Thursday, August 19, 2021

209. තිස් අවුරුදු රථ මතක . . . . ! (13)

වස්ගමුව 2001 - 2002

32-0865 ගැන නේ අපි අන්තිමට කථා කලේ! ඇත්තටම ඇය අපිව බොහෝ තැන් වලට රැගෙන ගියාය!
ආගිය තැන් බොහෝ ඇතත් ඡායාරූප සමග මතකය ඇවිස්සීමට පුළුවන් චාරිකා තුනක් ගැන පමනක් ලියන්නම්.
එකල පරණ  බාසුන්නැහැලා ලොරියක එන්ජිමක් සම්පූර්ණයෙන්ම අළුත් වැඩියා කල පසු එන්ජිම රනින් ඉන් (Braking-in / Brake in / Running - in / Run -in)  එකේ නැතිනම් පදම් දිවුමේ දිනක් පමන කාලයක් තබා; අවසානයේ ලොරිය මුදලාලි හට භාර දෙන්නට මත්තෙන් කතරගම හෝ අනුරාධපුර යෑමේ පුරුද්දක් තිබිනි. කතරගම් ගොස් ආපසු පැමිණීම තෙක් බොහෝ විට වාහනය පැදවූවේ බාසුන්නැහැ විසින්ම හෝ පලපුරුදු රියැදුරෙකු විසිනි. එම සම්පූර්ණ ගමන පුරාවට වාහනය ඉතා මෘදු ලෙස ධාවනය කරවා අවසන් වන විට එන්ජිම නියමාකාරයෙන් පදම් වී තිබුනා යැයි දිනක් පරණ පහේ බාසුන්නැහැ කෙනෙකු මා සමග කීය.
ෆෝ වීල් රථයක් මිළදී ගන්නා ඕනෑම අයෙකුගේ  ඊළඟ සිහිනය වන්නේ කැලෑ ගත වීමයි. තමන් වැද්දෙකු උවත් අළුතින් වාහනයක් ගත් විට නැවත පැරණි මං පෙත් වල හෝ ගමන් කිරීමේ ආශාවක් ඇතිවීම අරුමයකි. සාමාන්‍ය වාහන ගන්නා අය අළුතින් වාහනයක් ගෙන කතරගම යෑමේ පුරුද්දක් එකල තිබුනි. කැලෑ ගත වීම කතරගම යෑමේම තවත් එක් කුඩා වෙනසකි. 
32-0865 කැලෑ ගත කිරීම සඳහා මා තෝරා ගත්තේ වස්ගමුව ජාතික වනෝද්‍යානයයි. සෑහෙන කලයක් එයට මිඩංගු කොට වෙහෙස මහන්සි වී "වවුල් ඇබේ" බංගලාව හෙවත් නිවස්නය  මේ සඳහා වෙන් කර ගතිමි.

සදා නොමැකෙන පොසිටිව්
මේ වස්ගමුව යන අතර මගදී කඩුගන්නාව ගල විදපු ස්ථානයේදී ගත් ඡායා රූපයක්. 
වාහනයේ 27-8338 ලෙස දක්වා ඇතත් මේ 32-0865ම වේ.
ඒ ගැන ඉදිරියේ ලියන්නම්!
2001-2002 අතර කාලයකදී අප සමග වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සැරීමට මාගේ සොහොයුරියගේ පවුලේ පිරිසද එකතු වූවෝය. ඔවුන් වස්ගමුව පාක් එක අසලට පැමිණි ඔවුන් සතු  නිසාන් මාච් රථය ගාල් කොට පසුව අප සමග වනෝද්‍යානය තුල මා වෙන් කරගෙන තිබුණු වවුල් ඇබේ බංගලාව කරා ගියේ පැට්රෝලයෙන්ය. 
අප වස්ගමුව කරා ලඟා වීමට භාවිතා කලේ; අදටත් ලංකාවේ සුන්දරතම මාරගයක් ලෙස මාගේ මතකයේ රැඳී ඇති නුවර මාතලේ රත්තොට මාර්ගයයි. කඩවතින් උදෑසනින් පිටත්වූ අප; ළාහිරු නැග එද්දී  මාතලේ පසු කරමින් සිටියෙමු.

කෑම කාමරයක දර්ශණයක්!
ම විසින් නවීකරණය කරන ලද වහල, හා පසුපස දොර මෙවන් ගමන් වලදී මහත් සේවයක් පහසුවක් විය. පහත් කර දම්වැලෙන් එල්ලුනුදොර මේසයක හෝ බංකු ලෑල්ලක පහසුව සලසා දුන්නේය.
සතුට රැඳී පැවතියේ මිළ මත නොව! අද වන විට බොහෝ SUV රථ වල පසු පස දොරවල් දෙපසට හෝ ඉහලට අරින්නට සකසා තිබුනද මෙවන් පහතට ඇරිය හැකි දොර පලුවක තිබෙන වටිනාකම ඒවායේ නැත. වන්ඩිය වැව් බන්ටෙකක නවතා මෙම දොර භාගය මත තෙලේ බදින ලද පාසි බට්ටෙකු, ලූලෙකු, කාවයියෙකු තබා යාළු වතුර බිඳක් තොල ගෑමේ සතුට ශැන්ග්‍රිලාවේ කැපිටල් බාර් ඇන්ඩ් ග්‍රිල් එකේ සිසිල් බීර වීදුරුවක් පානය කිරීමෙන් වත් ලැබේ දැයි සැක සහිතය!
එකල ගමන් බිමන් ගෙනයාම සඳහා ප්‍රයෝජනයට ගත් ප්ලාස්ටික් පෙට්ටි හෙවත් ක්‍රේට් කිහිපයක් විය. පහත ඡායා රූපයේ; එක මත එක තැබූ නිල් පැහැති ක්‍රේට් දෙකට වම් පසින් රතු පැහැති රෙද්දකින් වසා ඇත්තේ අමතර රෝද දෙකකි! රට වටේ ගමන් ගත්තද වාහනයේ ටයර පැවතියේ අන්තිම දිළිඳු තත්වයකය, එබැවින් සෑම ගමනක් බිමනක් සඳහාම අප සමග කැටුව ආ අමතර රෝද දෙකක් විය!
"තාත්තෙ මං මෙතනිං බහින්නද?"
"#$5&* &%^&$ **7% @$%#$%&%!"
රථයේ වහලය දෙපසින් මෙන්ම පසුපසින් ඇකිලිය හැකිවිය. එසේ හතර වටින්ම පිටතට නිරාවර්ණය කල රථය වසිකටත් කල්මලීටත් සුන්දර අත්දැකීම් එක් කිරීමට සමත් වන්නට ඇත. වායු සමීකරණය හෝ බල සුක්කානම් පද්ධතියක් එනම් පවර් ස්ටියරිං සිස්ටම් එකක් නොමැති වුවද; ගමනක ආශ්වාදය නොමසුරුව අපට ලබා දීමට 32-0865 සමත් විය. අළුත්වැඩියා කල එන්ජිම හා වේග පහේ ගියර පෙට්ටියෙන් සමන් විතවූ එයට; පාරේ හමුවන ඕනෑම වාහනයක් සමග කරට කර සටනක් දීමට හැකියාව මා වෙතින් ලැබුනි.

රියැදුරු අසුනේ කැප් තොප්පියකින් විළි ලැජ්ජාවට  කොන්ඩය ආවරණය කරගෙන සිටින්නේ තට්ටයාමය!
අවම පහසුකම් පැවතුනු අටසිය හැටපහේ ඇතුලත බැලූ බැල්මට එහි තත්වය ඔබට සිතා ගත හැකිවේවි. ගියර් ලීවරයේ යට කෙළවරින් වාහනය තුලට ගලා එන දූවිලි  නවතා ලීමට එය වටා එතුනු ඇඳ ඇතිරිල්ල ඡායා රූපයේ පෙනේ. ඒකෙසේ වෙතත් එහි ගමන් කිරීමෙන් ලැබූ තෘප්තිය කෙතෙක් දැයි කුඩා දියණිය කල්මිගේ මුහුණේ ඇඳී ඇත!

ම්ම්ම්ම්ම්ම් . . . . .
කොහේදි හරි දැකල තියෙනවා . . . .?
 ඔයා ටීවී එකේ ඉන්නව නේද  . . . . ??
දහවල් වන්නට පෙර වස්ගමුවට ලඟාවූ අප මාගේ සොහොයුරිය පැමිණෙන තෙක් එහි රැඳී සිටියෙමු. එකල රූපවාහිනී මාධ්‍යය තුල පෙල ගැසී දිග ඇරුණු "සැරිසර" හා "වයිල්ඩ් ඒෂියා" යනුවෙන් වැඩසටහන් දෙකක් ලක්දිව සොභාදහම පිළිබඳව රූපමය සටහන් ප්‍රේක්ෂකයා වෙත ගෙන එමින් ප්‍රචාරය වුනි. මාගේ මතකය නිවැරදිනම්  එයින් "වයිල්ඩ් ඒෂියා" වැඩසටහන ගෙන ආවේ අරූන් ඩයස් බණ්ඩාරනායකය. 
අරූන් ඩයස්
ඉන් එක් වැඩ සටහන් පෙලක් සකසා තිබුනේ වස්ගමුව ජාතික වනෝද්‍යානය ඇසුරෙන් වන අතර ඒ සඳහා ඔහු භාවිතා කල කහ පැහැති මිට්සුබිෂි ජීප් රථය අප යන විට පාක් එන්ට්‍රන්ස් එක හෙවත් උද්‍යාන ප්‍රවේශය අසල නවතා තිබුනි.
කාන්තාවන් හට සාරි පිළිබඳව ඇත්තේ පුදුමාකාර මතකයකි. තමා සතු ඇඳුම් පිළිබඳව පමනක් නොව තමා වටා සිටිනා අනෙක් අය සතු දේ ගැනද මෙම මතකය ඇත. "එයා එදා ඇන්ද සාරිය තමයි ඊට වසර 5 කට පස්සේ අදත් ඇඳලා තියෙන්නේ!" කියන්නට ඔවුන්ට හැකියාවක් ඇත.
පිරිමින්ට මේ හා සමාන මතකයක් ඇත්තේ වාහන සම්බන්ධයෙනි. "අපෝ ඕක මචං මීට අවුරුදු පාකට ඉස්සෙල්ලා කුරුණෑගල විකුණන්න දාලා තිබ්බේ හෙන අඩුවට. දැන් ඔය වටේට කෑලි ටිකක් අන්දලා තිබ්බට ඕකෙ තර්ඩ් එක පනිනවා. ක්ලච් එකත් තිබ්බේ උඩ. බ්‍රේක් ගැහුවාම පැත්තට අදිනවා. මං කියන්නේ බොරු නම් බලහං එන්ජිමේ ඔයිල් කූරෙ උඩ ගුන්ඩුවට පිත්තල තියලා ඇති!" ඔය විදියේ විස්තරයක් කියන්නට වාහන ප්‍රේම වන්තයින් දනී. සමහර වාහන ගැන මටද එහෙම කියන්නට හැකි මතකයක් එකල තිබුනි.
40 ශ්‍රී කහ පැහැති මිට්සුබිෂි ලොන්ග් වීල් ජීප් රිය දුටු වනම එය; අරූන් ඩයස් වයිල්ඩ් ඒෂියා වස්ගමුව එපිසෝඩ් එකේ පාවිච්චි කල වාහනේ බව මට මතක් විය. ඒ සමගම ජීප් පිස්සුව මතුවී එය අසලින් මාගේ පැට්රෝලය නවතා පිංතූරයක් ගත්තෙමි.
වසික! වනය මැද තනිවී!!!
පළමු දින හවස් වරුවේ තරමක දුරක කෙටි චාරිකාවක් අපට ලැබී තිබුනු මග පෙන්වන්නා විසින් රැගෙන ගියේය. එදින  රාත්‍රිය; වන මැද බංගලාවේ ගතකල අප දෙවෙනි දින උදෑසනින්ම සංචාරය සඳහා පිටත්වුනෙමු. මාගේ සොහොයුරියගේ පවුලේ වැඩිහිටියන් දෙදෙනාත් මග පෙන්වන්නාත් සමග වැඩිහිටියන් පස් දෙනෙකුත් කුඩා දරුවන් තිදෙනෙකුත් ඇතුළුව අටදෙනෙක් සමග නිසාන් පැට්රෝලය වස්ගමුව උද්‍යානයේ රළු මං මාවත් වල ගමන් කොට අවසානයේ මහවැලි ගඟ සමීපයේ පිහිටි "මහවැළි" නිවස්නය අසලින්  ගඟට බැස්සෙමු. මාගේ "ගඟක් දිගේ ගිය ගමනක් 16" හි  කයාක නවතා එහි උන් පිරිසක් සමග පෑහෙන්නට උත්සාහ කල ස්ථානය මෙම ස්ථානයයි. එතැනින් නා කියාගෙන ආපසු කැලය මැද්දෙන් වවුල් ඇබේ බංගලාවට පැමිණ පසුදිනද කැලයේ හතර අත ඇවිද ගෙදර ආවෙමු!
ගිය තැන නෑම - මීට වසර විස්සකට පෙරද 
මා ජීවිත ආරක්ෂාව පිළිබඳව උනන්දු වී ඇති බවට 
සාක්ෂිය දකුණු පස!

තනි කෑල්ලට එන්නයි හදන්නේ! 
(මතක ඇතුව ඔය ස්පෙයා වීල් එක දා ගනිං!)


විල්පත්තු 2002 
එකල  මා සේවය කල පානදුර පිංවත්තේ තිබූ පර්ෆෙක්ට් ෆිට් නම්වූ ඕස්ට්‍රේලියානු සමාගමේය. එකල එහි සිටි කාංචන සබරගමුව, විද්‍යා යකන්දාවල, සංජීව කළුගල්දෙනිය, නලින්ද ප්‍රේමරත්න, ඕසෝන්, ධම්මික, රිෂාන්, හර්ෂ ගයාන්  අතුළු ජීප් ගැන්සිය විල්පත්තු චාරිකාවක් සංවිධානය කලහ. කාංචන සබරගමුව සතුව තිබුනු සුසුකි ජිම්නියද විද්‍යා යකන්දාවල සතුව තිබුනු නිසාන් පැට්රෝල් දෙවන පරම්පරාවේ G60 ද සංජීව කළුගල් දෙනිය විසින් කර ගසා සිටි මහේන්ද්‍රාවද මාගේ 865 ද ඇතුළුව ෆෝ වීල් රථ  හයක් හෝ හතක්   ගමනට සහභාගී විය. මෙම රථ අතර මිට්සුබිෂි ජීප් රථයක් හෝ දෙකක්  ද තිබුනු බව මතකය.

නිසාන් G60 කිරි ටොයියෙක්!

අප එකතු වූයේ අනුරාධපුර කාංචනගේ මහ ගෙදරට වූ අතර එතැනින් නොච්චියාගම හරහා විල්පත්තුවට ලඟා උනෙමු. ගමනේ සියළු සංවිධාන කටයුතු මෙහෙය වූයේ කාංචන සබරගමුව හා ඔහු වටා සිටි සගයන් කිහිප දෙනෙකි. අප යන්නේ කීයටද? නවතින්නේ කොහේද? කන්නේ මොනවාද? මේ සියළු ප්‍රශ්න මා තුල තිබූ අතර ඒවාට  සාර්ථක හෝ අසර්ථක පිළිගත හැකි හෝ අභව්‍ය පිළිතුරු තිබුනේ ඔවුන් අතය. අපට තිබුනේ කලට වේලාවට මුදල් ලබා දි තමන්ගේ වාහනයෙන් නියමිත දිනයේදී නියමිත තැනට යාම පමණකි.  
ගමනට දින දෙක තුනකට පෙර අපගේ ඊ තැපෑල තුල සංසරණය වූ ලිපියකි. ඒ අයිටිනරිය හෙවත් ගමන් විස්තරයය. එහි අන්තරයෙන් බා ගත් ක්ලිප් ආර්ට් කිහිපයකින් සැරසුණු  පොඩි විස්තරයක් විය!
අනුරාධපුරෙන් පිටත්වී අපි අපගේ ෆෝ වීල් රථ  සමග පිරිස 15 ක් පමන විල්පත්තුවට ඇතුළු උනෙමු. සිය පවුල පිටින් එක්වී සිටියේ මා පමණි. වසිකත් කල්මලීත් කුඩා දරුවන්ය! ගමන් විස්තරයේ පරිදි අප පලමුව යා යුත්තේ පණික්කවිලටය! පණික්කවිල යනු  විල්පත්තුවේ පිහිටි වනගත බංගලාවලින් එකකි.
උද්‍යාන ප්‍රවේශයේ
පණික්කවිල බංගලාව  පිහිටියේ උද්‍යාන ප්‍රවේශයේ සිට කිලෝමීටර 30-40 ක පමණ දුරකින් වනාන්තරය තුලය. ප්‍රවේශයේදී පළමු රථයට ගොඩවූ මගපෙන්වන්නා සමග අප පැයකට ආසන්න ගමනකින් පසුව වැවක් අභියස පිහිටි නටබුන්වූ ගොඩ නැගිල්ලක් අභියසට පැමිණියෙමු.
"මෙතන තමයි පණික්කවිල බංගලාව. හරි! බහිමු!!" කාගේදෝ හඬය.
"අම්මට සිරි! මේ මොකද්ද?"
"මේ පණික්කවිල බංගලාව නෙවෙයි! බංගලාව තිබ්බ තැන වෙන්න ඕන!" එකෙක් කීය.
"හරි! හරි!! බැහැපල්ලකෝ!"
සත්තකින්ම එය ජරා ජීර්ණවූ ගොඩනැගිල්ලකි.
කලකට පෙර එය හොඳින් තියෙන්නට ඇති! එහෙත් අදවන විට එහි ඇත්තේ නටබුන් ගොඩක් පමණි. බිත්ති පුරා;  බොහෝ නම් ගම් අඟුරෙන් ලියා තිබිනි. 
"අම්මට සිරි! මේක කොටින්ගෙ තිප්පොලක් වගේ!"
"ඔව් කොටි මෙවායේ ඉඳලා තියෙනවා! දැන්නම් ඈත  තමයි ඉන්නවා කියන්නේ!" මග පෙන්වන්නා එල් ටී ටී සාමාජිකයින් පිළිබඳව තමන් දන්නාන් කරුණු ගෙන හැර දැක් වීය!

