Saturday, June 5, 2021

199. මෝටර් රියෙන් ගංවතුරට මුහුණ දෙන්නේ කෙසේද?

ඊයේ ලියන්න තිබුනු ලිපියක්!

"රාජා හෝ මා හෝ ගංගා හෝ"
ඊයේ වෙන කොට ජයග්‍රාහී සිව් වන දිනයටත් අත්තනගල්ල ගංගා ද්‍රෝණිය හෙවත් ගම්පහ, රාගම, කඩවත, ගනේමුල්ල, ජා ඇල, සීදූව, මිනුවන්ගොඩ වැනි ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ වලට ධාරාණිපාත වර්ෂාව වැටෙමින් විය! අහසට මෙතරම් වතුර කොයින්දැයි සිතෙන තරම් මහත් වතුරක් ගෙන ආ; වැස්ස බී ගත නොහැකිවූ මහ පොලොව මහා ජල කඳ තම දේහය මත ගලා යෑමට සලසා බලා සිටියාය. කොටින්ම තැන තැන එක්වූ ජලයෙන් පලාත් බදව කුඩා ප්‍රමාණයේ ගං වතුරක් මැවෙමින් විය.

ඊයේ හවස් වරුවේ වත්පොත තුල වනගත වන්නා අටියෙන් මොබයිලයේ අගුළු ඇර වත් පොතට පිවිසෙනවාත් සමගම දුටුවේ ලක්මාල් කන්දෙවිදාන හෙවත් අටමා විසින් පලකල තිබූ රූපමය කඳුළු කථාවය. ඒ  රාගම කිට්ටුව පිහිටි ඔහුගේ නිවස තුලට ගංවතුර ගලාගෙන එන වීඩියෝවක් හා නිවසේ බොහෝ කොටස් ගං වතුරෙන් ක්‍රම ක්‍රමයෙන් යටවී යන ආකාරයත්ය. වහාම ඇනෝපිලිස් ඇමතූ මාඔහුත් සමග මහ වැස්සේ මාගේ අභිනව ලොරි රථයෙන් අටමාගේ දුක සැප විමසීමට පිටත් උනෙමු. 

කෙමෙන් රෑ බෝවී තිබූ අතර මහ වැස්සත් විළිබරෙන් මිරිකුණු වැසි වලාවන් නිසාත් ඝන අන්ධකාරයකින් පලාතම වැසී තිබුනි. කොරෝණා නිසා දවල් සිට නින්දේ වූ රාගම නගරයේ වීදී පහන් වල හා වාහන වල ආලෝකයෙන් තරමක් දුරට අඳුර පලවා හැර තිබුනි. කඩවත නගරයේ සිට අප රාගම නගරයට පිවිසෙත්ම බැසිලිකා විදුහල (එහි නම ඒක වියයුතුය!) මහා මාර්ගය ජලයෙන් අඩි දෙකක් පමණ යටවී තිබුනි. 

එතෙර වී අඹු දරුවන් බලනු රිසිවූ මෝටර් රථ වල නිවෙස් බලා යමින් සිටි මහත්වරුන් ගං වතුර දැක බහිංදෝ නොබහිංදෝ කියා සිතමින් වාහන වලට වී ගං වතුරට ඉව අල්ලමින් සිටියෝය. මියෙම්වා රැකෙම්වා කියා සිතන අපේ රුධිර ඝනය ඇඟේ දුවන සමහරුන් ගං වතුර දෙබෑ කරගෙන එතෙර මෙතෙර විය. මෝටර් රථ කිහිපයක් කටවල් ඇරගෙන මාර්ගයේ පසෙක් ගාල්කොට තිබෙනු දක්නා ලදී. ඒවාට එබුනු තතු දත්තෝ ඒවාට විවිධ ප්‍රයෝග, මායම්, පිළිසකර කිරීම්, අළුත්වැඩියාවන් වල නියෙලනු දක්නට ලැබුනි. ටික වේලාවකින් අපද දිය කඳ හරහා ගමන් කොට රාගම නගරයටත් එය සිසාරා අහසින් ගමන් කොට ඉදිරියට යත්ම මහා වාහන පෝලිමකට සෙට මෝල් වෙන්නට සිදු විය. එතැන් සිට පේරලන්ද හංදිය පසු කරණා තුරුත් ඉක්බිත්තේත් දිස් උනේ මහා ජලශයකි. අවම වශයෙන් අඩි  අඩි තුනේ සිට හතර දක්වා ගැඹුරකි යුක්තවූ වැවක් එහි මැවී තිබුනි. එතැන තත්වය වඩාත් අයහපත්වී තිබුනි. මෝටර් රථ සමහරක් වාහන පෝලිම සමග ඉදිරියට ගොස් චිත්ත ධෛර්‍ය බිඳ වැටී පාර අවහිර කරගෙන බල්ලා සහ පිදුරු න්‍යාය අනුගමනය කරමින් ලැගගෙනය.

