Sunday, December 31, 2023

231. හෙඩිං . . . !

පත්තර කලාවේ හෙඩිම යනු හෙඩ් ලයින් එක හෙවත් ප්‍රධාන මාතෘකාවට කියන නමකි. මේ පෝස්ටුව එවන් රසාලිප්ත මාතෘකා කිහිපයක් ගැනය. ඇත්තෙන්ම මේ ලියන්නේ හෙඩ් ලයින් ගැනම නොව පුවත් මාතෘකා ගැන කිව්වොත් නිවැරදිය. 

සිංහල පුවත් පත් කලාවේ පතාක යෝධයෙකු සේ අදද සැලකෙන බී. ඒ. සිරිවර්ධන සේවය කලේ "ඇත්ත" පුවත් පතේය. "ඇත්ත" යනු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ  නිල පුවත් පතයි. එය සෝවියට් දෙශයේ "ප්‍රව්දා" පුවත් පතේ නම සමග එකට පෑහුනි.

එහි ආරම්භක සංස්කාරක වරයා බී. ඒ. සිරිවර්ධනය. එතෙක් පුවත් පත් වල මැද පිටුවේ දැක්වුනු, කියැවීමට අලස හා පාඨකයින්ගේ අවම ජනප්‍රිය තාවයට පත්ව තිබුනු "කතු වැකිය" මැද පිටුවෙන් මුල් පිටුවට ගෙනැවිත් පාඨකයාගේ රස මනස කුළුගැන්වෙන ලෙසත් ප්‍රබුද්ධ ලෙසත් ඉදිරිපත් කලේ බී. ඒ. සිරිවර්ධනයන් ය! එකල බොහෝ පාඨකයින් "ඇත්ත" ගත්තේ "සිරාගේ  වැකිය" කියැවීමටය!

වරක් සිරා තම වැකියේ කථාවට ගත්තේ "ඒඩ්ස්" ව්‍යාප්තිය ගැනය! අප වැනි බොහෝ රටවලට ඒඩ්ස් බෝ වී ඇත්තේ විදේශීය සංචාරකයින්ගෙන් යැයි විශ්වාස කලද තවත් සමහර රට වලට ඒඩ්ස් පැමිණ ඇත්තේ එරට සිට විදේශගතවී නැවත සිය රට පැමිණි අයගෙන් ය. මේ කාරණය මතු කරණ සිරා; අප රටෙන් විදේශ සංචාරයන් හට සහභාගී වී නැවත පැමිණෙන අය කටුනායකදී "ඒඩ්ස් පරීක්ෂාවක්" කිරීමේ වැදගත් කම මතු කරයි!

එදින විදේශ සංචාරයකින් පසු ජේ. ආර්. ජයවර්ධන සහ ආර්යාව නැවත මෙරටට ගොඩ බසින බව; පිටුවේ කුඩා කොටුවක ප්‍රවෘථියක් සේ දැක්වේ!

මෙවැනි සුර විරු කම් පෑ සිරා 1979දී Skylab කඩා වැටීම පිළිබඳව සුපිරි හෙඩිමක් යැව්වේය!

"අහස් ලබ්බ කඩා වැටේ!" 

***********************************************************************

ඇල්ඩෝ මෝරෝ යනු ඉතාලියානු දෙශපාලඥ්ඥයෙකි. ඔහු 1978 වසරේ දිනකදී ඔහුව පැහැරගෙන ගොස් මරා දැමුනි. මේ පිළිබඳව නවයුගය පත්‍රයේ මැද පිටුවේ ලිපියක් පලවිය. පරිඝනක, ගූගල්, විකිපීඩියා අහලකවත් නැති එකල නවයුගය යනු දැනුම ගෙන ආ විශ්ව කෝෂයක් වන් පුවත් පතකි. මාගේ මතකය නිවැරදිනම් එකල එහි සංස්කාරක වරයා එඩ්වින් ආරියදාස විය යුතුය. එඩ්වින් ආරියදාස, ධනපාල බෝධිනායක, තුසිත මලලසේකර, පර්සි ජයමාන්න, ජෙ.බී. දිසානායක වැනි අය එහි නිතර ලිපි පිවීය. "පුංචි ලිඳේ වතුර රසයි", "ලොවින් ඇසෙන පුවත්", "දුහුනන් මැවුම් සඳහා", "නවමගක් ගත් කතාවක්", "ලෝක ශ්‍රේෂ්ඨ කෙටි කතා", "අනේ ඌ නොහිටියා නම්!", "සිනා මනා!", "අද එතැන් සිට!"  වැනි මාතෘකා යටතේ එහි පිටු හා කොලම වෙන් කොට තිබුනි. 

මම මේ කියනා ඇල්ඩෝ මොරෝ පැහැරගෙන මරා දැමුනු සිද්ධිය පිළිබඳ ලිපිය පල කොට තිබුනේ අපූරු නිර්මාණාත්මක හෙඩිමක් සහිතවය.  "මියෙන සංගීත කරුවන්ගේ අමරණීය තනු!" ලෙස අපූරු කියමනක් හිංදි සංගීත ලෝකයේ  ඇත.  එලෙසිම;  මෙය ලිව්වේ කවුරුන්දැයි මා හට මේ මොහොතේ මතක නැති උනත් ඒ අපූරු ලෙස රයිම් වන හෙඩිම මතකය. 

"මෝරෝ මැරූ මැරයෝ"

********************************************************************

උතුරේ තරුණ නැගිටීම් මත ගොඩ නැගුනු; තිස් වසරක් තිස්සේ මෙරට ඇදී ගිය යුධමය තත්වය හා 1988 - 89 දකුණේ තරුණ නැගිටීම් එවක පාලකයින් මර්ධනය කලේත් රට පාලනය කලේත් හදිසි නීතිය, ත්‍රස්ත විරෝධී පනත වැනි නීතිමය රාමුවක සිටය. මෙකල රටේ සෑම තැනකම පාහේ අවි ගත් මිල්ටේරි සෙබලුන් හා පොලීසිය දක්නට ලැබුනි. එසේම මුර කපොලු හා සෝදිසි කිරීමේ ස්ථාන මාර්ග වල දක්නට ලැබුනි. මෙම කාල වකවානුවේ කොළඹ සිට ත්‍රීකුණාමළය දක්වා ගමන් ගන්නා බස් මගියෙකු හට ස්ථාන දෙක කදී පමණ (අවම වශයෙන් එක් ස්ථාකයකදී වත් - හතරැස් කොටුව, ගල් ඔය හංදිය); තමාගේ සියළු අඩුම කුඩුම රැගෙන බසයෙන් එළියට බැසීමටත් සියළු පෞද්ගලික මළු විවෘථ කර පෙන්වීමටත් තමාගේ යට ඇඳුමේ සිට සියළු දේ පරීක්ෂා කර බැලීමට සෙබලුන්ට හෝ සෙබලියන්ට ඉඩ දීමටත් ඔවුන්ට තමන්ගේ ගෙලේ සිට කකුලේ වළලු කර තෙක් මිරිකා බැලීමට ඉඩ ලබා දීමටත් සිදුවේ. මේ කාරිය කිරීමට වාගේම; අහඹු නියැදි පරීක්ෂාවට;  නගරයන්හී  තැනින් තැන සෙබලුන් හා පොලිස් නිළධරුවන් සීරුවෙන් සිටියෝය! මේ පිළිබඳව පුවත් පතක පාඨක අදහස් සඳහා වෙන් කොට තිබුනු තීරුවක අපූරු හෙඩිමක් විය. එය ලිපිය ලියන ලද  අයගේම් නිර්මාණයක්ද නො එසේ නම් එම පිටුවේ සකසුගේ නිර්මාණයක්දැයි නොදනිමි. කෙසේ වෙතත් එය අතිශයින්ම නිර්මාණශීලී විය. එය මෙසේ විය:-

"ඔවුන් සීරුවෙන්, අප අසීරුවෙන්!"

*********************************************************************

අපරටේ  තරුණ නැගිටීම් වලදී මෙරට "වික්ටර් හාරාගේ" කාර්ය භාරය ඉටු කිරීම සඳහා කලා කරුවන් කිහිප දෙනෙක් පෙල ගැසී සිටියහ. නන්දා මාලනී, සුනිල් ආරියරත්න, ගුණදාස කපුගේ, කේමදාස, (තව කැපී පෙනුනු නමක් අමතකයි! මතක් උනොත් ලියන්නම්) මේ අතරින් ප්‍රමුඛස්ථානයක් ගත්තෝය. "කම්පන" සහ "පවන" බිහිවන්නේ මේ හා සමගාමීවය.  "පවන" හි ගීත සියල්ල ලියා තිබුනේ සුනිල් ආරියරත්නයන් විසින් වනාතර තුර සංගීතය සපයා තිබුනේ  එකල මෙරට සිටි දක්ෂ  ශිල්පීන් හා සංගීත අධ්‍යක්ශක වරුන් විසිනි. මෙම "පවන" ගීත සමුච්ඡය පිළිබඳ විවිධ මත එකල පලවිය. ඒවා අගැයීම් මෙන්ම විවේචනයන් විය. "පවන" පිළිබඳව ඒය නැරඹූ රසිකයෙකු පුවත් පතකට ලිපියක් ලියා තිබුනේ මේ අපූරු හෙඩිම සමගිනි. 

 " 'පවන' පවනක් නොව වාතයකි!" 

ශනිදා දහයට ලියා ගැනීමට නොහැකි තරම් සතිය කලබල වූවා. සතිය  ගෙවුනේ අතිශය ගැටුම් කාරී බවක් සමග! ඒ කෙසේ වෙතත් ඉරුදින උදයේ නැගිට මතකයෙන් ලියූ මේ ලිපිය රස විඳින්න! (වැරදි ඇතොත් සමාවන්න - අපි කැමතියි හදා ගන්න)

ඔබ සැමට බදු ගෙවන, සුභ නව වසරක් වේවා! 

Saturday, December 23, 2023

230. දෙද්දූව නත්තල

ජීවිතේ ආපසු හැරී බලන කොට අපේ ලොකු අම්මලාගේ ගෙදර සමග ගැට ගැහුනු මතක අමතක කරණ්නම බැරි තරම්!

ලොකු අම්මලා හිටියේ බෙන්තොට - දෙද්දූව කියන ගමේ. ලොකු අම්මාගේ නම ලව්ලි සෙනෙවිරත්න. මගේ අම්මලාගේ වාසගම උනේ සෙනෙවිරත්න.

ලොකුඅම්මා බැඳලා උන්නේ සිඩ්නි චාල්ස් ඩයස් බණ්ඩාරනායකව. ඒ කාලේ ඒ ගෙදරට කිව්වේ පුස්සැල්බොක්ක වලව්ව යනුවෙන්. ඒ ගෙදර නිමවා තිබුනේ ඉදිරි පස ලොකු කුළුණු දාලා පඩි නැගගෙන යන්න. ඉස්සරහම වාහනයක් නවත්වන්න පුළුවන් පල දෙකට නිමවා තිබුනු කාර් පෝච් එකක්. මුළු ගෙදරම තිබුනේ සිංහල උළු. ගේ නිමවා තිබුනේ කබොක් වලින්. මුළු ඉඩම අක්කර 5 කට කිට්ටු වෙන්න තිබුනා. පොල් ඉඩමක් වූ එහි තැනින් තැන කබොක් කැපූ වලවල්!  

දෙද්දූව හන්දියෙන් හැරිලා ඇතුලට යන්නයි තිබුනේ. ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්‍රි බාවා මිලදී ගෙන තිබුනේ සිඩ්නි අංකල්ගේ ඉඩමක්. එයාගේ ප්‍රසිද්ධ ලුනු ගඟ ව්‍යාපෘථිය පිහිටුවා ඇත්තේ ඒ ඉඩම් වල. අදටත් ජෙෆ්‍රි බාවා ගේ ලුනු ගඟ ඉඩමට යන්න අන්තිමට හැරෙන්න තියෙන තැනින් දකුණට නොහැරී කෙලින්ම ගියෝතින් මම මේ කියන නිවස තිබුනු තැන බලන්නට පුළුවන්.

 ඒ කෙලින්ම යන කොට ජෙෆ්‍රි බාවාගේ නිවසේ කොටස් දෙකක් යාකල පාලමක් හමුවේ. ඊට යටින් ගමන් ගන්නා මාර්ගය අවසන් වෙන්නේ මම මේ කියන කථාවට පාදක වන නිවෙසිනි.

ඒ ගෙදර තිබුනා එකම වර්ගයේ පොත් මිටියක්. ඒ Genealogy of Dias Bandaranaike  කියන පොත් පිංච. ඒ පොතේ අනුර බණ්ඩාරනායකගේ නම තිබුනේ නෑ. මම හිතන්නේ ඒ පොත පල කරණ කාලේ අනුර ඉපදිලා නොහිටින්න ඇති. ඒත් සිඩ්නි අංකල්ගේ නම තිබුනි.

සිඩ්නි අංකල් ඉස්කෝලේ ගිහිං තිබුනේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට. එයා ඒ කාලේ වතු අධිකාරී වරයෙක්ලු. එයා අන්තිමට වැඩ කරලා තියෙන්නේ මීරිගම පැත්තේ වත්තක කියලයි මම අහලා තියෙන්නේ. මම දන්න කාලෙත් එයා බොහොම වයසැති;  කුඩා ලමයින්ට වාගේම එයාගේ අසල් වැසියන් සහ ගෙදර සේවය කල අයට ඉතා කරුණාවන්තව සහ කුළුපගව ගතකල කෙනෙක්. 

ඒයාගේ කටේ හැම මොහොතකම නැවුනු පයිප්පයක් තිබුනා. ඒ නිසාදෝ මන්දා එයා ලඟින් දුම්කොල ගඳක් හැම තිස්සේම. මුල් කාලේ මොන විදියේ දුම්කොල භාවිතා කලත් ඒ කාලේදී එයා සිහින් වෙන්න කපාගත් දුම්කොල වගයක් තමයි භාවිතා කලේ. එයාට රැලේ බයිසිකලයක් තිබුනා. සමහර දවසට සයිකලය පැදගෙන අළුත්ගමට ගිහින් ආවා. ඒ පදින කොට කලිසම උඩට කොට හිරවෙන්නට  Cycling Trouser Clips දෙකක් භාවිතා කලා. 

මා දකින විටත් ඔහු වයස අවුරුදු 60ක පමණ අයෙක්. අඩි 6 කට වඩා උස් උස නිසාම තරමක් ඉදිරියට නැවුණු කෙසඟ සිරුර වුවත්වවත්  එයා හරිම ශක්තිමත් කෙනෙක්!

ඒ ගෙදර අරුමෝසම් හා අරුම පුදුම බඩු භාන්ඩ පිරිලා.

ගෙට ඇතුළු වෙන තැනම පුරවපු ගෝනෙකුගේ හිසක් බිත්තියේ  සවිකොට තිබුනු අතර පලකයේ; යටි කෙළවරේ; එහි හැඩයට සවිකොට තිබුනු පිත්තල පටියක එකදාස් නමසිය හතලිස් පනස් ගනන්වල දිනයක් හා Nilavely Trincomalee   යනුවෙන් යටට ගිල්වා කළු පැහැති තීන්ත පුරවා ලියා තිබුනි. 

ගේ පසු පස මොණරුන්ට ආහාර දුන් සිමෙන්ති බේසමක්!

එයා දෙවෙනි මහා ලොක යුද්ධය කාලේ හමුදාවේ ඉහල නිළයක් දරා තිබෙනවා. සමහර විට ස්වෙච්ඡා හමුදා කණ්ඩයක වෙන්නත් ඇති. එයා යුධ හමුදාවේදී පරිහරණය කල බොහෝ දේ බහාලු ලී පෙට්ටියක්; ගෙදර කෑම කන කොටසේ තිබුනා. මගේ මතකයේ විදියට ඒක අඩි දෙකක් විතර උස අඩි තුන හමාරක් විතර දිග අඩි දෙකක් විතර පලල එකක්. ඒ පෙට්ටිය නිමවා තිබුනේ වෙනත් රටක.

