Showing posts with label ක්‍රිකට්. Show all posts
Showing posts with label ක්‍රිකට්. Show all posts

Monday, October 25, 2021

221. වර්ණපුර ඝාතනය


ඊයේ පෙරේදා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි චරිතයක් දැයෙන් සමු ගත්තේය. ඔහු ස්වාභාවිකව මිය ගියේ පසුගිය දා උනත් ඔහුව ඝාතනය කලේ මීට වසර ගනනාවකට පෙරය!

ඕනෑම අවුලක් ලිහා ගැනීමට අප භාවිතා කරණ විකිපීඩියාවේ පමණක් නොව ඔහු උගෙන ගත් නාලන්දාවේ පොත් පත්වල; කොටින්ම උප්පැන්නයේ පවා ඔහුගේ උපන් දිනය ලෙස දාක්වා ඇත්තේ 1953 මාර්තු  1 වනදා ලෙස උවද සත්‍ය වශයෙන්ම ඔහු ඉපැදුනේ 1953 ජනවාරි 14 වෙනිදාය!  මේ කොහෙවත් නැති මාර්තු 1 වැනිදාවක් මේ සියළු ලිපි ලේඛන තුල රිංගෙන්නේ ඔහුගේ නම ලියාපදිංචි කල දිනය එදිනට යෙදී ඇති බැවිනි.

මීට කලකට පෙර මා ලියා ඇති  126.  පළමු ටෙස්ට් නායකයා බිහි වූ හැටි . . .!  පෝස්ටුවේ දැක්වෙන පරිදි බන්ධුල; වර්ණවත් වන්නේ පාසැල් ක්‍රිකට් ඇරඹීමත් සමගය.  

ඔහු නාලන්දයට ඇතුළුවන්නේ 1961 දී වන අතර ඔහු ක්‍රිකට් ක්‍රීඩා පුහුණුවීම් ඇරඹෙන්නේ 1962 වසරේ සිටය. දිගු කාලයක් 12න් පහල කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සිටින ඔහු හට මුල්වරට 14න් පහල කණ්ඩයම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ 1965 වසරෙදීය.

වයස අවුරුදු 14 ඉක්මවා මාස ගනනාවක් යන්නට මත්තෙන් ඔහු 19න් පහළ කණ්ඩායම  වෙනුවෙන් ක්‍රීඩා කලේය! ඔහු නාලන්දාවේ 19න් පහළ කන්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස වසර පහක් ක්‍රීඩා කලේය! 1972 වසරේදී ඔහු දිවයිනේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසට තේරුණි.  ඔහු දක්ෂ පන්දු යවන්නෙක්ද වූ බව; මහේළ ද පාසල් ක්‍රිකට් තුල පන්දු යැවූ බව මෙන්ම බොහෝ දෙනෙක් නොදන්නා තොරතුරකි. බන්ධුල දකුණත් පිතිකරුවෙකු වූ සේම දකුණතින් මද වේග පන්දු යැවූ ක්‍රීඩකයෙකි.

ඔහුගේ පාසැල් ක්‍රිකට් ජීවිතයේ  කූඨප්‍රාප්තිය ලෙස 1972 මාර්තු 25 වනදින පැවති 43 වැනි ආනන්ද - නාලන්දා සුලෝහිත සංග්‍රාමයේදී ඊට වසර 43 කට පෙර පී එම් ජයතිලක විසින් තබන ලද ලකුණු 111 ක වාර්ථාව නොදැවී බිඳ හෙලීම දැකිය හැක.

1972 වසරේදීම මෙරටට පැමිණි මැලේසියානු කණ්ඩායම සමග පැවති එක් තරගයකදී ලකුණු 294 රැස් කලේය. එමෙන්ම එම තගයේදී නායක අනුර තෙන්නකෝන්  සමග දෙවන විකට්ටුව සඳහා ලකුණු 456 ක සබඳතාවයක් ගොඩනැංවීය. (අනුර - 221). එමෙන්ම 1973  පැමිණි පාකිස්ථාන වයස 25න් පහල කණ්ඩායම සමග පැවති නිල නොවන ටෙස්ට් තගයේදී පැය 8 කටත් වැඩි කාලයක් කඩුල්ල රැකගනිමින් සිට ලකුණු 158 ලබා ගනිමින් සුනිල් වෙත්තමුනි සමග ලකුණු 179 ක සබඳතාවයක් ගොඩ නැංවීය. (සුනිල් - 107) 1975 වසරේ එංගලන්තයේදී පැවති ප්‍රථම ලෝක කුසලාන තරඟාවලියේදීද ඔහු කැපී පෙනුනු ක්‍රීඩකයෙකු විය.

අනුර තෙන්නකෝන්ගේ ඉවත්වීමත් සමග  ක්‍රිකට් පිලේ නායකත්වයට පත් බන්දුල ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් නායකයා බවට පත්විය.  බන්දුල ක්‍රීඩා කලේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයටය. වසර තුනක් තිස්සේ  අන්තර් ක්‍රීඩා සමාජ අනුශූරතාවයෙන් සැනහී සිටි බ්ලූෆීල්ඩ් ක්‍රීඩා සමාජයට ශූරතාවේ ගුණ සුවඳ රස එක් කරණ්නේ බන්ධුය. ඒ 1981 වසරේදීය! ක්‍රිකට් ක්‍රීඩාව අප කෙතරම් වැළඳ ගත්තද එය සුද්දන්ගේ වැඩක් මිස අපේ දෙයක් නොවන බව අපට නොසිතුනාට සිතන හා සිතෙන පිරිසක් ඇත! ලංකාවේ ක්‍රීකට් ක්‍රීඩාවේ විවිධ වකවානු පැවතුනි! විදෙශිකයින්ගේ යුගය, රාජකීය ශාන්ත තෝමස්, ත්‍රිත්ව යුගය, ආනන්ද - නාලන්දා යුගය  හා පිට පලාත් යුගය ලෙස එය දැක් විය හැක. 

මයිකල් තිසේරා (මයිකල් හියු තිසේරා - ශාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස), අනුර තෙන්නකෝන් (අනුර පුංචිබංඩා තෙන්නකෝන් - අනුරාධපුරයේ ඉපිද වයස අවුරුදු 6 දී; ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලට ඇතුලත් විය.) වැනි  තෝමසුවන්ගෙන් පසුව ආනන්ද - නාලන්දා යුගයට සංක්‍රමණයේ කූඨප්‍රාප්තිය  බන්ධුල වර්ණපුර ලංකා කණඩායමයේ නායකත්වයේ දොර අභියස සිටීම විය. එය කෙළවර වූයේ ඔහු එහි හිඳුවමින්ය. එය එසේ නොකර සිටීමට බැරි වීමක් ම විය. උදාහරනයක් ලෙස; ඩී ඇස්, ඩඩ්ලි, කොතලාවල, ජේ. ආර් යන කොම්ප්‍රදෝරු ධනපති පන්තිය අතින් අත මාරුවූ යූ ඇන් පියේ නායකත්වය ප්‍රෙමදාස වෙත ලබා දුන්නේ එසේ නොකර සිටීමේ කුමන හෝ හේතුවක් නොමැති වූ  නිසාමය!

1974 ඉංදීය සංචාරයේදී  බන්ධුල ඇතුළු පිරිස දිල්ලි නගරයේ සිට අහමලාබාද් නගරය වෙත පැය 20 ක පැය කිලෝමීටර 854 ක දුරක් දුම්රිය ගමනකට සහභාගී විය.  17 දෙනෙකුගෙන් සමන්විත් පිරිස සඳහා දුම්රිය සයන  Berth (Sleeping) කොට තිබුනේ 14 දෙනෙකු සඳහා පමණි. මේ නිසාම බන්ධුල ඇතුළු තවත් තිදෙනෙකු හට ඇඳන් නොසයන හෙවත් ඇඳන් නොමැතිවිය! ඒ වන විටත් තම තමන්ගේ ඇඳන් වෙන්කරගෙන සිටි කණ්ඩායමේ කළමණකරු, නියොජ්‍ය කළමණාකරු හා නායකයාහට මේ පිළිබඳව දැන්වූ විට ඔවුන්ගේ සෘජු පිළිතුර වී ඇත්තේ "කලින් ඇවිත් වෙන්කර නොගත්තාට අපි මොනවා කරණ්නද?" යන්නයි. මේ නිසාම නාලන්දයේ බන්ධුල වර්ණපුරටත්, එම පාසලේ අනුර රණසිංහටත්, ආනන්දයේ අජිත් ද සිල්වාටත් මුළු ගමන පුරාවටම නිදිවර්ජිතව සීතලේ ගැහෙමින් ගමන් කිරීමට සිදුවිය.

