හර බර නොව රස බර , නිස්කාන්සුවේ නොව එකසිය ගානට වැඩකටයුතු මැද, පත් අට එකට සිඳුවාගත් කසාය වඩියක් නොව වැඩි සීනි ප්ලේන්ටියක් වී, සමාජයට නියමුවකු නොවී සීන් එකේම එකෙක් ලෙස, පොරක් නොව බුවෙක් විදියට, ටෝක් නොදී කයියක් ගහන, කැළෑ පත්තරයක් නොව; බෙල් එක ගසා බයිසිකලෙන් බෙදන සඟරාවක ඩිජිටල් කොපිය !
Saturday, November 18, 2023
268. "පාරෙ ගැටුනු දෙමස්සිනෝ ! " (ශනිදා දහයට VII)
Sunday, November 15, 2020
186. පස් වන ඇන් ඇක්සිඩන්ට් එක!
මට හරියට දිනේ මතක නෑ. බලමු හොයා ගන්න පුළුවන් උනොත් පස්සෙං පහු හරි ලියා තියන්නම්.
මම කියන ඔය කාලේ අධිවේගී මාර්ගය ක්‍රියාත්මක උනේ කඩුවෙලට පමණයි. ඒත් කඩවතට වෙන තුරු පාර හදාලා ඉවරයි.
ඉතිං මමයි මගේ අපාය සහයක මිත්‍ර තෙශාන්තයි හවහක ගජයක් ගහන කොට ඉබේටම ආවා අදහසක් අධිවේගී මාර්ගයේ නැතිනම් හයිවේ එකේ සයිකල් පදින්න!
ඕනෑම දහපත් දුරා වැඩකට මුලින්ම කියවෙන නම් වලට පරසිද්ධ අපි දෙදෙනාම වැඩේ පටන් ගන්න පහුවෙනිදාම දා ගත්තා.
තෙශා ආවාම අපි දෙන්නා හීන් සීරුවේ සයිකල් දෙකත් පැදගෙන හයිවේ ගේට්ටුව පැත්තට ආවා.
ගේට්ටුව වසා තිබුනේ මාර්ග බාධකයක් විදියට යකඩ පයිප්පයක් බැරල් දෙකක් උඩ හරස් කරලා. ඒ වුනාට ඕනෙකමක් තියේ නම් පැත්තකින් මාර්ගයට අවතීර්ණ වෙන්න පොඩි ඉඩක් තියලයි ඒ ඇටවුම තනා තිබුනේ.
ගේට්ටුවේ මුරට; ඒ කාලේ හිටියේ සිකුරිටිලා දෙදෙනෙකුයි පොලිස් රාළහාමි කෙනෙකුයි විතරයි. ඔය කාලේ හයිවේ එකේ; කඩුවෙල ඉඳන් කඩවත දිහාට ආවේ ගියේ; වැඩේ කොන්ත්‍රාත්තුව අරන් හිටිය ලොකු කුඩා කොන්තරක්කාරයන්ගේ වාහනයි ඒවායේ එහාට මෙහාට ගිය සිවිල් ඉංජිනේරුවොයි මේසන් බාසුන්නැහැලයි වගේ වැඩේට ඇරුණු පිරිස විතරමයි.
හවස 6.00 - 7.00 වෙන කොට මේ උදවියත් එහාට මෙහා වෙලා පාර තනිකරම පාළුවට යනවා.
අපි පාරට අරක් ගත්තේ ඔන්න ඔය වෙලාවට!
අපි සයිකල් දෙකත් පැදගෙන හීන් සීරුවේ අයින දිගේ ඇවිත් බැරල් වැට අයිනෙන් දාගෙන හයිවේ එකට ඇන්ටර් උනා!
ගේට්ටුවේ මුරට හිටපු එකා දෙන්නටත් වැඩිය නෝන්ඩි නොවීම අපිට හීන් සීරුවේ සුරූස් ගාල ලුහුටලා යන්න පුළුවන් කම ලැබුනා.
ඒ වෙන කොට හයිවේ එක හෙවත් කොළඹ පිටත වට රවුම් මාර්ගය කඩවත තෙක් සම්පූර්ණයෙන්ම වාගේ හදලා ඉවර වෙලා තිබුනේ.
අපි හිතේ හැටියට කාපට් ඇතිරූ මාර්ගයේ පැදගෙන ගියා.
අඩුපාඩුවකට කියලා තිබුනේ මාර්ගය ඒකා ලෝක කර නොතිබීම පමණයි.
කොටින්ම අපි පැද්දේ ඇට පල් කළුවරේ!
මේ කථාව කියනා කාලේ එකසිය ගානට පායනවා!
ඒනිසාම තරු රටා අහස පුරා!
තරු තියෙන රාත්‍රියේ මහ පාරවල ගමන් ගන්නා විට කෙලින්ම පාර දිහා නොබලා තරමක ආනතයකින් ඒ කියන්නේ අංශක 5 ක විතර කෝණයකින් ඉහල බලා යනවිට පාර යාන්තමින්; තරු එළියෙන් පෙනෙන බව මම අත්දැකීමෙන්ම දන්නවා.
ඉතින් අපි දෙන්නත් තරු එළියේ උඩ බිම සමසේ බලමින් කයිය කෙළමින් කඩුවෙලට සයිකලේ පැද්දා.
මේක පුරුද්දක් උනා.
හැම දිනෙකම වාගේ මමත් තෙශාන්තත් සයිකල් පැදීම කරගෙන ගියා.
මම මේ ගමන ගියේ; මගේ ස්කොට් - විශ්වාසවන්ත ගමන් සගයා සමගින්.
තෙශාන්ත ආවේ එයාගේ තාත්තාගේ ස්ටෑන්ඩර්ඩ් සයිකලයෙන්.
තරු එළියට අමතරව මාර්ගය දෙපස ඉවුර මතුපිට තිබුණු උස් නිවෙස් වල විදුලි එළියත් පාරේ තැනින් තැන යාන්තම් සෙවනැළි අන්දා.
කඩවත සිට කඩුවෙල තෙක්ම අධිවේගී මාර්ගය දිවුනේ කනුමත.
පාර දෙපස සිමෙන්ති බැම්ම.
සමහර තැන්වල වම් පස පමනක් සිමෙන්ති බැම්ම.
දකුණු පස යකඩ වැට.
යන්තමින් එළිය වැටෙන තැන් වල ඈතට දිවෙන මාරගය යාන්තමින් පෙනුනා.
මේ විදියට සයිකල් පැදීම සතියක් දෙකක් කරගෙන යන විට දිනක් ගේට්ටුවෙන් ඇතුළු වෙන තැනින් අප දෙදෙනාව නතර කර ගත්තා.
"මේ කොහෙද මේ යන්නේ . . . .?"
"සයිකල් පදින්න . . . . . ?" අපි ඇද ඇද උත්තර දුන්නා.
"මොකක්!? සයිකල් පදින්න!? හයිවේ එකට සයිකලයක් ඇතුළු කිරීමම හිරේ යන කේස් එකක් නේ?"
"තාම ඇරලා නෑනේ!?" අපි නිදහසට කාරණා කීවා!
"එතකොට අපි නඩුව දාන්නේ අනවසරයෙන් ඇතුළු වීමට!"
කරපු වැඩේ වැරදි විත්තිය අපිම දන්නවා නේ. අපි ආපහු හරවාගෙන දුකසේ එළියට ආවා.
" මචං! හයිවේ ඒකට දාන්න වේන තැනක් ඇත්තෙම නැද්ද?" මම තෙශාගෙන් ඇහුවා.
"බලමුද ගල්වල හංදියෙන්?"
අපි කඩවත ඉඳන් මාවරමණ්ඩියට පැමිණ එතැනින් ගල්වල හංදියට පැමිණ වට පිට ඉව අල්ලන්නට විමු.
