Tuesday, October 4, 2022

243. මව්බිම වටා සයිකලයෙන් . . . 7

242. මව්බිම වටා සයිකලයෙන් . . . 6

2022/04/14


අද දිනයේ විඳින්නට ඇති මග!




පෙර දින රාත්‍රිය ගත කල ආකාරය පිළිබඳව විනා එහි නමක් ගමක් පිළිබඳව මතකයක්; උදෑසන ඉන් පිටත්වන්නට සූදානම් වෙද්දීවත් නොතිබුනි. එහෙත්; විශාල පැල පොල් යායක් මැද පිහිටා තිබුනු කුඩා නවාතැන් පොල කුමක්දැයි නිවැරදිව දැනගත්තේ සීමා මායිම තුලින් එළියට පැමිණ ආපසු හැරී බැලූ විටය. එය නමින් Ovia Resort විය. ඒ පිළිබඳව වැඩි විස්තරයක් මෙතැනින් බලා කියා ගත හැක. මෙය පිහිටා තිබුනේ පොතුවිල් දෙස සිට එන විට පාරේ වම්පසිනි. එම ඉඩමේ මැද්දට වන්නට අටපට්ටම් කුඩා ශාලාවක් පිහිටා තිබුනේය. ඊට දකුණු පසින් කාමර හයක  පමණ පේලියක්ද දකුණු පසින් කුඩා ගෙයක්ද වෙන වෙනම පිහිටා තිබුනේය. එහි අයිතිකරු ධනවත් ව්‍යාපාරිකයෙකු වූ අතර ඔහු එහි නොවීය. තානායම්පල්ලා ඔහුගේ බිරිඳ සමග එහි විසූ අතර කාමර හුදෙක් "Rooms" විය!  මෙම රිසෝර්ට් සංකීර්ණය පිහිටා තිබුනේ කිරාන් කඩමණ්ඩියට ඔබ්බෙනි. කඩමණ්ඩියේ අවසාන කඩයට කිලෝමීටරයක හමාරක දුරින් එය පිහිටා තිබුනු අතර ඒ අවට කඩයක් හෝ නිවෙසක් පිහිටා නොතිබුනි. ඒ වටා විශාල ගස් කොළං නොතිබූ නිසාම ඈතට එය පෙනුනි. ගූගල් සිතියමේ "කිරාන්" සෙවූ විට එය හමුවන්නේ තොප්පිගල පාරේ පිහිටි තිතක් ලෙසය! අප නවාතැන් ගත්තේ කිරාන් ප්‍රදේශයේ පරිධියේ හෙවත් දාරයේ විය යුතුය. 
කාමර පේලියේ කාමර වල ගණන් විවිධාකාර විය! ඒ සඳහා නියමිත පදනමක් හේතුවක් නොවීය! එක් කාමරයක අය කිරීමට වඩා අනෙක් කාමරයේ අය කිරිම රුපියල් 500 සිට 1000 ක පමණ වෙනසක් විය! ඊට එකම හේතුව ලෙස එහි සිටි අහිංසක චරිතය දැක්වූයේ "නෝනා අපිට කියලා තියෙන්නේ එහෙම!" වැනි වැකියක්ය. එයද පැවසූවේ අමු දෙමළෙනි. "ඒක් පුල් දෝ මාලි", "සංගම්", "ආරාධනා", "මධුමතී" සිට "ලාම්පුරේ ප්යාර් කෙරේ" දක්වා හිංදි චිත්‍රපට හා ස්වාධීන, අදීන, දීන රූපවාහිණී වලින් එහෙන් මෙහෙන් තෙළඟු, ද්‍රවිඩ, මලයාලම් චිත්‍රපට දුරාවාරයේ රසවිඳපු මා හට ඔහුගේ අණ්ඩරය එහෙන් මෙහෙන් වැටහුනු අතර මම ඔහුගෙන් වඩා හොඳ කාමරයක් වඩා අඩු මුදලට ඉල්ලා මැරෙණ්න විය! මේ කාමරයේ "හොඳ" යනු වැසිකිළියේ සුන්දරත්වය පමනි! 
දිනය අවසාන වන විට මම කුමණ විදියේ කම්සැපක් අනුභව කොට පසඳුරන් සංතර්පණය කර තිබුනද; මතක ඇති කාලයක නොව මුළු ජීවිතය පුරාම;  මාගේ දිනයේ සුන්දරම අඩ හෝරාව මා ගෙවා දමා තිබුනේ උදෑසන වැසිකිළියේය! ඉදිරි දවස සඳා පිඹුරුපත් සැකසුවේද, පසු දිනය පිළිබඳව සතුටු උනේ හෝ දුක් උනේද සියළුම කරුණු කාරණා මෙනෙහි කලේ එහි සිටය! කොටින්ම එය කිසියම් භාවනාවක් මෙනි! එසේම සිරුරේ අපවහනය නියමාකාරයෙන් සිදුවූ විට ගතට දැනෙන සෞම්‍ය සිසිළස දවසක් ශීතකරණයක් තුල ඈඳිගෙන සිටියද නොලැබෙන්නේය. මෙහි විලෝමයද එසේමය! එය බකල් වුවහොත් බොහෝ විට දින කිහිපයක හිසේරුදාවකින් මා පෙලේ! මේ නිසාම ගමන පුරාවට අප නවාතැණ් ගත් කාමර තෝරා ගැනීමේදී මා වැඩි අවධානයක් හා උනන්දුවක්  දැක්වූයේ; උදෑසන "භාවනා කටයුතු" සඳහා එහි වැසිකිළිය හා එහි පවිත්‍රතාවය පිළිබඳවය! 
පෙරකී තානයම් පල්ලා සමග කෙතරම් වාද විවාද කලද මට අවශ්‍ය වැසිකිළිය සහිත කාමරය ලබා ගැනීමට නොහැකි වුවද අවසානයේ එම අදාල වැසිකිළිය පමණක් පාවිච්චි කිරීමට ඔහුගෙන් අවසරය ලබා ගැනීමට මාහට හැකිවිය! එයද ගමනේදී මා ලද එක් ජයග්‍රහණයක් සේ මා සැලකුවෙමි! මුළු කාමර පේලියතුලම ලැගුම් ගෙන තිබූනේ අප ජෝඩුව පමණක් වීමනිසා අප එහි නිදහසේ ගත කලෙමු!


