Monday, October 25, 2021

221. වර්ණපුර ඝාතනය


ඊයේ පෙරේදා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි චරිතයක් දැයෙන් සමු ගත්තේය. ඔහු ස්වාභාවිකව මිය ගියේ පසුගිය දා උනත් ඔහුව ඝාතනය කලේ මීට වසර ගනනාවකට පෙරය!

ඕනෑම අවුලක් ලිහා ගැනීමට අප භාවිතා කරණ විකිපීඩියාවේ පමණක් නොව ඔහු උගෙන ගත් නාලන්දාවේ පොත් පත්වල; කොටින්ම උප්පැන්නයේ පවා ඔහුගේ උපන් දිනය ලෙස දාක්වා ඇත්තේ 1953 මාර්තු  1 වනදා ලෙස උවද සත්‍ය වශයෙන්ම ඔහු ඉපැදුනේ 1953 ජනවාරි 14 වෙනිදාය!  මේ කොහෙවත් නැති මාර්තු 1 වැනිදාවක් මේ සියළු ලිපි ලේඛන තුල රිංගෙන්නේ ඔහුගේ නම ලියාපදිංචි කල දිනය එදිනට යෙදී ඇති බැවිනි.

මීට කලකට පෙර මා ලියා ඇති  126.  පළමු ටෙස්ට් නායකයා බිහි වූ හැටි . . .!  පෝස්ටුවේ දැක්වෙන පරිදි බන්ධුල; වර්ණවත් වන්නේ පාසැල් ක්‍රිකට් ඇරඹීමත් සමගය.  

ඔහු නාලන්දයට ඇතුළුවන්නේ 1961 දී වන අතර ඔහු ක්‍රිකට් ක්‍රීඩා පුහුණුවීම් ඇරඹෙන්නේ 1962 වසරේ සිටය. දිගු කාලයක් 12න් පහල කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සිටින ඔහු හට මුල්වරට 14න් පහල කණ්ඩයම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ 1965 වසරෙදීය.

වයස අවුරුදු 14 ඉක්මවා මාස ගනනාවක් යන්නට මත්තෙන් ඔහු 19න් පහළ කණ්ඩායම  වෙනුවෙන් ක්‍රීඩා කලේය! ඔහු නාලන්දාවේ 19න් පහළ කන්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස වසර පහක් ක්‍රීඩා කලේය! 1972 වසරේදී ඔහු දිවයිනේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසට තේරුණි.  ඔහු දක්ෂ පන්දු යවන්නෙක්ද වූ බව; මහේළ ද පාසල් ක්‍රිකට් තුල පන්දු යැවූ බව මෙන්ම බොහෝ දෙනෙක් නොදන්නා තොරතුරකි. බන්ධුල දකුණත් පිතිකරුවෙකු වූ සේම දකුණතින් මද වේග පන්දු යැවූ ක්‍රීඩකයෙකි.

ඔහුගේ පාසැල් ක්‍රිකට් ජීවිතයේ  කූඨප්‍රාප්තිය ලෙස 1972 මාර්තු 25 වනදින පැවති 43 වැනි ආනන්ද - නාලන්දා සුලෝහිත සංග්‍රාමයේදී ඊට වසර 43 කට පෙර පී එම් ජයතිලක විසින් තබන ලද ලකුණු 111 ක වාර්ථාව නොදැවී බිඳ හෙලීම දැකිය හැක.

1972 වසරේදීම මෙරටට පැමිණි මැලේසියානු කණ්ඩායම සමග පැවති එක් තරගයකදී ලකුණු 294 රැස් කලේය. එමෙන්ම එම තගයේදී නායක අනුර තෙන්නකෝන්  සමග දෙවන විකට්ටුව සඳහා ලකුණු 456 ක සබඳතාවයක් ගොඩනැංවීය. (අනුර - 221). එමෙන්ම 1973  පැමිණි පාකිස්ථාන වයස 25න් පහල කණ්ඩායම සමග පැවති නිල නොවන ටෙස්ට් තගයේදී පැය 8 කටත් වැඩි කාලයක් කඩුල්ල රැකගනිමින් සිට ලකුණු 158 ලබා ගනිමින් සුනිල් වෙත්තමුනි සමග ලකුණු 179 ක සබඳතාවයක් ගොඩ නැංවීය. (සුනිල් - 107) 1975 වසරේ එංගලන්තයේදී පැවති ප්‍රථම ලෝක කුසලාන තරඟාවලියේදීද ඔහු කැපී පෙනුනු ක්‍රීඩකයෙකු විය.

අනුර තෙන්නකෝන්ගේ ඉවත්වීමත් සමග  ක්‍රිකට් පිලේ නායකත්වයට පත් බන්දුල ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් නායකයා බවට පත්විය.  බන්දුල ක්‍රීඩා කලේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයටය. වසර තුනක් තිස්සේ  අන්තර් ක්‍රීඩා සමාජ අනුශූරතාවයෙන් සැනහී සිටි බ්ලූෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ශූරතාවේ ගුණ සුවඳ රස එක් කරණ්නේ බන්ධුය. ඒ 1981 වසරේදීය! ක්‍රිකට් ක්‍රීඩාව අප කෙතරම් වැළඳ ගත්තද එය සුද්දන්ගේ වැඩක් මිස අපේ දෙයක් නොවන බව අපට නොසිතුනාට සිතන හා සිතෙන පිරිසක් ඇත! ලංකාවේ ක්‍රීකට් ක්‍රීඩාවේ විවිධ වකවානු පැවතුනි! විදෙශිකයින්ගේ යුගය, රාජකීය ශාන්ත තෝමස්, ත්‍රිත්ව යුගය, ආනන්ද - නාලන්දා යුගය  හා පිට පලාත් යුගය ලෙස එය දැක් විය හැක. 

මයිකල් තිසේරා (මයිකල් හියු තිසේරා - ශාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස), අනුර තෙන්නකෝන් (අනුර පුංචිබංඩා තෙන්නකෝන් - අනුරාධපුරයේ ඉපිද වයස අවුරුදු 6 දී; ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලට ඇතුලත් විය.) වැනි  තෝමසුවන්ගෙන් පසුව ආනන්ද - නාලන්දා යුගයට සංක්‍රමණයේ කූඨප්‍රාප්තිය  බන්ධුල වර්ණපුර ලංකා කණඩායමයේ නායකත්වයේ දොර අභියස සිටීම විය. එය කෙළවර වූයේ ඔහු එහි හිඳුවමින්ය. එය එසේ නොකර සිටීමට බැරි වීමක් ම විය. උදාහරනයක් ලෙස; ඩී ඇස්, ඩඩ්ලි, කොතලාවල, ජේ. ආර් යන කොම්ප්‍රදෝරු ධනපති පන්තිය අතින් අත මාරුවූ යූ ඇන් පියේ නායකත්වය ප්‍රෙමදාස වෙත ලබා දුන්නේ එසේ නොකර සිටීමේ කුමන හෝ හේතුවක් නොමැති වූ  නිසාමය!

1974 ඉංදීය සංචාරයේදී  බන්ධුල ඇතුළු පිරිස දිල්ලි නගරයේ සිට අහමලාබාද් නගරය වෙත පැය 20 ක පැය කිලෝමීටර 854 ක දුරක් දුම්රිය ගමනකට සහභාගී විය.  17 දෙනෙකුගෙන් සමන්විත් පිරිස සඳහා දුම්රිය සයන  Berth (Sleeping) කොට තිබුනේ 14 දෙනෙකු සඳහා පමණි. මේ නිසාම බන්ධුල ඇතුළු තවත් තිදෙනෙකු හට ඇඳන් නොසයන හෙවත් ඇඳන් නොමැතිවිය! ඒ වන විටත් තම තමන්ගේ ඇඳන් වෙන්කරගෙන සිටි කණ්ඩායමේ කළමණකරු, නියොජ්‍ය කළමණාකරු හා නායකයාහට මේ පිළිබඳව දැන්වූ විට ඔවුන්ගේ සෘජු පිළිතුර වී ඇත්තේ "කලින් ඇවිත් වෙන්කර නොගත්තාට අපි මොනවා කරණ්නද?" යන්නයි. මේ නිසාම නාලන්දයේ බන්ධුල වර්ණපුරටත්, එම පාසලේ අනුර රණසිංහටත්, ආනන්දයේ අජිත් ද සිල්වාටත් මුළු ගමන පුරාවටම නිදිවර්ජිතව සීතලේ ගැහෙමින් ගමන් කිරීමට සිදුවිය.

තමන් යම් දිනෙක කණ්ඩායමේ නායකත්වයට පත්වූ දිනෙක මෙවන් අකටයුතු කම් සිදු නොවීමට වග බලා ගන්නා බව එදා ඔහු සිතූ බව; පසු කලෙක මාධ්‍ය සමග කල පිළිසඳරකදී බන්ධු පවසා සිටියේය. 

සෑම ආයතනයක වාගේම තිබෙනා කල්ලි වාදය හා එය ඉදිරියට පවත්වාගෙන යන්නවුන්, එයට ආවඩන උන්, ඊට උල්පන්දම් දෙන උන් මෙන්ම නායකත්වය සපයන උන් ද සිටී. පංසලක් ගත්තද, පාසැලක් ගත්තද, රටක් ගත්තද මේ තත්වය අප රටේ සාමාන්‍ය තත්වයකි. (මීට "පල්ලියක්" යන වචනය එක් නොකලේ ඒ පිළිබඳව මා නොදන්නා බැවින්ය! තතු දත්තෝ කොමෙන්ටු සපයත්වා!)

ක්‍රිකට් ක්‍රීඩා පරි පාලනය පිළිබඳව තව කුමන කථාද? මේ ලෙසින්ම බන්ධුල නායකත්වයට පැමිනෙන විටම ඊට ප්‍රථිරෝධයක්ද පැන නැගී තිබුනි! එහි ප්‍රධාන එදිරිවාදියා  ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධරයෙකු වීම බන්ධුලගේ ක්‍රිකට් ජීවිතය මිලින කිරීමට සෘජු දායකත්වයක් සැපයීමට ප්‍රධාන කාරණාවක් විය! බන්ධුල නායකත්වයට පත්වී දින දෙකක්  ගතවන විට ඔහුව ඉන්  ඉවත් කිරීමට පිඹුරුපත් සකස් කිරීම ඇරඹිනි. ඔහු ඔබ්සර්වර් පත්‍රයේ එම්. කේ. සමාත් සහ ඒ. සී. සිල්වා වෙත ලබාදුන් ලිපියක් මීට ප්‍රධානහේතුව වන්නට ඇතැයි බන්ධුල සැක කරණ ලදී. "ලංකාවේ සුදුසු පුහුණු කරුවන් නැත්නම් විදෙස් පුහුණු කරුවන්ගේ හෝ සේවය ලබා ගත යුතුය!" යන ප්‍රකාශය ඊට ප්‍රධාන හේතුව උනා. එකල ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටි පුහුණු කරුවන් තිදෙනා ලබා තිබුනේ පාකිස්ථානයේ සති තුනක පුහුණුවක් පමණක් වීම මීට හේතු විය. ඉහත ප්‍රකාශයෙන් වඩාත්ම කලබලයට පත්වූයේ මෙම ත්‍රිත්වයයි. ඒ සමගම රන්ජිත් ප්‍රනාන්දුත් (එඩ්වර්ඩ් රන්ජිත් ප්‍රනාන්දු - ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය), අනුර තෙන්නකෝනුත්, නිසාල් සේනාරත්නත් (ප්‍රින්ස් ඔෆ් වේල්ස් - මොරටුව) බන්ධුට යෝජනා කොට ඇත්තේ ප්‍රාකශය ඉල්ලා අස්කරගෙන පුහුණු කරුවන්ගෙන් සමාව ඉල්ලන ලෙසය! ඊට බන්ධුල එක හෙලාම විරුද්ධ වූ අතර ඉන් වසර දෙකක් ගතවන්නට මත්තෙන් විදෙස් පුහුණුකරුවන් ගෙන්වීමට පාලක මණ්ඩලය පියවර ගත්තේය. ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ද ඒ අතර විය!

මෙම නිළධරයා වරෙක  බන්ධුගේ පියා දොස්තර ප්‍රනාන්දු හට පැවසූවේ "බන්ධුට නායකත්වය කරගෙන යාමට අවශ්‍යය වේනම් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වෙන ලෙසය!

මෙම තත්වය උග්‍ර අතට හැරෙන්නේ ඔහුගේ අවසන් ටෙසට් සංචාරය වන 1982 සැප්තැම්බරයේ ඉංදියාවේදීය. ඉන්දියාවේ මදුරාසියේ පැවැත්වූ ටෙස්ට් තරගයේ තුන් වෙනි දින රාත්‍රී භෝජන සංග්‍රහයේදී සුනිල් ගවස්කාර් විසින් කල ප්‍රකාශයක් මීට හේතු විය. එම තරගයේදී දුලිප් මෙන්ඩිස් පිත්තෙන් ඉතා හොඳ දස්කම් දැක්වූ අතර "අද තරගයේදී පිතිකරණයෙන් දස්කම් පෑව දුලිප් මෙන්ඩිස් කිසිවිටෙකත් වර්ණපුර නොසිටින්න මෙම චාරිකාව කරන්නේ නෑ!" යන්න එම ප්‍රකාශයයි

මම ප්‍රකාශය සත්‍යක් උවත් එය සුනිල් දැන්ගෙන තිබුනේ තරගය නැරඹීමට ගිය වෙනත් පාලක මණ්ඩලයේ නිළධාරියෙකු වෙතිනි. එහෙත් පසු දිනම නායකත්වයෙන් පහකොට නැවත ලංකාවට ගෙන ඒමට මණඩලය සැරසුනද; ඒවකට ක්‍රිකට් අධිකාරියේ සභාපති චන්ද්‍රා ෂාෆ්ටර් මහතා (චන්ද්‍රා තෝමස් ඇඩොල්පස් ෂාෆ්ටර් - ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස.) වෙත බන්ධුල කල ඉලීම සලකා බලා එය නොකෙරුණි. ඒ පලමුව සුනිල් වෙතින් ඒගැන සොයා බලා දඬුවම් කරණ මෙන් බන්ධුල; ෂාෆ්ටර්ගෙන් කල ඉල්ලීමේ ප්‍රථිපලයකි.

