|
How I See බ්ලොග් අඩවිය ලියන මනුජය තෙන්නකෝන් විසින් එහි එක් තැනක කළු ජූලියෙන් දකුණේ සිටි දමිළ ජාතිකයින් 5600 කට ආසන්න සිවිල් ජනතාවක් මිය ගිය බව ලියා තිබීම පිළිබඳව සමහර කමෙන්ටු ලෙස; "5600ක් මෙහෙම හරි මැරුණු එක ලොකු දෙයක්!" බව කිසිදු හිරිකිතයකින් තොරව ලියා දක්වා තිබුනි.
එයට පිළිතුරක් / කමෙන්ටුවක් මා ලියන ලද ආතර එහි දීර්ඝ බව නිසාම එය කමෙන්ටුවක් ලෙස දැක්වීමට තාක්ෂණික බාධාවක් ඇති විය. පසුව එය පෝස්ටුවක් ලෙස මාගේ ෆේස්බුක් පිටුවට එක් කල අතර එය මෙහිද ලියා තැබීමට මා අදහස් කලෙමි.
LTTE යනු මිනීමරු ත්‍රස්තවාදී සංවිධානයකි. මේ ගැන විවාදයක් නොමැත. Manujaya Thennakon කිසි තැනක එය එසේ නොවේයැයි පවසා නැත. ඔහු කිසි තැනක එය ප්‍රථික්ෂේප නොකරයි.
මෙරට බෙදුම් වාදයකට මුල පිරෙන්නේ සුද්දා මෙරට අතහැර යන කාලයටත් මත්‍තෙන් ය.
එයට එක් හේතුවක් ලෙස මා දකින්නේ යුරෝපීයයන්ගේ ගොඩ බැසීමට; සිංහලයන් දැඩි විරෝධයක් එල්ල කරද්දී සුළු ජාතීන් එසේ නොකිරීම විය යුතුය.
එසේම ඔවුන් ඉංගිරිසිය ඉගෙන ගැනීමටත් ඔවුන්ගේ ආගම වැළඳ ගැනීමත් සිදුවිය.
ඒ සමගම රටේ පාලන ව්‍යූහය තුල දෙමල ප්‍රජාවට වැඩි ඉඩ කඩක් ලැබුනි.
මෙරට දෙමල දොස්තරවරයෙකු නොසිටි ඉස්පිරිතාලයක් පොලීසියක් කච්චේරියක් නොමැති විය.
සිංහල සහ දෙමල අතර අසමගියේ ගිණිපුපුරු ඇතිවූ දිනයක් අවස්ථාවක් මේ යැයි තිතක් තබා පැවසීමට අපහසුවුවත් මෙරට නායකයින් සභාගත කල පුරවැසි පනත, භාෂා පනත ආදිය ගෙන හැර දැක්විය හැක.
මේ අතුරින් පුරවැසි පනත ගෙන එන්නේ මෙරට වාමාංශික ව්‍යාපාරයේ ඡන්ද පදනම බිඳ දැමීමට වන අතර භාෂා පනත ගෙන එන්නේ බණ්ඩාරනායක බලයට ගෙන එන ඡන්ද පදනම සතුටු කිරීමටය.
භාෂා පනත අවසන් වූවේ බණ්ඩාරනායක වෙඩි කෑමෙන් වුවද (මෙය එකම සිද්ධිය නොවුනත් ආසන්නතම සිද්ධීන්ගෙන් එකක් ලෙස මා දකිමි.) ද්‍රවිඩයින්ගේ සටන අවසන් වූයේ නැත. බන්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම අවසන් වූ හැටි සොයා බලන්න.
ද්‍රවිඩ ප්‍රජාවට ස්ව්‍යංපාලනයක් දෙන බව මුල්වරට ශපත කලේ ජෝන් කොතලාවල මන්නාරමේදීය.
භාෂා ප්‍රශ්නය මත ඇවුළුනු 1958 බැටකෑ දෙමල ජනයාද සිංහල ජනයාද ඔවුනොවුන් දෙස වෛරක්කාරීන් ලෙස බැලීමට පුරුදුවූහ. මෙයින් මහත් ඵල මහත් ආනිසංස ලැබූවේ අන් කිසිවෙක් නොව උතුරේත් දකුණේත් දේශපලකයින් ය.
1976 ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා ඝාතනයෙන් බෞතීස්ම ලැබූ ප්‍රභාකරන්හට උතුරේ වූයේ අල්ප පිළිගැනීමකි. ඒ වන විට උතුරේත් නැගෙණහිරත් මෙවල් කල්ලි රාශියක් බිහිවී තිබුනි. LTTE යනු මේ අතර; එක්ඉතා කුඩා කල්ලියක් පමණි.
77 බලයට පත්වන JR; එතෙක් බන්ධනාගාරගතව සිටින විජේවීරව මුදා හරින්නේ; මෙරට තුල ඔහුට තිබුනු එකම තර්ජනයවූ වාමාංශික ව්‍යාපාරය දියාරු කිරීමටයැයි මා විශ්වාස කරමි.
