Wednesday, July 8, 2026

308. 4X4 Modifications අපට අකැපද . . . . ?



මම මේ කථාව පටන් ගන්නේ වෙනස්ම තැනකින්.

ඒකාලේ මම සේවය කලේ යුනයිටඩ් මෝටර්ස් සමාගමේ හයිඩ් පාර්ක් ශාඛාවේ සේවා උපදේශකයෙකු ලෙසයි.

ඔය මම කියන කාලේ වාහන බලපත්‍ර නිකුත් කරලා Lancer Ex රථ විකිණෙමින් තිබුනු කාලයක්.

මිට්සුබිෂි සෑම වාහනයක් සඳහාම නිදහස් සේවා තුනක් අයතනය මගින් ලභා දුන්නා. 

කිලෝ මීටර 1000න් 5000න් සහ 10,000න් තමයි ඒ සේවා තුන කලේ.

පළමු සේවාවේදී එන්ජින් තෙල් සහ ෆිල්ටරයද දෙවන සේවාවේදී තෙල් පමණක්ද තෙවන එනම් 10,000දී නැවත තෙල් සහ ෆිල්ටරයද අළුතින් යොදයි.

එක් සැන්දෑවක එහි පැමිණි පාරිභෝගිකයෙකු මා සමග අල්ලාප සල්ලාපයේ යෙදී සිටිනාතර තුර ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙකු බව දැනගන්නට ලැබුනා.

ඔහු නමින් නන්දන කරුණාසේන.

තවත් කාලයක් යන විට ඔහු මාගේ හොඳ මිතුරෙකු වූවා.

ගෘහ නිර්මාණ ශිල්පය ගැන පමණක් නොව බොහෝ දෙවල් ඔහු සමග මා කතා බස් කලා. ඔහුගේ ඇසුර වෙනස්ම එකක් උනා. ඒ ඔහු ලෝකය දිහා බලන ලද සුවිශේෂී කෝණය නිසාම වෙන්න ඕන.

වසරකට පමණ පසුව ඔහු හදිසියේ පැමිණියේ අළුතින් වෙනත් වාහනයක් ගැනීමේ අරමුණින්.

අප ආයතනය විසින් අළුතින් ගෙන්වා ඇති වාහන ගැන ඔහු විපිළිසර උනා.

මම ඔය කියන කාලේ Diesl Manual Montero Sports SUV රථය මෙරටට හඳුන්වා දුන් සමය.

ඒවගේම මිට්සුබිශි අළුත් L200 කැබ් එක Sportero කැබ් එක එහෙමත් එළි බැහැපු කාලෙමයි.

ඔහුගේ රැකියාවේදී බොහෝ විට වැඩබිම් වලට යෑමට සිදුවන බවත් මගේ තේරීම නිසාත් මා ඔහුට යෝජණා කලේ 4WD රථයක් ගනිමු කියාය.

ඔහු ඊට දුන්නේ කදිම පිළිතුරක්.


"මල්ලී මමත් අසයි 4WD එකක් ගන්න. ඒත් ඒකෙ Driving Seat එකට නැග්ගාම මට ආරෝපනය වන ස්වභාවයට මම එච්චර කැමති නෑ!

අපි කාර් එකක යනකොට පාරෙ පයිං යන අයටයි අනිත් වාහන වලට තියෙන ගරුත්වයයි ඔය 4WD එකක යනකොට අපෙන් ඈත් වෙනවා නේද මල්ලි අඩු වැඩි වශයෙන්?


මේ කථාව මම 4WD රථයකට ගොඩවන සෑම අවස්ථාවකදීම මතකයට එයි. ඒ නිසාම මා 4WD රථ පාවිච්චි කල මුළු වසර තිහකට ආසන්න කාල සීමාව තුල ඉතා වැඩි වසර ගණනාවක් පැදවූවේ එක්තරා විනයකට අනුවය. 

ඉන් පිටස්තරයෙකුට හැඟීමකින් හෝ හානියක් නොවීමට හා ස්වභාව ධර්මයාට සිතා මතා හානි සිදුනොවන ආකාරයට ඒවා පාවිච්චි කලෙමි. 

වරක් මුහුනු පොතේ පලවූ වීඩියෝ ක්ලිප් එකක ඉතා පැහැදිලි ජල පහරක ඔබ මොබ යන වාහනයක රුවක් දිස් විය. එසේම කළු පැහැති බොක්ස් ප්‍රාඩෝ එකක් ද වැවක "හාන" වීඩියෝවක්ද මම දුටුවෙමි. 

එම වීඩියො දෙකට මාගේ විරෝධය දැක්වූ විට "යකඩ හීන බලන්නන්" මාහට අම්ම මෝ නැතිව මාහට වහසි බස් කියමින් බනින්නට විය.

එහිදී මා ලියන ලද දෙවන පිළිතුරට බොහෝ අයගේ ප්‍රශංසාව හිමිවී තිබුනි.

එහි අදහස මෙතැන මා ගොනු කරණ්නම්.