"රාජා හෝ මා හෝ ගංගාහෝ" සිතා ගත් රජයේ හා හමුදාවේ වාහන කීපයක් `සබ්මැරීන සේ එතෙර යමින්ය .මෙතෙර එමින්ය. ඇස් මනා පිටම මිට්සුබිෂි L300 වැඇන් රථයක් එන්ජිම තුලට වතුර ඇද දුම් දමමින් හැරමිටි ගමනේය. ලියනවානම් කථා ගොඩකි.

මීට පෙර "ඔබේ මෝටර් රිය දියට වැටුනොත්" කියා මා ලිපියක් පලකොට ඇතත් මෙවැනි අවස්ථාවකදී කලයුත්තේ කුමක්දැයි ලියා නොමැත. විශේෂයෙන් කුඩා මෝටර් රථ භාවිතා කරණ මාගේ සහෘදයින් වෙනුවෙන් යමක් ලිවිය යුතු යැයි මාහට ඊයේම සිතුනි. ඇනෝටද මතක් කලෙමි. "දැන් කවුද අනේ බ්ලොග් බලන්නේ?" කියා ඔහු මාව දිරි ගැන්වූ අතර එය ලියා තබන්නට දැන් පටන් ගනිමි. මම මේ අරම්භයක් ගන්නා අතර අපේ දැන උගත් පාඨක පාඨිකාවන් අඩු පාඩු ඉවත් කරණු ඇතැයි උදක්ම බලා පොරොත්තු වෙමි.

ජලයෙන් වැසී ගිය මාර්ගයක් හරහා අප ගමන් කලයුත්තේ කෙසේද?

අප මෙය මේ විදියට පටන් ගනිමු. 

අද පවතින වාහන පෙට්‍රෝල් වාහන, ඩීසල් වාහන, විදුලි  වාහන හා හයිබ්‍රිඩ් වාහන යනුවෙන් වෙන් කර ගැනීමට පුළුවන. පලමුව අප පෙට්‍රෝල් වාහන හා ඩීසල් වාහන ගැන කථා කරමු.

පෙට්‍රෝල් එන්ජිමක් ක්‍රියා කරණ අවස්ථාවේදී  එය තුල ඇති පිස්ටන ඉහල පහල ගම්න්කරණු ලබයි. පිස්ටනය පහලට පැමිනීමේදී  පෙට්‍රෝල් එන්ජිමක් තුලට පෙට්‍රෝල් සහ වායු මිශ්‍රණයක්ද ඩීසල් එන්ජිමක; එය තුලට අවකාශයේ තිබෙන වාතයද ඇතුලට උරා ගනී (Intake Stroke). එන්ජිමේ වට භාගයකදී මෙසේ ඇතුලට උරා ගන්නා ඉන්ධන+වායු මිශ්‍රණය හෝ වාතය සිලින්ඩරය තුල පීඩනයට ලක්වේ (Compression Stroke). මෙය පෙට්‍රෝල් එන්ජිමක 9 ට එකක අනුපාතයට පමණ  තෙරපෙන අතර ඩීසල් එන්ජිමක මෙය 22 ට එකක පමණ දැඩි පීඩනයකට ලක් වේ. (එනම් නිදහස් අවකාශයේ තිබෙන වායු කොටස් ඒකක 22 ක පරිමාව ඒකක 1 ක පරිමාවකට තෙරපීම වේ.)

එන්ජිමක ක්‍රියා කාරීත්වය මෙතැනින් බලා අවබෝධයක් ලබා ගන්න බලන්න.

ඔබ සිතන්න එන්නත් සිරින්ජයක් ගෙන එය ඉදිරිපසින් වසා දමා පසුපස හැන්ඩලයෙන් තෙරපන අවස්ථාව. නො එසේනම් බයිසිකල් හුලං පොම්පයක් එසේ තෙරපන අවස්ථාව. පිස්ටනය ඉවතටම ඇද  ගත් අවස්ථාවේදී සිලින්ඩරය තුලට පිරෙන වාතය පිස්ටනය තදකිරීමේදී  සිලින්ඩරය තුල පීඩනයට ලක්වේ. පිස්ටනය පහතට ගමන් කරත්ම සිලින්ඩරය තුල පරිමාව අඩුවන අතර එයට සාපේක්ෂව එය තුල සිරවී ඇති වාතය සම්පීඩනයට ලක්වේ.

මෙය වායු වල ඇති ගුණයක් සේ පාසලේ 6 වසරේ විද්‍යාව පාඩමේදී උගෙන ගත්තා මතකයි නේද? 

වායුවල භෞතික ගුනාංග:- නියමිත බරක් ඇත! නියමිත  හැඩයක් නැත!! නියමිත පරිමාවක් නැත!!!

ඒ පාඩමේම ඔබට මතකද ද්‍රව වල ගුනාංග ඉගෙන ගත්තා.

