Sunday, September 24, 2023

215. තිස් අවුරුදු රථ මතක . . . . (15)

 50ශ්‍රී 0800 සමග ලැබුනු Owner's Manual  පොත් පිංච!

 50ශ්‍රී0800 මිළදී ගැනීමේ කුවිතාන්සිය!

 50ශ්‍රී0800 විකුණුම් කුවිතාන්සිය!

මාගේ 50ශ්‍රී 0800 Toyota LN65 ඩබල් කැබ් රථය මිළදී ගත්තේ  පානදුර පිං වත්තේ පර්ෆෙක්ට් ෆිට් ආයතනයේ මානව සම්පත් අංශයේ සාමාන්‍යධිකාරි ලෙස සේවය කල සුමුදු සිල්වා විසිනි. එවකට මමද එහි සේවය කල අයෙක් වූයෙමි.
ඒ සඳහා ඔහු පානදුර හැටන් නැෂනල් බැංකුවෙන් පුද්ගලික ණයක් ලබා ගත් අතර ඒ සඳහා එක් ඇප කරුවෙක් වූයේ මම මය!
තවත් කාලයක් ගෙවී යද්දී පර්ෆෙක්ට් ෆිට් ආයතනය වැසී ගිය අතර එහි සේවක සේවිකාවන් සී සී කඩ විසිරී ගිය අතර සුමුදු සිල්වාද පිදුරු ගොඩේ වැටුනු ඉඳිකටුවක් විය.
එය මට පමණක් නොව හැටන් නැෂනල් බැංකුවටද දැනී ඇති බව මාහට තේරුම් ගියේ; බැංකුවෙන් මා වෙත ලිපි ලැබීමත් සමගය.
ඔව් බැංකුවේ ශබ්ද කෝෂයට අනුව ණය මුදල් ගෙවීම පැහැර හැර ඇත; හෙවත් අපේ භාෂාවෙන් පවසනවා නම් බැංකුවට "පොල්ල තියා" තිබුනි!

ඔහු පිළිබඳව සොයන්නට යෑමේදී ඔහුගේ තොරතුරු නිට්ටාවටම දන්නා කෙනෙක් නොමැති බව තේරුම් යන විට සියල්ල සිදුවී හමාරය. 
බැංකුවෙන් මා හට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කිරීම අරඹන බවට ඒවන විට දන්වා තිබුනු අතර ඔහු ලංකාවෙන් එංගලන්තය බලා පියාසර කොට තිබුනි. 
වැඩේ ඒ වන විට හොඳින්ම පැටලී ගොසින්ය.
කාලය ගෙවී යත්ම අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට ඉතා ආසන්න විය. ඔහු නීතීඥ්ඥවරයෙකු බවද පැවසුවා මතකය. මා සෑම මොහොතකම ඔහු වෙත ඇර ගත් ඇස් වලින් යුතුව සිටියෙමි. මෙසේ දින සති මාස ගෙවී ගියේය. එක්  දිනෙක සුමුදු සිල්වා ITN ප්‍රවෘථි වැඩසටහනක පෙනෙන්නට සිටි බව මිතුරෙකු මා හට දැන්වූයේ අහම්බෙනි.

ඒවන විට මා සේවය කලේ යුනයිටඩ් මෝටර්ස් සමාගමේ වන අතර මාගේ සේවාදායකයින් අතර එවකට ප්‍රවෘථි හා  ජන මාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධනද විය. එවකට ඔහුගේ රියැදුරු වූයේ හේමන්තය.
මම වහාම හේමන්ත අමතා මේ පිළිබඳව විමසීය.
ඔහුගේ මාර්ගයෙන් මා සුමුදු සිල්වා පිළිබඳව විස්තර ලබා ගතිමි.
එංගලන්තයේ සිට නැවත ඔහු ලංකාවට පැමිණ තිබුනි. ඒ වනවිට ඔහු සේවය කලේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේය! තක්කඩින්ට තක්කඩි සෙට් වෙන හැටි!
මා ලද තොරතුරු සියල්ල ලිපියක් මාර්ගයෙන් බැංකුවට දැනුම් දුන්නෙමි.
සුමුදු සිල්වාගේ සේවා ස්ථානයේ සිට සියළු විස්තර එහි අන්තර් ගතවූ අතර;   මෙම සියළු තොරතුරු ලබාදුන් පසුව බැංකුව ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ගය මවිසින්; යම් දිනෙක අධිකරණයේදී ප්‍රශ්ණකෙරෙණ බවත් එහි දැක්වූයෙමි.
ලිපිය බැංකුවට භාරදී එහි පිටපතක ඔවුන්ගේ දින මුද්‍රාව ලභාගෙන මා නිහඬව බලා සිටියෙමි.


