Saturday, October 16, 2021

220. ප්‍රියයන් ගෙන් වෙන් වීම දුකකි . . !



මගේ ලෝකයෙන් ;

ඔයා යන්නම ගිහින්!

අපිට  ඕනම වෙලාවෙ; ආයෙත් නො එන්නම!

වචන ලක්ෂ ගනනක් ලියා ඇති මට වචන එන්නේ නැති තරම් - ඔයාට සමු දෙන්නට . . .

අන්තිම වශයෙන් කියන්නට ඇත්තේ  . . . . . . . . . . . . . . . . . . . . ;      

"මල්ලි ඔයා එළ කොල්ලෙක් - ජීවිතය විඳපු!"

මොනවා කිව්වත්; ඔයා ඉතිං නෑ නේ!?




Thursday, October 14, 2021

219. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි . . . !



මේ දිනවල අපේ බ්ලොග් ලියනා නෝනා මහත්තුරු ගුවන්විදුලිය ගැන ලියති. මා තුල තිබෙන මතක මාත්‍ර එක් එක් බ්ලොග් පෝස්ටු යටින් කමෙන්ටු සේ එල්ලා ඇති අතර අද අළුතින් එවන් පෝස්ටුවක් ලියන්නට ගියේ අනුරුද්ධ වැළිගමගේ සොහොයුරාගේ "රූපවාහිණී ළමා ගී" පෝස්ටුව යටින්ය! මෙතැනින් එතෙනට ගොඩවන්න. එහෙත් කමෙන්ටුව ලියන්නට මතකය පෙල ගස්වද්දී එය කමෙන්ටුවක් ලෙසට යෙදී මට තරමක ලෝභ කමක් උපදිනි. අපි පෘථග්ජනයෝ නොවැ? ඒ නිසාම ඒක පොඩ්ඩක් දිගේලි කරලා ලියන්න හිතුනා.

මේ මාගේ රේඩියෝ මතක!

අපි අතින් ගෙවලා ලයිසමක් අරං රේඩියෝ අහපු පරපුරක අය! දැන් වාගේ වෛවාරණ රෙඩියෝ චැනල් ඒකාලේ තිබ්බෙත් නෑ! තිබ්බත් ඒ වායෙන් අහන එවුංට පගාව දුන්නෙත් නෑ "අපේ රෙඩියෝ එක ඇහුවොත් සල්ලි තමා!" කියලා.

අපේ ගෙදර තිබ්බේ ෆිලිප් රේඩියෝ එකක්. රේඩියෝ එක මෙච්චර විතර ඇති! රෙඩියෝ එක තියලා තිබ්බේ ගෙදර තිබ්බ තාත්තාගේ ෆයිල් කැබිනට් එක උඩ. රේඩියෝ එක තිබ්බාම කබර්ඩ් එකෙන් ඉතිරි උනේ අඟල් හතරක විතර තීරුවක් විතරයි. ඒ තීරුවේ තිබ්බේ මොකක්ද දන්නවාද? නිල් පාට "බෙරෙක්" ඩ්‍රයි බැටරිය!බෙරෙක් ඩ්‍රයි බැටරිය ආවරණය කරලා තිබ්බේ කාඩ්බෝර්ඩ් කවරයකින්. ඒකෙ තරම ඇති A4 එකක් තරම්. එහෙ මෙහෙ උනානම් ඒ අඟල් භාගයකින් විතර! මේ කවරෙ එක තැනක රවුමක් ලකුණු කරලා තිබ්බා අඟල් දෙකක විතර විෂ්කම්භය ඇතිව. අළුතින් බැටරියක් ගෙනාවාම මේ රවුම වටේට ඉරාගෙන ගියාම මතුවෙනවා; රෙඩියෝ එකේ ඉඳන් එන; මගේ මතකයේ හැටියට පින් හතරක ප්ලග් එක අමුනන හිල් හතර හෙවත් ප්ලග් බේස් එක! මේ බැටරිය කිලෝ තුනක විතර බරක් තිබ්බා! දැන් හිතා ගන්නකෝ මෙච්චර විතර රේඩියෝ එකේ ඇත්තම සයිස් එක!? රෙඩියෝ එකේ පිටිපස්ස වහලා තිබ්බේ කලු පාට; තද හාඩ් බෝඩ් එකකින්. රෙඩියෝ එක තද දුඹුරු පාටයි. පසුපස කාඩ් බෝඩ් එක ගැලෙව්වාම ඒක උඩයි යටයි තට්ටු දෙකකට බෙදලා තිබ්බා! උඩ තට්ටුවේ තිබ්බේ තඩි පීකරයක් හෙවත් ස්පීකර් එක. යට තටුව ගැලෙව්වාම ඒක විසිතුරු ලෝකයක්! ඒකේ තිබ්බේ තැනින් තැන දිළුණු වීදුරු බල්බ! ඒවාට කිව්වේ වැල්ව් කියලා. රෙඩියෝ එක හදිසියේ අසනීප උනාම පිටු පස කවරය ගලවා බැලුවාම එක වැඇල්වයක් නිල් පාට වී ඇති බව පෙනුනොත් එය ගලවාගෙන ගොස් රේඩියෝ හදන එකෙක් ගෙන් ඒ වෑල්වයක් ගෙන සවිකල විට රෙඩියෝව නැවත පන ගසා නැගිට එයි! ඉදිරි පසින් රේඩියෝවේ දෙපසින් කරකැවීමට එක උඩ එක රවුං දෙක බැගින් දෙකක්ද ඉදිරි පසින් දත් සැට් එක වැනි සුදු පැහැති බොත්තං හයක්ද දකුණු පස උඩ කෙළවරේ කුඩා ලයිට් එකක්ද තිබුනි!

අපේ ලක්ෂ්මන් බාප්පාගේ ගෙදර තිබුනේ PYE වර්ගයේ රේඩියෝ එකකි. එයාලගේ රේඩියෝ ලයිසමේ "වරිගය" ලියන පේලියේ අමු හිංගලෙන් "පයි" කියා කළු පෑනකින් ලියා තිබුනු අතර රේඩියෝ ලයිසම ගන්න මේ වචනෙත් එක්ක යන්න ලැජ්ජා හිතුණු අපේ ඉංදු ඇංටි එයට ඉස්සරහින් නිල් පෑනකින් කොම්බුවක් දමා "පෙයි" කරගෙන තිබුනු හැටි මට අද වාගේ මතකය! මටත්  තක හිටින්නේම ඔවැනි මල හත්තිලව්ම ය!

රේඩියෝ ගැන කථාවේදී මාගේ මතකයට එන පැරණි කථාවකි.  "දෝන කමලාවතී", "බයිසි මොටෝ එක", "මුළු හදින් මම ඇයට පෙම් කොට", "බයිසි මොටෝ එක" වැනි නවකතා රචනා කල ගුලී හෙවත් ගුණදාස ලියනගේ ගේ නිවසේ තිබී ඇත්තේ "එකෝ" නම් ලත් නො එසේනම් ඒම වරිගයේ රෙඩියෝ පොඩ්ඩෙකි. එයට ගුලී කෙතරම් ඇළුම් කලේද කියනවානම් ; එය හැඳින්වූයේ "පොඩි එකෝ" කියලා ලු!

මේ ඊයේ පෙරේදා ඉන්න් බැරි කඩි ගායට ඔක්කම්පිටියේ ගිහින් එමින් ගමන් අපේ කුරුණාගල යකඩ ලියවන පල්ලියගුරු මල්ලි කීවේ; එයාලගෙ සීයා සතුව තිබුනු පරම්පරා ගනනක් පැරණි ගෘන්ඩිග් ජර්මානු රේඩියෝව සීයාගෙන් ඉල්ලාගෙන ඇවිත් එහි පීකරේ ගලවා එය වටේ තිබුනු කාන්දම් වලල්ල  තමා සතු කරගත් අනුවේදණීය කථා පුවතකි!

මේ සියල්ල කිව්වේ රේඩියෝ එකේ යාන්ත්‍රික වටා පිටාවය. එහෙත් අසන්නන් අතින් ගෙවා රෙඩියෝව ක්‍රියාත්මක කලේ මෙම යාන්ත්‍රික වට පිටාව පිළිබඳව පතල මහා කරුණාවකින් නොව; එයින් ප්‍රචාරයට පත්වූ වැඩ සටහන්, ඒවා නිශ්පාදනයකල නිශ්පාදකයින් හා ඉදිරිපත් කල නිවේදක නිවේදකයින්ගේ කලාත්මක හා බහුසෘත වපසරිය නිසාය! 

කාබාසිනියාතුමෙකු" අපේ තාත්තාගේ ප්‍රියතම වැඩ සටහන් තුන හතර වූයේ උදෑසන, මධ්‍යහන ප්‍රවෘති, සන්ධ්‍යා ප්‍රවෘත්ති හා රාත්‍රී නමයට ප්‍රචාරය වූ රාත්‍රී ප්‍රවෘත්ති! එකල වැඩිපුරම ප්‍රවෘති කීවේ සිරිල් රාජපක්ෂය. ඔහුගේ ගැඹුරු හඬටම ගැලපී යන පළමු ප්‍රවෘත්තිය අසන්නන්ගේ මවිල් කෙලින් සිටුවීමට සමත් විය! දැන් වාගේ අර උන්නැහේ පංසල් ගිය ඒවාත් අනිත් උන්නැහීට අතීසාරය සෑදීමත් ප්‍රවෘති නොවූ එකල පෙර වාදනය යද්දීම ගෙදරක, කඩයක් පිලක සිටිය වුන් අමුඩ තද කරගෙන සවන්දීමට සැරසෙන්නෝය! සිරිල් රාජපක්ෂට අමතරව, අමරබන්දු රූපසිංහ, ප්‍රේමකීර්තිද අල්විස්,  වැනි අය ප්‍රවෘත්ති විද්දේය!  එදා ඒ හඬ පෞර්ෂය හා උක්ත ආඛ්‍යාත ගැලපුනු වැකි වලින් කියන්නට ගැලපුනු නිව්ස්ද තිබුනේය. අද තිබෙන "බල්ලා රට ගියා - රට බල්ලට ගියා වැනි වැකි එදා තිබුනේ නැත!

පෙර වාදනයට දෙශපාලනයක් තිබුනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ සමගි පෙරමුණු ආණ්ඩුවබලයට පත්වූ කාල්යේදී වාදනය වූයේ "ඩඩ්ලි ඩඩ්ලි දැන් කොහොමද" අනුවාදනය වනාතර යූ ඇන් පිය බලයට පැමිණි වහාම වාදනය වූයේ "ඇන් ඇම් ට පුළුවංද - හත් හවුළ පෙරළන්න" අනුවාදනයයි.

