Showing posts with label පොත් පුවත්. Show all posts
Showing posts with label පොත් පුවත්. Show all posts

Thursday, August 14, 2025

293. පොත් හොරා . . . !

වරෙක චන්දන කීර්ති බණ්ඩාර විසින්ද;; තවත් වරෙක මවිසින්ද අවසානයේ ෂානක රාජකරුණා විසින්ද; පාෂාණභූත කලේ මෙවන් පොත් රාජයෙකි!

මගේ පවුලේ මා බාලයා විමි. අක්කා සහ මා අතර වසර 6 ක හිඩසක්ද අයියාත් මාත් අතර වසර 8 ක කාල පරාසයක්ද තිබුනි. ඔවුන්ගේ යොවුන් වියේදී මා කුඩා දරුවෙකු වූයෙමි. ඔවුන්; පුස්තකාල වලින් ගෙන ආ නවකථා පොත් කියවනා කාලයේ මා කියැවූයේ "හත් පෙති මල" ය. අයියා ඩීමන් ආනන්දගේ පොත් පිංච වල් ගෙනැවිත් ගෙදරට හොරා කියැවූ අයුරු මට මතකය. අපේ ගෙදර පොත් කියවන ගෙයක් විය. අක්කාත් අයියාත් ගෙදර ගෙනා පොත් අපේ තාත්තාත් අම්මාත් කියවනු මා දැක ඇත!

තාත්තාට ෆයිල් කබර්ඩ් එකක් තිබුනි. අපේම කියා අපට තිබුනු "එකම" පොත් දෙක වන; මුනිදාස සෙනරත් යාපා විසින් පරිවර්ථනය කර තිබුණු "අපරාජිත බිස්මාකය" පොත සහ ඩබ්ලියු ඒ ද සිල්වාගේ "විජයබා කොල්ලය" පොත පමණි. ඒවා ප්‍රදර්ශණ භාණ්ඩ සේ තබා තිබුනු අතර එය යතුරු ලා වසා තැබීමට තාත්තා වගබලා ගත්තේය. මීට අමතරව "ශ්‍රී ලංකා" සඟරා කිහිපයක්ද තිබුනි.

කලකට පෙර බීබීසියේ සේවය කල චන්දන කීර්ති බණ්ඩාර අපේ අක්කාගේත් අයියාගේත් පාසැල් මිත්‍රයෙකුවූ අතර ඔහු සතු පොත් එකතුවක් වූ බව; අයියා දිනක් අක්කා සමග පවසනු මාහට ඇසුනි.

"කවදා හරි රස්සාවක් කරණ කාලෙකද මාසෙකට එක පොතක් වගේ අරගන්නෝන . . . " අයියා අක්කා සමග පවසනවා මා හට අදටත් මතකය. 

පසු කලෙකදී චන්දන කීර්ති බණ්ඩාර සහ මා හොඳ මිතුරන් වීමු. අප එකට අඩියක් ගැසූ අතර එක සිගරැට් එක දෙකට බෙදාගෙන බීවෙමු. ඔහුත් මාත් එකට නසසපයේ (නව සමසමාජ පක්ෂය) දේශපාලනය කල අතර කලාව, පොත් පත්, දෙශපාලනය, සංගීතය, ප්‍රේමය, ලිංගිකත්වය, චිත්‍රපට මෙවැනි බොහෝ මාතෘකා පිළිබඳව බොහෝ වේලා  අප කථාබස් කලෙමු. සත්තකින්ම "කතාබස් කලෙමු!" කියා ලොකුවට ලීවාට එය  "ඔහුට සවන් දුන්නෙමි!" යනුවෙන් ලීවානම් වඩා නිවැරදිය.

එකල ඔහු සේවය කලේ නසසපයේ නිළ පුවත්පත වන "හරය" පත්තරයේ ඡායාරූප ශිල්පියා සහ වාර්ථාකරුවෙකු ලෙසය. එහි මුද්‍රණාලය තිබුනේ දෙමටගොඩ වැල්ලම්පිටිය පාරේ පෙට්‍රෝලියම් රේල් ගේට්ටුව පහුකරණවාත් සමග දකුණු පසින් ය. එහි කොතලෙ හෙවත් එඩ්වින් කොතලාවල, වටරැක සුනිල් ගාමිණී, නලීන් මහේෂ් පෙරේරා වැනි තවත් පිරිසක් විය. මේ සියළු දෙනාම පොත් කියවන, පත පොත සමග දවස ගෙවූ අයය. 

ලෙටර් ප්‍රෙස් මැෂිම සඳහා ඊයම් අකුරු අමුනමින් සිටිනා ගමන් වුවද; විටෙක ඔවුන් කථා බස් කලේ පත පොත ගැනය. එකල මා උසස් පෙල ලියන කාලය විය. මෙම හමුවීම් මාගේ ජීවිතයේ බොහෝ වෙනස් කම් වලට මූල බීජ සැපයීය. "පොත්" යනු; ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් සේ දැනෙන්නේ මේ සමගය!

චන්දන කීර්ති බණ්ඩාර පිළිපදින, නැතහොත් නිතර පවසන  අමුතු "තියරි" කිහිපයක් විය. 

"මුදල් ඇත්තේ හම්බකරණ්නයි, වියදම් කරණ්නයි, හොරකං කරණ්නයි!" මේ එක් තියරියකි. 

"පොත් ඇත්තේ ලියන්නයි, කියවන්නයි,  හොරකං කරණ්නයි!"

ඔහුගේ විසල් සහ වටිනා පොත් එකතුවෙන් පොතක් ඉල්ලූ විට පවසන ස්ලෝක පාඨයක් විය.

එය මට මේ මොහොතේ මතක් කරගැනීමට නොහැකි වුවත් එහි අදහසවූයේ "ස්ත්‍රිය සහ පොත; අන්සතු කලහොත් එය කිසිදා තිබුනු ආකාරයෙන් ලැබෙන්නේ නැත!" යන්නය.

"මාගේ පොත් එකතුවවේ ඇති පොත් මා කිසිවෙකුට ණයට නොදෙමි! මන්ද: මෙහි ඇති පොත් වලින් බොහොමයක් මා අනුන්ගෙන් ණයට ඉල්ලාගෙන ආ පොත් ය!" ඔහු සෑම විටෙකම පැවසූ අනෙක් වැකිය ය.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී "පොත් එකතුවක්" යන සිහිනය තුල මා කිමිදෙමින් ය!

මා; මටම කියා පොත් රාක්කයක් සාදා ගත්තේ පිටකෝට්ටේ 585/B ගෙදර නිවැසියෙකුව සිටියදීය.

පිටකෝට්ටේ හංදියට ඔබ්බෙන් වූ ලී මඩුවකින් රබර් ලෑලි හයක්. එස් ලෝන් බට කැබැල්ලක් හා නට් ඇන්ඩ් බෝල්ට් හෙවත් ඇණ මුරිච්චි කිහිපයක් උපයෝගී කරගෙන මමම එය නිමවා ගත්තෙමි. මේ : උසස් පෙළ ලියනා කාලයේය. 

සාදා නිමකල පොත් රාක්කය "උඹද - මමද" යන රිද්මයට දෙපැත්තට වැනුනු එය තරමක් හෝ ස්ථායි කර ගත්තේ එක පසකට බර කොට බිත්තියකට සිර කර ගැනීමෙන් විය!

හෙළයේ මහා පොත් මැදුර ලෙස විරුදා වළිය ලත් ඇම්. ඩී. ගුණසේන පොත් සාප්පුවේ ගබඩා හිස් කරමින් මහා පොත් සල්පිලක් පැවැත්වූයේ මේ කාලයේදීම වාගේය. එයින් සත 25ට 50ට මිළදී ගත් පොත් කිහිපයක් සහ "අතීත කථාව" සොයා ගත නොහැකිවූ අවජාතක පොත් කිහිපයක්ද මා අත විය. මා සතුව තිබුනු එම පොත් 10 - 12 පොත් රාක්කයේ තැණ්පත් කල මා එදින දවසම පොත් අත පත ගාමින් විය.

පිට කොට්ටේ නිවස්නය හිමි සුජීලා රොෂාන්ලාද ඔවුන්ගේ නිවසේ තැන තැන තිබුනු පැරණි පොත් කිහිපයක් "ආ මේකත් රාක්කේ තියා ගන්නවකො!" කියමින් ලබා දුන්නා මතකය.

මේ කාලය වන විට මා හුදෙක්ම තාත්තාගෙන් ලැබෙනා මුදලින් ජීවත් වූ "සාමාන්‍ය සෙබලෙකි!" ඒ නිසාම පොත් එකතුවක් තබා ඇක්සයිස් පොතක් ගැනීමටවත් මටම කියා ධනයක් නොතිබුනි.

ඒ නිසාම පොත් ලබා ගන්නා ක්‍රම කිහිපයක් මා අභ්‍යාස කොට ප්‍රථ්‍යක්ෂ කර ගතිමි. 

ඉන් පළමු වැන්න වූයේ සාමාන්‍යයෙන් හෝ ඉඳහිට ගොඩ වදිනා ගෙවල් වල ප්‍රයෝජනයක් නොගෙන පසෙක දමා ඇති පොත් ඉල්ලා ගැනීමය.

දෙවැන්න වූයේ කියැවීමට ඉල්ලාගෙන පැමිණ "ගල්" කිරීමය!

බෝතල් පත්තර කඩ වලින් රාත්තල් ගානට පොත් ලභා ගැනීම අනෙක් ක්‍රමයය.

ඊට අමතරව පොත් ප්‍රදර්ශණ වලදී ඉතා අඩු ගනනට විකුණනට දමා ඇති පොත් තෝරා බේරා ගෙන මිළදී ගැණීමය.

පොත් ප්‍රදර්ශණ වල; අවසන් දිනයේ අන්තිම කාර්තුවේදී; බොහෝ විට පොත් අඩු මුදළට  විකිණෙනවා මා දැක ඇත. 

රාක්ක පුරා උජාරුවට සිටිමින් ලොකු ලයින් දුන් පොත්; අවසන් දිනයේ හවස් වරුවේ කාඩ්බෝඩ් පෙට්ටි කබල් වල දෙක පහට විකිණේ! මෙය කොයි කාටත් පොදු ධර්මතාවයකි.

මෙසේ අවසන් දිනයේ අවසන් හෝරාවේ දී වල අවසාන් හෝරාවේ හෝ අවසන් දිනයේ සල්ලි ගන්නා කවුන්ටර් අසල පිටවන දොරටු අතර ඇතිවන්නේ අසාමාන්‍ය තදබදයකි! වරක් අප පාසලේ තිබුනු පොත් ප්‍රදර්ශණයක් අවසානයේ කුඩා පොතක් මිළදී ගත් මා එයට ගෙවීම් කරණ්නට සිටිනා විට ඇතිවූ තදබදයේ ප්‍රථිපලය වූයේ මම ස්ව්‍යංක්‍රීයව එළියට වැඩැම්මුනා නොව එර්ධියෙන් මෙන් පැමිණුනි!

ආශ්චර්‍යයකි!

මා පැමිණ සිටියේ හිස් අතින් නොව පොත් පිංචක්ද සමගිනි!

එය හොඳ පූර්වාදර්ශයක් විය!

කිසිදු ගෙවීමකින් තොරව මාගේ පොත් ගුලට පොත් එකතුවට පොතක් වැඩම කලේ එලෙසිනි.

මේ සිද්ධිය පිළිබඳව පැවසීමට මා චන්දන අයියා හමුවීමට පසු දින කඩි මුඩියේම සයිකලය පැදගෙන ගියෙමි.

"ආ! ඒක හොඳ වැඩක්! හැබැයි කල්පනාවෙන්! "එහෙමනං ඒ වෙලාවටම යන්න වෙනවා! බලාගෙන ඔය බුක් එක්සිබිශන් වල කැශියර්ට එළියෙන් එකෙක් දෙන්නෙක් දාලා ඉන්නවා නොගෙවා යන උඹලා වගේ එවුංව අල්ලන්න! බලාගෙන!"

චන්දන අයියාගේ අවවාද අනුසාසනා සහිතව ඉන් පසු පොත් ප්‍රදර්ශණ වලට ගියේ අවසාන දින කිහිපයේ අවසාන තත්පරයේදීය.

මෙය නොම්මර එකේම වැඩක් විය.

මක් නිසාද එහි කිසියම් අපූර්වත්වයක් තිබූ නිසාමය. ප්‍රදර්ශණ ශාලාවේ සිට එළියට පැමිණි විට අතට ලැබෙන්නේ පොතක් පමණක් වුවද සිත සතුටින් පිරී ඉතිරී ගොසින්ය.

එය තරමක ත්‍රාස ජනක ක්‍රියාවක් විය.

