"හොඳ හිතිං ගැලවියං ආයෙ මං නරක ගෑනි කියන්න එපා . . !"
පළමු ලිපියෙන්; එන්ජිමක් බොයිල් වුවහොත් ගොඩ දාගන්නා ආකාරය හැකි උපරිමයෙන් හා ඊටත් ටික වෙන්න වැඩියෙන් ලිව්වෙමි.
එය තරමක් හෝ ඵලදායි එකක් වන්නට ඇතයි මා සිතා සතුටු වෙමි.
අද එතැන් සිට . . . . . . !
අපේ රටේ සාමාන්‍ය; අපි වගේ මනුස්සයෙකුට නිකං වාහනයක් ලබුනත් ඊට අළුත් ටයර් කුට්ටම් දෙකක් දාගන්න එක සෙල්ලං වැඩක් නොවෙයි. ඊට ආසන්නතම හේතුව වන්නේ ටයර් ඒ තරම්ම ලාභදායි දෙයක් වී ඇති නිසාය!
එනිසාම පරණ නැතහොත් පාවිච්චි කල ටයර් වලට මේ දිනවල තියෙන්නේ සුපිරිම ඉල්ලුමක්. මේ නිසාම ටයර් කඩේකට අළුතින් ටයර් දාගන්න ගියාම මහත්වරු පලවෙනියෙම්ම කඩේ එකා එක්ක ගිවිසා ගන්න දෙයක් තමයි
"මගේ මේ තියෙන ටයර් හතරට කීයක් දෙනවාද? " කියන එක!
අනේ අපරාදෙ කියන්න බෑ අපි නම් ටයර් කඩවල මුදලාළිලාට ඔය ඕන නැති ප්‍රෙහෙළිකා ඉදිරි පත් කොරණ්නට යන්නේ නැත! මන්ද අපි ගලවන ටයර් එකක් පස් පුරවා නයි කොච්චි පැලයක් වත් හිටවන්නට තරම් සුදුසු තත්වයක් නොතිබෙන බැවිනි.
පරණ ටයර් හතර ගලවන සැණින් අපේ වාහන වලටම උන් පටවති. මන්ද අප ඒවා දමා ගියහොත් මදුරුවන්ට පුච්චනවා හැරෙණ්නට වෙන කල යුතු දෙයක් නොවනා බවින්ය.
එහෙන් මෙහෙන් කතාව දිගේම ගියා!
කොහොමින් කොහොම හරි අළුත්ම ටයර් හතරක් දාගත්තත් ඒවා ඊළඟ කිලෝමීටරයේදී කම්බි ඇනයක ආනුභාවෙන් හුළං ගොස් අභාවප්‍රාප්ත නොවෙයි කියා; මට තබා; මහින්ද රාජපක්ෂ උන්නැහේට ඡන්දෙට; කිරි ගහට ඇන්නහෙ ටක්කෙටම දින දුන්; සුමනදාස අබේගුණවර්ධණ ලොක්කාටවත් කිව නොහැක!
කොටින්ම ටයරුත් ජීවිතයත් එක වගේය. "ටයරුත් තණ අග පිණි බිඳු වැන්නේ" කියා එදා නොකියන්නට ඇත්තේ ලෝ වැඩ සඟරාව ලියන කාලය වන විට ඩන්ලොප් විසින් ටයරය හොයාගෙන නොතිබූ නිසා වියයුතුය!
මේ නිසාම ඕණෑම අළුත් පරණ, උගත් නූගත්, දුප්පත් පෝසත්,බාල මහළු, කිසිදු බේදයකින් තොරව; තමන්ගේ ඉදිරි ගමන; ඇණයක් නිසා ඇන හිටින්නට පුළුවන. සමාජ සාධාරණය සමානාත්මතාවය පවතින සමාජය තුල දක්නට ලැබෙන තවත් එක් දුර්ලභ අවස්ථාවක් ලෙස වාහනයේ හුළං බැසීම පෙන්වා දිය හැක.
එය තවත් එක් නියාම ධර්මයකි!
මේ කෙසේ වෙතත් ටයර් එකක් හුළං ගිය සැනින් ඊළඟට හුළං බහින්නේ ඒක පදවාගෙන යන මහත්තයාගේ හෝ නෝනාගේය.
ඊට පලමු කාරණය ටයර් එකක් මාරු කිරීමේදී පිළි පැදිය යුතු කරුනු කාරණා ගැන ඉගෙන දැන ගන්නට බොහෝ දැන උගත් මහත්වරුණට කලක් වේලාවක් නැති කමය!
එම නිසාම පොඩි කාලයක් යොදවා; අපි වාගේ ජීවිතෙන් භාගයක් යකඩ එක්ක හිටිය; එක ගමනට හතර පස් වතාවෙ එකම වාහනේ ටයර් මාරු කල පුණ්‍යවන්ත අතින් ලියැවුණු "ටයර් මාරු කිරීමේ කලාව" මෙතැන් සිට කියවාගෙන යන්න තරහ අවසර!
අපි ළඟ නවන්නේ නැතිව දුරින්ම අල්ලලා කතා කරමු. කොහොමත් එක ළඟ නැවීම ටයර් වල ආයු කාලයට එතරම් සුභවාදී නොවේ !
"ජික්කි"; "පහාත් තැනින් යයි ගලා ජලේ . .//" කීවාසේ ඇත්තටම වාහනයක මොනතරම් කොටස් තිබුනත් පොලොවේ ගෑවෙන්නේ ටයර පමණි.
වාහනයකට ටයර මොන එහෙකටද? (ඒක හරියට කොකා එක් කකුලක් නවං ඉන්නේ ඇයි කියලා ඇහුවාම " අයි බං දෙකම නැව්වොත් ඌ වැටෙනවානේ" කිව්වා හා සමානය)
නමුත් ටයරය තියෙන්නේ වාහනේ කෙලිං කටිං තියාන ඉන්නම නොවේය. මේ අපි වගේ මාසෙට දවසක් දෙකක් වත් ටයර නැතිව රිම් එකෙං ගියානම් ටයරයේ අගය දැනෙණු ඇත. ටයරය කම්පන පරිමන්දකයක් හෙවත් තේරෙණ හිංගලෙං කියනවා නම් ෂොකැබ්සෝබරයක් ලෙස ක්‍රියා කරයි. එසේම මාර්ඝය මතුපිට අවශ්‍ය ඝර්ෂණය ඇති කරවන්නේද ටයර විසින්මය.
ප්‍රධාන වශයෙන් ටයර් වර්ග දෙකක් භාවිතාවේ.
1. ක්‍රොස් ප්ල්යි - Bias Tyre
2. රේඩියල් - Radial Tyre
"ටයර් කිව්වාට ටයර් එකක්මත් නොවෙයි . . !"
රෙඩියල් ටයර වල සැකිල්ල නිර්මානය කොට ඇත්තේ සිහින් වානේ (Multi plies of steel cord) කම්බි වලිනි. එනිසාම ඒවා වටා ඇත්තේ තුනී රබර් ලේයරයකි.
සාපේක්ෂව නවීන මෝටර් රථ, SUV (Sports Utility Vehicle) රථ වෑන් සඳහා යොදා ගන්නේ රේඩියල් ටයරය. මෙයට ප්‍රධාන හේතුව වන්නේ එම ටයර වලින් අති කරණ සුව පහසුව, ස්ථායිතාව, ඉහල ඝර්ෂණය යන කරුණුය.
මේ කාලේ ක්‍රොස් ප්ලයි ටයර යොදා තමන්ගේ පෞද්ගලික වාහන දුවන එවුන් හොයා ගැනීම; බුදුන් දවස පටාචාරා අබ හෙව්වාටත් වඩා අතිශය දුර්ලභ කාරණාවක් වේ.
බස්, ලොරි, ට්‍රැක්ටර් වැනි බරවාහන හැරුණුවිට අන් සියළු වාහන පාවිච්චි කරන්නේ රේඩියල් ටයර ය.
