ෂාන් සහ සුජී - එක ගෙයි බත් කෑම!
පාසැලේ අවසාන කාලයේත් ඊට පසුව රැකියාව කල මුල් කාලයේත් මම හිටියේ පිටකෝට්ටේ 585/B ගෙදරය. තිබුනේ පිටකෝට්ටේ එපිටමුල්ල පාර ආසන්නයේ. ඒකාලේ 585/B නිවසට පිටුපසින් තිබුනු පරණ නිවසෙත් අයිතිය තිබුනේත් නිවස හිමි ලක්ෂමන් අංකල්ලටමයි. ලක්ෂ්මන් අංකල්ගේ බිරිඳ උනේ හේමා ඇන්ටි. එයාලට හිටියා කොල්ලො තුන් දෙනෙකුයි කෙල්ලෙකුයි. ලක්ෂ්මන් අංකල් වගේම මේ කොල්ලෝ තුන්දෙනත් ගියේ නාලන්දෙට. ලොකු එකා රොෂාන්, දෙවෙනි සුජී, තුන් වෙනියා කුකූ! කෙල්ල නිපුනි අනුලාවට ගියේ;නුගේගොඩ!වයසින් මට ආසන්නව හිටියේ රොෂාන් උනත් වඩාත් හිතයෛෂී මිත්‍රයා උනේ සුජීව හෙවත් සුජී. සුජීගේ ළඟම මිත්‍රයා උනේ ෂානක. ෂානකලා හිටියේ බංගලාව හංදියේ CMS එකේ ගුරු නිවාසේ. ෂානකලාගේ අම්මා ඒ පාසලේ ගුරුතුමියක්. තාත්තා විශ්‍රාමික පොලිස් නිළධරයෙක්. සුජීලගෙ තාත්තා සේවය කරලා තිබ්බේ මහරාජා ආයතනයේ. මට මතක විදියට "බෙරෙක්" බැටරි ආයතනයේ.
සුජීලටම අයත් එයාලගෙ ගෙදරට පිටුපසින් තිබුනු පැරණි ගෙදර මහ පිරිසක් හිටියා. පසු කාලීනව "විදුසර" පුවත් පතේ ප්‍රධාන සංස්කාරක ඒ. ආර්. කුලසිංහත් එයාලගෙ අක්කලා තුන්දෙනා එක පැත්තකත්, මමත් මගේ අක්කාත් අයියාත් අනෙක් පැත්තේත්, තවත් පවුලක් ලෙස නිමල් අයියාත් චම්මි අක්කාත් අනෙක් පැත්තේත් විසුවා.
සුජී කියන්නේ කලකින් කෙනෙකුට හමුනොවන ආකාරයේ පිරිසිදු, විශාල හදවතක් තිබුනු මිත්‍රයෙක්. කාලෙකට පසුව උනත් ඒ නිවසට ගිය අවස්ථාවලදී තමන්ගේ කෑම එක එයාලගෙ කාමරේට බෙදාගෙන ඇවිත් ඉන් අඩක් කන්න දුන්නු හැටි තාම මතකයි.
ලක්ෂ්මන් අංකලුයි හේමා ඇන්ටියි මම මගේ ජීවිතේට දැක්ක ඉතමත් ගැලපෙන ජෝඩුව කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවේ. දෙදෙනාගේ ශරීර ප්‍රමාණයේ සිට කන - බොන - සිතන හැම දේකින්ම එයාලා සීයට සීයක් ගැලපුනා කිව්වොත් නිවැරදියි. සුජීලගෙ තත්තාත් අම්මාත් දුටු විට ගම "පින්නවල" දැයි අසන්නට හිතෙන තරම් "කෙට්ටු" චරිත දෙකකි. දෙදෙනා ස්කූටරයේ නැග ගමන් ගත් කිහිප අවස්ථාවකදී ස්කූටරයේ පසු පස ඇති අමතර රෝදය සවිකොට ඇති යකඩ බ්‍රැකට්ටුව ඇඹරී කැඩී ගොස් තිබුනි! ඒ කෙසේ වෙතත් ඔවුන් දෙදෙන වචනයක් එහේ මෙහේ වනු අප කිසිදා දැක නැත!