පණික්කවිල බංගලාව
බොහෝ අය රාත්‍රී වෙනත් ස්ථානයක නවාතැන් ගැනීමට යාමේදී තමන්ට නැතිවම බැරි දෙයක් හෝ කිහිපයක් රැගෙන යාම පුරුද්දක් කර ගනී. එහි අංක එක මාගේ වැඩි මහළු සොහොයුරාය. ඔහු සරමේ සිට ඇඳ ඇතිරිලි, කොට්ටා උර, තුවා ආදී මෙකී නොකී සියල්ල රැගෙනයයි. 
මාගේ පියා රැගෙන යන්නේ සරමක්, පාන් රාත්තලක්  හා පත්තරයක්ය. පත්තරය කියවීමට නොව හදිසි අවස්ථාවකදී බිම එළා නිදා ගැනීමටය! 
මා ගෙනයන්නේ කැනපියකි. කැනපියක් යනු කූඩාරමක් හෙවත් ටෙන්ට් එකකි. එය බොහෝ අවස්ථා වලදී මාහට මහඟු ප්‍රයෝජන ගෙනදී ඇත!
බංගලාවක නොව රජ ගෙදර නැවතීමට ගියද; මා මේ ගමනටද කැනපියක් රැගෙන ආවේය. පණික්කවිල  වනගත බංගලාව දුටු සැණින් මා හට කැනපියක් ගෙන ඒමට සිත්වීම මොන තරම් භාග්‍යයක් දැයි සිතිනි.
බංගලාවේ මිනිස් පුළුටක් නොමැත!
කොටින්ම එය කැලෑවෙන් වටවී පමණක් නොව අඩක් වැසී ගොසිනි. මුළුමණින්ම වැසී නොයෑමට එකම හේතුව ලෙස මා දකින්නේ විල්පත්තුවේ පවතින දැඩි වියළි ස්වභාවය කරණ කොට ගෙන කැලෑව වැවීම හෙවත් පැතිරීම සිදුවන්නේ ඉතා මන්දගාමී වීමය ය! වහලයෙන් අඩක් ගැලවී හෝ ගලවාගෙන  හෝ තිබුනි. කොටින්ම භාගයකට වහලයක් නොවීය!
ජලය ලබා ගැනීමට කිසිදු ක්‍රම වේදයක් නොවීය.  මා ගමනට පිටත් වීමට දිනකට පෙර ගෑස්පහ හංදියට ගොස් ලීටර විස්සේ බූලි හෙවත් කෑන් හතරක් ගෙනාවේය. නිසාන් පැට් රෝලයේ පසු පස එක පෙලට හරහට වතුර ලීටර 80ක්ද ඩීසල් ලීටර 25ක්ද රැගෙන ආවෙමි.
එම නිසා ජලය කිසිසේත්ම ගැටළුවක් නොවීය! වැසිකිළි කැසිකිළි පහසුකම් සැපයුනේ බංගලාව අවට සිහින් වැලි සහිත පරිසරයෙන්ය!
එදින රාත්‍රී අන් අය තැන තැන වැටී හෝ තම තමන්ගේ වාහන තුල පහන් කරද්දී අප; වහලය නිරාවරණය වූ බංගලාවේ ඉදිරිපස කොටසේ ඇටවූ අපගේ කූඩාරම තුල ගත කලෙමු.
පසුදින උදෑසන වනාන්තරය තුල ගමන් ඇරඹුවෙමු! එතැන් සිට දුටුව සතුන් පිළිඹඳ නිනව්වක් නැත. මුළු විල්පත්තුවේ පාරවල් පුරා වාහන පැදවපු බව පමණක් මතකය. අප දිගින් දිගටම ගමන් කොට මෝදරගං ආරු හමුවට පැමිණියෝය. විසල් කුඹුක් වියනකින් සමන් විත කුඩා ගඟක් වූ එය තැනින් තැන බොහෝ ගල් පැවති ස්ථානයකි. එතැන බොහෝ වේලාවක් අප නැවතී සිටියෙමු. මුළු මහත් ගමන තුලදී අපට වෙනත් රථයක් හමු නොවීම ද විශේෂත්වයකි. 



මෙවන් ගමනක් යාමේදී සිතියමක් රැගෙන යාම මාගේ සිරිතයි!  මා විසින් සකසා ගත් ශ්‍රී ලංකා මාර්ග සිතියම හැරුණු කොට මාගේ සොහොයුරා සතුව පැවති; විල්පත්තුව පැරණි සිතියමක්ද මා රැගෙන ගියෙමි. එය පිරික්සීමේදී අප සිටිනා නිවස්නය ඇත්තෙන්ම පණික්කවිල දැයි කුහුලක් ඇතිවිය.  එසේනම් අප සිටින්නේ වෙනත් තැනකද? සිතාගත නොහැක! නාම පුවරුවක් හෝ වෙනයම් සටහනක් එහි තිබුනේ නැත! අවසානයේ  සිතියම අනුසාරයෙන් පණික්කවිල සොයා ගත්තෙමු.


32-0865

ගෙදර එන්න එන මොහොතේ!

අප සමග ගිය පිරිස තවත් දිනක් නැවතී එන්නට සැලසුම් කර තිබුනත් මා පසුදා ආපසු ඒමට සිතා ගත්තෙමි. ඒ මන්ද යැයි මට අදටවත් සිතා ගත නොහැකි කරුණකි! එදින උදෑසන අප ඉදිරියේ වූ විල්ලුවෙන් ඔබ්බේ වන සීමාවට මෙපිටින් වැව් තලාව මත දුලභ දසුනක් දුටුවෙමු.
ඊරියක් තම පැටවුන් සමග විල්ලුවේ මඩේ ලැග සිටියෝය. මොහොතකින් වනාන්තරයෙන් මෑත්වූයේ තරමක දිවියෙකි. ඊරිය සමග සිටි පැටවුන් මඩේ ඔබ මොබ දුවමින් කෙළිදෙලෙන් විය. අම්මාට ඈත්ව තමාට ලංවූ පැටියාට දිවියා කුරුමානම් අල්ලා පනින්නට පටන් ගන්නවාත් සමග ඊරියට එය ඉව වැටුනි! ඒ සමගම ඊරිය දිවියා වෙත විදුලි වේගයෙන් පැන ප්‍රහාරය එල්ල කරණ්නට පටන් ගත්තේය. ඔබ විශ්වාස කරණ්න; දිවියා නැවත වනය තුලට දිව ගොස් පන බේරා ගන්නා තුරු ඊරිය මීටර 50 ක පමන දුරක් ඇඹීය! 
එම දර්ශණයත් සමග අප එන්නට ආපසු හැරුනි. අප සමග තවත් එක් ජීප් රියක් උද්‍යානයේ ප්‍රවේශය වෙත පැමිනියේය.
අපගේ විල්පත්තු ගමනින් පසුව ඒ ආසන්නයේම වන සත්වාරක්ෂක දෙපාර්තමේන්තුවේ  කිසිවෙකු එල්ටීටීඊ ප්‍රහාරයකට ගොදුරුවූ බවක් මාහට මතකයේ ඇත. සතියක් පුරාවට ඒ පිළිබඳව සොයා බැලීමට ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ විය. විල්පත්තු ජාතික උද්‍යානයේ පාලක වශයෙන් සිට මියගිය වසන්ත පුෂ්පානන්ද මහතා ගැන හෝ විස්තරයක් අන්තර්ජාලයේ නොමැත! එල් ටී ටී ඊ යෙන් මියගිය පුද්ගල ලැයිස්තුවල ඇත්තේ පොලිටික්කන් පමණි! මේ පිළිබඳව වැඩි විස්තරයක් හෙට එනම් 2021 අගෝස්තු 20 වන දින සොයා දෙන බවට මාගේ මිත්‍ර පසිඳු අමරසිංහ පොරොන්දු වූවේය. ඒ ගැන සොයාගත් වහාම ලියාතබන්නම්!
පණික්කවිල බංගලාව 
අද!


අම්පාර 2004/12/18 - 19  


මම; මගේ "159. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? - Diving 1" ලිපියේ දක්වා ඇති ලෙසින්ම එකල මාගේ බොක්ක වූයේ ශානක රාජකරුණා නම් වූ ගුවන් හමුදා නිළධරයාය. එකම පාසලක එකම කාලයක අකුරු කල ඔහු මා හට වඩා වසර ගනනාවකින් අඩු වයසකින් යුතු වූ අයෙකි. මාගේ දරුවාගේ ප්‍රථම අමුත්තා වූ හේ ඔහුගේ රෝල් මොඩලය විය! එකල ඔහු සේවය කලේ අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ විය. ඔහු සේවය කල බොහෝ ගුවන් හමුදා කඳවුරු වලට අප චාරිකා කොට ඇති අතර දිනෙක ඔහු අපට ආරාධනා කලේ අම්පාරේ පැමිණෙන ලෙසය.
ඒ දින වල බේගාල බොක්ක හිල්වී මහ වැසි වසිමින් විය.  "මෙහේට වහිනවා උනාට එහේට වහින්නේ නැතිව ඇති!" කියන සිතට කල රැවටිල්ලත් සමග අප ගමනට සෙට මෝල් විමු. මහ ගමනට පෙර වාහනයේ ක්‍රියා කාරීත්වය පිළිබඳව සොයා බැලූ මා; වැස්සේම අසල තිබුනු විදුලි කාර්මික ශිල්පී ආයතනයකට; තේරෙණ හිංගලෙන් කියනවානම් ඉලෙක්ට්‍රිකල් ෂොප් එකකට ගොස් ඉදිරි පස සවි කොට තිබූ රැම්සේ 8000 වින්චියට; එතෙක් යොදා තිබූ තාවකාලික කේබල දෙක වෙනුවට වැඩි ධාරිතාවයකින් යුත් කේබල දෙකක් සවිකර ගෙන දහවල් 2.00 ට 3.00 ට පමන කඩවතින් පිටත් විය.
ගමන පිටත් වූයේද තරමක වැස්සේය. වායු සමීකරණය නොකල වාහනයේ ඇතුලතින් ජල වාෂ්ප ඉදිරිපස වාමුවාවේ හෙවත් වින්ඩ්ස්ක්‍රීනයේ බැඳීම අනිවර්‍ය තත්වයකි. මෙවන් වාහනයක ඉදිරිපස රියැදුරු අසුනට අමතරව තවත් අසුනක් සවිකොට එන්නේ මෙවන් අවස්ථාවලදී රෙදි කෑල්ලක් ගෙන වීදුරුව දමන අය හට වාහනයේ ගමන් කිරීමටයැයි එවිට මට සිතේ! 
කඩවතින් පිටත් වෙද්දී තිබුනු මහ වැස්ස මහ නුවර නගර සීමාව පසු කරන විට කුණාටුවක් බවට හැරී තිබුනි. 
පෙර මා 203. නොරත රථ . . . . . !(11) පෝස්ටුවේ සඳහන් කල පරිදි GPS නොතිබූ කාලයේ අප ගමන් බිමන් ගියේ; මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් පලකල මාර්ග සිතියමක් හා ලංකා මැප් පබ්ලිෂර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගමෙන් පලකල සංචරක සිතියමක් එකට තබා ලැමිනේටින් කරගත් සිතියම් ද්විත්වය බලා කියාගෙනය. සිතියමක් බලාගෙන කොම්පාසුවක් ලඟ තබාගෙන පාර හොයාගෙන යන එකෙත් පොඩි නිර්මානශීලී "ගතියක්" ඇත! මෙම සිතියම අනුසාරයෙන් හුන්නස්ගිරිය දෙසට හැරුනෙමු.  එතැනින් දහ අට වංගුව පසුකරමින් මහියංගනයට එන විට හොඳින් කරුවලවී තිබුනි. එදින මහියංගනය නගරයෙන් සපයා ගත් කුඩා නැවතුම් පොලක කාමරයක රාත්‍රී ගත කල අප පසුදා  උදෑසන  නැවතත් ගමනට බටහ. රාත්‍රිය මුළුල්ලේ වට වැස්සේ දිගුව උදෑසන විටත් නිම නොවී තිබුනි. එතැනින් අප පදියතලාව දෙසට හැරී ගමන් ගත්තෙමු. පදියතලාව ආසන්න වන විට පලාතේ තැනින් තැන ගස් කඩා වැටිලා තිබෙනු මතකය. තවත් ඉදිරියට යද්දී නගරයට ප්‍රවේශවෙන මාර්ගය හරහා මහා ගසක් කඩා වැටීමෙන් මුළුමණින්ම අවහිර වෙලාය.
ගස කපා ඉවත් කිරීමට බල කියත් කරුවන් හතර පස් දෙනෙකුම රිස්ස යනතුරු දහදිය හෙලති. කපන කපන අතු ඉවත් කිරීමට නිල් පැහැති ෆෝර්ඩ් ට්‍රැක්ටර දෙකක් කුංච නාද දීගෙන බර වැඩෙහි යෙදිලාය. කුඩා කුඩා අවශේෂ කාර්‍යයන් සඳහා කුඩා අත් පොරව ගත් පිරිසක්ද ට්‍රැක්ටර වලට ගස් අතු ගැට ගසන ලෙහන තවත් බොහෝ පිරිසක්ය. වඩාත්ම සිත්ගන්නා සුළු කාර්‍යය වූයේ මේ සියල්ලන් හටම නායකත්වය සැපයූ ඩෙනිමක් හා සුදු කමිසයකින් සැරසුනු මුහුණ පුරා රැවුළ වවා ගත් මිනිසාය.
කිසිවෙකුට හෝ මොහොතක්වත් කාලය කා දැමීමට ඉඩ නොදී මුළු ශ්‍රම හමුදාවම ඔරලෝසුවක දැතිරෝද සේ වැඩෙහි යෙදෙන්නේ එම නායකයාගේ උපදේශනයටය.
මහ කඳ කුට්ටි කිරීම ඒ වන විටත් දෙදෙනෙකු පටන් ගෙන තිබුනි. බල කියත්වල කැපුම් දම්වැල්; ගහ දෙකඩ කිරීමට කිසිසේත්ම සෑහීමකට පත් නොවීය. කියත් කරුවන් පලමුව කඳේ අල්ලුවක් කපා ඉවත් කොට ඒ තුල නැවත බල කියතෙන් කපන්නට පටන් ගත්තේය. එක් කියත් කරුවෙක් වෙහෙස වන විට තවතයෙකු කියත අතට ගනී. කොටින්ම එය මහා සංග්‍රාමයකි!
විෂ්කම්භය අඩි හයක් පමණ වූ ගසේ කඳ දෙකෙළවරින් කපා අවසන් කල පසු එය එක් ට්‍රැක්ටරයකට සම්බන්ධ  කල අතර එම ට්‍රැක්ටරය තවත් ට්‍රැක්ටරයකට සම්බන්ධ කොට කඳ අදින්නට පටන් ගත්තේය. ට්‍රැක්ටර් දෙක දුම් රියක් සේ එකින් එකට අමුනාය! විශ්වාස කරණ්න! ට්‍රැක්ටර දෙකම පසුපස රෝද මත හිට ගති. එහෙත් කඳ සෙලවීමටවත් නොහැකි විය. දෙවනුව ට්‍රැක්ටර දෙකම කඳ අසලටම පසුපසට ගෙන උපරිම වේගයෙන් ඉදිරියට යන්නට විය. ට්‍රැක්ටර පසුපසට ගැනීම නිසා හැකිලී තිබුනු දම්වැල එකවරම තද වී ගැස්සී කඳ තරමක් ඇදී ගියේය. මේ ආකාරයටම ට්‍රැක්ටර දෙක මගින් දම්වැල ගස්සමින් ඇද මාර්ගය ගමනා ගමනයට විවෘථ කර වීමට එම පිරිස සමත් විය! මා රථය ඉදිරියට පදවමින්ම අසල සිටි අයෙකුගෙන්; විජයභා කොල්ලයේ මහල්ලා දරුවාගෙන් ඇසූ පැනය ඇසුවෙමි! "කවුද අර සක් පිඹින්නාසේ සේනාව සංවිධානය කලේ!?"
"ආ ඒ අපේ ප්‍රාදෙශීය ලේකම් තුමානේ!"
සත්තකින්ම එය බලන්නට වටින; බලා ඉන්න එවුංට "හික්!" ගෑවෙන නායකත්වයකි!
එතැන් සිට අප ගමන් කලේ වැසි බර එහෙත් වැස්සෙන් තොර කාලගුණයක් යටතේය!  මහ ඔයට කිට්ටු කරණ විට බොහෝ ප්‍රදේශ යටවී තිබුනි. මහ ඔය හංදිය ආසන්න වන විට මාර්ගය මුළු මණින්ම යටවී ගොස්ය. ගැබ්බර අහස හිරු සඟවා ගෙන; "දෙන්නම්" කියාගෙන පලාතම වැහි බීරමෙන් යටත් කරගෙන සිටියේය. හයියෙන් උඩ පැන්නොත් අහස ඇල්ලිය හැකි තරමට වළාකුළු පහත් වී තිබුනි! පාර දෙපස කුඹුරු  හා පාර එකම ජල තලයකි. මෝටර් රථ හා වෑන් රථ එගොඩ යාමට නොහැකිව ගං වතුර දෙකෙළවරේ නවතා ගෙනය.  ට්‍රැක්ටර් හිමියෙක් නයිලෝන් ලනුවක් ලඟ තබා ගෙන තවත් තැරැව් කරුවන් සමගින් මෙගොඩ සිට එගොඩටත්, එගොඩ සිට මෙගොඩටත් මෝටර් රථ හා වෑන් ඇදගෙන යති එති! එය කුඩා ගෘහ කර්මාන්තයකි!!! 
ගංවතුර ඈත තියා දැක මෑත තියා නවතන අහිංසක රියැදුරු ප්‍රාන වෙත  ලඟා වෙන තැරැව්කරුවන් ගං වතුර භයානකත්වය පිළිබඳවත් දෙපස ඇති ගැඹුරත් පිළිබඳව නොමිලේ කුඩා පාඩමක්  පවත්වති. ඉන් ඉක්බිතිව වාහනය පන නොගන්වා ට්‍රැක්ටරයෙන් ඇද ගැනීමට රියැදුරා පෙළඹේ. එය ව්‍යාපාරයක් වුවත් එක අතකින් මහඟු සේවාවකි. එසේ වෙනත් වාහනයකින් නොඇද එන්ජිම පනගන්වා එම ගං වතුරේ යන්නට ගියහොත් වාහනයට අධික හානියක් සිදුවීමට හේතු විය හැක. මේ පිළිබඳවත් අදාල මෙම සිද්ධිය පිළිබඳව වත් මාගේ "199. ඊයේ ලියන්නට තිබුනු ලිපියක්!" පෝස්ටුවේ දක්වා ඇත.
මොනම හේතුවක් නිසාවත් නිසාන් පැට්රෝලය  මෙම ගංවතුර තත්වය හේතු කොටගෙන  වෙනත් වාහනයකින් ඇද එගොඩ කිරීමට මාහට තරම් නොවේ. මාගේ වාහනය අසලටත් පැමිණි බ්‍රෝකරයෙකු තම සේවා පිළිබඳව විස්තර කලේය.
"අවුලක් නෑ! මම යනවා!! බොහෝම ස්තූතියි අදින්න ඕනෙ නෑ!" මම ඔහුට කීවෙමි.
"මේවාට මොකද යන්න බැරි! ? මේවාට යන්න බැරිනම් වෙන යන්න වාහනත් නෑ තමයි!: අපගේ දෙබස අසාසිටි අයෙකු පැවසීය.
එම වචන කිහිපය මට ඇතිකලේ සුපිරි ගැම්මකි! ඔහුට කෘථවේදී සිනහවකින් සංග්‍රහ කල මා රථය පන ගැන්වූවේය! "අපිට යන්න පුළුවං වෙයිද?" බිරිඳ අනපේක්ෂිතව ඇසුවාය! "බලමු!" මම තනි වචනයෙන් උත්තර දී රථයේ ගියර සැකැස්ම ෆෝ වීල් ක්‍රියාත්මක වීමට සකසා පළමු ගියරයේ ඉදිරියට ගත්තෙමි. හදිසි අවස්ථාවක වාහනය කිසියම් බාධාවකට මුහුණ දුන්නොතින් එය පිටු දැකීම ෆෝ වීල් දමා ගැනීමේ අරමුණ විය!
ඉදිරියේ ඇදගෙන යන වෑන් රිය දෙස බලා ගං වතුරේ ගැඹුර පිළිබඳව හොඳින් වැට හීමක් ලබා ගත් මා ඔවුන්ගේ ධාවන පථය හොඳින් ග්‍රහණය කර ගත්තේමි. ඉමක් කොනක් වැටක් කිසිවක් නොපෙනෙන ගංවතුරේ ජල තලයට ඉහලින් පෙනෙන එකම වස්තුව ලයිට් කණු පේලිය පමණි! ලයිට් කනුවලට සාපේක්ෂව ගමන් පථය හිතේ ඇඳගත් මා 32-0865 නිසාන් පැට්රෝල් 160 ය ගං වතුරට ප්‍රවිෂ්ඨ කලෙමි! ලයිට් කනු වලට සිතෙන් මැනගත් දුරක් පවත්වා  ගනිමින් එතෙර වුනෙමු!
එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් අම්පාර දෙසට දිවෙද්දී කාලගුණය ටිකෙන් ටික වියළි බවට හැරී තිබුනි. අම්පාර නගරයට කුඩා දුරක් තිබියදී උහන ගුවන් හමුදා කඳවුරෙහි නාම පුවරුව පාරේ දකුණු පසින් තිබුනා වාගේ මතකය. අප එහි යන විට ශානකගේ බිරිඳත් දරු දෙදෙනාත් එහි විය! 
එදින විවේක ගත් අප පසුදා එතෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කර නොතිබූ රජගල නටබුන් බැලීමට ගියෙමු. එම සංචාරය සඳහා කඳවුරේ තවත් කිහිප දෙනෙකු ඩිෆෙන්ඩරයක්  සමග එක් විය!