සම්පත් දූපත පොත ආරම්බයේදී විස්තර කෙරෙන; නාවිකයාගේ පෙට්ටගම පිළිබඳ කියැවෙන විට මාහට සිතෙහි ඇතිවූ චිත්ත රූපය එම පෙට්ටියයි. සම්පත් දූපත නවකථාව; මීට වසර ගනනාවකට පෙර; ලේක් හවුස් "සතුට" පත්තරයේ ගුණපාල හේමචන්ද්‍රගේ චිත්‍රවලින් යුතුව චිත්‍ර කථාවක් සේ එළි දැක්විනි. එහි ඇඳ තිබුනු පෙට්ටගමට එය හැඩයෙන් ගැලපීම මෙයට සෘජු හේතුව වන්නට ඉඩ ඇත. 

එය විවෘථ කිරීමට කිසියම් සරළ උපක්‍රමයක් සකසා තිබුනා. ඒ තුල සමින් සකස් කල අත් වැසුම්, පිත්තල ප්‍රිස්ම දෙනෙතියක් හෙවත් බයිනෝවක්, බොක්ස් කැමරාවක් වගේ අමුතු අමුතු අංගෝපාංග රාශියක් තිබුනා. මගේ හිත ගත්තේ ඒ තුල තිබුනු ගෝන අං මිටක් සහිත විශාල දඩයම් පිහියට. එයට ලෝහමය කවරයක්ද තිබුනා. එය ලොකු බරක් සහිතව ඝනකම්ව සකසා තිබුනු එකක්. එහි තලය අඩියක පමණ දිගකින් යුතු උනා. මිට කෙළවර මිටෙහි තරමටම ඉලිප්සාකාර ලෝහ තහඩුවක් තිබුනා. මා සිතන්නේ තලය මිට හා පසුපස තහඩුව එක් කොටසක් ලෙස සකසා ගෝන අං පලු දෙකක් එහි දෙපසට සවිකොට තිබෙන්නට ඇති.

 අල්මාරියක් තිබුනා යතුර කරකවන විට සීනුවක් නාද වන! ඇත් දලින් නිමැවූ බීරළු (බීරළු රේන්ද ගෙතී මට ගන්නා) 32ක් තිබුනා! මා ජීවිතයේ පලමුවෙන්ම චෙස් පුවරුවක් දැක්කේ එහේදී. එම චෙස් පුවරුව තිබුනේ කනප්පුවක් ලෙසට! එම කනප්පුව මත චෙස් පුවරුවේ කොටු ඇඳ තිබුනු අතර එයට යටින් පිහිටා තිබුනු කුඩා ලාච්චු වල ඉත්තන් දමා තිබුනා. සුදු ඉත්තන් නිමවා තිබුනේ ඇත් දලින්. කලු ඉත්තන් තරමක බරකින් යුතු වූවා. ඒවා නිමවා තීබුනේ කුමකින්දැයි මාගේ මතකයට නො ඒ!

යතුර අස්ථාන ගතවූ ලොකු යකඩ සේප්පුවක් ජොන්සන් පිඟන් රවුම් මේස ඔය වගේ නානාප්‍රකාර බඩු පිරිලා.

මුළු ඉඩම පුරාවට පොල් ගස් පිරුණු අතර එය සමතලාව විහිදී තිබුනි. තැනින් තැන බෝවිටියා, දම් හා ගොඩපර ගස්.  ඉඩමේ කෙළවරට ගිය විට පහලින් නිසොල්මන්ව පිහිටා තිබුනු බෙන්තොට ගඟ දක්නට ලැබුනි. සමහර දිනවල එහි මාළු ඇල්ලීමේ යෙදුනු කුඩා ඔරුවක් හෝ දෙකක් ඈතින් දිස් විය. පැහැදිලි රාත්‍රීන්වලදී මුහුදේ හෝ හෝව ඉඩමේ පහල කෙළවරදී සවන් දිය හැකිවිය. ඈතින් මුහුදු බඩ දුම්රියේ හඬද හොඳින් සවන් යොමු කිරීමෙන් ඇසිය හැක. ඉඩමේ කෙළව්වර සීග්‍ර බෑවුමකි. බෑවුමේ පහළ කුඩා කුඹුරු ලියදි කිහිපයකි. ඒ අසල කුඩා ලිඳක් විය. නිවසේ ජල ප්‍රශ්ණය එකල විසඳුනේ එමගිනි.

බෑවුමේ පසෙක මිණිරන් හෑරීමට සකස් කල ලිඳක් තිබුනි. එයි විෂ්කම්භය අඩි 8 ක් පමණ වන්නට ඇටි. එය වටා කිසිදු ආරක්ෂක උපක්‍රමයක් නොවීය. අප එය අසලට ගොස් ලොකු ගලක් ගෙන එය තුලට දැමූ විට සැළකිය යුතු; අදහා නොගත හැකි කාලයක් ගතවී හඬ නින්නාද විය!

නිවස වටා වෙනත් කිසිදු නිවෙසක් පෙනෙන්නට නොටිබුනි. නිවසේ ඉදිරිපස කුඩා වන රොදක්ය. ප්‍රධාන නිවසට එපිටින් තවත් ගරා වැටුනු එවන්ම නිවසක් විය. එය සිඩ්නි අංකල්ගේ නැගනිය වූ අයොනි ආන්ටීට අයත් වූ එකකි. 

සිඩ්නි අංකල්ගේ පවුලේ සමාජිකයින් තිදෙනෙකි. අනෙක් සාමාජිකාවන් දෙදෙනා අයොනි ආන්ටී සහ නීඩ්‍රා ආන්ටි විය. අයොනි සාමකාමී අයෙක් වූ අතර නීඩ්‍රා ඊට ඉඳුරාම වෙනස්වූ චරිතයකි. නීඩ්‍රාගේ 16 වෙනි උපන්දිනයට ඔවුන්ගෙ පියා තෑගි කොට ඇත්තේ බෝර 16 ඩබල් බැරල් තුවක්කුවක් ය. ඇය වෙඩි තැබීමේ ශූරියකි. පෙර කී ගෝන හිස ඇය විසින් දඩයම් කරණා ලද එකක්යැයි අඳුරු මතකයක් මාහට ඇත. නීඩ්‍රා තනිව බෙන්තොට ගඟේ ඔරු පැද්දේලු. ඒ ස්වකීය ඩබල් බැරලයද අසල තබා ගෙනය. ඇය වරෙක කිඹුලෙකු වෙඩි තබා මරා දැමූ හෝඅ බිලී කොක්කක් යොදා ඇල්ලූ පුවතක් මා අ වෙතින්ම අසා ඇත. වයස් ගතව මිය ගිය ඇයගේ යහන අසල වූ කුඩා කනප්පුව මත ඇය විසින් මරා දැමුනු අඳුන් දිවියෙකු පුරවා සකස් කොට තබා තිබුනි!

සිඩ්නි අංකල්ට අයත් දූපතක් බෙන්තොට ගඟ මැද ඒ අර සීග්‍ර බෑවුමෙන් එපිට! එය මැද විශාල නිවසක නටබුන් තිබුනා. එම නිවසේ පොලවේ යට පවා කාමරයක් හෝ කිහිපයක් තිබුනාලු! ඒවා හැඳිවූවේ රහස් කාමර ලෙසින්. 

දූවත් ප්‍රධාන ඉඩමත් අතර ගඟ හැල එකතුවී තරමක් ගොඩවී තිබුනා. හැල යනු පාසි ජලජ පැලෑටි හා වෙනත් දෙයින් සැදුම් ලත් වතුර සහිත මාධ්‍යයක්. ඒ මත දමා තිබුනු ශාක කඳන් මත අප දූවට ගියා ආවා. ඒ දූව වටේට සර්පිලා කාර මාර්ගයක් තුබුනා. ඒවා සියල්ල ලඳු කැලෑවෙන් යටවෙලා තිබුනේ. මගේ මනසේ අදටත් මැවී ඇති "මඩොල් දුව" එයයි! බොහෝ කේතුධර ගස් එහි තැනින් තැන තිබුනා.

සිඩ්නි අංකල්ගේ තාත්තා ගමන් කොට ඇත්තේ අශ්වයා මත හා අශ්ව කරත්තයේ ලු. ඒ නිවසේ පිටු පස වූ ගබඩා කාමරයක අශ්ව කරත්තයට සවි කොට තිබුනු සීනුවේ කොටස් මා දැක තිබුනා.

 එය නිමවා තිබුනේ පයින් පෑගූ විට සීනුව නාදවන්නට කියා මා අසා තිබුනා. සිඩ්නි අංකල් ඇදහූවේ  ඉංග්‍රීසි සභාව හෙවත් ඇංග්ලිකන්!  මේ නිසාම මේ අය කිතුනුවන්. ලොකු අම්මා පංසලටත් පල්ලියටත් දෙකටම යන්නට ඇති. ඒ උනත් ගෙදර අනෙක් අයගෙන් සිඩ්නි අංකල්ගේ පුත්‍රයා වූ රෙජිනල්ඩ්ද පියා අනුව යමින් ඇංග්ලිකන් වූ අතර දියණිය ලිටිෂියා රෝමානු කතෝලික වූවා!

 ජීවිතේ ආපසු හැරී බලන කොට අපේ ලොකු අම්මලාගේ ගෙදර සමග ගැට ගැහුනු මතක අමතක කරණ්නම බෑ!

මම මේ වගන්තිය නැවතත් ලිව්වේ වැරදීමකින් හෝ අතපසුවීමකින් නම් නොවෙයි. එය දෙතුන් වතාවක් කීවත් නොසෑහෙන බැවින්. අපේ බාල පරම් පරාවේ වැඩිමහල්ලා අපේ අයියා. එයාට අවුරුදු දෙකක් පහලින් අපේ අක්කා. එයාට දෙකක් පහලින් ලොකු අම්මාගේ පුතා . ඊළඟට ඒවාගේම පරතරයකින් එහේ අක්කා. ඊළඟට තවත් අවුරුදු දෙකකින් මම. අපේ බොහෝ නත්තල් නිවාඩු ගත් කෙරුණේ ලොකු අම්මලාගේ ගෙදර.

හැමදා අපේ නත්තල් නිවාඩුව ගෙවුනේ දෙද්දූව! අපි කුඩා අවදියේදී අම්මාත් තාත්තාත් සමගනත්තල කිට්ටුව දෙදදුවට සේන්දු වීම සාමාන්‍ය දෙයක් . ඒ කාලේ තත්තාගේ දෙවෙනි පංතියේ; රජයේ සේවක  දුම්රිය බලපත්‍රයෙන් අළුත්ගම දක්වා යන අප එතැන් සිට; දෙද්දූව / හබුරුගල හරහා ඇල්පිටිය බසයක් නැගී එහි ගියෙමු. අපගේ ඇඳුම් සියල්ලම පාහේ ඇසුරූ කොල පැහැති කොටු සහිත "ෆොර්ඩ්" සූට් කේසය අතින් ගන්නේ තාත්තාය. 

අලුත්ගම එකල පැවති පොදු වෙළඳපොල හෙවත් "මාකැට්ටුව" සෙනග පිරුණු ස්ථානයකි. එය තුලට ගමන් ගන්නා තැනම පොල් කොල වලි සැකසූ මලු විකිණීමට තිබුනි. එම මල්ල සකසා තිබුනේ; වියන ලද පොල් අත්තක් රවුම් කරගැට ගසා අනතුරුව ඉතිරි පොල් කොල අග්ගිසි සියල්ල එකට කොට එයින්ම ගැටයක් ගසාය! යෝධ හැඹිළියක් සේ සැකසුනු එහි පොල් නාරටියෙන් එල්ලාගෙන එළවලු අදිය ගෙන යා හැක.  මස් මාළු ඔතා දෙන්නේ හබරල කොලේය. හබරල කොලේ එතූ ඒවා බොහෝ විට පත්තර පිටුවක හෝ සිමෙන්ති කවර බෑගයක දමා දෙන්නේය!

මාකැට්ටුවේ ඉදිරිපස කරවැල් වල එල්ලූ කුඩා මසුන්ද ඇතුලත මාලු කඩ මස් කඩ එළවළු කඩ ආදියෙන් පිරී පැවතුනි. අම්මා සහ තාත්තා මාකැට්ටුවේ ගතකරණ කාලය මාහට ඉවසුම් නැති කාලයකි. මන්ද මා සිටින්නේ හැකි ඉක්මණින් ලොකු අම්මාගේ නිවසට යන සිහියෙන්ය! සියල්ල එකතු කරගත් පසු ඇල්පිටිය බසයක් නැගී දෙද්දූව හන්දියෙන් බසින්නෙමු. එකල එම මාර්ගයේ දිවුනේ අලුත්ගම ඩිපෝවෙන් දිවුනු බ්‍රිටිෂ් ලේලන්ඩ් බස් රථය. ක්‍රෑෂ් ගියර් පෙට්ටියක් සහිත එම රථගියර් මාරු කලේ දෙවරක් ක්ලච් පාදිකය පාගා ටයිමිං වලටය.

බොහෝ විට අප අලුත්ගමින් බසින්නේ රෑ බෝ වෙන්නට ඉතා ආසන්නයේදීය. එකල බස්  වල ප්‍රධාන පහන් මෙන්ම ඇතුලත තිබූ පහන්ද ගෙන ආවේ මන්ද ආලෝකයකි. ඒවා තරමක් හෝ දීප්තිමත් වන්නේ එන්ජිම සැර දමද්දී පමණි. කොන්දොස්තරලා සල්ලි ගනුදෙනු කරණ්නේ වහලයේ ඇති විදුලි  බල්බයකට අත ලං කොට ගෙනය. බසයේ බෝඩ් එක හෙවත් නාම පුවරුව කුඩා දිගටි එකකි. එහි වූයේ දෙපැත්තට එතූ රෙදි රෝලක මුද්‍රණය කල ග්‍රාම හා නගර නාමයන් ය! එය උඩටත් පහලටත් එතීමට රියැදුරුගේ හිසට ඉහලින් මැදට වන්නට කුඩා හැඬල දෙකකි! මේ අරුමෝසම් බලමින් මා යන්නේ සිත පුරවා ගත් සතුටකිනි.

ඉලස්ටෝ ආයතනය පසුකොට බසය දෙද්දූව හන්දිය ආසන්න වන විට පාර දිවෙන්නේ දෙපසම පැතිරී ගිය විලක් වන් බෙන්තොට ගඟ හරහාය. එය මාහට මහත්වූ සතුටක් ගෙන දෙන දර්ශණයක් විය. ඒ ඊළඟට ඇති ආසන්න නැවතුමකදී අප බසයෙන් බසිනා බැවිනි.  

බසයෙන් බැස්ස පසු තාත්තා තමන්ගේ විදුළි පන්දම කොහේ හෝ තිබී අතට ගනී. එවරෙඩි ලොකු මූණ ටෝර්ච් එකෙන් තරමක එළියක් විහිදේ. තාත්තා එය එක එල්ලේ එල්ල කරගෙන ගමන් කලේ නැත. එය අත පැද්දෙන රටාවටම ඉදිරියටත් පසු පසටත් වැනේ! තාත්තා එක  අතක සූට් කේසය රැගෙන අනෙක් පසට නැවී ඉදිරියෙන් ගමන් ගත්තේය. ඊළඟට මමත් අක්කාත් අයියාත් හෝ පැමිණි කිසිවෙකු හෝ ගමන් කලේය. අම්මා පැමිණියේ අන්තිමටය. එළවළු අඩුවැඩිය සහිත පොල්කොල මල්ල ඇය එල්ලාගෙනය!