ද්‍රව වල භෞතික ගුනාංග:-  නියමිත බරක් ඇත! නියමිත  හැඩයක් නැත!! නියමිත පරිමාවක් ඇත!!!

දැන් අපි නැවත පෙර සඳහන් කල එන්නත් කටුව දෙසට හැරෙමු. එන්නත් කටුව තුලට එන්නත නැතහොත් බෙහෙත් දියරය පුරවා ගත් පසු අපට ඉදිරියෙන් වසා පිස්ටනය හෙවත් හැන්ඩලය තෙරපිය හැකිවේද? නොහැක! මන්ද සිලින්ඩරය තුල ඇති ද්‍රව පරිමාව මගින් පිස්ටනය හිරකොට ඇති නිසාය!

ඔබ සිතන්න පෙට්‍රොල් හෝ ඩීසල් එන්ජිමක් තුලට නො එසේ නම් සිලින්ඩරය තුලට පිස්ටනය මගින් ඇදගන්නා වායුව වෙනුවට ද්‍රවයක් නො එසේ නම් ජලය පැමිණිය හොත් කුමක් සිදුවේදැයි කියා? සිලින්ඩරය පහතට ගමන් කිරීමේදී සිලින්ඩරය තුලට ගලා එන ජලය නැවත පිස්ටනය ඉහලට ගමන් කිරීමේදී තෙරපීමකට හෙවත් සම්පීඩනයට ලක්වේ. එහෙත් වාතය මෙන් ජලයේ (හෝ ද්‍රව වල) පරිමාව වෙනස් නොවේ. එවිට සිදුවන්නේ පිස්ටනය ජලය සමග තෙරපී හිරවීයාමයි.  වේගයෙන් එතෙක් කර කැවෙමින් පවතින එන්ජිමක් මෙසේ හිරවීම (Hydro Lock) සමගම පිස්ටන් අත් කැඩීයාම, ඇදවී යාම, ක්‍රෑන්කය කැඩී යාම, එන්ජින් බ්ලොක් ඒක පුපුරා යාම සිදුවිය හැක! තවත් ලෙසකින් කියනවානම් එන්ජිම ගලවා සම්පූර්ණ අළුත්වැඩියාවකට හෝ අළුතින් එන්ජිමක් සවිකිරීමට උවද සිදුවේ!

මේ සියල්ල සිදුවන්නේ එන්ජිම අභ්‍යන්තරයට හෙවත් සිලින්ඩර තුලට ජලය ගලා ඒමෙන්ය. එසේ ජලය ගලා ඒමට ඇති මාර්ගය වන්නේ එන්ජිම තුලට පිරිසිදු වාතය උරාගන්නා එයා ක්ලීනරය හරහාය. 

මෙයින් තේරුම් ගත යුතු වැදගත්ම කරුණ වන්නේ එයා ක්ලීනරය හෝ එයා ක්ලීනරය තුලට වාතය ඇදගැනීමට වාහනයේ සවිකොට ඇති සොඬ නලය හෙවත් හෝස් පයිප්පය තුලට වතුර ඇතුලු නොවන ගැඹුරක වාහනය පැදවීමෙන් එන්ජිමට කිසිදු අවුලක් නොවන බවය. බොහෝ වාහන වල එයා ක්ලීනරය හා ඉහත කී නල ඇතුළු උපාංග සවි කොට ඇත්තේ එන්ජිම මත හැකි උපරිම උසක් ලබා දෙන පරිදිය. මෙසේ සවිකිරීමට ඇති එකම හේතුව ජලය තරණය කිරීමට අමතර හැකියාවක් ලබා දීමට යැයි වරදවා නොවටහා ගන්න. එයත් එක් හේතුවකි.




එකිනෙකට වෙනස් වර්ග කිහිපයක මෝටර් රථ (කාර්) වල 
එයා ක්ලීනරය නැතහොත් එයා ඉන්ටේක් එක ස්ථානගත කර ඇති ආකාරය!

විශේෂයෙන් මෝටර් රථ වල නැතිනම් කාර් වල මෙම උපාංගය එන්ජිමට ඉහලින් සවි කොට ඇති අතර බොහෝ වෑන් රථවල එයා ක්ලීනරය සවිකොට ඇත්තේ වාහනයේ පසෙකට වන්නට, ඉදිරි පස දොරට පසුපසින් ඉතා පහලින්ය. එවිට එන්ජිම කෙතරම් උසකින් තිබුනත් එයා ක්ලීනරය හරහා ජලය එන්ජිම තුලට ඇදී ඒම නවතාලිය නොහැක.

මෙසේ උවද අන්තර්ජාතික වශයෙන් මෝටර් රථයක් ගමන් කලයුතු උපරිම ගැඹුර ලෙස දක්වා ඇත්තේ සෙන්ටි මීටර 10 ක ගැඹුරක පමණි. එසේම බොහෝ වාහන සෙන්ටි මීටර 30 ක ගැඹුරකදී පාවෙන්නට පටන් ගන්නා බවට අනතුරු හඟවා ඇත.

