Showing posts with label හැටන් වෙත සයිකලයෙන්. Show all posts
Showing posts with label හැටන් වෙත සයිකලයෙන්. Show all posts

Wednesday, May 2, 2018

94. බක් මහේ මුනගැසුනු මුසල්මානුවන් දෙපල!






මේ පෝස්ටුව තුල තියෙනවා පොඩි පොර ටෝක් එකකුත්! ඒකත්  හීනියට රස විඳින ගමන් කතාවේ හරය කියවන්න! හරියට ලුනු කැටයක් හපන ගමන් ඇඹුල් ඇඹරැල්ලා ගෙඩියක් කනවා වගේ!



නොව පැරණිය වන රමණිය - නිසාන් පැට්‍රොල් ලොරිය!

මෙතෙක් කථාව :
මේ ලඟදි දවසකදි  සුගතදාස ස්ටේඩියම් එක ලඟදි මගේ පරණ  නිසාන් පැට්‍රල් ට්‍රක් එක හෙවත් ලොරිබාගය හරවන්නට යෑමේදී ත්‍රී වීලරයක් හා ගැටුනි! 
මහා ට්‍රැෆික් ගඟ දෙගොඩ තලා ගලද්දි මා ඉඟුරු කඩේ හන්දිය දෙසින් පැමින පැරණි අශොකා සිනමා හල  හෙවත් "ලක්බිම" පත්තර මහ ගෙදර අසලින් මා නැවත ඉඟුරු කඩේ දෙසට හැරවීමට යාමේදී මා වෙතින් ලත් කුඩා අවසරයෙන් ප්‍රයෝජනය ගැනීමට සිතූ ත්‍රී රෝද රථ රියැදුරා පදික වේදිකාවත්  මාගේ කුඩා ලොරියත් අතරින් රිංගවීමට යාමේදී මෙම අනතුර සිදුවිය!
තවත් මොහොතකින් රථයේ රියැදුරු මුසල්මානුවා එයින් බිමට බැස මාවෙතට පැමිනෙද්දී එම රථය පිරී සිටි කාන්තාවන් හා ලමා ලපටින් රැසක් එලියට බැස ගත්තෝය!

තවත් මොහොතකින් මා අසලට පමිණියේ අවුරුදු 15 ක  පමන කොළුවෙකි!

"උඹ....!?"

ඔහු කතාව පටන් ගත්තේ එලෙසිනි.  ඔහුගේ වයසත් මගේ වයසත් අතරට වැටුනු එම වචනය මා කිසිසේත් බලා පොරොත්තුවූ එකක් නොවුනි!

"කතා කරණ්න ඉගෙන ගන්න!"

කතාව දුරදිග යන විට ත්‍රී රෝද රියේ  මැදිවයසේ රියැදුරු කොළුවාට තරවටු කොට ගැටළුව සියතට ගත්තේය.
පසුව එය සුහදව විසඳා ගැනීමට අප දෙදෙනාට හැකිවූ නමුත් පෙරකී දරුවා ඈතක සිට දත්කූරු කමින් මාදෙස එක එල්ලේ බලා සිටීම මා එතැනින් නික්මෙන තෙක්ම පැවතුනි!


මැද කථාව :
බක්මහෙ අවසන් සති අන්තය එළඹුනේ මාගේ උපන් දිනය කැලැන්ඩරය මත මතු කරමින්!
මෙය මාගේ ජීවිතයේ වඩාත් කඩඉම් සහගත උපන්දිනයක් වුනු හෙයින්මෙය සමරණුවස්  මාගේ ජීවිතයට සදා අනුස්මරණීය මතක සටහනක් එක් කර ගැනීමට මා උත්සුකවිය.

