Monday, January 30, 2023

251. සෙනෙහෙබරව යෝජනා කර සිටින වග නම් . . . !


මීට කලකට පෙර පුවත් පත් වලින් කියැවූ දේ ඇසූවේ රෙඩියෝවේ පිහිටෙනි. පොලෙන්; ගෙදර ගෙන ආ කවි කොලයක් ගෙදරටම ඇසෙන්නට මහ හඬින් කියැවූයේ පැල් කවි කරත්ත කවි පාරු කවි පතල් කවි ඇසෙන කාලය වියැකී යද්දීමය!

රට තොට විස්තර දැන ගත්තේ පත්තර වලිනි.

ගමේ පංසලේ, ටීටර් මඩුවේ රඟ දැක්වුනු නෘත්‍ය වල ගීත අසන්නට හැකි මෙවලමක් ලෙස රේඩියෝව රටට ආවේය!

රටේ තොටේ සිදුවන දේ පත්තරෙන් කියැවූ අයට රේඩියෝවෙන් අසන්නට හැකියාවක් ලැබුනි. රූපවාහිණිය පැමිණියේ රේඩියෝවට වඩා වැඩි ඈතකට ජනතාව ගෙන යාමටය! එතෙක් ජනතාව අතර සිටි ශ්‍රාවකයින් ප්‍රේක්ශකයින් කිරීමට එයට හැකියාවක් ලැබුනි.

මේ සියළු මාධ්‍ය රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන මගින් පාලනය වූ ඒවා විය. ඒවා මගින් කියැවුනේත් ලියැවුනේත් ඒ ආයතනයන්ගේ දැක්මය. උවමනාවය.

මෙම මාධ්‍ය වලින් කෙරුණේ එක් දෙසකට ගලා ගිය සංනිවේධනයකි!

නිවේදකයා කියවන හෝ ලේඛකයා ලියන දෙයක් දත් මිටි කමින් අසා සිටින්නට හෝ කියැවීමට සිදුවීම එහි ඇති ලොකුම දුර්වල තාවයයි!

අවකාශයේ ලිවීම ඇරඹෙන්නේ මේ සමගය.

එහි වඩාත්ම දියුණු අවස්ථාව ලෙස බ්ලොග් කරණය හඳුන්වා දිය හැක!

 මේවන විට; මෙරට එහි ප්‍රචලිතභාවය අඩුව ගියද ඉංදියාව සහ වෙනත් රටවල බ්ලොග් ලිවීම හා කියැවීම තවමත් ප්‍රශස්ථ මට්ටමක පවතී!

ලේඛකයා / රචකයා සහ කියවන්නා / පාඨකයා  අතර ඉතාමත් කිට්ටු සබඳතාවයක් පවත්වාගෙන යෑමට ඇති හැකියාව,

ඔවුන් අතර ද්විත්ව සංනිවේදනයක් පවත්වාගැනීමට ඇති අවස්ථාව,

ඔවුන් දෙදෙනා හටම තම පෞද්ගලිකත්වය / අනන්‍යතාවය රැක ගනිමින් ලියන්නටත්, කියවන්නටත්, පිලිතුරු දීමටත් ඇති පුළුවන්කම,

අවකාශයේ ඇති මෘදු හා දෘඪ ඕනෑම අමුද්‍රව‍යයක් තම ලිවීම, ලේඛණය, රචනාව, පෝස්ටුව තුල දැක්වීමට  ඇති පහසුව

වැනි බොහෝ කාරණ බ්ලොග්; වෙනත් සාම්ප්‍රදායික මාධ්‍යවලින් ඉහලට ඔසවා තැබීමට හේතුවිය.

මේ සියල්ලටම වඩා සින්ඩිකේටර බිහිවීම; බ්ලොග් ප්‍රචලිත වීමටත්; එය වඩාත් සුවිශේෂී තැනකට ඔසවා තැබීමටත් හේතු විය.

සින්ඩිකේටරයක් යනු සෑම නිමේශයකම යාවත් කාලීන වනසේ සකස් කොට ඇති පොත් වෙළෙඳ සැලකින් වාර්ශිකව නිකුත් කරණු ලබන පොත් කැටලොගයක් හා සමානය.

එමගින්; එම සින්ඩිකේටරයට සම්බන්ධවී ඇති සියළුම බ්ලොගයන් පිළිබඳව නවතම තොරතුරු යාවත් කාලීන කරණු ලබයි!

බ්ලොග් පිළිබඳව ප්‍රචාරණ මෙහෙය සිදුවන්නේ සින්ඩිකේටර තුලිනි.

අදාල සින්ඩියට සම්බන්ධවී ඇති සියළුම බ්ලොග් වල පලවන ලිපි නො එසේනම් පෝස්ටු එම සින්ඩියේ මොහොතින් මොහොත  යාවත් කාලීන වේ.  බ්ලොග් පිළිබඳව පාඨකයින් හා රචකයින් දැනුවත් වන්නේ සින්ඩිකේටර තුලිනි.

බ්ලොග් ලියන්නන් බොහෝවිට කියවන්නන්ද වේ. එනිසාම ලියන්නන් හටද අනෙකුත් බ්ලොග් සම්බන්ධව තොරතුරු දැනගත හැකිවන්නේ සින්ඩිකේටරයකට ගොඩ වීමෙනි.

 මුහුණ පොත කල එළියට එන්නේ බ්ලොග් වලට පසු පසිනි!

ස්මාර්ට් දුරකතනය සමග මුහුණු පොතට අධි වේගයෙන් බොහෝ දුර යාමට හැකිවිය.

ඉතා පහසුවෙන් ගිණුමක් ඇරඹීමට ඇති හැකියාව, බොහෝ පිරිසක් භාවිතා කිරීම, ඉතා පහසුවෙන් යමක් ලියා දැක්වීමට හෝ මෘදු ලින්කුවක් ඉමේජයක්  එක් කිරීමට ඇති පහසුව විශෙෂයෙන් ජංගම දූරකථනයකින් ඉතා පහසුවෙන් ලඟාවිය හැකි බව මුහුණු පොත වඩත් පැතිරීමට හේතු වේ!

මේ කරුණු නිසාම බොහෝ බ්ලොග් රචකයින් වත් පොතට වැදීම හා බ්ලොග්කරණයෙන් ඈත්වීම සිදුව ඇත.

වත් පොත සමග සන්සංදනය කිරීමේදී බ්ලොග්කරණයේ සුවිශෙෂීතා කිහිපයක් දැකිය හැකිය!

බ්ලොග් අඩවියක් අරඹන මොහොතේ පටන්ම එය තමාටම අනන්යවූ දෙයක් ලෙස දැක්විය හැක. එහි භාහිර මුහුණුවර, වර්ණ, පිටුවේ සැකැස්ම, අකුරු වල හැඩ තල, ඒවායේ ප්රමාණය මේ ආදී වශයෙන් අටෝරාශියක් කරුණු කාරණා තමන්ගේ අභිමතය පරිදි වෙනස් කරමින් තමාගේ බ්ලොග් අඩවිය නැතහොත් බ්ලොග් පිටුව නිර්මානය කල හැක!

එහි ලියැවුනු පලවුනු  දැක්වුනු සෑම සියළු දේම නිමෙශයකින් දැක බලා ගැනීමටත් වෙනස් කිරීමටත් එක් එක් ලිපිය කියැවූ පිරිස, ඔවුන් දැක්වූ අදහස්, ආදිය සියල්ල පහසුවෙන් කියැවීමට හැකියාවක් ඇත.

බ්ලොගයක පූර්ණ පාලනය තමන් සතුය. එය වඩාත් නිර්නාණශීලී වන අතර වඩාත් ගැඹුරක් ගනී. පැරණි ලිපියක් සොයා යෑමේදී රචකයාට මෙන්ම කියවන්නාට බ්ලොග් වඩාත් පහසුය.

මෙවන් කරුණු රාශියක් බ්ලොග්; වත් පොතින් ඈත්ව පෙන්වීමට දැක්විය හැක!

වත්පොත හෙවත් මුහුණු පොතේ සියළු ගිණුම් එකම ආකාරයක් ගනනා අතර ඒවා එකිනෙකට වෙනස් කොට හඳුනා ගත හැක්කේ හිමි අයගේ නමින් පමණක් වේ. වත් පොත තුල මා දකින සුවිශේෂී තාවයන් ලෙස වත් පොත් කණ්ඩායම් හෙවත් සමූහ හා වත්පොත් පිටුය. මේවායේ හැසිරීම හා ගුණාංග බ්ලොග් වලට වඩා දියුණු තැනක් ගනී.