ඒකාලේ සුජීට සෙරෙප්පු දෙකක් ගන්න උනත් අපි සෙට් එකක් නුගේගොඩට යෑම පුරුද්දක්. සුජීගේ යාළුවන් අතරින් ෂානක හැරුණු විට අබේ හෙවත් ප්‍රදීප් අබේ නායක, මීයා හෙවත් මීගමාරච්චි, රවී පනාමල්දෙනිය තව රොහාන් මුදන්නයක වගේ පිරිසෙන් කවුරු කවුරු හරි ඔය ගමන් වලට එකතු උනා.
දවසක් සුජීට අව් කණ්නාඩි කුට්ටමක් හෙවත් සන්ග්ලාස් එකක ගැනීමට මමත් සුජීත් තවත් "අනුපාණයකුත්" සමගින් නුගේගොඩ ගියා. මට අද වගේ මතකයි දුඹුරු පැහැති සන් ග්ලාස් කුට්ටමක් මිලදීගෙන අපි ආපසු පැමිණියා. ඒක සුජීවගෙ එවකට තිබුනු සුන්දර බුහුටි මුහුණට හොඳින්ම ගැලපුනා. ඊළඟ දිනය සති අන්තයක්. සති අන්තයේ සුජීගේ අම්මා හේමා ඇන්ටිත් ලක්ෂ්මන් අංකලුත් එයාලගෙ ලානිල් පැහැති ස්කූටරයේ නැගී පිටත් උනා. තවත් පැය ගනනාවකට පසුව දෙපල යළි සැපත් උනා. හවස දකිණ විට සුජී හිටියේ තරමක කණස්සලු මූණකින්. බලන කොට සුජීගේ අම්මා අර සන්ග්ලාස් දෙක තාත්තාට දීලා උදේ ගමන යද්දී දාගෙන යන්න. ඇවිත් මේසෙ උඩින් තිබ්බාම තමයි සුජී සීන් එක දැකලා තියෙන්නේ. සුජීගේ වචනයෙන්ම කියනවානං "සංගලාස් දෙකේ අඬු දෙක මේම වෙලා; තාත්ති දාලා! මම එයාටම දාන්න තිබ්බා!"
වරක් සුජීලගෙ ගෙදරට හොරෙක් පැන්නේලු. හොරාට ආයේ යන එනමං නොමැතිව අතටම අසුවූ අතර තාත්තා හොරාට නෙළන්නට පටන් ගත් අතර ටික වේළාවකින් හොරා හොඳින් සිටිය අතර ලක්ෂ්මන් අංකල්ට එකසිය ගානට හතිලු! හේමා ඇංටි සුජීට කථා කොට "ඉක්මනට ඔය හොරාට ගහන එක නවත්තන්න සුජී! තාත්තිට මොනවා හරි වෙයි!!" කීවාලු.
88-89 කාලයේදී මා රැකියාවක් කලෙමි. මාගේ හිතාදර මිත්‍ර රාවතාවත්තේ රන්ති රොහාන් ඔහුගේ කාර් සේල් එකට සුසූකි ජී එල් එක්ස් 250 බයිසිකලයක් ගෙනැවිත් තිබුනි.