තමන් යම් දිනෙක කණ්ඩායමේ නායකත්වයට පත්වූ දිනෙක මෙවන් අකටයුතු කම් සිදු නොවීමට වග බලා ගන්නා බව එදා ඔහු සිතූ බව; පසු කලෙක මාධ්‍ය සමග කල පිළිසඳරකදී බන්ධු පවසා සිටියේය. 

සෑම ආයතනයක වාගේම තිබෙනා කල්ලි වාදය හා එය ඉදිරියට පවත්වාගෙන යන්නවුන්, එයට ආවඩන උන්, ඊට උල්පන්දම් දෙන උන් මෙන්ම නායකත්වය සපයන උන් ද සිටී. පංසලක් ගත්තද, පාසැලක් ගත්තද, රටක් ගත්තද මේ තත්වය අප රටේ සාමාන්‍ය තත්වයකි. (මීට "පල්ලියක්" යන වචනය එක් නොකලේ ඒ පිළිබඳව මා නොදන්නා බැවින්ය! තතු දත්තෝ කොමෙන්ටු සපයත්වා!)

ක්‍රිකට් ක්‍රීඩා පරි පාලනය පිළිබඳව තව කුමන කථාද? මේ ලෙසින්ම බන්ධුල නායකත්වයට පැමිනෙන විටම ඊට ප්‍රථිරෝධයක්ද පැන නැගී තිබුනි! එහි ප්‍රධාන එදිරිවාදියා  ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධරයෙකු වීම බන්ධුලගේ ක්‍රිකට් ජීවිතය මිලින කිරීමට සෘජු දායකත්වයක් සැපයීමට ප්‍රධාන කාරණාවක් විය! බන්ධුල නායකත්වයට පත්වී දින දෙකක්  ගතවන විට ඔහුව ඉන්  ඉවත් කිරීමට පිඹුරුපත් සකස් කිරීම ඇරඹිනි. ඔහු ඔබ්සර්වර් පත්‍රයේ එම්. කේ. සමාත් සහ ඒ. සී. සිල්වා වෙත ලබාදුන් ලිපියක් මීට ප්‍රධානහේතුව වන්නට ඇතැයි බන්ධුල සැක කරණ ලදී. "ලංකාවේ සුදුසු පුහුණු කරුවන් නැත්නම් විදෙස් පුහුණු කරුවන්ගේ හෝ සේවය ලබා ගත යුතුය!" යන ප්‍රකාශය ඊට ප්‍රධාන හේතුව උනා. එකල ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටි පුහුණු කරුවන් තිදෙනා ලබා තිබුනේ පාකිස්ථානයේ සති තුනක පුහුණුවක් පමණක් වීම මීට හේතු විය. ඉහත ප්‍රකාශයෙන් වඩාත්ම කලබලයට පත්වූයේ මෙම ත්‍රිත්වයයි. ඒ සමගම රන්ජිත් ප්‍රනාන්දුත් (එඩ්වර්ඩ් රන්ජිත් ප්‍රනාන්දු - ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය), අනුර තෙන්නකෝනුත්, නිසාල් සේනාරත්නත් (ප්‍රින්ස් ඔෆ් වේල්ස් - මොරටුව) බන්ධුට යෝජනා කොට ඇත්තේ ප්‍රාකශය ඉල්ලා අස්කරගෙන පුහුණු කරුවන්ගෙන් සමාව ඉල්ලන ලෙසය! ඊට බන්ධුල එක හෙලාම විරුද්ධ වූ අතර ඉන් වසර දෙකක් ගතවන්නට මත්තෙන් විදෙස් පුහුණුකරුවන් ගෙන්වීමට පාලක මණ්ඩලය පියවර ගත්තේය. ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ද ඒ අතර විය!

මෙම නිළධරයා වරෙක  බන්ධුගේ පියා දොස්තර ප්‍රනාන්දු හට පැවසූවේ "බන්ධුට නායකත්වය කරගෙන යාමට අවශ්‍යය වේනම් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වෙන ලෙසය!

මෙම තත්වය උග්‍ර අතට හැරෙන්නේ ඔහුගේ අවසන් ටෙසට් සංචාරය වන 1982 සැප්තැම්බරයේ ඉංදියාවේදීය. ඉන්දියාවේ මදුරාසියේ පැවැත්වූ ටෙස්ට් තරගයේ තුන් වෙනි දින රාත්‍රී භෝජන සංග්‍රහයේදී සුනිල් ගවස්කාර් විසින් කල ප්‍රකාශයක් මීට හේතු විය. එම තරගයේදී දුලිප් මෙන්ඩිස් පිත්තෙන් ඉතා හොඳ දස්කම් දැක්වූ අතර "අද තරගයේදී පිතිකරණයෙන් දස්කම් පෑව දුලිප් මෙන්ඩිස් කිසිවිටෙකත් වර්ණපුර නොසිටින්න මෙම චාරිකාව කරන්නේ නෑ!" යන්න එම ප්‍රකාශයයි

මම ප්‍රකාශය සත්‍යක් උවත් එය සුනිල් දැන්ගෙන තිබුනේ තරගය නැරඹීමට ගිය වෙනත් පාලක මණ්ඩලයේ නිළධාරියෙකු වෙතිනි. එහෙත් පසු දිනම නායකත්වයෙන් පහකොට නැවත ලංකාවට ගෙන ඒමට මණඩලය සැරසුනද; ඒවකට ක්‍රිකට් අධිකාරියේ සභාපති චන්ද්‍රා ෂාෆ්ටර් මහතා (චන්ද්‍රා තෝමස් ඇඩොල්පස් ෂාෆ්ටර් - ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස.) වෙත බන්ධුල කල ඉලීම සලකා බලා එය නොකෙරුණි. ඒ පලමුව සුනිල් වෙතින් ඒගැන සොයා බලා දඬුවම් කරණ මෙන් බන්ධුල; ෂාෆ්ටර්ගෙන් කල ඉල්ලීමේ ප්‍රථිපලයකි.

සැප්තැම්බරය වන විට බන්ධුලගේ නායකත්වය වෙත එල්ල කෙරෙන පීඩනය බොහෝ සෙයින් දැඩි විය.

ඒ වන විය 1961 වසරේදී පටන් ජාත්‍යන්තර හුදෙකලා කරණය කිරීම තුල දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාව හෙම්බත්ව සිටි අවධියකි. ඒ නිසාම ජාත්‍යන්තර කණ්ඩායම් එරටට ගෙන්වා ගැනීමට ඔවුන් යන්ත දැරීය. 80 ව දශකයේ මෙවන් කැරළිකාර කණ්ඩාම් රැසක් එරටට සංචාරය කලෝය. ඉන් පලමු වැන්න ලෙස මතකයට එන්නේ  ක්‍රිකට් උපන් රටේ කණ්ඩායම 1981 - 82 කාලයෙදී කැරළිකාර සංචාරයකට සහභාගී වීමය. එම කණ්ඩායම සහභාගී වූ පිරිස එනම් කණ්ඩායම තුල ග්‍රැහැම් ගූච්, ජෙෆ් බෝයිකොට්, ඩෙරෙක් අන්ඩර්වුඩ්, බොබ් වුල්මර් ආදීන්ගෙන් සමන්විතවිය.

මෙම කාලය වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා පාලක මණ්ඩලය අතර විවිධ ඝට්ටන ඇතිවී කණ්ඩයමේ ශෝදරත්වය බිඳවැටෙමින් තිබුනු කාලයයි. මෙම අර්භූධ බොහොමයක ස්ව්‍යංක්‍රීයව හටගත් ඒවා නොව කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක මෙහෙයවීම මත බිහිවූ ඒවාය. මෙම තත්වය තේරුම් ගත් ක්‍රීඩක ටෝනි ඕපාත (ඇන්ටනි රැල්ෆ් මැරිනන් ඕපාත - ශාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය) දකුණු අප්‍රිකාවේ චාරිකාවක් පිළිබඳව සිතන්නට විය. මීට හේතු කාරණ ගනාවක් තිබිය හැක!  ඔහු 1975 සිට 1979 දක්වා ජාතික කණ්ඩායමට සිටියත් ටෙස්ට් කණ්ඩායමය්ට ඔහුට ඇතුලත් වීමට නොහැකිවිය.  ඒනිසාම ඔහුට තවදුරටත් රැකගත යුතු දෙයක් "ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තුල තිබුනා දැයි; මා හට මේ ලියන මොහොතේවත්  දැනෙන්නේ නැත! ඒ පිළිබඳව ඔහු පලමුව සාකච්ඡා කොට ඇත්තේ දුලිප් මෙන්ඩිස් (ලුයිස් රොහාන් ඩුලිප් මෙන්ඩිස් - ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව  සහ ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස) හා රෝයි ඩයස් (රෝයි ලූක් ඩයස් - ශාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය) යන අය සමගය! 1982 මාර්තු මැද වනවිට ටෝනි ඕපාත සිටියේ ඕලන්දයේ ය. එසේ ගතකරමින් සිටියදී; දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංගමයේ සභාපති ජෝ පැමෙන්ස්කි සමග ඇතිකර ගත් සබඳතාවය මත ඔහු ක්‍රියාන්විතය ඇරඹූබව පසුව මාධ්‍ය වෙත ටෝනි ඕපාත පවසා ඇත! 

