Wednesday, June 5, 2024

225. Kapruka.com සහ අලින්ගෙ අපේ වැඩ!



මේ දවස් වල එකසිය ගානට මුහුණු පොතේ  ඔන් ලයින් බඩු විකිණීම  නැගලා යන බිස්නස් එකක් වෙලා තියෙන බව පෙනේ! 

මෙය මේ වන විට සරුවට යන බිස්නස් එකක් වී අවසන්ය. එහෙත් මුහුණු පොතේ සහ වෙනත් සමාජ මාධ්‍යය වල මෙම වෙළෙඳ දැන්වීම් වලට "හොම්බට අනින්නාක්" මෙන්; "ඔන් ලයින් බිස්නස් වලට අහුවෙන්න එපා - ඉල්ලුව එක නෙවේ ලැබෙන්නේ!" කියා කෑ මොර දෙති.

අපේ රටේ බොහෝ දෙනා බිස්නස් පටන් ගන්නේම "ගේමක් ගහන්න පුළුවන්නේ!" කියාමය.

බිස්නස් එකක් අතර හෝ කරගෙන යාමේදී මොකක් හෝ අවුලක් වූ විට කරණාවූ "ගල් මාට්ටුවක්" නොව වැඩේ පටන්ගන්නේම කාව හෝ "ඇන්දවීමේ" අදහස මුලට දා ගෙනමය!

"මනාලියන් ඇන්දවීමේ" පටන් මිනියට අන්දවා පෙට්ටියකට දැමීමේ තැන දක්වාම කෙරෙණ්නේ ගේම් දීමමය!

වෙනත් රටවලද මේ ඔන් ලයින් ඇන්දවීම මෙසේමදැයි මා නොසිතමි. එහෙත් බොහෝ විට අපේ රටේ නම් සිදුවන්නේ රැවටීමක් මය!

මීට වසර දෙකකට පමණ පෙර මාගේ විවාහ සංවත්සරය වෙනුවෙන් බිරිඳට අත් බෑගයක් ලබා දීමට මා හට සිත්විය. එය අහම්භයක්සේ ඇයට ලැබෙන්නට සැලැස්වීම මාගේ අභිප්‍රාය විය.

මේ සඳහා බෑගයක් තෝරා මා ඒ ගැන මාගේ දියණිය කල්මිට දැනුම් දුන් අතර ඇයද ඔන් ලයින් බෑග් තේරීම ඇරඹීය.

අප මේ සඳහා තෝරා ගත්තේ මෙරට ඔන් ලයින් පුරෝගාමීන් වන Kapruka.com ය.

මාගේත් දියණියගේත් නෙත් නැවතුනේ කොල පැහැති  (Bottle Green)     අත් බෑගයක් මතය.

මා කප්රුක ඇමතිමි. එහා කෙළවරෙන් "මට සිංහල බෑ" මොඩලයෙන් පිළිතුරු ලැබුනි!

අපගේ සංවත්සරය යෙදී තිබුනේ බදාදා දිනයකය. අප ඇනවුම දියත් කලේ අඟහරුවාදාය. 

"සර් හෙට නම් කොහොමටත් සප්ලයි කරණ්න බෑ! මේ දවස් වල අපේ ස්ටාෆ් එක අඩුයි!! සර්ට ඕන නම් අපි තර්ස්ඩේ ඩිලිවරි එක කරලා දෙන්නම්!" 

"මගුලයි!" මටම කියැවිනි. මම එකසිය ගානට බැගෑපත් වූවද වැඩේ කර ගන්නට නොහැකි විය. කප්රුකේ තරුණයා ඇතාගල සේය! පොඩිත්තක් වත් වෙනස් වන පාටක් නැත!

බ්‍රහස්පතින්දා බෑගය යැවීම අමුම අමු නඩුවකි. එහි ප්‍රථිපලය "ඔයාට ඒ දවසවත් හරියට මතක නෑනේ!" කියා කෙඳිරියකට සවන් දීමට සිදු වීමය.

මම වෙනත් අදහසක් කප්රුකේ උතුමාණන් වහන්සේට කීවෙමි.

" හරි ඔයා මෙහෙම කරණ්න! ඕක සෙනසුරාදා උදේම ඩිලිවර් කරණ්න! හැබැයි ඔය මම කලින් කිව්ව ඔෆිස් එඩ්‍රස් එකනෙවේ. අපේ ගෙදරට කඩවතට!"

"ඕ කේ සර්!" වැඩේ ගොඩ ගියේය.

සංවත්සරය යෙදුනු දිනය මෙලෝ රහක් නැතිව ගලා ගියේය. දිනයේ උදෑසනම මා ඇයටත් ඇය මටත් සුභ පැතුවෝය. පසුදිනද එසේමය. සතිය ඉක්මණින්ම අවසන් විය.

සෙනසුරාදා බිරිඳත් මමත් සතියේ දිනවල හිරු රැසින් එකිනෙකා ගේ මුහුණ දකින දවස් දෙකින් එකකි!

එදිනට ඇයත් මමත් දෙදෙනාම නිවසේය.

බෑගයේ ප්‍රමාණය සෙන්ටි මීටර වලින් මැන දක්වා තිබුනු අතර එය  පිටුවක් තරම් විය. 
හොඳ සයිස් ය!
ලොකුත් නැත.
පොඩිත් නැත.
පාටත් හොඳය - අන් කොමන් ය.
එළම කිරිය.
අද මේ බෑගය එන දවසය!
එළම එළය!!

සෙනසුරාදා උදෑසනින්ම මා හට බෑගය මතක් වූවේ නැගිටින්නටත් කලින් වාගේය!
එදින උදෑසන සාර්ථක එකක් නොවීය. කුමක් හෝ කාරණයකට බිරිඳ මා සමග උරණ වී සිටියේය.
සමහර විට උදේම දොර අරිණ විටම ඉස්තෝප්පුවේ වාහනයක් කොටසක්, පරණ ටයරයක්, තණකොළ කපන මැෂිම වැනි අරුමෝසං භාණ්ඩයක් තබා තිබෙන්නට පුළුවන.
නො එසේ නම් ඉස්තෝප්පුවේ පුටුවක බල්ලෙක් ලැග සිටියා විය හැක! පෙර දින ඉස්තෝප්පුවේ පුටු කණපිට පෙරළීමට මට අමතකව ඇත! 
මෙවැනි කුමක් හෝ කාරණයක් නිසා ඇය උරණව සිටියාය.
(අනෙක ගෑනුන්ට මිනිස්සු සමග මළ පණින්නට හේතුවක් ඕනෑම යෑ!?) 

මේ සියල්ල සමගින් ඉස්තෝප්පුවේ පුටු දෙක මත අප දෙදෙන උදෑසන වාඩිවී තේ බොමින් සිටියෝය. ඇයගේ කේන්තිය පහව යමින් විය. ඒ සියල්ල  සමග මාගේ යටිසිත බලා සිටින්නේ කප් රුකේ බුවා; බෑගය රැගෙන ගේ මිදුලෙන් මතුවන තුරුය. වෙනදා ඇය කියනා සෑම වචනයක් පාසාම "එල්ලෙන" මා එදින කිසිවක් නොකියා ඇතුලතින් සිනා සෙමින් සිටියෙමි. තව කුඩා වේලාවකින් ඇය අතට පත්වන "අහම්භය" සියළු දෝෂ භ්ංග කරණු ඇත. ඇය ප්‍රීතියෙන් ප්‍රමෝදයට කෙසේ වෙතත් පොඩි පහේ "ලල්" එකකින් දවස අරඹනු ඇත. 
එක වරම මාගේ දූරකථනය නාද විය.
මා තිරයට එබුනු අතර එහි වූයේ  0117551111 වැනි රටාත්මක අංකයකි.
"හරි අම්මට සිරි කප්රුකෙන් කඩවතට ඇවි අපේ ගේ හොයනවා වෙන්නෝන!" මා පුටුවෙන් නැගිට ඉස්තෝප්පුවෙන් මිදුලට පය තබමින්ම ඇමතුමට ඇමතීමි.
"ගුඩ් මෝනිං  . . . . . !" ඔහු කියන්නට මත්තෙන් මමම පටන් ගත්තෙමි!
"ගුඩ් මෝනිං සර්! මේ එම් එස් පෙරේරා මහත්තයා නේද?"
"ඔව් පුතා හරියටම හරි!"
"සර් ලේඩිස් හැඇන්ඩ් බැඇග් එකක් ඕර්ඩකරලා තියෙනවා!"
"හරි පුතා!!"
"සර් ඒකේ හැන්ඩ්ල් එකේ පොඩි ඩැමේජ් එකක් තියෙනවා කමක් නැද්ද?"
මම ඇනවුම ස්ථාපිත කලේ අඟහරුවාදාය. අද එදා සිට ගෙඩි පිටිං දින හතරක් ගෙවී ගොස් ඇත. අද මූ මරු කියවයි. මට ඊළඟ මොහොතේ කුමක් සිදුවීදැයි මටම සිතා ගත නොහැකි විය!
"ඒක දීපං පරයො තොගෙ ගෑනිට!"
"මොකක්ද සර්!!?"
"ඒක දීපං උඹෙ ගෑනිට! ඩැමේජ් වෙච්ච එක!" එතැන පටන් මා කෑ ගැසුවේ යටි ගිරියෙනි.
"උඹට මම ඔර්ඩරේ දැම්මේ කවදද? උඹලා පොලෙං කීර මිටියක් ගේනවා වගේද කස්ටර්මර්ස් ලට බඩු එවන්නේ? අද උදේද උඹට මතක් උනේ මගේ ගෑනිගේ බෑග් එක?
මා ජීවිතේ කොතරම් අසභ්‍ය බසින් "අමතා" ඇති මුත් නිවසේදී හා නිවැසියන් ඉදිර්යේ එසේ නොකිරීමට පසු ගිය වසර 25ක කාලය පුරාවට පරිස්සම් වී ඇත. එහෙත් එදින ඒ සියළු වක්කඩවල් කැඩී ගියේය. මා දන්නා සුපිරිම වඳුරු කුණුහරුපයෙන් අමතන්නට විය!
මා කෙතරම් මහා හඬකින් ජාතිය ඇමතුවේද යත් වටා පිටා නිවෙස් වල බල්ලන් මහ හඬින් බුරන්නට පටන් ගත්තෝය!
"මෙන්න මේ ඇතුලට ඇවිත් කියන මගුලක් කියා ගන්නවා! හතර විළිලැජ්ජාවේ බෑ . . .!" ඒ අපේ බිරිඳය.
මොහොතකින් දුරකථනය  ඒ දෙසින් කපා දැමුවේය!
"මොකද්ද වෙලා තියෙන්නේ ඔයා මේ රටටම ඇහෙන්න කෑගහන්නේ!?" 
මම සිද්ධිය බිරිඳට එකින් එක කීවේය! ඇයට කුමන මොඩලයේ හැඟීමක් ආවාදැයි මට සිතා ගත නොහැක.
"දැං මොනා කරණ්නද?" ඇය විස්සෝප විය. "දැං කෑගහන්නේ නැතිව කාඩ් එකෙන් කපා ගත්තු සල්ලි ටික ආයේ ගන්න බලන්න!"
ඊළඟ මොහොතේ උන් මට ඇමතුවා ද නො එසේනම් මා උන්ට කතාකලා දැයි නොදනිමි.
යලිත් කථව පටන් ගති. 
"මට කරුණා කරලා මගේ සල්ලි ටික රී ඉම්බර්ස් කරණවා දැං!" මට දැන් ඉතිරිව ඇත්තේ ගෙවපු මුදල ආපසු ගෙන වෙන තැනකින් ඇයට බෑගයක් හෝ වෙනයම් තෑග්ගක් අරං දීමටය!
"සර් අපේ රී ඉම්බර්ස් පොලිසි එකේ විදිහට සර්ට සති දෙකකින් සල්ලි ලැබෙයි!" 
"මොකක්ද XXXX පුතෝ ඒ කථාවේ තේරුම! මෙච්චර වැඩේ කෙළවලා තියෙන කොට තව සති දෙකක් බලා ඉන්නෝනද මම මගේ සල්ලි ටික ගන්න! ඕක දාපං මැහේජර් කෙනෙක් ගාවට!"
"සර් මම කම්ප්ලේන් එක දාන්නම්. සර්ට පැය 48ක් ඇතුලත අපේ මැනේජර් කතා කරයි!"
"@#$%&^*OU@$ඝ්%ඝ්^^&&&&&&!%%!&()UඵෛඓH<ණ්ඹ්ඵ්O*&%*"
 මා මොනවා කීවාද නොව මොනවා නොකීවාදැයි මතක නැත! සුපිරියටම මා ඇමතිමි. "උඹ දැණ ගනිං මම දන්නවා උඹලාගේ ඔෆිස් එක තියෙන තැන! නුගේගොඩ හයිලෙවල් පාරේ! මම දැං උඹගේ ඔෆිස් එකට එනවා. උඹට මම ජීවිතේට ඉගෙන ගත්තු නැති පාඩමක් උගන්වලයි නවතින්නේ! පොඩ්ඩක් හිටපං!" මම දූරකථනය විසන්ධිකර ගේ තුලට ආවේ ඇඳුමක් දාගෙන නුගේගොඩ බලා පියාඹීමේ අදහසිනි!
ඒ සමග තවත් ඇමතුම් දෙකක් පැමිණියේය. ඒ කාන්තා කටහඬ දෙකකිනි. මා ඔවුන්ට ඉතා කාරුණිකව පැවසුවේ මා හට කතා නොකරණ ලෙසය! 
"මම මේ ඉන්න තත්වෙ හැටියට මට මොනවා කියවේද දන්නේ නෑ! කරුණාකරලා ඔයාලා කථා කරණ්න එපා! පිරිමියෙකුට කතා කරණ්න කියන්න!"
තවත් විනාඩි 10ක් ගෙවෙන්නට් ඇති ඒ දෙසින් ඉතා තැණ්පත් හඬින් කාන්තාවක් කථා කලාය!
"සර් මම කස්ටෙර්මෙර් කෙයා මැනේජර්! මම දන්නවා සර්ට අපෙන් සිදුවුනු වරද! මට පොඩ්ඩක් සර්ට කථා කරණ්ණ පුළුවන්ද?"
මා සිදුවූ සියළු කරුණු ඇයට වචනයක් නෑර පැවසීය. ඇය සියළු කරුණු කාරණා ඉතා සාවධානව අසා සිටියය. අවසානයේ ඇය වෙනත් ඕනෑම බෑගයක් තෝරා ගන්නා ලෙස ඇය මාහට අවස්ථාවක් ලබා දුන්නීය. 
"නැ! මට අද මේ මොහොතේ සල්ලි ඕන! වෙන කිසිම ඔප්ශන් එකකට මම කැමති නෑ! බොහොමත්ම ස්තූතියි මිස්!" මම ඒ මතයේම සිටියෙමි.
"සර් අපේ රී ඉම්බර්ස් පොලිසි එකේ හැටියට සර්ට සති දෙකක් යනවා සල්ලි ගන්න!" ඇයද පෙර කථාවම පැවසීය!
"මිස් මට කියන්න ඔයාගේ සිවිළිමේ හයි කරලා තියෙන ෆෑන් එකක් ගැලවිලා වැටිලා කාගේ හරි බෙල්ල කැපුනොත් 
ඒ මනුස්සයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න සල්ලි පාස් කර ගන්න සති දෙකක් යනවද? කොහොමද ඒ වෙලාවට සල්ලි හොයා ගන්නේ?"
"සර් පෙටී කෑශ් වලින්!"
"ආන්න එකෙන් මගේ සල්ලි ටික බැංකුවට දාන්න! ඔයාලා පෙටී කෑශ් එක සති දෙකකින් බේර ගන්න!"
"හරි සර් මම පුළුවන් දෙයක් කරණ්නම්!"
ඊළඟ විනාඩි 20 ඇතුලත මාගේ ගිණුමට මුදල් බැරවී තිබුනි.