එකල එම මොඩලයේ බයිසිකල් ලබා දී තිබුනේ පොලීසියටය. බයිසිකලය සුදු හා රතු මිශ්‍ර එකකි. සත්තකින්ම එය ඉතා ලස්සන එකකි. එය මාගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත්වී තිබුනි. එය මිළදී ගැනීම මාගේ එකම බලාපොරොත්තුව වුනු අතර ඒ සඳහා මුදල්; මාගේ සොහොයුරාගෙන් ඉල්ලා ගැනීම මාගේ අරමුණ විය. බයිසිකලය දුටු දිනම දහවල් මා පිට කෝට්ටේ 585B නිවසට ගියේ එදිනම හවස මාගේ සොහොයුරා හමුවීමට පොළොන්නරුව බලා යාමේ අධිඨනෙනි. මේ සමය රට තුල ජනතා විමුක්ති පෙරමුණ මැඩීම සඳහා පාර්වල් පුරා ටයර් සෑයවල් මැවුණු කාලය විය. පිටකෝට්ටේදී සුජීව හමුවූ මා පොළොන්නරු ගමන පිළිබඳව පැවසූ අතර ඔහුද මා සමග එන්නට කැමැත්ත පල කලේය. මා අත ගමන් වියදම් වත් නොතිබුනු අතර සුජීව සතුව තිබුනු සුළු මුදලක්ද එක් කරගෙන අප ගමන සඳහා පිටත් උනෙමු. අප යන්නේ කොහේදැයි සුජීලාගේ ගෙදරට කීවාදැයි මාහට නිවැරදිව මතක නැත. 585 නිවෙසින් පිටත් වූ අප දෙදෙන ඊළඟට ගියේ ෂානක හමුවීමටය. ඒ කාරණා දෙකක් සඳහාය. එක අප යන ගමන නිවැරදිවම කාහට හෝ කිවයුතු බැවින්. දින දෙකකින් අප ආපසු නොපැමිණියහොත් සුජීලාගේ ගෙදරට අප ගිය ගමන පිළිබඳව හෙලිදරව් කිරීම ෂානකහට පැවරීමට. දෙවෙනි කාරණය වූයේ ගමනට අවශ්‍ය මුදල් ටිකක් සම්පාදනය කර ගැනීමට! ෂානක හමුවී ඔහුගේ කණට ලංවී අපගේ වැඩපිළිවෙල කීවෙමි. ෂානකගෙන් ලැබුනේ දුර්වල ප්‍රථිචාරයකි.
"මම නං කියන්නේ ඔය ගමන යන්න එපා කියලා! මං ගාව උඹළට දෙන්න සල්ලිත් නෑ!! අනික ඔය ගමන මාර ඩේන්ජර්!"
එකල ෂානකත් සුජීත් දෙදෙනාම උසස් පෙළ සිසුන් වූ අතර ඔවුන් අත තිබුනානම් තිබුනේ දෙමව්පියන්ගෙන් ලද යමක් පමණක්මය!
"එහෙනං අවුලක් නෑ! අපි යනවා බං!" අපි දෙදෙන පරක්කු නොවී ආපසු හැරුණෙමි. ෂානකගේ මිදුල කෙළවරේ ඉඳි කඩුල්ලක් විය. ඒ මිදුලේ තිබුණු යෝධ අරලිය ගහට පසෙකින්ය. මමත් සුජීත් එකා පසු පස එකා ඉඳි කඩුල්ල පැණීමට ඔන්න මෙන්නය!
"මේං . . ! මං ගාවත් රුපියල් 150ක් තියෙනවා මාත් එන්නද උඹලත් එක්ක යන්න? පොඩ්ඩක් හිටපල්ලා!!" අපිට මාර ආතල්ය! ෂානක විනාඩියට ලෑස්තිවී අපි තිදෙන පිටත් උනෙමු.
අප තිදෙන පිටකොටුවට ගිය මුත් කුමණ හෝ හේතුවක් මත හෝ පොළොන්නරුවට බසයක් නොමැති විය. අප එතැන් සිට පොළොන්නරුව බලා ගියේ වාහන කිහිපයකය. වරෙක මැල්සිරිපුර, දඹුල්ල, ගලේවෙල පසුකලේ අඹ ලොරියක පිටුපසය! කෙසේ හෝ පසු දින උදේ අප මින්නේරියටත් එතැනින් පොළොන්නරුව බලා; ආසන විසි හයේ කුඩා බස් රථයකත් පිටත් උනෙමු.
බසය ජයන්තිපුරට ළඟාවන විට පාර හරහා පෙරළී ගිය බෆල් රථයකි.
ඔබ විශ්වාස කරණ්න පසෙකට පෙරළී තිබුනු රථයේ රෝද ඒ වන විටත් රෝද සෙමෙන් කැරකෙමින් විය! බසය පාර අයිනේ නවත්වනවාත් සමගම අප තිදෙන බසයෙන් එළිය පැන්නෙමු.
බෆල් රථයක්!