වත්පොත් ගිනිම් වල ඇzති ඒකාකාරීත්වය කරණ කොට ගෙන කිසිවෙකු විසින් ලියා සමාජ ගත කොට ඇති පෝස්ටුවක් හෙවත් ලියමනක් මග ඇරී ගිය හොත් එය සොයා ගැනීම තරමක් අපහසු කාරණයකි.

මෙසේ මුහුණු පොත දිග් විජය කරණාතර තුර බ්ලොග් සෙමෙන් සෙමෙන් ගමනක යෙදේ. මෙරට බ්ලොග් හිණිපෙත්තේ වැජඹුණු කාලයේදී බ්ලොග් සම්මාන උළෙලයන්, බ්ලොග් හමු, ඔවුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ අවුරුදු උත්සව ආදිය පැවැත්වී ඇත. 

තවත් කාලයක් බ්ලොග් පැවැත්වීම, පැරණි බ්ලොග් රචකයින් නැවත ලිවීමට යොමු කිරීම, අළුත් රචකයින් බ්ලොග් ලිවීම සඳහා යොමුකර ගැනීම වැනි කාරණාද; පැරණි බ්ලොග් රචකයින් අතර පුළුල් සබඳතාවයක් ඇති කිරීම වැනිකරුණු අරභයා බ්ලොග් හමුවක අවශ්‍යතාවය මේවන විට  පැනනැගී ඇත.

මේවන විට පැරණි සින්ඩි වලට අමතරව අභිනවයෙන් පටන් ගෙන ඇති "සඳහඩපහන සින්ඩිය" හරහා මෙම බ්ලොග් හමුව පැවැත්වීමට කෙරුණු කථා බහක් කොලොම්පුරේ බ්ලොගයේ කමෙන්ටු අතර ඩ්‍රැකී විසින් අදහසක් දක්වා තිබෙනු මා දුටුවෙමි. ඊට සමගාමීව "සඳකඩපහන සින්ඩියේද" ඊට අනුකූලව පෝස්ටුවක් පලකොට ඇති අතර මේ පිළිබඳව පුළුල් කථිකාවක් බ්ලොග් ලියන්නන් අතර ඇතිවීම අවශ්‍යතාවයක් ලෙස මා දකිමි.

මේ පිළිබඳව බ්ලොග් වලට සම්බන්ධ සහ ඊට ආදරය කරණ සියල්ලන්ගේම මැදිහත්වීම හා උනන්දුව ඇතිවිය යුතු අතර මෙම බ්ලොග් හමුව සාර්ථක කරගැනීමට අප අත්වැල් බැඳ ගත යුතු බව සෙනෙහෙබරව යෝජනා කර සිටිමි.

කවදාද? කෙසේද? කවුරුරුන්ද? කොහේදිද?


Wednesday, January 25, 2023

250. සිරිබිරිස්ගේ ලංකාවතරණය!

 

සිරිබිරිස් යනු කැමිලස් පෙරෙරාගේ පුත්‍රයෙකි. කැමිලස් යනු ලංකාවේ නොම්මර එකේ කාටූන්; මැව්වෙකි. කැමිලස්ගේ පලවෙනි කාටූන් චරිතය වන්නේ 1966 දී ලේක් හවුස් සඟරාවක් මත පන පෙවුනු "දැක්කොත් පත්මාවතී" ය. කැමිලස්ගේ කවුරුත් දන්නා පුත්‍ර රත්නය "ගජමෑන්" වන අතර ඔහු උපත ලබන්නේ 1972 වසරේ "සතුට"; ලංකාවේ ප්‍රථම චිත්‍ර කථා පුවත්පත සමගය. පසුව මෙරට දිග් විජය කල; චින්තන ජයසේනයන්ගේ "සිත්තර" 1975 ඇරඹීමත් සමග ගජමෑන්ද සිත්තරේ බින්න බැස්සේය.
මේ නයින් ගත් කල සිරිබිරිස් තනි චරිතයක් නොව; දැක්කොත් පද්මාවතී, ගජ මෑන් හා පෙර නොකී "දොං සේතං" ගේද සොහොයුරෙකි.

මෙරට නමගිය IPB දෙබෑයන්ගේද නොමසුරු ගරුත්වයට පාත්‍රවූ අප මිතුරු නිමල් දිසානායක පසුගියදා ඇමතුමක් මගින් මා අමතා පැවසූවේ "මල්ලි  සිරිබිරි ඇවිත්!" කියාය.
මේ කැමිලස්ගේ පුත් සිරිබිරිස් නොව සිංහල බ්ලොග් අවකාශය තුල සැරිසරණ "සිරිබිරිස්" ය. සිරිබිරිස් සහ තවත් බ්ලොග් මිතුරන් කිහිපදෙනෙකුගේ හමුවක් නිමල් අයියා විසින් සංවිධානය කිරීමට උත්සාහ ගනිමින් වූ අතර  ඒ සඳහා අපගේ Teepee the Campsite කඳවුර යොදා ගැනීමට ගත් තීරණයේ සුභාරංචිය කනේ තැබුනේ එම අවස්ථාවේදීය.

සිරිබිරිස්ගේ පදිංචිය කැන්ගරු දේශයේ වන අතර ඔහු මෙරටට ඇති අක්මුල් සිඳ නොගත් ඕස්ට්‍රේලියානුවෙකි!
දිනය පසුගිය ඉරිදාය.
සෙනසුරාදා; ඉරිදා උනේ නි. ප.කෝ. නිසාය.
නාමයෝජනා රාජකාරී වෙනුවෙන් ඇප කැපවී සිටි නි.ප.කෝ ඩ්‍රැකී (නියෝජ්‍ය පලාත් කොමසාරිස්) හට ප.කෝ ගෙන් සෙනසුරාදා පැමිණීමට ඉඩක් ලබා ගැනීමට තිබුනු අවහිරතාවය නිසාම සෙනසුරාදා; ඉරිදා විය.

මෙම මිතුරු සමාගමට පේරාදෙනියේ සිට රවී වීරසිංහ - අවි අයියා පැමිණියේ කලින්දා එනම් සෙනසුරාදා හවස් වරුවේය. 
ඩ්‍රැකීගේ පැමිණීමද එදිනට යෙදී තිබුනත් ඡන්ද හුටපටේ ඔහුව පමා කලේය.

රවි අයියා රස සාගරයකි!
ඔහු මිනිස් ඇසුර ප්‍රිය කල අයෙකි.
නියමිතව තිබුනු ඩ්‍රැකීගේ පැමිණීමත් අවි අයියාගේ එකතුවත් සමග වියළි ජින් ගත වීම හෝ වෙනයම් ඇල්කොහොලිකරණයක් සඳහා මා අපගේ පැරණි kayak pavilion එක අස් පස් කලේ සිකුරාදය. 
හුදෙක් ගබඩා කාමරයක් ලෙස අඩුම කුඩුම පිරුණු එය නැවත මිනිස් වාසයක් බවට පත් කිරීමට දිනයක්ම වෙහෙස වන්නට සිදුවිය. kayak pavilion යනු අපගේ Oparetional Hub එක හෙවත් මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කොට ඇති අඩි 20 Shipping Container එක මත ඉඳි කොට ඇති වේදිකාවය. රාත්‍රියට ඉදිරි මාර්ගයේ රථ වාහන දිවෙනු දකින්න ලස්සන දර්ශණයකි. 
මීට වසර 5කට පමණ පෙර 
එසේ වෙහෙස මහන්සි වීමට ලැබුනු ත්‍යාගයක් ලෙස එදින මත එනම් සිකුරාදා - ජනවාරි 22 ට යෙදී තිබුනු අපගේ යකඩ දිනේෂ්ගේ කුඩා සාදය එතැන උත්කර්ෂයෙන් යුතුව පැවැත්විය.
මමත් මාගේ ඥාති සොයුරු පාලින්දත් දිනේෂ් සමගින් සීතල බීර වීදුරුවක් තොල ගාමින් දිනය සැමරුවේය.
පසුදින මා පෙර සඳහන් කල පරිදි රවී අයියා සම්ප්‍රාප්ත විය.
එදින සවස් යාමය ගෙවී ගියේද kayak pavilion එකේමය.