නවාතැන පිහිටි ස්ථානයේ ඇති හුදෙකලා බව නිසාම උදෑසන ජාතික ආහාරය ලබා ගැනීමට ඒ අසල තැනක් නොවීය. අප එතැනින් නික්ම කිලෝමීටරයක පමණ දුරක් පැමිණ හමුවූ "ලඩයෙන්"ද අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකිවූ තැන තවත් ඔබ්බට එනම් ත්‍රීකුණාමළය දෙසට පදින්නට විමු.
අද දිනයේ අපගේ අවසාන නවාතැන් පොල වන්නට නියමිත වන්නේ ත්‍රිකුණාමළය, නිලාවැලී හි  Jungale Bay නවාතැනයි. එය මාගේ ඥාති සොහොයුරු ප්‍රභාත් මල්ලීට අයත් එකක් වූ අතර මීට පෙර කිහිප වතාවක්ම එහි ගොස් දින ගනන් ගත කොට තිබුනි. එය පිහිටියේ මනරම් වෙරළකට මායිම්වය. එය අතිශයින් හුදෙකලාව පිහිටි හෝටලයකි. ඒ නිසාම එය ඕනෑම පන්නයේ අවකෙළියකට නිදහස ඇති තැනක් වූවද එහි කෙරුණු මගුලක් නැත! වසර මුළුල්ලේම වසා තැබෙන ඉඳ හිට කොළඹ සිට යන අප වැනි "පිනා"ලාට නවාතැන් සැපයුනු ස්ථානයක් ලෙස එය අපගේ පවුල් අතර ප්‍රසිද්ධය! ප්‍රභාත් පිළිබඳවද වචනයක් නොකිවහොත් එය අවැඩකි! ඔහු ආගන්තුක සත්කාරයේ කෙළ පැමිනියෙකුය. ඔහුගේ සත්කාරය කාජ්‍ය බෝජ්‍යෙන් අනූන වීම සාමාන්‍ය තත්වයකි. 2022 අප්‍රේල් 14 වන විට ඔහුද සේවය කලේ ත්‍රිකුණාමලයේ වූ අතර ඔහුගේ බිරිඳ හා දුවා දරුවන්ද එහි ගොස් සිටි අතර ඔවුන් සියල්ල ලැගුම් ගෙන තිබුනේ ප්‍රාභාත්ගේ නිළ නිවසේය. මෙනිසාම Jungle Bay අවන්හල පිහිටියේ හිස්වය!