සයිකල් රේස් පදින ක්‍රිඩකයන් තම පුණුවීම් වලදී කඳු තරණය කිරීමේ පෙරහුරුව සඳහා පදිනා පරසිදු කන්දකි ගිනිගත්හේන කඳු කර ගමන් මග! 
A7 මාර්ගය අවිස්සාවෙල්ලේ සිට නුවර එළිය දක්වා දිවෙන මේ ගමන් මගේ කිතුල්ගලින් පටන් ගන්නා මෙම කන්ද  ගිනිගත්හේන දක්වාත් ඉන් ඔබ්බට හැටන් දක්වාත් එකම කන්දක් ලෙසින් එක එල්ලේ දිවේ!

කිතුල්ගල නගරය පිහිටා තිබෙන්නේ A7 මාර්ඝයේ 31 වන කිලෝ මීටර කණුව සමගය.ගිනිගත්හේන නගරය පිහිටා ඇත්තේ 54 වන කණුව පසු වනවාත් සමගය.
එම මුළු දුර ප්‍රමාණයම එකම කන්දකි!
මේ අතර එක් ස්ථානයක හෝ දෙකක මීටර 500 ක පමන පල්ලමක් දෙකක් ඇතත් මුළු ගමන් මග හා ගත් කල එය නොගිණිය හැකි තරම් කුඩා අවස්ථාවකි.
මැනුවල් ගියර පෙට්ටි සහිත බස් රථ වැනි බර වාහන මෙම කන්දට මුහුණ දෙන්නේ දෙවන හා තෙවන ගියර වලය. 
සිමෙන්ති  වැන බර පටවාගත් ලොරි රථ මුළු කන්දම තරණය කරණුයේ දෙවන හෝ පලමු වැනි ගියරයේය! 
මෙම කන්දේ සුවිශේෂීත්වය වන්නේ දුර ප්‍රමාණය අභිබවා යන්නේ අනුක්‍රමණයය! එසේම අනුක්‍රමණය අභිබවා යන දුරය!

කිතුල්ගල නගරය පිහිටියේ මුහුදු මට්ටමේ සිට මීටර 58 ඉහලින් වන අතර එතැන් සිට කිලෝමීටර 17 ක් පමන ඈතින් පිහිටි ගිනිගත්හේන නගරය  පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර 655 ක් ඉහලිනි! 
එතැන්  සිට එනම් ගිනිගත්හේනේ සිට කිලෝමීටර 22 ඈතින් පිහිටි හැටන් නගරය පිහිටන්නේ මුහුදු මට්ටමේ සිට මීටර 1271 ඉහළිනි!! වෙනස මීටර 616 කි. 

ගිනිගත්හේනේ සිට හැටන්  නගරය දක්වා  මිටර 616 ඉහල නගින්නේ කිලෝමීටර 22 ක් තුල වන අතර එහි අනුක්‍රමණය 0.028 ක්‍ ය. 
කිතුල්ගල සිට ගිනිගත්හේන දක්වා මීටර 597 ක් ඉහල නගින්නේ කිලෝමීටර 17 ක් තුලය! 
මෙහි අනුකරමණය 0.035 ක්‍ ය!

මෙම අනුක්‍රමණයෙන් කිලෝමීටර 17 ක් එකදිගට පැදීම කලයුතුය. කඩුගන්නාව මීට වඩා ඉහල  අනුක්‍රමණයක් තිබිය හැක. 
එහෙත් එහි සමස්ත දුර කිලෝමීටර සුළු ගනනකට සීමා වේ. 
(නුවර ඇත්තෝ මේ කණගාටුදායක නිවේදනය පිළිගනිත්වා!)

