Tuesday, February 1, 2022

227. පැනි බේරෙන කොම්පැනි කථා 6


ඉහත වැකිය මට අහන්නට ලැබුනේ රත්නවීර සර්ගේ හඬිනි.  මෝටර් රථ ක්ෂේත්‍රයට අදාල කළමණකරණය හා අලවිය පිළිබඳව උගන්වද්දී ඔහු මෙය කීවා යැයි මට මතකය. නො එසේනම් ධම්මික කලපුගේ මහතාගෙන්ය! එය එක් අලෙවිකරණයේ උපායක් ලෙස ගැනේ! මින් අදහස් කරණුයේ යම්කිසි භාන්ඩයක් හෝ සේවාවක් සඳහා පාරිභෝගිකයින් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායයන් පටන් ගත යුත්තේ පාරිභෝගිකයින් ළමා හෝ තරුණ වයසේදීම බවයි! බොහෝ විට සිගරට් හා මත්ද්‍රව්‍ය වෙළෙන්දන් මෙය අකුටරම පිළිපදින මූළධර්මයකි! "දරුවන් හැඩ ගැස්වීම සඳහා ඔවුන්ගේ කුඩා අවදිය ඒ සඳහා යොදා ගන්න" යනුවෙන් කිසිවෙකු වර නැගූවද එහි විශාල වරදක් මා නොදකිමි!

මාගේ තිබෙන හා තිබුනු සූවිසි විනෝදාංශ අතර "වාහන පොත්" ලෙස පොදුවේ හඳුන්වන Vehicle Catalog එකතුව කුඩා කලක සිට කරගෙන යනු ලැබුවේය.  රථ වාහන අලෙවියේදී; අලෙවි කරුවන් විසින් පාවිච්චි කරණු ලබන්නේ මෙම පික්චර් කැටලොග් හෙවත් පිංතූර පොත්ය! මේවා වාහනයේ විවිධ මාදිලි හා විවිධ කෝණවලින් ගන්නා ලැබූ පිංතූර  හා වාහනයේ වර්ණ එන්ජිම හා වෙනත් යාන්ත්‍රික කොටස් පිළිබඳ කෙටි විස්තර වැනි දෙයින් සම්න්විතය.  




වාහනයක් මිළදී ගන්නා අයෙකු වෙත වාහනය සමග ලැබෙන පොත් පිංචක් වේ. එය Owner's Manual හෝ Driver's Manual  ලෙස දැක්වේ.  වාහනයේ එන්ජිම පන ගැන්වීමේ සිට හදිසි අවස්ථාවකදී රෝදයක් මාරු කිරීම ආදී කුඩා තාක්ෂණික උපදෙස් වලින් එය සමන්විත වේ. මීට කලකට පෙර මෝටර් රථ සඳහා ලබා දුන් එවන් Owner's Manual  වල ටැපට් සීරිමාරු කිරීම වැනි කරුණු පවා තිබුනි! 
ත්‍යාග ලෙස පිරි නැමූ; සමහර ඕනර්ස් මැනුවල්; මාගේ දයාද්‍රයන්ගේ වාහනවල් කබි හෝලයන්ගේ ග්ලව් බොක්ස් වල ගුලිවී තිබෙනු මා දැක ඇත! වාහනය පැදවීමට පෙර එය කියවා බැලීමට පුරුද්දක් අපරටේ නෝනලා හෝ මහත්වරුන්ට නැත! එහෙත් පොත ලබා ගැනීමට දක්වන්නේ ඉමහත් උනන්දුවකි! ඒ එය කබී හෝලයේ දමා ගැනීමට පමණි!


වාහනයේ අලෙවියෙන් පසුසේවා සපයන නියෝජිත වැඩහල් සඳහා Work Shop Manual නිෂ්පාදකයා විසින් ලබා දේ. මේවා බොහෝ විට එන්ජින් හා චැසි යනුවෙන් කාණ්ඩ දෙකකින් නිකුත්වේ. බොහෝ කාර්මිකයින් මේවා හඳුන් වන්නේ ෂොප් මැනුවල් හෝ මැනුවල් යනුවෙනි. මුළු වාහනයේම අළුත්වැඩියාවන් හා සේවාවන් සඳහා අවශ්‍ය උපදෙශනය ඇනෙන් ඇනේ මුරිච්චියෙන් මුරිච්චියට දැක්වෙන්නේ මේ මැනුවල් වලය.






අලෙවියෙන් පසු සේවා අතර අමතර කොටස් සැපයීමද අත්‍යවශ්‍ය අංගයකි. අමතර කොටස් අංශය සඳහා ලබා දෙනු ලබන්නේ Parts Catalog එකය. මුළුවාහනයටම අදාල සියළුම කොටස් හා ඊට අදාල අමතර කොටස් අනු අංකය හෙවත් Part Numberය දැක්වෙන්නේ මෙහිය.



මා පාසලේ හයවන ශ්‍රේණියේ උගෙන ගනිද්දී තාක්ෂණික විෂය ලෙස තෝරා ගත්තේ මෝටර් කාර්මික ශිල්පයයි. එකල එය අපට උගැන්වූයේ; රුක්මණී හයි ඒස් එකකින් පාසලට පැමිණි සුනිල් පියසිරි මහතාය. 83 ජූලි වර්ජනයෙන් රැකියාව අහිමි කරගත් හේ පසුකලෙක මාහට කටුණායක 18 කණුවේ ජයලත් සිනමාහල ඉදිරිපිටදී හමුවූයේ වෑන් රථ රියැදුරෙකු ලෙසින්ය!

මේ කථා කෙසේ වෙතත් එකල සිටම මා වාහන කැටලොග් එකතුකිරීම දිගින් දිගටම කරගෙන යනු ලැබීය. දැනට මාගේ කැටලොග්, මැනුවල් හා පාර්ට් කැටලොග් විශාල ප්‍රමාණයක් සතුව ඇත! එකල මා කැටලොග් එකතු කිරීම සඳහා ටොයෝටා - ෆෲඩන්බර්ග්, ඉසූසූ - සතොස, මර්සිඩීස් බෙන්ස් - ඩීසල් මෝටර් ඉන්ජිනියරිං, පර්ජෝ/ ෆොක්ස්වැගන්/මැස්ඩා - කාර් මාර්ට්, ලෑන්ඩ් රෝවර්/ ෆියට් - කොලෝනියල් මෝටර්ස්, මැසි ෆර්ගියුශන් - ට්‍රැක්ටර් සංස්ථාව, අයි එම් ටී - ෆාර්මර්ස්, නිසාන් - ඇසෝසියේටඩ් මෝටර්වේස්, මිට්සුබිෂි - රජයට පවරාගත් යුනයිටඩ් මෝටර්ස් සමාගම ආදී දැනට ඇති නැති ආයතන ගනනාවකට ගොස් ඇත්තෙමි. දැනට ෆොස්ටර් පටුමග අසල ඩයලොග් ගොඩනැගිල්ල ස්ථාපිත ස්ථානයේ ලැන්සියා බීටා හා ඇල්ෆා රෝමියෝ රථ ඒජන්ත වරයාගේ කාර්‍යාලය පිහිටා තිබුනි! 

මා යුනයිටඩ් මෝටර්ස් වෙත රැකියාව සඳහා පැමිණිම ඉබ්බා දියේ දැමීමක් විය! එහෙත් එකල මෙන් ජපානයේ මුද්‍රිත කැටලොග් වෙනුවට පැවතියේ  මෙරට මුද්‍රිත තරමක් බාල ගනයේ කැටලොග්ය! ඒ කෙසේ වෙතත් මා හැකි හැම අවස්ථාවකදීම කැටලොග් එකතු කිරීම කරගෙන යනු ලැබීය. සමහර වාහන වල මෝස්තරය හෝ කාණ්ඩය ඉකුත්වීමෙන් පසු; අලෙවි අංශයෙන්  කැටලොග් තොග ඉවත්කල අතර ඒවා මා ඉමහත් කෑදර සිතින් රැගෙන මාගේ කාර්‍යාල මේසය යට තබා ගැනීමට පුරුදුවී සිටියෙමි. ඒ අන් කිසිවක් සඳහා නොව තම පියා හෝ මව සමග ආයතනයේ වැඩ හල වෙත පැමිණෙන කුඩා දරුවන් වෙත ප්‍රධානය කිරීමටය! සත්තකින්ම එය ඉතාමත් සුන්දර අවස්ථාවක් විය. බොහෝ විට මා සමග සේවය කල ගිහාන් මල්ලී ඕෂධී වැනි අයට "ඔන්න බලා ගනිං අර පොඩි එකාගේ මූන!" කියා මා කුඩා කැටලොග් මිටියක් ඔවුන් වෙත "මෙන්න පුතා ඔයාට මගෙන්!" කියා පොර ටෝක් එකක් සමගින් ලබා දේ! දරුවාගේ මුහුණ දිළිසේය! කට කනේය!! ඇස් එළියට පනිමින්ය!!! කෙළ හැලෙමින්ය!!!! ඒ කොල්ලන්ගේ හැටිය! එය එසේ නොවේ නම් ඌව වහාම වෛද්‍ය වරයෙකු වෙත පෙන්විය යුතු යැයි මාහට සිතේ! (මා වැරදිද?)

පාර්භෝගික සේවා විධායක ලෙස මාගේ සේවා ස්ථානය සකසා තිබුනේ කාර්යලයේ පසුපසට වන්නටය! ඒ නිසාම ඊට ගොඩවදින හා රැඳෙන සියල්ලන් මා හට හොඳින් දර්ශණය වේ! දිනක් උදෑසනක මාගේ දෙනෙත් පැහැර ගත්තේ කුඩා හුරුබුහුටි කොළුවෙකි. තම පියා සමග ඔහු පැමිණ තිබුනේ පියාගේ මොන්ටෙරෝ රථයේ අළුත්වැඩියාවක් සඳහාය. රථය පිළිබඳව මාහට කියා පෑවේ ඔවුන් දෙදෙන රැඳී සිටි ස්ථානය ය!  ඔවුන් සිටියේ; දවස් දෙකයි! ළිං තිහයි!! තේ පණහක් හැටක් විතර . . !!!  යනුවෙන් ගංවතුරෙන් පසු ළිං ඉසීම පිළිබඳව මා ලියන ලද පෝස්ටුවේ කියැවෙන ඩෙමියන් රුක්ෂාන් ගේ මේසය ඉදිරි පිටය! ආයතනයේ මොන්ටෙරෝ  හදිසි අනතුරු අළුත්වැඩියාවන් භාරව කටයුතු කලේ ඩෙමාය!

සිරිත් පරිදි මා; මාගේ මේසය යටට හොස්ස පොවා කැටලොග් මිටියක් ගෙන දරුවා වෙතට කුරුමාණම් ඇල්ලුවෙමි.  ඔවුන් වෙත ළං වී; කැටලොග් මිටිය ඔහුට නොපෙනෙන සේ පසුපසින් තබා ගෙන මා ඔවුන් වෙත නැඹුරු උනෙමි!

"පුතා! ගුඩ් මෝර්නිං . . . !  ඩේමියන් අංකල් මොන්ටෙරෝ එක හරියට හදාගන්නවද කියලා බලන්නද ආවේ . . .?" දරුවා ඒමේ අත ඇඹරුන මුත් හඬක් පිට නොකලේය.

"අනේ මං එනවා කිව්වම නවත්තන්නම බැරි උනා නේ! එයාටත් එන්නම ඕනෑ කිව්වා!" දරුවාගේ තාත්තා ඔහු වෙනුවෙන් පිළිතුරු සැපයුවේය! 

"මෙන්න ඔයාට මගෙන්! ඔයා ආසයි නේද මේවාට?" මං එතෙක් සඟවා ගෙන තිබුනු කැටලොග් මිටිය ඔහු ඉදිරියේ පෑවේය! දරුවාගේ ඇස් දිළිසෙමින්ය. එකවරම තම පියාගේ මුහුණ දෙස බැලූ ඔහු තාත්තාගේ අවසරයෙන් කැටලොග් මිටිය මාවෙතින් ලබා ගත්තේය.

තවත් පැය භාගයක් ගෙවී යද්දී කුඩා දරුවා හා ඔහුගේ පියා මාගේ මේසය ඉදිරියේ සිටියෝය. 

"ඉඳ ගන්න සර්!" මාගේ ආරාධනයෙන් ඔහු ඉඳගත්තේය. දරුවා පසෙකින්ය. කැටලොග් මිටිය ඔහුගේ අතේය!

"ඔයා ඇයි මගේ පුතාට මේ කැටලොග් ටික දුන්නේ?" ඔහු ඉතා සුහද ශීලී ලෙස මාගෙන් විමසීය.

"සර්! මමත් ඔය වයසේදී කැටලොග් එකතු කරණ්න තැනින් තැන ගියා! මට මේ වයසේ දරුවෝ දැක්කාම මගේ ඒ කාලෙ මතක් වෙනවා!"

"ඔයාට මම කථාවක් කියන්නම්! මමත් අයියත් පුංචි කාලේ මේවගේ පිංතූර පොත් වලට හරිම ආසයි! අපේ තාත්තා කොහෙන් හරි හොයාගෙන ඇවිත් අපිට වෙහිකල් මනුෆැක්චරස්ලා කීප දෙනෙක්ගේ එඩ්‍රසස්  අපිට දුන්නා; ලියුම් ලියන්නය කියලා! ඔයාට කියන්න අපි හතර පහකටම යැව්වත් අපිට උත්තරයක් එක්ක කැටලොග් මිටියක් එවලා තිබුනේ මිට්සුබිෂි කොම්පැනියෙන් විතරයි.  ඊට පොඩි කාලෙකට පස්සේ තාත්තා එච්චර කල් පාවිච්චිකල වාහනේ විකුණුවා! එදා ඉඳන් එයා මැරෙණ තුරුත් මම මගේ මේ ජීවිත කාලය ඇතුලෙත් අපෙ අයියාත් හැමදාම ගත්තේ මිට්සුබිෂි වාහන විතරයි! ඔයා කලේ එහෙම එකක්ද කියලා දැනගන්නයි මම මේ ඔයාව හොයාගෙන ඇවිත් කථා කලේ! මටත් මගේ පුංචි කාලේ මතක් උනා! කොහොම උනත් ඔයා කලේ හොඳ වැඩක්! අපි යන්නං! පුතා අංකල්ට බායි කියන්න!"

මට මගේ හැඟීම් සිරකරගෙන සිට ඔහුට හිස සොලවා ආචාර කරණවා හැරෙණ්නට වෙන කිසිවක් කථාකර ගන්නට නොහැකි තරම් හදවත බරවී තිබුණි.

තවත් මොහොතකින් දරුවා මට අත වනමින් ඉවතට යන රූපය බොඳවූ දෑස තුල චිත්‍රණය විය.

දෙයියනේ Catch them young! කියන්නේ මේකටනේ!? මම මටම කියා ගත්තෙමි!

පාරිභෝගිකයින්ගේ විවේකාගාරයේදී; 
කුඩා දරුවෙකුහට කැටලොග් පිරිනමනා අවස්ථාවක්; 
තඩි ගිහාන් හෙවත් මෙම බ්ලොගය සකසාදුන් මිත්‍රයා සටහන් කරගත් කරගෙන!!


Saturday, January 8, 2022

226. ප්‍රේමණීය වියෝව . . !


ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ බොහෝ විරහ ගීත ලියැවී තිබුනත් එක් ගීතයක් මගේ හදවතේ ගැඹුරුම තැනක පසු ගියදා තැන් පත් විය!

එම ගීතයේ ඇති විශේෂතා ගනනාවකි. ඔහුගේ පෙම්වතිය හෝ බිරිඳ ගේ සිත වෙනතක බැඳී ගිහින්ය! ඔහු ඊට සාප නොකරයි. ඇයගේ පැතුම එලෙසින්ම ඉටු වේවායි ඔහු ගීතය පුරාවට ප්‍රාර්ථනා කරයි.

මා ඔබ වෙනුවෙන් ගැයූ ගීත ඔබට අමතකව ගියාවේ - යලි කිසිදු දිනෙක නොඇසෙන්නට! ඔහු ප්‍රාර්ථනා කරයි.

මේ සුන්දර ගීතය: ඔබ මෙන්ම මාද  බොහෝ වාර ගනනාවක් අසා ඇති මුත් එහි ඇති සුවිශේෂීත්වය විප්‍රයෝඝය දැනෙන්නටවුනේ මීට දින කිහිපයකට පෙරදීයි!

"ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා

යළි ඔබ සවනේ නොරැඳී නොගැටී

සුළඟේ මිලින උනාවේ . . . . // "

තවදුරටත් මා ගැන මතකය ඔබට ගැටළුවක් නොවිය යුතුය! 