ඔවුන් මා ඇනවුම් කල දිනයේ මා බැගෑපත්වෙද්දී භාන්ඩය යවා එහි පළුද්දක් වුනි නම් එය විසඳෙන්නේ මේ ආකාරයට නොවේ.
මා ඔහු නම් පාරිභෝගිකයා වෙත මෙම පලුද්ද පිළිබඳව දන්වන්නේද මේ ආකාරයට නොවේ.
"සර් ගෙදර ඉන්නවද? අපි ඩිලිවරි එක රෙඩි කරණ්න හදන්නේ. සර් ඒකට මොනවා  ග්‍රීටිං එකක් ලියලා කාර්ඩ් එකක් දාන්න පුළුවන්! සර්ගේ මැඩම්ගේ නම කිව්වානං. ආ සර් ඒ බෑග් එකේ යාන්තම් පොඩි මාර්ක් එකක් තියෙනවා හැන්ඩ්ල් එකේ. ඒක එහෙමට පේන්නේ නම් නෑ. සර්ට මම ෆොටෝ එකක් දාන්නද?"
මම කථාව කියන්නේ ජාතක කථාවක්ද අමුනාය. එවිට පාරිභෝගිකයා මා සමග පොඩි පහේ සම්බන්ධයක් ගොඩ නැගී අවසන් ය!

මා වසර 12කට ආසන්න කාලයක් සේවය කල යුනයිටඩ් මෝටර්ස් ආයතනයට සේවාව සඳහා ගෙන එන වාහන ඉඳ හිට අනතුරට පත්වේ. පාරිභෝගිකයා නොමැති අවස්ථාවලදී සිදුවන එවන් අනතුරු ඔහුට දැන්වීමට රාජකාරියෙන් බැඳී සිටියේ මාය. මා හෝ ආයතනයේ සේවකයෙකු කිසිදා කුණු හරුප අසා නැත!
ගුටි කාද නැත!!
අප එම සිද්ධීන් ඉතා සුහදව හා සාධාරණ ලෙස කළමනාකරණය කලෙමු!

බොහෝ වෙළෙන්දන් සහ සේවා සපයන්නන් පාරිභෝගිකයෙකුගේ වටිනාකම නොදන්නේය. ඔවුන් සිතා සිටින්නේ පාරිභෝගිකයින් අහසින් පහල වන්නන් කියාය. එසේ නැත. ඔවුන් දිනා ගත යුතු පිරිසකි.
එවන් සිද්ධියක් මෙහිදී මා හට මතකයට ඒ. . . . . !

මගේ මතකයේ හැටියට වසර 2010 විය යුතුය. වසර නිවැරදි නම්  දිනය ජනවාරි 24 විය යුතුමය.
2010 ජනවාරි 24 යනු මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා  පෙනී සිටී ජනාධිපතිවරණයට පෙර දිනයයි. මා එකල සේවය කලේ හයිඩ් පාර්ක් කෝනර් හි අපගේ වැඩහලේය. එදින එතරම් වාහන පැමිණි දිනයක් නොවීය. හවස් වරුවේ නිල් පැහැති මිට්සුබිෂි ලාන්සර් රථයක් සේවාව සඳහා පැමිණියේය. 
ඒ මොහොත වන විට: එදින සේවාව සඳහා වාහන ගෙන අවසන් වී තිබුනි. එහෙත් ඒ මහතාගේ බලවත් ඉල්ලීම නිසාම අපද බලවත් දුෂ්කරතාවය මැද ලාන්සරය සේවාව සඳහා ලබා දීමට ගත්තේය!
එකල අපගේ සේවා ස්ථානයට එන වාහන වල බඳ සේදීම (Body wash) සඳහා ඇහැළියගොඩ සිට පැමිණි වයෝවෘද්ධ අයෙක් විය. පෙරකී ලාන්සරයේ සියළු සේවා කටයුතු අවසන් කොට බඳ සේදීම සඳහා යොමු කොට තිබුනි. බඳ සේදීමෙන් අනතුරුව ලාන්සරය එතැනින් පසුපසට ගන්නා විට පෙරකී සේවකයා වාහනයේ ග්‍රිල් එක මත (ෂෙල්) සබන් පෙන ස්වල්පයක් දැක ඊට ජල විදිනයෙන් (High Pressure Gun) වතුර ඇල්ලුවේය. ඊලඟ තත්පරයේදී වාහනයේ එන්ජිම තුලින් යකඩ දෙකක් එකට ගැටෙන හඬක් නික්මිණ. ඒ හඬ එන්ජිමේ වේගය සමග උස්පහත් විය.
ලාන්සරයේ එයාක්ලීනරයට වාතය ඇද ගන්නා මුව (Air Cleaner Duct Line) ඇත්තේ ඉදිරිපස ග්‍රිල් එක අසලමය! එතැනින් ජලය වාහනයේ එන්ජිමට ඇදගන්නට ඇතැයි මා සිතුවෙමි.
මේන්න මේ බටය දිගේ තමයි ඇංජිම හුස්ම ගන්නේ. කොටිංම මේ අංජිමේ නහය කිව්වත් වරදක් නෑ!
මේ ඇංජිමේ නහය පෙනහළු ඇතුළු අනෙකුත් ස්වසන පද්ධතියේ ගැජ මැටික් ටික.
බලන්නකෝ නහය තියෙන්නේ කොතනද කියලා! අපේ වගේම මූන ඉස්සරහින්ම තමයි. ඇංජිමට පීණස හැදුනේ ඔතනිං වතුර ගිහිං තමයි.
මම වහාම මේ පිළිබඳව මාගේ සාමාන්‍යාධිකාරී පද්මන් වන්නිආරච්චි මහතා දැන්වූවේය. පැය භාගයක් නික්ම යන්නට මත්තෙන් එකල ඔරුගොඩවත්තේ මෝටර් රථ අංශයේ වික්‍රමපාල හෙවත් වික්‍රම අයියා හයිඩ් පාර්ක් එකට පැමිණියේය. ඔහු වාහනය පරීක්ෂාකොට බලා එන්ජිම තුලට වතුර ගමන් කොට (Hydro Lock)     එකක් සිදුවී ඇති බව නිගමනය කලේය.      Hydro Lock  එකක ප්‍රථි පලය වෑල්ව් ඇද වීම, ක්‍රෑන්ක් කෑම් ඇදවීම හෝ කැඩීයාම, එන්ජිම් බ්ලොක් එක පුපුරා පිස්ටන් අත් එලියට ඒම, පිස්ටන් අත් ඇදවීම වැනි භයානක ප්‍රථිපල ගෙන දෙන ක්‍රියාවකි. මා මේ ගැන සවිස්ථරව මෙතැන ලියා ඇති අතර මේ වැහි කාලේ එය කියවා බලන මෙන් සැමට ආරාධනා කරමි.
වික්‍රම අයියා; පදමන් වන්නිආරච්චි මහතාව දැනුවත් කිරීමෙන් පසුව පද්මන් මහතා එම දුරකථනයෙන්ම මා ඇමතීය.
"වික්‍රම වාහනේ තිබුනු විදියට හදලා දෙයි. පාරිභෝගිකයාට පහදලා ගැටළුවක් නො එන්න වැඩ සලසා ගන්න එක තමුන්ගේ වැඩක්! වාහනයක් පරිස්සම් කරලා ඔතන මිනිස්සුන්ට සේවාවක් කරලා දෙන්න බැරිද? තමුං ඕවා බලන්නේ නැද්ද! දැං ඔය පාරිභෝගිකයා මොකද කියන්නේ?"
"සර් මම කිව්වා මගේ වාහනෙන් එයාගේ වැඩ ටික කරලා දෙන්නම් කියලා . . . . . !"
"හං හං ! එයා ඒකට කැමති උනාද?"
"ඔව් සර්!"
"මම නං ඕවා දන්නේ නෑ! ඕවාට ආයතනයට වග කියන්නත් බෑ!
"හරි සර්!"
තවත් පැයකින් පමණ පාරිභෝගිකයා ආවේය.
ඉතා සෙමෙන් මා සිදුවූ දෙය පැවසුවේය.
එන්ජිම තුලට වතුර යන්නට ඇති බව නොකීමට මා පරිස්සම් විය.
"මේ සද්දෙත් එක්ක් වාහනේ රිලීස් කරණ්න එපා කියලා අපේ G.M. කිව්වා සර්! ඔරුගොඩවත්තට යවලා වාහනේ චෙක් කරලම සර්ට වාහනේ දෙන්නම්! අදට සර්ගේ වැඩ ටික මම කරලා දෙන්නම්"
"ඔයා දන්නවාද හෙට මට තියෙන වැඩේ? මම තමයි හෙට තියෙන මැතිවරණෙ ගම්පහ දිස්ත්‍රිකයේ ARO සහකාර තේරීම් භාර නිළධාරි - Assistant Returning Officer! හෙට දවසේ දිස්ත්‍රික්කෙ පුරා දුවන්න මට වාහනේ ඕන!
ඒකාලේ පැන්තරය මා ළඟ විය.
"සර් අවුලක් ගන්න එපා! මම සර් එක්ක අද ඉඳන් වාහනේ දෙන තුරු මගේ වාහනෙන් එන්නම්!"
ඔහු මා දෙස පුදුමයෙන් බලා සිටියා පමණි. ඔය අතරේ ඔහුත් මාත් අතර කුඩා දෙබස් කිහිපයක් හුවමාරු වුවත් කොහෙත්ම ගැටුමක් සිදු නොවීමට මා වග බලා ගත්තේය. අපරාදේ කියන්නට බැරිය. ඔහුද ගැටුමකට මග පෑදුවේ නැත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු නිවුනු "මහත්මයෙකි" !
ලාන්සරය ඔරුගොඩවත්තට යැව්වෙමි.
හවස මා වාහනය රැගෙන පාරිභෝගිකයා සමග පිටත් උනෙමි. ඔහුගේ පාසල් යන දියණිය උපකාරක පංතියකින් ගන්නට තිබුනි. ඉක්බිතිව ගම්පහටත් ඉන් ඈත  ගමකටත් ගොස් ඔහුව ඇරලවන්නටත් මට සිදුවුනි. 
ඒ සියල්ල කරණාතරතුර ඔහු මාගේ කිට්ටු හිතවතෙක් වී අවසානය. ඔහුව ගම්පහ නිවසට ඇරලවා ආපසු මා හැරුනේ හෙට උදෙම මැතිවරණ රාජකාරි සඳහා දිස්තික්කය පුරා ඇවිදීමට මා එන බවට පොරොන්දු වෙමිනි. එහෙත් මා මද දුරක් එනවිට ඔහුගෙන් ඇමතුමක් ලැබුනි. ඉන් පැවසුනේ  වෙනත් වාහනයක් සොයා ගැනීමට ඔහු උත්සාහ කරණ බවත් හෙට දිනයේ ඔහුව රැගෙන යාමට පැමිණීමට නිවසින් පිටත් වීමට පෙර ඔහුට ඇමතුමක් දෙන ලෙසය. 
පසුදින උදෑසන මා 6.00ට පමණ ඔහුට ඇමතුමක් ගත්තේය.
"ගුඩ් මොර්නිං! ඔයා කරදර වෙන්න එපා මම වාහනයක් හොයා ගත්තා! ඔයා පුළුවන්තරං ඉක්මනට හොඳට මගේ වාහනේ හදලා දෙන්නකෝ!"
වික්‍රම අයියා වාහනේ පසු දින හවස් වන විට ලාන්සරය සුපිරියටම අළුත්වැඩියා කොට තිබුනි. පාරිභෝගික මහතාව මා දැනුවත් කලද ඔහු වාහනය රැගෙන යාමට පැමිණියේ තවත් දින දෙකකට පමණ පසුවය.
 ආයතනයට පාරිභෝගිකයාව රැක දෙන්නට මට හැකියාව ලැබුනි. මටද ගැටළුවක් නොවීය. පාරිභෝගිකයා හට සිදුවූ හානිය පියවා දීමට මට හැකිවිය.

ඔහු වාහනය රැගෙන ගියේ මා හට ස්තූතිය පුදකොටය!
බොහෝ කලක් යන තුරුත් ඔහු සහ ඔහුගේ රථය යුනයිටඩ් මෝටර්ස් සේවා ස්ථානයේ දක්නට ලැබුනි.


