Monday, March 29, 2021

192. නොරත රථ . . . . ! (6)

අයියා මල්ලී වාගේ අයියා මල්ලී . . !

කාරයක් යනු; ගෙදරක භාවිතා කරණු ලබන වංගෙඩිය, මිරිස් ගල වැනි තවත් එක් උපකරනයක් නොවේ. එය මහන මැෂිම, වොෂින් මැෂිම, ශීතකරණය, රූපවාහිණිය වැනියන්ත්‍රයක්ද නොවේ. එය; ඒවටා ගෙතුනු එතුනු සංස්කෘථියක් සහිත මෙවලමකි, ආයුධයකි, පවුලේ සාමාජිකයෙකි.
මීට කලෙකට පෙර "කාර් පිස්සුව" බ්ලොගයේ පෝස්ටුවකට ලියන ලද කොමෙන්ටුවක සඳහන් කර ඇති පරිද්දෙන්ම; යම් ගමනක් සාර්ථකව නිමකර ගෙදරට පැමිණ වාහනයෙන් බැස නිවෙසට යෑමට පෙර එයට ආදරණීය තට්ටුවක් දමා ස්තූති කිරීම මාගේ පුරුද්දකි!
මෙහ හුදෙක් මොළේ මඥ්ඥ්ං එකෙකුගේ පිස්සු විකාරයක් ලෙස පෙනුනද එය කිසිදා මාහට දැනී නොමැත!
සමහරක් රියැදුරන් තම වාහනයට නැග පන ගැන්වීමට ප්‍රථම එහි සුක්කානමට වැඳීම, හඳුන් කූරක් පත්තු කිරීම ආදියද; වාහන වෙත කෙරෙණ ආදරණීය ආමන්ත්‍රණ වල වෙනත් වෙනත් පැතිකඩයන්ය!
ඔස්ටින් 850 මිනි වැගනය ගෙදරට ගෙන ආ කාලය මාහට යාන්තම් මතකය. ගෙන ආ දිනයේද ඉන් පසුව බොහෝ අවස්ථාවලද එය දිවා කල ගාල් කොට තැබුනේ; අප නිවෙසට ඉදිරියේ වූ වරුසවිතාන මහතාට අයත් හිස් ඉඩමේ කජු ගහ යටය.
එය ගෙදරට ගෙන ආවේ හොඳින් ඉර පායා ඇති දිනෙක දවල් 12.00 ට ආසන්න වේලාවකය. එතැන් සිට බොහෝ කලක් යන තුරු පමණක් නොව මා අතින් ඈත්ව යන තුරුත් එය හොඳින් සෝදා පිරිසිදු කොට තබා ගත්තෙමි.
කුඩා බඳුනකට ගන්නා ලාම්පු තෙල් හෙවත් භූමිතෙල්; පින්සලක උපකාරයෙන් එන්ජිමේ ඕජස් ගැලුනු තෙල් මජං ආදිය සෝදා පිසදා වියලා තබා ගත්තෙමි.
වාහනය ගෙන ආ දිනයේ එහි ප්‍රධාන ලාම්පු වටා ඇති වලල්ල මතුපිටවූ කුඩා පැල්ලම් සිග්නල් දත් බෙහෙත් දමා ඔප කල අයුරු අදද මතකය!
මේවා සියල්ල සුන්දර මතකයන්ය.
6ශ්‍රී2416 යනු එම වාහනයේ ඔර්ජිනල් නොම්මරය නොවන බව කලකින් මාහට දැන ගන්නට ලැබුනි. මෙහි  නොම්මරය 3ශ්‍රී එකක් වුනු අතර මෙම නොම්මරය යටතේ මෙම රිය බෞතීස්ම කර ඇත්තේද මිනි පකීර් කෙනෙකු විසිනි. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔහු සතුව තිබූ මිනී රථයක් විකිණීමට යාමේදී 2416 එකතුව 13 වන නිසා එය විකිණීමට ඇතිවූ අපහසු තාවය නිසාය. එසේම එය මෙම පහත රූපයේ දක්වෙන පරිදි වූ පැනල් වෑන් එකක් කපා වැගනයක් සේ සැකසූ එකකි!