"4WD රථයක් යනු බොහෝ අයගේ සිහිනයක්. ඒ අයගෙන් බහුතරයකට එය සාක්ෂාත් කර ගත නොහැකි කාරණයක්. අපිය එම භාග්‍යය ලැබී තියෙනවා. ඒ නිසාම බොහෝ බොහෝ අයට යානොහැකි ස්ථාන වලට යාමට ඒවා විඳීමට අපට අවස්ථාව ලැබෙනවා. මේ ලැබී ඇති භාග්‍ය නිසාම එවැනි තැන් වල ඇති ස්වභාව සෞන්ධර්යය, වටා පිටාව අප විනාශ නොකල යුතුයි. අප ඒවා ආරක්ෂා කල යුතු මයි. විනාශ කරණ්නවුන්ට විරුද්ධ විය යුතුමයි.

මාගේ පියා වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවේ සේවය කල අඩවි වන නිළධාරි වරයෙක්. ඔහු වියළි කලාපයේ වනාන්තරයක අතර මං ව; සිඳී ගිය ඇළ පාරක පසෙක් වූ වැලි තලාවක වූ වන අලි සටහන තුලට එකතුවී තිබුනු දිය සීරාව ලේන්සුවකින් තෙත් කොට ගෙන එයින් තොල කට තෙමගෙන ජීවිතය ගලවා ගත්තෙක්. 

ඒනිසාම දිය පහරක් සුරැකීමටත්, ජලය දූෂණය කරණ අයට විරුද්ධ වීමටත් මා කටයුතු කරණවා. ඒ නිසා මාගේ විරෝධය පිළිබඳව තේරුම් ගන්න!"

මේ පූර්විකාව ලිව්වේ 4WD රථ සහ ඒවා පාවිච්චිය පිළිබඳ මාගේ දෘෂ්ඨිය දැක්වීම උදෙසාය.

මා මේ පටන් ගත්තේ "යකඩ හීන" හෝ "දවල් හීන" වල දොස් දකින්නට නම් නොවේ. ඒ හා බැඳුනු නීති රාමුව හරහා ගමන් කිරීමටයි.

මෙම ලිපිය මුදුනේ මා ලියා දැක්වූ පරිදි නන්දන කරුණාසේන මහතාගේ අදහස එනම් අප පදවන වාහනයට අනුව ඒවා මාර්ගයේ පදවන  ආකාරය හා භාවිතය වෙනස් වන බව මා මෙන්ම ඔබ විශ්වාස කරණ්නේ නම් බොහෝ පුද්ගලික බස් රථ පදවන්නන් පත්වී ඇති මානසික ව්‍යාධිය තේරුම් ගැනීමට පුළුවන.

4WD රථය සන්නද්ධ කොට ඇති අමතර උපාංග වලට සාපේක්ෂව මෙම් "උණ" වැඩි වනවා සේම පුද්ගලික බස් ර්ථ  වලට සවිකොට ඇති අමතර සුදු යකඩ කොටස් වල කිලෝ ගණනට එම රියැදුරන්ගේ නොහික්මුණු බවද වැඩිවී ඇති බව  මා දැක ඇත. මෙසේ නොවන 4WD පදවන්නන් බොහොමයක්ද බස් රියැදුරන් සුළු පිරිසක්ද නැතුවා නොවේ. මමද එය අත්දැක ඇති කාරණයකි. 

මේ නිසාම අණතුරක් හෝ වෙනයම් සිද්ධියකදී මෙම බස් තොර්ණෙහි රූප රාමු හා කථා ශරීරය ඉස්මතුවී පොලීසිය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව සුදු යකඩ ගැලවීමේ මෙහෙයුමකට පාරට බසී!

"වාහනයක මුල්ස්වරූපය වෙනස් කල නොහැක!" මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ දෙව වාක්‍යය.

වාහනයක ඇතුලත අදහන දෙවියන් නොව අම්ම තාත්තගේ පිංතූරයක් ඇලවීම, හුඩ් රැක් එකක් සවි කිරීම , වර්ණය වෙනස් කිරීම, රේඩියෝවක ඒරියල් එකක් දැමීමේ සිට වාහනයකට පලල් ටයර යෙදීම, වින්ච් එකක් සවි කිරීම, හුඩ් රැක් එකක් සවි කිරීම දක්වා එකී නොකී මෙකී සියල්ලම පෙර කී දේව වාක්‍යයට අනුව වැරදි වේ.

මේ සෑම සියල්ලටම එදිරිවීමට හේතුද ඔවුන් වෙත ඇත. ඒවායින් බොහොමයකට නියාමනයක් හෝ සම්මතයක් නොමැති වීම කණගාටුවට කරුණකි.

උදාහරණයක් ලෙස දේව රූප බුද්ධ රූප ආදිය ඉදිරියේ සවි කිරීම ගතහොත් එයට පොලීසියෙන් යොදන තාක්ෂණික නාමය "ඉෂ්ඨ රූප සවි කොට තිබීම" යන්නය. 