වාහනයක් ගං වතුර ප්‍රදේශයක් හරහා තල්ලු කරගෙන හෝ වෙනත් වාහනයක් මාර්ගයෙන් ඇදගෙන යාමේදී එන්ජිම තුලට වතුර ගමන් කිරීමේ අවධානම බොහෝ සෙයින් අඩුවේ. මන්ද එන්ජිමේ පිස්ටන් ක්‍රියා කාරීත්වය මගින් ජලය එන්ජිම තුලට ඇද නොගන්නා බැවිනි. එසේ ගං වතුර ස්ථානයෙන් වාහනය ඉවතට ගත් පසු එයා ක්ලීනරය හෝ ඊට සම්බන්ධ සොඬ නලය එනම් එයා හෝස් එක ඉවතට ගලවා එන්ජිම  අසලට ජලය ඇවිත් දැයි සොයා බැලිය හැක.

එවිට සයිලන්සරය තුලින් එන්ජිමට ජලය ගමන් කරණ්නේ නැත්දැයි මෙය කියවන යම් අයෙකුට ප්‍රශ්ණයක් මතුවීමට ඉඩ ඇත. එන්ජින් නිර්මාණය තුලම සයිලන්සරයෙන් එන්ජිම තුලට ගමන් ගන්නා ජලය නැවත පිස්ටනය ඉහලට ගමන් කිරීමේදී ඉවතට ගලා යාම සිදුවේ. 

බොහෝ හයිබ්‍රිඩ් හා විදුලි වාහන වල බැටරිය සවිකොට ඇත්තේ වාහනයේ පතුලේය. එම නිසා ඉතා ඉක්මණින් බැටරිය තුලට ජලය නො එසේ නම් ජල වෂ්ප හෝ පිණි ඇදී යාමෙන් බැටරිය අකර්මණ්‍ය වීමට ඉඩ ඇත. 

SUV රථයක් උවද මිට්සුබිෂි අවුට්ලෑන්ඩර් හයිබ්‍රිඩ් රථයට ගමන් කල හැකි උපරීම ගැඹුර ලෙස නියම කොට ඇත්තේ අඟල්  9 ක ගැඹුරක් තුල පමණි!

නවීන වාහන වල ඇති ඉලෙක්ට්‍රොණික මෙවලම්, හා කොම්පියුටරය ආදී කොටස් වලටද ජලයෙන් හානි විය හැක. 

නවීන ටොයෝටා හයි ඒස් රථයේ එයා ක්ලීනරය පිහිටා ඇති තැන සියැසින් දැක ගන්න.

අප දැන් කථා කල පරිදි වෑන් සහ කුඩා ලොරි රථ වල එයා ක්ලීනරය (එයා ඉන්ටේක් එක) ඉතා පහලින්, පොලොවට ආසන්නව පිහිටි හෙයින් කුඩා වතුරක හෝ යාම කල්පණාවෙන් කල යුතුය. හදිසි අවස්ථාවකදී වෑන් රථයේ එයා ක්ලීනරයේ සිට එන්ජිමට පැමිණෙන සොඬ නලය හෙවත් ඒයා හෝස් එක එන්ජිම අසලින් ගලවා ගතහොත් එයා ක්ලීනරය ජලයේ ගැටුනද ගිලුනද එන්ජිමට සිදුවන හානියෙන් ගැලවී ගත හැක! (මන්ද මෙම වාහන වල  එන්ජිම පවතින්නේ එයා ක්ලීනරය හෝ එයා ඉන්ටේක් එකට ඉහලින් නිසාය.)

සමහර ෆෝ වීල් ඩ්‍රයිව් රථවල එයා ස්නෝකලයක් සවි කොට ඇත. එම නිසා එවන් වාහන වලට ඉතා ගැඹුරු වතුරක හෝ ගමන් කිරීමට හැකියාව පවතී. 




