වෙනත් ඕනෑම වාහනයක එන්ජින් මොඩලය, හා වාහනයේ සියළුම තාක්ෂ්ණික කාරණා අතැඹුලක්සේ හේ දැන සිටියේය. මා දැනට පාවිච්චි කරණ අවුරුදු පණහකට ආසන්න ටොයෝටා HJ45 රථය පිළිබඳව පැවසූ සැනින් හේ පෙරළා මගෙන් විමසූවේ "ඕකෙ තියෙන්නේ H හරි 2H  හරි එන්ජිමක් නේදැයි කියාය!

කාලය විසින් යුනයිටඩ් මෝටර්ස් ආයතන්යෙන් ඔහුට සමුගැනීමට සිදුවී පැවැත්වූ අවසාන හමුව මට අද වාගේ මතකය. ඔහුගේ අවසාන වදන් පසු ගිය ඉරිදා මා ඔහුටම පැවසූ විට ඔහු නිහඬව සිටියේ එය අනුමත කරමිණි.

"මේ මගේ තාත්තාගේ වියෝවෙන් පස්සෙ වැඩියෙන්ම දුක් වෙන දවස!"මේ එතුමන්ගේ වචන. දැන් ඒ වචන අවුරුදු 5ක 6ක අතීතයක්. 

ඒත්;

ඔව් සර්! අපිටත් ඒ දවස අමතක නොවේවි කවදාවත්ම!

Monday, December 5, 2022

244. මව්බිම වටා සයිකලයෙන් . . . 8

243. මව්බිම වටා සයිකලයෙන් . . . 7

2022/04/15


අද දිනයේ අපගේ ගමනාන්තය විය යුත්තේ මුලතිව් නගරයයි. ත්‍රිකුණාමලය සිට මුලතිව් නගරයට කිලෝමීටර 117 ක් පෙන්නුම් කරයි. මාගේ ජීවිත කාලය පුරාවටම මෙම මාර්ගයේ ගමන් කොට ඇති උපරිම දුර වන්නේ පුල්මුඩේ නගරය වෙත පමණි. මුලතිව් පිහිටා ඇත්තේ පුල්මුඩේ සිට තවත් කිලෝමීටර 63ක් ඔබ්බෙනි.  සාපේක්ෂව අද දින අපට පැදිය යුතු දුර ප්‍රමාණය අවමයකි. පසු ගිය දින කිහිපය පුරාවට දවස තිස්සේ සයිකල් පැද්ද අපට ඒ වන විට කිලෝමීටර 117 යනු අඩු ප්‍රමාණයකි. අවම වේගයෙන් ගමන් ගත්තද අපට අද ඇත්තේ පැය 5 1/2 ක ධාවන කාලයකි. 