ජෝ පැමෙන්ස්කි වෙත යැවූ ලිපියට පිළිතුරු ලෙස දින 5 ක් තුලදී ඔහු ඕලන්දයේ සිටි ටෝනි ඕපාත හට කතා කොට ඇති අතර ඔහු විපිලිසර වී ඇත්තේ කණ්ඩායම කුමක්දැයි කියාය! ඊළඟ ගැටළුව වූයේ කණ්ඩායමක් එකතු කර ගැනීමය. ටෝනි වහාම දුලිප් මෙන්ඩිස්ගේ නිවසට කථා කොට කණ්ඩායමේ විස්තර සකස් කර ගත්තේය. කණ්ඩායමේ නම් ලැයිස්තුව; පැමෙන්ස්කි වෙත දැනුම් දුන් සැණින් ඔහුගේ ප්‍රථම පැනය වී ඇත්තේ "කෝ නායකයා?" යන්නය! එසේම අසන්ත ද මෙල් (අසන්ත ලක්දාස ෆ්‍රැන්සිස් ද මැල් - ඉසිපතන විද්‍යාලය, තිඹිරිගස්යාය හා රාජකීය විද්‍යාලය, කොළඹ), රන්ජන් මඩුගල්ල (රන්ජන් සෙනරත් මඩුගල්ල - ට්‍රිනිටි විද්‍යාලය, මහනුවර සහ රාජකීය විද්‍යාලය, කොළඹ), සිදත් වෙත්තමුණි (ආනන්ද විද්‍යාලය, කොළඹ) යන ක්‍රීඩකයින් පිළිබඳවද ඔහු වඩාත් උනන්දුවූ අතර බන්ධුල වර්ණපුර හෙවත් නායකයා මෙම කණ්ඩායමට ඇතුළු කර ගෙන්නේ නම් ඉතිරි අය අමතක කර දැමිය හැකි බව දැන්වීය. 

සියළු අවසාන ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කිරීමට ඕලන්දයේ සිට දකුණු අප්‍රිකාව බලා යන ටෝනි නැවතත් ඕලන්දයට පැමිණෙන විට දුලීප් මෙන්ඩිස් ගෙන් ලිපියක් ලැබී තිබුනි. ඔහු ඉල්ලා සිටියේ ඔහුත් ඔහුගේ මිතුරු රෝයි ඩයසුත් ක්‍රීඩා කරණ වෙලඳ සේවා ක්‍රිකට් කුසලාන තරගාවලිය අවසන් වනතුරු දකුණු අප්‍රිකා චාරිකාව කල්දමන ලෙසය!

අගෝස්තු මැදදී ලංකාවට පැමිණෙන ටෝනි තම නිවසේදී කණ්ඩායමට ගිවිසුම් පත්‍ර කියවීමට ලබාදී වැල්ලවත්තේ වර්ණපුර ගේ නිවසේදී ඔහුව මුණගැසී චාරිකාව පිළිබඳව යෝජනාව ඉදිරිපත් කරණ ලදී. පසුදින දකුණු අප්‍රිකාවේ කොලින් රෂ්මෙයර් ලංකාවට පැමිණි අතර ටෝනිගේ නිවසේදී වර්ණපුර හැර කණ්ඩායමේ සියළු දෙනා ඔහු ඉදිරියේ ගිවිසුම් වලට අත්සන් කරණ ලදී. තම බිරිඳෑවරුණට පවා; මෙම රහස් මෙහෙයුම පිළිබඳව නොකියා සිටින්නට පරිස්සම් වෙන්නයැයි අප අතරේ එකඟතාවයක් තිබුනද දුලිප් මෙන්ඩිස් හා රෝයි ඩයස් ගිවිසුමට අත්සන් කරණ්නට පැමිණියේ තම බිරිඳෑවරුන් සමගින්මය! කොලින් රෂ්මෙයර් හා ටෝනි ඕපාත හැරුණු විට කිසිවෙක් මෙම චාරිකාව සඳහා වර්ණපුර සහභාගී වීමට එකඟ වීම පිළිබඳව දැනගෙන සිටියේ නැත! වර්ණපුර ගිවිසුමට අත්සන් කලේ රෂ්මෙයර් නැවතී සිටි ලංකා ඔබරෝයි හෝටල් කාමරයේදීය.

හරියටම ඊට දින තුනකට පසු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉංදියාව බලා පිටත්ව ගියේය.  කණ්ඩායම ඉංදියාවේ සිටිනාතරතුර මෙරට එක්තරා ඉංග්‍රීසි පුවත් පතක පලවූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කණ්ඩායමක් දකුණු අප්‍රිකාව බලා යෑමේ සැලසුම ඇතිබවය!

පුවත් පත වෙළෙඳ පොලට පැමිණ ස්වල්ප වේලාවකට පසුව දුලීප් මෙන්ඩිස්ගේ බිරිඳ  ටෝනි ඇමතුවාය.

එම සංචාරයේදී දුලීප් මෙන්ඩිස්; එක් තරඟයකදී  ඉතා වටිනා ශතක දෙකක්  ලබා ගත් අතර රෝයි ද සුපුරුදු දක්ෂතා පෙන්වන ලදී. වර්ණපුරට පිත්තෙන් සුවිසල් මෙහෙයක් ඉටු කරලීමට නොහැකි වුවත් ඔහුගේ ඥානාන්විත නායකත්වය ලොවටම පෙන්වීමට හැකිවිය.

ශ්‍රී ලංකා පිල; ඉංදියාවේ සිට මෙරටට සැපත් විය. එම රාත්‍රියේ කණ්ඩායම වෙනුවෙන් එක් ක්‍රීඩකයෙකුගේ නිවසක භෝජන සංග්‍රහයක් පැවැත්විය. එයට පාලක මණ්ඩලයේ නිළධාරීන්ද සහභාගී වී සිටි අතර එක් මොහොතක දුලිප් මෙන්ඩිස් නිළධරයින් දෙදෙනෙකු සමග එම නිවස පිහිටි වත්තේ එක් කොණක රහස් සාකච්ඡාවක් පවත්වනු ටෝනි ඕපාතගේ නිරීක්ෂණයට ලක්විය!  ඒ පිළිබඳව දුලිප් ගෙන් විමසූ විට "මා ගැන බය වෙන්න එපා! මම් ටෝනිත් එක්කයි!" දුලිප් පැවසූ බව ටෝනි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත!

ඉන් පසුව දින දෙක ටෝනි විසින් දුලිප් මෙන්ඩිස්ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලද ඔහුට කථා කිරීමට නොහැකිවූ අතර ඊටත් දිනකට පසු නාවලදී හමුවී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ ඔහුත් එනම් දුලිප් මෙන්ඩිස් හා ඔහුගේ මිතුරා වන රෝයි ඩයසුත් දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත්වන බවය!

කන්ඩායම හොර රහසේ 1982 ඔක්තෝබර් 18 වන දින දිවයිනෙන් පිටත්ව දකුණු අප්‍රිකාව බලා පිටත්වූ අතර නැවත 1982 දෙසැම්බර් 18 වන්දින මෙරටට පැමිණුනි. කැර්ළිකාර කණ්ඩායමට වසර 25ක ක්‍රීඩා තහනමක් පැනවුනි! එය දිග හැර දක්වනවා නම් 'අවුරුදු 25ක් යනතුරු ජාත්‍යන්තර තරග වලදී ලංකා කණ්ඩායමට ඇතුලත් වීම තහනම්ය. පාලක මණ්ඩලයෙන් අනුමත කරන ලංකාවේ පැවැත්වෙන කිසිදු තරගයකට සහභාගී වන්නට නොහැක. පාලක මණ්ඩලයට සම්බන්ධ කිසිදු සමාජයක කිසිදු තනතුරක් දැරීමට නොහැක! කොටින්ම පාලක මණ්ඩලය හා එවකට ක්‍රීඩා ඇමති වරයා වන වින්සන්ට් පෙරෙරා විසින් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා ජීවිතය ඝාතනය කරණා ලදී!

