පසු ගිය සතියක පමණ කාලයක් ගතකලේ ඩේටා, සිග්නල් නොව හරිතකී, සුදන්තවත් නොමැති පිටිසර පරිසර පද්ධතියකවූ බැවින් ඔබගේ ආදරණීය කොමෙන්ටු වලට පිළිතුරු සැපයීමටත් අළුතින් පෝස්ටුවක් ලිවීමටත් කාලය ගත වූවා.
මේ දිනවල දිගින් දිගට ලියන "නොරත රථ" ලිපි මාලාව තවත් දිගට ලියන්නට සිත් වූයේ එම පුවත් සමග පැටලී එන තවත් පොටවල් මගින් ජීවිතේ තව තවත් ඇතුලට ගමන් කරණ්නට පුළුවන් වූ නිසාමයි.
ඉතින් අදත් කියවන්නට පටන් ගනිමු "නොරත රථ"!
මම මෙම ලිපි පෙලේ 7 වන කොටසේ ලියන ලද පරිදිම ඔස්ටින් MINI යේ නික්ම යාම සිදුවූයේ කෲසරයේ පැමිණීමත් සමගයි.
ඒක උනේ හරිම අනපේක්ෂිත විදියට.
අපි පාසල් යන කාලේ මිත්රයෙක් හිටියා කීර්ති කියලා. එයාගේ නිවස තිබුනේ කළුබෝවිල රෝහල පසුපස. මුලු නම කීර්ති පෙරේරා. දිනක් අප නිවසට පැමිණි කීර්ති; කෲසරය අසල නවතා තිබුණු MINI ය දැක එය ඉල්ලා මැරෙණ්නට විය.
ඔහුගේ අඬෝ වැඩියාව අවසන් වූයේ "එහෙනං උඹ ගනිං!" කිව්වාට පසුවය.
"උඹ කීයටද ගත්තේ . . . . . ?"
" හතලිස් අටදාස් පන්සීයකට . . . !"
"ඒ ගානට අරං උඹ පාවිච්චිත් කලානේ කාලයක්! තිස් පහක් ඇතිනේ . . !!"
"තිස් පාක් . . .?"
"ඇති! ඇති!! බං . . . ! මට ඕක දියං . . !"
කථාව කෙළවර වූයේ MINI ය 35000/= කට ඌ රැගෙන යාමත් සමගය!
කාලය ගෙවී ගියේය.
දිනක් මා පිලියන්දල; කීර්තිගේ නිවසට ගිය අවස්ථාවක මා දුටුවේ ගේ මිදුලේ වැල ගසක් යට අව්වට තෙමෙමින් වැස්සට වේලෙමින් වැලේ වැල් නැතිව සිටින MINIය ය.
අපගේ වැඩිහිටියන් පැරණි වාහන ගලපවන ලද්දේ "ඉඩම් නඩුවකට" හෝ "ලෙඩ ගෑනියෙකුට" ය. ඒ; පැරණිවාහනයක් මිලදී ගැනීම ඉඩම් නඩුවක් පටලවා ගැනීම වැනි ජීවිත කාලයම දුක් විඳින්නට සිදුවන සීන් කෝන් එකක් වන නිසාය.
මේ කථාවේ ඇත්තක් නැත්තේ ම නැත.
මන්ද පැරණි වාහනයක් ගන්නට ගිය අවස්ථාවේදී ඊට නියමිත මිළක් කියන්නට අපහසුය. උදාහරණයක් ලෙස අද ඩිමෝ එකෙන් මිළදී ගන්නා බ්රෑන්ඩ් නිව් බෙන්ස් එකක මිල දැනගැනීමට අවශ්ය වන්නේ නම් කලයුත්තේ එහි අලෙවි අංශයට ගොස් මිල ගනන විමසීම හෙවත් තේරෙණ හිංගලෙන් කියනවා නම් කෝටේශන් එකක් ඉල්ලා ගැනීමය.
එහෙත් මීට වසර තිහ හතලිහකට පෙර ලංකාවට ගෙනඇවිත් ඇති බෙන්ස් රියක වර්ථමාන වටිනාකම නිවැරදිව කියන්නට සමත් කිසිවෙකු නැත. සිටියද එම මිල රඳා පවතින සාධක ගනනාවක් වේ. එයි වර්ථමාන තත්වයේ සිට එහි මුල් අයිතිකරුවන් හට සමාජය තුල පැවති හා / හෝ පවතින පිළිගැනීම වැනි අටෝරාසියක් කරුණු කාරණා මත මෙම මිළ උච්චාවචනය වේ. මේ නිසාම අළුත් වාහනයක් මිළදී ගැනීමේදී මෙන් නොව පැරණි වාහනයක් මිළදී ගැනීමට යාමේදි; මිළදී ගන්නා රැවටෙන, ඇන්දෙන අවස්ථා බොහොමයකි!