කඩේකින් ටයර එකක් ගන්නට ගිය විට කඩේ උන් දෙන්නේ අපිට උවමණාම ටයර් එක නොවේය.
"215/80 R 15 නම් නෑ! 235/75 R 15 දෙන්නම් . වෙනසක් නෑ!!"
"@#$%^&*(&*&^%$ ..................??????"
" වෙනසක් නැතින ඉලක්කං දෙකක් ලිව්වේ මොන එහෙකටද?" කියා අහන්න හිතුනත් අප අහන්නේ නැත!
අපි අහන්නෙ
" ඔය දෙකින් වඩා උස මොකක්ද?නැතිනම් පලල මොකද්ද?"
කියන ප්‍රශ්ණ දෙකය!
ඇත්තටම මොකක්ද ඔය අංක සැට් එක?
මේ සෑම ඉලක්කමටම තේරුමක් ඇත . . . !
225 ලෙස යෙදෙන්නේ ටයරයේ පලල මිලී මීටර වලිනි.
75 වශයෙන් ඇත්තේ ප්රථිශතයක්ය. එනම් ටයරයේ පලලට සාපේක්ෂව උසය.
(75 = Height is 75% of width) මෙයට කියන්නේ Aspect Ratio කියාය.
මෙම අංකය කුඩා වන්නට වන්නට ටයරය වඩාත් පලලින් යුතුව දිස්වේ.
(The lower the number the wider the tire appears).
R යනු රේඩියල් යන්නය. ඉන් පසුව යෙදෙන්නේ රිම් එකේ විෂ්කම්භයය.
ඉහත 15 යනු රිම් සයිස් 15 යන්නය. එනම් විෂ්කම්භය අඟල් 15 ක් වන රිම් එකකි.මෙය අනිවාර්යයෙන්ම ගලවන ටයරයට (රිම් එකට) ගැලපෙන්නට තිබිය යුතුමය.
මං හිතන්නේ දැං තේරෙණ්න ඇති ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේ ඉන්තීරුවෙන්ම !
එතකොට ෆෝවීල් රථ පදවන්නන් අතර ප්‍රචලිත (30 X 9.50 X 15), (31 X 10.50 X 15), (32 X 11.50 X 15), (33 X 12.50 X 15) යන ටයර් සයිස් මොනවාද?
මේ අතුරිණ් වඩාත්ම ජනප්‍රිය ප්‍රමානයන් දෙක වන්නේ (31 X 10.50 X 15) හා (33 X 12.50 X 15) යන ටයරයන්ය.
මෙහි 31 යනු අඟල් 31 ක විෂ්කම්භයක් සහිත අඟල් 10.5 ක් පලලැති රිම් සයිස් 15 ටයරයකි.
තවත් ටයර් සයිස් එකක් එනවා බස් , ලොරි වල භාවිතා වන 7.50 X 16, 900 X 20, එතකොට 1000 X 20 වගේ. මේ මිම්ම ගැනෙන්නේ මෙහෙමයි. 7.50 යනු අඟල් 7 1/2 යම්මයි. මේ අනුව 9.00 යනු අඟල් 9 පලල ටයරයක්. 16 නැතිනම් 20 යනු රිම් එකේ විෂ්කම්භය අඟල් වලින්.
දැන් මේ වෙන කොට ටයර් කඩේ එකාගෙ සයිස් බලන්නේ නැතිව තමන්ගේ වාහනයට හරියන ටයර් සයිස් එක හොයා ගන්න පුළුවන් වෙයි කියා මා සිතමි.
මේ ළඟදි මූනු පොතේ එකෙක් සුපිරි පැණයක් අසා තිබුනි. එනම් "එක්ස්පයර් හෙවත් කල් ඉකුත් වූ වස බෝතලයක් බිව්වොත් කුමක් වෙයිද?" කියාය!
ඒ කෙසේ වෙතත් කල් ඉකුත්වූ ටයර් ගත්තොත් නම් වහ බොන්නට වෙනවා සිකුරුය!
ටයර් වලත් එහෙම එකක් තියේද?
කල් ඉකුත්වන දිනය කෙසේ වෙතත් නිෂ්පාදිත් දිනය නැතිනම් වකවානුව ගැන නම් සටහනක් ටයරය මත දක්වා තිබෙනවා. ටයර් කඩේ මුදලාළි කිව්වොත් "එහෙම එකක් නෑ!' කියලා මුදලාළිට කුදලා ගන්න කියා වෙනත් කඩේකට යන එක සෞඛ්‍යයට හිතකරය!
මෙච්චර රූප දැම්මේ කාඩ් කුට්ටමේ රූප කොලේ - නිකං කොලේ හොයා ගන්න දන්නැති අපේ මුදියාන්සෙලාට මේ අකුරු කිහිපය හොයා ගන්නට සපෝට් එකක් විදියටය. මෙහි අන්තිම ඉලක්කං දෙකෙන් උපන් වර්ෂයද මුල් ඉලක්කං දෙකෙන් සතියද දැක්වේ.
For tires manufactured in the year 2000 – present
The date of manufacture is the last four digits of the DOT code. The first two digits are the week of manufacture, and the last two digits are the year. For example, if the last four digits of the DOT code are 0203, that means that the tire was manufactured during the second week of the year 2003. Pretty simple, right? However…if your tires were made before 2000, it gets a bit more complicated.
දැං ඔබ තුමන්ලා අහන ඊළඟ ප්රශ්නය එක්කෝ "මේ දිනේ දැන ගෙන අති වැඩේ මොකක්ද ?" කියලා හෝ 2000 ට කලින් හදපු ඒවා ගන ලියැවෙන්නේ කෙසේද කියා වියයුතුය.
පලවෙනියෙන්ම කියන්න තියෙන්නේ නිශ්පාදිත දිනයේ සිට වසර 4 ක් ඇතුලත ටයර මිලදී ගන්නා ලෙසය. එසේම වසර 6 කට වඩා වයස ටයර මිලදී නොගන්නා ලෙසය!
(දැන් මං හිතන්නේ දෙවන ප්රශ්නය අහන්නට උව මනා නැතිව ඇති. ඒත් මම එයත් ලියන්නම්)
වසර 2000 ට පෙර ටයර වල ඇත්තේ මෙම උපන් සතිය දැක්වෙන අංකය ඉලක්කම් 4 ක් ලෙසට නොව 3 ක් ලෙසටය! ඒ ගැන ලියන්නට මා කාලය නොයෙදවමි!
මේ දිනවල ඔබ මිලදී ගතයුත්තේ ( _ _ 15) සිට ( _ _19) දක්වා ටයර පමණි.
හරි දැං අලුත් ටයර හතරකුත් දාගත්තා කියමුකෝ. ඒත් නමෝ විත්තියෙන් ගමනක් යන්නට පිටත් වී විනාඩි ගනනාවකින් අවම වශයෙන් එක් ටයරයක හෝ හුළං නොබසාවි යැයි කියන්නට හැක්කේ කාටද?
සුපිරියට ඇඳ පැළඳ ගෙන ගමනක් පිටත්වුනු සැනින් ටයරයක හුළං බැසීම තරම් සුන්දර අත් දැකීමක් තවත් නැති තරම්. දැන් මෙතැන් පටන් කියවා ගෙන යමු; නොනා එනම් නාන්නේ නැතිව ටයරය ගොඩ දා ගන්නා ආකාරය . . . !
1. වාහනය හැකි උපරිමයෙන් සමතලා බිමක නවතා ගන්න.
2. හෑන්ඩ් බ්රේක් හෙවත් පාකින් බ්රේක් යොදාගන්න. ගැලවීමට නියමිත රෝදයට විකර්ණව පිහිටි රෝදයට අඩයක් තබා නෙසෙල්වී නැවතී ඇති බව තහවුරු කරගන්න. මෙහිදී ඔබ නවතා ලීමට උත්සාහ කරණ්නේ ඉදිරිපස රෝදයක් නම අඩය ඊට ඉදිරියෙන්ද; පසුපස රෝදයක් නම් ඊට පසු පසින්ද තබන්න. මෙම අඩය සඳහා ගලක් හොඳින්ම සෑහේ!
