Showing posts with label මා දකින ලෙසට. Show all posts
Showing posts with label මා දකින ලෙසට. Show all posts

Tuesday, July 14, 2026

309. අනතුරුදායක 4x4 රථය පිළිබඳ මිථ්‍යාව:

 


ශ්‍රී ලංකාවේ වාහන උපාංග සම්බන්ධ නීති නවීකරණය කිරීමේ හදිසි අවශ්‍යතාව

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති වාහන නියාමන නීති අතර, 4x4 වාහන සඳහා භාවිත වන Winch, Bull Bar, Heavy-duty Bumper, Roof Rack, Auxiliary Driving Lights සහ Tow Bar වැනි උපාංග සම්බන්ධ සීමා කිරීම් වර්තමානයේ නැවත සමාලෝචනය කළ යුතු මට්ටමකට පැමිණ ඇත.

මෙම උපාංග බොහෝවිට "අනවශ්‍ය වෙනස්කම්" හෝ "අනතුරුදායක උපාංග" ලෙස සැලකීම දශක ගණනාවකට පෙර පැවති තාක්ෂණික තත්ත්වයන් මත පදනම් වූ දෘෂ්ටිකෝණයකි. නමුත් නවීන මෝටර් රථ ඉංජිනේරු තාක්ෂණය, ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රමිතීන් සහ වර්තමාන ප්‍රවාහන අවශ්‍යතා සැලකිල්ලට ගත් විට එම අදහස තවදුරටත් සාධාරණ නොවේ.

අද ලෝකයේ බොහෝ රටවල් මෙම උපාංග තහනම් නොකරන අතර, ඒවායේ නිෂ්පාදන ප්‍රමිතිය, ස්ථාපනය කිරීමේ ක්‍රමවේදය සහ භාවිතය නියාමනය කරමින් මහජන ආරක්ෂාව සහ වාහන කාර්යක්ෂමතාව අතර සමබරතාවයක් පවත්වාගෙන යයි.

Bull Bar සහ Heavy-duty Bumper

ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය සහ එක්සත් ජනපදය වැනි රටවල නිෂ්පාදිත Bull Bars නිශ්චිත ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුව සැලසුම් කරනු ලබයි. ඒවා වාහනයේ Airbag පද්ධති සහ Crumple Zone සැලසුම්වලට අනුකූල වන අතර, වනසතුන්, මාර්ග බාධක සහ අනපේක්ෂිත ගැටීම්වලදී වාහනයේ ප්‍රධාන යාන්ත්‍රික කොටස් ආරක්ෂා කිරීමට උපකාරී වේ.

මෙවැනි ආරක්ෂක උපාංග අනතුරුදායක බව පමණක් සලකා තහනම් කිරීම වෙනුවට, පිළිගත් ප්‍රමිතීන් සපුරාලන නිෂ්පාදන පමණක් අනුමත කිරීම වඩාත් යෝග්‍ය ප්‍රතිපත්තියකි.

Recovery Winch

Winch යනු Off-road විනෝදාස්වාදය සඳහා පමණක් භාවිත කරන උපකරණයක් නොවේ.

ලොව පුරා ගොවිතැන්, වන සංරක්ෂණය, විදුලිබල, ජල සම්පාදන, ගලවා ගැනීමේ සේවා සහ ස්වේච්ඡා ආපදා සහන කණ්ඩායම් විසින් එය අත්‍යවශ්‍ය ආරක්ෂක උපකරණයක් ලෙස භාවිත කරනු ලබයි.

ගංවතුර, නායයෑම් සහ අධික වර්ෂාව නිරන්තරයෙන් ඇතිවන ශ්‍රී ලංකාව වැනි රටක Winch සවි කළ වාහන ආපදා අවස්ථාවලදී රජයේ සේවාවන්ට අමතරව ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකිය.

Roof Rack සහ Rooftop Tent

අද ලෝකයේ Adventure Tourism සහ Overlanding Tourism වේගයෙන් වර්ධනය වන සංචාරක ක්ෂේත්‍ර අතර වේ.

Roof Rack මඟින් භාණ්ඩ ආරක්ෂිතව ප්‍රවාහනය කළ හැකි අතර, Rooftop Tent මඟින් ස්වභාවධර්මයට හානියක් නොකර ආරක්ෂිතව කඳවුරු බැඳීමට පහසුකම් සලසයි.

ශ්‍රී ලංකාවට ද මෙම සංචාරක වෙළඳපොළ ආකර්ෂණය කර ගැනීමේ විශාල හැකියාවක් තිබියදී, මෙවැනි උපාංග සඳහා පවතින අනවශ්‍ය සීමා කිරීම් ආයෝජන සහ සංචාරක සංවර්ධනයට බාධාවක් විය හැකිය.

Auxiliary Driving Lights

අමතර LED Driving Lights හෝ Light Bars සම්බන්ධයෙන්ද බොහෝ රටවල් තහනම් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරයි.

ඒ වෙනුවට UNECE සහ අනෙකුත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඒවා High Beam පද්ධතියට සම්බන්ධ කිරීම, නිසි කෝණයට සකස් කිරීම සහ නියමිත අවස්ථාවලදී පමණක් භාවිත කිරීම අනිවාර්ය කර ඇත.

ශ්‍රී ලංකාවේ බොහෝ ග්‍රාමීය හා කඳුකර මාර්ගවල ප්‍රමාණවත් වීදි ආලෝක නොමැති බැවින්, නිසි ලෙස නියාමනය කරන ලද අමතර ආලෝක පද්ධති රාත්‍රී අනතුරු අවම කිරීමට වැදගත් දායකත්වයක් ලබා දිය හැකිය.

Tow Bar සහ Tow Ball

Tow Bar සහ Tow Ball යනු කුඩා ට්‍රේලර්, කෘෂිකාර්මික උපකරණ, බෝට්ටු, Caravan සහ වෙනත් සැහැල්ලු භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලොව පුරා බහුලව භාවිත වන උපකරණ වේ.

මෙවැනි පහසුකම් නීත්‍යානුකූලව සහ ආරක්ෂිතව භාවිත කිරීමට ඉඩ ලබාදීම මඟින් කුඩා ව්‍යාපාර, ගොවීන්, සංචාරක සේවා සපයන්නන් සහ ග්‍රාමීය ආර්ථිකයට සැලකිය යුතු ප්‍රතිලාභ ලැබිය හැකිය.

නව ප්‍රතිපත්තිමය ප්‍රවේශයක්

ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ මෙම උපාංග සම්පූර්ණයෙන් තහනම් කිරීම නොව, විද්‍යාත්මක හා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් මත පදනම් වූ නියාමන ක්‍රමවේදයක් හඳුන්වා දීමයි.

ඒ සඳහා පහත ක්‍රියාමාර්ග සලකා බැලිය හැකිය.

  1. Australian Design Rules (ADR), UNECE, CE හෝ වෙනත් පිළිගත් ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රමිතීන් සපුරාලන උපාංග පමණක් අනුමත කිරීම.
  2. බලපත්‍රලාභී ආයතන මඟින් පමණක් උපාංග ස්ථාපනය කිරීමට අවසර ලබා දීම.
  3. වාර්ෂික වාහන යෝග්‍යතා පරීක්ෂණයට මෙම උපාංගද ඇතුළත් කිරීම.
  4. උපාංගය තහනම් කිරීම වෙනුවට එහි වැරදි භාවිතයට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.
  5. ජාතික ප්‍රමිතීන් සකස් කිරීමේදී මෝටර් රථ ඉංජිනේරුවන්, මාර්ග ආරක්ෂක විශේෂඥයන්, සංචාරක ක්ෂේත්‍රය, 4WD සංගම් සහ පාරිභෝගික නියෝජිතයන්ගේ අදහස් ලබා ගැනීම.

නිගමනය

නවීන වාහන උපාංග යනු සුඛෝපභෝගී හෝ පෙනුම වැඩිදියුණු කිරීම සඳහා පමණක් භාවිත කරන දේවල් නොවේ. නිසි ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර, නිවැරදිව ස්ථාපනය කර, වගකීමෙන් භාවිත කරන විට ඒවා මාර්ග ආරක්ෂාව, ආපදා ප්‍රතිචාර, ග්‍රාමීය ප්‍රවාහනය, සංචාරක කර්මාන්තය සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන වැදගත් මෙවලම් බවට පත්වේ.

එබැවින්, ශ්‍රී ලංකාවේ වාහන නියාමන ප්‍රතිපත්තිය යල් පැන ගිය තහනම්කරණ ප්‍රවේශයකින් ඉවත් වී, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ, ආරක්ෂාව හා වගකීම ප්‍රමුඛ කරගත් නවීන නියාමන රාමුවක් වෙත පරිවර්තනය විය යුතුය.

අනාගතයේ සුරක්ෂිත, කාර්යක්ෂම සහ සංවර්ධිත ශ්‍රී ලංකාවක් සඳහා, අපගේ වාහන නීතිද නවීන ලෝකයේ යථාර්ථයන්ට ගැළපෙන ලෙස යාවත්කාලීන කිරීම කාලීන අවශ්‍යතාවයකි.

Wednesday, July 8, 2026

308. 4X4 Modifications අපට අකැපද . . . . ?



මම මේ කථාව පටන් ගන්නේ වෙනස්ම තැනකින්.

ඒකාලේ මම සේවය කලේ යුනයිටඩ් මෝටර්ස් සමාගමේ හයිඩ් පාර්ක් ශාඛාවේ සේවා උපදේශකයෙකු ලෙසයි.

ඔය මම කියන කාලේ වාහන බලපත්‍ර නිකුත් කරලා Lancer Ex රථ විකිණෙමින් තිබුනු කාලයක්.

මිට්සුබිෂි සෑම වාහනයක් සඳහාම නිදහස් සේවා තුනක් අයතනය මගින් ලභා දුන්නා. 

කිලෝ මීටර 1000න් 5000න් සහ 10,000න් තමයි ඒ සේවා තුන කලේ.

පළමු සේවාවේදී එන්ජින් තෙල් සහ ෆිල්ටරයද දෙවන සේවාවේදී තෙල් පමණක්ද තෙවන එනම් 10,000දී නැවත තෙල් සහ ෆිල්ටරයද අළුතින් යොදයි.

එක් සැන්දෑවක එහි පැමිණි පාරිභෝගිකයෙකු මා සමග අල්ලාප සල්ලාපයේ යෙදී සිටිනාතර තුර ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙකු බව දැනගන්නට ලැබුනා.

ඔහු නමින් නන්දන කරුණාසේන.

තවත් කාලයක් යන විට ඔහු මාගේ හොඳ මිතුරෙකු වූවා.

ගෘහ නිර්මාණ ශිල්පය ගැන පමණක් නොව බොහෝ දෙවල් ඔහු සමග මා කතා බස් කලා. ඔහුගේ ඇසුර වෙනස්ම එකක් උනා. ඒ ඔහු ලෝකය දිහා බලන ලද සුවිශේෂී කෝණය නිසාම වෙන්න ඕන.

වසරකට පමණ පසුව ඔහු හදිසියේ පැමිණියේ අළුතින් වෙනත් වාහනයක් ගැනීමේ අරමුණින්.

අප ආයතනය විසින් අළුතින් ගෙන්වා ඇති වාහන ගැන ඔහු විපිළිසර උනා.

මම ඔය කියන කාලේ Diesel Manual Montero Sports SUV රථය මෙරටට හඳුන්වා දුන් සමය.

ඒවගේම මිට්සුබිශි අළුත් L200 කැබ් එක Sportero කැබ් එක එහෙමත් එළි බැහැපු කාලෙමයි.

ඔහුගේ රැකියාවේදී බොහෝ විට වැඩබිම් වලට යෑමට සිදුවන බවත් මගේ තේරීම නිසාත් මා ඔහුට යෝජණා කලේ 4WD රථයක් ගනිමු කියාය.

ඔහු ඊට දුන්නේ කදිම පිළිතුරක්.


"මල්ලී මමත් අසයි 4WD එකක් ගන්න. ඒත් ඒකෙ Driving Seat එකට නැග්ගාම මට ආරෝපනය වන ස්වභාවයට මම එච්චර කැමති නෑ!

අපි කාර් එකක යනකොට පාරෙ පයිං යන අයටයි අනිත් වාහන වලට තියෙන ගරුත්වයයි ඔය 4WD එකක යනකොට අපෙන් ඈත් වෙනවා නේද මල්ලි අඩු වැඩි වශයෙන්?


මේ කථාව මම 4WD රථයකට ගොඩවන සෑම අවස්ථාවකදීම මතකයට එයි. ඒ නිසාම මා 4WD රථ පාවිච්චි කල මුළු වසර තිහකට ආසන්න කාල සීමාව තුල ඉතා වැඩි වසර ගණනාවක් පැදවූවේ එක්තරා විනයකට අනුවය. 

ඉන් පිටස්තරයෙකුට හැඟීමකින් හෝ හානියක් නොවීමට හා ස්වභාව ධර්මයාට සිතා මතා හානි සිදුනොවන ආකාරයට ඒවා පාවිච්චි කලෙමි. 

වරක් මුහුනු පොතේ පලවූ වීඩියෝ ක්ලිප් එකක ඉතා පැහැදිලි ජල පහරක ඔබ මොබ යන වාහනයක රුවක් දිස් විය. එසේම කළු පැහැති බොක්ස් ප්‍රාඩෝ එකක් ද වැවක "හාන" වීඩියෝවක්ද මම දුටුවෙමි. 

එම වීඩියො දෙකට මාගේ විරෝධය දැක්වූ විට "යකඩ හීන බලන්නන්" මාහට අම්ම මෝ නැතිව මාහට වහසි බස් කියමින් බනින්නට විය.

එහිදී මා ලියන ලද දෙවන පිළිතුරට බොහෝ අයගේ ප්‍රශංසාව හිමිවී තිබුනි.

එහි අදහස මෙතැන මා ගොනු කරණ්නම්.

"4WD රථයක් යනු බොහෝ අයගේ සිහිනයක්. ඒ අයගෙන් බහුතරයකට එය සාක්ෂාත් කර ගත නොහැකි කාරණයක්. අපිය එම භාග්‍යය ලැබී තියෙනවා. ඒ නිසාම බොහෝ බොහෝ අයට යානොහැකි ස්ථාන වලට යාමට ඒවා විඳීමට අපට අවස්ථාව ලැබෙනවා. මේ ලැබී ඇති භාග්‍ය නිසාම එවැනි තැන් වල ඇති ස්වභාව සෞන්ධර්යය, වටා පිටාව අප විනාශ නොකල යුතුයි. අප ඒවා ආරක්ෂා කල යුතු මයි. විනාශ කරණ්නවුන්ට විරුද්ධ විය යුතුමයි.

මාගේ පියා වන සංරක්ෂණ දෙපාර්ත මේන්තුවේ සේවය කල අඩවි වන නිළධාරි වරයෙක්. ඔහු වියළි කලාපයේ වනාන්තරයක අතර මං ව; සිඳී ගිය ඇළ පාරක පසෙක් වූ වැලි තලාවක වූ වන අලි සටහන තුලට එකතුවී තිබුනු දිය සීරාව ලේන්සුවකින් තෙත් කොට ගෙන එයින් තොල කට තෙමගෙන ජීවිතය ගලවා ගත්තෙක්. 

ඒනිසාම දිය පහරක් සුරැකීමටත්, ජලය දූෂණය කරණ අයට විරුද්ධ වීමටත් මා කටයුතු කරණවා. ඒ නිසා මාගේ විරෝධය පිළිබඳව තේරුම් ගන්න!"

මේ පූර්විකාව ලිව්වේ 4WD රථ සහ ඒවා පාවිච්චිය පිළිබඳ මාගේ දෘෂ්ඨිය දැක්වීම උදෙසාය.

මා මේ පටන් ගත්තේ "යකඩ හීන" හෝ "දවල් හීන" වල දොස් දකින්නට නම් නොවේ. ඒ හා බැඳුනු නීති රාමුව හරහා ගමන් කිරීමටයි.

