Saturday, November 4, 2023

222. එම්බ්‍රොයිඩර් වැළඳීම . .! (ශනිදා දහයට V)

මේ ඒ යුවතියන් නම් නොවේ!

මේ කථාව උනේ  1991-1993 කාල වකවානුව අතර.
ඒ කියන්නේ මීට අවුරුදු 30කට කලින්!
මම කාලයක් වැඩ කලා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟළුම් කම්හලක. 
ඒකේ අයිතිය යුදෙව් පවුලක. ඒ නිසාමද මන්දා සෑම සියළු දේම කලේ කෙරුනේ ඉතාමත් පරීක්ෂාකාරීව, පිළිවෙලකට හා ක්‍රමාණුකූලව!
මෙරට තුල "කාර්‍ය අධ්‍යනය" Work Study  භාවිතා කිරීමේ පුරෝගාමීන් ලෙස අදටත් සැලකෙන්නේ මේ ආයතනයයි.
ඔය කියන කාලේ ඒ අයතනයේ කාර්‍ය අධ්‍යන දෙපාර්තමේන්තුවක් (Industrial Engineering Department) එහෙම තිබුනා.
ඊට අමතරව සෑම අංශයක්ම උපරිම විඝනනයකට භාජනය කලා.
තවත් විදියකින් කියනවා නම්; කැපුම් අංශයෙන් කැපෙන සියළුම ඇඟළුම් ඇසුරුම් අංශය හරහා නැව්ගත් වීම අනිවාර්‍ය නියමයක් විය!
මීට ප්‍රධාන හේතුව උනේ එහි නිමැවූයේ අධික වටිනාකමකින් යුතු ඇඟළුම් වීම. ඔබ විශ්වාස කරණ්න එක් වරක් එක් නිශ්පාදන පේළියක නිපැදවූ ගවුමකට නිශ්පාදන අංශයේදී ඇමුනූ මිල පත (Price Tag) හා එවකට එක් සේවිකාවකගේ වැටුප සැසැඳූවිට; එම නිශ්පාදන පේලියේ සිටි සේවිකාවන් 26 දෙනාගේම මාසික වැටුප මෙන් තුන් ගුණයකටත් වඩා එම ඇඟළුම මිල බව සොයා ගැනීමට අපට හැකිවිය!
මැහුම් අංශයේදී එක් ඇඟළුමක එක් කොටසක්; අපි ලේසියට හිතමු සාක්කුවක් (Pocket) හානි උනොත් ඒකට අමතර සාක්කුවක් කපා ගැනීමට ෆැක්ටරියේ CEO  මහතාව හමුවන්නටත් වෙනවා. 
එතැනට යන්නට කලින් තත්ව පරීක්ෂක, වැඩ සුපරීක්ෂක, අංශ කළමණාකරු, නිශ්පාදන කළමණාකරු යන අයගෙන් අත්සන්, අනුමත කිරීම් කරණ්නට අවශ්‍ය උනා.
මෙම ආයතනයේ නිමැවුනේ ඉතා මිළ අධික ඇඟළුම්.
බොහොමයක් මැහුනේ ඉතාම අඩු ප්‍රමාණ!
ඇඟළුම්1000 ක ඇනවුමක් කියන්නේ හිතාගන්නවත් බැරි එකක්. බොහෝ විට ඒවා 500න් පහල ඒවා උනා! නිෂ්පාදන පේලි (Production Lines)  40කට ආසන්න ප්‍රමානයක් එහි තිබුනා. මා සේවය කර ඇති උපරිම රැකියා පීඩනය (Work Pressure) ඇති ස්ථානය කුමක්දැයි ඇසුවොත් ඒ එම කම්හල!
ආයතනය තුල කාර්‍යක්ෂමතාවය 90% කින් පවත්වාගෙන යන්නට හැම මොහොතකම පාලනාධිකාරිය  සැදී පැහැදී සිටියා!
මේ ආයතනයේ නිසි බලධරයා කියන්නෙත් මාරයෙක්!
ඒ යකාත් මිනිස්සුන්ට බනින්න දන්නේ නැති එකෙක්. සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි කලවම් කරලා ඒ යකාගෙන් බැනුම් අහන්න සෙට් වෙනවා කියන්නෙ කකුල් පණ නැති වෙන සීන් එකක්.

දැන් අපේ කථාවට යමු!
ඔන්න එක කාලයක අපිට ආවා එම්බ්‍රොයිඩර් මල් වැලක් ඇති බලවුස් එකක් මහන්න. මහන්න ආව රෙද්දයි මලයි දෙකම ලා තැඹිළි පාටයි වගේ.  ඒ පාටට නිවැරදිව කිව්වේ පීච් කියලයි.ඒ රෙද්ද තරමක් බර ඒත් ඉතා සිනිදු එකක්. බ්ලවුස් එක ඇත්තටම කමිසයක්; පලු දෙකක.
මේ බලවුස් එකේ ඉදිරිපස ඉහල කෙලවරේ මෙම එම්බ්‍රොයිඩර් මල පිහිටා තිබුනා.
මෙන්න මේ වගේ!
මේ විදියට නෙවේ කොයි විදියටත් ඇඳුමක් මහන්න කලින් රෙද්දෙන් මේ හැඩයට කොටස් කපා ගන්නට ඕනෑනේ. මේවා ඒකියන්නේ මේ හැඩතල ඇඳලා ඒ ගානට කපලා තිබුනේ කාඩ්බොඩ් වල. මේවාට කිව්වේ පැටර්න් බෝර්ඩ්ස් Pattern Bords කියලා! අපේ ගෙවල් වල හැට්ට පතුරං කියන්නෙත් මේවාටම තමයි. කොටිංම පතුරං.