එසේම එවන් වාහන අළුත්වැඩියා කරණ බාස්ලා හෙවත් මිකෑනික්ලා අධිගෘහිථ ගරාජ සොයා ගැනීමද කළුණික හොයනවා වැනි බැරි අමාරු කාරියකි. එසේම උන්ගෙන් කොයි එකා ළඟට ගියහොත් තමාගේ කලිසම කෙසේ වෙතත් පිරිවැස්සවත් බේරා ගැනීමට පුළුවන් වේදැයි කීමට අපිට තබා අංජනං දේවියට වත් නොහැක.
ඊළඟ සුපිරිම කෙළිය වන්නේ පැරණි වාහනයට බඩු හොයන්න ගිය විටය! බඩුම තමාය! බඩු යනු "බඩු" නොව බඩු ය.
මෙවන් කරුණු බොහොමයක් නිසාම බොහෝ මහත්වරුන් අපමෙන් පැරණි දර හැවවල් වලට කර ගැසීමෙන් වැලකී; කැටයක් කඩා හෝ මරුටියක් වත් ගනී.
එහෙත් අපගේ හිත යන්නේම කෞතුක භාණ්ඩ කෙරෙහිමය!
කොයි කවුරු මොනවා කිව්වත් එකල තිබුණු බොහෝ යුරෝපීය වාහනයකින් කතරගම ගිහින් ආවොතින් පසුදා ගරාජයකට ඇණයක් හෝ තද කිරීමට දැමිමට සිදුවීම බොහෝ විට දක්නට ලැබෙන කරුණකි!
මෙය ඔස්ටින් මිනියේ සිට මහේශාක්ය ලෑන්ඩ් රෝවරය දක්වා පොදුවූ දහමකි!
මේ නිසාම මෙවන් වාහනයක් පදවන්නෙකු හෝ පාවිච්චි කරණ්නෙකු හට පොඩි පහේ රථ ගායක් සහ දැනීමක් තිබිය යුතුමය.
එසේම ගමනක් යෑමට පෙර වාහනයේ කිරිජ්ජපල්ල අතගා බැලිය යුතුය! ගමන යන විට පාර දෙපැත්තේ දකිණ විසිතුරු වලට, රා අතුර වල් වලට හිත නොයවා රථය පැදවිය යුතුය.
එන්ජිමේ හඬටත් නලාවේ හඬටත් වඩා වෙනස් හඬක් ඉන් නැගෙන්නේ දැයි කල්පණා කාරී විය යුතුය. වාහනය නිවසින් පිටට ගැනීමේදී අතට පයට හිතට දැනුනු තේරුණු ස්පර්ශයන් ඝර්ශනයන්; ගමනාවසාන වනතෙක් එලෙසින්ම දැනෙන්නේදැයි විමසිල්ලෙන් සිටිය යුතුය!
උදා හරණයක් ලෙස ගමන පිටත්වීමේදී ක්ලච් පාදිකය හෙවත් ක්ලච් පෙඩ්ල් එක පෑගීමේදී පයට දැනුනු ප්රථිරෝධය හෙවත් තද ගතිය දඹුල්ල පහු කරණා විට වැල මදුල වාගේ වන්නේ ආර්ථික මධ්යස්ථානය පසු කරද්දී රෝද හතරට බණ්ඩක්කා කරල් අසුවීමෙන් නොව ක්ල්ච් පද්ධතියේ උඩ පොම්පය හෙවත් මාස්ටර් පොම්පයේ හෝ යට පොම්පය හෙවත් ස්ලේව් සිලින්ඩරයේ රබර් වොෂර් වලට "බබා හම්බවෙමින්" පවතින බව තේරුම් ගත යුතුය. වාහනය යන ගමන නවතා ක්ල්ච් ෆ්ලුයිඩ් මට්ටම බැලීමෙන් මෙය පසක් කර ගත යුතුය. එහි අඩුවක් ඇත්නම් එය පුරවා ගැනීමට ක්ලච් ෆ්ලුයිඩ් ද වාහනයේ ඩිකියේ පැත්තකට වෙන්න තබා ඇති පෙට්ටියේ හෝ මල්ලේ තිබිය යුතුය. ඒ; ගමනේ මගදී කන්නට ගන්නා ඇඹුල් තියල්, සීනි සම්බෝල, බොන්න්ට ගන්නා ප්ලේන්ටි දමා ගත් උනුවතුර බෝතලයට අමතරවය!