කාලය ගෙවී යත්ම එක් අවස්ථාවක හෝ දෙකකදී මුදල් අයකැමිට පසු පසින් සිටි අයගේ උකුසු ඇසට මා අසුනොවී බේරුණේ අනූ නවයෙනි.

වරක් මට ඉදිරියෙන් ගිය තරුණයාව ගලග්‍රහණයෙන් අල්ලා ගත් සැණින් මා; අත වූ පොතද බිම දමා ඉක්මන් ගමණින් ශාලාවෙන් ඉවත් වූවේය.

මෙය තව දුරටත් සාර්ථක එකක් නොවීය. පොතක් ගෙන කමිසයට යටින් බඩතුරේ සඟවාගෙන පැමිණීම මීට වඩා බොහෝ සෙයින් ලෙහෙසි පහසු කටයුත්තක් සේ මා හට පෙනී ගියේ මේ කාලයේදීය.

ඉන් ඉක්බිහිව ඇරඹුනේ මාගේ පොත් එකතුවේ ස්වර්ණමය යුගයය!

පොත් සාප්පු, පොත් ප්‍රදර්ශණ, පුස්තකාල ආදී පොත් ගැවසුනු සෑම සියළු ස්ථානයකම මම "පොත් දඩයමේ" ගියෙමි.

කලක් ගතවෙද්දී එය මාගේ ජීවිතයේ තවත් එක් චර්යා ධර්මයක් පමණක්ම විය!

කාලය ගතවිය. රොබර්ට් නොක්ස්ගේ ලංකා වාර්ථාව "එදා හෙලදිව" සිට බොහෝ බොහෝ පොත් මාගේ පොත් එකතුවට එකතු විය.

පිටු ගණනාවකින් යුත් "එදා හෙළ දිව" පැරණි මුද්‍රණය පොත රැගෙන විත් ඒ ගැන චන්දන අයියාට පැවසූ විට ඔහු පැවසුවේ "ඕක මොකක්ද බං; මං ඇමරිකන් සෙන්ටර් එකෙන් අර්නස්ට් හෙමිං වේ ගේ Death in the Afternoon" පොත ගෙනාවේ!" කියලාය. ස්පාඥ්ඥයේ ගොන් පොර පිළිබඳව ලියැවුනු එම පොත මලළසේකර ශබ්ධකෝෂයට පමණවූ එකක් විය!

අභාග්‍යයක මහත අද එම පොත ආචාර්ය ෂානක රාජකරුණා විසින්; මාවෙතින් පැහැරගෙන ගොස් ඔහු සන්තකයේ තබාගෙන ඇත!

මේ කාලය තුලදී ගෙදරින් ලැබෙන යැපීම් දීමනාවෙන්; නොකා නොබී බෝතල් පත්තර කඩවලින් රාත්තල් ගානට පොත් ගැනීමද කරගෙන ගියෙමි.

එක් වසරක මාගේ සොහොයුරියගේ උපන් දිනය හෙට වැනි දවසකය. ඇයට කිසියම් තෑග්ගක් දීමට මට සිත් විය. මේ; මා දෙවන වර උසස් පෙළ ලියන වසරයි. උපකාරක පංති ගාස්තු ආදිය මා වෙත ලැබුනේ ඇය වෙතිනි. මව මිය ගොසින් ය.

ඇයට සූප සාස්ත්‍ර පොතක් ලබා දීමට මා සිතා ගත්තෙමි.

මම පිට කෝට්ටෙන් බසයේ එල්ලුනෙමි. කොටුවේ බෝ ගහ අසලින් බැස ගත් මම "හෙළයේ මහා පොත් හලට" ඇදුනෙමි!

සූප සාස්ත්‍ර නැතහොත් ඉංග්‍රීසි  කුකරි පොත් තිබෙන උඩු මහලට මා සෙමෙන් සෙමෙන් ගොඩ උනෙමි.

ඉතා කෙටි වේලාවකදී අදාල පොත් රාක්කය වෙතට ගිය මා කුඩා පොත් දෙකක් අතට ගෙන; එතනම බිම දණ ගසා ගෙන පොත් තෝරණ නියාවෙන්;  ඇඳ සිටි කමිසය ඇතුලින් ඉනේ රඳවා ගත්තෙමි.

කමිසයට උඩින් කිසිවක් නොපෙනේ. පොත් ඇත්තේ කලිසමේ ඉනේ දාරය අසලය.

වැඩේ අවසන්ය. මා සෙමෙන් සෙමෙන් උඩු මහලින් බිම් මහලට පැමිණ ප්‍රධාන ද්වාරය අසලට පැමිණියේය. 

එතැන ආරක්ෂක නිළධරයෙක් විය. එය සාමාන්‍ය තත්වයකි.

පොත් මිළදී ගත් අයගේ ඉන්වොයිසිය පරීක්ෂා කිරීම ඔහුගේ රාජකාරිය විය.

මා තවත් තත්පර ගණනකින් ඕල්කට් මාවතට නිදහස් වීමට නියමිතය.

මා තරමක් ඉක්මන් ගමනින් ඇම්. ඩී. ගුණසේන සාප්පුවෙන් එළියට එන්නට පිය එසවූවෙමි.

එක වරම ආරක්ෂක නිළධරයා මා දෙස තියුණු බැල්මක් හෙලුවේය. ඔහුගේ උකුසු ඇස් මාගේ කලිසමේ  ඉන දාරයට යොමුවිය.

අදත් ගුණසේන සාප්පුවේ ප්‍රධාන දොරින් විසල් සුළං ප්‍රවාහයක් ඇතුලට හමා ඒ. ඇඟට ඇළුනු කමිසයට යටින්; ඉනෙහි රැඳි පොත් දෙකෙහි ඉහළ දාරය ඔහුට දිස් වූවා විය යුතුය.

හේ එක වරම ඉදිරියට පැන වැරෙන් මාගේ අතින් අල්ලා ගත්තෙමි.

එතැන් සිට සිදුවීම් පෙළ අදටත් මාගේ සිතේ කාලයෙන් කාලයට මතකයට එන නපුරු සිහිණයකි.

එකල එහි කළමණාකරු වූයේ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතාය. 

ලාල් ප්‍රේමනාත් ද මැල් යනු ගත් කතුවරයෙක් විය. ප්‍රවීන පුවත් පත් කලා වේදී  සුන්දර නිහතමානීද මැල් ගේ පිය තුමාය!

මා ග්‍රහණයට ගත් ආරක්ෂක නිළධරයා පරඬැලක්සේ මා ඇදගෙන ගියේ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා ඉදිරි පිටටය!

ඒවන විට ඔහුගේ "ලස්සන ලංකා" පොත මා කියවා තිබුනි. ඔහුගේ මේසය තිබුනේ පහල ශාලාව මැදය. ඔහු සිටියේ මේසයක් ඉදිරියේ තබා කැරකෙන පුටුවක වාගේ මට මතකය. ඔහු මීට පෙර මා බොහෝ අවස්ථාවලදී දැක ඇතිමුත් කිසිදු දිනෙක ඔහු හිනහ මුසු මුහුණකින් සිටුනු මා දැක තිබුනේ නැත. සෑම විටෙකම; ඉස් මුදුනේ "ටින් ටෙස්" ඇණයක් ඇනුනු ලෙසක් ඔහුගේ මුහුණෙන් විදහා දැක්වුනි.

"සෑම  විටෙකම පාහේ ඔහු සිටියේ; ඇරියස් එකකය, නො එසේනම් "මල අතින් ගෙනය" කීවොත් මෙය කියවන බොහෝ දෙනාහට සුපිරියටම තේරුම් යනු ඇතැයි මා සිතමි.

සමහර විට ඒ ඔහුගේ සාමාන්‍ය ස්වභාවය විය හැක! 

ආරක්ෂක නිළධරයා; මා ඔහු ඉදිරිපිටට වැඩැම්මුවේ වීරයෙකු පරිද්දෙනි. ඒ නිකම්ම නොවේ; මා කවුරුන්දැයි හැඳින්වීමක්ද සමගය!

ලාල් මහතා මාදෙස බැලූවේ අසූචි පිඩක් දේ බලනා ආකාරයෙන් මුහුණ අකුළුවාගෙනය. පිළිකුළෙන් යුතුවය. 

"නම මොකක්ද?"

මම නම පැවසූවේමි. තවත් විස්තර කිහිපයක් අසමින්ම "අයිඩෙන්ටිය දෙනවා!" කීවේය.

සාමාන්‍යයෙන් මෙරට වෙසෙන ඕනෑම අයෙකුගේ අයිඩෙන්ටියේ පිංතූරය මෙලෝ රහක් නැත. 

එය තමාගේ ජීවිත කාලය තුලදී ලබා ගත් අජූතම ඡායාරූපය වීමට ඇත්තේ 90% සම්භාවිතාවකි.

එයට ප්‍රධානම හේතුව එකල බොහෝ අය සතුව පැවතියේ පාසල මූලික කරගෙන ලබාගත් හැඳුනුම්පත්ය. හැඳුනුම් පත ලබාගන්නා අවස්ථාවේදී කොන්ඩා පීරීමට, පුයර ඉලීමට, මූන දෝවනය කිරීමට තබා දහදිය පිස දමා ගැනීමටවත් උවමණාවක්, ඉඩක්, අවස්ථාවක්, උපදේශනයක් බොහෝ අයට නොලැබේ.

මේ නිසාම ඩීසල් වලින් මූන හෝදා ගත් කල මෙන් තෙල් ගැහුණු මුහුණක් කපුටු කූඩයක් වන් කෙස්සක් සහිතව ලබා ගත් ඡායාරූප එකල සෑම අයෙකුම සතුව පැවති හැඳුනුම්පත් වල දැකීම සුලභ විය.

මා කමිසයේ උඩ සාක්කුවෙන් හැඳුනුම්පත ගෙන ඔහුට දෝතින්ම පෑවේය. මාගේ මුහුණ බලමින්ම උදුරා ගත් එය උපැස් යුවල තුලින් බලමින්ම නැවත මා දෙස බැලූවේ; මා පොත් හොරකමේ ඒමට පෙර අයිඩෙන්ටියද පොකට් ගසාගෙන ඇවිත්දැයි සැකයෙන් මෙනි!

බුලත් හෙප්පුව ගෙන අභිනව මනාල මහතා හමුවට යන ළමිස්සියක් සේ මා හතර අත ඇඹරුනාද නො එ සේ නම් මා වෙනතක බලා සිටියා දැයි මතක නැත. ඔහු එය මේසය මත වූ කඩදාසි බරුව යටින් තබා;

"මෙයාව පල්ලෙහා කාමරයකට දාලා එනවා!" කීවේය.

සිද්ධිය සිද්ධවන විට හෙළයේ මහා පොත් හලේ සෑහෙන හෙළයන්  පිරිසක් විය. ඔවුන් මා දෙස බලා සිටිනු මට දැනේ. මම ඒ දෙස නොබැලුවෙමි. කිසිදු ගානක් නැති ලෙසින් වගේ වගක් නැතිව සිටියෙමි. වටා පිටා සිටි වුන් "මූට නං ගානක් නෑ!" කියා සිතනවා විය හැක. ලැජ්ජාව හා බය මගේ සිත ගිණියම් කරමින්; කන් පෙති රතු කරමින් ය. 

ආරක්ෂක නිළධරයා නැවතත් පොත් රාක්ක අතරින් මාව දක්කාගෙන පහත මාලයට ගෙන ආවේය. 

පහත මාලය පිහිටියේ පොලොවෙන් යටට වන්න්නටය.

එයට එළිය ලැබී තිබුනේ විදුළි එළියෙන් සේ මතකය. කුඩා කාමරයක් එහි විය. එහි දොර යකඩින් නිමවා තිබුනි. එය ග්‍රිල් දොරක් සේ මතකය.  මා ඒතුල රුවා යතුර දැමූ හේ ඉවත්ව ගියේය.

එහි පුටුවක් විය.

අළුත් පොත් අට්ටි එය වටා විය.

එතැණ් සිට මා පොතක් ගෙන කියැවීමට පටන් ගතිමි.

මෙය සිදුවන විට උදෑසන 10.00 ට පමණය. එතැන් පටන් පැය ගණනාවක්ම මා එහි සිර කාරයෙකු ව සිටියෙමි.

පැයකට එකෙක් නැතිනම් දෙන්නෙක් පැමිණ කිසිවක් රැගෙන යයි. තබා යයි. ඔවුනට මගේ හැසිරීම වගක් නොමැත. 

ඒ තුල කොපමණ වේලාවක් සිටියා දැයි මට නිනව්වක් නැත. බොහෝ හවස් වන තුරු මා එතැනය. කන්නට යමක් හෝ බොන්නට වතුර පොල් කටුවක් හෝ නොමැතිව මා එහි පැය ගණනාවක් සිටියෙමි.

"මුංට මාව අමතක උනොත් මම මුළු රෑම මෙතැනම ඉන්න වෙයිද?" මම මගෙන්ම ඇසීමි.

