Monday, June 22, 2026

305. මාගේ නිවසට මා ගෙන යව PickMe; ඒස්වා හඃ !

 මා ගේ ජීවිතයේ  මතක් කරමින් ආතල් ගන්න පුළුවන් සුපිරිම කථාවක් තමයි මේක:-

ලංකාවට PickMe ~ Uber ගමන් සේවා පැමිණියේ කොයි කාලයේදැයි මා හට නිවැරදි වැටහීමක් නැතත් මේ මෑතක සිට එනම් වසරක පමණ කාලයක සිට; මුංට එළෝ මෙළෝ නැතිව හංදියක් හංදියක් ගානේ එළව එළව පහර දෙන හැටි නම් දුටුවා මට අද ඊයේ වාගේ මතකය!

මෙසෙ පහර දෙන්නන් එසේත් නතිනම් පාරම්පරික හයර් දුවන්නන්ගේ අවලාදය, චෝදනාව වූයේ "තොපි අඩු ගානට දුවන කොට අපි ජීවත් වෙන්නේ කොහොමද?" කියන එකය!

ඒක මරු කථාවකි. එහි විලෝමය වන්නේ අපිට වැඩිපුර පාරිභෝගිකයින් මරාගෙන කෑම සඳහා තොපි අඩුවෙන් අය කිරීමෙන් වළකින්න!" යන්නයි.

අඩු මුදලකට ගමනක් යෑමට හැකි සුපිරි ක්‍රමවේදයක් ලෙස අර්ථ ගැන්වුනු මෙම මෘදුකාංග යෙදවුම් හරහා; ළමුන්, කාන්තාවන් වැඩිහිටියන් ඇතුළුව සමාජයේ විවිධ එසේම නානාවිධි නානා සමජ ස්ථර වල අය ඉතා පහසුවෙන් සේවා සපයා ගන්නා බව මා හට දැනෙන කාලය වන විටදී එය ගැන නොදන්නා සහ එය ප්‍රයෝජණයට නොගන්නා මෙම සමාජයේ ජීවත් වන  එකම ජීවියා මම වූවා යැයි මට සිතුනි.

එයටද හේතු භූතවූ කරුණු කිහිපයකි. අප ජීවත් වන පලාත හද්දා ඩොටේ බැවින් ඒ පලාතට මේ අළුත් සේවාවන් නො එතේ යැයි තිබුණු පදනම් විරහිත අදහසය. 

වසිකලා කල්මිලා නැති මේ ගෙදර දැනට පොඩි ළමයෙකුට සිටින්නේ මා පමණක්ම බැවින් අපගේ ගමන් බිමන් බොහොමයක් අප සතු ඩීසල් රථ දෙකෙන් ඉටුකර ගැනීම අනෙක් හේතුවය.

කුඩා කුඩා ගමන් සඳහා මා මාගේ පා පැදිය යොදා ගැනීම තවත් හේතුවක් ය. එසේම දන්නා කාලයේ සිට ත්‍රී වීල් ගාස්තු වලට ඇති අස්ථාන බියය!

භාවිතා කරණ්නන් අතර ඉමහත් ප්‍රසාදයක් දිනාගෙන ඇති මෙම; PickMe ~ Uber සේවා සපයන්නන් හට මෙසේ පාරම්පරික යල්පැනගිය ත්‍රී වීල් කරුවන්, හයර් දුවන්නන්, එයා පෝර්ට් කාක්කන්, ටුවරිස්ට් රියදුරන්; පහර දෙන්නටත් විවේචනය කරණ්නටත් සූදානම් වන්නේ ඇයි දැයි සොයා බැලීමට වරක් මම අපගේ නිවෙසට හැරෙන හංදියේ වුන් ගෙන් විමසීමක් කලෙමි.

"ඉතිං උඹලත් පික්මී එකේ  හරි ඌබර් එකේ හරි රෙජිස්ටර් වෙයල්ලකෝ. එතකොට ඉවරයිනේ සීන් එක. එතකොට කවුරුවත් මෙතැන පිටිං ඇවිත් හයර් උස්සන්න එන්නේ නෑනේ!?"

"ආපෝ! හයර් නැතිව මළත් අපිනං පික්මී ~ ඌබර් දුවන්නේ නෑ! අපිට නිදහස ඕනේ. ඕවා දාගත්තාම  දවසම දුවන්න වෙනවා නොකා නොබී!"

කථාව නොම්මර එකටම පැහැදිළි විය. අඩු මුදළට වැඩි වාරගණනාවක්, වැඩි දුරක්, වැඩි කාලයක් සේවය සපයනවා වෙනුවට හයර් එකකින් නැතිනම් දෙකකින් වැඩි ලාභයක් ගෙන ගෙදර යෑම ඔවුන් තෝරා ගෙන ඇත!

මේ නිසාම පික්මී ~ ඌබර් රියැදුරන්ගේ සටනට මා කොන්දේසි විරහිතව එක් උනෙමි. පෝස්ට් ශෙයා කලෙමි! මුහුණු පොතේ ලිව්වෙමි. කථා කලෙමි. 

ඒ සියල්ලෙන්ම නොනැවති PickMe App එක බා ගත කර ගත්තෙමි!

පික් මී ඇප් එක දා ගත් දින පටන් මා ගේ කුඩා කුඩා ගමන් සඳහා යොදා ගත්තේ පික් මී බයික් ය. එහි අපූර්වත්වයක් මා වින්දෙමි. යන එන ගමනාතරතුර සාමාන්‍ය ත්‍රී වීල් කාරයින්ට ඔහු හා එක්ව බැන වදිමින්, ඔහුගේ ගම, ගේ දොර පිළිබඳව විස්තර කථාකරමින් කරණු ලබන මෙම කට යුත්තෙන් ලැබුනේ සෙසු පටු ආතල් එකක් නොවේ!

මා මේ ලියන්නට යන ආතල් සිද්ධිය වන විට මා හොඳ පික්මී ගනුදෙනු කරුවෙකු වී අවසානය.

දිනය නිවැරදිවම මතක නැතත් අප්‍රේල් මාසයේ දිනයක් ය.

අපගේ පාසල් අතර මහ තරගය බලන්නට යන්නට නොහැකිවූ මා සීමිත ඕවර තරගය බලන්නට ගියෙමි.

ඒ ගියේද තනිව නොවේ. අතිජාත මිත්‍ර ප්‍රසාද් රණ්නුළු, සකලෙ සහ ජානක පෙරේරා සමගිනි.

ඒ ගියේද සකලේගේ බැටරි කෑල්ලෙන් දුවන BYD රථයෙනි.

තවමත් නැවුම් ප්ලාස්ටික් සුවඳ හමන රථයේ අප සිව් දෙන අගනුවර SSC ක්‍රීඩාංගනය වෙතට ගොස් බහිනවාත් සමගම අපගේ කුටියේ සම සංවිධායකයින් වූ මොරේ සහ නලීන් හමුවිය. ඒ පුදුමාකාර හදිස්සියකින් අරක්කු ගෙන ඒමට ළඟම ඇති සුපිරි වෙළෙඳ සැල වෙත යන්නට ක්‍රීඩාංගනයෙන් එළියට පැමිණ සිටි මොහොතකය.

ක්‍රීඩාංගනය පාසල් දෙක අතර බෑ දෙකකට කපා වෙන්කොට ලබා දෙන අතර අපගේ බෑය; පාසල් ළමුන් සඳහාද ආදි ශිෂ්‍යයින් සඳහාද යන ආකාරයෙන් නැවැත බෙදා තිබේ! එසේම ආදි ශිෂ්‍ය කොටස නැවත කුඩා කුඩා ඉරු වලට තීරු කර තිබුනේ ආදි ශිෂ්‍ය කණ්ඩායම, එක් එක් සාමූහිකවලට අනුවය. උදා හරණයක් ලෙස 85 කණ්ඩායම, 92 කණ්ඩායම ලෙසින් ය. 

ක්‍රීඩා තරගය නැරඹීම සඳහා ඇතුලත්වීමේ ගාස්තුව රුපියල් 4000ක් වූ අතර අපගේ කුටියට ඇතුළුවීමේ ගාස්තුව අමතර ගෙඩි රුපියල් 5000 කි. සමස්ථය 9000ක් ය.

අපගේ කුටිය තුල මුළු මහත් දිනය පුරා කාජ්‍ය භෝජ්‍ය සහ මියැසිය අඩු නැතිව තිබේ!

"Un limited; foreign Liquor, Mixers, Bites and food . . . . !" ටැග් ලයින් එක විය.

ඉතිං අපි හතර දෙනා නමෝ විත්තියෙං SSC එක ළඟට යන කොට හවස 4.00 ට විතර ඇති. Day and Night මැච් එක නොවැ!

යන කොටත් කවුදෝ මංදා බැට් කරණවා. (කවුද මැච් බලන්න; මැච් එකට යන්නේ? ~ විකාර!)

අපි අර කලින් කිව්වා වගේ පිට්ටනියේ ගේට්ටුව ලඟින් බහින කොටම සම සංවිධායක වරු වන නලීනුයි මොරෙයි ත්‍රී වීල් එකක නැගලා යන්න ගිහිං තියෙන්නේ "Unlimited liquor" ලිමිට් වෙන්න ගිහිං හින්දා.

ගේට්ටුව එළියේදීම හමුවූ අපෙන් "දී පල්ලා උඹළගෙ සල්ලි!' කියලා මොරේ  මහ දවල්ම අපිව මං කොල්ල කෑවා.

අපිත් හිත හදාගෙන; එකි නෙකා තම තමංගෙ 5000 හෙ ඒවා මොරේට පූජා කලා.

මගේ 5000 දෙන ගමංම මම නලීන්ගේ කණට කරලා  කිව්වා "මට ගල් බෝතලයක් ගෙනෙං!" කියලා! (මම කොහොමත් ඔය විස්කි වලට වැඩි ඇල්මක් තියෙන කෙනෙක් නෙවෙයිනේ!?)

"අවුලක් නැද්ද?"

"අවුලක් නෑ - ටොනික් බෝතල් දෙකකුත් ගෙනෙං!"

අපි ඇතුලට ගිහිං පොඩි වේලාවකින් ගල් බෝතලෙ ඇතුලට වැඩම කලා. කියන්න සතුටුයි මිත්‍රවරුණි පැය තුනක් යනකොට ගල් බෝතලේ ඉවරයි!

"කී දෙනෙක් එක්කද?" ඔබ තමුන්නාසේලා අහයිනේ.

කී දෙනෙක් එක්ක වත් නෙවෙයි තට්ට තනිවම.

ඊළඟට පොඩි කේස් එකක් දාගෙන තිබුනු එකෙක් ජින් බෝතලයක් අරං ආවා! ඒක බිව්වේ ඌව පදිරි කරණ්න කටේ තියං!

මැච් එක රෑ කීයටද මංදා ඉවර උනාලු! අපි හතර දෙනා BYD එකට ගොඩ වෙලා අපි ඉතාමත් නිදහසේ පිටත් උනා.

අපි SSC එක ගාවින් කීයට කොහොම ආවාද කියලා මට නම් අදටත් එහෙම වැටහීමක් නෑ ආයිබොවංඩ!

තැනින් තැන පියවි සිහිය එමින් ~ නැතිවෙමින් කඩවතට ඇවිත් එතැනින් රාගමට ගොහිං රණ්නුළු ලොක්කාවයි ජානකවයි බිමට බෑවා මතකයි.

ඊ ළඟට මගේ වාරේ. සකලෙ ඉන්නේ ඇල්දෙනිය පල්ලියට උඩින්. මම ඊට මීටර 500ක් දුරින් හැරිලා ඇතුලේ නොවැ?

"මච්චාං මාව ගෝනඒන හංදියෙන් දාහං!" මම සකලයට කිව්වාලු.