1982 ජනමත විචාරණය කරළියට එන්නේ මේ සමගය. JR ගේ මෙම ව්‍යවස්ථා විරෝදී ක්‍රියාවට එදිරිව නඩුමගට බසින්නේ රෝහණ විජේවීරය. නඩුවේ තීන්දුව ඔන්න මෙන්න තබා උතුරේ සිදුවන හමුදා සොල්දාදුවන් හා නිළධරයින් 13 දෙනෙකුගේ සිරුරු කොලඹට ගෙන එන්නේ; ඒ වන විට UNP ආණ්ඩුවට තර්ජනයක්ව තිබුනු JVP, ලසසප, කොප, නසසප ඇතුළු පක්ෂ තහනම් කිරීමේ පවිටු අධම චේතනාව මුල් කරගෙනය.
කොළඹින් ඇරඹි සිංහල දෙමල ගැටුම ගම් බිම් සිසාරා ගලා ගියේය.
පළමුව සිදුවූයේ බිය වැද්දීම් ය.
දෙවනුව පලවා හැරීම් ය.
තෙවනුව මංකොල්ලකෑම් ය.
මේ සියල්ල සමග මිනී මැරීම් ස්ත්‍රී දූෂණ බරපතල මානව හිමිකම් කඩවීම් සිදුවිය.
ඒ සියල්ලම සිදුවූයේ ප්‍රාදේශීය UNP නායකකරකාදීන්ගේ ආශිර්වාදය හා නායකත්වය මධ්‍යයේය!
කොළඹ සිදුවූ බොහෝ සිද්ධීන් මුල ජාතික සේවක සංගමයේ නායකයින් හා සාමාජිකයින් මුල් තැන ගෙන සිටියහ.
රටට හදිසි නීතිය ගෙන ආවේ මෙරට සාමාන්‍ය ජනතාව අතර සිටි දෙමල ජනතාව සංහාරය කොට අවසන්වූ පසුවය!
මංකොල්ලකා අවසන් වූ පසුවය!!
පලවා හැර අවසන් වූ පසුවය!!!
මේ සියල්ලෙන්ම සිදුවූයේ උතුරේ තැන් තැන් වල තිබුනු කුඩා කුඩා කල්ලි වලට "සංවිධාන"
යන ගරු නම්බුනාමය ලැබීමෙන් අනතුරුවය.
රාජ්‍යතාන්ත්‍රික ලෙසින් මෙරට වල පල්ලට වැටුනි.
77 රාජාසන කතාවේදී මෙරට තක්කඩි නායකයින්; එළදෙන කට හා වැස්සියකට සමාන කල ඉන්දිරා ගාන්ධිලා මෙම අවස්ථාවෙන් අනගි ප්‍රයෝජන ලැබීය.
අපට මේ සිද්ධියේ ආනුභාවයෙන් තිස් අවුරුදු යුද්ධයක් ලැබුනි. අපගේ ගම් බිම්වල අහිංසක දුවා දරුවන්ට කැති පහර ලැබුනි. දකුණට බෝම්බ ලැබුනි.
ස්වකීය රටක පවතින කුඩා කල්ලි කිහිපයක් විනාශ කරණ්නට සිටි අපට බිලියන ගණනක් විය පැහැදම් කල යුතුවු යුද්ධයක් අවසන් කොට සිටි අපට මෙහි ආරම්භය අමතකව ගොස් ඇත.
මේ පිළිබඳව මැනවින් දැනගන්නට මා ඔබට පොත් කිහිපයක් යෝජනා කරණ්නම්.
අප සමග එකට බත් පත බෙදා හදාගත් තවත් මිනිසෙකු මරා දැමීම, ඔහුගේ පවුල වැනසීම, තමා සේම දුක් මහන්සියෙන් හරි හම්බකරගත් දේ මංකොල්ල කෑම පිළිබඳව වීරාභිවන්දනයෙන් යුතුව සිහිපත් කිරිමට තරම් තිරිසනුන් බවට පත්ව ඇත.
ඔබ කිසිදාක වෙනත් රටක සුළු ජාතිකයෙකුසේ ජීවත්ව ඇත්ද?
කළු ජූලිය ගිණි ගන්නට පටන් ගත් දිනය වනවිට මම පාසලේ උසස්පෙල හදාරමින්!
එදින උදෑසන බොරැල්ලට එන්නට පිටකෝට්ටෙන් බසයට නැගගත් අපට රාජගිරිය පසු කරන්නට සිදු උනා පමණි. බොරැල්ල දෙසින් දුම් නගිමින් විය.
මහමග බසය නැවතුනි.
අප බසයෙන් බිමට බැස බොරැල්ල දෙසට පා ගමනින් පැමිණියෙමු. ඒ වන විටත් මැරවරයන් ජාතිවාදයේ නාමෙන් වසා තිබුනු කඩ කොල්ලකමින් විය.
කඩවල තිබුනු අවශේෂ දෑ සියල්ල පාරට ඇද දමා තිබුනි. රන් බඩු සාප්පුවක් විනාශකොට එහි වූ කුඩා කරාඹු බහාලන පෙට්ටි කඩය ඉදිරියේ විසිරී තිබුනි.
