Wednesday, June 2, 2021

198. පැනි බේරෙණ කොම්පැනි කථා 1

ක්‍රියාන්විතයේ මුල් ගමන් කරුවෝ නලීන්-හුස්නි-සෆ්ෆ්‍රාස්
 
කනු කුනු නොගෑ කුණු ප්‍රශ්ණය! 
මා වසර දොලහක් සේවය කල යුනයිටඩ් මෝටර්ස් සමාගමේ සිට අවසන් වතාවට සේවය කල ඔටෝමිරාජ් ආයතනය වෙතට පැමිණීම සිදු උනේ හරිම අනපේක්ෂිත විදියට. ඇත්තටම ඊට මුල් උනේ මගේම හදවත කිව්වොත් මම වඩාත් නිවැරදියි!

වසික කැන්ගරු දේශයට ගිය අලුත එයාගේ තනිය ටික කාලෙකට හරි මකා දමන්නට එහාට යන්න මගේ අදහසක් තිබුනා.

නමුත් ඒ සඳහා වීසා ගැනීමේ සිට වෙනත් වෙනත් කටයුතු වලට කාලය ගතවන විට ඔටෝ මිරාජයට සෙට් වෙන්නට කරුණු කාරණා යෙදුනා.

දෙමටගොඩ ඔටෝමිරාජය යනු ඔටෝමිරාජ් සමූහයේම වැඩිම ආදායම් ලබපු ශාඛාව නැතිනම් ඒකකය.

අපේ ඉලක්කය වූයේ මසකට මිලියන 15 ක්. අපි මිලියන 10 ක 12 ක මට්ටමක් සැමදා පවත්වාගෙන ගියා.

මගේත් එක්ක ලොකු කණ්ඩායමක් වැඩකලා.

එයින් ප්‍රධාන උනේ රුෂාන් මල්ලී.

ඔහු මට සෙවනැල්ල සේ එකටම අදටත් සිටින මිත්‍රයෙක්.

ගැන්සිය - දකුණේ සිට - රුශාන්, ජනක, මලීෂා, ප්‍රියන්ජි, අසේල. සෆ්ෆ්‍රාස්, සුගත්, පොඩි ඉසුරු, ලසන්ත

ඊට අමතරව අසේල, සෆ්‍රාස්, රොක්සි, නලීන්, නන්දික, මනෝජ්, සුදත්, විජේ, සම්පත්, ලසන්ත, ප්‍රියන්ජි වගේ නිළධර කාඩරයකුත් ඔවුන් වෙතින් පාලනයවූ දෙමල, සිංහල, මුස්ලිම් එළ කොල්ලො සෙට් එකකුත් එතන හිටියා.

රුෂාන් ඔපරේෂන් එක; එහෙම නැතිනම් ක්‍රියාන්විතය මුළුමනිනම දිවැව්වා.

එයාට ඒ සඳහා තිබුනේ අනර්ඝ පලපුරුද්දක්.

මම පෞද්ගලිකව රුෂාන්ගේ කළමණාකරණයටත් පොදුවේ අනෙක් අයගේ කටයුතු වලටත් අනවශ්‍ය බලපෑම් කරණ්න ගියේ නෑ.

මට අවශ්‍ය වුනේ ආයතනයේ සේවාවේ ගුණාත්මක බව ඉහල මට්ටමකට ගෙන ඒමයි.

ඒ සඳහා මම කුඩා කුඩා අත් හදා බැලීම් කලා වගේම ඉන් බොහොමයක් සාර්ථක උනා. වාහනයක් සේවාවෙන් පසු ආයතන භූමියෙන් ඉවතට යන අවස්ථාවේ දී කරණු ලබන අවසාන සුපරීක්ෂනයේදී වීල් නට් හෙවත් රෝද වල ඇන පරීක්ෂා කිරීමටත් ප්‍රමිතියට තද කිරීමටත් ටෝක් රින්ච් පාවිච්චිය හඳුන්වාදීම ඉන් එකක්.

හරිනේ! ඇයි වැරදිද? අසේල මුල්ම ටෝක් රින්ච් එකෙන් වැඩ පෙන්වමින්
වමේ සිට - අසේල, හසන්, වික්‍රමසිංහ, කුමාර, ලසන්ත, සම්පත්

අදටත් එය එහි සාර්ථකව කරගෙන යනු ලබනවා.

නමුත් ආයතනයට පැමිණි මුල් දිනයේම මා දුටු; මවිසින් පළමුව විසඳිය යුතු ප්‍රධාන ගැටළුව වූයේ අපද්‍රව්‍ය කළමණාකරණය කියලා මට ඒත්තු ගියා.

දිනපතා එකතුවන විශාල අපද්‍රව්‍ය හෙවත් කුණු බැහැර කිරීම සඳහා සතිපතා ලොකු වියදමක් දැරීමට වාගේම ඒ සඳහා නගර සභාවෙන් වාහනයක් ගෙන්වා ගැනීමට ආයතනයක් ලෙසට අපි සැවොම මුහුණ දුන් අප්‍රසන්න අත්දැකීමක් උනා.

මෙය මට මහත්වූ අභියෝගයක්නේ ආණ්ඩුවටවත් විසඳ ගන්න බැරි!? 

එය මා සතුටින් භාර ගත්තා.

පළමුව ආයතනයේ එක් වන කුණු මොනවා දැයි සොයා බැලුවා. එතනදි මම තේරුම් ගත්තු දෙයක් තිබුනා අනිවාර්‍යයෙන්ම එක්තු වන අපද්‍රව්‍ය හා අපට පාලනය කරගත හැකි ඒවා ලෙස කොටස් දෙකක් ඇති වග.