"පිස්සුද බං? මම උඹව ගෙදරටම දාන්න්නං!"

"එපා කිව්වාම එපා! මාව ගෝනඒන හංදියෙන් දාලා පලයංකො!"

මෙහෙම කිහිප වරක් ඌත් එක්ක මම ගැටෙන කොට ඌ කැමති උනා මාව ගෝනහේන හංදියෙන් ඕ. පූ. කියලා අත ඇරලා දාලා යන්න.

කඩවත දෙසින් පමිණි BYD රිය ගෝනහේන හංදියෙන් U ටර්න් එකක් ගහලා නැවැත්තුවා. 

ඒ නැවැත්තුවේ එතැන ත්‍රී වීල් පාර්ක් එකේ දොර පාමුළ.

"ඒ ඔතන නවත්තන්න එපා බං! පොඩ්ඩක් ඉස්සරහට කරලා මව දාලා පලයං!"

ඔහොම තවත් දෙතුන් වතාවක් වාහනේ පොඩ්ඩ පොඩ්ඩ ඉස්ස්සරහට අරං නැවතුවාට පසු මම පාරට බැස්ස.

මම එතැනම නොබැස්සේ එතැනම බැස්සා නම් අනිවා මට යන්න වෙන්නේ එතැන තිබුනු ත්‍රී වීල් එකකමයි. මොකද එතැන ඉන්න එවුං මාව බඩේ බත් වාගේ දන්නවානේ.

එතැන ඉඳන් අපේ ගෙදර මිදුලට රුපියල් 350 යි. මට ඕන උනා මුංට මෙහෙම අසාධාරණ විදියට හම්බ කරන එකට කිසිදු ලෙසකින් සහයක් නොවී ගෙදරට යන්න.

"ඔව් මම ත්‍රී වීල් විරෝධියෙක්! මම යන්නේ පික් මී එකක!" මම පික් මී එකක් දා ගන්න එතැන වූ කුඩා වැටේ පොඩි සිමෙන්ති ගැට්ටේ වාඩි උනා.

ගත්තා මෙවළම අතට.

ෆෝන් එකේ මූනත පහුරු ගා සොයා ගත්තා මාගේ පළපුරුදු යෙදවුම!


අපේ ගෙදර තියෙන ස්ථානය නිවැරදිව සිතියම අනුසාරයෙන් සොයා ගන්නවාට වඩා පහසුවෙන් සොයා ගත හැකි ස්ථානයක් අපගේ ගෙවල් ආසන්නයේ ඇත. ඒ නමින් කෙත්තාරාමය නම්වූ පංසලකි.

මේවා හොඳින්ම තේරුම් ගැනීමට කියැවීමට කෝ කණ්නාඩි?

ඇස් කණ්නාඩි නොමැතිව පොට්ටයෙකු සේ බොහෝ වෙහෙස මහන්සිවී "Keththaramaya Temple Ruppagoda" සොයා ගතිමි.

ඊළගට තහවුරු කලෙමි. ගමන සඳහා අවශ්‍ය වාහනය ලෙස යතුරු පැදිය තෝරා ගත්තෙමි!

විනාඩි ගණනාවක් ඉගිල ගියේය. කිසිවෙකු මාගේ ඇනවුම භාර ගන්නා සේයාවක් නොපෙන්වයි.

නැවත් කිහිප වරක් අවලංගු කරමින් මාගේ අවශ්‍යතාවය නැවත නැවතත් තහවුරු කලෙමි.

ම්හු! හරියන්නේ නැත! ඉන් පසුව මා ගමන සඳහා ත්‍රී වීලරයක් තේරුවෙමි!

මහ රෑ 1.00 ට 2.00 ට විතර නුවර පාර අයිනේ තාප්ප ගැට්ටකට හේත්තු වී මා පික්මී එකක් දමමින් විය.  තවත් විනාඩි 15 ක් 20ක් පමණ යන විට වැඩේ සාර්ථක විය.

මට රියැදුරාගෙන් ඇමතුමක් ලැබුනි.

"හරි! හරි!1 වරෙන් බං ඉස්සරහට!" මම මොබයිලය වනමින් කීවේය. මොහොතකින් දම් පාටැති රාත්‍රී නිදන පහණකින් ඇතුලත ආලෝකමත්වූ ත්‍රී වීලරයක් මා ඉදිරියේ නතර වුනි. මා එයට නැගුනෙමි.

ත්‍රී වීලරය ඉතා සුවපහසු ගමණින් යුතුව ඉදිරියට ඇදුනි.

ඊළඟ නිමේශයේ මට නින්ද යන්නට ඇති!

අවස්ථා දෙකකදී පමණ මාහට ඇහැරුණි. යලිත් නින්දටම වැටුනි.

"සර් පංසල ගාවට ආවා! මෙතනින් කොහාටද යන්නෝන?"

"ඉස්සරහටම යං බං!' මම පසුපස සිට මුර ගෑවේය.

"ඉස්සරහ T හංදියක්නේ තියෙන්නේ? මෙතනිං වමටද දකුණටද?"

??????????????????????????????????????????????????????????????

"අම්මට සිරි! උඹ පාර වරද්දගෙන!" මම එක වරම ත්‍රී වීලරයෙන් බිමට බැස්සෙමි.

අම්මට සිරි ය! මම හිටියේ පන්නිපිටියේ දම්මදින්නාරාම පංසල අසලය!

"යකෝ උඹ වරද්දලා!. මේ කොහේද?" 

"මේ බලන්නකෝ සර් දැම්ම ලොකේශන් එකට තමයි මම ඇවිත් ඉන්නේ!"

මළ මගුලකි. මම මේ දැන් සිටින්නේ මාගේ බිරිඳගේ මහ ගෙදරට මීටර 500ක දුරකිනි. මා කිසිදු දිනෙක මෙම පංසල වෙත පික් මී ඇණවුමක් ලබා දී නැත!

"හරි කොල්ලො! උඹේ ගාන ගනිං. මාව ආපහු දාපං කඩවතට!"

"අනේ සර් මම දැන් ගෙදර යනවා මම පිළියන්දල!"

කල යුතු කිසිවක් සිතට නොහැඟේ! තවමත්; මීට පැය ගානකට පෙර පානය කල මධුවිත ඇඟ පුරාය.

"මල්ලි උඹේ ගාන කීයද?"

ඔහු කැඩිච්ච ගාණක් කී අතර මම එය රවුම් කර 1800 ක් දී ඔහුව මුදා හැරියේය.

වහාම එතැන් සිට බිරිඳට ඇමතුමක් ලබා ගත් අතර තතු දන්වා ඇයව අසවසාලීමට මට හැකිවිය.

තවත් විනාඩි ගණනකදී තවත් පික්මී සයිකලයක් දමාගෙන එයට 1500ක් ගෙවා නිවසට පැමිණියෙමි.

එදිනට පසුදින හෝ දින ගණනාවකින් හෝ මාගේ පළමු ඇණවුම පිළිබඳව මා හට සොයා බලන්නට නොහැzකි විය!

සිදුවූ "කයි කථන්දරය" කයිවාරුවක්සේ බොහෝ බොහෝ දෙනාට කියමින් සිටියෙමි.

ඒත් එදා රෑ පික් මී රියැදුරා මාව ඇන්දුවා වත්ද්? මොහොතකට මට සිතේ! ඔහු "මේ බලන්න සර්!" කීවද මම එය බලන්නට නොගියෙමි. මා මධුවිත පානය කර සිටි ප්‍රමාණය පිළිබඳව වටහා ගත් ඔහු; ඔහුට අවශ්‍ය එනම් ඔහුගේ නිවසට ආසන්න තැනකට මාව ගෙනත් ඇරලා මුදල් ලබා ගත්තාද කියා විටෙක මට සිතේ. 

ඒ පිළිබන්නදව මනාව දන්නා දුවා දරුවන් කිහිප දෙනෙක් මාගේ දූරකථනය ගෙන පරීක්ෂා කලද හෝඩුවාවක් සොයා ගැනීමට අපහසුවිය.

අවසානයේ රුපියල් 350 කින් 50ක් ඉතිරිකර ගැනීමටත් අසාධාරණ ත්‍රීවීල් රියැදුරන් හට පාඩමක් ඉගැන්වීමට ගිය මාහට රුපියල් 3300ක් වැයවිය.

ඉතිරි වූ එකම ලාභය වන්නේ කට පුරා සිනහ වෙමින් කීමට හැකි මෙම කථාව මතකයේ ඉතිරි පමණකි!


Saturday, June 13, 2026

305. රවී වීරසිංහ - යන්නම ගිහිං!


රවී අයියාව මට මුණ ගැසෙන්නේ හක්බෙල්ලාවකදීය. හක්බෙල්ලාවක යනු යටියන්තොටට කිලෝමීටර 6ක් කිතුල්ගල දෙසින් අවිස්සාවේල්ල නුවර එළිය A7 මාර්ගයේ පිහිටි කුඩා ගමකි. 

මේ මගේ පියාගේ නිජ බිමයි. 

එහි කුඩා කඳවුරු බිමක් තනාගෙන මා පවත්වාගෙන යන්නෙමි. මේ වන විට එය අභාවයට ගොස් ඇතත් ඒ දිනවල එය හොඳින් ක්‍රියාත්මක විය.

සත්තකින්ම එහි ආවෝ ගියෝ වූයේ අපගේ හිත මිත්‍රාදීන්මය.

2023 ජනවාරියේ දිනක් මා ඇමතූ නිදි (නිදිගේ පංචතන්ත්‍රය ) පැවසුවේ බ්ලොග් රසිකයෙකු / කියවන්නෙකුවූ සි සිරිබිරිස් ලංකාවට පමිණ ඇති අතර ඔහුට; දැනට සක්‍රීයව ලියන බ්ලොග් කරුවන් කිහිප දෙනෙකු මුණ ගැසියයුතු බවත් ය. ඒ කුඩා හමුව මගේ කඳවුරු බිමේ සැකසිය හැකිදැයි ඔහු වැඩි දුරටත් විම සීය. මෙහි ප්‍රථිඵලයක් ලෙස එම හමුවට දිනකට පෙර ඇස්කොට් ජින් බෝතලයක්ද රැගෙන රවි අයියා හක්බෙල්ලාවකට සම්ප්‍රාප්ත විය.

රවි අයියා පේරාදෙනියෙන් දුම්රියට නැග මට ඇමතුමක් ලබා දුත් තැන් පටන් මා තරමක කාල අවකාශ තබමින් ඔහුව ඇමතීමි. 

එතැනින් ඔහු නාවලපිටියටත්; නාවලපිටියෙන් ගිණිගත්හෙනටත්; එතැනින් කොළඹ බසයක නග හක්බෙල්ලාවකටත් පැමින තිබුනි.

ගිණිගත්හේනේදී ඔහු මා අමතා "මොනවද බං ගේන්න ඔනෙන අවුලක් නෑ කියහං !" කීවේය. එතෙක් කිසිදු දිනෙක දැzක නොසිටි; ලිවීම තුලින්ම පමණක් දැන හඳුනා ගත්  මිත්‍රයාහට මා පැවසූවේ "අවුලක් නෑ ඔයා ඕන දෙයක් අරං එන්න! නැතත් මෙහෙං ඕනම දෙයක් අඩු පාඩු නැතිව සපයා ගන්නට හැකි" බවය! 

"ඒයි දැං කිතුල්ගල!'

"හරි හරි ඔහොම එන්නකො! ඔයා ගූගල් මැප් එකේ Campsite එක දාගෙනනේ තියෙන්නේ? ඔහොමම එන්න. මතකනේ හක්බෙල්ලාවක Sub Post Office එක ලඟ!"

