Sunday, November 7, 2021

222. මී පැණි වන් ගී තනු 1

මගෙ හදවත හිස් කඩදාසියකි  !  එහි ඔබේ නම මා ලියා තැබුවෙමි  !!

මෙතෙක් කථාව:

මේ කියැවීමට වටිනාකමක් එකතු වීමට ලියන්නට හිතාන හිටියේ වර්ෂ එක්දාස් අටසිය ගනන් වලින්; ඒ කියන්නේ මීට ශතවර්ෂ දෙකකට කලින් උවත් මේ කථාව පටන් ගන්නේ 1973 වර්ෂයෙන්!

මේ කියන කාලේ අපි හිටියේ අවිස්සාවේල්ලේ. ඒ ගෙදර ලිපිනය 874C, කුඩගම පාර, අවිස්සාවේල්ල.  ඔය කියන කාලේ අවිස්සාවේල්ලට ෆිල්ම් හෝල් දෙකක් තිබුනා. ඉන් එකක් ඉම්පීරියල් එක හැටන් පාරේ. අනෙක කොළඹ පාරේ උක්වත්ත හංදියට පොඩ්ඩක් උඩහට වෙන්න CTB ඩිපෝ එකට එහායින් චන්ද්‍රා එක! උක්වත්ත හංදියෙන් හැරිලා යන පාර තමයි කුඩගම පාර! ඔය මං මුලින් කියපු 874C නිවස පිහිටා තිබුනේ උක්වත්ත හංදියේ ඉඳන් මීටර 600 ක 700  පමණ දුරින් පිහිටා තිබුනු මහාමාර්ග සහ වාරිමාර්ග කාර්‍යලය ඉදිරිපිට. චන්ද්‍රා හෝල් එකට අපේ ගෙදර ඉඳන් තිබ්බේ කෙටි ගුවන් දුරක්. පැහැදිලි නිහඬ රැයකදී චන්ද්‍රා එකේ දාන සිංදු අපේ ගෙදරට ඇහෙනවා ඕනෑකමින් කන් දුන්නොත්!

මා ජීවිතේ පලමු වතාවට චිත්‍රපටයක් බැලුවේ මේ චන්ද්‍රා හෝල් එකේ. චිත්‍රපටය "සුහද පැතුම"! රංගනයෙන් දායක වුනේ තිස්ස විජේසුරේන්ද්‍ර සමග මාලණී ෆොන්සේකා. පසුබිම් ගායනා එච් ආර් ජෝතිපාල සමග ඇන්ජලීන්  ගුණතිලක. ගීත රචනා කරුණාරත්න අබේසේකර. සංගීතය පී එල් ඒ සෝමපාල මෙම චිත්‍ර පටය මුලින්ම තිරගත් වූයේ 1973 පෙබරවාරි 23 වනදා!  ආන්න එකයි මම කථාව පටන් ගනිද්දීම කීවේ මේ කථාව පටන් ගන්නේ 1973 වර්ෂයෙන් කියලා!

ඒකාලේ චිත්‍රපටි දිව්වේ සිංදු උඩ. ලව් සීන් හෙවත් ප්‍රේම ජවණිකා කොමිට් කෑලි සහ සටන්  තමයි කථාවේ ෆ්‍රේම් වර්ක් එක හෙවත් දැලිස! ඒක ආවරණය උනේ සිංදු වලින්.  හිංදි ප්‍රේම කාව්‍ය මම එහෙම හැඳින්වූයේ හිංදි චිත්‍රපටිම තමයි! ඔව් ඒ ප්‍රේම කාව්‍ය වල ගැයුණු මී පැණි වන් තනු වල රසයෙන් මත්වූ සිංහල ප්‍රේක්ෂකයා තමන් වෙත ඇද බැඳ තබා ගැනීමට නම් එවන්ම වූ රසාලිප්ත තනු සිංහල චිත්‍රපට අධ්‍යක්ෂකවරුනට ඇවැසි උනා. අනෙක ඒ කාලේ බිහිවූ බොහෝ  සිංහල චිත්‍රපට වල මුල් කථාව හිංදි චිත්‍රපටයක සේයාවක්! මේ නිසාම හිංදි තනුවලට සමාන තනු සොයනවාට වඩා එම තනු වලටම සිංහල වචන බඳවා ජෝතිගේ ගැඹුරු, ආදරණීය ලයාන්විත, පිරිමි හඬින්; තිරයේ පිටු පස සිට ගාමිණීට, විජේට තිස්සට පන පෙවීම වඩාත් පහසු මෙන්ම සාර්ථක කාර්‍යය වන්නට ඇත!

"ඔයාව ජීවිතයේ මට හමුවූ මුල් දවසේ - සිනාවේ දෑසෙ අහිංසක ආදරයයි තිබුනේ"

අහන්න මෙතැනින් ඒ ජෝතිගේ මම කලින් කියපු ආදරණීය, ලයාන්විත හඬ!?

ඉතින් කථාව පොඩ්ඩක් එහා මෙහා උනා මටම නොදැනීම! මං මේ කියාගෙන ආවේ; එකල චිත්‍රපටි පටන් ගන්නට පොඩි වෙලාවකට පෙර එම ශාලා ඉදිරියේ විකුණුනු පොත් විශේෂයක් තිබුනා! ඒ චිත්‍රපටයේ ගීත අඩංගු පොත් පිංචවල්. දම් පාට, නිල් පාට, දුඹුරු පාට  වගේ තනි පාටකින් මුල් පිට කවරය අච්චු ගසා තිබුනු චිත්‍ර පටයේ රූප රාමුවකින් සැරසුනු මෙම සිංදු පොත් එකල විකුණුනේ සත දහයකටත් වඩා අඩු මුදලකට කියලයි මට මතක.  ශාලාවට යන්නට මත්තෙන් සිංදු පොතක් ගන්නා ප්‍රේක්ෂකයා චිත්‍රපටයේ ගීතය ගැයෙන වෙලාවට ඒ සමග ගයයි! මා කලින් කීවා සේ ජීවිතයේ පලමු චිත්‍රපටය ලෙස "සුහද පැතුම" නරඹන්නට ගිය වෙලාවේද එවන් සිංදු පොත් විකුණුවා මට යාන්තම් මතකය. අපේ තාත්තාට සිංදු අරහං ය! එහෙත් අයියාට එවන් පොතක් අරණ් දුන්නේය. චිත්‍රපටිය බලා ගෙදර පැමිණි පසු එම පොත බලාගෙන අයියා සිංදු කී බවක් මාහට මතක නැත! එහෙත් එම සිංදු පොත; ගෙදර පොත් පෙට්ටි හෙවත් ලෑලි වලින් නිර්මිත සන්ලයිට් පෙට්ටිවල අඩිය වේයන් විසින් අකාරුණික ලෙස කා දමනා තුරු ගෙදර තිබුනේය! වේයෝ දන්නවද ඒ සිංදුවල වටිනාකම් බොහෝ මහත්වරුන්ට, නෝනා මහත්වරුන්ට වත් නොතේරෙණ කොට!?

එම චිත්‍රපටයේ එන සුන්දර ගීතයක් පසුගිය දා;  ලිඛිතා මංජරීගේ "කඩදාසි කොලේ  - උන්මාද චිත්‍රදෝ මා" ට යටින් යෙදුවේ මතකයෙන්!  ඒ සුහද පැතුම චිත්‍රපටයට ජෝති ඇන්ජි ගැයූ "ජීවිතයේ කන්තාරේ" ගීතයයි! මෙම චිත්‍රපටයේ ගීත අතුරින් වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූයේ "දෝතින් දෝතයි - ජීවෙන් ජීවෙයි" ගීතය උනත් වඩාත්ම සුන්දර ගීතය ලෙස මගේ මතකයේ තැන්පත්ව ඇත්තේ "ජීවිතයේ කන්තාරේ - තුරුණු වියළි වැල්ලේ" ගීතයයි.