මිතුරන්

මේත් මිතුරන්ම තමයි!

රජගල රජ ගමනක!

කල්මලී
කල්මලී

දින දෙකකට පසු වැහි බීරිම යටින් නැවතත් නිවෙස් බලා අප ආවෙමු. එන විට අප පැමිණියේ මිණිපේ රන්ටැඹේ රන්දෙනිගල හරහා වැටී ඇති මාර්ගයේය. පහතින් දැක්වෙන්නේ එන ගමනේදී; සටහන් කරගත් පිංතූර කිහිපයක් පහතින් එල්ලා ඇත.
හරියටම ඊළඟ සතිය එළඹුනේ වසරේ නත්තලය!  වසර ගනනාවක සිට සෑම නත්තලක්ම අප ගත කලේ බෙන්තොට දෙද්දූව පුස්සැල්බොක්ක වත්තේ මාගේ ලොකු අම්මාගේ ගෙදරය. නත්තල් දිනයේ එහි යාමට හැකියාව තිබුනද පෙරදින රාත්‍රියේ අප බෙන්තොට බලා ගියෙමු. පසුදින  දහවල එළඹෙමින් තිබියදී රූපවාහිණී තිරය මත කිසිදා නො අසා තිබූ ජපන් වචනයක් සමග උප ශීර්ෂ  යොදමින් රූප රාමු වැටෙන්නට විය. ඒ සුනාමියේය! අප සාමාන්‍යයෙන් නත්තලට බෙන්තොටට ගොඩවෙන්නේ දිවා ආහාරයටය. අප එම වර්ෂයේ එම සිරිත කඩ කිරීම සුනාමියට අසු නොවීමට එක් හේතුවක් විය! සුනාමියට පසුදා නැවත කොලඹ පැමිනියේ බේරුවලින් මතුගමට ගොස් රට මැදින්ය. ඒ සියළු ගමන් වලදී නිසාන් පැට්රෝලය විශ්වාසවන්ත ගමන් සගයෙකු විය!

ආපසු එන ගමනේ!


Monday, August 2, 2021

208. පැනි බේරෙණ කොම්පැනි කථා 3

ඕනෑනම් ඕනෑම සිංහයෙකුව ළඟ නවා ගත හැක!

ලියා මග දමා ආ "හය වන ඇන් ඇක්සිඩන්ට් එක!", "ම'පුතු වසික වෙත සෙනෙහසින් හය වැන්න!", "නොරත රථ (13)!", "තාත්තා නොම්මර එක 4" වැනි බොහෝ කථා කැරළි රාශියක් තිබුනත් ඒ සියල්ල පසෙකින් තබා "පැණි බේරෙන කොම්පැනි කථා" තවත් කිහිපයක් මා ලියන්නට සිත් උනෙමි.

එයට ප්‍රධාන කාරණා දෙකකි. 

1.රසික ජන මනෝරංජනය (මෙය කරුණාරත්න අමරසිංහයන්ගෙන් මා නයට ඉල්ලාගෙන භුක්තියට සවිකර ගත් යෙදුමකි. ) 

2.මෙම සිදුවීම් මාහට ලියා තැබීමට ඇවැසි වීම අනෙකය.

යුනයිටඩ් මෝටර්ස් ආයතනයේ මා ගත කල වසර දොලහකට ආසන්න කාලයෙන් වැඩි කාලයක් මා සේවය කලේ එහි පාරිභෝගික සේවා විධායක ලෙසය. දිවයින පුරා කොළඹ, ඔරුගොඩවත්ත, නුවර, කුරුණෑගල, නුවර එළිය (පසු කලකදී මෙය වසා දමන ලදී), රත්නපුර, මාතර, යාපනය යන නගරයන්හී පිහිටා තිබුනු අප සමාගමේ වැඩහල් සියල්ල තුලින්ම අළුත්වැඩියාවන් හා සේවාවන් ලබාගන්නා පාරිභෝගිකයින් එදිනෙදා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විමසා බලා කටයුතු කරණ්නට වැටුප් දී මා  පත් කොට  තිබුනි.

පාරිභෝගික සේවාව යනු හුදෙක් බොක්කෙන්ම එන්නට උවමනා අවශ්‍යතාවයකි. ආයතනයක ඉදිරි පෙල නිළධරයන්, සේවකයින් (Front Desk) හට එය උත්පත්තියෙන් ලැබිය යුතු ගුණාංගයක් හෝ උගැන්විය යුතු හා පුහුණු කල යුතු විෂයකි.

මා අදටත් පිළිගන්නා ආකාරයට ඉදිරි පෙල සේවකයකු තුල; "පැසසුමක් ලැබීමේ අභිරුචියක්, කෑදර කමක්" තිබිය යුතුමය. පැසසුමක් ලැබීමට කැමති අයෙකු සෑම විටෙකම කටයුතු කරණ්නේ එය ලබා ගැනීමටය. ඔහු එවිට තමාගෙ හැකි උපරිමයෙන් පාරිභෝගිකයා සතුටට පත් කරවීමට උත්සාහ ගනී.  එවන් අයෙකු අප පුහුණු කල යුත්තේ පාරිභෝගික සේවා ආචාර ධර්ම  සහ විශේෂයෙන්; පාරිභෝගිකයෙකු වෙතින් පැසසුමක් නොලද අවස්ථාවකදි පවා ස්ව‍යං අභිප්‍රේරණයකින් යුතුව කටයුතු කිරීමටය!
ලියනවානම්  මේ පිළිබඳව පිටු පුරා ලියා තැබිය හැකි උවත් අපි ඉක්මණින්ම කථාවට බසිමු. යුනයිටඩ් මෝටර්ස් ආයතනයේ නවක සේවකයින්  සඳහා සහ ඔටෝ මිරාජ් ආයතනයේ සේවකයින් වෙනුවෙන් කරණ ලද වැඩ මුළු වලදී මා ගෙන හැර දැක්වූ රසවත් සිදුවීම් කිහිපයක් මෙතැන් සිට කියවමු.

මිට්සුබිෂි ෆූසෝ කියන්නේ අපි ගෙනාපු සුපිරිම ට්‍රක් එක එහෙම නැත්නම් ලොරි චැසිය.
කාලය ගෙවී මේ ෆූසෝ චැසිය ඉංදියාවෙන් එන්නට පටන් ගත්තා. 
ජපානෙන් ආපු වාහන වල වගේ නෙවෙයි මේවායේ පොඩි පොඩි අඩු පාඩු නොතිබුනාම නොවේ.
`
දවසක් මම දවල්ට කාලා කාරිය නිවිහැන්හිල්ලේ ඉන්නකොට ආවා කෝල් එකක් අපේ සේල්ස් ඩිපර්ට්මන්ට් හෙවත් විකුණුම් දෙපාර්තමේන්තුවෙන්.
"මචං පොඩි සීන් එකක්! කස්ටර්මර් කෙනෙකුට මල පැනලා! ඒ මහත්තයා කුලියාපිටියේ අපේ සිරාම බුවෙක් . . .රත්නායක මහත්තයා කියලා. ඒ පැත්තේ අපිට සෑහෙන්න උදව් තියෙන කෙනෙක් . . .වාහනේ අංකය . . . . . . .  ස්ටාර්ටර් මෝටරේ රේසර් හොයා ගන්න බැරිව. . . . . . මොනවා හරි කරපං! නැත්නම් කුරුණෑගල ආයේ ෆූසෝ විකුණලා බොරු.  . . . . ඌ වෙඩි කාපු ඌර වගේ ඉන්නේ  බලාගෙන ටෝක් කරපං!"
දූර කථනයේ එහා පැත්තෙන් මට වැඩේ භාර දුන්නා.
ඔය ඕන කේස් එකක් මම භාර ගන්න කොට; අර මොහමඩ් අලී දෙනවා වගේ පොඩි කයිවාරුවකුත් මම දෙනවා ආතල් එකට! ගැම්මට!!
"හරි! හරි!! මචං!!! කොහොමද දන්නවාද නාලාගිරියා දමනය කලා වගේ කස්ටා හෙට උදේට උඹට හොටු පෙරාගෙන අඬ අඬා කෝල් එකක් දෙන්න වැඩේ කරල දෙන්නං කෝ!" මමත් මිත්‍රයාට පොර ටෝක් එකක් දීලා කස්ටර්මර්ගේ  හෙවත් මල පැනපු පාරිභෝගික භවතාගේ නමයි ටෙලිෆෝන් නොම්මරේයි ඉල්ලා ගත්තා.
ටෝක් ඉෂූ කලා වාගේම දැන් වැඩේ පටන් ගත යුතුය.
මම දූරකථනය ගෙන නොම්මර කිහිපය එබුවෙමි.
"හලෝ . . . !? අනෙක් කෙළවරින් නොහික්මුණු හඬක් නැගිනි!
"හෙලො . .මේ  රත්නායක මහත්තයාද? "
"ඔ . ඔව්! ඔව්!! මොකද . . . . .!?"
"මහත්තයා මට මේ නොම්මරෙ දුන්නේ අපේ ප්‍රධාන කාර්‍යාලයෙන්. ඔබතුමාගේ ෆූසෝ ලොරියේ ස්ටාටර් මෝටරේ . . . . . . " මට කියන්න ලැබුනේ එපමණකි.
"මේ ඔයා කථා කරණ්න එපා. තමුසෙලා ආයේ මේ පොල් ත්‍රිකෝණෙ ලොරි විකුණලා ඉවරයි කියලා  හිතාගන්නවා!"
"හරි සමා වෙන්න මහත්තයා මට තේරෙණවා මොකක් හරි අවුලක් වෙලා ඇති. පොඩ්ඩක් මට කියන්නකෝ! මොකද මට අනිවාර්‍යයෙන්ම පුළුවන් ඔබ තුමාගේ ප්‍රශ්නෙ විසඳලා දෙන්න. පොඩ්ඩක් සමා වෙලා මොකද්ද  ඔබතුමා මුහුණ දුන් ගැටළුව කිව්වානං!?'
රත්නායක මහතාගේ මල නිවෙන තුරු පවන් ගැසීමෙන් අනතුරුව ඔහුගේ ගැටළුව මුළුමණින්ම මාවෙත පැවසීමට පොළඹවා ගැනීමට මාහට හැකිවිය!