දකුණු පසට දිවෙන දැල් වැට අයින දිගේ ඇති ගුරු පාර දිගේ අප සයිකල් තල්ලු කරගෙන ගියෙමු.
පාරේ පහලට වෙන්නට දැල් වැටට උඩින් ඇතුලට පැනීමට සුදුසු ස්ථානයක් මගේ ගණ දෙවි නුවණට ඇස ගැටුනි.
පලමුව සයිකලය ඔසවා වැට ඇතුලෙන් තබා එතැන තිබුනු කනුවක ආධාරයෙන් හයිවේ සීමාව ඇතුලට පැන්නෙමු.
එතැන් පටන් අප නැවතත් පුරුදු පරිදි සයිකල් පැදීම කරගෙන යන්නට පටන් ගත්තෙමු.
මෙසේ සයිකල් පදිමින් සිටිනාතරතුර දිනක් තෙශා හට; තම ඔපීසියේ වැඩ හරස් වී එන්නට නොහැකිවිය.
සහන් කසීරට ලිවීම සේ මාහට පැදීමය!
මම තනිව වැටෙන් පැන සයිකලය පැදීම කලෙමි.
තෙශාගේ සයිකල් පැදීම ඔහුගේ ඔපීසියේ වැඩවලට අනුලෝමව සමානුපාතික විය.
ඒ නිසාම මා තනිව සයිකල් පැදීමට හුරුවිමි.
සෑම දෙනකම පාහේ රාත්‍රී 7.00 පසුවූ විට සයිකලය ගෙන වැට පැන්නෙමි!
ඈතට දිවුනු මාර්ගයේ දිවාකල එහා මෙහා දිවුනු සේවා රථ වලට කිසිදු වේග සීමාවක් නොවීය.
ඒනිසාම ඒවා පැදවූවෝ ඉගිල්ලුනි.
මෙසේ ඉගිල්ලීම නැවත්වීම සඳහා පසු කාලෙකදී අතරින් පතරින් කිලෝමීටරයකට එකක් පමණ වනසේ මාර්ග බාධක යොදා තිබුනි.
එය සාදා තිබුනේ අඟල් හතරක පහක පමණ ඝනකමට සිටින සේ අඩියේ අඩියේ පමණ දිග පළල කින් සමන්විතව සාදන ලද කොන්ක්‍රීට් කුට්ටියක් මත සිටුවන ලද; අඩි තුනක පමණ උණ බම්බු කෑල්ලක් සිටුවා සාදන ලද කණු කිහිපයක් මාරගය හරහා තබා ඒවා හරහා කහ කලු ඉරි වැටුණු ඉටිරෙදි පටි ඇදය.
මෙවන් වැටවල් දෙකක් එකිනෙක ප්‍රථි විරුද්ධ ලෙස තැබීමෙන් වේගයෙන් පැමිණෙන වාහන වැට වල් දෙක අතරින්; ඉංග්‍රීසි හෝඩියේ S අකුරේ ආකාරයට සෙමෙන් ගමන් කොට; වැට සෑදූ එකාගේ මෑණියන් සිහිකරමින් ගමන් කරයි.
ඉංගිරිසි හෝඩිය උගන්වන වෙලාවේ පංතිය කට් කරපු එකාට අබ සරණය!
දිනක් මා සයිකලය ගෙන පුරුදු පරිදි මාවරමණ්ඩියේ ගල්වල හංදියේ අඳුරු තැනකින් දැල් වැටට උඩින් හයිවේ එකට පතිත වී සයිකල් පැදීම පටන් ගතිමි.
එදින තරමක උනුසුම් දිනයකි.
පසලොස්වකට දින දෙක තුනක් තිබුණි.
අහසේ අම්බිලි මාමා යන්තමින් පෙනී නොපෙනීය.
සයිකලය එක සීරුවට කඩුවෙල බලා පැද්දෙමි.
කඩුවෙලින් හරවන විට සිරුර හොඳින් උනුසුම්ව තිබුනි.
කඩුවෙලින් හරවා එන ගමනේදී සයිකලය පදිනතරතුරම; එතෙක් උඩු කය වසා සිටි ටී ෂර්ටය ගලවා ඉනේ ගැට ගසා ගතිමි.
සිසිල් සුළඟින් ඇඟම සුවපත් වේ.
යාන්තමින් සඳ එළිය වැටී ඇත.
වළා කුළු විටෙන් විට සඳ එළිය වසා ගෙන ගලා ගියද විටෙන් විට මාර්ගය සඳ දියෙන් නැහැවෙමින්ය.
මා කඩුවෙලින් හැරී කිලෝ මීටර තුනක් පමණ පැද එන්නට ඇත.
සඳ අඳුරු වළා කුළකින් වැසී ගියේය.
මාර්ගය වම් පසට හැරී ගොස්ය.
අඳුරට හුරුවන තෙක් මාර්ගය ඇසින් ඇල්ලිය නොහැක.
ඇස් හිරිවැටී ගොස්ය.
සයිකලයේ වේගය එලෙසින්මය.
ගමන එකසේ වේගවත්ය.
ගමනක අවසානය . . !එක වරම සයිකලය කුමක හෝ ගැටී මා ගුවන් ගත් උනෙමි!
මා අඩි කිහිපයක් උඩින් පතිත වත්ම හිස නැවී දෙ අත් හිසත් බෙල්ලත් ආවරණය වනසේ ඇදී ගොස්ය.
මම බිමට පතිතවී මිලි තත්පර ගනනකට පසු සයිකලය; කොන්ක්‍රීට් කණු මත ඇදෙන; කොන්ක්‍රීට් වලින්ම නිමකොට කාපට් ඇතිරූ පාර මත ඇද වැටුනි.
මා මද වේලාවක් එම ඉරියව්වෙන්ම ඉඳ පලමුව අත පය හා මුහුණ හිස ආදී එකී නොකී මෙකී සියළු අවශ්‍ය අනවශ්‍ය හා අත්‍යවශ්‍ය අංගෝපාංග තිබුනු තැන්වලම තිබේදැයි සැක හැර දැන ගතිමි.
දන හිස, වැල මිට වැනි ඕනෑම සීන් එකකදී මුලින්ම තුවාල කරගන්නා උපාංගවල තීන්ත හීරී මීට පෙර යොදා තිබුනු කැට්ලොයි, පොටි මතුවී තිබුනාට බොඩිය ටින්කර් කිරීමේ අවධානමක් නොතිබෙන බව; මදකින් මාහට සැක හැර දැනුනි.
සෙමෙන් සෙමෙන් වැටී සිටිය තැනින් නැගිට ; එතෙක් ඇඟ වටා එතී තිබුණු
මාර්ග බාදක සඳහා යොදාගෙන තිබුනු හැසාර්ඩ් ඉටි රෙදි පටිය ඈත් මෑත් කොට හාත් පසට ඉව ඇල්ලුවේ සයිකලය ගැටුනේ කුමකදැයි කියා සැක හැර දැන ගැනීමටය.
පසෙක වැටී තිබුනු උන බම්බු රැඳි අඟල් හතරක් ඝනැති අඩියේ අඩියේ කොන්ක්‍රීට් කුට්ටිය මගේ සැකය දුරු කලේය.
වේගයෙන් පැමිණි සයිකලය එක වරම ගැටී ඇත්තේ කොන්ක්‍රීට් කුට්ටියේය!
මම ඊළඟට මා සමග පැමිණි ගමන් සගයා ස්කොට් සයිකලය නැගිටුවා ගත්තෙමි.
සයිකලය ආභාධයක් නොපෙන්වමින්නැගිට ගත්තේය.
මා එහි හැඬලයෙන් ඔසවා ඉදිරිපස රෝදය කරක්කෙවේය.
එය මුරුක්කු කන හඬින් අපිට ඕනෑවට මෙන් වට කාලක් පමන කැරකී නැවතුනි.