මා කිසිදා වාහනයක දෙවියන් බඹුන්ගේ රූප සවිකොට නොගියාට එවන් මානසික තත්වයන් ඇති අය ඕනෑ තරම් සිටිති. එය එසේ නම් එම රූපය සවිකිරීමට සම්මත ස්ථානයක් හා ප්‍රමාණයක් එයට ලභා දිය යුතුය.

කොටින්ම සෑම වාහනයක් සඳහාම; ඒ ඒ වාහනයට ගැලපෙන නවීකරණයක් පිළිබඳ කථිකාවක් නීති ක්ෂෙත්‍රයේ ඇතිවී ඒවා  මෙරට රථ වාහන ආඥා පනතට එකතු විය යුතු යුතුය.

මෙම පෝස්ටුව මගින් කථා කෙරෙණ්නේ මුළු මහත් වාහන ප්‍රජාව පිළිබඳව නොව විශෙෂයෙන් 4WD වාහන පිළිබඳව බව කරුණාවෙන් සළකන්න.

වාහනයක වහලය මත කිසිවක් තබාගෙන යෑමට සවි කර ගන්නාවූ හුඩ් රැක් එකක් නීතිමය වශයෙන් තහනම් වූයේ මන්දැයි මාහට සිතා ගත නොහැක.

Winch - වින්චි

වාහනයේ ඉදිරිපස සවිකරණ වින්චි සම්බන්ධයෙන් බොහෝ පොලිස් නිළධරයින් ක්‍රියා කරණ්නේ වෙනත් වාහනයකින් ගලවා ගත් හොර  බඩුවක් ප්‍රවාහණය කරණ කෙනෙකු දෙස බලනාකාරයෙනි.

එහිදී සමහර නිළධරයින් වාහනයේ සම්මත දිග වෙනස් නොකර සවිකරගෙන යෑමට ඉඩ දෙන් අයුරු අප දැක ඇත.

එහෙත් කණගාටුවට කාරණය වන්නේ බොහෝ වාහන්වලට උදාහරණයක් ලෙස Toyota / Nissan / Mitsubishi / Isuzu Cab, Nissan Patrol / Isuzu Trooper SUV / L300, L400 4WD Van වැනි රථ වලට එසේ වින්චියක් වාහනයේ බෆරයට පසු පසින් සවි කිරීමට ඉඩක් නොමැති නිසාය.

එය එසේ හෙයින් එයට වින්ච් බෆරයක් සවිකරගත යුතුය. වාහනයේ මූලික ස්වභාවය වෙනස් කිරීම යටතේ එය නඩුවකි. බොහෝ පොලිස් නිළධරයින් පවසන්නේ වින්ච් බෆරයක් සහිතව මහපාරේ ගමන් කිරීම අනතුරු දායක බවයි. එනම් අනතුරකට පත්වන පුද්ගලයා හට දැඩි හානියක් වීමට ඉඩ ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

එහෙත් මෙතෙක් කලකට මෙරට මාර්ග අණතුරු වලින් මියගිය බහුතරය වින්ච් බෆර් සමග ගැටීමෙන් නොවන බව ඔවුන්ට වටහා ගත නොහැක.

වින්චියක් (Winch) වාහනයකට අත්‍යඅවශ්‍ය උපාංගයක්ද? කෙනෙකු තර්ක කරාවි! එය තීන්දු වන්නේ එම වාහනය පාවිච්චිකරණ ස්වභාවය අනුවය. 4WD රථයක් මිළදී ගන්නේ එදිනෙද කන්තෝරුවට යන්නට, ළමයි ඉස්කෝලේ යවන්නට, හෝ සාප්පු යමට නොවේ. 

ගිරි දූර්ඝ, වන දූර්ඝ, වැලි සහිත මඩ සහිත මං මාවත් ඔස්සේ ගමන් බිමන් යෙදෙන හා යෙදීමට කැමති අය 4WD රථ මිළදී ගනිති.

සාමාන්‍ය වාහනයකට වඩා 4WD රථයක් බොහෝ සෙයින් මිළ අධිකය. ඒවා මෙරටට ගෙන්වීමේදී වැඩි බදු අයකිරීමක් රජය කර ඇත. බදු මුදල් යනු පොදු මුදල් ය. 4WD භාවිතා කරණ අය ගෙවනා බදු වලින් ඵලප්‍රයෝජන  පෙරළා ලැබෙන්නේ 4WD රථ භාවිතා කරණ්නවුන්ට පමනක් නොවේ. ඒවා භාන්ඩාගාරයේ පොදු අවශ්‍යතා සඳහා වැය කරයි. එසේම 4WD රථ රටකට අනවශ්‍ය එකක් ලෙස කිසිදු රජයකට තර්ක කල නොහැක. මන්ද වැඩිම 4WD රථ හිමි කරුවා ආණ්ඩුව නිසාය.

