Showing posts with label සැබෑ අත්දැකීම්. Show all posts
Showing posts with label සැබෑ අත්දැකීම්. Show all posts

Saturday, July 4, 2026

307 කිරුම් - මිනුම් අපේ කෙරුම් . . . !

 

"කිරුම් සහ මිනුම්" මේ වචන දෙක බර සාරෙට හිතට දැනුනේ උසස් පෙළ භෞතික විද්‍යා පංති යන්න; නුගේගොඩ රොටරියට ගිය කාලෙදීය. ඒ එවකට උසස් පෙළ භෞතික විද්‍යාව ඉගැන්මේ දිග් විජය කල උපනන්ද සේනාරත්න සර් සේවය කලේ "ජාතික කිරුම් හා මිනුම් කර්යාංශයේ" වීමය.

සේනාරත්න සර් පංතියට පැමිණියේ ෆියට් 131 මිරාෆියුරි රථයකය. එය ලා නිල් පැහැතිය. බොහෝ දින වල සර්ම එය පදවාගෙන ආ නමුදු සමහර දවසට එතුමාගේ බිරිඳ විසින් එය පදවා ගෙන පැමිණ සර්ව පංතියට ගොඩ කර නැවත ආ පයින්ම යයි.

එතුමා ගැනද වචනයක් නොකීවොත් එය වස වැරැද්දකි.

උන්නැහැ අප දකින කල වයසින් අවුරුදු 50ක් පමණ වූ උස් සිහින් සිරුරකට හිමිකම් පෑ අයෙකු විය.

එතුමා පංතියට පැමිණියේ "මල අතින් අරං" ය. එතුමාට මල නොපැනපු අවස්ථාවක් සොයා ගැනීම ඉතා අපහසු එකකි. 

කනට ඉදිරියෙන් කොන්ඩය පහතට  වවා (Sideburns) සිටියේය.

රොටරි පහත ශාලාවේ එවකට සිසු සිසුවියන් 500ක් පමණ ගාල් කොට ඇති විට ඔවුන් කථා කලේ ස්පීකර් හොරණෑ ඇතිව නොවේ. තරමක උස් හඬිනි. ඒ හඬ අවසාන පේළියේ අවසාන සිසුවාට ඇසෙන තරම් තීව්‍රවූවාට වඩා එම හඬ ඇසීමට තරම් දැඩි නිහඬ තාවයක් පවත්වාගෙන යාමට ඔහුට හැකියාව තිබුනි.  

ඔහු අපට භෞතික විද්‍යාව පෙව්වේය! සියල්ලටම වඩා ඔහුගෙන් "විනය ගරුක බව" පිළිබඳව උගත් දෑ අද දිනයේ මම මගේ දරුවන්ට උගන්වමින් සිටිමි!

ආසාවට වගෙ ගූගල් දෙවියන්ගෙන් උපනන්ද සේනාරත්න පිළිබඳව විමසූ විට දැක්වූයේ මෙවන් ප්‍රථිචාරයකි.

"උපනන්ද සේනාරත්න යනු මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ (කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවා අධ්‍යක්ෂකවරයා ලෙස මීට පෙර කටයුතු කල ශ්‍රී ලාංකින විද්‍යාඥයෙකි. 

දේශපාලනිකව බලපෑම් එල්ලවූ මතබේදාත්මක සිදුවීමකදී ඔහුගේ සදචරාත්මක ස්ථාවරය වෙනුවෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැශනල් ශ්‍රී ලංකා ආයතනය මගින් පිරිනමන ජාතික අඛණ්ඩතා සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය."

සේනාරත්න සර් ගැන වෙනමම පෝස්ටුවක් ලියන්නට තරම් දේවල් ඇතත් මෙතනින් එය නවතා කිරුම් සහ මිනුම් වලට හැරෙමු.

මෙම පෝස්ටුවට උත්ප්‍රේරකයක් සැපයුවේ අද උදේ මුහුනු පොතේ පලවූ පෝස්ටුවක් / වීඩියෝ කොටසක් නිසාය.

හපුතලේ කඩයක; හොර තරාදියක් භාවිතා කරණු ලැබූ අයෙකුට    මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ සහකාර මිනුම් සේවා අධිකාරි විසින්  අල්ලා ගනු ලැබූ අවස්ථාවක් වීඩියෝවක් සමග පලවී තිබුනා. 

එය සිදුකොට තිබුනේ අපූරු ක්‍රමවේධයකටය. මෙම කඩයේ කේක් විකිණීමට ඇත.

වෙළෙන්දා ඉලෙක්ට්‍රොනික් තරාදිය මත සෑම විටෙකම කුඩා පිහියක් තිබෙන්නට හැර තිබේ. එහි බර ආසන්න වශයෙන් ග්‍රෑම් 250 කි. ඔහුගෙන් කෙක් කිලෝවක් ඉල්ලූ විට ඔහු කේක් කුට්ටිය ගෙන තරාදිය මත තබා එයින් කිලෝවක් වෙන් කර දෙයි.

පිහිය තරාදිය මත තිබීමේදී පැවති ග්‍රෑම් 250ට ආසන්න පාඨාංකය බින්දුවට නොගෙන එම පාඨාංකයේ සිට කිලෝව ගනන් ගැනෙන අතර පාරිභෝගිකයා අතට පත්වන්නේ කිලෝවක් නොව ග්‍රෑම් 750කට ආසන්න බරකි!

මෙම වංචාවේ පිනුම් ගසන්නේ කේක් කඩ කාරයින් නොව ඉන්ධන හල් වල පොම්ප කරුවන් ය.

ඔවුන්ද පොම්පය Zero නොකර එනම් ආරම්භක පාඨාංකය බින්දුවට ගෙන එන්නේ නැතිවම ඊළඟ වාහනයට ඉන්ධන පොම්ප කරයි.

මෙය කල හැක්කේ පොඩි මොළේ මීටරයක් ඇති අයෙකුට පමණි. ත්‍රී වීලරයක් හෝ මෝටර් සයිකලයක් වැනි කුඩා වාහනයකට පොඩි ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කල සැනින් එන මෝටර් රථයකට මෙය කල හැකි මගඩියකි. 

මන්ද රියැදුරු පොම්පය දෙස බලන විට එහි පාඨාංකය කුඩා ප්‍රමාණයකින් සිදු විය හැකි වෙනසක් ඔහුට හෝ ඇයට විනිශ්චය කර ගැනීමට අපහසු වන හෙයිනි.

එසේ නැතිව මෝටර් රියකට රුපියල් 5000 ක පෙට්‍රෝල් පොම්ප කල සැනින් සීරෝ නොකොට මෝටර් සයිකලයකට පොම්පය එබුව හොත් කන්නට වෙන්නේ ලීටර වලිනි!

මේ වගේම කථාවක් ජනයි - ප්‍රියයි ප්‍රහසනයක වේ!

ජනා පොලීසියේ සිර කූඩුවේ සිටියි.

ඊළඟ මොහොතේ ප්‍රියාවද කුදලාගෙන පැමිණ සිර කූඩුවට ඔබයි.

"මල්ලි මොනා කරලද ආවේ?" ජනා අසයි.

"හොර සල්ලි අච්චු ගහලා . . !'

"එළ . . ! මාත් හොර සල්ලි ගහලා තමයි. මල්ලි කීයෙ ඒවද ගැහුවේ . . " ජනා අසයි.

"පණහෙ ඒවා . . . !

"අයියෝ පණහෙ ඒවා ගහලා කවද ගොඩ යන්නද බං . . . ?

"ඔයා ගැහුවේ කීයේ ඒවද . . . . " ප්‍රියා අසයි.

"හාරදාස් පන්සීයේ ඒවා . . . . . !


මේ මොඩලයේ හොරෙක් අපගේ මිත්‍ර රන්ති රොහාන් ගමගේගේ නිවසට යාබදව පැවති ඉන්ධන හලේ සිටියේය.

ඔහු ඉන්ධන හලට ආධුනිකයෙකු වූ අතර "අයියලා" විසින් හොරකම කියා දී තියෙන්නට ඇති.

රන්ති වරක් කුඩා සුසුකි මෝටර් රථයක් මිළදී අගත්තේය. ඒ සුසුකි මෙරටට ආපුම කාලයේ වාගේය. මෙම වාහනයේ ඉන්ධන පරිභෝජනය ගැන වැටහීමක් ලභා ගැනීමට ඔහු එය රාවතාවත්තේ ඔහුගේ නිවසට යාබද ඉඩමේ පවත්වාගෙන යනු ලැබූ පිරවුම් හලට රථය යවන ලදී.
එකල පැට්‍රෝල් ලීටරයක මිල රුපියල් දහයකි. සුසුකි රථයේ ටැංකියේ ධාරිතාවය ලීටර 27 කි. රුපියල් 300ක් දී යවන රථය යවන ලදුව විනාඩි ගනනකදී තවත් රුපියල් 150ක් ඉල්ලමින් රියැදුරා වාහනය එතැනම දමා රන්ති මුණ ගැහෙන්නට පැමිණියේය.
එසැනින් එතැනට ගිය රන්ති "ටැංකියේ ඇණේ ගලවලා පෙට්‍රෝල් ටික බිමට හලනවා. තමුසෙ මේ වාහනේට ලීටර් 45ක් ගහලා පෙන්නන්න ඕනෙ!" කියා ගේම ඇදගත්තේය! කන්නට සිදුවන පරිප්පුව තේරුම් ගත් පිරවුම් හලේ මුදල් අයකැමි පැමිණ අවුල ලිහා දුන්නේය.

"ඉතිං මචං මම ලීටර දෙකකට සල්ලි දීලා ආවා!" මේ කථාව මතක් වී රන්තිට අමතා විමසූ විට ඔහු එසේ කීවේය.
"ඉතිං ලීටර දෙකක්ද වාහනේට ගහන්න තිබුනේ?"
"පිස්සුද බං  වාහනේම තියෙන්න ඇත්තේ ලීටර දෙකක් තුනක් තමයි! ඌත් කලේ කුප්ප වැඩේනෙ. මාත් ඒකම ඌට කලා!" කියමින් රන්ති දුරකථනයෙන්  හොක! හොක!! ගා සිනහ උනේය!

අර අහිංසක පොම්ප හොරා වෙනත් මෝටර් රථයකට ඉන්ධන පොම්ප කල සැනින්ම මෙම අදාල රථයට පොම්ප කරණ්නට පටන් ගෙන ඇතැයි පසුව අප සැක කලෙමු!

ඔබ නොසිතුවාට මේ සියල්ලටම වඩා සුපිරිම වංගුව ගහන්නේ කුකුල් මස් වෙළඳාමේදීය. 

අපි අඳුනන කුකුල් මස් කඩ කිහිපයක් අයිති මිත්‍රයෙක් සිටියේය. ඔහුට පටබැඳි නාමය "කුකුලා"ය.
කුකුලා සෑම දිනකම හවස් වරුවේ අඩියක් ගැසුවේය. 
වරක් ඔහු අඩියක් ගසා අනත - මනත වී සිටි මොහොතක අපේ එකෙක් ඔහුට ලං වී "මච්චාං ඔය බිෂ්නෂ්ෂෙක ලාබයිද බං?" කියා විමසා ඇත.

ඔහුගෙන් ලැබුනේ කදිම පිළිතුරකි.

"මචං මම හැමදාම උදේට කඩ තුනටම ගිහිං පත්තර කිලෝ 10 ගානේ දෙනවා. 
මම කඩේ එවුංට කියන්නේ මස් ඉතුරු උනත් කමක් නෑ පත්තර ටික ඉවර කරලා තියාපල්ලා! කියලයි.
උං කුකුලව දාන්න ඉස්සෙල්ලා තරාදියට පත්තර පිටුවක් දානවා උඹලා දැකලා ඇතිනේ . . ?

දවස ඉවර වෙන කොට පත්තර කිලෝ දහය ඉවර උනොත් මට කුකුල් මස් කිලෝ දහයක සල්ලි නිකංම ලැබිලා!
කාටවත් අසාධාරණයක් වෙලත් නෑ. හැම එකාගෙන්ම අරං තියෙන්නේ පත්තර පිටුවක බරට කුකුල් මස් වල වටිනාකම!

මරු නේද ඒ වැඩේ . . . ?

සනීපයි නේ . . . . . . . . . ?

Monday, June 22, 2026

305. මාගේ නිවසට මා ගෙන යව PickMe; ඒස්වා හඃ !

 මා ගේ ජීවිතයේ  මතක් කරමින් ආතල් ගන්න පුළුවන් සුපිරිම කථාවක් තමයි මේක:-

ලංකාවට PickMe ~ Uber ගමන් සේවා පැමිණියේ කොයි කාලයේදැයි මා හට නිවැරදි වැටහීමක් නැතත් මේ මෑතක සිට එනම් වසරක පමණ කාලයක සිට; මුංට එළෝ මෙළෝ නැතිව හංදියක් හංදියක් ගානේ එළව එළව පහර දෙන හැටි නම් දුටුවා මට අද ඊයේ වාගේ මතකය!

මෙසෙ පහර දෙන්නන් එසේත් නතිනම් පාරම්පරික හයර් දුවන්නන්ගේ අවලාදය, චෝදනාව වූයේ "තොපි අඩු ගානට දුවන කොට අපි ජීවත් වෙන්නේ කොහොමද?" කියන එකය!

ඒක මරු කථාවකි. එහි විලෝමය වන්නේ අපිට වැඩිපුර පාරිභෝගිකයින් මරාගෙන කෑම සඳහා තොපි අඩුවෙන් අය කිරීමෙන් වළකින්න!" යන්නයි.

අඩු මුදලකට ගමනක් යෑමට හැකි සුපිරි ක්‍රමවේදයක් ලෙස අර්ථ ගැන්වුනු මෙම මෘදුකාංග යෙදවුම් හරහා; ළමුන්, කාන්තාවන් වැඩිහිටියන් ඇතුළුව සමාජයේ විවිධ එසේම නානාවිධි නානා සමජ ස්ථර වල අය ඉතා පහසුවෙන් සේවා සපයා ගන්නා බව මා හට දැනෙන කාලය වන විටදී එය ගැන නොදන්නා සහ එය ප්‍රයෝජණයට නොගන්නා මෙම සමාජයේ ජීවත් වන  එකම ජීවියා මම වූවා යැයි මට සිතුනි.

එයටද හේතු භූතවූ කරුණු කිහිපයකි. අප ජීවත් වන පලාත හද්දා ඩොටේ බැවින් ඒ පලාතට මේ අළුත් සේවාවන් නො එතේ යැයි තිබුණු පදනම් විරහිත අදහසය. 

