මාගේ තිබෙන හා තිබුනු සූවිසි විනෝදාංශ අතර "වාහන පොත්" ලෙස පොදුවේ හඳුන්වන Vehicle Catalog එකතුව කුඩා කලක සිට කරගෙන යනු ලැබුවේය. රථ වාහන අලෙවියේදී; අලෙවි කරුවන් විසින් පාවිච්චි කරණු ලබන්නේ මෙම පික්චර් කැටලොග් හෙවත් පිංතූර පොත්ය! මේවා වාහනයේ විවිධ මාදිලි හා විවිධ කෝණවලින් ගන්නා ලැබූ පිංතූර හා වාහනයේ වර්ණ එන්ජිම හා වෙනත් යාන්ත්‍රික කොටස් පිළිබඳ කෙටි විස්තර වැනි දෙයින් සම්න්විතය.
මේ කථා කෙසේ වෙතත් එකල සිටම මා වාහන කැටලොග් එකතුකිරීම දිගින් දිගටම කරගෙන යනු ලැබීය. දැනට මාගේ කැටලොග්, මැනුවල් හා පාර්ට් කැටලොග් විශාල ප්‍රමාණයක් සතුව ඇත! එකල මා කැටලොග් එකතු කිරීම සඳහා ටොයෝටා - ෆෲඩන්බර්ග්, ඉසූසූ - සතොස, මර්සිඩීස් බෙන්ස් - ඩීසල් මෝටර් ඉන්ජිනියරිං, පර්ජෝ/ ෆොක්ස්වැගන්/මැස්ඩා - කාර් මාර්ට්, ලෑන්ඩ් රෝවර්/ ෆියට් - කොලෝනියල් මෝටර්ස්, මැසි ෆර්ගියුශන් - ට්‍රැක්ටර් සංස්ථාව, අයි එම් ටී - ෆාර්මර්ස්, නිසාන් - ඇසෝසියේටඩ් මෝටර්වේස්, මිට්සුබිෂි - රජයට පවරාගත් යුනයිටඩ් මෝටර්ස් සමාගම ආදී දැනට ඇති නැති ආයතන ගනනාවකට ගොස් ඇත්තෙමි. දැනට ෆොස්ටර් පටුමග අසල ඩයලොග් ගොඩනැගිල්ල ස්ථාපිත ස්ථානයේ ලැන්සියා බීටා හා ඇල්ෆා රෝමියෝ රථ ඒජන්ත වරයාගේ කාර්‍යාලය පිහිටා තිබුනි!
මා යුනයිටඩ් මෝටර්ස් වෙත රැකියාව සඳහා පැමිණිම ඉබ්බා දියේ දැමීමක් විය! එහෙත් එකල මෙන් ජපානයේ මුද්‍රිත කැටලොග් වෙනුවට පැවතියේ මෙරට මුද්‍රිත තරමක් බාල ගනයේ කැටලොග්ය! ඒ කෙසේ වෙතත් මා හැකි හැම අවස්ථාවකදීම කැටලොග් එකතු කිරීම කරගෙන යනු ලැබීය. සමහර වාහන වල මෝස්තරය හෝ කාණ්ඩය ඉකුත්වීමෙන් පසු; අලෙවි අංශයෙන් කැටලොග් තොග ඉවත්කල අතර ඒවා මා ඉමහත් කෑදර සිතින් රැගෙන මාගේ කාර්‍යාල මේසය යට තබා ගැනීමට පුරුදුවී සිටියෙමි. ඒ අන් කිසිවක් සඳහා නොව තම පියා හෝ මව සමග ආයතනයේ වැඩ හල වෙත පැමිණෙන කුඩා දරුවන් වෙත ප්‍රධානය කිරීමටය! සත්තකින්ම එය ඉතාමත් සුන්දර අවස්ථාවක් විය. බොහෝ විට මා සමග සේවය කල ගිහාන් මල්ලී ඕෂධී වැනි අයට "ඔන්න බලා ගනිං අර පොඩි එකාගේ මූන!" කියා මා කුඩා කැටලොග් මිටියක් ඔවුන් වෙත "මෙන්න පුතා ඔයාට මගෙන්!" කියා පොර ටෝක් එකක් සමගින් ලබා දේ! දරුවාගේ මුහුණ දිළිසේය! කට කනේය!! ඇස් එළියට පනිමින්ය!!! කෙළ හැලෙමින්ය!!!! ඒ කොල්ලන්ගේ හැටිය! එය එසේ නොවේ නම් ඌව වහාම වෛද්‍ය වරයෙකු වෙත පෙන්විය යුතු යැයි මාහට සිතේ! (මා වැරදිද?)