සිද්ධිය සැකවින් මෙසේය:
කුලියාපිටියේ ව්‍යාපාරිකයෙකු ඔහු අප ගෙන් ෆූසෝ ලොරියක් මිලදී ගෙන ඇත.  මේ වන විට එහි වොරන්ටි කාලසීමාව ඉකුත්වී ඇති අතර එහි ස්ටාර්ටර් මෝටරයේ දෝෂයක් සඳහා ගලවා ඇති අතර ඒ සඳහා බෙයාරිං (රේසර්) අළුතින් යෙදීමට සිදුවී ඇත. නමුත් කුළියාපිටිය, කුරුණෑගල හෝ පංචිකාවත්තෙන් ඒ සඳහා නියමිත රේසර දෙක සොයා ගැනීමට නොහැකිවී ඇති අතර ඔහු ඒ පිළිබඳව විමසා ඇත්තේ  රථය විකුණූ අයගෙන්ය. ඔහු ආයතනයේ අමතර කොටස් අංශයේ අංකය පාරිභෝගිකයා වෙත ලබා දී ඇති අතර පාරිභෝගිකයා අමතර කොටස් අංශයට කථා කොට ඇත. එහිදී සිදුවූ බහින් බස් වීමක් සිද්ධියට මුල්වී ඇත.
ඔහුගේම වචනයෙන් කථාවේ අවසානය මෙසේය.
"ඔයාලගෙ හෙඩ්ඩොෆිස් එකේ සේල්ස් එකෙන් මම ස්පෙයා පාර්ට්ස් එකේ නොම්මරේ අරණ් ඒකට කථා කරලා ස්ටාර්ටර් මෝටරේ රේසර් දෙක තියෙනවාද ඇහුවාම ඒක ඇවිත් නෑ කියලා කිව්වා. මං  ඇහුවා මොකකද ඒකට කරණ්නේ කියලා. එතකොට එතන මනුස්සයා මට කියනවා ස්ටාර්ටර් මෝටරයක් දාගන්න තමයි තියෙන්නේ කියලා. මම නිකමට වගේ ඇහුවා මෝටරේ කීයද කියලා. ආයෙ ඇද නැතිව කියනවා එකයි අසූ පහයි කියලා. යකෝ මෝටරේ රේසර් දෙක වෙනුවට එකයි අසූපහක් වියදං කරලා මෝටරේම දාගන්න බූරුවෝ ඉන්නවද කියලා අහලා ඌට හොඳ කුණු හරුප දෙකක් කියලා මම ෆෝන් එක තිබ්බා! දැං ඔයා මේක විසඳනවාද?"
"මහත්තයා මට විනාඩි 15ක් දෙන්න මම ඔබ තුමාට ආයෙ කථා කරණ්නම්. මට හිතා ගත්තෑකි රේසර් දෙකක් වෙනුවට මෝටරේම දාන්න කිව්වාම මහත්තයාට හිතුනු දේ! ඒකට සමා වෙන්න!  මට කරණ්න පුළුවන් උපරීම දේ කරණවා. මහත්තයා මං ගැන විශ්වාසය තියන්නකො! මේ ගැන කවුරු හරි අපේ ආයතනයෙන් කතා කරලා ඇහුවොත් මම ඒක බලනවා කියන්න. මොනවා හරි තියෙනවානම් මා එක්ක කතා කරණ්න කියන්න!"
"හ්ම්ම්! හ්ම්ම්!!" නොසතුටෙන් රත්නායක මහතා ටෙලිෆෝනය විසන්ධි කලේය.

මෙවන් ගැටළුවක් විසඳීමට යාමේදී පලමුව අප ඔහුගේ තත්වයට වැටී සිතීමට පටන් ගත යුතුය. "මම ඔහු නම්!?" ඔව් මම ඔහු නම් මේ මල පැනීම අන්තිම සාධාරණය! මේ වාහනය රැගෙන මේ වන විට වසරක පමණ කාලයක් පමණක් ඉකුත්වී ඇත. ස්ටර්ටර් මෝටරයේ රේසරයක් වත් නොමැති වේ නම් අනිකුත් අමතර කොටස් පිළිබඳ කුමණ කථාද? ඔහුට එසේ සිතෙනු ඇත.
වාහන විකුණුම් අංශය පලාත්බදව පවත්වනු ලබන විකුණුම් ප්‍රවර්ධන වැඩ සටහන් වලදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩසටහන පැවැත්වීමට නොමිලේම ඉඩකඩ ලබා දී ඇත්තේද  රත්නායක මහත්මයා මය. ඔහු ඒ සමග තමාගේ ව්‍යාපාරික සගයන් කිහිප දෙනෙකු හටම තවත් රථ කිහිපයක් විකිණීම සඳහා සෘජුව මැදිහත්වී ඇත! තත්වය වඩාත් දරුණුවී ඇත්තේ එබැවිනි.
පාරිභෝගිකයකු කිසියම් අසතුටු දායක තත්වයකට මුහුණ දුන් පසු ඔහු සමග දුක් වන ඔහු සමග එක්ව කේන්ති ගන්නා අයෙකු ඔහු මිතුරෙකු කර ගන්නට පෙලඹේ. සතුරාගේ සතුරා මාගේ මිතුරාවේ යන ලොජික් එක සාමාන්‍යයෙන් පුහුදුන් සත්වයින් ක්‍රියාත්මක කරණ්නාවූ ධර්මතාවයකි. එවිට ඔහුව හැසිරවීම වඩාත් පහසු කරයි. 
"මට හිතා ගත්තෑකි රේසර් දෙකක් වෙනුවට මෝටරේම දාන්න කිව්වාම මහත්තයාට හිතුනු දේ!" යනුවෙන් පවසා මා ඔහු හා එක් පාර්ශ්වයකට ගොනු උනෙමි. මන්ද ආයතනය හා අසතුටෙන් අවිශ්වාසයෙන් හා කලකිරීමෙන් සිටියදී ඔහු තවදුරටත් ආයතනයේ පාර්ශ්වයේ අයෙකු සමග ගනුදෙනු කරණ්නට එකඟ නොවේ.
එසේම ඔහු තුල තමා කෙරෙහි විශ්වාසයක් ගොඩ නගා ගත යුතුය. ඒ සඳහා සෘජු පිළිතුරු සැපයිය යුතුය. සෘජු ප්‍රකාශ කල යුතුය. කාර්‍යය ඉටු කිරීම සඳහා තමා කැපවන බව ඔහුට ඒත්තු ගැන්විය යුතුය.  "මට කරණ්න පුළුවන් උපරීම දේ කරණවා. මහත්තයා මං ගැන විශ්වාසය තියන්නකො! මේ ගැන කවුරු හරි අපේ ආයතනයෙන් කතා කරලා ඇහුවොත් මම ඒක බලනවා කියන්න. මොනවා හරි තියෙනවානම් මා එක්ක කතා කරණ්න කියන්න!"යනුවෙන් මා පවසන්නේ එම හැඟීම ඔහු තුල ඇති කරලීමටය. "මේ යකා නං මොනව හරි කරයි!" යන විශ්වාසය පාරිභෝගිකයා තුල ඇතිවූ සැනින් ඔහු සටන මොහොතකට නවතා ගිමන් හරී. ඒ අපට ඊළඟ පියවර ගැනීමට ඇවැසි කාලය යි.
මා වහාම පරිඝනකය ඔස්සේ වාහනයේ නොම්මරයට අදාල වාහනයේ චැසි අංකය ලියා ගතිමි.
පලමුව අමතර කොටස් අංශය වෙතින් එම අමතර කොටස පිළිබඳව සොයා බැලුවෙමි.
"නෑ අයියේ! ඒක ඕර්ඩර් කරලා තියෙන්නේ තාම ආවේ නෑ! අද උදේ එකෙක් අහලා මට කුණු හරුපෙනුත් බැනලා තිබ්බේ!!!"
 "ආ උඹද මිනිහා!" මම මටම හිතින් කියා ගනිමින් "ආ! එළ කොල්ලෝ!"කියමින් දූරකථනය විසංධි කලෙමි.
ඊළඟට ඔරුගොඩවත්ත ප්‍රධාන වැඩහලේ ට්‍රක් සහ බස් අංශයට කථා කොට බැලුවෙමි. හදිසියේ වත් ඔවුන් ලඟ ගලවා ඉවත් කල එකක් වත් ඇත්නම් අළුත් අමතර කොටස් එනතුරු පාවිච්චි කිරීමට වත් දෙන්න. එම අංශයේ සිටි සේවා උපදේශක හා ෆෝමන්වරයා කාලයක් ගෙන සොයා බලා පිළිතුරක් දුන්නේය.
"ම්හු!" ඒ පැත්ත පලාතේ නැත.
මේ වන විට රත්නායක මහතාගෙන් සමුගෙන විනාඩි 15 ට ඔන්න මෙන්නය! වහාම ඔහු ඇමතීමි. "රත්නායක මහත්තයා! මම රේසරේ හොයන ගමන්! මම විනාඩි 15න් කෝල් කරණවා කිව්ව නිසයි මම මේ කථා කලේ! මම වැඩේ ඉන්නේ. මට තව විනාඩි 15 ක් දෙන්න"
"හ්ම්ම්! හ්ම්ම්!! හරි හරි බලන්නකෝ!" රත්නායක මහතා තරමක විශ්වසණීයත්වයෙන් කථා කලේය!
ඊළඟට සෙවිය යුත්තේ වොරන්ටි දෙපාර්තමේන්තුවේය. හදිසියේවත් ආපදාවකට මාරු කල සටාටර් මෝටරයක් එම අංශයේ තිබුනුහොත් එහි රේසරය ගලවා ගත හැක. ඇමතුමක් ගත්තෙමි.
"මල්ලී පොඩි සීන්ස් එකක මේ  . . . . . . . .එකක් හොයා ගන්න පුළුවන්ද? උඹලා ගාව ගලවපු අළුත් ස්ටාටර් මෝටර් එකක් නැද්ද හොයා ගන්න!?"
"අනේ අයියේ තිබුනු ඔක්කොම ලොට් එක ඉන්ඩියා යැව්වානේ ගිය මාසේ!?"
"අම්මට සිරි දැන් මොකද කරණ්නේ? අව්ලක් නෑ පොඩි සීන් එකක් බං කුලියාපිටියේ  . . . . . . . . . . . . . . . . . . ." මම සිද්ධිය සැකවින් පවසා දූරකථනය තිබ්බෙමි.
"ඇත්තටම දැන් මොකද කරණ්නේ? කෙළියා නේද තාප්පෙටම!?" මම මගේ ආසනයේම ඇස් දෙක පියාන කල්පනා කලෙමි. රත්නායක මහතාගේ ලොරිය මේ වන විටත් කුලියාපිටියේ ගරාජයක ගලවා ඇත. මේ වන විට වේලාව දහවල් 2.15 ය. මෙතැන් සිට කුලියාපිටියට කිලෝමීටර 80ක් 90ක් ඇති. මෝටර් සයිකලයක් යන්න පැය දෙකක් වත් යයි. ස්ටාටර් මෝටරයක්  ෆිට් කරලා හයි කරණ්නත් පැය එක හමාරක් වත් යයි. ඔක්කොම පැය තුනහමාරයි. ඒ කියන්නේ දැන් හොයලා යැව්වොත් හවස හය වෙන කොට ලොරිය ගන්න පුළුවන්! තව පරක්කු උනොත් වැඩේ අවුල්!
එවිටම මාගේ දූරකථනය නාද විය. " වොරන්ටි ඩිපර්ට්මන්ට් එකෙන්!"  මම මටම කියා ගත්තෙමි.
"කොල්ලෝ මොකද බඩු තියෙනවද?"
"නෑ අයියේ බඩු නම් නෑ. ඒත් ඔය මොඩ්ල් එකේ අපි විකුණපු වාහන ඔක්කොම රී කෝල් කරලා (ආපසු කැඳවලා) ස්ටාටර් මෝටර් අළුතෙන් දැම්මා! සමහර ඒවා ආවා! සමහර ඒවා ඇවිත් තිබ්බේ නෑ. කොයි එකටත් ඔයා ඒ වාහනේ චැසි නොම්මරේ දෙන්නකෝ බලන්න අපි රී කෝල් කරලා අළුතෙන් දැම්ම එකක් ද කියලා බලන්න!"
"අම්මට සිරි ඒහෙමත් එකකද? ආ ලියා ගනිං  . . . . . . . . . . . . . . .. . . . . . . . ."
"හරි අයියේ බලලා කියන්නම්!"
තවත් විනාඩි 10 ක ගතවෙන්න ඇති උපරිමයෙන්.
මගේ දූරකථනය නැවත නාද විය.
"සඳා කියපං මල්ලී . . . . !" (වොරන්ටී ඩිපර්ට්මන්ට් එකේ ඉන්න තුන් දෙනාගෙන් එකෙක් සඳරුවන්!) 
"අයියේ ඒ ලොරිය අපේ රී කෝල් එකේදි ඇවිත් නෑ! අපිට පුළුවං අළුත් ස්ටාර්ටර් මෝටරයක් දෙන්න!"
"අනේ පලයං බං යන්න! අම්මපා ඇත්තද කොල්ලෝ!? උඹ වීළු කරණවද?" මම පුටුවෙන් නැගිටුනේ ඔටෝය!
"නෑ අයියේ සිරාවට!"
"මල්ලි වාහනේ තියෙන්නේ කුලියා පිටියේ. හෙට උදේම අපේ කුරුණෑගල වර්ක් ෂොප් එකට මම වාහනේ දාන්නම්! උඹට පුළුවංද දැම්ම ඒක ප්‍රොන්ටො එකට (කූරියර් සර්විස් එක) දාන්න හෙට උදේට කුරුණෑගලට ලැබෙන්න!"
"හරි අයියේ මම දැන්මම දාන්නම්. තාම 3.00 වෙලා නෑනේ!" (3.00 ට ප්‍රොන්ටො එකෙන් බඩු එකතු කරගෙන යනු ලබයි!)
මම හොඳින් අසුන් ගෙන රත්නායක මහතා ට කථා කරණ්නට පටන් ගත්තෙමි.
"හෙලෝ රත්නායක මහත්තයා ! ඔබතුමා අපේ සේල්ස් ටීම් එකට අපේ සේල්ස් කැම්පේන් වලදි කරල තියෙන සේවය නිසාම අපි ආයතනයක් විදියට තීරණය කලා ඔබ තුමාට අළුතින් බ්‍රෑන්ඩ් නිව් ස්ටාර්ටර් මෝටර් එකක් නොමිළේම හයි කරලා දෙන්න!"
" ෂහ්! නියමයිනේ!?  ඔව් ඔයගොල්ලන්ට මම ගොඩක් සපෝර්ට් කරලා තියෙනවා. අහන්නකෝ සේල්ස් එකෙන්!"
"ඒකනේ! ඒකනේ!! එහෙනං හෙට උදෙම වාහනේ පොඩි තල්ලුවක් දීලා ස්ටාර්ට් කරගෙන කුරුණෑගල අපේ වර්ක් ෂොප් එකට යවන්න! එතන ඉන්නවා පතිරණ කියලා එළ කොල්ලෙක්. ඔබ තුමාගේ රියැදුරු මහත්තයාට කියන්න ගිහින් එයාව හම්බෙන්න කියලා"
"ආ තැන්කිව් තැන්කිව්!! කුලියා පිටියෙ ආවොත් ඇවිත් යන්න එන්න!"
"එකෙන්ම රත්නායක මහත්තයා! මං වෙනුවෙන් පොඩි උදව්වක් කරණ්න! අර ඔබ තුමා කතා කරපු  අපේ  එකේ මහත්තයාට කථා කරලා වැඩේ කෙරුණු බව පොඩ්ඩක් කියන්න පුළුවංද?"
"අයියෝ මම කියන්නම් මේක තිබ්බ ගමං!"
ඊළඟට මම කුරුණෑගල පතිරණට කථා කොට වැඩේ උදේම කර දෙන මෙන් ඉල්ලා සිට උගේ ඕපාදූප අහද්දී දූරකථනයේ තවත් කෝල් එකක් නැවතී සිටින බව දුටුමි.
"පතිරණ මල්ලී මම මම දැං තියනවා! හෙට උදේට වැඩේ සුපිරියට දියං! හෙඩ්ඩොෆිස් එකේ සේල්ස් එකෙන් මට තව කෝල් එකක්!"

Wednesday, July 28, 2021

207. පැනි බේරෙණ කොම්පැනි කථා 2

මගේ උසස් පෙල පංතිවලදි හිටිය හොඳම මිත්‍රයෙක් තමයි නලීන් මුතුකුමාරණ.

මගේ මුල්ම රස්සාවට පාර පෙන්වූයේ මේ මිත්‍රයා. කොහොමින් කොහොමින් හරි කාලයක් ගිහින් මට සේවය කරණ්න උනා ඔහුගේ යටතේ. ඒ කාලේ එතුමා මගේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී. මම විධායක ශ්‍රේණියේ පොඩ්ඩෙක්. ඒ කාලේ අපි වැඩ කලේ පානදුර පිංවත්තේ පර්ෆෙක්ට් ෆිට් කියලා ඕස්ට්‍රේලියානු වැඩබිමක!

මම එයාට රැකියාවට ගිය දවසේ ඉඳන්ම කාර්‍යාලයේදීත් පිටතදීත් කොටින්ම බිග් මැච් එකේදී පවා ඇමතුවේ කට පුරා "සර්" කියලා. "එහෙම කියන්න එපා බං!" කියලා එයා එළියෙදි කිව්වත්; එයත් ඒකෙන් හීන් ආතල් එකක් ගත්තා නෝන්ඩි නැතුව!

ඒකෙ පොඩි ආතල් එකකුත් තිබුනා! 

ඉතින් මෙයාට ඔෆිස් එකේදි අපේ ශ්‍රේණියේ කාට හරි බණින්න ඕනෙ නම් කට පුරා; වැඩ කිඩ දාලා බැන්නේ මට! මොකද උන්නැහැ දන්නවා; කණට ගැහුවත් මම එයාගේ ගරුත්වය නැතිවෙන විදියට රිටර්න් එකක් නොදෙන බව. අනික තමයි එයාට පෙන්නන්න ඕනෙ උනා මම මගේ අම්මට තාත්තට උනත් නීතිය නීතියමයි කියලා. ආයේ ක්ලාස් මේට් කියලා මම කාටවත් බයස් නෑ කියලා. සර්ව සාධාරණ පොර කියලා.

