Monday, February 7, 2022

228. පැනි නොබේරුණත් කොම්පැනි කථාවක් 7



අපි ඔහුට පද්මසිරි යැයි කියමු!

පද්මසිරි වැඩ කලේ අපේ සර්විස් එකේ. ඒ කියන්නේ ලිහිසි තෙල් සේවා අංශයේ. ඔහුට තිබුනු වගකීම තමයි තෙල් මාරු කරලා බොඩිය හෝදලා එන වාහන ඇතුල වැකුම්  ක්ලීනරයෙන් පිරිසිදු කිරීමත් රෝදවල ඇන ටෝක් රින්ච් එකෙන් පරීක්ෂාවත්.

පද්මසිරි කොට මොඩලයක් විය. මුහුණ පුරා ඝන රැවුලක් වවාගෙන සිටියේය. හිනා උනෙත් ගානකටය. ඔහු තරමක ආඩම්බරයෙන් සිටිය සේවකයෙක්. 

ඔහු කිසිදා සිගරට්ටුවක් කටේ තිබ්බේ නැත! රා අරක්කු බී නැත! වෙනත් කිසිදු දුරාචාරයක නොයෙදෙන හේ හැකි නොහැකි සෑම දිනෙකම සේවයට පැමිණේ! හැකි උපරිමයෙන් අතිකාල කරයි!! ලැබෙන සෑම සතයක්ම ඉතුරු කරයි!!! මේ ඔහු තමා පිළිබඳ ආඩම්බර වීමට තිබුනු කරුණු කිහිපය කියා ඔබ සිතනවාද?

නැත!

ඔහු විවාහ වී සිටියේය! ඔහුටම කියා කුඩා නිවසක් තිබුනි!! විසිතුරු මසුන් හා කුරුල්ලන්  ඇතිකිරීමේ ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන ගියේය!!! තවත් බොහෝ ගෘහ කර්මාන්ත සඳහා ඉදිරි බලාපොරොත්තු විය!!!! මේ ඔහුගේ ආඩම්බරයේ අවශේෂ කරුණු කාරණාය.

"මම මහත්තයා ඔය නිර-පරාදෙ සල්ලි නාස්ති කරන්නේ නෑ නේ!" ඔහුගේ කටේම තියෙන වැකියක් විය.

මා කලින් කීවා සේ ඔහු විවාහ වී සිටියේය. පද්මසිරි ඉතා දිළිඳු පවුලක අයියාය. ඔහුට තවත් බාල සොහොයුරෙකු විය. ඔහු විවාහ වූයේ ඔවුන්ටත් වඩා අන්ත දිළිඳු පවුලකින්ය. පද්මසිරිගේ තාත්තා මියගොස් තිබුනේ ඔවුන් කුඩා කාලයේදීමය! අම්මාට පවුල නඩත්තු කර ගැනීමට උරදී තිබුනේ පද්මසිරිය! ඔහු කියනා පරිදි ඔහුගේ බිරිඳ ඔවුන්ටත් වඩා දිළිඳුය! පද්මසිරිලාගේ ජීවිත දෙස බැලූ විට; ඔවුන් කෙතරම් දිළිඳුදැයි සිතා ගන්නටත් අපහසු තරම්ය!

"කෙල්ල හොඳයිනේ! ඉතින් මම බැන්දා මහත්තයා!! එයාගෙ පවුලෙන් හතර දෙනයි මගේ පවුලෙන් දෙන්නයි  හිටියේ මගුලට; වෙන මොනවද ඕනේ?" ඔහු විවහය ගැන පවසන්නේ එලෙසය! පද්මසිරි අංක එකේ ප්‍රායෝගික මිනිසෙකි.

ඔහු ඕනෑම කාර්‍යයක් සඳහා බසින්නේ එහි ඇති මූල්‍යමය වාසිය ගැන හිතා බලාය. බොහෝ විනෝද කටයුතු, මගුල් උත්සව, පාටි, කීටි ඔහු ලිස්සා යාමට සැලැස්සුවේය. 

"මං ගියාට අනිත් එවුං වගේ බොන්නෙත් නෑ. ඕනෙනං ඔය රයිස් ටිකක් කයි. කාලා නිකං එන්න බෑනේ!? අඩු ගානේ දාහක් වත් දෙන්න ඕනෙ! දාහක් කියන්නේ මගේ කුරුළු කූඩුවට මාසයක් බජරි දෙන්න පුළුවං සල්ලි!"

එකට වැඩ කල එකෙකුගේ වෙඩිම මිස් කල ඔහු එය සාධාරණීය කරණය කලේ එසේය!

ඔහුට දරුවකු නොසිටියේය. ඔහු දරුවකු හදන්නට පෙර සෑදූ නිවසේ එල්ලෙන සීලිමක් ගැසිය යුතු බව ඔහු විශ්වාස කලේය. 

"සීලිමක් නැතිනම් ළමයාට පිනි බාලා සෙම හැදනවා! ඒවට බේත් ගන්න ගියාම ආයෙ ජීවත් වෙන්න සල්ලියක් ඉතුරු වෙන්නේ නැතිවෙයි!" සෑම සියළු දේටම ඔහුට හේතුවක් තිබුනි. 

කාලය ගත විය

"මහත්තයා හෙට මං එන්නේ වරුවෙං! පවුලව කිලිනික් එක්ක යන්න තියෙනවා!"