6.22am
 කිරාන්හී සිට පිටත්වී පලමු විනාඩි 20 තුල අප වාලච්චනේ නගරය පසුකරමින් විය. වාලච්චනෙයි නගරය පසු කල විට ඊළඟට ලැබෙන්නේ ඔඩ්ඩමාවඩි නගරයයි. අපගේ ගමන් මග වැටී ඇත්තේ වාලච්චනෙයි නගරයට නොයා පිට පාරෙනි. හත පෙනෙන ත්‍රිකෝණාකාර "වට රවුම" නොහොත් මංසන්ධියෙන් අප වමට හැරුණු අතර එසේ නොහැරී ඉදිරියටම ගිය විට වාලච්චනෙයි නගර මාධ්‍යයට පිවිසීමට හැකිය.
අප ඔඩ්ඩමාවඩි නගරයය පසුකරණ  විටත් නගරය  නින්දේය! සත්තකින්ම මේ අප්‍රේල් 14 හෙවත් සිංහල - දෙමළ අළුත් අවුරුදු දිනයයි. වාලච්චනේ - ඔඩ්ඩමාවඩි මුසල්මානුවන් බහුතරයක් වෙසෙන නගර වුවත් එම නගර හා බැඳුනු අනෙකුත් ව්‍යාපාරික නගර බොහොමයක් "අළුත් අවුරුද්ද" සමරන බැවින්දෝ නගරය තවමත් දැල්වී නොමැති විය! ඒ නිසාම එම නගරවල; බිත්තර රොටී, පරාටා, සමෝසා, එළවළු රොටී, බිස්ටේක්  (Beef Stake) පීරිසි ආදිය ; කුඩා අවන්හල් ඉදිරියේ ප්‍රදර්ශනය කොට තිබුනු බෝඩ් ලෑලි වලට පමණක් සීමා විය! ඒ නිසාම නිරාහාරව අප තවත් ඉදිරියට පැදයන්නට විය!

ත්‍රිකෝණාකාර "වට රවුම"
ත්‍රිකුණාමලයට 100යි, 
මූතූර් වලට 71යි, වාකරේට 7යි, මඩකලපුවේ සිට 39යි, පොළොන්නරුවට 67යි!
 අද දවසට; ගෙඩි පිටින් තව කිලෝ මීටර 100ක්!

6.35am
"බලු බල්ලෙක් පේන්න නැති" හුදෙකලා මාර්ග!


Oddamavadi Bridge 
34km - A15


තවත් ඉදිරියට ගමන් ගනිද්දී  අප පසුකල මේ සුන්දර පාලම හා තොලග තෙත් කල; ඉහතින් ඇතින් ඡායාරූපය ගත් ස්ථානය; මෙම සටහන ලියන මේ මොහොතේදී ගූගල් සිතියමෙන් සොයා ගැනීමටහැකිවිය.







Kayankerni New Bridghe



මේ සුන්දර දර්ශණය අපට දක්නට ලැබුනේ කිරාන් සිට කිලෝමීටර 15-20ක් පමණ දුරින් ගමන් ගන්නා විටයි. මා කලින් සටහනේ පැවසුවා මෙන් මේ වන විට නැගෙණහිර හරිත පැහැයෙන් දිදුලමින් විය. සෑම ලොකු කුඩා ජලාශයකම ජලය පිරී පැවතුනි. උකුසු වර්ගයේ මේ සත්වයා කවරෙක් දැයි; මාගේ හිත මිතුරු පසිඳු පසුව ලියා එවා තිබුනි. ඌ Brahminy Kite  කුරුල්ලෙකි.  තවත් කිලෝමීටර 5ක් පමණ යන විට හාත්පස වෙනස් විය . කුඩා ගමකට අප සේන්දුවිය. උදෑසන ආහාර ගැනීම සඳහා කඩයක් සොයමින් අප පදිමින් විය. ඒ සමග පාර දිගේ අපවෙතට පැමිණියේ' වීදුරු වලින් ආවරණය කරණා ලද කුඩා පෙට්ටියක් බැඳගත් තැපැල් නයින්ටියකි. කොටින්ම එය අපට හුරු පුරුදු චූන් පාන් සයිකලයකි. සත්තකින්ම එය පැදගෙන ආවේ දෙවියෙකි! ඔහු අපට පෙනෙන නොපෙනෙන දුරින් අසල කුඩා පාරකට හැරවීය! අප එතැනට කිට්ටු කරණා විට ඔහු නැවත පාරට සපැමිනුනි! ඔහු චූන් පාන් මල්ලියෙක් නොව චූන් වඩේ මල්ලියෙකි.   

