Friday, December 10, 2021

225. පිට කොට්ටේ ඒ කාලේ . . . 2


"224. පිට කොට්ටේ ඒ කාලේ" පෝස්ටුව ලිව්වේ පැරණි මතකයන් ගාල් කොට තැබීමටත් හිතාදර සහෘද සුජී හෙවත් "සුජී - බොස්ටන්" වෙත කෙරෙණ ත්‍යාගයක් වශයෙනුත්ය! ඒ පෝස්ටුව නැවත ඔබ පිවිස බැලුව හොත් "සුජී - බොස්ටන්" නමින් ඔහු කමෙන්ටුවක් ලියා තිබෙනු දැකිය හැකිවෙයි. මේ ලියන්නෙත් සුජී - බොස්ටන් පිළිබඳව තිබෙන තවත් රසබර මතකයක්! 
සුජී පාසලෙන් පසුව සේවය ඇරඹුවේ; කාර්‍යාල උපකරණ විකුණන ආයතනයක විකුණුම් විධායකයෙකු ලෙස. තේරෙණ හිංගලෙන් කියනවා නම් සෙල්ස් එක්සෙකටිව් කෙනෙක් ලෙසට. මට තාම මතකයි ඔහුට විකුණන්නට තිබුනු "නශුවා ශ්‍රෙඩර්ස්" ගැන ඇවිත් මට කියපු හැටි. "ශ්‍රෙඩරයක්" කියලා එකක් ගැන මම එතකොට අහලාවත් නොතිබුනු කාලයක "කොල ඉරන මැශින් විකුණනවා" කියන එක මට තේරුණේ නිකං බෝතල් කරපු වතුර විකුණනවා කියලා මීට අවුරුදු දහ පහලොවකට ඉස්සෙල්ලා කන වැකුණු දවසේ ඇතිවුනු සිතුවිල්ලමයි. සිව් මහා ගංගා හතරවටින් ගලා බහින; ගාලු පාර මැද්දේ උනත් අඩි විස්සක් විසි පහක් බැස්සාම වතුර හම්බෙන; තිස් දහසක් තිබ්බා යැයි කියන - දැනට දොලොස් දහසක් ඉතිරිව පවතින හා ඉන් හත්දාහක් අභාවයට යමින් පවතින වැව් පිරුණු රටක උපන් බුද්ධහඳවියක අහපු කථාවක්ද 'බොට්ල් වෝටර්' විකිණීම. 

ජීවිත කාලයම ඕනෑ කොලයක් දෙකක් නෙවෙයි තුන හතරක් උනත් ඒ පැත්තට මේ පැත්තට තියලා හරහට දිගට හරව හරවා ඉරා දමන්නටත් ඒවා ගුලිකොට වීසි කරණ්නටත් "හොර මගුලක්" නම් ගිණි දෙවියන්ට පූජා කරණ්නටත් උපන් හමන් කම් කී පරම්පරාවක පුරුකක් වූ මට 'ශ්‍රෙඩරය' පිළිබඳව ඇතිවූ නොදියුණු හැඟීම පිළිබඳව සාධාරන මනසකින් යුතුව; දැන්වත් හිතනවා ඇතැයි මා විශ්වාස කරමි.
ඒකාලේ සුජී හවසට ගෙදර පැමිණියේ හතර අතින් දාඩිය මුගුරු දාගෙන මුහුණ රතු කරගෙන "එපා වෙනවා!" කියාගෙනය.
ෂානකත් සුජීවත් ඔවුන්ගේ අතිජාත මිත්‍ර ප්‍රදීප් අබේරත්නත් පාසලේ සියළු කරුණු කාරණා කලේ මිල්ටේරිමය රැකියා අපේක්ෂාවෙන්ය. ඔවුන් පිහිණුම් සංගමයේද ජීවිතාරක්ෂක සංගමයේද පාසල් ශිෂ්‍ය භට කණ්ඩායමේද කටයුතු කලේ එම අරමුණ සාක්ෂාත් කර ගැනීමටය. නමුදු කාලය විසින් ෂානක කඳවලවත්ත ආරක්ෂක විද්‍යා පීඨය හරහා ගුවන් හමුදාව තුලත් අබේ යුධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවේත් සුජී පෙර කී ආයතනයෙන් පසුව හැටන් නැෂනල් බැංකුවේත් රැඳවූවේය!
ඒ තීන්දු තීරණ වලට එළඹුනු දින කාල වකවානු හා ඒ වටා ඇතිවුනු නැතිවුනු සිද්ධි මාහට ඉතා හොඳින මතකයේ සණිටුහන් වී ඇත!
සුජී සේවය කලේ හැටන් නැෂනල් බැංකුවේ කිරුළපන ශාඛාවේය. ඔහුගේ බැංකු දිවිය පිළිබඳවද ඔහු සිටියේ මහා විශාල සතුටකින් නොවන බව මට යාන්තමින් මතකය. ඒ ජීවිතය මහත්වූ ඒකාකාරී එකක් විය. දිනක් සුජීට වැඩ නැතිවේලාවක ඔහු කලේ; හිස් කඩදාසියක් ගෙන  තම බොසා ගේ එනම් ශාඛා කළමණාකරුගේ අත්සන එහි ඒ මේ අත ගසමින් පිරික්සා බැලීමයි!  පිටුපසින් දිගුවූ අතින් කොලය ගන්නවාත් සමගම සුජී ආපසු හැරී බැලුවේ ස්ව‍යංක්‍රියවය.
ඔව් ඔබ හිතනවා හරියටම හරිය. ඒ අන් කවෙරෙකුවත් නොව බොසාය! කතන්දරේ අප සමග රසකර කියනවිට මම සුජීගෙන් ඇසූ ප්‍රශ්නය ඔබට සිතා ගත හැකිය!

"අම්මට සිරි! පොර මොනවද කිව්වේ?"

"ම්හු! තාම උඹට බැහැ!" කියලා ඌ යන්න ගියා බං. සුජී කීවේ ඔහුගේ සුපුරුදු ලැජ්ජාශීලී මුහුණ දමා ගෙනමය.

"ඇත්තටම උඹ හරියට ගහලා තිබ්බේ නැද්ද?' 

"මොන පිස්සුද ආයේ සුපිරියටම ගහලා තිබ්බා ඌටවත් හොයා ගන්නට බැරි වන විදියට - ලෙසටම! ඌ ලැජ්ජාවට එහෙම කිව්වේ!"


මේ කථාව වෙන කාලේ සුජීත් එයාගේ අම්මා හේමා ඇන්ටීත්

කාලය මෙසේ ගෙවී යද්දී දිනක් සුජීගේ ගජයන් පිරිසක් ඔහු සමග හීන් අඩියක් ගැහීමට සෙට මෝල් වුනේ එක් බ්‍රහස්පතිදාවකය! ඒ; පොල්හේන්ගොඩ, නොම්මර 2/12/16 දරණ ස්ථානයේ ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජයේ අපාන ශාලාවට හෙවත් කවුරුත් දන්නා Sri Lanka Government Service Sports Club  හෙවත් පොල්හේන්ගොඩ වලේ ක්ලබ් එකේය. 

