Friday, September 17, 2021

215. මෝටර් රථ වාහන කර්මාන්තයේ අත් පොත්


මාගේ පසුගිය පෝස්ටුවට කොමෙන්ටුවක් ලියමින් හැට්ටර් මහත්තයා පවසා තිබුනේ එම පෝස්ටුවෙන් සිංහල වචන බොහොමයක් උගෙන ගත් බවකි. එය කියැවීමෙන් පසුව මාහට මෙය ලියන්නට සිත්විය!

 මම ජීවිතේ මුලින්ම මේ මෝටර් රථ වාහන කර්මාන්තෙට අත් පොත් තිබ්බේ අපෙ ගෙදර තිබ්බ මොරිස්  J2 වාහනෙන්. මගේ "නොරත රථ" ලිපි පෙළ අරඹා තියෙන්නේ ඒ වාහනේ ගැන කියලා. ඒ මට වයස අවුරුදු 5 කටත් අඩු කාලේ වගේ. ඔය කාලෙම අපේ අයියා කළු අග්ගල ශාන්ත බොස්කෝ කියන ඉස්කෝලෙන් "මෝටර් රිය නඩත්තුව සහ අළුත්වැඩියාව" කියලා අන්තර්ජාතික කම්කරු කාර්‍යාලය මගින් ප්‍රකාශිත; අධ්‍යාපන ප්‍රකාශන දෙපාරතමේන්තුව මගින් මුද්‍රණය කොට බෙදා හැරමු තඩි පොතක් උස්සගෙන ආවා! පොතේ රූප වල තිබ්බ බොහෝ කාරණා කාරණා මා හැබැයින් දැක්කේ ඒ වාහනෙන්. ඒ පොතේ බොහෝ ඉංග්‍රීසි යෙදුම් වලට සුන්දර සිංහල යෙදුම් යොදා තිබුනා. ඊට කලකට පෙර Universal Joint  එකට "සර්වලෝක පූට්ටුව" වගේ අපබ්‍රංස නොවේ "දසත මූට්ටුව" වැනි සරල සුගම යෙදුම්.  Tuning - ටියුනිං - සුසර කිරීම,  Fly Wheel - ෆ්ල්යි වීල් - ජව රෝදය, Propeller Shaft - ප්‍රොපෙලර් ශාෆ්ට් - අවර පෙති කඳ,  Connecting Rod - කනෙක්ටින් රොඩ් - පිස්ටන් අත්, Jet - ජෙට් - චංචුව, Crank Shaft - ක්‍රෑන්ක් ශාෆ්ට් - දඟර කඳ වැනි අළුත් එහෙත් තර්කානුකූලව භාවිතා කල හැකි වචන මාලාවක් එහි ගැබ් වී තිබුනා.  මේ කාලේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශය; නන්දදේව විජේසේකර කියන දැවැන්තයාගේ සෙවන යටතේ ක්‍රියාත්මකවූ කාලයයි. 1960 වැනි ඈත කාලයක එවන් අළුත් වචන සොයා ගැනීම ක්‍රිකට් පිත්ත, පන්දුව, තණ තිල්ල වැනි වචන නිමවා, සකසා, ගලපා, සොයා යෙදූ අය වැනිම වූ නිර්මානශීලී පිරිසකගේ අතින් ගතින් නැණ නුවණින් සිදු වූවාක් ලෙසයි මට නම් හිතෙන්නේ. 

දවසක් ලස්සන වැඩක් උනා හබරණ හතරැස් කොටුවේදී. මම මේ කියන්නේ මීට දශක හතරකට පමණ පෙර සිදුවූ කථාවක්. හතරැස් කොටුව පිහිටා තිබුනේ හබරන සිට ත්‍රීකුණාමළය දෙසට කිලෝමීටර 9 ක් ගිය තැන. එතැන පුංචි හංදියක් කඩ දෙකක් තිබුනු. මා පලමුවෙන්ම වාහනයක් පැදවූ, සයිකල් පදින්න පුරුදු වූ පලාත. මෙතැන පොඩි පහේ මාර්ග අනතුරක් සිදු වූවා. අනතුරෙන් එක් වාහනයක වින්ඩ්ස්ක්‍රීනය බිඳී ගියා. මෙය වාර්ථා කරණ්නට එතැනට පැමිණි පොලිස් රාළහාමිට අනතුර පිළිබඳ ස්ථානීය සටහනක් යොදන්නට අවශ්‍ය වුවත් ඒ සඳහා වචන හිගකමක් ඇතිවූවා. ඒ වෙන කිසිවක් නොව ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීනයට කියන නම නොදන්නා කමින්. ඔය කියන කාලේ මා පාසල් නිවාඩුවකට තාත්තාගේ නිළ නිවසට ගිය කාලයක්. 

ඉතිං රාලහාමිත් මේ ගැන දැනුම් තේරුම් තියෙන කෙනෙක් ඇත්දැයි බලමින් ඉන්න අල්ල පනල්ලේ අපේ තාත්තගෙනුත් අහලා වින්ඩ්ස්ක්‍රීණයට කියන හිංගල වචනෙ ගැන!?"අන්න ගෙදර ඉන්නවා අපේ චූටි පුතා ! එයාගෙං ඇහුවොත් නං ඕක ටක්කෙටම කියයි!!"කියලා අපේ  තාත්තා විශ්වාසෙටම කියලා. මමත් ගෙදර මොක්කදෝ වැඩක්  කොර කොර ඉන්න අතරේ තාත්තාගේ පණිවිඩය අරං එතනට එකෙක් ආපි. එයා මොනතරම් හොඳට පණිවිඩේ කිව්වාද කියනවා නං මට තේරුණේ පොලිස් රාළහාමි කෙනෙක් වාහනේකට යට වෙලා කියාය. මමත් කාර් එකේම එතනට පියෑඹුවේමි. කොම්පියුටර් ගේම්, ස්ටිමුයුලෙටර් නොමැති ඒ සංදියේ විසූ අපි සියල්ලන්හටම වෙන්වූ වාහනයක් විය! කඩේට ගියේත් ආවේත් කොටිංම ගේ ඇතුලේ කාමරේකින් කාමරේකට ගියේත් "ඈං. . . . . . . පීප් . . . . !  පීප් . . . !! " ගාමින් වාහනෙන්ම බව මෙය කියවන බොහෝ අයට තේරෙණවා ඇතැයි සිතමි. 