සැප්තැම්බරය වන විට බන්ධුලගේ නායකත්වය වෙත එල්ල කෙරෙන පීඩනය බොහෝ සෙයින් දැඩි විය.

ඒ වන විය 1961 වසරේදී පටන් ජාත්‍යන්තර හුදෙකලා කරණය කිරීම තුල දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාව හෙම්බත්ව සිටි අවධියකි. ඒ නිසාම ජාත්‍යන්තර කණ්ඩායම් එරටට ගෙන්වා ගැනීමට ඔවුන් යන්ත දැරීය. 80 ව දශකයේ මෙවන් කැරළිකාර කණ්ඩාම් රැසක් එරටට සංචාරය කලෝය. ඉන් පලමු වැන්න ලෙස මතකයට එන්නේ  ක්‍රිකට් උපන් රටේ කණ්ඩායම 1981 - 82 කාලයෙදී කැරළිකාර සංචාරයකට සහභාගී වීමය. එම කණ්ඩායම සහභාගී වූ පිරිස එනම් කණ්ඩායම තුල ග්‍රැහැම් ගූච්, ජෙෆ් බෝයිකොට්, ඩෙරෙක් අන්ඩර්වුඩ්, බොබ් වුල්මර් ආදීන්ගෙන් සමන්විතවිය.

මෙම කාලය වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාලක මණ්ඩලය අතර විවිධ ඝට්ටන ඇතිවී කණ්ඩයමේ ශෝදරත්වය බිඳවැටෙමින් තිබුනු කාලයයි. මෙම අර්භූධ බොහොමයක ස්ව්‍යංක්‍රීයව හටගත් ඒවා නොව කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක මෙහෙයවීම මත බිහිවූ ඒවාය. මෙම තත්වය තේරුම් ගත් ක්‍රීඩක ටෝනි ඕපාත (ඇන්ටනි රැල්ෆ් මැරිනන් ඕපාත - ශාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය) දකුණු අප්‍රිකාවේ චාරිකාවක් පිළිබඳව සිතන්නට විය. මීට හේතු කාරණ ගනාවක් තිබිය හැක!  ඔහු 1975 සිට 1979 දක්වා ජාතික කණ්ඩායමට සිටියත් ටෙස්ට් කණ්ඩායමය්ට ඔහුට ඇතුලත් වීමට නොහැකිවිය.  ඒනිසාම ඔහුට තවදුරටත් රැකගත යුතු දෙයක් "ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තුල තිබුනා දැයි; මා හට මේ ලියන මොහොතේවත්  දැනෙන්නේ නැත! ඒ පිළිබඳව ඔහු පලමුව සාකච්ඡා කොට ඇත්තේ දුලිප් මෙන්ඩිස් (ලුයිස් රොහාන් ඩුලිප් මෙන්ඩිස් - ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව  සහ ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස) හා රෝයි ඩයස් (රෝයි ලූක් ඩයස් - ශාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය) යන අය සමගය! 1982 මාර්තු මැද වනවිට ටෝනි ඕපාත සිටියේ ඕලන්දයේ ය. එසේ ගතකරමින් සිටියදී; දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංගමයේ සභාපති ජෝ පැමෙන්ස්කි සමග ඇතිකර ගත් සබඳතාවය මත ඔහු ක්‍රියාන්විතය ඇරඹූබව පසුව මාධ්‍ය වෙත ටෝනි ඕපාත පවසා ඇත! 

ජෝ පැමෙන්ස්කි වෙත යැවූ ලිපියට පිළිතුරු ලෙස දින 5 ක් තුලදී ඔහු ඕලන්දයේ සිටි ටෝනි ඕපාත හට කතා කොට ඇති අතර ඔහු විපිලිසර වී ඇත්තේ කණ්ඩායම කුමක්දැයි කියාය! ඊළඟ ගැටළුව වූයේ කණ්ඩායමක් එකතු කර ගැනීමය. ටෝනි වහාම දුලිප් මෙන්ඩිස්ගේ නිවසට කථා කොට කණ්ඩායමේ විස්තර සකස් කර ගත්තේය. කණ්ඩායමේ නම් ලැයිස්තුව; පැමෙන්ස්කි වෙත දැනුම් දුන් සැණින් ඔහුගේ ප්‍රථම පැනය වී ඇත්තේ "කෝ නායකයා?" යන්නය! එසේම අසන්ත ද මෙල් (අසන්ත ලක්දාස ෆ්‍රැන්සිස් ද මැල් - ඉසිපතන විද්‍යාලය, තිඹිරිගස්යාය හා රාජකීය විද්‍යාලය, කොළඹ), රන්ජන් මඩුගල්ල (රන්ජන් සෙනරත් මඩුගල්ල - ට්‍රිනිටි විද්‍යාලය, මහනුවර සහ රාජකීය විද්‍යාලය, කොළඹ), සිදත් වෙත්තමුණි (ආනන්ද විද්‍යාලය, කොළඹ) යන ක්‍රීඩකයින් පිළිබඳවද ඔහු වඩාත් උනන්දුවූ අතර බන්ධුල වර්ණපුර හෙවත් නායකයා මෙම කණ්ඩායමට ඇතුළු කර ගෙන්නේ නම් ඉතිරි අය අමතක කර දැමිය හැකි බව දැන්වීය. 

සියළු අවසාන ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කිරීමට ඕලන්දයේ සිට දකුණු අප්‍රිකාව බලා යන ටෝනි නැවතත් ඕලන්දයට පැමිණෙන විට දුලීප් මෙන්ඩිස් ගෙන් ලිපියක් ලැබී තිබුනි. ඔහු ඉල්ලා සිටියේ ඔහුත් ඔහුගේ මිතුරු රෝයි ඩයසුත් ක්‍රීඩා කරණ වෙලඳ සේවා ක්‍රිකට් කුසලාන තරගාවලිය අවසන් වනතුරු දකුණු අප්‍රිකා චාරිකාව කල්දමන ලෙසය!

අගෝස්තු මැදදී ලංකාවට පැමිණෙන ටෝනි තම නිවසේදී කණ්ඩායමට ගිවිසුම් පත්‍ර කියවීමට ලබාදී වැල්ලවත්තේ වර්ණපුර ගේ නිවසේදී ඔහුව මුණගැසී චාරිකාව පිළිබඳව යෝජනාව ඉදිරිපත් කරණ ලදී. පසුදින දකුණු අප්‍රිකාවේ කොලින් රෂ්මෙයර් ලංකාවට පැමිණි අතර ටෝනිගේ නිවසේදී වර්ණපුර හැර කණ්ඩායමේ සියළු දෙනා ඔහු ඉදිරියේ ගිවිසුම් වලට අත්සන් කරණ ලදී. තම බිරිඳෑවරුණට පවා; මෙම රහස් මෙහෙයුම පිළිබඳව නොකියා සිටින්නට පරිස්සම් වෙන්නයැයි අප අතරේ එකඟතාවයක් තිබුනද දුලිප් මෙන්ඩිස් හා රෝයි ඩයස් ගිවිසුමට අත්සන් කරණ්නට පැමිණියේ තම බිරිඳෑවරුන් සමගින්මය! කොලින් රෂ්මෙයර් හා ටෝනි ඕපාත හැරුණු විට කිසිවෙක් මෙම චාරිකාව සඳහා වර්ණපුර සහභාගී වීමට එකඟ වීම පිළිබඳව දැනගෙන සිටියේ නැත! වර්ණපුර ගිවිසුමට අත්සන් කලේ රෂ්මෙයර් නැවතී සිටි ලංකා ඔබරෝයි හෝටල් කාමරයේදීය.

හරියටම ඊට දින තුනකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉංදියාව බලා පිටත්ව ගියේය.  කණ්ඩායම ඉංදියාවේ සිටිනාතරතුර මෙරට එක්තරා ඉංග්‍රීසි පුවත් පතක පලවූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කණ්ඩායමක් දකුණු අප්‍රිකාව බලා යෑමේ සැලසුම ඇතිබවය!

පුවත් පත වෙළෙඳ පොලට පැමිණ ස්වල්ප වේලාවකට පසුව දුලීප් මෙන්ඩිස්ගේ බිරිඳ  ටෝනි ඇමතුවාය.

එම සංචාරයේදී දුලීප් මෙන්ඩිස්; එක් තරඟයකදී  ඉතා වටිනා ශතක දෙකක්  ලබා ගත් අතර රෝයි ද සුපුරුදු දක්ෂතා පෙන්වන ලදී. වර්ණපුරට පිත්තෙන් සුවිසල් මෙහෙයක් ඉටු කරලීමට නොහැකි වුවත් ඔහුගේ ඥානාන්විත නායකත්වය ලොවටම පෙන්වීමට හැකිවිය.

ශ්‍රී ලංකා පිල; ඉංදියාවේ සිට මෙරටට සැපත් විය. එම රාත්‍රියේ කණ්ඩායම වෙනුවෙන් එක් ක්‍රීඩකයෙකුගේ නිවසක භෝජන සංග්‍රහයක් පැවැත්විය. එයට පාලක මණ්ඩලයේ නිළධාරීන්ද සහභාගී වී සිටි අතර එක් මොහොතක දුලිප් මෙන්ඩිස් නිළධරයින් දෙදෙනෙකු සමග එම නිවස පිහිටි වත්තේ එක් කොණක රහස් සාකච්ඡාවක් පවත්වනු ටෝනි ඕපාතගේ නිරීක්ෂණයට ලක්විය!  ඒ පිළිබඳව දුලිප් ගෙන් විමසූ විට "මා ගැන බය වෙන්න එපා! මම් ටෝනිත් එක්කයි!" දුලිප් පැවසූ බව ටෝනි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත!

ඉන් පසුව දින දෙක ටෝනි විසින් දුලිප් මෙන්ඩිස්ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලද ඔහුට කථා කිරීමට නොහැකිවූ අතර ඊටත් දිනකට පසු නාවලදී හමුවී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ ඔහුත් එනම් දුලිප් මෙන්ඩිස් හා ඔහුගේ මිතුරා වන රෝයි ඩයසුත් දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත්වන බවය!

කන්ඩායම හොර රහසේ 1982 ඔක්තෝබර් 18 වන දින දිවයිනෙන් පිටත්ව දකුණු අප්‍රිකාව බලා පිටත්වූ අතර නැවත 1982 දෙසැම්බර් 18 වන්දින මෙරටට පැමිණුනි. කැර්ළිකාර කණ්ඩායමට වසර 25ක ක්‍රීඩා තහනමක් පැනවුනි! එය දිග හැර දක්වනවා නම් 'අවුරුදු 25ක් යනතුරු ජාත්‍යන්තර තරග වලදී ලංකා කණ්ඩායමට ඇතුලත් වීම තහනම්ය. පාලක මණ්ඩලයෙන් අනුමත කරන ලංකාවේ පැවැත්වෙන කිසිදු තරගයකට සහභාගී වන්නට නොහැක. පාලක මණ්ඩලයට සම්බන්ධ කිසිදු සමාජයක කිසිදු තනතුරක් දැරීමට නොහැක! කොටින්ම පාලක මණ්ඩලය හා එවකට ක්‍රීඩා ඇමති වරයා වන වින්සන්ට් පෙරෙරා විසින් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා ජීවිතය ඝාතනය කරණා ලදී!

 ක්‍රිකට් උපත ලද එංගලන්ත කණ්ඩායම මෙවැනිම අවස්ථාවකට මුහුණ දුන් පසු ඔවුනට පැනවූ දඬුවම වූයේ වසර 3 ක ක්‍රීඩා තනමක් පමණි. නමුත් එය පසුව ලිහිල් කොට වසර තුන ගෙවීයන්නට මත්තෙන් ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථා ලබා දුන් බව මාහට මතකය! 

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදි කරුණු දැක්වූ විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක (රාජකීය විදුහල) "තමුන්නාන්සෙලා දකුණු අප්‍රිකාව සමග වෙළෙඳ ගනු දෙනු කිරීමත් වැරදියි නේ!?" යනුවෙන් පැවසුවද  සිදුවූ වෙනසක් නොවීය. හලීම් ඉශාක් මන්ත්‍රී වරයා මෙම දඬුව ලිහිල් කර ගැනීමට බොහෝ සෙයින් උත්සාහ කලේය! මෙහිදී රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමති හරේන්ද්‍ර කොරයා (ශාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස.) කිසිදු බුරුලක් නොදැක්වූ බව හැන්සාඩ් වාර්ථාවල සඳහන් වේ.

මේ සියළු කුමන්ත්‍රණ හමුවේ ඉතාමත් උපක්‍රමශීලී නායකයකු වූ වර්ණපුර, වමත් දඟපන්දු යවන අජිත් ද සිල්වා, එකල සිටි දක්ෂතම කඩුළු රකින්නෙකුවූ ඕස්ට්‍රේලියාවේ රොඩ්නි මාෂ් සමග එක පෙලට තැබිය හැකිව සිටි මහේෂ් ගුණතිලක හා තුන් ඉරියව්වෙන්ම කැපී පෙණුනු නායකත්වයේ අංකුරයක්ව සිටි අනුර රණසිංහ ඇතුළු පිරිසකගේ ක්‍රීඩා ජීවිතය සදහටම නිහඬ කරණ ලදී. එම තහනම ඉවත් කලේ තවත් වසර 9 කට පසුවය! පසු ගියදා ස්වභාවිකව මිය ගියද බන්ධුල වර්ණපුර ඝාතනය කරණු ලැබූවේ එසේ කුමන්ත්‍රණයක් මගිනි!