දෙද්දූව හන්දියේ සිට දිගටම පැවතියේ ගුරු පාරකි. මාර්ගය ආසන්යේම නොම්මර එකේ කන්දකි. වම් පසින් බෝ ගසක් සහ බාගෙට පංසලක්  හෝ බුදු මැදුරක් විය. එය පසු කල විට වම් පසින් දෙද්දූව කණිටු පාසැලද දකුණු පසින් බේකරියක් හා සිල්ලර කඩයක් විය.

එකල ගෙදරකට යාමේදී පාන් ගෙඩියක් හෝ දෙකක් ගෙනයාම සිරිතක්ව පැවතුනි! විශේෂයෙන් අපේ තාත්තා ඕනෑම ගෙදරකට යන විට පාන් ගෙඩියක් රැගෙන යෑම සිරිතක්ව පැවතුනි.

බේකරි කඩෙන් පාන් ගෙඩියක් හෝ දෙකක් මිළදී ගන්නා අප නැවත ගමනේ යෙදේ..

තාත්තාගේ විදුළි පන්දම නොමැති වූ විට මේ කඩෙන් ඉටි පන්දමක් මිළදී ගන්නා අතර පොල් කට්ටක් නොමිලේම ලැබේ. එකල එයද ඉතා සාමාන්‍ය දෙයකි. දැව ප්‍රවාහණය කරණා ලොරි වල පසු පස රතු කොඩියක් වෙනුවට පින්න මල් දෙකක්ද, වැස්සට කෙහෙල් කොලයක් හෝ හබරල කොලයක් රැගෙන යන කාලයකි එය.

ඉටි පන්දමට පසු පසින් පොල් කටුව තබාගෙන සුළං මුවා කරගෙන එය තනි අතින් නොනිමෙන්නට ගෙන යන හැටි තාත්තා දනී. මේ එළියෙන් අප හැතැම්මකට ආසන්න දුර ගුරු පාරේ ගමන් කොට ජෙෆ්‍රි බාවාගේ නිවෙසට හැරෙන ගේට්ටුව පසු කරමින් ගමන් කරයි. ඒ අසන්නයේ පාර තරමක් හේදී ගොස් තිබීම මා දන්නා කාලය වන තෙක්ම පැවතුනි. එතැන් සිට ගමන් ගන්නේ දැඩි කරුවලකින් යුතු පරිසර පද්ධතියක් තුලිණි. පට්ට දාවලේ වුවද මෙම මණ්ඩිය දැඩි අඳුරු පෙදෙසකි. ඒ පාර උඩින් ගම්න් කොට ඇති රුක් වියන කරණ කොට ගෙනය.

එතැන් සිට මීටර 25ක් පමණ යද්දී පුස්සැල් බොක්කේ කළාමැදිරි එළි පෙනෙන්නට ගනී. බොහෝ දිනවල; නිවසේ; කෑම කන කොටස ආලෝකමත් කලේ පැට්‍රොමැක්ස් ලාම්පුවකිනි. අනෙක් සියළු තැනම වූයේ නොයෙක් කොටස චිමිණි ලාම්පුය. කුස්සියේ පමනක් කුප්පි ලාම්පුවක් දෙකක් තිබුනි.

අප එහි ගිය සැනින් "මෙන්න හැරියටුයි විල්ෆර්ඩුයි ආවා!" ලොකු අම්මා මහ හයියෙන් සිඩ්නි අංකල්ට දන්වයි. එතැන් පටන් ඔවුන්ගේ කථා බහය! අම්මාගේ; කසාද නොබැඳ සිටි අක්කා හේවත් ග්‍රේස් ලොකු අම්මාද මේ සියල්ලට එකතු වේ. ඇය පාසැල් ගුරුවරියකි. ග්‍රේස් මැටල්ඩා සෙනෙවිරත්න - ඇය මිය යන විට විශ්‍රාමලත් විදුහල්පතිනියක් විය.

ගමන පුරා විඳි ගැහැට, ඒවාට මුහුණ දුන් ආකාරය, දුම්රියේ ආසන අල්ලා ගත් හැටි මේ සියල්ල තාත්තාත් අම්මාත් තොරතොංචියක් නැතිව ලොකු අම්මලාට කියති. ඒ අය ඒවා ඉතා ආසාවෙන් අසා සිටිති.

මා කිට්ටු වන්නේ ලිටිෂියා  අක්කාට හා රෙජිනල්ඩ් අයියාටය! එතැණ් පටන් ගෙදර මහත් වූ සැණකෙළියකි. අම්මා ගෙනා කළමණා ලොකු අම්මාට එකින් එක පිළිගන්වයි. 

"මෙන්න හරක් මස් රාත්තල් දෙකකුත් ගෙනාවා විල්ෆ්‍රඩ්ට ඕනෑ කිව්වනේ අක්කගේ හරක් මස් එක කන්න!" `අම්මා ඒ ඒ අයිතමය ගෙන ඒමට හේතුවකුත් එක්ක මේසය මත තබයි.

"කවුරුත් කැමතියි මගේ මස් එකට! විල්ෆ්‍රඩ් කවදත් කැමතියි නේ!" ලොකු අම්මා උස් හඬින් කියන්නේ අපේ තාත්තාටත් ඇහෙන්නය.

"අක්කේ; අපි පාන් රාත්තල් දෙකකුත් ගෙනාවා! අල ගෙඩියක් දෙකක් දාලාම මස් හොද්දක් හදන්න!" තාත්තාද ඊට එකතු වන්නේ කථාවට පලිප්පු දමමිනි.

"ආ ඉස්ටුවක්!" හරි මං හදන්නං මට ඕවා සුළු වැඩ ලමයිනේ!" ලොකු අම්මා එසේ කියා කුස්ස්යියට වැදෙයි. බොහෝ විට එහි ඉන්නා සේවිකාව හා අපේ අම්මාද ඊට එකතුවේ. රාත්‍රී කෑම මේසයට; දෙපස අඬු සහිත; සුදු පැහැති කැසරෝල් බඳුනක් පුරා  එන්නේ සුපිරි දුම් දමන හරක් මස් ඉස්ටුවකි!

මේ සියල්ල මෙසේ සිදුවන විට මමත් ලිට් අක්කාත් ඇයගේ කාමරයේ සිට කයිවාරුවේය. එයා අලුතින් එක් කරගත් දේ පෙන්වමින් ය. අලුත් කතා කියමින් ය. රෑ කෑමෙන් පසුව අප බොහෝ විට සමිතියක් පැවැත්තුවෙමු. අප සියල්ල වටේට ඉඳගෙන කවි කථා කිව්වෙමු. 

සිංදු කිව්වෝය. අම්මාත් ලොකු අම්මලාත් සැමදාම ගැයුවේ "සුල් සල් වනේහි සල් - මායා පුතානා - ප්‍රේම රජානා" ගීතයය! අයියාත් රෙජිනල්ඩ් අයියාත් බොහෝ විට ඉඳගන්නේ සිඩ්නි අංකල්ගේ හමුදා පෙට්ටගම උඩය. බොහෝ විට රෙජිනල්ඩ් අයියා ඊට ගසමින් අපගේ ගීත වලට සංගීතය සැපයු වේය. 

එදින කුඩා අප නිදා ගන්නේ කෑම කන තැන බිම එලා ගත් පැදුරු වලය. අප රෑ වෙන තුරු සිනහ වෙමින් සිටියි. පසුදින නත්තලය! නිවසේ කුඩා මුල්ලක ගවලෙනක් හෝ සරුව පිත්තල රැලින් මෝස්තර කල නත්තල් ගසකි. 

නත්තල් කේක්, තැඹිළි වයින්, දුම් දමන කෑම සෙනෙහෙ බර නෑ සියන් සමග නත්තල සැමරීම පටන් ගැනේ. වැඩිහිටියන් අපව අමතක කොට දමාය! අප නිදහසේ ගේ තුලත්, විසල් පොල් වත්තේත් දූවේත් කරක් ගසති. බඩ ගිනි වූ විට යමින් එමින් කෑම් මේසය උඩ ඇති රස කැවිල්ලක් හෝ කෙසෙල් ගෙඩියක් අතුරුදහන් කරයි. දිනය පුරා ගේ පුරාත් වත්ත  පිටිය පුරාත් පැතිරී ගිය ආශ්චර්‍යයන් බලමින් ගෙවති.

කාලය විසින් එම නත්තල ඊළඟ පරම්පරාවරට ගෙන ආ හැටි එන සතියේ කියන්නම්!

ඔබ සැමට සුභ නත්තලක් . . . . . . . !

Sunday, December 17, 2023

229. "අඤ්ඤා කොන්ඩඤ්ඤ!" (ශනිදා දහයට XI)


අර මම දවසක් කිව්ව එම්බ්‍රොයිඩර් සීන් එක සිද්දවුනු ෆැක්ටේරියේම කථාවක් අද මම කියන්නේ.

ඒකාලේ එහේ වැඩ කලා නිල්මිණි කියලා ටික වෙන්න ඇහැට කනට පේන ගෑනු පරාණයක්! 

නිල්මිණි වැඩ කලේ IE දෙපාර්තමේන්තුවේ (Industrial Engineering). ඒ කියන්නේ වැඩ අධ්‍යන  (Work Study) අංශයේ. කොහොමත් ඔය අංශයේ හිටිය අය හිතාගෙන හිටියේ උන්ව මේලෝකෙට මහබ්‍රහ්මයා එයාගේ හිස්මුදුනෙන් මවපු එවුං ටිකක් කියලා. 

මෙයාට රැජිනගේ භාෂාව එහෙම ලෙසටම පුළුවන් උනා වගේම ඊටත් වඩා එක ප්‍රදර්ශණ භාණඩයක් ලෙස අලෙවිකලා කියලා කිවොත් මම නිවැරදියි මං හිතන්නේ. එයාගේ භාෂාව එයා ළඟ අපේ භාෂාව අපි ලඟ වගේ අපි අපේ සියළු කථා බහ සාමාන්‍ය විදියට කලත් නිල්මිණි ඕනෑම තැනකදි බටහිර භාෂාව, ආගම, සිරිත් විරිත්, කලා ශිල්ප, චිත්‍රපට, සංගීතය, පොත් පත් වගේ ඕනෑම ගිණිපෙට්ටියක් ගත්තොත් මෙරට දේවල් වලට වඩා ඉහලින්; සුද්දගේ දේ ගැන කථා කරණ්න පුරුදු උනා. කොටින්ම  කටේ තිබුනේ රට දෙල්, රට කජු, රට පුවක්, රට හාල්, ඇමරිකන් පිටි වගේ දේවල් මිසක් කොස් දෙල් අල බතල නම් නොවේ.

සංගීතය නම් බිතෝවන්, චිත්‍රපටයක් නම් බර්ග්මාන්, චිත්‍රයක් නම් පැබ්ලෝ පිකාසෝ, නළුවෙක් නම් මාලන් බ්‍රැන්ඩෝ, නිළියක් නම් මර්ලීන් මොන්‍රෝ ඔන්න ඔය වගේ!එයා ආසාවට රවි ශංකර්, සත්‍යජිත් රායි, ලෙස්ටර් ජෙම්ස් පිරිස්, ලකී සේනානායක, සේමගේ, ජෝ අබේවික්‍රම, ස්වර්ණා මල්ලව ආරච්චි ගැන  කථාවක් තිබ්බේ නෑ!

මෙතන අපිට මල පැනපුම සීන් එක උනේ එයා ඉංග්‍රීසි භාෂාවට දැක්වූ ගැති හා භය පක්ෂ භාවය!

අපි ඒකාලේ දවල් ලන්ච් එක කාලා කැන්ටිමට වෙලා පොඩි වෙලාවක් ලකාර් එක ගහලා තමයි ආපහු වැඩට ඇතුලට ආවේ.

ඉතින් මේ වෙලාවට; කැන්ටිම තුල එක එක මේශ රාශිය වටා එක් රොක් උනේ; රාශී භූත වූවේත් කතා කලේත් එකිනෙකට වෙනස් වෙනස් මාතෘකා.

අපේ සෙට් එකේ හිටිය බොහෝ දෙනෙක් ටික වෙන්න කලාබර කස්ටිය!

ඉතිං ඒ හින්දාම අපේ මේසේ කථා උනේ පොඩි පහේ සාස්ත්‍රීය කථාවක්මයි. අනිත් එවුං එහෙම උනාම මටත් වවුලාගේ මගුල් ගෙදර ගියා වගේ ඒකට සෙට් වෙන්න උනා!

දවසක් මෙහෙම කථා කර කර ඉන්න වෙලාවක තමන්ට අදාල ගැන්සිය සේටමෝල් වෙලා හිටිය මේසෙට සෙට් වෙන්න ඉඩ කඩක් නැති බැවින් අපේ මේසෙට නිල්මිණියි එයාගේ තව IE පොරකුයි පොරියකුයි කඩා පාත් උනා!

එදා අපේ මෙසේ කථාවට මාතෘකාව උනේ; ඒ දවස් වල පත්තරේකට සතිපතා ලියැවුනු ලිපි පෙලක්. මේ ලිපි පෙල ලිව්වේ මහාචර්‍ය ජේ. බී. දිසානායක! ලිපි පෙල ලියැවුනේ "දොස් නොදොස් බස් වහර" යන හෙඩිම යටින්!

ඉතිං මේක ගැන කථා කර කර ඉන්නකොට නිල්මිණිට එයාගේ අදහස කියන්නට පොඩි පහේ පශ්චාත් භාගයේ අමාරුවක් එන්න ඇති. එයා මෙන්න මෙහෙම කතාවක් කිව්වා!

"ඔය English Language එක එක්ක ගත්තාම අපේ සිංහල හරිම poor! English වලින් කියන ගොඩාක් දේවල් සිංහලෙන් කියන්න් තියා හිතන්නවත් බෑ!"

මේ කාරණයේ ඇත්තක් තිබිය හැක. එය ඕනෑම භාෂාවකට පොදුවූ ධර්මතාවයකි! භාෂාවක් වටා බැඳුනු සංස්කෘථියක් ඇත. භාෂාව; එම සංස්කෘථියෙන් පෝෂණය වී තිබීම සාමාන්‍ය කරුණකි. එවන් සංකෘථිකමය කාරණයක්; ඊට අදාල භාෂාවෙන් විතර කිරීමේදී  යොදන්නාවූ; එම භාෂාවට හා සංස්කෘථියට ආවේනික වචනයකින් හෝ වැකියකින් පැවසෙන දෑ ලියන්නට වෙනත් භාෂාවක වචන සොයා ගැනීමට අපහසු විය හැක! 

ඉංග්‍රීසි යනු ජාත්‍යන්තරයේ තිබෙන පුළුල්ම තම භාෂාව බව අප අවිවාදයෙන්ම පිළිගත යුතුය. වෙනත් භාෂාවන්ගෙන් පෝෂණයවූ වෙනත් භාෂාවක් ලොව නැත්තේය. මා අසා ඇති පරිදි ලොව ඕනෑම ජාත්යන්තර ගුවන් සේවාවක ගුවන් නියමුවන් භාවිතා කලයුතු නිළ භාෂාව වන්නේ ඉංග්‍රීසිය! මෙරට සිටි අංක එකේ ඔක්ස්ෆර්ඩ් බුද්ධිමතා කල තකතීරු වැඩේ නොවන්නට අපේ රටේ සාමාන්‍ය මිනිසුන්; අද වන විට බොහෝ ඉදිරියෙන් සිටීමට ඉඩ තිබුනි.