ඒ අතරම දිනක් මාගේ කැබ් රථය ඔහු විසින් පදවා ගෙන යනු දෙහිවලදී  දුටුවෙමි.
ඔහු මා ඉදිරියට පදවා පැමිණ කුඩා පාරකට හැරුනේය.
මා ඒවන විට පදවමින් සිටියේ නිසාන් පැට්‍රෝලයක්ය.
මම වහාම පාරේ මංතීරු වෙන් කරණ මැද පදික වේදිකාව මතින් රථය අනෙක් පසට ගෙන කැබ් රථය ලුහු බැඳ ගොස් පාර හරස් කොට ඔවුන් අල්ලා ගත්තෙමි.
මා ඔහු සිටි රියැදුරු අසුන වෙත පියවර දෙකෙන් ලං වී දොර ඇර පහර කිහිපයක් එල්ල කලෙමි.
රථයේ සිටියේ ඔහු තවත් මගියෙකුත් පමණි. ඔහු සමග සිටි අනෙක් මගියා තමාගේ  මාමණ්ඩිය බවද ඔහු වෙතින් පැවසුනා මතකය!
ග්‍රාම්‍ය අර්ධ නාගරික හා නාගරික නොසරුප් බස් වලින් ඔවුන් අමතමින්ම ඔහුට එල්ල කිරීමට මා හට හැකි වූයේ පහර කිහිපයක් පමණි.
එය ඒ තරම් දරුණු පහර දැයි මාහට සැක සහිතය.
ඒ සමගම රථය වේගයෙන් පසුපසට ධාවනය කොට මා මග හැර ගියේය.
තවත් සති කිහිපයක් ගෙවී යද්දී ඔහු මුළුමණින්ම ණය ගෙවා දමා ඇති බව බැංකුවෙන්ම දැන ගන්නට ලැබුනි!

32 ශ්‍රී 0865 තියෙද්දීම ගෙදරට කැන්දාගෙන ආ 27ශ්‍රී 8338 නිසාන් පැට්‍රෝල් රථය 
පානදුර පිංවත්තේ පදිංචි මධුරංග සිල්වා තරුණයා සමග අතිනත ගන්නා දා
 මා විසින් පිළියෙල කල "නැකැත් පත"! 
මුළු මුදල ලක්ෂ 3 කට මිළ නියම කොට රුපියල් ලක්ෂ එක හමාරක් අතට ගෙන ඉතිරිය 15,000 ගනනේ මාස දහයකින් පියවා ගැනීමේ පොරොන්දු පත්‍රය!
ඔව් අපි එහෙම වාහන විකුණූ මිනිස්සු!
27ශ්‍රී 8338 නිසාන් පැට්‍රෝල් රථය  පිළිබඳවත් කියන්නට තවත් කථාවක් මග ඇරිනි. 
ඒ; දිනක් මා බිරිඳ සමග සේවය සඳහා යන විට කිරිබත්ගොඩ නගරය අවසන් වී එන්ජිම සැර දමද්දීම එන්ජිමෙන් යමක් බිඳෙන හඬක් ආවේය.
වාහනයේ එන්ජිම එතැනම නැවතුනු අතර නැවත උත්සාහ කිරීමේදී එන්ජිම පන ගැන්විනි. එහෙත් එයින් එන්ජිම මිස් කරණ්නට විය. වාහනය එතැනම නවතා වාහනයේ ස්විච් යතුර කාපට් එක යටින් දමා මාගේ මිතුරෙකුවූ මාවරමණ්ඩියේ ආනන්ද අයියාට ඇමතුමක් ගත්තෙමි.
දවල් වන විට ආනන්ද අයියා පැමිණ වාහනය කුදලාගෙන ගොස් තිබුනු අතර පසුදා උදෑසන වන විට "සුභාරංචිය" ලදිමි.
වාහනයෙ ක්‍රෑන්ක් ශාෆ්ටය කැඩී ගොස්ය.
ක්‍රැන්ක් ශාෆ්ටය යනු ඉහල පහල යන රෙසිප්‍රොකේටින් පිස්ටනයෙන් ලැබෙන බලය ඝූර්ණයකට නො එසේනම් වක්‍රාකාර චලනයක් බවට පත් කරණ්නේ ක්‍රැන්කය මගිනි.