ඒ; ගීත් චිත්‍රපටයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූ ගීතය මොහමඩ් රාෆි ගයන "මේරේ මීත වා - මේරේ මීත රේ" උවත් එහි වඩාත්ම ලයාන්විත ගීතය වූයේ මහේන්ද්‍ර කපූර්  ලතා මංගෙශ්කා ගයන "ජිස්කේ සපුනේ-හ'මේන් රෝzස් ආතේ රහේ" ගීතය වාගේය!

ජීවිතයේ කන්තාරේ පමණක් නොව එම චිත්‍රපටයට ගැයුණු සියළුම ගීත හිංදි තනු වලට ගැයුණු ගීත වේ. මෙයට පිළිතුරු ලෙස ලිඛිතා ලියා තිබුනේ "සින්දුව නම් පංකාදුයි - හිංදි කොපියක් නොවුනා නම්!" කියාය. මේ ඇය වෙතින් ලියැවී ඇත්තේ මෙරට පොදු ජනප්‍රිය මතයය! ඒ ගීතය මෙතැනින් නරඹමින් සවන් දෙමින් ඉදිරියට කියවමු!

අද එතැන් සිට:

ලාංකීය කලාවට ඉන්දීය මැදිහත් වීම වර්ෂ 1750 වැනි කාලයකට දිව යන බව; 1966 වසරේදී සංස්කෘථික දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරණ්ණට යෙදුනු "ස්වර ලිපි සහිත සිංහල නෘත්‍ය ගීත"  ග්‍රන්ථය සම්පාදනය කරණ ලද විල්ම්ට් පී ජයතුංග පවසයි.

යාන්තමින් ඉන්දියාවේ සෙවනැල්ල වැටී තිබුනු මෙරට ගීත සාහිත්‍යයට  ක්‍රිස්තු වර්ෂ1880 දී ඉංදියාවේ සුප්‍රසිද්ධ වාණිජ්‍ය හිංදුස්ථානි සංගීතනාටක කණ්ඩායමක් වූ බොම්බායේ ඇල්පින්ස්ටන් නාටක සමාගමේ නළු නිළි කණ්ඩායමක් සංගීත නාටක රඟ දැක්වීමට අවශ්‍ය උපකරණ සම්භාරයක් රැගෙන දැවයෙන් තැනූ තමන්ගේම රුවල් නැවකින් කොළඹ වරායට පැමිණීමත් සමගම වෙනත්ම මගකට පිලිපන්නේය!

එකල බොම්බායේ මෙම කර්මාන්තයේ අයිති කරුවන් වූයේ පාර්සි ජාතිකයින්ය. මෙම කණ්ඩායම බාරව පැමිණියේ කේ ඇම් බලිවාලා නමැති; පසුව එංගලන්තයේ රජ මැදුරෙන් පවා ප්‍රශංසා ලැබූ කලාකරුවෙකි.

ඔවුන් ලංකාවට පැමිණ ගතකල මුළු කාලය තුල මෙරට රඟ දක්වන ලද ෂේක්ස්පියරයන්ගේ රොමියෝ ජුලියට් ඇසුරින් නිර්මාණය කල නාට්‍යය මෙරට රසික රස මනස පුබුදුවාලූවේය.  1852 වසරේදී උපන් සී දොන් බස්තියන් නමැති නිර්මාණශීලී තරුණයා තමන්ගේ හිත මිතුරණ් කිහිප දෙනෙකුත් සමග කොටුවේ ෆ්ලෝරා ශාලාවට සෑම දිනෙකම පාහේ වැදී රෝමියෝ ජුලියට් නාට්‍යය; මනසේ ග්‍රහණයට නතු කර ගත්තෝය!

සී දොන් බස්තියන් යනු හින්දුස්ථානී රාගධාරී සංගීතයට ඉමහත් රුචියක් දැක්වූ අයෙකි. බලිවාලාගේ පැමිණීමට පෙර මෙරට වේදිකා ගතවූ නාඩගම් වලට වඩා වෙනස්ම වූ සංගීතරටාවකින් සමන් විත වූ මෙම කලා කෘථි සඳහා බලිබාලා භාවිතාකල නාම පදය වූයේ "නාටක්" යන්නය. 

බලිබාලා ඇතුළු කණ්ඩායම මෙරටින් ආපසු නැව් නැග කෙටි කලකින් සී දොන් බස්තියන් විසින්ද "රොමියෝ සහ ජුලියට්" නමින් නාට්‍යයක් ඉදිරිපත් කල අතර ඒ සඳහා යොදගෙන තිබුනේද බලිබාලාගේ ගීතයන්ම විය. ඒවා බොහොමයක් "ගසල්" සම්ප්‍රදායේ ගීත විය. එඩ්වර්ඩ් ජයකොඩි විසින් ගායනා කරණ මුව මුක්තා ලතා  ගීතය මේ ඉස්ටයිල් එකේ ගීතයකි!

බස්තියන් තම කලා කාර්යයට භාවිතා කල නාමය වූයේ නෘත්‍යය ය! එය කාලයකදී ව්‍යවහාරයේ නූර්ති විය. මේ  හින්දුස්ථානී සංගීතය මෙරට ව්‍යාප්තවූ එක් මාර්ගයකි. එතැණ් පටන් සී දොන් බස්තියන් විසින් රචනා කොට ප්‍රදර්ශනය කරණ ලද රෝමියෝ ජුලියට්, රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම, ශූලා නොහොත් කපටි බෑනා, බ්‍රම්පෝර්ඩ් හෙවත් වොලිලන්ඩ් සහ එන්ග්ලින්, සෙලෙස්තිනා, රුබිනා, මාලිනී සහ චිත්‍ර, ඇලඩින් සහ පුදුම පහන, හරිශ්චන්ද්‍ර, ස්වර්ණතිලකා, බ්‍රැඩොව්රා කතාව යන සියළුම නෘත්‍ය සඳහා ඔහු හින්දි ගී තනු ප්‍රයෝජනයට ගෙන ඇත.

නෘත්‍ය කලාවේ අවසානය සමග බිහි වන්නේ චිත්‍රපට කලාවයි. මෙරට ප්‍රථම සිංහල කථා නාද චිත්‍ර පටිය  වූයේ කඩවුනු පොරොන්දුවයි. මෙම චිත්‍රපටයේ පටන්ම සිංහල චිත්‍රපට ගීතය හිංදි ගී තනුවලට නතු වී තිබුනේය. සිංදු දුසිමකින් සමන්විතවූ කඩවුනු පොරොන්දුවේ සංගීත අධ්‍යක්ෂණය නාරායන අයියර් ගේය. එතැන් පටන් ගත් සිංහල චිත්‍රපට වංශ කථාවේ කියැවෙන සංගීත අධ්‍යක්ෂක වරුන් 50 කට ආසන්න ගනනාවගේ නම් කියැවෙන අතර එයින් බොහෝ දෙනෙකු තම චිත්‍රපට පසුබිම් සංගීතය සඳහා හිංදි තනු යොදා ගෙන ඇත. මෙහිදී පී එල් ඒ සෝමපාලයන් විශේෂ තැනක් ගනී. 1973 වසරේදී; එවකට නවකයෙකු ලෙස සරත් දසනායක; "සදහටම ඔබ මගේ" චිත්‍රපටයට ස්වතන්ත්‍ර ගී තනු නිමවා සිංහල චිත්‍රපට ජනප්‍රිය සංගීතයේ නව පෙරළියක් කලේය. එහෙත් ඉන් පසුවත් අන් අයත්, සරත් දසනායකමත් හිංදි තනු සිංහල ගීත බවට පෙරලීය.