මෙම හැඟීම අදහස පිළිබඳව ලියැවුනු ගීත රාශියක් සිංහල ගීත වංශාවලීය පිරිමැදීමේදී අපට හමුවේ. ජෝති ගයන "කොතැනක සිටියත් ඔබ මෙලොවේ",
අමරසිරි පීරිස් ගයන "හන්තානෙට පායන සඳ . ." 
අබේවර්ධන බාලසූරිය හා ත්‍යාගා එන් එඩ්වර්ඩ් ගයන "රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ .  " ආදී ගීත කිහිපයක් මෙම හැඟීම උද්දීපනය කරමින් ලයා ගීතවත්වී ගැයී ඇති බව පෙනේ.  ඒ ගීත හා මේ ගීතය අතර මා දකින හා මාහට දැනුනු සුවිශේෂී කරුණු කිහිපයක් වේ.
 "රෑ පැල් රකින කුරහන්  . . " ගීතයේ තරුණයා ගැමි ගොවි තරුණයෙකි. ඔහු ඔහු ගේ ගායනාව පුරාවටම තමාගේ බලාපොරොත්තු ඇකී මැකී ගිය හැටි ගයයි. ඇය ඊට පිළිතුරු ලෙස තම ඔහුව සනසාලයි - ඒ ප්‍රාර්ථනයක්ද සමගිනි - "කුරහං කපන දා මා සිහි කරණ්නයි . . " කියාය!

"ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා . . . " ගීතයේ කියැවෙන්නේ තවත් ගායකයකුගේ කථාවක් ද? නො එසේනම් මේ කියන්නේ තම පෙම්වතිය වෙනුවෙන් ගීත ගායනා කල තරුණයෙකුගේ කථාවක්ද? කියා නිශ්චය කරගත නොහැක. කෙසේ වෙතත් ඒවා සියල්ල ඇයට අමතකව යන ලෙස ඔහු ප්‍රාර්ථනා කරයි!

අපගේ ගද්‍ය පද්‍ය  සාහිත්‍ය පුරාවට සඳ කිරණ උපමා කොට ඇත්තේ සිසිලසක් දනවන හැඟීමක් දැනීමක් ලෙසටය! එහෙත් මේ පෙම්වතාට එය දැනෙන්නේ කෙලෙසද? 
"දවනු දැනේ සිසි කිරණ පවා . . " 

සඳ කිරණ පවා ගෙන එන්නේ දවාලන දැනීමකි. පෙරදා සඳ ඇති රාත්‍රීන් වලදී එකම වේලාවක දෙතැනක සිට සඳ බැලූ ඇය මේ වන විට වෙනතක් බලා ගෙනය. ඒ සඳ දෙස බැලූ විට පෙරදා මතකය ගෙන දෙන්නේ දැඩි වේදනාවක්ය. 
එපමනක්ද?
"සිසිල නොදේ මඳ පවන පවා . . "

 මද සුළඟ පවා තමාගේ සිත කය නිවාලන බවක් ඔහුට නොදැනෙමින්ය!
ඒ සියළු දුක් කම්කටොළු මැද ඔහු ප්‍රාර්ථනයක්ද කරයි.

"ඔබෙ මුව පියුමේ - තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුනාවේ . . "

නෙළුම මලක් වන් ඔබගේ මුහුනේ; තොල් පෙත් අතරේ; ඔහුගේ නම රැඳුනාවේ. ඇයට ඔහුවම හිමි උනාවේ!
ඉන් පසුව ඔහු පවසන්නේ කුමක්ද?
"සුවඳ දැනේ ඔබෙ උදයෙ හවා . . "

ඇය තමා අසල නොසිටියද; මෙලොව කොතැන හෝඅ ඇය සිටින්නේ තමා වෙනුවෙන්ය යන හැඟීම නො එසේනම් "ඉව" තවමත් මුළු දිනය පුරාවටම ඔහුට දැනෙමින්ය!
එහෙත්;
"කඳුළු නැගේ නෙත රැයද දිවා . . "  

ඒ සිතුවිල්ලම තවත් මොහොතකදී තම දෙනෙතට කඳුළු ගෙන එන සිතිවිල්ලක්ම වෙයි.
ඒ මොන දේ උනත්; මාහට මොන තරම් දුකක් දැණුනත් ඔබට දුකක් දැනෙන්නනම් එපා! ඔබගේ සිතේ ජීවත් වෙන්නේ "ඔහු" නම්

"ඔබෙ මුව පියුමේ - තොල් පෙති අතරේ 
ඔහුගේ නම රැඳුනාවේ . . "

මේ ගීතය රචනා කොට ඇත්තේ කේ ඩී කේ ධර්මවර්ධන නමැති ප්‍රවීණ කෘතහස්ථ ගී පද රචකයාය. අමර දේව ශූරීන් හට "කුමරියක පා සළඹ සැළුනා " ලියූ ඔහු වික්ටර් රත්නායකයන් හට "හෝ පළු වන පෙත" ලියයි. ඔහු විසින් ලියැවුනු මෙම රසාලිප්ත පද රචනයට සංගීතය මුසු කරණ්නේ සෝමපාල රත්නායක විසින්ය.
මෙම ගීතය ගැයෙන ඉහල ස්වර පරාසය පද මාලාවේ හැඟීම් තවත් උද්දීපනය කරයි. වෙනත් වියෝ ගීතයන් මෙන් මෙම ගීතය ගැයෙන්නේ පහත් ලයකින් හෙවත් ටෙම්පෝවකින් නොවේ. එය වේගවත් ගීතයකි. ඔහුගේ හිතේ ඇති වේගවත් බව සමග හොඳින් එය බද්ධවී යයි.
මේ සියල්ල අභිබවා නැගෙන ආදරණීය පිරිමි හඬ පෞර්ෂය මිල්ටන් මල්ලවාරච්චි තම ශෝකී හඬින් එය ගයයි.  සත්තකින්ම විප්‍රයෝගයේ දුක මොනතරම් මිහිරියාවකින් එම ගීතයෙන් ගෙන එනවාද? එය අසාම බලන්න මෙතැනින්!


Friday, December 10, 2021

225. පිට කොට්ටේ ඒ කාලේ . . . 2


"224. පිට කොට්ටේ ඒ කාලේ" පෝස්ටුව ලිව්වේ පැරණි මතකයන් ගාල් කොට තැබීමටත් හිතාදර සහෘද සුජී හෙවත් "සුජී - බොස්ටන්" වෙත කෙරෙණ ත්‍යාගයක් වශයෙනුත්ය! ඒ පෝස්ටුව නැවත ඔබ පිවිස බැලුව හොත් "සුජී - බොස්ටන්" නමින් ඔහු කමෙන්ටුවක් ලියා තිබෙනු දැකිය හැකිවෙයි. මේ ලියන්නෙත් සුජී - බොස්ටන් පිළිබඳව තිබෙන තවත් රසබර මතකයක්! 
සුජී පාසලෙන් පසුව සේවය ඇරඹුවේ; කාර්‍යාල උපකරණ විකුණන ආයතනයක විකුණුම් විධායකයෙකු ලෙස. තේරෙණ හිංගලෙන් කියනවා නම් සෙල්ස් එක්සෙකටිව් කෙනෙක් ලෙසට. මට තාම මතකයි ඔහුට විකුණන්නට තිබුනු "නශුවා ශ්‍රෙඩර්ස්" ගැන ඇවිත් මට කියපු හැටි. "ශ්‍රෙඩරයක්" කියලා එකක් ගැන මම එතකොට අහලාවත් නොතිබුනු කාලයක "කොල ඉරන මැශින් විකුණනවා" කියන එක මට තේරුණේ නිකං බෝතල් කරපු වතුර විකුණනවා කියලා මීට අවුරුදු දහ පහලොවකට ඉස්සෙල්ලා කන වැකුණු දවසේ ඇතිවුනු සිතුවිල්ලමයි. සිව් මහා ගංගා හතරවටින් ගලා බහින; ගාලු පාර මැද්දේ උනත් අඩි විස්සක් විසි පහක් බැස්සාම වතුර හම්බෙන; තිස් දහසක් තිබ්බා යැයි කියන - දැනට දොලොස් දහසක් ඉතිරිව පවතින හා ඉන් හත්දාහක් අභාවයට යමින් පවතින වැව් පිරුණු රටක උපන් බුද්ධහඳවියක අහපු කථාවක්ද 'බොට්ල් වෝටර්' විකිණීම. 

ජීවිත කාලයම ඕනෑ කොලයක් දෙකක් නෙවෙයි තුන හතරක් උනත් ඒ පැත්තට මේ පැත්තට තියලා හරහට දිගට හරව හරවා ඉරා දමන්නටත් ඒවා ගුලිකොට වීසි කරණ්නටත් "හොර මගුලක්" නම් ගිණි දෙවියන්ට පූජා කරණ්නටත් උපන් හමන් කම් කී පරම්පරාවක පුරුකක් වූ මට 'ශ්‍රෙඩරය' පිළිබඳව ඇතිවූ නොදියුණු හැඟීම පිළිබඳව සාධාරන මනසකින් යුතුව; දැන්වත් හිතනවා ඇතැයි මා විශ්වාස කරමි.
ඒකාලේ සුජී හවසට ගෙදර පැමිණියේ හතර අතින් දාඩිය මුගුරු දාගෙන මුහුණ රතු කරගෙන "එපා වෙනවා!" කියාගෙනය.
ෂානකත් සුජීවත් ඔවුන්ගේ අතිජාත මිත්‍ර ප්‍රදීප් අබේරත්නත් පාසලේ සියළු කරුණු කාරණා කලේ මිල්ටේරිමය රැකියා අපේක්ෂාවෙන්ය. ඔවුන් පිහිණුම් සංගමයේද ජීවිතාරක්ෂක සංගමයේද පාසල් ශිෂ්‍ය භට කණ්ඩායමේද කටයුතු කලේ එම අරමුණ සාක්ෂාත් කර ගැනීමටය. නමුදු කාලය විසින් ෂානක කඳවලවත්ත ආරක්ෂක විද්‍යා පීඨය හරහා ගුවන් හමුදාව තුලත් අබේ යුධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවේත් සුජී පෙර කී ආයතනයෙන් පසුව හැටන් නැෂනල් බැංකුවේත් රැඳවූවේය!
ඒ තීන්දු තීරණ වලට එළඹුනු දින කාල වකවානු හා ඒ වටා ඇතිවුනු නැතිවුනු සිද්ධි මාහට ඉතා හොඳින මතකයේ සණිටුහන් වී ඇත!
සුජී සේවය කලේ හැටන් නැෂනල් බැංකුවේ කිරුළපන ශාඛාවේය. ඔහුගේ බැංකු දිවිය පිළිබඳවද ඔහු සිටියේ මහා විශාල සතුටකින් නොවන බව මට යාන්තමින් මතකය. ඒ ජීවිතය මහත්වූ ඒකාකාරී එකක් විය. දිනක් සුජීට වැඩ නැතිවේලාවක ඔහු කලේ; හිස් කඩදාසියක් ගෙන  තම බොසා ගේ එනම් ශාඛා කළමණාකරුගේ අත්සන එහි ඒ මේ අත ගසමින් පිරික්සා බැලීමයි!  පිටුපසින් දිගුවූ අතින් කොලය ගන්නවාත් සමගම සුජී ආපසු හැරී බැලුවේ ස්ව‍යංක්‍රියවය.
ඔව් ඔබ හිතනවා හරියටම හරිය. ඒ අන් කවෙරෙකුවත් නොව බොසාය! කතන්දරේ අප සමග රසකර කියනවිට මම සුජීගෙන් ඇසූ ප්‍රශ්නය ඔබට සිතා ගත හැකිය!

"අම්මට සිරි! පොර මොනවද කිව්වේ?"

"ම්හු! තාම උඹට බැහැ!" කියලා ඌ යන්න ගියා බං. සුජී කීවේ ඔහුගේ සුපුරුදු ලැජ්ජාශීලී මුහුණ දමා ගෙනමය.

"ඇත්තටම උඹ හරියට ගහලා තිබ්බේ නැද්ද?' 

"මොන පිස්සුද ආයේ සුපිරියටම ගහලා තිබ්බා ඌටවත් හොයා ගන්නට බැරි වන විදියට - ලෙසටම! ඌ ලැජ්ජාවට එහෙම කිව්වේ!"


මේ කථාව වෙන කාලේ සුජීත් එයාගේ අම්මා හේමා ඇන්ටීත්

කාලය මෙසේ ගෙවී යද්දී දිනක් සුජීගේ ගජයන් පිරිසක් ඔහු සමග හීන් අඩියක් ගැහීමට සෙට මෝල් වුනේ එක් බ්‍රහස්පතිදාවකය! ඒ; පොල්හේන්ගොඩ, නොම්මර 2/12/16 දරණ ස්ථානයේ ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජයේ අපාන ශාලාවට හෙවත් කවුරුත් දන්නා Sri Lanka Government Service Sports Club  හෙවත් පොල්හේන්ගොඩ වලේ ක්ලබ් එකේය. 

සුජීලාගේ නිවස පිටකෝට්ටේ ප්‍රධාන පාරේ 585/B හි පිහිටා තිබුනත් එවකට සුජී කුඩා ගෙයක් සාදා ගෙන තිබුනේ බංගලාව හංදියෙන් බැද්දගාන පාරේ කුඩා දුරක් යනවිට දකුණු පසට ඇති පාරේ තිබුනු පාරම්පරික ඉඩමේය. මෙම ඉඩම එකළ හැඳින්වූයේ "දුඹුට්ට" නමින්නි. දුඹුට්ටේ තරමක වපසරියකින් යුතුව තිබුනු ඉඩම කුඩා කොටස් දෙකකට හෝ තුනකට වෙන් කොට තිබුනි. ඉන් පලමු වැන්න සුජීලාගෙන් මිළට ගෙන තිබුනේ සුජී ගේ පියාවූ ලක්ෂ්මන්  අංකල්ගේ මිතුරෙකුවූ ලංකාවේ කීර්තිධර පොලිස් නිළධරයෙකු වූ උප පොලිස්පති රත්නසේකර මහතාය.  ඊට යාබද ඉඩමේ හෝ ඊට ආසන්නව සුජී නිවස සාදා තිබුනි. එවකට  නිවස සාදා නිමකොට තිබුනද ගේට්ටු ආදිය සවි කොට නොතිබූ නිවස තරමක අනාරක්ෂිත බවක හැඟීමක් සුජීගේ ප්‍රිය බිරිඳට දැනීම; සුජීගේ බොහෝ ප්‍රිය සාද අතර මග නවතා දැමීමට හෝ කෙටි කර දැමීමට හේතු විය.

"මා දන්නා තරමින් මූ හොඳ කොල්ලෙක්ය !" 
මාවෙනුවෙන් ලක්ෂ්මන් අංකල්
එදින කාර්‍යාලවේලාවෙන් පසු වලට සෙට් වූ සුජී හට ඉක්මණින් ගෙදර යෑමේ අවශ්‍යතාවයක් පැන නැගුනේ පෙර කී තම බිරිඳගේ අනියත බියය. වේලාව රාත්‍රී 8 පසු වූවා පමණය. සුජී තම අත බැඳි ඔරලෝසුවෙන් වෙලාව බලා "මචං මම දැන් යන්නෝන! අවුලක් ගන්න එපා!! මෙහෙම හරි උඹලත් එක්ක සෙට් වෙච්ච එක ලොකු දෙයක්!" විවෘථ ප්‍රකාශයක් කරමින් නැගී සිටියේය. එතැන සිටි බොහෝ මිතුරන් "අවතැන්" වූ අයය! ඒ කිසිදු හේතු කාරණාවක් නිසා නොව සුජීට මෙන් මහත්වූ වගකීම් නොමැති බැවින් කාලය දීප දේශය ස්ථානය පිළිබඳ හැඟීම් දැනීම් නොමැතිව සිටි අයය. මේ තත්වයට සුජීට හා සමාන හැඟීම් දැනීම් ඇත්තෙකු වූවානම් ඒ පාසැල් යන කාලයේදීම විවාහයට පිළිපන් මුදන්නායක මිත්‍රයා පමණි. එහෙත් ඔහුද එතැන් නොසිටියේය. 

"ඕකනේ ඕකනේ!! උඹලත් එක්ක බැරි! මොනාද බං මේ අපි වගේ හිටපල්ලකො! හර්! හරි!! තව එක ෂොට් එකක් දගෙනම පලයං කො!! දුක තමයි!!" ගිරා හොටක් වන් නාසයක් ඇති මිතුරාගේ ඉල්ලීමටත් වඩා තමා තුල කවදත්; අරක්කු වෙත තිබෙන ආදරණීය බැඳීම විසින් සුජීට තවත් අරක්කු වඩියක් ලබා ගැනීමට; හිත ඉඩ පහසුකම් සැලසීය!

ඕනෑම අයෙකු හමුවීමෙදීට වඩා වැඩි මිතුරු බවක්, හැඟීම් බර බවක්, උනුසුම් බවක් වෙන් වීමේදී හිත තුල ඇතිවෙයි. එය සර්ව කාලීන සත්‍යයක් වෙයි. සිගරට්ටුවක් දෙදෙනෙකු විසින් බීමට සැලසුම් කරගෙන තිබී පලමු වැන්නා එය දෙවැන්නා අතට එය අතට පත් කිරීමට ප්‍රථම දැඩි උගුරක් අදින්නේ ඒ නිසා විය යුතුය!  එසේම සාදයක් අවසන් වීමට ප්‍රථම කිසිවෙකු හෝ ඉන් නැගී ඉවතට යාමේදී වත් කරගන්නා අන්තිම වඩිය; දෙයියනේ කියා තවත්  දෙදෙනෙකුට පැයක් පුරා බීමට සෑහෙන ප්‍රමාණයක් වන්නේද මා අර කලින් කියන ලද මිතුරුබව, හැඟීම් බර බව, උනුසුම් බව නිසා නො එසේනම් පෙරේත කම නිසාදෝයි සිතා ගත නොහැකිවන්නේ එසේ මා වඩියක් වත් කර ගත් සෑම අවස්ථාවක් පිළිබඳව කිසිදු මතක මාත්‍රයක් සිතේ කොයි මුල්ලකින් හෝ සොයා ගත නොහැකි නිසාය!