මෙවන් රථයක් වුවද මඩ හො වැලි සහිත මාර්ගයකදී කිසිවක් කරකියා ගත නොහැකි ලෙස සිරවීමට ඉඩ ඇත. මඩ හෝ වැළි සහිත ස්ථානයකදී රෝද හතරේම ඝර්ෂණය අහිමිවී යෑමකදී නෝසේනම් රෝද හතරම ලිස්සා යන මොහොතකදී එම තැනින් ගොඩ වන්නට වින්චියක් උපයෝගී කරගනු ලබයි. 

එසේම එවන් අකර තැබ්බයකට පත්වී ඇති වෙනත් රථයක් එයින් මුදවා ගැනීමට හෝ බාධකයක් ඉවත් කර ලීනට විචියක් උපයෝගී කර ගනු ලභයි. (වරක් මාගේ Toyota BJ60යට සවි කොට තිබුනු වින්චිය මා උපයෝගී කර ගත්තේ විදුලි රැහැන් ත්‍රිත්වයකින් සැද්ම් ලත් කුඩා ත්‍රිකෝණයක් තුලින් කපන ලද ගසක අතු බිමට බෑමටය!

මීට පෙර මා විසින් ලියන ලද Don't Underestimate Power of the Common Man නම්වූ බ්ලොගයේ පරිදි මෙරට සිදුවුනු හා සිදුවිය හැකි ස්වභාවික ව්‍යවසනයන් හීදී සාමාන්‍ය මිනිසුන් මහත්වූ කාර්‍ය භාරයක් කරයි. එහිදී 4WD රථ හිමියන් කරණ්නේද අනුපමේය සේවයකි. පෞද්ගලික 4WD රථ මහත්වූ කාර්‍ය භාරයක් කරයි. 

කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව සිදුකරණු ලබන මෙම මෙහෙය මෙවර දිත්වා කුණාටුවේදීද, ගං වතුර තත්වයන් වලදීද, සුනාමියේදීද මා අත් දැක ඇත.

මෙවන් අවස්ථාවල්දී එළියට එන්නේ කන්තෝරු යෑමට, ළමයින් පාසැලට ඇරළවීමට හා නෝනට සාප්පු යෑමට ගෙවල් වල ගාල් කොට ඇති 4WD රථ නොව සැබැවින්ම ඒවා රළු භාවිතයට පාවිච්චි කරණ්නාවූ අයගේ රථ ය.

පසු ගිය කාලය තුල මේ පිළිබඳව සමාජය තුල ඇතිවූ කථා බහේදී මෙවන් Modification හෝ අමතර උපාංග ගැලවීම හුදෙක් මෙම රජයේ වරදක් හෝ කුහක කමක් ලෙස හුවා දැක්වීමට බොහෝ අය කටයුතු කලේය.

එහෙත් මෙම රජයෙන් අළුතින් නීති පොතට එක් කල නීතියක් ක්‍රියාවේ යෙදවීමක් සිදු නොවූ බව ඔවුන්ට නොවැටහීම කණගාටුවට කරුණකි. 

මීට පෙර සිදුවූයේ බොහෝ විට මෙවන් 4WD රථවාහන පාවිච්චි කල බොහෝ අයට දේශපාලන රැකවරණයක් හෝ අත් වැලක් තිබීම  නිසාම පොලීසිය හෝ මොටර් රථ වාහන දෙපාර්තමේන්තුව තමන්ට පොතෙන් හිමි නීතිය අකුලාගෙන සිටීමය.

මෙරට අනෙකුත් සියළුම කරුණු කාරණා සිදුවන ලෙසටම උපාංගය භාවිතයට පැමිණියාට ඊට අදාල උපදෙස් හෝ නීති රීති පැමිණ නැත. 

ඔරලෝසුව බැන්දාට වෙලාවට වැඩ කිරීම උගෙන නැතිවාක් මෙන්ම මෝටර් රථය මෙරටට ගෙන ආ කාලයේ හෝ බොහෝ කලකට පෙර හෝ භාවිතයට ආ නීති රීති නියමාකාරයෙන් යාවත් කාලීන වී නොමැත.

1865 බ්‍රිතාන්‍යයේ සම්මත කරගත් නීතියකට අනුව ස්ව්‍යංචාලක රථයක් (එකල මං මාවත් වල දිවුනේ අශ්වයන් ඇදගෙන ගිය රථයන් ය!) මහ මග දිවෙද්දී මාර්ගයේ ඇවිද යන්නවුන් හට අණතුරු දායක බව පල කිරීමට රතු කොඩියක් රැගෙන යයුතු විය. එය නමින් රතු කොඩි පනත නම් වේ!   මේ ගැන මෙතැනින් කියවන්න. මෙවන් නීතියක් බ්‍රිතාන්‍යයේ නැත්තටම නැතිවූ පසු මෙරටට  මෝටර් රථය නොගෙනෙන්නට තවමත් මෙරට වාහන වලට ඉදිරියෙන් රතු කොඩියක් අතින් ගත් අයෙකු දිව යනවා අපට දකින්නට පුළුවන් විය.

රටක් සංවර්ධනය වන විට ඇථිවන තාක්ෂණික ඉදිරි පිම්මට අදාල වන ලෙස නීති රීති සම්පාදනය විය යුතුය.