මේ නිසාදෝ ගිනිගත්හේන කන්දට සයිකල් ධාවකයින් දක්වන්නේ ඉමහත් ආදරයකි! ගෞරවයකි!! භක්තියකි!!
මහා සයිකල් ධාවකයන්ගේ කුලකයේ අවයවයක් නොවූවද “ගිනිගත්හේන තරණය” මාගේ Bucket List එකේ කලක සිට තිබූ තවත් එක් බලාපොරොත්තුවක්, අපේක්ෂාවක්, අරමුණක්, ඉලක්කයක්, අසනිපයක්, අරකක්, මේකක්, අනිත් එකක්ව තිබුනි. 
පෞද්ගලිකව ගත්තද මා  දුර පදින්නෙක් විනා කඳු පදින්නෙක් නොවීමි. මගේ එක් දිනකින් කිලෝමීටර 200 ක් පැද්ද කයිවාරුව බැලුවහොත් ඕන කෙනෙකුට තේරුම් යන සරල කාරණයක් වන එය; කියැවෙන්නේ ඕමාරගොල්ල කන්ද තරණයට මා ගන්නා උත්සාහය තුලය !

දිවියේ අසූවන උපන්දිනය සමරණ කිසියම් අයෙකු 80 ඉලක්කම් දෙකට ගිනිතබා “පුඃ ගා පිඹ කේක් ගෙඩිය මස් කොරණ්නට අද වෙන කොට පුරුදු පුහුණු උනාට;  සුද්දා මේ ඉටිපන්දම් නිවීම පටන් ගෙන තියෙන්නේ උපන්දිනය හිමි අයට එක හුස්මකින්; තම වයසට ගැලපෙන ඉටිපන්දම් සංඛ්යාව එකවර නිවාදැමීමට තරම් ශක්තියක් තමා තුල  ඇතිබව විදහා දැක්වීමට හා තමාටම ප්‍රථ්‍යක්ෂ කර ගැනීමටය! 

මෙසේම මමද මගේ විභවය පිළිබඳ මටම ප්‍රථ්‍යක්ෂ කර ගැනීමට කිසිවෙකුට නොදන්වාම සිතාගත්තෙමි.   
කෙසේ හෝ බක්මහෙ අවසන යෙදෙන උපන් දිනයට සමාන්තරව මේ ගමනට මා සිත එකඟකරගෙන තිබුනි.

පසුගිය 28 වන දින රාත්‍රියේ  මා මාගේ ; ඔබත් මාත් දන්නා ස්කොට් සයිකලයද අමුනා ගත් ට්‍රක් රියෙන් හක්බෙල්ලාවක බලා පියාසර කලෙමි. ඒ අනෝරා වැස්සේය. 
අනෝරා වැස්ස මොහොතකින් මොර සූරණ වැස්සකට පරිවර්ථනය වේ. කුමරතුඟු මුනිදසුන්ගේ “හීන් සැරයේ” පලමු  පරිච්ඡේදයේ කියැවෙන්නේ මෙවන් වැස්සක් විය යුතුය!  
පසුගිය කාල වකවානුව පුරාවට එනම් සති තුනකට ආසන්න කාලයක්  සයිකල නොපැදීම මාහට කෙසේවෙතත් මාගේ හදවතට කිසියම් කණගාටුවට කරුණක් බව ඊට සවන් දුන් මොහොතක මා හට තේරුම් ගියෙමි. 
“ඔව් හෙට දිනයේ කාල ගුණය යහපත් වුවහොත් ගිනිගත්හේන කෙසේවෙතත්  කිතුල්ගලටවත් පැද එන්නෙම්!"

හක්බෙල්ලාවක ඇත්තේ 26 වැනි කිලෝමීටර  කණුවය. 
ඒනයින් ගත්කල කිතුල්ගලට කිලෝමීටර 11 පමන වේ. 

පෙරදින බොහෝ දිර්ඝවූ මා පසුදින අවදි වූයේ උදෑසන 7.00 ටය. හැටන් කොළඹ මාර්ඝයට සිරුරැස් වැටී තාර පර රිදි පැහැයෙන් දිලෙනු දැකීමත් සමග මා වෙතින් ඉලක්කය මග ඇරෙමින් තිබෙන බව දැනෙමින් විය. 
එය කටුක සිතුවිල්ලකි! 
මා වේගයෙන් ඇදුම් මාරු කර ගතිමි. 