කැරැල්ලේ විත්ති කරුවෝ:-

බන්ධුල වර්ණපුර        - නාලන්දා                       - බ්ලූම්ෆීල්ඩ්

ලලිත් කළුපෙරුම       - නාලන්දා                        - බ්ලූම්ෆීල්ඩ්

අනුර රනසිංහ             - නාලන්දා                        - බ්ලූම්ෆීල්ඩ්

හේමන්ත දේවප්‍රිය       - නාලන්දා                        - කොළඹ ක්‍රීඩා සමාජය

බන්දුලද සිල්වා           - නාලන්දා                         - මොරටුව ක්‍රීඩා සමාජය

අජිත් ද සිල්වා             - ආනන්ද                           - බ්ලූම්ෆීල්ඩ්

ෆ්ලේවිය අපෝන්සු    - ශාන්ත සෙබස්තියන්         - බ්ලූම්ෆීල්ඩ්

ලන්ත්‍රා ප්‍රනාන්දු          - ප්‍රින්ස් ඔෆ් වේල්ස්            - මොරටුව ක්‍රීඩා සමාජය

මහේෂ් ගුණතිලක       -  ශාන්ත අන්තෝනි          -  මහනුවර ක්‍රීඩා සමාජය

නිර්මාල් හෙට්ටිආරච්චි - කොළඹ රාජකීය           - කොළඹ ක්‍රීඩා සමාජය

ටෝනි ඕපාත                - ශාන්ත පීතර                  - එන් සී සී

බර්නාඩ් පෙරෙරා          - ශාන්ත අන්තෝනි          - මහනුවර ක්‍රීඩා සමාජය

ජෙරී වවුටර්ස්                - කේරි විදුහල                  - බී ආර් සී

දඩයම දෙස බලා දඩයක්කරු සොයාගන්න . . . . . . .!


Saturday, October 16, 2021

220. ප්‍රියයන් ගෙන් වෙන් වීම දුකකි . . !



මගේ ලෝකයෙන් ;

ඔයා යන්නම ගිහින්!

අපිට  ඕනම වෙලාවෙ; ආයෙත් නො එන්නම!

වචන ලක්ෂ ගනනක් ලියා ඇති මට වචන එන්නේ නැති තරම් - ඔයාට සමු දෙන්නට . . .

අන්තිම වශයෙන් කියන්නට ඇත්තේ  . . . . . . . . . . . . . . . . . . . . ;      

"මල්ලි ඔයා එළ කොල්ලෙක් - ජීවිතය විඳපු!"

මොනවා කිව්වත්; ඔයා ඉතිං නෑ නේ!?




Thursday, October 14, 2021

219. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි . . . !



මේ දිනවල අපේ බ්ලොග් ලියනා නෝනා මහත්තුරු ගුවන්විදුලිය ගැන ලියති. මා තුල තිබෙන මතක මාත්‍ර එක් එක් බ්ලොග් පෝස්ටු යටින් කමෙන්ටු සේ එල්ලා ඇති අතර අද අළුතින් එවන් පෝස්ටුවක් ලියන්නට ගියේ අනුරුද්ධ වැළිගමගේ සොහොයුරාගේ "රූපවාහිණී ළමා ගී" පෝස්ටුව යටින්ය! මෙතැනින් එතෙනට ගොඩවන්න. එහෙත් කමෙන්ටුව ලියන්නට මතකය පෙල ගස්වද්දී එය කමෙන්ටුවක් ලෙසට යෙදී මට තරමක ලෝභ කමක් උපදිනි. අපි පෘථග්ජනයෝ නොවැ? ඒ නිසාම ඒක පොඩ්ඩක් දිගේලි කරලා ලියන්න හිතුනා.

මේ මාගේ රේඩියෝ මතක!

අපි අතින් ගෙවලා ලයිසමක් අරං රේඩියෝ අහපු පරපුරක අය! දැන් වාගේ වෛවාරණ රෙඩියෝ චැනල් ඒකාලේ තිබ්බෙත් නෑ! තිබ්බත් ඒ වායෙන් අහන එවුංට පගාව දුන්නෙත් නෑ "අපේ රෙඩියෝ එක ඇහුවොත් සල්ලි තමා!" කියලා.

අපේ ගෙදර තිබ්බේ ෆිලිප් රේඩියෝ එකක්. රේඩියෝ එක මෙච්චර විතර ඇති! රෙඩියෝ එක තියලා තිබ්බේ ගෙදර තිබ්බ තාත්තාගේ ෆයිල් කැබිනට් එක උඩ. රේඩියෝ එක තිබ්බාම කබර්ඩ් එකෙන් ඉතිරි උනේ අඟල් හතරක විතර තීරුවක් විතරයි. ඒ තීරුවේ තිබ්බේ මොකක්ද දන්නවාද? නිල් පාට "බෙරෙක්" ඩ්‍රයි බැටරිය!බෙරෙක් ඩ්‍රයි බැටරිය ආවරණය කරලා තිබ්බේ කාඩ්බෝර්ඩ් කවරයකින්. ඒකෙ තරම ඇති A4 එකක් තරම්. එහෙ මෙහෙ උනානම් ඒ අඟල් භාගයකින් විතර! මේ කවරෙ එක තැනක රවුමක් ලකුණු කරලා තිබ්බා අඟල් දෙකක විතර විෂ්කම්භය ඇතිව. අළුතින් බැටරියක් ගෙනාවාම මේ රවුම වටේට ඉරාගෙන ගියාම මතුවෙනවා; රෙඩියෝ එකේ ඉඳන් එන; මගේ මතකයේ හැටියට පින් හතරක ප්ලග් එක අමුනන හිල් හතර හෙවත් ප්ලග් බේස් එක! මේ බැටරිය කිලෝ තුනක විතර බරක් තිබ්බා! දැන් හිතා ගන්නකෝ මෙච්චර විතර රේඩියෝ එකේ ඇත්තම සයිස් එක!? රෙඩියෝ එකේ පිටිපස්ස වහලා තිබ්බේ කලු පාට; තද හාඩ් බෝඩ් එකකින්. රෙඩියෝ එක තද දුඹුරු පාටයි. පසුපස කාඩ් බෝඩ් එක ගැලෙව්වාම ඒක උඩයි යටයි තට්ටු දෙකකට බෙදලා තිබ්බා! උඩ තට්ටුවේ තිබ්බේ තඩි පීකරයක් හෙවත් ස්පීකර් එක. යට තටුව ගැලෙව්වාම ඒක විසිතුරු ලෝකයක්! ඒකේ තිබ්බේ තැනින් තැන දිළුණු වීදුරු බල්බ! ඒවාට කිව්වේ වැල්ව් කියලා. රෙඩියෝ එක හදිසියේ අසනීප උනාම පිටු පස කවරය ගලවා බැලුවාම එක වැඇල්වයක් නිල් පාට වී ඇති බව පෙනුනොත් එය ගලවාගෙන ගොස් රේඩියෝ හදන එකෙක් ගෙන් ඒ වෑල්වයක් ගෙන සවිකල විට රෙඩියෝව නැවත පන ගසා නැගිට එයි! ඉදිරි පසින් රේඩියෝවේ දෙපසින් කරකැවීමට එක උඩ එක රවුං දෙක බැගින් දෙකක්ද ඉදිරි පසින් දත් සැට් එක වැනි සුදු පැහැති බොත්තං හයක්ද දකුණු පස උඩ කෙළවරේ කුඩා ලයිට් එකක්ද තිබුනි!

අපේ ලක්ෂ්මන් බාප්පාගේ ගෙදර තිබුනේ PYE වර්ගයේ රේඩියෝ එකකි. එයාලගේ රේඩියෝ ලයිසමේ "වරිගය" ලියන පේලියේ අමු හිංගලෙන් "පයි" කියා කළු පෑනකින් ලියා තිබුනු අතර රේඩියෝ ලයිසම ගන්න මේ වචනෙත් එක්ක යන්න ලැජ්ජා හිතුණු අපේ ඉංදු ඇංටි එයට ඉස්සරහින් නිල් පෑනකින් කොම්බුවක් දමා "පෙයි" කරගෙන තිබුනු හැටි මට අද වාගේ මතකය! මටත්  තක හිටින්නේම ඔවැනි මල හත්තිලව්ම ය!

රේඩියෝ ගැන කථාවේදී මාගේ මතකයට එන පැරණි කථාවකි.  "දෝන කමලාවතී", "බයිසි මොටෝ එක", "මුළු හදින් මම ඇයට පෙම් කොට", "බයිසි මොටෝ එක" වැනි නවකතා රචනා කල ගුලී හෙවත් ගුණදාස ලියනගේ ගේ නිවසේ තිබී ඇත්තේ "එකෝ" නම් ලත් නො එසේනම් ඒම වරිගයේ රෙඩියෝ පොඩ්ඩෙකි. එයට ගුලී කෙතරම් ඇළුම් කලේද කියනවානම් ; එය හැඳින්වූයේ "පොඩි එකෝ" කියලා ලු!

මේ ඊයේ පෙරේදා ඉන්න් බැරි කඩි ගායට ඔක්කම්පිටියේ ගිහින් එමින් ගමන් අපේ කුරුණාගල යකඩ ලියවන පල්ලියගුරු මල්ලි කීවේ; එයාලගෙ සීයා සතුව තිබුනු පරම්පරා ගනනක් පැරණි ගෘන්ඩිග් ජර්මානු රේඩියෝව සීයාගෙන් ඉල්ලාගෙන ඇවිත් එහි පීකරේ ගලවා එය වටේ තිබුනු කාන්දම් වලල්ල  තමා සතු කරගත් අනුවේදණීය කථා පුවතකි!

මේ සියල්ල කිව්වේ රේඩියෝ එකේ යාන්ත්‍රික වටා පිටාවය. එහෙත් අසන්නන් අතින් ගෙවා රෙඩියෝව ක්‍රියාත්මක කලේ මෙම යාන්ත්‍රික වට පිටාව පිළිබඳව පතල මහා කරුණාවකින් නොව; එයින් ප්‍රචාරයට පත්වූ වැඩ සටහන්, ඒවා නිශ්පාදනයකල නිශ්පාදකයින් හා ඉදිරිපත් කල නිවේදක නිවේදකයින්ගේ කලාත්මක හා බහුසෘත වපසරිය නිසාය! 

කාබාසිනියාතුමෙකු" අපේ තාත්තාගේ ප්‍රියතම වැඩ සටහන් තුන හතර වූයේ උදෑසන, මධ්‍යහන ප්‍රවෘති, සන්ධ්‍යා ප්‍රවෘත්ති හා රාත්‍රී නමයට ප්‍රචාරය වූ රාත්‍රී ප්‍රවෘත්ති! එකල වැඩිපුරම ප්‍රවෘති කීවේ සිරිල් රාජපක්ෂය. ඔහුගේ ගැඹුරු හඬටම ගැලපී යන පළමු ප්‍රවෘත්තිය අසන්නන්ගේ මවිල් කෙලින් සිටුවීමට සමත් විය! දැන් වාගේ අර උන්නැහේ පංසල් ගිය ඒවාත් අනිත් උන්නැහීට අතීසාරය සෑදීමත් ප්‍රවෘති නොවූ එකල පෙර වාදනය යද්දීම ගෙදරක, කඩයක් පිලක සිටිය වුන් අමුඩ තද කරගෙන සවන්දීමට සැරසෙන්නෝය! සිරිල් රාජපක්ෂට අමතරව, අමරබන්දු රූපසිංහ, ප්‍රේමකීර්තිද අල්විස්,  වැනි අය ප්‍රවෘත්ති විද්දේය!  එදා ඒ හඬ පෞර්ෂය හා උක්ත ආඛ්‍යාත ගැලපුනු වැකි වලින් කියන්නට ගැලපුනු නිව්ස්ද තිබුනේය. අද තිබෙන "බල්ලා රට ගියා - රට බල්ලට ගියා වැනි වැකි එදා තිබුනේ නැත!

පෙර වාදනයට දෙශපාලනයක් තිබුනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ සමගි පෙරමුණු ආණ්ඩුවබලයට පත්වූ කාල්යේදී වාදනය වූයේ "ඩඩ්ලි ඩඩ්ලි දැන් කොහොමද" අනුවාදනය වනාතර යූ ඇන් පිය බලයට පැමිණි වහාම වාදනය වූයේ "ඇන් ඇම් ට පුළුවංද - හත් හවුළ පෙරළන්න" අනුවාදනයයි.

