Showing posts with label මිතුරු හමුවේ මතක. Show all posts
Showing posts with label මිතුරු හමුවේ මතක. Show all posts

Monday, April 24, 2023

256. බක් පෝදා බ්ලොග් හමුව! Behind the scene


Teepee the Campsite කඳවුරු බිමට හා හා පුරා කියා පැමිණි බ්ලොග්කරුවා වූයේ නිමල් දිසානායක හෙවත් නිදිය. කොටින්ම ටිපියට; බ්ලොගර්ස්ලාගේ ජේම්ස් කුක් වූවේ නිදීය! ඒ ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවන් සමග මීට මාස  ගණනාවකට එපිටදීය.

සිරිබිරිස්ගේ ලංකාවතරණය සිදුවූයේ ඒ ආසන්නයේදීමය. ඔහුහට බ්ලොග් ලියන්නන් කිහිප දෙනෙකු මුණගැසීමට වේදිකාව වූයේද    Teepee මය. එදින ප්‍රාජේ කොළොම්පුර අසංග, නමියාගේ වීදියේ නමියා , නිදහස් සිතුවිළි ලියන රවි, ඩ්‍රැකී යන අය එතැනට එක්විය.

එදින අප බ්ලොග් ගෙට්ටුවක් පිළිබඳව කථා කළෙමු!

ඉන්පසු මෙම කවයට එක්වූයේ සිරිල්ලා සමග සියල්ල වෙත එක්වූ කමියා හෙවත් කල්‍යාණමිත්‍ර ය. කමියාද එක් කරගෙන බ්ලොග් ගෙට්ටුවක් කිරීමට අප සෙමෙන් සෙමෙන් සූදානම් විය.

මා එහි ප්‍රථම පියවර ලෙස පෙබරවාරි 8 වන දින "බ්ලොග් හමුව 2023" යනුවෙන් වට්සැප් සමූහයක් නිර්මාණය කලෙමි.

එහි ආරම්භක පෝස්ටුව ලෙස සඳකඩපහන සින්ඩියේ පලවූ පෝස්ටුවක් එක් කලෙමි. මා එයට ඇනෝපිලිස්, අටමා, එළ ද බ්‍රා මෙන්ඩා, නමියා, සින්දු ඇනෝ, "රවිගෙ කොලම" ලියන දොස්තර රවි, "යාපනේ පෙම්වතී", "මග දිගට යාපනේ" ලියන විදුනි, වික්ටර්ගේ මල්ලී හැක්ටර්, ඩ්‍රැකී, ඉවාන්, කල්‍යාණමිත්‍ර, ප්‍රාජේ ආදිය එක් කලෙමි.

පැයෙන් පැය වැඩුනු එම සමූහයේ සියළුදෙනාම; Admin කරණ මෙන් කල කමියාගේ ඉල්ලීම පරිදි එය ඉටු කලෙන් එය මොහොතින් මොහොත පුළුල් විය.

ඊට සමගාමීව  මෙම බ්ලොග් හමුව සංවිධාන කටයුතු සඳහා කුඩා මෙහෙයුම් කමිටුවක් ලෙස "Drive Committee" නමින් තවත් කුඩා වට්සැප් සමූහයක්; මා නිර්මාණය කලෙමි. එහි සිටියේ ඩ්‍රැකී, අසංග. නමියා, කමියා හා මා පමණි. පසුව දැනගත් පරිදි; 2012දි ගම්පහ ගෙට්ටුව සංවිධානය කල සිරාගේ කාමරේ සිරාවද, සෑමා වද එක් කර ගත්තෙමි. ඒ; ඩ්‍රැකීගේ යෝජනාවක් පරිදි සිරාවද; සිරාගේ යෝජනාවක් පරිදි සෑමාවද යන ආකාරයටය.

පෙබරවාරි 9 වන දින අප යොදාගෙන තිබුනේ බ්ලොග් හමුව හෙවත් ගෙට්ටුව පවත්වන ස්ථානය පරීක්ෂා කිරීම සඳහාය. බොහෝ දෙනා ඒ සඳහා පිට්ටනියක් යෝජනා කලද මා සිටියේ; එය එළිමහනක් සහිත ශාලාවක පැවැත්විය යුතුය! යන අදහසේය. එයට ප්‍රධාන හේතුව වූයේ ඕනෑම දේශගුණික තත්වයක් අප බලාපොරොත්තු විය යුත් වන අතර; පිට්ටනියක් ඒ සඳාහා සූදානම් කිරීමට මහත්වූ පිරිවැයක් දැරීමට සිදුවීම අපට දැරිය නොහැකි වන හෙයින් ය.

මමත්, නමියාත්, අසංගත් කමියාත් මේ සඳහා දෙමටගොඩ දුමරිය ශලාව හෙවත් Railway Institute - Mount Mary බැලීමට ගිය අතර එය අප සියළු දෙනාගේම ප්‍රසාදයට පාත්‍ර විය. ආහාර ලබා ගැනීමටද ස්ථානයක් සොයා ගත් අතර එය රුපියල් 650 කට ලබා දෙන්නට ඔවුන් එකඟ විය.

මා ගොඩ නැංවූ වට්සැප් සමූහය කොතරම් වේගයෙන් හා සශ්‍රීකව වැඩුනා දැ‍යි කියනවා නම් පසු දින එනම් පෙබරවාරි 9 වන විට එය අපේ පාලනයෙන් ගිලිහෙමින් තිබුනි! මෙම පෝස්ටුව කියවන බොහෝදෙනා දන්නා පරිදි එම වට්සැප් සමූහය; කිහිප දෙනෙකු විසින් ආක්‍රමණය කරණා ලදී! එහි සිටි ඉතා අතලොස්සක් විසින් එහි ලියන ලද  හා පල කල දේ සමග කිහිප දෙනා සමූහයෙන් ඉවත් වන්නට පටන් ගෙන තිබුනි. එම සමූහය තුලට එක් එක් අය ඇතුලත් කල අය අතර ජීවිතයට බ්ලොගයක් ලියනු තබා කියවා වත් නැති අයද සිටි බව; මා හට දැනගන්නට ලැබුනි. සමහරු "මා බ්ලොග ලියා නැතෝ!" කියාද මොරගානු අප දුටුවෙමු!

මේ වන විට  "බ්ලොග් හමුව 2023" වට්සැප් සමූහය; බොහෝ දෙනාගේ සාකච්ඡා මණ්ඩපයක් වී තිබුනු අතර එතැන සාක්ච්ඡා නොවූයේ බ්ලොග් හමුව පිළිබඳව පමණි!

ඒවන විට සවස 4 පසුවී තිබුනි.අප පෙරකී ස්ථානයේ මිදුලේ සිට ශාලාව විවෘථ කර දෙන තෙක් සිටිනාතර තුර එක වරම මාගේ දූරකථනයේ තිරය මත; මා වෙනත් වට්සැප් සමූහයකට එක් කොට ඇති බව දැවෙන පණිවිඩය නෙත ගැටුනෙමි.

එය නමින් "බ්ලොග් ලියූ මධ්‍යකාලීන එකමුතුව" නමින් විය. එය නිර්මාණය කොට තිබුනේ ඇවිද්ද පය ලියන දිල්රුක් කන්නංගරය! ඒ සමගම දිල්රුක්ගෙන් මා වෙත දූරකථන ඇමතුමක් ලැබුනි. 

" . . . . . . . . . . . . . . . . . . . . . . . . "

"එළ!"

මෙම; එනම් දිල්රුක්ගේ "බ්ලොග් ලියපු මධ්‍ය කාලීනයෝ එකමුතුව" වට්සැප් එකතුවට; මුල් සමූහයෙන් එකා දෙන්නා එකතුවන්නට පටන් ගත්තේය. 

මේ අතර බ්ලොග් හමුව පවතින දිනය ලෙස අප අප්‍රෙල් 2 වන ඉරිදා තෝරාගෙන තිබුනි. සත්තකින්ම එය මා විසින් තෝරා ගත් දිනය විය. 

ඒවන විට පලමු හමුව වන "බ්ලොග් හමුව 2023" පිරිස  නැතහොත් නිළ නොලත් හසුරුවන්නන් විසින් ඔවුන්ගේ බ්ලොග් හමුව පවත්වන දිනය ලෙස අප්‍රේල් 2 වන දිනයම යොදා ගත් බව ප්‍රකාශයට පත් කලේය. ඩ්‍රයිව් කොමිටිය තුල පමණක් යෝජනා වුනු දිනය ඔවුන් වෙත දැනගන්නට ලැබුනේද එසේත් නැතිනම් අහම්භයක්ද කියා මා දන්නේ නැත!

"බ්ලොග් හමුවක්" පිළිබඳ ඉඟියක් හෝ නොමැති "කණාටු" කාලයක "හමුවක්" පැවැත්වීමට පළමු බිජුවට වපුල අපගේ කුඩා කණ්ඩායම; ඒ වන විට මුල් කණ්ඩායමෙන් හැලී ගොස් තිබුනි. ඔවුන්ගේ හමුව "සිහින බක් මහ උළෙල" නම් විය!  ඒ වන විට පළමු වට්සැප් සමූහය තුල සිටිය උවැසි උවැසියන් අතර; "තට්ටයා" කවුද? එයා ලියන බ්ලොගය කුමක්ද? කියමින් විපිළිසර වන බවමා දුටුවෙමි. "කුමක්ද?", "කෙසේද?", "කවදාද?" යන්න සොයනවාට වඩා මෙය සංවිධානය කරන්නේ  "කවුරුන්ද?" යන්නට වඩා වැඩි බරක් තබන බවක් මා එහිදී දුටුවෙමි.

"අවුලක් නැත දිල්රුක් ගේ කණ්ඩායම සමග අපට ගමනක් ඇත!" ඒ මා සිතපු ආකාරයයි. 

මේ වනවිට "බ්ලොග් හමුව 2023", "බ්ලොග් ලියපු මධ්‍ය කාලීනයෝ එකමුතුව" සහ අපගේ මෙහෙයුම් කමිටුව ඇතුලත් "Drive Committee" යනුවෙන් වට්සැප් සමූහ තුනක් පැවතුනු අතර එම සමූහ තුනේම දෙතුන් දෙනෙක් සාමාජිකයන්ව සිටියහ.

ඩ්‍රැකී, අසංග, කමියා, නමියා හා මා එම දෙතුන් දෙනාය. සිරා සහ සෑමාද එලෙස කණ්ඩායම් තුනේම සිටියා වාගේ මතකය!

ඊළඟ දිනය වනවිට දිල්රුක් ගේ කණ්ඩායමට 50ක් පමණ එක්වී සිටියහ. (නැතහොත් එක්කොට  තිබුනි!) එයට මා කිසිවෙකු හෝ එක් නොකල බව මට මතකය. (මාගේ මතකයේ පරිදි!) එතැනට එක්වූ එක්  එක් බ්ලොග් කරුවන්; වෙනත් බ්ලොග් කරුවන්ව යෝජනා කලෝය! එම යෝජනා  එළිදැක්වූයේ පෞද්ගලිකව නොව  වට්සැප් සමූහය තුලමය! මේ හේතුව කරණ කොට ගෙනම බොහෝ එවන් යෝජනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එක් කිරීම සිදුවුනි!

මෙය මා දකින්නේ තෝරාගත් කුඩා කණ්ඩායමකට කිසිවෙකු පැවත්වීමට බලාපොරොත්තුවන භෝජන සංග්‍රහයක් සඳහා; ඇරයුම් ලත් අයෙකු විසින් තවත් අයෙකු ප්‍රසිද්ධියේ යෝජනා කිරීම  සේය. එවිට එය සංවිධානය කරණ අයට ඔහුට ඇරයුම් කිරීමටහෝ ප්‍රථික්ෂේප කිරීමට නොහැකි අසීරු අවස්ථාවකට මුහුණ දීමට සිදුවේ. යෝජනා කරණ අයගේ පෞද්ගලික හිතවත්කම; පවත්වන්නාගේ අභිලාශයන් යටපත් වීම මෙයින් සිදුවිය හැක. 

මෙම කණ්ඩායම එකතු කල දිල් රුක් එය කිසියම් ප්‍රමිතියකට සිදුකල බවක් මා හට දැනුනි, ඒනිසාම මම ඊට වෙන්ත් අය එක් කිරීමේදී වඩාත් විපිළිසර වූයේ නම් සුභදායක බව අදටත් සිතමි. කොහොමත් අනුන්ගේ මගුල් ගෙවල් වලට; මාගේ පෞද්ගලික හිතවතුන් රැගෙන යාම මාගේ ක්‍රමය නොවේ!

පෙබරවාරි 10

පසුව එසේ එක් කල එක් බ්ලොග් කරුවෙකු; එතෙක් අප සමග සිටි "සිරා" වෙත පහත් අන්දමේ පහර දීමක් හා විවේචනයක් කිරීමට පටන් ගත්තේය. එය සත්‍ය වශයෙන්ම ඔහුතුල සිරා කෙරෙහි තිබුනු විරෝධය මත සිදු වුනිද නො එසේනම් මෙම කණ්ඩායම අසමතුලිත කිරීමේ අරමුණින් සිදු කලේද යන වග මාහට අදටත් සිතා ගත නොහැක. ඔහු පහර දුන්නේ සිරාට පමණක් නොව රාජ් සහ කතන්දර කාරයා යන දෙදෙනාටත් එක්කමය. ඔවුන් එනවා නම් තමා නො එන බව ඔහු ප්‍රකාශ කර සිටියේය. තම විරෝදය සඳහා භාවිතාකොට තිබුනේද ග්‍රාම්‍ය නොසරුප් වදන් ය! පසුව එම කථිකා කමියා විසින් මකා දමා තිබුනි.


එයට පිළිතුරු ලෙස මා මෙම වගන්තිය ලියා පලකලෙමි.

 10/02/2023 පෙරවරු 7.48

"මොකා නිසා මොකා ආවේ නැතත් අන්තිමට මේක පටන් ගත්තු උන් දෙතුන් දෙනා සමග හමුව පැවැත්වෙනු ඇත. සංඛ්‍යාව අදාල නොවේ! එය බොහෝ දුරට අප්‍රේල් 02 සිදුවේ. මෙය හමුවක් විනා උළෙලක් නොවේ. උළෙලක් සඳහා පිරිසක් ඇවැසි උවත් හමුවක් සඳහා එසේ නැත!"

එතැන් පටන් සිරා සහ අදාල බ්ලොග්කරුවා අතර දැඩි වාග් ප්‍රහාර මාලාවක් දියත් වූ අතර; අවසානයේ සිරා විසින් තම Admin බලතල පාවිච්චි කර අදාල බ්ලොග් කරුවා උදෑසන 9.00 වන විට දිල්රුක්ගේ වට්සැප් සමූහයෙන් ඉවත් කලේය! මේ වන විට මෙම සමූහයේද "බ්ලොග් හමුව පවත්වන්නේ කෙසේද?" යන්න හැර අන සියළු දේ කථාවට ගැනුනි. 


12/022023 10.03

කමියා තම හඬ අවදි කලේය. ඒ අජිත් ධම්ම විසින් අපගෙ බ්ලොග් ගෙට්ටුව පිළිබඳව අසා සිටි පැණයකට පිළිතුරු ලෙසය. කමියා විසින් දිනය වේලාව සහ පැවැත්වෙන ආකාරය පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කර තිබුනි. 

එදිනම සවස 5.35 වන විට කමියාගේ අදහස වෙනස්වී තිබුනි.

"අප්‍රේල් 2 පැළවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී . . . .
සයිබර් සිහින උළෙල
2023 අප්‍රේල් 2
මේ මං උඩින් අදහස් කල අපි සළසුම් කල ගෙට් එක නොවේ.
අභීතල මේක කරනවානම් අගේන්ස්ට් එකට වගේ අපිත් එදාම තව එකක් නොකර අපේ අදහස අකුල ගෙන පුලුවං උන් ඒකටම සෙට් වෙමුද? පස්සට දාමුද? නැත්නම් ෆැන්සි ගතිය අඩුකරලා අපි වෙනම සෙට් වෙමුද? 
සංවාදයට විවෘතයි."

