Wednesday, July 8, 2026

308. 4X4 Modifications අපට අකැපද . . . . ?



මම මේ කථාව පටන් ගන්නේ වෙනස්ම තැනකින්.

ඒකාලේ මම සේවය කලේ යුනයිටඩ් මෝටර්ස් සමාගමේ හයිඩ් පාර්ක් ශාඛාවේ සේවා උපදේශකයෙකු ලෙසයි.

ඔය මම කියන කාලේ වාහන බලපත්‍ර නිකුත් කරලා Lancer Ex රථ විකිණෙමින් තිබුනු කාලයක්.

මිට්සුබිෂි සෑම වාහනයක් සඳහාම නිදහස් සේවා තුනක් අයතනය මගින් ලභා දුන්නා. 

කිලෝ මීටර 1000න් 5000න් සහ 10,000න් තමයි ඒ සේවා තුන කලේ.

පළමු සේවාවේදී එන්ජින් තෙල් සහ ෆිල්ටරයද දෙවන සේවාවේදී තෙල් පමණක්ද තෙවන එනම් 10,000දී නැවත තෙල් සහ ෆිල්ටරයද අළුතින් යොදයි.

එක් සැන්දෑවක එහි පැමිණි පාරිභෝගිකයෙකු මා සමග අල්ලාප සල්ලාපයේ යෙදී සිටිනාතර තුර ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙකු බව දැනගන්නට ලැබුනා.

ඔහු නමින් නන්දන කරුණාසේන.

තවත් කාලයක් යන විට ඔහු මාගේ හොඳ මිතුරෙකු වූවා.

ගෘහ නිර්මාණ ශිල්පය ගැන පමණක් නොව බොහෝ දෙවල් ඔහු සමග මා කතා බස් කලා. ඔහුගේ ඇසුර වෙනස්ම එකක් උනා. ඒ ඔහු ලෝකය දිහා බලන ලද සුවිශේෂී කෝණය නිසාම වෙන්න ඕන.

වසරකට පමණ පසුව ඔහු හදිසියේ පැමිණියේ අළුතින් වෙනත් වාහනයක් ගැනීමේ අරමුණින්.

අප ආයතනය විසින් අළුතින් ගෙන්වා ඇති වාහන ගැන ඔහු විපිළිසර උනා.

මම ඔය කියන කාලේ Diesel Manual Montero Sports SUV රථය මෙරටට හඳුන්වා දුන් සමය.

ඒවගේම මිට්සුබිශි අළුත් L200 කැබ් එක Sportero කැබ් එක එහෙමත් එළි බැහැපු කාලෙමයි.

ඔහුගේ රැකියාවේදී බොහෝ විට වැඩබිම් වලට යෑමට සිදුවන බවත් මගේ තේරීම නිසාත් මා ඔහුට යෝජණා කලේ 4WD රථයක් ගනිමු කියාය.

ඔහු ඊට දුන්නේ කදිම පිළිතුරක්.


"මල්ලී මමත් අසයි 4WD එකක් ගන්න. ඒත් ඒකෙ Driving Seat එකට නැග්ගාම මට ආරෝපනය වන ස්වභාවයට මම එච්චර කැමති නෑ!

අපි කාර් එකක යනකොට පාරෙ පයිං යන අයටයි අනිත් වාහන වලට තියෙන ගරුත්වයයි ඔය 4WD එකක යනකොට අපෙන් ඈත් වෙනවා නේද මල්ලි අඩු වැඩි වශයෙන්?


මේ කථාව මම 4WD රථයකට ගොඩවන සෑම අවස්ථාවකදීම මතකයට එයි. ඒ නිසාම මා 4WD රථ පාවිච්චි කල මුළු වසර තිහකට ආසන්න කාල සීමාව තුල ඉතා වැඩි වසර ගණනාවක් පැදවූවේ එක්තරා විනයකට අනුවය. 

ඉන් පිටස්තරයෙකුට හැඟීමකින් හෝ හානියක් නොවීමට හා ස්වභාව ධර්මයාට සිතා මතා හානි සිදුනොවන ආකාරයට ඒවා පාවිච්චි කලෙමි. 

වරක් මුහුනු පොතේ පලවූ වීඩියෝ ක්ලිප් එකක ඉතා පැහැදිලි ජල පහරක ඔබ මොබ යන වාහනයක රුවක් දිස් විය. එසේම කළු පැහැති බොක්ස් ප්‍රාඩෝ එකක් ද වැවක "හාන" වීඩියෝවක්ද මම දුටුවෙමි. 

එම වීඩියො දෙකට මාගේ විරෝධය දැක්වූ විට "යකඩ හීන බලන්නන්" මාහට අම්ම මෝ නැතිව මාහට වහසි බස් කියමින් බනින්නට විය.

එහිදී මා ලියන ලද දෙවන පිළිතුරට බොහෝ අයගේ ප්‍රශංසාව හිමිවී තිබුනි.

එහි අදහස මෙතැන මා ගොනු කරණ්නම්.

"4WD රථයක් යනු බොහෝ අයගේ සිහිනයක්. ඒ අයගෙන් බහුතරයකට එය සාක්ෂාත් කර ගත නොහැකි කාරණයක්. අපිය එම භාග්‍යය ලැබී තියෙනවා. ඒ නිසාම බොහෝ බොහෝ අයට යානොහැකි ස්ථාන වලට යාමට ඒවා විඳීමට අපට අවස්ථාව ලැබෙනවා. මේ ලැබී ඇති භාග්‍ය නිසාම එවැනි තැන් වල ඇති ස්වභාව සෞන්ධර්යය, වටා පිටාව අප විනාශ නොකල යුතුයි. අප ඒවා ආරක්ෂා කල යුතු මයි. විනාශ කරණ්නවුන්ට විරුද්ධ විය යුතුමයි.

මාගේ පියා වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවේ සේවය කල අඩවි වන නිළධාරි වරයෙක්. ඔහු වියළි කලාපයේ වනාන්තරයක අතර මං ව; සිඳී ගිය ඇළ පාරක පසෙක් වූ වැලි තලාවක වූ වන අලි සටහන තුලට එකතුවී තිබුනු දිය සීරාව ලේන්සුවකින් තෙත් කොට ගෙන එයින් තොල කට තෙමගෙන ජීවිතය ගලවා ගත්තෙක්. 

ඒනිසාම දිය පහරක් සුරැකීමටත්, ජලය දූෂණය කරණ අයට විරුද්ධ වීමටත් මා කටයුතු කරණවා. ඒ නිසා මාගේ විරෝධය පිළිබඳව තේරුම් ගන්න!"

මේ පූර්විකාව ලිව්වේ 4WD රථ සහ ඒවා පාවිච්චිය පිළිබඳ මාගේ දෘෂ්ඨිය දැක්වීම උදෙසාය.

මා මේ පටන් ගත්තේ "යකඩ හීන" හෝ "දවල් හීන" වල දොස් දකින්නට නම් නොවේ. ඒ හා බැඳුනු නීති රාමුව හරහා ගමන් කිරීමටයි.

මෙම ලිපිය මුදුනේ මා ලියා දැක්වූ පරිදි නන්දන කරුණාසේන මහතාගේ අදහස එනම් අප පදවන වාහනයට අනුව ඒවා මාර්ගයේ පදවන  ආකාරය හා භාවිතය වෙනස් වන බව මා මෙන්ම ඔබ විශ්වාස කරණ්නේ නම් බොහෝ පුද්ගලික බස් රථ පදවන්නන් පත්වී ඇති මානසික ව්‍යාධිය තේරුම් ගැනීමට පුළුවන.

4WD රථය සන්නද්ධ කොට ඇති අමතර උපාංග වලට සාපේක්ෂව මෙම් "උණ" වැඩි වනවා සේම පුද්ගලික බස් ර්ථ  වලට සවිකොට ඇති අමතර සුදු යකඩ කොටස් වල කිලෝ ගණනට එම රියැදුරන්ගේ නොහික්මුණු බවද වැඩිවී ඇති බව  මා දැක ඇත. මෙසේ නොවන 4WD පදවන්නන් බොහොමයක්ද බස් රියැදුරන් සුළු පිරිසක්ද නැතුවා නොවේ. මමද එය අත්දැක ඇති කාරණයකි. 

මේ නිසාම අණතුරක් හෝ වෙනයම් සිද්ධියකදී මෙම බස් තොර්ණෙහි රූප රාමු හා කථා ශරීරය ඉස්මතුවී පොලීසිය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව සුදු යකඩ ගැලවීමේ මෙහෙයුමකට පාරට බසී!

"වාහනයක මුල්ස්වරූපය වෙනස් කල නොහැක!" මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ දෙව වාක්‍යය.

වාහනයක ඇතුලත අදහන දෙවියන් නොව අම්ම තාත්තගේ පිංතූරයක් ඇලවීම, හුඩ් රැක් එකක් සවි කිරීම , වර්ණය වෙනස් කිරීම, රේඩියෝවක ඒරියල් එකක් දැමීමේ සිට වාහනයකට පලල් ටයර යෙදීම, වින්ච් එකක් සවි කිරීම, හුඩ් රැක් එකක් සවි කිරීම දක්වා එකී නොකී මෙකී සියල්ලම පෙර කී දේව වාක්‍යයට අනුව වැරදි වේ.

මේ සෑම සියල්ලටම එදිරිවීමට හේතුද ඔවුන් වෙත ඇත. ඒවායින් බොහොමයකට නියාමනයක් හෝ සම්මතයක් නොමැති වීම කණගාටුවට කරුණකි.

උදාහරණයක් ලෙස දේව රූප බුද්ධ රූප ආදිය ඉදිරියේ සවි කිරීම ගතහොත් එයට පොලීසියෙන් යොදන තාක්ෂණික නාමය "ඉෂ්ඨ රූප සවි කොට තිබීම" යන්නය. 

මා කිසිදා වාහනයක දෙවියන් බඹුන්ගේ රූප සවිකොට නොගියාට එවන් මානසික තත්වයන් ඇති අය ඕනෑ තරම් සිටිති. එය එසේ නම් එම රූපය සවිකිරීමට සම්මත ස්ථානයක් හා ප්‍රමාණයක් එයට ලභා දිය යුතුය.

කොටින්ම සෑම වාහනයක් සඳහාම; ඒ ඒ වාහනයට ගැලපෙන නවීකරණයක් පිළිබඳ කථිකාවක් නීති ක්ෂෙත්‍රයේ ඇතිවී ඒවා  මෙරට රථ වාහන ආඥා පනතට එකතු විය යුතු යුතුය.

මෙම පෝස්ටුව මගින් කථා කෙරෙණ්නේ මුළු මහත් වාහන ප්‍රජාව පිළිබඳව නොව විශෙෂයෙන් 4WD වාහන පිළිබඳව බව කරුණාවෙන් සළකන්න.

වාහනයක වහලය මත කිසිවක් තබාගෙන යෑමට සවි කර ගන්නාවූ හුඩ් රැක් එකක් නීතිමය වශයෙන් තහනම් වූයේ මන්දැයි මාහට සිතා ගත නොහැක.

Winch - වින්චි

වාහනයේ ඉදිරිපස සවිකරණ වින්චි සම්බන්ධයෙන් බොහෝ පොලිස් නිළධරයින් ක්‍රියා කරණ්නේ වෙනත් වාහනයකින් ගලවා ගත් හොර  බඩුවක් ප්‍රවාහණය කරණ කෙනෙකු දෙස බලනාකාරයෙනි.

එහිදී සමහර නිළධරයින් වාහනයේ සම්මත දිග වෙනස් නොකර සවිකරගෙන යෑමට ඉඩ දෙන් අයුරු අප දැක ඇත.

එහෙත් කණගාටුවට කාරණය වන්නේ බොහෝ වාහන්වලට උදාහරණයක් ලෙස Toyota / Nissan / Mitsubishi / Isuzu Cab, Nissan Patrol / Isuzu Trooper SUV / L300, L400 4WD Van වැනි රථ වලට එසේ වින්චියක් වාහනයේ බෆරයට පසු පසින් සවි කිරීමට ඉඩක් නොමැති නිසාය.

එය එසේ හෙයින් එයට වින්ච් බෆරයක් සවිකරගත යුතුය. වාහනයේ මූලික ස්වභාවය වෙනස් කිරීම යටතේ එය නඩුවකි. බොහෝ පොලිස් නිළධරයින් පවසන්නේ වින්ච් බෆරයක් සහිතව මහපාරේ ගමන් කිරීම අනතුරු දායක බවයි. එනම් අනතුරකට පත්වන පුද්ගලයා හට දැඩි හානියක් වීමට ඉඩ ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

එහෙත් මෙතෙක් කලකට මෙරට මාර්ග අණතුරු වලින් මියගිය බහුතරය වින්ච් බෆර් සමග ගැටීමෙන් නොවන බව ඔවුන්ට වටහා ගත නොහැක.

වින්චියක් (Winch) වාහනයකට අත්‍යඅවශ්‍ය උපාංගයක්ද? කෙනෙකු තර්ක කරාවි! එය තීන්දු වන්නේ එම වාහනය පාවිච්චිකරණ ස්වභාවය අනුවය. 4WD රථයක් මිළදී ගන්නේ එදිනෙද කන්තෝරුවට යන්නට, ළමයි ඉස්කෝලේ යවන්නට, හෝ සාප්පු යමට නොවේ. 