Sunday, May 26, 2024

224. තිස් වසරක රථ මතක (17)


සතොසෙන් (සතොස මෝටර්ස් වෙතින්) ලක්ෂ දාසය හමාරකට ලැබුනු වන්ඩිය මගේ අතට ආවේ ලක්ෂ 18ක් ගෙවාය! ඒ මාගේ මාමණ්ඩියගේ වීරක්‍රියා හේතු කොටගෙන ලැබුනු ලාභයකි! කෙසේ හෝ වේවා එයින් ගිය යාපනය ගමන ඉතා සුන්දර එකක් විය. පැන්තරය බොහෝ සෙයින් සැප පහසු වාහනයකි. ප්‍රසිද්ධ ගායක සුනිල් එදිරිසිංහද පැන්තර ලෝලියෙකි. ඔහු ලඟ බොහෝ කලක් පැන්තරයෙක් රජකල බවක් මා අසා ඇත. 
එහෙත් එය මිළදී ගත් අලුතම වාගේ; මා පෙරකී රුපියල් දෙකේ කාසියක් තරම් වූ; ඉදිරිපස හබ් බෙයාරිම දෙමටගොඩදී කැඩී විසාල කරදරයකට මුහුණ පෑවේය. මේ නිසාම පැන්තරයාගෙන් නිදහස් වීමට මා සිතා ගත්තෙමි.

එක් දිනක් මහ මගදී හමුවූ අයෙක් මා සමග කීවේ මෙම රථයේ ඉදිරිපස සබ් ඇක්සල් Sub Axels, සස්පෙන්ශන් කොටස් Suspension Assy, නකල් Knuckel, හබ් Hub යනාදි සියල්ල වෙනුවට; ගැලපෙන;  ජපන් වාහනයක කොටස් යොදා නවීකරණය කල හැකි බවයි. ඊට අනුකූල පිටුපස ඇක්සලද වෙනස් කල විට සියළු රෝග නිවාරණය වන බවක් කීවේය. මෙම නවීකරණය කරන්නට අවශ්‍යනම් වාහනය නාවලපිටියට (හෝ ගම්පොළට) ගෙන ආයුතු බවත් පැවසීය. 

ඒ සඳහා යොදා ගන්නා ජපන් වාහනය කුමක්දැයි මා කිහිප වරක් ඇසූ නමුදු එය නොකීමට ඔහු පරිස්සම් විය!

ඒ මිනිසුන්ගේ හැටි ය! 

සාමාන්‍ය ගෙදරක සියළු අවශ්‍යතා පිරිමසා ගැනීමට එය සුපිරි රථයකි. ඉදිරිපස සැප පහසු අසුන් දෙකක් ඇති අතර දෙවන පේලියේ ආසන තුනකි. පිටුපස මලු හෝ භාන්ඩ තැබීමට විශාල ඉඩකි. පස් දෙනෙකුගේ සතියක ඇඳුම් කැඩුම් දමාගෙන සතියක ගමනක් යාමට වුවද එය ගැලපේ. 

"එහෙනම් අහවල් එකකටද විකුණන්නේ?" ඔබ මගෙන් අසාවි.

අංක එක එය ෆෝවීල් වාහනයක් නොවීම.

දෙක ඉදිරිපස වීල් බෙයාරිම්; වාහනයේ බරට සුදුසු සේ සකසා නොමැති බැවින් ඒවා ඉතා ඉක්මණින් මාරු කිරීමට සිදුවීම.

තුන මාගේ දරදඬු වාහන භාවිතාවට එය නොගැලපීම.

ඉරිදාට; වසික රැගෙන යන ගමනට එය ඔරොත්තු නොදෙන බව යටි සිත සෑම මොහොතකම පැවසීම!

සමහර විට එය හිතළුවක්ම වෙන්නට ඇත.  පැන්තර ජීවිතකාලය පුරාවටම පාවිච්චි කරණා පිරිසක්ද වේ. 

සමහර; වාහන පිළිබඳව පමනක් නොව ගෙවල් දොරවල් පුද්ගලයින් පිළිබඳවද මේ සිතුවිල්ල එසේම මය. විවාහ දෙදරවා ගන්නා පුද්ගලයින් පසුව කරගන්නා විවාහ තුල ඉතා සාර්ථකව ගත කරති. 

එසේම සමහරුනට නොගැලපෙන වාහන තවත් සමහරුනට මල් මසුරන් ය!

බ්‍රහස්පතින්දාවක ලහි පිටේ පැන්තරයේ කතන්දරේ ලියා පල කලෙමි. සෙනසුරාදා හවස් වන විට ලහිපිට පලවේලාය. ඉරිදාට වැඩේ පත්තුවේ.

වාහනය විකිණීම සඳහා ලිපිනය ලෙස මා පල කලේ මාමණ්ඩියගේ ගෙදර ලිපිනය ය. ඒ අපගේ කඩවත නිවසට එන්නට මිනිහෙකුට වාහනයක් නිකං දෙනවා කිව්වද හිත හදා ගන්න අමාරු කාර්‍යයක් වන බැවිනි!

අදාල දිනයේ පුවත් පතේ ලිපිය පලවී තිබුනි. මම එය ලක්ෂ 18කට මිළ කොට දක්වා තිබුනි.

එහෙත් මාගේ හිත කිව්වේ මෙහි වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 17/50 ක් වන බවයි.  අදාල ඉරිදාවේ උදේ 6.00 වන විට චිකන් අතේ අරං තරුණයෙකු පැමිණියේය. ඔහු පැමිණියේ ඔහුගේ කුඩා පුතාවද කැටුවය. කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් ඇඳ පැමිණි ඔහු සේවය කලේ HSBC බැංකුවේය. ඔහු වාහනය වටා කැරකී ලක්ෂ 17 කට ඉල්ලීය. 

මගේ අවසාන ගනන ලක්ෂ 17/50 වන හෙයින් ඔහුගේ මිළට මා එකඟ නොවීය. මම මගේ අවසාන මිළ; 17/50 ඔහුට දැණ්වීය!

ඒ සමගම අයෙක් පැමිණියේය, ඔහු පැමිණි ගමන් වාහනය වටේ කැරකී 17/75 කට ඉල්ලීය.

ඒ සමගම මුළින් පැමිණි තරුණයා මා වෙත පිං සෙන්ඩුවෙන්න පටන් ගත්තේ 17/50 කට ඔහු ගන්න කැමති බව පවසමිණි.

මා මහත්වූ උභතෝකෝටිකයකට මුහුණ දුන්නෙමි.

දෙවනුව  පැමිණි අය සමග මා පරීක්ෂණ ධාවනයකට වාහනයට නැග්ගේ "ඔයා බයවෙන්න එපා මම ඔයාට තමයි වාහනේ දෙන්නේ!" කියාය.

පරීක්ෂණ ධාවනය අවසානයේ දෙවැන්නා වාහනයෙන් බැස්සේ 17/75 කට දෙනවා නම් දැන්ම අත්තිකාරමක් දෙන්නටත් හවසට වාහනේ ගන්නටත් එකඟ බව පවසමිනි.

මා ලක්ෂ 18 කියන සංඛ්‍යාවෙම සිටියෙමි.

ඒ මුලින් පැමිණි තරුණයාට වාහනය ලක්ෂ 17/50ට දෙන පොරොන්දුව රැකීමටය.

පැය භාගයක් ඇතුලත සියල්ල විසඳුනේය.

අත උඩ රුපියල් 1775000 කට විකිණීමට හැකිව තිබුනු වාහනය  මම 1750000 කට විකුණා දැමුවේ උදේ පාන්දරම රුපියල් 25000ක් පාඩු ලබමිණි.

මාමණ්ඩියට ගෙවන ලද ලක්ෂ 18 සමග ගත් විට මා 50,000ක් පාඩු විඳ අවසන් ය!

මාමණ්ඩිය ඇතුළු පිරිසගෙන් මා හට ඉගැණ්වීම් 500කි. එදිනම බිරිඳගේ නැගනියගේ අළුත උපන් දරුවාට නමක් හොයන්නට අහුබුදුලාගේ නිවසට මමත් මස්සිනාත් ගොඩ වැදුනෙමි. අහුබුදුගේ ආලින්දයේ "සිළුමිණ" පත්තරයකි.

මස්සිනා පැමිණි වැඩේ කරගන්නා තුරු මා එහි "රථ වාහන" ලුහුඩු දැන්වීම් තීරුව පිරික්සීය.

"ටොයොටා  106 කැබ් රථය, 56 ශ්‍රී, 17/50යි. පවර් ස්ටියරිං, ෆෝ වීල්,  . . . . . " මම එහි සිටම ඇමතීමි. වාහනය ඇත. ආපසු බිරිඳගේ මහ ගෙදරට ගොඩවූ සැණින් ඇය සමග වාහනය බැලීමට පිටත් වුනෙමි. නිවසේ මිදුලේ වාහනය නවතා ටිබුනි.

"මම මේක ගන්නවා!" මම බිරිඳට කීවෙමි.

ඒ මගේ හැටිය! වාහනය හොඳ උනත් නරක උනත් මොන දොසක් තිබුනත් මගේ හිතට ඇල්ලුව හොත් එය ගෙදර ගෙන ඒම මාගේ සිරිතය!

කථාව පටන් ගත්තෝය.

ඔහුද මාගේ පාසලේ ආදී සිසුවෙකි. ඔහු නමින් දර්ශන දලුවත්ත හෙවත් "දැල්ලා"ය. වාහනයට ඔහු 17ක් කියයි!

වැඩේ නිමෙටම පත්තුවී අවසානය!

මම වාහනය 16ට ඉල්ලුවෙමි.

"අනේ මල්ලී මම ඔය වාහනේ නෙල්නා ෆාම් එකෙන් ගත්තෙම 16 1/2 ට! මේ බලන්නකෝ. . !" ඔහු කුවිතාන්සියක් පෑවේය. 

"හරි අයියේ එහෙනං මට ඒ ගානට දෙන්නකෝ!"

මගේ මූන දෙස මද වේලාවක් බලා සිටි "දැල්ලා" "ආ එහෙනං අරං පලයං!" කීවේය.

වාහනයේ පරීක්ෂණ ධාවනයේදී ඒය හත් අට පොලක නැවතිනි. එය එන්ජිමට නිසි පරිදි ඩීසල් නොලැබී යාම නිසා බව වැටහුනෙමි.

"අවුලක් නෑ අයියේ! වාහනේ නම් දෙතුන් තැනක නැවතුනා! ඒ උනාට මම වාහනේ අරං යනවා! මට මේක වැදුනා!"

වාහනය අරං ආවෙමි.

මම මගේ වචනයට අර්ථයක් එක් කිරීමට ගොස් විඳි පාඩුව හවස් වන විට මැකී ගොස් ය.

56 - 1086 මා සතු වූයේ එසේය.

මටත් අප පවුලටත් මහත්වූ සේවාවක්  කරණ්නට එය පසු දින සිට පටන් ගත්තේය. Toyota LN 106 යනු ඉදිරිපස Rigid Axel සහ දුනු (Leaf Springs) ආ අවසාන කැබ් රථයයි. ඉදිරිපස දුනු ඇථි නිසා තරමක් ගැස්සෙන බවක් පෙන්නුම් කලද එය අතිශය  User Friendly රථයකි.

එන්ජිම 3L - 2800CC එකක් වූ අතර එය මෙරට ප්‍රසිද්ධ වූයේ "ඩොල්ෆින් එන්ජිම" ලෙසිනි. මන්ද; මෙම එන්ජිම මෙරටට ප්‍රථම වරට පැමිණියේ හයි ඒස් ඩොල්ෆින් රථය සමගය. 

5 Forward ගියර් පෙට්ටියකි.

වාහනය මිළදී ගත් දිනට පසු දින; කොට්ටාවේ විකසිත එන්ටර්ප්‍රයිසස් එකට ගොස් වසන්ත පෙරේරා හමුව ඩීසල් ෆිල්ටරයක් සහ ෆිල්ටර් හෙඩ් එකක් ගෙන සවිකල පසු අතර මග නැවතීම සහ මුලින්ම නිටාවටම සුව විය. 

වසන්ත පෙරේරා මාගේ පාසලේ පංති සගයෙක් විය. අමතර කොටස මිළදී ගැනීමට ගිය ගමනට මාමණ්ඩියද එක් විය. ඒ ඔහුට බැංකු කටයුත්තකට යන්නට තිබුනු හෙයින් වන්නට ඇත. වසන්ත පෙරේරා ෆිල්ටරයට හා ෆිල්ටර් හෙඩ් එකට සල්ලි නොගත්තේය.

එහෙත් එය කොට්ටාවෙන් රැගෙන පන්නිපිටියේ අරලිය උයන අසලට එන්නට නොහැකිවිය. වාහනය අතර මග නැවතුනි. මම මාමණ්ඩිය ත්‍රී වීලරයක නග්ගා ගෙදර යැවීය. තවත් කෙටි වේලාවකින් මා වාහනය අටවාගෙන ගෙද පැමිණියෙමි. 

කැබ් රිය මා සමග සිටි වසර 5 කට අධික කාලය තුල අතර මග නැවතුනේ තවත් එක් වතාවක් පමණි! ලංකාවේ බොහෝ ස්ථානවලට ඇය අපව කැටිව ගියාය. රැයක් දවාලක් නැතිව හැල්මේ දිව ගිය ඇය පවුලේම කෙනෙක් ලෙසට නොබෝ කලකින් පත්විය!!!


Monday, April 1, 2024

224. A.G. Ajantha Kumara

තිළිණයා ලියලා තියෙන කඩපුලි කොමෙන්ටුව දැක්කාම මේක මතක් උනේ!

අපේ අම්මාගේ මරණයෙන් පසුව මමත් තාත්තාත් පමණක් හක්බෙල්ලාවක විසූ සමයක් විය. උසස් පෙළ අවසන් වී ගෙදර සිටි මා රැකියාවක් නොකල අතර තාත්තා මාහට යැපීම් දීමනාව ලබා දෙන්නට නොමසුරු විය.

ඔය කියන කාලේ අපේ ගෙදර උයා පිහා දෙන්නට ආච්චියෙක් සිටි අතර පසු කාලෙකදී කෑවේ බිව්වේ හක්බෙල්ලාවකම අසල්වාසී ප්‍රියන්ත පියසේකරලාගේ ගෙදරිනි.

එසේම; මාගේ මිතුරෙකුවූ තනකොළවත්තේ කිත්සිරිගේ මිතුරන් සැට් එකක් මාහට නොමිළේම සෙට් විය. ඒ අඟුරුවැල්ලේ අජන්ත, දිලා, ජිජූ, සාමන්ත, රුවන්වැල්ලේ අනීස්, අත්තනායක,  රාජා ආදීන් විය.