මේ කමියාගේ අදහසය. 

බ්ලොග් ගෙට්ටුව අපේ අදහසකි.
ඒ සඳහා කණ්ඩායමක් එක් කිරීමට ක්‍රියා කලේ අපය!
එය අපගේ පාලනයෙන් ගිලිහී ගිය පසු නැවත; අලුතින් කණ්ඩායමක් එක් කොටගෙන ගමන ඇරඹුවේ අපය.
දිනය පළමුවෙන් ප්‍රකාශයට පත් කලේ අපය.
දැන් එදිනට මුල් කණ්ඩායම ගෙට්ටුවක් පැවැත්වීමට යොදා ගත් පසු; "මොකද කරණ්නේ අපි ඒකට යමුද නැද්ද අපි එදාට කරණවද නැද්ද? අපි අපේ එකේ සැර බාල කරලා කරමුද?" කියා  අපගේ ඩ්‍රයිව් කොමිටියේ සාමාජිකයෙකු ප්‍රසිද්ධියේ අපෙන්ම අසයි!

මෙවන් දේ ගැන ලියන්නට හෝ කථා කිරීමට මා නොදනිමි. මා මාගේ සෑම කටයුත්තක්ම පාහේ ඉටු කරණ්නේ " සතුට; තමාගේ සාර්ථකත්වය මණින මිනුම කරගන්න!" යන වැකිය පෙරදැරි කරගෙනය!
මේ ගෙට්ටුවද, බ්ලොග් ලිවීමද එසේ ජනිත වූ දේවල් විනා වෙනත් ව්‍යාපාර නොවේ! මාගේ කඳවුරු බිමට පැමිණි අයෙක් වේනම්; එම ව්‍යාපාරයද දිවෙන්නේ මෙම ඉහත දැක්වූ වැකියට අනුකූලව බව සාක්ෂි දරාවි!

"අප වෙනත් දිනයක් යොදා ගන්නේ ඇයි?
අපි එම සමූහයෙන් ඉවත්වී වෙනත් වට්සැප් කණ්ඩායමක් සකසා ගත්තේ නම් අපි නැවතත් ඔවුන්ගේ ගෙට්ටුවක් පිළිබඳව සැළකිල්ලට ගත යුතු වන්නේ ඇයි?
තමාගේ අතට ගත් අරක්කු වීදුරුවට; ඉදිරියේ සිටිනා අය එකතු කරගන්නා තරමට වඩා වැඩියෙන් සෝඩා එකතු කරගෙන සැර භාල කර ගත යුතු වන්නේ නිව්ටන්ගේ කුමණ නියමයකට අනුවද?"

මේ මම මගෙන්ම ඇසූ පැණයන්ය!

"මේ සියල්ලටම වඩා මේ මගුල කතා කරණ්න ඕණෑ මේ වගේ Open Forum එකකද? අපිට මේ වගේ දේවල කතා කරන්නට නොවෙද Drive Commitee කණ්ඩායම පිහිටුවා ගත්තේ? අපිට කලින් බ්ලොග් ලියූ පමණට ඔවුන් අපේ ජේෂ්ඨයන් වන්නේ කෙසේද? මෝටර් රථය ලෝකයට සොයා දුන් කාල් බෙන්ස්ගේ ඇවැමෙන් මේ වනවිට මාරගයන්ගේ දිවෙන බෙන්ස් කාර එකකට ඉස්සර කිරීම මරුටියකට නොවටිනා දෙයක්ද? මොනවද මේ කථා?'  මේ මට අවශේෂ වශයෙන සිතුණු කරුණුය!

මෙවන් ගැටළු සහගත අවසථාවලදී මා කටයුතු කරණ සිල්ලර ක්‍රම වේදයක් වේ. 
ඒ එම අවස්ථාවෙන් ඉවත් වීම හෝ පලා යෑමය!
එය මාගේ දුර්වල ගුණාංගයක් විය හැක! එහෙත් මෙවන් කටයුතුවල දිගින් දිගටම හැපෙමින් තැවෙමින් තැලෙමින් පෙරෙළෙමින් සිටීමට මට වේලාවක් නොමැතිවාසේම ඉන් ලැබෙන සතුටක්ද නැත! 
සතුටක් නොදැනෙන කිසිදු කරුණක් ඉටු කිරීමට මා මැළිවෙමි. බ්ලොග් හමුව යනු "භාරයක් ඔප්පු කිරීමක්" නොව හුදෙක් සතුට පතා මා කරණ්නට උත්සාහ ගත් ක්‍රියාවකි. එයින්ම මාගේ සිත වෙද්දල් ඔද්දල් වනවා නම් මා ඉන් ඉවත් වීම හැර කරණ්ණට දෙයක් වෙත්ද? 

මා එයට පිළිතුරක් ලීවෙමි.

12/02/2023   21.24
"මම මගේ 247. අයියා කියන පෝස්ටුවේ; අයියාට අහේතුකව මළ පැන්න පසු එය අම්මා විසඳූ අසාධාරණ හා අසමතුලිත ක්‍රම වේධය පිළිබඳව ලියා ඇත. 
ඒ අයියා වැඩිමහළු හෙයින් අප අයියාට වැඳ සමාව ගත යුතු වීමය.
එසේම අප්‍රේල් 2 හමුව පවත්වන බව පලමුව ප්‍රකාශයට පත් කලේ අපගේ කණ්ඩායම වෙනුවෙන් මම ය. එම දිනයම අනෙක් කණ්ඩායම විසින් යොදාගත්පසු අප අපේ දිනය වෙනස් කල යුතු යැයි හා ඔවුන්ගේ හමුවට අපිත් යමු දැයි සමහරු යෝජනා කරති.
මෙහි සාධාරණත්වය කුමක්දැයි මා නොදනී.
මේවාට උත්තර දීමට මට අපහසුය!"

12/02/2023 21.28
"මම මේ සියළු දෙයින් ඉවත්වෙමි! වැරදී ඇත්තේ මටය!"

ම විසින් සම්පාදිත වට්සැප් සමූහ දෙකකින් හා දිල්රුක් ගේ වට්සැප් සමූහයෙන් මා එක මොහොතකින් ඉවත් උනෙමි. සිතේ සතුටක් ඇති නොවනනා කිසිදු රජකමකින් මට වැඩක් නැත!
මේ දේවල් මෙසේ සිදුවද්දී මාහට මතක් වූ වකියක් විය.
ඒ: "කවුරු ආවත් නැතත්; අපි අප්‍රේල් 2 හෝ ආසන්න දිනෙක බ්ලොග් හමුව පවත්වනවා!" යනුවෙන් කල කට මැත දෙඩවිල්ල හෙවත් පොර ටෝක් ජනගත කිරීමය!
මම සයිකලයෙන් යාපනේ යන්නට පෙරද මව් බිම වටා පැදයන්නට ප්‍රථමයෙන්ද මෙවන්ම කයිවාරුවක් ගැසුවෙමි. එලෙසින්ම කලෙමි. එහෙත් වාසනාවකට; මාගැන අනුකම්පාවෙන්දෝ තවත් එකෙක් දෙන්නෙක් වැඩේට සෙට් විය!

මෙසේ සියල්ල හැරපියා යටබිම් ගත වූ පසු ඩ්‍රැකී මා ඇමතූවෙමි.
"මාත් යන්නේ නෑ! මං කියන්නේ මීට හොඳයි ටිපියෙ සෙට් වෙලා අපි දෙන්නා තුංදෙනා රා කට්ටක් බිව්වානං!" මට මතක විදියට පෙළගැස්වූ වචන ඩ්‍රැකීගේය!

මටත් හිතට ආවේ සුපිරි ගැම්මකි!

"හරි එකෙන්ම කරමු! මම රවි අයියාටත් කතා කරණ්ණම්!" මම වැඩේ පටන් ගන්නට හිතා ගත්තෙමි.

"සිතුවිල්ලකට තණ පතක් හෝ සෙලවිය නොහැකිය!" යනුවෙන් පැවසුවේ ලෙනින් උන්නැහැ විය යුතුය.

හරියටම පෙබරවාරි14 වෙනිදා මම තවත් වට්සැප් කණ්ඩායමක් ගොඩ නැංවූයෙමි. (විළි ලැජ්ජා නැතිකම මහ මුදළි කමටත් ඉහලයි කියන්නේ නිකංද?) 
එම සමූහයේ සිටියේ මමත් ඩ්‍රැකීත් සිරාත් පමණි!
සෑමා එකතු කරගත්තේ ඉන් ඉක්බිතිව  15 වෙනිදා සෑමාව එක් කර ගත්තේය. "නිදහස් සිතුවිළි" ලියන රවි අයියා අප එකතුවන දිනෙක එහි එන බව ශපත කලේ මේ අතරමය. 

ප්‍රාජේට ඇමතුවත් ඔහු ස්තිර වචනයක් කීවේ නැත්තේ දිනය පිළිබඳව ඔහුට තිබුනු දෙගිඩියාව නිසා විය යුතුය. 
ඩ්‍රැකී හරහා සම්බන්ධවී සිටි සඳකඩපහන සින්ඩිය මේ වන විට බ්ලොග් හමු පිළිබඳව විස්තර සොයා ඩ්‍රැකී ඇතුළු කිහිප දෙනෙකු වෙත පණිවිඩ එවා තිබුනද ඒ පිළිබඳව කිසිදු විස්තරයක් ලබා දීමට නොහැකි තත්වයක සොයල්ලෝම සිටියහ.
එසේම අපගේ කුඩා එකතුව පිළිබඳ කිසිදු ආරංචියක් පිටස්තර අයෙකු හට දැන ගැනීමට ඉඩ නොතැබීමටත් අප උත්සාහ ගත්තෙමු.

පෙබරවාරි22 වන විට "යාං හෑල්ලේ" සුරංගද පැමිණීම තහවුරු කර තිබුනි. මාර්තු 28 වන දින රවි වීරසිංහ, රන්දිල්, කටුස්සා, ඇනෝපිලිස් හා සජ්ජා සමූහයට එක් කලෙමි. ඔවුන් එක් කලේද "තිලක සිත" එක කල ආකාරයෙන්ම ඇමතුමකින් පසුවය.
මාර්තු 29 වන විට තරු රසී ඇයට සහභාගී වීමට නොහැකි බව දන්වා එවා තිබුනි.
තිලකසිරි ඒකනායක ඔහුගේ පැමිණීම තහවුරු කල අතර ඉයන් ලින්තොට හා ප්‍රාජේද මෙයට සහභාගී කරවීමට ඔහු උත්සාහ ගන්නා බව පැවසීම මාගේ ඉහේ මලක් නොව පල් පෝච්චියක් තැබීමක් විය!
එදිනම "නමියාගේ වීදියේ" නමියාවද "කොලොම්පුරේ" සමූහයට එක් කලෙමි.  එදින වන විට "කැලේට පිපෙන මල්" ලියනා වත්සලා මෙන්ම "අවන්හලේ" මහියාටද අපගේ බ්ලොග් හමුව පිළිබඳ දන්වා තිබුනි.
අප යොදාගෙන සිටි පරිදි අප්‍රේල් 2 වන දින; බොහෝ දෙනාගේ (විශේෂයෙන්ම ඩ්‍රැකීගේ අපහසුතාවය ඉල්ලීම පරිදි) අප්‍රේල් 5 පෝය දිනය තෙක් ඈත් කර ගැනීමට සමූහය එකඟ වී තිබුනි.
ඒ සමග අපගේ සමූහයේ නම "බක් පෝදා - බ්ලොග් හමුව" ලෙස වෙනස් කොට තිබුනි. 
එදිනම කමියාට මා පෞද්ගලිකව කථා කොට බ්ලොග් හමුවට ආරාධනා කල අතර හැකියාවක් ලදොත් සහභාගී වන බව මාහට දැන්වූ අතර එය මා සමූහයේ පල කලෙමි.

තවත් විනාඩි ගණනකික් අප සමග මුල සිට එකට සිටි සිරා සමූහයෙන් ඉවත්වූයේ මා පුදුමයට පත් කරවමිනි. 

එදින ලත් සතුටු දායකම ආරංචියක් වූයේ දෙමළ 'න' යන්න හෙවත් ප්‍රසන්න බ්ලොග් හමුවට සහභාගී වන බව ඩ්‍රැකී දැන්වීමය!
එදින රාත්‍රීය එළඹෙත්ම ඉයන් ලින්තොට තමාගේ පැමිණීම තහවුරු කලේය.
එදිනට කොලොම්පුරේට භාහිර පංතියක් සෙටමෝල් වී පැමිණීම අස්ථිර බවක් දැන් වූයේ ඔය අල්ල පනල්ලේමය!

බ්ලොග් හමුවට ඇත්තේ දින හයක් අදත් හමුව පැවැත්වෙන දිනයත් අත් හල විට දින හතරකි.
නිළ වශයෙන් පැමිණීම තහවුරු කොට ඇත්තේ හතර පස් දෙනෙකු පමණි.

Teepee the Campsite  කඳවුරු බිම කොටස් දෙකක් ලෙස පවතී. ඉන් එකක් කැළනි ගඟ අසබඩ බස් පාරට මායිම්ව ඇතත් අනෙක් කඳවුරු බිම පිහිටා ඇත්තේ ඉන් කිලෝමීටර 3 ක් ඔබ්බෙන්  වන රොදක් ආසන්නයේය. එන ඕනෑම පිරිසකට; පාර අසල කඳවුරු බිමේ ඕනෑම පහසුකමක් සැලසිය හැකි වුවද වන රොදේ පවතින කඳවුරු බිමේ සෙල්ලං නොමැත!

එන පිරිස නිවැරදිව දැන ගැනීමෙන් පසුව ආහාර ලබා ගන්නේ අවට පිහිටි එදිනෙදා ආහාර සපයන නිවෙස් වලිනි. කලින් කරණු ලබන දැනුම් දීමකින් තොරව හදිසියේ ආහාර ලබා ගැනීම අපහසු කටයුත්තකි!

එළ ද බ්‍රා මෙන්ඩා, හයේ හතරෙ දමිත් ගුණවර්ධන, දෙශකයා සහභාගී කරගැනීමට කල සියළු උත්සාහයන් අසාර්ථක විය.

අප්‍රේල් 2 වන දින ගෙවී ගියේය!

පෙර දින සාර්ථකව අවසන් වූ "බ්ලොග් පුරෝගාමීන්ගේ බ්ලොග් හමුවේ " ඡායාරූප දෙකක් අපගේ සමූහය තුල සංසරණය විය! ඉන් එක් පිංතූරයක මුහුණ පුරා රැවුළ වවාගත් පුරෝගාමියෙකුගේ පිංතූරක්ද අසෝක වීදුරු තුනක්; අරක්කු බෝතලයක් සහ භාගෙට කෑ ඔම්ලට් එකක දර්ශණයක් විය!

ඕනෑ දේකට 'සූදානං සරීරේ' කියා මා අප්‍රේල් 2 වන දින ටිපියට වාර්ථා කොට කඳවුරු බිම් දෙකම තණකොළ කපා පිරිසිදු කොට සූදානම් කලෙමි.

අප්‍රේල් 3 වන දින කොලොම්පුරේ සිය පවුල සහ නමියාගේ පැමිණීම තහවුරු කලේය.

අප්‍රේල් 4 වන විට යාංහෑල්ලේ සුරංගව සමූහයට එකතු කොට තිබුනි.
කමියා අවසාන දවසට පෙරදින වනතෙක්ම අවස්ථාවට සහභාගී වීමට අවංක උත්සාහයක් ගත් බවක් දැනුනි. එහෙත් නොවැලැක්විය හැකි හේතුවක්; සහභාගීත්වය වැලැක්වීමට හේතුවක් වීමෙන් ඔහුව අපට මග හැරී ගියේය!

සිරිත් පරිදි රවි අයියා පෙරදින එනම් 4 වනදා හවස් වරුවේ ටිපියට වැදහොත්ය! ඒ මිතුරු හමුවකට ඇවැසි අඩුවැඩියද රැගෙනය!