මොනවද මේ අනිවාර්‍යය කුණු:- ඒවා තමයි වාහන වලින් ඉවත් කරණු ලබන දැවිතෙල් හෙවත් කළු තෙල්. අනෙක ඉවත් කරණ පෙරහන් හෙවත් ෆිල්ටර් ඊළඟට ලිහිසි තෙල් කෑන් හා වෙනත් ඇසුරුම්.

මම ආයතනයට යන විට දැවිතෙල් බැරලයක එනම් ලීටර 200ක මිල වූයේ රුපියල් 7500ක්. මමත් රුශානුත් එකවුන්ටන් ප්‍රියන්ජිත් එකතුව අපි තීරණයක් ගත්තා කළුතෙල් බැරලයක මිල රු: 10,000 කට ඉහල දැමීමට. ඒ පියවර කිහිපයකින්. පලමුව එය රු: 9000 කට ඉහල දැමීමට සමත් උනා.

 ඒ ගැනත් පොඩිත්තක් ලිව්වොත් හොඳයි වගේ. මේ කළු තෙල් විකුණන මුදල බැර උනේ අපේ අර මුලින් කීව මල්ලිලාට උදේ කෑම එක දෙන්න. තෙල් වලට ලැබෙන මුදල මත තමයි අපිට මේ දරුවන්ට දෙන්න පුළුවන් කෑම එකේ ගුණාත්මක බව තීරණය උනේ!

මෙහෙම තෙල් විකිණීමට මෙතෙක් පැවති ඒකාකාර මිල ඉහල දැමිය හැකි වේ දැයි බොහෝ දෙනා හට කුකුසක් තිබුනා.  ඒ පිළිබඳව වගකීම මා භාර ගත්තා. නැවත කළුතෙල් මිළදී ගන්නා අය ආ විට; ඔහුව මා මුණ ගැසීමට තීරණය කලා. දිනක් සවස් වරුවේ තෙල් මුදලාලි ආ විගස ඔහුව මා වෙත ස්ටෝරුවේ මනෝජ් රැගෙන ආවා.

ඔහුගේ නම ලැම්බර්ට්!

"ලැම්බර්ට් ඔයාට එන්න කිව්වේ අපට ඉදිරියේ ඔයාට තෙල් දෙන්න බැරි වෙන බව කියන්න!" මම කීවේ  පොඩි බොරුවක්.

"ඒ මොකද සර්!?"

"නෑ! අපේ ඔටෝමිරාජ් ඔක්කොම ඒවායෙ තෙල් ගන්න එක්කෙනෙක් ටෙන්ඩර් එකක් දාලා තියෙනවා. එයා 9000 ගානේ ගන්නවාලු. ඒ හින්දා අපිට තෙල් පිට දෙන්න එපා කියලා හෙඩ් ඔෆිස් එකෙන් කියලා තියෙනවා. වෙනසක් උනොත් මම ඔයාට දන්වන්නම්."

"හරි සර් මම 9000 ට ගන්න කැමති උනොත්?"

"මට දැන්ම ඒක ගැන කියන්න බෑ! මම හෙඩ් ඔෆිස් එකෙන් අහලා ඔයාට දන්වන්නම්!"

ඒ කෙටි වේලාව අවසන් උනේ අපේ ඉලක්කය සපුරා ගනිමින්.

අපිට ෆිල්ටර විකිණීමත් නියමිත ක්‍රම වේධයකට සකස් කර ගන්න පුළුවන් උනා.

ඒ වගේම හිස් කෑන් සියල්ල ප්ලාස්ටික් කැට හදන තැනකට විකුණා ගන්නටත් පසුව ප්ලාස්ටික් එකතු කරණා අයෙකු අපගෙ ආයතනයටම විත් හිස් කෑන් වතුර බෝතල් කිලෝ ගානට අරං ගියා. ඒ කුණු සේරම මුදල් කර ගැනීමට හැමෝම මට උදව් කලා!

දැන් තමයි සංකීර්ණ ප්‍රශ්නය:

දෙවෙනි අපද්‍රව්‍ය උනේ පාලනය කල හැකි කුණු!

මෙහි ප්‍රධාන වශයෙන් තිබුනේ කෑම ඔතන කඩදාසි, ලන්ච් ශීට්, ඉඳුල්.

ඒ වන විට ආයතනයේ 40 කට අධික සේවක පිරිසක් සේවය කලා.

ඔවුනට උදෑසන සහ දිවා ආහාරය දුන්නේ ආයතනයෙන්මයි, උදෑසන ආහාරය මුළුමණින්ම නොමිලේ වුනු අතර දිවා ආහාරයට අය කලේ අඩක් පමණයි. ඉතිරිය ආයතනයෙන්. මේ ආහාර ගත්තේ සැපයුම් කරුවන් දෙදෙනෙකුගෙන්. ඔවුන් ගෙනා ආහාර වල ගුණාත්මක භාවය කෙසේ වෙතත් ප්‍රමාණාත්මක භාවය ඉහල මට්ටමක තිබුනා. මේ නිසා විශාල ඉඳුල් ප්‍රමාණයක් මෙන්ම කෑම ඔතන කඩදාසි කොල 80ක් ද ලන්ච් ශීට් 80ක් ද අනිවාර්යයෙන්ම දිනකට එකතු උනා.

මම අළුත් අදහසක් ගෙනාවා.

"අපි කෑම ගේන්න කියමු ප්ලාස්ටික් පෙට්ටියක. උදේට ගේන එක්කෙනාට පෙට්ටි 40 කුත් දවල් කෙනාට පෙට්ටි 40 කුත් අරණ් වැඩේ පටන් ගන්න කියමු."

"පෙට්ටි එතකොට අපි අරන් දෙනවා?" ප්‍රියන්ජි ඇහුවා.