"පද්මසිරි ගිය මාසේ එල්ලෙන සීලිම ගහගන්න ඇති!" මම මටම කියා ගත්තෙමි!

කාලය දින, සති නොව මාස ගනනින් ගෙවී ගියේය! සමහර දින වලට පෙරදින සිදුවීම් හේ මට විස්තර කලේය.

"ඊයේ පවුල එක්ක පංසලටත් ගිහින් එන ගමං රයිස් එකක් කෑවා! එයා නොකිව්වට කන කොට මට තේරුණා ආසාවෙන් ඉඳලා තියෙන්නේ කියලා! ඉතිං මම කටවල් දෙකක් කාලා මගේ පිඟානෙ තිබ්බ ටිකත් පවුලටම කන්න දුන්නා! ගෙදර කොහොමත් දවල්ට උයපුවා තිබුනනේ! මොකටද තව රයිස් එකක් ගන්නේ?"

"මාර වැඩේ මහත්තයා පවුලගේ ප්‍රෙසර් වැඩිවෙලා හොඳටම! සීනිත් නැගලා නහුතෙට!! ඊයේ කිලිනික් එකේදී දොස්තර මහත්තයා මගේ ඇඟට ගොඩ උනානේ! මං මොන්නවා කරණ්නද? ගෑනිට කුරුල්ලන්ට බජරි දාන්නවත් එපා කියලයි මම තියෙන්නේ!"

දින ගනන එළඹෙන්නටත් මාසයකට පමණ පෙර තම බිරිඳව කාසල් එකේ නවත්තන්නට පද්මසිරිට සිදුවිය! බිරිඳගේ සෞඛ්‍ය තත්වය වඩ වඩාත් පිරිහෙද්දී දරුවා ඉක්මණින් ඉවතට ගැනීමට දොස්තර වරු කටයුතු කලෝය. දරුවාගේ චලනයන් නැවතීම හා කළලයේ හෘද ස්පන්දනය දුර්වල වීම ඊට හේතුවිය. 

ඒ කාලය පුරා පද්මසිරි සෑම දිනකම උදේ දවල් හා සවස බිරිඳගේ සුවදුක් බැලීමට රෝහලට ගියේය. දහවල් විසිට් එක සම්පූර්ණයෙන්ම සිදුවූයේ අපගේ අනුග්‍රහයෙනි. එනම් ගේට්ටුවේ සිකුරිටිලා අප විසින් බැලන්ස් කිරීමෙන් ලද අවසරයෙනි!

"ළමයා වීදුරු පෙට්ටියේ මහත්තයා!" පද්මසිරි බොහෝ සෙයින් මැලවී සිටියේය!

"එතකොට පවුල!?"

"පවුල අඬනවා මම යන යන වතාවට!"

"අප්පට සිරි! හරි උඹට මොකක් හරි සීන් එකක් උනොත් මට කතා කරපංකො!" දෙබස මා නිමා කෙරුවෙමි!

පසුදින දහවල් ලෙඩා බැලීම සඳහා පද්මසිරි ගේට්ටුවෙන් පිටවී ගොස් පැය භාගයකින් මාගේ දූරකථනය නාද විය!

"ළමයා මලා මහත්තයා!" පද්මසිරි හැඟීම් බරව දූරකථනයේ අනෙක් කෙළවරෙන් කෙඳිරි ගෑවේය!

"අම්මට සිරි! රෝහණ අයියේ පොඩි කේස් එකක්! අරූගේ ලමයා මැරිලා! මම පොඩ්ඩක් ගිහින් එන්නම්!" මගේ ළඟින්ම උන් අනෙක් නිළධරයා හට පැවසීය!

"හුටා! හරි උඹ පලයං! මම මෙහේ බලා ගන්නම්! මොනවා හරි ගේමක් ගහපං! (සල්ලි එහෙම ඕන උනොත් මට කෝල් එකක් දියං!)" අන්තිම ටික කට ඇතුලේ තියාගෙන රෝහණ අයියා කිව්වේය.

"මේ උඹ මෙහෙන් වාහනයක් අරං පලයං! මේකෙ නිකං ඉන්න පිං පඩි කාරයෝ ඔය ඕන තරං ඉන්නේ? කාගෙ හරි එකක් අරං පලයන්; උඹ චාටර් වෙන්න එපා" රෝහණ අයියා ඌණපූරණය කලේය.

එච් ආර් එකේ මිසීටත් වැඩේ යාන්තමින් කියාගෙන ෆොන්සේකා මහත්තයාගේ  ලාන්සර් සෙඩියා රථය ගෙන මම ගේට්ටුවෙන් ඉගිළුනෙමි.

"මහ්ත්තයා එනවා නේද? පෙට්ටියකුත් ගන්න ඕනෑ! මට මිනිය ගෙදර ගෙනියන්න ඕනෙ නෑ!  මේක මෙහෙමම ඉවර කරණ්නයි ඕන!" පද්මසිරි නැවත මා ඇමතුවේය!

යමින් ගමන් පුංචි බොරැල්ලේ ප්‍රසන්සා හට ඇමතුවෙමි.

"අනේ ප්‍රසන්සා . . . . . ."

"කිසි අවුලක් නෑ! ඔයා කෙලින්ම යන්න . . . . . . . . . .!"