කඳු පල්ලම් වංගු වැනි භූ විෂමතා අතරින්  වේගයෙන් එන බසයක සිට ඇමතුම් ලභා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවුනු අතර එහි වඩාම දුෂ්කර කාර්‍ය්ය වූයේ  මාගේ කඳවුරු බිම හා මාගේ නිවස්නය; කිසිදු දුරකථන සංඥවක් නොමැති කලාපයක පිහිටීමය.

එතැන් පටන් තවත් ඇමතුම් හතර පහක් එහා මෙහා යෑමෙන් අනතුරුව වුවද ඔහු බසයෙන් බැස තිබුනේ අදාල ස්ථානය මග ඇරී තවත් මීටර 200ක් පමණ බසයේ ගමන් ගැනීමෙන් අනතුරුවය.

"කොහෙද බං මේ මගුලේ උඹේ කෑම්ප් සයිට් එක බෝලයක් වගේ පේන්න තිබිලා බහින්න කිට්ටු වෙන කොටම ඒක මැකිලා ගියා කියහංකෝ. මම කොන්දට කිව්වට ඌ දන්න කෑම්ප්සයිට් එකක් නෑ. අර තැපැල් කන්තොරුවේ සීන් එක කියලා තිබ්බනේ. මං බස් එකේ හිටියේ පිටිපස්සේ. මූ ඩ්‍රැයිවර් එක්ක කයිවාරුවක් ගහන්න ඉස්සරහ ෆුට්බෝර්ඩ් එකට බැහැල හිටියේ. මම ෆෝන් එකේ බෝලෙ අතුරු දහන් උනාම ඉස්සරහට ඇවිත් අහන කොත කන්තෝරුව නං පහු උනා කිව්වා!" රවි අයියා එයාගේ ගොරෝසු හඬින් සිදුවූ අලකලංචිය විස්තරකලා.

එදා හවස අප දෙදෙන මාගේ තවත් ඥාති මිත්‍රයෙකු සමග කඳවුරු බිමේ නිවස්නය වන අඩි 20 කන්ටේනරය උඩට නැග ජින් බෝතලය සප්පායම් උනේ රාත්‍රිය අවට වසාගත් මොහොතකය.

මා පුරුද්දක් ලෙස මාහට වැඩි හිටි බොහෝ දෙනාව අමතන්නේ "අයියා හෝ අක්කා" යන දෙවදනින් එකකින් ය. මෙය බ්ලොග් ලෝකයට හෝ වෙනයම් උප සංස්කෘථියකට කෙසේ ගැලපෙනවාදැයි මා සොයන්නට නොගිය කරුණකි.

ඒ නිසාම රවීව දුටු නොව ඔහුට කතාකල පලමු මොහොතේ පටන් ඔහුව "රවි අයියා" ලෙස ඇමතීමි. 

අප දෙදෙන එකට සප්පායම් වෙමින් සුපිරි තෙල් බෙදීම අතර තුර;  එකවරම මා ඔහුට " ඉතිං මචං . . . . ." යැයි කියැවූ ඊළඟ නිමේශයේ "අනේ සොරි වෙන්ඩෝන අයියේ . . . .!" කී හැම අවස්ථාවකදීම . . .

"පිස්සුද යකෝ . . . .!' කීම ඔහු පුරුද්දක් කර ගත්තේය.

රවි ගිය පසු මාගේ ඥාති සොහොයුරා බොහෝ වරක් එය පුණුරුච්චාරණය කරමින් ආතල් ගත්තේය.

මෙම හමුව හා මධුවිත තොල ගෑම පිළිබඳව මා කුඩා සටහනක් ලියා තබා ඇත.

"මෙම මිතුරු සමාගමට පේරාදෙනියේ සිට රවී වීරසිංහ - අවි අයියා පැමිණියේ කලින්දා එනම් සෙනසුරාදා හවස් වරුවේය. 

ඩ්‍රැකීගේ පැමිණීමද එදිනට යෙදී තිබුනත් ඡන්ද හුටපටේ ඔහුව පමා කලේය.

රවි අයියා රස සාගරයකි!
ඔහු මිනිස් ඇසුර ප්‍රිය කල අයෙකි.
නියමිතව තිබුනු ඩ්‍රැකීගේ පැමිණීමත් අවි අයියාගේ එකතුවත් සමග වියළි ජින් ගත වීම හෝ වෙනයම් ඇල්කොහොලිකරණයක් සඳහා මා අපගේ පැරණි kayak pavilion එක අස් පස් කලේ සිකුරාදය. 
හුදෙක් ගබඩා කාමරයක් ලෙස අඩුම කුඩුම පිරුණු එය නැවත මිනිස් වාසයක් බවට පත් කිරීමට දිනයක්ම වෙහෙස වන්නට සිදුවිය. kayak pavilion යනු අපගේ Oparetional Hub එක හෙවත් මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කොට ඇති අඩි 20 Shipping Container එක මත ඉඳි කොට ඇති වේදිකාවය. රාත්‍රියට ඉදිරි මාර්ගයේ රථ වාහන දිවෙනු දකින්න ලස්සන දර්ශණයකි."



පසුදින අපගේ පිරිස පැමිණි අපසු එතැනින් අපගෙ වනගත කඳවුරු භූමියට ගිය අතර එතැන රවීගෙ කතාවලින් රස සාගරයක් මැවිනි.

මෙන්න සුද්දගෙ අතේ තරම!

සියළු කටයුතු එදින නිමවී රවි අයියා ගියේ ඊටත් පසු දිනය. 
දින දෙකක් පුරා ඔහු යහන් ගත වූයේ මාගේ බංකර් ඇඳේ යට තට්ටුවේය. 
තම මුඛ සෞඛ්‍යය පිළිබඳව ඔහු තරම් උනන්දුවූ අයෙකු සිටිනවාදැzයි සිතිය නොහැක. පැය ගානක් දත් මැදීමටත් දිව මැදීමටත් වෙහෙසෙයි.
සිටිවනම "එතකොට මචං අර . . . " යනුවෙන් කිසිවක් විම සයි. නැවත ඔහුගේ සුපුරුදු කථාබහේය.

පෙරදින අප සියල්ල වෙන්ව ගියේ නැවත මෙහිම හමුවන බලාපොරොත්තුවක්  සිතේ තබාගෙනය. ඒ රා පාටියකටය. ඊට ටිතා කෙටි කලකට පසුව අප ඊට සෙටමෝල් විය.
ඒ ඉවාන් පාවුලූෂාව අවසන් වරට හමුවූ අවස්ථාව විය!

ඒ වන විට රවි අයියාට නැවිගේශන් ප්‍රශ්ණ නොතිබුනි. සිරිත් පරිදි පෙරදින පැමිණ මාගේ බංකරයේ යට ඇඳ ඔහු වෙන් කරගෙන සිටියේය.
එදින අප හමුවී වෙන්වී ගියේ අප්‍රේල් මස නැවත් හමුවන බලා බලාපොරොත්තුවෙන් ය.

ඒ කුඩා පරිමානයෙන් බ්ලොග් හමුවක් පැවැත්වීමේ අරමුණින්ය. වර්ථමාණයේ බ්ලොග් ලියනා කිහිප දෙනෙකු එකතුව බ්ලොග් හමුවක් පැවැත්වීමට උත්සාහ කලද එය අසාර්ථක වූ තැන  2023 අප්‍රේල් මස අප කුඩා බ්ලොග් හමුවක් සංවිධානය කලෙමු. 
 එයට උර දුන්නේ  ඩ්‍රැකීත් රවි අයියාත් තවත් කිහිප දෙනෙකි. 

රවි අයියා එම අවස්ථාවටද පෙර දින පැමිණ සිටියේ ඕල්ඩ් ඇරැක් බෝතල් දෙකක්ද රැගෙනය. අපගේ දුප්පත් හමුව පැවැත්වුනේද ටිපියේය. 
 ඒ පිළිබඳව මා ලියන ලද බ්ලොග් සටහනෙන් උපුටා ගත් කොටසක් මෙහි බහා ලන්නම්.

"සිරිත් පරිදි රවි අයියා පෙරදින එනම් 4 වනදා හවස් වරුවේ ටිපියට වැදහොත්ය! ඒ මිතුරු හමුවකට ඇවැසි අඩුවැඩියද රැගෙනය!

***********************************************************************************************

ශාන්ති දිසානායක යනු නොම්මර එකේ ලේඛිකාවකි. ඇය සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළවරකය. ඇගේ ගමේ සිට අනුරාධපුරයට කිලෝමීටරම 30කි! මීට මාස කිහිපයකට පෙර; මාලන් බ්‍රැන්ඩෝ විසින් ඔස්කාර් සම්මානය ප්‍රතික්ශේප කිරීම පිළිබඳව; මුහුනු පොතේ පලවූ පෝස්ටුවකට ඇය විසින් කමෙන්ටුවක් දමා තිබුනි. තමන්ටද එසේ ප්‍රථික්ෂේප කිරීමට තිබූ අවස්ථාවක් ගිලිහී ගිය බවක් සහ ඒ පිළිබඳව තමා කණගාටුවට පත් වන බවත් එයින් ප්‍රකාශ වී තිබුනි. 
ඕනෑම දේකට "එල්ලෙන" මම ඊට පිළිතුරු ලෙස; "තමන්ට සම්මානයක් ලැබීමේ ආරංචිය ලැබුනු විගස ෆැන්ටසියක අතරමං වී පසුව පශ්චාත්තාප වීමෙන් වැඩක් නැත!"  යන්න ලියා දැම්මේය. 
මාගේ උට්ටලං කථාවට උරණ නොවී ඇය ඉතාමත් නිරහංකාරී ලෙස ඊට පිළිතුරු ලෙස ඒ  පිළෛබඳ තමා තවමත් කණගාටු වන බව තවදුරටත් පවසා සිටියාය!
පසුව මා ඇගේ නිරහංකාර බවෙන් දමනය වී "ඔබ සමග කතා කිරීමට මා කැමතියි!" යනුවෙන් ලියා පලකල කමෙන්ටුවට
"කතා කරමු!" යනුවෙන් ඇ‍යගේ දූරකථන අංකය දක්වා තිබුනි.

මම වහාම ඇයගේ නොම්මරය "ශාන්ති දිසානායක" යනුවෙන් ගබඩා කර ගත්තෙමි. 
මේ සියල්ල සිදුවී මාස දෙකකටත් වැඩිය.
අප්‍රේල් 1 වන දින වන විට අපගේ දුප්පත් බ්ලොග් හමුව තරමක් අලු ගසා දමා කෙළින් වී තිබුනි.
පෘතග්ජනයින්ගේ හැටි!
මා හට ඇවැසි උනේ;  අපගේ බ්ලොග් හමුව අභිමානවත් ආකාරයකට පැවැත්වීමටය.
ඒ සඳහා "ආරාධිත අමුත්තෙක්" ඉන්නවානං වැඩේ එළම කිරිය!

ශාන්ති දිසානායක වැනි බුවියක් මෙතැනට බැස්සවිය හැකි වුවහොත් වැඩේ එකෙන්ම ගොඩය! 

මම හිමින් සීරුවේ ඇයගේ නොම්මරය සොයාගෙන  ඇය ඇමතීය!
"ම්හු!"
ඇයගේ දූරකථනය දිගටම නාද වුවද ඇය එයට සම්බන්ද්ධ නොවුනි.
වැඩේ පටං ගත් තැනම අල විය!
පැය භාගයකින් පමණ  මම දූරකථනය පිරික්සද්දි එහි මිස් කෝල් දෙකක් සනිටුහන් වී තිබුනි.
ඒ අන් කාගෙන් වත් නොව ශාන්ති දිසානායක ගත් කතු වරියගෙන් ය!
මම සීරුවෙන් ඇය ඇමතීමි!
"හෙලෝ මේ ශාන්ති දිසානායක මිස් ද?'
"ආ ඔව් මල්ලී! කියන්න!"
".........................................................."
"........................................................................."
"................................................"
"අක්කේ අපේ පොඩි බ්ලොග් හමුවක් තියෙනවා! අක්කාට එන්න පුළුවන්නම් ලොකු දෙයක් අපිට!" මම අවශ්‍ය තාවය කිව්වෙමි.

