පෝස්ටුවට කොමෙන්ටුවක්! කොමෙන්ටුවට රිප්ලයි තුනක්!!
මා ගේ පසු ගිය
මෝටර් රථ මිළදී ගන්නාවුන් අරභයා ලියන ලද පෝස්ටුවකට ඉරෝමානි නම් මාගේ පාඨිකාවිය දමන
ලද කොමෙන්ටුවක; අපගේ “සයිකල කයිවාරුව” අතරමග
නවතා වෙනත් පෝස්ටුවක් ලිවීම ගැන සුහද විචාරයක යෙදී සිටියාය.
ඉරෝමානිගේ කොමෙන්ටුවෙන් පසු විරවපට්ටම් වූ ලියුම්කරු පවුලගේ හවරිය ඔලුවේ පටලවා ගෙන!
එහි එක් තැනක ඇය සඳහන් කොට තිබුනේ එවිට එය “දුටුගැමුනු රජතුමා කිරිබත් කෑ අකාරය ” ගනීවියැයි
කියාය.
අධිරාජ්යවාදීන්ගේ කුමන්ත්‍රණයක් යැයි හඳුනාගත් සිද්ධියට අදාල කිරිබත!
(පුරා විද්යා දෙපාර්තමීන්තුව හා කොළඹ කෞතුකාගරය අනුග්‍රහයෙනි.)
එයට පිළිතුරු ලෙස ඇය පෙන්වාදුන් වරද පිළිගත් මා නිකම් ඉන්නට බැරිවාට “ කිරිබත් කන්නට ගොස් වැඩේ
අනාගත්තේ දුටුගැමුනු නොව රාජසිංහ රජතුමා බව ලියා දැම්මේය.
සටනට සූදානම්ව!
එයට එතුමිය හා සයුරිය පිලිතුරු
දුන් ආකාරය අදාල පෝස්ටුව යටට ගොස් බලන ලෙස ඉල්ලමින් මාගෙ අර්ධ පෝස්ටුව ආරම්භ කරමි
!
ඉතිහාසයේ කවර කවදාවත්ම ජනතා අපේක්ෂාවනට පිටු නොපෑ එකම රජවරුන්;
G8 සමුළුව අතර තුර ජනතාව වෙනුවෙන් කැපවෙන බවට පොරොන්දු වෙන
අයිතිහාසික ගිවිසුමට අත්සන් කිරීමෙන් පසු සමූහ ඡායා රූපයකට පෙනීසිටි අයුරු!
මෙම ආප්තෝපදේශයට මුල්වී ඇති රජු ; තම සතුරා සමග බොහෝ
වාර ගනනාවක් ; කිසිදු සැලසුම් සහගත භාවයකින් තොරව
යුධ වැද; එහෙත් දිනුමක ගැනීමට අපහසු වූ අයෙකු බව එයින්ම පැහැදිලිවේ.
විජිතපුර සටනට
එහෙත් මා දන්නා තරමින් දුටු ගැමුණු රජු එසේ යුද්ධ ගනනාවක්
සිදුකර නොමැත. විජිතපුර සටන හැරෙන්නට වෙන යාන්තමින් හෝ සටනක් සිදුකර
ඇත්නම් ඒ තම සොහොයුරු තිස්ස සමගය.එයටද යුද්ධයක් කීමට නොහැකි තරමේ සිඟිති වළියක් පමණි.
මගේ දුප්පත් - මහාවංශය!
“මහා වංශය” හි (ගුණපාල වීරසේකර සංස්කරණය ) එක්තැනෙක ; “මහා යුද්ධ
විසි අටක දීත් පසු නොබැස්ස මේ ඇත් රජ අද පසු බසියි. ඵුස්සදේව , මේ කිමෙක්දැයි රජතුමා ඵුස්ස්දේවයා විචාළේය.” (243 පිටුව) යනුවෙන් කල සඳහනෙන් දුටුගැමුනු
රජතුමා නොසැහන්න යුද්ධ කල අයෙකු බව අපට සිතන්නනට ඉඩහැරියද “මහා වංශයේ” කිසිදු තැනෙක
එවන් එක් උද්ධයක් ගැන හෝ සඳහනක් නොමැත.
