Thursday, August 19, 2021

209. තිස් අවුරුදු රථ මතක . . . . ! (13)

වස්ගමුව 2001 - 2002

32-0865 ගැන නේ අපි අන්තිමට කථා කලේ! ඇත්තටම ඇය අපිව බොහෝ තැන් වලට රැගෙන ගියාය!
ආගිය තැන් බොහෝ ඇතත් ඡායාරූප සමග මතකය ඇවිස්සීමට පුළුවන් චාරිකා තුනක් ගැන පමනක් ලියන්නම්.
එකල පරණ  බාසුන්නැහැලා ලොරියක එන්ජිමක් සම්පූර්ණයෙන්ම අළුත් වැඩියා කල පසු එන්ජිම රනින් ඉන් (Braking-in / Brake in / Running - in / Run -in)  එකේ නැතිනම් පදම් දිවුමේ දිනක් පමන කාලයක් තබා; අවසානයේ ලොරිය මුදලාලි හට භාර දෙන්නට මත්තෙන් කතරගම හෝ අනුරාධපුර යෑමේ පුරුද්දක් තිබිනි. කතරගම් ගොස් ආපසු පැමිණීම තෙක් බොහෝ විට වාහනය පැදවූවේ බාසුන්නැහැ විසින්ම හෝ පලපුරුදු රියැදුරෙකු විසිනි. එම සම්පූර්ණ ගමන පුරාවට වාහනය ඉතා මෘදු ලෙස ධාවනය කරවා අවසන් වන විට එන්ජිම නියමාකාරයෙන් පදම් වී තිබුනා යැයි දිනක් පරණ පහේ බාසුන්නැහැ කෙනෙකු මා සමග කීය.
ෆෝ වීල් රථයක් මිළදී ගන්නා ඕනෑම අයෙකුගේ  ඊළඟ සිහිනය වන්නේ කැලෑ ගත වීමයි. තමන් වැද්දෙකු උවත් අළුතින් වාහනයක් ගත් විට නැවත පැරණි මං පෙත් වල හෝ ගමන් කිරීමේ ආශාවක් ඇතිවීම අරුමයකි. සාමාන්‍ය වාහන ගන්නා අය අළුතින් වාහනයක් ගෙන කතරගම යෑමේ පුරුද්දක් එකල තිබුනි. කැලෑ ගත වීම කතරගම යෑමේම තවත් එක් කුඩා වෙනසකි. 
32-0865 කැලෑ ගත කිරීම සඳහා මා තෝරා ගත්තේ වස්ගමුව ජාතික වනෝද්‍යානයයි. සෑහෙන කලයක් එයට මිඩංගු කොට වෙහෙස මහන්සි වී "වවුල් ඇබේ" බංගලාව හෙවත් නිවස්නය  මේ සඳහා වෙන් කර ගතිමි.

සදා නොමැකෙන පොසිටිව්
මේ වස්ගමුව යන අතර මගදී කඩුගන්නාව ගල විදපු ස්ථානයේදී ගත් ඡායා රූපයක්. 
වාහනයේ 27-8338 ලෙස දක්වා ඇතත් මේ 32-0865ම වේ.
ඒ ගැන ඉදිරියේ ලියන්නම්!
2001-2002 අතර කාලයකදී අප සමග වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සැරීමට මාගේ සොහොයුරියගේ පවුලේ පිරිසද එකතු වූවෝය. ඔවුන් වස්ගමුව පාක් එක අසලට පැමිණි ඔවුන් සතු  නිසාන් මාච් රථය ගාල් කොට පසුව අප සමග වනෝද්‍යානය තුල මා වෙන් කරගෙන තිබුණු වවුල් ඇබේ බංගලාව කරා ගියේ පැට්රෝලයෙන්ය. 
අප වස්ගමුව කරා ලඟා වීමට භාවිතා කලේ; අදටත් ලංකාවේ සුන්දරතම මාරගයක් ලෙස මාගේ මතකයේ රැඳී ඇති නුවර මාතලේ රත්තොට මාර්ගයයි. කඩවතින් උදෑසනින් පිටත්වූ අප; ළාහිරු නැග එද්දී  මාතලේ පසු කරමින් සිටියෙමු.

කෑම කාමරයක දර්ශණයක්!
ම විසින් නවීකරණය කරන ලද වහල, හා පසුපස දොර මෙවන් ගමන් වලදී මහත් සේවයක් පහසුවක් විය. පහත් කර දම්වැලෙන් එල්ලුනුදොර මේසයක හෝ බංකු ලෑල්ලක පහසුව සලසා දුන්නේය.
සතුට රැඳී පැවතියේ මිළ මත නොව! අද වන විට බොහෝ SUV රථ වල පසු පස දොරවල් දෙපසට හෝ ඉහලට අරින්නට සකසා තිබුනද මෙවන් පහතට ඇරිය හැකි දොර පලුවක තිබෙන වටිනාකම ඒවායේ නැත. වන්ඩිය වැව් බන්ටෙකක නවතා මෙම දොර භාගය මත තෙලේ බදින ලද පාසි බට්ටෙකු, ලූලෙකු, කාවයියෙකු තබා යාළු වතුර බිඳක් තොල ගෑමේ සතුට ශැන්ග්‍රිලාවේ කැපිටල් බාර් ඇන්ඩ් ග්‍රිල් එකේ සිසිල් බීර වීදුරුවක් පානය කිරීමෙන් වත් ලැබේ දැයි සැක සහිතය!
එකල ගමන් බිමන් ගෙනයාම සඳහා ප්‍රයෝජනයට ගත් ප්ලාස්ටික් පෙට්ටි හෙවත් ක්‍රේට් කිහිපයක් විය. පහත ඡායා රූපයේ; එක මත එක තැබූ නිල් පැහැති ක්‍රේට් දෙකට වම් පසින් රතු පැහැති රෙද්දකින් වසා ඇත්තේ අමතර රෝද දෙකකි! රට වටේ ගමන් ගත්තද වාහනයේ ටයර පැවතියේ අන්තිම දිළිඳු තත්වයකය, එබැවින් සෑම ගමනක් බිමනක් සඳහාම අප සමග කැටුව ආ අමතර රෝද දෙකක් විය!
"තාත්තෙ මං මෙතනිං බහින්නද?"
"#$5&* &%^&$ **7% @$%#$%&%!"
රථයේ වහලය දෙපසින් මෙන්ම පසුපසින් ඇකිලිය හැකිවිය. එසේ හතර වටින්ම පිටතට නිරාවර්ණය කල රථය වසිකටත් කල්මලීටත් සුන්දර අත්දැකීම් එක් කිරීමට සමත් වන්නට ඇත. වායු සමීකරණය හෝ බල සුක්කානම් පද්ධතියක් එනම් පවර් ස්ටියරිං සිස්ටම් එකක් නොමැති වුවද; ගමනක ආශ්වාදය නොමසුරුව අපට ලබා දීමට 32-0865 සමත් විය. අළුත්වැඩියා කල එන්ජිම හා වේග පහේ ගියර පෙට්ටියෙන් සමන් විතවූ එයට; පාරේ හමුවන ඕනෑම වාහනයක් සමග කරට කර සටනක් දීමට හැකියාව මා වෙතින් ලැබුනි.