එතැන සිට සිදුවූ දේ මා ඇයගේම වචනයෙන් මෙතැනින් කියවන්න!
ඇය අප්‍රේල් 2 දින වන විට පැමිණීම තහවුරු කලාය. 

මා මේ ගැන දැන්වූයේ ඩ්‍රැකීට පමනි. රවි අයියා ගෙන ආ අඩු වැඩිය; අඩු පාඩුවකින් තොරව සප්පායම් වන විට මාගේ දැඩි සිත මෙලෙක් වීමට පටන් ගති. එහි ප්‍රථිපලයක් ලෙස එතෙක් මමත් ඩ්‍රැකීත් අතර තිබුනු රහස රවි අයියාගේ කනේද තැබීමට මාහට සිත් විය.
"අම්මට සිරි! ශාන්ති දිසානායක කියන්නේ මේ කාලේ ඉන්න සුපිරිම ලේඛිකාවන් දෙන්නගෙන් එක්කෙනෙක්. අනිත් එක්කෙනා සුනේත්‍රා රාජකරුණානායක!" රවි අයියා හුස්මක් නාල්ලාම කියාගෙන ගියේය.

මට මේ අල්ල පනල්ලේ තවත් එළු මගුලක් සිහියට ආවේය. (මොලේ නරක්වූ විට හිතට එන දේවල්!?) 
මම ඩ්‍රැකියාට කෝල් එකක් ගත්තෙමි.
මේ වනවිට වේලාව රාත්‍රී 8.30 ට අපමන වන්නට ඇත. දිනය අප්‍රේල් 4. හෙට ගෙට්ටුව!

"හෙලෝ මල්ලී!"
"කියන්න ලොකු අයියේ!"
"හෙට අපේ ගෙට්ටුවට එන එවුංට මොකක් හරි සමරුවකුත් දුන්නානං ගින්දර නේද?"
"ගින්දරනං තමයි! ඒත් අපි කොහොමද කරණ්නේ? අපි එකතු කරණ්නෙත් එකෙක්ගෙන් රුපියල් 1000යි නේ?"
"හරි මගේ ඔලුවෙ පොඩි අයිඩියාස් එකක් තියෙනවා! මං ගාව සල්ලි නෑ! උඹට පුළුවංද මට හෙට රුපියල් 5000ක් දෙන්න - ණයක් විදියට!?"
"හරි අවුලක් නෑ . . . !"

මම හැරෙන තැපෑලෙන් ශාන්ති අක්කාට ඇමතීමට සිග්නල් සොයා කළුවරේම හක්බෙල්ලාවක සම්පකාරය දෙසට ඇදුනෙමි.

"අක්කෙ පොඩි සීන්ස් එකක්! මට අක්කගෙ පොත් ටිකක් ඕනේ එන අයට සමරු විදියට දෙන්න!? මොකද කරණ්නේ?"
"මල්ලී පොත් කීයක් විතරද?'
"දහයක් දොළහක් විතර!"
"අනේ මල්ලී ගෙදර හරියෙම තියෙන්නේ පොත් 6ක් 7ක් විතර! හරි කමක් නෑ මම මොනවා හරි කරණ්නම්කෝ!"

ඒ වැඩෙත් හරි ය! මම රවි අයියා දෙසට හැරුනෙමි.
"අයියේ හෙට අපිට souvenirs විදියට දෙන්න ශාන්ති දිසානායක පොත් ටිකක් ගේනවා . . . . . . .!" කතාව ඉවර කරණ්නට ලැබුනේ නැත.

"යකෝ ඒ මනුස්සයට එන්නත් කියලා; උඹ  තව පොතුත් ඉල්ලුවාම හරිද බං? හරි! කමක් නෑ! මම ඒ පැත්ත බලා ගන්නං කෝ!" රවි අයියා වැඩේට බෙල්ල තිබ්බේය!

අප්‍රේල් 5 දා උදාවුනි!
මම උදෙන්ම නැගිට බතක් උයා බෝංචි කරල් ටිකක් තෙල්දමා කිරිදමා හින්දවා, ලූනු සම්බෝලයක් සෑදුවෙමි. අනතුරුව මාත් රවි අයියාත් හක්බෙල්ලාවක කඳවුරු බිමෙන් ලට පට පුටු මේස ආදිය පටවාගෙන දොඩංගස් තැන්න කඳවුරු බිම වෙත ගොස් එතැනට පොඩි පහේ මේකප් පාරක් දමා ආපසු පැමිණ පිරිස පිලිගැනීමට සැදී පැහැදී සිටියෙමු.
එදින සිදුවූ වැදගත්ම සිදුවීමක් වන්නේ ශාන්ති දිසානායක ගත් කතුවරිය බ්ලොග්කරණයට පිවිසීමේ ප්‍රධාන පියවර ගැනීමය. එයට ගිරිදේවි ලෙස නම තැබුවේ රවි අයියාය. තාක්ෂණික සහය ඩ්‍රැකීගෙන් ය." 

රවි අයියා එම උත්සවය සාර්ථක කරගැනීමට කිසිදු කොන්දෙසියකින් තොරව බෙල්ල තිව්වේය.

ඉන් පසු එනම් අවසන් වතාවට අපි හමුවන්නේ කොළඹ ගමයා - අජිත් අයියා මෙරටට පැමිණ කොල්ලුපිටියේ Pink Salt අවන් හලේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදීය. 
ඉන් පසුව අප දුරකථනයෙන් වරක් දෙවරක් කතා කලද හමුවූයේ නැත.

මීට සතිකිහිපයකට පෙර මා ලියන ලද බ්ලොග් සටහනකට කමියා - කළ්‍යාණ මිත්‍ර  අසා සිටියේ හමුවී අඩියක් ගහන්නේ කවදාදැයි  කියාය.  අගෝස්තුවෙ අග අප නැවත මුණ ගැසිය යුතු බව මා සිතෙහි සණිටුහන් කර ගත්තේමි. රවි, කමිය, ඩ්‍රැකියා අපේ අවන්හලේ මහේෂයා කොලොම්පුරේ අසංග පංචත්න්ත්‍රේ නිදී නමිය ආදීන් ගෙන හතර පස් දෙනෙක්ව වත්  ගල් බෝතලකය් වටා එක්කාසු කරගෙන සන්ධ්‍යාවක් ගත කරණ්නට ආශාවක් ඇතිවිය. 

මේ සියල්ල අතරේ ඊයේ මාහට whatsapp ඇමතුමක් ලැබුනි. ඒ අවන්හලේ මහේෂයා ගෙනි.

"අයියේ! රවි අයියා නැතිවෙලා කියන්නේ ඇත්තද බං?"
"අම්මට සිරි! පොඩ්ඩක් හිටාං බලන්න!" මම රන්දිකා නංගීව ඇමතීමි.
"අනේ ඔව් අයියේ!" එහා කොනින් කෙඳිරියකි.

ඔව් රවි අයියේ ඔයා යන්නම ගිහිං! මම වගේම උඹත් නිවනක්, පුණුරුප්පත්තියක් පිළිබඳව විශ්වාසයක් නැති බව මම දනිමි. ඒ නිසා එවන් ප්‍රාර්ථනාවක් මා තුල උඹට නැත.
ඒත් සර්ව කාලීනව උඹ අපේ හිත් තුල සිටීවි!

උඹ ආයෙත් කවරදාවත් මාත් එක්ක හීන් අඩියක් ගහන්නට එන්නැති බව ඉංතේරුවෙම්ම  දනිමි.
ඒත් විශ්වාසෙට ගනිං. උඹට වීදුරුවක් වෙන්ව තියේවි අපගේ මේසය උඩ!

"උඹ කිව්වාට සොරි අයියේ . .!"

"පිස්සුද යකෝ . . !"


Friday, May 29, 2026

304. ටෑගි . . . . !



අපේ ගම්වල පැරැණ්නෝ ත්‍යාග හෙවත් තෑගි වලට කටවහරේ කියන්නේ "ටෑගි" කියාය.

එසේම මෙකල අප ලබන බොහො තෑගි අතරින් වැඩි මනත් ඒවා "ටෑගි" වන නිසාම මෙම පෝස්ටුවට "ටෑගි" යන සුරතල් නාමය යෙදීය. 

ඊට තරහ අවසර . . !

කෙතරම් මහන්සි ගත්තත් ජීවිතයේ පළමු ටෑග්ග ලැබුනු ආකාරය මතක් කර ගැණීමට අපහසුය. ඊට ප්‍රධාන හේතුව  ආණ්ඩුවේ රස්සාවක් කල මාගේ පියාට; අපිට තෑගි අරන් දෙනවාට වඩාබොහෝ බොහෝ කාරණා අප වෙනුවෙන් කරණ්නට තිබුනු නිසා විය යුතුය. කොටින්ම අපගේ ළමා කාලය ගෙවුනේ තෑගි වලින් තොර කාන්තාරයකය.

මාගේ මුල්ම පාසල වූයේ අවිස්සාවේල්ල ශාන්ත මරියා විදුහලයි. එකල අප ජීවත්වූයේ කුඩගම පාරේය. පාසල නිමවූ පසු පාර දිගේ නිවසට ඒමට හෝඩියේ පන්තියේ සිටි අපට එකල හැකියාවක් තිබුනි. ලංගමයේ, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ, තුනී ලෑලි සංයුක්ත මණ්ඩලයේ, ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ වැනි රජයේ වාහන එහා මෙහා ගිය කාලයක පුද්ගලික වාහනයක් ගියේ දුරා වාරයේය. මේ නිසාමදො;  පොඩි එකෙකුට;; මහපාර අයිනෙන් ගමන් කිරීමට සුදුසු පරිසරයක් එකල නිර්මිතවී තිබුනි.

ශාන්ත මරියා විදුහලේ සිට ඉම්පීරියල් හෝල් එක අසල කන්ද නැග ගෙන එන අප එතැනින් වික්ටරි පොත් හල, චීන දත් සාප්පුව, යූනියන් හාර්වෙයාර් එක ඉදිරියෙන් ඇති වන්වේ පාරේ නොපිටට ගමන් කරයි.

එම කෙටි පාර අවසන් වෙන්නේ 83 ජාති ආලේදී මංකොල්ල කෑ;  KNG තොග බඩු කඩය ලඟිනි.

කොළඹ සිට එන බස් රථ මා පෙරකී මාර්ගයේ ඉදිරියට ගොස් වටයක් ගසා බස් නැවතුම ඇතුලට පැමිණ නැවත  ප්‍රධාන පාරට අවතීර්ණ වන්නේ මෙතැනිනි.

මෙම  තුං මං හංදියේ වම් පසින් "නිමල්ස්" නමැති තොරොම්බල් කඩයක් තිබුනි. එහි ඉදිරියෙන්ම ගාල් කොට තිබුනේ පැදගෙන යා හැකි, තහඩු වලින් නිමිත කුඩා කාරයක් හා ලෑන්ඩ් රෝවර් ජීප් රථයකි. අප ඒ කාලයේ මේවාට කිව්වේ ලැං රෝල් ජීප්" කියාය.

මේවා නිමවා තිබුනේ එවන් සෙල්ලම් බඩු නිපදවීමට නම් දරා තිබුනු කඳානේ ලින්ටන්ස් ආයතනයෙන් විය යුතුය. එකල ගුවන් විදුලියේ දිග්විජය කල මුවන් පැලැස්ස හඬ නළුව ප්‍රචාරය වූයේ "ලින්ටන්ස්" අධිපති මුනිදාස ද සිල්වා මහතාගේ සාදර අනුග්‍රහයෙනි!