මා එතැනට ගිය සැණින් අපේ තාත්තා; එයාම කියලා දුන්නු දෙයක් මට මත්කදැයි විමසනවා මෙන් "පුතේ මේ ඉස්සරහ වීදුරුවට එකට  සිංහලෙන් කියන්නේ  මොකක්ද . . ?" කියා විමසුවේය. "ඉදිරිපස වා මුවාව . . !" මා කටේ තොලේ නොගෑවී පැවසුවේ වටේ ඉන්න අවසේස දනන් පමණක් නොව පොලිස් දෙපාර්තමේන්තුවම හොල්මං කරමින්ය!

පණහේ හැටේ හැත්තැව දශක වල මෝටර් රථ කාර්මික ශිල්පය පිළිබඳව බොහෝ පොත පත සිංහලෙන් ලියැවී ඇත.

ඉන් මාහට පැරණිම පොතක් ලෙස මතකයට එන්නේ කොළඹ, කොම්පඤ්ඤ වීදිය, බ්‍රිජ් ස්ට්‍රීට්, නො:71 ලිපිනයෙහි ස්ථාපිතව පැවති  "කරුණාරත්න සහ සමාගම" විසින් ප්‍රකාශිත "මෝටර් කර්මාන්තය" පොතයි. මෙම පොත පිළිබඳව එකල ඔවුන් විසින් පලකල වෙනත් පොත් පත් වල හඳුන්වා දී තිබුනේ

 "සෑම මෝටර් රියෙදුරෙක් ළඟම තිබිය යුතු 

ඉතා අගනා ග්‍රන්ථයකි. 

මෝටර් රථ යන්ත්‍රයෙහි

ඇතිවන සියළු ආබාධ 

සාදාගන්නා ක්‍රමය 

මෙම පොත ඔබට උගන්වයි.

පොතක් රුපියල් 3/50 යි. තැ. ගා. ශත 25 යි.

මෙම කාලයේ ලියැවුනු බොහෝ පත පොතේ මෙන්ම මෙම පොතේද සියලු කරුණු දක්වා තිබුනේ උපදේශ ලෙසින්ය. "හැම උදේකම රේඩියේටර් උපකරණයේ මූඩිය ඇර වතුර ඇත්දැයි බලනු!", "එන්ජින් යන්ත්‍රයේ තෙල් කූර ඇද බලනු!" වැනි වාක්‍ය එහි අන්තර්ගතව තිබුනි. එසේම "වැක්ශෝල් රථය", "ඩැල්කො එක", "බ්රේක් සපත්තු" වැනි එළොවටත් මෙළොවටත් නැති වචන ඒවායේ ගැබ් වී තිබුනි.

ඉන් පසු කාලයකදී රාජ්‍ය අනුග්‍රහය යටතේ බිහිවූ "මෝටර් රිය නඩත්තුව සහ අලුත්වැඩියාව" පොත වැනි පොත් වල වඩාත් නිවැරදි සිංහල ලියැවී තිබුනි. කිසියම් විෂයක් උගෙන ගැනීමේදී; එම විෂයට අදාල පාරිභාෂික වචන විෂය තුල යෙදෙන භාෂාවෙන්ම කියැවීම වඩාත් යෝග්‍යයැයි අද සිතූවද මීට වසර 61 කට පෙර බිහිවූ මෙම පොතේ බොහෝ වචන සිංහලෙන් දක්වා තිබුනි. Differential අන්තර එකලස, Shock absober කම්පන පරිමන්දකය  වැනි බොහෝ වචන එහි දක්වා තිබිනි.  ෂොක් ඇබ්සෝබර් යන වචනය තුල "කම්පනය උරාගන්නා" යන අදහස ගැබ්වී තිබුනද "කම්පන පරිමන්දකය" යන වචනය ලෙහා බැලීමට තරම් සිංහල භාෂාවක් කාර්මිකයින්තුල නොතිබීම කණගාටුවට කරුණකි.

එය එසේ නොවී හැකි පමණ ඉංග්‍රීසි වචනය හුරු කිරීමට උත්සුක වූවා නම් එය වඩාත් යෙහෙකි යන්න මා අදද විශ්වාස කරණ සත්‍යය වේ. 1956 සිංහල පමණක් රාජ්‍ය භාෂාව කල අළුතම එවන් ලෙසකින් පොතක් එළිදක්වන්නට පුද්ගලික ප්‍රකාශකයෙක් කෙසේ වෙතත් රාජ්‍ය  ආයතනයක් කිසිසේත්ම පෙළඹෙන්න්නේ නැති බව අප තේරුම් ගත යුතුය.

තවත් කලකට පසු එනම්1973 වසරේදී; මුල් ප්‍රකාශනය ජර්මන් බසෙන් පලවූ පොතක් සිංහලට පරිවර්ථනය විය.  එය එතෙක් මෙතෙක් සිංහලින් මෝටර් කාර්මික ක්ෂෙත්‍රයේ පලවූ වැදගත්ම පොතක් ලෙස මා දකිමි.  මෙය සිංහලට පරිවර්ථනය කර තිබුනේ එවකට රත්මලාන කණිෂ්ඨ කාර්මික ආයතනයේ මෝටර් යාන්ත්‍රික උපදේශක පණ්ඩුල කේ. පළඟසිංහ මහතා විසිණි. එකල මෝටර් වාහන වල තිබුනු බොහෝ කරුණු කාරණා පිළිබඳව ගැඹුරින් ලියැවුනු පොතක් වන අතර එයද අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් වුවද එහි වූ බොහෝ යෙදුම් ඉංග්‍රීසි ශබ්දයෙන්ම දක්වා තිබුනි.

වාහනයක සියළුම යාන්ත්‍රික කොටස් පිළිබඳව එහි සාකච්චා වී තිබුනු අතර දැනට එහි පිටපතක් සොයා ගැනීමට නොහැකි වීම කණගාටුවට කරුණකි. නුගේගොඩ චැපල් පාරේ නිවසක ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටි පණ්ඩුල කේ, පළඟසිංහයන් හමුවට ගිය අවස්ථාවක එම පොතේ පිටපතක් අවම වශයෙන් ඔහු ළඟවත් නැති බව කීවේ කණගාටුවෙනි. මා ළඟද ඇත්තේ එහි ඡායා පිටපතක් පමණක් වන අතර මුල් පොත ආසාවට හෝ දැකීමට මා පින් කොට නොමැත!