මේ මොනවා උනත් මේ පිළිබඳව මෙසේ පොදු ප්‍රකාශයක් කිරීම සමගම අපේ ඉවසීමේ සීමාව උරගා බැලීමක් සේ මා හට දැනුනි!

"හරි හරි කවදාවත්ම ඉංග්‍රීසියෙන් කියන්න බැරි සිංහල වාක්‍යයත් තියෙන්නේ . . !" මට එසේ කියැවුනි. සත්තකින්ම එය එසේ පැවසුනේ කිසිදු වැටහීමකින් හො සොයා බැලීමකින් පසුව නොවේ!

"හරි English කියන්න බැරි ඕනම සිංහල වාක්කියක් ඔයා කියන්න! මම English ලින් කියනවා! මම English වලින් කියන වාක්කිය ඔයා ඊලඟට සිංහලට Translate කරලා කියන්නෝන. ok dear!?" නිල්මිණි එකෙන්ම මගෙන් ගේම ඉල්ලීය.

"හරී!" මම කිසිදු ලක ලෑස්තියක් නැතිව උනත් ඔහේ කීවෙමි!

"හ්ම්ම්! Tell you first!" නිල්මිණි මට අවස්ථාව දුන්නේය.

නිල්මිණිගේ IE පොරත් පොරියත් කට ඇරගෙනය! "අපේ නිල්මිණිගේ කඩු පාරට ගෙල සිඳගන්නා අහිංසකයා ජීවත්ව ඉන්නා අවසන් තත්පර කිහිපය හොඳින් බලා ගැනීමට ඔවුන් මුව අයාගෙනයැ! 

"හරි . . . . . 'මේ හැප්පුනු හැප්පිල්ල හරියට හැප්පුනා නං එහෙම; මාර හැප්පිල්ලක් තමයි හැප්පෙන්නේ!'  කියන එක කියමුකෝ බලන්න ඉංරීසියෙන්!" මගේ කටට කොහෙං ආවාදැයි අදටත් මට සිතා ගත නොහැක!

නිල්මිණි මොහොතක් සිවිලිම දිහා බලා සිට හිටි තැනිං නැගිට්ටාය. " . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . මට වැඩ තියෙනවා ඔයාලත් එක්ක කයිය ගගහ ඉන්න මට වෙලාවක් නෑ!"  නිල්මිණි සුරූස් ගා මාරුවිය!

"අම්මට සිරි යකෝ උඹ . . . . . . . !?" අපේ ගැණ්සියට හෙනම ආතල් එකක්ය! ඉන් පසුව සෑහෙන කාලයක් යන තුරු තවත් තැන් කිහිපයක මට එය කියා දක්වන්නට සිදුවිය! ආසන්නතමයේම මට එය නැවත කියන්නට සිදුවූයේ කැන්ගෞ දේශේ වසික ඇසූ විටෙකය! "ඌත් ඒහේ කාට හරි වාත වෙනවා ඇති!" මටම සිතුනි!


මේ වාගේම ආතල් සිද්ධියක් මටයි මේ ඉස්කෝලෙ කාලේ මිත්තරයෙකුවූ නලීන්ටයි සිද්ධ වුනා! ඉස්සෙල්ලා කථාවේ සටන් නලුවා මම උනාට මේ සිද්ධියේදී මමත් නිකංම නිකං කොමිට් නළුවෙකු ගානටයි වැටුනේ. සිද්ධිය මෙහෙමයි. ඔන්න දවසක් ෆ්‍රී පීරියඩ් එකකදී නලීන් එයාගේ කටුවැඩ පොත හරි නැතිනං අභ්‍යාස පොතේ අන්තිම පිටුව හරි පෙරළං හරි වේගෙන් මොන මොනවාදෝ ඉංග්‍රීසියෙන් කුරුටු ගානවා. නිකංම නෙවෙයි එක එකාගේ නම කිය කියා! එයා ටික වේලාවක් එහෙම ඉඳලා එක පාරටම නින්දෙන් නැගිට්ටා වගේ නැගිටලා අපි ඔක්කෝටම දුන්නා ඕපන් චැලෙන්ජ් එකක්!

"උඹලා ඔක්කෝටම වඩා මට ස්පීඩ් එකෙං ඕන නමක් ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවං!" එතකොටයි වැඩේ තේරුණේ ! මෙච්චරවෙලා මුන්නැහැ කරලා තියෙන්නේ එක එකාගේ නම් ලියන්න ප්‍රැක්ටිස් පාරක් දාපු එක!

කවදත් ඔය වගේ වැඩකට නැති ඕනම කුන්ඩවාලියක් ඉල්ලලා ගන්න මම "මටත් පුළුවං!" කියලා චැලේන්ජ් එක රිවර්ස් කලා!

"හරි එහෙනං ලියමු! ඔන්න ඒකයි දෙකයි තුනයි 'ජයන්ත' . . . "

පොර මට කලින් ලිව්වා!

"හරි දැං උඹ නමක් ලියපං . . . . " නලීන් මට කිව්වා!

"සුසන්ත . . " මම කිව්වා! මම ලිව්වා!!

එතනදි මම එක!

මේ විදියට නම් කිහිපයක් නලීනුත් මමත් තම තමන් කියමින් ලියනා විට; කියනා අයට ඉක්මණින් ලියන්නට පුළුවන් වීම සිදුවිය. 

"ඕක හරියන්නෑ! ශාන්තයට කියන්න කියමු . . . . !" නලීන් යෝජනා කලේය. ශාන්ත යනු ආර් කේ ශාන්ත කුමාර හෙවත් "නිවහල් සිතුවිළි" රවී සහ රන්දිල් සමග එක ඩෙස්කුව දෙකට බෙදාගේන "සරසි කන්ස්ට්‍රක්ශන්" එකේ වැඩ කල බුවෙකි.

"හරි! ඒයි නසා!" මම ඊට එකඟව ශානතව ඇමතීමි. "නසා" යනු ශාන්තගේ කාඩ් එක විය! ශාන්තට සියළු කතා කියන්නට සිදු නොවීය. සියල්ල මුල සිට සිදුවෙද්දී ඌත් වැඩේ මීටරෙන් බලාගෙන!

"හරි කියපං ඉක්මනට!" මාත් අනලීනුත් පෑන් තදින් අල්ලාගෙන කොලේ උඩ තියාගෙන ගේමට සෙට් වෙලාය! ඊළඟ තත්පරේ ශාන්ත අප දෙදෙනාට; තරගයට  ඉංග්‍රීසියෙන් ලියන්නට පුද්ගල නාම පදයක් ශබ්ධ නගා කීවේය!


"අඤ්ඤා කොන්ඩඤ්ඤ!"


මේ දිනවල යටියන්තොට මාගේ පාරම්පරික නිවසේ අළුත් වැඩියා කටයුතු වල පුරා මාසයක් තිස්සේ සිදු කරමින් සිටිනා බැවින් විවේකය අඩුය! "Tarzen & The Mason  බාස්"  ලා හට අත්වැඩ දීමේ සිට තේ සිගරට් බුලත්විට ගෙන ඒම පමනක් නොව දවල්ට බතද සැපයීමට සිදුව ඇත්තේ ටිපීයේ ඔපරේශන් හබ් එක හෙවත් කන්ටේනර පෙට්ටියේ සිටය! ඩේටා නටබුන්වී ගොසිනි. ඒනිසාම  මෙනිසාම කලට ලිවීම, කමෙන්ට් දැමීම, රිප්ලයි කිරීම යන කාර්ණා කාරණා වලදී ඇති වන කල්ගතවීම් පිළිබඳව මෙවන් පමා වීම්; මුදිතා ගුණ භරිතව විඳ දරා ගනු ඇතැයි මා සිතමි. 



Saturday, December 9, 2023

228. කරූ ගැන මතක!



මා ලඟින් ඇසුරු කරණ අසල් වැසියන් දෙදෙනෙකි.

එක් අයෙක් කරූ වන අතර අනෙකා තිලක් අයියාය.

තිලක් අයියා ගැන වෙනමම කථා කරණ්න ඕනෑ චරිතයකි. මා ලියා ඇති කෙටිකථා අටක් අතර; ඔහු හා ඔහුගේ ජීවිතයේ සිදුවූ සිදුවීමක් ගුරු කොට ගෙන  වෙනමම අතින් ලියා ෆයිල් එකක් අස්සේ දමා ඇති කථාවක් ඇත! ඒක වෙනමම  ලියා මෙතැනම දමන්නම්!

මේ කරූ ගැන!

කරූ යනු හිම ක්‍රීඩා සඳහාද ඩිප්ලෝමාවක් තියෙනා බුවෙකි. (අතිශයෝක්තියක් නොව සත්තේ සත්තය!)  ඒ ඩිප්ලෝමාව ගැනත් යටින් ලියන්නම් මතක් උනොත්!

ඔව් ඔහු ඒ තරම්ම ඇකඩමික් පොරක්. 

කරූගේ උපන් ගම වැලිමඩ. දරුවන් දුසිමකට ආසන්න ගනනක් හිටිය පවුලක මැද්දට වෙන්න තමයි කරූ ඉපදිලා තියෙන්නේ. ඉතින් ඊට පස්සෙ ඒ කාලේ තිබ්බ SSC පාස් උනාම  කරූ ගේ ප්‍රථිඵල බලලා ඉස්කෝලෙන් කිව්වාලු "ඔයාට වානිජ කරණ්න පුළුවන්!" කියලා. කරූත් "හා!" කියලා ගෙදර ඇවිත්. 

කරූලගෙ ගමේ තව කොලුවෙක් ඉන්නවාලු HSC කොරන. ඒ යකා කලෙත් "වානිජ" මලු!

මේ කොලුවා හැමදාම හවහට හවහට ගෙදර තිබුනු ඩොල්කියකට "දබ! දබ!!" ගාලා පහර දෙනවලු. (ඌ හිතාගෙන හිටියේ ඌ "ඩොල්කිය වාදනය!" කරණවා කියලාලු!!) කරූ හිතා ගත්තලු ඉස්කෝලෙ ඉඳන් ගෙදර එන ගමන් "අම්මට සිරි මටත් මේ වගේ බෙරයක් අරන් පුරුදු වෙන්න වෙනවානේ!" කියලා.

කරූ හිතාගෙන ඉඳලා තියෙන්නේ "වානිජ" කියන්නේ "බෙර ගැහිල්ලක්" කියලාලු!

ඉතින් කරූ වැලිමඩ ඉස්කෝලෙම වානිජ කරණ්න HSC පංතියට ගිහින් වැඩ පටන් අරගෙන.

ඒ කාලේ; කරූ ඇතුළු මේ දුසිමට කන්න බොන්න දෙන එකත් කරූලගෙ අප්පොච්චිට ලේසි පාසු වැඩක් වෙලා නෑ. ඒ හින්දම කරුයි එයාගේ අයියයි (අයියද අමල්ලිද කියලා ශුවර් නෑ; සහෝදරයා කියලා හිතා ගන්නකෝ!) සෙට් වෙලා එයාලගෙ වත්තෙම; මට මතක විදියට (ගේ ඉස්සරහම තිබුනු ) කිතුල මදින්න පටං අරං!

ඒවා කොහෙන් ඉගෙන ගත්තද කියලා කියන්න මට මතක නෑ! සමහර විට මොකෙක් හරි අල්ලගෙන ඇවිත් ඌ කරණ විදිහ බලාගෙන හිටියා වෙන්නත් ඇති! කොහොමත් කරූ ඉගෙන ගන්න සූරයා නෙවැ?

උඹලට කියන්න ඇස් වහක් කටවහක් නෑ කරූලගෙ කිතුල "අම්මට සිරි" වෙන්නම හරි ගිහිං!

තෙලිජ්ජ ටික ගහෙං බාන්නෙත් අමාරුවෙන්ලු.

කරූ ලගෙ අම්මලා තාත්තලා හරිම ගුණ ගරුක මිනිස්සු! ඒකට කවුරු නැතත් මම සාක්කි! ඒ අය රා විකුණලා නෑ මයේ හිතේ! කරූගෙ අම්මා  උත්සාහවන්ත ගෑනියක්! අම්මා ගෙදර පැණි උනු කරණ්ණයි හකුරු වක්කරන්නයි පටං අරං! දෙයියනේ කියලා ඒ කිතුල; කරූලට සිරිමහ බෝධිය වෙලා තියෙන්නේ, පිහිටවෙලා තියෙන්නේ ජීවිතේ ගොඩ දා ගන්න!

කරූ මෙහෙම කිතුලට පිහිට වෙන්න ඉස්කෝලේ කටයුතු කරගෙන ඉන්න කාලේ හරි ආතල් වැඩ වෙලා තියෙන්නේ! 

මේ ඉන් මතක එක කථාවක්. 

කරූලගේ ඉස්කෝලේ ආසන්නයෙන් ගලනවාලු ඇල පාරක්. ඒක තරමක් විශාලයි කියලයි කිව්වේ. දවසක් ඔය ඇලේ නාන්න යාලු මිත්තරයෝ කට්ටියත් එකතු භූත කරාන කරූ ගිහිං. මේ කතාවට සරමක් හරි සාළුවක් හෙවත් තුවායක් හරි පැටළුනේ කොහොමද කියලා මගෙන් අහන්න එපා! කොහොම හරි කරූ ඇඳන් නාලා තියෙන්නේ සරමක්, තුවායක් හරි වෙනත් රෙද්දක් හරි! කරූ මෙහෙම එහේ මෙහේ පැන පැන නාන කොට දන්නෙම නෑ ගැඹුරු වලකට ඇදිලා ගිහිං. ඒ වගේම හැඩ පාරලු. පස්සේ මුන්නැහැව ගහගෙන ගිහිං. මෙහෙම ගිහිං යානතම් කකුල බිම ගහලා තියෙන්නේ නාන මණ්ඩියකින්. එතැන ගෑනු, ලමයි, ළමා ලපටි, හැත්ත බුරුත්ත නානවාලු. "යන්තං ඇති ජීවිතේ බේර ගත්තා!" කියලා කරූ ගොඩට යන්න හදන කොටලු කරූට දැනිලා තියෙන්නේ කරූ ඉන්නේ "යකඩ ඇඳුමෙන්" හෙවත් හෙළුකොට්ටෙං කියලා.  "අම්මට සිරි මීට වඩා හොඳයි; දියේ ගිලිලා මලා නං!" කියලා කරූ ඒ මේ අත බලන කොට මෙන්න යකෝ අර සාළුවද මොකද්ද බඩ කඩුත්තුවත් කරූ පස්සෙංම ගහගෙන එනවාලු; සංසාරේ පුරුද්දට වාගේ!

ඉතිං නාන තොටේ එවුංට බලි තොවිල් කරගන්න තිබුනු චාන්ස් එකෙන් කරූ උංව බේරාගෙන ගොඩට ආවා කියලයි කරූ කියන්නේ.

මේ වාගේ අල කලංචි මැද්දේ කොහොමිං කොහොමිං හරි  HSC විභාගේ කරලා ඒක ගොඩ දාගෙන කැළණිය විශ්ව විද්‍යාලෙට පට්ටල් වෙලා. එතැනින් උපාධිය ගොඩ දාගෙන.

ඔය විශ්ව විද්‍යාල ජීවිතෙත් කරූගේ රස කතා ගොඩයි. මේවායිං මට මතක සුපිරි කථාවක් තියෙනවා ස්පෝර්ට් මීට් එකක් ගැන. මට මේ තරඟය අන්තර් විශ්ව විද්‍යාලද එහෙම නැත්නම් අන්තර් නිවාසද කියන්න මට මතක නෑ. කොහොම හරි ඔය වගේ ක්‍රීඩා උළෙලකදී එයාගේ කණ්ඩායමෙන් මීටර් 5000 ඉසව්වට ඉදිරිපත් වෙන්න කෙනෙක් ඇත්තේම නැතිලු. පස්සෙ කරූගේ කස්ටිය කරූට කිව්වලු "අපි උඹේ නම දානවා. උඹ පටං අරං එක වටයක් දුවලා ශේප් එකේ නැවතියං!" කියලා! අකමැති උනත් කරණ්නම දෙයක් නැති හිංදා කරූ බිල්ල වෙලා බෙල්ල දීලා.