රෝදය ඉදිරිපස පෝක් අත අතර අයාලේ ගියේය.
කොටින්ම රෝදය කරකැවුනේ ඩෝප් කාරයෙකුසේය.
එය බකල්වී ගොසිනි.
රෝදයෙන් මුරුක්කු කන හඬක් නැගුනේ එය ඉදිරිපස බ්‍රේක් පෑඩයේ හෙවත් බ්‍රේක් පලුවේ හිරවෙමින් ගමන් ගත් හෙයිනි.
මහා අවුලක් නැත!
ගෙදර ඒමට පුළුවන් තරමය මා කිසිවක් නොවූ ගානට ගෙදර බලා පදින්නට පටන් ගත්තෙමි.
" මාව සයිකල් පදින්න ගිහින් ඇක්සිඩන්ට් උනානේ . . . !"
"අනේ . . කොහේද ඔයා වැටුනේ . . . . ?"
"ම්මේ . . . . හයි වේ එකේ . . . . !
"හ්හෑ .ඈ . . ඈ . . .?"
පසු දිනෙක සීදූවේ සුදත් සයිකල් වෙත ගිය මා ස්පෝක් කම්බි තිස් හතරේ; තිබුනාටත් වඩා සවිමත් ඩබල් ලේයර් රිම් එකක් රැගෙන විත් කඩවත ලකී අයියාට කියා සයිකලයට අමුනා ගත්තෙමි!
හයිවේ එකක සිදුවූ එකම සයිකල් අනතුර එයද?
Wednesday, October 14, 2020
183. හතරවැනි ඇන් ඇක්සිඩන්ට් එක!
අනතුරු ගැන කියන කොට; මට සිද්ධ වුනු සුපිරිම ඇක්සිඩන්ට් එකක් තමයි; රත්මලානෙ මැලිබන් හංදියේදී උනේ.
ඒක රසවත් නොවුනත් එක විදියක කථාවක්.
2018 වසරේදී මා සේවය කල ආයතනයෙන් මාහට හදිසි මාරුවක් ලබෙනවා රත්මලාන ශාඛාව ට.
මේක තිබුනේ රත්මලානෙ සොයිසා පුර මහල් නිවාස ඉදිරිපිට මාලිගාව පාරේ.
ඒ කාලෙත් මම කඩවත ඉඳන් ඔරුගොඩවත්තට වැඩට ආවේ සයිකලයෙන්.
ඉතින් මාව හදිසියේ රත්මලානට දැම්මා කියලා සයිකල් පදින එක නවත්වන්න මම කැමති උනේ නෑ.
මම දිනපතා කඩවත ඉඳන් රත්මලානට වැඩට ගියා.
ඔව් යන්න විතරක් කිලෝමීටර 40 ක් !
යන්න එන්න 80 ක් !!
ඉතින් මේ විදියට දිනපතා සයිකලයෙන් මම වැඩට යන්න පටන් ගත්තා.
කඩවතින් උදේ 6.00 ට පිටත් වෙන මම බම්බලපිටියට එනවා පැයට.
එතනදි උනුසුම් හුස්මක් ගෙන ලය සැහැල්ලු කරගෙන ආයෙමත් ගාලු පාරදිගේ පදිනවා රත්මලානට.
රත්මලාන කිව්වාට කටුබැද්දේ වැට මායිමට.
එදා ගෙදරින් පිටත් වීමටම පරක්කුවූ දිනයක්.
මම බම්බලපිටියේ ඉඳන් එකසිය ගානට පැද්දා.
වැල්ලවත්ත විලියම්ස් මිරිස් මෝල ලඟ ඉඳන් දෙහිවල නිහඬ අරණ හෙවත් කනත්ත පහු කරනකල් සයිකලයක් පදිනවා කියන්නේ උපරිමයට මල පනින සීන් එකක්.
ප්‍රයිවෙට් බස් උතුමන්ලා, ත්‍රීවීල් දෙවි වරු, මෝටර් සයිකල් පදින අයියලා එකී මෙකී නොකී සියල්ලෝම එක පොදියට රේස් පදින ඉසව්ව මේ කිලෝ මීටර දෙක තුන.
මේ සියල්ලටම වඩා එළකිරිම සිද්ධිය උනේ පේමන්ට් එකේ වෙලහෙළදාම් කරණ බාප්පලා පුංචි අම්මලා දෙන ආතල් එක !
මොකද සයිකලයෙන් වැඩට යන්න පුරුදු පුහුණු වුනු මුල් කාලයේදිම මම ඉගෙන ගත්තු එක පාඩමක් තිබුනා. ඒක තමයි බස් පස්සෙ ගිහින් කවදාවත්ම වෙලාවට වැඩට යන මිනිහෙක් වෙන්න බැරි බව !
ඒනිසාම පාර හිරවී ඇහිරී ගිය අවස්ථා වලදී පේමන්ට් එක උඩට දාගෙන පැදගෙන යෑම මගේ පුරුද්දක් උනා.
ලොකු බස් අතර කුඩා මෝටර් රථද ඒ අතර ඉඩට රිංගවූ ත්‍රී වීල්ද ත්‍රී වීල් යන්නට ඉඩක් නැති තැන සක්ක ගැසූ මෝටර් සයිකල් ද සිරවුනු මහ පාර දිස්වුනේ; තේ වතු හරහට හෝදා පාළුව වලකා ගන්න බැන්ද සක්ක ගල් බැම්මක් වගේ.
ඉතින් මේ නිසාම බයිසිකලයකට, පා පැදියකට හෙවත් පුටාර් එකකට තබා පයින් යන එකෙකුටවත් ඉදිරියට යෑම වැළකුනා.
මේ වගේ අවස්ථාවලදී අර පේමන්ට් එක උඩට සයිකලය නංවාගෙන ඉගිලී යාම පොඩි ආතල් දනවන කාර්‍යයක්.
මිලියන ගනන් වියදම් කරලා ගත්තු බෙන්ස්, බීඇම්ඩබ්ලිව්, ලෑන්ග් කෲසර් වී එයිට් වල පුපුර පුපුරා අසරණව ඉන්නා නෝන මහත්වරු පහු කරගෙන ගැම්මට පැදගෙන යන එකේ තියෙන්නෙත් අමුතුම ආතල් එකක් !
මේ කියන කිසිදු සෙල්ලමක්; මම අර කලින් කියපු ස්ට්‍රෙච් එකේදී දාන්න බෑ.
මොකද දෙහිවල හන්දියේදී පේමන්ට් එක උඩ සයිකල් පදිනවා කියන්නේ; කොස් මැල්ලුම් ලියන ලෑල්ලක් උඩ මැල්ලුම් වෙන සයිස් කේස් එකක් !
නැතිනම් මාළු ලෑලක් උඩ !!
ඉතිං ඒ නිසාම මේ හරිය ඉක්මනින් පහුකරගෙන යන්න ඕන දවස මෝරන්නට කලින්.
සීරුවට ! මාරුවට !!
ඒත් එදා නොසිතපු විදියට පරක්කු වෙලා දෙහිවල පහුකරණකොට පරක්කුව "වර්ග" වෙලා තිබුනේ.
මම ගල්කිස්ස හෝටල් පාර අසල ලයන් පබ් එකේ සිංහයා පහු කරන කොටත් අට හමාරට කිට්ටුවෙලා.
දෙහිවල හංදිය පහු කරන තැන ඉඳන් පටන් ගන්න කන්දේ උච්චස්ථානය කෙළවර වෙන්නේ ගල්කිස්ස උසාවිය ලඟින්. එතැන් ඉඳන් පොඩි බැස්මක් තියෙනවා. ආයෙත් නැග්ම පටන් ගන්නවා ගල්කිස්ස හංදියට වෙන තුරු!
මේ නැග්ම අත්විදින්නනම් සයිකලයක් පදින්නම වෙනවා.