පී එල් ඒ

මෙම හිංදි තනුවලට සිංහල වචන ලියන ලද අංක එකේ ගීත රචකයා වන්නේ කරුණාරත්න අබේසේකරයි.

කරු
1936 එච් ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් සිරි බුද්ධ ගයා විහාරේ ගැයුවේද හිංදි තනුවකටය. දැණ් ආසාවට වත් අහන්නට නොලැබෙන අමරදේව මාස්ටර්ගේ "නවක චලිත සීත සුළඟ" ගීතයද හිංදි මෙලඩියකි. ෂෙල්ටන්පෙරේරා මාස්ටර්ගේ බොහෝ ගීත තුල හිංදි මෙලඩි හොල්මං කරයි.  "ආරාධනා" හිංදි චිත්‍රපටයට එස්. ඩී බර්මන් ගායනා කරණ "කාහෙ කො රෝයේ - චහෙ ජො හෝ යේ" ගීතය; එගොඩහ යන්නෝ ගීතයේ ගෑවී නොගෑවී යන අවස්ථාද නැත්තේම නොවේ. (මේ ගීතය අහලාම මෙතනින් ඉදිරියට යමු! සංගීතය යනු විශ්ව භාෂාවක් බවට තියෙන මා දන්නා නොම්මර එකේම උදා හරණය! පෙම්වතා මිය ගිය පසුව තම පියා සමග පිටත්ව යන ඇයට අවසානයේ; තම එකම රැකවල් කරු වන පියාද නැතිවී යයි! ඒ හැඟීම අසා බලා තේරුම් ගන්න! අවසානයේ ඇය; පෙම්වතාගෙන් ලත් දරුවා සමගින් මෙලොව තනිවී යයි!)

පෙම්බර මධූ චිත්‍රපටයට කරුණාරත්න අබේසේකර වචන ලියා පී එල් ඒ සෝමපාලගේ සංගීතයට වික්ටර් රත්නායකයක ගයන "පෙම්බර මධූ මගේ" ගීතයද එවන් නොරට මෙලඩියකි. එය පකිස්ථානු මෙලඩියක් යැයි; මෙම ලිපිය සම්පාදනය කිරීමට කරුණු එකතු කිරීම සඳහා අද උදෑසන ප්‍රවීන හිංදි ගී වැඩසටහන් ඉදිරිපත් කරණ්නෙකු වූ රංජිත් එදිරිසිංහයන් දූරකථනයෙන් සම්බන්ධ කරගත් මොහොතේ පැවසුවද එය 1976 වසරේ තිරගතවූ කබී කබී චිත්‍රපටයට මුකෙෂ් ගැයූ "කබී කබී මෙරෙ දිල් මේන් " ගීතයේ උනුසුම දැනී ඇත. කාලය ගෙවී යද්දීමුළු ගීතයම ඒ ආකාරයෙන්ම සිංහලට නොගෙන "ජාමෙ බේරාගෙන  වැඩේ ගොඩදාගන්නා හැටි" අපේ තනු නිර්මාපකයින් පුරුදුව සිට ඇත. ඒ නිසාම "පෙම්බර මධු" ගීතයේ මෙලඩියේ  හා කබී ගීතයේ මෙලඩියේ ටච් එක තියෙනවාදැයි කියා සිතා ගැනීමට නොහැකි තරම්ය!

පසුව හොයාගෙන යන විට එම ගීතයේද අක්මුල් සොයා ගන්නට  ලැබුනි. එය උර්දු බසින් ගැයුණු ගීයකි. 1971 සැම්තැම්බර් මස 17 වන දින තිරගත වීම ඇරඹි  Chiragh Kahan Roshini Kahan චිත්‍ර පටයේ මෙය ගැයුනි. මෙම ගීතය ඇතුලත් චිත්‍ර පටය ඉන්දියාවේදි හින්දි චිත්‍ර පටයක් ලෙසද පාකිස්ථානයේදී උර්දු බසින්ද නිමවා ඇත. මෙම උර්දු චිත්‍රපටයට මෙම ගීතය ගයා ඇත්තේ Masood Ranaa නමැති ගායකයා විසින්ය! මෙතැනින් අසා බලන්න! 

දැන් ඊළඟට කථා කලයුතු වැදගත්ම දේ වන්නේ හිංදි අනුකාරක ගීයක් නිර්මාණය පහසු කටයුත්තක්දැයි කියා විමසීමය. ගීතයක් යනු තුන් ඈඳුතු නිර්මාන කාර්‍යයකි. ගීත රචකයකු තනුවකට වචන ලිවීම නැතිනම් පද එක් කිරීම කෙතරම් අපහසු දැයි ඔබ මොහොතකට සිතුවාද?

මේ බලන්න දීපිකා ප්‍රියදර්ශණී ගයන සුනිල් ආර් ගමගේ රචනා කල මේ ගීතය ගැන සිතන්න.

 "කවිය ඔබ  

 තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී

සිත දෙගිඩියාවෙන් තව නොලියූ

කවිය ඔබ - කවිය ඔබ"

මේ ගීතය කිසිදා අසා නැති අයෙකු ; මෙම පද මාලාව දුටු විට; "පුළුවන්නම් සිංදුවක් කරලා පෙන්නපන් කෝ!" අරියාදුවට ලියූ වචන පෙලක් සේ දැනෙනු ඇත! ඒ මන්ද එහි එළි සමයක් හෝ රිද්මයක් දක්නට නොමැති වීමයි. තවත් ලෙසකින් පවසනවානම් කවියා තම නිදහස උපරිමයෙන් ගෙන පබැදූ කවි පෙලක් සේ එය පෙනේ.

එහෙත් ඔබ සිතන්න මෙලඩියකට පද ගැලපීමේදී එය කෙතරම් අසීරු කාරණයක් වනවාදැයි කියා!? මන්ද මෙලඩිය තුල ගැයෙනවා වගේම ගීතයේ ලය හා සෘතියට එය ගැලපිය යුතුය. එසේ නැතිව ඉබාගාතේ යන වචන වලින් මෙලඩිය පුරවා ලීමෙන් සාර්ථක ගීතයක් නිර්මාණය කරගත නොහැක!

මහේන්ද්‍ර
මේ බලන්න මේ ගීත දෙක අහලාම. පලමු ගීතය මහේන්ද්‍ර කපූර් විසින් 1967 වසරේදී "හම්රාzස්" චිත්‍රපටයට ගැයූවක්.  1970 දී "දැන් මතකද?" චිත්‍රපටයට ගැයුනු "මේ සීත සුව දෙන රැයේ" යන මේ ගීත දෙකම  එක දිගට මෙතැනින් අසා බලන්න.

දැන් මෙයට සවන් දෙන්න!  ඒ  කුමන ගීතයේ අනුවාදනයද? ඔව් එය "නින්ද නේන රාත්‍රියේ ගීතයේ නම් මෙයටත් සවන් දෙන්න! ඒ කුමන ගීතයේ අනුවාදනයද? ඒ "චාවුද්වින් ක චාන්ද් හෝ" රාෆිගේ ගීතයයි.  එහෙත් මුල් අනුවාදනය සවන් දෙන විට එය කෙතරම් දුරකට "අපේ" කරගෙන අයිති කර ගෙන සිටිනවා දැයි ඔබට සිතා ගත හැකිද? ඉංදියාවෙන් ඉල්ලා ගත් රෙදි කැබැල්ලක් වුවත් ගීත රචකයා වන අජන්තා රණසිංහ හා ගායකයා වන එච් ආර් ජෝතිපාල  එය අපේ මිම්මට මසා ඇති අයුරු කෙතරම් අපූරුද? ජෝතිගේ ගීතයත් මෙතනින් අහලාම යං!

