Thursday, May 27, 2021

197. තිස් අවුරුදු රථ මතක . . . . ! (7)

Austin MINIයේ අවසානය හෙවත් දුක්ඛ දායක සමුගැනීම ලියන්නට මත්තෙන් වෙනත් අද්විතීය වාහනයක් ගැන ලිවිය යුතුය.  මන්ද මිනියට සමුදෙන්නට සිදුවූයේ එය කරණකොට ගෙනය. ඒවන විටත් MINIය වයසට ගිය කෙනෙකි. ඒ නිසාම ඒ සඳහා සුපිරිම නඩත්තුවක් අවශ්‍ය විය. බොහෝ බාසුන්නැහැලා වාහනයේ බොනට්ටුව ඇරිය සැනින් වසා දමති. ඒ එය තුල තිබුනු 850CC එන්ජිම දැකීමෙන් උපන් අපුල නිසාය. ඔවුන් එක්ෂනයෙන් පවසන්නේ 1000CC එන්ජිමක් සවිකල යුතු බවයි.

850 යේ දොරවල් සාපේක්ෂව දිගින් මදක් අඩුය. ඒවාට සවිකොට තිබුනේ බස් වීදුරු මෙන් ඉදිරියට හා පසුපසට තල්ලු කල හැකි වීදුරුය. මේ නිසාම කාරය තුල ඉහල උනුසුමක් පැවතීම සැක්කරයාටහෝ නවතා දැමීමට නොහැක. මෙය ලැන්ඩ් රෝවර් සීරීස් රථ වලටද පොදුවූ කරුමයකි. ඒංගලන්තයට ගැලපෙන අයුරින් ඒවා නිපදවා ඇති අතර සමකය ආසන්න රටවල එවුන් හට මේ වාහනයක රැගෙන ගොස් ආසාවට බිත්තර කෝපි එකක් හෝ බුල්ස් අයි එකක් කෑමට නොහැක. මන්ද ඒවා නිවසට ගෙනයාමට මත්තෙන් හාෆ් බොයිල් වන බැවිනි!

1000CC රථයට එන දිගින් වැඩි දොරවල් වල වීදුරු හෙවත් ෂටර වයින්ඩරයෙන් ඉහල පහල යැවිය හැකි බැවින් විශාල ඉඩ පලලක් අවට වායුගෝලයට නිරාවරණය වේ. එහෙත් මෙම දොරවල් සවී කිරීමට නම් පසුපස දොර කණුව එනම් දොර අගුළු සවිවෙන B පෝස්ටුව කපා පසුපසට ගෙන යා යුතුය.

තවද 850CC වාහනයේ බ්‍රේක් ඩ්‍රම් නිපදවා තිබුනේ ඇළුමීනියම් වලින් වන අතර එමගින් සාර්ථක තිරිංග කාර්‍යක්ශමතාවයක් බලාපොරොත්තුවිය නොහැක. මේ සකල විධි අපල  සමග එකල තිබුණු ආර්ථික වපසරිය තුල මිනිය දිනෙන් දින අගාධයට යෑම වලක්වා ගත හැකි නොවීය. මා බලාපොරොත්තු වූයේ හැකි ඉක්මණින් 4WD රථයකට මාරු වීමය.

දිනක් වාහනයක් සොයමින් මීගමුව පාරේ කරක් ගසමින් සිටි මාහට කඳානේ පිහිටි නිපෝන් එන්ටර්ප්‍රයිසස් නම් වූ කාර් සේලය තුල පසෙකින් නවතා තිබුණු සුපිරි රථයක් ඇස ගැටුනි. ඒ අනෙකක් නොව 31ශ්‍රී5460 දරණ ටොයෝටා ලැන්ඩ්කෲසර් BJ40 යකි. වාහනයේ පොත (ඒය පොතක්ම විය!) තිබුනේ පොලොන්නරුවේ රන්කෙත රෙස්ටුරන්ට් නමටය.

හ්ම්ම්! හ්ම්ම්! මොකද මෙයාගෙ දත් ඇන්ද දික් වෙලා!?

ලෑන්ඩ්කෲසර් BJ40 කාණ්ඩය නැතිනම් මොඩලය ජපානයේ 1960 සිට 1984 දක්වාත් බ්‍රසීලයේ 1968 සිට 2001 දක්වාත් නිපදවුනු රථයකි.

ලෑන්ඩ්කෲසර් පිළිබඳව මෙතැනින් කියවන්න.

J කාණ්ඩය ටොයෝටා SUV රථ වලට ලැබෙන සංඛේතය. නවතම ලැන්ඩ්කෲසර් සහරා, ප්‍රාඩෝ, V8 ඔය ඕනෑම රථයක චැසි නොම්මරයේ J අකුරක් තිබිය යුතුමය. එසේ නොමැතිනම් එහි කොහේ හෝ වරදක් තිබිය යුතුමය. 40 යනු මොඩලය, මෝස්තරය වන අතර ඉදිරිපසින් යෙදෙන අක්ෂරයෙන් හෝ අක්ෂර කිහිපයෙන් එන්ජින් මාදිලිය දැක්වේ. 

කොටින්ම ටොයෝටා වාහන වල චැසි අංක දැක්වෙන්නේ පලමුව එන්ජින් කාණ්ඩයත් දෙවනුව එකී වාහන කාණ්ඩයට  දී ඇති සංඛේතයත් තෙවනුව එකී මොඩලයට දී ඇති අංකයත් යන ත්‍රිවිධ කාරණා එක් වීමෙනි.

BJ40 යනු B (B, 2B, 3B) එන්ජිමක් සහිත J එනම්SUV; 40 නමැති මොඩලය.

KZN185 යනු 1KZ එන්ජිම සහිත N එනම් ඩබල් කැබ් හෝ සර්ෆ් 185 මොඩලය.

LN106 යනු 3L එන්ජිම සහිත N එනම් ඩබල් කැබ් 106 මොඩලය.

KDH යනු 1KD එන්ජිම සහිත H එනම් වෑන් රථය

LH30 යනු L එන්ජිම සහිත H එනම් වෑන් 30 මොඩලය

BJ40 යනු B, 2B, හෝ 3B එන්ජින් වලින් සමන්විත රථයන්ය. මෙහිදී මෙම එන්ජින් එනම් B එන්ජින් යනු සිලින්ඩර හතරේ ඩීසල් එන්ජින්ය. මේවායේ එන්ජින් ධාරිතාවයන් පිළිවෙලින් 3000cc, 3200cc  හා 3400cc වේ. (B එන්ජිමක නිවැරදි එන්ජින් ධාරිතාව ඝන සෙන්ටි මීටර 2997 හෙවත් 2997CC ය. එය ආසන්න වශයෙන් 3000CC ලෙස දැක්වේ.)