මෙම ලිපිය මුදුනේ මා ලියා දැක්වූ පරිදි නන්දන කරුණාසේන මහතාගේ අදහස එනම් අප පදවන වාහනයට අනුව ඒවා මාර්ගයේ පදවන  ආකාරය හා භාවිතය වෙනස් වන බව මා මෙන්ම ඔබ විශ්වාස කරණ්නේ නම් බොහෝ පුද්ගලික බස් රථ පදවන්නන් පත්වී ඇති මානසික ව්‍යාධිය තේරුම් ගැනීමට පුළුවන.

4WD රථය සන්නද්ධ කොට ඇති අමතර උපාංග වලට සාපේක්ෂව මෙම් "උණ" වැඩි වනවා සේම පුද්ගලික බස් ර්ථ  වලට සවිකොට ඇති අමතර සුදු යකඩ කොටස් වල කිලෝ ගණනට එම රියැදුරන්ගේ නොහික්මුණු බවද වැඩිවී ඇති බව  මා දැක ඇත. මෙසේ නොවන 4WD පදවන්නන් බොහොමයක්ද බස් රියැදුරන් සුළු පිරිසක්ද නැතුවා නොවේ. මමද එය අත්දැක ඇති කාරණයකි. 

මේ නිසාම අණතුරක් හෝ වෙනයම් සිද්ධියකදී මෙම බස් තොර්ණෙහි රූප රාමු හා කථා ශරීරය ඉස්මතුවී පොලීසිය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව සුදු යකඩ ගැලවීමේ මෙහෙයුමකට පාරට බසී!

"වාහනයක මුල්ස්වරූපය වෙනස් කල නොහැක!" මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ දෙව වාක්‍යය.

වාහනයක ඇතුලත අදහන දෙවියන් නොව අම්ම තාත්තගේ පිංතූරයක් ඇලවීම, හුඩ් රැක් එකක් සවි කිරීම , වර්ණය වෙනස් කිරීම, රේඩියෝවක ඒරියල් එකක් දැමීමේ සිට වාහනයකට පලල් ටයර යෙදීම, වින්ච් එකක් සවි කිරීම, හුඩ් රැක් එකක් සවි කිරීම දක්වා එකී නොකී මෙකී සියල්ලම පෙර කී දේව වාක්‍යයට අනුව වැරදි වේ.

මේ සෑම සියල්ලටම එදිරිවීමට හේතුද ඔවුන් වෙත ඇත. ඒවායින් බොහොමයකට නියාමනයක් හෝ සම්මතයක් නොමැති වීම කණගාටුවට කරුණකි.

උදාහරණයක් ලෙස දේව රූප බුද්ධ රූප ආදිය ඉදිරියේ සවි කිරීම ගතහොත් එයට පොලීසියෙන් යොදන තාක්ෂණික නාමය "ඉෂ්ඨ රූප සවි කොට තිබීම" යන්නය. 

මා කිසිදා වාහනයක දෙවියන් බඹුන්ගේ රූප සවිකොට නොගියාට එවන් මානසික තත්වයන් ඇති අය ඕනෑ තරම් සිටිති. එය එසේ නම් එම රූපය සවිකිරීමට සම්මත ස්ථානයක් හා ප්‍රමාණයක් එයට ලභා දිය යුතුය.

කොටින්ම සෑම වාහනයක් සඳහාම; ඒ ඒ වාහනයට ගැලපෙන නවීකරණයක් පිළිබඳ කථිකාවක් නීති ක්ෂෙත්‍රයේ ඇතිවී ඒවා  මෙරට රථ වාහන ආඥා පනතට එකතු විය යුතු යුතුය.

මෙම පෝස්ටුව මගින් කථා කෙරෙණ්නේ මුළු මහත් වාහන ප්‍රජාව පිළිබඳව නොව විශෙෂයෙන් 4WD වාහන පිළිබඳව බව කරුණාවෙන් සළකන්න.

වාහනයක වහලය මත කිසිවක් තබාගෙන යෑමට සවි කර ගන්නාවූ හුඩ් රැක් එකක් නීතිමය වශයෙන් තහනම් වූයේ මන්දැයි මාහට සිතා ගත නොහැක.

Winch - වින්චි

වාහනයේ ඉදිරිපස සවිකරණ වින්චි සම්බන්ධයෙන් බොහෝ පොලිස් නිළධරයින් ක්‍රියා කරණ්නේ වෙනත් වාහනයකින් ගලවා ගත් හොර  බඩුවක් ප්‍රවාහණය කරණ කෙනෙකු දෙස බලනාකාරයෙනි.

එහිදී සමහර නිළධරයින් වාහනයේ සම්මත දිග වෙනස් නොකර සවිකරගෙන යෑමට ඉඩ දෙන් අයුරු අප දැක ඇත.

එහෙත් කණගාටුවට කාරණය වන්නේ බොහෝ වාහන්වලට උදාහරණයක් ලෙස Toyota / Nissan / Mitsubishi / Isuzu Cab, Nissan Patrol / Isuzu Trooper SUV / L300, L400 4WD Van වැනි රථ වලට එසේ වින්චියක් වාහනයේ බෆරයට පසු පසින් සවි කිරීමට ඉඩක් නොමැති නිසාය.

එය එසේ හෙයින් එයට වින්ච් බෆරයක් සවිකරගත යුතුය. වාහනයේ මූලික ස්වභාවය වෙනස් කිරීම යටතේ එය නඩුවකි. බොහෝ පොලිස් නිළධරයින් පවසන්නේ වින්ච් බෆරයක් සහිතව මහපාරේ ගමන් කිරීම අනතුරු දායක බවයි. එනම් අනතුරකට පත්වන පුද්ගලයා හට දැඩි හානියක් වීමට ඉඩ ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

එහෙත් මෙතෙක් කලකට මෙරට මාර්ග අණතුරු වලින් මියගිය බහුතරය වින්ච් බෆර් සමග ගැටීමෙන් නොවන බව ඔවුන්ට වටහා ගත නොහැක.

වින්චියක් (Winch) වාහනයකට අත්‍යඅවශ්‍ය උපාංගයක්ද? කෙනෙකු තර්ක කරාවි! එය තීන්දු වන්නේ එම වාහනය පාවිච්චිකරණ ස්වභාවය අනුවය. 4WD රථයක් මිළදී ගන්නේ එදිනෙද කන්තෝරුවට යන්නට, ළමයි ඉස්කෝලේ යවන්නට, හෝ සාප්පු යමට නොවේ. 

ගිරි දූර්ඝ, වන දූර්ඝ, වැලි සහිත මඩ සහිත මං මාවත් ඔස්සේ ගමන් බිමන් යෙදෙන හා යෙදීමට කැමති අය 4WD රථ මිළදී ගනිති.

සාමාන්‍ය වාහනයකට වඩා 4WD රථයක් බොහෝ සෙයින් මිළ අධිකය. ඒවා මෙරටට ගෙන්වීමේදී වැඩි බදු අයකිරීමක් රජය කර ඇත. බදු මුදල් යනු පොදු මුදල් ය. 4WD භාවිතා කරණ අය ගෙවනා බදු වලින් ඵලප්‍රයෝජන  පෙරළා ලැබෙන්නේ 4WD රථ භාවිතා කරණ්නවුන්ට පමනක් නොවේ. ඒවා භාන්ඩාගාරයේ පොදු අවශ්‍යතා සඳහා වැය කරයි. එසේම 4WD රථ රටකට අනවශ්‍ය එකක් ලෙස කිසිදු රජයකට තර්ක කල නොහැක. මන්ද වැඩිම 4WD රථ හිමි කරුවා ආණ්ඩුව නිසාය.

මෙවන් රථයක් වුවද මඩ හො වැලි සහිත මාර්ගයකදී කිසිවක් කරකියා ගත නොහැකි ලෙස සිරවීමට ඉඩ ඇත. මඩ හෝ වැළි සහිත ස්ථානයකදී රෝද හතරේම ඝර්ෂණය අහිමිවී යෑමකදී නෝසේනම් රෝද හතරම ලිස්සා යන මොහොතකදී එම තැනින් ගොඩ වන්නට වින්චියක් උපයෝගී කරගනු ලබයි. 

එසේම එවන් අකර තැබ්බයකට පත්වී ඇති වෙනත් රථයක් එයින් මුදවා ගැනීමට හෝ බාධකයක් ඉවත් කර ලීනට විචියක් උපයෝගී කර ගනු ලභයි. (වරක් මාගේ Toyota BJ60යට සවි කොට තිබුනු වින්චිය මා උපයෝගී කර ගත්තේ විදුලි රැහැන් ත්‍රිත්වයකින් සැද්ම් ලත් කුඩා ත්‍රිකෝණයක් තුලින් කපන ලද ගසක අතු බිමට බෑමටය!

මීට පෙර මා විසින් ලියන ලද Don't Underestimate Power of the Common Man නම්වූ බ්ලොගයේ පරිදි මෙරට සිදුවුනු හා සිදුවිය හැකි ස්වභාවික ව්‍යවසනයන් හීදී සාමාන්‍ය මිනිසුන් මහත්වූ කාර්‍ය භාරයක් කරයි. එහිදී 4WD රථ හිමියන් කරණ්නේද අනුපමේය සේවයකි. පෞද්ගලික 4WD රථ මහත්වූ කාර්‍ය භාරයක් කරයි. 

කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව සිදුකරණු ලබන මෙම මෙහෙය මෙවර දිත්වා කුණාටුවේදීද, ගං වතුර තත්වයන් වලදීද, සුනාමියේදීද මා අත් දැක ඇත.

මෙවන් අවස්ථාවල්දී එළියට එන්නේ කන්තෝරු යෑමට, ළමයින් පාසැලට ඇරළවීමට හා නෝනට සාප්පු යෑමට ගෙවල් වල ගාල් කොට ඇති 4WD රථ නොව සැබැවින්ම ඒවා රළු භාවිතයට පාවිච්චි කරණ්නාවූ අයගේ රථ ය.

පසු ගිය කාලය තුල මේ පිළිබඳව සමාජය තුල ඇතිවූ කථා බහේදී මෙවන් Modification හෝ අමතර උපාංග ගැලවීම හුදෙක් මෙම රජයේ වරදක් හෝ කුහක කමක් ලෙස හුවා දැක්වීමට බොහෝ අය කටයුතු කලේය.

එහෙත් මෙම රජයෙන් අළුතින් නීති පොතට එක් කල නීතියක් ක්‍රියාවේ යෙදවීමක් සිදු නොවූ බව ඔවුන්ට නොවැටහීම කණගාටුවට කරුණකි. 

මීට පෙර සිදුවූයේ බොහෝ විට මෙවන් 4WD රථවාහන පාවිච්චි කල බොහෝ අයට දේශපාලන රැකවරණයක් හෝ අත් වැලක් තිබීම  නිසාම පොලීසිය හෝ මොටර් රථ වාහන දෙපාර්තමේන්තුව තමන්ට පොතෙන් හිමි නීතිය අකුලාගෙන සිටීමය.

මෙරට අනෙකුත් සියළුම කරුණු කාරණා සිදුවන ලෙසටම උපාංගය භාවිතයට පැමිණියාට ඊට අදාල උපදෙස් හෝ නීති රීති පැමිණ නැත. 

ඔරලෝසුව බැන්දාට වෙලාවට වැඩ කිරීම උගෙන නැතිවාක් මෙන්ම මෝටර් රථය මෙරටට ගෙන ආ කාලයේ හෝ බොහෝ කලකට පෙර හෝ භාවිතයට ආ නීති රීති නියමාකාරයෙන් යාවත් කාලීන වී නොමැත.

1865 බ්‍රිතාන්‍යයේ සම්මත කරගත් නීතියකට අනුව ස්ව්‍යංචාලක රථයක් (එකල මං මාවත් වල දිවුනේ අශ්වයන් ඇදගෙන ගිය රථයන් ය!) මහ මග දිවෙද්දී මාර්ගයේ ඇවිද යන්නවුන් හට අණතුරු දායක බව පල කිරීමට රතු කොඩියක් රැගෙන යයුතු විය. එය නමින් රතු කොඩි පනත නම් වේ!   මේ ගැන මෙතැනින් කියවන්න. මෙවන් නීතියක් බ්‍රිතාන්‍යයේ නැත්තටම නැතිවූ පසු මෙරටට  මෝටර් රථය නොගෙනෙන්නට තවමත් මෙරට වාහන වලට ඉදිරියෙන් රතු කොඩියක් අතින් ගත් අයෙකු දිව යනවා අපට දකින්නට පුළුවන් විය.

රටක් සංවර්ධනය වන විට ඇථිවන තාක්ෂණික ඉදිරි පිම්මට අදාල වන ලෙස නීති රීති සම්පාදනය විය යුතුය.

මේ ගැටළුව වෙනුවෙන් අදහස් බෙදා හදා ගන්නට  රජයට කරුණු ඉදිරි පත් කරණ්නට සහ මේ පිළිබඳව සාධාරණ නීති සම්පාදනය කරගන්නට 4WD පාවිච්චි කරණ්නන්, අයිති කරුවන් හා නවීකරණය කරණ්නන් එක්ව නිර්මාණය කල වට්සැප් සමූහයක මේ පිළිබඳව පුළුල් කථිකාවතක් ඇතිවී ඇත.

එහිදී එහි ක්‍රියාකාරී සාමාජිකයෙකුවූ නලීන් ප්‍රේමරත්න විසින් ඉදිරිපත් කර තිබුනු අවශ්යතා ලැයිස්තුව මෙහි පෙල අගස්වමි.

1.  Front Bumper & Winch (No Bull Bars)

ඉදිරිපස බෆරය සහ වින්චිය. (බුල් බාර් රහිතව )

බුල් බාර් රහිත වින්චිය සහ බෆරය
Montero

බුල් බාර් රහිත වින්චිය සහ බෆරය
Range Rover

බුල් බාර් සහිත වින්චිය සහ බෆරය
Toyota Hilux

2.  One pair of  Fog Lights (Should be not higher Than the head lights, with minimum 30cm gap)

මීදුම සඳහා භාවිතා කරණ ලාම්පු යුගලයක්. (මේවා ප්‍රධාන පහන් වලට ඉහලින් සවි නොවිය යුතුඅතර ඒවා අතර අවම සෙන්ටි මීටර 30ක් විය යුතුය )

මීදුම සඳහා භාවිතා කරණ ලාම්පු යුගලයක්
Toyota Hilux

3.  Roof rack (No lights are permitted on it) Expect a work lamp at the back of the roof rack)

වහල මත සවි කරණ රැක් එකක්. (එහි ලාම්පු කිසිවක් සවි නොවේ) පසු පසට වැඩ කිරීමට පමණක් පහතට යොමුවූ ලාම්පුවක් සවිවේ)

වහල මත සවි කරණ රැක් (Roof Rack) එකක්.
Toyota BJ 60

පසු පසට වැඩ කිරීමට පමණක් පහතට යොමුවූ ලාම්පුවක්

වහල මත ඉදිරියට ලාම්පු සවිකල   රැක් එකක්.
Toyota BJ   60

4.  Larger Tyres (They should be covered by the fenders)

වාහනයට නිශ්පාදකයා විසින් එයට සවි කර එවන ලද රෝද වලට සාපේක්ෂව විශාල ටයර භාවිතය (ඒවා අනිවාර්‍යයෙන්ම ෆෙන්ඩර්ස් මගින් ආවර්ණය විය යුතුය )

ෆෙන්ඩර්ස් මගින් ආවරණය වූ සාපේක්ෂව විශාල ටයර්
Toyota Hilux

5.  Awning

ඕනිං! මෙය අපට ඒ තරම් හුරු පුරුදු දෙයක් නම් නොවේ. 




මෙම තාවකාලික වහලය නැවත ස්ව්‍යංක්‍රීයව අකුලා මුල් රූපයේ පරිදි සැකසිය හැක.


6.  Roof Top Tent
වහලය මත සවි කරණු ලබන කූඩරම.
මේ පිළිබඳව මෙන්න මේ ලින්කුවෙන් ගොස් Roof Top Tents & හරිත කන්ද කෑම්පින් . . නමින් මා ලියන් ලද  පෝස්ටුවෙන් වැඩි විස්තර බලාගත හැක.