දැං වැඩේ පටං ගත්තලු. යකඩ කටිං කරූගේ නම "එම්.එම් බී කරුණාරත්න" කියලා කෑ මොර දෙන කොට හෙන ගැම්මක් දැනෙන්න ඇතිනේ කරූට. ඉතිං අපේ කරූ අනිත් ක්‍රීඩක බුවාල එක්ක වැඩේ පටං ගත්තලු. මෙතන තියෙන සුපිරිම කෙළිය කියන්නේ ඒ කාලේ විශ්ව විද්‍යාල වල මේ ඉසව්වට කප් ගහපු පොරත් එතන වීමලු. ඉතිං කරූ වටේට අනිත් සෙට් එකත් එක්ක දුවං එද්දී යාළු මිත්තරයෝ "දැං ඇති නැවතියං!" කියනවාලු. කරූට එහෙම ගානක් නැතිලු. ගමේ කොස් දෙල කාලා උදේ හවා කිතුලට නැග්ග මනුස්සයා නොවැ? කරූ පළමු වටය අවසං කරලා දෙවැන්න පටං ගත්තලු. ඔහොම දුවන කොට කරූට දැනුනාලු "ඕනෙනම් මීටර 5000ම ඒ කියන්නේ කිලෝමීටර 5ම ඕනනං දුවන්න ඇහැකි!" කියලා දැං කරූ දුවනවාලු ගැම්මේ. කස්ටිය වටේට ඉඳන් චියර් එකලු. මෙහෙම දුවගෙන දුවගෙන යන කොට අන්තිම වට කීපයකට කලින් බලන කොට කරූට අඩි ගානක් ඉස්සරහිං; නම්බුව බේරගන්න අම්මට සිරි වෙන්න පන එපා කියලා; "අරූ" දුවනවලු. කරූ බැලුවලු "මූ මෙච්චර කෙළි කාරයෙක් කිව්වට ඒ තරං හයියෙං දුවන්නෙත් නෑ! ඔන්නොහේ එක්කෝ ඌටත් ඇරලම දානවා අනිත් එවුංට ඇරියා වගේම!" කියලා. මෙහෙම හිතලා කරූ ටිකිං ටික අර නම් දරාපු බුවාට කිට්ටු කරණ කොට මුළු පිට්ටැන්නම එකම චියර් එකලු! ඒ ගැම්මෙංම කරූ; "අරූටත්" ඇරලා වටයක් විතර ලීඩ් එකක් තියලා ගේම ෆිනිශ් කලාලු!

ඉතිං කරූ උපාධිය අහවර වෙන කොටම JEDB එකේ රස්සාවට ගිහිං. ඒ වතු වල. පස්සෙං පහු කරූ ආණ්ඩුවේ රස්සාව විදියට කලේ නැව් සංස්ථාවේ! 

එයා ඒ ඉන්නකොට රැකියාවේ කාරණා කාරණා වලට ලෝකෙ රටවල් 22ක සංචාරය කරලා තිබුනා. අර මං කලිං කිව්ව "හිම මත ලිස්සායාමේ ඩිප්ලෝමාව" අරං තියෙන්නෙත් ඔය ගිය ගමනකදී වැඩ පෙන්නලා!

කරූව මට අඳුනාගන්න ලැබෙන කොට එයා නැව් සංස්ථාවෙන් අස්වෙන්න ඔන්න මෙන්න වගේ. ඒ කාලේ එයා M Com එකක් පටං ගෙන හිටියා. පස්සේ ඊට වඩා හොඳයි කියලා MBA කරලා ඉවර කලා. 

ඔය කාලේ කරූ හිටියේ අපේ ගෙවල් කිට්ටුව ඉඩම අරං. ඒකට පාර කැපුවේ මම! ඒකට ලැබුනු ලාභය තමයි මගේ දරුවන්ට හොඳ මිතුරියන් දෙදෙනෙකු ලැබීම. කරූගේ දියණියන් දෙදෙනා ලක්ෂිකා සහ මධුෂිකා! අපට හොඳ අසල් වැසියන් ලැබීම. කරූ සහ රම්‍යා!

කරූ අපේ යාබද ඉඩම මිළ්දී ගත්තේ ඉන්න තිබුනු ගේ දොර විකුණලා! ඒක තිබුනේ අපේ ගෙවල් වලට තරමක් ඈතිං.

ඒ ඉඩම විකුණලා අලුත් ගේ හදන කල් එයාලා හිටියේ අපේ ගෙදර! අපි අපේ ගේ දෙකට බෙදලා කොටසක් එයාලට ඉන්න නොමිලේම ලබා දුන්නා!

ඔය කාලේ කරූට තිබ්බේ පරණ ෆෝක්ස්වැගන් එකක්!

මට තිබ්බේ 6ශ්‍රී2416 රතු පාට ඔස්ටින් මිනී වැගන් එක. මෙන්න මෙතැනින් ඒ වාහනේ ඒ කියන්නේ මගේ වාහනේ ගැන ගොහිං දැක බලා ගන්නත් පුළුවං!

කරූට තිබ්බා තව සුසූකි බර්ඩි පොඩි මෝටර් සයිකලයක්. එයා ජපානෙට ගිය වෙලාවක ගෙදරක තිබිලා "මේක විකුණනවද?' කියලා ඇහුවාම නිකං ඒක දීලා තිබ්බේ!

දවසක් කරූ දවල් ට විතර බර්ඩිය පැදං එනවා පිටිපස්සේ මොකක්දී රවුමක් ගැට ගහං! 

බලන කොට අඩු ගානකට ෆෝක්ස්වැගන් ඉබ්බාට සුක්කානමක් හෙවත් ස්ටියරිං එකක් ලැබිලා ඒක අරං ඇවිත්!

කාලෙකට පස්සේ මම මිනිය විකුණලා සුදු පාට ලෑන්ඩ් කෲසර් BJ40 ය / 31ශ්‍රී5460 ගෙනාවා. කරූ ගේ හදන කාලේ වෙන කොට ඉබ්බාව විකුණුවා. ඊට පස්සේ කරූට ඩයිහට්සු ජීප් එකේ ඔත්තුව දුන්නෙත් මමයි. අපි ඒක ගෙනාවේ 160 කට! ඔව් එක්ලක්ෂ හැටදාහකට!

මම ඊට පස්සේ වාහන ගනනාවක් පාවිච්චි කලා. ඔය කාලේ ඒ කියන්නේ කරූගේ දෙවැනි දුව ඉපදුනේ එයාලා අපේ ගෙදර ඉන්න කාලේ!

මට මතකයි කරූ ඒකාලේ රැකියාවට නොයා ගෙදර ඉන්නවා. එයා ඒ ඉන්න ගමන් කන්ටේනර් පරීක්ෂාව පිළිබඳව විභාගයකට ලෑස්ති උනා. 

දවසක් මම ගෙදර අනෙක් පැත්තට යනකොට කරූ බිම වාඩිවෙලා කකුලේ කොට්ටයක් දගෙන දුව පොඩි දුව නලවනවා. දුව කරූගේ කකුල් දෙක උඩම දොයි! කරු කකුල් දෙක දෙපැත්තට වන වනා පැත්තට හැරිලා; බිම තියෙන මොන මොනවාදෝ ඉංග්‍රීසියෙන් ලියනවා නැවතිල්ලක් නැතිව !

"මොනාද කරූ ලියන්නේ?" කියලා මම ඇහුවාම වැඩේ කිව්වා!

"කන්ටේනර් පරීක්ෂාව පිළිබඳ මොකක්දෝ ජාත්‍යන්තර ආයතනයකින් තියපු; කන්ටේනර් පරීක්ෂාවේ වැදගත් කම පිළිබඳ රචනා තරගයකට  මේ රචනාවක් ලියන්නේ!"

මාසයක් යන්නැති ඕනම නං!

ඔව්! ඔයාලා හිතන එකම තමයි! 

මුළු ලෝකෙන්ම කරූගේ රචනාව ෆර්ස්ට් ප්ලේස් ගහලා! මුළු විභාගෙම; ෆ්‍රී කරලා! ඊට අවශ්‍ය පොත් සැට් එක DHL කරලා අපේ ගෙදරටම ආවා! 

කාලය ගෙවෙද්දී අපි ගමේ පොදු වැඩ කටයුතු එකට කලා! ඒවා ගැන ලියන්න ගියාම ඒක එකම "මං පොර ජාතකයක්!" වෙයි කියලා ලියන්නෝන නෑ කියලත් හිතෙනවා. පස්සෙන් පහු බලමු! පාර්වල් හැදුවා, මගුල් අවමගුල් පැවැත්වුවා, දහම් පාසල් කලා, හාමුදුරුවරු එළෙව්වා, පංසල් හැදුවා, භක්ති ගීත කිව්වා නොකල මළ දානයක් නෑ!

වාහන වික්කා වාහන ගත්තා. ලමයි හැදුනා වැඩුනා! 

කරූගේ ලොකුදුව ඊළඟට වසික ඊළඟට කරූගේ පොඩි දුව අන්තිමට අපේ කල්මි! අවුරුදු හතරක් අතර ඒ හතර දෙනා.

ඒ අය අදටත් හොඳ යාළුවන් යෙහෙළියන්!

වසික-කල්මලී-ලක්ෂිකා-මධුෂිකා

වසිකලා කල්මිලා මට තාත්තා කියන කොට කරූට කිව්වේ අප්පච්චි කියලයි!

ඒ ලක්ෂිකායි මධුෂිකායි එයාලගෙ තාත්තා වුනු කරූට අප්පච්චි කියපු නිසා! අපි කවදාවත් ඒක වෙනස් කරණ්න ගියේ නෑ! වසික කැංගරු දේසේ ඉංජිනේරුවෙක්! කල්මි එන අවුරුද්ද වනවිට පූර්ව ළමාවිය අධ්‍යාපනය පිළිබඳ උපාධිධාරිණියක් වේවි එරටම!

එතකොට එයාලගේ යාළුවෝ; ලක්ෂිකායි මධුෂිකායි දෙන්නා?

මධුෂිකා ලබන වසරේ වෛද්‍ය විද්‍යාලයෙන් පිටවෙනවා වෛද්‍ය වරියක් ලෙස!

ලොක්කී - ලක්ෂිකා?

මේ ලිපිය ලිව්වේ එයා වෙනුවෙන්!

එයා මීට වසර කීපයකට පෙර මොරටුව විශ්ව විද්‍යාලයෙන් පිටවූවා විදුලි ඉංජිනේරුවරියක් ලෙස!

තව සති දෙක තුනකින් ඒ දරුවා මෙරටින් පිටවෙනවා ඇමරිකාව බලා!

ඒ PHD එකකට!

අපේම දරුවෙකු වැඩෙනා දෙස බලා ලැබෙන සතුට අපි ඔයා දිහා බලා විඳිමින්! මේ සියළු ජයග්‍රහණ පිටුපස කරූත් රම්‍යාත් එකට සිට කර ගැසූ හැටි මගේ මතකයේ ඇත!

තවත් කාලෙකදී පොඩිදුව මධුෂිකාත් යයි කොහේ හරි! වසිකලා කල්මිලා කැන්ගරුවොම වේවි! 

මේ දවස් වල අසල් වාසීන් උනත් අපි දකින්නේ ඉඳ හිටලා! ඒක අද ඊයේ උනු දෙයක් නම් නොවෙයි! වසර ගානක සිට! දුවා දරුවන් කැදළිවලින් ගිය කාලෙක යලිත් අපි මුණ ගැහේවි පරණ කථා කියන්නට! 

එතෙක් ආයුබෝවන් කරූ!

Saturday, December 2, 2023

226. බහුශෘතයින් අතර . . . ! (ශනිදා දහයට IX)


මම දන්නෑ මේක කියවන අපේ උන්නැහැලා කී දෙනෙක් මම මේ පෝස්ටුව පටන් ගන්න ලියන පලමු වැකියට එකඟදැයි කියා! එයට එකඟ නොවේනම්; මම එහෙම කියන්නේ ඇයිදැයි කියලත් යටින් ලියලා තියෙන බව අමතක කරණ්න නම් එපා!

"එල් ටී ටී ඊ සංවිධානය යුද්ධයකින් පරාජය කිරීම පිළිබඳව මා එකඟය!"

මා එහෙම කියන්නේ දමිළයින්ගේ සටන අසාධාරණ එකක් නිසා නම් නොවේ. 

මෙරට හා නොරට වෙසෙන සියල් දනෝ කියවිය යුතු පොතක් පසුගිය "පොත් පොලේ" දී එළිදැක්විනි. එහි ප්‍රකාශකයා වූයේ කඩවත පරණ බස් ඩිපෝව අසල "කඩුල්ල" ප්‍රකාශකයන් වනාතර පොත ලියා ඇත්තේ නන්දන වීරරත්නයන් විසිනි.දැන් ඔක්කෝම කිව්වා පොතේ නම නොකිය!

පොතේ නම "යාපනේ ගිණි ලෑම"



මේ පොත; පොත් පත් කියවන නොකියවන සියල් දනා විසින් කියවිය යුතු පොතක් ලෙසයි මා දකින්නේ. මෙරට මෑත ඉතිහාසයේ දමිළ - සිහල සමගියේ හදවත දෙපළු කල දරුණු කෙටේරි පහර එල්ල වූ ආකාරය සාක්ෂි සහිතව ලියැවුනු පොතක් ලෙසයි මා දකින්නේ.

පසුගිය මැයි 31 - ජුනි 1 වෙනිදාට යාපනයේ පුස්තකාලයට ගිණි තබා වසර 42ක් කල් පිරුණි. මේ කුප්‍රකට සංවත්සරය වෙනුවෙන් බ්ලොග් ලියන්නියක් වන සඳරුසි කවිපොතක් ලිය පල කල අතර මෙම "යාපනේ ගිණිලෑම" ඉන් ඔබ්බට ගිය ඉතිහාසයේ සාක්ෂි කරුවෙකු ලෙස පෙනී සිටියි. සඳරුසීගේ බ්ලොග් පොජ්ජට මෙතැනින් ගොඩවී බලන්න.

සවකීය ජතිය වෙනුවෙන් අවිගත් තරුණයින් පරිසක් වුවද අවසානයේ එල් ටී ටී ඊ සංවිධානය පත්වන්නේ මිනීමරු ත්‍රස්ථවාදී හමුදාවක් බවටය. ආරම්භය කෙතරම් සාධාරණ කරුණු මත පිහිටා සිටියද පසුව එය නිරායුධ අහිංසක සාමාන්‍ය සිවිල් පුරවැසියන් ඝාතනය කරණ තැනට පත්වූ පසු; එය; කකුල කපා ජීවිතය බේරා ගත යුතු පිළිකාවක්, අරඹන වනයක් බවට පත් විය!

මම මේ කියනා කුඩා සිදුවීම සිදුවූ කාල වකවානුව තිස් අවුරුදු ගැටුමේ අවසන්  සටන ඇවිලී යන්නට පටන් ගත් සති කිහිපයයි. මාවිල් ආරු සොරොව්ව වසා දැමීමෙන් පසු එය නැවත විවෘත කොට හමුදාව සටනට ඉවකරමින්, සෙමෙන් සෙමෙන් තොප්පිගල දෙසට ගමන් ඇරඹි කාලයයි.