හැකි හැම විටෙකම වාහනය තුල කුඩා නයිලෝන් කඹයක් හෝ වානේ කේබලයක් ලඟ තබා ගන්න. වාහනය ගංවතුර ඔස්සේ පදවාගෙන යනවාට වඩා වෙනත් රථයකින් ඇදගෙන යාම වඩා යහපත් වන බැවිනි.
ගං වතුරක් මැදින් මෝටර් රියක් (කාරයක්) ගමන් කරද්දී; ඉදිරියෙන් ගමන් ගන්නා වඩාත් විශාල ට්‍රක් රථයක්, බස් රථයක් හෝ වෑන් රථයක් පසු පසින් ගමන් ගන්නේ නම් වාසි රාශියක් මෝටර රථයේ රියැදුරුට නොමිලේම ලබා ගත හැක.
මාර්ගය නිශ්චිතව හඳුනා ගත හැක.
මාර්ගයේ කඩතොළු, වලවල් හානිවූ ස්ථාන මග ඇර ගැනීමට අදහසක් ගොඩ නගා ගත හැක. 
මාර්ගයේ සීමාව එනම් කට වහරේ "තාර ගැට්ට" ලෙස හඳුන්වන දාරය හඳුනා ගැනීමටත් තවත් වාහනයක් පසු පසින් ගමන් කිරීම වැදගත්ය.
සුනාමියට සතියකට පෙර රට පුරා මහ වැසි වසිද්දී මා අම්පාරට යමින් විය. පදියතලාව පසුකොට මහඔයට යනවිට මාර්ගය මුළුමනින්ම වැසී තිබුනි. එවිට මා මාර්ගය හඳුනා ගත්තේ මාර්ගය අයිනේ වූ ලයිට් කනු මගිනි.
ඉදිරියෙන් ගමන් ගන්නා වාහනය මගින් ඇති කරවන රැල්ල කරණකොට ගෙන මෝටර් රථයට මුහුණ දීමට ඇති බාධාව අවම කර ගත හැක.
රෝද හා සම්බන්ධ තිරිංග පද්ධතියේ කොටස් තුලට ජලය ගමක් කිරීමෙන් තිරිංග කාර්‍යක්ෂමතාවය අඩුවීමට බොහෝ සෙයින් ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් පදවන්න.
හැකි හැම විටම එන්ජිම අඩු වේගයකින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්න. එවිට යාන්තමින් හෝ ජලය එන්ජිම තුලට උරා ගැනීම තරමකට හෝ මග ඇරෙනු ඇත. වේගයෙන් එන්ජිම රේස් වීමේදී එය තුලට උරා ගැනෙන වායු පරිමාව මෙන්ම තීව්‍රතාවයද ඉහල නැංවේ. එවිට "කොහෙවත් නැති" ජලය උවද ඇද ගැනීමට එන්ජිම පෙළඹේ!
වාහනය තුල මගීන් සියල්ල සිටීම යහපත් ය. මන්ද වාහනය වඩාත් සැහැල්ලුවූ පසු එය පාවීමට පටන් ගැනීම නිසා වහනයේ පාලනය තමා වෙතින් ඉවත් වීමට පුළුවන.
ගං වතුරෙන් ඉවත් වූ පසු වාහනයේ තිරිංග පද්ධතිය තාවකාලිකව අකර්මණ්‍ය වීමට බොහෝ සෙයින් ඉඩ ඇති හෙයින් ඒ සම්බන්ද කොටස් තරමක් රත්වී වියලී යාමට බ්‍රේක් පාදිකය මත යාන්තමින් පය තබා ධාවනය කිරීම හෝ තරමක දුරක් ප්‍රවේශමෙන් ධාවනය කිරීමටද මතක තබා ගන්න.
ගංවතුර ස්ථානයෙන් ඉවතට පැමිණි වහාම එනිජිමේ ලිහිසි තෙල් සමග ජලය කලවම් වී ඇත්දැයි බැලීමද යහපත්ය. ලිහිසි තෙල් හෙවත් එන්ජින් ඔයිල් කලවම් වී ඇත්නම්; ඔයිල් කූර Deep-stick  එක ඇද බැලූ විට ඒවා කිරිපාට වී ඇති බව තහවුරු කර ගත හැක.
කෙසේ වෙතත් වාහනයේ ගියර් ඔයිල් හා ඩිෆරෙන්ශල් ඔයිල් සමග වතුර මිශ්‍රවී ඇත්දැයි පසුව හෝ සොයා බැලීම යහපත්ය.

හදිසියේ වත් ගංවතුර මැදදී එන්ජිම නැවතුන හොත් එන්ජිම පන ගැන්වීමට උත්සාහ නොකරන්න. ජලය එන්ජිම තුලට ගමන් කොට එන්ජිම නැවතුන හොත් නැවත පන ගැන්වීමට යාමේදී එන්ජිම මුළුමණින්ම විනාශ වීමට ඉඩ ඇත!
යම් හෙයකින් වාහනය ගං වතුර මැද දී එන්ජිම නතර වුවහොත් වාහනය තල්ලු කොටගෙන හෝ වෙනත් වාහනයකින් ඇද ඉවතට ගන්න. ඉන් පසු මා පෙර කී පරිදි එයා ක්ලීනරය ගලවා ජලය ඊට ඇතුළුවී ඇත්දැයි සොයා බලන්න. 
පෙට්‍රෝල් වාහනයක නම් පුළිඟු පේනු හෙවත් ස්පාර්කින් ප්ලග් සියල්ල  ගලවාද ඩීසල් වාහනයක් නම් ඉන්ජෙක්ටර සියල්ල හෝ හීටර් ප්ලග් සියල්ල ගලවා හෝ එන්ජිම ස්ටාටර් මෝටරයෙන් කරකැවීමෙන් එන්ජිම තුල ජල ඇත්දැයි කියා නිශ්චය කර ගැනීමටත්; ජලය එන්ජිම තුලට ඇතුළුවී තිබුනේ නම් එය ඉවත කර ගැනීමටත් මෙමගින් හැකියාව ලැබේ.