ඉන් පසු බොහෝ කාලයක් යන තුරු සිංහල භාෂාවෙන් මෝටර් කාර්මික විෂය පිළිබඳව පොතක් පතක් පලවූවාදැයි මා නොදනිමි. ඉන් පසු 1986 වසරේදී නුගේගොඩ දීපානි මුද්‍රණාලයෙන් මුද්‍රණය වී කතෲ ප්‍රකාශනයක් ලෙස එම්. ඩී. එල්. ගුණරත්න විසින් "මෝටර් යාන්ත්‍රික විද්‍යාව" නමින් පොතක් පල කලේය. මෙතුමා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමත්‍යංශයේ කථිකාචාර්‍යවරයෙකුය. පුංචි බොරැල්ලේ ආනන්ද භවාන් තෝසේ කඩේ උළුඳු වඩේ එතීමට ගන්නා ප්‍රමිථියේ කඩදාසියේ අච්චු ගසා තිබුනු මෙම පොත එකල අලෙවි කලේ රුපියල් 125 කට මිළ නියම කොටය. පොතේ අන්තර්ගතය ලෙසට එතරම් වැදගත් නොවූ මෙම පොතේ දෙවෙනි කොටසක්ද 1989 දෙසැම්බරයේ එළි දැක්විනි. මෙයට අමතරව එම කතුවරයා විසින්ම 1992 පෙබරවාරියේ "මෝටර් වාහන විදුලි පද්ධතිය" නමින්ද පොතක් පල කලේය. මේ පොත්වල මා දකිණ විශාලතම අඩුපාඩුව වන්නේ ඒවා තුල තිබුනේ කාර්මික චිත්‍ර විනා ස්වාභාවික රූප සටහන් හෝ ඡායා රූප නොවීමය.  1960 වසරේදී පලවී "මෝටර් රිය නඩත්තුව සහ  අලුත්වැඩියාව" පොතේද තිබුනේ කාර්මික චිත්‍ර  පමණකි.

ඉන්පසු 1994 වසරේදී මොරටුව කටුබැද්දේ ලංකා - ජර්මන් කාර්මික විද්‍යාලයේ; එනම් ජර්මන් ටෙක් විදුහලෙහි කථිකාචාර්‍ය වරයෙකු ලෙස සේවය කල සිඩ්නි සිරිවර්ධන විසින්ද  "මොටර් කාර්මික ශිල්පය", "මූලික වාහන විදුලි ශිල්පය" යනුවෙන් පොත් කිහිපයක් ලියා ඇතත්; පණ්ඩුල කේ. පළඟසිංහයන්ගේ පොත සමග ගත් කල  ඒවා සියල්ල පැවතියේ ඉතාමත් ප්‍රාථමික නොමේරු ළමා ඒකකයේ හෙවත් වීදුරු පෙට්ටියේය!

මා හට දින වකවාණු නිවැරදිව කීමට මේ මොහොතේ අපොහොසත් වුවත් නව සහස්‍රයේ අරම්භය සමග අගනුවරින් බිහිවූ ඩී. එම්. එම්. දසනායක මහතා මෝටර් කාර්මික මුද්‍රිත මාධ්‍යය මෙන්ම ඉගැන්වීමද උඩු යටිකුරු කිරීමට සමත් විය. ඉතා කෙටි කලකින් ජීවිතයෙන් සමුගත් ඔහු සඟරා කිහිපයක හා පොත් පත් රාශියක කතු වරයා විය. එසේම නුගේගොඩ රොටරි ශාලාවේ ඔහු මෝටර් කාර්මික පංතියක්ද පැවැත්වූ අතර ඔහුගේ ප්‍රකාශන ඉතාමත් දියුණු මට්ටමක පැවතුනි. අන්තර්ගතය මෙන්ම නිමාවද ඉතා උසස් අන්දමෙන් වූ ඔහුගේ ප්‍රකාශන තුල ඉතා සාර්ථක ඉංජිනේරු රූපසටහන් බහුල ලෙස දක්නට පුළුවන් විය. ඉගැන්වීමට තරම්ම හෝ ඊටත් වඩා මුදල් හඹා යෑමක යෙදුණු ඔහු අකාලයේ මිය යාම බොහෝ අංකුර කාර්මිකයින් හට විශාල පාඩුවක් ගෙන දෙන කාරණයක් විය. පසු කාලේක එම පංති ඔහුගේම ශිෂ්‍යයෙකු විසින් කරගෙන ගියද එය සාර්ථක නොවීය.


අප ශිෂ්‍යයන්ව සිටි කාලයේ ලංකාවේ මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ මුදුන් මල් කඩ වූයේ ලංකා - ජර්මන් කාර්මික විද්‍යාලය හෙවත් ජර්මන් ටෙක් විද්‍යාලයයි. 1958 වසරේදී ජර්මන් ජනරජය සමග ඇතිකරගත් සහයෝගිතා ගිවිසුමකට අනුව 1959 වසරේදී වේරහැර; ලංකා ගමනාගමන මණ්ඩලයේ වැඩහල තුල ඇරබුණු මෙහි 1974 වසර වනතුරු අධ්‍යක්ෂක ධූරය දැරූවේ ජර්මන් ජාතිකයෙකු විසිනි. 1974 දී එය කටුබැද්දට ගෙන ගිය අතර එම ආයතනය පිහිටුවීන්මට මූලික හේතුව වූයේ ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා කාර්මිකයින් පුහුණු කිරීමය. එනිසාම වසර හතරක කාර්මික පුහුණුවෙන් පසු ශිෂ්‍යයන් යොමුකලේ ලංගම ඩිපෝ වලටය!

මා දකිණ ලෙසට මෙම හේතුවම එහි අහේතුව බවට පත් විය.  1977න් පසු ලංකා ගමනාගමන මණ්ඩලය යනු දෙශපාලුවන්ගේ හෙංචයියලා හට රැකියා සැපයූ තවත් එක් ආයතනයක්ම විය. මෙසේ ලංගම දේශපාලනීකරණය වන විට ඩිපෝවල පැවති වැඩහල් වල පෙර පැවති ජීව ගුණය දියැවී ගියේය. එසේම එකල පැවති මර්සිඩීස් බෙන්ස්, බ්‍රිටිශ් ලේලන්ඩ් පසු කාලීනව ඉසූසූ බස් රථ වෙනුවට ඉංදියාවෙන් ගෙන්වූ ලොරි චැසි මත ගොඩ ගසන ලද බස් රථ අළුත්වැඩියා කිරීමෙන් අංකුර කාර්මිකයින්හට අවට ලෝකය සමග තරග කිරීමට තරම් දැනුමක් ගොඩ නගා ගැනීමට අවස්ථාවක් නොවීය.