"නෑ! නෑ!! නෑ!!! එයාල ගන්න ඕනෙ! එයාලට දැන්ටත් කඩදාසි වලට ලන්ච් ශීට් වලට මුදලක් වැයවෙනවානේ!? ඒක ඉතුරුයි. අපි එයාලගෙන් අනිවාර්‍යයෙන්ම මාස තුනක් කෑම ගන්න පොරොන්දු වෙනවා! එතකොට එයාලගෙ ඉනීශියල් කොස්ට් එක කවර් වෙනවා. ඊළඟට වෙන සප්ලයර් කෙනෙක් ගෙන් අපි කෑම ගන්න පටන් ගත්තොත්; මේ බොක්සස් ටික අළුත් සප්ලයර්ට ගන්න කියනවා මෙයාට සල්ලි දීලා!?

"ඔව් එහෙම නම් එයාලා කැමති වෙයි!" ප්‍රියන්ජි සැනසුම් සුසුමක් හෙළුවා.

"ඔව් එතකොට ඒගොල්ලන්ට පාඩුවක් නෑනෙ . . . !? රුශාන් මල්ලි මගේ පැත්තට කථා කලා - නිකං දී කිරට බලල්ලුත් ඥාව් ඥාව් ගානවා වගේ. (ඌ කොහොමත් මාව බේර ගන්නවා!)

"එතකොට ඉඳුල් . . ? (මට මතක නෑ කවුද ඇහුවේ කියලා නම්!)

"ඉඳුල් එයාලා ගෙනියන්න ඕනෙ!!!!!!" මම ගානක් නැතිව කිව්වා.

"මොන පිස්සුද? ඒකට නම් කවුරුවත් කැමති වෙන එකක් නෑ!" රුශාන්ද මංදා කිව්වේ.

"හරි සප්ලයර්ස්ලා දෙන්නාව අදම හවස මීටින් එකකට එන්න කියන්න!" අපි එයාලත් එක්ක කථා කරමු. මම උන්ට කථා කරණ්නං! උඹලා මට ග්‍රවුන්ඩ් සපොර්ට් එක දෙන්න ඕනෙ! හාද?"

"හරි හරි! හා හා!! ප්‍රියන්ගි අක්කේ!? අපිටත් ගුටි කන සීන් එකක් තමයි සෙට් වෙන්න යන්නේ" කවදත් ඕන එකකට කින්ඩිය දාන රුශාන් කියගෙනම පහලට ගියා.

හවස මීටිම සෙට් උනා. මාත් හිටියේ තරමක චකිතයකින්. ඒත් මගේ හිතේත් චකිතයක් තිබුනාට සාධාරණ තර්කයක් තිබුනා මේ "ඉඳුල් රිටර්න්" වැඩේ ගැන!

සප්ලර්ස්ලට මාව අඳුන්වලා දුන්නේ ප්‍රියන්ජි වගේ මතක.

මම මගේ  කථාව පටන් ගත්තා. ඔවුන්ට වටහා දුන්නා කෑම පෙට්ටි වල කෑම ගේන එකේ තියෙන වටිනාකම. ඒක එයාලට ලාභ දායක වන හැටි. කථාව දිගට යන්න ලැබුනේ නෑ. ඒ අය අකමැති උනා මේ කරදර වලට.

මොනවා කරණ්නද? මට පරාජය භාර ගන්න උනා.

මම එවෙලේම ස්ටෝරුවේ මනෝජ්ට කථා කරලා කිව්වා හෙට දවස ඇතුලත අපිට අළුත් සප්ලයර්ස්ලා දෙන්නෙක් හොයාගෙන එන්න කියලා.

"මනෝජ් මල්ලී උඹ මුකුත් කියන්න යන්න එපා. මං ගාවට එක්කගෙන එන්න. ඔය කෑම පෙට්ටි හුට පට ගැන උඹ කථා කලොත් වැඩේ අල වෙනවා!"

"හරි සර්! මම මුකුත් කියන්නෙ නැතිව කෑම සප්ලයි කරණ්න පුළුවංනං සර්ව ඇවිත් හම්බෙන්න කියන්නම්!"

"එළ!'

පසුදා  වන විට අපට අවස්ථා දෙකකදී  සැපයුම් කරුවන් දෙදෙනෙකු මුණ ගැසීමට හැකිවිය. දෙදෙනාම පෙට්ටි කථාවට දෙදෙනාම පහසුවෙන් එකඟ කර ගැනීමට අපහට පුළුවන් විය. මා ඔවුන්ව අපේ අවශ්‍යථාවයට පොළඹවා ගැනීමට කථා කරණ විට එයට ප්‍රියන්ජිත් රුශානුත් ම ග්‍රවුන්ඩ් සපෝර්ට් එක දුන්නෝය.

පහසුවෙන්ම  සැපයුම් කරු අපගේ පෙට්ටි සීන් එකට නවා ගත්තෙමු.

ඊළඟට "ඉඳුල් රිටර්න්" සීන් එක.

