Saturday, July 24, 2021

206. මා වෙතින් අල වූ ව්‍යාපෘථියක් (2)

අපේ කොල්ලා ඉස්කෝලෙ යන කාලේ ක්‍රීඩාවට නැඹුරුවෙලා හිටියේ. එයා මළල ක්‍රීඩා, ක්‍රිකට්, ශිෂ්‍ය භට, රයිෆල් වෙඩි තැබීම, වගේ බොහෝ ඉසව් වලට සහභාගී උනා. ඒ කාලේ පාසලේ ක්‍රීඩා ගුරුවරයාව හිටියේ ටිකිරි සර්! එයාගේ නම ටිකිරි බංඩා හෝ ටිකිරි බණ්ඩාර විය යුතුයි, ඒත් අපි හැමෝම එයාට කිව්වේ "ටිකිරි සර්!" කියලා.

ටිකිරි සර් අහිංසක මනුස්සයා. එයා කාගෙවත් හිත රිද්දන්න කැමති නැති කෙනෙක්. ඉතින් මෙයා ඉස්කෝලෙට ඇවිත් මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් කරමින් හිටියේ.

අපේ පාසලේ තියෙනවා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය හා ජේෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය කියලා ක්‍රියා කාරී සංගම් දෙකක්. මීට අමතරව ආදි ශිෂ්‍යයන්ගේ තව තවත් සංගම් කිහිපයක්ම තිබුනා ක්‍රීඩා හා වෙනත් විශය භාහිර ක්‍රියාකාරකම් ආදිය මුල්කරගෙන පිහිටවූ.

බොහෝ ඉස්කෝල වල වාගේම අපේ ඉස්කෝලෙත් මේ අදි ශිෂ්‍ය සංගම් වලට තිබුනේ එක විදියක හයියක්.

සමහර කාලවලදී "පාසලට පත්කරණ විදුහල්පති කවුරුණ්ද?" යන්න පවා තීරණය කිරීමේ; නිළ නොලත් බලයක් ඔවුන්හට හිමි වූවා.

පෞද්ගලිකව මා දරපු මතය ඊට වෙනස්. රෝහලකින් ටිකට් කපාගෙන ගෙදර ගිය රෝගියෙකුට රෝහල වෙත කල හැකි බලපෑම කොතරම්ද? එසේම පාසලේ පාලන අධිකාරිය වෙත ආදි ශිෂ්‍ය සංගම් මගින් බලපෑම් නොකල යුතුය! ඒ මගේ මතය.

ඉතින් අපේ පාසලට දැඩි සේ ආදරය කරණ පොලිසියේ ඉහළම  නිළධරයෙකු සිටියා. මොහු පොලීසිය තුල පවා පවත්වාගෙන ගියේ දැඩි ප්‍රථිපත්තියක්. 

88-89 භීෂණ සමයේදී අගනුවරට ආසන්නව සුදුවූ ඛේදවාචකයකටද පවා ඔහුගේ නම ගෑවී තිබුනා වාගේ මට මතකයක් වේ.

ඔහු  බොහෝ විට පාසලට නිළ ඇඳුමෙන් පැමිණීමත්, පාසලේ බොහෝ අවස්ථාවලට සහභාගී වීමත් නිතර දක්නට ලැබුනක් උනා. එසේම ඔහු පාසලට පැමිණි ඕනෑම අවස්ථාවක; තවත් ආදි ශිෂ්‍යයන් රාශියක් ඔහු වටා රාශි භූත වීම සාමාණ්‍ය දර්ශනයක්. ඔහු හැසිරුණේ තරමක මහේශාක්‍ය ලීලාවකින්. විදුහල්පති තුමා පවා ඔහුට ටික වෙන්න පදිරි කිව්වොත් ඒකෙ වරදක් නෑ. ඔහු දුන්නෙත් පොලිස් ටෝක්!

අපේ පාසලේ හැම ක්‍රීඩාවක් විෂය භාර කටයුත්තක් සඳහාම පොඩි පහේ සුට්ටං සංගම් රාශියක් තිබුනා දෙමව්පියන් අටවා ගත්තු. කිසියම් මෙවන් සංගමයකට පෙර කී පොලිස් නිළධරයා ඇතුළු වුවහොත්; ඔහු ඉඳුරම එහි සභාපති හෝ අනුශාසක වුනා!

