Showing posts with label කොම්පැනි කථා. Show all posts
Showing posts with label කොම්පැනි කථා. Show all posts

Wednesday, August 27, 2025

294. හොම්බෙන් යවන Interview


මම මේ කල්පණා කලේ මේ හෑල්ල ආකෘථ පිරමීඩ න්‍යායෙන් ලියන්නද අනුපිළිවෙළ ලියන්නද කියලා.

ඕ. පු කියලා ඔන්න ඔහේ ලියනවා.

මම ඔටෝ මිරාජ් එකේ ඉන්න කාලේ මට හිටියා සහකාර කළමණාකරුවො දෙන්නෙක් එක්කෙනෙක් මගේ ආදරණීය මිත්‍රයා රුශාන් ගමගේ මල්ලි. ඌ තමයි මෙහෙයුම් සහකාර කළමණාකරු උනේ. 

තවත් ආතල් බුවෙක් හිටියා අසේල කියලා. ඇඟපත එහෙම හොඳට තියෙන, බර වොයිස් එකෙන් කතා කරණ, කතා කලොත් ටෝක් දෙන කෙනෙක්. මෙයා තමා සහකාර කළමණාකරු - කාර්මික! එයා ජර්මන් ටෙක් එකෙන් එළියට ඇවිත්; මෙහේ ඩිපෝ වල එහෙම වැඩ කරලා මැද පෙර දිග ගිහින් ආපු කෙනෙක්. 

"මොනාද මිස්ට මංජුල කියන්නේ . . . " කියලා තමයි මෙයා ඕන ටෝකක්; පොර ටෝකක් බවට පෙරලා ගත්තේ. ටික වෙන්න පණ්ඩිත උනාට යමක් කමක් කරගන්න පුළුවන් මනුස්සයෙක්!

මෙයාගේ ටීම් එකේ හිටිය මිකැනික් ලා එහෙම නැත්නම් කාර්මිකයෝ කිහිප දෙනෙක් අස් වෙලා ගියා. අසේල එක්ක වැඩ කරණ එකත් ලේසි පහසු කටයුත්තක් නෙවෙයි කියලයි හැමෝම කියන්නේ. ඉතිං මේ නිසාම මෙතන වැඩක් හරියට කෙරුණෙම නෑ. මොකද වැඩක් ගත්තොත් එතන ඉන්න ඇච්චි කොල්ලෙක් දෙන්නෙක් අල්ලගෙන අසේල අතින් තමයි වැඩේ ගොඩ ගියේ.

මේ නිසාම අපි සම්මුඛ පරීක්ෂණ හෙවත් තේරෙණ සිංහලෙන් කියනවා නම් ඉන්ටර්වීව් කරණ්න පටන් ගත්තා අපිට ප්‍රාණයක් සොයා ගන්න. ප්‍රාණයක් කිව්වට ඇත්තටම ඒක අසේල දෙයියන්ට දෙන නර බිල්ලක් වගේ එකක්.

ඉතිං ඉල්කෝල වලින් එළියට ආපු ගමන්; ටෙක් වල කෝස් එකක් එහෙම කරපු පොඩි කොල්ලේ දෙතුන් දෙනෙක්ම අපි එක දිගට විටෙන් විට ඉන්ටර්වීව් කලා.

ඉන්ටර්වීව් බෝඩ් එකේ හිටියේ මමත් රුශානුත් අසේලත් තිදෙනායි. 

 මම පළවෙනියෙම්ම කරණ්නේ; අපි ඉස්සරහ;  මරණ්න ගෙනාපු එළුවෙක් වගේ ඉන්න තරුණයාව තිගැස්ම නැති වෙන්න කතා කරණ එකයි. කොලුවා ටිකක් නෝමලයිස් වෙලා බැලන්ස් උනාම අසේලට කියනවා ප්‍රශ්ණයක් දෙකක් අහන්න කියලා.

ඊට පස්සෙ තමයි වැඩේ සුපිරිම සිද්දිය වන්නේ.

අසේල රැල් බුරුල් ඇරලා අහනවා බර දාලා ප්‍රශ්ණයක් ආපු කොල්ලට "හික්" ගෑවෙන්න. අනේ කොල්ලාගෙ තොල කට වේලිලා සුදුමැළි වෙනවා. ඌ; කාමරේ ඇතුලට ආපු දොර දිහා බලන්නේ පැනලා දුවන්න වගේ. 

ඒ එක්කම ආයේ අහනවා ප්‍රශ්ණයක් කොල්ලට තියා ගොඩ්ලිබ් ඩේම්ලර්ගේ කිරි අප්පුච්චටවත් උත්තර දෙන්න ගියොත් "අම්මට සිරි" වෙන්නම! ඔහොම අති භිහිසුණු, ලොමු ඩැහැගන්වන සම්මුඛ පරීක්ෂණ විනාඩි 15 ක් තුල පණ බේර ගත්තු කොල්ලා යන්නේ ආපහු හදිස්සියේ බස් එක කැඩුනත් ඔටෝ මිරාජ්ජෙක පැත්තෙන් පයිං යන්නෙවත් නෑ කියලා හිතට අරං.

"වැඩක් නෑ මිස්ට මංජුල . . . !" අසේල කියන්නේ ගෙදරට ආපු හොරෙකුට හතර හන්දි කැඩෙන්න ගහපු ලයින් එකෙන්.

මේ විදියට; අසේල; කොල්ලො හතර පස් දෙනෙක්ගෙම මොළේ කෑවාට පස්සෙ තවත් හයක් හතරක් දන්නේ නැතිව එකෙක් ඉන්ටර්වීව් ආවා.

කොල්ලව ඉන්ටර්වීව් එකට බෝඩ් රූම් එක ඇතුලේ ඉන්දවන්න කියපු මම මගේ මේසේ ඉස්සරහින් අසේලවයි රුශාන්වයි වාඩි කර ගත්තා!

මම මගේ මෙසේ උඩ තිබුනු සිලිකන් ටියුබ් එක අතට ගත්තා. ඇත්තටම අපි පුරුද්දට කටවහරට; සිලිකන් ටියුබ් එක කිව්වාට මේකට කියන නියම නම RTV Silicone Gasket Maker  කියන එකයි.

ඔය පහලින් තියෙන්නේ ඒවා දෙක තුනක පිංතූර.  





ඇත්තටම මේ ටියුබ් එක ඇතුලේ තියෙන්නේ නිකං කොහොල්ලෑ වගේ එකක් බව හැමෝම දන්නේ නැතුව ඇති කියලා ටිකක් ඒ ගැන ලියන්නංකෝ. 

වාහනේක හරි වෙනයම් උපකරණයක කොටස් දෙකක් සවි කිරීමට යන විට එහි මූනත් දෙක මැද්දට; ඒ කාලේ කිරළ පැකිං, පැකින් පේපර් පැකිං, රබර් පැකිං දානවා වගේ මේ "කොහොල්ලෑ" ටිකක් පලු දෙකේ ගාලා එකට තියලා ඇන දාන එකයි කරණ්නේ.

මේ යට පිංතූරේ තියෙන්නේ එන්ජිමක සම්ප් oil Sump හෙවත් තෙල් දෙන එන්ජින් බ්ලොක් එකට සවි කිරීමට පෙර තෙල් කාන්දු නැවතීමට  (නිල් පැහැතී කඩදාසි පැකින්  එකකින් මුද්‍රාවක් යොදන ආකාරයයි.

ඉහත කඩදාසි පැකිං එක වෙනුවට සීලන්ට් යෙදීම පහත රූපයෙන් දැක්වේ.


දැන් අසේල ලොක්කයි රුශානුයි ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා. මම මේසෙ උඩ තිබ්බ; අර කලින් කිව්ව සීලන්ට් ටියුබ් එක අතට අරං අසේලට පෙන්නුවා.
"අසේල ඔයා කොච්චර කාලෙක ඉඳන් මේ සීලන්ට් පාවිච්චි කරණවද . . ?"

"මොනාද කියන්නේ මිස්ට මංජුල අපි සවුදියේ ඉන්න කොට මගේ ලොකර් එකේ හැම වෙලාවේම සීලන්ට් ටියුබ් දුසිමක් විතර තියෙනවා. මම ඔය කියන කාලේ මෙහේ බාස්ලා සීලන්ට් ගැන අහලවත් නෑ . . . . . . . !'

"හරි ඔය ටියුබ් එකේ මොකක්දමේ RTV කියලා ගහලා තියෙන්නේ?"

"අ . . අ . ඒක මේකේ ජාතිය වෙන්න ඇති . . .!'

"නෑ නෑ අසේල ඔය ඕන සීලන්ට් එකක මේ අකුරු තියෙනවා . . .!"

"අනේ මන්දා ඒකනං . . ! මම සීලන්ට් පාවිච්චි කරලා ඇති මගේ මේ ඉසේ කෙස් ගානට . . . !"

" . හරි! ඒක තමයි . . ! RTV කියන්නේ රූම් ටෙම්පරේචර් වොල්කනයිස් (Room Temperature Volcanize) කියන එක! ඒ කියන්නේ මේකෙ ඇතුලේ තියෙන ගම් එක ටියුබ් එකෙන් එලියට ඇවිත් කාමර උෂ්නත්වයේ තිබුනොත්; ඉතා කෙටි කාලෙකදී ඒකෙ තිබුනු රබර් වගේ දේ වොල්කනයිස් වෙලා රබර් පැකින් එකක් නිකංම හැදෙනවා . . . !

දැං බලන්න අසේල මම ඔයාව ඉන්ටර්වීව් කරණ්න ගිහිං ඔය ප්‍රශ්ණෙ ඔයාගෙං මම මළවෙනියෙංම ඇහුවා නම් ඔයා කොර වෙනවානේ . . . . !?!?!? ඒ කියන්නේ ඔයා මේ සීලන්ට් නොදන්න එක නෙවේ. ඔයා නොදන්න ප්‍රශ්ණයක් මට හොයා ගන්න පුළුවන් උනු එකයි ඒකෙ රහස . . . . ! මෙතනට ඉනර්වීව් එන එකාගෙ අපි බලන්න ඕන ඌ නොදන්නේ මොනවද කියලා නෙවෙයි දන්නෙ මොනවද කියන එකයි. අපි ඌව තෝඅර ගත්තොත් අපිට මිනිහෙක් ලැබෙනවා. ඌට ජොබක් සෙට් වෙනවා. ඒක ෆිෆ්ටි - ෆිෆ්ටි, වින් වින් සිටුවේශන් එකක්. හරි ඒ ටික හිතට අරං ගිහිං අපි ඉන්ටර්වීව් එක පටං ගම්මු . . . . . . !"

සම්මුඛ පරීක්ෂණය ඇරඹුනි. සහභාගී වූ තරුණයා ඉතා සාර්ථකව එයට මුහුණ දුන්නේය. එළඹුනු සඳුදා සිට ඔහු ටූ පෝස්ට් ජැක් එක යට සිට මොන මොනවාදෝ ගලවනු දක්නට ලැබුනි.

මා පුරුද්දක් ලෙස සම්මුඛ පරීක්ෂණයකදී; අපේක්ෂකයාගෙන් විමසන්නේ මා හොඳින් දන්නා කාරණා ගැන පමණි. අභාග්‍යයකට හෝ ඔහුට ඊට පිළිතුරු දී ගත නොහැකි වුවහොත් මා ඊට පිළිතුර ඉතා හොඳි පැහැදිළි කරයි. එසේම අපගේ ඇබෑර්තුවට නොසෑහෙන තරම් සුදුසුකම් ඇත්තෙකු මුණ ගැහුණු සැම විටම ඔහුව වඩාත් ඔහුගේ අනාගතයට සුදුසු ආයතනයකට යොමු කරණ්නට උත්සාහ ගත්තෙමි.

මේ කතාව අලුතින් මතකයට ආවේ මාගේ මිතුරෙකු වූ ශානක රාජකරුණාගේ දියණිය හා සම්බන්ධ කාරණයකදීය.

ශානාගේ දුව මෙරට ස්ථාපිත ජාත්‍යන්තර මට්ටමේ විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබා ගන්නේ ක්ලාස් එකක් එක්ක. ඉතිං මේ කෙල්ලට ආධුනික පුහුණු කාර්යය සඳහා සුදුසු නීති කඩයක් එහෙමත් නැත්නම් ලෝ ෆර්ම් එකක් සොයා දීම භාර උනේ අපේ බිරිඳට. එයත් කෙල්ලගේ ජීව දත්ත එයා දන්න එකකට යැව්වාම කෙල්ලට එන්න කියලා. දරුවා ආපහු ගෙදර ගිහිං තියෙන්නේ ලොකු අවුලකින්!
මොකඩ ඉන්ටර්වීව් එකේදී එතන හිටපු උගත් නීතීඥ්ඥ නෝනා මේ ළමයාට කියලා තියෙන්නේම් රස්සාවේ තියෙන බැරි අමාරු කම් ගැනයි අපහසු කම් ගැනයි දුෂ්කරතා ගැනයි.

"අපි ඔයාව ගත්තොත් ඔඅයාට රෑවෙනකල් උනත් ඉන්න වෙයි . . .!" නෝනා කථාව අවසන් කරලා තියෙන්නේ ඒ විදියට. 
මේ මීට දශක කිහිපයකට පෙර ඉන්ටර්වීව් කල ආකාරයයි. එතැන තියෙන අන්තිම "කට්ට" ගැන කියලා ඊට කැමතිවෙන එකාව ගන්නට එකල සිටි පාලකයෝ ක්‍රියා කල බව මටද මතකය. 
සත්තකින්ම ඒ තරම් කට්ටට්ක් කන්නට එන්නේ එල්ලෙන්න වැලක් හොයා ගන්නට බැරි අපි වගේ එකෙක් විනා වැඩක් කරගන්නට පුළුවන් එකෙක් නෙවේය.
ඉන්ටර්වීව් එකකදී තමා ඉදිරියට එන රැකියා අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව; තමාගේ වකුගඩු දෙක ගලවාගෙන යන්නට පැමිණි එකෙක්සේ දකින්නේ ඇයි දැයි මාහට තවමත් සිතා ගත නොහැක.
දුෂ්කර අවස්ථාවකදී කල යුතු කැප වීම පිළිබඳව ඔහු හෝ ඇයට මතක කරණු විනා; උඹට දෙන්නෙත් රුපියල් පහයි, රෑ එළිවෙනකල් ඉන්නෝන, දවස් තුන්සිය හැට පහම වැඩ, අඩු පාඩුවට අපේ ගෙදර බල්ලව නාවලා  ඩිරෙක්ටර් බෝර්ඩ් එකේ කුණු අතුල්ලන්න ඕන යැයි පැවසූ විට රැකියාවකට එන්නේ වෙන කරණ්නට දෙයක් ඇත්තේම නැති එකෙක් පමණි.

මේ ගැන සුපිරි වීඩියෝවක් ජනයි ප්‍රියයි ඩබලගේ ඇත. මේ ගැම්මටම ඒකත් බලලාම යන්න.



සුපිරිනේ?

ඉතිං මගේ බිරිඳට ඔය ගැන කියලා; අර දුවව ඉනටර්වීව් කරපු නෝන මහත්තයාගේ පරලෝ සැපත් මව් පාර්ශ්වය මතක් කරමින් ඉන්නකොට බිරිඳ කරකවලා ඇහුවා මගෙන් කොර වෙන ප්‍රශ්ණයක්.
ඉතිං රෑවෙනකල් වැඩ කරණ්න උන දවසකට කොහොමද ඒ girl ව  නතර කර ගන්නේ මුලින් එහෙම නොකියලා තිබ්බොත්?

අංක එක ටික දවසක් යන කොට එයාට අපිට බැහැ කියන්නට බැරි ලෙසට කණ්ඩායමේ සාමාජිකයෙක් කර ගන්නෝන ඉස්සෙල්ලාම!