මෝටර් රථයකට වඩා විශාල SUV රථයක් හෝ වෑන් රථයක් වැනි විශාල වාහනයකට නම් එකම රෝදයේ දෙපැත්තටම අඩ දෙකක් තිබීම යෝග්‍යය!
3. අමතර රෝදය ඉවතට ගෙන; අමතර ආරක්ෂාව උදෙසා එය වාහනය යටින් තබන්න.
සෑම විටකම ජැක් එකක් භාවිතා කරණ විට එය පිළිඹඳව සැක සහිතව කටයුතු කරණ්න. කිසි විටෙක පූර්ණ විශ්වාසයකින් යුතුව කටයුතු නොකරණ්න! ඔබ නොසිතන මොහොතක එය පෙරළී යාමට ඉඩ ඇත. අමතර රෝදය මොහොතකට හෝ රථය යටට දමන්නේ මෙනිසාය!
4. රෝදය බිම තිබියදීම රෝදයේ ඇන බුරුල් කර ගන්න. (කිසි විටෙක ගලවා ඉවතත් කර නොගන්න!)
රෝදය පොලොවෙන් ඉහලට එසවූ විට අධික ව්‍යවර්ථයකින් යුතුව තද කොට ඇති රෝද ඇන ගැලවීමට නොහැකි වනු ඇත.
5.ජැක් එක එලියට ගන්න! අද පවතින බොහෝ මෝටර් රථ සඳහා නිෂ්පාදකයින් වෙතින් සැපයෙන්නේ කතුරු ජැක්කුවක්ය (Scissor Jack) .
කතුරු ජැක්කුව (Scissor Jack)
මේ ඇත්තේ කතිර ජැක්කුවකි. මෙම ජැක්කුව නොහොත් ජැක් එක මාධ්‍යයේ ඇති ඉස්කුරුප්පුව කරකවන විට දෙපස එකතු වන්නට පටන් ගනී. ඒ සමගම ඉහල කෙළවර ඉහල නගින්නට පටන් ගනී. එසේ ජැක්කුව මගින් මෝටර් රියක් ඔසවා ඇති ආකාරය පහත රූපයේ දැක්වේ.
මෙච්චර සුපිරියට උස්සලා පෙන්නලා තියෙන්නේ හුළං තියෙන ටයර් එකක් බව . . !?
තවත් බොහෝ වාහන වල භාවිතා කරණ්නේ පහත පෙන්වා ඇති ආකාරයේ ජැක්කුවකි.
මෙය ක්‍රියා කරණ්නේ හයිඩ්රෝලික් හෙවත් ද්‍රවස්ථිති මූල ධර්මයන් උපයෝගී කරගෙන වක අතර එය වඩාත් පහසු හා කාර්යක්ෂම එකක් වේ. මෙම ජැක්කුව ක්‍රියා කරවණ ආකාරය පහත රූපයේ දක්වා ඇති අතර ජක්කුවේ පසෙක ඇති කුඩා ඇණය කර කැවීමෙන් පහත් කර ගත හැක. එහි ඉහල කොටස අතින් කර කවා ජැක්කුවේ ආරම්භක උස වැඩි කර ගැනීමට ඇති හැකියාව මෙහි අමතර වාසියකි.
වාහනයක රෝදයක් මාරුකිරීම සඳහා ජැක්කුව ක්‍රියාත්මක කලයුතු නො එසේනම් "ජැක් එක ගැසිය යුතු" ස්ථානය කුමක්ද?
මෝටර් රථයක ජැක්කුව ක්‍රියාත්මක කල යුතු ස්ථාන හතරක්; එක් පස කට දෙකක් සේ දක්වා ඇත.
වාහනයේ බඳේ යටි දාරය මත රූප පහත සටහන් වල දැක්වෙන පරිදි නිෂ්පාදිතයා විසින් දක්වා ඇත.
මෙම ස්ථාන වාහනය නිෂ්පාදනයේදී අපතර ලෙස සවිබල ගන්වා ඇත.
මෙසේ ඉහත රූප සටහන් දෙකෙහි දක්වා ඇති පරිදි බඳ හෙවත් බොඩියට ජැක් ගැසීමේදී පළමුව සිදුවන්නේ බොඩිය පමණක් ඉහලට එසවීමය.
එම නිසා රෝද ඉහලට එසවීම සඳහා ජැක්කුව බොහෝ කාලයක් ක්‍රියාත්මක කල යුතුවේ.
ඉහත රූපයේ පරිදි අප ජැක්කුවක් බොඩිය හෙවත් බඳට ගැසීමෙන් එසවීමට තැත්කරණ්නේ Sprung weight එකය.
Unsprung weight එක හෙවත් සස්පෙන්ශන් උපාංග හා රෝද එසවීමට පටන් ගැනෙන්නේ බොඩිය හෙවත් බඳ එහි හැකි උපරිමයට එසවීමෙන් පසුව කම්පන පරිමන්දක හෙවත් ෂොක් ඇබ්සෝබර් මගිනි!
මෙනිසා ජැක්කුව අන්ස්ප්රන්ග් වේට් එකට යටින් ක්‍රියාත්මක කල හොත් රිජිඩ් ඇක්සල් සහිත වාහනයක මෙන් පහසුවෙන් රෝදය මාරු කිරීමේ පහසුව ලැබේ
නිදහස් සස්පෙන්ශන් Independent Suspension සමන් විත වී ඇත්තේ ලෝවර් ආම් Lower Control Arm වැනි උපාංග සහිතවය.
මේවා නිදහසේ පිහිටද්දී තරමක කෝණයකින් ඇලව පවතී.
එසේම එය පොලොවට ඉතා ආසන්නව පිහිටා ඇත. මෙනිසා ජක්කුවක් ක්‍රියාත්මක කිරීම දැඩි අපහසු කාර්ය්යකි. කෝණික පිහිටීම නිසාම ජක්කුව ලිස්සා යාමට පටන් ගනී.
මෙනිසා Unsprung weight එක එසවෙන පරිද්දෙන් Lower Control Armට යටින් යටින් ජැක්කුව ක්‍රියාත්මක කිරීම දැඩි අසීරු කටයුත්තකි.
පසුපස රෝදයක හුළං ගිය පසුද ජැක් එකක් ඇක්සලය යටින් රිංගවීම අසීරු කටයුත්තකි.
මෙම ගැටළුවට මුහුණ දීමට මජං අතගාන අප කුඩා උපක්‍රමයක් උපයෝගී කරණ්නෙමු.
ඒ අඩ කොටයක්, පැතැලි ගලක් වැනි අඟල් 5-6 ක පමන උස වස්තුවක් ගෙන හුළං ගිය රෝදය ඒ මතට නංවා ගැනීමයි. තේරුණේ නෑ නේද? ආයෙත් කියන්නම්!
ඉහත ඡායා රූප දෙකෙහිම පෙන්වා ඇත්තේ හොඳින් හුළං පිරුණු ටයර දෙකක්ය.
ඔබ සිතන්න ඔය පවතින්නේ හුළං බැසගිය ගලවා ඉවත් කලයුතු ටයරය යැයි කියා.
එම ටයරය ඉදිරියෙන් කුඩා ලී කොට කැබැල්ලක් හෝ පැතැලි ගලක් තබා රෝදය ඒ මතට සීරුවෙන් ධාවනය කොට නංවාගන්න.
ඉන් පසු පෙර කී පරිදි රෝදයේ ඇන බුරුල කර ජැක්කුව ඉදිරිපස ලෝවර් කන්ට්‍රොල් ආම් එක යටින් ක්‍රියාත්මක කොට ඔසවා ගන්න.
හුළං බැස ගිය රෝදය ඇත්තේ ලී කොටයක් මත හෝ ගලක් මත බැවින් ජැක් එක ලෝවර් කොන්ට්‍රෝල් ආම් එක යටට රිංගවීමට හැක.