මේ ගැටළුව වෙනුවෙන් අදහස් බෙදා හදා ගන්නට  රජයට කරුණු ඉදිරි පත් කරණ්නට සහ මේ පිළිබඳව සාධාරණ නීති සම්පාදනය කරගන්නට 4WD පාවිච්චි කරණ්නන්, අයිති කරුවන් හා නවීකරණය කරණ්නන් එක්ව නිර්මාණය කල වට්සැප් සමූහයක මේ පිළිබඳව පුළුල් කථිකාවතක් ඇතිවී ඇත.

එහිදී එහි ක්‍රියාකාරී සාමාජිකයෙකුවූ නලීන් ප්‍රේමරත්න විසින් ඉදිරිපත් කර තිබුනු අවශ්යතා ලැයිස්තුව මෙහි පෙල අගස්වමි.

1.  Front Bumper & Winch (No Bull Bars)

ඉදිරිපස බෆරය සහ වින්චිය. (බුල් බාර් රහිතව )

බුල් බාර් රහිත වින්චිය සහ බෆරය
Montero

බුල් බාර් රහිත වින්චිය සහ බෆරය
Range Rover

බුල් බාර් සහිත වින්චිය සහ බෆරය
Toyota Hilux

2.  One pair of  Fog Lights (Should be not higher Than the head lights, with minimum 30cm gap)

මීදුම සඳහා භාවිතා කරණ ලාම්පු යුගලයක්. (මේවා ප්‍රධාන පහන් වලට ඉහලින් සවි නොවිය යුතුඅතර ඒවා අතර අවම සෙන්ටි මීටර 30ක් විය යුතුය )

මීදුම සඳහා භාවිතා කරණ ලාම්පු යුගලයක්
Toyota Hilux

3.  Roof rack (No lights are permitted on it) Expect a work lamp at the back of the roof rack)

වහල මත සවි කරණ රැක් එකක්. (එහි ලාම්පු කිසිවක් සවි නොවේ) පසු පසට වැඩ කිරීමට පමණක් පහතට යොමුවූ ලාම්පුවක් සවිවේ)

වහල මත සවි කරණ රැක් (Roof Rack) එකක්.
Toyota BJ 60

පසු පසට වැඩ කිරීමට පමණක් පහතට යොමුවූ ලාම්පුවක්

වහල මත ඉදිරියට ලාම්පු සවිකල   රැක් එකක්.
Toyota BJ   60

4.  Larger Tyres (They should be covered by the fenders)

වාහනයට නිශ්පාදකයා විසින් එයට සවි කර එවන ලද රෝද වලට සාපේක්ෂව විශාල ටයර භාවිතය (ඒවා අනිවාර්‍යයෙන්ම ෆෙන්ඩර්ස් මගින් ආවර්ණය විය යුතුය )

ෆෙන්ඩර්ස් මගින් ආවරණය වූ සාපේක්ෂව විශාල ටයර්
Toyota Hilux

5.  Awning

ඕනිං! මෙය අපට ඒ තරම් හුරු පුරුදු දෙයක් නම් නොවේ. 




මෙම තාවකාලික වහලය නැවත ස්ව්‍යංක්‍රීයව අකුලා මුල් රූපයේ පරිදි සැකසිය හැක.


6.  Roof Top Tent
වහලය මත සවි කරණු ලබන කූඩරම.
මේ පිළිබඳව මෙන්න මේ ලින්කුවෙන් ගොස් Roof Top Tents & හරිත කන්ද කෑම්පින් . . නමින් මා ලියන් ලද  පෝස්ටුවෙන් වැඩි විස්තර බලාගත හැක.



7.  Rear Bumper with a Tyre Carrier, Jerry Can holder & Trailer Hitch

පසුපස බෆරය හා එයට සවිකල අමතර රෝදය, අමතර ඉන්ධන ගෙන යා හැකි ජෙරී ටැංකිය සහ ට්‍රේලරයක් ඇමිණිය හැකි 50mm ට්‍රේලර් හිච් එක

ඉහත රූපයේ පෙනෙන පරිදි අමතර රෝදය සහ ජෙරී කෑන් එක සවි වන අතර ට්‍රේලරයක් අමුණන 50ම්ම්  බෝලය සහිත කොටස සවිවන රිසීවරය ඇත්තේද මෙම පිටිපස බම්පරයටම සමගය.

රිසීවරය (Receiver)

50 mm බෝලය (50mm Ball) සහිත කොටස සහ එය සිරකරණ  කඩ ඇනය සහ
 එය අගුළු ලන කොටර් පින් එක (Cotter Pin)

8. Cycle carrier

පාපැදි එකක් හෝ කිහිපයක් ගෙන යා හැකි සයිකල් කැරියරය. මෙය බොහෝ විට ට්‍රේලර්  හිච් රිසීවර් එකට සවිකල හැක.            