රියැදුරු අසුනේ කැප් තොප්පියකින් විළි ලැජ්ජාවට  කොන්ඩය ආවරණය කරගෙන සිටින්නේ තට්ටයාමය!
අවම පහසුකම් පැවතුනු අටසිය හැටපහේ ඇතුලත බැලූ බැල්මට එහි තත්වය ඔබට සිතා ගත හැකිවේවි. ගියර් ලීවරයේ යට කෙළවරින් වාහනය තුලට ගලා එන දූවිලි  නවතා ලීමට එය වටා එතුනු ඇඳ ඇතිරිල්ල ඡායා රූපයේ පෙනේ. ඒකෙසේ වෙතත් එහි ගමන් කිරීමෙන් ලැබූ තෘප්තිය කෙතෙක් දැයි කුඩා දියණිය කල්මිගේ මුහුණේ ඇඳී ඇත!

ම්ම්ම්ම්ම්ම් . . . . .
කොහේදි හරි දැකල තියෙනවා . . . .?
 ඔයා ටීවී එකේ ඉන්නව නේද  . . . . ??
දහවල් වන්නට පෙර වස්ගමුවට ලඟාවූ අප මාගේ සොහොයුරිය පැමිණෙන තෙක් එහි රැඳී සිටියෙමු. එකල රූපවාහිනී මාධ්‍යය තුල පෙල ගැසී දිග ඇරුණු "සැරිසර" හා "වයිල්ඩ් ඒෂියා" යනුවෙන් වැඩසටහන් දෙකක් ලක්දිව සොභාදහම පිළිබඳව රූපමය සටහන් ප්‍රේක්ෂකයා වෙත ගෙන එමින් ප්‍රචාරය වුනි. මාගේ මතකය නිවැරදිනම්  එයින් "වයිල්ඩ් ඒෂියා" වැඩසටහන ගෙන ආවේ අරූන් ඩයස් බණ්ඩාරනායකය. 
අරූන් ඩයස්
ඉන් එක් වැඩ සටහන් පෙලක් සකසා තිබුනේ වස්ගමුව ජාතික වනෝද්‍යානය ඇසුරෙන් වන අතර ඒ සඳහා ඔහු භාවිතා කල කහ පැහැති මිට්සුබිෂි ජීප් රථය අප යන විට පාක් එන්ට්‍රන්ස් එක හෙවත් උද්‍යාන ප්‍රවේශය අසල නවතා තිබුනි.
කාන්තාවන් හට සාරි පිළිබඳව ඇත්තේ පුදුමාකාර මතකයකි. තමා සතු ඇඳුම් පිළිබඳව පමනක් නොව තමා වටා සිටිනා අනෙක් අය සතු දේ ගැනද මෙම මතකය ඇත. "එයා එදා ඇන්ද සාරිය තමයි ඊට වසර 5 කට පස්සේ අදත් ඇඳලා තියෙන්නේ!" කියන්නට ඔවුන්ට හැකියාවක් ඇත.
පිරිමින්ට මේ හා සමාන මතකයක් ඇත්තේ වාහන සම්බන්ධයෙනි. "අපෝ ඕක මචං මීට අවුරුදු පාකට ඉස්සෙල්ලා කුරුණෑගල විකුණන්න දාලා තිබ්බේ හෙන අඩුවට. දැන් ඔය වටේට කෑලි ටිකක් අන්දලා තිබ්බට ඕකෙ තර්ඩ් එක පනිනවා. ක්ලච් එකත් තිබ්බේ උඩ. බ්‍රේක් ගැහුවාම පැත්තට අදිනවා. මං කියන්නේ බොරු නම් බලහං එන්ජිමේ ඔයිල් කූරෙ උඩ ගුන්ඩුවට පිත්තල තියලා ඇති!" ඔය විදියේ විස්තරයක් කියන්නට වාහන ප්‍රේම වන්තයින් දනී. සමහර වාහන ගැන මටද එහෙම කියන්නට හැකි මතකයක් එකල තිබුනි.
40 ශ්‍රී කහ පැහැති මිට්සුබිෂි ලොන්ග් වීල් ජීප් රිය දුටු වනම එය; අරූන් ඩයස් වයිල්ඩ් ඒෂියා වස්ගමුව එපිසෝඩ් එකේ පාවිච්චි කල වාහනේ බව මට මතක් විය. ඒ සමගම ජීප් පිස්සුව මතුවී එය අසලින් මාගේ පැට්රෝලය නවතා පිංතූරයක් ගත්තෙමි.
වසික! වනය මැද තනිවී!!!
පළමු දින හවස් වරුවේ තරමක දුරක කෙටි චාරිකාවක් අපට ලැබී තිබුනු මග පෙන්වන්නා විසින් රැගෙන ගියේය. එදින  රාත්‍රිය; වන මැද බංගලාවේ ගතකල අප දෙවෙනි දින උදෑසනින්ම සංචාරය සඳහා පිටත්වුනෙමු. මාගේ සොහොයුරියගේ පවුලේ වැඩිහිටියන් දෙදෙනාත් මග පෙන්වන්නාත් සමග වැඩිහිටියන් පස් දෙනෙකුත් කුඩා දරුවන් තිදෙනෙකුත් ඇතුළුව අටදෙනෙක් සමග නිසාන් පැට්රෝලය වස්ගමුව උද්‍යානයේ රළු මං මාවත් වල ගමන් කොට අවසානයේ මහවැලි ගඟ සමීපයේ පිහිටි "මහවැළි" නිවස්නය අසලින්  ගඟට බැස්සෙමු. මාගේ "ගඟක් දිගේ ගිය ගමනක් 16" හි  කයාක නවතා එහි උන් පිරිසක් සමග පෑහෙන්නට උත්සාහ කල ස්ථානය මෙම ස්ථානයයි. එතැනින් නා කියාගෙන ආපසු කැලය මැද්දෙන් වවුල් ඇබේ බංගලාවට පැමිණ පසුදිනද කැලයේ හතර අත ඇවිද ගෙදර ආවෙමු!
ගිය තැන නෑම - මීට වසර විස්සකට පෙරද 
මා ජීවිත ආරක්ෂාව පිළිබඳව උනන්දු වී ඇති බවට 
සාක්ෂිය දකුණු පස!

තනි කෑල්ලට එන්නයි හදන්නේ! 
(මතක ඇතුව ඔය ස්පෙයා වීල් එක දා ගනිං!)


විල්පත්තු 2002 
එකල  මා සේවය කල පානදුර පිංවත්තේ තිබූ පර්ෆෙක්ට් ෆිට් නම්වූ ඕස්ට්‍රේලියානු සමාගමේය. එකල එහි සිටි කාංචන සබරගමුව, විද්‍යා යකන්දාවල, සංජීව කළුගල්දෙනිය, නලින්ද ප්‍රේමරත්න, ඕසෝන්, ධම්මික, රිෂාන්, හර්ෂ ගයාන්  අතුළු ජීප් ගැන්සිය විල්පත්තු චාරිකාවක් සංවිධානය කලහ. කාංචන සබරගමුව සතුව තිබුනු සුසුකි ජිම්නියද විද්‍යා යකන්දාවල සතුව තිබුනු නිසාන් පැට්රෝල් දෙවන පරම්පරාවේ G60 ද සංජීව කළුගල් දෙනිය විසින් කර ගසා සිටි මහේන්ද්‍රාවද මාගේ 865 ද ඇතුළුව ෆෝ වීල් රථ  හයක් හෝ හතක්   ගමනට සහභාගී විය. මෙම රථ අතර මිට්සුබිෂි ජීප් රථයක් හෝ දෙකක්  ද තිබුනු බව මතකය.

නිසාන් G60 කිරි ටොයියෙක්!