මෙම මාදිලියම F (3800cc) සහ 2F(4200cc)  පෙට්‍රෝල් එන්ජින් සමගින් එන රථ FJ 40 ලෙසද ඩීසල් සිලින්ඩර හයේ H (3600cc) හා 2H (4000cc) එන්ජින් වලින් සමන්විත රථ HJ 40 ලෙසද දැක්වේ. මෙම ලෑන්ඩ් කෲසර් රථය පිලිවෙලින් 40, 43 හා 45 ලෙසින් දිග අනුව වෙනස් සංඛේතයන්ගෙන් නිපදවිය.

40 

43

45

45

මෙහිදී HJ45 යනු ට්‍රක් රථය හෝ ටෲපි හෙවත් බස් රථය වන අතර එහි අන්තර්ගත වන්නේ H (3600CC) එන්ජිමක් වන අතර HJ47 යනු 2H (4000CC) එන්ජිමක් සහිත ට්‍රක් රියයි.

HJ45 රථයේ ඉදිරිපස ඇත්තේ ඩ්‍රම් බ්‍රේක් වන අතර HJ47 රථයේ ඉදිරිපස ඩිස්ක් වේ. HJ45  සමන්විත වන්නේ වේග හතරේ (4 Speed) ගියර් පෙට්ටියක් වන අතර HJ47 රථයේ වේග පහේ (5Speed) ගියර පෙට්ටියක් සවිකොට එවා ඇත. එන්ජිම H (3600CC) සිට 2H (400CC) දක්වා වැඩිදියුණු වී ඇති අතර දුනු වල ගුන්ඩු හෙවත් Leaf Spring Eye විශාල ඒවා පැමින තිබේ. ඊට අදාල ලෙස දුනු ෂැකල් සහ හැඟර් වල දුනු පින් විශාල ඒවා පැමින ඇති අතර දුනු හැඟර සඳහා එන දුනු පින් දුනු සමග භ්‍රමණය වීම නවතා ලීමට එන කුඩා ලොක් ඇන දෙකක් වෙනුවට එකකින් සැහීමට පත්වීමට සිදුවී ඇත. ඩෑෂ් බෝඩයේ සුළු සුළු වෙනස් කම් කිහිපයක් සිදුකොට ඇත.

45 දුනු පින් සහ ලොක් ඇන

47 දුනු පින් සහ ලොක් ඇන


මා කලින් කියන ලද රථය B එන්ජිමකින් සමන් විත BJ40 රථයකි. වර්ණය සුදුය. 

වාහනය මිළදී ගන්නට මත්තෙන් එහි චැසිය පරීක්ෂා කල විට එහි වම්පස හා දකුනු පස එනම් දෙපසම කැඩී වෙල්ඩින් කර තිබෙනු දක්නට ලැබුනි. එකල පංචිකාවත්තේ සිටි ජීප් උස්තාද්ලා වූයේ ජොර්ජ්, ස්ටැන්ලි, ආරුමුගන් ආදී අයයි. මේ අය අතරින් දැනට ජීවත්ව සිටින්නේ ආරුමුගන් පමණි. ලැන්ඩ් රේවර් පකීර් කෙනෙකු වූ කිරිබත්ගොඩ ඔසඳ දැනට වැඩ පෙන්වන 6X6 ලැන්ඩ් රෝවරය ඔහුට ලබාදී තිබුනේ ස්ටැන්ලි විසින්ය. එය යුධ හමුදාවට දිගු දුර තුවක්කුවක් සවිකොට පැමිණි රථයක් බවත්, පනාගොඩ දී වෙන්දේසි කරණ විට එහි චැසිය කොටස් කිහිපයකට කපා වෙන් කොටතිබූ බවද ස්ටැන්ලි වරෙක මා හට පැවසීය. මීට අමතරව BCC වත්ත අසල වැලි වත්තේ අංක 11 හා 12 කඩවලද ජීප් සඳහා කෑලි බෑලි ස්ථානගතවී තිබුනි. සුදු සරම අඳින ස්ටැන්ලිද ආරුමුගන් මෙන්ම මනුස්සයෝය!

6X6 ලැන්ඩ් රෝවරය

ජෝජ් ගැන කීමට ඇත්තේ එකල 4DR5 එනම් මිට්සුබිෂි ජීප් සොහොනක් ඔහු සතුව තිබුනු බවයි. එම රථයේ ඕණෑම ඇනයක් මුරිච්චියක් හඳුනා ගැනීමට හා සැපයීමට ශක්‍යතාවයක් ඔහු සතු විය. ඊටත් වඩා ඔහුට තිබුනු විශෙෂ හැකියාව වූයේ පාරිභෝගිකයාහට එම අමතර කොටසට ඇති ලෙංගතුකමේ සීඝ්‍රතාවය හා ඊට ගැලපෙන අයුරින් පාරිභෝගිකයාගේ අම්ම තාත්තා සිහි ගැන්වෙන අයුරින්; අමතර කොටස මිළ කිරීමයි! කොටින්ම ඔහුගෙන් යමක් මිළදී ගැනීම ඉතා අපහසු කාර්‍යයකි. ඔහු තබන මිළ පාරිභෝගිකයා පහත හෙලා ඉල්ලුවහොත් අමතර කොටස ගබඩාව තුලට වීසිකොට දමා "එය විකුනණ්නේ නැති!' බව කියා පාරිභෝගිකයා එළවා ගන්නා අයුරු මා දැක ඇත.

චැසිය කැඩුනු මෙම වාහනය ගෙන එයට චැසියක් මාරු කිරීම මාගේ අදහස විය!

ඒ සඳහා මා දූරකථනයෙන් ආරුමුගන්ටත් ඔහු ලවා ස්ටැන්ලි ලඟත් චැසියක් සොයා බැලූමුත් ඔවුන් ළඟ චැසියක් නොවීය. අවසානයේ චැසියක් තිබෙන බව දූරකථනයෙන මා කල විමසීමට පැවසූයේ ජෝර්ජ් පමණි!

මා 31 ශ්‍රී 5460 ලැන්ඩ්කෲසර් BJ40 රිය මිළදී ගත්තේ රුපියල් 152500/= (රුපියල් එක්ලක්ෂ පනස් දෙදහස් පන්සීයකට) ය. මේ 1997 මාර්තු 18 වෙනිදාය.

රිය ගෙදරට ගෙන ආ දිනය මහත්වූ උත්කර්ශවත් දිනයක් විය.

එහි ප්‍රධාන ගැටළු කිහිපයක් විය.