7.  Rear Bumper with a Tyre Carrier, Jerry Can holder & Trailer Hitch

පසුපස බෆරය හා එයට සවිකල අමතර රෝදය, අමතර ඉන්ධන ගෙන යා හැකි ජෙරී ටැංකිය සහ ට්‍රේලරයක් ඇමිණිය හැකි 50mm ට්‍රේලර් හිච් එක

ඉහත රූපයේ පෙනෙන පරිදි අමතර රෝදය සහ ජෙරී කෑන් එක සවි වන අතර ට්‍රේලරයක් අමුණන 50ම්ම්  බෝලය සහිත කොටස සවිවන රිසීවරය ඇත්තේද මෙම පිටිපස බම්පරයටම සමගය.

රිසීවරය (Receiver)

50 mm බෝලය (50mm Ball) සහිත කොටස සහ එය සිරකරණ  කඩ ඇනය සහ
 එය අගුළු ලන කොටර් පින් එක (Cotter Pin)

8. Cycle carrier

පාපැදි එකක් හෝ කිහිපයක් ගෙන යා හැකි සයිකල් කැරියරය. මෙය බොහෝ විට ට්‍රේලර්  හිච් රිසීවර් එකට සවිකල හැක.            



 50mm  බෝලය සහිත කොටස සවිවන රිසීවරයෙන් හිච් එක ඉවත් කර සයිකල් කැරියරයේ පහතින් ඇති කොටස ඇතුළු කොට පින් එක මගින් පසුපස බෆරයට සවිකල හැක.

ඕනෑම වාහන නිෂ්පාදකයෙකු විසින් එකම වර්ණයක වාහන නොනිපදවා විචිත්‍ර ලෙස ඉදිරි පත් කරණ්නේ එයින් කිසියම් කලාවක් නිර්මාණය වන නිසාය. 
එසේම රථ වාහන සඳහා කිසියම් නියාමනයකට යටත්ව නවීකරණයන් වියයුතු වේ. 
පොදු ගමනාගමන අවශ්‍යතා සඳහා භාවිතා කරණ රථ වාහන සඳහා කරණු ලබන නියාමනයට වඩා වැඩි ලිහිල් බවක් පෞද්ගලික රථ සඳහා ලැබිය යුතු බව මාගේ පෞද්ගලික අදහසයි.
විශෙෂයෙන් මෝටර් රථවාහන පිළිබඳව දියුණු රටවල පවතින නීති රීති ආභාෂයට ගනිමින් අපගේ රටට, පරිසර පද්ධතියට හා මාර්ග පද්ධතිය්ට ගැලපෙන ආකාරයෙන් පවතින නීති රීති වෙනස් වියයුතු කාලය දැන් එළඹී ඇත.

සමහර අවස්ථාවලදී 4WD රථයක් මෙවන් නවීකරණය කිරීමකට ලක් කිරීම කරණ කොට ගෙන; පොලීසියෙන් හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නවතා ඒවා ගැලවීමට නියම කල විට තමා විසින් පසුගිය සුනාමිය හෝ වෙනත් ගං වතුර , දිත්වා ව්‍යවසනය වැනි ස්වභාවික ආපදා වලදී ස්වෙච්ච්හාවෙන් කටයුතු කල හැටි පැවසීමට පුරුදුව ඇත. 
එසේම ඒවා සනාත කිරීමට ඡායාරූප හෝ වීඩියෝ පෙන්වීමට උත්සාහ කරද්දී ඒවා හෙලා දකිමින් හා අවතක්සේරුවට ලක් කරමින් කතා කල අවස්ථා බොහොමයක් ඇත.

මේ සියල්ලෙන්ම පවතින රජය අපකීර්තියට පත්වීම හා එවන් අවස්ථාව්කදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන "මිනිසුන්" වඳවීම නවත්වා ලිය නොහැකි වේ.

ගෙදර මැද සාලයේ සිට රූපවාහිනියෙන් ගං වතුර බලන කල, දුවා දරුවන් සමග කුඩ ඉහලාගෙන ගංවතුර ප්‍රදර්ශණ නරඹන මිනිසුන් සිටින රටක එම දුෂ්කරතාවයන් වලට මුහුණ දෙමින් කිසිදාක දැක නැති මිනිසුන් වෙනුවෙන් ඉදිරියට එන්නේ අවදානම ගන්නේ, තම මිළ මුදල්, ශ්‍රමය හා ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරි පත්වන්නේ එවන් මිනිසුන් ය! 

මෙවැනි ව්‍යවසනයන්හීදී ඔවුන් කල කී දෑ පොත් පිරෙන්නට ලියන්නට හැක. 

ඔවුන්ගේ අවසාන ඉල්ලීම පෙරකී අංක 8 කට කැටි කොට ඇත. එසේම මේවායින් මාර්ග අනතුරු වේ යැයි කිසියම් විද්යානුකූලවූත් හා තර්කානුකූලවූත් අදහසක් වේ නම් එය ඉදිරිපත් කරණ්ණට ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

වෙනත් රටවල මෙම තත්වයන් නියාමනය කොට ඇති ආකාරය අධ්‍යනය කොට එයට විසඳුමක් ලබා දීම රජයේ වගකීමක් සේ ඔවුන් විශ්වාස කරයි.
ඔවුන්ගේ බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ ඒ සඳහ විශේෂිත සාධාරණ බදු මුදලක් හෝ රක්ෂනාවරණයක් යටතේ හෝ මෙම නවීකරණයන් කිරීමට අවස්තාව ලබා දෙන්නේ නම් එය ඉතා බුද්ධිමත් තීරණයක් වන බවයි.

4WD රථ පදවන, ඒවායේ නවීකරණයන් කරණු ලබන ආයතන බලා පොරොත්තුවන්නේ මහ පාරේදී මෙම රථවලට පොලීසියෙන් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කරණු ලබන බාධාවන්  අවම කිරීමක් හෝ නවතා ලීමක් නොව මෙම නවීකරණයන් පිළිබඳව රජයේ මැදිහත්වීමක් ය.
මෙරට මෝටර් රථ ආඥා පනතට ගෙන එනු ලබන සංශොධනයක් හෝ ව්‍යතිරේකයක් මගින් මෙම කරුණ පිළිබඳව නීතිමය ප්‍රවේශයක් හා විසඳුමක් ලබා දෙන ලෙසයි.

මෙතෙක් පැවති රජයයන්ගෙන් සිදුවූයේ මෙම ප්‍රශ්ණයට පැලැස්තර දැමීම විනා ස්ථිර සාර විසඳුමක් ලබා දීම නොවේ.

පොලීසිය හා අනෙකුත් රාජ්‍ය ආයතන නීතියේ විධානය බාධාවකින් තොරව ක්‍රියාවට නැංවීමෙදී එහි සෘජු බලපෑම සිදුවන්නේ නවීකරණයන් සමග 4WD පාවිච්චි කරණ්නන්ටය. 

එය දැනෙන්නේ මෙම පවතින රජයෙන් අළුතින් ක්‍රියාවට නැංවූ දෙයක් ලෙස වූවාට ඒවා මෙතෙක් සංශෝධනය නොවූ නීතිමය කාරණාය.

උදාහරණයකට දුම්රිය මාර්ගයේ පයින් ගමන් කිරීම දඩයකට යටත් විය යුතු වරදක් වුවද එය සාමාන්‍යයෙන් ක්‍රියාවේ යෙදෙන්නේ අතිශය කලාතුරකින් ය. ඉන් අදහස් කරණ්නේ නීතිය ඉවත් කොට ඇති බව නොවේ!

එසේම සමස්ථ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නවීකරණය කල වාහන දෙස ආදරයෙන් බලා මෙම සටනට සහයෝගය දෙන ලෙසය.

මේවාත් Modifications ම තමයි!


මෙරට 4WD රථ නවීකරණය පිළිබඳව ගුරුකොට ගන්නා මුදුන් මල්කඩ වන්නේ ඕස්ට්‍රේලියාවයි.
එරට වුවද තම තම්න්ගේ හිතූ මනාපයට තමන්ගේ සිතැඟි පරිදි වාහන වල මුල් ස්වරූපය වෙනස් කිරීමට හෝ නවීකරණය කිරීමට ඉඩ දී නොමැත.
ඒ සඳහා රජයෙන් තදින් නියාමනය වන නීති පද්ධතියක් ඇත.

මේ පිළිබඳව උනන්දුවක් දක්වන අයෙක් වේනම් ඒ පිළිබඳව සටහනක් මෙම පෝස්ටුවේ උප ලෙඛනයක් ලෙස පහතින් දැක්වේ. මෙය මා උපුටා ගත්තේ පෙරකී වට්සප් සමූහයට නිමන්ත බෙන්තර ආරච්චි සොයුරා විසින් සපයන ලද සටහනකින් බව මතක් කරමි :-


ඔස්ට්‍රේලියාවේ 4x4 (4WD) වාහන භාවිතය සහ ඒවාට සිදු කරන වෙනස්කම් (Modifications) සම්බන්ධයෙන් ඉතාමත් තද සහ සංකීර්ණ නීති පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා.

මෙම නීති ප්‍රධාන වශයෙන් පාලනය වෙන්නේ VSB14 (Vehicle Standards Bulletin 14) නමැති ජාතික මාර්ගෝපදේශය මඟින් වුවත්, ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට (State to State) මේවායේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.

​ප්‍රධාන වශයෙන්ම බලපාන නීති සහ රෙගුලාසි කිහිපයක් පහත පරිදි හඳුනාගන්න පුළුවන්:
​1. Ride Height සහ Lift Kits (වාහනය උස කිරීම)
​4x4 වාහනවලට බහුලවම කරන suspension හෝ body ලින්ක්වලට දැඩි සීමා පනවා තියෙනවා. බොහෝ ප්‍රාන්තවල ඉංජිනේරු සහතිකයක් (Engineering Certification) නොමැතිව වාහනයක් උස කළ හැක්කේ උපරිම 50mm (අඟල් 2) දක්වා පමණයි.
​Suspension Lift: සාමාන්‍යයෙන් 50mm දක්වා සහතික නොමැතිව අවසර ඇත.
​Body Lift: චැසිය සහ බොඩිය අතර බ්ලොක් තබා උස කිරීම (Body Spacers) සමහර ප්‍රාන්තවල (උදා: NSW, VIC) සහතිකයක් නොමැතිව තහනම් හෝ දැඩි සීමාවලට යටත් වේ.
​Total Lift (සමස්ත උස): ටයර්, සස්පෙන්ෂන් සහ බොඩි ලිෆ්ට් යන සියල්ලේම එකතුව බොහෝ ප්‍රාන්තවල සහතිකයක් නොමැතිව 50mm නොයික්මවිය යුතුය (NSW වැනි ප්‍රාන්තවල ටයර් + සස්පෙන්ෂන් එකතුව 75mm දක්වා ඉංජිනේරු සහතික රහිතව අවසර දෙන අවස්ථා ඇත).
​⚠️ විශේෂ සටහන: වාහනය 50mm වඩා වැඩි ප්‍රමාණයකින් උස කරන්නේ නම් (උදා: 3-inch හෝ 5-inch lifts), එය මාර්ගයේ ධාවනයට නීතිමය අවසර ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම VASS (Vehicle Safety Compliance Certification Scheme) හෝ පිළිගත් මෝටර් රථ ඉංජිනේරුවරයෙකු ලවා සහතික කළ යුතුය. එහිදී Lane Change Test සහ ESC (Electronic Stability Control) පරීක්ෂණ සිදු කෙරේ.

​2. Tyres සහ Wheels (ටයර් සහ රිම්ස්)
​Tyre Size (ටයර් ප්‍රමාණය): වාහන නිෂ්පාදකයා නිර්දේශ කර ඇති උපරිම ටයර් ප්‍රමාණයට වඩා (Rolling Diameter එක) උපරිම 50mm දක්වා විශාල ටයර් දැමීමට බොහෝ ප්‍රාන්තවල අවසර ඇත. (එනම් ටයර් එක පැත්තකින් වාහනය උස වෙන්නේ 25mm කින්).
​Wheel Track (රෝද දෙක අතර පරතරය): 4x4 වාහනවල ස්ථායීතාව සඳහා රෝද පිටතට විහිදෙන පරිදි offset රිම් දැමීමේදී Wheel Track එක උපරිම 50mm දක්වා පමණක් පළල් කිරීමට අවසර ඇත.
​Wheel Spacers: ඔස්ට්‍රේලියාවේ පොදු මාර්ගවල ධාවනය වන වාහන සඳහා Wheel Spacers භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් (නිෂ්පාදකයා විසින්ම ලබා දී ඇති අවස්ථාවල හැර).
​Mudguards (Flares): ටයර් එක වාහනයේ බොඩියෙන් හෝ මඩ්ගාඩ් එකෙන් පිටතට නෙරා නොතිබිය යුතුය. ටයරයේ සම්පූර්ණ පළල වැසෙන සේ Flares සවි කර තිබීම අනිවාර්ය වේ.

​3. Bull Bars සහ Winches
​Bull Bars: ඕස්ට්‍රේලියානු ප්‍රමිතීන්ට (Australian Standards AS4876.1) අනුකූල Bull Bars පමණක් සවි කළ යුතුය. මඟීන්ගේ ආරක්ෂාවට හානි වන පරිදි ඉදිරියට නෙරා ආ උල් සහිත කොටස් (Fishing rod holders වැනි දේ බුල්බාර් එක ඉදිරියේ ස්ථිරව සවි කිරීම) තහනම්ය.
​Winches: වින්ච් එකක් සවි කිරීමේදී එය බුල්බාර් එක ඇතුළත ආරක්ෂිතව තිබිය යුතු අතර, එයින් වාහනයේ ඉදිරිපස බලපත්‍ර තහඩුව (License Plate) හෝ ලයිට් වැසීම සිදු නොවිය යුතුය.

​4. Lighting (අතිරේක ලයිට් සවි කිරීම)
​LED Light Bars / Spotlights: අමතර ලයිට් සවි කිරීමේදී ඒවා ප්‍රධාන හෙඩ්ලයිට් දැල්වෙන විට High Beam එකත් සමඟ පමණක් දැල්වෙන පරිදි සවි කළ යුතුය (Isolated switch එකක්ද තිබිය යුතුය).
​සවි කරන ස්ථාන: වහලය උඩ (Roof racks) ලයිට් බාර් සවි කිරීමේදී රියදුරුගේ පෙනුමට බාධා නොවන පරිදි සහ ඉදිරියෙන් එන වාහනවලට බාධා නොවන පරිදි නීතිමය සීමාවන් ඇත. ලයිට් බාර් එකක් සවි කරන්නේ නම් එය වාහනයේ ඉදිරිපස මැදට වන්නට යුගල වශයෙන් (හෝ එකම ලයිට් බාර් එකක් ලෙස මැදින්) තිබිය යුතුය.

​5. Mechanical සහ Drivetrain වෙනස්කම්
​Exhaust Systems: වාහනයේ දුම් බට පද්ධතිය වෙනස් කිරීමේදී ශබ්ද සීමාවන් (Noise levels) සහ පරිසර දූෂණ සීමාවන් (Emissions) ඉක්මවා නොයෑමට වගබලා ගත යුතුය. Catalan Converter හෝ DPF පද්ධති ඉවත් කිරීම බරපතල නීති විරෝධී ක්‍රියාවකි.
​Diff Lockers: පසුපස හෝ ඉදිරිපස ඩිෆරන්ස් ලොකර්ස් (Air/E-Lockers) දැමීම නීත්‍යානුකූලයි, නමුත් මාර්ගයේ ධාවනය සඳහා ස්ථිරවම ලොක් කරන ලද ඩිෆරන්ස් (Spool හෝ Welded Diffs) භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්ය.

​නීති කඩකිරීමේ ප්‍රතිවිපාක (Risks of Non-Compliance)
​ඔබ මෙම නීති උල්ලංඝනය කරමින් 4x4 වාහනයක් මාර්ගයට දැමුවහොත්:
​Defect Notice (කහ ස්ටිකරය): පොලිසිය හෝ ට්‍රාන්ස්පෝට් නිලධාරීන් විසින් වාහනය අඩපණ කර (Defect කර) නීත්‍යානුකූල භාවය පරික්ෂා කරන මධ්‍යස්ථානයකට (Roadworthy pits) යොමු කරවයි. එහිදී මුළු වාහනයම පරීක්ෂාවට ලක් වේ.