ඩිලවරි වෑන් හෙවත් පැනල් වෑනයක්

මිනි කාරය මෙන් මිනි වැගනය මාර්කට් නොවූ නිසා නොම්මර දෙක හා වාහනයේ ටැග්  එක මාරු කොට තිබුනි. අද මෙන් මොරිස් මයිනර් පොත්වලින් මිනි දුවන තරම් හිඟන යුගයක් නොවූ ඒ කාලයේ මගේ ආදරණීය වාහනයට ලැබී තිබුනේද ඔරිජිනල්ම උප්පැන්නයකි!
ඒවන විටත් වයස අවුරුදු 40 කට පමන කිට්ටු කර ඇතිමුත් එය ඇක්සිඩන්ට් ෆ්‍රී වාහනයක්; එනම් කිසිදා අනතුරකට මුහුණ පා නොතිබූ වාහනයක් විය. 
වාහනය ගෙන ආ දිනයේ එහි එන්ජිම එතරම් ජව සම්පන්න බවක් නොපෙන්වූවේය. පසුව මාගේ සොහොයුරිය රැකියාව කල ආයතනයේ සේවය කල හර්බට් පැමිණ ලෙඩේ නිට්ටාවටම සුව කර දුන්නේය.
හර්බට් ගැනද වචනයක් ලිවිය යුතුය.
හර්බට් යනු ඒකල යූනියන් කාබයිඩ් සමාගමේ සේවය කල එහි වෘත්තීය සමිතියේ පොරකි! ඔහු හිනාවෙන්නේ ඔහුට සිතුනු වෙලාවටය! කතා කරණ්ණේ වේගයෙන් කෙටි වාක්ක්‍ය කණ්ඩයන් වලිනි.
ගෙදරට පැමිණි විට; "තේ එකක් බීලාම වාහනේ බලමුකෝ!" කියා මා ඔහුට පැවසුව විට ඔහුගේ පිළිතුර වූයේ "තේ බොන්න බැරියැ ඕන වෙලාවක! වැඩේ බලමුකෝ!"කියාය.
ඕනෑම අළුත්වැඩියාවක් නිමවූ පසු ඔහුට අය විය යුතු මුදල අසා ගැනීමට අවම වශයෙන් එන්ජිමක් බිමට බෑමට ගතවන කාලය තරම් වේලාවක් බලා සිටිය යුතුය! ඉන්පසු ඔහුගෙ මහන්සිය; මහත්වූ මහන්සිය කින් අසාගත් සැනින් ඔහු නැවත මගෙන්  "ගාන වැඩිද?" කියාය! එයට පිළිතුරක් දෙන්නට කට අරින්නටත් ප්‍රථම ඔහුගේ අය කිරීම තවත් කීයකින් හෝ අඩුකොට නැවත ඔහුම පවසයි.
හර්බට් එවකට වයස අවුරුදු 40-42 කට පමණ වන්නට ඇත. ශක්තිමත් හොඳින් වැඩුනු දේහයකට හිමිකම් කියූ උස් කඩවසම් පුද්ගලයෙකි. ඔහු කුඩා මල්ලක සියළු අඬු යතුරු, ස්පැනර් බොක්ස් සොකට් ආදී එකී මෙකී නොකී සියළු අවි ආයුධ දමාගෙන CM125 සයිකලයකින් පැමිනේ. ඔහු එන්ජිම ඇර එහි ප්‍රථම ඇනය මුරිච්චිය ගැල වීමට ප්‍රථම අසන්නේ "ආවුධ හෝදන්න පැට්‍රෝල් තියෙනවා නේද?" කියාය. මන්ද සියළු අළුත්වැඩියා කටයුතුවලින් ඉක්බිතිව හේ; ස්වකීය අයුධ හෝදන්නේ පැට්‍රෝල් වලින් පමණි!
අදාල දිනයේ ඔහුපැමිණ එන්ජිම වරක් පන අන්වා බලා  රොකර් ආම්  ආදිය ඉවත් කොට කිසිදු අනුකම්පාවකින් තොරව හෙඩ් එක ගලවා පසෙකින් තැබීය.
එන්ජින් හෙඩ් එක හා බ්ලොක් එක මුද්‍රා තැබෙන ගෑස් කටය පළුදු වී තිබුනි.
ඔහුත් මමත් පංචිකාවත්තේ සුමන මෝටර්ස් වෙතින් ගෑස්කටයක් ගෙන ආවෙමු. දහවල් 12.00-1.00 වන විට එන්ජිම යතා පරිදි සවිකොට පනගැන්වීමට හර්බට් සමත්විය!
වෑල්ව් ටැපට් ආදිය ෆීලර්ගේජ් එකෙන් සීරු මාරු කල පසු එන්ජිමේ තිබූ "ඔස්ටින් මිහිරි නාදය" දැනටත් ඇහෙනවා ඇහෙනවා වාගේය.
එදිනම එන්ජිමේ තෙල්ද මාරුකොට ඩිස්ට්‍රිබියුටරය කරකවා එන්ජිම ඇඩ්වාන්ස්කොට  මිනි රථය සමන්විතවූ S‍U කාබියුරේටරය යාන්තමින් සුසර කර දී ඔහු දවල්ට බත් කෑමට ආයුධ හා දෑත් පෙට්‍රෝල් වලින් සෝදා අවසනදී මා වෙත හිස හරවා පැවසුවේ "දැන් ඕන දිහාක යන්න පුළුවන්!" කියාය.
සත්තකින්ම එන්ජිම හර්බට්ගේ සුරතින් තිරිහන් වී තිබුනි. එය නවජීවයකින් අපවෙත බැඳුනි. එතැන් පටන් අපගේ සියළු ගමන් බිමන් සඳහා තම ශ්‍රමය වැයකලේ ඔහුය!
මා වාහනයක් ගත් පසු එම වහනයට අදාල පොත පත ලං කර ගැනීම සිරිතකි. ඒ නිසාම කොටුවේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය අසල වූ ලේක් හවුස් පොත් හලෙන් MINI '59 to '69 All models Owners Workshop Manual- Haynes පොතක් බැරි අමාරුවෙන් මිළදී ගත්තෙමි. එය ඒ ආලේ හැටියට බර ගානකි. මම මේ කියන්නේ මිනිය 48500 ට ගන්නට හැකියාව තිබුනු කාලය ගැනය! පසුව කෙරුණු කුඩා අළුත්වැඩියාවන් බොහොමයක් මා එය පිටුවහල් කරගෙන කරගත්තෙමි.

මිළදී ගත් පොත දකුණේ! දෙවැන්න නොමිලේ !!