ඒ දිනවල මෙම සටනටත්, මහින්දටත්, ගෝඨාටත්, සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාවටත් පාට පක්ෂ නොමැතිව දකුණේ ආශිර්වාදය ලැබුනු කාලයක් විය! යුද්ධය දිනා ගත් පසු; එය රාජපක්ෂ කඳවුරේ තනි අයිතියට ලියා ගත්තද එකල එය පොදු සටනක ස්වරූපයක් හැඩයක් රිද්මයක් ගත්තේය.

මේ කලයේදී නන්නාදුනනා දෙතුන් දෙනෙක් එක්වූ විට පොදු මාතෘකාව වූයේ උතුරේ යුද්ධයයි.

තම තමා දන්නා "යුධ රහස්" (එහෙම හිතාගෙන හඬ අඩුවෙන්  තමන් පමණක් දන්නවා යැයි සිතා  අන් අයට රහසින් කියනා කරුණු!) වැඩිපුරම දන්නා අයට එවන් "සාක්කු සභා" (Pocket Meeting) වල ලැබුනේ ඉහල ලංසුවකි!

හමුදා පෙරමුණු හඳුන්වන මිල්ටරිමය නාමපද, ඒවායේ අනදෙන සෙන්පතීන්ගේ නම් ගම් හා පෞදගලික උහං දිරං, නෑදෑ හිතවත්කං, අයතා සබඳතා,  අවි ආයුධවල නම් ගම්  - උත්පත්ති, උන්ඩ මූනිස්සං වල දිග පලළ, උතුරේ පලාත් ස්ථාන ගත වී ඇති දිශානතියන්, අක්ෂාංශ දෙශාංශ, භූ විෂමතා, සමෝච්ඡ රේඛා, ඉතිහාසය, භූගෝලය, ප්‍රජාචාරය, සමාජධ්‍යනය, ස්වස්ථතාව, අරක මේක, වැනි දේ යන්තමින් හෝ ගැට ගසා ගත හැකි අයට එවන් සභාවලදී ලැබෙන්නේ අප්‍රමාන වටිනාකමකි!

මේවා දෙසා බාන උන්නැහැල දෙස වටේ ඉන්නා අය බලා සිටියේද "අම්මට හුඩු මූ දන්න දේවල්! ශුවර් එකටම මූ නං හමුදාවට උපදෙස් දෙන පොරක් වෙන්නෝන!" කියා මුව අයාගෙනය.

මෙවන් කථා මෙසේ තැන තැන් සිදුවෙද්දී "සුදු නෙළුම්" අතින් ගත් අයද එහෙන් මෙහෙන් නොසිටියාම නොවේය. ඔවුන් තැන තැන සිට තම ධර්ම ප්‍රචාරය කටයුතු කලේ මේ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු කරුණක් බව ඒත්තු ගැන්වීමටය.

"යුද්ධය" සිල්ලර ජනප්‍රිය මතය වනවිට මෙවන් 'සාම වෙළෙන්ඳන්' සමාජය තුල "ඉහල සාස්ත්‍රීය පොරවල්" ලෙස,  බොහෝ විට බුද්ධිමතුන්සේ පෙනී සිටියහ! පෙනී සිටියහ!

ජෝතිපාලගේ සිංදු අහන අය හා අමරදේවයන්ගේ ගීත ශ්‍රවණය කරණ්නන් හැසිරුනේ යම්සේද; ජෝතිපාල රසිකයින් දෙස අමරදේව ශ්‍රාවකයින් අවඥාවෙන් බැලුවේ යම් සේද; යුධ කාමීන් දෙස සාමකාමීන් බැලුවේද එසේම මය!

මීට සති කිහිපයකට පෙර මම ලියන ලද "ඔයිල් නැතිව ධාවනයේ" බ්ලොග් පෝස්ටුවෙන් කියැවෙන කාලයේදී අපගේ යුනයිටඩ් මෝටර්ස් සේවා ස්ථානය; දිවයිනේ නන්දෙසින් පැමිණෙන   දොස්තර වරුන්, ඉංජිනේරුවන්, විශ්වවිද්‍යාල කථිකාචාර්‍යවරුන් මහචාර්‍යවරුන් ඇතුළු උගතුන් (බුද්ධිමතුන්දැයි මා නොදනිමි!) ගැවසෙන; රැස්වන සාක්කු සභා පැවැත්වෙන සාකච්ඡා මණ්ඩපයක් විය.

තමන්ගේ වාහනයේ සේවා කටයුතු අවසාන වනතෙක් සාර ගර්භ  සාකච්ඡාවක කොටස් කරුවෙකු, මෙහෙයවන්නෙකු, සවන්දෙන්නෙකු, එහෙයියෙකු හෝ හූමිටි තියන්නෙකු වීමට හෝ එහි එන සෑම කෙනෙකු හටම සිදුවේ. අතරින් පතරින් මුල්ලක් අල්ලාගෙන පොතකින් මුහුන වසාගෙන සිටින අයෙකු හට වුවද; නිහඬව නිවාඩුව නිස්කාන්සුවේ පොත කියැවීමට සාක්කු සභා කරුවන්ගෙන් ඉඩක් නොලැබුනි. පොත කියවා ඇසට "ගිණි කන" වැටුනු පසු හෝ හුස්මක් ගැනීමට හෝ හිස එසවූ වහාම පෙර කී සභිකයින් ඔහුට කොක්කක් ගසා ස්වකීය සභාවට නවා ගන්නෝය. ගොලුවකු වුවද කථා කරවීමට ඔවුන් දන්නවා සේම නො එසේ නම් එතැන හූ මිටි තැබීමට හෝ සිදුවන්නේය!

එකල මම සිටි City & Guilds විභාගයකට සූදානම්වෙමින් සිටි කාලයක් විය. 

සිටි City & Guilds යනු "ඔවුන් අදහන හා පිළිතුර කටපාඩම් කරගෙන ලිවීමෙන් හැර"  අයින්ස්ටයින්ට වත් සමත්විය හැකි විභාගයක් නොවේ. එම නිසාම මෝටර් කාර්මික දැනුම කෙසේ වෙතත්; අවුරුදු හත අටක විභාග ප්‍රශ්ණ පත්තර වලට කටපාඩමින්; අර මා කලින් පැවසූ පරිදි "ඔවුන් අදහන" පිළිතුරු ලියන්නට සමත් යමෙක් වෙයිද ඔහුට විභාගය සමත් විය හැකි වේ!

මේ නිසාම උදෑසන ශරීරකෘත්‍යය කරණ තැන පටන් රාත්‍රී සයන ගත වනතුරුත් අපගේ සෑම ක්‍රියාවක් සමගම ඊට සමාන්තරව; සිටි City & Guilds පේපරයක් තබාගෙන පිළිතුරු ලියමින් මෙරට සිටින City & Guilds විභාග කඩ සාප්පු මගින් අප වෙත ලබා දුන් පිළිතුරු හා සැසැඳීම අපගේ ප්‍රථම රාජකාරිය කරගෙන සිටියහ!

මේ අදාල දිනයේදී මම; පාරිභෝගිකයින්ගේ එසේත් නැත්නම් සේවාව හා අළුත්වැඩියාව සඳහා ගෙන ආ වාහන හිමියන්ගේ දුක්ඛ දෝමනස්සයන්ට සවන් දෙමින් අදාල විසඳුම් ලබා දෙමින් ඒ අතරම එන දූරකථන ඇමතුම් වලට පිළිතුරු බඳිමින් කාර්මිකයින්ගේ විමසීම්වලට උත්තර දෙමින් සිටින අල්ල පනල්ලේ .......... පේපරයක්ද මේසයේ වම් පසින් එළාගෙන එයටද කණා පොල්ලෙන් ගසමින් සිටියෙමි.

අපගේ කුඩා කාර්‍යාල කුටිය දනන්ගෙන් පිරී පැවතිනි.

එක් මොහොතක මෙතැනට කඩා පාත් වූවේ මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යා - මහාචාර්යා කුලකයේ අවයවයකි. තමාව; තමන්ම හඳුන්වා දුන් ඔහු වාහනයේ සේවාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

මම ඔහුගේ වාහනයට අදාල වැඩ පත Job Card සකසන අතර තුරේ මාගේ මේසයේ වම් කෙළවරේ තිබුනු City & Guilds  ප්‍රශ්ණ පත්‍රයටද හොස්ස පොවනවා දුටිමි. 

"මොකක්ද කරණ විභාගෙ . . . . . . . ?"

"City & Guilds  සර් . . . . . . . !" මම හිස නොඋස්සාම පිළිතුරු දුන්නෙමි.


"ඕවා කරණ්න තිබ්බේ පොඩි කාලෙදිනේ . . . . . . . මෙච්චර වයසට ගිහිල්ලද ඕවා කරණ්නේ . . . . . . . !?" 

ඔහුගේ ඒ පිළිතුර සමග මා එක එල්ලේ ඔහුගේ මුහුණ දෙස බැලීමි. උත්මත්තියෙන්ම මා හට ලැබී ඇති දුර්වල කමක් වෙයි. ඒ හැඟීම් දැනීම් මුහුණෙන් පිළිබිඹුවීම සඟවා ගැනීමට නොහැකි වීමයි. මල පැනීම සමගම මාගේ මුහුනේ ඉරියව් වෙනස් වීමත් කන් පෙති පුරා ලේ නහර උද්දීපනයවී රත් වීමත් දෑසින් ගිණි පිටවීමත් සඟවා ගැනීමට මට කිසිදා නොහැක.

 "නෑ මං කිව්වේ . . . . . !" මාගේ ඉරියව් දැකීමෙන් කිසියම් චකිතයකට පත්වූ මහාචාර්ය ආචාර්ය තුමා කියපු වැකිය ආපසු අකුලන්නට දිළිඳු උත්සාහයක යෙදිනි. 

"සර් දන්නවද ජෙෆ්ෆ්‍රි බාවා ගැන? එයා Architecture පටන් ගෙන තියෙන්නේ හතලිහ පැන්නටත් පස්සෙ කියලා  . . . . . . .!?"

ඔහු කිසිදාක බලා පොරොත්තු නොවුනු උත්තරයකින් මා ඔහුට දමා ගැසුවෙමි.

"අ . ආ! ඔව් මම අහලා තියෙනවා! නෑ මම නිකං කිව්වේ . . .!' ඔහු තතනමින් උත්තරයක් සෙව්වේය. 

ඇත්තෙන්ම ගත හොත් ඉංජිනේරු උපාධියක් සමග සැසඳීමේදී City & Guilds යනු ළදරු හෝඩියකි. එහෙත් City & Guilds ඩිප්ලෝමාව, උසස් ඩිප්ලෝමාවෙන් පසු තවත් විභාගයක් හෝ දෙකක් ඇවෑමෙන් ඉංජිනේරු උපාධියකට සම තත්වයකට පත්වීමේ මගක්ද නැතුවාම නොවේ. 

ඉගෙන ගත් හා ඉගෙනුම ලබන අය වෙත මා තුල මහත්වූ ගරුත්වයක් ඇත. ඒ ඔවුන් උගත්තු සේම බුද්ධිමතුන්ද වෙනවානම් ය.

කෙසේ වෙතත් මා සමග පැටළී සීරීමකට පත්වූ එතුමා අපගේ කාර්යාලයෙන් පිටවීම සමග පොකට් මීටිමක් පටන් ගත්තේය. 

එතැන සිටි බලපත්‍ර ලාභී පාරිභෝගිකයින් බොහෝ දෙනා පිරිවරා ගත් ඔහු යුද්ධයේ ආදීනව පිළිබඳව දේශනාවකට මුල පුරා තිබුනි. මාගේ රැකියාව තුල වාහන හැසිරවීමටත් ඒවා අදාල අංශයන් වෙත පදවාගෙන යාමටත් සිදුවේ. එසේම බොහෝ අවස්ථාවල කාර්යාලයෙන් පිටත සිට ඒවා හැසිරවීමටත් සිදුවේ.

"පඬිතුමාගේ" දේශණ මණ්ඩපය මාගේ තේ දුරින් ය. මා එතැන සිට වැඩ හල දෙස නෙත අයාගෙන දම් සභා මණ්ඩපයට "බළු කන" දමාගෙන සිටියෙමි.

පඬිතුමාගේ විශ්ලේශනයට අනුව "යුද්ධයට ආවඩන්නෝ නූගතුන් ය!

බුද්ධිමතුන් කිසිදා සාමයට පිටුපා නොයන්නෝය!"

මා ඔවුන්ගේ සාකච්ඡාවට කන් යොමා සිටින බවක් ඔවුනට නොදැනෙන්න ඇති. ඒ සමගම පඬිතුමා හට ඔහුගේ මතය තහවුරු කිරීමට සරළ පර්‍රීක්ෂණයක් සිදු කොට පෙන්නීමට සිතෙන්නට ඇති.

"මෙයාගෙන් අහ්ලා බලන්න ඕනෙනම්!" ඔහු පවසනවා මට ඇහුනි.

ඒ සමගම එතැන සිටියෙකු මාහට කථා කරණු ඇසුනෙමි.

"මේ මේ!!" මම දෙවන වර අමතනවාත් සමග ඔවුන් දෙස බැලූ සැණින් පඬිතුමා මා හට ලඟට එන්නටයැයි අතින් සඥාවක් කලේය!

"ඔයා හිතන්නේ මේ උතුරේ පර්ශ්නයට විසඳුම යුද්ධයද සාමයද . . . ?" පඬි තුමා මගෙන් විමසීය. ඔහුට ඇවැසි "නූගත්" උත්තරේ මම එක්ෂණයෙන්, හැරෙන තැපෑලෙන් දුනිමි!

"යුද්ධය!"

"දැක්කද මම කිව්වේ!?" ඔහු අන් අය දෙස තම ජයග්‍රාහී බැල්ම  හෙලමින් පැවසුවේය.

"සර් කියන්නේ මොකක්ද විසඳුම . . . ?" මම ඔහුගේ හඬ තුනී වන්නටත් මත්තෙන් විමසීය!

ඔහු වටා සිටි සියල්ලෝම මා දෙස දෑස් අයා ගෙනය.

"සාමය . . . !" ඔහු ඔහුගේ බුද්ධිමත් උත්තරේ ආඩම්බරයෙන් පැවසීය.

"සර් දන්න ලෝකෙ ලොකුම යුද්ධෙ මොකක්ද? දෙවන මහා ලෝක යුද්ධෙ නේද? එත කොට ඒක ඉවර උනේ සාම කථා වලින්ද නැත්නම් යුද්ධෙන්මද . . . කියන්නකෝ . . ?" ඔහුට උත්තර දෙන්නට මත්තෙන් මම නැවතත් කටහඬ අවදි කලෙමි. "අලි මන්තර කියලා දමනය කරණ්න පුළුවන් ඉස්කෝලෙ ගිහිං අකුරු සාස්තරේ ඉගෙන ගත්තු අලින්ට විතරයි සර්! ඒවා අහලා නැති එවුං දමනය කරණ්නට ඉතින් ශොට් එකම තමයි!" කියා මා එතැනින් ඉවත් විය.

 ඉන් පසු එතැන සිදුවූ කථාව මා නොදනී. ඒ කෙසේ වෙතත් තවත් මොහොතකින් සභා තොමෝ විළි ලැජ්ජාවෙන් විසිර ගිය බව නම් මම දුටිමි!


Sunday, November 26, 2023

225. ජීප්පුවක් සොයා යෑම . . . . ! (ශනිදා දහයට VIII)


ඊයේ රෑ; සිරිල් හෙවත් විජිත ටිපියට පැමිණෙන විට බුශ්මන් ධම්මිකද පැමිණ සිටියේය.