ඒ නැග්ම නැග්ගාම ඒකට පොලියත් එක්ක ලැබෙන්නේ පල්ලම.
ගල්කිස්සේ ටෙම්ප්ලර්ස් පාර ලඟ ට්‍රැෆික් ලයිට් එක ගාළුපාරට අවනත වෙලා තිබුනෝතින්; හංදියේ සුපර් මාර්කට් එක ලඟින් ගන්න ගැම්ම රත්මලාන පහුවෙන කල් තියා ගන්නට පුළුවන්.
එදාත් පුරුදු පරිදි වේගය වැඩිකරමින් පල්ලමට එන්ටර් වුනු මට කොල එළිය ආශිර්වාදයක් වුනා.
ගල්කිස්ස පොලීසිය පහුකලේ ඊ ගහේ වේගෙන්.
එතන ඉඳන් පොඩි ට්‍රැෆික් එකක් තියෙනවාමයි මැලිබන් හංදිය පහු කරණා තුරු.
නමුත් ඒ හරියේ පාර තරමක් පළල් නිසාත් මැද පේමන්ට් එක නැති නිසාත් සයිකල් කරුවෙකුට එය ඒතරම්ම බාධාවක් උනේ නෑ.
මම ඒ වෙලාවේ පැද්දේ ගාල්ල දෙසට දිවුනු මං තීරුවේ මැදින්.
ඉදිරියේ තිබුණු වෑන් රියත් බසයත් අතරින් උපරිම වේගයෙන් පැදගෙන ආ මම එක වරම අවතීර්ණ උනේ පෙර කී පරිදි සක්ක ගල් බැම්මක් ඉදිරියේ.
මේ තැන හරියටම කියනවානම් මැලිබන් හංදියේ මැලිබන් ෆැක්ටරියට මෙහා පැත්තෙන් යන ධර්මාරාම පාර ගාව.
සයිකලය හරවා ගැනීමට වත් වෙලාවක් තිබුනා නොවේ.
ඉදිරියෙන්ම වූයේ "ඇරගෙන එන්නේ ඇනගෙන යන්නද?" මොඩලයේ සොඳුරු ආමන්ත්‍රණයක් ලියැවුනු ත්‍රී වීලරයකි.
මා එක වරම බ්‍රේක් ගැසුව මුත් සයිකලය හරස් වී ගිය වේගයෙන්ම ත්‍රී වීලරය දෙසට හිම ක්‍රීඩා කරමින්ය.
ත්‍රී විලරය පාර් මැද නොසෙල්වී ලැගගෙනය.
ත්‍රී වීලරය දුටු මොහොතේ සිට ඉන් පසු සියළු ජවනිකා ෆාස්ට් ෆෝවර්ඩ් වීය.
සයිකලය මත ඉගිල්ලෙන මා සිතා හෝ නොසිතා ගැටීම වලකා ලීමට හෝ අනතුර අවම කරගැනීමට දකුණු අත දිගු වුනෙමි.
වේගයෙන් ඇදී ගිය සයිකලය හා මා හෙන ගහන්නාක් සේ නවතා තිබුණු ත්‍රී වීල් රාජයාගේ පශ්චාත් භාගය මත පත් බෑ වුනේය.
වඩාත්ම සිත් ගන්නා සුළු කාරණය වූයේ මාගේ හුදු මහත් ශරීරය හා සයිකලය ත්‍රීවීලරයේ පසුපස පතබෑවීමට පෙර දකුණු අත සියල්ල පෙරදැරි කරගෙන ගොස් ත්‍රී වීලරයේ පසුපස වීදුරුව මතට සියලු සම්ප්‍රයුක්ත බලයයන් මුදා හැරීමයි.
කොටින්ම මුළු ඇඟේම බර වීදුරුව මත අත මගින් අත ඇරීමය !
ක්ෂණිකව වීදුරුව බිඳී ගියේය.
උල් පිහි සේ තියුණුව බිඳී ගිය වීදුරු කෑලි අතරින් මාගේ දකුණු අතෙහි ඉහළ බාහුව තෙක් ත්‍රී වීලරය තුලට කිඳා බැස්සේය!
මාගේ දකුණි අතෙහි ඉහල මස් ගොබය හරස් අතට කැපී ලේ ගලමින් විය!
කුමන ආශ්චර්‍යයකින්හෝ මා බිම ඇද නොවැටුනි. එසේ වූවානම් වීදුරුව බිඳී යාමේදී තුවාල වූවා සේම නැවත අත එලියට ඇදී ඒමේදීද හානි වීමට ඉඩ තිබුණි.
වීදුරු කටු අතරින්ම මා අත බේරා ගත්තෙමි.
මාගේ දෙ අත් වැසී තිබුණු ආදරණීය අත් වැසුම් වලට පින් සිදුවන්නට අත්ලට සීරීමක් හෝ නොවීය.
ගැලු රුධිරයෙන් ත්‍රී වීලරය තුල රත් පැහැ ලප කැලල්ය!
වට පිටාවේ සිටි හුදී ජනයා මොහොතකින් එතැන.
මා සයිකලය කෙලින් කරගෙන අසල කඩයක බිත්තියට හේත්තු කර ගත්තෙමි.
කැපුනු ස්ථානයේ රතු මස් විවර වී ගොසින් ය!
සිද්ධිය ට නරඹන්නන් සිටියද අවස්ථාව කළමනාකරණය කර දෙන්නට කිසිවෙකු ඉදිරිපත් නොවේ. එහෙයින් මා සිහිය එළවා ගත යුතු ව ඇත. පලමුව මා මගේ හදවත අමතා මා පත්වී ඇති තත්වය පහදා දුනිමි. හදවත සිද්ධිය කළමනාකරණය කිරීමට මාගේ බුද්ධිය මෙහෙයවමින් විය. බුද්ධිය විසින් මාහට මත්ක් කල යමක් විය.
ඒ මාකලක සිටන් දිනපතා පුරුද්දක් ලෙස ගිල දමන කාඩිප්‍රීන් පෙත්ත පිළිබඳවයි.
කාඩිප්‍රීන් යනු ඇස්ප්‍රීන් අන්තර්ගත ඖෂධයකි.
එයින් සෘජුවම කරණු ලබන්නේ රුධිරයේ කැටි ගැසීම පමා කිරීම හෝ වැලැක්වීමය. එයට බාධාකිරීමය. මග ඇහිරීමය.
එසේනම් මා වාහාම කලයුතු වන්නේ හැකි ඉක්මණින් ලේ ගැලීම නවතා ගැනීමය.
ඒ සඳහා රෝහලක් වෙත යෑමය.
මගේ වාසනාවට ධර්මාරාම පාර අයිනේම ත්‍රී වීල් නැංගූරම් පොලකි.
එහෙත් එතන ඒ වෙලාවේ තිබුනේ එකම එක යාත්‍රාවක් පමණි.
සයිකලය හේත්තු කල බිත්තිය අයත් කුඩා කඩයටම සයිකලය බාර කල මා පෙර කී ත්‍රී වීලරය දෙසට ඉක්මණින් දිව ගියෙමි.
" අනේ මාව ඉක්මනින් ඉස්පිරිතාලෙකට දානවාද? "
"මට දැන් හයර් එකක් තියෙනවානේ!"
"මගේ ලේ කැටි ගැහෙන්නේ නෑ! ඒ හින්දා ඉක්මණින්ම යන්න ඕන!"
"අනේ වෙන එකක් බලන්නකෝ!"
බලාපොරොත්තු හිතුවාටත් වඩා සාර්ථක ලෙස කඩා වැටෙද්දී මා නැවත පාර දෙසට හැරුණෙමි.
සරමකින් හා කමිසයකින් සැරසුනු වයසක පහේ තලතුනා මහත්මයෙකු - මමා කෙනෙකු පැදගෙන ආ ත්‍රීවීලරයක් අතුරු පාරෙන් ගාලු පාරට අවතීර්ණ වෙමින් විය.