ඩබල් වඩියටත් වඩා වැඩි මධ්‍යසාර වඩියකින් සප්පායම් වුනු සුජී සෙමෙන් සෙමෙන් රථගාලේ පසෙකින් නවතා තිබූ තම රථය වෙත පිය මැන්නේය! "පොලීසිය ඉන්නවාද දන්නේ නෑ! අවුලක් නෑ මම එච්චර බීලයෑ!? අනික තාම කීයද? ආ! තාම 8.30 නේ!?" මෙසේ තමාටම කියා ගනිමින් සුජී රථයට නැග එය පනගැන්වීය!

සුජී තමා සතුව තිබූ කාල වර්ණ නිසාන් මාච් K11 රියේ නැග පාමන්කඩ වලෙන් ගොඩට පැමිණියේය.කොයි එකටත් රේල්වේ ඇවනි‍යු එක පැත්තෙන් නුගේගොඩට දානවා" මෙසේ සිතුවේ බේස්ලයින් පාරෙන් පැමිණ කිරුළපන හංදියෙන් හයි ලෙවල් එකට දාන ගමන් මය! "අම්මට සිරි මම වැඩකරන බැංකුව!" සුජීට කිරුළපන හැටන් නැෂනල් බැංකු ශාකාව ඉදිරියෙන් දකිත්දීම සිතුනි. "රෑට මාර ලස්සනයිනේ! රෑට වැඩට එන්න තියේනම්!? රෑට කොයිංද බං කස්ටර්මර්ස් ලා!? මගේ හිතටත් එන පිස්සු අදහස්! ඒ තරං බීලත් නෑ! ඒත් අන්තිම ශොට් එකට ෂැන්ඩි මදි උනානේ! ඒක ටිකක් අවුල්ද මංදා!? දැන් දමින්දි ඇති බල බල!? එයා තේරුමක් නැතිවම බය වෙනවානේ!  තාත්තිගේ තුවක්කුව ගෙනත් තියා ගන්න ඕනේ ටික දවසකට! " අතොරක් නැතිව සිතුවිලි සිතමින් සුජී සීබල් පටුමගින් රේල්වේ පටුමගටත් එතැනි නුගේගොඩ සුපරි වෙළෙඳ සැල ඉදිරි පිටටත් පැමිණියේය.  පොලීසිය ඉදිරිපිට නිළධාරීන් තම එදිනෙදා කටයුතු ගැන කියවමින් සිනහ වෙමින්ය!  "දවසෙ ලොස් ඇන්ඩ් ප්‍රොෆිට් බලනවා වෙන්ඩැති!!?" තනිව සිනහ වෙමින් නුගේගොඩ නගරයේ පහළට ගමන් කොට නාවල පාරට හැරෙන හංදිය පසු කොට් සිටි ටිම්බර් එක ඉදිරියෙන් සුජී තම රථය පදවමින්ය!

පිට කෝට්ටේට ස්ටැන්ලි තිලකරත්න මාවත දිගේ ජුබිළි කණුව හරහාද පාගොඩ පාර දිගේද ගමන් කල හැක. ජුබිළිකණුව හරහා යනවා යනු මිරිහාන පොලීසියේ මිදුල උඩින් යනවා වැනි ක්‍රියාවකි. ඒ නිසාම පාගොඩ පාරට අවතීර්ණව නිරෝමි රෙදි සාප්පුව පසු කරමින් දැන් වැලි පාර්ක් පාර අසලට යනවාත් සමගම පාර අයිනේ සිටි පොලිස් නිළධාරීන් කිහිප දෙනා තම රථයේ එළියෙන් සුජී හට දක්නට ලැබුනේය. 

"අම්මට සිරි! අවුලක් නෑ! මම ඒ තරං බීලා නෑනේ! ඔය කිව්වට මාට්ටු වෙයිද?" දෙලොවක් අතරින් පොලිස් පිරිස පසු කර පැදවීමට සිතමින් පදවන රිය ට ඉදිරියෙන් පොලිස් රුවක් වාහනය නවතන ලෙස සංඥා කලේය. වාහනය නැවැත් වූ සැණින් එතැනට පැමිණියේ තරමක පැසුණු සාර්ජන් වරයෙකි.

"මහත්තයා කොහේද මේ . . .?"

වාහනය තුලට ඉව අල්ලමින්ම පොලිස් නිළධරයා ඇරුණු ජනේලයෙන් ඇතුළට හොම්බ පෙව්වේය!

"ආ! මගේ බබා අසනීපයෙන්! මම මේ ඉක්මනට ගෙදර යනවා පිටකෝට්ටේ!"

"මහත්තයා බීලානේ; බබාට බෙහෙත් අරං දෙන්න යන්නේ !?"

වැඩේ එකසිය ගානටම අවුල්වූ බව සුජීට මේ වන විට තේරුම් ගොස් අවසන්ය.

අනං මනං වැල් බයිලා ගායනා කිරීමෙන් පලක් නැත! 

"මේ රාලහාමි ඔෆිස් එකේ පොඩි පාටියක් තිබුනා! මම පරක්කු වෙන හිංදා ඒකටත් ඉන්නේ නැතිව මේ ආවේ බබාට සනීප නෑ කියලා වයිෆ් කෝල් කල නිසා! බැරිද පොඩ්ඩක් . . . !? සුජී ටික වෙන්න ඇඹරුණේය.

"මහත්තයා ඕන තරම් පාටි වලට යන්න! අපේ විරුද්ධත්වයක් නෑ! ගිහින් හොඳට බොන්න!! ඒකෙත් අවුලක් නෑ!!! ඒත් බීලා වාහනයක් එලවන්න බෑනේ? ඒ හිංදා අපේ රාජකාරිය කරණ්න ඉඩ දෙන්න කෝ මහත්තයා කරුණා කරලා අපේ රාළහාමි කෙනෙක් එක්ක වාහනේ මිරිහානේ පොලීසියට ගේන්න!

"මේ මල්ලී මේ මහත්තයත් එක්ක මේ වාහනේ පොලීසියට ගේන්න!" සාජන් මහතා සුජීටත් එතැන හිටිය ළපටි රාළහාමි කෙනෙකුටත් එකවර වැඩ දෙකක් පැවරුවේය. රාළහාමි වාහනයේ අනෙක් පසින් ගොඩ වුනි. සුජී වාහනය ධාවනය කරමින් පිට කෝට්ටේ දෙසට ගමන් ඇරඹීය!

"අම්මට සිරි මේක බ්‍රහ්ම කෙළියකි! සාමාන්‍යයෙන් බීලා අහු උනාම එතැන් සිට වාහනය පොලීසියට තබා අඩි දෙක තුනක් වත් ගෙනියන්න දෙන්නේ නෑනේ!? ඒ වුනාට මේ සාජන්  කියන විදියට මටම වාහනය අරං පොලීසි එන්නලු! මං ඒතරං බීලා නැති හිංදා වෙන්නැති!! දැන් පොලීසි යන එක සාමාන්‍ය දෙයක්. අවුලක්නෑ! ඒත් දමින්දි මේ කිසිවක් දන්නේ නෑනේ!" සුජී මේ සියල්ල ගැන සිතමින් වාහනය පාගොඩ පාර දිගේ ධාවනය කරයි. 

"ඔව් කරණ්නට තියෙන්නේ එකම දෙයයි මේ ගමන්ම ගෙදරට ගිහින්ම යනවා! පිට කෝට්ටේ ඉඳන් බංගලාව හංදියට යන්න තියෙන්නේ ගියර් දෙකක දුරනෙ!?" මෙසේ සිතූ සුජී රාළහාමී ඇමතීය! 

"මේ රාලහාමි මට මෙහෙම පොලීසියට යන්න බෑ! ගෙදරට පොඩ්ඩක් ඝින් කියලාම යමු. මෙතන ඉඳන් පොඩ්ඩ දුරයි තියෙන්නේ!" 

රාලහාමී කිසිදු හැලහොල්මනක් නැතිව සිටියි. එයට කිසිදු ප්‍රථිචරයක් නොදැක්වීම යනු තවත් ආකාරයකින් එකඟ වීමක් යැයි සිතිය හැක! මෙය පිරිමි සාමාන්‍යයෙන් සිතන පිළිවෙළය! රථයේ ඉන්ධන ටැංකිය හිස්ව ඇති බව මේවන විට; ඉදිරි මීටර පුවරුවේ දැල්වුනු කහ පැහැති එළියකින් දන්වමින්ය. සත්තකින්ම මේ සංඥාව ලැබී දැන් සැහෙන කාලයක් ගතවූ බව සුජීට මතක වුනේ එවිටය. "වාහනේ පාර මැද්දේ නතර උනොත් මගුලයි!" සිත්මින් සුජී රථය පදවයි!

මාච් රිය පාගොඩ පාරේ පිටකෝට්ටේ දෙසට සුජීව සහ නම ගම නොදත් තරුණ පොලිස් අංකුරය සමග ගමනේය. තවත් විනාඩි ගනනාවකින් පිටකෝට්ටේ හංදිය පසු කරමින් වමට හැරී බංගලාව හංදිය දෙසට වාහනය හැරුණි!

"ම් මේ කොහේද? පොලීසිය තියෙන්නේ අනිත් පැත්තෙනේ!" පොලිස් නිළධරයා වික්ෂිප්තව තම හඬ අවදි කලේය!

"අනේ රාළහාමි මම කිව්වේ! මම ගෙදරට ගිහින් සිද්ධිය කියලා ටක් ගාලා එන්නං!" රාළහාමි තරමක් නිහඬ විය. පොඩි පොඩි වචන දැම්මද එය අහසේ පාවෙමින් සිටි සුජීට වගක් නොවීය!

රථය එපිටමුල්ල වංගුව පසු කර බංගලාව හංදිය දෙසට පිම්මේ යමින් විය. පොලිස් කොස්තාපල් වරයා තරමක් නොව බොහෝ සෙයින් නොසන්සුන් වී ඇති  බව සුජීට පෙනුනි! දැනුනි!! 

"දැං මං මොනවද ගෙදර ගිහින් කියන්නේ!? එළිවෙනතුරු කූඩුවේ ලගින්න වේවිද? දමින්දි මොනවා කියාවිද මංදා?" සුජී සිතමින්ම වාහනය බංගලාව හංදියෙන් බැද්දගාන දෙසට හැර වීය! 

"මේ කොහේද මේ යන්නේ?  නවත්තන්න!  සාජන් මහත්තයා කිව්වේ පොලීසියට එන්න කියලානේ !! " පොලිස් නිළධරයා සෘජුවම විරෝධය පලකරමින්ය. තවත් විනාඩි ගනනකින් නැතිනම් මීටර 100 කින් වාහනය බැද්දගාන පාරෙන් දුඹුට්ට දෙසට හැරෙන අඳුරු පටු මාවතට හැරෙන්නට තිබේ.

"හරි රාළහාමි මේ ළඟ මගෙ ගේ තියෙන්නේ! ගෙදරට ගියා ආවා!!"

තමාව මරණ්නට ගෙනයනවාදැයි නොදත් පොලිස් නිළධර පැටවාගේ සිත බියෙන් සැළෙන්නට විය!  වාහනය දුඹුට්ට දෙසට දිවෙන පටු අඳුරු මාවතට හැරෙනවාත් සමගම එතෙක් දැඩි නොසංසුන් තාවයෙන් සිටි පොලිස් නිළධරයා වාහනයේ තම පස වූ දොර විවෘථ කරගෙන එළියට පනින්නට පළමු පියවර ලෙස දොරේ අගුල ඇර ඒ දෙසට හැරුණි! 

එක වරම; සුජී දිගුකල වමතට පොලිස් කොස්තාපල් වරයාගේ කමිසයේ කොළරය අසු විය!

"අනේ රාළහාමි පිස්සු කෙළින්න එපා! මට තියෙන්නේ බීලා වාහනේ එලෝපු කේස් එක විතරයි මේකෙන් රාළහාමි පැනලා මට මර්ඩර් කේස් එකක් සෙට් කරණ්නනම් එපා!" 

තවමත් රථය දිවෙමින්ය! මද පවන පැන වමතින්; නීතිය කිරියාවේ යෙදවීම සඳහා තමාව අතඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිළධරයාව ගලග්‍රහනයෙන් ගෙන;  වාහනය දකුණතින් ගේ පදවන සුජී; පොලිස් රාළහාමිව අස්වසාලීමට  බන දෙසමින්ය! තමාට වාහනයෙන් පැන නිදහසේ  මැරෙණ්නටවත් අවස්ථාවක් නොමැති අහිංසක රාලහාමි පසෙකය!

"අ . . . නවත්තනවා! නවත්තනවා මේක!" රාළහාමි තොර තෝංචියක් නොමැතිව විධාන දෙමින්ය!

සුජීගේ අදහස තම නිවෙසට වාහනය ගෙන වැඩේ දමින්දි සමග බැලන්ස් කරගෙන පොලි කොස්තාපල් වරයාට කූල් ඩ්‍රින්ක් එකක් දී හිමි හිමීට මිරිහාන පොලිසියට මංගච්චන්නටය! මෝටර් රිය තම නිවෙස දෙසට ඔන්න මෙන්න තියා සුජී දුටුවේ ජීවිතයේ එතෙක් මෙතෙක් දැක නොතිබුනු සුභ දසුනය!

"අම්මට සිරි සී එල්  අංකල් . . .!"

ආයේ කථා දෙකක් නැත. මේ සිටින්නේ තමාගේ ඉටු දෙවියාය! ගැලවුම් කාරයාය!! මේ වෙලාවේ තමාගේ පිහිටට ඉන්නා එකම සරණය! DIG සී එල් රත්නායක!  තාත්තාගේ හොඳම මිත්‍රයා!

එතෙක් ගමන් කරමින් තිබුනු රථය එකවරම රත්නසේකර මහතාගේ නිවසේ විවෘථව තිබුනු ගේට්ටුව අතරින් ඇතුළුවිය. කිසියම් බැහැරක ගොස් පැමිණි රත්නසේකර මහතා ගමනට ගිය ඇඳුමෙන්ම ඉදිරිපස මිදුලේ පසෙක තිබුනු කුඩා මල් පඳුරු කිහිපයට හෝස් එකෙන් වතුර දමමින්ය! එකවරම තම මිදුලට හැරුණු රථය හඳුනාගත් ඔහු; තමා එතෙක් වතුර දමමින් සිටි පැලය දෙසටම ජල ධාරාව හරවාගෙන රථය දෙස බලාගෙනම සිටියේය!  වාහනයේ දෙපසම දොරවල් දෙක වේගයෙන් විවෘථවිය!  තමා වෙතට දිව එන තමාගේ අතිජාත මිත්‍රයාගේ පුතු සුජීව ව හේ ඉක්මණින් හඳුනා ගත්තේය! 

"ඇ ඇයි සුජීව . . . . ?"

"අංකල් මාව පොලීසියෙන් ඇල්ලුවා! මම් ඔෆිස් එකේ පාටියකට ගිහින් පොඩි ඩ්‍රින්ක් එකක් අරණ් ඉන්නේ! . . .  මේ රාළහාමි . .  . . . . . . . ." කථව කියා අවසන් කරණ්නට වේලාවක් නැතිවිය ! ඊළඟ නිමේශයේ සුජීව ගෙදර කැන්දාගෙන ආ රාළහාමි එතැනය!

"මෙයා මාව; මගෙ බෙල්ලෙන් අල්ලාගෙන මෙහේ එක්ක ගෙන ආවා! මං නවත්තන්න කියද්දිම!"

"නෑ අංකල් මේ රාළහාමි කාර් එකෙන් එළියට පනින්න හැදුවා  . . . !" කථාව නැගලා යන අතර රත්නසේකර මහතා; තම පොලිස් මොළෙන් යමක් අවබෝධ කරගනිමින් විය. "සුජී පොලිස් නිළධරයෙක්ව පැහැර ගෙන ඇවිත්ය! ඒ; තමාව අතඩංගුවට ගත් පොලිස් නිළධරයාවය!! ඔහුව අත් අඩ්ංගුවට ගැනීමට හේතුව බීමත්ව රිය පැදවීමය!" 

"ප් පුතා! මම DIG සී එල් රත්නායක! පොඩ්ඩක් ඉන්නකෝ මම ප්‍රශ්නෙ විසඳලා දෙනකල්!" රත්නායක මහතා වැඩේ තමා අතට ගන්නට සැරසුනේය. සිදුවූ අනපේක්ෂිත සිදුවීමෙන් උතුර දකුණ මාරුවී සිටි පොලිස් නිළධරයා හට "D. I. G." යනු තම දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨත්වයෙන් දෙවන් පෙළ නිළධරයෙකු නොවේදැයි කියාවත් තේරුම් ගැනීමට තරම් කල්පණවක් නොතිබුනි.