ගුවන් විදුලියේ ස්වර්ණමය අවදිය ලෙස සැලකෙන්නේ රිජ්වේ තිලකරත්න යුගයයි. ගුවන්විදුලියේ සුපිරි ගනයේ නිවේදකයෙකුවූ කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේ සේකර, නාට්‍ය ශිල්පී හෙන් රි ජයසේන, ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, හා දොස්තර ගුණදාස අමරසේකර ඔහුගේ නාලන්දාවේ සමකාලීනයෝ වූහ. බොහෝ නව නිර්මාණාත්මක වැඩසටහන් බිහිවූ මෙතුමාගේ යුගය සමකල හැක්කේ ලංගමයේ අනිල් මුණසිංහ, රේල්ලුවේ ඩී. බී. රම්පාල යුගයන්ටය!
මාගේ මතකය නිවැරදි වේනම් ටී. එම්. ජයරත්න ගායනා කරන "ඔබ හා මෙමා අතිනත් අරන්" ගීතය ලියා ඇත්තේද රිජ්වේ තිලකරත්න මහතා විසින් වන අතර එම පදමාලාව ටී එම් හට භාරදී ඇත්තේ "මෙන්න මේ කවුද සිංදුවක් එවලා තියෙනවා! හොඳනං කියන්නකෝ!" කියාය!
තිලකරත්න මහතා ගැණ කථා කරන කොට කරුණාරත්න අබේසේකර පිළිබඳව කියැවුනු නිසා එතුමා ගැනත් ඇති මතකය මෙහිම දිග අරිණ්නම්. ඔහු පිළිබඳ මාගේ මතකය නැවතී ඇත්තේ දාස සමූහ ව්‍යාපාර වෙතින් ප්‍රචාරය වූ "පිබිදෙන ගායක පරපුර" වැඩසටහනෙනි. ඔහු එය   ඇද පැද; උත්කර්ශවත් හඬින් "පිබිදෙන . . . .ගායක . . . .පරපුර කියන අයුරු අදත් සවනේ රැව්දේ! ලංකාවේ වැඩිම ගීත ගනනක් ලියා කප් ගසා සිටින මෙතුමා ගීතයක් ලියන්නට පෙර සරස්වතී දේවියට පොල්තෙල් පහන් හඳුන්කූරු පවත්වූ බව මාහට පැවසූවේ පත්තර ලොවේ පෙරළි කාර චරිතයක් වූ චින්තන ජයසේනයන් විසින්ය. දිනක් චින්තන අයියා මුණ ගැහුනු අවස්ථාවක "අඩියක්"ගැසීමට "සීගිරියට' එන ලෙස කරුණාරත්න අබේසේකර ආරාධනා කලේලු. සීගිරිය යනු කාෂ්‍යප බලකොටුව නොව; පුංචි බොරැල්ලේ සිරිධම්ම මාවතේ ගෝතමියට යන පාරේ (සැලස්කි පෙදෙස නේද නම?) අද එතුමාගේ නමින් හැඳින්වෙන පටු මාවතේ පැවති  ඔහුගේ නිවෙසයි. චින්තන අයියා යනු හිටගෙන ගල් අරක්කු බෝතලය; "බත් කා කට දනවාට බොන" පන්නයේ "බෙබේ බී බොතේජුවෙකි! එසේම ඔහු මධුවිතට ආලය කලේ; ඔහුගේත්; ටයිටස් තොටවත්තයන්ගේ හඳයාහි "සූප්පුවාට" පන පෙවූ කිත්සිරි මෙවන් ජයසේනගේත් අම්මාට තාත්තට මෙන්ය! එදින ඉක්මණින් කණ්තෝරුවෙන් පැනගත් චින්තනයාණන් පාටියක් විඳීමේ අධිටනින් යුතුව සීගිරියට කිට්ටු කලේය. ඉතාමත් ආදරයෙන් සාදරයෙන් හා ගෞරවයෙන් යුතුව චින්තන අයියාව පිලිගත් කරූ ඔහුව සාලයේ කෙළවරක; කනප්පුවක් ඉදිරියේ  අසුන් ගන්වා ලයන් ලාගර් බෝතලයක් හා වීදුරු දෙකක් ගෙනැවිත් කනප්පුව මතින් තැබුවේලු. "වෙහෙර ගිල්ල යකාට අග්ගලාවත් කජ්ජක්ද?" කීවා සේ චින්තන අයියා බීර වීදුරුවකින් සංතෘප්තවී ගේට්ටුවෙන් එළියට ඇවිත් කඩප්පුලි භාෂාවෙන් කුණුහරුපෙන් බැන බැන කොලෝනියල් එකට ටැක්සියකින් ගියාලු.
ගුවන් විදුලියට අදාල නොවුනත් චින්තන අයියා කියපු තවත් රසවත් කථාවක් පවසන්නට තරහ අවසර! 
හෙළයේ මහා ගත්කරු;මාර්ටින් වික්‍රමසිංහයන් මධුවිත ඔෆර් කරණ්නේ ඔහුගේ පොත් ගුල තුලදීලු. පොත් රාක්කයේම පසෙක තිබුනු කුඩා කබර්ඩ් එක තුලින් බෝතලය ගෙන වීදුරු වලට  වත් කොට නැවත කබර්ඩය තුලට දමා යතුරු ලන්නේලු. ඒම මදුවිත වඩිය සියල්ලෝඅම බී අවසන් වූ විට නැවතත් කබර්ඩ් එක ඇර වීදුරු පුරවා නැවතත් පෙර පරිදිම යතුරු ලන්නේලු! ඔය මදෑ ඒ ගැන කිව්වා!
ඉතින් කරුණාරත්න අබේසේකරද ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රකාශ කල බව මා අසා ඇත! ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රචාරයේ මුදුන් මල්කඩ වූයේ පාලිත පෙරේරා සහ ප්‍රෙමසර ඈපාසිංහයන්ය. ක්‍රිකට් ක්‍රීඩාව ගම් නියංගම් වලට ගෙන යෑමේ ගෞරවය කරපින්නාගෙන සිටින්නේ ගුවන් විදුලියත්, පාලිතත් ඈපාත්ය. ඔවුන් පලමුවෙන්ම විස්තර විචාරය කොට ඇත්තේ "ආනන්ද - නාලන්දා සුලෝහිත මහා සංග්‍රාමය" ලෙස විරුදාවලිය ලැබූ මහා ක්‍රිකට් තරගය පිළිබඳවයි. ක්‍රිකට් ක්‍රීඩාවට උචිත බොහෝ වචන සෑදීමටද කරුණාරත්න අබේ සේකර මැදිහත්වී ඇත!
ඇපාසිංහ විසින් ඉදිරිපත් කෙරුණු තවත් අගනා වැඩසටහනක් වූයේ "බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු" වැඩසටහනයි. මාගේ මතකය නිවැරදිනම් එය ප්‍රචාරය වූයේ ඉරිදා රාත්‍රී 8.15 ටය! "ගෙවී ගිය සතියේ ක්‍රීඩා ලෝකය තුල . . යනුවෙන් පටන්ගෙන කට කම්මිස්සිරියාවක් නැතිව වේගයෙන් සියළු ක්‍රීඩා විස්තර කියා පා ඈපා සිංහ හුස්මක් ගන්නේ "යලිත් ලබන සතියේත් බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු සමගින් හමුවන බලා පොරොත්තුවෙන් ඔබෙන් සමු ගන්නේ ප්‍රේමසර . .ඈපාසිංහ ආයුබෝවන්!" කියාය. ඔහුගේ තිබුනු "කඩදාසි ලිපේ දැම්මාසේ" පවසන වේගවත් වචන තුලින් අසන්නන් තුලද ජවයක් ඇතිකර ලීමට සමත් විය. ඔහු වචන පිටපතට ලෝඩ් කොට රේඩියෝවෙන් වෙඩි තැබීය! ඔහුගේ වෙඩි මුරය අවසන් වූ වහාම 8.30ට පටන් ගැනෙන්නේ මොණරතැන්න ය. ජේ. එච්. ජයවර්ධනයන් එහි පන පෙවූ "රජ්ජුරුවො" චරිතය තවමත් මතකයේ ඇති අය සිටිති. බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු සඳහා අනුග්‍රහය දැක්වූයේ සිලෝන් ටුබේකෝ ආයතනය වන අතර මොණරතැන්න ගුවන් ගත්වූයේ ජයතිස්ස ඉන්ඩස්ට්‍රීස් හට පින් සිදු වන්නටය.
සඳුදා රාත්‍රියේ ප්‍රචාරය වූයේ වික්ටර් මිගෙල්ගේ නව මුවන් පැලැස්සය. මුවන් පැලැස්ස පසුව නව මුවන් පැලැස්ස වී ඇති අතර එහි පලමු රචකයා වූයේ මුදලිනායක සෝමරත්න වූ අතර පසුව එය වික්ටර් මිගෙල් විසින් රචනා කරණා ලදී. එහි ප්‍රධාන චරිතය වූ කදිරාගේ චරිතයට පන පෙව්වේද විටර් මිගෙල්ය. මාහට මතක ඇති කාලයේ එය ප්‍රචාරය වූයේ කඳානේ "ලින්ටන්ස්" ආයතනය අනුග්‍රයෙනි. මුවන් පැලැස්ස ගැන වැඩි දුර මෙතනින් කියවන්න! මේන්න මෙතනත් තියෙනවා හොඳ විස්තරයක් ඒකත් බලන්නකෝ! 1964 මාර්තු 12 වනි දින ඇරඹි මෙම ගුවන් විදුලි නාටකය ලොව දෙවෙනි වන්නේ 1951 ජනවාරි 1 වන දින එංගලන්තයේදී ප්‍රචාරය ඇරබි "ආර්චර්ස්"  නාට්‍යයට පමණි. මුවන්පැලැස්ස සමග තරග වැදුනු අනෙකුත් නාට්‍ය වූයේ ධර්ම ශ්‍රී මුණසිංහයන්ගේ මොනරතැන්නය! මීට අමතරව "ගජ මුතු", "වජිරා" වැනි නාට්‍යය වටාද ශ්‍රාවකයින් රොද බැඳ ගත්හ.
රේඩියෝ නාට්ටි හෙවත් ගුවන් විදුලි නාට්‍යය පිළිබඳව කතා කෙරෙණ විට අමතක කල නොහැකි නාට‍යයක් සමන් ආතාවුද හෙට්ටි අතින් ලියැවුනි. ඒ අන් කිසිවක් නොව සෙනසුරාදා උදේ වරුවේ  ප්‍රකාශය වූ "ලන්දේසි දූපත" නමැති ළමා රහස් පරීක්ෂක කථාවයි. සත්තකින්ම අදද ඒ නාට‍යය ඇසීමට ඇත්නම් යැයි මට සිතුණු වාර අනන්තය. එහි ප්‍රධාන චරිතයක් වන රොන්ජන්හට පණ පෙව්වේ සමන්ම වන අතර ජිල්ජෝන් හා වැන්දබෝනා චරිත ද්විත්වයෙන් එකකටද ඔහු හඬ මුසු කලේය. අනෙක් චරිතය පනපෙව්වේ කොළඹ නගර සභාවේ පරාක්‍රම පෙරෙරාය. එකල නිරංජලා සරෝජනී හා රෝහණ සිරිවර්ධන වැනි අයද හඬ නළුවන් විය. අංක එකේ කාන්තා ලාලිත්‍යය වූයේ නම් කුසුම් පීරිස්මය! එය ඒතරම්ම හැඟීම් දැනවූ හඬකි!
නෙතලී නානායක්කාර, වොලී නානායක්කාර, ශ්‍රීනිමල් පද්ම කුමාර, ඇග්නස් සිරිසේන, විජේරත්න වරකාගොඩ, වැනි බොහෝ අය; රේඩියෝ චරිත ජීවත් කර වූවේය. වරක් මුවන් පැලැස්සේ උක්කු බණ්ඩාට හා නාමලීට පන පෙවූ වොලී නානායක්කාර හා නෙතලි නානායක්කාරගෙ ඇඩ්‍රස් නැතිකරේ නාට්‍යානුසාරයෙන්මය! 
මීට අමතරව විනෝද සමය, හංදියේ ගෙදර වැනි වැඩ සටහන් වලින් සැමුවෙල්, බර්ටි, ඇනර්ස්ලි, ඇලෝ පෙරෙරා, මර්සි, ගැමුණු වැනි අයද අපගේ ඉළ ඇට සම්භාහනය කලෝය. හංදියේ ගෙදර්ට රෙඩියෝ නාට්ටියේ; ප්‍රවීණ ගායක බන්ධුල විජේවීරයන්ද හඬ කැවූ බව යාන්තම් මතකය. එහි "කල්කදුරු තිත්තගේ ගල්නෝමිස් ඉරිවේරිස්" නම් චරිතයක්ද තිබුනු බව මතකය. සැමුවෙල් ගේ "අමාරිස් අයියා" චරිතයද ඇනර්ස්ලිගේ හාමු මහත්තයා චරිතයද "නාමෙ නොදිරණා - කුණු කය දිරණා" යන ගීත කණ්ඩයට අරුත් සැපයූවේය!
ගුවන් විදුලියේ තම හඬ පෞර්ෂයෙන් ආමන්ත්‍රණය කල අමරබන්දු රූපසිංහ, ලලිත් එස් මෛත්‍රීපාල, ප්‍රේමකීර්තිද අල්විස් පිළිබඬව ඇත්තේ සුපහන් මතකයකි. මෙම තිදෙනාම ප්‍රවෘති ප්‍රකාශයටද සහභාගී විය. මින් වැඩහටහන් සම්පාදකවරයෙකු ලෙස ඉමහත් කීර්තියට පත් ප්‍රේම්ගේ ශනිදා සාදය දුහුනන් සඳහා විවරවූ වැඩ සටහනකි. එසේම රේඩියෝ සඟරාවද (සෙනසුරාදා සවස 4.00) ඔහුගේ වැඩ කිඩ වලින් ඔපවත් උනා යැයි මාහට මතකයක් පවතී. වැඩසටහන අවසානයේ " . . . . . . . .  හි පදිංචි  . . . . .ගේ දොන් ප්‍රේමකීර්තිද අල්විස් වන මා විසින් කොළඹ හතේ  . . . . .ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී . . . . . . . ." යනාදී වශයෙන් අවසන් කලේ රේඩියෝ සඟරාව යැයි මාහට මතකයක් පවතී. 
නිවේදක නිවේදිකාවන් ගැන කථා කරණ විට බණ්ඩාර කේ විජේතුංගය පිළිබඳව අමතක වුවහොත් එය විසල් අඩුපාඩුවකි.මා ගේ මතකය නිවැරදි නම් ඉරිදා දහවල් 1.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ "සිනමා පුවත්" වඩසටහන ගුවන් ගත විය. මීට කලකට පෙර ඉන්දියානු චිත්‍රපට ශ්‍රී ලංකාව තුල ජය කෙහෙළු නංවමින් තිරගත වූ කාලයේ ඒ පිළිබඳ හඳුන්වා දීමේ වැඩසටහන මෙහෙය වූවේ බණ්ඩාරය. "ඔවුන් දෙදෙන එක් කලේද සංගීතයයි - වෙන් කලේද සංගීතයයි දෙවෙනි අභිමානවත් මාසයේ අභිමාන්" ඔහුගේ වදන්ය! "ළඳුනි මා ඔබට ද්‍රෝහි වූවා නොවේ! පියෙකු නැති දරුවෙකුට පියෙකුවූවා පමණි!", "එක මලයි බඹරු දෙන්නයි!" මේ ඔහුගේ යෙදුම්ය. මේව්වා කියැවුනේ ඔහුගේ ගැඹුරු ස්වරයෙනි. එවන් හඬක් මා කිසිදා අසා නැත! "ඉන්දීවරියේ අඬනු එපා" - සනත් නන්දසිරි,  "දිනෙන් දින ඔබ මා කෙරෙන්" - සනත් නන්දසිරි වැනි රසාලිප්ත ගීත රචනා ගනනාවක් පබැදූ ඔහු අකාලයේ මීවිත සමගම අපෙන් වෙන්ව ගියේ හයිකු කවියෙකු ලෙසද ඔහුගේ මුද්‍රාව අපගේ හදවතේ ගැඹුරුම තැන ස්ථාපිත කරමින්ය!
එසේම පැණ විසඳුම් වැඩ සටහන් වන "පුළුවන්නම් දිනාගන්න", "ඕවල්ටීන් පැන පොඩි", වැනි බොහෝ වැඩ සටහන් වලින් ගුවන් කාලය පිරීතිබුනි. ඊට අමතරව කේ ජයතිලක මහතාගේ ප්‍රිය බිරිඳව සුමනා ජයතිලක නැන්දා; සෑම සතියකම සිකුරාදා සවස 5.00 ට ලැම්බර්ට් පෙම්මාවඩු මාමා සමග එක්ව ගෙන ආ හඳ මාමා වැඩ සටහන පොඩිත්තන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. එහි තේමා ගීතය; "ලොව ඝනඳුරු දුරු කරන්න . . . . . කියමින් පටන් ගෙන හඳ මාමට සවන් දෙන්න . . " යනුවෙන් කරටියෙන් ගැයූවේ ජේ ඒ මිල්ටන් පෙරෙරා විසින්ය.
සෑම උදෑසනකම 5.30 ට පටන් ගන්නා විකාශය තුල පන්සිල්, සෙත් පිරිත්, ධම්ම චින්තා, දවසේ සිතුවිලි, ජාතික ශරීර සුවතා වැඩසටහන, අරුණ කිරණ, ප්‍රවෘත්ති, අසන්නන්ගේ ඉල්ලීම්, ලෝක ප්‍රවෘත්ති, නිවේදක තෝරයි වැනි වැඩ සහන් වලින් දිනය ඇරඹීය. ඉක්බිති ගීතමය වැඩසටහන් ලෙස සරල ගී, ශාස්ත්‍රීය ගී, චිත්‍රපට ගී. සමූහ ගී, කණ්ඩායම් ගී, ලමා ගී, පැරණි ගී, දිවා ගී, බයිලා ලෙසින් සෘජුව ප්‍රචාරය විය. ඊට අමතරව නිවේදක තෝරයි, ස\ස්කාරක තේරීම්, රංග තරංග, අසන්නන්ගේ ඉල්ලීම්, කාන්තා ඉල්ලීම්  අඟහරුවාදා සවස 5.00 ට නොවරදවා ප්‍රචාරය වන "ලේ පරිත්‍යාගශීලීන්ගේ ඉල්ලීම්" වැනි වැඩ සටහන් වලින්ද  උතුරු ඉන්දීය සංගීතය, ශාස්ත්‍රීය සංගීතය, හිංදි චිත්‍රපට ගීත වැනි වැඩ සටහන් වලින්ද පිරී පැවතුනි.
ඉරිදා දහවල් 2.00 ට; ජර්මන් තානාපති කාර්‍යාලයේ අනුග්‍රහයෙන් ප්‍රචාරය වූ ප්‍රචාරය වූ ජර්මන් ජන හඬ වැඩ සටහනේ සිට ශ්‍රී ලංකා පොලීස් දෙපාර්තමේන්තුවෙන්; සෑම දිනකම ඉරමුදුං සමයට ප්‍රචාරයවූ "පොලීසියෙන්" ,  සිට  විනෝද මේළා -ඔව් නෑ බෑ  (ඩී. පී මොරවක), සාරභූමි (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව), මව සහ ළදරුවා (ජේ එල් මොරිසන්ස්), පුෂ්පාංජලී (ජයරත්න මල් ශාලාව), පහන්සිළුව (ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස්), සෞඛ්‍ය ගැටළු (ජා ඇල වෛද්‍ය දිනපාලද සිල්වා - ජා ඇල) විනාඩියක් පමණයි (නිකාඩෝ), ජය ලලිතා රත්තරන් පැතුම් (ජයලලිතා ජුවලර් හෙට්ටිවීදිය), වජිරා (ගුරුගේ මැණික්), පුළුවන්නම් දිනාගන්න (ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව), ගීත කතන්දර (ලෙච්චමී ජුවර්ලර්ස්), හංදියේ ගෙදර (ද ෆිනෑන්ස්), කුසුම් රේණු (කොළඹ මල් ශාලාව), ඊ. එච් ගීත ධාරා (ඊ එච් කුරේ) වාසනා උදාව (සෙන්ට් ඇන්තනීස් සමූහ ව්‍යාපාර), වැනි රසාලිප්ත වැඩ සටහන් රාශියක් ඒවායේ අනුග්‍රහකයින් සමග මතකයේ ඇත! 
මෙවන් අතීතයක් විඳි අපගේ ගුවන් විදුලිය මේ වන විට පන අදිමින්ය. එහි අවසන් කටයුතු සඳහා මේ දිනවල ආයතන පාලකාධිකාරිය සූදානම් වෙනවා ඇති! කාලයක් අප සමග සිටි නෑදෑයෙක් හිත මිතුරෙක් වෙනුවෙන් තවමත් හිතේ දුකක් ඇත!  මළ ගෙදරටවත් යන්නෝන!