මෙයට සිංහලෙන් දී ඇති නම වන්නේ දඟර කඳ යන්නයි. මෙයට පිස්ටන්; පිස්ටන් අත් මගින් සවිකොට ඇති අතර; මෙය එන්ජිමට ප්‍රධාන බෙයාරිං මගින් සවිකොට ඇත.
නිසාන් පැට්‍රෝල් 160 රථයට සවිකොට එන්නේ SD33 එන්ජිමය.
SD33
SD33 යනු 3300CC සිලින්ඩර හයේ එන්ජිමකි. එක් පෙලට සිලින්ඩර හයක එන්ජිමක් යනු කැපීපෙනෙන දිගකින් යුතු එන්ජිමක් වේ. ඒ නිසාම දඟර කඳද ඒ තරම්ම දිගකින් යුතු වන්නේය.


සාමාන්‍යයෙන් සිලින්ඩර ගනන 6 ඉක්මවා යන විට එය ඉන් ලයින් එන්ජිමක් නොව V හැඩයේ එනම් V Type එන්ජිමක් වන්නේය.
V8 එන්ජින් බිහිවන්නේ ඉන් පසුවය.
V6
මීට ප්‍රධාන හේතුව වන්නේ දඟර කඳ හෙවත් ක්‍රෑන්ක් ශාෆ්ටය දිග වැඩිවත්ම එය මත ඇතිවන අධික ඇඹරුම හේතුකොට ගෙන කැඩී යාමයි..
මේ නිසාම මෙම එන්ජින් වල ක්‍රෑන්ක් ශාෆ්ටය ස්ථාන 7 ක යොදා ඇති මේන් බෙයාරිං Main Bearing මගින් එන්ජින් බ්ලොක් එකට හෙවත් එන්ජින් බඳට සවිකොට ඇත.
එනම් දඟර කඳ ආරම්භයේ හා අවසානයේ මෙන්ම සෑම පිස්ටන් දෙකකට වරක් (පිස්ටන් ක්‍රෑන්කයට සවිකොට ඇති පිස්ටන් අතේ මහ කොන් බෙයාරිං Big end Bearing දෙකක් අතරට) එන ලෙසය!
සිලින්ඩර හතරක වාහනයක බොහෝ විට දක්නට ලැබෙන්නේ ප්‍රධාන බෙයාරිං තුනකි. එහෙත් සිලින්ඩර හතරේ බර වැඩ කෙරෙණ එන්ජිමක තිබිය හැක!
ඒ ආරම්භයේ අවසානයේ හා පිස්ටන් දෙකක් සවිවන මහ කොන් බෙයාරිං දෙකක් අතර එන ලෙස හෝ සෑම මහ කොන් බෙයාරිමක් අතරටම මේන් බෙයාරිමක් එන සේ පහක් හෝ එන ලෙසය.
සිලින්ඩර හතරකින් සමන් විත වාහනයක එන්ජිම හා එයට අදාල ක්‍රෑන්කය දිගින් අඩුවීම නිසා පිස්ටන් මගින් ලැබෙන බලයේදී ඇතිවන ඇඹරුම එයට පහසුවෙන් දරා ගත හැකිවන නිසා මෙසී සැලසුම් කොට ඇත.
එහෙත් SD33 එන්ජිමට නිෂ්පාදකයා සැලසුම් කොට සකසා ඇත්තේ පිස්ටන් (මහ කොන් බෙයාරිං) දෙකක් අතරට එක් ප්‍රධාන එනම් මේන් බෙයාරිමක් එන ලෙසය!
එය සමන් විත වන්නේ මේන් බෙයාරිං 4 ක් පමණි.
මේ නිසාම SD33 එන්ජිම ක්‍රෑන්ක් කැඩීම පිළිබඳව නම් දරාපු එන්ජිමකි.
SD33 Crank Shaft
ඉන් පසුව නිසාන් ආයතනය මගින් නිපදවූ අනුපමේය TD42 4200 සිලින්ඩර හයේ දැවැන්ත එන්ජිමට මේන් බෙයාරිං 7ක් සමන් විත බැවින් මෙවන් අභාග්‍ය සම්පන්න තැනකට නොවැටී අදටත් 4WD පදවන්නන් අතර විරාජ මානව යෙහෙන් වැජඹී සිටී!
TD42 Crank Shaft

