Wednesday, July 28, 2021

207. පැනි බේරෙණ කොම්පැනි කථා 2

මගේ උසස් පෙල පංතිවලදි හිටිය හොඳම මිත්‍රයෙක් තමයි නලීන් මුතුකුමාරණ.

මගේ මුල්ම රස්සාවට පාර පෙන්වූයේ මේ මිත්‍රයා. කොහොමින් කොහොමින් හරි කාලයක් ගිහින් මට සේවය කරණ්න උනා ඔහුගේ යටතේ. ඒ කාලේ එතුමා මගේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී. මම විධායක ශ්‍රේණියේ පොඩ්ඩෙක්. ඒ කාලේ අපි වැඩ කලේ පානදුර පිංවත්තේ පර්ෆෙක්ට් ෆිට් කියලා ඕස්ට්‍රේලියානු වැඩබිමක!

මම එයාට රැකියාවට ගිය දවසේ ඉඳන්ම කාර්‍යාලයේදීත් පිටතදීත් කොටින්ම බිග් මැච් එකේදී පවා ඇමතුවේ කට පුරා "සර්" කියලා. "එහෙම කියන්න එපා බං!" කියලා එයා එළියෙදි කිව්වත්; එයත් ඒකෙන් හීන් ආතල් එකක් ගත්තා නෝන්ඩි නැතුව!

ඒකෙ පොඩි ආතල් එකකුත් තිබුනා! 

ඉතින් මෙයාට ඔෆිස් එකේදි අපේ ශ්‍රේණියේ කාට හරි බණින්න ඕනෙ නම් කට පුරා; වැඩ කිඩ දාලා බැන්නේ මට! මොකද උන්නැහැ දන්නවා; කණට ගැහුවත් මම එයාගේ ගරුත්වය නැතිවෙන විදියට රිටර්න් එකක් නොදෙන බව. අනික තමයි එයාට පෙන්නන්න ඕනෙ උනා මම මගේ අම්මට තාත්තට උනත් නීතිය නීතියමයි කියලා. ආයේ ක්ලාස් මේට් කියලා මම කාටවත් බයස් නෑ කියලා. සර්ව සාධාරණ පොර කියලා.

ඉතින් මේ විදියට කාලය ගත වෙද්දී අපේ ආයතනය වැඩ මුර දෙකකට වැඩ කරණ්න පටන් අරන් තවත් බුවෙක්  ගත්තා අපේ බුවාට සම සමව! මේකට නලීන් ලොක්කාට ටික වෙන්න හිත රිදිලා තිබුනේ එළියට නොපෙන්නුවාට. ඒත් අපේ ගැන්සිය හෙවත් කල්ලිය සෙට මෝල් වුන වෙලාවල් වලදී; ඒයාගෙ හිතේ තියෙන පොඩි පොඩි සූදුරු මාදුරු එළියට ආවේ නැත්තෙත් නෑ.

නලීන් ලොක්කාට මිඩ්ල් මැනේජ්මන්ට් එකේ අය කට පුරා "සෑර්!" කිව්වාට අනෙක්  බුවාට කට්ටිය කිව්වේ "මිස්ටර් අහවලා" කියලා! ඒකට මිඩ්ල් මැනේජ්මන්ට් එක අතර පොඩි සම්මුතියක් තිබුනා.

ඒත් මම උන්නැහේටත් කිව්වේ "අහවලා සර්!" කියලමයි! ඒකට හේතු භූත වුනු කරුණු දෙකක් තිබ්බා. එකක් ඒ දෙන්නාම හිටියේ එකම ස්ථරයක හෙවත් ලෙවල් එකක. දෙවැන්න අපේ තාත්තාගේ ප්‍රථිපත්ති. ඒකාලේ තාත්තාලාත් එක්ක එකට අඩි පුඩි ගහපු කෙනෙක් හරි ප්‍රොමොට් වෙලා තාත්තලාගේ ඉහලට ආවොත් එදා පටන් තාත්තා එයාට කථා කලේ එක්කෝ "සර්!" කියලා. නැතිනම් "මිස්ටර්...........!" කියලා. ඒ ගැන අපි ඇහුවාම තාත්තා කිව්වේ "මගේ බාප්පා මගේ බොස් වෙලා ආවත් මම කථා කරණ්න්නේ "සර්!' කියලා තමයි. ඒ මගේ ප්‍රථිපත්තිය!"

මේ කාරණා දෙකට අමතරව මට තවත් සුපිරි හේතුවක් තිබුනා. මට "මිස්ටර් අහවලා!' කියනවාට වඩා ඉතා පහසුවෙන් "සර්!" කියා හැසිරවීමට ඇති පහසුව. අනෙක ඌට සර් නොකියන්නයි අපේ මිත්‍රයාට කියන්නයි කිසිම හේතුවක් මට පේන තෙක් මානෙක තිබ්බෙත් නෑ! මට තව එකෙකුට සර් කිව්වා කියලා නැතිවෙන්නට තරම් දෙයක් තිබ්බෙත් නෑ!! ඒ උනාට මේකට අපේ නලීන් මහත්තයාගේයි අපේ ගැන්සියේ හිටපු කමල්, මංජුල, දිමුතු ඇතුළු අනෙක් පිරිසගේ තිබුනේ ඒතරම් කැමැත්තක් නොවෙයි. ඉතින් දවසක් නලීන් සරූයි කමලුයි දිමුතුයි මංජුලයි තව දෙතුන් දෙනෙකුයි මමයි එකට සෙට් වුනු වෙලාවක කථාව ඇදුනා.

"මම නං අරූට සර් කියන්නෙම නෑ! මිස්ටර් අහවලා කියලාමයි කියන්නේ!" කවුදෝ කිව්වා.

"මමත් එහෙම තමා!" තව කවුදෝ කථාවට අලගු තිබ්බා.

"මෙයානේ ඌට 'සර්' කිය කියා කථා කරණ්නේ" කමල්; නලීන් ලොක්කාට මාව පෙන්නලා ගතුව කිව්වා.

නලීන් ලොක්කාගේ ඇස් උඩ ගිහින් මගේ පැත්තට හැරුණා.

"ඇත්තද? උඹ ඌට 'සර්' කියලාද කථා කරණ්නේ???" පොර මගෙන් ඇහුවා.

"මේකනේ සර්! මම ඕන බල්ලෙකුට සර් කියල තමයි කථා කරණ්නේ. ඌ දැන ගන්න ඕන ඒක ඌට සුදුසුද නැද්ද කියලා!" මම කටේ තොලේ නොගෑවී හිනා වෙලා කියලා දැම්මා.

"තොට මම කියන්නේ නෑ @#!%*&&$#!!!!" නලීන් ලොක්කා මුලින් දත්කූරු කෑවත් වටේ හිටිය එවුං හිනා වෙන්න ගත්තාම එයත් ඒකට එකතු උනා!

තව දවසක් මාර ආතල් වැඩක් උනා!

මට නලීන් ලොක්කා මොකක්දෝ රිපෝර්ට් එකක ඉල්ලලා මට වෙලාවට දෙන්න බැරි උනා. ඇත්තටම තවත් දෙවතාවක් විතර කිව්වත් මට ඒක මොකක්දෝ අතපසුවීමකින් දින ගණනාවක්ම වැඩේ පස්සට ගියා! දවසක් උදේම; මාව දැක්කාම එයාට ඒක මතක් වෙලා මට ළඟට කථා කරලා ඇද්දා ලෙඩේ! "කෝ  %@$%#% අර රිපෝර්ට් එක!"

"ආ ඒක අද  හවස් වෙන කොට අනිවාර්යයෙන්ම සර්ගේ මේසෙ උඩ!"

"යකෝ %$@*&%! තෝ මේක තව පැයකින් හදාගෙන ආවේ නැත්නම් උඹව මං අද ගේටුවෙන් එළියට දානවා!" මල පැනලා කිව්වා.

මමත් සට  සට ගාලා මගේ මේසෙ ළඟට ගිහින් රිපෝර්ට් එකත් අරං විනාඩි විස්සකින් විතර බුවා ඉස්සරහ ප්‍රාණී භූත උනා!

"ආ! උඹ ගෙනාවද!? (එයාට තනිවම හිනා!) උඹ දන්නවාද 'සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භයංති මච්චුනෝ' කියන එකේ තේරුම?" නලීන් ලොක්කා පාලි පාඨයක් ගෙන හැර දක්වා ඇහුවා.

"ඔව්නෙ සර් . . .!" 

"දන්නවා නං උඹ කියාං බලන්න! ඒකෙ තේරුම!"

"සර්!  'සෑම සියළු දෙනාම දණ්ඩනයේ බියවෙත්!' කියන එක   මම ශේප් එකේ කිව්වා.

" ආ! හරි ඒක තමයි!!  . . . . . . " නලීන් ලොක්කාට මාර ආතල් කට කනේ.

"හැබැයි සර් ! සර් අර උදෙම කෑගැහුවාමත් මට මතක් උනේ ඔය වගේම කෑල්ලක් තමයි! "

"ඒ මොකක්ද බං!?"

"'සබ්බේ පෘථග්ජනා උන්මත්තකා!' (සෑම පුහුදුන් සත්වයෙක්ම උන්මත්තකයෙකි!) කියන එක සර්!" මම නෝන්ඩි නැතුව කියලා දැම්මා.

"තොට මම . . . . . !"

අන්තිමේ ලොක්කටත් හිනා මටත් හිනා!

අපේ ආයතනයට ආවා සුපිරි වැඩ්ඩෙක් ආශික් ලාෆීර් කියලා. කිලෝ වලින් කියනවා නම් කිලෝ 150 ක් විතර බර මුහුණ පුරා රැවුල තියෙන  කළු මෙන්න සයිස් පොරක්! උන්නැහැ ලංකාවේ අඩුම වයසෙන් චාර්ටඩ් කොලිෆයි වෙලා රැකෝර්ඩ් තිබ්බ බුවෙක්. එයා ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ හොඳ නමක් දිනාගත්තු කෙනෙක්. මේ වෙන කොට එයා සොෆ්ට්ලොජික් එකේ ගෲප් ෆයිනැන්ස් ඩිරෙක්ටර් හෙවත් සමූහ මූල්‍ය අධ්‍යක්ෂක! එයාම තමයි මාව යුනයිටඩ් මෝටර්ස් එකටත් ගත්තේ. ආශික් මහත්තයා යුනයිටඩ් මෝටර්ස් එකේ හිටපු මූල්‍ය අධ්‍යක්ෂක. මේ කථාව කියන කාලේ එයා තමයි අපේ මූල්‍ය සාමාන්‍යාධිකාරී උනේ. ඉතින් එයා හා හා පුරා කියලා නමෝ විත්තියෙන් අපේ ආයතනයට ආපු දවසේ අපි සියල්ලන්ම බෝඩ් රූම් එකට අරං පොඩි සොමි ටෝක් එකක් හෙවත් ෆ්‍රී චැට් එකක් දැම්මා. ආශික් මහත්තයා හොඳට කන බොන පල්ලි නොගිය ඩයල් එකෙක්!

"මෙතන කවුද සිගරට් බොන අය ඉන්නේ!?" එයා මුසල්මානු ස්වරයෙන් ඇහුවා.

අපි දෙතුන් දෙනෙක් අත ඉස්සුවා.

" මමත් බොනවා දවසකට පැකට් එකක්! කවුද එතකොට අරක්කු බොන්නේ!?" අපි බොහෝ දෙනෙක් අත ඉස්සුවා.

"හොඳයි මාත් ඔකේශනලි බොනවා! වෙලාවක අපි සෙට් වෙමු!! නලීන් පොඩ්ඩක් ඒක ඕර්ගනයිස් කරණ්න!!" එයා නලීන් සර් දෙසට නැඹුරු වෙලා කිව්වා. නලීන් සරුත් වැඩේ එකෙන්ම භාරගත්තා නරියට කුකුල්ලු භාරදුන්නා වගේ!

"එතකොට කවුද මෙතන ගංජා බොන්නේ නැත්නං බීලා තියෙන්නේ? කැනබීස්?" ආශීක් සර් ආයෙමත් කටහඬ අවදි කලා.

සමාන්‍යයෙන්මම මගේ මිත්‍රයින්ට හා දරුවන්ට කියනා වැකියක් වේ. එනම් "විවෘථ වෙනවා කියා රෙද්ද උස්සා පෙන්විය යුතු නැත!" කියන එකය. බොහෝ බොසාලා අපිට "කන්න බොන්න එන්න" කියන්නේ අපිට ආදරේට නොවේ. ඒ හොඳට ගැසුව පසු අප අතර බොහෝ දෙනෙක් ගීරා පෝතකයින් වන්නේය. ඒ නිසාම කාර්‍යාල වල සැලසුම් කරන බොසාලා රැඳෙන ගැවසෙන සුහද හමු, වාර්ෂික චාරිකා, මා දකින්නට පුරුදුවී ඇත්තේ මී කතුරු වල ඇටවූ පුච්චපු පොල් කෑලි මෙනි! අපි අපි සෙට් වී කන සාක්කුවේ වැටෙන්නට කෑවද බිව්වද බොසාලා දෙන මී පාසානම් කන්නේ බොන්නේ පරිස්සමෙනි. එදාට  බිව්වද බොන්නේ පසු පාදයේ ක්‍රීඩා කරමින් දිගු ඉණිමක් ක්‍රීඩා කරමින්ය! බිව්ව ගමන් ගිරව් වන අපගේ මිතරයින් හා කරකාදීන් හට මා පාටියට යන්නට මත්තෙන් මේ පිළිබඳව කියා වදාරමි; අහන එවුං අහපු දෙං! නැති එවුං නිකා හිටපු දෙං!! කියලා.