බෆල් රථය දෙසට අප දිව ගිය අතර ඒවන විටත් එයට යටවී ගිය සොල්දාදුවන් තිදෙනෙකි. එහි ඉදිරිපසින් මතුවූයේ යුධහමුදා කපිතාන්වරයෙකි.
දැන් ඊළඟ මොහොතේ රථයේ යකඩ බඳට යටව ගොස් සිටින සොල්දාදුවන් බේරා ගත යුතුය. තවත් මොහොතකින් ගමක සෙනඟ එතැනය. කපිතාන් වරයා ගල් ගැසීබලා ගෙනය. මෙතෙක් තමන් සමඟ එක්ව ගමන් කල සොල්දාදුවන්ගෙන් කිහිප දෙනෙකු රථයටත් මහපාරටත් හිරවී නිසොල්මන්වය. මහ පාර රුධිර ධාරාවන්ගෙන් රත්පැහැ ගැන්වී ගොස්ය. තරුණ කපිතාන් වරයා ඊළඟ මොහොත පිළිබඳව අවිනිශ්චිතව ගොස්ය. ඊළඟ තත්පරයේදී අප තිදෙන සිදුවීමට නායකත්වය දුන්නෙමු. එකල අප තිදෙනාම පාසලේ ජීවිතාරක්ෂකයින් විය. විශෙෂයෙන් ෂානකත් සුජීවත් පුහුණු ජීවිතාරක්ෂකයින් වූවාට අමතරව පාසලේ ශිෂ්‍ය භටයන්ද වූවෝය. ඒ සැම දෙයකින්ම පන්නරය ලැබූ අප ඉතා තියුණු තරුණ නායකයන් සේ හැසුරුණෙමු. එතැනට රැස්වූ පිරිස යොමු කරවා ටොන් 6.14 බරැති යකඩ ගොඩ ඔසවා එයට යටවූ සොල්දාදුවන් මුදවා ගැනීමට අපට හැකිවිය!
ඊළඟ මොහොතේ කිසිදු හැල හොල්මනක් නොමැති ඔවුන් තිදෙන ඔසවා අප පැමිණි බසයේ බිම නිදි කරවූවේය. කබල් කෑලි හැලෙන බසය පොළොන්නරුව බලා ඉගිල්ලෙන්නට පටන් ගත්තේය. කපිතාන් වරයා දොරේ එල්ලීගෙනය. ඒ වන විට ෂානකත් සුජීත් ඔවුන්හට පපු තෙරපුම් දීම අරඹා තිබුනි. මා තරුණ කපිතාන් ඇමතීය. "මේ දෙන්නා ලයිෆ් සේවර්ස්ලා! බලමු ට්‍රයි එකක් දීලා!" බසය පොළොන්නරුව ඉස්පිරිතාලයේ ගේට්ටු අතරින් ගොස් ගොඩනැගිල්ල ඉදිරිපිට නැවැත්වූවේය. මොහොතකින් සොල්දදුවන් තිදෙන; රෝහල් සේවකයින් වෙතින් ස්ට්‍රෙචර මතට ගැණුනි. කපිතාන් තැන අපිට සමුදුන්නේය.
"මං කැප්ටන් හතුරුසිංහ! ඔයාලා අපිට ලොකු උදව්වක් කලේ!"
අපි එතැනින් පිටත් උනෙමු. සුජී කටහඬ අවදි කලේය."අයියෙ ඒ මිනිස්සුනං එකෙක් වත් ජීවත්වෙනකක් නෑ. පපුවට අත තිබ්බාම එක ඉළ ඇටයක්වත් අතට දැනුනේ නෑ. පිටටම හේත්තු වෙලා."
අප එතැනින් එළියට බැස පා ගමණින් අයියාගේ නිවෙසට ගිය අතර ඔහුගෙන් මාගේ ඉල්ලීම ප්‍රථික්ෂේප වීම සමගම නැවතත් කොළඹ බලා පිටත් උනෙමු. ආපසු එන ගමනද බස් ලොරි ටිපර් ආදී කිහිපයක ගමන් කොට රාත්‍රී 2.00 පමන කොළඹට සේන්දුවිය.