ඉතින් ඇඳුමක තියෙන ප්‍රින්ට් එකක් ඒ කියනේ කිසියම් මෝස්තරයක් හරි එම්බ්‍රොයිඩරයක් හරි නියමිත ස්ථානයකට ගන්න ඕන උනාම කරණ්න පුළුවන් සාර්ථකම ක්‍රමය වන්නේ තරමක් විශාල රෙද්දක සලකුණු කල ස්ථානයක එම්බ්‍රොයිඩර් මල මහලා. ඉන්පසුව එම මල උඩින් පෙනනාකාරයට කොටසක් ඉවත් කල ස්ලෝපරයක් (Slopper) තබා වටේ ලඛුණු කොට කපා ගැනීමයි.
මේ කියන දේ හරියටම තේරෙන්න මම පොඩි පහේ ක්‍රියා කාරකමක් කලා. මොකද ගූගල් දෙයියන්ගේ අසපුවේ පැය ගානක් කරක් ගැහුවත් මේ සරල ක්‍රියාව හොයා ගන්න බැරි උන නිසා.
එම්බ්‍රොයිඩර් කල රෙදි කොටස
අවශ්‍ය කොටසට වඩා තරමක් විශාලව පිහිටන සේ කපා ගන්නා ලද රෙදි කැබැල්ලේ අනුමාන වශයෙන් සළකුණු කරණා ලද තැන එම්බ්‍රොයිඩර් කර ගනු ලැබේ.
එම්බ්‍රොයිඩර් කල රෙදි කොටස මත තැබූ ස්ලෝපරය
ඒ මත අතබන ලද ස්ලෝපරය අනුසාරයෙන් රෙදි කැබැල්ලේ නියමිත හැඩය 100% ක නිවැරදිව සළකුණු කර ගනී.
 ස්ලෝපරයට අනුව රෙදි කොටස මත සලකුණු කල පසු