 (නින්ද යන්නෑ! සිංදුවක් ලියන්නෝන!  හ්ම්ම් . .  නින්ද නේන රාත්‍රියේ . . . . හරි!!)
මේ ගීතය පිළිබඳව අදහස් දක්වන; පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ රූපවාහිණී හා මාධ්‍ය අංශයේ ජේෂ්ඨ කතිකාචාර්‍ය අතුල සමරකෝන් මහතා පැවසූවේ හරි අපූරු කථාවකි. එනම් ඔහු ඉංදියාවට ගිය අවස්ථවකදී හමුවූ පිරිසක් පවසා ඇත්තේ මෙම මෙලඩියේ ඔරිජිනල් හිංදි ගීතයට වඩා සුන්දරව ජෝති ගයන බවය!

අරථ රසය හා මෙලඩියට අනුව වචන ලිවීම පහසු කටයුත්තක් නොවේ. ගායකායා හට මුහුණ දීමට සිදුවන්නේ ඊටත් වඩා අසීරු තාවයකටය. දැනට ගයා ඇති ගීතයක මෙලඩියකට ගයන විට  අසන්නන්හට එය සංසන්ධනාතමකව බැලීමට නිර්ණායකයක් තිබීම කෙතරම් අභියෝගයක්ද? මීට මා කදිම උදාහරණයක් දක්වන්නම්. මේ භාරතයේ මහා සංගීතඥ්ඥයෙකු වන නෞෂාඩ් අලී  ගේ  දැවැන්ත ඔකේස්ට්‍රාව ඉදිරියේ මොහමඩ් රෆි "ඕ දුනියාකේ රඛ වාලේ" ගීතය ගැයූ අයුරියි. මෙතැනින් අහලම බලන්නකෝ. මේ එම ගීතයම භාරතයේ යේසුදාස්ගේ හඬින් මෙතැනින් අහන්න!

නෞෂාඩ්
රෆි

අවසාන වශයෙන් අපේ මොහොදීන් බෙග් ගේ හඬින් එම ගීතයේ සිංහල ගීතය වන "මායා" මෙතැනින් අසා තේරුම් ගන්න ස්වර තන්ත්‍ර නිර්නාණයකට වඩා අනුකාරක ගීතයක් ගැයීමේදී ගායකයාට  ඇති අභියෝග කෙතරම්දැයි කියා!?

අවසාන වශයෙන් මම මේ කථිකාවට සම්බන්ධ කර ගත්තේ විශාරද ආනන්ද රාජපක්ෂවයන් ය!  " අනන්ද අයියා" ලෙස ආදරයෙන් හඳුන්වන ඔහු පිළිබඳව මීට පෙරද මා ලියා ඇති අතර ඔහු මෙරට සිටින හිංදි ගී ගයන හා ගැයුව හැකි හඬකට හිමිකම් කියන අයෙකි. මහේන්ද්‍ර කපූර්ගේ හඬට සබැඳි හඬකට හිමිකම් කියන ඔහු සමග කෙරුණු කතා බහේදී ඔහු හිංදි අනුකාරක ගීත හැඳිවූයේ "සරළ වූවාට බොළඳ නොවුනු" ගීත සම්ප්‍රදායක් ලෙසය. 
ඔහුගේ ප්‍රකාශයේ පරිදි නුවන් ගුණවර්ධනගේ "කිරි මුහුදු වෙරළේ . . . " ගීතය සේම හරූන් කුමාර් ලන්ත්‍රා ගයන "මගෙ නාමලී බැඳි ආදරෙන් . . ." ගීතය පවා හිංදි අනුකාරක ගීතයන්ය. එසේම හින්දුස්ථානී රාගධාරී සංගීතයට අනුව ගැයුණු ගීතත් මෙසේ අප බැහැර කලයුතු දැයි ඔහු අසයි.

" මන්නාරම් පිටි වැල්ලේ - ෆ්‍රෙඩී සිල්වා "
" ඉර පායා. . . ඉර පායා . . . සමිතා මුදුන්කොටුව"
"මධුර යාමේ  . . සුවදෙ සාමේ . . . . මුත්තුසාමි"
"මනරංජණ දර්ශණීය ලංකා . . . කේ රාණි"
"අතීතය සිහිණයක් පමණයි . . .  කරුණාරත්න දිවුල්ගනේ"

මේ සියළු ගීත හිඳුස්ථානී සංගීතයේ එන "බූපාලි" රාගයට අනුව ගැයුණු ගීත වේ. මේවාත් හිංදි කොපි ලෙස අප බැහැර කරණ්නෙමුද?  

මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන් සම්බන්ද කර ගැණීමට ගත් අවසාන උත්සාහය අවසාන වූයේ  "හෙට කථා කරමු!" යන පොරොන්දුව මතය! "හෙට" එතුමා කථ කලොත් එයත් මෙම ලිපියට ඇතුලත් කරණ්නම්! එතෙක් කියවන්න!

68 comments:

  1. සිංදු ගැන කියන බ්ලොග් දෙක තුනක් තිබ්බ. දැං එකයි ඉතුරු. ඒකත් මේ අව්වස්සෙ හොයාගන්න බෑ. හෙට වත් බලල ලිංක් කරන්නං.
    ඔබේ සටහන කදිමයි. සෑහෙන්නට වෙහෙස වී මහන්සි වී තොරතුරු හොයල සකසල තියෙනව. ස්තූතියි, ඔබේ මහන්සියට

    ReplyDelete
    Replies
    1. මං එක වෙලා කියපල්ලකො 😃😃😃

      Delete
    2. http://sinduano.blogspot.com/
      http://hadageepotha.blogspot.com/

      Delete
    3. මහේෂ්ට:- ඔව් කිහිපයක් තිබුනා තමයි. ඉන් දෙකක ලිංකු ප්‍රසන්න පහත දක්වා තිබෙනවා. හද ගී පොත නැවත ලියන්නම් කියලා පොරොන්දු උනා කථා කලාම තිස්සට! ඇනෝටත් කථ කරණ්නම්.
      කොහොම උනත් ඔයා තමයි එක!

      Delete
    4. ඉතිරි ජීවිත කාලෙම වෙන් කර ගත්තත් මෙ blog අඩවි කියවන්න, සිංදු රස විඳින්න වෙලාව මදි වෙයි වගේ.. දැන් නං මට blog ලිවිල්ල පැත්තකට දාන්නත් හිතෙනවා... සත්තකටම.

      Delete
    5. දෙයියනේ ලිවිල්ලනං නවත්තන්න එපා මහත්තයෝ!

      Delete
    6. එහෙනම් එහෙම හිතන්නේ නැතිව ඉන්නන්කෝ!

      Delete
  2. හ්ම්ම්ම් හ්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. මොකද හ්ම්ම්! හ්ම්ම්!! ගාන්නේ!? මොනවත් ලියන්නේ නැත?

      Delete
  3. තිස්ස ලියයිද?

    ReplyDelete
    Replies
    1. ලියනවා කියලා මට පොරොන්දු උනානේ!

      Delete
    2. මෙව්වා සංවිධානාත්මක checkmate කෙරිලි ;)

      Delete
    3. ඕං බලන්නකෝ ඉතිං!? දැං ප්‍රාජෙයි මමයි ද වැරදි; කියන්නකෝ?