පසුදින නිදි අයියාත්, ප්‍රාජේත්, නමියාත්, සිරිබිරිසුත්,අසංගත් පැමිණියෝය.
ඩ්‍රැකී ඒවන විටත් ගිණිගත්හේන පසුකරමින් ය.
හක්බෙල්ලාවක ප්‍රසිද්ධ දියෙස්ගේ ලැවරියා කඩෙන් උණු උණු ලැවරියා කා කිතු හකුරු සමග කහට බී ඩ්‍රැකී පැමිණෙන තෙක් කල් මැරුවෙමු.
ඩ්‍රැකීගේ පැමිණීමත් සමග ඝණ පූර්ණය සම්පූර්ණ වූ අතර අප කඳවුරු බිම වෙත පිටත් වුනෙමු. 
"පිංතූරයක් වචන දහසක් තෙපලයි!" 
එසේනම් ඉතිරිය පිංතූර පවසාවි!
රස සාගරයක් සමග!

ස්ටීමරයෙන් මුහුණ වසාගෙන ලැවරියා කෑම!

රවි, අසංග, ප්‍රාජේ, නමියා, සිරිබිරිස්

මේ සියල්ල මුදිතා ගුණ භරිතව විඳදරා ගනිමින්!

අපේ කාලය කා දැමීම පිළිබඳව නිදහසට කාරණා!

කොලොම්පුරේ, සිරිබිරිස්, නිදි, ප්‍රාජේ 

කට හදාගෙන කියන දේවල්-කට හදාගෙන ඇහුංකං දීම! 

"මෙන්න සුද්දගේ අත!"
මේ කයිවාරුවෙන් පසු ඇරඹුනේ "හඳ මාමා ගීත පිටුවයි!". මින්දද හී සැරෙන් පටන් ගත් ගායනාව වතුර නාලා අවසන් විය! අවසන් ගී කාණ්ඩය ගීත දහයකින් අවසන් වූයේ මාගේ ඇවටිල්ලට නැවත හක්බෙල්ලාවකදීය. 

"අපි එහෙනං යන්නං අපි!" නිදි අයියා නැගිටින්නට හැදුවේ සොඳුරු දිනය නිමාවට පත්කරමිනි.
"තව සින්දු පහක් කියලා යන්න . . . නිදි අයියේ . . !"
"හරි ඔන්න පහයි . . . !?"
"නෑ ! නෑ!! දහයක් . . ?" මම ඇවටිලි කලෙමි.
"හරි එහෙනං ඔන්න දහයයි . . !?"
ඉන් පසුව ගී ගායනා ඇරඹුනේ සින්දුවෙන් සින්දුවට ........ කරමිනි.
ගීත දහයෙන් පසුව නිදී යන්නට නැගිට්ටේය.

"අපරාදෙ උඹ විස්සක් ඉල්ලන්න තිබ්බේ!" සිරිබිරිස් ඔහුගේ ආදරණීය අවංක හිනාවෙන් යුතුව පැවසීය.

"ඔව් බං අපරාදෙ! කමක් නෑ ආයේ උඹලා එනවානේ! හිටපං මං කෝල් එකක් අරන් බලන්න 
- හෙලෝ ඔය කිතුල්ගල සිරිල් අයියද? . . . . . . . . . . . . . "

Thursday, January 19, 2023

249. මිතුරු හමුවක මතකය

පසුගිය අගෝස්තුවේ මැද මා ඕස්ට්‍රේලියාවට ලඟා උනෙමි. ඒ එරටට දැඩි ශීත කාලගුණයක් තිබුනු අවධිය විය. මාසයක කාලයක් දුවා දරුවන් හා බිරිඳ සමග ගතකල මා එරට සිටින අපගේ මිතුරන් ඇමතීමට පටන් ගත්තේ ඉක්බිතිවය. 

පලමු ඇමතීම වින්ද්‍යා සේනාධීර වෙතය!

"ඇයි බං ආපු ගමන් කතා නොකලේ?"

මට උත්තර තිබුනේ නැත. මම හීන් කෙඳිරියක් ගෑවෙමි! 

ටික දිනක් ගෙවීයද්දී එක් සවසක මාගේ පුතු නිවෙසට පැමිණියේ පණිවිඩයක්ද රැගෙනය.

"අන්න සේනාධීර අංකල් කථා කරලා කිව්වා තාත්තිව එහේ එවන්න කියලා. මට ලොකේශන් එකත් දාලා තියෙන්නේ!"

නියමිත දිනයේදී මා වින්ද්‍යාගේ නිවසට ලඟා උනෙමි. 

නිවසේ සීනුව නාද කරණවාත් සමග දොර ඇරුනි. ඉන් එලියට පැමිණියේ අතිශයවූත් සුන්දරවූත් නිර්ව්‍යාජවූත් සිනහවකින් මුව සරසා ගත් කාන්තාවකි!

"ඔයා මංජුල වෙන්නෝන!?"

කිසිදාක මා නොදැක සිටි ඇය ඉතාමත් කුළුපග ලෙස මා පිළිගත්තීය.

"ඔ..ඔව්! මම තමයි!"

"අන්න වින්ද්‍යා ඉන්නවා ඔයා එනකල් බලාගෙන! යන්න!!" ඇය දොරකඩින් පසෙකට වී මා හට නිවසේ ඇතුලත පෑවාය. 

ජගත් රාමනායක, ඉන්දික දෙල්පචිත්‍ර ආදීන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටිනාතර තුර තවත් සහෘදයෙක් එතැනට එක් විය.

" අම්මට සිරි උඹ? උඹ කොහෙද මෙහේ?" ඒ අන් කිසිවෙක් නොව ගල්කිස්සේ ආර් ජගත් කිත්සිරිය. සත්තකින්ම එතැන සිනා සාගරයක් මැවුනි. මා ආගන්තුකයෙක් උනු හෙයින් හෝ මාව බයිට් නොකිරීමටත් පාසල තුල මා හැඳින්වීමට භාවිතා කල අනවර්ථ නාමය භාවිතා නොකිරීමටත් ඔවුන් වග බලා ගැනීමට මෙන්න මගෙන් තුති!

රාමාගේ පැරණි මතක ගබඩාවේ රසමුසු තැන් පිළිබඳව මතක් කරණ විට තාමත් තනිවම හිනාය! දැනට ටැස්මේනියාවේ සිටින අපගේම පාසල් මිතුරකුගේ චර්යාවන් මේ කථාවල පදනම විය.  රාමාගේ පුත් සුසුකි හී කසූකි (නම වැරදිනම් සමාවෙන්නෝන එකසිය ගානට!) ඇතුලු පිරිසක් පැය ගනනාවකින් එතැනට එක් වූ අතර පේස්ට්‍රි සහ වෙනත් කෙටි කෑම පිරුණු බඳුන් හිස්ව ගියේ අසුරු සැනිනි. 

අප වෙන්ව යන විට දෙල්පෙගෙන් ලැබුනේ තවත් ආරාධනාවකි!

"මචං එන සතියෙ නෙවෙයි ඊලඟ සතියේ දවසක අපේ ගෙදර පොඩි පාටියක් උඹ එන්නෝන. කොල්ලයි කෙල්ලවයි දෙන්නත් එක්කං වරෙං ගිටාර් දෙකත් අරං!"

දිනය එළඹුනි. මමත් පුතාත් දුවත් දෙල්පෙලාගේ ගෙදරට සම්ප්‍රාප්ත විය. එතැන උළෙලකි! විදිලි සර පුවරුවක් වැයුනි. මා හටත් දුවටත් පුතාටත් ඉහල පිළිගැනීමක් විය. එතැනට ටිකෙන් ටික එක්වන පාසැල් මිතුරන් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් හට මම මාගේ "ඇස් දෙක" හඳුන්වා දුන්නෙමි.

"දුවේ මේ අංකල් ප්ලේන් එකකින් බිමට වැටිලා තියෙනවා....!" මා සමන් ධම්මිකව දියණියට හඳුන්වා දුන්නේ එලෙසිනි.

"ඇත්තමද අංකල්. . . .?" ඇස් නළලේ රඳවා ගනිමින් දුව සමන්ට කිට්ටුවිය.

"බොරු පුතේ මූට පිස්සුනේ . . . ! වැටුනා තමයි. එතකොට ප්ලේන් එක තිබ්බේ බිම!"

🤣🤣🤣🤣🤣🤣🤣

ස්වල්ප වේලාවකින් එතැනට ගුරාද කඩා පාත් විය!

" උඹ කොහෙද බං මෙහේ . . !?" ගුරා සුපුරුදු කට අවදි කලේය.

කාලය ගත වෙද්දී මධුවිත අපව තව තවත් එකට එක් කලේය.