ගුවන් විදුලියේ ස්වර්ණමය අවදිය ලෙස සැලකෙන්නේ රිජ්වේ තිලකරත්න යුගයයි. ගුවන්විදුලියේ සුපිරි ගනයේ නිවේදකයෙකුවූ කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේ සේකර, නාට්‍ය ශිල්පී හෙන් රි ජයසේන, ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, හා දොස්තර ගුණදාස අමරසේකර ඔහුගේ නාලන්දාවේ සමකාලීනයෝ වූහ. බොහෝ නව නිර්මාණාත්මක වැඩසටහන් බිහිවූ මෙතුමාගේ යුගය සමකල හැක්කේ ලංගමයේ අනිල් මුණසිංහ, රේල්ලුවේ ඩී. බී. රම්පාල යුගයන්ටය!
මාගේ මතකය නිවැරදි වේනම් ටී. එම්. ජයරත්න ගායනා කරන "ඔබ හා මෙමා අතිනත් අරන්" ගීතය ලියා ඇත්තේද රිජ්වේ තිලකරත්න මහතා විසින් වන අතර එම පදමාලාව ටී එම් හට භාරදී ඇත්තේ "මෙන්න මේ කවුද සිංදුවක් එවලා තියෙනවා! හොඳනං කියන්නකෝ!" කියාය!
තිලකරත්න මහතා ගැණ කථා කරන කොට කරුණාරත්න අබේසේකර පිළිබඳව කියැවුනු නිසා එතුමා ගැනත් ඇති මතකය මෙහිම දිග අරිණ්නම්. ඔහු පිළිබඳ මාගේ මතකය නැවතී ඇත්තේ දාස සමූහ ව්‍යාපාර වෙතින් ප්‍රචාරය වූ "පිබිදෙන ගායක පරපුර" වැඩසටහනෙනි. ඔහු එය   ඇද පැද; උත්කර්ශවත් හඬින් "පිබිදෙන . . . .ගායක . . . .පරපුර කියන අයුරු අදත් සවනේ රැව්දේ! ලංකාවේ වැඩිම ගීත ගනනක් ලියා කප් ගසා සිටින මෙතුමා ගීතයක් ලියන්නට පෙර සරස්වතී දේවියට පොල්තෙල් පහන් හඳුන්කූරු පවත්වූ බව මාහට පැවසූවේ පත්තර ලොවේ පෙරළි කාර චරිතයක් වූ චින්තන ජයසේනයන් විසින්ය. දිනක් චින්තන අයියා මුණ ගැහුනු අවස්ථාවක "අඩියක්"ගැසීමට "සීගිරියට' එන ලෙස කරුණාරත්න අබේසේකර ආරාධනා කලේලු. සීගිරිය යනු කාෂ්‍යප බලකොටුව නොව; පුංචි බොරැල්ලේ සිරිධම්ම මාවතේ ගෝතමියට යන පාරේ (සැලස්කි පෙදෙස නේද නම?) අද එතුමාගේ නමින් හැඳින්වෙන පටු මාවතේ පැවති  ඔහුගේ නිවෙසයි. චින්තන අයියා යනු හිටගෙන ගල් අරක්කු බෝතලය; "බත් කා කට දනවාට බොන" පන්නයේ "බෙබේ බී බොතේජුවෙකි! එසේම ඔහු මධුවිතට ආලය කලේ; ඔහුගේත්; ටයිටස් තොටවත්තයන්ගේ හඳයාහි "සූප්පුවාට" පන පෙවූ කිත්සිරි මෙවන් ජයසේනගේත් අම්මාට තාත්තට මෙන්ය! එදින ඉක්මණින් කණ්තෝරුවෙන් පැනගත් චින්තනයාණන් පාටියක් විඳීමේ අධිටනින් යුතුව සීගිරියට කිට්ටු කලේය. ඉතාමත් ආදරයෙන් සාදරයෙන් හා ගෞරවයෙන් යුතුව චින්තන අයියාව පිලිගත් කරූ ඔහුව සාලයේ කෙළවරක; කනප්පුවක් ඉදිරියේ  අසුන් ගන්වා ලයන් ලාගර් බෝතලයක් හා වීදුරු දෙකක් ගෙනැවිත් කනප්පුව මතින් තැබුවේලු. "වෙහෙර ගිල්ල යකාට අග්ගලාවත් කජ්ජක්ද?" කීවා සේ චින්තන අයියා බීර වීදුරුවකින් සංතෘප්තවී ගේට්ටුවෙන් එළියට ඇවිත් කඩප්පුලි භාෂාවෙන් කුණුහරුපෙන් බැන බැන කොලෝනියල් එකට ටැක්සියකින් ගියාලු.
ගුවන් විදුලියට අදාල නොවුනත් චින්තන අයියා කියපු තවත් රසවත් කථාවක් පවසන්නට තරහ අවසර! 
හෙළයේ මහා ගත්කරු;මාර්ටින් වික්‍රමසිංහයන් මධුවිත ඔෆර් කරණ්නේ ඔහුගේ පොත් ගුල තුලදීලු. පොත් රාක්කයේම පසෙක තිබුනු කුඩා කබර්ඩ් එක තුලින් බෝතලය ගෙන වීදුරු වලට  වත් කොට නැවත කබර්ඩය තුලට දමා යතුරු ලන්නේලු. ඒම මදුවිත වඩිය සියල්ලෝඅම බී අවසන් වූ විට නැවතත් කබර්ඩ් එක ඇර වීදුරු පුරවා නැවතත් පෙර පරිදිම යතුරු ලන්නේලු! ඔය මදෑ ඒ ගැන කිව්වා!
ඉතින් කරුණාරත්න අබේසේකරද ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රකාශ කල බව මා අසා ඇත! ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රචාරයේ මුදුන් මල්කඩ වූයේ පාලිත පෙරේරා සහ ප්‍රෙමසර ඈපාසිංහයන්ය. ක්‍රිකට් ක්‍රීඩාව ගම් නියංගම් වලට ගෙන යෑමේ ගෞරවය කරපින්නාගෙන සිටින්නේ ගුවන් විදුලියත්, පාලිතත් ඈපාත්ය. ඔවුන් පලමුවෙන්ම විස්තර විචාරය කොට ඇත්තේ "ආනන්ද - නාලන්දා සුලෝහිත මහා සංග්‍රාමය" ලෙස විරුදාවලිය ලැබූ මහා ක්‍රිකට් තරගය පිළිබඳවයි. ක්‍රිකට් ක්‍රීඩාවට උචිත බොහෝ වචන සෑදීමටද කරුණාරත්න අබේ සේකර මැදිහත්වී ඇත!
ඇපාසිංහ විසින් ඉදිරිපත් කෙරුණු තවත් අගනා වැඩසටහනක් වූයේ "බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු" වැඩසටහනයි. මාගේ මතකය නිවැරදිනම් එය ප්‍රචාරය වූයේ ඉරිදා රාත්‍රී 8.15 ටය! "ගෙවී ගිය සතියේ ක්‍රීඩා ලෝකය තුල . . යනුවෙන් පටන්ගෙන කට කම්මිස්සිරියාවක් නැතිව වේගයෙන් සියළු ක්‍රීඩා විස්තර කියා පා ඈපා සිංහ හුස්මක් ගන්නේ "යලිත් ලබන සතියේත් බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු සමගින් හමුවන බලා පොරොත්තුවෙන් ඔබෙන් සමු ගන්නේ ප්‍රේමසර . .ඈපාසිංහ ආයුබෝවන්!" කියාය. ඔහුගේ තිබුනු "කඩදාසි ලිපේ දැම්මාසේ" පවසන වේගවත් වචන තුලින් අසන්නන් තුලද ජවයක් ඇතිකර ලීමට සමත් විය. ඔහු වචන පිටපතට ලෝඩ් කොට රේඩියෝවෙන් වෙඩි තැබීය! ඔහුගේ වෙඩි මුරය අවසන් වූ වහාම 8.30ට පටන් ගැනෙන්නේ මොණරතැන්න ය. ජේ. එච්. ජයවර්ධනයන් එහි පන පෙවූ "රජ්ජුරුවො" චරිතය තවමත් මතකයේ ඇති අය සිටිති. බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු සඳහා අනුග්‍රහය දැක්වූයේ සිලෝන් ටුබේකෝ ආයතනය වන අතර මොණරතැන්න ගුවන් ගත්වූයේ ජයතිස්ස ඉන්ඩස්ට්‍රීස් හට පින් සිදු වන්නටය.
සඳුදා රාත්‍රියේ ප්‍රචාරය වූයේ වික්ටර් මිගෙල්ගේ නව මුවන් පැලැස්සය. මුවන් පැලැස්ස පසුව නව මුවන් පැලැස්ස වී ඇති අතර එහි පලමු රචකයා වූයේ මුදලිනායක සෝමරත්න වූ අතර පසුව එය වික්ටර් මිගෙල් විසින් රචනා කරණා ලදී. එහි ප්‍රධාන චරිතය වූ කදිරාගේ චරිතයට පන පෙව්වේද විටර් මිගෙල්ය. මාහට මතක ඇති කාලයේ එය ප්‍රචාරය වූයේ කඳානේ "ලින්ටන්ස්" ආයතනය අනුග්‍රයෙනි. මුවන් පැලැස්ස ගැන වැඩි දුර මෙතනින් කියවන්න! මේන්න මෙතනත් තියෙනවා හොඳ විස්තරයක් ඒකත් බලන්නකෝ! 1964 මාර්තු 12 වනි දින ඇරඹි මෙම ගුවන් විදුලි නාටකය ලොව දෙවෙනි වන්නේ 1951 ජනවාරි 1 වන දින එංගලන්තයේදී ප්‍රචාරය ඇරබි "ආර්චර්ස්"  නාට්‍යයට පමණි. මුවන්පැලැස්ස සමග තරග වැදුනු අනෙකුත් නාට්‍ය වූයේ ධර්ම ශ්‍රී මුණසිංහයන්ගේ මොනරතැන්නය! මීට අමතරව "ගජ මුතු", "වජිරා" වැනි නාට්‍යය වටාද ශ්‍රාවකයින් රොද බැඳ ගත්හ.
රේඩියෝ නාට්ටි හෙවත් ගුවන් විදුලි නාට්‍යය පිළිබඳව කතා කෙරෙණ විට අමතක කල නොහැකි නාට‍යයක් සමන් ආතාවුද හෙට්ටි අතින් ලියැවුනි. ඒ අන් කිසිවක් නොව සෙනසුරාදා උදේ වරුවේ  ප්‍රකාශය වූ "ලන්දේසි දූපත" නමැති ළමා රහස් පරීක්ෂක කථාවයි. සත්තකින්ම අදද ඒ නාට‍යය ඇසීමට ඇත්නම් යැයි මට සිතුණු වාර අනන්තය. එහි ප්‍රධාන චරිතයක් වන රොන්ජන්හට පණ පෙව්වේ සමන්ම වන අතර ජිල්ජෝන් හා වැන්දබෝනා චරිත ද්විත්වයෙන් එකකටද ඔහු හඬ මුසු කලේය. අනෙක් චරිතය පනපෙව්වේ කොළඹ නගර සභාවේ පරාක්‍රම පෙරෙරාය. එකල නිරංජලා සරෝජනී හා රෝහණ සිරිවර්ධන වැනි අයද හඬ නළුවන් විය. අංක එකේ කාන්තා ලාලිත්‍යය වූයේ නම් කුසුම් පීරිස්මය! එය ඒතරම්ම හැඟීම් දැනවූ හඬකි!
නෙතලී නානායක්කාර, වොලී නානායක්කාර, ශ්‍රීනිමල් පද්ම කුමාර, ඇග්නස් සිරිසේන, විජේරත්න වරකාගොඩ, වැනි බොහෝ අය; රේඩියෝ චරිත ජීවත් කර වූවේය. වරක් මුවන් පැලැස්සේ උක්කු බණ්ඩාට හා නාමලීට පන පෙවූ වොලී නානායක්කාර හා නෙතලි නානායක්කාරගෙ ඇඩ්‍රස් නැතිකරේ නාට්‍යානුසාරයෙන්මය! 
මීට අමතරව විනෝද සමය, හංදියේ ගෙදර වැනි වැඩ සටහන් වලින් සැමුවෙල්, බර්ටි, ඇනර්ස්ලි, ඇලෝ පෙරෙරා, මර්සි, ගැමුණු වැනි අයද අපගේ ඉළ ඇට සම්භාහනය කලෝය. හංදියේ ගෙදර්ට රෙඩියෝ නාට්ටියේ; ප්‍රවීණ ගායක බන්ධුල විජේවීරයන්ද හඬ කැවූ බව යාන්තම් මතකය. එහි "කල්කදුරු තිත්තගේ ගල්නෝමිස් ඉරිවේරිස්" නම් චරිතයක්ද තිබුනු බව මතකය. සැමුවෙල් ගේ "අමාරිස් අයියා" චරිතයද ඇනර්ස්ලිගේ හාමු මහත්තයා චරිතයද "නාමෙ නොදිරණා - කුණු කය දිරණා" යන ගීත කණ්ඩයට අරුත් සැපයූවේය!
ගුවන් විදුලියේ තම හඬ පෞර්ෂයෙන් ආමන්ත්‍රණය කල අමරබන්දු රූපසිංහ, ලලිත් එස් මෛත්‍රීපාල, ප්‍රේමකීර්තිද අල්විස් පිළිබඬව ඇත්තේ සුපහන් මතකයකි. මෙම තිදෙනාම ප්‍රවෘති ප්‍රකාශයටද සහභාගී විය. මින් වැඩහටහන් සම්පාදකවරයෙකු ලෙස ඉමහත් කීර්තියට පත් ප්‍රේම්ගේ ශනිදා සාදය දුහුනන් සඳහා විවරවූ වැඩ සටහනකි. එසේම රේඩියෝ සඟරාවද (සෙනසුරාදා සවස 4.00) ඔහුගේ වැඩ කිඩ වලින් ඔපවත් උනා යැයි මාහට මතකයක් පවතී. වැඩසටහන අවසානයේ " . . . . . . . .  හි පදිංචි  . . . . .ගේ දොන් ප්‍රේමකීර්තිද අල්විස් වන මා විසින් කොළඹ හතේ  . . . . .ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී . . . . . . . ." යනාදී වශයෙන් අවසන් කලේ රේඩියෝ සඟරාව යැයි මාහට මතකයක් පවතී. 
නිවේදක නිවේදිකාවන් ගැන කථා කරණ විට බණ්ඩාර කේ විජේතුංගය පිළිබඳව අමතක වුවහොත් එය විසල් අඩුපාඩුවකි.මා ගේ මතකය නිවැරදි නම් ඉරිදා දහවල් 1.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ "සිනමා පුවත්" වඩසටහන ගුවන් ගත විය. මීට කලකට පෙර ඉන්දියානු චිත්‍රපට ශ්‍රී ලංකාව තුල ජය කෙහෙළු නංවමින් තිරගත වූ කාලයේ ඒ පිළිබඳ හඳුන්වා දීමේ වැඩසටහන මෙහෙය වූවේ බණ්ඩාරය. "ඔවුන් දෙදෙන එක් කලේද සංගීතයයි - වෙන් කලේද සංගීතයයි දෙවෙනි අභිමානවත් මාසයේ අභිමාන්" ඔහුගේ වදන්ය! "ළඳුනි මා ඔබට ද්‍රෝහි වූවා නොවේ! පියෙකු නැති දරුවෙකුට පියෙකුවූවා පමණි!", "එක මලයි බඹරු දෙන්නයි!" මේ ඔහුගේ යෙදුම්ය. මේව්වා කියැවුනේ ඔහුගේ ගැඹුරු ස්වරයෙනි. එවන් හඬක් මා කිසිදා අසා නැත! "ඉන්දීවරියේ අඬනු එපා" - සනත් නන්දසිරි,  "දිනෙන් දින ඔබ මා කෙරෙන්" - සනත් නන්දසිරි වැනි රසාලිප්ත ගීත රචනා ගනනාවක් පබැදූ ඔහු අකාලයේ මීවිත සමගම අපෙන් වෙන්ව ගියේ හයිකු කවියෙකු ලෙසද ඔහුගේ මුද්‍රාව අපගේ හදවතේ ගැඹුරුම තැන ස්ථාපිත කරමින්ය!
එසේම පැණ විසඳුම් වැඩ සටහන් වන "පුළුවන්නම් දිනාගන්න", "ඕවල්ටීන් පැන පොඩි", වැනි බොහෝ වැඩ සටහන් වලින් ගුවන් කාලය පිරීතිබුනි. ඊට අමතරව කේ ජයතිලක මහතාගේ ප්‍රිය බිරිඳව සුමනා ජයතිලක නැන්දා; සෑම සතියකම සිකුරාදා සවස 5.00 ට ලැම්බර්ට් පෙම්මාවඩු මාමා සමග එක්ව ගෙන ආ හඳ මාමා වැඩ සටහන පොඩිත්තන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. එහි තේමා ගීතය; "ලොව ඝනඳුරු දුරු කරන්න . . . . . කියමින් පටන් ගෙන හඳ මාමට සවන් දෙන්න . . " යනුවෙන් කරටියෙන් ගැයූවේ ජේ ඒ මිල්ටන් පෙරෙරා විසින්ය.
සෑම උදෑසනකම 5.30 ට පටන් ගන්නා විකාශය තුල පන්සිල්, සෙත් පිරිත්, ධම්ම චින්තා, දවසේ සිතුවිලි, ජාතික ශරීර සුවතා වැඩසටහන, අරුණ කිරණ, ප්‍රවෘත්ති, අසන්නන්ගේ ඉල්ලීම්, ලෝක ප්‍රවෘත්ති, නිවේදක තෝරයි වැනි වැඩ සහන් වලින් දිනය ඇරඹීය. ඉක්බිති ගීතමය වැඩසටහන් ලෙස සරල ගී, ශාස්ත්‍රීය ගී, චිත්‍රපට ගී. සමූහ ගී, කණ්ඩායම් ගී, ලමා ගී, පැරණි ගී, දිවා ගී, බයිලා ලෙසින් සෘජුව ප්‍රචාරය විය. ඊට අමතරව නිවේදක තෝරයි, ස\ස්කාරක තේරීම්, රංග තරංග, අසන්නන්ගේ ඉල්ලීම්, කාන්තා ඉල්ලීම්  අඟහරුවාදා සවස 5.00 ට නොවරදවා ප්‍රචාරය වන "ලේ පරිත්‍යාගශීලීන්ගේ ඉල්ලීම්" වැනි වැඩ සටහන් වලින්ද  උතුරු ඉන්දීය සංගීතය, ශාස්ත්‍රීය සංගීතය, හිංදි චිත්‍රපට ගීත වැනි වැඩ සටහන් වලින්ද පිරී පැවතුනි.
ඉරිදා දහවල් 2.00 ට; ජර්මන් තානාපති කාර්‍යාලයේ අනුග්‍රහයෙන් ප්‍රචාරය වූ ප්‍රචාරය වූ ජර්මන් ජන හඬ වැඩ සටහනේ සිට ශ්‍රී ලංකා පොලීස් දෙපාර්තමේන්තුවෙන්; සෑම දිනකම ඉරමුදුං සමයට ප්‍රචාරයවූ "පොලීසියෙන්" ,  සිට  විනෝද මේළා -ඔව් නෑ බෑ  (ඩී. පී මොරවක), සාරභූමි (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව), මව සහ ළදරුවා (ජේ එල් මොරිසන්ස්), පුෂ්පාංජලී (ජයරත්න මල් ශාලාව), පහන්සිළුව (ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස්), සෞඛ්‍ය ගැටළු (ජා ඇල වෛද්‍ය දිනපාලද සිල්වා - ජා ඇල) විනාඩියක් පමණයි (නිකාඩෝ), ජය ලලිතා රත්තරන් පැතුම් (ජයලලිතා ජුවලර් හෙට්ටිවීදිය), වජිරා (ගුරුගේ මැණික්), පුළුවන්නම් දිනාගන්න (ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව), ගීත කතන්දර (ලෙච්චමී ජුවර්ලර්ස්), හංදියේ ගෙදර (ද ෆිනෑන්ස්), කුසුම් රේණු (කොළඹ මල් ශාලාව), ඊ. එච් ගීත ධාරා (ඊ එච් කුරේ) වාසනා උදාව (සෙන්ට් ඇන්තනීස් සමූහ ව්‍යාපාර), වැනි රසාලිප්ත වැඩ සටහන් රාශියක් ඒවායේ අනුග්‍රහකයින් සමග මතකයේ ඇත! 
මෙවන් අතීතයක් විඳි අපගේ ගුවන් විදුලිය මේ වන විට පන අදිමින්ය. එහි අවසන් කටයුතු සඳහා මේ දිනවල ආයතන පාලකාධිකාරිය සූදානම් වෙනවා ඇති! කාලයක් අප සමග සිටි නෑදෑයෙක් හිත මිතුරෙක් වෙනුවෙන් තවමත් හිතේ දුකක් ඇත!  මළ ගෙදරටවත් යන්නෝන!

ප.ලි. :- ලැම්බර්ට් පෙම්මාවඩු පිලිබඳව සොයා යාමේදී තවත් බ්ලොගයක් හමුවිය. එයට මෙයින් පිවිසෙන්න!


Friday, October 8, 2021

218. ඒරාවුර් දුම්රිය ස්ථානාධිපති තුමාගේ කථා වස්තුව!

මේ කථාව වෙද්දී අපේ තාත්තා හිටියේ මම අර කලින් 215. මෝටර් රථ වාහන කර්මාන්තයේ අත් පොත් පෝස්ට් එකේ කියපු හතරැස්කොටුවේමයි. හතරැස්කොටුව පිහිටා තිබුනේ හබරණ පහු කරලා මළේ පාරේ ඒ කියන්නේ ත්‍රීකුණමළේ පාරේ කිලෝමීටර 10ක 12ක දුරින්. මෙතනට හතරැස්කොටුව නම වැටිලා තිබුනේ එතන හංදියේම පාර අයිනේ තිබ්බ; කොළඹට, එක් පැත්තක කුරුණෑගලට, කොළඹට හා අනිත් පැත්තට ත්‍රිකුණමළයට, කන්තලේට තියෙන කිලෝමීටර ගනන් ලියලා තිබුණු; හතරැස් සිමෙන්ති කොටුව නිසා කියලයි කියන්නේ! සත්‍ය අසත්‍ය තාවය පිළිබඳව සිතා ගත නොහැක.

මෙම කුඩා ගම තුල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පැල තවානක්, එයට පිටින් එම ආයතනයටම අයත් කුඩා කංතෝරු කාමරයක් හා නිවස්න දෙකක්, යාබද ඉඩමේ පාසලක්ද පිහිටා තිබුනි.

ඊලාම් ආක්‍රමණ සමග මෙම පැල තවාන වැසී ගිය අතර පෙරකී නිවස්න දෙක හා කංතෝරු කාමටය ආරක්ෂක අංශ වෙතින් නතු කරගෙන ඇත. දැනටත් එම ස්ථානයේ පැරණි ගොඩනැගිලි වසා ඉඳිවූ මුර කපොල්ලේ සෙවනැලි දක්නට ඇත!

මෙතන හංදියක් උනේ එතැනින්ම කැලේ මැද්දෙන් පාරක්  තිබුනා මින්නේරියට. ඒ පාර දිවුනේ රොට වැව කියන ගම මැද්දෙන්. ඉස්සර රූපවාහිණියේ "වාහල්කඩ" කියන වැඩ සටහන කල; ශ්‍රී ලංකාවේ වාරිශිෂ්ඨචාරයේ මුදුන් මල්කඩ වන වැව පිළිබඳව ඉතාමත් පුළුල් පර්යේශණ ග්‍රන්ථයක් වන "වැව" නමැති පොතේ කතු වරයාණන්  වන ගෘහ නිර්මාණ ශිල්පී උදුල බණ්ඩාර අවුසදහාමි හිටියේත් මේ රොට වැව කියන ගමේ මයි. මේ පාර එක තැනකදි කුඩා වැව් තුනක් මැද්දෙන් ගමන් කරණවාත් මතකයි! පාර ගිහින් වැටුනේ හබරණ පොළොන්නරුව පාරේ මින්නේරිය වැව හරියෙන්.

මේ පාර නැතිනම් මාර්ගය; මේ සේරටම වඩා වැදගත් උනේ රොට වැව ගමට ඇබිත්තක් මෙහායින් තිබුනු දුම්රිය මංසංධිය හේතුකොට ගෙන! ඒ කොළඹ කොටුවේ සිට ත්‍රීකුණාමළය හා මඩකලපුව බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රිය දෙපළු කොට වෙන වෙනම දුම්රිය දෙකක් ලෙස ත්‍රිකුණාමළයටත් මඩකලපුවටත් ගමන් අරඹන ගල් ඔය හංදිය දුම්රිය මංසංධිය ! 

තාත්තාගේ වන සංරක්ෂණ රැකියාව නිසාම අපිට ස්ථිර නිවාසයක් තිබුනේ නැති ගානයි. යටියන්තොට; හක්බෙල්ලාවක පිහිටි නිවස හැමදා පැවතියේ කුලියට බද්දට දෙන නිවසක් ලෙසින්. මෙකල අප සිටියේ හතරැස්කොටුවේ පිහිටි දෙපාර්තමේන්තු  කුඩා  නිවස්නයක් තුල! සෑම නිවාඩු කාලයකටම මා එහි නිවාඩුව ගත කිරීමට ගිය අතර එය වන දිවිය හා එක්වූ විචිත්‍ර එකක් උනා! මෙන්න මේ පෝස්ටුවේ මාගේ රියැදුරු ජීවිතයේ ආරභය සනිටුහන් වූ මැසි ෆර්ගියුශන් ට්‍රැක්ටර් ධාවනය සේම මිට්සුබිෂි J44 ජීප් ධාවනයද සිදුවූයේ මම හතරැස්කොටුවේ තාත්තා පදිංචිව සිටිනා වක වානුවේදීය! දිනක් මා නිවාඩුවට එහි ගොස් නිවාඩුව; කැලේ කොලේ ගත කොට ආපසු කොළඹ බලා එන්නට පිටත් විය! 

එකල හතරැස්කොටුවෙන් පිටත් වී රොටවැව හරහා මින්නේරිය බලා දිවෙන කුඩා තනි දොරේ අසෝක් ලේලන්ඩ් බසයක් විය! මේ බසය උදෑසන දෙවන වර හතරැස්කොටුවෙන් මින්නේරිය බලා පිටත් වන්නේ මඩකලපුව සිට කොළඹ කොටුව බලා දිවුනු "හිජ්රා" දුම්රිය ගල් ඔය හංදියට පැමිණීමට පැය භාගයකට පමණ පෙරය! එම බස් සේවය දුම්රිය හා ඒකාබද්ධව ක්‍රියාත්මක වූ එකකි.

එම මාර්ගය දිවුනේ; ඉතා කෙටි දුරකින් ගෙවී අවසන් වන හතරැස්කොටුව ගම පසුකොට මහ වනය තුලින් දිවුනු තිරිවාන ගල් හාත්පස පිරුණු; තැනින් තැන පැරණි තාර තට්ටු නටඹුන් පිහිටි මාර්ගයක් ඔස්සේය!
බසය ඇරඹෙන්නේ හතරැස්කොටුවේ තිබුනු එකම සිල්ලර කඩය වන චූටි මහත්තයාගේ කඩය ඉදිරියෙන්ය. එය සිල්ලර කඩයක් උවද එක් පසෙක පාන්, පරිප්පු හොදි හා තේ කහට විකුණුනි! එදින මමත් තාත්තාත් අම්මාත් තිදෙන හතරැස්කොටුවෙන් බසයට ගොඩ වූයේ ගල් ඔය හංදියෙන් හිජ්රා දුම්රියට ගොඩ වීමේ අරමුණෙනි.  නියමිත වේලාවට බසය පිටත් වී ඒ මේ අත පැද්දෙමින්, වලවල් බේරමින්, වල වල් වල වැටෙමින් රොට වැව පාරට අවතීර්ණ වුනෙමු. බසය ගමේ අවසන් නිවස පසු කිරීමට ආසන්න වත්ම කලබලෙන් පාරට පැමිණි කිහිප දෙනෙකු බසයට අත ඇල්ලුවෝය! බසය නවතන විට ඒ අසලින් ගමන් ගන්නා දුම්රිය මග අසල; මිනිසුන් ගැහැණුන්; පලාතේ හැටියට විසාල පිරිසක් එනම් හත් අට දෙනෙක් පාර අද්දර සිටිනු දක්නට ලැබුනි!
බසය නතර කලේ බසයට ගොඩ වීමට නොවන බව ඔවුන් ඇඳ සිටි ඇඳුම් වලින්ම වැටහින! 