 ක්‍රිකට් උපත ලද එංගලන්ත කණ්ඩායම මෙවැනිම අවස්ථාවකට මුහුණ දුන් පසු ඔවුනට පැනවූ දඬුවම වූයේ වසර 3 ක ක්‍රීඩා තනමක් පමණි. නමුත් එය පසුව ලිහිල් කොට වසර තුන ගෙවීයන්නට මත්තෙන් ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථා ලබා දුන් බව මාහට මතකය! 

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදි කරුණු දැක්වූ විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක (රාජකීය විදුහල) "තමුන්නාන්සෙලා දකුණු අප්‍රිකාව සමග වෙළෙඳ ගනු දෙනු කිරීමත් වැරදියි නේ!?" යනුවෙන් පැවසුවද  සිදුවූ වෙනසක් නොවීය. හලීම් ඉශාක් මන්ත්‍රී වරයා මෙම දඬුව ලිහිල් කර ගැනීමට බොහෝ සෙයින් උත්සාහ කලේය! මෙහිදී රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමති හරේන්ද්‍ර කොරයා (ශාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස.) කිසිදු බුරුලක් නොදැක්වූ බව හැන්සාඩ් වාර්ථාවල සඳහන් වේ.

මේ සියළු කුමන්ත්‍රණ හමුවේ ඉතාමත් උපක්‍රමශීලී නායකයකු වූ වර්ණපුර, වමත් දඟපන්දු යවන අජිත් ද සිල්වා, එකල සිටි දක්ෂතම කඩුළු රකින්නෙකුවූ ඕස්ට්‍රේලියාවේ රොඩ්නි මාෂ් සමග එක පෙලට තැබිය හැකිව සිටි මහේෂ් ගුණතිලක හා තුන් ඉරියව්වෙන්ම කැපී පෙණුනු නායකත්වයේ අංකුරයක්ව සිටි අනුර රණසිංහ ඇතුළු පිරිසකගේ ක්‍රීඩා ජීවිතය සදහටම නිහඬ කරණ ලදී. එම තහනම ඉවත් කලේ තවත් වසර 9 කට පසුවය! පසු ගියදා ස්වභාවිකව මිය ගියද බන්ධුල වර්ණපුර ඝාතනය කරණු ලැබූවේ එසේ කුමන්ත්‍රණයක් මගිනි!

කැරැල්ලේ විත්ති කරුවෝ:-

බන්ධුල වර්ණපුර        - නාලන්දා                       - බ්ලූම්ෆීල්ඩ්

ලලිත් කළුපෙරුම       - නාලන්දා                        - බ්ලූම්ෆීල්ඩ්

අනුර රනසිංහ             - නාලන්දා                        - බ්ලූම්ෆීල්ඩ්

හේමන්ත දේවප්‍රිය       - නාලන්දා                        - කොළඹ ක්‍රීඩා සමාජය

බන්දුලද සිල්වා           - නාලන්දා                         - මොරටුව ක්‍රීඩා සමාජය

අජිත් ද සිල්වා             - ආනන්ද                           - බ්ලූම්ෆීල්ඩ්

ෆ්ලේවිය අපෝන්සු    - ශාන්ත සෙබස්තියන්         - බ්ලූම්ෆීල්ඩ්

ලන්ත්‍රා ප්‍රනාන්දු          - ප්‍රින්ස් ඔෆ් වේල්ස්            - මොරටුව ක්‍රීඩා සමාජය

මහේෂ් ගුණතිලක       -  ශාන්ත අන්තෝනි          -  මහනුවර ක්‍රීඩා සමාජය

නිර්මාල් හෙට්ටිආරච්චි - කොළඹ රාජකීය           - කොළඹ ක්‍රීඩා සමාජය

ටෝනි ඕපාත                - ශාන්ත පීතර                  - එන් සී සී

බර්නාඩ් පෙරෙරා          - ශාන්ත අන්තෝනි          - මහනුවර ක්‍රීඩා සමාජය

ජෙරී වවුටර්ස්                - කේරි විදුහල                  - බී ආර් සී

දඩයම දෙස බලා දඩයක්කරු සොයාගන්න . . . . . . .!


Wednesday, April 17, 2019

132. ඇන් ඇක්සිඩන්ට් . !

හරි හරි බං ඇක්සිඩන්ට් තමයි! ඉස්සරහට "An" තියෙනවද බලපං?

අපි ඉගෙන ගත් ඉංග්‍රීසි පොතේ "An Accident" නමින් පාඩමක් විය. 
අපිට ඉංග්‍රීසි උගැන්වූ ගුරුතුමිය අපිට කීවේ එකෙක් දෙන්නෙක් මහ පාර මැද මැරුණත් ඉස්සරහට "An" නැත්නම් ඒක Accident එකක් නොවන්නේය කියාය. ඒ ඇක්සිඩන්ට් වල හැටි නොව වවල්ස් නොහොත් ස්වර වල හැටිය. 
ස්වර කියූ සැනින් මතක් වෙන්නේ සප්තකය ය. එක් පාසලක සිටි ගුරුවරියක් වූ සාමා ටීචර් සමග සංගීතය උගැන්වූ සනී සර්ගේ තිබුනු ඇයි හොඳැයිය පිළිබඳව ඉව වැටුනු ගුරු මණ්ඩලයේම ඉරිසියා කාරයන් ස්වර ගැයූවේ:
 "සා මා . . සා රී . . දා ග නී . . . . !   සනී . . . . ස මග . . .  . පනී . . . . !!" කියාය!

සමහර ඇන් ඇක්සිඩන්ට් වලදී වාහනේ එළවාගෙන ආ එකා "සරම නැතුවම පනී !" 

සමහර ඇන් ඇක්සිඩන්ට් වලින් සරම පමනක් නොව තරු පටි ගැලවී ගිය අවස්ථාද මෙරට ඉතිහාසය පිරික්සීමේදී දක්නට ලැබේ. කලෙකට පෙර මෙරට ත්‍රිවිධ හමුදා වට අයත් එක් හමුදාපති වරයෙකු වූ සුපිරි වැඩ්ඩෙකුට කෙළ වූයේ ඇන් ඇක්සිඩන්ට් එකකිනි.

මේ ඊයේ පෙරෙදා පමනක් නොව ඉතිහාසය පුරාවටම  ඇමතියෝද උන්ගේ මද කිපුනු පුතුන්ද මහ මග ඇන් ඇක්සිඩන්ට් කල ගනන මෙතැකැයි ගනන් බලා නැත. නමුත් ඊට ලැබෙන ප්‍රථිචාරය ඉහල යන්නේ ඇන් ඇක්සිඩන්ට් එක නිසා නොව උන් පෙරකී පරිදි සරම බිම දමා මාරු වන බැවින් නොව හැප්පුනු එකාගේ සරමද උදුරා ගෙන මාරු වන බැවිණි !

වර්ථමානයේ දිනකට බරපතල ගනයේ  මහාමාර්ග අනතුරු දිනකට 300-400 අතර ප්‍රමාණයක් සිදුවන අතර ඒවායින් දිනකට  මියයන ප්‍රමාණය 9 ක් පමණ වේ. 41 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කරණු ලබයි.
 "අවුලක් නෑ මචං මං මගේ එක හදා ගන්නම්! උඹ උඹේ එක හදා ගනින්!" කියන ඒවා මේ සංක්‍යා ලේඛණ වලට අයත් නොවේ.

අද දිනය තුල; මෙම පෝස්ටුව ලියන පෙරවරු 11.32 වන විට 13 දෙනෙකු වල පල්ලට ගොස් අවසානය! මේ කෑමට පෙරය!

මේසා විශාල අනතුරු සිදුවන රටක නාවලපිටියේ ඇමතියාගේ පුතා  හෝ පොලිස් කෙළිකාරයෙකුගේ පුතා තවත් පොලිස් කාරයෙකු යට කිරීම හෝ විප්ලව වාදියෙකු අනුරාධපුරයේදී බීමත්ව අනතුරු කිරීම හෝ බෙර ගසන්නෙකු කඩවතදී කාන්තාවක යට කිරීම හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ත්‍රීවීල් එකක් පොඩි කිරීම තවත් තුන් හාරසීයෙන් එකකි.