      Delete
  4. හරිම වටිනා සටහනක්. තව ලියන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. ඔව් අනුරුද්ධ මේක ලියන්න ගත්තු කාලය වැඩි උනා. ඉතින් ඉක්මනට ඒක ඉවර කරලා පල කිරීමේ හදිස්සියක් තිබුනා! ඒ නිසාමයි පල කරණ්න මොහොතකට පෙර හෙඩිමට 1 කියලා විශේෂනයක් යෙදුවේ. බලමු ඉස්සරහට තව එකක් ලියමු.

      Delete
  5. පට්ට රහ ලිපියක් මහත්තයා. කතරට වැටිච්ච දිය පොදක් වගේ.😊
    ලියල තියන රටාවටම බඩගිනි වෙනවා. මේ අදාල හරියෙ ගූගල් මැප් පිංතූර කෑල්ලක්, දෙකක ස්ක්‍රීන් සොට් දැම්ම නං, ආතල් ඩබල් වෙනවා.

    ස්තූතියි. 🙏👌😊

    ReplyDelete
    Replies
    1. අන්න පිංතූර ටිකක් නම් එල්ලුවා! බොහොමත්ම ස්තූතියි මෙහි පැමිණියාට!

      Delete
  6. හැත්තෑව දශකයේ අග භාගයේ පාසැල් සිසුන් සේ සිටින විට මගේ ප්‍රියතම ගායකයා ජෝතිපාල යයි කීවිට මගේ මිතුරකු මා දෙස අප්‍රසන්න ලෙස බලා "ඔයා කොහොමද ජෝතිපාලගේ සිංදුවලට කැමති වෙන්නෙ?" යි ඇසූ බව සිහිවේ. අද වන විට ඔහුගේ ගීතවලට ඇකි පිළිගැනීම දැක ගැනීමට ඔහු ජීවත්ව නොසිටීම කණගාටුවට කරුණකි. සමහර විට ජීවත්ව සිටියා නම් එවන් පිළිගැනීමක් නොලැබෙන්නට ද තිබිණැයි සිතේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම කුහක ප්‍රබුද්ධයින් ජෝතිව කුල්ලෙන් පොලා ඉවත දැම්මා!

      Delete
  7. මට මතක් වුණේ පැටියව මුහුදට වැටුණම වලිගයෙන් මුහුද හිස් කරන්නට වෙර ගත්තු ලේනිගේ කතන්දරේ!

    අනේ, අඩු තක්සේරුවක් කරනවා කියලා හිතන්න එපා. තව කොච්චර දේවල් ලියන්න තියෙනවාද අප්පේ. යකඩ ගොඩවල් ගැන ලියන අස්සේ තව මේ වගේ posts ගොඩකුත් ලියන්නකෝ. කර්ණරසායන ගීත ඇතුලත් පෝස්ටු!

    මට දැනිච්චි ලොකුම නොගැලපීමක් ගැනත් කියන්නමයි හිත.
    භූපාලි රාගයෙන් නිර්මිත ගී 5 ක් ඔබතුමා දක්වලා තියෙනවානේ. අන්තිමට

    ඊට උඩිනුත්, යටිනුත් ඇති වැකි කිහිපයෙන් කියවෙන්නේ අර ගීත පහම ස්වතන්ත්‍ර ගීතය කියනවා වගේ දෙයක්. මෙ මට වැටහුණු හැටි. (මම වැරදියි නං සමා වෙන්නොනි - දහස් වාරයක්.) අර ගීත පහෙන් මැදම එක- මධුර යාමේ හින්දි කොපියක්නෙ. ඒක ඒ ලැයිස්තුවේ තිබීම 'රස භංග'යට හේතුවක් වගෙයි නේද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ නිදි මහත්තයා! මගේ ලිවීමේ අඩුපාඩුවක් ඒක! ඇත්තටම මම කියන්නට ගියේ කථා දෙකක්. අන්තිමේ එකක් වත් කියැවිලා නෑ වගේ.
      1.හිංදි තනු අමුවෙන්ම ගන්න අය වගේම ඒවා ටච් කරලා තනු හදන අයත් සිටිති. පහත දැක්වෙන ගීත පහම එකම රාගයක් ආශ්‍රය කොට නිපදවා ඇතිමුත් ඒවා අසන සාමාන්‍ය රසිකයෙකුහට ඒවා රාගාශ්‍රිත ගීත ලෙස නොපෙනේ. බලන්න එක් එක් ගීතයේ වෙනස.
      2. හිංදි තනු කොපි කිරීම අපරාදයක් නම් හිංදුස්ථානි රාගාඅශ්‍රයෙන් ගී තනු යෙදීමත් වරදකි. සාමාන්‍ය රසිකයෙකු හට නොතේරුණද පහත දැක්වෙන ගීත පහම එකම රාගයක් මුල්කරගෙන ප්බැදුනු ගී තනුය. මේ නයින් බලන කල ස්වතන්ත්‍ර නිර්මාණයැයි වෙන්කල හැකි යමක් ඉතුරු වේද?

      Delete
    2. එහෙම නම් අවූලක් නැහැ! ස්තුතියි!!

      නමුත් ඔබතුමා 2 යටතෙ පෙන්වන තර්කය ගැනත් මගේ හැඟීම කියන්න ඕනි.
      කවුරුන් හෝ නිර්මාණය කල තනුවක් කොපි කිරීම එකක්. නමුත් එකම රාගයක් ඇසුරු කරගෙන වීවිධ ස්වතන්ත්‍ර නිර්මාණ කිරීම තවෙකක්. ඔබෙ පෝස්ටුවේ අගට තියෙන ගීතම ඊට නිදසුන්!

      Delete
  8. මේ ලිපිය කියවන සංගීත දැනුමැත්තෙකුගේ උත්තරයක් බලාපොරොත්තුවෙනුයි මේ comment එක එවන්නේ.

    මා නැරඹු සංගීත වැඩ සටහනකදී කියැවුනා ගීතවලින් 99.99% කටම පොදු ධර්මතාවක්. ඒවා පටන් ගන්නා ස්වරවල සිට කෙමෙන් ඉහළ- පහළ යන බව. නිතරම ගීතයේ අන්තරා කොටස් ආරම්භක ස්වරවලට වඩා උච්ච ස්වරවලින් ඇරඹෙන බවත් එහිදී කියැවුනා.
    නමුත් ඒ ක්‍රමයෙන් බැහැරව උච්චතම ස්වරවලින් පටන් ගෙන ගයලා අන්තරා කොටස් පහළ ස්වර ඇසුරු කරමින් නිර්මිත ගීයක් ගැන ඒ වැඩ සටහනේදී කිව්වා.
    අවුරුදු ගණනාවක් තිස්සේ මතක් කරනවා, එක- එක්කෙනාගෙන් අහනවා ඒ ගීතය මොකක්ද කියලා. මෙහෙම වෙලාවකම මගෙන් කියවිලා- අර සිරිබිරිස් උන්නැහේ හොයලා එවපු 'පොල් ගහ යට - කොටිය අපට- අපි කොටියට' සිංදුව වගේ මෙ ගීතයත් හොයා ගන්නකල් හිතට නිවනක් නෑ.

    දැනුවත් සුධීහු මට කරුණා කරත්වා!

    ReplyDelete
    Replies
    1. හොයලා දෙන්නම්! පොඩි කාලයක් දෙන්න!

      Delete
    2. අහන්නත් සන්තෝස උත්තරයක්! බලාගෙන ඉන්නවා ඔන්න...