ඔහු සිද්ධිය පිළිබඳ විපිළිසර වෙමින් විය.
මා එහි විපුල පල නෙලාගන්නට ඔහු දෙසට නැඹුරු වුනෙමි.
"අංකල් අනේ මාව . . . ."
"දෙයියනේ හොඳටම ලේ ගලනවා නේද? නගින්න! නගින්න!! ඉක්මනට කළුබෝවිලට යමු"
Monday, September 21, 2020
181. තෙවැනි ඇන් ඇක්සිඩන්ට් එක !
එය ප්‍රධාන වශයෙන් දෙ ආකාරය.
එදිනෙදා හමුවන බොහෝ බල්ලන් මාගේ කරේ පමනක් නො නගිති!
උන් එකෙන්ම මගේ එළකිරි වන් ෆ්‍රෙන්තන්ය.කොටින්ම මා දුටු විට පතෝල වාගේ ඔහේ යන, පැත්තකට වී සිටිනා බල්ලන් මා දක නැත!
මහ පාරේ ඉඳ හිට හමුවන; කිසිවෙකු හට හෝ කිසිදු වරදක් නොකරණ උපාසක බල්ලන් අතුරින් කිහිප දෙනෙකු මාව දකින්නේ බීෆ් මැරබෝන් කට්ටක් ලෙසය!
උන් එලෝ මෙලෝ නැතිව එලෝ - එලෝ මා පසුපස හඹා ඒ!
කරුමයක මහත යනු උන් හට මා කිසි දිනෙක තුන් හිතකින් වත් උඹ නොදකිං කියා වත් නැති වීමම නොවේ.
මෙලෝ එකෙක් එම බල්ලන් ගැන මා කියන කථා පිළි නොගැනීමය!
ඒ මන්ද?
ඒ බල්ලන්; උන්ව අපි හැපුවත් නොහපන වර්ගයේ චරිතවත් ජීවිත ගත කරණ උන් නිසාය.
ඒ උන් ටය.
ඒත් උන්ට මා අරහං ය!
සිරිත් පරිදි මාගේ පල්හෑලි කියැවීමට අතින් ඩේටා වියදම් කරගෙන ආ මාගේ ආදරණීය පාඨක පාඨකාවියනට උදේ පාන්දර මාගේ "බලු කථා" අහන්න සිද්ධ කරවීම ගැන කමාව!
"බලු කථා" පටන් ගත යුත්තේ "බලු කථාවකින්ම" විනා අන් කවරෙකකින්ද?
මේ ජාතියේ මාගේ පරණ ණය කාරයන් වන් බල්ලන් කුළකය පටන් ගන්නේ අල්ලපු ගෙදරින්ය!
එම ගෙදර සිටිනා බල්ලන් තිදෙනාගෙන් එක් බල්ලෙකු හට මා දුටු විගස "ඉත්තෑවා" මතක් වේ!
ඌට; ග්‍රවුන්ඩ් සපෝට් එකක් ලෙස අනෙක් දෙදෙනාද මා වෙත ගොරවාගෙන පනිති!
ඊළඟට හතරෙ කණුවේ රේල් ගේට්ටුව අසල විදුදය පිරිවෙණ් පහස ලබන කළු හා සුදු වර්ණැති බල්ලෙකු මා එන තුරු උදෑසනට මග බලා සිටියි.
මීට වසර දෙකකට පෙර මා කඩවත සිට රත්මලානට සේවය සඳහා සයිකලයෙන් යද්දී ගාලුපාරේ බල්ලන්' කිසිම "බලු වැඩක්" මට නොකලත් ආපසු එන ගමනේදී වැල්ලවත්ත පාලම අසල බුදු පිළිමය අසල සිටින දඩෝරි බල්ලාට මා සහ මගේ පාපැදිය දුටු විට උගේ නෑදෑයෙකු මතක් වූ කලෙක මෙන් මාව සුප් හැදීමට පාරට පනියි!
මේ සියළුම බල්ලන් ගෙන් මම බේරි බේරි පදිමින් දැනට වසර දහයකට කිට්ටුවී ඇත.
එම කාල වකවාණුව තුලදී සිදුවූ තවත් එක් සුපිරිම "ඇන් ඇක්සිඩන්ට්" මතකයක් හිත තුල පච්චා කොටන්නට බල්ලෙකු සමත් විය.
ඒ අනෙකෙකු නොව කඩවත ගනේමුල්ල පාරට හැරෙන හංදියේ සිටිය "ට්‍රැෆික් පොලිස්" බල්ලාය!
කිසිදු වරදක් නොකරණ අවස්ථාවලදී; නඩු එකතු කර ගැනීම සඳහා නිරපරාදේ දඩ කොල දෙන රාළහාමිලා හැඳින්වීමටද විවිධ නාම විශේෂනය යෙද වූවාට මම මේ කියන්නට යන කථාවේ කතෲ වන දඩෝරියා හැඳින්වීමට "ට්‍රැෆික් පොලිස් බල්ලා" යනුවෙන් යෙදීම හා දඩ කොළ හෝ ජරාව හෙවත් පගාව අතර කිසිදු සම්බන්ධයක් නොමැත!
මා පෙර කී ගනේමුල්ලට හැරෙණ හංදියේ සිටින රාළහාමි උදෑසන සිට පැය ගානක් මාර්ගයේ රථවාහන තදබදය මෙහෙය වන මුළු මහත් කාල පරිච්ඡේදය පුරාවටම මෙම බල්ලා ඔහු අසල රැඳේ!
වැල්ලවත්තේ බල්ලාද මෙවන් බක පණ්ඩිතයෙකි.
උන් දෙදෙනාටම "පොලිස් උණ" සේය.
රාජගිරිය "යහ පාලන" පාලම යටද පොලීසිය සමග ගැවසෙන බල්ලෙකු අදද දක්නට ලැබෙන බව හදවත මතක් කලාය!
මා නිවසේ සිට කිලෝමීටර 4 ක් පමණ සයිකලය පැදගෙන කඩවත නගරයට සේන්දුවී නගරය හරහා පැදයන කිහිප වතාවකදීම; මෙම බල්ලා හා රාළහාමි පසුකර යන විටදී බල්ලා තම නොසතුට කිහිප වතාවක් මා වෙත කොට පලකොට තිබුණි.
ඒ; පොලිස් රාළහාමිගේ දෙපා අසල වැතිර සිට සියුම් ගෙරවීමකින්ය.
මෙදිනද මා සිරිත් පරිදි නිවසෙන් පිටත්ව නගරය හරහා පදිමින් විය.
නගරයට නුවර දෙසින් ඇතුළු වන විට තිබෙන සියුම් අනුක්‍රමණය ඔස්සේ සෙමෙන් පදිමින් ශරීරය උනුසුම් කරගන්නා මා වෙගයකට එළබෙන්නේ කඩවත නගරයේ සිටි කොළඹදෙසට ඇති පල්ලමේ දීය.
නගරය හරහා දිවෙන මාර්ගයේ "පිට කොන්ද" වන්නේ මෙම බල්ලා රැඳී සිටින ස්ථානය නුදුරේය.
එම කලාපය මා පසු කරණ්නේ ඉතා සාමාන්‍ය වූ වේගයකිනි.
එදිනද මා ඉතා සරල වේගයකින් බල්ලා හා පොලිස් නිළධරයා පසු කර යන විටම; බල්ලා සිටි තැනින් නැගිට එනම් පේමන්ට් එක මතින් මෑත්ව; සයිකලය පදින මාර්ගයට අවතීර්ණ විය.
ඌ කුරුමාණම් අල්ලන්නේ සයිකලයේ පැඩලය සමග කරකැවෙන වම් පාදයටය.