එදින රාත්‍රිය බොහෝ දීර්ඝ එකක් විය. හොඳ මුසුවක් හෝ සාර්ථක කට ගැස්මක් නොමැතිව පෙරදින සවස් යාමයේ සිට රාත්‍රිය එළඹෙන තුරුත් මධුවිත තොල ගාමින් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බොමින් සිට නින්දට ගියද; හිසරදය නින්දට හරස් කපමින් විය. විටෙක කොට්ටය මතද තවත් විටෙක කොට්ටය යට හිස සඟවා ගනිමින්ද මා හිසරදය මග ඇරීමට උත්සාහ ගත්තෙමි. එහෙත් ඒ සියළු උත්සාහයන් ව්‍යවර්ථ කරමින් මධ්‍යම රාත්‍රිය ඉක්ම යනතුරුත් මා ඉන් පෙළුනෙමි. අවසානයේ නින්දෙන්ම ඇවිද ගොස්  ප්‍රථමාධාර මල්ලේ පසෙක් තිබූ "ප්‍රොබෙටා එන්" බිංදු කිහිපයකට මාගේ නින්ද මා වෙතට ගෙන ඒමට හැකිවිය. 
පලමු දිනයේ මහා වැසි මැද කොග්ගල ගුවන් තොටුපොල පසු කරමින් සිටිනා විට මා හට ඇමතුමක් ලැබුනේය. ඒ කැන්ගරු දේශයේ වසික ගෙන්ය. සයිකල් පදින විට එන ඇමතුම් යනු "වහකි"! වැසි මැද සයිකලය පදින විට එන ඇමතුම වස කුප්පියකි!! මන්ද වැස්සෙන් මොබයිලය බේරා ගැනීමට; අත දරුවෙකු සිරී පාදයේ ගෙන යන විට සේ ආවරණය කොට තිබෙන විට එන කෙඳිරිය මහත් ඵල මහානිසංස ගෙන දෙන කටයුත්තකි. එදිනද එසේ පැමිණි දූරකථනයෙන් වසික කිලෝ මීටර 8000 කට ඈත සිට පැවසුවේ "තාත්ති මට බනින්න එපා මම හදිස්සියේම ගෙදර එනවා!" කියාය. එසේම ඔහු වැඩි දුරටත් පැවසූවේ ඔහු පැමිණෙන විට;  ලංකා දාරයේ මා සිටිනා ඉසව්වට ඔහු පැමිණෙන බවය!
"විසේ ඇති ඌරෝ රෑ දවල් දෙකේ හාරති!" "ගහේ කටු උල් කිරීමට අවශ්‍ය නැත!" "තාත්තා කලදේ පුතා නොකලොත් ඌ නොට් උගේ පුතාය!" මේ හැම දෙයින්ම කියන්නේ ඌටද මට මෙන්ම ජාන ගත චර්ම රෝගයක් හෙවත් නොසන්සිඳෙන කැසිල්ලකින් යුක්ත වන බවයි! ඔහු එන්නට නියමිත වන්නේ අදය! හෙට වන විට අප සිටිය යුත්තේ මුලතිව් නගරයේය. මේ වන විට දින දෙකේ නිවාඩුව පිළිබඳ අපේක්ෂාවන් අමතක කොට දමාය. ඔව් ඉක්මණින් ගෙදර යා යුතුය! 















පෙරදින රාත්‍රිය ගතකල Jungle Bay නවාතැන් පොලට හිරු උදාවී ඇත. අප ඉක්මණින් එයින් නික්මුනෙමු. ඊයේ රාත්‍රියේ අපට ආහාර ලැබුනේද ප්‍රභාත් මල්ලීගේ අනුග්‍රහයෙනි. ඔවුන් අප දෙදෙනාගේ බත් පාර්සල් දෙක ගෙනැවිත් නවාතැන් පොල අසල වූ නැගෙණහිර විශ්වවිද්‍යාල පාරිශ්‍රයේ මුර කුටියට භාරදී ගොස් තිබුනේය. ඊට හේතුව වූයේ ප්‍රභාත් හට කිසියම් හදිසි කටයුත්තක් යෙදී තිබුනු බැවිනි. හොඳ හැටි මධුවිතෙන් සප්පායම් වූ අප දෙදෙන ඒ මේ අතට වැනෙමින් කැලය මැදින් වූ ගුරු පාර ඔස්සේ කට්ට කරුවලේ කිලෝමීටර දෙකක් පමණ ආවෙමු. එම ගමනද මට කෙසේ වෙතත් නිශාන්හට ජීවිත කාලයටම අමතක නොවන ගමනක් වූවාට සැකයක් නැත. ඒ පිළිබඳව නිශාන්ගෙන්ම අසා දැන ගත යුතුය. ඒ අමු හීබෲ බසින් මා ප්‍රභාත් සහ ඔහුගේ නෑසියන් අමතමින් පාර පුරා පැමිණීම නිසා බව පසුව නිශාන් පැවසීය! බලාන්ටකෝ බීවාම වෙන දේවල්? සු දින අප නවාතැන් පොලෙන් පිටත් වී නැවතත් ගුරු පාර හා තැනින් තැන වූ මඩ කඩිති මග අරිමින් පැමිණෙන විට පෙරදින පැමිණි ගමන පිළිබඳව මා පුදුමයට පත් වුනෙමි. මේ පහතින් දැක්වෙන්නේ එම මාර්ගයයි.