ඉතින් එදා අපෙන් ආශික් සර් "කවුද ගංජා බීලා තියෙන්නේ?" කියලා ඇසූ සැණින් මා ඇතුළු තවත් ගල් පාඬි කිහිප දෙනෙක් හා ඇත්තටම බෝ පැල වගේ හිටපු එවුං සද්දෙ වහගෙන හිටියා. ඒත් තව බුවාලා සෙට් එකක් අත ඉස්සුවා! නලීන් ලොක්කත් එතන! 

අත උස්සගෙන හිටපු එවුං ටික දෙනාව හොඳට ස්කෑන් පාරක් දැම්ම ආශික් මහත්තයා "ආ! මම නං කවදාවත් ගංජා බීලා නෑ!"  ඇඟට පතට නොදැනී කියලා දැම්මා. අත් උස්සන්නේ නැතිව හොරා වගේ හිටිය අපිට අම්බානක හිනා! අත් උස්සපු එවුංට මොනවා හිතුනාදැයි දන්නේ උංම පමණි!

නැවතත් කියන්න තියෙන්නේ "විවෘථ වීම යනු රෙද්ද උස්සා පෙන්වීමක් නොවිය යුතුය!" කියාය. මේවා සියල්ල අර කමියා කිව්වා වාගේ "මැනේජ්මන්ට් තියරිම" තමයි පොතේ නැති! 

Saturday, July 24, 2021

206. මා වෙතින් අල වූ ව්‍යාපෘථියක් (2)

අපේ කොල්ලා ඉස්කෝලෙ යන කාලේ ක්‍රීඩාවට නැඹුරුවෙලා හිටියේ. එයා මළල ක්‍රීඩා, ක්‍රිකට්, ශිෂ්‍ය භට, රයිෆල් වෙඩි තැබීම, වගේ බොහෝ ඉසව් වලට සහභාගී උනා. ඒ කාලේ පාසලේ ක්‍රීඩා ගුරුවරයාව හිටියේ ටිකිරි සර්! එයාගේ නම ටිකිරි බංඩා හෝ ටිකිරි බණ්ඩාර විය යුතුයි, ඒත් අපි හැමෝම එයාට කිව්වේ "ටිකිරි සර්!" කියලා.

ටිකිරි සර් අහිංසක මනුස්සයා. එයා කාගෙවත් හිත රිද්දන්න කැමති නැති කෙනෙක්. ඉතින් මෙයා ඉස්කෝලෙට ඇවිත් මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් කරමින් හිටියේ.

අපේ පාසලේ තියෙනවා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය හා ජේෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය කියලා ක්‍රියා කාරී සංගම් දෙකක්. මීට අමතරව ආදි ශිෂ්‍යයන්ගේ තව තවත් සංගම් කිහිපයක්ම තිබුනා ක්‍රීඩා හා වෙනත් විශය භාහිර ක්‍රියාකාරකම් ආදිය මුල්කරගෙන පිහිටවූ.

බොහෝ ඉස්කෝල වල වාගේම අපේ ඉස්කෝලෙත් මේ අදි ශිෂ්‍ය සංගම් වලට තිබුනේ එක විදියක හයියක්.

සමහර කාලවලදී "පාසලට පත්කරණ විදුහල්පති කවුරුණ්ද?" යන්න පවා තීරණය කිරීමේ; නිළ නොලත් බලයක් ඔවුන්හට හිමි වූවා.

පෞද්ගලිකව මා දරපු මතය ඊට වෙනස්. රෝහලකින් ටිකට් කපාගෙන ගෙදර ගිය රෝගියෙකුට රෝහල වෙත කල හැකි බලපෑම කොතරම්ද? එසේම පාසලේ පාලන අධිකාරිය වෙත ආදි ශිෂ්‍ය සංගම් මගින් බලපෑම් නොකල යුතුය! ඒ මගේ මතය.

ඉතින් අපේ පාසලට දැඩි සේ ආදරය කරණ පොලිසියේ ඉහළම  නිළධරයෙකු සිටියා. මොහු පොලීසිය තුල පවා පවත්වාගෙන ගියේ දැඩි ප්‍රථිපත්තියක්. 

88-89 භීෂණ සමයේදී අගනුවරට ආසන්නව සුදුවූ ඛේදවාචකයකටද පවා ඔහුගේ නම ගෑවී තිබුනා වාගේ මට මතකයක් වේ.

ඔහු  බොහෝ විට පාසලට නිළ ඇඳුමෙන් පැමිණීමත්, පාසලේ බොහෝ අවස්ථාවලට සහභාගී වීමත් නිතර දක්නට ලැබුනක් උනා. එසේම ඔහු පාසලට පැමිණි ඕනෑම අවස්ථාවක; තවත් ආදි ශිෂ්‍යයන් රාශියක් ඔහු වටා රාශි භූත වීම සාමාණ්‍ය දර්ශනයක්. ඔහු හැසිරුණේ තරමක මහේශාක්‍ය ලීලාවකින්. විදුහල්පති තුමා පවා ඔහුට ටික වෙන්න පදිරි කිව්වොත් ඒකෙ වරදක් නෑ. ඔහු දුන්නෙත් පොලිස් ටෝක්!

අපේ පාසලේ හැම ක්‍රීඩාවක් විෂය භාර කටයුත්තක් සඳහාම පොඩි පහේ සුට්ටං සංගම් රාශියක් තිබුනා දෙමව්පියන් අටවා ගත්තු. කිසියම් මෙවන් සංගමයකට පෙර කී පොලිස් නිළධරයා ඇතුළු වුවහොත්; ඔහු ඉඳුරම එහි සභාපති හෝ අනුශාසක වුනා!

මගේ කොල්ලා හින්දාම මමත් මළල ක්‍රීඩා සංගමේ සාමාජිකයෙක් උනා. ඇත්තටම පාසලෙන් භාහිරව පැවැත්වුනු මළල ක්‍රීඩා පුහුණු කඳවුරු සඳහා මා ඇතුළු කුඩා කණ්ඩායමක් කැපවීමෙන් කටයුතු කලා.

ඔබ විශ්වාස කරණ්න දරුවන්ට හා ඒවාට සහභාගී වූ දෙමව්පියන්ට පුහුණු කරුවනට කෑම බීම පවා සකසා දුන්නේ අපේ කුඩා කණ්ඩායම.

දවසක් අපේ කොල්ලා ගෙදර ආවේ ටිකිරි සර්ගේ පණිවිඩයකුත් අරන්. "අන්න ටිකිරි සර් කිව්වා හෙට හවස රැස්වීමක් තියෙනවා කියලා තාත්තට එන්න කිව්වා!"

"අනේ මම යන්න ඕනෙ නෑ! ඔය අනිත් කට්ටිය තීරණ ගනියිනේ! ඊට පස්සෙ වඩේටනේ ඉන්න ඕනෙ!?" මට කොහොමත් රැස්වීම්, කමිටු, කොමිසං අරහං ය! මොනවා හරි වැඩක් තියේ නම් කරණවා හැරෙන්නට ඔය කයිවාරුවලට යෑමට මගේ කිසිම කැමැත්තක් කවදාවත්ම තිබුනේ නෑ!

"එහෙම කියලා හරියන්නෙ නෑ! තාත්තාට "එන්නම" කිව්වා!" ඒ උගේ බොරුවක්ය. "එන්නම කිව්වා! අනේ පලයං බං යන්න බොරු කියන්නැතිව!

කොහොම උනත් අදාල දිනයේ හවස 2.30 ට විතර මා  ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුල් උනා.

මා යන විට රැස්වීම ඇරඹීමට ඔන්න මෙන්න.

මා දුටු වනම ටිකිරි සර් පොඩි හිනාවක් දමා වාඩි වෙන්නට පුටුවක් සභාවේ සිට පෙන්වූවේ හිටි තැන ඉඳගෙනම.

මා ඉඳගත්තේ අවසාන පේලියේමය.

විදුහල්පති, ටිකිරි සර්, මට මතක ලෙසට සුසන්ත සරුත් හිටියා වගේ මතකය! මේ සියල්ලන්හටම අමතරව තවත් හිස් පුටුවක් වෙන්ව තිබුනා. සභාවේ  හරි මැදින් විදුහල්පති තුමාට ආසන්නයේ පනවා තිබූ ආසනයේ හිමි කරු තවත් ටික වේලාවකින් එහි සැපත් විය. ඔව් ඔබ හිතුවා හරියටම හරි. ඒ අන් කිසිවෙකු නොව තරු පටි පිරිවරාගත් පොලිස් නිළධර තුමාය. ඔහු ශාලාවට ඇතුලුවද්දී සියල්ලෝම නිහඬවිය. පසු පසින් තවත් පොලිස් කොස්තාපල් වරයෙකු කුඩා ලිපි ගොනුවක් හා දිනපොතක් රැගෙන ආවේය. නිළධරුවා ඉඳ ගත් පසු ඔහුට එකත් පසව නැඹුරුවූ පොලිස් කොස්තාපල් වරයා හට කිසියම් උපදෙසක් දී ඉදිරියේ වාඩිගෙන උන් දෙමව්පියන් වෙත "පොලිස්" බැල්මක් හෙලා විදුහල් පති තුමා දෙසට හැරී; මොන මොනවාදෝ; වරෙක සිනහ වෙමින්ද වරෙක බැරෑරුම් ස්වභාවයක් ආරූඪ කරගනිමින්ද මුමුනන්නට විය.

පසෙක සිටි ටිකිරි සර් අවසර බලා රැස්වීම පටන් ගැනීමට පොලිස් බලවතාගෙන් අවසරය ලබා ගෙන වැඩේ පටන් ගත්තේය.

"අද මේම අවස්ථාවට සහභාගී වී සිටින පොලිස් . . . . . . . . . . . . . . . . .. . . . . .! අප අද මෙතනට එරැස්වී සිටින්නේ අපේ දරුවන් උදෑසන පාසලට පැමිණ මළල ක්‍රීඩා පුහුණුවීම් කටයුතු වල නිරත වීමෙන් පසුව; නැවත පාසලේ පංති කාමරවලට යෑම ට පෙර; නා ගැනීමටත් ඇඳුම් මාරු කරගැනීමටත් කුඩා කාමරයක් ඉඳිකර ගැනීමේ කටයුත්තකට.  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .! මෙතනින් ඉදිරියට මේ රැස්වීමේ කටයුතු ඉදිරියට ගෙන යෑමට මා ගෞරවයෙන් ආරාධනා කරණවා අපගේ පොලිස් . . . . . . . . . . . . . . . මහතා හට!"

වැඩේ පටන් ගෙන බැට්න් එක චෙන්ජ් කල ටිකිරි සර් පසෙකින් ඈඳි ගත්තේ එලෙසින්ය!

පොලිස් මහතා හුන් ආසනයෙන් නැගිට්ටාදැ කියාවත් මාහට මතක නැත! එතැන් පටන්; ඔහුගේ වචනයෙන් පවසනවානම් ඩ්‍රෙසිං රූම් එකට තිබිය යුතු පහසුකම් හොට් වෝටර් ශවර්, ලොකර්, වේට් සැට් හෙවත් බර ඉසිලීමේ උපකරණ ආදී අටෝරාශියක් එකතු කිරීමෙන් අනතුරුව කථාව නිම කිරීමට; රැස්ව සිටින පිරිස දෙසට තම දඹරැඟිල්ල උළුක් කරමින් තෙරා ගත්තේ අපූරු වගන්තියකි.

" ඕනේ නම්; මට මේක තනියෙම කරණ්න පුළුවං මේ පොඩි ප්‍රොජෙක්ට් එක මම කරණ ඒවා හැටියට! ඒත් මේක කරණ්න ඕන සියළුදෙනාම එකතු වෙලා! කවුරු හරි මෙතන කෙනෙක් අභියෝග කලොත්; පුළුවන්නම් මේක කරලා පෙන්නන්න කියලා; මං මේක තනියෙම කරණවා!"

පිරිස මීයට පිම්බා ලෙසය! "මේ යකා ගේ පම්පෝරි! කවුරු හරු අභියෝග කරනවානම් තනියෙම්ම කරණ්න පුළුවං නම් ඇයි අපි අභියෝග නොකරණ්නේ? ඔව් එක්කෝ මේ යකාට කියලා වැඩේ කරගන්න ඕනේ නැතිනම් මුගෙ හුළං බස්සන්න ඕනෙ! කළිසම ගලවන්න ඕන!!" මේ මගේ හිත මට මුරගා කියූ අදහස්ය.

ඉබේම මා නැගිට්ටෙමි!ඒ දකුණු අත ඔසවාගෙනමය!! පොලිස් ලොක්කා නිකටෙන් මාදෙස බැලීය. විදුහල්පති තුමාද ටිකිරි සර් ඇතුළු මුළු මහත් සභාවම මාදෙස අයාගත් මුවෙන් යුතුවය.

"මාගේ අභියෝගයෙන් සිදුවන්නේ පාසලට යහපතක් නම් මා ඔබතුමාට අභියෝග  කරණවා; මේ ව්‍යාපෘථිය පුළුවන්නම් තනිව කරලා පෙන්වන්න කියලා!?" පොලිස් ලොක්කාගේ දෑසදෙස බලාගෙනම මා කියවාගෙන ගියෙමි.