​Insurance Void: අනතුරක් සිදු වූ අවස්ථාවකදී වාහනයේ නීති විරෝධී වෙනස්කම් (Illegal modifications) තිබුණහොත්, රක්ෂණ සමාගම (Insurance) විසින් වන්දි ගෙවීම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලබයි.

​දඩ මුදල්: ප්‍රාන්තය අනුව ඩොලර් සිය ගණනක සිට දහස් ගණනක් දක්වා දඩ සහ Demerit points කැපීම සිදුවිය හැක.

​💡 උපදෙස: ඔස්ට්‍රේලියාවේ 4x4 එකකට යම් වෙනස්කමක් කිරීමට පෙර අදාළ ප්‍රාන්තයේ (VicRoads, Transport for NSW, TMR QLD, Dept of Transport WA) නිල වෙබ් අඩවියේ ඇති Vehicle Standards Information (VSI) හෝ VSB14 මාර්ගෝපදේශය කියවා බැලීම හෝ Signatory Engineer කෙනෙක් හමුවීම අනිවාර්ය වේ.

Friday, October 20, 2023

264. ජැකා . . . . ! (ශනිදාට පෙර දින)

(සවන් දෙන්න )

මහගම සේකරයන් විසින් රචිත ඉහත ගීතය ගැයෙන්නේ "තුංමං හංදිය" චිත්‍රපටයේය.

මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් යම් ප්‍රතිශතයක් ජීවිතයේ කිසියම් දිනෙක යම් ආකාරයේ විමර්ශණාත්මක කාර්‍යයක් ජැකා ගේ ඇස තුලින් සිදු කොට ඇතැයි මා විශ්වාස කරමි. මේ ගීතය මෙතැන මා යෙදූවේ එය සංඛේතාත්මක කිරීමටය.

අපගේ සිනමාව වේදිකාව සහ රූපවාහිනිය යන  මාධ්ය ත්‍රිත්වයම අතික්‍රමණය කල නළුවෙකු සිටියානම් ඒ ජැකාම විය. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාද ප්‍රසිද්ධ  වේදිකාවේ රඟපා ඇති නමුදු; මාගේ මතකයේ හැටියට ඒ ජූලියස් සීසර් නාට්‍යයේ පමණක් ය. (දොසක් ඇත්නම් නිදොස් කරණ්න)! ටෙලියක් ලෙසට මාගේ මතකයේ රැඳෙන්නේ "සුදු සහ කළු"  පමණි. එයද ශ්‍රි ලංකික ටෙලි වංශ කථාවේ සංධිස්ථානයක් තබා බෝක්කු කනුවක් වත් නොවීය.

ජෝ අබේවික්‍රම "සබද පබිලිස්" හා "සකිසඳ එලියස්" නාට්‍ය යුගලයේ රඟපෑවා වුවද; ජැකා ටෙලිය තුල වේදිකාව තුල පෑ පෙළහර පෑමට ඔවුන් සමත්වූයේ නැත.

ඔහු ප්‍රසිද්ධ වේදිකාව සහ ටෙලිය තමා සන්තකයට ගත් අයුරු මා මෙතැන ලියන්නට යන්නේ නැත.  සියල්ල; ඒවා සියල්ල අතැඹුලක් සේ දනිති!

චිත්‍රපට ක්ෂෙත්‍රයේදී අස්වැසුම, බවදුක, බවකර්ම, ගිණි අවි සහ ගිණිකෙළි ලෙස පෙලක් ලිවීමට හැක. මේ සියල්ල මේ දිනවල බුකියේ ඒ මේ අත හුවමාරුවන කාරණාය!

ජැකා චිත්‍ර ශිල්පියෙකු ලෙස මා පලමුව දකින්නේ මල්ටි ෆැක්ස් ආයතනයෙන් එළි දැක්වූ "සුහද" චිත්‍ර කථා පත්තරයේ "සාතන්ගේ පුත්තු" නමින් ඇඳි චිත්‍ර කථාවෙනි. ඊට අමතරව "ළිහිණින්ගේ රාත්‍රිය","යකාට බයනම්" යනුවෙන් චිත්‍රකථා ඇඳ තිබුනි. එහෙත් ඒවා ප්‍රශස්ථ මට්ටමක නොතිබූ බව මගේ හැඟීමයි! 

පසු කාලයකදී ඇන්ටන් බී පෙරේරා "සිත්තරෙන්" ඉවත් වීම සමග මග ඇන ගත් "කුළු හරක්" කතාව අවසන් කලේද ජැකාමය! (ඒ ගැන මාගේ බලවත් කණගාටුව; මන්ද  ඇඳීම අතින් ඇන්ටන්ට  අලගු තැබීමට නොහැකිව සිටියදී එය අවසන් කිරීමට ඇන්තනි භාර ගැනීමය!)

ඔහුගේ ගායනය පිළිබඳ ඉදිරිපත් කල හැකි හොඳම නිදසුන වන්නේ "සුසීමා" වට ගැයුණු ගීතයයි. ජනක රත්නායක විසින් සතුට පත්‍රයට ඇඳි චිත්‍රකථාවක් ඒ නමින්ම ටෙලියකට නැගුනු අතර මාගේ මතකය නිවැරදිනම් එම ගීතය ගයන්නට නියමිතව තිබුනේ ජැකාගේ චරිතයට නොව රංග  ලෙස රඟපෑ පාලිත සිල්වාටය! එය ජැකා වෙතට ගිය ආකාරය පිළිබඳව විවිධ කථා මා අසා ඇති මුත් ඒවාට හුදෙක් කට කථා බැවින් මා මෙතැන නොලියමි.

කලෙකට පෙර ජැකා දිවයින ඉරිදා සංග්‍රහයට "පනා පුත්‍ර කුහුඹු පැණියා" නමින් තීරු ලිපියක් ලිවීය. "පනා පුත්‍ර" නම ඔහුට ලබා දී තිබුනේ නැසී ගිය; නොම්මර එකේ කලා කරුවෙකු වන ජේ එච් ජයවර්ධන විසින්ය.

 Jack නම්  කොස්ය. පනා යනු කොස් වලට කියන යෙදෙන පර්යාය පදයකි. (කොස් මල් හඳුන්වන්නේ පනා මල් ලෙසිනි. ) Son යනු පුතා හෙවත් පුත්‍රයාය.

ජැක්සන් පනා පුත්‍ර වූයේ එසේය.

ඈන්ට් + හනී  කුහුඹු පැණියා ලෙස නම් කර ගත්තේ ජැකා විසින්මය.

ජැකා රූපවාහිණියේ වැඩසටහන් ඉදිරිපත් කරණ්නෙකු ලෙසට ඉදිරියට එන්නේ ප්‍රේමකීර්ති කල වැඩ සටහනක් තුලින් ය. එම වැඩසටහන නිවැරදිව මාගේ මතකයට එන්නේ නැතත් ඒ අවස්ථාව මාහට හොඳින් මතකය. ප්‍රේම් ගේ මුහුණ තිරය මත බොඳවී ගොස් ජැකාගේ මුහුණ තිරය මත මැවුනි. ඒ ලැබුනු අවසරයෙන් ඔහු රූපවාහිනීය දිග් විජය කලේය.

ඔහු සතුවූ දැනුම, මතකය, සුඛනම්‍ය බස් වහර, ප්‍රථිභාව හා ප්‍රථිභාපූර්ණ බව සංයෝජනය වූ විට මැවුනේ සුපිරි ඉදිරිපත් කරන්නෙක්මය!

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී අලියෙකු හා ගැටී ජැකා ජීවිතයත් මරණයත් අතරට වැටේ! මේ පිළිබඳවද සැක සංකා රාශියකි!

ඒ සමගම බුකිය පුරා ඔහුට මරණය ප්‍රාර්ථනා කරමින්ද දෙස් දෙවොල් තබමින්ද ගල් වැහි වහින්නට පටන් ගන්නා ලදී.

මේ ගල් එල්ල කලේ  තම ආදරණීය කලා කරුවාට යැයි ඔබ සිතනවාද ?

නැත!

ඒ සියල්ල එල්ල වූයේ ජැකා නමැති කඩේ යන්නාටය!

ජැකා සමගම කඩේ යෑම ඇරඹූ ශ්‍රියන්ත මෙන්ඩිස් වෙත අදටත් සාමාන්‍ය ජනතාව එසේ ගල් ගැසුවේ නැත. ඒ ශ්‍රියන්ත වඩා ආදර්ශමත් ලෙසට හෝ වඩාත් ගෞරවාන්විත දේශපාලකයෙකු වෙනුවෙන් කඩේ යෑම නිසා නොව ඔහු ඒ සඳහා භාවිතා කල මල්ලේ ප්‍රමාණය හේතු කොට ගෙනය.

ගාමිනී, ජෝ, විජය, නිහාල් සිල්වා සියල්ල දේශපලනය කල නළුවන් විය. වෙනත් කලා කරුවන් සඳහාද උදාහරණ බොහෝය! එහෙත් ඒ කිසිවෙකු වෙනුවෙන් මෙවන් වෛරී ප්‍රකාශ ඔවුන්ගේ මරණ මංචකයේදී එල්ල වූයේ නැත!

ගාමිනී හා විජය ජැකාට වඩා සක්‍රීය ලෙසට දේශපාලනය කල අය ය.

විජය මහජන පක්ෂයේ සභාපති වුනු අතර ගාමිනී වරෙක පාර්ලිමේන්තුවේ කථානායක අසුන පවා හෙබවීය!

එය එසේ වුවත්; විශේෂයෙන් විජයගේ ඝාතනය වේලාවේදී හෝ ඔහුගේ ප්‍රථි පක්ෂ විසින් ඔහුට ගල් ගැසුවේ නැත!

මෙයට හේතුව ලෙස මා දකින්නේ; සාමාන්‍යයෙන් සියළු පුරවැසියා වෙත ලැබෙන අයිතියක් වන දෙශ්පාලනයක් කිරීමට ඇති අයිතිය පිළිබඳව කිසිවෙකු උරණ නොවන බවයි. එසේම ඔවුන් දේශපාලනය කලේ හුදෙක් තමා වෙත ලැබෙන වරදාන හෝ පොදු ජනායා ඇන්දවීමට හෝ නොවන බැවිනි. (මෙය මෙසේමද නැතහොත් එයද ඔවුන්ගේ රඟපෑමක්දැයි මා දන්නේ නැත! එය කෙසේ වෙතත්; එය රඟපෑමක් නම් ඔවුන් එම චරිතයට උපරිම සාධාරණය කලහ.)

සාමාන්‍ය ජනතාව උරණ වන්නේ; තමා ආදරය කරණ කලා කරුවා සතු එම කලා කුශලතාවය, හැකියාව, දේශපාලකයෙකු හෝ පක්ෂයක් වෙනුවෙන් කරණු ලබන අවභාවිතාවේදීය.

ජැකා කෙරෙහි සාමාන්‍ය මිනිසා තුල පැවති ගෞරවය ආදරය අන්තිමටම ගිලිහී යන්නේ මහින්දට බුදුන් සමග ඇති ලින්කුව ගෙන හැර දැක්වීමට යෑමෙන් පසුවය.

ජැකා තමා සතු ප්‍රථිභාපූර්ණ බව පිළිබඳව; ඔහුගේ රසිකයා තුල වසර ගනනාවක් ගොඩනැංවූ  විශ්වාසය; කරණ කොටගෙන "ජැක්සන් ඇන්තනිත් කියනවා නං බොරුවක් වෙන්නත් බෑ!" කියා සිතන්නට සාමාන්‍ය ජනතාව පෙළඹවීමම තක්කඩි කමකි!

බුදුන් කෙරෙහි ගෞරවයක් භක්තියක් ඇති හෝ නැති අයෙකු හට වුවද; බුදුන් මහින්දට කල පූට්ටුව පිළිබඳව ඇතිවන්නේ සාධාරණ කේන්තියකි. මන්ද "දුටු ගැමුණු" ට රඟපෑ නළුවාට, "පබා"ට ඡන්දය දුන් ගවයන් සිටිනා රටක බුදුන්ගේ ඥාතීත්වයට තම ඡන්දය නොව තම අඹු සිඟිත්ත උවද පාවා දීමට පෙළගැසෙන උන් සිටිය හැකි බැවිනි. 

ගාමිණී ෆොන්සේකා කතානායක පුටුවට තේරී පත්වූ අවස්ථාවේ එය වාර්ථාකල පුවත්පත් කලාවේදීන්; ගාමිණී ෆොන්සේකා මහතාගේ හැසිරීම;  ඉතාමත් පලපුරුදු ආකාරයේ එකක් වූ බව ලියූවේ ගාමිණී ෆොන්සේකා යනු  "සිංහල  සිනමාවේ සක්විති" බව අමතක කොටය!

ගාමිණීගේ රඟපෑම තුල එංගලන්තයේ රජුගේ  භූමිකාව වුවද දැක්වීමට ඇවැසි මුවහත ඇති බව ඔවුනට අමතක විය.

එසේම ඕනෑම චරිතයකට පන පෙවිය හැකි ජැකාටද තමාගේ මතවාදයට පන පෙවීමට සාමාන්‍ය ජනතාව තුලට එබ්බවීමට ඕනෑම ආකාරයක රඟපෑමක් කල හැකි බව අමතක කල යුතු නොවේ!

තමාගේ රංග කාර්‍යය මෙතරම් උසස් මට්ටමකට ගෙන ඒමේදී උගෙන ගත්, දැන උගත්, අභ්‍යාස, පුහුණු, පාඩම්, අත්දැකීම්, පලපුරුදු කම්, කල පුරුදු කම් සියල්ල පත අට එකට සිඳුවා ගත් කල මෙම කටයුත්ත වඩාත් නොව වඩ වඩාත් සාර්ථකව කිරීමට හේ ඉවෙන් දනී.

මේ නිසාම ඔහු තම මත වාදයන් එළි දැක්වීමේදී වඩාත් කල්පණාකාරී වීමට වගකීමක් තිබුනි.

කාලයක් ඔස්සේ තමා ගොඩ නගා ගන්නා කුමන හෝ ආකාරයේ පෞර්ෂයක් හුදෙක්  තමාගේ ප්‍රථිලාභ වෙනුවෙන් කෙරෙන්නාවූ දේශපාලන උවමනාවන් වෙනුවෙන් කාලයක් ඔස්සේ තමා ගොඩ නගා ගන්නා කුමන හෝ ආකාරයේ පෞර්ෂයක් හුදෙක්  තමාගේ ප්‍රථිලාභ වෙනුවෙන් කෙරෙන්නාවූ දේශපාලන උවමනාවන් වෙනුවෙන් ගණිකා      වෘත්තියේ   යොදවන්නා තක්කඩියෙකි!

එය එසේ කරණු ලබන; සමාජය තුල කිසියම් පිළිගැනීමක්, හෝ යම් ආකාරයක සිවිල් බලය්ක් හිමි කුමන ආකාරයේ අයෙකු විසින් හෝ නොකල යුත්තකි.

ගෝටාගේ කැම්පේන් එකේදී නෙළුම් පොහොට්ටු බෙදූ "නයි සාදුත්" මෙම කුලකයේ තවත් එක් අවයවයකි.

ජැකා මිය යාමෙන් පසුව "ආං ඇඳ! ගිහිං දොයිය ගනිල්ලා!!" කියා කෝචොක් දාන එවුන් හට මේ යතාර්ථය නොතේරේ.

ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමක්ද හරි කියා සෙවීම නොව කවුද හරි කියා සොයා තමාගේ පිලට හුරේ දැමීම පමණකි!

මොකා මොන දහදුරා වැඩේ සිදු කොට හෝ තමාගේ පක්ෂය හෝ අපේක්ෂකයා දිනනවා දැකීම තරම් ආතල් එකක් ඔවුනට නැත.

අද වන විට ජැකා මියගොස් අවසානය! එසේම මහින්දද දේශපාලනික ලෙස මියගොස් අවසන් ය! කාලය ගෙවී යයි. 

බුදුන් කෙසේ වෙතත් මහින්ද; "සුද්ධෝදන" කෙනෙක් බව නම් අදවන විට සියල්ලන්හටම ප්‍රථ්‍යක්ෂ වී හමාරය! 