චැසිය ස්ථාන දෙකකින් කැඩී තිබූ අතර දොර වීදුරු හොඳින් උස් පහත් නොවීය. එසේම ඉදිරිපස ඩිෆරෙන්ශලයේ ඇක්සලයේ ගෲ සහ ඊට සම්බන්ධ වන සම්බන්ධවන ෆ්ලාන්ජ් එකත් කෙටී කරකැවී ජෑම් වී තිබුනි.



ඇක්සලයේ ගෲ සහ ෆ්ලාන්ජ් එක

මා ඉක්මණින්ම සූදානම් වූයේ එම කටයුතු නිමා කර ගැනීමටය.

ප්‍රේම්කීර්ති ලියා නිරංජලා ගයන ලස්සන ගීතයක් ඇත "ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ - දෑසේ කැවී කැවී වැලි ලෑ විලාසේ . . //" යනුවෙන්. මේ වගේම තමයි බොහෝ පිරිමින්ට තමන්ගේ වාහනයක ලෙඩක් දුකක් කරදරයක් තියෙන කොට; ගෙදර මායියට ලෙඩක් දුකක් තියෙනවාට වඩා ඉවස ගන්න බැරි කාරණයක් - ඒක හරියට දෑසේ කැවී කැවේ වැලි ලෑ විලාසේ ම තමයි.
මටත් මේ වාහනය ගෙනා දවසේ ඉඳන් මේ වාහනයේ චැසිය කොටින්ම මල ඇනයක් උනා කිව්වොත් නිවැරදියි.  වාහනය අරන් දින දෙකක් තුනක් ඇතුලත ඒකත් මන්දො කරගෙන ගියා පංචිකාවත්තට. බැහැ දැක්කා ජෝජ් මහරජාණන්ව! ජෝජ් ආයේ වාහනේ දිහා දෙපාරක් වත් බැලුවේ නෑ එකෙන්ම කිව්වා ඇද කුද නැතිව!
"ආ! මේකෙ චැසියක් මා ලඟ නෑ!~"

"එහෙනං කිව්වේ තියෙනවා කියලා; මම කෝල් කලාම!?'