නමුත් පුද්ගලයා වටා තිබෙන සිවිල් බලතල, ජන්ප්‍රියතාවය හා සිද්ධිය යට ගැසීමට ඇති හැකියාව වැනි කරුණු මත එය පුවතක් වේ!
 මීඩියා දුවන්නේ පුවත් හරහාය!පුවත් නැතිනම් මීඩියා වරුනට සිදුවන්නේ පුවක් විකිණීමට විනා බුලත් විකිණීමට නොවේ. මන්ද මෙරට බුලත් විට විකිණීම කාලයක සිට කරගෙන යනු ලබන ව්‍යාපාරයක් වන බැවිනි. එහෙත් තවම පාරක් තොටක් ගානේ පුවක් විකුණනු අප දැක නැත!

පසු ගියදා මෙරට හරහා ගිය "කිරි පිටි" සුනාමියට, බහුජාතික සබන් මුදළාලිගේ ඒකාධිකාරියේ හුළං ඇරිය නඩු තීන්දුව, නීතීඥ්ඥ  නාගානන්ද කොඩිතුවක්කුගේ කෝට් බෑය ගැලවීම වැනි දේ "සුළඟේ පාවෙන පෙම් කුසුම්" ගානට දානවා විනා ඒවාට බර දමා කටයුතු කිරීමක් බොහෝ මීඩියා පොරවල් ගෙන් අපිට දකින්නට නොහැකි විය. 

මීට කලෙකට පෙර වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාවේ තිරගත වුනු "Untouchables" චිත්‍ර පටයේ මෙන් මේ මුළු මහත් සමාජයම වෙළෙඳ පල ක්‍රමය මගින් අල්ලා අවසන්ය. 


බලන්න සුපිරිම ෆිල්ම් එකක්!

අදීන මීඩියා පොරවල් හිටියේ ඒ කාලයේය. (මෙයත් අපි අසා ඇති ආකාරයෙන් විනා අත් දුටු දෙයකින් නොවන්නේය!) චින්තන ජයසේනයන්; විජේතුංග ජනාධිපති තුමාට පත්තර පෲෆ් හතරක් ලක්ෂ හතරකට විකුණන්නේ මේ සංදර්භය තුලය.(මෙක රසවත් කථාවක් වෙලාවක ලියන්නම්.)
විධිමත් මාධ්‍ය සේම මේ වන විට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ නිදහස් මාධ්‍යයන් වන ෆෙස්බුක්, ට්වීටර් අපි මේ ලියන කියන බ්ලොග් වැනි ඒවාය. ඒවා හරහාද මතවාද ඇති කිරීමට හා නැති කිරීමට පුළුවන.

මීට කලකට පෙර නුගේගොඩ ප්‍රදේශයේ ජීවත් වුනු; විශ්‍රාමලත් එක් උසස් පොලිස් නිළධරයෙකුගේ නිවසේ සේවය කල තරුණිය; එම නිළධරුවා විසින් ලිංගික අතවරයට ලක් වූ බව ප්‍රකාශ කිරීමක යෙදුනාය. අවසන් ප්‍රථිඵලය වූයේ එම නිළධරයා සිය දිවි නසා ගැනීමය. එම සිද්ධියන් කලකට පසු පෙර කී තරුණිය විසින් පාපොච්ඡාරණයක යෙදුනේ එම මහතා වෙතින් එවන් නොකට යුත්තක් කිසිදා සිදු නොවූ බවත් තමාව කෙලෙසුවේ තම මවගේ දෙවැනි ස්වාමි පුරුෂයා විසින් බවත්ය!

ෆේස් බුක්, බ්ලොග් වැනි මේ සියළු ලියන්නන් හට කුස්සියේ පලා ලියනවාට හෝ පට්ටලයේ දමා බුෂ් එකක ලියවනවාට වඩා සුවිශේෂී වගකීමක් ඇත්තේ එබැවිනි.

එක් බ්ලොග් පකීර් කෙනෙකු දිනක් මා සමග පැවසූවේ "මචං බ්ලොග් ලියන එවුන්ට හිතට එන ඕන දෙයක් ලියන්නට පුළුවන් වෙන්න ඕනෑ!" කියාය. ඊට ඌණ පූරණයක් ලෙස ඔහු පැවසූවේ "උඹ ලියන්නට ගියාම ඕනෑවට වඩා හිතනවා!!" කියාය.
සත්තකින්ම මා ලියන හැම වචනයකම ඉස්පිල්ලකම පාපිල්ලකම වගකීම මා දරමි. එසේම "නොසිතා ලියන ආකාරය" මා තවම ඉගෙන ගෙන නැත්තේය.

ගෙදර පිළිකණ්නේ වම්බොටු ගහේ හැදුනු වම්බොටු ගෙඩියක් දුටු විට තමාට හිතෙන ඕනෑම කුණුහරුපයක් ලියා දමන්නට හැකි වුවද සමාජමය වශයෙන් හෝ කිසියම් පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වයට හානි දායක වන දේ ලිවීමේදී යන්තම් හෝ හිතනවා නම් එයින් සිදුවන හානිදායක බව තරමක හෝ තුනී වීමක් වනු ඇත.

ඇන් ඇක්සිඩන්ට් අතර මෙරට මීඩියා, මල්ටි මීඩියා හා ෆ්‍රී මීඩියා පොරවල් හට මේ දිනවල ලියන්නට පුවතක් සපයන්නට දිමුත් කරුණාරත්න ඊයේ පෙරේදා සමත් විය.

 ඒ දෙකක් දාගෙන තම රක්ත වර්ණ රෙන්ජ් රෝවරය; බජාජ් ත්‍රීවීලරයක හොම්බ කට සමතලා වන්නට පතබෑමෙන්ය. 

ඒ මොඩයාගේ දවසේය.

 පසුදින මෙම සිදුවීමට විශාල ප්‍රචාරයක් ලබා දීමට මීඩියා අයියලා කටයුතු කලෝය. පසු දින වන විට ත්‍රී වීලරයේ අයිති කරු හට අළුතින් ත්‍රීවීලරයක් ලබා දීමට දිමුත් පොරොන්දුවූ අතර අප්‍රෙල් 8 වෙනිදා වන විට ත්‍රී වීලරය පීඩාවට පත් පාර්ශ්වය වෙත ලබාදීමට ක්‍රීඩකයා කටයුතු කලේ පන්දුව නිදැල්ලේ යාමට ඉඩ නොදීය. 


මෙම සිද්ධියට සෘජුව මැදිහත් වූයේ ඔහුගේ පියාය. මෙයට අමතරව ත්‍රී වීල් රියැදුරා වෙත සැළකිය යුතු මුදලක්ද ලභා දී ඇත. 

එහෙත් අප්‍රේල් 11 වනදා වනවිට ත්‍රී වීල් රියැදුරා විසින් ෆේස් බුක් පිටුවකට ලියා ඇත්තේ දිමුත්ගේ අළුගෝසු ස්වභාවය පිළිබඳවය.

 දිමුත්ගේ බීමත්ව රිය ධාවනය වසාලීමට ඔහුගේ ජනප්‍රිය තාවයට හෝ ක්‍රීඩාශීලීත්වයට නොහැක. මෙයට කලකට පෙර මොහාන් සමරණායක ජනප්‍රිය මාධ්‍ය වේදියා විසින් පැවසූ ආකාරයට ඔබ කෙතරම් උස් පුද්ගලයෙකු වුවද නීතිය ඇත්තේ ඔබට ඉහලින්ය!

දිමුත්හට හා සමස්ථ බීමත් රියැදුරණ් හට පාඩමක් ඉගැන්වීමට නම් කල යුතුව තිබුනේ දිමුත් විසින් ලබා දීමට යෝජනා කල රෝද තුන "උඹම තියා ගනිං!" කියා ගේමට බැසීමය. අනෙක් අතට දිමුත්ට කල හැකිව තිබුනේ කුමක්ද?

1. නොබී සිටීම.
2.බීමෙන් පසු ධාවනයේ නොයෙදීම.
3. සැළකිල්ලෙන් ධාවනය කිරීම.
4.අනතුර වූ පසු හැකි උපරිමයෙන් සාධාරණව කටයුතු කිරීම.