දෙක; ඒ වෙලාවට ඒ දරුවගේ අම්මට හරි තාත්තට හරි අපිට කතා කරණ්න පුළුවන් "මිස්ට රාජකරුණා . . . ! ඔයාගේ දුවගෙන් අපිට පොඩි වැඩක් කරගන්න තියෙනවා . . . . ! කෙල්ල  talented නේ . ඒ case එක handle කරණ Lawyer කැමති නෑ මේ දුව කරපු එක වෙන කෙනෙකුට දෙන්න! අද අපි පොඩ්ඩක් මෙයාව තියා ගන්නද . . ? මම එයාව pick me එකක දාලා door step එකටම එවන්නම් . . !? දරුවටත් හොඳ experience  එකක් මෙහෙම case එකක් තනියෙම handle කරණ්න ලැබෙන එකත් . . . !?

එහෙම කිව්වාම බෑ කියයිද?  ඉන්න එවුංට රෑට Pizza දෙකක් ගෙනත් දීලා Coke එකක් ගෙනත් දුන්නාම උනුත් බැලන්ස්! මොකද කියන්නේ එහෙම නැද්ද?"

Saturday, November 11, 2023

267. ඔයිල් නැතිව ධාවනයේ (ශනිදා දහයට VI)

 

මේකත් රස වෑහෙන කොම්පැනි කථාවක්මයි!
මේක උනු අවුරුද්ද පුළුවන් උනොත් මා හොයලා යටින් ලියන්නම්.

මම යුනයිටඩ් මෝටර්ස් එකට ගිහින් පොඩි කාලයයි. රජයේ නිළධාරීන් හට දෙන වාහන බලපත්‍රයට දෙන්න අපි ගෙනාවා Mitsubishi Lancer එකයි Montero Sport SUV එකයි!
මේ මොන්ටෙරෝ ස්පොර්ට්ස් එක කෙලින්ම ආවේ ජපානයෙන්. ඒකට තිබුනේ 4D56 ටර්බෝ ඩීසල් එන්ජිමක්. මැනුවල් ගියර් පෙට්ටියක්.
මේ වාහනේ පෙට්‍රල් වර්ශන් එකකුත් ආවා.
ඒකට තිබුනේ සිලින්ඩර 6 ක එන්ජිමක්. හැබැයි ඒක ආවේ පර්මිට් එකට දෙන්න නෙවෙයි. පෙට්‍රල් වර්ශන් වෙනත් රටවලට ගියේ මිට්සුබිෂි චැලෙන්ජර් කියලා.

සාමාන්‍යයෙන් මිට්සුබිෂි වාහනවල පලමු සේවාව සිදුකරණ්නේ කිලෝමීටර 1000න්. එතැනදී එන්ජිමේ තෙලුයි ෆිල්ටරෙයි මාරු කරණවා. ආයෙත් එන්නේ 5000න්. එතැනදී මාරු කරණ්නේ තෙල් විතරයි. ආයෙත් 10,000න්. එතැනදී ආයෙත් තෙල් සමග ෆිල්ටරේ දෙකම මාරු කරණවා. මේ සර්විස් තුනට කිව්වේ Free services කියලා. ඒ සර්විස් වලදී ශ්‍රමයට අයකිරීමක් කලේ නෑ. අය කලේ තෙල් වලට හා ෆිල්ටර් ග්‍රීස් යනාදියට විතරයි. මේ සර්විස් තුන ආයතනයෙන් කර ගැනීම අනිවාර්ය අංගයක් උනා. වහනයේ පැවැත්ම පිළිබඳව දී ඇති සහතිකය පොරොන්දුව හෙවත් Warrantyය රඳා පවතින්නේ මේ සර්විස් තුනම ආයතනයෙන් සිදුකර ඇත්නම් පමණයි.

ඔය කියන කාලේ මිට්සුබිෂි වාහන බොහෝ සෙයින් බලපත්‍ර සඳහා අලෙවි උනාද කියනවා නම් අපට; එම වාහන සඳහා සේවවන් නියමිත දිනට කර ගෙන යන්නට නොහැකි තත්වයක් පැන නැග්ගා.ඉතින් මේ නිසාම අවම වශයෙන් දවසට එක් පාරිභෝගික බවතෙක් හරි අපට බනින එක අනිවාර්‍ය අංගයක් උනා.
දවසක්; ඔව් එදා සෙනසුරාදා දවසක උදේ මොන්ටෙරෝ ස්පොර්ට්ස්  දෙක තුනකුත් ලාන්සර් ඇතුළු තවත් රථ වාහන කිහිපයකුත් ලිහිසන සේවාව (Lubrication Service) සඳහා යුනයිටඩ් මෝටර්ස් ආයතනයේ හයිඩ්පාර්ක් ඒ කියන්නේ ප්‍රධාන ශාඛාවේ සේවා ස්ථානයට ඇවිත් තිබුනා.

සාමාන්‍යයෙන් පාරිභෝගිකයින් විවිධාකාරයි. ගෝලාකාර ලෝකේ මිනිස්සු කොහොමත් එහෙමයිනේ? ඒ අතර "අති  පණ්ඩිත" අය එහෙන් මෙහෙන් ඉඳීම සාමාන්‍ය දෙයක්. ඔවුන්ගේ විශෙෂත්වය වන්නේ වටාපිටා ඉන්නා අනෙකුත් පාරිභෝගිකයින්ද ලං කරගෙන තෙල බෙදීම.

මම මේ කියන දවසේත් ඇඟ පුරා මොළේ තියෙන "මහත්තයෙකු" පැමිණ සිටියා. ඔහු පැමිණි වෙලාවේ ඉඳන්ම අපි සමග පොඩි ඇරියස් එකකින් ඉන්න බවක් තමයි පෙනුනේ. මෙම උන්නැහැ සේවාවට ආ සැනින් "ඔයාලගෙ තෙල් දාන්න එපා! මම මගේ වාහන වලට මම දාන්නේ "කැස්ට්‍රොල්" විතරයි! මම ගෙනල්ලා තියෙන්නේ පහේ කෑන් දෙකක්!" යැයි කියාගෙන කියාගෙන ගියා!

සාමාන්‍යයෙන් පරණ වාහන සඳහා නිෂ්පාදකයා මේ මේ වර්ග වල තෙල් පාවිච්චි කරණ්න කියලා කිව්වත් දැන් කියන්නේ;
තෙල් වල  දුස්‍රාවිතා අංක (SAE 10W, SAE20W, SAE40, SAE50) යනාදී වශයෙන්, 
API සේවා වර්ගීකරණය API Service Category (SA, SB,  . . . SG / CA, CB, . . . . CF)  වැනි කාරණාය.
(මෙහි SAE යනු Society of  Automotive Engineers     වන අතර API - American Petroleum Institute යනු වේ. මේ දේවල් පිළිබඳව අපි ඉස්සරහට කථා කරමු!දැන් නොතේරුණත් තේරුණා වගේ ඉන්නයි තියෙන්නේ!)
එසේ නැතිව කෑල්ලෙන් කෑල්ල ගියත් අසවල් තෙල් වලින් පිට එකක් දාන්න එපෝ!" කියලා කියන්නේ  නෑ!
Esso, BP, Castrol, Shell, Mobil, Valvoline වැනි තෙල් වර්ග ගනනාවක් ඇති අතර මේ සෑම වර්ගයක් අතරම; වාහනයේ නිෂ්පාදිතයා විසින් නිර්දේෂිත දුස්‍රාවිතාවය හා සේවා වර්ගීකරණයට ගැලපෙන තෙල් නිපදවා තියෙනවා. බොහෝ විශෙෂිත වාහන සඳහා  තෙල් වර්ගයද නිර්දෙශ කොට තිබෙනවා. ඒක හරි දුලභ දෙයක්.
එසේම බොහෝ විට ඒවායේ තත්වය අතර මහා වෙනස් කමක් නෑ! ඒවන් මහා වෙනස් කමක් සහිතව තෙල් නිපදවූවහොත් ජාත්‍යන්තර වෙළෙඳපොල තුල පැවැත්මක්ද නෑ!
මා දන්නා තරමින් කිසිදු වාහන නිශ්පාදකයෙකු සතු තෙල් නිපදවීමේ යන්ත්‍රාගාරක් දන්න තැනක නෑ!
එහෙත් මෙරට වාහන බොහෝ නියෝජිතයින් කුමක් හෝ තෙල් වර්ගයක් ගෙන්වයි.
උදාහරණයක් ලෙස Nissan ගෙන්වන AMW ආයතනය BP ගෙන්වා බෙදා හරියි.
යුනයිටඩ් මොටර්ස් මිට්සුබිෂි ඇතුළු වාහන කිහිපයක්ම මෙරටට ගෙන්වන නියෝජිතයින් වන අතර ඔවුන් ගෙන්වන්නේ Valvoline.
Toyota; ටොයෝටා තෙල් ගෙන්වූවත් ටොයොටාලාට තෙල් ලිං හෝ යන්ත්‍රාගාර නෑ. මොබිල් හෝ වෙනත් තෙල් වර්ගයක් ටොයෝටා නමින් ඔවුන් බ්‍රෑන්ඩ් කර විකුණන එකයි කරණ්නේ.
මිට්සුබිෂි වාහනයක් මුල සිට යුනයිටඩ් මෝටර්ස්  වෙත ගෙන ආ අයෙකු පසු කලෙකදී; මිට්සුබිෂි සඳහා නියමිත තෙල් වර්ගය වැල්වලීන් කියා සිතිය හැක. එසේ කලක් වැල්වොලීන් වලට පුරුදු වූ අයෙකු වැල්වොලීන් හොඳම තෙල් වර්ගය සේ නම් කර‍යි!

මේකට වඩාත් කිට්ටුම ගැලපෙන කථාවක් වරක් ළමා රෝග විශේෂඥ මහාචාර්‍ය හරේන්ද්‍ර සිල්වා මහතා රූපවාහිනී වැඩ සටහනකදී පැවසුවා. එදින එම වැඩසටහන ප්‍රචාරය වෙන වෙලාවේ කොයි ලෝකෙද මන්දා හිටපු අම්මා කෙනෙක් මේ දොස්තර මඬුල්ලෙන් අහපි "ඩොක්ටර් ඔය ඇන්කර් බිව්වාම සෙම වැඩියි නෙස්ප්‍රේ ලක්ස්ප්‍රේ බිව්වාම සෙම වැඩියි වගේ ඒවා වෙන්නේ කොහොමද කියලා?"
එතකොට මහාචාර්‍ය හරේන්ද්‍ර කිව්වේ "ඔය කොයි ගොං කිරත් ගන්නේ අං දෙකක් තියෙන කුර  හතරක් තියෙන වලිගයක් තියෙන හරකෙක්ගෙන් නම් ඒ දෙක වෙනස් වෙන්නේ කොහොමද?" කියාය!

මේ ලෝකේ තියෙන බොහෝ එන්ජින් ලිහිසන තෙල් සඳහා මූලික තෙල්  Base oil  සැපයෙනේ සමාගම් කිහිපයකින්.
"සීයට සීයක්ම සියළු එන්ජින් තෙල් වර්ග සමානය!" කියන එක නම් නොවේ මේ කියන්නේ. 

කතාව ටිකක් එහේ මෙහේ උනානේ!
ඉතින් මේ මනුස්සයා / පාරිභෝගිකයා නැතහොත්  "මහත්තයා" එයා ගෙනාපු තෙල් ලීටර පහේ කෑන් දෙකත් අපිට උජාරුවෙන් පෙන්නලා; ඒ දෙක පැසෙන්ජර් පැත්තේ (ඉදිරිපස වම් පැත්තේ) බිමින් තියලා වාහනේ අපට භාර දුන්නා.
වාහනේ මට යතුර දුන්නේ වාහනේ ළඟදි! ඒකත් පොඩි පඬිවදනක් එක්ක!
"ඔයාලා මේකට දාලා නෑ! ඒත් මම හයි කරලා තියෙනවා ටර්බෝ ටයිමර් එකක්! ඩිලේ ෂට් ඩවුන් එකට!"

ටර්බෝ ටයිමරයක් යනු විශෙෂයෙන් වාහනයේ එන්ජිමට පිටතින් සවිකරණ කුඩා ඉලෙක්ට්‍රොනික් මෙවලමක්. මෙයින් කරණ්නේ දීර්ඝ ධාවනයකින් පසු එන්ජිම එකවර නවතා දැමීම වෙනුවන අකම් දිවුමේ Idle speed විනාඩි දෙකක් (වෙනස් විය හැක) පමණ කාලයක් පවත්වාගෙන ගොස් ස්ව්‍යංක්‍රීයව නවතා දැමීමයි. එහෙත් අප භාවිතාවේ ගනු ලබන සාමාන්‍ය පාවිච්චි කරණ වාහනවලට මේවා එන්නේ නැත!
එහෙත් මෙරට පවතින කුඩා ව්‍යාපාර කඩ මගින් මෙය වාහන හිමි කරුවන්ට හඳුන්වා දේ!
(හරියට වැලන්ටයින් මුදලාලිලා; වෙසක් කාලෙට වෙසක් මුදලාලිලා කරණවා වගේ!) මේ මුදලාලිලාගෙන්; "ඉතිං ඔය අටමගලෙ අනිවාර්‍යයෙන්ම තියෙන්න ඕන මගුලක් නම් ඇයි වාහනේට කොම්පැනියෙම්ම හයි කරලා එන්නැත්තේ?" යැයි පෙරළා විමසූ විට ඊට ඔවුන් සතුව වඩාත් තක්කඩි වූත් තර්කාණුකූලවූත් පිළිතුරක් ඇත!
මේකනේ සර්! වාහනයක් ගත්තු කෙනා ඒක වැඩි කාලයක් පාවිච්චි කරණවට ඒ කොම්පැනි කැමතිද? නෑ නේ!? එයාලට ඕන වාහන ඉක්මනට කැඩෙන්න හදන්න! එතකොටයි එයාලගෙ බිස්නස් වැඩිවෙන්නේ!? අනික එතකොට එයාලගේ ස්පෙයා පාර්ට්ස් ටිකත් විකුණන්න පුළුවන්නේ!? අනික සර් මේවා හදන්නෙත් පිට රට ලොකුම කම්පැනීස් වලින්නේ! එයාලත් පරීක්ෂණ කරලනේ මේවා කරණ්නේ! නැතුව අපි හදන එකක් නෙවෙයිනේ?" කාල වරෙංකො.

මම කියාපු විදියේ ටර්බෝ ටයිමරයක් සවිකරගත් මොන්ටෙරෝ ස්පොර්ට්ස් රථය රැගෙන ආ මේ මහත්තයාට තවත්  ලොකු වැඩක් පැවරිලා තිබුනා ගෙදරින්ම පැවරුනු!
ඒක තමයි එතන හිටපු; සර්විස්සෙකට වාහන ගෙනාපු මහත්තුරු ටික අල්ලගෙන තෙල බෙදන එක! ඒ තෙල බෙදුවෙත් නිකංම නෙවෙයි! 
පොතේ ගුරු හෙවත් පූරක වගේ; එයාගේ මොන්ටෙරෝ ස්පෝර්ට්ස් වාහනේ Owner's Manual පොතත් දිග ඇරගෙන ඒක පෙන්න පෙන්න.
ඒ වෙන කොට පලමුව හා පොරොත්තු ලේඛණයට අනුව ආපු වාහන හතරක් හොයිස්ට් වලට දාලා උස්සලා තෙල් ඇරලයි තිබුනේ!
අර කලින් කියපු පාරිභෝගික භවතාගේ ප්‍රචාරණය, දිරි ගැන්වීම හා උසිගැන්වීම කෙතරම් ඉහළ මට්ටමක පැවතුනාදැයි කිවහිත් හොයිස්ට් වල තිබුනු වාහන අයිති මහත්වරුත් ඇවිත් "ඔයාලාගේ තෙල් දාන්න එපා! අපි කැස්ට්‍රොල් අරං එන්නං!" කියලා සර්විස් එකෙන් පිටත් උනා.
පස්සෙදි හිතුනා එහෙම වුනු එකත් හොඳා කියලා! කැස්ට්‍රෝල් තෙල් තිබ්බේ මුත්තයියා පාර පටන් ගන්න තැන තියෙන අශෝකගේ මෝටර්කේඩ් කඩේ!
ඒක අරින කොට තව පැය භාගයක්වත් යයි! මොන කරුමයක්ද මේ!?
කියන්න ඕන නෑනේ මට ඉතිං මල් යායයි!
හොයිස්ට් වල වැඩ කරණ එවුං මගේ ලඟට ඇවිත් එක ආරෝව!
"අර අර යකා තමයි ඔක්කොම කරණ්නේ!" කට්ටිය මට කියනවා.
මුළු සර්විස් එකම නැවතිලා!
මේ වෙන කොට ඒ පණ්ඩිත මහත්තයාගේ වාහනේ විතරයි වැඩේ යන්නේ! ඇයි එයා තෙල් ගෙනල්ලනේ!?
එයාගේ වාහනේ සර්විස් එක කලේ අපේ බොහොම ආදරණීය සේවක මිත්‍රයෙක් වන "කලූ" හෙවත් ධනුෂ්ක.
කැළණි පාලම යට වත්තක පේලි ගේකින් ආවත් හරි කීකරු කොල්ලෙක්! ඒ වගේම අන්තිම විශ්වාසවන්ත එකෙක්.  අවංක විශ්වාසනීය ආදරණීය සේවකයෙක් මට හිටපු. (අදටත් හිටපු ගමන් කෝල් කරණවා ඌ!)
ඌ වගේම තවත් එකෙක් වැඩකලා වනාතෙ එකෙක් ෆ්‍රෙඩී කියලා!
උං අපිට හෙන භක්තිය!
මම කිව්වොත් ඕන දෙයක්!.
හැබැයි ඒ බයට නෙවේ - බොක්කට!