එදින දහවල පොඩිත්තක් නිදාගත්තේ හිසේ ඇම්ම නිසාය. දහවල නින්ද කැඩුනේ පාරේ ගමන් ගත් ප්‍රාචාරක රථයක කර්ණ රසායන හඬිනි.

"රුපියල් දෙසීයයි! රුපියල් දෙසීයයි!! . . කොත්තු . .  අයිස් . . බිරියානි . . .රෘපියල් දෙස්සීයයි . . . . . "

"අම්මට සිරි කොත්තුවක් කාපු කාලයක් මතක නෑ! කමුත?" මම මගෙන්ම අසාගත්තෙමි.

නැගිට බලන කොට එය ඉගිල ගොසිනි!

ට්‍රක් රථයට පැන හඹා යැම පටන් ගතිමි.

කිලෝ මීටර  දෙකකට ආසන්න දුරක  . . . . .

"රුපියල් දෙසීයයි! රුපියල් දෙසීයයි!! . . කොත්තු . .  අයිස් . . බිරියානි . . .රෘපියල් දෙස්සීයයි . . . . . "

මම එය පසුකොට ගොස් නවතා ගතිමි.

ඒද තවත් කුඩා හෝටල් පලුවක් ඉදිරිපිටය. මහත්වූ වැර වෑයමෙන් යුතුව කොත්තුව නවතා ගත්තෙමි.

කොත්තුව මිළදී ගැනීමෙන් පසු එතැනම වූ හෝටලයට වැද එය ඇඹරීමට පටන් ගතිමි. මදි පාඩුවට එතැනින්ම සම ද්වීපාද, ත්‍රිකෝණාකාර, පිටි වලින් සකසා මතු පිට, ගෙවල් බිත්ති කැපීමට ප්‍රයෝජනයට ගන්නා සුදු වැලි කඩදාසියක් සේ රළුව සැකසූ වස්තුවක්ද ගෙන්වා ගත්තෙමි!

අනේ සුපින්වතුනි දෂ්ඨ කරණ්නට  ලැබුනේ කටවල් දෙකකට පමණි. එතෙනට කඩා පාත්  උනේකලු පැහැති Landcruiser V8 රථයකි. එයින් මහ පොලොවට සම්ප්‍රාප්ත වූයේ 6X4 ඩයල් එකකි.

එතුමා මම ආහාර ගන්නා තැනට පැමින මිහිඳු  - දෙවනපෑතිස් පැණ පොඩි තරගය පවත්වන්නට යෙදුනි.

මේ වාහනය ඔයාගේද?

කොපමන කලක්ද?

විකුණන්නේ නැද්ද?

ඔයා ඉන්නේ මේ පලාතේද?

මේ පලාතේ කුමක් කරණවද?

 . . . . . . . . . . . . . . . . . . .  ?

 . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ?

ප්‍රශ්ණ එලෝකෝටියකි.

ඒ දවල් ය!

රැයේ මා සමග අලාප සල්ලාපයේ යෙදීමට පැමිණි ධම්මික හා විජිත (සිරිල්) හට මේ දවල් වුනු කයි කතන්දරේ මම පන පිහිටුවා කිව්වෙමි.

මාගේ පම්පෝරිය අසා සිටි විජිත මා හට ලබා දුන්නේ සුපිරි ඔත්තුවකි.

"ඔයාගේ වාගේම, ඔය පාටම ජීප් එකක් තියෙනවා ලක්ෂපාන පාරේ! හැබැයි පිටිපස්ස මෙහෙම නෙවෙයි තියෙන්නේ ලොකු වින්ච් එකක්! පැත්තක දාලා තියෙන්නේ. අඩු ගානකට ගන්න පුළුවන් වෙයි. ඇයි පැත්තක දාලානේ තියෙන්නේ? අපිටනං වැඩක් නෑ! ඔයාට ගත්තොත්නං හදා ගන්න පුළුවන් වෙයි!"

"අම්මට සිරි! නියමයිනේ. අපේ සෙනෙවියාත් කිව්වා උංගෙ ගෙවල් පැත්තේ මේ වගේ එකක් තියෙනවා කියලා. මං හිතන්නේ ඔය ඒක වෙන්නෝන! කොහොමද යන්නේ?"

"හරි යනවනං මං එන්නං!" විජිත (සිරිල්) එකෙන්ම පැවසීය.

"කවදද?"

"මට අවුලක් නෑ! මට හෙට උනත් පුළුවං . . !"

"හෙට කීයට්ද . .? හැබැයි මගේ වාහනේ එතැනටම යන්න බෑ! මොකද එතකොට උං ගනං කියයි. අපි; කිට්ටුව;  පාරේ නවත්තලා පයිං යමු!"

"නෑ! එහෙම ඔන්නෑ! අපි මගේ වීල් එකේ යමු!" විජිත පරීත්‍යාගශීලීව පැවසීය.

"හෙට කීයටද . . ?"

"මං එන්නං උදේ හතාමාර වෙන කොට!"

"සුපිරි!"

තවත් බොහෝ වං හුං කතා කරමින් සිටි අප විසිරුනේ රාත්‍රී 9.30 ට පමණය! රාත්‍රිය පුරාවට මහ වැස්සක් ය! "හෙට යන්න බැරිවෙයි වත්ද?"

උදේ පාන්දරම අවදිව සුපුරුදු කෝපි කෝප්පය සප්පායං වුනු මම 7.30 වන විට සූදානමින් පාරේ විය. නිවැරදි තත්පරයට විජිත පැමිණියේය.

එතැන් පටන් විජිතත් මමත් ත්‍රී වීලරයේ ලක්ෂපාන බලා ගමන් ඇරඹූවෙමු.හක්බෙල්ලාවක පසු කරත්ම හමුවන්නේ තණකොලවත්ත ග්‍රාමයයි. මාගේ සැම්සන් සහ විල්සන් කථාවට පාදකවූ සැම්සන් මහත්තයා පදිංචිව සිටියේ මේ ග්‍රාමයේය. සැම්සන් සහ විල්සන්  කෙටි කතාවේ සැම්සන් යනු කිත්සිරිගේ පියාය. 

තනකොළ වත්ත පසු කර හැටන් පාරේම ඉදිරියට යද්දී මීටර 500ක - කිලෝමීටරයක පමණ දුරක් ඉද්ද ගැසුවාක් වැනි සෘජු දුරක් ඇත. මේ එතැනයි:- 



මෙම වම් පස ඇති කඳු මුදුනේ එකල ඕකිඩ් හෙවත් උඩවැඩියා වර්ගයක් පැවතුනි. දකුණු පසින් දිවෙන්නේ කැළණි නදියයි. කැළණි ගඟේ මේතරම් දරුණු හා භයංකර ස්ථානයක් තව නැති තරම් ය. මේ ගැන මීට කලකට පෙර මගේ මිත්‍රයෙකු වන තනකොළවත්තේ කිත්සිරි පැවසුවේය.

මෙම කෙටි කථාවේ පරිදි සැම්සන්ගේ පියා එනම් කිත්සිරිගේ සීයා නන්දියෙස් මුදලාළි තනකොළවත්තේ විශාල වෙළඳ සැලක් කල අයෙක් විය. ඊට අමතරව රෑ කඩයක්ද එහිම විය. එකල හැටන් හා ඒ අවට නගර සඳහා භාණ්ඩ වැඩි වශයෙන් ගෙන ගොස් ඇත්තේ බර කරත්ත මගිනි.

එක් සන්ධ්‍යාවක නන්දියෙස් මුදලාලිගේ කඩයට ලඟා වී ඇත්තේ බර කරත්ත හතකින් සමන්විත කණ්ඩායමකි. රාත්‍රී ආහාර ලබා ගත් පසු කරත්ත කණ්ඩායම පිටත් ව ගොස් ඇත. එය පිටත්වී විනාඩි ගනනකින් මහා විශාඅ හඬක් ඇසී ඇත. අවට සිටි අය හුළු එළි පන්දම් ආදිය රැගෙන ඉදිරියට ගොස් බැලූවිට ඉහත ස්ථානයේ  විසල් පස් කන්දක් කඩා වැටී කරත්ත කිසිවකගේ සුන් බුන් වත් නොපෙනෙන සේ වැළලී හෝ ගඟටම තල්ලුවී අතුරුදහන්ව තිබුනේලු.

එවක් පටන් එම ස්ථානයේ කිසිවෙකුගේ හෝ දිවි තොර වීම වාර්ෂිකව සිදුවෙන බව කිත්සිරි ඇතුළු පලාත් වාසීන් පවසති.



කුඩා පඩි පෙළ

නපුරැල්ල

මෙහි ආසන්නතම සිදුවීම වන්නේ මේ වසරේ; අදින් මාස ගනනකට පෙර කුඩා මෝටර් රථයක් ඒ අසල නවතා; එහි පැමිණි කුඩා දරුවා මව හා පියා; ආහාර ගැනීමට ගඟ අසලට ගොස් ඇත. ඒ එම ස්ථානයේ ගඟ දෙසට බැසීමට කුඩා පඩි පෙළක් ඇති බැවින් විය යුතුය. එම පඩි පෙළ ඔරු තොටුපොළක් ඇති බැවිනි.

ගඟ ආසන්නයට ගිය මව; ආහාර ගැනීමට පෙර අත සෝදා ගැනීමට ගඟ අසලට ගොස් ඇති අතර ගල මත ලිස්සා ගොස් ගඟට වැටී ඇත. 

එතැන ගැඹුර මෙතැකැයි කීමට නොහැකි වන අතර ඇය දියේ ගිලී ඇති අතර ඒ දුටු ඇයගේ සැමියාද ගඟට පැන ඇත. පසුව ඒ අසල තොටුපොලේ පැදවුනු ඔරුවකින් කාන්තාව බේරාගෙන ඇති අතර ඇයගේ සැමියාගේ මළ සිරුර හමුවී ඇත්තේ ඊට දින දෙකකට පසුවය!

එසේම එම ස්ථානයේම මීට වසර ගනනාවකට පෙර 18 දෙනෙකු සහිත වෑන් රියක් පෙරළී ගොස් ඇති අතර කිසිවෙකු හට ජීවිතය බේරා ගැණීමට නොහැකිවී ඇත! එම පලාතේ මෙවන් කතා නම් බොහොමයකි!

මෙම  ස්ථානය "නපුරැල්ල" ලෙස හඳුන්වයි. මීට වසර ගනනාවකට එනම් දශක තුනකට පමණ පෙර මමත් මාගේ මිත්‍රයෙකු වන අඟුරුවැල්ලේ අජන්තත් කිතුල්ගල සිට ටියුබ් දෙකක් ආධාරයෙන් හක්බෙල්ලවක දක්වා කිලෝමීටර 10ක් පැමිනි අවස්ථාවේ මෙම නපුරැල්ල තරණය කලෙමු!

අප කිතුල්ගල, යටිබේරිය පහුකරමින්  කලුගලින්  ලක්ෂපාණට හැරෙන ස්ථානයට පැමිණියෙමු. 


එතැනින් දකුණට හැරී මද දුරක් ගිය පසු නැවත වමට හැරුනෙමු . 


එතැන සිට ඇත්තේ තරමක දුෂ්කර මාර්ගයකි. දුෂ්කර යැයි කීවේ පාරේ ඇති දුර්වල නිමාව. අධික ලෙසින් වංගු ඇති බව හා කඳු හා පල්ලම් වලින් ගහන වීම කරණ කොට ගෙනය!

එම මාර්ගයේ කිලෝමීටර 4ක් පමණ ගමන් ගත් විට පාර හරහා; පාරට ඉහලින් ගමන් ගන්නා විශාල නල කිහිපයක් දක්නට ලැබුනි. එම නල පද්ධතිය ලක්ෂ පාන සිට සමනල විදුලි බලාගාරය තෙක් ජලය ගමන් ගන්නා මාර්ගය බව විජිත මා හා පැවසීය!

එතැන් ඉට ගමන් මග ගෙවී ගියේ දකුණත දෙසින්; වළාකුළු වෙලාගත් කඳු දිස්වෙමින් ය. 
"මේ කඳු පන්තියේ මුල තමයි අර DC 8 ගුවන් යානය වැදුනේ. . . . !"  විජිත මතක් කලේය. 
මෙම DC 8 මාර්ටිනෙයාර් ගුවන් යානය මස්කෙළිය සප්ත කන්‍යා කඳුවැටියේ ගැටුනේ 1974 දෙසැම්බර් 4 වනදාය.
එම ගුවන් අනතුරින් කිසිවෙකුත් දිවි ගලවා නොගත් අතර එය ලොකයේ දෙවන මහා ගුවන් අනතුර ලෙස නම් කරතිබුනි.
ගමන ඉතා සතුටු දනවන සුළු විය!
වැස්සෙන් තොර වූ හෙයින් ගමනට වෙනත් බාධාවක් නොවීය.





ලක්ෂපාන ආසන්නයේ බැවින් මා ග්‍රහණය කල බොහෝ ඡායාරූප මත විදුලි රැහැන්  වැටී තිබුනි.
"අර තියෙන්නේ හම්බන්තොටට කරන්ට් එක ගෙනියන ලයින් එක!" විජිත පසෙකින් වාහනය නවතා පෙන්වීය. ඈතින් විදුලි රැහැන් පද්ධතියක් කන්දේ ඉහලට ඇදී ගොසින් නොපෙනී වහං වෙලාය.


තවත් කිලෝමීටර ගනනාවක ඇවෑමෙන්  ඈතින් කහ පැහැති වස්තුවක් පෙනෙන මණ්ඩියකට අප සේන්දු උනෙමු."අර තියෙන්නේ! ඕක තමයි මම කිව්වේ . . . . !"
"ඕක නිසාන් පැට්රෝල් එකක්! ඕක තිබුනේ මාගම්මන!" මම ඈතදීම වාහනය ඇඳින ගත්තෙමි.









මේක නිසාන් පැට් රෝල් 60 සීරීස් එකක්.!

අප ඒ අසල ත්‍රීවීලරය නවතා බිමට බසිනවාත් සමගම බරණි විකෘථියට පත්වූ පංචස්කන්දයක් ඒ දෙසට රෝල් වී ආවේය!
"මේක මරු බඩුවක්!" ඈත සිටම ඔහු මාර්කර්ටින් පාර දමාගෙනම අප වෙතට ලං කලේය.

"මොකක්ද මේකෙ ජාතිය . . ?" මම "බබා' උනෙමි.
"මේක නිසාන් පැට් රෝල් කියන එක!"
"අනේ මේක පැට් රෝල් ද?" මම තවත් තොදොල් වුනෙමි.
" නෑ නෑ මේක ඩීසල්!" ඔහු එන්ජිම ඇර පෙන්වූවේය! එහි සමන්විත වූවේ; ඊට පසු මොඩලය වන 160 යට නිෂ්පාදකයා විසින් සවි කොට එවන  Sඪ්33 එන්ජිමකි.  
"මේකෙ තියෙන්නේ සුපිරි වින්ච් එකක්! නැවක් උනත් අදියි!" ඔහු වාහනය පිළිබඳව තවත් විස්තර කලේය.
එම  නිසාන් පැට් රෝල් රථයේ පිටුපස සවිකොට තිබුනේ දැවැන්ත වින්ච් එකකි. එය ගියර් පෙට්ටියෙන් දිවුනු PTO (Power Take Off) වින්ච් එකකි. 

"මේක විකුණන්නද තියෙන්නේ?"
"ඔව් ගානකට ආවොත් දෙනවා!"
"කීයක්ද කියන්නේ . . .?"
"තිස් පා කට ආවොත් දෙනවා!"
"තිස් පාක් කිව්වේ . . . ?"
"ලක්ස තිස් පාකට ආවොත් දෙනවා!"
මෙම වාහනය පාවිච්චි කෙරෙණ්නේ; කනු අතර  විදුලි බල කේබල ඇදීම සඳහාය. එවන් ව්‍යාපාරයක් තබා අවුරුද්දට කඹ ඇදීමේ ක්‍රීඩාවට වත් මාගේ උනන්දුවක් ඇත්තේ නැත!