අප එකතු වූයේ අනුරාධපුර කාංචනගේ මහ ගෙදරට වූ අතර එතැනින් නොච්චියාගම හරහා විල්පත්තුවට ලඟා උනෙමු. ගමනේ සියළු සංවිධාන කටයුතු මෙහෙය වූයේ කාංචන සබරගමුව හා ඔහු වටා සිටි සගයන් කිහිප දෙනෙකි. අප යන්නේ කීයටද? නවතින්නේ කොහේද? කන්නේ මොනවාද? මේ සියළු ප්‍රශ්න මා තුල තිබූ අතර ඒවාට  සාර්ථක හෝ අසර්ථක පිළිගත හැකි හෝ අභව්‍ය පිළිතුරු තිබුනේ ඔවුන් අතය. අපට තිබුනේ කලට වේලාවට මුදල් ලබා දි තමන්ගේ වාහනයෙන් නියමිත දිනයේදී නියමිත තැනට යාම පමණකි.  
ගමනට දින දෙක තුනකට පෙර අපගේ ඊ තැපෑල තුල සංසරණය වූ ලිපියකි. ඒ අයිටිනරිය හෙවත් ගමන් විස්තරයය. එහි අන්තරයෙන් බා ගත් ක්ලිප් ආර්ට් කිහිපයකින් සැරසුණු  පොඩි විස්තරයක් විය!
අනුරාධපුරෙන් පිටත්වී අපි අපගේ ෆෝ වීල් රථ  සමග පිරිස 15 ක් පමන විල්පත්තුවට ඇතුළු උනෙමු. සිය පවුල පිටින් එක්වී සිටියේ මා පමණි. වසිකත් කල්මලීත් කුඩා දරුවන්ය! ගමන් විස්තරයේ පරිදි අප පලමුව යා යුත්තේ පණික්කවිලටය! පණික්කවිල යනු  විල්පත්තුවේ පිහිටි වනගත බංගලාවලින් එකකි.
උද්‍යාන ප්‍රවේශයේ
පණික්කවිල බංගලාව  පිහිටියේ උද්‍යාන ප්‍රවේශයේ සිට කිලෝමීටර 30-40 ක පමණ දුරකින් වනාන්තරය තුලය. ප්‍රවේශයේදී පළමු රථයට ගොඩවූ මගපෙන්වන්නා සමග අප පැයකට ආසන්න ගමනකින් පසුව වැවක් අභියස පිහිටි නටබුන්වූ ගොඩ නැගිල්ලක් අභියසට පැමිණියෙමු.
"මෙතන තමයි පණික්කවිල බංගලාව. හරි! බහිමු!!" කාගේදෝ හඬය.
"අම්මට සිරි! මේ මොකද්ද?"
"මේ පණික්කවිල බංගලාව නෙවෙයි! බංගලාව තිබ්බ තැන වෙන්න ඕන!" එකෙක් කීය.
"හරි! හරි!! බැහැපල්ලකෝ!"
සත්තකින්ම එය ජරා ජීර්ණවූ ගොඩනැගිල්ලකි.
කලකට පෙර එය හොඳින් තියෙන්නට ඇති! එහෙත් අදවන විට එහි ඇත්තේ නටබුන් ගොඩක් පමණි. බිත්ති පුරා;  බොහෝ නම් ගම් අඟුරෙන් ලියා තිබිනි. 
"අම්මට සිරි! මේක කොටින්ගෙ තිප්පොලක් වගේ!"
"ඔව් කොටි මෙවායේ ඉඳලා තියෙනවා! දැන්නම් ඈත  තමයි ඉන්නවා කියන්නේ!" මග පෙන්වන්නා එල් ටී ටී සාමාජිකයින් පිළිබඳව තමන් දන්නාන් කරුණු ගෙන හැර දැක් වීය!

පණික්කවිල බංගලාව
බොහෝ අය රාත්‍රී වෙනත් ස්ථානයක නවාතැන් ගැනීමට යාමේදී තමන්ට නැතිවම බැරි දෙයක් හෝ කිහිපයක් රැගෙන යාම පුරුද්දක් කර ගනී. එහි අංක එක මාගේ වැඩි මහළු සොහොයුරාය. ඔහු සරමේ සිට ඇඳ ඇතිරිලි, කොට්ටා උර, තුවා ආදී මෙකී නොකී සියල්ල රැගෙනයයි. 
මාගේ පියා රැගෙන යන්නේ සරමක්, පාන් රාත්තලක්  හා පත්තරයක්ය. පත්තරය කියවීමට නොව හදිසි අවස්ථාවකදී බිම එළා නිදා ගැනීමටය! 
මා ගෙනයන්නේ කැනපියකි. කැනපියක් යනු කූඩාරමක් හෙවත් ටෙන්ට් එකකි. එය බොහෝ අවස්ථා වලදී මාහට මහඟු ප්‍රයෝජන ගෙනදී ඇත!
බංගලාවක නොව රජ ගෙදර නැවතීමට ගියද; මා මේ ගමනටද කැනපියක් රැගෙන ආවේය. පණික්කවිල  වනගත බංගලාව දුටු සැණින් මා හට කැනපියක් ගෙන ඒමට සිත්වීම මොන තරම් භාග්‍යයක් දැයි සිතිනි.
බංගලාවේ මිනිස් පුළුටක් නොමැත!
කොටින්ම එය කැලෑවෙන් වටවී පමණක් නොව අඩක් වැසී ගොසිනි. මුළුමණින්ම වැසී නොයෑමට එකම හේතුව ලෙස මා දකින්නේ විල්පත්තුවේ පවතින දැඩි වියළි ස්වභාවය කරණ කොට ගෙන කැලෑව වැවීම හෙවත් පැතිරීම සිදුවන්නේ ඉතා මන්දගාමී වීමය ය! වහලයෙන් අඩක් ගැලවී හෝ ගලවාගෙන  හෝ තිබුනි. කොටින්ම භාගයකට වහලයක් නොවීය!
ජලය ලබා ගැනීමට කිසිදු ක්‍රම වේදයක් නොවීය.  මා ගමනට පිටත් වීමට දිනකට පෙර ගෑස්පහ හංදියට ගොස් ලීටර විස්සේ බූලි හෙවත් කෑන් හතරක් ගෙනාවේය. නිසාන් පැට් රෝලයේ පසු පස එක පෙලට හරහට වතුර ලීටර 80ක්ද ඩීසල් ලීටර 25ක්ද රැගෙන ආවෙමි.
එම නිසා ජලය කිසිසේත්ම ගැටළුවක් නොවීය! වැසිකිළි කැසිකිළි පහසුකම් සැපයුනේ බංගලාව අවට සිහින් වැලි සහිත පරිසරයෙන්ය!
එදින රාත්‍රී අන් අය තැන තැන වැටී හෝ තම තමන්ගේ වාහන තුල පහන් කරද්දී අප; වහලය නිරාවරණය වූ බංගලාවේ ඉදිරිපස කොටසේ ඇටවූ අපගේ කූඩාරම තුල ගත කලෙමු.
පසුදින උදෑසන වනාන්තරය තුල ගමන් ඇරඹුවෙමු! එතැන් සිට දුටුව සතුන් පිළිඹඳ නිනව්වක් නැත. මුළු විල්පත්තුවේ පාරවල් පුරා වාහන පැදවපු බව පමණක් මතකය. අප දිගින් දිගටම ගමන් කොට මෝදරගං ආරු හමුවට පැමිණියෝය. විසල් කුඹුක් වියනකින් සමන් විත කුඩා ගඟක් වූ එය තැනින් තැන බොහෝ ගල් පැවති ස්ථානයකි. එතැන බොහෝ වේලාවක් අප නැවතී සිටියෙමු. මුළු මහත් ගමන තුලදී අපට වෙනත් රථයක් හමු නොවීම ද විශේෂත්වයකි. 