සාමාන්යෙන් මෙවන් ගමනකට ප්‍රථමයෙන් සයිකලය ලිහිසනය කොට සුසර කර ගැනීම, පෙරදින සැපවත් නින්දක් හා පෝෂනීය ආහාරයන්ගෙන් සංතර්පනය වීම, ගමන් මග ගැන ලබාගත් මූලික වැටහීමක් මත  අයිටනරියක් හෙවත් ගමන් කාලසටහනක් සකසා ගැනීම, ගමනේදී පරිභෝජනය සඳහා අවශ්ය කැලරි පිරි ආහාර  හා ජීවනී මුසුකල ජලය සපයා ගැනීම වැනි "ගෙදර වැඩ" රාශියක් කල යුතුව ඇත!
නමුත් මෙම ගමන තනිකරම හිතුවක්කාරී එකක් විය! 

29 වන දිනයේ  උදෑසන වන විට ඉහත කිසිදු ලක ලෑස්තියක් වීමට  මා හට හැකියාවක් හෝ උවමනාවක් නොතිබුනි!එහෙත් ගමන යා යුතුව ඇත! හෙට දිනයට මාගේ උපන් දිනය යෙදී ඇත. මොන විදියකටවත්   වෙනස් කල නොහැක! එනිසාම  එදිනට පෙර දින කලයුතු කාර්යය අද දින අනිවාරයයෙන්ම කල යුතුව ඇත. 
මන්ද "අද" යනු වෙන දිනක් නොව ඊට පෙර දිනයි! මෙම දිනය යලිදු කිසිදා මගේ ජීවිතය මත යෙදෙන්නේ නැත! කැලැන්ඩරය හෝ බිත්ති ලිත මත සමපාත නොවෙනු ඇත!! මේ එම දිනයි! ඔව් මා එය කල යුතුව ඇත!

නාහේන මූකලාණට ඉහලින් අහස නිල් පැහැයෙන්  මා අමතයි! කාල ගුණය යහපත්ය.

"මම පිටත් වෙනවා!"

"හරි පරිස්සමින් යන්න" 


හොඳටෝම දවල් වෙලා! 
වෙනදා මෙහෙම ගමනක් යනකොට තියෙන ගැම්ම හිරු රැසින් දියවී ගොසින් !

හිතක සවිය සුරතට හිමිව !

උදෑසන පලා යමින් තිබුනද  අරුමැක්ක ඉක්ම නොගිය දිනයේ මුකුළිත බව !

ගම් බිම් සිසාරා යන සුන්දර ගමනක මං පෙත !

කලකදි රට වෙනුවෙන් කිරි එරුණු  ළමැද ! 

ඈතින් ඇවිදින් අසලින්  යනෙනා !

වදනකින් වත් කිළිටි නොවන්නට සිතා නොලියමි මේ ගැන එක් වදනක් වත්

මේ ගමනාන්තය විය යුතුද?

කිතුල්ගලට පැමිණි මාහට එතරම් අපහසුවක් නොදැනුනි. ඇත්තෙන්ම මාගේ ඉලක්කය විය යුත්තේ මෙතැන නොව ගිණිගත්හේනයි. 

ජීවිතයේ මොනම විටෙක එකවර පරාජය වීමට මා සූදානම් වී නොමැත! එය හුදෙක් වීරත්වයක්ද නො එසේනම් මුග්ධ භාවයේ පිළිබිඹුවක්දැයි මාහට නොතේරේ.
මා ගිණිගත්හේන බලා පිටත් වුනෙමි.


ලොවක් ඇස ගැටෙන තැන දෙස ජාති අන්ධයන් සේ නොදැක!

ලක්ෂයක් පහන්දැල්වූ ලක්ෂපාන දෙසට

ඈතින් ඈතට දිවෙනා සිසිලස!

උදෑසන ආහාරය ලෙස පැරණි ආප්ප තුනක් හා ඔරිජිනල් කිතුල් හකුරු කෑලි හතරක් !