කාලය ගෙවී යත්ම ජාතික ආධුණිකත්ව මණ්ඩලය හා ජපන් සහයෝගීත්වයෙන් ඔරුගොඩවත්තේ පිහිටවූ ජපන් ටෙක් පාසැලෙන්ද ලාංකික කාර්මික ශිල්පීන් හට වඩාත් ප්‍රශස්ථ මට්ටමේ පුහුණුවක් ලබා දෙමින් පවතී. මේ වන විට කොරියන් ටෙක් නමින් පරසිදු තවත් ආයතනයක් ඔරුගොඩවත්තේ සිට වැඩ ආරම්භ කරමින්  සිටියි. මෙහිදී විශෙෂයෙන් AETI නම් වූද "ජපන් ටෙක්" නමින් භෞතීස්ම ලැබුවාවූද ආයතනයෙන් පුහුණුව් ලබන කාර්මික ශිෂ්‍යයන් හට මිට්සුබිෂි මෙරට අලෙවි නියෝජිත යුනයිටඩ් මෝටර්ස්, ටොයෝට ලංකා හා නිසාන් නොයෝජිත AMW වැනි ආයතන තුල අති නවීන තාක්ෂණයෙන් පිරිපුන් පුහුණුවක් ලබා ගැනීමට ඇති ඉඩකඩ ඉතාමත් ප්‍රශංසණීයවේ. කෙසේ වෙතත් මේ වන විට ආන්තර එකලස පිළිබඳව ඉගැන්වීමෙන් ඈත්වී ඇති අතර ඩිෆරෙන්ශලය පිළිබඳව ඒ වෙනුවට ඉගැන්වෙයි. අද වන විට මෝටර් රථ කාර්මික ශිල්පය අපට සිතාගත නොහැකි තැනකට පත්වී ඇති අතර එය අනාගතයේ වඩාත්; වඩ වඩාත් දියුණු තත්වයකට පත්වනුඇත!

44 comments:

  1. Very nicely written, Mr. Thatts.

    ReplyDelete
  2. ඔබ කියන දෙවෙනි පොතේ පිටපතක් මගේ ලඟ තියනවා.පොත පිටවුණු කාලේ ජර්මන් ටෙක් එකේ TEXT BOOK. එකක් හැටියට දුන්නා.

    ReplyDelete
    Replies
    1. ඉතා වටිනා කියන පොතක්! ඇත්තටම කවුරු හරි මූලික වෙලා එය නැවත මුද්‍රණයක් කරණවා නම් එය ලොකු සේවයක් වේවි. ඔබ තුමාට හැකියාවක් වෙතොත් එම පොතේ පිට කවරයේ පින්තූරයක් එවන්න!

      Delete
    2. ඒ පොත දැන් ආයිත් මුද්‍රණය කරන එක වැඩක් නෑ කියලා මම හිතන්නේ.හේතුව එක යල් පැනලා. මූලික අදහස් ගන්න විතරක් හොඳයි. තාක්ෂණය දියුණු වෙනවා එක්කම පොත් අප්ඩේට් වෙන්න ඕන.

      Delete
    3. කමෙන්ට් වලට ෆොටෝ අමුනන්නෙ කොහොමද?

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔබතුමාට මෝටර් වාහන ගැන දැනුමත්, ලිවීමේ හැකියාවත් දෙකම තියන නිසා සිංහලෙන් පොතක් නැති අඩුපාඩුව පිරෙව්වොත් නරකද??

    සිංහලෙන් වින්ඩ්ස්ක්‍රීන් එකට වා මුවාව කියලා කියන බව මතක් උනේ මේක කියෙව්වාමයි.

    //මෝටර් රථ වාහන කර්මාන්තයේ අත් පොත්// කියන එක දැකපු ගමන් මතක් උනේ මට වාහන අත්පොතක workshop manual වරදක් නිසා සිදු උන සිද්ධියක්. මේක ටිකක් ටෙක්නිකල් විදියට ලියනවා මිසක් වෙන කරන්න දෙයක් නැහැ.

    80 දශකයේ මම සේවය කල ආයතනයේ විශාල ආධුනිකයන් ප්‍රමාණයක් කාර්මික අධ්‍යාපනය ලැබුවා. ඔවුන්ගේ ප්‍රායෝගික විභාගයකදී ඔවුනට කල යුතුව තිබුනේ ඩිෆ් එකක් මස් කර නැවත එකලස් කර backlash එක 0.06 -0.16mm අතර සාදා පෙන්වීමයි. කිසිම කෙනෙකුට මේ දේ කරගන්න බැරි උනා. සියලුම එකලස් කිරීම් මැනුවල් එකේ මිනුම් අනුව සිදු කලත්, අවසානයේ backlash එක නිවැරදිව හදා ගන්න කාටවත්ම හැකි වෙලා නැහැ.

    ඒ ආයතනය මහළු මඩමක් වැනි වයසක සේවකයන්ගේ රජදහනක් වූ අතර එහි සිටි එකම තරුණයා උන මට, ආධුනිකයන් සමග ඉතා හොඳ හිතවත් කමක් තිබුනා. පළමුවෙනි කොල්ලාට මේක කරගන්න බැරි වෙච්ච ගමන්ම මට මේ ගැන කිව්වත්, විභාගයක් නිසා මට එහි යන්න අවසර තිබුනේ නැහැ.

    දහවල් කෑමට විභාගය පවත්වන පීරීස ඉවත්ව ගිය වහාම මම ඒ ආධුනිකයන් සමග ගොස් මේක බැලුවා. ක්‍රවුන් වීල් එක(දැති සහිත කොටස) පවා එහි බේස් එකෙන් ගලවා එකලස් කල යුතු වූ මේ විභාගයේදී ඒ බේස් එකේ මුහුණත නිවැරදිතාවය 0.20mm ඇතුලත තිබිය යුතු බව මැනුවල් එකේ සටහන් වෙලා තියනවා. ඩයල් ඉන්ඩිකේටර් එකෙන් මැන බැලුව විට එහි නිරවද්‍යතාවය 0.17 පමණ වන අතර, එය මැනුවල් එකේ කියවෙන 0.20 ට වඩා අඩුයි. ඒ කියන්නේ ඒ නිවැරදිතාවය පොතේ අනුමත ප්‍රමාණය ඇතුලත තියනවා.