සත්තකින්ම එය රස කෑමකි. "කිරි වඩේ" නමැති එම ආහාරය වේලක් පිරිමසා ගැනීමට වඩා තේ පානය සමග ගත හැකි ආහාරයකි. එය අපට හුරු බුරුදු උළුඳු වඩයක් මෙන්ය. ඊට වඩා බොහෝ සෙයින් මෘදුය. එහි ඇත්තේ පැනි රසක් කැටිවූ කිරි රසකි! උත්පත්තියේ සිටම පැණි රසට මගේ ඇත්තේ දැඩි "විරෝධයකි"! මේ නිසාම පැණිරස; දොදොල්, මස්කට්, බූන්දි, පැණි වළලු, නාරං කැවුම්, පුහුල් දෝසි, සක්කර හා කිතුල් හකුරු, රට ඉඳි ආදී ආහාර දුටු විට මල පැන කාගෙන කාගෙන යෑම සිරිතකි! මෙම කිරි වඩේ වලටද සිදුවූයේ ඒ සන්තෑසියමය. කිරි වඩේ එකක්, දෙකක්, තුනක් ආදී වශයෙන් හතර පහක් කාදමා අප එතැනින් පිටත් වුනෙමු. 

8.05am








818am
වාලච්චනෙයි සිට මෙම ස්ථානය අසලට එනතුරු තිබුනු ජන ශූන්‍ය ස්වභාවය මග ඇරී කුඩා ගමක් මැද්දෙන් අප ඉදිරියට ගමන් කලා මතකය. මෙම ප්‍රදේශයට ආවේණික ලක්ෂණ කිහිපයකි. එනම් මාර්ගය ඉතා සෘජුය! ඉද්ද ගැසුවාක් මෙනි. පාර පිහිටියේ අවට ප්‍රදේශයට තරමක් ඉහලිනි. මහ පාරේ සිට ගම දෙපසට අතරින් පතර කුඩා පරවල් විහිදේ. බොහෝ එවා අඩි පාරවල්ය. මේ වන විට "අඩි පාර" යන සංකල්පයට අපගේ ශබ්ධකෝශයෙන් දෙන අර්ථ කතනයෙන්; සැබෑ අර්ථය බොහෝ සෙයින් අපගමනය වී ඇත. මේවා බොහොමයක් "සයිකල් පාරවල්" හා "යතුරු පැදි" පාරවල් වී අවසානය. එකල සමාජ අධ්‍යනය- සිතියම් හා සමෝච්ඡ රේඛා පොතෙන් ඉගෙන ගත් "කරත්ත පාරවල්" ද ගම් වල දකින්නට නැති තරම්ය. ගම්වල තිබුනු කරත්ත; ත්‍රී වීල් මල්ලිලාට ඉඩ දී දර මඩු වල දිරා පත්වය. කරත්ත ඇදි එහෙමත් ගොනෙක් "පිං" සැටිෆිකෙට්ටුවට පිං සිද්ධ වෙන්න නගරයේ හරක් මස් මුදලාලිලාගෙන් බේරි බේරී ජීවත් වේ. බොහෝ ගොනුන් Beef වී සෑහෙන කලක් ගොසිනි! කොහොමත් මුසල්මානුවන් ගොන්නුන්ව "පිනට" ඇරීමට උනන්දු වන කොට්ඨාශයක් නොවේ!

Verugal Aru
9.27am


පසුගිය යුධ සමයේ නිතර කියැවුනු "බට පිරිස්", සේනාංකය, බර අවි වැනි නාම පද වැනිම පුද්ගල නාම හා ප්‍රදේශ නාමද අපට කෙමෙන් කෙමෙන් හමුවන්නට පටන් ගත්තේය. "වෙරුගල්" ඉන් එකකි. වෙරුගල් පාලම තරමක කුඩා පාලමකි. මෙය මෙසේ වැටහුනේ එය පසුකරණා විට නොව ත්‍රීකුණාමළයට ගොඩ බැස ආපසු හැරී බැලුව විටය! වේරුගල් පාලමෙන් තරණය කරණ්නේ වේරුගල් ආරු කුඩා ගංගාවය. මෙම කුඩා ගංගාව ප්‍රාදේශීය වශයෙන් වැදගත් වන්නේ ත්‍රිකුණාමළය හා මඩකලපුව දිස්ත්‍රික්ක වෙන් වන මායිම එය වන බැවිනි. මෙම ගංගාවේ ඉවුර මත ප්‍රසිද්ධ වෙරුගල් කන්දස්වාමි කෝවිල පිහිටා ඇත.


