Tuesday, December 22, 2020

187. නොරත රථ . . . . ! (1)

 

                       

   
මොරිස් ජේ 2 වක් 

ජීවිතේ ගත කරණකොට කාලෙන් කාලෙට සෙට් වෙනවා එක එක විදියේ ප්‍රොජෙක්ට්ස් හෙවත් ව්‍යාපෘථි. 
ඇත්තම කිව්වොත් මේවා Pet Projects ය!
(Wiktionary. pet project(Noun) A project, activity or goal pursued as a personal favorite, rather than because it is generally accepted as necessary or important)

ජීවත් වීමට හීන අවශ්‍ය වෙනවා මෙන්ම  ජීවත් විම යනු හීන හඹා යෑම කියලයි මට නම් හිතෙන්නේ.

පහුගිය කාලෙට එපිටින් කාලයක් බ්ලොග් ලෝකයෙන් ඈත්ව ඉන්නට වුනේ අපේ Teepee the Campsite හෙවත් කඳවුරු බිමේ වැඩකටයුතු නිසා. ඒක වෙනමම ලියන්න ඕන කථාවක්. මෙතන්දි "අපේ" කිව්වේ මගේත් මගේ මිත්‍රයා පසිඳුත් එක්ව මේ වැඩේ කරණා බැවින්!

මේ දවස් වල කර ගහගෙන ඉන්න ව්‍යාපෘථිය ඊට වෙනස් එකක්.

ඒ පරණ වාහනයක් ජව ගැන්වීම!

මට හිතුනා මේ ගැන ලියා තියන්න ඕන කියලා.

නමුත් ඒ මේ අභිනව වාහනය ගැන පමනක් නොවේ.

මගේ ජීවිතයට සහ සම්බන්ධ වූ සියළුම වාහන පට්ටල් කරගෙන පොඩි කථා වැලක්. (නිකං රෙදි වැලක් වගේ!)

මෙකට හොඳ නමකුත් ඕනේ.

නොරථ රථ! ඔව් ඒක හොඳයි වගේ. පස්සේ හිතුනොත් මාරු කරමු!

මා දන්නා කාලේ පටන් අපේ තාත්තාට "අයිති" වාහනයක් තිබුනේය. ඉහත වැකිය තුල "අයිති" යන විශෙෂණය යෙදුවේ; එහි අයිතිය නමට අපේ තාත්තාට වුවද පාවිච්චි කලේ බාප්පා විසින් වීමය!

මීට වසර 50 කට පමණ පෙර ලංකාවේ හැම නගරයකම පාහේ කුඩා මාර්ග පද්ධතිය ආවරණය කලේ කුඩා වෑන්, ලොරි භාග මගිනි.

මහා බ්‍රිරිතානිය ලෝකයේ කෙලි කාරයා වූ ඒ කාලේ ඔස්ටින්, මොරිස්, කොමර්, ෆාගෝ වැනි වාහන මෙම මාර්ග පද්ධති අයිති කරගෙන තිබූ අතර ෆෝර්ඩ්, ශෙවර්ලේ හෙවත් චවලට් වාහනද රටේ හැම නගරයකම පැවතුනි.

බොහෝ වහන වල පිටුපස පැවතියේ ලොරි බොඩියකි.

යටියන්තොට නගරයටද මෙය වෙනසක් නොවීය.

එම නගරය අරක් ගත් කුඩා ඔස්ටින් හා මොරිස් වෑන් රථ දෙකක්, කැනඩා ෆෝඩ් ලොරියක්. චවලට් ; ලොරි බොඩි ගැසූ කුඩා ලොරි භාගයක් නිතර නගරයේ දක්නට ලැබුනි.

එම වාහන යටියන්තොට සිට කරවනැල්ල, පූනුගල, බෙරන්නාව, සී පෝත් වැනි කුඩා නගර ගම් දනව් කරා ධාවනය වුනි.

යටියන්තොට හා කරවනැල්ල අතර දිවුනු  "වාසනා" ලොරි පොඩ්ඩ සකසා තිබුනේ විශාල කාරයක පසුපසට ලොරි බොඩියක් ගැසීමෙනි. මේ රථය ගැන විවිධ කථා එකල පැතිරුණි. ඉන් එක් කථාවක් වූයේ මෙම රථයේ පෙර අයිතිකරුවා එම කාරය මිලදී ගැනීමට පෙර එහි  මල සිරුරක් ගෙන ගොස් ඇති අතර එයින් පසුව එම රථය රාත්‍රී කාලයේදී ධාවනය කරණා විට පසුපස ආසනයේ සිට ඉදිරි ආසනයට එන්නට උත්සාහ කරණා විශාල මිනිසෙකු දක්නට ලැබෙන බවය! අවසානයේදී මෙම කාරයේ පසු පස කොටස ඉවත් කොට එය ලොරියක් බවට පත් කලේලු!