මගේ කොල්ලා හින්දාම මමත් මළල ක්‍රීඩා සංගමේ සාමාජිකයෙක් උනා. ඇත්තටම පාසලෙන් භාහිරව පැවැත්වුනු මළල ක්‍රීඩා පුහුණු කඳවුරු සඳහා මා ඇතුළු කුඩා කණ්ඩායමක් කැපවීමෙන් කටයුතු කලා.

ඔබ විශ්වාස කරණ්න දරුවන්ට හා ඒවාට සහභාගී වූ දෙමව්පියන්ට පුහුණු කරුවනට කෑම බීම පවා සකසා දුන්නේ අපේ කුඩා කණ්ඩායම.

දවසක් අපේ කොල්ලා ගෙදර ආවේ ටිකිරි සර්ගේ පණිවිඩයකුත් අරන්. "අන්න ටිකිරි සර් කිව්වා හෙට හවස රැස්වීමක් තියෙනවා කියලා තාත්තට එන්න කිව්වා!"

"අනේ මම යන්න ඕනෙ නෑ! ඔය අනිත් කට්ටිය තීරණ ගනියිනේ! ඊට පස්සෙ වඩේටනේ ඉන්න ඕනෙ!?" මට කොහොමත් රැස්වීම්, කමිටු, කොමිසං අරහං ය! මොනවා හරි වැඩක් තියේ නම් කරණවා හැරෙන්නට ඔය කයිවාරුවලට යෑමට මගේ කිසිම කැමැත්තක් කවදාවත්ම තිබුනේ නෑ!

"එහෙම කියලා හරියන්නෙ නෑ! තාත්තාට "එන්නම" කිව්වා!" ඒ උගේ බොරුවක්ය. "එන්නම කිව්වා! අනේ පලයං බං යන්න බොරු කියන්නැතිව!

කොහොම උනත් අදාල දිනයේ හවස 2.30 ට විතර මා  ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුල් උනා.

මා යන විට රැස්වීම ඇරඹීමට ඔන්න මෙන්න.

මා දුටු වනම ටිකිරි සර් පොඩි හිනාවක් දමා වාඩි වෙන්නට පුටුවක් සභාවේ සිට පෙන්වූවේ හිටි තැන ඉඳගෙනම.

මා ඉඳගත්තේ අවසාන පේලියේමය.

විදුහල්පති, ටිකිරි සර්, මට මතක ලෙසට සුසන්ත සරුත් හිටියා වගේ මතකය! මේ සියල්ලන්හටම අමතරව තවත් හිස් පුටුවක් වෙන්ව තිබුනා. සභාවේ  හරි මැදින් විදුහල්පති තුමාට ආසන්නයේ පනවා තිබූ ආසනයේ හිමි කරු තවත් ටික වේලාවකින් එහි සැපත් විය. ඔව් ඔබ හිතුවා හරියටම හරි. ඒ අන් කිසිවෙකු නොව තරු පටි පිරිවරාගත් පොලිස් නිළධර තුමාය. ඔහු ශාලාවට ඇතුලුවද්දී සියල්ලෝම නිහඬවිය. පසු පසින් තවත් පොලිස් කොස්තාපල් වරයෙකු කුඩා ලිපි ගොනුවක් හා දිනපොතක් රැගෙන ආවේය. නිළධරුවා ඉඳ ගත් පසු ඔහුට එකත් පසව නැඹුරුවූ පොලිස් කොස්තාපල් වරයා හට කිසියම් උපදෙසක් දී ඉදිරියේ වාඩිගෙන උන් දෙමව්පියන් වෙත "පොලිස්" බැල්මක් හෙලා විදුහල් පති තුමා දෙසට හැරී; මොන මොනවාදෝ; වරෙක සිනහ වෙමින්ද වරෙක බැරෑරුම් ස්වභාවයක් ආරූඪ කරගනිමින්ද මුමුනන්නට විය.

පසෙක සිටි ටිකිරි සර් අවසර බලා රැස්වීම පටන් ගැනීමට පොලිස් බලවතාගෙන් අවසරය ලබා ගෙන වැඩේ පටන් ගත්තේය.