      Delete

  9. ඊතා හොද ලිපියක්. හිත අතීතයට ගියා, මතක විදියට බද්දේගම විලාසිනි හෝල් එක වගේ. මම මුලින් ගියේ බ්ය්ස්කෝප් බලන්න නම් නෙවේ, මාමා අරන් දුන්න ගල් බනිස් කන්නඊ. අද මම හින්දි හා හින්දි කොපි පිස්සෙක්. හින්දි එක හා කොපිය එකට රෙකෝඩ් කරල අහන එක පිස්සුවෙ හොදම එක. අත්හදා බලන්නකෝ. Wijebahu

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඒ සුන්දර කාලය ආයේ කවදාකවත් එන්නේ නෑ විජේභාහු මහත්තයා!

      Delete
  10. සරත් දසනායක හින්දි කොපි ගැහුවා කියන එක නම් මට සුඅර් නැ Wijebahu

    ReplyDelete
    Replies
    1. අපෝ තියෙනවා! ඒවා උදාහරන එක්කම ලියන්නම්කෝ 2!

      Delete
  11. මරු තට්ටේ.මට වැස්ස ගංවතුර අමතක උනා. සිංදු ඔක්කොම ඇහුවා. බ්ලොග් එකක් කියවන්නට ගිය වැඩිම කාලය. දෙක එනකල් නොඉවසිල්ල.

    ReplyDelete
    Replies
    1. 2 ක ලියවෙන්න තරමක කාලයක් යාවි! විස්තර ටිකක් එකතු කරලා ලියන්නම්! ස්තූතියි ආවාට!

      Delete
  12. හින්දි තනු වලට සිංහල පද මාලා දාපු ගීත වල ලැයිස්තුවක් මීට වසර දොළහකට විතර කලින් උපේන්ද්‍ර සමරනායක කියලා මහතෙක් ලියු Upendras's Blog කියන අඩවියේ තියනවා. මටත් හිටපු ගමන් ඔරිමජිනල් හින්දි එක අහන්න හිතුනාම ඒකට ගිහිල්ලා තමයි බලා ගන්නේ.

    https://musicfilmlk.blogspot.com/2009/08/origins-of-sinhala-film-cover-songs.html

    මමත් ලංකාවේ ඉන්දැද්දී ජෝතිපාල හෝ මිල්ටන් පෙරේරා දෙදෙනාගේම (හින්දි කොපි) ගීත වලට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් දැන් ඒ දෙන්නාම මගේ ප්‍රියතම ගායක ලැයිස්තුවේ ඉන්නවා.

    මේ මාතෘකාව (මී පැණි වන් ගී තනු 1) සහ ඒ හා බැඳුනු විස්තරත්, ගීතයනුත් අපි හැමෝම හැමදාම ආදරය කරන එකක් කියලා නම් විශ්වාසයි.

    ReplyDelete
  13. සෑම් මහත්තයා ඔබ තුමා දක්වා ඇති බ්ලොග් එකට ගොඩවැදුනා! අම්මට සිරි ! ඒක සුපිරි වැඩක්!
    මම "මී පැණි වන් ගී තනු!" කියලයි මුලින් ලිව්වේ. පස්සෙදි මටම හිතුනා තව ටිකක් එකතු කරලා තව පෝස්ට් එකක් ලියන්න පුළුවන් වෙයි කියලා! ඒනිසයි 1 කියලා දැම්මේ! ස්තූතියි පැමිණියාට!

    ReplyDelete
  14. තට්ටයා මහත්තයෝ, වෙනදා වගේම හිතේ අහුමුලු අතගාන්න හිතෙන මාතෘකාවක් අරන් ඇවිත්....... තොරතුරු වලටයි මහන්සියටයි ස්තුතියි.
    කරුණාරත්න අබේසේකර මහත්තයාට හින්දි තනුවලට අර්ථවත් වචන දමන්ට වගේම එක වචනයක් එහා මෙහා කරලා සින්දුවේ තේරුම උඩු යටිකුරු වෙන twist දමන්ටත් ලොකු හැකියාවක් තිබිලා තියෙනවා. හොඳම උදාහරණය ජෝතිපාල මහත්තයා කියන "මේ ජීවනයේ මුළු සංසාරේ" සින්දුව කියලයි මට නම් හිතෙන්නේ. ඉස්සෙල්ලාම මේ සින්දුව අහන කෙනෙකුට සින්දුවේ අන්තිම පදය කියනකං තේරුම අල්ලා ගන්න බැහැ නේද? සින්දුව කාවෙනුන්ද කියන එක තියෙන්නේ එකම එක වචනෙක විතරයි. හිතකට එන සිතුවිලි කොලේකට ගත්තම අපිට දැනෙන අපූරුව........
    "සුදුපාට මීදුම් ගලාලා" සින්දුව 1972 අවුරුද්දේ "එදත් සූරයා අදත් සූරයා" චිත්රපටියට කරුණාරත්න අබේසේකර මහත්තයා ලියපු ජෝතිපාල මහත්තයා කියපු හරිම ලස්සන ගීතයක්. මීට පෙර මොහොමඩ් රාෆි මහත්තයා මේ තනුවටම "කෝ හෙයි ජො සප්නෝ මෙ ආයා" සින්දුව කියල තියෙනවා. එල්විස් ප්‍රෙස්ලි මහත්තයත් මේ තනුවටම "මාගරීටා" කියන සින්දුව කියල තියෙනවා. මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්.
    https://m.youtube.com/watch?v=AhB-iWQygsA
    සංගීතය විශ්ව භාෂාවක්. ඒවාට ජාති භේද දැනෙන්නේ නැහැ. හරිම අපූරුයිනේ........

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බොහොමත්ම ස්තූතියි පෝස්ටුව කියවලා ඊට අගයක් එකතු කලාට!

      Delete
  15. මේක අමුවෙන් කියවනවාට වඩා කාලක් ක්‍රියා කල වෙලාවක නිවිහැනහිල්ලේ කියවන්න වටින ලිපියක්. ඊට පස්සෙ සම්පුර්න කොමෙන්ට් එකක් දාන්නනම්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඕක ලිව්වෙත් එහෙමම තමයි!

      Delete
  16. මී පැණි වන් ගී තනු!!!
    හඃ, තනු නම් හොඳයි, නමුත් ඔය කියන කාලේ අඩුම ගන්නේ කොල්ලෙක්ට ට්‍රිපක් ගිහිල්ල පොඩ්ඩක් නාල කරලා ඉන්නවත් නිදහසක් දුන්නද ඔය කාලෙ හිටපු සෝ කෝල්ඩ් ගීත රචකයෝ. ඒවාටත් සොංග්ස් ලිව්වා.
    Yu තුමාම කියන්නකෝ මේවා ඇහුවම 'චන්දනල' ආයේ ට්‍රිප් යයිද කියල .

    තනු ගැන කියනවානම්, එදා බොහොමයක් සිංහල ගීත වල හින්දුස්ථානි රාග වල අභාෂය තිබෙනවා. සිංහල විතරක් නෙවේ, ද්‍රවිඩ ගීතවලත්, Yu තුමා බලන්න ඉලෛයරාජාගේ ඕල්මෝස්ට් ඕල් සොන්ග්ස් රාග බේස් කර ගත්ත ඒවා තමා.

    ReplyDelete
    Replies
    1. චන්දනට කරපු වැඩේ ගැන නම් මමත් එකඟ නෑ! ඔතන කිව්වේ "චන්දන; ඇල්ලෙන් නාලා . . ." කියලා විතරයි. බලන්න්කෝ ඊට වඩා කොච්චර සවුත්තුද කියලා "චන්දන; ඇඟ ගාලා . . ." කියපු එක . ඒක නිකං චන්දන ඇඟ පුරා ෆුල් ශේව් එකක් අරං වගේ! මමත් නෑ ඕවට නං!