 සලකුණු කල රේඛාව මත කපා ගත් රෙදි කොටස.
සළකුණ දිගේ කපා ගැනීමෙන් (Trimming) අවශ්‍ය කොටස නියමාකාරයෙන් ලැබෙනා අතර නිමවූ ඇඟළුම 100% සාර්ථක නිමාවක් සහිතව ලබා ගත හැක.
මේ කියන ඇනවුම තරමක විශාල එකක්. ඒ වගේම ඔය වැඩේ එම්බ්‍රොයිඩර් කිරීමෙන් පසුව බොහොම පරක්කු වෙලා ඇවිත් තිබුනේ. එම්බ්‍රොයිඩර කලේ අපේ කර්මාන්ත ශාලාවෙන් පිටත වෙනත් ආයතනයක වන අතර අපගේ තත්ව පාලකයින් එම ආයතනට ගොස් සියළුම ඇඟළුම් සීයට සීයේ තත්ව පරීක්ෂාවකට ලක් කිරීම නිසාම මේ වැඩේ සෑහෙන්න ඇදුනා! (ඇඟළුම් ක්ෂේත්‍රයේ තත්ව පරීක්ෂා වර්ග දෙකක් ගැන කතා කෙරේ. ඉන් පලමු වැන්න සියළුම ඇඟළුම් වල සියළුම කොටස් පරීක්ෂාවයි  100% Inspection. දෙවන්න අහඹු පරීක්ෂාවයි Random inspection.)
ආයෝජන ප්‍රවර්ධන කලාපය එහෙම නැත්නම් පොදු ව්‍යවහාරේ නිදහස් වෙළෙඳ කලාපෙ කියන්නේ වෙනමම රටක් රාජ්‍යයක් වගේ තැනක්. ඒක ඇතුලට යන්න වෙනම අවසර පත්‍රයක් අවශ්‍ය වුනා! ඒ වාගේම තීරු බදු රහිතව අපරට ඇතුලට එන අමුද්‍රව්‍ය වලින් නිපදවන භාණ්ඩ හෝ එම අමු ද්‍රව්‍ය හොර රහසේ පිටතට පැමිණේවිදැයි කියා බැලීමට දැඩි මුරකාවල් යොදා තිබුනා.
මෙම කලාපය තුල තිබුනු ආයතන වලත් තිබුනේ උස් තාප්ප.
ඒවගේම කලාපය වට කරලා තිබ්බෙත් උස් කම්බි වැටවල් හරියට අවුට්ස්විට්ස් වදකාගාරය වගේ.
මේවායේ ගේට්ටු මුර කිරීමට හිටියෙත් මනුස්ස කමක් ගෑවුනු නැති සිකුරිටි කණ්ඩායම් දෙකක්. එකක් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයෙන්. අනිත් සෙට් එක රේගුව හෙවත් කස්ටම්ස් එකෙන්!
ඉතින් එම්බ්‍රොයිඩර් කරණ්න රෙදි එළියට ගෙනියනවා සහ ගේනවා කියන්නෙත් වෙනමම මෙහෙයුමක් කිව්වොත් ඒක එකෙන්ම ඇත්ත.
ඉතින් මම කලින් කිව්වා නේ මේ ඇනවුම එකසිය ගානට පරක්කු වුනු එකක් කියලා. මෙතන වැඩිම කාලයක් ගතවුනේ අර මම කලින් කියපු විදියට ස්ලෝපරයක් තබා ට්‍රිම් කරණ කෙළියට. මොකද මෙතන අල උනොත් වැඩේ එහෙම පිටින්ම කේස් වෙනවා. මේ නිසාම රෑ එළි වෙන තුරා දවස් දෙක තුනක් කණ්ඩායම්ක් වැඩ කලා කැපුම් අංශයේ එක් කෙළවරක. 
මේ වගේ කුණු ජොබ් වලට නායක්ත්වය සැපයූවේ ඇහින්දාස්ලා!
ඒ කියන්නේ වෙන වෙන අංශවල සේවය කල යමක් කමක් කර ගන්න පුළුවන් උනු අය.
මෙහෙම කැරකිලා කැරකිලා ගිහිං මට සෙට් උනා මේ වැඩේ කරණ්න!
ඉතින් අදාල දවසේ සියල්ල ලක ලෑස්ති කරගෙන මම වැඩේට බැස්සා!
කණ්ඩායමේ හිටියා තරුණ පහේ ගෑනු ලමයි හතර පස් දෙනෙක්. ඒ අයට කතුර හොඳට හුරුයි.  මේ ඇඟළුම ප්‍රමාන පහකින් නිමැවුනා!
S, M, L, XL
ඉතින් එක් සේවිකාවක් බණ්ඩලය ගලවා එක් එක් රෙදි කැබැල්ල ඉස්තිරික්ක කොට, කොලයක් මත අතුරා ඊට උඩින් බන්ඩලයේ ගැට ගසා තිබුනු  ටැග් එක ඒ කියන්නේ රෙදි කොටසේ ප්‍රමානය සහ තවත් කරුණු කාරණා ලියන ලද කාඩ්බෝඩ් කැබැල්ල තබා අනෙක් සේවිකාව වෙත එවනවා.
එතනදී ඇය විසින් අදාල ප්‍රමානයට අයත් ස්ලෝපරය තබා ඉන්විසිබල් පෑනෙන් (ඒ කියන්නේ එම විශෙෂ තීන්ත සහිත පෑනෙන් සළකුණු කොට විනාඩි ගණනක් ඇතුලත මැකී යයි!) සළකුණු කොට අනෙක් සේවිකාව වෙතට ලබා දෙයි. ඇය විසින් තම අත රැඳි යෝධ Wiss වර්ගයේ තියුණු කතුරෙන් එය කපා සකස් කොට (ට්‍රිම් කොට) ඊළඟ සේවිකාව වෙතට පමුණුවන අතර ඇය එකින් එක නැවත පරීක්ෂා කොට බලා මැහුම් අංශයට යැවීමට බන්ඩලයක් සේ ගැට ගසයි.
මම ඔය කියන ආදරණීය රාත්‍රියේ හවස හයේ වගේ ඉඳන් වැඩේ කෙරෙන්න පටන් ගත්තා! පොඩි ප්‍රොඩක්ශන් ලයින් එකක්. ඊට පස්සේ කාර්‍ය අධ්‍යන දෙපාර්තමේන්තුවෙන් පැමිණ පොඩි කාල අධ්‍යනයක් එහෙම කරලා තව ළමයෙක් දෙන්නෙක් එහා මෙහා කරලා වැඩේ සෙට් කරළා දුන්නා!
දැන් වැඩේ යනවා එකසිය ගානට! එකසිය ගානට කියන්නේ තරමක වේගයෙන් සහ නියමිත ගලා යෑමකින්. ඉතින් රෑ අටට කෑමට නැවැත්තුවා. අපි කාලා ඔහේ වැනි වැනි 8.30 ට 8.40 ට විතර මේසේ ලඟට ඇවිත් වැඩේ පටන් ගත්තා!
තවත් පැයක් විතර මෙහෙම වැඩේ මේ විදියට ගියා කියමුකෝ.
වැඩේ මේ විදියට යද්දී එක පාර මගේ ඇස් ගියේ මේ කතුර අතේ තියෙන සේවිකාව වටේට තියෙන කැපිලා අහකට ගිය රෙදි රැලි එහෙම නැත්නං පටි වලට!
අම්මට සිරි!
ඒවායේ පළල අඟල් එකේ සිට දෙක තුන පමණ උනා!.
මේක කොහොමත්ම වෙන්න පුළුවන් දෙයක් නම් නොවේ. සාමාන්‍යයෙන් ස්ලෝපරය තැබූ පසු ඉවතට කැපී යා හැක්කේ අඟල්  භාගයේ සිට අඟල දක්වා පළලැති පටියක් පමණි. 
වැඩේ කොහෙන් හෝ අල වී ඇත!
මා එකවරම කතුරෙන් ගත් සේවිකාව කපන්නට පටන් ගෙන තිබූ කැබැල්ල කැපූ පසු නැවැත්වූයෙමි.
රෙදි බන්ඩලයේ ටැග් එක බැලූ විට එය S එකකි.