හයිබ්‍රිඩ් හෝ විදුලි වාහනයක බැටරිය තුලට ජලය යාන්තමින් හෝ ඇතුළුවී ඇත්දැයි පසුව හෝ නියමිත තාක්ෂණික ඥානය ඇති පිලිගත් ආයතනයකදී පරීක්ෂා කර බලන්න.
මෙය කියවන මහත්වරුන් නෝනා මහත්වරුන් මෙහි යම් අඩුපාඩුවක් වෙත් නම්; මෙය නිවැරදි කරණමෙන්ද; අළුතින් යමක් එක් කිරීමට අවශ්‍ය වේනම් එසේ කරන මෙන්ද ඉතාමත් ඕනෑකමින් යුක්තව මෙයින් ඉල්ලා සිටිමි.

31 comments:

  1. ඇන්ජිමේ අධෝ වාතය පිටකරන සයිලන්සරය වතුරෙන් යට උනාම , එක වරම ඇන්ජිම නැවතුනොත් අපේ භාසාවෙන් කියනවා නම් " හිට්ටොත් " , වතුර ඉස්මොල්ලේ යනවා වගේ කැස්සක් ඇවිත් ඇන්ජින් පොජ්ජට වතුර ඇද ගැනීමේ සම්භාවිතාවක් තියනවාද ?? ....

    ReplyDelete
  2. වාහනයක දුම් බටෙන් වතුර ඇතුලට ආවත් ඒක සිලින්ඩරය තුලට එන්නේ එක්සෝස්ට් වෑල්වය ඇරිලා තිබුනොත් විතරයි. ඒක ඇරෙන කොටම පිස්ටනය ඉහලට ගමන් කිරීම සමග ඒ වතුර එලියට එනවා. වතුර පිස්ටනය තුල සම්පීඩනයකට භාජනය වීමේ අවධානමක් නෑ!

    ReplyDelete
  3. නියමයි, ආචිබෝල්ඩ් මහත්තයා. අපේ සාවියේ සපත්තු පාලම්, ගං වතුර නැති වුනත්, පෝස්ට් දෙකම කියෙව්වා එක හුස්මට. අර සපත්තු පාලමේ ගිය නුගේගොඩ අය ගැන කණගාටුදායක මතකයක් තිබ්බා.

    හැමෝම හිතාගෙන ඉන්නෙ , අපි මාර rational සත්තු කියලා. ඒත් අවාසනාවට ඒක එහෙම නෙමෙයි.නිල්පාට වතුරක් දැක්ක ගමන් මී-හරක් ගිණියම හැදිලා flash-floods වලට අහුවෙන එකත් ඔය වගේම කේස් එකක්.

    ReplyDelete
    Replies
    1. කියන්න ඕනෙ එක හරියට කියවුනාද මන්දා? කාලයට ගැලපෙන, බොහොම වැදගත් පෝස්ට් එකක්. ස්තූතියි

      Delete
    2. බොහොමත්ම ස්තූතියි! මෙන්න මේකෙ තියෙනවා ඔය මීහරක් ගිනියම හැදිලා වතුරට පනින එවුංට පරාණ කූඩුව බේර ගන්න හැටි පොඩ්ඩක් ලියලා.
      http://thattayagekolama.blogspot.com/p/blog-page_18.html

      Delete
  4. මා අප අමාත්‍යංශයයේ ප්‍රවාහන කළමනාකරු. ඉතාම හොද ලිපියක් මහත්මයා ඔබ ලියා ඇත්තේ.

    අප අමාත්‍යංශයේ වාහන 200 ක් පමණ තිබෙනවා. එම වාහන වල රියදුරන්ට මෙම ලිපිය මුද්‍රණය කොට ලබා දුන්නට කමක් නැද්ද.
    ඔබගේ නම සදහන් කරන්නේ කෙසේද.

    ස්තුතියි.
    R මහේෂ්

    ReplyDelete
    Replies
    1. අනේ ඕනෑම තැනක ලියන්න පල කරණ්න ඌනෙ කෙනෙකුට දෙන්න. කිසිම අවුලක් නෑ. නමක් අවශ්‍ය නෑ. වැඩේ හොඳ විදියකට කරගන්න. මේ ලිපි ලියලා අන්තර්ජාලය මත මුදා හැරියට පස්සෙ ඒවාට අයිතිවාසිකම් කියලා වැඩක් නෑ. වටින්නේ වැඩි දෙනෙක් දැනුවත් වීම. ඔබ මට ඊ මේල් ලිපිනයක් එවනවානම් මම මේ ලිපිය ඔබට ෆොටෝ කොපි ගහගන්න පහසු විදියකට එවන්න. ඊට අමතරව තව ලිපි දෙක තුනක් මෝටර් වාහන ගැන ලියා ඇත!