***********************************************************************************************

ශාන්ති දිසානායක යනු නොම්මර එකේ ලේඛිකාවකි. ඇය සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළවරකය. ඇගේ ගමේ සිට අනුරාධපුරයට කිලෝමීටරම 30කි! මීට මාස කිහිපයකට පෙර; මාලන් බ්‍රැන්ඩෝ විසින් ඔස්කාර් සම්මානය ප්‍රතික්ශේප කිරීම පිළිබඳව; මුහුනු පොතේ පලවූ පෝස්ටුවකට ඇය විසින් කමෙන්ටුවක් දමා තිබුනි. තමන්ටද එසේ ප්‍රථික්ෂේප කිරීමට තිබූ අවස්ථාවක් ගිලිහී ගිය බවක් සහ ඒ පිළිබඳව තමා කණගාටුවට පත් වන බවත් එයින් ප්‍රකාශ වී තිබුනි. 
ඕනෑම දේකට "එල්ලෙන" මම ඊට පිළිතුරු ලෙස; "තමන්ට සම්මානයක් ලැබීමේ ආරංචිය ලැබුනු විගස ෆැන්ටසියක අතරමං වී පසුව පශ්චාත්තාප වීමෙන් වැඩක් නැත!"  යන්න ලියා දැම්මේය. 
මාගේ උට්ටලං කථාවට උරණ නොවී ඇය ඉතාමත් නිරහංකාරී ලෙස ඊට පිළිතුරු ලෙස ඒ  පිළෛබඳ තමා තවමත් කණගාටු වන බව තවදුරටත් පවසා සිටියාය!
පසුව මා ඇගේ නිරහංකාර බවෙන් දමනය වී "ඔබ සමග කතා කිරීමට මා කැමතියි!" යනුවෙන් ලියා පලකල කමෙන්ටුවට
"කතා කරමු!" යනුවෙන් ඇ‍යගේ දූරකථන අංකය දක්වා තිබුනි.

මම වහාම ඇයගේ නොම්මරය "ශාන්ති දිසානායක" යනුවෙන් ගබඩා කර ගත්තෙමි. 
මේ සියල්ල සිදුවී මාස දෙකකටත් වැඩිය.
අප්‍රේල් 1 වන දින වන විට අපගේ දුප්පත් බ්ලොග් හමුව තරමක් අලු ගසා දමා කෙළින් වී තිබුනි.
පෘතග්ජනයින්ගේ හැටි!
මා හට ඇවැසි උනේ;  අපගේ බ්ලොග් හමුව අභිමානවත් ආකාරයකට පැවැත්වීමටය.
ඒ සඳහා "ආරාධිත අමුත්තෙක්" ඉන්නවානං වැඩේ එළම කිරිය!

ශාන්ති දිසානායක වැනි බුවියක් මෙතැනට බැස්සවිය හැකි වුවහොත් වැඩේ එකෙන්ම ගොඩය! 

මම හිමින් සීරුවේ ඇයගේ නොම්මරය සොයාගෙන  ඇය ඇමතීය!
"ම්හු!"
ඇයගේ දූරකථනය දිගටම නාද වුවද ඇය එයට සම්බන්ද්ධ නොවුනි.
වැඩේ පටං ගත් තැනම අල විය!
පැය භාගයකින් පමණ  මම දූරකථනය පිරික්සද්දි එහි මිස් කෝල් දෙකක් සනිටුහන් වී තිබුනි.
ඒ අන් කාගෙන් වත් නොව ශාන්ති දිසානායක ගත් කතු වරියගෙන් ය!
මම සීරුවෙන් ඇය ඇමතීමි!
"හෙලෝ මේ ශාන්ති දිසානායක මිස් ද?'
"ආ ඔව් මල්ලී! කියන්න!"
".........................................................."
"........................................................................."
"................................................"
"අක්කේ අපේ පොඩි බ්ලොග් හමුවක් තියෙනවා! අක්කාට එන්න පුළුවන්නම් ලොකු දෙයක් අපිට!" මම අවශ්‍ය තාවය කිව්වෙමි.

එතැන සිට සිදුවූ දේ මා ඇයගේම වචනයෙන් මෙතැනින් කියවන්න!
ඇය අප්‍රේල් 2 දින වන විට පැමිණීම තහවුරු කලාය. 

මා මේ ගැන දැන්වූයේ ඩ්‍රැකීට පමනි. රවි අයියා ගෙන ආ අඩු වැඩිය; අඩු පාඩුවකින් තොරව සප්පායම් වන විට මාගේ දැඩි සිත මෙලෙක් වීමට පටන් ගති. එහි ප්‍රථිපලයක් ලෙස එතෙක් මමත් ඩ්‍රැකීත් අතර තිබුනු රහස රවි අයියාගේ කනේද තැබීමට මාහට සිත් විය.
"අම්මට සිරි! ශාන්ති දිසානායක කියන්නේ මේ කාලේ ඉන්න සුපිරිම ලේඛිකාවන් දෙන්නගෙන් එක්කෙනෙක්. අනිත් එක්කෙනා සුනේත්‍රා රාජකරුණානායක!" රවි අයියා හුස්මක් නාල්ලාම කියාගෙන ගියේය.

මට මේ අල්ල පනල්ලේ තවත් එළු මගුලක් සිහියට ආවේය. (මොලේ නරක්වූ විට හිතට එන දේවල්!?) 
මම ඩ්‍රැකියාට කෝල් එකක් ගත්තෙමි.
මේ වනවිට වේලාව රාත්‍රී 8.30 ට අපමන වන්නට ඇත. දිනය අප්‍රේල් 4. හෙට ගෙට්ටුව!

"හෙලෝ මල්ලී!"
"කියන්න ලොකු අයියේ!"
"හෙට අපේ ගෙට්ටුවට එන එවුංට මොකක් හරි සමරුවකුත් දුන්නානං ගින්දර නේද?"
"ගින්දරනං තමයි! ඒත් අපි කොහොමද කරණ්නේ? අපි එකතු කරණ්නෙත් එකෙක්ගෙන් රුපියල් 1000යි නේ?"
"හරි මගේ ඔලුවෙ පොඩි අයිඩියාස් එකක් තියෙනවා! මං ගාව සල්ලි නෑ! උඹට පුළුවංද මට හෙට රුපියල් 5000ක් දෙන්න - ණයක් විදියට!?"
"හරි අවුලක් නෑ . . . !"

මම හැරෙන තැපෑලෙන් ශාන්ති අක්කාට ඇමතීමට සිග්නල් සොයා කළුවරේම හක්බෙල්ලාවක සම්පකාරය දෙසට ඇදුනෙමි.

"අක්කෙ පොඩි සීන්ස් එකක්! මට අක්කගෙ පොත් ටිකක් ඕනේ එන අයට සමරු විදියට දෙන්න!? මොකද කරණ්නේ?"
"මල්ලී පොත් කීයක් විතරද?'
"දහයක් දොළහක් විතර!"
"අනේ මල්ලී ගෙදර හරියෙම තියෙන්නේ පොත් 6ක් 7ක් විතර! හරි කමක් නෑ මම මොනවා හරි කරණ්නම්කෝ!"

ඒ වැඩෙත් හරි ය! මම රවි අයියා දෙසට හැරුනෙමි.
"අයියේ හෙට අපිට souvenirs විදියට දෙන්න ශාන්ති දිසානායක පොත් ටිකක් ගේනවා . . . . . . .!" කතාව ඉවර කරණ්නට ලැබුනේ නැත.

"යකෝ ඒ මනුස්සයට එන්නත් කියලා; උඹ  තව පොතුත් ඉල්ලුවාම හරිද බං? හරි! කමක් නෑ! මම ඒ පැත්ත බලා ගන්නං කෝ!" රවි අයියා වැඩේට බෙල්ල තිබ්බේය!

අප්‍රේල් 5 දා උදාවුනි!
මම උදෙන්ම නැගිට බතක් උයා බෝංචි කරල් ටිකක් තෙල්දමා කිරිදමා හින්දවා, ලූනු සම්බෝලයක් සෑදුවෙමි. අනතුරුව මාත් රවි අයියාත් හක්බෙල්ලාවක කඳවුරු බිමෙන් ලට පට පුටු මේස ආදිය පටවාගෙන දොඩංගස් තැන්න කඳවුරු බිම වෙත ගොස් එතැනට පොඩි පහේ මේකප් පාරක් දමා ආපසු පැමිණ පිරිස පිලිගැනීමට සැදී පැහැදී සිටියෙමු.
ශාන්ති අක්කාට උපදෙස් දී තිබූ පරිදිම මා වෙත නිරන්තරයෙන් පණිවිඩ එවා තිබුනි.පළමු පණිවිඩය වූයේ "බස් එකට නැග්ගා!" කියා පාන්දර 3.30ට එවනලද වැකියයි.
ඊළඟ පනිවිඩය වූයේ; ස්වකීය පුත්‍රයා සමගින්  වරකපොලින් කරවණැල්ල බසයකට ගොඩවූ බවයි.

මේ අතර වත්සලා විජේරත්න සොයුරිය සිය කුඩා පුතණුවන් සහ; නාන්නටම සැරසී පැමිණි තම සොයුරියත් සමග හක්බෙල්ලාවකින් බසයෙන් බැස්සේය.
අනතුරුව තිලක සිත ලියන තිලකසිරි අයියාද, ඩ්‍රැකීද නමියාද අසංගද ප්‍රසන්නද සුරංගද ඇතුළු පිරිස හක්බෙල්ලාවකට සේන්දුවිය.
තවත් කෙටි කාලයකින් අපගේ ප්‍රධාන අමුත්තිය ශාන්ති දිසානායක කඳවුරු බිමට පැමිණියාය.

එතැණ් සිට සිදුවූ දෑ මා ලියා පලක් නොමැත.

ඒ පිළිබඳව බොහෝ බ්ලොග් රචනා ලියැවී ඇත.

එදින සිදුවූ වැදගත්ම සිදුවීමක් වන්නේ ශාන්ති දිසානායක ගත් කතුවරිය බ්ලොග්කරණයට පිවිසීමේ ප්‍රධාන පියවර ගැනීමය. එයට ගිරිදේවි ලෙස නම තැබුවේ රවි අයියාය. තාක්ෂණික සහය ඩ්‍රැකීගෙන් ය. 

පරි කථා:- ශාන්ති අක්කා පැමිණි විගස මාහට දැන ගැනීමට ඇවැසි වූයේ; පොත් ටික ගෙන එන්නට පුළුවන් උනාදැයි කියාය!
"ඔව් මල්ලී! අහල පහල ගෙවල් වලට දීලා තිබුනු පොත් ටිකකුත් එකතු කරගෙන ආවා!"
අපගේ බ්ලොග් ලියන්නන් හා කමෙන්ට් කරුවන් දොළහක් එතැන සිටියහ.
ඩ්‍රැකී තම "ගිරි දේවි" පොත; ශාන්තී දිසානායකගෙන් අත්සනක්  ලබා ගැනීමට ගෙනැවිත් තිබුනි.
ශාන්ති අක්කාට ගෙනෙන්නට හැzකිව තිබුනේ පොත් දහයක් පමණි!
ඩ්‍රැකී ගෙන ආ සවකීය පොත සමගින් අප පොත් එකොළහක් ප්‍රධානය කලෙමු.

"අනේ මල්ලී ඔයාට පොතක් නෑනේ!?"
"නෑ අක්කේ ඒක තමයි සතුට! මට නැති උනාට කමක් නෑ! අනිත් හැමෝටම ලැබුනානේ!"

සත්තකින්ම; කුඩා වුවත්; අභිමානවත් බ්ලොග් හමුවක් අප පැවැත්වූයෙමු. ඒ සතුට තවමත් හිත පිරී ඇත.

"සතුට! ජීවිතයේ සාර්ථකත්වය මනින මිනුම කරගන්න!" යන්න මොනතරම් සාධාරණ ප්‍රකාශයක්ද?

අවසාන මොහොතේදීවත් මාගේ මිත්‍ර දිල්රුක් කන්ණංගරව සහභාගී කර ගැනීමට තබා ආරාධනා කිරීමටවත් නොහැකිවීමේ කණගාටුව හැරුණු කොටගෙන එය සතුටුදායක අවසානයකි!
බ්ලොග් හමුවට සපැමිණි ශාන්ති දිසානායක, ඇයගේ පුතු, ඩ්‍රැකී, ඩ්‍රැකියාණි, පුංචි රාළ, කොළොම්පුරේ, වාළම්පූරි සහ කොළුවන් දෙපල, නමියා, රවි අයියා, තිලකසිරි අයියා, වත්සලා, නංගි සහ කුඩා පුතු, සුර්ංග සහ සුරංගි හෙවත් චූටි මැණිකෙ සහ නයා ප්‍රසන්න, ඕල්ඩ් ඇරැක් බෝතල් හතරක් පෙර දැරි කරගෙන පැමිණි ඉයන් ලින්තොට සහ ඔහුට පාර පෙන්වූ ප්‍රාජේ සියල්ලන්හටම අවංක ආදර ස්තූතිය. ඩ්‍රැකී සහ රවි අයියා දුන් සහයෝගය අමතක නෑ! පොඩි පොඩි වැරදි හදාගෙන අපි ආයෙත් හමුවෙමු මීට වඩා පුළුල් සහභාගීත්වයකින් යුතුව.
මේ තිරෙන් ඇතුලත කථාව!

තිරයෙන් එළිපිට සිදුවූ දේ දැන ගන්න කියවන්න:-









Monday, February 6, 2023

252. සිරිල්ලා සමග සියල්ල

හක්බෙල්ලාවක හා ඒ අවට ජීවත්වන හා වූ සිරිල්ලා තිදෙනෙකි. ඉන් එක් අයෙක් වූයේ  ශ්‍රී ලාල් රංජිත් පෙරේරා හෙවත් සිරිල් අයියාය. සිරිල් අයියා නොම්මර එකේ යූ ඇන් පී කාරයෙකි. දැන් මෙන් නොව මේ කියන්නේ ඩී ඇස් ගෙන් පටන් ගෙන ඩඩ්ලිගෙන් පසු අභාවපාප්ත වූ ඔරිජිනල් යූ ඇන්පිය ගැනය! 

සිරිල් අයියා එකල ලංකාවේ ප්‍රසිද්ධ වොලිබෝල් ක්‍රීඩකයෙකි. ඔහු මා දන්නා ශක්ති සම්පන්නම අයගෙන් එකෙකි. ඔහු වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටිනා කාලයේ කෝට් එකේ ඕනෑම ස්ථානයක තබන ලද ලේන්සුවක් මතට බෝලය පතිත වනසේ ඩැෂ් ප්‍රහාරයක් එල්ල කිරීමට හැකිව තිබූ බව මා අසා ඇත. එසේම ඔහුට ප්‍රහාරය එල්ල කිරීමට බෝලය උස්සා දෙන සහෝදර ක්‍රීඩකයා "ඔන්න සිරා!" කියන විට; දැලෙන් ඉහලට ඊ ගසක් සේ ඉහල යන සිරිල් අයියා තම අප්‍රමාණ ශක්තියෙන් හෙලන අකුණු පහරින්; බෝලය ප්‍රථිවාදීන් සියල්ල අභිබවා පිට්ටනියේ ගැටෙන්නේ දුවිලි විදහාලමින් බව මා හට පැවසූවේ පාලින්දගේ පියාවූ සේන අශෝක පෙරේරා හෙවත් සිරිල් අයියාගේ බාල සොහොයුරාය.

 "ඔන්න සිරා කියලා බෝලෙ උස්සල දුන්නාම; සිරිල් අයියා යනවා දැලේ උඩ කෙළවර මේ ං මෙතනට එන්න!" කියලා රත්නසිරිගෙ අප්ප කඩේ ගාව ඉඳන් ඉනට අත්දෙක තියලා පෙන්නුවේ.