මේ ගැන්සියේ ලීඩර් හෙවත් පොර වූයේ අපගේ කථා නායකයා වූ ඒ ජේ අජන්ත කුමාරය. 

ඒ. ජේ යනු අදාසි ගමරාළලාගේ යන්නය!

පාසැලේ පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ ලියන්නට ඔන්න මෙන්න තියා පාසැල් හැඳුනුම් පත් සකසන කාලයේ පන්ති භාර ගුරුතුමා පැමිණ පෝරමයේ නම පිරවීමට උදාහරණය ලෙස ගත්තේ අජන්තගේ නම ලු.

"දැන් ළමයි මුලකුරු සමග නම ලියනවා නම් මේ අජන්තගේ ඒක ලියන්නේ ඒ. ජී.  අජන්ත කුමාර කියලා . . . . !"

"ආං උඹේ නම කියනවා . . . !" ළඟ හිටිය එකෙක් අජන්තගේ කනට කීවේය.

"මොකක් . . !?" අජන්ත හිස ඔසවා ගුරුතුමා දෙස එක එල්ලේ බැලුවේය. :මොන මගුලක්ද දන්නෑ . . !"

"දැන් අජන්ත සම්පූර්ණ නම ලියනවා නං;  ලියන්නෝන අදාසි ගමරාළලාගේ අජන්ත කුමාර කියලා . . !"

"හුම්ප්ස් . . !" වටේ හිටපු කෙල්ලන් කොල්ලන් දෙතුන්දෙනෙකුට හිනාය.

අජන්තගේ ගිණි කන පැනලාය.

"මොන මගුලක්ද සර්! වෙන නමක් තිබ්බෙම නැද්ද මගේ නමම ගන්න . . !?"

ඒ අජන්තගේ හැටිය. 

අජන්තට හිටියේ අයියා කෙනෙකු පමණය. අජන්තගේ තාත්තා නැටුම් ගුරුවරයෙකු වූ අතර අම්මාද ගුරුතුමියකි. අජන්තලාගේ ගෙදර තිබුනේ අඟුරුවැල්ලෙන් ගල්පාත පාරේ වැව අයිනේය. ගෙදර තිබුනේ වැවට මායිම්වය. වැවේ නාන ලිඳක් තිබුනු අතර එතැනට මුළු ගමේම ගෑනුන් තරුණියන් පිරෙණ අතර එතැන සුන්දර දර්ශණ; දිනයේ සෑම පැයකදීම පාහේ මැවී තිබුනි. කොටිංම GNT එකකි. GNT කියන්නේ ගෑනු නාන තැන කියන එකටය.

අජන්ත නොම්මර එකේම සටන් ශූරයෙකි. ඔහු තරම් සටන් කලාව වෙනුවෙන් කැපවූ අයෙකු වූවානම් ඒ ඇඟේ ඇඟිළි ගනනට විය යුතුය.

ඔහු මුල් කාලයේ විවිධ සටන් ශෛලීන් අනුගමනය කලත් අවසන් නවාතැන් පොල වූයේ වින්-චූන් සමගය.

වින්-චූන් කියන්නේ Ip Man බයිස්කෝප් එකේ ඉප් මෑන් හෙවත් ඩොනී යෙන් වැඩ කිඩ පෙන්වන ආර්ට් එකය. බෲස්ලී තමන්ගේ ජීට් කුන් ඩෝ ශිල්පයට වර්ටිකල් පන්ච් එක කොපි කර ගත්තේ මෙයින් යැයි කියනු ලැබේ!

මෙරටට පිරිසිදු වින්-චූන් කලාව ගෙන ආ ප්‍රසන්න ජයවීර ඔහුගේ ගුරුතුමා විය. එකල ලක්දිව පුරා Siva Lee ලා දර්ශන දැක්වූ සමයක් විය.

එකල සිවා ලී ගේ ශිෂ්‍යයන් සහ උපදේශකයින් මහපාරේ බස් එකේ පවා ගමන් බිමන් ගියේ බෲස්ලී ලෙස සැරසීය. කලු බාච්චු කලිසම් කලු හෝ සුදු ටී ෂර්ට් ඇඳ කුංෆු සපත්තු දමා ගත් ඔවුන් ඈත සිට බලන්නෙකු හට උවද අඳුනා ගත හැකිව තිබුනි. 

ඔවුන් බස්ටෑන්ඩ් වල සිටියේද එක කොනකට වී ගැම්මේය.

අවිස්සාවේල්ලේ සිට කෑගල්ල හරහා නුවර දෙසට දිවෙන බස් රියක් අඟුරුවැල්ලේ වංගුවේ කඩේ ලඟ තේ බොන්නට නවත්වයි. සතියේ එක් දිනක දෙකක මේ බසයේ පැමිණෙන සිවා ලී  ගේ නිකායේ උපදේශකයෙකු මෙම බසයේ පැමිණ තේ කඩය අසලට ගොඩ වැදී එහි පඩියක පාදයේ ඇඟිළි තුඩු මතින් සිටගෙන පොඩි පහේ කැටයමක් දානු අපේ ගැන්සියේ එකෙකු දැක තිබුනි. 

දැක නොසිට එය අජන්තගේ කනේ තැබීමටද ඔහු කටයුතු කර සිටියේය.

ඊළඟ සතියේම අජන්ත වැඩේට බැස්සේය. 

උපදේශකට විවෘථ අභියෝගයක් කලේය.

අභියෝගය භාර ගැනීමට තරම් උපදේශක මෝඩ නොවීය.

ඉන් පසු ඔහු බසයේ ගමන් ගත්තද තේ බොන්නට කඩයට බසිනු අප නොදුටුවේය.

අජන්ත ගිය සටන් පාසල එනම් ප්‍රසන්න ජයවීරගේ නිවස තිබුනේ බත්තාමුල්ලේ සුභූතිපුරය! රෑ වෙන තුරු සටන් පුහුණු වන අජන්ත බසයක එල්ලී අවිස්සාවේල්ලට පැමිණ බසයක් නැතිනම් මහරෑ අවිස්සාවේල්ලේ සිට අඟුරුවැල්ලට "පාගල් මුජේ කර්දියා" හෙවත් "පාගල්" එකේ හෙවත් පයිංම පැමිණේ.

සමහර දිනවල අවිස්සාවේල්ලේ සිට අඟුරුවැල්ලටම මහපාර දිගේ ෆෝම්ස් හෙවත් කාතා කරමින් පැමිණ ඇති බව දිනක් ඔහු මා හා කීවේය.

කියෝ කුෂින් වල කිලෝගානේ රොම්බ පන්ච් එකට වඩා වින්චූන් වල වර්ටිකල් පන්ච් එක සුපිරි බව මා දුටුවේ ඔහුගෙන් ය. වන් ඉන්ච් පන්ච් හෙවත් අඟලක දුර සිට ප්‍රථිවාදියාහට එල්ල කරණ වින්චූන්  පන්ච් එක වර්ටිකල් පන්ච් එක වේ.

මේකත්  බලාගෙනම යං!

අජන්තගේ ගෙවල් කිට්ටුව ගෙදරක රුවන්වැල්ල පොලීසියේ සාජන් වරයෙකු සිටියේය. ඔහුට ක්වුරුත් කීවේ "පොඩි සාජන්" කියාය. පොඩි සාජන් 88/89 කාලයේ නොම්මර එකේ කිලර් කෙනෙක් වූ බව මා අසා ඇත. දිනක් ඒ අසලින් යන අජන්තට ගෙදර කවුළුවකින් නාඹර යුවතියක් දක්නට ලැබුනේය. ඒ පොඩි සාජන්ගේ පවුලගේ නැගණිය හෙවත් නෑනා පොඩ්ඩය. අජන්ත කළු මෙන්ම දැකුම් කළු එකෙකි. ඔහුට සුන්දර සිනහවක් සහ දිගු ඇහි පිහාටු සහිත දෙනෙතක් හිමි විය. ඒ සිනහවෙන් එදින උපරිම ප්‍රයෝජනය ගත් අජන්ත එදින හෝ පසු දිනෙක රාත්‍රියේ ඇගේ කාමරයට ගොඩ වදින්නට සෙටමෝල් විය. 

රූපවාහිණියේ කෝපි කඩේ යන වෙලාව ඔහු වැඩේට යොදා ගත්තේය! 

මුළු ගමම පමණක් නොව රටම රූපවාහිණිය ඉදිරියේ සිටි හෝරාවේ අජන්ත හීන් සීරුවේ ගෙදරින් එළියට බැස සෙමෙන් සෙමෙන් පොඩි සාජන්ගේ නිවසට ලංවන්නට විය. 

තම පෙම්වතියගේ කාමරයේ ජනේලය; කාටවත් නොඇසෙන්නට හීන් සීරුවට අරින්නට අජන්ත සිතා සිටියත් එහි සිහින් හඬ සාලයේ සිටි පොඩි සාජන්ට ඇසුනේ නොසිතූ පරිද්දෙනි.

ජනෙලයෙන් ඇතුලට ඔලුව ඔබනවාත් සමගම ඇතුලත දොරින් කාමරයට කඩා පැන්නේ පොඩි සාජන්ය!

ඒක්ෂණයෙන් එලියට පැනගත් අජන්ත නැවතුනේ තම ගෙදර ඉස්තෝප්පුවේ පසුපස වූ පුටුවක වාඩිවී නෝන්ඩි නැතුව කෝපිකඩේ නරඹමින්ය.

ඒ කෙසේ වෙතත් පොඩි සාජන් අජන්තව අඳුනාගෙන තිබුනි. ඔහු ජනේලයෙන් පිටත් බලද්දී අජන්ත දාගෙන ගොස් තිබුනු බාටා කෑලි දෙක සොයා ගැණීමට හැකිවී තිබුනි.

තවත් විනාඩි ගණනකින් පොඩි සාජන් අජන්තලාගේ ගේ ඉදිරිපිටය!

එක අතකින් සෙරෙප්පු කූට්ටමය!

"ටීචර් පොඩ්ඩක් බලන්නකෝ ඉස්සෙල්ලාම මේ සෙරෙප්පු දෙක කාගෙද කියලා!?" පොඩි සාජන් අජන්ත දෙස නොබලාම අම්මාට සෙරෙප්පු දෙක පෑවේය!

අජන්ත කිසිම වගක් විභාගයක් නැතිව කෝපිකඩේ සීන් එකේය!

"ඔව් අපේ එකක් තමයි ඇයි සාජන් මහත්තයා . . .?"

"නෑ මේ අපේ නෝනාගේ නංගි මේ දවස් වල ගෙදරට ඇවිත් ඉන්නවා! ඒ පොඩි කෙල්ලගේ කාමරේට වලත්තයෙක් රිංගන්න ගිහිං මට අහු උනා! මේ උගේ සෙරෙප්පු දෙක!"

"ඔය වලත්ත මිනිහාව මම අත ඇරලා තියෙන්නේ සාජන් මහත්තයා! මට ඕකව හදා ගන්න බෑ! පුළුවන් දෙයක් කරණ්න!"

"අහුවෙද්දෙංකො ඕකා!" සෙරෙප්පු කූට්ටම දමා ගැසූ පොඩි සාජන් යන්නට ගියේය.

අජන්ත හදිස්සියට දාගෙන ගිහිං තිබුනේ තාත්තාගේ සෙරෙප්පු කූට්ටමය!

වරක් අජන්ත ගෙදර ඉස්තෝප්පුවේ පුටුවක හිඳ සිගරැට් එකක් බොමින් සිටියේය. අම්මාද ගෙදරය! ඌට ඒවා වගේ වගක් නොමැත. එක වරම අම්මා ඉස්තෝප්පුවට එන හඬ ඇසුනු අජන්ත වහාම දිගු සිගරට් උගුරක් කට පුරා ඇද සිගරට්ටුව රැඳි අත පුටුව පසුපසට ගෙන කිසිවක් නොදොඩා සිටියේය. 

"පුතේ මම පොලට යනවා! ඔයා කොහෙවත් යන්න එපා ගේ ඇරලා දාලා!" අම්මා ඉල්ලීමක් කලේය!

අජන්ත "හා . . .!" ගෑවේය.

සිගරට් දුම එහා මෙහා කර බලන විට අම්මා මිදුලෙන්ද සෑහෙන ඈතකට ගොස් තිබුනාය!

අර අපේ තිළිණයා මතක් කල "සීදේවි", "මධුරස", "රතී", "නව සරණ" ආදී එකී නොකී මෙකී පත්තර පිටු ජෝඩු; අජන්තගේ කාමරේ ඇඳේ මෙට්ටය යටද ඇඳ යටද මේසය උඩද හැම තැනකම තිබුනි. එකල ගැන්සියේ කාට කලාපයක් ලැබුනත් එය නතර වන්නේ අජන්තගේ කාමරයෙනි. අජන්තගේ කාමරයට සෙට මෝල්වන මිතුරන් පිටු ගලවාගෙන ඒවාට සම වැදී ලියා තිබෙන රසාලිප්ත සිදුවීම් "හිතට ගන්නේ" දැහැන් ගතවීමෙන්ය!

වරක් අජන්ත වින් - චූන් සීන් එකකට කොළඹ ඇවිත් ගෙදර යන විට අම්මා කාමරය නොම්මර එකට අස් පස් කොට සියල්ල පිළිවෙලට සකස් කොට තිබුනාය. කාමරයේ මේසය මත දින පිළිවෙලට නවසරණ, සීදේවි, මදුසමය අරක මේක වෙන වෙනම ගොඩවල් වෙන් කොට තිබුනි!

ගුරුවරුන්ගේ හැටි එහෙමය!

අජන්තලා කතරගම ගම් උදාව බලන්නට ගියොය. මුළු ගැන්සියම වැඩේට සෙට මෝල් විය. සමහරු අත මුඩල් තිබුනු අතර සමහරු පැමිණියේ අතේ සත පහ නැතිවය!

මොරාවත්තේ රාජා ටවුමට පැමිණ තිබුනේ තම අම්මාගේ කුකුල් කොටුවෙන් කුකුළන් දෙදෙනෙකු පෝර උරයකට දමාගෙනය! ඒ උන් විකුණා මුදල් ලබා ගෙන ගමනට සහභාගී වීමටය.

කොහොමින් කොහොමින් හෝ සෙට් එක කතරගම ගම් උදාවට ගියෝය! එන්නට සල්ලි තිබුනාට කන්න බොන්න තබා ආපසු එන්නටවත් අතේ සත පහක් නොමැත!