පාර්භෝගික සේවා විධායක ලෙස මාගේ සේවා ස්ථානය සකසා තිබුනේ කාර්යලයේ පසුපසට වන්නටය! ඒ නිසාම ඊට ගොඩවදින හා රැඳෙන සියල්ලන් මා හට හොඳින් දර්ශණය වේ! දිනක් උදෑසනක මාගේ දෙනෙත් පැහැර ගත්තේ කුඩා හුරුබුහුටි කොළුවෙකි. තම පියා සමග ඔහු පැමිණ තිබුනේ පියාගේ මොන්ටෙරෝ රථයේ අළුත්වැඩියාවක් සඳහාය. රථය පිළිබඳව මාහට කියා පෑවේ ඔවුන් දෙදෙන රැඳී සිටි ස්ථානය ය! ඔවුන් සිටියේ; දවස් දෙකයි! ළිං තිහයි!! තේ පණහක් හැටක් විතර . . !!! යනුවෙන් ගංවතුරෙන් පසු ළිං ඉසීම පිළිබඳව මා ලියන ලද පෝස්ටුවේ කියැවෙන ඩෙමියන් රුක්ෂාන් ගේ මේසය ඉදිරි පිටය! ආයතනයේ මොන්ටෙරෝ හදිසි අනතුරු අළුත්වැඩියාවන් භාරව කටයුතු කලේ ඩෙමාය!
සිරිත් පරිදි මා; මාගේ මේසය යටට හොස්ස පොවා කැටලොග් මිටියක් ගෙන දරුවා වෙතට කුරුමාණම් ඇල්ලුවෙමි. ඔවුන් වෙත ළං වී; කැටලොග් මිටිය ඔහුට නොපෙනෙන සේ පසුපසින් තබා ගෙන මා ඔවුන් වෙත නැඹුරු උනෙමි!
"පුතා! ගුඩ් මෝර්නිං . . . ! ඩේමියන් අංකල් මොන්ටෙරෝ එක හරියට හදාගන්නවද කියලා බලන්නද ආවේ . . .?" දරුවා ඒමේ අත ඇඹරුන මුත් හඬක් පිට නොකලේය.
"අනේ මං එනවා කිව්වම නවත්තන්නම බැරි උනා නේ! එයාටත් එන්නම ඕනෑ කිව්වා!" දරුවාගේ තාත්තා ඔහු වෙනුවෙන් පිළිතුරු සැපයුවේය!
"මෙන්න ඔයාට මගෙන්! ඔයා ආසයි නේද මේවාට?" මං එතෙක් සඟවා ගෙන තිබුනු කැටලොග් මිටිය ඔහු ඉදිරියේ පෑවේය! දරුවාගේ ඇස් දිළිසෙමින්ය. එකවරම තම පියාගේ මුහුණ දෙස බැලූ ඔහු තාත්තාගේ අවසරයෙන් කැටලොග් මිටිය මාවෙතින් ලබා ගත්තේය.
තවත් පැය භාගයක් ගෙවී යද්දී කුඩා දරුවා හා ඔහුගේ පියා මාගේ මේසය ඉදිරියේ සිටියෝය.
"ඉඳ ගන්න සර්!" මාගේ ආරාධනයෙන් ඔහු ඉඳගත්තේය. දරුවා පසෙකින්ය. කැටලොග් මිටිය ඔහුගේ අතේය!
"ඔයා ඇයි මගේ පුතාට මේ කැටලොග් ටික දුන්නේ?" ඔහු ඉතා සුහද ශීලී ලෙස මාගෙන් විමසීය.
"සර්! මමත් ඔය වයසේදී කැටලොග් එකතු කරණ්න තැනින් තැන ගියා! මට මේ වයසේ දරුවෝ දැක්කාම මගේ ඒ කාලෙ මතක් වෙනවා!"