ත්‍රිකුණාමලය - පුල්මුඩේ ප්‍රධාන පාරට පිවිසුනු අප නිලාවේලි පොලීසිය අසල අභිනවයෙන් විවෘථ කරණ ලද මුස්ලිම් ආපන ශාලාවකට ගොඩවී උදෑසන කිස නිමවීය. එතැන් පටන් අපගේ ගමන් මග වැටී තිබුනේ මා බොහෝ කාලයක් ආ ගිය මගක් ඔස්සේය. ගමන පිටත්වී කුඩා කාලයකින් අපට ඉරක්කණ්ඩි පාලම මුණගැසුනි. ඉරක්කණ්ඩි පාලම; කිමිදුම් කරුවන් අතර තරමක් ප්‍රචලිතය. මන්ද ඒ අසල ගිළුනු නෞකාවක් මීටර 10 ක පමණ මෑතක හෙවත් අඩු ගැඹුරකින් යුක්තව පිහිටි හෙයින් ය! කිමිදුම් කරුවන් අතර ගිළුණු නෞකා කිමිදුම හෙවත් Wreck Diving  ජනප්‍රිය ඉසව්වකි. ලංකාව වටා මුහුදේ ගිළුනු නෞකා බොහොමයක් ඇත. ඒ පිළිබඳව ආතර් සී ක්ලාක් විසින් ලියැවුනු Classic Diving in Ceylon පොතේ සඳහන් කොට ඇතැයි මා අසා ඇත්තෙමි. අහෝ දුකකි! ඉරකි!! තිතකි!!! එම පොත දැන් දකින්නටවත් නැත. වරෙක කොළඹ ගාමිණී හෝල් වට රවුම අසල පැරණි පොත් කඩ තුල මමද එය සොයා බැලූ මුත් ඒ ගැන අසා ඇති අයද දුලභ කාරණාවක් විය!
ලංකාව වටා ගිලී ඇති නෞකා කොපමණ දැයි සොයා බැලීමට මෙතැනින්  පිවිස බලන්න. මෙම ලැයිස්තුවේ පහලින් Irakandy Wreck  ලෙස දක්වා ඇත්තේ මා කලින් පැවසූ නෞකාව පිළිබඳවය. මෙම  SS Ava නෞකාව මෙහි ගිලී ඇත්තේ 1858 වසරේදීය!

7.22am


Irakkandi Bridge

7.53am






මෙම ගමන් මගේදී පසු කරණ ප්‍රසිද්ධ ස්ථාන දෙකක් ඇත. ඉන් එකක් වන්නේ Jungle Beach හෝටලයයි. අනෙක රයිගම් ලුනු ලේවායයි! රයිගම් ලුනු ලේවාය පිහිටුවා ඇති ස්ථානයේ මීට කලකට පෙර වැවක් තිබුනාලු. ගම් වාසී බොහෝ පිරිසක් එම වැවේ ධීවර කටයුතු වල නියැලී ඇත. මෙම ලුනු ලේවාය පිහිටුවා ලීම සඳහා වැව අත් පත් කර ගැනීමට පෙර කී සමාගම අහිංසක ධීවරයින් සමග සංධානයකට එළබුනේලු. ඒ ලේවායේ රැකියාව දීමේ පොරොන්දුව මත වැව සමාගමට පැවරීමයි. එතැනින් එහාට සිදුවූ දේ ලාංකික ඔබට පැවසීමට මා කාලය නාස්ති නොකරමි!