මෙවන් ගමනක් යාමේදී සිතියමක් රැගෙන යාම මාගේ සිරිතයි!  මා විසින් සකසා ගත් ශ්‍රී ලංකා මාර්ග සිතියම හැරුණු කොට මාගේ සොහොයුරා සතුව පැවති; විල්පත්තුව පැරණි සිතියමක්ද මා රැගෙන ගියෙමි. එය පිරික්සීමේදී අප සිටිනා නිවස්නය ඇත්තෙන්ම පණික්කවිල දැයි කුහුලක් ඇතිවිය.  එසේනම් අප සිටින්නේ වෙනත් තැනකද? සිතාගත නොහැක! නාම පුවරුවක් හෝ වෙනයම් සටහනක් එහි තිබුනේ නැත! අවසානයේ  සිතියම අනුසාරයෙන් පණික්කවිල සොයා ගත්තෙමු.


32-0865

ගෙදර එන්න එන මොහොතේ!

අප සමග ගිය පිරිස තවත් දිනක් නැවතී එන්නට සැලසුම් කර තිබුනත් මා පසුදා ආපසු ඒමට සිතා ගත්තෙමි. ඒ මන්ද යැයි මට අදටවත් සිතා ගත නොහැකි කරුණකි! එදින උදෑසන අප ඉදිරියේ වූ විල්ලුවෙන් ඔබ්බේ වන සීමාවට මෙපිටින් වැව් තලාව මත දුලභ දසුනක් දුටුවෙමු.
ඊරියක් තම පැටවුන් සමග විල්ලුවේ මඩේ ලැග සිටියෝය. මොහොතකින් වනාන්තරයෙන් මෑත්වූයේ තරමක දිවියෙකි. ඊරිය සමග සිටි පැටවුන් මඩේ ඔබ මොබ දුවමින් කෙළිදෙලෙන් විය. අම්මාට ඈත්ව තමාට ලංවූ පැටියාට දිවියා කුරුමානම් අල්ලා පනින්නට පටන් ගන්නවාත් සමග ඊරියට එය ඉව වැටුනි! ඒ සමගම ඊරිය දිවියා වෙත විදුලි වේගයෙන් පැන ප්‍රහාරය එල්ල කරණ්නට පටන් ගත්තේය. ඔබ විශ්වාස කරණ්න; දිවියා නැවත වනය තුලට දිව ගොස් පන බේරා ගන්නා තුරු ඊරිය මීටර 50 ක පමන දුරක් ඇඹීය! 
එම දර්ශණයත් සමග අප එන්නට ආපසු හැරුනි. අප සමග තවත් එක් ජීප් රියක් උද්‍යානයේ ප්‍රවේශය වෙත පැමිනියේය.
අපගේ විල්පත්තු ගමනින් පසුව ඒ ආසන්නයේම වන සත්වාරක්ෂක දෙපාර්තමේන්තුවේ  කිසිවෙකු එල්ටීටීඊ ප්‍රහාරයකට ගොදුරුවූ බවක් මාහට මතකයේ ඇත. සතියක් පුරාවට ඒ පිළිබඳව සොයා බැලීමට ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ විය. විල්පත්තු ජාතික උද්‍යානයේ පාලක වශයෙන් සිට මියගිය වසන්ත පුෂ්පානන්ද මහතා ගැන හෝ විස්තරයක් අන්තර්ජාලයේ නොමැත! එල් ටී ටී ඊ යෙන් මියගිය පුද්ගල ලැයිස්තුවල ඇත්තේ පොලිටික්කන් පමණි! මේ පිළිබඳව වැඩි විස්තරයක් හෙට එනම් 2021 අගෝස්තු 20 වන දින සොයා දෙන බවට මාගේ මිත්‍ර පසිඳු අමරසිංහ පොරොන්දු වූවේය. ඒ ගැන සොයාගත් වහාම ලියාතබන්නම්!
පණික්කවිල බංගලාව 
අද!