සයිකලයෙ ගමන් මගට පිළිපන් හේ දත් විලිස්සගෙන කකුල හපා කෑමට පැන්න මුත් මා ක්ෂණිකව වේගය වැඩිකරමින්ම මාර්ගය මැදට සයිකලය හැරවූවෙමි.
ඊළඟ මොහොතේ තමාව පසුකරගෙන යන ඉලක්කය වෙත නැවත පහර දුන් බල්ලාහට එවරද තම අභිප්‍රාය මග හැරී ගියේය.
එහෙත් තෙවන උත්සාහය අපතේ නොගියේය.
හරියටම මාගේ පාදයේ යටිභාහුවේ ඉහල කෙලවරෙ සම සිදුරු කිරීමට ඌ සමත් විය.
ඒක්ෂණයෙන් බල්ලා ඉවතට දිව ගිය අතර මා අනතුරින් ඈත්වී පහලට පැද ආවෙමි.
ලෝකය මොනතරම් දියුණු වුවද අදටත් පිස්සු බලු හෙවත් ජලභීතිකා විෂබීජය ශරීර ගතවූ පසු එයට ප්‍රථිකාරයක් නොමැති බව මාහට මතක් විය.
ඊට දශක ගනනාවකට පෙර අගනුවර විසූ එක් ඉහළ නාගරික පංතියේ යුවතියක ඇඳ සිටි දිගු ගවුමේ එල්ලුනු ස්වකීය බලු පැටියා විසි ඉරාදැමුණු ස්ථානය අත් ඉඳිකට්ටකින් එළලා අවසන නූල කටින් විකා කඩාදැමූ පසු ජලභීතිකාව වැළඳී මියගිය පුවතක් මාගේ මව විසින් මාහට කුඩා කල පවසා තිබුනි.
එම කථාව ජීවිත කාලය මුළුල්ලේම මාතුල ජල භීතිකාවට මහත්වූ බියක් ඇතිකර ලීමට සමත් විය. කුඩා බලු පැටවාගේ ඛේඨයේ ගැබ්ව තිබුනු ජලභීතිකා විශබීජ තැවරුණු රෙදිකැබැල්ල මැසූ නූලට ව්‍යාප්තවුනු රෝග බීජ; නූල කටින් කඩා දැමීම සමග ඇයට ශරීර ගතව ඇත.
ඉන්පසු බොහෝ දුක් පීඩා විඳ ඇය මිය ගියේලු!
එදින පොලිස් බලු ප්‍රහාරය සමගම මාගේ සිත තුල අකුණු පිපිරුවේ මෙම කථාවය!
වහාම නගරයේ පහල කෙළවරට වන්නට පිහිටි මංකඩ පාරට පිවිසුණු මා එහි වූ නිවෙසක් වෙතට ගොස් සබන් යොදා තුවාලය සොදා ගත්තෙමි.
එයද තුවාලය අසල හොඳින් පිරිකා රුධිරය ගලා යාමට ඉඩ දීමෙන් අනතුරුවය.
තුවාලය සෝදා පිරිසිදු කර ගත්තද මට එය තරම් නොවීය.
දඩාවතේ අතහැර හදන බල්ලන් පිළිබඳව පැටිකිරිය කියා පෑමට හැක්කේ සයිකල්, යතුරු පැදි කරුවන් හා මනු කියවන්නන් හටය.
"බල්ලන් බිරූවද; සඳ අහසේ බබළයි හෝ තවළම ගමනේ යයි!" කියනවාට වඩා අද කාලේ ගැලපෙන ආප්තෝපදේශය වන්නේ "බල්ලන් බුරා පැන්නද ලයිට් බිල නොවරදවාම නිවසට ලැබේ!" යන්නය!
මේ බල්ලා කාගේද? මේ බල්ලා ගෙදරක හදන බල්ලෙක්ද? මූට බෙහෙත් විද ඇත්ද? මාගේ සිත පුපුරු ගැසුවේය.
මේ විදියට බල්ලන් දඩාවතේ යෑමට ඉඩ හැරීම සාධාරණ තත්වයක්ද?
හැමදා තමා සමග සිටිනා බල්ලා ගැන යම් වැටහීමක් එම ස්ථානයේ රාජකාරි වල නියැලෙන පොලිස් රාළහාමි දන්නවා විය යුතුය.
මා වහාම සයිකලය ආපසු හරවා ගෙන තල්ලු කරගෙනම ආපසු බල්ලා මා හට පහර දුන් ස්ථානයට පැමිණියෙමි.
රාළහාමි ඒ වන විටත් රාජකාරි කෙසේ වෙතත් වාහන ඒ මේ අත ය්ගමන් කිරීම නරඹමින්ය!
බල්ලාද ඔහු අසලය.
මා තමා වෙතට එනු ; ඈත සිටම දුටු රාළහාමි
"ගොඩක් තුවාලද?" යි සැපදුක් විමසීය.

මා ඈත සිටම පිළිවදන් දුන්නෙමි.
"තුවාලෙ සයිස් එක නෙවේ වැඩේ. මූට බෙහෙත් වත් විදලාද දන්නේ නෑ! කාගෙද දන්නෑ!?"
"අපෙ මේ පොලීසියේ බල්ලානේ. මම නං දන්නේ නෑ මූට බෙහෙත් විදලාද කියලා. මම මෙහාට අළුත්. පොඩ්ඩක් අහලා බලනවාද?"
මේ; පුංචි අංකුර පොලිස් පොඩ්ඩෙකි. තවම කට්ට කෛරාටික වී නොමැත. පාරට ගේමට ජරාවට හුරුවී පදම් වූ අයෙකු නොවේ.
"අම්මට සිරි ඒකත් එහෙමද?"
මට දැන් මල් යායකි!
"අම්මප මුන්ට මොලයක් තියෙනවද මෙහෙම හපාකන බල්ලෙක්ව නිදහසේ අතාරින්න? බල්ලාට තියා මුන්ට වත් පොඩිකාලෙ පනු බේත් වත් දීලද දන්නෑ!" මෙසේ සිතමින් මා සයිකලය තල්ලු කරගෙන ම කඩවත පොලීසිය වෙත ගියෙමි.
සයිකලය පැදගෙන යාමටවත් හිතක් නැත!
මම ගිය වේගයෙන්ම සයිකලය තල්ලු කරගෙන ඇතුලට ගියෙමි.
සයිකලය අසල තිබුනු බැම්මකට හේත්තුකල මා පොලීසියේ ඇතුලට හොම්බ දැම්මේය.
" අර මෙහේ පොලීසියේ හදන බල්ලා හංදියේදී මාව කෑවා! ඌට ඉන්ජෙක්සන්වත් ගහලද?"
මම ගිය වේගෑන්ම අසල මේසයක් ඉදිරියේ නිදි කිරමින් හිටියෙ මෙලෝ හැඩයක් නැති රාළහාමිගෙන් විමසීය.
"මොන බල්ලෙක්ද! මෙහේ කොහෙද බල්ලො?"
"ඇයි අර හංදියේ ගනේමුල්ල පාර හැරෙන තැන ඩියුටි කරණ රාළහාමි කිව්වේ එතන හිටියේ පොලීසියෙ බල්ලා කියලා!"
"මොන පිස්සුද? ඌ මේ එහා පැත්තේ කඩේ බල්ලා. හිටපු ගමන් මෙහේට ඇවිත් විසි කල මගුලක් කාලා යනවා ඇති!"
මේ යකා සමග තව දුරටත් කථා කිරීමෙන් පලක් නැත. මම ගියාට වඩා වැඩි වේගයකින් එළියට ආවෙමි.


Thursday, August 20, 2020
179. දෙවෙනි ඇන් ඇක්සිඩන්ට් එක
මම ඉස්කෝලෙ යන කාලෙ මගෙ හොඳම මිත්‍රයෙක් තමයි ඒ. ආර්. කුලසිංහ.