කොළොඹ නගරයේ ඈත ඉමට ළඟා වූ අප තිදෙන මහ රෑ ම පිට කෝට්ටේ දෙසට පයින් එන්නට විය.
එකල හවස හයෙන් පසුව තරුණයන් එළියට බසින සමයක් නොවීය! දෙමටගොඩ බොරැල්ල මංසන්ධි දැඩි පාළු බවක් ඉසිලීය. අප රාජගිරිය පසුකොට පාර්ලිමේන්තු පාර දිගේ ඇතුල් කෝට්ටේට ළඟා උනා පමණි. අප ඉදිරියට පැමිණි ඩිෆෙන්ඩර් රථය අප පසු කොට ගොස් නැවත හරවා විත් අප ගේ ගමන හරස් කොට නැවැත්වීය.
"කොහෙද උඹලා . . ? නැගපල්ලා ජීප් එකට . . . " අප තිදෙන පසු පසින් ජීප් රියට නැග්ගෙමු. එතැන් පටන් "අපි මේ . . . කියා ඇරඹි කථාව අවසන් වූයේ අපගේ පොළොන්නරු ගමනේ කූඨප්‍රාප්තිය වූ කැප්ටන් හතුරුසිංහගේ බෆලය පෙරළුනු හා එහිදී අප කල කී දෑ පැවසීමෙන් අනතුරුවය! අපගේ කථාව; ඩිෆෙන්ඩරයේ ඉදිරිපස අසුනේ සිටි යුධ හමුදා ප්‍රධානියා හට "තවත් එක් බයිලාවක්ම " පමණක් වූ බව තේරුම් යමින් විය. ජීප් රිය පිටත් වුවහොත් ආපසු ඒමක් නොමැත! ඒ ජීවිතයේ අවසාන ගමනම වන බව ඒවන විට මාහට දැනෙමින් විය!
"කැප්ටන් හතුරුසිංහගෙන් ඕන නම් අහන්න!" මට ඉබේටම වාගේ කියැවුනි!
ජීප් රිය පිටත්වීමට ඔන්න මෙන්නය!
"අයියේ මේ බලන්න එතන හිටිය සෝල්ජර් කෙනෙක්ගේ සාක්කුවේ තිබ්බ ලයිටරේ!" සුජී; තහඩු කොටස ඇකිළී ගිය නිල් පැහැති ලයිටරයක් අතට ගෙන පෙන්වීය! පපු තෙරපුම් දීමට යාමේදී; එයට බාධාවක් වූ කමිස සාක්කුවේ තිබූ ලයිටරය සුජී ඉවත් කර තිබුනි.
හමුද ප්‍රධානියාගේ වචන නැවතුනි. ඔහු එය දෙස හොඳින් බලා සිටියා හෝ අතට ගෙන බැලුවාදැයි මා හට මේ මොහොතේ මතකයට නො ඒ! කෙසේ හෝ ඔහුගේ අවධානය මුළුමණින්ම ඩැහැ ගැනීමට එය සමත්වූ බව නම් හොඳින් මතකය! තත්පර කිහිපයක නිහැඬියාවක් ගතවිය.
"බහිනවා! බහිනවා!! මේ රෑ මගුලෙ යන්නෙ නැතුව ගෙවල් වලට වෙල ඉන්නවා!" ඉදිරි අසුනේ සිටි නිළධරයා ගුගුලේය!
සැහෙන දුරක් යන තුරු අප තිදෙන නිහඬව ගමන් කලෙමු!
"උඹට මල්ලි හොඳ වෙලාවට ඒක මතක් උනේ!" මම සුජීගේ පිටට තට්ටු කරමින් කිව්වේය.
"අම්මට හුදු නැත්තං ටයර් සෑයක ගමනකට තමයි සෙට් වෙන්න ගියේ!" ෂානක අඩු වැඩිය සැපයුවේය.
"ඒකනේ! ඒකනේ!! කොහෙද උඹල මගේ වටිනාකම දන්නේ නෑනේ! සුජී සුපුරුදු සිනහවෙන් ඊට පිළිතුරු දුන්නේ එලෙසින්ය.