අජන්ත ගමුදාව වටේ ඇති තාවකාලික හෝටල් ආපනශාලා වල කැරකී පොඩි පහේ අධ්‍යනයක යෙදුනි. එක් හෝටලයක අය කැශියර් කූඩුවේ එකාට සල්ලි දුන් පසු; සිගරැට් පැකට්ටුවකින් කපාගත් කුඩා කාඩ් බෝඩ් කෑල්ලක ඇන්වුම ලියා ඔහුගේ අත්සන තබයි. මුදල් ගෙවූ තැනැත්තාට ඇත්තේ එකසිය ගානට සෙනග පිරුණු හෝටලයේ පසුපසට ගොස් කුස්සිය පැත්තෙන් ඉල්ලපු දෑ ගෙන මුල්ලක් අල්ලාගෙන කොටා බාන්නටය!

ප්ලේන්ටියක් ඇනවුම් කොට කාඩ් බෝඩ් කෑල්ල රැගෙන එන්නට එකෙකු යැව්වේය. තව එකෙකු යැව්වේ වෙනත් හෝටල් දෙක තුනකිට් හිස් සිගරට් පැකට් දෙක තුනක් රැගෙන ඒමටය. ප්‍රදර්ශණ භූමියෙන් පෑනක්ද සොයාගෙන අජන්ත වැඩේට බැස්සේය.

කට්ටිය කැමති කැමති දේ කාඩ් බෝඩ් කෑලි වල ලියැවුනි. .

අජන්ත සුපිරියටම කැෂියර් කූඩුවේ එකාගේ අත්සන ගැසුවේය. 

කට්ටිය අම්මට සිරි වෙන්නම වැළඳුවේය!

අජන්තට ඕනෑම අත්සනක් ගැසීමට මෙන්ම ඇඳීමට්ද හැකියාවක් තිබුනි.

එකල 3.80 සීසන් ටිකට් එක මිළදී ගෙන එය ඉන්දියන් තීන්තෙන් 88.00 ක් කොට දින පතා කොළඹ යන්නට සීසන් සකසා ගත්තේය. සීසන් එකේ උඩ කෙළවරේ පෑනෙන් ලියන "සිට - දක්වා" විස්තරේද ඔහු කදිමට මකා - ලියා සකසයි!

මාගේ මිත්‍රයෙකු හට සාමාන්‍ය පෙළට ලැබුනේ සාමාන්‍ය සාමාර්ථයකි. ඔහුට විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය විය! 

ඔහු කොළඹ සිට පැමිණ රුවන්වැල්ලෙන් විභාගය ඉල්ලුම් කලේය. හක්බෙල්ලාවක ලිපිනයට තැපැල් අයිඩෙන්ටිය හදා ගත්තේය. අජන්ත හමුවිය. අජන්ත මාගේ මිතුරාගේ ෆොටෝව ගලවා; විභාගයට ලියන එකාගේ ඡායාරූපය එහි ඇලවීය. 

සාමාන්‍යයෙන් පෝස්ටල් අයිඩෙන්ටියේ මැද ඡායාරූපය අලවා එහි එක් මුල්ලකට වන්නට මුද්‍රාවක් හෙවත් සීල් එකක් ගසයි. රවුමේ වට තුන් කාලක් අයිඩෙන්ටිය උඩ තියෙන අතර කාලක් පොටෝ එකේ යට දකුණු මුල්ලේය! පසුව අලුත් ෆොටෝ එක මත රවුමට තීන්තෙන් මුද්‍රාව ඇන්දේය. වැඩේ එළකිරියටම සිද්ධ විය.

මිතුරාට D සාමාර්ථය ලැබුනි.

අජන්ත 88/89 කාලයේදී අපගේ මිත්‍රයෙකුගේ මාමා කෙනෙකු ගේ ආරක්ෂකාව සිටියේය. ඔහු පලා බබෙකි. අජන්ත දක්ෂ වෙඩික්කරුවෙකි. තාත්තා අත තුවක්කුවක් තිබුනි. පලා බබාගේ ආරක්ෂකයින් ඒ සඳහා පුහුණුවක් ලැබීමට නියමිතව තිබුනි. ඒ පුහුණුවේදී ඉලක්කයට වෙඩි තබන්නට තිබුනේය. ඔහුට ලැබුනු උන්ඩ අටෙන් හතක්ම ඉලක්කයට වෙඩි තැබීමට සමත් විය. අවසාන උන්ඩය ඔහු ඉලක්කය නොගෙන වෙඩි තැබූ අතර යාබදව හිටි එකෙකු තැබූ උන්ඩයක් අජන්තයාගේ ඉලක්කය මත පතිත විය. අටෙන් අටම වෙඩි තැබූ එකම අය ඔහු විය!

පෝස්ටුවක් නොව පත්තරයක් අච්චු ගැසීමට රස කථා ගොන්නක් අජන්ත වටා ඇත. එකල මාගේ හොඳම මිතුරා ඔහු විය! අවම වශයෙන් මසකට වතාවක් වත් වලියක් කොක්කක් ගේමක් නැති අතීතයක් ඔහුට නැතිවිය! අජන්ත වලි දාගත්තේ එකෙකු දෙන්නෙකු සමග නොව පලාත් සමගය! ගම් සමගය!! 

වරක් සංගීත සංදර්ශණයකදී උනු සිද්ධියක් හේතු කොටගෙන එම ගමේ සිට අඟුරු වැල්ලට බසයෙන් පැමිණි සියල්ලන් හටම මසක් පුරා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ඔහු කටයුතු කලේය. 

ඔහු පසුව මා සමග නව සම සමාජ පක්ෂයට බැඳුනි. මා කලකදි එයින් ඉවත්වූ අතර ඔහු පූර්ණ කාලිකයෙකු ලෙස එහිම සිටියේය. මා විවාහ වූ නමුත් ඔහුට පෞද්ගලික ජීවිතයක් නොතිබුනි. 

කාලය සමග ඔහුත් මාත් ඈත්වී ගියේය. ඒ අතර ඔහු දමිළ සොයුරියක් සමග ප්‍රේමයෙන් වෙළුනු බව අසන්නට ලැබුනි. ඔවුන් දෙදෙනාම යුරෝපයට යන්නට ගියේය. ඔවුන් පිටත්ව ගියේ ජර්මනියට වූ අතර අවසන් වරට ඔහුව දැක තිබුනේ ඉතාලියේදීය. ඒ මීට වසර පහකටත් ප්‍රථමය.

රුවන්වැල්ලේ මිතුරන් සී සී කඩවී ගොස්ය. තවමත් සිටින්නේ අනීස් පමණි. 

අනීස්ව හමුවන හෝ කතාකරණ සෑම කතාවක්ම මා අතින් කෙළවර වන්නේ "අජන්තයා ගැන ආරංචියක් නැද්ද බං?' කියාය.

ඒ සෑම අවස්ථාවකම අනීස්ගේ පිළිතුර එකම විය!

"දැං නං ඌ මැරිලා ඇති බං!"

අජන්ත නොම්මර එකේම ස්ට්‍රීට් ෆයිටර් කෙනෙක් විය! ඔහු කිසිදු සටනකින් පැරදී නැති ඩයල් එකකි.

වින් -චූන් සටන් වලදී මෙන්ම මහපාරේ  සංගීත සංදර්ශණ වල ක්‍රීඩා සැනකෙළිවල ඔහු දහය පහලොවට ගැසූ කථා එමටය!

"ඇලන්ක්වාටර්මන්" පොතේ "ආම්ස්ලොපොගාස්" ගේ සටන් සිහිකරවන සටන් ඉතිහාසයක් ඔහුට හිමි විය!

සත්තකින්ම ඔහු වීරයෙකි.

පසුව ලියමි: මම මේ පෝස්ටුව ජනගත කිරීමට පෙර අනීස්ට දූරකථනයෙන් ඇමතුවෙමි. අජන්ත පිළිබඳ හෝඩුවාවක් ජර්මනියෙන් ලැබුනු බව පැවසූ අතර අද උදේම ජර්මනියේ ජීවත් වන මාගේ මිතුරියක් සහ "සුලාගේ විත්ති" බ්ලොගය ලියන නංගීට මැසෙන්ජර් පණිවිඩයක් දැම්මෙමි.

අපේම මිත්‍රයෙකු වන උදයට 2016 දී බර්ලීනයේදී අජන්තව හමුවී ඇත. ඒ වන විට ඔහු දිවි ගෙවා ඇත්තේ ජර්මන් ජාතික තරුණියක් සමගය. 

අපගේ විශ්වාසයේ හැටියට ඉතාලියේ ඔහුට ජීවත්වීමේ නීතිමය අවසරයක් තිබුනත් ජර්මනියේ ඔහු ජීවත්වී ඇත්තේ නීතිවිරෝධී ලෙසය!  අජන්ත පිළිබඳව අප සතු අවසාන ආරංචිය ය!

 පොරොන්දු වෙන්නම්; උත්සුක වෙන්න; තවත් වතාවක් ඔහුව ජීවිතයට ලං කර ගන්නට!

Saturday, March 16, 2024

223. තිස් අවුරුදු රථ මතක . . . . (16)

ISUZU PANTHER

"ශනිදා දහයට" ලෙස අප පටන් ගත් බ්ලොග් ලිවීම මේ වන විටත් පන අදිමින් හෝ පැවතීම සතුටට කරුණකි. 
මෙම සංකල්පයට උර දීමක් ලෙස; කලින් සිට ලියාගෙන පැමිණි "පෝස්ටු වැල්" හෙවත් කොටස් අට දහයේ මෙගා නාට්ටි වැනි පෝස්ටු වෙනුවට: "සිත නිවන කථා" මොඩලයේ ඒකාංගික පෝස්ටු හත අටක් මා ලියාගෙන ආවේය.
මේ නිසාම කලක සිට ලියාගෙන පැමිණි;
"තිස් අවුරුදු රථ මතක!"
"ම පුතු වසික වෙත සෙනෙහසින්!"
වැනි සටහන් නිම කිරීමට නොහැකි විය. 
පසුගිය සතියේ මා මළගෙවල් දෙකකට සහභාගීවිය. ඉන් එකක් ලක්ෂිත වීරසිංහගේ වන අතර අනෙක අම්බලන්ගොඩ නිරෝෂන් ජයරත්නගේ විය. මේ දෙදෙනාම පාසලේ මා හා සම කාලීනයෝය.
කලක සිට; ලයිට් කනු වල අලවා තිබෙන මරණ දැන්වීම් වල "උපත" බැලීමට මා පුරුදුවී සිටියෙමි. දැන් දැන් එය මාගේ උපන් වසරට කිට්ටු වෙමින් පවතින බව ලක්ෂිතගේත් නිරෝෂන්ගේත් වියෝවන් මාහට හඬගා කීවේය.
එසේනම් ඒකාංගික "සිත නිවන කථා" වෙනුවට ලියාගෙන ආ ලිපි අවසන් කල යුතුව ඇත!
හදිසි වෙන්වීමකකට සැරසී සිටිය යුතුය! 
මේ නිසාම "බ්ලොග් පෝස්ටුවක්" ලෙස "අන්තිම කැමැත්තද" ලියා තබන්නට සිතා සිටින්නෙමි.
මේ "තිස් වසරක රථ මතක" ඉතිරි කොටස් කිහිපය!

මම පසුගිය පෝස්ට් එකක ලිව්වා වාගේම; සෑහෙන කාලයක්; නොලියාම ගෙවී යන විට පිටට තට්ටුවක් දාලා මතක කලේ තිලින ප්‍රියසාද් මල්ලී.
ඌත් අපූරු බුවෙක්! පහුගිය කාලේ සයිකල් පැදිල්ලක් කලා. රස්සාවට අමතරව මේ දවස් වල බුලත් වැවිල්ලක් කරනවා.
තව අන්නාසි වත්තකුත්!
මේ යකාත් ඒකාලේ බ්ලොග් එකක් කලා. වැඳලා කිව්වත් ගහලා කිව්වත් ආයේ ඒක පටන් ගන්න පාටක් නෑ. මුහුනු පොතේ නම් උදේට හවහට දවල්ට තුං වරුවෙම ලගින බව නං පේනවා.
වැඩේ හොඳම දේ තමයි මුන්දැ අපේ අර "සොබා රූ" බ්ලොග් එක කල නදීශ් මල්ලිගේ හොඳ මිත්තරයෙක් වීම. දෙන්නම කුප්ප කවි වලට  කාව්‍ය ශිරෝමණීලා!
ඒ කියන්නේ ශිරෝමණීලා දැක්කාම කවියෙන්ම තමයි විදින්නේ!

