අයියා ගැන මගේ මතකයට එන්නේ පාඩම් පොතක එන එක් "අයියා" නමැති කථාවක් සහ නවයුගය පත්තරේ පලවූ "දෙවියන්ගේ දානේ" නමැති කෙටි කථාවක් සමගින්.
මින් "අයියා" නමැති කෙටි කථාව කියැවෙන්නේ මල්ලී කෙනෙකු විසින්. අයියාගෙ ස්වාධීන ජීවිතය; තමාගේ කෙළිලොල් ජීවිතය සමග ගලපාගන්නට යන මල්ලී බොහෝ විට අයියා සමග ගැටේ. අවසානයේ එක් වෙසක් උත්සවයක් සඳහා අයියා විසින් සාදනු ලබන විශාල වෙසක් කූඩුව දැල්වීමට යද්දී මල්ලීගේ නොඉවසිලිමත් බව නිසා එය ගිනි ගනී. ඒ ගින්නට අයියාද අසුවී ඔහු රෝහල් ගත කෙරේ. අයියා මියයාවි යැයි බියෙන් මල්ලී අවසාන දිනයේ රෝහලට අයියාව බැලීමට යයි. තමා නිසා අයියා පත්වූ විපත කරණ කොට ගෙන මල්ලීට ඇඬුම් එයි. අයියා කටහඬ අවදි කරයි.
"අඬන්න එපා මල්ලී! අපි ඊළඟ වෙසක් එකට ලොකු කූඩුවක් හදමු!"
"දෙවියන්ගේ දානේ" ඊට හාත්පසින්ම වෙනස්ව වූ කෙටි කථාවකි. ඒ කථාවේ සැකිල්ලද මා පහතින් ලියා තබන්නම්.
මා කථා ද්විත්වයම කියැවූයේ වඩාත් කුඩා වයසක දීය. ඒ කථා කියවා අවසන් වූ අවස්ථා දෙකෙහිදීම මගේ සිත වඩාත් මෙළෙක්වී ගියේය; මාගේ අයියා මතක් වී. ඒ සෑම අවස්ථාවකදීම මගේ පුංචි හිතට වද දුන් ලොකුම ගැටළුව වූයේ; පෙර කී කථා වල "අයියාට ඊට පස්සේ මොකද උනේ?" යන්නය.
මමත් අයියාත් අතර අවුරුදු 8 ක හිඩසකි. සොහොයුරිය සිටින්නේ ඒ හිඩස තුල මට අවුරුදු 6ක් ඈතිනි. මේ නිසාම අයියාත් අක්කාත් කුළුපග මිතුරන් විය. අයියා පිළිබඳ මාගේ පලමු මතකය අළුත්ගම; ඉත්තෑපානේ මවගේ මහගෙදර තුල තැන්පත්වී ඇත. අම්මාගේ එකම මල්ලී වූ ලින්ටන් මාමාද ග්‍රේස් ලොකු අම්මාද ආච්චි අම්මා සහ සීයපප්පා සමග අයියා විසුවේය. එකල අපි සිටියේ දැරණියගල; පොල්ගස්වත්තේය. ඒ අපගේ පියාගේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිවස්නයකය. අයියා කුඩා අවධියේ සිට අවුරුදු 15ක් පමණ ජීවත්වූයේ ඉත්තෑපානේය. ඊට හේතු වූ කරුණ මතබේධයට තුඩුදේ. ඔහුගේ උපන් වේලාව දෙමව්පියනට කිසියම් අපලයක් ගෙන දෙන නිසා ඔහුව ලොකු අම්මා භාරයේ තැබුවා යැයි මා අසා ඇත!
මෙම ආරංචිය අයියා නොදැන සිටියා යැයි මා නොසිතමි. බොහෝ විට එය ලින්ටන් මාමා ගෙන් ඔහුගේ කණට යන්නට බොහො ඉඩක් තිබුනි. මේ නිසාමදෝ අයියා අපේ පවුලට දැඩි ලැදි කමක් දැක්වූ අයෙකු නොවීය. පසු කලෙක අප නුවරඑළියට සංක්‍රමණය වන විට ඔහු නුවරඑළිය ගාමිණී විදුහලටත් අවිස්සාවේල්ලේදී කළු අග්ගල ජෝන් බොස්කෝ විදුහලට යොමුවී තිබුනි. මේ 1972-73 වැනි ඈත කාලයක් විය. නුවරඑලියේදී ඔහු අපගේ පියාගේ දැඩි දණ්ඩනයට පාත්‍ර විය.
වරක් ඔහු ගෙදරින් පැන ගියේය. එකල පිරිමි ලමයින් එසේ ගෙදරින් පැන යාම මාස කිහිපයකට වරක් අසන්නට ලැබෙන සුලභ ආරංචියක් විය! ඔහු තවත් මිත්‍රයින් දෙදෙනෙකු සමග අවිස්සාවේල්ලෙන් පිටත්වී හපුතලේට ලඟා වී තිබුනු අතර හපුතලේ පොලිස් භාරයේ සිට ඔහුව ගෙදරට කැටිව ආවේය. තාත්තාවත් අම්මාවත් ඊට කිසිදු දඬුවමක් ඔහුට දුන් බවක් මාහට මතක නැත!
එක් කලෙක මාත් අක්කාත් සෙල්ලම් පාටියක් දැම්මෝය! ඒ යටියන්තොටදිය. අපගේ ඥාති මිත්‍රාදීන් විවිධ ආහාර පාන ලබා දී අපගේ සෙල්ලම් සාදය උත්කර්ශවත්ව තිබුනි. අපට එනම් මටත් අක්කාටත් ඊළඟ ගැටළුව වූයේ ආරාධිතයෙකු සොයා ගැනීමයි. ඒවන විට නිවස ඉදිරියේ සෙල්ලම් තුවක්කුවක් සාදමින් සිටි අයියා අපගේ සිව් නෙත ගැටුණි. අපි අයියාට ඉන්වයිට් කලෙමු. තවත් නිමේශයකින් ඉතිරි වූයේ පාටියේ හිස් භාජන සමූහයක් පමණි. අයියා සුපිරියටම සාදය "අලෙවි" කොට තිබුනි!
වරක් අප දෙදෙන කුඩා කල රෝද හතරක කරත්තයක් හදන්නට යාමේදී; අයියා අත තිබුනු අත් කියතට මාගේ කුඩා අතේ මහපොට ඇඟිල්ල කැපී ගිය හැටි මතකය. මාගේ අතින් ලේ ගලා ගිය අතර අයියා ඊට බෙහෙවින් බියට පත්විය. එසේම දිනක් මා අත වූ වීසි කැත්ත අයියාගේ ඇස් වටයේ වැදුනු අවස්ථාවේදීද ඔහු නිහඬව වේදනාව විඳ දරා ගත්තේය.