    මේක දැකපු ගමන් මට තේරුනේ, 0.17 බකල් දුවන බේස් එකට හයි කරපු දැති රෝදෙන් 0.10 ක නිවැරදිතාවයට backlash ගන්නේ කොහොමද කියන එකයි. මැනුවල් එක වැරදි විය යුතු බවත්, එය 0.20 නොව, 0.020 විය යුතු බවත් මම තරයේම කියා සිටියා. ඉන්ටනෙට්, අරවා මේවා මුකුත් නැති ඒ කාලේ, බයිබලය වාගේ අදහන්න අපිට තිබුනේ workshop manual එක තමයි. මේවා දකුණු ආසියාතික රටවලට, මෙට්‍රික් මිනුම් පමණක් සහිතව බාල කඩදාසියේ මුද්‍රිත පොත් උනත්, අපේ සභාපතිතුමාගේ කාර්යාලයේ මේ පොත් වල global edition එක තියන නිසා අවසර අරගෙන ඒ පොත බැලුවා. එහි පැහැදිලිවම ඒ කියන tolerance එක 0.02mm (.001") ලෙස තිබුනා. මේකේ තව අතුරු කතා ගොඩක් තිබුනත්, මේ ගැන අපේ ඉහල නිලධාරී මඩුල්ල දැනුවත් කළාම මට හොඳ පිළිගැනීමක් ලැබුනා. එයින් මට ලැබුන යම් ප්‍රතිලාභයක් මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම නිසා අතහැර දමන්න සිදු උනා.

    මමත් 1980 දී ජර්මන් ටෙක් එකේ ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්තේ මෝටර් කාර්මික ශිල්පය නොවෙයි, යාන්ත්‍රික ශිල්පයයි. ඒ කාලයේදීත් ජර්මානු අධ්‍යක්ෂක කෙනෙක් හිටියා. මම ඇතුලත් වෙන කාලයේම වගේ එවකට අධ්‍යක්ෂක වූ කිල්ගුෂ් මහතා ආපසු සියරට බලා ගිය අතර, එයින් පසු පත්ව ආ, වෝල්ටර් හර්ත් මහතා, මම එයින් ඉවත් වූ 1984 කාලයේදීත් එහි රාජකාරි කළා.

    ReplyDelete
    Replies
    1. ඔබ 80 බැච් එකේ නම් මේ ජර්මන් අධ්‍යක්ෂක වරුන්ගේ නම් වල වැරැද්ද ක් තියනවා.Roland Kilgus මහතා ඔය කාලේ හිටියේ නෑ. 75 ලංකාවේ පාලනයට බාර දුන්නට පස්සේ හිටියේ Joshep Breckweg , Walter Huppertz දෙන්නා. ඒ දෙන්නාගෙන් පස්සේ Walter Herth .

      Delete
    2. ස්තුතියි මගේ අමතක මතකය නිවැරදි කලාට

      Delete
    3. ඉතාම සුන්දර රස මතක! මේවා රස විඳීමට සාහිත්‍යය වාගේම රථ ගායත් පොඩි යකඩ ප්‍රේමයකුත් තියෙන්නෝන. මට මතක් වෙනවා ඔය වගේම කථවක්. මම් ඒක රස කරලා සූදුරු මාදුරු ටිකක් දාලා වෙලාවක ලියන්නම්! ඕනෑම හොඳ දෙයක් හතරට බෙදාගෙන කාලා දාන අපේ රට වලට ජරමන් ටෙක්නිකල් වගේ එවා හොඳ වැඩිය!

      Delete
  5. ජර්මන් ටෙක් එක ගැන ඔබ කියන සමහරක් කරුණු වැරදියි. දැන් එය ලංගම සමග කිසිදු සම්බන්ධයක් නෑ. වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පාර්ලිමේන්තුවේ දී සම්මත කල පනතකින් පාලනය වන ආයතනයක්. පහුගිය දශක දෙක තුළ අළුත් තාක්ෂණය සහ පාඨමාලා හඳුන්වා දී තියනවා.මෙකාට්‍රොනික් සහ ඔටෝමේෂන් පලමුවෙන් පටන් ගත් කාර්මික විදුහල. ලංකාවේ කාර්මික විද්‍යාලයක් තුල ඇති පලමු හයිබ්‍රිඩ් හා විදුලි වාහන ලැබ් එක, පලමු මෙකාට්‍රොනික් ලැබ් එක ආයතනය සතුයි. මෑතකදී මොරටුව විශ්වවිද්‍යාලය මෙකාට්‍රොනික් ලැබ් එක ආරම්භ කරන තුරු මොරටුවේ මෙකාට්‍රොනික් කරන අයත් ප්‍රායෝගික පුහුණුව එයින් ලබා ගත්තා. කැමති නම් තත්වය යහපත් වුණහම ගිහිං බලන්න පුළුවන්.බොහෝ කලක් සිටම ජර්මන් ටෙක් පුහුණු ළමයි ලංගමට යන්නෙ නෑ. ඔවුන්ට ඊට වඩා හොඳ රැකියා ලැබෙනවා. ලංගම වගේ දේසපාලනය නිසා විනාශ වුන තැනකට ගිහින් වෘත්තීය ජීවිතය විනාශ කර ගන්න කවුද කැමති?. ලංගම තාක්ෂණය අතින් බරකරත්ත යුගයේ ඇති තැනක්. ඔබට දකින්න පුළුවන් කාර්මික අංශයේ රැකියා දැන්වීම් වල පලකරන සුදුසුකම් වලදී ලං.ජ.කා.අ.ආ පුහුණුව හෝ ඒ සමාන සුදුසුකම් යන වැකිය. ජර්මන් ටෙක් එක තවමත් අංක එක කියන්න ඒ එක උදාහරණයක්. ඔබ ජපන් ටෙක් එක ගැන කතා කරන නිසා මේකත් කියන්න ඕන. මෝටර් කාර්මික පුහුණුව ලබන ජපන් ටෙක් එකේ ළමයෙක් අවුරුද්දක් ටෙක් එකේ මම අවුරුදු දෙකක් in plant training එකක් ආයතනයෙන් පිටස්තරව ලබාගන්නව. ජර්මන් ටෙක් ළමයෙක් අවුරුදු තුනක් ආයතනයේ පුහුණුව ලබලා අවුරුද්දක් in plant training යනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාව නිවැරදි කලාට. ජපන් ටෙක් එක හා ජර්න්මන් ටෙක් එක මා සංසන්ධනය කරණ්නට යන්නේ නෑ. එය දරුවෙකුගෙන් දෙමව් පියන් "ඔයා වඩාත් ආදරේ අම්මාටද තාත්තාටද?" කියා ඔවුනොවුන් ඉදිරියේ ප්‍රශ්ණ කරණවා වැනි දෙයක්. අද වන විට එය ලංගමයෙන් ඉවත්ව තිබෙන්නට පුළුවන්. නමුත් එහි මුල් කාලයේ සිට මෑතක් වන තුරු බොහෝ ශිෂ්‍යයින් තමාගේ ඉන් ප්ලාන්ට් ට්‍රේනින් එක සඳහා යොමු වූයේ ලංගමයට බවයි මට කියන්නට අවශ්‍යව තිබුනේ. කෙසේ වෙතත් ලංකාවේ මෝටර් කාර්මික ශිල්පයේ මහ ගෙදර ජර්මන් ටෙක් එක බවට විවාදයක් නෑ!