කරුණු තවදුරටත් කියනවා නම් පොඩි ආයුධ මල්ලක් හෙවත් ටූල් කිට් එකක් හා එය පාවිච්චි කොට වාහනය ගොඩ දාගැනීමේ කිඩ්නිය මෙම වාහන භාවිතා කරණ්නන් සතු විය යුතුය!
කීර්ති යනු වාහනයක බොනට්ටුව ඇර තෙල් වතුර බැලීමටවත් එකල දැනුමක් තිබුනු අයෙක් දැයි මා නොදනිමි. එය එසේදැයි අසා දැන ගැනීමට ඔහු දැන් මෙලොව නැත. නොබෝදා අප අතරින් වෙන්ව ගියේය! ඔහුට වාහනය දෙන විටදීද මා ඒ ගැන සුළුවෙන් පැවසූවද ඔහු එය මායිම් කලේ නැත.
අවසානයේ සිදුවූයේ නැවත මා වාහනය රැගෙන ඒමය.
ඊට කලකට පෙර මා මිනිය පාවිච්චි කරද්දී එය දුටු ග්රෑන්ඩ්පාස් හි; අශෝකා සිනමා හල අසල; නොම්මර 107 (මට මතක ලෙසට) රාජා බීඩි ෆැක්ටරිය තිබුනු ඉඩමේ සිටි විජයානන්ද මගේ වාහනය දැක එහි වූ පසුපස බලන කණ්නාඩි යුගලය ඉහලින්ම වර්ණනා කරමින් කෙල හැලුවේය!
මෙම රථයේ පසුපස බලන කණ්නාඩි යුගලය සවිවී තිබුනේ ෆෙන්ඩර (මඩ් ගාර්ඩ්) මත වන අතර එය ක්රෝමියම් ප්ලේට් කල ඔටිජිනල්ම ඒවා විය!
දෙවෙනි වර කීර්තිගෙන් මිනිය ගෙන ආ පසුව මා රථයේ පෙරකී සයිඩ් කණ්නාඩි දෙක ගලවා තබා ගත්තෙමි.
පසුව විජයානන්දම රැගෙන ආ ඔහුගේ මිතුරෙකු හට වාහනය විකුණා දමා කීර්ති වෙත මුදල් බේරා දැමුවෙමි. රථය මිලදී ගැනීමට පැමිණි විජයානන්ද පළමුවෙන්ම බැලුවේ සයිඩ් කණ්නාඩි යුගලය තිබේදැයි කියාය. මන්ද ඔහු තම මිතුරාට වාහනයක් සොයා දීමේ බ්රෝකර් ගාස්තුව ලෙස ලබා ගැනීමට සිතා සිට ඇත්තේ පෙර කී කණ්නාඩි යුගලයය!
තවමත් එම කණ්නාඩි යුගලය මා ළඟ!
මා 31 ශ්රී 5460 ලෑන්ඩ්කෲසරය පාවිච්චි කරණා සමයේ කඩවත නගරයේ සැරිසරූ තවත් කෲසරයක් විය. ඒ 31ශ්රී9111 රථයයි. එකල නව යොවුන් තරුණයෙකු විසින් පදවන ලද එය අළු පැහැයෙන් යුක්ත විය. මළගිය ඥාතීන් හට පිං පිණිස 5460 දන්දී පලමු මුදල් කොටස ලැබුනු වහාම මා කඩවත නගරයට ගොස් ඉහතකී රථය පිළිබඳව ඉව ඇල්ලුවෙමි.
රථය පිළිබඳ හෝඩුවාවක් ලැබුනි. වහාම ක්රියාත්මකවන පරිදි රාගම පාරේ අදාල නිවෙස වෙත ගොස් බලන විට වාහනය මාස ගනනාවකින් කිසිවෙකුගේ සොයා බැලීමකට ලක් නොවී; ගරාජයක මකුළු දැලින් වැසී තිබුනි. පෙර මා සඳහන් කල නව යොවුන් තරුණයා වැඩිදුර අධ්යාපනය සඳහා රට අතහැර ගොසින්ය!
වාහනයේ ඇත්තේ එක් දෝශයක් පමනක් බව අයිතිකරුවන් පැවසූවේය.