එහි ප්‍රධාන පහන් සඳහා විදුලිය සපයා තිබුනේ රිලේ එකක් හරහා නොව පොල්ලෙන් ගැසුවාක් මෙන් ඩිරෙක්ට් බැටරියෙන් වයරයක් ඇද දමාය. එම වයරය වාහනයේ ඇතුලට ගෙන ගැටයක් දමා රඳවා තබා වෙන් කොට තිබුනි. හෙඩ් ලයිට් දැමීමට අවශ්‍ය වේලාවට වයර දෙක එකය්ට අමුනයි. වයර ගැලවීමෙන් ප්‍රධාන පහ නිවී සැනහේ! වම් අතේ දඹර   ඇඟිල්ලේත් මහපොට ඇඟිල්ලේත සම පලුදුවී තිබුනි. ඒ වයර් ඇමිනීමේදීත් විසන්දි කිරීමේදීත් ඇතිවූ පුළුඟුවෙන් පිළිස්සීමෙන්ය!
වරක් අගනුවරට මහා වැස්සක් ඇද හැලුනේය. බිරිඳව කාර්‍යාලයෙන් ගෙන ඒමට මා කඩවත සිට අගනුවරය යාමට විය. වැස්ස දෙගොඩ තලා ගලා යමින්ය. වේලාව සවස 2.00-3.00 වන්නට ඇත. එහෙත් අහස හාත්පසම කළු කරගෙන ඇද හැලෙන වරුසාව කොළඹ මහළු කොට තිබුනි.
මා සෙමෙන් සෙමෙන් මාළිගාවත්තට ප්‍රවිශ්ඨ විය. මාළිගාවත්තේ දනක් පමන වතුරය. වටා ඇති කානු පද්ධතිය මාරගය වාරිමාර්ගයක් පත්කොට ගෙන තිබුනු අතර පන අදිමින් එහා මෙහා දුවන වයිපරය හෙවත් ඉදිරි පස වාමුවා පිසිනය මගින් යාන්තමින් මාර්ගය මාහට දක්වමින්ය!
මාගේ දුප්පත් වාහනය පසු කරගෙන ඉදිරියෙන් පැමිණි බස් රථය මැවූ සුනාමියෙන් එන්ජිම සෝදාපාළු කලේය.  ඒ සමගම එන්ජිම මැරුණි. එය පන ගැන්වීමට කෙතෙක් උත්සාහ කලද ඒ සඳහා කිසිදු අනුකූල තාවයක් එන්ජිම වෙතින් පල නොවුනි.
වාහනය ඇතුලත ජලයෙන් පිරී ගොස්ය.
ගියර් ලීවරය්; වාහනයේ පතුලින් මතුවී ඇති විශාල සිදුර නැතහොත් රවුම තුලින්; ධාවන්යේදී මාර්ගයේ දූවිලි ඒම වලකා ලීමට සිරකොට තිබූ පැරණි බෙඩ් ශීට් කැබැල්ල වාහනය තුල පාවේ. එය අදාල ගියර් ලීවර් බූට් එකක් එහි නොවීය.
මහ වැස්සේම වාහනයෙන් එළියට පැමිණ මා බොනට්ටුව ඇර එන්ජිමට ආදරණීය බැල්මක් දැම්මේය!
"ඇයි මෙහෙම මට කරණ්නේ?"
එන්ජිම නිසොල්මනේය. තවමත් ඇඟේ රස්නය කියා පෑවේ; පන ගොස් ඇත්තේ මොහොතකට පෙර දී බවයි.
බස් සුනාමියෙන් එන්ජිමේ විදුලි පද්ධතිය අකර්මණ්‍ය කොට ඇත.
ස්පාර්ක් පලග් හෙවත් පුළිඟු පේනු වලට ජීවය සපයන නහර එකින් එක ගලවා කටින් පිඹ; ඉන් නොනැවතී; බොනට්ටුවේ ඇතුළු පැත්තේ සිරකොට තිබුනු එන්ජිමේ තෙල් බැලීම සඳහා උපයෝගී කරගනු ලැබූ කුඩා මේස් බැනියං කෑල්ලෙන් පිසදා සවි කලෙමි.
ඊළඟට එම නහර පටන් ගන්නා ඩිස්ට්‍රිබියුටරයය!
ඩිස්ට්‍රිබියුටරයේ කප් එක හෙවත් පියනට සම්බන්ධවන වයර් කෙළවරවල්ද  ඒවා සවිවන සිදුරුද පිළිවෙලින් ගලවමින් පිසදමමින් සවිකලෙමි.
තව ඇත්තේ ඩිස්ට්‍රිබියුටරයේ කප් එක ගලවා පිස දැමීමත් ඉග්නීෂන් කොයිලයේ මුල බැලීමත් පමණි.
ඩිස්ට්‍රිබියුටරයේ පියන සිරකොට තිබුනු කුඩා තහඩු අගුල් දෙක පන්නා කප් එක ගැලවූවා පමණි.
ඩිස්ට්‍රිබියුටරයේ මුදුනේ සිට රෝටරයට විදුලිය සැපයෙන කුඩා කාබන් දඬු කැබැල්ල ගැලවී අඩියක් පමණ වතුරට වැටී අන්තරස්දානය වී ගියේය.
කප් එක තුල කාබන් දඬු කැබැල්ල එතෙක් වේලා රඳවාගෙන තිබූ කුඩා දුන්න හෙවත් ස්ප්‍රිනය තට්ට තනිවම එල්ලෙමින් තිබුනි.
කිරීමට කිසිදු දෙයක් නොමැත. 
වැස්ස නොනවත්වාම ඇද හැලෙමින්ය.
ඒ වන විට ඒ අසල සිටී මාවන්ම දුප්පත්වූ පැල්පත් වාසී පිරිසක් මගේ දුක්බර කථාව රසවිඳිමින්ය.
වාහනය පන ගැන්වීමට නම් ඉග්නීශන් කොයිලයේ සිට ගලා එන අධිබල විදුලි ධාරාව රොටරය මත පතිත  වියයුතුමය. එසේ නම් කුමන් හෝ දඬු කැබැල්ලක් සොයා ගත යුතුය. එය ලෝහමය එකක් වුවහොත් රොටරය තුවාල වේ. 
එය කාබන් මගින් යොදවා ඇත්තේ මෙනිසා විය හැක.
කාබන් කූරක් හොයන්නේ කෙලෙසද?
මෙවන් කාලගුණික තත්වයක් තුල කාබන් කූරක් තබා ගල් ඉන්නක් වත් හොයා ගැනීමට මෙම තෙත බරිත ගෙන්දගම් පොලොවේ උගහටය.
මොහොතකින් මාගේ ටිකිරි මොලයට අදහසක් ගලා ආවේය!
වහාම පාරේ සීමාවෙන් ඔබ්බේ සිටි නරඹන්නෙක් අමතූවෙමි.
"අයියේ පරන පෙන්ටෝච් බැටරියක් හොයා ගන්නට පුලුවන්ද? ලොකු උදව්වක්!"
"ඇයි බැටරියක් දැම්මොත් වැඩේ හරිද?"
"නෑ අයියේ ඒකෙ මැද්දේ තියෙන කාබන් කූරයි ඕන!"
"විටුක්කු පොඉට්ටු රිමොර්ට් සින්න් බැටරි කලටි වාංග!"
ගෙදර ගිහින් ටීවී රිමෝට් එකේ තියෙන අරං වරේං - පාරේ අයියා ලඟ උන්නු පොඩි එකෙකුට අන කලේය!
විනාඩි ගානකින් කොල්ලා බැටරියකුත් මිට මොලවාගෙන එතන!
පේමන්ට් එක උඩ තියාන වාහනේ රෝද ඇන ගලවන ගැජට් එකෙන් බැටරිය තඩලා ගෙන කාබන් කූර මතු කරගන්න එක මට ගේමක් තිබුනේම නැත.
වෙලාවේ හැටියට බැටරිය කටින් විකා හෝ කාබන් කූර අතට ගන්නා මානසකිත්වයක් සිටි මා කාබන් කූර ගෙන ඉන් අඟල් භාගයක තුන්කාලක පමන කෑල්ලක් කඩා සීරුවට දුන්නට සිර කොට ඩිස්ට්‍රිබියුටර කප් එක ස්තාන ගත කලෙමි.
ඉග්නීශන් කොයිලයේ මුලද වයරය ගලවා පිරිසිදු කල මා ජනේලයෙන් අත දමා යතුර කරකවා ඉග්නීශන් ඔන් කොට එන්ජිමෙම පසෙකින් සවිකොට තිබූ විශාල රිලේ එක අතින් තද කොට එන්ජිම පන ගැන්වීමට උත්සාහ කලෙමි.
මෙම වාහන වල ඉග්නීශන් රිලේ එක අතින් ඔබා පන ගැන්විය හැකිව තිබුනි.
එන්ජිම වට දෙකක් තුනක් කැරකී පන ඇදෙමින් යළි උප්පත්තියට පත්විය.
මලවුන්ගෙන් නැගිට ගත් මිනියද පදවාගෙන මා බිරිඳද කැටිව දෙයියනේ කියා කඩවතට පැමිණියෙමි.
විශ්වාස කරණ්න ආයිබොවංඩ වාහනේ තවත් වසර ගනනාවක් මා සමග සිට ඉවතට යන තෙක්ම බැටරි කාබන්කූර එලෙසින්ම වන්නට ඇත!
කොටින්ම එය යතා තත්වයට පත්කල බවක් මාහට මතක නැත!