8.05am

මෙම ගමන් මගේ 34 වෙනි කිලෝමීටර කනුව පසු කරණා විට කුච්චවේලි කුඩා නගරය හමුවේ. බෞද්ධයින් අතර ප්‍රසිද්ධ පැරණි පූජා භූමියක්වූ තිරියාය හා ගිරිහඩු සෑය බැලීමට ප්‍රධාන පාරෙන් හැරෙන්නේ කුච්චවේලි නගරයේ පොලීසිය අසලින්ය. ඒ අසල තවත් පුරා විද්‍යා ස්ථානයක්ද පවතී. මාගේ මතකය නිවැරදි නම් තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ගොඩ බැසි ස්ථානය ඒ අසලම පවතී. අප එතැන් සිට තවත් ඉදිරියට ගමන් කරද්දී හමුවන්නේ 37 කනුව හා එතැනින් ඇරඹෙන කුඩා ගම් පියසය. 55. තට්ට තනිවම තට්ටයා නමැති මා විසින් මුල් කාලයේ ලියන ලද බ්ලොග් පෝස්ටුවක් වේ. එය ජීවිතයේ ගමන් මග වෙනස් කල ලියවිල්ලකි. එම ලිපියට අදාල ප්‍රදේශය ඇරඹෙන්නේ මෙම 37 කණුවෙනි. ඉහත සඳහන් බ්ලොග් පෝස්ටුවට මොහොතකට ගොඩ වැදී බලන්න. එහි සඳහන් මගේ අනුපමේය මිත්‍රයා අමීර් හමුවීම මාගේ ඊළඟ අරමුණ විය!
8.30am

අමීර් ගැන වෙනමම පෝස්ටුවක් ලියන්නට උවමණා අයෙකි. ඔහු පිළිබඳව පැවසීමට; මට ඒ තරම් මතක ඇත. සත්තකින්ම ඒවා ඉතාමත් රසවත් හා හෘද්යාංගම වූ මතකයන්ය. ඔහු ගැණ මා ලියා තැබිය යුතුමය. අමීර් හා ෆවුසියා අපට "බීම" ගෙනැවිත් දෙන්නට සැරසුන මුත් අප වතුර වීදුරු දෙකක් පමණක් බී ඉවත් උනෙමු. මෙහිදී මම "බීම" ලෙස දක්වා ඇත්තේ; ඔවුන් "සිසිල් බීම" හඳුන්වන පොදු වචනය එය බැවිනි.

8.43am
Pudawaikkattu Bridge













මෙම නැගෙණහිර පලාතේ; ලංකා දාරයේ හෙවත් ගැට්ටේ  දක්නට ලැබෙන බොහෝ පාලම් ස්ථාපිත කොට ඇත්තේ ගංගා හෝ ඇල දොළ මතින් නොව කලපු මතින්ය. එම කලපු ඈතින් ඈතට දිව ගොස් වටා බැඳි කඩොලාන පවුර අතර සැඟව යයි. ඒ නිසාම එම කලපුවට එක් වන වාරි මාර්ගයක් දක්නට නුපුළුවන්ය. මේ නිසාම මෙම පාලම් මත සිට දෙපසට ඇත්තේ අයස්කාන්ත දර්ශණයන්ය.  බොහෝ විට ඒවා බොහොමයක් සර්වසම නිවුන් සොයුරියන් සේය. ඒවා තමන්ගේ රූ සපුව වෙනුවෙන් තරග වදිති! 

9.08am


9.23am


අප නැගෙණහිර පලාත ඔස්සේ මේ ගමන් කරණ්නේ වැසි වැටී නැවතුනු අල්ල පනල්ලේමය! එහෙත් ත්‍රිකුණාමළයෙන් ඈතට යත්ම යත්ම; විශේෂයෙන් පුල්මුඩේ නගරයට කිට්ටු වෙත්දීම හා ඉන් ඔබ්බට ගමන් කරද්දී; අවට පරිසරයෙන් පෙනුම් කලේ තරමක කාෂ්ඨ ස්වභාවයකි. ගවයන් හා එළුවන් විසින් බිමටම සමතලා වේන තුරු උලා කෑ තණ බිම් මත තැනින් තැන අහසට දිගුවූ තල් ගස් තණිකඩව හා පවුල් ගතව සිටියහ. සමහරක් තැණ් වල තල් ගස් හතර පහ - දහය දොළහ එකට එක් වී දොඩ මළුව සිටිනු දක්නට ලැබුණි. 
9.40am
පුල්මුඩේ ඛණිජ වැලි නිධිය දෙසට හැරෙන මං සන්ධිය!