      Delete
  6. මේ පෝස්ටුව ආසාවෙන් කියවාගෙන යද්දී එක කාරනාවක් නිසා ඇතිවුණු කම්පනය නැති කරගන්න 'කම්පන පරිමන්දකය'ක් නැතිකම දැනුණා.
    මේ විෂය ගැන ලියැවුණු එකම පොතක්වත් මගේ අවුරුදු තිස් ගණනක් වෙන මුද්‍රණ කළමනාකාර දිවියේදී අච්චු ගහන්නට ලැබිලා නෑ! පේනවා නේද මේ දැනීමට තියෙන තැන.
    තට්ටයා මහත්තයෝ,
    මේ ලියවිල්ල ලියලා ඔයා කරලා තියෙන්නේ මාර සංරක්ෂණයක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි මහත්තයා! මේ වන විට බොහෝ නව පරපුර මෙවන් විෂයක් සඳහා කරුණු සොයා ගැනීමට පෙළඹෙන්නේ අන්තර්ජාලය හරහා. ඒ නිසා ඉදිරියේ මේ පිළිබඳව පොතක් පලවීමේ සම්භාවිතාව ඉතා කුඩාය!

      Delete
  7. Wshaya pilibanda danuma ithama alpa unath lipiye rasawath kama nisama kiyewwa.E wagema danumakuth labuwa.
    Baluwahama oba podi kale indalama bahusrathayekne.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ ඉඳන්ම මක- බාසෙක්! ස්තූතියි මම ලියන වල් පල් කියවන්න ආවාට!

      Delete
  8. විශය ගැන දැණුමක් නැති නිසා, ඉතිහාස කතාවක් ලෙසට රසවින්ඳා.ජර්මන් ටෙක් එකේ සහතිකයට ජාත්‍යන්තර පිළිගැනීමක් තිබෙන බව අසා තියනවා.

    //බ්‍රිටිශ් ලේලන්ඩ් පසු කාලීනව ඉසූසූ බස් රථ වෙනුවට ඉංදියාවෙන් ගෙන්වූ ලොරි චැසි මත ගොඩ ගසන ලද බස් රථ අළුත්වැඩියා කිරීමෙන් අංකුර කාර්මිකයින්හට අවට ලෝකය...//

    හ්ම්.......

    ReplyDelete
    Replies
    1. ඔව් සත්තකින්ම අදටත් ලංකාවේ කාර්මික ශිලීන්ට සහ ජර්මන් ටෙක් ඇතුළු අනෙකුත් කාර්මික විද්‍යාල සහතික පත්‍ර වලට ඉහල මිලක් වෙනත් රටවලි ලැබෙනවා. ජර්මන් ටෙක් යනු අපේ කාර්මික අධ්‍යාපනයේ මුදුන් මල් කඩ! එය මං නැවත නැවතත් කියනවා!~

      Delete
  9. ඉතාම හොද ලිපියක්. මෙම ලිපිය ද්‍රවිඩ භාෂාවෙනුත් පලකල හැකි නම් ද්‍රවිඩ, මුස්ලිම් ජනයාට කදිම අත්පොතක් වෙයි.

    -ඉර්ශාඩ් සම්සුදීන්-

    ReplyDelete
    Replies
    1. මා ද්‍රවිඩ භාෂාව පිළිබඳ කිසිම අවභෝධයක් නොමැති බව ඉතාමත් ලැජ්ජාවෙන් යුතුව ඔබ තුමාට කියනවා. මගේ ම රටේ සහෝදර ජන කොටසකගේ ජීවමය භාෂාව දැන නොසිටීම තරම් ලජ්ජාවක්! ඔබට ඌනෑම වෙලාවක අවසරය තියෙනවා මෙහි පලවෙන ඕනෑම ලිපියක් කිසිදු අවසරයකින් තොරව ඕනෑම සත් ක්‍රියාවක් සඳහා භාවිතා කිරීමට. කැමති භාෂාවකට හරවන්න. ඒවායේ කතෲ භාගය තබා මගේ නම ගම වත් තියෙන්න ඕන නෑ! ඔබට කල හැකිනම් ඕනෑම උදව්වක්!

      Delete
  10. හැක්! ඔයාට කියන්න මිස්ට තට්ස්, අපි පොඩි එවුන් කාලෙ චූ දාන්න ගියෙත් ඈං.. ඈං.. පීප්.. පීප්.. කාරෙකෙන් නෙව. ආ.. ටික කාලයක් වූ වූ.. වූ වූ.. කියලා නයිට් රයිඩර් කාරෙකත් පැද්දා.

    ඔබ කියන කතාව හරි. වර්තමානයේ මෝටර් කාර්මික ශිල්පය පිළිබඳ සියලුම දැනුම අන්තර්ජාලයේ තියෙද්දි, සුපිරි මට්ටමේ වීඩියෝ ලෙසන්ස් යූ-ටියුබ් එකේ තියෙද්දි, පොත් ගහන එකේ තේරුමක් නෑ.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම දැං ඉන්න එවුං ආසාවට වත් එහෙම ආතල් එකක් ගන්නවාද කියලා සැකයි!
      ඔව් යූ ටියුබ් එකෙන් නම් කෙරෙණ සේවය මෙතැකැයි කියන්න බෑ. දැන් ආයේ කාර්මික පොත් වලට නෝ චාන්ස්!

      Delete
  11. වැදගත් පොත් සෙට් එකක් වගේ.

    ඔය සබ්ජෙක්ට් එක ගැන පොත්නං මම කියවල නැති උනාට මේ කොම්පියුටර් මගුල ගැනනං ඉගෙන ගත්තෙම ඉන්දියාවෙ ගහන පොත් කියෝල තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් දැනට මෝටර් කාර්මික ශිල්පය ගැන තියෙන අංක එකේ පොතත් අන්ඩර් ලයිසන් ඉන්දියාවේ ගහන එකක් තමයි. ඔරිජිනල් පොත නම් රුපියල් දහ පහලොස් දාහක් වෙනවා ඇති!