"කෝච්චියෙන් මිනිහෙක් වැටිලා! මහත්තයෙක්!! තාම පන තියෙනවා!!!"
බසයට ගොඩවූ ගැමියා එක හුස්මට රියැදුරුට විස්තරේ පැවසුවේ එය තුල සිටි අන අයටත් එක්කම වගේය!

"හුස්ම වැටෙනවා!" පිටු පසින් කිළිටු සරමකින් යටි කය වසා ගත් මනුස්සයා කථාවට සක්ක සැපයුවේය!

රියැදුරු බසය අයින් කොට නවතමින්ම ආපසු හැරී බසය දෙස බැලූවේ පසු පස සිටි කොන්දොස්තර වරයාට හිසින් සංඥාවක් දෙමින්මයි!
කොන්දොස්තර තැන "මොකෑ . . . ?" කියාගෙන; ටිකට් පොතත් ආපිට අකුලාගෙන රියැදුරු අසුන දිහාට නැඹුරු වෙද්දී රියැදුරු කෙටියෙන් කථාව කියාගෙන ගියේය.
"මිනිහව ඉස්පිරිතාලෙකට දාන්න වෙයි!" රියැදුරු කථාව නිම කලේ එලෙසින්ය!
"අපිටත් වැටෙන ලෙඩ!?" කොන්දොස්තරට ආපසු හැරී බලමින්ම කියැවුනේය!
එකල රජයේ සේවකයෙකු හට තරමක සිවිල් බලතලයක් සමාජය තුල හිමිවී තිබුනි. 
වරක් මාගේ මිත්‍රයෙකු පොළොන්නරුවටත් එහා වැළිකන්ද ප්‍රදෙශයේ (හොර) වෛද්‍යවරයෙකු ලෙස රැකියාව කරගෙන ඉන්නා සමයේ පලාත ගං වතුරෙන් යටව ගොස් සාමාන්‍ය ජන ජීවිතය ඇණ හිට ඇත! මෙහිදී ඔහු; නිර්භීත ලෙස; ගමේ සාමාන්‍ය මිනිසුන් සමග ගොස් සමූපාකාරයේ දොරගුළු කඩා හාල්, පිටි, සීනි ආදිය සම සමව බෙදා දී ඇති අතර පසුව දින ගනනාවකට පසුව එහි ලඟාවූ ප්‍රාදේශීය ලේකම් තුමා ඒ පිළිබඳව ඔහුට බොහෝ සෙයින් ප්‍රශංසා කල කථාවක් මා අසා ඇත!
හතරැස්කොටුවට සිටි ඉතා සීමාන්තික රජයේ සේවකයින් පිරිස අතර මාගේ පියාද එක් අයෙකු විය!
තාත්තාව දුටු කොන්දොස්තර වරයා එම කට යුත්තට සහභාගී වන ලෙස ඔහුටද ඇරයුම් කරමින්ම බසයෙන් බැස්සේය!
ආරාධනා කලද නොකලද බසයේ සිටි සියළු දෙනාම ඉන් පිටතට පැන සෙනඟ ඒක රාශිවී සිටි ස්ථානයට පිම්මේ ඇවිද ගියෝය. 
බස් රිය ධාවනය වූ (එයට මහා මාර්ගය කියා නොකීමට මා හිතා මතාම තීරණය කලෙමි!) මග එම ස්ථනයේදී වැටී තිබුනේ රේල් පාරට මීටර 25 ක පමණ ආසන්නවය! බස් මගට අඩි හයක පමණ උසකින් පිහිටි උස් බිමකින් රේල පාර වංගුවක් දමාගෙන කොළඹ ගියේය. රෙල් පාරත් බස් පාරත් එක් කල අඩි පාරක් එම ස්ථානයේ තිබුනි. "කෝච්චියෙන් වැටුනු මිනිහෙක්" හා"කෝච්චියට හසුවූ මිනිහෙක්" යන නාම පද දෙකෙහි මාහට ඒතරම් වෙනසක් නොවීය! බසයෙන් බැස ගත් අප සියල්ලෝම එකා පසු පස එකා අඩි පාර දිගේ රේල් පාරට ඉක්මන් ගමණින් ගියෝය!

රේල් පාරේ අනෙක් පස අයිනේ පාරට දමා ඇති කලු ගල් වැටියට ආසන්නව ඇලයට වැටුණු වැඩුණු මිනිසෙක් නිසොල්මන්ව වැටී සිටියේය. ලා රෝස පැහැයට හුරු කමිසයක්; තද  නිල් පැහැති කලිසමකට යට කොට ඇඳ සිටි හේ දුඹුරු පාට ඉන පටියක් හා ඊට ගැලපෙන සපත්තු දෙකකින් සැරසී සිටියේය. ඔහුට ආසන්නව හම් බෑගයක් විය! එය එකල ක්ෂේත්‍ර නිළදරයින් වෙත රජයෙන් සැපයුනු සම් භාන්ඩ සංයුක්ත මණ්ඩලයේ නිමැවුමක් වූ "DI සර්කිට්" බෑගයකි! මාගේ තාත්තාටද රජයෙන් එවන් බෑගයක් වසරක් පාසා ලැබෙයි! තාත්තා කොයි ලෝකෙ ගියත් බෑගය ගෙනිච්චේ එයගේ පිරිවැස්ස වගේ අනිවාර්ය අංගයක් ලෙස! එම බෑගය රජයේ සේවකයෙකුගේ නිළමුද්‍රාව විය! මීට වසර ගනනාවකට පෙර ලීවර් බ්‍රදර්ස්, ඩාලි බට්ලර්, සිලෝන් ටුබෑකෝ වගේ ආයතනවල වෙළෙඳ නියෝජිතයින් හෙවත් තේරෙන හිංගලෙන් කියනවා නං සේල්ස් රෙප් මහත්වරු තම; බාටා කොම්පැණියෙන් විකුණූ "මොකැසිනෝ" පැළඳ පෙන්වූ ගැම්ම; තාත්තාලා වැනි රජයේ සේවකයින් එළි දැක්වූයේ; Toe Cap එක සහිත DI සපත්තු දෙකෙන් හා DI සර්කිට් බෑගයෙන්ය! එම ගමන් මල්ල හෙවත් බෑගය දුටු වනම තාත්තා මුහුණට තරමක දැඩි බවක් ආරූඪ විය!

"ගවර්න්මන්ට් ඔෆිසර් කෙනෙක්!" තාත්තා තමාටම කියා ගත්තේය!

"මේ මහත්තයා ආණ්ඩුවේ මහත්තයෙක්!" තාත්තා එතැන රැස්ව සිටි පිරිසට ඇසෙන සේ උස් හඬින් පැවසීය.

එකල අද මෙන් නොව රජයේ එක් සේවකයෙකු තවත් සේවකයෙකු වෙත පැහැදිලි ගරුත්වයක් හා බැඳීමක් විය. එසේම සාමාන්‍ය ජනයා තුලද ඔවුන් කෙරෙහි තරමක ගෞරවයක්ද විය!

"මහත්තයා අතන මේ මහත්තයාගේ බෑග් එක වැටිලා තිබුනේ! ඒකෙන් මොනා හරි හෝඩුවාවක් හොයාගන්න පුළුවන් වෙයි!" එතැන සිටියෙකු තාත්තාට පැවසීය!

"ආ හරි ගේනවකො බලන්න! . . ඇරියේ නෑනේ . . . !?"

එතැනට ගෙනා බෑගය තාත්තා විවෘථ කලේ සියල්ලන්හටම ඇසෙන්නට ප්‍රකාශයක් කරණා ගමන්ය!

"ඔන්න මම ඔක්කොම ඉස්සරහ අරින්නේ! මට මේවට වග කියන්න බෑ!"

තාත්තා බෑගය විවෘථ කර සැණින්ම එහි වූ දින පොතක් හෝ වෙනයම් සටහන් පොතක් අතට ගත්තේය!

" මේ! මේ ඒරාවුර් වල ස්ටේෂන් මාස්ටර්!" ඉක්මනට ගන්න බස් එකට!

වැටුනු; අනතුරට පත් පුද්ගලයාව නො එසේනම් "ඒරාවුර් දුම්රිය ස්ථානාධිපති තුමාව" අනෙක් පසට හරවා පිරිස ඔසාවා ගති.
ඔහුගේ පුහුන දැඩි සේ තුවාල වී තිබුනි.
බසයේ කොන්දොස්තර වහාම බසයට නැග පිටුපස ආසනයේ තිබුනු කුෂන් කරණ ලද ලෑල්ල හෙවත් සීට් එක ගලවා බසයේ පිටුපසට වන්නට ඇතුරුවේය! තවත් මොහොතකින් සිහි විසංඥව සිටි තුවාල කරු දෙතුන් දෙනෙකුගේ අත් මතින් බසය තුලට වැඩමවන ලදී! 
බසය නැවතත් ගමන පෙර සේම පැද්දෙමින් වල වල් වල වැටෙමින් පිටත් විය. එහෙත් එය තරමක ප්‍රවේසම් සහගත්වය. එය අප වෙනුවෙන් රියැදුරු ගත් ප්‍රශංසණීය පියවරක් නොව රෝගියා වෙනුවෙන් ගත් තීරණයකි.

"අඩු වයසෙන් රස්සාවට ආපු මහත්තයෙක් වගේ! . . . දෙමළ වෙන්ටැ . . ?"

"කොහොමත් ඒරාවුර් කියන්නේ පොඩි ස්ටේසමක් නේ! ඒවායේ ඉන්නේ වයස අඩු අය තමයි!"

"අනේ ගෙදර මිනිස්සු හිතනවා ඇති දැන් මේ වෙන කොට කොළඹ කියලත්!; රෑ කෝච්චියෙනේ ඇවිත් තියෙන්නේ!?"

බසයේ සිටි කිහිප දෙනෙකුවූ පිරිස "ඒරාවුර් දුම්රිය ස්ථානාධිපති" දෙස බලා විවිධ අර්ථ කථන සැපයූහ!

"දැං මොකද මේ බෑග් එකට කරණ්නේ?" කොන්දොස්තර තැන මතුකල පැනය විය!? 

"ඔව්! වොව්!! ඉස්පිරිතාලෙට දුන්නොත් ඕකෙ තියෙන ඇඳුං කෑල්ලක් වත් හොයා ගන්න බැරිවෙයි. අර මං මැලේරියාවට නැවතුනාම ඇඳ ගාව පෙට්ටිය උඩ තිබ්බ උනු වතුර බෝතලේ මං කක්කුස්සියට ගිහිං එන ටිකට අන්ත්‍රස්දාන වෙලා තිබ්බානේ . . . . . . . .!?" 

විවිධ කයි කථන්දර බසයේ ඇලුමිනියං බොඩිය තුල එහා මෙහා පාවී යද්දී තාත්තා කට හඬ අවදි කලේය.

"හරි! මම දැං ගල් ඔය හංදියෙන් බහිනවා කොළඹ යන්න! මම මේ සිද්ධිය කියලා;  බෑග් එක SM (ස්ටේශන් මාස්ටර්) ට භාර දෙන්නං! එගොල්ලො ඒරාවුර් වලට ටෙලිෆෝන් කරලා කියයි. ඒ ගොල්ලන්ගෙ මිනිහෙක් නේ!?"

"ආන්න හරි . . . .! අපි මෙයාව පොළොන්නරුවෙ ඉස්පිරිතාලෙට භාර දෙන්නං!" කොන්දොස්තර තැන තාත්තාගේ අදහසට එකඟ විය!

බසය තවත් විනාඩි ගණනකින් ගල් ඔය හංදිය දුම් රිය ස්ථානය අසලට ලඟා වුනු  අතර මමත් අම්මාත් තාත්තාත් මාගේ ෆෝඩ් සූට් කේසයත් "ඒරාවුර්" සර්කිට් බෑගයත් තාත්තාගේ සර්කිට් බෑගයත් ලට්ට ලොට්ට  සමග බසයෙන් බිමට බැසීය! අප දුමරිය ස්ථානයට පිය මැන වේදිකාවේ නතර වූ අතර තාත්තා "ඒරාවුර්" බෑගයද රැගෙන ස්ථානාධිපත් හමුවීමට යන්නට හැරුණි! 

"ඔයා වරද්දලා ඔයාගේ බෑග් එක දෙයි! කෝ ඒක මට දීලා යන්න!"

මටද ප්‍රවේණියෙං පැමිණි තාත්තාගේ එවන් සුපිරි වැඩ ගැන දන්නා අම්මා පැවසුවාය! 

"පිස්සුද!? ආ කමක් නෑ කොයි එකටත්!" තාත්තා තමන්ගේ බෑග් එක අප වේදිකාවේ සිටි ස්ථානය අසල වූ බංකුවක් මත තබා නික්ම ගියේය! 

තවත් ටික වේලාවකින් සුදෝ සුදු ඇඳුමකින් හා කැප් තොප්පියකින් සැරසුණු දුම් රිය ස්ථානාධිපති වරයා තාත්තා සමග අප දෙසට පැමිණියේය! ඔහු අප සමග සුහද කථා බහක යෙදී සිට ඉවත්ව ගියේ තාත්තාගේ ක්‍රියාව ගැන පසසමිනි!

හිජ්රා දුම්රිය තවත් ස්වල්ප වේලාවකින් පැමිණි අතර තාත්තාගේ රාජකාරි දුම්රිය කෝටාව හෙවත් වොරන්ට් එකට පිං සිද්ධ වෙන්න;  එහි දෙවන පංතියේ තරමක සැප පහසු අසුනක අසුන් ගෙන කොළඹ පැමිණියෙමු.
කාලය සෙමෙන් ගෙවී ගියේය. කොළඹ පැමිණි මාහට සෑම අවස්ථාවකම දනන් ලොමු දැහැ ගන්වන සුළු කථාවක් ඉතිරි වී තිබුනි! ඒ "රාත්‍රී තැපැල් දුම්රියෙන් ඇද වැටුනුනු ඒරාවුර් දුම්රිය ස්ථානාධිපති තුමාගේ කථා වස්තුව!"ය. මාස තුනක් ඉක්බිත්තෙන් තවත් නිවාඩු කාලයක් එළැඹුනි! එම නිවාඩුවටද මා සිරිත් පරිදි කොළඹ කොටුවෙන් ත්‍රීකුණාමළය බසයක නැගී හතරැස්කොටුව බලා  ගියෙමි! දින ගණනාවක් ඉක්බිත්තෙන් මට මගෙ පැරණි මතකය අළුත් විය! 

"තාත්ති මොකක්ද උනේ අර කෝච්චියෙන් වැටිච්ච ඒරාවුර් ස්ටේශන් මාස්ටර්ට!? එයා මැරුණද?"

"ඒ යකා පල් හොරෙක්නේ! මේ යකා; නයිට් මේල් එකේ කොළඹ ගිය ඒරාවුර් ස්ටේශන් මාස්ටර්ගේ බෑග් එක අරං කෝච්චියෙන් පැනලා! අල්ලන්න බැරි උනා! සිද්ධිය ආරංචි වෙලා පොලීසිය ඉස්පිරිතාලෙට එන කොට ඌ එහෙනුත් පැනලා ගිහිං!"

Friday, October 1, 2021

217. තාත්තා නොම්ම්ර ….1 (iv)