මෙයා ගැන මම ලියපු බ්ලොග් පෝස්ටුවක් තියෙනවා "සුගත් කුලසිංහ සහ මම . . !" කියලා.
කුලේ උපතින්ම ශික්ෂණයකට අවනතව හැදුනු අහිංසක චරිතයක්.
මෙයා දවසක් පංතියේ ඉන්න කොට; එයාට කොයි ලෝකෙන්ද මංදා හමුවුනු නන්චක්කුවක් ගැන මට කීවා.
ඒකාලෙ දැන් වාගේ අපි ඒකට කීවේ "නන්චකු" කියලා නෙවෙයි. අමුවෙන්ම නන්චක්කුව කියලා.
හරියට "පොරොට්ටා"; පරාටා වෙලා වගේ!
ඉතින් මෙයා මේක ගැන කියපු ගමන් මටත් පුදුම ආසාවක් උපන්නේ නන්චක්කුවක් හදාගන්නයි ඒක කරකවන හැටි කුලේ ගෙන් ඉගෙන ගන්නයි.
ඉතින් මරදානේ ආනන්දෙ ඉස්සරහ තිබුණු හාර්ඩ්වෙයාර් කඩේකින් එස්ලෝන් බට කෑලි දෙකකුයි; ටියුබ් ලයිට් එල්ලන දම්වැල් කෑල්ල්කුයි අරන් ඇවිත් නන්චක්කුවක් හැදුවා.
ඉස්කෝලෙ හවස කවුරුත් නැති ඉසව්වකට ගිහින් කුලේගෙන් මේ හුචක්කුව කරකවන්නට ටිකින් ටික පුරුදු වුනා.
මට ඕන උනා ටිකක් සිරා නන්චක්කුවක් හදා ගන්න.
ලී වලින් නෙවේ!?
ඇලුමීනියම් වලින්!
පස්සෙන් පහු; හැටන් ඩිපෝවේ වැඩකරපු අපෙ ඥාතියෙකුට පිංසෙන්ඩුවෙලා; සීටීබී එකෙන් ඇලුමිනියම් පොලු කෑල්ලක් ගෙන්වා ගෙන සුපිරිම නන්චක්කුවක් හදා ගත්තා.
වැදුනොත් ඔළු පළු!
ඔය කාලේ අපි පදිංචි වෙලා උන්නේ යටියන්තොට හක්බෙල්ලවක.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කල පියා; ලංකාව වටේ සේවය කරණාතරතුර; අපද එක් එක් පලාතේ තාත්තාගේ නිළ නිවාසයන්හී ගාල් වන අතර සමහර අවස්ථා වලදී කෙටි කාලයක් සඳහා හක්බෙල්ලාවක නිවසේ රැඳී උන් කාල වකවානු තිබිනි.
හක්බෙල්ලාවකදී මාහට සෙට මෝල් වුනු මිතුරෙකි.
ඒ කිත්සිරි ය.
මාගේ "සැම්සන් සහ විල්සන්" කෙටිකථාවේ සැම්සන් යනු කිත්සිරිගේ පියාණන් ය.
එම කථාවේ එක් තැනක ලියැවෙන "ගුරු පඩියක් මංකොල්ල කෑ . ." සිද්ධියේ කතෲ මේ මා ඉහත නම් සඳහන් කල කිත්සිරිය!
මම මේ කියන කථාව වෙන කාලෙ කිත්සිරි ඉගෙන ගත්තේ මහ විද්‍යාලෙ.
මහ විද්‍යාලෙ කියන්නේ යටියන්තොට කෑ/ වින්සන් පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයේ.
ඔව් අපි එහෙම තමයි වින්සන් මහත්තයාව හැඳින්වූවේ.
මම මේ කියන දවසේ ඒ ඉස්කෝලේ ස්පෝට් මීට් එක හෙවත් මළල ක්‍රීඩා උත්සවය.
මේකෙ එක ඉසව්වකට කිත්සිරිත් හිටියා.
ඒත් එයාට දුවන්න දිවුම් කලිසමක් හෙවත් රනිං ෂෝටක් තිබුනේ නැහැ.
එයා හිතාන හිටියේ මගේ දිවුම් කලිසම ඇඳ දුවන්න.
ඊට දවස් දෙකකට විතර කලින් කිත්සිරි පණිවිඩයක් එවලා තිබුනා කලිසම අරං අදාල දවසේ උදේ 10.00 ට විතර යටියන්තොටට එන ලෙස.
ඔය කාලේ අර නන්චක්කු පිස්සුවට අමතරව; තවමත් හොඳ කරගන්න බැරිව ඉන්න සයික්ලිං පිස්සුව පටන් ගත්තු අළුත!
ඉතින් මමත් අර කලිසමත් සිලි සිලි බෑග් එකකට දාගෙන මදි පාඩුවට නන්චක්කුවත් ඒකටම ඔබාගෙන බෑග් එක සයිකලේ හැඬලයේ එල්ලාගෙන හක්බෙල්ලාවකින් යටියන්තොට බලා ඉගිල්ලුනා.
දැං මේක කියවන මහත්වරු අහයි "ස්පෝට් මීට් එකට මොකටද නන්චක්කුවක් . . ?" කියලා.
ඒකට කියන්නේ "උණ" කියලා!
(එහෙම කිව්වාම ඉතිං ආයේ සහ සුද්දෙන්ම තේරෙණවා නේ!)
මා ගාව ඒකාලේ තිබුනේ මගේ පලමු සයිකලේ.
ඒක RMI එකක්.
RMI කියන්නේ රෝඩ් මාස්ටර් ඉන්ඩස්ට්‍රීස් කියන එක.
මේ සයිකලේ ලංකාවට ගෙනාවේ; ලංගමේ සේවකයින්ට ගෙවන්න දෙන්න.
සයිකලේ මිළ රුපියල් 495 යි.
මට මේ සයිකලේ අම්මා අරණ්දුන්නේ අපේම ළඟ ඥාතියෙකුගෙන්.
රුපියල් 250 කටද කොහෙද.
ඒකෙ පෝක් අත හැඩ කරලා හදලා ගත්තාම සුපිරියට පැදුනා.
ඉස්සරහට දැති 48 කොග් වීල් එක.
පස්සෙ තිබුනේ දැති 16 ෆ්‍රී වීල් එකක්.
සුප්පා සුපිරියට පැදුනු සයිකලයක් ඒක.
හැඬල් එක කපලා පාත් කරලා තිබුනේ.
ඉතින් මම සයිකලෙන් පිටත් උනේ යටියන්තොටට යන්න.
හක්බෙල්ලවක ඉඳන් යටියන්තොටට හැතැප්ම 4 යි.
මම ඔය කියන කාලේ දුරවල් මැන්නේ හැතැප්ම වලින්.
දැන් ඒක කිලෝමීටර 6 ක් විතර වෙලා.
බලන්න ඒකෙත් හැටි!?
ඉතින් මමත්; මා ගාව තිබුනු කොට කලිසං පොඩ්ඩකින් සැරසිලා දැන් ලෙල්ලේ යනවා යටියන්තොට බලා.
ඔය මම දහයේ විභාගෙ ගත්තු කාලෙ හරි ඊට ඔන්න මෙන්න කියලා තිබුනු වක වානුවක්.
මම කිසි කිසි ගාගෙන පදිනවා.
හක්බෙල්ලාවක ඉස්කෝලෙ ලඟ පල්ලම බැස්සේත් ඊගාවට තියෙන වංගුව ගත්තේත් ඊ ගහේ වේගෙන්.
ඊළඟට බදුල්ලවල පං සල ගාව තියෙන එක ලඟ වංගු දෙක.
වංගුදෙක පහු කරලා ගත්තු ගමන් සෙට් වෙන්නේ තනි කෙලින් හැතැප්මක් විතර දිගට ඇදුනු පාර.
දැන් වෙලාව උදේ 9.30 ට විතර ඇති.