 රැස්ව සිටි සියල්ලෝම කණපිට හැරී මාදෙස බලාගෙනය. 

ටිකිරි සර්ගේ කට අරිලාය.

පොලිස් බුවාගේ මුහුණ කළුවී දත් කූරු කමින්ය. එක එල්ලේ මාදෙස බලා සිට වචන වලින් මා හට දමා ගසන්නට විය.

"තමා කවුද!? ෆෝසස් ද?"

"නෑ මම සාමාන්‍ය පුරවැසියෙක්!"

"මොකක්ද තමාගේ ඉස්කෝලෙ!?"

"මේ ඉස්කෝලෙම තමයි!"

"හරි මම අභියෝගෙ භාරගන්නවා! තමා මේ වැඩේ සුපර්වයිස් කරණෝන? හරි?"

"හරි!"

විශ්වාස කරණ්න මිත්‍රවරුණි එතනිං එහාට රැස්වීමක් තිබ්බේ නැත!

පොලිස් ලොක්කා පුටුව පසුපසට වීසි වන්නට ශබ්ධ නගා නැගී සිට දොරටුවෙන් වේගයෙන් පිටවූ අතර අතර සභා තොමෝ ඒ පසු පසින් ශාලාවෙන් එළියට කඩිමුඩියේ පිටවිය!

අන්තිමට පසු පසින් වැටුනු ටිකිරි සර් කාමරයෙන් පිටවූයේ; මා දෙස බලා අන්තිම අහිංසක සිනාවක් සමගින්; තම නළලට දකුණු අතින් පහරක් ගසමින්ය!

දෙමව්පියන් අතර මට හිතවත් කුඩා පිරිසක් මා වටා එක් විය!

"ඔය යකා මහ එපා කරපු එකා! ඕකා . . . . .. .. .  තියෙනවලු!" කට්ටිය තමන්ගේ අදහස් මා වෙත මුදා හරිමින්ය!

"මොනවා කරණ්නද? වෙන දෙයක් උනාවෙ! ඉතිං මම වරදක් කලායෑ? එයා කිව්වා; එයාට අභියෝග කලොත් කරණවා කියලා! මම කලා!? වෙන මොකක්ද!???"

මා ඇතුළු රැස්ව සිටි දෙමව් පියන් ශාලාවෙන් එළියට එන විට පොලිස් පුළුටක් වත් පාසල තුල දකින්නට නොතිබුනි. 

"ඔයා නම් මාර බඩුවක් තමයි!" ටිකිරි සර් එයාගෙ 'හා' දත් දෙක පෙන්වමින් ක්‍රීඩා මණ්ඩපය අසලදී පසුව පැවසුවේය.

දිනය හවස් වන විට මාහට දූරකථන ඇමතුම් එක දෙක එන්නට පටන් ගත්තේය!

"මොකක්ද බං මේ උඹ කරගෙන තියෙන්නේ!?"

"ඌට කථා කරලා වැඩේ ගොඩ දාගන්න බලපං!"

"උඹට මං කියන්න ඕනෙ නෑනේ ඌ කවුද කියලා!?"

"මොකද කියන්නේ මම කථා කරලා වැඩේ ශේප් කරලා දෙන්නද!?"

මෙවැනි අටෝරාශියක් ඇමතුම් දින ගනනාවක් යන තුරු මා හට ලැබුණි. මා මාගේ සුපුරුදු දින චර්‍යාවේ යෙදුනෙමි. මට සිදුවූ කැකිරි ගෙඩියක් නැත! සියල්ලන් හටම මා සිදුවූ කයිවාරුව පිළිබඳව සැකවින් පවසා; "මොනවා කරණ්නද? වෙන දෙයක් උනාවෙ! ඉතිං මම වරදක් කලායෑ? එයා කිව්වා; එයාට අභියෝග කලොත් කරණවා කියලා! මම කලා!? වෙන මොකක්ද!???"කියා මගේ නිදහසට කරුණු කියා පෑවේය. ඊට පක්ෂවද, විපක්ෂවද උදාසීනවද පිළිතුරු ලැබුනි. එහෙත් ඒ සියල්ලන්ගේම ඒකමතික අදහස වූයේ "ඒ උනාට ඌ එක්ක ඇරගන්න ගිය  එක නම් හොඳ දෙයක් නොවේ!" යන පොදු අනතුරු ඇඟවීමය!

කාලය ගෙවී ගියේය. පසුව තවත් අවුරුදු ගනාවකට පසු පොලිස් නිළධර තුමා මාහට සම්මුඛ වූයේ පාසලේ පිහිණුම් තටාකය තුලදීය!

"ආ! මල්ලි! දැං ඉස්සර වගේ ස්විම් කර්ණ්න බෑ බං!" ඔහු පිහිණුම් තටාකය තුල ඇවිද මා ළඟට විත් පැවසුවේය.

"ඔව් අයියේ මටත් දැන් ඉස්සර වගේ අමාරුයි!" මම ඊට පිළිතුරු සැපයූවෙමි. (ආයේ ":අනේ මටනම් එහෙම දෙයක් නෑ!" කියලා පොර වෙන්න ඕනෙ නෑනේ!" එයාගෙ හිත හැදෙන්නත් එක්ක මම එහෙම කිව්වා)

මම දන්නවා තමුන්නැහැලාගේ හිතේ තියෙන කුකුස! අර වැඩේ එයා කලාද කියලා නේද? වැදගත්ම කථාව වන්නේ සුපිංවතුනි. එතුමා නිමකල නොව අවම වශයෙන් පටන් ගත් ඩ්‍රෙසිං රූම් එකක් නැත! අපි හදපු එකක්ද නැත.

ඔව් ඒ ව්‍යාපෘථියද මා වෙතින් ඉතා සාර්ථකව අල විය.

Saturday, July 17, 2021

205. මා වෙතින් අල වූ ව්‍යාපෘථියක් (1)

හරි මැද්දෑවෙන් කිරි කොකා වගේ ඉන්නේ ප්‍රේමතිලක සර් ය!
අපේ ඉස්කෝලෙ මෑත භාගයේ හිටපු නම් දරාපු විදුහල්පතිතුමා තමයි එච් යූ ප්‍රේමතිලක මහත්තයා. එයා අපේ ඉස්කෝලෙට ඇවිත් සෑහෙන කාලයක් ඉඳලා අධ්‍යාපනය ක්‍රීඩා වගේ අංශවලින් පාසල ඉදිරියට ගෙනල්ලා මීට අවුරුදු පහකට හයකට විතර ඉස්සෙල්ලා පාසලෙන් පිට උනා. එතුමා ගියේ අධ්‍යපන අධ්‍යක්ෂක තණතුරකට උසස්වීමක් ලැබිලා!

ඉතිං මේ ප්‍රේමතිලක සර් පාසලෙන්  යන අවසාන දවස් වලට සති කීපයකට පෙර අපේ කොළුවා ගෙනාවා පණිවිඩයක්!

"අත්‍යාවශ්‍ය කාරණාවක් සඳහා පැවැත්වෙන දෙමාපිය විශේෂ රැස්වීමට අනිවාර්‍යයෙන්ම සහභාගී වන්න!" මේක තමයි සැකවින් තිබ්බේ දිනයක් සහ වෙලාවක් එක්ක.

දිනේ යෙදිලා තිබ්බේ හෙට නෙවෙයි අනිද්දා වගේ.

එදින උදේම මමත් හෙමිං සීරුවේ පාසලට ඇතුළු උනා පරන ආදී ශිෂ්‍යයෝ හෙවත් පරණ කකුල් එක්කම.

"මොකක්ද දන්නෑ සීන්ස් එක නේද?"

"ප්‍රේමතිලක සර් යන එකට මොකක් හරි කරණ එකකට!"

යන්තං වැඩේ මොකක්ද කියලා දැන ගත්තේ ගේට්ටුවෙන් ඇතුළු වෙන කොටම වගේ.

ඔඩිටෝරියම් එක හෙවත් ශ්‍රවණාගාරය තියෙන්නේ තට්ටු තුනේ ලැබ් බිල්ඩිමේ කෙළවරේ.

ඒකට නගින්න ඕන තට්ටු තුනක්ම!

නුවර පෙරහැර අවසන් උනාම දළදා වීදිය වගේ පඩි පෙළ දිගේ අම්මලා තාත්තලා.

හිමි හිමීට මහගිරි දඹේ තරණය කරණවා වගේ උඩට ගිහින් පිටිපස්සට වෙන්න තිබ්බ පුටුවකට යන්තං සෙට මෝල් උනා දඩිය පොල්ල දාගෙනම.

තවත් විනාඩි විස්සක් පැය භාගයක් යන කොට ගුරුවරුන් ගුරුවරියන් එක්කෙනා දෙන්නා වේදිකාව උඩ අසුන් ගත්තා.

පාසලේ ශිෂ්‍ය නායකයින් හා සංනිවේධන අංශයේ කිහිප දෙනෙක් මයික් ටෙස් කරණවා ඈම්ප් එකද මික්සර් එකද මංදා ඒ අටමංගල්ලෙ කරකවමින්.

"ටෙස්ටින් ! ටෙස්ටින් !! ටෙස්ටින්!!! වන් ටූ ත්‍රී"

"ටෙස්ටින් !  වන් ටූ ත්‍රී"

ඇතුලේ තිබුණු ඝෝෂව ටිකක් අවම උනා.

"ඒ අන්න පටන් ගන්න හදන්නේ!" ආපස්ස හැරී තෙලක් බෙද බෙද හිටිය තාත්තෙකුඅට තවත් එකෙක්; මෙතැනට ආව කාරණේ සිහිය සැපත් කලා!

තවත් විනාඩි 10 කින් විතර එතැන හිටිය ගුරු තුමෙක් මයික් එකට කිට්ටු කලා.

"ටොක්! ටොක්!! ටොක්!!!" මයික් එකට තුන පාරක් කෙටුවා. ඊට පස්සෙ පස්ස හැරිලා පසෙකින් හිටපු ශිෂ්‍ය නායෙකයෙකුට මයික් එක පෙන්නලා මොකක්දෝ කිව්වා. 

ඔවුන් අර විද්‍යුත් මෙවළමේ රෝදයක් එහාට මෙහාට කර කවලා ඔළුව දෙපැත්තටම වැනුවා.

"ටොක්! ටොක්!! ටොක්!!!" ගුරු භවතාගේ මුහුනේ තිබුනේ තරමක නුරුස්සනා බැල්මක්. ඔහුගේ ලයාන්විත හඬට මේ මෙවලම් පද්ධතිය සාධාරණයක් ඉෂ්ඨ සිද්ධ නොකරාවි යැයි ඔහුට සැකයි වගේ. අන්තිමේ අකමැත්තෙන් උනත් මයික් එකට යන්තමින් කැස්සා!

"ම්ම්හ්හ්හු! සුභ උදෑසනක් දෙමව්පියනි . . . . . . ! උගුර පාදාගෙනම ටෝක් එක පටන් ගත්තා!

"සුභ උදෑසනක්!" රැස්ව සිටි පිරිස පුණරුච්ඡාරණය කලා!

"අද මේ විශේෂ රැස්වීම සඳහා අප ඔබ සැම මෙහි කැඳවූයේ; පුරා වසර ගනනාවක් අපගේ විද්‍යාලයට මහත්වූ සේවයක් කල එච් යූ ප්‍රේමතිලක මහතා අමගෙන් සමුගෙන යාම සහ ඒ වෙනුවෙන් ඒ මහතා වෙත පැවැත්වීමට යෝජිත උත්සවය හා ඒ මහතා වෙත ලබා දීමට සුදුසු ත්‍යාගයක් පිළිබඳව සාකච්චා කිරීමටයි . . . . . . . . . . . . . . . . . .! . . . . . . . . . . .. .   ."

කතාව තවත් විනාඩි කිහිපයක් පවත්වා;දෙමාපියන්ගේ ඒ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරණ මෙන් ඉල්ලා ගුරු තුමා තමාගේ ආසනයේ අසුන් ගත්තා.

ගුරු තුමාගේ කථාව අවසන් වී විනාඩි දෙකක් වත් ඉකුත් වන්නට මත්තෙන් ඉදිරි පෙල සිටි මහත්මයෙක් නැගිට වේදිකාවට පිවිසුනා!

"මචං  බස් ගැමුනුවා . . !" ළඟ හිටිය එකෙක් තව එකෙකුට කියනවා මං අහගෙන.

මේ පෞද්ගලික බස් හිමියන්ට හැමදාම පාඩුයි කියලා බස් ගාස්තු වැඩි කරණ මෙන් කාලෙකට සැරයක් ටීවී එකේ නාහෙන් අඬන බුවා!

"මූලාසනාරූඩව සිටින ගුරුවර ගුරුවරියන්ගෙන් අවසරයි! හිතවත් නෝනා වරුණි! මහත් වරුණි!! . . . . . . . . . . . . . . . . . . . . මේ අපගේ විදුහල්පති එච් යූ ප්‍රේමතිලක මහතා අපේ පාසලට කල ඇති සේවය . . . . . . . . . . . .  . . . . .  . . . . . . . එම නිසා මා යෝජනා කරණවා මේ මහතාට ත්‍යාගයක් ලෙස මෝටර් රථයක්ලබා දීමට . . . . . . . . . . . . . . "

"අම්මට හුඩු . . ! කාර් එකක් දැණ් කීයක් වෙනවාද? කීයක එකක්ද අරං දෙන්නේ? එතකොට එක් අයෙකුගේ කොටස කීයක් වෙයිද?" මේ මගේ හිතට නැගුණු ගැටළුය!