"මහත්තයා කවුරු උනත් බලන්නකෝ මේ මනුස්සයයා කරපු වැඩේ! එයා කොහොමද මාව මෙතනට ගෙනාවේ කියලා! යං කො පොලීසියට . . .!!" එම ප්‍රකාශයත් සමග රත්නායක මහතාගේ ඉවසීම උඩුගුවනේ පාවී ගොස් අවසන්වී තිබුනි!

"....... උඹ දන්නවද කාටද කථා කරන්නේ කියලා?!? මගෙ සපත්තුවේ ලේස් කුට්ටට්මත් උඹට වඩා පරණයි මේ දෙපාර්තමේන්තුවේ. මම පොලීසියට බැඳෙන කොට . . . . . .උඹ . . . .!!"

ඒවන විට සුජී අතඩංගුවට ගෙන ගෙදරට කැඳවාගෙන පැමිණ සිටි පොලිස් කොස්තාපල් වරයා පියවි සිහිය ලබමින් විය!

"සමා වෙන්න සර් . . . . !"

"මට පොඩ්ඩක් වෙලාව දෙනවා මම තමාගෙ ඕ අයි සී මහත්තයාට කථාකරලා වැඩේ බේරුමක් කරලා දෙනකල්!" රත්නායක මහතා මිරිහානේ ස්ථානධිපති අමතන්නට විය. මේ වන විට සුජීගේ බිරිඳද රත්නසේකර මහතාගේ බිරිඳද ගෙවල් දෙකේම සිටි අවශේෂ පිරිසද එතැනට රාශිභූත වී සිටියහ! 

"සුජී එන්නකෝ ගේ ඇතුලට! රත්නසේකර මහත්මිය සුජී ව නිවස තුලට කැඳවා වතුරත් ශීතකරණයෙන් එළියට ගත් "මින්ට්" ලොසින්ජර කන්නටත් දෙමින් විය. දමින්දි තමා දෙස "සෙනෙහෙබර" බැල්මක් හෙලමින් විය!

"මීට වඩා හොඳයි එතැනින්ම පොලීසියට ගියානං!" සුජී තමාටම කියා ගනිමින් විය!

මෙ සිද්ධීන් මෙසේ නිවස තුල සිදුවනාතරතුර රත්නායක මහතා මිරිහානේ පොලිස්ථානාධිපතිවරයා දූරකථනයෙන් සම්බන්ධ කරගෙන සිටියේය!

"සර් පොඩ්ඩක් ෆොන් එක  ඔය රාළහාමිට දෙන්න පුළුවන්ද?" ඕ අයි සී මහතා රත්නායක මහතාගෙන් ඉල්ලීය!

"රාළහාමි ඔය මහත්තයා බීලා කියලා හොඳටම විශ්වාසද?'

"එහෙම කියන්න බෑ සර්! සැහෙන්න මහන්සි පාටෙන් හිටියේ! ඒකයි අපි බැලුම් පුම්බන්න එක්කං එන්න ආවේ!"

"ඔන්න ඕක ඔය ඩී අයි ජී සර්ට දෙනවා . . . . .!"

" . . . . . . . . . . . . . . . . . . . . . . . . "

": . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . "

" . . . . . . . "

" . . . . . ."

" . . . . . . . . . "

"රාළහාමි යමු මම තමාව පොලීසියට ඇරළවන්නම්!" රත්නායක මහතා පොලිස් කොස්තාපල් වරයා ඇමතීය.

"අංකල් මම ගිහිං බස්සලා එන්නද . . . . ?" ඩෝප් මරගාතේ සුජී වැඩේට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය.

"මගෙන් මුකුත් අහගන්නෙ නැතිව ඔහොම ඉන්නවා මම මේ මනුස්සයාව පොලීසියට ගිහින් ඇරළවලා එනකං . . . . . ආයෙ ගිහිං ඇරළන්නත් අහනවා  . . . . . . . . !?"

රත්නසේකර මහතා එනතුරු සුජීට පැය භාගයක සුමදුර ධර්ම දේශනාවකට සවන්දීමට අවස්ථාව ලැබුනි. තවත් කෙටිවේලාවකින් ඩී අයි ජී රත්නායක මහතා සුජී ඉදිරියේ පාණීභූත විය!

"ඔයා කරලා තියෙන වැඩේ බරපතල කම දන්නවාද? රාජකාරි කරණ පොලිස් නිළධරයෙකුව කිඩ්නැප් කරලා! ඒකත් සිහියෙන් නෙවේ! හොඳටම බීලා. අනික මේ වාහනේ තෙලුත් නෑ . . . . . . . . . . .!

"ඇයි දෙයියනේ පොලීසියේ කූඩුවේ නිදා ගන්න ඒ වෙලාවේ හිත හදා ගන්න මට බැරි උනේ . . ?"  තම නිවසට යනාතරතුර සුජී තමාගෙන්ම අසා ගත්තේය! "එහෙම උන නං මේ මගුල් එකක්වත් නැත!"

සිකුරාදා සුජී වැඩට ගියේ නිවසටම ගෙන්වා ගත් ත්‍රී වීලරයකිනි. එදින බැංකුවට ගිය විගසම කල පලමු කාර්‍යය වූයේ හැකි ඉක්මණින් මුද්‍රිත මාධ්‍යයක තම මෝටර් රිය පිළිබඳව දැන්වීමක් පල කරවීමය! 

සති අන්තයේදී ඈත පලාතක අයෙකු පැමිණ සුජී වෙතින් කාල වර්ණ Nissan March K11 රථය රැගෙන ගියේය. යලිත් කිසිදු දිනෙක එවන් රථයක් මිරිහානේ පොලීසියට දකින්නට නොලැබුනි!



මට පිටුපා උඹ යනවද සුරතළියේ . . !

Tuesday, November 23, 2021

224. පිටකෝට්ටේ ඒ කාලේ . . . 1

ෂාන් සහ සුජී  -  එක ගෙයි බත් කෑම!
පාසැලේ අවසාන කාලයේත් ඊට පසුව රැකියාව කල මුල් කාලයේත් මම හිටියේ පිටකෝට්ටේ 585/B ගෙදරය.   තිබුනේ පිටකෝට්ටේ එපිටමුල්ල පාර ආසන්නයේ. ඒකාලේ 585/B නිවසට පිටුපසින් තිබුනු පරණ නිවසෙත් අයිතිය තිබුනේත් නිවස හිමි ලක්ෂමන් අංකල්ලටමයි. ලක්ෂ්මන් අංකල්ගේ බිරිඳ උනේ හේමා ඇන්ටි. එයාලට හිටියා කොල්ලො තුන් දෙනෙකුයි කෙල්ලෙකුයි. ලක්ෂ්මන් අංකල් වගේම මේ කොල්ලෝ තුන්දෙනත් ගියේ නාලන්දෙට. ලොකු එකා රොෂාන්, දෙවෙනි සුජී, තුන් වෙනියා කුකූ! කෙල්ල නිපුනි අනුලාවට ගියේ;නුගේගොඩ!
වයසින් මට ආසන්නව හිටියේ රොෂාන් උනත් වඩාත් හිතයෛෂී මිත්‍රයා උනේ සුජීව හෙවත් සුජී. සුජීගේ ළඟම මිත්‍රයා උනේ ෂානක.   ෂානකලා හිටියේ බංගලාව හංදියේ CMS එකේ ගුරු නිවාසේ. ෂානකලාගේ අම්මා ඒ පාසලේ ගුරුතුමියක්. තාත්තා විශ්‍රාමික පොලිස් නිළධරයෙක්. සුජීලගෙ තාත්තා සේවය කරලා තිබ්බේ මහරාජා ආයතනයේ. මට මතක විදියට "බෙරෙක්" බැටරි ආයතනයේ.
සුජීලටම අයත් එයාලගෙ ගෙදරට පිටුපසින් තිබුනු පැරණි ගෙදර මහ පිරිසක් හිටියා. පසු කාලීනව "විදුසර" පුවත් පතේ ප්‍රධාන සංස්කාරක ඒ. ආර්. කුලසිංහත් එයාලගෙ අක්කලා තුන්දෙනා එක පැත්තකත්, මමත් මගේ අක්කාත් අයියාත් අනෙක් පැත්තේත්, තවත් පවුලක් ලෙස නිමල් අයියාත් චම්මි අක්කාත් අනෙක් පැත්තේත් විසුවා.
සුජී කියන්නේ කලකින් කෙනෙකුට හමුනොවන ආකාරයේ පිරිසිදු, විශාල හදවතක් තිබුනු මිත්‍රයෙක්. කාලෙකට පසුව උනත් ඒ නිවසට ගිය අවස්ථාවලදී තමන්ගේ කෑම එක එයාලගෙ කාමරේට බෙදාගෙන ඇවිත් ඉන් අඩක් කන්න දුන්නු හැටි තාම මතකයි.
ලක්ෂ්මන් අංකලුයි හේමා ඇන්ටියි මම මගේ ජීවිතේට දැක්ක ඉතමත් ගැලපෙන ජෝඩුව කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවේ. දෙදෙනාගේ ශරීර ප්‍රමාණයේ සිට කන - බොන - සිතන හැම දේකින්ම එයාලා සීයට සීයක් ගැලපුනා කිව්වොත් නිවැරදියි. සුජීලගෙ තත්තාත් අම්මාත් දුටු විට ගම "පින්නවල" දැයි අසන්නට හිතෙන තරම් "කෙට්ටු" චරිත දෙකකි. දෙදෙනා ස්කූටරයේ නැග ගමන් ගත් කිහිප අවස්ථාවකදී ස්කූටරයේ පසු පස ඇති අමතර රෝදය සවිකොට ඇති යකඩ බ්‍රැකට්ටුව ඇඹරී කැඩී ගොස් තිබුනි! ඒ කෙසේ වෙතත් ඔවුන් දෙදෙන වචනයක් එහේ මෙහේ වනු අප කිසිදා දැක නැත!
ඒකාලේ සුජීට සෙරෙප්පු දෙකක් ගන්න උනත් අපි සෙට් එකක් නුගේගොඩට යෑම පුරුද්දක්. සුජීගේ යාළුවන් අතරින් ෂානක හැරුණු විට අබේ හෙවත් ප්‍රදීප් අබේ නායක, මීයා හෙවත් මීගමාරච්චි, රවී පනාමල්දෙනිය තව රොහාන් මුදන්නයක වගේ පිරිසෙන් කවුරු කවුරු හරි ඔය ගමන් වලට එකතු උනා.
දවසක් සුජීට අව් කණ්නාඩි කුට්ටමක් හෙවත් සන්ග්ලාස් එකක ගැනීමට මමත් සුජීත් තවත් "අනුපාණයකුත්" සමගින් නුගේගොඩ ගියා. මට අද වගේ මතකයි දුඹුරු පැහැති සන් ග්ලාස් කුට්ටමක් මිලදීගෙන අපි ආපසු පැමිණියා. ඒක සුජීවගෙ එවකට තිබුනු සුන්දර බුහුටි මුහුණට හොඳින්ම ගැලපුනා. ඊළඟ දිනය සති අන්තයක්. සති අන්තයේ සුජීගේ අම්මා හේමා ඇන්ටිත් ලක්ෂ්මන් අංකලුත් එයාලගෙ ලානිල් පැහැති ස්කූටරයේ නැගී පිටත් උනා. තවත් පැය ගනනාවකට පසුව දෙපල යළි සැපත් උනා. හවස දකිණ විට සුජී හිටියේ තරමක කණස්සලු මූණකින්. බලන කොට සුජීගේ අම්මා අර සන්ග්ලාස් දෙක තාත්තාට දීලා උදේ ගමන යද්දී දාගෙන යන්න. ඇවිත් මේසෙ උඩින් තිබ්බාම තමයි සුජී සීන් එක දැකලා තියෙන්නේ. සුජීගේ වචනයෙන්ම කියනවානං "සංගලාස් දෙකේ අඬු දෙක මේම වෙලා; තාත්ති දාලා! මම එයාටම දාන්න තිබ්බා!"
වරක් සුජීලගෙ ගෙදරට හොරෙක් පැන්නේලු. හොරාට ආයේ යන එනමං නොමැතිව අතටම අසුවූ අතර තාත්තා හොරාට නෙළන්නට පටන් ගත් අතර ටික වේළාවකින් හොරා හොඳින් සිටිය අතර ලක්ෂ්මන් අංකල්ට එකසිය ගානට හතිලු! හේමා ඇංටි සුජීට කථා කොට "ඉක්මනට ඔය හොරාට ගහන එක නවත්තන්න සුජී! තාත්තිට මොනවා හරි වෙයි!!" කීවාලු.
88-89 කාලයේදී මා රැකියාවක් කලෙමි. මාගේ හිතාදර මිත්‍ර රාවතාවත්තේ රන්ති රොහාන් ඔහුගේ කාර් සේල් එකට සුසූකි ජී එල් එක්ස් 250 බයිසිකලයක් ගෙනැවිත් තිබුනි.
එකල එම මොඩලයේ බයිසිකල් ලබා දී තිබුනේ පොලීසියටය. බයිසිකලය සුදු හා රතු මිශ්‍ර එකකි. සත්තකින්ම එය ඉතා ලස්සන එකකි. එය මාගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත්වී තිබුනි. එය මිළදී ගැනීම මාගේ එකම බලාපොරොත්තුව වුනු අතර ඒ සඳහා මුදල්; මාගේ සොහොයුරාගෙන් ඉල්ලා ගැනීම මාගේ අරමුණ විය. බයිසිකලය දුටු දිනම දහවල් මා පිට කෝට්ටේ 585B නිවසට ගියේ එදිනම හවස මාගේ සොහොයුරා හමුවීමට පොළොන්නරුව බලා යාමේ අධිඨනෙනි. මේ සමය රට තුල ජනතා විමුක්ති පෙරමුණ මැඩීම සඳහා පාර්වල් පුරා ටයර් සෑයවල් මැවුණු කාලය විය.  පිටකෝට්ටේදී සුජීව හමුවූ මා පොළොන්නරු ගමන පිළිබඳව පැවසූ අතර ඔහුද මා සමග එන්නට කැමැත්ත පල කලේය. මා අත ගමන් වියදම් වත් නොතිබුනු අතර සුජීව සතුව තිබුනු සුළු මුදලක්ද එක් කරගෙන අප ගමන සඳහා පිටත් උනෙමු.  අප යන්නේ කොහේදැයි සුජීලාගේ ගෙදරට කීවාදැයි මාහට නිවැරදිව මතක නැත. 585 නිවෙසින් පිටත් වූ අප දෙදෙන ඊළඟට ගියේ ෂානක හමුවීමටය.  ඒ කාරණා දෙකක් සඳහාය. එක අප යන ගමන නිවැරදිවම කාහට හෝ කිවයුතු බැවින්. දින දෙකකින් අප ආපසු නොපැමිණියහොත් සුජීලාගේ ගෙදරට අප ගිය ගමන පිළිබඳව හෙලිදරව් කිරීම ෂානකහට පැවරීමට. දෙවෙනි කාරණය වූයේ ගමනට අවශ්‍ය මුදල් ටිකක් සම්පාදනය කර ගැනීමට!  ෂානක හමුවී ඔහුගේ කණට ලංවී අපගේ වැඩපිළිවෙල කීවෙමි. ෂානකගෙන් ලැබුනේ දුර්වල ප්‍රථිචාරයකි. 

"මම නං කියන්නේ ඔය ගමන යන්න එපා කියලා! මං ගාව උඹළට දෙන්න සල්ලිත් නෑ!! අනික ඔය ගමන මාර ඩේන්ජර්!"

එකල ෂානකත් සුජීත් දෙදෙනාම උසස් පෙළ සිසුන් වූ අතර ඔවුන් අත තිබුනානම් තිබුනේ දෙමව්පියන්ගෙන් ලද යමක් පමණක්මය!

"එහෙනං අවුලක් නෑ! අපි යනවා බං!" අපි දෙදෙන පරක්කු නොවී ආපසු හැරුණෙමි.  ෂානකගේ මිදුල කෙළවරේ ඉඳි කඩුල්ලක් විය. ඒ මිදුලේ තිබුණු යෝධ අරලිය ගහට පසෙකින්ය.  මමත් සුජීත් එකා පසු පස එකා ඉඳි කඩුල්ල පැණීමට ඔන්න මෙන්නය!

"මේං . . ! මං ගාවත් රුපියල් 150ක් තියෙනවා මාත් එන්න උඹලත් එක්ක යන්න? පොඩ්ඩක් හිටපල්ලා!!" අපිට මාර ආතල්ය!  ෂානක විනාඩියට ලෑස්තිවී අපි තිදෙන පිටත් උනෙමු.