"මං හිතුවේ වෙන මොඩ්ල් එකක් කියලා!?!?!?!?!"
කියන්නට වදන් නොමැත! පංචිකාවත්තේම බීසීසී පාලම අසල වැලි වත්තේද චැසිය සොයා බැලීමෙන් පසුව අශ්වයා මැරුණු කව්බෝයි සේ ඉච්චා භංගත්වයෙන් ගෙදර ආවෙමි.
එහෙත් එමින් ගමන් ආරුමුගන් ලඟ තිබූ දොර දෙකක් හා ඉදිරිපස සම්පූර්ණ ඇක්සලයක් පිළිවෙලින් රුපියල් 22000ක් හා 19000 කට රැගෙන ආවෙමි.
තවත් කලක් ගොස් අවසානයේ නුගේගොඩ මෙල්ඩර් පෙදෙසේ; දැනට රාජගිරියේ කලපලුවාව කිට්ටුව ජීප් වැඩපොලක් පවත්වාගෙන යන මංජුල - මංගල දෙදෙනාගේ මාමා කෙනෙකු ලඟ තිබී චැසියක් සොයා ගැනීමට හැකිවිය! එයද FJ පැරණි චැසියකි.
එන්ජින් මවුන්ට්, ගියර් පෙට්ටියේ මවුන්ට්, දුනු හැන්ගර්, දුනු ෂැකල්, පිටු පස බම්පරය හෙවත් ක්‍රොස් මෙම්බරය ආදිය සියල්ල BJ40 ට වඩා වෙනස් විය. ඒවා සියල්ල රිවර්ට් වලින් ගලවා මාරු කිරීම මාගේ අදහස විය! 
චැසිය මිලදී ගත් ආසන්නයේදීම දිනක් මා අප පවුලේ සාමාජිකයින් සමග කඩවත සිට හක්බෙල්ලාවක බලා ගියෙමි. හක්බෙල්ලාවකට ඔන්න මෙන්න කියා තිබියදී වාහනයේ එන්ජිම කිසිදු හැල හොල්මනක් නැතිව නැවතුනි. පසුව මහත් ආයාසයෙන් රථය හක්බෙල්ලාවකට ගෙන ගියද එහි නැවතූ පසු යලිදු කිසිදු ලෙසකින් එය පන ගැන්වීමට නොහැකි විය. පසුව වාහනය කඩවතට ගෙන ආවේ බී. ඇල්. සිරිපාල විසින් ඇදගෙනය. පසුව බලන විට එහි එන්ජිම හිරවී තිබුනි. සෑම දිනකදීම එන්ජිමේ තෙල් වතුර බලා පනගන්වන එන්ජිමට එසේ සිදුවූයේ කෙසේදැයි අදටත් මාහට සිතා ගත නොහැක. එහෙත් වාහනය හක්බෙල්ලාවක සිට කඩවතට ඇදගෙන ආ දිනට පසුදින එන්ජිමේ ඔයිල් කූර ඇද බැලූ විට එහි තෙල් කළඳක් හෝ නොමැති බව දිස් විය. 
මේවන විට වාහනය මුළුමනින්ම ටින්කර් පේන්ට් කිරීමේ අවශ්‍යතාවයක්ද පැන නැගී ඇති බැවින් මිදුලේ තැබූ ලීටර 200 බැරල දෙකක් මතට වාහනයේ බොඩිය ගලවා ගත්තෙමි.
දැන් ඊළඟට ඇත්තේ චැසියෙන් එන්ජිම ගැල වීම හා චැසිය හා එන්ජිම අළුත්වැඩියා කිරීමය!
එන්ජිම අළුත්වැඩියා කිරීමට එවකට ටොයෝටා කොම්පැනියේ සේවය කල කිරිබත්ගොඩ පීරිස් වත්තේ ගාන්ධි අයියාව යොදාගැනීමට ඔත්තුව ලැබුනු ආකාරය මා හට මේ මොහොතේ මතකයට නොයේ. එකල ටොයෝටා කොම්පැනිය හැඳින්වූයේ ෆෲඩන්බර්ග් සමාගම ලෙසිනි. එය පැවතියේ බේස්ලයින් පාරේ කැළණි තිස්ස විදුලිබලාගාරය අසල දැනට "විජය ග්‍රැෆික්ස්" ආයතනය පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ලේය.
ගාන්ධි අයියාද එක ජාතියක පුද්ගලයෙකුවිය. 
ඔහු සමගවැඩය කථා කර ගත් දවසේ ඔහුගේ ගාස්තුව හා කොන්දේසි මාලාව එළිදැක්වීය.
එන්ජිම සවිකිරීමටවත් ගැලවීමටවත් ඔහුට නොහැක.
එය මවිසින් කල යුතුවූ අතර ඔහු පැමිනෙන්නේ අධීක්ෂණයට පමනි.
ඔහු කඩවතට ඔරුගොඩවත්තේ සිට රැගෙන ආ යුතුවූ අතර සැම පැමිණීමක් සඳහාම අය කිරීම ලෙස රුපියල් 500 ක් ගෙවිය යුතු විය.
ඊට අමතරව සෑම දිනෙකම ඔහුට භුක්ති විඳීම සඳහා අරක්කු කාලක්, පාන් භාගයක් හා හරක් මස් කරියක් සැපයිය යුතු විය!
කියා පලක් නැත. මේ සියළු කරුණු වල එකඟව මා ඔහුව පලමු දිනයේ නිවසට වඩමවාගෙන ආවෙමි. ඒ එන්ජිම චැසියෙන් ඉවතට ගලවා ගැනීමටය! චැසියේ සවිකොට තිබූ එන්ජිම දෙස පිළුණු බැල්මක් හෙලූ ගාන්ධි අයියා පැවසුවේ පොල් පරාල දෙකක් සහ සවිමත් පිරිමින් හතර දෙනෙකු සූදානම් කරගෙන ඔහුට දන්වා සිටින ලෙසය! එදින රුපියල් 500 ද, අරක්කු කාලද, පාන් භාගයද, හරක් මස් දීසියද  මල ගිය ප්‍රාණ කාරයනට දුන් පිදේනි තටුවක්ම විය!
පසු දින උදෑසන මිදුලට පැමිණ වාහනයේ චැසිය දෙස බැලූ කල මා හට අනගි අදහසක් සිතට ආවේය. අවශ්‍ය වන්නේ චැසියත් එන්ජිමත් වෙන් කිරීමය. ඒ සඳහා ගාන්ධි අයියා ප්‍රමුඛ මේ රටේ වෙසන සුවහසක් බාස්වරුන් චැසියෙන් එන්ජිම ගලවා ඉවත් කරති. මා හට සිතුනේ ඊට වඩා පහසුවෙන් එන්ජිමෙන් චැසිය ගලවා ඉවත් කල හැකි බවයි!
මා ගියර පෙට්ටිය ගලවා ඉවත් කලෙමි.ඉන් පසු ක්‍රම ක්‍රමයෙන් ක්‍රියාන්විතය පටන් ගත්තෙමි.
පලමුව ඉදිරිපස රෝදද දෙවනුව දුනු මිටි දෙක සමග ඉදිරිපස ඇක්සලයද ගලවා ඉවත් කල මා ඉන් පසුබ් ජැක් පහත් කරමින් එන්ජිමේ තෙල් දෙන හෙවත් සම්ප් එක ලෑල්ලක් මත සිටින සේ චැසිය පහත් කර ගත්තෙමි. ඉන් පසු එන්ජින් මවුන්ට් ගලවා චැසිය උස්සා පසු පසට ගෙන එන්ජිම නිදහස් කර ගත්තෙමි. පසු දින පොරොන්දු පරිදි ගාන්ධි අයියා පැමිණ  බැලූ කල ලෑල්ලක් මත සැතපී ගිමන් නිවන එන්ජිම දැක ඇසූ පලමු පැනය මට අද මෙන් මතකය.
"පොල් පරාල දෙකක් දාලා නේද බෑවේ?" හේ ඇසුවේය.
පසුව මා එය ඉවත් කල ආකාරය පැවසූ විට පංචිකාවත්තේ වතු වල චැසි එන්ජින් වෙන් කරණ්නේද එලෙසින් බව ඔහු කීවේය.
එන්ජිම සෑදීම ඇරඹුනි. එදිරිසිංහ යවා එන්ජිම  මැෂින් කිරිමෙන්  (එන්ජින් බ්ලොක් ෆේසින්, ස්ලීව් බෝරිං, ලයින් බෝරිං, ක්‍රෑන්ක් ග්‍රයින්ඩින්, කෑම් බුෂ් රී ප්ලේසින්, එන්ජින් හෙඩ් ෆේසින්, වෑල්ව් ගයිඩ් වෑල්ව් සීට් රී ප්ලේසින්) පසු එන්ජිම ක්‍රම ක්‍රමයෙන් සවි කලෙමු. ගාන්ධි අයියා බලා සිටියදී මා එන්ජිම එකලස් කලෙමි. පිස්ටන් හතර කළුතෙල් වල දමා පොල්කටු අඟුරු දමා තම්බා ගත්තේ පරණි මොරිස් මයිනර් එන්ජින් වල පිස්ටන් කේස් හාඩින් (මෙම වචනය නිවැරදි කරණ්න දැනුමැත්තෙක්!?) කරණා ආකාරය මතක් වීමෙනි! මෙසේ දින ගනනාවකින් පසු එන්ජිම සවිකොට පසෙකින් තබා චැසියේ වැඩ පටන් ගතිමි.
චැසි දෙකම මාවර මණ්ඩියේ බාලසූරිය ලඟට ගෙන ගොස් අවශ්‍ය කාරණය පැවසූ පසු ඔහු පෙරළා කීවේ "ඔයාට පුළුවන්නම් වැඩේ කර ගන්න. මම ආයුධ ටික දෙන්නම්!" කියාය. ඒවන විට මා A.C. පෝල් ආයතනයෙන් ස්පාඥ්ඥයේ සාදන ලද "ඉරිමෝ" කපන කටුවක් ගෙන කැඩුනු හෙවත් වාහනයට අදාල චැසියෙන් දුනු ෂැකල්, දුනු හැඟර් ආදිය ගලවා ගැනීමට සූදානම් විය.කපන කටුවෙන් රිවර්ට් දෙක තුනක් වත් කැපීමට නොහැකි විය. කපන විට කටුව කැඩී ගියේය. ඉන් පසු බාලේගේ ග්‍රයින්ඩරයට පිං සිදු වන්නට රිවර්ට් සියල්ල ඇඟ රිදෙන්නේ නැතිව ගලවා ගත හකි විය.
චැසියේ පසු පස ක්‍රොස් මෙම්බරයද ගලවා ගත්පසු අළුත් චැසිය කැබැලි ගැල වීමට පටන් ගත්තෙමි. පැරණි FJ40 රථයේ පසුපස සංඥා ලාම්පු සවිවී පැමිණියේ චැසියට නොවේ. එහෙත් BJ40 රථයේ එම සංඥා ලාම්පු චැසිය තුල ගිල්වා තිබුනි. එම නිසා පසුපස ක්‍රොස් මෙම්බරයද මාරු කිරීමට සිදුවිය!