      Delete
  12. තට්ට මහත්මයාට ආඩම්බරයෙන් කියන්නේ මමත් ජර්මානුවෙක් විත්තිය.1993 වසරේ ආධුනකයෙක් විදිහට ජර්මන් ටෙක් එකට බැදුනා.එවකට විදුහල්පති හිටියේ ෆෙස්‍ටස් පෙරේරා ගේ සහෝදර VLC පෙරේරා මහතා. 94 ආන්ඩු පෙරලියට පෙර ඒ මහතා හදිසියේ අභාවප්‍රාප්ත උනා. ගල්කිස්සේ තිබූ නිල නිවසත් විදුහල්පතිගේ BMW කාරයත් ආන්ඩු පෙරලියෙන් පස්සේ ආපු ලංගම සභාපති ගත්තා.දැන් එහෙම නිල නිවෙසක් නෑ. ඔබ කියූ පොත gtz ආයතනයෙන් දුන් එකක්. නිල්පාට හාඩ් කවරයක් තිබු එය අපේ කාලයේ පුස්තකාලයේ තිබුනා. සිඩ්නි සර් ගේ මෝටර් කාර්මික ශිල්පය පොතටත් සමහර කොටස් එකතුකරගෙන තිබුනා.පලමු වසරේ නවක වදයේ ජර්මන් චුයිංගම් ජර්මන් චොකලට්, ජර්මන් සුප් හා ජර්මන් යෑම් කරලා අන්තිමට ඔයිල් බාත් එකත් කාපු හා අපිත් කරපු සුන්දර අතීතයක් තිබුනා. ගොඩබිම් වාහනවලින් දියට බැස්ස නිසා රතගාය ඇගෙන් ගිලිහිලා ගිහින්. තට්ට මහතාට බොහොම ස්‍තූතියි සුන්දර අතිතයට අරන්ගියාට.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා විවිධ අවස්ථාවලදී මටම දමා ඇති කමෙන්ට් වලින් සහ කෙරුණු කථා බහෙනුත්: ජර්මානුවෙක් කියලා දන්නවා! ඇත්තටම ඒක ආඩම්බර විය යුතු කාර්නයක් ලෙසටයි මා දකින්නේ! දැන් ගොඩට ඇවිත් තියෙන එකේ ආයෙමත් රථ ගාය වැළඳ ගත්තාට කමක් නෑ කියලයි මටනම් හිතෙන්නේ! බොහොමත්ම ස්තූතියි!

      Delete
  13. එස්කිමෝ එකෙක්ට පොල්ගස් වල විස්තරයක් කිව්වා වගෙයි...

    හොඳට ලියලා නිසා ඊට වඩා කියලා මගේ නොදන්නාකමත්, මන්දබුද්ධික කමත් පෙන්නන්න අදහසක් නෑ දැනට

    ReplyDelete
    Replies
    1. එස්කිමෝවරු පොල්ගස් නගින ජාමෙට කොහෙද මේ සොහොන් පිටි අස්සේ කරකැවෙන්නේ?
      කොහොම උනත් ස්තූතියි අවාට ලිව්වාට!
      ඇයි පටන් ගන්නේ නැද්ද අතිබිහිසුණු කොණ්ඩා මෝස්තර, ඉළ ඇදෙන සටන්, ත්‍රාසජනක විහිළු පිරුණු සුහදිනියේ 2 හරි වෙනත් හරස් පරීක්ෂක කථාවක් හරි?

      Delete
    2. ඔය කිව්වේ 'සුනඛ අසිපත 2' ගැන වෙන්ඩෝනැ

      ජයවේවා!
      Myself Hattor

      Delete
    3. සොහොන්පිටි? ආ මෙව්වා දන්නා එවුන් එතන වෙන්ඩ ඇති දැන් ඉන්නවත් ඇත්තේ.

      ආයේ ඉතින් කියෝනව... නෑ නෑ උන් දෙන්නා ගැන හොයන්ඩ යන්ඩ විදියක් නෑ මේ ටිකේ... අන්න වෙන කතාවක් නම් දැම්ම. ඔබතුමා වගේ විද්වත් අයට බලන්ඩ තරම් දෙයක් නම් නැතුව ඇති. මොකද ඔය ජීප්, තුවක්කු එහෙම තාම නෑ.

      හැට්ටරේ: අනේ මෙහ් ! මම කිව්වාය කියල හිතාගන්න. මෙතැන මිදුලේ සන්ඩු වෙන්නත් බෑනේ. ඒ පැත්තේ ආවොත් බලාගම්මු ඈ ! ( තාම ඉන්නේ තීක්ෂණ මෝඩ් එකේ වගේ.. හි හි)

      Delete
    4. මෙතන වලි දාගන්න නම් බෑ ඔන්න! කෑවානම් බිව්වනම් ශේප් එකේ ඉන්නෝන!

      Delete
  14. Our love affair moved from vehicles to girls and back to vehicles (LOL)

    In my school we had to choose 2 of 3 (Wood work by Mr. Wadda, Metal work by Mr. Malakadaya or Motor mechanism by Mr.Merrill de Silva) guess what I choose, the rest is history. Once I did try unsuccessfully to get in to German Tech.

    All SL Motor Mechanics I met here are from Japan/German Tech and then worked in the Middle East and migrated here.

    Now a days my first car doctor is youtube and then the Motor Mechanic, no books.
    Wijebahu

    ReplyDelete
    Replies
    1. ඔව් විජේභාහු මහත්තයා! මමත් පාසලේදි තෝරා ගත්තෙත් මෝටර් කාර්මික. අපිට ඉගැන්නුවේ සුනිල් පියසිරි කියලා සර් කෙනෙක්!
      මට ජර්මන් ටෙක් එක මිස් වෙන්නේ හරිම කණගාටු දායක විදියට. ඇත්තටම මගේ ජීවිතේම ඒ හිංදා වසර ගනනාවකින් පස්සට ගියා කිව්වොත් නිවැරදියි.
      ඔව් විජේභාහු මහත්තයා මේ වන විට මමත් බොහෝ කාරණා කාරණා හොයා ගන්නේ ගූගල් දෙයියාට පිං දිදී තමයි.
      ස්තූතියි ගොඩ වැදුනාට. මම තාමත් ආසාවෙන් ඉන්නවා ඔබ තුමා බිරිඳ සමගින් ටොනෙඩෝවකින් බේරෙන්න පලා යාම ගැන! වෙලාවක ලියන්න.