එහෙත් එම රෙදි කැබැල්ල මත XL ස්ලෝපරය පවා තැබිය හැක!
සිද්ධිය මට මොහොතකින් වැටහුනි.
XL රෙදි බන්ඩලය පැමිණ ඇත්තේ S ටැග් එකකින් ය. 
මා ආපස්සට ගොස් බණ්ඩල පලමුව දිග අරින; ඉස්තිරික්ක කරණ සේවිකාව වෙත ගොස් ඇය විවෘථ නොකල බන්ඩලයක් ගෙන බැලීය!
එය M එකකි. නමුත් ඒ තුල පැවතියේ L ඇඟළුම් කොටස්ය.
සියල්ල කලවං වී ඇත!
මේ අනුව ඇනවුමට අදාල ප්‍රමානයට ඉක්මවා S ප්‍රමාණයෙන් ඇඟළුම් කොටස් සැකසී ඇති අතර එයට අදාලව  වඩා විශාල ප්‍රමාන වලින් අඩුවිය යුතුය.
ඇඟළුම් ඇනවුම් ලැබෙන්නේ  Ratio එකකට නොහොත් අනුපාතයකටය. ඒවා බොහෝ විට කපන්නේද අසුරන්නේද එම අනුපාතය රැකෙන පරිදිය. 
උදාහරණයක් ලෙස S/1   M/3   L/2   XL/1 ලෙස විය හැක. එවිට රෙදි කපා ඇත්තේද මෙම අනුපාතයට අනුකූලවය.
S100   M300   L200   XL100 ලෙස විය යුතුය.
අපනයනය කල හැකි හා කලයුතු මුළු ඇඟළුම් ප්‍රමානය 700 කි.
අප XL 25ක් ගෙන S සඳහා සැකසුවහොත් S ප්‍රමාණය අවශ්‍යය ප්‍රමාණයට වඩා 25 කින් වැඩි වන අතර XL   ප්‍රමානය 25  කින් අඩුවී යයි.
මේ සමග අනුපාතට සකසද්දී
S75  M225  L150  XL75 ලෙස අඩුවී අපනයනය කල හැකි මුළු ඇඟළුම් ප්‍රමානය 525 දක්වා අඩුවී යයි.
මෙය ආයතනයකට මහත්වූ අලාභයක් වන අතර මේ නිසාම ඇනවුම මුළුමණින්ම අවලංගුකිරීමට මිළදී ගන්නා පෙළඹීමට පවා ඉඩ ඇත.
එම්බ්‍රොයිඩර් ආයතනයෙන් නියමිත පරිදි ඇඟළුම් කොටස නියමිත ප්‍රමානයට  සකසා බන්ඩ්ල් ටැග් යොදා නොමැත.
එම්බ්‍රොයිඩර් ආයතනයට යවා තිබුනු තත්ව පාලන කණ්ඩායම; බන්ඩලයට අමුනා ඇති ටැග් එක හා බණ්ඩලය තුල ඇති ඇඟළුම් කොටස් සමානදැයි සොයා බලා නැත!
ඒවා අපගේ අංශයට ගත් තැන තත්ව පාලිකාව විසින් ගලපා ගෙන නොමැත.
ඉස්තිරික්ක කොට ලැබෙන කොටස් මත ස්ලෝපරය තබා සලකුණු කරණා සේවිකාව හට; තමාට ලැබෙන කොටස් වඩා විශාල බව දැනෙන්නට හැඟෙන්නට උවමනාය. එහෙත් එය එසේ සිදුවී නොමැත!
අවසාන වශයෙන් කතුරෙන් ට්‍රිම් කල සේවිකාව හට; කැපෙන කොටස වෙන ඒවාට වඩා විශාල බව තේරුම් යා යුතුය.
මේ සියල්ල පසෙකින් තැබූවද මා හට මීට පෙර ග්‍රහණයට ගත හැකිවිය යුතුය.
මේ ලෙසට ගත් කල සිදුවිය හැකිව තිබූ හා එහෙත් නොසිදවුනු කරුණු කාරණා රැසකි. වැරදි කරුවන් වගකිවයුත්තන් රැසකි. මෙය සියල්ලන්ගේම තබා මා ඇතුළුව හෝ නැතිව කීප දෙනෙකුගේ රැකියාව අහිමිවී යාමට හේතු විය හැකි කාරණයකි.
මාගේ සිත ද්වන්ද සටනකය! ආයතනයට ඇත්තම පවසා දඬුවම් විඳිනවාද? මෙයින් ගැලවෙන මගක් සොයනවාද?
ඇත්ත පැවසුවා කියා කිසිදු සහනයක් ලැබෙන ආයතන  බුද්ධ සාසන කටයුතු අමත්‍යංශයේ වත් ඇත්දැයි මා හට සැක සහිතය! සිදුවන්නේ; අන් අයට පූර්වාදර්ශයක් ලෙසින් අපට නොම්මර එකේ දඬුවමක් ලබා දීමය. එකල අද මෙන් නොව වෙළඳ කලාපයේ දොරටුව ලඟ රැකියාවක් බලා පොරොත්තුව යුවතියන් හා තරුණයින්10ක් - 12ක් හැම විට රැඳී සිටි යුගයකි.
අවම වශයෙන් එම්බ්‍රොයිඩර් යන්ත්‍රාලයේ සේවය කල තත්ව පාලිකාව, මෙතැන ස්ලෝපරය තබා සලකුණු කල හා සළකුණු ඔස්සේ කැපූ සේවිකාව යන තිදෙනාගෙන් දෙදෙනෙකුගේ වත් රැකියාව අහිමි වීමක් අනිවාර්‍ය වේ.
මාහට අවවාද ලිපියක් අනිවාර්‍යයෙන්ම ලැබෙනු ඇත!
අලාභයෙන් කොටසක් හෝ වැටුපෙන් යම් ප්‍රතිශතයක් හෝ කපා දැමෙනු ඇත.
රුපියල් 1750ක වැටුපකට සේවයකල අපට පඩියෙන් ප්‍රතිශතයක් කපා දැමීමක් යනු බත් පතේ වැලි හෙලීමකි!
ඒ සියල්ල සිදු කලද ආයතනයට හෝ අපට ගොඩ යාමක්ද නැත!
ඇනවුම සම්පූර්ණයෙන් නැව්ගත් කිරීම කල නොහැක!
එසේනම් කල යුතු හොඳම දෙය වන්නේ අහිංසක සේවිකාවනුත් බේරා ගෙන "අහිංසක" මමත් බේරී ගොඩ යෑමය!
මා කලබල නොවීය. පලමුවෙන්ම ඇනවුමට අයත් ලිපිගොනුව ගෙන ප්‍රමාණ අනුපාත හා සංඛාවන් (Ratio and Quantities) සොයා ගතිමි. ඒ අතර තවමත් නොලිහූ බණ්ඩල ගෙන ඒවායේ ප්‍රමානයන් නියමිත පරිදි සකස් කොට බන්ඩල් ටැග් යෙදීම ඇරඹූවෙමි. ලිපිගොනුවට අදාල ලෙස ඇඟළුම් කොටස් සකස් කොට කුඩාම ප්‍රමානයෙන් වැඩිපුර තිබුනු ඇඟළුම් කොටස් ටික ඉවත් කර ගත්තෙමි.
එම ප්‍රමානය කොටස් 30ක් පමණය!
සියල්ලන් එකතු කරගෙන කුඩා සාකච්ඡාවක් පැවැත්විය. කරුණු පැහැදිලි කලෙමි.
ඒ වන විට එතැන සිටි සේවිකාවන් දෙතුන් දෙනෙක්ම අඬන්නට පටන් ගෙනය!
ඔවුන් ඈත පිටිසරින් පැමිණි අන්ත දුගී දැරියන් ය!
ඔවුන්ගේ එකම අරමුණ කසාද බැඳීමට කණ කර සකසා ගැනීම, නිවෙස සාදා ගැනීම, දෙමව් පියන් හට බෙහෙත් හේත් ටික අරන් දීම, නංගීට මල්ලීට; තමාගෙන් ගිලිහී ගිය අධ්‍යාපනය ලබා දීම වැනි අහිංසක බලාපොරොත්තුය!