පුල්මුඩේ නගරයට මින් පෙර මා පැමිණ ඇත්තේ මීට වසර 10 කට පමණ පෙරය. ඒ ඉඩමක් බැලීමටය. ඉඩම විකුණන තැරැව් කරුවා වූයේ කුච්චවේලියේ තරුණයෙකි. මම කුච්චවේලියට පැමිණි පසු එතැන් පටන් පුල්මුඩේ දක්වා පැමිණියේ එම තැරැව්කරුවා හෙවත් නියාස්ගේ යතුරුපැදියේ පසු පස එල්ලීගෙනය. ඔහු විසින් පෙන්වූයේ මාළු බෝට්ටු තොටුපොළකි. හාත්පස නරක් වූ මාළු සුවඳින් ඔපවත් වී තිබුනි. ගිණි ගත් හිරු රැසින් සිනිඳු වැල්ල ගිණියම් වෙලාය. අවට ආසාවට ගහක් කොලක් ඇහැ ගැටෙන මානයේ දකින්නට නොතිබුනි. කොටින්ම සහරාවෙන් අක්කර භාගයක් වැනිවූ එම ඉඩම දුටු සැණින් මා හට එපා වී ගියේය. 

9.45am

ත්‍රිකුණාමළයේ සිට මුලතිව් දක්වා යන මාර්ගය වැටී ඇත්තේ පුල්මුඩේ හරහාය. ලංකාව වටා ගමන් ගන්නා අයෙකු හට සෑම විටෙකදීම වෙරළ අද්දරින් ගමන් ගන්නට නොළැබේ. උදාහරණයක් ලෙස කොළඹ සිට ගාල්ලට ගමන් ගන්නා අයෙකු හට යාන්තමින් හෝ මුහුද දකින්නට ලැබෙන්නේ කළුතර පාලම අසල දීය. එසේම වෙරළ ඉමෙන් දිව යන්නට ලැබෙන්නේ පයාගල රේල් ගේට්ටුව පසු කල පසුය. යලිත් ඉඳුරුවේදීය. ඉන් පෙර වෙරළ අද්දරින් මාර්ග නොමැති වීම හෝ වෙරළ අද්දර ඇති මාර්ග ප්‍රධාන මාර්ගයෙන් ඈත්ව පිහිටීම කරණ කොට ගෙන කරදිය සුවඳ විඳින්නට ලැබෙන්නේ දුරා වාරයේය. සිතියම්ක වෙරළ අද්දරින් මාර්ග පෙන්නුම් කලද සත්‍ය ලෝකය තුල වෙරළ කොහේවත්ය. මහ පාර කොහේවත්ය.

පුල්මුඩේ නගරයට ඉහලින් පිහිටන්නේ කෝකිලායි කලපුවයි. ඒ නිසාම මාරගය දිවෙන්නේ මෙම කෝකිලායි කලපුව වටාය. වටා කීවාට මුහුද නොපෙනෙන දුරකින්ය. පලමුව රට තුලට විහිදෙන; පුල්මුඩේ - බෝගහවැව B60 මර්ගයේ පැමිණ එක් ජනශූන්‍ය සංධිස්ථානයකින් හැරී වමට ගමන් කල යුතු වේ. මෙම මංසංධිය; කඩයක් සාප්පුවක් තබා මිනිස් පුළුටක් නොමැති තැනකි! අන්න කඩයක් දානවා නම් නියම තැනක්! පහත දැක්වෙන බෝඩ් ලෑල්ල නැති වූවානම් යන තැන හොයා ගන්නට වෙන්නේ පාර ඉව කිරීමෙන්ය. මෙහි වඩාත් සිත්ගන්නා සුළු කාරණාව වන්නේ මෙතැනින් හැරුණු පසු ඇත්තේ අබලන් කුඩා මාර්ගයක් වීමය. එය මුලතිව් දක්වා විහිදෙන පාරක් යැයි සිතීම උගහටය.
10.34am