අප තිදෙන පිටකොටුවට ගිය මුත් කුමණ හෝ හේතුවක් මත හෝ  පොළොන්නරුවට බසයක් නොමැති විය. අප එතැන් සිට පොළොන්නරුව බලා ගියේ  වාහන කිහිපයකය. වරෙක මැල්සිරිපුර, දඹුල්ල, ගලේවෙල පසුකලේ අඹ ලොරියක පිටුපසය! කෙසේ හෝ පසු දින උදේ අප මින්නේරියටත් එතැනින් පොළොන්නරුව බලා; ආසන විසි හයේ කුඩා බස් රථයකත් පිටත් උනෙමු. 
බසය ජයන්තිපුරට ළඟාවන විට පාර හරහා පෙරළී ගිය බෆල් රථයකි.
ඔබ විශ්වාස කරණ්න පසෙකට පෙරළී තිබුනු  රථයේ රෝද ඒ වන විටත් රෝද සෙමෙන් කැරකෙමින් විය! බසය පාර අයිනේ නවත්වනවාත් සමගම අප තිදෙන බසයෙන් එළිය පැන්නෙමු.
බෆල් රථයක්!
බෆල් රථය දෙසට අප දිව ගිය අතර ඒවන විටත් එයට යටවී ගිය සොල්දාදුවන් තිදෙනෙකි. එහි ඉදිරිපසින් මතුවූයේ  යුධහමුදා කපිතාන්වරයෙකි.  
දැන් ඊළඟ මොහොතේ රථයේ යකඩ බඳට යටව ගොස් සිටින සොල්දාදුවන් බේරා ගත යුතුය. තවත් මොහොතකින් ගමක සෙනඟ එතැනය.  කපිතාන් වරයා ගල් ගැසීබලා ගෙනය. මෙතෙක් තමන් සමඟ එක්ව ගමන් කල සොල්දාදුවන්ගෙන් කිහිප දෙනෙකු රථයටත් මහපාරටත් හිරවී නිසොල්මන්වය. මහ පාර රුධිර ධාරාවන්ගෙන් රත්පැහැ ගැන්වී ගොස්ය. තරුණ කපිතාන් වරයා ඊළඟ මොහොත පිළිබඳව අවිනිශ්චිතව ගොස්ය. ඊළඟ තත්පරයේදී අප තිදෙන සිදුවීමට නායකත්වය දුන්නෙමු. එකල අප තිදෙනාම පාසලේ ජීවිතාරක්ෂකයින් විය. විශෙෂයෙන් ෂානකත් සුජීවත් පුහුණු ජීවිතාරක්ෂකයින් වූවාට අමතරව පාසලේ ශිෂ්‍ය භටයන්ද වූවෝය. ඒ සැම දෙයකින්ම පන්නරය ලැබූ අප ඉතා තියුණු තරුණ නායකයන් සේ හැසුරුණෙමු. එතැනට රැස්වූ පිරිස යොමු කරවා ටොන් 6.14 බරැති යකඩ ගොඩ ඔසවා එයට යටවූ සොල්දාදුවන් මුදවා ගැනීමට අපට හැකිවිය!
ඊළඟ මොහොතේ කිසිදු හැල හොල්මනක් නොමැති ඔවුන් තිදෙන ඔසවා අප පැමිණි බසයේ බිම නිදි කරවූවේය. කබල් කෑලි හැලෙන බසය පොළොන්නරුව බලා ඉගිල්ලෙන්නට පටන් ගත්තේය. කපිතාන් වරයා දොරේ එල්ලීගෙනය. ඒ වන විට ෂානකත් සුජීත් ඔවුන්හට පපු තෙරපුම් දීම අරඹා තිබුනි. මා තරුණ කපිතාන් ඇමතීය. "මේ දෙන්නා ලයිෆ් සේවර්ස්ලා! බලමු ට්‍රයි එකක් දීලා!" බසය පොළොන්නරුව ඉස්පිරිතාලයේ ගේට්ටු අතරින් ගොස් ගොඩනැගිල්ල ඉදිරිපිට නැවැත්වූවේය. මොහොතකින් සොල්දදුවන් තිදෙන; රෝහල් සේවකයින් වෙතින් ස්ට්‍රෙචර මතට ගැණුනි. කපිතාන් තැන අපිට සමුදුන්නේය.
"මං කැප්ටන් හතුරුසිංහ! ඔයාලා අපිට ලොකු උදව්වක් කලේ!"

අපි එතැනින් පිටත් උනෙමු. සුජී කටහඬ අවදි කලේය."අයියෙ ඒ මිනිස්සුනං එකෙක් වත් ජීවත්වෙනකක් නෑ. පපුවට අත තිබ්බාම එක ඉළ ඇටයක්වත් අතට දැනුනේ නෑ. පිටටම හේත්තු වෙලා."   
අප එතැනින් එළියට බැස පා ගමණින් අයියාගේ නිවෙසට ගිය අතර ඔහුගෙන් මාගේ ඉල්ලීම ප්‍රථික්ෂේප වීම සමගම නැවතත් කොළඹ බලා පිටත් උනෙමු. ආපසු එන ගමනද බස් ලොරි ටිපර් ආදී කිහිපයක ගමන් කොට රාත්‍රී 2.00 පමන කොළඹට සේන්දුවිය.
කොළොඹ නගරයේ ඈත  ඉමට ළඟා වූ අප තිදෙන මහ රෑ ම  පිට කෝට්ටේ දෙසට පයින් එන්නට විය. 
එකල හවස හයෙන් පසුව තරුණයන් එළියට බසින සමයක් නොවීය! දෙමටගොඩ බොරැල්ල මංසන්ධි දැඩි පාළු බවක් ඉසිලීය. අප රාජගිරිය පසුකොට පාර්ලිමේන්තු පාර දිගේ ඇතුල් කෝට්ටේට ළඟා උනා පමණි. අප ඉදිරියට පැමිණි ඩිෆෙන්ඩර් රථය අප පසු කොට ගොස් නැවත හරවා විත් අප ගේ ගමන හරස් කොට නැවැත්වීය. 
"කොහෙද උඹලා . . ? නැගපල්ලා ජීප් එකට . . . " අප තිදෙන පසු පසින් ජීප් රියට නැග්ගෙමු. එතැන් පටන් "අපි මේ . . . කියා ඇරඹි කථාව අවසන් වූයේ අපගේ පොළොන්නරු ගමනේ කූඨප්‍රාප්තිය වූ කැප්ටන් හතුරුසිංහගේ බෆලය පෙරළුනු හා එහිදී අප කල කී දෑ පැවසීමෙන් අනතුරුවය! අපගේ කථාව; ඩිෆෙන්ඩරයේ ඉදිරිපස අසුනේ සිටි යුධ හමුදා ප්‍රධානියා හට "තවත් එක් බයිලාවක්ම " පමණක් වූ බව තේරුම් යමින් විය. ජීප් රිය පිටත් වුවහොත් ආපසු ඒමක් නොමැත! ඒ ජීවිතයේ අවසාන ගමනම වන බව ඒවන විට මාහට දැනෙමින් විය!
"කැප්ටන් හතුරුසිංහගෙන් ඕන නම් අහන්න!" මට ඉබේටම වාගේ කියැවුනි!
ජීප් රිය පිටත්වීමට ඔන්න මෙන්නය!
"අයියේ මේ බලන්න එතන හිටිය සෝල්ජර් කෙනෙක්ගේ සාක්කුවේ තිබ්බ ලයිටරේ!" සුජී; තහඩු කොටස ඇකිළී ගිය නිල් පැහැති ලයිටරයක් අතට ගෙන පෙන්වීය! පපු තෙරපුම් දීමට යාමේදී; එයට බාධාවක් වූ  කමිස සාක්කුවේ තිබූ ලයිටරය සුජී ඉවත් කර තිබුනි.
හමුද ප්‍රධානියාගේ වචන නැවතුනි. ඔහු එය දෙස හොඳින් බලා සිටියා හෝ අතට ගෙන බැලුවාදැයි මා හට මේ මොහොතේ මතකයට නො ඒ! කෙසේ හෝ ඔහුගේ අවධානය මුළුමණින්ම ඩැහැ ගැනීමට එය සමත්වූ බව නම් හොඳින් මතකය! තත්පර කිහිපයක නිහැඬියාවක් ගතවිය.
"බහිනවා! බහිනවා!! මේ රෑ මගුලෙ යන්නෙ නැතුව ගෙවල් වලට වෙල ඉන්නවා!" ඉදිරි අසුනේ සිටි නිළධරයා ගුගුලේය!
සැහෙන දුරක් යන තුරු අප තිදෙන නිහඬව ගමන් කලෙමු!
"උඹට මල්ලි හොඳ වෙලාවට ඒක මතක් උනේ!" මම සුජීගේ පිටට තට්ටු කරමින් කිව්වේය.
"අම්මට හුදු නැත්තං ටයර් සෑයක ගමනකට තමයි සෙට් වෙන්න ගියේ!" ෂානක අඩු වැඩිය සැපයුවේය.
"ඒකනේ! ඒකනේ!! කොහෙද උඹල මගේ වටිනාකම දන්නේ නෑනේ! සුජී සුපුරුදු සිනහවෙන් ඊට පිළිතුරු දුන්නේ එලෙසින්ය.

මේ කථා සියල්ල මතකයට ආවේ වසර දහයකට පමණ දීර්ඝ කලයකට පසු ඊයේ පාන්දර 3.54 ට නොදන්නා අංකයකින් වට්ස් ඇප් පනිවිඩයක් ලැබී තිබුනු නිසාය!
 Hello! Are you in WhatsApp?    ඒ හඳට ගිය රටේ බෝස්ටන් නගරයේ වෙසෙන සුජී ගෙන්ය.
"ඉන්නවා ඉන්නවා කොල්ලෝ!" මා පිළිතුරු ලීවෙමි!

Thursday, November 11, 2021

223. ලිඛිතාට (සංගීතමය) පිළිතුරක්!

 

මෙම පෝස්ටුව කියැවීමට පෙර මෙන්න මෙතනට ගොඩ වැදී එන්න!

මගේ (මම හිතාන ඉන්න විදියට) සිරා පෝස්ටුවට පිළිතුරක් ලෙස ඔබ ලියපු පෝස්ටුවේ මුලින්ම දැක්වෙන පිංතූරයෙන්ම ඔබ මාව පූසාට දමා ඇති බවක් පෙනේ! ඔබ මාව බල්ලාට නොදමා බළලාට දැමූ එකට අනේක වාරයක් පිං!  

ඇත්තෙන්ම ඔබට වැනි ගීතවත් ලමා කාළයක් මට නොතිබුනි. චිත්‍රපට සමග ගෙවුනු කාලයක් යනු සිහිනයකි. නමුත් ඒ කාලයේ "හිංදි ගීත අඩපැය", ඉරිදා දහවල් 1ට පමණ; ඉර මුදුන් සමයමේ ප්‍රචාරය වුනු, අසහාය නිවේදක බණ්ඩාර කේ විජේතුංගයන් ඉදිරිපත් කල චිත්‍රපට සංස්ථාවේ ප්‍රචාරක වැඩසටහනෙන් අප හිංදි ගීත ඇසුවෙමු. එසේම කාලයකට පෙර බොහෝ දනන්ගේ තුඩග රැඳි ගී රාවය වූයේ හිංදි හෝ හිංදි අනුකාරක ගීතයකය. "දෝස්ති" චිත්‍රපටයේ ලක්ෂ්මිකාන්ත් ප්යාරෙලාල්ගේ මන මෝහණීය සංගීතයට එන ගීත අතුරින් රාෆි ගේ හඬින් ගැයුණු  "koy jab raah naa paye" ගීතය හා "chahunga mein tujhe saan savere" ගීතය හ සන්ගම් චිත්‍රපටයට ෂන්කර් ජායෙකිශන්ගේ සංගීතයට මුකෙශ් ගේ ශෝකාකූල හඬින් ගැයුණු "mere maann ki ganga"  යන ගීත එවකට තරුණයන් ගයනවා මා හට අද මෙන් මතකය!