මුළු ශ්‍රවණාගාරයම එකවර නිහඬවී ගියා! තවත් මිනිත්තු ගනනකින් නැවතත් සුපුරුදු කච කචය පටන් ගැනුනා!

ඒ එක්කම මගේ හිතට ගලා ආවේ; ඊට සති කිහිපයකට පෙර මාගේ කොළුවා ගෙදර විත් මා සමග ඔහුගේ හොඳම යාළුවා පිළිබඳ සඳහනක් කල හැටි.

"තාත්තේ! රුවන්ගේ තාත්ත වෙල්ඩින් වැඩනෙ කරන්නේ. මේ දවස් වල  එයාලගෙ තාත්තලාට වැඩ ආවේ නැතිලු!!  ඉතිං ඒ හින්දා ගෙදර සෑහෙන්න අමාරුයිලු!" 

මා ඉගෙන ගත් පාසල අගනුවර මාධ්‍යයේ පිහිටි එකක් වුවද එහි ඉගෙන ගත් සියල්ලන්ම සුපිරි පංතියේ අය නොවීය.

පාසලේ නව වසරක් සඳහා ශිෂ්‍යයන් 48 දෙනෙකුගෙන් සමන්විත පංති  10 ක්-12ක් පමණ ඇතුලත් කර ගනී.

මේ ශිෂ්‍යයන් එන්නේ විවිධ වූ තරා තිරමේ ආර්ථික වට පිටාවකිනි.

හය වසරේදී තවත් පංති තුනක් සඳහා ශිෂ්‍යත්වයෙන් සමත්වූ පිරිස දුර බැහැර පලාත් වලින් එන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනා මධ්‍යම පාංතික පවුල් වලින් හෝ දිළිඳු පවුල් වලින් පැමිණෙන්නෝ විය හැක!

මාගේ දරුවාගේ මිතුරාද හය වසරේදී පාසලට එක්වූ දරුවෙකි.

"ඔව් මේ යෝජනාව වැරදි එකක්! මේක පරාජය කරණ්ණ ඕන!!" මම මටම කියාගෙන වේදිකාවට ඈතින් වූ අසුනෙන් නැගිට්ටා! නෙවෙයි නැගිටුනා!!

අතුරු සිදුරු නැතිව පිරුණු ශ්‍රවණාගාරයේ පුටු අතරින් උඩින් පනිමින් ඉදිරියට ගියා.

මා වේදිකාව අසලට එන විට ශාලාව සෑහෙන්න පමණ නිශ්ෂබ්ධ වෙලයි තිබුනේ.

"එන්න!" මූලාසනයේ උන් ගුරු භවතා මාහට මයික්‍රෆෝනය සහිත පෝඩියමය පෙන්වූවේ තවත් සාරගර්භ කථාවක් කියලා හිතලා වෙන්ටැ!?

මා මගේ කථාව පටන් ගත්තෙමි. එහි සැකවින් සාරාංශය මෙසේ උනා.

"තෑග්ගක් දිය යුත්තේ අප අතරින් එක් වන මුදලින් විනා තෑග්ග පළමුව තීරණය කොට එහි බර දෙමාපියන් මත යෙදීම එතරම් සාධාරණ එකක් නොවේ. 

මෝටර් රථයක්  යනු දිය හැකි වටිනාම ත්‍යාගයද? දෙමාපියන් වෙතින් එක් වන මුදලින් ඊට සරිලන වෙනත් වටිනා ත්‍යාගයක් සොයා ගත නොහැකිද?

මගේ දරුවාගේ මිතුරාගේ පියාට මේ කාලයේ නියමිත ආදායම් මාර්ගයක්වත් නෑ!

ඔහු හදවතින් මොනතරම් විදුහල් පති තුමා හට ගරු කලද ඔහුට මෝටර් රථයක් ලබාදීමට දායක විය හැකිද?

එනිසා කල යුත්තේ දෙමාපියන් අතරින් එකතුවන මුදලින් ඊට සරිලන ත්‍යාගයක් ලබා දීම මිස පළමුව තෑග්ග තීරණය කිරීම නොවේ!"

මගේ කථාව පටන් ගනිද්දී තිබුනු පුංචි පුංචි කසු කුසුත් අවසාන වෙද්දී නැතිව ගොස් තිබීම මට ගෙන ආවේ සතුටක්. කථාව මා අවසන් කල අයුරු මට අදටත් හොඳටෝම මතකය.

"මාගේ යෝජනාවට එකඟ නෝනාවරු මහත්වරු කරුණාකර අත ඔසවන්න!"

රැස්ව සිටි අයගෙන් සීයට අනූ නවයක්ම සිය අත් ඔසවා මාගේ යෝජනාවට මනාපය ලබා දුන්නේ මාව අමන්දානන්දයට පත්කරවමින්.  

"අන්න බහුතරය!" මා මූලාසනය වෙත පිරිස දක්වා වේදිකවෙන් බැස ආවෙමි.

වේදිකාවේ හිටිය ගුරුවර ගුරුවරියන් මූලාසනේ හිටිය ගුරුතුමාගේ දෙසට නැවී මොන මොනවාද කියනවා! ටිකකින් මූලාසනේම නැගිට විත් "මං කියපු කාරණය ගැන පොඩ්ඩක් කල්පණා කරණ්න! අපි දරුවා අතේ කියල එවන්නම් මොකක්ද කෙරෙණ්නේ කියලා. ආයිබෝවං!" සභා තොමෝ විසිර ගියා!

එළියට ආවිට ගම්පහ සකලසූරිය එලියේදී හමුවිය!

"උඹ යකෝ නැගිටිනකොටම මං දැනගත්තා මොකාක් හරි අලුගුත්තේරු වැඩක් කරයි කියලා!" මේ ඔහුගේ ප්‍රකාශය හැකි තරම් සුමට සුමග හා සභ්‍ය විදියට ලිවිය හැකි ආකාරයයි!

වැදගත්ම දේ එය නොවේය!

සුපිංවතුනි; අනේ එච් යූ ප්‍රේමතිලක මහත්තයා වෙනුවෙන්; අද වන තුරා සතයක් වත් මා දන්නා තරමින් පාසලේ එකතු කලේ නැත !

ඒ විදියට ඒ ව්‍යාපෘථිය මා වෙතින් අල වනු ලැබීය!

පසුකලයකදී අධ්‍යාපන අධ්‍යක්ෂකතුමෙකු ලෙස පාසලේ වාර්ෂික ත්‍යාගප්‍රධානෝත්සවයට ප්‍රේමතිලක මහතා සපැමිණි අවස්ථාවක වසික විසින් පිළිගැනීම!

තවත් එවන්ම ව්‍යාපෘථියක් ඉදිරියේ බලාපොරොත්තුවන්න!

Tuesday, July 13, 2021

204. නොරත රථ . . . . ! (12)


(අන්තර් ජාලයෙන්)
පලමු වාහනය හෙවත් ෆියට් 132 - 9ශ්‍රී7053 මිළදී ගැනීමට රුපියල් 37500/= බිරිඳගේ මව විසින් ප්‍රථිපාදන හෙවත් ආපසු ගෙවිය යුතු ණයක් ලබා දුන්නාය. මා විවාහ වන්නට පෙර මොරගහහේන ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගත් අතර එය විකුණා දෙවන රථය වන ඔස්ටින් Miniය - 6ශ්‍රී2416; 48500/= කට මිලදී ගෙන ඉතිරි මුදලින් යලිත් කුඩා ඉඩම් කොටසක් මිලදී ගත්තේමි. ඉන් පසු එම ඉඩම් කොටසද විකුණා එම මුදලින් කොටසක් යොදවා පලමු ලෑන්ඩ්කෲසරය- 31ශ්‍රී5460 ද ඉන්පසු එය පූජාකොට ලැබුණු මුදලින්  31ශ්‍රී9111ද එයත් සමග හුවමාරුවට 32ශ්‍රී0865 නිසාන් පැට්රෝල් රථයද මා සතු කර ගත්තෙමි. 

මෙසේ සිලින්ඩර හයේ රථයක් මිලදී ගත්තද ටැංකිය පිරෙණ්නට ඩීසල් ගැසුවා නම්; ඒ මගේ හිසේ කෙස් ගානටය! ලැන්ඩ්කෲසරයේ මෙන්ම නිසාන් පැට්රෝලයේද ඉන්ධන ටැංකියට ඉන්ධන ලීටර 85ක් පමණ අල්ලයි. ඒ කාලේ හැටියට රුපියල් සීයේ දෙසීයෙ ඩීසල් ගහගෙන අප  වාහන පාවිච්චි කලෙමු. 

නිසාන් පැට්රෝල් 32ශ්‍රී0865 වාහනයේ ඇතුලත මෙලෝ රහක් නොතුබුනි. කොටින්ම හරි මන් කාපට් එකක් වත් නොතිබුනි. එහි පවර් ස්ටියරිං හෝ වායුසමීකරණ පද්ධතියක් තිබුනේ නැත. ගියර් ලීවරය  වාහනයේ පතුලෙන් මතුව ඇති ස්ථානය වසා දැමෙන රබර් බූට් එක හෙවත් වසුන තිබුනේ නැත. ඒ නිසාම දූවිලි පිරුණු පාරක යද්දී ඒ තුලින් දූවිලි වාහනය ඇතුලට පිරීම නවතා තිබුනේ පැරණි බෙඩ්  ශීට් එකක හෙවත් ඇඳ ඇතිරිල්ලක් ගියරය වටා එතීමෙනි.

ඒ මොනවා උනත් ඒ මගේ වාහනයය!

පැට්රෝලයෙන් අප බොහෝ ගමන් ගියෝය. බොහෝ අළුත් වැඩියාවන් මා විසින්ම සිදු කොට එහි ධාවනය ඉතා හොඳ මට්ටමක පැවතුනි. මා අළුතින් (පරන) වාහනයක් ගත් විට ලිහිසි සේවාවට අමතරව සිදුකරණ අළුත්වැඩියාවන් කිහිපයක් වේ. ඕල්ටනේටරය හා ස්ටාර්ටර් මෝටරය ගලවා පරීක්ෂා කොට අළුත්වැඩියාවක් වෙතොත් එය ඉටු කිරීම හෙවත් සර්විස් කිරීම.

රේඩියේටරය ගලවා පිරිසිදු කොට සවි කිරීම.

ක්ල්ච් උඩ යට පොම්පවල වොෂර්, බූට් සීල් ආදී සියලු සකළමනාව හෙවත් රෙපයාර් කිට් දමා ගැනීම.

බ්‍රේක් පද්ධතියේද රෙපයාර් කිට් දැමීම.

සල්ලි ඇති හැකි පමණ බලා ඩ්‍රයිව් බෙල්ට්ස් හෙවත් ෆෑන් බෙල්ට්, ඕල්ටර්නේටර් බෙල්ට් හා පවර් ස්ටියරිං බෙලට් මාරු කිරීම.

මේ කටයුතු ටික එකින් එක හෙමින් සීරුවේ කරගත් විට වාහනය ස්ටාර්ට් කරගන්නටත් ගමනක් යන්නටත් අවශ්‍ය තැනක නවතා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. මේ ප්‍රශ්ණ ටික විසඳා ගත් පසු එදිනීදා මුහුණ දෙන ගැටළුවලින් 80% කටම පිලියම් යෙදිලාය.

දෙවෙනි තෙවෙනි අවස්ථාවේ සල්ලි ටිකක් එකතු කරගෙන හබ් රේසර් නකල් රේසර් ආදිය හා ස්ස්ටියරිං ලින්කේජ් පිළිබඳව අවධානය යොමුකර හැකිය.

මෙහිදී ඕල්ටර්නේටරය, ස්ටාටර් මෝටරය, හා රේඩියේටරය යන උපාංග වල සර්විස් කිරීම සඳහා ඒ සඳහා දැනුමැති අයවලුන් සොයා යායුතු වන අතර අනෙකුත් අළුත්වැඩියාවන් බොහෝ විට සිදුවූයේ මාගේ දෑතින්මය.

මා 31ශ්‍රී5460 ගත් අළුතම කඩවත ඔක්සිජන් හවුස් සාප්පුවෙන් ජර්මානු VBW හය පට්ටං බොක්ස්පැනර් සෙට් එකක් මිලදී ගත්තෙමි. එය මිළදී ගත් දිනයේම අතා අඩු මිලකට චීන බොක්ස්පැනර් සැට් එකක්ද ගෙදර ගෙනාවේය. ඒ අසල්වාසීන්ගේ අවශ්‍යතාවයන් සඳහා ලබා දෙන්නටය! අදටත් වැඩ ගන්නා එම ජර්මානු බොක්ස්පැනර යන්තමින් වත් ඇතුලත හැඩය වෙනස් වී නොමැත!

පැට්‍රෝලය අතර මගදී ලෙඩ දුන්නේ එකම එක් අවස්ථාවකදී පමණි. ඒ රත්නපුර ගොස් සිටියදීය. වාහනයේ ක්ලච් ප්ලේට් වල ඝර්ෂනය එකවර නැවතී වාහනයේ ධාවනයට බාධා පැමිණුනේ රත්නපුර පසු කොට දෑල දෙසට ගමන් ගනිද්දීය.  රත්නපුර නගරයෙන් මිලදී ගත් කල්ච් ප්ලේට් ඒක හා ප්‍රෙෂර් ප්ලේට් එකද වාහනයේ තබා ගත් මා ආපසු කොළඹ එන්නට විමි. අවිස්සාවේල්ලට නුදුරුව දිවුරුම්පිටිය පසු කරත්ම වාහනය ගමන් කල නොහැකි තත්වයට පත්වුනි.