TD42

SD 33 එන්ජිමට ක්‍රෑන්ක් ෂාෆ්ට් සෙවීමත් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. එය නිකිණි සෙවීමක්ම විය; මන්ද එය සුලභ දෝෂයක්ම වූ හෙයිනි. 
පසුව මොරටුවේ දර මඩුවක පැත්තට වන්නට තිබුනු කුඩා ගරාජයක තිබී එන්ජිමක් හමුවූ අතර එය; ආනන්ද අයියාගේ ගරාජයේදී තබා 27ශ්‍රී8338 වාහනය ගොඩ දා ගත්තෙමි.
පසු කලෙක පානදුරේ පිංවත්තේ මධුරංග සිල්වාට විකුණා දැමූවේ එම රථය ය!
පරණ එන්ජිමේ එන්ජින් බඳ හෙවත් එන්ජින් බ්ලොක් එක අදටත් මාවරමණ්ඩියේ ආනන්ද අයියාගේ ගරාජයේ දැකිය හැක. ගරාජයේ කිණිහිරය සවිකොට ඇත්තේ එය මතය. එන්ජිම තියන්නට අය කල මුදලින් කුඩා පංගුවක් එන්ජින් බ්ලොක් එකට හිලව් කලේ එහි යකඩ බර සලකාය!

ජීවිතය පරණ වාහන අතුරින් ගලා ගියේ එලෙසිනි!

මේ කාලය වන විට මාගේ බිරිඳ ඇයගේ ප්‍රථම වාහනය වන නිසාන් මාර්ච් K11  ලියා පදිංචි නොකල රථය ගෙදරට ගෙනැවිත් තිබුනි.
32ශ්‍රී0865 තවමත් මා සෙවනේය. 50ශ්‍රී0800 කැබ් රථය නඩුවකට හිලව් කරගත් මා ඉන් පසුව කැන්දාගෙන ආ 27ශ්‍රී8338 ද මධුරංගට දන්දී අවසන් ය.
නුවර පාරේ කළගෙඩිහේනේදී ඉන්ටර්නැෂනල් හාවෙස්ටරය International Harvester මුලිච්චි වෙන්නේ මේ අල්ල පනල්ලේය.

පසුගිය පෝස්ටුවේ කී පරිදි මේ වර්ගයේ රියක් මා මුල්වරට දුටුවේ 1970 දශකයේ මුල් කාරතුවේදීය. මාගේ මතකය නිවැරදියි නම් ඒ 1972 - 1973 කාලයය.
එකල මහා මාර්ගයේ ජපන් වාහන තිබුනේ බේතකට වාගේය. සතොස, සමූපාකාර හා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ජපානයෙන් ආනයනය කරණ ලද ඉසූසූ රථ තිබුනි. මීට අමතරව ටොයෝටා 6000 මොඩලයේ ලොරියක් කලාතුරකින් දක්නට ලැබුනි. මිට්සුබිෂි ජීප් රථ තිබුනායැයි මතකය. අන් සියල්ල ජරමන් බෙන්ස්, ෂැවරලේ, ෆෝඩ්, තෙම්ස් ට්‍රේඩර්, කොමර්, ෆර්ගෝ, බ්‍රිටිෂ් ලේලන්ඩ්, ෆියට් වැනි බරවාහන විය. 
මේ අතර ඛණිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ටර්නැෂනල් හාවෙස්ටර් ලොරි සහ ප්‍රයිම් මූවර් රථ මාර්ගයේ දක්නට ලැබුනි.
1977 ජේ ආර් ගේ ආණ්ඩුව දිනූ පසු යූ.ඇන්.පී මැරයන් ප්‍රථිවාදීන්ගේ ගේදොර ඉඩකඩම් මංකොල්ල කෑමට සහ ගිණිබත් කිරීමට යටියන්තොට ප්‍රදේශය පුරා සැරි සැරූ රජයේ වැඩ දෙපාර්තමේන්තුවට අයත් පෙට්‍රෝල් ටිපර් රථයද ඉන්ටර්නැෂනල් හාවෙස්ටර් රථයකි.

මා සිත ඇද බැඳ ගත් ඉන්ටර්නැෂනලය කුමන ආකාරයේ රථයක් දැයි දැනකියා ගන්නට; අන්තර්ජාලයෙන් බාගත් පිංතූර කිහිපයක් එක් කරන්නෙමි!