එම ජීප්පුවේ ඉදිරිපස ප්‍රධාන පහන් ලෙස මෝටර් රථයක පසු පසට යොදන ආකාරයේ කුඩා රවුම් පහන් දෙකක්ද සවි කොට තිබුනි. ඊට අමතරව ඉදිරිපස ෂෙල් ආදිය දක්වා තිබුනේ තහඩුව මත ස්ටෙන්සිල් එකක් යොදා පිංතාරු කිරීමෙන් ය.

පාසැල් ගිය සෑම දවසකම පාසැල ඇරී එන විට එතැන නැවතී  බලා කියාගෙන එන මා හවස ගෙදර එන පියාට ඒ ගැන දන්වා සිටින මුත් කිසිදාක එය තෑග්ගක් ලෙස මට ලැබුනේ නැත.

එකල තෑග්ගක් ලෙස මා ලැබූවේ ප්ලාස්ටික් වලින් නිමවා තිබුනු ඒසිං කාරයක අනුරුවකි. ඒවා ප්ලාස්ටික් කීවාට මේ කාලයේ මෙගා බෝතල් සාදන අමුද්‍රව‍ය වලින් සාදන ලද එකැක් යැයි මා හට මතකය. නොබිඳේ! නො කැඩේ!!

එය නිමවා තිබුනේ අච්චුවක බ්ලෝ මෝල්ඩින් ක්‍රමයට විය යුතුය.

රථයද එහි රියැදුරාද එකටම මෝල්ඩ් කර තිබුනු එය මෙගා බෝතලයක් තරම්ම විය.

එය හරහා යවා තිබුනු යකඩ කූරු දෙක හතර කොනේ පෙර කොටස සකසා තිබුනු ද්‍රව්‍යයෙන්ම නිමාකල ගරාදි රෝද හතරක් විය.

පාටින් එය දම් පැහැති විය. එහි බිත්ති වල ඝනකම අඩු වැඩි වෙන ලෙසටම එහි වර්ණය දම් පැහැයත් සුදු පැහැයත් අතර දෝලනය විය!

මා ඉතා කුඩා කල මාගේ පියා වෙහෙස මහන්සියෙන් උපයා සපයා ගත් දෙයින් ලබා දුන් එම කුඩා ත්‍යාගය සේම තවත් වරක් ලබා දුන් කුඩා දොඹකර යන්ත්‍රය පිළිබඳව සිතේ ගැඹුරින්ම සනිටුහන් වී ඇත.

එය වර්ණයෙන් තද කොළ පාටය. නිමවා තිබුනේ ලී වලිනි. එහි මුහුනත එකල තිබුනු පැරණි ලේලන්ඩ් රථයක් ලෙසට ඉතා සියුම් ලෙස හැඩ ගන්වා තිබුනි.

මෙවන් නිමාවක් එහි විය!

එහි පිටුපස සවිකොට තිබුනේ දොඹකරයකි. දොඹකරය ක්‍රියා කරවීමට කුඩා කම්බි හැඬලයක් තිබුනා මතකය.

සම්පූර්ණ දිග පලල පාන් රාත්තකට වඩා ස්වල්පය්ක් දිගින් අඩුව ඇති.

එහි යටි පැත්තේ සුදු පැහැත් ලේබලයක කලු අකුරින් එය නිමවූ ආයතනයේ නම මුද්‍රණයකර අලවා තිබුනි. 

එහි ලිපිනය අවසන් කර තිබුනේ  තිබුනේ "පාන්දුර" යනුවෙනි!

ඒ වාගේම පොත් සාප්පුවකින් තාත්තා අරන් දුන් "හත් පෙති මල" ද එකල මට ලැබුනු අපූරු තෑග්ගක් විය!


මේ අපේ කථාවට වූ පරවේශයය. මෙම බ්ලොග් එකෙම වෙනත් තැනක මම අපේ පාසලේ විදුහල් පති තුමාට "කාර් තෑග්ගක්" ලභා දීමට ගිය බස් ගැමුණුවාගේ කථාව ලියා ඇත.  එය මෙතැනින් කියවන්න. 

නාලන්දාවේ විදුහල්පතිව සිටි හේමන්ත ප්‍රේමතිලක මහතා පාසලෙන් ඉවත්ව යන විට ඔහුට ලභාදෙන ත්‍යාගය තීරණය කිරීමට හා එයට අවශ්‍ය මුදල් එකතු කිරීමට පැවැත්වූ වැඩසටහනක් මා වෙතින් අලවූ අයුරු මෙම කතාවේ ලියා ඇත.

එහිදී මා විසින් අවධාරණය කරණ්නට යෙදුනේ ත්‍යාගයක් යනු ලබන්නාගේ අවශ්‍යතාවය හා ලබා දෙන්නාගේ ඇති හැකියාව  මත තීන්දුවිය යුතු දෙයක් මිස ලබා දෙන්නාගේ හැකියාව හෝ පහසුව මත ලභාදිය යුත්තක් නොවන බවය.

මා ජීවිතයේ ලැබූ වටිනාම ත්‍යාගයක් ලෙස අදටත් මෙනෙහි කරණ එක් ත්‍යාගයක් වන්නේ; කිර්තිමත් හමුදා නිළධරයෙකු වූ  නිල් කමල් උදයරත්න විසින් මා වෙත ලබා දුන් කාලතුවක්කු උන්ඩ; හිස් පතරොම් කොපු දෙකය!


එයට වඩාත් වැඩි වටිනාකමක් ලැබෙන්නේ මා කලක සිටන් එවන් Empty Shells දෙකක් ලබා ගැනීමට පෙරුම් පුරමින් සිටි නිසාමය.

වරක් මාගේ බිරිඳගේ පියා කැංගරු දේශයට යන අවස්ථාවක මගෙන් ඇසුවා "ඔයාට මොනවද ඕන?" කියලා.

"මට ගේන්න Hunting Knife එකක් . . !"

කිව්වා වාගේම උන්නැහැ ඒක ගෙනත් තිබුනා සුපිරි Winchester Large Bowie Knife එකක්.

ඒ ගෙනත් එයා ඒක නිකංම දුන්නේ නෑ.

"කෝ ඔයා මට රුපියලක් දෙන්න . . !"

"ඒ මොකටද . . ?"

"සාමාන්‍යයෙන් ආයුධ තෑගි දෙන්නේ නෑ; විකුණනවා මිසක්. ඔයාට මම මේක විකුණනවා රුපියලකට . . . !

ඉතින් මම රුපියලක් දීලා ඒ අනර්ඝ වස්තුව මගේ කර ගත්තා.

Winchester Large Bowie Knife එක

එවන්ම වූ ත්‍යාගයක් වරක් මට මාගේ පියාගෙන් ලදිමි. ඒ විශාල කොටි දතකි! එය පසු කාලෙක මාගේ ගෙල සරසමින් තිබුනද එය නැතිවී ගියේ නිවසේ ලාච්චුවක රඳවා තිබියදීය. මා සන්තකයේ තිබුනු වෙනත් කුඩා කොටි දතක් සහ කොටි නියපොත්තකින් සාදන ලද පෙන්ඩන්ට් දෙකක් වසිකටත් කල්මලීටත් පසු කලෙක ලභා දුන්නේ ඒවාද මා අතින් නැතිවී යනු ඇතැයි සිතා ය.

අපගේ ආදරණීය පාඨකයා "ප්‍රාජේ" - ප්‍රදීප් ජයතුංග විසින් ඔහු ලියන ලද පොත් දෙකක් ඔහුගේ අත්සනින් යුතුව මා හට ලබා දුන්නේය. එයද ආදරණීය මතකයකි. 



වෙළඳ පොලේ වටිනාමට වඩා වැඩි වටිනා කමක් පොතට එක්වූ තැන!

වරක් මා කැන්ගරු දේශයේ සිට පියමං කරද්දී වසික විසින් මා හට ලබා දුන් Leatherman Tool - සාක්කු පිහියද මා ජීවිතයේ ලද වටිනා ත්‍යාගයන්ගෙන් එකකි. එහි ඇති මූල්‍ය වටිනාකමට වඩා එයට වඩා වැඩි වටිනාකමක් ලැබුනේ; එය මාහට ලබා දෙන මොහොතේ ඔහු මතක් කල අතීතය නිසාය. 
"අනේ අපේ තාත්තාට ඒකාලේ සල්ලි නැති හිංදා අපිට අරං දුන්නා මේ වගේ Duplicate Chinese Pocket Knives  වගේ ඒවා. ඒවා අරං ටික කාලෙකින්ම පිහිය මිටට කෙලිං හිටින්නැතිව ටොක් ගාලා මෙම පල්ලෙහාට වැටෙනවා!" 
එයා ඒ කථාව කිව්වේ එයාගෙ දබරැඟිල්ල මූන කෙලින් ඔසවා පහලට නවන ගමන්මයි! ඒවා සියල්ල ඇස් කෙවෙනි තෙත් කරවන මතක!

"තාත්තා මේක පුළුවන් තරම් කල් පාවිච්චි කරලා කවදා හරි දවසක මගේ පුතාට දෙන්න තෑග්ගක් විදියට!"  එයා ඉල්ලීමකුත් කලා!

හොඳම වැඩේ කියන්නේ ඒකේ ලියා තියෙනවා මගේ ආදරණීඅය නාමය - "Thattaya" කියලත්.

ඒවගේම තෑග්ගක් මට ලැබුනා වසිකගෙන්ම; ඒක Hip Flask එකක්. ඒ අපේ ඥාතියෙකුගෙන් මට ප්‍රසිද්ධියේ වූ අවමාණයක් මකා දැමීමට!

Hip Flask

ඒ වගේම මේ ළඟදි හමු උනා ඒ වගේම සුවිශේෂී ත්‍යාගයක් ඒක ලැබුනේ අපේ ආදරණීය බ්ලොගියක් වන රන්දිකා නංගී ගෙන්.  ඒ මටත් වසිකටත් ටීෂර්ට් දෙකක්. ඒකෙ වටිනාකම උනේ එකේ ඉදිරිපස හා පසු පස මුද්‍රණය කරලා තිබුනු රූප දෙක නිසාමයි. 

ඔව්! මව්බිම වටා මමත් වසිකත් මධුෂානුත් 2024 දී ගිය ගමන මතක් වීමට!

මේ ගැන මම බ්ලොග් එකේ කිසි තැනක ලියා නැති අතර අපි (ඇත්තටම මධුෂාන්) මේ ගැන ආකර්ෂණීය රූප රචනාවක් ‍Youtube එකේ සටහන් කලා. අනිවා ඒක මෙන්න මෙතනින් බලා කියාගෙනම යන්න.

මෙවර උපන් දිනයට දින කිහිපයකට පෙර මාගේ අති ජාත මිත්‍ර නාරි වෛද්‍ය විශේෂඥ ප්‍රසාද් රණ්නුළු නේපාලය බලා පියාසර කරණවා.

 "උඹට මොනවද ඕනේ?" එයා මගෙන් අන්තිම දවසෙ අහනවා.

 "බොසා පුළුවන්නම් මට Kukri Knife එකක් ගේන්නකෝ . . . !" මම තොලේ කටේ නොගෑවී කියනවා. Kukri කියන්නේ Gurkhas සෙබලුන් අත ඇති සාම්ප්‍රදායික අවිය හෙවත් පිහිය. 

"මං හිතුවා උඹ නොකිව්වත් උඹට එකක් ගෙනත් දෙන්න . . !"