ප්‍රසන්සාගේ උපදෙස් ප්‍රකාරව රථය පුංචි බොරැල්ලේ "නීලා මල් ශාලාව" ඉදිරියේ නැවැත්විය.

කාරණාව සැකවින් පවසන විට එහි සේවකයෙක් "මේක ඇතිනේ!? මහ වියදමක් කරණ්න ඕනෙ නෑනේ! මේහෙම වලලනවා කියලනේ කිව්වේ! 3500ක් දෙන්න!"

"අනේ ඕක මේ කාර් එක ඩිකියට දානවද?" තවමත්  දුම්මල සුවඳ හමන පෙට්ටිය අතින් ඇල්ලීමට වත් මා හට උවමනාවක් නොවීය!

ජීවිතයේ ප්‍රථම වතාවට මිනී පෙට්ටියක් ප්‍රවාහනයේ මා යෙදුනෙමි. මා රෝහලට යනවිට පද්මසිරිත් ඔහුගේ සොයුරාත් මෝචරිය ආසන්නයේය! රෝහලෙන් ලැබුණු ලිපි ලේඛණ එහා මෙහා කිරීමෙන් ඉක්බිතිව බොරැල්ල කනත්තේ වල දැමීම සඳහා බිළිඳාගේ සිරුර සහිත කුඩා පෙට්ටිය පද්මසිරි අතට රෝහල් සේවක්යින් විසින් පත් කෙරුණි. 

"මහත්තයා මේක කොහොමද ගෙනියන්නේ?"

"දා ගම්මු බං මං ආපු කාරෙකට!" වෙන කරණ්නට තරම් දෙයක් ඉතිරිව නොවීය!

 එතෙක් මෝචරියෙන් පිටත නවතා තිබුනු මෝටර් රථයේ ඩිකිය තුල දෙන තැන්පත්විය! අවට සිටි මිනිසුන් තුශ්නිම්භූත වූ නිමේශයේ මමත් පද්මසිරිත් ඔහුගේ සොයුරාත් බොරැල්ල කනත්ත දෙසට පැමිණියෙමු.

වාහනය කනත්ත කිට්ටුවෙන් නවතා ගත් පසු ඩිකිය ඇර නැවතත් පද්මසිරි පෙට්ටිය දෝතට ගත්තේය.

වේලාව හවස 3.30 ට 4.00 වන්නට ඇති. තිදෙනෙකුගෙන් සමන් විත අවමංගල පෙරහැර බොරැල්ල කනත්තට අවතීර්ණ විය!

"පවුලගෙ අම්මාත් එන්න හැදුවා! මම කිව්වා පවුල ලඟින් ඉන්න කියලා!"  සෙනඟ මදි නිසාදෝඅ පදමසිරි කියවාගෙන ගියේය!

මා ඇවිද ගියේ පද්මසිරිත් සොයුරාටත් මීටර දෙකක තුනක පමන දුරක් ඉදිරියෙන්ය! මා විටින් විට ආපසු හැරී බලන විට පද්ම සිරි කිසිදු හැඟීමකින් තොර හිස් මුහුණකින් යුතුව පෙට්ටිය දෝතින් ඔසවාගෙන පැමිණෙනු දුටුවෙමි.

සොහොන් පල්ලා හා ප්‍රසන්සාගේ මිත්‍රත්වය අපට ඉක්මණින් කනත්ත තුලට ප්‍රවේශ වීමට ඉඩ සලසා දුන්නේය!

පාළු කනත්තේ අප ඉදිරියට පා නගද්දී  ඈතින් තරුණයෙකු සිට අප ඇමතූවේය!

"මිනිය වලලන්නද?"

"වලලන්න නැතුව මොන ඒකට මෙහේට ගේනවද?" පද්ම සිරි මිමිනුවේය.

ඔහු ඉදිරියට පැමිණියේ කුඩා ගෙවී ගිය උදැල්ලක්ද රැගෙනය.

ඒ පැමිණ මිනී වලලලා උස් කර තිබූ කුඩා පස් කඳු දෙකක් අතර උදැල්ලෙන් හාරණ්නට විය!  විනාඩි ගනනකින් අඩියක් පමණ ගැඹුරට කිසිදු හැඩයකින් තොර අගලක් හෑරුණි.

"ආ දාන්න!"

"මේ ක මදි තව යට හාරණ්න!" පද්මසිරි විරෝධය පෑවේය!

පිස්සුද ලොක්කා! මීට වඩා හාරන්න ඕන නම් ගෙදර මිදුලේ වලල ගන්න!"

පද්මසිරිගේ ඇස් කෝපයෙන් දිලිසෙනු මා දුටුවෙමි.

"මේ මල්ලි! මං පොඩි සපෝට් එකක් දෙන්නං! තව පොඩ්ඩක් යට කපහං!!" මම ගැටළුව නිරාකරණය  මැදිහත් උනේ මුදල් පසුම්බිය අතට ගනිමින්ය!

තවත් උදළු පාරවල් කීපයක් වල මැද්දට පතිත විය!

"ඕං . . .!"

"මල්ලි පෙට්ටිය දාහං!" තවත් උත්සාහ කිරීමෙන් වැඩක් නැති බව තේරුම් ගිය මගේ විධානයෙන් පෙට්ටිය වල තුල තැන්පත් විය!

වටා පඉටාවේ තිබුණු පස් ටික එකතු වී පෙට්ටිය යාන්තමි වැසී ගියේය.