ගිරි දූර්ඝ, වන දූර්ඝ, වැලි සහිත මඩ සහිත මං මාවත් ඔස්සේ ගමන් බිමන් යෙදෙන හා යෙදීමට කැමති අය 4WD රථ මිළදී ගනිති.

සාමාන්‍ය වාහනයකට වඩා 4WD රථයක් බොහෝ සෙයින් මිළ අධිකය. ඒවා මෙරටට ගෙන්වීමේදී වැඩි බදු අයකිරීමක් රජය කර ඇත. බදු මුදල් යනු පොදු මුදල් ය. 4WD භාවිතා කරණ අය ගෙවනා බදු වලින් ඵලප්‍රයෝජන  පෙරළා ලැබෙන්නේ 4WD රථ භාවිතා කරණ්නවුන්ට පමනක් නොවේ. ඒවා භාන්ඩාගාරයේ පොදු අවශ්‍යතා සඳහා වැය කරයි. එසේම 4WD රථ රටකට අනවශ්‍ය එකක් ලෙස කිසිදු රජයකට තර්ක කල නොහැක. මන්ද වැඩිම 4WD රථ හිමි කරුවා ආණ්ඩුව නිසාය.

මෙවන් රථයක් වුවද මඩ හො වැලි සහිත මාර්ගයකදී කිසිවක් කරකියා ගත නොහැකි ලෙස සිරවීමට ඉඩ ඇත. මඩ හෝ වැළි සහිත ස්ථානයකදී රෝද හතරේම ඝර්ෂණය අහිමිවී යෑමකදී නෝසේනම් රෝද හතරම ලිස්සා යන මොහොතකදී එම තැනින් ගොඩ වන්නට වින්චියක් උපයෝගී කරගනු ලබයි. 

එසේම එවන් අකර තැබ්බයකට පත්වී ඇති වෙනත් රථයක් එයින් මුදවා ගැනීමට හෝ බාධකයක් ඉවත් කර ලීනට විචියක් උපයෝගී කර ගනු ලභයි. (වරක් මාගේ Toyota BJ60යට සවි කොට තිබුනු වින්චිය මා උපයෝගී කර ගත්තේ විදුලි රැහැන් ත්‍රිත්වයකින් සැද්ම් ලත් කුඩා ත්‍රිකෝණයක් තුලින් කපන ලද ගසක අතු බිමට බෑමටය!

මීට පෙර මා විසින් ලියන ලද Don't Underestimate Power of the Common Man නම්වූ බ්ලොගයේ පරිදි මෙරට සිදුවුනු හා සිදුවිය හැකි ස්වභාවික ව්‍යවසනයන් හීදී සාමාන්‍ය මිනිසුන් මහත්වූ කාර්‍ය භාරයක් කරයි. එහිදී 4WD රථ හිමියන් කරණ්නේද අනුපමේය සේවයකි. පෞද්ගලික 4WD රථ මහත්වූ කාර්‍ය භාරයක් කරයි. 

කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව සිදුකරණු ලබන මෙම මෙහෙය මෙවර දිත්වා කුණාටුවේදීද, ගං වතුර තත්වයන් වලදීද, සුනාමියේදීද මා අත් දැක ඇත.

මෙවන් අවස්ථාවල්දී එළියට එන්නේ කන්තෝරු යෑමට, ළමයින් පාසැලට ඇරළවීමට හා නෝනට සාප්පු යෑමට ගෙවල් වල ගාල් කොට ඇති 4WD රථ නොව සැබැවින්ම ඒවා රළු භාවිතයට පාවිච්චි කරණ්නාවූ අයගේ රථ ය.

පසු ගිය කාලය තුල මේ පිළිබඳව සමාජය තුල ඇතිවූ කථා බහේදී මෙවන් Modification හෝ අමතර උපාංග ගැලවීම හුදෙක් මෙම රජයේ වරදක් හෝ කුහක කමක් ලෙස හුවා දැක්වීමට බොහෝ අය කටයුතු කලේය.

එහෙත් මෙම රජයෙන් අළුතින් නීති පොතට එක් කල නීතියක් ක්‍රියාවේ යෙදවීමක් සිදු නොවූ බව ඔවුන්ට නොවැටහීම කණගාටුවට කරුණකි. 

මීට පෙර සිදුවූයේ බොහෝ විට මෙවන් 4WD රථවාහන පාවිච්චි කල බොහෝ අයට දේශපාලන රැකවරණයක් හෝ අත් වැලක් තිබීම  නිසාම පොලීසිය හෝ මොටර් රථ වාහන දෙපාර්තමේන්තුව තමන්ට පොතෙන් හිමි නීතිය අකුලාගෙන සිටීමය.

මෙරට අනෙකුත් සියළුම කරුණු කාරණා සිදුවන ලෙසටම උපාංගය භාවිතයට පැමිණියාට ඊට අදාල උපදෙස් හෝ නීති රීති පැමිණ නැත. 

ඔරලෝසුව බැන්දාට වෙලාවට වැඩ කිරීම උගෙන නැතිවාක් මෙන්ම මෝටර් රථය මෙරටට ගෙන ආ කාලයේ හෝ බොහෝ කලකට පෙර හෝ භාවිතයට ආ නීති රීති නියමාකාරයෙන් යාවත් කාලීන වී නොමැත.

1865 බ්‍රිතාන්‍යයේ සම්මත කරගත් නීතියකට අනුව ස්ව්‍යංචාලක රථයක් (එකල මං මාවත් වල දිවුනේ අශ්වයන් ඇදගෙන ගිය රථයන් ය!) මහ මග දිවෙද්දී මාර්ගයේ ඇවිද යන්නවුන් හට අණතුරු දායක බව පල කිරීමට රතු කොඩියක් රැගෙන යයුතු විය. එය නමින් රතු කොඩි පනත නම් වේ!   මේ ගැන මෙතැනින් කියවන්න. මෙවන් නීතියක් බ්‍රිතාන්‍යයේ නැත්තටම නැතිවූ පසු මෙරටට  මෝටර් රථය නොගෙනෙන්නට තවමත් මෙරට වාහන වලට ඉදිරියෙන් රතු කොඩියක් අතින් ගත් අයෙකු දිව යනවා අපට දකින්නට පුළුවන් විය.

රටක් සංවර්ධනය වන විට ඇථිවන තාක්ෂණික ඉදිරි පිම්මට අදාල වන ලෙස නීති රීති සම්පාදනය විය යුතුය.

මේ ගැටළුව වෙනුවෙන් අදහස් බෙදා හදා ගන්නට  රජයට කරුණු ඉදිරි පත් කරණ්නට සහ මේ පිළිබඳව සාධාරණ නීති සම්පාදනය කරගන්නට 4WD පාවිච්චි කරණ්නන්, අයිති කරුවන් හා නවීකරණය කරණ්නන් එක්ව නිර්මාණය කල වට්සැප් සමූහයක මේ පිළිබඳව පුළුල් කථිකාවතක් ඇතිවී ඇත.

එහිදී එහි ක්‍රියාකාරී සාමාජිකයෙකුවූ නලීන් ප්‍රේමරත්න විසින් ඉදිරිපත් කර තිබුනු අවශ්යතා ලැයිස්තුව මෙහි පෙල අගස්වමි.

1.  Front Bumper & Winch (No Bull Bars)

ඉදිරිපස බෆරය සහ වින්චිය. (බුල් බාර් රහිතව )

බුල් බාර් රහිත වින්චිය සහ බෆරය
Montero

බුල් බාර් රහිත වින්චිය සහ බෆරය
Range Rover

බුල් බාර් සහිත වින්චිය සහ බෆරය
Toyota Hilux

2.  One pair of  Fog Lights (Should be not higher Than the head lights, with minimum 30cm gap)

මීදුම සඳහා භාවිතා කරණ ලාම්පු යුගලයක්. (මේවා ප්‍රධාන පහන් වලට ඉහලින් සවි නොවිය යුතුඅතර ඒවා අතර අවම සෙන්ටි මීටර 30ක් විය යුතුය )

මීදුම සඳහා භාවිතා කරණ ලාම්පු යුගලයක්
Toyota Hilux

3.  Roof rack (No lights are permitted on it) Expect a work lamp at the back of the roof rack)

වහල මත සවි කරණ රැක් එකක්. (එහි ලාම්පු කිසිවක් සවි නොවේ) පසු පසට වැඩ කිරීමට පමණක් පහතට යොමුවූ ලාම්පුවක් සවිවේ)

වහල මත සවි කරණ රැක් (Roof Rack) එකක්.
Toyota BJ 60

පසු පසට වැඩ කිරීමට පමණක් පහතට යොමුවූ ලාම්පුවක්

වහල මත ඉදිරියට ලාම්පු සවිකල   රැක් එකක්.
Toyota BJ   60

4.  Larger Tyres (They should be covered by the fenders)

වාහනයට නිශ්පාදකයා විසින් එයට සවි කර එවන ලද රෝද වලට සාපේක්ෂව විශාල ටයර භාවිතය (ඒවා අනිවාර්‍යයෙන්ම ෆෙන්ඩර්ස් මගින් ආවර්ණය විය යුතුය )

ෆෙන්ඩර්ස් මගින් ආවරණය වූ සාපේක්ෂව විශාල ටයර්
Toyota Hilux

5.  Awning

ඕනිං! මෙය අපට ඒ තරම් හුරු පුරුදු දෙයක් නම් නොවේ. 




මෙම තාවකාලික වහලය නැවත ස්ව්‍යංක්‍රීයව අකුලා මුල් රූපයේ පරිදි සැකසිය හැක.


6.  Roof Top Tent
වහලය මත සවි කරණු ලබන කූඩරම.
මේ පිළිබඳව මෙන්න මේ ලින්කුවෙන් ගොස් Roof Top Tents & හරිත කන්ද කෑම්පින් . . නමින් මා ලියන් ලද  පෝස්ටුවෙන් වැඩි විස්තර බලාගත හැක.



7.  Rear Bumper with a Tyre Carrier, Jerry Can holder & Trailer Hitch

පසුපස බෆරය හා එයට සවිකල අමතර රෝදය, අමතර ඉන්ධන ගෙන යා හැකි ජෙරී ටැංකිය සහ ට්‍රේලරයක් ඇමිණිය හැකි 50mm ට්‍රේලර් හිච් එක

ඉහත රූපයේ පෙනෙන පරිදි අමතර රෝදය සහ ජෙරී කෑන් එක සවි වන අතර ට්‍රේලරයක් අමුණන 50ම්ම්  බෝලය සහිත කොටස සවිවන රිසීවරය ඇත්තේද මෙම පිටිපස බම්පරයටම සමගය.

රිසීවරය (Receiver)

50 mm බෝලය (50mm Ball) සහිත කොටස සහ එය සිරකරණ  කඩ ඇනය සහ
 එය අගුළු ලන කොටර් පින් එක (Cotter Pin)

8. Cycle carrier

පාපැදි එකක් හෝ කිහිපයක් ගෙන යා හැකි සයිකල් කැරියරය. මෙය බොහෝ විට ට්‍රේලර්  හිච් රිසීවර් එකට සවිකල හැක.            



 50mm  බෝලය සහිත කොටස සවිවන රිසීවරයෙන් හිච් එක ඉවත් කර සයිකල් කැරියරයේ පහතින් ඇති කොටස ඇතුළු කොට පින් එක මගින් පසුපස බෆරයට සවිකල හැක.

ඕනෑම වාහන නිෂ්පාදකයෙකු විසින් එකම වර්ණයක වාහන නොනිපදවා විචිත්‍ර ලෙස ඉදිරි පත් කරණ්නේ එයින් කිසියම් කලාවක් නිර්මාණය වන නිසාය. 
එසේම රථ වාහන සඳහා කිසියම් නියාමනයකට යටත්ව නවීකරණයන් වියයුතු වේ. 
පොදු ගමනාගමන අවශ්‍යතා සඳහා භාවිතා කරණ රථ වාහන සඳහා කරණු ලබන නියාමනයට වඩා වැඩි ලිහිල් බවක් පෞද්ගලික රථ සඳහා ලැබිය යුතු බව මාගේ පෞද්ගලික අදහසයි.
විශෙෂයෙන් මෝටර් රථවාහන පිළිබඳව දියුණු රටවල පවතින නීති රීති ආභාෂයට ගනිමින් අපගේ රටට, පරිසර පද්ධතියට හා මාර්ග පද්ධතිය්ට ගැලපෙන ආකාරයෙන් පවතින නීති රීති වෙනස් වියයුතු කාලය දැන් එළඹී ඇත.