මේ කථාව මම මගේ මිතුරන් පිරිසකට කී පසු ඔවුන් කීවේ "ඒක තමයි උඹත් ලොරි පොඩ්ඩෝම ගන්නේ!' කියාය! කුමන කථාද ඉතිං!?!?!?!?

යටියන්තොට නගරයේ පැවති කුඩා ඔස්ටින් හා මොරිස් වාහන දෙකේ අයිතිය තිබුනේ පරුස්සැල්ල පාරේ ඉම්පීරියල් සිනමා ශාලාව අසල තිබුනු "කම්මලේ"  ගෙදරටය.

මෙම වාහන දෙක ම J 2 වර්ගයේ වාහන වූ අතර අපගේ බාප්පාගේ මැදිහත්වීමෙන් මොරිස්  J 2 වාහනයට අපේ තාත්තා බෙල්ල තියන ලද්දේය!

එම වාහනය මිළදී ගැනීමෙන් අපගේ හත්මුතු පරම්පරාවට සිදුවූ එකම සුගතිය' බාප්පා; ඉන්දු ඇන්ටීට කරගැසීම පමණක් බව අම්මා නිතර කියණු මට ඇසී ඇත!

වාහනය සඳහා සිදු කෙරෙණ සියළුම වියදම් තාත්තා විසින් දරනු ලැබූ අතර එහි අදායම බාප්පා විසින් වග කියනු ලැබීය.

කොටින්ම බාප්පාට රස්සාවක් සැපයීම; තාත්තා එම වාහනය මිළදී ගැනීමෙන් බලා පොරොත්තු වූ අල්ටිමේට් ටාර්ගට් එක වුනේදැයි මා හට සිතේ!

පෝස්ටුව පටන් ගන්නා තැන නමෝ විත්තියෙන් එල්ලා ඇත්තේ එම මාදිලියේ වාහනයක පිංතුරයකි.

මෙම වාහනයේ එන්ජිම තිබුනේ රියැදුරු අසුනත් වම්පස පැසෙන්ජර් අසුනත් අතර මුනින් නවා තිබූ බන්දේසියක් වන් පියන යටය.

එම පියන ඇර බැලීම හෝ එය රින ලද මොහොතක එයට එබී බැලීම කුඩා මගේ පමණක් නොව ලොකු කුඩා බොහෝ දෙනාගේ සතුටට හේතු භූත වූ කරුණකි.

ඒ එකල මෙවැනි යන්ත්‍රෝපකරණ සුලභ නොවූ අවදියක් වූ බැවිණි.

එන්ජිමේ මුදුන හෙවත් රොකර් ආම් කවරය තද කොල පැහැයෙන් දිළිසුණි!

එන්ජිමේ පසෙකින් සවිකොට තිබූ කිරි පැහැති ස්පාර්කින් ප්ලග් හතරට කුණු ලේ පැහැති වයර හතරක් සවිවී තිබුනි.

එම වයර හතර පැමිණියේ ඩැල්කො එකේ සිටය.

පරණ බාසුනෑලා ඩැල්කො කියන්නේ ඩිස්ට්‍රිබියුටරේටය. උන්නැහැලා ඇක්සලරේටරයට කියන්නේ "ගෑස් පැඩල් එක කියාය. කාබියුරේටරය ටියුන් කරණ්නේ; සීරු මාරු ඇනය "දෙමල කෙස් ගහක්" තරම් එහා මෙහා කිරීමෙනි. මේ තවතෙක් උප සංස්කෘථියකි!

ඩැල්කෝවේ මැදට; එන්ජිම පිහිටි කුටියේ පසෙකට වෙන්න බොඩියේ සවි කොට තිබුනු ඇලුමිනියං පැහැති බෝතලයක් වන් කොයිලයේ සිට කළු පැහැති වයරයක් ඇවිත් තිබුනි.