9.36am

මා කලින් කීවාසේ මෙම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයෙන් ඉවතට විහිදෙන බොහෝ මාර්ග බයිසිකල් පාරවල් හෝ ත්‍රී වීල් මාර්ගය! එහෙමත් තාර යෙදුනු බවට සාක්කි ඉතිරි කරගත් මාර්ගයක් වෙතොත් එය රජයේ ආයතනයකට, ඇනිකට් එකකට වේල්ලකට හෝ වෙනයම් එවන් තැනකට දිවුනු පාරක් වූ අතර කාපට් යෙදූ පාරක් වුනි නම්  අවම වශයෙන් ප්‍රාදේශීය සභා මංතිරියෙකුගේ නිවසක් ඉලක්ක කරගත් එකකි. පාරවල් අයිනේ තිබුනේ රූස්ස කැලෑ නොව ලඳු පඳුරු වලින් ගැවසි ලඳු කැලෑය. අතරින් පතර ගෙවල් තිබුනි. එම ගම් වල බොහෝ සෙයින් වාසය කලේ මුසල්මානුවන් වූ අතර මුස්ලිම් දේවස්ථානයක් පිහිටා තිබුනේය. ගමේ ජීවත්වූවන්ගේ "තරම" කියාපාන කැඩපතකි ඒ ගමේ පල්ලිය! ගමේ සිටින්නවුන්ගේ; සිටිය අයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ වත් පොහොසත් කම පල්ලියේ ගෝලාකාර කුටුම්භයේ තරමින් පැවසිය හැක!






10.01am




11.20am

Kiliveddi Bridge

කිලිවෙඩ්ඩි පලම යනු ඉතා කුඩා එකකි. එහි ඇති කිඩා බව නිසාමදෝ එහි පිංතූරයක් ගැනීමට අප මැලිවිය.  මේ ප්‍රදේශයේ ද්‍රවිඩ ජනයාද ජීවත්වනබව තැනින් තැන ඇටි කුඩා පල්ලි හා දේව ප්‍රථිමා වලින් පෙනී යයි. මේ දේව ප්‍රථිමා පිළිබඳවද යමක් කිව යුතුමය. ඉන් සමහරක් පරිපූර්ණ ප්‍රථිමා හෙවත් පිළිම වන අතර; අතරින් පතර කොහොඹ ආදී සුවිශේෂි ගස් යට තැබූ දිගැටි කළු ගල්ද පිළිම වල තැන ලබාගෙන මිනිසුන්ගෙන් වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටියහ! එම කළුගල් හොඳින් සෝදා හැර තිබූ අතර තුන්නූරු උලා දිලිසෙන රෙදිවලින් සරස තිබුනි. මෙවන් දේව ගල් කන්ද උඩරට වතුකරයෙන්ද දකින්නට ලැබේ. මෙහිදී මට පැරණි කවියෙකුගේ සුන්දර කවියක් මතක් විය. මාගේ මතකය නිවැරදිනම් එම කවියා විමලරත්න කුමාරගම විය. කවිය සම්පූර්ණයෙන්ම මතක් වූ හෝ හමුවූ විටෙක මෙහි බහා ලන්නම්. එම කවියෙන් කියැවුනේ මෙවන් ගස් ගල් වලට කෙරුණු වන්දනා වලට කවියා සහභාගී නොවුනුමුත් ඔහු කිසිවිටෙක අගරු නොකල බවය! සත්තකින්ම අපද එලෙසින්ම පුල්ලෙයාර දෙවියන් සේ සලකා ගරුබුහුමන් ලබන කළුගල්  දෙස ගෞරවාන්විතව බලමින්ම පසුකොට පැද ගියෝය.