ඕනෑම  කලාවක වේවා තාක්ෂණයක වේවාඕනෑම ක්‍රියාකාරකමක වේවා සීයට 99.99 ක්ම ඇත්තේ කොපි කිරීමය! අපි පාසැල් යන කාලයේ පටන් ගෙදරදීත් පාසැලේදීත් කනට ඇහුනේ "කොපි කරණ්න එපා!", "කොපි කලොත් බලා ගෙනයි!" වාගේ මෘදු සුමට වදන්මය. "කොපි කිරීම" යනු ඒ තරම් භයානක දෙයක් ලෙස අපගේ හිත් වලට කාවද්දා ඇත! 
කොපි කිරීම මේ තරම්ම වැරදි දෙයක් නම් ඇයි දෙයියනේ පංසිල් පද පහට ඒක බුදු හාමුදුරුවෝ ඇතුලත් නොකලේ? කියා මාහට තිබූ විචිකිච්ඡාව පහව ගියේ පංසිල් පද පහෙනුත් සමහර සමහර ඒවා බුදු රදුන්; ජෛන මහා වීර හෙවත් නිගණ්ඨ නාථ පුත්තගෙන් කොපි කලා කියා දැන ගත් දායින් පසුවය! මේ සියල්ලම වැටෙන්නේ කොපි ලෙසය!මේ සියළු කොපි කිරීම් "අවුලක් නැත!" යැයි සිතුනේ කොම්පියුටර් භාවිතය සමග එන "කොපි" - "පේස්ට්" බොත්තං සමගය. එය එසේ නොවන්නට අදටත් "කොපි" කිරීම යනු මහා භයානක අකුසල කර්මයක් යැයි මා අදටත් සිතා සිටින්නේය!
මම පුංචි කාලේ අපේ ගෙවල් ලඟ නැන්දා කෙනෙක් "ආස්මී" හදන හැටි බලා ඉන්න කොට එයා පිටි වලට දාන ලිහිසි ද්‍රව්‍ය මොනවා දැයි ඇසූවද ඇයගෙන් මාහට පිළිතුරක් නොලැබුනි! පසුව මා ගෙදර විත් අම්මා ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඒ "දවුල් කුරුඳු" හෝ "උළු දවුල්" විය හැකි බව අම්මා අනුමාණ කොට පැවසීය. මගේ ඊළඟ ගැටළුව වූයේ ඒ නැන්දාට එවැනි කැලෑ ගසක  පොතු වලින් උකහා ගත් යුෂ; මේ "අසාමාන්‍ය" කෑමට දාන්න ඉගැණ්වුයේ කවුරුන්ද කියාය. බලාන ගියාම එය උගන්වා තිබුනේ ඇයගේ මවය. මෙය සොයා ගෙන ගියහොත් සිංහලේ මුල හොයා ගෙන ගිහින් තිරිසනෙකුට "මුත්තෙ" කියන්නට සිදු වෙනවාට වඩා දෙයක් හිතා ගත නොහැක! බලාගෙන ගියාම අම්මලා කොරලා තියෙන්නෙත් කොප්පෙ ගැහිල්ලය! අපේ ගුරාලා කරලා තියෙන්නෙත් කොප්පෙ ගැහිල්ලය!! එබැවින් අපි කරණ්නෙත් ඒකමය!!! 
ටොයෝටා කොරොල්ලා වාහනය පසු ගිය කාල වකවාණුව පුරා වාහන මිලියන 40 ක් නිපදවා විකුණා දැමූවත් ඔහු ආදීම වාසියාගෙන් "රෝදය" කොප්පෙ ගැසූ බව නිකමට වත් කියැවෙන්නේ නැත!
මම අළුත් තැනකින් මෙහෙම පටන් ගන්නම්! මීට කලකට පෙර ලංකාවට පැමිණි ටාටා බස් රථවල පසු පස තිබුණු ලාංජනයේ දෙපැත්තේ තිබුණු වී කරල් දෙකට මැදිව ඉහලින් TATA කියා තිබුණු අතර පහලින් වූ යේ කට පුරා BENZ කියාය. අද වන විට රතන් ටාටා බෙන්ස් වලිගය හලා ටාටා නම නිදහස් කරගෙන ඇත. ඉංදියාවේ කුමණ කර්මාන්තය ගත්තද කලාව ගත්තද මේ බව දැකිය හැක! පලමුව පිටස්තරයෙන්  එන ඕනෑම දෙයක් ඇතුලට ගෙන පසුව එය තමන්ගේ අච්චුවට හැඩ ගසා ගන්නා බව පෙනී යයි!
සංගීතය ගත්තද එය එසේමය. නෞශාඩ් අලී ගේ ගත්තත් එස් ඩී බර්මන්ගේ ගත්තත් ලන්ෂ්මී කාන්ත් ප්‍යාරේ ලාල්ගේ ගත්තත් ඔවුන්ගේ ඔකෙස්‍රට්‍රා තුල වැයෙන්නේ ඉන්දියානු සංගීත බාන්ඩ පමණක්ද? නැත! ඔවුන් ඒ සඳහා වයලීන් ද, චෙලෝද, ඩබල් බේස් ද, ඉයුෆෝනිම්ද, ට්‍රම්ප්‍රට්ද, ජෑස් ඩ්‍රම්ද යනාදී වශයෙන් බටහිර සංගීත භාන්ඩ ඔවුන්ගේ රාග තාල වාදනය කිරීමට යොදා ගත්තේය. එහෙත් ඒවායෙන් ගැයුනේ හින්දුස්ථානි, දකුණු ඉංදීය, කර්ණාට, බෙංගාලි තනුය! (මේ උදාහරණ කිහිපයක් පමණි) සමහර අවස්ථාවලදී ඒවාට ඉතා දුර්ලභ ලෙස බටහිර තනු, මෙලඩි කොටස් ගත් අවස්ථාද නැතිවා නොවේ.
මේ හැම දෙයකින්ම පෝෂණය වූ;  ඉංදීය සංගීතය පවතින්නේ ඉතා උසස් තැනකය. ඊට හේතු භූතවූ ප්‍රධාන කරුණක් ලෙස මා දකින්නේ ඉංදියාව තුල තිබෙන සංගීතයේ මහා සම්ප්‍රදායය. ඊට සාපේක්ෂව ලංකාවේ ඇත්තේ චූල සම්ප්‍රදායකි. කලකට පෙර මකුළොළුව මහතාත් පසු කාලීනව ලයනල් රන්වල, බැද්දගේ වැනි අය හැකි උපරිමයෙන් කාරණා කාරණා කලත් කෙරුණු යමක් දක්නට ලැබෙන්නේ "මේ අවුරුදු කාලේ" පමණය. කොටින්ම එඩ්වර්ඩ් ජයකොඩිට රෝහන බැද්දගේ තනු යොදපු "ගං වතුර ගලා උතුරා යයි දෙගොඩ තලා . . ." ගීතයද ගොඩ නගා ඇත්තේ බිලාවල් රාගය පදනම් කොට ගෙනය!
මහා සම්ප්‍රදායකින් කරණ කියන දේවල් චූල සම්ප්‍රදායකින් කිරීමට නොහැක. එය හරියට රෝද තුනේ ට්‍රයිසිකල් එකකින් ප්‍රංශ සවාරිය පදිනවා වාගේ වැඩකි! ඒ නිසාම මහා සම්ප්‍රදායන්ගේ ඇල්ම් බැල්ම අප ලංකර ගත යුතුවේ. නො එසේ නම් අපට ඉතිරි වන්නේ පංච කෙළිය, අං කෙළිය, ඔළිඳ කෙළිය වැනි කෙළි මිසක "පෙම් කෙළියේදී" ගැයෙන රසාලිප්ත ගීතයන් නම් නොවේ!
මහා සම්ප්‍රදායෙන් චූල සම්ප්‍රදාය පෝෂණය වීමේදී පලමුව සිදුවන්නේ අනුකරණයන්ය!  ටොයෝටා රෝදය; ආදී මානවයාගෙන් හොරා ගත්තාට කොපි කලාට අද භාවිතාවන්නේ ඒ කොපි කල රෝදය නම් නොවේ. ඩන්ලොප් විසින් හුලං ගසන රබර් ටයරය නිපදවා කාලය සමග ඒවාට විවිධ කට්ටා රටා, විවිධ ප්‍රමාණ ආදී එක් කරණ ලද "ආරළු බූරළු" වලින් එය ඉතා දියුණු තත්වයකට පත්වී ඇත. එසේම මහා සංගීත සම්ප්‍රදයකින් අප වැනි චූල සම්ප්‍රදායක් සහිත රටක් කලා මාධ්‍යයක් ණයට ගන්නා විට පලමුව ඔවුන්ගේ තනු අනුකාරක  ලෙස යොදා ගැනීම දක්නට ලැබීම  සාමාණ්‍ය දෙයකි. 
වඩාත් වැදගත් වන්නේ එම ණයට ඉල්ලාගත් තනුව කෙතරම් සාධාරණ ආකාරයකට භාවිතා කරණ්නේද හා කලේද යන්නය. 
මීට කලකට පෙර ලංකාවේ විසූ එක් සංගීතවේදියෙකු තමා වෙත ගීතයක් නිර්මානය කර ගැනීමට පැමිණි විට පලමුව අසන්නේ "මේක සැඩ් මූඩ් ද හැපී මූඩ් ද?" කියා යැයි  මා අසා ඇත! එයට හේතුව ගීතය කියවා එහි අරුත දැන ගැනීමට මෙම  සංගීතවේදියා සිංහල භාෂාව  නොදන්නා හෙයින්ය! (මාගේ මතකයේ හැටියට මේ මොහමඩ් ගවුස් මාස්ටර්ය!  වැරදි නම් නිවැරදි කල මැන!) ගායකයා වෙතින් ගීතයේ භාවය කුමණ ආකාරයක් ගනී දැයි අසා දැන ගන්නා ඔහු ඊළඟ මොහොතේ තම හාමෝනියම් වාදන භාණ්ඩයෙන් රසාලිප්ත මධුර තනුවක් නිමවයි! එසේ නිපදවෙන දුක්බර තනුවට ; දුක්බර හඬින් ගැයෙන දුක්බර වචන  සපිරි පදමාලාව සඳ කිඳුරු කවි පරදා ලන්නට සමත්වෙයි. මෙවන් වූ තනුවකට ඊට ගැල පෙන දුක් බර පදමාලාවක් සකසන පද රචකයා පිළිබඳව මා අදටත් ලියන්නේ ගෞරවයෙනි. 
 මා වරක් පැවසූ ලෙස 1971 වසරේ ජුලි 20 වන දින තිරගතවූ හතරදෙනාම සූරයෝ චිත්‍රපටයට පී එල් ඒ සෝමපාලගේ සංගීතයට ලතා වල්පොල ගැයූ  "පැතුම් මල්ලෙකී මේ ජීවිතේ . ." ගීතය ගෙන බලන්න! "පැතුම් මල්ල" අප කිසිදා සාමාන්‍ය ජීවිතයේදි භාවිතා නොකරණ වදන්යුගලයකි. ලියුම් මල්ල,  එලවළු මල්ල, පං මල්ල හැරුණු විට අප කිසිදා; "පැතුම් මල්ලක්" යන්න භාවිතා නොකරයි. එහෙත් බලන්න එම ගීත රචකයා එය භාවිතා කොට ඇති සුනම්‍ය ආකාරය!? නිල් කමල් චිත්‍රපටයට රවිගේ සංගීතයට  රාෆි ගයන මෙහි හිංදි ගීතය මෙතැනින් රස විඳින්න!
දැන් ලිඛිතාගේ පෝස්ටුවට සෙමෙන් සෙමෙන් අවතීර්ණ වෙමු! ඇය පලමුව උදාහරණය ලෙස දක්වා ඇත්තේ මදර් ඉන්ඩියා චිත්‍රපටයට නෞෂාල් අලීගේ සංගීතයට ලතා මංගෙස්කා ගැයූ ගීතයක්ය. මෙම ගීතය ඇතුලත් මදර් ඉන්ඩියා චිත්‍රපටයේ මෙම ජවණිකාව තෙක් කථාව සැකවින් ගෙන බලමු. දරිද්‍රතාවයෙන් පීඩිතව සිටින ඈත එපිට ගමක සිටින නව යුවලක් පොලී කරුවෙකුගේ උගුලකට හසුවේ. අවසානයේ තරුණයා ජීවිතය සමග පොර බදිද්දී තම  දෙ අත් අහිමි වේ. අවසානයේ ඔහු ජීවිතයෙන් පලා යයි.  තම දෙ අත් නැති වීම නිසා ඔහුගේ ජීවන බරද තම ආදරණීය බිරිඳට ඉසිලීමට සිදුවීම බලා සිටින්නට නොහැකි වන සැමියා තම බිරිඳගේ නළලත තිලකය මකා දමා රාත්‍රියේම යලි කිසිදා නො එන්නටම පිටව යයි! තරුණ බිරිඳ තම පුතුන් දෙදෙනා සමග ජීවිතයට මුහුණ දේ. ගවයෙකු නොමැති බැවින් මෙම තරුණ මව නගුල අදිමින් මෙම ගීතය කියණ්නීය. මේ ගීතය බලන ඕනෑම අයෙකුට මෙන්ම මටද සිතුනේ ජීවිතයෙන් පලා යන සැමියා කරණ කොට ගෙන තරුඅන බිරිඳ වඩාත් දුක්ඛ දායක මෙන්ම අසරණ තැනකට පත්වන බවයි! සත්තකින්ම එය හදවත ඉරා දමන රූපරාමුවක් සහිත ගීතයකි. ශෝකාලාපයකි!  
දැන් මෙම තනුවට ගැයෙන සිංහල ගීතය පිළිබඳවත් සොයා බලමු! 
එම ගීතය වසන්තා සන්දනායක ගායිකාව විසින් ගායනා කරණු ලබන  "නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා - මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා" ලෙසින් ගැයෙන යශෝදරාවගේ ශෝකාලාපයයි. ඉතින් බලන්න මෙම එකම තනුව ඉතාමත් සාධාරණ ආකාරයට සිංහලට ගෙන ඇති හැටි! එසේ නැතිව එයට "ඇරපං කරාමේ - මේක අපේ පයිප්පේ"  මොඩලයට ගෙන කෙලෙසා නොමැත. ඒ නිසාම හිංදි ගීතයට හින්දු අයෙක් සවන් දුන්නත් සිංහල ගීතයට හින්දු අයෙක් සවන් දුන්නත් මෙලඩියට පමණක් සවන් දුන්නත්  මේ ත්‍රිවිධාකාරයේ සවන් දීම් වලට සිංහල රසිකයෙකු භාජනය උනත් මෙම භාෂා දෙකම නොදන්නා අයෙකු සවන් දුන්නත් දැනෙන හදවත ඉරිතලන හැඟීම නැතිවන්නේ නැත. එසේ හෙයින් එම තනුවට සිංහල පද රචකයා ඉතාමත් සාධාරණයක් සිදු කොට ඇති බව පෙනී යනු ඇත!
ඒ නිසාම හිංදි මෙලඩිය නමැති බනිසට මැදි කොට ඇත්තේ එකම වර්ගයේ සොසේජස් විනා බිත්තර නොවන බව පෙනී යයි. ඒ වගේම එකම ගීත තනුවක් වෙනත් අදහස් දෙකක් උද්දීපනය වන සේ භාවිතා කල නොහැකිවේද?  
මල් කාන්ති හා සනත් නන්දසිරි   ගයන "සහසක් පැතුමන් ඉපදී මිය ගොස්" සහ "සහසක් පැතුමන් නැත මා පැතුවේ"    යන එකම මෙලඩියට ගැයෙන ගීත දෙකෙන් හැඟවෙන අදහස සර්ව සම නොවේ! 
දැන් අපි මේ වාගේම ගැයෙනා හිංදි ගීත දෙකක්ද ගෙන බලමු. එම ගීත දෙකම ගැයෙන්නේ ටාජ්මහල් චිත්‍රපටයටය.  පලමුව තම මුම්ටාස දේවිය සමග සාර්ජාන් අධිරාජයා ගයන ගීතය මෙතනින්ද දෙවනුව ඇය මිය ගිය පසු ගැයෙන ගීතය මෙන්න මෙතැනින්ද රස විඳින්න! මේ දෙවෙනි ගීතය යූ ටියුබයේ දක්වා ඇත්තද "jo wada kiya woh nibhana padega sad song"ලෙසය!  එකම මෙලඩිය උවද දෙ ආකාරයකටම යෙදිය හැකි බව මෙයින් තහවුරු නොවේද? එසේනම් හිංදි සොසේජස් බන් එකෙන් සොසේජ්  ඉවත් කොට සිංහල හෝ වෙනත් භාෂාවක බිත්තර දමා එග් බන් කීමේ වරදක් වේද? ටාජ්මහල් චිත්‍රපටයේ සංගීතවේදී රෝෂන් මෙසේ තම බනිස වරෙක සොසේජ් බන් ලෙසද තවත් වරෙක එග් බන් ලෙසින්ද මේසයට යවා 1964 වසරේදී හොඳම පසුබිම් සංගීතයට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනුවේය! එසේම ගීත රචනා වෙනුවෙන් සහීර් ලුදියාන්වි හටද ෆිල්ම් ෆෙයාර් සම්මානය ලැබුණු අතර හොඳම පසුබිම් ගායිකාව ලෙස ලතා මංගෙස්කා ව මෙම ගීතය වෙනුවෙන් නම් කරණ ලදී!
මාගේ උගත් මිතුරිය දක්වා ඇති "පන්චි ලයින්" එක පිළිබඳව මා හට නිවැරදි වැටහීමක් නැති බව බය පක්ස පාතව පවසන අතරම; මා කිසි විටෙක හිංදි ගීතවල පද මාලාව පිළිබඳව කථා කොට නොමැත!  අප හිංදි ගීත වල මූලික වශයෙන් රස විඳීනේ ශබ්ද රසය විනා අර්ථ රසය නොවේ! ඒ නිසා එකම මෙලඩියට "දුටුවාම  එදා  . ." ගැයූවද "වෙහෙර හේන විහාරයට  . . . ." ගැයුවත් භාෂාව නොදන්නා අයට අවුලක් නැත!  ඒ නිසාම හිංදි පද මාලා පිළිබඳව කථා නොකිරීමට මා ප්‍රවේශම් විය!~
හින්දුස්ථානි රාගධාරී සංගීතය තුල උදේ වරුවට ගැයෙන රාග හා දවලට ගැයෙන රාග සේම රාත්‍රියට ගැයෙන රාග වෙන් කොට ඇත. භාෂාවේද ගුඩ් මෝනිං, ගුඩ් ආෆ්ටර් නූන් , ගුඩ් ඊවිනිං හා ගුඩ් නයිට් යනුවෙන් සුභ පැතීම් වර්ග කොට ඇත. එහෙත් ගීත එසේ අර්ථය හා වචන  අනුව ගැයුව යුතු කාලය තීරණය කරණ බව මා දැන සිටියේ නැත! මා සිතන පරිදි "අප දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ  . ." ගීතය චිත්‍රපට ගීතයක් විය යුතුය. එය එසේ වී නම් චිත්‍ර පටයේ රූප රාමුවට අදාලව එම ගීතය ගැයෙන්නට ඇත. චිත්‍ර පටය තුල; පට්ට පාන්දර මෙම ගීතය නොගැයෙන්නට ඇති බවටනම් මට හොඳ හැටි විශ්වාසය! එසේ ගීතයේ වචනාර්ථයට අනුව ගායනා කල යුතු කාලය නිර්ණය කල යුතු වේ නම් හෝ ගීතය ගයන කාලයට අනුව ගීතය තෝරා ගත යුතු වෙන්නේ නම් උදෑසනට කීමට ඇත්තේ සී ටී ගේ "අවදිවන්න . අවදිවන්න", අයිවෝගේ "උදෑසනක් වේවා ඔබට සුභ උදෑසනක් වේවා", "උදෑසනම පොඩි අපි දිව යනවා", "කුරුළු ලොවේ කුරුළු හඬට මා පිබිදෙනවා" වැනි ගීත කිහිපයක් පමණි! "සොඳුර මට සමු දෙන්න" ජීවිතේට කියන්න බැරි ගීතයකි! මන්ද ඈත ගමේ සරු පස පෙරලන්නට යන්නේ "හෙට" බැවිනි! ඒ නිසා එය අද නොව "හෙට" ගැයෙනා ගීතයකි! මේ පිළිබඳව මා වැඩි පුර කියන්නට යන්නේ නැත!
ගීතයකට රාගයක බල පෑම  සම්බෝලයකට "අජිනො මොටෝ " දැමීමක් ලෙස සිතනවා නම් එය පිළිබඳව නැවත සොයා බැලිය යුතුවේ. එසේනම් රාගය විස්තර කෙරෙණ ගීත යනු තනිකරම අජිනො මොටෝද? මෙයට මං සුට්ටං උදාහරණයක් දෙන්නම් මෙහෙම:- සංගීත් නිපුන් සනත් නන්දසිරි විසින් රචිත "තනුව" නමැති ග්‍රන්ථයේ පලමු ගීතය ලෙස දක්වා ඇත්තේ "ඇවිළුණු ගිනි දැල්" ගීතයයි. මෙම ගීතය පිළිබඳව කෙරෙණ හැඳින්වීම මා මෙලෙස ලියා තබන්නම්! "දක්ෂිණ භාරතීය රාගයක් වන  කලාවතී රාගය ආශ්‍රය කොටගෙන මෙම ගීතයේ තනුව නිර්මණය  වී ඇතැයි එකවරම පෙනෙන නමුදු එම රාගයට අයත් නොවන මධ්‍යමය සහ රිෂභය මෙම තනුව සමග සංකලනය  වී  තිබීමෙන් තවත් රාග යුගලයක ඡායාව ජනිතව ඇතැයි සිතේ. කලාවතී රාගයේ ආරෝහණ අවරෝහන වශයෙන් පිළිගැනෙනුයේ  ස ග ප ධ නි ස, ස නි ධ ප ග ස යනුවෙනි. එහෙත් රිෂභය සහ මධ්‍යමය යොදා තිබීමෙන් ජනසම් මෝහණීය හස ගාවතී යන රාග යුගලයේ ඡායාවද අල්පව දැකිය හැක. . . .. .. . ...  ." තවත් වචන, විස්තර, දිගු එකකි. මෙයින් පෙනෙනවාද රාග යනු හුදෙක් අජිනො මොටෝ  ලෙස ලඝු කොට දැක්විය හැකි කාරණයක් නොවන බව! මෙම පොතේ ගීත 50 ක් පමණ දැක්වෙන අතර ඒ  එක් එක් ගීතය පිළිබඳව රාගධාරී සංගීත විශ්ලේෂනයකින් යුක්තවේ! අජිනොමොටෝ පිළිබඳව තවත් කියන්නට අවශ්‍ය නැති බව මාගේ හැඟීමයි!
සිංදු නිර්මාණය කිරීම ආප්ප බෑමක් නොවන බව මමද පිළිගන්නා සත්‍යයකි. එහෙත්ම් එසේ ආප්ප බානවා වැනිව් බිහිඋනු ගීතද රසික ජන මනස පිනවා ඇති අවස්ථාද අප දැක ඇත. දීපිකා ප්‍රියදර්ශනී ගයන "කවිය ඔබ" එසේ ක්ෂ්ණිකව නිමැවුනු ගීතයකි. බොහෝ ඊත පිළිබඳව ජාතක කථාව සොයා බැලීමේදී එසේ නිර්මාණ්ය වූ ඒවා නැත්තේම නැති බව තේරුම් යයි. 
හිංදි තනු වලට වචන ලියා ගැයෙන ගීත වල වචන වලට ලැබෙන්නේ අඩු ලංසුවක් නම් මම ගීත කිහිපයක් කියන්නම් එසේ තනුවට අකුරු එක් කල! 
කුමාරදාස සපුතන්ත්‍රී ගේ "මලින් මලට" ගී පොතේ දැක්වෙන පරිදි එඩ්වඩ් ගයන "මල් මාලතී ලතා", "මාලතී වසන්තේ" , "දොඹ මලින් මලට" ගීත තුනමද සුනිල් ගයන 'මිනිසා සුවඳයි මලසේ" ගීතයද තනුවට වචන එක් කිරීමෙන් බිහිවූ නිර්මාණයන්ය. ඒවායේ පද රචනය පිළිබඳව අපට අඩු ලංසුවක් හැකිද?
දඬුබස්නා මානයේ සංගීත සංයෝජනයේදී පැරණි ස්ත්‍රොත්‍ර, හටන් කවි වැනි අමුද්‍රව්‍ය එකතු කරගෙන ඇති බව ඇත්තකි. මා කිසි විටෙකත් ස්වතන්ත්‍ර නිර්මාන කරුවන්ට; විශෙෂයෙන් සංගීත සමායෝජකයින් හට වඩා හිංදි අණුකරණ මත සංගීත තනු යොදන නිර්මාපකයින් උසස් යැයි පවසා නැත! දඬුබස්නාමානය ටෙලිය පදනම් වී ඇත්තේ සුදලිය - මරුවල්ලිය සටන් සම්ප්‍රදායයන් මත බැවින් මාස්ටර් එවන් හටන් කවි අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරණ්නට ඇත. එසේම ප්‍රෙම් ලියා වික්ටර් ත්නුව යොදා ගායනා කරන "අදරයේ උල්පතවූ අම්මා" ගීතයේ තනුවට පදනම් වී ඇත්තේ "දොයි දොයි දොයි . .දොයිය බබා . ." නම්වූ ඔබගේත් මගේත් සවනත රැඳුණු මුල්ම ගීතයේ පදනමය!  මෙසේම වැදි නැළවිළි ගීත වැනි දෙයින් උකහා ගත් කුඩා අංශු එක් කොට ගීතය නව ප්‍රවනතාවයකට ගෙන ආ අවස්ථා බොහෝ සෙයින් දැකිය හැක! එසේම අප අහන හිංදි තනු වල මූල බීජ මොනවාදැයි අප සොයා බැලුවේද? 
ලිඛිතා තම ලිපියේ එක තැනක මතු කරණවා "තාලෙ තිබ්බා නම් පද මවන්න පුළුවන්" කියලා යෙදුමක්. මීට වසර ගනනාවකට පෙර ප්‍රවීණ ගීත රචක ආචර්‍ය ය අජන්තා රණසිංහයන් පවසනවා මෙවන් අදහසක්. " ගීත රචකයා විසින් පද මාලාව සැකසූ පසු එහි තුල ගැබ්වූ තනුවක් පවතී!" කියා. ඒ නිසාම  ඔහුගේ අදහස වූයේ පද මාලාවට; එහි තනුව හා සංගීතය හා ගායනයට වඩා වැඩි බරක් තැබිය යුතු බවයි!
ගීතයකට නර්තණයේ යෙදීම වෙනමම කාර්නයක්. ඔබට මතකද ඩෙස්පරාඩෝ එකෙ එන ගීතය! සුපිරි පන්ච් එකක් තියෙන ගීතයක්! එය රස විඳින්නේ ඒ පන්ච් එකට බීට් එකට මිසක් වචන වලට නොවේ. ඔය වගේම ගීතයක් කීර්ති පැස්කුවෙල් ඒ කාලේ කීවා.ඒවා අහන්නේ ශබ්ද රසයට. රිද්මයට! හද්ද ඩොටේ ඉන්න එවුං ඒකාලේ බෆලෝ සොල්ජර් සිංදුවට රැඟුවේ එහි රෙගේ බීට් එකට. ඉන් අදහස් වෙන්නේ නෑ වචන අභිබවා සංගීතයට සෑම ගීතයකම අවස්ථාවක් හිමිවෙනවාය කියා. කවියට යෑමට හැකි උපරීම දුර ගියාට පසුවයි ගීතය නිර්මානය වන්නේ. එහිදී වච්නවලින් කියන්නට හැකි  උපරිම හැඟීම කීවාට පසුව ඉතිරිය පැවසෙන්නේ සංගීතයෙනුයි. මෙලඩි වල ඇති "මී පැණි වන් " රසාස්වාදය නිසාමයි ඒවා සිංහලට ගෙන ඒවා අපේ කර ගන්නේ!  මා කිසි විටෙකත් ස්වතන්ත්‍ර නිර්මාණකරුවන් දෙවන් තැනට හෙළුවේ නැති බව නැවත මතක් කරමි. නමුදු කරුණාරත්න අබේසේකර ඇතුළු හිංදි අනුකාරක ගීත රචකයින් "මම බයිසි කලේ පැද්දා " තැනට දානවා නම් ඒ පිළිබඳව මාගේ බලවත් කණගාටුව. 
නමුදු ඔබ මගේ කමෙන්ටුවකට පිළිතුරු ලෙස "සින්දුව පංකාදුයි - හිංදි කොපියක් නොවුනා නම්" කියන අදහස සමග මාගේ ඇති එකඟ නොවීම නිසාම මෙම පෝස්ටු දෙකම ලියා ගෙන ආවෙමි!