ගුරා,මම,කිත්තා,සේනක,සම්පත්, වින්ද්‍යා,දෙල්පෙ
ගී ගායනා ඇරඹුනි. මාගේ දරුවන්හටද ගීත දෙකක් ගායනා කිරීමට අවස්ථාව ලැබුනි. අනුර කුමාරසිංහගේ දියණිය තම ගායනයෙන් සාදය තවත් මානයකට ගෙන ගියාය. ඇයත් මාගේ දියණියත් මොනවාදෝ තොර තොංචියක් නැතිව කියවමින් ය. එතැන සර පුවරුවේ නිර්මාපකයාගේ ආරාධනයෙන් "සම්පත්" නමැති තට්ටයෙකු ගීත දෙකක් ඉතාමත් සුන්දරව ගායනා කලේය. 

සමන් ධම්මික; එඩ්වර්ඩ් සර්ගේ  හඬින් ගීත ඉදිරිපත් කලේය. දෙල්පෙද ගීත කීපයක් ගායනා කොට සාදය එකළු කලේය. වින්ද්‍යා සියල්ලන් අතර සිට සියල්ල එකට ජෙල් කලේය. නාවික හමුදාවේ සේනක හංවැල්ල රණවිරුවාද එතැනය. ඒ ගැනද ලිවිය යුතුමය. ඔහු ඕස්ට්‍රේලියාවට ඇවිත් තිබුනේ යාළු මිත්‍රාදීන් බලා කියාගෙන යාමටය!

මධුවිතෙන් හොඳින් සප්පායම් වන විට ඊළඟට අත්‍යාවශ්‍ය දේ වන්නේ සිගරට් ය. සිගරට් එකක් නැතිව ගන්නා මධුවිත උපමාකොට ඇත්තේ; දෙතොල් සිප නොගෙන කරනා රමණයටය! බොන එකාට ඇත්තේ ඊට අපූරු ඉවකි. මා නාසය උඩු සුළඟට එක් කොට ඉව කලේය. නිවසේ පසුපස කොටසේ සිට සිගරට් සුවඳක් (ගනං ගන්න එපා; ඒ අපට දැනෙනා හැටිය!) ගලා ආවේය. මා සීරුවෙන් රූටන දොර ඈත් මෑත් කර එතැනට කිට්ටු කලෙමි. ආරාධනයෙන් ගී යැයූ තට්ටයා එතැනය! "කව්ද අප්පා මූ? පුරුදු ඩෑල් එකක්!" මම මගෙන්ම අසා ගනිමින් එතැනට කිට්ටු උනෙමි 

"අම්මට සිරි උඹ තබ්ල සම්පත් නේද?"

"ඔව්නෙ . .  .   . !"

මම වහාම වසිකට කතා කලෙමි. 

"පුතේ මේ අංකල් තමයි 

"අපේ කාලේ උදේ එසෙම්බ්ලි එකේදි "බැන්ද දජා . . " එකට තබ්ලා ගැහුවා කියලා මම කිව්වේ. තබ්ලා සම්පත්!

මම හදිස්සියට "බැන්ද ධජා එක" කිව්වේ අපේ පාසැල් ගීතයටය!

ඔය අතරේ ආර් ජගත් කිත්සිරි ත්‍යාග ප්‍රධානෝත්සවයද පැවැත්විය. ඒ ඔහු වික්ටෝරියා ප්‍රාන්තයේ සිට ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට යෑමේ කණගාටුවට හෙවත් කනක් ඇහිලා ඉඳින්නට ලැබීමේ ප්‍රීතිය වෙනුවෙන් විය යුතුය!!


එතැන සිට ආගිය කතා ගොන්නකි. දෙගොඩ හරි ජාමයේ වෙන් වූයේ නැවතත් නාලන්දා රාත්‍රියේදී හමුවන බලාපොරොත්තුවෙනි.

නාලන්දා රාත්‍රිය පිළිබඳ වෙනමම කථා කල යුතුය. 

කිත්තා සහ සම්පත්ට පසෙකින්.

අවසර පත්‍ර 582 අලෙවි කල පසු; අලෙවිය නවතා දමා තිබුනි! ජගත් බන්ඩාර මෙල්බර්නයට මෙම අවස්ථාවට සහභාගී වන්නට  පැමින සිටියේ සිඩ්නි සිටය!

ඒ මේ අල්ල පනල්ලේ ශිවන්කද හමුවිය. මාගේ බ්ලොග් කියවන අයට ශිවන්ක අළුත් කෙනෙකු නොවේ. 212. පැනි බේරෙණ කොම්පැනි කථා 5  පෝස්ටුවේ මෙන්ඩිස් ලොක්කාට අම්මා මුත්තා සිහිවෙන්න ගේම ඇද්දේ මේ ශිවන්කයාය.

ශිවන්කටත් තබ්ලා සම්පත්ටත් මැදිව!

පාසැල් රාත්‍රියේ 600 කට ආසන්න පිරිසක් වේග රිදමයට සම වැදී නර්ථනයේ යෙදෙද්දී මමත් ශිවන්කයාත් තබ්ලා සම්පතුත් රථ ගාලට පැමිණ කයිවාරුවක් ගැසුවෝය. ශිවන්ක ඔහු re-make කල ක්ලැරන්ස්ගේ ගීත කිහිපයක්ද මොබයිලයෙන් ප්‍රචාරය කොට පෙන්නුවේය. 

සම්පත් ඔහු සංගීතවත් කල සුන්දර නොයිඳුල් ගීතයක් අපට අසන්නට ඉඩ කඩ සැලසුවේය. මම ඒ ගැන පොඩි ඉඟියක් දෙන්නම්. (පස්සෙන් පහු පොර ටෝකක් ඉශූ කරණ්නට පුළුවන්නේ; "ඔන්න අර සිංදුව!" කියලා) ඒක ලියැවී තිබුනේ විල්පත්තුවේදී ආදරය වෙනුවෙන් ජීවිතය කැප කල රන්මලී ව කැඩපතක් සේ යොදාගෙන ස්වර්ණා මල්ලවාඅරච්චි ගැන වගෙයි මතක! (සිහියෙන් ඉඳන් අහපුවායෑ?)

දැන් මේ සියල්ල අතීතය ය! 

ලියන්නට නම් කාරණා එමට! ලියාගන්නට බැරි තරං මතක!

කොහොමද මේක අවසන් කරණ්නේ  . . . .?

හරි මම මේ සිද්ධියන් කථාව නවත්වන්නම්

නාලන්දා රාත්‍රියට යන්නට පෙරදින කෝල් එකක් ගත්තා වින්ද්‍යාට පාසැල් කර පටියක් හෙවත් ටයි එකක් ඉල්ලා ගන්න.

නාලන්දා රාත්‍රියේදී එය මගේ අතට ලැබුනි. 

ඒ ආදරණීය වදන් පෙලක් සමග!

"මේක මගෙන් උඹට! සමරුවක්!"

ද්‍රව්‍යමය දේවල් වලට වඩා උඹලාගේ ආගන්තුක සත්කාරය ලෙංගතු බව හිතේ යටටම ගිලා බැහැලා! නම් ලියන්නට නොහැකිවූ  බොහෝ දෙනා ගැන ලියන්නම් වෙලාවක! ඒ වගේමයි වින්ද්‍යාගේ බිරිඳ නිල්මිණිගේ පටන් කිත්තගෙ පවුල සමන් දම්මිකගේ වයිෆ් ගුරාගේ නෝනා දෙල්පෙගේ පොම්බුලේ ඇතුලු සියල්ල ආදරයෙන් මතක් කරමි. 

දෙල්පෙ උගෙ අනගිභවනීය පාටියේදී ආහාර පිළිගැන්වූ හැටි තාමත් මතකය! 

"කාපං! මේවා ඔක්කොම මම ම හදපුවා!"

ඔය හැමදේම වගේම උඹලා බොහෝ දෙනෙක් මගෙන් අහපු පොදු පැණයක් හා කල ආදරණීය යෝජනාවක් තිබ්බා. 

"උඹ කවද්ද මෙහාට එන්නේ? කොල්ලයි කෙල්ලයි දෙන්නම් මෙහේ ඉන්න හිංදා උඹත් මෙහාට වරෙංකො!"

ඒ සියල්ල මතකය. ඒ සියල්ලටම දුන් පොදු පිළිතුර ලියා නවතින්නම්. 

"බලමු!"

මොනවා උනත් උඹලා හොඳම හොඳ එවුන් ය!

ජයවේවා!

Tuesday, January 3, 2023

248. මව්බිම වටා සයිකලයෙන් . . . 9

මුලතිව් සිට පේදුරුතුඩුව, කන්කසන්තුරය හරහා යාපනයට.