"යමු!" වල පාදපු එකාට රුපියල් 500ක් මිට මෙලවූ මා ආපසු හැරුණි.

"බලන්නකෝ මහත්තයා මුං පෙට්ටිය ගන්න ඕනෙවට ඒක යට කරපු හැටි!?" පද්මසිරි එන ගමනේදී වල හාරපු එකාට දෙස් දෙවොල් තියමින් විය!

පද්මසිරිවත් සොහොයුරාවත් රෝහල අසලින් බැස්සවූ මා ආපසු ආයතනයට ආවේමි.

"මොකද බං උනේ!?" රෝහණ අයියා දුර සිටම විමසීය.

"මොනව වෙන්නද මිනිය වළලලා දාලා ආවා!" මා තොලේ කටේ නොගෑවී කීවෙමි. සත්තකින්ම මුළු ක්‍රියාන්විතයටම පැය 3 ක් යන්නට ඇති. 

පසුදා පද්මසිරි වැඩට ආවේය. මුහුණ බොහෝ සෙයි විඩාබර වී ඇති සේයාවක් දිස් විය!

"මොකද උනේ?"

"පව් මහත්තයා! මගේ පවුල අඬ අඬ අහනවා ඒ ගෑනිව මම අත අරිනවද කියලා ලමයා මැරුණු නිසා! මං කිව්වා ඔයා බය වෙන්න එපා ඊළඟට උපදින දරුවා මලත් මං මැණිකෙව අත අරිණ්නේ නෑ!" කියලා.

 

54 comments:

  1. හ්ම්....එක හුස්මට කියෙව්වා. මොනවා කියන්නද කියල හිතා ගන්න බෑ. ඇත්තම කියනවා නං සුපුරුදු කොම්පැනි කතාවලටත් වැඩිය, මේකට කැමතියි. සමාජයේ පැතිකඩක්!

    ReplyDelete
    Replies
    1. ඔව්! ඌ ඒ පෙට්ටිය උස්සගෙන කනත්තට ආපු හැටි; කනත්ත ගාවින් යන හැම වෙලාවකම මගේ හිතේ ඇඳෙනවා.

      Delete
  2. දුක හිතෙනවා හප්පා. උදව්ව් කරපු එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ අපි රස්සාව හරියට කලත් නොකලත් ඔවැනි මගුල්නම් කරට අරං කලා! අදටත් දෙයියනේ කියලා පාරෙදි දැක්කත් උං කතා කරණ්නේ ඒකයි මයේ හිතේ. කොයි තරංනං අසරණ මිනිස්සු ඉන්නවද? දරුවාගේ මිනිය ගමට ගෙනියන්න සල්ලි නැතිව; ම කඳ වඩාගෙන බස් එකේ ගමට යන අම්මලා තාත්තලා ඉන්න රටක් මේක!

      Delete
    2. මේක ලියනවද කියලත් හිතුව දෙතුන් පාරක්. නමුත් ලැබුන ප්‍රතිචාර දැක්කහම ලියන්න හිතුන. අපි කට්ටියක් 2004 ඉඳල ළමයි වගයක් ස්පොන්සර් කරනවා. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. පහුගිය කාලේ තාත්ත මානසික රෝගියෙක් වෙච්ච කෙනෙක් ගේ ළමයි දෙන්නෙක් ට උදව් කරනවා. එක ළමයෙක් ආබාධිත. වයිෆ් තමා බලා ගන්නේ.. එක දුවක් ඉස්කෝලේ යනව. මාලිගාවත්තේ ඉන්නේ. ඒ මනුස්සය හඳුන්කුරු, ඉටිපන්දම් ආදිය විකුනන්නේ. පහුගිය කාලේ මට පොඩ්ඩක් පමා වුනා සල්ලි යවන්න. වැඩ. මගේ මලය අඳුරන නිසා කෝල් කරලා අහල ඊලඟ වාරෙට සල්ලි එවනවද කියල. අපි සල්ලි දෙන්නේ ඉතින් ළමයින්ගේ ඉගෙනීමට නිසා මම නිකන් මොබයිල් එකට කතා කරලා බැලුව. කෝවිඩ් කාලෙම ජිවත් වුනේ ආණ්ඩුවේ පන්දහයි අපි දුන්න සල්ලි වලිනුයිලු. හඳුන්කුරු , ඉටිපන්දම් මුකුත් විකුනගන්න බැරිව. ආණ්ඩුවට වැඩිය ප්‍රමාණයක් අපි දෙනවා ඉතින්. මම ඉතින් කල්පනා කළා ළමයි ඉස්කෝලේ යවන්න කලින් මිනිස්සු ජිවත් වෙලා ඉන්න එපාය කියල. ඒ කාන්තාව ලස්සනලු. වෙන ඈත පළාතක ට යන්න ලැබිල ගිහින් නැහැ එයාගේ මනුස්සයට ඉන්න අමාරුයි කියල තනියම. මාලිගාවත්තේ දන්නා කට්ටියනේ ඉන්නේ. මනුස්සයට තියෙන ආදරේට කාගෙන ඉන්නවා මොන දුක ආවත්. ඒ පැත්තේ ගිය වෙලාවක කවුරුහරි හඳුන්කුරු ඉට්පන්දම් විකුනනවනම් ගනිල්ලා.