      Delete
  17. සමාජ ජාලා වලත් බ්ලොග් වලත් රස හිඳිලා තියන කාලෙක මේ වාගෙ ලිපි ඉතිං මල් මසුරං...
    හැඟීම් තෙරපිලා ගොනු වෙලා හිතින්ම සංස්කරණය වෙවී තියාගෙන ඉඳල කෙරෙන නිර්මාණ තමයි ඉතිං බොහොම රසවත්...
    උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් ඇස් පිහිද පිහිද දාන එව්වයෙ ඉඳන් නින්දට යනකල්ම කාපු බීපුවයි, මහමග දැක්ක දේවලුයි, හිතට නැගෙන ඕනම දේකුයි අතොරක් නැතිව post කරණකොට සිතුවිලි වල කෝ සංස්කරණයක්... එක කොටසක් එහෙම පෝස්ට් කරණ අතරේ ඒකටත් කම්මැලි තවත් කොටසක් එව්වා ගෙඩි පිටිංම පෝස්ට් කරනවා... ඉස්පාසුවක් නෑ ඉතින් කියවන්නවත් නිර්මාණකරණයක යෙදෙන්නවත්... අපරාදෙ...
    අප හැම උද්‍යෝගිමත් කරමින් කරන මේ වැඩේ නම් ඉහලින්ම අගය කරනවා - ලියන්නම් මාත්... :)

    පෝස්ට් එක ගැන කියනවනම් අපි හිතන්නෙවත් නැති සිංදු වෙන මෙලඩි කියල දැනගත්තම ඇත්තටම පුදුම හිතෙනවා... 'දෑස පා සිනා කියන රහස තේරුණා...', 'ලස්සන රත්තරන් බබෝ...', 'කොමල පපා මුකුලු පපා..', 'මගෙ නාමලී...' 'හස රාජිනී සේ මනමෝහනීය රංගනීයේ...' ඔක්කොම හින්දි තනු...

    දෙවනි කතන්දරේ: සංගීතය විශ්වීය බව හැබෑව, එය හිතට ප්‍රහර්ශයක්, ඍංගාරයක් වාගේ හැඟීම් භාෂාවෙන් ස්වායත්තව දනවන්න පුළුවන්... ඒත් නෙතට කඳුලක් ගෙන එන්නනම් සාහිත්‍ය ගුණය අනිවාර්‍යයෙන්ම තියෙන්න ඕන කියල හිතනවා... උදාහරණයක් විදිහට ඕ සජනා ගීය හිත ශෝකයෙන් බර කලත් කඳුලක් උපද්දන්නෙ නෑ.. ඒත් "මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ..." ගීය අහද්දි නෙතට කඳුලක් නොඋනුනන කෙනෙක් ඇද්දයි සිතමි... සංගීතය සාහිත්‍යය හා සම්බන්ධ වුණහම සියලු රසභාවයන් කුළුගන්වනු ඇති නේද?

    ReplyDelete
    Replies
    1. තිස්ස මහත්තයෝ. ඔබතුමා කියන දෙවෙනි කතන්දරේ හරියට හරි; පද මාලාවල සාහිත්ය ගුණය හීන නිසාමයි දැන් එන සිංදු හිතේ නිදන් නොවෙන්නේ!

      Delete
    2. දොඩන්ගොඩ මහත්තයෝ, "මවකගෙ උනුසුම නොලබා" ගීතය මතක් කළාට බොහෝමත්ම ස්තුතියි. දැන් නම් මේ සින්දුව ඇහෙන්නෙත් නැති ගානයි. මේ ගීතය ගායනා කළේ "කේ සේන" මහතායි. සේන මහත්තයා ගැන මීට පෙර තොරතුරු සෙව්වත් ලැබුණේ නැහැ. ගීතයේ රචකයා ගැනත් ගායකයා ගැනත් තොරතුරු තියෙනවා නම් වටිනවා. ඇත්තටම මේ සින්දුව අහන කොට ඇස් කෙවෙනි තෙත් වන එක නවත්තන් බැහැ. පද රචනයත්සේ, සේන මහත්තයාගේ දුක්බර හඩත්, එයටම ආවේණික සංගීතයත් (මතක හැටියට එස්රාජය වැඩිපුර පාවිච්චි කරල තිබුනා) එකතු වුනාම හිත හෙල්ලෙන එක නවත්තගන්ට බැහැ. නැවතත් ස්තුතියි මතක් කිරීම ගැන.......

      Delete
    3. තිස්ස දොඩන්ගොඩ මහතාට:- ඇත්තටම අපි මේ කරණ්නේ පාළු ගෙවල් වල වළං බිඳිනවා වගේ වැඩක්. "බ්ලොග් කලාව" අල්ලගෙන ඉන ඕන නිසාම දන්නදේයි නොදන්න දේයි හැම දෙයක්ම ලියනවා; කියවන්නන්ට දෙයක් තිබිය යුතු නිසාම. අහල නැද්ද "නයා පෙනේ කරණ කොට ගැරඬියා කැබිළිති කෑලි පොලොවේ ගහනවා!" කියලා පැරණි කථාවක්. ඕක දෙමළෙනුත් කියනවා "කාණ මයිලාඩක් මදික කෝලි මදිග වප්පාර කෙට්ටකවි වාක් උන්ඩාම්!" කියලා. ඒක තමයි මේ. අනේ දෙයියනේ ලියන්න! මම සිංදු ඇනෝටත් කථා කලා ඒත් සම්බන්ධ කර ගන්න බැරි උනා! ඒ නිසා නැවත නැවතත් කියන්නේ "ලියමු!" කියලයි.

      ඇත්තටම හිංදි ගී තනු ගැන අගය කරණවා කියන්නේ අපගේ ස්වතන්ත්‍ර සංගීත ශිල්පින් හෝ කොම්පෝසර්ලා පහත හෙලීමක් නම් නොවේ. ඒත් ඇත්තටම හිංදි ගීතනුවල තිබුනු විශ්ෂ්ඨත්වය පිළිබඳ අප අධ්‍යනයක යෙදිය යුතුයි කියලයි මටනම් හිතෙන්නේ. මෙතනදී මා ඉහත මතු කරලා තියෙන ලෙසින්ම ගීත රචකයාගේ කාර්‍යය භාරය හා ගායකයාගේ හඬ පෞර්ෂය කියනදේට අපි සළකනවා මදි කියලයි මට නම් හිතෙන්නේ. මම මගේ පෝස්ටුව්වේ දක්වා ඇති අවිස්සාවේල්ලේ; විශාරද ආනන්ද රාජපක්ෂ සංගීත වේදියා සමග කල කථා බහේදීත් මේ කාරණය මතු උනා! ඔබට මතකද ගීතයක් "පැතුම් මල්ලෙකී මේ ජීවිතේ . . . . .!" කියන ගීතය. මේකත් හිංදි තනුවක් නොවැ!? බලන්න ඒ යෙදුම "පැතුම් මල්ල" මේක කිසිදාක අපි සාමාන්‍ය කථා කරණ භාෂාව තුල භවිතා නොකරන යෙදුමක්! ඒත් එය තනුව නැතිනම් මෙලඩිය තුල ගැලපී යන අපූරුව!