 244. මව්බිම වටා සයිකලයෙන් . . . 8

2022/04/16

මුලතිව් නගරයෙදී හමුවූ මිතුරු මිතුරියන් නොවන්නට එම සැඳෑව මහ පාළු එකක් වීමට බොහෝ ඉඩ  තිබිනි. මන්ද සිංහල දෙමළ අළුත් අවුරුද්ද විසින් මුලතිව් නගරයේ ක්‍රියාකාරීත්වය නොහොත් ජවය මුළුමණින්ම නිවා දමා තිබුනි.




මුලතිව් නගරය කීවාට එහි බස් නැවතුම් පොලක් හෝ හරියාකාරව තිබුනේ නැත. එසෙම කෑමට හරියමං කඩයක් තිබුනේ නැත්තේ එදින මත වැටී තිබුනු සිංහල-දෙමළ අළුත් අවුරුද්දේ සෙවනැල්ල නිසාදෝ සිතා ගැනීමට නොහැකිය.
අප නගරයට ලඟා වන විට යාන්තම් සවස් වන්නට පටන් ගත්තා පමණි. පස්වරු 2.30 වන විට අප මුලතිව් නගරයට ගොඩ බැස නවාතැනක්ද සොයාගෙන අවසන් වී තිබුනි. මුළු මහත් නගරයම මහත්වූ පාළු බවකින් යුක්ත විය. නගරයේ මං මාවත් ජන ශූන්‍යව පැවතිනි. 
එදින අප නැවතුනු නවාතැන් පොලේ අයිති කරු පසුදින උදයේම නැගිට අපව එළියට දමා ගේට්ටු වසා දැම්මේය! (මම ලිව්වා හරි මදිද මන්දා!) නවාතැන්පොලේ අයිති කරු අපට පිටවන්නට ගේට්ටුව ඇර දුන්නේය! (පසුව වසා දැම්මේ ය!) මුලතිව් සිට යාපන අර්දධ්වීපයට ඇතුළුවීමෙන් පසුව දැඩි හිරු රශ්මියකට මුහුණ දෙන්නට සිදුවෙතැයි අප බලා පොරොත්තු වුනෙමු. ඒ නිසාම අප පිටත් වුනේ තරමක උදෑසණින්ය.  වෙනදා අප පිටත් වන්නේ උදේ 6 කණිසමට වන අතර අද අප පැයකට ප්‍රථම පිටත් වුනෙමු. පාරක් තොටක් නියමාකාරයෙන් නොපෙනෙන එම වෙලාවේ ඉව පාරේ අප ගමන් කලෙමු. 
අවට තැනින් තැන බල්ලන් බුරා වැටෙද්දී අප පාරේ මැදින් ගමන් ගත්තෙමු. රෑ කළුවරේ ගමන්  වලදී පාරේ මැද්දට වන්නට ගමන් කල යුතුයැයි කවුරුන් හෝ මා හා පවසා ඇත. ඒ පාර අයිනේ වලවල් හා සතුන් ගැවසී ඉන්නට හේතු විය හැකි බැවිනි. මාගේ විදුලි පහන මා ගෙනාවේ නැත. ඊට ප්‍රධාන හේතුව අප රාත්‍රියේ හෝ මහ පාන්දර ගමන් නොකිරීමට සිතා සිටි බැවිනි. තවත් කරුණක් වූයේ ප්‍රශස්ථ මට්ටමක සයිකල් ලයිට් එකක් මා හෝ හෙඩ් ටොර්ච් එකක් හෙවත් නලලේ පළඳනා විදුලි පහනක් මා සතුව නොමැතිවීමය. "හොඳ" එකක් ගන්නට බලාගෙන සිටි මා හට මුකුත්ම ගෙන ඒමට නොහැකිවිය. (හොඳම ඒවා ලබා ගන්නා බලාගෙන ඉන්නා කාට කාටත් මේවා හොඳ පාඩම්ය!) නිශාන් සතුව විදුලි පන්දමක් හෙවත් සයිකල් ලයිට් එකක් තිබුනි. එහෙත් එහි එළිය පිළිබඳව එතරම් සෑහිමකට නොහැක. කොහොමටත් ඔහු පහනක් ගෙනවිත් තිබුනේ මාව සෑහීමකට පත් කිරීමට නොව ඔහුගේ ගමන් පහසුව වෙනුවෙන් බව මෙහිලා මතක් කරණු කැමැත්තෙමි.
ඒ කෙසේවෙතත් අනුන්ගේ විදුලි පන්දම් එළියෙන් ගමනක් යන්නට වීම තරම් අභාග්‍යයක් තවත් නොමැත. (අත්දැකීම් නොමැති අය; අත්දැකීම් ඇති අය සමග සාකච්ඡා කොට කරුණු එකතු කර ගන්න! )

අඳුරේ "අත පත" ගාමින්; අප අන්ධ භූත ජාතකය රඟදක්වමින් විනාඩි 30 ක පමණ කාලයක් ගමන් ගනිද්දී යාන්තමින් එළිය වැටෙන්නට විය. එවෙලේ එළිය නොවැටුනා නම් අප වතුරට වැටෙන්නටද ඉඩ තිබුනි. අප කළපුවක් අද්දරය. එම ජල තලය මතින් ඇදුනු මගක් විය. එවන් මං පෙත් යාපනය අවට කිහිපයක් මා දැක ඇත. මාගේ මතකය නිවැරදිනම් කයිට්ස් වැනි කුඩා දූපත් වලට යාපනයේ සිට ඇති මෙවන් මං පෙත් Causeway  යන නමින් හැඳින් වේ. මේවා හැඳින්වීමට සිහල බසින් ඇති නම කුමක්දැයි මා නොදන්නා මුත් මෙම ස්ථානයේ සවිකොට තිබුනු පුවරුවේ එය "දිය පැන්නුම" යන සුන්දර නමින් එයට ආමන්ත්‍රණය කොට තිබුනි. 
අපගේ පලාත් වල පිහිටි කෙත් යාය යන් හා මාර්ගය වෙන් කෙරෙණ කුඩා ඇළ හරහා ට්‍රැක්ටර් ගෙනයාම සඳහා සකසා ඇති කුඩා කොන්ක්‍රීට් ලෑල්ලහෝ වෙනයම් උපක්‍රමය, ඉඳිකිරීම හැඳින්වෙන්නේ "ට්‍රැක්ටර් පැන්නුම" නමිනි. ජාති අං තර ගොවියෙකුවූ මාගේ ආදරණීය පාඨක තිළිණ ප්‍රියසාද් මේ පිළිබඳව වඩාත් වැඩි විස්තරයක් දක්වනු ඇතැයි සිතමි. 
මා කලින් සඳහන් කල මං පෙත මතින් එතෙරට ගිය අප හට එහිවූ විශේෂිත පුවරුවක් දිස් විය. මේ පහතින් දැක්වෙන්නේ එයයි.
5.32am
"දිගින් මීටර 430ක්ද පළලින් මීටර 5ක් පමණ වන මුලතිව් පුදුකුඩි ඉරිප්පු යා කෙරණ මෙම පිවිසුම් මාර්ගය පියර් කනු 110 කින් සමන්විතවේ. ඇ35 මාර්ගයේ ඉතා වැදගත් ස්ථානයක් වන මෙම සපත්තු පාලමේ කොටසක් ත්‍රස්ථවාදීන් විනාශ කොට යුධ හමුදාවට වඩ්ඩුවාකල් කලපුව තරණය කිරීමට දැඩි ලෙස බාධක පමුණුවන ලදී. ත්‍රස්ථවාදීන් එල්ල කල සියළු ප්‍රහාර මැඩ පවත්වමින් ඔවුන් විසින් රඳවා ගෙන සිටි සිවිල් වැසියන් 100000 ක පමණ පිරිසක් මුදවා ගැනීම 2009 මැයි 17 වන දින යුධ හමුදාව විසින් සිදුකරණ ලදී. ඒ වන විටත් මුළු කලපු ප්‍රදේශයම ජලයෙන් පිරී තිබුනත් සිවිල් වැසියන්ට මුවාවී පැමිණි ත්‍රස්ථවාදීන්ගේ ප්‍රහාර දැඩි වුවත් අප හමුදාවන්හි නිර්භීත සාමාජිකයින් දැඩි අදිෂ්ඨානය පෙරදැzරි කරගනිමින් මෙම ක්‍රියාන්විතය සිදුවූ ස්ථානය ලොව දෙවන වරට විශාලතම ප්‍රාණ ඇපකරුවන් ප්‍රමාණයක් මුදවාගත් ස්ථානය ලෙස හැඳින්විය හැක"

1


2

3

4
1 2 3 4 අන්තර්ජාලයෙන් ගොඩ බාගත් ඡායාරූප ලෙස සලකන්න!