මීට දශක ගනනාවකට පෙර සමස්ථ ලංකා තරග වලදී ඔහුගේ කණ්ඩායම දෙවැනි වී ඇත්තේ ගම්පහ සිරාගේ කණ්ඩායමට පමණි. එම වසරේ ජනතා පුවත් පතේ ක්‍රීඩා පුවත් අතර සිරිල් අයියාගේ පින්තූඅය පල කොට තිබුනේ "තුන් කෝරළයේ වීරයා" යන හෙඩිම සමගින්ය.

අත මිට මෙලවූ පසු පිට අත්ල වටා දිවෙන රුධිර නාල වලල්ලක් සමහර අය සතුය. පැරැන්නන් මෙයට "නයි පෙනය" යැයි කියති. එසේම මෙම නයි පෙනය සහිත අතින් පහරක් නොකෑමට ඔවුන් වග බලා ගනිති. ඒ එම අතින් හෙලන පහරක් එතරම් ප්‍රභල හෙයින් යැයි ඔවුන් විශ්වාස කල හෙයින්ය. 

කැළණියට ප්ලාස්ටික් බෝතලයකින් වැඩම කල නාගයා නිසා මුළු මහත් නාග ගෝත්‍රයම පදිරිවී ගියද සිරිල් අයියාගේ අත් දෙකේම නයි පෙන පිහිටා තිබුනි. එය මා දෑසින් දැක ඇත.

 ඔහුගේ මව සතුව ගව ගාලක් තිබූ අතර ඔහු ඕනෑම ගවයෙකු ආං බාං කරගන්නේ අතින් පහර දීමෙන්ය. ඔහු කෙවිටක් භාවිතා කරන්නේ නැත. වරෙක   අලසව නිදා සිටි ගොන් නාම්බෙකු කර බැඳි ලනුවෙන්ම ඇද නැගිටවීමටත් එසැනින් ලනුව පසෙකට ඇද නැවත බිම දමන වාත් මා කුඩා කල දැක ඇත.

දැනට අපගේ Teepee Boatyard එක පවත්වාගෙන යන හක්බෙල්ලාවක කැළණි ගඟ අසබඩ ඉඩම මා වෙත ලැබුනේ සිරිල් අයියාගේ ඇවෑමෙන්ය!

***********************************************************************************************

දෙවන සිරිල් වන්නේ මාගෙ සමකාලීනයෙකු වන සිරිල් විජේසෙකර හෙවත් විජිතය. හක්බෙල්ලාවක එතෙක් පැවති රදල පවුල් සංස්ථාව සමග තනිව ගැටුනු ඔහු එනිසාම 88-89 සමයේ ජවිපේ ක්‍රියාකාරිකයෙකු විය. 

එකල ගඟෙන් එගොඩ පිහිටි පැලැල්ලේගම ගම ලෝකයට සම්බන්ධ කලේ හක්බෙල්ලාවක තොටුපොළින් ඒ මේ අතට පැදෙන ඔරුවෙනි. එම ඔරුවේ පමණක් නොව තොටුපොළ පිහිටි ඉඩමේද අයිතිය; සයිමන් අප්පුහාමි හෙවත් මුදලාලි මහත්තයාගෙ ඇවැමෙන් ඔවුන්ගේ දරුවන් වූ දයානන්ද හෙවත් කඩේ මහත්තයා හා ඔහුගේ අවශේෂ සොහොයුරන් සතු විය. 

ඔරුව පැදීම සිදුකලේ දයානන්ද මහතාගෙන් පඩි ලත් ඔරු කාරයෙකුය. හක්බෙල්ලාවක තොටුපොළ එනම් කොළඹ හැටන් මහා මාර්ගය අසල පිහිටි විශාල සිල්ලර බඩු කඩය පවත්වාගෙන ගියේ දයානන්ද මහතා විසිනි. පෙකිණි වැල කැපූ තිඹිරි ගෙයි සිටම යූඇන්පී පවුලක්වූ ඔවුන් මුළු මහත් හක්බෙල්ලාවක පමණක් නොව ඒ අසල මෙගොඩ පිහිටි තනකොළවත්ත, බදුල්ලවල හා එගොඩ පිහිටි පැලැල්ලේගම, හුඹහපිටිවත්ත, දොඩංගස්තැන්න ආදී  ගම් කිහිපයක නිළ නොලත් අයිති කරුවන්, පොල්මඃකරුවන්, උරුමක් කරුවන්, කිරුළු නොපලන් රජුන් විය. මේ නිසාම කැළණි ගඟෙන් එගොඩ පිහිටි ගම් බිම් වල ජීවත් වූ සියල්ලන්ගේ දෛනික අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට මෙම සිල්ලර කඩයේ ණය පොත හෝ ඔරුව අනිවාර්‍යයෙන්ම අවශ්‍ය වූ කාරණාවක් විය. 

පෙරකී ගම් බිම් පුරා පැතිරී තිබුනු රබර් හා තේ ඉඩම් වල සේවය කිරීම බොහෝ ගම් වැසියන්ගේ රැකියාව හා යැපීම් මාර්ගය වූ එකල එම අධිපතිවාදයට තනිව අභියෝග කලේ සිරිල් හෙවත් විජිතය! 

එකල ඔරුව පැදවුනේ ඔරු කාරයටත් කඩේ දයානන්ද මහතාටත් අවශ්‍ය වූ විටෙක හෙයින් දයානන්ද මහතාට හෝ ඔහුගේ ගුරුකුළයට අභියෝගකල කිසිවෙකු හට අවශ්‍ය විටෙක  ලෝකය හා සම්බන්ධ වීමට ඔරුවේ සේවය නොලැබුනි. ලඟම නගරය වූ යටියන්තොටට, ආසන්න රෝහලවූ තැලිගම ස්ප්‍රිතාලයට පාසැලට යෑමට; පැලැල්ලේගම, දොඩංගස්තැන්න, හුඹාපිටිවත්ත ගම් වල ජීවත්වූ අයට ඔරුවෙන් තොර වෙනත් ක්‍රම වේධයක් නොවීය. හවස ගෙවී රාත්‍රිය උදාවෙත්ම ඔරු සේවය නැවතී ඔරුවට විලංගු වැටෙන අතර පසුදා පහන් වනතුරු එගොඩ සිටින්නවුන්ගේ ජීවිත ස්ව‍යංක්‍රීයව අකර්මණ්‍යවේ. දුර බැහැරක ගිය අයෙකුහට රාත්‍රිය මෙගොඩ ගෙදරක පිලක පහන් කිරීමට සිදුවීම සාමාන්‍ය දෙයක්ව පැවතුනි. 

මෙම පැවති හා පවතින ක්‍රමයට එලිපිටම ගේම ඉල්ලූ  සිරිල් හෙවත් විජිත;  88-89 අවසානයේදී මතුගම පැලවත්තේ රැඳවුම් කඳවුරක් කියා ගත් වදකාගාරයක ජීවිතය බේරා ගනිමින් සිට ආනමඩුවෙන් පිටවී නිදහස් ලෝකයට පා තබා ඉවාන් පාවුළුශාගේත් මගේත් වත් පොතේ සරමින් සාර්ථක ජීවිතයක් ගත කරණ්නේය. මෙවර කුළුගෙඩියෙන් ඡන්දය ඉල්ලන්නේය!

***********************************************************************************************

අවසාන සිරිල්ට අවසාන ඇමතුම දෙන්නේ 3 වෙනිදා උදැහැනැක්කේය. එයත් අහම්බෙන් මතක් වීමෙන්ය.

"අම්මට සිරි රවි අයියේ අරූට කෝල් එකක් දෙන්න බැරි උනා" පහල ඇඳේ නිදා සිටි රවි අයියාට පැවසූවේමි.

"එහෙනං ඉක්මනට ගනිං! ඩ්‍රැකියා 7 විතරයි නේද ගේනවා කිව්වේ!" රවි අයියා ඇඳේ සිටම කිව්වාද?

කොහොමත් ඩ්‍රැකී එක්ක මට ගනුදෙනුවක් ඇත. ඌ කියන්නේ කොත්මලේ විමලෙ වැඩ්ඩා කියාය. මම කියන්නේ කිත්ල්ගල සිරිල් අයියා වැඩ්ඩා කියාය. සිරිල් අයියා ඇඹරුනොත් වැඩේ කෙළවීම සක් සුදක්මය!

"හෙලෝ සිරිල් අයියේ මම අර . . . . . . " මගේ කෙඳිරිය උන්නැහැට දැන් සාමාන්‍ය දෙයකි...!

"අ . හරි හරි මහත්තයා නමයාමාරට දායට විතර එන්නකෝ . . . . "

වැඩේ හරිය!

නියමිත වේලාවට ප්‍රාජේ, සිරිබිරිස්, නමියා, අසංග හා නිදි ආදිය එතැනය. තවත් විශේෂ අමුත්තෙකුද පෙර දැරි කරගෙන! 

ඒ අපේ ආදරණීය ***! 

ඌව මම මීට පෙර දැකලා තිබුනේ එකෝම එක වතාවයි. ඒ කොළඹ ගමයාගේ පොතක් එළිදැක්වීමක්දි! ඒත් කථා කරණ්නට ලැබුනේ නෑ. මොකද එදා ඌට තිබ්බා මහ හුඟක් රාජකාරි! කාලය එක්කම ඌ ගැන මට කාන්දුවෙලා තිබුනු ආරංචි වල හැටියට ඌ එළ පොරක් වගේම බොක්කක්! ඊයේ රෑ මම  රවි අයියාත් එක්ක Kayak Pavilion එකේ  ගල් බෝතලයක් එහා මෙහා කරද්දී ඇම්මට වගේ හැමෝටම කෝල් ගත්තා. ඒ අතරෙ ***ටත් කථා කිරීම අමතක කලේ නැත. 

"මචං උඹ හෙට එනවා නේද?"

ඌ උගේ බැරි අමාරු කම කිව්වේය.

"පිස්සු කෙළින්න එපා බං! උඹ හින්දමයි හෙට අපි සෙට් වෙන්නේ!"

පස්සෙ වදෙන් පොරෙන් මූ ඇවිත්නෙ යකෝ! 

"උඹ ආපු එක මට ලොකු දෙයක් මචං !"


පෙර දින මා හක්බෙල්ලාවකට පැමිණියේ මහ පාන්දරය. ඒ පාන්දර 2.30 ට පමණය. උදේ හයේ සිට Boatyard එක ඇණ්දවීම පටන් ගත්තේ තට්ට තනිවමය. කොහොමත් මා හට මේ කපේදී "කොන්ඩ තනිවම" කල නොහැක! එදින එනම් 2 වනදා හවස් වන විට Boatyard එකේ Sandbed එකද Pavilion එකද; ගඟ අයිනේ Club House එකද ඕනෑම අවශ්‍යතාවයක් සඳහා සකස් කොට අවසාන විය. එන පිරිසේ සංඛ්‍යාව, රුචි අරුචි කම හා කාලගුණික තත්වය මත තොරා ගැනීමට ස්ථාන හතරක් මා පිළියෙල කොට තිබුනි.

පොලොව අතුගා අනවශ්‍ය ගස් හා අතු ඉවත් කොට පසු දින සඳහා සියල්ල නිමකොට තිබුනි.  Club House එකට පෙර පැවත; රිලවුන් විසින් විසංධි කොට තිබුනු ජල සැපයුම යාවත් කාලීන කලෙමි. පසුගිය කාල පරිච්ඡේදය පුරාවට දොඩංගස්තැන්නේ; අරඹෙ ඔය අසබඩ Campsite එක සමග හරඹ කල නිසාම මෙම බිම පැවතුනේ හදිසි අවශ්‍ය තාවයක් සඳහා උපයෝගී කර ගැනීමට නොහැකි ආකාරයට ජරා ජීර්ණවී ය!

පිරිස පැමිණ කෙටි වේලාවකින් ඇමතුමක් ලදිමි. තවත් පැය කාලකින් කමියා වංගුවෙන් මතුවිය! මහ පාරේම මම ඌව සෙනෙහසින් වැලඳ ගත්තෙමි. 

"යකෝ උඹත් ආපු එක කොයි තරම් දෙයක්ද!?

උදෑසන කෑමෙන් පසු මමත් සිරිබිරිසුත් ප්‍රාජේත් සිරිල් අයියා සොයා කිතුල්ගල බලා පියාසර කලෙමු.


මීට කලෙකට පෙර ඉතා කුඩාවට ව්‍යාපාරය කල සිරිල් අයියාගේ නිවස ඉදිරි පිට මේ වන විට කුඩා කැන්ටිමක්ද, නිවසට හැරෙන ස්ථානයේ කුඩා බෝර්ඩ් ලෑල්ලක්ද සවිකොට තිබුනි.

"කිතුල් ආශ්‍රිත නිශ්පාදන, කලුකොහුතැණ්න, කිතුල්ගල" එහි දැක්විනි.

"සිරිල් අයියේ . . . . . මට කියන්නට අවස්ථාවක් ඉතිරි නොවුනි.

"මහත්තයලට මම ජාති හතරකින් දෙන්නම්! පොඩ්ඩක් බීලා බලලා ඕන එක කියන්න! මම ඒකෙන් දෙන්නම්!"

වැඩේ ෆුල් ආතල්ය.

"කොල්ලුපිටියේ ප්‍රේමසිරි එකේත් මෙහෙම කරණවා නම් කොච්චර හොඳද?!?"මම මගෙන්ම අසා ගත්තෙමි.


අප එන විට ඩ්‍රැකී කොත්මලේ විමලෙගේ නිශ්පාදන සමග හක්බෙල්ලාවකය.


වැඩේ පටන් ගත්තේ පෙරාගෙන ජැම් බෝතල් වලට දමා ගෙන පොර්ක් කරිය එලාගෙන මඥ්ඥොක්කා පෙරළගෙන සම්බෝල බෙදාගෙනය  නොව බදාගෙනය!

"මේ පෝර්ක් එක පොඩ්ඩක් රත් කර ගත්තානං කෝමද" යමෙකු ගැඹුරු හඬින් ඇසුවේය.


"හරි පොඩ්ඩක් ඉන්න!" (මගුලක් කියනවා!)


දුම් දමන පොර්ක් එකත් සමග වැඩේ පටන් ගත්තේය.


"උඹේ ගමනට ජයවේවා!"

"ඒ උඹ බොන්නැද්ද!?"

"යකෝ ශාක සාර!"

"මේවා වස විස නෙවෙයි!"

"ඇඟටත් හොඳයි!"


"හ්ම්ම් . . . . ! හ්ම්ම් . . . . !!"


කතන්දර කෝටියකි! ඌට නොබී ඉන්නවාට වඩා ගඟට පනින එක දාහෙන් සම්පතකි!


දෙවෙනි වටය ඇරඹීමත් සමග මම කොංගෝව ඔසවා නෙවිල් අයියාට දුන්නෙමි.


"අයියේ අර; 

රා ටික නං විස්කි වගේ - හරිම ප්‍රණීතයි 

- ගැහුවම හරිම විකාරයි

 සිංදුව ඔයාට මතකද?" 


"නෑනේ! . . . . . හරි මෙකෙන් පටන් ගනිමු!!"


"මගෙ සුදු මාමේ

මගෙ සුදු මාමේ

නෑ බෑ නොකියා

නෑ බෑ නොකියා

රා පොඩියක් දී මා සනසන්නේ

රා පොඩියක් දී මා සනසන්නේ . . . "

එතැනින් පටන් ගත් ගීත සාහිත්‍යය කැළණි ගං ඉවුරෙන් ගලා යන්නට විය. තව තවත් පෙරුනි. 


මිලටන් පෙරේරා එතැනට පැමිණි මුත් ෂෙල්ටන් පෙරේරාටවත් මර්වින් පෙරේරාටවත් කිසිවෙක් එන්න කියා නොතිබුනි.

ලතා නොපැමිණි මුත් සුජාතා දෙවරක් නැග්ගේය.

වික්ටර් එඩ්වර්ඩ් පැමිණියේ එක වරම වාගේය.