"අද මේම අවස්ථාවට සහභාගී වී සිටින පොලිස් . . . . . . . . . . . . . . . . .. . . . . .! අප අද මෙතනට එරැස්වී සිටින්නේ අපේ දරුවන් උදෑසන පාසලට පැමිණ මළල ක්‍රීඩා පුහුණුවීම් කටයුතු වල නිරත වීමෙන් පසුව; නැවත පාසලේ පංති කාමරවලට යෑම ට පෙර; නා ගැනීමටත් ඇඳුම් මාරු කරගැනීමටත් කුඩා කාමරයක් ඉඳිකර ගැනීමේ කටයුත්තකට.  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .! මෙතනින් ඉදිරියට මේ රැස්වීමේ කටයුතු ඉදිරියට ගෙන යෑමට මා ගෞරවයෙන් ආරාධනා කරණවා අපගේ පොලිස් . . . . . . . . . . . . . . . මහතා හට!"

වැඩේ පටන් ගෙන බැට්න් එක චෙන්ජ් කල ටිකිරි සර් පසෙකින් ඈඳි ගත්තේ එලෙසින්ය!

පොලිස් මහතා හුන් ආසනයෙන් නැගිට්ටාදැ කියාවත් මාහට මතක නැත! එතැන් පටන්; ඔහුගේ වචනයෙන් පවසනවානම් ඩ්‍රෙසිං රූම් එකට තිබිය යුතු පහසුකම් හොට් වෝටර් ශවර්, ලොකර්, වේට් සැට් හෙවත් බර ඉසිලීමේ උපකරණ ආදී අටෝරාශියක් එකතු කිරීමෙන් අනතුරුව කථාව නිම කිරීමට; රැස්ව සිටින පිරිස දෙසට තම දඹරැඟිල්ල උළුක් කරමින් තෙරා ගත්තේ අපූරු වගන්තියකි.

" ඕනේ නම්; මට මේක තනියෙම කරණ්න පුළුවං මේ පොඩි ප්‍රොජෙක්ට් එක මම කරණ ඒවා හැටියට! ඒත් මේක කරණ්න ඕන සියළුදෙනාම එකතු වෙලා! කවුරු හරි මෙතන කෙනෙක් අභියෝග කලොත්; පුළුවන්නම් මේක කරලා පෙන්නන්න කියලා; මං මේක තනියෙම කරණවා!"

පිරිස මීයට පිම්බා ලෙසය! "මේ යකා ගේ පම්පෝරි! කවුරු හරු අභියෝග කරනවානම් තනියෙම්ම කරණ්න පුළුවං නම් ඇයි අපි අභියෝග නොකරණ්නේ? ඔව් එක්කෝ මේ යකාට කියලා වැඩේ කරගන්න ඕනේ නැතිනම් මුගෙ හුළං බස්සන්න ඕනෙ! කළිසම ගලවන්න ඕන!!" මේ මගේ හිත මට මුරගා කියූ අදහස්ය.

ඉබේම මා නැගිට්ටෙමි!ඒ දකුණු අත ඔසවාගෙනමය!! පොලිස් ලොක්කා නිකටෙන් මාදෙස බැලීය. විදුහල්පති තුමාද ටිකිරි සර් ඇතුළු මුළු මහත් සභාවම මාදෙස අයාගත් මුවෙන් යුතුවය.

"මාගේ අභියෝගයෙන් සිදුවන්නේ පාසලට යහපතක් නම් මා ඔබතුමාට අභියෝග  කරණවා; මේ ව්‍යාපෘථිය පුළුවන්නම් තනිව කරලා පෙන්වන්න කියලා!?" පොලිස් ලොක්කාගේ දෑසදෙස බලාගෙනම මා කියවාගෙන ගියෙමි.

 රැස්ව සිටි සියල්ලෝම කණපිට හැරී මාදෙස බලාගෙනය. 

ටිකිරි සර්ගේ කට අරිලාය.

පොලිස් බුවාගේ මුහුණ කළුවී දත් කූරු කමින්ය. එක එල්ලේ මාදෙස බලා සිට වචන වලින් මා හට දමා ගසන්නට විය.

"තමා කවුද!? ෆෝසස් ද?"

"නෑ මම සාමාන්‍ය පුරවැසියෙක්!"

"මොකක්ද තමාගේ ඉස්කෝලෙ!?"

"මේ ඉස්කෝලෙම තමයි!"