සමහර අවස්ථාවලදී 4WD රථයක් මෙවන් නවීකරණය කිරීමකට ලක් කිරීම කරණ කොට ගෙන; පොලීසියෙන් හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නවතා ඒවා ගැලවීමට නියම කල විට තමා විසින් පසුගිය සුනාමිය හෝ වෙනත් ගං වතුර , දිත්වා ව්‍යවසනය වැනි ස්වභාවික ආපදා වලදී ස්වෙච්ච්හාවෙන් කටයුතු කල හැටි පැවසීමට පුරුදුව ඇත. 
එසේම ඒවා සනාත කිරීමට ඡායාරූප හෝ වීඩියෝ පෙන්වීමට උත්සාහ කරද්දී ඒවා හෙලා දකිමින් හා අවතක්සේරුවට ලක් කරමින් කතා කල අවස්ථා බොහොමයක් ඇත.

මේ සියල්ලෙන්ම පවතින රජය අපකීර්තියට පත්වීම හා එවන් අවස්ථාව්කදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන "මිනිසුන්" වඳවීම නවත්වා ලිය නොහැකි වේ.

ගෙදර මැද සාලයේ සිට රූපවාහිනියෙන් ගං වතුර බලන කල, දුවා දරුවන් සමග කුඩ ඉහලාගෙන ගංවතුර ප්‍රදර්ශණ නරඹන මිනිසුන් සිටින රටක එම දුෂ්කරතාවයන් වලට මුහුණ දෙමින් කිසිදාක දැක නැති මිනිසුන් වෙනුවෙන් ඉදිරියට එන්නේ අවදානම ගන්නේ, තම මිළ මුදල්, ශ්‍රමය හා ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරි පත්වන්නේ එවන් මිනිසුන් ය! 

මෙවැනි ව්‍යවසනයන්හීදී ඔවුන් කල කී දෑ පොත් පිරෙන්නට ලියන්නට හැක. 

ඔවුන්ගේ අවසාන ඉල්ලීම පෙරකී අංක 8 කට කැටි කොට ඇත. එසේම මේවායින් මාර්ග අනතුරු වේ යැයි කිසියම් විද්යානුකූලවූත් හා තර්කානුකූලවූත් අදහසක් වේ නම් එය ඉදිරිපත් කරණ්ණට ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

වෙනත් රටවල මෙම තත්වයන් නියාමනය කොට ඇති ආකාරය අධ්‍යනය කොට එයට විසඳුමක් ලබා දීම රජයේ වගකීමක් සේ ඔවුන් විශ්වාස කරයි.
ඔවුන්ගේ බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ ඒ සඳහ විශේෂිත සාධාරණ බදු මුදලක් හෝ රක්ෂනාවරණයක් යටතේ හෝ මෙම නවීකරණයන් කිරීමට අවස්තාව ලබා දෙන්නේ නම් එය ඉතා බුද්ධිමත් තීරණයක් වන බවයි.

4WD රථ පදවන, ඒවායේ නවීකරණයන් කරණු ලබන ආයතන බලා පොරොත්තුවන්නේ මහ පාරේදී මෙම රථවලට පොලීසියෙන් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කරණු ලබන බාධාවන්  අවම කිරීමක් හෝ නවතා ලීමක් නොව මෙම නවීකරණයන් පිළිබඳව රජයේ මැදිහත්වීමක් ය.
මෙරට මෝටර් රථ ආඥා පනතට ගෙන එනු ලබන සංශොධනයක් හෝ ව්‍යතිරේකයක් මගින් මෙම කරුණ පිළිබඳව නීතිමය ප්‍රවේශයක් හා විසඳුමක් ලබා දෙන ලෙසයි.

මෙතෙක් පැවති රජයයන්ගෙන් සිදුවූයේ මෙම ප්‍රශ්ණයට පැලැස්තර දැමීම විනා ස්ථිර සාර විසඳුමක් ලබා දීම නොවේ.

පොලීසිය හා අනෙකුත් රාජ්‍ය ආයතන නීතියේ විධානය බාධාවකින් තොරව ක්‍රියාවට නැංවීමෙදී එහි සෘජු බලපෑම සිදුවන්නේ නවීකරණයන් සමග 4WD පාවිච්චි කරණ්නන්ටය. 

එය දැනෙන්නේ මෙම පවතින රජයෙන් අළුතින් ක්‍රියාවට නැංවූ දෙයක් ලෙස වූවාට ඒවා මෙතෙක් සංශෝධනය නොවූ නීතිමය කාරණාය.

උදාහරණයකට දුම්රිය මාර්ගයේ පයින් ගමන් කිරීම දඩයකට යටත් විය යුතු වරදක් වුවද එය සාමාන්‍යයෙන් ක්‍රියාවේ යෙදෙන්නේ අතිශය කලාතුරකින් ය. ඉන් අදහස් කරණ්නේ නීතිය ඉවත් කොට ඇති බව නොවේ!

එසේම සමස්ථ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නවීකරණය කල වාහන දෙස ආදරයෙන් බලා මෙම සටනට සහයෝගය දෙන ලෙසය.

මේවාත් Modifications ම තමයි!


මෙරට 4WD රථ නවීකරණය පිළිබඳව ගුරුකොට ගන්නා මුදුන් මල්කඩ වන්නේ ඕස්ට්‍රේලියාවයි.
එරට වුවද තම තම්න්ගේ හිතූ මනාපයට තමන්ගේ සිතැඟි පරිදි වාහන වල මුල් ස්වරූපය වෙනස් කිරීමට හෝ නවීකරණය කිරීමට ඉඩ දී නොමැත.
ඒ සඳහා රජයෙන් තදින් නියාමනය වන නීති පද්ධතියක් ඇත.

මේ පිළිබඳව උනන්දුවක් දක්වන අයෙක් වේනම් ඒ පිළිබඳව සටහනක් මෙම පෝස්ටුවේ උප ලෙඛනයක් ලෙස පහතින් දැක්වේ. මෙය මා උපුටා ගත්තේ පෙරකී වට්සප් සමූහයට නිමන්ත බෙන්තර ආරච්චි සොයුරා විසින් සපයන ලද සටහනකින් බව මතක් කරමි :-


ඔස්ට්‍රේලියාවේ 4x4 (4WD) වාහන භාවිතය සහ ඒවාට සිදු කරන වෙනස්කම් (Modifications) සම්බන්ධයෙන් ඉතාමත් තද සහ සංකීර්ණ නීති පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා.

මෙම නීති ප්‍රධාන වශයෙන් පාලනය වෙන්නේ VSB14 (Vehicle Standards Bulletin 14) නමැති ජාතික මාර්ගෝපදේශය මඟින් වුවත්, ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට (State to State) මේවායේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.

​ප්‍රධාන වශයෙන්ම බලපාන නීති සහ රෙගුලාසි කිහිපයක් පහත පරිදි හඳුනාගන්න පුළුවන්:
​1. Ride Height සහ Lift Kits (වාහනය උස කිරීම)
​4x4 වාහනවලට බහුලවම කරන suspension හෝ body ලින්ක්වලට දැඩි සීමා පනවා තියෙනවා. බොහෝ ප්‍රාන්තවල ඉංජිනේරු සහතිකයක් (Engineering Certification) නොමැතිව වාහනයක් උස කළ හැක්කේ උපරිම 50mm (අඟල් 2) දක්වා පමණයි.
​Suspension Lift: සාමාන්‍යයෙන් 50mm දක්වා සහතික නොමැතිව අවසර ඇත.
​Body Lift: චැසිය සහ බොඩිය අතර බ්ලොක් තබා උස කිරීම (Body Spacers) සමහර ප්‍රාන්තවල (උදා: NSW, VIC) සහතිකයක් නොමැතිව තහනම් හෝ දැඩි සීමාවලට යටත් වේ.
​Total Lift (සමස්ත උස): ටයර්, සස්පෙන්ෂන් සහ බොඩි ලිෆ්ට් යන සියල්ලේම එකතුව බොහෝ ප්‍රාන්තවල සහතිකයක් නොමැතිව 50mm නොයික්මවිය යුතුය (NSW වැනි ප්‍රාන්තවල ටයර් + සස්පෙන්ෂන් එකතුව 75mm දක්වා ඉංජිනේරු සහතික රහිතව අවසර දෙන අවස්ථා ඇත).
​⚠️ විශේෂ සටහන: වාහනය 50mm වඩා වැඩි ප්‍රමාණයකින් උස කරන්නේ නම් (උදා: 3-inch හෝ 5-inch lifts), එය මාර්ගයේ ධාවනයට නීතිමය අවසර ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම VASS (Vehicle Safety Compliance Certification Scheme) හෝ පිළිගත් මෝටර් රථ ඉංජිනේරුවරයෙකු ලවා සහතික කළ යුතුය. එහිදී Lane Change Test සහ ESC (Electronic Stability Control) පරීක්ෂණ සිදු කෙරේ.

​2. Tyres සහ Wheels (ටයර් සහ රිම්ස්)
​Tyre Size (ටයර් ප්‍රමාණය): වාහන නිෂ්පාදකයා නිර්දේශ කර ඇති උපරිම ටයර් ප්‍රමාණයට වඩා (Rolling Diameter එක) උපරිම 50mm දක්වා විශාල ටයර් දැමීමට බොහෝ ප්‍රාන්තවල අවසර ඇත. (එනම් ටයර් එක පැත්තකින් වාහනය උස වෙන්නේ 25mm කින්).
​Wheel Track (රෝද දෙක අතර පරතරය): 4x4 වාහනවල ස්ථායීතාව සඳහා රෝද පිටතට විහිදෙන පරිදි offset රිම් දැමීමේදී Wheel Track එක උපරිම 50mm දක්වා පමණක් පළල් කිරීමට අවසර ඇත.
​Wheel Spacers: ඔස්ට්‍රේලියාවේ පොදු මාර්ගවල ධාවනය වන වාහන සඳහා Wheel Spacers භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් (නිෂ්පාදකයා විසින්ම ලබා දී ඇති අවස්ථාවල හැර).
​Mudguards (Flares): ටයර් එක වාහනයේ බොඩියෙන් හෝ මඩ්ගාඩ් එකෙන් පිටතට නෙරා නොතිබිය යුතුය. ටයරයේ සම්පූර්ණ පළල වැසෙන සේ Flares සවි කර තිබීම අනිවාර්ය වේ.

​3. Bull Bars සහ Winches
​Bull Bars: ඕස්ට්‍රේලියානු ප්‍රමිතීන්ට (Australian Standards AS4876.1) අනුකූල Bull Bars පමණක් සවි කළ යුතුය. මඟීන්ගේ ආරක්ෂාවට හානි වන පරිදි ඉදිරියට නෙරා ආ උල් සහිත කොටස් (Fishing rod holders වැනි දේ බුල්බාර් එක ඉදිරියේ ස්ථිරව සවි කිරීම) තහනම්ය.
​Winches: වින්ච් එකක් සවි කිරීමේදී එය බුල්බාර් එක ඇතුළත ආරක්ෂිතව තිබිය යුතු අතර, එයින් වාහනයේ ඉදිරිපස බලපත්‍ර තහඩුව (License Plate) හෝ ලයිට් වැසීම සිදු නොවිය යුතුය.

​4. Lighting (අතිරේක ලයිට් සවි කිරීම)
​LED Light Bars / Spotlights: අමතර ලයිට් සවි කිරීමේදී ඒවා ප්‍රධාන හෙඩ්ලයිට් දැල්වෙන විට High Beam එකත් සමඟ පමණක් දැල්වෙන පරිදි සවි කළ යුතුය (Isolated switch එකක්ද තිබිය යුතුය).
​සවි කරන ස්ථාන: වහලය උඩ (Roof racks) ලයිට් බාර් සවි කිරීමේදී රියදුරුගේ පෙනුමට බාධා නොවන පරිදි සහ ඉදිරියෙන් එන වාහනවලට බාධා නොවන පරිදි නීතිමය සීමාවන් ඇත. ලයිට් බාර් එකක් සවි කරන්නේ නම් එය වාහනයේ ඉදිරිපස මැදට වන්නට යුගල වශයෙන් (හෝ එකම ලයිට් බාර් එකක් ලෙස මැදින්) තිබිය යුතුය.

​5. Mechanical සහ Drivetrain වෙනස්කම්
​Exhaust Systems: වාහනයේ දුම් බට පද්ධතිය වෙනස් කිරීමේදී ශබ්ද සීමාවන් (Noise levels) සහ පරිසර දූෂණ සීමාවන් (Emissions) ඉක්මවා නොයෑමට වගබලා ගත යුතුය. Catalan Converter හෝ DPF පද්ධති ඉවත් කිරීම බරපතල නීති විරෝධී ක්‍රියාවකි.
​Diff Lockers: පසුපස හෝ ඉදිරිපස ඩිෆරන්ස් ලොකර්ස් (Air/E-Lockers) දැමීම නීත්‍යානුකූලයි, නමුත් මාර්ගයේ ධාවනය සඳහා ස්ථිරවම ලොක් කරන ලද ඩිෆරන්ස් (Spool හෝ Welded Diffs) භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්ය.

​නීති කඩකිරීමේ ප්‍රතිවිපාක (Risks of Non-Compliance)
​ඔබ මෙම නීති උල්ලංඝනය කරමින් 4x4 වාහනයක් මාර්ගයට දැමුවහොත්:
​Defect Notice (කහ ස්ටිකරය): පොලිසිය හෝ ට්‍රාන්ස්පෝට් නිලධාරීන් විසින් වාහනය අඩපණ කර (Defect කර) නීත්‍යානුකූල භාවය පරික්ෂා කරන මධ්‍යස්ථානයකට (Roadworthy pits) යොමු කරවයි. එහිදී මුළු වාහනයම පරීක්ෂාවට ලක් වේ.