(බොහෝ විට මේ අවසාන කොටස!)
ඉතාමත් ඇල් මැරුණු ස්වරූපයෙන් මේ අළුත් අවුරුද්දත් ගෙවී ගියේය. අවුරුදු කෑමේ ආදිනව විඳිමින්ය. රට පුරා නොව ලොව පුරා පවතින අර්භූධකාරී තත්වය මත හිතෙන්නේ "ඔයිං ගියා මදැයි!" කියාය.
අළුත අවුරුදු උදාව සමග සෑම සියළු දෙනාට නිතැතින්ම මතකයට එන්නේ තමන් කුඩා කල විඳි අවුරුදු අසිරිය ය.
මා හටද මතකයට ආවේ අපගේ දෙමව්පියන් සමග අළුත් අවුරුදු සිරිය විඳි ආකාරයයි.
මම "තාත්තා නොම්මර 1" කියා ලීවාට අම්මා පිළිබඳව ලියා ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ඒ මන්ද එය මෙසේ සතුටු සිතින් මෙනෙහි කිරීමට ඇති අපහසුතාවමය. මා බොහෝ තැන් වලදී ප්‍රසිද්ධියේ කර ඇති ප්‍රකාශයක් ඇත. විවාදයට තුඩු දෙන එම වැකිය මා මෙතනත් ලියන්නම්. නමුත් ඊට හේතු නො විමසන්න; මන්ද "හොඳ" යන්නට වෙනත් නිර්වචනයන් නොමැති නිසාය. හොඳ යනු හොඳය! එතැනින් අවසානය.
"මට හිටියේ ලෝකයේ සිටි හොඳම අම්මායි!" මේ ඒ වැකියය! දිනෙක මම ලියන්නම් අවස්ථාවක් ලැබුනොත් අම්මා ගැනත්. ඒත් අදත් කියන්නට යන්නේ "තාත්තා නොම්මර 1" ගැනය.
අළුත් අවුරුද්ද ආසන්න බව  මට එය පළමුව දැනෙන්නේ තාත්තා සමග කෙහෙල් කැන් වල දැමීම සමගය! වරෙක සිසිර කුමාර මාණික්ක ආරච්චි ලීවා සේ "ගහ කැන් වලදමා - ගිණි දෙවියන්ට පුදවා" අපේ තාත්තාද අවුරුද්ද; කට ලඟ බව අපට දන්වයි.
තාත්තා ගෙවත්තේ වවන ලද කෙහෙල් පඳුරක කෙහෙල් කැනක් අවුරුද්දට "ලයින්" කර ගැනීමේ කලාව තාත්තා දැන සිටියේය. එකල අළුත් අවුරුද්දට "ෆුඩ් සිටියෙන්" කෙසෙල් කීලෝවක් ගෙනැවිත් සැමරුවේ නැත. අනිවා හැම ගෙදරකම පාහේ කෙහෙල් කැනක් වල දමා ඉදවීම සාමාන්‍ය සිද්ධියක්ම විය. කුඩා වලක් කපා එය තුලට කෙසෙල් පරඬැල් දමා ගිනි තබන්නේ වල තැවීමටය. ඒ තුල තවත් කෙහෙල් පරඬැල් කිහිපයක් දමා ඒ මත; කැනෙන් කපා වෙන් කල ඇවරි ටික අඩුක් කර ලෑලි තබා එය පස් වලින් වසා දමන්නේ හිල් කරණ ලද පොල් කටුවක් වලේ එක් මුල්ලක තබාය. මුළු වල තුලටම ඇති එකම වා කවුලුව වන්නේ එම කුඩා සිදුරයි. පසුව එම පොල් කටුව තුලට පොල් මුඩු කිහිපයක් දමා ඒ මත හෙලන පොල් කටු අඟුරු මගින් දුම් වල ඇතිවීමට කුල්ලකින් හුලං ගැසීම කරණු ලබයි.
මා හට ඇති ප්‍රධාන රාජ කාරිය වන්නේ තාත්තා කුල්ලෙන් හුලං ගසද්දී වලේ හතර මුල්ලෙන් දුම් පිටවනවාදැයි නිරීක්ෂනය කිරීමය! එසේ දුම් පිටවන්නේ නම් පස් වලින් යලිත් මුද්‍රා තැබිය යුතුය.
දින කිහිපයකින් පසුව පරණ අවුරුද්දේ වල විවර කොට බලන විට කෙසෙල් ඇවරි සිනාමුසු මුහුණින් සිටිනු දකින්නට ලැබේ. ඒ සඳහා ගතවන කාලය දිනකට කීවරක් දුම් ගැසිය යුතුද වැනි කාරණා පිළිබඳව තාත්තා විශාරද දැනුමක් සහිත විය.
සෑම අවුරුද්දකම තාත්තා ගෙදර ඇති ලොකු හාන්සි පුටු දෙක සූරා පොලිෂ් ආලේප කරයි. "සින්ටෙක්ස්" චිමිණි ලාම්පු වලට චිමිණි දෙකක්ද, පෙට්‍රොල්මැක්ස් ලාම්පුවට මැන්ටලයක්ද ත්‍රී කොයින්ස් ස්ටවුට් දෙකක්, බීර බෝතල් දෙකක්, කලු පැහැති  අරක්කු බෝතලයක් ගෙනත් කොහාට පෙර අපට අවුරුදු එන බව කියන්නේය. ඒවා තිබ්බේ කුඩා අල්මාරිය පිටුපසය!
චිමිනි ලම්පු දෙකද ගඩොල් කුඩු හා දෙහි ලෙලි වලින් මදියි.
අවුරුද්දට අම්මා සාදන කැවිළි අතර අංක එකට තියෙන කැමක් වන්නේ සූදුරු දමාපු අළුවාය. මේ අළුවා සඳහාත් හත්මාළුව සඳහාත් කජු සැපයීම තාත්තා දේව කාරියක් කොට සැලකුවේය. 
බුලත් දී ආහර අනුභවයෙන් පසුව ඇරඹෙන්නේ අවුරුද්දේ සුභම සුභ කටයුත්තටය. ඒ අනෙකක් නොවේ ගනු දෙනු කිරීමය. මෙහිදී අම්මාත් තාත්තාත් බුලත් කොල වල ඔතා අපිට පොඩි සම්තින් එකක් දෙති. එය රැගත් සැණින් අපට මතක් වන්නේ කැට පොලය. හරක් අඟින් කල කැටයේ හය, දොළහ, දහ අට ආදී වශයෙන් තිස් හයට තෙක් ලකුණු යොදා තිබුණි. අප කරණ්නේ අඩු වැඩි ඇල්ලීමය. හය, දොළහ, දහ අට අඩු වන අතර ඉතිරි අංක වැඩි අංක ලෙස සලකණු ලබයි.
මේ සියළු සුන්දර කථා බහ පිළිමඳව ඇත්තේ නොමැකෙන මතකයන් පමණි.
අම්මාගේ මරණින් පසුව තාත්තා බොහෝ සෙයින් තනිවිය. එම තනිකම මැකී ගියේ මිතුරු ඇසුර හා මධු විතෙනි. බොහෝ කලක් තාත්තා තනිවම හක්බෙල්ලාවක නිවසේ විසීය. 
මීට වසර ගනනාවකට පෙර රූපවාහිණියේ විකාශනය වූ රසාලිප්ත නාට්‍යයක් විය "දූ දරුවෝ" නමින්. එහි එක් අවස්ථාවක හෙන්රි ජයසේන තම මහළු  වියේ සිටි බිරිඳ අමතා පවසන වැකියක් මාගේ හදවතේ රැඳී තිබුනි.
"දරුවන් අළුතින් ගෙවල් දොරවල් හදද්දී ඒවාට; වැඩකරන අයට ඉන්න කාමර, ස්ටෝරු කාමර, මුර කාමර වගේ හැම දෙයක්ම ඇතුලත් කරණ්න මතක් වෙනවා. ඒත් වයසක අම්මටයි තාත්තටයි ඉන්නට කාමරයක් හදන්නට එයාලට මතක් වෙන්නේ නෑ සුදු හාමිනේ!" සත්තකින්ම මෙය සැලකිය යුතු කාරණයකි.
මා වෙසෙන කඩවත නිවසේ නිර්මාණ ශිල්පියා වූයේ උදුල බණ්ඩාර අවුසදහාමි ය. ඔහු නිවස නිර්මාණය කරද්දී; මා තාත්තාට කාමරයක් නිවසට ඇතුලත් කරණ මෙන් දැන්වූයෙමි. නිවසේ මුළුතැන් ගෙයට, කෑම කාමරයට ලෙහෙසියෙන්ම ඇතුළු විය හැකි; නාන කාමරයක් හා වැසිකිළියක් වෙන වෙනම වූද නිවසේ ප්‍රවේශ මාර්ගයෙන් සෘජුව ඇතුළු වීමටත් එයට පිටවීමටත් හැකි වන පරිදි කුඩා කුටියක්; උදුල තම නිර්මාණයට ඇතුලත් කොට තිබුනි. එසේම නිවස සාදා නිමවන විට එය ඉතා සුන්දර වාසස්ථානයක්ව දිස් විය. එහෙත් තාත්තාට එහි නැවතීමට පැමිණීමට කිසිදු උවමනාවක් නොවීය. ඒ ඔහු; ස්වකීය නිදහස් දිවියට දැක්වූ පරමාදරයම විය. මාගේ සොහොයුරියගේ හෝ සොහොයුරාගේ නිවස්වල හෝ තම විශ්‍රාම දිවිය ගෙවා දමන්නට ඔහු තුල ඇල්මක් නොවීය.
ඔහු ජීවත් උනේ තනිව හක්බෙල්ලාවකය. අපගේ නිවෙස් වලට ඉඳ හිට හෝ මාසයකට වතාවක් පමණ පැමිනුනත් ඔහු ගෙට ගොඩ වූ සැනින් ආපසු පිටව යන දිනය මතක් කෙරුවේය.
හක්බෙල්ලාවක ඔහු ගතකල කාලයද පුරාවෘථයකි. නිවෙසට අවශ්‍ය සියළු දේ ලබා ගත්තේ අසල සිල්ලර කඩයෙන් ණයටය. කොටින්ම හොර පොට් එකෙන් අරක්කු ගෙන්වා ගත්තේද පොතටය!  සියළුම ණය ඔහු මාසිකව සතකුදු හිග නොතබා ගෙවා දැමීය. 
උදේ පාන්දරින් අවදි වන හේ දිනයට අවශ්‍ය ආහාර පිස නිම කොට දීසි බන්දේසි ආදියට පිසගත් ආහාර දමා මේසයට යවයි. මිදුල උදළු ගෑම හෝ අතු ගෑම සිදු කරන්නේ ඉන් ඉක්බිතිවය. ඔහුගේ උදළු ගෑමද ක්‍රමාණූකූල විය. තාත්තා මිදුල උදලු ගෑවේ දිනයේ වැඩ නිම වන විට එය සෘජුකෝණාස්‍රාකාරව අවසන් කල හැකි වන ලෙසය.  සියල්ල අවසානයේ රැවුල කපා මුහුණ සෝදා කමිසයකින් හා සරමකින් සැරසී ආහාර මේසයට පැමිණේ. කෑම මේසයේ සිට ආහාර ගනී. තනිව සිටියද කුස්සියේ ඇතිළි වලින් ආහාර බෙදා ගැනීමට ඔහු තුල පුරුද්දක් නොවීය.
තාතාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් නව දෙනෙකු සිටියත් ඔහු වඩාත්ම ඇල්ම බැල්ම හෙලුවේ සිරිල්  සහ අශෝක යන දෙසොහොයුරණ් හටය. තමාගේ සියළුම ඕනෑ එපාකම් සොයා බැලුවේද ඒවා විසඳා දුන්නේද ඔවුන්ය. 
එකට කාබී ඔවුන්ව තම ගෙදරින් "බැහැපං එළියට!' කියා එළවා දැමීමට තාත්තා අති දක්ෂය! බොහෝ විට සිරිල් බාප්පා සමග හවසට ගසන සුට්ටං "අඩිය" කෙළවර වූයේ ඉහත වැකිය සමගය!
"තමුසෙගෙ අරක්කු මට ඕනෙනෑ ඕයි!" කියමින් බාප්පා පිටව යයි.
පසුදා උදේම අවදිවන තාත්තා මිදුලට පැමිණ "සිරිල් මල්ලී!" කියා කෑගසයි.
"සිරිල් මල්ලී" ද ඊයේ දිනය අමතක කොට "ලොකු අයියේ!?" කියාගෙන ගෙදරට පැමිණේ.
"පත්තරේ ගෙනෙංකො!" තාත්තා පත්තරේට සල්ලි දෙයි. වලිය එතැනින් අවසානය!
මේවා මට ඇසුණු දුටුව කථා වලට වඩා අසෝක බාප්පා පන පිහිටුවා කියන කථාය! ඊට ප්‍රධාන හේතුව මා නිවසේ ඇති අවස්ථා වලදී අපේ තාත්තා කේස් දා නොගෙන "ක්‍රමේට" සිටිනා බැවිනි.
තාත්තාගේ පැන්ශන් එක අතට ගත් පසු නගරයට ගොස් මධුවිත සප්පායම් වී තවත් බෝතලයක් බෑගයේ දමාගෙන ගෙදරට අඩු වැඩිය රැගෙන පැමිණීම සිරිතකි. එකල ගෙදර සිටියේ ඔහු පමණි. අප සියල්ලන්ම විවාහ වී නිවසෙන් බැහැර වී සිටි අතර මව ඊට වසර ගනනාවකට පෙර මෙලොවින් සමුගෙනය. තාත්තා අවසන් වතාවට පෙන්ශන් පඩිය ලබා ගැනීමට නගරයට ගිය දිනයේ ත්‍රී වීලරයක ගැටී තිබුනි. ඉන් පසු ඔහු ගෙදර ආ බව දන්නා  මුත් ඒ ආවේ කෙසේද? කවුරුන් සමගද? කොයි වෙලාවේද කියා මා දන්නේ නැත! කෙසේ වෙතත් තමා අනතුරට පත් කල හෝ තමා අනතුරට පත් කරගත් ත්‍රී විලරයේ නොම්මරයක් ඔහු හට මතක තබා ගැනීමට ඔහුට අවශ්‍යතාවයක් තිබූ බව නොපෙනුනි. දින කිහිපයක් ගත වෙද්දී  කොහෙත්ම ඇවිදීමට නොහැකි තත්වයේ පසුවූ ඔහු රෝහල් ගතවී පරීක්ෂා කල පසු උකුල් ඇටය පුපුරා ගොස් ඇති බව එක්ස් කිරණ රූපය තහවුරු කලේය! එයින් පසුව ඔහු ටිකෙන් ටික අවරට ගමන් ඇරඹුවේය. ඔහු රෝහල් ගත කෙරුණු අතර ඒ සමග ඔහු ඇල්කොහොල් නොමැති කමින් පීඩා වින්දේය! 
ඒ සමග ඔහුගේ මනස බොහෝ සෙයින් අවුල්ව ගියේය. මා ඔහුව මාගේ නිවසට ගෙන ආවෙමි.  තාත්තා  කෙටි කලක් අපගේ නිවසේ විසුවේය!  දිනක් අපහට නිවසින් බැහැර දින දෙකක් ගත කිරීමට කුමක් හෝ අවශ්‍ය තාවයක් පැන් නැගුණි!  එම දින කිහිපයට තාත්තාව රැඳවීමට මා මාගේ එකම සොහොයුරියට කථා කල මුත් ඇය එය ප්‍රථික්ෂේප කලේය! දෙවනුව මාගේ එකම සොහොයුරාට ඇමතුවද ඔහුද එයට සාර්ථක ප්‍රථිචාරයක් නොදැක්වීය!
මා හට අවසාන මොහොත වන තුරු කල යුත්තක් නොවීය. එකල කඩවත නගරයට අසන්නව වැඩිහිටි නිවාසයක්   තිබුනි! මා දැඩි කණගාටුවෙන් යුතුව තාත්තාව එහි ගෙන ගියෙමි. එදින රාත්‍රියේ මා තාත්තාගේ අතින් අල්ලාගෙන එම වාසස්ථානයට දින දෙකක් සඳහා ඇරළුවෙමි. විශ්වාස කරණ්න! තාත්තාගේ අතින් අල්ලාගෙන යන විට දී මීට  දශක ගනනාවකට පෙර ඔහු මාගේ අති අල්ලාගෙන කළුඅග්ගල නෙළුවත්තුඩුවේ පෙර පාසැලට ගෙන ගිය අයුරු මට මතක් වී පපුව කඩා හැළුනි! මා තාත්තාව එහි අඳුරු කිළුටු කාමරයක නවතා; මුදල් ගෙවා ඉක්මණින් එතැනින් පිටත් විය! තාත්තාගේ මනස මුළුමනින්ම අවුල්ව ගොස් තිබුනු බැවින් ඔහු සිටිනා ස්ථානය පිළිබඳව ඔහුට වැටහීමක් නොතිබුනි!
මා පසුදා උදෑසනම ගමනට පිටත් විය. දින දෙකකට පසු රාත්‍රී අටට පමණ මා නැවත පැමිණ තාත්තාව රැගෙන ඒම සඳහා  නිවාසය කරා ගියෙමි!
තාත්තා නැවැත්වූ කාමරයට ගියෙමි! කාමරය හිස්ව ගොස්ය! මීට දින දෙකකට පෙර නැවැත්වූ තාත්තා එහි සිටියේ නැත! මා  නිවසේ අයිති කරුගෙන් විමසූ විට; තාත්තා අසනීප වූ බවත් ඔහුව රාගම රෝහලේ නැවැත්වූ බවත් කිසිදු වගකීමකින් තොරව පැවසුවේය. ඒ පිළිබඳව අපට නොදැණ්වීම පිළිබඳවද මොන මොනවාදෝ වැල් වටාරම් වගයක් කියවද්දීම මා ගේට්ටුවෙන් එළියට ආවෙමි. ක්ෂණිකවම මා රාගම රෝහල වෙත පියාසර කලෙමි. ගේට්ටු  අධිපතින් හට මොන මොනවාදෝ කියමින් මා රෝහලේ කොරිඩෝර දිගේ දිව්වෙමි! නිවෙස් හිමියා පැවසූ වාට්ටුව තුලට අනවසරයෙන් ගොඩ වැදුනු මා එහි වූ හෙදියකගෙන් තාත්තා පිළිබඳව විමසීමි.
"ඒ සීයා පෙරෙදා ගෙනත් නැවැත්තුවේ! ඊයේ රෑත් හිටියා! අද උදේ බලන කොට කොහේ ගිහින්ද මන්දා වාට්ටුවේ නෑ!"
මගේ ඉහ මොළ රත්විය! 
එතැන් පටන් මා මධ්‍යම රාත්‍රිය පසුවන තුරු බස් ගාල, දුම්රිය ස්ථානය ඇතුලු පොදු හා පෞද්ගලික  මෙකී නොකී සියළුම ස්ථාන අතොරක් නැතිව බැලුවෙමි. පොලිස් නිළධරයින්, කඩ හිමියන්, යාචකයින් ඇතුළු නගරයේ හමුවන හමුවන අයගෙන් තාත්තා පිලිබඳව විමසීමි! මා අතැති විදුලි පන්දම දල්වාගෙන නගරයේ කානු, කුඩා ඇල මාර්ග බෝක්කු සියල්ලම පාහේ තනිව හඬමින් සොයා බලා නිවසට පැමිණියෙමි. 
එදින රාත්‍රියේ පොලීසියේ පැමිණිල්ලක් යෙදූවද මාන්සික වශයෙන් අවුල්වූ වයස් ගත පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලීසිය දැක්වූයේ ඇල්මැරුණු ප්‍රථිචාරයකි! මාගේ ආදරණීය තාත්තා පිළිබඳව කිසිදු සාක්කියක් සටහනක් නොමැතිව  මා රාත්‍රිය පහන් කලෙමි. රාගම  නගරයේ හොයනවා හැරුණුකොට ගෙන වෙන සොයා බැලීමට තැනක් නොමැත!  
මා පසුදින උදෑසනම අවදිව හක්බෙල්ලාවක ගියෙමි. ආශ්චර්‍යයකි! මා එහි යන විට තාත්තා නිවසේය!  තාත්තා රාගම සිට හක්බෙල්ලාවක පැමිණි ආකාරය පිළිබඳ ඔහුට මතකයක් නොමැති විය! තාත්තා අත සතයක හෝ මුදලක් නොමැතිව පැමිණියේ කෙසේද යන්න අදටත් නොවිසුඳුනු අභිරහසකි. 
තාත්තා මාගේ වැඩි මහළු සොහොයුරාගේ නිවසට ගෙවදින්නේ ජීවිතයේ අවසාන භාගයේදී ය. තවත් මස ගනනක් ගෙවෙන විට තාත්තාගේ තත්වය අතිශයින් දුර්වල විය! මමද බිරිඳද රැකියාවට යන බැවින්ද ඒවන විට මාගේ දරුවන් ඉතා කුඩා වියේ සිටි බැවින්ද තාත්තාව මා ගේ නිවසේ තබා ගැනීම තරමක ගැටළු කාරී තත්වයක් විය ඒවන විට මාගේ වැඩි මහළු සොහොයුරා රැකියාවේ විරාමයක නිවසේ විසීය. ඔහු තාත්තාව රැගෙන යාමට කැමති විය! මාගේ මව අංශ භාග රෝගයෙන් ඔත්පලව වසර දෙකක්; මියෙන තෙක් බලාගත් බැවින් නිසා හෝ තාත්තගේ බරට කර ගැසීමට ඔහු ඉදිරිපත් වීම මාහට මහත්වූ ඇසිල්ලක් විය! තාත්තාව ගෙන ඒමට මාත් අයියාත් හක්බෙල්ලාවක් ගියුමු. තාත්තාව මාගෙ පැරණි රථයට නංවාගෙන අප පැමිණියේ සොහොයුරියගේ නිවසටය! ඇය තාත්තාව බැලීමට පවා ප්‍රථික්ෂේප කල අතර අප නැවත් පොළොන්නරුව බලා පිටත් උනෙමු.
අප කූඩා කල තාත්තා තමා සතුව එවකට පැවති එකම රථය වූ හම්බර් බයිසිකලයේ තබාගෙන අවිස්සාවේල්ලේ රෝහල අසල කන්ද පදින්නට හෝ සයිකලයෙන් මාව බිමට නොබස්වා කන්ද තල්ලු කරමින් ගිය හැටි මම අයියාට පැවසුවෙමි! අප දෙදෙනාම හඬමින්ද පරණ මතක දුක් කම් කටොළු ගැන වරෙක කම්පා වෙමින්ද වරෙක සිනහ වෙමින්ද ගියෙමු. තාත්තාට අපගේ කථා වගේ වගක් නොතිබුනි. ඔහුට අපේ කථා ඇසෙන බවක් හෝ නොපෙනුනි! එදින රාත්‍රියේ තාත්තාව පොළොන්නරුවට ඇරලවා මා තනිව පැමිණියෙමි.
අයියාගේ ආදරණීය බිරිඳ ප්‍රියන්ති අක්කා අපගේ තාත්තාව ආදරයෙන් පිලිගත්තීය. අප එහි යන විට තාත්තාට සියළු සැප පහසු කමින් පිරි කාමරයක් ඇය සකසා තිබුනි! ඇයගේත් අයියාගේත් ඇප උපස්ථානවල මහිමයෙන් තාත්තා ශාරීරික ලෙස බොහෝ සෙයින් බල ගැන්වුනි. නමුත් ඔහුගේ මනස යලි යතා තත්වයට නොපැමුනුණි! කාලය සෙමන් ගලා ගියේය. වසර ගනනාවකට පසු එක් උදෑසනක අයියා අඬමින් මාහට දූරකථන ඇමතුමක් ලබා දුනි! 
මහළු වයස යනු එක් අයෙකුට මහත් සතුටක් සැනසුමක් ගෙන දෙන කාල පරිච්ඡෙදයක් වනාතර තවත් අයෙකුට එය මහත් වූ කටුක කාලපරිච්ඡෙදයක ආරම්භයක් වේ! 
තාත්තා ජීවිතය හොඳින් විඳි කෙනෙකු වූවා සේම ඉතාමත් කටුක කාල පරිච්ඡදයන් හට හා කටුක අවස්ථාවන්ට මුහුණ දුන් අයෙකි. ඔහු ජීවිතය ඉතා සරළව ගෙනගිය අයෙක් ලෙස මා දකින අතර කිසිදු දෙයකින් කම්පා නොවුනු අයෙකි. තාත්තා බොහෝ සෙයින් ඔහුගේ නිදහස් සරළ ජීවිතයට ඇළුම් කලේය! ඔහු එයට කෙතරම් ත්දින් ග්‍රහණය වී සිටියේද කියනවා නම් තාත්තා ගිලී මිය ගියේ එම නිදහස් සරළ ජීවිතය තුලමය! 
අප කෙතෙක් ඔහුට ආරාධනා කලද ඔහු අප සමග ජීවත් වීම ප්‍රථික්ෂෙප කලේය! එයට හේතුවූ කරුණු කිහිපයක් මා දකිමි. ගතානුගතිකත්වයෙන් ඔහු බැහැර වීමට ඔහු කැමති නොවීය! ඔහු  ජීවත්වූ ඔහුටම සීමා වූ ජීවන රටාවෙන් ඔහු සංතෘප්ථ විය! ඒ නිසාම අපගේ සංකීර්ණ ජීවන රටාව සමග පෑහීමට ඔහුගේ කිසිම කැමැත්තක් නොවීය! ඔහු ආදරණීය සීයා කෙනෙකුගේ චරිතයට නොගැලපුනේය! වයසට යන තාත්තලාගෙන් පුත්තු බලා පොරොත්තුවන ආදරණීය රාජකාරියට ඔහු කිසි සේත්ම නොගැලපුනේය. එම රාජකාරිය අන් කිසිවක් නොව තම පුතාලා දුවාලාට හොඳ සීයා කෙනෙකු , ආරක්ෂකයෙකු වීමයි. තාත්තාට එම චරිතයට පණ පෙවීමට කිසිදූ අවශ්‍යතාවයක් හෝ නොවීය! ඒ නිසාම ඔහුට සිදු වූයේ ඩයිනෝසරයන්ට සිදුවූ දෙයමය! දරුවන් කුඩා කල පියවරුන්ගේ අඩි පාරේ යන්නාසේම විය පත් වන විට පියවරු; දරුවන්ගේ ගමන් මගට එක්විය යුතුය! ඒ රටාවට අනුගත විය යුතුය! එහිදී තම්න් අත්විඳින කුඩා දුෂ්කරතා විඳ දරා ගැනීමට පුරුදු පුහුණු විය යුතුය!
මෙය හොඳ පූර්වාදර්ශයකි!  තාත්තාට සිරිල් බාප්පලාගෙන් අශෝක බාප්පලාගෙන් ලැබුනු සවිය සේම වූ පසු පෙලක්; මටද හක්බෙල්ලාවක සිටියි. ඒ අශෝක බාප්පාගේ වැඩි මහළු පුත් පාලින්ද ය! ඔහු මා හට සෙවනැල්ලක් සේ බොහෝ කාරණා කාරණා සඳහා ලඟින් සිටියි. මමද හක්බෙල්ලාවකට මෙන්ම එහි ජීවිතයට දැඩි ඇල්මක් ඇත්තේය! මා තනිව මගෙන්ම අසමි. 
"උඹ තාත්තගේ චරිතයේ ෆොටෝ කොපිය වෙන්නද යන්නේ?" 
සත්තකින්ම එයට මා බිය වෙමි. 
මාගේ ජීවිතයේ අවසානය තාත්තාගේ අවසානයෙන් වි‍යුත්පන්න විය යුතුය!