      Delete
    3. ඔව් දෙයියනේ! යේසු ස්වාමිදරුවන් කන්ද උඩදෙශනාවේ කියා ඇති පරිදි "මිනිසාගේ මිනිසත් කම තරම්; මිනිසාට වටිනා අන් දෙයක් වෙත්ද?"

      Delete
  3. ඔහු දිළෙන්දෙක් වෙන්නැති ඒ දිළිදුබවෙන් මිදෙන්න තැත්කරන්නේ ඉතිරිකිරීමේ මසුරුකමින් බව පේනවා. ලමයා මැරුනේ ඒ මසුරුකම හින්දාද?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ! ඒක වෙනත් සෞඛ්‍ය ගැටළුවක්! මමත් ඌව
      මසුරෙක් විදියට නෙවෙයි දකින්නේ; අර පිරිමැස්මෙන් යුතුව කටයුතු කරණ්නෙක් ලෙස!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කෙනෙකුට පේන අරපිරිමැස්ම ,තව කෙනෙකුට මසුරුකමක්. ඔවා ඔක්කොම සාපේක්ෂයි. ඒත් අරපිරිමැස්ම/මසුරුකම කෙනෙකුගේ පෞද්ගලික තෝරාගැනීමක්. ඒකෙන් සමාජයට විශේෂ බලපෑමක් එනවා කියල හිතෙන්නෙ නෑ. රටට, ලෝකෙට කෙලවෙලා තියෙන්නෙ එලිපිටත්, වක්‍රවත් අයථාවිදිහට ගසාකන හිපාටුවො නිසයි.අනුන්ගෙදේ හොරාකාල දන්දෙන අනේපිඞු සිටුතුමාලට වඩා මම නං කැමති පද්මසිරිලටයි.

      Delete
    4. ඔව් බස්සා! උන් මේ මහ පොලොවෙ ජීවිත එක්ක ඔට්ටුවෙලා වයසට ඉස්සෙල්ලා වයසට ගිහින් තලත්තෑනි වෙච්ච චරිත! හවසට බියර් එකක් ගහන්න, ගෑනු ලමයා එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න, රෑට පොඩි මියුසික් පාරක් අහන්න; මේ අපි වගේ කෑම්පින් කිය කියා කැලේ රිංගන්න, ගඟවල් දිගේ ඔරු පදින්න උන්ට ඕන කමක් නෑ. හෙට දවස; අඩුම ගානේ අද ගානටවත් ජීවත් වෙන්න කීයක් හරි ඉතුරු බිතුරු කර ගැනීමයි උන්ගේ දෛනික ට්‍රයි එක වෙන්නේ! ඔය යකා කස්ටර්මර් කෙනෙක්ගේ මගුල් මුද්ද ඇහිඳලා දුන්නු එකෙක්! මේවා බොරු නෙවේ! එකසිය ගානට සත්‍යය!

      Delete
  4. වෙන හුඟක් අය මේවා ලියනකොට තියන judgmental ගතියක් හෝ over emotional නැතිව ලියපු විදිහ අලුත් , refreshing.

    ReplyDelete
    Replies
    1. නෑ ප්‍රාජේ මේ කථාව මම කවදා හරි කොහේ හරි ලියලා තියන්න ඕනෙ කියලා හිතා හිටපු කථාවක්. මට ඕන උනේ සිද්ධීන් පෙල ලියන්නට විතරයි. ඒ නිසායි ඒක ඒ විදියට ලියැවෙන්නට ඇත්තේ! ඇත්තටම උනේ ඔච්චරම තමයි!

      Delete
  5. වෙනස් ආරක පොස්ටුවක්. මෙවැනි කොම්පැනි කතා බොහොමයක් අසා ඇතත් ඔබ එය ලියා තිබෙන්නේ කතා නායකයාවත් බේර ගන්න ගමන්. මොකද ගොඩක් අය කරන්නේ මෙවැනි මිනිසුන්ව පට්ට ලෝබයෝ කියලා ලේබල් කරන එක.නමුත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබ ඔහුගේ මසුරුකම සාදානිකරණය කිරීම ගැන. නිකමට හිතන්න මුළු ලෝකෙම මිනිස්සු ඔයවගේ හිතලා වැඩ කරන්න ගත්තොත් මේ ලෝකේ මොන වගේ වෙයිද?

    ReplyDelete
    Replies
    1. මල මිනියක් හා කනත්තක් ගැන ලියපු ගමන් "මහසෝනා" කමෙන්ට් කර ඇති බව දුටුවාම ඇති වූයේ හිතේ තරමක තිගැස්මක්! ඒත් ඩ්‍රැකී එක්ක ගනුදෙනු කරණා බව පසුව හෝ මතක් වීම නිසා බිය පහව ගියා! (හි! හි!!)