කලක් අප කළු අග්ගල නෙළුවත්තුඩුව ගමේ කුලී නිවසක විසුවෙමු. පැය 24 පුරා "ඔන් ඩියුටි" රැකියාවක් කල තාත්තා ගෙදර එන වෙලාවක් කියන්නට තාත්තාටවත් නුපුළුවන් විය. ඊට අමතරව මිත්‍ර සමාගම් සමග ගැවසී මධුවිතක් තොලගා තාත්තා සමහර දවසට එන්නේ යක්කු ගහෙන් බිමට බහින වේලාවටය. ඒ මොහොත වන තුරු අම්මා රාත්‍රී ආහාරය නොගෙන මග බලා සිටීම සාමාන්‍ය තත්වයකි. දිනක් තාත්තා එන තුරු අම්මා බලා සිටිනා විටෙක අයියාට බඩ ගිනි සෑදුනි. ඔහු අම්මාගෙන් බත් ඉල්ලූ මුත් අම්මා පැවසූයේ "කුස්සියෙන් බෙදා ගන්නා!" ලෙසය. එයට පිළිතුරු ලෙස අයියා ඊට නුරුස්සනා වදන් වැලක් කියාගෙන ගිය අතර අම්මා මුළු බත් මුට්ටියම බත් දීසියකට හිස් කොට සියළු මාළු පිණි එයට බෙදා අයියාට දුන්නාය. අයියාද ඇරියේ නැත! අප පස් දෙනෙකු වෙනුවෙන් ඉදුනු බත මුළුමණින්ම ඔහු කා දැමුවේය. එවිට ඔහුට වයස අවුරුදු 16 - 17ක් වන්නට ඇතැයි සිතමි!
ඔහු උසස් පෙළ සඳහා තෝරා ගත්තේ කෘෂිකර්මය විෂය ධාරාවයි. ඔහු ඒ සඳහා තෝරා ගත් පාසල වූයේ වැලිමඩ මධ්‍ය මහා විදුහලයි. කලක් විදුහලේ නේවාසිකාගාරයේ නැවතී සිටි ඔහු; තවත් නිවැසියන් පිරිසක් සමග ආහාර සඳහා හර්තාලයක් කිරීමේ මහිමෙන් ඉන් ඉවතට යෑමට සිදුවිය. ඉන් පසුව ඔහු වසරක පමණ කාලයක් ගතකලේ පිටස්තර ගෙවල් වලය! ඒ මාස දෙකෙන් දෙකට මෙනි! බෝඩිමක හොඳින් ආහාර පානාදිය ලැබෙන්නේ මුල් මාස දෙකෙහි පමණි!" ඒ ඔහුගේ නියමය විය!
වරක් ඔහු අපගේ මිතුරෙකු හට ලිපියක් ලිව්වේ ඔහුගේ නිවසේ සිට වැලිමඩ නගරයට බස් ගාස්තු පිළිබඳව විමසීමටය. ඒ වන විට සිටි බෝඩිමෙන් මිතුරාගේ නිවස අසල වෙනත් තැනකට යාමට පෙර; එහි සිට පාසලට ඒමට වැයවන මුදල දැනගෙන එය අපගේ නිවසින් ලබා ගැනීමටය. අයියාට බස් ගාස්තුවට වංගුවක් ගසා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා නියම මුදල දැන ගැනීමට අවශ්‍යතාවයෙන්පෙර ලිපිය ලියා තිබුනි. "මචං බස් ගාස්තුව ලියන කොට 'සීයා මැරුනේ ........' කියලා ඒවපං. බස් ගාස්තුව කියලා දාන්න එපා!" ඒ අයියා මිතුරාට දුන් අවසාන අවවාදයයි. අයියා ඒ වෙලාවෙම අලුත් බෝඩිම ගැන පවසා තාත්තාටද ලිපියක් ලියා වැලිමඩින් තැපැල් කොට තිබුනි. අපරාදේ කියන්නට බැරිය. කිරිගහට ඇන්නැහේ යාළුවාට ලියන ලද ලිපිය තාත්තා අතට දින දෙක තුනකින් පත්විය!
කාලය ගෙවී යද්දී ඔහු අපගේ ජාතික වීරයා වී තිබුනි. අළුත් චිත්‍රපටි, සටන් නළුවන්, යාන වාහන, ක්‍රීඩා, විනෝදාංශ ආදී මෙකී නොකී දහසකුත් දේවල් දකිණ කවුළුව වූයේ ඔහුය. එකළ නිවාඩු කාලවලදී අප තිදෙන බෙන්තොට ලොකු අම්මලාගේ නිවසේ නිවාඩුව ගත කිරීමට ගිය විට; ලොකු අම්මලාගේ පුතාත් දුවත් සමගින්; මැද සාලයේ අපි සියල්ලෝම පැදුරු දමා නිදා ගන්නා විට එක් කෙළවරක සිටින්නේ ඔහුය. ඒ ඔහු අපගේ පරම්පරාවේ වැඩිමහළු පුද්ගලයා වූ බැවිනි. දන්නා කාලයේ සිට ඔහුට මල පනින අවස්ථාව ඔහුටවත් සිතා ගැනීමට නොහැක!
සැම වෙලාවේම ඔහු ගිණි කන පණින්නට සූදානම්ව සිටි අයෙකි. පවුලේ ඥාතීන් පමනක් නොව අපගේ පියා පවා ඊට හේතුව ලෙස ගෙන දැක්වූයේ ඔහුගේ නමේ ඇති වරදය! එනම් ඔහුගේ නම සනත් ගාමිණී වූ අතර එකල අප සියල්ලන්ගේම නම් ලියැවුනේ මුලකුරු සමගිනි. ඊට අදාලව ඔහුගේ නම S. G. වූ අතර එය බෝර දොලහේ තුවක්කු වලට යොදන භයානක උන්ඩ විශේෂයක් හැඳින්වීම සඳහා දැක්වූ නාමයය!