1,2,3 කාරණා සියල්ල මේවන විට අතහැරී හමාරය. ඉතිරිව ඇති එකම කාරණය දිමුත් වෙතින් ඉටුවී ඇත. 

එහෙත් ත්‍රීවීල් රියැදුරා හට ඉටු විය යුතු අනෙක් කාරණය වන්නේ දිමුත් හට ස්වකීය ක්‍රීඩාශීලීත්වය වෙනුවෙන් ලැබීමට උචිත නායකත්වයට අභියෝග කිරීමටද කියා විටෙක මට සිතේ.
 කොස් ඇට බෑමෙන් බළලාට වන සෙතක් නොමැත. තළන කැකුණ වළින් ඌරණ් හට ලැබෙන දෙයක් නොමැත. ඒවාට වග කියන්නේ අහක ඉන්නා හබන් කුකුළන්ය.

මාගේ පොත් රාක්කයේ ඇති " විප්ලවයේ නාට්‍ය කරු - මෙයර් හොල්ඩ්" පොතේ ඉහලින් මීට වසර ගනනාවක ලියා තැබූ වැකියකි.

එය කලකට පෙර මිය ගිය පී ඒ ලීලාරත්නයන්ගේ සුප්‍රකට චිත්‍ර කතාවක වූ "ස්පාටකස්" හී තේමා පාඨය සේ යාන්තම් මට මතකය. 

එය මෙසේය.

"නොමිනිස්කමේ සෙළුව පාවාදීමේ සළුවෙන් වසාලිය නොහේ . . "

Monday, February 25, 2019

127. බිග් මැච් . . . .!


බෝල ඇල්ලිල්ලකට එහා ගිය ක්‍රිකට්

පාඨක පාඨිකාවන් තල් අරණට යන්න බලා සිටින මොහොතක "ඒක තමයි මේක" කියමින් වෙනත් වෙනත් දේ ලිවීම ගැන මල පැන බලා සිටිනා බව දැන දැනත් මේ පෝස්ට් එක කල් ගියහොත් මෙය තවත් "දෙසැම්බරයේ පවත්වන "බක් මහ සැණකෙළියක්" බවට පත්වීම නොවැලැක්  විය හැකි වන නිසා මේ කයිවාරුව අදම ගසමු!

මේ ලියන මම දැන් වසර ගනනාවකින්ම බිග් මැච් එකක් බලා නොමැත. විවිධ විවිධ බාදක මතුවී මොන යම් හේතුවක් නිසා හෝ එය වැලැක් වී ගියේය. 
වෙන දා මෙන්ම "මොරේ" ද "බිත්තරේ" ද "උඹ එනවා නේදැයි ? "කියා  අසද්දී ගෙදර කරෝල මුට්ටියට බැස නෝනා එන විට පස්සා දොරෙන් මාරුවී යන හොර බළල් තඩියා සේ මා ද 
"එන්න තමයි හිතාන ඉන්නේ!" කියමින්; 
බුදුන් දවස මහා භාරතයේ ඉටි ෂඩ් සාස්තෲන් ගෙන් කෙනෙකු වන සංජය බෙල්ලට්ඨි පුත්ථගේ අමරා වික්ඛේප වාදයට අනුව ආඳා වාගේ සුරූස් ගා මරු වෙන්නට තැනූවද බිත්තරේ කීවේ "ඔය කියන විදියට උඹ මේ පාරත් එන්නේ නෑ වගේ!" කියාය.



"මේ ඉන්නේ හනුමා!"
" එතකොට එයා අතේ තියා ගෙන ඉන්නේ මොකක්ද?"


Thursday, February 21, 2019

126. පළමු ටෙස්ට් නායකයා බිහි වූ හැටි . . .!

මාර්තු 2-3  යෙදී ඇති 90 වැනි ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමය වෙනුවෙනි !
   නාලන්දාව !
            
නාලන්දාව !

වර්ෂය 1965 විය ~

ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ බඳු වූ විද්‍යාලයයන් ගෙන් එකක් වූ නාලන්දාව පිහිටුවා ඒ වන විටත් දශක හතරකට ආසන්න කාලයක් එළඹ තිබුනි. කුමණ හෝ දුර්භාග්‍ය සම්පන්න  හේතූන් මත නාලන්දාවේ ගුරුවරුණ් අතර මේ කියන කාලය වන විට කිසියම් ආකාරයක කල්ලි වාදී ස්වරූපයක් නිර්මාණය වී තිබුනි. විදුහල්පති වරයා කුමණ තරාතිරමේ කෙනෙකු වුවද පාසලේ නිල නොලත් පාලකයින් වූයේ මෙම අත ලොස්සක් වූ කල්ලියයි.  පාසලේ පරිපාලනය, අධ්‍යාපනය, ක්‍රීඩා පමනක් නොව ක්‍රීඩා කණ්ඩායම් තේරීම් පවා එවකට සිදුවී ඇත්තේ මෙම අතලොස්සක් වූ කල්ලියේ අභිමතාර්ථයන්ට අනුව බව පැවසේ. මෙය එවකට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසක් විය. මෙනිසාම මෙම පාසලට හිමි විශිෂ්ඨ ශ්‍රේණියේ විදුහල්පතිධූර පුරප්පාඩුව බොහෝ විට හිස්ව පැවතුනි.මන්ද විදුහල්පතිවරුනට තම අභිමතය පරිදි පරිපාලනය කරගෙන යෑමට; මෙම කල්ලියෙන් ඇති කරණ ඝර්ෂනය හේතුකොටගෙන විදුහල්පතින්වරුණ්  නාලන්දාවට පැමිණීමට තිබුනු අනියත බියය!

තම සිප් කිරි බී වැඩුනු දරුවන්ගෙ රුහිරු  ජාතියට දායාද කල වග !
රණ විරු ස්මාරකය 


මෙම තත්වය අධ්යාපන දෙපාර්තමේන්තුවට පවා රහසක් නොවීය. මෙම තත්වය මග අරවා ගැනීම  සඳහා කාර්‍යශූර, එමෙන්ම නිර්භීත විදුහල්පතිවරයෙකු පත්කර යැවීමට දෙපාර්තමේන්තු බලධරයින් තීරණය කල අතර එවකට දිවයිනේ සිටි තරුණ ජවයකින් යුත් විදුහල්පතිවරුණ් කිහිපදෙනෙකු ප්‍රධාන කාර්‍යාලයට කැඳවා මෙම අභියෝගය ඉදිරිපත් කලහ. එහෙත් මෙම අභියෝගය බාරගත්තේ ගුණපාල වික්‍රමරත්න නමැති ධෛර්ය සම්පන්න මිනිසා පමණි. මීට කෙටි කලකට පෙර අප අතරිණ් වියෝවූ එම අයෝමය මිනිසා නොසිටින්නට නාලන්දාව වැසීගොස් හෝ පාසැල් දෙකකට කැඩී ගොස් බොහෝ කලකි.

ගුණපාල වික්‍රමරත්න නමැති ධෛර්ය සම්පන්න මිනිසා

මෙම විදුහල්පතිවරයාට තම කාර්‍යය සාර්ථකව ඉටුකරගෙන යාම සඳහා කිසියම් අස්වැසිල්ලක් ලබාදෙනුවස්; දෙපාර්තමේන්තු බලධරයින් විසින් පාසලේ මුළු මහත් කාර්‍යය මණ්ඩලයම ඉවත්කොට අළුතින් ගුරු මණ්ඩලයක් පත්කර දීමට තීරණය කොට තිබුනි. එහෙත් එම තීරණය අනුමත නොකල වික්‍රමරත්නයෝ කිසිදු ගුරුවරයෙකු හෝ සේවකයෙකු ඉවත් නොකිරීමට දෙපාර්තමේන්තු නිළධරයින් එකඟ කරවා ගෙන සටනට බටහ! 



ෆොන්සේකා මහතා හමුදාවේ සිටි පමණින් දිනූ යුද්ධයක් නොමැත. ඔහු විශ්‍රාම ගැනීමට ගියේ එම පසුතැවීම සමගය. එසේම ඝොඨාභය මහතා හමුදාවේ සිටි කාලය තුල දිනූ යුද්ධයක්ද නොමැත. ඔහු හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් මෙරටින්ද ඈත්වන්නේ එම පසු තැවීම සමග විය යුතුය. එහෙත්  ඝෝඨාභය ආරක්ෂක ලේකම් වූ සැනින් විශ්‍රාම සයිකලයේ පෙඩලයට කකුල තබා සිටි ෆොන්සේකාව නවතා ගත්තේය. මේ දෙදෙනාගේම සුසංයෝගය එල්ටීටීය බිමහෙලන්නට සමත්විය. මේ සංග්‍රාම භූමියේ හැටිය!