මෙම මොඩලයේ වාහනයක් මා සතු කර ගැනීමට උනන්දුවූ සහ අවස්ථාවක් අත පොවන මාණයට පැමින ගිලිහී ගිය අවස්ථාවක්ද මාගේ මතකයේ ඇත. ඒ 1993 වසරේදී කොට්ටාවේ දේශීය වෙදැදුරු තුමෙකු සතුව තිබුනු රථයකි. 
එවකට එහි විකුණුම් වටිනාකම වූයේ රුපියල් 50,000ක මුදලකි. එහෙත් එය ගිලිහී ගියේ ඉතා අවාසනාවන්ත ලෙසය.
අදටත් ඒ පිළිබඳව මා දුක් වන අතර එය මා දුටු අංග සම්පූර්ණම ඉන්ටර්නැෂනලය කීවොත් වරදක් නැත.
එවකට එම රථය මිළදී ගැනීමට මාහට ණය මුදලක් දීමට මාගේ බිරිඳගේ මව හෙවත් වෙන්ඩ නැන්දම්මා සැරසී සිටියාය!
එහෙත් ඇය ඊට එක කොන්දේසියක් දමා තිබුනාය. ඒ; මා මිළදී ගන්නට යන වාහනය; ඊට පෙර  ඇයගේ පුතුන් දෙදෙනාගෙන් එක් අයෙකු වෙත පෙන්විය යුතු බවයි.
දිනක් වාසනාවට පෙරකී ඉන්ටර්නැශනලය තිබුනු ස්ථානයට මීටර 200ක දුරින් මාගේ වෙන්ඩ මස්සිනාලා දෙදෙනාගෙන් පොඩි නම හමුවිය.
මාගේ සිහින වාහනය බැලීමට යාමට මා ඔහුට කෙතරම් ඇවටිළි කලද ඔහු ඊට අවනත නොවීය!
ඊළඟ සතිය තුල මාසය තුල වාහනය වෙනතක විකිණී තිබුනි.
මහරගම තිබුනු ලෑන්ඩ් රෝවරයක් බලන්නට යන්නට ලොකු මස්සිනාව එකඟ කර ගැනීමටද මෙලෙසින්ම මා හට නොහැකි විය!
නෑයා; මීයාට හා වේයාට ගලපා ඇත්තේ ඇයි දැයි මා හට ප්‍රත්‍යක්ෂ වන්නේ මෙවැනි සිද්ධීන් පිළිබඳව මෙනෙහි කරණ අද දවසේය!
මෙසේ ආත්මගතව මා පසු පස හෝ මා ලුහුබඳිනා වස්තුවක්වූ මෙම රථයේ නිවැරදි හැඳින්වීම International Harvester 1210 Six Side Step Cab  යන්නය. ඇයි මේ වාහනයට සයිඩ් ස්ටෙප් කැබ් කියන්නේ?

මෙම වාහන තුලට නැග ගැනීමට පසු පස බක්කියේ දෙපසම පය තබන්නට ඉහත රූපයේ දක්නට ලැබෙනා පරිදි සකසා ඇත.
වාහනය දුටු දවසේ සිට මාගේ "මොළය දන්න" පටන් ගෙන තිබුනි. "අබ කෑ මිනිහා ගේ" මෙන් මේ මොළේ දැවිල්ලට හේතුව කුමක්දැයි කියා; මේ වන විට මෙය කියවන ඔබද දනී.
වාහනය අයත්ව තිබුනේ කළගෙඩිහේනේ යන්ත්‍රහලක් පවත්වාගෙන ගිය ලලිත්  රෝහණ පෙරේරා නමැත්තෙකු හටය. ඔහුගෙන් වාහනය ගැන ඇසීමට ගිය විගස ඔහු පැවසුවේ වාහනයේ පොත අස්ථාන ගතවී ඇති බවකි. පසුව ඔහු සමග කථා බස් කොට රුපියල් ලක්ෂදෙක හමාරකට කැමති කරගෙන තිබුනි.
ඒ සමගම  ක්‍රියාත්මකවූ මම 32 ශ්‍රී 0865 විකිණීමට දැන්වීමක් සිළුමිණේ  ගාල් කලෙමි. දැන්වීම සට ගා වැඩ කලේය. සතියක් ගෙවී යාමට මත්තෙන් හෝමාගමින් පැමිණි තරුණයන් දෙදෙනෙක් ලක්ෂ හතර හමාරකට නිසාන් පැට්‍රෝලය රැගෙන පියාඹා ගියෝය. වාහනය ගෙදරින් ගෙන යන අවස්ථාවේ මාගේ දියණිය කල්මලී මුහුණ දික් කරගෙන හෝ කඳුළු සලමින් සිටිනු මාහට මතකය!
ඉන්ටර් නැෂනල් සිහිනයට නිසාන් පැට්‍රෝලය දිවි පිදුවාය!