අම්පාර 2004/12/18 - 19  


මම; මගේ "159. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? - Diving 1" ලිපියේ දක්වා ඇති ලෙසින්ම එකල මාගේ බොක්ක වූයේ ශානක රාජකරුණා නම් වූ ගුවන් හමුදා නිළධරයාය. එකම පාසලක එකම කාලයක අකුරු කල ඔහු මා හට වඩා වසර ගනනාවකින් අඩු වයසකින් යුතු වූ අයෙකි. මාගේ දරුවාගේ ප්‍රථම අමුත්තා වූ හේ ඔහුගේ රෝල් මොඩලය විය! එකල ඔහු සේවය කලේ අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේ විය. ඔහු සේවය කල බොහෝ ගුවන් හමුදා කඳවුරු වලට අප චාරිකා කොට ඇති අතර දිනෙක ඔහු අපට ආරාධනා කලේ අම්පාරේ පැමිණෙන ලෙසය.
ඒ දින වල බේගාල බොක්ක හිල්වී මහ වැසි වසිමින් විය.  "මෙහේට වහිනවා උනාට එහේට වහින්නේ නැතිව ඇති!" කියන සිතට කල රැවටිල්ලත් සමග අප ගමනට සෙට මෝල් විමු. මහ ගමනට පෙර වාහනයේ ක්‍රියා කාරීත්වය පිළිබඳව සොයා බැලූ මා; වැස්සේම අසල තිබුනු විදුලි කාර්මික ශිල්පී ආයතනයකට; තේරෙණ හිංගලෙන් කියනවානම් ඉලෙක්ට්‍රිකල් ෂොප් එකකට ගොස් ඉදිරි පස සවි කොට තිබූ රැම්සේ 8000 වින්චියට; එතෙක් යොදා තිබූ තාවකාලික කේබල දෙක වෙනුවට වැඩි ධාරිතාවයකින් යුත් කේබල දෙකක් සවිකර ගෙන දහවල් 2.00 ට 3.00 ට පමන කඩවතින් පිටත් විය.
ගමන පිටත් වූයේද තරමක වැස්සේය. වායු සමීකරණය නොකල වාහනයේ ඇතුලතින් ජල වාෂ්ප ඉදිරිපස වාමුවාවේ හෙවත් වින්ඩ්ස්ක්‍රීනයේ බැඳීම අනිවර්‍ය තත්වයකි. මෙවන් වාහනයක ඉදිරිපස රියැදුරු අසුනට අමතරව තවත් අසුනක් සවිකොට එන්නේ මෙවන් අවස්ථාවලදී රෙදි කෑල්ලක් ගෙන වීදුරුව දමන අය හට වාහනයේ ගමන් කිරීමටයැයි එවිට මට සිතේ! 
කඩවතින් පිටත් වෙද්දී තිබුනු මහ වැස්ස මහ නුවර නගර සීමාව පසු කරන විට කුණාටුවක් බවට හැරී තිබුනි. 
පෙර මා 203. නොරත රථ . . . . . !(11) පෝස්ටුවේ සඳහන් කල පරිදි GPS නොතිබූ කාලයේ අප ගමන් බිමන් ගියේ; මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් පලකල මාර්ග සිතියමක් හා ලංකා මැප් පබ්ලිෂර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගමෙන් පලකල සංචරක සිතියමක් එකට තබා ලැමිනේටින් කරගත් සිතියම් ද්විත්වය බලා කියාගෙනය. සිතියමක් බලාගෙන කොම්පාසුවක් ලඟ තබාගෙන පාර හොයාගෙන යන එකෙත් පොඩි නිර්මානශීලී "ගතියක්" ඇත! මෙම සිතියම අනුසාරයෙන් හුන්නස්ගිරිය දෙසට හැරුනෙමු.  එතැනින් දහ අට වංගුව පසුකරමින් මහියංගනයට එන විට හොඳින් කරුවලවී තිබුනි. එදින මහියංගනය නගරයෙන් සපයා ගත් කුඩා නැවතුම් පොලක කාමරයක රාත්‍රී ගත කල අප පසුදා  උදෑසන  නැවතත් ගමනට බටහ. රාත්‍රිය මුළුල්ලේ වට වැස්සේ දිගුව උදෑසන විටත් නිම නොවී තිබුනි. එතැනින් අප පදියතලාව දෙසට හැරී ගමන් ගත්තෙමු. පදියතලාව ආසන්න වන විට පලාතේ තැනින් තැන ගස් කඩා වැටිලා තිබෙනු මතකය. තවත් ඉදිරියට යද්දී නගරයට ප්‍රවේශවෙන මාර්ගය හරහා මහා ගසක් කඩා වැටීමෙන් මුළුමණින්ම අවහිර වෙලාය.
ගස කපා ඉවත් කිරීමට බල කියත් කරුවන් හතර පස් දෙනෙකුම රිස්ස යනතුරු දහදිය හෙලති. කපන කපන අතු ඉවත් කිරීමට නිල් පැහැති ෆෝර්ඩ් ට්‍රැක්ටර දෙකක් කුංච නාද දීගෙන බර වැඩෙහි යෙදිලාය. කුඩා කුඩා අවශේෂ කාර්‍යයන් සඳහා කුඩා අත් පොරව ගත් පිරිසක්ද ට්‍රැක්ටර වලට ගස් අතු ගැට ගසන ලෙහන තවත් බොහෝ පිරිසක්ය. වඩාත්ම සිත්ගන්නා සුළු කාර්‍යය වූයේ මේ සියල්ලන් හටම නායකත්වය සැපයූ ඩෙනිමක් හා සුදු කමිසයකින් සැරසුනු මුහුණ පුරා රැවුළ වවා ගත් මිනිසාය.
කිසිවෙකුට හෝ මොහොතක්වත් කාලය කා දැමීමට ඉඩ නොදී මුළු ශ්‍රම හමුදාවම ඔරලෝසුවක දැතිරෝද සේ වැඩෙහි යෙදෙන්නේ එම නායකයාගේ උපදේශනයටය.
මහ කඳ කුට්ටි කිරීම ඒ වන විටත් දෙදෙනෙකු පටන් ගෙන තිබුනි. බල කියත්වල කැපුම් දම්වැල්; ගහ දෙකඩ කිරීමට කිසිසේත්ම සෑහීමකට පත් නොවීය. කියත් කරුවන් පලමුව කඳේ අල්ලුවක් කපා ඉවත් කොට ඒ තුල නැවත බල කියතෙන් කපන්නට පටන් ගත්තේය. එක් කියත් කරුවෙක් වෙහෙස වන විට තවතයෙකු කියත අතට ගනී. කොටින්ම එය මහා සංග්‍රාමයකි!
විෂ්කම්භය අඩි හයක් පමණ වූ ගසේ කඳ දෙකෙළවරින් කපා අවසන් කල පසු එය එක් ට්‍රැක්ටරයකට සම්බන්ධ  කල අතර එම ට්‍රැක්ටරය තවත් ට්‍රැක්ටරයකට සම්බන්ධ කොට කඳ අදින්නට පටන් ගත්තේය. ට්‍රැක්ටර් දෙක දුම් රියක් සේ එකින් එකට අමුනාය! විශ්වාස කරණ්න! ට්‍රැක්ටර දෙකම පසුපස රෝද මත හිට ගති. එහෙත් කඳ සෙලවීමටවත් නොහැකි විය. දෙවනුව ට්‍රැක්ටර දෙකම කඳ අසලටම පසුපසට ගෙන උපරිම වේගයෙන් ඉදිරියට යන්නට විය. ට්‍රැක්ටර පසුපසට ගැනීම නිසා හැකිලී තිබුනු දම්වැල එකවරම තද වී ගැස්සී කඳ තරමක් ඇදී ගියේය. මේ ආකාරයටම ට්‍රැක්ටර දෙක මගින් දම්වැල ගස්සමින් ඇද මාර්ගය ගමනා ගමනයට විවෘථ කර වීමට එම පිරිස සමත් විය! මා රථය ඉදිරියට පදවමින්ම අසල සිටි අයෙකුගෙන්; විජයභා කොල්ලයේ මහල්ලා දරුවාගෙන් ඇසූ පැනය ඇසුවෙමි! "කවුද අර සක් පිඹින්නාසේ සේනාව සංවිධානය කලේ!?"
"ආ ඒ අපේ ප්‍රාදෙශීය ලේකම් තුමානේ!"
සත්තකින්ම එය බලන්නට වටින; බලා ඉන්න එවුංට "හික්!" ගෑවෙන නායකත්වයකි!
එතැන් සිට අප ගමන් කලේ වැසි බර එහෙත් වැස්සෙන් තොර කාලගුණයක් යටතේය!  මහ ඔයට කිට්ටු කරණ විට බොහෝ ප්‍රදේශ යටවී තිබුනි. මහ ඔය හංදිය ආසන්න වන විට මාර්ගය මුළු මණින්ම යටවී ගොස්ය. ගැබ්බර අහස හිරු සඟවා ගෙන; "දෙන්නම්" කියාගෙන පලාතම වැහි බීරමෙන් යටත් කරගෙන සිටියේය. හයියෙන් උඩ පැන්නොත් අහස ඇල්ලිය හැකි තරමට වළාකුළු පහත් වී තිබුනි! පාර දෙපස කුඹුරු  හා පාර එකම ජල තලයකි. මෝටර් රථ හා වෑන් රථ එගොඩ යාමට නොහැකිව ගං වතුර දෙකෙළවරේ නවතා ගෙනය.  ට්‍රැක්ටර් හිමියෙක් නයිලෝන් ලනුවක් ලඟ තබා ගෙන තවත් තැරැව් කරුවන් සමගින් මෙගොඩ සිට එගොඩටත්, එගොඩ සිට මෙගොඩටත් මෝටර් රථ හා වෑන් ඇදගෙන යති එති! එය කුඩා ගෘහ කර්මාන්තයකි!!! 
ගංවතුර ඈත තියා දැක මෑත තියා නවතන අහිංසක රියැදුරු ප්‍රාන වෙත  ලඟා වෙන තැරැව්කරුවන් ගං වතුර භයානකත්වය පිළිබඳවත් දෙපස ඇති ගැඹුරත් පිළිබඳව නොමිලේ කුඩා පාඩමක්  පවත්වති. ඉන් ඉක්බිතිව වාහනය පන නොගන්වා ට්‍රැක්ටරයෙන් ඇද ගැනීමට රියැදුරා පෙළඹේ. එය ව්‍යාපාරයක් වුවත් එක අතකින් මහඟු සේවාවකි. එසේ වෙනත් වාහනයකින් නොඇද එන්ජිම පනගන්වා එම ගං වතුරේ යන්නට ගියහොත් වාහනයට අධික හානියක් සිදුවීමට හේතු විය හැක. මේ පිළිබඳවත් අදාල මෙම සිද්ධිය පිළිබඳව වත් මාගේ "199. ඊයේ ලියන්නට තිබුනු ලිපියක්!" පෝස්ටුවේ දක්වා ඇත.
මොනම හේතුවක් නිසාවත් නිසාන් පැට්රෝලය  මෙම ගංවතුර තත්වය හේතු කොටගෙන  වෙනත් වාහනයකින් ඇද එගොඩ කිරීමට මාහට තරම් නොවේ. මාගේ වාහනය අසලටත් පැමිණි බ්‍රෝකරයෙකු තම සේවා පිළිබඳව විස්තර කලේය.
"අවුලක් නෑ! මම යනවා!! බොහෝම ස්තූතියි අදින්න ඕනෙ නෑ!" මම ඔහුට කීවෙමි.
"මේවාට මොකද යන්න බැරි! ? මේවාට යන්න බැරිනම් වෙන යන්න වාහනත් නෑ තමයි!: අපගේ දෙබස අසාසිටි අයෙකු පැවසීය.
එම වචන කිහිපය මට ඇතිකලේ සුපිරි ගැම්මකි! ඔහුට කෘථවේදී සිනහවකින් සංග්‍රහ කල මා රථය පන ගැන්වූවේය! "අපිට යන්න පුළුවං වෙයිද?" බිරිඳ අනපේක්ෂිතව ඇසුවාය! "බලමු!" මම තනි වචනයෙන් උත්තර දී රථයේ ගියර සැකැස්ම ෆෝ වීල් ක්‍රියාත්මක වීමට සකසා පළමු ගියරයේ ඉදිරියට ගත්තෙමි. හදිසි අවස්ථාවක වාහනය කිසියම් බාධාවකට මුහුණ දුන්නොතින් එය පිටු දැකීම ෆෝ වීල් දමා ගැනීමේ අරමුණ විය!
ඉදිරියේ ඇදගෙන යන වෑන් රිය දෙස බලා ගං වතුරේ ගැඹුර පිළිබඳව හොඳින් වැට හීමක් ලබා ගත් මා ඔවුන්ගේ ධාවන පථය හොඳින් ග්‍රහණය කර ගත්තේමි. ඉමක් කොනක් වැටක් කිසිවක් නොපෙනෙන ගංවතුරේ ජල තලයට ඉහලින් පෙනෙන එකම වස්තුව ලයිට් කණු පේලිය පමණි! ලයිට් කනුවලට සාපේක්ෂව ගමන් පථය හිතේ ඇඳගත් මා 32-0865 නිසාන් පැට්රෝල් 160 ය ගං වතුරට ප්‍රවිෂ්ඨ කලෙමි! ලයිට් කනු වලට සිතෙන් මැනගත් දුරක් පවත්වා  ගනිමින් එතෙර වුනෙමු!
එතැන් සිට ක්‍රම ක්‍රමයෙන් අම්පාර දෙසට දිවෙද්දී කාලගුණය ටිකෙන් ටික වියළි බවට හැරී තිබුනි. අම්පාර නගරයට කුඩා දුරක් තිබියදී උහන ගුවන් හමුදා කඳවුරෙහි නාම පුවරුව පාරේ දකුණු පසින් තිබුනා වාගේ මතකය. අප එහි යන විට ශානකගේ බිරිඳත් දරු දෙදෙනාත් එහි විය! 
එදින විවේක ගත් අප පසුදා එතෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂණය කර නොතිබූ රජගල නටබුන් බැලීමට ගියෙමු. එම සංචාරය සඳහා කඳවුරේ තවත් කිහිප දෙනෙකු ඩිෆෙන්ඩරයක්  සමග එක් විය!