බොහෝ විට එම කොටස එනම් ලෝවර් කන්ට්‍රොල් ආම් එක; ජැක්කුව මගින් වාහන එසවීමේදී ඇති කරවන උඩුකුරු බලය විඳ දරා ගත හැකි තරම් ශක්තියකින් යුක්තය.
ජැක්කුව මගින් රෝදය යාන්තමින් එසවෙන විටදී අඩය හා රෝදය ඉවත් කරණ්න.
මෙම අඩය ඉවත් කිරීමත් සමග; හුළං සහිත අමතර රෝදය සවිකර ගැනීමට තරම් ප්‍රමාණවත් ඉඩක් ඔබට ලබී ඇත.
අමතර රෝදය සවිකර රෝද ඇණ තරමක් තද කර ගෙන ජැක්කුව පහත් කර ගන්න.
රෝදය බිමට පහත්වූවාට පසු රෝද ඇණ හොඳින්ම තද කර ගන්න.
මේක ෂුවර් නැත්නම් කාගෙ හරි වාහනේක හුළං යවා වැඩේ ෂුවර් කරගන්න . . !
ඒ ටයරයක හුළං බැස ගිය විට කල යුතු ක්‍රියා පිළිවෙතයි. දැන් පොඩිත්තක් කියවමු හොඳට තියෙන ටයර වලට සෙනසුරු දශාව ලබන ග්‍රහ පලාඵල පිහිටීම් ගැන.
මේ ගැන කතා කරණ්නට කලින් එලයින්මන්ට් Alignment හෙවත් එකෙල්ල ගැන කතා කරමු.
1. ඇකර්මන් මූලධර්මය Ackermann Principle
එලයින්මන්ට් ගැන කතා කරන කොට අපි අමතක නොකල යුතු මූල ධර්මයක් තියෙනවා ඇකර්මන් මූලධර්මය Ackermann Principle කියලා. ටික වෙන්න වැඩිපුර තේරෙණ්න රූපයක් බලලා ඉමු.
ජ්‍යාමිතියට අනුව මෙම රෝද හැරිය යුත්තේ එකිනෙකට වෙනස් කෝණ දෙකකින්ය. එසේම එය වෙනස් කිරීමටත් නිවැරදි පරිදි සැකසීමටත් හැකිවන පරිද්දෙන් ඉදිරි පස සුක්කානම් පද්ධතිය නිමවා ඇත.
ඇකර්මන් මූලධර්මයට අනුව වංගුවක් හැරවීමේදී ඇතුලත රෝදය වැඩි කෝණයකිනුත් පිටත රෝදය සාපේක්ෂව අඩු කෝණයකිනුත් හැරීමට අවස්ථාව සැලසෙන කොටස Track Arm (Steering Arm) නමැති කොටසයි.
එය සකස් කොට ඇත්තේ සෘජුව නොව තරමක නිශ්චිත කෝණයක් ඇලව සිටින සේය. මෙම ට්‍රැක් ආම් දෙක එකට සම්බන්ධ කොට අත්තේ Track Rod (Tie Rod) එකෙන්ය.
එලයිමන්ට් සැකසීමේදී මෙම ට්‍රැක් රොඩ් එකේ දිග අඩු වැඩි කිරීමට හැකිවන පරිදි නිපදවා ඇත.
මෙම ට්‍රැක් ආම් එක මගින් හැරවීමෙදී එක් එක් පස පිහිටි රෝද එකිනෙකට වෙනස් කෝණයන් දෙකකින් හැරෙණ ආකාරය පහත දැක්වෙන රූපසටහනෙන් පැහැදිලිවෙනවා ඇත.
එක් තිරස් ඉරකින් මායිම් කොට ඇති රූප දෙකෙන් ඉහල රූපයේ දැක්වෙන්නේ ට්‍රැක් ආම් එක ස්ටබ් ඇක්සලයට ලම්භකව නො එසේනම් රෝදයට සමාන්තරව ඇති සැකැස්මයි.
මෙම රූපයට අනුව එක් ස්ටබ් ඇක්සලයක් අංශක 30 හැරෙන විට අනෙක් පසද අංශක 30 කින්ම හැරේ. මෙය ඇකර්මන් මූලධර්මයට පටහැඬිය.
දෙවන හෙවත් පහල රූපයේ දැක්වෙන පරිදි ට්‍රැක් ආම් දෙක තරමක කෝණයකින් ඇලව සකස් කලවිට එක් ස්ටබ් ඇක්සලයක් අංශක 30 කින් හැරෙණ විට අනෙක් නො එසේනම් පිටත රෝදය සවිවන ස්ටබ් ඇක්සලය හා ට්‍රැක් ආම් එක හැරෙණ්නේ අංශක 23 කින් පමණි.
එහිදී ඇකර්මන් මූලධර්මයට අනුව මෙය සකසා ඇත!
2. ටෝ ඉන් - ටෝ අවුට් Toe in - Toe out
ඉදිරිපස රෝද සමාන්තරව තබා ඇතිවිට ධාවනයේදී ඒවා වෙව්ලීමටත් දෙදරීමටත් භාජනය වේ. මෙම තත්වයෙන් අත්මිදීම සඳහා හා සුක්කානම ක්‍රියා කිරීමේදී අතිවන අධික ප්‍රථිරෝධය වලක්වා ගනීම සඳහා ඇතුල් ඇලයක් හෝ පිටත් ඇලයක් හඳුන්වා දී අත.
කැස්ටර් කෝණය හඳුන්වා දී අත්තේ රෝද හැම විටම ඉදිරි පිහිටීම හෙවත් ස්ථායි තාවය (Directional Stability) පවත්වා ගැනීමටය. සුක්කානම හරවා සුක්කානම අතින් නිදහස් කල පසු එය නැවත මුල් පිහිටීමට (Self-Centering for the Steering) හෙවත් රෝද වාහනය ගමන් ගන්නා දිශාවට හැරී නතර වීමටද මෙම කෝණය මගින් පිටුවහලක් ලැබේ.
4. Camber Angle
කැම්බර් කෝණය මගින් රෝදවල් ඇණ මත ඇතිකරණ තෙරපුම අඩුකිරීමට ක්‍රියා කරයි. සෑම විටම වීල් බෙයාරිං වල පසුපසට බර ක්‍රියා කරයි. මේනිසා හබ් ප්ලේ ඇතිවීම අවම කරයි. එසේම ස්ටබ් ඇක්සලය මතද සිරස්ව ක්‍රියා කරන වාහනයේ බර අවම කරයි. මන්ද එම මුළු බර ස්ටබ් ඇක්සලය දීඅ ඉහල කෙළවරට තෙරපී ක්‍රියා කරණ නිසාය.
5. King Pin inclination
රෝද මුල් පිහිටීමට හැරී නතර වීමට (Self-centering for the steering) ප්‍රධානම කාර්යය ඉටු කරණ්නේ මෙම රජ ඇන ආනතියයි. මෙම කෝණය නිසා සුක්කානම මගින් වාහනයේ රෝද එක් දෙසකට හරවන විට වාහනය යන්තමින් එසවේ! මෙම බර විසින් රෝද නැවත මුල් පිහිටීමට ගෙන ඒමට කටයුතු කරනු ලබයි.
මෙම එලයින්මන්ට් දෝෂ, භූත දෝෂ කරණ කොටගෙන හොඳින් දුවන ටයර හතර සතියකින් වැඩකට නැති තත්වයට පත්කිරීමට ඉඩ අත. ඒවාට උදාහරණ පහත දක්වා ඇත.
තව ටිකකින් අමතක වෙලාම යනවා වීල් බැලන්සින් කියන මාතෘකාව!
මොකක්ද මේ වීල් බැලන්සින් කියන එක ?
ටයර වලට විශාල බලපෑමක් නොකලත් මේ තරම් වීල් එලයින්මන්ට් ගැන කතා කල නිසා වීල් බැලන්සින් ගැනත් කතා කරලාම යමු.
කිසියම් වස්තුවක් වෘථාකාර පථයක චලනය වන විට එම පථයේ කේන්ද්‍රයෙන් ඔබ්බට දිවෙන බලයක් වස්තුව මත ක්‍රියා කරයි.