මේ තියෙන්නෙත් 32ශ්‍රී0865 මයි. මෙම වාහනයේ බලපත්‍ර ඉකුත්වූ දිනෙක වෙනත් නොම්මර තහඩුවකින් නව අයිතිකරු දොරට වැඩමවූ අයුරු. පසු කලෙක අහම්බයකින් ඔහුව මට මුණ ගැසුනු විටෙක මෙම ඡායාරූපය මා වෙත ලබා දුන්නේය. 
ඊටත් පසු කලෙක එම වාහනයේ උප්පැන්න සහතිකයට උපත ලත් ‍Y60  Short Wheelbase කහ පැහැති රිය පහත ඡායාරූප වල දැක්වේ.
තවත් වසර 10 කට පමණ පසු මාගේත්; මාගේ හිත මිත්‍ර ෂානක රාජකරුණාගේ පවුලත් කල්පිටියේ සංචාරයක යෙදුනෙමු. 
ඒ යුනයිටඩ් මෝටර්ස් ආයතනයට අයත් 32 ශ්‍රී0555 පජේරෝ රථයෙනි.
එය මෙරටට ගෙන ආ ප්‍රථම පජේරෝව බව තතු දන්නෝ පවසති.
කල්පිටියේ සිට පෙරලා අප පැමිණෙනාතරතුර අප මීගමුවට ඉහලින් කුඩා ආපන ශාලාවක නැවතුනි.
අප නැවතූවේ නවීන නිසාන් පැට්‍රෝල් ‍Y60 දිග Long Wheelbase රථයක් අසලය.
නිසාන් පැට්‍රෝල් ‍Y60 දිග Long Wheelbase රථයක්
එය ප්‍රදර්ශනාගාර මට්ටමේ පැවතුනි.
සිත්ගන්නාසුළු වාහනයක් දුටු සැනින් අපගේ නෙත දිව යන්නේ එහි නොම්මර තහඩුව වෙතය.
ඒ 32-0865 විය!

ඉන්ටර්නැෂනලය මිලදී ගන්නට යෑමේදී කොස්සක් හරස් විය! බිම ඇමදීමට නොහැකි එය නම්; මා පෙරකී ලෙසට මෙම වාහනයේ පොත (මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකය) හෙවත් CR  (Certificate of Registration) අස්ථාන ගතවී ඇති බවකි. 
නිට්ටඹුව පොලීසියට ගොස් ලලිත් පැමිණිල්ලක් ගොනු කොට ඒ අනුසාරයෙන් ඉන්ටර්නැෂනලයට උප්පැන්නයක් සාදා ගන්නට පලමු පියවර තබා වාහනය ගෙදර ගෙනාවෙමි.


41ශ්‍රී0817 රථය මිළදී ගැනීමීදී හුවමාරුවූ ලේඛණ
පාරේ පසෙක නවතා තිබුනු රථය ගෙනාවේ ලලිත්ටම අයත්ව තිබුනු 4WD, 4WS (4Wheel Steering Vehicle) කුඩා ට්‍රක් රථයකින් ඇද ගෙනය. 
වාහනයේ එන්ජිම අලුත්වැඩියා කරන්නට තිබුනි.
වාහනයේ බොහෝ කොටස් දිරාපත් වෙලාය.
එහෙත් මා එම වාහනයට පෙම් බැන්දෙමි.
ලලිත් විසින් වාහනයේ පසුපසට සවිකොට තිබුනේ විශාල රෝද දෙකකි.
එය ගුවන් යානා රෝද විය!
ඒවා තවමත් මාගේ Teepee the Campsiteහි පසෙක තබා ඇති කන්ටේනරයට හේත්තු කොට ඇත.
වාහනය සමග ඊටත් කලෙකට පෙර ඔහු විසින් ගත් ඡායා රූපයක් මා ලදිමි. පහත දැක් වෙන්නේ එයයි. මා මිලදී ගන්නා කාලයේ එහි වර්ණය රතට හුරු පැහැයක් විය!