වසිකලා කල්මිලා නැති මේ ගෙදර දැනට පොඩි ළමයෙකුට සිටින්නේ මා පමණක්ම බැවින් අපගේ ගමන් බිමන් බොහොමයක් අප සතු ඩීසල් රථ දෙකෙන් ඉටුකර ගැනීම අනෙක් හේතුවය.

කුඩා කුඩා ගමන් සඳහා මා මාගේ පා පැදිය යොදා ගැනීම තවත් හේතුවක් ය. එසේම දන්නා කාලයේ සිට ත්‍රී වීල් ගාස්තු වලට ඇති අස්ථාන බියය!

භාවිතා කරණ්නන් අතර ඉමහත් ප්‍රසාදයක් දිනාගෙන ඇති මෙම; PickMe ~ Uber සේවා සපයන්නන් හට මෙසේ පාරම්පරික යල්පැනගිය ත්‍රී වීල් කරුවන්, හයර් දුවන්නන්, එයා පෝර්ට් කාක්කන්, ටුවරිස්ට් රියදුරන්; පහර දෙන්නටත් විවේචනය කරණ්නටත් සූදානම් වන්නේ ඇයි දැයි සොයා බැලීමට වරක් මම අපගේ නිවෙසට හැරෙන හංදියේ වුන් ගෙන් විමසීමක් කලෙමි.

"ඉතිං උඹලත් පික්මී එකේ  හරි ඌබර් එකේ හරි රෙජිස්ටර් වෙයල්ලකෝ. එතකොට ඉවරයිනේ සීන් එක. එතකොට කවුරුවත් මෙතැන පිටිං ඇවිත් හයර් උස්සන්න එන්නේ නෑනේ!?"

"ආපෝ! හයර් නැතිව මළත් අපිනං පික්මී ~ ඌබර් දුවන්නේ නෑ! අපිට නිදහස ඕනේ. ඕවා දාගත්තාම  දවසම දුවන්න වෙනවා නොකා නොබී!"

කථාව නොම්මර එකටම පැහැදිළි විය. අඩු මුදළට වැඩි වාරගණනාවක්, වැඩි දුරක්, වැඩි කාලයක් සේවය සපයනවා වෙනුවට හයර් එකකින් නැතිනම් දෙකකින් වැඩි ලාභයක් ගෙන ගෙදර යෑම ඔවුන් තෝරා ගෙන ඇත!

මේ නිසාම පික්මී ~ ඌබර් රියැදුරන්ගේ සටනට මා කොන්දේසි විරහිතව එක් උනෙමි. පෝස්ට් ශෙයා කලෙමි! මුහුණු පොතේ ලිව්වෙමි. කථා කලෙමි. 

ඒ සියල්ලෙන්ම නොනැවති PickMe App එක බා ගත කර ගත්තෙමි!

පික් මී ඇප් එක දා ගත් දින පටන් මා ගේ කුඩා කුඩා ගමන් සඳහා යොදා ගත්තේ පික් මී බයික් ය. එහි අපූර්වත්වයක් මා වින්දෙමි. යන එන ගමනාතරතුර සාමාන්‍ය ත්‍රී වීල් කාරයින්ට ඔහු හා එක්ව බැන වදිමින්, ඔහුගේ ගම, ගේ දොර පිළිබඳව විස්තර කථාකරමින් කරණු ලබන මෙම කට යුත්තෙන් ලැබුනේ සෙසු පටු ආතල් එකක් නොවේ!

මා මේ ලියන්නට යන ආතල් සිද්ධිය වන විට මා හොඳ පික්මී ගනුදෙනු කරුවෙකු වී අවසානය.

දිනය නිවැරදිවම මතක නැතත් අප්‍රේල් මාසයේ දිනයක් ය.

අපගේ පාසල් අතර මහ තරගය බලන්නට යන්නට නොහැකිවූ මා සීමිත ඕවර තරගය බලන්නට ගියෙමි.

ඒ ගියේද තනිව නොවේ. අතිජාත මිත්‍ර ප්‍රසාද් රණ්නුළු, සකලෙ සහ ජානක පෙරේරා සමගිනි.

ඒ ගියේද සකලේගේ බැටරි කෑල්ලෙන් දුවන BYD රථයෙනි.

තවමත් නැවුම් ප්ලාස්ටික් සුවඳ හමන රථයේ අප සිව් දෙන අගනුවර SSC ක්‍රීඩාංගනය වෙතට ගොස් බහිනවාත් සමගම අපගේ කුටියේ සම සංවිධායකයින් වූ මොරේ සහ නලීන් හමුවිය. ඒ පුදුමාකාර හදිස්සියකින් අරක්කු ගෙන ඒමට ළඟම ඇති සුපිරි වෙළෙඳ සැල වෙත යන්නට ක්‍රීඩාංගනයෙන් එළියට පැමිණ සිටි මොහොතකය.

ක්‍රීඩාංගනය පාසල් දෙක අතර බෑ දෙකකට කපා වෙන්කොට ලබා දෙන අතර අපගේ බෑය; පාසල් ළමුන් සඳහාද ආදි ශිෂ්‍යයින් සඳහාද යන ආකාරයෙන් නැවැත බෙදා තිබේ! එසේම ආදි ශිෂ්‍ය කොටස නැවත කුඩා කුඩා ඉරු වලට තීරු කර තිබුනේ ආදි ශිෂ්‍ය කණ්ඩායම, එක් එක් සාමූහිකවලට අනුවය. උදා හරණයක් ලෙස 85 කණ්ඩායම, 92 කණ්ඩායම ලෙසින් ය. 

ක්‍රීඩා තරගය නැරඹීම සඳහා ඇතුලත්වීමේ ගාස්තුව රුපියල් 4000ක් වූ අතර අපගේ කුටියට ඇතුළුවීමේ ගාස්තුව අමතර ගෙඩි රුපියල් 5000 කි. සමස්ථය 9000ක් ය.

අපගේ කුටිය තුල මුළු මහත් දිනය පුරා කාජ්‍ය භෝජ්‍ය සහ මියැසිය අඩු නැතිව තිබේ!

"Un limited; foreign Liquor, Mixers, Bites and food . . . . !" ටැග් ලයින් එක විය.

ඉතිං අපි හතර දෙනා නමෝ විත්තියෙං SSC එක ළඟට යන කොට හවස 4.00 ට විතර ඇති. Day and Night මැච් එක නොවැ!

යන කොටත් කවුදෝ මංදා බැට් කරණවා. (කවුද මැච් බලන්න; මැච් එකට යන්නේ? ~ විකාර!)

අපි අර කලින් කිව්වා වගේ පිට්ටනියේ ගේට්ටුව ලඟින් බහින කොටම සම සංවිධායක වරු වන නලීනුයි මොරෙයි ත්‍රී වීල් එකක නැගලා යන්න ගිහිං තියෙන්නේ "Unlimited liquor" ලිමිට් වෙන්න ගිහිං හින්දා.

ගේට්ටුව එළියේදීම හමුවූ අපෙන් "දී පල්ලා උඹළගෙ සල්ලි!' කියලා මොරේ  මහ දවල්ම අපිව මං කොල්ල කෑවා.

අපිත් හිත හදාගෙන; එකි නෙකා තම තමංගෙ 5000 හෙ ඒවා මොරේට පූජා කලා.

මගේ 5000 දෙන ගමංම මම නලීන්ගේ කණට කරලා  කිව්වා "මට ගල් බෝතලයක් ගෙනෙං!" කියලා! (මම කොහොමත් ඔය විස්කි වලට වැඩි ඇල්මක් තියෙන කෙනෙක් නෙවෙයිනේ!?)

"අවුලක් නැද්ද?"

"අවුලක් නෑ - ටොනික් බෝතල් දෙකකුත් ගෙනෙං!"

අපි ඇතුලට ගිහිං පොඩි වේලාවකින් ගල් බෝතලෙ ඇතුලට වැඩම කලා. කියන්න සතුටුයි මිත්‍රවරුණි පැය තුනක් යනකොට ගල් බෝතලේ ඉවරයි!

"කී දෙනෙක් එක්කද?" ඔබ තමුන්නාසේලා අහයිනේ.

කී දෙනෙක් එක්ක වත් නෙවෙයි තට්ට තනිවම.

ඊළඟට පොඩි කේස් එකක් දාගෙන තිබුනු එකෙක් ජින් බෝතලයක් අරං ආවා! ඒක බිව්වේ ඌව පදිරි කරණ්න කටේ තියං!

මැච් එක රෑ කීයටද මංදා ඉවර උනාලු! අපි හතර දෙනා BYD එකට ගොඩ වෙලා අපි ඉතාමත් නිදහසේ පිටත් උනා.

අපි SSC එක ගාවින් කීයට කොහොම ආවාද කියලා මට නම් අදටත් එහෙම වැටහීමක් නෑ ආයිබොවංඩ!

තැනින් තැන පියවි සිහිය එමින් ~ නැතිවෙමින් කඩවතට ඇවිත් එතැනින් රාගමට ගොහිං රණ්නුළු ලොක්කාවයි ජානකවයි බිමට බෑවා මතකයි.

ඊ ළඟට මගේ වාරේ. සකලෙ ඉන්නේ ඇල්දෙනිය පල්ලියට උඩින්. මම ඊට මීටර 500ක් දුරින් හැරිලා ඇතුලේ නොවැ?

"මච්චාං මාව ගෝනඒන හංදියෙන් දාහං!" මම සකලයට කිව්වාලු.

"පිස්සුද බං? මම උඹව ගෙදරටම දාන්න්නං!"

"එපා කිව්වාම එපා! මාව ගෝනඒන හංදියෙන් දාලා පලයංකො!"

මෙහෙම කිහිප වරක් ඌත් එක්ක මම ගැටෙන කොට ඌ කැමති උනා මාව ගෝනහේන හංදියෙන් ඕ. පූ. කියලා අත ඇරලා දාලා යන්න.

කඩවත දෙසින් පමිණි BYD රිය ගෝනහේන හංදියෙන් U ටර්න් එකක් ගහලා නැවැත්තුවා. 

ඒ නැවැත්තුවේ එතැන ත්‍රී වීල් පාර්ක් එකේ දොර පාමුළ.

"ඒ ඔතන නවත්තන්න එපා බං! පොඩ්ඩක් ඉස්සරහට කරලා මව දාලා පලයං!"

ඔහොම තවත් දෙතුන් වතාවක් වාහනේ පොඩ්ඩ පොඩ්ඩ ඉස්ස්සරහට අරං නැවතුවාට පසු මම පාරට බැස්ස.

මම එතැනම නොබැස්සේ එතැනම බැස්සා නම් අනිවා මට යන්න වෙන්නේ එතැන තිබුනු ත්‍රී වීල් එකකමයි. මොකද එතැන ඉන්න එවුං මාව බඩේ බත් වාගේ දන්නවානේ.

එතැන ඉඳන් අපේ ගෙදර මිදුලට රුපියල් 350 යි. මට ඕන උනා මුංට මෙහෙම අසාධාරණ විදියට හම්බ කරන එකට කිසිදු ලෙසකින් සහයක් නොවී ගෙදරට යන්න.

"ඔව් මම ත්‍රී වීල් විරෝධියෙක්! මම යන්නේ පික් මී එකක!" මම පික් මී එකක් දා ගන්න එතැන වූ කුඩා වැටේ පොඩි සිමෙන්ති ගැට්ටේ වාඩි උනා.

ගත්තා මෙවළම අතට.

ෆෝන් එකේ මූනත පහුරු ගා සොයා ගත්තා මාගේ පළපුරුදු යෙදවුම!


අපේ ගෙදර තියෙන ස්ථානය නිවැරදිව සිතියම අනුසාරයෙන් සොයා ගන්නවාට වඩා පහසුවෙන් සොයා ගත හැකි ස්ථානයක් අපගේ ගෙවල් ආසන්නයේ ඇත. ඒ නමින් කෙත්තාරාමය නම්වූ පංසලකි.

මේවා හොඳින්ම තේරුම් ගැනීමට කියැවීමට කෝ කණ්නාඩි?

ඇස් කණ්නාඩි නොමැතිව පොට්ටයෙකු සේ බොහෝ වෙහෙස මහන්සිවී "Keththaramaya Temple Ruppagoda" සොයා ගතිමි.

ඊළගට තහවුරු කලෙමි. ගමන සඳහා අවශ්‍ය වාහනය ලෙස යතුරු පැදිය තෝරා ගත්තෙමි!

විනාඩි ගණනාවක් ඉගිල ගියේය. කිසිවෙකු මාගේ ඇනවුම භාර ගන්නා සේයාවක් නොපෙන්වයි.

නැවත් කිහිප වරක් අවලංගු කරමින් මාගේ අවශ්‍යතාවය නැවත නැවතත් තහවුරු කලෙමි.

ම්හු! හරියන්නේ නැත! ඉන් පසුව මා ගමන සඳහා ත්‍රී වීලරයක් තේරුවෙමි!

මහ රෑ 1.00 ට 2.00 ට විතර නුවර පාර අයිනේ තාප්ප ගැට්ටකට හේත්තු වී මා පික්මී එකක් දමමින් විය.  තවත් විනාඩි 15 ක් 20ක් පමණ යන විට වැඩේ සාර්ථක විය.

මට රියැදුරාගෙන් ඇමතුමක් ලැබුනි.

"හරි! හරි!1 වරෙන් බං ඉස්සරහට!" මම මොබයිලය වනමින් කීවේය. මොහොතකින් දම් පාටැති රාත්‍රී නිදන පහණකින් ඇතුලත ආලෝකමත්වූ ත්‍රී වීලරයක් මා ඉදිරියේ නතර වුනි. මා එයට නැගුනෙමි.

ත්‍රී වීලරය ඉතා සුවපහසු ගමණින් යුතුව ඉදිරියට ඇදුනි.

ඊළඟ නිමේශයේ මට නින්ද යන්නට ඇති!

අවස්ථා දෙකකදී පමණ මාහට ඇහැරුණි. යලිත් නින්දටම වැටුනි.

"සර් පංසල ගාවට ආවා! මෙතනින් කොහාටද යන්නෝන?"

"ඉස්සරහටම යං බං!' මම පසුපස සිට මුර ගෑවේය.

"ඉස්සරහ T හංදියක්නේ තියෙන්නේ? මෙතනිං වමටද දකුණටද?"

??????????????????????????????????????????????????????????????

"අම්මට සිරි! උඹ පාර වරද්දගෙන!" මම එක වරම ත්‍රී වීලරයෙන් බිමට බැස්සෙමි.

අම්මට සිරි ය! මම හිටියේ පන්නිපිටියේ දම්මදින්නාරාම පංසල අසලය!

"යකෝ උඹ වරද්දලා!. මේ කොහේද?" 