"දැං ඔයා හොඳ කෑම එකක් දුන්නොත් අපේ කොල්ලෝ පෙට්ටිය වත් ඉතුරු කරණ්නේ නෑ! කෑම අවුල්නම් ඉඳුල් ඉතුරු වෙනවා! පිළිගන්නවාද? ඔව්! (උං "ඔව්!" කියන්නටත් කලිං මම  "ඔව්!" කියාගෙනම කථාව ඇද්දෙය!) දැන් ඔයාලා හැම පෙට්ටියටම කෑම පුරෝලා දාන්න යන්න එපා. සයිස් දෙකකට හරි තුනකට හරි කෑම එවන්න. එතකොට අඩුවෙන් කන කෙනාට පොඩි කෑම එකක්. ගොඩක් කන කෙනාට ලොකු එකකුත් ගන්න පුළුවන්. හරිනේ? ඒක ඔයාලටත් ලාභයි කෑම අපතේ යැවෙන්නෙත් නෑ. හැබැයි එක දෙයක්! අන්තිමට ඉතුරු වෙන කෑම අපි පොඩි ශොපින් කවරෙකට දාලා තියනවා. ඔයා ඒක අරන් යන්න ඕනෙ ආපහු! ඔයා හොඳට - ගානට කෑම දුන්නොත් ඔයාට මෙච්චරක් වත් ආපහු ගෙනියන්න වෙන්නේ නෑ!" මම අත් දෙක එකට තබා දෝත ඔහුට පෙන්වීය.

අපරාදෙ කියන්න බෑ. ඔවුන් ඊට එකඟ විය.

අපේ පවිත්‍රතා අංශයේ අංශාධිපති මිස්ටර් පෙරෙරාටත් වැඩ අඩු විය. සතියක් යනකොට සියළු දෙනා වඩේට එකෙන්ම සෙට් විය. සහරාන් බෝම්බ ගසනා තුරු වඩේ පුරා වසරක වැනි කාලයක් නියමෙට නැගලා ගියා. 

ඔබ පිළිගන්නවාද? අන්තිමට නගර සභාවට පටවන්න කුණු නැතිවූ වග?

වරක් රජයේ නිළධාරිණියක් පැමිණ අපගේ අපද්‍රව්‍ය බැහැර කරණා අන්දම ගැන විමසුවාය.

"අපිට එහෙමට කියලා කුණු නෑ මිස්!"

"මොකක්!?"

"ඔව්! අපි කුණු ප්‍රශ්නය විසඳා ගෙන තියෙන්නේ මෙහෙමයි! . . . . . . . . . . . . . .!!  රුශානුයි මමයි තරඟෙට මෙන් කියාගෙන කියාගෙන ගියා! මිසී ඇස් උඩ තියාගෙන  යන්න ගියේ අපි නිකං දුන්නු ස්මැක් දිවුල් බීම එකත් නොබීම!

ආතල් එකේ වැඩ - රුශාන් මල්ලීත් රොක්සිත්  එක්ක!

අප ආයතනයකට වේවා. පලාතකට වේවා, රටකට සේවය කරණා විට; නායකත්වය සපයන විට එය පාලනය කලයුත්තේ සැපයුම් කරුවන්ගේ ඕනෑ එපාකම් වලට අනුව නොව එකී සංස්ථාවේ උන්නතිය සුභ සිද්ධිය උදෙසාය! මෙසේ කල හැක්කේ ජරාව නොකන එවුංට පමණි. සැපයුම් කරුවන්ගෙන් ජරාව කන එකා සැපයුම් කරුවාට නැවේ. ඉන් පසු ක්‍රියාවට නැගෙන්නේ සැපයුම් කරුවාගේ න්‍යාය පත්‍රයයි!

සියල්ල අතිශය සාර්ථකව කෙරුණි. අති මහත් බහුතරයකගෙ ආශීර්වාදය මත වැඩේ ලස්සනට ගියේය. එතෙක් බත් කොලේ මේසය මත එළාගෙන කෑ කොල්ලන් කෑම පෙට්ටියක පිළිවෙලට සුරා තිබුනු බත් එක මා සමගම එක මේසයේ කෑවෝය.  ගෙදර වසිකලාට;  ඉතුරු කරණ්නට ඉඩ නොදී; බලෙන් ඇන ඇන කවන ලෙසින්ම උන්ට එළවළු මැල්ලුම් ඉතුරු කරණ්නට නොදී කන්නට බල කලෙමි! උන් මගේ වයසට ගරු කල නිසාදෝ නො එසේනම් අනුකම්පා කල නිසාදෝ; මැල්ලුම්, කරවිල, හාල් මැස්සෝ; තිබ්බොටු වැනිදේ කරබාගෙන ගිල දැමුවෝය. ඇත්තෙන්ම එය අතිශය සුන්දර මතකයකි!

කොහොමටත් තිබ්බොටු කෑම මගේ ජීවිතයේ අමරණීය මතකයකි!


31 comments:

  1. කුණු කඳු නාය යන රටේ, මෙච්චර ලස්සන කුණු කතාවක් දැක්කමයි. හැම දේටම හොට දැමීමේ inferior complexity වලින් පෙලෙන බොහෝ කලමනාකරුවන් අතරේ, විරල අත්දැකීමක්. එක හුස්මට කියෙව්වා.

    කොණ්ඩ මුතු කියන්නෙ, මෙහෙ ඉන්න සාර්ථක කසල ප්‍රතිචක්‍රීය කරන ව්‍යාපාරිකයෙක්. සිංහල-දෙමල මිශ්‍ර සමභවක් තිබුණත් ලංකාවට හිතැති කෙනෙක්. ඔහු ඇවිත් තියනවා,කුණු කන්ද නාය ගිය වෙලාවෙ ලංකාවට කසල ප්‍රතිචක්‍රීය ව්‍යාපෘතියක් කරන්න. ප්‍රසිද්ධ දේසපාලුවෙක් බරපතල "පිදේනියක්" ඉල්ලලා. සෙස්ස ඉතිහාස ගත විය....