මේ කථා සියල්ල මතකයට ආවේ වසර දහයකට පමණ දීර්ඝ කලයකට පසු ඊයේ පාන්දර 3.54 ට නොදන්නා අංකයකින් වට්ස් ඇප් පනිවිඩයක් ලැබී තිබුනු නිසාය!
Hello! Are you in WhatsApp? ඒ හඳට ගිය රටේ බෝස්ටන් නගරයේ වෙසෙන සුජී ගෙන්ය.
"ඉන්නවා ඉන්නවා කොල්ලෝ!" මා පිළිතුරු ලීවෙමි!
සේතන් සීයාගේ ගමනේ පොළොන්නරු
ReplyDeleteවිස්තර කියන ඩ්රැකියාගේ ලිපිය මරු
කියවා මෙහෙට ආවම, මෙහි පොළොන්නරු
ගමනක තතු තිබේ, අර වාගේම මරු
ඩ්රැකීට ඉල්ලමක් පෑදිලා....
ReplyDeletehttps://drackey.blogspot.com/2021/11/blog-post_24.html
එහේ ගිහින් කමෙනු රාජයෙක් වඩම්මවලා ආපු ගමන්! බොහොමත්ම ස්තූතියි උදේ පාන්දරම මෙහේ ආවාට!
ReplyDeleteමොකෝ අද කට්ටිය තවම මෙහාට ඇවිත් නැත්තේ... ඉලව් වැස්ස නිසා වෙන්නැති.
Deleteහිත ඇතුලේ ඉදන් වරින් වර කොනිත්තන පැරණි මතක.
ReplyDeleteඔව් ඒවා සමහරක් කොයි තරම් කටුක මතක උනත් අද හැරී බැලුවාම පුදුමාකාර වින්දනයක් තියෙන්නේ!
Deleteමේකත් අර සේතන් හාමිගෙ පොලොන්නරු ගමනට දෙවැනි නෑ නෙව? හිත හොඳ හින්දා, දෙයියො බැලුව වගේ බේරුනේ. ඒත් ඔහොම අහිංසකයො කීදෙනෙක්, නොඑන ගමන් යන්න ඇද්ද?🙏👌😞😒
ReplyDeletehttps://economatta.blogspot.com/2021/11/blog-post_21.html?showComment=1637590026640#c1095361414126702677
ඔව් සත්තකින්ම! අද උදේ මගේ කොල්ලා ඕක බලලත් ඇහුවේ ඔය දේමයි! ස්තූතියි ආවාට.
DeleteThis is superb Manjula ayya.
ReplyDeleteස්තූතියි! මේ බොස්ටන් නුවරින්ද? 😂😂😂
Deleteසුන්දර මතක අතර අසුන්දර අත්දැකීමක්. වාසනාවට බේරිලා තියෙන්නේ. කපිතාන් හතුරුසිංහ ඊට පස්සෙ මුන ගැහුණේ නැතිද? අනෙක් භටයන්ගේ ඉරනම ගැන නම් හිතා ගත්තැහිකි.......
ReplyDeleteඅනේ නෑ! ඊට පසුව කවදාවත්ම හතුරුසිංහ මහත්තයා කවදාවත්ම දැකලා නෑ!
DeleteLighterayak matha randila thibuna minis jeewitha thunak!Ahanakotath ange le watura wenawa,mokada minis jeewithayak parandalak tharamwath nowatina e kale gana matath hondata mathaka nisa.
ReplyDeleteඔව් අපි දැන් හිනාවෙවී සිහි කලාට ඒක මහ අඳුරු යුගයක්!
Delete
ReplyDeleteඒ දවස්වල තට්ටයක් නැති කොන්ඩ මහතාගේ දෛවය ලැබිම් නැතිකරලා අහිමිවිම් විතරක් ඉතිරිකරලා තියෙන්න ඇති. ඒක හොදක් වෙන්නේ බයිසිමොටෝව ගන්න අයියාගෙන් අනුමැතිය ලැබුනානම් අනිවා ටයර් මාලෙත් ඔටෝ ලැබෙන්න තිබුනා.
ඔව් බං කොයි දේ වෙන්නෙත් හොඳට කියලා හිතන්න තමයි තියෙන්නේ!