විජිතපුරට ඔන්න මෙන්න තියා - ඵුස්සදේව
මා
සිතන පරිදි ඒ සියල්ල විජිතපුර සටනේම කුඩා කුඩා පෙරමුණු විය යුතුය. ඒ කිසිවක් සැලසුමකින්
තොරව කොරණ්නට ගොස් අල කරගත් බවක්ද අපට අසන්නට දකින්නට තැනක් නොමැත.
එසේ තරමක හෝ සටනක් කරත් එය කොටස් වශයෙන් හෝ පහසු ගෙවීමේ
ක්‍රමයකට සිදුකොට නැත!
එය හරියට නන්දි කඩාල් කලපුවෙන් ප්‍රභා සමග අවසන් ගමන් ගිය
ඊලාම් යුද්ධය අතර තුර ; වරින් වර අයි ටී ඇන් එකේ රාමවික්‍රමලා ; තමන් කලා වගේ වික්‍රමයෙන්
යුතුව අපට ; “මුහමාලෙයි ඉදිරි ආරක්ෂක වළල්ලේ සටන” , “අලිමංකඩ සටන” ආදීවශයෙන් පෙන්වූ
කුඩා කුඩා සටන් විනා වෙනදෙයක් වීමට කිසිදු
සාක්ෂියක් ඉතිහාසයේ මා දැක නොමැත.
ගනු කඩුව එනු සටනට! (මද කෝපයෙන්....)
එහෙත් මායාදුන්නෙලා; ටිකිරි කුමරු හෙවත් I වන රාජසිංහ වැනි අය පෘතුගීසීන් සමග වාර ගනනාවක් ස්ථාන ගනනාවකදී සටන් කල සුපිරිම චරිථය! ඇත්තෙන්ම
උන්නැහැලාට අප සළකනවා මදිය. මන්ද ඒ අය සටන් කලේ යුරෝපයේ අංක එකේ හමුදාවන් එක්කය. තුවක්කු
ඉදිරියේය. අභ්‍යන්තරයේ කචල් මාද්‍යයේය. ඇත්තටම මේ අය සුපිරි පොරවල්‍ය.
නිතර නිතර සීතාවක රණබෙර ඇසුනා -
කොළඹ කොටුවෙ බළල් මසුත් ගිණි ගනන් වුනා
පෘතුගීසීන් පෙරදිග
රටකදී නන්නපෝල් වෙන්නට, එකසිය ගානට; ඊයේ පෙරේදා ඉන්දියාවෙන් කෑවා සේ කා:ලබන ලද ප්ර්ථම , දරුණුතම පරාජය වන මුල්ලේරියා වෙලේ සටන මේ අප්පලා පුතාලගෙ එළම වැඩකි.
මේ අය ගැන කථාන්දර සිරාවටම ලියා තියෙන පොතක්.
මුල්ලේරිය වෙලේ වතුර ලෙයට හැර වුනා - ටිකිරි කුමරු රාජ සිංහ නමින් රජ වුනා
මායාදුන්නේගේ
රාජ්‍ය කාලය අරඹෙන්නේ 1521 දීය. I වන
රාජසිංහ රජ වන්නේ 1554 දීය. II වන රාජසිංහ රාජ්‍යත්වයට පත්වන්නේ විමලධර්මසූරිය ගෙන්
පසු 1629 දීය. මා විශ්වාස කරණ පරිදි අපගේ කථා නායකයා මේ අන්තිමට සඳහන් කල II වන රාජසිංහ රජුය.
සටන් බිම
ව්යාජ රාජසිංහලාට නොරැවටෙන්න! නියම රාජසිංහව හඳුනාගන්න!