"මේ බලන්නකෝ සර් දැම්ම ලොකේශන් එකට තමයි මම ඇවිත් ඉන්නේ!"

මළ මගුලකි. මම මේ දැන් සිටින්නේ මාගේ බිරිඳගේ මහ ගෙදරට මීටර 500ක දුරකිනි. මා කිසිදු දිනෙක මෙම පංසල වෙත පික් මී ඇණවුමක් ලබා දී නැත!

"හරි කොල්ලො! උඹේ ගාන ගනිං. මාව ආපහු දාපං කඩවතට!"

"අනේ සර් මම දැන් ගෙදර යනවා මම පිළියන්දල!"

කල යුතු කිසිවක් සිතට නොහැඟේ! තවමත්; මීට පැය ගානකට පෙර පානය කල මධුවිත ඇඟ පුරාය.

"මල්ලි උඹේ ගාන කීයද?"

ඔහු කැඩිච්ච ගාණක් කී අතර මම එය රවුම් කර 1800 ක් දී ඔහුව මුදා හැරියේය.

වහාම එතැන් සිට බිරිඳට ඇමතුමක් ලබා ගත් අතර තතු දන්වා ඇයව අසවසාලීමට මට හැකිවිය.

තවත් විනාඩි ගණනකදී තවත් පික්මී සයිකලයක් දමාගෙන එයට 1500ක් ගෙවා නිවසට පැමිණියෙමි.

එදිනට පසුදින හෝ දින ගණනාවකින් හෝ මාගේ පළමු ඇණවුම පිළිබඳව මා හට සොයා බලන්නට නොහැzකි විය!

සිදුවූ "කයි කථන්දරය" කයිවාරුවක්සේ බොහෝ බොහෝ දෙනාට කියමින් සිටියෙමි.

ඒත් එදා රෑ පික් මී රියැදුරා මාව ඇන්දුවා වත්ද්? මොහොතකට මට සිතේ! ඔහු "මේ බලන්න සර්!" කීවද මම එය බලන්නට නොගියෙමි. මා මධුවිත පානය කර සිටි ප්‍රමාණය පිළිබඳව වටහා ගත් ඔහු; ඔහුට අවශ්‍ය එනම් ඔහුගේ නිවසට ආසන්න තැනකට මාව ගෙනත් ඇරලා මුදල් ලබා ගත්තාද කියා විටෙක මට සිතේ. 

ඒ පිළිබන්නදව මනාව දන්නා දුවා දරුවන් කිහිප දෙනෙක් මාගේ දූරකථනය ගෙන පරීක්ෂා කලද හෝඩුවාවක් සොයා ගැනීමට අපහසුවිය.

අවසානයේ රුපියල් 350 කින් 50ක් ඉතිරිකර ගැනීමටත් අසාධාරණ ත්‍රීවීල් රියැදුරන් හට පාඩමක් ඉගැන්වීමට ගිය මාහට රුපියල් 3300ක් වැයවිය.

ඉතිරි වූ එකම ලාභය වන්නේ කට පුරා සිනහ වෙමින් කීමට හැකි මෙම කථාව මතකයේ ඉතිරි පමණකි!


Friday, May 29, 2026

304. ටෑගි . . . . !



අපේ ගම්වල පැරැණ්නෝ ත්‍යාග හෙවත් තෑගි වලට කටවහරේ කියන්නේ "ටෑගි" කියාය.

එසේම මෙකල අප ලබන බොහො තෑගි අතරින් වැඩි මනත් ඒවා "ටෑගි" වන නිසාම මෙම පෝස්ටුවට "ටෑගි" යන සුරතල් නාමය යෙදීය. 

ඊට තරහ අවසර . . !

කෙතරම් මහන්සි ගත්තත් ජීවිතයේ පළමු ටෑග්ග ලැබුනු ආකාරය මතක් කර ගැණීමට අපහසුය. ඊට ප්‍රධාන හේතුව  ආණ්ඩුවේ රස්සාවක් කල මාගේ පියාට; අපිට තෑගි අරන් දෙනවාට වඩාබොහෝ බොහෝ කාරණා අප වෙනුවෙන් කරණ්නට තිබුනු නිසා විය යුතුය. කොටින්ම අපගේ ළමා කාලය ගෙවුනේ තෑගි වලින් තොර කාන්තාරයකය.

මාගේ මුල්ම පාසල වූයේ අවිස්සාවේල්ල ශාන්ත මරියා විදුහලයි. එකල අප ජීවත්වූයේ කුඩගම පාරේය. පාසල නිමවූ පසු පාර දිගේ නිවසට ඒමට හෝඩියේ පන්තියේ සිටි අපට එකල හැකියාවක් තිබුනි. ලංගමයේ, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ, තුනී ලෑලි සංයුක්ත මණ්ඩලයේ, ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ වැනි රජයේ වාහන එහා මෙහා ගිය කාලයක පුද්ගලික වාහනයක් ගියේ දුරා වාරයේය. මේ නිසාමදො;  පොඩි එකෙකුට;; මහපාර අයිනෙන් ගමන් කිරීමට සුදුසු පරිසරයක් එකල නිර්මිතවී තිබුනි.

ශාන්ත මරියා විදුහලේ සිට ඉම්පීරියල් හෝල් එක අසල කන්ද නැග ගෙන එන අප එතැනින් වික්ටරි පොත් හල, චීන දත් සාප්පුව, යූනියන් හාර්වෙයාර් එක ඉදිරියෙන් ඇති වන්වේ පාරේ නොපිටට ගමන් කරයි.

එම කෙටි පාර අවසන් වෙන්නේ 83 ජාති ආලේදී මංකොල්ල කෑ;  KNG තොග බඩු කඩය ලඟිනි.

කොළඹ සිට එන බස් රථ මා පෙරකී මාර්ගයේ ඉදිරියට ගොස් වටයක් ගසා බස් නැවතුම ඇතුලට පැමිණ නැවත  ප්‍රධාන පාරට අවතීර්ණ වන්නේ මෙතැනිනි.

මෙම  තුං මං හංදියේ වම් පසින් "නිමල්ස්" නමැති තොරොම්බල් කඩයක් තිබුනි. එහි ඉදිරියෙන්ම ගාල් කොට තිබුනේ පැදගෙන යා හැකි, තහඩු වලින් නිමිත කුඩා කාරයක් හා ලෑන්ඩ් රෝවර් ජීප් රථයකි. අප ඒ කාලයේ මේවාට කිව්වේ ලැං රෝල් ජීප්" කියාය.

මේවා නිමවා තිබුනේ එවන් සෙල්ලම් බඩු නිපදවීමට නම් දරා තිබුනු කඳානේ ලින්ටන්ස් ආයතනයෙන් විය යුතුය. එකල ගුවන් විදුලියේ දිග්විජය කල මුවන් පැලැස්ස හඬ නළුව ප්‍රචාරය වූයේ "ලින්ටන්ස්" අධිපති මුනිදාස ද සිල්වා මහතාගේ සාදර අනුග්‍රහයෙනි!

එම ජීප්පුවේ ඉදිරිපස ප්‍රධාන පහන් ලෙස මෝටර් රථයක පසු පසට යොදන ආකාරයේ කුඩා රවුම් පහන් දෙකක්ද සවි කොට තිබුනි. ඊට අමතරව ඉදිරිපස ෂෙල් ආදිය දක්වා තිබුනේ තහඩුව මත ස්ටෙන්සිල් එකක් යොදා පිංතාරු කිරීමෙන් ය.

පාසැල් ගිය සෑම දවසකම පාසැල ඇරී එන විට එතැන නැවතී  බලා කියාගෙන එන මා හවස ගෙදර එන පියාට ඒ ගැන දන්වා සිටින මුත් කිසිදාක එය තෑග්ගක් ලෙස මට ලැබුනේ නැත.

එකල තෑග්ගක් ලෙස මා ලැබූවේ ප්ලාස්ටික් වලින් නිමවා තිබුනු ඒසිං කාරයක අනුරුවකි. ඒවා ප්ලාස්ටික් කීවාට මේ කාලයේ මෙගා බෝතල් සාදන අමුද්‍රව‍ය වලින් සාදන ලද එකැක් යැයි මා හට මතකය. නොබිඳේ! නො කැඩේ!!

එය නිමවා තිබුනේ අච්චුවක බ්ලෝ මෝල්ඩින් ක්‍රමයට විය යුතුය.

රථයද එහි රියැදුරාද එකටම මෝල්ඩ් කර තිබුනු එය මෙගා බෝතලයක් තරම්ම විය.

එය හරහා යවා තිබුනු යකඩ කූරු දෙක හතර කොනේ පෙර කොටස සකසා තිබුනු ද්‍රව්‍යයෙන්ම නිමාකල ගරාදි රෝද හතරක් විය.

පාටින් එය දම් පැහැති විය. එහි බිත්ති වල ඝනකම අඩු වැඩි වෙන ලෙසටම එහි වර්ණය දම් පැහැයත් සුදු පැහැයත් අතර දෝලනය විය!

මා ඉතා කුඩා කල මාගේ පියා වෙහෙස මහන්සියෙන් උපයා සපයා ගත් දෙයින් ලබා දුන් එම කුඩා ත්‍යාගය සේම තවත් වරක් ලබා දුන් කුඩා දොඹකර යන්ත්‍රය පිළිබඳව සිතේ ගැඹුරින්ම සනිටුහන් වී ඇත.

එය වර්ණයෙන් තද කොළ පාටය. නිමවා තිබුනේ ලී වලිනි. එහි මුහුනත එකල තිබුනු පැරණි ලේලන්ඩ් රථයක් ලෙසට ඉතා සියුම් ලෙස හැඩ ගන්වා තිබුනි.

මෙවන් නිමාවක් එහි විය!

එහි පිටුපස සවිකොට තිබුනේ දොඹකරයකි. දොඹකරය ක්‍රියා කරවීමට කුඩා කම්බි හැඬලයක් තිබුනා මතකය.

සම්පූර්ණ දිග පලල පාන් රාත්තකට වඩා ස්වල්පය්ක් දිගින් අඩුව ඇති.

එහි යටි පැත්තේ සුදු පැහැත් ලේබලයක කලු අකුරින් එය නිමවූ ආයතනයේ නම මුද්‍රණයකර අලවා තිබුනි. 

එහි ලිපිනය අවසන් කර තිබුනේ  තිබුනේ "පාන්දුර" යනුවෙනි!

ඒ වාගේම පොත් සාප්පුවකින් තාත්තා අරන් දුන් "හත් පෙති මල" ද එකල මට ලැබුනු අපූරු තෑග්ගක් විය!


මේ අපේ කථාවට වූ පරවේශයය. මෙම බ්ලොග් එකෙම වෙනත් තැනක මම අපේ පාසලේ විදුහල් පති තුමාට "කාර් තෑග්ගක්" ලභා දීමට ගිය බස් ගැමුණුවාගේ කථාව ලියා ඇත.  එය මෙතැනින් කියවන්න. 

නාලන්දාවේ විදුහල්පතිව සිටි හේමන්ත ප්‍රේමතිලක මහතා පාසලෙන් ඉවත්ව යන විට ඔහුට ලභාදෙන ත්‍යාගය තීරණය කිරීමට හා එයට අවශ්‍ය මුදල් එකතු කිරීමට පැවැත්වූ වැඩසටහනක් මා වෙතින් අලවූ අයුරු මෙම කතාවේ ලියා ඇත.

එහිදී මා විසින් අවධාරණය කරණ්නට යෙදුනේ ත්‍යාගයක් යනු ලබන්නාගේ අවශ්‍යතාවය හා ලබා දෙන්නාගේ ඇති හැකියාව  මත තීන්දුවිය යුතු දෙයක් මිස ලබා දෙන්නාගේ හැකියාව හෝ පහසුව මත ලභාදිය යුත්තක් නොවන බවය.

මා ජීවිතයේ ලැබූ වටිනාම ත්‍යාගයක් ලෙස අදටත් මෙනෙහි කරණ එක් ත්‍යාගයක් වන්නේ; කිර්තිමත් හමුදා නිළධරයෙකු වූ  නිල් කමල් උදයරත්න විසින් මා වෙත ලබා දුන් කාලතුවක්කු උන්ඩ; හිස් පතරොම් කොපු දෙකය!


එයට වඩාත් වැඩි වටිනාකමක් ලැබෙන්නේ මා කලක සිටන් එවන් Empty Shells දෙකක් ලබා ගැනීමට පෙරුම් පුරමින් සිටි නිසාමය.

වරක් මාගේ බිරිඳගේ පියා කැංගරු දේශයට යන අවස්ථාවක මගෙන් ඇසුවා "ඔයාට මොනවද ඕන?" කියලා.

"මට ගේන්න Hunting Knife එකක් . . !"

කිව්වා වාගේම උන්නැහැ ඒක ගෙනත් තිබුනා සුපිරි Winchester Large Bowie Knife එකක්.

ඒ ගෙනත් එයා ඒක නිකංම දුන්නේ නෑ.

"කෝ ඔයා මට රුපියලක් දෙන්න . . !"

"ඒ මොකටද . . ?"

"සාමාන්‍යයෙන් ආයුධ තෑගි දෙන්නේ නෑ; විකුණනවා මිසක්. ඔයාට මම මේක විකුණනවා රුපියලකට . . . !

ඉතින් මම රුපියලක් දීලා ඒ අනර්ඝ වස්තුව මගේ කර ගත්තා.

Winchester Large Bowie Knife එක

එවන්ම වූ ත්‍යාගයක් වරක් මට මාගේ පියාගෙන් ලදිමි. ඒ විශාල කොටි දතකි! එය පසු කාලෙක මාගේ ගෙල සරසමින් තිබුනද එය නැතිවී ගියේ නිවසේ ලාච්චුවක රඳවා තිබියදීය. මා සන්තකයේ තිබුනු වෙනත් කුඩා කොටි දතක් සහ කොටි නියපොත්තකින් සාදන ලද පෙන්ඩන්ට් දෙකක් වසිකටත් කල්මලීටත් පසු කලෙක ලභා දුන්නේ ඒවාද මා අතින් නැතිවී යනු ඇතැයි සිතා ය.

අපගේ ආදරණීය පාඨකයා "ප්‍රාජේ" - ප්‍රදීප් ජයතුංග විසින් ඔහු ලියන ලද පොත් දෙකක් ඔහුගේ අත්සනින් යුතුව මා හට ලබා දුන්නේය. එයද ආදරණීය මතකයකි. 



වෙළඳ පොලේ වටිනාමට වඩා වැඩි වටිනා කමක් පොතට එක්වූ තැන!