Ralkuli
11.32am




වෙල්ලස්සට ඒ නම ලැබුනේ වෙල් ලස්සයක් තිබුනු බව නිසා බව මා අසා ඇත! එසේම රජරට හෙවත් උතුරු මැද පලාතේ වැව් විශාල සංඛ්‍යාවක්  (මතක ඇති පරිද්දෙන් 30000ක්) පමණ පැවතියේලු. මේ නිසාම; ආදියේ මෙම ප්‍රදේශයට වැව් බැඳි රාජ්‍යය යැයි පවසා ඇත. උතුරු මැද පලාත වැව් බැඳි පලාත වේ නම් මෙම අප පසු කරණ ප්‍රදේශය "පාලම් බැඳි රාජ්‍යය" විය යුතුය. කිලෝ මීටර කිහිපයකින් පාලමක් දෙක හමුවේ. මේ නිසාම මෙම පලාත හරහා ගමන් ගන්නා අයෙකුහට ලබාදිය හැකි හොඳම බිම් සළකුණ වන්නේද පාලමක්මය. ත්‍රිකුණාමළය පිහිටා ඇත්තේ කොඩ්ඩියාර් බොක්ක වටකොට ගෙනය. තවත් ලෙසකින් පවසනවානම් කිඩ්ඩියාර් බොක්ක පිහිටා ඇත්තේ ත්‍රිකුණාමළය ප්‍රදේශය මාධ්‍යයේය. A15 එනම් මඩකලපුව - ත්‍රිකුණාමළය නගර සම්බන්ධ කෙරුණු මහා මාර්ගයේ අවසාන කොටස එනම් ත්‍රිකුණාමළයට ආසන්න කොටස දිවෙන්නේ කොඩ්ඩියාර් බොක්ක වටාය. ලංකාවේ දිගම ගඟ මුහුදට වැටෙන්නේ මෙම කොඩ්ඩියාර් බොක්කෙනි. එසේම අප පසු කල වෙරුගල් ආරු ගංගාවද මුහුද සිපගත්තේද කොඩ්ඩියාර් බොක්කෙන්මය.

Gangei Bridge on Mahaveli
1140am



ගඟේ පාලම යනු මහවැලිය මතින් දිවෙන පාලමයි. එයද විශාල පාලමකි. එහි මුළු දිග මීටර 245කි. මීට කලකට පෙර ලංකාවේ දිගම පාලම වූ මනම්පිටිය පාලමට පසුව මහවැළිය ගමන් ගන්නේ මෙම පාලම යටින්ය. මෙහි ජලය බොර පාටක් ගත්තේය. මහවැළියේ ජලය මහියංගනයෙන් කිලෝමීටර ගනනකට පසුව පැහැදිලිවන අතර නැවතත් මනම්පිටියෙන් පසු අවපැහැ ගැන්වේ. මේ සියල්ල මිනිස් ක්‍රියාකාරකම් නිසාය. මහියංගනයෙන් පසුව කිලෝමීටර බොහෝ ගණනක් ගමන් කරණ්නේ වස්ගමුව අභයභූමිය මැදිනි. නැවත එය මනම්පිටියට මදක් ආසන්නයේදී මිනිස් වාසස්ථාන හරහා ගමන් අරඹන්නීය. ගඟෙයි පාලම යටින් ගලනා බොර වතුර හෙවත් අපැහැදිලි ජලයේ හේතුව මිනිස් ක්‍රියාකාරකම් නිසා විය යුතුය. පසුගිය කාලය පුරාවට වට වැස්සෙන් ගඟ හොඳින් පෝෂණය ලබාය. ඒනිසාම ඉවුරු සෝදාගෙන ඇය ගලන්නට ඉඩ ඇත! එයද මීට හේතුවක්ද?

Raalkuli Bridge
11.53am





Uppu Aru Bridge



මේ වන විට නැගෙණහිර අහසේ හිරු; තම අණ සක පතුරුවාගෙන සිටි හෝරා කිහිපයකි. අලියා වැහැරුණද කොරහේ නෑවීමට සෑහෙන ට්‍රයි එකක් දියයුතු සේම; පසුගිය කාලය පුරාවට වට වැස්සෙන් ගම්බිම් තෙමී පෙඟී තිබුනද අවට ඇත්තේ දැඩි දාහයකි! කාපට් ඇතුරූ මාර්ගය රත්වී ඇත. වෙලාව; අපරාදෙ කියන්නට බෑ දහවල් 12.00ය! හිරු නොම්මර එකෙන්ම පායා ඇත. කිලෝමීටර 125ක පමණ දුර පදිමින් වී ඇත. ගහක් කොලක් නැත! මෙසේ අප ඊළඟ නිමේශයේ අවතීර්ණ වූයේ ලංකාවේ පාලම් අතර රාජිනිය වූ කින්නියා පාලමටය. මෙය පලලින් මීටර 30ක් වන අතර දිගින් මීටර 396කි. මෙය නිමවූයේ සවුදි අරාබියට පිංසිදුවන්නටය!
12.10pm Kinniya Bridge