අනාගතය විසින් ජැකාව කුමන ස්ථානයක තබාවිදැයි කියන්නට මා ඉක්මන් නොවෙමි. 

කාලය ගලා යයි!

ජැකා භූමිකාවක් නොකලද මෙරට වේදිකාවේ තිරගතවූ සුන්දර නාට්‍යයක් අවසානයේ පසුබිමින්  ගැයුනු සුන්දර ගීත කණ්ඩයක් මගේ මතකයට එයි. 

ජීවිතයේ විවිධ වූ හැලහැප්පිලි අවසානයේ ජීවිතය එක් තැනක නැවතී ඇත! 

වේදිකාවේ රැඳී සිටින්නේ පතාක යෝධයෙකි.

ඒ; නීල් අලස්!

"අංගාරා ගඟ ගලා බසී . . . . . . !"  (සවන් දෙන්න)


Wednesday, June 29, 2022

239 කල් බැලීම!

 


මිත්‍ර වරුනි;

අද වන විට අප සියළු දෙනාම අපගේ ජීවිත කාලතුල පමණක් නොව අත්ත මුත්තා කාලයේදිවත් මුහුණ දීමට සිදු නොවූ තරම් භයානක කාල පරිච්ඡේදයකට මුහුණ පා සිටින්නෙමු. අද ප්‍රධාන ව්‍යවසනය වන්නේ ඉන්ධන හිග වීම හා මිළ අහස උසට නැගීමත්ය. මෙයට ප්‍රධාන හේතුව මෙරටට අවශ්‍ය විදෙශ නිශ්පාදන ගෙන ඒමට තරම් ඩොලර් නොමැති හෙයින් බවත් ඊට හේතුභූතවූ කරුණු මොනවාදැයි කියා මා නොකීවාට ඔබ සැවොම හොඳින් දන්නා බව මා දනිමි!

මෙතුවක් කල් බලයට පත්වූ සෑම දේශපාලන පක්ෂයක්ම බලයට පැමිණියේ "මේ රට බේරා ගැනීමට ඇති අවසාන අවස්ථාව!" බව කියමින්ය.  මා එය එසේ වර නොනැගුවාට ඔබ සැමට; දැන්නම් එළඹී ඇත්තේ "අවසානම අවස්ථාව!" බව සැම තේරුම් ගෙන ඇතිවාට සැකයක් නොමැත.

පසු ගිය මැතිවරණයේදී හෝ මින් පෙර පැවති සෑම මැතිවරණයකදීම ඔබ මෙම පාලකයන් පත් කිරීම සඳහා ඔබගේ වටිනා ඡන්දය භාවිතා කොට ඇතැයි සිතමු. ඔබ ඒ ඡන්දය භාවිතා කලේ වඩාත් සුන්දර රටක් ඔබගේ දුවා දරුවනට ලබා දීමට හා ඔබට ලඟා කර ගැනීමටය. කොටින්ම එය සීයට සීයක්ම පවිත්‍ර චේතනාවකි! මෙම ලිපිය කියවන අය අතුරින් සීයට එකක් හෝ තම පුද්ගලික ලාභාපීක්ෂාවන් මුදුන් පත් කර ගැනීම සඳහා තම ඡන්දය මෙම පාලකයින් වෙත ලබා දුන්නා යැයි මා මොහොතකටවත් නොසිතන්නෙමු!

අප සෑම මොහොතකම කටයුතු කොට ඇත්තේ අපගේ මාතෘ භූමියේ දියුණුවත් අපගේත් අපගේ දරුවන්ගේත් මුළු මහත් සමාජයේම අනාගතය වෙනුවෙනි.

එහෙත් ගතවූ කාලය තුල රට ගතවන සෑම තත්පරයකදීම අගාධයට වැටෙමින් වී ඇත! අද අපට නැත්තේ; මුදල් අත ඇතත් ඉන්ධනය! හෙට වන විට මුදල් ඇතත් මිලදී ගන්නට ආහාර හා බෙහෙත් නොමැති වී යනු ඇත! මේ වන විට ඔබ සතු කෙතරම් අගනා නවීන මෝටර් රියක් තිබුනත් ඔබට එය පාවිච්චි කිරීමට නොහැකිවී ඇත. අප රටේ දෛනික අවශ්‍ය තාවය සඳහා ආහාර මෙරට නිපදවන්නේ නැත. පසුගිය වක වානුව තුල ඇරඹී මේවන විටදීවත් සාර්ථක ලෙස විසඳී නොමැති පොහොර ගැටළුව මගින් දේශීය ගොවිතැන වල පල්ලට ගොස් අවසානය. මේ වන විට පොහොර අධික ලෙස ඉහල ගොස් ඇති අතර; ගොවියා ගොවිතැනින් ඉවත්වී ඇත! මේ නිසාම විදේශ ණය සහන නොමැතිව තුන් වේල ආහාර ටික ලබා ගන්නට නොහැකි තැනකට අප තල්ලු වෙමින් යන්නෙමු.

මේ ව්‍යවසනයට පත්වන්නේ රතු, නිල් කොල, දම් යනුවෙන් කුලක වලට බෙදා නොව සමස්ථ ජනගහනයමය! ඔබ කෙතරම් ධනයකට හිමි කම් කීවද වෙළඳ පොලේ ඇතිවන උග්‍ර භාණ්ඩ හිගයට එදිරිව කිරීමට දෙයක් ඉතිරි වන්නේ නැත!

මෙම අර්ඹ්හූධකාරී තත්වයෙන් අත් මිදිමට මෙම දුර්දාන්ත පාලකයින් පලවා හැරිය යුතුවේ. මොවුන් පත් කිරීම සඳහා තමාගේ වටිනා ඡන්දය ඔබ පාවිච්චි කල අයෙකු වේ නම්; මොවුන් පලවා හැරීමටද ඔබ තරම් සුදුස්සෙකු නොමැත!

මේ නිසාම අප සියළු දෙනාම එකාවන්ව එකතු විය යුතු කාලය එළඹී ඇත. පැරණි දෙමළ කියමනක් මට මේ මොහොතේ මතකයට ඒ! "බෙල්ල තියෙන්නෝන තැල්ල බඳින්න!" එම වදන් පෙලයි. අපට; ජීවත් වෙන්න, දරුවන්ට උඅගන්වන්න, රැකී රක්ෂා කරණ්න, ගමනක් බිමනක් යන්න, දෙශපාලනය කරණ්න  මේ සියල්ලටම රටක් අවශ්‍ය වේ. ඒ නිසාමයි අප එකට එකතු විය යුත්තේ! මෙහිදී මෙම සටනට නායකත්වය කවුරුන් දුන්නද ඔබ ඔහුට හෝ එම පක්ෂයට සදා බැඳෙන්නට අවශ්‍ය නොවේ. ඔබට ඔබගේ දේශපාලනය කිරීමේ නිදහස ඉන් නැතිවන්නේ නැත. එහෙත් අප වෙන් වෙන්ව සටන් කලහොත් සතුරා අපව qවෙන් වෙන්ව විනාශ කරණු ඇත.

පුරාණ ලංකාවේ සිටි පැරණි රජ වරුන් තම විනෝදය පතා "අංගම්කෙටවීම" කර ඇත. මෙහි  ඇති භයානකම ඉසව්ව වන්නේ "ඌරා වලේ අංගම් කෙටීමයි!" ඌරා වල යනු; වැටුනු එකෙකුට ඉහල සිටියෙකුගේ උදව්වකින් තොරව එළියට පැමිණීමට නොහැකි වලකි. මෙම වලට සීරුවෙන් බස්සන අංගම් කරුවන් සටන් වදී. වලෙන් ගොඩට පැමිණීමට නම් තමා අනෙකා විනාශ කිරීම කල යුතුම වේ.

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද; අද වන විට අප මෙම පාලකයින් සමග "ඌරා වලේ අංගම් කෙටීමකට"; වැටී අවසානය. ඔබට මෙම වැටුනු තැනින් ගොඩ යාමට නම් සතුරා විනාශ කල යුතුම වේ.

එසේම ඔබ වෙනුවෙන් එම මෙහෙය ඉටු කිරීමට වෙනෙකෙකු නොමැත! ඔබගේත් ඔබගේ දුවා දරුවන්ගේත් අනාගතය වෙනුවෙන් මෙම "ඌරා වලේ අංගම් කෙටීමෙන්" ජය ගත යුතුම වේ!

දිනන සටනක අභිමාන්වත් කොටස් කරුවෙකු වන්න! නියමිත දිනයේදී එක් පෙරමුණක සටන් වදිමු! අනාගතය විසින් ඔබගේ නම සමරණු ඇත! මේ එළෙඹෙන්නේ සත්‍ය වශයෙන්ම "රට බේරා ගැනීමේ අවසාන අවස්ථාවටය්!" සත්තකින්ම මෙය නිදහස් සටනකි! එය එක් පක්ෂයකට, එක් වර්ණයකට, එක් පුද්ගල කණ්ඩායමකට අයිති සටනක් නොව මුළු මහත් ලාංකීය ජාතියේම සටනයි.

සූදානම්ව සිටින්න!


Saturday, June 25, 2022

238. කහ ඇඳගෙන මැච් බැලීම!

"මිනිසා යනු දේශපාලනික සත්වයෙකි" යන ප්‍රකාශයේ සිට බැලූවද එය ප්‍රථික්ශේප කලද අදවන විට කිසිවෙකුට එයින් ගැලවී යාමට නොහැකිවී තිබේ. මාගේ බ්ලොගයේ වරින් වර මා දේශපාලනික ලිපි ලියා ඇති අතර ඒ සෑම ලිවීමක් තුලින්ම මෙම පවතින ක්‍රමය ප්‍රථික්ෂේප කොට ඇත. ගෝඨාගේ ප්‍රගමණය ප්‍රථික්ෂේප කරමින් මා "03.ගෝඨා 2020 ට (සුදුස්සාගේ නුසුදුසුකම)" ලියූවේ 2017 දීය.  ඡන්ද දායකයාගේ වගකීම  මතක් කරමින් "08 කවුද ගොජා? මමයි ගොජා? (ලාංකීය දෙශපාලනයේ සදාතනික රැවටීම)" ලිව්වේද ඒ කාලයේදීමය. මෙතෙක් පැවති තට්ටු මාරු දේශපාලනය පිළිබඳව  "14.  යළි රඟ දැක්වෙන 'සෙක්කුව' නව නිශ්පාදනය! (ලාංකීය දේශපාලනයේ එතෙක් මෙතෙක් රැවටීම)" ලිව්වෙමි. 

මේ සියල්ලත් පසුව ලියනා ලද දේ තුලිනුත් මාගේ දේශපාලන නැඹුරුව කිනම් දෙසකටදැයි ඔබට සැකයක් නොමැති බව මා ඉඳුරාම දනිමි. අදවන විට "ලාංකීය දේශපාලනය" වෙන කිසිදාක නොවූ විරූ ආකාරයකට අප සැමගේ ජන ජීවිත අකා මකා දමමින් විනාශකාරී ලෙස ගමන් කරණා බව මා නොකිව මනාය!

පසුගිය කාලය තුල මෙරට පැවති දෙශපාලනය උඩු යටිකුරු කලේ "අරගලය" විසින් නොවේ යැයි කිසිවෙකුට හෝ කිව නොහැක. එයට "නිර්පාක්ෂික" ලේබලය ගසා තිබුනද එහි පසුපෙල සැදුම් ගෙන තිබුනේ පෙරටුගාමී පක්ෂයට හිතවත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය හා ජනතා විමුක්ති පෙරමුනේ සමාජවාදී තරුණ ව්‍යාපාරය විසින්ය. එකිනෙකට වෙනස් මතධාරීන් වුවද ඔවුන් මුල සිටම එක අරමුණක් වෙනුවෙන් පෙනී සිටියහ.

එහෙත් මෙම අරගල භූමිය තුල සිටි දස දහස් ගනනක්වූ පිරිස අතර 69 ලක්සේ අයද, සජබෙ පිරිස්ද, 43 වැනි සේනාංකයේ කොටස්ද, කිසිදු දේශපාලනයකට තබා ජීවිත කාලයටම තම ඡන්දය පාවිච්චි නොකල අයද සිටියහ. ඒට පොදු අපේක්ෂාවක් තිබුනු බැවිනි. එම පොදු අපේක්ෂාව වූයේ "ගෝඨා ගෙදර යනු!" යන්න විය. ඊට පිටුපසින් නොව ඊට සමාන්තරව රාජපක්ෂ පවුලම මෙරට දේශපාලන භූමියෙන් අතුගා දැමීම, ඔවුන් සොරා ගත් හෝ අයතා ලෙස හරි හම්බ කරගත් ධනයක් දේපලක් වෙත්නම් එය නැවත මෙරට භාණ්ඩාගාරයට එකතු කර ගැනීම, රාජපක්ෂ පවුල ඇතුළුව;  පොදුවේ සියළු දූෂිත දෙශපාලුවන් හට; නිසි නීතිමය රාමුවක් තුල දඬුවම් ලබා දීම, ජනාධිපති වෙත සංකේන්ද්‍රණය වී ඇති බලය නැවත පාර්ලිමේන්තුව වෙත ලැබී ජනතා පරමාධිපත්‍යයට මුල් තැන ලැබෙන ව්‍යවස්ථාවකට මුල පිරීම, සාමාන්‍ය ජනතාවට සහන ලැබෙන්; ජීවන බර අඩුකෙරෙණ පරිපාලන ක්‍රම වේධයකට රට පත්වීම  වැනි එකී නොකී මෙකී අපෙක්ෂාවන් රාශියක්ද ඔවුන්තුල අඩු වැඩි වශයෙන් විය.