Sunday, September 26, 2021

216. තිසාහාමිගෙන් ඉගෙන ගත යුතු බ්ලොග් කරණය!


පසු ගිය මාස කිහිපයක කාලය තුල මා ලියන ලද පෝස්ටුවකට යටින් අපේ සහෘදයෙකු යොදන ලද කොමෙන්ටුවකට පිළිතුරු ලෙස  "නැවත බ්ලොග් ලිවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙමින් පවතී!" යන අදහස ගෙන හැර පෑවෙමි.  මොන දෙයින් හෝ එවන් ඉවක් මට දැණුනි. 

එසේම පසුගිය සතියේ මුහුණු පොතේ ජීවත්වන බ්ලොග් ලියන්නන්, කියවන්නන් හා ඊට සහ සම්බන්ධව සිටි බොහෝ දෙනෙකු  එකතුවූ මාතෘකාවක් උඩ පහල යනු දුටිමි. ඒ "අහස් ගව්වෙන් එහා ලෝකය" ලියන අනුරුද්ධ වැලිගමගේ විසින් කැනඩාවේ සිට මෙහෙයවනු ලබන "රූපන" වෙබ් රූපවාහිණියේ මෙවර සාකච්ඡා කෙරෙණ මාතෘකාව සිංහල බ්ලොග් පිළිබඳව වීමය.

එම වැඩ සටහන නැරඹීමට අද පාන්දරම ඉඩ අවකාශය හා වාසනාව ලැබූ අතර පෙරදින තෙක් වත් පොතේ කෙරුණු කථිකාවටද මා හැකි පමණ දායක විමි.

වත් පොත තුල කෙරුණු කථා බහේදී එළිපහළියට පැමිණි සුන්දර අදහසක් හැඟීමක් මෙන්ම ආරංචියක් වූයේ බොහෝ පැරණි බ්ලොග් රචකයින් අතර  නැවතත් බ්ලොග් කරනයට යොමුවීමේ ප්‍රවණතාවයක් ඇති බවය.

සත්තකින්ම එය ඉතාමත් සතුටු දනවන පුවතකි.

"රූපණ" හා එක්වූ තිලකසිරි ඒකනායක (තිලක සිත) හා අජිත් ධම්මකීර්ති (කොළඹ ගමයා) සොහොයුරන් විසින් කෙරුණු අදහස් ඉදිරි පත් කිරීමේදී බ්ලොග්කරණයේ වැදගත්කම, එහි ඉතිහාසය හා එහි අනාගතය පිළිබඳව අවධානය යොමුකෙරුණි.

මා පෞද්ගලිකව පැරණි බ්ලොග් රචකයින් හා ඊට සහ සම්බන්ධව සිටි කිහිප දෙනෙකුන් සමග කථා කල අවස්ථා වලදී බ්ලොග් කරණය අගතියට පත්වීමට හේතුව ලෙස කරුණු දෙකක් ගෙන හැර දැක්වීය. ඒ බ්ලොග් රචකයින් නො එසේනම් බ්ලොග් ලියන්නන් බ්ලොග් නොලිවීම හා බ්ලොග් බලන්නන් බ්ලොග් බැලීමෙන් ඈත් වීමය! 

මීට කලකට පෙර මාගේ මිත්‍රයෙකුවූ චන්දන කීර්ති බණ්ඩාරයන් මුදල් පිළිබඳව දැක්වූ නිර්වචනය මාහට මෙහිදී මතකයට පැමිනුණි! 

"සල්ලි තියෙන්නේ හම්බ කරණ්නයි වියදම් කරණ්නයි හොරකං කරණ්නයි!" ඒ ඔහුගේ මුදල් පිළිබඳ ආකල්පය ය!

එසේම බ්ලොග් තියෙන්නේත් ලියන්නයි කියවන්නයි මිස අන් කවර කරුණකටද? එය තිසා හාමිගේ පොරොව මෙන්ය. එහි ඇත්තේ තලයක් ඇරුණු කොට මිටක්ද; මිටක් ඇරුණු කොට තලයක්ද පමණක් වේ!

බ්ලොග්කරණයට ආදරය කරණ යමෙකු වේ නම් එය රැක ගැනීමට කවරෙකුට හෝ ඇවැසි වේ නම් කලයුතුව ඇත්තේ තිසා හාමි; තම පොරොව පරම්පරා ගනනාවක් රැක ගත් න්‍යාය මෙයටද ආදේශ කිරීමය. 

තිසා හාමි තම ජීවිත කාලය පුරා පොරොවට මිටවල් හැත්තෑවක් හා තල හයක් මාරු කල පරිද්දෙන්ම බ්ලොග් කරණය රැක බලා ගැනීමට, ඉදිරියට පවත්වා ගෙන යාමට හා වැඩි දියුණු කිරීමට අවශ්‍ය; ඊට ආදරය කරණ; කල යමෙකු වේ නම් කල යුතු වන්නේ බ්ලොග් ලිවීම  හා කියැවීමය!

දෙල්කඳ පොල සේම විවිධ රස ගුණයන්ගෙන් පිරුණු ලියැවිලි ලිවීමය! එසේම කියැවීමය!!

බ්ලොගයක් යනු එක් අතෙකින් ඩිජිටල් දිනපොතකි! පැරණි මතක මංපෙත් ලියැවුණු සටහන් පොතකි!! තවත් අයෙකුට ජීවිත්යේ ගමන් සගයෙකි! දුක සැප බෙද හදා ගන්නා මිතුරෙකි!! සමාජය ඥාණනය කල හැකි කැටපත් පවුරකි!!!මෙසේ බ්ලොගයකට විවිධවූ අරථ කථනයන් දිය හැක. එක් එක් අය තමාගේ බ්ලොගය ලියන්නේ විවිධ විවිධ හේතු කරුණු නිසා විය හැක! එසේම තමාගේ බ්ලොගයේ ලියනා එක් එක් පෝස්ටුව ලිවීමේද විවිධ විවිධ අරමුණු තිබිය හැක!! මේ සෑම දෙයක් තුලින්ම සිදුවන කාර්‍ය භාරය මෙතැකැයි කියා සීමා කල නොහැක!

බ්ලොග් කරණයේ ඇති වඩාත් සුවිශෙෂී කරුණු කාරණා ලේස මා දකින්නේ විවිධ වූ කරුණු කාරණා දෙස වඩාත් වෙනස් කෝණයකින් දැකීමට ඇති අවස්ථව සහ එහි පවතින ද්විත්ව සංනිවේධනයයි. මේ නිසාමයි අප ලිවිය යුත්තේ සහ කියැවිය යුත්තේ.

මේ පෝස්ටුව මා ලිවීමෙන් අපේක්ෂා කල කරුණු කිහිපයක් අරමුණු කිහිපයක් වේ.

1. මෙය කියවන ඔබ මෙම කථිකාව ඉදිරියට ගෙනයන්න පෝෂණය කරමින්.

2.ඔබ දැනටමත් බ්ලොග් ලියන්නෙක් නම් වඩාත් සක්‍රීයව ලියමින් කියැවීමද කරණ්න.

3.ඔබ බ්ලොග් කියවන්නෙකු පමණක් නම් ඉතා ඉක්මණින් බ්ලොගයක් අරඹන්න. ඔබට අපවෙත කියන්නට කථාවක් ඇත!

4.ඔබ දන්නා දැනට සක්‍රීයව බ්ලොග් කරණයේ යෙදෙන සොහොයුරු සොහොයුරියන් නැවත බ්ලොග් කරණයට යොමුකරවන්න. ඊට උත්තේජනය සපයන්න. දිරි දෙන්න!

5. මෙය මාහට විළිලැජ්ජාවකින් තොරව ලියන්නට නොහැකි උනත්; ලැජ්ජාව බැරල් එකෙන් වසාගෙන ලියන්නම්. සහෝදර බ්ලොග්කරුවන් වෙත කොමෙන්ටුවක් පුදන්න! (මේක පිං අතේ වැඩක්!)

6. තවත් දන්නා කියන "තරහ කාරයෙකුව" බ්ලොග්කරණයට ගෙන එන්න!

එසේ නම් ජය වේවා!

මෙම ලිපිය ලිවීමට මසිත පුබුදුවාලූ අනුරුද්ධ වැලිගමගෙ, තිලකසිරි ඒකනායක සැමදා අප සමග ඉන්න අජිත් ධම්ම සොහොයුරණ් වෙත ගෞරව ප්‍රණාමය!

රූපන බලන්න මෙතැනට යන්න!

Friday, September 17, 2021

215. මෝටර් රථ වාහන කර්මාන්තයේ අත් පොත්


මාගේ පසුගිය පෝස්ටුවට කොමෙන්ටුවක් ලියමින් හැට්ටර් මහත්තයා පවසා තිබුනේ එම පෝස්ටුවෙන් සිංහල වචන බොහොමයක් උගෙන ගත් බවකි. එය කියැවීමෙන් පසුව මාහට මෙය ලියන්නට සිත්විය!

 මම ජීවිතේ මුලින්ම මේ මෝටර් රථ වාහන කර්මාන්තෙට අත් පොත් තිබ්බේ අපෙ ගෙදර තිබ්බ මොරිස්  J2 වාහනෙන්. මගේ "නොරත රථ" ලිපි පෙළ අරඹා තියෙන්නේ ඒ වාහනේ ගැන කියලා. ඒ මට වයස අවුරුදු 5 කටත් අඩු කාලේ වගේ. ඔය කාලෙම අපේ අයියා කළු අග්ගල ශාන්ත බොස්කෝ කියන ඉස්කෝලෙන් "මෝටර් රිය නඩත්තුව සහ අළුත්වැඩියාව" කියලා අන්තර්ජාතික කම්කරු කාර්‍යාලය මගින් ප්‍රකාශිත; අධ්‍යාපන ප්‍රකාශන දෙපාරතමේන්තුව මගින් මුද්‍රණය කොට බෙදා හැරමු තඩි පොතක් උස්සගෙන ආවා! පොතේ රූප වල තිබ්බ බොහෝ කාරණා කාරණා මා හැබැයින් දැක්කේ ඒ වාහනෙන්. ඒ පොතේ බොහෝ ඉංග්‍රීසි යෙදුම් වලට සුන්දර සිංහල යෙදුම් යොදා තිබුනා. ඊට කලකට පෙර Universal Joint  එකට "සර්වලෝක පූට්ටුව" වගේ අපබ්‍රංස නොවේ "දසත මූට්ටුව" වැනි සරල සුගම යෙදුම්.  Tuning - ටියුනිං - සුසර කිරීම,  Fly Wheel - ෆ්ල්යි වීල් - ජව රෝදය, Propeller Shaft - ප්‍රොපෙලර් ශාෆ්ට් - අවර පෙති කඳ,  Connecting Rod - කනෙක්ටින් රොඩ් - පිස්ටන් අත්, Jet - ජෙට් - චංචුව, Crank Shaft - ක්‍රෑන්ක් ශාෆ්ට් - දඟර කඳ වැනි අළුත් එහෙත් තර්කානුකූලව භාවිතා කල හැකි වචන මාලාවක් එහි ගැබ් වී තිබුනා.  මේ කාලේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශය; නන්දදේව විජේසේකර කියන දැවැන්තයාගේ සෙවන යටතේ ක්‍රියාත්මකවූ කාලයයි. 1960 වැනි ඈත කාලයක එවන් අළුත් වචන සොයා ගැනීම ක්‍රිකට් පිත්ත, පන්දුව, තණ තිල්ල වැනි වචන නිමවා, සකසා, ගලපා, සොයා යෙදූ අය වැනිම වූ නිර්මානශීලී පිරිසකගේ අතින් ගතින් නැණ නුවණින් සිදු වූවාක් ලෙසයි මට නම් හිතෙන්නේ. 

දවසක් ලස්සන වැඩක් උනා හබරණ හතරැස් කොටුවේදී. මම මේ කියන්නේ මීට දශක හතරකට පමණ පෙර සිදුවූ කථාවක්. හතරැස් කොටුව පිහිටා තිබුනේ හබරන සිට ත්‍රීකුණාමළය දෙසට කිලෝමීටර 9 ක් ගිය තැන. එතැන පුංචි හංදියක් කඩ දෙකක් තිබුනු. මා පලමුවෙන්ම වාහනයක් පැදවූ, සයිකල් පදින්න පුරුදු වූ පලාත. මෙතැන පොඩි පහේ මාර්ග අනතුරක් සිදු වූවා. අනතුරෙන් එක් වාහනයක වින්ඩ්ස්ක්‍රීනය බිඳී ගියා. මෙය වාර්ථා කරණ්නට එතැනට පැමිණි පොලිස් රාළහාමිට අනතුර පිළිබඳ ස්ථානීය සටහනක් යොදන්නට අවශ්‍ය වුවත් ඒ සඳහා වචන හිගකමක් ඇතිවූවා. ඒ වෙන කිසිවක් නොව ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීනයට කියන නම නොදන්නා කමින්. ඔය කියන කාලේ මා පාසල් නිවාඩුවකට තාත්තාගේ නිළ නිවසට ගිය කාලයක්. 

ඉතිං රාලහාමිත් මේ ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක් ඇත්දැයි බලමින් ඉන්න අල්ල පනල්ලේ අපේ තාත්තගෙනුත් අහලා වින්ඩ්ස්ක්‍රීණයට කියන හිංගල වචනෙ ගැන!?"අන්න ගෙදර ඉන්නවා අපේ චූටි පුතා ! එයාගෙං ඇහුවොත් නං ඕක ටක්කෙටම කියයි!!"කියලා අපේ  තාත්තා විශ්වාසෙටම කියලා. මමත් ගෙදර මොක්කදෝ වැඩක්  කොර කොර ඉන්න අතරේ තාත්තාගේ පණිවිඩය අරං එතනට එකෙක් ආපි. එයා මොනතරම් හොඳට පණිවිඩේ කිව්වාද කියනවා නං මට තේරුණේ පොලිස් රාළහාමි කෙනෙක් වාහනේකට යට වෙලා කියාය. මමත් කාර් එකේම එතනට පියෑඹුවේමි. කොම්පියුටර් ගේම්, ස්ටිමුයුලෙටර් නොමැති ඒ සංදියේ විසූ අපි සියල්ලන්හටම වෙන්වූ වාහනයක් විය! කඩේට ගියේත් ආවේත් කොටිංම ගේ ඇතුලේ කාමරේකින් කාමරේකට ගියේත් "ඈං. . . . . . . පීප් . . . . !  පීප් . . . !! " ගාමින් වාහනෙන්ම බව මෙය කියවන බොහෝ අයට තේරෙණවා ඇතැයි සිතමි. 