මේ කරණු කාරනා මොනවා උනත්  හිංදි තනුවකට කරුණාරත්න අබේසේකර පද ලියා ජෝති ගැයූ සුමියුරු ගීතයක් සේම රසවත්වූ මෙහි ඊළඟ කොටස හෙවත් දිගුව මෙතැනින් කියවන්න.

තෙවැනි කොටස මෙන්න මෙතැනින් කියවන්න.

Sunday, November 7, 2021

222. මී පැණි වන් ගී තනු 1

මගෙ හදවත හිස් කඩදාසියකි  !  එහි ඔබේ නම මා ලියා තැබුවෙමි  !!

මෙතෙක් කථාව:

මේ කියැවීමට වටිනාකමක් එකතු වීමට ලියන්නට හිතාන හිටියේ වර්ෂ එක්දාස් අටසිය ගනන් වලින්; ඒ කියන්නේ මීට ශතවර්ෂ දෙකකට කලින් උවත් මේ කථාව පටන් ගන්නේ 1973 වර්ෂයෙන්!

මේ කියන කාලේ අපි හිටියේ අවිස්සාවේල්ලේ. ඒ ගෙදර ලිපිනය 874C, කුඩගම පාර, අවිස්සාවේල්ල.  ඔය කියන කාලේ අවිස්සාවේල්ලට ෆිල්ම් හෝල් දෙකක් තිබුනා. ඉන් එකක් ඉම්පීරියල් එක හැටන් පාරේ. අනෙක කොළඹ පාරේ උක්වත්ත හංදියට පොඩ්ඩක් උඩහට වෙන්න CTB ඩිපෝ එකට එහායින් චන්ද්‍රා එක! උක්වත්ත හංදියෙන් හැරිලා යන පාර තමයි කුඩගම පාර! ඔය මං මුලින් කියපු 874C නිවස පිහිටා තිබුනේ උක්වත්ත හංදියේ ඉඳන් මීටර 600 ක 700  පමණ දුරින් පිහිටා තිබුනු මහාමාර්ග සහ වාරිමාර්ග කාර්‍යලය ඉදිරිපිට. චන්ද්‍රා හෝල් එකට අපේ ගෙදර ඉඳන් තිබ්බේ කෙටි ගුවන් දුරක්. පැහැදිලි නිහඬ රැයකදී චන්ද්‍රා එකේ දාන සිංදු අපේ ගෙදරට ඇහෙනවා ඕනෑකමින් කන් දුන්නොත්!

මා ජීවිතේ පලමු වතාවට චිත්‍රපටයක් බැලුවේ මේ චන්ද්‍රා හෝල් එකේ. චිත්‍රපටය "සුහද පැතුම"! රංගනයෙන් දායක වුනේ තිස්ස විජේසුරේන්ද්‍ර සමග මාලණී ෆොන්සේකා. පසුබිම් ගායනා එච් ආර් ජෝතිපාල සමග ඇන්ජලීන්  ගුණතිලක. ගීත රචනා කරුණාරත්න අබේසේකර. සංගීතය පී එල් ඒ සෝමපාල මෙම චිත්‍ර පටය මුලින්ම තිරගත් වූයේ 1973 පෙබරවාරි 23 වනදා!  ආන්න එකයි මම කථාව පටන් ගනිද්දීම කීවේ මේ කථාව පටන් ගන්නේ 1973 වර්ෂයෙන් කියලා!

ඒකාලේ චිත්‍රපටි දිව්වේ සිංදු උඩ. ලව් සීන් හෙවත් ප්‍රේම ජවණිකා කොමිට් කෑලි සහ සටන්  තමයි කථාවේ ෆ්‍රේම් වර්ක් එක හෙවත් දැලිස! ඒක ආවරණය උනේ සිංදු වලින්.  හිංදි ප්‍රේම කාව්‍ය මම එහෙම හැඳින්වූයේ හිංදි චිත්‍රපටිම තමයි! ඔව් ඒ ප්‍රේම කාව්‍ය වල ගැයුණු මී පැණි වන් තනු වල රසයෙන් මත්වූ සිංහල ප්‍රේක්ෂකයා තමන් වෙත ඇද බැඳ තබා ගැනීමට නම් එවන්ම වූ රසාලිප්ත තනු සිංහල චිත්‍රපට අධ්‍යක්ෂකවරුනට ඇවැසි උනා. අනෙක ඒ කාලේ බිහිවූ බොහෝ  සිංහල චිත්‍රපට වල මුල් කථාව හිංදි චිත්‍රපටයක සේයාවක්! මේ නිසාම හිංදි තනුවලට සමාන තනු සොයනවාට වඩා එම තනු වලටම සිංහල වචන බඳවා ජෝතිගේ ගැඹුරු, ආදරණීය ලයාන්විත, පිරිමි හඬින්; තිරයේ පිටු පස සිට ගාමිණීට, විජේට තිස්සට පන පෙවීම වඩාත් පහසු මෙන්ම සාර්ථක කාර්‍යය වන්නට ඇත!

"ඔයාව ජීවිතයේ මට හමුවූ මුල් දවසේ - සිනාවේ දෑසෙ අහිංසක ආදරයයි තිබුනේ"

අහන්න මෙතැනින් ඒ ජෝතිගේ මම කලින් කියපු ආදරණීය, ලයාන්විත හඬ!?

ඉතින් කථාව පොඩ්ඩක් එහා මෙහා උනා මටම නොදැනීම! මං මේ කියාගෙන ආවේ; එකල චිත්‍රපටි පටන් ගන්නට පොඩි වෙලාවකට පෙර එම ශාලා ඉදිරියේ විකුණුනු පොත් විශේෂයක් තිබුනා! ඒ චිත්‍රපටයේ ගීත අඩංගු පොත් පිංචවල්. දම් පාට, නිල් පාට, දුඹුරු පාට  වගේ තනි පාටකින් මුල් පිට කවරය අච්චු ගසා තිබුනු චිත්‍ර පටයේ රූප රාමුවකින් සැරසුනු මෙම සිංදු පොත් එකල විකුණුනේ සත දහයකටත් වඩා අඩු මුදලකට කියලයි මට මතක.  ශාලාවට යන්නට මත්තෙන් සිංදු පොතක් ගන්නා ප්‍රේක්ෂකයා චිත්‍රපටයේ ගීතය ගැයෙන වෙලාවට ඒ සමග ගයයි! මා කලින් කීවා සේ ජීවිතයේ පලමු චිත්‍රපටය ලෙස "සුහද පැතුම" නරඹන්නට ගිය වෙලාවේද එවන් සිංදු පොත් විකුණුවා මට යාන්තම් මතකය. අපේ තාත්තාට සිංදු අරහං ය! එහෙත් අයියාට එවන් පොතක් අරණ් දුන්නේය. චිත්‍රපටිය බලා ගෙදර පැමිණි පසු එම පොත බලාගෙන අයියා සිංදු කී බවක් මාහට මතක නැත! එහෙත් එම සිංදු පොත; ගෙදර පොත් පෙට්ටි හෙවත් ලෑලි වලින් නිර්මිත සන්ලයිට් පෙට්ටිවල අඩිය වේයන් විසින් අකාරුණික ලෙස කා දමනා තුරු ගෙදර තිබුනේය! වේයෝ දන්නවද ඒ සිංදුවල වටිනාකම් බොහෝ මහත්වරුන්ට, නෝනා මහත්වරුන්ට වත් නොතේරෙණ කොට!?

එම චිත්‍රපටයේ එන සුන්දර ගීතයක් පසුගිය දා;  ලිඛිතා මංජරීගේ "කඩදාසි කොලේ  - උන්මාද චිත්‍රදෝ මා" ට යටින් යෙදුවේ මතකයෙන්!  ඒ සුහද පැතුම චිත්‍රපටයට ජෝති ඇන්ජි ගැයූ "ජීවිතයේ කන්තාරේ" ගීතයයි! මෙම චිත්‍රපටයේ ගීත අතුරින් වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූයේ "දෝතින් දෝතයි - ජීවෙන් ජීවෙයි" ගීතය උනත් වඩාත්ම සුන්දර ගීතය ලෙස මගේ මතකයේ තැන්පත්ව ඇත්තේ "ජීවිතයේ කන්තාරේ - තුරුණු වියළි වැල්ලේ" ගීතයයි.

ඒ; ගීත් චිත්‍රපටයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත්වූ ගීතය මොහමඩ් රාෆි ගයන "මේරේ මීත වා - මේරේ මීත රේ" උවත් එහි වඩාත්ම ලයාන්විත ගීතය වූයේ මහේන්ද්‍ර කපූර්  ලතා මංගෙශ්කා ගයන "ජිස්කේ සපුනේ-හ'මේන් රෝzස් ආතේ රහේ" ගීතය වාගේය!

ජීවිතයේ කන්තාරේ පමණක් නොව එම චිත්‍රපටයට ගැයුණු සියළුම ගීත හිංදි තනු වලට ගැයුණු ගීත වේ. මෙයට පිළිතුරු ලෙස ලිඛිතා ලියා තිබුනේ "සින්දුව නම් පංකාදුයි - හිංදි කොපියක් නොවුනා නම්!" කියාය. මේ ඇය වෙතින් ලියැවී ඇත්තේ මෙරට පොදු ජනප්‍රිය මතයය! ඒ ගීතය මෙතැනින් නරඹමින් සවන් දෙමින් ඉදිරියට කියවමු!

අද එතැන් සිට:

ලාංකීය කලාවට ඉන්දීය මැදිහත් වීම වර්ෂ 1750 වැනි කාලයකට දිව යන බව; 1966 වසරේදී සංස්කෘථික දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරණ්ණට යෙදුනු "ස්වර ලිපි සහිත සිංහල නෘත්‍ය ගීත"  ග්‍රන්ථය සම්පාදනය කරණ ලද විල්ම්ට් පී ජයතුංග පවසයි.

යාන්තමින් ඉන්දියාවේ සෙවනැල්ල වැටී තිබුනු මෙරට ගීත සාහිත්‍යයට  ක්‍රිස්තු වර්ෂ1880 දී ඉංදියාවේ සුප්‍රසිද්ධ වාණිජ්‍ය හිංදුස්ථානි සංගීතනාටක කණ්ඩායමක් වූ බොම්බායේ ඇල්පින්ස්ටන් නාටක සමාගමේ නළු නිළි කණ්ඩායමක් සංගීත නාටක රඟ දැක්වීමට අවශ්‍ය උපකරණ සම්භාරයක් රැගෙන දැවයෙන් තැනූ තමන්ගේම රුවල් නැවකින් කොළඹ වරායට පැමිණීමත් සමගම වෙනත්ම මගකට පිලිපන්නේය!

එකල බොම්බායේ මෙම කර්මාන්තයේ අයිති කරුවන් වූයේ පාර්සි ජාතිකයින්ය. මෙම කණ්ඩායම බාරව පැමිණියේ කේ ඇම් බලිවාලා නමැති; පසුව එංගලන්තයේ රජ මැදුරෙන් පවා ප්‍රශංසා ලැබූ කලාකරුවෙකි.