කින්නියා පාලමෙන් එගොඩවූ තැන් පටන්ම පාහේ පාර අයිනේ අතොරක් නැතිව කරවල අතුරා තිබුනි. එය එදාට පමණක් සුවිශේෂි දෙයක් නොව සෑම කලෙකම එම පලාතට ඇති සුවිශේෂි ලක්ෂණයකි. එම පරදේශය හරහා හමා ගිය හුළඟ;  කරවල ආග්‍රහණය දසත පුරා රැගෙන ගියේය. අප කෙමෙන් කෙමෙන් නගායට අවතීර්ණ වීමු. නගරයේ පිහිටි කැලෑ රොද හරහා වැටුනු මාගය ඔස්සේ ගුවන් හමුදා කඳවුරු සංකීර්ණය පසුකොට පොලිස් අධිකාරි කාර්‍යාලය අසල සිට ප්‍රභාත් මල්ලී හට ඇමතුමක් ලභා දුන්නේය.
"ආ! අයියලා හොටේල් එකට ගිහින් ඉන්න!" ඔහුගේ සෘජු පිළිතුරයි. තවත් විනාඩි ගනනකින් නැවත ඇමතුමක් ලද්දෙමි.
"ඔහොමම ඉන්න මම කෑම දෙකක් එවන්නම්; සෙනෙවි අතේ!" සෙනෙවි යනු ඔහුගේ මාතලීය! සෙනෙවි මගෙත් බොක්කකි. 
"හරි සෙනෙවි අතේ එවන්න! අපි ඉස්සරහට ගිහින් නැවතිලා සෙනෙවියට කෝල් එකක් දෙන්නම්!"
තවත් කිලෝමීටරයක් දෙකක් දුර යන විට අපට ටෙලිකොම් ඔපීසිය හමුවිය. එය පිහිටා තිබුනේ පාරේ දකුණු පසය. එතැන නැවතී විනාඩි 45ක් පැයක් අපට බලා සිටින්නට විය. ටික වේලාවකින් සෙනෙවියා එතැනට පැමිණ ලබා දුන් බත් ගෙඩි දෙකද සයිකලයේ එල්ලාගෙන පදින්නට විය.
නිලාවලී පිහිටියේ පුල්මුඩේ මාරගයේය. එම මාර්ගයේ යන විට වම් පසින්; මුරුක්කු වන් ආරුක්කු දෙකක් පවතී. ඒ අතරින් දිවෙන්නේ නැගෙණහිර විශ්වවිද්‍යාලයට දිවෙන මාර්ගයයි. අද දින අපනවතින Jungle Bay නවාතැනද පිහිටා ඇත්තෙ මෙම මාරගයේමය! මා ඒ මාර්ගයට හැරවූ අතර නිශාන්ද මා පසු පසින් වැටුනි. මීට පෙර දින වල මා මෙම ස්ථානයට පැමිණියේ නිලාවලී පොලීසිය ඉදිරියෙන්වූ මාරගයෙන්ය. මෙදින ගමන කෙටිකර ගැනීමට සිත්වී නිලාවලී පොලීසියට මත්තෙන් ඇති මුරුක්කු වන් ආරුක්කුවට යටින් පැද යන්නට විය. එතැනින් කිලෝමීටරයක් දෙකක් තුනක් පැද ගියෙමු. අවසානයේ විශාල පල්ලමක් ඔස්සේ ගොස් නතර උනේ ක්‍රිස්තියානි මූලධර්මවාදී නිකායක පුහුණු ස්ථානයක් අසලිනි. පාර එතැනින් නැවතුනි. 
"පාර වැරදුනා බං!" මම බඩ ගින්නේම නිශන්හට කීවෙමි.
ආපසු හැරී කන්ද තරණය කරණ්නට පටන් ගත්තෙමු. කන්ද දුටු සිදුවූයේ: විට හපුතලේ කන්ද දුටු ගොනාට සිදුවූ දෙය මය. 
"මෙන්න මෙතැනින් බිම එලා ගෙන කමු බං! අම්බානක බඩගිනියි!!"
 