හේන්ස් තම පොතේ පෙන්වා ඇති රූපයේ අංක 2 යටතේ "බැටරි කූර"

එකල වසිකව ඔහුගේ කුඩා නාන බේසමේ නිදිකරවා වටේට කොට්ට ආදිය සිර කොට පිටුපස අසුනට ඉදිරියෙන් බිම තබාගෙන අප ගමනේ යෙදුනෙමු. වරක් එය; ජයවර්ධන පුර නව රෝහල පාරෙන් පමුනුවට හැරෙන හංදියේ සිට කිඹුලාවලට තෙක් කිලෝමීටර 2-3 ක් පමන මා තනිවම තල්ලුකරගෙන ආවෙමි. ඒ පැට්‍රෝල් සොයාය.
වරක් විදුලි පහන් ඩිම් කිරීමට බැරිවී පොලීසියට කොටු උනෙමි. වයර් අමුනා දල්වන විදුලි පහන් ඩිම් කරණ්නේ කෙලෙසද?
මිනි රථයේ තිරිංග පද්ධතිය බොහෝ දුර්වල එකක් විය.  එය  පැදවීමට මහත්සේ අසීරුවක් ගෙන ආවේය.
එකල ලංකාවේ මිනි බාස්ලා කීප පොලක් සිටියෝය. ඒ අතුරින් නම් දරාපු වැඩ්ඩා වූයේ මිනී සිරා හෙවත් සිරිවර්ධනය. ඔහුගේ ගම් පලාත මාතලේ මෙන් යාන්තමට මතකය. දැන් වැඩ්ඩෙකුවන රනිල් සිරාගේ ගෝලයා ලෙස ග්‍රෑන්ඩ් පාස් හි කලින් රාජා බීඩි වැඩපොල පිහිටි ස්ථානයේ සිටි විජයානන්ද ලඟ සිටි අයෙකි.
එකල මහරගම සිටි සිරිල් අයියාද තවමත් බොරැල්ලේ මොඩල් ෆාම් පාරේ වැඩ කරණ ලකී අයියාද මිනී උස්තාද් අලී ඛාන් ලාය!
මාගේ මිනියෙන් මා කල අද්විතීය ක්‍රියාවක් වන්නේ මුළු මහත්බ්‍රේක් පද්ධතියම ගලවා වාහනයේ පසුපස දමාගෙන බොරැල්ලේ ලකී අයියා හමුවට; මහ දවල් මිනිය පදවාගෙන කඩවත සිට උඩුපිල, දෙල්ගොඩ, කඩුවෙල, මාලඹේ, බත්තරමුල්ල හරහා ගෙන ඒමය!
මෙවන් වික්‍රමාන්විතයක් (මෝඩ කමටහෝ) කල අන් අයෙක් වෙතොත් ඒ අපගේ මිත්‍රයෙකුවන මීරිගම නුවන් මල්ලීය. ඔහු වාහනයේ මාස්ටර් පොම්පයේ වොෂර් ගලවා සාම්පල් පත්තර කෑල්ලක ඔතාගෙන බඩු ගෙනෙන්නට ඒ වාහනෙන්ම  යන ඔරිජිනල්ම බුවෙකි. ඌ ගැනද වචනයක් ලියන්න අවසර. ලංකාවේ විශාලතම මෝටර් සයිකල් එකතුව ඇත්තේ ඔහු වෙතය. එය ගනනින්  200 ක් පමණ වේ.

මිනි මෝක්

එකල මිනි  සඳහා බඩු තිබුනේ පංචිකාවත්තේ සුමන මෝටර්ස් ලඟ හා බම්බලපිටියේ කොස්මික් ඔටෝ එකේ ඉක්බාල් ලඟය. පසුව පිටකෝට්ටේ එපිටමුල්ලපාර අසලද අයෙකු අමතර කොටස් අලෙවිය සිදුකල මුත් මේවන විට ඒ අයට කුමක් සිදුවී ඇත්දැයි කියන්නට නොදනිමි. ඉක්බාල් ලඟ 5 ශ්‍රී සුපිරි මිනි මෝක් එකක් තිබුනි. මිනි මෝක් ලංකාවට ආවේ ඩඩ්ලි සේනානායක රජය යටතේ ආරම්භවූ "වගා සංග්‍රාමය" වෙනුවෙන් බව මා අසා ඇත. එය ගනනින් 200 කි. 
මිනි ලෝකයේ සාඩම්බර නිපැයුම මිනි මෝක් එක යැයි මම අදද සිතමි. එහෙත් ලෝලීන් අතර ප්‍රචලිත වන්නේ 1275 එන්ජිම සහිත මිනි කූපරයය. 1275 හෙවත් ටුවෙල්ව් සෙවෙන්ටි ෆයිව් එන්ජිම ලංකාවේ දිග් විජය කල එන්ජිමකි! එකල මිනි 848CC, 970CC, 997CC, 1071CC හා 1275CC යන ආකාර ගනනකින්ම සාදා තිබුනි. පසුව 1098CC ධාරිතාවයෙන්ද එන්ජිමක් නිපදවා ඇත. 
මාගේ සොහොයුරිය සේවය කල ඒකල යූනියන් කාබයිඩ් සමාගමේ පිළිගැනීමේ නිළධාරිණිය ගේ සැමියා හටද එක්තැන්වූ ඔස්ටින් මිනියක් තිබුනි. වරක් ඔවුන්ගේ නිවස අළුත්වැඩියා කිරීමේදී මිනිය ගේ ඇතුලේ තිබියදීම එය වටා බිත්ති බැඳ තිබුනේය!
මෙම කථාවට ආසන්නතම සිදුවීම ලෙස මාගේ මතකයට  එන්නේ අපගේ පාසැලේ ක්‍රිකට් ක්‍රීඩාගාරයේ ක්‍රීඩකයින්ගේ ඩ්‍රෙසිං රූමය හෙවත් ඇඳුම් ඇඳගැනීමට තිබූ කාමරය තුල සිට සෑදූ; තරඟ මැදදී ක්‍රීඩකයින් වෙත සිසිල් පැන් ගෙන යාම සඳහා සෑදූ බීම කරත්තයේ හෙවත් ට්‍රොලියේ කථා වස්තුවය! සිදුවූ  දේ ලියන්නට මා වචන නාසති නොකලද ඔබට එය සිතා ගත හැකි බවට මා විශ්වාස කරමි!