එම බලය රඳා පවතින්නේ වස්තුවේ බර හා ගමන් කරණ වේගය මතය.
මෙය කදිමට තෙරුම් ගැනීමට රබර් පටියක කිසියම් වස්තුවක්, ගලක් ගැට ගසා කරවණ්නට පටන් ගන්න.
එවිට එහි වේගය වැඩි කරත්ම රබර් පටිය තව තවත් ඇදෙන්නට පටන් ගනී.
මෙසේ වඩ වඩාත් ඇදෙන්නේ වේගය වැඩි කරත්ම ඇතිවන බලය වඩ වඩාත් වැඩිවන හෙයින්ය.
මෙසේම ටයරයක හෝ රිම් එකක ඇති කුඩා අසමතුලිත බරක් වේගයෙන් භ්‍රමණය වෙත්දී විශාල බල පෑමක් කිරීමට පටන් ගනී.
වීල් බැලන්සින් වලදී ප්‍රධාන වශයෙන් කතා කෙරෙණ සමතුලිතතා දෙවර්ගයක් ගැන කතා කෙරෙයි.
1.ස්ථිතික සමතුලිතතාවය - Static Balance
2. ගතික සමතුලිතතාවය - Dynamic Balance
පහත දැක්වෙන කුඩා වීඩියෝ සටහන් දෙකෙන් ඒ පිළිබඳවද තොරතුරු දැනගෙන කතාව ඉදිරියට ගෙන යමු.
රෝදවලට හුළං ගැසීමේදී නිෂ්පාදිතයා විසින් රෙකමදාරු කල ප්‍රමාණයම පිරවීමට මතක තබා ගන්න.
අළුතින් වාහනයක් ගැනීමේදී ලැබෙන Owner's Manual එකේ සඳහන් කර ඇත. නැතිනම් රියැදුරුගේ දොරෙහි උළුවස්සේද මෙය ලියා අලවා ඇත.
කරුමෙට මෙහි බොහෝ විට දක්වා ඇත්තේ අපි ඔබලා දන්නා වර්ඝ අඟලට රාත්තල් හෙවත් PSI - pounds per inches වලින් නොව. බාර් වලින් හෝ කිලෝ පැස්කල් වලිනි.
සමහර සාධාරණ මුදලාළිලා විකුණන වාහන වල ඔය ඒකක දෙක තුනෙන්ම ලියා දක්වා ඇත.
එහෙම මොකෙන් ආවත් ඇඹරෙන්නෙ නැතිව ටයර් එකට රිදෙන්න; ආයෙ මීක් ගාන්න බැරිවෙන්න හුළං ගහන්න ඕන සූත්තරේත් මෙතනම ලියන්නම් ආසන්න වශයෙන්!.
1 kP = 0.15 psi
1psi = 7kP
1bar = 15 psi
1 psi = .07
හැබැයි මේ හුළං ගැහිල්ලත් චාරයක් ඇතිව කරණ්නම වෙනවා අඩු වුනත් අවුලක්. වැඩි උනත් අවුලක්. බොරුද කියලා මේ බලන්නකෝ!
අපේ තවත් මිත්‍රයෙකු වන රුෂාන් ගමගේ මල්ලි එයාගෙ මිට්සුබිෂි අයි යයි යෝ එකට ටයර් සෙට් එකක් දැම්මා කොළඹ මහ ඉස්පිරිතාලෙද කොහෙද වැඩ කරණ; ඒවගේම මූනු පොතේ වාහන විකුණන්න දාන දොස් - තර මුදලාළි කෙනෙකුගෙන් අරණ්.
අනේ මාසයක් හරියට දුවන්න බැරි උනා ඇතුලෙන් කම්බි කැඩිලා ස්ටියරින් එක සට සට ගාලා ගහන්න ගත්තා.
අපරාදෙ කියන්න බෑ කැළුම් දොස්තර මහත්තයා අඩු ගානෙ ෆෝන් එකටවත් ආන්සර් කරණ්නේ නැතිලු. එයාගෙත් කම්බි කැඩිලාද කොහෙද!
මම මේ පෝස්ටුව ලියනවා කියලා දැන ගත්තු මොහොතේ ඉඳන් එකම අඬෝ වැඩියාවයි, මිමිණිල්ලයි, කෙඳිරියයි!
මොකද දන්නවාද කම්බි කැඩුණු ටයර් අඳුනා ගන්න විදිහත් ලියාන්න කියලා.
ඇත්තටම ඒකට හොඳම විසඳුම විදියට මම නම් දකින්නේ කල් ඉකුත්වූ ටයර් ගැනීමෙන් වලකින්න කියන එකයි අර දොස්තරගෙන් මොකවත් ගන්න එපා කියන එකයි.
හැබැයි කම්ම්බි කැඩුනු ටයර් එක දැක්කාම නම් අඳුනගන්න පුළුවන් රිම් එකකට දාලා හුළං ප්‍රමිතියට ගැහුවාමයි.
තැනින් තැන උස්වී ගිය මතු පිටක් එහිදී දක්නට ලැබෙනවා.
අනෙක ටයරයේ මතුපිට යාන්තම් ඉරිතැලුණු ස්වරූපයක් දකින්නත් හැකියි.
වත් එයාට ප්‍රශ්ණයක් තිබුනා ඇයි නයිට්රජන් ගහන්නේ කියලා.
ඔය රත්වෙන්නැති කතා, වැඩිදුර ලීටරයට දුවන කතා ගැන නම් මම කියන්න දන්නේ නෑ. ඒත් මම දන්නා පරිද්දෙන් නයිට්රජන් යනු නිෂ්ක්‍රීය වායුවක් නිසා රිම් එකේ ලෝහ කොටස් සමග ප්රථික්රියා කරලා ඔක්සයිඩ හදන ඒ කැත වැඩ වලට නයිට්රජන් ඉඩ නොදේ.
අපට හමුවන සමහර මහතැන්ලා අහන දෙයක් තමයි නයිට්රජන් ගහලා තියෙන ටයර් එකට නිකං හුළං ගැහුවොත් මොනවා හරි අට මංගල්ලයක් වේවිද කියන එක!
අනේ ඉතින් අපි දන්න කාලේ ඉඳන් මේ ටයර වලට ගැහුවේ එහෙම අපි මේ ඉපැදුනු දවසේ ඉඳන් ඉහල පහල අදින හුළං නේන්නං!
ඇයි වදේ වායුගෝලය සමන් විත වෙලා තියෙන්නේම
මේන්න මෙහෙම.
ඉතින් තව කුමන කතාද?
අපි නොදැනුවත්ව අනාදිමත් කාලයක් ගහන්න ඇත්තෙත් නයිට්රජන්ම තමයි. තව එක දෙයක් නයිට්රජන් නැතිනම් මේ මුළු ලෝකෙටම වෙන්නේ "ඇමේසන්" වෙන්න තමයි!
Is there really an advantage to using nitrogen rather than air in car tires, such as better fuel economy, a smoother ride, or longer tire life? Well, sort of.
From the top: Air is 78 percent nitrogen and just under 21 percent oxygen, and the rest is water vapor, CO2, and small concentrations of noble gases such as neon and argon. We can ignore the other gases.
There are several compelling reasons to use pure nitrogen in tires. First is that nitrogen is less likely to migrate through tire rubber than is oxygen, which means that your tire pressures will remain more stable over the long term. Racers figured out pretty quickly that tires filled with nitrogen rather than air also exhibit less pressure change with temperature swings. That means more consistent inflation pressures during a race as the tires heat up. And when you're tweaking a race car's handling with half-psi changes, that's important.
Passenger cars can also benefit from the more stable pressures. But there's more: Humidity (water) is a Bad Thing to have inside a tire. Water, present as a vapor or even as a liquid in a tire, causes more of a pressure change with temperature swings than dry air does. It also promotes corrosion of the steel or aluminum rim.
හොඳ හිතිං කවුරු හරි උදව් කරපං!
මොකෙක් හරි උදව් නොකලොත් බලපංකො වෙන දේ . . !?