වරක් මා කැන්ගරු දේශයේ සිට පියමං කරද්දී වසික විසින් මා හට ලබා දුන් Leatherman Tool - සාක්කු පිහියද මා ජීවිතයේ ලද වටිනා ත්‍යාගයන්ගෙන් එකකි. එහි ඇති මූල්‍ය වටිනාකමට වඩා එයට වඩා වැඩි වටිනාකමක් ලැබුනේ; එය මාහට ලබා දෙන මොහොතේ ඔහු මතක් කල අතීතය නිසාය. 
"අනේ අපේ තාත්තාට ඒකාලේ සල්ලි නැති හිංදා අපිට අරං දුන්නා මේ වගේ Duplicate Chinese Pocket Knives  වගේ ඒවා. ඒවා අරං ටික කාලෙකින්ම පිහිය මිටට කෙලිං හිටින්නැතිව ටොක් ගාලා මෙම පල්ලෙහාට වැටෙනවා!" 
එයා ඒ කථාව කිව්වේ එයාගෙ දබරැඟිල්ල මූන කෙලින් ඔසවා පහලට නවන ගමන්මයි! ඒවා සියල්ල ඇස් කෙවෙනි තෙත් කරවන මතක!

"තාත්තා මේක පුළුවන් තරම් කල් පාවිච්චි කරලා කවදා හරි දවසක මගේ පුතාට දෙන්න තෑග්ගක් විදියට!"  එයා ඉල්ලීමකුත් කලා!

හොඳම වැඩේ කියන්නේ ඒකේ ලියා තියෙනවා මගේ ආදරණීඅය නාමය - "Thattaya" කියලත්.

ඒවගේම තෑග්ගක් මට ලැබුනා වසිකගෙන්ම; ඒක Hip Flask එකක්. ඒ අපේ ඥාතියෙකුගෙන් මට ප්‍රසිද්ධියේ වූ අවමාණයක් මකා දැමීමට!

Hip Flask

ඒ වගේම මේ ළඟදි හමු උනා ඒ වගේම සුවිශේෂී ත්‍යාගයක් ඒක ලැබුනේ අපේ ආදරණීය බ්ලොගියක් වන රන්දිකා නංගී ගෙන්.  ඒ මටත් වසිකටත් ටීෂර්ට් දෙකක්. ඒකෙ වටිනාකම උනේ එකේ ඉදිරිපස හා පසු පස මුද්‍රණය කරලා තිබුනු රූප දෙක නිසාමයි. 

ඔව්! මව්බිම වටා මමත් වසිකත් මධුෂානුත් 2024 දී ගිය ගමන මතක් වීමට!

මේ ගැන මම බ්ලොග් එකේ කිසි තැනක ලියා නැති අතර අපි (ඇත්තටම මධුෂාන්) මේ ගැන ආකර්ෂණීය රූප රචනාවක් ‍Youtube එකේ සටහන් කලා. අනිවා ඒක මෙන්න මෙතනින් බලා කියාගෙනම යන්න.

මෙවර උපන් දිනයට දින කිහිපයකට පෙර මාගේ අති ජාත මිත්‍ර නාරි වෛද්‍ය විශේෂඥ ප්‍රසාද් රණ්නුළු නේපාලය බලා පියාසර කරණවා.

 "උඹට මොනවද ඕනේ?" එයා මගෙන් අන්තිම දවසෙ අහනවා.

 "බොසා පුළුවන්නම් මට Kukri Knife එකක් ගේන්නකෝ . . . !" මම තොලේ කටේ නොගෑවී කියනවා. Kukri කියන්නේ Gurkhas සෙබලුන් අත ඇති සාම්ප්‍රදායික අවිය හෙවත් පිහිය. 

"මං හිතුවා උඹ නොකිව්වත් උඹට එකක් ගෙනත් දෙන්න . . !"


මේ නේපාලයේ කුක්‍රි පිහි කඩේ ඉස්සරහ පිහිය අතැතිව - ප්‍රසාද් රණ්නුළු

මීට වසරකට දෙකකට පෙර කල්මී මෙල්බෝර්නයේ ඇන්ටික් කඩයකට ගොඩ වැදී කුක්රියක් මට අරන් දීමට අපමණ වෙහෙසක් ගත්තීය. 
එහි ඇති මිළ අධික බව නිසාම ඇයට ඒ බර දැරීමට ඇරීමට මා තුල තිබූ දුක - කණගාටුව නිසාම මා පොළොවේ පස් කා ඈ නවතා ලීය!

මීට කලකට පෙර ඒ කියන්නේ අවුරුදු වලින් 15 කට විතර ඉස්සර මට කපිල තුෂාර - සුරංජි සාගරිකා විවාහ වන අවස්ථවේදී ඔවුන්ව මුණගැස්වීමේ සතුට වෙනුවෙන් කෘථ ගුණ දැක්වූයේ මෙවන් ගිටාරයක් තෑගි කරලා.

මේ ටෑගි ගැන ලියන්න උනු කථාව ලියන්නට පටන් ගත්තේ මේ ආදරණීය ත්‍යාග මතක් කරණ්නට නම් නොවෙයි. ඊට වඩා සුපිරි කථා කිහිපයක් මතක් කරණ්නට. මෙවර මා හට සුපිරි උපන්දින සාදයක් ලභා දීමට මගේ බිරිඳත් පුතාත් දුවත් අසල් වාසීනුත් ලඟම ඥාතීනුත් සැළසුම් කරගෙන තිබිලා ඇත්තෙන්ම ඒක කෙළවර උනේ නොම්මර එකේම සර්ප්‍රයිස් පාටියක් හෙවත්  අම්බානක අහම්භ සාදයක් ලෙසින්!

සාදය රාත්‍රී වනතුරු දියවන්නාව මැද යාත්‍රාවක පැවැත්වී නිම විය. හොඳින් මධුවිත සප්පායම් උනු මා; පෙර දින ලැබුනු තෑගි සහ ටෑගි රථයෙන් එළියට ගත්තේත් පසුදින උදේ පැය කිහිපයක් ගිය පසුය. ඒවා එකින් එක ඉවතට ගන්නටත් දිග අරින්නටත් වූයේ බිරිඳ ඉදිරියේමය.

අනේ කියන්න සංතෝශයි මිත්‍රොරුනි! බොහොමයක් තිබුනේ අඳින්න බැරි කමිස සහ ටී ෂර්ට්!
ඒවායින් සමහරක් මා ළඟ තියෙනාම වර්ණ. උදාහරණයක් ලෙස කැලෑ කොල පැහැති ටී ෂර්ට් මා ලඟ තුනක්ම තිබියදි අනේ අපරාදේ කියන්න බෑ තවත් එකක් ලැබී තිබුනා.

"හරි! හරි!! ඕක පස්සෙ ඔයා අඳිනකෝ!" බිරිඳ මාව අස් වැසුවා!

තවත් සමහර ඒවා ඔය වගේ වෙනත් වෙනත් කුලක වලට එක් කරමින් වර්ගී කරණය කර ගෙන කරගෙන යනකොට;
ඇඳුම් හතරක් තිබුනා මක් කරලා වත් ගොඩ දාගන්න බැරි. 
එකක්  2XL කමිසයක්. අනෙක මා සුදු පැහැති විශාල ටීෂර්ට් එකක්. ඔය වගේ තවත් දෙකක්.
දැන් තියෙන ලොකුම අවුල මේවා මාරු කරගන්නට අදාල බිලක් නොමැතිවීම. 
අනෙක තමා ලබාදෙන තෑග්ගේ සැබෑ වටිනාකම ලබන්නාගෙන් සැඟවීමට ඒවායේ උත්පත්තිය  හෝ ජාතකය හෙවත් ප්‍රයිස් ටැග්, ලේබල් ආදිය ආදිය ඉවත් කිරීම.

මේ සියළුම බාධක මැද්දේ  ලැබුනු ටෑගි ටික භාවිතාවට සුදුසු ලෙසට සැකසීමට පටන් ගත්තා.
මේ අහම්භ සාදයේ මිතුරන්ගේ කෙළවර සංවිධානය කොට තිබුනු මගේ පැරණි මිතුරෙකුට කතා කොට එඑ ගැන විමසූ විට 2XL කමිසය රැගෙන ඇවිත් ඇත්තේ ඔහු විසින් බවත් එය කඩ සාප්පුවකින් ගත් එකක් නොවන බවත් එය ඔහුගේ නිවසේ තිබුනු එකක් බවත් පැවසීය.
"ආ! ඒක ලොකුද? එහෙනං වෙන කාට හරි ප්‍රසන්ට් කරපං!" තොලේ කටේ නොගෑවී ඔහු ඊට කල යුතු දේද මට කියා දුන්නේය!
මටත් වඩා දෙවරක් පමණ විශාල සිරුරක් ඇති ඔහු; ඵුටවත් අඳින්නට බැරි කමිසයක් මට රැගෙන ආ හේතුව අසන්නට නොගිය මා එය පසෙකින් තැබුවේ ඔක්තෝබරයේ එන ඔහුගේ උපන් දිනයේදී නැවත ඔහු වෙතටම ලබා දීමේ අදහසින්ය.

"මේක තියන්න ඕන ඌටම දෙන්න!" මම මගේ හිතේ තිබුනු කේන්තිය බිරිඳ ඉදිරියේ කියා පාද්දී
"හරි! හරි!! එහෙම කරණ්නෝන නෑ! හෙට අනිද්දා අපේ මැල්කාගේ බර්ත්ඩේ එකනේ. එයාට ඕක හරියටම හරි යයි!" මගේ කේන්තිය අඩු කලේය.

ඉතිරි ඇඳුම් අතරින් එකක් මිලදී ගෙන තිබුනේ කොල්ලුපිටියේ සුපිරි ඇඟළුම් සාප්පුවක්  වන Deligans එකෙන් වූ  අතර  එදිනම  එහි ගියේය.
කිසිදු කරදරයකින් තොරව එය ආපසු ලභා ගත් අතර එම එම මුදලට වෙනත් ඇඟළුමක් හෝ අයිතමයක් ගැනීමට ඉඩක් ලැබුනි. 
අනේ කියන්න සංතෝෂය! මුළු සාප්පුවේම බැලුවත් මට ගැලපෙන වා යැයි සිතට වැදුනු එකක් එහි නොවීය!
මීට ප්‍රධාන හේතු දෙකකි. එක මා සාමාන්‍යයෙන් ඇඳුම් මිළදී ගන්නේ එකම සාප්පුවකින් වන අතර ඉන් එහා මෙහා වෙනත් තැනකින් ගලපා ගැණීමට ඇති මානසික බාධාවය.
දෙවැන්න වන්නේ ඇඳුම ගලව ගලවා ගලපා ගැනීමට ඇති අතිශය කම්මැළි කමය!
අවසානයේ සිදු කලේ එම සති අන්තයේ උපන්දිනය සමරණ මාගේ මිතුරෙකුගේ පුතෙකුවූ "මල්ලාට" Crew Neck ටීෂර්ට් එකක් රැගෙන පිට වීමය!

මෙසේ ලැබුනු ටෑගි දෙකක් කෙසේ හෝ ගලපා ගත් මා හට ඊළඟට තවත් ටීෂර්ට් තුනක ප්‍රහේළිකාවක් අත ඉතුරුව තිබුනි.
ඉනුත් දෙකක් පිළිබඳව යාන්තමින් හෝඩුවාවක් සොයා ගැණීමට හැකිවූයේ තවත් මිතුරෙකු ඇමතීමෙන් අනතුරුවය. ඒ සන්නදහා කූල් ප්ලැනට් එකට යා යුතු විය. 
 ආසන්නයේම වූ Cool Planet ශාඛාව තිබුනේ මහරගමය. 
මහරගමට යන විට තරමක් හවස් වෙලාය.
Cool Planet එකට රැගෙන ගිය ටීෂර්ට් දෙකට අදාල බිලක් නොතිබූ නමුත් කුඩා කඩදාසි ලේබලයක් පමණක් තිබුනි. 
ආපසු ගෙනෙන ඇඳුම් හුවමාරු කිරීමේ කවුන්ටරයෙන් ඇඳුම් දෙක ලභා ගත් අතර ඊට අදාලව තුන්ඩුවක් ලැබුනි. තුන්ඩුවද සීරුවට පසුම්බියේ බහා ගත් මා මුළු සාප්පුව දෙවනත් කරමින් ඇඳුම් සොයන්නට විය.
මා ඇඳුම් සොයන්නේ අවශ්‍යතාවයකට නොව මුදල් නැතහොත් පසුම්බියේ ලූ තුන්ඩුව වියදම් කර දැමීමේ අවශ්‍යතාවයටය.

"ඔයා ඩෙනිමක් බලන්නකො!" බිරිඳ මා පසු පස ඒමේ අත දිවැවිත් හෙම්බත්ව පැවසුවාය.

"කොහේද ඩෙනිම් තියෙන්නේ?" මා සේවකයෙකුගෙන් විම සීය! 

"උඩට යන්න සර්! . . . . . !"

මා උඩට ගොස් බැලීමි. 
එහි වූයේ කකුල් දෙකේම කවුළු සහිත වූ නො එසේ නම් බාච්චු වැනි විශාල වූ ඒවාය. ඒවායේ විවිධ රූ රටාය. 
ඒ කිසිවක් මට නොගැලපේ. පැරණි උනත් කෙතරම් හම ගියත් මා ඒවෙලාවේද ඇඳ සිටි; අවුරුදු හතරක් පහක් පැරණි Levi's 501 එකට ගහන්නට එකක් මට නැත. ටිකක් හෝ ලඟින් යන්නේ 504 එක පමණි!



ඒවායේ විසිතුරු නොමැත! 
තදින් හෝදා හෝ හමගසා නොමැත. 
වර්ණය ඉන්ඩිගෝ විය යුතුය!

එතැණ සිටි විකුණුම් සහයක කෙනෙකු ලඟට ළං වීය.

"මට පස්සෙ ඇවිත් මොනවා හරි ගන්න පුළුවන් නේද?"

"අනේ බෑ! අදම ගන්න ඕන!"

"අම්මට සිරි! ඒක හරි අසධාරණයි නේ!"

"අපිට කරණ්න දෙයක් නෑ! අපිට අපේ මැනේජර් කියලා තියෙන්නේ එහෙම තමයි!"

"එන්න කියන්නකෝ ඔයාලගෙ මැනේජර්ට!?"

ටික වේලාවකික් කළමණාකරු මා ඉදිරියේ විය! 

"බෑ සර් අපිට ඒක වෙන ස් කරණ්නට බෑ! ඔයා මොනවා හරි දැනට අරං යන්න! පස්සෙ ඒක මාරු කරලා ඔයාට ඕන එකක් ගන්න!"