ප.ලි. :- ලැම්බර්ට් පෙම්මාවඩු පිලිබඳව සොයා යාමේදී තවත් බ්ලොගයක් හමුවිය. එයට මෙයින් පිවිසෙන්න!


Friday, October 8, 2021

218. ඒරාවුර් දුම්රිය ස්ථානාධිපති තුමාගේ කථා වස්තුව!

මේ කථාව වෙද්දී අපේ තාත්තා හිටියේ මම අර කලින් 215. මෝටර් රථ වාහන කර්මාන්තයේ අත් පොත් පෝස්ට් එකේ කියපු හතරැස්කොටුවේමයි. හතරැස්කොටුව පිහිටා තිබුනේ හබරණ පහු කරලා මළේ පාරේ ඒ කියන්නේ ත්‍රීකුණමළේ පාරේ කිලෝමීටර 10ක 12ක දුරින්. මෙතනට හතරැස්කොටුව නම වැටිලා තිබුනේ එතන හංදියේම පාර අයිනේ තිබ්බ; කොළඹට, එක් පැත්තක කුරුණෑගලට, කොළඹට හා අනිත් පැත්තට ත්‍රිකුණමළයට, කන්තලේට තියෙන කිලෝමීටර ගනන් ලියලා තිබුණු; හතරැස් සිමෙන්ති කොටුව නිසා කියලයි කියන්නේ! සත්‍ය අසත්‍ය තාවය පිළිබඳව සිතා ගත නොහැක.

මෙම කුඩා ගම තුල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පැල තවානක්, එයට පිටින් එම ආයතනයටම අයත් කුඩා කංතෝරු කාමරයක් හා නිවස්න දෙකක්, යාබද ඉඩමේ පාසලක්ද පිහිටා තිබුනි.

ඊලාම් ආක්‍රමණ සමග මෙම පැල තවාන වැසී ගිය අතර පෙරකී නිවස්න දෙක හා කංතෝරු කාමටය ආරක්ෂක අංශ වෙතින් නතු කරගෙන ඇත. දැනටත් එම ස්ථානයේ පැරණි ගොඩනැගිලි වසා ඉඳිවූ මුර කපොල්ලේ සෙවනැලි දක්නට ඇත!

මෙතන හංදියක් උනේ එතැනින්ම කැලේ මැද්දෙන් පාරක්  තිබුනා මින්නේරියට. ඒ පාර දිවුනේ රොට වැව කියන ගම මැද්දෙන්. ඉස්සර රූපවාහිණියේ "වාහල්කඩ" කියන වැඩ සටහන කල; ශ්‍රී ලංකාවේ වාරිශිෂ්ඨචාරයේ මුදුන් මල්කඩ වන වැව පිළිබඳව ඉතාමත් පුළුල් පර්යේශණ ග්‍රන්ථයක් වන "වැව" නමැති පොතේ කතු වරයාණන්  වන ගෘහ නිර්මාණ ශිල්පී උදුල බණ්ඩාර අවුසදහාමි හිටියේත් මේ රොට වැව කියන ගමේ මයි. මේ පාර එක තැනකදි කුඩා වැව් තුනක් මැද්දෙන් ගමන් කරණවාත් මතකයි! පාර ගිහින් වැටුනේ හබරණ පොළොන්නරුව පාරේ මින්නේරිය වැව හරියෙන්.

මේ පාර නැතිනම් මාර්ගය; මේ සේරටම වඩා වැදගත් උනේ රොට වැව ගමට ඇබිත්තක් මෙහායින් තිබුනු දුම්රිය මංසංධිය හේතුකොට ගෙන! ඒ කොළඹ කොටුවේ සිට ත්‍රීකුණාමළය හා මඩකලපුව බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රිය දෙපළු කොට වෙන වෙනම දුම්රිය දෙකක් ලෙස ත්‍රිකුණාමළයටත් මඩකලපුවටත් ගමන් අරඹන ගල් ඔය හංදිය දුම්රිය මංසංධිය ! 

තාත්තාගේ වන සංරක්ෂණ රැකියාව නිසාම අපිට ස්ථිර නිවාසයක් තිබුනේ නැති ගානයි. යටියන්තොට; හක්බෙල්ලාවක පිහිටි නිවස හැමදා පැවතියේ කුලියට බද්දට දෙන නිවසක් ලෙසින්. මෙකල අප සිටියේ හතරැස්කොටුවේ පිහිටි දෙපාර්තමේන්තු  කුඩා  නිවස්නයක් තුල! සෑම නිවාඩු කාලයකටම මා එහි නිවාඩුව ගත කිරීමට ගිය අතර එය වන දිවිය හා එක්වූ විචිත්‍ර එකක් උනා! මෙන්න මේ පෝස්ටුවේ මාගේ රියැදුරු ජීවිතයේ ආරභය සනිටුහන් වූ මැසි ෆර්ගියුශන් ට්‍රැක්ටර් ධාවනය සේම මිට්සුබිෂි J44 ජීප් ධාවනයද සිදුවූයේ මම හතරැස්කොටුවේ තාත්තා පදිංචිව සිටිනා වක වානුවේදීය! දිනක් මා නිවාඩුවට එහි ගොස් නිවාඩුව; කැලේ කොලේ ගත කොට ආපසු කොළඹ බලා එන්නට පිටත් විය! 

එකල හතරැස්කොටුවෙන් පිටත් වී රොටවැව හරහා මින්නේරිය බලා දිවෙන කුඩා තනි දොරේ අසෝක් ලේලන්ඩ් බසයක් විය! මේ බසය උදෑසන දෙවන වර හතරැස්කොටුවෙන් මින්නේරිය බලා පිටත් වන්නේ මඩකලපුව සිට කොළඹ කොටුව බලා දිවුනු "හිජ්රා" දුම්රිය ගල් ඔය හංදියට පැමිණීමට පැය භාගයකට පමණ පෙරය! එම බස් සේවය දුම්රිය හා ඒකාබද්ධව ක්‍රියාත්මක වූ එකකි.

එම මාර්ගය දිවුනේ; ඉතා කෙටි දුරකින් ගෙවී අවසන් වන හතරැස්කොටුව ගම පසුකොට මහ වනය තුලින් දිවුනු තිරිවාන ගල් හාත්පස පිරුණු; තැනින් තැන පැරණි තාර තට්ටු නටඹුන් පිහිටි මාර්ගයක් ඔස්සේය!
බසය ඇරඹෙන්නේ හතරැස්කොටුවේ තිබුනු එකම සිල්ලර කඩය වන චූටි මහත්තයාගේ කඩය ඉදිරියෙන්ය. එය සිල්ලර කඩයක් උවද එක් පසෙක පාන්, පරිප්පු හොදි හා තේ කහට විකුණුනි! එදින මමත් තාත්තාත් අම්මාත් තිදෙන හතරැස්කොටුවෙන් බසයට ගොඩ වූයේ ගල් ඔය හංදියෙන් හිජ්රා දුම්රියට ගොඩ වීමේ අරමුණෙනි.  නියමිත වේලාවට බසය පිටත් වී ඒ මේ අත පැද්දෙමින්, වලවල් බේරමින්, වල වල් වල වැටෙමින් රොට වැව පාරට අවතීර්ණ වුනෙමු. බසය ගමේ අවසන් නිවස පසු කිරීමට ආසන්න වත්ම කලබලෙන් පාරට පැමිණි කිහිප දෙනෙකු බසයට අත ඇල්ලුවෝය! බසය නවතන විට ඒ අසලින් ගමන් ගන්නා දුම්රිය මග අසල; මිනිසුන් ගැහැණුන්; පලාතේ හැටියට විසාල පිරිසක් එනම් හත් අට දෙනෙක් පාර අද්දර සිටිනු දක්නට ලැබුනි!
බසය නතර කලේ බසයට ගොඩ වීමට නොවන බව ඔවුන් ඇඳ සිටි ඇඳුම් වලින්ම වැටහින! 

"කෝච්චියෙන් මිනිහෙක් වැටිලා! මහත්තයෙක්!! තාම පන තියෙනවා!!!"
බසයට ගොඩවූ ගැමියා එක හුස්මට රියැදුරුට විස්තරේ පැවසුවේ එය තුල සිටි අන අයටත් එක්කම වගේය!

"හුස්ම වැටෙනවා!" පිටු පසින් කිළිටු සරමකින් යටි කය වසා ගත් මනුස්සයා කථාවට සක්ක සැපයුවේය!