"හනේ . . . ! මටම මයි වෙන්නේ . .ඒ . . ඒ . . . !"
Bibliography
Automotive Mechanics (10th Edition) - Crouse /Anglin
Motor Vehicle Basic Principles - V.A.W. Hillier
Nissan Patrol 160 User Manual
Mitsubishi Lancer User Manual
Toyota LN 106/107 User Manual
Bibliography
Automotive Mechanics (10th Edition) - Crouse /Anglin
Motor Vehicle Basic Principles - V.A.W. Hillier
Nissan Patrol 160 User Manual
Mitsubishi Lancer User Manual
Toyota LN 106/107 User Manual
මෝටර් රථ ශිල්පය - ආචාර්ය මර්ක්ස් ගේලන්/ බාඩ් හොම්බෝග්- පරිවර්ථනය පණ්ඩුල කේ පළඟසිංහ
මෝටර් රථ යාන්ත්‍රික විද්‍යාව - එම්. ඩී එල් ගුනරත්න
අන්තර් ජාලය
මැරෙන්න මහන්සිවූ බැව් පෙනේ.තුති මචං.
ReplyDeleteඅර සමහර වාහන වීල් වල ඉලව් ලොක් නට් එකකුත් තියනවා නේද?
සත්තකින්ම ටිකක් මහන්සි උනා තමයි. ඊයේ රෑ 2.45යි. පෙරේදා පලමුදා12 පහු උනා. ඒත් කමක්නෑ ඒ මහන්සියෙන් ප්‍රයෝජනයක් වෙලානම්!
Deleteඔව් ලොක් නට් එකක් තියෙනවා. කරුමෙකට හරි ඒ ලොක් නට් එක ගලවන කී එක හෙවත් මෙවළම නැති උනොත් නම් අබ සරණම තමයි.
අපි හිතුවෙ නැති උනාට ඇලන් කී වලින් තද කරණ ඇණත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇනම තමාය!
බොහොමත්ම ස්තූතියි ගොඩ වැදිලා වචනයක් දෙකක් දොඩමළු වූවාට!
මේක කියවපු අයට මීට පස්සේ රෝද මාරු කරන්න දන්නේ නැහැ කියලා බේරෙන්න බැරි වේවි.
ReplyDeleteඅර හයි හීල්ස් නෝනා වීල් නට් එක තදකරලා ස්ටඩ් එක කඩන්න හදනවා නේද ?
ජපන්නුන්ටත් (නැහැ, වැරදුනා තායි කාරයින්ට) වෙච්ච වැරදීමක් හින්දා මම මඩක් කෑවා. අපේ ගෙදර ගෘහ මුලිකතුමියගේ වාහනය වමට අදිනවා කිව්වාම මම පොඩ්ඩක් බැලුවා. ඉදිරි වමේ ටයරයේ පීඩනය වායුගෝල පීඩනයටම කිට්ටු වෙලා. (ඒකටත් වැරදිකාරයා හස්බන්ඩ් බව විවාහක පිරිමි දන්නවා ඇතිනේ.) කෝකටත් කියලා එවේලේ හුළං ගහලා , පහුවදා හවස බලනකොටත් රාත්තල් දෙකක් විතර අඩුවෙලා. පන්චර් එකක් කියලා ෂුවර් නිසා, ස්පෙයා එක දාලා දුවලා, සති අන්තයේ පන්චර් එක රෙපෙයාර් කරනවා කියලා හිතලා රෝදේ ගැලෙව්වා. ඇනිලා තිබුන ඇණය දැක්කාම ඉන්න බැරි කමට අර හාවා පොල්මුඩ්ඩ ගැලෙව්වා වගේ මමත් ඇනේ තිබුන තැන මාර්ක් කරලා ඒක ඇදලා දැම්මා.
ස්පෙයා එක කිට්ටු කලාට දාන්න උස මදි . ගරාජ් එකේ සමතලා සිමෙන්ති පොලවේ, හුලං බැහැපු නැති රෝදයක් (32 psi ඕනෑනම් 30 දක්වා අඩු වී තියෙන්න ඇති) ගලවලා එලියට ගත්තාම ස්පෙයා එක දාන්න තවත් ජැක් එක උස්සන්න ඕනෑ නැහැනේ. ජැක් එක මිකැනිකල් නිසා ඒක බහින්න විදියකුත් නැහැනේ. නිකමට වාගේ ටයර් සයිස් එක බැලුවාම තමයි තායි කාරයින්ගේ මෑණියන් මතක් උනේ. වාහනයේ ටයර් 195/60 උනාට අමතර රෝදේ 195/65. මේවා ඔරිමජිනල් ටයර් නිසා ෆැක්ටරියේම වරදක්. ප්‍රශ්නයක් නැහැ, මේකට පැච් එක දාලා ආපහු හයි කරනවා කියලා පන්චර් රෙපෙයාර් කිට් එක බලපුවාම ඒකේ ප්ලග් (නූල්) තිබුනාට සොල්වන්ට් එක ගල්වෙලා. ඇනේ ඇදලා දාපු නිසා හුලං ගහ ගහ දුවන්නත් බැහැ. දැන් රෑ වෙලා නිසා සොල්වන්ට් ගන්න තැනකුත් නැහැ. පස්සේ ඕනෑ එකක් කියලා සොල්වන්ට් නැතුව නූල පමණක් ගහලා ඒ රෝදේ පිටිපස්සට දාලා, පිටිපස්සේ එක ඉස්සරහට දාලා යන්තම් ගොඩ ගියා. මේ රෝද මාරු කිරීම පාරක් අයිනේ හරි සමතලා නැති තැනක හරි කළා නම් කවදාවත් මේ ටයර් වෙනස අහු වෙන්නේ නැහැ. එහෙම උනා නම් මේ Front Wheel Drive වාහනයේ ඩිෆ් එකටයි cv ජොයින්ට් වලටයි දෙය්යන්ගේම පිහිට තමයි. හුලං රාත්තල් පහළොවකට විතර අඩුවෙනකම් 'පැත්තට අදිනවා' කියලා තේරෙන්නේ නැතුව එලවපු මේ ඩ්‍රයිවර් තුමියට මිලි මීටර් විස්සක විතර ටයර් විෂ්කම්භයේ වෙනස තේරෙන්නේ නැති බව කියන්නත් දෙයක්ද ? එහෙම උනා නම් ඒකටත් වැරදි කාරයා වෙන්නේ මම ම තමයි. මේක කාර් ඩීලර් ට කියපුවාම ඌ මට අලුතින් ටයර් එකක් දාගන්න කියලා ටයර් කඩේකට වවුචර් එකක් දුන්නා.
සෑහෙන කාලෙකට පස්සෙ !? කොහෙද දෙයියනේ හිටියෙ?
Deleteඉතික්ස් හැමදාම වගේම ඔබ තුමා අදත් රස කතාවක් නො එසේනම් අමතක නොවන අත්දැකීමකුත් සමග ඇවිත්.
තායි නෙවේ ජපන්නුන්ටත් ඔය වගේ වැරදුණු ඒවා මට හමුවෙලා තියෙනවා. වරක් වරායෙන් ගෙනාපු මොන්ටෙරෝ එකක පිටුපස තියෙන පින්ටල් හූක් එකේ උඩ ලොක් කරණ පියන යටටත් බර අල්ලන පළුව උඩටත් හිටින්න හයි කරළා එහෙන්ම එවලා!
ඔබ තුමා වාසනාවන්තයි එහෙම වවුචරයක් ලබාගන්නට හැකි වුනු එක. මෙහේ උනා නම් ඒකත් ජය සිරි මංගලම්ම තමයි!
ස්තූතියි! ඇත්තටම පහුගිය දවස් වල කොහේද හිටියේ? කොමෙන්ටුවක් දාන්න තරම් හිතෙන දෙයක් ලියවුනේ නැතිද අප අතින්?
පෝස්ටුවේ තැනින් තැනයි කියෙව්වේ. පිනට අනුන්ගේ වාහනවල යනවා මිස වාහන ගැන නොදන්නා මං කොහොමද ටයර් ගැන දැනගන්නේ?