ඉතිං කලූ වැඩේ පටන්ගන්න කොටම අර පඬිතුමා එතැනට ගියා!
"හා! හා!!  එහෙම නෙවෙයි!, ඔහොමද කරණ්නේ? මොනවද මේ ටූල්ස්? කවුරුවත් මේවා බලන්නේ නැත්ද?" මේ වගේ විකාර ලෝකයක්!

කලූ මට ඇවිත් කිව්වා "අර මහත්තයාව කස්ටමර් කාමරෙන් වාඩිකරලා තියන්නකො! එයා වැඩේ කරණ්න දෙන්නේ නෑනේ!?" කියලා.
"ශෙප් එකේ ඌ කියන දෙයක් කරලා ඔය වාහනේ ඉවර කරලා දාපං බං මොනවා කරණ්නද?" මම කලූට උත්තර දුන්නා.
මම යුනයිටඩ් මෝටර්ස් ගිය කාලයේ සේවය කලේ මම පුහුණු උනේ විජිත මහත්තයා යටතේ! විජිත කියන්නේ නොම්මර එකේම වැඩ්ඩෙක් ලොක්කන්ට ගොටු අල්ලන්නට නොගිය! ඒ නිසාම ඔහුට නිසි අගැයීමක් ලැබුනේ නෑ. මගේ බුදු ෆිට් එක! අපි දෙන්නා බොහෝම කාලයක් කිසි අවුලක් ආභාධයක් අතුරු ආන්තරාවක් නැතිව එකට වැඩකලා!
එයාගේ තිබුනා හරි අපූරු න්‍යායක්!
ඒක තමයි "කරදර කාරයාව ඉස්සෙල්ලාම යවන්න ඕන !" කියන එක.
එයාගේ භාෂාවෙන් කියනවා නං "කරදර කාරයෝ තියාගත්තාම අපිට කරදරයි! ඒ හින්දා එයාගේ වැඩේ ඉක්මනට ඉවර කරලා එලියට දැම්මාම අපිට කරදරයක් නැතිව වැඩටික කරගන්න පුළුවන් නිවිහැනහිල්ලේ!"
අපි හුඟක් අය කරන්නේ ඕකේ අනිත් පැත්ත!
අපිත් බලනවා ගේමට ගේම දෙන්න!
පලිගන්න!
එකට එක කරණ්න!
ඉතින් මමත් බැලුවේ මේ "යකාව" ඉක්මණට එළියට දාගන්නේ කොහොමද කියලා. 
අපේ සර්විස් එක වැඩකලේ අංශ තුනක් විදියට.
පලමුව වාහනයේ තෙල් වතුර මාරු කරලා ග්‍රීස් ගහලා ටයර් මාරු කරලා දානවා  යට හෝදන්න! අන්තිමට බොඩිය හෝදලා පිසදා අවසන් කරනවා!
සාමන්‍යයෙන් වාහනයක සර්විස් එක ඒකියන්නේ එන්ජින් එකේ සහ අනෙකුත් උපාංගවල තෙල් මාරුකරලා ග්‍රීස් කාරිය ගහලා එලියට දාන්න යන වෙලාව පැය භාගයක් විනාඩි 45ක් යනවා. 
දැං මේ වාහනේ පැය එක හමාරකටත් වඩා වැඩියි. වාහනේ යට ඉඳන් පෙරකී පාරිභෝගික භවතා කලූට "අරක කරපං! මේක කරපං!! ඔහොම නෙවේ මෙහෙම!!!" කිය කියා වාහනේ යට! නිකං නෙවේ අර පොතත් දිග ඇරගෙන!
තවත් ටික වේලාවකින් "කලූ" ඇවිත් වීදුරුවෙ එහා පැත්තෙන් ඇවිත් අතින් කිව්වා වැඩේ ඉවරයි කියලා. මමත් එළියට ගිහිං වාහනේට නැග්ගා. 
තැඹිළි පාට කැස්ට්‍රෝල් හිස් කෑන් දෙක මුලින් තිබුනු තැනම දිළිහි දිළිහි තිබුනා! නැගලා වාහනේ ස්ටාර්ට් කලා. ඩීසල් ටර්බෝ චාර්ජ් එන්ජිම රුං ගාලා වැඩ. හොයිස්ට් එකෙන් රිවර්ස් කරලා වාහනේ අරං අන්ඩර් වොෂ් බේ එකට දාන්න ඉස්සරහට ගත්තා.
අපේ යට හෝදන තැන Under Carriage Washing Bay සහ සර්විස් කරණ තැන තිබුනේ එකිනෙකට ලම්භකව. ඒ නිසාම සර්විස් එකේ තියෙන වාහනයක් යට හෝදන තැනට දාන්න රිවර්ස් කරන්න වෙනවා. ඒ කරලා තමයි ආපහු ඉදිරියට ධාවනය කරලා යට හෝදන තැනට එකට දාන්නේ.
ඉතින් මේ වාහනේ මම රිවර්ස් එකට අරං නවත්වනවා එක්කම අර කැස්ට්‍රෝල් කෑන් දෙකෙන් එකක් පෙරළුනා. 
අවුලක් නෑ මම ඒක වාහනය පදවන ගමන්ම කෙලින් කරලා ඉද්‍රිපස ආසනයට කිට්ටු කරලා තිබ්බා ආයෙමත් පෙරලෙන්නේ නැතිව.
ඒක නොපෙරලෙන්න හදන කොටම මට තේරුණා ඒ තෙල් භාජනේ නැතිනම් ඔයිල් කෑන් එක ඇතුලෙ තෙල් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා කියලා!
"හරි මේ වාහනේ එන්ජිමට අල්ලන්නේ ලීයර 7ක් විතරනේ. මෙ ඉතුරු ටික වෙන්න ඇති" මගේ හිත මට කිව්වා!
මම වාහනේ ඉදිරියට අරං යට හෝදන තැනට දාලා නවත්වන කොටම අනිත් කෑන් එකත් පෙරළුනා!
මම ඒ ගමන ඒකත් කෙලින් කලා!
හුටා! එකෙත් ඔයිල්!
"මෙහෙම වෙන්නේ කොහොමද අනිවාර්‍යයෙන්ම එක කෑන් එකක් හිස් වෙන්නම ඕන!" මගේ හිත මට කිව්වා!
වෙන්න පුළුවන් දේවල් දෙකයි!
එක්කෝ මේ මගුලට දාලා තියෙන්නේ මේ මනුස්සයා ගෙනාපු කැස්ට්‍රෝල් වෙනුවට අපේ වැල්වොලීන්!

එහෙම නැත්නම් මේ වාහනේට තෙල් දාලාම නෑ!

උදේ පාන්දරම මට දාඩිය දාන්නට ගත්තා දොළහට වගේ! කොන්ද අග්ගිස්සෙන් පටන් ගත්තු හිරි වැටීම නැවතුනේ හිස් මුදුනින්!
වහාම මම එන්ජිම නිවා දමන්නට ඉග්නීශන් යතුර ආපසු කර කැව්ව්!
අනේ අපරාදෙ කියන්න බෑ එන්ජිම සුපිරියටම "මට නෙවෙයි වගේ" දුවනවා! ඇයි අර පඬිතුමා මදි පාඩුවට මේ මගුලට ටර්බෝ ටයිමරයකුත් හයි කරලානේ!
මම ඒක්ෂණයෙන් ගියර් එක පහට දාලා බ්‍රේක් එක පාග ගෙනම ක්ල්ච් එක අත ඇරියා.
වාහනේ කීකරු කමට නැවතුනා!
මම වාහනෙන් බැස්ස ගමන් ගියා කලූ ගාවට!
"තෝ මොන තෙල්ද අර XXXට දැම්මේ?
"අම්මට හුඩු ඔයිල් දාන්න බැරි උනානේ! අර යකා ඇවිත් මගේ ඔළුව කාලා මට ඔයිල් දාන්න බැරි උනානේ ලොක්කා!"
කලූ සුදුමැළි වෙලා උත්තර දුන්නා. 
"මගුලයි! උඹ කට වහගෙන උඹේ වැඩක් කරහං කෝ!"
ඒ කාලේ අපේ සර්විස් එකේ හෙඩ් බාස් වගේ හිටියේ මෛත්‍රී කියලා වයසක පහේ කෙනෙක්.
මිනිහා සූරයා!
එතකොට අපේ ඔයිල් ඉස්ටෝරුවේ තෙල් පෙරේරාත් එතන.
"මෛත්‍රී මගුලයි! කලූට අර මොන්ටෙරෝ ස්පොර්ට් එකට ඔයිල් දාන්න අමතක වෙලා!" මම මෛත්‍රීට වැඩේ කිව්වා!
"කෝ දැන් තෙල් ටික?" මෛත්‍රී ඇහුවේ නළල රැලි කරගෙනම.
"වාහනේ ඉස්සරහ වම් පැත්තේ!"
"හරි ඔයා කොහොම හරි ඔය යකාව විනාඩි පහකට ඔතනින් එහාට යවන්න; මම මොනවා හරි කරණ්නම්!" මෛත්‍රී සහතිකයක් දුන්නා.
මෛත්‍රී  අඩියට දෙකට වාහනය ළඟට ගියා.
එතන ඉන්නේ සිවා.
මෛත්‍රී සිවාට මොකක්දෝ කණට කරලා කිව්වා!
සිවා එයාගේ ලතාවට යන ගමනෙන් පැද්දි පැද්දී වැසිකිළිය පැත්තට ගියා!
දැන් මගේ අතෙයි වැඩේ තියෙන්නේ!
මම තත්පර දහයට බිල වැහුවා.
"සර්! මේක ගෙවලා එනවද?"
"මම වැඩේ ඉවර උනාම ගෙවන්නම්!" මේ මනුස්සයා කියපි!
"සර් කැෂියර් යනවා කිව්වා පොඩ්ඩක් උඩ ෆයිනෑන්ස් එකේ සේෆ් එක අරින්න! පොඩ්ඩක් වෙලා යයි එන කොට; මට කෝල් කරලා කිව්වා ඔයිල්, ඔයිල් ෆිල්ටර් අරණ් තියෙන වාහන වල බිල් වහලා ඉක්මනට එවන්න කියලා!"
පාරිභෝගිකයාට වාහනයෙන් කැමැත්තෙන් උවද ඈත්වන්නට ඈත් වෙන්න උනා. 
හයිඩ් පාර්ක් සර්විස් එකට වෙනම මුදල් අයකැමි කෙනෙක් අදටත් නෑ මම හිතන්නේ. එයා ඉන්නේ අමතර කොටස් අංශයේ පසුපස.
එතැනට සර්විස් එකේ ඉඳලා යන්න තිබුනේ පටු කොරිඩෝවකින් ගිහින් දෙපාරක් හැරිලා.
ඒක්ෂණයෙන් කැශියර් එකේ හිටපු මහින්ද මල්ලිට මම කෝල් එකක් ගත්තා!
"යකෝ ඔය එන සුදු පාට ටීෂර්ට් කාරයාව විනාඩි පහක් පරක්කු කරලා ඒවපං! මම ඌට කියලා තියෙන්නේ තව ටිකකින් උඹ ඔතනින් යනවා කියලා!"

විනාඩි හතක් අටක් ගත වෙන විට මහතා ප්‍රානීභූත වෙන කොට මෛත්‍රී මෙහෙයුම අවසන් කර තිබුනි!
තවත් පැය භාගයක් පමණ යන විට වාහනයේ සියළු වැඩ අවසන් උනා!
අපි දිහා බලන්නෙවත් නැතුව වාහනය අරන් යන්නට  මහත්තයා ගියා. ආපහු වාහනෙන් බැස්ස ඔහු කලූ ළඟට ගියා!
මොහොතකින් යන්නම ගියා!
මම කලූ ළඟට ගියේ විදුලි වේගෙන්!
මොකෝ උනේ?
"මොනව වෙන්නද මේ යකාගේ බර බරේට මට කරන වැඩ ටික කවලං උනා! ඇයි පිළිවෙලකට කරණ්න දුන්නේ නැහැනේ!"
"ඉතිං?"
"ඉතිං මුකුත් නෑ! 'තමුසෙ විතරයි මෙතන හරියට වැඩක් කරණ එකෙක් ඉන්නේ!' කියලා මට ඔය රුපියල් විස්සකුත් දීල ගියේ!" කලූ හිනා වෙවී කිව්වා!  

Saturday, November 4, 2023

266. එම්බ්‍රොයිඩර් වැළඳීම . .! (ශනිදා දහයට V)

මේ ඒ යුවතියන් නම් නොවේ!