මේ සියල්ල කෙසේ වෙතත් "අරගලය" විසින් ගෝඨාව හා රාජපක්ෂ පවුල බිත්තියට තබා තදකොට පැවති අවසාන මොහොතේ රනිල් අගමැතිකම භාර ගත්තේය. වෙන්දේසියේ දමා තිබූ "අගමැතිකමට" සජිත් හෝ අනුර ලන්සුවක් තැබුවේ නැත. ඊට ඔවුන් තුල සාධාරණ කොන්දේසියක් විය. ඒ "ගෝඨා අනිවාර්‍යයෙන්ම ඉවත්විය යුතුය" යන ස්ථාවරය ය! ඒ වනවිට පාර්ලිමේන්තුවේ දෙවන බහුතරයට නායකත්වය දුන් සජිත්ද සුළුතර අනුරද එම පැහැදිලි ස්ථාවරයේ සිටිනා විට රනිල් එය භාර ගත්තේය. රනිල් ඒවන විට කිසිදු ඡන්ද පදනමකින්  තොරව  ජාතික ලැයිස්තුවකින් පැමිණි පාර්ලිමේන්තු මංත්‍රී කෙනෙකු පමනක් විය! මෙරට පවතින ව්‍යවස්ථාවේ තරම සිතීමට ඉඩ අවකාශය ඡන්ද දායකයින්හට සිතා ගැනීමට ඉඩ සලස්වමින්; ගෝඨාගේ හා රාජපක්ෂ පවුලේ කැමැත්ත මත රනිල් හට අගමැති කම හිමිවිය!
"අරගලය" සාර්ථකව උත්කර්ශයෙන් යුතුව දිවෙන කාලයේදී සාමාන්‍ය ජනතාව අතර; ගෝඨා එළවා පාර්ලිමේන්තුවට බලය ගෙන ( හෝ නොගෙන. එය පිළිබඳවද; ගැටුමක් නොවූනත් මතයක් විය!) රටේ  මීළඟ නායකත්වයේ අපේක්ෂාව පිළිබඳව කියැවුනු විවිධාකාර අදහස් විය. ජවිපෙ හිතවතුන් හා තවත් පිරිසක් අනුරව ප්‍රවර්ධනය කලේ "දූෂනයෙන් තොර හොරාකෑ ධනය නැවත රටට ගෙන ආ හැකි නිවැරදි  දැක්මක් සහිත . . . . . . " ලේබලයෙන්ය! සජිත්ට ඇලවූයේ " පාර්ලිමේන්තුවේ බහුතරයෙන් පත්වූ  සුලු ජාතික පක්ෂවල සහයෝගය සහිත යූඇන්පිය ජයග්‍රහණයේ මාවතට ගෙන ආ නැවුම් බලාපොරොත්තුව" යන්නය. මේ සියල්ලටම පිටුපසින් සිටි තවත් පිරිසක් රටේ ඊළඟ නායකයා පිළිබඳව මෙසේ අරථ දැක්වීය. ඒ; "පරිණත, පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ දැණුමක් ඇති ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත් . . . . . . " යනුවෙන්ය. මේ කියන්නේ අන් කිසිවෙකු පිළිබඳව නොව රනිල්ම යැ!~
සජබය යනු; එජාපය නැමැති මව් මරා උපන් කුමරා යැයි අප සිතන්නේ නම් ඒ පිළිබඳව දෙවරක් සිතිය යුතුය. එය කෙහෙම්මලක් නොව මොටෙයියෙක් පමණි. කාලය විසින් මොටෙයියා ගසක් බවට පත්වන විට  ගස වටා සිටින්නා බහුතරය මොටෙයියා වටා එක් රොක් වේ. දිනකට දෙකකට වරක් රූපවාහිණී තිරය මත පෙනී සිට රට පිළිබඳව සැවොම දන්නා කරුණු සමග තම්න්ගේ දුක බෙදා හරින රනිල් දැක සුළුවෙන් උත්තේජනය වන; සජබයෙන් සුළුතරයක්ද එජාපයේ බහුතරයක්ද ඇතැයි මාකිවහොත් ඔබ ඊට එකඟ වනවා නේද?
ඝෝඨා යවා සජිත් රටේ නායකයා විය යුතු යැයි සිතන පිරිසද, රාජපක්ෂලා හොරාගත් දේට දඬුවමක් ලබා දිය යුතු යැයි සිතන අයද, රනිල් ඇලජික් සුළු පිරිසක්ද හැරුණු විට' අන් සියළු එජාපයේ පිරිස රනිල්ගේ ආගමනය පිළිබඳව උත්කර්ෂයෙන් සිටින්නෝය. සජබයේ සිටිනා ඕනෑම මට්ටමක අයෙකුගෙන්; රට ගොඩනංවන ඔවුන්ගේ වැඩපිළිවෙල පිළිබඳව විමසුවහොත් ඔවුන් දක්වන්නේද රනිල්ගේ ක්‍රියා මාර්ග මිස අන් කවරක්ද? අගනුවර විසල් ඡන්ද පදනමකට හිමි එජාපය හා සජබයේ පිරිස රනිල් සමග නව බලාපොරොත්තුවක් ඇතිකරගෙනමනෝ රාජ්‍යයක වසමින් සිටී. මේ සියල්ල සමග ඉන්ධන මිල අහස උසට නැගීම හා අධික ඉන්ධන හිගය විසින් අරගල බිම මේ වන විට හිස් කොට ඇත! කුමන ආකාරයෙන්හෝ තවදුරටත් අරගල භූමිය වෙත රැඳෙන පෙරටුගාමීන් හා ජවිපෙ ජීවගුණයෙන්ද සැබෑලෙසම රටේ වෙනසක් අපේක්ෂා කරන සුළුතරයක්ද විටින් විට රජය විසින් දඬුවම් කරණු මේ දිනවල දක්නට ලැබේ.
මෙරට මාක්ස්වාදී පක්ෂයක මූලාරම්භ වන්නේ 1935 වසරේදීය. මෙරටින් එංගලන්තයට ගිය ඇන්.ඇම්, කොල්වින්, වික්‍රමසිංහ වැනි පිරිසක් මාක්ස්වාදය පිළිබඳව යම් පමණකට හදාරා නැවත මෙරටට පැමිණ එය මෙහි පැල කල බව අප කවුරුත් දන්නා සත්‍යයවේ.  1935 සිට අද දක්වා දශක නවයකට ආසන්න කාලයක් ගෙවී ගියද මාක්ස්වාදී පක්ෂයකට මෙරට තනි බලයක් ලැබුනේ නැත. 
එංගලන්තයේ ඉපැදුනු Labor Party යන්න මෙරට බෞතීස්ම ලැබූවේ "කම්කරු පක්ෂ" ලෙසයි. මෙහිදී මාක්ස් විසින් නිර්වචනය කල "කම්කරුවා" හා අපේ කංකරුවා අතර කැපී පේන වෙනසක් විය. "තමාගේ ශ්‍රමය ධනපතියාට වැටුප් වලට විකුණන්නා" කම්කරුවා ලෙස මාක්ස් විසින් අර්ථ දක්වා තිබුනු අතර පසුව "ශ්‍රමය" වෙනුවට "ශ්‍රම ශක්තිය" ලෙස අර්ථපූර්ණ කරයි. Labor Power - The abstraction of humen labor in to something that can be exchanged for money (Marx)
මෙහිදී ශ්‍රමය හෝ ශ්‍රම ශක්තිය යනු දා දිය පමනක්ම නොවේ. මෙම ශ්‍රමය ශාරීරික හෝ මානසික විය හැකිය. මේ තුලින් ගත් කල අපගේ සමාජය තුල ශ්‍රමිකයින් හෝ කම්කරුවන් වන්නේ හුදෙක් කානු කපන, කම්හල් තුල වැඩකරණ පිරිස පමණක් නොව දොස්තරවරු ඉංජිනේරුවන්ද ඇතුළුවන්නේ මෙම රාමුව තුලටමය. කාර්මික විප්ලවය සමග කාර්මීකරණය තුලින් රටේ ආර්ථිකය ඔසවා තැබෙන රටක ශ්‍රමිකයින් යනු විශාල අවයවයන්ගෙන් යුතුවූ කුලකයකි. එසේම ඔවුන් තුල පැහැදිලි නිර්වචණයක් ඇති හුදෙක් "කම්කරුවා" හෝ "ශ්‍රමිකයා" යන බැනරය යටතේ එක් රොක් වන්නේ මහ පිරිසකි. විසල් බලයකි. ධනපති ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයන් තුල දැකිය හැකි; ඉතා පටු ලෙස නොබෙඳුනු පංතීන් කරණ කොට ගෙනද ශ්‍රාමිකයින් සතු ශක්තිය විශාල එකකි.

එහෙත් අප රටේ තත්වය පිළිබඳව සොයා බැලුව හොත්; රජුන්ගේ පාලනය යටතේ තිබී වසර සිය ගනනක් විදෙස් රටවලට යටත්ව තිබුනු රටක "කම්කරුවා" යනු කවරෙක්ද? සමාජය තුල විශාල සිවිල් බලයක් හිමිකරගෙන තිබෙන මානසික ශ්‍රමිකයින් හා ශාරීරික ශ්‍රමිකයින් අතර ඇති පරස්පරතාවයන් කොතෙක්ද? මේ සියළු කාරණා විසින් කම්කරු පක්ෂ; සමාජයේ ධනෙශ්වරයෙන් මෙන්ම සුළු ධනේශ්වරයෙන්ද ප්‍රථික්ෂේප වූ තැනකට වැටීම දශක ගනනාවක් මාක්ස්වාදී පක්ෂයකට මෙරට බලය තහවුරු කර ගැනීමට නොහැකිවීමේ හෙතුව ලෙස මම දකිමි.
පොදු මහජනතාව ක්‍රිකට් නරඹන්නට පටන් ගත්තේ සනත් ජයසූරිය නිසාය. එය සමාන වන්නේ සාමාන්‍ය ජනතාව වේදිකාව වෙත ගෙන ඒමට නිහාල් සිල්වා කල මෙහෙයට සමාන ලෙසය. ඉහත පා සඳහන් කල වැකී ද්විත්වයට ඔබ එකඟ වනවා නොවේද? එසේම සාමාන්‍ය ජනතාව අතරට විප්ලවීය පක්ෂයක ආශ්වාදය ගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණ ලෙස මා විශ්වාස කරමි. 
මා එසේ කියන්නේ ඇයි? 
1971 වන විට සාම්ප්‍රදායික මාක්ස්වාදී පක්ෂ මෙරට පාලනතන්ත්‍රය තුල කැපීපෙනෙන චරිත ලෙස රඟපාද්දී ජවිපෙට තම අභිප්‍රායවෙත තරුණයන් නැඹුරු කල ගත හැකිවිය. දෙවනුව අසූව දශකයේදීද පැවති දැඩි මර්ධනකාරී ආන්ඩුවට එදිරිව පරාජිත අරගලයකට හෝ පිවිසීමට ඔවුන්හට සංවිධාන ශක්තිය හා පිරිස් බලයක් විය. එම අවස්ථා දෙකේදීම සුන්නත් දූලිවූ පක්ෂය නැවතත් ප්‍රථිව්‍යූහ ගත කොට දැනට පාර්ලිමේන්තුව තුල ප්‍රභලතම විපක්ෂය ලෙස නැගී සිටින්නට ඔවුනට හැකියාව ලැබී ඇත! එසේම අදවන විට රාජපක්ෂ රෙජීමය සමග මුහුණට මුහුණලා කරණ සටනේදී ජවිපේ ඉතා විශ්ෂ්ඨ කාර්‍ය භාරයක නිරතව සිටී. (මෙහිදී පෙරටුගාමී පක්ෂයේ සහභාගීත්වයද ප්‍රශංසණීය බව ගෞරවයෙන් යුතුව මතක් කරමි!) ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලයේදී තම පක්ෂයේ ශක්තිය නව වටයකින් උද්දීපනය කරගනුවස් "ජාතික ජන බල වේගය" පිහිටුවා ගත්තේය. ජවිපෙට ලබැඳි, එය වෙනුවෙන්; එතෙක් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව කතා නොකෙරුණු; සමාජයේ විවිධ මට්ටමේ තලයන්හීදී; ඒ පිළිබඳව කථා කෙරුණේ මෙම නව ප්‍රවනතාවය සමගය. එය මා දකින්නේ "කම්කරුවා යනු හුදෙක් ශාරීරික ශ්‍රමිකයා පමනක් නොව මානසික ශ්‍රමිකයාද ඇතුලත්වන පුළුල් කුලකයක්ය!" යන චින්තනයට මග පෑදු ක්‍රියාන්විතයක් බවය. මෙරට මැතිවරණයක් තුලින් බලය ලබා ගත හැක්කේ එවන්වූ පුළුල් ජන සාභාගීත්වයකින් විනා හුදෙක්: වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "ගොවි-කම්කරු" බලවේගයකින් යැයි කිසිවෙකු සිතන්නේ නම් ඒ පිළිබඳව නැවත සිතීමට සිදුවේ.
මෙහිදී ජවිපෙ පිළිබඳව මෙතෙක් "වැඩකරණ ජනතාවගේ පක්ෂයක්", "කම්කරුවන්ගේ පක්ෂයක්", "මාක්ස්වාදී පක්ෂයක්" ලෙස අර්ථකතනය වෙනස් කොට එය තවත් සුළුධනේශ්වර පක්ෂයක් ලෙස අළුතින් බෞතීස්ම කලද බලය ලබා ගැනීමට සමාජයේ පුළුල් ජන සහභාගීත්වයක් අවශ‍ය බව අප අමතක කලයුතු නොවේ. යනු විශාල බලයක් සහිත පක්ෂයකි. විසල් ගාමක බලවේගයකි බුද්ධිමතුන් සපිරි!
පසුගියදා අවසන් වූ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය සඳහා කහ වර්ණයෙන් සැරසී  සහභාගී වීමේ සූදානමක් පැවතුනි. එය හුදෙක් රාජපක්ෂ හිතවාදී මාධ්‍යය විසින් ඔසවා තැබූ එකක්ද, නො එසේනම් රාජපක්ෂ වෙනුවෙන් තම පෞර්ෂය ගවුමකට යට කර ගැනීමට වුවද හැකියාවක් ඇති ඉරාජ් ප්‍රමුඛ පිරිසකගේ ක්‍රියාවක්ද එසේත් නැතිනම් එය සාමාන්‍ය ක්‍රිකට් ලෝලීන්ගේ අදහසක්ද යන්න තෝරා බේරා ගැනීමට අපහසුය. මන්ද මේ සියළු දෙනාගේම මැදිහත්වීම අඩු වැඩි වශයෙන් මීට ඇතුලත් විය. මෙවන් රැළි සමාජය තුල විවිධ කාල තුලදී විවිධාකාර්යෙන් පැන නගී. සමාජීය සටන් දිනාගන්නට එවන් රැළි වලින් තොර "යුධ මුක්ත කලාපයක්" කිසිවෙකු හෝ බලාපොරොත්තු වනවා නම් එය සමාන කලහැක්කේ "මුහුදේ නාන්නට රැල්ල නවතින තුරු බලා සිටීම" යන ක්‍රියාවට පමණි. කුණාටුවේ දිශාව වෙනස් කිරීමට නොහැකිවුවද රුවල් වල පිහිටීම වෙනස් කිරීමට දක්ෂ නාවිකයින් හට හැකියාවක් ඇත.
මෙම "කහ රැල්ල" සමග වත් පොතේ තැනින් තැන බිහිවූයේ එය විවේචනය කරමින් එය දෝශ දර්ශණයට හා පරිභවයට පත් කරණ්නාවූ පෝස්ටුය. ඒවා ලියා තිබුනේ "අරගලයට" පක්ෂ හා සම්බන්ධිත අය විසින් යැයි හුවා දැක්වීමක් ඒවායේ  දක්නට තිබුනු අතර සමහර පෝස්ටු ලියා තිබුනේම; පසුගිය කාලයපුරා අරගලයට යම් පමණකට සහ සම්බන්ධ වූ සමාජ ක්‍රියා කාරීන් විසිනි.
මේ පිළිබඳව අප වෙනත් තැන්ක සිට සොයා බැලුව හොත් හෝ විශ්ලේශනය කලහොත්; මෙසේ  කහ වර්ණයෙන් සැරසී තරගය නැරඹීමට ගිය අය අතරේ අරගලයට සහභාගී වූවන් නොසිටියේද? අරගලය වෙත තම හෘදයාගම දයාද්‍ර භාවය පලකල අය මෙහි නොසිටියේද? 9 වන දින ගෝඨා ගෝ ගමට බිහිසුණු ප්‍රහාරය එල්ල වන විට එයට ප්‍රථිවිරුද්ධව ගෝල් ෆේස් පිටියට දිව ආ අය අතුරින් කිසිවෙකු හෝ මෙම "කහ රෙදි" කණ්ඩායමේ සිටීමට නොහැකිද? මෙවැනි කරුණු රාශියක් මේ පිළිබඳව ලිවිය හැක!
ගෝටා ගෝ ගම තුල තිබුණු නිරමාණශීලීත්වය උපයෝගී කරගෙන මෙම ක්‍රිකට් තරඟයම අරගලයේ ප්‍රචාරණ මාධ්‍යයක් ලෙස උපයෝගී කර ගැනීමට නොහැකි වූයේ මන්ද? අරගලයේ ප්‍රචාරන මාධ්‍යය විය යුත්තේ කළු කොඩි පමනක්මද? මේ පිළිබඳවද බොහෝ කරුණු ලිවිය හැක!
දැන් සිදුවන්නේ කුමක්ද? මෙම කහ රෙදි හා කළු කොඩි ගැටුමට ප්‍රතිගාමීත්වය විසින් විශාල ප්‍රචාරණයක් දෙමින් පවතී. සමහර විට පසුගියදා "කහ රෙදි" සංකල්පයට අරගලය පැත්තේ සිට විවේචනාත්මකව ලියූවේද ප්‍රථිගාමීත්වය විසින්ම විය හැක. මේ වන විට අපගෙ ආදරණීය අරගලයේ කොටස් කරුවන් එය කරේ තියාගෙන යමින් වී ඇත. ඒ සමගම ප්‍රතිගාමීත්වය නව සටන් පාටයක් එළිදක්වා ඇත!
"කහ වර්ණය අඳිනවාට විරුද්ධව; ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය අපේක්ෂා කල උන් තුල රටට ආදරයක් තිබේද?" මේවාට උත්තර දෙන්නේ කෙලෙසදැයි මට නම් නොතේරේ. මතක තබා ගන්න කාරණා දෙකක්! 
1.බොරුව ලොව වටා ඇවිද එන තුරුත් ඇත්ත සපත්තු පළඳිමින්ය. (එතකොට සිදුවන විනාශය සිදුවී හමාරය)
2.අපගේ සතුරාගේඋපක්‍රම පිළිබඳව අප සිතා සිටින්නේ ඉතාමත් සිල්ලර වූ චින්තනයකින්ය.
එක අදහසක් එක් කණ්ඩායමක් ලෙස එකට එක්වූ "කහ වත් පෙළ" තරගයෙන් පසුව ගාලුමුවදොරට යොමුකල හැකිවූවානම්! දැන්වත් ඔවුන්ව නිර්ධය ලෙස විවේචනය කිරීම නවතා නැවතත් අළුත් වටයකින් පෙළ ගැසෙමු.
මේ රටේ ඓතිහාසික මෝඩ කම කලේ මොණරවිල කැප්පෙටිපොලය. ඒ සුද්දාගේ තුවක්කු සුද්දාටම රිටර්න් කිරීමෙනි. 