පැරණි 
නව
නව චැසිය පොලොව මත තැබූ ආධාරක මත තබා ස්ප්‍රීතු ලෙවලයෙන් ලෙවල් කොට මුළු පරස් හැර, මධය රේඛාවට ස්ථාන තුනකින් ඇති වම් පස හා දකුණු පස දුරවල් මැන සීයට සීයක් නිවැරදි වූ පසු පසුපස ක්‍රොස් මෙම්බරයත් පසුපස දුනු ෂැකල සවිවී ඇති ත්‍රිකෝණාකාර ඝන තහඩුත් තබා හාෆ් ත්‍රෙඩ් වානේ ඇන දමා ස්ප්‍රින්ග් වොෂර් ෆ්ලැට් වොෂර් යොදා ටෝක් රින්ච් එකකින් කරටියටම තද කර ගත්තෙමි. එම ත්‍රිකෝණාකාර ඝන තහඩු මගින් චැසිය මුළු පරස් යෑම නවතාලයි. ඉන් පසු සියළු දුනු ෂැකල්, හැඟර් එන්ජින් මවුන්ට් සවිවන චැසි කොටස්, බොඩි මවුන්ට් සවිවන කොටස්, ගියර් පෙට්ටිය රැඳවෙන මවුන්ට් එක සවි වෙන ක්‍රොස් මෙම්බරය ඇතුළු අනෙකුත් සියළුම ආගන්තුක කොටස් සවිකොට FJ40 චැසිය BJ40 චැසියක් බවට හැරවූයෙමි. 
ගලවා හුවමාරු කිරීමට නොහැකිවූ වෙනස් කොටස් දෙකකට වූයේ ගියර පෙට්ටිය පිටිපසින් ඇති වක්‍රා කාර ක්‍රොස් මෙම්බරය පමණි. මන්ද අවරපෙති කඳ දිවෙන්නට සිදු කල නැම්මක් සහිත එය චැසියට නිෂ්පාදකයා විසින් වෙල්ඩින් කොට එවා ඇති බැවිනි. එහෙත් චැසි දෙකේ එම නැම්ම පැවතියේ දෙ ආකාර වූ ගැඹුරකින් යුක්තවය. සියල්ලෙන් ඉක්බිතිව ඇන සහ මුරිච්චි නොගැලවීමට වෙල්ඩින් තිත් තියන්නටත් අමතක නොකලෙමි.චැසිය ගෙනැවිත් එයටෑන්ජිම ඇමුනුවේද ගැලවූ ලෙසටමය. චෙන් බ්ලොක් එන්ජින් ජැක් හෙවත් අලි හොඬක් නොමැතිව තට්ට තනිවම එන්ජිමත් ගියර් පෙට්ටියත් ඇක්සල් හා අනෙකුත් උපාංගත් සවිකර ගත්තෙමි. බොඩිය තබන්නට පමනක් අහල පහල හතර පස් දෙනෙකු සොයා ගත්තා මතකය. සියල්ල අවසානයේ ප්‍රශස්ථ මට්ටමේ BJ40යක් ගෙදර මිදුලේ ඉතිරි විය. 

නංගීව පපුතුරේ රඳවාගෙන වසික

38 comments:

  1. ඔය වැඩ නම් මට අරහං. කියන්නත් ලැජ්ජයි තට්ට මහත්තයෝ ජරමන් ටෙක් එකේ පුර්ණ කාලීන ඔටොමොබයිල් හදාරපු මම අල්ලන්නෙ නැත්තෙත් ඒවම තමයි. මුහුදු හුළංවැදීගෙන ගොඩ ඇදපු නැවක් දිහා බලන් ඉදිල්ල දැන් ඇගට කාවැදිලා

    ReplyDelete
    Replies
    1. අනේ ඉතිං එහෙම කරණ්න එපා! නැවක් කිව්වත් ඒකෙත් ඇංජිමක් තිනවා නොවැ!?

      Delete
    2. නැව් ඇන්ජින් වල වැඩ ලේසියි නොවැ.

      Delete
    3. හැම කෑල්ලක්ම "අතට අහුවෙන" නිසා වෙන්ටැ!? (සයිස් එක වගේ චොයිස් එක?)

      Delete
  2. හාර්ඩනින් මං හිතන්නෙ. Hardening

    https://patents.google.com/patent/US3476020A/en

    මගෙ කැමැත්ත මේ ජාතියෙ ඒවට
    https://www.turnbullrestoration.com/restoration-services/color-case-hardening/

    මීගමු පාරෙ Gemini ත් බැලුවයි කියල ආරංචියි.

    ReplyDelete
    Replies
    1. මීගමු පාරේ නෙවෙයි කෙළින්ම මීගමුවෙත් ගියා නොවැ යාළුවංට ජීප් හොයාගෙන?

      හරි ඒක තමයි කේස් හාඩ්නිං!

      Delete
  3. කැඩුණු චෙසියක් හදන්න පුළුවන් නේද? ලංගම තිබුන බෙන්ස් 1113 බස් මතකද? ඒවයෙ දෙසිය සමහර වෙලාවට පිටිපස්සේ දුනු ෂැකල් දෙක අතරින් කැඩෙනවා.ජර්මන් ටෙක් එකේදි අපි ඒවා හැදුවා. හරියට වෙල්ඩින් කරලා Reinforcement දාලා. අවශ්‍ය සේරම උපදෙස් බෙන්ස් සමාගම දීලා තිබුණා. Reinforcementඑකේ දිග පලල ගනන් හදන හැටි, නියමිත ප්‍රමිතියේ වෙල්ඩින් රොඩ් මොනවද ඇතුළු විස්තර. ඒ උපදෙස් මත පාවිච්චි කරලා රෝසා සහ ඉසුසු ජර්නි බස් කීපයකත් කැඩුණු චෙසි හැදුවා.සාර්ථක වුණා.

    ReplyDelete
    Replies
    1. අපේ කථව හොඳ තැනකට ආවෙ! ඇත්තටම ලොරි වල කැඩුනු චැසි හදන, චැසි දික් කරන "චැසි බාස්ලා" කියලා ජාතියක් ඉන්නවා. එයාලා කරන්නේ අපේ කැඩුනු චැසියේ ඝනකමට සමාන චැසි කෑල්ලක් අරගෙන; අපේ කැඩිනු චැසිය ඇතුලින් රේන්ෆෝස් කරණ එක. බැරිවෙලාවත් ආගන්තුක චැසිය පලලින් වැඩි උනොත් ඒකෙ මැද්දෙන් කෑල්ලක් අයින් කරලා අපේ චැසියට හරියටම ඇතුලට බස්සන්න පුළුවන් විදියට කෑල්ල හදා ගන්නවා. ඊට පස්සේ අපේ චැසියේ තැන් කිහිපයකින් සිදුරු කරලා වානේ ඇන දානවා. අන්තිමට කැඩුනු චැසියේ කැඩුනු කොටස් දෙකම අහුවෙන්න V ගෲ එකක් හදලා ඒක වෙල්ඩ් කරලා මට්ටම් කරණවා. මේකට චැසි බසුන්නැහැලා ඒ ගොල්ලන්ගෙ භාශාවෙන් කියන්නේ "ලාච්චු කරණවා" කියලා.
      ඔබ කියන ක්‍රමය වඩාත් විද්‍යාත්මක ක්‍රියාන්විතයක් වෙන්න ඇති!