      Delete
  5. කිව්වවත් වගේ මේ විස්තර ටික ප්‍රින්ට් කරලා ලැමිනේට් කරලා වාහනේ තියා ගත්තත් පාඩු නෑ. මොකද ඔය වගේ අවස්ථාවක් ගොඩක් දුරට අවරුද්දකට සැරයක් දෙකක් වත් සෙට් වෙනවනේ. එක අනාගතයටත් එහෙමම වෙයි. මම ඊයේ දැක්ක පොස්ටුවක තිබ්බ පුළුවන් තරම් ටයර් වල හුලන් අඩු කරලා යනවා නම් වතුරේ ගසාගෙන යන එක අඩු කරගන්න පුළුවන් කියලා. මොකද එතකොට ටයර් පොළොවට බදලා අල්ලගන්නවා වගේම පාවෙන එකත් අඩුකරනවනේ. මේ ගැන ඔබතුමා මොනවද කියන්නේ?
    අනිත් කාරණේ එන්ජිමට වාතය ඇද ගන්න හෝස් අපිටම මොඩිෆයි කරගන්න (හැබැයි ප්‍රමිතියට කරන්න ඕනේ වතුර ලීක් නොවෙන්න) පුළුවන් ද ටිකක් උසින් තියෙන විදියට. අඩු ගානේ මේ වගේ වැහි කලෙක වත් හයි කරල දුවන්න පුළුවන් විදියට.

    ReplyDelete
    Replies
    1. ඔව් හුලං අඩු කරලා දුවන එකේ වටිනාකම්ක් නැත්තෙම නෑ. ඒත් එතනදී වාහනේ උස තවත් අඩුවීමෙන් ගංවතුරට ගොදුරු වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් රෝදවල හුලං අඩුකරලා යන්නේ සියුම් වැලි සහිත බිමක විතරයි. නමුත් හුලං අඩු කලාම තියෙන ඊළඟ විශාලතම තර්ජනය තමයි රිම් එකෙන් ටයරය ගැලවී යාමේ අවධානමක් තියෙන එක!
      කැබිලිත්තේ යන සමහර වාහන මේ ගැටළුවට මුහුන දීලා තියෙනවා. මොකද එම ප්‍රදේශයේ තියෙන සියුම් මඩ රිම් එකත් ටයරයේ එජ් එකත් අතරින් රිංගා ගොසින් එතෙක් තිබුනු මුද්‍රාව ඉවත්වී හුලං බැසීම.
      මා ලඟ තියෙන කිසිම පොතක පතක මා දැක නෑ Water Crossing එකක් කරණ කොට හුලං අඩු කරණ්න කියලා ලියලා තියෙනවා!

      මෝටර් රථයක එහෙම ස්නෝකල් එකක් දාගන්න තරමක් අපහසුයි. ෆෝ වීල් රථවල නම් ඔවැනි මොඩිෆිකේශන් එකක් කල හැකි වෙනවා. ඒක තමයි ස්නෝකල් එක!

      Delete
  6. බොහොම හොද,වටිනා ලිපියක් .මෙවැනි ලිපි පල කරන්නේනම් ඉතාම අගනේය.සමාජසත්කාරයකි.බොහොම ස්තුතියි ..

    ReplyDelete
  7. දැන්ටමත් ලිපි කිහිපයක් මේ බ්ලොග් එකේම පල කරලා තියෙනවා. පහත තියෙන ලින්කු වලින් ඒවාට යන්නට හැකියි. බලන්න ඔබට වැදගත්දැයි කියා? මේ වාගේම ගුණ දොස් ලියන්න. එය මට මහත්මවූ වටිනාකමක්! ස්තූතියි පැමිණ කියෙව්වාට!

    http://thattayagekolama.blogspot.com/2019/08/148-2.html

    http://thattayagekolama.blogspot.com/2019/04/138-i.html

    http://thattayagekolama.blogspot.com/2019/02/124-02.html

    http://thattayagekolama.blogspot.com/2017/12/blog-post.html

    http://thattayagekolama.blogspot.com/2017/08/2_30.html

    http://thattayagekolama.blogspot.com/2017/08/blog-post_10.html

    http://thattayagekolama.blogspot.com/p/blog-page_25.html

    තවත් මාගේ පෞද්ගලික වාහන අත් දැකීම් ගැන ලියලා "නොරත රථ" කියලාත් ලිපි සීරීස් එකක් මේ දවස් වල ලියාගෙන යනවා. ඒවායේත් වාහන ගැන තොරතුරු එමට!


    ReplyDelete
  8. Thank for Valuable Informations.