සුජීලාගේ නිවස පිටකෝට්ටේ ප්‍රධාන පාරේ 585/B හි පිහිටා තිබුනත් එවකට සුජී කුඩා ගෙයක් සාදා ගෙන තිබුනේ බංගලාව හංදියෙන් බැද්දගාන පාරේ කුඩා දුරක් යනවිට දකුණු පසට ඇති පාරේ තිබුනු පාරම්පරික ඉඩමේය. මෙම ඉඩම එකළ හැඳින්වූයේ "දුඹුට්ට" නමින්නි. දුඹුට්ටේ තරමක වපසරියකින් යුතුව තිබුනු ඉඩම කුඩා කොටස් දෙකකට හෝ තුනකට වෙන් කොට තිබුනි. ඉන් පලමු වැන්න සුජීලාගෙන් මිළට ගෙන තිබුනේ සුජී ගේ පියාවූ ලක්ෂ්මන්  අංකල්ගේ මිතුරෙකුවූ ලංකාවේ කීර්තිධර පොලිස් නිළධරයෙකු වූ උප පොලිස්පති රත්නසේකර මහතාය.  ඊට යාබද ඉඩමේ හෝ ඊට ආසන්නව සුජී නිවස සාදා තිබුනි. එවකට  නිවස සාදා නිමකොට තිබුනද ගේට්ටු ආදිය සවි කොට නොතිබූ නිවස තරමක අනාරක්ෂිත බවක හැඟීමක් සුජීගේ ප්‍රිය බිරිඳට දැනීම; සුජීගේ බොහෝ ප්‍රිය සාද අතර මග නවතා දැමීමට හෝ කෙටි කර දැමීමට හේතු විය.

"මා දන්නා තරමින් මූ හොඳ කොල්ලෙක්ය !" 
මාවෙනුවෙන් ලක්ෂ්මන් අංකල්
එදින කාර්‍යාලවේලාවෙන් පසු වලට සෙට් වූ සුජී හට ඉක්මණින් ගෙදර යෑමේ අවශ්‍යතාවයක් පැන නැගුනේ පෙර කී තම බිරිඳගේ අනියත බියය. වේලාව රාත්‍රී 8 පසු වූවා පමණය. සුජී තම අත බැඳි ඔරලෝසුවෙන් වෙලාව බලා "මචං මම දැන් යන්නෝන! අවුලක් ගන්න එපා!! මෙහෙම හරි උඹලත් එක්ක සෙට් වෙච්ච එක ලොකු දෙයක්!" විවෘථ ප්‍රකාශයක් කරමින් නැගී සිටියේය. එතැන සිටි බොහෝ මිතුරන් "අවතැන්" වූ අයය! ඒ කිසිදු හේතු කාරණාවක් නිසා නොව සුජීට මෙන් මහත්වූ වගකීම් නොමැති බැවින් කාලය දීප දේශය ස්ථානය පිළිබඳ හැඟීම් දැනීම් නොමැතිව සිටි අයය. මේ තත්වයට සුජීට හා සමාන හැඟීම් දැනීම් ඇත්තෙකු වූවානම් ඒ පාසැල් යන කාලයේදීම විවාහයට පිළිපන් මුදන්නායක මිත්‍රයා පමණි. එහෙත් ඔහුද එතැන් නොසිටියේය. 

"ඕකනේ ඕකනේ!! උඹලත් එක්ක බැරි! මොනාද බං මේ අපි වගේ හිටපල්ලකො! හර්! හරි!! තව එක ෂොට් එකක් දගෙනම පලයං කො!! දුක තමයි!!" ගිරා හොටක් වන් නාසයක් ඇති මිතුරාගේ ඉල්ලීමටත් වඩා තමා තුල කවදත්; අරක්කු වෙත තිබෙන ආදරණීය බැඳීම විසින් සුජීට තවත් අරක්කු වඩියක් ලබා ගැනීමට; හිත ඉඩ පහසුකම් සැලසීය!

ඕනෑම අයෙකු හමුවීමෙදීට වඩා වැඩි මිතුරු බවක්, හැඟීම් බර බවක්, උනුසුම් බවක් වෙන් වීමේදී හිත තුල ඇතිවෙයි. එය සර්ව කාලීන සත්‍යයක් වෙයි. සිගරට්ටුවක් දෙදෙනෙකු විසින් බීමට සැලසුම් කරගෙන තිබී පලමු වැන්නා එය දෙවැන්නා අතට එය අතට පත් කිරීමට ප්‍රථම දැඩි උගුරක් අදින්නේ ඒ නිසා විය යුතුය!  එසේම සාදයක් අවසන් වීමට ප්‍රථම කිසිවෙකු හෝ ඉන් නැගී ඉවතට යාමේදී වත් කරගන්නා අන්තිම වඩිය; දෙයියනේ කියා තවත්  දෙදෙනෙකුට පැයක් පුරා බීමට සෑහෙන ප්‍රමාණයක් වන්නේද මා අර කලින් කියන ලද මිතුරුබව, හැඟීම් බර බව, උනුසුම් බව නිසා නො එසේනම් පෙරේත කම නිසාදෝයි සිතා ගත නොහැකිවන්නේ එසේ මා වඩියක් වත් කර ගත් සෑම අවස්ථාවක් පිළිබඳව කිසිදු මතක මාත්‍රයක් සිතේ කොයි මුල්ලකින් හෝ සොයා ගත නොහැකි නිසාය!

ඩබල් වඩියටත් වඩා වැඩි මධ්‍යසාර වඩියකින් සප්පායම් වුනු සුජී සෙමෙන් සෙමෙන් රථගාලේ පසෙකින් නවතා තිබූ තම රථය වෙත පිය මැන්නේය! "පොලීසිය ඉන්නවාද දන්නේ නෑ! අවුලක් නෑ මම එච්චර බීලයෑ!? අනික තාම කීයද? ආ! තාම 8.30 නේ!?" මෙසේ තමාටම කියා ගනිමින් සුජී රථයට නැග එය පනගැන්වීය!