නමියාට නව පරපුරේ රවී කරුණානායක කැණ්දන මෙන් දෙතුන් වතාවක් යමෙකු ඇරයුම් කලද නමියා ඊට දැක්වූයේ; උදෑසන ගෙන ආ සම්බෝලයට දමන්නට මිරිකූ දෙහි බෑය සේ ඇඹරිලාය.

හරූන් කුමාර් ලන්ත්‍රා සුපුරුදු ලෙස වේදිකාවට ගොඩ වූයේ සීරුවෙන් දැහැමින් සෙමින්ය.


"මගෙ නාමලී බැඳි ආ...දරේ - මනමාළියයි මැණිකේ.....ඔයා

ඔරුවේ.... නැගී..... එහි පා......වෙවී........ - අමනා.....පයෙන් පිටවි.......ගියා.......

බැඳි ආ....දරේ...... සුකුමාළියේ....... - පෙම් පණිවිඩේ.......පා..... වේ....ගඟේ........."

"කොහොමත් ඔයාලා කිව්වා ලන්ත්‍රාට වඩා හොඳට . . ! මොකද ලන්ත්‍රා කිව්වා නං ඕක ඇහෙන්නේ නෑනේ . . .!" ප්‍රාජේ; වැටක් නොගසා කමෙන්ට් එකක්ම දැම්මේය.

බෙර කරුවන් දෙදෙනා වයති! ගායකයෝ දෙදෙනෙකු පමණ ගයති!! සෙස්සෝ සූකර මාංශය සමග මඥ්ඥොක්කා අතුරු දහන් කරවති!!! 
"මේ කිරි කවඩි . . . " රවි අයියා මඥ්ඥොක්කය බෞතීස්ම කලේය.
මේ සියල්ල අතරේ අසංග නාවික තෙමේ මඥ්ඥොක්කා නැව් ගත කරමින්ය.

ඩ්‍රැකී ඊශ්‍රාලයේ සිට පලස්තීනයට වෝටර් මෙලන් ප්‍රහාරයකය!

*** මේ සියල්ල මුදිතා ගුණ භරිතව විඳදරා ගනිමින්ය.

සිරිබිරිස්; නිහඬව සිනහ මුසු මුහුණින් යුතුව සියල්ල නරඹමින්ය!

කමියා සිටියේ මා අසලින්මය.
"කෝ මෙහාට වර් රෙං මගෙත් එක්ක සෙල්ෆියක් ගන්න!  යකෝ උඹට මම හරි කැමතියි බං!" පටල පටලා කීවෙමි. කමියාට හිනාය! මට මලය! "මොකෝ බං හිනා වෙන්නේ?"

"මේ මෙතනට අපි එන්න තව හේතුවක් තියෙනවානේ" අසංග  බ්ලොග් හමුව පිළිබඳව මතක් කලේය.

"අනේ මේ කියලා වඳින්නම් උඹලා තුන් දෙනා ආයේ ලියා පල්ලා!" මම හොටු පෙරා ගෙන පිං සෙන්ඩු වුනෙමි. සෙස්සෝ අත් වැල් ගායනයෙන් සහය විය.

"ඔව් අපි මේක කරමු! එන අප්‍රේල් වල වගේ . . .!" ඒ කමියා ය.


අවසානයේ සියල්ල විසිර යන්නට මත්තෙන් සිසිල් දියෙන් සිරුරු සතපවා ගත්හ.
සමහරුන් සුදු වෙන්නට සබන් උලනු දක්නට ලැබුනේය.

සියළු එක් වීම්; වෙන් වීමෙන් වෙන්වේ!
එහෙත් ප්‍රියයන් හා එක් වීම මිහිරි මතක හදවතේ ඉතිරි කරයි.
උඹලා ගේ පැමිණීම එවන් එකකි.

පොද වැස්සේ සීතලේ තෙමුණු අප උනුසුම් වූයේ වෙන් වීමේදී කල වැළඳ ගැනීම් වලිනි.
ස්තුතියි උඹලාට. (උඹලා කිව්වේ ආ..ද..රේ...ට....!)

*********************************************************************************************
දිනක් ගෙවී යද්දී කමියාගෙන් මට වට්සැප් පණිවිඩයක් ලැබුනි.
ඒ  මා ලඟ තියෙන පිංතූර දමන ලෙසය.
මම; ඌත් එක්ක ගත් පිංතූරය සමග තවත් මොන මොනවාදෝ යැව්වේය.
මම ඊට පිළිතුරක් යැව්වේමි!
"ස්තූතියි පැමිණියාට! ඩෝප් මරගාතේ කිව්වට දැං කියන්නෙත් ඒකම තමයි; මම උඹට කැමතියි!"
කමියා එය පිළිගෙන හෘද්යාංගම පිළිතුරක් ලියා එවා තිබුනි.

"හහ් හහ් හා . . හිනා ගියේ මගේ හිතේ තියෙන එකම කියුවට යකෝ."

තවත් ටික වේලාවකින් මට කමියාගෙන්  ලින්කුවක් ලැබුනි. 

අම්මට සිරි මෙන්න මූ ලියලා . . . . . ! සත්තකින්ම හතර පාරකට වඩා ඒක කියවන්න ඇති. උඹට ස්තූතියි මචං!

ගෙවී ගියේ තවත් දිනකි . .  . !

තවත් ලිවීමක් අවකාශයේ . . . . . . ඒ පිළිබඳව දැක්කේ මුහුණු පොතෙන්.
මුහුණු පොතේම මම ඊට කමෙන්ටුවක් කෙටුවෙමි.

"අම්මට සිරි උඹ වචනෙ තියලා! එළ කොල්ලෙක්නෙ!? උම්මා උම්මා උම්මා!!! ආදරෙයි . . . !"
ඊට පිළිතුරක් ඔහු ලියා තිබුනි . . . !

"උඹේ මහන්සියට මල් මිටක්. ආදරෙයි!"

ඔව් බං ඒක ඇස් කෙවෙණි තෙත් කරවන පපුව බර කරන පිළිතුරක්! ඒ මල් මිට; මට රටක් රාජ්‍යයක් මචං!

කමියාට මේ පිංතූරේ යවපුවාට පසු ඔහු මතක් කොට තිබුනා වසරේ දැවැන්තම අමතක වීම!

**** එක්ක මෙහෙම ෆොටෝ එකක් ගන්න බැරි උනා!

ඔව් කමියා අපට අපේ ජීවිත කාල්යේදී කිසිදාක එවන් පින්තූරය ගන්නට නොහැකිවේවි!

ඒත් අපේ හදවත් තුල ඒ පිංතූරය සදාකල් රැඳේවි.

කියන්නට ඇත්තේ එකම දෙයකි.

"බලමු!"

මෙම හමුවේ පිංතූර අවකාශයේ හැම අත . . !
ඒනිසාම පින්තූර  මෙයට නොඅමුනමි.
ඒ පිංතූර තවත් සිත පාරයි!
කැළණි ගං මිටියාවතේ ජන වහර තුල අරුත්බර කියමනක් ඇත! 
"එක් ගඟක් දකින්නට ලැබෙන්නේ එක් වරකි!" 
මන්ද නිමේශයකින් ගඟ අලුත්වේ!

Wednesday, January 25, 2023

250. සිරිබිරිස්ගේ ලංකාවතරණය!

 

සිරිබිරිස් යනු කැමිලස් පෙරෙරාගේ පුත්‍රයෙකි. කැමිලස් යනු ලංකාවේ නොම්මර එකේ කාටූන්; මැව්වෙකි. කැමිලස්ගේ පලවෙනි කාටූන් චරිතය වන්නේ 1966 දී ලේක් හවුස් සඟරාවක් මත පන පෙවුනු "දැක්කොත් පත්මාවතී" ය. කැමිලස්ගේ කවුරුත් දන්නා පුත්‍ර රත්නය "ගජමෑන්" වන අතර ඔහු උපත ලබන්නේ 1972 වසරේ "සතුට"; ලංකාවේ ප්‍රථම චිත්‍ර කථා පුවත්පත සමගය. පසුව මෙරට දිග් විජය කල; චින්තන ජයසේනයන්ගේ "සිත්තර" 1975 ඇරඹීමත් සමග ගජමෑන්ද සිත්තරේ බින්න බැස්සේය.
මේ නයින් ගත් කල සිරිබිරිස් තනි චරිතයක් නොව; දැක්කොත් පද්මාවතී, ගජ මෑන් හා පෙර නොකී "දොං සේතං" ගේද සොහොයුරෙකි.

මෙරට නමගිය IPB දෙබෑයන්ගේද නොමසුරු ගරුත්වයට පාත්‍රවූ අප මිතුරු නිමල් දිසානායක පසුගියදා ඇමතුමක් මගින් මා අමතා පැවසූවේ "මල්ලි  සිරිබිරි ඇවිත්!" කියාය.
මේ කැමිලස්ගේ පුත් සිරිබිරිස් නොව සිංහල බ්ලොග් අවකාශය තුල සැරිසරණ "සිරිබිරිස්" ය. සිරිබිරිස් සහ තවත් බ්ලොග් මිතුරන් කිහිපදෙනෙකුගේ හමුවක් නිමල් අයියා විසින් සංවිධානය කිරීමට උත්සාහ ගනිමින් වූ අතර  ඒ සඳහා අපගේ Teepee the Campsite කඳවුර යොදා ගැනීමට ගත් තීරණයේ සුභාරංචිය කනේ තැබුනේ එම අවස්ථාවේදීය.

සිරිබිරිස්ගේ පදිංචිය කැන්ගරු දේශයේ වන අතර ඔහු මෙරටට ඇති අක්මුල් සිඳ නොගත් ඕස්ට්‍රේලියානුවෙකි!
දිනය පසුගිය ඉරිදාය.
සෙනසුරාදා; ඉරිදා උනේ නි. ප.කෝ. නිසාය.
නාමයෝජනා රාජකාරී වෙනුවෙන් ඇප කැපවී සිටි නි.ප.කෝ ඩ්‍රැකී (නියෝජ්‍ය පලාත් කොමසාරිස්) හට ප.කෝ ගෙන් සෙනසුරාදා පැමිණීමට ඉඩක් ලබා ගැනීමට තිබුනු අවහිරතාවය නිසාම සෙනසුරාදා; ඉරිදා විය.

මෙම මිතුරු සමාගමට පේරාදෙනියේ සිට රවී වීරසිංහ - අවි අයියා පැමිණියේ කලින්දා එනම් සෙනසුරාදා හවස් වරුවේය. 
ඩ්‍රැකීගේ පැමිණීමද එදිනට යෙදී තිබුනත් ඡන්ද හුටපටේ ඔහුව පමා කලේය.

රවි අයියා රස සාගරයකි!
ඔහු මිනිස් ඇසුර ප්‍රිය කල අයෙකි.
නියමිතව තිබුනු ඩ්‍රැකීගේ පැමිණීමත් අවි අයියාගේ එකතුවත් සමග වියළි ජින් ගත වීම හෝ වෙනයම් ඇල්කොහොලිකරණයක් සඳහා මා අපගේ පැරණි kayak pavilion එක අස් පස් කලේ සිකුරාදය. 
හුදෙක් ගබඩා කාමරයක් ලෙස අඩුම කුඩුම පිරුණු එය නැවත මිනිස් වාසයක් බවට පත් කිරීමට දිනයක්ම වෙහෙස වන්නට සිදුවිය. kayak pavilion යනු අපගේ Oparetional Hub එක හෙවත් මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කොට ඇති අඩි 20 Shipping Container එක මත ඉඳි කොට ඇති වේදිකාවය. රාත්‍රියට ඉදිරි මාර්ගයේ රථ වාහන දිවෙනු දකින්න ලස්සන දර්ශණයකි. 
මීට වසර 5කට පමණ පෙර 
එසේ වෙහෙස මහන්සි වීමට ලැබුනු ත්‍යාගයක් ලෙස එදින මත එනම් සිකුරාදා - ජනවාරි 22 ට යෙදී තිබුනු අපගේ යකඩ දිනේෂ්ගේ කුඩා සාදය එතැන උත්කර්ෂයෙන් යුතුව පැවැත්විය.
මමත් මාගේ ඥාති සොයුරු පාලින්දත් දිනේෂ් සමගින් සීතල බීර වීදුරුවක් තොල ගාමින් දිනය සැමරුවේය.
පසුදින මා පෙර සඳහන් කල පරිදි රවී අයියා සම්ප්‍රාප්ත විය.
එදින සවස් යාමය ගෙවී ගියේද kayak pavilion එකේමය.


පසුදින නිදි අයියාත්, ප්‍රාජේත්, නමියාත්, සිරිබිරිසුත්,අසංගත් පැමිණියෝය.
ඩ්‍රැකී ඒවන විටත් ගිණිගත්හේන පසුකරමින් ය.
හක්බෙල්ලාවක ප්‍රසිද්ධ දියෙස්ගේ ලැවරියා කඩෙන් උණු උණු ලැවරියා කා කිතු හකුරු සමග කහට බී ඩ්‍රැකී පැමිණෙන තෙක් කල් මැරුවෙමු.
ඩ්‍රැකීගේ පැමිණීමත් සමග ඝණ පූර්ණය සම්පූර්ණ වූ අතර අප කඳවුරු බිම වෙත පිටත් වුනෙමු. 
"පිංතූරයක් වචන දහසක් තෙපලයි!" 
එසේනම් ඉතිරිය පිංතූර පවසාවි!
රස සාගරයක් සමග!

ස්ටීමරයෙන් මුහුණ වසාගෙන ලැවරියා කෑම!

රවි, අසංග, ප්‍රාජේ, නමියා, සිරිබිරිස්

මේ සියල්ල මුදිතා ගුණ භරිතව විඳදරා ගනිමින්!

අපේ කාලය කා දැමීම පිළිබඳව නිදහසට කාරණා!

කොලොම්පුරේ, සිරිබිරිස්, නිදි, ප්‍රාජේ 

කට හදාගෙන කියන දේවල්-කට හදාගෙන ඇහුංකං දීම! 

"මෙන්න සුද්දගේ අත!"
මේ කයිවාරුවෙන් පසු ඇරඹුනේ "හඳ මාමා ගීත පිටුවයි!". මින්දද හී සැරෙන් පටන් ගත් ගායනාව වතුර නාලා අවසන් විය! අවසන් ගී කාණ්ඩය ගීත දහයකින් අවසන් වූයේ මාගේ ඇවටිල්ලට නැවත හක්බෙල්ලාවකදීය. 

"අපි එහෙනං යන්නං අපි!" නිදි අයියා නැගිටින්නට හැදුවේ සොඳුරු දිනය නිමාවට පත්කරමිනි.
"තව සින්දු පහක් කියලා යන්න . . . නිදි අයියේ . . !"
"හරි ඔන්න පහයි . . . !?"
"නෑ ! නෑ!! දහයක් . . ?" මම ඇවටිලි කලෙමි.
"හරි එහෙනං ඔන්න දහයයි . . !?"
ඉන් පසුව ගී ගායනා ඇරඹුනේ සින්දුවෙන් සින්දුවට ........ කරමිනි.
ගීත දහයෙන් පසුව නිදී යන්නට නැගිට්ටේය.

"අපරාදෙ උඹ විස්සක් ඉල්ලන්න තිබ්බේ!" සිරිබිරිස් ඔහුගේ ආදරණීය අවංක හිනාවෙන් යුතුව පැවසීය.

"ඔව් බං අපරාදෙ! කමක් නෑ ආයේ උඹලා එනවානේ! හිටපං මං කෝල් එකක් අරන් බලන්න 
- හෙලෝ ඔය කිතුල්ගල සිරිල් අයියද? . . . . . . . . . . . . . "

Thursday, January 19, 2023

249. මිතුරු හමුවක මතකය

පසුගිය අගෝස්තුවේ මැද මා ඕස්ට්‍රේලියාවට ලඟා උනෙමි. ඒ එරටට දැඩි ශීත කාලගුණයක් තිබුනු අවධිය විය. මාසයක කාලයක් දුවා දරුවන් හා බිරිඳ සමග ගතකල මා එරට සිටින අපගේ මිතුරන් ඇමතීමට පටන් ගත්තේ ඉක්බිතිවය. 