මම පෙර සඳහන් කල ස්ථානයෙන් හැරුණු පසු ඇත්තේ ඉතාමත් ජන ශූන්‍ය ප්‍රදේශයකි. එය වඩාත් සිත කළබලයට පත් කල හේතුවකි. මන්ද මේ අප ගමන් කරණ්නේ නිවැරදි මාර්ගයේ දැයි සිතා ගත නොහැකි බැවිනි. සත්තකින්ම අප; පෙර සඳහන් කල පුවරුව හා මාර්ගය පසුකොට තරමක දුරක් පැද ගියෙමු. මන්ද; මුලතිව් දෙසට විහිදෙන පාරක් මෙතරම් අවම නඩත්තුවක් සහිතව තිබේයැයි අපටම සිතා ගත නොහැකිවූ හෙයින්ය. මෝටර් රථයක හෝ යතුරු පැදියක ගමන් ගන්නා අයෙකු මෙවන් කුතුහලයකට පත්වූ අවස්ථාවක කිසියම් දුරක් එනම් කිලෝමීටරයක් හමාරක් ඒ මේ අතට ගමන් කොට බලා නිවැරදි කර ගැනීමට අවස්ථාවක් හැකියාවක් ඇත. නමුත් පා පැදියකින් ගමන් ගන්නා අයෙකු වැඩිපුර, නිරපරාදේ, හේතු විරහිතව කිලෝ මීටරයක් තබා මීටර 100ක් වත් ගමන් කිරීමට පැකිළෙයි.  එසේම අප රටේ බෝඩ් ලෑලි හා දැන්වීම් පිළිබඳව ඇති සාධාරණ සැක සංකාව නිසාම හැකි හැම අවස්ථාවකදීම විමසා බලා තහවුරු කර ගැනීමටත් ගමන් කිරීමටත් අප උත්සුක වූයෙමු. මෙම පුවරුව සවිකොට ඇත්තේ මාරගයට හැරෙන්නට මීටර 500ක් පමණ මෙපිටින් යැයි මා හට සිතේ. ඒ කෙසේ වෙතත් හැරෙන මාරගය අඹිමුවෙහි කුඩා පුවරුවක් "මුලතිව්" යනුවෙන් දක්වනවා නම් වඩා වැදගත් වේ. අදාල මාර්ගයේ තිබූ අවශේෂ ස්වභාවය නිසාම සාමන්‍ය අයෙකුට සිතෙන්නේ නිවැරදි මාර්ගය ඇත්තේ මීට ඉදිරියෙන් විය යුතු බවයි. මන්ද ඇතුළු සිත; එම කුඩා මාර්ගය "මුලතිව් දෙසට ඇති මාර්ගය" ලෙස පිළිගැනීමට මැලි වීමය!

 "මේක වෙන්න පුළුවන්ද මුලතිව් පාර ?"
10.37am
මෙම සළකුණ කුමක්දැයි කියන්නට සිතා ගත නොහැක. 
බිම් බෝම්බ ඉවත් කිරීමෙන් පසුව සිටවූ කනුවක් වත්ද?