ඉතින් මේ විදියට කාලය ගත වෙද්දී අපේ ආයතනය වැඩ මුර දෙකකට වැඩ කරණ්න පටන් අරන් තවත් බුවෙක්  ගත්තා අපේ බුවාට සම සමව! මේකට නලීන් ලොක්කාට ටික වෙන්න හිත රිදිලා තිබුනේ එළියට නොපෙන්නුවාට. ඒත් අපේ ගැන්සිය හෙවත් කල්ලිය සෙට මෝල් වුන වෙලාවල් වලදී; ඒයාගෙ හිතේ තියෙන පොඩි පොඩි සූදුරු මාදුරු එළියට ආවේ නැත්තෙත් නෑ.

නලීන් ලොක්කාට මිඩ්ල් මැනේජ්මන්ට් එකේ අය කට පුරා "සෑර්!" කිව්වාට අනෙක්  බුවාට කට්ටිය කිව්වේ "මිස්ටර් අහවලා" කියලා! ඒකට මිඩ්ල් මැනේජ්මන්ට් එක අතර පොඩි සම්මුතියක් තිබුනා.

ඒත් මම උන්නැහේටත් කිව්වේ "අහවලා සර්!" කියලමයි! ඒකට හේතු භූත වුනු කරුණු දෙකක් තිබ්බා. එකක් ඒ දෙන්නාම හිටියේ එකම ස්ථරයක හෙවත් ලෙවල් එකක. දෙවැන්න අපේ තාත්තාගේ ප්‍රථිපත්ති. ඒකාලේ තාත්තාලාත් එක්ක එකට අඩි පුඩි ගහපු කෙනෙක් හරි ප්‍රොමොට් වෙලා තාත්තලාගේ ඉහලට ආවොත් එදා පටන් තාත්තා එයාට කථා කලේ එක්කෝ "සර්!" කියලා. නැතිනම් "මිස්ටර්...........!" කියලා. ඒ ගැන අපි ඇහුවාම තාත්තා කිව්වේ "මගේ බාප්පා මගේ බොස් වෙලා ආවත් මම කථා කරණ්න්නේ "සර්!' කියලා තමයි. ඒ මගේ ප්‍රථිපත්තිය!"

මේ කාරණා දෙකට අමතරව මට තවත් සුපිරි හේතුවක් තිබුනා. මට "මිස්ටර් අහවලා!' කියනවාට වඩා ඉතා පහසුවෙන් "සර්!" කියා හැසිරවීමට ඇති පහසුව. අනෙක ඌට සර් නොකියන්නයි අපේ මිත්‍රයාට කියන්නයි කිසිම හේතුවක් මට පේන තෙක් මානෙක තිබ්බෙත් නෑ! මට තව එකෙකුට සර් කිව්වා කියලා නැතිවෙන්නට තරම් දෙයක් තිබ්බෙත් නෑ!! ඒ උනාට මේකට අපේ නලීන් මහත්තයාගේයි අපේ ගැන්සියේ හිටපු කමල්, මංජුල, දිමුතු ඇතුළු අනෙක් පිරිසගේ තිබුනේ ඒතරම් කැමැත්තක් නොවෙයි. ඉතින් දවසක් නලීන් සරූයි කමලුයි දිමුතුයි මංජුලයි තව දෙතුන් දෙනෙකුයි මමයි එකට සෙට් වුනු වෙලාවක කථාව ඇදුනා.

"මම නං අරූට සර් කියන්නෙම නෑ! මිස්ටර් අහවලා කියලාමයි කියන්නේ!" කවුදෝ කිව්වා.

"මමත් එහෙම තමා!" තව කවුදෝ කථාවට අලගු තිබ්බා.

"මෙයානේ ඌට 'සර්' කිය කියා කථා කරණ්නේ" කමල්; නලීන් ලොක්කාට මාව පෙන්නලා ගතුව කිව්වා.

නලීන් ලොක්කාගේ ඇස් උඩ ගිහින් මගේ පැත්තට හැරුණා.

"ඇත්තද? උඹ ඌට 'සර්' කියලාද කථා කරණ්නේ???" පොර මගෙන් ඇහුවා.

"මේකනේ සර්! මම ඕන බල්ලෙකුට සර් කියල තමයි කථා කරණ්නේ. ඌ දැන ගන්න ඕන ඒක ඌට සුදුසුද නැද්ද කියලා!" මම කටේ තොලේ නොගෑවී හිනා වෙලා කියලා දැම්මා.

"තොට මම කියන්නේ නෑ @#!%*&&$#!!!!" නලීන් ලොක්කා මුලින් දත්කූරු කෑවත් වටේ හිටිය එවුං හිනා වෙන්න ගත්තාම එයත් ඒකට එකතු උනා!

තව දවසක් මාර ආතල් වැඩක් උනා!

මට නලීන් ලොක්කා මොකක්දෝ රිපෝර්ට් එකක ඉල්ලලා මට වෙලාවට දෙන්න බැරි උනා. ඇත්තටම තවත් දෙවතාවක් විතර කිව්වත් මට ඒක මොකක්දෝ අතපසුවීමකින් දින ගණනාවක්ම වැඩේ පස්සට ගියා! දවසක් උදේම; මාව දැක්කාම එයාට ඒක මතක් වෙලා මට ළඟට කථා කරලා ඇද්දා ලෙඩේ! "කෝ  %@$%#% අර රිපෝර්ට් එක!"

"ආ ඒක අද  හවස් වෙන කොට අනිවාර්යයෙන්ම සර්ගේ මේසෙ උඩ!"

"යකෝ %$@*&%! තෝ මේක තව පැයකින් හදාගෙන ආවේ නැත්නම් උඹව මං අද ගේටුවෙන් එළියට දානවා!" මල පැනලා කිව්වා.

මමත් සට  සට ගාලා මගේ මේසෙ ළඟට ගිහින් රිපෝර්ට් එකත් අරං විනාඩි විස්සකින් විතර බුවා ඉස්සරහ ප්‍රාණී භූත උනා!

"ආ! උඹ ගෙනාවද!? (එයාට තනිවම හිනා!) උඹ දන්නවාද 'සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භයංති මච්චුනෝ' කියන එකේ තේරුම?" නලීන් ලොක්කා පාලි පාඨයක් ගෙන හැර දක්වා ඇහුවා.

"ඔව්නෙ සර් . . .!" 

"දන්නවා නං උඹ කියාං බලන්න! ඒකෙ තේරුම!"

"සර්!  'සෑම සියළු දෙනාම දණ්ඩනයේ බියවෙත්!' කියන එක   මම ශේප් එකේ කිව්වා.

" ආ! හරි ඒක තමයි!!  . . . . . . " නලීන් ලොක්කාට මාර ආතල් කට කනේ.

"හැබැයි සර් ! සර් අර උදෙම කෑගැහුවාමත් මට මතක් උනේ ඔය වගේම කෑල්ලක් තමයි! "

"ඒ මොකක්ද බං!?"

"'සබ්බේ පෘථග්ජනා උන්මත්තකා!' (සෑම පුහුදුන් සත්වයෙක්ම උන්මත්තකයෙකි!) කියන එක සර්!" මම නෝන්ඩි නැතුව කියලා දැම්මා.

"තොට මම . . . . . !"

අන්තිමේ ලොක්කටත් හිනා මටත් හිනා!

අපේ ආයතනයට ආවා සුපිරි වැඩ්ඩෙක් ආශික් ලාෆීර් කියලා. කිලෝ වලින් කියනවා නම් කිලෝ 150 ක් විතර බර මුහුණ පුරා රැවුල තියෙන  කළු මෙන්න සයිස් පොරක්! උන්නැහැ ලංකාවේ අඩුම වයසෙන් චාර්ටඩ් කොලිෆයි වෙලා රැකෝර්ඩ් තිබ්බ බුවෙක්. එයා ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ හොඳ නමක් දිනාගත්තු කෙනෙක්. මේ වෙන කොට එයා සොෆ්ට්ලොජික් එකේ ගෲප් ෆයිනැන්ස් ඩිරෙක්ටර් හෙවත් සමූහ මූල්‍ය අධ්‍යක්ෂක! එයාම තමයි මාව යුනයිටඩ් මෝටර්ස් එකටත් ගත්තේ. ආශික් මහත්තයා යුනයිටඩ් මෝටර්ස් එකේ හිටපු මූල්‍ය අධ්‍යක්ෂක. මේ කථාව කියන කාලේ එයා තමයි අපේ මූල්‍ය සාමාන්‍යාධිකාරී උනේ. ඉතින් එයා හා හා පුරා කියලා නමෝ විත්තියෙන් අපේ ආයතනයට ආපු දවසේ අපි සියල්ලන්ම බෝඩ් රූම් එකට අරං පොඩි සොමි ටෝක් එකක් හෙවත් ෆ්‍රී චැට් එකක් දැම්මා. ආශික් මහත්තයා හොඳට කන බොන පල්ලි නොගිය ඩයල් එකෙක්!

"මෙතන කවුද සිගරට් බොන අය ඉන්නේ!?" එයා මුසල්මානු ස්වරයෙන් ඇහුවා.

අපි දෙතුන් දෙනෙක් අත ඉස්සුවා.

" මමත් බොනවා දවසකට පැකට් එකක්! කවුද එතකොට අරක්කු බොන්නේ!?" අපි බොහෝ දෙනෙක් අත ඉස්සුවා.

"හොඳයි මාත් ඔකේශනලි බොනවා! වෙලාවක අපි සෙට් වෙමු!! නලීන් පොඩ්ඩක් ඒක ඕර්ගනයිස් කරණ්න!!" එයා නලීන් සර් දෙසට නැඹුරු වෙලා කිව්වා. නලීන් සරුත් වැඩේ එකෙන්ම භාරගත්තා නරියට කුකුල්ලු භාරදුන්නා වගේ!

"එතකොට කවුද මෙතන ගංජා බොන්නේ නැත්නං බීලා තියෙන්නේ? කැනබීස්?" ආශීක් සර් ආයෙමත් කටහඬ අවදි කලා.

සමාන්‍යයෙන්මම මගේ මිත්‍රයින්ට හා දරුවන්ට කියනා වැකියක් වේ. එනම් "විවෘථ වෙනවා කියා රෙද්ද උස්සා පෙන්විය යුතු නැත!" කියන එකය. බොහෝ බොසාලා අපිට "කන්න බොන්න එන්න" කියන්නේ අපිට ආදරේට නොවේ. ඒ හොඳට ගැසුව පසු අප අතර බොහෝ දෙනෙක් ගීරා පෝතකයින් වන්නේය. ඒ නිසාම කාර්‍යාල වල සැලසුම් කරන බොසාලා රැඳෙන ගැවසෙන සුහද හමු, වාර්ෂික චාරිකා, මා දකින්නට පුරුදුවී ඇත්තේ මී කතුරු වල ඇටවූ පුච්චපු පොල් කෑලි මෙනි! අපි අපි සෙට් වී කන සාක්කුවේ වැටෙන්නට කෑවද බිව්වද බොසාලා දෙන මී පාසානම් කන්නේ බොන්නේ පරිස්සමෙනි. එදාට  බිව්වද බොන්නේ පසු පාදයේ ක්‍රීඩා කරමින් දිගු ඉණිමක් ක්‍රීඩා කරමින්ය! බිව්ව ගමන් ගිරව් වන අපගේ මිතරයින් හා කරකාදීන් හට මා පාටියට යන්නට මත්තෙන් මේ පිළිබඳව කියා වදාරමි; අහන එවුං අහපු දෙං! නැති එවුං නිකා හිටපු දෙං!! කියලා.

ඉතින් එදා අපෙන් ආශික් සර් "කවුද ගංජා බීලා තියෙන්නේ?" කියලා ඇසූ සැණින් මා ඇතුළු තවත් ගල් පාඬි කිහිප දෙනෙක් හා ඇත්තටම බෝ පැල වගේ හිටපු එවුං සද්දෙ වහගෙන හිටියා. ඒත් තව බුවාලා සෙට් එකක් අත ඉස්සුවා! නලීන් ලොක්කත් එතන! 

අත උස්සගෙන හිටපු එවුං ටික දෙනාව හොඳට ස්කෑන් පාරක් දැම්ම ආශික් මහත්තයා "ආ! මම නං කවදාවත් ගංජා බීලා නෑ!"  ඇඟට පතට නොදැනී කියලා දැම්මා. අත් උස්සන්නේ නැතිව හොරා වගේ හිටිය අපිට අම්බානක හිනා! අත් උස්සපු එවුංට මොනවා හිතුනාදැයි දන්නේ උංම පමණි!

නැවතත් කියන්න තියෙන්නේ "විවෘථ වීම යනු රෙද්ද උස්සා පෙන්වීමක් නොවිය යුතුය!" කියාය. මේවා සියල්ල අර කමියා කිව්වා වාගේ "මැනේජ්මන්ට් තියරිම" තමයි පොතේ නැති! 

Saturday, July 24, 2021

206. මා වෙතින් අල වූ ව්‍යාපෘථියක් (2)

අපේ කොල්ලා ඉස්කෝලෙ යන කාලේ ක්‍රීඩාවට නැඹුරුවෙලා හිටියේ. එයා මළල ක්‍රීඩා, ක්‍රිකට්, ශිෂ්‍ය භට, රයිෆල් වෙඩි තැබීම, වගේ බොහෝ ඉසව් වලට සහභාගී උනා. ඒ කාලේ පාසලේ ක්‍රීඩා ගුරුවරයාව හිටියේ ටිකිරි සර්! එයාගේ නම ටිකිරි බංඩා හෝ ටිකිරි බණ්ඩාර විය යුතුයි, ඒත් අපි හැමෝම එයාට කිව්වේ "ටිකිරි සර්!" කියලා.

ටිකිරි සර් අහිංසක මනුස්සයා. එයා කාගෙවත් හිත රිද්දන්න කැමති නැති කෙනෙක්. ඉතින් මෙයා ඉස්කෝලෙට ඇවිත් මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් කරමින් හිටියේ.

අපේ පාසලේ තියෙනවා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය හා ජේෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය කියලා ක්‍රියා කාරී සංගම් දෙකක්. මීට අමතරව ආදි ශිෂ්‍යයන්ගේ තව තවත් සංගම් කිහිපයක්ම තිබුනා ක්‍රීඩා හා වෙනත් විශය භාහිර ක්‍රියාකාරකම් ආදිය මුල්කරගෙන පිහිටවූ.

බොහෝ ඉස්කෝල වල වාගේම අපේ ඉස්කෝලෙත් මේ අදි ශිෂ්‍ය සංගම් වලට තිබුනේ එක විදියක හයියක්.

සමහර කාලවලදී "පාසලට පත්කරණ විදුහල්පති කවුරුණ්ද?" යන්න පවා තීරණය කිරීමේ; නිළ නොලත් බලයක් ඔවුන්හට හිමි වූවා.

පෞද්ගලිකව මා දරපු මතය ඊට වෙනස්. රෝහලකින් ටිකට් කපාගෙන ගෙදර ගිය රෝගියෙකුට රෝහල වෙත කල හැකි බලපෑම කොතරම්ද? එසේම පාසලේ පාලන අධිකාරිය වෙත ආදි ශිෂ්‍ය සංගම් මගින් බලපෑම් නොකල යුතුය! ඒ මගේ මතය.

ඉතින් අපේ පාසලට දැඩි සේ ආදරය කරණ පොලිසියේ ඉහළම  නිළධරයෙකු සිටියා. මොහු පොලීසිය තුල පවා පවත්වාගෙන ගියේ දැඩි ප්‍රථිපත්තියක්. 

88-89 භීෂණ සමයේදී අගනුවරට ආසන්නව සුදුවූ ඛේදවාචකයකටද පවා ඔහුගේ නම ගෑවී තිබුනා වාගේ මට මතකයක් වේ.

ඔහු  බොහෝ විට පාසලට නිළ ඇඳුමෙන් පැමිණීමත්, පාසලේ බොහෝ අවස්ථාවලට සහභාගී වීමත් නිතර දක්නට ලැබුනක් උනා. එසේම ඔහු පාසලට පැමිණි ඕනෑම අවස්ථාවක; තවත් ආදි ශිෂ්‍යයන් රාශියක් ඔහු වටා රාශි භූත වීම සාමාණ්‍ය දර්ශනයක්. ඔහු හැසිරුණේ තරමක මහේශාක්‍ය ලීලාවකින්. විදුහල්පති තුමා පවා ඔහුට ටික වෙන්න පදිරි කිව්වොත් ඒකෙ වරදක් නෑ. ඔහු දුන්නෙත් පොලිස් ටෝක්!

අපේ පාසලේ හැම ක්‍රීඩාවක් විෂය භාර කටයුත්තක් සඳහාම පොඩි පහේ සුට්ටං සංගම් රාශියක් තිබුනා දෙමව්පියන් අටවා ගත්තු. කිසියම් මෙවන් සංගමයකට පෙර කී පොලිස් නිළධරයා ඇතුළු වුවහොත්; ඔහු ඉඳුරම එහි සභාපති හෝ අනුශාසක වුනා!

මගේ කොල්ලා හින්දාම මමත් මළල ක්‍රීඩා සංගමේ සාමාජිකයෙක් උනා. ඇත්තටම පාසලෙන් භාහිරව පැවැත්වුනු මළල ක්‍රීඩා පුහුණු කඳවුරු සඳහා මා ඇතුළු කුඩා කණ්ඩායමක් කැපවීමෙන් කටයුතු කලා.