මේ කථාව උනේ  1991-1993 කාල වකවානුව අතර.
ඒ කියන්නේ මීට අවුරුදු 30කට කලින්!
මම කාලයක් වැඩ කලා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම් කම්හලක. 
ඒකේ අයිතිය යුදෙව් පවුලක. ඒ නිසාමද මන්දා සෑම සියළු දේම කලේ කෙරුනේ ඉතාමත් පරීක්ෂාකාරීව, පිළිවෙලකට හා ක්‍රමාණුකූලව!
මෙරට තුල "කාර්‍ය අධ්‍යනය" Work Study  භාවිතා කිරීමේ පුරෝගාමීන් ලෙස අදටත් සැලකෙන්නේ මේ ආයතනයයි.
ඔය කියන කාලේ ඒ අයතනයේ කාර්‍ය අධ්‍යන දෙපාර්තමේන්තුවක් (Industrial Engineering Department) එහෙම තිබුනා.
ඊට අමතරව සෑම අංශයක්ම උපරිම විඝනනයකට භාජනය කලා.
තවත් විදියකින් කියනවා නම්; කැපුම් අංශයෙන් කැපෙන සියළුම ඇඟළුම් ඇසුරුම් අංශය හරහා නැව්ගත් වීම අනිවාර්‍ය නියමයක් විය!
මීට ප්‍රධාන හේතුව උනේ එහි නිමැවූයේ අධික වටිනාකමකින් යුතු ඇඟළුම් වීම. ඔබ විශ්වාස කරණ්න එක් වරක් එක් නිශ්පාදන පේළියක නිපැදවූ ගවුමකට නිශ්පාදන අංශයේදී ඇමුනූ මිල පත (Price Tag) හා එවකට එක් සේවිකාවකගේ වැටුප සැසැඳූවිට; එම නිශ්පාදන පේලියේ සිටි සේවිකාවන් 26 දෙනාගේම මාසික වැටුප මෙන් තුන් ගුණයකටත් වඩා එම ඇඟළුම මිල බව සොයා ගැනීමට අපට හැකිවිය!
මැහුම් අංශයේදී එක් ඇඟළුමක එක් කොටසක්; අපි ලේසියට හිතමු සාක්කුවක් (Pocket) හානි උනොත් ඒකට අමතර සාක්කුවක් කපා ගැනීමට ෆැක්ටරියේ CEO  මහතාව හමුවන්නටත් වෙනවා. 
එතැනට යන්නට කලින් තත්ව පරීක්ෂක, වැඩ සුපරීක්ෂක, අංශ කළමණාකරු, නිශ්පාදන කළමණාකරු යන අයගෙන් අත්සන්, අනුමත කිරීම් කරණ්නට අවශ්‍ය උනා.
මෙම ආයතනයේ නිමැවුනේ ඉතා මිළ අධික ඇඟළුම්.
බොහොමයක් මැහුනේ ඉතාම අඩු ප්‍රමාණ!
ඇඟළුම්1000 ක ඇනවුමක් කියන්නේ හිතාගන්නවත් බැරි එකක්. බොහෝ විට ඒවා 500න් පහල ඒවා උනා! නිෂ්පාදන පේලි (Production Lines)  40කට ආසන්න ප්‍රමානයක් එහි තිබුනා. මා සේවය කර ඇති උපරිම රැකියා පීඩනය (Work Pressure) ඇති ස්ථානය කුමක්දැයි ඇසුවොත් ඒ එම කම්හල!
ආයතනය තුල කාර්‍යක්ෂමතාවය 90% කින් පවත්වාගෙන යන්නට හැම මොහොතකම පාලනාධිකාරිය  සැදී පැහැදී සිටියා!
මේ ආයතනයේ නිසි බලධරයා කියන්නෙත් මාරයෙක්!
ඒ යකාත් මිනිස්සුන්ට බනින්න දන්නේ නැති එකෙක්. සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි කලවම් කරලා ඒ යකාගෙන් බැනුම් අහන්න සෙට් වෙනවා කියන්නෙ කකුල් පණ නැති වෙන සීන් එකක්.

දැන් අපේ කථාවට යමු!
ඔන්න එක කාලයක අපිට ආවා එම්බ්‍රොයිඩර් මල් වැලක් ඇති බලවුස් එකක් මහන්න. මහන්න ආව රෙද්දයි මලයි දෙකම ලා තැඹිළි පාටයි වගේ.  ඒ පාටට නිවැරදිව කිව්වේ පීච් කියලයි.ඒ රෙද්ද තරමක් බර ඒත් ඉතා සිනිදු එකක්. බ්ලවුස් එක ඇත්තටම කමිසයක්; පලු දෙකක.
මේ බලවුස් එකේ ඉදිරිපස ඉහල කෙලවරේ මෙම එම්බ්‍රොයිඩර් මල පිහිටා තිබුනා.
මෙන්න මේ වගේ!
මේ විදියට නෙවේ කොයි විදියටත් ඇඳුමක් මහන්න කලින් රෙද්දෙන් මේ හැඩයට කොටස් කපා ගන්නට ඕනෑනේ. මේවා ඒකියන්නේ මේ හැඩතල ඇඳලා ඒ ගානට කපලා තිබුනේ කාඩ්බොඩ් වල. මේවාට කිව්වේ පැටර්න් බෝර්ඩ්ස් Pattern Bords කියලා! අපේ ගෙවල් වල හැට්ට පතුරං කියන්නෙත් මේවාටම තමයි. කොටිංම පතුරං.

ඉතින් ඇඳුමක තියෙන ප්‍රින්ට් එකක් ඒ කියනේ කිසියම් මෝස්තරයක් හරි එම්බ්‍රොයිඩරයක් හරි නියමිත ස්ථානයකට ගන්න ඕන උනාම කරණ්න පුළුවන් සාර්ථකම ක්‍රමය වන්නේ තරමක් විශාල රෙද්දක සලකුණු කල ස්ථානයක එම්බ්‍රොයිඩර් මල මහලා. ඉන්පසුව එම මල උඩින් පෙනනාකාරයට කොටසක් ඉවත් කල ස්ලෝපරයක් (Slopper) තබා වටේ ලඛුණු කොට කපා ගැනීමයි.
මේ කියන දේ හරියටම තේරෙන්න මම පොඩි පහේ ක්‍රියා කාරකමක් කලා. මොකද ගූගල් දෙයියන්ගේ අසපුවේ පැය ගානක් කරක් ගැහුවත් මේ සරල ක්‍රියාව හොයා ගන්න බැරි උන නිසා.
එම්බ්‍රොයිඩර් කල රෙදි කොටස
අවශ්‍ය කොටසට වඩා තරමක් විශාලව පිහිටන සේ කපා ගන්නා ලද රෙදි කැබැල්ලේ අනුමාන වශයෙන් සළකුණු කරණා ලද තැන එම්බ්‍රොයිඩර් කර ගනු ලැබේ.
එම්බ්‍රොයිඩර් කල රෙදි කොටස මත තැබූ ස්ලෝපරය
ඒ මත අතබන ලද ස්ලෝපරය අනුසාරයෙන් රෙදි කැබැල්ලේ නියමිත හැඩය 100% ක නිවැරදිව සළකුණු කර ගනී.
 ස්ලෝපරයට අනුව රෙදි කොටස මත සලකුණු කල පසු