අපගේ නිවසේ දෙමව්පියන් ඇතුළුව සාමාජික සාමාජිකාවන් පස් දෙනෙකි. මා දන්නා කාලයේ සිට අපගේ නිවසේ සුවිශෙෂී රාත්‍රීන් වලදී බෝඩ් ක්‍රීඩා පැවැත්වුනි. බෝඩ් ක්‍රීඩා කීවාට ඒ අනෙකක් නොව පංච දැමීම හා ලූඩෝ ක්‍රීඩාවය. මෙහිදී එම බෝඩ් ඇන්දේද අපගේ අයියා විසිනි. ඒවා බොහෝ විඅට සෑම මසකම පාහේ අළුත් වේ! ඊට හේතුව මෙය කියවාගෙන යන විට ලියැවෙනු ඇත! ඔහු අඳින ලද පංච පෙතක් බොහෝ කලක් යන තුරු අපගේ නිවසේ තිබුනි. එය ඇඳ තිබුනේ ෆයිල් කවරයක ඇතුළු පසය! මෙම ක්‍රීඩා දෙකම නිර්මාණය කොට ඇත්තේ ඉරට්ටේ සංඛ්‍යාවකට ක්‍රීඩා කල හැකිවන පරිද්දෙනි. ඒ නිසාම අපගේ නිවසේ වැසියන් දෙපිළකට බෙදුනේ අප පස් දෙනාට අමතරව "හුංගෙකු" ඇතුළු කර ගැනීමෙනි. "හුංගා" යනු අවකාශයේ සිටිනා චරිතයකි. ඔහු වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එම පිළේ ඌනෑම අයෙකු හට අවස්ථාවක් ලැබේ. බොහෝ ක්‍රීඩා අවස්ථාවලදී තාත්තාත් අක්කාත් එක් පිළකටත් අම්මාත් අයියාත් තවත් පිළකටත් බෙදේ. මමත් හුංගාත් සිල්ලරට බෙදී යයි. මෙම ක්‍රීඩා බොහෝ අවස්ථාවල කෙළවර වන්නේ අයියා මා සමග හෝ අක්කා සමග ගිණි කන පැනීමෙනි! ඒ සමග ඔහු ලුඩෝ බෝඩ් එක හෝ පංච පෙත ඉරා දමයි! කිරීඩාව එතැනින් සමාප්ත වේ! මෙහි ඇති අති භායනකම ක්‍රියාව පටන් ගන්නේ ඉන් අනතුරුවය. ඒ අම්මාගේ විධානයට අනුව මමත් අක්කාත් අයියාගේ කකුල් දෙක අල්ලා වැඳ සමාව ගැනීමෙනි. මෙහිදී වරද කාගේද යන කාරණයට වඩා අම්මා සොයා බලන්නේ අයියාගේ සීනියෝරිටිය ය! මීට ප්‍රධාන හේතුව ලෙස මා දකින කාරණා දෙකකි. ඉන් එකක් වන්නේ අයියාද අම්මාද එක පිළක වීමය! අනෙක දකුණේ ගැහැණියක වූ අම්මා "වරද" යන කාරණයට වඩා "තමන්ගේ" සහ "වැඩිහිටි" යන සංකල්පයට වැඩි බරක් තබන නිසාය! මෙය දකුණේ මිනිසුන් අතර දක්නට ලැබෙන ගුණාංගයකි. මේ රටේ අප අද දින අත් දකින බොහෝ දුක් ගැහැට වලට එක් හේතුවක් වන්නේද මෙම දකුණේ ගතිය ලෙස මා දකිමි!
මිනිසෙකු; තම ළමා කාලය තුල කණ්ඩායම් ක්‍රීඩාවක නිරත විය යුතුය! ඒ ඉවසීම, කණ්ඩායම් හැඟීම වැනි බොහෝ කාරණා ඉගෙන ගන්නේ ඒවා තුලිනි. මෙවන් කිසිදු ක්‍රියාකාරකමක් නොකල අය තුලද එවන් ගුණාංග තිබිය හැකි නොවේදැයි ඔබ මා සමග සංවාදයකට එළඹෙනු ඇත! සත්තකින්ම එය එසේ විය හැකිය. එහෙත් මා පවසන්නේ උණුවතුර බීමට පුරුදු වීම වැනි කාරණයකි. එනම් එම ජලයේ විශබීජ තිබුනද නැතිවද කම් නැත! වතුර උණු කොට බීමෙන් හානියක් සිදු නොවේ! මේ නිසාම ඔහුගේ ජීවිතයේ අවසාන කාලය දක්වාම එම නොඉවසිලිමත් භාවය මා දුටුවෙමි.
පෙර සඳහන් කල පරිදි පවුලේ සාමාජිකයින් ගනන ඔත්තේ වූ හෙයින්ම කිසියම් දෙයක් බෙදා හදා ගැනීමට ගිය විට ඇතිවන්නේ තරමක ගැටළුකාරී තත්වයකි. පසැඟිල්ලන්, කාමරංගා වැනි පහෙන් බෙදෙන දේවල් අපට ලැබුනේ නැති තරම්ය! අඹ ආදී පලතුරක් ලැබුනු විට එය පහට බෙදීම සිදුවූයේ අයියා අතිනි. ඒ දෙපැත්ත හතරට කපා කොටස් හතරක් ලෙසද ඇටය හා ඒ ආශ්‍රිත කොටස තවත් අයෙකුට ලෙසය. අයියා අඹ ආදිය කැපීමේ රුසියෙකුවූවා සේම ඇටය ගැනීමට අකමැත්තක් තිබුනේ නැත! කිසිවෙකු උනන්දු නොවන ඇටයට ඔහු ලොභ බඳින්නේ ඔහු අඹ ගෙඩිය කපනා අවස්ථාවලදීය! ඇටය වඩාත් පෝෂණය කිරීම කපන්නාගේ අතේ හුරුව මත ඇති කටයුත්තක් බව තේරුම් ගන්නා විට බොහෝ කල් ගතවී ගොස් තිබුනි!
උසස් පෙල විභාගය දෙවරක් උත්සාහ කල මුත් ඔහුට සරසවි යාමට නොහැකිවිය. තවත් බොහෝ කළක් ඔහු රැකියාවක් නොමැතිව නිවසේ රැඳී සිට පසුව මාගේ පියා සේම වන සංරක්ෂන දෙපාර්ත මේන්තුවට සහ සම්බන්ධ විය. මා දන්නා පරිදි ඔහු දැන උගත් නිළධාරියෙකු විය. උසස් පෙළ උද්භිද විද්‍යාව සඳහා සම්මාන සාමාර්තයක් ඇතිව සිටි එකම ආධුනිකයා ලෙස ඔහු ත්‍රිකුණාමලයේ වන විදුහලට ඇතුලත් විය. ඔහු ප්‍රිය මනාප පුද්ගලයෙකු වුවද ජනප්‍රිය පුද්ගලයෙකු නොවීය. ඔහු කිසිදු දිනෙක මධුවිත පානය නොකලේය. දුම්වැටි භාවිතාවක් නොවීය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොබොන එකෙක් යනු නියුඩ් කෑම්ප් එකකට ටයිකෝට් ඇඳන් ගිය එකෙකු වාගේය! එයද ඔහු ජනප්‍රිය චරිතයක් නොවීමට හේතුවක් වන්නට ඇත. එහි වඩාත්ම අන්තගාමී භාවය වූයේ ඔහු එවන් ස්ථානවලද නොරැඳීම හා එවන් අයගෙන් පවා ඈත්වීමය!
මේ සියල්ල මෙසේ සිදුවෙමින් ඔහු ජීවිතය ඉදිරියට ගෙන ගියේ සෑම සියළු කටයුත්තක්ම අභියෝගයක් කරගනිමිනි. ඔහු රැකියාවට අමතරව නොකලේ නයි නැටවීම, මිරිස් ගල් කෙටීම හා කැලේ කැපීම පමණකි. කුඹුරු බදුගෙන වැව්වේය. මිරිස් වැව්වේය. මී රා මැද්දුවේය. ගඩොල් කැප්පුවේය. වී මැන්නේය. .............! තවත් බොහෝ දෑය! ඒ සියල්ලම කලත් ඔහුගේ දිවියට එළියක් වැටුනේ ප්‍රියන්ති අක්කා මුණ ගැසීමත් සමගය.