ඔරලෝසුවක් අහල පහලක වත් නැත. වේලාව දැන ගැනීමට කිසිවෙකු නොමැත. තවත් බොහෝ කාලයකට පසුව නැවතත් ආරක්ෂක නිළධරයා පැමිණ අගුළු හැර මා ඉහල මාලයට රැගෙන ගියේය.

ඒවන විට එහි සිටියේ සිද්ධිය වූ අවස්ථාවේ සිටි හෙලයන් නොව වෙනත් පිරිසකි.

මා නැවතත් ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා අභියසය!

"තමුසෙ යනවා! හෙට තාත්තා එක්කගෙන! අයිඩෙන්ටිය ඔහෙ තිබුනාදෙං!"

අයිඩෙන්ටිය නොව කලිසම උනා දමා හෝ එතැනින් එළියට ඒම මගේ එකම අවශ්‍ය තාවය විය. මා පිටකෝට්ටේ නිවසට පැමිණියෙමි. සොහොයුරිය මාගේ ප්‍රමාදය සමග බොහෝ සේ කලබල වී සිටියාය. සියල්ල මා ඈ සමග කීවෙමි.

අවසානයේ මටත් වඩා ඇය කලබල වූ සේයාවකි. 

"චන්දන අයියට ගිහිං කියන්න!"

රාත්‍රියේම මා සයිකලය ගෙන පිට විය. පිට කෝට්ටේ සිට රාජගිරියට පැමිණ එතැනින් ඔබේසේකර පුර හරහා කොලොන්නාවට ආවෙමි. කොලොන්නාව වැල්ලම්පිටිය ගැට්ටේ තිබුනු "හරය" මුද්‍රණාලයට එන විට චන්දන අයියා නොමැති විය.

ටික වේලාවකින් කුඩා මෝටර් සයිකලයකින් චන්දන අයියා එහි සැපත් විය.

" ආ! තමුසෙ!?"

"ඔව් අයියේ මාර කෙළියක්නෙ උනේ! මේ එන්නකො . . . " මා පසෙකට ඔහුව කතා කරගෙන ගොස් සිද්ධිය පැවසූවෙමි.

"අනේ යකෝ ඕකද!? ඕක ගනං ගන්න ඒපා. තමුසෙට අයිඩෙන්ටියක් අළුති හදා ගන්නවා. තාත්තෙක් ඕනෙනම් මේ කොතලාවල සහෝදරයව එක්ක ගෙන යනවා. දැන් හොරකමට වටිනාකම්ක් නෑනේ. මොකද පොත් ටික ආයෙ උං ගාව නේ!"

"හරි මොනා හරි උනොත් . . . ?!"

"හරි ඕයි! මේ වගේම මෙතැණට එනව . . ! එතකොට ඒක ඒ වෙලාවට බලා ගම්මු!"

ඉන් පසුව මා ඒ වැඩේ යලිත් කිසිදා නොකලෙමි! ඒ පොත් හොරකම නොව; ඇඟට හිර කමිස ඇඳගෙන ගොස් පොත් ඉනේ ගසා ගැනීමය!

තවත් කාලයක් යන විට පොතක් පතක් මිළදී ගැනීමේ හැකියාව ලැබීමත් සමගම එම පුරුද්ද අභාවයට ගියේය. ඒත් එතැන් පටන් මම බොහෝ කාලයක් යන තුරු ගුණසේන සාප්පුවට නොගියෙමි.

ජීවිතය හරි අපූරු එකකි. මා පළමුව පුවත් පතකට සම්බන්ධ වූයේ "හරයෙනි". දෙවනුව "නවයුගයට" එක් උනෙමි. පුවත් පතට ආයුබෝවන් කීවේ "ලක්බිමෙනි". 

ලක්බිමේ රිද්ම අතිරේකයට ලියන කාලයේ සුන්දර නිහතමාණීද මැල් හෙවත් සුන්දර අයියා සංස්කරණය කලේ "මංජුසාව"යි.

දිනක් මම; රිද්මෙට ලියන තීරුලිපිය; "මංජුලගේ දිනපොත" ලියාගෙන එහි සංස්කාරක නිහාල් පීරිස්ගේ කුඩා මේසය අභියසය.

"මංජුල ඕක ඉවර වෙලා මාව හම්බෙලා යන්න!" ගොරෝසු හඬකින් සුන්දර අයියා පැවසීය. ඒක පොඩි ආතල් සිද්ධියකි.  මම ඔහු මුණ ගැසුනෙමි!

එතෙක් සුන්දර අයියා සමග යාන්තමින් සිනාසුනා මිස වචනයක් හෝ කථා බස් කොට නොතිබුනි. ඔහුඑවකට පත්තරේ "පොරක්" ය! ඔහුට ඉහලින් සිටියේ බන්ධුල පද්මකුමාර පමනකි. සමන් වග ආරච්චිද සුන්දර අයියාට සමාන තැනක සිටියා යැයි මතකයක් ඇත.

"ඔයා රිද්මෙටම ලිය ලියා ඉන්න එපා මටත් ලියන්න! මගේ හිසේ මලක් නොව හක්ගල මල් වත්තම පිපුනා සේය!

වැල්ලවත්ත පොලීසියේ සේවය කල පෙරේරා ට්‍රැෆික් සාර්ජන් මහත්තයා පිළිබඳව මා ලියූවේ එහි ප්‍රථිඵලයක් ලෙසය. මම එය ලියාගෙන ගියේ මගේ සුපුරුදු නිදහස් ලිවීමේ ශිලියෙනි. 

"අනේ! අනේ! මහත්තයෝ මෙහෙමනං ලියලා හරියන්නෑ මට! ආයේ ලියාගෙන එන්න!" සුන්දර අයියා මාගේ අත් පිට පතේ මම ලියා තිබූ නොසරුප් වදන් කිහිපයක් රතු පෑනෙන් රවුම් කොට නැවත මටම භාර දුන්නේය. 

නැවතත් මුළුමණින්ම ලියා සකසා පසුදින ග්‍රෑන්ඩ්පාස් - අශෝකා සිනමා හල ඉහල මාලයේ ලක්බිම කාර්යාලයට ගෙන ගොස් භා දුන්නෙමි.

එතැන් පටන් මම සුන්දර අයියාට ලිපි කිහිපයක්ම ලිව්වෙමි.

ඔහු එකල බීවේ බ්‍රිස්ටල්ය.

පඩිපෙලේ මදක් පහලට බැස එතැන් තිබුනු හතරැස් ලෑන්ඩිම මත සිට ඔහු එය රසවත්ව පානය කරයි. දිනක් මමද ඔහු හා නැවතී ගෝල්ලීෆ් එකක් ඔහුගෙන්ම පත්තු කරගෙන කතාවට වැටුනෙමි!

"අයියේ මට ඔයාගේ තාත්තව දවසක් හම්බුනානේ. එම්.ඩී.ගුණසේන එකේදී . . . . . . !"

"ඉතිං! ඉතිං . . . . . .!! සුන්දර අයියා ඉදිරියට නැඹුරුව බොහෝ සෙයින් විපිලිසර විය. ඒ සුන්දර අයියාගේ සාමාන්‍ය ස්වභාවයයි.

 මම එතැනදී මෙම කථාව කීවෙමි. 

"තමුසෙ මාර පොරක්නෙ හලෝ!" සුන්දර අයියා පැවසූ හැටි තාම අදමෙන් මතකය. මා අහිංසකව ඔහු දෙස බලා සිටියෙමි.

මේවා සියල්ල අතීතය ය. අද මාගේ පොත් එකතුවේ පොත් 3000කි! (ඒවායින් බොහොමයක් මා අනුන්ගෙන් ඉල්ලාගෙන හෝ හොරකං කරගෙන ආ ඒවා කියා මඩ ගැසීමෙන් වළකිනු ඇතැයි මා උදක්ම ඔබ කෙරෙහි විශ්වාස කරමි!)

ඒවාට කුමක් කරණ්නේදැයි මා සැම විටම සිතමින් සිටිමි. 

බලමු! පොත් වලට ආදරය කරණ එකෙක් මැරෙණ්නට පෙර හම්බුනොත් වාසනාවක්ය! 

මේ දේවල් ගැන අද හිතෙන විට ඒවා සුන්දර මතකයන්ය!

ජීවිතේ කියන්නෙම "මාර ආතල් ලෝකයක් අප්පා" කියා  වෙලාවකට සිතේ!


එහෙම නැද්ද; හා එහෙනං . . . . ?


මේ ලිපිය කලක සිට ලියමින් ආ එකක්! උෂාන් වික්‍රමරත්න මල්ලීට වුනු පොරොන්දුව නිසාම මෙය අදම ලියා අවසන් කරන්නට සිත්වුනේ!




Monday, June 13, 2022

235. කියවිල්ලෙන් කියවීම අරඹමු!


මාගේ මුහුණු පොත හෙවත් වත් පොත  අටවා ඇත්තේ මගේ නමින් නොව මෙම බ්ලොගයේ නමින්මය. ඒ නිසාම මාගේ නෑ තුරුස්ලා එහි ඇත්තේ ඉතා අල්ප ලෙසය! මුල් කාලයේ සිට සම්බන්ධව සිටින මාගේ ඥාති දියණියක් මීට දින දෙකකට පෙර; දරුවන්ගේ කියැවීම  පිළිබඳව කුඩා සටහනක් ඇගේ වත් පොතේ ලියා තිබුනි. එයට පිළිතුරක් ලෙස මා තරමක ලිවීමක් කල අතර පසුව මට වැටහුනේ එය එසෙර මෙසේ ලිවිල්ලකින් ගොඩ දාගත හැකි එකක් නොවන බවත්; කොටින්ම එය අත දිග හැර ලිවිය හැකි මෙන්ම ලිවිය යුතු එකක් බවත්ය. එසේ නම් මෙතැන් සිට අප මොහොතක් ඒ පිළිබඳව දොඩමළු වෙමු.

අප කුඩා කාලයේ ලෝකය පිළිබඳව තොරතුරු දැනගැනීමේ ක්‍රමවේධ තිබුනේ ඉතා අල්පවය! රේඩියෝව හා පුවත් පත ඉන් මූලික තැනක් ගත්තේය. ඊට අමතරව පොත් සඟරා ආදියෙන් හා සවන්දීමෙන් අප තොරතුරු එකතු කර ගත්තෙමු. පළමුව "රේඩියෝව" කියා ලියමින් පසුව "සවන්දීම" යනුවෙන් පැවසූවේ පුණරුත්දෝෂයක් කරණ කොට ගෙන නොව; එහිදී "සවන්දීම" යනු පුද්ගල සංවාදවලට කරණු ලබන ඇහුම්කන් දීමය.

එකල සමාජය තුලම; මම මේ කියන්නේ හැත්තෑව අසූව කාලය හා ඊටත් පෙර; කියැවීමට විශාල වටිනාකමක් ගරු කිරීමක් එක්වී තිබුනි. පොත් පත් කියවන්නෙකු පමණක් නොව පොත් අලෙවි හලක සේවකයෙකු, පුස්ථකාලයක සේවය කරණ්නෙකු හට වුවද දැක්වූයේ තරමක ගෞරවයකි. "සිල්ලර කඩ","තේ කඩ" අතර පොත් කඩේට ආමන්ත්‍රණය කලේ "පොත් සාප්පුව" යන ගෞරවණීය නාම පදයෙනි.

සෑම නගරයකම පාහේ පොත් සාප්පුවක්ද බොහෝ ගම් නගර වල පුස්ථකාලයක්ද එකල පැවතුනි. පත්තර ලෑල්ලක් හැම බස් නැවතුම් පොලක විය. අද අප සෑම උදෑසනකම දකිණ "චූන් පාන්" මල්ලී වෙනුවට "පත්තර මාමෙක්" ගෙවල් අසලට පැමිණෙනු දක්නට ලැබුනේය. මීට අමතරව ජංගම පුස්ථකාල, පොත් සල්පිල් වැනිදේ මගින්ද සාමාන්‍ය ජනතාව වෙත කියැවීම ගෙනයාමට සක්‍රීයව දායකත්වය සැපයීය.

සෑම ගමකම තිබුණු පංසලක පොත් අල්මාරියක් දක්නට ලැබුනි. පොත් අල්මාරියේ දිග පලල හා එහි වූ සම් බැම්මෙන් බඳිනා ලද පතරංග පොත් වල බරින්; පංසලේ වසන හාමුදුරුවන්ගේ තරම දැන ගැනීමට පංසලට ගොඩ වදින අයට දැන ගත හැකිවිය. පොත්වල බර; ඒවායේ අන්ථර්ගත ධර්මස්කන්ධයටද වඩා බෙහෙවින් වැඩි විය!