සටනකදී ඕනෑම සෙන්පතියෙකු ක්‍රියා කරණ ආකාරයට වික්‍රමරත්න මහතාද පලමුව කලේ; පිළිමළුන්ගේ එඩි බලය මැණිය හැකි,මැඩිය හැකි, මැකිය හැකි දෙවැනි පෙල පෙරමුණක් සාදා සන්නාහ සන්නද්ධ වීමය.  එවකට නෙල්සන් මෙන්ඩිස් මහතා සේවය කලේ අම්බලන්ගොඩ ධර්මාශෝකයේය. කොටින්ම තම ගමේ පාසලේය. ඒවන විට වයස 12න් පහල සිට ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක් පෙලගස්වමින් සිටි මෙන්ඩිස් මහතාට; ඔහුගේ ගුරු තුමෙකුද වූ මේජර් කේ. ටී. එස්. ද සිල්වා මහතා වෙතින් තැපැල් පතක් ලැබුනේය. එවකට එතුමා එනම් සිල්වා මහතා ආනන්දයේ සේවය කල අතර අප මේ වන විට දන්නා හඳුනන; නාලන්දාවේ; ගුණපාල වික්‍රමරත්නයන් ගේ අවශ්‍යතාවයක් එම තැපැල් පතේ පෙල ගස්වා තිබුනි. එනම් ඒවන විට නාලන්දාවේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ආචාර්‍යය ධූරය හා කෙඩෙට් කණ්ඩායම භාර නිළධාරි තනතුර පුරප්පාඩුවී ඇති අතර මෙන්ඩිස් මහතා කැමති වේ නම් එම තනතුරු භාර ගැනීමට හැකි බවත්ය. 

තණ නිල්ල මැද තණ තිල්ල

මෙජර් සිල්වා මහතාගේ ඉල්ලීම; මෙන්ඩිස් මහතාහට එක එල්ලේ ඉවත දැමිය හැකි එකක් නොවීය.එසේම දැනට බිජුවට වපුරා ඇති ධර්මාශෝක කෙත දමා යන්නටද  කිසිදු ලෙසකින් හිත හදා ගන්නට නොහැක! මෙසේ දෙලොවක් අතර සිටි මෙන්ඩිස් පහතා හට තම දෙමව්පියන් ලබාදුන් උපදෙස වූයේ; රටේ එවකටද නමක් දිනා ගත් නාලන්දාව වෙත සිය සේවය ලබාදීමෙන් තමන්ගේ අනාගතයද වඩාත් ආලෝකමත්වීමේ වැඩි ඉඩකඩක් ඇති බවය.

ඒ කාලෙ කොහොම ඉන්න ඇත්ද?  
දෙමටගොඩ සංඝදාස මුදලාලිගේ පුතාට වත් අඹරුණේ නැති 
අඩු වැඩි නැති - අවුන්ස දාසයේ ඔරිජිනල් රාත්තල !
මෙන්ඩිස් සර්!

එවකට 23 වැනි වියේ; බද්‍ර යෞවනයේ සිටි නෙල්සන් මෙන්ඩිස් මහතා 1965 වසරේ සැප්තැම්බර් පලමු වැනිදා නාලන්දාවේඅ වැඩ භාර ගත්තේය!
ගුණපාල වික්‍රමරත්න මහතාගේ පලමු අව්ශ්‍යතාවය වූයේ අවුරුදු 12 න් පහල කණ්ඩායම පිළිසකර කර ප්‍රථිසංවිධානය කොට ප්‍රථිෂ්ඨාපනය කිරීමය. නෙල්සන් මෙන්ඩිස් මහතා වැඩේට අත ගැසුවේය.පලමුව කණ්ඩායම් සංචිතය මුණගැසුනේය. ඒවන විටද එම කණ්ඩායමට නායකයෙකු පත්කර තිබුනි. එහෙත් එම කුඩා දරුවාගේ ඊට කැමැත්තක් නොවීය. ඔහු තුල නායකත්වය දැරීමට ඇවැසි විශ්වසනීයත්වයක් නොපැවතෙන්නට ඇති. එනිසාම ඔහු මෙන්ඩිස් මහතා වෙත පැමින; තමාට කණ්ඩායම මෙහෙය වීමේ වගකීම දැරීමට අපහසුබව මෙන්ඩිස් මහතා පුදුමයට පත්කරවමින් කීය.

ඒ වන විටද කණ්ඩායම තුල සිටි පුංචි කොළුවෙකු මෙන්ඩිස් මහතාගේ සිත පැහැර ගැනීමට සමත්වී සිටියේය.  එහෙත් ඔහුව එකවරම නායකත්වයට පත් නොකොට මුළු සංචිතයම කණ්ඩායම් දෙකකට වෙන් කොට එක් කණ්ඩායමකට නායකත්වය  වෙනත් දරුවෙකු වෙත පවරා අනෙක් කණ්ඩායම පෙරකී පුංචි කොළුවා වෙතට යොමු කොට ක්‍රිකට් තරගයක් පැවැත්වීය. එම තරගය අවසන් වූයේ එම පුංචි කොළුවා නායකත්වයේ හිඳුවාලමිනි. ඔහු ඉතා කෙටි කලකදී සියල්ලන් පරයමින් නැගී සිටිමින් විය. තවත් කලක් ගතවෙත්ම පාසලේ 14න් පහල කණ්ඩායමද මෙහෙය වීය. එවකට පාසැල් වල 16න් පහල කණ්ඩායමක්ද විය. 14න් පහල කණ්ඩායම කොට කලිසම් සමග ක්‍රීඩා කල අතර 16න් පහල කණ්ඩායම් සාමාජිකයින් ක්‍රීඩා කලේ දිග කලිසමකින් සැරසීමෙන්ය.  එක් දිනක් තමන්ගේ කොට කලිසමින් සැරසී 14න් පහල කණ්ඩායම මෙහෙයවන මෙම දරුවා තවත් දිනෙක; පාසැලේ නිවස්නයේ තම මිතුරෙකුගෙන් ඉල්ලාගත් දිගු කලිසමකින් සැරසී 16න් පහල කණ්ඩායම සමග පිටියට බසී!

එවකට පාසැලේ පළමු පෙළ කණ්ඩායම භාරව සිටියේ ජෙරී ගුණරත්න නමැති නම් දැරූ පුහුණු කරුය. දිනක් සන්ධ්‍යාවේ  ක්‍රීඩා පිටියට පැමිණි මෙන්ඩිස් මහතා දුටුවේ ජෙරී ගුණරත්න මහතා කිසියම් කරුණක් පිළිබඳව දැඩි කල්පණාවක සිටින බවය. ඔහුවෙත ගිය මෙන්ඩිස් මහතා හට දැන ගන්නට ලබුනේ පලමු පෙල කණ්ඩායමේ නායක හා ආරම්භක පිතිකරු තදින් රෝගාතුර වීම නිසා පසුදින මොරටුවේ වේල්ස් කුමර විදුහල සමග පැවැත්වීමට නියමිතව ඇති තරගය සඳහා ආරම්භක පිතිකරුවෙකු නොමැති බවය. මාගේ මතකය නිවැරදිනම් එකල පාසලේ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම 19න් පහල නොව 21 න් පහල කණ්ඩයමය!   (සදොස් නම් නිදොස්කරණු මැන!) 
 එයට පිළිතුරු ලෙස මෙන්ඩිස් මහතා; ජෙරී ගුණරත්න මහතා හට   පැවසුවේ  තමාහට ආරම්භක පිතිකරුවෙකු ලබා දිය හැකි බවය! එම පිළිතුරෙණ් ජෙරී ගුණරත්න මහතා විෂිප්ත විය. මන්ද එවකටද මෙන්ඩිස් මහතා හට භාරව තිබුනේ 14න් පහල කණ්ඩායම හා 16න් පහල කණ්ඩායම පමණක් වීම කරණකොට ගෙනය!