සුජී තමා සතුව තිබූ කාල වර්ණ නිසාන් මාච් K11 රියේ නැග පාමන්කඩ වලෙන් ගොඩට පැමිණියේය.කොයි එකටත් රේල්වේ ඇවනි‍යු එක පැත්තෙන් නුගේගොඩට දානවා" මෙසේ සිතුවේ බේස්ලයින් පාරෙන් පැමිණ කිරුළපන හංදියෙන් හයි ලෙවල් එකට දාන ගමන් මය! "අම්මට සිරි මම වැඩකරන බැංකුව!" සුජීට කිරුළපන හැටන් නැෂනල් බැංකු ශාකාව ඉදිරියෙන් දකිත්දීම සිතුනි. "රෑට මාර ලස්සනයිනේ! රෑට වැඩට එන්න තියේනම්!? රෑට කොයිංද බං කස්ටර්මර්ස් ලා!? මගේ හිතටත් එන පිස්සු අදහස්! ඒ තරං බීලත් නෑ! ඒත් අන්තිම ශොට් එකට ෂැන්ඩි මදි උනානේ! ඒක ටිකක් අවුල්ද මංදා!? දැන් දමින්දි ඇති බල බල!? එයා තේරුමක් නැතිවම බය වෙනවානේ!  තාත්තිගේ තුවක්කුව ගෙනත් තියා ගන්න ඕනේ ටික දවසකට! " අතොරක් නැතිව සිතුවිලි සිතමින් සුජී සීබල් පටුමගින් රේල්වේ පටුමගටත් එතැනි නුගේගොඩ සුපරි වෙළෙඳ සැල ඉදිරි පිටටත් පැමිණියේය.  පොලීසිය ඉදිරිපිට නිළධාරීන් තම එදිනෙදා කටයුතු ගැන කියවමින් සිනහ වෙමින්ය!  "දවසෙ ලොස් ඇන්ඩ් ප්‍රොෆිට් බලනවා වෙන්ඩැති!!?" තනිව සිනහ වෙමින් නුගේගොඩ නගරයේ පහළට ගමන් කොට නාවල පාරට හැරෙන හංදිය පසු කොට් සිටි ටිම්බර් එක ඉදිරියෙන් සුජී තම රථය පදවමින්ය!

පිට කෝට්ටේට ස්ටැන්ලි තිලකරත්න මාවත දිගේ ජුබිළි කණුව හරහාද පාගොඩ පාර දිගේද ගමන් කල හැක. ජුබිළිකණුව හරහා යනවා යනු මිරිහාන පොලීසියේ මිදුල උඩින් යනවා වැනි ක්‍රියාවකි. ඒ නිසාම පාගොඩ පාරට අවතීර්ණව නිරෝමි රෙදි සාප්පුව පසු කරමින් දැන් වැලි පාර්ක් පාර අසලට යනවාත් සමගම පාර අයිනේ සිටි පොලිස් නිළධාරීන් කිහිප දෙනා තම රථයේ එළියෙන් සුජී හට දක්නට ලැබුනේය. 

"අම්මට සිරි! අවුලක් නෑ! මම ඒ තරං බීලා නෑනේ! ඔය කිව්වට මාට්ටු වෙයිද?" දෙලොවක් අතරින් පොලිස් පිරිස පසු කර පැදවීමට සිතමින් පදවන රිය ට ඉදිරියෙන් පොලිස් රුවක් වාහනය නවතන ලෙස සංඥා කලේය. වාහනය නැවැත් වූ සැණින් එතැනට පැමිණියේ තරමක පැසුණු සාර්ජන් වරයෙකි.

"මහත්තයා කොහේද මේ . . .?"

වාහනය තුලට ඉව අල්ලමින්ම පොලිස් නිළධරයා ඇරුණු ජනේලයෙන් ඇතුළට හොම්බ පෙව්වේය!

"ආ! මගේ බබා අසනීපයෙන්! මම මේ ඉක්මනට ගෙදර යනවා පිටකෝට්ටේ!"

"මහත්තයා බීලානේ; බබාට බෙහෙත් අරං දෙන්න යන්නේ !?"

වැඩේ එකසිය ගානටම අවුල්වූ බව සුජීට මේ වන විට තේරුම් ගොස් අවසන්ය.

අනං මනං වැල් බයිලා ගායනා කිරීමෙන් පලක් නැත! 

"මේ රාලහාමි ඔෆිස් එකේ පොඩි පාටියක් තිබුනා! මම පරක්කු වෙන හිංදා ඒකටත් ඉන්නේ නැතිව මේ ආවේ බබාට සනීප නෑ කියලා වයිෆ් කෝල් කල නිසා! බැරිද පොඩ්ඩක් . . . !? සුජී ටික වෙන්න ඇඹරුණේය.

"මහත්තයා ඕන තරම් පාටි වලට යන්න! අපේ විරුද්ධත්වයක් නෑ! ගිහින් හොඳට බොන්න!! ඒකෙත් අවුලක් නෑ!!! ඒත් බීලා වාහනයක් එලවන්න බෑනේ? ඒ හිංදා අපේ රාජකාරිය කරණ්න ඉඩ දෙන්න කෝ මහත්තයා කරුණා කරලා අපේ රාළහාමි කෙනෙක් එක්ක වාහනේ මිරිහානේ පොලීසියට ගේන්න!

"මේ මල්ලී මේ මහත්තයත් එක්ක මේ වාහනේ පොලීසියට ගේන්න!" සාජන් මහතා සුජීටත් එතැන හිටිය ළපටි රාළහාමි කෙනෙකුටත් එකවර වැඩ දෙකක් පැවරුවේය. රාළහාමි වාහනයේ අනෙක් පසින් ගොඩ වුනි. සුජී වාහනය ධාවනය කරමින් පිට කෝට්ටේ දෙසට ගමන් ඇරඹීය!

"අම්මට සිරි මේක බ්‍රහ්ම කෙළියකි! සාමාන්‍යයෙන් බීලා අහු උනාම එතැන් සිට වාහනය පොලීසියට තබා අඩි දෙක තුනක් වත් ගෙනියන්න දෙන්නේ නෑනේ!? ඒ වුනාට මේ සාජන්  කියන විදියට මටම වාහනය අරං පොලීසි එන්නලු! මං ඒතරං බීලා නැති හිංදා වෙන්නැති!! දැන් පොලීසි යන එක සාමාන්‍ය දෙයක්. අවුලක්නෑ! ඒත් දමින්දි මේ කිසිවක් දන්නේ නෑනේ!" සුජී මේ සියල්ල ගැන සිතමින් වාහනය පාගොඩ පාර දිගේ ධාවනය කරයි. 

"ඔව් කරණ්නට තියෙන්නේ එකම දෙයයි මේ ගමන්ම ගෙදරට ගිහින්ම යනවා! පිට කෝට්ටේ ඉඳන් බංගලාව හංදියට යන්න තියෙන්නේ ගියර් දෙකක දුරනෙ!?" මෙසේ සිතූ සුජී රාළහාමී ඇමතීය! 

"මේ රාලහාමි මට මෙහෙම පොලීසියට යන්න බෑ! ගෙදරට පොඩ්ඩක් ඝින් කියලාම යමු. මෙතන ඉඳන් පොඩ්ඩ දුරයි තියෙන්නේ!" 