මෙසේ වන රොද මැදින් පාළු හුදෙකලාව දිවුනු මාවත ඔස්සේ ටික දුරක් එනම් කිලෝ මීටර 3ක් පමණ ගමන් ගනිද්දී නැවතත් වම් පසට හැරෙන්නට තිබෙන බව කවුරුන් හෝ පවසා තිබුනි. මෙය ලියන මාස 7 කට පසු ඊ කවුරුන්දැයි මතක නැතිවා මෙන්ම ගූගල් සිතියම් පිළිබඳව මා හට ඒ වන විට එතරම් විශ්වාසයක් නොතිබුනි. මෙසේ අන්ධයන් සේ පැද යන විට ඉදිරිය්ට හමුවූ අයෙකු ගෙන් විමසූ විට ඔහු ඉදිරියෙන් වමට හැරෙන බව පැවසූ මුත් ඒ කොපමණ දුරකින්ද, ඊට ප්‍රථම හෝ එම ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමට ඇති සළකුණු ආදිය පිළිබඳව කිසිවක් නිවැරදිව දැණ ගැනීමට අපගේ භාෂා ඥානය හරස් කැපීය! හමුවූ ප්‍රථම මාරගය ඉතා පටු, තැනින් තැන තාර ගැලවී ගිය පාරකි. බැලූ බැල්මට එය; වනරොදෙන් ඉක්බිතව ඇරඹි; ඉපනැල්ලෙන් සැරසී ගත් කුඹුරු යාය මැදට පිවිසෙන මාරගයක් හෝ කිසියම් කුඩා වාරි කර්මාන්තයකට එනම් ඇනිකට්ටුවකට විහිදුනු පාරක් ලෙසිනි. එතැනින් හැරෙන්නට දැයි සිතා බලමින් සිටිනාතුර එතැණ පසු කරමින් ගිය අයෙකුගෙන් අසා තේරුම් ගත් අයුරින් හැරෙන්නට ඇත්තේ ඊළඟ පාරෙනි. නැවතත් පැදීම ඇරඹීය. මීටර ගණනාවකින් දෙවන පාර මුලිච්චි විය. ඒ අසල ඉපැරණි මාරග ද්ක්වන පුවරුවක නටඹුන් විය! ඒ පස් කපන ලැබූ ගුරු පාරක්ය. "මගුලයි! මේ මුලතිව් වලට යන පාර වෙන්න පුළුවං ද?" අහන්නට කෙනෙක් නොමැත. "මියෙම්වා! රැකෙම්වා!!" සිතමින් අප ගුරු පාරට හැරුණෙමු.
"පුළුවං නං හොයා ගනිං!"
අන්දෝ සංසාරයක් හෙවත් තේරෙණ විදියට කියනවානං මෙලෝ මළ දානයක් නොපෙනෙන; "ඔබේ ආදරේ . . . . " වැනි පුවරුව!
(මෙය පෙර රජ දවස පරණවිතාන විද්වතාණන් වෙනුවෙන් සකසන එකක් බව පසුව කල විමසීමකදී හෙළිදරව් විය!)

"මියෙම්වා! රැකෙම්වා!!" සිතමින් . . . !


ඉහත සිතියමේ දැක්වෙන පරිදි නැගෙණහිර පලාත සහ උතුරු පලාත වෙන් වෙන්නේ මා ඔයට නුදුරේ අප පදිමින් විය. පසුගිය කාලය පුරා වට වැස්සෙන් අපගේ ගමන් මග දෙපස හරිතපැහැයෙන් ඔපවත් වී තිබුනි. එසේම තරමක සිසිලසක් සහ මාර්ගයට සෙවන සැලසූ තුරු ලතා දළුලා සශ්‍රිකව පැවති බැවින් දැඩි හිරි රැසින් තරමක ඉස්පාසුවක් ගෙන ආවේය.





මා ඔය



11.51am






පාර වඩාත් යහපත් වන විට වනාන්තරය පාරෙන් බොහෝ ඈත්වී පාර මුළුමණින්ම නිරුවත් කර තිබුනි. එතෙක් පාරට සෙවන සැලසූ වියමන ඈත්වී ගොස්ය. ටික දුරක් එන විට තිබුනු කුඩා එසේම ප්‍රාථමික පන්නයේ අවන්හලකින් දොඩම් යුෂ පානය කලෙමු.එතැනින් පිටත්වී කුඩා දුරක් ගෙවී ගිය පසු අප මුලතිව් වනය මැදින් ඇදුනු පාරක විය.






එතෙක් ජනකපුර-වැළිඔය මාර්ගයේ පැමිණි අප මෙම ස්ථානයේදී මුලතිව්-කෝකිලායි B297  මාර්ගයට එක් උනෙමු. මෙම ස්ථානයේ හමුදා කඳවුරක් හා එමගින් පාලනය වූ; කන්නට බොන්නට කියා එහෙමට දෙයක් නොමැති අවන් හලක් තිබේ. එතැනින් මොන මොනවාදෝ සප්පායම් වී අප මුලතිව් දෙසට හැරුණෙමු.