    ReplyDelete
    Replies
    1. ආ උදේ පාන්දරින්ම. නෑ ඇත්තටම මේ මිනිස්සුන්ට ප්‍රශ්ණයක් විසඳ ගන්න සැබෑ උවමනාවක් තියේ නම් ඊට ක්‍රමයක් හොයා ගන්න බැරි නෑ. අනිවාර්‍යයෙන්ම පුළුවන්. හබැයි තමන් සුපිරිසිදු හා විනිවිද භාවයෙන් යුක්ත වෙන්න ඕනෙ. බොහෝ ආයතන වලට කෑම සප්ලයි කරණ එකා තමයි බොසාගේ පාටි වලට බයිට් සප්ලයි කරණ්නෙත්. ඉතිං එහෙම කරණ්න ගියාම කවදාවත් ආයතනයට හිතැති තීන්දු තීරණ ගන්න බෑ. ඔබ හිතන්න ඒ වගේ පොඩි ආයතනයක් කරණ්න ගිය තැන මොන තරම් "ධන උල්පත්" කඩා වැටෙනවද කියලා. ඒවාට ගිජු උනොත් සොරිම තමයි!
      ඔය කථාව මමත් අහල තියෙනවා. කොහොමත් මේ රටේ කිසිම කෙනෙකුට යහපත් දෙයක් නම කරණ්න දෙන්නේ නෑ. කොමිස්, පගා, ඥාති සැලකිළි. කොහොමටත් බොහොමත්ම ස්තූතියි කියවන්න ආවාට. දිගටම ලියන්න තියෙනවා රැකියාවේ සුන්දර කථා දහයක් දොලහක්. මේ වගේම කියවන්න එන්න.

      Delete
  2. ඕක හරියට ආහාර දාමයක් වගේ මංජුල අයියා. ඉස්සල්ලම තමන් හරියට හැදිලා ඉන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ කුටුම්බය. ඊට පස්සේ වැඩ කරන තැන. ඊටත් පස්සේ තමා ගම සහ රට.
    කළමනාකරු= කළයුත්ත මනා ලෙස කරන්නා. (හරිද මන්දා)

    ReplyDelete
    Replies
    1. ඔව් හැකි උපරිමයෙන්ම මම වගකීමෙන් හා වගවීමෙන් යුතුව කිසිදු වංචාවකින් තොරවා වැඩ ටික කරගෙන ගියා. අදටත් ඒක මට මහත්වූ සතුටක්!

      Delete
  3. කෑම සප්ලයි කරන එකෙන් සෑහෙන්න සහ රෙගියුලර්ලි ලාබ ගත්තෑකි හරියට කරනවනම්. නොකරන නිසා තමයි සප්ලයර්ස්ලා නිතරම මාරු කරන්නෙ

    ReplyDelete
    Replies
    1. අනික එයලා පටන් ගන්නකොට තිවුනු ගැම්ම මාසයක් හමාරක් යනකොට නැති වෙනවා. ඊළඟට ඉතින් සෝයාම තමයි විවිධ රස වලින් දෙන්න ගන්නේ!~

      Delete
  4. ක්ලාස් වැඩක්නේ බොස්, අපිත් අවුරුදු 5ක්ම ඔයි ඉතුරු කෑම කට්ට කෑවා, හැබැයි අපේ ස්ට්‍රැටජි එකක් තිබුනා කැම ඉෂු එක සදාකාලික බරපතල ඉෂු එකක් විදිහටම මැනේජ් කරන්න, මොකද අපි වැඩ කලේ නිතර ප්‍රෙෂ් වන ප්‍රෙෂ් ග්‍රැජුවෙට්ලා තොගයක් එක්ක,මැනේජ්මන්ට එක පැටලෙන්න ඉෂු එකක් අත්‍යවශ අයනේ,ඉතින් කෑම එක වත් ඉෂු එකක් නැතිව තිබ්බනං පැටලෙන්නේ ජොබ් එකේ කොලිටියට බලපාන කාරනයක් එක්ක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! සත්තකින්ම මම හැම විටම විශ්වාස කලා අවශ්‍යතාවය තිබෙනවානම් ප්‍රශ්ණ විසඳීම එතරම් අපහසු දෙයක් නොවන බව. හැබැයි ඒ වගේම තවත් කාරණා දෙකක් පිළිබඳව මගේ පිළි ගැනීමක් තිබුනා. එකක් සියළු සංකල්පනා කළමණාකාරීත්වයෙන්ම පැමිණිය යුතු නැත. (ආයතනයේ කුඩාම සේවකයාට පවා නැවුම් අදහසක් තිබිය හැක!) අනෙක ඒ මොන අදහස වුවද ක්‍රියාවට නැංවීමට හැම ලේයරයකම සේවක සේවිකාවන්ගේ ආශිර්වාදය අවශ්‍ය බව!

      ඔව් ඇත්තෙන්ම ඉෂූස් නෑ කියන්නේ කළමණා කාරීත්වයට වැඩ නෑ කියන එක. කොහොමත් හොඳ නාවිකයින් බිහිවන්නේ රළු චන්ඩ සාගරයෙන් විනා සාමකාමී මුහුදුවල නොවෙයිනේ!
      බොහොමත්ම ස්තූතියි ගොඩ වැදුලා වචනයක් දෙකක් කථා කරණ්නට නැවතුනාට!

      Delete
    2. //හොඳ නාවිකයින් බිහිවන්නේ රළු චන්ඩ සාගරයෙන් විනා සාමකාමී මුහුදුවල නොවෙයිනේ,//
      කතාව ඇත්ත
      මේකේ ඇතුලාන්තය වෙන්නේ රළු මහුදේදි සී සික් හැදෙනවා අලුත් අයට විශේෂයෙන්ම හැදුනත් සමහර පළපුරුදු අයටත් මේක දරාගන්න අමාරුවෙනවා. මුහුද රළු උනාට නැව නවතන්නේ නෑ වාගේම නැවියන්ට සී සික් හැදුනත් වැඩ නවතන්නේ නෑ. මොකද සීසික් හැදුනා කියලා ගෙදර යන්නද මුහුදට පනින්න කියලාද. සී සික් හැදිලා වමනේ දාගෙනම වැඩම තමයි. ඉන් පස්සේ එයට හුරුවෙනවා. හොදට දරාගන්න පුලුවන් වැඩවලට දක්ෂයින් බිහිවෙනවා

      Delete
    3. සත්තකින්ම ඇත්ත! ඇත්තටම අපි නාවිකයින්ට ගරු කරණවා මදි නේද?