ඔනෑම උදෑසනක බසයකට දුම්රියට ගොඩ වැදුනද පත්තර දිග ඇරගත් බොහෝ දෙනෙකු සිටිනු සුලභ දර්ශණයක් විය. අද තත්වය මීට සාපේක්ෂව බොහෝ සෙයින් වෙනස්ව ගොස් ඇත!

එකළ මිහිර, විජය  වැනි ළමා පුවත් පත් දරුවන්ගේ ලෝකය වඩා ඔපවත් කලේය. සෝවියට් දෙශය පවතිනා කාලයේ ඉතා සොච්චම් මිලකට ලං කර ගත හැකි ඉතා සුන්දල ළමා කථා පොත් තුල අප ජීවත් උනෙමු. අදත් කිසියම් තැනෙක "හත්පෙති මල" පිළිබඳව සටහනක් දුටුව හොත් එතැන ඇස් නවතින තරමට "ශෙන්යා" අපගේ ජීවිත තුල ලැගුම් ගෙන ඇත!

අපගේ නිවස එකල සිට කියවන නිවසක් විය. තාත්තා දිනපතා පුවත් පතක් ගෙන බැලුව අයෙකි. ජීවිතයේ බැරි අමාරු කම් දැනුනු අවධිවලදී ඔහු දිනයේ නිදහස් වේලාවක් "පත්තරේ පොඩ්ඩක් බලන්න යනවා" කියා අසල කඩේට යෑම දක්නට ලැබුනේය. නිවසට මසකට වරක් "ශ්‍රී" සඟරාව මිලදී ගත් අතර සෑම මසකම දෙවරක් (12 වෙනිදා හා 26 වාගේ මතකයි!) නිකුත්වූ "නවයුගය" පත්තරේ මිලදි ගත්තෙමු. ඊට අමතරව කල්යත්ම "මනහර" ද "මුතුහර" ද "යොවුන් ජනතා", "තරුණි", "සිරිකත" වැනි පුවත් පත් සඟරාද නිවෙසට දුරාවාරයේ පැමිණියේය.

මාගේ වැඩිමහළු සොහොයුරාත් සොහොයුරියත් පියාත් කියවීමට රුසියෝය. ඒ අතුරින් මාගේ පියාට කියවන්නට යමක් සමග ප්ලේන්ටියක් තිබුන හොත් තුන් වේල කෑම නොතිබුනත් අවුලක් නැති තරම්ය. අපගේ නිවසේ පොත් එකතුවක් නොවීය! මට අමතක ඇති කාලයේ ගෙදර තිබුනේ "විජයබා කොල්ලය" පොත පමණි. එහෙත් අයියාත් අක්කාත් පාසලේ පුස්ථකාලයෙන් ගෙන ආ පොත්  නිවසේ බොහෝවිට දක්නට ලැබුනි.  මර්ටින් වික්‍රමසිංහ, කරුණාසේන ජයලත්,ගුණදාස ලියනගේ ආදීන් අපගේ නිවසට කැන්දාගෙන ආවේ ඒ අයය! මේ කිසිවකින් මා කියැවීමට පෙළඹවීමක් ඇති නොවීය. මා කියැවීමට පෙළඹවීමක්; විශෙෂයෙන් නවකතා වැනි පොත් කියැවීම ඇරඹෙන්නේ මා පාසලේ හත්වන ශ්‍රේණියේ උගෙන ගන්නා කාලයේදීය. මගේ පාසලේ පුස්ථකාල තුනක් පැවතුනි. හත වසරේදී අපව කණිෂ්ඨ පුස්ථකාලයට යොමු කලමුත් කියැවීමට රසවත් පොතක් තෝරා ගැනීමේ ගැටළුවකට මා මුහුණ දුනිමි. ඔබ විශ්වාස කරණ්න මා පලමුව පුස්ථකාලයෙන් ගෙන ආ පොත වූයේ ග්‍රීක දාර්ශණික හෝමර් විසින් ලියැවී ඩේවිඩ් කරුණාරත්නයන් විසින් හෙල බසට පෙරළු "ත්‍රෝජපුර සංග්‍රාමය" පොතයි. මෙන්න සයිස් පොතක් වූ එය මා රැගෙන ආවේ පංතියේ අන් සිසුන්ගේ ගෞරවණීය බැලුම් මැද්දේය. ඔවුන් කියැවීමට තෝරාගෙන තිබුනු "මඩොල් දූව", "වනගත ළමෝ", "කොරැල් දූපත", "සම්පත් දූපත" වැනි පොත් අතර මාගේ පොත කුරුණෑගල ඇතා ගල තරම් විය. සමහරු ළඟට විත් "උඹ මේක කියවනවද?" කියා ඇස් උඩ ඉන්දවාගෙන ඇසූ විට මා උත්තර දුන්නේ මුහුණ ගාම්භීර කර්වා ගෙන "හුම්ම්! හුම්ම්!!" කියාය.

පොත ගෙදර ගෙන ගොස් කියැවීම ඇරඹීය! මෙලෝ රහක් නැත!! මැදින් පටන් ගතිමි! අගින් පටන් ගතිමි!! ඒ පත්තෙන් මේ පැත්තට; මේ පැත්තෙන් ඒ පැත්තට කියවන්නට දත කෑවෙමි! ම්හු! එය කියවන්නට කිසිදු රසයක් උත්තේජනයක් නොමැති විය. තවත් දශක ගනනකට පසු සෝවියට් පොත් ප්‍රදර්ශ්ණයකින් මිලදී ගත් "ලෙනින්ගේ තෝරාගත් කෘථි වෙළුම් 12" ට උනේද එම සන්නෑසියමය!

මේ කාලයේ මා සිටියේ දෙමටගොඩ මවුන්ට් ප්ලසන්ට් පටුමගේ නැවතීය. එම පටුමග පටන් ගන්නා ආසන්නයේ කුඩා කුටියක නවාතැන්  ගත් මිනිසුන් දෙදෙනෙකු විය. ඉන් එක් අයෙකුගේ නම රුද්‍රිගු විය. අප සමග සවස් කාලයේ පටුමගේ පන්දු කෙළියේ සිටි "මධූ" නමැති මිතුරා වෙතින් මා මෙම මිනිසුන් දෙදෙනා හඳුනා ගත්තෙමි. ඒ පොත් රාකකයක් ඇති "අංකල්ලා දෙදෙනෙකු" ලෙසය. සැබැවිම ඔවුන්ගේ කුඩා කුටියේ අගනා පොත රාකයක් විය. එහි වූ සෑම පොතක්ම පාහේ පලමු මුද්‍රණයේ පිටපතකි. ඒ කෙසේ වෙතත් පොත් ගැන මාහට ඇල්මක් නොවූ අතර එම හමුව දිනකින් අවසන් විය. මා පසු දින පාසැලට ගොස් මාගේ අසල්වැසි පොත් කියවන මිතුරා වූ එස් සී කේ ජයකොඩි හට මේ පිළිබඳව පැවසූ සැණින් ඔහුගේ මුව විවර විය! එදිනම හවස්වරුවේ පොත් අංකල්ලාගේ කාමරයට ගොඩ වැදී ඔහු තෝරා දුන් පොතක් රැගෙන ආවේය. පොත එච් රයිඩර් හැගාර්ඩ් ගේ  "ඇලන් ක්වාටර්මන්" නම් රසාද්‍ර පොතයි. පසුදින පොත රැගෙන ගොස් ජයකොඩිට දුන අතර ඔහු දින දෙකකින් පොත කියවා නැවත ලබාදුන්නේය. පසු දින ඔහුට මා තවත් පොතක් ඉල්ලාගෙන ගෙනැවිත් දුන්නේය. මේ සඳහා මා සුළු "ගාස්තුවක්" අය කලෙමි! ඒ අන් කිසිවක් නොව තමා කියැවූ කථාව ඔහු කථාන්දරයක් සේ මා හට කීමේ හෙවත් බිණීමේ ඒකඟතාවය ය! කථාවේ එන "ආම්ස්ලොපාගාස්" චරිතය පළමුව මා දුටුවේ ජයකොඩිගේ හඬිනි!  "ඉන්කෝසිගාස්", "ඇලන් ක්වාටර්මන්", "හෙන්රි කර්ටීස්", "ගුඩ්", "නිලෙප්තා", "නස්ටා" යනාදී සියල්ලන් මා හඳුනා ගත්තේ ජයකොඩිගේ ඇයි හොඳැයියේ ප්‍රථිඵලයක් ලෙසය! 

ඔහුගේ හඬින් කථාව කියවා අවසන් වූ පසු එහි ඇති උද්වේගකර අවස්ථා නැවත නැවත ඇසීමට මා ආශා කලමුත් ජයකොඩි ඊට එකඟ නොවුණු අතර ඔහු ඊට පිළියම ලෙස කලේ පොතේ එම පිටු කිහිපය මාහට තෝරා දී කියවන ලෙස ඇවිටිලි කිරීමය. වෙන කිරීමට යමක් ඉතිරිව නොමැති බැවින් අකමැත්තෙන් වුවද එම පිටු කිහිපය කියැවූ මා ඉන් ඔබ්බට කියවාගෙන යෑමට උනන්දු උනෙමි. සත්තකින්ම ජයකොඩි කිව්වාට වඩා; වඩාත් රසවත් ලෙස ලියැවී තිබුණු කථාව මා කියැවීමට නැඹුරු කලේය! මෙය දරුවන්ට කියැවීම හුරු කරවීමට හොඳ උපක්‍රමයකි. ඔබ විශ්වාස කරණ්න මාගේ පුත්‍රයා මේ වනවිට;ඉංග්‍රීසි බසින් ලියැවුනු  එම පොතම කියවමින්ය. ඔහු එය කියවන්නේ අනුපාන ලෙසය! පොත ඉවරවේයැයි බියෙනි!! එහි ඇති රසවත් යෙදුම්, පාඨ, උපමා උපමේයයන් මා සමග හුවමාරු කරගනිමින්ය! සත්තකින්ම අදටත් මාගේ සිතේ පතුලේම තැන්පත්වී ඇති "ඉන්කෝසිගාස්" හා "ආම්ස්ලොපාගාස්" පිළිබඳ ආදරණීය හා ගෞරවණීය මතකය ඔහුගේ මතක් කිරීමෙන් අළුත් වෙමින්ය!

දැන් ඉහත ඡේදයේ අවසන් වාක්කි කිහිපය කියැවූ පසු; මාගේ පුත්තරයා -  වසික සුපිරියටම පොත් කියැවූ ඩයලයක් ලෙස තේරුම් ගියේ නම් ඔබට සිදුවී ඇත්තේ පට්ට වරදකි. වසික ඉපදෙන්නටත් කලින් ඔහුට ඒ ඒ වයසට කියැවිය යුතු පොත් මා ඒක රාශී කර තැබූ පියෙකු විය! ඔබ පිලිගන්න "සකස්කඩය", "බුද්ධගජ්ජය" , "වදන් කවිපොත" සිට පොත් මා එකතු කලෙමි. (මා කල මෝඩ කම!) "සකස්කඩ-නොකී කට - උගේ කට- හුඹස් කට" කියා කියනවා මා අසා ඇත. මාගේ පුත්‍රයාගේ කට හුඹස් කටක් වනු දැකීමේ අනියත බියෙන් කඩ සාප්පු පෙරළා සොයාගෙන ආ සකස් කඩය  උම්බලකඩයක් සේ වේලෙමින් කාවුන්ට පසන් නිවසක් සකසා දෙමින් මාගේ පොත් අතර ඇති!

එහෙත් ඔහුට මා කියැවූ කුඩා කතාන්දර ඔහු තුල කියැවීම මෝදු වීමට හේතුවක් වූවාද? මට සැකයකි. වසිකත් කල්මලීත් කුඩා කල සිටම ස්වාධීනව හැදුණු වැඩුනු අයය! පාසලේ එකේ දෙකේ පන්ති වල සිටම ඔවුන් නිදා ගත්තේ වෙන වෙනම කාමර වලය. ඔවුන්ට  පොත් රාක්ක සවිකල මේස දෙකක්ද විය. සෑම දිනෙකම හවස මා ඔවුන් හමුවූ අවස්ථාවේ අසන පැනයක් විය.

"පුතා පොත් කියෙව්වද . . . . ?" වසිකයා ඒ  මේ අත ඇඹරෙද්දී කල්මි තියුණු හඬින් උත්තරේ දෙයි.

"තාත්ති මම පොතක් ඉවර වෙන්නම කියෙව්වා . . . . !" 

"ඔයා ගොඩාක් හොඳයි! හොඳ දුව! ඔයාට තමයි පුතේ පොතක් තියා පිටුවක් වත් කියවන්න බැරි! හෙට කියෙව්වේ නැත්නම් බලන්නකෝ වෙන දේ!?" මෙසේ දවස් ගනනාවක් ගත්විය! සෑම දිනෙකම පාහේ දියණිය පොතක් අවසන් කොට තිබූ අතර පුත්‍රයා කියෙව්වත් කියවා තිබුනේ පිටුවක් හෝ ඉන් අර්ධයකි!