මිතුරන්

මේත් මිතුරන්ම තමයි!

රජගල රජ ගමනක!

කල්මලී
කල්මලී

දින දෙකකට පසු වැහි බීරිම යටින් නැවතත් නිවෙස් බලා අප ආවෙමු. එන විට අප පැමිණියේ මිණිපේ රන්ටැඹේ රන්දෙනිගල හරහා වැටී ඇති මාර්ගයේය. පහතින් දැක්වෙන්නේ එන ගමනේදී; සටහන් කරගත් පිංතූර කිහිපයක් පහතින් එල්ලා ඇත.
හරියටම ඊළඟ සතිය එළඹුනේ වසරේ නත්තලය!  වසර ගනනාවක සිට සෑම නත්තලක්ම අප ගත කලේ බෙන්තොට දෙද්දූව පුස්සැල්බොක්ක වත්තේ මාගේ ලොකු අම්මාගේ ගෙදරය. නත්තල් දිනයේ එහි යාමට හැකියාව තිබුනද පෙරදින රාත්‍රියේ අප බෙන්තොට බලා ගියෙමු. පසුදින  දහවල එළඹෙමින් තිබියදී රූපවාහිණී තිරය මත කිසිදා නො අසා තිබූ ජපන් වචනයක් සමග උප ශීර්ෂ  යොදමින් රූප රාමු වැටෙන්නට විය. ඒ සුනාමියේය! අප සාමාන්‍යයෙන් නත්තලට බෙන්තොටට ගොඩවෙන්නේ දිවා ආහාරයටය. අප එම වර්ෂයේ එම සිරිත කඩ කිරීම සුනාමියට අසු නොවීමට එක් හේතුවක් විය! සුනාමියට පසුදා නැවත කොලඹ පැමිනියේ බේරුවලින් මතුගමට ගොස් රට මැදින්ය. ඒ සියළු ගමන් වලදී නිසාන් පැට්රෝලය විශ්වාසවන්ත ගමන් සගයෙකු විය!

ආපසු එන ගමනේ!


41 comments:

  1. වස්ගමුවට ගිහිල්ලා තියෙන්නෙ 3-4 පාරයි.
    හොදම මතකය තියෙන්නෙ වාහනය එරිලා අදින්න තව එකක් එනකම් පැය 4 ක් නොගැඹුරු ඔයක නාමින් සහ වටේ ඇවිදමින් ඉන්නකොට දැකපු lemon migrant සමනලුන් නොකඩවා යන පෙරහර

    ReplyDelete
    Replies
    1. තුන් හතර පාරක් ගියාම මදැයි ජයසේනට වෙන තැන් නැතුවද?

      Delete
    2. එරෙන තැන් ප්‍රිෆර්ඩ්

      Delete
    3. වස්ගමුව 3-4 වතාවක් ගියා කිව්වාමත් පුදුමයක්. මට නම් එය් ඒතරම් සිත්ගත් තැනක් නොවේ! පසිඳු තමයි ඔය සතුන්ගේ වගතුග නම් දන්නේ!? මටනම් බටර්ෆ්ලයිත් සමනලයා - මොත් තුත් සමනලයා!

      Delete
    4. කොහොමත් පෙරකදෝරුවන් එරෙන්නට හා එරවන්නටවැඩි කැමැත්තක් දක්වනු ලබයි!