පලමු ඇමතීම වින්ද්‍යා සේනාධීර වෙතය!

"ඇයි බං ආපු ගමන් කතා නොකලේ?"

මට උත්තර තිබුනේ නැත. මම හීන් කෙඳිරියක් ගෑවෙමි! 

ටික දිනක් ගෙවීයද්දී එක් සවසක මාගේ පුතු නිවෙසට පැමිණියේ පණිවිඩයක්ද රැගෙනය.

"අන්න සේනාධීර අංකල් කථා කරලා කිව්වා තාත්තිව එහේ එවන්න කියලා. මට ලොකේශන් එකත් දාලා තියෙන්නේ!"

නියමිත දිනයේදී මා වින්ද්‍යාගේ නිවසට ලඟා උනෙමි. 

නිවසේ සීනුව නාද කරණවාත් සමග දොර ඇරුනි. ඉන් එලියට පැමිණියේ අතිශයවූත් සුන්දරවූත් නිර්ව්‍යාජවූත් සිනහවකින් මුව සරසා ගත් කාන්තාවකි!

"ඔයා මංජුල වෙන්නෝන!?"

කිසිදාක මා නොදැක සිටි ඇය ඉතාමත් කුළුපග ලෙස මා පිළිගත්තීය.

"ඔ..ඔව්! මම තමයි!"

"අන්න වින්ද්‍යා ඉන්නවා ඔයා එනකල් බලාගෙන! යන්න!!" ඇය දොරකඩින් පසෙකට වී මා හට නිවසේ ඇතුලත පෑවාය. 

ජගත් රාමනායක, ඉන්දික දෙල්පචිත්‍ර ආදීන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටිනාතර තුර තවත් සහෘදයෙක් එතැනට එක් විය.

" අම්මට සිරි උඹ? උඹ කොහෙද මෙහේ?" ඒ අන් කිසිවෙක් නොව ගල්කිස්සේ ආර් ජගත් කිත්සිරිය. සත්තකින්ම එතැන සිනා සාගරයක් මැවුනි. මා ආගන්තුකයෙක් උනු හෙයින් හෝ මාව බයිට් නොකිරීමටත් පාසල තුල මා හැඳින්වීමට භාවිතා කල අනවර්ථ නාමය භාවිතා නොකිරීමටත් ඔවුන් වග බලා ගැනීමට මෙන්න මගෙන් තුති!

රාමාගේ පැරණි මතක ගබඩාවේ රසමුසු තැන් පිළිබඳව මතක් කරණ විට තාමත් තනිවම හිනාය! දැනට ටැස්මේනියාවේ සිටින අපගේම පාසල් මිතුරකුගේ චර්යාවන් මේ කථාවල පදනම විය.  රාමාගේ පුත් සුසුකි හී කසූකි (නම වැරදිනම් සමාවෙන්නෝන එකසිය ගානට!) ඇතුලු පිරිසක් පැය ගනනාවකින් එතැනට එක් වූ අතර පේස්ට්‍රි සහ වෙනත් කෙටි කෑම පිරුණු බඳුන් හිස්ව ගියේ අසුරු සැනිනි. 

අප වෙන්ව යන විට දෙල්පෙගෙන් ලැබුනේ තවත් ආරාධනාවකි!

"මචං එන සතියෙ නෙවෙයි ඊලඟ සතියේ දවසක අපේ ගෙදර පොඩි පාටියක් උඹ එන්නෝන. කොල්ලයි කෙල්ලවයි දෙන්නත් එක්කං වරෙං ගිටාර් දෙකත් අරං!"

දිනය එළඹුනි. මමත් පුතාත් දුවත් දෙල්පෙලාගේ ගෙදරට සම්ප්‍රාප්ත විය. එතැන උළෙලකි! විදිලි සර පුවරුවක් වැයුනි. මා හටත් දුවටත් පුතාටත් ඉහල පිළිගැනීමක් විය. එතැනට ටිකෙන් ටික එක්වන පාසැල් මිතුරන් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් හට මම මාගේ "ඇස් දෙක" හඳුන්වා දුන්නෙමි.

"දුවේ මේ අංකල් ප්ලේන් එකකින් බිමට වැටිලා තියෙනවා....!" මා සමන් ධම්මිකව දියණියට හඳුන්වා දුන්නේ එලෙසිනි.

"ඇත්තමද අංකල්. . . .?" ඇස් නළලේ රඳවා ගනිමින් දුව සමන්ට කිට්ටුවිය.

"බොරු පුතේ මූට පිස්සුනේ . . . ! වැටුනා තමයි. එතකොට ප්ලේන් එක තිබ්බේ බිම!"

🤣🤣🤣🤣🤣🤣🤣

ස්වල්ප වේලාවකින් එතැනට ගුරාද කඩා පාත් විය!

" උඹ කොහෙද බං මෙහේ . . !?" ගුරා සුපුරුදු කට අවදි කලේය.

කාලය ගත වෙද්දී මධුවිත අපව තව තවත් එකට එක් කලේය.

ගුරා,මම,කිත්තා,සේනක,සම්පත්, වින්ද්‍යා,දෙල්පෙ
ගී ගායනා ඇරඹුනි. මාගේ දරුවන්හටද ගීත දෙකක් ගායනා කිරීමට අවස්ථාව ලැබුනි. අනුර කුමාරසිංහගේ දියණිය තම ගායනයෙන් සාදය තවත් මානයකට ගෙන ගියාය. ඇයත් මාගේ දියණියත් මොනවාදෝ තොර තොංචියක් නැතිව කියවමින් ය. එතැන සර පුවරුවේ නිර්මාපකයාගේ ආරාධනයෙන් "සම්පත්" නමැති තට්ටයෙකු ගීත දෙකක් ඉතාමත් සුන්දරව ගායනා කලේය. 

සමන් ධම්මික; එඩ්වර්ඩ් සර්ගේ  හඬින් ගීත ඉදිරිපත් කලේය. දෙල්පෙද ගීත කීපයක් ගායනා කොට සාදය එකළු කලේය. වින්ද්‍යා සියල්ලන් අතර සිට සියල්ල එකට ජෙල් කලේය. නාවික හමුදාවේ සේනක හංවැල්ල රණවිරුවාද එතැනය. ඒ ගැනද ලිවිය යුතුමය. ඔහු ඕස්ට්‍රේලියාවට ඇවිත් තිබුනේ යාළු මිත්‍රාදීන් බලා කියාගෙන යාමටය!

මධුවිතෙන් හොඳින් සප්පායම් වන විට ඊළඟට අත්‍යාවශ්‍ය දේ වන්නේ සිගරට් ය. සිගරට් එකක් නැතිව ගන්නා මධුවිත උපමාකොට ඇත්තේ; දෙතොල් සිප නොගෙන කරනා රමණයටය! බොන එකාට ඇත්තේ ඊට අපූරු ඉවකි. මා නාසය උඩු සුළඟට එක් කොට ඉව කලේය. නිවසේ පසුපස කොටසේ සිට සිගරට් සුවඳක් (ගනං ගන්න එපා; ඒ අපට දැනෙනා හැටිය!) ගලා ආවේය. මා සීරුවෙන් රූටන දොර ඈත් මෑත් කර එතැනට කිට්ටු කලෙමි. ආරාධනයෙන් ගී යැයූ තට්ටයා එතැනය! "කව්ද අප්පා මූ? පුරුදු ඩෑල් එකක්!" මම මගෙන්ම අසා ගනිමින් එතැනට කිට්ටු උනෙමි 

"අම්මට සිරි උඹ තබ්ල සම්පත් නේද?"

"ඔව්නෙ . .  .   . !"

මම වහාම වසිකට කතා කලෙමි. 

"පුතේ මේ අංකල් තමයි 

"අපේ කාලේ උදේ එසෙම්බ්ලි එකේදි "බැන්ද දජා . . " එකට තබ්ලා ගැහුවා කියලා මම කිව්වේ. තබ්ලා සම්පත්!

මම හදිස්සියට "බැන්ද ධජා එක" කිව්වේ අපේ පාසැල් ගීතයටය!

ඔය අතරේ ආර් ජගත් කිත්සිරි ත්‍යාග ප්‍රධානෝත්සවයද පැවැත්විය. ඒ ඔහු වික්ටෝරියා ප්‍රාන්තයේ සිට ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට යෑමේ කණගාටුවට හෙවත් කනක් ඇහිලා ඉඳින්නට ලැබීමේ ප්‍රීතිය වෙනුවෙන් විය යුතුය!!


එතැන සිට ආගිය කතා ගොන්නකි. දෙගොඩ හරි ජාමයේ වෙන් වූයේ නැවතත් නාලන්දා රාත්‍රියේදී හමුවන බලාපොරොත්තුවෙනි.

නාලන්දා රාත්‍රිය පිළිබඳ වෙනමම කථා කල යුතුය. 

කිත්තා සහ සම්පත්ට පසෙකින්.

අවසර පත්‍ර 582 අලෙවි කල පසු; අලෙවිය නවතා දමා තිබුනි! ජගත් බන්ඩාර මෙල්බර්නයට මෙම අවස්ථාවට සහභාගී වන්නට  පැමින සිටියේ සිඩ්නි සිටය!

ඒ මේ අල්ල පනල්ලේ ශිවන්කද හමුවිය. මාගේ බ්ලොග් කියවන අයට ශිවන්ක අළුත් කෙනෙකු නොවේ. 212. පැනි බේරෙණ කොම්පැනි කථා 5  පෝස්ටුවේ මෙන්ඩිස් ලොක්කාට අම්මා මුත්තා සිහිවෙන්න ගේම ඇද්දේ මේ ශිවන්කයාය.

ශිවන්කටත් තබ්ලා සම්පත්ටත් මැදිව!

පාසැල් රාත්‍රියේ 600 කට ආසන්න පිරිසක් වේග රිදමයට සම වැදී නර්ථනයේ යෙදෙද්දී මමත් ශිවන්කයාත් තබ්ලා සම්පතුත් රථ ගාලට පැමිණ කයිවාරුවක් ගැසුවෝය. ශිවන්ක ඔහු re-make කල ක්ලැරන්ස්ගේ ගීත කිහිපයක්ද මොබයිලයෙන් ප්‍රචාරය කොට පෙන්නුවේය. 

සම්පත් ඔහු සංගීතවත් කල සුන්දර නොයිඳුල් ගීතයක් අපට අසන්නට ඉඩ කඩ සැලසුවේය. මම ඒ ගැන පොඩි ඉඟියක් දෙන්නම්. (පස්සෙන් පහු පොර ටෝකක් ඉශූ කරණ්නට පුළුවන්නේ; "ඔන්න අර සිංදුව!" කියලා) ඒක ලියැවී තිබුනේ විල්පත්තුවේදී ආදරය වෙනුවෙන් ජීවිතය කැප කල රන්මලී ව කැඩපතක් සේ යොදාගෙන ස්වර්ණා මල්ලවාඅරච්චි ගැන වගෙයි මතක! (සිහියෙන් ඉඳන් අහපුවායෑ?)

දැන් මේ සියල්ල අතීතය ය! 

ලියන්නට නම් කාරණා එමට! ලියාගන්නට බැරි තරං මතක!

කොහොමද මේක අවසන් කරණ්නේ  . . . .?

හරි මම මේ සිද්ධියන් කථාව නවත්වන්නම්

නාලන්දා රාත්‍රියට යන්නට පෙරදින කෝල් එකක් ගත්තා වින්ද්‍යාට පාසැල් කර පටියක් හෙවත් ටයි එකක් ඉල්ලා ගන්න.

නාලන්දා රාත්‍රියේදී එය මගේ අතට ලැබුනි. 

ඒ ආදරණීය වදන් පෙලක් සමග!

"මේක මගෙන් උඹට! සමරුවක්!"

ද්‍රව්‍යමය දේවල් වලට වඩා උඹලාගේ ආගන්තුක සත්කාරය ලෙංගතු බව හිතේ යටටම ගිලා බැහැලා! නම් ලියන්නට නොහැකිවූ  බොහෝ දෙනා ගැන ලියන්නම් වෙලාවක! ඒ වගේමයි වින්ද්‍යාගේ බිරිඳ නිල්මිණිගේ පටන් කිත්තගෙ පවුල සමන් දම්මිකගේ වයිෆ් ගුරාගේ නෝනා දෙල්පෙගේ පොම්බුලේ ඇතුලු සියල්ල ආදරයෙන් මතක් කරමි. 

දෙල්පෙ උගෙ අනගිභවනීය පාටියේදී ආහාර පිළිගැන්වූ හැටි තාමත් මතකය! 

"කාපං! මේවා ඔක්කොම මම ම හදපුවා!"

ඔය හැමදේම වගේම උඹලා බොහෝ දෙනෙක් මගෙන් අහපු පොදු පැණයක් හා කල ආදරණීය යෝජනාවක් තිබ්බා. 

"උඹ කවද්ද මෙහාට එන්නේ? කොල්ලයි කෙල්ලයි දෙන්නම් මෙහේ ඉන්න හිංදා උඹත් මෙහාට වරෙංකො!"

ඒ සියල්ල මතකය. ඒ සියල්ලටම දුන් පොදු පිළිතුර ලියා නවතින්නම්. 

"බලමු!"

මොනවා උනත් උඹලා හොඳම හොඳ එවුන් ය!

ජයවේවා!

Friday, December 10, 2021

225. පිට කොට්ටේ ඒ කාලේ . . . 2


"224. පිට කොට්ටේ ඒ කාලේ" පෝස්ටුව ලිව්වේ පැරණි මතකයන් ගාල් කොට තැබීමටත් හිතාදර සහෘද සුජී හෙවත් "සුජී - බොස්ටන්" වෙත කෙරෙණ ත්‍යාගයක් වශයෙනුත්ය! ඒ පෝස්ටුවට නැවත ඔබ පිවිස බැලුව හොත් "සුජී - බොස්ටන්" නමින් ඔහු කමෙන්ටුවක් ලියා තිබෙනු දැකිය හැකිවෙයි. මේ ලියන්නෙත් සුජී - බොස්ටන් පිළිබඳව තිබෙන තවත් රසබර මතකයක්! 
සුජී පාසලෙන් පසුව සේවය ඇරඹුවේ; කාර්‍යාල උපකරණ විකුණන ආයතනයක විකුණුම් විධායකයෙකු ලෙස. තේරෙණ හිංගලෙන් කියනවා නම් සෙල්ස් එක්සෙකටිව් කෙනෙක් ලෙසට. මට තාම මතකයි ඔහුට විකුණන්නට තිබුනු "නශුවා ශ්‍රෙඩර්ස්" ගැන ඇවිත් මට කියපු හැටි. "ශ්‍රෙඩරයක්" කියලා එකක් ගැන මම එතකොට අහලාවත් නොතිබුනු කාලයක "කොල ඉරන මැශින් විකුණනවා" කියන එක මට තේරුණේ නිකං බෝතල් කරපු වතුර විකුණනවා කියලා මීට අවුරුදු දහ පහලොවකට ඉස්සෙල්ලා කන වැකුණු දවසේ ඇතිවුනු සිතුවිල්ලමයි. සිව් මහා ගංගා හතරවටින් ගලා බහින; ගාලු පාර මැද්දේ උනත් අඩි විස්සක් විසි පහක් බැස්සාම වතුර හම්බෙන; තිස් දහසක් තිබ්බා යැයි කියන - දැනට දොලොස් දහසක් ඉතිරිව පවතින හා ඉන් හත්දාහක් අභාවයට යමින් පවතින වැව් පිරුණු රටක උපන් බුද්ධහඳවියක අහපු කථාවක්ද 'බොට්ල් වෝටර්' විකිණීම. 