 සලකුණු කල රේඛාව මත කපා ගත් රෙදි කොටස.
සළකුණ දිගේ කපා ගැනීමෙන් (Trimming) අවශ්‍ය කොටස නියමාකාරයෙන් ලැබෙනා අතර නිමවූ ඇඟළුම 100% සාර්ථක නිමාවක් සහිතව ලබා ගත හැක.
මේ කියන ඇනවුම තරමක විශාල එකක්. ඒ වගේම ඔය වැඩේ එම්බ්‍රොයිඩර් කිරීමෙන් පසුව බොහොම පරක්කු වෙලා ඇවිත් තිබුනේ. එම්බ්‍රොයිඩර කලේ අපේ කර්මාන්ත ශාලාවෙන් පිටත වෙනත් ආයතනයක වන අතර අපගේ තත්ව පාලකයින් එම ආයතනට ගොස් සියළුම ඇඟළුම් සීයට සීයේ තත්ව පරීක්ෂාවකට ලක් කිරීම නිසාම මේ වැඩේ සෑහෙන්න ඇදුනා! (ඇඟළුම් ක්ෂේත්‍රයේ තත්ව පරීක්ෂා වර්ග දෙකක් ගැන කතා කෙරේ. ඉන් පලමු වැන්න සියළුම ඇඟළුම් වල සියළුම කොටස් පරීක්ෂාවයි  100% Inspection. දෙවන්න අහඹු පරීක්ෂාවයි Random inspection.)
ආයෝජන ප්‍රවර්ධන කලාපය එහෙම නැත්නම් පොදු ව්‍යවහාරේ නිදහස් වෙළෙඳ කලාපෙ කියන්නේ වෙනමම රටක් රාජ්‍යයක් වගේ තැනක්. ඒක ඇතුලට යන්න වෙනම අවසර පත්‍රයක් අවශ්‍ය වුනා! ඒ වාගේම තීරු බදු රහිතව අපරට ඇතුලට එන අමුද්‍රව්‍ය වලින් නිපදවන භාණ්ඩ හෝ එම අමු ද්‍රව්‍ය හොර රහසේ පිටතට පැමිණේවිදැයි කියා බැලීමට දැඩි මුරකාවල් යොදා තිබුනා.
මෙම කලාපය තුල තිබුනු ආයතන වලත් තිබුනේ උස් තාප්ප.
ඒවගේම කලාපය වට කරලා තිබ්බෙත් උස් කම්බි වැටවල් හරියට අවුට්ස්විට්ස් වදකාගාරය වගේ.
මේවායේ ගේට්ටු මුර කිරීමට හිටියෙත් මනුස්ස කමක් ගෑවුනු නැති සිකුරිටි කණ්ඩායම් දෙකක්. එකක් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයෙන්. අනිත් සෙට් එක රේගුව හෙවත් කස්ටම්ස් එකෙන්!
ඉතින් එම්බ්‍රොයිඩර් කරණ්න රෙදි එළියට ගෙනියනවා සහ ගේනවා කියන්නෙත් වෙනමම මෙහෙයුමක් කිව්වොත් ඒක එකෙන්ම ඇත්ත.
ඉතින් මම කලින් කිව්වා නේ මේ ඇනවුම එකසිය ගානට පරක්කු වුනු එකක් කියලා. මෙතන වැඩිම කාලයක් ගතවුනේ අර මම කලින් කියපු විදියට ස්ලෝපරයක් තබා ට්‍රිම් කරණ කෙළියට. මොකද මෙතන අල උනොත් වැඩේ එහෙම පිටින්ම කේස් වෙනවා. මේ නිසාම රෑ එළි වෙන තුරා දවස් දෙක තුනක් කණ්ඩායම්ක් වැඩ කලා කැපුම් අංශයේ එක් කෙළවරක. 
මේ වගේ කුණු ජොබ් වලට නායක්ත්වය සැපයූවේ ඇහින්දාස්ලා!
ඒ කියන්නේ වෙන වෙන අංශවල සේවය කල යමක් කමක් කර ගන්න පුළුවන් උනු අය.
මෙහෙම කැරකිලා කැරකිලා ගිහිං මට සෙට් උනා මේ වැඩේ කරණ්න!
ඉතින් අදාල දවසේ සියල්ල ලක ලෑස්ති කරගෙන මම වැඩේට බැස්සා!
කණ්ඩායමේ හිටියා තරුණ පහේ ගෑනු ලමයි හතර පස් දෙනෙක්. ඒ අයට කතුර හොඳට හුරුයි.  මේ ඇඟළුම ප්‍රමාන පහකින් නිමැවුනා!
S, M, L, XL
ඉතින් එක් සේවිකාවක් බණ්ඩලය ගලවා එක් එක් රෙදි කැබැල්ල ඉස්තිරික්ක කොට, කොලයක් මත අතුරා ඊට උඩින් බන්ඩලයේ ගැට ගසා තිබුනු  ටැග් එක ඒ කියන්නේ රෙදි කොටසේ ප්‍රමානය සහ තවත් කරුණු කාරණා ලියන ලද කාඩ්බෝඩ් කැබැල්ල තබා අනෙක් සේවිකාව වෙත එවනවා.
එතනදී ඇය විසින් අදාල ප්‍රමානයට අයත් ස්ලෝපරය තබා ඉන්විසිබල් පෑනෙන් (ඒ කියන්නේ එම විශෙෂ තීන්ත සහිත පෑනෙන් සළකුණු කොට විනාඩි ගණනක් ඇතුලත මැකී යයි!) සළකුණු කොට අනෙක් සේවිකාව වෙතට ලබා දෙයි. ඇය විසින් තම අත රැඳි යෝධ Wiss වර්ගයේ තියුණු කතුරෙන් එය කපා සකස් කොට (ට්‍රිම් කොට) ඊළඟ සේවිකාව වෙතට පමුණුවන අතර ඇය එකින් එක නැවත පරීක්ෂා කොට බලා මැහුම් අංශයට යැවීමට බන්ඩලයක් සේ ගැට ගසයි.
මම ඔය කියන ආදරණීය රාත්‍රියේ හවස හයේ වගේ ඉඳන් වැඩේ කෙරෙන්න පටන් ගත්තා! පොඩි ප්‍රොඩක්ශන් ලයින් එකක්. ඊට පස්සේ කාර්‍ය අධ්‍යන දෙපාර්තමේන්තුවෙන් පැමිණ පොඩි කාල අධ්‍යනයක් එහෙම කරලා තව ළමයෙක් දෙන්නෙක් එහා මෙහා කරලා වැඩේ සෙට් කරළා දුන්නා!
දැන් වැඩේ යනවා එකසිය ගානට! එකසිය ගානට කියන්නේ තරමක වේගයෙන් සහ නියමිත ගලා යෑමකින්. ඉතින් රෑ අටට කෑමට නැවැත්තුවා. අපි කාලා ඔහේ වැනි වැනි 8.30 ට 8.40 ට විතර මේසේ ලඟට ඇවිත් වැඩේ පටන් ගත්තා!
තවත් පැයක් විතර මෙහෙම වැඩේ මේ විදියට ගියා කියමුකෝ.
වැඩේ මේ විදියට යද්දී එක පාර මගේ ඇස් ගියේ මේ කතුර අතේ තියෙන සේවිකාව වටේට තියෙන කැපිලා අහකට ගිය රෙදි රැලි එහෙම නැත්නං පටි වලට!
අම්මට සිරි!
ඒවායේ පළල අඟල් එකේ සිට දෙක තුන පමණ උනා!.
මේක කොහොමත්ම වෙන්න පුළුවන් දෙයක් නම් නොවේ. සාමාන්‍යයෙන් ස්ලෝපරය තැබූ පසු ඉවතට කැපී යා හැක්කේ අඟල්  භාගයේ සිට අඟල දක්වා පළලැති පටියක් පමණි. 
වැඩේ කොහෙන් හෝ අල වී ඇත!
මා එකවරම කතුරෙන් ගත් සේවිකාව කපන්නට පටන් ගෙන තිබූ කැබැල්ල කැපූ පසු නැවැත්වූයෙමි.
රෙදි බන්ඩලයේ ටැග් එක බැලූ විට එය S එකකි.
එහෙත් එම රෙදි කැබැල්ල මත XL ස්ලෝපරය පවා තැබිය හැක!
සිද්ධිය මට මොහොතකින් වැටහුනි.
XL රෙදි බන්ඩලය පැමිණ ඇත්තේ S ටැග් එකකින් ය. 
මා ආපස්සට ගොස් බණ්ඩල පලමුව දිග අරින; ඉස්තිරික්ක කරණ සේවිකාව වෙත ගොස් ඇය විවෘථ නොකල බන්ඩලයක් ගෙන බැලීය!
එය M එකකි. නමුත් ඒ තුල පැවතියේ L ඇඟළුම් කොටස්ය.
සියල්ල කලවං වී ඇත!
මේ අනුව ඇනවුමට අදාල ප්‍රමානයට ඉක්මවා S ප්‍රමාණයෙන් ඇඟළුම් කොටස් සැකසී ඇති අතර එයට අදාලව  වඩා විශාල ප්‍රමාන වලින් අඩුවිය යුතුය.
ඇඟළුම් ඇනවුම් ලැබෙන්නේ  Ratio එකකට නොහොත් අනුපාතයකටය. ඒවා බොහෝ විට කපන්නේද අසුරන්නේද එම අනුපාතය රැකෙන පරිදිය. 
උදාහරණයක් ලෙස S/1   M/3   L/2   XL/1 ලෙස විය හැක. එවිට රෙදි කපා ඇත්තේද මෙම අනුපාතයට අනුකූලවය.
S100   M300   L200   XL100 ලෙස විය යුතුය.
අපනයනය කල හැකි හා කලයුතු මුළු ඇඟළුම් ප්‍රමානය 700 කි.
අප XL 25ක් ගෙන S සඳහා සැකසුවහොත් S ප්‍රමාණය අවශ්‍යය ප්‍රමාණයට වඩා 25 කින් වැඩි වන අතර XL   ප්‍රමානය 25  කින් අඩුවී යයි.
මේ සමග අනුපාතට සකසද්දී
S75  M225  L150  XL75 ලෙස අඩුවී අපනයනය කල හැකි මුළු ඇඟළුම් ප්‍රමානය 525 දක්වා අඩුවී යයි.
මෙය ආයතනයකට මහත්වූ අලාභයක් වන අතර මේ නිසාම ඇනවුම මුළුමණින්ම අවලංගුකිරීමට මිළදී ගන්නා පෙළඹීමට පවා ඉඩ ඇත.
එම්බ්‍රොයිඩර් ආයතනයෙන් නියමිත පරිදි ඇඟළුම් කොටස නියමිත ප්‍රමානයට  සකසා බන්ඩ්ල් ටැග් යොදා නොමැත.
එම්බ්‍රොයිඩර් ආයතනයට යවා තිබුනු තත්ව පාලන කණ්ඩායම; බන්ඩලයට අමුනා ඇති ටැග් එක හා බණ්ඩලය තුල ඇති ඇඟළුම් කොටස් සමානදැයි සොයා බලා නැත!
ඒවා අපගේ අංශයට ගත් තැන තත්ව පාලිකාව විසින් ගලපා ගෙන නොමැත.
ඉස්තිරික්ක කොට ලැබෙන කොටස් මත ස්ලෝපරය තබා සලකුණු කරණා සේවිකාව හට; තමාට ලැබෙන කොටස් වඩා විශාල බව දැනෙන්නට හැඟෙන්නට උවමනාය. එහෙත් එය එසේ සිදුවී නොමැත!
අවසාන වශයෙන් කතුරෙන් ට්‍රිම් කල සේවිකාව හට; කැපෙන කොටස වෙන ඒවාට වඩා විශාල බව තේරුම් යා යුතුය.
මේ සියල්ල පසෙකින් තැබූවද මා හට මීට පෙර ග්‍රහණයට ගත හැකිවිය යුතුය.
මේ ලෙසට ගත් කල සිදුවිය හැකිව තිබූ හා එහෙත් නොසිදවුනු කරුණු කාරණා රැසකි. වැරදි කරුවන් වගකිවයුත්තන් රැසකි. මෙය සියල්ලන්ගේම තබා මා ඇතුළුව හෝ නැතිව කීප දෙනෙකුගේ රැකියාව අහිමිවී යාමට හේතු විය හැකි කාරණයකි.
මාගේ සිත ද්වන්ද සටනකය! ආයතනයට ඇත්තම පවසා දඬුවම් විඳිනවාද? මෙයින් ගැලවෙන මගක් සොයනවාද?
ඇත්ත පැවසුවා කියා කිසිදු සහනයක් ලැබෙන ආයතන  බුද්ධ සාසන කටයුතු අමත්‍යංශයේ වත් ඇත්දැයි මා හට සැක සහිතය! සිදුවන්නේ; අන් අයට පූර්වාදර්ශයක් ලෙසින් අපට නොම්මර එකේ දඬුවමක් ලබා දීමය. එකල අද මෙන් නොව වෙළඳ කලාපයේ දොරටුව ලඟ රැකියාවක් බලා පොරොත්තුව යුවතියන් හා තරුණයින්10ක් - 12ක් හැම විට රැඳී සිටි යුගයකි.
අවම වශයෙන් එම්බ්‍රොයිඩර් යන්ත්‍රාලයේ සේවය කල තත්ව පාලිකාව, මෙතැන ස්ලෝපරය තබා සලකුණු කල හා සළකුණු ඔස්සේ කැපූ සේවිකාව යන තිදෙනාගෙන් දෙදෙනෙකුගේ වත් රැකියාව අහිමි වීමක් අනිවාර්‍ය වේ.
මාහට අවවාද ලිපියක් අනිවාර්‍යයෙන්ම ලැබෙනු ඇත!
අලාභයෙන් කොටසක් හෝ වැටුපෙන් යම් ප්‍රතිශතයක් හෝ කපා දැමෙනු ඇත.
රුපියල් 1750ක වැටුපකට සේවයකල අපට පඩියෙන් ප්‍රතිශතයක් කපා දැමීමක් යනු බත් පතේ වැලි හෙලීමකි!
ඒ සියල්ල සිදු කලද ආයතනයට හෝ අපට ගොඩ යාමක්ද නැත!
ඇනවුම සම්පූර්ණයෙන් නැව්ගත් කිරීම කල නොහැක!
එසේනම් කල යුතු හොඳම දෙය වන්නේ අහිංසක සේවිකාවනුත් බේරා ගෙන "අහිංසක" මමත් බේරී ගොඩ යෑමය!
මා කලබල නොවීය. පලමුවෙන්ම ඇනවුමට අයත් ලිපිගොනුව ගෙන ප්‍රමාණ අනුපාත හා සංඛාවන් (Ratio and Quantities) සොයා ගතිමි. ඒ අතර තවමත් නොලිහූ බණ්ඩල ගෙන ඒවායේ ප්‍රමානයන් නියමිත පරිදි සකස් කොට බන්ඩල් ටැග් යෙදීම ඇරඹූවෙමි. ලිපිගොනුවට අදාල ලෙස ඇඟළුම් කොටස් සකස් කොට කුඩාම ප්‍රමානයෙන් වැඩිපුර තිබුනු ඇඟළුම් කොටස් ටික ඉවත් කර ගත්තෙමි.
එම ප්‍රමානය කොටස් 30ක් පමණය!
සියල්ලන් එකතු කරගෙන කුඩා සාකච්ඡාවක් පැවැත්විය. කරුණු පැහැදිලි කලෙමි.
ඒ වන විට එතැන සිටි සේවිකාවන් දෙතුන් දෙනෙක්ම අඬන්නට පටන් ගෙනය!
ඔවුන් ඈත පිටිසරින් පැමිණි අන්ත දුගී දැරියන් ය!
ඔවුන්ගේ එකම අරමුණ කසාද බැඳීමට කණ කර සකසා ගැනීම, නිවෙස සාදා ගැනීම, දෙමව් පියන් හට බෙහෙත් හේත් ටික අරන් දීම, නංගීට මල්ලීට; තමාගෙන් ගිලිහී ගිය අධ්‍යාපනය ලබා දීම වැනි අහිංසක බලාපොරොත්තුය!
"බැරි වෙලාවත් ඔයාලව මේ ෆැක්ටරියෙන් අයිං කලොත්; ඒක අනිත් ෆැක්ටරි වලටත් දන්වලා ඔයාලට ජීවිතේට වෙන තැනකවත් වැඩ කරණ්නට ලැබෙන එකක් නැහැ!' මා ඔවුන් තවත් බියට පත් කලෙමි!
"ඒ උනාට මම කියන විදියට වැඩ කලොත් මම ඔයාලා හැම කෙනාම බේර ගන්නවා! කාටවත් ප්‍රශ්ණයක් වෙන්න තියන්නේ නෑ! මොකද කියන්නේ? හැබැයි කට හොල්ලන්න බෑ! ෆැක්ටරියට පොලීසිය සීඅයිඩී එක උනත් ගේන්න පුළුවන්!"
පිරිස එක හඬින් මා හා එකතු විය!
"හරි පලවෙනියෙම්ම මේ බිම තියෙන පලල වැඩි කෑලි ටික තීරු වලට එක්කෙනෙක් කපන්න! අපිව අහුවෙන්න තියෙන පළවෙනි තැන ඒක!"
එක් සේවිකාවක් පලල් කොටස් තීරු කිරීම ඇරඹීය. එය ආවාට ගියාට නොව ඉතාමත් නිර්මානශීලීව ඇය කරගෙන ගියේය.
"හරි මේ වැඩි පුර තියෙන කෑලි 30 අරගෙන මේවෑ තියෙන එම්බ්‍රොයිඩර් මල කපලා මට දෙන්න! ඊට පස්සෙ ඒ ෆ්‍රන්ට්ස් ටිකත් (ඇඟළුම් කොටසත්) තීරු කපන්න!"
සේවිකාවන් මා දෙස බලා ගෙනය! 
"ඔව්  මම කියන දේ කරණ්න! මම ඔයාලා හැම කෙනාම බේර ගන්නවා! හැබැයි කට හොල්ලන්න බෑ!!"
විනාඩි 10 ක් 15ක් යන විට එම්බ්‍රොයිඩර් මල් ටික වෙනමම කපා මා අතට පැමිණියේය.
මම එය එකට තබා කිටි කිටියේ ගම් ටේප් එකකින් එකට වෙලුවෙමි. අඟල් 3 ක් පමණ පලලට අඟල් 7ක් පමණ දිගට අඟල් 4ක් පමන උසට එය සැකසිනි. 
දැන් මෙය විනාශ කල යුතුව ඇත! 
මෙය කම්හලෙන් වත් වෙළෙඳ කලාපයෙන් වත් ඉවතට ගෙනයා නොහැක. කුණු බක්කියකට දැමීමද කල නොහැක්කකි!! මන්ද වෙළෙඳ කලාපයේ සියළුම කුණු එක්තැන් කොට සතියකට හෝ වෙනත් කාලයකට වරක් ඉවත් කිරීම සිදුවේ. වැසිකිළි මාරගයකට දැමීමද භයානකය! කල යුත්තේ මොන විදියකින් හෝ මෙය මුළු වෙළෙඳ කලාපයෙන්ම ඉවතට යැවීමය!
පිරිස නැවත සේවයේ යෙදවූවෙමි.
එම්බ්‍රොයිඩර් බණ්ඩලය සාක්කුවේ රුවා ගත් මා කල්පණා කරමින් ඇසුරුම් අංශයට පැමිණියෙමි. ඒවන විටත් ඇසුරුම් අංශයේ සේවකයින් කිහිප දෙනෙක් හෙට දින නැව්ගත් කිරීමට සූදානම්ව තිබූ කන්ටේනරයකට ඇඟළුම් අසුරවමින්ය!
කන්ටේනරය තුලට දැමීම කල හැකි වුවද එය ආපසු පත්තු වීමට හොඳටෝම ඉඩ ඇත!
මාගේ ගණදෙවි නුවණට අදහසක් ආවේය. 
කන්ටේනරය යටට රිංගූ මම එම්බ්‍රොයිඩර් කුට්ටිය එහි යට පැත්තේ හොඳින් ඇලවූවෙමි.
ඇති පදම් ගම් ටේප් ගසා ඒය හොඳින්ම ඇල වූවෙමි.  මේ කන්ටේනරය ඇමරිකාවට ගිය පසු එය නැවත අප රටට ඒමේ සම්භාවිතාව කණ කැස්බෑ විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුලබ එකකි!
සියල්ල සිදුකොට මා අත පය පිහිදාගෙන කිසිවක් නොවුනා සේ සේවිකවන් අතරට පැමිණියෙමි.
"ඒ එම්බ්‍රොයිඩර් මල් ටික හොයා ගන්නෙ නැතිව; මේ ලෝකෙ කාටවත් අපිව අල්ලගන්න බෑ! භය වෙන්න එපා. ඒක කාටවත් ආයේ දකින්න හම්බෙන්නේ නෑ!"  මම ඔවුන්ට ස්ථිර සාරව පැවසීය.
රාත්‍රී වැඩ මුරය අවසන් වී; පසු දින උදයේ අප සියල්ලෝම නිවෙස් බලා යන්නට 7.00 ට පමණ ආයතනයේ බසයට නැගුනෙමු. එය ජාඇල තෙක් දිවුනි.  බසය ආයතනයේ සාමාන්‍ය දොරටුවෙන් පිටත් වුනුමුත් එතැනින් ප්‍රධාන දොරටුව ලඟ නැවතුනි. ඒ අපගේ ආයතනයේ සිට අඩි 40 කන්ටේනරයක් පාරට ගැනීම කරන කොට ගෙනය!
මා කන්ටේනරය අඳුනා ගත්තෙමි. 
එය සෙමෙන් සෙමෙන් ආයතනයෙන් ඉවතට ගමන් ගත්තේය.
වෙළඳ කලාපයේ දොරටුවෙන්ද පිටවිය. මා සැනසුම් සුසුමක් හෙලුවෙමි.
මා නැවත සේවයට පැමිණීමට නියමිතව තිබුනේ පසුදින උදයේය.
පෙර දින නිදිවර්ජිතව සිටි නිසා මාහට නින්ද ගියේ එකසිය ගානටය!
දවවල් වන විට මාගේ නවාතැනට ආයතනයෙන් වාහනයක් එවා තිබුනි. හදිසි කැඳවීමක් ය!
ඇඟළුම් කොටස් 30ක් අතුරු දහන්වී තිබුනි.
අප සියල්ලෝම එකතුවී සෙව්වෙමි.
ආයතනයේ සියළුම කුණු බක්කි, වැසිකිළි, කැසිකිළි පමණක් නොව පල්දෝරු දොරවල් පවා (Man Hole) විවෘථ කරමින් සෙව්වෙමු!
මමද නිදි මරගාතේම ඔවුන් හා එක්ව සෙව්වෙමි. 
පසු දින උදෑසන එම අංශයේ වැඩකල යුවතියන් කිහිප දෙනා වෙන වෙනම කැඳවා ප්‍රශ්න කොට කලේය.
එහෙත් ඔවුන් වචනයක් තබා ඒ ගැන කටේ කෙළ බිම හෙලා නොතිබුනි!
අප ආයතනයට තීරු බදු රහිතව  ගෙන ආ රෙදිවලට අදාලව නියමිත පරිදි ඇඟළුම් ආනයනය නොකිරීම පිළිබඳව ආයෝජන මණ්ඩලයෙන් අපගේ ආයතනය පරීක්ෂාවට භාජනය ක්ලේය. නොපැමිණියේ පොලීසිය CID ය පමණි! නමුත් ඒ සිදුවීමේ අලගිය මුල ගිය තැන් සොයා ගැනීමට කිසිවෙකුට නොහැකිවිය!
එහි වඩාත්ම පුදුමාකාර සිදුවීම වන්නේ; එම "තක්කඩි කම" ආරක්ෂාවූයේ  එක් අයෙකු දෙදෙනෙකු අතර නොව හය හත් දෙනෙකු අතර වීමය!
අදටත් පාරේ රතු පැහැති අඩි හතලිහේ කන්ටේනරයක් දුටු විට "එම්බ්‍රොයිඩර් ටික කොළඹ ඇවිත්ද?" කියා මගේ  සිත මට මතක් කරයි!
කන්ටේනරය කොයිබක ද?




Tuesday, December 13, 2022

246. පද්මන් වන්නිආරච්චි

 

මම යුනයිටඩ් මෝටර්ස් ආයතනයට සේවයට ගියේ අදින් වසර 13 කට පමණ පෙර යැයි මාහට සිතේ . ඊට වැඩි මිසක් අඩුවක් නම් වන්නට ඉඩක් නැත. පලමු සම්මුඛ පරීක්ෂණය පැවැත්වුනේ කුමාර් එදිරිසිංහ මහත්තයයි චන්දිම කුරුප්පු හෙවත් චන්දිම අයියයි ඉදිරියේ. ඥානරත්න මහත්තයත් හිටියාද මංදා! ඒ කාලේ කුමාර් එදිරිසිංහ මහත්තයයි ඥාන රත්න මහත්තයයි දෙන්නා නියෝජ්‍ය සාමාන්‍යධිකාරි වරුන් හෙවත් තේරෙණ සිංහලෙන් කියනවා  නම්  AGM ලා, චන්දිම අයියා ට්‍රක් ඇන්ඩ් බස් සෙක්ශන් එකේ බොස්! චන්දිම අයියානම් ඉන්ටර්වීව් එකේදී කෙළ කරණ්න ප්‍රශ්ණ ඇහුවේ නැති බව නම් මතකයි. නමුත් අවසාන පරීක්ෂණයට මුහුණ දුන්නේ එවකට වැඩහලේ සාමාන්‍යධිකාරී හෙවත් GM Workshop පද්මන් වන්නිආරච්චි මහත්තයා සමග. වැඩහලේ සාමාන්‍යාධිකාරී හෙවත් GM කිව්වාම මගේ හිතේ ඇඳිලා තිබ්බේ හයේ හතරෙ ඩයල් එකක්. ඥානරත්න මහත්තයත් හෙන කඳයා වගේ හිටපු නිසා මට එහෙම හිතුනු එකේ ලොකු වැරැද්දකුත් නැහැ. ඒත් එතුමාගේ කුටියට ගියාමයි වැඩේ හරියටම තේරුණේ. 