      Delete
  5. ඔබ සදහන් කර ඇති ආයතනය සමග මගේ නං තිබෙන්නේ යහපත් අත්දැකීම් නෙමෙයි. වෘත්තිමය මට්ටමේ සේවාවක් මට ලැබී නැහැ. මේ ගැන පුවත්පත් වල, වෙබ් අඩවි වල පවා ලිපි,වීඩියෝ පල උනා. කෙසේ වෙතත් ඔබ එතන වෙනසක් කරා නං හොදයි.

    රංග තේනුවර

    ReplyDelete
    Replies
    1. මෙම ආයතන ජාලයේ තිබුනු ලොකුම වරද තමයි එකම ප්‍රමිතියක් සෑම ශාඛාවකම එකාකාරයෙන් නොපැවතීම. දෙමටගොඩ ශාඛාවෙ තත්වය අප හැකි පමණ උසස් ආකාරයකට පැවැත්වූවා. ඒ ගැන කුමක් හෝ චෝදනාවක් ඇතිනම් එය ඉතාමත් නිහතමාණීව පිළිගන්නවා.
      ඔටෝමිරාජ් මුළු ආයතනයම එක් සභාපතිත්වයක් යටතේ තිබුනත් වෙනස් කළමණාකාර අධ්‍යක්ෂකවරුන් යටතේ පාලනය උනේ වෙන වෙනම ජාල කිහිපයක් ලෙසට. ඉන් නාවල, දෙමටගොඩ, ජා ඇල, ගම්පොල, බදුල්ල, බණ්ඩාරවෙල ආදී ශාඛා පාලනය උනේ අපේ ජාලය මගින්. ඒවායේ සැලකිය යුතු මට්ටමක සේවා පහසුකම් තිබුනා යැයි මා සිතමි.
      කොහොම වෙතත් ස්තූතියි ගොඩ වැදිලා කියවලා මොහොතක් දොඩමළු උනාට!

      Delete
  6. Replies
    1. ස්තූතියි හැට්ටර් මල්ලී!

      Delete
  7. Hope your son is managing in MEL, do you need any help?

    Very creative!!!

    I must say you are one of the non typical (is that a word?)Sri Lankan. Typical Sri Lankan will bring thousand more problems if you ask to solve one problem, always/only see the negative side of doing something different. We as a country lack people like you, if we had more of you we would be in a better place as country.

    I have a business, I am looking for people all the time. No one so far ask me, 'Sir what are the problems you have in your business?' instead they ask, how much is the pay, leave, house, food, motorbike, someone else to help and so on. I am not sure where is the problem. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. අයුබෝවන් විජේභාහු මහත්තයා.
      පුතාට හොඳ රැකියාවක් ලැබී මේ දිනවල පුහුණුවකට බ්‍රිස්බේනයට ගිහි. මා කැමතියි ඔහුට ඔබව හඳුන්වා දෙන්න. ඊට ක්‍රමයක් තිබේනම් දන්වන්න.
      ස්තූතියි! මේ සියල්ල කණ්ඩායමක් ලෙස අපි කල දේවල්. සත්තකින්ම මට හොඳ කණ්ඩායමක් හිටියා. ඔව් ඇත්තටම හොඳ කණ්ඩායමක්. හොඳ කණ්ඩායමකට හොඳ නායකයෙකු වාගේම හොඳ නායකයෙකුට හොඳ කණ්ඩායමක් තිබිය යුතුය කියන දේ ඇත්තක්.
      ඔව් මා තරමක් වෙනස් විදියට හිතන්න ක්‍රියාකරණ්න කැමති කෙනෙක්. රැකියාවේදීනම් බොහෝ අවස්ථා වලදී එය මට උඅහපතක් ගෙන ආවේ නෑ. උදාහරණයක් ලෙසට යුනයිටඩ් මෝටර්ස් ආයතනට ඇවැසි උනේ ගතානුගතික මිනිසුන්. අපි වැනි "පිට කොටුවෙන්" (Out of the Box) සිතන මිනිසුන් බොහොමයක් පාලනාධිකාරියේ ගිලටීනයට ගොදුරු වෙනවා. ඒ නිසයි අළුත් අදහස් එළියට නෝන්නේ. "කයිසෙන්" පෙට්ටි හැදුවට "එස් පහ" සංකල්ප ගෙනාවට ඒවයින් වැඩක් වෙන්නේ නැත්තේ ඒකයි.
      මම ඊළඟට ලියන්න හිතාන ඉන්නවා කථා කිහිපයක් පාරිභෝගික සේවාව පිළිබඳව! ඒකාලේ යුනයිටඩ් මෝටර්ස් ආයතනයේ වැඩහල් සාමාන්‍යධිකාරිගේ මාසික රැස්වීමේදී මා බොහෝවිට පවසා ඇති වැකියක් තියෙනවා. "කවුරු හරි කස්ටමර් කෙනෙක් එක්ක ගැටළුවක් ඇතිවේගෙන යනවානම් වැඩේ අල වෙන්න කලින් මට කියන්න. මම ප්‍රශ්නෙ විසඳා දෙන්නම්!" කියලා. අපි ඉස්සරහට ඒවගේ සිද්ධි කිහිපයක් කියවමු. බොහොම ස්තූතියි හැමදාම වාගේ මෙහි ගොඩ වැදුනාට!