මේ නේපාලයේ කුක්‍රි පිහි කඩේ ඉස්සරහ පිහිය අතැතිව - ප්‍රසාද් රණ්නුළු

මීට වසරකට දෙකකට පෙර කල්මී මෙල්බෝර්නයේ ඇන්ටික් කඩයකට ගොඩ වැදී කුක්රියක් මට අරන් දීමට අපමණ වෙහෙසක් ගත්තීය. 
එහි ඇති මිළ අධික බව නිසාම ඇයට ඒ බර දැරීමට ඇරීමට මා තුල තිබූ දුක - කණගාටුව නිසාම මා පොළොවේ පස් කා ඈ නවතා ලීය!

මීට කලකට පෙර ඒ කියන්නේ අවුරුදු වලින් 15 කට විතර ඉස්සර මට කපිල තුෂාර - සුරංජි සාගරිකා විවාහ වන අවස්ථවේදී ඔවුන්ව මුණගැස්වීමේ සතුට වෙනුවෙන් කෘථ ගුණ දැක්වූයේ මෙවන් ගිටාරයක් තෑගි කරලා.

මේ ටෑගි ගැන ලියන්න උනු කථාව ලියන්නට පටන් ගත්තේ මේ ආදරණීය ත්‍යාග මතක් කරණ්නට නම් නොවෙයි. ඊට වඩා සුපිරි කථා කිහිපයක් මතක් කරණ්නට. මෙවර මා හට සුපිරි උපන්දින සාදයක් ලභා දීමට මගේ බිරිඳත් පුතාත් දුවත් අසල් වාසීනුත් ලඟම ඥාතීනුත් සැළසුම් කරගෙන තිබිලා ඇත්තෙන්ම ඒක කෙළවර උනේ නොම්මර එකේම සර්ප්‍රයිස් පාටියක් හෙවත්  අම්බානක අහම්භ සාදයක් ලෙසින්!

සාදය රාත්‍රී වනතුරු දියවන්නාව මැද යාත්‍රාවක පැවැත්වී නිම විය. හොඳින් මධුවිත සප්පායම් උනු මා; පෙර දින ලැබුනු තෑගි සහ ටෑගි රථයෙන් එළියට ගත්තේත් පසුදින උදේ පැය කිහිපයක් ගිය පසුය. ඒවා එකින් එක ඉවතට ගන්නටත් දිග අරින්නටත් වූයේ බිරිඳ ඉදිරියේමය.

අනේ කියන්න සංතෝශයි මිත්‍රොරුනි! බොහොමයක් තිබුනේ අඳින්න බැරි කමිස සහ ටී ෂර්ට්!
ඒවායින් සමහරක් මා ළඟ තියෙනාම වර්ණ. උදාහරණයක් ලෙස කැලෑ කොල පැහැති ටී ෂර්ට් මා ලඟ තුනක්ම තිබියදි අනේ අපරාදේ කියන්න බෑ තවත් එකක් ලැබී තිබුනා.

"හරි! හරි!! ඕක පස්සෙ ඔයා අඳිනකෝ!" බිරිඳ මාව අස් වැසුවා!

තවත් සමහර ඒවා ඔය වගේ වෙනත් වෙනත් කුලක වලට එක් කරමින් වර්ගී කරණය කර ගෙන කරගෙන යනකොට;
ඇඳුම් හතරක් තිබුනා මක් කරලා වත් ගොඩ දාගන්න බැරි. 
එකක්  2XL කමිසයක්. අනෙක මා සුදු පැහැති විශාල ටීෂර්ට් එකක්. ඔය වගේ තවත් දෙකක්.
දැන් තියෙන ලොකුම අවුල මේවා මාරු කරගන්නට අදාල බිලක් නොමැතිවීම. 
අනෙක තමා ලබාදෙන තෑග්ගේ සැබෑ වටිනාකම ලබන්නාගෙන් සැඟවීමට ඒවායේ උත්පත්තිය  හෝ ජාතකය හෙවත් ප්‍රයිස් ටැග්, ලේබල් ආදිය ආදිය ඉවත් කිරීම.

මේ සියළුම බාධක මැද්දේ  ලැබුනු ටෑගි ටික භාවිතාවට සුදුසු ලෙසට සැකසීමට පටන් ගත්තා.
මේ අහම්භ සාදයේ මිතුරන්ගේ කෙළවර සංවිධානය කොට තිබුනු මගේ පැරණි මිතුරෙකුට කතා කොට එඑ ගැන විමසූ විට 2XL කමිසය රැගෙන ඇවිත් ඇත්තේ ඔහු විසින් බවත් එය කඩ සාප්පුවකින් ගත් එකක් නොවන බවත් එය ඔහුගේ නිවසේ තිබුනු එකක් බවත් පැවසීය.
"ආ! ඒක ලොකුද? එහෙනං වෙන කාට හරි ප්‍රසන්ට් කරපං!" තොලේ කටේ නොගෑවී ඔහු ඊට කල යුතු දේද මට කියා දුන්නේය!
මටත් වඩා දෙවරක් පමණ විශාල සිරුරක් ඇති ඔහු; ඵුටවත් අඳින්නට බැරි කමිසයක් මට රැගෙන ආ හේතුව අසන්නට නොගිය මා එය පසෙකින් තැබුවේ ඔක්තෝබරයේ එන ඔහුගේ උපන් දිනයේදී නැවත ඔහු වෙතටම ලබා දීමේ අදහසින්ය.

"මේක තියන්න ඕන ඌටම දෙන්න!" මම මගේ හිතේ තිබුනු කේන්තිය බිරිඳ ඉදිරියේ කියා පාද්දී
"හරි! හරි!! එහෙම කරණ්නෝන නෑ! හෙට අනිද්දා අපේ මැල්කාගේ බර්ත්ඩේ එකනේ. එයාට ඕක හරියටම හරි යයි!" මගේ කේන්තිය අඩු කලේය.

ඉතිරි ඇඳුම් අතරින් එකක් මිලදී ගෙන තිබුනේ කොල්ලුපිටියේ සුපිරි ඇඟළුම් සාප්පුවක්  වන Deligans එකෙන් වූ  අතර  එදිනම  එහි ගියේය.
කිසිදු කරදරයකින් තොරව එය ආපසු ලභා ගත් අතර එම එම මුදලට වෙනත් ඇඟළුමක් හෝ අයිතමයක් ගැනීමට ඉඩක් ලැබුනි. 
අනේ කියන්න සංතෝෂය! මුළු සාප්පුවේම බැලුවත් මට ගැලපෙන වා යැයි සිතට වැදුනු එකක් එහි නොවීය!
මීට ප්‍රධාන හේතු දෙකකි. එක මා සාමාන්‍යයෙන් ඇඳුම් මිළදී ගන්නේ එකම සාප්පුවකින් වන අතර ඉන් එහා මෙහා වෙනත් තැනකින් ගලපා ගැණීමට ඇති මානසික බාධාවය.
දෙවැන්න වන්නේ ඇඳුම ගලව ගලවා ගලපා ගැනීමට ඇති අතිශය කම්මැළි කමය!
අවසානයේ සිදු කලේ එම සති අන්තයේ උපන්දිනය සමරණ මාගේ මිතුරෙකුගේ පුතෙකුවූ "මල්ලාට" Crew Neck ටීෂර්ට් එකක් රැගෙන පිට වීමය!

මෙසේ ලැබුනු ටෑගි දෙකක් කෙසේ හෝ ගලපා ගත් මා හට ඊළඟට තවත් ටීෂර්ට් තුනක ප්‍රහේළිකාවක් අත ඉතුරුව තිබුනි.
ඉනුත් දෙකක් පිළිබඳව යාන්තමින් හෝඩුවාවක් සොයා ගැණීමට හැකිවූයේ තවත් මිතුරෙකු ඇමතීමෙන් අනතුරුවය. ඒ සන්නදහා කූල් ප්ලැනට් එකට යා යුතු විය. 
 ආසන්නයේම වූ Cool Planet ශාඛාව තිබුනේ මහරගමය. 
මහරගමට යන විට තරමක් හවස් වෙලාය.
Cool Planet එකට රැගෙන ගිය ටීෂර්ට් දෙකට අදාල බිලක් නොතිබූ නමුත් කුඩා කඩදාසි ලේබලයක් පමණක් තිබුනි. 
ආපසු ගෙනෙන ඇඳුම් හුවමාරු කිරීමේ කවුන්ටරයෙන් ඇඳුම් දෙක ලභා ගත් අතර ඊට අදාලව තුන්ඩුවක් ලැබුනි. තුන්ඩුවද සීරුවට පසුම්බියේ බහා ගත් මා මුළු සාප්පුව දෙවනත් කරමින් ඇඳුම් සොයන්නට විය.
මා ඇඳුම් සොයන්නේ අවශ්‍යතාවයකට නොව මුදල් නැතහොත් පසුම්බියේ ලූ තුන්ඩුව වියදම් කර දැමීමේ අවශ්‍යතාවයටය.

"ඔයා ඩෙනිමක් බලන්නකො!" බිරිඳ මා පසු පස ඒමේ අත දිවැවිත් හෙම්බත්ව පැවසුවාය.

"කොහේද ඩෙනිම් තියෙන්නේ?" මා සේවකයෙකුගෙන් විම සීය! 

"උඩට යන්න සර්! . . . . . !"

මා උඩට ගොස් බැලීමි. 
එහි වූයේ කකුල් දෙකේම කවුළු සහිත වූ නො එසේ නම් බාච්චු වැනි විශාල වූ ඒවාය. ඒවායේ විවිධ රූ රටාය. 
ඒ කිසිවක් මට නොගැලපේ. පැරණි උනත් කෙතරම් හම ගියත් මා ඒවෙලාවේද ඇඳ සිටි; අවුරුදු හතරක් පහක් පැරණි Levi's 501 එකට ගහන්නට එකක් මට නැත. ටිකක් හෝ ලඟින් යන්නේ 504 එක පමණි!



ඒවායේ විසිතුරු නොමැත! 
තදින් හෝදා හෝ හමගසා නොමැත. 
වර්ණය ඉන්ඩිගෝ විය යුතුය!

එතැණ සිටි විකුණුම් සහයක කෙනෙකු ලඟට ළං වීය.

"මට පස්සෙ ඇවිත් මොනවා හරි ගන්න පුළුවන් නේද?"

"අනේ බෑ! අදම ගන්න ඕන!"

"අම්මට සිරි! ඒක හරි අසධාරණයි නේ!"

"අපිට කරණ්න දෙයක් නෑ! අපිට අපේ මැනේජර් කියලා තියෙන්නේ එහෙම තමයි!"

"එන්න කියන්නකෝ ඔයාලගෙ මැනේජර්ට!?"

ටික වේලාවකික් කළමණාකරු මා ඉදිරියේ විය! 

"බෑ සර් අපිට ඒක වෙන ස් කරණ්නට බෑ! ඔයා මොනවා හරි දැනට අරං යන්න! පස්සෙ ඒක මාරු කරලා ඔයාට ඕන එකක් ගන්න!"

"හරි! මම දැණ් මොනවා හරි අරං යන්නම්! ඒක තව මාසෙකින් දෙකකින් විතර මාරු කරණ්නට පුළුවංද?"

"සතියක් උපරිම සති දෙකක් ඇතුලත මාරු කරණ්නට ඕනෑ!"

අපි සිර වූයේ දිග ඇර ගැණීමට අපහසු ගැටේකටය. අවසානයේ ඉදිඋරියේ අවශ්‍ය තාවයක් පිළිබන්දව සිතා කුඩා දරුවෙකුට අවශ්‍ය ඇඟළුම් රාශියක් ඒ වෙනුවෙන් ගෙන එතැනින් පිටත් විය!

සියල්ල අවසන් නැත! 
තවත් එක් රතු පැහැති විශාල ටීෂර්ට් එකක් අත ඉතිරිය.  එය මා වෙත ප්‍රධානය කරණ්නට ඇත්තේ  කවුරුන්දැයි සොයා මතක් කර ගත්තේ; සාදයට එන විට එක් එක් අය ගෙන ආ පාර්සල් සහ මළු මතක් කර ගැනීමෙනි.
එම සොහොයුරියට කතා කලෙමි.