රාලහාමී කිසිදු හැලහොල්මනක් නැතිව සිටියි. එයට කිසිදු ප්‍රථිචරයක් නොදැක්වීම යනු තවත් ආකාරයකින් එකඟ වීමක් යැයි සිතිය හැක! මෙය පිරිමි සාමාන්‍යයෙන් සිතන පිළිවෙළය! රථයේ ඉන්ධන ටැංකිය හිස්ව ඇති බව මේවන විට; ඉදිරි මීටර පුවරුවේ දැල්වුනු කහ පැහැති එළියකින් දන්වමින්ය. සත්තකින්ම මේ සංඥාව ලැබී දැන් සැහෙන කාලයක් ගතවූ බව සුජීට මතක වුනේ එවිටය. "වාහනේ පාර මැද්දේ නතර උනොත් මගුලයි!" සිත්මින් සුජී රථය පදවයි!

මාච් රිය පාගොඩ පාරේ පිටකෝට්ටේ දෙසට සුජීව සහ නම ගම නොදත් තරුණ පොලිස් අංකුරය සමග ගමනේය. තවත් විනාඩි ගනනාවකින් පිටකෝට්ටේ හංදිය පසු කරමින් වමට හැරී බංගලාව හංදිය දෙසට වාහනය හැරුණි!

"ම් මේ කොහේද? පොලීසිය තියෙන්නේ අනිත් පැත්තෙනේ!" පොලිස් නිළධරයා වික්ෂිප්තව තම හඬ අවදි කලේය!

"අනේ රාළහාමි මම කිව්වේ! මම ගෙදරට ගිහින් සිද්ධිය කියලා ටක් ගාලා එන්නං!" රාළහාමි තරමක් නිහඬ විය. පොඩි පොඩි වචන දැම්මද එය අහසේ පාවෙමින් සිටි සුජීට වගක් නොවීය!

රථය එපිටමුල්ල වංගුව පසු කර බංගලාව හංදිය දෙසට පිම්මේ යමින් විය. පොලිස් කොස්තාපල් වරයා තරමක් නොව බොහෝ සෙයින් නොසන්සුන් වී ඇති  බව සුජීට පෙනුනි! දැනුනි!! 

"දැං මං මොනවද ගෙදර ගිහින් කියන්නේ!? එළිවෙනතුරු කූඩුවේ ලගින්න වේවිද? දමින්දි මොනවා කියාවිද මංදා?" සුජී සිතමින්ම වාහනය බංගලාව හංදියෙන් බැද්දගාන දෙසට හැර වීය! 

"මේ කොහේද මේ යන්නේ?  නවත්තන්න!  සාජන් මහත්තයා කිව්වේ පොලීසියට එන්න කියලානේ !! " පොලිස් නිළධරයා සෘජුවම විරෝධය පලකරමින්ය. තවත් විනාඩි ගනනකින් නැතිනම් මීටර 100 කින් වාහනය බැද්දගාන පාරෙන් දුඹුට්ට දෙසට හැරෙන අඳුරු පටු මාවතට හැරෙන්නට තිබේ.

"හරි රාළහාමි මේ ළඟ මගෙ ගේ තියෙන්නේ! ගෙදරට ගියා ආවා!!"

තමාව මරණ්නට ගෙනයනවාදැයි නොදත් පොලිස් නිළධර පැටවාගේ සිත බියෙන් සැළෙන්නට විය!  වාහනය දුඹුට්ට දෙසට දිවෙන පටු අඳුරු මාවතට හැරෙනවාත් සමගම එතෙක් දැඩි නොසංසුන් තාවයෙන් සිටි පොලිස් නිළධරයා වාහනයේ තම පස වූ දොර විවෘථ කරගෙන එළියට පනින්නට පළමු පියවර ලෙස දොරේ අගුල ඇර ඒ දෙසට හැරුණි! 

එක වරම; සුජී දිගුකල වමතට පොලිස් කොස්තාපල් වරයාගේ කමිසයේ කොළරය අසු විය!

"අනේ රාළහාමි පිස්සු කෙළින්න එපා! මට තියෙන්නේ බීලා වාහනේ එලෝපු කේස් එක විතරයි මේකෙන් රාළහාමි පැනලා මට මර්ඩර් කේස් එකක් සෙට් කරණ්නනම් එපා!" 

තවමත් රථය දිවෙමින්ය! මද පවන පැන වමතින්; නීතිය කිරියාවේ යෙදවීම සඳහා තමාව අතඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිළධරයාව ගලග්‍රහනයෙන් ගෙන;  වාහනය දකුණතින් ගේ පදවන සුජී; පොලිස් රාළහාමිව අස්වසාලීමට  බන දෙසමින්ය! තමාට වාහනයෙන් පැන නිදහසේ  මැරෙණ්නටවත් අවස්ථාවක් නොමැති අහිංසක රාලහාමි පසෙකය!

"අ . . . නවත්තනවා! නවත්තනවා මේක!" රාළහාමි තොර තෝංචියක් නොමැතිව විධාන දෙමින්ය!

සුජීගේ අදහස තම නිවෙසට වාහනය ගෙන වැඩේ දමින්දි සමග බැලන්ස් කරගෙන පොලි කොස්තාපල් වරයාට කූල් ඩ්‍රින්ක් එකක් දී හිමි හිමීට මිරිහාන පොලිසියට මංගච්චන්නටය! මෝටර් රිය තම නිවෙස දෙසට ඔන්න මෙන්න තියා සුජී දුටුවේ ජීවිතයේ එතෙක් මෙතෙක් දැක නොතිබුනු සුභ දසුනය!

"අම්මට සිරි රත්නසේකර අංකල් . . .!"

ආයේ කථා දෙකක් නැත. මේ සිටින්නේ තමාගේ ඉටු දෙවියාය! ගැලවුම් කාරයාය!! මේ වෙලාවේ තමාගේ පිහිටට ඉන්නා එකම සරණය! DIG රත්නසේකර!  තාත්තාගේ හොඳම මිත්‍රයා!

එතෙක් ගමන් කරමින් තිබුනු රථය එකවරම රත්නසේකර මහතාගේ නිවසේ විවෘථව තිබුනු ගේට්ටුව අතරින් ඇතුළුවිය. කිසියම් බැහැරක ගොස් පැමිණි රත්නසේකර මහතා ගමනට ගිය ඇඳුමෙන්ම ඉදිරිපස මිදුලේ පසෙක තිබුනු කුඩා මල් පඳුරු කිහිපයට හෝස් එකෙන් වතුර දමමින්ය! එකවරම තම මිදුලට හැරුණු රථය හඳුනාගත් ඔහු; තමා එතෙක් වතුර දමමින් සිටි පැලය දෙසටම ජල ධාරාව හරවාගෙන රථය දෙස බලාගෙනම සිටියේය!  වාහනයේ දෙපසම දොරවල් දෙක වේගයෙන් විවෘථවිය!  තමා වෙතට දිව එන තමාගේ අතිජාත මිත්‍රයාගේ පුතු සුජීව ව හේ ඉක්මණින් හඳුනා ගත්තේය! 

"ඇ ඇයි සුජීව . . . . ?"