මීට කලකට පෙර "පෙප්සි කෝලා" ලංකාවේ සෑම තේ කඩයක් කූල් කඩයක් පුරා ඇලවූ ස්ටිකරයක් විය. එහි සඳහන් වූයේ I Love PEPSI කියාය. කොකා කෝලා ආයතනය කලේ පෙප්සි ස්ටිකරයේ දිග පළලටම ගැලපෙන තවත් ස්ටිකරයක් මුද්‍රණය කොට පෙප්සි ස්ටිකරයට යටින් ඇල වීමයි. එහි සඳහන් වූයේ But; I drink only Coke කියාය. දෙක එකට කියැවූ පසු ආකර්ශණීය අදහසක් නිර්මාණය වී තිබුනි. ඒ මෙසේය.

I love PEPSI. But; I drink only Coke

සටන් දිනන්නට සටන්කාමී බව මෙන්ම උපායශීලී බවද තිබිය යුතුය!

අරගලය දිනේවා! ගිලිහුනු තැනින් නැවත අල්ලා ගනිමු! අළුත් වටයකින් පටන් ගනිමු!!

Monday, June 13, 2022

235. කියවිල්ලෙන් කියවීම අරඹමු!


මාගේ මුහුණු පොත හෙවත් වත් පොත  අටවා ඇත්තේ මගේ නමින් නොව මෙම බ්ලොගයේ නමින්මය. ඒ නිසාම මාගේ නෑ තුරුස්ලා එහි ඇත්තේ ඉතා අල්ප ලෙසය! මුල් කාලයේ සිට සම්බන්ධව සිටින මාගේ ඥාති දියණියක් මීට දින දෙකකට පෙර; දරුවන්ගේ කියැවීම  පිළිබඳව කුඩා සටහනක් ඇගේ වත් පොතේ ලියා තිබුනි. එයට පිළිතුරක් ලෙස මා තරමක ලිවීමක් කල අතර පසුව මට වැටහුනේ එය එසෙර මෙසේ ලිවිල්ලකින් ගොඩ දාගත හැකි එකක් නොවන බවත්; කොටින්ම එය අත දිග හැර ලිවිය හැකි මෙන්ම ලිවිය යුතු එකක් බවත්ය. එසේ නම් මෙතැන් සිට අප මොහොතක් ඒ පිළිබඳව දොඩමළු වෙමු.

අප කුඩා කාලයේ ලෝකය පිළිබඳව තොරතුරු දැනගැනීමේ ක්‍රමවේධ තිබුනේ ඉතා අල්පවය! රේඩියෝව හා පුවත් පත ඉන් මූලික තැනක් ගත්තේය. ඊට අමතරව පොත් සඟරා ආදියෙන් හා සවන්දීමෙන් අප තොරතුරු එකතු කර ගත්තෙමු. පළමුව "රේඩියෝව" කියා ලියමින් පසුව "සවන්දීම" යනුවෙන් පැවසූවේ පුණරුත්දෝෂයක් කරණ කොට ගෙන නොව; එහිදී "සවන්දීම" යනු පුද්ගල සංවාදවලට කරණු ලබන ඇහුම්කන් දීමය.

එකල සමාජය තුලම; මම මේ කියන්නේ හැත්තෑව අසූව කාලය හා ඊටත් පෙර; කියැවීමට විශාල වටිනාකමක් ගරු කිරීමක් එක්වී තිබුනි. පොත් පත් කියවන්නෙකු පමණක් නොව පොත් අලෙවි හලක සේවකයෙකු, පුස්ථකාලයක සේවය කරණ්නෙකු හට වුවද දැක්වූයේ තරමක ගෞරවයකි. "සිල්ලර කඩ","තේ කඩ" අතර පොත් කඩේට ආමන්ත්‍රණය කලේ "පොත් සාප්පුව" යන ගෞරවණීය නාම පදයෙනි.

සෑම නගරයකම පාහේ පොත් සාප්පුවක්ද බොහෝ ගම් නගර වල පුස්ථකාලයක්ද එකල පැවතුනි. පත්තර ලෑල්ලක් හැම බස් නැවතුම් පොලක විය. අද අප සෑම උදෑසනකම දකිණ "චූන් පාන්" මල්ලී වෙනුවට "පත්තර මාමෙක්" ගෙවල් අසලට පැමිණෙනු දක්නට ලැබුනේය. මීට අමතරව ජංගම පුස්ථකාල, පොත් සල්පිල් වැනිදේ මගින්ද සාමාන්‍ය ජනතාව වෙත කියැවීම ගෙනයාමට සක්‍රීයව දායකත්වය සැපයීය.

සෑම ගමකම තිබුණු පංසලක පොත් අල්මාරියක් දක්නට ලැබුනි. පොත් අල්මාරියේ දිග පලල හා එහි වූ සම් බැම්මෙන් බඳිනා ලද පතරංග පොත් වල බරින්; පංසලේ වසන හාමුදුරුවන්ගේ තරම දැන ගැනීමට පංසලට ගොඩ වදින අයට දැන ගත හැකිවිය. පොත්වල බර; වායේ අන්ථර්ගත ධර්මස්කන්ධයටද වඩා බෙහෙවින් වැඩි විය!

ඔනෑම උදෑසනක බසයකට දුම්රිය ගොඩ වැදුන පත්තර දිග ඇරගත් බොහෝ දෙනෙකු සිටිනු සුලභ දර්ශණයක් විය. අද තත්වය මීට සාපේක්ෂව බොහෝ සෙයින් වෙනස්ව ගොස් ඇත!

එකළ මිහිර, විජය  වැනි ළමා පුවත් පත් දරුවන්ගේ ලෝකය වඩා ඔපවත් කලේය. සෝවියට් දෙශය පවතිනා කාලයේ ඉතා සොච්චම් මිලකට ලං කර ගත හැකි ඉතා සුන්දල ළමා කථා පොත් තුල අප ජීවත් උනෙමු. අදත් කිසියම් තැනෙක "හත්පෙති මල" පිළිබඳව සටහනක් දුටුව හොත් එතැන ඇස් නවතින තරමට "ශෙන්යා" අපගේ ජීවිත තුල ලැගුම් ගෙන ඇත!

අපගේ නිවස එකල සිට කියවන නිවසක් විය. තාත්තා දිනපතා පුවත් පතක් ගෙන බැලුව අයෙකි. ජීවිතයේ බැරි අමාරු කම් දැනුනු අවධිවලදී ඔහු දිනයේ නිදහස් වේලාවක් "පත්තරේ පොඩ්ඩක් බලන්න යනවා" කියා අසල කඩේට යෑම දක්නට ලැබුනේය. නිවසට මසකට වරක් "ශ්‍රී" සඟරාව මිලදී ගත් අතර සෑම මසකම දෙවරක් (12 වෙනිදා හා 26 වාගේ මතකයි!) නිකුත්වූ "නවයුගය" පත්තරේ මිලදි ගත්තෙමු. ඊට අමතරව කල්යත්ම "මනහර" ද "මුතුහර" ද "යොවුන් ජනතා", "තරුණි", "සිරිකත" වැනි පුවත් පත් සඟරාද නිවෙසට දුරාවාරයේ පැමිණියේය.

මාගේ වැඩිමහළු සොහොයුරාත් සොහොයුරියත් පියාත් කියවීමට රුසියෝය. ඒ අතුරින් මාගේ පියාට කියවන්නට යමක් සමග ප්ලේන්ටියක් තිබුන හොත් තුන් වේල කෑම නොතිබුනත් අවුලක් නැති තරම්ය. අපගේ නිවසේ පොත් එකතුවක් නොවීය! මට අමතක ඇති කාලයේ ගෙදර තිබුනේ "විජයබා කොල්ලය" පොත පමණි. එහෙත් අයියාත් අක්කාත් පාසලේ පුස්ථකාලයෙන් ගෙන ආ පොත්  නිවසේ බොහෝවිට දක්නට ලැබුනි.  මර්ටින් වික්‍රමසිංහ, කරුණාසේන ජයලත්,ගුණදාස ලියනගේ ආදීන් අපගේ නිවසට කැන්දාගෙන ආවේ ඒ අයය! මේ කිසිවකින් මා කියැවීමට පෙළඹවීමක් ඇති නොවීය. මා කියැවීමට පෙළඹවීමක්; විශෙෂයෙන් නවකතා වැනි පොත් කියැවීම ඇරඹෙන්නේ මා පාසලේ හත්වන ශ්‍රේණියේ උගෙන ගන්නා කාලයේදීය. මගේ පාසලේ පුස්ථකාල තුනක් පැවතුනි. හත වසරේදී අපව කණිෂ්ඨ පුස්ථකාලයට යොමු කලමුත් කියැවීමට රසවත් පොතක් තෝරා ගැනීමේ ගැටළුවකට මා මුහුණ දුනිමි. ඔබ විශ්වාස කරණ්න මා පලමුව පුස්ථකාලයෙන් ගෙන ආ පොත වූයේ ග්‍රීක දාර්ශණික හෝමර් විසින් ලියැවී ඩේවිඩ් කරුණාරත්නයන් විසින් හෙල බසට පෙරළු "ත්‍රෝජපුර සංග්‍රාමය" පොතයි. මෙන්න සයිස් පොතක් වූ එය මා රැගෙන ආවේ පංතියේ අන් සිසුන්ගේ ගෞරවණීය බැලුම් මැද්දේය. ඔවුන් කියැවීමට තෝරාගෙන තිබුනු "මඩොල් දූව", "වනගත ළමෝ", "කොරැල් දූපත", "සම්පත් දූපත" වැනි පොත් අතර මාගේ පොත කුරුණෑගල ඇතා ගල තරම් විය. සමහරු ළඟට විත් "උඹ මේක කියවනවද?" කියා ඇස් උඩ ඉන්දවාගෙන ඇසූ විට මා උත්තර දුන්නේ මුහුණ ගාම්භීර කර්වා ගෙන "හුම්ම්! හුම්ම්!!" කියාය.

පොත ගෙදර ගෙන ගොස් කියැවීම ඇරඹීය! මෙලෝ රහක් නැත!! මැදින් පටන් ගතිමි! අගින් පටන් ගතිමි!! ඒ පත්තෙන් මේ පැත්තට; මේ පැත්තෙන් ඒ පැත්තට කියවන්නට දත කෑවෙමි! ම්හු! එය කියවන්නට කිසිදු රසයක් උත්තේජනයක් නොමැති විය. තවත් දශක ගනනකට පසු සෝවියට් පොත් ප්‍රදර්ශ්ණයකින් මිලදී ගත් "ලෙනින්ගේ තෝරාගත් කෘථි වෙළුම් 12" ට උනේද එම සන්නෑසියමය!

මේ කාලයේ මා සිටියේ දෙමටගොඩ මවුන්ට් ප්ලසන්ට් පටුමගේ නැවතීය. එම පටුමග පටන් ගන්නා ආසන්නයේ කුඩා කුටියක නවාතැන්  ගත් මිනිසුන් දෙදෙනෙකු විය. ඉන් එක් අයෙකුගේ නම රුද්‍රිගු විය. අප සමග සවස් කාලයේ පටුමගේ පන්දු කෙළියේ සිටි "මධූ" නමැති මිතුරා වෙතින් මා මෙම මිනිසුන් දෙදෙනා හඳුනා ගත්තෙමි. ඒ පොත් රාකකයක් ඇති "අංකල්ලා දෙදෙනෙකු" ලෙසය. සැබැවිම ඔවුන්ගේ කුඩා කුටියේ අගනා පොත රාකයක් විය. එහි වූ සෑම පොතක්ම පාහේ පලමු මුද්‍රණයේ පිටපතකි. ඒ කෙසේ වෙතත් පොත් ගැන මාහට ඇල්මක් නොවූ අතර එම හමුව දිනකින් අවසන් විය. මා පසු දින පාසැලට ගොස් මාගේ අසල්වැසි පොත් කියවන මිතුරා වූ එස් සී කේ ජයකොඩි හට මේ පිළිබඳව පැවසූ සැණින් ඔහුගේ මුව විවර විය! එදිනම හවස්වරුවේ පොත් අංකල්ලාගේ කාමරයට ගොඩ වැදී ඔහු තෝරා දුන් පොතක් රැගෙන ආවේය. පොත එච් රයිඩර් හැගාර්ඩ් ගේ  "ඇලන් ක්වාටර්මන්" නම් රසාද්‍ර පොතයි. පසුදින පොත රැගෙන ගොස් ජයකොඩිට දුන අතර ඔහු දින දෙකකින් පොත කියවා නැවත ලබාදුන්නේය. පසු දින ඔහුට මා තවත් පොතක් ඉල්ලාගෙන ගෙනැවිත් දුන්නේය. මේ සඳහා මා සුළු "ගාස්තුවක්" අය කලෙමි! ඒ අන් කිසිවක් නොව තමා කියැවූ කථාව ඔහු කථාන්දරයක් සේ මා හට කීමේ හෙවත් බිණීමේ ඒකඟතාවය ය! කථාවේ එන "ආම්ස්ලොපාගාස්" චරිතය පළමුව මා දුටුවේ ජයකොඩිගේ හඬිනි!  "ඉන්කෝසිගාස්", "ඇලන් ක්වාටර්මන්", "හෙන්රි කර්ටීස්", "ගුඩ්", "නිලෙප්තා", "නස්ටා" යනාදී සියල්ලන් මා හඳුනා ගත්තේ ජයකොඩිගේ ඇයි හොඳැයියේ ප්‍රථිඵලයක් ලෙසය! 

ඔහුගේ හඬින් කථාව කියවා අවසන් වූ පසු එහි ඇති උද්වේගකර අවස්ථා නැවත නැවත ඇසීමට මා ආශා කලමුත් ජයකොඩි ඊට එකඟ නොවුණු අතර ඔහු ඊට පිළියම ලෙස කලේ පොතේ එම පිටු කිහිපය මාහට තෝරා දී කියවන ලෙස ඇවිටිලි කිරීමය. වෙන කිරීමට යමක් ඉතිරිව නොමැති බැවින් අකමැත්තෙන් වුවද එම පිටු කිහිපය කියැවූ මා ඉන් ඔබ්බට කියවාගෙන යෑමට උනන්දු උනෙමි. සත්තකින්ම ජයකොඩි කිව්වාට වඩා; වඩාත් රසවත් ලෙස ලියැවී තිබුණු කථාව මා කියැවීමට නැඹුරු කලේය! මෙය දරුවන්ට කියැවීම හුරු කරවීමට හොඳ උපක්‍රමයකි. ඔබ විශ්වාස කරණ්න මාගේ පුත්‍රයා මේ වනවිට;ඉංග්‍රීසි බසින් ලියැවුනු  එම පොත කියවමින්ය. ඔහු එය කියවන්නේ අනුපාන ලෙසය! පොත ඉවරවේයැයි බියෙනි!! එහි ඇති රසවත් යෙදුම්, පාඨ, උපමා උපමේයයන් මා සමග හුවමාරු කරගනිමින්ය! සත්තකින්ම අදටත් මාගේ සිතේ පතුලේම තැන්පත්වී ඇති "ඉන්කෝසිගාස්" හා "ආම්ස්ලොපාගාස්" පිළිබඳ ආදරණීය හා ගෞරවණීය මතකය ඔහුගේ මතක් කිරීමෙන් අළුත් වෙමින්ය!