"මොකක්ද පුතා නංගි පොතක් හැමදාම කියවලා ඉවර කරණවා! ඔයාට පිටු දෙකක් කියවාගන්න බෑනේ ඔච්චර කියලත්!"

"අනේ තාත්ති එයා හැමදාම කියවන පොත මම නොදන්නවෑ!? ඒකෙ තියෙන්නේ තාරා පැටියා එළියට ආවා. විශාල බිරුම් හඬක් ඇසුනා. අම්මා ළඟට දිව්වා . . ! ඕං ඔච්චරයි!" කතා කොට පලක් නොමැත! කාලය ගතවීමත් සමග ඔවුන් සෙමෙන් සෙමෙන් කියැවීමට පටන් ගෙන ඇත.

රූපවාහිණිය මෙරට නිවෙස්වල මැද සාලය ආක්‍රමණය කිරීමත් සමග කියැවීම බොහෝ දුරකට තල්ලුවී ගියේය. කාටූන් හා ළමා වැඩ සටහන් කෙරෙහි දරුවන් තදින් බැඳී ඇති අද දරුවන් කාටූන් වලින් තොර ලෝකයක් පිළිබඳව සිතීමටවත් නොහැකි තැනකට වැටී ඇත. බොරැල්ලේ කුරුප්පු මාවතේ පිහිටි එක් ආයතනයක් ඉදිරියේ ප්‍රදර්ශ්ණය කරණු ලබන බෝඩ් ලෑල්ලක දක්වා තිබුනේ "ඩිජිටල් අතඩංගුවෙන් ඔබේ දරුවා මුදා ගන්න" කියාය. මා දන්නා පරිදි එහි ඇත්තේ කුඩා දරුවන් සඳහා විවිධ ක්‍රියා කාරීත්වයන් හා පොත් එකතුවකි.

"පොත්වල ස්ථානය පරිඝනකය අත්පත් කර ගනිමින්ය!!" කීවොත් එහි වරදක් ඇත! එය නිවැරදි කරණවා නම් "පොත් වලට තිබුනු ස්ථානය පරිඝනකය අත්පත් කරගෙන අවසානය . . . !" ලෙස ලියැවිය යුතුය. අපිට සිටිය හොඳ රසිකයෙකුවූ 'ඇනෝපිලිස්' වරක් මාහට පැවසුවේ දැන් පොත් කියවන්න පොත් ගන්නේ කවුද e-books වලින් පොත් තුන් හාර සීයක් උනත් ෆෝන් එකේ දාගන්න පුළුවන්නේ!" කියාය.  

මේ පිළිබඳව මාගේ අසල්වැසි මිතුරු කරුණාරත්න හෙවත් කරූද දැක්වූ අදහසක් කෙළවර වූයේ අපූරු තැනකින්ය.

"තවටික කාලෙකින් මේ ලෝකෙන් පොත් කියන දේවල් නැත්තටම නැතිවෙනවා!" කරූ පැවසීය. 

සත්තකින්ම පොත් යනු මගේ ජීවිතයේ විශාල කොටසක් අයිති කරගෙන තිබෙන භෞතික වස්තූන් ගෙන් එක් පාර්ශ්වයකි! මෙම කියමනම මාගේ හිත පෑරෙන්නට හේතුවිය. අප කෙතරම් ජීව විද්‍යාව හැදෑරුවද අපගේ උත්පත්තියට හේතු කාරක වූ දෙමව්පියන්ගේ කායික එක්වීම පිළිබඳව සිතන්නට මැළිකමක් අපගේ සිත් තුලට ඇතුළු වූයේ කෙලෙසද? එසේම අනාගතයේ පොත් නැත්තට නැති වෙනවා කියා අසන්නට තබා සිතන්නටවත් සිත ඉඩ නොදෙයි!

"මම නං හිතන්නේ නෑ! එහෙම පොත් මේ ලෝකෙන් නැත්තට නැතිවෙයි කියලා නම්!" මම එක හෙලා කීවෙමි. 

"ඇයි නැත්තේ! දාඇන් හැම පොතක්ම වාගේ e-books විදියට තියෙනවා. අනෙක ඕනම දෙයක් පිළිබඳව ඉන්ටර්නෙට් එකෙන් ඩවුන් ලෝඩ් කරගන්න පුළුවන්. " ඔහු ඔහුගේ අදහස වඩාත් තහවුරු කලේය!

"හරි හදිසියකදී අපිට කියවන එකක පොඩි නෝට් එකක් දාන්න හයිලයිට් කරගන්න වගේ දේකට කොලයක් තියෙන්න ඕන වෙනවානේ!? මම නැවත ඔහුගෙන් විමසීය.

"ඔව්! ඔව්!! එහෙම ඕන උනෝතින් ටක් ගාලා ප්‍රින්ට් අවුට් එකක් දාගන්නවා! කොල ගොඩක් නම් ප්‍රින්ට් අවුට් අරගෙන ඔය කොහාට හරි දීලා බයින්ඩ් කර ගන්නවානේ!" කරූ සැහැල්ලුවෙන් පැවසීය.

"හරි! හරි!! ඒවට තමයි පොත් කියන්නේ!? ආයේ අහවල් එහෙකටයැ!?" මම සතුටින් ගෙදර පැමිණ පොත් රාක්ක දෙස බලා සැනසුම් සුසුමක් හෙලීමි!

"පොතක් කියවනවා" යනු දැන්වීමක කියැවීමක් නොවන්නේය. එය හුදෙක් පත්‍රිකා ගොඩක් එකට බැඳ සකස් කල කොල මිටියකට වඩා එහා ගිය අරුතකි! පොතක නම, එහි ලේඛකයා, එහි නිමාව, පිට කවරය, ඇතුලත පිටු වල ස්වභාවය, පොතේ ජ්‍යාමිතික ස්වරූපය, ඇතුලත ඇති අකුරු වල ෆොන්ට් එක, පෙර වදන, පසුවදන, සඥාපනය, මේ සියල්ලම අභිබවා යන අළුත් පොතක ඇති නැවුම් සුවඳ මේ සියල්ලම පොතක ඇති අන්තර්ගතය පෝෂණය කරණු ලබන මල් වැල් ය! ලිය කම් ය!! පලා පෙති ය!!! කොටින්ම අයිසිං ය! 

මීට බොහෝ ට පෙර අභාවප්‍රාප්ත කරවූ මහරගම "සමන් මුද්‍රණාලයේ" පොත්වලට ආවේනික ජ්‍යාමිතික දිග පළලක් විය. මාගේ දැනීමේ හැටියට මුද්‍රණ ශිල්පීන් අතර "සමන් සයිස්" කියා ව්‍යවහාරයක් ද පසුව ඇතිවිය. මේ ගැන මා වැඩි පුර නොලියන්නේ නිදි මහත්තයාහට ලියන්නට දේවල් ඇති නිසාමය! මෑතභාගයේ මා දුටු අනර්ඝතම කඩදාසි සහිත පොත වූයේ "පූනානිහි මිනී කන කොටියා" පොතය.  එසේම තිසර ප්‍රකාශකයින් මුද්‍රණය කල "රුද්‍රප්‍රයාඝ්හී මිනී කන කොටියා" පොත නිර්මිත කඩ දාසිය අම්බාල් කැෆේ එකේ අත පිහිදාන්නටවත් සුදුසු නැත! සත්තකින්ම ජිම් කොබර්ට් ජීවත් උනා නම් තිසර අධිපති ; මා දන්නා තරමින් වික්‍රමසිංහ පවුලේ සාමාජිකයින් මිය යන්නේ වෙඩි කා ය! 

පොතක් කියවීම, පොතක් අයිති කර ගැනීම, පොතකට ආදරය කිරීම යනු එක් කාරණයක් නොවේ. පොත් වලට ඇති මගේ බැඳීම කුමන විදියේ එකක් දැයි කිවහොත් 1.පොත් වලට ආදරය කරණ්නෙක්මි. 2. පොත් එකතු කරණ්නෙක්මි. 3. මා නොම්මර එකේ පොත් හොරෙක්මි. 4.පොත් කියවන්නෙක්මි. පොත් වලට ඇති ආදරය නිසාම අනික් කාරණා කාරණාද සිදුවෙමින් පවතී. ආදරය කිරීමට ළඟට ගැනීමට අවශ්‍ය නැත! අන් සතු දේ වලට පවා ආදරය කල හැක!! ඒ නිසාම මා ළඟ තිබී නැතිවූ ජැක් ෂෙපර් ගේ "ෂේන්" මුල් කොපියට ආදරය කරමි. මගේ මතකය නිවැරදි නම් එයද මායා රංජන්හෙවත් මහානාම රාජපක්ෂගේ "දිගා මඩුල්ලේ ආශ්චර්‍යය" සේම සමන් පොතකි! පරිවර්තනය කළුබෝවිල සිරිල් සී පෙරෙරා ගේය! "පොත් හොරකම" පිළිබඳව මා වෙනමම පෝස්ටුවක් ලිවීමට අදහස් කරගෙන සිටිමි!

දරුවන්ව පොත්වලට නැඹුරු කිරීමට හැකි තවත් එක් උපක්‍රමයක් ලෙස අනර්ඝ නිමාවෙන් යුතු පොත් තිළිණ කිරීමද කල හැක! මා කලින් සඳහන් කල මාගේ ඥාති දියණියද එය යෝජනා කරයි. කලකට පෙර පැවති එම සිරිත නූතනය සමග නැතිවී ගොස් ඇත! එය අපට ඇරඹිය හැකි හොඳ පුරුද්දකි! 

එසේම අතට අහුවෙන සෑම තැනකම පොත් තැබීමද පොත් කියැවීමට පෙළඹ වීමට එක් උපක්‍රමයකි. එයට හේතුව ලෙස මාදකින්නේ පොත් රාක්කය හෝ පොත් කාමරයට ගොස් පොතක් ගෙනැවිත් බැලීමට දරුවකු පෙළඹෙන්නේ නැති බැවින්ය. මාගේ ඥාති දියණිය පවසන පරිදි සමහර දරුවන් ආහාර ගන්නේද පොතක් ලං කරගෙනය. එය කෙතරම් සාර්ථක ක්‍රම වේදයක් දැයි අපට සොයා බැලීමට මත්තෙන් එලෙසින් හෝ පොත් කියැවීමේ ඇබ්බැහියට දරුවා එළබෙන්නේ නම් එය වඩාත් යහපත් කාර්නයක් ලෙස මා දකිමි.

තම දරුවන් කියැවීමට හුරු කරවීමට ගත් වෙනස්ම ආකාරයේ වෙහෙසක් ගත් අයෙකු හමුවූයේ මාගේ සයිකල් පැදීම සමගය! ඒ DSI Bike ආයතනයේ ඝනකාධිකාරී නිශාන් මල්ලීය. ඔහු තම දරුවන් කියවනා සෑම පොතකටම මුදල් ත්‍යාගයක් ලබා දී ඇත! එම ත්‍යාග ලබා දීමේදී ඔහු විසින් සොයා බලන ලද කරුණු මොනවාදැයි මාහට මතක නැතිවුවද ඔහුගේ දරුවන් දෙදෙනාම අවසානයේ පොත් ගුල්ලන් වූ බව ඔහු ආදරයෙන් මතක් කරයි. 

මෙතනදී ත්‍යාගයක් ලෙස ලබා දෙන්නේ මුදල්ද වෙනයම් දෙයක්ද කියා අපට නැවත විශ්ලේෂණය කල හැකි වන අතර එවන් දිරි ගැන්වීමකින් දරුවන් පොත් කියැවීමකට යොමු කර වීමට පුළුවන් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. අප කල යුත්තේ ඔවුන් තුල පොත් කියැවීමේ "පුරුද්දක්" ඇති කර වීම පමණි. ඔවුන් එය දිගටම කරගෙන යනු අපට නිහඬව බලා සිටීමට හැකිවේවි!