මේ සියල්ලෙන්ම එන්ජිමට ගෙන ආවේ අලංකාරයකි. නම්බුවකි. ගෞරවයකි. ආඩම්බරයකි!!!!

ගියර් ලීවරය තිබුනේ සුක්කානමට යටින්ය. තේරේන හිංගලෙන් කියනවා නම් ස්ටියරිං ගියර් ය!

අපේ තාත්තා කම්මලේ ගෙදරින් මොරිස් J 2 ව ගෙන ආ පසු එහි ඉතුරු වූයේ ඔස්ටින් J 2 වයි.

                                                                      ඔස්ටින් ජේ 2 වක්

එදාද අද මෙන්ම පෞද්ගලික වාහන වල සෙනඟ පැටවීම පොල් පැටවීමක්ම විය.

අද මෙන් කොන්ද කෙලින් තබා ගෙන යා නොහැකි කුඩා වෑන් හා ලොරි භාගා වල මිනිසුන් ගැහැනුන් විරව පට්ටං ගසාගෙන ඉවසා වැදෑරූහ.

ජේ ආර් ජයවර්ධන පාලනය සමග මෙරටට නැවතත් පෞද්ගලික බස් රථ හඳුන්වා දුන් අවධියේ නගරාන්තරව දිවුනේ මිට්සුබිෂි රෝසා, ටොයෝටා කෝස්ටර්, නිසාන් සිවිලියන් බස් රථය.

දෙයියංගෙ පිහිටෙන් ඒවාද ෆ්ලැට් රූෆ් විය.

කොළඹ ත්‍රීකුණාමළය දිවුනු ඊස්ටර්න් ටුවර්ස් හි ඉසූසූ ජර්නි කේ ලොකු බස් රථය හැරුණු විට අනෙක්වා රෝසා බස් විය!

මෙම  ඉසූසූ ජර්නි කේ හා මිට්සුබිෂි ෆූසෝ බස් රථ වලද වහලය තිබුනේ තරමක පහතින් වූ බැවින් හිටගෙන යන්නට වූයේ; රියැදුරුට ඉහළින් වමට බරව සවිකොට තිබූ සිටිසන් ඔරලෝසුව දෙස බෙල්ල නවාගෙන බලාගෙනය.

 අපගේ වෑන් රියේ ආසන පහසුකම් සකසා තිබුනේ රියැදුරු හැර 8 දෙනෙකුටය. වරක් එම රථයේ අධික ලෙස මගීන් පටවාගෙන යාම  සඳහා අවිස්සාවේල්ල උසාවියේ නඩුවක් වැටිනි.

නඩුව නිෂ්ප්‍රභාවූයේ අපගේ නීතීඥ්ඥ මහතා ගෙන හැර පෙන්වූ කරුණක් හේතුවෙන්ය.

"ස්වාමීනී එංගලන්තයෙන් මගීන් අටදෙනෙකුගේ සීමාවකට සකසා එවන ලද මේ 3ශ්‍රී3296 රථයේ මිනිසුන් 22 කු සිටි බවට පොලීසිය කරණු ලබන පැමිණිල්ල විශ්වාස කල හැකිද?"

හිතා ගන්නකෝ පටවන ලද පැටවිල්ල!

මෙම රථයේ ඉදිරි පස සමන්විත වූයේ I අක්ෂරයේ පරිදි හරස්කඩවූ බීම් ඇක්සලයකි. දිනක් බාප්පා අපගේ නිවසට පැමිණියේ මෙම ඇක්සලය කර ගසා ගෙනය.


බීම් ඇක්සලය

එය දෙකට මැද්දෙන් ඉරිතලා තිබුණි.

දුනු කැඩීමේ සීමාවක් නොවීය.

අවසානයේ තාත්තා මෙය විකුණා දැමීමට තීරණය කලේය. ඒ එයට  ගෙඩි රුපියල් 35000/= ඔෆරයක් ලැබීමත් සමගය.

එහෙත් බාප්පා එයට හරස් විය.

තවත් කාලයක් ගතවීමෙන් පසු එය  විකුණා දැමීමට බාප්පා එකඟ කර ගැනීමට තාත්තාට හැකිවිය.

අවසානයේ තාත්තා මහත් වැර වෑයමෙන් වෑන් රිය විකුණා දැම්මේය.

ඒ රුපියල් 17500/= කටය!

ඒ අපේ තාත්තාගේ අවසන් වාහන අයිතිය විය!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...