ඔබ විශ්වාස කරණ්න දරුවන්ට හා ඒවාට සහභාගී වූ දෙමව්පියන්ට පුහුණු කරුවනට කෑම බීම පවා සකසා දුන්නේ අපේ කුඩා කණ්ඩායම.

දවසක් අපේ කොල්ලා ගෙදර ආවේ ටිකිරි සර්ගේ පණිවිඩයකුත් අරන්. "අන්න ටිකිරි සර් කිව්වා හෙට හවස රැස්වීමක් තියෙනවා කියලා තාත්තට එන්න කිව්වා!"

"අනේ මම යන්න ඕනෙ නෑ! ඔය අනිත් කට්ටිය තීරණ ගනියිනේ! ඊට පස්සෙ වඩේටනේ ඉන්න ඕනෙ!?" මට කොහොමත් රැස්වීම්, කමිටු, කොමිසං අරහං ය! මොනවා හරි වැඩක් තියේ නම් කරණවා හැරෙන්නට ඔය කයිවාරුවලට යෑමට මගේ කිසිම කැමැත්තක් කවදාවත්ම තිබුනේ නෑ!

"එහෙම කියලා හරියන්නෙ නෑ! තාත්තාට "එන්නම" කිව්වා!" ඒ උගේ බොරුවක්ය. "එන්නම කිව්වා! අනේ පලයං බං යන්න බොරු කියන්නැතිව!

කොහොම උනත් අදාල දිනයේ හවස 2.30 ට විතර මා  ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුල් උනා.

මා යන විට රැස්වීම ඇරඹීමට ඔන්න මෙන්න.

මා දුටු වනම ටිකිරි සර් පොඩි හිනාවක් දමා වාඩි වෙන්නට පුටුවක් සභාවේ සිට පෙන්වූවේ හිටි තැන ඉඳගෙනම.

මා ඉඳගත්තේ අවසාන පේලියේමය.

විදුහල්පති, ටිකිරි සර්, මට මතක ලෙසට සුසන්ත සරුත් හිටියා වගේ මතකය! මේ සියල්ලන්හටම අමතරව තවත් හිස් පුටුවක් වෙන්ව තිබුනා. සභාවේ  හරි මැදින් විදුහල්පති තුමාට ආසන්නයේ පනවා තිබූ ආසනයේ හිමි කරු තවත් ටික වේලාවකින් එහි සැපත් විය. ඔව් ඔබ හිතුවා හරියටම හරි. ඒ අන් කිසිවෙකු නොව තරු පටි පිරිවරාගත් පොලිස් නිළධර තුමාය. ඔහු ශාලාවට ඇතුලුවද්දී සියල්ලෝම නිහඬවිය. පසු පසින් තවත් පොලිස් කොස්තාපල් වරයෙකු කුඩා ලිපි ගොනුවක් හා දිනපොතක් රැගෙන ආවේය. නිළධරුවා ඉඳ ගත් පසු ඔහුට එකත් පසව නැඹුරුවූ පොලිස් කොස්තාපල් වරයා හට කිසියම් උපදෙසක් දී ඉදිරියේ වාඩිගෙන උන් දෙමව්පියන් වෙත "පොලිස්" බැල්මක් හෙලා විදුහල් පති තුමා දෙසට හැරී; මොන මොනවාදෝ; වරෙක සිනහ වෙමින්ද වරෙක බැරෑරුම් ස්වභාවයක් ආරූඪ කරගනිමින්ද මුමුනන්නට විය.

පසෙක සිටි ටිකිරි සර් අවසර බලා රැස්වීම පටන් ගැනීමට පොලිස් බලවතාගෙන් අවසරය ලබා ගෙන වැඩේ පටන් ගත්තේය.

"අද මේම අවස්ථාවට සහභාගී වී සිටින පොලිස් . . . . . . . . . . . . . . . . .. . . . . .! අප අද මෙතනට එරැස්වී සිටින්නේ අපේ දරුවන් උදෑසන පාසලට පැමිණ මළල ක්‍රීඩා පුහුණුවීම් කටයුතු වල නිරත වීමෙන් පසුව; නැවත පාසලේ පංති කාමරවලට යෑම ට පෙර; නා ගැනීමටත් ඇඳුම් මාරු කරගැනීමටත් කුඩා කාමරයක් ඉඳිකර ගැනීමේ කටයුත්තකට.  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .! මෙතනින් ඉදිරියට මේ රැස්වීමේ කටයුතු ඉදිරියට ගෙන යෑමට මා ගෞරවයෙන් ආරාධනා කරණවා අපගේ පොලිස් . . . . . . . . . . . . . . . මහතා හට!"

වැඩේ පටන් ගෙන බැට්න් එක චෙන්ජ් කල ටිකිරි සර් පසෙකින් ඈඳි ගත්තේ එලෙසින්ය!

පොලිස් මහතා හුන් ආසනයෙන් නැගිට්ටාදැ කියාවත් මාහට මතක නැත! එතැන් පටන්; ඔහුගේ වචනයෙන් පවසනවානම් ඩ්‍රෙසිං රූම් එකට තිබිය යුතු පහසුකම් හොට් වෝටර් ශවර්, ලොකර්, වේට් සැට් හෙවත් බර ඉසිලීමේ උපකරණ ආදී අටෝරාශියක් එකතු කිරීමෙන් අනතුරුව කථාව නිම කිරීමට; රැස්ව සිටින පිරිස දෙසට තම දඹරැඟිල්ල උළුක් කරමින් තෙරා ගත්තේ අපූරු වගන්තියකි.

" ඕනේ නම්; මට මේක තනියෙම කරණ්න පුළුවං මේ පොඩි ප්‍රොජෙක්ට් එක මම කරණ ඒවා හැටියට! ඒත් මේක කරණ්න ඕන සියළුදෙනාම එකතු වෙලා! කවුරු හරි මෙතන කෙනෙක් අභියෝග කලොත්; පුළුවන්නම් මේක කරලා පෙන්නන්න කියලා; මං මේක තනියෙම කරණවා!"

පිරිස මීයට පිම්බා ලෙසය! "මේ යකා ගේ පම්පෝරි! කවුරු හරු අභියෝග කරනවානම් තනියෙම්ම කරණ්න පුළුවං නම් ඇයි අපි අභියෝග නොකරණ්නේ? ඔව් එක්කෝ මේ යකාට කියලා වැඩේ කරගන්න ඕනේ නැතිනම් මුගෙ හුළං බස්සන්න ඕනෙ! කළිසම ගලවන්න ඕන!!" මේ මගේ හිත මට මුරගා කියූ අදහස්ය.

ඉබේම මා නැගිට්ටෙමි!ඒ දකුණු අත ඔසවාගෙනමය!! පොලිස් ලොක්කා නිකටෙන් මාදෙස බැලීය. විදුහල්පති තුමාද ටිකිරි සර් ඇතුළු මුළු මහත් සභාවම මාදෙස අයාගත් මුවෙන් යුතුවය.

"මාගේ අභියෝගයෙන් සිදුවන්නේ පාසලට යහපතක් නම් මා ඔබතුමාට අභියෝග  කරණවා; මේ ව්‍යාපෘථිය පුළුවන්නම් තනිව කරලා පෙන්වන්න කියලා!?" පොලිස් ලොක්කාගේ දෑසදෙස බලාගෙනම මා කියවාගෙන ගියෙමි.

 රැස්ව සිටි සියල්ලෝම කණපිට හැරී මාදෙස බලාගෙනය. 

ටිකිරි සර්ගේ කට අරිලාය.

පොලිස් බුවාගේ මුහුණ කළුවී දත් කූරු කමින්ය. එක එල්ලේ මාදෙස බලා සිට වචන වලින් මා හට දමා ගසන්නට විය.

"තමා කවුද!? ෆෝසස් ද?"

"නෑ මම සාමාන්‍ය පුරවැසියෙක්!"

"මොකක්ද තමාගේ ඉස්කෝලෙ!?"

"මේ ඉස්කෝලෙම තමයි!"

"හරි මම අභියෝගෙ භාරගන්නවා! තමා මේ වැඩේ සුපර්වයිස් කරණෝන? හරි?"

"හරි!"

විශ්වාස කරණ්න මිත්‍රවරුණි එතනිං එහාට රැස්වීමක් තිබ්බේ නැත!

පොලිස් ලොක්කා පුටුව පසුපසට වීසි වන්නට ශබ්ධ නගා නැගී සිට දොරටුවෙන් වේගයෙන් පිටවූ අතර අතර සභා තොමෝ ඒ පසු පසින් ශාලාවෙන් එළියට කඩිමුඩියේ පිටවිය!

අන්තිමට පසු පසින් වැටුනු ටිකිරි සර් කාමරයෙන් පිටවූයේ; මා දෙස බලා අන්තිම අහිංසක සිනාවක් සමගින්; තම නළලට දකුණු අතින් පහරක් ගසමින්ය!

දෙමව්පියන් අතර මට හිතවත් කුඩා පිරිසක් මා වටා එක් විය!

"ඔය යකා මහ එපා කරපු එකා! ඕකා . . . . .. .. .  තියෙනවලු!" කට්ටිය තමන්ගේ අදහස් මා වෙත මුදා හරිමින්ය!

"මොනවා කරණ්නද? වෙන දෙයක් උනාවෙ! ඉතිං මම වරදක් කලායෑ? එයා කිව්වා; එයාට අභියෝග කලොත් කරණවා කියලා! මම කලා!? වෙන මොකක්ද!???"

මා ඇතුළු රැස්ව සිටි දෙමව් පියන් ශාලාවෙන් එළියට එන විට පොලිස් පුළුටක් වත් පාසල තුල දකින්නට නොතිබුනි. 

"ඔයා නම් මාර බඩුවක් තමයි!" ටිකිරි සර් එයාගෙ 'හා' දත් දෙක පෙන්වමින් ක්‍රීඩා මණ්ඩපය අසලදී පසුව පැවසුවේය.

දිනය හවස් වන විට මාහට දූරකථන ඇමතුම් එක දෙක එන්නට පටන් ගත්තේය!

"මොකක්ද බං මේ උඹ කරගෙන තියෙන්නේ!?"

"ඌට කථා කරලා වැඩේ ගොඩ දාගන්න බලපං!"

"උඹට මං කියන්න ඕනෙ නෑනේ ඌ කවුද කියලා!?"

"මොකද කියන්නේ මම කථා කරලා වැඩේ ශේප් කරලා දෙන්නද!?"

මෙවැනි අටෝරාශියක් ඇමතුම් දින ගනනාවක් යන තුරු මා හට ලැබුණි. මා මාගේ සුපුරුදු දින චර්‍යාවේ යෙදුනෙමි. මට සිදුවූ කැකිරි ගෙඩියක් නැත! සියල්ලන් හටම මා සිදුවූ කයිවාරුව පිළිබඳව සැකවින් පවසා; "මොනවා කරණ්නද? වෙන දෙයක් උනාවෙ! ඉතිං මම වරදක් කලායෑ? එයා කිව්වා; එයාට අභියෝග කලොත් කරණවා කියලා! මම කලා!? වෙන මොකක්ද!???"කියා මගේ නිදහසට කරුණු කියා පෑවේය. ඊට පක්ෂවද, විපක්ෂවද උදාසීනවද පිළිතුරු ලැබුනි. එහෙත් ඒ සියල්ලන්ගේම ඒකමතික අදහස වූයේ "ඒ උනාට ඌ එක්ක ඇරගන්න ගිය  එක නම් හොඳ දෙයක් නොවේ!" යන පොදු අනතුරු ඇඟවීමය!

කාලය ගෙවී ගියේය. පසුව තවත් අවුරුදු ගනාවකට පසු පොලිස් නිළධර තුමා මාහට සම්මුඛ වූයේ පාසලේ පිහිණුම් තටාකය තුලදීය!

"ආ! මල්ලි! දැං ඉස්සර වගේ ස්විම් කර්ණ්න බෑ බං!" ඔහු පිහිණුම් තටාකය තුල ඇවිද මා ළඟට විත් පැවසුවේය.

"ඔව් අයියේ මටත් දැන් ඉස්සර වගේ අමාරුයි!" මම ඊට පිළිතුරු සැපයූවෙමි. (ආයේ ":අනේ මටනම් එහෙම දෙයක් නෑ!" කියලා පොර වෙන්න ඕනෙ නෑනේ!" එයාගෙ හිත හැදෙන්නත් එක්ක මම එහෙම කිව්වා)

මම දන්නවා තමුන්නැහැලාගේ හිතේ තියෙන කුකුස! අර වැඩේ එයා කලාද කියලා නේද? වැදගත්ම කථාව වන්නේ සුපිංවතුනි. එතුමා නිමකල නොව අවම වශයෙන් පටන් ගත් ඩ්‍රෙසිං රූම් එකක් නැත! අපි හදපු එකක්ද නැත.

ඔව් ඒ ව්‍යාපෘථියද මා වෙතින් ඉතා සාර්ථකව අල විය.

Saturday, July 17, 2021

205. මා වෙතින් අල වූ ව්‍යාපෘථියක් (1)

හරි මැද්දෑවෙන් කිරි කොකා වගේ ඉන්නේ ප්‍රේමතිලක සර් ය!
අපේ ඉස්කෝලෙ මෑත භාගයේ හිටපු නම් දරාපු විදුහල්පතිතුමා තමයි එච් යූ ප්‍රේමතිලක මහත්තයා. එයා අපේ ඉස්කෝලෙට ඇවිත් සෑහෙන කාලයක් ඉඳලා අධ්‍යාපනය ක්‍රීඩා වගේ අංශවලින් පාසල ඉදිරියට ගෙනල්ලා මීට අවුරුදු පහකට හයකට විතර ඉස්සෙල්ලා පාසලෙන් පිට උනා. එතුමා ගියේ අධ්‍යපන අධ්‍යක්ෂක තණතුරකට උසස්වීමක් ලැබිලා!

ඉතිං මේ ප්‍රේමතිලක සර් පාසලෙන්  යන අවසාන දවස් වලට සති කීපයකට පෙර අපේ කොළුවා ගෙනාවා පණිවිඩයක්!

"අත්‍යාවශ්‍ය කාරණාවක් සඳහා පැවැත්වෙන දෙමාපිය විශේෂ රැස්වීමට අනිවාර්‍යයෙන්ම සහභාගී වන්න!" මේක තමයි සැකවින් තිබ්බේ දිනයක් සහ වෙලාවක් එක්ක.

දිනේ යෙදිලා තිබ්බේ හෙට නෙවෙයි අනිද්දා වගේ.

එදින උදේම මමත් හෙමිං සීරුවේ පාසලට ඇතුළු උනා පරන ආදී ශිෂ්‍යයෝ හෙවත් පරණ කකුල් එක්කම.

"මොකක්ද දන්නෑ සීන්ස් එක නේද?"

"ප්‍රේමතිලක සර් යන එකට මොකක් හරි කරණ එකකට!"

යන්තං වැඩේ මොකක්ද කියලා දැන ගත්තේ ගේට්ටුවෙන් ඇතුළු වෙන කොටම වගේ.

ඔඩිටෝරියම් එක හෙවත් ශ්‍රවණාගාරය තියෙන්නේ තට්ටු තුනේ ලැබ් බිල්ඩිමේ කෙළවරේ.

ඒකට නගින්න ඕන තට්ටු තුනක්ම!

නුවර පෙරහැර අවසන් උනාම දළදා වීදිය වගේ පඩි පෙළ දිගේ අම්මලා තාත්තලා.

හිමි හිමීට මහගිරි දඹේ තරණය කරණවා වගේ උඩට ගිහින් පිටිපස්සට වෙන්න තිබ්බ පුටුවකට යන්තං සෙට මෝල් උනා දඩිය පොල්ල දාගෙනම.

තවත් විනාඩි විස්සක් පැය භාගයක් යන කොට ගුරුවරුන් ගුරුවරියන් එක්කෙනා දෙන්නා වේදිකාව උඩ අසුන් ගත්තා.

පාසලේ ශිෂ්‍ය නායකයින් හා සංනිවේධන අංශයේ කිහිප දෙනෙක් මයික් ටෙස් කරණවා ඈම්ප් එකද මික්සර් එකද මංදා ඒ අටමංගල්ලෙ කරකවමින්.

"ටෙස්ටින් ! ටෙස්ටින් !! ටෙස්ටින්!!! වන් ටූ ත්‍රී"

"ටෙස්ටින් !  වන් ටූ ත්‍රී"

ඇතුලේ තිබුණු ඝෝෂව ටිකක් අවම උනා.

"ඒ අන්න පටන් ගන්න හදන්නේ!" ආපස්ස හැරී තෙලක් බෙද බෙද හිටිය තාත්තෙකුඅට තවත් එකෙක්; මෙතැනට ආව කාරණේ සිහිය සැපත් කලා!

තවත් විනාඩි 10 කින් විතර එතැන හිටිය ගුරු තුමෙක් මයික් එකට කිට්ටු කලා.