එකල අප කුඩා කල ඉගෙන ගත් "මේ ගසේ බොහෝ" දැන් ඇහෙන්නේ නැත. "මා වැනි බිළින්දා", "රෝස මලේ නටුවෙ කටු" දැන් දරුවන්ට අහන්නට ලැබෙනවාදැයි මා නොදනිමි. (තතු දත්තෝ මා නිවැරදි කරත්වා!) මේ සියල්ල සමග ඇසුණු "රතු හැට්ටකාරි", "හාවා ලබුකිරිබත් කෑ හැටි", අන්දරේගේ කථා, මහදැන මුත්තාගේ වැඩ, මේවා දරුවන්ට ඇසෙනවා දැයි සිතන්නට නොහැක.  මේ සියල්ල අභිබවා දරුවන්ගේ කියැවීම දියුණු කල හැක්කේ දෙමව්පියන් එය ඔවුනට ක්‍රියාවෙන් සිදුකොට පෙන්වීමෙනි. වී කලෝ වී ද අමු කලෝඅ අමුද රැගෙන යන්නාසේ දෙමව්පියන්  පොත් කියවන්නේ නම් දරුවන්ද ඒ පාරේ බොහෝ විට යනු ඇත! සතියේ සිල්ලර බඩු එලවලු ගැනීමට කඩයට සුපිරි වෙළෙඳ හලට යනවා සේම; පවුලේ සැම එක්ව පුස්තකාලයට යෑමද සතියේ එක් දිනයක සිදු කරණ අනිවාර්‍ය කාරණයක් ලෙස සකසා ගැනීමෙන් දරුවන්ද ඒ අනුව කටයුතු කරනවා ඇත!

Friday, September 17, 2021

215. මෝටර් රථ වාහන කර්මාන්තයේ අත් පොත්


මාගේ පසුගිය පෝස්ටුවට කොමෙන්ටුවක් ලියමින් හැට්ටර් මහත්තයා පවසා තිබුනේ එම පෝස්ටුවෙන් සිංහල වචන බොහොමයක් උගෙන ගත් බවකි. එය කියැවීමෙන් පසුව මාහට මෙය ලියන්නට සිත්විය!

 මම ජීවිතේ මුලින්ම මේ මෝටර් රථ වාහන කර්මාන්තෙට අත් පොත් තිබ්බේ අපෙ ගෙදර තිබ්බ මොරිස්  J2 වාහනෙන්. මගේ "නොරත රථ" ලිපි පෙළ අරඹා තියෙන්නේ ඒ වාහනේ ගැන කියලා. ඒ මට වයස අවුරුදු 5 කටත් අඩු කාලේ වගේ. ඔය කාලෙම අපේ අයියා කළු අග්ගල ශාන්ත බොස්කෝ කියන ඉස්කෝලෙන් "මෝටර් රිය නඩත්තුව සහ අළුත්වැඩියාව" කියලා අන්තර්ජාතික කම්කරු කාර්‍යාලය මගින් ප්‍රකාශිත; අධ්‍යාපන ප්‍රකාශන දෙපාරතමේන්තුව මගින් මුද්‍රණය කොට බෙදා හැරමු තඩි පොතක් උස්සගෙන ආවා! පොතේ රූප වල තිබ්බ බොහෝ කාරණා කාරණා මා හැබැයින් දැක්කේ ඒ වාහනෙන්. ඒ පොතේ බොහෝ ඉංග්‍රීසි යෙදුම් වලට සුන්දර සිංහල යෙදුම් යොදා තිබුනා. ඊට කලකට පෙර Universal Joint  එකට "සර්වලෝක පූට්ටුව" වගේ අපබ්‍රංස නොවේ "දසත මූට්ටුව" වැනි සරල සුගම යෙදුම්.  Tuning - ටියුනිං - සුසර කිරීම,  Fly Wheel - ෆ්ල්යි වීල් - ජව රෝදය, Propeller Shaft - ප්‍රොපෙලර් ශාෆ්ට් - අවර පෙති කඳ,  Connecting Rod - කනෙක්ටින් රොඩ් - පිස්ටන් අත්, Jet - ජෙට් - චංචුව, Crank Shaft - ක්‍රෑන්ක් ශාෆ්ට් - දඟර කඳ වැනි අළුත් එහෙත් තර්කානුකූලව භාවිතා කල හැකි වචන මාලාවක් එහි ගැබ් වී තිබුනා.  මේ කාලේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශය; නන්දදේව විජේසේකර කියන දැවැන්තයාගේ සෙවන යටතේ ක්‍රියාත්මකවූ කාලයයි. 1960 වැනි ඈත කාලයක එවන් අළුත් වචන සොයා ගැනීම ක්‍රිකට් පිත්ත, පන්දුව, තණ තිල්ල වැනි වචන නිමවා, සකසා, ගලපා, සොයා යෙදූ අය වැනිම වූ නිර්මානශීලී පිරිසකගේ අතින් ගතින් නැණ නුවණින් සිදු වූවාක් ලෙසයි මට නම් හිතෙන්නේ. 

දවසක් ලස්සන වැඩක් උනා හබරණ හතරැස් කොටුවේදී. මම මේ කියන්නේ මීට දශක හතරකට පමණ පෙර සිදුවූ කථාවක්. හතරැස් කොටුව පිහිටා තිබුනේ හබරන සිට ත්‍රීකුණාමළය දෙසට කිලෝමීටර 9 ක් ගිය තැන. එතැන පුංචි හංදියක් කඩ දෙකක් තිබුනු. මා පලමුවෙන්ම වාහනයක් පැදවූ, සයිකල් පදින්න පුරුදු වූ පලාත. මෙතැන පොඩි පහේ මාර්ග අනතුරක් සිදු වූවා. අනතුරෙන් එක් වාහනයක වින්ඩ්ස්ක්‍රීනය බිඳී ගියා. මෙය වාර්ථා කරණ්නට එතැනට පැමිණි පොලිස් රාළහාමිට අනතුර පිළිබඳ ස්ථානීය සටහනක් යොදන්නට අවශ්‍ය වුවත් ඒ සඳහා වචන හිගකමක් ඇතිවූවා. ඒ වෙන කිසිවක් නොව ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීනයට කියන නම නොදන්නා කමින්. ඔය කියන කාලේ මා පාසල් නිවාඩුවකට තාත්තාගේ නිළ නිවසට ගිය කාලයක්. 

ඉතිං රාලහාමිත් මේ ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක් ඇත්දැයි බලමින් ඉන්න අල්ල පනල්ලේ අපේ තාත්තගෙනුත් අහලා වින්ඩ්ස්ක්‍රීණයට කියන හිංගල වචනෙ ගැන!?"අන්න ගෙදර ඉන්නවා අපේ චූටි පුතා ! එයාගෙං ඇහුවොත් නං ඕක ටක්කෙටම කියයි!!"කියලා අපේ  තාත්තා විශ්වාසෙටම කියලා. මමත් ගෙදර මොක්කදෝ වැඩක්  කොර කොර ඉන්න අතරේ තාත්තාගේ පණිවිඩය අරං එතනට එකෙක් ආපි. එයා මොනතරම් හොඳට පණිවිඩේ කිව්වාද කියනවා නං මට තේරුණේ පොලිස් රාළහාමි කෙනෙක් වාහනේකට යට වෙලා කියාය. මමත් කාර් එකේම එතනට පියෑඹුවේමි. කොම්පියුටර් ගේම්, ස්ටිමුයුලෙටර් නොමැති ඒ සංදියේ විසූ අපි සියල්ලන්හටම වෙන්වූ වාහනයක් විය! කඩේට ගියේත් ආවේත් කොටිංම ගේ ඇතුලේ කාමරේකින් කාමරේකට ගියේත් "ඈං. . . . . . . පීප් . . . . !  පීප් . . . !! " ගාමින් වාහනෙන්ම බව මෙය කියවන බොහෝ අයට තේරෙණවා ඇතැයි සිතමි. 

මා එතැනට ගිය සැණින් අපේ තාත්තා; එයාම කියලා දුන්නු දෙයක් මට මත්කදැයි විමසනවා මෙන් "පුතේ මේ ඉස්සරහ වීදුරුවට එකට  සිංහලෙන් කියන්නේ  මොකක්ද . . ?" කියා විමසුවේය. "ඉදිරිපස වා මුවාව . . !" මා කටේ තොලේ නොගෑවී පැවසුවේ වටේ ඉන්න අවසේස දනන් පමණක් නොව පොලිස් දෙපාර්තමේන්තුවම හොල්මං කරමින්ය!

පණහේ හැටේ හැත්තැව දශක වල මෝටර් රථ කාර්මික ශිල්පය පිළිබඳව බොහෝ පොත පත සිංහලෙන් ලියැවී ඇත.

ඉන් මාහට පැරණිම පොතක් ලෙස මතකයට එන්නේ කොළඹ, කොම්පඤ්ඤ වීදිය, බ්‍රිජ් ස්ට්‍රීට්, නො:71 ලිපිනයෙහි ස්ථාපිතව පැවති  "කරුණාරත්න සහ සමාගම" විසින් ප්‍රකාශිත "මෝටර් කර්මාන්තය" පොතයි. මෙම පොත පිළිබඳව එකල ඔවුන් විසින් පලකල වෙනත් පොත් පත් වල හඳුන්වා දී තිබුනේ

 "සෑම මෝටර් රියෙදුරෙක් ළඟම තිබිය යුතු 

ඉතා අගනා ග්‍රන්ථයකි. 

මෝටර් රථ යන්ත්‍රයෙහි

ඇතිවන සියළු ආබාධ 

සාදාගන්නා ක්‍රමය 

මෙම පොත ඔබට උගන්වයි.

පොතක් රුපියල් 3/50 යි. තැ. ගා. ශත 25 යි.

මෙම කාලයේ ලියැවුනු බොහෝ පත පොතේ මෙන්ම මෙම පොතේද සියලු කරුණු දක්වා තිබුනේ උපදේශ ලෙසින්ය. "හැම උදේකම රේඩියේටර් උපකරණයේ මූඩිය ඇර වතුර ඇත්දැයි බලනු!", "එන්ජින් යන්ත්‍රයේ තෙල් කූර ඇද බලනු!" වැනි වාක්‍ය එහි අන්තර්ගතව තිබුනි. එසේම "වැක්ශෝල් රථය", "ඩැල්කො එක", "බ්රේක් සපත්තු" වැනි එළොවටත් මෙළොවටත් නැති වචන ඒවායේ ගැබ් වී තිබුනි.

ඉන් පසු කාලයකදී රාජ්‍ය අනුග්‍රහය යටතේ බිහිවූ "මෝටර් රිය නඩත්තුව සහ අලුත්වැඩියාව" පොත වැනි පොත් වල වඩාත් නිවැරදි සිංහල ලියැවී තිබුනි. කිසියම් විෂයක් උගෙන ගැනීමේදී; එම විෂයට අදාල පාරිභාෂික වචන විෂය තුල යෙදෙන භාෂාවෙන්ම කියැවීම වඩාත් යෝග්‍යයැයි අද සිතූවද මීට වසර 61 කට පෙර බිහිවූ මෙම පොතේ බොහෝ වචන සිංහලෙන් දක්වා තිබුනි. Differential අන්තර එකලස, Shock absober කම්පන පරිමන්දකය  වැනි බොහෝ වචන එහි දක්වා තිබිනි.  ෂොක් ඇබ්සෝබර් යන වචනය තුල "කම්පනය උරාගන්නා" යන අදහස ගැබ්වී තිබුනද "කම්පන පරිමන්දකය" යන වචනය ලෙහා බැලීමට තරම් සිංහල භාෂාවක් කාර්මිකයින්තුල නොතිබීම කණගාටුවට කරුණකි.

එය එසේ නොවී හැකි පමණ ඉංග්‍රීසි වචනය හුරු කිරීමට උත්සුක වූවා නම් එය වඩාත් යෙහෙකි යන්න මා අදද විශ්වාස කරණ සත්‍යය වේ. 1956 සිංහල පමණක් රාජ්‍ය භාෂාව කල අළුතම එවන් ලෙසකින් පොතක් එළිදක්වන්නට පුද්ගලික ප්‍රකාශකයෙක් කෙසේ වෙතත් රාජ්‍ය  ආයතනයක් කිසිසේත්ම පෙළඹෙන්න්නේ නැති බව අප තේරුම් ගත යුතුය.

තවත් කලකට පසු එනම්1973 වසරේදී; මුල් ප්‍රකාශනය ජර්මන් බසෙන් පලවූ පොතක් සිංහලට පරිවර්ථනය විය.  එය එතෙක් මෙතෙක් සිංහලින් මෝටර් කාර්මික ක්ෂෙත්‍රයේ පලවූ වැදගත්ම පොතක් ලෙස මා දකිමි.  මෙය සිංහලට පරිවර්ථනය කර තිබුනේ එවකට රත්මලාන කණිෂ්ඨ කාර්මික ආයතනයේ මෝටර් යාන්ත්‍රික උපදේශක පණ්ඩුල කේ. පළඟසිංහ මහතා විසිණි. එකල මෝටර් වාහන වල තිබුනු බොහෝ කරුණු කාරණා පිළිබඳව ගැඹුරින් ලියැවුනු පොතක් වන අතර එයද අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් වුවද එහි වූ බොහෝ යෙදුම් ඉංග්‍රීසි ශබ්දයෙන්ම දක්වා තිබුනි.