    ReplyDelete
  9. Timely advice,

    'If it's flooded forget it'. Vehicles are expensive toys, but your life is not replaceable, think before you jump. Wijebahu

    ReplyDelete
    Replies
    1. මම වාහනයක් දියට වැටොනොත් කල යුතු ක්‍රියා පටි පටියත් දියෙන් ආරක්ෂා වීමට උපදෙස් අඩංගු පෝස්ටුවකුත් දෙක්ක්ම ලියා තියෙනවා විජේභාහු මහත්තයා!
      කොහොම වෙත්ත ජීවිතය යනු අමිල වස්තුවකි! එකඟය!! ස්තූතියි.

      Delete
  10. නැත සතුව වාහන - එනමුත් ගමන එයිනී
    හිඳගෙන සිටුම මිස - තතු නොමදන්න බැවිනී
    අටුවා නොසපයමි
    ලිපිය කාලෝචිතයි හැඟුනී

    ඇත හදක් උණු වෙන - මිතුරෙකු විපතෙ වැටුණම
    කියන ටික කියැවෙන - ටික දුටුව විගසම
    ඇගයිය යුතුය ඒ ගුණ
    සිතුණි! ලීවෙමි, එගැන මෙතැනම

    ReplyDelete
    Replies
    1. මලක මලෙකි
      මහ පුදුමෙකි
      නෑ ලමයෝ
      සමනලයෙකි

      ගැදි ලිව්වෙකි
      මහ පුදුමෙකි
      දැන් ලමයෝ
      ඔබ කවියෙකි

      Delete
    2. පැසසුමට තුති පුදමි
      මම තවම පුහුණු වෙමි!

      Delete
  11. ඉතාම වටිනා ලිපියකි. කවදත් ඔහු දක්ශයෙකි. ඇසූපිරූ තැන් ඇත්තෙකි. අනුන්ගේ දුකේදී අනාරාධිතව සටනට වන්නෙකි. ජයවේවා...

    ReplyDelete
  12. කවුද අප්පේ මේ? ස්තූතියි ලිපිය හොඳනම්!

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි නුවන් මල්ලී! ලියපුවා හරි නේද?

      Delete
  13. ලොකු සර්, මගෙන් ප්‍රස්තතූතයට අදාළ නැති දෙයක්. අත්‍යාවශ්‍යම නැත්නම්, නැවතත් කියනවා, අත්‍යාවශ්‍යම නැත්නම් ඩීසල් 4WD එකක් උනත් වතුරට බස්සන්නේ නැත්තම් හොඳයි නේද?
    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හැට්ටර් මල්ලී මමත් අවුරුදු 20 කට වැඩි කාලයක් ෆෝ වීල් ඩ්‍රයිව්ම පැද්ද කෙනෙක්.
      ඒ ලනුවලින් ගැට ගහගෙන! අමුනගෙන!! මගෙ "නොරත රථ" ලිපි පෙලින් කියැවෙන්නේ ඒ දුක තමයි. කොටින්ම "බව දුක!" "බව කර්ම!!" මම තමයි.
      ඒත් මම කිසිදාක මඩවලවල් හොයාගෙන ගිහින් දාන වැඩ කලේ නෑ, ඒකට හේතු දෙකක් තිබුනා. මා අසීමිතව මගේ තින් හදන වාහනයට ආදරය කිරීම හා කැඩුනු පසු හදාගන්නට තරම් වත්කමක් නොවීම!
      ඒත් මම කිසිදාක මගේ ගමනක අවසාන ඉලක්කය මග ඇර නෑ පාරේ තියෙන දුෂ්කර බව නිසා. හැකි හොඳම සහ සාර්ථකම දේ මග ඇරීමය. ඒත් ප්‍රශ්ණය තමාගේ ඇඟේම වදින කොට ඒක මග අරින්න තැනක් නැති වෙලාවට මොකද කරණ්නේ කියන එකයි ඇත්තටම මේ පෝස්ටුවෙන් කථා කෙරුණේ!
      කොහොම උනත් ඩීසල් වේවා පෙට්‍රෝල් වේවා වතුරට දානේ නැත්නම් තමයි හොඳ!

      හැබැයි ඒ සඳහාම නිපදවූ රථ නෑ කියලත් කියන්න බෑ!
      ඇයි නැව් බෝට්ටු සබ්මැරීන!?

      Delete
  14. ඇත්තට අටම බලන්ඩ ගිය එක ඔක්කොටම වඩා අගය කරනව. මගෙ කම්මැලිකමට කෝල් එකක්වත් දුන්නෑ...

    ReplyDelete
    Replies
    1. අපි ගියාම මත් ඌ පලවෙනියෙංම ඇහුවේ "ඇයි ආවේ?" කියලා. ය්න ගමන් ඇනෝ මට කිව්වා "ගිය ගමන් ඕකා ඇයි ආවේ කියලා අහයි!" කියලා. ඒ හිංදා උඹ ගියේ නෑ කියලා මහ ලොකු අවුලක් නෑ මයේ හිතේ!

      Delete
  15. Replies
    1. ටැන්කිව්! ටැන්කිව්!!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...