"හරි! මම දැණ් මොනවා හරි අරං යන්නම්! ඒක තව මාසෙකින් දෙකකින් විතර මාරු කරණ්නට පුළුවංද?"

"සතියක් උපරිම සති දෙකක් ඇතුලත මාරු කරණ්නට ඕනෑ!"

අපි සිර වූයේ දිග ඇර ගැණීමට අපහසු ගැටේකටය. අවසානයේ ඉදිඋරියේ අවශ්‍ය තාවයක් පිළිබන්දව සිතා කුඩා දරුවෙකුට අවශ්‍ය ඇඟළුම් රාශියක් ඒ වෙනුවෙන් ගෙන එතැනින් පිටත් විය!

සියල්ල අවසන් නැත! 
තවත් එක් රතු පැහැති විශාල ටීෂර්ට් එකක් අත ඉතිරිය.  එය මා වෙත ප්‍රධානය කරණ්නට ඇත්තේ  කවුරුන්දැයි සොයා මතක් කර ගත්තේ; සාදයට එන විට එක් එක් අය ගෙන ආ පාර්සල් සහ මළු මතක් කර ගැනීමෙනි.
එම සොහොයුරියට කතා කලෙමි.

"අනේ අයියා ඒක ගත්තේ Lady J එකෙන්!"

එහි රිසිට් පතක් බිලක් තුංඩුවක් ලේබලයක් කිසිවක් නොතිබුනි.

"ඉන්නකෝ මම මොනවා හරි කරං එන්නං කෝ!" මම බිරිඳව වාහන නැවතුමේ නවතා සාප්පුව වෙතට ගියෙමි.

"අනේ පුතා! පොඩි අවුලක් . . . . . . . . . " මගේ දුක් ගැනවිල්ල බඩු මාරු කරණ කවුන්ටරයේ සිටි දරුවාට ඉදිරිපත් කලෙමි.

ඔහු වචනයකුදු නොදොඩා එතැනින් ඉවත්ව මාගේ ටී කමිසයද රැගෙන අතුරුදහන් විය.
තවත් විනාඩි කින් පමන එතැනට පැමිණ තුංඩුවක් ලබා දුන්නේය. ඔහු මාගේ කමිසය රැගේන ඇඟළුම් පිරුණු ශාලාවට ගොස් එහි මිළ ප්‍රථ්‍යක්ෂ කරගෙන පැමිණ තිබුනි.
තුංඩුවද රැගෙන මා ඉහල මහළට ගියෙමි. ඒ හදිස්සියේ තුංඩුවට ගැලපෙන එකක් සොයා ගැනීමට නොහැකි වූ මුත් ඊට ආසන්න එකක් තෝරා ගත හැකි විය. හිග මුදලට මේස් ජෝඩු දෙකක්ද අහුලා ගත් මා මදි පාඩුවට රුපියල් එකසිය ගානක් ගෙවා ඉන් එළියට ආවෙමි!

උපන් දින සාදයේදී මා ලත් ටෑගි තෑගි බවට හරවා ගැනීමට මට මුළු දිනක් ගත විය. ඩීසල් ලීටර ගණනාවකි. මළ පැනීමේ කෙළවරක් නැත. කං කෙඳිරි ගෑම් බයාදු වීම් ඉල්ලීම් ගණනාවකි!
අවසානයේ මා සන්තක කර ගැනීමට හැකි වූයේ  එක් ටීෂර්ට් එකක් හා මේස් ජෝඩු දෙකක් පමණක් විය.

වරක් මාගේ විදෙශයක දිවි ගෙවනා ඥාතියෙක් ලබා දුන්නේ "උඹලට මේවා මෙහෙන් ගන්න බෑ!" කියා බර ටෝක් එකක්ද ඉශූ කරමින් මේස් කුට්ටමක්ය!
තවත් ඥාතියෙක් වරක් අපගේ නිවසට තෑගක් ලෙස ගෙනාවේ බෝට්ටුවක පාවිච්චි කරණ කොට්ටයකි. (ලැබුනු තෑග්ග ප්‍රයෝජනයට ගන්න නම් බෝට්ටුවක් මිළදී ගැනීම කල යුතු විය!)
මාගේ සාමාන්‍ය විශ්වාසය වන්නේ කිසිවෙකුහෝ තමාට මගුලකට හෝ උපන්දිනයකට ආරාධනා කල විට තෑග්ගක් ගෙන යාම අත්‍යාවශ්‍ය කාරණාවක් නොවිය යුතු බවයි!

මන්ද ඔහු හෝ ඇය අපට ආරාධනා කරණ්නේ ඔවුන්ගේ සතුටට බැවිනි.  අප කල යුතු වන්නේ නියමිත වෙලාවට, නියමිත වේලාවට (මේක දෙවරක් ලිව්වේ වරදකින් නම්  නොවේ), අදාල තැනට අදාල ලෙසට, ගැලපෙන ලෙසින් ගොස් ඔහුහෝ ඇයගේ සතුටට භාජනය වන ලෙස හැසිරී ගැවසී ආපසු පල්ලම් බැසීමය.

මේ කාලයේ හැටියට; යුවලකට වෙඩිමකට යෑමට අවම වශයෙන් සාමාන්‍ය පඩි කාලක් භාගයක් වැයවේ. අඳින්න ඇඳුම්, සපත්තු, සැලෝන් ගාස්තු, නිවාඩු, වාහන තෙල් ඉන්ධන මෙඑ සියල්ලටම වඩා එම දිනය හෝ වේලාව තුලදී තමා වෙතින් ඉටු විය යුතු දේ ගොඩ දා ගැනීමට කල යුතුවන වියදම හෝ වෙහෙස! 

මේ සියල්ල ගත් විට ආරාධිතයාගේ සහභාගීවීමම එක්තරා විදියක ත්‍යාගයකි. කැපවීමකි. අගය කල යුත්තකි.

එවිට ඔබ මගෙන් අසාවි වඩාත්ම සුදුසු ත්‍යාගය වන්නේ කුමක්දැයි කියා. 
එයට මට එක එල්ලේ පිළිතුරක් දීමට අපහසුය.
එහෙත් මුදල්, ත්‍යාග වවචර වැනි දේ ඇඳුමක් කැඩුමක් අරණ් දෙනවාට වඩා සාර්ථක යැයි මට සිතේ.

එය එසේ නොවනවානම් ත්‍යාගය ලබන්නාට ලබා ගැනීමට අපහසු, ඔහු කැමති උවද මුදලක් වියදම් කිරීමට මැළි වන, ඔහුගේ සිතට බොහෝ සෙයින් සමීප දෙයක් වනවා නම් එයට අමතර වටිනා කමක් ලැබෙනු ඇත!

ජීවිතයේ මා ලද මගේ සිත් ගත් ත්‍යාග කිහිපයක් පිළිබඳව ලියා තැබූවේ මතකයක් ලෙස තැබිය යුතු නිසාත් පෝස්ටුව විචිත්‍රවත් වන්නටත් මිස; "මට දෙනවා නම් මෙන්න තෑගි!" කියා දක්වන්නට යැයි වරදවා නොගන්න!

මේක බලලා කිසිවෙකු හෝ මට වචනයක් වත් නොකියවනු මැන!

එසේ ආඩපාලි කියාගෙන ආවෝතින් මට අහන්නට ඇත්තේ එකම් එක ප්‍රශ්ණයකි.

"කව්ද බං උඹලට තෑගි ගේන්න කිව්වේ?"



පසුව ලියමි . . . !
දුරාවාරයේ මාගේ පෝස්ටු කියවන මාගේ බිරිඳ කොයියම්ම හෝ මොහොතක මෙම පෝස්ටුව කියවා බලා "එතකොට මම සියඹලා ගෙනැල්ලම නැද්ද?" කියා අසනු ඇත!

ඇයි නැත්තේ මේ තියෙන්නේ ඔයා මට දුන්නු අග්‍රගන්‍ය තෑගි බාන:-

Wednesday, August 27, 2025

294. හොම්බෙන් යවන Interview


මම මේ කල්පණා කලේ මේ හෑල්ල ආකෘථ පිරමීඩ න්‍යායෙන් ලියන්නද අනුපිළිවෙළ ලියන්නද කියලා.

ඕ. පු කියලා ඔන්න ඔහේ ලියනවා.

මම ඔටෝ මිරාජ් එකේ ඉන්න කාලේ මට හිටියා සහකාර කළමණාකරුවො දෙන්නෙක් එක්කෙනෙක් මගේ ආදරණීය මිත්‍රයා රුශාන් ගමගේ මල්ලි. ඌ තමයි මෙහෙයුම් සහකාර කළමණාකරු උනේ. 

තවත් ආතල් බුවෙක් හිටියා අසේල කියලා. ඇඟපත එහෙම හොඳට තියෙන, බර වොයිස් එකෙන් කතා කරණ, කතා කලොත් ටෝක් දෙන කෙනෙක්. මෙයා තමා සහකාර කළමණාකරු - කාර්මික! එයා ජර්මන් ටෙක් එකෙන් එළියට ඇවිත්; මෙහේ ඩිපෝ වල එහෙම වැඩ කරලා මැද පෙර දිග ගිහින් ආපු කෙනෙක්. 

"මොනාද මිස්ට මංජුල කියන්නේ . . . " කියලා තමයි මෙයා ඕන ටෝකක්; පොර ටෝකක් බවට පෙරලා ගත්තේ. ටික වෙන්න පණ්ඩිත උනාට යමක් කමක් කරගන්න පුළුවන් මනුස්සයෙක්!

මෙයාගේ ටීම් එකේ හිටිය මිකැනික් ලා එහෙම නැත්නම් කාර්මිකයෝ කිහිප දෙනෙක් අස් වෙලා ගියා. අසේල එක්ක වැඩ කරණ එකත් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි කියලයි හැමෝම කියන්නේ. ඉතිං මේ නිසාම මෙතන වැඩක් හරියට කෙරුණෙම නෑ. මොකද වැඩක් ගත්තොත් එතන ඉන්න ඇච්චි කොල්ලෙක් දෙන්නෙක් අල්ලගෙන අසේල අතින් තමයි වැඩේ ගොඩ ගියේ.

මේ නිසාම අපි සම්මුඛ පරීක්ෂණ හෙවත් තේරෙණ සිංහලෙන් කියනවා නම් ඉන්ටර්වීව් කරණ්න පටන් ගත්තා අපිට ප්‍රාණයක් සොයා ගන්න. ප්‍රාණයක් කිව්වට ඇත්තටම ඒක අසේල දෙයියන්ට දෙන නර බිල්ලක් වගේ එකක්.

ඉතිං ඉල්කෝල වලින් එළියට ආපු ගමන්; ටෙක් වල කෝස් එකක් එහෙම කරපු පොඩි කොල්ලේ දෙතුන් දෙනෙක්ම අපි එක දිගට විටෙන් විට ඉන්ටර්වීව් කලා.

ඉන්ටර්වීව් බෝඩ් එකේ හිටියේ මමත් රුශානුත් අසේලත් තිදෙනායි. 

 මම පළවෙනියෙම්ම කරණ්නේ; අපි ඉස්සරහ;  මරණ්න ගෙනාපු එළුවෙක් වගේ ඉන්න තරුණයාව තිගැස්ම නැති වෙන්න කතා කරණ එකයි. කොලුවා ටිකක් නෝමලයිස් වෙලා බැලන්ස් උනාම අසේලට කියනවා ප්‍රශ්ණයක් දෙකක් අහන්න කියලා.

ඊට පස්සෙ තමයි වැඩේ සුපිරිම සිද්දිය වන්නේ.

අසේල රැල් බුරුල් ඇරලා අහනවා බර දාලා ප්‍රශ්ණයක් ආපු කොල්ලට "හික්" ගෑවෙන්න. අනේ කොල්ලාගෙ තොල කට වේලිලා සුදුමැළි වෙනවා. ඌ; කාමරේ ඇතුලට ආපු දොර දිහා බලන්නේ පැනලා දුවන්න වගේ. 

ඒ එක්කම ආයේ අහනවා ප්‍රශ්ණයක් කොල්ලට තියා ගොඩ්ලිබ් ඩේම්ලර්ගේ කිරි අප්පුච්චටවත් උත්තර දෙන්න ගියොත් "අම්මට සිරි" වෙන්නම! ඔහොම අති භිහිසුණු, ලොමු ඩැහැගන්වන සම්මුඛ පරීක්ෂණ විනාඩි 15 ක් තුල පණ බේර ගත්තු කොල්ලා යන්නේ ආපහු හදිස්සියේ බස් එක කැඩුනත් ඔටෝ මිරාජ්ජෙක පැත්තෙන් පයිං යන්නෙවත් නෑ කියලා හිතට අරං.

"වැඩක් නෑ මිස්ට මංජුල . . . !" අසේල කියන්නේ ගෙදරට ආපු හොරෙකුට හතර හන්දි කැඩෙන්න ගහපු ලයින් එකෙන්.

මේ විදියට; අසේල; කොල්ලො හතර පස් දෙනෙක්ගෙම මොළේ කෑවාට පස්සෙ තවත් හයක් හතරක් දන්නේ නැතිව එකෙක් ඉන්ටර්වීව් ආවා.

කොල්ලව ඉන්ටර්වීව් එකට බෝඩ් රූම් එක ඇතුලේ ඉන්දවන්න කියපු මම මගේ මේසේ ඉස්සරහින් අසේලවයි රුශාන්වයි වාඩි කර ගත්තා!

මම මගේ මෙසේ උඩ තිබුනු සිලිකන් ටියුබ් එක අතට ගත්තා. ඇත්තටම අපි පුරුද්දට කටවහරට; සිලිකන් ටියුබ් එක කිව්වාට මේකට කියන නියම නම RTV Silicone Gasket Maker  කියන එකයි.

ඔය පහලින් තියෙන්නේ ඒවා දෙක තුනක පිංතූර.  





ඇත්තටම මේ ටියුබ් එක ඇතුලේ තියෙන්නේ නිකං කොහොල්ලෑ වගේ එකක් බව හැමෝම දන්නේ නැතුව ඇති කියලා ටිකක් ඒ ගැන ලියන්නංකෝ. 

වාහනේක හරි වෙනයම් උපකරණයක කොටස් දෙකක් සවි කිරීමට යන විට එහි මූනත් දෙක මැද්දට; ඒ කාලේ කිරළ පැකිං, පැකින් පේපර් පැකිං, රබර් පැකිං දානවා වගේ මේ "කොහොල්ලෑ" ටිකක් පලු දෙකේ ගාලා එකට තියලා ඇන දාන එකයි කරණ්නේ.