වාහනයක සියළුම යාන්ත්‍රික කොටස් පිළිබඳව එහි සාකච්චා වී තිබුනු අතර දැනට එහි පිටපතක් සොයා ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණකි. නුගේගොඩ චැපල් පාරේ නිවසක ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටි පණ්ඩුල කේ, පළඟසිංහයන් හමුවට ගිය අවස්ථාවක එම පොතේ පිටපතක් අවම වශයෙන් ඔහු ළඟවත් නැති බව කීවේ කණගාටුවෙනි. මා ළඟද ඇත්තේ එහි ඡායා පිටපතක් පමණක් වන අතර මුල් පොත ආසාවට හෝ දැකීමට මා පින් කොට නොමැත!

ඉන් පසු බොහෝ කාලයක් යන තුරු සිංහල භාෂාවෙන් මෝටර් කාර්මික විෂය පිළිබඳව පොතක් පතක් පලවූවාදැයි මා නොදනිමි. ඉන් පසු 1986 වසරේදී නුගේගොඩ දීපානි මුද්‍රණාලයෙන් මුද්‍රණය වී කතෲ ප්‍රකාශනයක් ලෙස එම්. ඩී. එල්. ගුණරත්න විසින් "මෝටර් යාන්ත්‍රික විද්‍යාව" නමින් පොතක් පල කලේය. මෙතුමා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමත්‍යංශයේ කථිකාචාර්‍යවරයෙකුය. පුංචි බොරැල්ලේ ආනන්ද භවාන් තෝසේ කඩේ උළුඳු වඩේ එතීමට ගන්නා ප්‍රමිථියේ කඩදාසියේ අච්චු ගසා තිබුනු මෙම පොත එකල අලෙවි කලේ රුපියල් 125 කට මිළ නියම කොටය. පොතේ අන්තර්ගතය ලෙසට එතරම් වැදගත් නොවූ මෙම පොතේ දෙවෙනි කොටසක්ද 1989 දෙසැම්බරයේ එළි දැක්විනි. මෙයට අමතරව එම කතුවරයා විසින්ම 1992 පෙබරවාරියේ "මෝටර් වාහන විදුලි පද්ධතිය" නමින්ද පොතක් පල කලේය. මේ පොත්වල මා දකිණ විශාලතම අඩුපාඩුව වන්නේ ඒවා තුල තිබුනේ කාර්මික චිත්‍ර විනා ස්වාභාවික රූප සටහන් හෝ ඡායා රූප නොවීමය.  1960 වසරේදී පලවී "මෝටර් රිය නඩත්තුව සහ  අලුත්වැඩියාව" පොතේද තිබුනේ කාර්මික චිත්‍ර  පමණකි.

ඉන්පසු 1994 වසරේදී මොරටුව කටුබැද්දේ ලංකා - ජර්මන් කාර්මික විද්‍යාලයේ; එනම් ජර්මන් ටෙක් විදුහලෙහි කථිකාචාර්‍ය වරයෙකු ලෙස සේවය කල සිඩ්නි සිරිවර්ධන විසින්ද  "මොටර් කාර්මික ශිල්පය", "මූලික වාහන විදුලි ශිල්පය" යනුවෙන් පොත් කිහිපයක් ලියා ඇතත්; පණ්ඩුල කේ. පළඟසිංහයන්ගේ පොත සමග ගත් කල  ඒවා සියල්ල පැවතියේ ඉතාමත් ප්‍රාථමික නොමේරු ළමා ඒකකයේ හෙවත් වීදුරු පෙට්ටියේය!

මා හට දින වකවාණු නිවැරදිව කීමට මේ මොහොතේ අපොහොසත් වුවත් නව සහස්‍රයේ අරම්භය සමග අගනුවරින් බිහිවූ ඩී. එම්. එම්. දසනායක මහතා මෝටර් කාර්මික මුද්‍රිත මාධ්‍යය මෙන්ම ඉගැන්වීමද උඩු යටිකුරු කිරීමට සමත් විය. ඉතා කෙටි කලකින් ජීවිතයෙන් සමුගත් ඔහු සඟරා කිහිපයක හා පොත් පත් රාශියක කතු වරයා විය. එසේම නුගේගොඩ රොටරි ශාලාවේ ඔහු මෝටර් කාර්මික පංතියක්ද පැවැත්වූ අතර ඔහුගේ ප්‍රකාශන ඉතාමත් දියුණු මට්ටමක පැවතුනි. අන්තර්ගතය මෙන්ම නිමාවද ඉතා උසස් අන්දමෙන් වූ ඔහුගේ ප්‍රකාශන තුල ඉතා සාර්ථක ඉංජිනේරු රූපසටහන් බහුල ලෙස දක්නට පුළුවන් විය. ඉගැන්වීමට තරම්ම හෝ ඊටත් වඩා මුදල් හඹා යෑමක යෙදුණු ඔහු අකාලයේ මිය යාම බොහෝ අංකුර කාර්මිකයින් හට විශාල පාඩුවක් ගෙන දෙන කාරණයක් විය. පසු කාලේක එම පංති ඔහුගේම ශිෂ්‍යයෙකු විසින් කරගෙන ගියද එය සාර්ථක නොවීය.


අප ශිෂ්‍යයන්ව සිටි කාලයේ ලංකාවේ මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ මුදුන් මල් කඩ වූයේ ලංකා - ජර්මන් කාර්මික විද්‍යාලය හෙවත් ජර්මන් ටෙක් විද්‍යාලයයි. 1958 වසරේදී ජර්මන් ජනරජය සමග ඇතිකරගත් සහයෝගිතා ගිවිසුමකට අනුව 1959 වසරේදී වේරහැර; ලංකා ගමනාගමන මණ්ඩලයේ වැඩහල තුල ඇරබුණු මෙහි 1974 වසර වනතුරු අධ්‍යක්ෂක ධූරය දැරූවේ ජර්මන් ජාතිකයෙකු විසිනි. 1974 දී එය කටුබැද්දට ගෙන ගිය අතර එම ආයතනය පිහිටුවීන්මට මූලික හේතුව වූයේ ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා කාර්මිකයින් පුහුණු කිරීමය. එනිසාම වසර හතරක කාර්මික පුහුණුවෙන් පසු ශිෂ්‍යයන් යොමුකලේ ලංගම ඩිපෝ වලටය!

මා දකිණ ලෙසට මෙම හේතුවම එහි අහේතුව බවට පත් විය.  1977න් පසු ලංකා ගමනාගමන මණ්ඩලය යනු දෙශපාලුවන්ගේ හෙංචයියලා හට රැකියා සැපයූ තවත් එක් ආයතනයක්ම විය. මෙසේ ලංගම දේශපාලනීකරණය වන විට ඩිපෝවල පැවති වැඩහල් වල පෙර පැවති ජීව ගුණය දියැවී ගියේය. එසේම එකල පැවති මර්සිඩීස් බෙන්ස්, බ්‍රිටිශ් ලේලන්ඩ් පසු කාලීනව ඉසූසූ බස් රථ වෙනුවට ඉංදියාවෙන් ගෙන්වූ ලොරි චැසි මත ගොඩ ගසන ලද බස් රථ අළුත්වැඩියා කිරීමෙන් අංකුර කාර්මිකයින්හට අවට ලෝකය සමග තරග කිරීමට තරම් දැනුමක් ගොඩ නගා ගැනීමට අවස්ථාවක් නොවීය.

කාලය ගෙවී යත්ම ජාතික ආධුණිකත්ව මණ්ඩලය හා ජපන් සහයෝගීත්වයෙන් ඔරුගොඩවත්තේ පිහිටවූ ජපන් ටෙක් පාසැලෙන්ද ලාංකික කාර්මික ශිල්පීන් හට වඩාත් ප්‍රශස්ථ මට්ටමේ පුහුණුවක් ලබා දෙමින් පවතී. මේ වන විට කොරියන් ටෙක් නමින් පරසිදු තවත් ආයතනයක් ඔරුගොඩවත්තේ සිට වැඩ ආරම්භ කරමින්  සිටියි. මෙහිදී විශෙෂයෙන් AETI නම් වූද "ජපන් ටෙක්" නමින් භෞතීස්ම ලැබුවාවූද ආයතනයෙන් පුහුණුව් ලබන කාර්මික ශිෂ්‍යයන් හට මිට්සුබිෂි මෙරට අලෙවි නියෝජිත යුනයිටඩ් මෝටර්ස්, ටොයෝට ලංකා හා නිසාන් නොයෝජිත AMW වැනි ආයතන තුල අති නවීන තාක්ෂණයෙන් පිරිපුන් පුහුණුවක් ලබා ගැනීමට ඇති ඉඩකඩ ඉතාමත් ප්‍රශංසණීයවේ. කෙසේ වෙතත් මේ වන විට ආන්තර එකලස පිළිබඳව ඉගැන්වීමෙන් ඈත්වී ඇති අතර ඩිෆරෙන්ශලය පිළිබඳව ඒ වෙනුවට ඉගැන්වෙයි. අද වන විට මෝටර් රථ කාර්මික ශිල්පය අපට සිතාගත නොහැකි තැනකට පත්වී ඇති අතර එය අනාගතයේ වඩාත්; වඩ වඩාත් දියුණු තත්වයකට පත්වනුඇත!

Friday, February 2, 2018

80. පොතක වත


පොත් !
පෙරවදන
             මා ; මාගේ බ්ලොගය ලියන්නේ හුදෙක් රසික ජන මනෝරංජනය උදෙසාය ! (මෙම සුන්දර වචන තුන මා  නයට ගත්තේ කරුණාරත්න අමරසිංහයන් ගෙනි!)                                                                                                                          රසික රසිකාවියන් නොඑසේනම් පාඨක පාඨිකාවන්  වෙනුවෙන් ලියනා බැවින් ඉස්පාසුවකින් තොරව ලිවිය යුතුය.
 එසේම හෙඩිමට යටින් යොදා ඇති හේතු පාඨයේ සඳහන් ලෙසට සඟරාවක ඩිජිටල් කොපියක්  වීමට විවිධත්වයක් තිබිය යුතුය
. එනිසාම වේගයෙන්  , රසවත්ව , විවිධත්වයකින් යුතුව ලිවීමට සිදුවේ.
 පත්තර කලාවේ මෙවන් ලියන්නන් හැඳින්වෙන්නේ “ලියවන පට්ටල්” ලෙසය. 
මා ජීවිතයේ සිහින මැව්වේ විශේෂාංග ලේඛකයෙකු වීමටය! 
එහෙත් නැවතුනේ ඇන මුරිච්චි ඉස්කුරුප්පු  අතරය!


ලියවන පට්ටලයක්!

මා පුරුද්දක් ලෙස එකවර ලිපි දෙකක් හෝ තුනක් ලියන්නට පටන් ගනිමි.
එය මා දකින්නේ වඩේ එකක් කමින් ප්ලේන්ටියක් බොමින් සිගරැට්ටුවක් විඳිනවා හා සමානවය!                                                                                      
නො එසේනම් වල් ඌරුමස් කෑල්ලක් හපමින් හීන් අඩියක් ගසමින් සිගරැට්ටුවක් බොන ලෙසය. 
මෙම සංඝටක තුනෙන් සිරුර උත්තේජනය කරණ ආකාරය  ත්‍රිවිධාකාර වුවත් එම ත්‍රිත්වයම එකම කාල පරාසයක් තුල මොහොතින් මොහොත වෙනස් රසනහර උද්දීපනය කරමින් රසවිදීමට පුළුවන. මාගේ ලිපි ලිවීමද එසේමය.                        එකක් ටික වේලාවක් ලියා ඇතිවූ විට නොඑසේ නම් කරුණු නැතිවූවිට අනෙක්  ලිපිය පටන් ගනිමි! 
අද වන විට මා ලිවිය යුතු වන්නේ පෙර දින ලිවීමට පුරණ ලද  “ගඟක් දිගේ ..19” වන  දිග හැරුමයි. 
එහෙත් එය මා මොහොතකට නැවැත්විය යුතු කරුණක් ; හිරු අවරටයත්ම උදා විය.

මේ ඒ පිළිබඳ කථාන්දරයයි!               

පොතක වත …!

“පොත් මගේ නෙත් වගේ” කියා කියමනක් ඇත . 
මෙනිසාම කිසිවෙකු තවත් අයෙකු වෙත පොතක් ලබාදීම නෙතක් ලබාදීම හා සරිලන ක්‍රියාවකි. 
මෙයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ පොතක් තුලින් ලෝකය දෙස බැලීමට නව මානයක් , දෘෂ්ඨියක් , කවුලුවක් ලබන්නා වෙත ; භෞතික වශයෙන් ලබන පොතට අමතරව ලැබෙනා බැවිනි.  
ආත්මෙට පොතක් මිළදී නොගෙන අනුන ගන්නා පොත් පමනක් කියවන එසේම අනුන් සතු පොත් රැගෙන ගොස් ගල් කරණ්නන් උදෙසා තම පොත් රැක ගත යුතු වන ආකාරය පහදා දෙන්නට මෙම වැකිය යොදා ගත්තාදැයි සිතා ගත නොහේ!  