PS ගෙස්ට් මිදුලේ



16.26pm


16.52pm





ගෙවුනු සෑම දිනෙක දීම මෙන් අප දිවා ආහාරය සහ රාත්‍රී භෝජනය එක්කොට ගත්තෙමු. වෙනදා මෙන් ආහාරයට ප්‍රථම මධුවිතක් තොල ගෑමට නොලැබුනි. අප ආහාර ගැනීමට ස්ථානයක් සොයා නගරයට ගියෙමු. බස් රථ ගාල අසල කුඩා කඩයක් තිබුනද එය මාගේ සිත් නොගත්තේය. අප සෙමෙන් සෙමෙන් මුලතිව් වෙරළ දෙසට ඇවිද ගියෙමු. ඒ අසල සිටි තරුණියන් තිදෙනෙක් හා තරුණයෙක් අපට ආහාර සොයා ගැනීමට බෙහෙවින් උපකාර කලෝය. වසර ගණනාවක සිට දැන උගත් මිතුරණ් දෙදෙනෙකුට මෙන් ඔවුන් ස්ව මිත්‍රත්වයේ හස්තය අප වෙත පෑවෝය. අප ආහාර ගත්තේ නාවික හමුදාව විසින් පවත්වා ගෙන ගිය අවන් හලෙකිනි. එහි ආහාර ප්‍රශස්ථ මට්ටමක පැවතුනි. අප ආහාර ගෙන ඉන් ඉවතට එන තුරු අපගේ දෙමළ මිතුරු කැළ අසල රැඳී සිටියහ. ඔවුනට අප සිසිල් බීම බීමට ආරාධනය කල අතර යුවතියන් තිදෙන පමණක් එය පිළිගෙන අවන් හල තුලට පැමිණියෝය. මුලතිව් වෙරළ ගැනද කිසිවක් නොකිව හොත් එය අඩුවකි. එහි ගස් කොළන් වලින් තොරවූ ස්ථානයකි. ස්න්ධ්‍යාවේ හිරු අවරට ඇදෙත්ම එහි ගැවසෙන්නට බොහෝ පිරිස් එක් වෙමින් සිටියහ. වෙරළ අද්දර නවතා තිබුනු කුඩා වඩේ කරත්තයකින් වඩේ මළු දෙකක් මිළදී ගත් එක් යුවතියක් ඉන් එකක් අප වෙත ප්‍රධානය කලෝය. අද 2022 වසරේ සිංහල දෙමළ අළුත් අවුරුදු දිනයයි. දෙමළුන් හා එක්ව මුලතිව් වෙරළේ වඩයක් කෑමට මේතර් සුන්දර හා ගැළපෙන දිනයක් තවත් වෙත්ද? (මා මෙහි දෙමළුන් යැයි ලියා තැබූයේ ඔවුන් වෙත දැක්වූ ඉතාමත් ආදරණීය හා ළෙංගතු බව නිසාමය!) සත්තකින්ම ඔවුන් එම කුඩා කාලයට හොඳ මිතුරන් වූවෝය. ඔවුන් සියළු දෙන ඒ අසල ස්ථාපිත ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන්ය. පසුව ඔවුන් අපව ත්‍රීවීලරයෙන් අපගේ නවතැන් පොළටද ඇරළවන්නට ඉදිරිපත් විය. ඒ සුන්දර මිනිසුන් පිළිබඳ මතකය අදද ඇස් කෙවෙණි තෙත් කරවණ දයාද්‍රවූ හැඟීමකි!




අවන්හල අයිතිකරු සමග!

රාත්‍රිය එළඹෙත්ම අවන්හල විසින් අපට ලයන් ලාගර් දෙකක් සපයා දුන්නේය. අප එය සෙමෙන් සෙමෙන් සප්පායම් වුනෙමු. රාත්‍රිය සිසිල්ය. එය ගත නිවා දමමින්ය. තවත් දවසක් අවසානයේ ගතටත් සිතටත් මනසටත් හොඳ විවේකයක් අවශ්‍යය. දැණ් ඊට වේලාවයි. සුව පහසු යහන මත මා වැතිරී සිටින්නෙමි.
"මහන්සියි!? ඔව් ටිකා..ක්! නිදා ගන්න!" මා හදවත හා දොඩමළු වුනෙමු.
කුමණ මොහොතක මා නින්දට වැටුනේදැයි මා නොදනිමි.
තවත් සුන්දර දිනයක නිමාව; එසේ මතක පොතට එක්විය!


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...