ඔරිජිනල් මිනි කැබ් රියක් ඔසී අබේගුණසේකරගේ බාල සොහොයුරා වන රාජා ලඟ තිබුනු බව මා අසා ඇත. මාකොල ද එවන්ම වූ රථයක් ඇත. මා දුටු හොඳම මිනි වැගනය වූයේ විජයානන්දගේ නිල් පැහැති මිනි වැගනයයි. ලොකය පුරා මිනි ප්‍රචලිත වූයේ The Italian Job චිතර පටය තිරගත්වූ පසු බව මා අසා ඇත.

මිනි රියක් පැදවීමේ ආශ්වාදය එය ප්‍රමාණයෙන් කුඩා වූවාට සැප පහසුවෙන් හා මානසික සුවයෙන් අනූනවූ හා අද්විතීයවූ; කිසිදු දිනෙක එපා නොවන ආදරණීය වස්තුවක් වන බැවිනි!
මාගේ ආදරණීය මිනියේ දුක්ඛ දායක වෙන්වීම එන සතියේ . . .!

Saturday, March 13, 2021

191. නොරත රථ . . . . ! (5)

 

මිය ගිය හිතවත් කමෙක නොමියෙන මතක!

ෆියට් 132 රථය; මා වෙතින් ගෙනගියේ එක් දවසක සන්ධ්‍යා භාගයේ මිලදී ගත් සුපින්වතා වෙනත් වාහනය ගෙනවිත් ඇදගෙනය. එය ඒ තරමට අබලං වෙලා නොතිබුනත් බට් කරලා දැම්ම ඩිස්ට්‍රිබියුටරෙන් වැඩේ සාර්ථකව ඉටු නැති වගක් පෙනුනි. අනෙක ඒ වෙන කොට වසර ගනනාවක් මා ගේ සොයුරියගේ නිවසේ පැත්තක ගාල් කොට කිසිදු සැපක් නැතිව තිබුනු රථයේ බැටරිය ඒ වන විට මිය ගිහින් තිබුනි.

මා රැකියාව සඳහා කොළොඹින් පිටතට යෑම සමගම ෆියට් රිය පිළිබඳව සොයා බැලීම මා වෙතින් ගිලිහී ගියේය.

පිටකෝට්ටේ මාගේ සොයුරියගේ නිවසේ නොතෙමෙන්න නවතා තිබූ රථයේ කල දසාවඔවුන් ෆොර්ඩ් එස්කොට් රථයක් ගත්තට පසුව සෙනසුරු ඒරාෂ්ඨකය ලැබුවේය.

මාස කිහිපයකින් සොයුරියගේ නිවසට යන විට මාගේ රථය මිදුලේ කොනක මාස ගනනාවක් තිස්සේ රැඳුනු මාගේ වස්තුව දක්නට ලැබුනේය. 

ඔවුන් මාගේ ෆියට් රිය මිදුලට තල්ලු කොට දමා සාරියකින් වසාදමා තිබුනු අතර අවම වශයෙන් පොලිතීන් යාර තුනක් ගෙනැවිත් රථය වසා දමන්නටවත් ඔවුන් කාරුණික වී නොතිබුනි.

මාහට වාහනයක් නොමැති කාලයේ වෙනත් මිත්‍රයෙකුගේ හෝ ඥාතියෙකුගේ වාහනය දුටු විටදී සිත පිනා යන සතුටකින් හදවත් හිරිවැටී යයි. එම වාහනය කිළිටුව වෙත්නම් එය සෝදා හරින්නට මා සිත පොළඹවයි. මා එසේ කල අවස්ථා අපමණය.

වරෙක රාවතාවත්තේ  රන්ති රොහාන්ගේ කාර් සේලයේදී ඔහුවාහනයක් පසුපසට ගැනීමට යාමේදී පසුපස වාහනයේ ගැටෙතැයි බියෙන් මා වාහන දෙක අතරට කකුල තිබ්බේය. මේවා බුද්ධි ගෝචර කරුණු කාරණා නොවුනත් මිතුරෙකු වෙනුවෙන් මාඑසේ කලෙමි. එකම සතුටට කරුණ වන්නේ රන්ති රොහාන් හට අදද එය හොඳින් මතක තිබීමය. සමහර මිතුරු හමු වලදී ඔහු මධුවිතෙන් සප්පායම්ව මා වැළඳගෙන ඒ මතකයන් නිරාවරණය කිරීමේදී හිතට මහත්වූ සතුටක් දැනේ! එය පෘථග්ජන ස්වරූපයකි.

එකල මා සතුවූ මූල්‍යමය වශයෙන් වටිනාම වස්තුව වැස්සට "වේලෙමින්" අව්වට "තෙමෙමින්" සාරියක් ඇඳගෙන සිටිනු දැකීම මගේ හිත කම්පනයට පත් කල දසුනක් විය. මාගේ අවශ්‍යතාවය වූයේ; මෙම වාහනය මාහට ගැනීමේදී උදව් උපකාර කල මාගේ මිත්‍ර කටුබැද්දේ රන්ති රොහාන්ගේ ගෙදරට ගිහින් වාහනය දිගේලි කිරීමටය. එතැන මොනවා නැතත් වාහනයට නොතෙමී ඉන්නට තැනක් තිබුනි.

කටුබැද්දට ගෙන ගොස් ආපසු එදිනම හැරෙණ තැපෑලේ ගෙනැවිත් දීමට වත්; ඔවුන්ගේ එස්කොට් රථයේ බැටරිය පැය ගනනකට ලබා දීමට ඔවුන් පසුබට විය.

මාගේ සොයුරියගේ සැමියා හට ඔවුන්ගේ රථය ගන්නා තෙක් වාහනයක් පැදවීමට නොහැකි විය.

සතියේ ඉඩ ලැබෙන ලැබෙන වාරයක් වාරයක් පාසා කටුනායක සිට පිට කෝට්ටෙට ගොස් ඔහුට රිය පැදවීම හුරු කොට නැවත කටුනායකට රෑ පානේ පැමිණීමේ ප්‍රථිපලයක් ලෙස ඔහු පැදවීම ඉගෙන ගත්තේය.