Deleteලියනපටබැඳි කවුරුවත් හිටියෙ නැද්ද පිටකෝට්ටෙ යාලුවො අතර?
ReplyDeleteමතකයක් නෑනෙ සර්!
Deleteමාර කේස් තමා දාගෙන තියෙන්නෙ😯
ReplyDeleteතව ටිකෙන් මේ කතාව අහන්න ලැබෙන්නෙ නැති වෙන්නත් තිබුන😱
අනේ ඔව් ඒ කාලේ කොහොමත් කේස්ම තමයි ජීවිතේම!
Deleteජීවිතේ නම් ඉතින් හැමදාම කේස් නෙමේ ද🙄
DeleteYu තුමා සුසූකි බයික් එක ගත්තෙ නැතෙයි
ReplyDeleteකෝ ඉතිං ප්‍රථිපාදන ලැබුනේ නෑ නොවැ!
Deleteඅම්මෝ!
ReplyDeleteඅර ලයිටරේ එක්ක යම් කිසි කතාවක් තිබුණ ද දන්නෑ අර "බහිනව බහිනව" කියපු සෝල්ජර් ට?
එයා එතන හිටිය ප්‍රධාන නිළධරයා! එයාට ඉන්තීරුවෙම්ම තේරුණා අපි කියන්නේ බොරුවක් නෙවෙයි කියලා! මට හිතෙන්නේ එහෙමයි!
Deleteජීඑල් 250 ය මං දැකලම නෑ. 125 නං දැකල පැදල තියෙනව. පට්ට බීට් එකක් තියෙන්නෙ. අනික, ජීඑල් 125 එක වෙන වෙන බ්‍රෑන්ඩ් වලිනුත් ආව.
ReplyDeleteමේක පොලීසියට තිබුනු රෝඩ් ස්පෝට්ස් බයික් එකක්. ඒකේ 400,600 හිටන් ආවා පොලීසියට!
Deleteමදෑ ඔයින් ගියා. බලාගෙන ගියාම ලයිටරුත් ජීවිත බේරල තියෙනව එහෙනං.
ReplyDeleteඔව් මේ පෝස්ටුවට හෙඩිම දාන්න හැදුවේ "ජීවිත තුනක් බේරාගත් මළවුන්ගේ ලයිටරේ කියලායි"පස්සෙ ඒක දිග වැඩි නිසා වෙනස් කලා!
Deleteසිද්දිය භායානක හා කටුක උවත් මතකයන්නම් කොතරම් සුන්දරද? ජීවත්ව සිටීමම පුදුමයක්යැයි සිතෙන තරමටම කරපු දෑ සැර වැඩියැයි සිතන්නේ මම පමනක් විය නොහැක. බොහෝම ඉස්තුතියි මන්ජුල අයියෙ පරන අතීතයන් මතක්කර මුවට සිනහවක් සහ සිතට සතුටක් ගෙනආවාට!!!!
ReplyDeleteසුජී- බොස්ටන්
සත්තකින්ම මම බලාන හිටියා ඔයා කොයි වෙලාවෙද කමෙන්ට් එකක් දාන්නේ කියලා! ඇත්තටම මේ දේවල් අවකාශයේ ලියා තියන්නම ඕනෑ අපිට උනත් මරන මංචකයේදී හරි කියවලා මුවඟට සිනහවක් නගා ගෙන මැරෙන්න! අපගේ ඒ කාලේ අතිජාත මිත්‍රයාත් අපි එක්ක මේ අත්දැකීම් බෙදා හදා ගන්න හිටියානම් මොන තරම් සතුටක්ද? තව තියෙනවා ලියන්න! ඒවා අතරින් අවකාශයේ ලියා තියන්නට පුළුවන් ඒවා තෝරා බේරා ගෙන තමයි ලියන්න වෙන්නේ! හි! හි!!
Deleteඇත්තටම එදා අපිට මැරෙන්නම තිබ්බ දවසක් නේද?
එකඟයි😂
Deleteඑල ද බ්‍රා මතකයක්
ReplyDeleteසත්තකින්ම සුන්දර මතකයක් තමයි මෙන්ඩා!
Delete