මේ යට පිංතූරේ තියෙන්නේ එන්ජිමක සම්ප් oil Sump හෙවත් තෙල් දෙන එන්ජින් බ්ලොක් එකට සවි කිරීමට පෙර තෙල් කාන්දු නැවතීමට  (නිල් පැහැතී කඩදාසි පැකින්  එකකින් මුද්‍රාවක් යොදන ආකාරයයි.

ඉහත කඩදාසි පැකිං එක වෙනුවට සීලන්ට් යෙදීම පහත රූපයෙන් දැක්වේ.


දැන් අසේල ලොක්කයි රුශානුයි ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා. මම මේසෙ උඩ තිබ්බ; අර කලින් කිව්ව සීලන්ට් ටියුබ් එක අතට අරං අසේලට පෙන්නුවා.
"අසේල ඔයා කොච්චර කාලෙක ඉඳන් මේ සීලන්ට් පාවිච්චි කරණවද . . ?"

"මොනාද කියන්නේ මිස්ට මංජුල අපි සවුදියේ ඉන්න කොට මගේ ලොකර් එකේ හැම වෙලාවේම සීලන්ට් ටියුබ් දුසිමක් විතර තියෙනවා. මම ඔය කියන කාලේ මෙහේ බාස්ලා සීලන්ට් ගැන අහලවත් නෑ . . . . . . . !'

"හරි ඔය ටියුබ් එකේ මොකක්දමේ RTV කියලා ගහලා තියෙන්නේ?"

"අ . . අ . ඒක මේකේ ජාතිය වෙන්න ඇති . . .!'

"නෑ නෑ අසේල ඔය ඕන සීලන්ට් එකක මේ අකුරු තියෙනවා . . .!"

"අනේ මන්දා ඒකනං . . ! මම සීලන්ට් පාවිච්චි කරලා ඇති මගේ මේ ඉසේ කෙස් ගානට . . . !"

" . හරි! ඒක තමයි . . ! RTV කියන්නේ රූම් ටෙම්පරේචර් වොල්කනයිස් (Room Temperature Volcanize) කියන එක! ඒ කියන්නේ මේකෙ ඇතුලේ තියෙන ගම් එක ටියුබ් එකෙන් එලියට ඇවිත් කාමර උෂ්නත්වයේ තිබුනොත්; ඉතා කෙටි කාලෙකදී ඒකෙ තිබුනු රබර් වගේ දේ වොල්කනයිස් වෙලා රබර් පැකින් එකක් නිකංම හැදෙනවා . . . !

දැං බලන්න අසේල මම ඔයාව ඉන්ටර්වීව් කරණ්න ගිහිං ඔය ප්‍රශ්ණෙ ඔයාගෙං මම මළවෙනියෙංම ඇහුවා නම් ඔයා කොර වෙනවානේ . . . . !?!?!? ඒ කියන්නේ ඔයා මේ සීලන්ට් නොදන්න එක නෙවේ. ඔයා නොදන්න ප්‍රශ්ණයක් මට හොයා ගන්න පුළුවන් උනු එකයි ඒකෙ රහස . . . . ! මෙතනට ඉනර්වීව් එන එකාගෙ අපි බලන්න ඕන ඌ නොදන්නේ මොනවද කියලා නෙවෙයි දන්නෙ මොනවද කියන එකයි. අපි ඌව තෝඅර ගත්තොත් අපිට මිනිහෙක් ලැබෙනවා. ඌට ජොබක් සෙට් වෙනවා. ඒක ෆිෆ්ටි - ෆිෆ්ටි, වින් වින් සිටුවේශන් එකක්. හරි ඒ ටික හිතට අරං ගිහිං අපි ඉන්ටර්වීව් එක පටං ගම්මු . . . . . . !"

සම්මුඛ පරීක්ෂණය ඇරඹුනි. සහභාගී වූ තරුණයා ඉතා සාර්ථකව එයට මුහුණ දුන්නේය. එළඹුනු සඳුදා සිට ඔහු ටූ පෝස්ට් ජැක් එක යට සිට මොන මොනවාදෝ ගලවනු දක්නට ලැබුනි.

මා පුරුද්දක් ලෙස සම්මුඛ පරීක්ෂණයකදී; අපේක්ෂකයාගෙන් විමසන්නේ මා හොඳින් දන්නා කාරණා ගැන පමණි. අභාග්‍යයකට හෝ ඔහුට ඊට පිළිතුරු දී ගත නොහැකි වුවහොත් මා ඊට පිළිතුර ඉතා හොඳි පැහැදිළි කරයි. එසේම අපගේ ඇබෑර්තුවට නොසෑහෙන තරම් සුදුසුකම් ඇත්තෙකු මුණ ගැහුණු සැම විටම ඔහුව වඩාත් ඔහුගේ අනාගතයට සුදුසු ආයතනයකට යොමු කරණ්නට උත්සාහ ගත්තෙමි.

මේ කතාව අලුතින් මතකයට ආවේ මාගේ මිතුරෙකු වූ ශානක රාජකරුණාගේ දියණිය හා සම්බන්ධ කාරණයකදීය.

ශානාගේ දුව මෙරට ස්ථාපිත ජාත්‍යන්තර මට්ටමේ විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා ගන්නේ ක්ලාස් එකක් එක්ක. ඉතිං මේ කෙල්ලට ආධුනික පුහුණු කාර්යය සඳහා සුදුසු නීති කඩයක් එහෙමත් නැත්නම් ලෝ ෆර්ම් එකක් සොයා දීම භාර උනේ අපේ බිරිඳට. එයත් කෙල්ලගේ ජීව දත්ත එයා දන්න එකකට යැව්වාම කෙල්ලට එන්න කියලා. දරුවා ආපහු ගෙදර ගිහිං තියෙන්නේ ලොකු අවුලකින්!
මොකඩ ඉන්ටර්වීව් එකේදී එතන හිටපු උගත් නීතීඥ්ඥ නෝනා මේ ළමයාට කියලා තියෙන්නේම් රස්සාවේ තියෙන බැරි අමාරු කම් ගැනයි අපහසු කම් ගැනයි දුෂ්කරතා ගැනයි.

"අපි ඔයාව ගත්තොත් ඔඅයාට රෑවෙනකල් උනත් ඉන්න වෙයි . . .!" නෝනා කථාව අවසන් කරලා තියෙන්නේ ඒ විදියට. 
මේ මීට දශක කිහිපයකට පෙර ඉන්ටර්වීව් කල ආකාරයයි. එතැන තියෙන අන්තිම "කට්ට" ගැන කියලා ඊට කැමතිවෙන එකාව ගන්නට එකල සිටි පාලකයෝ ක්‍රියා කල බව මටද මතකය. 
සත්තකින්ම ඒ තරම් කට්ටට්ක් කන්නට එන්නේ එල්ලෙන්න වැලක් හොයා ගන්නට බැරි අපි වගේ එකෙක් විනා වැඩක් කරගන්නට පුළුවන් එකෙක් නෙවේය.
ඉන්ටර්වීව් එකකදී තමා ඉදිරියට එන රැකියා අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව; තමාගේ වකුගඩු දෙක ගලවාගෙන යන්නට පැමිණි එකෙක්සේ දකින්නේ ඇයි දැයි මාහට තවමත් සිතා ගත නොහැක.
දුෂ්කර අවස්ථාවකදී කල යුතු කැප වීම පිළිබඳව ඔහු හෝ ඇයට මතක කරණු විනා; උඹට දෙන්නෙත් රුපියල් පහයි, රෑ එළිවෙනකල් ඉන්නෝන, දවස් තුන්සිය හැට පහම වැඩ, අඩු පාඩුවට අපේ ගෙදර බල්ලව නාවලා  ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ කුණු අතුල්ලන්න ඕන යැයි පැවසූ විට රැකියාවකට එන්නේ වෙන කරණ්නට දෙයක් ඇත්තේම නැති එකෙක් පමණි.

මේ ගැන සුපිරි වීඩියෝවක් ජනයි ප්‍රියයි ඩබලගේ ඇත. මේ ගැම්මටම ඒකත් බලලාම යන්න.



සුපිරිනේ?

ඉතිං මගේ බිරිඳට ඔය ගැන කියලා; අර දුවව ඉනටර්වීව් කරපු නෝන මහත්තයාගේ පරලෝ සැපත් මව් පාර්ශ්වය මතක් කරමින් ඉන්නකොට බිරිඳ කරකවලා ඇහුවා මගෙන් කොර වෙන ප්‍රශ්ණයක්.
ඉතිං රෑවෙනකල් වැඩ කරණ්න උන දවසකට කොහොමද ඒ girl ව  නතර කර ගන්නේ මුලින් එහෙම නොකියලා තිබ්බොත්?

අංක එක ටික දවසක් යන කොට එයාට අපිට බැහැ කියන්නට බැරි ලෙසට කණ්ඩායමේ සාමාජිකයෙක් කර ගන්නෝන ඉස්සෙල්ලාම!

දෙක; ඒ වෙලාවට ඒ දරුවගේ අම්මට හරි තාත්තට හරි අපිට කතා කරණ්න පුළුවන් "මිස්ට රාජකරුණා . . . ! ඔයාගේ දුවගෙන් අපිට පොඩි වැඩක් කරගන්න තියෙනවා . . . . ! කෙල්ල  talented නේ . ඒ case එක handle කරණ Lawyer කැමති නෑ මේ දුව කරපු එක වෙන කෙනෙකුට දෙන්න! අද අපි පොඩ්ඩක් මෙයාව තියා ගන්නද . . ? මම එයාව pick me එකක දාලා door step එකටම එවන්නම් . . !? දරුවටත් හොඳ experience  එකක් මෙහෙම case එකක් තනියෙම handle කරණ්න ලැබෙන එකත් . . . !?

එහෙම කිව්වාම බෑ කියයිද?  ඉන්න එවුංට රෑට Pizza දෙකක් ගෙනත් දීලා Coke එකක් ගෙනත් දුන්නාම උනුත් බැලන්ස්! මොකද කියන්නේ එහෙම නැද්ද?"

Thursday, August 14, 2025

293. පොත් හොරා . . . !

වරෙක චන්දන කීර්ති බණ්ඩාර විසින්ද;; තවත් වරෙක මවිසින්ද අවසානයේ ෂානක රාජකරුණා විසින්ද; පාෂාණභූත කලේ මෙවන් පොත් රාජයෙකි!

මගේ පවුලේ මා බාලයා විමි. අක්කා සහ මා අතර වසර 6 ක හිඩසක්ද අයියාත් මාත් අතර වසර 8 ක කාල පරාසයක්ද තිබුනි. ඔවුන්ගේ යොවුන් වියේදී මා කුඩා දරුවෙකු වූයෙමි. ඔවුන්; පුස්තකාල වලින් ගෙන ආ නවකථා පොත් කියවනා කාලයේ මා කියැවූයේ "හත් පෙති මල" ය. අයියා ඩීමන් ආනන්දගේ පොත් පිංච වල් ගෙනැවිත් ගෙදරට හොරා කියැවූ අයුරු මට මතකය. අපේ ගෙදර පොත් කියවන ගෙයක් විය. අක්කාත් අයියාත් ගෙදර ගෙනා පොත් අපේ තාත්තාත් අම්මාත් කියවනු මා දැක ඇත!

තාත්තාට ෆයිල් කබර්ඩ් එකක් තිබුනි. අපේම කියා අපට තිබුනු "එකම" පොත් දෙක වන; මුනිදාස සෙනරත් යාපා විසින් පරිවර්ථනය කර තිබුණු "අපරාජිත බිස්මාකය" පොත සහ ඩබ්ලියු ඒ ද සිල්වාගේ "විජයබා කොල්ලය" පොත පමණි. ඒවා ප්‍රදර්ශණ භාණ්ඩ සේ තබා තිබුනු අතර එය යතුරු ලා වසා තැබීමට තාත්තා වගබලා ගත්තේය. මීට අමතරව "ශ්‍රී ලංකා" සඟරා කිහිපයක්ද තිබුනි.

කලකට පෙර බීබීසියේ සේවය කල චන්දන කීර්ති බණ්ඩාර අපේ අක්කාගේත් අයියාගේත් පාසැල් මිත්‍රයෙකුවූ අතර ඔහු සතු පොත් එකතුවක් වූ බව; අයියා දිනක් අක්කා සමග පවසනු මාහට ඇසුනි.

"කවදා හරි රස්සාවක් කරණ කාලෙකද මාසෙකට එක පොතක් වගේ අරගන්නෝන . . . " අයියා අක්කා සමග පවසනවා මා හට අදටත් මතකය. 

පසු කලෙකදී චන්දන කීර්ති බණ්ඩාර සහ මා හොඳ මිතුරන් වීමු. අප එකට අඩියක් ගැසූ අතර එක සිගරැට් එක දෙකට බෙදාගෙන බීවෙමු. ඔහුත් මාත් එකට නසසපයේ (නව සමසමාජ පක්ෂය) දේශපාලනය කල අතර කලාව, පොත් පත්, දෙශපාලනය, සංගීතය, ප්‍රේමය, ලිංගිකත්වය, චිත්‍රපට මෙවැනි බොහෝ මාතෘකා පිළිබඳව බොහෝ වේලා  අප කථාබස් කලෙමු. සත්තකින්ම "කතාබස් කලෙමු!" කියා ලොකුවට ලීවාට එය  "ඔහුට සවන් දුන්නෙමි!" යනුවෙන් ලීවානම් වඩා නිවැරදිය.

එකල ඔහු සේවය කලේ නසසපයේ නිළ පුවත්පත වන "හරය" පත්තරයේ ඡායාරූප ශිල්පියා සහ වාර්ථාකරුවෙකු ලෙසය. එහි මුද්‍රණාලය තිබුනේ දෙමටගොඩ වැල්ලම්පිටිය පාරේ පෙට්‍රෝලියම් රේල් ගේට්ටුව පහුකරණවාත් සමග දකුණු පසින් ය. එහි කොතලෙ හෙවත් එඩ්වින් කොතලාවල, වටරැක සුනිල් ගාමිණී, නලීන් මහේෂ් පෙරේරා වැනි තවත් පිරිසක් විය. මේ සියළු දෙනාම පොත් කියවන, පත පොත සමග දවස ගෙවූ අයය. 

ලෙටර් ප්‍රෙස් මැෂිම සඳහා ඊයම් අකුරු අමුනමින් සිටිනා ගමන් වුවද; විටෙක ඔවුන් කථා බස් කලේ පත පොත ගැනය. එකල මා උසස් පෙල ලියන කාලය විය. මෙම හමුවීම් මාගේ ජීවිතයේ බොහෝ වෙනස් කම් වලට මූල බීජ සැපයීය. "පොත්" යනු; ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් සේ දැනෙන්නේ මේ සමගය!