අදටත් ටිපීයේ මෙහෙයුම් අංශය පිහිටා ඇති කන්ටේනරය අසල ඇත්තේ එම ගුවන් යානා රෝද දෙකය!

පානදුර පිංවත්තේ Perfect Fit ආයතනය වැසී ගිය පසු මා කුඩා වැඩ හලක් ඇරඹූවෙමි. එය නමින් "කවුන්ටි මෝටර්ස්" විය. පහත දැක්වෙන්නේ ඒ වෙනුවෙන් නිමැවුනු ව්‍යාපාර නම් පතයි. 
ඉන්ටර්නැෂනලය කැන්දාගෙන ආවේ මෙම වැඩහල හෙවත් ගරාජයටය!


ඊළඟ දිනයේ පටන් වාහනයේ ටින්කරින් කිරීම ඇරඹුනි. එහි ඉදිරි පස ෆෙන්ඩර දෙකක් මා අලුතින් ගෙන ආවේ උඩුගම්පොලිනි.
එන්ජිම ගලවා ඉවත් කොට එහි අලුත් වැඩියාව පටන් ගත්තේද ඒ සමගිනි.
කාලය ගෙවී ගිය හැටි කියවීමට වඩා දැකීම වඩාත් පුළුල් අදහසක් ඔබට ගෙනෙනු ඇත.
මේ පහලින් ඇත්තේ එය නිමැවෙමින් පවතිද්දී ගත් ඡායා රූපය පෙලකි.








මගේම ගරාජය තුල මගේ සිහිනය මල්පල ගනිමින් ය! 
දිනක් මා හමුවට පැමිණි පොලිස් නිළධරයෙක් තිහාරියේ උසාවියේ පෙනී සිටින්නට නොතීසියක් මා වෙත ලබා දුනි. ඒ මාලන් සැල්ඩින්  නමැත්තෙකු විසින් ඔහුට අයත් වාහනයක් මා රැගෙන පැමිණි බවකටය. 
මා වහාම ලලිත් ඇම්තූවෙමි.
මෙම වාහනය මිලදී ගැනීමට රුපියල් 10,000ක අත්තිකාරමක්; පෙර කී මාලන් නමැත්තාගෙන් ලබා ගත් ලලිත්; ඒ වෙනුවට ඔහුට වාහනයේ පොත හෙවත් CR පත ලබා දී ඇත! වාහනයට අයත් පොත හෙවත් CR එක නැතිවී ඇත්තේ මේ නිසාය. 
මාස ගනනාවක් බලා සිටි ලලිත් එය මාහට විකුණුවේ දෙවන පොතක් මාහට ලබා ගැනීමට හැකි නීතිමය පසුබිම සකසා තබාය. 
පසුව මාලන් එහි පැමිණ වාහනය ගැන විමසූ විට ලලිත් වර්ථමාන තත්වය පැහැදිලි කොට ඇත.
වහාම මේ පිළිබඳව පොලීසිය හරහා මට එදිරිව මාලන් තිහාරිය උසාවියේ නඩුවක් ගොනු කොට තිබුනි.
පලමු නඩු දිනයේදී වාහනය ගෙනැවිත් උසාවියට භාර දෙන මෙන් නියෝග කල අතර මා ඉහත ඡායාරූප උසාවියට ඉදිරිපත් කොට එය ගෙන ඒමට අපහසු බව සැල කලෙමි.
ඉන් පසු නඩු දිනයක් පැවති මුත් ඒ වන විට වාහනයේ  නෛතික අයිතිය ලැබී තිබුනු අතර නඩුව එතැනින්ම අවසන් විය!
තවත් දින කිහිපයක් මාලන් මා ඇමතූ වද සියල්ල නිමා වූයේ වාහනය මා අත ඉතිරි කරමිනි.

මේ වාහනය වෙනුවෙන් හෙලූ දහදිය නිමක් නැත!  වියදම් කල මුදල් පිළිබඳවද මිනුමක් නොවේ.
එහෙත් වසරකට පමණ පසු; එකල මෙරට තිබුනු අංග සම්පූර්ණම ඉන්ටර්නැෂනලය මා සතු විය.
මේ එහි රූපමය සාක්ෂි.
VV සමග IH

නිමැවූ මගේ සිහිනය!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...