"ටොක්! ටොක්!! ටොක්!!!" මයික් එකට තුන පාරක් කෙටුවා. ඊට පස්සෙ පස්ස හැරිලා පසෙකින් හිටපු ශිෂ්‍ය නායෙකයෙකුට මයික් එක පෙන්නලා මොකක්දෝ කිව්වා. 

ඔවුන් අර විද්‍යුත් මෙවළමේ රෝදයක් එහාට මෙහාට කර කවලා ඔළුව දෙපැත්තටම වැනුවා.

"ටොක්! ටොක්!! ටොක්!!!" ගුරු භවතාගේ මුහුනේ තිබුනේ තරමක නුරුස්සනා බැල්මක්. ඔහුගේ ලයාන්විත හඬට මේ මෙවලම් පද්ධතිය සාධාරණයක් ඉෂ්ඨ සිද්ධ නොකරාවි යැයි ඔහුට සැකයි වගේ. අන්තිමේ අකමැත්තෙන් උනත් මයික් එකට යන්තමින් කැස්සා!

"ම්ම්හ්හ්හු! සුභ උදෑසනක් දෙමව්පියනි . . . . . . ! උගුර පාදාගෙනම ටෝක් එක පටන් ගත්තා!

"සුභ උදෑසනක්!" රැස්ව සිටි පිරිස පුණරුච්ඡාරණය කලා!

"අද මේ විශේෂ රැස්වීම සඳහා අප ඔබ සැම මෙහි කැඳවූයේ; පුරා වසර ගනනාවක් අපගේ විද්‍යාලයට මහත්වූ සේවයක් කල එච් යූ ප්‍රේමතිලක මහතා අමගෙන් සමුගෙන යාම සහ ඒ වෙනුවෙන් ඒ මහතා වෙත පැවැත්වීමට යෝජිත උත්සවය හා ඒ මහතා වෙත ලබා දීමට සුදුසු ත්‍යාගයක් පිළිබඳව සාකච්චා කිරීමටයි . . . . . . . . . . . . . . . . . .! . . . . . . . . . . .. .   ."

කතාව තවත් විනාඩි කිහිපයක් පවත්වා;දෙමාපියන්ගේ ඒ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරණ මෙන් ඉල්ලා ගුරු තුමා තමාගේ ආසනයේ අසුන් ගත්තා.

ගුරු තුමාගේ කථාව අවසන් වී විනාඩි දෙකක් වත් ඉකුත් වන්නට මත්තෙන් ඉදිරි පෙල සිටි මහත්මයෙක් නැගිට වේදිකාවට පිවිසුනා!

"මචං  බස් ගැමුනුවා . . !" ළඟ හිටිය එකෙක් තව එකෙකුට කියනවා මං අහගෙන.

මේ පෞද්ගලික බස් හිමියන්ට හැමදාම පාඩුයි කියලා බස් ගාස්තු වැඩි කරණ මෙන් කාලෙකට සැරයක් ටීවී එකේ නාහෙන් අඬන බුවා!

"මූලාසනාරූඩව සිටින ගුරුවර ගුරුවරියන්ගෙන් අවසරයි! හිතවත් නෝනා වරුණි! මහත් වරුණි!! . . . . . . . . . . . . . . . . . . . . මේ අපගේ විදුහල්පති එච් යූ ප්‍රේමතිලක මහතා අපේ පාසලට කල ඇති සේවය . . . . . . . . . . . .  . . . . .  . . . . . . . එම නිසා මා යෝජනා කරණවා මේ මහතාට ත්‍යාගයක් ලෙස මෝටර් රථයක්ලබා දීමට . . . . . . . . . . . . . . "

"අම්මට හුඩු . . ! කාර් එකක් දැණ් කීයක් වෙනවාද? කීයක එකක්ද අරං දෙන්නේ? එතකොට එක් අයෙකුගේ කොටස කීයක් වෙයිද?" මේ මගේ හිතට නැගුණු ගැටළුය!

මුළු ශ්‍රවණාගාරයම එකවර නිහඬවී ගියා! තවත් මිනිත්තු ගනනකින් නැවතත් සුපුරුදු කච කචය පටන් ගැනුනා!

ඒ එක්කම මගේ හිතට ගලා ආවේ; ඊට සති කිහිපයකට පෙර මාගේ කොළුවා ගෙදර විත් මා සමග ඔහුගේ හොඳම යාළුවා පිළිබඳ සඳහනක් කල හැටි.

"තාත්තේ! රුවන්ගේ තාත්ත වෙල්ඩින් වැඩනෙ කරන්නේ. මේ දවස් වල  එයාලගෙ තාත්තලාට වැඩ ආවේ නැතිලු!!  ඉතිං ඒ හින්දා ගෙදර සෑහෙන්න අමාරුයිලු!" 

මා ඉගෙන ගත් පාසල අගනුවර මාධ්‍යයේ පිහිටි එකක් වුවද එහි ඉගෙන ගත් සියල්ලන්ම සුපිරි පංතියේ අය නොවීය.

පාසලේ නව වසරක් සඳහා ශිෂ්‍යයන් 48 දෙනෙකුගෙන් සමන්විත පංති  10 ක්-12ක් පමණ ඇතුලත් කර ගනී.

මේ ශිෂ්‍යයන් එන්නේ විවිධ වූ තරා තිරමේ ආර්ථික වට පිටාවකිනි.

හය වසරේදී තවත් පංති තුනක් සඳහා ශිෂ්‍යත්වයෙන් සමත්වූ පිරිස දුර බැහැර පලාත් වලින් එන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනා මධ්‍යම පාංතික පවුල් වලින් හෝ දිළිඳු පවුල් වලින් පැමිණෙන්නෝ විය හැක!

මාගේ දරුවාගේ මිතුරාද හය වසරේදී පාසලට එක්වූ දරුවෙකි.

"ඔව් මේ යෝජනාව වැරදි එකක්! මේක පරාජය කරණ්ණ ඕන!!" මම මටම කියාගෙන වේදිකාවට ඈතින් වූ අසුනෙන් නැගිට්ටා! නෙවෙයි නැගිටුනා!!

අතුරු සිදුරු නැතිව පිරුණු ශ්‍රවණාගාරයේ පුටු අතරින් උඩින් පනිමින් ඉදිරියට ගියා.

මා වේදිකාව අසලට එන විට ශාලාව සෑහෙන්න පමණ නිශ්ෂබ්ධ වෙලයි තිබුනේ.

"එන්න!" මූලාසනයේ උන් ගුරු භවතා මාහට මයික්‍රෆෝනය සහිත පෝඩියමය පෙන්වූවේ තවත් සාරගර්භ කථාවක් කියලා හිතලා වෙන්ටැ!?

මා මගේ කථාව පටන් ගත්තෙමි. එහි සැකවින් සාරාංශය මෙසේ උනා.

"තෑග්ගක් දිය යුත්තේ අප අතරින් එක් වන මුදලින් විනා තෑග්ග පළමුව තීරණය කොට එහි බර දෙමාපියන් මත යෙදීම එතරම් සාධාරණ එකක් නොවේ. 

මෝටර් රථයක්  යනු දිය හැකි වටිනාම ත්‍යාගයද? දෙමාපියන් වෙතින් එක් වන මුදලින් ඊට සරිලන වෙනත් වටිනා ත්‍යාගයක් සොයා ගත නොහැකිද?

මගේ දරුවාගේ මිතුරාගේ පියාට මේ කාලයේ නියමිත ආදායම් මාර්ගයක්වත් නෑ!

ඔහු හදවතින් මොනතරම් විදුහල් පති තුමා හට ගරු කලද ඔහුට මෝටර් රථයක් ලබාදීමට දායක විය හැකිද?

එනිසා කල යුත්තේ දෙමාපියන් අතරින් එකතුවන මුදලින් ඊට සරිලන ත්‍යාගයක් ලබා දීම මිස පළමුව තෑග්ග තීරණය කිරීම නොවේ!"

මගේ කථාව පටන් ගනිද්දී තිබුනු පුංචි පුංචි කසු කුසුත් අවසාන වෙද්දී නැතිව ගොස් තිබීම මට ගෙන ආවේ සතුටක්. කථාව මා අවසන් කල අයුරු මට අදටත් හොඳටෝම මතකය.

"මාගේ යෝජනාවට එකඟ නෝනාවරු මහත්වරු කරුණාකර අත ඔසවන්න!"

රැස්ව සිටි අයගෙන් සීයට අනූ නවයක්ම සිය අත් ඔසවා මාගේ යෝජනාවට මනාපය ලබා දුන්නේ මාව අමන්දානන්දයට පත්කරවමින්.  

"අන්න බහුතරය!" මා මූලාසනය වෙත පිරිස දක්වා වේදිකවෙන් බැස ආවෙමි.

වේදිකාවේ හිටිය ගුරුවර ගුරුවරියන් මූලාසනේ හිටිය ගුරුතුමාගේ දෙසට නැවී මොන මොනවාද කියනවා! ටිකකින් මූලාසනේම නැගිට විත් "මං කියපු කාරණය ගැන පොඩ්ඩක් කල්පණා කරණ්න! අපි දරුවා අතේ කියල එවන්නම් මොකක්ද කෙරෙණ්නේ කියලා. ආයිබෝවං!" සභා තොමෝ විසිර ගියා!

එළියට ආවිට ගම්පහ සකලසූරිය එලියේදී හමුවිය!

"උඹ යකෝ නැගිටිනකොටම මං දැනගත්තා මොකාක් හරි අලුගුත්තේරු වැඩක් කරයි කියලා!" මේ ඔහුගේ ප්‍රකාශය හැකි තරම් සුමට සුමග හා සභ්‍ය විදියට ලිවිය හැකි ආකාරයයි!

වැදගත්ම දේ එය නොවේය!

සුපිංවතුනි; අනේ එච් යූ ප්‍රේමතිලක මහත්තයා වෙනුවෙන්; අද වන තුරා සතයක් වත් මා දන්නා තරමින් පාසලේ එකතු කලේ නැත !

ඒ විදියට ඒ ව්‍යාපෘථිය මා වෙතින් අල වනු ලැබීය!

පසුකලයකදී අධ්‍යාපන අධ්‍යක්ෂකතුමෙකු ලෙස පාසලේ වාර්ෂික ත්‍යාගප්‍රධානෝත්සවයට ප්‍රේමතිලක මහතා සපැමිණි අවස්ථාවක වසික විසින් පිළිගැනීම!

තවත් එවන්ම ව්‍යාපෘථියක් ඉදිරියේ බලාපොරොත්තුවන්න!

Tuesday, July 13, 2021

204. තිස් අවුරුදු රථ මතක . . . . ! (12)


(අන්තර් ජාලයෙන්)
පලමු වාහනය හෙවත් ෆියට් 132 - 9ශ්‍රී7053 මිළදී ගැනීමට රුපියල් 37500/= බිරිඳගේ මව විසින් ප්‍රථිපාදන හෙවත් ආපසු ගෙවිය යුතු ණයක් ලබා දුන්නාය. මා විවාහ වන්නට පෙර මොරගහහේන ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගත් අතර එය විකුණා දෙවන රථය වන ඔස්ටින් Miniය - 6ශ්‍රී2416; 48500/= කට මිලදී ගෙන ඉතිරි මුදලින් යලිත් කුඩා ඉඩම් කොටසක් මිලදී ගත්තේමි. ඉන් පසු එම ඉඩම් කොටසද විකුණා එම මුදලින් කොටසක් යොදවා පලමු ලෑන්ඩ්කෲසරය- 31ශ්‍රී5460 ද ඉන්පසු එය පූජාකොට ලැබුණු මුදලින්  31ශ්‍රී9111ද එයත් සමග හුවමාරුවට 32ශ්‍රී0865 නිසාන් පැට්රෝල් රථයද මා සතු කර ගත්තෙමි. 

මෙසේ සිලින්ඩර හයේ රථයක් මිලදී ගත්තද ටැංකිය පිරෙණ්නට ඩීසල් ගැසුවා නම්; ඒ මගේ හිසේ කෙස් ගානටය! ලැන්ඩ්කෲසරයේ මෙන්ම නිසාන් පැට්රෝලයේද ඉන්ධන ටැංකියට ඉන්ධන ලීටර 85ක් පමණ අල්ලයි. ඒ කාලේ හැටියට රුපියල් සීයේ දෙසීයෙ ඩීසල් ගහගෙන අප  වාහන පාවිච්චි කලෙමු. 

නිසාන් පැට්රෝල් 32ශ්‍රී0865 වාහනයේ ඇතුලත මෙලෝ රහක් නොතුබුනි. කොටින්ම හරි හමන් කාපට් එකක් වත් නොතිබුනි. එහි පවර් ස්ටියරිං හෝ වායුසමීකරණ පද්ධතියක් තිබුනේ නැත. ගියර් ලීවරය  වාහනයේ පතුලෙන් මතුව ඇති ස්ථානය වසා දැමෙන රබර් බූට් එක හෙවත් වසුන තිබුනේ නැත. ඒ නිසාම දූවිලි පිරුණු පාරක යද්දී ඒ තුලින් දූවිලි වාහනය ඇතුලට පිරීම නවතා තිබුනේ පැරණි බෙඩ්  ශීට් එකක හෙවත් ඇඳ ඇතිරිල්ලක් ගියරය වටා එතීමෙනි.

ඒ මොනවා උනත් ඒ මගේ වාහනයය!

පැට්රෝලයෙන් අප බොහෝ ගමන් ගියෝය. බොහෝ අළුත් වැඩියාවන් මා විසින්ම සිදු කොට එහි ධාවනය ඉතා හොඳ මට්ටමක පැවතුනි. මා අළුතින් (පරන) වාහනයක් ගත් විට ලිහිසි සේවාවට අමතරව සිදුකරණ අළුත්වැඩියාවන් කිහිපයක් වේ. ඕල්ටනේටරය හා ස්ටාර්ටර් මෝටරය ගලවා පරීක්ෂා කොට අළුත්වැඩියාවක් වෙතොත් එය ඉටු කිරීම හෙවත් සර්විස් කිරීම.

රේඩියේටරය ගලවා පිරිසිදු කොට සවි කිරීම.

ක්ල්ච් උඩ යට පොම්පවල වොෂර්, බූට් සීල් ආදී සියලු සකළමනාව හෙවත් රෙපයාර් කිට් දමා ගැනීම.

බ්‍රේක් පද්ධතියේද රෙපයාර් කිට් දැමීම.

සල්ලි ඇති හැකි පමණ බලා ඩ්‍රයිව් බෙල්ට්ස් හෙවත් ෆෑන් බෙල්ට්, ඕල්ටර්නේටර් බෙල්ට් හා පවර් ස්ටියරිං බෙලට් මාරු කිරීම.

මේ කටයුතු ටික එකින් එක හෙමින් සීරුවේ කරගත් විට වාහනය ස්ටාර්ට් කරගන්නටත් ගමනක් යන්නටත් අවශ්‍ය තැනක නවතා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. මේ ප්‍රශ්ණ ටික විසඳා ගත් පසු එදිනීදා මුහුණ දෙන ගැටළුවලින් 80% කටම පිලියම් යෙදිලාය.

දෙවෙනි තෙවෙනි අවස්ථාවේ සල්ලි ටිකක් එකතු කරගෙන හබ් රේසර් නකල් රේසර් ආදිය හා ස්ස්ටියරිං ලින්කේජ් පිළිබඳව අවධානය යොමුකර හැකිය.

මෙහිදී ඕල්ටර්නේටරය, ස්ටාටර් මෝටරය, හා රේඩියේටරය යන උපාංග වල සර්විස් කිරීම සඳහා ඒ සඳහා දැනුමැති අයවලුන් සොයා යායුතු වන අතර අනෙකුත් අළුත්වැඩියාවන් බොහෝ විට සිදුවූයේ මාගේ දෑතින්මය.

මා 31ශ්‍රී5460 ගත් අළුතම කඩවත ඔක්සිජන් හවුස් සාප්පුවෙන් ජර්මානු VBW හය පට්ටං බොක්ස්පැනර් සෙට් එකක් මිලදී ගත්තෙමි. එය මිළදී ගත් දිනයේම අතා අඩු මිලකට චීන බොක්ස්පැනර් සැට් එකක්ද ගෙදර ගෙනාවේය. ඒ අසල්වාසීන්ගේ අවශ්‍යතාවයන් සඳහා ලබා දෙන්නටය! අදටත් වැඩ ගන්නා එම ජර්මානු බොක්ස්පැනර යන්තමින් වත් ඇතුලත හැඩය වෙනස් වී නොමැත!

පැට්‍රෝලය අතර මගදී ලෙඩ දුන්නේ එකම එක් අවස්ථාවකදී පමණි. ඒ රත්නපුර ගොස් සිටියදීය. වාහනයේ ක්ලච් ප්ලේට් වල ඝර්ෂනය එකවර නැවතී වාහනයේ ධාවනයට බාධා පැමිණුනේ රත්නපුර පසු කොට දෑල දෙසට ගමන් ගනිද්දීය.  රත්නපුර නගරයෙන් මිලදී ගත් කල්ච් ප්ලේට් ඒක හා ප්‍රෙෂර් ප්ලේට් එකද වාහනයේ තබා ගත් මා ආපසු කොළඹ එන්නට විමි. අවිස්සාවේල්ලට නුදුරුව දිවුරුම්පිටිය පසු කරත්ම වාහනය ගමන් කල නොහැකි තත්වයට පත්වුනි.