 50mm  බෝලය සහිත කොටස සවිවන රිසීවරයෙන් හිච් එක ඉවත් කර සයිකල් කැරියරයේ පහතින් ඇති කොටස ඇතුළු කොට පින් එක මගින් පසුපස බෆරයට සවිකල හැක.

ඕනෑම වාහන නිෂ්පාදකයෙකු විසින් එකම වර්ණයක වාහන නොනිපදවා විචිත්‍ර ලෙස ඉදිරි පත් කරණ්නේ එයින් කිසියම් කලාවක් නිර්මාණය වන නිසාය. 
එසේම රථ වාහන සඳහා කිසියම් නියාමනයකට යටත්ව නවීකරණයන් වියයුතු වේ. 
පොදු ගමනාගමන අවශ්‍යතා සඳහා භාවිතා කරණ රථ වාහන සඳහා කරණු ලබන නියාමනයට වඩා වැඩි ලිහිල් බවක් පෞද්ගලික රථ සඳහා ලැබිය යුතු බව මාගේ පෞද්ගලික අදහසයි.
විශෙෂයෙන් මෝටර් රථවාහන පිළිබඳව දියුණු රටවල පවතින නීති රීති ආභාෂයට ගනිමින් අපගේ රටට, පරිසර පද්ධතියට හා මාර්ග පද්ධතිය්ට ගැලපෙන ආකාරයෙන් පවතින නීති රීති වෙනස් වියයුතු කාලය දැන් එළඹී ඇත.

සමහර අවස්ථාවලදී 4WD රථයක් මෙවන් නවීකරණය කිරීමකට ලක් කිරීම කරණ කොට ගෙන; පොලීසියෙන් හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නවතා ඒවා ගැලවීමට නියම කල විට තමා විසින් පසුගිය සුනාමිය හෝ වෙනත් ගං වතුර , දිත්වා ව්‍යවසනය වැනි ස්වභාවික ආපදා වලදී ස්වෙච්ච්හාවෙන් කටයුතු කල හැටි පැවසීමට පුරුදුව ඇත. 
එසේම ඒවා සනාත කිරීමට ඡායාරූප හෝ වීඩියෝ පෙන්වීමට උත්සාහ කරද්දී ඒවා හෙලා දකිමින් හා අවතක්සේරුවට ලක් කරමින් කතා කල අවස්ථා බොහොමයක් ඇත.

මේ සියල්ලෙන්ම පවතින රජය අපකීර්තියට පත්වීම හා එවන් අවස්ථාව්කදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන "මිනිසුන්" වඳවීම නවත්වා ලිය නොහැකි වේ.

ගෙදර මැද සාලයේ සිට රූපවාහිනියෙන් ගං වතුර බලන කල, දුවා දරුවන් සමග කුඩ ඉහලාගෙන ගංවතුර ප්‍රදර්ශණ නරඹන මිනිසුන් සිටින රටක එම දුෂ්කරතාවයන් වලට මුහුණ දෙමින් කිසිදාක දැක නැති මිනිසුන් වෙනුවෙන් ඉදිරියට එන්නේ අවදානම ගන්නේ, තම මිළ මුදල්, ශ්‍රමය හා ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරි පත්වන්නේ එවන් මිනිසුන් ය! 

මෙවැනි ව්‍යවසනයන්හීදී ඔවුන් කල කී දෑ පොත් පිරෙන්නට ලියන්නට හැක. 

ඔවුන්ගේ අවසාන ඉල්ලීම පෙරකී අංක 8 කට කැටි කොට ඇත. එසේම මේවායින් මාර්ග අනතුරු වේ යැයි කිසියම් විද්යානුකූලවූත් හා තර්කානුකූලවූත් අදහසක් වේ නම් එය ඉදිරිපත් කරණ්ණට ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

වෙනත් රටවල මෙම තත්වයන් නියාමනය කොට ඇති ආකාරය අධ්‍යනය කොට එයට විසඳුමක් ලබා දීම රජයේ වගකීමක් සේ ඔවුන් විශ්වාස කරයි.
ඔවුන්ගේ බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ ඒ සඳහ විශේෂිත සාධාරණ බදු මුදලක් හෝ රක්ෂනාවරණයක් යටතේ හෝ මෙම නවීකරණයන් කිරීමට අවස්තාව ලබා දෙන්නේ නම් එය ඉතා බුද්ධිමත් තීරණයක් වන බවයි.

4WD රථ පදවන, ඒවායේ නවීකරණයන් කරණු ලබන ආයතන බලා පොරොත්තුවන්නේ මහ පාරේදී මෙම රථවලට පොලීසියෙන් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කරණු ලබන බාධාවන්  අවම කිරීමක් හෝ නවතා ලීමක් නොව මෙම නවීකරණයන් පිළිබඳව රජයේ මැදිහත්වීමක් ය.
මෙරට මෝටර් රථ ආඥා පනතට ගෙන එනු ලබන සංශොධනයක් හෝ ව්‍යතිරේකයක් මගින් මෙම කරුණ පිළිබඳව නීතිමය ප්‍රවේශයක් හා විසඳුමක් ලබා දෙන ලෙසයි.