රියැදුරු බසය අයින් කොට නවතමින්ම ආපසු හැරී බසය දෙස බැලූවේ පසු පස සිටි කොන්දොස්තර වරයාට හිසින් සංඥාවක් දෙමින්මයි!
කොන්දොස්තර තැන "මොකෑ . . . ?" කියාගෙන; ටිකට් පොතත් ආපිට අකුලාගෙන රියැදුරු අසුන දිහාට නැඹුරු වෙද්දී රියැදුරු කෙටියෙන් කථාව කියාගෙන ගියේය.
"මිනිහව ඉස්පිරිතාලෙකට දාන්න වෙයි!" රියැදුරු කථාව නිම කලේ එලෙසින්ය!
"අපිටත් වැටෙන ලෙඩ!?" කොන්දොස්තරට ආපසු හැරී බලමින්ම කියැවුනේය!
එකල රජයේ සේවකයෙකු හට තරමක සිවිල් බලතලයක් සමාජය තුල හිමිවී තිබුනි. 
වරක් මාගේ මිත්‍රයෙකු පොළොන්නරුවටත් එහා වැළිකන්ද ප්‍රදෙශයේ (හොර) වෛද්‍යවරයෙකු ලෙස රැකියාව කරගෙන ඉන්නා සමයේ පලාත ගං වතුරෙන් යටව ගොස් සාමාන්‍ය ජන ජීවිතය ඇණ හිට ඇත! මෙහිදී ඔහු; නිර්භීත ලෙස; ගමේ සාමාන්‍ය මිනිසුන් සමග ගොස් සමූපාකාරයේ දොරගුළු කඩා හාල්, පිටි, සීනි ආදිය සම සමව බෙදා දී ඇති අතර පසුව දින ගනනාවකට පසුව එහි ලඟාවූ ප්‍රාදේශීය ලේකම් තුමා ඒ පිළිබඳව ඔහුට බොහෝ සෙයින් ප්‍රශංසා කල කථාවක් මා අසා ඇත!
හතරැස්කොටුවට සිටි ඉතා සීමාන්තික රජයේ සේවකයින් පිරිස අතර මාගේ පියාද එක් අයෙකු විය!
තාත්තාව දුටු කොන්දොස්තර වරයා එම කට යුත්තට සහභාගී වන ලෙස ඔහුටද ඇරයුම් කරමින්ම බසයෙන් බැස්සේය!
ආරාධනා කලද නොකලද බසයේ සිටි සියළු දෙනාම ඉන් පිටතට පැන සෙනඟ ඒක රාශිවී සිටි ස්ථානයට පිම්මේ ඇවිද ගියෝය. 
බස් රිය ධාවනය වූ (එයට මහා මාර්ගය කියා නොකීමට මා හිතා මතාම තීරණය කලෙමි!) මග එම ස්ථනයේදී වැටී තිබුනේ රේල් පාරට මීටර 25 ක පමණ ආසන්නවය! බස් මගට අඩි හයක පමණ උසකින් පිහිටි උස් බිමකින් රේල පාර වංගුවක් දමාගෙන කොළඹ ගියේය. රෙල් පාරත් බස් පාරත් එක් කල අඩි පාරක් එම ස්ථානයේ තිබුනි. "කෝච්චියෙන් වැටුනු මිනිහෙක්" හා"කෝච්චියට හසුවූ මිනිහෙක්" යන නාම පද දෙකෙහි මාහට ඒතරම් වෙනසක් නොවීය! බසයෙන් බැස ගත් අප සියල්ලෝම එකා පසු පස එකා අඩි පාර දිගේ රේල් පාරට ඉක්මන් ගමණින් ගියෝය!

රේල් පාරේ අනෙක් පස අයිනේ පාරට දමා ඇති කලු ගල් වැටියට ආසන්නව ඇලයට වැටුණු වැඩුණු මිනිසෙක් නිසොල්මන්ව වැටී සිටියේය. ලා රෝස පැහැයට හුරු කමිසයක්; තද  නිල් පැහැති කලිසමකට යට කොට ඇඳ සිටි හේ දුඹුරු පාට ඉන පටියක් හා ඊට ගැලපෙන සපත්තු දෙකකින් සැරසී සිටියේය. ඔහුට ආසන්නව හම් බෑගයක් විය! එය එකල ක්ෂේත්‍ර නිළදරයින් වෙත රජයෙන් සැපයුනු සම් භාන්ඩ සංයුක්ත මණ්ඩලයේ නිමැවුමක් වූ "DI සර්කිට්" බෑගයකි! මාගේ තාත්තාටද රජයෙන් එවන් බෑගයක් වසරක් පාසා ලැබෙයි! තාත්තා කොයි ලෝකෙ ගියත් බෑගය ගෙනිච්චේ එයගේ පිරිවැස්ස වගේ අනිවාර්ය අංගයක් ලෙස! එම බෑගය රජයේ සේවකයෙකුගේ නිළමුද්‍රාව විය! මීට වසර ගනනාවකට පෙර ලීවර් බ්‍රදර්ස්, ඩාලි බට්ලර්, සිලෝන් ටුබෑකෝ වගේ ආයතනවල වෙළෙඳ නියෝජිතයින් හෙවත් තේරෙන හිංගලෙන් කියනවා නං සේල්ස් රෙප් මහත්වරු තම; බාටා කොම්පැණියෙන් විකුණූ "මොකැසිනෝ" පැළඳ පෙන්වූ ගැම්ම; තාත්තාලා වැනි රජයේ සේවකයින් එළි දැක්වූයේ; Toe Cap එක සහිත DI සපත්තු දෙකෙන් හා DI සර්කිට් බෑගයෙන්ය! එම ගමන් මල්ල හෙවත් බෑගය දුටු වනම තාත්තා මුහුණට තරමක දැඩි බවක් ආරූඪ විය!

"ගවර්න්මන්ට් ඔෆිසර් කෙනෙක්!" තාත්තා තමාටම කියා ගත්තේය!

"මේ මහත්තයා ආණ්ඩුවේ මහත්තයෙක්!" තාත්තා එතැන රැස්ව සිටි පිරිසට ඇසෙන සේ උස් හඬින් පැවසීය.

එකල අද මෙන් නොව රජයේ එක් සේවකයෙකු තවත් සේවකයෙකු වෙත පැහැදිලි ගරුත්වයක් හා බැඳීමක් විය. එසේම සාමාන්‍ය ජනයා තුලද ඔවුන් කෙරෙහි තරමක ගෞරවයක්ද විය!

"මහත්තයා අතන මේ මහත්තයාගේ බෑග් එක වැටිලා තිබුනේ! ඒකෙන් මොනා හරි හෝඩුවාවක් හොයාගන්න පුළුවන් වෙයි!" එතැන සිටියෙකු තාත්තාට පැවසීය!

"ආ හරි ගේනවකො බලන්න! . . ඇරියේ නෑනේ . . . !?"

එතැනට ගෙනා බෑගය තාත්තා විවෘථ කලේ සියල්ලන්හටම ඇසෙන්නට ප්‍රකාශයක් කරණා ගමන්ය!

"ඔන්න මම ඔක්කොම ඉස්සරහ අරින්නේ! මට මේවට වග කියන්න බෑ!"

තාත්තා බෑගය විවෘථ කර සැණින්ම එහි වූ දින පොතක් හෝ වෙනයම් සටහන් පොතක් අතට ගත්තේය!

" මේ! මේ ඒරාවුර් වල ස්ටේෂන් මාස්ටර්!" ඉක්මනට ගන්න බස් එකට!

වැටුනු; අනතුරට පත් පුද්ගලයාව නො එසේනම් "ඒරාවුර් දුම්රිය ස්ථානාධිපති තුමාව" අනෙක් පසට හරවා පිරිස ඔසාවා ගති.
ඔහුගේ පුහුන දැඩි සේ තුවාල වී තිබුනි.
බසයේ කොන්දොස්තර වහාම බසයට නැග පිටුපස ආසනයේ තිබුනු කුෂන් කරණ ලද ලෑල්ල හෙවත් සීට් එක ගලවා බසයේ පිටුපසට වන්නට ඇතුරුවේය! තවත් මොහොතකින් සිහි විසංඥව සිටි තුවාල කරු දෙතුන් දෙනෙකුගේ අත් මතින් බසය තුලට වැඩමවන ලදී! 
බසය නැවතත් ගමන පෙර සේම පැද්දෙමින් වල වල් වල වැටෙමින් පිටත් විය. එහෙත් එය තරමක ප්‍රවේසම් සහගත්වය. එය අප වෙනුවෙන් රියැදුරු ගත් ප්‍රශංසණීය පියවරක් නොව රෝගියා වෙනුවෙන් ගත් තීරණයකි.

"අඩු වයසෙන් රස්සාවට ආපු මහත්තයෙක් වගේ! . . . දෙමළ වෙන්ටැ . . ?"

"කොහොමත් ඒරාවුර් කියන්නේ පොඩි ස්ටේසමක් නේ! ඒවායේ ඉන්නේ වයස අඩු අය තමයි!"

"අනේ ගෙදර මිනිස්සු හිතනවා ඇති දැන් මේ වෙන කොට කොළඹ කියලත්!; රෑ කෝච්චියෙනේ ඇවිත් තියෙන්නේ!?"

බසයේ සිටි කිහිප දෙනෙකුවූ පිරිස "ඒරාවුර් දුම්රිය ස්ථානාධිපති" දෙස බලා විවිධ අර්ථ කථන සැපයූහ!

"දැං මොකද මේ බෑග් එකට කරණ්නේ?" කොන්දොස්තර තැන මතුකල පැනය විය!? 

"ඔව්! වොව්!! ඉස්පිරිතාලෙට දුන්නොත් ඕකෙ තියෙන ඇඳුං කෑල්ලක් වත් හොයා ගන්න බැරිවෙයි. අර මං මැලේරියාවට නැවතුනාම ඇඳ ගාව පෙට්ටිය උඩ තිබ්බ උනු වතුර බෝතලේ මං කක්කුස්සියට ගිහිං එන ටිකට අන්ත්‍රස්දාන වෙලා තිබ්බානේ . . . . . . . .!?" 

විවිධ කයි කථන්දර බසයේ ඇලුමිනියං බොඩිය තුල එහා මෙහා පාවී යද්දී තාත්තා කට හඬ අවදි කලේය.

"හරි! මම දැං ගල් ඔය හංදියෙන් බහිනවා කොළඹ යන්න! මම මේ සිද්ධිය කියලා;  බෑග් එක SM (ස්ටේශන් මාස්ටර්) ට භාර දෙන්නං! එගොල්ලො ඒරාවුර් වලට ටෙලිෆෝන් කරලා කියයි. ඒ ගොල්ලන්ගෙ මිනිහෙක් නේ!?"

"ආන්න හරි . . . .! අපි මෙයාව පොළොන්නරුවෙ ඉස්පිරිතාලෙට භාර දෙන්නං!" කොන්දොස්තර තැන තාත්තාගේ අදහසට එකඟ විය!

බසය තවත් විනාඩි ගණනකින් ගල් ඔය හංදිය දුම් රිය ස්ථානය අසලට ලඟා වුනු  අතර මමත් අම්මාත් තාත්තාත් මාගේ ෆෝඩ් සූට් කේසයත් "ඒරාවුර්" සර්කිට් බෑගයත් තාත්තාගේ සර්කිට් බෑගයත් ලට්ට ලොට්ට  සමග බසයෙන් බිමට බැසීය! අප දුමරිය ස්ථානයට පිය මැන වේදිකාවේ නතර වූ අතර තාත්තා "ඒරාවුර්" බෑගයද රැගෙන ස්ථානාධිපත් හමුවීමට යන්නට හැරුණි! 

"ඔයා වරද්දලා ඔයාගේ බෑග් එක දෙයි! කෝ ඒක මට දීලා යන්න!"

මටද ප්‍රවේණියෙං පැමිණි තාත්තාගේ එවන් සුපිරි වැඩ ගැන දන්නා අම්මා පැවසුවාය! 

"පිස්සුද!? ආ කමක් නෑ කොයි එකටත්!" තාත්තා තමන්ගේ බෑග් එක අප වේදිකාවේ සිටි ස්ථානය අසල වූ බංකුවක් මත තබා නික්ම ගියේය! 

තවත් ටික වේලාවකින් සුදෝ සුදු ඇඳුමකින් හා කැප් තොප්පියකින් සැරසුණු දුම් රිය ස්ථානාධිපති වරයා තාත්තා සමග අප දෙසට පැමිණියේය! ඔහු අප සමග සුහද කථා බහක යෙදී සිට ඉවත්ව ගියේ තාත්තාගේ ක්‍රියාව ගැන පසසමිනි!

හිජ්රා දුම්රිය තවත් ස්වල්ප වේලාවකින් පැමිණි අතර තාත්තාගේ රාජකාරි දුම්රිය කෝටාව හෙවත් වොරන්ට් එකට පිං සිද්ධ වෙන්න;  එහි දෙවන පංතියේ තරමක සැප පහසු අසුනක අසුන් ගෙන කොළඹ පැමිණියෙමු.
කාලය සෙමෙන් ගෙවී ගියේය. කොළඹ පැමිණි මාහට සෑම අවස්ථාවකම දනන් ලොමු දැහැ ගන්වන සුළු කථාවක් ඉතිරි වී තිබුනි! ඒ "රාත්‍රී තැපැල් දුම්රියෙන් ඇද වැටුනුනු ඒරාවුර් දුම්රිය ස්ථානාධිපති තුමාගේ කථා වස්තුව!"ය. මාස තුනක් ඉක්බිත්තෙන් තවත් නිවාඩු කාලයක් එළැඹුනි! එම නිවාඩුවටද මා සිරිත් පරිදි කොළඹ කොටුවෙන් ත්‍රීකුණාමළය බසයක නැගී හතරැස්කොටුව බලා  ගියෙමි! දින ගණනාවක් ඉක්බිත්තෙන් මට මගෙ පැරණි මතකය අළුත් විය! 

"තාත්ති මොකක්ද උනේ අර කෝච්චියෙන් වැටිච්ච ඒරාවුර් ස්ටේශන් මාස්ටර්ට!? එයා මැරුණද?"

"ඒ යකා පල් හොරෙක්නේ! මේ යකා; නයිට් මේල් එකේ කොළඹ ගිය ඒරාවුර් ස්ටේශන් මාස්ටර්ගේ බෑග් එක අරං කෝච්චියෙන් පැනලා! අල්ලන්න බැරි උනා! සිද්ධිය ආරංචි වෙලා පොලීසිය ඉස්පිරිතාලෙට එන කොට ඌ එහෙනුත් පැනලා ගිහිං!"