මේ තිලිනයා මගේ අවසාන තිස් වසරක රථ මතක පෝස්ටුවට දාලා තිබ්බා "ඉන්ටර් නැෂනලය" ගැන කවි ගී ලියවුනා මදි බවක්!
මේ හින්දාම ඒ ගැන පොඩිත්තක් තව ලියන්න හිතුනා ඌට කරන අනුග්‍රහයක් විදියට!
IH vs VV
ඉන්ටර්නැශනලය ගෙනාවේ මොර සූරන වැසි දවසක හවස 6ට 7ට විතර ඇද ගෙන. මේකේ එන්ජිමක් ස්ටාර්ට් වෙන්නෙත් නෑ ඒ නිසාම බ්‍රේක් ඇත්තේම නෑ. මට හිතෙන විදියට ඒ වෙනකොටත් වසර දෙක තුනක් දුවපු නැති වාහනයක් ඒක. කොහොමත් මේ වාහනේ කපන්න "අලි මස් කන්න" ඕනෑය. (මේ අලිමස් කෑමේ ආප්තෝපදේශය ලොරි රියැදුරන් අතර ප්‍රචලිත කියමණකි!)
මේ වාහනේ ලයිට් තබා බැටරියක් වත් නොතිබුනි. 
වාහනේ ඇතුලත දූවිලි එකකි. මකුළු දැල් රටා මවාය!
අවුරුදු දෙක තුනක් පාරක් අයිනේ අතඇර දමා තිබුනු වාහනයක් පිළිබඳව ඔබම සිතා බලන්න.
මෙහි පැති වීදුරු ඉහලට එසවීමට බැරි ලෙස ගල් ගැසී තිබුනේය.
මේ සියළු බාධක මැද මා වාහනය රැගෙන එන්නට පිටත් වුනි.
වාහනය අදින්නේ මා පෙර පෝස්ටුවේ පැවසූ ෆෝ වීල් ඩ්‍රයිව් මෙන්ම ෆෝ වීල් ස්ටියරින් කුඩා කැබ් රතයකින් ය.
කලගෙඩි හේනෙන් පිටත් වී කිලෝමීටර කිහිපයක් ගන ගනිද්දී වම් පසින් ලයිසියම් ගෙවන පාසැලය.
එකල එය නොතිබුනි!
ඒ වංගුවේම තවත් මීටර කිහිපයකින් එම පසම මොන්ටිකාලෝ වයින් ස්ටෝරුවය.
අපගේ පඩංගුව ලියූ සජ්ජා බොහෝ විට මාහට හමුවන්නේ මේ ඒරියල් එකේදීය!
ඒ මොන්ටිකාලෝවට පැමිණ නොව ඔහුගේ දරුවන් රැගෙන පාසලට පැමිණ වටේ ඉන්න අනිත් තාත්තලාට තෙල බෙදමින් කථා බොන්සායි කරමින් ඉන්නා විටය!
හරියටම මොන්ටිකාලෝව පහු කරණවාත් සමග එහි සිට එළියට පැමිණි සුපින්වතෙක් ගේ පා පැදිය මාගේ ට්‍රක් රථයේ පසුපස හා ගැටිනි.
වාහනේ ගෙදරට ගේන්න කලින්ම නඩුවකි.
මේ යකා වාහනයේ වැදු තැන දැක්කාම; මේ තරම් දක්ෂ ලෙස හැප්පුවේ කොහොමදැයි කියා හිතා ගන්නට අපහසු විය. 
කොටින්ම යන වාහනේ පසු පස  වැදී තිබුනේ ඔහුගේ පා පැදියේ පසු පස රෝදයයි!
කුඩා සීරීමක් ඇරුණු විට ඒතරම් අවුලක් නොවීය.
බොහෝ වයින් ස්ටොරු වල මෙන් මෙය අවටද; කාලේ කුප්පිය කටට හලා ගන්නා උතුමන් දක්නට ලැබේ. මේ එවන් පාරිභෝගික බවතෙකි.
ඔහු සමග අනික් කුප්පියට වගකිව් මිතුරා එහි පැමිණ වැටුනු  එකාට අම්ම මෝ නැතිව බැන වැදී අපව මුදා හැරියේය.
ඒ කාලයේ හැටියට කුඩා මුදලක් ඔහුට දුන්නේ බෙහෙත් දමා ගන්නටය!
"මස් කනවාද මාළු කනවාද? කියමින් ඔහු බොහෝ වේලාවක් සිට; "කොහොම උනත් ටික දවසකින් ඉබේ සුව වන තුවාලයට බෙහෙත් දමන්නට සල්ලි නාස්ති නොකරණ්නට" බුද්ධිය පහල වන්නට ඇතැයි මා සිතමි!

වාහනය මාගේ ගරාජයට ගෙන ආ වහාම බිරිඳට ඇමතුමක් ලබා දුනිමි!
ඇය වේගයෙන් පැමිණ වාහනය දෙස මොහොතක් බලා සිට වචනයකුදු නොදොඩා ආපසු හැරී මෝටර් රථයේ නැගී නොපෙනී ගියාය.
හොඳ ආරම්භයක් සනිටුහන් කරමින් දිනය නිමාවට පත් විය .
එතැන් සිට පටන් ගැනුනේ "ඉන්ටර්නැෂනල් හාවෙස්ටරයේ" උපත, පෑ විකුමන්, පෙලපත, කුලය, ධනය, ආදී එකී නොකී මෙකී දේ කියා පාමින්; රාත්‍රිය ගෙදර ගෙවූ කාලයකි.
වාහනය ගොඩ දා ගැනීමට වසරකට කිට්ටු කාලයක් ගතවිය.
ටින්කරිං වැඩ ටික කලේ ඇඹරළුවේ පොඩි කුමාරය! (මගේ වැඩෙන් පසුව ටික කාලයක් ඇතුලත ඔහුට ලක්ෂ  දහයක  ලොතරැයියක් ඇදුනු අතර ඒ ආනුභාවයෙන්ම තවත් මාස ගනාවකින් ඔහුගේ ජීවිතයටම ටිකට් එක ඇදී තිබුනි!)
පොඩි කුමාර බක පණ්ඩිතයෙක් වූවාට ඒ පණ්ඩිතකමටම ගැලපෙන හැකියාවක් ඔහු සතු විය!
"අනින ගොනා වැඩට දස්සය!" 
මෙය පැරණි කියමනකි. බොහෝ පණ්ඩිතයින්ට ගැලපෙන හැකියාවක් බොහෝවිට උපතින්ම ලැබෙන්නේය. මෝඩ පණ්ඩිතයින්ට මෙය අදාල නොවේ!
අප වැටෙන්නේ ඔය දෙවන කැටගරියට! දන්න බම්බුවක් නැති උනාට අපිත් අති පණ්ඩිතයින්සේ රඟ පාති!
ටින්කරින් අවසන් උනාට පසුව ඊළඟ වැඩේ තිබුනේ පින්තාරුවටය.
ටින්කර්ලා සහ පේන්ටරයන් යනු වඩුබාස් ලා සහ මේසන්ලා පන්නයේම "සත්‍යවාදී" මිනිසුන්ය!
සාමාන්‍යයෙන් ටින්කර් වැඩේ සහ පේන්ටින් වැඩේ භාරදුය යුත්තේ කුට්ටමකටය! මන්ද නො එසේ නම් ටින්කරයා; වැඩේ වැඩි කොටස පේන්ටරයින්ට  නිර්ලෝභීව ඉතිරි කරති.
"හරි හරි! පේන්ටර් ට කියන්න කැට්ලෝයි පාරක් හීනියට ඇදලා ගොඩ දාන්න කියන්න!" ඒ ටින්කර්ලාගේ අවසාන විනිශ්චයේදී පවසන දුක් වාක්‍යයය!
පේන්ටරයින්ගේ කතාව මීට ඉඳුරාම වෙනස්ය.
"මහත්තයා! XX ඇද අමුඩෙන් අරින්න බෑනේ!? මේක ටින්කර් කරලා තියෙන්නේ බාල්දි හදන එකෙක්ද කොහෙද!?"
මේ සියළු දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීමට නම් කුට්ටමකට එය භාර දිය යුතුවේ. එවිට ඒ ඒ අය ඒ ඒ දේවල් බෙදා හදා ගෙන කති බොති! අපිට ඉතුරුවක් වන්නේ නැත!
කොහෙන් කොහොමින් හරි ඉන්ටර්නැෂනලය පිංතාරු කරන්නේ තල්ස්තෑනි සුනිල්ය! සුනිල් බුලත් විට කන කොට කලිසම් අඳින රේස් දාන සයිකලේ වැඩට එන ආතල් බුවෙකි. ඔහුගේ වැඩේ තඩුවටම සුද්ධ කිරීමය.
කෙසේ හෝ මේ දෙන්නා වැඩේ ගොඩ දා දුන්නේය.
වාහනයට ගෑවේ කැටපිලර් යෙලෝ හෙවත් කැටපිලර් යන්ත්‍ර කර්මාන්ත ශාලාවෙන් එළියට එන විට ආලේප කරණ වර්නයය.

ඉන්ටර් නැෂනලයේ ට්‍රාන්සර් කේසය වෙනම පවතින බව ඔබට කීවා මතක ඇති. ඒ වාගේම තව එක් විශේෂත්වයක් තිබුනි. ඒ එහි නැවතුම් රෝධක  Parking Brake තිබුනේ අතින් අදින්නට නොව කකුලෙන් පෑගීමටය! එම පාදිකය ඇක්සලරේටරයට දකුණු පසින් සවිකොට තිබුනි. පෑගූ විට හිරවන පාදිකය සහ නැවතුම් තිරිංග යලි බුරුල් වන්නේ  ඩෑෂ් බෝඩයට යට දකුණු පස ඇති කුඩා නොබ් එක ඇදීමෙන් ය!
බැලූ බැල්මට වෙනත් වාහන වල පාදික හෙවත් පෙඩල් තුනක් පවතිනවා වෙනුවට මෙහි හතරක් තිබුනි.
මේ ගැන මා කාට හෝ විස්තර කරන විට ඔහු මාගෙන් විමසූවේ "මචං ඔය කියන්නේ මේකේ හෑන්ඩ් බ්‍රේක් තියෙන්නේ කකුලට කියලාද?' කියාය!

වාහනයේ සංජානීය ආභාදයක් ලෙස විඩ්ස්ක්‍රීනයේ ඉරිතැලීම සිදුවිය. එය යෝධ වින්ඩ්ස් ක්‍රීනයක් විය. මාගේ වාහනයේ වින්ඩ්ස්ක්‍රීනය හෙවත් ඉදිරිපස වාමුවාව එක් පසෙකින් ඉරි තලා තිබුනි. 
එකල වින්ඩ්ස්ක්‍රීන් සකසා තිබුනේ වීදුරු දෙකක් එකට අලවාය!
ඒ නිසාම එම ඉරි තැලීම වාහනයට අවුලක්ම නොවුනි!

එයින් දුර ගමනක් ලෙස මා ගොස් ඇත්තේ යටියන්තොටට පමණි!
පාරට දැමූ මොහොතේ සිට දනන් සිත් වසඟ කල එය දැකීම මාගේ බිරිඳට එතරම් සුව දසුනක් නොවීය.
එය පාවිච්චියකින් තොරව බොහෝ කලක් පසෙක නවතා තිබුනු අතර එය අනවශ්‍ය "මුදල් හිරකිරීමක්" ලෙසම බිරිඳ දිටීය.
වාහනයට සවිකොට තිබුනේ එයට උපතින් ලැබුනු පෙට්‍රෝල් සිලින්ඩර හයේ එන්ජිම වෙනුවට 4DR5 එන්ජිමකි. ගියර් පෙට්ටියේ මහිමයෙන් එය දිවූවද එන්ජිම එයට තරම් නොවීය!
මේ සියළු කරුනු කාරණා සමග මාගේ ගරාජය වැසීයාමේ අවධානමකට ලක් විය.
එයට ප්‍රධාන හේතුව වූයේ මාගේ ප්‍රධාන කාරමික සුසන්ත නිවාඩු ලබාගෙන පිටස්තර වැඩ කිරීමට යාමය!

ඒ සමගම වාගේ යුනයිටඩ් මෝටර්ස් හි සේවය ලැබුනු මා ගරාජය වසා දැම්මේය.
ඊළඟ මාස කිහිපය ඇතුලත පුවත්පත් දැන්වීම් හෝ වෙනත් මාර්ගයකින් වාහනය ගැන සිත් පහලවී ඉතාලියේ වෙසෙන හෝමාගම තරුණයෙකු මේ පිළිබඳව විමසීය.
ඒ මේ පැත්තට දෙතුන් වතාවක් චලනය වීමෙන් පසුව එය පන්ලක්ෂ හැට දාහකට මිළ නියමවී ,ආ අතින් ඔහුවෙත්ට පත්විය!

වාහනය මමත් දැනට ඕස්ට්‍රේලියාවේ වෙසෙන චාමින්දත් හෝමාගමට හෙවත් ගෙදරටම ගොස් ඇරලූවෙමු.
දියණියක් සරණ පාවා දී වල්ලභයාගේ නිවසට ගෙන ගොස් ඇරලීම පැරණි සිරිතකි.
එයට නිසාන් TD42 එන්ජිමක් තබා නවීකරණය කිරීමට මිළදී ගත් තරුණයාට අවශ්‍යවිය. 
මා ඒ සඳහා යෝජනා කලේ අරංගල අවුට්ඩෝර්ස්මන් වැඩහල පවත්වාගෙන යන ෂෝන් හමීඩ්වය.
එහෙත් එය සිදුවී තිබුනේ ඉතා ලාභ හා බාල ලෙසටය!
එය නවීකරණය කිරීමට භාරගෙන තිබුනේ කැළණියේ චන්න විසින් ය! ඔවුන් එයට විකුණා තිබුනේ TD42 එන්ජිමක් සහ ඔටෝ ගියර් පෙට්ටියකි. එම වාහනයට ඔටෝ ගියර් පෙට්ටියක් සවි කිරීමට යන බව ආරංචිවූ සැණින් මා ඒ පිළිබඳව මාගේ අදහස කියා පෑවත් එයට බරක් නොලැබුනි.
එහි රිජිඩ් දුනු වෙනුවට කොයිල්ස්ප්‍රින්ග් කර තිබුනි. කොයිල් ස්ප්‍රින්ග් වලට අවශ්ය කන්ට්‍රෝල් ආර්ම් චැසියට සවි කොට තිබුනේ ඈන්ගල් අයන් යොදාචැසියට අමු අමුවේ වෙල්ඩිං කොටය!
කොටින්ම වාහනය අපේ භාෂාවෙන් කියනවා නම් කා දමා තිබුනි,
ඇනෙන් ඇනේට ඔරිජිනල් කොටස් යොදමින් මා හැදූ වැඩූ වාහනය එසේ විනාස කර තිබුනි.
මෙම හාවෙස්ටරය හදන කාලයේ ඊට ෆෙන්ඩර දෙකක් මා ගෙන ආවේ උඩුගම්පොලනි. සෑම කොටසක්ම ඊට වසර 50කට පෙර ආවාසේ එක්කොට තිබුනි!
පසු කලෙක එම වාහනය දකින්නට ලැබුනු දවසක මා එහි යටට එබී බැලූ විට මා කලින් කී ඇන්ගල් අයන් දුටු පමණින් මගේ සිත බොහෝ සෙයින් රිදී තැලී ගියේය.
මේවා අයකඩ ගොඩවල් වූවාට ඒවා ගොඩ නැංවූයේ දරුවන් හදන්නා මෙනි!
දීග දීමෙන් පසුව තම දියණිය එතෙක් ඇයව හැදූ වැඩූ ආකාරයෙන් වෙනස්ව සංකරවී ඇති අයුරු දුටු පියෙකුට දැනෙන වේදනාව මට එදින දැනුණි.
"වාහනේ කාලානේ . . .!" මට අනායාසයෙන් කියැවිනි. ඒ එක් පරිච්ඡෙදයක නිමාව විය!
මේ වෙන විට මාගේ ගරාජය වැසී ගොසිනි. රැකියාවක් නැති තැනට වැටීය. මේ අතර මාහට වාහනයක් නැති තැණට වැටෙමින් ය!
අස්සයා නැති කව් බෝයි සේ, නයා මැරුණු අහිකුන්ඨකයාසේ මාහට වැතිර සිටීමට නොහැක. හදන්න, හෝදන්න, පදවන්න මාහට වාහනයක් අවශ්‍යය.
මාහට අවශ්‍ය උනේ ඩබල් කැබ් රථයක් ගැනීමටය.
එයට මා ලක්ෂ 18ක් වියදම් කිරීමට සූදානම්ව මුදල් සොයා ගන්නට පටන්ගෙන තිබුනි.
මේ අතර අපගේ නිවසට යාබද නිවසක වෙසෙන; සතොස මෝටර්ස් හි සේවය කල අපගේ මිතුරියක් ඔත්තුවක් ගෙන ආවාය.
ඒ ඔවුන්ගේ කළමණාකාර අධ්‍යක්ෂක පාවිච්චිකල ISUZU Panther රථය විකිණිමට යන වගය.
වාහනය මා බැලීමට ගියෙමි.
නිල් පැහැති එය මනා පෙනුමකින් යුක්ත විය!