ඒ කරුණු කාරණා කෙසේ වුවත් බැටරියක් සොයා ගැනීමට නොහැකිව මා ඔවුන්ගේ නිවෙසින් පිට වීය. ඔවුන් වෙසෙන අලකේශ්වර පාරේ මීටර 500 ක් පමණ දුරක් එන විට ඒ අසල සිටි  මිත්‍රයෙකු මාගේ ගමන ගැන විමසා ඔහුගේ පියාගේ පැරණි රථයේ බැටරිය ගලවා දීමට කාරුණික විය. මිත්‍රයාගේ මහළු මිත්ත්ණිය බෙහෙවින් රෝගාතුර වී අවසාන අඩියේ සිටි අතර මෝටර් රිය ඉතා අවශ්‍ය මොහොතක එහි බැටරිය ගලවා දීමට තරම් ඔවුන් මාහට ඉතා කාරුණික විය.

බැටරිය දමා සැනෙන් පන ගන්වා ගත් රිය කටුබැද්දේ රන්ති රොහාන්ලාගේ ගෙදර ගාල කර නැවත බැටරිය ගලවා කටුබැද්දේ සිට පිට කොට්ටේ අලකේශ්වර පාරට ගෙනෙන විට රාත්‍රී 12.00 පසුවී තිබුනි.  මිත්‍රයාගේ නිවස අසලට පැමිණ බලන විට ඔවුන් දොරවල් වසා විදුලි පහන් නිවා නින්දට ගොස්ය. ගේට්ටුවද  ඉබි යතුරු යොදා අගුළු  දමා ඇත. පසුව මාගේ ඉනෙහි බැඳි පටිය ගලවා එය උපකාරී කොට; බැටරිය ගේට්ටුව ඇතුලට පහත් කොට නොහොත් බා; පාගමනින්ම බොරැල්ලටද එතැනින් පිට කොටුවටද ගොස් සීදූවේ මාගේ නවාතැනට ලඟා වුනෙමි!

කඩවත පදිංචියට ආපසු; ෆියට් රිය කටුබැද්දේ සිට  ගෙන ආවේය. රැකියාව කල ස්ථානයේ මිතුරෙකු වූ; බියගම ඉන්ධන පිරවුම් හල අසල සිටි අයෙකු; එය ගෙඩි රුපියල් 22000 කට මිළදී ගැනීමට එකඟ වීම මට මහත් ඉස්පාසුවක් විය. 

රථය ඇදගෙන යාම සඳහා මාගේ මිතුරා ඔහුගේ මිතුරන් පිරිසක්; වෑන් රථයකින් පැමිණුනෝය. ඔවුන් ඒ සඳහා සුදුසු කඹ පොටක් රැගෙනා විත් නොමැති වූ අතර මා ඒ සඳහා; වැටකින් ගලවා ගත් කටු කම්බියක් ලබා දී ඉන් නොනැවතී එය වාහනයට ගැට ගසා දුනිමි. මෙය බලා සිටි ඔහුගේ මිතුරෙකු මා ගෙන් විමසූවේ "වාහනේ මුගෙ ඇඟේ ගහන්න; පුදුම කැපවීමක් නේද තියෙන්නේ?" කියාය. සත්තකින්ම බොහෝ කාලයක් එක තැන තිබුනු එය මා කෙරෙන් වියෝවීම; ගෙදරක බොහෝ කලක් ඔත්පලව සිටි රෝගියෙකු මිය යාම වැනි "සතුටු දායක" කාරණාවක් නොවේ යැයි කාට නම් කිව හැකිද?

ඉන්පසු මාසයක පමණ කාලයක් වාහනයක් නොමැතිව සිටියෙමි. විකුණා දැමූ වාහනය තිබුනද එය නොතිබුනා හා සමානය. එහෙත් ධාවනය නොවන මට්ටමේ හෝ මෝටර් රථයක් නිවසේ ගරාජයේ පසුවීම එක අතකින් පොඩි ගැම්මකි.

ෆියට් රථයෙන් එම ගැම්ම මාහට මොනවට සපයා තිබුනි. 

කිසියම් අමුත්තන් පිරිසක් ගෙවදින බව කල් තියා දැන ගත් විට; නිවෙස අස්පස් කොට, මකුළු දැල් කඩා, ඇමැද පොඩි පහේ ඇන්දිල්ලක් කරණා කල; මා විසින් තවත් අමතර වැඩක් ඊට එකතු කරගෙන සිටියෙමි. ඒ පන ගැන්වීමට නොහැකි ෆියට් රථය මිදුලට තල්ලු කොට හොඳින් හෝදා පිසදා නැවත ගරාජය තුලට තල්ලු කොට ගාල් කිරීමයි!

නිවෙසට පැමිණි අමුත්තන් වාහනය පිළිබඳව විමසීමේදී; එය ගුරුගේ මැණික් කහවත්ත සතුව තිබූ වාහනයක් බව, ඝන සෙන්ටිමීටර 2000 ක සිලින්ඩර ධාරිතාව, කැමි දඬු දෙකකින් ක්‍රියාත්මක වන වෑල්ව 16, බල මෙහෙයුම් සුක්කානම් පද්ධතිය හා ඉදිරි පස දොර වීදුරු වැනි කාරණා සහිතව තෙලක් බෙදීමට මා හට එකල කට පාඩම්ව තිබුනි.

ගමනක් බිමනක් යෑමට වාහනය නොමැති වීමේ හීනමානය තුනී කිරීමට එය බොහෝ සෙයින් ප්‍රමානවත් විය!

කඩවත දැනටත් ජීවත් වන නිවස පිහිටා ඇති ආසන්නතම නගරය කඩවත වූවාට එය පිහිටා තිබුනේ කඩවත නගරයට කිලෝ මීටර 6 ක දුරකිනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගමක් වූ එම ප්‍රදේශයට ප්‍රධාන මාර්ගයේ සිට ප්‍රවිශ්ඨ වීමට තිබුනු පහසුම මාරගයේ තිබුනු කුඩා පාලම කැඩී කිසිදු වාහනයකට යාමට  ඒමට නොහැකි තත්වයක පසු විය. වාහනයක් නොමැතිව ගමන් බිමන් යාම තබා ලුනු මිරිස් හාල් තුන පහ ටිකක් හෝ සපයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් විය.

මීට වසර 25 කට පෙර ඒ සඳහා කිලෝ මීටර 3 ක පමණ වටයක් ගමන් කිරීමට සිදු විය.

රැකියා සඳහා ගමන් කිරීම එවන්ම වූ සුපිරි කට්ටක් විය.