දැන් ඉහත ඡේදයේ අවසන් වාක්කි කිහිපය කියැවූ පසු; මාගේ පුත්තරයා -  වසික සුපිරියටම පොත් කියැවූ ඩයලයක් ලෙස තේරුම් ගියේ නම් ඔබට සිදුවී ඇත්තේ පට්ට වරදකි. වසික ඉපදෙන්නටත් කලින් ඔහුට ඒ ඒ වයසට කියැවිය යුතු පොත් මා ඒක රාශී කර තැබූ පියෙකු විය! ඔබ පිලිගන්න "සකස්කඩය", "බුද්ධගජ්ජය" , "වදන් කවිපොත" සිට පොත් මා එකතු කලෙමි. (මා කල මෝඩ කම!) "සකස්කඩ-නොකී කට - උගේ කට- හුඹස් කට" කියා කියනවා මා අසා ඇත. මාගේ පුත්‍රයාගේ කට හුඹස් කටක් වනු දැකීමේ අනියත බියෙන් කඩ සාප්පු පෙරළා සොයාගෙන ආ සකස් කඩය  උම්බලකඩයක් සේ වේලෙමින් කාවුන්ට පසන් නිවසක් සකසා දෙමින් මාගේ පොත් අතර ඇති!

එහෙත් ඔහුට මා කියැවූ කුඩා කතාන්දර ඔහු තුල කියැවීම මෝදු වීමට හේතුවක් වූවාද? මට සැකයකි. වසිකත් කල්මලීත් කුඩා කල සිටම ස්වාධීනව හැදුණු වැඩුනු අයය! පාසලේ එකේ දෙකේ පන්ති වල සිටම ඔවුන් නිදා ගත්තේ වෙන වෙනම කාමර වලය. ඔවුන්ට  පොත් රාක්ක සවිකල මේස දෙකක්ද විය. සෑම දිනෙකම හවස මා ඔවුන් හමුවූ අවස්ථාවේ අසන පැනයක් විය.

"පුතා පොත් කියෙව්වද . . . . ?" වසිකයා ඒ  මේ අත ඇඹරෙද්දී කල්මි තියුණු හඬින් උත්තරේ දෙයි.

"තාත්ති මම පොතක් ඉවර වෙන්නම කියෙව්වා . . . . !" 

"ඔයා ගොඩාක් හොඳයි! හොඳ දුව! ඔයාට තමයි පුතේ පොතක් තියා පිටුවක් වත් කියවන්න බැරි! හෙට කියෙව්වේ නැත්නම් බලන්නකෝ වෙන දේ!?" මෙසේ දවස් ගනනාවක් ගත්විය! සෑම දිනෙකම පාහේ දියණිය පොතක් අවසන් කොට තිබූ අතර පුත්‍රයා කියෙව්වත් කියවා තිබුනේ පිටුවක් හෝ ඉන් අර්ධයකි!

"මොකක්ද පුතා නංගි පොතක් හැමදාම කියවලා ඉවර කරණවා! ඔයාට පිටු දෙකක් කියවාගන්න බෑනේ ඔච්චර කියලත්!"

"අනේ තාත්ති එයා හැමදාම කියවන පොත මම නොදන්නවෑ!? ඒකෙ තියෙන්නේ තාරා පැටියා එළියට ආවා. විශාල බිරුම් හඬක් ඇසුනා. අම්මා ළඟට දිව්වා . . ! ඕං ඔච්චරයි!" කතා කොට පලක් නොමැත! කාලය ගතවීමත් සමග ඔවුන් සෙමෙන් සෙමෙන් කියැවීමට පටන් ගෙන ඇත.

රූපවාහිණිය මෙරට නිවෙස්වල මැද සාලය ආක්‍රමණය කිරීමත් සමග කියැවීම බොහෝ දුරකට තල්ලුවී ගියේය. කාටූන් හා ළමා වැඩ සටහන් කෙරෙහි දරුවන් තදින් බැඳී ඇති අද දරුවන් කාටූන් වලින් තොර ලෝකයක් පිළිබඳව සිතීමටවත් නොහැකි තැනකට වැටී ඇත. බොරැල්ලේ කුරුප්පු මාවතේ පිහිටි එක් ආයතනයක් ඉදිරියේ ප්‍රදර්ශ්ණය කරණු ලබන බෝඩ් ලෑල්ලක දක්වා තිබුනේ "ඩිජිටල් අතඩංගුවෙන් ඔබේ දරුවා මුදා ගන්න" කියාය. මා දන්නා පරිදි එහි ඇත්තේ කුඩා දරුවන් සඳහා විවිධ ක්‍රියා කාරීත්වයන් හා පොත් එකතුවකි.

"පොත්වල ස්ථානය පරිඝනකය අත්පත් කර ගනිමින්ය!!" කීවොත් එහි වරදක් ඇත! එය නිවැරදි කරණවා නම් "පොත් වලට තිබුනු ස්ථානය පරිඝනකය අත්පත් කරගෙන අවසානය . . . !" ලෙස ලියැවිය යුතුය. අපිට සිටිය හොඳ රසිකයෙකුවූ 'ඇනෝපිලිස්' වරක් මාහට පැවසුවේ දැන් පොත් කියවන්න පොත් ගන්නේ කවුද e-books වලින් පොත් තුන් හාර සීයක් උනත් ෆෝන් එකේ දාගන්න පුළුවන්නේ!" කියාය.  

මේ පිළිබඳව මාගේ අසල්වැසි මිතුරු කරුණාරත්න හෙවත් කරූද දැක්වූ අදහසක් කෙළවර වූයේ අපූරු තැනකින්ය.

"තවටික කාලෙකින් මේ ලෝකෙන් පොත් කියන දේවල් නැත්තටම නැතිවෙනවා!" කරූ පැවසීය. 

සත්තකින්ම පොත් යනු මගේ ජීවිතයේ විශාල කොටසක් අයිති කරගෙන තිබෙන භෞතික වස්තූන් ගෙන් එක් පාර්ශ්වයකි! මෙම කියමනම මාගේ හිත පෑරෙන්නට හේතුවිය. අප කෙතරම් ජීව විද්‍යාව හැදෑරුවද අපගේ උත්පත්තියට හේතු කාරක වූ දෙමව්පියන්ගේ කායික එක්වීම පිළිබඳව සිතන්නට මැළිකමක් අපගේ සිත් තුලට ඇතුළු වූයේ කෙලෙසද? එසේම අනාගතයේ පොත් නැත්තට නැති වෙනවා කියා අසන්නට තබා සිතන්නටවත් සිත ඉඩ නොදෙයි!

"මම නං හිතන්නේ නෑ! එහෙම පොත් මේ ලෝකෙන් නැත්තට නැතිවෙයි කියලා නම්!" මම එක හෙලා කීවෙමි. 

"ඇයි නැත්තේ! දාඇන් හැම පොතක්ම වාගේ e-books විදියට තියෙනවා. අනෙක ඕනම දෙයක් පිළිබඳව ඉන්ටර්නෙට් එකෙන් ඩවුන් ලෝඩ් කරගන්න පුළුවන්. " ඔහු ඔහුගේ අදහස වඩාත් තහවුරු කලේය!

"හරි හදිසියකදී අපිට කියවන එකක පොඩි නෝට් එකක් දාන්න හයිලයිට් කරගන්න වගේ දේකට කොලයක් තියෙන්න ඕන වෙනවානේ!? මම නැවත ඔහුගෙන් විමසීය.

"ඔව්! ඔව්!! එහෙම ඕන උනෝතින් ටක් ගාලා ප්‍රින්ට් අවුට් එකක් දාගන්නවා! කොල ගොඩක් නම් ප්‍රින්ට් අවුට් අරගෙන ඔය කොහාට හරි දීලා බයින්ඩ් කර ගන්නවානේ!" කරූ සැහැල්ලුවෙන් පැවසීය.

"හරි! හරි!! ඒවට තමයි පොත් කියන්නේ!? ආයේ අහවල් එහෙකටයැ!?" මම සතුටින් ගෙදර පැමිණ පොත් රාක්ක දෙස බලා සැනසුම් සුසුමක් හෙලීමි!

"පොතක් කියවනවා" යනු දැන්වීමක කියැවීමක් නොවන්නේය. එය හුදෙක් පත්‍රිකා ගොඩක් එකට බැඳ සකස් කල කොල මිටියකට වඩා එහා ගිය අරුතකි! පොතක නම, එහි ලේඛකයා, එහි නිමාව, පිට කවරය, ඇතුලත පිටු වල ස්වභාවය, පොතේ ජ්‍යාමිතික ස්වරූපය, ඇතුලත ඇති අකුරු වල ෆොන්ට් එක, පෙර වදන, පසුවදන, සඥාපනය, මේ සියල්ලම අභිබවා යන අළුත් පොතක ඇති නැවුම් සුවඳ මේ සියල්ලම පොතක ඇති අන්තර්ගතය පෝෂණය කරණු ලබන මල් වැල් ය! ලිය කම් ය!! පලා පෙති ය!!! කොටින්ම අයිසිං ය! 

මීට බොහෝ ට පෙර අභාවප්‍රාප්ත කරවූ මහරගම "සමන් මුද්‍රණාලයේ" පොත්වලට ආවේනික ජ්‍යාමිතික දිග පළලක් විය. මාගේ දැනීමේ හැටියට මුද්‍රණ ශිල්පීන් අතර "සමන් සයිස්" කියා ව්‍යවහාරයක් ද පසුව ඇතිවිය. මේ ගැන මා වැඩි පුර නොලියන්නේ නිදි මහත්තයාහට ලියන්නට දේවල් ඇති නිසාමය! මෑතභාගයේ මා දුටු අනර්ඝතම කඩදාසි සහිත පොත වූයේ "පූනානිහි මිනී කන කොටියා" පොතය.  එසේම තිසර ප්‍රකාශකයින් මුද්‍රණය කල "රුද්‍රප්‍රයාඝ්හී මිනී කන කොටියා" පොත නිර්මිත කඩ දාසිය අම්බාල් කැෆේ එකේ අත පිහිදාන්නටවත් සුදුසු නැත! සත්තකින්ම ජිම් කොබර්ට් ජීවත් උනා නම් තිසර අධිපති ; මා දන්නා තරමින් වික්‍රමසිංහ පවුලේ සාමාජිකයින් මිය යන්නේ වෙඩි කා ය! 

පොතක් කියවීම, පොතක් අයිති කර ගැනීම, පොතකට ආදරය කිරීම යනු එක් කාරණයක් නොවේ. පොත් වලට ඇති මගේ බැඳීම කුමන විදියේ එකක් දැයි කිවහොත් 1.පොත් වලට ආදරය කරණ්නෙක්මි. 2. පොත් එකතු කරණ්නෙක්මි. 3. මා නොම්මර එකේ පොත් හොරෙක්මි. 4.පොත් කියවන්නෙක්මි. පොත් වලට ඇති ආදරය නිසාම අනික් කාරණා කාරණාද සිදුවෙමින් පවතී. ආදරය කිරීමට ළඟට ගැනීමට අවශ්‍ය නැත! අන් සතු දේ වලට පවා ආදරය කල හැක!! ඒ නිසාම මා ළඟ තිබී නැතිවූ ජැක් ෂෙපර් ගේ "ෂේන්" මුල් කොපියට ආදරය කරමි. මගේ මතකය නිවැරදි නම් එයද මායා රංජන්හෙවත් මහානාම රාජපක්ෂගේ "දිගා මඩුල්ලේ ආශ්චර්‍යය" සේම සමන් පොතකි! පරිවර්තනය කළුබෝවිල සිරිල් සී පෙරෙරා ගේය! "පොත් හොරකම" පිළිබඳව මා වෙනමම පෝස්ටුවක් ලිවීමට අදහස් කරගෙන සිටිමි!

දරුවන්ව පොත්වලට නැඹුරු කිරීමට හැකි තවත් එක් උපක්‍රමයක් ලෙස අනර්ඝ නිමාවෙන් යුතු පොත් තිළිණ කිරීමද කල හැක! මා කලින් සඳහන් කල මාගේ ඥාති දියණියද එය යෝජනා කරයි. කලකට පෙර පැවති එම සිරිත නූතනය සමග නැතිවී ගොස් ඇත! එය අපට ඇරඹිය හැකි හොඳ පුරුද්දකි! 

එසේම අතට අහුවෙන සෑම තැනකම පොත් තැබීමද පොත් කියැවීමට පෙළඹ වීමට එක් උපක්‍රමයකි. එයට හේතුව ලෙස මාදකින්නේ පොත් රාක්කය හෝ පොත් කාමරයට ගොස් පොතක් ගෙනැවිත් බැලීමට දරුවකු පෙළඹෙන්නේ නැති බැවින්ය. මාගේ ඥාති දියණිය පවසන පරිදි සමහර දරුවන් ආහාර ගන්නේද පොතක් ලං කරගෙනය. එය කෙතරම් සාර්ථක ක්‍රම වේදයක් දැයි අපට සොයා බැලීමට මත්තෙන් එලෙසින් හෝ පොත් කියැවීමේ ඇබ්බැහියට දරුවා එළබෙන්නේ නම් එය වඩාත් යහපත් කාර්නයක් ලෙස මා දකිමි.

තම දරුවන් කියැවීමට හුරු කරවීමට ගත් වෙනස්ම ආකාරයේ වෙහෙසක් ගත් අයෙකු හමුවූයේ මාගේ සයිකල් පැදීම සමගය! ඒ DSI Bike ආයතනයේ ඝනකාධිකාරී නිශාන් මල්ලීය. ඔහු තම දරුවන් කියවනා සෑම පොතකටම මුදල් ත්‍යාගයක් ලබා දී ඇත! එම ත්‍යාග ලබා දීමේදී ඔහු විසින් සොයා බලන ලද කරුණු මොනවාදැයි මාහට මතක නැතිවුවද ඔහුගේ දරුවන් දෙදෙනාම අවසානයේ පොත් ගුල්ලන් වූ බව ඔහු ආදරයෙන් මතක් කරයි. 

මෙතනදී ත්‍යාගයක් ලෙස ලබා දෙන්නේ මුදල්ද වෙනයම් දෙයක්ද කියා අපට නැවත විශ්ලේෂණය කල හැකි වන අතර එවන් දිරි ගැන්වීමකින් දරුවන් පොත් කියැවීමකට යොමු කර වීමට පුළුවන් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. අප කල යුත්තේ ඔවුන් තුල පොත් කියැවීමේ "පුරුද්දක්" ඇති කර වීම පමණි. ඔවුන් එය දිගටම කරගෙන යනු අපට නිහඬව බලා සිටීමට හැකිවේවි!

එකල අප කුඩා කල ඉගෙන ගත් "මේ ගසේ බොහෝ" දැන් ඇහෙන්නේ නැත. "මා වැනි බිළින්දා", "රෝස මලේ නටුවෙ කටු" දැන් දරුවන්ට අහන්නට ලැබෙනවාදැයි මා නොදනිමි. (තතු දත්තෝ මා නිවැරදි කරත්වා!) මේ සියල්ල සමග ඇසුණු "රතු හැට්ටකාරි", "හාවා ලබුකිරිබත් කෑ හැටි", අන්දරේගේ කථා, මහදැන මුත්තාගේ වැඩ, මේවා දරුවන්ට ඇසෙනවා දැයි සිතන්නට නොහැක.  මේ සියල්ල අභිබවා දරුවන්ගේ කියැවීම දියුණු කල හැක්කේ දෙමව්පියන් එය ඔවුනට ක්‍රියාවෙන් සිදුකොට පෙන්වීමෙනි. වී කලෝ වී ද අමු කලෝඅ අමුද රැගෙන යන්නාසේ දෙමව්පියන්  පොත් කියවන්නේ නම් දරුවන්ද ඒ පාරේ බොහෝ විට යනු ඇත! සතියේ සිල්ලර බඩු එලවලු ගැනීමට කඩයට සුපිරි වෙළෙඳ හලට යනවා සේම; පවුලේ සැම එක්ව පුස්තකාලයට යෑමද සතියේ එක් දිනයක සිදු කරණ අනිවාර්‍ය කාරණයක් ලෙස සකසා ගැනීමෙන් දරුවන්ද ඒ අනුව කටයුතු කරනවා ඇත!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...