මා එතැනට ගිය සැණින් අපේ තාත්තා; එයාම කියලා දුන්නු දෙයක් මට මත්කදැයි විමසනවා මෙන් "පුතේ මේ ඉස්සරහ වීදුරුවට එකට  සිංහලෙන් කියන්නේ  මොකක්ද . . ?" කියා විමසුවේය. "ඉදිරිපස වා මුවාව . . !" මා කටේ තොලේ නොගෑවී පැවසුවේ වටේ ඉන්න අවසේස දනන් පමණක් නොව පොලිස් දෙපාර්තමේන්තුවම හොල්මං කරමින්ය!

පණහේ හැටේ හැත්තැව දශක වල මෝටර් රථ කාර්මික ශිල්පය පිළිබඳව බොහෝ පොත පත සිංහලෙන් ලියැවී ඇත.

ඉන් මාහට පැරණිම පොතක් ලෙස මතකයට එන්නේ කොළඹ, කොම්පඤ්ඤ වීදිය, බ්‍රිජ් ස්ට්‍රීට්, නො:71 ලිපිනයෙහි ස්ථාපිතව පැවති  "කරුණාරත්න සහ සමාගම" විසින් ප්‍රකාශිත "මෝටර් කර්මාන්තය" පොතයි. මෙම පොත පිළිබඳව එකල ඔවුන් විසින් පලකල වෙනත් පොත් පත් වල හඳුන්වා දී තිබුනේ

 "සෑම මෝටර් රියෙදුරෙක් ළඟම තිබිය යුතු 

ඉතා අගනා ග්‍රන්ථයකි. 

මෝටර් රථ යන්ත්‍රයෙහි

ඇතිවන සියළු ආබාධ 

සාදාගන්නා ක්‍රමය 

මෙම පොත ඔබට උගන්වයි.

පොතක් රුපියල් 3/50 යි. තැ. ගා. ශත 25 යි.

මෙම කාලයේ ලියැවුනු බොහෝ පත පොතේ මෙන්ම මෙම පොතේද සියලු කරුණු දක්වා තිබුනේ උපදේශ ලෙසින්ය. "හැම උදේකම රේඩියේටර් උපකරණයේ මූඩිය ඇර වතුර ඇත්දැයි බලනු!", "එන්ජින් යන්ත්‍රයේ තෙල් කූර ඇද බලනු!" වැනි වාක්‍ය එහි අන්තර්ගතව තිබුනි. එසේම "වැක්ශෝල් රථය", "ඩැල්කො එක", "බ්රේක් සපත්තු" වැනි එළොවටත් මෙළොවටත් නැති වචන ඒවායේ ගැබ් වී තිබුනි.

ඉන් පසු කාලයකදී රාජ්‍ය අනුග්‍රහය යටතේ බිහිවූ "මෝටර් රිය නඩත්තුව සහ අලුත්වැඩියාව" පොත වැනි පොත් වල වඩාත් නිවැරදි සිංහල ලියැවී තිබුනි. කිසියම් විෂයක් උගෙන ගැනීමේදී; එම විෂයට අදාල පාරිභාෂික වචන විෂය තුල යෙදෙන භාෂාවෙන්ම කියැවීම වඩාත් යෝග්‍යයැයි අද සිතූවද මීට වසර 61 කට පෙර බිහිවූ මෙම පොතේ බොහෝ වචන සිංහලෙන් දක්වා තිබුනි. Differential අන්තර එකලස, Shock absober කම්පන පරිමන්දකය  වැනි බොහෝ වචන එහි දක්වා තිබිනි.  ෂොක් ඇබ්සෝබර් යන වචනය තුල "කම්පනය උරාගන්නා" යන අදහස ගැබ්වී තිබුනද "කම්පන පරිමන්දකය" යන වචනය ලෙහා බැලීමට තරම් සිංහල භාෂාවක් කාර්මිකයින්තුල නොතිබීම කණගාටුවට කරුණකි.

එය එසේ නොවී හැකි පමණ ඉංග්‍රීසි වචනය හුරු කිරීමට උත්සුක වූවා නම් එය වඩාත් යෙහෙකි යන්න මා අදද විශ්වාස කරණ සත්‍යය වේ. 1956 සිංහල පමණක් රාජ්‍ය භාෂාව කල අළුතම එවන් ලෙසකින් පොතක් එළිදක්වන්නට පුද්ගලික ප්‍රකාශකයෙක් කෙසේ වෙතත් රාජ්‍ය  ආයතනයක් කිසිසේත්ම පෙළඹෙන්න්නේ නැති බව අප තේරුම් ගත යුතුය.

තවත් කලකට පසු එනම්1973 වසරේදී; මුල් ප්‍රකාශනය ජර්මන් බසෙන් පලවූ පොතක් සිංහලට පරිවර්ථනය විය.  එය එතෙක් මෙතෙක් සිංහලින් මෝටර් කාර්මික ක්ෂෙත්‍රයේ පලවූ වැදගත්ම පොතක් ලෙස මා දකිමි.  මෙය සිංහලට පරිවර්ථනය කර තිබුනේ එවකට රත්මලාන කණිෂ්ඨ කාර්මික ආයතනයේ මෝටර් යාන්ත්‍රික උපදේශක පණ්ඩුල කේ. පළඟසිංහ මහතා විසිණි. එකල මෝටර් වාහන වල තිබුනු බොහෝ කරුණු කාරණා පිළිබඳව ගැඹුරින් ලියැවුනු පොතක් වන අතර එයද අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් වුවද එහි වූ බොහෝ යෙදුම් ඉංග්‍රීසි ශබ්දයෙන්ම දක්වා තිබුනි.

වාහනයක සියළුම යාන්ත්‍රික කොටස් පිළිබඳව එහි සාකච්චා වී තිබුනු අතර දැනට එහි පිටපතක් සොයා ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණකි. නුගේගොඩ චැපල් පාරේ නිවසක ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටි පණ්ඩුල කේ, පළඟසිංහයන් හමුවට ගිය අවස්ථාවක එම පොතේ පිටපතක් අවම වශයෙන් ඔහු ළඟවත් නැති බව කීවේ කණගාටුවෙනි. මා ළඟද ඇත්තේ එහි ඡායා පිටපතක් පමණක් වන අතර මුල් පොත ආසාවට හෝ දැකීමට මා පින් කොට නොමැත!

ඉන් පසු බොහෝ කාලයක් යන තුරු සිංහල භාෂාවෙන් මෝටර් කාර්මික විෂය පිළිබඳව පොතක් පතක් පලවූවාදැයි මා නොදනිමි. ඉන් පසු 1986 වසරේදී නුගේගොඩ දීපානි මුද්‍රණාලයෙන් මුද්‍රණය වී කතෲ ප්‍රකාශනයක් ලෙස එම්. ඩී. එල්. ගුණරත්න විසින් "මෝටර් යාන්ත්‍රික විද්‍යාව" නමින් පොතක් පල කලේය. මෙතුමා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමත්‍යංශයේ කථිකාචාර්‍යවරයෙකුය. පුංචි බොරැල්ලේ ආනන්ද භවාන් තෝසේ කඩේ උළුඳු වඩේ එතීමට ගන්නා ප්‍රමිථියේ කඩදාසියේ අච්චු ගසා තිබුනු මෙම පොත එකල අලෙවි කලේ රුපියල් 125 කට මිළ නියම කොටය. පොතේ අන්තර්ගතය ලෙසට එතරම් වැදගත් නොවූ මෙම පොතේ දෙවෙනි කොටසක්ද 1989 දෙසැම්බරයේ එළි දැක්විනි. මෙයට අමතරව එම කතුවරයා විසින්ම 1992 පෙබරවාරියේ "මෝටර් වාහන විදුලි පද්ධතිය" නමින්ද පොතක් පල කලේය. මේ පොත්වල මා දකිණ විශාලතම අඩුපාඩුව වන්නේ ඒවා තුල තිබුනේ කාර්මික චිත්‍ර විනා ස්වාභාවික රූප සටහන් හෝ ඡායා රූප නොවීමය.  1960 වසරේදී පලවී "මෝටර් රිය නඩත්තුව සහ  අලුත්වැඩියාව" පොතේද තිබුනේ කාර්මික චිත්‍ර  පමණකි.

ඉන්පසු 1994 වසරේදී මොරටුව කටුබැද්දේ ලංකා - ජර්මන් කාර්මික විද්‍යාලයේ; එනම් ජර්මන් ටෙක් විදුහලෙහි කථිකාචාර්‍ය වරයෙකු ලෙස සේවය කල සිඩ්නි සිරිවර්ධන විසින්ද  "මොටර් කාර්මික ශිල්පය", "මූලික වාහන විදුලි ශිල්පය" යනුවෙන් පොත් කිහිපයක් ලියා ඇතත්; පණ්ඩුල කේ. පළඟසිංහයන්ගේ පොත සමග ගත් කල  ඒවා සියල්ල පැවතියේ ඉතාමත් ප්‍රාථමික නොමේරු ළමා ඒකකයේ හෙවත් වීදුරු පෙට්ටියේය!

මා හට දින වකවාණු නිවැරදිව කීමට මේ මොහොතේ අපොහොසත් වුවත් නව සහස්‍රයේ අරම්භය සමග අගනුවරින් බිහිවූ ඩී. එම්. එම්. දසනායක මහතා මෝටර් කාර්මික මුද්‍රිත මාධ්‍යය මෙන්ම ඉගැන්වීමද උඩු යටිකුරු කිරීමට සමත් විය. ඉතා කෙටි කලකින් ජීවිතයෙන් සමුගත් ඔහු සඟරා කිහිපයක හා පොත් පත් රාශියක කතු වරයා විය. එසේම නුගේගොඩ රොටරි ශාලාවේ ඔහු මෝටර් කාර්මික පංතියක්ද පැවැත්වූ අතර ඔහුගේ ප්‍රකාශන ඉතාමත් දියුණු මට්ටමක පැවතුනි. අන්තර්ගතය මෙන්ම නිමාවද ඉතා උසස් අන්දමෙන් වූ ඔහුගේ ප්‍රකාශන තුල ඉතා සාර්ථක ඉංජිනේරු රූපසටහන් බහුල ලෙස දක්නට පුළුවන් විය. ඉගැන්වීමට තරම්ම හෝ ඊටත් වඩා මුදල් හඹා යෑමක යෙදුණු ඔහු අකාලයේ මිය යාම බොහෝ අංකුර කාර්මිකයින් හට විශාල පාඩුවක් ගෙන දෙන කාරණයක් විය. පසු කාලේක එම පංති ඔහුගේම ශිෂ්‍යයෙකු විසින් කරගෙන ගියද එය සාර්ථක නොවීය.


අප ශිෂ්‍යයන්ව සිටි කාලයේ ලංකාවේ මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ මුදුන් මල් කඩ වූයේ ලංකා - ජර්මන් කාර්මික විද්‍යාලය හෙවත් ජර්මන් ටෙක් විද්‍යාලයයි. 1958 වසරේදී ජර්මන් ජනරජය සමග ඇතිකරගත් සහයෝගිතා ගිවිසුමකට අනුව 1959 වසරේදී වේරහැර; ලංකා ගමනාගමන මණ්ඩලයේ වැඩහල තුල ඇරබුණු මෙහි 1974 වසර වනතුරු අධ්‍යක්ෂක ධූරය දැරූවේ ජර්මන් ජාතිකයෙකු විසිනි. 1974 දී එය කටුබැද්දට ගෙන ගිය අතර එම ආයතනය පිහිටුවීන්මට මූලික හේතුව වූයේ ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා කාර්මිකයින් පුහුණු කිරීමය. එනිසාම වසර හතරක කාර්මික පුහුණුවෙන් පසු ශිෂ්‍යයන් යොමුකලේ ලංගම ඩිපෝ වලටය!

මා දකිණ ලෙසට මෙම හේතුවම එහි අහේතුව බවට පත් විය.  1977න් පසු ලංකා ගමනාගමන මණ්ඩලය යනු දෙශපාලුවන්ගේ හෙංචයියලා හට රැකියා සැපයූ තවත් එක් ආයතනයක්ම විය. මෙසේ ලංගම දේශපාලනීකරණය වන විට ඩිපෝවල පැවති වැඩහල් වල පෙර පැවති ජීව ගුණය දියැවී ගියේය. එසේම එකල පැවති මර්සිඩීස් බෙන්ස්, බ්‍රිටිශ් ලේලන්ඩ් පසු කාලීනව ඉසූසූ බස් රථ වෙනුවට ඉංදියාවෙන් ගෙන්වූ ලොරි චැසි මත ගොඩ ගසන ලද බස් රථ අළුත්වැඩියා කිරීමෙන් අංකුර කාර්මිකයින්හට අවට ලෝකය සමග තරග කිරීමට තරම් දැනුමක් ගොඩ නගා ගැනීමට අවස්ථාවක් නොවීය.

කාලය ගෙවී යත්ම ජාතික ආධුණිකත්ව මණ්ඩලය හා ජපන් සහයෝගීත්වයෙන් ඔරුගොඩවත්තේ පිහිටවූ ජපන් ටෙක් පාසැලෙන්ද ලාංකික කාර්මික ශිල්පීන් හට වඩාත් ප්‍රශස්ථ මට්ටමේ පුහුණුවක් ලබා දෙමින් පවතී. මේ වන විට කොරියන් ටෙක් නමින් පරසිදු තවත් ආයතනයක් ඔරුගොඩවත්තේ සිට වැඩ ආරම්භ කරමින්  සිටියි. මෙහිදී විශෙෂයෙන් AETI නම් වූද "ජපන් ටෙක්" නමින් භෞතීස්ම ලැබුවාවූද ආයතනයෙන් පුහුණුව් ලබන කාර්මික ශිෂ්‍යයන් හට මිට්සුබිෂි මෙරට අලෙවි නියෝජිත යුනයිටඩ් මෝටර්ස්, ටොයෝට ලංකා හා නිසාන් නොයෝජිත AMW වැනි ආයතන තුල අති නවීන තාක්ෂණයෙන් පිරිපුන් පුහුණුවක් ලබා ගැනීමට ඇති ඉඩකඩ ඉතාමත් ප්‍රශංසණීයවේ. කෙසේ වෙතත් මේ වන විට ආන්තර එකලස පිළිබඳව ඉගැන්වීමෙන් ඈත්වී ඇති අතර ඩිෆරෙන්ශලය පිළිබඳව ඒ වෙනුවට ඉගැන්වෙයි. අද වන විට මෝටර් රථ කාර්මික ශිල්පය අපට සිතාගත නොහැකි තැනකට පත්වී ඇති අතර එය අනාගතයේ වඩාත්; වඩ වඩාත් දියුණු තත්වයකට පත්වනුඇත!

Sunday, September 12, 2021

214. ෆෝර් වීල් නැත්නම් වාහනයක් නොවේ! 03


ෆෝ වීල් වාහන ගැන ලිපි දෙකක්ම ලිව්වත් ඒ හා බැඳුනු තාක්ෂණය ගැන ලියැවුනා මදි කියලයි හිතෙන්නේ. මම මෙහෙම කියලාම පටන් ගන්නේ තාක්ෂණය ගැන ලියැවුනු ලියැවිල්ලක් බව මුළින්ම කියා පාන්නට ඕනෑ හින්දාමයි. හැබැයි ලියලා තියෙන්නේ හැකි පමන ලාමක විදියට ඕණෑම ළපැටියෙකුට තේරෙණ විදියට! බලන්න එය කෙතරම් දුරකට සාර්ථක වීදැයි කියා!?

ත්‍රීවීල් එකකට රෝද තුනක් තියෙනවා මෙන්ම ෆෝ වීල් එකකට රෝද හතරක් තිබීම කෙතරම් අරුමයක්ද? කොයි තරම් පුදුම සහගත් දෙයක් උනත් එය එසේමය! අපි මේ කථා කරණ්නට යන්නේ හුදෙක් රෝද හතරක වාහන ගැන නොව; වාහනයේ රෝද හතරම හෙවත් සියල්ලම එන්ජිම මගින් දිවැවෙන වාහන පිළිබඳව බව  02.  ෆෝ වීල් නැත්නම් වාහනයක් නොවෙයි 01  ! හා   124  "ෆෝ වීල් නැත්නම් වාහනයක් නොවේ . . !" 02  යන පෝස්ටු දෙකට එබිකම් කල හොත් බලා ගත හැක.

ෆෝ වීල්  කීවාට ඒවා අතර ඇති වෙනස් කම් එනම් All Wheel Drive, 4x4, 4WD වැනි එක් එක් නම් වලින් පැවසෙන වාහන වල ඇති එකිනෙකට වෙනස් වූ සුවිශේෂීතා පිළිබඳව ඉහත පෝස්ටුවල කථා කලා ඔබට මතක ඇති. අමතක නම් තරහ අවසර ඉහත ලින්කු වලට කොටා ගෙන අදාල පෝස්ටුවට ගොස් කියවා බලන්න. මෙහිදී විශෙෂයෙන් 4WD රථ; රෝද හතරම එන්ජිමෙන් දිවැවීමට ඇති හැකියාවට අමතරව Low Range  එකක් හෙවත් වඩාත්වැඩි ව්‍යවර්ථයක් ඝූර්ණයක් ලබා දෙන සැකැස්මකින් (Hige - Low)  සමන්විත වේ. 

වාහනයේ ගියර් සැකැස්ම සාමාන්‍ය වාහනයක සේ 1 සිට 4 ට  (4 Speed) හෝ 1සිට 5ට (5 Speed) හා රිවර්ස් ගියරය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ලීමට ගියර ලීවරයක් හෝ ඔටෝ ගියර පෙට්ටියක අවශ්‍ය පරිදි ධාවනය කිරීමට D, 2, 1, R යනාදි ලෙසට සැකසිය හැකි යාන්ත්‍රනයක් 4WD රථයකටද ඇති අතර එයට අමතරව ගියර පෙට්ටියට යාබදව පිහිටා ඇති ට්‍රාන්සර් කේසයේ සැකසීම් කිහිපයක තෝරාගැනීම සඳහා කුඩා ගියර් ලිවරයක් හෝ බොත්තමක් පවතී
ට්‍රාන්සර් කේසය සකස් කල හැකි තොරා ගැනීම් පහත දැක්වෙන පරිදි ගොනු කල හැක.