ReplyDeleteහැබැයි සමහර වෙලාවල් එනවා මෙහෙම කතාවලින් බේරෙන බැරි වෙන. ගිය සති අන්තයේ යාපනේ ගිය වෙලාවේ අපේ හිතවතුන් ස්ටෙලා වෙන තැනක ඉන්න වුණා. එතනදී කියවුණා ලංකාවේ ඉන්න හොඳ වැඩකාරයෙක් ගැන. මනුස්සයා වාහනවල මීටරය ආපස්සට කරකවන කෙනෙක්. හැබැයි මට නම් ඒ මනුස්සයා ගැන පැහැදීමක් ඇති වුණා. මෙහෙම දෙයක් අහන්න ලැබුණු නිසා.
"මිනිහගේ ටාර්ගට් එකක් තියෙනවා. දවසේ ඒ ගාන හම්බ වුණාට පස්සේ මිනිහා කොච්චර වාහන ගෙනාවත් වැඩේ බාරගන්නේ නැහැ." කොච්චර ඩීසන්ට්ද අර දොස්තර මහත්තයට වඩා?
නිමල් මහත්තයා අපේ තාත්තගෙ කතා මම ටිකක ලියලා නවැත්තුවා වෙලාවක් නැති නිසාම. ඒත් අපේ තාත්තගෙ අදහසක් තිබුනා "පුතේ ගෙදර හාල්, තුනපහ, එලවළු තියාන බඩ ගින්නෙ ඉන්නවා කියන්නේ කාලකණ්නිකම!" කියලා. ඉතින් මම උයන්න ඉගෙන ගත්තා. දැනටත් ජාමෙ බේර ගන්න පුළුවන්. ඒ වගේ වාහනයක් ඇතත් නැතත් ටයරයක් මාරු කරගන්න එක පොඩිත්තක් ඉගෙන ගෙන හිටියාට කමක් නෑ කියලයි මටනම් හිතෙන්නේ. හරියට පොඩ්ඩක් සිංදුවක් කියන්න පුළුවන් කම තියෙනවා වගේ.
Deleteඅප්පේ.. ටෑර් මාරු කරන එක විතරක් නෙමෙයි මේක කියෝපුවම තමංගෙ වාහනේ එලයින්මන්ට් හිටං තමන්ටම තියාගන්න පුලුවන් තරමට විස්තරේ දීල තියෙන්නෙ.
ReplyDeleteඇණ අැන වෙන්නැති වෙන්න ටිකක්හරි තියෙන හොඳම විසඳුම ටියුබ්ලස් තමයි. ඇනිච්ච මගුල ගැලෙව්වෙ නැත්තං හුළං බහින්නැතුව ටෑර් කඩයක් ගාවට මංගච්චගන්න පුලුවන්. එකපාරක් හම්බන්තොට අර්ධ ශුෂ්ක මාර්ගෙ කවුරුහරි පිංවතෙක් පාරට දාපු ටකරං ඇණයක් ඇනගෙන මම කිලෝමීටර් හයක් විතර හුළං බහින් නැතුව ආව පැච් එකක දාගන්න තැනක් හොයාගෙන.
ඔව් ප්‍රසන්න ලියන්න ගියාම හිතට එන හැමදේම ලියනවා ලෝභ නැතිව. නැතිනම් හිතට අඩුවක් දැනෙන නිසා.
Deleteඔව් ටියුබ් ලස් වල පොඩි ගරු කටයුතු ස්වභාවයක් තියෙනවා ඒ වගේ!
ඔබතුමාගේ ලිපි හැම එකක්ම කියෙව්වා. ඒවාට හරිහමන් පිළිතුරක් ලියන්න වෙලාව හරස් උන නිසා මිසක් ඒවා නොවැදගත් නිසා පිළිතුරු නොලිව්වා නොවෙයි. ඒ හැරත් මට උවමනා විදියට දීර්ඝ පිළිතුරක් ලියන්න වෙලාවක් හොයාගන්න බැරි උනොත් නිකම්ම නිකම් ++++ එකක් දැමීම බ්ලොග් ලියන්නාව හෑල්ලුවට ලක් කිරීමක් වගේ කියලයි මට හිතෙන්නේ. අපේ රටවල් දෙකේ වෙලාවේ වෙනසත් මේ දවස් වල සීතලත් ඔක්කොම හිටින්නේ හරහටයි.
ReplyDeleteමම ලංකාවේ ඉන්දැද්දීත් factory recall නොකරපු වැරදි කිහිපයක්ම අත්දැකලා තියනවා. එකල ලංගමයට ගෙන්වූ ඉසුසු ECR 500 බස් එකේ, මට මතක හැටියට 6BD1 හා ටර්බෝ සහිත 6BDT ඇන්ජින් වර්ග දෙකක් තිබුනා. එයින් 6BDT ටර්බෝ ඇන්ජිම "අතපය එලියට දාපු" (කොන්රොඩ් කැඩිලා, බ්ලොක් එකෙන් එලියට ආපුවා, ක්‍රෑන්ක් කැඩී විනාශ වූ ඒවා ) එන්ජින් තිබුනා. මෙසේ විනාශ වූ එන්ජින් වල පිස්ටන්,ක්‍රෑන්ක්ශාෆ්ට්, කොන්රොඩ්, ගජන් පින් ආදියේ හඳුනා ගැනීමේ සංකේතය හැටියට තිබුනේ 'o' යි. ඒ කියන්නේ සාමාන්‍ය 6BD1 පාර්ට්ස්. 6BDT පාර්ට්ස් වල සංකේතය ත්‍රිකෝණයක්. අතපය එලිය දාපු එන්ජින් හැම එකක්ම ටර්බෝ නැති එන්ජිමක් හැටියට නිෂ්පාදනය කරලා පසුව ටර්බෝ හයි කරලා. අන්ධයාගේ බුදලය වෙච්ච ලංගමයට ඕක සුළු දෙයක්.
එක්තරා වෑන් වර්ගයක ඩෑම්පර් පුලිය (crankshaft pulley) හරියට තද නොවී බුරුල් වෙන ලෙඩක හේතුව උනේ ක්‍රෑන්ක් එකේ පොටේ ගැඹුර මදි කමයි. නිෂ්පාදනයේදී සිදු වූ යම් වරදක් මෙයට හේතුවයි. ඊට අදාළ ටැප් එකකින් පොට තව ගැඹුරට කපන්න කරදර නොවී බෝල්ට් එක කොට කරලා දාලා ප්‍රශ්නේ විසඳුව බව මම දන්නවා.
ජපනාට නිදිමත හැදිලද කොහෙද තවත් වාහනයක cam follower එක අංශක 180 කරකවලා හයි කරලා. ලිහිසි තෙල් ඇතුල් වෙන පැත්තේ තිබිය යුතු හිල අනික් පැත්තට ගිහින්. තෙල් එන්නේ නැතිව සීස් වෙලා.
හමුදාවට තිබුන විශාලම ක්‍රේන් එකක් අලුත් පිටම(brand new) ස්ටාර්ට් වෙන්නේ නැති හේතුව උනේ රිං ගියර් එක ෆ්ලයි වීල් එකෙන් බුරුල් වීමයි. ඒක ෆ්ලයි වීල් එකට තියලා වෙල්ඩින් කරලා ප්‍රශ්නේ විසඳුවේ අපේ ලංකාවේ විතරක් වෙන්න ඇති.
සෑම් මහත්තයා ඔය ගන කිව්වාම මට කතා දෙකක් මතක් උනා.