      Delete
    2. My mobile is sent to your inbox

      Delete
  8. ... කොහොමත් හොඳ නාවිකයින් බිහිවන්නේ රළු චන්ඩ සාගරයෙන් විනා සාමකාමී මුහුදුවල නොවෙයිනේ!....

    අති විශිෂ්ටයි සර්.!

    ReplyDelete
    Replies
    1. බොහොත්ම ස්තූතියි මහත්මයාණෙනි! සත්තකින්ම රළු වාතාවරණයන් තුල තමයි සබෑ නායකයින් බිහිවෙන්නේ! මේ ගැන මම ලියලා තියෙනවා මගේ "ගඟක් දිගේ ගිය ගමනක්!" කතා පෙලෙහි අන්තිම කොටස් කිහිපය තුල!

      Delete
    2. "මහත්මානෙණි" යනුවෙන් ලියවීම පිළිබඳ සමාවෙන්න අපෙ හාමුදුරුවනේ!

      Delete
  9. ... කොහොමත් හොඳ නාවිකයින් බිහිවන්නේ රළු චන්ඩ සාගරයෙන් විනා සාමකාමී මුහුදුවල නොවෙයිනේ!....

    අති විශිෂ්ටයි සර්.!

    ReplyDelete
  10. ... කොහොමත් හොඳ නාවිකයින් බිහිවන්නේ රළු චන්ඩ සාගරයෙන් විනා සාමකාමී මුහුදුවල නොවෙයිනේ!....

    අති විශිෂ්ටයි සර්.!

    ReplyDelete
  11. මම හිතුවේ බුෆේ එකක් දාන්න ඉල්ලුවා කියලා. හැබැයි බුෆේ ක්‍රමය හොද උනාට අපේ රටේ ඉන්න ගුණමකුවන් කන්න බැරිවුනත් බොරුවට බෙදාගෙන විසි කරනවා.
    කොරෝනා වදුරුවසංගතේ එන්න කලියෙන් අපේ කොමපැනියෙන් දුන්නේ අපිට බුෆේ තමයි. කට්ටිය එක්රැස් නොවෙන්න දැන් පාර්සල් වලින් කෑම දෙනවා. හිතන්න පුලුවන් ඔබේ ආයතනයේ 40ට අනුව එහෙම නම් අපේ තුන්දාහකට වඩා සේවකයින් ඉන්න තැනක කොච්චර ලන්ච් ශිට් තුන්වේලටම යනවා ඇද්ද?

    ReplyDelete
    Replies
    1. කෑම වලට හොදි ගෙන්න ගත්තෙ බුෆේ විදියට දුන්නා. දැනටත් එහේ ක්‍රියාත්මකවන "වැඩ" වගයක් තියෙනවා. පසුව ලියන්නම් ඒ ගැන. ඔව් අපේ බොහෝ එවුන් මේසේ තියෙන සේරම බෙදා ගන්නවා. ඒත් කන්න ගියාම කන්නත් බෑ! බොහෝ කෑම අහක.
      ඇත්තටම සෑහෙන්න පොලිතීන් ප්‍රමාණයක් පරිසරයට ඔබේ ආයතනය මුදා හරිනවා. හැබැයි ගිලුනු නැවේ ප්ලාස්ටික් වල ප්‍රමාණය එක්ක බැලුවාම ඕක මොකක්ද?

      බොහොම ස්තූතියි මෙහේ ඇවිත් දොඩමළු උනාට!

      Delete
  12. තට්ටස්,
    නොම්මර එකේ පින් අතේ වැඩක් නොවැ කරලා තියෙන්නේ.
    අර පරණ ෆිල්ටර් කළුතෙල් අරගන්නේ මොනවටද

    ReplyDelete
  13. ෆිල්ටර් වල තහඩු කොටස ප්‍රයෝජනයට ගත හැකියි. එයාලා ගෙනිහින් ඒවා මුනිං නවා තියලා තෙල් ටික ඉස්සෙල්ලාම බේර ගන්නවා. ඒ තෙල් කළු තෙල් එක්ක විකුණනවා පිත්තල, ඇලුමීනියම් උණු කරණ ෆර්නස් හෙවත් උඳුන් වලට ඉන්ධන ලෙස. නමුත් නිල නොලත් ආරංචි මාර්ග වලින් අහන්නට ලැබෙනවා කළුතෙල් පිරිපහදු කරලා නැවත ලිහිසි තෙල් බවට පරිවර්තනය කල හැකි යැයි කියා. එය කරණවා කියන්නේ බොහෝ වාර ගනනාවක් පෙරහන් බොහෝ ගනනකින් පෙරීමෙන්! ස්තූතියි ගොඩ උනාට. නැවත එන්න'

    ReplyDelete
  14. නියම වැඩක්... ඇත්තටම සැබෑ අවශ්‍යතාවයක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ.. !

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි! සත්තකින්ම ඔව්. මෙතනදී වඩාත්ම වැදගත් වන්නේ අවශ්‍යතාවය!!!!