H2  (High Range, 2 Wheel Drive)
සාමාන්‍ය භාවිතයේදී වියළි දෘඪ  මතු පිටක් සහිත මාර්ග වල ධාවනයේදී. වඩාත් ලාභදායි, ඉක්මන් හා වාහනයේ වැඩි කල් පැවැත්මකට ඉවහල් වන ගියර සැකැස්මයි. (H2 ස්ථානයට කුඩා ගියර් ලිවරය සකසා තබා සාමාන්‍ය රථයක පරිදි; සාමාන්‍ය ගියර ලීවරය මගින් ගියර මාරු කරමින් ධාවනයෙ යෙදිය හැක)

H4 (High Range, 4 Wheel Drive)
සමාන්‍ය භාවිතයෙදී හමුවන තෙත්, අයිස්, හිම මඩ වැනි වලින් යුත් මාර්ග වලදී භාවිතා වේ. මෙම සැකැස්මේදී; H2 අවස්ථාවට වඩා වැඩි ඝර්ෂණයක් ලභාදේ. බොහෝ වාහන වල මෙම සැකැස්මේදී රථය පැද වීමේ වේග සීමාවක් නිෂ්පාදකයා විසින් පනවා ඇත.

L4 (Low Range, 4 Wheel Drive)
උපරිම බලයක් සහ ඝර්ෂණයක් ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී භාවිතා වේ. බොහෝ වාහන වල මෙම සැකැස්මේදී රථය පැද වීමේ වේග සීමාවක් නිෂ්පාදකයා විසින් පනවා ඇත. දැඩි නැග්මක් සහිත කන්දක් නැගීමේදී; සීග්‍ර  බෑවුමක් සහිත කන්දක් බැසීමේදී; කිසියම් විශාල බරක්  වැලි, මඩ, හිම වැනි පරිසරයක් තුල ඇදීමේදී; මාර්ගයෙන් පිටත කෙරෙන යෙදවුම් වලදී භාවිතා කරයි.


සාමාන්‍ය වාහනයක බලය උපදවා ලීමට එන්ජිමත් Engine; එහි ව්‍යවර්ථය අඩු වැඩි කරමින් යාන්ත්‍ර ක්ෂමතාවය Michanical Advantage හා ප්‍රවේග අනුපාතය Velocity Ratio; වාහනය පැදවීමේදී අවස්ථානුකූලව වෙනස් කිරීමට හා පසුපස ධාවනය රථයට ලබාගැනීම සඳහා  ගියර් පෙට්ටියකුත් Gear Box /Transmission; ගියර් පෙට්ටියේ සිට රෝද සවිවී ඇති ඇක්සල වෙත ඝූර්ණය සම්ප්‍රේශනය කිරීමට අවරපෙති කඳක්ද Propeller Shaft/Drive Shaft; වාහනයේ සමමිතික අක්ෂය ඔස්සේ සිදුවන ඝූර්ණය ඊට ලම්භක අක්ෂයකට හරවා රෝද වෙත ලබා දීම සඳහා ඩිෆරෙන්ශලයක්ද Dfferential; ඩිෆරෙන්ශලයේ සිට රෝද දක්වා ඝූර්ණය ගෙන යාම සඳහා ඇක්සල දෙකකුත්ත් Drive Axel Shaft යන උපාංග මෙවලම් පද්ධතියක් ඇතුලත් කොට ඇත!

සාමාන්‍ය මෝටර් රථ, ලොරි, බස්, වෑන් වැනි රථවල එන්ජිම මගින් දිවැවෙන්නේ පසු පස රෝද  පමණි. එහෙත් වර්ථමානයේ මෝටර් රථ බොහොමයක එන්ජිමෙන් දිවැවෙන්නේ ඉදිරි පස රෝද දෙකය. මීට හේතු වන කාරණා පිළිබඳව කථා කරගෙනම ඉදිරියට යමු.

පිටුපසින් දිවෙන රථයක; ඉදිරියේ සවිවී ඇති එන්ජිමේ, ගියර් පෙට්ටියේ සිට පසුපස රෝද දෙක   දක්වා බලය සම්ප්‍රේශණය කිරීමට තවත් උපාංග ගණනාවක් කරකැවීමට සිදුවන අතර එහිදී ඇතිවන ශක්ති හානිය අවම කර ගැනීම ඉදිරිපස රෝද මගින් එළවෙන වාහන වලදී සිදුවේ.

ගියර පෙට්ටියේ සිට පසුපස රෝද දක්වා බලය සම්ප්‍රේශණය කරණු ලබන අවරපෙති කඳ හෙවත් ප්‍රොපෙලර් ශාෆ්ටයට ඉඩ සැලසීම සඳහා වාහනයේ අඩිය පතුල හෙවත් ෆ්ලෝ බෝඩය ඉහලට එසවී  හෝ වාහනයේ පතුලේ විශාල නෙරීමක් ඇති කිරීමට සිදුවේ. බොඩියෙන් වෙන් කල හැකි චැසි නොමැති වාහන වල එනම් Unibody / Monocoque  රාමුවේ දෘඨ බව රැකීම සඳහා පතුලේ මැද ඉහලට නෙරා තිබීමට පුළුවන් උවද මේ වන විට වෙළෙඳ පොලේ ඇති බොහෝ මෝටර් රථ වල මෙම නෙරීම දක්නට ලැබෙන්නේ ඉතා අවම මට්ටමකින්ය.

එහෙත් නවීන තරග රථ වල මෙන්ම රළු පාවිච්චිය සඳහා සැකසුනු ට්‍රක් රථ හා ක්‍රීඩා රථ Sports Utility Vehicles;  එන්ජිම මගින් රෝද හතරම දිවැවෙන සේ නිර්මාණය කොට ඇත. මීට ප්‍රධාන හේතුව වන්නේ මාර්ගය මත දැඩි ඝර්ෂනයක් ඇති කිරීමටය. දුෂ්කර ගමන් මාර්ගයන්හී ගමනා ගමනය සඳහා වඩාත්ම සුදුසු වන්නේ ෆෝ වීල් රථයක්ය. (දෙවනුව ඊට සුදුසු වන්නේ ඉදිරිපසින් දිවෙන එනම් Front wheel drive රථයක්ය. එයට ප්‍රධාන හේතුව වන්නේ එන්ජිම මගින් එළැවෙන රෝද මත එන්ජිමේ බර කෙලින්ම ක්‍රියා කිරීම වේ.)    

H4 / L4

එන්ජිමෙන් දිවැවෙන ගියර් පෙට්ටිය හා ට්‍රාන්සර් කේසයේ සිට ඉදිරි පස හා පසු පසට ඝුර්ණය දිවෙන ආකාරය රතු පැහැයෙන් දක්වා ඇත! ෆෝ වීල්  රථයක් අවශ්‍ය අවස්ථාවක සාමාන්‍ය වාහනයක මෙන්ම රෝද යුගලයක් එනම් ටූ වීල් ඩ්‍රයිව් වාහනයක් ලෙසද භාවිතා කල හැක!  පහත රූපය:-

H2

බොහෝ ෆෝ වීල් රථවල  ඕනර්ස් මැනුවල් වල හෝ වාහනයේ ඇතුලත; ෆෝ වීල් යෙදීම පිළිබඳව කුඩා උපදෙස් කිහිපයක් දක්වා ඇත. එයින් බොහෝ විට කියැවුනේ; දෘඪ, වියළි මතුපිටක ෆෝ වීල් නොයෙදිය යුතුය!  (Do not use 4H or 4L on dry, hard surfeced road) කියාය. මම මෙම උපදේශ වාක්‍යය මෙම පෝස්ටුවට එක් කර ගැනීමට ප්‍රධාන හේතුව වන්නේ අපගේ මෙම කථා බහ ඉදිරියට ගෙන යාමට එය ඉතා හොඳ ආරම්භයක් ලෙස මා දකින හෙයින්ය. පළමුවෙන්ම අප සාක්ෂාත් කරගත යුතු කරුණ විය යුත්තේ අප ෆෝ වීල් පාවිච්චි කල යුත්තේ කවර ආකාරයේ මාර්ඝයකදීද යන්නය. තෙත්, ලිස්සන සුළු, ඒකා කාරී නොවූ හෝ හිම, වැලි, මඩ වැනි රළු බාධාවන්ට එදිරිවය. ඉහත කී ආකාරයේ වියළි දෘඪ පොලොවක් මත අපට ෆෝ වීල් පාවිච්චි කල යුතු නොවේ. උදාහරණයක් ලෙස වියළි තාර පාරක් මත ෆෝ වීල් අවශ්‍ය වන්නේ නැත.


එහෙත් මෙම උපදේශය ලබා දී තිබුනේ වියළි තද පෘෂ්ඨ මත ෆෝ වීල් දැමීමට අවශ්‍ය නොවන  නිසා නම් නොවේ! එයට ප්‍රධාන හේතුව වන්නේ ටයර වල ගෙවී තිබීමේ ප්‍රමාණයන්ගේ කුඩා හෝ වෙනසක් තිබුන හොත් වාහනයේ ඇක්සල් ආදිය ඇඹරීමට භාජනය වන හෙයින්ය. මෙසේ හෙයින් සමහර පැරණි වාහන වල; ටයර ඒකාකාර ලෙස ගෙවී නොමැති නම් ෆෝ වීල් පාවිච්චි කිරීමෙන් වළකින ලෙස අනතුරු අඟවා තිබෙනු මා දැක ඇත.  මෙසේ  වන්නේ ඇයි?

තවත් ඇතුලට කියවාගෙන යමු! වර්ෂ 1827දී සොයාගනු ලැබූ යාන්ත්‍රික උපක්‍රමයක් අදටත් වාහන වල ප්‍රයෝජනයට යොදා ගනු ලබයි. ඒ අන් කිසිවක් නොව ආන්තර එකලස හෙවත් Differential උපාංගය ය.  ඩිෆරෙන්ශලය මගින් සිදු කෙරෙණ මෙහෙය වනුයේ වාහනයක් වක්‍රාකාර පථයක ගමන් කිරීමේදී එහි දෙපස රෝද වක්‍රයට අනුකූල වේග වලින් ධාවනය කිරීමට සැලැස්වීමය.


ඉහත රූප සටහනට අනුව; රෝද හතරකින් සමන්විත රථයක් වක්‍රාකාර පථයක් ඔස්සේ ගමන් කරද්දී එහි රෝද ගමන් ගන්නේ එකිනෙකට වෙනස් වූ ගමන් මාර්ග හතරක් ඔස්සේ බව පෙනී යයි! මේ නිසාම එවන් කවයක් ඔස්සේ ගමන් ගන්නා අවස්ථාවේදී එහි එක් එක් රෝදයට වෙනස් වූ ගමන් වේගයක් තිබිය යුතුය. ඉහත රූපයේ වඩාත් දුරක ගමන් ගන්නේ වම් පස ඉදිරි රෝදය වන අතර ඊළඟට පිළිවෙලින් වම් පස පසු පස රෝදයද, දකුණු පස ඉදිරි රෝදයද වඩාත්ම කෙටි දුරක් ධාවනය වන්නේ දකුණු පස පිටු පස රෝදයද වේ. එසේ වන්නේ එම එක් එක් රෝදයට ගමන් කිරීමට ඇති දුර එකිණෙකට වෙන වන හෙයින්ය. එම දුරට අදාල වන ලෙස එක් එක් රෝදය ධාවනය වන වේගයද වෙනස් වේ. එනම් වඩාත් වේගයෙන් වම් පස ඉදිරි රෝදය ධාවනය වනාතතර සෙමෙන්ම ධාවනය වන්නේ දකුණු පස පිටුපස රෝදය වේ!

ෆෝ වීල් රථයක් පිළිබඳව කථා කිරීමට ප්‍රථම මෙය පසුපස රෝද මගින් දිවෙන එනම් Rear whee drive රථයක් හෝ ඉදිරිපස රෝද මගින් දිවෙන  එනම් Front wheel drive රථයක් සැළකිල්ලට ගෙන බැලුවද; එන්ජිම මගින් එකම වේගයෙන් දිවෙන යාන්ත්‍රණයක් මෙසේ වක්‍රාකාර පථයකදී එනම් වංගුවකදී පමනක් එකිනෙකට වෙනස් වේග දෙකකින් රෝද දුවවන්නේ කෙසේදැයි කියා ඔබ සිතුවාද?

ඉහතකී යාන්ත්‍රණය මෙහෙය වන මෙවලම ඩිෆරෙන්ශලය වේ. පසු පසින් දිවවෙන වාහන වල; පසුපස රෝද දෙක මැදපිහිටා ඇති විශාල කවාකාර කොටස මෙය වේ. මෙහි යාන්ත්‍රණය කියවා පැහැදිළි කර ගැනී මට වඩා පහසුම ක්‍රම වේධය වන්නේ දැක බලා ගැනීමය. 



මෙහි කොළ පැහැයෙන් දක්වා ඇත්තේ ප්‍රොපෙලර් ශාෆ්ටය හෙවත් එන්ජිමෙන්, ගියර් පෙට්ටියේ සිට රෝද කරා ව්‍යවර්ථය, දිවැවුම ගෙන එන අවරපෙති කඳයි. එහි කෙළවර ඇත්තේ පීනියන් නමැති කේතුකාර වූ දැති රෝදය ය. එයින් දිවෙන්නේ මෙම එකලස තුල ඇති විශාලතම දැති රෝදය වන ක්‍රවුන් වීලයයි. ඉන්පසු  මෙම එකලසින් එක් එක් රෝදය දිවැවිය යුතු වේගයට අනුව රෝද දුවවන්නේ එළියට දිවෙන නිල් පැහැති අක්ෂ දඬු හෙවත් ඇක්සල මගිනි. මෙම කොටස ක්‍රියා කරණා ආකාරය පහත දැක්වෙන වීඩියෝ මගින් තේරුම් ගැනීමට උත්සාහ ගනිමු.




එම කුඩා වීඩියෝ දෙක  මගින් මා  පෙර පැවසූ ලෙසට 1827 දී සොයාගත් බවට සැලකෙන ඩිෆරෙන්ශලයේ ක්‍රියා කාරීත්වය පිළිබඳව අවබෝධයක් ඇති වූවා යැයි මා සිතමි.  වාහනයක ප්‍රොපෙලර් ශාෆ්ටය  ඒකක 100 ක වේගයකින් යුතුව  භ්‍රමණය වෙමින්;  එම රථය සෘජු ගමන් මාරගයක ඒකක 50 ක වේගයකින් යුතුව  ගමන් කරණවා යැයි සිතමු. ප්‍රොපෙලර ශාෆ්ටය විනාඩියට වට 100 කින් ගමන් කිරීමේදී එය රෝද දෙක විනාඩියට වට 50 බැගින් ගමන් කරණ්නේ  යැයි සිතන්න! එය වක්‍රාකාර පථයක ගමන් කිරීමෙදී ප්‍රොපෙලර් ශාෆ්ටයේ එම වේගයෙන්ම භ්‍රමණය වන්නේනම් රෝද ක්‍රියා කරණ්නේ 50:50 වෙනුවට 55/45 (එක් රෝදයක් විනාඩියට වට 55 කද අනෙක් රෝදය විනාඩියට වට 45 ක්), 60/40, 65/35, 70/30 යන කුමන ආකාරයකින් විය හැක. මා පහසුව තකා 5 හේ ගුණාකාර උදාහරණයට ගත්තද එකතුව 100 ක් වෙන ආකාරයට දෙපස ඇති රෝද දෙකෙහි වේගය; වංගුවට අදාල ලෙස ඩිෆරෙන්ශලය මගින් මෙහෙයවයි. එක් රෝදයක වේගය අඩුවන විට ඊට අනුකූල ලෙස අනෙක් පස රෝදයේ වේගය ඩිෆරෙන්ශලය මගින් වැඩිකරණු ලබයි.
එකම වේගයකින් එන්ජිමෙන් හා ගියර පෙට්ටියෙන් භ්‍රමනය වීමට සැලසුවද  කවාකාර  හෙවත් වෘත්ථාකාර පථයක් ඔස්සේ වාහනයක් ගමන් කරණා විට; මාර්ගය මගින් ඇතිකරවන ඝර්ෂණය කරණ කොට ගෙන; එක් එක් රෝදයේ වේගය ගමන් මාර්ගයට ගැලපෙන පරිදි ඩිෆරෙන්ශලය මගින් වෙනස්  කාරණ බව මේ වන විට ඔබට පැහැදිලි යැයි මා සිතමි. මෙම ක්‍රියාකාරීත්වය සිදුවන්නේ "වාහනනය එක් පසකට හරවන විට එක් එක් රෝදය වෙත මාර්ගයෙන් ඇතිවන ප්‍රථිරෝධය  මගින්ය. එක් රෝදයක් කරකැවීමට අපහසු වන විට ඊට සාපේක්ෂව  අනෙක් රෝදය වේගවත් වේ" යනුවෙන් සරළව සිතාගන්න!
මෙතැනදී වඩාත් පැහැදිලි කර ගත් යුතු කාරණය වන්නේ එන්ජිමෙන් හා ගියර පෙට්ටියෙන් ලැබෙන වේගය ක්ෂය නොවන බවත් රෝද දෙක අතරේ සමානව හෝ අනුපාතයකට බෙදෙන බවත්ය. ඉහතින් මා 55/45, 60/40, 65/35 යනාදී වශයෙන් පැහැදිලි කිරීමට උත්සාහ කලේ මෙම රීතියයි. තවත් ලෙසකින් පවසන්නේ නම් එක්  රෝදයක වේගය අඩු කිරීමට සාපේක්ෂව අනෙක් පස රෝදයේ වේගය වැඩි කිරීමට ඩිෆරෙන්ශලයට හැකියාවක් පවතින අතර එය නිරණ්තරයෙන්ම ඉෂ්ඨ සිද්ධ කරණු ලබයි. එක් රෝදයක යාන්තමින් වේගය අඩුවීමට ඉඩ දෙන අතරම ඊට සාපේක්ෂව අනෙක් රෝදයේ වේගය යාන්තමින් වැඩි කිරීමට මෙන්ම එක් රෝදයක වේගය සීග්‍රව අඩු කරමින් අනෙක් රෝදය ඊට සාපේක්ෂව සීග්‍රව වැඩි කිරීමට ඩිෆරෙන්ශලයට නිසග හැකියාවක් ඇත! සත්‍ය වශයෙන්ම එය සොයා ගැනීම කෙතරම් නිර්මාණශීලී කටයුත්තක්ද?
මෙය සිදුවන්නේ වංගුවක් ගැනීමේදී එම් පැත්තේ ඇති රෝද මත ඇති වන දැඩි ඝර්ෂණය මගින් ඇති කරණ්නාවූ ප්‍රථිරෝධය හේතු කොට ගෙනය. ප්‍රථිරෝධය වඩාත් අඩු පැත්තෙන් තමා වෙතට පැමිණි ඝූර්ණය මුදා හැරීමට ඩිෆරෙන්ශලය ක්‍රියා කරයි. වාහනයක එක් පසෙක රෝදයක් මුළුමණින්ම පොලොවෙන් ඉහලට ඔසවා තැබුවහොත් ඩිෆරෙන්ශලය; අනෙක් රෝදය නිසොල්මන්ව තබා මුළු ව්‍යවර්ථය, ඝූර්ණය ඉහළට එසවූ රෝදය හරහා මුදාහරිණ්නට පෙළඹේ!