"බැරි වෙලාවත් ඔයාලව මේ ෆැක්ටරියෙන් අයිං කලොත්; ඒක අනිත් ෆැක්ටරි වලටත් දන්වලා ඔයාලට ජීවිතේට වෙන තැනකවත් වැඩ කරණ්නට ලැබෙන එකක් නැහැ!' මා ඔවුන් තවත් බියට පත් කලෙමි!
"ඒ උනාට මම කියන විදියට වැඩ කලොත් මම ඔයාලා හැම කෙනාම බේර ගන්නවා! කාටවත් ප්‍රශ්ණයක් වෙන්න තියන්නේ නෑ! මොකද කියන්නේ? හැබැයි කට හොල්ලන්න බෑ! ෆැක්ටරියට පොලීසිය සීඅයිඩී එක උනත් ගේන්න පුළුවන්!"
පිරිස එක හඬින් මා හා එකතු විය!
"හරි පලවෙනියෙම්ම මේ බිම තියෙන පලල වැඩි කෑලි ටික තීරු වලට එක්කෙනෙක් කපන්න! අපිව අහුවෙන්න තියෙන පළවෙනි තැන ඒක!"
එක් සේවිකාවක් පලල් කොටස් තීරු කිරීම ඇරඹීය. එය ආවාට ගියාට නොව ඉතාමත් නිර්මානශීලීව ඇය කරගෙන ගියේය.
"හරි මේ වැඩි පුර තියෙන කෑලි 30 අරගෙන මේවෑ තියෙන එම්බ්‍රොයිඩර් මල කපලා මට දෙන්න! ඊට පස්සෙ ඒ ෆ්‍රන්ට්ස් ටිකත් (ඇඟළුම් කොටසත්) තීරු කපන්න!"
සේවිකාවන් මා දෙස බලා ගෙනය! 
"ඔව්  මම කියන දේ කරණ්න! මම ඔයාලා හැම කෙනාම බේර ගන්නවා! හැබැයි කට හොල්ලන්න බෑ!!"
විනාඩි 10 ක් 15ක් යන විට එම්බ්‍රොයිඩර් මල් ටික වෙනමම කපා මා අතට පැමිණියේය.
මම එය එකට තබා කිටි කිටියේ ගම් ටේප් එකකින් එකට වෙලුවෙමි. අඟල් 3 ක් පමණ පලලට අඟල් 7ක් පමණ දිගට අඟල් 4ක් පමන උසට එය සැකසිනි. 
දැන් මෙය විනාශ කල යුතුව ඇත! 
මෙය කම්හලෙන් වත් වෙළෙඳ කලාපයෙන් වත් ඉවතට ගෙනයා නොහැක. කුණු බක්කියකට දැමීමද කල නොහැක්කකි!! මන්ද වෙළෙඳ කලාපයේ සියළුම කුණු එක්තැන් කොට සතියකට හෝ වෙනත් කාලයකට වරක් ඉවත් කිරීම සිදුවේ. වැසිකිළි මාරගයකට දැමීමද භයානකය! කල යුත්තේ මොන විදියකින් හෝ මෙය මුළු වෙළෙඳ කලාපයෙන්ම ඉවතට යැවීමය!
පිරිස නැවත සේවයේ යෙදවූවෙමි.
එම්බ්‍රොයිඩර් බණ්ඩලය සාක්කුවේ රුවා ගත් මා කල්පණා කරමින් ඇසුරුම් අංශයට පැමිණියෙමි. ඒවන විටත් ඇසුරුම් අංශයේ සේවකයින් කිහිප දෙනෙක් හෙට දින නැව්ගත් කිරීමට සූදානම්ව තිබූ කන්ටේනරයකට ඇඟළුම් අසුරවමින්ය!
කන්ටේනරය තුලට දැමීම කල හැකි වුවද එය ආපසු පත්තු වීමට හොඳටෝම ඉඩ ඇත!
මාගේ ගණදෙවි නුවණට අදහසක් ආවේය. 
කන්ටේනරය යටට රිංගූ මම එම්බ්‍රොයිඩර් කුට්ටිය එහි යට පැත්තේ හොඳින් ඇලවූවෙමි.
ඇති පදම් ගම් ටේප් ගසා ඒය හොඳින්ම ඇල වූවෙමි.  මේ කන්ටේනරය ඇමරිකාවට ගිය පසු එය නැවත අප රටට ඒමේ සම්භාවිතාව කණ කැස්බෑ විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුලබ එකකි!
සියල්ල සිදුකොට මා අත පය පිහිදාගෙන කිසිවක් නොවුනා සේ සේවිකවන් අතරට පැමිණියෙමි.
"ඒ එම්බ්‍රොයිඩර් මල් ටික හොයා ගන්නෙ නැතිව; මේ ලෝකෙ කාටවත් අපිව අල්ලගන්න බෑ! භය වෙන්න එපා. ඒක කාටවත් ආයේ දකින්න හම්බෙන්නේ නෑ!"  මම ඔවුන්ට ස්ථිර සාරව පැවසීය.
රාත්‍රී වැඩ මුරය අවසන් වී; පසු දින උදයේ අප සියල්ලෝම නිවෙස් බලා යන්නට 7.00 ට පමණ ආයතනයේ බසයට නැගුනෙමු. එය ජාඇල තෙක් දිවුනි.  බසය ආයතනයේ සාමාන්‍ය දොරටුවෙන් පිටත් වුනුමුත් එතැනින් ප්‍රධාන දොරටුව ලඟ නැවතුනි. ඒ අපගේ ආයතනයේ සිට අඩි 40 කන්ටේනරයක් පාරට ගැනීම කරන කොට ගෙනය!
මා කන්ටේනරය අඳුනා ගත්තෙමි. 
එය සෙමෙන් සෙමෙන් ආයතනයෙන් ඉවතට ගමන් ගත්තේය.
වෙළඳ කලාපයේ දොරටුවෙන්ද පිටවිය. මා සැනසුම් සුසුමක් හෙලුවෙමි.
මා නැවත සේවයට පැමිණීමට නියමිතව තිබුනේ පසුදින උදයේය.
පෙර දින නිදිවර්ජිතව සිටි නිසා මාහට නින්ද ගියේ එකසිය ගානටය!
දවවල් වන විට මාගේ නවාතැනට ආයතනයෙන් වාහනයක් එවා තිබුනි. හදිසි කැඳවීමක් ය!
ඇඟළුම් කොටස් 30ක් අතුරු දහන්වී තිබුනි.
අප සියල්ලෝම එකතුවී සෙව්වෙමි.
ආයතනයේ සියළුම කුණු බක්කි, වැසිකිළි, කැසිකිළි පමණක් නොව පල්දෝරු දොරවල් පවා (Man Hole) විවෘථ කරමින් සෙව්වෙමු!
මමද නිදි මරගාතේම ඔවුන් හා එක්ව සෙව්වෙමි. 
පසු දින උදෑසන එම අංශයේ වැඩකල යුවතියන් කිහිප දෙනා වෙන වෙනම කැඳවා ප්‍රශ්න කොට කලේය.
එහෙත් ඔවුන් වචනයක් තබා ඒ ගැන කටේ කෙළ බිම හෙලා නොතිබුනි!
අප ආයතනයට තීරු බදු රහිතව  ගෙන ආ රෙදිවලට අදාලව නියමිත පරිදි ඇඟළුම් ආනයනය නොකිරීම පිළිබඳව ආයෝජන මණ්ඩලයෙන් අපගේ ආයතනය පරීක්ෂාවට භාජනය ක්ලේය. නොපැමිණියේ පොලීසිය CID ය පමණි! නමුත් ඒ සිදුවීමේ අලගිය මුල ගිය තැන් සොයා ගැනීමට කිසිවෙකුට නොහැකිවිය!
එහි වඩාත්ම පුදුමාකාර සිදුවීම වන්නේ; එම "තක්කඩි කම" ආරක්ෂාවූයේ  එක් අයෙකු දෙදෙනෙකු අතර නොව හය හත් දෙනෙකු අතර වීමය!
අදටත් පාරේ රතු පැහැති අඩි හතලිහේ කන්ටේනරයක් දුටු විට "එම්බ්‍රොයිඩර් ටික කොළඹ ඇවිත්ද?" කියා මගේ  සිත මට මතක් කරයි!
කන්ටේනරය කොයිබක ද?