අසල තුවක්කුවක් එල්ලා ගත් කොස්තාපල් වරයෙකු කරාඹු බහාලන පෙට්ටියක් ඇහිඳ ඇර බලා නැවත කුණුගොඩට වීසි කලේය.
කඩ සාප්පුවල සාරය පෙරදින රාත්‍රියේ උරා බී තිබුනි. පාර අයිනේ තිබුනේ හප ය!
මිනිසුන් ගැහැනුන් ළමයින් පැමින සුන් බුන් අවුස්සමින් තමා සන්තකයට ගත හැකි යමක් වේදැයි සෝදිසි කලෝය.
එක් මිනිසෙක් පාර අයිනේ වූ ලොකු රාමුකල පිංතූරයක් කොනකින් ඔසවා බැලූවේ එය තබා තිබුනේ මුනින් හරවා බැවිනි.
එතැන එවන්ම වූ රාමුකල විශාල පිංතූර රාශියක් විය.
ඔසවා බැලූ සැනින් ඒවා හින්දු දේව රූප බව ඔහුටත් ඒ දෙස බලා සිටි මටත් වැටහුනි.
එක් පිංතූරයක් එසවූ සැනින් විවරවූ, මෑත්වූ හිඩසින් එතෙක් වැසී තිබුනු සරස්වතී හෝ ශ්‍රියා කාන්තාව හෝ වෙනයම් දෙවඟනක් මතුවිය.
දෙවඟනගේ කාන්තිමත් කරුණාබරිත දෙනෙත් ඔහුගේ දෙනෙත් හා ගැටුනු සැනින් ඔහු වහාම උඩින් තිබුනු පිංතූරය යලි එහිම තබා පසෙකට වී වෙනත් ස්ථානයකට ඉව ඇල්ලීමට පටන් ගත්තේය.
මෙම සිද්ධිය නැවත මට මතක් වූයේ අනුර; කිසියම් පිරිසක් විසින් ඔහුගේ නිවස ගිණිබත් කල ආකාරය පැවසූ අවස්ථාවේදීය.
මැරයන් ගෙය ගිණිබත් කොට තිබුනේ නිවසේ බිත්තියේ එල්ලා තිබුනු සීවලී යන්ත්‍රය (හෝ එවැන්නක්) මිදුලේ ගසක අත්තක් උඩ තබාය!
ජීවත්ව සිටින හුස්ම ගන්නා මිනිසුන් ගිණිබත් කරමින්; දෙවියන් පිදීමට ගිණි පාගන ලෝකයක අප තවමත් වෙසෙන්නෙමු!
මේ ගිණි නිවෙන්නේ කවදාද? ලේ පිපාසය අවසන් වන්නේ කෙදිනකද?
මෙන්න මගේ සතපහ,
ReplyDeleteදෙමල සිංහල මුස්ලිම් බෙර්ගර් කාට උනත් හිරිහැර කිරිම දේපල හානි කිරීම වැරදි දෙයක්. හැබයි මේ ජාතිවාදය පටන් ගත්තේ දෙමළ දේශපාලුවන්, සිංහල දේශපාලුවන් වේලාවෙන් වෙලාවට බහුතරයේ බලය පෙන්නුව. දෙගොල්ලොම සහ ඉන්දියාව ගින්නට පිදුරු දැම්ම, දැනුත් දානවා. රටට උන විනාසය දෙමළුන්ට වැඩයි සිංහලුන්ට අඩුයි කියන්න බෑ. අනික් අතට කවුරු මොනව කිව්වත් මොනතරම් දෙමල ජිවිත අපි බේරා ගත්තද? එක දෙමලුත් පිළිගන්නේ ඉතා කුඩා දෙයක් හැටියට.
අපි පාසල් යනකාලේ ගාල්ලේ මුස්ලිම් බහුල පැත්තක් තිබුණා, කිසිම චාරයක් නැති පැත්තක්, එළුවෝ මිනිස්සු ඉන්නේ පාරෙමයි, වාහනයක මිනිහෙක් හෝ එළුවෙක් ගැවූනොත් උන් (මුස්ලිම් නොවන) වාහනේට සහ මිනිසුන්ට ගහනවා. එහෙම වෙලා වැඩිවෙලාවක් යන්න කලින් මේක දන්ගෙදර කියන පළාතට ආරංචි වෙනවා, 100 විතර ගිහින් බහුතරයේ බලය පෙන්වල කඩ කුඩු කරලා එළුවෝ මරලා මිනිස්සුන්ටත් ගහලා ගාල්ලේ මලු/එළවලු මර්කෙට් වීරයෝ එනවා. මේ වැඩේ රවුමට යනවා. වෙනස මුස්ලිම් උන් වෙනම පලාතක් රටක් ඉල්ලුවේ නෑ, ගාල්ලේ මුස්ලිම් උන් වෙනද වගේම අදත් ඉන්නව.
මම විජේබාහු