"ඔයාට මම කථාවක් කියන්නම්! මමත් අයියත් පුංචි කාලේ මේවගේ පිංතූර පොත් වලට හරිම ආසයි! අපේ තාත්තා කොහෙන් හරි හොයාගෙන ඇවිත් අපිට වෙහිකල් මනුෆැක්චරස්ලා කීප දෙනෙක්ගේ එඩ්‍රසස් අපිට දුන්නා; ලියුම් ලියන්නය කියලා! ඔයාට කියන්න අපි හතර පහකටම යැව්වත් අපිට උත්තරයක් එක්ක කැටලොග් මිටියක් එවලා තිබුනේ මිට්සුබිෂි කොම්පැනියෙන් විතරයි. ඊට පොඩි කාලෙකට පස්සේ තාත්තා එච්චර කල් පාවිච්චිකල වාහනේ විකුණුවා! එදා ඉඳන් එයා මැරෙණ තුරුත් මම මගේ මේ ජීවිත කාලය ඇතුලෙත් අපෙ අයියාත් හැමදාම ගත්තේ මිට්සුබිෂි වාහන විතරයි! ඔයා කලේ එහෙම එකක්ද කියලා දැනගන්නයි මම මේ ඔයාව හොයාගෙන ඇවිත් කථා කලේ! මටත් මගේ පුංචි කාලේ මතක් උනා! කොහොම උනත් ඔයා කලේ හොඳ වැඩක්! අපි යන්නං! පුතා අංකල්ට බායි කියන්න!"
මට මගේ හැඟීම් සිරකරගෙන සිට ඔහුට හිස සොලවා ආචාර කරණවා හැරෙණ්නට වෙන කිසිවක් කථාකර ගන්නට නොහැකි තරම් හදවත බරවී තිබුණි.
තවත් මොහොතකින් දරුවා මට අත වනමින් ඉවතට යන රූපය බොඳවූ දෑස තුල චිත්‍රණය විය.
දෙයියනේ Catch them young! කියන්නේ මේකටනේ!? මම මටම කියා ගත්තෙමි!
අන්තිමට කියල තියෙන එකනං හිතට වදිනව වගේම ඔය ලොකු කොම්පැණියකට සදා නොවෙනස් පාරිභෝගියෙක් හදාගන්න තමං කරන්න ඕන පොඩි කැපකිරීමක් විතරයි කියන එක පැහැදිලිවම පේනව. මොකද පොඩි එකෙකුට තමන් දැඩිව ආසා කරන දෙයක් ඒ වයසෙදි ලැබෙනව කියන්නෙ උගේ හිතේ සදාකාලිකවම ඒක පැලපදියං වෙනව. ඇත්තෙන්ම අනික් කොම්පැනි කරල තියෙන්නෙ පාරිභෝගිකයා නොසලකා හැරීමක්.
ReplyDeleteඔව් ප්‍රසන්න! ඒක සැබවින්ම ඇත්ත! තමන්ගේ කුඩාකාලයේදී ඇතිවන හැඟීම් දැනීම් ජීවිත කාලය මුළුල්ලේම පවතිනවා! ස්තූතියි නමෝ විත්තියෙන් මේ පැත්තේ ආවාට.
Deleteනයා කීව වගේ පොඩි දෙයක් උනත් ඇති සදා රැඳෙන පාරිභෝකිකයෙක් හදා ගැනීමට....
Deleteකාලෙකින් හරි පොස්ටුවක් දාපු එක නම් හොඳා
"කාලෙකින්; හරි පෝස්ටුවක්" ද? "කාලෙකින් හරි; පෝස්ටුවක්" ද?
Deleteදෙකම ගැලපේ නෙව තට්ටයතුමෝ...
Deleteමට වහ ටිකක් දෙන්න සුදේව! වහ! වහ!!!
Deleteඅප්පේ... වහ වලින් වහන් වෙලා ඉන්ට තට්ටයතුමෝ
Deleteඅර වාහන ගොඩේ තියෙන "සතොස" වැරදිලා ලියවුන එකක්ද නැත්නම් අපි නොදන්නා මොකක් හරි කතන්දරයක් තියෙනවද?