"අනේ අයියා ඒක ගත්තේ Lady J එකෙන්!"

එහි රිසිට් පතක් බිලක් තුංඩුවක් ලේබලයක් කිසිවක් නොතිබුනි.

"ඉන්නකෝ මම මොනවා හරි කරං එන්නං කෝ!" මම බිරිඳව වාහන නැවතුමේ නවතා සාප්පුව වෙතට ගියෙමි.

"අනේ පුතා! පොඩි අවුලක් . . . . . . . . . " මගේ දුක් ගැනවිල්ල බඩු මාරු කරණ කවුන්ටරයේ සිටි දරුවාට ඉදිරිපත් කලෙමි.

ඔහු වචනයකුදු නොදොඩා එතැනින් ඉවත්ව මාගේ ටී කමිසයද රැගෙන අතුරුදහන් විය.
තවත් විනාඩි කින් පමන එතැනට පැමිණ තුංඩුවක් ලබා දුන්නේය. ඔහු මාගේ කමිසය රැගේන ඇඟළුම් පිරුණු ශාලාවට ගොස් එහි මිළ ප්‍රථ්‍යක්ෂ කරගෙන පැමිණ තිබුනි.
තුංඩුවද රැගෙන මා ඉහල මහළට ගියෙමි. ඒ හදිස්සියේ තුංඩුවට ගැලපෙන එකක් සොයා ගැනීමට නොහැකි වූ මුත් ඊට ආසන්න එකක් තෝරා ගත හැකි විය. හිග මුදලට මේස් ජෝඩු දෙකක්ද අහුලා ගත් මා මදි පාඩුවට රුපියල් එකසිය ගානක් ගෙවා ඉන් එළියට ආවෙමි!

උපන් දින සාදයේදී මා ලත් ටෑගි තෑගි බවට හරවා ගැනීමට මට මුළු දිනක් ගත විය. ඩීසල් ලීටර ගණනාවකි. මළ පැනීමේ කෙළවරක් නැත. කං කෙඳිරි ගෑම් බයාදු වීම් ඉල්ලීම් ගණනාවකි!
අවසානයේ මා සන්තක කර ගැනීමට හැකි වූයේ  එක් ටීෂර්ට් එකක් හා මේස් ජෝඩු දෙකක් පමණක් විය.

වරක් මාගේ විදෙශයක දිවි ගෙවනා ඥාතියෙක් ලබා දුන්නේ "උඹලට මේවා මෙහෙන් ගන්න බෑ!" කියා බර ටෝක් එකක්ද ඉශූ කරමින් මේස් කුට්ටමක්ය!
තවත් ඥාතියෙක් වරක් අපගේ නිවසට තෑගක් ලෙස ගෙනාවේ බෝට්ටුවක පාවිච්චි කරණ කොට්ටයකි. (ලැබුනු තෑග්ග ප්‍රයෝජනයට ගන්න නම් බෝට්ටුවක් මිළදී ගැනීම කල යුතු විය!)
මාගේ සාමාන්‍ය විශ්වාසය වන්නේ කිසිවෙකුහෝ තමාට මගුලකට හෝ උපන්දිනයකට ආරාධනා කල විට තෑග්ගක් ගෙන යාම අත්‍යාවශ්‍ය කාරණාවක් නොවිය යුතු බවයි!

මන්ද ඔහු හෝ ඇය අපට ආරාධනා කරණ්නේ ඔවුන්ගේ සතුටට බැවිනි.  අප කල යුතු වන්නේ නියමිත වෙලාවට, නියමිත වේලාවට (මේක දෙවරක් ලිව්වේ වරදකින් නම්  නොවේ), අදාල තැනට අදාල ලෙසට, ගැලපෙන ලෙසින් ගොස් ඔහුහෝ ඇයගේ සතුටට භාජනය වන ලෙස හැසිරී ගැවසී ආපසු පල්ලම් බැසීමය.

මේ කාලයේ හැටියට; යුවලකට වෙඩිමකට යෑමට අවම වශයෙන් සාමාන්‍ය පඩි කාලක් භාගයක් වැයවේ. අඳින්න ඇඳුම්, සපත්තු, සැලෝන් ගාස්තු, නිවාඩු, වාහන තෙල් ඉන්ධන මෙඑ සියල්ලටම වඩා එම දිනය හෝ වේලාව තුලදී තමා වෙතින් ඉටු විය යුතු දේ ගොඩ දා ගැනීමට කල යුතුවන වියදම හෝ වෙහෙස! 

මේ සියල්ල ගත් විට ආරාධිතයාගේ සහභාගීවීමම එක්තරා විදියක ත්‍යාගයකි. කැපවීමකි. අගය කල යුත්තකි.

එවිට ඔබ මගෙන් අසාවි වඩාත්ම සුදුසු ත්‍යාගය වන්නේ කුමක්දැයි කියා. 
එයට මට එක එල්ලේ පිළිතුරක් දීමට අපහසුය.
එහෙත් මුදල්, ත්‍යාග වවචර වැනි දේ ඇඳුමක් කැඩුමක් අරණ් දෙනවාට වඩා සාර්ථක යැයි මට සිතේ.

එය එසේ නොවනවානම් ත්‍යාගය ලබන්නාට ලබා ගැනීමට අපහසු, ඔහු කැමති උවද මුදලක් වියදම් කිරීමට මැළි වන, ඔහුගේ සිතට බොහෝ සෙයින් සමීප දෙයක් වනවා නම් එයට අමතර වටිනා කමක් ලැබෙනු ඇත!

ජීවිතයේ මා ලද මගේ සිත් ගත් ත්‍යාග කිහිපයක් පිළිබඳව ලියා තැබූවේ මතකයක් ලෙස තැබිය යුතු නිසාත් පෝස්ටුව විචිත්‍රවත් වන්නටත් මිස; "මට දෙනවා නම් මෙන්න තෑගි!" කියා දක්වන්නට යැයි වරදවා නොගන්න!

මේක බලලා කිසිවෙකු හෝ මට වචනයක් වත් නොකියවනු මැන!

එසේ ආඩපාලි කියාගෙන ආවෝතින් මට අහන්නට ඇත්තේ එකම් එක ප්‍රශ්ණයකි.

"කව්ද බං උඹලට තෑගි ගේන්න කිව්වේ?"



පසුව ලියමි . . . !
දුරාවාරයේ මාගේ පෝස්ටු කියවන මාගේ බිරිඳ කොයියම්ම හෝ මොහොතක මෙම පෝස්ටුව කියවා බලා "එතකොට මම සියඹලා ගෙනැල්ලම නැද්ද?" කියා අසනු ඇත!

ඇයි නැත්තේ මේ තියෙන්නේ ඔයා මට දුන්නු අග්‍රගන්‍ය තෑගි බාන:-

Wednesday, April 15, 2026

303. දයා ගේ දයාබර ගීතයක් ගැන අතුරු කතා දෙකක් . . !


මේ කථාව කියන්න හදපු බොහෝ තැන් වලදි මම ඇහුව ප්‍රශ්ණයක් තිබුනා.

"මේ ගීතය ගැන දුක්බර කථාවක් මෙන්ම රසවත් කතාවකුත් තියෙනවා. මුලින් ඕන මොන කතවද?"

මේකට මොන විදියේ උත්තරයක් ලැබුනත් මම අවසානෙට කිව්වේ රසවත් හෙවත් "ආතල්" කථාව.

එහෙමනං අටුවා ටීකා ටිප්පණී පැත්තකන් තියලා කථාව අහමු.

මීට මාස කිහිපයකට පෙර මමත් අපේ නාරි වෛද්‍ය ප්‍රසාද් රන්ණුළුත් එයාගේ අක්කාත් අක්කාගේ පුතා නිපුනුත් අපේ හිතමිත්‍ර පල්ලියගුරුත් කල්පිටියේ ගියා.

ඒ ගමන අවසන් උනේ කල්පිටියට ඔබ්බෙන් තිබෙන බත්තලං ගුණ්ඩුවේ.

නාරි වෛද්‍ය ප්‍රසාද් රන්ණුළු (හෙන් රි කල්දේරා වගේ සිටින්නේ ) ඊට පසු පසින් කොණ්ඩය ඊ ගහ සේ අහසට දිගු කරගෙන විරිත්තාගෙන සිටින්නේ පල්ලියගුරු හෙවත් පල්ලි මල්ලි!
(කල්පිටියේ සිට බත්තලං ගුණ්ඩුව තෙක් බෝට්ටු ගතවී හොඳ සිහියෙන් සිට ගත් අවසන් ඡායා රූපය.)

එදා රාත්‍රිය අප ගත කලේ බත්තලං ගුණ්ඩුවේ වෙරළේ ස්ථාපිත කුඩා අට්ටාලයක හෙවත් Chalet එකක.

වෙනදා පල්ලි - මල්ලී පුරුද්දක් විදියට මෙවන් ගමන් වලට යද්දී තම ගිටාරය රැගෙන යාම කලත් එදා එයා ඒක අමතක කර තිබුනා. ඒත් අපි දෙදෙනා රාත්‍රියේ පැහැදිලි අහස දෙස බලාගෙන සිංදු කීම නොකර සිටියේ නෑ. අපි ගීත කිහිපයක් මිමුණුවා.  පල්ලිත් මමත් මධුවිතින් හොඳින් සංතර්පණය වී සිටියා!

එදා තිබුනේ පැහැදිළි අහසක්. මුහුදේ රළ බිඳෙන වැඩෙන ගලා ගොස් නිහඬ වන හඬ තරමක් ඈතින් ඇසුනා. 

"අයියේ මට හිතෙන්නේ ප්‍රේමකීර්තිගේ ප්‍රථිභාවෙන් දයා ද අල්විස්ගේ හැකියාව වැහිලා තිබුනා කියලා! එයා ප්‍රේම් නැතිව වෙන කෙනෙක් බැඳලා හිටියා නම් එයත් ප්‍රේම් තරම්ම කතාවෙන මාතෘකාවක් වෙන්න තිබුනා . . . . !" සිංදු දෙකක් අතර හිඩැසට පල්ලි මේ "ඇඩ්" එක කූඥ්ඥයක් වාගේ රිංගෙව්වා.

ඇත්තටම මගේ හිතේ හිටිය අංක එකේ ගීත රචිකාවිය යමුනා මාළනී පෙරේරා. ඒත් දයා ගැනත් 'මෙත් සිතක්' හිතේ නැතුවාම නොවේ. වැඩේ තියෙන්නේ යමුනාගේ ගීත; යමුනාගේ කියා අසා තිබුනත් දයාගේ ගීත දයාගේ කියා අසා නොතිබීමත් මීට හේතුවක් වෙන්නට ඇති.

"ඇයිබං උඹ ඒම කියන්නේ?" මම එහෙම ඇහුවේ දයා ගැන අහිතකින් නෙවෙයි. ඔවැනි කාරණා කාරණා ගැන පල්ලියාගේ අදහස් දැක්වීම අසා සිටින්නට ඇති ලෝභකම හින්දාමයි.

"ඔයාට මම එක සිංදුවක් කියන්නම් අහලා බලන්නකෝ.  මට මතකයි ඔබ පිපිලා උන්නා දුනුකේ ගසක සුදූ . . . . . ! මේ සිංදුව කියන දෙන්නා නම් මට මතක නෑ. ඒ උනාට මාර සිංදුවක් ඒක.  . . . . "

"පොඩ්ඩක් හිටහංකො Youtube එකෙන් බලමු . . . . . .!" පල්ලියා පාරට්ටු කරපු ගීතය අසා බලන්නට මම මොබයිලේ අතට ගත්තා . . . ! අරං ඒක ඇහැරව ගෙන; රතු කොටුවේ ඊ හිස හොයන්න  මූනත පහුරුගාන කොට;

"අයියේ ඔයා දයා ද අල්විස් songs කියලා හොයන්නකෝ . . . !" කියලා අත්වැල් ඇල්ලුවේ මගේ මොබයිලේට හොට ඔබාගෙනමයි.