දැන් මදක් නැවතී මෙසේ කල්පණා කරමු. ඉහත රූපයේ දැක්වෙන රූපයේ දැක්වෙන රථයේ ඉදිරි පස හා පසුපස රෝද  යුගලයන් එකිනෙක දෘඪ අක්ෂ දන්ඩකට සවිකොට තිබුනේ නම් මෙසේ කවයක ගමන් කල හැකිවේද? රෝද එකිනෙකට වෙනස් වේග වලින් චලනය වන්නට ධාවනය වන්නට ඉඩක් නොමැති තැන කිසිදා කවයක ගමන් කිරීමට නොහැක! මෙම රූපයේ දැක්වෙන පරිදි මෙම කවාකාර ගමන් මාර්ගයේ වාහනය ගමන් කරද්දී වම් පස රෝදය වට 5 ක් ගමන් කරද්දී දකුණු පස රෝදය ගමන් කර තිබෙන්නේ වට 4ක්  පමණි!

ඉහත රූපයේ ඉදිරිපස රෝද යුගලය හා පසුපස යුගල වෙන් වෙන්ව ධාවනය වන්නට නම් එම රෝද එක් කොට ඇති දෘඪ ඇක්සල වෙන් වෙන්ව ඩිෆරෙන්ශලයක් මගින් සම්බන්ධ කල යුතුවේ. තවත් පැහැදිලි කරණ්නේනම් ඉදිරි රෝද යුගලය අතර ඩිෆරෙන්ශලයක් වේ නම් එම රෝද එකිනෙකින් වෙන්ව නිදහසේ ක්‍රියාකිරීමට ඉඩ කඩක් සැලසේ. මෙසේම පසුපස රෝද අතරටද ඩිෆරෙන්ශලයක් වේනම් එම රෝද දෙකද එකිනෙකින් නිදහස්ව ධාවනය වීමට ඉඩ සැලසේ.
සාම්ප්‍රදායික බොහෝ වාහන වල එන්ජිම සවිවී තිබෙන්නේ වාහනයේ සමමිතික අක්ෂයට සමාන්තරව වන අතර  රෝද දිවැවෙන්නේ, දිවැවිය යුත්තේ ධාවනය විය යුත්තේ ඊට ලම්භක වය.  මෙසෙ වාහනයේ සමමිතික අක්ෂයට සමාන්තරව කෙරෙණ කරකැවීම ,ව්‍යවර්ථය, ඝූර්ණය  ලම්භකව රෝද වලට ලබා දෙන්නේද ඩිෆරෙන්ශලය මගිනි.
ෆෝ වීල් ඩ්‍රයිව් රථයක  ඉදිරිපස හා පසු පස ඩිෆරෙන්ශල් දෙකක් පවතී. පැරණ්නෝ ෆෝ වීල් රථ "ඩබල් ඩිෆරෙන්ශල්" යනුවෙන් හඳුන්වනු මා අසා ඇත!  මෙසේ ඩිෆරෙන්ශල් දෙකක් තිබී මෙන් කවාකාර පථයක ගමන් කිරීමේදී  ඉදිරිපස  රෝද දෙක අතර  ඇතිවිය යුතු භ්‍රමණ වේග වෙනසට හා පසුපස රෝද දෙක අතර ඇතිවිය යුතු භ්‍රමන වේග වෙනසට ඉඩ සැලසේ. 

දැන් අප නැවත  අවර පෙති කඳ හෙවත් ප්‍රොපෙලර් ශාෆ්ටයවිනාඩියකට වට 100 ක වේගයකින් කරකැවෙන අවස්ථාව ගැන සිතමු. උදාහරණයක් ලෙස වාහනයේ පසුපස  රෝද යුගලය වක්‍රයක ගමන් කරණා විටදී එහි රෝද කරකැවෙන්නේ; පිටත රෝදය විනාඩියට වට 60 ක වේගයකින්ද ඇහුලත රෝදය විනාඩියට වට 40 ක වේගයකින්ද යැයි උපකල්පණය කරමු. එවිට 60 සහ 40 යන්නෙහි සම්ප්‍රයුක්තිය ලෙස ප්‍රොපෙලරය විනාඩියකට වට 100 ක වේගයකින් කරකැවේ.

දැන් මෙම රථයේම ඉදිරි පස රෝද යුගලය කර කැවිය යුත්තේ; ඉදිරි වම් පස රෝදය පසු පස වම් රෝදයට වඩා වැඩි වේගයකින් හෙවත් 65 කින්ද; ඉදිරි දකුණු පස රෝදය පසු පස දකුණු රෝදයට වඩා  වැඩි වේගයකින් වන 45 ක වේගයකින්ය! (මෙම සියළු වේග උපකල්පනය කල ඒවාය! එහෙත් ඒවායේ වේග අනිවාර්‍යයෙන්ම ඉදිරි වම් රෝදයේ වේගය > පසු පස වම් රෝදයේ වේගය > ඉදිරි දකුණු රෝදයේ වේගය > පසු පස දකුණු රෝදයේ වේගය විය යුතුය. 65>60>65>40 ගෙන ඇත්තේ ඊට ගැලපෙන ලෙසය!) දැන් පසු පස ප්‍රොපෙලරයේ සම්ප්‍රයුක්තිය 60+40=100 ක් වූවා සේ  ඉදිරි ප්‍රොපෙලරයේ  සම්ප්‍රයුක්තිය සොයමු. එය 65+45=110 ක් වේ!

ඉහත උදා හරණයට අනුව මෙම ෆෝ වීල් වාහනය කවාකාර ගමන් පෙතක හෙවත් වංගුවක ගමන් කරණා විට ඒවායේ ඉදිරිපස හා පසු පස ප්‍රොපෙලර ශාෆ්ටයන් කර කැවෙන වේගය එකිනෙකට කිසි සේත් සමාන නොවේ. 

ඉහත මා උපුටා ගෙන දක්වා තිබූ "දෘඪ, වියළි මතුපිටක ෆෝ වීල් නොයෙදිය යුතුය!  (Do not use 4H or 4L on dry, hard surfeced road)" ලෙස උපදෙස් දී තිබෙන්නේ එවන් අධික ඝර්ෂණයක් ඇති මතුපිටක් මත වාහනය කවාකාර මං පෙතක ගමන් කලහොත් ඉහතකී අන්දමට එකිනෙකට අසමාන වේග වලින් භ්‍රමණය වන ප්‍රොපෙලර් ශාෆ්ටයන්ගේ හැසිරීම දරා ගැනීමට ට්‍රාන්සර්කේසයට දරා ගැනීමට නොහැකිව එයට බර පතල හානි සිදු විය හැකි හෙයින්ය. 
මෘදු එනම් මඩ, වැලි, හිම වලින් සමන්විත මතු පිටක නො එසේනම් මාර්ගයක මෙවන් රථයක් ගමන් කරද්දී එම මාධ්‍ය තුලින් ඇති කරවන ඝර්ෂණය වඩාත් දුර්වල එකක් බැවින් ප්‍රොපෙලර් ශාෆ්ට යුගලය මත රෝද මගින් ඇති කරවන සම්ප්‍රයුක්ත බලය වඩාත් දුර්වල බැවින් රෝද එක තැන කර කැවෙමින්, ලිස්සා යමින්, ට්‍රාන්සර්කේසයේ අණසකට යටත්ව ගමන් කරයි. කොටින්ම එවිට වල්ගයට බල්ලා සෙලවීමට අවස්ථාවක් නොලැබී යයි!
මෙම තවයෙන් අත්මිදීමට නවීන ෆෝවීල් වාහන වල ඉතා සරල උපක්‍රමයක් යොදා ඇත. ඒ රෝද දෙක අතරට යෙදූ තවත් ඩිෆරෙන්ශලයක්; ට්‍රාන්සර් කේසය තුල; ඉදිරි පස හා පසු පස ප්‍රොපෙලර් ශාෆ්ට අතරට යොදා ඇත! ගියර් පෙට්ටියෙන්; ට්‍රාන්සර්කේසයෙන් දිවැවෙන්නේ මෙම ඩිෆරෙන්ශලයේ රජ රෝදය හෙවත් ක්‍රවුන් වීලය වීමට බොහෝ ඉඩ කඩක් ඇත! එහි දෙපසින් ඉදිරි පස හා පසු පස ප්‍රොපෙලර් ශාෆ්ට දිවේ. කුමන ආකාරයේ මතුපිටක් මත හෝ කුමන විදියේ කවයක ධාවනය කලද ඉදිරි පස හා පසු පස රෝද වල වේගයන් ස්වාධීනව ඉදිරි ඩිෆරෙන්ශලයෙන්ද පසුපස රෝද වල වේගයන් ස්වාධීනව පසුපස ඩිෆරෙන්ශලයෙන්ද  මෙහෙය වන අතර එවායේ සම්ප්‍රයුක්තියෙන් දිවැවෙන එක් එක් ප්‍රොපෙලර් ශාෆ්ටයන්ගේ වේගයන් ස්වාධීනව මෙහෙය වීම වාහනයේ මැද පිහිටි සෙන්ටර් ඩිෆරෙන්ශලයෙන්ද කෙරෙණු ලබයි! 

දැන් අපි තවත් පියවර කිහිපයක් ඉදිරියට යමු! ඔබ හිතන්න ඉහත ආකාරයේ සෙන්ටර් ඩිෆරෙන්ශලයක් සහිත වාහනයක් ඉදිරි රෝද දෙක  මඩ වලකට හෝ හිම වැටුනු ස්ථානයකට වැටීඇති අවස්ථාවක්. මේ අවස්ථාවේදී පිටුපස රෝද දෘඪ මතු පිටක් මත ඇති හෙයින් එම රෝද කරකැවීමට එදිරිව දැඩි ප්‍රථිරෝධයක් ඇති කරයි. නමුත් ඉදිරි රෝද යුගලය මඩ තුල හෝ හිම සමග ඇති කරණ්නේ ඉතා අඩු ඝර්ෂණයකි ප්‍රථිරෝධයකි. එවිට සෙන්ටර් ඩිෆරෙන්ශලය පසු පස රෝද කරා දිවෙන ප්‍රොපෙලර ශාෆ්ටය කරකැවීමට වෙහෙස නොවී ඉදිරි රෝද නිදහසේ ස්වාධීනව කරකැවීමට අවකාශය සලසයි. එහි ප්‍රථිපලය වන්නේ වාහනයේ ඉදිරිපස රෝද නිදහසේ කර කැවීම හා වාහනය නොසෙලී පැවතීමය! පහත රූපය:-

එවිට සෙන්ටර් ඩිෆරෙන්ශලයේ; තමා වෙතට ඇතිවන ප්‍රථිරෝධයට අනුකූලව ශක්ථිය නො එසේනම් ඝූර්ණය මුදා හැරීමේ යාන්ත්‍රණය නවතා දැමීමේ උපක්‍රමයක් තිබිය යුතුය. එයට සෙන්ටර් ඩිෆරෙන්ශල් ලොක් යැයි කියනු ලැබේ. සෙන්ටර් ඩිෆරෙන්ශල් ඇති රථයක එම ඩිෆරෙන්ශලය වසා දැමීමේ නො එසේනම් අගුළු දැමීමේ ක්‍රමවේධයක් තිබිය යුතුමය! පහත රූපය:-

දැන් ඔබ මදකට සිතන්න ඔබගේ ෆෝවීල් රතයේ සෙන්ටර් ඩිෆරෙන්ශලයක් සහිතව හෝ රහිතව  ෆෝ වීල් ඩ්‍රයිව් පාවිච්චි කරමින් කිසියම් මාර්ගයක ගමන් ගන්නා විට වාහනයේ වම් පස හෝ දකුණු පස; ඉදිරි හා පසු පස රෝද යුගලයම මඩ හෝ හිම වැනි අඩු ඝර්ෂණයකින් යුත් පරිසරයකට අවතීර්ණ වූවා කියා! තවත්පහසු ලෙසකින් පවසනවා නම් වම් පැත්තේ (හෝ දකුණු පැත්තේ) රෝද දෙකම මඩක වැටුනොත් සිදු වන්නේ කුමක්ද? එවිට ඉදිරි පස හා පසු පස ඩිෆරෙන්ශල් දෙකම වඩත් අඩු ප්‍රථිරෝධයක් ඇති කරණ්නාවූ; මඩ හෝ හිම සමග ගැටී ඇති රෝද යුගලය හරහා වාහනයේ ගියර් පෙට්ටියෙන් ලබා දෙන මුළු ඝූර්ණයම මුදා හරිනු ලබයි. එවිටද සිදුවන්නේ  වාහනය එක තැන නතර වීමය. මඩ වල තුල එක පසක රෝද දෙකම එක තැන කරකැවෙමින් පවතිනු ඇත! පහත රූපය:-

එසේනම් සෙන්ටර් ඩිෆරෙන්ශලය අගුළු දැමුවා සේම වාහනයේ ඉදිරි පස හා පසු පස ඩිෆරෙන්ශල් යුගලයද අගුළු දැමීමේ යාන්තරණයක් ෆෝ වීල් රථයකට අවශ්‍ය වේ! එයට කෙටියෙන් පවසන්නේ ඩිෆ් ලොක් කියාය! (පීඩිත වාතයෙන් ක්‍රියා කරණ ඩිෆ් ලොක් වලට එයා ලොකර්ස් කියාද කියනු ලබයි!) පහත රූපය:-

ඩිෆ්ෆ්‍රෙන්ශ්ල් ලොකර්ස් ක්‍රියා කරණා ආකාරය පිළි බඳව මෙම වීඩියෝ වෙන් නරඹන්න!

ෆෝ වීල් ඩ්‍රයිව් රථයක් ක්‍රියා කරණා ආකාරය පිළි බඳව මෙම වීඩියෝ වෙන් නරඹන්න!

අවසාන වශයෙන් පවසන්නට ඇති තවත් කුඩා උපක්‍රමයක් පිළිබඳව ලියා නවතින්නම්. මෙය හඳුන්වන්නේ ෆ්‍රී හබ් යනුවෙන්. වාහනයක ෆෝ වීල් සැකසීම සිදු කරණ්නේ බොහෝ විට සාමාන්‍ය ගියර් ලීවරය අසලම පිහිටා ඇති කුඩා ගියර් ලීවරයෙනි. සමහර රථවල මේ සඳහා කුඩා බොත්තමක් වැනි උපක්‍රමයක්  පවතී. මෙම ගියර් ලීවරයෙන් හෝ බොත්තමෙන් ෆෝ වීල් අක්‍රිය කොට ටූ වීල් ඩ්‍රයිව් සැකසීම මත රථය පදවන අවස්ථාවේදී ට්‍රාන්සර් පෙට්ටියෙන්  ඉදිරිපස ප්‍රොපෙලර් ශාෆ්ටය කරකැවීම අක්‍රිය කලද රෝද මගින් ඉදිරි ඇක්සලද එමගින් ඩිෆරෙන්ශලයද එයින් ඉදිරිපස ප්‍රොපෙලරයද කරකැවීම නිරන්තරයෙන් සිදුවේ. ටූ වීල් ඩ්‍රයිව් සැකැස්මේ වාහනය දුවවන විට මේ ඉහත කොටස් කිසිවක් කරකැවීමෙන් වාහනයේ ගමනට සිදුවන යහපතක් නොමැත! 

එයින් සිදුවන අගතිය වන්නේ එම කොටස් නිර පරාදේ ගෙවී යාම හා වාහනයේ ඉන්ධන පරිභෝජනය ඉහල යෑමය. මේ නිසාම වාහනයේ ඉදිරි පස රෝද  ඇක්සල වලින් නිදහස් කිරීමේ යාන්ත්‍රණයක් ෆෝ වීල් වාහන වලට ලබා දී ඇත. එය ෆ්‍රී හබ් යනුවෙන් හඳුන්වයි. ෆ්‍රී හබ් නිදහස් කොට ඇති අවස්ථාවලදී රෝද සමග ඇක්සල කරකැවෙන්නේ නැත. එසේම වාහනයේ ඇතුලත සිට ෆෝ වීල් යෙදූවද ඇක්සල හා වාහනයේ රෝද වෙන් කොට ඇති බැවින් ෆෝ වීල් ක්‍රියා කරණ්නේ නැත! එනිසා පළමුව ෆ්‍රී හබ් ලොක් කර දෙවනුව ෆෝ වීල් දැමිය යුතුය. මෙහි ඇති එකම අවාසිය වන්නේ; ෆ්‍රී හබ් විවෘථ කොට ඇති අවස්ථාවක හදිසියේ වාහනයේ ඇතුලතින් ෆෝ වීල් දැමිය නොහැකි වීමය! සාමාන්‍යයෙන් ෆ්‍රී හබ් සහිත රථයක් පාවිච්චි කරණ පළපුරුදු රියැදුරෙකු; ෆෝ වීල් යෙදිය යුතු පරිසරයකට අවතීර්ණ වීමට ප්‍රථමයෙන් ෆ්‍රී හබ් අගුළු දමා ගැනීමය! පහත රූපය:-




නවීන තාක්ෂණයට ඉමහත් බියක් දක්වන නවීන තාක්ෂණය වෙත් යොමුකිරීම බල්ලන් නාවන්නට ගෙන යාමක් වැනිවූ අප රටේ  බොහෝ අය සිතන්නේ ෆ්‍රී හබ් යනු වාහනයේ අඩු පාඩුවක් ලෙසය. ඔවුන් විමසන්නේ " ඕකෙ ෆෝ වීල් දාන්න බහින්න ඕනද?" කියාය. මේ "බහින්න ඕනද?" කියා විමසන්නේ වාහනයෙන් බිමට බැස ෆ්‍රී හබ් ලොක් කර ගැනීමය!  එය වාහනය එක් කල නවීනත්වයක් සේ ඔවුන් නො දකිති!  ෆ්‍රී හබ් එකක් සදහටම ලොක් කර තබා ගන්නටත් අවශ්‍ය වේලාවකදී පමණක් ලොක් කර ගැනීමට වුවද හැකියාවක් පවතින බව ඔවුන්ට තෝරා බේරා දෙනවාට වඩා "අනේ ඔව් නේ!" කියා ඔවුන්ගේ අනුකම්පාවට භාජනය වීමට පසුගිය වසර 25 පුරාවටම මා පුරුදු වී ඇත්තෙමි!
මේ සියළු කරදර දෝශ බංග කරමින් ෆ්‍රී හබ් වල වඩාත් දියුණු අවස්ථාව මේ වන විට බොහෝ සෙයින් භාවිතා වේ. ඒ ඔටෝ ෆ්‍රී හබ් ය! වාහනයේ ඇතුලතින්ෆෝ වීල් සැකසුමට සකසා ධාවනයේ යෙදෙන විට ඇවැසි තැන් වලදී පමණක් හබ් එක ස්ව්‍යංක්‍රීයව අගුළු වැටේ.  මේ වන විට ඒවා ඉලෙක්ට්‍රොනික මෙවලමක් සේ වැඩි දියුණු වී ඇතත් මුල් කාලයේ එය ක්‍රියා කලේ ඉතා සරළ යාන්ත්‍රික උපක්‍රමයක් ලෙසය. 
මේ සියළු කථාන්දර පිළිබඳව වඩාත් හොඳින් ඉංග්‍රීසි බසින් ලියැවුනු ලිපියක්; මෙම පෝස්ටුවට පින්තූර සොයා යෑමේදී අන්තර් ජාලයේ  තිබී හමු වූවා! මේ එහි ලින්කුව. වේලාවක් තිබුනොත් එයද කියවා බලන්න!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...