ප්‍රියන්ති අක්කා එකල සේවය කලේ පොළොන්නරුව හෝ කදුරුවෙල ලංකා බැංකුවේය. අපගේ ලින්ටන් මාමා පදිංචි වූයේ ජයන්තිපුරය. මේ නිසාම ලින්ටන් මාමාගේ හා ඔහුගේ බිරිඳ වූ ලලණි ඇංටීගේ මදිහත්වීමෙන් ප්‍රියන්ති අක්කාත් අපේ අයියාත් මුණ ගැසුනෝය. එය දෙදෙනාගේ විවාහය දක්වාම ඇදී ගියේය. ඇය එකකුස උපන් සහෝදරියක්සේ වඩා අපට; හැකි උපරිමයෙන්ම බෙහෙවින් ලෙංගතු විය.
අයියාට දරුවන් දෙදෙනෙකි. ඉන් එක් අයෙක් මා සමග තල් අරණටත් පොළොන්නරුවටත් සයිකල් පැද ගිය මධුෂාන්ය. අනෙකා ඇගේ සොයුරිය වූ මධුෂානි හෙවත් ස්වීට්ය! දරුවන් ලැබීමෙන් පසු ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ගෙවී ගියේ ඔවුන්ගේ අධ්‍යාපනය හා අභිවුර්ධිය වෙනුවෙන්ය. ඔහු කෙරෙන් ඈත්වී ගිය උසස් අධ්‍යාපනය තම දරුවන් වෙත ලබා දීමට ඔහු හැම උත්සාහයක්ම හැම අවස්ථාවේදීම ගත්තේය. ඔහුට පළමුවෙන්ම අවශ්‍ය වූයේ පොළොන්නරුවේ සිටි ඔහුගේ දරුවනට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමටය. ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක්වූ ප්‍රියන්ති අක්කාගේ මව ඔවුන් හා විසීම අයියාගේ සිහිනයට අත්තටු සැපයීය. දරුවන් බහ තෝරණ වයසේ සිට නිවසට පැමිණෙන අමුත්තන් ඔහු පෙරා ගත්තේය. දරුවන් බොහෝ විට ජීවත්වූයේ ඉංග්‍රීසි ලෝකයක් තුලය. මේ නිසාම ඔහුගේ දරුවන් ඉතා කුඩා කාලයේ සිට ජාත්‍යන්තර භාෂාව හොඳින් හසුරුවන්නට පටන් ගත්තේය. ඊට අමතරව ඔහු දරුවන් වැල්ලවත්තේ කොතලාවල පටුමගේ එලකියුෂන් පංති ගෙනාවේය. ඒ කාලයේ ඔහු රැකියාව කලේ අම්බලන්තොට වූ අතර සති අන්තයේ පිටත්ව පොළොන්නරුවට පැමිණ දරුවන් පොළොන්නරුවේ සිට කොළඹට පැමිණ හවස් වරුවේ දරුවන්ව පොළොන්නරුවට ඇරලවා නැවත සේවා ස්ථානයට යයි. මේ කැපවීම මධුෂාන් මොරටුව විශ්ව විද්‍යාලයට යන තෙක්ම අකණ්ඩව නොවෙනස්ව පැවතුනි!
කිසියම් කාර්‍යයක් ඉටු කිරීමේදි ඔහුට තිබුණු වීර්‍යය පිළිබඳව ලියන්නට අකුරු නැත. ජීවිතයේ සියළු අරමුණු ඒකාග්‍ර කරමින් තම ඒකායන ප්‍රාර්ථනය මුදුන්පත් කර ගැනීමට ඔහු කටයුතු කිරීමට හේ කවදත් වෙහෙසේ. ගමනට රැයක් දවාලක් නැත. තම දරුවන්ගේ හා පවුලේ කටයුතු ඉටු කිරීමේදී කිසිදු වෙහෙසක් මහන්සියක් ඔහුට නොදැනේ. කොටින්ම ඔහුගේ පවුලේ; තිර පිටපත, අධ්‍යක්ෂණය, සංගීතය, සටන් පුහුණුව සියල්ල ඔහුගේය. ප්‍රියන්ති අක්කා නිශ්පාදනයෙන් සහය වූ අතර ඔහු හැර සියළු සාමාජිකයින් ඔහුගේ ප්‍රධාන චරිතයට අනිකූලව රඟපාන සහයක නළු නිළියෝ වූහ!
මාගේ පුතු වසික පාසල් සමයෙදීම හෝ ඉන් පිටවූ නුදුරේදීම මත්පැන් බොනු ඇතැයි මා තුල සැකයක් පැවතුනි. බොහෝ විට එය පාසැල් මහා තරඟයේදී වීමට වැඩි ඉඩකඩක් තිබිය හැකි බැවින් ඔහු කරදඬු උස් වූ පසු එවන් දිනයකදී ඔහු මගහැර; එනම් නිවස මග හැර මා ඇතුළු පවුලේ සෙසු සාමාජිකයින් එදිනට ඔහුට නිවස පවරා යා යුතුයැයි මා එකල සිතා සිටියේය! ඒ එදිනට නිවසට පැමිණ ඔහුට රිසි සේ නිවසේ නිදහසේ සිට පසුවන දින අප නිවසට පැමිණෙන විට ප්‍රකුර්ථියෙන් සිටීමට අවශ්‍ය ඉඩ කඩ සලසා දීමේ අදහසිනි. මන්ද එවිට ඔහු හෝ අප කිසිවෙකු අපහසුතාවයට පත්නොවීම හා රාත්‍රිය වෙනයම් අනාරක්ෂිත ස්ථානයක ගත නොකොට නිවසේ සිටීමට ඔහුට හැකිවීම පිණිසය. මෙම අදහස සිතට ආ ඒ කාලයේ මා දිනක් අයියාගෙන් පැනයක් විමසීය.
"කවදා හරි දවසක ඔයාගේ පුතා අරක්කු ටිකක් බීලා ගෙදර ආවොත් ඔයා මොකද කරණ්නේ?" ඔහුගෙ දරුවා මාගේ දරුවාට වඩා වසර දහයකින් පමණ වැඩි මහළු බැවින් මා එසේ ඇසීය. ඔහු ටික වේලාවක් අහස පොලොව ගැටලන්න සේ ඔබ මොබ බලමින් සිට පිළිතුරු දුන්නේය.
"මගේ පුතා කවදාවත්ම එහෙම කරණ්ණේ නෑ!" එම පිළිතුර හා ඔහු එවන් ගැටළුවකට ප්‍රවිශ්ඨ වූ ආකාරය පිළිබඳව මා හට විවිධ මත පැවතියද මධුෂාන් අදටත් මධුවිතෙන් ඈත්වී සිටියි.
මා මගේ දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට වඩා ඔවුන්ගේ විෂය භාහිර ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කල අතර ඔහු දරුවන්ව අධ්‍යාපන පීල්ලේම ඉදිරියට ඇදගෙන ගියේය.