"ආ! ඔය තියෙන්නේ . . . . ! ආ! ඔය තියෙන්නේ පළවෙනි සිංදුව මම කියපු එක. . . .!" පල්ලියා උච්චස්වරයෙන්  මුර ගෑවා.



මෙන්න ඒ  සිංදුව. මෙන්න මෙතනින් අහලම යමුකෝ. මේක අහන්න කම්මැළිනම් මේ පෝස්ටුව කියවන එක මේන්න මෙතනිං නවත්තලා වෙන වැඩක් කර ගන්න යන්න! මම එහෙම කියන්නේ මගේ ජීවිතේට ඇසුව රසාලිප්තම ගීත කිහිපයෙන් එකක් වන නිසමයි.
හැත්තෑව දශකයේ; ගුවන් විදුලි සංස්ථාව; ගුවනේ දික් විජය කල කාලයේ ගුවනේ පාවෙනවා මට අද වගේ මතකයට ආවා.

මෙහි විශේෂත්වය වූයේ මෙම ගීතය ගායනා කිරීම මෙන්ම එය සංගීතවත් කර තිබුනේද මෙම "අඥාත" හෙක්ටර් සිල්වා විසින්ම වීමයි!

මේ සිංදුව ඇසූ පසු මම ඒකේ කැරොකෙ ට්‍රැක් එක හොයාගෙන එතන ඉඳන්ම දෙපාරක් කිව්වා. (ගායනා කලා එහෙම නොවෙයි - තරහ අවසර!)

මේ සිංදුව ඇහුවාට පසුව මේ ගැන හොයන්නට පටන් ගත්තා මම කල්පිටියේ ඉඳන් ගෙදර ආව දවසේ ඉඳන්ම. 

මේ ගීතය ගායනා කර තිබුනේ හෙක්ටර් සිල්වා කියනා ගායකයා විසින්. ඒ හඬ හරිම නිර්මළ හඬක්. කිසිම කවළමක් නැති Unique හඬක්. ඒ වගේම ගායිකාව වන පුන්යා කත්‍රිආරච්චිට තිබුනේ දැළි පිහියක් වැනි තියුණු හඬක්. ඒ හඬවල් දෙක එකිනෙකට ගැලපී ගියා හොඳින්ම.
මේ ගීතය සහ නන්නාඳුනනා ගායකයා පිළිබඳව සොයා බලන්නට; මේ ගීතය යූ ටියුබ් ගත කරලා තිබීම යටතේ තිබුනු කොමෙන්ටු ටික දවසක් මහ රෑ වෙනතුරු මම කියෙව්වා.

ඒ කමෙන්ටු අතර එම ගීතයේ සහ ගායක ගායිකා යුවලගේ ගායනාව ගැන බොහෝ කථා කොට තිබුනා. ඒ අතරින් ඔහු ලංගමයේ රත්මලාන ඩිපෝවේ බස් කොන්දොස්තර වරයෙකුව සිටි බව කියැවී තිබුනා! එසේම ඔහු සංගීතය උගැන්වූ බවට ඉඟියක් පලවී තිබුනා.

එහි තවත් තැනක මෙම සංගීතවේදියා, ගායකයා ගැන ඉතාම සංවේදී වීඩියෝ සටහනක් ගැන ලියැවී තිබුනා. ඒ බන්ධුල නානායක්කාරවසම් විසින් රූපවාහිණී වැඩ සටහනකට ඉදිරිපත් කල මතක ආවර්ජනයක් පිළිබඳව. ඒ වීඩියෝව මෙතැනින්  නරඹන්න.

මේවා ඔබ ඔබා නරඹන්නට දුක් විඳින්නට අකමැති අයට ඉතාම කෙටියෙන් පවසනවානම් B ශ්‍රේණියේ ගායකයෙකුවූ මෙම කොන්දොස්තර වරයා කිසිදු අගැයීමකින් තොරව මියගොස් ඇත. 
(මම ඉතාමත් ආදරයෙන් හා ඕනෑකමින් ඉල්ලා සිටිනවා බන්ධුලගේ මෙම ඉතා සංවේදී වීඩියෝවත් ලෝභ නොවී නරඹන මෙන්.)

මේ ගීතයට සම්බන්ධ කිසිවෙකු හෝ අද වන විට අප අතර නැත!

**********************************************************************

දැන් ඇරඹෙන්නේ "හඳ මාමා" ආතල් පිටුවයි.
ඉතින් මම මේ ගීතය හෙවත් සිංදුව අහපු දවසේ ඉඳන් ගායනා කිරීමේ ආශාවකින් සිටියා. 
පසුගිය 10 වෙනිදා පොඩි පහේ උපන්දින උත්සවයකදී මෙම ගීතය ගායනා කරණ්නට මමත් බිරිඳත් සැදී පැහැදී සිටියා. 
එතැන අප වාගේම බොහෝ බොහෝ යුග ගීත ගැ‍යුනා. කොටින්ම එතැන ගයන්නට ආරාධනය (අවසරය ) තිබුනේ යුග ගීත පමණක්මයි.

සියල්ල සුපිරියටම සංවිධානයකර තිබුනත් ගීත ගායනයේදී බොහෝ තාක්ෂණික දෝෂ වලට මුහුණ දීමට ගායක ගායිකාවන්ට සිදු උනා. කැරොකෙ ට්‍රැක් එක නිවැරදිව ධාවනය වුවත් එහි  බිත්තියේ එල්ලා තිබුනු පුළුල් තිරයේ පද මාලාව දිවීම කෙරුණේ "පුළුවන්නම් උඹ කියලා පෙන්නපං!" කියනවාක් මෙන්. බොහෝ විට එය එක තැන නැවතී තිබුනා!
කැරොකේ තිරය බලා ගායනා කිරීම එතරම් චිත්තාකර්ෂණීය දර්ශණයක් නොවෙන නිසා ගීතය කඩදාසියක මුද්‍රණය කරගෙන ඒමට යෝජනාවක් සංවිධායකයින් විසින් කලින්ම කර තිබුනා.
ඒ නිසාම අප අපගේ මෙම "මට මතකයි ගීතය" කඩදාසියක මුද්‍රණය කරගෙන ගෙන ගොස් තිබුනා.

අපගේ නම උත්සවය මෙහෙය වන්නා විසින් කියැවුනා.
අප දෙදෙන එතැනට ගිහින් ගීතය පටන් ගත්තා. අපගේ හඬවල් ශාලාව සිසාරා ඇසුනා.
ඊළඟ මොහොතේ ගීතය කැරොකේ තිරයේ ධාවනය ඇන හිටියා! එතැන සිටි අනුරුද්ධ මල්ලී; ඈත සිට මා දෙස බලා ගීතය ධාවනය නැවතී ඇති බව ඉඟියෙන් පැවසූවා!
ගීතයේ කැරොකේ හඬ අවුලක් නැතිව දිව්වා!

ගීතයේ මුල් සංගීත කණ්ඩය, ස්ථායි කොටස් දෙක අතුරු සංගීත කණ්ඩය පලමු අන්තරා කොටස් දෙක යලිත් අතුරු සංගීත කොටස වැයෙමින් ගැයෙමින් සාර්ථකව ගීතය ගලා ගියා.

බොහෝ දෙනෙක්ගේ අවධානය ඊට යොමුවී ඇති බවක් හැඟුණු ඒ මොහොතේ දෙවන අතුරු වාදනය අතරේ නොටේශන් ස්ටැන්ඩ් එකේ අමුනා තිබුනු ගීතයේ යටි කෙළවරට මාගේ නෙත් යොමු උනා.

"අම්මට සිරි! මේකෙ සිංදුවේ අන්තිම පෙළි හතර නෑනේ!" මම බිරිඳට මිමුණුවා.
බිරිඳට එය ඒ මොහොතේ වත් සිතා ගැනීමට හෝ තේරුම් ගැනීමට නොහැකි උනා!

අතුරු සංගීත කණ්ඩය අවසන් වී මගේ ගායන කොටස ඇරඹුනා.

"ඕ පූ!" කියලා හිතින් හිතාගෙන මා ගායනය ආරම්භ කලා.

 "දිය සුළි නැගිලා - වෙරළට ඒද්දී
  දිය සුළි නැගිලා - වෙරළට ඒද්දි
  බෙලි කටුවේ සැඟවීලා
  මුතු ඇටයක් තිබුනා . . . "

දැන් තමයි වෙන්න තියෙන හොඳම දේ වෙන්න තියෙන්නේ. ඊළඟට ගායිකාව විසින් ගායනා කිරීමට නියමිත පද පේළි හතරින් එකක් වත් කඩදාසියේ තිබුනේ නැහැ.
මීට දින දෙකකට පෙර අප දෙතුන් වතාවක් මේ ගීතය පෙර හුරුවක් ලෙස  ගායනා කොට තිබුනත් අප දෙදෙනාටම මේ ගීතය ආගන්තුක එකක් වූවා!


ජීවිතේට දෙතුන් විටක් පමනක් අසා ඇති මෙම ගීතයේ 
" සසරේ පෙරදා - වරම් ලැබූ ලෙස
  සසරේ පෙරදා - වරම් ලැබූ ලෙස
  බෙල්ලෙකුගේ සඟවාලා
  මම ඔබ රැක ගත්තා . . . . . . "  
යන කොටස ඇයට කෙසේ නම් මතක් වේවිද? අන්තරා කොටස ඇය කෙසේ නම් ගයන්නේද?  
ඊළඟ මොහොතේ එතෙක් අප වෙත තිබුනු ආකර්ශණය පොල් මල පොළොවේ ගැසූ සෙයින් සුනු විසුනු වී යනු ඇත! (මගේ යටි  සිත මට මුර ගා කියයි.)

අවසන් අන්තරා කොටස් දෙක අතර වූ; ගායකයාගේ හා ගායිකාවගේ හඬෙහි පහත් උස්  බව තූලනය කිරීමට යොදා ඇති   කෙටි අතුරුවාදනය ශාලාව පුරා ගලා යෑමෙන් අනතුරුව ගායිකාවගේ අන්තරා කොටසට නිමේශය නිරාවරණය උනා.

ඇය කිසිදු වෙනසකින් තොරව ගයන්නට උනා..

"සසරේ පෙරදා පෙරදා - වරම් ලැබූ ලෙස
 සසරේ පෙරදා පෙරදා - වරම් ලැබූ ලෙස
 පිළිගන්නේ සැංගීලා
 මම ඔබ රැක ගත්තා . . . . "

කිසිම අවුලකින් තොරව ගීතය සමාප්ත විය. කිසිවෙකුට කිසිදු අඩුපාඩුවක් නොදැණුනා සේය. 

සුපිරි අත් පුඩියක් ලැබුනි.
ඇයට අමතකව තිබුනේ තෙවන පද පේළිය පමණි. 
ජීවිතේට කවියක් ලියා නැති ඇයට; ගීතයේ ගලායාමට බාධාවක් නොවන සේ හිටිවන කවි පදයක් දිවගට පැමිණී තිබුනි! 
ඇය ගීතයේ අමතකව ගිය කොටස දිවගට ආ වදන් පෙළින් පිරියම් කරගෙන තිබුනි.

වෙන්න ගිය හතර විළි ලැජ්ජාවක් එසේ නිමා විය.

"ජීවිතේ සුන්දරද මෙතරම්" ගීතය ඊළඟට ගැ‍යුනා නම් කෙතරම් අගනේදැයි මට සිතුනි.

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...