Friday, October 1, 2021

217. තාත්තා නොම්ම්ර ….1 (iv)


(බොහෝ විට මේ අවසාන කොටස!)
ඉතාමත් ඇල් මැරුණු ස්වරූපයෙන් මේ අළුත් අවුරුද්දත් ගෙවී ගියේය. අවුරුදු කෑමේ ආදිනව විඳිමින්ය. රට පුරා නොව ලොව පුරා පවතින අර්භූධකාරී තත්වය මත හිතෙන්නේ "ඔයිං ගියා මදැයි!" කියාය.
අළුත අවුරුදු උදාව සමග සෑම සියළු දෙනාට නිතැතින්ම මතකයට එන්නේ තමන් කුඩා කල විඳි අවුරුදු අසිරිය ය.
මා හටද මතකයට ආවේ අපගේ දෙමව්පියන් සමග අළුත් අවුරුදු සිරිය විඳි ආකාරයයි.
මම "තාත්තා නොම්මර 1" කියා ලීවාට අම්මා පිළිබඳව ලියා ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ඒ මන්ද එය මෙසේ සතුටු සිතින් මෙනෙහි කිරීමට ඇති අපහසුතාවමය. මා බොහෝ තැන් වලදී ප්‍රසිද්ධියේ කර ඇති ප්‍රකාශයක් ඇත. විවාදයට තුඩු දෙන එම වැකිය මා මෙතනත් ලියන්නම්. නමුත් ඊට හේතු නො විමසන්න; මන්ද "හොඳ" යන්නට වෙනත් නිර්වචනයන් නොමැති නිසාය. හොඳ යනු හොඳය! එතැනින් අවසානය.
"මට හිටියේ ලෝකයේ සිටි හොඳම අම්මායි!" මේ ඒ වැකියය! දිනෙක මම ලියන්නම් අවස්ථාවක් ලැබුනොත් අම්මා ගැනත්. ඒත් අදත් කියන්නට යන්නේ "තාත්තා නොම්මර 1" ගැනය.
අළුත් අවුරුද්ද ආසන්න බව  මට එය පළමුව දැනෙන්නේ තාත්තා සමග කෙහෙල් කැන් වල දැමීම සමගය! වරෙක සිසිර කුමාර මාණික්ක ආරච්චි ලීවා සේ "ගහ කැන් වලදමා - ගිණි දෙවියන්ට පුදවා" අපේ තාත්තාද අවුරුද්ද; කට ලඟ බව අපට දන්වයි.
තාත්තා ගෙවත්තේ වවන ලද කෙහෙල් පඳුරක කෙහෙල් කැනක් අවුරුද්දට "ලයින්" කර ගැනීමේ කලාව තාත්තා දැන සිටියේය. එකල අළුත් අවුරුද්දට "ෆුඩ් සිටියෙන්" කෙසෙල් කීලෝවක් ගෙනැවිත් සැමරුවේ නැත. අනිවා හැම ගෙදරකම පාහේ කෙහෙල් කැනක් වල දමා ඉදවීම සාමාන්‍ය සිද්ධියක්ම විය. කුඩා වලක් කපා එය තුලට කෙසෙල් පරඬැල් දමා ගිනි තබන්නේ වල තැවීමටය. ඒ තුල තවත් කෙහෙල් පරඬැල් කිහිපයක් දමා ඒ මත; කැනෙන් කපා වෙන් කල ඇවරි ටික අඩුක් කර ලෑලි තබා එය පස් වලින් වසා දමන්නේ හිල් කරණ ලද පොල් කටුවක් වලේ එක් මුල්ලක තබාය. මුළු වල තුලටම ඇති එකම වා කවුලුව වන්නේ එම කුඩා සිදුරයි. පසුව එම පොල් කටුව තුලට පොල් මුඩු කිහිපයක් දමා ඒ මත හෙලන පොල් කටු අඟුරු මගින් දුම් වල ඇතිවීමට කුල්ලකින් හුලං ගැසීම කරණු ලබයි.
මා හට ඇති ප්‍රධාන රාජ කාරිය වන්නේ තාත්තා කුල්ලෙන් හුලං ගසද්දී වලේ හතර මුල්ලෙන් දුම් පිටවනවාදැයි නිරීක්ෂනය කිරීමය! එසේ දුම් පිටවන්නේ නම් පස් වලින් යලිත් මුද්‍රා තැබිය යුතුය.
දින කිහිපයකින් පසුව පරණ අවුරුද්දේ වල විවර කොට බලන විට කෙසෙල් ඇවරි සිනාමුසු මුහුණින් සිටිනු දකින්නට ලැබේ. ඒ සඳහා ගතවන කාලය දිනකට කීවරක් දුම් ගැසිය යුතුද වැනි කාරණා පිළිබඳව තාත්තා විශාරද දැනුමක් සහිත විය.
සෑම අවුරුද්දකම තාත්තා ගෙදර ඇති ලොකු හාන්සි පුටු දෙක සූරා පොලිෂ් ආලේප කරයි. "සින්ටෙක්ස්" චිමිණි ලාම්පු වලට චිමිණි දෙකක්ද, පෙට්‍රොල්මැක්ස් ලාම්පුවට මැන්ටලයක්ද ත්‍රී කොයින්ස් ස්ටවුට් දෙකක්, බීර බෝතල් දෙකක්, කලු පැහැති  අරක්කු බෝතලයක් ගෙනත් කොහාට පෙර අපට අවුරුදු එන බව කියන්නේය. ඒවා තිබ්බේ කුඩා අල්මාරිය පිටුපසය!
චිමිනි ලම්පු දෙකද ගඩොල් කුඩු හා දෙහි ලෙලි වලින් මදියි.
අවුරුද්දට අම්මා සාදන කැවිළි අතර අංක එකට තියෙන කැමක් වන්නේ සූදුරු දමාපු අළුවාය. මේ අළුවා සඳහාත් හත්මාළුව සඳහාත් කජු සැපයීම තාත්තා දේව කාරියක් කොට සැලකුවේය. 
බුලත් දී ආහර අනුභවයෙන් පසුව ඇරඹෙන්නේ අවුරුද්දේ සුභම සුභ කටයුත්තටය. ඒ අනෙකක් නොවේ ගනු දෙනු කිරීමය. මෙහිදී අම්මාත් තාත්තාත් බුලත් කොල වල ඔතා අපිට පොඩි සම්තින් එකක් දෙති. එය රැගත් සැණින් අපට මතක් වන්නේ කැට පොලය. හරක් අඟින් කල කැටයේ හය, දොළහ, දහ අට ආදී වශයෙන් තිස් හයට තෙක් ලකුණු යොදා තිබුණි. අප කරණ්නේ අඩු වැඩි ඇල්ලීමය. හය, දොළහ, දහ අට අඩු වන අතර ඉතිරි අංක වැඩි අංක ලෙස සලකණු ලබයි.
මේ සියළු සුන්දර කථා බහ පිළිමඳව ඇත්තේ නොමැකෙන මතකයන් පමණි.
අම්මාගේ මරණින් පසුව තාත්තා බොහෝ සෙයින් තනිවිය. එම තනිකම මැකී ගියේ මිතුරු ඇසුර හා මධු විතෙනි. බොහෝ කලක් තාත්තා තනිවම හක්බෙල්ලාවක නිවසේ විසීය. 
මීට වසර ගනනාවකට පෙර රූපවාහිණියේ විකාශනය වූ රසාලිප්ත නාට්‍යයක් විය "දූ දරුවෝ" නමින්. එහි එක් අවස්ථාවක හෙන්රි ජයසේන තම මහළු  වියේ සිටි බිරිඳ අමතා පවසන වැකියක් මාගේ හදවතේ රැඳී තිබුනි.
"දරුවන් අළුතින් ගෙවල් දොරවල් හදද්දී ඒවාට; වැඩකරන අයට ඉන්න කාමර, ස්ටෝරු කාමර, මුර කාමර වගේ හැම දෙයක්ම ඇතුලත් කරණ්න මතක් වෙනවා. ඒත් වයසක අම්මටයි තාත්තටයි ඉන්නට කාමරයක් හදන්නට එයාලට මතක් වෙන්නේ නෑ සුදු හාමිනේ!" සත්තකින්ම මෙය සැලකිය යුතු කාරණයකි.
මා වෙසෙන කඩවත නිවසේ නිර්මාණ ශිල්පියා වූයේ උදුල බණ්ඩාර අවුසදහාමි ය. ඔහු නිවස නිර්මාණය කරද්දී; මා තාත්තාට කාමරයක් නිවසට ඇතුලත් කරණ මෙන් දැන්වූයෙමි. නිවසේ මුළුතැන් ගෙයට, කෑම කාමරයට ලෙහෙසියෙන්ම ඇතුළු විය හැකි; නාන කාමරයක් හා වැසිකිළියක් වෙන වෙනම වූද නිවසේ ප්‍රවේශ මාර්ගයෙන් සෘජුව ඇතුළු වීමටත් එයට පිටවීමටත් හැකි වන පරිදි කුඩා කුටියක්; උදුල තම නිර්මාණයට ඇතුලත් කොට තිබුනි. එසේම නිවස සාදා නිමවන විට එය ඉතා සුන්දර වාසස්ථානයක්ව දිස් විය. එහෙත් තාත්තාට එහි නැවතීමට පැමිණීමට කිසිදු උවමනාවක් නොවීය. ඒ ඔහු; ස්වකීය නිදහස් දිවියට දැක්වූ පරමාදරයම විය. මාගේ සොහොයුරියගේ හෝ සොහොයුරාගේ නිවස්වල හෝ තම විශ්‍රාම දිවිය ගෙවා දමන්නට ඔහු තුල ඇල්මක් නොවීය.
ඔහු ජීවත් උනේ තනිව හක්බෙල්ලාවකය. අපගේ නිවෙස් වලට ඉඳ හිට හෝ මාසයකට වතාවක් පමණ පැමිනුනත් ඔහු ගෙට ගොඩ වූ සැනින් ආපසු පිටව යන දිනය මතක් කෙරුවේය.
හක්බෙල්ලාවක ඔහු ගතකල කාලයද පුරාවෘථයකි. නිවෙසට අවශ්‍ය සියළු දේ ලබා ගත්තේ අසල සිල්ලර කඩයෙන් ණයටය. කොටින්ම හොර පොට් එකෙන් අරක්කු ගෙන්වා ගත්තේද පොතටය!  සියළුම ණය ඔහු මාසිකව සතකුදු හිග නොතබා ගෙවා දැමීය. 
උදේ පාන්දරින් අවදි වන හේ දිනයට අවශ්‍ය ආහාර පිස නිම කොට දීසි බන්දේසි ආදියට පිසගත් ආහාර දමා මේසයට යවයි. මිදුල උදළු ගෑම හෝ අතු ගෑම සිදු කරන්නේ ඉන් ඉක්බිතිවය. ඔහුගේ උදළු ගෑමද ක්‍රමාණූකූල විය. තාත්තා මිදුල උදලු ගෑවේ දිනයේ වැඩ නිම වන විට එය සෘජුකෝණාස්‍රාකාරව අවසන් කල හැකි වන ලෙසය.  සියල්ල අවසානයේ රැවුල කපා මුහුණ සෝදා කමිසයකින් හා සරමකින් සැරසී ආහාර මේසයට පැමිණේ. කෑම මේසයේ සිට ආහාර ගනී. තනිව සිටියද කුස්සියේ ඇතිළි වලින් ආහාර බෙදා ගැනීමට ඔහු තුල පුරුද්දක් නොවීය.
තාතාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් නව දෙනෙකු සිටියත් ඔහු වඩාත්ම ඇල්ම බැල්ම හෙලුවේ සිරිල්  සහ අශෝක යන දෙසොහොයුරණ් හටය. තමාගේ සියළුම ඕනෑ එපාකම් සොයා බැලුවේද ඒවා විසඳා දුන්නේද ඔවුන්ය. 
එකට කාබී ඔවුන්ව තම ගෙදරින් "බැහැපං එළියට!' කියා එළවා දැමීමට තාත්තා අති දක්ෂය! බොහෝ විට සිරිල් බාප්පා සමග හවසට ගසන සුට්ටං "අඩිය" කෙළවර වූයේ ඉහත වැකිය සමගය!
"තමුසෙගෙ අරක්කු මට ඕනෙනෑ ඕයි!" කියමින් බාප්පා පිටව යයි.
පසුදා උදේම අවදිවන තාත්තා මිදුලට පැමිණ "සිරිල් මල්ලී!" කියා කෑගසයි.
"සිරිල් මල්ලී" ද ඊයේ දිනය අමතක කොට "ලොකු අයියේ!?" කියාගෙන ගෙදරට පැමිණේ.
"පත්තරේ ගෙනෙංකො!" තාත්තා පත්තරේට සල්ලි දෙයි. වලිය එතැනින් අවසානය!
මේවා මට ඇසුණු දුටුව කථා වලට වඩා අසෝක බාප්පා පන පිහිටුවා කියන කථාය! ඊට ප්‍රධාන හේතුව මා නිවසේ ඇති අවස්ථා වලදී අපේ තාත්තා කේස් දා නොගෙන "ක්‍රමේට" සිටිනා බැවිනි.