ඔහු සිරිරෙන් ඉතා කුඩා මිනිසෙක්. මුහුන පුරා නැතත් යට දාරයට වෙන්න එහෙන් මෙහෙන් සුදු වුනු රැවුලක් තිබුනා. හරියටම ඉස්සර ගෝල් ලීෆ් පැකට් එකේ ජෝන් ප්ලේයර් ලොක්කා වගේ. ඒ කිව්වාමයි මතක් උනේ පද්මන් මහත්තයා නාවුක හමුදාවේ කලකට පෙර සේවය කරපු ගිණි සීනියර් පොරක්. ඔය වග මට කිව්වේ පසු කලෙක අපි එක්ක වැඩ කරපු නානායක්කාර මහත්තයා. 

පද්මන් මහත්තයාගේ මුල් ගම් වේයන්ගොඩ පැත්තේ. පද්මන් මහත්තයාගේ වැඩක් තිබ්බා කතා කරණ්නේ අමු සිංහලෙන් . ඉංග්‍රීසියෙන් නම් ඒත් එහෙමයි. එතුමාගේ දින චරියාව උනේ උදේ 6.00 විතර වෙන කොට වැඩට ඇවිත් පලවෙනියෙම්ම මුළු වැඩහල පුරා විදුලි වේගයෙන් ගමන් කිරීම. ඒ ගමනේදී මුළු අක්කර හත පුරාවට තියෙන තිබුනු සියළුම වාහන වල විස්තර ටික ස්කෑන් කර ගන්නවා. දොරවල් ඇරලා තිබුනු ඒවා, යතුරු කටේ තියලා හවසට ගෙදර ගිය වාහන, වැරදි තැනක නවත්තලා තිබ්බ ඒවා මේ හැම එකක්ම ස්කෑන් කරගෙන ඇවිත් තමයි තමංගෙ කාමරේට රිංග ගෙන දත් කූරු කන ගමං බත් එක කන්නේ. එක කාලා ඉවර වෙලා සිස්ටම් එක ඔන් කරගෙන රාජකාරි පටං ගන්නවා. 

අපේ රැකියාව පටං ගන්නේ උදේ 8.30ට. කැන්ටිමට ගිහිං පරටා තුනක් කාලා හොරෙං ගෙනාපු සිගරට් එකක් තියේ නම් ඒකත් බෝ ගහ අයිනෙ ඉඳන් ගහලා ඩෙමාලා එක්ක පොඩි වච වචයක් දාලා තමයි සෙක්ශන් එකට එන්නේ. ඔය එන ගමනේදී තමයි යම රජ්ජුරුවන්ගෙන් කෝල් එක එන්නේ. මොබයිලයේ තිරේ මත "GM" කියලා දකින කොටම කාපු බීපුවා පිච්චිලා ගිහිං ඉවරයි. 

"ගූඩ් මෝනිං සර්" අපි කතාව එහෙම පට ගන්න ඉස්සෙල්ලම පදමන් මහත්තයා හෙමිං ඇහෙන නෑහෙන ගානට "පද්මන්!" කියලා තමංව හඳුන්වා දෙනවාත් මට මතකයි. එතැණ් පටන් එක දිගට පෙර වැරදිවලට පද්මන් මහත්ත්යා වචන දමා වෙඩි තැබීම අරඹනවා! ඒත් එයාගේ තිබුනා හොඳ ගතියක්. මොන තරං කේස් එකකට කතා කලත් එයා අහන පලමු ප්‍රශ්ණය උනේ "කතා කරන්න පුළුවං තැනකද ඉන්නේ?" කියන එක! අපිට ඉඩක් තිබුනා පසුව කතා කරණ්න තැන අවුල් නම්.

ඒ කාලේ යුනයිටඩ් මෝටර්ස් වැඩහලේ ඔහුගෙන් බැනුම් අහපු නැති කෙනෙක් හිටියා නම් මං හිතන්නේ ඒ බෝතලේ ජයවර්ධන මහත්තයා විතර වෙන්න ඇති. මේක දැක්කම ජයවර්ධන මහත්තයා ඒ ගැන හරියටම කියයි. ඒ වගේම ඔහුගෙන් තරම්; අම්ම තාත්තගෙන්වත් බැනුම් ඇහුව බවක් මටනම් මතක නැහැ. හැබැයි එකක් මොකක් හරි අවුලක් උන ගමන් එයාගේ කාමරේට අඬ ගහලා එක දිගට ප්‍රශ්ණ කිරීම පටන් ගන්නවා. දෙයියනේ කියලා එයා අහන අහන එකට "ඔව් සර් කිව්වා!", "ඔව් සර් කලා!", "ඔව් සර් ඇහුවා!" කියන්න පුළුවන්නම් ඒ කියන්නේ අපේ පැත්තෙන් අපි පිළිවෙලටම වැඩේ කරලා. ඒක එහෙම උනෝතින් "අනේ එයාට සරුංගලයක් ඇරගන්න කියන්න!" කියලා වැඩේ භාර දෙනවා අදාල අංශයේ AGM ට. බොහෝ විට ඕකට අහුවෙන්නේ කුමාර් එදිරිසිංහ මහත්තයා. "කුමා අනේ පොඩ්ඩක් බලන්න අර කොහෙද යන පිස්සෙක් මෙයාට කම්ප්ලේන් එකක් කරලා!" එහෙමයි වැඩේ කෙළවර වෙන්නේ.

කරුමෙටවත් අපි පොටක් වරද්දගෙන තිබ්බොත් දෙයියන්ගේම පිහිටයි. ඒ කාලයේ අපට වාහනයක් රෙපයාර් එකට ආවාම ඒක හදන්න කලින් ඇස්ටිමේට් එකක් වාහනේ අයිතිකරුට ඉදිරිපත් කොට ඊට අදාල අනුමැතිය ලැබුණු පසුවයි වැඩේ පටන් ගන්නට පුළුවන් වෙන්නේ. සමහර අවස්ථාවලදී වැඩහලට වාහනය ගෙනෙන රියැදුරුගෙන් අප විමසා වැඩේ පටන් ගන්නවා. ඒ අයිතිකරු සම්බන්න්ධ කර ගැනීමට අපහසුව හෝ අතපසු වීම නිසා වෙන්න ඕන! සීයට අනූවක්ම කිසි අවුලකින් තොරව වැඩේ කෙරුනත් සමහර අයිති කරුවන් සමහර වෙලාවට ඒකට ලෙඩේ ඇදීම වෙලාත් තියෙනවා. බොහෝ වේලාවට රියැදුරු; තමන් අනුමැතිය දුන් බවක් කියන්නෙත් නෑ අපි කීවාට පිළිගන්නෙත් නෑ. එයාලා ඒ අයගේ පශ්චාත් භාගය බේරා ගන්නවා "මට කිව්වේ නෑ!" කියලා. මෙවැනි අවස්ථාවලදී පද්මන් මහත්තයා ප්‍රශ්ණ කරණ්නේ ඔහුගේ සුපුරුදු වාග් ශෛලියෙන් මෙන්න මේ විදියටයි.

"දැන් ඔයා මේ අලුත්වැඩියාවට මේ තරම් මුදලක් යනවා කියල්ලා පැහැදිලිව කිව්වාද?"

"කිව්වා සර්!"

"එහෙනම් මේ අයිතිකරු කියන්නේ එයා දන්නේ නෑ කියලා!"

"සර් මම කස්ටමර්ව කන්ටෑක්ට් කරණ්න දෙතුන් පාරක් ට්‍රයි කලා. එයාව කන්ටෑක්ට් කරගන්න බැරි උනාම ඩ්‍රැයිවර්ට කියලා . . . . "

"රියැදුරන්ට කියලා වැඩක් නෑ කියලා මම කී වතාවක් කියලා තියෙනවාද? ඔයාද මේකෙ CEO? ඔයාටයි මටයි මේ කර්මාන්තෙ කරණ්න බෑ. . . . . . . .!" එතැනින් එහාට කතා කොට පලක් නැත. බලු බැනුංය! නමුත් එක දෙයක් - ඔහු බැන වැදුනාට පසු වෙන කිසිවෙකුහට ඉන් පසුව අපට බැනුම් අහන්නට ඔහු ඉඩ නොතබයි! අහුවුනු හොරාට ගසා පොලීසියට භාර දීම ඔහුගේ ක්‍රමය නොවේ. ඔහු ගැහුවාට පසු පොලීසියට අත තියන්නට ඔහු ඉඩ නොදේ. ඔහු ඊට පිට දේ!

අපගේ වැඩහල පුරා ගැවසෙන දඩාවතේ යන බල්ලන් කිහිප දෙනෙකු සිටියේය. ඔවුන්ගේ ප්‍රථම රාජකාරිය වූයේ උදෑසන 8.30ට යකඩ කටින් කෑගසන ජාතික ගීයට; තගයට උඩු බුරලීමයි! වරක් වැඩහලට පැමිණි පාරිභෝගිකයෙකු අතින් එක් බල්ලෙකු යටවිය.

පදමන් මහත්තයාහට මෙය ඇසුණු සැණින් ක්‍රියාත්මක විය. පාරිභෝගිකයාව වහාම මුණ ගැසුණු ඔහු පාරිභෝගිකයා ඇමතීය!

"කරුණාකරලා ඔය මහත්තයා තමංගෙ වාහනේ අරං ඉක්මණින්ම පිටවෙන්න. බල්ලෙක්ව බේරගෙන වාහනේ එළවන්න බැරි ඔබතුමා මෙතන වැඩ කරණ මිනිහෙක්වත් යට කරයි!" ඔහු පාරිභෝගිකයාව වැඩහල් පරිශ්‍රයෙන් ඉවත් කලේ එසේය!

අපගේ ප්‍රධාන කාර්‍යාලයේ දිසානායක නම්වූ ඉහල රැකියාවක් කල පඬිතුමෙක් වාසය කලේය. ඔහු පාසල් කලේ ආනන්දයේය. එකල ඔහුව ඇමතූවේ "කටා" යන නමිනි. ඒතරම්ම අනගිභවනීය කටකට ඔහු හිමිකම් කීය. ඔහු සේවය කලේ වාහන විකුණුම් අංශයේ වන අතර දිනක් පැවැත්වූ සේල්ස් මීටිමකදී ඔහුගේ විකුණුම් පහත වැටීමට හේතුව ලෙස දක්වා තිබුනේ වැඩහලේ වැඩ කටයුතු වල  දුභල තාවය නිසා පාරිභෝගිකයින් අපගේ වාහන මිළදී ගැණීමට පැකිළෙන භවයි. 

මීටිම ඉවර වීමටත් ප්‍රථම පද්මන් මහතාට මේ බව ආරංචි විය.ඔහු වහාම වැඩහලේ ආරක්ෂක ප්‍රධානි ඇමතුවේය.

"අර . . . . .  දිසානායක ගේ වාහනේ කිසිම ගේට්ටුවකින් ඇතුලට ගන්න එපා! එයාට කියන්න එයාගේ වාහනේ හොඳ තැනකින් හදා ගන්න කියලා!" එවකට දිසානායකට ආයතනයෙන් වාහනයක් ලබා දී තිබුනෙය. එහි ලිහිසි සේවා හා අලුත්වැඩියාවන් සිදුවන්නේ අප වෙතිනි. පුරා වසරකට ආසන්න කාලයක් දිසානායකගේ වාහනයට අපගේ වැඩහල තහනම් ප්‍රදේශයක් විය. පසුව පද්මන් මහත්තයාගෙන් සමාවගත් පසුව යලිත් දිසානායකට වැඩහල විවරවිය! 

එකල මසකට හෝ දෙකකට වරක් වැඩහල් අංශයේ අප පද්මන් මහතා සමග කොහේ හෝ ගියෙමු. ශ්‍රමධානයක්ද මළ දානයක්ද පාටියක්ද මලගෙයක්ද කුමක් හෝ අවස්ථාවක් අප එක්වීමට යොදා ගත්හ. එවන් අවස්ථාවලදී අප සියල්ලන්ම එක් පවුලක් සේ එකට කාබී සුපිරි ආතල් එකක් ගත්තෙමු. පෙර දිනයේ බැනුම් අහපු කථා එදිනට අප සිහි කරණ්නේ ඉල අල්ලාගෙනය. රඟ පාමින්ය! දිනක් එවන් අවස්ථාවකදී මා පද්මන් මහතාට කිට්ටුවී "සර් අපි වැරැද්දක් කලාම එකසිය ගානට බණිනවා. ඒත් හොඳක් කලාට ඒකට කිසිම හොඳක් කියන්නේ නෑනේ!?" ඔහුගේ පිළිතුර ඉතා කෙටි විය. "ඒකට තමයි පඩි දෙන්නේ!?"

පසු ගිය ඉරිදා දිනයේ යුනයිටඩ් මෝටර්ස් ආයතනයෙන් ඉවත්ව ගිය පිරිස එක් රැස් විය. එදින කලකට පසුව පද්මන් මහත්තයා හමුවීමට අවස්ථාවක් ලදිමි.

"සර්ට මතකද ඒ කාලේ සර් අපෙන් ඇහුවාම ඔයා හෙට යනවද කියලා ඒකට අපි හෙට නම් යැවෙන්නේ නෑ කිව්වාම; යැවෙන්නේ නෑ? යැවෙන්නේ නෑ තමයි! යන්නෝන! කියලා කෑ ගහනවා. මම මේ ඊයේ පෙරේදා අපේ දුවත් මොකද්ද ඔය වගේ අනියමාර්තෙ උත්තරයක් දුන්නාම මළ පැනලා කිව්වා ඔයා වැඩ කලා නම් වන්නො ආරච්චි මහත්තයත් එක්ක ඔයාව ගෙදර එළවලා කියලා කිව්වා"

"ඒ ගොල්ලො කොහොමද මාව දන්නේ?"

"ඇයි සර් සර් අපිට බැන්නාම අපි ගෙදර ගිහිං කියනවානේ?"

පද්මන් මහත්තයාට හිනාය!

මා යුනයිටඩ් මෝටර්ස් ආයතනයෙන් ඉවත්ව ඔටෝ මිරාජ් ආයතනයට එක්වී; ඔටෝ මිරාජ් ආයතනයේ විශාලතම මුදල් ඉපැදවීම කල ශාඛාව කළමණාකරණය කරද්දී පද්මන් මහතාගෙන් උගත්දෑ අත්දුටු දේ බොහෝ සේ උපකාරී වුනු බව මා ඔහුට එහිදී පැවසීය.

එකල භාවිතයේ පැවති මිට්සුබිෂි පමනක් නොව නිසාන් ටොයෝටා හා වෙනත් ඕනෑම වාහනයක එන්ජින් මොඩලය, හා වාහනයේ සියළුම තාක්ෂ්ණික කාරණා අතැඹුලක්සේ හේ දැන සිටියේය. මා දැනට පාවිච්චි කරණ අවුරුදු පණහකට ආසන්න ටොයෝටා HJ45 රථය පිළිබඳව පැවසූ සැනින් හේ පෙරළා මගෙන් විමසූවේ "ඕකෙ තියෙන්නේ H හරි 2H  හරි එන්ජිමක් නේදැයි කියාය!

කාලය විසින් යුනයිටඩ් මෝටර්ස් ආයතන්යෙන් ඔහුට සමුගැනීමට සිදුවී පැවැත්වූ අවසාන හමුව මට අද වාගේ මතකය. ඔහුගේ අවසාන වදන් පසු ගිය ඉරිදා මා ඔහුටම පැවසූ විට ඔහු නිහඬව සිටියේ එය අනුමත කරමිණි.

"මේ මගේ තාත්තාගේ වියෝවෙන් පස්සෙ වැඩියෙන්ම දුක් වෙන දවස!"මේ එතුමන්ගේ වචන. දැන් ඒ වචන අවුරුදු 5ක 6ක අතීතයක්. 

ඒත්;

ඔව් සර්! අපිටත් ඒ දවස අමතක නොවේවි කවදාවත්ම!

Monday, February 7, 2022

228. පැනි නොබේරුණත් කොම්පැනි කථාවක් 7



අපි ඔහුට පද්මසිරි යැයි කියමු!