5.33am
දිය පැන්නුම දෙස ආපසු හැරී බැලීමක් . . . !




5.55 am

පසුගිය යුධ සමයේ අපට නිතර අසන්නට ලැබුනු මුල්ලිවයික්කාල්, පුදුකුඩු ඉරිප්පු, චලෙයි ප්‍රදෙශ වලට "උම්මා" දෙමින් ගමන් කරමින් වී සිටියෙමු. ඉන් සමහර උම්මා; සුළඟේ පාකර යැවූ  Flying kisses ය! පසුගිය සෑම දිනෙකදීම අප ගමන ඇරඹූවේ කුස පුරා ආහාර ගෙනය. බොහෝ විට අපගේ ජාතික ආහාරය වූ බිත්තර රොටී ඊට අවශ්‍ය පරිසරය සැක්සුවේය. එහෙත් පෙරදින පවා දහවල් සිට නින්දේ පසුවූ මුලතිව් නගරයේ උදෑසන 5.00 කන්නට යමක් සොයා ගැනීමට නොහැකිවිය. තවත් පැයක් ඉක්බිතිව "චූන් පාන් මල්ලියෙක්" අප ඉදිරියේ ප්‍රාණිභූර්ථ විය. මේ අප විසින් ඔහුගේ මාලුපාන්, බිත්තර පාන් ආදිය  සාහසික ලෙස අපයෝජනය කල අවස්ථාවය. 


මේ ඉහලින් තිබෙන රූපයේ ඈතින් පෙනෙන්නේ කෝවිලක්. මේක තියෙන්නේ පුදුකුඩුඉරිප්පු වගුරු බිමක් මැද පිහිටුවා ඇති රණ විරු ස්මාරකය නුදුරේමය.අප එතැනට එන විට උදෑසන 6.12 යි. හිරු උදාව ඇරඹුනා විතරයි. මෙතැන විකාශය වෙනවා සුන්දර ගායනයක්.  මාගේ දුකථනයේ එම ගායනයෙන් ඉතා කුඩා කොටසක හඬ ඇතත් එය බ්ලොගය මත පැල කිරීමට මා දන්නා තාක්ෂණයේ මද බව කරණ කොට ගෙන ඔබට සවන් දීමට නොහැකි වීම ගැන කණගාටුවෙමි.

මේ සියල්ල සේම ලක්බිම වටා ගමන් ගත් බොහෝ දෙනෙක්; විෂේශයෙන් සයිකල් කරුවන් මුලතිව් සිට යාපන අර්ද්ධ්වීපය වෙතට ඇතුළු වීමට තෝරාගෙන තිබුනේ පරන්තන් හරහා A9 මාර්ගයයි. එහෙත් ගමනේ පසු විපරමක යෙදෙන අද දවසේ මුලතිව් පසුකොට කිලෝමීටර 6.9 ක් උතුරු දෙසට පැමිණි පසු මුල්ලිවයික්කාල් හන්දියෙන් පරන්තන් දෙසට නො හැරී පුදුමාතලන්  හරහා චුන්ඩිකුලම් වෙත පැමිණීමට මාර්ගයක් සිතියම් වල දක්වයි. 
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියම
එහෙත් ගූගල් සිතියමේ මුලතිව් සිට චුන්ඩිකුලම් වෙතට පැමිණීමට ඇති මාර්ගය ලෙස දක්වන්නේ පරන්තන් හරහා යෙදෙන සාමාන්‍ය භාවිතාවේ ඇති මාර්ගයයි.  සිතියමක් නොතිබීමෙන් මෙම මාර්ගය අප වෙතින් මග ඇරී ගියේය. එය එසේ වූවානම් පරන්තන් මග ඇර යාමන අර්දධ්වීපයට ලංකා දාරය දිගේ ඉහලට ඇදී ඉයාකච්චි වෙතට හෝ ඉයාකච්චිද මග ඇර මුලියාන් වෙතට යන්නට ලැබීමට ඉඩ තිබුනි. ගිය නුවණ ඇතුන් ලවා වත් බැරිය!
ගූගල් දෙයියන්ගේ සිතියම







8.27am
පරන්තන්! ඔව් අප දෙදෙනාම පරන්තන් නගරය සිසාරා යන දෙවන අවස්ථාව මෙය වේ. සත්තකින්ම පරන්තන් නගරයට පොඩි ඇල්මක් මා තුල පවතී. ඒ ඇයි දැයි ලියන්නට තබා  කියාගන්නට වත් නොහැකි මිශ්‍ර හැඟීමකි. A9 මාර්ගයේ සයිකලයෙන් අප යාපනයට ආ ගමනේදී පවා පරන්තන් නගරයට පැමිණි මෙවැනිම වියළි උදෑසනකය. එදිනද; "අප යාපනය කිට්ටුවට ඇවිත්!" යන හැඟීම ඇති වූයේ පරන්තන් නගරයට පිවිසීමෙන් පසුය. එය වඩාත් තීව්‍ර වූයේ අලි මංකඩ පසුකරද්දීය. 

අපගේ රටේ යුධ විරුවන් අතර මහත්වු අභිරුචියෙන් හා වීරාභිවන්දනයෙන් යුතුව පවසන නමක් අලිමංකඩ සමග බැඳී පවතී. ඒ 1966 සැප්තැම්බර් 6 උපත ලබා 1991 ජුලි 14 වනදින; තම සගයන්ගේ ජීවිත බේරා ගැනීම වස් ස්වකීය ජීවිත පූජාවෙන් යුතුව කටයුතු කල හසලක ගාමිණී කුලරත්න විරුවාගේ නමය! 
අද දින වන විට දෙමළ ජනතාව වෙත ආදරයේ හස්තය දිගු කරණ අප ඊට සාපේක්ෂව යුද්ධය දෙස වෛරයෙන් බැලීමට පුරුදුව ඇත. 
ශ්‍රී ලංකා ද්‍රවිඩ ප්‍රශ්ණය; වරක් ජෝන් කොතලාවල මන්නාරමට ගොස් කල ප්‍රකාශයක් මතම පදනම්ව පටන් ගත් එකක් නොව සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම සමග ඔවුන්ගේ අනන්‍යතාවය පළුදුවීම මත පදනම් වූවක් ලෙස මා දකිමි. 
එසේම එම ගැටුම ඇරඹීමට සිංහලයින්ගේ ජාතිකත්වය මත පදනම්වූ "සිංහල - බෞද්ධ" චින්තනය හේතුවූවා යැයි මාහට සිතේ. 
ජන වාර්ගික ගැටළුවේ ආරම්භය කෙසේ වුවද අවසානයේදී කොටි සංවිධානය සමග ගරිල්ලා යුද්ධයකට පැටළුනු පසු ඒ තුල සිටි සිහල හා දෙමළ බොහෝ විරුවන් පිළිබඳව ඉතිහාසයේ කොහේ හෝ ලියා පැවතිය යුතුයැයි මා සිතමි. මහ විරු සොහොන් කොත් නමින් විනාශ කරණ්නේ එම නාමාවලියේ  එක් පිටකි. "සතුරාද විරුවාද - දරුවාය අම්මාට" කියන පාඨය කෙතරම් ආදරණීය හා සර්ව කාළීන කාලෝචිත කියමණක්දැයි සිතෙන්නේ මාහට පමණක්ද! 
ලේ හැලුනු යුද්ධයේ  ඇතිවී නැතිවී ගිය විරුවන් සියල්ල අපගේ ලක්බිමේ දරුවන්ය. ඔවුන්ගේ වීරත්වය පිළිබඳව අප සියල්ලන්හටම කුහකත්වයකින් තොරව මෙනෙහි කරණ්නටත් ආඩම්බරවන්නටත් හැකිවන දවසක් කිසිදිනෙක උදාවේද? සිතන්නටවත් බැරිය. 
ගාමිණී කුලරත්න සේම දෙමළ විරුවන් සිටින්නට ඇති. උන්ද තම සගයන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කරණ්ණට ඇති! අප දන්නා එකම විරුවා තිළීපන් පමණක් වීම කෙතරම් කණගාටුදායකද?
කුහක දේශපාලුවන් විසින් තමාගේ ගිණුමට; යුද ජයග්‍රහණය බැර කරගත් මොහොතේ පටන් ගාමිණී කුලරත්නලාද එම ගිණුමට බැර වීම මොනතරම් අපරාධයක්ද? එසේම සහෝදර ද්‍රවිඩයන් වෙත ආදරයේ හස්තය; ගාමිණී කුලරත්නලාට පිටුපා දිගුකිරීම කෙතරම් යුක්ති යුක්තවේද? සිතා බැලිය යුතුය! 
මෙම යුධ ස්මාරකය නොහොත් යෝධ ඩෝසරය නැරඹීමට මා එහි ගිය අවස්ථාවක එතන සිටි තොරතුරු සපයන හමුදා සෙබලෙකු ගිරවෙකු ලෙස කියාගෙන ගියේ 1987 ජුනි 2 වන දින අරංතලාවේදී සිදුවූ භික්ෂු ඝාතනය වන අවස්ථාවේදී; බස් රියේ ආසනයක් යට රිංගා බේරුණු එවකට 21 වියේ පසුවූ සංඝයා වහන්සේ නමක් පසුව යුද්ධය වෙනුවෙන් උපැවදිවී හමුදාවට බැඳුණු බවත් ඒ වෙන කිසිවෙකුත් නොව හසලක ගාමිණී කුලරත්න බවත්ය! පංසිය පනස් ජාතක පොත පමණක් නොව මහාවංසයද අදහන සිංහයාගෙන් පැවත එන්නාවූ අපට එය සුපිරිම ජාතකයක් වන්නට බොහෝ සෙයින් ඉඩ ඇත!
අලිමංකඩ පසුකරණ හැම අවස්ථාවකදීම මාගේ මතකයට ෂානක රාජකරුණාව මතක් වීම සිදුවන්නේ නිරායාසයෙන්ය. ඒ වරක් ඔහුට; මා "අලි මංකඩක්" යැයි අලින් මාරුවන ස්ථානයක් පිළිබඳව සඳහන් කල අවස්ථාවක ඔහු එය තේරුම් ගත්තේ අලිමංකඩ ප්‍රදේශය ලෙසින්ය. අප ඊට බඩ අල්ලා සිනා සුනෙමු. ඔහු එවිට පැවසූ වැකිය මට අදද මතකය! "අලි මොකටද බං  එළිෆන්ට් පාස් යන්නේ ලුනු කන්නද?"