​Insurance Void: අනතුරක් සිදු වූ අවස්ථාවකදී වාහනයේ නීති විරෝධී වෙනස්කම් (Illegal modifications) තිබුණහොත්, රක්ෂණ සමාගම (Insurance) විසින් වන්දි ගෙවීම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලබයි.

​දඩ මුදල්: ප්‍රාන්තය අනුව ඩොලර් සිය ගණනක සිට දහස් ගණනක් දක්වා දඩ සහ Demerit points කැපීම සිදුවිය හැක.

​💡 උපදෙස: ඔස්ට්‍රේලියාවේ 4x4 එකකට යම් වෙනස්කමක් කිරීමට පෙර අදාළ ප්‍රාන්තයේ (VicRoads, Transport for NSW, TMR QLD, Dept of Transport WA) නිල වෙබ් අඩවියේ ඇති Vehicle Standards Information (VSI) හෝ VSB14 මාර්ගෝපදේශය කියවා බැලීම හෝ Signatory Engineer කෙනෙක් හමුවීම අනිවාර්ය වේ.

Saturday, July 4, 2026

307 කිරුම් - මිනුම් අපේ කෙරුම් . . . !

 

"කිරුම් සහ මිනුම්" මේ වචන දෙක බර සාරෙට හිතට දැනුනේ උසස් පෙළ භෞතික විද්‍යා පංති යන්න; නුගේගොඩ රොටරියට ගිය කාලෙදීය. ඒ එවකට උසස් පෙළ භෞතික විද්‍යාව ඉගැන්මේ දිග් විජය කල උපනන්ද සේනාරත්න සර් සේවය කලේ "ජාතික කිරුම් හා මිනුම් කර්යාංශයේ" වීමය.

සේනාරත්න සර් පංතියට පැමිණියේ ෆියට් 131 මිරාෆියුරි රථයකය. එය ලා නිල් පැහැතිය. බොහෝ දින වල සර්ම එය පදවාගෙන ආ නමුදු සමහර දවසට එතුමාගේ බිරිඳ විසින් එය පදවා ගෙන පැමිණ සර්ව පංතියට ගොඩ කර නැවත ආ පයින්ම යයි.

එතුමා ගැනද වචනයක් නොකීවොත් එය වස වැරැද්දකි.

උන්නැහැ අප දකින කල වයසින් අවුරුදු 50ක් පමණ වූ උස් සිහින් සිරුරකට හිමිකම් පෑ අයෙකු විය.

එතුමා පංතියට පැමිණියේ "මල අතින් අරං" ය. එතුමාට මල නොපැනපු අවස්ථාවක් සොයා ගැනීම ඉතා අපහසු එකකි. 

කනට ඉදිරියෙන් කොන්ඩය පහතට  වවා (Sideburns) සිටියේය.

රොටරි පහත ශාලාවේ එවකට සිසු සිසුවියන් 500ක් පමණ ගාල් කොට ඇති විට ඔවුන් කථා කලේ ස්පීකර් හොරණෑ ඇතිව නොවේ. තරමක උස් හඬිනි. ඒ හඬ අවසාන පේළියේ අවසාන සිසුවාට ඇසෙන තරම් තීව්‍රවූවාට වඩා එම හඬ ඇසීමට තරම් දැඩි නිහඬ තාවයක් පවත්වාගෙන යාමට ඔහුට හැකියාව තිබුනි.  

ඔහු අපට භෞතික විද්‍යාව පෙව්වේය! සියල්ලටම වඩා ඔහුගෙන් "විනය ගරුක බව" පිළිබඳව උගත් දෑ අද දිනයේ මම මගේ දරුවන්ට උගන්වමින් සිටිමි!

ආසාවට වගෙ ගූගල් දෙවියන්ගෙන් උපනන්ද සේනාරත්න පිළිබඳව විමසූ විට දැක්වූයේ මෙවන් ප්‍රථිචාරයකි.

"උපනන්ද සේනාරත්න යනු මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ (කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවා අධ්‍යක්ෂකවරයා ලෙස මීට පෙර කටයුතු කල ශ්‍රී ලාංකින විද්‍යාඥයෙකි. 

දේශපාලනිකව බලපෑම් එල්ලවූ මතබේදාත්මක සිදුවීමකදී ඔහුගේ සදචරාත්මක ස්ථාවරය වෙනුවෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැශනල් ශ්‍රී ලංකා ආයතනය මගින් පිරිනමන ජාතික අඛණ්ඩතා සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය."

සේනාරත්න සර් ගැන වෙනමම පෝස්ටුවක් ලියන්නට තරම් දේවල් ඇතත් මෙතනින් එය නවතා කිරුම් සහ මිනුම් වලට හැරෙමු.

මෙම පෝස්ටුවට උත්ප්‍රේරකයක් සැපයුවේ අද උදේ මුහුනු පොතේ පලවූ පෝස්ටුවක් / වීඩියෝ කොටසක් නිසාය.

හපුතලේ කඩයක; හොර තරාදියක් භාවිතා කරණු ලැබූ අයෙකුට    මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ සහකාර මිනුම් සේවා අධිකාරි විසින්  අල්ලා ගනු ලැබූ අවස්ථාවක් වීඩියෝවක් සමග පලවී තිබුනා. 

එය සිදුකොට තිබුනේ අපූරු ක්‍රමවේධයකටය. මෙම කඩයේ කේක් විකිණීමට ඇත.

වෙළෙන්දා ඉලෙක්ට්‍රොනික් තරාදිය මත සෑම විටෙකම කුඩා පිහියක් තිබෙන්නට හැර තිබේ. එහි බර ආසන්න වශයෙන් ග්‍රෑම් 250 කි. ඔහුගෙන් කෙක් කිලෝවක් ඉල්ලූ විට ඔහු කේක් කුට්ටිය ගෙන තරාදිය මත තබා එයින් කිලෝවක් වෙන් කර දෙයි.

පිහිය තරාදිය මත තිබීමේදී පැවති ග්‍රෑම් 250ට ආසන්න පාඨාංකය බින්දුවට නොගෙන එම පාඨාංකයේ සිට කිලෝව ගනන් ගැනෙන අතර පාරිභෝගිකයා අතට පත්වන්නේ කිලෝවක් නොව ග්‍රෑම් 750කට ආසන්න බරකි!

මෙම වංචාවේ පිනුම් ගසන්නේ කේක් කඩ කාරයින් නොව ඉන්ධන හල් වල පොම්ප කරුවන් ය.

ඔවුන්ද පොම්පය Zero නොකර එනම් ආරම්භක පාඨාංකය බින්දුවට ගෙන එන්නේ නැතිවම ඊළඟ වාහනයට ඉන්ධන පොම්ප කරයි.

මෙය කල හැක්කේ පොඩි මොළේ මීටරයක් ඇති අයෙකුට පමණි. ත්‍රී වීලරයක් හෝ මෝටර් සයිකලයක් වැනි කුඩා වාහනයකට පොඩි ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කල සැනින් එන මෝටර් රථයකට මෙය කල හැකි මගඩියකි. 

මන්ද රියැදුරු පොම්පය දෙස බලන විට එහි පාඨාංකය කුඩා ප්‍රමාණයකින් සිදු විය හැකි වෙනසක් ඔහුට හෝ ඇයට විනිශ්චය කර ගැනීමට අපහසු වන හෙයිනි.

එසේ නැතිව මෝටර් රියකට රුපියල් 5000 ක පෙට්‍රෝල් පොම්ප කල සැනින් සීරෝ නොකොට මෝටර් සයිකලයකට පොම්පය එබුව හොත් කන්නට වෙන්නේ ලීටර වලිනි!

මේ වගේම කථාවක් ජනයි - ප්‍රියයි ප්‍රහසනයක වේ!

ජනා පොලීසියේ සිර කූඩුවේ සිටියි.

ඊළඟ මොහොතේ ප්‍රියාවද කුදලාගෙන පැමිණ සිර කූඩුවට ඔබයි.

"මල්ලි මොනා කරලද ආවේ?" ජනා අසයි.

"හොර සල්ලි අච්චු ගහලා . . !'

"එළ . . ! මාත් හොර සල්ලි ගහලා තමයි. මල්ලි කීයෙ ඒවද ගැහුවේ . . " ජනා අසයි.

"පණහෙ ඒවා . . . !

"අයියෝ පණහෙ ඒවා ගහලා කවද ගොඩ යන්නද බං . . . ?

"ඔයා ගැහුවේ කීයේ ඒවද . . . . " ප්‍රියා අසයි.

"හාරදාස් පන්සීයේ ඒවා . . . . . !


මේ මොඩලයේ හොරෙක් අපගේ මිත්‍ර රන්ති රොහාන් ගමගේගේ නිවසට යාබදව පැවති ඉන්ධන හලේ සිටියේය.

ඔහු ඉන්ධන හලට ආධුනිකයෙකු වූ අතර "අයියලා" විසින් හොරකම කියා දී තියෙන්නට ඇති.

රන්ති වරක් කුඩා සුසුකි මෝටර් රථයක් මිළදී අගත්තේය. ඒ සුසුකි මෙරටට ආපුම කාලයේ වාගේය. මෙම වාහනයේ ඉන්ධන පරිභෝජනය ගැන වැටහීමක් ලභා ගැනීමට ඔහු එය රාවතාවත්තේ ඔහුගේ නිවසට යාබද ඉඩමේ පවත්වාගෙන යනු ලැබූ පිරවුම් හලට රථය යවන ලදී.
එකල පැට්‍රෝල් ලීටරයක මිල රුපියල් දහයකි. සුසුකි රථයේ ටැංකියේ ධාරිතාවය ලීටර 27 කි. රුපියල් 300ක් දී යවන රථය යවන ලදුව විනාඩි ගනනකදී තවත් රුපියල් 150ක් ඉල්ලමින් රියැදුරා වාහනය එතැනම දමා රන්ති මුණ ගැහෙන්නට පැමිණියේය.
එසැනින් එතැනට ගිය රන්ති "ටැංකියේ ඇණේ ගලවලා පෙට්‍රෝල් ටික බිමට හලනවා. තමුසෙ මේ වාහනේට ලීටර් 45ක් ගහලා පෙන්නන්න ඕනෙ!" කියා ගේම ඇදගත්තේය! කන්නට සිදුවන පරිප්පුව තේරුම් ගත් පිරවුම් හලේ මුදල් අයකැමි පැමිණ අවුල ලිහා දුන්නේය.

"ඉතිං මචං මම ලීටර දෙකකට සල්ලි දීලා ආවා!" මේ කථාව මතක් වී රන්තිට අමතා විමසූ විට ඔහු එසේ කීවේය.
"ඉතිං ලීටර දෙකක්ද වාහනේට ගහන්න තිබුනේ?"
"පිස්සුද බං  වාහනේම තියෙන්න ඇත්තේ ලීටර දෙකක් තුනක් තමයි! ඌත් කලේ කුප්ප වැඩේනෙ. මාත් ඒකම ඌට කලා!" කියමින් රන්ති දුරකථනයෙන්  හොක! හොක!! ගා සිනහ උනේය!

අර අහිංසක පොම්ප හොරා වෙනත් මෝටර් රථයකට ඉන්ධන පොම්ප කල සැනින්ම මෙම අදාල රථයට පොම්ප කරණ්නට පටන් ගෙන ඇතැයි පසුව අප සැක කලෙමු!

ඔබ නොසිතුවාට මේ සියල්ලටම වඩා සුපිරිම වංගුව ගහන්නේ කුකුල් මස් වෙළඳාමේදීය. 

අපි අඳුනන කුකුල් මස් කඩ කිහිපයක් අයිති මිත්‍රයෙක් සිටියේය. ඔහුට පටබැඳි නාමය "කුකුලා"ය.
කුකුලා සෑම දිනකම හවස් වරුවේ අඩියක් ගැසුවේය. 
වරක් ඔහු අඩියක් ගසා අනත - මනත වී සිටි මොහොතක අපේ එකෙක් ඔහුට ලං වී "මච්චාං ඔය බිෂ්නෂ්ෂෙක ලාබයිද බං?" කියා විමසා ඇත.

ඔහුගෙන් ලැබුනේ කදිම පිළිතුරකි.

"මචං මම හැමදාම උදේට කඩ තුනටම ගිහිං පත්තර කිලෝ 10 ගානේ දෙනවා. 
මම කඩේ එවුංට කියන්නේ මස් ඉතුරු උනත් කමක් නෑ පත්තර ටික ඉවර කරලා තියාපල්ලා! කියලයි.
උං කුකුලව දාන්න ඉස්සෙල්ලා තරාදියට පත්තර පිටුවක් දානවා උඹලා දැකලා ඇතිනේ . . ?

දවස ඉවර වෙන කොට පත්තර කිලෝ දහය ඉවර උනොත් මට කුකුල් මස් කිලෝ දහයක සල්ලි නිකංම ලැබිලා!
කාටවත් අසාධාරණයක් වෙලත් නෑ. හැම එකාගෙන්ම අරං තියෙන්නේ පත්තර පිටුවක බරට කුකුල් මස් වල වටිනාකම!