41 comments:

  1. තැනට සුදුසු නුවනක් ළඟ තිබු හින්දා
    සැමට එයින් රැකියාවත් රැකි හින්දා
    හිතට සැකයි කන්ටේනර් දුටු හින්දා
    රටට හොදයි ඔබ මැතිදෙක් නොවු හින්දා....

    ඇත්තෙන්ම අයියේ... මේ නුවන නිසාම දේසපාලනේ නොකරපු එකමයි හොද කියලා මට හිතෙන්නෙ...😀

    ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. මගේ මොලේ වැඩකරණ්නෙම ඔය වගේ ඒවට තමයි බං! මොකද කරණ්නේ? - තට්ටයා

      Delete
  2. අම්මොහ්...
    කොහෙන් මොලේ හම්බුනාද මන්දා...

    ReplyDelete
    Replies
    1. 😂😂😂 පොඩිකාලේ ඉඳන්ම ඔහොම තමයි! ගල් කාස්ට වැඩ!

      Delete
  3. හපොයි... දැනුයි ඇඟට ලේ ඉනුවේ. ඇත්තටම ඒ කෑලි ටිකට මොනා වෙන්න ඇද්ද? කාට හරි එක අහුවෙන්න ඇති කොහේදී හරි නේ...හ්

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ කාටවත් අහු උනා කියලා. කොහේ හරි වැටෙන්න ඇති; අර ගම් ටේප් වල මැලියම් ගතිය කාලය එක්ක නැති උනාම. සමහර විට කොහේ හො කන්ටේනර් අංගනයකදී එය එසවීමකදී කවුරු හරි දැකලා අරං බලලා විසි කරණ්න ඇති නේද?

      Delete
  4. එක හුස්මට කියෙව්වා. ත්‍රාසජනකයි.😁👍

    ReplyDelete
    Replies
    1. ඔව් ටික වෙන්න ත්‍රාස ජනක නම් තමයි! ස්තූතියි!!

      Delete
  5. ඔයා මාර පොරක්නේ මහන ඒවා බලන් ඉන්නත් දන්නවා එහෙනම්? පුදුමේ කියන්නේ වගකිව යුත්තන් ඔක්කොමට අතපසු වීමයි. ඔප්පු කරන්න බැරි උනත්, මගඩියක් උන බව ආයතනය දැන ගන්න ඇති. හැබයි මේකෙන් පාඩමක් ඉගෙනගෙන මේ වගේ අතපසුවීම්/අපරාද නැවත උනේ නෑ කියලා හිතමු.

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. මේකෙන් මම ඉගෙන ගත්තු දේ තමයි; කිසිම ආයතනයක් තමන්ගේ සේවකයින් මත අනවශ්‍ය පීඩනයක් යොදා නොතිබිය යුතු බව.
      සමහර විට එහෙම උනා නම් අපිට ඇත්ත ඇති සැටියෙන් පවසා ආයත්නයට සිදුවූ හානිය අවම වෙන්නට තිබුනා. මම එහෙම කථාවක් ඊළඟට ලියන්නම්කො!