යාපනය අර්දධ්වීපයට පිවිසෙන ප්‍රධාන මාර්ග දෙකකි. ඉන් එකක් A9  නුවර - යාපනය මාර්ගය වන අතර අනෙක් මාර්ගය වන්නේ  A32 (නාවත්කුලි - කාරතිව් - මන්නාරම මාර්ගය හෙවත් සංගුප්පිඩි පාලම මතින් හා  පුනරින් හරහා දිවෙන මාර්ගයයි. 
පරන්තන් නගරයෙන් අලිමංකඩට ඇතුළුවී A9 මාර්ගය ඔස්සේ අප ඉයාකච්චි පසුකොට පුඩුකට්ටු හංදියට පැමිණියෙමු. පුඩුකට්ටු හංදියෙන් ඉදිරියට මාරගය ඉදිරියට දිවෙන්නේ යාපනයට A9 මාර්ගයයි. එතැනින් වමට බෙදෙන්නේ B402 (සොරණපත්තු - තලයාඩි ) මාර්ගයටයි. 
තලයාඩි යනු යාපන අර්ද්ධ්වීපයේ සුන්දර වෙරළකි. තලයාඩි වලට මෙපිටින් මරුතන්කර්ණි හංදිය හමුවේ. B371 මාරගය පටන් ගන්නේ මරුතන්කර්ණි හංදියෙනි. එය පේදුරු තුඩුව දක්වා විහිදේ. 
අප පේදුරුතුඩුව වෙත යෑම  සඳහා තෝරා ගත්තේ මෙම මාර්ගයයි. එය දිවෙන්නේ වෙරළට සමාන්තරව වුවද වෙරළ නොපෙනේ. එහෙත් මාර්ගය වෙරළ ආශ්‍රිතව දිවෙන බව දැනෙන පරිසර ලක්ෂණ අතොරක් නැතිව පවතී. මාර්ගය  හොඳ තත්වයක පවතින අතර එය සෘජු හා සමතලා පාරකි. අප හොඳ වේගයක් පවත්වාගෙන යමින් විය. මාර්ගය දිවුනේ ජනශූන්‍ය ප්‍රදේශයක් හරහා මෙන් මතකය. අවට කුඩා පොකුණු වල ජලය පිරී පැවතුනි. ජලාශ්‍රිතව හැදෙන ශාක ඒ අවට පැතිරී තිබුනි. පාරෙන් ඔබ්බේ සුමට වැලිතීරුවක් හා ඉන් ඉක්බිතිව සරුව වැඩුනු තනපත්ය. මා කුඩා කල නිවාඩුව ගතකිරීම සඳහා බෙන්තොට දෙද්දූව ලොකු අම්මලාගේ නිවසට ගිය විට ඒ අවට පරිසරය මෙලෙසින් දුටුවා මතකය. ලොකු අම්මලාගේ නිවසට මුහුද නොපෙණුනද මුහුදේ හෝ හෝව මනාව ඇසීමට නිහඬ රාත්‍රීන් ඉඩ සැලසුවේය. 
මා උත්සාහ කලේ හැකි ඉක්මණින් පේදුරුතුඩුව බලා යෑමටය. යාපනයේ අව්ව යනු ගිණි ගොඩකි. ඉක්මණින් ඉරට මුවාවී මේ දුර ගෙවා යා යුතුවන්නේය. මේ වන විට පාර අතරින් පතරින් ගෙවල් ඇති ප්‍රදේශයකට වැටී ඇත. බොහෝ නිවාස තල් අතු, පොල් අතු හෝ ටකරමකින් ආවරණ්ය කොට තිබුනි. ඒ මාර්ගයේ ගමන් කරණ්නෙකු හට නිවාසය ඇතුලත නොපෙනෙන්නට විය යුතුය. මන්ද සමහර ආවරණ මගින් වැසී තිබුනේ පොලොවෙන් අඩි දෙකක සිට අඩි හතරක පහක සීමාවක් පමණි. 
මෙසේ වේගයෙන් යනාතරතුර නිශාන්තරමක් පසු විය. ඒ පිළිබඳව සොයා බැලීමේදී සයිකලයේ පිටිපස ටයරයෙන් හුළං බැසීම ඇරඹී තිබුනි. සිතා සිටි පරිදි සියල්ල සිදුවන්නෙස් නැත! තවත් ඉදිරියට ගමන් ගණිමින් වින්කලයක් පිළිබඳ සොයා බැලූ මුත් එවැන්නක් එහි නොවීය. අප ඒ අසල වූ කිමිදුම් සිලින්ඩර සඳහා වාතය පුරවමින් සිටි ස්ථානයකින් ඒ පිළිබඳව විමසා බැලූවද ඔවුනට හුළං පුරවා දිය හැකි බව පැවසූවද වින්කලයක හෝඩුවාවක් කියන්නට නොදැන සිටියෝය. අතරමගදී සිදුවිය හැකි මෙවන් කුඩා අලුත්වැඩියාවන් සඳහා අවශ්‍ය උපකරණ අමුද්‍රව්‍ය හා අංගෝපාංග මල්ලක් අප ගෙන ගියෙමු. මා සයිකලය පාර අයිනේ නවතා ටියුබය යතා තත්වයට මත්කලෙමි. කිමිදුම් හුලං පුරවන්නන් සයිකල් ටයරටද හුළං පුරවා දුන්නෝය.







මා කලින් පැවසුවාසේ B371 මාරගය පේදුරු තුඩුව දක්වා විහිදුනත් එය ගමන් කරණ්නේ මුහුද අද්දරින් නොව අර්ද්ධ්වීපය හරහාය. ඉහළ ඡායාරූපයේ දැක්වෙන මංසන්ධියෙන්; මුහුද අද්දරින් දිවෙන පාරක් ඇරඹෙයි. එය B370 එය පේදුරුතුඩුව නැගෙණහිර වෙරළබඩ මාරගය ලෙස සළකුණු කොට ඇත. අප මෙතැනින් ඒ මාරගයට එනම්දකුණුපස මාරගයට පිවිස පැදීම ඇරඹූවෙමු. 