      මල්ලී මම ඔහුගේ ලෝභකම පිළිබඳව පට්ට නොගැසීඅමට කරුණු කීපයක්ම තියෙනවා. ඇත්තටම "ලෝභ" කියන සිතුවිල්ල වරදක් වන්නේ අන් සතු දෙයක් උදෙසා එය ගොඩ නැගීමෙනුයි කියලයි මට නම් හිතෙන්නේ. (මම සීයට සීයක් වැරදි නැතිව ඇති) අනෙක තමන් කිසියම් සමාජ තත්වයක්, මුදලක් හෝ භාන්ඩයක් ලභා ගැනීමට කාපු කට්ටේ තරමට තමයි ඒ කෙරෙහි ඇතිවන ලෝභ කම ඇතිවන්නෙත්. මේ පද්මෙලා ජීවිතය ලභාගන්න උපරිම කට්ට කන එවුං! තවත් එකක්! මමත් ටික වෙන්න ලෝභයි! (කාටවත් කියන්න යන්න එපා!) අන්න ඒකත් එක හේතුවක්.
      කාලයකට පෙර මමත් ජීවිතය ගොඩ නගා ගැනීමේදී සෑහෙන්න ලොභ විදියට කටයුතු කලා. මොනව උනත් මේ පැත්තට ආපු එක ගැන නම් එකෙන්ම සතුටුයි. කොම්පැනි කතා ලියලා තියෙන ඒවත් බලන්න . ජයවේවා!

      Delete
    2. තට්ට මහත්තයා මේ වගේ තමන්ගේ කකුල් දෙකෙන් හිටගන්න උත්සාහ කරණ මිනිසුන්ට මමත් කැමති. මොකද මමත් රන්කිරි කටේ ගාගෙන මේ ලෝකෙට ආපු එකෙක් නෙමෙයි. (ඕක ගොඩක් අයට අදාලයි කියන්නේ නැති උනාට) එත් මම කිව්වේ අදික තණ්හාව ගැන. කොහොම උනත් ඔබව පද්මසිරිගේ ගොඩට දන්නා බෑ මේ බ්ලොග් එක කියවන කෙනෙක්ට.

      Delete
    3. බොහොමත්ම ස්තූතියි! මොන්තක්‍රිස්තෝ සිටුවරයා කියනවා වගේ අපි පොහොසත් වයසින් හා මනුස්සකමෙන් විතරයි මචං!

      Delete
  6. එක හුස්මට කියෙව්වා. මට හිතෙන්නෙ ගැලපෙන නමක් දාල තව ටිකක් පිලිවෙලට ලියන්න තිබුනා. එතකොට කතා එකතු කරලා ඉදිරියේදී පොතක් ගහන්න පුළුවන්. ඔබේ චරිත ගොඩනැංවීම හරිම ලස්සනයි. හරියට නාට්‍යයක වගේ. බ්ලොග් එකට දාන්න කලින් ඔබේ කවි හා කතා වෙනත් මාධ්‍ය වලටත් දැම්ම නම් වෙනස් පිරිසක් අතරට ඔබේ දස්කම් බෙදා දෙන්නත් පුළුවන් . මේ මට හිතෙන හැටි . පොඩ්ඩක් හිතල බලන්න.

    ReplyDelete
    Replies
    1. අනුරුද්ධ මම ඔබේ ඉතා අගය කරණ ගතිගුණයක් තමයි ඔය! අන අයගේ නිර්මාණ නිර්ලෝභීව අගය කිරීම! ඇත්තටම මේ කථාව මම ලියා තියන්නට ඕන උනත් ඒක බ්ලොග් එකේ ලියන්න බලාපොරොත්තුවක් තිබ්බේ නෑ. ඒ වගේම නැවත නැවතත් මතක් කරලා සතුටු වෙන්න රස විඳින්නට දෙයකු එහි නෑනේ. ඒ නිසා මට ඕනෑ උනේ හුදෙක් වාර්ථාවක් ලෙසින්ම (අමුවෙන්ම) ලියා දාන්න! කොහොම උනත් ස්තූතියි හැමදාවාගේම ගොඩ වැදිලා දොඩ මළු වූවාට! මෙරටට ආ දිනෙක මුණ ගැසෙමු. ඔබව මුණගැසීමට මා බලා සිටින තව එක් චරිතයක්!

      Delete
  7. loku deyak karala thiyenne.padmasiri paw.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ඇනෝ ඒ මිනිස්සු පිළිබඳව මටත් බොක්කෙන්ම හිතෙන්නේ "පව්" කියලා තමයි! ස්තූතියි ගොඩවැදුනාට!

      Delete
  8. මේ වගේ මිනිස්සුන්ගෙ අධිෂ්ඨානශීලි බව සහ උපේක්ශා සහගත ස්වබාවය තමයි අපි අගය කරන්න ඕනෙ. සමහර කොටස් කියවද්දි කුනු ලෝබයෙක්නෙ කියලා හිතුනත් අන්තිමට තියෙන 'ඊළඟට උපදින දරුවා මලත් මං මැණිකෙව අත අරිණ්නේ නෑ' වාක්‍යය කියෙව්වට පස්සෙ කලින් ඇතිවුනු නෙගටිව් සිතුවිලි හිතෙන් අහක් කරගත්තා. ලස්සන පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නෙළුම්!
      ඒ මිනිස්සු අපිට වඩා තමන්ගේ ජීවිතයට ආදරේ කරණ අය. මම එහෙම කියන්නේ ඇයි!? අපි අපේ ජීවිත ගොඩනගා ගන්නට, අපේ පවුල් රැක ගැනීමට කරණ්නේ මොනතරම් පහසුකාර්‍යයන්ද? අපි කාර්‍යාලයක මේසයක් පුටුවක් උඩ ඉඳන් පැය අට ගෙවලා ජීවිතයගොඩ දාගන්න මහන්සි වෙන කොට මේ යක්කු මුළු පැය විසි හතරම මැරෙණවා ජීවිත් වෙන්න නෙවෙයි ජීවිතය ලෙව කන්න! ඒ නිසාම ඒ අය තමන්ගේ ජීවිතයට වඩාත් ආදරය කරණවා කියලයි මටනම් හිතෙන්නේ. ඒ කට්ට අපිට කන්න සෙට් උනොත් අපි ජීවිතේ අත අරිනවා!
      කොහොම උනත් ඌ හරිම ලෙංගතුයි උගේ ගෑනිට. ඒකිගේ දුප්පත් කමත් ඊට හේතුවක් වෙන්න ඇති! දුප්පත් කමේ රඟ පද්මෙලා හොඳට දන්න නිසාම වෙන්න ඇති එයා එයාගේ ගෑනිට එහෙම කියන්නට ඇත්තේ.
      ඔව් උන් හොඳ මිනිස්සු! උන් දන්නෙවත් නැතිව ඇති අපි උන්ට මේ තරම් ආදරෙයි කියලා!
      නැවතත්; ස්තුතියි නෙළුම්!!