අපගේ පුංචි වීරයා එයට දින කිහිපයකට පෙර මහනුවර සිල්වෙස්ටර් විදුහලට එදිරිව 14න් පහල තරගයකදී ශතකයක් රැස් කරගෙන සිටි අතර එදින තම පුහුණුවීම අවසන් කොට අත් වැසුම් හා පා ආවරණ ඉවත් කොට සිටියේය. මෙන්ඩිස් මහතාගේ කැඳවීමට අනුව ඔහු නැවතත් පිතිකරණයට සූදානම්ව පිටිය මැදට පැමිණියේය. ඒවන විට පසුදින තරගය සඳහා පළමු පෙල කණ්ඩායම පුහුණුවීම වල නිරත වෙමින් සිටියෝය.පිටිය මැදට පැමිනි අපගේ වීරයා නොබියව හා ඉතා සැලකිල්ලෙන් යුතුව "අයියලාගේ" පන්දුවලට මුහුණ දුන්නේය.ඔහුගේ බුහුටි ක්‍රීඩා විලාශය දුටු ජෙරී ගුණරත්නයන් කොළුවා පසෙකට කඳවා; තමා වේග පන්දුවලට බය දැයි විමසීය. කොළුවා හිස දෙපසට වනා එය ප්‍රථික්ෂේප කලේය. ජෙරී ගුණරත්නයන්ගේ ඊළඟ පැනය එල්ල වූයේ මෙන්ඩිස් මහතා වෙතය.

"මෙච්චර කාලයක් මේ ලමයා කොහේද හිටියේ . . ?"

ජෙරී ගුණරත්න මහතා විසින්ද පන්දු කිහිපයක් ඔහු වෙත යොමු කොට පසුදින තරගය සඳහා කොළුවාව කණ්ඩායමට ඇතුළු කර ගත්තේය!

පළමු දින එළැඹුනි. තරගය ඇරඹුනි! තරගය නිමාවන විට නාලන්දාවේ ආරම්ඹක පිතිකරු ගේ නම ඉදිරියෙ ශතකයක් සටහන් කර තැබීමට මෙම වයස අවුරුදු 14 පුංචි කොළුවා සමත් විය!

එදින මොරටුව වේල්ස් කුමර පිටිය වර්ණවත් කලේ අන් කිසිවෙකුත් නොව බන්ධුල වර්ණපුරය!

අයියලා කොර කල  කල !

 අදමෙන් ආරක්ෂක හිස්වැසුම් නොතිබූ එවන් යුගයක වයස අවුරුදු 14 දී පාසලේ පළමු පෙල කණ්ඩායම නියෝජනය කලේය.  තවත් අහක ගිය ක්‍රීඩකයෙකු වන්නට ගිය  වර්ණපුර හඳුනාගත් නෙල්සන් මෙන්ඩිස් මහතා එතැනින්  ඉදිරියට කතාව මා ඉදිරියේ; CCC ක්‍රීඩා පිටියේදී මීට වසර 15 කට පමණ පෙර පැවසූ අයුරු මෙසේය.

"මේ වෙලාවේ මට මතක් වෙන තවත් දෙයක් තියෙනවා. ඒ; ඒකාලෙ ස්පෙශලිස්ට් කෙනෙක් වුනු ඩොක්ටර් ෆර්නෑන්ඩු ආවා දවසක් මාව හම්බෙන්න. ඒ වර්ණපුරගේ තාත්තා. බන්ධු; වර්ණපුර උනේ අම්මගේ නමින්. බන්ධුගේ අයියා සරත් ෆර්නෑන්ඩු ෆොරෙස්ට් ඩිපාර්ට්මන්ට් එකේ වැඩකලේ.
මේ තත්තා මාව හම්බෙන්න ආවෙ බන්ධුලව අන්ඩර් ටුවෙල්ව් ටීම් එකට සිලෙක්ට් කරගත්තු කාලෙමයි.ඩොක්ටර් ඇවිත් තියෙන්නේ; අවුරුදු දෙකක්ම ප්‍රැක්ටිසස් ආවත් ටීම් එකට සිලෙක්ට් කරගත්තු නැති එයාගෙ පුතාව නාලන්දෙන් අස් කරගෙන ගිහින් සෙන් පීටර්ස් එකට දාන්න්! නමුත් ඔය කාලෙ සෙන් පීටර්ස් එකට බෞද්ධ ලමයින්ව ගන්නෙ නැති හින්දා බන්ධුල නාලන්දෙම රැඳුනා.ඊළඟට බන්ධුලගේ තාත්තා කරල තියෙන්නේ ආනන්දෙට ගිහින් බන්ධුලව ආනන්දෙට දාන්න ට්‍රයි කරලා. මොකද බන්ධුගේ අයියා ඒ වෙන කොටත් හිටියෙ ආනන්දෙ. ඒත් ආනන්දෙ ප්‍රින්සිපල් කැමති වෙලා නෑ නාලන්දෙ ලමයෙක්ව; නාලන්දෙ ප්‍රින්සිපල්ට - මිස්ටර් වික්‍රමරත්නට නොකියා ගන්න. "

කෙසේ වෙතත් බන්ධුල වර්ණපුරගේ පියා තම දරුවාව තමාට ඇවැසි පාසල වෙත යොමුකර ගැනීමට නොහැකිවී අවාසනාවන්ත තත්වයකට මුහුණ දුන්නද; නාලන්දය ඊට දශක දෙකකට පසු ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් නායකයා තම කුසින් බිහිකිරීමට වාසනා වන්ත විය. වඩාත් වැදගත් ප්‍රශ්න දෙකකි. ඉන් පලමු වැන්න ජෙරී ගුණරත්නයන්; බන්ධුලගේ ක්‍රීඩා කෞෂල්‍යය හඳුනාගත් දිනයේ මෙන්ඩිස් මහතාගෙන් විමසූ පැනයය.
"මෙච්චර කාලයක් මේ ලමයා කොහෙද හිටියේ . . . ?"
වසර දෙකකට අධික කාලයක් මෙම දරුවා බංකුවේ වාඩිකර තැබීමේ ගෞරවය හිමිවන්නේ ඊට කලකට පෙර නාලන්දාවට අරක්ගෙන තිබුනු කල්ලියය!



අද මෙන් දන්නා දෙයයි නොදන්නා දෙයයි සියල්ල ගැන කියවන්නට නොගොස් 
දන්නා කිරිකැට් කිරීඩාව පමනක් කල කාලේ!


ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්වය හිමිවන්නේ කිම් හියුස්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙරටට පැමින බන්ධුගේ කණ්ඩායමෙන් මදි නොකියන්න වළඳා ආපසු ගම් බිම් බලා යෑම සමගය. එවකට ක්‍රීඩා විචාරකයෙකු පුවත් පතකට ලියා තිබූ වදන් මට අද මෙන්ම මතකය. එය මෙසේය:  "බන්ධුල වර්ණපුර නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කරමින් ලබා ගත් ශතකයෙන්   එතෙක් ශ්‍රී ලංකාවට වැසී තිබුනු ටෙස්ට් දොරටුව දෙදරවා ලීමට සමත් විය!" (මෙම තරගයේදී බන්ධුල වර්ණපුර ලකුණු 107 ක් වාර්ථා කලේය.)

දෙවැනි ප්‍රශ්නය:
එය කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථම නායකයා සැපයීමේ ගෞර්වය හිමිවිය යුත්තේ
1. එවකට නාලන්දාවේ සිටි අගතිගාමී කල්ලිය වෙතය.
2. නව විදුහල් පතිවරයෙකු පත් කල අධ්යාපන බලධරයන් වෙතය.
3. අභීත නායකත්වයක් විදුහලට සැපයූ ගුණපාල වික්‍රමරත්නයන් වෙතය.
4. නාලන්දාවේ පුරප්පාඩුව පිළිබඳව මෙන්ඩිස් මහතාට දැන්වූ සිල්වා මහතා වෙතය.
5. නාලන්දාවට පමිණෙන ලෙස අවවාද දුන් මෙන්ඩිස් දෙමාපියන් වෙතය.
6. බන්ධුලව පලමුව හඳුනාගත් නෙල්සන් මෙන්ඩිස් මහතා වෙතය.
7. බන්ධුලව පළමු පෙල කණ්ඩායමට ඇතුලත් කර ගත් ජෙරී ගුනරත්න මහතා වෙතය.
8. එවකට සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධරයින් වෙතය.

මෙයට පිළිතුරු සැපයීමට ඇති ව්‍යාකූලත්වය සේම අලකලංචියකට; යුද්ධය ඉවර කලේ කවුරුන්ද කියන පැනයට පිළිතුරු සෙවීමේදීද පත්වනවානම් මෙරට කෙතරම් සොඳුරු වේද?



මුල් කාලයේ තිබූ දහසකුත් එකක් අභියෝග මැද 
ගලක් වන්ව . !


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...