මා වාහනය පාර අසල  තණතීරුවේ නවතා එතැනම ගියර් පෙට්ටිය බිමට ගෙන ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් මාරු කොට තනිව රථයේ ගියර් පෙට්ටිය ඔසවා සවි කර ගත්තෙමි. මගේ උදව්වට තිබුනේ ජැක් දෙකක් හා අවටින් සපයා ගත් කොට කැබැලි කිහිපයක් පමණි!

Nissan Patrol 160 Gearbox 
(අන්තර් ජාලයෙන්)

එම ගියර් පෙට්ටිය කිලෝ 250 ක පමන බරකින් යුක්තවිය. සාමාන්‍ය රථයක ගියර පෙට්ටියකට වඩා සිලින්ඩර හයක ධාරිතාවයකින් සමන් විත ඩීසල් ඇන්ජිමකට යුගල වූ ෆෝවීල් ඩ්‍රයිව් ගියර පෙට්ටියක් යනු සත්තකින්ම දැවැන්තයෙකි. එසේම ට්‍රාන්සර් කේසය නිසා එය සමමිතික අක්ෂයක් ඔස්සේ එසවිය නොහැකිවේ. මේ සියළු බැරි අමාරු කම් දන්නේ ගියර් පෙට්ටියක ටොප් ෂාෆ්ට එක පයිලට් බෙයාරිමට රිංගවන්නට ජීවිතේ එක් වතාවක් හෝ උත්සුක වූ අයෙකු පමණි! වඩාත්ම සිත්ගන්නා සුළු කරුණ වන්නේ ටොප් ශාෆ්ට් කෑල්ලක් නොමැතිව ක්ලච් ප්ලේට් එක අතේ හුරුවට එකෙල්ලට තබාගෙන ප්‍රෙශර් ප්ලේටය වටා ඇන ටික තදකර ගැනීමය. 

ඉන් පසු කිසිදු දිනෙක ටයරයක හුළං බැසීමකට හෝ ඩීසල් අවසන් වී ඉන්ජෙක්ටර පොම්පයට හුළ ඇද නැවතීම යන "සුළඟෙන් සිදුවන අනතුරු" සිදුවූවාක් පමණි. වාහනය මා ළඟ තිබූ වසර දහයකට අධික කාලය තුල මා වෙත පතල මහා කරුණාවෙන් යුතුව සේවය කලේය.

වරක් මා පොළොන්න්නරුවේ යන්නට පිටත් වූයේ කඩවතින් හවස 5.13 ටය. සාමාන්‍යයෙන් මා තරමක් වේගයෙන් වාහනය පදවයි. එය මා සේවය කල සේවා ස්ථානවල  සහ පවුලේ උදවිය, නෑදෑයන් අතර පවා ප්‍රචලිත සිද්ධාන්තයකි.  ගමන පිටත්වූ තැන පටන් මා හැකි උපරිම වේගයෙන්  ධාවනය කලෙමි. නිසාන් පැට්රෝලය ඉතා සමබර වාහනයකි. එමෙන්ම එය පදවන්නාට අතිශය කීකරු ලෙස හැසිරේ. ඕනෑම වංගුවක් නැම්මක් කන්දක් පල්ලමක් ගිය වේගයම පවත්වාගෙන ධාවනය කල හැක. 

එකම වරද වන්නේ වාහනය අවශ්‍ය ස්ථානයේ නවතා ගැනීමට ඇති අපහසුව පමණි! මම මේ කියන්නේ අහිංසක නිසාන් පැට්රෝල් 160 ගැන විනා ‍Y60 ගැන එහෙම නොවේ. උප්පත්තියෙන් රෝද හතරටම ඩ්‍රම් බ්‍රේක් වලින් සමන්විතවූ එම වාහනයේ 32 ශ්‍රී අටසිය හැට පහේ තිරිංග කාර්‍යක්ෂමතාවය පැවතියේ ඉතා දුර්වල මට්ටමකය.

එයට ප්‍රධාන හේතු දෙකක් විය.

ඉන් පළමු වැන්න නිෂ්පාදන දෙෂයක් විය හැක.

දෙවැන්න වූයේ බ්‍රේක් සීරුමාරු කිරීම කිරීම හෙවත් ඇජස් කිරීමේ දේෂයයි! බ්‍රේක් සීරු මාරු කිරීම හා බෙයාරිං සීරු මාරුව මාහට කවදාවත් සාර්ථකව කල හැක්කක් නොවීය. එක්කෝ අම්බානක තද වෙයි. නොමැති නම් අනවශ්‍ය තරම් බුරුල්ව පවතී.

බොහෝ තාක්ෂණික ශිල්පීන් මෙන්ම කොට්ටං ගස් යට ගරාජ් කරන බාසුන්නැහැලා මේ දෙවර්ගයේම ඇජස් කිරීම් කරණ්නේ "අතේ ගානට" ය! එය කාබියුරේටර "කනේ ගානට" හෙවත් එන්ජිමේ හඬට චූන් කරණවා වැනිම වූ කාර්‍යයකි!

"ඒ" අතේ ගාන "මේ" අතේගානට ගැලපෙන්නේ කෙසේද?

එහෙත් පාරිභෝගිකයින් හෙවත් වාහන හිමි දුප්පත් අහිංසක ජනතාව සිතන්නේ "දැන් හරි!" 

කියාය. දැන් "හරි" ගියත් "වැරදුනත්" කරණ්නට දෙයක් නොමැත. වැඩේ කෙළ වෙන තෙක් සොයා ගැනීම අපහසුය!

තිරිංග වඩාත් තද කොට ඇත්නම් බ්‍රේක් බයින්ඩ් වීමකින් හෝ ඩ්‍රම් එක අසාමාන්‍යය ලෙස රත් වීමෙන් සොයාගත හැකිවන අතර හබ් බෙයාරිමක වැරදි සීරු මාරුව සිදුවී සොයා ගන්නා විට වැඩේ "මහරගම" තත්වයට වැඩී අහවරය.

ක්‍රියාවක කෙසේ උවත් ප්‍රථිඵලය වන්නේ බ්‍රේක් අඩු වීමය. 

(අන්තර් ජාලයෙන්)



ඩ්‍රම් බ්‍රේක් සහිත වාහනයක රෝදය ගැලවූ පසු ඩ්‍රම් ව්ක ඉවතට ගෙන බ්‍රේක් උපාංග පාදා ගත යුතුය!
(අන්තර් ජාලයෙන්)



එළියට සුපිරියට තිබුනද ගලවා බැලූ කල සංසාරය කල කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇත! 
(සතු පාටට හිංගලෙන් එජස්ටර් Adjuster කියා ලියා දක්වා ඇති ඇබීත්තං කෑල්ල මතක තබා ගන්න!)
(අන්තර් ජාලයෙන්)

විච්ඡේදනය
(අන්තර් ජාලයෙන්)



ඊට පස්සේ හීං සීරුවට ඉස්කුරුප්පු ෆ්ලැට් නියනකින් හිමීට කරකවලා 
දික් කොරලා හිර කොරන්න ඕන ආයෙ කරකවන්න බැරි වෙන්නම!
(අන්තර් ජාලයෙන්)



මේං මෙහෙම!
(අන්තර් ජාලයෙන්)


ඊළඟට යාන්තමින් කරකැවෙන ගානට බුරුල් කරණ එක තමා කෙරේමේ!
(අන්තර් ජාලයෙන්)


මේ ලැන්ඩ්කෲසර් BJ, FJ, HJ, 40,43,45 රථ සඳහා ටොයෝටා කොම්පැනියෙන් පල කල 
Workshop Manual  එකේ  දක්වා ඇති අකාරය.



Knuckle රේසර් හා හබ් රේසර් වල Preload (Starting) පරීක්ෂා කරණා ආකාරය.
Landcruiser BJ, FJ, HJ 40, 43, 45

Mitsubishi 4DR5 Jeep (J44, J54, J24, J36)

ඉතින් මම මේ කියන කථාව මීට කලින් මගේ ම බ්ලොගයේ හෝ වෙනත් අවකාශයේ තැනක ලියා තැබුවා මතකය. ඒත් එම කථාවේ නියම නීත්යානුකූල හිමිකරුවා. උරුමක්කරුවා, පොලමඃකරුවා අද්මිනිස්ත්‍රාසි කරුවා අටසිය හැටපහ හෙයින් නැවතත් මෙහි ලියා තබන්නම්!

මමත් පවුලේ ඉතිරි සාමාජිකයින් තිදෙනාත් සමගින් හවස 5.13 ට නිසාන් පැට්‍රෝලය දියත් කලෙමි. එදින කිසිම නියමිත හේතුවක් නැතිවම මා රථය ධාවනය කලේ දැඩි වේගයකිනි. වේගය සුරාව සූදුව වැනිම අතිශයින්ම ඇබ්බැහිවන ක්‍රියාවකි. සමහර දිනවල සෙමෙන් ධාවනය කරණා අයෙකු වුවද වාහනය තුල කෙරෙණ කථාබහ, ඇසෙන සංගීත නාද රටා මෙන්ම මාර්ගයේ ඇතිවන සිදුවන භාහිර ක්‍රියාකාරකම් නිසාම  තමා පදවන වේගය වෙනස් වීමට ඉඩ ඇත. සමහර අවස්ථාවලදී අපට වේගයෙර්න් යාමට අවශ්‍යය වන්නේ මීටර 100ක් 200ක් වුවත් එය කෙතරම් මනසට අනුගතවන්නේ ද යත් ඉතිරි කිලෝමීටර 100ම වුව එම වේගයෙන්ම යෑමට මනස නැඹුරු වෙයි. බෲස්ලීගේ චිත්‍රපටියක් බලා එළිඅයට එන්නේ "කාටද කන්නෝන?' කියන මානසිකතවයෙන් වීමත් මෙම මාන්සික තත්වයේම තවත් පැතිකඩක් විය හැක!

කඩවතින් පිටත්වී අඹේපුස්සට යන තෙක් තිබෙන අධික වාහන ඝනත්වය තුල වාහනයක් පැදවීම කැඳ කෝප්පයක පීනනවා වැනි දුෂ්කර ක්‍රියාවකි. එකල පස්යාලෙන් මීරිගම නාරම්මල වාරියපොල හරහා කුරුණෑගලට එන මාර්ගය එතරම් ප්‍රචලිතව නැති වකවානුවකි. කෙසේ වෙතත් අඹේපුස්සතෙක් මාර්ගයේ ඒමේ අත හරවමින් පැමිණි මා එතැන් පටන් ඉගිල්ලෙන්නට පටන් ගතිමි.  අටසිය හැටපහේ එකදු මීටරයක් හෝ ක්‍රියාත්මක නොවීය! කොටින්ම මීටර් ක්ලස්ටරය තබා වාහනය ඇතුලත වත් කිසිදු ආලෝකයක් නොතිබුනි. ඒනිසා ගිය වේගයක් හිතා ගැනීමට නොහැක! මග දිග චාරිකා සටහනක් ලියන්නට තරම් මාහට මතක නැත. මතක් වන්නේ හබරණින් හැරී මින්නේරිය වනපෙත මැද පොළොන්නරුව තෙක් දිවෙන මාර්ගයට හැරවූ ආකාරය ය!

කිසිදු ගමනක් යන්නට ප්‍රථම වාහනයේ සුක්කානමට පුද පූජා සත්කාර පැවැත්වීම, හඳුන්කූරු දුම් ඇල්ලීම, පඬුරු දැමීම, කතරගම පූජාවට්ටිය මත වාහනේ යතුරු කැරැල්ල තබා දෙවියන් අභිමුව; ගොඩ්ලිබ් ඩේම්ලර්, කල්බෙන්ස්, නිකලස් ඔටෝ, (ආදරණීය) රුඩොල්ෆ් ඩීසල් හෑල්ලු කිරීම වැනි ක්‍රියා මා නොකරමි. එහෙත් මා සතුටින් කරණා ක්‍රියාවක් පවතී. ඒ; මේ මාරගයේ ගමන් කරණ්නේ නම්; හබරණ බෝඩරේ මින්නේරිය වන මැද ඇති පුල්ලෙයාර් දේවාලය ඉදිරියේ කොල අත්තක් එල්ලීමය! මෙය හුදෙක් සංස්කෘතිකාංගයක් සේ මා විඳිමි. (මෙය මා උපමා කරණ්නේ අළුත් අවුරුදු චාරිත්‍ර ඉෂ්ඨ කිරීම හා මරදාන කප්පිත්තා වත්ත කෝවිලේ නාදස්වරම් හා තවිල්බෙරේ හඬ අසමින් නවග්‍රහ පූජාව කිරීම වැනිය!)