      Delete
  15. ඔතන ස්ටෝරුවේ ඉන්චාර්ජ්, ප්‍රියන්ජි, එතකොට හවුස්කිපින්ග් ඉන්චාර්ජ් වගේ අයගේ විශ්වාසය හා සහයෝගය දිනාගන්න එක තමයි වැදගත්ම දේ.. උඹේ හිනාවට උන් වශී වෙන්න ඇති. :)) ඔය second tier එක තමයි ගොඩක් වෙලාවට කරප්ටඩ්. උන් ජොබ් එක දන්නවා, වංගු ගහන්නත් දන්නවා, උඩින් කවරේජ් එකකුත් තියෙනවා රෙස්පොන්සිබිලිටිස් වලට. අලුතෙන් එකෙක් උඩ ලෙවල් එකට ආවම මුලින්ම අරින්න බලන්නේ ඒ සෙට් එක තමයි. ඊළඟට කපන්න බැරි උනොත් අත සිඹින්න ගන්නවා. කලාතුරකින් තමයි ලොක්කට ඔය වගේ බක්තිමත්ව ලෝයල් ඔබිඩියන්ට් දෙවෙනි පෙළක් හම්බ වෙන්නේ. ගොඩක් තැන්වල තත්වේ ඕක තමයි. ඒක නිසා තැනකට ගියාම ක්ලියර් ප්රින්සිපල්ස් එක්ක බය නැතුව කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඕනි. එතකොට ස්ටාෆ් එක නමා ගන්න ලේසියි. හොර වැඩ වලට සම්බන්ද වෙන්නෙවත් සහයෝගය දෙන්නේවත් නොදැක්කා වගේ ඉන්නෙවත් නැති එක මාර වැදගත්.
    මේ සිරිස් එක සෑහෙන්න වැදගත් වෙයි අලුතෙන් හැදෙන මනේජර්ස් ලාට.. :))

    ReplyDelete
    Replies
    1. ඔව් මිත්‍ර! ඇත්තටම එතනදී කරුණු දෙකක් සිද්ධ වෙනවා. රුශාන්ට තමයි එතන පිරිස් බලය වැඩි. පිරිස් කියන්නේ නිකං ඉන්න එවුන් නෙවෙයි - ඇත්තටම වැඩකරන ජනතාව. ඌ අදටත් මගේ එල කිරක්. මගේ ජීවිතකාලයටම ලැබුනු හොඳම මිනිසුන් දෙතුන් දෙනාගෙන් එකෙක්. ඌව දිනා ගත්තා කියන්නේම මම ආයතනයේ බහුතර කැමැත්ත දිනාගෙන ඉවරයි කියන එක.
      ඊට අමතරව පටන් ගැන්මේ පටන් මම වැඩකරණ මහ්න්සිවෙන දාඩිය හෙලන එවුන්ගේ මනාපය දිනා ගත්තා. බොහෝ විට වැඩබිමේ අන්ත්‍රාදායක ලෙස ක්‍රියාකරන අවස්ථාවකදී හැර අන් කිසි අවස්ථාවකදී උන්ට මම බැනලා නෑ. බැන්නත් ඒක ඊළඟ පැය ඇතුලතදී උගේ හිත හදනවා. කොහොමත් තරහක් පැය 24ක් නොතියා ගන්න මම උනන්දු වෙනවා.
      අනික රජයකට උනත් සැබෑවූ අවශ්‍යතාවයක් තියේනම් ජනතා ප්‍රශ්න විසඳීම ඒතරම් අමාරු වැඩක් නොවෙයි. එතනදී ජනතා නියෝජිතයින් කෙරෙහි පොදු ජනතාවගේ විශ්වාසය ඇත්නම්; මිනිස්සු බලා
      ඉන්නවා ගැටළුව විසඳන තුරු.
      ලී ක්වාන් යූ සිංගප්පූරුව ගොඩ දායි කියන විශ්වාසය ඒ රටේ මිනිසුන් තුල ඇතිවන ආකාරයටයි ඔහු කල්ගත කරලා තියෙන්නේ! අනෙක විශේෂයෙන් අප රට වැනි මිනිසුබ් ඕනෑම නායකයෙකු හෝ රජයක් පත්වී මාස ගනනාවක් බලා සිටිනවා එයාලා මොනවද කරණ්නේ කියලා බලාගෙන. (එහෙම කාලයක් නොලැබුනේ යහපාලන ආණ්ඩුවට විතරයි - මොකද පත්වූ දවසේ ඉඳලා ඒ යක්කුන්ට මොනවත් කරණ්නට මැදමුලනෙ උන් ඉඩ දුන්නේ නැහැනේ!)
      ඒ වගේම ආයතනයකට අලුතෙන් ගිය ගමන් තමයි ඔඅය ලොකු ලොකු ටර්න්ස් ගන්න ඕනේ. කල් ගත උනාම කරණ්න අමාරුයි. එකක් අපිටත් ඒ ප්‍රශ්ණය Chronic Problem එකක් වෙලා ගැටළුවත් එක්ක ඉන්න අපි පත්තියම් වෙනවා.
      අනෙක ඒ කාලෙදි අපිට හැම කෙනා ගැනම ඇත්තේ සම මෙතක්! ෆේවරිට්ස්ලා නෑ. ඒ වෙලාවෙදි ඕන කෙනෙක් ඉදිරියේ තද තීන්දු ගන්න පුළුවන්. ඒ නිසාම කාලයක් ගිහින් අප හා හිතවත් වන අය උනත් දැනගෙන ලං වන්නේ! "මූ මෙහෙම හිටියට අර ජාතියෙ පොරක්!" කියලා. (මගේ අඳ බාල මැනේජ්මන්ට් තියරි!)

      ආ! මට තියෙන්නේ අනික් උන්ව වශී කරගන්න පුළුවන් හිනාවක්ද? තාම කාවවත් ඒකෙන් වශී කරගන්න බැරි උනානේ! එහෙම තමහි හදවතින්ම හිනාවෙනකොට! හෙහ්! හෙහ්!!

      Delete
  16. මිනිස්සු එක්ක හොඳින් වැඩ කරන එක තමයි නේද එතකොට ගොඩක් වැදගත්.
    අනික creative thinking...

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...