ජීවිත කාලයම ඕනෑ කොලයක් දෙකක් නෙවෙයි තුන හතරක් උනත් ඒ පැත්තට මේ පැත්තට තියලා හරහට දිගට හරව හරවා ඉරා දමන්නටත් ඒවා ගුලිකොට වීසි කරණ්නටත් "හොර මගුලක්" නම් ගිණි දෙවියන්ට පූජා කරණ්නටත් උපන් හමන් කම් කී පරම්පරාවක පුරුකක් වූ මට 'ශ්‍රෙඩරය' පිළිබඳව ඇතිවූ නොදියුණු හැඟීම පිළිබඳව සාධාරන මනසකින් යුතුව; දැන්වත් හිතනවා ඇතැයි මා විශ්වාස කරමි.
ඒකාලේ සුජී හවසට ගෙදර පැමිණියේ හතර අතින් දාඩිය මුගුරු දාගෙන මුහුණ රතු කරගෙන "එපා වෙනවා!" කියාගෙනය.
ෂානකත් සුජීවත් ඔවුන්ගේ අතිජාත මිත්‍ර ප්‍රදීප් අබේරත්නත් පාසලේ සියළු කරුණු කාරණා කලේ මිල්ටේරිමය රැකියා අපේක්ෂාවෙන්ය. ඔවුන් පිහිණුම් සංගමයේද ජීවිතාරක්ෂක සංගමයේද පාසල් ශිෂ්‍ය භට කණ්ඩායමේද කටයුතු කලේ එම අරමුණ සාක්ෂාත් කර ගැනීමටය. නමුදු කාලය විසින් ෂානක කඳවලවත්ත ආරක්ෂක විද්‍යා පීඨය හරහා ගුවන් හමුදාව තුලත් අබේ යුධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවේත් සුජී පෙර කී ආයතනයෙන් පසුව හැටන් නැෂනල් බැංකුවේත් රැඳවූවේය!
ඒ තීන්දු තීරණ වලට එළඹුනු දින කාල වකවානු හා ඒ වටා ඇතිවුනු නැතිවුනු සිද්ධි මාහට ඉතා හොඳින මතකයේ සණිටුහන් වී ඇත!
සුජී සේවය කලේ හැටන් නැෂනල් බැංකුවේ කිරුළපන ශාඛාවේය. ඔහුගේ බැංකු දිවිය පිළිබඳවද ඔහු සිටියේ මහා විශාල සතුටකින් නොවන බව මට යාන්තමින් මතකය. ඒ ජීවිතය මහත්වූ ඒකාකාරී එකක් විය. දිනක් සුජීට වැඩ නැතිවේලාවක ඔහු කලේ; හිස් කඩදාසියක් ගෙන  තම බොසා ගේ එනම් ශාඛා කළමණාකරුගේ අත්සන එහි ඒ මේ අත ගසමින් පිරික්සා බැලීමයි!  පිටුපසින් දිගුවූ අතින් කොලය ගන්නවාත් සමගම සුජී ආපසු හැරී බැලුවේ ස්ව‍යංක්‍රියවය.
ඔව් ඔබ හිතනවා හරියටම හරිය. ඒ අන් කවෙරෙකුවත් නොව බොසාය! කතන්දරේ අප සමග රසකර කියනවිට මම සුජීගෙන් ඇසූ ප්‍රශ්නය ඔබට සිතා ගත හැකිය!

"අම්මට සිරි! පොර මොනවද කිව්වේ?"

"ම්හු! තාම උඹට බැහැ!" කියලා ඌ යන්න ගියා බං. සුජී කීවේ ඔහුගේ සුපුරුදු ලැජ්ජාශීලී මුහුණ දමා ගෙනමය.

"ඇත්තටම උඹ හරියට ගහලා තිබ්බේ නැද්ද?' 

"මොන පිස්සුද ආයේ සුපිරියටම ගහලා තිබ්බා ඌටවත් හොයා ගන්නට බැරි වන විදියට - ලෙසටම! ඌ ලැජ්ජාවට එහෙම කිව්වේ!"


මේ කථාව වෙන කාලේ සුජීත් එයාගේ අම්මා හේමා ඇන්ටීත්

කාලය මෙසේ ගෙවී යද්දී දිනක් සුජීගේ ගජයන් පිරිසක් ඔහු සමග හීන් අඩියක් ගැහීමට සෙට මෝල් වුනේ එක් බ්‍රහස්පතිදාවකය! ඒ; පොල්හේන්ගොඩ, නොම්මර 2/12/16 දරණ ස්ථානයේ ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජයේ අපාන ශාලාවට හෙවත් කවුරුත් දන්නා Sri Lanka Government Service Sports Club  හෙවත් පොල්හේන්ගොඩ වලේ ක්ලබ් එකේය. 

සුජීලාගේ නිවස පිටකෝට්ටේ ප්‍රධාන පාරේ 585/B හි පිහිටා තිබුනත් එවකට සුජී කුඩා ගෙයක් සාදා ගෙන තිබුනේ බංගලාව හංදියෙන් බැද්දගාන පාරේ කුඩා දුරක් යනවිට දකුණු පසට ඇති පාරේ තිබුනු පාරම්පරික ඉඩමේය. මෙම ඉඩම එකළ හැඳින්වූයේ "දුඹුට්ට" නමින්නි. දුඹුට්ටේ තරමක වපසරියකින් යුතුව තිබුනු ඉඩම කුඩා කොටස් දෙකකට හෝ තුනකට වෙන් කොට තිබුනි. ඉන් පලමු වැන්න සුජීලාගෙන් මිළට ගෙන තිබුනේ සුජී ගේ පියාවූ ලක්ෂ්මන්  අංකල්ගේ මිතුරෙකුවූද ලංකාවේ කීර්තිධර පොලිස් නිළධරයෙකු වූ උප පොලිස්පති රත්නසේකර මහතාය.  ඊට යාබද ඉඩමේ හෝ ඊට ආසන්නව සුජී නිවස සාදා තිබුනි. එවකට  නිවස සාදා නිමකොට තිබුනද ගේට්ටු ආදිය සවි කොට නොතිබූ නිවස තරමක අනාරක්ෂිත බවක හැඟීමක් සුජීගේ ප්‍රිය බිරිඳට දැනීම; සුජීගේ බොහෝ ප්‍රිය සාද අතර මග නවතා දැමීමට හෝ කෙටි කර දැමීමට හේතු විය.

"මා දන්නා තරමින් මූ හොඳ කොල්ලෙක්ය !" 
මාවෙනුවෙන් ලක්ෂ්මන් අංකල්
එදින කාර්‍යාලවේලාවෙන් පසු වලට සෙට් වූ සුජී හට ඉක්මණින් ගෙදර යෑමේ අවශ්‍යතාවයක් පැන නැගුනේ පෙර කී තම බිරිඳගේ අනියත බියය. වේලාව රාත්‍රී 8 පසු වූවා පමණය. සුජී තම අත බැඳි ඔරලෝසුවෙන් වෙලාව බලා "මචං මම දැන් යන්නෝන! අවුලක් ගන්න එපා!! මෙහෙම හරි උඹලත් එක්ක සෙට් වෙච්ච එක ලොකු දෙයක්!" විවෘථ ප්‍රකාශයක් කරමින් නැගී සිටියේය. එතැන සිටි බොහෝ මිතුරන් "අවතැන්" වූ අයය! ඒ කිසිදු හේතු කාරණාවක් නිසා නොව සුජීට මෙන් මහත්වූ වගකීම් නොමැති බැවින් කාලය දීප දේශය ස්ථානය පිළිබඳ හැඟීම් දැනීම් නොමැතිව සිටි අයය. මේ තත්වයට සුජීට හා සමාන හැඟීම් දැනීම් ඇත්තෙකු වූවානම් ඒ පාසැල් යන කාලයේදීම විවාහයට පිළිපන් මුදන්නායක මිත්‍රයා පමණි. එහෙත් ඔහුද එතැන් නොසිටියේය. 

"ඕකනේ ඕකනේ!! උඹලත් එක්ක බැරි! මොනාද බං මේ අපි වගේ හිටපල්ලකො! හර්! හරි!! තව එක ෂොට් එකක් දගෙනම පලයං කො!! දුක තමයි!!" ගිරා හොටක් වන් නාසයක් ඇති මිතුරාගේ ඉල්ලීමටත් වඩා තමා තුල කවදත්; අරක්කු වෙත තිබෙන ආදරණීය බැඳීම විසින් සුජීට තවත් අරක්කු වඩියක් ලබා ගැනීමට; හිත ඉඩ පහසුකම් සැලසීය!

ඕනෑම අයෙකු හමුවීමෙදීට වඩා වැඩි මිතුරු බවක්, හැඟීම් බර බවක්, උනුසුම් බවක් වෙන් වීමේදී හිත තුල ඇතිවෙයි. එය සර්ව කාලීන සත්‍යයක් වෙයි. සිගරට්ටුවක් දෙදෙනෙකු විසින් බීමට සැලසුම් කරගෙන තිබී පලමු වැන්නා එය දෙවැන්නා අතට එය අතට පත් කිරීමට ප්‍රථම දැඩි උගුරක් අදින්නේ ඒ නිසා විය යුතුය!  එසේම සාදයක් අවසන් වීමට ප්‍රථම කිසිවෙකු හෝ ඉන් නැගී ඉවතට යාමේදී වත් කරගන්නා අන්තිම වඩිය; දෙයියනේ කියා තවත්  දෙදෙනෙකුට පැයක් පුරා බීමට සෑහෙන ප්‍රමාණයක් වන්නේද මා අර කලින් කියන ලද මිතුරුබව, හැඟීම් බර බව, උනුසුම් බව නිසා නො එසේනම් පෙරේත කම නිසාදෝයි සිතා ගත නොහැකිවන්නේ එසේ මා වඩියක් වත් කර ගත් සෑම අවස්ථාවක් පිළිබඳව කිසිදු මතක මාත්‍රයක් සිතේ කොයි මුල්ලකින් හෝ සොයා ගත නොහැකි නිසාය!

ඩබල් වඩියටත් වඩා වැඩි මධ්‍යසාර වඩියකින් සප්පායම් වුනු සුජී සෙමෙන් සෙමෙන් රථගාලේ පසෙකින් නවතා තිබූ තම රථය වෙත පිය මැන්නේය! "පොලීසිය ඉන්නවාද දන්නේ නෑ! අවුලක් නෑ මම එච්චර බීලයෑ!? අනික තාම කීයද? ආ! තාම 8.30 නේ!?" මෙසේ තමාටම කියා ගනිමින් සුජී රථයට නැග එය පනගැන්වීය!

සුජී තමා සතුව තිබූ කාල වර්ණ නිසාන් මාච් K11 රියේ නැග පාමන්කඩ වලෙන් ගොඩට පැමිණියේය.කොයි එකටත් රේල්වේ ඇවනි‍යු එක පැත්තෙන් නුගේගොඩට දානවා" මෙසේ සිතුවේ බේස්ලයින් පාරෙන් පැමිණ කිරුළපන හංදියෙන් හයි ලෙවල් එකට දාන ගමන් මය! "අම්මට සිරි මම වැඩකරන බැංකුව!" සුජීට කිරුළපන හැටන් නැෂනල් බැංකු ශාකාව ඉදිරියෙන් දකිත්දීම සිතුනි. "රෑට මාර ලස්සනයිනේ! රෑට වැඩට එන්න තියේනම්!? රෑට කොයිංද බං කස්ටර්මර්ස් ලා!? මගේ හිතටත් එන පිස්සු අදහස්! ඒ තරං බීලත් නෑ! ඒත් අන්තිම ශොට් එකට ෂැන්ඩි මදි උනානේ! ඒක ටිකක් අවුල්ද මංදා!? දැන් දමින්දි ඇති බල බල!? එයා තේරුමක් නැතිවම බය වෙනවානේ!  තාත්තිගේ තුවක්කුව ගෙනත් තියා ගන්න ඕනේ ටික දවසකට! " අතොරක් නැතිව සිතුවිලි සිතමින් සුජී සීබල් පටුමගින් රේල්වේ පටුමගටත් එතැනි නුගේගොඩ සුපරි වෙළෙඳ සැල ඉදිරි පිටටත් පැමිණියේය.  පොලීසිය ඉදිරිපිට නිළධාරීන් තම එදිනෙදා කටයුතු ගැන කියවමින් සිනහ වෙමින්ය!  "දවසෙ ලොස් ඇන්ඩ් ප්‍රොෆිට් බලනවා වෙන්ඩැති!!?" තනිව සිනහ වෙමින් නුගේගොඩ නගරයේ පහළට ගමන් කොට නාවල පාරට හැරෙන හංදිය පසු කොට් සිටි ටිම්බර් එක ඉදිරියෙන් සුජී තම රථය පදවමින්ය!

පිට කෝට්ටේට ස්ටැන්ලි තිලකරත්න මාවත දිගේ ජුබිළි කණුව හරහාද පාගොඩ පාර දිගේද ගමන් කල හැක. ජුබිළිකණුව හරහා යනවා යනු මිරිහාන පොලීසියේ මිදුල උඩින් යනවා වැනි ක්‍රියාවකි. ඒ නිසාම පාගොඩ පාරට අවතීර්ණව නිරෝමි රෙදි සාප්පුව පසු කරමින් දැන් වැලි පාර්ක් පාර අසලට යනවාත් සමගම පාර අයිනේ සිටි පොලිස් නිළධාරීන් කිහිප දෙනා තම රථයේ එළියෙන් සුජී හට දක්නට ලැබුනේය. 

"අම්මට සිරි! අවුලක් නෑ! මම ඒ තරං බීලා නෑනේ! ඔය කිව්වට මාට්ටු වෙයිද?" දෙලොවක් අතරින් පොලිස් පිරිස පසු කර පැදවීමට සිතමින් පදවන රිය ට ඉදිරියෙන් පොලිස් රුවක් වාහනය නවතන ලෙස සංඥා කලේය. වාහනය නැවැත් වූ සැණින් එතැනට පැමිණියේ තරමක පැසුණු සාර්ජන් වරයෙකි.

"මහත්තයා කොහේද මේ . . .?"

වාහනය තුලට ඉව අල්ලමින්ම පොලිස් නිළධරයා ඇරුණු ජනේලයෙන් ඇතුළට හොම්බ පෙව්වේය!

"ආ! මගේ බබා අසනීපයෙන්! මම මේ ඉක්මනට ගෙදර යනවා පිටකෝට්ටේ!"

"මහත්තයා බීලානේ; බබාට බෙහෙත් අරං දෙන්න යන්නේ !?"

වැඩේ එකසිය ගානටම අවුල්වූ බව සුජීට මේ වන විට තේරුම් ගොස් අවසන්ය.

අනං මනං වැල් බයිලා ගායනා කිරීමෙන් පලක් නැත! 

"මේ රාලහාමි ඔෆිස් එකේ පොඩි පාටියක් තිබුනා! මම පරක්කු වෙන හිංදා ඒකටත් ඉන්නේ නැතිව මේ ආවේ බබාට සනීප නෑ කියලා වයිෆ් කෝල් කල නිසා! බැරිද පොඩ්ඩක් . . . !? සුජී ටික වෙන්න ඇඹරුණේය.

"මහත්තයා ඕන තරම් පාටි වලට යන්න! අපේ විරුද්ධත්වයක් නෑ! ගිහින් හොඳට බොන්න!! ඒකෙත් අවුලක් නෑ!!! ඒත් බීලා වාහනයක් එලවන්න බෑනේ? ඒ හිංදා අපේ රාජකාරිය කරණ්න ඉඩ දෙන්න කෝ මහත්තයා කරුණා කරලා අපේ රාළහාමි කෙනෙක් එක්ක වාහනේ මිරිහානේ පොලීසියට ගේන්න!

"මේ මල්ලී මේ මහත්තයත් එක්ක මේ වාහනේ පොලීසියට ගේන්න!" සාජන් මහතා සුජීටත් එතැන හිටිය ළපටි රාළහාමි කෙනෙකුටත් එකවර වැඩ දෙකක් පැවරුවේය. රාළහාමි වාහනයේ අනෙක් පසින් ගොඩ වුනි. සුජී වාහනය ධාවනය කරමින් පිට කෝට්ටේ දෙසට ගමන් ඇරඹීය!