පලමුව හබරණ පොලීසිය පාසල හා ගමේ කුඩා ගෙවල් පසු කර ගම තුනී වී යාමත් වනාන්තරය පරිසරය ආක්‍රමණය කරමින් නැගීසිටීමත් සිදුවී තිබුනි. දැන් වේලාව රාත්‍රී 7.30  - 8.00 පමණ වන්නට ඇත. සිරිත් පරිදි වාහනය කෝවිල අසල වම් පසින් මාර්ගයේ ඇල කොට නවතා පාර පැන කෝවිලට ගොස්; අසල ගසකින් කඩා ගත් කොල අත්තක්ද එල්ලා ආපසු හැරුණි. කෝවිල අසල හිටියේ අයාලේ යන බල්ලන් කිහිප දෙනෙකු පමණි. වාහනයට නැගී නැවතත් ජවාධික ගමනට මාර්ගයට පිළිපන්නේය. එතැන කුඩා කන්දකි. ඉන් ඔබ්බේ වංගුවත් සමග පල්ලමයි. වම්පස විසල් රුකකි. එය දඹ ගසක්ද? කන්දේම දෙවන ගියරයටත් කඳු මුදුනට පිවිසෙමින් තෙවන ගියරයටත් ඇමුනූ මා වාහනයට ලබා දී තිබුනේ සුපිරි වේගයකි. ඉදිරියේ දකුණු පසට වංගුව හා පල්ලමය. වම් පස මා පෙරකී වනස්පතිය! මා ; මාගේ වම්පස අසුනේ සිටි බිරිඳ අමතා නිකමට මෙන් පැවසූවේ "කොහොමද වංගුව ගන්නකොටම අලියක් හිටියොත්!?" කියාය! 

අන්තර් ජාලයෙන්
(අන්තර් ජාලයෙන්)

වාහනය කඳු මුදුනට එනවාත් සමග; ප්‍රධාන පහන් වල වොට් 200 ප්‍රභල ධාරාව තුලින් දිස් වූයේ;   මාර්ගය මැද  හරස් කරගෙන සිටි  දුඹුරු පැහැති දැවැන්ත හස්තියෙකි! සත්තකින්ම පිළිගන්න ඌ මා කැලැයක් තුල දුටු වඩාත්ම උසකින් හෙබි වන රජුය! නිසාන් පැට්‍රෝලයත් මේ යෝධ සත්වයාත් අතර ඔන්න මෙන්නය!

වාහනය වම් පසට ගත නොහැක! පාරේ තාර සීමාවෙන් ඔබ්බේ මහා ගසය! එසෙම දැවැන්තයා ඊට වඩාත් කිට්ටුවෙන්ය! ඇත්තේ දකුණින් කුඩා ඉඩ කඩකි. 

මා මිලි තත්පරයකදී වාහනය දකුණටහට ගන්නට සිතුවෙමි. සුක්කානම දකුණතට ගත්තෙමි. බොහෝ අවස්ථාවලදී තමන්ට හොඳ පෙර හුරුවක් ඇත්නම් එවන් අවස්ථාවලදී වාහනයේ පාලනය; තනිව තම හුරු අතින් සිදු කිරීම යහපත ප්‍රථිපල ගෙන එයි. වේගයෙන් වාහනය ඒමෙ අතට හැරවීමේදී දේත් එකිනෙක පැටලීම එයින් වැලකී යයි. වමත ඇත්තේ දකුණතට සහයක් ලෙසින් පමණි. 

වාහනය එක ළඟ හැරී අලියා දෙසට ඇලවී මාර්ගයේ දකුණු පස ඇති තිරිවාන මිශ්‍රිත රතු පස් වලින් සමන් විත කොටස දෙසට හැරුණි. ඒක්ෂණයෙන් වාහනය මාර්ගය අසල කාණුවට වැටෙන්නට ආසන්නයේදීම නැවත; අලියා මග හරිමින්ද අලියා වටා ධාවනය කරමින්ද වාහනය මාර්ගයට ගැනීමට මා සමත් උනෙමි. කිසිදාක රවුන්ද බවුට් එකක් වී අත්දැකීමක් නොමැති අසරන අලියා ට්‍රම්පට් නාදය දසත පතුරවමින් පලා ගියේය!

වැදගත්ම දේ සිද්ධ වූයේ තවත් ස්වල්ප වේලාවකිනි. හරියටම කඩවතින් පිටත් වී පැය 3 කින් එනම් රාත්‍රී 8.13 ට මා පොළින්නරුව නගරයට ඇතුළුවී ලේක්විව් හෝටලය ඉදිරියේ මගේ ආදරණීය යන්ත්‍රය නතර කලෙමි!

පැයට කිලෝමීටර 73 ක පමණ සාමාන්‍යයකින් මා රථය හසුරුවා තිබුනි!

294114

Sunday, July 4, 2021

203. නොරත රථ . . . . ! (11)


වසික - පොඩි බාස්!!

පසු ගිය සතියක පමණ කාලයක් ගතකලේ ඩේටා, සිග්නල් නොව හරිතකී, සුදන්තවත් නොමැති පිටිසර පරිසර පද්ධතියකවූ බැවින් ඔබගේ ආදරණීය කොමෙන්ටු වලට පිළිතුරු සැපයීමටත් අළුතින් පෝස්ටුවක් ලිවීමටත් කාලය ගත වූවා. 

මේ දිනවල දිගින් දිගට ලියන "නොරත රථ" ලිපි මාලාව තවත් දිගට ලියන්නට සිත් වූයේ එම පුවත් සමග පැටලී එන තවත් පොටවල් මගින් ජීවිතේ තව තවත් ඇතුලට ගමන් කරණ්නට පුළුවන් වූ නිසාමයි.

ඉතින් අදත් කියවන්නට පටන් ගනිමු "නොරත රථ"!

මම මෙම ලිපි පෙලේ 7 වන කොටසේ ලියන ලද පරිදිම ඔස්ටින් MINI යේ නික්ම යාම සිදුවූයේ කෲසරයේ පැමිණීමත් සමගයි.

ඒක උනේ හරිම අනපේක්ෂිත විදියට.

අපි පාසල් යන කාලේ මිත්‍රයෙක් හිටියා කීර්ති කියලා. එයාගේ නිවස තිබුනේ කළුබෝවිල රෝහල පසුපස. මුලු නම කීර්ති පෙරේරා. දිනක් අප නිවසට පැමිණි කීර්ති; කෲසරය අසල  නවතා තිබුණු MINI ය දැක එය ඉල්ලා මැරෙණ්නට විය.

ඔහුගේ අඬෝ වැඩියාව අවසන්  වූයේ "එහෙනං උඹ ගනිං!" කිව්වාට පසුවය.

"උඹ කීයටද ගත්තේ . . . . . ?"

" හතලිස් අටදාස් පන්සීයකට . . . !"

"ඒ ගානට අරං උඹ පාවිච්චිත් කලානේ කාලයක්! තිස් පහක් ඇතිනේ . . !!"

"තිස් පාක් . . .?"

"ඇති! ඇති!! බං . . . ! මට ඕක දියං . . !"

කථාව කෙළවර වූයේ MINI ය 35000/=  කට ඌ රැගෙන යාමත් සමගය!

කාලය ගෙවී ගියේය.

දිනක් මා පිලියන්දල; කීර්තිගේ නිවසට ගිය අවස්ථාවක මා දුටුවේ ගේ මිදුලේ වැල ගසක් යට අව්වට තෙමෙමින් වැස්සට වේලෙමින් වැලේ වැල් නැතිව සිටින MINIය ය. 

අපගේ වැඩිහිටියන් පැරණි වාහන ගලපවන ලද්දේ "ඉඩම් නඩුවකට" හෝ "ලෙඩ ගෑනියෙකුට" ය. ඒ; පැරණිවාහනයක් මිලදී ගැනීම ඉඩම් නඩුවක් පටලවා ගැනීම වැනි ජීවිත කාලයම දුක් විඳින්නට සිදුවන සීන් කෝන් එකක් වන නිසාය.

මේ කථාවේ ඇත්තක් නැත්තේ ම නැත. 

මන්ද පැරණි වාහනයක් ගන්නට ගිය අවස්ථාවේදී ඊට නියමිත මිළක් කියන්නට අපහසුය. උදාහරණයක් ලෙස අද ඩිමෝ එකෙන් මිළදී ගන්නා බ්‍රෑන්ඩ් නිව් බෙන්ස් එකක මිල දැනගැනීමට අවශ්‍ය වන්නේ නම් කලයුත්තේ එහි අලෙවි අංශයට ගොස් මිල ගනන විමසීම හෙවත් තේරෙණ හිංගලෙන් කියනවා නම් කෝටේශන් එකක් ඉල්ලා ගැනීමය.

එහෙත් මීට වසර තිහ හතලිහකට පෙර ලංකාවට ගෙනඇවිත් ඇති බෙන්ස් රියක වර්ථමාන වටිනාකම නිවැරදිව කියන්නට සමත් කිසිවෙකු නැත.  සිටියද එම මිල රඳා පවතින සාධක ගනනාවක් වේ.  එයි වර්ථමාන තත්වයේ සිට එහි මුල් අයිතිකරුවන් හට සමාජය තුල පැවති හා / හෝ පවතින පිළිගැනීම වැනි අටෝරාසියක් කරුණු කාරණා  මත මෙම මිළ උච්චාවචනය වේ. මේ නිසාම අළුත් වාහනයක් මිළදී ගැනීමේදී මෙන් නොව පැරණි වාහනයක් මිළදී ගැනීමට යාමේදි; මිළදී ගන්නා රැවටෙන, ඇන්දෙන අවස්ථා බොහොමයකි!

එසේම එවන් වාහන අළුත්වැඩියා කරණ බාස්ලා හෙවත් මිකෑනික්ලා අධිගෘහිථ ගරාජ සොයා ගැනීමද කළුණික හොයනවා වැනි බැරි අමාරු කාරියකි. එසේම උන්ගෙන් කොයි එකා ළඟට ගියහොත් තමාගේ කලිසම කෙසේ වෙතත් පිරිවැස්සවත් බේරා ගැනීමට පුළුවන් වේදැයි කීමට අපිට තබා අංජනං දේවියට වත් නොහැක.

ඊළඟ සුපිරිම කෙළිය වන්නේ පැරණි වාහනයට බඩු හොයන්න ගිය විටය! බඩුම තමාය! බඩු යනු "බඩු" නොව බඩු ය. 

මෙවන් කරුණු බොහොමයක් නිසාම බොහෝ මහත්වරුන් අපමෙන් පැරණි දර හැවවල් වලට කර ගැසීමෙන් වැලකී; කැටයක් කඩා හෝ මරුටියක් වත් ගනී.

එහෙත් අපගේ හිත යන්නේම කෞතුක භාණ්ඩ කෙරෙහිමය!

කොයි කවුරු මොනවා කිව්වත් එකල තිබුණු බොහෝ යුරෝපීය වාහනයකින් කතරගම ගිහින් ආවොතින් පසුදා ගරාජයකට ඇණයක් හෝ තද කිරීමට දැමිමට සිදුවීම බොහෝ විට දක්නට ලැබෙන කරුණකි!

මෙය ඔස්ටින් මිනියේ සිට මහේශාක්‍ය ලෑන්ඩ් රෝවරය දක්වා පොදුවූ දහමකි!

මේ නිසාම මෙවන් වාහනයක් පදවන්නෙකු හෝ පාවිච්චි කරණ්නෙකු හට පොඩි පහේ රථ ගායක් සහ දැනීමක් තිබිය යුතුමය.

එසේම ගමනක් යෑමට පෙර වාහනයේ කිරිජ්ජපල්ල අතගා බැලිය යුතුය! ගමන යන විට පාර දෙපැත්තේ දකිණ විසිතුරු වලට, රා අතුර වල් වලට  හිත නොයවා රථය පැදවිය යුතුය.

එන්ජිමේ හඬටත් නලාවේ හඬටත් වඩා වෙනස් හඬක් ඉන් නැගෙන්නේ දැයි කල්පණා කාරී විය යුතුය. වාහනය නිවසින් පිටට ගැනීමේදී අතට පයට හිතට දැනුනු තේරුණු ස්පර්ශයන් ඝර්ශනයන්; ගමනාවසාන වනතෙක් එලෙසින්ම දැනෙන්නේදැයි විමසිල්ලෙන් සිටිය යුතුය!

උදා හරණයක් ලෙස ගමන පිටත්වීමේදී ක්ලච් පාදිකය හෙවත් ක්ලච් පෙඩ්ල් එක පෑගීමේදී පයට දැනුනු ප්‍රථිරෝධය හෙවත් තද ගතිය දඹුල්ල පහු කරණා විට වැල මදුල වාගේ වන්නේ ආර්ථික මධ්‍යස්ථානය පසු කරද්දී රෝද හතරට බණ්ඩක්කා කරල් අසුවීමෙන් නොව ක්ල්ච් පද්ධතියේ උඩ පොම්පය හෙවත් මාස්ටර් පොම්පයේ හෝ යට පොම්පය හෙවත් ස්ලේව් සිලින්ඩරයේ රබර් වොෂර් වලට "බබා හම්බවෙමින්" පවතින බව තේරුම් ගත යුතුය. වාහනය යන ගමන නවතා ක්ල්ච් ෆ්ලුයිඩ් මට්ටම බැලීමෙන් මෙය පසක් කර ගත යුතුය. එහි අඩුවක් ඇත්නම් එය පුරවා ගැනීමට ක්ලච් ෆ්ලුයිඩ් ද වාහනයේ ඩිකියේ පැත්තකට වෙන්න තබා ඇති පෙට්ටියේ හෝ මල්ලේ තිබිය යුතුය. ඒ; ගමනේ මගදී කන්නට ගන්නා ඇඹුල් තියල්, සීනි සම්බෝල, බොන්න්ට ගන්නා ප්ලේන්ටි දමා ගත් උනුවතුර බෝතලයට අමතරවය!