චන්දන කීර්ති බණ්ඩාර පිළිපදින, නැතහොත් නිතර පවසන  අමුතු "තියරි" කිහිපයක් විය. 

"මුදල් ඇත්තේ හම්බකරණ්නයි, වියදම් කරණ්නයි, හොරකං කරණ්නයි!" මේ එක් තියරියකි. 

"පොත් ඇත්තේ ලියන්නයි, කියවන්නයි,  හොරකං කරණ්නයි!"

ඔහුගේ විසල් සහ වටිනා පොත් එකතුවෙන් පොතක් ඉල්ලූ විට පවසන ස්ලෝක පාඨයක් විය.

එය මට මේ මොහොතේ මතක් කරගැනීමට නොහැකි වුවත් එහි අදහසවූයේ "ස්ත්‍රිය සහ පොත; අන්සතු කලහොත් එය කිසිදා තිබුනු ආකාරයෙන් ලැබෙන්නේ නැත!" යන්නය.

"මාගේ පොත් එකතුවවේ ඇති පොත් මා කිසිවෙකුට ණයට නොදෙමි! මන්ද: මෙහි ඇති පොත් වලින් බොහොමයක් මා අනුන්ගෙන් ණයට ඉල්ලාගෙන ආ පොත් ය!" ඔහු සෑම විටෙකම පැවසූ අනෙක් වැකිය ය.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී "පොත් එකතුවක්" යන සිහිනය තුල මා කිමිදෙමින් ය!

මා; මටම කියා පොත් රාක්කයක් සාදා ගත්තේ පිටකෝට්ටේ 585/B ගෙදර නිවැසියෙකුව සිටියදීය.

පිටකෝට්ටේ හංදියට ඔබ්බෙන් වූ ලී මඩුවකින් රබර් ලෑලි හයක්. එස් ලෝන් බට කැබැල්ලක් හා නට් ඇන්ඩ් බෝල්ට් හෙවත් ඇණ මුරිච්චි කිහිපයක් උපයෝගී කරගෙන මමම එය නිමවා ගත්තෙමි. මේ : උසස් පෙළ ලියනා කාලයේය. 

සාදා නිමකල පොත් රාක්කය "උඹද - මමද" යන රිද්මයට දෙපැත්තට වැනුනු එය තරමක් හෝ ස්ථායි කර ගත්තේ එක පසකට බර කොට බිත්තියකට සිර කර ගැනීමෙන් විය!

හෙළයේ මහා පොත් මැදුර ලෙස විරුදා වළිය ලත් ඇම්. ඩී. ගුණසේන පොත් සාප්පුවේ ගබඩා හිස් කරමින් මහා පොත් සල්පිලක් පැවැත්වූයේ මේ කාලයේදීම වාගේය. එයින් සත 25ට 50ට මිළදී ගත් පොත් කිහිපයක් සහ "අතීත කථාව" සොයා ගත නොහැකිවූ අවජාතක පොත් කිහිපයක්ද මා අත විය. මා සතුව තිබුනු එම පොත් 10 - 12 පොත් රාක්කයේ තැණ්පත් කල මා එදින දවසම පොත් අත පත ගාමින් විය.

පිට කොට්ටේ නිවස්නය හිමි සුජීලා රොෂාන්ලාද ඔවුන්ගේ නිවසේ තැන තැන තිබුනු පැරණි පොත් කිහිපයක් "ආ මේකත් රාක්කේ තියා ගන්නවකො!" කියමින් ලබා දුන්නා මතකය.

මේ කාලය වන විට මා හුදෙක්ම තාත්තාගෙන් ලැබෙනා මුදලින් ජීවත් වූ "සාමාන්‍ය සෙබලෙකි!" ඒ නිසාම පොත් එකතුවක් තබා ඇක්සයිස් පොතක් ගැනීමටවත් මටම කියා ධනයක් නොතිබුනි.

ඒ නිසාම පොත් ලබා ගන්නා ක්‍රම කිහිපයක් මා අභ්‍යාස කොට ප්‍රථ්‍යක්ෂ කර ගතිමි. 

ඉන් පළමු වැන්න වූයේ සාමාන්‍යයෙන් හෝ ඉඳහිට ගොඩ වදිනා ගෙවල් වල ප්‍රයෝජනයක් නොගෙන පසෙක දමා ඇති පොත් ඉල්ලා ගැනීමය.

දෙවැන්න වූයේ කියැවීමට ඉල්ලාගෙන පැමිණ "ගල්" කිරීමය!

බෝතල් පත්තර කඩ වලින් රාත්තල් ගානට පොත් ලභා ගැනීම අනෙක් ක්‍රමයය.

ඊට අමතරව පොත් ප්‍රදර්ශණ වලදී ඉතා අඩු ගනනට විකුණනට දමා ඇති පොත් තෝරා බේරා ගෙන මිළදී ගැණීමය.

පොත් ප්‍රදර්ශණ වල; අවසන් දිනයේ අන්තිම කාර්තුවේදී; බොහෝ විට පොත් අඩු මුදළට  විකිණෙනවා මා දැක ඇත. 

රාක්ක පුරා උජාරුවට සිටිමින් ලොකු ලයින් දුන් පොත්; අවසන් දිනයේ හවස් වරුවේ කාඩ්බෝඩ් පෙට්ටි කබල් වල දෙක පහට විකිණේ! මෙය කොයි කාටත් පොදු ධර්මතාවයකි.

මෙසේ අවසන් දිනයේ අවසන් හෝරාවේ දී වල අවසාන් හෝරාවේ හෝ අවසන් දිනයේ සල්ලි ගන්නා කවුන්ටර් අසල පිටවන දොරටු අතර ඇතිවන්නේ අසාමාන්‍ය තදබදයකි! වරක් අප පාසලේ තිබුනු පොත් ප්‍රදර්ශණයක් අවසානයේ කුඩා පොතක් මිළදී ගත් මා එයට ගෙවීම් කරණ්නට සිටිනා විට ඇතිවූ තදබදයේ ප්‍රථිපලය වූයේ මම ස්ව්‍යංක්‍රීයව එළියට වැඩැම්මුනා නොව එර්ධියෙන් මෙන් පැමිණුනි!

ආශ්චර්‍යයකි!

මා පැමිණ සිටියේ හිස් අතින් නොව පොත් පිංචක්ද සමගිනි!

එය හොඳ පූර්වාදර්ශයක් විය!

කිසිදු ගෙවීමකින් තොරව මාගේ පොත් ගුලට පොත් එකතුවට පොතක් වැඩම කලේ එලෙසිනි.

මේ සිද්ධිය පිළිබඳව පැවසීමට මා චන්දන අයියා හමුවීමට පසු දින කඩි මුඩියේම සයිකලය පැදගෙන ගියෙමි.

"ආ! ඒක හොඳ වැඩක්! හැබැයි කල්පනාවෙන්! "එහෙමනං ඒ වෙලාවටම යන්න වෙනවා! බලාගෙන ඔය බුක් එක්සිබිශන් වල කැශියර්ට එළියෙන් එකෙක් දෙන්නෙක් දාලා ඉන්නවා නොගෙවා යන උඹලා වගේ එවුංව අල්ලන්න! බලාගෙන!"

චන්දන අයියාගේ අවවාද අනුසාසනා සහිතව ඉන් පසු පොත් ප්‍රදර්ශණ වලට ගියේ අවසාන දින කිහිපයේ අවසාන තත්පරයේදීය.

මෙය නොම්මර එකේම වැඩක් විය.

මක් නිසාද එහි කිසියම් අපූර්වත්වයක් තිබූ නිසාමය. ප්‍රදර්ශණ ශාලාවේ සිට එළියට පැමිණි විට අතට ලැබෙන්නේ පොතක් පමණක් වුවද සිත සතුටින් පිරී ඉතිරී ගොසින්ය.

එය තරමක ත්‍රාස ජනක ක්‍රියාවක් විය.

කාලය ගෙවී යත්ම එක් අවස්ථාවක හෝ දෙකකදී මුදල් අයකැමිට පසු පසින් සිටි අයගේ උකුසු ඇසට මා අසුනොවී බේරුණේ අනූ නවයෙනි.

වරක් මට ඉදිරියෙන් ගිය තරුණයාව ගලග්‍රහණයෙන් අල්ලා ගත් සැණින් මා; අත වූ පොතද බිම දමා ඉක්මන් ගමණින් ශාලාවෙන් ඉවත් වූවේය.

මෙය තව දුරටත් සාර්ථක එකක් නොවීය. පොතක් ගෙන කමිසයට යටින් බඩතුරේ සඟවාගෙන පැමිණීම මීට වඩා බොහෝ සෙයින් ලෙහෙසි පහසු කටයුත්තක් සේ මා හට පෙනී ගියේ මේ කාලයේදීය.

ඉන් ඉක්බිහිව ඇරඹුනේ මාගේ පොත් එකතුවේ ස්වර්ණමය යුගයය!

පොත් සාප්පු, පොත් ප්‍රදර්ශණ, පුස්තකාල ආදී පොත් ගැවසුනු සෑම සියළු ස්ථානයකම මම "පොත් දඩයමේ" ගියෙමි.

කලක් ගතවෙද්දී එය මාගේ ජීවිතයේ තවත් එක් චර්යා ධර්මයක් පමණක්ම විය!

කාලය ගතවිය. රොබර්ට් නොක්ස්ගේ ලංකා වාර්ථාව "එදා හෙලදිව" සිට බොහෝ බොහෝ පොත් මාගේ පොත් එකතුවට එකතු විය.

පිටු ගණනාවකින් යුත් "එදා හෙළ දිව" පැරණි මුද්‍රණය පොත රැගෙන විත් ඒ ගැන චන්දන අයියාට පැවසූ විට ඔහු පැවසුවේ "ඕක මොකක්ද බං; මං ඇමරිකන් සෙන්ටර් එකෙන් අර්නස්ට් හෙමිං වේ ගේ Death in the Afternoon" පොත ගෙනාවේ!" කියලාය. ස්පාඥ්ඥයේ ගොන් පොර පිළිබඳව ලියැවුනු එම පොත මලළසේකර ශබ්ධකෝෂයට පමණවූ එකක් විය!

අභාග්‍යයක මහත අද එම පොත ආචාර්ය ෂානක රාජකරුණා විසින්; මාවෙතින් පැහැරගෙන ගොස් ඔහු සන්තකයේ තබාගෙන ඇත!

මේ කාලය තුලදී ගෙදරින් ලැබෙන යැපීම් දීමනාවෙන්; නොකා නොබී බෝතල් පත්තර කඩවලින් රාත්තල් ගානට පොත් ගැනීමද කරගෙන ගියෙමි.

එක් වසරක මාගේ සොහොයුරියගේ උපන් දිනය හෙට වැනි දවසකය. ඇයට කිසියම් තෑග්ගක් දීමට මට සිත් විය. මේ; මා දෙවන වර උසස් පෙළ ලියන වසරයි. උපකාරක පංති ගාස්තු ආදිය මා වෙත ලැබුනේ ඇය වෙතිනි. මව මිය ගොසින් ය.

ඇයට සූප සාස්ත්‍ර පොතක් ලබා දීමට මා සිතා ගත්තෙමි.

මම පිට කෝට්ටෙන් බසයේ එල්ලුනෙමි. කොටුවේ බෝ ගහ අසලින් බැස ගත් මම "හෙළයේ මහා පොත් හලට" ඇදුනෙමි!

සූප සාස්ත්‍ර නැතහොත් ඉංග්‍රීසි  කුකරි පොත් තිබෙන උඩු මහලට මා සෙමෙන් සෙමෙන් ගොඩ උනෙමි.

ඉතා කෙටි වේලාවකදී අදාල පොත් රාක්කය වෙතට ගිය මා කුඩා පොත් දෙකක් අතට ගෙන; එතනම බිම දණ ගසා ගෙන පොත් තෝරණ නියාවෙන්;  ඇඳ සිටි කමිසය ඇතුලින් ඉනේ රඳවා ගත්තෙමි.

කමිසයට උඩින් කිසිවක් නොපෙනේ. පොත් ඇත්තේ කලිසමේ ඉනේ දාරය අසලය.

වැඩේ අවසන්ය. මා සෙමෙන් සෙමෙන් උඩු මහලින් බිම් මහලට පැමිණ ප්‍රධාන ද්වාරය අසලට පැමිණියේය. 

එතැන ආරක්ෂක නිළධරයෙක් විය. එය සාමාන්‍ය තත්වයකි.

පොත් මිළදී ගත් අයගේ ඉන්වොයිසිය පරීක්ෂා කිරීම ඔහුගේ රාජකාරිය විය.

මා තවත් තත්පර ගණනකින් ඕල්කට් මාවතට නිදහස් වීමට නියමිතය.

මා තරමක් ඉක්මන් ගමනින් ඇම්. ඩී. ගුණසේන සාප්පුවෙන් එළියට එන්නට පිය එසවූවෙමි.

එක වරම ආරක්ෂක නිළධරයා මා දෙස තියුණු බැල්මක් හෙලුවේය. ඔහුගේ උකුසු ඇස් මාගේ කලිසමේ  ඉන දාරයට යොමුවිය.

අදත් ගුණසේන සාප්පුවේ ප්‍රධාන දොරින් විසල් සුළං ප්‍රවාහයක් ඇතුලට හමා ඒ. ඇඟට ඇළුනු කමිසයට යටින්; ඉනෙහි රැඳි පොත් දෙකෙහි ඉහළ දාරය ඔහුට දිස් වූවා විය යුතුය.

හේ එක වරම ඉදිරියට පැන වැරෙන් මාගේ අතින් අල්ලා ගත්තෙමි.

එතැන් සිට සිදුවීම් පෙළ අදටත් මාගේ සිතේ කාලයෙන් කාලයට මතකයට එන නපුරු සිහිණයකි.

එකල එහි කළමණාකරු වූයේ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතාය. 

ලාල් ප්‍රේමනාත් ද මැල් යනු ගත් කතුවරයෙක් විය. ප්‍රවීන පුවත් පත් කලා වේදී  සුන්දර නිහතමානීද මැල් ගේ පිය තුමාය!

මා ග්‍රහණයට ගත් ආරක්ෂක නිළධරයා පරඬැලක්සේ මා ඇදගෙන ගියේ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා ඉදිරි පිටටය!

ඒවන විට ඔහුගේ "ලස්සන ලංකා" පොත මා කියවා තිබුනි. ඔහුගේ මේසය තිබුනේ පහල ශාලාව මැදය. ඔහු සිටියේ මේසයක් ඉදිරියේ තබා කැරකෙන පුටුවක වාගේ මට මතකය. ඔහු මීට පෙර මා බොහෝ අවස්ථාවලදී දැක ඇතිමුත් කිසිදු දිනෙක ඔහු හිනහ මුසු මුහුණකින් සිටුනු මා දැක තිබුනේ නැත. සෑම විටෙකම; ඉස් මුදුනේ "ටින් ටෙස්" ඇණයක් ඇනුනු ලෙසක් ඔහුගේ මුහුණෙන් විදහා දැක්වුනි.