මන්ද කැඩුනු පාලම මතින් දමා තිබූ පොල් කොටය මතින් ගමන් කිරීමට ගොස් අත පය කඩාගත් අයගේ ලැයිස්තුවට අපගේ නම් ඇතුළු කර ගැනීමට අවශ්‍යථාවයක් නොතිබූ බැවිනි!

මා රුපියල් කමි! පැස්ටෝල් බොමි!! කියාන උපන් CB 125 T

එකල අපගේ ගමන් බිමන් පිරිමසා ගත්තේ බිරිඳගේ ලොකු මල්ලී විසින් පාවිච්චි කිරීමට ලබා දී තිබුනු හොන්ඩා CB125T බයිසි කලයෙනි. 125 ට්වින් ඇන්ජිමේ සිළින්ඩර දෙක වෙත මදි නොකියන්නට; ආයේ කාටවත් කටක් ඇරලා වචනයක් කියන්නට බැරිවෙන්නට; පැට්‍රෝල් පෙවීමට කාබියුරේටර දෙකක්ද එන්ජිමට සපයා තිබුනි. අද කාලේ මරුටියක් ගානට පෙට්‍රොල් බොන එම සයිකලය අපගේ එදිනෙදා කටයුතු සෑහෙන පමණට ඉටු කොට දී තිබුනි.

එකල මා සේවය කලේ යටියන්තොටය. මා දින පතා කඩවත සිට යටියන්තොටටත් ආපසු ඉර ගෙදර යන වේලාව අල්ලා ආපසු කඩවතටත් ගමන් කලේ පෙරකී යතුරු පැදියෙනි.

යටියන්තොට - කරවනැල්ල - රුවන්වැල්ල - ගෝනගල්දෙනිය - ගල්බැම්ම - නඩුවත්ත - මිල්ලතේ හංදිය - කිරිඳිවැල - රදාවාන - වැලිවේරිය ඔස්සේ උදෙටත් හවසටත් මා දින පතා ඉහලටත් පහලටත් ගම්න් කලෙමි.

රුවන්වැල්ලත් කිරිඳිවැලත් අතරදී වැස්සකට හසු නොවුනේ නම් එය පුදුමයකි!බොහෝ දිනවල හවස් වරුවේ ගෙදරට ගෙවදින්නේ ඉහෙන් කනෙන් වතුර පෙරාගෙනය!

මේ කාලය වන විට වසික බිහිවන්නට ආසන්නවී තිබුනි. එහෙත් අපගේ ගමන් බිමන් බොහොමයක් සුපුරුදු පරිදි සිදුවූයේ යතුරු පැදියෙන්මය. සවස් යාමයේ බිරිඳව හිඳුවාගෙන යතුරු පැදියෙන් නිවෙස දෙසට එමින් විය. නිවසට එන්නට පෙර මාර්ගයේ තරමක පල්ලමක් තිබුනු අතර එයට සයිකලය ප්‍රවිශ්ඨ වීමත් සමගම සයිකලය නවතන ලෙස බිරිඳ හඬ නැගීය.

නවතා බලන විට ඇයගේ සාරි පොට සයිකලයේ එතී දකුණු අතත් ගෙලත් පහතට තෙරපී තිබුනි.

ඔබ විශ්වාස කරණ්න; එය දැකීමෙන් මා තුල ඇතිවූ ආවේගයේ තරම!

සයිකලයෙන් බිමට නොබැසම සාරි පොටේ ඉහලින් අල්ලා සයිකලය පසුපසට දිවෙන්නට වැරෙන් ඇද්දෙමි!

අදටත් ඇයගේ අතේ සාරි පොට ඇදීමේදී ඇතිවූ පිලිස්සීමේ සළකුණ ඇත.

එහෙත් සිදුවීමට ගිය අවසනාවන්ත හා භයානක සිදුවීම වසිකට නොදැනෙන්නට ඇති.

මේ සිදුවීම් මෙසේ සිදුවන විට බිරිඳගේ නිවසේ ඉසූසූ ජෙමිනි කාරයක්, ලෑන්ඩ් රෝවර් සීරීස් 3 මැලේරියා මොඩලයක්, ටොයෝටා හයි ඒස් ඩොල්ෆින් රථයක්, ඉසූසූ 250 ටිපරයක්, ටොයෝටා ඩයිනා තට්ටුවක් ගාල් කොට තිබුනි. අප ඒවා ඉල්ලා ගත්තේ හදිසියේ බිරිඳ කාසල් වීදියේ සායනය වෙත යෑමට හෝ වෙනත් දුර බැහැර යෙදෙන උත්සවයකට යෑමට පමණි! වාහනයක් ඉල්ලීමට ගිය බොහෝවිට මාමණ්ඩිය වෙත ඉල්ලීම ඉදිරිපත් කොට විනාඩි 15 - 20 එය ඇපෲ වෙනතුරු බලා  සිටිය යුතු විය! 

සිදුවෙන්නට ගිය සයිකල් අනතුරෙන් කෙටිකලකින් මාගේ සොයුරිය අපගේ නිවෙසට පැමිනුනාය. ඇයත් ඇයගේ සැමියාත් සිදුවූ ත්‍රාසජනක නාට්‍ය ජවනිකාව; මාගේත් බිරිඳගේත් අභිනවයන් සමග  ඇහි බැමි අහසට හරවාගෙන උඩට ගත් හුස්මෙන් යුතුව අසා සිටියෝය!

අවසානයේ ඇයගෙන් ඊට පිළියමක් ලෙස "ඔන්න ඔයා  ආයෙ; මීට පස්සෙ බයිසිකල් වලනම් යන්න එපා!" කියා අගනා අවවාදයක් දී පිටව ගියාය!

ඒවන විටත් ඇයගේ නිවසේ ෆෝඩ් එස්කෝට් රථය; ඔළුව හිට පොරෝගෙන හිම නින්දේය! එකල එම රථය මාසයකට නොව මාස තුනකට වතාවක් හෝ ගමනක බිමනක යෙදුනේදැයි සැක සහිතය. 

ඇයගේ අවවාදය සමග ඉන්නා තැන අමතකව ගිය මා " කරණ්න දෙයක් නෑ බයිසිකලේම තමයි යන්න වෙන්නේ! එහෙම් නැතිව යන්න එකක් නෑනේ !" කියා පැවසූවද සිදුවූ වෙනසක් නොවීය!