ඔහුගේ "චන්ද්‍රිකා" පවුල හා ඒ සමග සංකේන්ද්‍රණය වූ ජීවන රටාව නිසාම ඔහුට පෞද්ගලික ජීවිතයක් හෝ විනෝදාංශයක් නොතිබූ තරම්ය. සතියේ ඉරිදා පුවත් පත් කියැවීම හැරුණු කොට ගෙන ඔහු තම මනස පිනැවීමට යමක් කලා දැයි මා හට මතකය නොමැත.
ඉලන්දාරි වයසේදී බෙහෙවින් චිත්‍රපට බැලීමට හේ මහත් අභිරුචියක් දැක්වුවද පසුව එයද ඔහුගෙන් අත්හැරී ගිය සේයාවකි. සමහර විට පසු කලෙක ඔහු චිත්‍රපටයක් නැරඹුවද ඒ සිය පවුල සමග කල කටයුත්තක් වන්නට ඇත. (බොහෝ විට මේ කරුණ නිසාම සම්භාව්‍ය හෝ කලාත්මක සිනමාව ඔහු කෙරෙන් ඈත්වන්නට ඇත!)
ඔහු ශ්‍රී ලංකා වන විදුහලට ගිය අලුත ගීතයක් ගායනා කිරීමට උගෙන තිබුනි. ඒ ටී එම් ජයරත්නගේ "කුරහන් යායේ - සඳ උතුරාගෙන - සිතට දුකක් ගලනා මොහොතේ . . " ගීතයයි. එකල ඔහු අවස්ථා කිහිපයකදී මෙම ගීතය ගායනා කරණු මා අසා ඇති අතර ඉන් පසු කවර කලෙකවත් ඔහු ගීතයක් ගායනා කරණු තබා ගීතයක් රස විඳිනු මා දැක නැත. ඔහු මිලදී ගත් පලමු මෝටර් රථයට ෆියට් 1100 රථ්යට ෆිලිප්ස් කැසට් රෙකෝඩරයක් සවිකල බව හා එහි කැසට් වාදනය වූ බව යාන්තමින් මට මතකය.
ප්‍රියන්ති අක්කා; අයියාව බඳින්නට පෙර දක්ෂ කිවිඳියකි. එසේම ඇගේ මව හිටිවන කවි මඩු වල පවා කවි ගායනා කොට ඇති බව මා අසා ඇත. ප්‍රියන්ති අක්කාත් අයියාත් කසාද බැඳ නුදුරේ ඇය විසින් අපගේ අම්මාට කවියෙන් පබදන ලද ලිපියක් එව්වා මට මතකය. එහි ලියා තිබුනු සමහර පැදි කොටස් තවමත් මාහට යාන්තමින් මතකය.
කවි දහයකින් දොළහකින් පමණ සමන්විත වූ එම කවි පන්තිය අරඹා තිබුනේ "නිල පැරකුම් සයුර . . . " යනාදී වශයෙනි. පොළොන්නරුවේ පිහිටි බැංකු කාර්‍යාලයේ සිට ලියන බව ඇය ලිවීම අරඹා තිබුනේ එසේය. එකල අපගේ තාත්තා සේවය කලේ තනමල්විල විය යුතුය. තාත්තා නිවසට පැමිණෙන්නේ සති අන්තයේ හෝ සති දෙක කට වරක්ය. එක් කවියක අවසන් පේලිය වූයේ "සති අන්තයේ තාත්ති විත් යන්න ඇතී . . " යනුවෙනි. කවි පන්තිය අවසාන කොට තිබුනේ "ලේලිය නොවේ අම්මේ මා ඔබෙ දියණී . . " ලෙසිනි. මේ සියල්ල වසර හතලිහක පමණ මතකයන් ය! එහෙත් අයියා සමග විවාහ වීම සමගම ඇය තුල සිටි කිවිඳිය ඇයට ගිලිහී ගියේ ඉතාමත් අකාරුණිකවය. සමහර විටෙක "කවි පබැදීම" යනු "සිල්ලර" වැඩක් යැයි අයියා සිතා කටයුතු කිරීම හෝ එය අගරු වී යන තැන්කට ඉඩ හැඊම ඊට හේතු වන්නට ඇතැයි මා සිතමි. සේකර ගේ එක් කවියක "කවි ලිවීම" පිළිබඳව පොදු මහජන මතය පිළිබඳව ලියා ඇත්තේ එය "නොහොඹිනා" වැඩක් ලෙසට බව මට මේ මොහොතේ මතක් වේ.
ප්‍රියන්ති අක්කා තුල සිටි කිවිඳිය වෙනුවට තම පවුල ඉදිරියට පෙරළාගෙන යන තම සැමියාට දිරිය දුන් දිරිය කතක් බවට කාලය විසින් ඇයව පත්කොට තිබුනි. ඒ කිසිවකින් ඇය පීඩාවට හෝ කලකිරීමකට, කණගාටුවකට පත්වූ බවක් ඇය කෙරෙන් මා දැක නැත! ඒ වෙනුවට නිරන්තරයෙන් තම සැමියාගේ අප්‍රතිහත් ධෛර්‍යය හා පවුල වෙනුවෙන් වූ කැපවීම ගායනා කිරීම කරගෙන යනු ලැබීය. මා දුටු පරිදි ප්‍රියන්ති අක්කා ඉතා ප්‍රියමනාප හා සමාජශීලී කාන්තාවකි. අයියාගේ දැඩි පාලනය හමුවේ තම සමාජශීලී බව ඇය විසින්ම හකුලා ගන්නට ඇත. මා බෙහෙවින් විශ්වාස කරණ සත්‍යයක් මෙහිදී ඉස්මතුවේ. එයද මා දුටුවේ කාන්තාවකගේ ලිවීමක් තුලමය. "ලාංකික පිරිමියා වඩත් ඇලුම් කරණ්නේත් ආකර්ශණය වන්නේත් කැපී පෙනෙන කාන්තා චරිත වලටය. එහෙත් විවහ කර ගත්තාට පසුව ඇය ගතානුගතික ගැහැනියක් විය යුතුය!" සමහර විටෙක ප්‍රියන්ති අක්කා අයියාට පෙම් කවි ලියන්නට ඇති. ඒවා අයියා විසින් අගයන්නටත් ඇත. එහෙත් ඇය බිරිඳ වූවාට පසු එයට එතරම් උත්කර්ෂයක් නොවන්නට ඇත!
කාලය විසින් අයියා තරග දුවන්නෙකු බවට පත්කොට තිබුනි. ඔහු තමා අවට සිටි සැවොම තමාගේ තරග කරුවන් කරගත් සේයාවක් මා දුටුවේය. ඔහු ස්වකීය විය හියදම් අකුරටම ශතයටම ගණන් හැදුවේය. ඒ ගණන් බැලීම් ඉක්බිතිව හැකි හැම ශතයක්ම ඉතිරිකලේය. ඔහුට ලැබෙන රුපියල් නවසීයට තවත් සීයක් එක් කොට ඝන පූර්ණයට පත් කොට බැංකුවේ ස්ථාවර තැන්පතුවකට යට කිරීමට ඔහු සැබෑ දක්ෂයෙකි. එහෙත් ඔහු ලෝභයෙකුද නොවීය.