මරු නේද ඒ වැඩේ . . . ?

සනීපයි නේ . . . . . . . . . ?

Sunday, June 28, 2026

306. අසම සම - අමුතු ගැටුම



මේකත් පොඩි ආතල් කතාවක්!

හැබැයි මේකට මම සම්බන්ධ නෑ. 

මම හුදෙක් නරඹන්නෙක් සහ නිරීක්ෂකයෙක් විතරමයි.


අපි ඉස්කෝලෙ යන කාලේ (ඔව් අපි ඉස්කෝලෙ ගියා තමයි!) මේ සිද්දිය උනේ. එතකොට අපි හතේ පංතියේ. 

අපේ ඉස්කෝලෙ අපේ වසරේ පංති 10ක් තිබුනා. ඒ කියන්නේ හත A ඉඳන් හත J වෙනකල්.

අපි හිටියේ හත E පංතියේ. 

මේ පංති සියල්ලටම චන්ඩියා උනේ නීලංග. ඔව් ඔව් උන්නැහැ තමයි දැනට ඕස්ත්‍රේලියාවේ Queensland ප්‍රාන්තයේ ඉන්නා K. C  මනෝජ් නීලංග.

බුවා හිටියේ දෙමටගොඩ. 

තව අපේ පංති වල එක එක විදියේ එක එක වංසෙ හාරත බූරු පොරෝ ආසි කොල තිබුනා. 

ඒ සියල්ල දෙමටගොඩ, මරදාන ස්ටොක් වත්ත, පුංචි බොරැල්ල, වනාතමුල්ල තම නිජබිම කරගෙන හිටිය අය.

අපේ හත E එකේ චන්ඩියා උනේ ගෝර්කි. ගෝර්කි යන වචනෙ බිඳිලා ආවේ ගොරකයා කියන නාම පදෙන්. මුන්නැහැත් දෙමටගොඩ. එයාගෙ නම අතුල සුරේන්ද්‍ර පට්ටියගේ. ඉන්නේ කැනඩාවේ කියලයි ආරංචිය. 

අපේ අල්ලපු පංතියේ චන්ඩියා උනේ මුණසිංහ.  රුවන් මුණසිංහ. එයා කොහේ ඉඳන් ඉස්කෝලෙට ආපු එකෙක්ද කියලා දැන්නම් මතක නෑ. හොයන්න පුළුවන් උනත් ඒක මේ කථාවට ඒතරම් වැදගත් කමක් නෑ. ආ පස්සෙ මතක් උනේ! මෙයත් දෙමටගොඩින් ආපු එකෙක්.

මේ යකාට කිව්වේ පොලිස් මුනේ කියලා. මෙයාගෙ තාත්තා පොලිසියේ තමයි වැඩකලේ. ඒ උණත් අඩු පාඩු නැටිව මුන්නැහැට තිබ්බා කියහංකෝ! 

මේ කථාවේ ඇත්තම චරිත දෙක මේ මම අන්තිමට කියපු  මුණසිංහත් තවත් එක් අයෙකුත්. මේ නම නොකියපු එකා තමයි ඉදිරිමුණිගේ චන්ද්‍රලාල් සිරිවර්ධන හෙවත් සිරා. 

සිරා හිටියේ ගල්කිස්සේ. හේන පාරේ. මූ අන්තිම අහිංසක ආතල් ඩයල් එකක් ඒ කාලේ. පොඩි ඇඟපතක් තිබුනු. ඒ හැටි උසක් නොතිබුනු සාමාන්‍ය සෙබල චරිතයක්. 

හැබැයි මූට මළ පනිනවා එකසිය ගානට! (අර කාටද වගේ!)

සාමාන්‍යයෙන් ඉටර්වල් එක ඉවර වෙලා තවත් විනාඩි 10ක් අරං වතුර බීලා එන්නට පුරුදු වෙලා හිටිය අපි අතර උන්නු මම එදා පංතියට දුවගෙන ආවේ එකසිය ගානට.

ඒ වෙන කොට අපේ පංතියට වත් අල්ලපු F පංතියට ඒ කියන්නේ හත F එකට වත් ගුරු වරු ඇවිත් හිටියේ නෑ. 

හුඟක් වෙලාවට ඉන්ටර්වල් එකෙන් පස්සෙ;  ගුරු මණ්ඩලයෙ ඇඹරුම් හලෙන් සප්පායම් වෙලා කට පිහිද පිහිද ගුරුවරුන් පංති වලට එන එක අන්තිම ස්වභාවික සංඛ්‍යාතයේ සිදුවීමක් උනා.

ඉතිං මම පංතියට දුවගෙන එන කොට හත F එක ඉස්සරහ; ඒ පංතියේ මුළු ජනතාවම පිරිලා. ඕන දෙයක් ප්‍රීති වෙසක් කියලා මාත් මෙතනට හොම්බ දාලා එතන හිටිය ඩයල් එකකගෙන් "මොකක්ද සීන්ස් එක?" කියලා ඇහුවාම "අපේ මුනයට එයා පංතියේ එකෙක් චැලෙන්ජ් කරලා!"

මමත් සර බර ගාලා මේ ජනතාව අස්සෙන් ඉස්සරහට ඒ කියන්නේ වළියේ කේන්ද්‍රය වෙතට හොම්බ දැම්මාමයි ඇඟ හිරි වැටුනේ.


මුනයා කියන්නේ එකාලෙත්  අනිත් එවුංට සාපේක්ෂව උස මහත ඩයල් එකක්. මහත කිව්වාට උස එකෙක්. ඇස් දෙකත් දොඹ ගෙඩි සෙයියාවෙන් එළියට ඇවිත් තිබුනු කට්ට කළු ඩයල් එකක්. කොටිංම කරුවලේ දැක්කොත්; සුද්දෙකුට උනත් නිකංම ඉතිපිසෝ කියවෙන මූනක් ඌට තිබ්බේ. ඌ දාගෙන එන්නෙත් ඉස්කෝලෙට වළි වලටම ගැලපෙන බර සාර සපත්තු දෙකක්. 

මම වළියේ කෙන්ද්‍රයට ළං වෙන කොට; කිව්වට් විශ්වාස කරණ්න ආයිබොවං දෙන්නෙක් මුනයා ගාව දණ ගහගෙන උගේ සපත්තුවේ ලේස් තදින් ගැට ගහනවා. වටේ ඉන්න එවුං උගෙ මොරාල් එක හැදෙන්න ටෝක් ඉශූ කරණවා.

ඌට ඉස්සරහිං අපේ අහිංසක සිරා ඔහේ පරැඬලක් වාගේ ඉන්නවා. එතන ඌට සපෝර්ට් එකට මොකෙක් වත් නෑ. ඌ අඳුනන කියන එකෙකුට හිටියා නම් ඒ මමම විතරයි!

මම "සිරා,! සිරා!! මොකද? කියලා ඇහුවා!

සිරා මුකුත් නොකියා මට අතින් "පොඩ්ඩක් හිටපංකො!" හරි "සද්ද නැතුව හිටපං!"  වගේ අදහසක් එන සංඥාවක් කලා.

සිරාගේ ඇස්  වල කේන්තියෙන් රතු වෙලා තිබුනා.

මම හිතුවේ සිරා මොකක් හරි සුපිරි ගේමක් දෙන්න යනවා කියලා!


තවත් විනාඩි කිහිපයකින් ගැටුම ඇරඹුනා. අපගේ පංති ඉස්සරහින් දිවුනු කොරිඩෝවේ තමයි සීන් එක ඇදුනේ.

පටං ගත් වෙලාවේ ඉඳන්ම සිරා අරූගෙන් අම්බානක කෑවා!

එතැන තිබුනු කානුවට වැටෙන කල්ම අර යකා අතින් මේ අහිංසක සිරා ප්‍රහාරයට ලක් උනා. අන්තිමේ ඌව බේරුවෙත් මුනේ ගේ වටේ හිටපු එවුංමද මන්දා!

කොහොම හරි වළිය ඉවර වෙන කොට සිරාගේ ඇස් වලින් කඳුළු පැනලා තිබුනා. ඒත් ඌ ගහන්න එපා කියලවත්, තමා යටත් වුනු සෙයියාවක් වත් පෙනුනේ වත් ඊට ගැලපෙන දෙයක් කිව්වේවත් නෑ!

අරූ ගහලා ඉවර වෙලා යනකල් ඉඳලා අන්තිමට අපි දෙන්නා පංතියට ආවා!

අදට වත් වනතුරු මේ අහිංසක සිරා  මුනයාට චැලෙන්ජ් කල හේතුව මම දන්නේ නෑ.

ඒත් ඒවගේ එකෙකුට මේ වගේ එකෙක් චැලෙන්ජ් කරණ්න යන්න්නේ මොන ලබ්බකටද කියලා  හිතුනත් මේ ඊයේ පෙරේදා පොඩ් කාස්ට් එකක් බැලුවාමයි මට තේරුණේ සිරාට අමතරව තවත් මේ වගේ අභීත පොරවල් ඉන්නවා නේද කියලා.

මෙම ලිපිය සහ නම් ගම් සියල්ල 100%ක්ම නිවරදිය.

ඒත් මේ කථාව මට හැර සිරාටවත් මතක දැයි සැක සහිතය!

Monday, June 22, 2026

305. මාගේ නිවසට මා ගෙන යව PickMe; ඒස්වා හඃ !

 මා ගේ ජීවිතයේ  මතක් කරමින් ආතල් ගන්න පුළුවන් සුපිරිම කථාවක් තමයි මේක:-

ලංකාවට PickMe ~ Uber ගමන් සේවා පැමිණියේ කොයි කාලයේදැයි මා හට නිවැරදි වැටහීමක් නැතත් මේ මෑතක සිට එනම් වසරක පමණ කාලයක සිට; මුංට එළෝ මෙළෝ නැතිව හංදියක් හංදියක් ගානේ එළව එළව පහර දෙන හැටි නම් දුටුවා මට අද ඊයේ වාගේ මතකය!

මෙසෙ පහර දෙන්නන් එසේත් නතිනම් පාරම්පරික හයර් දුවන්නන්ගේ අවලාදය, චෝදනාව වූයේ "තොපි අඩු ගානට දුවන කොට අපි ජීවත් වෙන්නේ කොහොමද?" කියන එකය!

ඒක මරු කථාවකි. එහි විලෝමය වන්නේ අපිට වැඩිපුර පාරිභෝගිකයින් මරාගෙන කෑම සඳහා තොපි අඩුවෙන් අය කිරීමෙන් වළකින්න!" යන්නයි.

අඩු මුදලකට ගමනක් යෑමට හැකි සුපිරි ක්‍රමවේදයක් ලෙස අර්ථ ගැන්වුනු මෙම මෘදුකාංග යෙදවුම් හරහා; ළමුන්, කාන්තාවන් වැඩිහිටියන් ඇතුළුව සමාජයේ විවිධ එසේම නානාවිධි නානා සමජ ස්ථර වල අය ඉතා පහසුවෙන් සේවා සපයා ගන්නා බව මා හට දැනෙන කාලය වන විටදී එය ගැන නොදන්නා සහ එය ප්‍රයෝජණයට නොගන්නා මෙම සමාජයේ ජීවත් වන  එකම ජීවියා මම වූවා යැයි මට සිතුනි.

එයටද හේතු භූතවූ කරුණු කිහිපයකි. අප ජීවත් වන පලාත හද්දා ඩොටේ බැවින් ඒ පලාතට මේ අළුත් සේවාවන් නො එතේ යැයි තිබුණු පදනම් විරහිත අදහසය. 

වසිකලා කල්මිලා නැති මේ ගෙදර දැනට පොඩි ළමයෙකුට සිටින්නේ මා පමණක්ම බැවින් අපගේ ගමන් බිමන් බොහොමයක් අප සතු ඩීසල් රථ දෙකෙන් ඉටුකර ගැනීම අනෙක් හේතුවය.

කුඩා කුඩා ගමන් සඳහා මා මාගේ පා පැදිය යොදා ගැනීම තවත් හේතුවක් ය. එසේම දන්නා කාලයේ සිට ත්‍රී වීල් ගාස්තු වලට ඇති අස්ථාන බියය!

භාවිතා කරණ්නන් අතර ඉමහත් ප්‍රසාදයක් දිනාගෙන ඇති මෙම; PickMe ~ Uber සේවා සපයන්නන් හට මෙසේ පාරම්පරික යල්පැනගිය ත්‍රී වීල් කරුවන්, හයර් දුවන්නන්, එයා පෝර්ට් කාක්කන්, ටුවරිස්ට් රියදුරන්; පහර දෙන්නටත් විවේචනය කරණ්නටත් සූදානම් වන්නේ ඇයි දැයි සොයා බැලීමට වරක් මම අපගේ නිවෙසට හැරෙන හංදියේ වුන් ගෙන් විමසීමක් කලෙමි.