ඉතින් සොහොයුරියනි ; ඌව සබරගමු දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධූරන්ධර තිපිටක භරතීශ්වර පණ්ඩිත නාවිල්ලේ ධම්මානන්ද කියලා හාමුදුරු කෙනෙක් 1969 මාර්තු මාසයේ ලියා පලකරළා
තියෙනවා පොතක් “මධ්‍යම ලංකා පුරාවෘත්ත ” නමින්. එහි 163 වන හා 164 පිටු වල මෙසේ සඳහන් වේ.
මෙන්න පොත!
කඩේ සාප්පුවේ නෑ! පොලේ පේමන්ට් එකේ නෑ!!
හැමදාම නෑ! හැම තැනම නෑ!!
“දිනක් පෘතුගීසින් විසින් ලුහුබඳවනු ලැබූ රාජසිංහ රජතුමා
ආරක්ෂාව පිණිස උඩුගොඩට ගොස් බොහෝ විඩාපත්ව ගැමියකුගේ ගෙමිදුලෙහි ගලක් මත හිඳ ගත්තේය.
නෝන්ඩි නැතුව වෙස්වලා ගත් රජතුමා !
එවිට ගැමියාද රජුබව නොදත් නමුත් දේහලක්ෂණයෙන් උතුමකු බැව් දැන ගෙතුළට කැඳවා අනුභවයට කිරිබත්ද පිළිගැන්වීය. ක්ෂුධාව අධිකව පැවති බැවින් යුහුව කනු කැමති වූ නමුත් බත උණුසුම්ව තුබූ බැවින් ඒ මේ අතින් බත් පිඬු කරන්ට යාමෙන් කරදරයට පත් රජු දුටු ගැමියාගේ බිරිඳ ‘පින්වත නුඹේ කිරිබත් කෑමත් රසිංදෙයියන්ගෙ යුද්ද් කිරීම වගේය’ යි කෙළි පිණිස මෙන් කීවාය.
රජද එබසට සිනාසී ‘කිරිබත් කන සැටි හා යුද්ද කරණ සැටිද
පැහැදිලිව කියා දෙන ලෙස’ ඉල්ලා සිටියේය.
එකල ඕතොමෝ ‘උනුසුම් කිරිබත් හැම පැත්තෙන්ම කඬ කඩා කන්ට
යාමෙන් අතත් කටත් දැවෙන බවත් , එක පැත්තක පටන් කුඩා කොටස්වලට කඩා නිව නිවා කෑ යුතු
බවත් , එපරිද්දෙන්ම රාසිංදෙයියන්ද හැම තැනම යුද්ද කරන්ට යාමෙන් පරංගියා පැරදවිය නොහැකි
බවත් , එක පැත්තක සිට කොටසින් කොටස පහර දුන්නොත්
සතුරා පහසුවෙන් පරාජය කළ හැකි බවත්’ කීවාය.
තමන් රාසිංදෙයියන් බවපවසමින්
(කවුරු කවුරුත් පදිරි කරවමින්!)
(කවුරු කවුරුත් පදිරි කරවමින්!)
එවිට රජතුමා ඉතා සතුටුව ‘තමන් රාසිංදෙයියන් බවත් , ඇගේ
ගුරුකම සිතට ගෙන ඒ අනුව සටන් කරණ බවත් , ත්මා අල්ලා ගැණීමට පරංගින් ලුහුබැඳ එන බවත්
, ඔවුන්ගෙන් ගැලවීමට උපකාර වුවමනා බවත් කීය.
එයැසූ ගැමියාද වහා ඇඳක් පිළියෙල කොට රජතුමන් ගේ තුළට කැඳවා සතුරන් එන මග බලා සිටියේය.