මේ සියල්ල අතරදීම වරක් ඔහුගේ රැකියාව නැතිවිය. රැකියාව නැති වුවද ඔහුට "වැඩ" නැති නොවීය. දුවා දරුවන්ගේ වැඩ, නිවසේ වැඩ, කඩවතින් මිළදී ගත් නිවසේ අලුත් වැඩියා සිදුකිරීම් ආදී අටෝරාසියක් වැඩ ඔහු තම කර මතට ගෙන තිබුනි. මේ සෑම කටයුත්තකදීම ඔහුගේ දැඩි කැපවීම හා නොපසුබස්නා බව දර්ශණය විය.
මධුෂාන්ගේත් මධුෂානිගේත් ආවාහ විවාහ ඉතාමත් විචිත්‍රව පැවැත්වුනි. දරුවනට ඉඩ කඩම් යාන වාහන දායාද සේ ලැබුනි. එම උත්සව දෙකෙදීම; පවුල වෙනුවෙන් මංගල සභාව ඇමතීමට මට අවස්ථාව ලැබුනි. එම අවස්ථා දෙකේදීම මා පියවරු දෙදෙනෙක් පිළිබඳව මෙනෙහි කලෙමි. ඒ මාගේ මාමණ්ඩිය හා මාගේ අයියාය. ඔවුන් දෙදෙන තරම් ස්වකීය දරුවන් වෙනුවෙන් කැපවූ පියවරුන් මා කිසි කලෙක සාමාන්‍ය සමාජය තුල දැක නැත.
මධුෂාන්ගේ විවාහයේදී නව යුවල ඉදිරියේ අයියා ඉකිබිඳ ඇඬූ අයුරු මාහට කිසිදු දිනෙක අමතක නොවනු ඇත. හේ ලේන්සුවකින් මුහුණ වසාගෙන ඇඬුවේය. ඒ ඇඬුවේ දුකටද නො එසේනම් සතුටටටද එසේත් නැතිනම් ස්වකීය පුත්‍රයා මෙම ස්ථානයට ගෙන ඒමට හේ කල කී දෑ මතක් වීමෙන්දැයි මාහට සිතා ගත නොහැක.
වසර ගනනාවකට පසුව අයියාට නැවත රැකියාව හිමිවිය. ඔහු ගේ නව රැකියා ස්ථානය වූයේ වව්නියාවය. රැකියාව තුල ඉතාමත් නීති ගරුක හා විනය ගරුක සේවකයෙකුවූ ඔහුව වන සංරක්ෂණ දෙපාරතමේන්තුවට බරක් විය. පසුව ඔහුව එම සේවා ස්ථානයෙන් ඉවත් කොට විශ්‍රාම ගන්නා තුරු වව්නියාව අඩවි වන කාර්‍යාලයේ පුටුවක හිඳුවා තැබීමට ඔවුන් කටයුතු කලෝය.
විශ්‍රාම යෑමට ඉතා ආසන්න කාලයකදී; කාර්‍යාලයේදී; අයියා රෝගාතුරවී වව්නියාව රෝහලට ඇතුළු කර තිබුනි. මා ඔහුව බැලීමට වව්නියාවට ගිය අතර ඔහුගේ කතාවේ කිසියම් වෙනස් බවක් මාහට දැනුනි. තවත් ස්වල්ප කාලයකදී අයියා විශ්‍රාම ගියේය. ඔහුගේ රැකියාවේ අවසන් දිනයදා අයියාට උළුඳු වඩයක් සමග ප්ලේන්ටියක් වත් ලබා දීමට කාර්යාලයේ ඇත්තන්හට උවමනාවක් තිබී නැත. මීට කලකට පෙර මවිසින් ලියන ලද
"193. සමුගැනිමේ සාද . . . . !" නම් බ්ලොග් පෝස්ටුවේ අයියාගේ රැකියා ස්ථානයේ අවසන් දිනය පිළිබඳව ලියා ඇත.
ඉන් ඉක්බිතිව ගෙවී ගිය සෑම දිනයකදීම අයියා වඩ වඩාත් රෝගී බවට පත්විය. මධුෂාන් - ස්වකීය පුත්‍රයා හා දියණිය ඔහුගේ නිරෝගී බව වෙනුවෙන් නොකල දෙයක් නොගිය තැනක් නොමැත. අයිය දිනෙන් දින ඔත්පලවිය. කථා කිරීමට නොහැකිවිය. කෑමට බීමට බැරි විය කොටින්ම ඔහුගේ මස්තිෂ්කය අකර්මන්‍යවී ඇඳටම සීමා විය. එම කාලය තුල ප්‍රියන්ති අක්කා අයියාව ඉතාමත් ආදරයෙන් බලා කියා ගත්තාය.
මා දුටු සෑම මොහොතකම ඔහු අභිනවයෙන් තමාට කථා කිරීමට බැරි බව කියමින් ඇඬුවේය. ඒ නිසාම මා හැකි පමණ ඔහුව මග අරින්නට විය. ඔහුගේ ඇඬීම මා හට දරා ගත හැකි දෙයක් නොවුනි. ඔහුව තව දුරටත් ජීවත් කරවිය හෝ සුව කිරීමට නොහැකි බව මාහට දැනුම් තේරුම් ගිය දිනේ සිට; මා ඔහුට සුවදායික ඉක්මන් මරණයක් ප්‍රාර්ථනා කලෙමි. ඒ ඔහු දුක් විඳීම දකින්නට බැරිවාටත් වඩා ජීවිතයේ බොහෝ දුක්ක්ඛ දෝමනස්සයන්හටත් කටුකත්වයටත් මුහුණ දී තිබුනු ප්‍රියන්ති අක්කා හව දුරටත් අයියා මත්තේ වෙහෙසීමෙන් ඇයද රෝගී වේ යැයි තිබූ බය නිසා මය.
ලිපිය ආරම්භයේ මා පැවසූ "දෙවියන්ගේ දානේ" කථාවේ සැකස්ම මා මෙතැන ලියන්නම් පොරොන්දු උනා සේම. කුඩා අයියා දැඩි සේ රෝගාතුර වේ. දරුවන් කිහිප දෙනෙකු සහිත දැඩි දුෂ්කරතාවයකින් පෙළෙන එම මවට කිසිවක් කර කියා ගත නොහැකිව දුක්ඛිතව පසුවේ. කුඩා දරුවන් හාමතේය. කුඩා දරුවා අම්මාට කොඳුරයි.
"අම්මේ අයියා මැරෙයිද?"
"ඇයි පුතේ . . ?"
"නෑ එතකොට අපිට පල්ලියෙන් දෙයියන්ගෙ දානේ ලැබෙයිනේ . . !?"
එම කෙටි කථාවේ හරය විය.
අයියාගේ පවුලේ සියළු දෙන පැය 24 පුරාවටම වෙහෙසුනු මුත් කිසිවකින් ඔහුගේ ගමන නවතා ලීමට කිසිවෙකුටත් නොහැකිවිය.