"ඉතිං උඹලත් පික්මී එකේ  හරි ඌබර් එකේ හරි රෙජිස්ටර් වෙයල්ලකෝ. එතකොට ඉවරයිනේ සීන් එක. එතකොට කවුරුවත් මෙතැන පිටිං ඇවිත් හයර් උස්සන්න එන්නේ නෑනේ!?"

"ආපෝ! හයර් නැතිව මළත් අපිනං පික්මී ~ ඌබර් දුවන්නේ නෑ! අපිට නිදහස ඕනේ. ඕවා දාගත්තාම  දවසම දුවන්න වෙනවා නොකා නොබී!"

කථාව නොම්මර එකටම පැහැදිළි විය. අඩු මුදළට වැඩි වාරගණනාවක්, වැඩි දුරක්, වැඩි කාලයක් සේවය සපයනවා වෙනුවට හයර් එකකින් නැතිනම් දෙකකින් වැඩි ලාභයක් ගෙන ගෙදර යෑම ඔවුන් තෝරා ගෙන ඇත!

මේ නිසාම පික්මී ~ ඌබර් රියැදුරන්ගේ සටනට මා කොන්දේසි විරහිතව එක් උනෙමි. පෝස්ට් ශෙයා කලෙමි! මුහුණු පොතේ ලිව්වෙමි. කථා කලෙමි. 

ඒ සියල්ලෙන්ම නොනැවති PickMe App එක බා ගත කර ගත්තෙමි!

පික් මී ඇප් එක දා ගත් දින පටන් මා ගේ කුඩා කුඩා ගමන් සඳහා යොදා ගත්තේ පික් මී බයික් ය. එහි අපූර්වත්වයක් මා වින්දෙමි. යන එන ගමනාතරතුර සාමාන්‍ය ත්‍රී වීල් කාරයින්ට ඔහු හා එක්ව බැන වදිමින්, ඔහුගේ ගම, ගේ දොර පිළිබඳව විස්තර කථාකරමින් කරණු ලබන මෙම කට යුත්තෙන් ලැබුනේ සෙසු පටු ආතල් එකක් නොවේ!

මා මේ ලියන්නට යන ආතල් සිද්ධිය වන විට මා හොඳ පික්මී ගනුදෙනු කරුවෙකු වී අවසානය.

දිනය නිවැරදිවම මතක නැතත් අප්‍රේල් මාසයේ දිනයක් ය.

අපගේ පාසල් අතර මහ තරගය බලන්නට යන්නට නොහැකිවූ මා සීමිත ඕවර තරගය බලන්නට ගියෙමි.

ඒ ගියේද තනිව නොවේ. අතිජාත මිත්‍ර ප්‍රසාද් රණ්නුළු, සකලෙ සහ ජානක පෙරේරා සමගිනි.

ඒ ගියේද සකලේගේ බැටරි කෑල්ලෙන් දුවන BYD රථයෙනි.

තවමත් නැවුම් ප්ලාස්ටික් සුවඳ හමන රථයේ අප සිව් දෙන අගනුවර SSC ක්‍රීඩාංගනය වෙතට ගොස් බහිනවාත් සමගම අපගේ කුටියේ සම සංවිධායකයින් වූ මොරේ සහ නලීන් හමුවිය. ඒ පුදුමාකාර හදිස්සියකින් අරක්කු ගෙන ඒමට ළඟම ඇති සුපිරි වෙළෙඳ සැල වෙත යන්නට ක්‍රීඩාංගනයෙන් එළියට පැමිණ සිටි මොහොතකය.

ක්‍රීඩාංගනය පාසල් දෙක අතර බෑ දෙකකට කපා වෙන්කොට ලබා දෙන අතර අපගේ බෑය; පාසල් ළමුන් සඳහාද ආදි ශිෂ්‍යයින් සඳහාද යන ආකාරයෙන් නැවැත බෙදා තිබේ! එසේම ආදි ශිෂ්‍ය කොටස නැවත කුඩා කුඩා ඉරු වලට තීරු කර තිබුනේ ආදි ශිෂ්‍ය කණ්ඩායම, එක් එක් සාමූහිකවලට අනුවය. උදා හරණයක් ලෙස 85 කණ්ඩායම, 92 කණ්ඩායම ලෙසින් ය. 

ක්‍රීඩා තරගය නැරඹීම සඳහා ඇතුලත්වීමේ ගාස්තුව රුපියල් 4000ක් වූ අතර අපගේ කුටියට ඇතුළුවීමේ ගාස්තුව අමතර ගෙඩි රුපියල් 5000 කි. සමස්ථය 9000ක් ය.

අපගේ කුටිය තුල මුළු මහත් දිනය පුරා කාජ්‍ය භෝජ්‍ය සහ මියැසිය අඩු නැතිව තිබේ!

"Un limited; foreign Liquor, Mixers, Bites and food . . . . !" ටැග් ලයින් එක විය.

ඉතිං අපි හතර දෙනා නමෝ විත්තියෙං SSC එක ළඟට යන කොට හවස 4.00 ට විතර ඇති. Day and Night මැච් එක නොවැ!

යන කොටත් කවුදෝ මංදා බැට් කරණවා. (කවුද මැච් බලන්න; මැච් එකට යන්නේ? ~ විකාර!)

අපි අර කලින් කිව්වා වගේ පිට්ටනියේ ගේට්ටුව ලඟින් බහින කොටම සම සංවිධායක වරු වන නලීනුයි මොරෙයි ත්‍රී වීල් එකක නැගලා යන්න ගිහිං තියෙන්නේ "Unlimited liquor" ලිමිට් වෙන්න ගිහිං හින්දා.

ගේට්ටුව එළියේදීම හමුවූ අපෙන් "දී පල්ලා උඹළගෙ සල්ලි!' කියලා මොරේ  මහ දවල්ම අපිව මං කොල්ල කෑවා.

අපිත් හිත හදාගෙන; එකි නෙකා තම තමංගෙ 5000 හෙ ඒවා මොරේට පූජා කලා.

මගේ 5000 දෙන ගමංම මම නලීන්ගේ කණට කරලා  කිව්වා "මට ගල් බෝතලයක් ගෙනෙං!" කියලා! (මම කොහොමත් ඔය විස්කි වලට වැඩි ඇල්මක් තියෙන කෙනෙක් නෙවෙයිනේ!?)

"අවුලක් නැද්ද?"

"අවුලක් නෑ - ටොනික් බෝතල් දෙකකුත් ගෙනෙං!"

අපි ඇතුලට ගිහිං පොඩි වේලාවකින් ගල් බෝතලෙ ඇතුලට වැඩම කලා. කියන්න සතුටුයි මිත්‍රවරුණි පැය තුනක් යනකොට ගල් බෝතලේ ඉවරයි!

"කී දෙනෙක් එක්කද?" ඔබ තමුන්නාසේලා අහයිනේ.

කී දෙනෙක් එක්ක වත් නෙවෙයි තට්ට තනිවම.

ඊළඟට පොඩි කේස් එකක් දාගෙන තිබුනු එකෙක් ජින් බෝතලයක් අරං ආවා! ඒක බිව්වේ ඌව පදිරි කරණ්න කටේ තියං!

මැච් එක රෑ කීයටද මංදා ඉවර උනාලු! අපි හතර දෙනා BYD එකට ගොඩ වෙලා අපි ඉතාමත් නිදහසේ පිටත් උනා.

අපි SSC එක ගාවින් කීයට කොහොම ආවාද කියලා මට නම් අදටත් එහෙම වැටහීමක් නෑ ආයිබොවංඩ!

තැනින් තැන පියවි සිහිය එමින් ~ නැතිවෙමින් කඩවතට ඇවිත් එතැනින් රාගමට ගොහිං රණ්නුළු ලොක්කාවයි ජානකවයි බිමට බෑවා මතකයි.

ඊ ළඟට මගේ වාරේ. සකලෙ ඉන්නේ ඇල්දෙනිය පල්ලියට උඩින්. මම ඊට මීටර 500ක් දුරින් හැරිලා ඇතුලේ නොවැ?

"මච්චාං මාව ගෝනඒන හංදියෙන් දාහං!" මම සකලයට කිව්වාලු.

"පිස්සුද බං? මම උඹව ගෙදරටම දාන්න්නං!"

"එපා කිව්වාම එපා! මාව ගෝනඒන හංදියෙන් දාලා පලයංකො!"

මෙහෙම කිහිප වරක් ඌත් එක්ක මම ගැටෙන කොට ඌ කැමති උනා මාව ගෝනහේන හංදියෙන් ඕ. පූ. කියලා අත ඇරලා දාලා යන්න.

කඩවත දෙසින් පමිණි BYD රිය ගෝනහේන හංදියෙන් U ටර්න් එකක් ගහලා නැවැත්තුවා. 

ඒ නැවැත්තුවේ එතැන ත්‍රී වීල් පාර්ක් එකේ දොර පාමුළ.

"ඒ ඔතන නවත්තන්න එපා බං! පොඩ්ඩක් ඉස්සරහට කරලා මව දාලා පලයං!"

ඔහොම තවත් දෙතුන් වතාවක් වාහනේ පොඩ්ඩ පොඩ්ඩ ඉස්ස්සරහට අරං නැවතුවාට පසු මම පාරට බැස්ස.

මම එතැනම නොබැස්සේ එතැනම බැස්සා නම් අනිවා මට යන්න වෙන්නේ එතැන තිබුනු ත්‍රී වීල් එකකමයි. මොකද එතැන ඉන්න එවුං මාව බඩේ බත් වාගේ දන්නවානේ.

එතැන ඉඳන් අපේ ගෙදර මිදුලට රුපියල් 350 යි. මට ඕන උනා මුංට මෙහෙම අසාධාරණ විදියට හම්බ කරන එකට කිසිදු ලෙසකින් සහයක් නොවී ගෙදරට යන්න.

"ඔව් මම ත්‍රී වීල් විරෝධියෙක්! මම යන්නේ පික් මී එකක!" මම පික් මී එකක් දා ගන්න එතැන වූ කුඩා වැටේ පොඩි සිමෙන්ති ගැට්ටේ වාඩි උනා.

ගත්තා මෙවළම අතට.

ෆෝන් එකේ මූනත පහුරු ගා සොයා ගත්තා මාගේ පළපුරුදු යෙදවුම!


අපේ ගෙදර තියෙන ස්ථානය නිවැරදිව සිතියම අනුසාරයෙන් සොයා ගන්නවාට වඩා පහසුවෙන් සොයා ගත හැකි ස්ථානයක් අපගේ ගෙවල් ආසන්නයේ ඇත. ඒ නමින් කෙත්තාරාමය නම්වූ පංසලකි.

මේවා හොඳින්ම තේරුම් ගැනීමට කියැවීමට කෝ කණ්නාඩි?

ඇස් කණ්නාඩි නොමැතිව පොට්ටයෙකු සේ බොහෝ වෙහෙස මහන්සිවී "Keththaramaya Temple Ruppagoda" සොයා ගතිමි.

ඊළගට තහවුරු කලෙමි. ගමන සඳහා අවශ්‍ය වාහනය ලෙස යතුරු පැදිය තෝරා ගත්තෙමි!

විනාඩි ගණනාවක් ඉගිල ගියේය. කිසිවෙකු මාගේ ඇනවුම භාර ගන්නා සේයාවක් නොපෙන්වයි.

නැවත් කිහිප වරක් අවලංගු කරමින් මාගේ අවශ්‍යතාවය නැවත නැවතත් තහවුරු කලෙමි.

ම්හු! හරියන්නේ නැත! ඉන් පසුව මා ගමන සඳහා ත්‍රී වීලරයක් තේරුවෙමි!

මහ රෑ 1.00 ට 2.00 ට විතර නුවර පාර අයිනේ තාප්ප ගැට්ටකට හේත්තු වී මා පික්මී එකක් දමමින් විය.  තවත් විනාඩි 15 ක් 20ක් පමණ යන විට වැඩේ සාර්ථක විය.

මට රියැදුරාගෙන් ඇමතුමක් ලැබුනි.

"හරි! හරි!1 වරෙන් බං ඉස්සරහට!" මම මොබයිලය වනමින් කීවේය. මොහොතකින් දම් පාටැති රාත්‍රී නිදන පහණකින් ඇතුලත ආලෝකමත්වූ ත්‍රී වීලරයක් මා ඉදිරියේ නතර වුනි. මා එයට නැගුනෙමි.

ත්‍රී වීලරය ඉතා සුවපහසු ගමණින් යුතුව ඉදිරියට ඇදුනි.

ඊළඟ නිමේශයේ මට නින්ද යන්නට ඇති!

අවස්ථා දෙකකදී පමණ මාහට ඇහැරුණි. යලිත් නින්දටම වැටුනි.

"සර් පංසල ගාවට ආවා! මෙතනින් කොහාටද යන්නෝන?"

"ඉස්සරහටම යං බං!' මම පසුපස සිට මුර ගෑවේය.

"ඉස්සරහ T හංදියක්නේ තියෙන්නේ? මෙතනිං වමටද දකුණටද?"

??????????????????????????????????????????????????????????????

"අම්මට සිරි! උඹ පාර වරද්දගෙන!" මම එක වරම ත්‍රී වීලරයෙන් බිමට බැස්සෙමි.