කරුණු තවදුරටත් කියනවා නම් පොඩි ආයුධ මල්ලක් හෙවත් ටූල් කිට් එකක් හා එය පාවිච්චි කොට වාහනය ගොඩ දාගැනීමේ කිඩ්නිය මෙම වාහන භාවිතා කරණ්නන් සතු විය යුතුය! 

කීර්ති යනු වාහනයක බොනට්ටුව ඇර තෙල් වතුර බැලීමටවත් එකල දැනුමක් තිබුනු අයෙක් දැයි මා නොදනිමි. එය එසේදැයි අසා දැන ගැනීමට ඔහු දැන් මෙලොව නැත. නොබෝදා අප අතරින් වෙන්ව ගියේය! ඔහුට වාහනය දෙන විටදීද මා ඒ ගැන සුළුවෙන් පැවසූවද ඔහු එය මායිම් කලේ නැත.

අවසානයේ සිදුවූයේ නැවත මා වාහනය රැගෙන ඒමය.

ඊට කලකට පෙර මා මිනිය පාවිච්චි කරද්දී එය දුටු ග්‍රෑන්ඩ්පාස් හි; අශෝකා සිනමා හල අසල; නොම්මර 107 (මට මතක ලෙසට) රාජා බීඩි ෆැක්ටරිය තිබුනු ඉඩමේ සිටි විජයානන්ද මගේ වාහනය දැක එහි වූ පසුපස බලන කණ්නාඩි යුගලය ඉහලින්ම වර්ණනා කරමින් කෙල හැලුවේය!

මෙම රථයේ පසුපස බලන කණ්නාඩි යුගලය සවිවී තිබුනේ ෆෙන්ඩර (මඩ් ගාර්ඩ්) මත වන අතර එය ක්‍රෝමියම් ප්ලේට් කල ඔටිජිනල්ම ඒවා විය!

දෙවෙනි වර කීර්තිගෙන් මිනිය ගෙන ආ පසුව මා රථයේ පෙරකී සයිඩ් කණ්නාඩි දෙක  ගලවා තබා ගත්තෙමි. 

පසුව විජයානන්දම රැගෙන ආ ඔහුගේ මිතුරෙකු හට වාහනය විකුණා දමා කීර්ති වෙත මුදල් බේරා දැමුවෙමි. රථය මිලදී ගැනීමට පැමිණි විජයානන්ද පළමුවෙන්ම බැලුවේ සයිඩ් කණ්නාඩි යුගලය තිබේදැයි කියාය. මන්ද ඔහු තම මිතුරාට වාහනයක් සොයා දීමේ බ්‍රෝකර් ගාස්තුව ලෙස ලබා ගැනීමට සිතා සිට ඇත්තේ පෙර කී කණ්නාඩි යුගලයය!

තවමත් එම කණ්නාඩි යුගලය මා ළඟ!

මා 31 ශ්‍රී 5460 ලෑන්ඩ්කෲසරය පාවිච්චි කරණා සමයේ කඩවත නගරයේ සැරිසරූ තවත් කෲසරයක් විය. ඒ 31ශ්‍රී9111 රථයයි. එකල නව යොවුන් තරුණයෙකු විසින් පදවන ලද එය අළු පැහැයෙන් යුක්ත විය. මළගිය ඥාතීන් හට පිං පිණිස 5460 දන්දී පලමු මුදල් කොටස ලැබුනු වහාම මා කඩවත නගරයට ගොස් ඉහතකී රථය පිළිබඳව ඉව ඇල්ලුවෙමි.

රථය පිළිබඳ හෝඩුවාවක් ලැබුනි. වහාම ක්‍රියාත්මකවන පරිදි රාගම පාරේ අදාල නිවෙස වෙත ගොස් බලන විට වාහනය මාස ගනනාවකින් කිසිවෙකුගේ සොයා බැලීමකට ලක් නොවී; ගරාජයක මකුළු දැලින් වැසී තිබුනි. පෙර මා සඳහන් කල නව යොවුන් තරුණයා  වැඩිදුර අධ්‍යාපනය සඳහා රට අතහැර ගොසින්ය!

වාහනයේ ඇත්තේ එක් දෝශයක් පමනක් බව අයිතිකරුවන් පැවසූවේය.

"මේක ස්ටාර්ට් කල වෙලාවේ ඉඳන් රේස් වෙනවා. මක් කොරල වත් අඩු කරණ්න බෑ!"

"කමක් නෑ! මම ඒක හදා ගන්නම්!"

මම වාහනය රුපියල් එක්ලක්ෂ පනස්දහසකට මිලදී ගත්තෙමි.

හොර බොරු නෑ! සාක්ෂි ඇතුව!!

මෙම ලෑන්ඩ් කෲසර් රථ වලට ඇත්තේ නියුමැටික් ගවර්නරයකි.  ගවනරයක් යනු එන්ජිමක වේගය ඒකාකාරව තබා ගැනීමට සකසා ඇති යාන්ත්‍රනයයි.

මෙම ගවනරය ක්‍රියා කරණ්නේ ඒ තුල ඇති ඩයප්‍රමය; ඉන්ලට් මැනිෆෝල්ඩයේ ඇතිවන රික්තකය හේතුකොටගෙන ඉදිරියට පසුපසට ක්‍රියා කිරීමෙනි.




ගවනරයක් යන්නට සිංහලෙන් දී ඇති වචනය "සංයාමකය" යන්නයි. ගවනරයකින් කෙරෙන්නේ එන්ජිමක වේගය නියත ප්‍රමාණයකට පවත්වා ගැනීමයි. ඉහත රූප සටහනේ ඉහල කොටසේ අඳුරුපැහැයෙන් දක්වා ඇත්තේ එයා ක්ලීනරය හා ඉන්ලට් මැනිෆෝල්ඩයයි. එන්ජිමක් ක්‍රියකිරීමේදී එන්ගිම තුලට වාතය ඇතුළුවන්නේ එයාක්ලීනරය හරහා පෙරහන් වී ඉන්ලට් මැනිෆෝල්ඩය හරහාය.

මෙසේ එන්ජිම තුලින් වේගෙයෙන් වාතය පරිභෝජනය කිරීම සමග වේගයෙන් වාතය ඉන්ලට් මැනිෆෝල්ඩය තුලින් ගමන් කරයි.

මෙම වාතය ඉන්ලට් මැනිෆෝල්ඩයට එයා ක්ලීනරයේ සිට ඇතුළුවන්නේ වෙන්චූරියක් හරහාය.

මෙම රූප සටහනේ දක්වා ඇත්තේ වෙන්චූරි නලයකි.  මේ තුලින් වාතය හෝ ද්‍රවයක් ගමන් කිරීමට නම්; ඇතුළු වන වේගයම පිටවීමේදීද පැවතිය යුතුය. මෙසේ සිදුවීමට නම්; නලය විශාල කොටසේදී ගමන් කරණ වේගයට වඩා වැඩි වේගයක් සිහින් ස්ථානයේදී; ඒ තුලින් ගමන් ගන්නා වාතයට හෝ ද්‍රවයට තිබිය යුතුය! මෙම අමතර වේගය සඳහා අවශ්‍ය ශක්තිය ලබා ගන්නේ එම ද්‍රවයේ හෝ වාතය තුල ඇති පීඩනය වේගය බවට හැටීමෙන්ය. (ශක්ති සංස්ථිති නියමය.) එම නිසා එම ස්ථානයේ දී ද්‍රවය හෝ වාතය තුල ඇති පීඩනය අවම වේ. මෙය බ'නූල් සිද්ධාන්තය ලෙස හඳුන්වනු ලබයි.  (ගුවන් යානා අහසේ පියාසර කරණ්නේත් මෙම සිද්ධාන්තයට අනුගත වීමෙන්ය.)


ඉහත දක්වා ඇති රූපයේ වෙන්චූරිය සවිකර ඇති නලය තුල Vacuum tube   මෙම සිද්ධාන්තය කරණ කොට ගෙන රික්තයක් හට ගනී. මේ නිසාම රූපයේ පහල කොටසේ දක්වා ඇති ඉන්ජෙක්ටර පොම්පයේ පසු පස කොටස තුල ස්ථාපිත කොට ඇති ඩයප්‍රමය; දුන්න හකුළුවාගෙන දකුණු පස සිට වම් පසට ගමන් කරයි. (ඩයප්‍රමයක් යනු රබර් හෝ වේනත් එවන් සින්තටික් ද්‍රව්‍යයකින් සාදා ඇති පටලකි.)

ඒ සමගම එයට සම්බන්ධ කොට ඇති කන්ට්‍රොල් රැක් එක පසු පසට ගමන් කොට එන්ජිම වෙත සැපයෙන ඩීසල් ප්‍රමානය අවම කරයි.

ඇක්සලරේටරය පෑගීමේදී සිදුවන්නේ මෙම වෙන්චූරි නලය හරහා ගමන් කරණ වාත ප්‍රමානය පාලනය කිරීමෙන් ඩයප්‍රමය නියාමනය කිරීමය ය. ඩය ප්‍රමය සිදුරු වූ විට වෙන්චූරිය මගින් ඇති කරණ රික්තයට ඩයප්‍රමය අනුගත නොවීම නිසා දුන්න මගින් කොන්ට්‍රෝල් රැක් එක ඉදිරියට තල්ලු කරගෙන සිටීම නිසා එන්ජිමට උපරිම ඉන්ධන ලැබීමත් ඊට අදාලව එන්ජිම උපරිමයෙන් සැර වැටීමත් හේතුවේ.

9111 රථය මිළදී ගෙන නිවසට ගෙන ආවේ මහත්වූ වැර වැයමකිණි. මන්ද එහි එන්ජිම ඉතාමත් අකීකරු ලෙස සැරදමන්නට පටන් ගැනීමයි.

කෙසේ හෝ ගෙදරට ගෙනැවිත් පැයකින් පමණ; ඉඳිගහමුල ඩීසල් පොම්ප කඩේ ලාල් වෙතින් අළුත් ඩයප්‍රමයක් ඉන්ජෙක්ටර පොම්පයට සවිකරගෙන අවුල ලිහා ගත්තෙමි.

ඒකාලේ හැටියට එය රුපියල් 200 කටත් අඩු අළුත්වැඩියාවකි.

9111 වාහනයට පත්ලක් නොවීය. මුළු පතුලම දිරා පත්වී තිබුණු සේය.

ඊළඟට එම වාහනය මුළුමණින්ම ටින්කර කොට පින්තාරු කොට දවසක් වත් යන්නට මත්තෙන් ඊට ඔෆරයක් ලැබුනි.

ඒ නිසාන් පැට්රෝල් 160 යකිනි.

32 ශ්‍රී 0865!

අක්මීමන පොලිස් ස්ථානයේ භාවිතා කල මෙම රථය පොලිස් වෙන්දේසියේදී; පොලිස් ගරාජයේ ස්ථානාධිපති ගාමිණී ජයසුන්දර විසින් ලබා ගෙන තිබුනි. එහි එන්ජිම මුළුමණින්ම අළුත්වැඩියා කර තිබුණු අතර 9111 සමග හුවමාරු කලේ නිසානය එන්ජිම මුළුමණින්ම අළුත්වැඩියා කොට; ගරාජය තුල පදම් දිවුමේ තිබෙන අවධියේදීය. ඒ නිකම්ම නොව ගාමිණී අයියාගෙන් වාහනය සමග රුපියල් හැත්තෑපන්දහසක මුදලක්ද සමගිනි!

නිසාන් පැට් රෝල් ඔය කියන කාලේ විකුණුන හැටි හිතාගන්න පුළුවන්ද? ලක්ෂ එකහමාරට මිලදී ගත් ලෑන්ඩ්කෲසරය සමග නිසාන් පැට් රෝලය මාරු වූයේ අතට හැත්තෑපන්දහසක් සමගිනි!

මුල් කාලයේ නිසාන් පැට් රෝලයට මිනිසුන් බිය විය. ඒ එහි ඇති සිලින්ඩර 6 කින් සමන්විත ඝන සෙන්ටි මීටර 3300 ක ධාරිතාවයකින් යුත් SD33 එන්ජිම කරණ කොට ගෙනය.

SD33 - සද්දන්ත යන්තරේ!

BJ ෆෝටියට පැමිණියේ 2997CC B එන්ජිම, 3200CC 2B එන්ජිමය. SD33 එන්ජිම 2B එන්ජිම හා සංසන්දනය කරණ විට විශාල වන්නේ ඝන සෙන්ටි මීටර 100 ක් පමනක් උවද සිලින්ඩර හයේ එන්ජිමට පසු පස හැරුණි. මම එය මිලදී ගත්තේම සිලින්ඩර හය නිසාමය!

"පණ්ඩිතයින් පය ගහන්නට බිය ස්ථානවල මෝඩයින් පිණුම් ගසති!"

මේ එවන් අවස්ථාවකි.

නිසාන් පැට්රල් 160 රිය දිගු හා කොට එනම් Long Wheel Base  සහ Short Wheel Base ලෙස නිපද වුනි. මින් පොලීසියට ලැබුනේ J160U... නමැති මොඩලයය! මෙහි පසුපස ෆයිබර් ආවරණය උස් වහලක් සහිතව නිපදවා තිබුනි!