"හරි මම අභියෝගෙ භාරගන්නවා! තමා මේ වැඩේ සුපර්වයිස් කරණෝන? හරි?"

"හරි!"

විශ්වාස කරණ්න මිත්‍රවරුණි එතනිං එහාට රැස්වීමක් තිබ්බේ නැත!

පොලිස් ලොක්කා පුටුව පසුපසට වීසි වන්නට ශබ්ධ නගා නැගී සිට දොරටුවෙන් වේගයෙන් පිටවූ අතර අතර සභා තොමෝ ඒ පසු පසින් ශාලාවෙන් එළියට කඩිමුඩියේ පිටවිය!

අන්තිමට පසු පසින් වැටුනු ටිකිරි සර් කාමරයෙන් පිටවූයේ; මා දෙස බලා අන්තිම අහිංසක සිනාවක් සමගින්; තම නළලට දකුණු අතින් පහරක් ගසමින්ය!

දෙමව්පියන් අතර මට හිතවත් කුඩා පිරිසක් මා වටා එක් විය!

"ඔය යකා මහ එපා කරපු එකා! ඕකා . . . . .. .. .  තියෙනවලු!" කට්ටිය තමන්ගේ අදහස් මා වෙත මුදා හරිමින්ය!

"මොනවා කරණ්නද? වෙන දෙයක් උනාවෙ! ඉතිං මම වරදක් කලායෑ? එයා කිව්වා; එයාට අභියෝග කලොත් කරණවා කියලා! මම කලා!? වෙන මොකක්ද!???"

මා ඇතුළු රැස්ව සිටි දෙමව් පියන් ශාලාවෙන් එළියට එන විට පොලිස් පුළුටක් වත් පාසල තුල දකින්නට නොතිබුනි. 

"ඔයා නම් මාර බඩුවක් තමයි!" ටිකිරි සර් එයාගෙ 'හා' දත් දෙක පෙන්වමින් ක්‍රීඩා මණ්ඩපය අසලදී පසුව පැවසුවේය.

දිනය හවස් වන විට මාහට දූරකථන ඇමතුම් එක දෙක එන්නට පටන් ගත්තේය!

"මොකක්ද බං මේ උඹ කරගෙන තියෙන්නේ!?"

"ඌට කථා කරලා වැඩේ ගොඩ දාගන්න බලපං!"

"උඹට මං කියන්න ඕනෙ නෑනේ ඌ කවුද කියලා!?"

"මොකද කියන්නේ මම කථා කරලා වැඩේ ශේප් කරලා දෙන්නද!?"

මෙවැනි අටෝරාශියක් ඇමතුම් දින ගනනාවක් යන තුරු මා හට ලැබුණි. මා මාගේ සුපුරුදු දින චර්‍යාවේ යෙදුනෙමි. මට සිදුවූ කැකිරි ගෙඩියක් නැත! සියල්ලන් හටම මා සිදුවූ කයිවාරුව පිළිබඳව සැකවින් පවසා; "මොනවා කරණ්නද? වෙන දෙයක් උනාවෙ! ඉතිං මම වරදක් කලායෑ? එයා කිව්වා; එයාට අභියෝග කලොත් කරණවා කියලා! මම කලා!? වෙන මොකක්ද!???"කියා මගේ නිදහසට කරුණු කියා පෑවේය. ඊට පක්ෂවද, විපක්ෂවද උදාසීනවද පිළිතුරු ලැබුනි. එහෙත් ඒ සියල්ලන්ගේම ඒකමතික අදහස වූයේ "ඒ උනාට ඌ එක්ක ඇරගන්න ගිය  එක නම් හොඳ දෙයක් නොවේ!" යන පොදු අනතුරු ඇඟවීමය!

කාලය ගෙවී ගියේය. පසුව තවත් අවුරුදු ගනාවකට පසු පොලිස් නිළධර තුමා මාහට සම්මුඛ වූයේ පාසලේ පිහිණුම් තටාකය තුලදීය!

"ආ! මල්ලි! දැං ඉස්සර වගේ ස්විම් කර්ණ්න බෑ බං!" ඔහු පිහිණුම් තටාකය තුල ඇවිද මා ළඟට විත් පැවසුවේය.