      Delete
  9. අන්තිමට පවුලට කියල තියෙන වචනෙනං වටිනව.
    අර කාර්රෙක අයිති මහත්තැං මොනවත් කිව්වෙ නැද්ද කාර් එක හර්ස් එකක් කළාට.

    ReplyDelete
    Replies
    1. අම්මපා ප්‍රසන්නයා ඒක මේ මොහොත වෙනකල් රහසක්ව තියා ගත්තු එකක්. මම ඒ කොම්පැනියෙනුත් අස් වෙලා. ෆොන්සේකා මහත්තයත් විශ්‍රාම ගිහිං! වාහනෙත් වෙන්දේසි කරලා! පද්මෙත් කාටවත් ඒක නොකියන්න ඇති! මම අද උදේ අපේ එච් ආර් මිසීට කෝල් එකක් දීලා මේකෙ ලින්කුව යැව්වා. එතකොට තමයි එයත් දැනගන්න ඇත්තේ!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මාත් අහන්ට ගියෙ කාර් අයිතිකාරය මොන අඩව්වක් ඇල්ලුවද කියල හිට. කතාවනම් සුප්ප එකට ලියල තට්ටයතුමෝ.....

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. විවෘථ වෙනවා කියා රෙදි උනා පෙන්නීම නොකල යුතු දෙයක්; විශේෂයෙන් රස්සාව කරණා තැන! එහෙම නේද?

      Delete
  10. සතේ දෙපාරට වියදං කරන කාලයකුත් තිබ්බ ලොකු සර්.
    (දැන් කියලත් වැඩි වෙනසක් නෑ)

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. නොකිව්වට මමත් එහෙම තමයි බොස්! අපේ පොඩි එකාටත් කියන්න කියලා මම හැමවෙලාවෙම කියන්නේ ඕකම තමයි!

      Delete
  11. තවත් Management Lesson එකක්. Empathy, approachability, open communication ලෙසටම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි චමින්ද!

      Delete
  12. හ්ම්, දුක හිතෙන කතාවක් ඒත් කාටත් පොදු දේ තමා මරණය. උන දේට මිනිහගේ සකසුරුවම් කම වෙන්නත් /නොවෙන්නත් පුළුවන්.
    විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔව් විජේභාහු මහත්තයා ඒක හිත සසලවන කථාවක්!

      Delete
  13. පද්මෙ පුලුවන් විදිහට නෝනට සලකන්න ඇති. සමහරවිට බැරිවෙන්නත් ඇති. ඒව ගැන තීරණ දෙන්ට අපට පුලුවන්ද. නේහ්.
    ඒ දරුවා ගෙනාව ආයුස එපමණ වෙන්නට ඇති

    😔😔😔

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ් ඒ බොහෝ කාරණා කාරණා පිං පව් වලට බැර කරණ්නට අපි පුරුදු වෙලා!

      Delete
  14. අපේ නංගි ඉපදුනෙත් ඔය වගේ ම අඩු බරින් සහ අඩු සෞඛ්‍යයකින්. රාගම රෝහලේ ඉඳලා ලේඩි රිජ්වේ යවන්න ඇම්බියුලන්ස් එකක් නොලැබුණු ගමන, අපේ තාත්තා ලේන්සු‌වෙන් ඔතාගෙන බස්එකේ අරං ගියා කියල අම්ම කියනව. ඒත් බේරගන්න බැරි වුණා. ලස්සන ගෑණු ළමයෙක්. ජීවත් වුණේ දවස් හතයි. ගෙදර ගෙනැල්ලා පාංශුකූලෙත් දීලා, ගෙදර හදපු පොඩි පෙට්ටියක දාලා කනත්තෙ වැළලුවා.

    මට මතක් වුණේ ඔය සිදුවීම. තමන්ට තමන්ගෙ දරුවෙක් ඔය විදිහට අහිමි වුණා නම් කොහොම ද කියලා හිතුණා.

    ReplyDelete
    Replies
    1. ඇයි හදවතට මේතරම් බරක් දැනෙන කමෙන්ටුවක් ලිව්වේ!? (බලාන ගියාම අපි මහ ලොකු පොරවල් වගේ හිටියාට හරිම හැඟීම් බර චරිත ටිකක් බං! අපේ දුඅක අපි දරා ගත්තාට වෙන එකෙකුගේ දුක දැනෙන තරං?)