ඒ සැණෙකින්ම
එතැනට පැමිණි සතුරු හමුදාවද ‘රාහිං දෙවියන් ගෙයි සිටීනම් තමන්ට පාවා දියයුතු
බවත්, ගෙහිමියාට මහත්වූ පඬුරු දෙන බවත්’ කීහ.
එවිට ගැමියාද ‘රජතුමන් ඉතා විඩාවට පැමිණ ගෙයි සැතපෙන බවත්, අවදිවූ වහාම අල්ලා දිය හැකි බවත්’
කීය. ගෘහණියද රජතුමන් අවදිවන තුරු විඩා සංසිඳ විය යුතු බව කියමින් බරාඳේ එක් එක් කණුවක්
ලඟට පැදුරක් දැමුවාය.
එයින් ඉතා සතුටට පත් සතුරෝද එහි දිගාවී පිපාසය අධික බැවින්
වහාම බීමට රා ගෙන්වා දෙන ලෙස කීවෝය. ගෘහණියද රා ගෙන ඒමට යන අයුරක් දක්වා අසල
ගොවිපලකට ගොස් එහි සියලුදෙනාහට මෙපවත් දන්වා ඔවුන් සමග පසුපසින් විත් එකෑවරම සතුරන්
සියලුදෙනාම කණුවලට සිරකොට තදින් බඳවා රජුට පාවා දුන්නාය.
පසුව පෘතුගීසීන් පරදවා ජයගත්
රජ තෙමේ ගැමියාට හා අඹුවටද තනතුරු සමගම ගම්
වරද දුන්නේය.
සියල්ලටම මුලින් රජ!
රජතුමාගේ මරණින් පසු මෙපුවත සිහිවීම පිණිස එතුමාගේ බිසව
විසින් උඩුගොඩ පුරණ විහාරය කරවා ඊට ගම්බිම්ද
පුද කරණ ලද්දීය.
රජතුමන් වාඩිවී සිටි ගල හා ‘යුද්දවරද්දන මුදියන්ස’නමින්
තනතුරු ලැබූ ගැමියාගේ ගෙදරද වත්තේගම සිට පන්විලට යන මාර්ගාසන්නයෙහි උඩුගොඩ පිහිටා ඇත්තේය.දැනට
උඩුගොඩ පුරාණ විහාරයද නටබුන් වී තිබේ ”
ඉතින් මාගේ ආදරණීය පාඨිකාවන් (පාඨකයාගේ ගැහැනු සතා )
දෙදෙනාහට මා ; මගේ පෝස්ටුවේ “රාජසිංහ” යන නම යෙදූවේ නිකම්ම නොවන බව පැහැදිලිවනු නොඅනුමානය.
කෙසේ වෙතත් “වොල්ටෙයාර් ” පැවසූ පරිදි මම ඔබෙ අදහසට එකහෙලාම විරුද්ධ වුවද ඔබගේ අදහස් ප්‍රකාශ
කිරීමේ අයිතිය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවෙමි.
එසේම ඔබ දෙපලගේ
කොමෙන්ටු මාගේ පෝස්ටුවට විශාල අළංකාරයක් එක් කල බවද මා සඳහන් කරනු කැමැත්තෙමි. සංවාද
විසංවාද නොමැත්තේ සොහොන් පිටි වල පමනි. සමාජ ප්‍රගමනයට ඒවා අනිවාර්‍ය සාධකයන්‍ය!
මාගේ පෝස්ටුවකට යටින් මෙතෙක් ලියැවුනු අභියෝගාත්මක එකම කොමෙන්ටුව ලිවීමේ ගෞරවය ඉරෝමානි සොයුරියට පුදකරමින්ද ; එයට ඌණ පූර්ණයක්
එකකල සයුරිටද ස්තීතිය පුදකරමින් මෙම අර්ධ පෝස්ටුව ට තිත තබන්නම්.
දහසක් මල් පිපේවා ! දහසක් මත ගැටේවා !! – මාවෝ සේ තුන්ග්




