එහෙත් ඒ මොහොතේ ඉසූසූ පැණ්තර් රථය හා ISUZU Bighorn රථය මාගේ හිත තුල පැටලී තිබුනි. වාහනය බැලීමට ගියේ මමත් බිරිඳත් ඇයගේ පියාත්ය.
පැණ්තරය; බිග් හෝර්නය මෙන් ෆෝර් වීල් ඩ්‍රයිව් වාහනයක් නොවීය! එහෙත් මාගේ අවශ්‍ය තාවය; එම අඩුපාඩුව නොපෙනෙන සේ මාගේ ඇස් වසා දමමින් විය.
ඒ වන විට වාහනය මිළදී ගැනීමට මා අත මුදල් නොමැති වූ බැවින් එය රුපියල් 1650000/= කට ඔහු විසින් මිලදී මිළදී ගැනීමට බිරිඳගේ තාත්තා ඉදිරිපත්විය. ඒ; පසුව මුදල් දී හුවමාරු කරගැනීමේ පොරොන්දුවටය.
වාහනයේ වහලයේ වැහි පීල්ලක එක තැනක් අඟල් 4ක පමණ ස්ථානයක තීන්ත ඉවත්වී මලකඩ මතුවී තිබුනි.
මාමණ්ඩිය වාහනය ගෙනගොස් සම්පූර්ණ තීන්ත ගෑමට භාරදුන්නේ මාගෙන් නොවිමසාය.
ඒ සඳහා රුපියල් 95000/=ක් වැයවී තිබූ අතර වාහන්යේ මිල සති දෙකක් තුනක් ඇතුලත රුපියල් ලක්ෂයකින් ඉහල ගියේ බලා සිටියදීමය!
කිසිදු අවුලක් ආභාධයක් අතුරු ආන්තරාවක් නැතිව තිබුනු වාහනයේ ඉන්ජෙක්ටර් පොම්පය සර්විස් කිරීමට ගලවා තිබුනි. 
ඒවා මා දන්නේ ගලවා සවිකලාටත් පසුවය.
සාමාන්‍යයෙන් සත්‍යවශයෙන්ම ඉන්ජෙක්ටර් පොම්පය ගැලවීම හැර වෙනයම් විකල්පයක් නොමැති අවස්ථාවකදී විනා එය කෑලි කරණ්නේ නැත!
බොහෝ විට ඉන්ජෙක්ටර් පොම්පයක් ගැලවීම යනු කාන්තාවක් සීසර් කරණවා වැනිය. එය දෙතුන් විටක් කරණ දෙයක් නොවේ!
ඉහෙන් බහින රෝගයක් නොතිබූ වාහනයේ ඉන්ජෙක්ටර් පොම්පය ගැලවීමට හේතුව අදටත් ඔහු නොදන්නවා ඇත!
මේ සියල්ල සමග වාහනයේ මිල ලක්ෂ දාහත හමාරද පසු කොට තිබුනි.
මේ වන විට වාහනයක් ගැනීම සඳහා මා ගරාජය වසා දැමූ ඉඩම විකුණන්නට පිඹුරු පත් සකස් කරමින් ය. බිරිඳ;   බැංකු ණයක් යටතේ ඉඩම මගෙන් මිළදී ගෙන  මා හට ලක්ෂ 18ක් ලබා දුන්නේය!
මාර බිස්නස් නේ?
වහාම බිරිඳගේ පියාගේ මුදල් ගෙවා දමා මා වාහනය මා සතු කර ගත්තෙමි.
මන්ද ගෙවෙනා සෑම දිනෙකදීම වාහනයේ මිළ ඉහළ යෑමේ ප්‍රවණ තාවයක් තිබුනු බැවිනි.
මේ දින වල වසික මාගේ පුත්‍රයා ක්‍රිකට් ක්‍රීඩාවේ කිසියම් පසු බෑමකට ලක්වී තිබූ අවදියකි. ඊට පිළියමක්  ලෙස ඔහුව රාගම ක්‍රීඩා සමාජයේ පුහුණු කරු සංජීව වෙත යොමු කල අතර එදිනම වසිකට ඉංග්‍රීසි පංතියක් මහරගම පැවැත්වුනි.
මේ ගැන ලියැවිලා තියෙන්නේ මෙන්න මෙතන !
මහරගම පංතිය අවසන් වන වේලාව හා රාගම පුහුණුව පටන් ගැනීම අතර පැවතියේ විනාඩි 30ක පමණ කාලයකි.
මා වසික රැගෙන මහරගම සිට රාගමට විනාඩි 30කින් පැමිණිය යුතුය. ඒ දවසේම  වීම තවත් ගැටළුවක් විය.
ගූගල් මැප් නොතිබූ ඒ කාලයේ මා ඊට පිළියම සෙව්වේ කොළඹ අඟලේ සිතියමක් තුලිණි.
නූල් කැබැල්ලක් ගෙන සිතියමේ මාර්ග ජාලය මත අතුරා මා ආසන්නතම මාර්ගය සොයා ගත්තෙමි.
ඒ මහරගමින් පොල්වත්ත හන්දියට පැමිණ එතැනින් කොස්වත්ත පොලීසිය පසුකොට අංගොඩ හරහා කැළණියට පැමිණ එතැනින් ටයර් හංදියටත් වේවැල්දූව පංසල  ඔස්සේ රාගමට පැමිණීමය!
මා පළමු දිනයේ මේ ගමන ගියත් මා හට අවශ්‍ය වේගය පවත්වා ගැනීමට අසීරු විය. 
ඒ පැන්තර් රථ නිර්මාණයේ වූ දුර්වල බව නිසාමය. 
පැන්තර් රථයේ රෝද සවිකොට තිබුනේ ඇන 4ක් මගිනි. එසේම ඉදිරිපස රෝදවල වීල් බෙයාරිං ලෙස යොදා තිබුනේ ඉතා කුඩා ඒවාය!

මෙම ඉසූසූ පැන්තර් රථය නිපදවා තිබුනේ ඉන්දුනීසියාවේ වන අතර ඊට සවිකොට තිබුනේ; 4WD ලෝලීන් අතර නමක් දිනා ගත්   2800CC ISUZU 4JB1 එන්ජිමක්ය. 
එය අන් සියළුම  ඉසූසූ එන්ජින් වාගේම ඩිරෙක්ට් ඉන්ජෙක්ශන් එන්ජිමකි. මේ නිසාම එන්ජිමේ පවතින "ටක - ටකය" අමතක කලවිට ඉතාම හොඳ යන්ත්‍රයකි!
දිග පළලින් එය ඉසූසූ බිග් හෝන් රථයකට ඉතා ආසන්න එකක් වුවද මෙහි රෝද සවිකොට තිබුනේ ඇන හතරකින්ය. එසේම ඉදිරිපස වීල් බෙයාරින් ඉතා කුඩා ඒවා විය.
වාහනයේ වීල් බෙයාරින් ඉතා අඩු කිලෝමීටර ගණනකදී විනාශවී මග හිටීම මෙම වාහනයේ සංජානීය දෝෂයක් බව මා දැන ගන්නා විට මා වෙනුමෙන් මාමණ්ඩිය රථය මිලට ගෙන හමාර විය!
පැන්තරය ගෙන ටික දවසකින්ම පුංචි බොරැල්ලේදී මාගේ ගමන හරහට දැමූ කෑලි හැලෙන ලොරි පොඩ්ඩෙක් පැන්තරයේ ඉදිරිපස බෆරය සුනු විසුනු කොට දැම්මේය.
එයට බෆරයක් මේ ලෝකේ සියා ගැණීමට අපහසු වස්තුවක් විය! ඊට පිළියමක් ලෙස අරංගල Armadillo වින්ච් බෆර් නිපදවා සපයන Outdoorsman හි ෂෝන් හමීඩ් වෙතින් මා කඩවසම් බෆරයක් සාදවා ඊට සවිකර ගත්තේය.
සත්තකින්ම මෙරට තිබුණු සුපිරිම පැන්තරය මාගේ පැන්තරය යැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවේ. බලන්න බොරුදැයි කියා! 


මේ ඡායාරූපය යාපනයේ පුස්තකාලය ඉදිරිපිටදී ගත් එකකි. අප දින තුනක යාපනය සංචාරයේ යෙදුනේ පැන්තරයේය.
එකල ඕමන්තේ නවතා යාපනය සිට පැමිණෙන හමුදා මුර රථ පෙල සමග යා යුතුවිය. ඒ යාපනය හමුදාව යටතට ගත් මුල් කාලයේම  විය. යාපන අර්ධ්ද්වීපය පුරාද එතැනින් කයිට්ස් දූපතටද ගිය අප නැවත යාපනයෙන් පිටත් වන්නට එද්දී අර්ධද්වීපයේ අවසාන මුරපොලින් අපට පිටත් වන්නට අවසරය නොලැබුනේ එතැනට පැමිණීමට අවශ්‍ය අවසාන වේලාවට විනාඩි 10ක පමණ පරක්කුවක් හේතු කොට ගෙනය. අවසානයේ වැඩිපුර දිනයක්ද යාපනයේ ගත කොට අප ආවෙමු.
මොනදේ උනත් එම පැන්තරයේ ශක්තිමත් භාවය කෙරෙහි මා සෑහීමකට පත් නොවීමි.
ඔව් මේක හරියන්නේ නෑ!
මේක විකුණන්න ඔනෑය!
වසික ඉංග්‍රීසි පන්තියෙන් රැගෙන පැය භාගයකින් රාගමට ඇරලවන්නට නම් මීට වඩා ජවාධික වාහනයක් අවශ්‍ය වේ!
"ඔව් මම මේක කීයට හරි විකුණනවා" මම එක මතයකට ආවෙමි!

Monday, March 11, 2024

239. ලක්ෂිත සමග මගේ මතක!


පාසැලේ 8 පන්තියෙදී පමණ ඔහු ගැන මගේ හිතේ මතකයක් ඇත. අව්‍යාජ මෙන්ම ඉතා සුන්දර සිනහවක් ඔහුගේ මුහුණේ නොතිබූ මොහොතක් නොවීය!
දණ හිස දක්වාම හෝ ඊටත් පහලට මෙන් දික්වූ බම්බු කොට කලිසමකින් සැරසී දිගු අඩි තබමින් ඔහු පාසලට පැමිණි අන්දම මට අද මෙන් මතකය. ඔහුගේ දිගු දෙපා වලින් ජිරාෆ් ගමනින් පාසලේ කොරිඩෝර දිගේ ඇවිද ගියේ සුපුරුදු සිනහවින් මුව සරසාගෙන නොව පුරවාගෙනය! 

ඔහු පාසැලට ගෙන ආවේ; කාර්‍යාලවල CC මහත්වරු භාවිතා කල ආකාරයේ සම් මල්ලකි. බෑගයකි. එය කරේ එල්ලා ගත් එකක් නොව අතින් එල්ලා ගත් එකකි. ඔහු කිසිදා කිසිවෙකු සමග ගැටුමක් ඇති කරගත් අයෙකු නොවීය . ඔහු කිසිදා මට "මචං" කියා කතා කොට නොමැත. ඔහු අසභ්‍ය වදනක් කියනුද මා අසා නැත්තේ ඔහු මාගේ ළඟ මිතුරෙකු නොවූ නිසාද නැතිනම් ඔහු එසේ නොවුනු නිසාදැයි මා නොදනිමි. දැනට සිඩ්නි නුවර වෙසෙන ජෙහාන් පීරිස් මොඩලයේම එහෙත් ඔහුට වඩා මිත්‍රශීලී අයෙකු විය. 

පාසලේ අප; මම, නලීන්, SD, ශාන්ත ආදීන් මෙන් නොව ලක්ෂිතලා පාසැලට පැමිණියේ ඉගෙන ගැනීමටය! පාසැලෙන් ඉවත්වී වසර දහයකට පමණ පසුව ලක්ෂිතව මාහට හමුවන්නේ යුනයිටඩ් මෝටර්ස්; මාගේ රැකියා ස්ථානයේදීය. ඔහු ඒ වන විට විදුලිබල මණ්ඩලයේ සිරා පොරකි! ඔහුට එකල මණ්ඩලයෙන් ලබාදී තිබූ Mitsubishi Lancer EX රථයේ සුළු අළුත්වැඩියාවකට ඔහු පැමිණ සිටියේය! මම; ඔහු ලඟට ගොස් ඇමතූයෙමි! ලක්ෂිත සුපුරුදු සිනහවෙන් මා සමග බොහෝ වේලාවක් කථා කලේය.

දින දෙකකට පසුව ඔහුගෙන් මාහට වට්සැප් පණිවිඩයක් ලැබුනි. ඔහු ඉන්; අපගේ ආයතනයේ පාරිභෝගික සේවය ඒ තරම් ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒම සඳහා අප; අපගේ සේවකයින් පුහුණුකල ආකාරය විමසා තිබුනි! 