      Delete
  4. කරටියටම තද කරන්න ටෝක් රෙන්ච් එකක් මොකටද?🙂 සුද්දගෙ භාෂාවෙන් නම් FT.

    ReplyDelete
    Replies
    1. නෑ අපි ගත්තු ඇන වල ප්‍රමිතියට අනුව තද කල හැකි ප්‍රමාණය (Standard Bolt Tightening Torque) බැලීමට නොහැකි උනා. ඒ හින්දා අපි කලේ ඇනයක් කැඩෙන්නම තදකරලා ඊට අදාල ටෝක් එක මැනගෙන ඊට අඩු ටෝක් එකකට හැම ඇනයම තද කරණ එක. (ඒක ටිකක් ග්‍රාම්‍ය ක්‍රම වේධයක් තමයි. ඒත් අඩු ගානෙ අපිට වැටහීමක් තිබුනා හැම ඇනේම එක ගානකට තද උනා කියලාවත්! මේවා පැඟිරා කාලේ කල කී දේවල්නේ කුමාර මහත්තයා!)

      Delete
  5. ඕක කේස් හාර්ඩනින් (ෆේස් හාර්ඩනින් කියලත් කියනවා). හීට් ට්‍රිට්මන්ට් ක්‍රමයක්.
    මෘදු යකඩ හෝ කාබන් අඩු වානේ වල පිටත පෘෂ්ටය ගෙවීම අඩුකරගන්ඩ කරන ක්‍රමයක්. කාබන් ප්‍රමානෙ ටිකක් වැඩි කරන්ඩ තමා අඟුරු පාවිච්චි කරන්නේ.
    ජයවේවා!

    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඔව් හැට්ටර් මල්ලී මතුපිට පෘෂ්ඨය සෙන්ටිග්‍රේඩ් අංශක 800 ට රත් කලාම කාබන් අනු එක්වී ඝන පටලයක් / ලේයරයක් හැදෙන බව මම අහලා තිවුනා! ස්තූතියි! මොකද අපේ කමෙන්ට් වලට රිප්ලයි නොකරණ්නේ?

      Delete
  6. චැසියක, ක්‍රොස්මෙම්බර්, දුනු ෂැකල් හිටන් අලුතෙන් හයි කළා කියන්නේ සෑහෙන බරපතල වැඩක්. මේ වැඩේ හරියට කලාද නැද්ද කියන එක, වාහනේ දුවන කම් හොයා ගන්න බැහැනේ.

    6X6 ලෑන්ඩ් රෝවර් කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ හැදුවා. දැන් නම් ඒක අත හැර දාලා. Land Rover Perentie කියන නමින් තමයි හැඳින්වුනේ. කඳ බඩ ලෑන්ඩ් රෝවර් උනාට, ඉසුසු 4BD1 ඇන්ජිමක් තමයි තිබුනේ. තවමත් ඒවා හොඳ මිලගණන් වලට විකිනෙනවා.

    පිස්ටන් වලට කේස් හාර්ඩිනින් කරනවා කියලා කිව්වට, ඒ කාර්යය කෙරෙන්න තරම් උෂ්ණත්වයක් ඇන්ජින් ඔයිල් වලට පොල්කටු අඟුරු ගින්දර දාලා ලබා ගන්න බැහැ. ඊළඟට කියන්න තියෙන්නේ පිස්ටන් බොහොමයක් ඇළුමිනියම් ඇලෝයි නිසා, කේස් හාර්ඩ් කරන්න බැහැ.
    ඉහත 'කුමාර' කියලා තියන කතාව ගැන යමක් ලියන්නම්. 70/80 දශක වල, ජපානෙන් ආපු බස් වල පිටිපස්සේ දුනු මිටියේ main leaf එකට යටින් වැඩිපුර Helper එකක් (එතකොට helper දෙකයි) දාලා, ආසන 26/29/35 බස් වලට මගීන් 70/80/100 වගේ පටවන්න අපේ මිනිස්සු සමත් උනා. නමුත්, ප්‍රතිඵලය උනේ, දුනු නොකැඩී චැසිය පිපිරීම හෝ කැඩී යාමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක බරපතල වැඩක්. මම ඒක කලේ මට ඒ වෙලාවෙ කරණ්න පුළුවන් හොඳම ක්‍රමයට! මා ළඟ තිබුනු මෝටර් කාර්මික පොත් පත්, චැසි බාස් කෙනෙක්ගේ උපදෙස්, මගේ ඉව වගේ බොහෝ කාරණා එකතු කරලයි කලේ. ගත්තු අවදානම නිසාම අන්තිමට ස්ටියර්ං එක අත ඇරලා යන්න පුළුවන් ගානට ඒක ආවා. එලයින්මන්ට් හරියටම තිබුනා!
      ඔව් සෑම් මහත්තයා. ඉස්සර ලංකාවට ආව ක්‍රයිස්ලර් ජීප් එකටත් සවි කරලා තිබ්බේ ඉසූසූ C240 එන්ජිම. ඔය 31 අන්තිම කාණ්ඩෙ 32 මුල ආපු හැම එකකම එන්ජිම ඉසූසූ!
      පොල්කටු අඟුරු වලින් ඔය වැඩේ කරණ්න බැරි බව ඇත්ත. ඒත් ඉතින් "ඇම්ම" කියන එක ඊට වැඩියිනෙ? හි! හි!!
      ඔව් අපෙ මිනිස්සු ඉඩ තියෙනවානම් හිතන්නේ පුළුං පැටෙව්වත් එකයි යකඩ පැටෙව්වත් එකයි කියලා.
      ස්තූතියි!

      Delete
    2. ලංගම තිබුන ඉසුසු බස් වල චෙසි කැඩෙන ප්‍රශ්නයක් තිබුණෙ නෑ.

      Delete
    3. ඔව් ඉසූසු චැසියටයි දුනු මිටියටි හතරටයි නම් දරාපු වාහන!

      Delete
  7. Hope all of you keeping safe?