"ඔව් අයියේ මටත් දැන් ඉස්සර වගේ අමාරුයි!" මම ඊට පිළිතුරු සැපයූවෙමි. (ආයේ ":අනේ මටනම් එහෙම දෙයක් නෑ!" කියලා පොර වෙන්න ඕනෙ නෑනේ!" එයාගෙ හිත හැදෙන්නත් එක්ක මම එහෙම කිව්වා)

මම දන්නවා තමුන්නැහැලාගේ හිතේ තියෙන කුකුස! අර වැඩේ එයා කලාද කියලා නේද? වැදගත්ම කථාව වන්නේ සුපිංවතුනි. එතුමා නිමකල නොව අවම වශයෙන් පටන් ගත් ඩ්‍රෙසිං රූම් එකක් නැත! අපි හදපු එකක්ද නැත.

ඔව් ඒ ව්‍යාපෘථියද මා වෙතින් ඉතා සාර්ථකව අල විය.

38 comments:

  1. මේක කලින් එකටත් වඩා පට්ටයි.

    ඔහෙට කියන්න තට්ටයා මහත්තයෝ, මාත් ඔය කෙලින්ම කියන්න තියෙන දේ කියාගන්න බැරි, අපේ උප්පත්ති දෝෂෙ නිසා සෑහෙන්න කටු කාලා තියනවා පිටරට දී. ලෙඩේ සම්පූර්ණයෙන් හොඳ වුනේ නෑ, තාමත් ඉඳ හිට මතුවෙනවා. කොලූටත් ඔය ගුණාංගෙ ඇති නේද? පිටරටකට අත්‍යාවශ්‍ය සොෆ්ට් ස්කිල් එකක්, භාෂාවට විතරයි දෙවනි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මල්ලී "කට කෑවත් කෙලින් කථා කරලා" මුළු ජීවිත කාලයටම බලපාන විධියට කෙළෝගත්තු කෙනෙක් මම! ඒත් වැඩේ තියෙන සුපිරිම ආතල් එක තමයි ජීවිත කාලයම මතක තියාගෙන; මලක් ගැහුවා වගේ තනියෙම හිනා වෙවී ඉන්න පුළුවන් සිද්ධියක් ජීවිතේට එකතු කරගන්නට හැකිවීම.
      කොළුවා ගැන කියන්න තියෙන්නේ ඉතිං "ඉඹුලෙ කටු උල් කරණ්න ඕනෙ නෑනේ!" කියන එක තමයිය. අහන කොට කියන කොට ආතල් උනාට එයි ජීවිතයේ; ආර්ථිකමය හා සමාජීය ප්‍රගමණයන්ට ඕවා නරකම විදියටත් බලපානවා.
      මගේ පෝස්ට් වලට කමෙන්ට් කොරණ කුමාර මහත්තයා සමහර විට මේ පොලිස් ලොක්කාගේ නම මතු කරයි. පොර පොලිස් පති කමට කිට්ටු කරලා විශ්‍රාම ගියේ. අදටත් සුසන්ත සර් පාසලේ ඉන්නවා. ටිකිරි සර් පාසලෙන් අයින් වෙලා ගෙවල් පැත්තේ පාසලකට ගියා. ඒ කියන්නේ දොම්පෙ පැත්තේ. එතුමාගේ බිරිඳ පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක්ද කොහේද! ඉන්නේ දොම්පෙ නගරයට කිලෝමීටර දෙකක් පමන කොළඹ පැත්තට වෙන්නට "ෆොටෝ සාප්පු හංදිය" පහු වෙනකොටම කන්ද උඩ. මේ සිද්ධියේ ඇත්ත නැත්ත හොයලා බලන්න සියල්ලන් හටම ආරාධනා කරණවා.
      කොහොම උනත් මම ලියන මගුල් කියවලා ඒකට මෙහෙම කොමෙන්ටුවකුත් ලිවීම පිළිබඳව බස්සාට අනේක වාරයක් පිං දෙමි.

      Delete
    2. නෝ කමෙන්ට් (නිකං මොකටද රාජකීය මවුන්ටඩ් පොලීසියෙන් ගුටි කන්නෙ)

      Delete
    3. දන්නවාද මේ මහත්තයා කවුද කියලා!?