මීට මාස ගනනාවකට පෙර ඔහු; රාගම රෝහලෙදී අප අතරින් වෙන්ව ගියේය. මාගේ මතකය නිවැරදිනම් ලියෝ ටෝල්ස්ටෝයිගේ "මිනිසාට ඉඩම් කොපමණ උවමාණාද?' කෙටිකතාවේ අසරුවා සේ මාගේ ආදරණීය අයියා මුළු දිවිය පුරාවටම වේගයෙන් අසරුවා පැදවූවේය. ඔහු කාලය අභිබවා වේගවත් විය. එහෙත් ජීවිතය අවසන් වූයේ ජීවිත කාලයට පෙරය. එහිදී මරණය; ඔහුගේ ජීවිතය පසුකර දිව ගියේය.
දුම් පානය නොකල, මත්පැන් කටේ නොතැබූ, සීනි කොලෙස්ට්‍රෝල් තබා ඉහෙන් බහින රෝගයක් නොතිබූ ඔහු වයස අවුරුදු 63 දී මියගියේය. ඔහුගේ ජීවිතය අපට අපූරු පාඩමක් කියා දේ! එය මෙසේ ලිවීමට නොහැක. මන්ද තම තමාට ගැලපෙන තැනින් තම තමන්හට ගලපා ගත හැකි කොටස් ඔහුගේ ජීවිතයේ වූ බැවිනි.
"අයියේ! මම ඔයාට කියන්නට තිබූ බොහෝ දේ කියන්නට බැරි උනා ඔයාගේ දැඩි අදහස්, අධිෂ්ඨානය, හඹායෑම ඉදිරියේ. මම සමහර අවස්ථාවලදී ඒ ගැන පැවසූවද මගේ වචන ඔයාට තේරුම් ගැනීමට බැරි උනා. එදා සන්ධ්‍යාවේ අපෙන් සදහටම වෙන්වී යන මොහොතේ ඔයාගේ "තාත්තා" භූමිකාව ගැන මම කියන්නට හිතාගෙන හිටියත් එය සංවිධානය කල අයට මාව අමතක වන්නට ඇති. ඒත් හිතේ මහා දුකක් නම් නෑ. මොකද; ඔයා ජීවත්ව ඉඳිද්දීම හතර වරිගය ඉදිරියේ මා දෙවරක්ම ඔයා ගැන වීරාභවන්දනයෙන් යුතුව කතා කොට ඇත. සත්තකින්ම ඔයා වීරයෙක්. ඒත් මැරෙණ්න තිබුනෙ මෙහෙම නෙවෙයි!"
ඔබගේ පෞද්ගලික අත්දැකීමක් අකුරු කර ඇති බැවින් සහ එය මට අදාළ නොවන බැවින් වැඩිපුර කිසිවක් නොලියමි.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි රසික. අපි අතරේ මහා විශාල සබඳතාවයක් නොතිබුනත් ලේ බැඳීම තිබුනා. එයා අද්විතීය චරිතයක්!
ReplyDeleteමේ රටවල්වල කෙරෙන වයසට ගරුකිරීම කොහෙත්ම තර්කානුකූල හෝ ප්‍රායෝගික එකක් නෙමෙයි. වයසට යන එක කොහොමත් වෙනව, ඒක දක්ෂතාවක්වත් achievement එකක්වත් නෙමෙයි. අත්දැකීම් සහ දැනුම (තියනව නම්) අගයකරන්න පුලුවන්. වයස නෙමෙයි.
ReplyDeleteඔව් ප්‍රාජේ ඒක තමයි විය යුතුව තිබුනේ.මාගේ මවත් තැපැල් ස්ථානාධිපති වරියක්. ඇයටත් කිසියම් පරිචයක් තිබුනු කෙනෙක්. එහෙත් ඇයගේ ඇතුළු සිත ඒ සියල්ල යටපත් කරමින් නැගී සිටින්නට ඇති.
Deleteඅපි දන්නෙ නැති ගොඩක් දේවලුත් කියවන්න හම්බුනා..හරිම ලස්සනට අකුරු කරල තියෙනව! ඔව් ඔහු වීරයෙක්!!! තාත්තී වගේම ඔබත් "සුපර් හීරෝ" කෙනෙක්... ආදරෙයි බාප්පී❤️
ReplyDeleteස්තූතියි පුතා!
Deleteහේ වචනයෙහි පරිසමාප්තාර්ථයෙන්ම අයියා නම් විය.........
ReplyDelete-වීරසිරි බන්ඩාර-
සත්තකින්ම!
Deleteඅවසන් මොහොතේ තාත්තා භූමිකාව ගැන කියන්නට නොලැබීම සංවිධායකයන් ගේ අමතක වීමක් නොවේයැයි සිතමි.ආදාහනාගාරයට දේහය රැගෙන යායුතු වේලාව ඉක්මවා යමින් තිබූ බැවින් ඉතාමත් කඩිමුඩියේ අවමංගල සභාවේ කටයුතු අවසන් කළ යුතුව තිබූ බැවින් එසේ කිරීමට සිදුව තිබුණි .කෙසේවෙතත් ඒ අවස්තාව ඔබට අහිමිවීම ගැන දුක්වෙමි.ඔබගේ අයියා ගැන තබා ඇති සටහන ඉතාමත් අගය කොට සළකමි.
ReplyDeleteසිරි අයියා.
Deleteමාගේ සටහන කියෙව්වාට ස්තූතියි සිරි අයියා!
Deleteඅමතක වීම හෝ වේලාව නොමැති වීම පිළිබඳව මා කතා කිරීමෙන් වළකිමි. කොහොමත් ඔබ යෝජනාකොට ඇති ආකාරයට සිතන්නට පෙළඹීම වඩාත් යහපත්ය සුන්දරය. මේ රටට මේ තරම් කෙළවීමක් වෙලා ඇත්තේ "අපේ කරුමෙට" කියා සිතා සැනසෙන අපට ඒක අලුත් දෙයක් වන්නේ නෑ!
අපූරු ලියවිල්ල. මට මතක් උනා උබ අයියගේ බයිසිකලේ පැදල වැටුන හැටි සහ එයට ඔහු දැක්වු ප්රතිචාරය.
ReplyDeletemamath eka jiywalaa thiyenawaa,
Deleteකපිල; ස්තූතියි! සැමදා වගේම ගොඩ වැදී මදක් නැවතී කතාබහ කලාට.
Deleteස්තූතියි ඇනෝ!
Bohoma sanweedeewa liyapu liyawillak.hithata thadin wadenawaa,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ඇනෝ! ඒ තවත් එක් පරිච්ඡේදයක නිමාව!
Deleteලිපියක් නොව පොතකි - ඔබගේ post එක
ReplyDeleteවිවරණ කරයි අයියෙකුගේ art නෙක
සංවේදීව සංයමයෙන් ලියන එක
කරන අතරෙ දුක හිතුණට නැතිය, සැක
ස්තූතියි නිදි මහත්තයා!
Deleteඅයියා කෙටි කතාව අපිට සිංහල සාහිත්‍යට තිබුණා.. ජී.බී. සේනානායක වෙන්න ඕනි ඒක ලියලා තිබුනෙ
ReplyDeleteඔව් ඒක ලස්සන කථාවක්! සමහර විට ඒක ලියන්න ඇත්තේ ජී.බී. සේනානායක විය යුතුයි.