අහක බලාගත් ෆෝඩ් එස්කොට් රථයක්

"ඔයාට මගේ වාහනේ දෙන්නද?" කියා අසන්නට එකල හදවතක් නොවීය.  "හරි බං උඹට ඕන දවසක වාහනේ තිබුනොත් අරං පලයන්!" කියන නිරෝශන් අයියලාවත් "ඉතිං ඔයා මගේ වාහනේ ගන්නකෝ!!" කියා එය හුදෙක් වචන සැට් එකකට පමණක් සීමා නොකොට මාස ගනනාවක් වාහනයක් ලබා දෙන රුශාන් මල්ලිලා වැනි සසර බැඳි සහෘදයින් එකල සිටියේ නැත! හදිසියේ හෝ ඇද පලුද්දක් නැතිව ඉල්ලා ගැනීමට වාහනයක් තිබුනේ බිරිඳ සේවයට ගිය සිරිල් අයියාගේ LH30 ය පමණි. හදිසියේ හෝ ඉල්ලූ විට එය ලබුනේ මෙවන් කාරුණික වදන් වැලක් සමගය. " හරි හරි ඔයා ඔනා දිහාවක් ගිහි එන්නකෝ! ටැංකි බාගයක් තෙල් තියෙනවා. තව ඩීසල් පහේ කාන් එකක් පිටිපස්සෙ තියෙනවා. සීට් එක පිටි පස්සෙ ජැක් වීල් බ්‍රස් ඔක්කොම. මෙන්න ටෝච් එක. හදිසියක් නෑ ඔයා ගිහින් එන්න්කෝ!" කියාය. මේවා සියල්ල නෙත් තෙමන මතක. 

යමු මල්ලි ඕන අහක කියා ගත් LH 30 ය

දිනක් මා කිරිබත්ගොඩ නගරය හරහා ගමන් කරද්දී; නගර මාධ්‍යයේ තිබුනු කුඩා කාර් සේලයක (මනමාළියන්ගේ හිස රැඳි ඇඳිවත නොව මේ කියන්නේ කාර් කඩයක් ගැනය!) නවතා තිබූ හුරු බුහුටි රථයක් ඇහැ ගැටුනි. ඒ ඔස්ටින් මිනි 850 වැගනයකි. එහි මිළ විමසූ විට එය රුපියල් 50'000 කි. වැරදීමක් නොවේ රුපියල් පනස් දහසකි. එය මා 45000 කට ඉල්ලා මැරෙන්න යද්දී එහි සිටි අතර මැදි බ්‍රෝකරයෙකු මැද්දට පැන 48500 කට මිල නියම කර  වාහනය මාවෙත ලබා දීමට කටයුතු කලේය.

එය ඉතා හුරුබුහුටි රථයකි. එහි පැට්‍රෝල් දැම්මේ පිටුපස ටැංකියට නොව වාහනයේ පැසෙන්ජර් ආසනය ඉදිරිපිට බිම තබා තිබුනු පැරණි තිනර් කෑන් එකකටය. එකල එනම් 1994-95 කාලයේදී පැට්‍රෝල් ලීටරයක මිල රුපියල් 35 ක් වී යැයි මාහට මතකය. ටිනර් ටැංකියට පැට්‍රෝල් ලීටර දෙකක් ගසා ගෙන අප අපගේ ගමන් බිමන් වල යෙදුනෙමු!

 එකල අපගේ ආර්ථික තත්වය මත ලීටර දෙකක් සපයා ගත්තේද මහත්වූ අමාරුවකිනි. ලීටර දෙකකට වඩා මිලදී ගත්තේ සුවිශේෂී ගමනකදී පමණි. ගමනේ යෙදී සැඇහෙන දුරක් යනතුරු කිලෝමීටර දෙකෙන් තුනෙන් තිනර් කෑනයේ ඉතිරිව ඇති පෙට්‍රෝල් ප්‍රමාණය පිළිබඳව කළ්පණාවෙන් ගියද තවත් දුරක් යන විට එය අමතකවී යයි. නැවත එය සිහි ගැන්වෙන්නේ කෑනයේ පැට්‍රොල් ඉවරවි; කෑනයේ මූඩිය සිදුරු කොට ඇතුලට දමා ඇති බටයෙන් හූස් හූස් ගානා හඬිනි. බීම උරන බටයකින් බෝතලයක ඇති බීම උරාගෙන බී අවසන් වන විට නැගෙන හඬ ඔබට මතකද? එම හඬත් සමගම එම ආසනයේ ගමන් ගන්නා අයෙන්ක් වෙතොත් ඔහු ලවා හෝ නැතිනම් මවිසින් හෝ වහාම බටය මූඩියෙන් පන්නා උඩට කොට අල්ලා ගනී. අද හිතෙන විට එය තේරුමක් නොමැති දෙයක් ලෙස පෙනුනද එවිට පැට්‍රෝල් බිඳෙන් බිඳ එන්ජිම විසින් භක්ෂණය කරණ අයුරු මැනවින් පදවන්නාට පෙනේ! ඒ සමගම වෙහෙසෙන්නේ හැකි ඉක්මණින් පිරවුම් හලක් සොයා යෑමටය! 

එම රියෙන් මමත් එකල මාගේ අතිජාත මිත්‍රයා වූ හිතමිත්‍ර ෂානකත් අපගේ බිරින්දෑවරුන්ද සමගින් කිතුල්ගල ගිය ගමන තවමත් මාගේ මතකයේ ඇත. ඒ වන විට බොහෝ සෙයින් මහළුවී සිටි; එහෙත් තම යුතුකම් කොටස මැනවින් වටහාගත්; 850CC එන්ජිමට බරක් නොදැනෙන්නට; එය යාන්තමින්හෝ  වෙහෙසට පත් නොකරමින් යාන්තමින් ඇක්සලරේටරය දකුණු කකුලේ මහ පොට ඇඟිලි  තුඩ මගින් කිති කවමින් ගිය ඒ ගමන සුන්දර ගමන් චාරිකාවක් විය.  අප හතර දෙනාගේ බරද අපගේ ගමන් මළුද දරාගෙන ඉබි ගමණින් කිතුල්ගලට ගියෙමු. මෙම පෝස්ටුවේ මුදුන් කෙළවරේ දැක්වෙන්නේ එම ගමන ගොස් පෙරළා ආපසු පැමිණීමේදී ගලගෙදර පාලම ආසන්නයේ ගත් ඡායා රූපයකි.

වසික අප නිවසට සපැමිණෙන අවධියේ මා සතුව තිබුනේ එම රියයි. වසික - මාගේ ආදරණීය පුත්‍රයා එහි බොහෝ ගමන් බිමන් ගොස් ඇත.

මේ ගැන තව ටිකක් නිවිහැනහිල්ලේ කථා කරමු.


23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...