      Delete
    4. නෑ. ඒත් උඩ කමෙන්ට් කරපු මහත්තය ගැන බොහොම ටිකක් දන්නව. ඒ ඇති

      Delete
    5. මම අමතන්නම්!

      Delete
    6. ඔය කියන්නෙ, අස්පයො පිටේ යන පොලිස් ගැන. අපිට කොයින්දෑ පූසෝ "පපී අයිස්"? 😊

      Delete
    7. Chief Un-nailed Owleteer of Royal Fying Corp.

      Delete
  2. මෙහෙම ලොකු ටෝක් දාන කෙනෙකුට මේ විදියට තමයි සලකන්න තියෙන්නේ. ප්‍රින්සිපල් ටත් කොන්දක් තිබුනා නම්, එදාම මේ ව්‍යාපෘතිය ආරම්බ කරන විදිය ගැන ඒ පොලිස් ලොක්කා සමග කතා බහ කරගන්න තිබුනා.
    එහෙම කලත්, මේ පොලිස් කාරයා නම් අතින් සතයක් වත් වියදම් කරගන්න සුදානම් එක්කෙනෙක් කියලා පේන්නේ නැහැ. කාට හරි තග දාලා, පිනට කරවාගෙන, තමන්ගේ නම බබලවා ගන්න උත්සාහ කරන බව තමයි තේරෙන්නේ.
    එයාගේ ලොකු ටෝක් නැතිව, හැමෝම සම්මාදම් වෙලා මේක කරන්න හැදුවා නම් වැඩේ කෙරෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ හිටියෙත් අපේ ප්‍රේමතිලක මහත්තයාමයි. එතුමා අපේ පාසලට ආවේ වළල , ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යලයෙන් කියලයි මට මතක. ඉස්සර අපේ පාසලට බොහෝ විට පැමිණියේ ගාල්ලේ මහින්දේ විදුහල්පතියි. නමුත් ප්‍රේමතිලක මහත්තයා ආවේ ලොකු කන්දක් තරණය කරලා. ඒ නිසාම ඔහු වැඩ කලේ බොහෝ විට ශේප් න්‍යායෙන්. අපේ පාසලේ ආදි ශිෂ්‍ය සංගමය නිළනොලත් "විදුහල්පති ඇඩ්වයිසරි කොමිටිය" ලෙසිනුයි වැඩ කලේ. ඒ නිසා ඔහු මේ පොලිස් ලොක්කා ඉදිරියේ තරමක භය පක්ෂ පාත භාවයක් දැරුවා කිව්වොත් ඒක ප්‍රේමතිලක මහත්තයාව අවතක්සේරුවට පත් කරණ්න කියන කථාවක් නොවෙයි.
      කොහොම උනත් ඊයේ පෝස්ටුව පබ්ලිෂ් කරලා නිදාගන්නේ හෙට උදේ වෙනකොට පෘථිවියේ අනෙක් පැත්තේ ඉන්න ඔබ තුමා වන් අතලොස්සක් වන හිතවතුන් අතරින් එක් අයෙක් හෝ කොමෙන්ටුවක් දමාවි කියන අහිංසක බලාපොරොත්තුවත් සමග. ඒ නිසාම ඇවිත් ගොඩ වදී බැනලා ගියත් එය ලියන අප වන් අයට ලොකු තල්ලුවක්. බොහොමත්ම ස්තූතියි!

      Delete
  3. අර පොලිස් පිස්සාව චොර කරපු එක නම් නියමයි එත් අපරාදේ ලමයින්ට ලැබෙන්න තිබුනු ඩෙසින් රූම් එක. දෙමව්පියන්ගේ අධාර සහනාධාර එකතු කරලා පස්සේ පොඩියට එකක් වත් හැදුවා නම්

    ReplyDelete
    Replies
    1. ඔව් එකෙනම් පොඩි ආතල් එකක් තියෙනවා. ඇත්තටම ඒ මහත්ත්යාගේ චර්‍යාව පැත්තක ඉඳන් විනාඩි දහයක් නිරීක්ෂණය කලහොත් ඒ ආතල් එක දෙතුන් ගුණයකින් ඩබල් ට්‍රිබල් වෙනවා.
      ඔව් ඇත්තටම තිබුනේ මාසයක් දෙකක් බලලා අපි කට්ටියට හරි නිම කරණ්න තමයි. හැබැයි පහු කාලයක් ගතවන විට පොඩි කාමරයක් ඇටවුනා. ඒත් ඒක පෙර කී දෙමව්පිය කණ්ඩායමේ ධන පරිත්‍යාගයෙන් හෝ කැපවීමෙන් නොවන බවයි මට මතක!