      Delete
    5. පෙරකදෝරුවන් නිසා එරුන අයට එහෙම ප්‍රවණතාවයක් එනවා. ස්වාභාවිකයි. බේදජනකයි

      වස්ගමුවට ගිය අවස්ථාවලින් හොඳට මතක 3යි.
      හැමදාම යාල විල්පත්තු යන්න බෑනෙ. යාල කොහොමත් ට්‍රැෆික් ජෑම්.
      උඩවලවෙ ටිකක් බෝරින්. මාදුරුඔය, ලුණුගම්වෙහෙර එකපාර ගානෙයි ගොහින් තියෙන්නෙ. විල්පත්තු තමයි ෆේවරිට්. සත්තු නිසාම නෙමෙයි සීනරීස්, ගස්, ඕකිඩ්. හතු වගේ හුඟක් විවිධත්වයක් තියනව

      Delete
    6. තුන් හතර පාර මදැයි? වස්ගමුව වැඩිය ඇල්ලුවේ නෑ...
      දැක්කම පුදුම හිතුණා.
      අපි එක දිගට අවුරුදු 15 හෝ 18ක් අවුරුදු නිවාඩු දවස් ටික ගත කරලා තිබුණා වස්ගමුවේ මැදපිටියේ,
      තට්ටයා මහත්තයෝ, මැදපිටිය, උල්පත් හත , හතරමං හන්දිය කෑම්පින් සයිට්ස්වල ඉඳලා නැද්ද? මට මතක හැටියට මැදපිටියේ 30 වතාවක් විතර camping කරලා තියෙනවා...

      Delete
  2. මේවට කොමෙන්ට් ලියන්නේ නැත.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටු නොලීවත් කමක් නැහැ! අඩු ගානේ ෆුට් නෝට් එකක් වත් සතියකය සැරයක් වත් ලියනවා නම්!

      Delete
  3. Nice, 4WD una hodatama wadi una. Is the vehicle price unreasonably high in SL now?

    Even I dodged the tsunami bullet, December we are always in SL, as routine we spend 24,25 in Colombo and go home on 26th via Galle road to Aluthgama then to Elpitiya. On 24th a friend called me and said they are in B'wela estate bungalow and ask us to join. On 26th early morning we left for B'wela planning to reach by lunch time. Rest is history. Wijebahu

    ReplyDelete
    Replies
    1. ඉතාමත් අකාරුණික ලෙස වාහනවල මිල ඉහල ගොස් ඇත! ඹ්ඣ්40 ක් ලක්ෂ 40 කට ගියේ කොයි කාලෙද?
      ඔය චාරිකා සටහන් අලලා පටන් ගත්තොත් නරකද පුංචි පහේ බ්ලොග් එකක් එහෙම ! ? සෑම් මහත්තයට පිං සෙන්ඩු උනා එයත් ම්හු!

      Delete
    2. Thanks,so looks like we have to wait for 4WDs. Blog writing? hmmmm hard to find time, working full time and running a business in SL not easy mate.

      Delete
  4. ඔක්කොම කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. කියවලා ලිස්සන්නේ නැතිව කොමෙන්ට් කොරහං බස්සෝ

      Delete
    2. හා, ජයවේවා!

      -මයිසෙල්ෆ් බස්තියං-

      Delete
    3. අමනාපෙකට නෙමෙයි, සුනාමි අඳුරු මතක අවදිකරන්න අකමැති නිසා. අනික නොදන්න දෙමල නෙව? ඉලෙක්ට්‍රොනික්ස්/කම්පූටර් මස් කිරිල්ල නං, ආන්න ජන්සන්.

      Delete
    4. බොහොමත්ම ස්තූතියි! සුනාමිය වෙලාවෙ රූපවාහිනියෙන් ප්‍රචාරය කලා; නැගෙනහිර යාම සඳහා ෆෝවීල් රථ තියෙන අය වාහන රැගෙන සංස්ථා පරිශ්‍රය වෙත එන්න කියලා. ඉතින් මම මගේ දුප්පත් එහෙත් ජවාධික වාහනේත් අරං යනකොට නැගෙනහිරට පිරිස පිටත් කරලා යවලා. ඊට පස්සෙ මට ලැබුනා කෑම පාර්සල් වගයක් බෙදන්න. මම ඒටික ගෙනිහිං පානදුර පිං වත්තේ මුහුද පීඩා විඳපු අයට බෙදා දීලා ආවා. නියම වැඩේ කියන්නේ මම නැගෙණහිර යන්න ගෙන ගියා මගේ ඇඳු කඩ මාළු වගයක්. ඒවාට පිංවත්තේදී ඉහල මිලක් ලැබුනා. අවසානයේ ඇඳන් ගිය ටී ෂර්ට් එකත් ගලවලා දීලා උඩුකය නිර්වස්ත්‍රව ගෙදර ආවා!

      Delete
    5. ඉතාමත් ඉහල සත් ක්‍රියාවක්. එතකොට, අපේ රටේ මනුස්සකම, කොළොම්පුරෙන් නැව් නැගලා නෑ තාමත්?

      Delete
    6. කොළොම්පුරෙන් නැව් නැගලා නෑ කිව්වේ කවුද? මනුස්සකම සුරකිව තියාගෙන කොළොම්පුරයා කොළොම්පුරෙන් නැව් නැග්ග එකෙක් තමා

      Delete
  5. පවුල් වෙච්චි අලුත අනුරාධපුර පොලොන්නරුව ගමනක් ගියා මාගේ ඉන්දියානු ඇල්ටෝ රතෙන් ඒවෙනකොට පවුල් පන්සල් නොවු තවත් මිතුරන් දෙන්නෙකු සමගින්. ඔබතුමා වාගේම සර්වේ එකෙන් ගහපු මැප් එකයි ඒක පොටෝ කොපි ගහලා හයිලයිටරේන් කෙටි මාර්ග සලකුනු කරගෙන. මුලු සංචාරයම විඩියෝ ගතකලා පොඩි කැසටි පහකට.
    වස්ගමුවට එක්ක ගියේ නිදි ලොක්කා හෙවත් නිමල් අයියා තමයි ඒ විස්තරේ බ්ලොග් එකට දමන්න හිතන් හිටියට කාලය හරස්වෙලා.

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු ඒක ගැම්මටම!

      Delete
    2. මෙතෙක් ව්නොද්යානවලට ගිය ගමන්වලින් වැඩියෙන්ම අලි දැකපු ගමනක් ඒ. අපේ ජීප්ස් තුනම-තුන් පැත්තකින්ම අලි රන්චුවලට මැදි වුණා. අසංග , මම හිටි එකට අලියෙක් ගැහුවත් එක්ක. මාත් බලාගෙන ඉන්නවා අසංග ඒ ගැන ලියනකල්. විශේෂයෙන් නෙවිල්...

      Delete
    3. එක තමයි අලි දකින්නත් ලකී පොරක් අරන් යන්න ඕනෑ. මතකනේ ගහන්න ආපු අලියා ආපහු හැරිලා දිව්වේ සරම උස්සලා පෙන්නුවාමයි. කතාවේ නිර්මාතෘ නිදිගේ මිත්‍ර මර්වින් අයියා
      තව රස කතන්දර ගොඩාක් එළිවෙන්න තිබුනා එදා හමුව කල් නොගියා නම්.

      Delete
  6. තට්ටයා මහතා, පුෂ්පානන්ද මහතා අම්පාරේ හිටියදී අපි හඳුනා ගත්තේ. ඒ මහතා තමයි වසා තිබුණු විල්පත්තු වනෝද්‍යානය නැවත විවෘත කරන දවසේ එහි ඇවිත් යන්නයි අපට ආරාධනා කළේ. අපිත් ගියා!