Deleteඉස්සර 1210 එන්ජින්වල හෙඩ් එක සමහර වෙලාවට 1313 වලට තියලා එනවාලු. ඒකට ඩිමෝ එකේ එකෙක්; ලංකාවට ආපු ඉන්දියන් එකෙක් ගෙන් ඇහුවාම ඌ කියලා තියෙන්නේ ටාටා කොම්පැණියෙන් සමාජ සේවයක් ලෙසට අන්ධ අයට රස්සාවල් දී ඇති බවත් ප්‍රඩක්ශන් ලයින් එකේ හෙඩ් එක තියලා හෙඩ් බෝල්ට් තද කරණ එක කරණ අංශයේ වැඩකරණ්නේ එවන් අන්ධ අය බැවින් ඒ සිදුවෙලා තියෙන්නේ මානූෂීය වටදක් කියලයි. (උං කියනවා අපි අහනවා තමයි ඉතිං!?)
අනිත් කතාවේ අග මුල ටිකක් දුරයි. මැදපෙරදිග නිසාන් ඩීලර් කෙනෙක් ගාව වැඩ කරපු නම්දරාපු පොරක් ඉඳලා තියෙනවා රොහාන් කියලා. මෙයා මුළු ලෝකය පුරාම නිසාන් කොම්පැනියේ වැඩ පෙන්නපු ලාංකිකයෙක්.
වරක් බ්‍රෑන්ඩ් නිව් නිසාන් මාච් රථයක් මිළදී ගත් අරාබියෙක් දින දෙක තුනකින් ඇවිත් ඇන්ජිමෙන් අමුතු සද්දයක් එනවා කියලා. මේක පරීකෂාකරපු අපේ රොහාන් බුවා කිව්වාලු "මේ එන්ජිමේ තුන් වෙනි බිග් එන්ඩ් බෙයාරිං එකේ එක පළුවක් නෑ!" කියලා.
ෂොප් මැනේජර්ට හිනාලු. අන්තිමට කිව්වාලු "ඔබ වගකීම ගන්නවානම් එන්ජිම ගලවන්න!' කියලා.
දන්නවානේ ලංකාවෙදි කෙසේ වෙතත් පිට දී අපේ එවුන් එක්ස්ට්‍රා ඕර්ඩිනරි කට්ටිය නොවැ. රොහාන් ගැලෙව්වාලු. ගලවගෙන ගලව ගෙන ගිහින් අන්තිමට බලන කොට කිව්වත් වාගේ එක බෙයාරිං පළුවක් නැතිව තමයි එන්ජිම ජපනා හයි කරලා එවලා තිබිලා තියෙන්නේ. ඒක අදටත් ඒ ආයතනයේ පුරාවෘථයක් ලු!
මේ රොහාන් ඇහැළියගොඩ දෙහිඕවිට පාර පටන් ගන්න හරියේ අදටත් ගරාජ් එකක් කරගෙන ඉන්නවා. හරිම නිහතමාණී බුවෙක්! ස්තූතියි!!!!
අද ෆාදර්ස් ඩේ එකට මට ලැබුන තෑගී අතර ටයර් ප්‍රෙෂර් ගේජ් එකකුත් තිබුනා. 'මදර්ස් ඩේ' එකට 'අයන්' එකක් තෑගී දුන්නා වගේ මේකෙත් අරුත තේරුම් ගන්න අමාරු නැහැනේ!
DeleteHappy Father's Day !!!
Ha! ha!! ha!!!
DeleteWish you the same Samm mahaththayaa!
අලුත් වාහන වල නං දැන් අමතර ටයරයක්/ ජැක් එකක් නැහැ. ටූල් කිට් එකක් එන්නේ. කොහොම උනත් පරණ වාහන පදවන අයට වැදගත් වෙයි මේ ලිපිය.
ReplyDeleteඔව් නවීන හයිබ්‍රිඩ් වාහන වල අමතර රෝදයක් නෑ කියන එක නම් ඇත්ත. ඒත් ටික දෙනෙක් අමතර රෝදයක් තබා ගන්නවා! අනෙක් අය අතුරිණ් බොහෝ දෙනා අමතර රෝදයක් නෑ කියලා දුක් වෙනවා.
Deleteලෝකය මොනතරම් ඉස්සරහට ගියත් සාමාන්‍යයෙන් වාහනයක් තවත් එක් මෙවළමක් ලෙසට නොගෙන වාහන වලට ආදරය කරණ මිනිසුන්ට වාහනයක්; "වාහනයක්" ලෙසට දැනෙන්නේ එන්ජිමක් තියෙන එකකට කියලයි මට නම් හිතෙන්නේ.
එනිසාම අප තුල සිටින "Vehicle Lover" ඉල්ලන්නෙම අමතර රෝද සහිත වාහන.
බොහෝ හයිබ්‍රිඩ් SUV වලට අඟල් 9 කට වඩා වතුරක යන්න බෑ!
වාහන වලට/යන්ත්‍ර සුත්‍ර වලට නෙමේ මහත්තයා ආදරය කරන්න ඕනි. ජීවින්ට. තමුන්ගේ බිරිඳට, දෙමාපියන්ට,දරුවන්ට ගරු කරන්නේ නැති පුද්ගලයන් වාහනයට ගොඩවී සුක්කානමට වඳිනවා.
DeleteVery informative (nonala mewa kiyawanne ne ne). As I said to you once,start a roadside assistance business like this www.racq.com.au.
ReplyDeleteOne thing I have (and useful) is a code-less impact wrench (even nona can use, but she wont). Other thing is never ending wheel alignment, for me never fix the problem, front left always worn on outside edge.
I have seen people repairing sidewall tyre damage, which is risky if you drive in highway at 100.
ඔව් විජේභාහු මහත්තයා දැන් ඒ වගේ වැඩකටවත් අතගහන්න ඕනෙ තමයි.
Deleteනෝනලා නම කවදාවත්ම මහ පාරෙ අසරණ වෙන්න දෙන්නේ නෑ අපේ මහත්තුරු අපරාදෙ කියන්න බෑ. උදව කරණ්න පොර කනවා. කට්ට කන්නේ මහත්තුරු. ඒ අයට වැඩේ කරගන්න බැරි නම් බඩුම තමයි!
ඇණයක් ඇනුනාමනම් මොනවහරි කරගන්න බැරියැ.එකපාර හුලං යන්නෙ නෑනෙ. පැත්තෙන් කැපුනාම තමයි කෙලවෙන්නෙ. සමහර විට වල්කනයිස් කරන්න පුලුවන් . එකපාරක් රොසැල්ල හරියෙ මිනීමරු බස් එකක් avoid කරන්න පාර අයිනට අරන් තාර edge එකට වම් පැත්තෙ ටයර් දෙකම කැපුනා. ස්පෙයාර් එකයිනෙ තියෙන්නෙ !
ReplyDeleteමහ පාරෙ වගේම කැලේ යන කොටත් ගල් වලට ටයර් කැපෙනවා මොනවත්ම කොර ගන්න බැරිවෙන්න. මගේ යාළුවෙක් ලෑන්ඩ් කෲසර් එකක් අරණ් කැබිලිත්තේ ගිහින්. අනේ අපරාදෙ කියන්න බෑ. පස් වතාවක් ටයර් මාරු කරලා. ටයර් දෙකක් අළුතෙන්ම දාලා!!!
Deleteපට්ට
ReplyDeleteස්තූතියි!
Deleteගොඩක් වටිනව
ReplyDeleteස්තූතියි!
Deleteමේ දවස්වල මං අලුත් වහනේ පරිශීලක අත්පොත කියෝනවා. ඒකෙ හරි හරි ජාති තියේ ඉගෙනගන්න. ඒක මැදට මේකත් දැම්මා.
ReplyDeleteබොහොම පිං සෑහෙන මාංසි වුනාට මේක ලියන්ට.
ස්තූතියි! ස්තූතියි!! ඒ පොත් පත් වල තියෙන ඒවා එක්ක අපි ලියන ඒවා බුදු අම්මෝ කියාගෙන මූනට මූන ගැටෙන්නෑ නේද මලේ?
Deleteහරියටම කියතොත් දෙකම එකයි. බාසා දෙකයි.
Deleteටියුබ්ලස් හොඳයි තමයි. ඒත් හුලං අඩුවුනු වෙලාවක පාරේ තියෙන ගැට්ටක් උඩින් ගියොත් එහෙම සුම්මා තමයි.
ReplyDelete