මේවා තමයි ඕනා!
 ඇට කටු නැති මාළු - ආනමාළු

තවත් ටික දුරක් මේ කන්දෙම!

මෙතනට එන තෙක්!

ඉලක්කය දිනන තෙක් සිත දැවූ ගිනිගත්හේන!

විශාල අපහසුවකින් තොරව ගිණිගත්හේනට පැමිණි මාහට තවත් ඉදිරියට යාමේ "අපහසුවක්" හෙවත් අමාරුවක් ඇතිවිය. නැවත ගමන ඇරඹීමි.


 දකුණු පලයට වැටෙන වැසි බිඳු කැළණි කොමලිය වෙත යැවේවා
අනෙක් පියසට වැටී ගලනා දියෙන් මහවැලි ගඟ             දිනේවා
(පසු පසින් ගිනිගත්හේන පොලීසිය)

සේද මාවත පසෙක තුවාල වූ පස් කන්ද මත ගෝස් යොදා පැලැස්තර දමමින්!


                                 පස් කන්ද බිඳ වැටෙන්නට මත්තෙන්!


හැරෙණ  තැනක් ! 
යන්න හිතයි තවත් ඉදිරියට හැටන් දෙසට !

නිල්ල !

ගිනිගත්හේන පසුකර කිලෝ මීටර 5 ක් ඇවිත් !

කඳු අතර පැතිරුණු සිසිල !

 1.


2.

3.

කැරොලිනා 
අවසන් කොටස:
කතාවේ දෙවන කොටස පටන් ගන්නේ  මෙන්න මෙතනින්! මේ ඉන්නේ කැරොලිනා තේ කර්මාන්තශාලාව අසල! 
මා දකින දේ සටහන් කර ගැනුමටත් සිටින තැන  ප්‍රියයන් වෙත දැනුම් දෙන්නටත් තියෙන එකම මෙවලම වූ මොබයිලයේ බැටරිය නැත්තට නැතිවී යන්නේ මේ මොහොතේදී! 

ඊළඟ නගරය වන්නේ වටවල! වටවල නගරය පටන් ගන්නේ කිතුල්ගල සිට දිවෙන ශීඝ්‍ර නැග්ම  මත හමුවන අතිශය දුර්ලභ  කිලෝමීටරයක පමන පල්ලමක් අවසානයේ! මුළු නගරය පුරාවට පිහිටි සෑම කොමියුනිකීශන් එකක් , ෆෝන් කඩයක් කඩයක් පාසා මා ඉව කර මින් මාගේ ෆෝනය ආරෝපනය කර ගැනීමට තැනක් සොයමින් විය. 

මාගේ මොබයිලයට ගැලපෙන ආරෝපකයක් හෙවත් චාර්ජරයක් විකිණීමට තබා "මම ගිනිගත්හේනෙන් නික්මී හැටන් දෙසට යමින්!' කියා කෙටි පණිවිඩයක් ප්‍රියයන් වෙත යැවීමට ප්‍රමාණවත් තරමට වත් මගේ මොබයිලය පන ගන්වා ගැනීමට තැනක් වත් සොයා ගැනීමට නොහැකි විය!එතැන් සිට මා සිට සිත දැවුනු ප්‍රශ්නයක්; සයිකලය කඳුකර මාර්ගය ඔස්සේ පැද යාමේ දුෂ්කරතාවයට අමතරව දැනෙමින් විය! 

හැටන් දෙසට එන මග !

හැටන් !

 ඉලක්කය දෙගුණ කර මුහුදු මට්ටමේ සිට මීටර 1271 ඉහල !