"අංකල් මාව පොලීසියෙන් ඇල්ලුවා! මම් ඔෆිස් එකේ පාටියකට ගිහින් පොඩි ඩ්‍රින්ක් එකක් අරණ් ඉන්නේ! . . .  මේ රාළහාමි . .  . . . . . . . ." කථව කියා අවසන් කරණ්නට වේලාවක් නැතිවිය ! ඊළඟ නිමේශයේ සුජීව ගෙදර කැන්දාගෙන ආ රාළහාමි එතැනය!

"මෙයා මාව; මගෙ බෙල්ලෙන් අල්ලාගෙන මෙහේ එක්ක ගෙන ආවා! මං නවත්තන්න කියද්දිම!"

"නෑ අංකල් මේ රාළහාමි කාර් එකෙන් එළියට පනින්න හැදුවා  . . . !" කථාව නැගලා යන අතර රත්නසේකර මහතා; තම පොලිස් මොළෙන් යමක් අවබෝධ කරගනිමින් විය. "සුජී පොලිස් නිළධරයෙක්ව පැහැර ගෙන ඇවිත්ය! ඒ; තමාව අතඩංගුවට ගත් පොලිස් නිළධරයාවය!! ඔහුව අත් අඩ්ංගුවට ගැනීමට හේතුව බීමත්ව රිය පැදවීමය!" 

"ප් පුතා! මම DIG රත්නසේකර! පොඩ්ඩක් ඉන්නකෝ මම ප්‍රශ්නෙ විසඳලා දෙනකල්!" රත්නසේකර මහතා වැඩේ තමා අතට ගන්නට සැරසුනේය. සිදුවූ අනපේක්ෂිත සිදුවීමෙන් උතුර දකුණ මාරුවී සිටි පොලිස් නිළධරයා හට "D. I. G." යනු තම දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨත්වයෙන් දෙවන් පෙළ නිළධරයෙකු නොවේදැයි කියාවත් තේරුම් ගැනීමට තරම් කල්පණවක් නොතිබුනි.

"මහත්තයා කවුරු උනත් බලන්නකෝ මේ මනුස්සයයා කරපු වැඩේ! එයා කොහොමද මාව මෙතනට ගෙනාවේ කියලා! යං කො පොලීසියට . . .!!" එම ප්‍රකාශයත් සමග රත්නසේකර මහතාගේ ඉවසීම උඩුගුවනේ පාවී ගොස් අවසන්වී තිබුනි!

"....... උඹ දන්නවද කාටද කථා කරන්නේ කියලා?!? මගෙ සපත්තුවේ ලේස් කුට්ටට්මත් උඹට වඩා පරණයි මේ දෙපාර්තමේන්තුවේ. මම පොලීසියට බැඳෙන කොට . . . . . .උඹ . . . .!!"

ඒවන විට සුජී අතඩංගුවට ගෙන ගෙදරට කැඳවාගෙන පැමිණ සිටි පොලිස් කොස්තාපල් වරයා පියවි සිහිය ලබමින් විය!

"සමා වෙන්න සර් . . . . !"

"මට පොඩ්ඩක් වෙලාව දෙනවා මම තමාගෙ ඕ අයි සී මහත්තයාට කථාකරලා වැඩේ බේරුමක් කරලා දෙනකල්!" රත්නසේකර මහතා මිරිහානේ ස්ථානධිපති අමතන්නට විය. මේ වන විට සුජීගේ බිරිඳද රත්නසේකර මහතාගේ බිරිඳද ගෙවල් දෙකේම සිටි අවශේෂ පිරිසද එතැනට රාශිභූත වී සිටියහ! 

"සුජී එන්නකෝ ගේ ඇතුලට! රත්නසේකර මහත්මිය සුජී ව නිවස තුලට කැඳවා වතුරත් ශීතකරණයෙන් එළියට ගත් "මින්ට්" ලොසින්ජර කන්නටත් දෙමින් විය. දමින්දි තමා දෙස "සෙනෙහෙබර" බැල්මක් හෙලමින් විය!

"මීට වඩා හොඳයි එතැනින්ම පොලීසියට ගියානං!" සුජී තමාටම කියා ගනිමින් විය!

මෙ සිද්ධීන් මෙසේ නිවස තුල සිදුවනාතරතුර රත්නසේකර මහතා මිරිහානේ පොලිස්ථානාධිපතිවරයා දූරකථනයෙන් සම්බන්ධ කරගෙන සිටියේය!

"සර් පොඩ්ඩක් ෆොන් එක  ඔය රාළහාමිට දෙන්න පුළුවන්ද?" ඕ අයි සී මහතා රත්නසේකර මහතාගෙන් ඉල්ලීය!

"රාළහාමි ඔඅය මහත්තයා බීලා කියලා හොඳටම විශ්වාසද?'

"එහෙම කියන්න බෑ සර්! සැහෙන්න මහන්සි පාටෙන් හිටියේ! ඒකයි අපි බැලුම් පුම්බන්න එක්කං එන්න ආවේ!"

"ඔන්න ඕක ඔය ඩී අයි ජී සර්ට දෙනවා . . . . .!"

" . . . . . . . . . . . . . . . . . . . . . . . . "

": . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . "

" . . . . . . . "

" . . . . . ."

" . . . . . . . . . "

"රාළහාමි යමු මම තමාව පොලීසියට ඇරළවන්නම්!" රත්නසේකර මහතා පොලිස් කොස්තාපල් වරයා ඇමතීය.

"අංකල් මම ගිහිං බස්සලා එන්නද . . . . ?" ඩෝප් මරගාතේ සුජී වැඩේට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් විය.

"මගෙන් මුකුත් අහගන්නෙ නැතිව ඔහොම ඉන්නවා මම මේ මනුස්සයාව පොලීසියට ගිහින් ඇරළවලා එනකං . . . . . ආයෙ ගිහිං ඇරළන්නත් අහනවා  . . . . . . . . !?"

රත්නසේකර මහතා එනතුරු සුජීට පැය භාගයක සුමදුර ධර්ම දේශනාවකට සවන්දීමට අවස්ථාව ලැබුනි. තවත් කෙටිවේලාවකින් ඩී අයි ජී රත්නසේකර මහතා සුජී ඉදිරියේ පාණීභූත විය!

"ඔයා කරලා තියෙන වැඩේ බරපතල කම දන්නවාද? රාජකාරි කරණ පොලිස් නිළධරයෙකුව කිඩ්නැප් කරලා! ඒකත් සිහියෙන් නෙවේ! හොඳටම බීලා. අනික මේ වාහනේ තෙලුත් නෑ . . . . . . . . . . .!

"ඇයි දෙයියනේ පොලීසියේ කූඩුවේ නිදා ගන්න ඒ වෙලාවේ හිත හදා ගන්න මට බැරි උනේ . . ?"  තම නිවසට යනාතරතුර සුජී තමාගෙන්ම අසා ගත්තේය! "එහෙම උන නං මේ මගුල් එකක්වත් නැත!"