පද්මසිරි වැඩ කලේ අපේ සර්විස් එකේ. ඒ කියන්නේ ලිහිසි තෙල් සේවා අංශයේ. ඔහුට තිබුනු වගකීම තමයි තෙල් මාරු කරලා බොඩිය හෝදලා එන වාහන ඇතුල වැකුම්  ක්ලීනරයෙන් පිරිසිදු කිරීමත් රෝදවල ඇන ටෝක් රින්ච් එකෙන් පරීක්ෂාවත්.

පද්මසිරි කොට මොඩලයක් විය. මුහුණ පුරා ඝන රැවුලක් වවාගෙන සිටියේය. හිනා උනෙත් ගානකටය. ඔහු තරමක ආඩම්බරයෙන් සිටිය සේවකයෙක්. 

ඔහු කිසිදා සිගරට්ටුවක් කටේ තිබ්බේ නැත! රා අරක්කු බී නැත! වෙනත් කිසිදු දුරාචාරයක නොයෙදෙන හේ හැකි නොහැකි සෑම දිනෙකම සේවයට පැමිණේ! හැකි උපරිමයෙන් අතිකාල කරයි!! ලැබෙන සෑම සතයක්ම ඉතුරු කරයි!!! මේ ඔහු තමා පිළිබඳ ආඩම්බර වීමට තිබුනු කරුණු කිහිපය කියා ඔබ සිතනවාද?

නැත!

ඔහු විවාහ වී සිටියේය! ඔහුටම කියා කුඩා නිවසක් තිබුනි!! විසිතුරු මසුන් හා කුරුල්ලන්  ඇතිකිරීමේ ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන ගියේය!!! තවත් බොහෝ ගෘහ කර්මාන්ත සඳහා ඉදිරි බලාපොරොත්තු විය!!!! මේ ඔහුගේ ආඩම්බරයේ අවශේෂ කරුණු කාරණාය.

"මම මහත්තයා ඔය නිර-පරාදෙ සල්ලි නාස්ති කරන්නේ නෑ නේ!" ඔහුගේ කටේම තියෙන වැකියක් විය.

මා කලින් කීවා සේ ඔහු විවාහ වී සිටියේය. පද්මසිරි ඉතා දිළිඳු පවුලක අයියාය. ඔහුට තවත් බාල සොහොයුරෙකු විය. ඔහු විවාහ වූයේ ඔවුන්ටත් වඩා අන්ත දිළිඳු පවුලකින්ය. පද්මසිරිගේ තාත්තා මියගොස් තිබුනේ ඔවුන් කුඩා කාලයේදීමය! අම්මාට පවුල නඩත්තු කර ගැනීමට උරදී තිබුනේ පද්මසිරිය! ඔහු කියනා පරිදි ඔහුගේ බිරිඳ ඔවුන්ටත් වඩා දිළිඳුය! පද්මසිරිලාගේ ජීවිත දෙස බැලූ විට; ඔවුන් කෙතරම් දිළිඳුදැයි සිතා ගන්නටත් අපහසු තරම්ය!

"කෙල්ල හොඳයිනේ! ඉතින් මම බැන්දා මහත්තයා!! එයාගෙ පවුලෙන් හතර දෙනයි මගේ පවුලෙන් දෙන්නයි  හිටියේ මගුලට; වෙන මොනවද ඕනේ?" ඔහු විවහය ගැන පවසන්නේ එලෙසය! පද්මසිරි අංක එකේ ප්‍රායෝගික මිනිසෙකි.

ඔහු ඕනෑම කාර්‍යයක් සඳහා බසින්නේ එහි ඇති මූල්‍යමය වාසිය ගැන හිතා බලාය. බොහෝ විනෝද කටයුතු, මගුල් උත්සව, පාටි, කීටි ඔහු ලිස්සා යාමට සැලැස්සුවේය. 

"මං ගියාට අනිත් එවුං වගේ බොන්නෙත් නෑ. ඕනෙනං ඔය රයිස් ටිකක් කයි. කාලා නිකං එන්න බෑනේ!? අඩු ගානේ දාහක් වත් දෙන්න ඕනෙ! දාහක් කියන්නේ මගේ කුරුළු කූඩුවට මාසයක් බජරි දෙන්න පුළුවං සල්ලි!"

එකට වැඩ කල එකෙකුගේ වෙඩිම මිස් කල ඔහු එය සාධාරණීය කරණය කලේ එසේය!

ඔහුට දරුවකු නොසිටියේය. ඔහු දරුවකු හදන්නට පෙර සෑදූ නිවසේ එල්ලෙන සීලිමක් ගැසිය යුතු බව ඔහු විශ්වාස කලේය. 

"සීලිමක් නැතිනම් ළමයාට පිනි බාලා සෙම හැදනවා! ඒවට බේත් ගන්න ගියාම ආයෙ ජීවත් වෙන්න සල්ලියක් ඉතුරු වෙන්නේ නැතිවෙයි!" සෑම සියළු දේටම ඔහුට හේතුවක් තිබුනි. 

කාලය ගත විය

"මහත්තයා හෙට මං එන්නේ වරුවෙං! පවුලව කිලිනික් එක්ක යන්න තියෙනවා!"

"පද්මසිරි ගිය මාසේ එල්ලෙන සීලිම ගහගන්න ඇති!" මම මටම කියා ගත්තෙමි!

කාලය දින, සති නොව මාස ගනනින් ගෙවී ගියේය! සමහර දින වලට පෙරදින සිදුවීම් හේ මට විස්තර කලේය.

"ඊයේ පවුල එක්ක පංසලටත් ගිහින් එන ගමං රයිස් එකක් කෑවා! එයා නොකිව්වට කන කොට මට තේරුණා ආසාවෙන් ඉඳලා තියෙන්නේ කියලා! ඉතිං මම කටවල් දෙකක් කාලා මගේ පිඟානෙ තිබ්බ ටිකත් පවුලටම කන්න දුන්නා! ගෙදර කොහොමත් දවල්ට උයපුවා තිබුනනේ! මොකටද තව රයිස් එකක් ගන්නේ?"

"මාර වැඩේ මහත්තයා පවුලගේ ප්‍රෙසර් වැඩිවෙලා හොඳටම! සීනිත් නැගලා නහුතෙට!! ඊයේ කිලිනික් එකේදී දොස්තර මහත්තයා මගේ ඇඟට ගොඩ උනානේ! මං මොන්නවා කරණ්නද? ගෑනිට කුරුල්ලන්ට බජරි දාන්නවත් එපා කියලයි මම තියෙන්නේ!"

දින ගනන එළඹෙන්නටත් මාසයකට පමණ පෙර තම බිරිඳව කාසල් එකේ නවත්තන්නට පද්මසිරිට සිදුවිය! බිරිඳගේ සෞඛ්‍ය තත්වය වඩ වඩාත් පිරිහෙද්දී දරුවා ඉක්මණින් ඉවතට ගැනීමට දොස්තර වරු කටයුතු කලෝය. දරුවාගේ චලනයන් නැවතීම හා කළලයේ හෘද ස්පන්දනය දුර්වල වීම ඊට හේතුවිය. 

ඒ කාලය පුරා පද්මසිරි සෑම දිනකම උදේ දවල් හා සවස බිරිඳගේ සුවදුක් බැලීමට රෝහලට ගියේය. දහවල් විසිට් එක සම්පූර්ණයෙන්ම සිදුවූයේ අපගේ අනුග්‍රහයෙනි. එනම් ගේට්ටුවේ සිකුරිටිලා අප විසින් බැලන්ස් කිරීමෙන් ලද අවසරයෙනි!

"ළමයා වීදුරු පෙට්ටියේ මහත්තයා!" පද්මසිරි බොහෝ සෙයින් මැලවී සිටියේය!

"එතකොට පවුල!?"

"පවුල අඬනවා මම යන යන වතාවට!"

"අප්පට සිරි! හරි උඹට මොකක් හරි සීන් එකක් උනොත් මට කතා කරපංකො!" දෙබස මා නිමා කෙරුවෙමි!

පසුදින දහවල් ලෙඩා බැලීම සඳහා පද්මසිරි ගේට්ටුවෙන් පිටවී ගොස් පැය භාගයකින් මාගේ දූරකථනය නාද විය!

"ළමයා මලා මහත්තයා!" පද්මසිරි හැඟීම් බරව දූරකථනයේ අනෙක් කෙළවරෙන් කෙඳිරි ගෑවේය!

"අම්මට සිරි! රෝහණ අයියේ පොඩි කේස් එකක්! අරූගේ ලමයා මැරිලා! මම පොඩ්ඩක් ගිහින් එන්නම්!" මගේ ළඟින්ම උන් අනෙක් නිළධරයා හට පැවසීය!

"හුටා! හරි උඹ පලයං! මම මෙහේ බලා ගන්නම්! මොනවා හරි ගේමක් ගහපං! (සල්ලි එහෙම ඕන උනොත් මට කෝල් එකක් දියං!)" අන්තිම ටික කට ඇතුලේ තියාගෙන රෝහණ අයියා කිව්වේය.

"මේ උඹ මෙහෙන් වාහනයක් අරං පලයං! මේකෙ නිකං ඉන්න පිං පඩි කාරයෝ ඔය ඕන තරං ඉන්නේ? කාගෙ හරි එකක් අරං පලයන්; උඹ චාටර් වෙන්න එපා" රෝහණ අයියා ඌණපූරණය කලේය.

එච් ආර් එකේ මිසීටත් වැඩේ යාන්තමින් කියාගෙන ෆොන්සේකා මහත්තයාගේ  ලාන්සර් සෙඩියා රථය ගෙන මම ගේට්ටුවෙන් ඉගිළුනෙමි.

"මහ්ත්තයා එනවා නේද? පෙට්ටියකුත් ගන්න ඕනෑ! මට මිනිය ගෙදර ගෙනියන්න ඕනෙ නෑ!  මේක මෙහෙමම ඉවර කරණ්නයි ඕන!" පද්මසිරි නැවත මා ඇමතුවේය!

යමින් ගමන් පුංචි බොරැල්ලේ ප්‍රසන්සා හට ඇමතුවෙමි.

"අනේ ප්‍රසන්සා . . . . . ."

"කිසි අවුලක් නෑ! ඔයා කෙලින්ම යන්න . . . . . . . . . .!"

ප්‍රසන්සාගේ උපදෙස් ප්‍රකාරව රථය පුංචි බොරැල්ලේ "නීලා මල් ශාලාව" ඉදිරියේ නැවැත්විය.

කාරණාව සැකවින් පවසන විට එහි සේවකයෙක් "මේක ඇතිනේ!? මහ වියදමක් කරණ්න ඕනෙ නෑනේ! මේහෙම වලලනවා කියලනේ කිව්වේ! 3500ක් දෙන්න!"

"අනේ ඕක මේ කාර් එක ඩිකියට දානවද?" තවමත්  දුම්මල සුවඳ හමන පෙට්ටිය අතින් ඇල්ලීමට වත් මා හට උවමනාවක් නොවීය!

ජීවිතයේ ප්‍රථම වතාවට මිනී පෙට්ටියක් ප්‍රවාහනයේ මා යෙදුනෙමි. මා රෝහලට යනවිට පද්මසිරිත් ඔහුගේ සොයුරාත් මෝචරිය ආසන්නයේය! රෝහලෙන් ලැබුණු ලිපි ලේඛණ එහා මෙහා කිරීමෙන් ඉක්බිතිව බොරැල්ල කනත්තේ වල දැමීම සඳහා බිළිඳාගේ සිරුර සහිත කුඩා පෙට්ටිය පද්මසිරි අතට රෝහල් සේවක්යින් විසින් පත් කෙරුණි. 

"මහත්තයා මේක කොහොමද ගෙනියන්නේ?"

"දා ගම්මු බං මං ආපු කාරෙකට!" වෙන කරණ්නට තරම් දෙයක් ඉතිරිව නොවීය!

 එතෙක් මෝචරියෙන් පිටත නවතා තිබුනු මෝටර් රථයේ ඩිකිය තුල දෙන තැන්පත්විය! අවට සිටි මිනිසුන් තුශ්නිම්භූත වූ නිමේශයේ මමත් පද්මසිරිත් ඔහුගේ සොයුරාත් බොරැල්ල කනත්ත දෙසට පැමිණියෙමු.

වාහනය කනත්ත කිට්ටුවෙන් නවතා ගත් පසු ඩිකිය ඇර නැවතත් පද්මසිරි පෙට්ටිය දෝතට ගත්තේය.

වේලාව හවස 3.30 ට 4.00 වන්නට ඇති. තිදෙනෙකුගෙන් සමන් විත අවමංගල පෙරහැර බොරැල්ල කනත්තට අවතීර්ණ විය!

"පවුලගෙ අම්මාත් එන්න හැදුවා! මම කිව්වා පවුල ලඟින් ඉන්න කියලා!"  සෙනඟ මදි නිසාදෝඅ පදමසිරි කියවාගෙන ගියේය!

මා ඇවිද ගියේ පද්මසිරිත් සොයුරාටත් මීටර දෙකක තුනක පමන දුරක් ඉදිරියෙන්ය! මා විටින් විට ආපසු හැරී බලන විට පද්ම සිරි කිසිදු හැඟීමකින් තොර හිස් මුහුණකින් යුතුව පෙට්ටිය දෝතින් ඔසවාගෙන පැමිණෙනු දුටුවෙමි.

සොහොන් පල්ලා හා ප්‍රසන්සාගේ මිත්‍රත්වය අපට ඉක්මණින් කනත්ත තුලට ප්‍රවේශ වීමට ඉඩ සලසා දුන්නේය!

පාළු කනත්තේ අප ඉදිරියට පා නගද්දී  ඈතින් තරුණයෙකු සිට අප ඇමතූවේය!

"මිනිය වලලන්නද?"

"වලලන්න නැතුව මොන ඒකට මෙහේට ගේනවද?" පද්ම සිරි මිමිනුවේය.

ඔහු ඉදිරියට පැමිණියේ කුඩා ගෙවී ගිය උදැල්ලක්ද රැගෙනය.

ඒ පැමිණ මිනී වලලලා උස් කර තිබූ කුඩා පස් කඳු දෙකක් අතර උදැල්ලෙන් හාරණ්නට විය!  විනාඩි ගනනකින් අඩියක් පමණ ගැඹුරට කිසිදු හැඩයකින් තොර අගලක් හෑරුණි.

"ආ දාන්න!"

"මේ ක මදි තව යට හාරණ්න!" පද්මසිරි විරෝධය පෑවේය!

පිස්සුද ලොක්කා! මීට වඩා හාරන්න ඕන නම් ගෙදර මිදුලේ වලල ගන්න!"

පද්මසිරිගේ ඇස් කෝපයෙන් දිලිසෙනු මා දුටුවෙමි.

"මේ මල්ලි! මං පොඩි සපෝට් එකක් දෙන්නං! තව පොඩ්ඩක් යට කපහං!!" මම ගැටළුව නිරාකරණය  මැදිහත් උනේ මුදල් පසුම්බිය අතට ගනිමින්ය!

තවත් උදළු පාරවල් කීපයක් වල මැද්දට පතිත විය!

"ඕං . . .!"

"මල්ලි පෙට්ටිය දාහං!" තවත් උත්සාහ කිරීමෙන් වැඩක් නැති බව තේරුම් ගිය මගේ විධානයෙන් පෙට්ටිය වල තුල තැන්පත් විය!

වටා පඉටාවේ තිබුණු පස් ටික එකතු වී පෙට්ටිය යාන්තමි වැසී ගියේය.

"යමු!" වල පාදපු එකාට රුපියල් 500ක් මිට මෙලවූ මා ආපසු හැරුණි.

"බලන්නකෝ මහත්තයා මුං පෙට්ටිය ගන්න ඕනෙවට ඒක යට කරපු හැටි!?" පද්මසිරි එන ගමනේදී වල හාරපු එකාට දෙස් දෙවොල් තියමින් විය!

පද්මසිරිවත් සොහොයුරාවත් රෝහල අසලින් බැස්සවූ මා ආපසු ආයතනයට ආවේමි.

"මොකද බං උනේ!?" රෝහණ අයියා දුර සිටම විමසීය.