එසේම සමස්ථ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නවීකරණය කල වාහන දෙස ආදරයෙන් බලා මෙම සටනට සහයෝගය දෙන ලෙසය.

මේවාත් Modifications ම තමයි!


මෙරට 4WD රථ නවීකරණය පිළිබඳව ගුරුකොට ගන්නා මුදුන් මල්කඩ වන්නේ ඕස්ට්‍රේලියාවයි.
එරට වුවද තම තම්න්ගේ හිතූ මනාපයට තමන්ගේ සිතැඟි පරිදි වාහන වල මුල් ස්වරූපය වෙනස් කිරීමට හෝ නවීකරණය කිරීමට ඉඩ දී නොමැත.
ඒ සඳහා රජයෙන් තදින් නියාමනය වන නීති පද්ධතියක් ඇත.

මේ පිළිබඳව උනන්දුවක් දක්වන අයෙක් වේනම් ඒ පිළිබඳව සටහනක් මෙම පෝස්ටුවේ උප ලෙඛනයක් ලෙස පහතින් දැක්වේ:-


ඔස්ට්‍රේලියාවේ 4x4 (4WD) වාහන භාවිතය සහ ඒවාට සිදු කරන වෙනස්කම් (Modifications) සම්බන්ධයෙන් ඉතාමත් තද සහ සංකීර්ණ නීති පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා.

මෙම නීති ප්‍රධාන වශයෙන් පාලනය වෙන්නේ VSB14 (Vehicle Standards Bulletin 14) නමැති ජාතික මාර්ගෝපදේශය මඟින් වුවත්, ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට (State to State) මේවායේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.

​ප්‍රධාන වශයෙන්ම බලපාන නීති සහ රෙගුලාසි කිහිපයක් පහත පරිදි හඳුනාගන්න පුළුවන්:
​1. Ride Height සහ Lift Kits (වාහනය උස කිරීම)
​4x4 වාහනවලට බහුලවම කරන suspension හෝ body ලින්ක්වලට දැඩි සීමා පනවා තියෙනවා. බොහෝ ප්‍රාන්තවල ඉංජිනේරු සහතිකයක් (Engineering Certification) නොමැතිව වාහනයක් උස කළ හැක්කේ උපරිම 50mm (අඟල් 2) දක්වා පමණයි.
​Suspension Lift: සාමාන්‍යයෙන් 50mm දක්වා සහතික නොමැතිව අවසර ඇත.
​Body Lift: චැසිය සහ බොඩිය අතර බ්ලොක් තබා උස කිරීම (Body Spacers) සමහර ප්‍රාන්තවල (උදා: NSW, VIC) සහතිකයක් නොමැතිව තහනම් හෝ දැඩි සීමාවලට යටත් වේ.
​Total Lift (සමස්ත උස): ටයර්, සස්පෙන්ෂන් සහ බොඩි ලිෆ්ට් යන සියල්ලේම එකතුව බොහෝ ප්‍රාන්තවල සහතිකයක් නොමැතිව 50mm නොයික්මවිය යුතුය (NSW වැනි ප්‍රාන්තවල ටයර් + සස්පෙන්ෂන් එකතුව 75mm දක්වා ඉංජිනේරු සහතික රහිතව අවසර දෙන අවස්ථා ඇත).
​⚠️ විශේෂ සටහන: වාහනය 50mm වඩා වැඩි ප්‍රමාණයකින් උස කරන්නේ නම් (උදා: 3-inch හෝ 5-inch lifts), එය මාර්ගයේ ධාවනයට නීතිමය අවසර ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම VASS (Vehicle Safety Compliance Certification Scheme) හෝ පිළිගත් මෝටර් රථ ඉංජිනේරුවරයෙකු ලවා සහතික කළ යුතුය. එහිදී Lane Change Test සහ ESC (Electronic Stability Control) පරීක්ෂණ සිදු කෙරේ.

​2. Tyres සහ Wheels (ටයර් සහ රිම්ස්)
​Tyre Size (ටයර් ප්‍රමාණය): වාහන නිෂ්පාදකයා නිර්දේශ කර ඇති උපරිම ටයර් ප්‍රමාණයට වඩා (Rolling Diameter එක) උපරිම 50mm දක්වා විශාල ටයර් දැමීමට බොහෝ ප්‍රාන්තවල අවසර ඇත. (එනම් ටයර් එක පැත්තකින් වාහනය උස වෙන්නේ 25mm කින්).
​Wheel Track (රෝද දෙක අතර පරතරය): 4x4 වාහනවල ස්ථායීතාව සඳහා රෝද පිටතට විහිදෙන පරිදි offset රිම් දැමීමේදී Wheel Track එක උපරිම 50mm දක්වා පමණක් පළල් කිරීමට අවසර ඇත.
​Wheel Spacers: ඔස්ට්‍රේලියාවේ පොදු මාර්ගවල ධාවනය වන වාහන සඳහා Wheel Spacers භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් (නිෂ්පාදකයා විසින්ම ලබා දී ඇති අවස්ථාවල හැර).
​Mudguards (Flares): ටයර් එක වාහනයේ බොඩියෙන් හෝ මඩ්ගාඩ් එකෙන් පිටතට නෙරා නොතිබිය යුතුය. ටයරයේ සම්පූර්ණ පළල වැසෙන සේ Flares සවි කර තිබීම අනිවාර්ය වේ.