හැටන් නගරයට පිළිපන් මොහොතේ පටන් නැවත් විපිළිසර වුනේ නැවත චාර්ජරයක් සොයා ගැනීමට හා වට අනෝරා වැස්සෙන්  මොබයිලය බේරා ගැනීමටය.
කොමියුනිකේෂන් රාශියක් සිසාරා ගියද මාගේ මෙවලමට ගැලපෙන චර්ජරයක් සොයා ගත නොහැකි විය.
තවත් ටික දුරක් නගරය සිසාරා වැස්සේම ඒමේ අත  පැද යමින් ඉව කිරීමේදී බස්  නැවතුම අසල Air Cell Communication  නමැති ෆෝන් කඩය නෙත ගැටුනි!
වැස්සේම එහි ගොඩ වැදුනු  මාහට එහි  බොහෝසෙයින් යුහුසුළුව වෙළඳාමේ යෙදුනු බුහුටි තරුණයෙකු නෙත ගැටුනි
මා චාර්ජරයක් මිලදී ගත්තද ඒයින් ප්‍රයෝජනයක් ලැබීමට නම් මෙම වෙළඳ සැලෙන්ම විදුලිය ඉල්ලාගත යුතුවේ.
ඔහුගේ මේසය මත ලැප්ටොප් පරිඝනකය දුටු මාහට චාජරයකට වඩා ඩෙටා කේබලයක් මිළදී ගැනීම වඩාත් ලභදායි බව මාහට පසක් විය. 

"මල්ලි මේකට හරියන ඩේටා කේබල් එකක් තියෙනවද?'
"දෙන්නම් අයියා...!"
"කීයද...?"
"අයසිය පනායි...! අයසීයක් දෙන්න...!!"
"මල්ලි ඊට අඩු එකක් නද්ද...?"
"අයියා අපි ගාව තීන්නෙ  මේක යිතරයි! ඇයි අයියා..?"
" නෑ මල්ලි මට පොඩ්ඩක මේක චාර්ජ් කර ගන්න ඕනෙ දැනට...! ඒකයි මම බැලුවේ..!?"
"ආ.... ඉතින් මම පොඩ්ඩක් චර්ජ් එකට ගාලා දෙන්නම්..!
"එළ...!"

උදේ සිට හරියමන් කෑමක් නැතිව සිටි මා අසල කඩේකට වැදී බත් එකක් ගෙන ඉන් කාලක් පමන කා දමා ඉතිරිය පිරෙණ්නට උනු වතුර එකක් බොඊ දැමුවෙමි.
නැවත මා එයාසෙල් කඩයට යන විට ෆොනයට තරමක් ජීවය පිරී තිබුනි.මා ඔහු වෙතින් ෆෝනය ඉල්ලා ගතිමි. 
ඔහු කල උදව්වට මට මිළක් ගෙවීමට උවමනා විය. ඔහු; නන්නාදුනන මාහට උදව් කරණ්නට ගොස් නැතිකරගත්තේ ලාච්චුවට වැටෙන්නට තිබුනු රුපියල් 600ක්ය!මා රුපියල් 200 ක් ගෙන ඔහු අත තැබීය.

"පිස්සුද අයියා..!'
"නෑ මම මේක දෙන්නෙ ඔයාගෙ මනුස්සකමට..  හොඳ හිතින්  මේක ගන්න....!"
"අරි අයියා මමත් යේක කලේ මනුස්ස කමට තමයි!"
"එළ..! මල්ලි උඹේ නම.....?"
"සල්මාන්... ආ!....මේකෙන් තේ උගුරක් බීලා යන්න......!"

කථා නැතිව සල්මාන් බොමින් සිටි කුඩා තේ  කෝප්පෙන් උගුරක් බී සමු ගැනීමට දකුණු අත නලල තෙක් ඔසවා ආචාර කලෙමි.


මෙන්න තාපසයන් ඇසුරේ වැඩුනු  මුසල්මානුවා - සල්මන් !
(බෙදා හදා ගෙන බීපු තේ කෝප්පය මේසය උඩ.)


 මේ මගේ චාරිකා සටහන එක තේ එක දෙකට කඩා පිළිගැන්වූ හැටන් නගරයේ Air Cell හි සල්මාන් නම් මුසල්මානුවාට ආචාරය පිණිස වේවා!






23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...