ReplyDeleteකන්තාරෙක හිටියත් වාහනය සතියට දවසක් හෝදගෙන, මාස 2-3 සැරයක් කට් ඇන්ඩ් පොලිෂ් එකක් ගාගෙන ඉන්න මටත් තියෙන්නේ ඔය වගේ ළමා කාලයක් තමයි. ඇත්තටම ඒවා පොඩි කලේ පැලපදියම් වෙච්ච සිහින.
මහේෂ් සෞදි.
ඉස්සර ඉසූසූ ගෙන්නුවේ සතොස මෝටර්ස්ලා!
Deleteබොහොම ස්තුතියි මිස්ටර් තට්ස්
ReplyDeleteතැන්කිව් සර්!
Deleteඅපූරු මතක සටහනක්. ලස්සනට ලියලා තියනවා.🙏👌😊
ReplyDeleteස්තූතියි බස්සා! මේ වසර පටන් ගනිද්දී හිතුවා වසර තුල පෝස්ට් 52 ලියන්න ඕනෙ කියලා. ඒත් වැඩ වැඩි උනා කෑම්ප් සයිට් එකේ!
Deleteසුන්දර මතකයන්.
ReplyDeleteකැටලොග් එකතු කිරීම මමත් කළා.
වැඩි වැල්වටාරම් නැතුව, ලෙටර් හෙඩ් එකක, වාහනේ මොඩල් එක කියලා, කැටලොග් එකයි ප්‍රයිස් ලිස්ට් එකයි එවන්න කියලා ඉංගිරිසියෙන් (අකුරෙන් අකුර) ටයිප් කොටලා ඇරියාම පොඩි කැටලොග් එකක් හරි එවනවා. අපේ ගෙදර නමත්, ලිපිනයත්, මගේ නමත්, ප්‍රසිද්ධ සමාගමක ලොක්කා වගේ තේරුම් යන හැටියට තමයි ලිපිය ලියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් එවනවා.
ඒ කැටලොග් වල තියන වාහන නිපදවන පිටරට මව් සමාගම් වල ලිපිනයන්ට, කැටලොග් එකතු කරන පොඩි ළමයෙක් වගේ ලියලාත් කැටලොග් ගෙන්නාගෙන තියනවා.
ඒ කාලේ කැටලොග් එකක් ලැබෙනවා කියන්නේ, වාහනයක් ලැබුනාට වඩා සතුටක්.
@ Ano,
//අර වාහන ගොඩේ තියෙන "සතොස" වැරදිලා ලියවුන එකක්ද?//
වෝක්සෝල් වීදියේ තිබුන සතොස මෝටර්ස් එක ISUZU වාහන, IHI SHIBAURA ට්‍රැක්ටර්, JAWA මෝටර් සයිකල් වල ලංකාවේ ඒජන්ත.
සත්තකින්ම එය ඉතා ඉක්මණින් ඇබ්බැහිවන හා ඉන් ගැලවීමක් නැති විනෝදාංශයක්! මා සතුව දැන්ටත්; දකින කෙනෙකුට ඉරිසියා හිතෙන එකතුවක් තියෙනවා!
Deleteහැමදාම වගේ රසවත්. ඒ වගේම හරවත්. ඔබතුමා රථවාහන සේවා ක්ෂේත්‍රයේ ව්‍යායාපාරයයක් කරන්න හිතන්නේ නැත්ද?
ReplyDeleteඅනේ නෑ! දැන් මට ඒ ගැන ආශාවක් නැත්තටම නැතිවෙලා! දැන් ස්වභාව සෞන්දර්‍ය්යත් එක්ක තමයි ගනු දෙනුව!
Deleteආවෙමි. බැලුවෙමි. හනිකට යමි.
ReplyDeleteHardly working මෝඩ් එකෙන් working hard මෝඩ් එකට වැටී ඇත.
ජයවේවා!
Myself Hattor
"නිකංම ඉන්න මට අහල ගියත් මොකෝ!?!?!" කියලා කියමනක් තියෙනවානේ. ආන්න ඒ වගේ යන්තං ගොඩ වැදුනත් ඒක ලොකු දෙයක්! ඒක නෙවේ මොකෝ බ්ලොග් එක පේන්නේ නැත්තේ? නොලිව්වේ?