      Delete
  4. තට්ටය මහත්තයො ඔහේගෙ දෙමව්පියෝ
    නිවන් දකින්නට පිං කරගෙන ඇතියෝ
    අනේ දෙගුරුනේ ඒ වගෙ කරාපියෝ
    කොන්ද කෙළින් ඇති දරුවන් හදාපියෝ!

    ReplyDelete
    Replies
    1. අනේක වාරයක් ස්තූතියි නිදි මහත්මයා!

      Delete
  5. අවශ්‍ය තැනදි කතාකිරීමක් මිසක් මේක අල කිරීමක් නෙවෙයිනෙ. හැබැයි කරපු දේ වඩා අර්ථවත් වෙන්නෙ උඩ කමෙන්ට්ස් වලත් කියලා තියෙනවා වගේ ප්‍රින්සිපල්, ටිකිරි ස' සහ තට්ටයා මහතා යන තුන්දෙනාම අර කයිවාරු මෑන්ස් එක්ක මේක follow up කලානම්. එහෙම වුනා නම් මේක win-win වෙනවා. බස්සා කියලා තියෙනවා වගේ අවශ්‍ය තැන කතා කරන්න බැරි වීම වගේම යමක් හරි අවසානයට ගෙනියන්න ඕනෙ කරන persuasion and drive යන දේත් අපිට අඩුවෙන් තියෙන්නෙ.
    (පිහිණුම් තටාකයෙදි හම්බවුනා කියලා තියෙන්නෙ. ඉස්කෝලෙ පිහිනුම් තටාකයක් තියෙනවනම් shower rooms/dressing rooms තියෙන්න ඕනෙනෙ).

    දෙවෙනි ඡේදයෙ පොඩි ටයිපො එකක්ද. මළල ක්‍රිඩා ම යන්න වෙනුවට ප යන්න-වැරදිලාද.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ලෝටස් මහත්තයා මේ මනුස්සයාගේ මල පැනපු තරමට ටිකිරි ස්‍ර වත් ප්‍රින්සිපල් වත් ඒ වැඩේ පස්සේ යන්න ගියේ නෑ. ඒක නිකං වාචාල කමට කියපු වහසි බසක් මිස කරණ්නට පුළුවන් කමට කිව්ව දෙයක් නොවන බව මට තේරුණා වගේම ඒ මහත්තුරු දෙන්නටත් තේරෙන්න ඇති.
      පිහිනුම් තඨාකය හා පිට්ටනිය තියෙන්නේ පාසලේ ඉම දෙකක. අනෙක පූල් එකක ඩ්‍රෙසිං රූම් එකෙකට මේ කොල්ලොටික ගියොත්; ඩ්‍රෙසිං රූම් එක ආයෙත් හෝදලා ගන්න ගන්න වෙනවා. ඒ වගේම ඒකට පිහිනුම් බුවාලා කැමති වෙන්නේ නැහැ. ඉතිං වැඩිය ඕනෙ නෑ ක්‍රිකට් ක්‍රීඩා මණ්ඩපය දෙපස අමේ කණ්ඩායමටත් ආරාධිත කණ්ඩාමටත් කාමර දෙකක් තියෙනවාම නේ!? ඒවා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන්මයි වෙන් කරලා තිබුනේ!!
      අනේ ස්තූතියි! එය "මලල" ම විය යුතුයි. එය මම නිවැරදි කලා.
      අනේක වාරයක් ස්තූතියි ලෝටස් මහත්මයා!

      Delete
    2. හෙහ්, හෙහ් ලෝටස් "මහත්තයා". ඔන්න මම නං මුකුත්ම කිව්වෙ නෑ.😂

      Delete
    3. සමා වෙන්න නෙළුම් නෝනා මහත්මිය!

      Delete
  6. It this was during 88/89 I would not have done that (asking for trouble). During that time Police without uniform killed for much less than what you did. Wijebahu

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඒ කාලේ බොහෝ විට සිදුවූයේ කෝන්තර පිරිමැසීම.