    Hmm, Harak mas kamin arakku bona ekage nama Gandhi

    Story is like Greek to me, I am not into this business, Though I have a friend who is doing all that for fun. I once had him to switch a petrol engine to a diesel in a WWII type Willys and vehicle start to brake axial frequently.

    Wijebahu

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් විජයභාහු මහත්තයා ගෝඨාගේ පිහිටෙන් අපේ වියදමෙන් ප්‍රවේශමෙන් ජීවත් වෙනවා! (හි! හි!!)
      ඔව් දෙයියනේ එයාගෙ නම ගාන්ධි! හැබැයි මම දන්න තරමට ගාන්ධිත් ඒ තරම්ම හොඳ එකෙක් නෙවේනෙ!?
      නෑ නෑ! ඔබ තුමා දන්න ටික ප්‍රමානවත් මේක කියවගෙන යන්න. මම ටිකක් තාක්ෂණික විස්තර ටිකක් දැම්මා කියවන හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා. මොකද බොහෝ අය දන්නේ නෑ ඔය ලෑන්ඩ්ශෲසර් වල මොඩ්ල් නේම් වල වෙනස් කම් .! කොහොම උනත් කියවගෙන යන්න. මේ හැම දෙයකින්ම කියන්න ඕනෙ වෙන්නේ "ජීවිතේ රෝසමල් යහනාවක් නොවේ!" කියනවාත් සමගින්ම "රෝමය ගොඩ නැගුවේ එක දිනකින් නොවේ!" කියන පණිවිඩය. ස්තූතියි. ඔබ තුමාලට ලොක්ඩවුන් එකක් යනවා නේද දින හතක? (ඔබ මෙල්බර්න් නේද?)

      Delete
    2. No Sir, in Canberra now, was in QLD until DEC 2020.

      Delete
    3. හොඳයි විජේභාහු මහත්තයා! එහෙනම් ජයවේවා~!

      Delete
  8. See these repairs https://youtu.be/GrAeOKDL90k

    ReplyDelete
    Replies
    1. හරි වැදගත් ක්ලිප් එකක්! ඇත්තටම චැසියක් කැඩුනා කියලා වාහනේ වීසි කරණ්න ඕනෙකමක් නෑ. ඒත් අපේ හිතේ තියෙනවා නේ "මේක චැසිය කැඩුනු වාහනයක්!" කියලා. ඒ ක්ලිප් එකේ තියෙනවා හීනෝ ට්‍රක් චැසියක් ගොඩදාගන්න හැටි!

      Delete
  9. ආවෙමි කියෙව්වෙමි කමෙන්ටු සේරෝමත්
    වැලි ලා විලාසේ තවමත් ඇහැත් සිතත්
    අනෙ අම්මේ මේවා වැටහෙන්නෙම නැත්
    ඒත් මොකෝ, ගොඩකගෙ අරගෙනනේ හිත්

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි නිදී මහත්තයා. හැමදාම වගේ අදත් ගොඩ වැදුනට!

      Delete
  10. මේක කලිනුත් ඇවිත් කියවලා, ලිස්සලා ගියා. වැඩේ කැත වුනත්, කමෙන්ට් නොකලෙ සබ්ජෙක්ට් එක නොදන්න නිසයි. බලාගෙන ගියාම වාහන පිස්සුවත්, හොඳ පණ ගියත් ආතල් දෙන වැඩක් නෙව?😊

    ReplyDelete
    Replies
    1. සාමන්‍ය හුදී ජනයා ඇවිත් කියවලා ගියාම වගේ නෙවෙයි බ්ලොගර් කෙනෙක් ඇවිත් ගිහිනුත් මුකුත් ලියලා නෑ කියන එකනම් හඳුන්පොත කීක්ස් ගාන දෙයක් නම් තමයි. ඒත් නිකං ඉන්නමට අහල ගියත් මදෑ! කියලා එහෙම හරි බලලා යන එකත්පොඩි ලල් එකක් තමයි.
      ඔව් ඇත්තටම බස්සෝ මම මේක ලියන්න ගත්තේ අපි කාපු කටු අපිටත් කාලෙකදි අමතකවෙලා යන හින්දා මයි. ඒ කියන්නේ මට මතක හිටින්න.
      අනෙක අපි වටා ඉන්න අයියලාට මල්ලිලාට තේරුම් යන්න "අපි මොන කට්ටක්ද කන්නේ; තට්ටයා කාපු ඒවත් එක්ක!?" කියලා හිත හදා ගන්න!
      කොහොමත් ඒකෙ පොඩි ආටිස්ටික් ගතියක් තියෙනවා ඇත්තටම පරණ වාහනයක් ගොඩ දානවා කිට්යන එක පොඩි කලාවක්!
      ස්තූතියි! මම කූඩුව පැත්තේ ඇවිත් ගියා!

      Delete
    2. මේ දීලා තියෙන ගේමත් එක්ක බැලුවාම, අපේ වැඩ මොනවද කියලත් හිතෙනවා. අර පාන් බාගෙයි, මස් දීසියයි ගිලින ගොයියා නං, ගිජු ලිහිණියෙක් නෙව? හැබෑටම එයා මොනවද කලේ කියල නං පැහැදිලි නෑ.

      Delete
    3. ඒයකා රජ වැඩ්ඩෙක්! ඒත් උපංගෙයි කම්මැලි බුවෙක් එයා ඉතිං අතේ මජංවත් ගාගන්නේ නැතිව "ආ දැන් අරක හයි කරණ්න! මේක හයි කරණ්න !!" කියන එක තමයි කලේ!