      ඔව් නිදී මහත්තයා; වචන්යෙන් යන්න පුළුවන් දුර ගියාට පසු ඉන් එහාර ශ්‍රාවකයා ගෙන යනේ සංගීතය තුලිනි කියලයි කියන්නේ. ඒ කෙසේ වෙතත් "මවකගේ උණුසුම" ගීතයට ඒ මෙලඩියත් සංගීතයත් කේ සේනයන්ගේ ශෝකාකූල හඬත් කියන හැමදේම එකතු වෙලා තියෙනවා; ශ්‍රාවකයාගේ හැඟීම් පුබුදුවා ලන්න. මට මතක විදියට ඔය ගීතය එන්නේ 60 දශකයේ අග හෝ 70 වේ මුල. ඒකාලේ ඔය ගීතය ගුවන් විදුලියෙන් ප්‍රාචාරණය වන විට අපේ නැන්දා රෙඩියෝ එක වහනවා (ඒ කාලේ ඕෆ් කරණවට කිව්වේ එහෙමයි!) ; සිංදුව අහගෙන ඉන්න බැරුව!

      මමත් අහලා තියෙන විදියට කේ සේන මහතා පිළිබඳව විස්තරයක් හොයා ගන්නට බෑ. ඒක හරියට සනත්ගේ "එදා මෙදා තුර" රචකයා හොයා ගන්නට බැරුවා වාගේ. ඇයි ටී එම් ගේ "ඔබ හා මෙමා" ? ඒකනම් ඒ කාලේ හිටපු රිජ්වේ තිලකරත්න මහත්තයා ලිව්ව එකක් කියලත් කියනවා!

      Delete
    4. තිස්ස මහත්තයාට නිදි මහත්තයාට මේ "මී පැණි වන් ගී තනු" කියන හෙඩිමම අරගෙන 2 එතනිං ගියාම 3, 4 ඔබ තුමන්ලාටත් ලියන්නට පුළුවන්නේ. අපි අපේ ලින්කු ටික පෝස්ටු යටින් දැම්මාම ඒක අළුත්ම දෙයක් වේවි පාඨාකයින් හට! මොකද කියන්නේ. 2 ලියලා පෝස්ට් එකක් දැම්ම ගමන් මම ඒකේ ලින්කුව මගේ පෝස්ටුවට යටින් දාන්නම්! ඒක අළුත් වැඩක් වේවි ලියන අපටත් කියවන අපේ ආදරණීය පාඨකයින්ටත්!

      Delete
    5. තිස්ස මහත්තය අපට ඒ කාලෙ ‌හඳුන්වා දුන්න ගීත තවමත් අහනව. ආපහු ලියනවනං ලොකු සේවයක්...

      Delete
    6. මේ මාසය ඇතුලත එතුමා නැවතත් ලියන්න අරඹන බවට පොරොන්දු උනා!~

      Delete
  18. එක හුස්මට කියෙව්වත්, කමෙන්ට් කරන්න පුළුවන් තැනක නෙමෙයි හිටියෙ.

    මට දැනෙන විදිහට හිංදි ගී තනු සමහරක් හැදෙන්නෙ බටහිර ආභාෂයෙන්, මේ ටික බලන්නකො.

    මේක එල්විස් ප්‍රෙස්ලි, https://www.youtube.com/watch?v=-pwXX_3f91M
    මේක ජූක් ගයා ආස්මාන් - ‌රෆී, https://www.youtube.com/watch?v=exD5okdopWc
    මේක ජෝති... https://www.youtube.com/watch?v=uaGvmF0Kin4

    එතකොට, මේ ඛාලිඩ් - https://www.youtube.com/watch?v=6wDmghkYCOU
    මේ කුමාර් සානු සහ අල්කා යග්නික් - https://www.youtube.com/watch?v=uaGvmF0Kin4
    මේ කිත්සිරි ජයසේකර සහ ශානිකා - https://www.youtube.com/watch?v=zyJo3DHUy_g

    මෙතන තියෙනව ඔය වගෙ ගොඩක් - https://www.youtube.com/watch?v=wnlzwX_BAhY

    මේ සයිමන් සහ ගාෆන්කල් - https://www.youtube.com/watch?v=NAEppFUWLfc
    මේ ක්ලැරන්ස් - https://www.youtube.com/watch?v=zWkGY7sGrVo

    මේ එකක්වත් කොපි කියලා හෑල්ලුවට ලක් කරන්න බැරි, අනන්‍ය රස සහිත නිර්මාණ...

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙමත් ඇති! ඒත් හිංදුස්ථානි මෙලඩි කියන සාගරෙන් ඔය දෝතක් විතරයි කියලයි මට නම් හිතෙන්නේ!

      Delete
  19. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
    Replies
    1. මේ වන විටත් ඔබගේ සින්ඩියට අදාළ ලාංජනය බ්ලොගයේ පසෙක අලවා ගෙන ඇත!

      Delete
  20. . හුහ්.මේකට මෙන්න මාවත් ගාවලා නේද?
    මෙහෙම බෑ , පැදුරක් එලාගෙන පටන් ගන්න ඕනේ ලියන්න... කෝ එහාට වෙන්ඩ

    ReplyDelete
    Replies
    1. https://kadadasikole.blogspot.com/2021/11/278.html
      ඔන්න ලිව්වා එකක්... [ඉල්ලගෙන කෑමක්]

      Delete
    2. ඉන්න දැන්ම බලන්නම්!

      Delete
  21. ඔව් ඉතිං ඔබ තුමී දැමූ කින්ඩිය මා පෝස්ටුවක් කලෙමි! ලියමු උත්තර!?

    ReplyDelete
  22. Mara rasawath lipiyak!!!Harima sawistharawa pela gaswala thiyana hati apooruyi.Comentuwa parakku une ema geetha hama ekakatama ekin eka sawan dunna nisayi.Eth thawama postuwa kiyaweema 'KAHE KOROYE'langin ehata yanna bari una kalaya madi kama nisa.Lipiya awasanayata yanakota perahara gihin hiteewi kiyala hithala thamayi ikmanata comment kale.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ මහත්තයා! හිමීට බලන්න! ඔන්න ලිඛිතා මිසුත් ඒකට උත්තරයක් ලියලාලු! https://kadadasikole.blogspot.com/2021/11/278.html
      මම එහේ යන ගමන් මේ! මාත් එක්කම ගියොත් ඉක්මනට යත හැකි!

      Delete
  23. බුදාම්මෝ තට්ට මහත්තයො. මං ඒත් බැලුව අර යස අපුරුවට හිටිය දැරිවිට මක් උනාද කියල. සතියක් දෙකක් අරං හීම්ට කියෝල එන්නං.

    ReplyDelete
    Replies
    1. ජය වේවා! ඒ දැරිවි තමයි මුල පටන් ගත්තේ!

      Delete
  24. ඔන්න මාත් ආවා මේ පැත්තෙ😁
    අවාසනාවට සංගීත දැනුම හෝ රසවින්දනය බොහෝම අඩුයි. හරිම කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. ඔයාට විභාගෙ ලඟයි නේද? පාඩං කලොත් හොඳයි මට හිතෙන්නේ!

      Delete
    2. 😁මොනවා කියන්නද මන්දා
      මට හිතෙන්නෙම ආයෙ කල් යයි කියලා😅😅

      Delete
  25. රහට ලියලා නිසා රහ කර කර කියෙව්වා.මෙව්වා කියවද්දි මටත් පොඩි සංදියේ චිත්තරපටි හා බැඳුණු අතීතයේ රස කතා මතක් වෙනවා.කොහෙද ඉතින් කරුමෙට දැන් මට ලියන්න හිතෙන්නේ නෑ නොවැ

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි. එහෙම කියලා කොහොමද? ලියන්න. නොනවත්වාම ලියන්න. නැතිනම් ඔයාගෙ බ්ලොග් එකත් සඳකඩපහන සින්ඩියේ "පුරා වස්තු (ඇන්ටික්)" වලට දමාවි! මම දැක්කා තාම තියෙනවා කවි නිසඳැස් තීරුවේ!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...