Deleteදකුණෙ විදිය නිර්වචනය කරපු එක වටිනව.. මාත් තේරුම් ගන්න උත්සාහ කරමින් හිටිය දෙයක්...
ReplyDeleteඔව් ඒ මට දැනෙන විදිය!
Deleteඔබේ ලිපිය විශිෂ්ටයි.
ReplyDeleteමට සහොදරයො නොමැති නිසා ඔවැනි අත්දැකීම් නැත.
බොහොමත්ම ස්තූතියි ප්‍රසන්න! ඔබට එවැනි අත්දැකීම් නොමැතිවත් එය රස විඳීම පිළිබඳව!
Deleteසංවේදී ලිපියක්. ඔහු ඔබලාට පියෙක් වගේ සිටින්නට ඇති කියා සිතෙනවා.
ReplyDeleteස්තූතියි! නෑ! කොහෙත්ම නෑ!! ඔහු හොඳ තාත්තෙකු උනේ එයාගෙ දරුවන්ට!
Deleteමට සමාවෙන්න සම්පුර්ණ ලිපිය කියවා නෙමෙයි අදහස් දක්වන්නේ. මොකද කාරණේ මගේ අයියා මතක් වී දෑස් අග බොඳ වූ නිසා.
ReplyDeleteමගේ අයියා දෙවියෙක්. එයා දැන් දිව්‍යලෝකේ ඉදන් මගේ දිහා බලන් ඉන්නවා කියලා මම දන්නවා. තාත්තා නැති උනාම පස්සේ එයා ඉගෙනීම පැත්තක දාලා අදේට කුඹුරු කෙටුවා. ගඩොල් කැපුවා. ඊට පස්සේ හමුදාවට බැඳුනා. එහෙම්න් කලේ අම්මයි මායි වෙනුවෙන්. මගේ සරසවි ජිවිතයට වියදම් කලේ අයියා. මම උපාධිය ගන්නවා බලන්න අයියා ගොඩක් අසාවෙන් හිටියේ. එයා අන්තිමට කෝල් කරපු දවසේ කිව්වෙත් පොඩ්ඩි මම කොහොම හරි ඔයාගේ උපාධි ප්‍රධානෝත්සවයට එනවා කියලා. ඒත්..
සමාවෙන්න මට මීට වඩා අකුරු කරන්න බැහැ.
බොහෝ දුක් බර මතක!
Deleteඅයියාට සුභ ගමන්. මම දැකල තියෙනවා ජිවිතේ හුඟක් කලබලෙන් විවේකයක් නැතිව වේගයෙන් ගිය අය ඒ වේගයෙන්ම එය අතහැර යන බව. මගේ යහළුවෝ දෙතුන් දෙනෙක්ම 58-63 අතර ජීවිතය හැර ගියා. ඒ අය මත්පැන් පානය කලෙත් නැහැ දන්නා විධිහට. පාටි වලට වෙලාවක් නැහැ. මගේ අසල්වැසියෙක් හිටිය හැමදාම විස්කි උගුරක් ගහපු. ජිවිතේ හෙන හිමින් අරන් ගිය මිනිහෙක්. ඒක හොඳද කියන්න දන්නේ නැහැ. මිනිහා 80 පැනල ජිවත් වුනා. හැබැයි එකක් මේ අසල වැසියා ටිකක ආත්මාර්ථකාමී හිතුනේ. මොකද ඔහු කාගෙවත් දෙයක් ගැන හෝ තම පවුලේ අයට හෝ ලොකු උදව්වක් කල කෙනෙක් නෙවෙයි. ඒ අතින් මට හිතෙන්නේ ඔයාගේ අයියා පරාර්ථකාමී චරිතයක් බව.
ReplyDeleteඔව් අජිත් අයියේ මම අද වන විට ජීවිතය අත අරින්න සෙමෙන් සෙමෙන් ලෑස්තිවෙන කෙනෙක්. ඒ මම ජීවිතය බොහෝ සෙයින් රසවිඳ ඇති නිසාම විතරක් නොවෙයි විවිධ වූ අත්දැකීම් රාශියක් එක්ක මේ ජීවිතේ ගෙවී ගිය නිසා. අපි අපේ ජීවිත වලට අනවශ්‍ය වේගවත් බවක් එක් කරගෙන නොසිටීම වැඩි කාලයක් ජීවත් වීමට හේතුවක් වූවත් නොවූවත් ගත කරණ කෙටි කාලය වුවත් සතුටින් ජීවත් වීමට හේතුවක් වෙනවා. ස්තූතියි ගොඩ වැදිලා ටිකක් දොඩමළු වීමට කාලය වෙන් කලාට!
Deleteඅජිත් මාමෙ ඕකම කියනවා නේද පැන පැන යන (වේගෙන යන) හාවා ජීවත් වෙන්නෙ ටික කාලයයි..
Deleteඒත් හිමීට යන ඉබ්බා ගොඩ කාලයයක් ජීවත් වෙනවා කියලා...
මට දැන් හිතුනෙ අපී ඇගේ යම් කිසි ශක්ති හෝ ආයුෂ මොනවා හරි ප්‍රමාණයක් ඇති නිශ්චිතව වගේ... අපි වැඩියෙන් වැඩ කරන... මහන්සි වෙනව නම් අර ආයුෂ හෝ ශක්තිය එක්මනින් වෙලා යනව වගේ සීන් එකක් වෙන්න පුලුවන් ද?
නවීන් මෙතනදී මම නම් දකින්නේ ගත කරණ හෙවත් ජීවත් වෙන කාලය නොවේ වැදගත් ඒ කාලය තුල ඔහු හෝ ඇය තම ජීවිතය කොයිතරම් වින්දාද කියන කරුණ! මහගම සේකර උනත් බොහෝ කාලයක් ජීවත් උනු අයෙක් නොවේ!
Deleteම්ම් ඒක හරි👌
Deleteමට මතක් උනේ, පාඩම් පොතක තිබුණා "ලොකු අයියා" කියල කතාවක්. ලියෝ ටෝල්ස්ටොයිගෙ...
ReplyDeleteස්තූතියි ඩ්රැකී!
Deleteමේ කියන අයියා සම්බන්ධයි නේද, ඔයාගෙ අර බයිසිකල් මතක පෝස්ට් එකට?
ReplyDeleteඑකෙන්ම!
Deleteමට දැනුනේ චරිතාපදාන නවකතාවක් (Biographical Novel) කියෙව්වා වගේ. ඔබේ අයියා මගේ අප්පච්චිට බොහෝ කිට්ටුයි.
ReplyDeleteඅතීතානුස්මරන (nostalgia) අවදිකල චරිතාපදාන නවකතාවක් (biographical novel) වගේ රසවත් /හරවත් ලිපියක්. ස්තූතියි.
ReplyDeleteස්තූතියි චමින්ද මහතා! ඔය පරපුරේ හැමෝම එක වගේ තමයි!
Delete