සිකුරාදා සුජී වැඩට ගියේ නිවසටම ගෙන්වා ගත් ත්‍රී වීලරයකිනි. එදින බැංකුවට ගිය විගසම කල පලමු කාර්‍යය වූයේ හැකි ඉක්මණින් මුද්‍රිත මාධ්‍යයක තම මෝටර් රිය පිළිබඳව දැන්වීමක් පල කරවීමය! 

සති අන්තයේදී ඈත පලාතක අයෙකු පැමිණ සුජී වෙතින් කාල වර්ණ Nissan March K11 රථය රැගෙන ගියේය. යලිත් කිසිදු දිනෙක එවන් රථයක් මිරිහානේ පොලීසියට දකින්නට නොලැබුනි!



මට පිටුපා උඹ යනවද සුරතළියේ . . !

57 comments:

  1. අපරාදේ වාහනේ විකුණුවේ,ඩී.අයි.ජී ගේ යාලුවාගේ වාහනේ කියලා මුලු පොලිසියම දන්නවනේ.ආයේ ඩී.අයි.ජී පෙන්ෂන් යන්නන් අල්ලන්නේ නෑ,සිගරට් එකනම් තදේටම අදින්නේ අන්තිම උගුර නිසා, අරක්කු නම් ඉතින් අවස්ථාවෙ හැටියට

    ReplyDelete
    Replies
    1. අපිට එහෙම හිතුනට සුජීගේ හාමිනේ එහෙම බර බරේ දාන්න ඇති "දැං මම යනකොටත් පොලීසිය නවත්තාවි!" කියලා. අනෙක අර පොලිස් බුවාත් කියලා තියෙන්න ඇති "ඔන්න ඔය මගුල විකුණලා දානවා!" කියලා.
      ඒ අන්තිම උගුරටනේ "පෙරේත උගුර" කියන්නේ!~
      කොහොම උනත් ස්තූතියි ඇනෝ තුමා මෙහි ආවාට!

      Delete
  2. "වෙන් වීමේ දුකට" ඩබල් ෂොට් එකක් දානවා කියපුවාම, ඒක මිතුරන්ගෙන් වෙන්වීමේ දුකට ද, එහෙම නැතිනම් බෝතලයෙන් වෙන් වීමේ දුකටද කියලා මට නම් හිතා ගන්න බැහැ.

    මේ කතාවෙන් කියවෙන කාලේ "එක රටක් එක නීතියක්" තිබිලා නැතුව ඇති. අද කාලේ වගේ නීතිය අකුරටම ක්‍රියාත්මක වන කාලයක නම් DIG ත් හිරේ.(සභාවේ සිනා)!

    අන්තිම ෂොට් එක / වෙන්වීමේ ෂොට් එක දාපුවාම වැඩ වරදින බව බොහෝ විට අත්දැක තිබුනාට, පළමුවන ෂොට් එක දාලත් කෙළවෙන අවස්ථාවල් තියනවා. මේ මට එහෙම වෙච්ච කතාවක්.

    මේ සිද්ධිය උනේ මගේ වෙඩින් එකෙන් සති දෙකකට විතර පස්සේ දිනකයි. මනමාලියගේ දෙමව්පියන්, අලුත් යුවලගේ ගෙදරට පැමිණ, ඔෆිශියලි තම දියණිය අලුත් දෙමව්පියන්ට බාර දෙන උත්සවයෙදීයි. දැන් නම් එහෙම චාරිත්‍රයක් තියන වගක් නොපෙනුනාට ඒ කාලයේ එහෙම එකක් තිබුනා.

    එදා, මගේ වයිෆ් ගේ දෙමව්පියන්/සහෝදර සහෝදරියන් ඇතුළු හය හත් දෙනෙක් එන නිසා, මගේ වෙඩින් එකට බැහැලා වැඩ කරපු යාලුවෝ හය හත් දෙනාටත් ලන්ච් එකට එන්න කිව්වා.

    එදා උදේට කන්න ලැහැස්ති වෙන කොටම කොට්ටාව හන්දියට එකල (ඇඹිලිපිටිය පැත්තේ ඉඳලා) එන මී කිරි ලොරිය ආවා කියලා පණිවිඩයක් ආවා. කෑම නවත්තලා, මම කිරි පැණි ගේන්න ගියා. කොට්ටාවේ මාළු ලෑල්ලෙන් මාළු ඕඩර් කරලා තිබුන නිසා, කිරි පැණි අරගෙන මාළුත් කප්පවාගෙන එනකොට තවත් මොනවා හරි වැඩක් පැටලුනා. මගේ යාලුවන්ට හොඳ සංග්‍රහයක් කිරීමේ සන්තෝශයත්, වැඩ වැඩි කමත් නිසා උදේ කෑම මතකම නැති උනා. බෙඩ් ටී එක විතරයි.

    කට්ටිය ඔක්කොම එකතු උනාම, ඉතාම හොඳ බේබේ කෙනෙක් වෙන මගේ මාමන්ඩියා, පළමුවෙනි බෝතලේ කඩලා, පළමුවෙනි ෂොට් එක මට දෙන්න කිව්වා . මම බොන බව මාමන්ඩියා නොදන්නවා උනත්, අද වගේ සන්තෝෂ දවසක පොඩ්ඩක් බිව්වට කමක් නැහැ කියලා එයා කිව්වා. මගේ යාළුවොත් සාමාන්‍යයෙන් අපි බොන විදියට කට කපලා එකක් දාලා, මට දීලා සුබ පැතුවා. මාත් ඇතුළුව, අපි යාළුවෝ හැමෝටම ඒ කාලේ ප්‍රශ්නයක් නැතුව "බාගයක්" බැගින් බොන්න පුළුවන් කම තිබුනා. නමුත්, එදා හිස් බඩට, ඒ ෂොට් එක ගහපු ගමන් මට උනේ මොකද කියලා හිතා ගන්න බැරි උනා. වෙරි වෙලා, හෝටල් දාලා, ඇහැරුනේ පහුවදාත් පාන්දර වෙලයි.

    ඒකෙන් මට එක හොඳක් උනා. මම ඊට ඉස්සෙල්ලා කවදාවත් බීලා නැති සිරිමත් ළමයෙක් කියලා අපේ අම්මා තාත්තාටත්, ඒ ගොල්ලන්ගේ ගෙදර අයටත් ඔප්පු උනා.


    ReplyDelete
    Replies
    1. මොනව කියනවද සෑම් මහත්තයා බෝතලෙන් වෙන්වීමේ දුකට තමයි! දැං උනා නං ඉතිං වල් කන්ටි වල් ලෝ නේ! හොඳට තියෙයි!
      ඔබ තුමාත් මාර ආතල්නේ දීලා තියෙන්නේ! කබරයට ආදරය කරමින් බල්ලාට මචං කියූ අතීතයක් මටත් නැත්තේම නැත! මගේ හොඳ වෙලාවට ඒ අතීතය දන්නා එවුං බ්ලොග් ලියනවා කියවනවා තබා එහෙම එකක් තියෙනවාද කියාවත් දන්නේ නැත!
      කොහොමත් අපි සිරිමත්නේ!