අම්මට සිරි ය! මම හිටියේ පන්නිපිටියේ දම්මදින්නාරාම පංසල අසලය!

"යකෝ උඹ වරද්දලා!. මේ කොහේද?" 

"මේ බලන්නකෝ සර් දැම්ම ලොකේශන් එකට තමයි මම ඇවිත් ඉන්නේ!"

මළ මගුලකි. මම මේ දැන් සිටින්නේ මාගේ බිරිඳගේ මහ ගෙදරට මීටර 500ක දුරකිනි. මා කිසිදු දිනෙක මෙම පංසල වෙත පික් මී ඇණවුමක් ලබා දී නැත!

"හරි කොල්ලො! උඹේ ගාන ගනිං. මාව ආපහු දාපං කඩවතට!"

"අනේ සර් මම දැන් ගෙදර යනවා මම පිළියන්දල!"

කල යුතු කිසිවක් සිතට නොහැඟේ! තවමත්; මීට පැය ගානකට පෙර පානය කල මධුවිත ඇඟ පුරාය.

"මල්ලි උඹේ ගාන කීයද?"

ඔහු කැඩිච්ච ගාණක් කී අතර මම එය රවුම් කර 1800 ක් දී ඔහුව මුදා හැරියේය.

වහාම එතැන් සිට බිරිඳට ඇමතුමක් ලබා ගත් අතර තතු දන්වා ඇයව අසවසාලීමට මට හැකිවිය.

තවත් විනාඩි ගණනකදී තවත් පික්මී සයිකලයක් දමාගෙන එයට 1500ක් ගෙවා නිවසට පැමිණියෙමි.

එදිනට පසුදින හෝ දින ගණනාවකින් හෝ මාගේ පළමු ඇණවුම පිළිබඳව මා හට සොයා බලන්නට නොහැzකි විය!

සිදුවූ "කයි කථන්දරය" කයිවාරුවක්සේ බොහෝ බොහෝ දෙනාට කියමින් සිටියෙමි.

ඒත් එදා රෑ පික් මී රියැදුරා මාව ඇන්දුවා වත්ද්? මොහොතකට මට සිතේ! ඔහු "මේ බලන්න සර්!" කීවද මම එය බලන්නට නොගියෙමි. මා මධුවිත පානය කර සිටි ප්‍රමාණය පිළිබඳව වටහා ගත් ඔහු; ඔහුට අවශ්‍ය එනම් ඔහුගේ නිවසට ආසන්න තැනකට මාව ගෙනත් ඇරලා මුදල් ලබා ගත්තාද කියා විටෙක මට සිතේ. 

ඒ පිළිබන්නදව මනාව දන්නා දුවා දරුවන් කිහිප දෙනෙක් මාගේ දූරකථනය ගෙන පරීක්ෂා කලද හෝඩුවාවක් සොයා ගැනීමට අපහසුවිය.

අවසානයේ රුපියල් 350 කින් 50ක් ඉතිරිකර ගැනීමටත් අසාධාරණ ත්‍රීවීල් රියැදුරන් හට පාඩමක් ඉගැන්වීමට ගිය මාහට රුපියල් 3300ක් වැයවිය.

ඉතිරි වූ එකම ලාභය වන්නේ කට පුරා සිනහ වෙමින් කීමට හැකි මෙම කථාව මතකයේ ඉතිරි පමණකි!


Saturday, June 13, 2026

305. රවී වීරසිංහ - යන්නම ගිහිං!


රවී අයියාව මට මුණ ගැසෙන්නේ හක්බෙල්ලාවකදීය. හක්බෙල්ලාවක යනු යටියන්තොටට කිලෝමීටර 6ක් කිතුල්ගල දෙසින් අවිස්සාවේල්ල නුවර එළිය A7 මාර්ගයේ පිහිටි කුඩා ගමකි. 

මේ මගේ පියාගේ නිජ බිමයි. 

එහි කුඩා කඳවුරු බිමක් තනාගෙන මා පවත්වාගෙන යන්නෙමි. මේ වන විට එය අභාවයට ගොස් ඇතත් ඒ දිනවල එය හොඳින් ක්‍රියාත්මක විය.

සත්තකින්ම එහි ආවෝ ගියෝ වූයේ අපගේ හිත මිත්‍රාදීන්මය.

2023 ජනවාරියේ දිනක් මා ඇමතූ නිදි (නිදිගේ පංචතන්ත්‍රය ) පැවසුවේ බ්ලොග් රසිකයෙකු / කියවන්නෙකුවූ සි සිරිබිරිස් ලංකාවට පමිණ ඇති අතර ඔහුට; දැනට සක්‍රීයව ලියන බ්ලොග් කරුවන් කිහිප දෙනෙකු මුණ ගැසියයුතු බවත් ය. ඒ කුඩා හමුව මගේ කඳවුරු බිමේ සැකසිය හැකිදැයි ඔහු වැඩි දුරටත් විම සීය. මෙහි ප්‍රථිඵලයක් ලෙස එම හමුවට දිනකට පෙර ඇස්කොට් ජින් බෝතලයක්ද රැගෙන රවි අයියා හක්බෙල්ලාවකට සම්ප්‍රාප්ත විය.

රවි අයියා පේරාදෙනියෙන් දුම්රියට නැග මට ඇමතුමක් ලබා දුත් තැන් පටන් මා තරමක කාල අවකාශ තබමින් ඔහුව ඇමතීමි. 

එතැනින් ඔහු නාවලපිටියටත්; නාවලපිටියෙන් ගිණිගත්හෙනටත්; එතැනින් කොළඹ බසයක නග හක්බෙල්ලාවකටත් පැමින තිබුනි.

ගිණිගත්හේනේදී ඔහු මා අමතා "මොනවද බං ගේන්න ඔනෙන අවුලක් නෑ කියහං !" කීවේය. එතෙක් කිසිදු දිනෙක දැzක නොසිටි; ලිවීම තුලින්ම පමණක් දැන හඳුනා ගත්  මිත්‍රයාහට මා පැවසූවේ "අවුලක් නෑ ඔයා ඕන දෙයක් අරං එන්න! නැතත් මෙහෙං ඕනම දෙයක් අඩු පාඩු නැතිව සපයා ගන්නට හැකි" බවය! 

"ඒයි දැං කිතුල්ගල!'

"හරි හරි ඔහොම එන්නකො! ඔයා ගූගල් මැප් එකේ Campsite එක දාගෙනනේ තියෙන්නේ? ඔහොමම එන්න. මතකනේ හක්බෙල්ලාවක Sub Post Office එක ලඟ!"

කඳු පල්ලම් වංගු වැනි භූ විෂමතා අතරින්  වේගයෙන් එන බසයක සිට ඇමතුම් ලභා ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවුනු අතර එහි වඩාම දුෂ්කර කාර්‍ය්ය වූයේ  මාගේ කඳවුරු බිම හා මාගේ නිවස්නය; කිසිදු දුරකථන සංඥවක් නොමැති කලාපයක පිහිටීමය.

එතැන් පටන් තවත් ඇමතුම් හතර පහක් එහා මෙහා යෑමෙන් අනතුරුව වුවද ඔහු බසයෙන් බැස තිබුනේ අදාල ස්ථානය මග ඇරී තවත් මීටර 200ක් පමණ බසයේ ගමන් ගැනීමෙන් අනතුරුවය.

"කොහෙද බං මේ මගුලේ උඹේ කෑම්ප් සයිට් එක බෝලයක් වගේ පේන්න තිබිලා බහින්න කිට්ටු වෙන කොටම ඒක මැකිලා ගියා කියහංකෝ. මම කොන්දට කිව්වට ඌ දන්න කෑම්ප්සයිට් එකක් නෑ. අර තැපැල් කන්තොරුවේ සීන් එක කියලා තිබ්බනේ. මං බස් එකේ හිටියේ පිටිපස්සේ. මූ ඩ්‍රැයිවර් එක්ක කයිවාරුවක් ගහන්න ඉස්සරහ ෆුට්බෝර්ඩ් එකට බැහැල හිටියේ. මම ෆෝන් එකේ බෝලෙ අතුරු දහන් උනාම ඉස්සරහට ඇවිත් අහන කොත කන්තෝරුව නං පහු උනා කිව්වා!" රවි අයියා එයාගේ ගොරෝසු හඬින් සිදුවූ අලකලංචිය විස්තරකලා.

එදා හවස අප දෙදෙන මාගේ තවත් ඥාති මිත්‍රයෙකු සමග කඳවුරු බිමේ නිවස්නය වන අඩි 20 කන්ටේනරය උඩට නැග ජින් බෝතලය සප්පායම් උනේ රාත්‍රිය අවට වසාගත් මොහොතකය.

මා පුරුද්දක් ලෙස මාහට වැඩි හිටි බොහෝ දෙනාව අමතන්නේ "අයියා හෝ අක්කා" යන දෙවදනින් එකකින් ය. මෙය බ්ලොග් ලෝකයට හෝ වෙනයම් උප සංස්කෘථියකට කෙසේ ගැලපෙනවාදැයි මා සොයන්නට නොගිය කරුණකි.

ඒ නිසාම රවීව දුටු නොව ඔහුට කතාකල පලමු මොහොතේ පටන් ඔහුව "රවි අයියා" ලෙස ඇමතීමි. 

අප දෙදෙන එකට සප්පායම් වෙමින් සුපිරි තෙල් බෙදීම අතර තුර;  එකවරම මා ඔහුට " ඉතිං මචං . . . . ." යැයි කියැවූ ඊළඟ නිමේශයේ "අනේ සොරි වෙන්ඩෝන අයියේ . . . .!" කී හැම අවස්ථාවකදීම . . .

"පිස්සුද යකෝ . . . .!' කීම ඔහු පුරුද්දක් කර ගත්තේය.

රවි ගිය පසු මාගේ ඥාති සොහොයුරා බොහෝ වරක් එය පුණුරුච්චාරණය කරමින් ආතල් ගත්තේය.

මෙම හමුව හා මධුවිත තොල ගෑම පිළිබඳව මා කුඩා සටහනක් ලියා තබා ඇත.

"මෙම මිතුරු සමාගමට පේරාදෙනියේ සිට රවී වීරසිංහ - අවි අයියා පැමිණියේ කලින්දා එනම් සෙනසුරාදා හවස් වරුවේය. 

ඩ්‍රැකීගේ පැමිණීමද එදිනට යෙදී තිබුනත් ඡන්ද හුටපටේ ඔහුව පමා කලේය.

රවි අයියා රස සාගරයකි!
ඔහු මිනිස් ඇසුර ප්‍රිය කල අයෙකි.
නියමිතව තිබුනු ඩ්‍රැකීගේ පැමිණීමත් අවි අයියාගේ එකතුවත් සමග වියළි ජින් ගත වීම හෝ වෙනයම් ඇල්කොහොලිකරණයක් සඳහා මා අපගේ පැරණි kayak pavilion එක අස් පස් කලේ සිකුරාදය. 
හුදෙක් ගබඩා කාමරයක් ලෙස අඩුම කුඩුම පිරුණු එය නැවත මිනිස් වාසයක් බවට පත් කිරීමට දිනයක්ම වෙහෙස වන්නට සිදුවිය. kayak pavilion යනු අපගේ Oparetional Hub එක හෙවත් මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කොට ඇති අඩි 20 Shipping Container එක මත ඉඳි කොට ඇති වේදිකාවය. රාත්‍රියට ඉදිරි මාර්ගයේ රථ වාහන දිවෙනු දකින්න ලස්සන දර්ශණයකි."



පසුදින අපගේ පිරිස පැමිණි අපසු එතැනින් අපගෙ වනගත කඳවුරු භූමියට ගිය අතර එතැන රවීගෙ කතාවලින් රස සාගරයක් මැවිනි.

මෙන්න සුද්දගෙ අතේ තරම!

සියළු කටයුතු එදින නිමවී රවි අයියා ගියේ ඊටත් පසු දිනය. 
දින දෙකක් පුරා ඔහු යහන් ගත වූයේ මාගේ බංකර් ඇඳේ යට තට්ටුවේය. 
තම මුඛ සෞඛ්‍යය පිළිබඳව ඔහු තරම් උනන්දුවූ අයෙකු සිටිනවාදැzයි සිතිය නොහැක. පැය ගානක් දත් මැදීමටත් දිව මැදීමටත් වෙහෙසෙයි.
සිටිවනම "එතකොට මචං අර . . . " යනුවෙන් කිසිවක් විම සයි. නැවත ඔහුගේ සුපුරුදු කථාබහේය.

පෙරදින අප සියල්ල වෙන්ව ගියේ නැවත මෙහිම හමුවන බලාපොරොත්තුවක්  සිතේ තබාගෙනය. ඒ රා පාටියකටය. ඊට ටිතා කෙටි කලකට පසුව අප ඊට සෙටමෝල් විය.
ඒ ඉවාන් පාවුලූෂාව අවසන් වරට හමුවූ අවස්ථාව විය!

ඒ වන විට රවි අයියාට නැවිගේශන් ප්‍රශ්ණ නොතිබුනි. සිරිත් පරිදි පෙරදින පැමිණ මාගේ බංකරයේ යට ඇඳ ඔහු වෙන් කරගෙන සිටියේය.
එදින අප හමුවී වෙන්වී ගියේ අප්‍රේල් මස නැවත් හමුවන බලා බලාපොරොත්තුවෙන් ය.