    වසන්ත පුෂ්පානන්ද මහත්තයාගේ මලගමටත් ගියා, මතුගම මහ ගෙදරට. ඒවා ගැනත්, වස්ගමුව ගැනත් මතකයන් බොහොමයි. පුෂ්පානන්ද මහත්තය ගැන ලිවුණු දේවල් හා එතකොට මා ජාලයෙන් සොයාගත් විස්තර මේ link දෙකට ගිහින් කියවා බලන්න.

    https://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_42.html
    http://nidigepanchathanthare.blogspot.com/2018/06/blog-post_27.html

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඇත්තටම මේ මිනිසුන් ගැන කොහේ හෝ ලියැවී තියෙන්නට ඕනෑ. එහෙත් මා සොයා බැලුවා 2002 අවසාන කාලයේ හෝ 2003 මුල් කාලයේ ඝාතනයට ලක්වූ වන සත්ව එකේ නිළධරයෙකු වේ දැයි කියා. කිසිම වගක් නෑ! අඩු ගානේ පුෂ්පානන්ද මහතා ගැන වත්. නිහාල් ද සිල්වා ගැන නම් තොරතුරු බොහොමයි!

      Delete
  7. කැලෑවක ඉන්නව කියල දැනෙන්නම ඉන්න පුලුවං බංගලාවක් තමයි විල්පක්කුවෙදි සෙට් එකට හම්බවෙලා තියෙන්නෙ.

    නියම මතක සටහන් ටිකක්.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත! තනිකරම කඳවුරු අත්දැකීමක්!

      Delete
  8. Mr. තට්ස් ගෙ කොලම කියෝනකොට මට මතක් වෙන්නෙ මොකක් ද දන්නව ද? ඉස්සර කාලෙ ඉරිදා ලංකාදීපෙ ගියා 'පොඩි එකාගෙ ලියුම' කියලා කොලමක්, ආන්න ඒක. ඒකත් ලියැවුනේ තට්ස් ලියන "මම ගෙදර ගියෝය", "තාත්තා බත් කෑවෙමු" ස්ටයිල් එකෙන් තමා.

    අර චිත්‍රකතා ගැන විස්තරයක් මොකුත් දැනගන්න ලැබුනය? මට මෙන්න මේ Facebook පේජ් එක හම්බුනා, කවුද දන්නෑ කරන්නෙ.

    පැරණි සිංහල චිත්‍රකතා එකතුව: SL-COMICS නිවස

    ReplyDelete
    Replies
    1. නැතිකම මේ හොඳටම ඇති. ඒත් කලින් එක වගේ මේකත් කොච්චරකල් තියේවිද මන්දා? බාගත කරන එකත් සලකා බලනවා. ස්තූතියි

      Delete
    2. බුරතීනෝ සමා වෙන්න ඕනෑ එකසිය ගානට සිංහලේ මැරුවාට! බලාලා දුටු දුටු වරද නිවැරදි කෙරුවෙමි. මටවත් හිතා ගන්න බෑ ඇයි එහෙම උනේ කියලා!
      චිත්‍ර කථා වැඩේ කරමු මොනවා හරි!

      Delete
  9. කොහෙද මේකේ රථ? ඒ පාර ට්‍රිප් ගැන පම්පෝරියක්නේ. [ ආ ඔව් නේන්නම් ඒකෙ අග 'රියක්' කියලා තියෙනවා තමයි.

    සිංහල පන්ති ඔන්ලයින් උනත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ ඒක පංපෝරියක්නම් නොවෙයි නෝනො! අර රථය ගැන ලියන්නට තිබුනු පොඩි චාරිකා සටහනක්!
      අනේ සමා වෙන්න ඕනෑ බුරතිනෝ ට කීවාක් මෙන්ම! සිංහලේ මැරුවාට!
      බලමු එහෙම වත් ඉගෙන ගන්න! .
      කොහොමතොයාට වරදක් අහු නොවී ලියනවා කියන එකත් "වැඩක්ම" තමයි!

      Delete
  10. වයිල්ඩ් ඒෂියා ආයෙ යනව ජාතික රූපවාහිනියෙ.

    ReplyDelete
    Replies
    1. ජාතික වේවා විජාතික වේවා රූපවාහිනිය බැලීම ඉබේම නතර වෙලා!

      Delete
  11. ට්‍රිප් එක ගැන කියවනකොටත් අපි ඒ ගමන යනවා වගේ දැනෙනවා.

    කැලේක ටෙන්ට් එකක් ගහගෙන, ඇලකින්, දොළකින් නාලා, ගිනිමැලයක් අවුළුවාගෙන ඩ්‍රින්ක් එකක් දාන කොට ඇතිවෙන හැඟීම ශැන්ග්‍රිලා එකේ ලැබෙන්නේ නැහැ කියන කතාව නම් 100% ඇත්ත.

    ReplyDelete
    Replies
    1. කෑම්පින් කියන්නේ මගේ අංක එකේ විනෝදාංශය තමයි. ඔබ තුමා මෙරටට ආවාම අපි කෑම්පින් කරමු! මම කැන්ගරු දේශෙට ඇවිල්ලත් තැන් දෙකක කෑම්පින් කලා!

      Delete
  12. "එකල පරණ බාසුන්නැහැලා ලොරියක එන්ජිමක් සම්පූර්ණයෙන්ම අළුත් වැඩියා කල පසු එන්ජිම රනින් ඉන් (Braking-in / Brake in / Running - in / Run -in) එකේ නැතිනම් පදම් දිවුමේ දිනක් පමන කාලයක් තබා"

    මේක ලංකාවේ බොහෝ කාර්මිකයන් එන්ජින් එකක් overhaul කලහම කරන දෙයක්. එන්ජින් එක ස්ටාට් කරල ඔහේ කියල තියනව පදම් වෙන්න කියලා. එන්ජින් එක මේ විදිහට තිබ්බහම ලෝඩ් නෑ.ඒ නිසා ක්‍රියාකාරී උෂ්නත්වයට එන්නෙ නෑ.මෙහෙම කලහම එන්ජින් එකට ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. හොඳම දේ තමයි ලෝඩ් එකක් එක්ක දුවන එක. එන්ජින් එකක් Dyno testing වලදී කරන්නේ එක. ස්ටාට් කරලා නිකම් තිබ්බහම වෙන හානිය glazing . එහෙම වුණොත් එන්ජින් ඔයිල් පාවිච්චිය වැඩි වෙලා දුම් දාන්න පටන් ගන්නවා.
    මේක ජෙනරේටර් වලට වෙනව නිතර. Construction sites වල බලය ලබා ගන්න පාවිච්චි කරන ජෙනරේටර් මුලදී ලොකු ලෝඩ් එකක් එක්ක දුවනවා. නමුත් අන්තිමට වැඩ ඉවර වෙන කොට බල්බ් කීපයක් විතරයි ලෝඩ් එක. එතකොට cylinder glazing වෙලා තෙල් පිච්චෙන්න සහ දුම් දාන්න පටන් ගන්නවා. සමහරවිට Lord bank එකක් සම්බන්ධ කරල දුවල ආයි පරණ තත්ත්වයට ගන්න පුළුවන්.නැතිනම් ගලවල de glaze කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. තරහ අවසර කුමාර මහ්ත්තයා! මේ ගැන තව ටිකක් විස්තර ඇතිව ලියන්නකෝ! ඒක හරිම ප්‍රයෝජනවත් වෙයි හැමොටම; මට වාගේම!

      Delete
    2. මේ ගැන ඕන තරම් විස්තර නෙට් එකේ තියනවා.

      Delete
    3. එන්ජින් එකක් ලෝඩ් එකක් නැතුව නිකම් ස්ටාට් කරල ඔහේ කියල තියන එක ඒ තරම් හොඳ නැහැ. මේක හුඟක් වෙලාවට ඉන්ඩස්ට්‍රියල් එන්ජින් වල අත්දකින්න පුළුවන්.

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...