"මොනව වෙන්නද මිනිය වළලලා දාලා ආවා!" මා තොලේ කටේ නොගෑවී කීවෙමි. සත්තකින්ම මුළු ක්‍රියාන්විතයටම පැය 3 ක් යන්නට ඇති. 

පසුදා පද්මසිරි වැඩට ආවේය. මුහුණ බොහෝ සෙයි විඩාබර වී ඇති සේයාවක් දිස් විය!

"මොකද උනේ?"

"පව් මහත්තයා! මගේ පවුල අඬ අඬ අහනවා ඒ ගෑනිව මම අත අරිනවද කියලා ලමයා මැරුණු නිසා! මං කිව්වා ඔයා බය වෙන්න එපා ඊළඟට උපදින දරුවා මලත් මං මැණිකෙව අත අරිණ්නේ නෑ!" කියලා.

 

Tuesday, February 1, 2022

227. පැනි බේරෙන කොම්පැනි කථා 6


ඉහත වැකිය මට අහන්නට ලැබුනේ රත්නවීර සර්ගේ හඬිනි.  මෝටර් රථ ක්ෂේත්‍රයට අදාල කළමණකරණය හා අලවිය පිළිබඳව උගන්වද්දී ඔහු මෙය කීවා යැයි මට මතකය. නො එසේනම් ධම්මික කලපුගේ මහතාගෙන්ය! එය එක් අලෙවිකරණයේ උපායක් ලෙස ගැනේ! මින් අදහස් කරණුයේ යම්කිසි භාන්ඩයක් හෝ සේවාවක් සඳහා පාරිභෝගිකයින් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායයන් පටන් ගත යුත්තේ පාරිභෝගිකයින් ළමා හෝ තරුණ වයසේදීම බවයි! බොහෝ විට සිගරට් හා මත්ද්‍රව්‍ය වෙළෙන්දන් මෙය අකුටරම පිළිපදින මූළධර්මයකි! "දරුවන් හැඩ ගැස්වීම සඳහා ඔවුන්ගේ කුඩා අවදිය ඒ සඳහා යොදා ගන්න" යනුවෙන් කිසිවෙකු වර නැගූවද එහි විශාල වරදක් මා නොදකිමි!

මාගේ තිබෙන හා තිබුනු සූවිසි විනෝදාංශ අතර "වාහන පොත්" ලෙස පොදුවේ හඳුන්වන Vehicle Catalog එකතුව කුඩා කලක සිට කරගෙන යනු ලැබුවේය.  රථ වාහන අලෙවියේදී; අලෙවි කරුවන් විසින් පාවිච්චි කරණු ලබන්නේ මෙම පික්චර් කැටලොග් හෙවත් පිංතූර පොත්ය! මේවා වාහනයේ විවිධ මාදිලි හා විවිධ කෝණවලින් ගන්නා ලැබූ පිංතූර  හා වාහනයේ වර්ණ එන්ජිම හා වෙනත් යාන්ත්‍රික කොටස් පිළිබඳ කෙටි විස්තර වැනි දෙයින් සම්න්විතය.  




වාහනයක් මිළදී ගන්නා අයෙකු වෙත වාහනය සමග ලැබෙන පොත් පිංචක් වේ. එය Owner's Manual හෝ Driver's Manual  ලෙස දැක්වේ.  වාහනයේ එන්ජිම පන ගැන්වීමේ සිට හදිසි අවස්ථාවකදී රෝදයක් මාරු කිරීම ආදී කුඩා තාක්ෂණික උපදෙස් වලින් එය සමන්විත වේ. මීට කලකට පෙර මෝටර් රථ සඳහා ලබා දුන් එවන් Owner's Manual  වල ටැපට් සීරිමාරු කිරීම වැනි කරුණු පවා තිබුනි! 
ත්‍යාග ලෙස පිරි නැමූ; සමහර ඕනර්ස් මැනුවල්; මාගේ දයාද්‍රයන්ගේ වාහනවල් කබි හෝලයන්ගේ ග්ලව් බොක්ස් වල ගුලිවී තිබෙනු මා දැක ඇත! වාහනය පැදවීමට පෙර එය කියවා බැලීමට පුරුද්දක් අපරටේ නෝනලා හෝ මහත්වරුන්ට නැත! එහෙත් පොත ලබා ගැනීමට දක්වන්නේ ඉමහත් උනන්දුවකි! ඒ එය කබී හෝලයේ දමා ගැනීමට පමණි!


වාහනයේ අලෙවියෙන් පසුසේවා සපයන නියෝජිත වැඩහල් සඳහා Work Shop Manual නිෂ්පාදකයා විසින් ලබා දේ. මේවා බොහෝ විට එන්ජින් හා චැසි යනුවෙන් කාණ්ඩ දෙකකින් නිකුත්වේ. බොහෝ කාර්මිකයින් මේවා හඳුන් වන්නේ ෂොප් මැනුවල් හෝ මැනුවල් යනුවෙනි. මුළු වාහනයේම අළුත්වැඩියාවන් හා සේවාවන් සඳහා අවශ්‍ය උපදෙශනය ඇනෙන් ඇනේ මුරිච්චියෙන් මුරිච්චියට දැක්වෙන්නේ මේ මැනුවල් වලය.






අලෙවියෙන් පසු සේවා අතර අමතර කොටස් සැපයීමද අත්‍යවශ්‍ය අංගයකි. අමතර කොටස් අංශය සඳහා ලබා දෙනු ලබන්නේ Parts Catalog එකය. මුළුවාහනයටම අදාල සියළුම කොටස් හා ඊට අදාල අමතර කොටස් අනු අංකය හෙවත් Part Numberය දැක්වෙන්නේ මෙහිය.



මා පාසලේ හයවන ශ්‍රේණියේ උගෙන ගනිද්දී තාක්ෂණික විෂය ලෙස තෝරා ගත්තේ මෝටර් කාර්මික ශිල්පයයි. එකල එය අපට උගැන්වූයේ; රුක්මණී හයි ඒස් එකකින් පාසලට පැමිණි සුනිල් පියසිරි මහතාය. 83 ජූලි වර්ජනයෙන් රැකියාව අහිමි කරගත් හේ පසුකලෙක මාහට කටුණායක 18 කණුවේ ජයලත් සිනමාහල ඉදිරිපිටදී හමුවූයේ වෑන් රථ රියැදුරෙකු ලෙසින්ය!

මේ කථා කෙසේ වෙතත් එකල සිටම මා වාහන කැටලොග් එකතුකිරීම දිගින් දිගටම කරගෙන යනු ලැබීය. දැනට මාගේ කැටලොග්, මැනුවල් හා පාර්ට් කැටලොග් විශාල ප්‍රමාණයක් සතුව ඇත! එකල මා කැටලොග් එකතු කිරීම සඳහා ටොයෝටා - ෆෲඩන්බර්ග්, ඉසූසූ - සතොස, මර්සිඩීස් බෙන්ස් - ඩීසල් මෝටර් ඉන්ජිනියරිං, පර්ජෝ/ ෆොක්ස්වැගන්/මැස්ඩා - කාර් මාර්ට්, ලෑන්ඩ් රෝවර්/ ෆියට් - කොලෝනියල් මෝටර්ස්, මැසි ෆර්ගියුශන් - ට්‍රැක්ටර් සංස්ථාව, අයි එම් ටී - ෆාර්මර්ස්, නිසාන් - ඇසෝසියේටඩ් මෝටර්වේස්, මිට්සුබිෂි - රජයට පවරාගත් යුනයිටඩ් මෝටර්ස් සමාගම ආදී දැනට ඇති නැති ආයතන ගනනාවකට ගොස් ඇත්තෙමි. දැනට ෆොස්ටර් පටුමග අසල ඩයලොග් ගොඩනැගිල්ල ස්ථාපිත ස්ථානයේ ලැන්සියා බීටා හා ඇල්ෆා රෝමියෝ රථ ඒජන්ත වරයාගේ කාර්‍යාලය පිහිටා තිබුනි! 

මා යුනයිටඩ් මෝටර්ස් වෙත රැකියාව සඳහා පැමිණිම ඉබ්බා දියේ දැමීමක් විය! එහෙත් එකල මෙන් ජපානයේ මුද්‍රිත කැටලොග් වෙනුවට පැවතියේ  මෙරට මුද්‍රිත තරමක් බාල ගනයේ කැටලොග්ය! ඒ කෙසේ වෙතත් මා හැකි හැම අවස්ථාවකදීම කැටලොග් එකතු කිරීම කරගෙන යනු ලැබීය. සමහර වාහන වල මෝස්තරය හෝ කාණ්ඩය ඉකුත්වීමෙන් පසු; අලෙවි අංශයෙන්  කැටලොග් තොග ඉවත්කල අතර ඒවා මා ඉමහත් කෑදර සිතින් රැගෙන මාගේ කාර්‍යාල මේසය යට තබා ගැනීමට පුරුදුවී සිටියෙමි. ඒ අන් කිසිවක් සඳහා නොව තම පියා හෝ මව සමග ආයතනයේ වැඩ හල වෙත පැමිණෙන කුඩා දරුවන් වෙත ප්‍රධානය කිරීමටය! සත්තකින්ම එය ඉතාමත් සුන්දර අවස්ථාවක් විය. බොහෝ විට මා සමග සේවය කල ගිහාන් මල්ලී ඕෂධී වැනි අයට "ඔන්න බලා ගනිං අර පොඩි එකාගේ මූන!" කියා මා කුඩා කැටලොග් මිටියක් ඔවුන් වෙත "මෙන්න පුතා ඔයාට මගෙන්!" කියා පොර ටෝක් එකක් සමගින් ලබා දේ! දරුවාගේ මුහුණ දිළිසේය! කට කනේය!! ඇස් එළියට පනිමින්ය!!! කෙළ හැලෙමින්ය!!!! ඒ කොල්ලන්ගේ හැටිය! එය එසේ නොවේ නම් ඌව වහාම වෛද්‍ය වරයෙකු වෙත පෙන්විය යුතු යැයි මාහට සිතේ! (මා වැරදිද?)

පාර්භෝගික සේවා විධායක ලෙස මාගේ සේවා ස්ථානය සකසා තිබුනේ කාර්යලයේ පසුපසට වන්නටය! ඒ නිසාම ඊට ගොඩවදින හා රැඳෙන සියල්ලන් මා හට හොඳින් දර්ශණය වේ! දිනක් උදෑසනක මාගේ දෙනෙත් පැහැර ගත්තේ කුඩා හුරුබුහුටි කොළුවෙකි. තම පියා සමග ඔහු පැමිණ තිබුනේ පියාගේ මොන්ටෙරෝ රථයේ අළුත්වැඩියාවක් සඳහාය. රථය පිළිබඳව මාහට කියා පෑවේ ඔවුන් දෙදෙන රැඳී සිටි ස්ථානය ය!  ඔවුන් සිටියේ; දවස් දෙකයි! ළිං තිහයි!! තේ පණහක් හැටක් විතර . . !!!  යනුවෙන් ගංවතුරෙන් පසු ළිං ඉසීම පිළිබඳව මා ලියන ලද පෝස්ටුවේ කියැවෙන ඩෙමියන් රුක්ෂාන් ගේ මේසය ඉදිරි පිටය! ආයතනයේ මොන්ටෙරෝ  හදිසි අනතුරු අළුත්වැඩියාවන් භාරව කටයුතු කලේ ඩෙමාය!

සිරිත් පරිදි මා; මාගේ මේසය යටට හොස්ස පොවා කැටලොග් මිටියක් ගෙන දරුවා වෙතට කුරුමාණම් ඇල්ලුවෙමි.  ඔවුන් වෙත ළං වී; කැටලොග් මිටිය ඔහුට නොපෙනෙන සේ පසුපසින් තබා ගෙන මා ඔවුන් වෙත නැඹුරු උනෙමි!

"පුතා! ගුඩ් මෝර්නිං . . . !  ඩේමියන් අංකල් මොන්ටෙරෝ එක හරියට හදාගන්නවද කියලා බලන්නද ආවේ . . .?" දරුවා ඒමේ අත ඇඹරුන මුත් හඬක් පිට නොකලේය.

"අනේ මං එනවා කිව්වම නවත්තන්නම බැරි උනා නේ! එයාටත් එන්නම ඕනෑ කිව්වා!" දරුවාගේ තාත්තා ඔහු වෙනුවෙන් පිළිතුරු සැපයුවේය! 

"මෙන්න ඔයාට මගෙන්! ඔයා ආසයි නේද මේවාට?" මං එතෙක් සඟවා ගෙන තිබුනු කැටලොග් මිටිය ඔහු ඉදිරියේ පෑවේය! දරුවාගේ ඇස් දිළිසෙමින්ය. එකවරම තම පියාගේ මුහුණ දෙස බැලූ ඔහු තාත්තාගේ අවසරයෙන් කැටලොග් මිටිය මාවෙතින් ලබා ගත්තේය.

තවත් පැය භාගයක් ගෙවී යද්දී කුඩා දරුවා හා ඔහුගේ පියා මාගේ මේසය ඉදිරියේ සිටියෝය. 

"ඉඳ ගන්න සර්!" මාගේ ආරාධනයෙන් ඔහු ඉඳගත්තේය. දරුවා පසෙකින්ය. කැටලොග් මිටිය ඔහුගේ අතේය!

"ඔයා ඇයි මගේ පුතාට මේ කැටලොග් ටික දුන්නේ?" ඔහු ඉතා සුහද ශීලී ලෙස මාගෙන් විමසීය.

"සර්! මමත් ඔය වයසේදී කැටලොග් එකතු කරණ්න තැනින් තැන ගියා! මට මේ වයසේ දරුවෝ දැක්කාම මගේ ඒ කාලෙ මතක් වෙනවා!"

"ඔයාට මම කථාවක් කියන්නම්! මමත් අයියත් පුංචි කාලේ මේවගේ පිංතූර පොත් වලට හරිම ආසයි! අපේ තාත්තා කොහෙන් හරි හොයාගෙන ඇවිත් අපිට වෙහිකල් මනුෆැක්චරස්ලා කීප දෙනෙක්ගේ එඩ්‍රසස්  අපිට දුන්නා; ලියුම් ලියන්නය කියලා! ඔයාට කියන්න අපි හතර පහකටම යැව්වත් අපිට උත්තරයක් එක්ක කැටලොග් මිටියක් එවලා තිබුනේ මිට්සුබිෂි කොම්පැනියෙන් විතරයි.  ඊට පොඩි කාලෙකට පස්සේ තාත්තා එච්චර කල් පාවිච්චිකල වාහනේ විකුණුවා! එදා ඉඳන් එයා මැරෙණ තුරුත් මම මගේ මේ ජීවිත කාලය ඇතුලෙත් අපෙ අයියාත් හැමදාම ගත්තේ මිට්සුබිෂි වාහන විතරයි! ඔයා කලේ එහෙම එකක්ද කියලා දැනගන්නයි මම මේ ඔයාව හොයාගෙන ඇවිත් කථා කලේ! මටත් මගේ පුංචි කාලේ මතක් උනා! කොහොම උනත් ඔයා කලේ හොඳ වැඩක්! අපි යන්නං! පුතා අංකල්ට බායි කියන්න!"

මට මගේ හැඟීම් සිරකරගෙන සිට ඔහුට හිස සොලවා ආචාර කරණවා හැරෙණ්නට වෙන කිසිවක් කථාකර ගන්නට නොහැකි තරම් හදවත බරවී තිබුණි.

තවත් මොහොතකින් දරුවා මට අත වනමින් ඉවතට යන රූපය බොඳවූ දෑස තුල චිත්‍රණය විය.

දෙයියනේ Catch them young! කියන්නේ මේකටනේ!? මම මටම කියා ගත්තෙමි!

පාරිභෝගිකයින්ගේ විවේකාගාරයේදී; 
කුඩා දරුවෙකුහට කැටලොග් පිරිනමනා අවස්ථාවක්; 
තඩි ගිහාන් හෙවත් මෙම බ්ලොගය සකසාදුන් මිත්‍රයා සටහන් කරගත් කරගෙන!!


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...