"මේක ස්ටාර්ට් කල වෙලාවේ ඉඳන් රේස් වෙනවා. මක් කොරල වත් අඩු කරණ්න බෑ!"
"කමක් නෑ! මම ඒක හදා ගන්නම්!"
මම වාහනය රුපියල් එක්ලක්ෂ පනස්දහසකට මිලදී ගත්තෙමි.
මෙම ලෑන්ඩ් කෲසර් රථ වලට ඇත්තේ නියුමැටික් ගවර්නරයකි. ගවනරයක් යනු එන්ජිමක වේගය ඒකාකාරව තබා ගැනීමට සකසා ඇති යාන්ත්රනයයි.
මෙම ගවනරය ක්රියා කරණ්නේ ඒ තුල ඇති ඩයප්රමය; ඉන්ලට් මැනිෆෝල්ඩයේ ඇතිවන රික්තකය හේතුකොටගෙන ඉදිරියට පසුපසට ක්රියා කිරීමෙනි.
ගවනරයක් යන්නට සිංහලෙන් දී ඇති වචනය "සංයාමකය" යන්නයි. ගවනරයකින් කෙරෙන්නේ එන්ජිමක වේගය නියත ප්රමාණයකට පවත්වා ගැනීමයි. ඉහත රූප සටහනේ ඉහල කොටසේ අඳුරුපැහැයෙන් දක්වා ඇත්තේ එයා ක්ලීනරය හා ඉන්ලට් මැනිෆෝල්ඩයයි. එන්ජිමක් ක්රියකිරීමේදී එන්ගිම තුලට වාතය ඇතුළුවන්නේ එයාක්ලීනරය හරහා පෙරහන් වී ඉන්ලට් මැනිෆෝල්ඩය හරහාය.
මෙසේ එන්ජිම තුලින් වේගෙයෙන් වාතය පරිභෝජනය කිරීම සමග වේගයෙන් වාතය ඉන්ලට් මැනිෆෝල්ඩය තුලින් ගමන් කරයි.
මෙම වාතය ඉන්ලට් මැනිෆෝල්ඩයට එයා ක්ලීනරයේ සිට ඇතුළුවන්නේ වෙන්චූරියක් හරහාය.
මෙම රූප සටහනේ දක්වා ඇත්තේ වෙන්චූරි නලයකි. මේ තුලින් වාතය හෝ ද්රවයක් ගමන් කිරීමට නම්; ඇතුළු වන වේගයම පිටවීමේදීද පැවතිය යුතුය. මෙසේ සිදුවීමට නම්; නලය විශාල කොටසේදී ගමන් කරණ වේගයට වඩා වැඩි වේගයක් සිහින් ස්ථානයේදී; ඒ තුලින් ගමන් ගන්නා වාතයට හෝ ද්රවයට තිබිය යුතුය! මෙම අමතර වේගය සඳහා අවශ්ය ශක්තිය ලබා ගන්නේ එම ද්රවයේ හෝ වාතය තුල ඇති පීඩනය වේගය බවට හැටීමෙන්ය. (ශක්ති සංස්ථිති නියමය.) එම නිසා එම ස්ථානයේ දී ද්රවය හෝ වාතය තුල ඇති පීඩනය අවම වේ. මෙය බ'නූල් සිද්ධාන්තය ලෙස හඳුන්වනු ලබයි. (ගුවන් යානා අහසේ පියාසර කරණ්නේත් මෙම සිද්ධාන්තයට අනුගත වීමෙන්ය.)
ඉහත දක්වා ඇති රූපයේ වෙන්චූරිය සවිකර ඇති නලය තුල Vacuum tube මෙම සිද්ධාන්තය කරණ කොට ගෙන රික්තයක් හට ගනී. මේ නිසාම රූපයේ පහල කොටසේ දක්වා ඇති ඉන්ජෙක්ටර පොම්පයේ පසු පස කොටස තුල ස්ථාපිත කොට ඇති ඩයප්රමය; දුන්න හකුළුවාගෙන දකුණු පස සිට වම් පසට ගමන් කරයි. (ඩයප්රමයක් යනු රබර් හෝ වේනත් එවන් සින්තටික් ද්රව්යයකින් සාදා ඇති පටලකි.)
ඒ සමගම එයට සම්බන්ධ කොට ඇති කන්ට්රොල් රැක් එක පසු පසට ගමන් කොට එන්ජිම වෙත සැපයෙන ඩීසල් ප්රමානය අවම කරයි.