"අම්මට සිරි මේක බ්‍රහ්ම කෙළියකි! සාමාන්‍යයෙන් බීලා අහු උනාම එතැන් සිට වාහනය පොලීසියට තබා අඩි දෙක තුනක් වත් ගෙනියන්න දෙන්නේ නෑනේ!? ඒ වුනාට මේ සාජන්  කියන විදියට මටම වාහනය අරං පොලීසි එන්නලු! මං ඒතරං බීලා නැති හිංදා වෙන්නැති!! දැන් පොලීසි යන එක සාමාන්‍ය දෙයක්. අවුලක්නෑ! ඒත් දමින්දි මේ කිසිවක් දන්නේ නෑනේ!" සුජී මේ සියල්ල ගැන සිතමින් වාහනය පාගොඩ පාර දිගේ ධාවනය කරයි. 

"ඔව් කරණ්නට තියෙන්නේ එකම දෙයයි මේ ගමන්ම ගෙදරට ගිහින්ම යනවා! පිට කෝට්ටේ ඉඳන් බංගලාව හංදියට යන්න තියෙන්නේ ගියර් දෙකක දුරනෙ!?" මෙසේ සිතූ සුජී රාළහාමී ඇමතීය! 

"මේ රාලහාමි මට මෙහෙම පොලීසියට යන්න බෑ! ගෙදරට පොඩ්ඩක් ඝින් කියලාම යමු. මෙතන ඉඳන් පොඩ්ඩ දුරයි තියෙන්නේ!" 

රාලහාමී කිසිදු හැලහොල්මනක් නැතිව සිටියි. එයට කිසිදු ප්‍රථිචරයක් නොදැක්වීම යනු තවත් ආකාරයකින් එකඟ වීමක් යැයි සිතිය හැක! මෙය පිරිමි සාමාන්‍යයෙන් සිතන පිළිවෙළය! රථයේ ඉන්ධන ටැංකිය හිස්ව ඇති බව මේවන විට; ඉදිරි මීටර පුවරුවේ දැල්වුනු කහ පැහැති එළියකින් දන්වමින්ය. සත්තකින්ම මේ සංඥාව ලැබී දැන් සැහෙන කාලයක් ගතවූ බව සුජීට මතක වුනේ එවිටය. "වාහනේ පාර මැද්දේ නතර උනොත් මගුලයි!" සිත්මින් සුජී රථය පදවයි!

මාච් රිය පාගොඩ පාරේ පිටකෝට්ටේ දෙසට සුජීව සහ නම ගම නොදත් තරුණ පොලිස් අංකුරය සමග ගමනේය. තවත් විනාඩි ගනනාවකින් පිටකෝට්ටේ හංදිය පසු කරමින් වමට හැරී බංගලාව හංදිය දෙසට වාහනය හැරුණි!

"ම් මේ කොහේද? පොලීසිය තියෙන්නේ අනිත් පැත්තෙනේ!" පොලිස් නිළධරයා වික්ෂිප්තව තම හඬ අවදි කලේය!

"අනේ රාළහාමි මම කිව්වේ! මම ගෙදරට ගිහින් සිද්ධිය කියලා ටක් ගාලා එන්නං!" රාළහාමි තරමක් නිහඬ විය. පොඩි පොඩි වචන දැම්මද එය අහසේ පාවෙමින් සිටි සුජීට වගක් නොවීය!

රථය එපිටමුල්ල වංගුව පසු කර බංගලාව හංදිය දෙසට පිම්මේ යමින් විය. පොලිස් කොස්තාපල් වරයා තරමක් නොව බොහෝ සෙයින් නොසන්සුන් වී ඇති  බව සුජීට පෙනුනි! දැනුනි!! 

"දැං මං මොනවද ගෙදර ගිහින් කියන්නේ!? එළිවෙනතුරු කූඩුවේ ලගින්න වේවිද? දමින්දි මොනවා කියාවිද මංදා?" සුජී සිතමින්ම වාහනය බංගලාව හංදියෙන් බැද්දගාන දෙසට හැර වීය! 

"මේ කොහේද මේ යන්නේ?  නවත්තන්න!  සාජන් මහත්තයා කිව්වේ පොලීසියට එන්න කියලානේ !! " පොලිස් නිළධරයා සෘජුවම විරෝධය පලකරමින්ය. තවත් විනාඩි ගනනකින් නැතිනම් මීටර 100 කින් වාහනය බැද්දගාන පාරෙන් දුඹුට්ට දෙසට හැරෙන අඳුරු පටු මාවතට හැරෙන්නට තිබේ.

"හරි රාළහාමි මේ ළඟ මගෙ ගේ තියෙන්නේ! ගෙදරට ගියා ආවා!!"

තමාව මරණ්නට ගෙනයනවාදැයි නොදත් පොලිස් නිළධර පැටවාගේ සිත බියෙන් සැළෙන්නට විය!  වාහනය දුඹුට්ට දෙසට දිවෙන පටු අඳුරු මාවතට හැරෙනවාත් සමගම එතෙක් දැඩි නොසංසුන් තාවයෙන් සිටි පොලිස් නිළධරයා වාහනයේ තම පස වූ දොර විවෘථ කරගෙන එළියට පනින්නට පළමු පියවර ලෙස දොරේ අගුල ඇර ඒ දෙසට හැරුණි! 

එක වරම; සුජී දිගුකල වමතට පොලිස් කොස්තාපල් වරයාගේ කමිසයේ කොළරය අසු විය!

"අනේ රාළහාමි පිස්සු කෙළින්න එපා! මට තියෙන්නේ බීලා වාහනේ එලෝපු කේස් එක විතරයි මේකෙන් රාළහාමි පැනලා මට මර්ඩර් කේස් එකක් සෙට් කරණ්නනම් එපා!" 

තවමත් රථය දිවෙමින්ය! මද පවන පැන වමතින්; නීතිය කිරියාවේ යෙදවීම සඳහා තමාව අතඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිළධරයාව ගලග්‍රහනයෙන් ගෙන;  වාහනය දකුණතින් ගේ පදවන සුජී; පොලිස් රාළහාමිව අස්වසාලීමට  බන දෙසමින්ය! තමාට වාහනයෙන් පැන නිදහසේ  මැරෙණ්නටවත් අවස්ථාවක් නොමැති අහිංසක රාලහාමි පසෙකය!

"අ . . . නවත්තනවා! නවත්තනවා මේක!" රාළහාමි තොර තෝංචියක් නොමැතිව විධාන දෙමින්ය!

සුජීගේ අදහස තම නිවෙසට වාහනය ගෙන වැඩේ දමින්දි සමග බැලන්ස් කරගෙන පොලි කොස්තාපල් වරයාට කූල් ඩ්‍රින්ක් එකක් දී හිමි හිමීට මිරිහාන පොලිසියට මංගච්චන්නටය! මෝටර් රිය තම නිවෙස දෙසට ඔන්න මෙන්න තියා සුජී දුටුවේ ජීවිතයේ එතෙක් මෙතෙක් දැක නොතිබුනු සුභ දසුනය!

"අම්මට සිරි සී එල්  අංකල් . . .!"

ආයේ කථා දෙකක් නැත. මේ සිටින්නේ තමාගේ ඉටු දෙවියාය! ගැලවුම් කාරයාය!! මේ වෙලාවේ තමාගේ පිහිටට ඉන්නා එකම සරණය! DIG සී එල් රත්නායක!  තාත්තාගේ හොඳම මිත්‍රයා!

එතෙක් ගමන් කරමින් තිබුනු රථය එකවරම රත්නසේකර මහතාගේ නිවසේ විවෘථව තිබුනු ගේට්ටුව අතරින් ඇතුළුවිය. කිසියම් බැහැරක ගොස් පැමිණි රත්නසේකර මහතා ගමනට ගිය ඇඳුමෙන්ම ඉදිරිපස මිදුලේ පසෙක තිබුනු කුඩා මල් පඳුරු කිහිපයට හෝස් එකෙන් වතුර දමමින්ය! එකවරම තම මිදුලට හැරුණු රථය හඳුනාගත් ඔහු; තමා එතෙක් වතුර දමමින් සිටි පැලය දෙසටම ජල ධාරාව හරවාගෙන රථය දෙස බලාගෙනම සිටියේය!  වාහනයේ දෙපසම දොරවල් දෙක වේගයෙන් විවෘථවිය!  තමා වෙතට දිව එන තමාගේ අතිජාත මිත්‍රයාගේ පුතු සුජීව ව හේ ඉක්මණින් හඳුනා ගත්තේය! 

"ඇ ඇයි සුජීව . . . . ?"

"අංකල් මාව පොලීසියෙන් ඇල්ලුවා! මම් ඔෆිස් එකේ පාටියකට ගිහින් පොඩි ඩ්‍රින්ක් එකක් අරණ් ඉන්නේ! . . .  මේ රාළහාමි . .  . . . . . . . ." කථව කියා අවසන් කරණ්නට වේලාවක් නැතිවිය ! ඊළඟ නිමේශයේ සුජීව ගෙදර කැන්දාගෙන ආ රාළහාමි එතැනය!

"මෙයා මාව; මගෙ බෙල්ලෙන් අල්ලාගෙන මෙහේ එක්ක ගෙන ආවා! මං නවත්තන්න කියද්දිම!"

"නෑ අංකල් මේ රාළහාමි කාර් එකෙන් එළියට පනින්න හැදුවා  . . . !" කථාව නැගලා යන අතර රත්නසේකර මහතා; තම පොලිස් මොළෙන් යමක් අවබෝධ කරගනිමින් විය. "සුජී පොලිස් නිළධරයෙක්ව පැහැර ගෙන ඇවිත්ය! ඒ; තමාව අතඩංගුවට ගත් පොලිස් නිළධරයාවය!! ඔහුව අත් අඩ්ංගුවට ගැනීමට හේතුව බීමත්ව රිය පැදවීමය!" 

"ප් පුතා! මම DIG සී එල් රත්නායක! පොඩ්ඩක් ඉන්නකෝ මම ප්‍රශ්නෙ විසඳලා දෙනකල්!" රත්නායක මහතා වැඩේ තමා අතට ගන්නට සැරසුනේය. සිදුවූ අනපේක්ෂිත සිදුවීමෙන් උතුර දකුණ මාරුවී සිටි පොලිස් නිළධරයා හට "D. I. G." යනු තම දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨත්වයෙන් දෙවන් පෙළ නිළධරයෙකු නොවේදැයි කියාවත් තේරුම් ගැනීමට තරම් කල්පණවක් නොතිබුනි.

"මහත්තයා කවුරු උනත් බලන්නකෝ මේ මනුස්සයයා කරපු වැඩේ! එයා කොහොමද මාව මෙතනට ගෙනාවේ කියලා! යං කො පොලීසියට . . .!!" එම ප්‍රකාශයත් සමග රත්නායක මහතාගේ ඉවසීම උඩුගුවනේ පාවී ගොස් අවසන්වී තිබුනි!

"....... උඹ දන්නවද කාටද කථා කරන්නේ කියලා?!? මගෙ සපත්තුවේ ලේස් කුට්ටට්මත් උඹට වඩා පරණයි මේ දෙපාර්තමේන්තුවේ. මම පොලීසියට බැඳෙන කොට . . . . . .උඹ . . . .!!"

ඒවන විට සුජී අතඩංගුවට ගෙන ගෙදරට කැඳවාගෙන පැමිණ සිටි පොලිස් කොස්තාපල් වරයා පියවි සිහිය ලබමින් විය!

"සමා වෙන්න සර් . . . . !"

"මට පොඩ්ඩක් වෙලාව දෙනවා මම තමාගෙ ඕ අයි සී මහත්තයාට කථාකරලා වැඩේ බේරුමක් කරලා දෙනකල්!" රත්නායක මහතා මිරිහානේ ස්ථානධිපති අමතන්නට විය. මේ වන විට සුජීගේ බිරිඳද රත්නසේකර මහතාගේ බිරිඳද ගෙවල් දෙකේම සිටි අවශේෂ පිරිසද එතැනට රාශිභූත වී සිටියහ! 

"සුජී එන්නකෝ ගේ ඇතුලට! රත්නසේකර මහත්මිය සුජී ව නිවස තුලට කැඳවා වතුරත් ශීතකරණයෙන් එළියට ගත් "මින්ට්" ලොසින්ජර කන්නටත් දෙමින් විය. දමින්දි තමා දෙස "සෙනෙහෙබර" බැල්මක් හෙලමින් විය!

"මීට වඩා හොඳයි එතැනින්ම පොලීසියට ගියානං!" සුජී තමාටම කියා ගනිමින් විය!

මෙ සිද්ධීන් මෙසේ නිවස තුල සිදුවනාතරතුර රත්නායක මහතා මිරිහානේ පොලිස්ථානාධිපතිවරයා දූරකථනයෙන් සම්බන්ධ කරගෙන සිටියේය!

"සර් පොඩ්ඩක් ෆොන් එක  ඔය රාළහාමිට දෙන්න පුළුවන්ද?" ඕ අයි සී මහතා රත්නායක මහතාගෙන් ඉල්ලීය!

"රාළහාමි ඔය මහත්තයා බීලා කියලා හොඳටම විශ්වාසද?'

"එහෙම කියන්න බෑ සර්! සැහෙන්න මහන්සි පාටෙන් හිටියේ! ඒකයි අපි බැලුම් පුම්බන්න එක්කං එන්න ආවේ!"

"ඔන්න ඕක ඔය ඩී අයි ජී සර්ට දෙනවා . . . . .!"

" . . . . . . . . . . . . . . . . . . . . . . . . "

": . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . "

" . . . . . . . "

" . . . . . ."

" . . . . . . . . . "

"රාළහාමි යමු මම තමාව පොලීසියට ඇරළවන්නම්!" රත්නායක මහතා පොලිස් කොස්තාපල් වරයා ඇමතීය.

"අංකල් මම ගිහිං බස්සලා එන්නද . . . . ?" ඩෝප් මරගාතේ සුජී වැඩේට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය.

"මගෙන් මුකුත් අහගන්නෙ නැතිව ඔහොම ඉන්නවා මම මේ මනුස්සයාව පොලීසියට ගිහින් ඇරළවලා එනකං . . . . . ආයෙ ගිහිං ඇරළන්නත් අහනවා  . . . . . . . . !?"

රත්නසේකර මහතා එනතුරු සුජීට පැය භාගයක සුමදුර ධර්ම දේශනාවකට සවන්දීමට අවස්ථාව ලැබුනි. තවත් කෙටිවේලාවකින් ඩී අයි ජී රත්නායක මහතා සුජී ඉදිරියේ පාණීභූත විය!

"ඔයා කරලා තියෙන වැඩේ බරපතල කම දන්නවාද? රාජකාරි කරණ පොලිස් නිළධරයෙකුව කිඩ්නැප් කරලා! ඒකත් සිහියෙන් නෙවේ! හොඳටම බීලා. අනික මේ වාහනේ තෙලුත් නෑ . . . . . . . . . . .!

"ඇයි දෙයියනේ පොලීසියේ කූඩුවේ නිදා ගන්න ඒ වෙලාවේ හිත හදා ගන්න මට බැරි උනේ . . ?"  තම නිවසට යනාතරතුර සුජී තමාගෙන්ම අසා ගත්තේය! "එහෙම උන නං මේ මගුල් එකක්වත් නැත!"

සිකුරාදා සුජී වැඩට ගියේ නිවසටම ගෙන්වා ගත් ත්‍රී වීලරයකිනි. එදින බැංකුවට ගිය විගසම කල පලමු කාර්‍යය වූයේ හැකි ඉක්මණින් මුද්‍රිත මාධ්‍යයක තම මෝටර් රිය පිළිබඳව දැන්වීමක් පල කරවීමය! 

සති අන්තයේදී ඈත පලාතක අයෙකු පැමිණ සුජී වෙතින් කාල වර්ණ Nissan March K11 රථය රැගෙන ගියේය. යලිත් කිසිදු දිනෙක එවන් රථයක් මිරිහානේ පොලීසියට දකින්නට නොලැබුනි!



මට පිටුපා උඹ යනවද සුරතළියේ . . !

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...