පාරෙ තැනින් තැන මිනිසුන් ගැවෙසමින්.
මම වංගු දෙක පහු කරලා බයිසිකලේ කෙලින් කරගෙන ගැම්මට පදිනවා.
මට පෙනෙනවා ඉදිරියෙන් යන නාවලපිටිය ඩිපෝ එකේ මේල් බස් එක.
මේල් කියන්නේ තැපැල් මලු ගෙනෙන කියන එක.
නැත්නම් හිතයි අනිත් බස්; "ෆීමේල්" කියලා!
රාත්‍රී තැපැල් දුම්රියෙන් නාවල පිටියට ගොඩබාන තැපැල් මලු නාවල පිටියේ සිට යටියන්තොට දක්වා ගෙනෙන්නේ මේ අහිංසක බස් එකෙන්.
අහිංසක කිව්වේ වගේ වගක් නැතිව ඔහේ ගාටමින් ගිය නිසාත් සැම නැවතුමකම නැවැත්වූ නිසාත්!
බදුල්ලවල-බටුපිටිය කඩේ ලඟ හිටපු සෙනග නංවා ගත් බස් එක ඊළඟ නැවතුම වෙත සෙමෙන් ගමනෙන් යමින්.
මා පැදපු සුපිරි වෙගය නිසා බසයට කිට්ටු කරණ්නට මට ඊළඟ මොහොතේදී හැකිඋනා.
මේවන විට බස් රිය දෙවන ගියරයේ ධාවනය වන්නට ඇත.
මා වැඩි අපහසුවකින් තොරව තනිදොරේ මර්සිඩීස් බෙන්ස් බස් රිය පසු කිරීම ඇරඹීය.
සෙමෙන් සෙමෙන් සැර දමමින් වේගවත් වන බස් රිය සමග මගේ සයිකලයද එක එල්ලේ ඔට්ටුවෙමිනි.
මහත්වූ වැර වෑයමෙන් යුතුව තුන්වෙනි ගියරයේ වේගය වැඩිකරමින් ඇදෙන බසය පසු කල මා එය ධාවනය වන පථය ආක්‍රමණය කලේ පාරේ වම්පසට සයිකලය ගැනීමටය.
මේවන විට බසය ධාවනය වූයේ මාහට මිටර 2-3 පසුපසින් වන්නට ඇත.
ඒකවරම මාගේ සයිකලයේ ඉදිරිපස රෝදය හිරවී මා ගුවන් ගත විය!
මා ඊළඟ නිමේශයේදී මහ පාර මත දෙරි ගැහුවේ ගෙම්බෙකු පොලොවේ ගසනවාටත් වඩා සුපිරියටය!
පසු පසින් පැමිණි බස් රිය කෑමොර දීගෙන නතර විය.
ටයර පාරේ ඇතිල්ලීමෙන් හාත් පස පුළුටු ගඳ හැමීය.
දනිස් පොල්කටු ලෙල්ල ගිය බීට් අල මෙනි.
උඩින් ගොස් ලෑන්ඩ් කරනවිට මහ පාර මත ගැටුනු දකුණු අත්ලේ එක් තැනක හම ගැලවී රතු මස් මතු වෙලාය.
මා දනි පනිගා; විළි ලැජ්ජාව බැරල් එකෙන් වසාගෙන නැගිට ගත්තෙමි.
ඒ සමග බසයේ පැමිණි හුදී ජනයා හා අවට ගෙවල් වල පිළිකණුවල සිටි අය පවා එතනට පියාඹා ආවෝය.
වැටුනාට වඩා අමාරුවක් වටේ උන් එවුන් අත කම්මුලේ තබාගෙන අකම්පාලවී බලා ඉන්නා දෙස බැලීමෙන් මාහට දැනිනි.
බසයේ රෝද අතර තිබුනු සයිකලය කිසිවෙකු එලියට ඇද ගත්තේය.
ඉස්සරහ රෝදය කිසිදු ඉලක්කමකට නොගැලපෙන හැඩයක් ගෙන තිබුනි.
මාගේ පරාණය බේරී තිබුනේ මාගේ පූරුවේ වාසනාවට වඩා මාගේ නෑ සුමිතුරන්ගේ කරුමය නිසා යැයි පසු කලෙක මෙම කතාව ඇසූ බොහෝ දෙනා ගිරව් සේ පැවසුවෝය!
"සන්නි තෙල් ගේන්න වගේනෙ ඉගිල්ලුනේ . . !"
"කාලා තෙලේ වැඩිවෙලා මුන්ට . . !!"
"මුංව හදන්න අම්මලා අප්පලා මොනතරම් දත කනවද කියලා මුංට ගානක් නෑ!!!"
වටවූ පිරිස මාහට සෙත් පිරිත් ගයමිනි; ආසිරි පවන් සලමිනි!
"මොකෑඈ උනේ . . ?" සයිකලෙ එලියට ඇදලා ගත් එකා කෙඳිරි ගෑවේය.
ඔහු ඒවන විටත් සයිකලය මුදා ගැනීමෙන් මාහට කල උදව්වට මා වචනයක් හෝ කිවයුතුය.
"අනේ මංදා! සයිකලේ ඉස්සරහ රෝදේ එක පාර හිර වුනා . . ! ඒ මට දැනුනු දෙයය.
"හිරවෙන්නේ නැද්ද . . . . . . . . . . .!?
මේ ඇලුමිනියං පොලු කෑලි දෙක පෝක් අත අස්සේ ගිහින්නේ . . !"
ෂර්ලොක් හෝම්ස් ගනයේ සොයා ගැනීමක් ඔහු ඒවන විට කර තිබුනි.
හැඬලයේ එල්ලා තිබූ සිලි සිලි බෑගයේ ඔංචිලි පදින ලද නන්චක්කුව එකවරම ටයරයත් පෝක් අතත් අතරින් රිංගා ගොස් කිටිකිටියේ හිරවී තිබුනි!
ඔහු සයිකලය අල්ලාගෙන ඉඳිදීම තවත් නහරයක් වැඩි අවුට්ස්ටෑන්ඩින් එකෙක් රෝදය හා පෝක් අත අතර හිරවී මාගේ රෙදි ගැලවූ නන්චක්කුව ඇද එලියට ගත්තේය.
"මේ මොකක්ද මේ . .?"
සයිකලේ අල්ලා ගෙන හිටිය එකා අවකාශය හරහා මාගෙන් විමසීය.
මට පිළිතුරක් දෙන්නට ඉඩ නොතබාම නන්චක්කුව අතෙහි තිබුනු එකා කට ඇරියේය.
"මේ අර බූස්ලි ගාව තියෙන වැඩ කෑල්ලනේ . . . . .!?"
"අම්මට සිරි . . . !"
බසය රිවස් කොට යන්නට පිටත් විය.
ගෑනුන් අතේ තිබුනු කොසු ඉදල් රැගෙන එතෙක් කරමින් තිබුනු වැඩය අවසන් කිරීමට ගියහ.
තරුණ කොල්ල කුරුට්ටන් පිරිසත් නන්චක්කුවත් මමත් අටපට්ටම් වූ සයිකලයත් පමණක් ඉතිරිවිය.
ඉතිරිවූ එවුන් අතරේ එහා මෙහා සංසරණය වූ නන්චක්කුව තවත්ටික වේලාවකින් මාහට ලැබුනි.
ඒ තනිව නොව!
බූස් ලීට තරමේ ගෞරවයක්ද සමගය!
අතේ පයේ වුනු වේදනාව හා සයිකලයට සිදුවූ අලාභහානිය එම ගෞරවය හා සැසඳුනි.
"අවුලක් නැත! බූස් ලී කියන්නේ සෙල්ලං පොරක්ද?"
23. ගඟක් දිගේ ගිය ගමනක්
"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...
.jpg)
.jpg)
.jpg)
.jpg)


.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
