      Delete
    2. ඔයාගේ වයිෆ් මාමණ්ඩියට බනින්න ඇති හොඳටම, එයාගේ සිරිමත් හස්බන්ඩ් ට බොන්න දුන්න කියල

      Delete
    3. අපරාදෙ කියන්න බෑ ඊළඟ පඩි දවස වෙන විට සත්‍යය වැටහෙන්න ඇති!
      "සත්‍ය වැටහෙන විට සියල්ල සිදුවී හමාරය!"

      Delete
  3. නොබිව්වට මොකද බීලා කරන වැඩ
    දැකලා තියෙනවා ලස්සන හරිම හැඩ
    මේකත් කියෙව්වෙමි නැඟ ආ කුහුල මැඩ
    රහයි, හිනා නහරය නං තාම වැඩ!

    ReplyDelete
    Replies
    1. සුරාවේ අගයත් - එහි ඇති මනා රසයත් කියලානේ තියෙන්නේ.
      ඒවා විඳින්න පොඩ්ඩක් ගන්නම වෙනවා! කොහොම උනත් ස්තූතියි මෙහි ආවාට උදේ පාන්දරින්ම!

      Delete
  4. මතකයන් අවදිකරන පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ඉතින් ලියමුකෝ ප්‍රාජේ මහත්තයා! අපිටත් රස විඳින්න.

      Delete
    2. ලියන්න කිව්වෙ, කමෙන්ට් එකක් වෙන්ටෑ?🤣

      Delete
    3. මම සඳකඩ පහන සින්ඩියේනම් දැක්කා ප්‍රා කියලා මොක්ක්දෝ බ්ලොගයක්!?

      Delete
    4. ප්‍රා ට බ්ලොගක්... හුම්ම්.. නරකත් නෑ. හොඳ කතා සාගරයක් ඕක 😂😂😂

      Delete
  5. ආවා. එක හුස්මට කියයෙව්වා. එලෝනවා නං, වැයින්වත් නොබොන නිසා, තනි අණ්ඩෙන්ම ලිස්සුවා.😊😂

    ReplyDelete
    Replies
    1. ඔව් දෙයියනේ මමත් සාමාන්‍ය පාරවල් වල බීලා එළවිල්ල නැවැත්තුවා! අධිවේගේ නම් අවුලක් නැතිව එන්න ඇහැකි නොවැ!

      Delete
    2. මාත් එක හුස්මට කියයෙව්වා

      Delete
    3. මේකයි බොනව නං ස්පෙයා වීල් එකක් තියෙන්නම ඕන. නැත්තං නොබී ඉන්නෙක හොඳයි. පොලිසියට බයට නෙවී. තමන් එක්ක යන අනික්කුන්නෙ පණ බයට

      Delete
    4. ඒකනේ අපේ මහත්තුරු කසාද බැන්ද ගමන් නෝනට ඩ්‍රැයිවිං උගන්නන්නේ!?

      Delete
  6. Niyamai,thawamath hina yanawaa,

    ReplyDelete
    Replies
    1. හිනා තමයි! ඌ කලොත් වැඩක් ආයේ පලුවක් නෑ!

      Delete
  7. මදෑ කොලා. රාල කොල්ලට වෙලා තියෙව අලකලංචියෙ හැටියට ඩීඅයිජී නෙමෙයි පොලිස්පති හිටියත් අහගන්න වෙනව හොඳට. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා ඌත් ඉන්න ඇත්තේ මරු පෙනි පෙනී නොවැ!?

      Delete
  8. පොලිස් රාළහාමිට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්.

    ඒ කාලේ අපේ උන් බීලා (මට කාරෙකක් තිබ්බේ නෑ නොවැ) පොලිසියට මාට්ටු උනාම ඉන්ග්රිසියෙන් ටෝක් කරන්නේ. (දන්නවටම නෙමෙයි) අනේ ඉතින් සමහර රාළහාමිලා යන්න දෙනවා අනිත් රාළහාමිගෙන් අහන්නෙත් නැතුව. :0

    දැන් නම් බිලා වාහන එලවන්න හිතෙන්නෙම නෑ.

    ReplyDelete
    Replies
    1. ඔහොම සිද්ධියක් වෙලා රාලහාමි කිව්වලු "අනේ මහත්තයා අපිනම් ඉංගිරිස් දන්නේ නෑ! ඒත් අපේ ලොකු මහත්තයානම් දන්නවා! යමුකො පොලීසියට එහේදි කාරණාව තේරුං බේරුං කොරගන්න!~කියලා!?

      Delete
  9. Ammo!Honda welawata oya sidu weema e kale une.Ada wage dawasaka nam D.I.G. mahaththaya bera ganna issara wela ayudha pennanna ekkagena yannath ida thibuna.

    ReplyDelete
    Replies
    1. අම්මපා තමයි! මේවා අවුරුදු 15ක් විතර පැරණි මතක!

      Delete
  10. ඔෆිස් එකේ කෙල්ලෝ කොල්ලෝ රංචුවක් අපේ ගෙදර ඇවිත් බීව . බිරින්දෑ නෑගම් ගිහින්. මේකේ උනේ ඔෆිස් එකට ගිය අලුත් 2000 වගේ කාලෙක. ළමයි නෑ. ඒ දවස් වල උබර් නෑ බ්ලැක් කැබ් තමා. මම ඉදිරිපත් වුනා කට්ටිය ගිහින් දාන්න. ළඟ ළඟ නිසා. මැදක් හරියේ යනකොට එකෙක් කියනවා අජිත් උඹ යන්නේ පේව්මන්ට් එකේ නේද කියල. තව එකෙක් කියනවා නැහැ පාර හරි ලු. මටත් වැඩිය වැදිලා ඌට. පොලිසියෙන් නැවැත්වුවා කට්ටිය දාල එනකොට. මම හිතුව සෙට් කියල, මම වීදුරුව පහත් කළා. පොලිස් කාරයා කියනව "sir, you don't have headlights on' කියල.. මම සොරි කියල ලයිට් එක දැම්මා . පොර ගියා . එදායින් පස්සේ බිලා ඩ්‍රයිව් කලේ නැහැ. දෙවෙනි පාරට ඔය වගේ චාන්ස් එයි කියල ෂුවර් නැහැ.

    ReplyDelete
    Replies
    1. "අනේ අපි කවදාද . . . . . එලවන්නෙ ඒ බිමේ . . . . . . //" - නන්දා මාළණී

      ලංකාවේ උනා නම් අජිත් අයියේ ඔයා තාම ඇතුලේ!