      Delete
  7. ඔය ලොකුවට පේන්න ඉන්න ගොඩක් උන් ඇතුලෙන් හිස් මිනිස්සු ලොකු සර්. නැත්නම් ඉතින් මේ වගේ ගොන් පාට් දානවද ඔක්කොම ටික එකතුවෙලා ලස්සනට හදලා දෙන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඔන්න මගුලක් පටන් ගත්තා ලොකු සෑර් කියන්න! ඇත්තටම ඒ මිනිස්සු මුළුමණින්ම හිස් මිනිස්සු තමයි. අන්තිමට කියන්න තියෙන්නේ ඒ මනුස්සයාගේ තිබුනු හීනමානය නිසා සියල්ල නැතිවී ගිය බව තමයි. කොටින්ම කලිසම පවා!

      Delete
  8. ඒ උත්තමයන්ට ලැජ්ජ නෑ සර්. ඇත්තටම ලජ්ජා සේකිට් එකම බයිපාස් කල්ල තියෙන්නේ.
    සිරිල්‍යාට, මුදලාලි අංකල්ට තැන්කිව් කියන්ඩ පුතා කිව්වෙත් ඔයින් එක්කෙනෙක් තමා.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. "සිරිල්‍යාට, මුදලාලි අංකල්ට තැන්කිව් කියන්ඩ පුතා කිව්වෙත් ඔයින් එක්කෙනෙක් තමා." අනේ හැට්ටර් මල්ලි ලියපංකො දෙයියෝඒ කථාවත් ඔයාගෙ බ්ලොග් එකේ!

      Delete
    2. https://hattorvittor.blogspot.com/2020/03/blog-post.html

      Delete
    3. අම්මට සිරි! ඒක සුපිරි කථාවක්නේ. ඔව් ඔය යක්කුන්ගෙන් බාගෙට බාගයක්ම ඔය වගේ එවුං තමයි!

      Delete
  9. Mama kalin post ekath kiyewwa.Kawuruhari hari obe kriyawa ala kerillak hatiyata dakinawa nam ape rate wadi wadiyen ala karannan bihi wewa kiyala mama prarthana karanawa..Ethakota ape rata lassana ratak wewi.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි සරත් මහත්තයා.

      Delete
  10. මේ කතාව මටත් ලොකු තල්ලුවක් වුණා ඉදිරි වැඩ කටයුතුවලට... පූර්වාදර්ශයක් සැපයීම ගැන ස්තූතියි ලොකු අයියෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකී මහත්තයා! ඔබගේ ඉදිරි ගමන සාර්ථක වේවා!

      Delete
    2. මේ ප.ස.කො. තුමා. ඔබතුමාට හොස්සපිටල් ඇඩ්මිට් වෙන්න සිද්ද උනොත් අපිට දන්නනව හොඳයි.

      Delete
    3. ඇඩ්මිට් උනත් මොකද නුවර එළියෙනේ!

      Delete
  11. ලොකු සීන්ස් දැම්මට මිනිහට ඕව කරන්න තරං හයියක් නෑ වගේ. අඩුම ගානෙ පොරට ටවුමෙ මුදලාලිල ටික අල්ලගෙන හරි වැඩේ කරල තරු ටික බේරගන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. හිස් පඹයො තමයි වැඩිය පිම්බෙන්න හදන්නේ!

      Delete
  12. කියෙව්වට කමෙන්ට් එකක් දාන්න බැරි උනානේ...

    මොරාල් එක තමයි : වැඩක් අල කිරීම සම්බන්ධයෙන් තියෙන පෘථුල දැනුම කොච්චරද කියනවා නම්...... අලේ.. මගේ අර කතාවත් මෙතුමා විසින් තර්ජන, ගර්ජන, අඩි-පුඩි ආදිය පෙන්නා අල කලානේ!!! ආයෙත් ඉතින් ඕකට රැස්වීම් ඕනේ නැහැ...

    ReplyDelete
  13. ඔක තමයි හැමතැනම නෙමේ බොහෝ තැන්වල හෙනේට හිටියෙ. ඉස්කෝලේ දෙමව්පියන්ගෙන් . පන්සල දායකයන්ගෙන්. පොලිසිය දේසපාලුවන්ගෙන්. රජය කොම්පැණිකාරයන්ගෙන්..

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...