ඒ කුඩා පරිමානයෙන් බ්ලොග් හමුවක් පැවැත්වීමේ අරමුණින්ය. වර්ථමාණයේ බ්ලොග් ලියනා කිහිප දෙනෙකු එකතුව බ්ලොග් හමුවක් පැවැත්වීමට උත්සාහ කලද එය අසාර්ථක වූ තැන  2023 අප්‍රේල් මස අප කුඩා බ්ලොග් හමුවක් සංවිධානය කලෙමු. 
 එයට උර දුන්නේ  ඩ්‍රැකීත් රවි අයියාත් තවත් කිහිප දෙනෙකි. 

රවි අයියා එම අවස්ථාවටද පෙර දින පැමිණ සිටියේ ඕල්ඩ් ඇරැක් බෝතල් දෙකක්ද රැගෙනය. අපගේ දුප්පත් හමුව පැවැත්වුනේද ටිපියේය. 
 ඒ පිළිබඳව මා ලියන ලද බ්ලොග් සටහනෙන් උපුටා ගත් කොටසක් මෙහි බහා ලන්නම්.

"සිරිත් පරිදි රවි අයියා පෙරදින එනම් 4 වනදා හවස් වරුවේ ටිපියට වැදහොත්ය! ඒ මිතුරු හමුවකට ඇවැසි අඩුවැඩියද රැගෙනය!

***********************************************************************************************

ශාන්ති දිසානායක යනු නොම්මර එකේ ලේඛිකාවකි. ඇය සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළවරකය. ඇගේ ගමේ සිට අනුරාධපුරයට කිලෝමීටරම 30කි! මීට මාස කිහිපයකට පෙර; මාලන් බ්‍රැන්ඩෝ විසින් ඔස්කාර් සම්මානය ප්‍රතික්ශේප කිරීම පිළිබඳව; මුහුනු පොතේ පලවූ පෝස්ටුවකට ඇය විසින් කමෙන්ටුවක් දමා තිබුනි. තමන්ටද එසේ ප්‍රථික්ෂේප කිරීමට තිබූ අවස්ථාවක් ගිලිහී ගිය බවක් සහ ඒ පිළිබඳව තමා කණගාටුවට පත් වන බවත් එයින් ප්‍රකාශ වී තිබුනි. 
ඕනෑම දේකට "එල්ලෙන" මම ඊට පිළිතුරු ලෙස; "තමන්ට සම්මානයක් ලැබීමේ ආරංචිය ලැබුනු විගස ෆැන්ටසියක අතරමං වී පසුව පශ්චාත්තාප වීමෙන් වැඩක් නැත!"  යන්න ලියා දැම්මේය. 
මාගේ උට්ටලං කථාවට උරණ නොවී ඇය ඉතාමත් නිරහංකාරී ලෙස ඊට පිළිතුරු ලෙස ඒ  පිළෛබඳ තමා තවමත් කණගාටු වන බව තවදුරටත් පවසා සිටියාය!
පසුව මා ඇගේ නිරහංකාර බවෙන් දමනය වී "ඔබ සමග කතා කිරීමට මා කැමතියි!" යනුවෙන් ලියා පලකල කමෙන්ටුවට
"කතා කරමු!" යනුවෙන් ඇ‍යගේ දූරකථන අංකය දක්වා තිබුනි.

මම වහාම ඇයගේ නොම්මරය "ශාන්ති දිසානායක" යනුවෙන් ගබඩා කර ගත්තෙමි. 
මේ සියල්ල සිදුවී මාස දෙකකටත් වැඩිය.
අප්‍රේල් 1 වන දින වන විට අපගේ දුප්පත් බ්ලොග් හමුව තරමක් අලු ගසා දමා කෙළින් වී තිබුනි.
පෘතග්ජනයින්ගේ හැටි!
මා හට ඇවැසි උනේ;  අපගේ බ්ලොග් හමුව අභිමානවත් ආකාරයකට පැවැත්වීමටය.
ඒ සඳහා "ආරාධිත අමුත්තෙක්" ඉන්නවානං වැඩේ එළම කිරිය!

ශාන්ති දිසානායක වැනි බුවියක් මෙතැනට බැස්සවිය හැකි වුවහොත් වැඩේ එකෙන්ම ගොඩය! 

මම හිමින් සීරුවේ ඇයගේ නොම්මරය සොයාගෙන  ඇය ඇමතීය!
"ම්හු!"
ඇයගේ දූරකථනය දිගටම නාද වුවද ඇය එයට සම්බන්ද්ධ නොවුනි.
වැඩේ පටං ගත් තැනම අල විය!
පැය භාගයකින් පමණ  මම දූරකථනය පිරික්සද්දි එහි මිස් කෝල් දෙකක් සනිටුහන් වී තිබුනි.
ඒ අන් කාගෙන් වත් නොව ශාන්ති දිසානායක ගත් කතු වරියගෙන් ය!
මම සීරුවෙන් ඇය ඇමතීමි!
"හෙලෝ මේ ශාන්ති දිසානායක මිස් ද?'
"ආ ඔව් මල්ලී! කියන්න!"
".........................................................."
"........................................................................."
"................................................"
"අක්කේ අපේ පොඩි බ්ලොග් හමුවක් තියෙනවා! අක්කාට එන්න පුළුවන්නම් ලොකු දෙයක් අපිට!" මම අවශ්‍ය තාවය කිව්වෙමි.

එතැන සිට සිදුවූ දේ මා ඇයගේම වචනයෙන් මෙතැනින් කියවන්න!
ඇය අප්‍රේල් 2 දින වන විට පැමිණීම තහවුරු කලාය. 

මා මේ ගැන දැන්වූයේ ඩ්‍රැකීට පමනි. රවි අයියා ගෙන ආ අඩු වැඩිය; අඩු පාඩුවකින් තොරව සප්පායම් වන විට මාගේ දැඩි සිත මෙලෙක් වීමට පටන් ගති. එහි ප්‍රථිපලයක් ලෙස එතෙක් මමත් ඩ්‍රැකීත් අතර තිබුනු රහස රවි අයියාගේ කනේද තැබීමට මාහට සිත් විය.
"අම්මට සිරි! ශාන්ති දිසානායක කියන්නේ මේ කාලේ ඉන්න සුපිරිම ලේඛිකාවන් දෙන්නගෙන් එක්කෙනෙක්. අනිත් එක්කෙනා සුනේත්‍රා රාජකරුණානායක!" රවි අයියා හුස්මක් නාල්ලාම කියාගෙන ගියේය.

මට මේ අල්ල පනල්ලේ තවත් එළු මගුලක් සිහියට ආවේය. (මොලේ නරක්වූ විට හිතට එන දේවල්!?) 
මම ඩ්‍රැකියාට කෝල් එකක් ගත්තෙමි.
මේ වනවිට වේලාව රාත්‍රී 8.30 ට අපමන වන්නට ඇත. දිනය අප්‍රේල් 4. හෙට ගෙට්ටුව!

"හෙලෝ මල්ලී!"
"කියන්න ලොකු අයියේ!"
"හෙට අපේ ගෙට්ටුවට එන එවුංට මොකක් හරි සමරුවකුත් දුන්නානං ගින්දර නේද?"
"ගින්දරනං තමයි! ඒත් අපි කොහොමද කරණ්නේ? අපි එකතු කරණ්නෙත් එකෙක්ගෙන් රුපියල් 1000යි නේ?"
"හරි මගේ ඔලුවෙ පොඩි අයිඩියාස් එකක් තියෙනවා! මං ගාව සල්ලි නෑ! උඹට පුළුවංද මට හෙට රුපියල් 5000ක් දෙන්න - ණයක් විදියට!?"
"හරි අවුලක් නෑ . . . !"

මම හැරෙන තැපෑලෙන් ශාන්ති අක්කාට ඇමතීමට සිග්නල් සොයා කළුවරේම හක්බෙල්ලාවක සම්පකාරය දෙසට ඇදුනෙමි.

"අක්කෙ පොඩි සීන්ස් එකක්! මට අක්කගෙ පොත් ටිකක් ඕනේ එන අයට සමරු විදියට දෙන්න!? මොකද කරණ්නේ?"
"මල්ලී පොත් කීයක් විතරද?'
"දහයක් දොළහක් විතර!"
"අනේ මල්ලී ගෙදර හරියෙම තියෙන්නේ පොත් 6ක් 7ක් විතර! හරි කමක් නෑ මම මොනවා හරි කරණ්නම්කෝ!"

ඒ වැඩෙත් හරි ය! මම රවි අයියා දෙසට හැරුනෙමි.
"අයියේ හෙට අපිට souvenirs විදියට දෙන්න ශාන්ති දිසානායක පොත් ටිකක් ගේනවා . . . . . . .!" කතාව ඉවර කරණ්නට ලැබුනේ නැත.

"යකෝ ඒ මනුස්සයට එන්නත් කියලා; උඹ  තව පොතුත් ඉල්ලුවාම හරිද බං? හරි! කමක් නෑ! මම ඒ පැත්ත බලා ගන්නං කෝ!" රවි අයියා වැඩේට බෙල්ල තිබ්බේය!

අප්‍රේල් 5 දා උදාවුනි!
මම උදෙන්ම නැගිට බතක් උයා බෝංචි කරල් ටිකක් තෙල්දමා කිරිදමා හින්දවා, ලූනු සම්බෝලයක් සෑදුවෙමි. අනතුරුව මාත් රවි අයියාත් හක්බෙල්ලාවක කඳවුරු බිමෙන් ලට පට පුටු මේස ආදිය පටවාගෙන දොඩංගස් තැන්න කඳවුරු බිම වෙත ගොස් එතැනට පොඩි පහේ මේකප් පාරක් දමා ආපසු පැමිණ පිරිස පිලිගැනීමට සැදී පැහැදී සිටියෙමු.
එදින සිදුවූ වැදගත්ම සිදුවීමක් වන්නේ ශාන්ති දිසානායක ගත් කතුවරිය බ්ලොග්කරණයට පිවිසීමේ ප්‍රධාන පියවර ගැනීමය. එයට ගිරිදේවි ලෙස නම තැබුවේ රවි අයියාය. තාක්ෂණික සහය ඩ්‍රැකීගෙන් ය." 

රවි අයියා එම උත්සවය සාර්ථක කරගැනීමට කිසිදු කොන්දෙසියකින් තොරව බෙල්ල තිව්වේය.

ඉන් පසු එනම් අවසන් වතාවට අපි හමුවන්නේ කොළඹ ගමයා - අජිත් අයියා මෙරටට පැමිණ කොල්ලුපිටියේ Pink Salt අවන් හලේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදීය. 
ඉන් පසුව අප දුරකථනයෙන් වරක් දෙවරක් කතා කලද හමුවූයේ නැත.

මීට සතිකිහිපයකට පෙර මා ලියන ලද බ්ලොග් සටහනකට කමියා - කළ්‍යාණ මිත්‍ර  අසා සිටියේ හමුවී අඩියක් ගහන්නේ කවදාදැයි  කියාය.  අගෝස්තුවෙ අග අප නැවත මුණ ගැසිය යුතු බව මා සිතෙහි සණිටුහන් කර ගත්තේමි. රවි, කමිය, ඩ්‍රැකියා අපේ අවන්හලේ මහේෂයා කොලොම්පුරේ අසංග පංචත්න්ත්‍රේ නිදී නමිය ආදීන් ගෙන හතර පස් දෙනෙක්ව වත්  ගල් බෝතලකය් වටා එක්කාසු කරගෙන සන්ධ්‍යාවක් ගත කරණ්නට ආශාවක් ඇතිවිය. 

මේ සියල්ල අතරේ ඊයේ මාහට whatsapp ඇමතුමක් ලැබුනි. ඒ අවන්හලේ මහේෂයා ගෙනි.

"අයියේ! රවි අයියා නැතිවෙලා කියන්නේ ඇත්තද බං?"
"අම්මට සිරි! පොඩ්ඩක් හිටාං බලන්න!" මම රන්දිකා නංගීව ඇමතීමි.
"අනේ ඔව් අයියේ!" එහා කොනින් කෙඳිරියකි.

ඔව් රවි අයියේ ඔයා යන්නම ගිහිං! මම වගේම උඹත් නිවනක්, පුණුරුප්පත්තියක් පිළිබඳව විශ්වාසයක් නැති බව මම දනිමි. ඒ නිසා එවන් ප්‍රාර්ථනාවක් මා තුල උඹට නැත.
ඒත් සර්ව කාලීනව උඹ අපේ හිත් තුල සිටීවි!

උඹ ආයෙත් කවරදාවත් මාත් එක්ක හීන් අඩියක් ගහන්නට එන්නැති බව ඉංතේරුවෙම්ම  දනිමි.
ඒත් විශ්වාසෙට ගනිං. උඹට වීදුරුවක් වෙන්ව තියේවි අපගේ මේසය උඩ!

"උඹ කිව්වාට සොරි අයියේ . .!"

"පිස්සුද යකෝ . . !"


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...