2.40pm

බත් එකේ තිබුනේ මොනවාදැයි මතක නැත! නිශාන් කෙසේ වෙතත් මා බත් එක කාගෙන කාගෙන ගියෙමි. එවා තිබුනු තඩි බත් ගෙඩිය කන්න පටන් ගන්නා විටදීම පොලිතීන් කොලය මත අතුරු දහන් විය. නිශාන් ඒවන විටත් ලෑටි ගාමින් විය! ටික වේලාවකින් ඔහු කෑම අහවර කලේ බත් එකෙන් භාගයකට අත නොතබමිනි. ඊළඟ මොහොතේ ඉඳුල් සියල්ල එකතු කොට ඔහු බලු කපුටු දානයකට බල්ලන් කැඳවීය!
"වටේ ඉන්න බල්ලන්ට දෙන්න ඉස්සෙල්ලා ළඟ ඉන්න එකාගෙන අහන්න ඉගෙන ගනිං මල්ලී!" මම හිතේ තිබුනු තරහව සඟවාගෙන පැවසීය.
"අම්මට සිරිකවුද දන්නේ! මම හිතුවේ ඔයාට ඇති කියලා!?"
විශාල කොහොඹ ගස් සෙවනේ සිට වතුරද බී නැවත ගමනට වැටුනේය. එවර නියමාකාරයෙන් නවාතැන්පොලට යන්නට හැකිවිය! ඒද ප්‍රභාත් හාමිනේ ගෙන් ලැබුනු දුරකථන උපදෙස් වලට පින්සිද්ධ වෙන්නටය!
අප නවා තැනට යන විට එහි සිටියේ තානායම් පල්ලා පමණය. ඔහු විශ්‍රාමික හමුදා සෙබලෙකු වූ හයේ හතරේ නමින් රාජරත්න නම්වූ  විශ්‍රාමික හමුදා සෙබලාය! ඔහුට මා හුරුය! ඒ මීට පෙර එම ස්ථානයට මා දෙතුන් විටක් ගොස් ඇති බැවිනි. 
"ආ! සර්! සර්ටත් හිතෙන දේවල්!" කථාව ඇරඹුවේ එලෙසින්ය. ඔහු පැමින අපට සුඛෝපභෝගී කාමරක් පෙන්වීය. සිරිත් පරිදි මා පලමුව සුපිරි නෑමක් ලබාගෙන එළියට පැමිණියේය. නිශන්ද නා පිරිසිදුවී පැමිණ එළිමහන් කොරිඩෝරයේ  වාඩි විය. ඈතින් ඇදෙන; මුහුද සිපගෙන එන සුළඟට අසුව; එතෙක් පැවති විඩාව ඈතට ගසාගෙන ගියේය.
"සර්! සර්ට අපේ සර් මෙන්න මේක දෙන්න කිව්වා!"
"අප්පට සිරි!"
"ඉන්න සර් වීදුරු දෙකක් මම ගෙන්නම්!"
එතැන් සිට රාත්‍රී 7.00 වන තුරා අප විවිධ දේ ගැන දොඩමළුවූයෙමු. හිරු මුහුදේ සැඟව ගොස් අවසානය. අවන් හල වටා ඈතින් ඈතින් පිහිටි කුඩා විදුලි බුබුළු වලින් මලානික එළියක් විහිදුවයි.
ඒ අතර ජීවිතයේ කොටස් අතර පිළිසඳරක!
රාත්‍රී 7.30 - 8.00 වන විට අප වාඩිවී සිටි තැනින් නැගී සිටියෙමු.
අද දිනයේ සුව නින්දකට අවශ්‍ය සියළුම අඩුම කුඩුම එක් තැන්වී ඇතත් සිහින් හිසේරදයක් සෙමෙන් සෙමෙන් හිස ඔසවමින්!
"හෙට පදින්නට බැරි වේවිද!?" මම මගෙන්ම ඇසුවෙමි. අවුලක් නෑ! අපට මේ වෙරළ වටා තියෙන හොඳම තැන මේ ඉන්නේ දිනයක් ඉවසා සිටීමට!


මා ඇඳට වැටී දෑස් පියා ගත්තද හිසේරදය නිදිමත ඉරාගෙන නැගී සිටියි. මා අඳුරේම නැගිට මාගේ බෙහෙත් පැස සොයා ගත්තෙමි. 

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...