ඇක්සලරේටරය පෑගීමේදී සිදුවන්නේ මෙම වෙන්චූරි නලය හරහා ගමන් කරණ වාත ප්රමානය පාලනය කිරීමෙන් ඩයප්රමය නියාමනය කිරීමය ය. ඩය ප්රමය සිදුරු වූ විට වෙන්චූරිය මගින් ඇති කරණ රික්තයට ඩයප්රමය අනුගත නොවීම නිසා දුන්න මගින් කොන්ට්රෝල් රැක් එක ඉදිරියට තල්ලු කරගෙන සිටීම නිසා එන්ජිමට උපරිම ඉන්ධන ලැබීමත් ඊට අදාලව එන්ජිම උපරිමයෙන් සැර වැටීමත් හේතුවේ.
9111 රථය මිළදී ගෙන නිවසට ගෙන ආවේ මහත්වූ වැර වැයමකිණි. මන්ද එහි එන්ජිම ඉතාමත් අකීකරු ලෙස සැරදමන්නට පටන් ගැනීමයි.
කෙසේ හෝ ගෙදරට ගෙනැවිත් පැයකින් පමණ; ඉඳිගහමුල ඩීසල් පොම්ප කඩේ ලාල් වෙතින් අළුත් ඩයප්රමයක් ඉන්ජෙක්ටර පොම්පයට සවිකරගෙන අවුල ලිහා ගත්තෙමි.
ඒකාලේ හැටියට එය රුපියල් 200 කටත් අඩු අළුත්වැඩියාවකි.
9111 වාහනයට පත්ලක් නොවීය. මුළු පතුලම දිරා පත්වී තිබුණු සේය.
ඊළඟට එම වාහනය මුළුමණින්ම ටින්කර කොට පින්තාරු කොට දවසක් වත් යන්නට මත්තෙන් ඊට ඔෆරයක් ලැබුනි.
ඒ නිසාන් පැට්රෝල් 160 යකිනි.
32 ශ්රී 0865!
අක්මීමන පොලිස් ස්ථානයේ භාවිතා කල මෙම රථය පොලිස් වෙන්දේසියේදී; පොලිස් ගරාජයේ ස්ථානාධිපති ගාමිණී ජයසුන්දර විසින් ලබා ගෙන තිබුනි. එහි එන්ජිම මුළුමණින්ම අළුත්වැඩියා කර තිබුණු අතර 9111 සමග හුවමාරු කලේ නිසානය එන්ජිම මුළුමණින්ම අළුත්වැඩියා කොට; ගරාජය තුල පදම් දිවුමේ තිබෙන අවධියේදීය. ඒ නිකම්ම නොව ගාමිණී අයියාගෙන් වාහනය සමග රුපියල් හැත්තෑපන්දහසක මුදලක්ද සමගිනි!
නිසාන් පැට් රෝල් ඔය කියන කාලේ විකුණුන හැටි හිතාගන්න පුළුවන්ද? ලක්ෂ එකහමාරට මිලදී ගත් ලෑන්ඩ්කෲසරය සමග නිසාන් පැට් රෝලය මාරු වූයේ අතට හැත්තෑපන්දහසක් සමගිනි!
මුල් කාලයේ නිසාන් පැට් රෝලයට මිනිසුන් බිය විය. ඒ එහි ඇති සිලින්ඩර 6 කින් සමන්විත ඝන සෙන්ටි මීටර 3300 ක ධාරිතාවයකින් යුත් SD33 එන්ජිම කරණ කොට ගෙනය.
BJ ෆෝටියට පැමිණියේ 2997CC B එන්ජිම, 3200CC 2B එන්ජිමය. SD33 එන්ජිම 2B එන්ජිම හා සංසන්දනය කරණ විට විශාල වන්නේ ඝන සෙන්ටි මීටර 100 ක් පමනක් උවද සිලින්ඩර හයේ එන්ජිමට පසු පස හැරුණි. මම එය මිලදී ගත්තේම සිලින්ඩර හය නිසාමය!
"පණ්ඩිතයින් පය ගහන්නට බිය ස්ථානවල මෝඩයින් පිණුම් ගසති!"
මේ එවන් අවස්ථාවකි.
නිසාන් පැට්රල් 160 රිය දිගු හා කොට එනම් Long Wheel Base සහ Short Wheel Base ලෙස නිපද වුනි. මින් පොලීසියට ලැබුනේ J160U... නමැති මොඩලයය! මෙහි පසුපස ෆයිබර් ආවරණය උස් වහලක් සහිතව නිපදවා තිබුනි!




