තවත් වසර ගණනාවකට පසු; හක්බෙල්ලාවක මාගේ නෑදෑයකු කුඩා ව්‍යාපාරයක් පටන් ගන්නට ගොස් ඒ සඳහා විදුලිය ලභා ගැනීමට යාමේදී රුපියල් 69000 ක ඇස්තමේන්තුවක් ලැබී තිබුනි! එම ඇස්තමේන්තුව දෝෂ සහිත එකක් බව අපට වැටහුනි. මා ඒ පිළිබඳව ලක්ෂිතට දන්වා සහනයක් බලාපොරොත්තු උනෙමි. 

මේ ඔහුගෙන් මාහට විනාඩි කිහිපයකින් ලැබුණු පිළිතුරයි:-

 I phoned ES. He said he will again have a look and get back. I will keep you updated. 

ඔහු ඊට මොහොතකින් ක්‍රියාත්මක වී නැවත ඇස්තමේන්තුවක් සිදුකිරීමට අදාල ශාඛාව වන කරවනැල්ලෙන් පැමිණ නැවත තක්සේරුවක් සිදුකොට නැවුම් තක්සේරුවල් ලබා දීමට කටයුතු සැලසීය! නව තක්සේරුව රුපියල් 23000කි! 

එයට මා ස්තූති වන්ත වූ විට ඔහු ඊට පිළිතුරු දැක්වූයේ මෙලෙසය:- 

There will be a further clarification sought with his Area Engineer about whether CEB could bear costs for commercial customers (like your cousin) tomorrow. If it is domestic, it is very clear, CEB bear the cost. But since this is a commercial connection, there is a doubt. The previous practice of this Area has been this. But I am of the openion that for single phase, CEB still can bare cost. This will be further clarified tomorrow and they will let me know. Pls give me time. (I spoke to ES in the evening too). 

මෙයට මා ස්තූතිවන්ත වූ විට ඔහු ප්‍රථිචාර දැක්වූ හැටි බලන්න! :- 

Your matter has been resolved. I guess your cousin has been already informed. He only needs to pay a much lower estimate now. Apologise for the confusion from CEB end. 

ඔහුගේ සිනහවේ තිබූ අව්‍යාජත්වය, නිහතමාණී බව ඔහුගේ ක්‍රියාවන් තුලදීද දක්නට ලැබුණු බවට මීට වඩා තවත් නිදසුන් කුමටද? ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "මහත්මයෙකු" විය! 

පසු කලෙක ඔහුගෙන් මාහට ඇමතුමක් ලැබුනේය! ඔහු ඉතාමත් බැගෑපත්ව මගෙන් උදව්වක් ඉල්ලීය! "මගේ මල්ලිලා; කෝට්ටේ පුරාවිද්‍යා වටිනාකම් අධ්‍යනය ගැන වැඩ වගයක් කරණවා. ඒකට එයාලට Blog එකක් හදාගෙන සමාජය දනුවත් කරණ්න ඕනලු! අනේ ඔයාට පුළුවන්ද පොඩ්ඩක් උදව් කරණ්න!" මට කියන්නට වදන් නොමැත! "ඔයාට උදව්වක් කරණ්න ලැබීමම මගෙ වාසනාවක්!" මමත් ලක්ෂිතගේ මල්ලීත් කතා බස් කොට බ්ලොගය සැකසුවෝය! මා ඔවුන් ගෙන් ලැබන විස්තර වලට අනුව බ්ලොගය ලියන්නට පටන් ගත්‍තේය. එය අදටත් අවකාශයේ ඇත; යාවත් කාලීන නොවුනත්! මෙන්න එය:- https://kottesandheshaya.blogspot.com/?m=1 

එහි නම කෝට්ටේ සන්දේශය විය. මෙතැනින් ගොඩවී බලන්න.

පසු කලෙක අවස්ථාවක හෝ දෙකකදී මා පාසලේ වට්සැප් සමූහයෙන් වට්සැප් සමූහයෙන් ඉවත්වූ විටෙක ඔහු ඒ පිළිබඳව මගෙන් විමසා සිටියේය! 

Manjula, why did you left? I enjoyed your posts very much.

 මම ඊට පිළිතුරු ලෙස ලියා යැව්වේ "එය අතපසුවීමක් ලෙසය!" ඔහු ඊට ප්‍රථිචාර දැක්වූයේ මෙසේය!

 May I ask Dabare to add you? 

සිසිර සමන්ත දාබරේ යනු අපගේ වට්සැප් සමූහයේ ඇඩ්මින් වරයාය.

ඔහු එතරම් ලෙංගතු මිතුරෙකුව සිටියේය! 

අවසාන වතාවට ඔහු මාවෙත් ලියා තිබූයේ පසුගිය වසරේ නොවැම්බර් 28 වෙනිදාය! 

එදින ඔහු මගෙන් ඉල්ලා සිටියේ සුවිශේෂී ඉදව්වකි! 

Do you have the contact number (email, WhatsApp) of Dr Shantha Jayarathna, former SLIDA officer who writes in Social Media? 

මෙයට පහලින් ඔහු අමුණා එවා තිබුනු ශාන්ත ජයරත්න විසින් ලියන ලද උදෘතයක පිංතූරයේ වූ වගන්තිය මා මෙහි ලියා දක්වන්නම්. (එය මෙයට ඒ සැටියෙන්ම ඇටුළු කිරීමට නොහැකි බැවින්!)

". . . . වැලිකඩ මහ උළු ගෙදර ගාල් කල යුතුය. ජනතාවගෙන් පැහැර ගත් සියළු වත්කම් නැවත ජනතාවට ලභාදිය යුතුය. ඒ සඳහා අවස්ථාවක් අපට නුදුරේම ලැබෙනු ඇත. එහිදී නිවැරදි තීරණයක් ගැනීමට අප අදිටන් කර ගනිමු.

ශාන්ත ජයරත්න 

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජේෂ්ඨ උපදේශක. 

31.10.2013"

මා හැකි ඉක්මණින් ජගත් බණ්ඩාරගේ කණිෂ්ඨ සොහොයුරාගෙන්; ශාන්ත ජයරත්නගේ අංකය සොයාගෙන ඔහුට ලැබෙන්න සැලැස්සූවෙමි! ඔහු ඊට ස්තූතිවන්තවී තිබුනි! 

Thank you very much. One of the few guys who can see through the current issue. 

අපගේ ආදරණීය මාතෲ භූමිය කෙලෙසන එවුන් පිළිබඳ පැහැදිලි විරෝධයක් ඔහුට තිබෙන බව මා හට ඒත්තු ගියේ එවිටය! පාසැලේදී ඔහු පෙන්වූ අවංක මුහුණ ඔහුගේ හදවතින් තවමත් ගිලිහී නොතිනෙන බවත් මාහට වැටහුනි!

ඉන් පසුව ඔහු පිළිබඳව ආරංචියක් ලැබුනේ පෙරේදා එනම් 09/03/2024 දිනය! 

ඒ ලක්ෂිත සොයුරා හෘදයාබාදයක් කරණ කොටගෙන; පලමුව ආසිරි සර්ජිකල් රෝහලටත් දෙවනුව ජාතික රෝහලටත් තුලු කල බවය. 

ජාතික රෝහලේ හෘද රෝග අංශයේම සේවය කරන මාගේ නෑනාගෙන් මා ලක්ෂිත පිළිබඳව විමසූ අතර ඇ‍ය කියා සිටියේ එදිනම දහවල් 1.00 වන විට ඔහුව ශල්‍යකර්මයකට භාජනය කරණා බවයි.

ඔහුගේ ශල්‍ය වෛද්‍ය වරයා වන්නේද අපගේ ආදරණීය නාලන්දාවේ ආදී ශිෂ්‍යයෙකුම වන බවත් ය! 

ඔහු ලක්ෂිතගේ මවගේ ශිෂ්‍යයෙකු වීම ඊට සෘජු හේතුව වූ බවද සැල විය.

වට්සැප් සමූහයේ ඔහු පිළිබඳ පුවත පලවූ වහාම "මගේ රුධිර ඝනය O Negative!" යනුවෙන් ඊට ප්‍රථිචාර දැක්වූ අතර ඉන් පසුව බොහෝ සොහොයුරන් තම තමන්ගේ රුධිර ඝනයන් එහි දක්වා තිබුනු අතර එදිනම සවස ගංගාරාමයේ බෝධි පූජා පිංකමක් සහභාගී කොට තිබුනි.

09/03/2024 දින දවල් 1.00ට පටන් ගෙන තිබුනු ශල්‍යකර්මය අවසන්වී තිබුනේ පසුවව්දා එනම් 10/03/2024 පාන්දර 5.00 ට පමණ!

ඔහුගේ හෘදයේ සිට රුධිරය ශරීරය පුරා ගැලීම ඇරඹෙණ පුප්පුශීය ධමණියේ පැල්මක් තිබී එය සැකසූ බවක් අසන්නට ලැබුනි.

10/03/2024 දිනය පුරා අසන්නට ලැබුණු ආරංචි එතරම් සුභ ඒවා නොවීය!

එදින සවස තවත් බෝධි පූජාවක් බෙල්ලන්විල විහාරස්ථානයේ සිදුකිරීමට 85 සහෝදරත්වය කටයුතු යොදා තිබුනි. 

භෞතිකවාදියෙකු වූ මා ඊට සහභාගී නොවීමි!

ඒ වෙනුවට හවස් වරුවේ සිට ලක්ෂිත වෙත ලබා දීමට රට පුරා සොයමින් සිටි එන්නත් සොයා ගන්නට උපරිම වෙහෙසක් ගත්තෙමි.

මාගේ හිතාදර මිත්‍ර කඩවත පුරසඳ ෆාමසියේ සුසන්තගෙන් හා හෘදරෝග අංශයේම වෛද්‍යවරියකවූ; මා පෙර සඳහන් කල නෑනාගෙන්ද ඒ පිළිබඳව සොයා බැලූ අතර එය සොයා ගැනීමට අපහසු විය! (පසුව හෝ එම එන්නත සොයා ගත්තේදැයි මා මෙය ලියන මොහොතේ නොදනිමි!)

සෑම පැයකදීම අපට අසන්නට ලැබුනේ ලක්ෂිත පිළිබඳ බලාපොරොත්තු කඩවන ආරංචිම වීම කෙතරම් අභාග්‍යයක්ද?

සැත්කමට පසු ලක්ෂිතගේ රුධිර පීඩනය ප්‍රසස්ථ මට්ටමට නොපැමිණීම මීට හේතුව විය. එතැන් සිට සිදුවූ සියල්ල අප දනිමු! 

මා සැමදා පවසන ලෙසම "සිතුවිල්ලකට තණ පතක් හෝ සෙළවිය නොහැක!" යන්න ප්‍රථ්‍යක්ශ කරමින්; අප සමූහයේ (මා සහ තවත් අතලොස්සක් හැර) බොහෝ දෙනාගේ ප්‍රාර්ථනා සැහැල්ලු කරමින් ලක්ෂිත; 10/03/2024 දින එනම් ඊයේ රාත්‍රීයේ  අප අතරින් ඈත්විය. 

එම අවසනාවන්ත පුවත මා අපගේ සොයුරු සිසිර දාබරේට තහවුරු කරණ මොහොතේ මා සිටියේ බොරැල්ලේ ජයරත්න Respect හී තවත් අවස්ථාවකට සහභාගී වෙමින් ය. පණිවිඩය ලද සැණින් මා බිරිඳ සමග කඩවත ඒම පසෙකලා කොළඹ ජාතික රෝහල දෙසට වහනය ධාවනය කලෙමි!

"ඔයාට ගියා කියලා දැන් body එක බලන්න නම් වෙන එකක් නෑ!" බිරිඳ මා අමතා කීවාය. 

"මම ඒක දන්නවා! ඒත් මට එතැනින් යන්නෝන . . . . . !" බිරිඳ නිහඬ විය. 

මා බොරැල්ලේ සිට කින්සි පාර ඔස්සේ හෘද රෝග අංශය අසලින් සෙමෙන් ධාවනය කලෙමි. ඒවන විට රාත්‍රී 11.00 කණිසම අසල වූ අතර මුළු කින්සින් පාර ලක්ෂිතගේ වියෝවට නිහඬවී සිටියේය.  උස් තාල වර්ගයේ ගස් පෙල අතු නොසෙල්වා සිටියෝය!

මා එතැනින් ද සොයිසා කාන්තා රෝහල පසු කොට හෘදරෝග අංශය ඉදිරියේ සුළු පමාවකින් නැවත ගමන් ඇරඹීය!

අවසාන මොහොතේ මා සිසිර දාබරේ අමතා පැවසුවේත් ඔහු මා හා එකඟවූ කරුණකි "අපිට කරණ්න දෙයක් නෑනේ මචං! මොකද හෘදය වස්තුවක් දෙන්න කියලද?" 

එක එහෙම උනත් ලක්ෂිත; මේ මම ඔයාට පිලිගන්වන්නේ මගේ හෘදය! 

හෘද සාක්ෂිය!! 

ආයුබෝවන් මිත්‍රයා! 

අඩියෝස් අමීගෝ!! 


ලක්ෂිතට කරණා ගරු කිරීමක් ලෙසටවත් අප; අපගේ ජීවිත පිළිබඳව වඩාත් සැළකිලිමත් වෙමු! එය; රැල්ලට "නිවන් පැතීමට" වඩා අර්ථවත් දෙයක් වේවි!

මේ ලියන මොහොතේ මාගේ හිතාදර නාලන්දීය සොයුරු චින්තක කුඩලිගම කතා කලේය.

"මචං අපි ඒ කාලේ ඔය විජයබා කොල්ලය වගේ පොත් කියවන කොට ඕකා ඇවිත් ඔය ෆේමස් ෆයිව්, ඉනිඩ් බ්ලයිටන්ගේ පොත්  එහෙම දීලා 'මේවාත් කියවලා බලන්න' කියලා දුන්නු එකෙක්!"

"ඇත්තට මචං අපි එච්චර මූට ආදරේ කරලනේ!" ඔහු බිඳුණු ස්වරයෙන් පැවසීය.

"ඔව් බං අපි මූට මෙච්චරම ආදරේ කරලා!"


(මෙය අප පාසලේ වට්සැප් සමූහයට මා ලියනා ලද ලිපියක් වන අතර මෙහි සමහර කරුණු ඔබට තේරුම් ගැනීමට අපහසු විය හැකිය! සමාවී එය නොසලකා අරින්න.)

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...