පොත් ලියන්නන් , පරිවර්ථනය  කරණ්නන්, ප්‍රකාශයට පත්කරණ්නන්, බෙදා හරින්නන්, විකුනන්නන්, මිළදී ගන්නන්, කියවන්නන් හැරුණු කොටගෙන එකතු කරණ්නන් කියාද කොටසක් මේ ලෝකයේ වෙසෙති.
මා  මින් වැටෙන්නේ අන්තිම කාණ්ඩ  තුනටය!                                                     
ඉඳහිට මිළදී ගනිමි.අනුන් ලඟ පොතක් දුටුවිට ඉල්ලාගෙන කියවමි. හැකි උපරිමයෙන්ම එකතු කරමි!
මා පොත් කියවන්නට පුරුදු පුහුණුවූයේ දැනට බීබීසියේ සන්දේශය ඉදිරිපත් කරණ චන්දන කීර්ති බණ්ඩාර ගෙනි. 
ඔහුට එකල හොඳ පොත් එකතුවක් විය. 
“මා ලඟ ඇති පොත් මා කිසිවෙකුට නොදෙමි! මන්ද මා ලඟ ඇති පොත්වලින් බොහොමයක් මා අන් අය වෙතින් ඉල්ලාගෙන ආ පොත්‍ය.”                                මේ ඔහුගේ තේමා පාඨය විය!
පොත් එකතු කරණ්නන් හට තමන්ට ලැබෙන දෙමළ පොතක් වුවද එකතුවට එකතුවූ කොටසක් ලෙස ගෙන සතුටුවීමට හැකිවුවද; එයට නිසි වටිනාකමක් එක්වීමට වෙනත් වෙනත් කරුණු හේතු භූත විය හැක. 
පොතේ දුර්ලභ බව මීට එක් නිදසුනකි.


විද්යා ලිපි ලියන ලිපිකරු - ක්ලාක් !

අතර් සී ක්ලාක් මහතා  විසින් ලියන ලද "Classic Diving in Ceylon" නමැති පොත මා කලක සිට සොයමින් සිටින්නෙමි. 
මරදානේ ගාමිණී හෝල් අසල මා කිහිප වරක් විපරම් කලද කිසිදු සාර්ථක ප්‍රථිචාරයක් නොලදිමි.     
එසේම පොතේ අන්තර්ගතය , පොත ලියන ලද ලේඛකයාගේ පිළිගැනීම වැනි කරුණු තවදුරටත් ගෙනහැර දැක්විය හැක.
මේ සියල්ලටම ඉදිරියෙන් දැක්විය හැකි විශේෂිත කරුණක් නම්  ලේඛකයාගේ අත්සනක් සහිතව ලැබීමයි. 
මෙයද අභිබවා යන තවත්  එක්  සුවිශේෂී කරුණක් වේ. 
ඒ ලේඛකයා විසින් පෞද්ගලිකව තමන් වෙත ප්‍රධානය කල පොතක් වීමයි.


   



පොත අභිබවා යන වටිනකම් !

මෙම සුවිශේෂී සුන්දර අත්දැකීම විඳීමේ අවස්ථාවක් අද දින එනම් 01/02/2018 දින  මා ලදිමි.                                                                                                   
ඒ ප්‍රදීප් ඒ ජයතුංග විසින් ලියන ලද "Leopards of Lenama –The Man Eaters Of Sri Lanka" සහ "Nittaewoo – The Hobbits Of Sri Lanka (An Analysis of the Legend)" 
නමැති නිබන්ධන ගනයේ ලා සැලකිය හැකි පර්යේශනාත්මක ග්‍රන්ථයන්ගෙන් පිටපත් දෙකක් ඔහුගේ අත්සනින් යුතුව මා ලැබීමෙන්‍ය.






මෙයට පැය කිහිපයකට පෙර  ලැබීමද එය ඉංග්‍රීසි බසින් ලියැවුනු පර්යේශනාත්මක කෘථි වීම  කරණකොට ගෙනද එම  පොත් මේ මොහොතේ පරිශිලනය කොට  ලිවීම උගහටය.
එහෙත් ඉහත මා සඳහන් කොට ඇති Leopards of Lenama –The Man Eaters Of Sri Lanka  පොත මා දුටු සැනින් මාගේ මතකය දිව ගොස් නැවතුනේ තවත් ඉතාමත් රසාලිප්ත පොත්  දෙකක් වෙතය. 
මෙහිදී මා මෙම පොත් ද්විත්වය හැඳින්වීමට “ඉතා” කියා යොදා නොනැවතී “ඉතාමත්” කියා යෙදීමට පෙලඹුනේ ඒවා එතරම්ම රසාලිප්ත වන බැවිනි!
එම පොත් වන්නේ දයාරත්න ගරුසිංහ විසින්  පරිවර්ථනය කරණ්නට යෙදුනු ජිම් කෝබට් විසින් තම අත්දැකීම් ඔස්සේ ලියන ලද “රුද්‍රප්‍රයාග්හී මිනී කන කොටියා”    හා විජිතා ප්‍රනාන්දු විසින් පරිවර්ථනය කල ; ක්‍රිස්ටෝෆර් ඔන්ඩාට්ජි ගේ                  “පූනානියේ මිනී කන දිවියා” පොත් යුගලයය.

රුද්‍රප්‍රයාග්හී මිනී කන කොටියා


















උතුරු ඉන්දියාවේ ජනකීර්ණ පෙදෙස් හරහා හාද්වාර් සිට භද්‍රිනාත් දක්වා වැටී වන්දනා කරුවන්ගේ මාර්ගය ඔස්සේ 1918 – 1926 අතර කාල පරිච්ඡේදය අතර ;  රුද්‍රප්‍රයාග් ප්‍රදේශයේ සිදුවූ මේ ප්‍රවෘත්තිය බොහෝ ප්‍රදේශයන්හී පැතිර ගිය එකකි.  ජිම් කොබට් උපත ලබන්නේ වර්ෂ 1875 දීය .                                                       පුරා වස්ර 20   ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවෙහි සේවය කරණ හේ ලෝක සංග්‍රාම දෙකේදීම ඉන්දීය හමුදාවේ සේවය කොට ලුතිනන් කර්නල් වරයෙකු ලෙස විශ්‍රාම ගියේය.
ඉන්පසු හේ කෙන්‍යාවට සංක්‍රමණය වී එහිදී 1954 දී මරණයට පත් විය.
මෙම කොටියා විසින් මරාදැමූ මිනිස් ජීවිත ගනන 125 කට අධික වේ. 
මිනිසා තරම් හෝ මිනිසා අභිබවා යන තියුණු කපටි හැසිරීම් රටාවකට හිමිකම් කියන කොටියා දඩයම් කිරීම “දඩයක් කරුවා දඩයම” වන ආකාරයේ අවිනිශ්චිත භයානක ක්‍රියාන්විතයක් වේ. 
මෙම කතාව පුරා දිග හැරෙණ්නේ මේ තිරිසන් මිනී මරුවාත් දඩයක් කරුවාත් අතර සිදුවන වචන රහිත සංනිවේදනයය. 
කොටියා පෙරදින කල  ක්‍රියාවට අනුව ජිම් කෝබට් පසුදින තම ක්‍රියාන්විතය සැලසුම් කලවිට කොටියා ක්‍රියා කරණ්නේ ඊට හාත්පසිනම වෙනස් වූ ආකාරයකටය. 
මෙසේ කාලන්තරයක් කොටියාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව කොටියාගේ චර්‍යාව තේරුම් ගන්නා දඩයක්කරු කොටියාට දඩයම නොවී කොටියා දඩයම් කිරීමේ ක්‍රියා වලිය අරඹයි.




අවදානම්  කළමණාකරණය කිරීමේ පලමු අත්පොත මෙය වන්නට ඇතැයි සිතෙන ආකාරයේ තීන්දු තීරණවලට  නිරණ්තරයෙන් එළෙඹෙමින්; වෙනස් කරමින් අළුත් සැලසුම් හදමින් කරණු ලබන දඩයම හුදෙක්  දඩයමක් පමනක් නොව  ක්‍රියාන්විතයක් වේ.
මා දන්නා පරිදි  කොග්ගල මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ප්‍රවේණියට උරුමකම් කියන කොහුවල තිසර ප්‍රකාශකයින් විසින්; ආමර්වීදියේ සුප්‍රසිද්ධ “වානි විලාස් ” සයිවර් කඩේ අත පිහිදාන්නට නොමිලේ දෙන කඩදාසියටත් වඩා  ඉතාමත් බාල කඩදාසියේ  දෙවන වරට මුද්‍රණය කරණ්නට යෙදුනු මෙම පොත මුල්වරට  1956 දී මුද්‍රණය කොට ඇත්තේ වැසීගිය; මහරගම සමන්   මුද්‍රණාලයෙනි.                          මා දන්නා පරිද්දෙන් බොහෝ හමුදා පාසල් වල; සතුරා පිළිබඳ පරිකල්පිත ඥානය පිළිබඳව ඉගැන්වීමට මෙම පොත  ගුරුකොට ගනු ලබයි!

පූනානියේ මිනී කන දිවියා


මෙම පොතේ මා දකින සුවිශේෂීත්වය වන්නේ එක වරම එකිනෙකට වෙනස් කිසිසේත්ම නොගැලපෙන කතා දෙකක් පාඨකයා  වෙත පවසමින්; එහෙත් පාඨකයා වෙහෙසට පත් නොකරමින; එසේම අතරමං නොකරමින් අවසානය තෙක් යෑමට රචකයා දක්වන බුහුටි බවය.                                                              මේ කතා දෙක වන්නේ තම පවුලේ පුරාවෘත්තය හා දිවියා හා සිරිලක වන දිවිය පිළිබඳ කතා පුවතයි.
මෙයට කලකට පෙර බ්‍රිතාන්‍යයන් ලංකාව පාලනය  කල අවදියේ මෙහි වසන ලන්දේසි ජාතික පියෙකුට දාව උපත ලබන ගත් කරු වයස අවුරුදු 12 දී තම පියාගෙන් වෙන්ව බ්‍රිතාන්‍යයට යයි.
එම  ගමනට දින කෙටි කලකට  පෙර තම  පියා සමග  ලංකාවේ වනාන්තර තුල කල සංචාරයක; දශක ගනාවකට පසු නැවත යෙදීම සමග වර්ථමාන කතාව ඇරඹේ.
1920 කාලයේ වසර දෙකක තුල ඉතා බිහිසුණු, අභීත දිවියෙක් නැගෙණහිර පූනානි ප්‍රදේශයේ මිනිසුන් විසි දෙනෙකු පමන මරා කා දමා 
ඒ කුඩා ගම බියෙන් තැති ගන්වමින් සිටියේය.
මේ බිහිසුණු කාලය අවසන් වූයේ ඉංග්‍රීසි ජාතික තේ වගා කරුවකු හා ක්‍රීඩකයෙකුවූ කපිතාන් ෂෙල්ටන් අගාර් 1924 වසරේදී ඒ දිවියා මැරූ විටය.



මෙයට සමාන්තරව කතුවරයගේ හා ඔහුගේ පවුලේ ජීවිතවල සිදුවන විවිධ හැල හැප්පීම්; දුක්ඛ දෝමනස්සයන් හා දෛවෝපගත සිද්ධීන් එකට ගලපමින් කියැවෙන  මෙම කතා පුවත අන්තර්ගතවන පොත ඉතා මනස්කාන්ත ලෙස  මුද්‍රණයකොට ඇත්තේ එංගලන්තයේ Rare Books and Berry සමාගමෙනි.
අපගේ මිතු ප්‍රදීප් ඒ ජයතුංග තම පොත් යුගලය තුලින් අවම වශයෙන්   "Leopards of Lenama" පමනක් හෝ හෙළබසට නැගුවහොත් එය බොහෝ දෙනාගේ හිතසුව පිණිස වනු ඇත.   
චීන කියමනක් වේ.                                                                                              මිනිසකු පරිපූර්ණවීමට කාරණා තුනක් සම්පූර්ණ කල යුතුය.                                  පුතෙක් හදන්න! ගසක් වවන්න!! පොතක් ලියන්න!!! එම කාරණා තුනවේ. 
බොහෝ පිරිස් පළමු කාරණා දෙක සම්පූර්ණ කොට බලා සිටියි.
මන්ද පොතක් ලිවීම; පුතෙක් හදනවාටත් ගසක් වවනවාටත් වඩා එහා ගිය අසීරු  කට යුත්තකි !
ඔබ එය සාර්ථකව ඉටුකරගෙන ඇත .
එයට මගේ හද පිරි සතුට හා හෘදයාංගම  ස්තූතිය!            




මිළ කල නොහැකි පොතක්!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...