      Delete
  11. වාහන ගැන මෙලෝ දෙයක් දන්නේ නැති උනත් මේ වගේ ඇඩ්වෙන්චර් වැඩ ගැන කියවන්න ආසයි... මම නම් වාහනේ වතුර/තෙල් වත් බලන්නේ නැහැ දැන්... ඔක්කොම සර්විස් එකේදිම චෙක් කරන්න දාල ඔහේ ඉන්නවා.. කොටින්ම කිව්වොත් ගිය මාස 6ට 1000Km වත් දුවල නැහැ ... හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. පැතුම් වාහනයක් කියන්නේ පවුලේ තවත් එක් සාමාජිකයෙකු ලෙසිනුයි මටනම් පෙනෙන්නේ. තවත් එක් පාරිභෝගික වස්තුවක් විතරක්ම නොවෙයි. "එයා අපේ ජීවිත සැපවත් කරණ්න මොනතරම්නම් වෙහෙසෙනවාද?" කියන ප්‍රකාශය කරණ්න පුඅළුවන් වෙනත් අජීවි වස්තුවක් ගෙදර තවත්නම් තියෙනවාද? ඒනිසාම කාර් ලවර් කෙනෙක් වෙන්න. ඒකෙ පොඩි ගතියක් තියෙනවා. තමන් වාගේම පිරිසිදුව වාහනයත් එහි එන්ජිමත් තියාගෙන සතියකට සැරයක්වත් එන්ජිම ඇර
      ස්තූතියිලා බලා එයාට පොඩිවිහිළුවක් කරලා (මට පිස්සු කියල හිතන්න එපා බං! ඒකෙ අමුතුම ආතල් එකක් තියෙනවා!! "ඉන්නවා නිකං හොර ගෙඩිය වගේ!' කියලා කාර් එකට එන්ජිමට පාරක් ගහලා වෙනම ආදරණීය ලෝකයක් අටවා ගන්න ) අද නිකං ඉන්න එකේ පටන් අරං කියන්නකෝ. ආ! මං කියනවට අද ගිහිල්ලා වාහනේට පොඩි ආදරණීය බැල්මක් දාලා බලන්නකෝ - අනිවා එයා ඔයාට පොඩි හිනාවක් දානවා - ඉර හඳ වගේ විශ්වාසයි! (මාර පිස්සුනේ!?)
      කොහොමත් පරණ වාහනයක් අරං හදන්න ඒක ආතල්ම වැඩක්.
      මොනවා උනත් මේ පැත්තට ආපු එකත් ලියපු එකත් මහත්මවූ පිං ගෙන දෙන කුසල කර්මයක්!
      ස්තූතියි! නැවත එන්න!

      Delete
    2. වාහනය සමග ඔබ ඔය කියන සම්බන්ධය මට තියෙනවා. මම ගත්ත පළවෙනි කාර් එකේ ඉඳල අද වෙනකම් ඒ හැම වාහනෙත් එක්කම මම ඔබ ඔය කියන විදියටම සම්බන්ධයක් ගොඩ නගාගෙන තියෙනවා. එකේ මොකක්ද අමුතු දෙයක් තියෙනවා කියල මාත් පිලිගන්නවා.

      පළවෙනි කාර් එක අරගෙන එකේ තිබ්බ අඩු පාඩු හදන්න ගරාජ් ගානේ රස්තියාදු වෙච්ච කාලයක් තිබ්බ.. ඊට පස්සේ ගත්ත වාහන එහෙම අරන් යන්න අවශ්‍යතාවයක් ආවේ නැහැ. දැන් මේ පිට රටක ඉන්න හින්ද කොහොමත් ඒ වගේ කරදර පටල ගන්න කැමැත්තක් නැහැ.. විනෝදාංශයක් විදියට කරන්න හොඳ උනත් දැන් කරන රස්සාවෙන් ලැබෙන සුළු විවේකයේ මජං නාන්න හිත හදා ගන්න අමාරුයි ... හෙහ් හෙහ් ..

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ලංකාවට අවාම එතකොට රටක් ඉතිරිව තිබුනොත් පරණ වාහනයක් අරං හදමු!

      Delete
  12. //වාහන ගැන මෙලෝ දෙයක් දන්නේ නැති උනත් මේ වගේ ඇඩ්වෙන්චර් වැඩ ගැන කියවන්න ආසයි..// මම දාන්න ආපු කොමෙන්ට් එකේ මුල් ටික එහෙමම දාලා පැතුමා.. :))

    ඔන්න කොටස් හතම එක දිගට කියෙව්වා. අතරමග පාටියකුත් හම්බුනා..

    හෙන ආසයි පරණ ක්ලැසික් වාහනයක් ඔය වගේ මහන්සිවෙලා හදාගෙන මේන්ටේන් කරගෙන පොර වගේ පැදගෙන යන්න.. දැනුමක් නැති එක සහ වෙලාවක් නැති එක දැනට ගැටලුව.. වෙලාවක් ආපු කාලෙක දැනුමත් හොයාගෙන වැඩේට බහිනවා :)

    ReplyDelete
    Replies
    1. අර ඒකාලේ සිත්තර පත්තරේ ගියා "ස්පාටකස්" කියලා කථාවක් ඇන්දේ පී ඒ ලීලාරත්න. ඒකේ තේමා පාතය උනේ "නොමිනිස්කමේ සෙළුව පාවාදීමේ සළුවෙන් වසාලිය නොහේ!" කියන එක. ඒ වගේ මේ මොන මලදානේ ලිව්වත් කලණමිතු; ඔබ ඔබගේ බ්ලොග් එක නොලියා ඉන්න එක ගැන නම් කිසිම සමාවක් දීමට නොහැක. කරුණාකර අදම ලියන්න පටන් ගන්න අපි හැමෝම වෙනුවෙන්.
      දැන් ලියමු අදාල මාතෘකාව ගැන. ඇත්තටම පරණ වාහනයක් අරන් හදන එකයි, පැලයක් හිටවලා ඒක ලොකු වෙන තුරු බල්ං ඉඳලා ගෙඩියක් කන එකයි, දරුවෙකු ලොකුමහත් කරන එකයි අතරේ සියුම් සමානතාවයක් තියෙනවා කියලයි මටනම් හිතෙන්නේ.
      ඒකෙ පොඩි ආටිස්ටික් ගතියකුත් තියෙනවා.
      ඒ වඩේට මහා විසල් දැනුමක් නම් ආව්ශ්‍යවෙන්නේ නෑ. අර කාර්පිස්සුවාගේ ලිපි පෙල බැලුවානම් ඒත් ඇති. කොහොමත් වැඩේට බැහැලා හදාගෙන යනකොට එහෙන් මෙහෙන් තේරෙන්න ගන්නවා.
      ඔයා වැඩේට බහින්නකෝ. අපි දෙන්නම් එල සප් එකක්. හැබැයි පුතෝ ෆෝ වීල් නම් විතරයි.ඒකට හේතුව මමම ලියා තියෙනවා කලින්. "ෆෝ වීල් නැත්නම් වාහනයක් නොවේ!" කියලා අත පුරෝලා!

      Delete
    2. නොරත රථ 3 කොටසේ මම ප්‍රශ්නයක් ඇහුවා ඒ කාරෙකේ නොම්මරේ ගැන. ඒකට උත්තර දීලා නෑ :))

      Delete
  13. එකසිය ගානට සමාවෙන්න. ඒක 9ශ්‍රී7053 ලෙස නිවැරදි විය යුතුය!

    ReplyDelete
    Replies
    1. 4 වෙනි කොටස පටන් ගන්න තැනත් ඒක 7 ශ්‍රී කියල තිබ්බේ.. මගේ ඇස් වලට ඕවා හංගන්න බෑ.. රස්සාවට කරන්නේ වැරදි හොයන එක.. හෙහ් හෙහ්..

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...