      Delete
    2. Yes, it was called cyclone Yasi, we were in Port Douglas (with 2 kids on tow), could not get out by air, rented a 4WD and drove south, unfortunately cyclone was tracking south as well. Now it sounds an idiotic action.

      Delete
  15. තැන්කිව් මහත්මයා!
    ඇත්තටම මට සිංහලෙන් ඉගෙනගෙන ඉංග්‍රීසි වචනය නොදැනීමත්, ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන සිංහල වචනය නොදැනීමත් නිසා බොහෝ අකරතැබ්බ වී තිබෙනවා. සිංහලෙන් නව වචන නිපදවනවාට වඩා ඉංග්‍රීසි (හෝ වෙනත් භාෂාවක) වචනය එලෙසින්ම පාවිච්චි කිරීමේ වැරැද්දක් මා නම් දකින්නේ නෑ. කෙසේ වෙතත් වන්නේ අලුත් වචනයකින් අපේ භාෂාව සන්නද්ධ වන එක ගැන නම් සතුටුයි.
    ඔය මොන භාෂාවෙන් ගත්තත් ඒ වචනවල මුල සිංහලලු නේ. අපේ අහුබුදු ශුරින්ට අනුව. ශේක්ස්පියර් තුමා මේ දෙවිනුවර (දෙවුන්දර) කෙනෙක්ලු නේ. එයාගේ පරම්පරාවේ. 'සීක්කුපියර' වාසගම සහිත ය තවමත් දෙවුන්දර සිටිනවානේ.

    කෙසේ වෙතත්, "කම්පන පරිමන්දකය" ගැන දැනගැනීම සතුටක්. මගේ කෝච්චි කතාවේ ඉතිරි කොටස (ලිව්වොත්), කොළඹ කොටුවේ සිට කළුතර උතුර දක්වා කොටසේ, ඔය පරිමන්දකේ අවුලක් ගැන තමා තියෙන්නේ.

    අර රාළහාමිට "කොම්පඤඤවීදිය" උගන්නපු නැති එක ගැන නම් මගේ විප්ලවීය අනාචාරය පුදකරමි.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම හැට්ටර් මහත්තයා අපි මොනතරම් වචන පාවිච්චි කරණවාද වෙනත් භාෂාවලින් අරං. ඒවා සියල්ලටම සිංහල වචන හදන්නයි ඒවා පාවිච්චි කරණ්න ගියොත් ඒක තරමක විහිළුවක් වේවි. නමුත් සමහර සිංහල වචන නිපදවීමේ වටිනාකමකුත් නැත්තේම නෑ.
      දැන් අයිස් ක්‍රීම් වලට "හිම කිරම", කුඩේට " හිර වරණ" ඔය වාගේ වචන භාවිතා කරණ්න ගියොත් ලොකු අවුලක් වේවි. ඒත් ටෙලිෆෝනයට; තලපනුව නොකියා දූරකථනය, ස්ප්‍රිතාලය නොකියා ආරෝග්‍යශාලාව, බයිස්කෝප් නොකියා චිත්‍රපටිය, කෝච්චිය වෙනුවට දුම් රිය වැනි වචන හදපු එකෙත් පොඩි ගතියක් තියෙනවා.
      "කඩේට ගිහින් කුඩයක් ගෙනාවා" කිව්වාම සීයට 50ක් ම දෙමළ!
      "ලිව්වොත්! ලිව්වොත්!!" කිය කියා ඉන්නේ ඇයි පොලීසියෙන්ද ලියන්නේ!? ඉක්මණට ඒක ලියන්න! ඒ කථාව නැවැත්තුවේ හරියට බෲස්ලිගේ "එවන්ඩද ගැරඬියා!?" බයිස්කොප්පේ අන්තිම ෆුල් සීරියල් පයිට් එක භාගයක් යනකොට ලයිට් ගියා වගේ! කරුණාකර ඒක ලියන්න පටං ගන්න! කථාව ලියලා බෝතලේකට දාලා මධ්‍යධරණී මූදට වීසි කලානං මේ වෙනකොට අපි ඒකට පිළිතුරු ලියනවා.
      කොම්ප කඳ කඳ වීදිය නේද?

      Delete
  16. ඔය ටෙක්නිකල් ටර්ම්ස් සිංහලයට පෙරලන ඇම්ම ඒ ඒ ක්ෂේත්‍ර වල ඉන්න සමහරක් පණ්ඩිතයන්ට තදටම තියන උණක්.

    වැඩිය දුර යන්න ඔන නෑ දැං කාලෙ ඉස්කෝල අයි ටී පොතක් හරි විජ්ජාව පොතක් හරි පෙරලුව නං තේරෙනව මොන බොරුද මේ කරන්නෙ කියල.

    ළඟදි පරිවර්තන කීපයක් කියව්ව. ඔක්කගේම තිබ්බ ලොකුම අවුලක් තමා ඔය ටෙක්නිකල් ටර්ම්ස් සිංහලට කණපිට ගහන එක.

    අපූරු ලිපියක් තට්ට මමා.. ජය

    ReplyDelete
    Replies
    1. ඔව් සිංහල වචන වලින් ඉගෙන ගත්තාම එතැනින් ඉදිරියට යන්න බොහෝ දුෂ්කර කටයුත්තක් වෙනවා ! ස්තූතියි මහේෂ් මහත්තයා!

      Delete
  17. ලොකු සර්, හිර වරණ කියන එක කුඩේට නෙවේ ගේල්ස්ල අඳින ස්කර්ට් එකට නං අපූරුවට ගැලපෙනව!

    ReplyDelete
    Replies
    1. හිරට අඳින වර්ණවත් ඇඳුම් = හිරවරණ! එළනේ!?

      Delete
  18. Great. Ayeth blog walata pamineema great🌹❤👍

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ආදරයෙන් සාදරයෙන් යුතුව පිළිගන්නවා ඔබ තුමාව. මම ඒ පැත්තේ ගියා. ම අදැක්කා තෙන්නකෝන් විමලානනද මහතා ගැන ලියැවුනු ලිපියක් පිළිබඳව කුඩා සඳහනක්! ඒත් ඒ ලිපිය හොයා ගන්නට බැරි උනා නෙව!? ආයෙත් ගිහින් බලන්නම්! පොඩිත්තක් ඒක සොයා බලනවාද?

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...