පැට්රෝලයේ ඉදිරිපස දොරවල් බොහෝ සෙයින් අබ;අන්ව තිබූ හෙයින් අළුතින් දොරවල් දෙකක් සවිකලෙමි.
මේ වන විට මගේ හිත ගිය නිසාන් පැට්‍රෝලයක් විය. එය 32ශ්‍රී2084 රසිකගේ වාහනයය. එය ෆ්ලැට් රූෆ් වාහනයකි. මගේ හිත තිබුනේ ෆ්ලැට් රූෆ් එකකටය.
ෆ්ලැට් රූෆ් වහලයක් සොයා ගැනීමට නොහැකිවූ තැන මාගේ රථයේ වහලය ෆ්ලැට් රූෆ් කරණ්නට සිතා ගත්තෙමි.
සුසූකි සමුරායි සොෆ්ට් ටොප් වාහනයක පිංතූරයක් ප්‍රස්ථාර කොලයක් මත ඇඳ; එය නිසාන් පැට් රෝලයට ගැලපෙන සේ සමානුපාතිකව විශාලනය කර වැඩේට බැස්සෙමි. 
වැඩේ සෑහෙන්න සාර්ථකවිය මෙම පිංතූර කිහිපය බලා සාර්ථකත්වය ගනනය කරණ්න.

ගුරු ගෝල වෙනස!



32-0865 අප සමග බොහෝ කලක් වාසය කලේය. අළුත සෑදූ එන්ජිම එයට උපරීම ජවයක් ලබා දුනි. එහි තිබුනේ වේග පහේ ගියර පෙට්ටියකි.
එහි  වහලය වෙනස් කරනවාත් සමගම එහි පසුපස දොරද වෙනස් කලෙමි. දොරවල් වෙනුවට එයට ටේල් ගේට් එකක් එනම් ඩබල් කැබ් වල මෙන්ම මෙහි ෆ්ලැට් රූෆ් වාහනයට එන ආකාරයේ පහතට අරිණ දොරක් නිර්මානය කර ගත්තෙමි. දෙපස  දික් අතට සවිකොට ආසන පේලි  දෙක වෙනුවට හරස් අතට දෙදෙනෙකුට පහුවෙන් අසුන් ගත හැකි ආසනයක් සවි කලෙමි. පිටුපස ආසනයේ  සිට පසු පසට වන්නට තරමක කුඩා ශක්තිමත් රාක්කයක්  පසු කලෙක සවිකොට තිබුනි. දුර ගමන් වලදී වසිකට එයට නැග නිදා ගැනීමට හැකිවන සේ එය පාවිච්චි කිරීමටත් ගමන අතර මගදී ප්‍රයෝජනයට ගත හැකි දේ තබා ගැනීමටත් එය ඉවහල් විය.
ඉදිරියේ සවිකර තිබූ වින්චියෙන් (Winch)  රථයට ගෙන ආවේ මහා පෞර්ෂයකි!

විංචිය සවිකිරීමට මූලික වුනු කථාවද "කථාවකි"!

වරක් මමත් බිරිඳත් කුඩා දරුවාත් දැරියත්; අප සමග දටත් පුරා වසර 25 ක් පමන වසන; අපගේ දරුවන් ලොකු මහත් කල කරුණාවතී නැන්දාත් සමග දකුණු පලාතේ සංචාරයක යෙදුනෝය. ගමනේ එක් ඉලක්කයක් වූයේ කලමැටිය කලපුවයි. GPS නොතිබූ කාලයේ අප ගමන් බිමන් ගියේ; මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් පලකල මාර්ග සිතියමක් හා ලංකා මැප් පබ්ලිෂර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගමෙන් පලකල සංචරක සිතියමක් එකට තබා ලැමිනේටින් කරගත් සිතියම් ද්විත්වය බලා කියාගෙනය.  කුමන හෝ හේතුවක් කරණ කොට ගෙන එම සිතියම් ඩබල එම ගමනේදී මග හැරී හෝ වෙනයම් හේතුවක් නිසා කලමැටිය පිළිබඳව තංගල්ල පසුකොට මාර්ඝය අසල සිටියෙකුගෙන් විමසීය.
අප ප්‍රශ්ණය ඇසූ බාල විලාශය නිසාදෝ ඔහුගෙන්ද ලැබුනේ ලාභ පිළිතුරකි.
"අයියෙ කලමැටිය මූද අයිනට යන්නේ කොහොමද?"
"ආ! මහත්තයා අර වංගුව පහුකලාම  දකුණට තියෙන පාර දිගේම යන්න!"
කියපු ලෙසටම ඉතා පටු පාරක් විය.
පොල් වතුදෙකකට මැදිව වංගු කිහිපයක් සහිත  පාරේ මුහුද දකින සිහියෙන් කිලෝමීටරයක් එක හමාරක් පමන 32 ශ්‍රී0865 පැට් රෝල් 160 රිය පදවා ගෙන ගියෙමි.
මාර්ගය කෙළවර වූයේ අයස්කාන්ත වෙරළකිනි.
වෙරළෙන් ඔබ්බේ වූයේ නිල් වන් මහා සාගරයය.  වෙරළ මීටර 200 ක පමණ පළලකින් යුක්ත විය. වෙරල පිහිටියේ මුහුදට අඩි  ගනනාවක් උඩින්ය. එනිසාම රළ බිඳුම වෙරළට පිවිසුනු වහාම නොපෙනුනි. දකුණු පස වූයේ කිසියම් කුඩා නොගැඹුරු ගංගාවක් ගලා විත් මුහුදට එක්වන ඩෙල්ටාවකි.
දැන් වේලාව දහවල් 12.00 ට 12.30 ට වන්නට ඇත. වළාකුළින් තොර අහස; ඉරට සිත්සේ වෙරල සිප ගැනීමට ඉඩ සලසාය. වෙරළේ පිහිටි පොල් රුප්පාවේ අවසන් ඉමේ සෙවන යට; රථය තුල සිටි අපට කිසිදු මිනිසෙකු තබා බලු කපුටෙක් හෝ මැසි මදුරුවෙකු හෝ දකින්නට මුළු වෙරළේ කිසිදු තැනක දක්නට නොලැබුනි. 
මා රථයේ ගියර් සැකසුම ෆෝ වීල් හා පහල ගියර අනුපාතය  (4 Whee Drive Low Range) තෝරාගෙන වෙරල දෙසට වැලි තලාව ඔස්සේ පැද වූයෙමි. 
වාහනය දැඩි වැලි ප්‍රථිරෝධය මැඩගෙන මහත්වූ ආයාසයකින් යුක්තව ඉදිරියට ඇදේ. කෙමෙන් කෙමෙන් මුහුද අද්දරට සේන්දු වද්දී අප සිටින්නේ මුහුදට අඩි 6 ක පමණ ඉහලින් බව තේරුම් ගියේය. එක්ෂනයෙන් වාහනය තවත් මුහුද අද්දරට ගෙනයාම අතිශය භයානක බවද මට වැටහුනි.  වාහනය නැවත ගොඩබිම දෙසට ගන්නට උත්සාහ කරද්දීම එය වැලි තලාවේ එරෙණ්නට විය!
වාහනය වැල්ල තුල එරී ගිය හොත් එය මුදවා ගැනීමට රථය තුල සිටින කිසිවෙකු හට කලහැකි කිසිවක් නොමැත!
මම වාහනය නැවැත්වූයෙමි.
වාහනය නවතා ලීමට තිරිංග යෙදීමට අවශ්‍ය නොවීය!
ක්ලච් පාදිකය පෑගූ සැණින් එය පොල්ලෙන් ගැසුවා සේ නතර වේ.
වැල්ලේ ප්‍රථිරෝධය ඒතරම් විය!
අද මෙන් අත්දැකීම් නොපිරුණු මා දැඩි තිගැස්මකට පත් වූයෙමි.
ඒවන විට අප සිටියේ වැළි පරයෙ අවසනට අඩි 5-6 ක දුරකට සමීපවය. නිතැතින්ම මාගේ සිතට ආවේ වැලිපරය ඉහිල්වී වාහනය මුහුදට ඇද වැටේවිදෝ කියා අවනිශ්චිත බියකි. ඒ සමගම අප පාසැල් යන අවධියේ කැබ් රියක් සපත්තු පාලමකදී ගසා ගොස් මිය ගිය නුගේගොඩ එන් රිච් ඛේදවාචකය සිහියට ආවෙමි.
වාහනයට වින්චියක් තිබුනානම් අවධානම 75% කින් අවම වේ. "මෙතැනින් ගැලවී යාමට ලැබුනොත් ගෙදර ගිය ගමන් කලයුතු පලවෙනි වැඩේ වාහනයට වින්චියක් සොයා ගැනීමයි!" මා සිතමින්ය!
වාහනයේ කවුළුවෙන් වට පිට බැලූවද බැලූ මානයේ කිසිවෙකු පෙනෙනට නොමැත. එසේ වට පිට බලනා මගේ නෙත ගැටුනේ පොල් ගස් සීමාවේ සිට රථය නැවතුනු ස්ථානය තෙක් වැලි තලාව මත සළකුණිවී ඇති රථයෙ රෝද ගමන් කල මගය.
මාහට ඝන දෙවි නුවණ පහළ වූයේ කෙසේ දැයි මාහට අදද සිතා ගත නොහැක.
මා රිවස් ගියරය දමාගෙන ආ මග ඔස්සේ පසුපසට ධාවනය කිරීමට පටන් ගතිමි. පැහැදිලිව කියනවානම් මුහුද අද්දරට ආ ටයර් පාර දිගේම සීරුවට රිවර්ස් කලෙමි. 
වාහනය සෙමෙන් සෙමෙන් පොල් රුප්පාවට සේන්දු වූ පසු වාහනය එහි ගාල් කොට නිදහසේ, සිත්සේ එතැනින් නෑවෙමු.


වසිකගේ සතුටු මූන කළමැටියේ!

අද ෆෝ වීල් පැදවීම පිළිබඳ පොත් පත් බැලීමේදීද, වීඩියෝ නැරඹීමේදීද, විශාරදයන් හෙවත් අත්දැකීම් බහුල අය  සමග දොඩමළු වෙද්දී මා සිදු කොට ඇති ක්‍රියාව ඉතා නිවැරදි එකක් බව පසක් වේ.
ඊට අමතරව වැල්ලට පිවිසීමට ප්‍රථම ටයර වල හුළං පීඩනය 60%කින් අඩු කිරීම, වාහනය පැදවීමේදී ෆෝ වීල ලෝ රේන්ජ් සෙකන්ඩ් ගියරයේ (4 Wheel Drive Low Range Second Gear) පැදවීමද කලයුතු බව විශාරදයින්ගේ උපදෙසයි!
වාහනය එරීමට පටන් ගැනීමත් සමගම රෝද මගින් වැල්ල හෑරෙමින් වාහනය ගිලා බැසීමට පටන් ගනී.එහිදී අනුගමණය කල යුතු ස්වර්ණමය රීථිය වන්නේ චැසිය වැල්ලේ ගැටෙන්නට පෙර වාහනය මුදා ගැනීමේ වෙනත් ක්‍රමෝපායක් අනුගමනය කල යුතු බවයි.
මෙසේ කියන්නේ මා නොව මෙන්න මේ පහල තියෙන පොත ලියාපු මෙල්බෝර්නයේ රොබර්ට් පෙපර් මහතාය.

The golden rule is not to spin the wheels so much that chassis touches the ground. Start recovery before this happens. - Robert Pepper

ගෙදර පැමිණ තවත් කාලයක් යනවිට ජපානයෙන් අමතර කොටස් ආනයනය කරණ පරණ බඩු කඩයක තිබී වින්චියක් හමුවුනි. එයට රැම්සෙ REP 6000 වින්චියක්ය. රැම්සෙ 6000 යනු රාත්තල් 6000 ක් ඇදගැනීමට හැකි වින්චියකි. එනම් ටොන් 2.68 ක්ය! මිලදී ගත්තේ රුපියල් 12000 කටය. 


Ramsay REP 6000 
 "ඇදගෙන යන්නම් ගහකට කොක්කක් දාලා ආ . . . . .ආ . . . . //"

ටින්කරින්  පේන්ටින් කලද  ඇතුලත නිමාව රලු එකක් විය. එය ධාවනයේ යෙදුනු මුල් කාලයේ කුඩා කුඩා ආභාධ පෙන්නුම් කලද ඒවායින් බොහොමයක් මවිසින්ම අළුත්වැඩියා කොට හොඳ ධාවන තත්වයකට එය ගෙන එන්නට සමත්විය. ඕණෑම රාත්‍රියක ඕනෑම දුර ගමනක් පවුල කැටිව පිටත්වී යාමට තරම් එය විශ්වාසදායක ගමන් සගයෙකු විය. සෑහෙන කලක් මා පාවිච්චි කල පසු එය මහ මග නැවතුනේ එකම එක වතාවකි. ඒ ක්ලච් ප්ලේට් යාම හෙවත් ඝර්ෂනය නැතිවී යාම හේතුවෙන්ය. එයද රස බර කථාවකි. මෙම ලිපි පෙල හුදෙක් තැපැලෙන්  ඉගැන්වෙන මෝටර් කාර්මික පාඩම් මාලාවක්යැයි; අවාරෙට දෙල් වැටෙන්නාසේ මාගේ බ්ලොගයට ගොඩ වදින පාඨක පාඨිකාවන්ගේ දෝෂාරෝපනයන්ගේ බේරීම සඳහා එයද මෙහි ලියා තබන්නම්.
292403

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...