      Delete
  6. මැහුම් තමා මං අකමැතිම කලාව.දෙයියනේ කියල කැඩිච්ච බොත්තමක්වත් අල්ලගන්න බෑ.පුලුවන් ද බලන්ටවත් ට්‍රයිකරලා බලන්නවත් කැමති දෙයක් නෙවෙයි ඔය මැහුම කියන්නෙ.ඒඋනාට මේ කතාවනම් ආසාවෙන් කියෙව්ව.👌

    ReplyDelete
    Replies
    1. මැහුම කෙසේ වෙතත් ඉහුම සහ ලියුම ඔයාට පිහිටලා තියෙනවානේ නොම්මර එකටම!

      Delete
  7. හොද ලිපියක්.

    සිංහල බ්ලොග් කලාවේ උන්නතිය වෙනුවෙන් 'ශනිදා දහයට' නමැති සංකල්පය රැගෙන විත් බ්ලොග් කලාවේ නවමු ආරම්භයක් සනිටුහන් කිරීම සදහා කැප වෙන කොළඹ ගමයා බ්ලොග් අඩවියේ හිමිකරු අජිත් ධර්මකීර්ති මහතාටද ස්තුතිය පල කරමි.

    ReplyDelete
  8. උපාය දැනගෙන උන්නම අපායෙ නොවැටී හිටියැකි
    ගොඩක් දෙනා ඉඳලත් රහසක් රැකුණා මහ පුදුමෙකි
    තැනට සුදුසු නුවණ ඇතිව වැඩ කෙරුවම ගොඩ යත හැකි
    මේක අමුතු අත්දැකුමක් අපට කියන රස ලිපියකි

    ReplyDelete
    Replies
    1. මොනවා නැතත් ඔබේ කවීත්වයනම් හොඳටම දියුණු වෙලා බව නම් පේනවා! ස්තූතියි!!

      Delete
  9. මගේ මල්ලී සහ ලොකු මාමාගේ දුව වැඩකරන්නේ ඇගළුම් ක්ෂේත්‍රයේ හින්ද ඔය වගේ කතා ගොඩක් අහල තියෙනවා. ඔය වගේ අත්දැකීම් තියෙන අය දහස් ගණනක් ඇති . ඒත් ඔබ ඒවා ලියන විදිහ ඇතුලෙ තමයි අපූරුව තියෙන්නෙ. ඉදිරි දවසක කෙටිකථා පොතක් ඇතුලට ඔබේ ඔය ඇසූ, අත්විදි මතක ගොනුකරන්න බලන්න. හෙල්මලී, තිලක වගේ බ්ලොග් හිතවතුන් ගෙන් උදව් ගන්න බැරිවෙන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. අනුරුද්ධ ඔබ බොහෝ බොහෝ දෙවල් සඳහා මා උනන්දු කරයි.
      බොහෝ දේවල් කරණ්නට හිත තියෙනවා.
      ඉන් එකක් තමයි පොතක් පල කරන එක.
      තිලක,බෝධි,රන්දිකා,අසංග වගේ අය ගෙන් උදව් ගන්න නම් පුළුවන්.
      ඒත් තාම මම ඒකට කල් මරණවා!
      ස්තූතියි හැමදාම වාගේ ඇවිත් කියෙව්වාට මොන වැඩ තිබුනත්!

      Delete
    2. ආන්න කරනවා නම් වැඩේ අපිත් දෙන්නම් සහයෝගේ

      කොළොම්පුරේ අසංග

      Delete
    3. ඔව් ඔව් වැඩේ කරණවා නම් අනිවා අසංග මල්ලි උබලගෙ උදව් ඕනෙමයි!

      Delete
  10. Rata tikak kalpanawen inna! Koyi welawe hari awilla kudalagena yanna bari kamak naha karumetawath embroidery kali tika galawila watunoth. Hari apooru kathawa.E wagema garment field eka gana hand book ekak wage.Sahena danumak awa.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සරත් මහත්තයා!

      Delete
  11. කොන්ඩේ ඔලුව දාලා ගියෙත් ඔයවාගේ ගල්කාෂ්ට වැඩ හින්දා වෙන්නැති
    තට්ටයෝ කට්ටයෝ කියන්නේ නිකමටද?

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. අනේ දෙයියනේ! ඔය කිව්වෙ ඉතිං!

      Delete
  12. ඒක මරු කතාව.
    මුල් ටිකේ මොන වැරදීම් උනත් ඒ ප්‍රොඩක්ෂන් ලයින් එකේ අය අවබෝධයකින් වැඩ කරල නෑ වගෙයි මට පේන්නෙ. අනවශ්‍ය පීඩනය ඒකට හේතු වෙන්න ඇති.

    මට පුදුමෙ කන්ටේනරේ ලිෆ්ට් ඕෆ් කරනකොට හාබර් එකේදිවත් කවුරුවත් ඕක දැක්කෙ නැද්ද කියන එකයි. මොකද ඔය විදියට ඒ කාලෙ බෝම්බයක් උනත් අලෝල යවන්න තිබ්බනෙ එහෙම උනොත්.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? බැරිවෙලාවත් "මේක" මොකක්ද කියලා බලලා ආපහු එන්නත් තිබ්බා නේද?
      ආයෙ නම් මොනවත් කන්ටේනරේක යට අලවලා යවන්නේ නෑ ම තමයි!

      Delete
  13. ප්‍රඩක්ෂන් කොලිටි චෙකින් ගැනනං අපේ එල ද බ්‍රා මෙන්ඩ කියයි.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ තාම මේක දැකලා නෑ!

      Delete
  14. කොරල තියෙන්නෙ යස වැඩක් 😁😁

    ගාමන් කෙල්ලො කියල හංවඩු ගැහුන පිරිසේ කෙල්ලෙක් ගැන... අපූරැවට
    රත්න ශ්‍රී ලියා, දීපිකා ගයන 'නිල් මහනෙල් බරයි කියා...' ගීය. මේ ගැන අනෙක් ගිය බන්දුල නානායක්කාරවසම් ලීව, සුනිල් එදිරිසිංහ ගයන 'රැ වැඩ මුරය'. ගී දෙකේම සංගීතය රෝහන වීරසිංහ.