ඔවුන් ලංකාවට පැමිණ ගතකල මුළු කාලය තුල මෙරට රඟ දක්වන ලද ෂේක්ස්පියරයන්ගේ රොමියෝ ජුලියට් ඇසුරින් නිර්මාණය කල නාට්‍යය මෙරට රසික රස මනස පුබුදුවාලූවේය.  1852 වසරේදී උපන් සී දොන් බස්තියන් නමැති නිර්මාණශීලී තරුණයා තමන්ගේ හිත මිතුරණ් කිහිප දෙනෙකුත් සමග කොටුවේ ෆ්ලෝරා ශාලාවට සෑම දිනෙකම පාහේ වැදී රෝමියෝ ජුලියට් නාට්‍යය; මනසේ ග්‍රහණයට නතු කර ගත්තෝය!

සී දොන් බස්තියන් යනු හින්දුස්ථානී රාගධාරී සංගීතයට ඉමහත් රුචියක් දැක්වූ අයෙකි. බලිවාලාගේ පැමිණීමට පෙර මෙරට වේදිකා ගතවූ නාඩගම් වලට වඩා වෙනස්ම වූ සංගීතරටාවකින් සමන් විත වූ මෙම කලා කෘථි සඳහා බලිබාලා භාවිතාකල නාම පදය වූයේ "නාටක්" යන්නය. 

බලිබාලා ඇතුළු කණ්ඩායම මෙරටින් ආපසු නැව් නැග කෙටි කලකින් සී දොන් බස්තියන් විසින්ද "රොමියෝ සහ ජුලියට්" නමින් නාට්‍යයක් ඉදිරිපත් කල අතර ඒ සඳහා යොදගෙන තිබුනේද බලිබාලාගේ ගීතයන්ම විය. ඒවා බොහොමයක් "ගසල්" සම්ප්‍රදායේ ගීත විය. එඩ්වර්ඩ් ජයකොඩි විසින් ගායනා කරණ මුව මුක්තා ලතා  ගීතය මේ ඉස්ටයිල් එකේ ගීතයකි!

බස්තියන් තම කලා කාර්යයට භාවිතා කල නාමය වූයේ නෘත්‍යය ය! එය කාලයකදී ව්‍යවහාරයේ නූර්ති විය. මේ  හින්දුස්ථානී සංගීතය මෙරට ව්‍යාප්තවූ එක් මාර්ගයකි. එතැණ් පටන් සී දොන් බස්තියන් විසින් රචනා කොට ප්‍රදර්ශනය කරණ ලද රෝමියෝ ජුලියට්, රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම, ශූලා නොහොත් කපටි බෑනා, බ්‍රම්පෝර්ඩ් හෙවත් වොලිලන්ඩ් සහ එන්ග්ලින්, සෙලෙස්තිනා, රුබිනා, මාලිනී සහ චිත්‍ර, ඇලඩින් සහ පුදුම පහන, හරිශ්චන්ද්‍ර, ස්වර්ණතිලකා, බ්‍රැඩොව්රා කතාව යන සියළුම නෘත්‍ය සඳහා ඔහු හින්දි ගී තනු ප්‍රයෝජනයට ගෙන ඇත.

නෘත්‍ය කලාවේ අවසානය සමග බිහි වන්නේ චිත්‍රපට කලාවයි. මෙරට ප්‍රථම සිංහල කථා නාද චිත්‍ර පටිය  වූයේ කඩවුනු පොරොන්දුවයි. මෙම චිත්‍රපටයේ පටන්ම සිංහල චිත්‍රපට ගීතය හිංදි ගී තනුවලට නතු වී තිබුනේය. සිංදු දුසිමකින් සමන්විතවූ කඩවුනු පොරොන්දුවේ සංගීත අධ්‍යක්ෂණය නාරායන අයියර් ගේය. එතැන් පටන් ගත් සිංහල චිත්‍රපට වංශ කථාවේ කියැවෙන සංගීත අධ්‍යක්ෂක වරුන් 50 කට ආසන්න ගනනාවගේ නම් කියැවෙන අතර එයින් බොහෝ දෙනෙකු තම චිත්‍රපට පසුබිම් සංගීතය සඳහා හිංදි තනු යොදා ගෙන ඇත. මෙහිදී පී එල් ඒ සෝමපාලයන් විශේෂ තැනක් ගනී. 1973 වසරේදී; එවකට නවකයෙකු ලෙස සරත් දසනායක; "සදහටම ඔබ මගේ" චිත්‍රපටයට ස්වතන්ත්‍ර ගී තනු නිමවා සිංහල චිත්‍රපට ජනප්‍රිය සංගීතයේ නව පෙරළියක් කලේය. එහෙත් ඉන් පසුවත් අන් අයත්, සරත් දසනායකමත් හිංදි තනු සිංහල ගීත බවට පෙරලීය.

පී එල් ඒ

මෙම හිංදි තනුවලට සිංහල වචන ලියන ලද අංක එකේ ගීත රචකයා වන්නේ කරුණාරත්න අබේසේකරයි.

කරු
1936 එච් ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් සිරි බුද්ධ ගයා විහාරේ ගැයුවේද හිංදි තනුවකටය. දැණ් ආසාවට වත් අහන්නට නොලැබෙන අමරදේව මාස්ටර්ගේ "නවක චලිත සීත සුළඟ" ගීතයද හිංදි මෙලඩියකි. ෂෙල්ටන්පෙරේරා මාස්ටර්ගේ බොහෝ ගීත තුල හිංදි මෙලඩි හොල්මං කරයි.  "ආරාධනා" හිංදි චිත්‍රපටයට එස්. ඩී බර්මන් ගායනා කරණ "කාහෙ කො රෝයේ - චහෙ ජො හෝ යේ" ගීතය; එගොඩහ යන්නෝ ගීතයේ ගෑවී නොගෑවී යන අවස්ථාද නැත්තේම නොවේ. (මේ ගීතය අහලාම මෙතනින් ඉදිරියට යමු! සංගීතය යනු විශ්ව භාෂාවක් බවට තියෙන මා දන්නා නොම්මර එකේම උදා හරණය! පෙම්වතා මිය ගිය පසුව තම පියා සමග පිටත්ව යන ඇයට අවසානයේ; තම එකම රැකවල් කරු වන පියාද නැතිවී යයි! ඒ හැඟීම අසා බලා තේරුම් ගන්න! අවසානයේ ඇය; පෙම්වතාගෙන් ලත් දරුවා සමගින් මෙලොව තනිවී යයි!)

පෙම්බර මධූ චිත්‍රපටයට කරුණාරත්න අබේසේකර වචන ලියා පී එල් ඒ සෝමපාලගේ සංගීතයට වික්ටර් රත්නායකයක ගයන "පෙම්බර මධූ මගේ" ගීතයද එවන් නොරට මෙලඩියකි. එය පකිස්ථානු මෙලඩියක් යැයි; මෙම ලිපිය සම්පාදනය කිරීමට කරුණු එකතු කිරීම සඳහා අද උදෑසන ප්‍රවීන හිංදි ගී වැඩසටහන් ඉදිරිපත් කරණ්නෙකු වූ රංජිත් එදිරිසිංහයන් දූරකථනයෙන් සම්බන්ධ කරගත් මොහොතේ පැවසුවද එය 1976 වසරේ තිරගතවූ කබී කබී චිත්‍රපටයට මුකෙෂ් ගැයූ "කබී කබී මෙරෙ දිල් මේන් " ගීතයේ උනුසුම දැනී ඇත. කාලය ගෙවී යද්දීමුළු ගීතයම ඒ ආකාරයෙන්ම සිංහලට නොගෙන "ජාමෙ බේරාගෙන  වැඩේ ගොඩදාගන්නා හැටි" අපේ තනු නිර්මාපකයින් පුරුදුව සිට ඇත. ඒ නිසාම "පෙම්බර මධු" ගීතයේ මෙලඩියේ  හා කබී ගීතයේ මෙලඩියේ ටච් එක තියෙනවාදැයි කියා සිතා ගැනීමට නොහැකි තරම්ය!

පසුව හොයාගෙන යන විට එම ගීතයේද අක්මුල් සොයා ගන්නට  ලැබුනි. එය උර්දු බසින් ගැයුණු ගීයකි. 1971 සැම්තැම්බර් මස 17 වන දින තිරගත වීම ඇරඹි  Chiragh Kahan Roshini Kahan චිත්‍ර පටයේ මෙය ගැයුනි. මෙම ගීතය ඇතුලත් චිත්‍ර පටය ඉන්දියාවේදි හින්දි චිත්‍ර පටයක් ලෙසද පාකිස්ථානයේදී උර්දු බසින්ද නිමවා ඇත. මෙම උර්දු චිත්‍රපටයට මෙම ගීතය ගයා ඇත්තේ Masood Ranaa නමැති ගායකයා විසින්ය! මෙතැනින් අසා බලන්න! 

දැන් ඊළඟට කථා කලයුතු වැදගත්ම දේ වන්නේ හිංදි අනුකාරක ගීයක් නිර්මාණය පහසු කටයුත්තක්දැයි කියා විමසීමය. ගීතයක් යනු තුන් ඈඳුතු නිර්මාන කාර්‍යයකි. ගීත රචකයකු තනුවකට වචන ලිවීම නැතිනම් පද එක් කිරීම කෙතරම් අපහසු දැයි ඔබ මොහොතකට සිතුවාද?

මේ බලන්න දීපිකා ප්‍රියදර්ශණී ගයන සුනිල් ආර් ගමගේ රචනා කල මේ ගීතය ගැන සිතන්න.

 "කවිය ඔබ  

 තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී

සිත දෙගිඩියාවෙන් තව නොලියූ

කවිය ඔබ - කවිය ඔබ"

මේ ගීතය කිසිදා අසා නැති අයෙකු ; මෙම පද මාලාව දුටු විට; "පුළුවන්නම් සිංදුවක් කරලා පෙන්නපන් කෝ!" අරියාදුවට ලියූ වචන පෙලක් සේ දැනෙනු ඇත! ඒ මන්ද එහි එළි සමයක් හෝ රිද්මයක් දක්නට නොමැති වීමයි. තවත් ලෙසකින් පවසනවානම් කවියා තම නිදහස උපරිමයෙන් ගෙන පබැදූ කවි පෙලක් සේ එය පෙනේ.

එහෙත් ඔබ සිතන්න මෙලඩියකට පද ගැලපීමේදී එය කෙතරම් අසීරු කාරණයක් වනවාදැයි කියා!? මන්ද මෙලඩිය තුල ගැයෙනවා වගේම ගීතයේ ලය හා සෘතියට එය ගැලපිය යුතුය. එසේ නැතිව ඉබාගාතේ යන වචන වලින් මෙලඩිය පුරවා ලීමෙන් සාර්ථක ගීතයක් නිර්මාණය කරගත නොහැක!

මහේන්ද්‍ර
මේ බලන්න මේ ගීත දෙක අහලාම. පලමු ගීතය මහේන්ද්‍ර කපූර් විසින් 1967 වසරේදී "හම්රාzස්" චිත්‍රපටයට ගැයූවක්.  1970 දී "දැන් මතකද?" චිත්‍රපටයට ගැයුනු "මේ සීත සුව දෙන රැයේ" යන මේ ගීත දෙකම  එක දිගට මෙතැනින් අසා බලන්න.

දැන් මෙයට සවන් දෙන්න!  ඒ  කුමන ගීතයේ අනුවාදනයද? ඔව් එය "නින්ද නේන රාත්‍රියේ ගීතයේ නම් මෙයටත් සවන් දෙන්න! ඒ කුමන ගීතයේ අනුවාදනයද? ඒ "චාවුද්වින් ක චාන්ද් හෝ" රාෆිගේ ගීතයයි.  එහෙත් මුල් අනුවාදනය සවන් දෙන විට එය කෙතරම් දුරකට "අපේ" කරගෙන අයිති කර ගෙන සිටිනවා දැයි ඔබට සිතා ගත හැකිද? ඉංදියාවෙන් ඉල්ලා ගත් රෙදි කැබැල්ලක් වුවත් ගීත රචකයා වන අජන්තා රණසිංහ හා ගායකයා වන එච් ආර් ජෝතිපාල  එය අපේ මිම්මට මසා ඇති අයුරු කෙතරම් අපූරුද? ජෝතිගේ ගීතයත් මෙතනින් අහලාම යං!

 (නින්ද යන්නෑ! සිංදුවක් ලියන්නෝන!  හ්ම්ම් . .  නින්ද නේන රාත්‍රියේ . . . . හරි!!)
මේ ගීතය පිළිබඳව අදහස් දක්වන; පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ රූපවාහිණී හා මාධ්‍ය අංශයේ ජේෂ්ඨ කතිකාචාර්‍ය අතුල සමරකෝන් මහතා පැවසූවේ හරි අපූරු කථාවකි. එනම් ඔහු ඉංදියාවට ගිය අවස්ථවකදී හමුවූ පිරිසක් පවසා ඇත්තේ මෙම මෙලඩියේ ඔරිජිනල් හිංදි ගීතයට වඩා සුන්දරව ජෝති ගයන බවය!

අරථ රසය හා මෙලඩියට අනුව වචන ලිවීම පහසු කටයුත්තක් නොවේ. ගායකායා හට මුහුණ දීමට සිදුවන්නේ ඊටත් වඩා අසීරු තාවයකටය. දැනට ගයා ඇති ගීතයක මෙලඩියකට ගයන විට  අසන්නන්හට එය සංසන්ධනාතමකව බැලීමට නිර්ණායකයක් තිබීම කෙතරම් අභියෝගයක්ද? මීට මා කදිම උදාහරණයක් දක්වන්නම්. මේ භාරතයේ මහා සංගීතඥ්ඥයෙකු වන නෞෂාඩ් අලී  ගේ  දැවැන්ත ඔකේස්ට්‍රාව ඉදිරියේ මොහමඩ් රෆි "ඕ දුනියාකේ රඛ වාලේ" ගීතය ගැයූ අයුරියි. මෙතැනින් අහලම බලන්නකෝ. මේ එම ගීතයම භාරතයේ යේසුදාස්ගේ හඬින් මෙතැනින් අහන්න!

නෞෂාඩ්
රෆි

අවසාන වශයෙන් අපේ මොහොදීන් බෙග් ගේ හඬින් එම ගීතයේ සිංහල ගීතය වන "මායා" මෙතැනින් අසා තේරුම් ගන්න ස්වර තන්ත්‍ර නිර්නාණයකට වඩා අනුකාරක ගීතයක් ගැයීමේදී ගායකයාට  ඇති අභියෝග කෙතරම්දැයි කියා!?

අවසාන වශයෙන් මම මේ කථිකාවට සම්බන්ධ කර ගත්තේ විශාරද ආනන්ද රාජපක්ෂවයන් ය!  " අනන්ද අයියා" ලෙස ආදරයෙන් හඳුන්වන ඔහු පිළිබඳව මීට පෙරද මා ලියා ඇති අතර ඔහු මෙරට සිටින හිංදි ගී ගයන හා ගැයුව හැකි හඬකට හිමිකම් කියන අයෙකි. මහේන්ද්‍ර කපූර්ගේ හඬට සබැඳි හඬකට හිමිකම් කියන ඔහු සමග කෙරුණු කතා බහේදී ඔහු හිංදි අනුකාරක ගීත හැඳිවූයේ "සරළ වූවාට බොළඳ නොවුනු" ගීත සම්ප්‍රදායක් ලෙසය. 
ඔහුගේ ප්‍රකාශයේ පරිදි නුවන් ගුණවර්ධනගේ "කිරි මුහුදු වෙරළේ . . . " ගීතය සේම හරූන් කුමාර් ලන්ත්‍රා ගයන "මගෙ නාමලී බැඳි ආදරෙන් . . ." ගීතය පවා හිංදි අනුකාරක ගීතයන්ය. එසේම හින්දුස්ථානී රාගධාරී සංගීතයට අනුව ගැයුණු ගීතත් මෙසේ අප බැහැර කලයුතු දැයි ඔහු අසයි.

" මන්නාරම් පිටි වැල්ලේ - ෆ්‍රෙඩී සිල්වා "
" ඉර පායා. . . ඉර පායා . . . සමිතා මුදුන්කොටුව"
"මධුර යාමේ  . . සුවදෙ සාමේ . . . . මුත්තුසාමි"
"මනරංජණ දර්ශණීය ලංකා . . . කේ රාණි"
"අතීතය සිහිණයක් පමණයි . . .  කරුණාරත්න දිවුල්ගනේ"

මේ සියළු ගීත හිඳුස්ථානී සංගීතයේ එන "බූපාලි" රාගයට අනුව ගැයුණු ගීත වේ. මේවාත් හිංදි කොපි ලෙස අප බැහැර කරණ්නෙමුද?  

මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන් සම්බන්ද කර ගැණීමට ගත් අවසාන උත්සාහය අවසාන වූයේ  "හෙට කථා කරමු!" යන පොරොන්දුව මතය! "හෙට" එතුමා කථ කලොත් එයත් මෙම ලිපියට ඇතුලත් කරණ්නම්! එතෙක් කියවන්න!

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...