      Delete
  15. ඇසේ තෙතමනය දිගටම රැඳී තියේ
    හිත දස අත ගිහිං පැටලී මනෝමයේ
    කමෙන්ටුවක් ලියවෙන්නෙත් බැරි-බැරියේ
    මහමෙර මගෙ පපුව උඩදෝ තියා ගියේ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! නිදි මහත්තයා!!

      Delete
  16. මේ වගේ වෙලාවල් වලදී තමන්ගේ එකෙක් ගෙන් ලැබෙන බැක්-අප් (බකප්) එක හිතට හරීම හයියක්. ඒ ගැන කියන්න වචන නැහැ. හෙට දවසට එහා යන නොපෙනෙන අනාගතයක් සඳහා ජීවිතය සැලසුම් කරණ සහ ජීවිතය දිහා උපේක්‍ෂාවෙන් බලන පද්මෙලා වැනි චරිත අගය කල යුතු බවයි මට නම් හිතෙන්නේ. කොහොම උනත් තට්ටයා මහත්තයාගෙ අකුරු කිරීමේ හැකියාව නම් සුපිරියි. ස්තුතියි........

    ReplyDelete
  17. ඊට පස්සෙ පද්මෙ හමුවුණේ නැත්ද? එයාගේ මුළු ආත්මයම ලිපියේ අන්තිම වාක්‍යයෙන් ප්‍රතිනිර්මාණය වන බව හිතෙනවා......

    ReplyDelete
    Replies
    1. මා එක්ක තාත් අවුරුද්දක් හමාරක් එයා වැඩ කලා! මම හිතන විදියට පද්මෙ දැන් සෙනෙහෙ බර තාත්තා කෙනෙක්!
      ඔව් ඇත්ත තමන්ගෙ කියලා කවුරු හරි ඉන්නෝන ගැටළුවකදි! අනෙක ඔය තැන් වල වැඩ කෙරෙණ්ණෙත් එහෙම කවුරු කවුරු හරි ඉන්නකොට තමා!
      ස්තූතියි අගැයීමට~!

      Delete
  18. කාලෙකින් බ්ලොග් පැත්තට ගොඩ උනා, සංවේදී ලියවිල්ලක් මචං...

    ReplyDelete
    Replies
    1. ඔව් ලොකු පුතා ඒක හරි බරට මටත් දැනුනා! ඇයි නොලියන්නේ? අළුත් වටයකින් ලිවීම පටන් ගනිමු! ලිවීම නම් මග අරින්න එපා!

      Delete
  19. තට්ටයා මහතා,

    මට විස්තරයක් දැන ගන්න අවශ්‍ය වෙලා තිබෙනවා.

    මගේ ලග නිසාන් ක්ලිපර් nv100, 2018 නිෂ්පාදිත ටිප්ටොනික් ගියර වාහනයක් තියෙනවා.

    මේකේ ගියර් බොක්ස් ඔයිල් මාරු කරන්න ඕනා කොපමණ කිලෝමීටර් ගණනාවක් ධාවනය වූ පසුවද.

    බ්‍රේක් ඔයිල් මාරු කරන්න, කුලන්ට් මාරු කරන්න ඇත්තේ කොපමණ කාලයකින්ද?

    වාහනේ මැනුවල් එකේ බැලුව, එකේ හොයා ගන්නට නැහැ ඒ විස්තර.

    ස්තුතියි.

    -ඔගාවා

    ReplyDelete
  20. මොනවා ලියන්නද මන්දා, ජීවිතේ හරි අමුතුයි වගේ අදහසක් ආවේ, ආර්ථික අපහසුතා ගොඩක් ප්‍රශ්න වලට මුල, මට නම් හිතුනෙ ඒකත් ලමයටයි අම්මටයි බලපාන්න ඇති කියලා.

    අනේ මන්දා ඉතින් හරි සංකීර්ණයි.

    ReplyDelete
    Replies
    1. මම එහෙම හිතන්නේ නෑ! මොනව උනත් ඌ: උගේ යුතුකම් කොටස අඩුපාඩු නැතිව කල එකෙක් කියලයි මම නම් දැනුනේ!!!

      Delete
    2. රයිස් එකක් වුනත් ගෑනු කෙනා ගොඩක් ආසාවෙන් කෑවා කියල තිබුනෙ, එකෙන් නම් මට තේරුනේ තව ගැහැනු අය ආස දේවල් ගොඩක් ලැබෙන්න්න නැතුව ඇති කියල...

      යුතුකම් පිරිමි කෙනාගෙ දෘෂ්ටිකෝනයෙන් විතරක් කරල මදි නෙහ්😑

      Delete
  21. මිනිස්සූ ජිවිතේ කොච්චර අසරණවෙන අවස්තා තියෙනවාද

    ReplyDelete
  22. ඔව් ඒකාලේ ඔබව මා අඳුනගෙන තිබ්බානං පලමුව කථාකරණ්නේ ඔබට!

    ReplyDelete

23. ගඟක් දිගේ ගිය ගමනක්

"ගඟක් දිගේ ගිය ගමනක්" කියන්නේ ගඟක් වගේම දිග කථාවක්. මෝබි ඩික් වෙළුම් තුන අමෙරිකනු ලේඛක හර්මන් මෙල්විල් ගේ ධවල තල්මසාගේ...