Deleteමගේ කාරෙකේ කැටලොග් එකනම් තියනවා. හැබැයි පැරණි ක්ලැසික් කාර් වල පොත් නම් සෑහෙන තොගයක් තිබ්බ. ඒවා නම් දැන් නැහැ. අපට ඉතින් ඔය වගේ කැටලොග් දානපතියෝ හමුවුනේ නැහැනේ.
ReplyDeleteමෝටර් කාර්මික ශිල්පය තමයි මාත් ඉගෙන ගත්තේ අටේ හෝ නමයේදී
මහා දානපතියෙක් නොවුනත් මට මතක තිබ්බා මගේ පුංචි කාලේ! අනේ දෙයියනේ මොකද උනේ ඒ පරණ කැටලොග් වලට?
ReplyDeleteදුකයි අප්පච්චි
ReplyDeleteයකඩ ගොඩවලට නැත්තේ හිතේ ඉඩ
ReplyDeleteමොකදැයි හේතුවක් දැන් දැන් හිතේ වැඩ
පොඩි කාලෙ අප හිටි ඒ කන්ද උඩ
සයිකලයක් පැදිල්ලත් කළ නොහැකි වැඩ!
යකඩ වලට ආදරය නොකලත් ලිපිය කියැවීමට පැමිණීමට මෙන්න ස්තූතිය!
Deleteහනෙ අම්මෝ ඉතිං. පොඩි එකෙක්ට ඒ වගේ දෙයක් දෙනව කියන්නෙ මහ මෙරක් වගේ. මට මතක් වුනේ ඉස්සර මායි අයියයි පත්තර වල තියෙන වාහන රූප කපල පොත්වල අලවනව...
ReplyDeleteමුල් කාලේ මාත් ඔය වැඩේ කලා ඩ්‍රැකී!තාමත් පත්තර වලින් කපපු සමහරබ්පිංතූර තියෙනවා මා ගාව!
Deleteමටත් මේ අත්දැකීම තියනවා. අපේ ඉස්කෝලේ motor mechanism කියලා subject තිබුනා, පලවෙනි වැඩේ CR පොතක වාහන පිතුර අලවලා ඒවා ගැන (වර්ගය, මාදිලිය, නිෂ්පාදන වසර) වගේ විස්තර ලියන එක. මමත් වාහන පින්තුර හොයාගන්න මර කට්ටක් කැව.Wijebahu
ReplyDeleteහරි හරි! ඔය කට්ටේ රසවත් හරිය තමයි කැටලොග් එකතු කිරීම ඇරඹීම! කොහෙද දෙයියනේ මෙච්චර කලක් හිටියේ?
DeleteCOVID සමග පහුඋන වැඩ ගොඩ වී ගොඩ වැඩිවී ඇත. Wijebahu
Deleteඉස්සර කාර්මික ශිල්පය වගේ දේවලුත් උගන්නල නේද ඉස්කෝලේ ඒක මාර වටිනව හැබැයි.....
ReplyDeleteඔතන නිකම් manipulate කරනවා වගේ එකක් නැද්ද (customersla ඇති කරගැනීම හා රඳවා ගැනීම ගැන ඇහුවෙ🤔)
ඔව් මාකර්ටින් කියන්නෙම එහෙම එකක්! හරියට උසස් පෙල විභාගෙ වගේ. "මචං අපි ඔක්කොම පාස් වෙමු!" කියලා කියමනක් ඒ විභාගේ නෑ! තරඟයක් බැවින්.
Deleteඒක හරි අවුල් වගේ හැඟීමක් නෙහ් දැනෙන්නෙ, මාර්කටින් වෙනුවෙන් manipulate කරන එක........
Deleteළමය ආස දෙයක් දෙන එකයි, ඌව customer කරගන්න හිතලා ම ඒක කරන එකයි වෙනස් නේද?
නැත්නම් එකයි ද?
මට තේරුම් ගන්න බැහැ🙄🙄
උසස් පෙල ගැන නම් කතා කරල වැඩක් නෑ. හැබැයි පුලුවන් උපරිමෙන් මගෙත් එක්ක ලියපු උන්ට උදව් කරා, ඒක ගැන සතුටුයි, වෙන කරන්න දෙයක් නෑ නෙහ්
Delete