    ReplyDelete
    Replies
    1. මටත් පොඩි අත්දැකීමක් තියේ... ඔය ක්ෂේත්‍රය සම්බන්ධයෙන්. මතු දාක ලියන්ට තමයි හිත. හුම්!

      Delete
    2. ඔව් ඇත්තටම ඒ යුවතියන්ගේ කථාව හරිම ශෝකාකූලයි!

      Delete
  15. රැකියාවේ තියෙන පීඩනය නිසා ඒ වගේ වැරදි වෙන්න පුලුවන්. තට්ටයා මහත්තයාගේ නිරීක්ෂණය නොවෙන්ට (කැපුනු කෑලිවල ප්‍රමානය) වැඩේ නවතින්නේ එක්කෙනෙක් දෙන්නෙක් ගෙදර ගිහිල්ලම තමයි. කොහොම වුනත් "නායකත්වයේ භූමිකාව රඟදක්වා ඇති අයුරු නම් හරිම අපූරුයි.......
    .........සම්‍යප්‍රයෝග.......
    - වීරසිරි බන්ඩාර -

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!
      ඔව් ඔය කාලේ හැන්ඩ් ෆෝන්වත් නෑ. ඒත් ඒ වෙලාවේ පුටුව උඩට වෙලා මොකක හරි පත්තර ල්කෑල්ලක් හරි කියව කියව ඉන්නැති!
      ඇහැ ඇරලා බලන කොට වැඩේ බකල් වෙලා!
      ඉතින් හැමදාම වගේ අදත් ඇවිත් කියෙව්වාට ලිව්වාට බොහොමත්ම ස්තූතියි!

      Delete
  16. කොමන්ට් කිරීමේ දී එන ප්‍රශ්ණය නිසා කලින් කොටාපු කොමන්ටුව අතුරුදහන්. දැනට පොඩියට කොටා ට්‍රයි එකක් දෙනවා.

    එම්බ්‍රොයිඩර් ගැන පිස්සුවක් මට ඇති වුනේ 1990 දී, ඒ හීනය 2003 දී වැලලුවා. ඒ කතාව ආපහු ඇවිත් කොටන්නම්.

    පසුගිය සතියේ ශනිදා දහයට! පෝස්ට් වලට පවා කොමන්ට් කරන්න බැරි වුනා, කොටින්ම ගල්මල් කොමන්ට් වලටත් පිලිතුරු ලියන්න බැරි තත්වයක් තියෙන්නේ.

    පසුගිය සතියේ මගේ fb ඉන්න බ්ලොග් මිතුරන් අතරට ශනිදා දහයට! ආරංචිය අරන් ගියා. බලමු!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මෙහි පැමිණියාට වඩා ශනිදා දහයට පිළිබඳව ආරංචිය මිතුරන් අතරේ ගෙන ගියාට.
      පුළුවන්නම් sandhakadapahana.blogspot.com සින්ඩියේ ලින්කුව සමාජ ගත කරණ්න!
      ඒ හරහා සැමටම වැඩි පාඨකයින් ප්‍රමාණයක් ලැබෙනු ඇත!
      ස්තූතියි!

      තට්ටයා.

      Delete
    2. ඒක කරා ගිය සෙනසුරාදා, මෙන්න මෙහෙම:
      ශනිදා දහයට!
      බ්ලොග් පෝස්ට් වලට ගොඩ වැදිය හැකි පියගැට පෙළ
      (සඳකඩපහන ලින්කුව සමඟ )
      අයෙත් හෙට උදේ කරන්න බලාපොරොත්තුව.

      Delete
  17. මටත් ඉතාම සමීප සංසිද්දියක් තමයි මේ ලියලා තියෙන්නේ. ඒ දැනට අවුරුදු තිහක් තිස්සේ ඇඟලුම් ක්ශේත්‍රයේ තෙම්පරාදු වෙලා වෙලා මෙවැනි සිදුවීම් මටත් වෙලා තියෙනව. හැබැයි සමහර විට ඔබට ප්‍රතිවිරුද්ද පක්ශයේ ඉඳන්. මර්චන්ඩයිසර්ස් ලා කියන්නේ සාමාන්‍යයෙන් නිශ්පාදන අංශයේ සතුරු හමුදාව නේ. හැබයි ඉතින් දෙගොල්ලො සමගි වෙන වෙලාවලුත් තියෙනවා ඒ දෙගොල්ලොම නා ගත්තාම .. නියම ලියවිල්ල. ත්‍රාසය, කුතුහලය ගානට ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිලූ! ඔව් අපි නිරන්තරයෙන් ගැටෙන පිරිසක් තමයි මර්චන්ට් ලා කියන්නේ!
      ස්තූතියි මෙහි ඇවිත් කියවා බලා දොඩමළු වූවාට!

      Delete
  18. Work and Time Study ඔය කියන කාලෙට කලිනුත් නිමි ඇඳුම් කර්මාන්තශාලාවල තිබුණා නේද?

    මේ කියන්නේ ස්ටාර් ගාමන්ට්ස් ද?

    ReplyDelete
    Replies
    1. ඕවා හරියට "කොලොම්බස් ඇමරිකාව හොයා ගත්තා!" වගේ කථා!
      (මොකද ඊට කලින් නැතිවෙලා තිබ්බයෑ? අනෙක එහේ ආතල් එකේ හිටපු මිනිස්සු ටිකක් හිටියනේ?)

      මෙරට ඇඟළුම් ක්ෂෙත්‍රය තුල Work Study සාර්ථකව හා මුළුමණින්ම භාවිතාකල ප්‍රසිද්ධ ආයතනය ගැණයි මේ කථාව!

      Delete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...