මා වාහනය පාර අසල  තණතීරුවේ නවතා එතැනම ගියර් පෙට්ටිය බිමට ගෙන ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් මාරු කොට තනිව රථයේ ගියර් පෙට්ටිය ඔසවා සවි කර ගත්තෙමි. මගේ උදව්වට තිබුනේ ජැක් දෙකක් හා අවටින් සපයා ගත් කොට කැබැලි කිහිපයක් පමණි!

Nissan Patrol 160 Gearbox 
(අන්තර් ජාලයෙන්)

එම ගියර් පෙට්ටිය කිලෝ 100 ක පමන බරකින් යුක්තවිය. සාමාන්‍ය රථයක ගියර පෙට්ටියකට වඩා සිලින්ඩර හයක ධාරිතාවයකින් සමන් විත ඩීසල් ඇන්ජිමකට යුගල වූ ෆෝවීල් ඩ්‍රයිව් ගියර පෙට්ටියක් යනු සත්තකින්ම දැවැන්තයෙකි. එසේම ට්‍රාන්සර් කේසය නිසා එය සමමිතික අක්ෂයක් ඔස්සේ එසවිය නොහැකිවේ. මේ සියළු බැරි අමාරු කම් දන්නේ ගියර් පෙට්ටියක ටොප් ෂාෆ්ට එක පයිලට් බෙයාරිමට රිංගවන්නට ජීවිතේ එක් වතාවක් හෝ උත්සුක වූ අයෙකු පමණි! වඩාත්ම සිත්ගන්නා සුළු කරුණ වන්නේ ටොප් ශාෆ්ට් කෑල්ලක් නොමැතිව ක්ලච් ප්ලේට් එක අතේ හුරුවට එකෙල්ලට තබාගෙන ප්‍රෙශර් ප්ලේටය වටා ඇන ටික තදකර ගැනීමය. 

ඉන් පසු කිසිදු දිනෙක ටයරයක හුළං බැසීමකට හෝ ඩීසල් අවසන් වී ඉන්ජෙක්ටර පොම්පයට හුළ ඇද නැවතීම යන "සුළඟෙන් සිදුවන අනතුරු" සිදුවූවාක් පමණි. වාහනය මා ළඟ තිබූ වසර දහයකට අධික කාලය තුල මා වෙත පතල මහා කරුණාවෙන් යුතුව සේවය කලේය.

වරක් මා පොළොන්න්නරුවේ යන්නට පිටත් වූයේ කඩවතින් හවස 5.13 ටය. සාමාන්‍යයෙන් මා තරමක් වේගයෙන් වාහනය පදවයි. එය මා සේවය කල සේවා ස්ථානවල  සහ පවුලේ උදවිය, නෑදෑයන් අතර පවා ප්‍රචලිත සිද්ධාන්තයකි.  ගමන පිටත්වූ තැන පටන් මා හැකි උපරිම වේගයෙන්  ධාවනය කලෙමි. නිසාන් පැට්රෝලය ඉතා සමබර වාහනයකි. එමෙන්ම එය පදවන්නාට අතිශය කීකරු ලෙස හැසිරේ. ඕනෑම වංගුවක් නැම්මක් කන්දක් පල්ලමක් ගිය වේගයම පවත්වාගෙන ධාවනය කල හැක. 

එකම වරද වන්නේ වාහනය අවශ්‍ය ස්ථානයේ නවතා ගැනීමට ඇති අපහසුව පමණි! මම මේ කියන්නේ අහිංසක නිසාන් පැට්රෝල් 160 ගැන විනා ‍Y60 ගැන එහෙම නොවේ. උප්පත්තියෙන් රෝද හතරටම ඩ්‍රම් බ්‍රේක් වලින් සමන්විතවූ එම වාහනයේ 32 ශ්‍රී අටසිය හැට පහේ තිරිංග කාර්‍යක්ෂමතාවය පැවතියේ ඉතා දුර්වල මට්ටමකය.

එයට ප්‍රධාන හේතු දෙකක් විය.

ඉන් පළමු වැන්න නිෂ්පාදන දෙෂයක් විය හැක.

දෙවැන්න වූයේ බ්‍රේක් සීරුමාරු කිරීම කිරීම හෙවත් ඇජස් කිරීමේ දේෂයයි! බ්‍රේක් සීරු මාරු කිරීම හා බෙයාරිං සීරු මාරුව මාහට කවදාවත් සාර්ථකව කල හැක්කක් නොවීය. එක්කෝ අම්බානක තද වෙයි. නොමැති නම් අනවශ්‍ය තරම් බුරුල්ව පවතී.

බොහෝ තාක්ෂණික ශිල්පීන් මෙන්ම කොට්ටං ගස් යට ගරාජ් කරන බාසුන්නැහැලා මේ දෙවර්ගයේම ඇජස් කිරීම් කරණ්නේ "අතේ ගානට" ය! එය කාබියුරේටර "කනේ ගානට" හෙවත් එන්ජිමේ හඬට චූන් කරණවා වැනිම වූ කාර්‍යයකි!

"ඒ" අතේ ගාන "මේ" අතේගානට ගැලපෙන්නේ කෙසේද?

එහෙත් පාරිභෝගිකයින් හෙවත් වාහන හිමි දුප්පත් අහිංසක ජනතාව සිතන්නේ "දැන් හරි!" 

කියාය. දැන් "හරි" ගියත් "වැරදුනත්" කරණ්නට දෙයක් නොමැත. වැඩේ කෙළ වෙන තෙක් සොයා ගැනීම අපහසුය!

තිරිංග වඩාත් තද කොට ඇත්නම් බ්‍රේක් බයින්ඩ් වීමකින් හෝ ඩ්‍රම් එක අසාමාන්‍යය ලෙස රත් වීමෙන් සොයාගත හැකිවන අතර හබ් බෙයාරිමක වැරදි සීරු මාරුව සිදුවී සොයා ගන්නා විට වැඩේ "මහරගම" තත්වයට වැඩී අහවරය.

ක්‍රියාවක කෙසේ උවත් ප්‍රථිඵලය වන්නේ බ්‍රේක් අඩු වීමය. 

(අන්තර් ජාලයෙන්)



ඩ්‍රම් බ්‍රේක් සහිත වාහනයක රෝදය ගැලවූ පසු ඩ්‍රම් ව්ක ඉවතට ගෙන බ්‍රේක් උපාංග පාදා ගත යුතුය!
(අන්තර් ජාලයෙන්)



එළියට සුපිරියට තිබුනද ගලවා බැලූ කල සංසාරය කල කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇත! 
(සතු පාටට හිංගලෙන් එජස්ටර් Adjuster කියා ලියා දක්වා ඇති ඇබීත්තං කෑල්ල මතක තබා ගන්න!)
(අන්තර් ජාලයෙන්)

විච්ඡේදනය
(අන්තර් ජාලයෙන්)



ඊට පස්සේ හීං සීරුවට ඉස්කුරුප්පු ෆ්ලැට් නියනකින් හිමීට කරකවලා 
දික් කොරලා හිර කොරන්න ඕන ආයෙ කරකවන්න බැරි වෙන්නම!
(අන්තර් ජාලයෙන්)



මේං මෙහෙම!
(අන්තර් ජාලයෙන්)


ඊළඟට යාන්තමින් කරකැවෙන ගානට බුරුල් කරණ එක තමා කෙරේමේ!
(අන්තර් ජාලයෙන්)


මේ ලැන්ඩ්කෲසර් BJ, FJ, HJ, 40,43,45 රථ සඳහා ටොයෝටා කොම්පැනියෙන් පල කල 
Workshop Manual  එකේ  දක්වා ඇති අකාරය.



Knuckle රේසර් හා හබ් රේසර් වල Preload (Starting) පරීක්ෂා කරණා ආකාරය.
Landcruiser BJ, FJ, HJ 40, 43, 45

Mitsubishi 4DR5 Jeep (J44, J54, J24, J36)

ඉතින් මම මේ කියන කථාව මීට කලින් මගේ ම බ්ලොගයේ හෝ වෙනත් අවකාශයේ තැනක ලියා තැබුවා මතකය. ඒත් එම කථාවේ නියම නීත්යානුකූල හිමිකරුවා. උරුමක්කරුවා, පොලමඃකරුවා අද්මිනිස්ත්‍රාසි කරුවා අටසිය හැටපහ හෙයින් නැවතත් මෙහි ලියා තබන්නම්!

මමත් පවුලේ ඉතිරි සාමාජිකයින් තිදෙනාත් සමගින් හවස 5.13 ට නිසාන් පැට්‍රෝලය දියත් කලෙමි. එදින කිසිම නියමිත හේතුවක් නැතිවම මා රථය ධාවනය කලේ දැඩි වේගයකිනි. වේගය සුරාව සූදුව වැනිම අතිශයින්ම ඇබ්බැහිවන ක්‍රියාවකි. සමහර දිනවල සෙමෙන් ධාවනය කරණා අයෙකු වුවද වාහනය තුල කෙරෙණ කථාබහ, ඇසෙන සංගීත නාද රටා මෙන්ම මාර්ගයේ ඇතිවන සිදුවන භාහිර ක්‍රියාකාරකම් නිසාම  තමා පදවන වේගය වෙනස් වීමට ඉඩ ඇත. සමහර අවස්ථාවලදී අපට වේගයෙර්න් යාමට අවශ්‍යය වන්නේ මීටර 100ක් 200ක් වුවත් එය කෙතරම් මනසට අනුගතවන්නේ ද යත් ඉතිරි කිලෝමීටර 100ම වුව එම වේගයෙන්ම යෑමට මනස නැඹුරු වෙයි. බෲස්ලීගේ චිත්‍රපටියක් බලා එළිඅයට එන්නේ "කාටද කන්නෝන?' කියන මානසිකතවයෙන් වීමත් මෙම මාන්සික තත්වයේම තවත් පැතිකඩක් විය හැක!

කඩවතින් පිටත්වී අඹේපුස්සට යන තෙක් තිබෙන අධික වාහන ඝනත්වය තුල වාහනයක් පැදවීම කැඳ කෝප්පයක පීනනවා වැනි දුෂ්කර ක්‍රියාවකි. එකල පස්යාලෙන් මීරිගම නාරම්මල වාරියපොල හරහා කුරුණෑගලට එන මාර්ගය එතරම් ප්‍රචලිතව නැති වකවානුවකි. කෙසේ වෙතත් අඹේපුස්සතෙක් මාර්ගයේ ඒමේ අත හරවමින් පැමිණි මා එතැන් පටන් ඉගිල්ලෙන්නට පටන් ගතිමි.  අටසිය හැටපහේ එකදු මීටරයක් හෝ ක්‍රියාත්මක නොවීය! කොටින්ම මීටර් ක්ලස්ටරය තබා වාහනය ඇතුලත වත් කිසිදු ආලෝකයක් නොතිබුනි. ඒනිසා ගිය වේගයක් හිතා ගැනීමට නොහැක! මග දිග චාරිකා සටහනක් ලියන්නට තරම් මාහට මතක නැත. මතක් වන්නේ හබරණින් හැරී මින්නේරිය වනපෙත මැද පොළොන්නරුව තෙක් දිවෙන මාර්ගයට හැරවූ ආකාරය ය!

කිසිදු ගමනක් යන්නට ප්‍රථම වාහනයේ සුක්කානමට පුද පූජා සත්කාර පැවැත්වීම, හඳුන්කූරු දුම් ඇල්ලීම, පඬුරු දැමීම, කතරගම පූජාවට්ටිය මත වාහනේ යතුරු කැරැල්ල තබා දෙවියන් අභිමුව; ගොඩ්ලිබ් ඩේම්ලර්, කල්බෙන්ස්, නිකලස් ඔටෝ, (ආදරණීය) රුඩොල්ෆ් ඩීසල් හෑල්ලු කිරීම වැනි ක්‍රියා මා නොකරමි. එහෙත් මා සතුටින් කරණා ක්‍රියාවක් පවතී. ඒ; මේ මාරගයේ ගමන් කරණ්නේ නම්; හබරණ බෝඩරේ මින්නේරිය වන මැද ඇති පුල්ලෙයාර් දේවාලය ඉදිරියේ කොල අත්තක් එල්ලීමය! මෙය හුදෙක් සංස්කෘතිකාංගයක් සේ මා විඳිමි. (මෙය මා උපමා කරණ්නේ අළුත් අවුරුදු චාරිත්‍ර ඉෂ්ඨ කිරීම හා මරදාන කප්පිත්තා වත්ත කෝවිලේ නාදස්වරම් හා තවිල්බෙරේ හඬ අසමින් නවග්‍රහ පූජාව කිරීම වැනිය!)

පලමුව හබරණ පොලීසිය පාසල හා ගමේ කුඩා ගෙවල් පසු කර ගම තුනී වී යාමත් වනාන්තරය පරිසරය ආක්‍රමණය කරමින් නැගීසිටීමත් සිදුවී තිබුනි. දැන් වේලාව රාත්‍රී 7.30  - 7.45 පමණ වන්නට ඇත. සිරිත් පරිදි වාහනය කෝවිල අසල වම් පසින් මාර්ගයේ ඇල කොට නවතා පාර පැන කෝවිලට ගොස්; අසල ගසකින් කඩා ගත් කොල අත්තක්ද එල්ලා ආපසු හැරුණි. කෝවිල අසල හිටියේ අයාලේ යන බල්ලන් කිහිප දෙනෙකු පමණි. වාහනයට නැගී නැවතත් ජවාධික ගමනට මාර්ගයට පිළිපන්නේය. එතැන කුඩා කන්දකි. ඉන් ඔබ්බේ වංගුවත් සමග පල්ලමයි. වම්පස විසල් රුකකි. එය දඹ ගසක්ද? කන්දේම දෙවන ගියරයටත් කඳු මුදුනට පිවිසෙමින් තෙවන ගියරයටත් ඇමුනූ මා වාහනයට ලබා දී තිබුනේ සුපිරි වේගයකි. ඉදිරියේ දකුණු පසට වංගුව හා පල්ලමය. වම් පස මා පෙරකී වනස්පතිය! මා ; මාගේ වම්පස අසුනේ සිටි බිරිඳ අමතා නිකමට මෙන් පැවසූවේ "කොහොමද වංගුව ගන්නකොටම අලියක් හිටියොත්!?" කියාය! 

අන්තර් ජාලයෙන්
(අන්තර් ජාලයෙන්)

වාහනය කඳු මුදුනට එනවාත් සමග; ප්‍රධාන පහන් වල වොට් 200 ප්‍රභල ධාරාව තුලින් දිස් වූයේ;   මාර්ගය මැද  හරස් කරගෙන සිටි  දුඹුරු පැහැති දැවැන්ත හස්තියෙකි! සත්තකින්ම පිළිගන්න ඌ මා කැලැයක් තුල දුටු වඩාත්ම උසකින් හෙබි වන රජුය! නිසාන් පැට්‍රෝලයත් මේ යෝධ සත්වයාත් අතර ඔන්න මෙන්නය!

වාහනය වම් පසට ගත නොහැක! පාරේ තාර සීමාවෙන් ඔබ්බේ මහා ගසය! එසෙම දැවැන්තයා ඊට වඩාත් කිට්ටුවෙන්ය! ඇත්තේ දකුණින් කුඩා ඉඩ කඩකි. 

මා මිලි තත්පරයකදී වාහනය දකුණටහට ගන්නට සිතුවෙමි. සුක්කානම දකුණතට ගත්තෙමි. බොහෝ අවස්ථාවලදී තමන්ට හොඳ පෙර හුරුවක් ඇත්නම් එවන් අවස්ථාවලදී වාහනයේ පාලනය; තනිව තම හුරු අතින් සිදු කිරීම යහපත ප්‍රථිපල ගෙන එයි. වේගයෙන් වාහනය ඒමෙ අතට හැරවීමේදී දේත් එකිනෙක පැටලීම එයින් වැලකී යයි. වමත ඇත්තේ දකුණතට සහයක් ලෙසින් පමණි. 

වාහනය එක ළඟ හැරී අලියා දෙසට ඇලවී මාර්ගයේ දකුණු පස ඇති තිරිවාන මිශ්‍රිත රතු පස් වලින් සමන් විත කොටස දෙසට හැරුණි. ඒක්ෂණයෙන් වාහනය මාර්ගය අසල කාණුවට වැටෙන්නට ආසන්නයේදීම නැවත; අලියා මග හරිමින්ද අලියා වටා ධාවනය කරමින්ද වාහනය මාර්ගයට ගැනීමට මා සමත් උනෙමි. කිසිදාක රවුන්ද බවුට් එකක් වී අත්දැකීමක් නොමැති අසරන අලියා ට්‍රම්පට් නාදය දසත පතුරවමින් පලා ගියේය!

වැදගත්ම දේ සිද්ධ වූයේ තවත් ස්වල්ප වේලාවකිනි. හරියටම කඩවතින් පිටත් වී පැය 3 කින් එනම් රාත්‍රී 8.13 ට මා පොළින්නරුව නගරයට ඇතුළුවී ලේක්විව් හෝටලය ඉදිරියේ මගේ ආදරණීය යන්ත්‍රය නතර කලෙමි!

පැයට කිලෝමීටර 73 ක පමණ සාමාන්‍යයකින් මා රථය හසුරුවා තිබුනි!

294114

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...