​3. Bull Bars සහ Winches
​Bull Bars: ඕස්ට්‍රේලියානු ප්‍රමිතීන්ට (Australian Standards AS4876.1) අනුකූල Bull Bars පමණක් සවි කළ යුතුය. මඟීන්ගේ ආරක්ෂාවට හානි වන පරිදි ඉදිරියට නෙරා ආ උල් සහිත කොටස් (Fishing rod holders වැනි දේ බුල්බාර් එක ඉදිරියේ ස්ථිරව සවි කිරීම) තහනම්ය.
​Winches: වින්ච් එකක් සවි කිරීමේදී එය බුල්බාර් එක ඇතුළත ආරක්ෂිතව තිබිය යුතු අතර, එයින් වාහනයේ ඉදිරිපස බලපත්‍ර තහඩුව (License Plate) හෝ ලයිට් වැසීම සිදු නොවිය යුතුය.

​4. Lighting (අතිරේක ලයිට් සවි කිරීම)
​LED Light Bars / Spotlights: අමතර ලයිට් සවි කිරීමේදී ඒවා ප්‍රධාන හෙඩ්ලයිට් දැල්වෙන විට High Beam එකත් සමඟ පමණක් දැල්වෙන පරිදි සවි කළ යුතුය (Isolated switch එකක්ද තිබිය යුතුය).
​සවි කරන ස්ථාන: වහලය උඩ (Roof racks) ලයිට් බාර් සවි කිරීමේදී රියදුරුගේ පෙනුමට බාධා නොවන පරිදි සහ ඉදිරියෙන් එන වාහනවලට බාධා නොවන පරිදි නීතිමය සීමාවන් ඇත. ලයිට් බාර් එකක් සවි කරන්නේ නම් එය වාහනයේ ඉදිරිපස මැදට වන්නට යුගල වශයෙන් (හෝ එකම ලයිට් බාර් එකක් ලෙස මැදින්) තිබිය යුතුය.

​5. Mechanical සහ Drivetrain වෙනස්කම්
​Exhaust Systems: වාහනයේ දුම් බට පද්ධතිය වෙනස් කිරීමේදී ශබ්ද සීමාවන් (Noise levels) සහ පරිසර දූෂණ සීමාවන් (Emissions) ඉක්මවා නොයෑමට වගබලා ගත යුතුය. Catalan Converter හෝ DPF පද්ධති ඉවත් කිරීම බරපතල නීති විරෝධී ක්‍රියාවකි.
​Diff Lockers: පසුපස හෝ ඉදිරිපස ඩිෆරන්ස් ලොකර්ස් (Air/E-Lockers) දැමීම නීත්‍යානුකූලයි, නමුත් මාර්ගයේ ධාවනය සඳහා ස්ථිරවම ලොක් කරන ලද ඩිෆරන්ස් (Spool හෝ Welded Diffs) භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්ය.

​නීති කඩකිරීමේ ප්‍රතිවිපාක (Risks of Non-Compliance)
​ඔබ මෙම නීති උල්ලංඝනය කරමින් 4x4 වාහනයක් මාර්ගයට දැමුවහොත්:
​Defect Notice (කහ ස්ටිකරය): පොලිසිය හෝ ට්‍රාන්ස්පෝට් නිලධාරීන් විසින් වාහනය අඩපණ කර (Defect කර) නීත්‍යානුකූල භාවය පරික්ෂා කරන මධ්‍යස්ථානයකට (Roadworthy pits) යොමු කරවයි. එහිදී මුළු වාහනයම පරීක්ෂාවට ලක් වේ.

​Insurance Void: අනතුරක් සිදු වූ අවස්ථාවකදී වාහනයේ නීති විරෝධී වෙනස්කම් (Illegal modifications) තිබුණහොත්, රක්ෂණ සමාගම (Insurance) විසින් වන්දි ගෙවීම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලබයි.

​දඩ මුදල්: ප්‍රාන්තය අනුව ඩොලර් සිය ගණනක සිට දහස් ගණනක් දක්වා දඩ සහ Demerit points කැපීම සිදුවිය හැක.

​💡 උපදෙස: ඔස්ට්‍රේලියාවේ 4x4 එකකට යම් වෙනස්කමක් කිරීමට පෙර අදාළ ප්‍රාන්තයේ (VicRoads, Transport for NSW, TMR QLD, Dept of Transport WA) නිල වෙබ් අඩවියේ ඇති Vehicle Standards Information (VSI) හෝ VSB14 මාර්ගෝපදේශය කියවා බැලීම හෝ Signatory Engineer කෙනෙක් හමුවීම අනිවාර්ය වේ.

No comments:

Post a Comment

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...