"මේකෙ නොම්මරේ මොකක්ද?"
"නොම්මරයක් නෑ! නොම්මරයක් ව්වැඩක් නෑනේ! මට බූම් ට්‍රක් එකක් තියෙනව! උස්සලා දාගන්නවා! ඒකෙන්  හැම තැනම ගෙනියනවා!"

මම හැරෙණ තැපෑලෙන් විජිත දෙසට හැරුණි!
"යමුද විජිත!?" විජිතද මොහොතකින් ත්‍රී වීලරයට ගොඩවුනි. 
"මෙච්චර දුර ආව එකේ අපි පොල් රොටියක් වත් කාලා ප්ලේන්ටියක ගහලාම යං ද?"
"මට අවුලක් නෑ! ඔයාට පරක්කු වෙන්නැත්නං!"
අප යලිත් ගමනට පිටත් වූවෙමු. තව විනාඩි ගනනකින් අප කුඩා මං සංධියකය. 
එතන කුඩා එහෙත් සැර පරුෂ කුඩා දිය දහරාවක් හරහා දිවෙන පාලමකි. ඒ අසලම එක්ටැම් ගෙයක හෝටලය පිහිටා තිබුනි. 






එතැනින් උණු උණු පොල් රොටී කට කැපී යන ලුනු පිරිසක් සමග ගිල දැමූ අපට බොන්නට ලැබුනේ ඉස්තරම්ම කිතුල් හකුරු සමග කහට කෝප්පයකි. ඒ අතර එහි ළන්නගා වුනු මනු කියවන්නා ලබා දුන් විදුලි බිල් පත සමග එතෙක් එහි පැවති ප්‍රසන්න ස්ව්භාවය අතුරුදහන් විය.ලැබී තිබුනේ රතු බිලකි.

"මේ කඩෙත් අපි ඉන්නේ කුළියට! කඩ කුළීත් ගෙවාගෙන ලයිට් බිලුත් ගෙවාගෙන ඉන්න තරං දෙයක් විකිණෙන්නේ නෑ මහත්තයා!" ඔව්හු ස්වකීය දුක අප සමග බෙදා හදා ගත්තෝය.

එතැනින් දුම් දමන පොල් රොටී හා කහට සප්පායම් වීමෙන් පසු මා ත්‍රී වීලරයට නැග්ගේම "මෙතැනිං හරෝමු නේද?" යි කියාගෙනමය.

"නෑ තව චුට්ටක් යං! ඔයාට පරක්කු වෙන්නෑනේ!?" 

"මට මොන පරක්කුවක්ද?"

පාර තව තවත් අබලන්ව ගොසිනි. අප වලවල් බේරමින් තවත් ඉදිරියට එනම් ලක්ෂපාන දෙසට ඇදෙමින් ය. 

මොරහේනගම තැපැල් කන්තෝරුව
"මම ඔයාව ගෙනියන්නේ ආන්න අතනට!" විජිත ඈතින් පෙනෙන කුඩා දිය ඇල්ලක් පෙන්වමින් පැවසීය.

තවත් ටික වේලාවකින් අපි එම කුඩා දිය ඇල්ල අභියස විය.




විසල් ගල් කුළ මතින් සිහින් දිය දහරාවක් අවකාශයට ගලා හැලේ. ඒ අවට තුෂාරයෙන් පිරී ඇති සේයාවකි.

"ආන්න අරක මොකක්ද දන්නවාද?"

මෙම ගල් කුල එසේත් නැතිනම් කන්ද පාමුල මාර්ගය ආසන්නයේ සිට මද දුරකින්- මීටර 20ක් පමණ දුරින් ඉබි යතුරු ලෑ යකඩ දොරකි.



මෙවන්ම අස්ථානයක පිහිටි කුඩා දොරන් ඉඟිනියාගල සේනානායක සමූද්‍රයේ වේල්ල ආසන්නයේ මා දැක ඇත.

"අම්මට සිරි මේ මොකක්ද?"

ඕකට කියන්නේ ඇඩික්ට් කියලා! මෙතනයි අර අපි එන කොට දැක්ක පයිප්පයි එකට සම්බන්ධයි!" 

ඒවන විටම එතැනට කැලෑ රොද අතරින් කිසිවෙකු පැමිණියේය."අපේ ගෙදරට යන වතුර බටේ කැඩිලා ඒක හදන්න ගියා. බිම වැටිලා තිබ්බ ඉත්තෑ කූරක් සෙරෙප්පුවත් විදගෙන ඇවිත් ඇනුනානේ කකුලේ!" ඔහු; අඟල් හතරක පමණ  ඉත්තෑ කූරු කෑල්ලක් පෙන්වමින් පැවසීය.

"ඕක ඇනුනාම මොනවත් 'විතක්' වගේ එකක් ඇතුලේ රැඳෙන්නේ නෑනේ?" 

"නෑ නෑ එහෙම එකක්නම් නෑ. ඇනිච්ච වේදනාව තමයි!"

ඔහු ඉතා කුළුපග කථාවකට එකතුවිය.

"මල්ලි අර ප්ලේන් එක වැදුනු සප්තක්න්‍යා කන්ද කොයි එකද?"

"දැන් පේන්නේ නෑ! ආන්න අතන. . . " ඔහු වළාකුළු පදාසයක් පෙන්වා පෑය.

"මල්ලි ඔයා දන්නවාද මේක ගැන . . . . ?" මම පසෙකවූ යකඩ දොර පෙන්වා ඇසීය.

"ඔව්! මම ඕකෙ වැඩ කරලත් තියෙනවා! ගිය මාසෙත් ඇතුලට ගියා. ඔතනින් ගියාම අර සමනළ පවර් හවුස් එකට වතුර ගෙනියන පයිප්පේ හම්බෙනවා. ඒක තියෙන්නේ ගල මැද්දේ! ලොකු යකඩ පියනකින් වහලා තියෙන්නේ වටේට ඇන දාලා. උඩහින් වතුර වැහුවාම ඒක අරින්න පුළුවන්. උඩහින් මේ බටේ ඇතුලට ආව වැලි, මඩ ඔක්කොම ඔතන තියෙනවා රැඳිලා. ඒවා එතනින් ගන්න පුළුවන්. අපි ඒවා ටිපර් එකකට දාලා එවලා අන්තිමට පියන වහලා දාලා එනවා! මේක ......1 මේ වගේ තව දෙකක් තියෙනවා!

අප නැවතත් ලක්ෂපාන හා හඟරාපිටිය හැරෙන හංදියට පැමිනුනෙමු.

"පොඩ්ඩක් මේ පැත්තටත් ගිහිංම යං!" විජිතගේ ඇරයුමක් ය.

"එළ!"

එතැනින් පහලට විහිදුනු මාර්ගය  පාලමක් දෙසට හැරී ඈතට ගමන් ගත්තේය. පාලම යටින් කැළණි ගඟ ඉතා දුප්පත් ලෙසකින් ගලා ගොස් කුඩා ජලාශයක් නිමවීය.

පාලමට ඉහලින්



ලක්ෂපාන සිට යකඩ වානේ නල (පෙන්ස්ටොක් පයිප්ප  Penstock) ඔස්සේ සමනළ විදුළි බලාගාරයට එන ජලය වම්පසින් විත් ප්‍රධාන ගංගාව එකතුවේ. 




ඈත කන්දේ සිට ඇදී එන පෙන්ස්ටොක් පයිප්ප ගස් අතරින් පෙනේ!

පාලමට පහලින්

මෙම ඡායාරූපයේ වම්පසින් දැලක් සේ පෙනෙන්නේ මෙතැන් සිට කිතුල්ගල බ්‍රෝඩ්ලන්ඩ් බලාගාරය වෙත ජලය ගෙනයන මාර්ගයේ ආරම්භක මුවදොරයි.
මෙතැනින් ඇතුළුවන ජලය එතැන් සිට කිතුල්ගල දක්වා ගලායන්නේ  භූගත උමං මාර්ගයකිනි.

මට අවශ්‍යතරම් වේලාවක් එහි රැඳෙන්නට කල්මරණ්නට විජිත අවකාශය සකසා දුන්නේ නිර්ලෝභිවය. විනාඩි ගනනාවක් රැඳී සිටි අප එන්නට හැරුනි. 
එතැන මීට වඩා කරුණු කාරණා දැන ගන්නට කිසිවෙක් දැක ගැනීමට නොසිටි අතර සතියේ දිනයක් වුවත් කාර්‍යාල ගේට්ටු වසා දමා තිබුනි. 
තිබුනු එකම බෝඩ් ලෑල්ල පැවසුවේ වීඩියෝ කරණ්නට පොටෝ අල්ලන්නට ඉඩ නොදෙන බව පමණක්මය. මීට ඈත අප පසුකල බෝඩ් ලෑල්ලකින් කිව්වේ "අනං මනං නෑ! තියෙනවා වෙඩි!!" කියාලාය. මෙවන් ස්ථානවල; මේ වතුර එන්නේ කොහෙන්ද/, යන්නේ කොහාටද? ඇති විශේෂත්වය කුමක්ද?, ඉඳිකල වසර කුමක්ද?, ධාඅරිතාව කවරේද? " වැනි විස්තර ඇති පුවරුවක් නො එසේනම් තොරතුරු මධ්‍යස්ථානයක් ඇත්නම් නරඹන්නන්හට විශෙෂ වටිනාකමක් ලැබෙනු ඇත!
අප නැවතත් හක්බෙල්ලාවක බලා එන ගමනේදී කිතුල්ගල ආසන්නයේදී නැවත විජිත තවත් යෝජනාවක් කලේය!
"මොකද කියන්නේ බ්‍රෝඩ්ලන්ඩ් එකත් බලලාම යමුද?"
ඉබ්බා දියේදාද්දී "ඇන්නෑවේ" කියූ ලෙසින් මමද එක පයින් නොව දෙපයින්ම වැඩේට සෙට මෝල් විය.
අපේ රා සපයන සිරිල් සිටියේද ඒ අසලම වීමද එයට එක් හේතුවක් විය යුතුය!
White water rafting කරණ රබර් ඩිංගියක් ඈතින් එනු පෙනේ.



සිරිල් අයියාගේ රා කැන්ටිම!
"කැළණි ගඟෙන් විදුලිය හැදෙන අවසාන තැන!" විජිත පැවසීය. නැවතත් මෙවන් ජල යෝජනා ක්‍රමයක් සකස් කිරීමට භූගෝලීය සාධක ගඟේ නොමැති බව ඔහුගේ අදහසය. එතැනින් පිටත් වී පැමිණ කළුකොහුතැන්න අසල කම්බි පාලම ඔස්සේ ගඟ මැදට පැමිණියෙමු. ගඟට ඉහලින් එල්ලෙන කම්බි පාලම අවසාන වතාවට ප්‍රථිසංස්කරණය කොට ඇත්තේ මීට වසර ගනනාවකට පෙර බව ඔහු පැවසීය. මේ වන විට පතුල දරා සිටිනා කේබල් කම්බි මත අතුරා ඇති ඇලුමීනියම් තහඩු තැනින් තැන කැඩී බිඳී ඉරී ගිසින් ය.
මීට කලකට පෙර හැමූ දැඩි සුළඟකින් මෙම පාලම කණපිට හැරුණු බවක්ද දැනගන්නට ලැබුනි. එය අන් පිට පෙරලා ප්‍රථිසංස්කරණය කොට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණෙනි. මෙම කම්බි පාලම මෙම ස්ථානයේ පිහිටුවීමට මූලිකවී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ වින්සන් පෙරේරා මංත්‍රී වරයා බව එතැන සිටි ත්‍රීවීල් රියැදුරෙකු පැවසීය.
"කොහොමත් ඒ අය කරණ වැඩ කණ පිට හැරුනාම අපි තමයි හරි පිට ගහන්න ඕන!" මම මටම කියා ගත්තෙමි.
ඒ කෙසේ වෙතත් මේවන විට පාලම ඉහලින් එල්ලා ඇති කම්බි දිරායාමට පටන් ගෙන ඇත! ඒවා ඔස්සේ අත තබාගෙන යන විට කැඩුනු කම්බි අතේ ඇනේ!
මේවා ප්‍රථිසංස්කරණය කිරීමටවත් කෙනෙක් නැති හැටි!? 



මෙම ස්ථානයේ සවිකොට ඇති කැළනි ගඟේ ජල මට්ටම් මාපාංකය.
එතැනින් පිටත් වීමට පෙර විජිතගෙන් "දැං බලලා ඉවරද විජිත?" කියාඇසුවෙමි.
"නෑ තව තැණ් දෙකක් තියෙනවා ඔයාට පෙන්වන්න! එකක් රෙස්ට් හවුස් එකේ තොටුපොළ! අනෙක එතැනට ගිහිංම පෙන්වන්නම්කෝ!"
කිතුල් ගලට එන ගමනේදී කුඩා හෝටලයක වීදුරුවෙන් එහා පැත්තේ සිට එළවළු රොටී පේලියක් "මේ මෙහේ එන්න! මම මෙහේ!" යනුවෙන් අත්වැල් ගායනයක යෙදුනි. කඩය ඇතුලට යන විට එහි සුපිරි දැන්වීමක් දකින්නට ලැබුනි. එම දැන්වීමේ සහ එළවළු රොටී මාළු රොටී පේලියේ සාඩම්බර නිර්මාපකයා පහලම රූපයේ.
කියලා වැඩක් නෑ මාළු රොටී නම් පට්ට පට පට!


කිතුල්ගල නගරයේ පහල මායිමෙන් හැරෙන්නට තියෙන තානායමේ ගේට්ටුව අසලින් වමට තියෙන කුඩා පාරේ ගියවිට මේ මනස්කාන්ත තොටුපොළ හමුවේ.


එතැන හරි අපූරු පුවරුවක් වේ.
"ඔන්න ඕකෙත් ෆොටෝ එකක් ගහ ගන්න!" විජිත කීවේය.







කිතුල්ගලට Whitewater rafting හඳුන්වාදුන් චන්න පෙරේරාගේ නිවස. චන්න පෙරේරා යනු කිතුල්ගල සිටි ධනවතකුවූ ඇම් ජී පෙරේරාගේ  පුත්‍රයෙකි. මාළනී ෆොන්සේකා කලකට පෙර විවාහවී සිටියේද එම පවුලෙන් මය. එසේම අක්ෂි විශේෂඥ දොස්තර ඇන්තනීස් මහතාද මෙම පවුල් ගහේ තවත් එක් අත්තකි.
ඇම්. ජී. පෙරේරාගේ සොහොන-තනිවට වැස්සියක සිටී!

අපගේ අවසාන නැවතුම්පොළ වූයේ මෙම පාලමයි!
බිබිළිඔය - නාවෙල පාලම




ගඟ දරුණුවූ විට මෙම පාලම මතින් ගලා යයි. මෙම මාර්ගය ඔස්සේ දැරණියගල දෙසට පවා ගමන් කල හැක.

ගිය ගමනකුත් නැති, නොගිය තැනකුත් නැති, ගත්ත ජීප්පුවකුත් නැති, නොකල දේකුත් නැති සුපිරි චාරිකාවක් නිම වුනේ එලෙසින්. මේ ගමන සම්බන්ධව සියළුම ගෞරවය හිමිවිය යුතු විජිතට මේ පිළිබඳව ස්තූතිකල විට ඊට ප්‍රථිචාර දැක්වූයේ සුපුරුදු ලෙසටමයි!

අයියෝ ඕක මොකක්ද!?

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...