තාත්තාගේ පැන්ශන් එක අතට ගත් පසු නගරයට ගොස් මධුවිත සප්පායම් වී තවත් බෝතලයක් බෑගයේ දමාගෙන ගෙදරට අඩු වැඩිය රැගෙන පැමිණීම සිරිතකි. එකල ගෙදර සිටියේ ඔහු පමණි. අප සියල්ලන්ම විවාහ වී නිවසෙන් බැහැර වී සිටි අතර මව ඊට වසර ගනනාවකට පෙර මෙලොවින් සමුගෙනය. තාත්තා අවසන් වතාවට පෙන්ශන් පඩිය ලබා ගැනීමට නගරයට ගිය දිනයේ ත්‍රී වීලරයක ගැටී තිබුනි. ඉන් පසු ඔහු ගෙදර ආ බව දන්නා  මුත් ඒ ආවේ කෙසේද? කවුරුන් සමගද? කොයි වෙලාවේද කියා මා දන්නේ නැත! කෙසේ වෙතත් තමා අනතුරට පත් කල හෝ තමා අනතුරට පත් කරගත් ත්‍රී විලරයේ නොම්මරයක් ඔහු හට මතක තබා ගැනීමට ඔහුට අවශ්‍යතාවයක් තිබූ බව නොපෙනුනි. දින කිහිපයක් ගත වෙද්දී  කොහෙත්ම ඇවිදීමට නොහැකි තත්වයේ පසුවූ ඔහු රෝහල් ගතවී පරීක්ෂා කල පසු උකුල් ඇටය පුපුරා ගොස් ඇති බව එක්ස් කිරණ රූපය තහවුරු කලේය! එයින් පසුව ඔහු ටිකෙන් ටික අවරට ගමන් ඇරඹුවේය. ඔහු රෝහල් ගත කෙරුණු අතර ඒ සමග ඔහු ඇල්කොහොල් නොමැති කමින් පීඩා වින්දේය! 
ඒ සමග ඔහුගේ මනස බොහෝ සෙයින් අවුල්ව ගියේය. මා ඔහුව මාගේ නිවසට ගෙන ආවෙමි.  තාත්තා  කෙටි කලක් අපගේ නිවසේ විසුවේය!  දිනක් අපහට නිවසින් බැහැර දින දෙකක් ගත කිරීමට කුමක් හෝ අවශ්‍ය තාවයක් පැන් නැගුණි!  එම දින කිහිපයට තාත්තාව රැඳවීමට මා මාගේ එකම සොහොයුරියට කථා කල මුත් ඇය එය ප්‍රථික්ෂේප කලේය! දෙවනුව මාගේ එකම සොහොයුරාට ඇමතුවද ඔහුද එයට සාර්ථක ප්‍රථිචාරයක් නොදැක්වීය!
මා හට අවසාන මොහොත වන තුරු කල යුත්තක් නොවීය. එකල කඩවත නගරයට අසන්නව වැඩිහිටි නිවාසයක්   තිබුනි! මා දැඩි කණගාටුවෙන් යුතුව තාත්තාව එහි ගෙන ගියෙමි. එදින රාත්‍රියේ මා තාත්තාගේ අතින් අල්ලාගෙන එම වාසස්ථානයට දින දෙකක් සඳහා ඇරළුවෙමි. විශ්වාස කරණ්න! තාත්තාගේ අතින් අල්ලාගෙන යන විට දී මීට  දශක ගනනාවකට පෙර ඔහු මාගේ අති අල්ලාගෙන කළුඅග්ගල නෙළුවත්තුඩුවේ පෙර පාසැලට ගෙන ගිය අයුරු මට මතක් වී පපුව කඩා හැළුනි! මා තාත්තාව එහි අඳුරු කිළුටු කාමරයක නවතා; මුදල් ගෙවා ඉක්මණින් එතැනින් පිටත් විය! තාත්තාගේ මනස මුළුමනින්ම අවුල්ව ගොස් තිබුනු බැවින් ඔහු සිටිනා ස්ථානය පිළිබඳව ඔහුට වැටහීමක් නොතිබුනි!
මා පසුදා උදෑසනම ගමනට පිටත් විය. දින දෙකකට පසු රාත්‍රී අටට පමණ මා නැවත පැමිණ තාත්තාව රැගෙන ඒම සඳහා  නිවාසය කරා ගියෙමි!
තාත්තා නැවැත්වූ කාමරයට ගියෙමි! කාමරය හිස්ව ගොස්ය! මීට දින දෙකකට පෙර නැවැත්වූ තාත්තා එහි සිටියේ නැත! මා  නිවසේ අයිති කරුගෙන් විමසූ විට; තාත්තා අසනීප වූ බවත් ඔහුව රාගම රෝහලේ නැවැත්වූ බවත් කිසිදු වගකීමකින් තොරව පැවසුවේය. ඒ පිළිබඳව අපට නොදැණ්වීම පිළිබඳවද මොන මොනවාදෝ වැල් වටාරම් වගයක් කියවද්දීම මා ගේට්ටුවෙන් එළියට ආවෙමි. ක්ෂණිකවම මා රාගම රෝහල වෙත පියාසර කලෙමි. ගේට්ටු  අධිපතින් හට මොන මොනවාදෝ කියමින් මා රෝහලේ කොරිඩෝර දිගේ දිව්වෙමි! නිවෙස් හිමියා පැවසූ වාට්ටුව තුලට අනවසරයෙන් ගොඩ වැදුනු මා එහි වූ හෙදියකගෙන් තාත්තා පිළිබඳව විමසීමි.
"ඒ සීයා පෙරෙදා ගෙනත් නැවැත්තුවේ! ඊයේ රෑත් හිටියා! අද උදේ බලන කොට කොහේ ගිහින්ද මන්දා වාට්ටුවේ නෑ!"
මගේ ඉහ මොළ රත්විය! 
එතැන් පටන් මා මධ්‍යම රාත්‍රිය පසුවන තුරු බස් ගාල, දුම්රිය ස්ථානය ඇතුලු පොදු හා පෞද්ගලික  මෙකී නොකී සියළුම ස්ථාන අතොරක් නැතිව බැලුවෙමි. පොලිස් නිළධරයින්, කඩ හිමියන්, යාචකයින් ඇතුළු නගරයේ හමුවන හමුවන අයගෙන් තාත්තා පිලිබඳව විමසීමි! මා අතැති විදුලි පන්දම දල්වාගෙන නගරයේ කානු, කුඩා ඇල මාර්ග බෝක්කු සියල්ලම පාහේ තනිව හඬමින් සොයා බලා නිවසට පැමිණියෙමි. 
එදින රාත්‍රියේ පොලීසියේ පැමිණිල්ලක් යෙදූවද මාන්සික වශයෙන් අවුල්වූ වයස් ගත පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලීසිය දැක්වූයේ ඇල්මැරුණු ප්‍රථිචාරයකි! මාගේ ආදරණීය තාත්තා පිළිබඳව කිසිදු සාක්කියක් සටහනක් නොමැතිව  මා රාත්‍රිය පහන් කලෙමි. රාගම  නගරයේ හොයනවා හැරුණුකොට ගෙන වෙන සොයා බැලීමට තැනක් නොමැත!  
මා පසුදින උදෑසනම අවදිව හක්බෙල්ලාවක ගියෙමි. ආශ්චර්‍යයකි! මා එහි යන විට තාත්තා නිවසේය!  තාත්තා රාගම සිට හක්බෙල්ලාවක පැමිණි ආකාරය පිළිබඳ ඔහුට මතකයක් නොමැති විය! තාත්තා අත සතයක හෝ මුදලක් නොමැතිව පැමිණියේ කෙසේද යන්න අදටත් නොවිසුඳුනු අභිරහසකි. 
තාත්තා මාගේ වැඩි මහළු සොහොයුරාගේ නිවසට ගෙවදින්නේ ජීවිතයේ අවසාන භාගයේදී ය. තවත් මස ගනනක් ගෙවෙන විට තාත්තාගේ තත්වය අතිශයින් දුර්වල විය! මමද බිරිඳද රැකියාවට යන බැවින්ද ඒවන විට මාගේ දරුවන් ඉතා කුඩා වියේ සිටි බැවින්ද තාත්තාව මා ගේ නිවසේ තබා ගැනීම තරමක ගැටළු කාරී තත්වයක් විය ඒවන විට මාගේ වැඩි මහළු සොහොයුරා රැකියාවේ විරාමයක නිවසේ විසීය. ඔහු තාත්තාව රැගෙන යාමට කැමති විය! මාගේ මව අංශ භාග රෝගයෙන් ඔත්පලව වසර දෙකක්; මියෙන තෙක් බලාගත් බැවින් නිසා හෝ තාත්තගේ බරට කර ගැසීමට ඔහු ඉදිරිපත් වීම මාහට මහත්වූ ඇසිල්ලක් විය! තාත්තාව ගෙන ඒමට මාත් අයියාත් හක්බෙල්ලාවක් ගියුමු. තාත්තාව මාගෙ පැරණි රථයට නංවාගෙන අප පැමිණියේ සොහොයුරියගේ නිවසටය! ඇය තාත්තාව බැලීමට පවා ප්‍රථික්ෂේප කල අතර අප නැවත් පොළොන්නරුව බලා පිටත් උනෙමු.
අප කූඩා කල තාත්තා තමා සතුව එවකට පැවති එකම රථය වූ හම්බර් බයිසිකලයේ තබාගෙන අවිස්සාවේල්ලේ රෝහල අසල කන්ද පදින්නට හෝ සයිකලයෙන් මාව බිමට නොබස්වා කන්ද තල්ලු කරමින් ගිය හැටි මම අයියාට පැවසුවෙමි! අප දෙදෙනාම හඬමින්ද පරණ මතක දුක් කම් කටොළු ගැන වරෙක කම්පා වෙමින්ද වරෙක සිනහ වෙමින්ද ගියෙමු. තාත්තාට අපගේ කථා වගේ වගක් නොතිබුනි. ඔහුට අපේ කථා ඇසෙන බවක් හෝ නොපෙනුනි! එදින රාත්‍රියේ තාත්තාව පොළොන්නරුවට ඇරලවා මා තනිව පැමිණියෙමි.
අයියාගේ ආදරණීය බිරිඳ ප්‍රියන්ති අක්කා අපගේ තාත්තාව ආදරයෙන් පිලිගත්තීය. අප එහි යන විට තාත්තාට සියළු සැප පහසු කමින් පිරි කාමරයක් ඇය සකසා තිබුනි! ඇයගේත් අයියාගේත් ඇප උපස්ථානවල මහිමයෙන් තාත්තා ශාරීරික ලෙස බොහෝ සෙයින් බල ගැන්වුනි. නමුත් ඔහුගේ මනස යලි යතා තත්වයට නොපැමුනුණි! කාලය සෙමන් ගලා ගියේය. වසර ගනනාවකට පසු එක් උදෑසනක අයියා අඬමින් මාහට දූරකථන ඇමතුමක් ලබා දුනි! 
මහළු වයස යනු එක් අයෙකුට මහත් සතුටක් සැනසුමක් ගෙන දෙන කාල පරිච්ඡෙදයක් වනාතර තවත් අයෙකුට එය මහත් වූ කටුක කාලපරිච්ඡෙදයක ආරම්භයක් වේ! 
තාත්තා ජීවිතය හොඳින් විඳි කෙනෙකු වූවා සේම ඉතාමත් කටුක කාල පරිච්ඡදයන් හට හා කටුක අවස්ථාවන්ට මුහුණ දුන් අයෙකි. ඔහු ජීවිතය ඉතා සරළව ගෙනගිය අයෙක් ලෙස මා දකින අතර කිසිදු දෙයකින් කම්පා නොවුනු අයෙකි. තාත්තා බොහෝ සෙයින් ඔහුගේ නිදහස් සරළ ජීවිතයට ඇළුම් කලේය! ඔහු එයට කෙතරම් ත්දින් ග්‍රහණය වී සිටියේද කියනවා නම් තාත්තා ගිලී මිය ගියේ එම නිදහස් සරළ ජීවිතය තුලමය! 
අප කෙතෙක් ඔහුට ආරාධනා කලද ඔහු අප සමග ජීවත් වීම ප්‍රථික්ෂෙප කලේය! එයට හේතුවූ කරුණු කිහිපයක් මා දකිමි. ගතානුගතිකත්වයෙන් ඔහු බැහැර වීමට ඔහු කැමති නොවීය! ඔහු  ජීවත්වූ ඔහුටම සීමා වූ ජීවන රටාවෙන් ඔහු සංතෘප්ථ විය! ඒ නිසාම අපගේ සංකීර්ණ ජීවන රටාව සමග පෑහීමට ඔහුගේ කිසිම කැමැත්තක් නොවීය! ඔහු ආදරණීය සීයා කෙනෙකුගේ චරිතයට නොගැලපුනේය! වයසට යන තාත්තලාගෙන් පුත්තු බලා පොරොත්තුවන ආදරණීය රාජකාරියට ඔහු කිසි සේත්ම නොගැලපුනේය. එම රාජකාරිය අන් කිසිවක් නොව තම පුතාලා දුවාලාට හොඳ සීයා කෙනෙකු , ආරක්ෂකයෙකු වීමයි. තාත්තාට එම චරිතයට පණ පෙවීමට කිසිදූ අවශ්‍යතාවයක් හෝ නොවීය! ඒ නිසාම ඔහුට සිදු වූයේ ඩයිනෝසරයන්ට සිදුවූ දෙයමය! දරුවන් කුඩා කල පියවරුන්ගේ අඩි පාරේ යන්නාසේම විය පත් වන විට පියවරු; දරුවන්ගේ ගමන් මගට එක්විය යුතුය! ඒ රටාවට අනුගත විය යුතුය! එහිදී තම්න් අත්විඳින කුඩා දුෂ්කරතා විඳ දරා ගැනීමට පුරුදු පුහුණු විය යුතුය!
මෙය හොඳ පූර්වාදර්ශයකි!  තාත්තාට සිරිල් බාප්පලාගෙන් අශෝක බාප්පලාගෙන් ලැබුනු සවිය සේම වූ පසු පෙලක්; මටද හක්බෙල්ලාවක සිටියි. ඒ අශෝක බාප්පාගේ වැඩි මහළු පුත් පාලින්ද ය! ඔහු මා හට සෙවනැල්ලක් සේ බොහෝ කාරණා කාරණා සඳහා ලඟින් සිටියි. මමද හක්බෙල්ලාවකට මෙන්ම එහි ජීවිතයට දැඩි ඇල්මක් ඇත්තේය! මා තනිව මගෙන්ම අසමි. 
"උඹ තාත්තගේ චරිතයේ ෆොටෝ කොපිය වෙන්නද යන්නේ?" 
සත්තකින්ම එයට මා බිය වෙමි. 
මාගේ ජීවිතයේ අවසානය තාත්තාගේ අවසානයෙන් වි‍යුත්පන්න විය යුතුය!




23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...