      Delete
    2. හෙඩ්ලයිට්ස් නැතිව ගිහිං අපේකෙක් කණේ පාරක් නොකා බේරුණේ නූලෙන්. අනික ලේසියෙන් අතාරින්නෙත් නෑ

      Delete
    3. තට්ස් , මිනිහට හිතුනේ නැහැ මම බීල කියල. සාන්ත දාන්ත තීන්ත කුඩුව වගේ පැයට හැතැප්ම තිහට ආවේ මහිතේ. ලංකාවේ උනා නම් ඇතුලේ වෙන්නේ කොහොමද. වටේටම කෝල් කරල ගොඩ දාගන්නවනේ බං. මේ ලිපියෙත් එහෙමනේ තියෙන්නේ. ඔකේ හරි වැඩේ නම් ඩි අයි ජී සුජීව කුදලාගෙන ගිහින් පොලිසියට භාර දෙන්න එපාය. එහෙම වෙන්නේ නැහැනේ.

      Delete
    4. මහේෂ, මෙහෙපොලිසිය වැරැද්ද පෙන්නලා යන්න අරිනවා සාමාන්‍යයෙන්. හැබැයි ඉතින් සමහර පැතිවල කළු මහත්තුරුන්ට හොඳට සලකන්නේ නැහැ. උන්ගේ අදහසක් තියනව කළු මහත්තුරු ළඟ තහනම් මොනවා හරි තියනවා කියල.

      Delete
    5. කොහොමත් නීතිය ළඟ නැවිල්ල තමයි අජිත් අයියේ හැම තැනම තියෙන්නේ මෙහේ නම්!

      Delete
  11. මලකෙලියයි කියන්නේ මාත් කාලයක් හිටියේ පිටකෝට්ටේ පාරේ 657 නිවසේ. මට තිබුනෙත් නිසාන් මාර්ච් එකක්. හැබැයි හොඳ වෙලාවට ඒක සුදු පාට.

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් රසික ඔයාත් කනවා! මොකද අපේ පොලීසියට සුදු කළු කියලා වෙනසක් නෑ! හිතුනොත් වළහෙක් හාවෙක් කරණ්න උනත් පුළුවන්!

      Delete
  12. බීල වෙච්ච ඇබැද්දි ගැන ලියන්ට හිතුන විතරයි.
    කට ගාගත්හම හත්පොලේ ගාගන්ට වැඩ නොවැ අපේ පුත්තරයෝ කොරන්ටෙ. තට්ටයතුමා සිද්දිය ඩීමන් ආනන්දගෙ ඇසින් දීල තියෙනව ඇස්ටි හැලෙන්ට..

    ReplyDelete
    Replies
    1. ටැන්කිව්! ටැන්කිව්!!

      Delete
  13. ඔය ෆ්‍රෙන්ඩ් ෂිප් ෂොට් එක තියනව නේද- ඕකට පෙරේත ෂොට් එක කියලත් කියනව නේ. ඕක ගැසුව කියන්නෙ සදා සොත්තී බවන්තුතේ තමයි. නාග සලං බඹ දෝතින් 😂😂😂😂

    රාළහමි පව් අනේ

    ReplyDelete
    Replies
    1. රාළහාමිනං එකෙන්ම පව් තමයි!
      හුඟාක් එවුංට (මට ඇතුළු); බොන්න ගියාම වෙන දෙයක් තමයි එක ෂොට් එකක් පෙවෙනවා ෂැන්ඩි නැතිව නීට්! අනිවා ඒකෙන් වැඩේ අලවෙලාම යනවා!

      Delete
  14. අනෙ අම්මෝ ඒ කතාව. ඒකෙ ජී බී සේනානායක ගෙ ටයිප් කෙටි කතාවක සාහිත්‍යමය ගුණය තියෙනව.

    ReplyDelete
    Replies
    1. විස්කෝතුයි! විස්කෝතියි!!

      Delete
  15. ආපෝ! මට තාමත් ලැජ්ජයි වැඩේට. මම ඹ්ක රස කර කර කිවුවා ඒ කාලෙ, පස්සෙ කියන්න ලැජුජ හිතුනා.😞 මම කිය කිය ඇවිද්දට DIG මහත්තයානම් අපෙ තාත්තටවත් සිද්දිය කිවුවෙ නැහැ.ඒ මහත්තයා මගේ ඹය වගෙ ගු case කීපයකටම බැන බැන හරි support එක දීලා තියනවා. හරිම නිහතමානි හොඳ මනුස්සයෙක්. මම ඊට පස්සෙත් බීලා වාහනේ එලෙව්වා බොහොම කලාතුරකින් සහ පුදුම බයකින්. මන්ජුල අය්යේ පින්තූරෙටනම්
    බොහොම ඉස්තූතියි.දැකලා තිබුනෙ නැහැ කලින්. සමා වෙන්න ඕනෙ, ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසා තවමත් ඉඳල හිටලා දෙකක් දලා එළවනවා.හැබැයි ලන්කාවෙ වගේ අවුලක් නෑ😳😀

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි සුජී ඔයාගේ කමෙන්ටුවට! උඩ කමෙන්ට් කරලා තියෙන සෑම් මහත්තයා කැන්ගරුදේසේ ඉඳන් ලියන්නේ! අජිත් අයියා රැජිනගේ රටේ ඉඳන්. අජිත් අයියත් කියලා තියෙනවා එහේ ඒ තරම්ම අවුලක් නෑ කියලා වගේ අදහසක්.
      ඔයාගෙ බලු කථාව මම ඊ ළඟට ලියන්නම්! ස්තූතියි නැවත වාරයක්. මේ මගුල් ලියලා දමිඳිගෙන් මට ගුටි කන්න වෙයිද කියලයි මම මේ කළ්පණා කලේ!

      Delete
  16. මමත් ටික කාලයක් ඔය හරියේ කරක් ගැහුවා.2003 වගේ මතක. ඒ හරියේ Foot Ball ground එකක මම civil construction training හිටියා. බංගලා හන්දියේ බැහැල එක්කෝ කොළ කැද එකක් නැත්තන් මී කිරි එකක් තමයි උදේ කෑම එක උනේ.

    ReplyDelete
    Replies
    1. 1985 - 88 වෙන විට මා එම පලාතෙන් සමු අරන්! මිත්‍රත්වය පමනයි හිත්වල ඉතිරි උනේ!

      Delete
    2. අය්යේ, මම ඉපදුනෙත් 81.

      Delete
  17. පිස්සු හැදිලා හොදවෙලා අයේ හැදෙනවා කියවනකොට

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි! ඇත්තටම ඒක ආතල් කථාවක්ම තමයි!

      Delete
  18. තට්ටය තුමෝ මේකත් බැලුවනම්. තට්ට කතාවක්...
    https://blog.shaakunthala.com/2021/12/hair-loss-what-now.html?showComment=1639837928674#c105154532016261137

    ReplyDelete
  19. බැලුවෙමි බැලුවෙමි!!

    ReplyDelete
  20. Replies
    1. බොහොමත්ම ස්තූතියි!

      Delete
  21. 3 Enakam balagena inne,mokda parakku?????????

    ReplyDelete
  22. ඒක නම් මරු කතාව මොනවා උනත්😂😂😂😂

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම ඒක "මරු" කථාවක් තමයි! තව පූඩෙන් රාළහාමි කාර් එකෙන් පැනලා මැරෙනවානේ!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...