"සෑම  විටෙකම පාහේ ඔහු සිටියේ; ඇරියස් එකකය, නො එසේනම් "මල අතින් ගෙනය" කීවොත් මෙය කියවන බොහෝ දෙනාහට සුපිරියටම තේරුම් යනු ඇතැයි මා සිතමි.

සමහර විට ඒ ඔහුගේ සාමාන්‍ය ස්වභාවය විය හැක! 

ආරක්ෂක නිළධරයා; මා ඔහු ඉදිරිපිටට වැඩැම්මුවේ වීරයෙකු පරිද්දෙනි. ඒ නිකම්ම නොවේ; මා කවුරුන්දැයි හැඳින්වීමක්ද සමගය!

ලාල් මහතා මාදෙස බැලූවේ අසූචි පිඩක් දේ බලනා ආකාරයෙන් මුහුණ අකුළුවාගෙනය. පිළිකුළෙන් යුතුවය. 

"නම මොකක්ද?"

මම නම පැවසූවේමි. තවත් විස්තර කිහිපයක් අසමින්ම "අයිඩෙන්ටිය දෙනවා!" කීවේය.

සාමාන්‍යයෙන් මෙරට වෙසෙන ඕනෑම අයෙකුගේ අයිඩෙන්ටියේ පිංතූරය මෙලෝ රහක් නැත. 

එය තමාගේ ජීවිත කාලය තුලදී ලබා ගත් අජූතම ඡායාරූපය වීමට ඇත්තේ 90% සම්භාවිතාවකි.

එයට ප්‍රධානම හේතුව එකල බොහෝ අය සතුව පැවතියේ පාසල මූලික කරගෙන ලබාගත් හැඳුනුම්පත්ය. හැඳුනුම් පත ලබාගන්නා අවස්ථාවේදී කොන්ඩා පීරීමට, පුයර ඉලීමට, මූන දෝවනය කිරීමට තබා දහදිය පිස දමා ගැනීමටවත් උවමණාවක්, ඉඩක්, අවස්ථාවක්, උපදේශනයක් බොහෝ අයට නොලැබේ.

මේ නිසාම ඩීසල් වලින් මූන හෝදා ගත් කල මෙන් තෙල් ගැහුණු මුහුණක් කපුටු කූඩයක් වන් කෙස්සක් සහිතව ලබා ගත් ඡායාරූප එකල සෑම අයෙකුම සතුව පැවති හැඳුනුම්පත් වල දැකීම සුලභ විය.

මා කමිසයේ උඩ සාක්කුවෙන් හැඳුනුම්පත ගෙන ඔහුට දෝතින්ම පෑවේය. මාගේ මුහුණ බලමින්ම උදුරා ගත් එය උපැස් යුවල තුලින් බලමින්ම නැවත මා දෙස බැලූවේ; මා පොත් හොරකමේ ඒමට පෙර අයිඩෙන්ටියද පොකට් ගසාගෙන ඇවිත්දැයි සැකයෙන් මෙනි!

බුලත් හෙප්පුව ගෙන අභිනව මනාල මහතා හමුවට යන ළමිස්සියක් සේ මා හතර අත ඇඹරුනාද නො එ සේ නම් මා වෙනතක බලා සිටියා දැයි මතක නැත. ඔහු එය මේසය මත වූ කඩදාසි බරුව යටින් තබා;

"මෙයාව පල්ලෙහා කාමරයකට දාලා එනවා!" කීවේය.

සිද්ධිය සිද්ධවන විට හෙළයේ මහා පොත් හලේ සෑහෙන හෙළයන්  පිරිසක් විය. ඔවුන් මා දෙස බලා සිටිනු මට දැනේ. මම ඒ දෙස නොබැලුවෙමි. කිසිදු ගානක් නැති ලෙසින් වගේ වගක් නැතිව සිටියෙමි. වටා පිටා සිටි වුන් "මූට නං ගානක් නෑ!" කියා සිතනවා විය හැක. ලැජ්ජාව හා බය මගේ සිත ගිණියම් කරමින්; කන් පෙති රතු කරමින් ය. 

ආරක්ෂක නිළධරයා නැවතත් පොත් රාක්ක අතරින් මාව දක්කාගෙන පහත මාලයට ගෙන ආවේය. 

පහත මාලය පිහිටියේ පොලොවෙන් යටට වන්න්නටය.

එයට එළිය ලැබී තිබුනේ විදුළි එළියෙන් සේ මතකය. කුඩා කාමරයක් එහි විය. එහි දොර යකඩින් නිමවා තිබුනි. එය ග්‍රිල් දොරක් සේ මතකය.  මා ඒතුල රුවා යතුර දැමූ හේ ඉවත්ව ගියේය.

එහි පුටුවක් විය.

අළුත් පොත් අට්ටි එය වටා විය.

එතැණ් සිට මා පොතක් ගෙන කියැවීමට පටන් ගතිමි.

මෙය සිදුවන විට උදෑසන 10.00 ට පමණය. එතැන් පටන් පැය ගණනාවක්ම මා එහි සිර කාරයෙකු ව සිටියෙමි.

පැයකට එකෙක් නැතිනම් දෙන්නෙක් පැමිණ කිසිවක් රැගෙන යයි. තබා යයි. ඔවුනට මගේ හැසිරීම වගක් නොමැත. 

ඒ තුල කොපමණ වේලාවක් සිටියා දැයි මට නිනව්වක් නැත. බොහෝ හවස් වන තුරු මා එතැනය. කන්නට යමක් හෝ බොන්නට වතුර පොල් කටුවක් හෝ නොමැතිව මා එහි පැය ගණනාවක් සිටියෙමි.

"මුංට මාව අමතක උනොත් මම මුළු රෑම මෙතැනම ඉන්න වෙයිද?" මම මගෙන්ම ඇසීමි.

ඔරලෝසුවක් අහල පහලක වත් නැත. වේලාව දැන ගැනීමට කිසිවෙකු නොමැත. තවත් බොහෝ කාලයකට පසුව නැවතත් ආරක්ෂක නිළධරයා පැමිණ අගුළු හැර මා ඉහල මාලයට රැගෙන ගියේය.

ඒවන විට එහි සිටියේ සිද්ධිය වූ අවස්ථාවේ සිටි හෙලයන් නොව වෙනත් පිරිසකි.

මා නැවතත් ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා අභියසය!

"තමුසෙ යනවා! හෙට තාත්තා එක්කගෙන! අයිඩෙන්ටිය ඔහෙ තිබුනාදෙං!"

අයිඩෙන්ටිය නොව කලිසම උනා දමා හෝ එතැනින් එළියට ඒම මගේ එකම අවශ්‍ය තාවය විය. මා පිටකෝට්ටේ නිවසට පැමිණියෙමි. සොහොයුරිය මාගේ ප්‍රමාදය සමග බොහෝ සේ කලබල වී සිටියාය. සියල්ල මා ඈ සමග කීවෙමි.

අවසානයේ මටත් වඩා ඇය කලබල වූ සේයාවකි. 

"චන්දන අයියට ගිහිං කියන්න!"

රාත්‍රියේම මා සයිකලය ගෙන පිට විය. පිට කෝට්ටේ සිට රාජගිරියට පැමිණ එතැනින් ඔබේසේකර පුර හරහා කොලොන්නාවට ආවෙමි. කොලොන්නාව වැල්ලම්පිටිය ගැට්ටේ තිබුනු "හරය" මුද්‍රණාලයට එන විට චන්දන අයියා නොමැති විය.

ටික වේලාවකින් කුඩා මෝටර් සයිකලයකින් චන්දන අයියා එහි සැපත් විය.

" ආ! තමුසෙ!?"

"ඔව් අයියේ මාර කෙළියක්නෙ උනේ! මේ එන්නකො . . . " මා පසෙකට ඔහුව කතා කරගෙන ගොස් සිද්ධිය පැවසූවෙමි.

"අනේ යකෝ ඕකද!? ඕක ගනං ගන්න ඒපා. තමුසෙට අයිඩෙන්ටියක් අළුති හදා ගන්නවා. තාත්තෙක් ඕනෙනම් මේ කොතලාවල සහෝදරයව එක්ක ගෙන යනවා. දැන් හොරකමට වටිනාකම්ක් නෑනේ. මොකද පොත් ටික ආයෙ උං ගාව නේ!"

"හරි මොනා හරි උනොත් . . . ?!"

"හරි ඕයි! මේ වගේම මෙතැණට එනව . . ! එතකොට ඒක ඒ වෙලාවට බලා ගම්මු!"

ඉන් පසුව මා ඒ වැඩේ යලිත් කිසිදා නොකලෙමි! ඒ පොත් හොරකම නොව; ඇඟට හිර කමිස ඇඳගෙන ගොස් පොත් ඉනේ ගසා ගැනීමය!

තවත් කාලයක් යන විට පොතක් පතක් මිළදී ගැනීමේ හැකියාව ලැබීමත් සමගම එම පුරුද්ද අභාවයට ගියේය. ඒත් එතැන් පටන් මම බොහෝ කාලයක් යන තුරු ගුණසේන සාප්පුවට නොගියෙමි.

ජීවිතය හරි අපූරු එකකි. මා පළමුව පුවත් පතකට සම්බන්ධ වූයේ "හරයෙනි". දෙවනුව "නවයුගයට" එක් උනෙමි. පුවත් පතට ආයුබෝවන් කීවේ "ලක්බිමෙනි". 

ලක්බිමේ රිද්ම අතිරේකයට ලියන කාලයේ සුන්දර නිහතමාණීද මැල් හෙවත් සුන්දර අයියා සංස්කරණය කලේ "මංජුසාව"යි.

දිනක් මම; රිද්මෙට ලියන තීරුලිපිය; "මංජුලගේ දිනපොත" ලියාගෙන එහි සංස්කාරක නිහාල් පීරිස්ගේ කුඩා මේසය අභියසය.

"මංජුල ඕක ඉවර වෙලා මාව හම්බෙලා යන්න!" ගොරෝසු හඬකින් සුන්දර අයියා පැවසීය. ඒක පොඩි ආතල් සිද්ධියකි.  මම ඔහු මුණ ගැසුනෙමි!

එතෙක් සුන්දර අයියා සමග යාන්තමින් සිනාසුනා මිස වචනයක් හෝ කථා බස් කොට නොතිබුනි. ඔහුඑවකට පත්තරේ "පොරක්" ය! ඔහුට ඉහලින් සිටියේ බන්ධුල පද්මකුමාර පමනකි. සමන් වග ආරච්චිද සුන්දර අයියාට සමාන තැනක සිටියා යැයි මතකයක් ඇත.

"ඔයා රිද්මෙටම ලිය ලියා ඉන්න එපා මටත් ලියන්න! මගේ හිසේ මලක් නොව හක්ගල මල් වත්තම පිපුනා සේය!

වැල්ලවත්ත පොලීසියේ සේවය කල පෙරේරා ට්‍රැෆික් සාර්ජන් මහත්තයා පිළිබඳව මා ලියූවේ එහි ප්‍රථිඵලයක් ලෙසය. මම එය ලියාගෙන ගියේ මගේ සුපුරුදු නිදහස් ලිවීමේ ශිලියෙනි. 

"අනේ! අනේ! මහත්තයෝ මෙහෙමනං ලියලා හරියන්නෑ මට! ආයේ ලියාගෙන එන්න!" සුන්දර අයියා මාගේ අත් පිට පතේ මම ලියා තිබූ නොසරුප් වදන් කිහිපයක් රතු පෑනෙන් රවුම් කොට නැවත මටම භාර දුන්නේය. 

නැවතත් මුළුමණින්ම ලියා සකසා පසුදින ග්‍රෑන්ඩ්පාස් - අශෝකා සිනමා හල ඉහල මාලයේ ලක්බිම කාර්යාලයට ගෙන ගොස් භා දුන්නෙමි.

එතැන් පටන් මම සුන්දර අයියාට ලිපි කිහිපයක්ම ලිව්වෙමි.

ඔහු එකල බීවේ බ්‍රිස්ටල්ය.

පඩිපෙලේ මදක් පහලට බැස එතැන් තිබුනු හතරැස් ලෑන්ඩිම මත සිට ඔහු එය රසවත්ව පානය කරයි. දිනක් මමද ඔහු හා නැවතී ගෝල්ලීෆ් එකක් ඔහුගෙන්ම පත්තු කරගෙන කතාවට වැටුනෙමි!

"අයියේ මට ඔයාගේ තාත්තව දවසක් හම්බුනානේ. එම්.ඩී.ගුණසේන එකේදී . . . . . . !"

"ඉතිං! ඉතිං . . . . . .!! සුන්දර අයියා ඉදිරියට නැඹුරුව බොහෝ සෙයින් විපිලිසර විය. ඒ සුන්දර අයියාගේ සාමාන්‍ය ස්වභාවයයි.

 මම එතැනදී මෙම කථාව කීවෙමි. 

"තමුසෙ මාර පොරක්නෙ හලෝ!" සුන්දර අයියා පැවසූ හැටි තාම අදමෙන් මතකය. මා අහිංසකව ඔහු දෙස බලා සිටියෙමි.

මේවා සියල්ල අතීතය ය. අද මාගේ පොත් එකතුවේ පොත් 3000කි! (ඒවායින් බොහොමයක් මා අනුන්ගෙන් ඉල්ලාගෙන හෝ හොරකං කරගෙන ආ ඒවා කියා මඩ ගැසීමෙන් වළකිනු ඇතැයි මා උදක්ම ඔබ කෙරෙහි විශ්වාස කරමි!)

ඒවාට කුමක් කරණ්නේදැයි මා සැම විටම සිතමින් සිටිමි. 

බලමු! පොත් වලට ආදරය කරණ එකෙක් මැරෙණ්නට පෙර හම්බුනොත් වාසනාවක්ය! 

මේ දේවල් ගැන අද හිතෙන විට ඒවා සුන්දර මතකයන්ය!

ජීවිතේ කියන්නෙම "මාර ආතල් ලෝකයක් අප්පා" කියා  වෙලාවකට සිතේ!


එහෙම නැද්ද; හා එහෙනං . . . . ?


මේ ලිපිය කලක සිට ලියමින් ආ එකක්! උෂාන් වික්‍රමරත්න මල්ලීට වුනු පොරොන්දුව නිසාම මෙය අදම ලියා අවසන් කරන්නට සිත්වුනේ!




23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...