ස්ථානය නිවැරදිව කියන්නට නොදන්නා එහෙත් තුම්පලානි ගම ආසන්නයේ කුඩා පෞරාණික අම්බලමක් පවතී. මෙම අම්බලම පිළිබඳව එහි සවිකොට ඇති පුවරුවේ ඇති විස්තර කියවා බැලූ කල මා විශ්මයට පත් වුනෙමි. ඔබම එය කියව බලන්න.



පේදුරුතුඩුව ප්‍රදීපාගාරය.



ලක් දිව උතුරු කොන!





පේදුරුතුඩුව  
මෙතැනින් පේදුරුතුඩුව ප්‍රදීපාගාරය දෙසට පෙනෙන්නේ අප ගෙවා ආ B370 මාර්ගයයි. වමට විහිදෙන්නේ AB21 (යාපනය - පොන්නලයි - පේදුරුතුඩුව) මාර්ගයයි. යාපනය දෙසින් එන AB20 (යාපනය - පේදුරුතුඩුව ) මාර්ගයයි. මෙම පිංතූරයේ වම්පස පහත කෙළවරින් එම මාර්ගය මෙම ස්ථානයට එක්වේ. පෙදුරුතුඩුව නගරය දක්නට ලැබෙන්නේ මෙම මාර්ගයේ කිලෝමීටරයක් පමණ දුරක් ගිය අවස්ථාවේදීය. ලක්දිවේ ඉහළ කෙළවරට පැමිණි සතුට සැමරීමට අප එම නගරය දෙසට ඇදුනෙමු.



කොත්තුවක් යැයි හඳුන්වාදුන් ආහාරයක් භුක්ති විඳීමෙන් අනතුරුව නැවතත් අප පෙදුරුතුඩුවේ මුදුනට පැමිණ AB21 (යාපනය - පොන්නලයි - පේදුරුතුඩුව) ඔස්සේ ගමන් ඇරඹීමු. මාගේ මතකය නිවැරදි නම්; මෙම මංපෙත තැනින් තැන කැඩී බිඳී ගිය මගකි. එය වසර 25කින් වත් නඩත්තු කල බවක් පෙනෙන්නේ නැත. බොහෝ සයිකල් කරුවන් හා සයිකල් ඉසව් පවත්වද්දී මෙම; වෙරළ අද්දරින් ඇදුනු මාර්ගය අමතක කර දමන්නේ මෙම මාරගයේ ස්වභාවය නිසාමය. ඒ අසල බොහෝ ජීවත්වන්නේ ධීවර පවුල් විය. ඉතා දිළිඳු පවුල් කුඩා පැල්පත් මග දෙපස විය. මුහුද ඇත්තේ දකුණු පසින්ය. වම් පසින් හුනු පිරියම් කල නිවාස අතරින් පතර විය.










AB 021


තවත් කිලෝ මීටර ගනනක් ඉදිරියට ගමන් ගනිද්දී නිශාන්ගේ සයිකලය නැවතත් හුළං බැසීමකට භාජනය විය. එතැන සිට ඉදිරියට ගමන් කිරීමේදී අසලින් ගමන්ගත් ද්‍රවිඩ දියණියක අපට පාර කිව්වායැයි යාන්තම් මතකය. කුඩා පිරිමි දරුවෙකු වුනාදැයි පැහැදිලි මතකයක් නොමැත! කෙසේ හෝ ඉතා ආසන්නයේදී හරස් පාරක වූ කුඩා වින්කලයක් හමුවිය. 
එතැන සිටි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු අපට උදව් කලා මතකය. නිශාන්ගේ සයිකලය අළුත්වඩියා කරණාතර තුර පාරෙන් ඉදිරිපස පිහිටි මෝටර් සයිකල් සේවා ස්ථානයකින් මා මගේ ගමන් සගයට උපරිම සාත්තුවක් ලබා දුන්නේය. ඊට ලබා ගත්තේද ඉතාම සුළු මුදලකි. පසුව නිශාන්ගේ සයිකලයද පවිත්‍ර කොටගෙන අප එතැනින් පිටත් උනෙමු.
කුඩා වින්කලය සහ සේවා ස්ථානය!

කන්කසන්තුරය පිළිබඳව ලියන්නට මා වෙහෙස නොවෙමි. පහලින් අමුනා ඇති ඡායාරූප බලන්න. සත්තකින්ම රමණීය පෙදෙසකි. ඊට ආසන්නයේ වැසි වැටී මුළු පලාතම හරිත පැහැයෙන් ඔක්ඳව ගොස්ය. දැඩි අව් කාෂ්ඨකයක් බලාපොරොත්තුව;  කන්කසන්තුරයට පැමිණි අපට දක්නට ලැබුනේ ඉතාමත් චමත්කාර ජනක දසුන් පෙළකි. අසල නවතා තිබූ දුම් රිය, දුම් රිය ස්ථානය, රජයේ මහේෂ්ක්‍යයන්හට සකසා තිබූ නිකේතන ආදී දෙයින් කන්කසන්තුරය සුන්දර නගරයක් වී තිබුනි. 









තවත් පැය එක හමාරක් ගෙවෙන තැන අප යාමනයට ළඟා වී සිටියෙමු. යපනයේ නගර පිවිසුමේ සිටි ත්‍රී රෝද රථ රියැදුරෙකුගෙන් කල විමසීමකට අනුව අප; නවාතැන් පොලකට ගිය අතර  එය හුදෙක් ගුහාවක්ම විය! 
එතැනින් නික්මී පසුදින ගමන් කිරීමට ඇති ගමන් මාර්ගය වන A32 පටන් ගන්නේ A9 මාර්ගයේ ටිකදුරක් ගමන් ගත් පසුවය. ඒනිසාම රාත්‍රිය ගත කිරීම සඳහා අප වෙනත් ස්ථානයක් සොයා ගැනීම සඳහා A9 මාරගයේ විපරම් කලෙමු. අපගේ අරමුණ සඵල කරමින් පාලුවට ගිය; යෝධ කාමර සහිත නවාතැන් පොලක් හමුවිය. එහෙත් එහි නාන කාමරය අඳුරු ගුහාවක්ම විය! මදුරුවන් ගහණය! කොටින්ම අප නවාතැන් ගත් අප්‍රසන්නම තැන එතැන විය. සුවපහසු කාමරයක් හා ඇඳ ඇතිරිලි පැවතුනද රාත්‍රියේ බොහෝ වේලාවක් යන තුරු නින්ද නම් නොආවේය! වසික ලංකාවට ගොඩ බැසය. ඉක්මණින් ගෙදර යා යුතුය. 
නින්ද අඩු කම කරණ කොටගෙන හෙට දින හිසේ කැක්කුමකට මුහුණ දෙන්නට වේදෝයි සිතමින් කණස්සලු ව්න නිසාම නින්ද තව තවත් ඈතට ගියේය. ඒ සමගම මතක් වූයේ "අද දවසේ ආතල් කෝටියකි!" කියා නවතා දැමූ කයි කතන්දරය ලෙහීමට අමතක වූ බවකි. නිශාන්ගේ සයිකලය අපගේ ගමන දෙවරක් මග හිට්ටෙව්වේය! ඒ සියල්ල අවසන් වී දෙකට දෙවාරණේ කන්කසන්තුරය වෙත අප පැද එද්දී අසල කුඩා කඩයක් විය. කඩයක් කීවාට නිවසක ඉදිරිපස; නිවසේම කොටසක පවත්වාගෙන යනු ලැබූ කුඩා ග්‍රොසරියකි. එතැනින් ක්‍රීම් සෝඩා හෝ වෙනත් මොනවාදෝ පැණි බීම දෙකක් බී අප කිලෝමීටර 5ක් පමණ ගමන් ගත් පසු නිශාන්කටහඬ අවධි කලේය!
"අම්මට සිරි! අර කඩේ මගේ හෙල්මට් ඒක!"
" @#$%^&&*()O& . . . . . . !
මට කියැවුනේ මොනවාදැයි කියා මතක නැත!
"අයියේ ඔයා හිමීට යන්න! මම ගිහිං එන්නං! " නිශාන් පරාර්ථකාමී යෝජනාවක් ගෙන ආවේය. මා තවත් මීටර 500ක් පමණ දුරින් වූ තවත් කඩයක පිලේ නැවතී "ජාල ගතව එකාත්මික" වුනෙමි!
තවත් පැයකින් පමණ පසු නිශාන්  හතිං මුනිං දාගෙන පැදගෙන එනු මාහට දිස්විය.
මෙවන් සිදුවීම්; මෙවන් ගමන් වලට ගෙන එන්නේ ආතල් කෝටි ගණනිනි!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...